වෙබ් ලිපිනය:

Showing posts with label ඉන්දියාව. Show all posts
Showing posts with label ඉන්දියාව. Show all posts

Saturday, May 23, 2020

ඉරණම් තුනක්!

ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව ආසියානු රටවල් තුනක්. 1991 වන විට මේ රටවල් තුනේම ශ්‍රමිකයින්ගෙන් අඩකට වඩා නිරතව සිටියේ කෘෂිකාර්මික අංශයේ රැකියාවකයි.

තායිලන්තය - ශ්‍රම බලකායෙන් 60.3%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 62.6%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 55.5%ක්

ඒ වන විට මේ රටවල් තුනේම දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය 2500 මට්ටමට වඩා අඩුයි.

තායිලන්තය - කැලරි 2,260යි.
ඉන්දියාව - කැලරි 2,297යි.
උතුරු කොරියාව - කැලරි 2,368යි.

බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක ඕනෑම රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්‍රමුඛ ඉලක්කයක් විය යුතු බව කවුරුත් වගේ එකඟ වන කරුණක්නේ. ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව කියන රටවල් තුනත් ඔය ඉලක්කය පස්සේ හඹා ගියා. හැබැයි එකම ක්‍රමයකට නෙමෙයි. ක්‍රම තුනකට. දෙපැත්තට වැටුණු සත්තිගුම්බ ජාතකයේ ගිරවු දෙන්නා වගේ මේ රටවල් තුනේ කෘෂිකර්මයත් අදාළ රටවල ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ඇසුරේ දශක තුනක් තිස්සේ වෙන වෙනම වැඩුනා.

රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික අංශය ටිකෙන් ටික හැකිළෙන බව මම කලින් පැහැදිලි කරලා තියෙනවනේ. රටක වෙළඳපොළ නිදහස්ව හා විවෘතව තිබෙන තරමට ඔය වැඩේ වඩා වේගයෙන් වෙනවා. කෘෂිකාර්මික අංශයේ ඉන්න ශ්‍රමිකයින් ගොවිතැනෙන් ඉවත් වෙලා වැඩි ආදායම් ඉපැයිය හැකි වෙනත් රැකියා කරා යොමු වෙනවා. අවශ්‍යනම් රාජ්‍ය මැදිහත්වීම් මගින් ඔය වැඩේ සිදුවෙන වේගය අඩාල කරන්න පුළුවන්. එසේ කරනවාද නැද්ද කියන එක දේශපාලනික කරුණක්.


තායිලන්තය ඒ රටේ ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ඈත් වෙන එක වලක්වන්න වැඩිපුර උත්සාහ කළේ නැහැ. ඒ වගේම, නිදහස් හා විවෘත වෙළඳ ප්‍රතිපත්තියක සිටියා. ඉන්දියාව තායිලන්තය තරමට විවෘත වුනේ හෝ තරඟයට නිරාවරණය වුනේ නැහැ. එහෙත්, රටේ කෘෂිකර්මය මුළුමනින්ම ආරක්ෂා කළේ හෝ රට සංවෘතව පවත්වා ගත්තේත් නැහැ. උතුරු කොරියාව ප්‍රතිපත්තියක් ලෙස රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීම ඉලක්ක කර රටේ කෘෂිකර්මය නැංවීම සඳහා විශාල රාජ්‍ය මැදිහත් වීම් කළා වගේම රටේ ආර්ථිකය සංවෘතව තබා ගනිමින් රටේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳ තරඟයෙන් ආරක්ෂා කරගත්තා.

මේ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙස තායිලන්තයේ ශ්‍රමිකයන් විශාල ලෙස කෘෂිකාර්මික අංශයෙන් ඉවත් වුනා. ඉන්දියාවේ එය සිදු වුනේ ඊට වඩා අඩුවෙන්. උතුරු කොරියාවේ හොඳටම අඩුවෙන්. 2017 වන විට මේ එක් එක් රටවල කෘෂිකාර්මික ශ්‍රම බලකායේ තත්ත්වය මේ විදිහයි.

තායිලන්තය - ශ්‍රම බලකායෙන් 31.6%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 42.4%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 51.3%ක්

අන්තිමට වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබෙන්නේ කවර ප්‍රතිපත්තියද කියා බලන්න වෙන්නේ මේ රටවල් තුනම විසඳුම් හොයපු මූලික ප්‍රශ්නය, ඒ කියන්නේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක, කොයි තරම් දුරකට සිදු වෙලාද කියන එක මතයි.


2017 වන විට මේ එක් එක් රටේ දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය මෙහෙමයි.

තායිලන්තය - කැලරි 2,827යි.
ඉන්දියාව - කැලරි 2,517යි.
උතුරු කොරියාව - කැලරි 2,032යි.

ඉන්දියාව හා තායිලන්තය මේ වන විට ලෝකයේ වැඩියෙන්ම සහල් අපනයනය කරන රටවල් දෙකයි. උතුරු කොරියාව තවමත් වගා සංග්‍රාම කරනවා.


Tuesday, May 5, 2020

ඇමරිකා-වී, ඉන්දියා-වී හා ලංකා-වී

කලින් පෝස්ට් එකේ කළේ ඇමරිකාවේ හා ඉන්දියාවේ අක්කරයක වී වවන්න යන වියදම සැසඳීමක්. එහි මා ලංකාව ගැන කතා කළේ නැහැ. පෝස්ට් එකේ සංඛ්‍යාලේඛණ මම හදපුවා නෙමෙයි. මම කළේ ඉන්දියන් රුපියල් ගණන් හැටෙන් බෙදා ඩොලර් වලට හරවන එක පමණයි.

මේ සංඛ්‍යාලේඛණ ගොවීන්ට යන සැබෑ වියදම් එකතු කර හදපුවා. එහෙත්, වගුවේ  තියෙන්නේ සාමාන්‍ය අගයන්. තනි ගොවීන් ගත්තහම මීට වඩා අඩු වියදමකින් වී වවන අයත්, වැඩියෙන් වියදම් කරන අයත් ඉන්නවා. ඒ වගේම ඉන්දියාවේ සමීක්ෂණය බෙංගාලය ආශ්‍රිතව කරපු එකක් නිසා ඉන්දියාවේම වෙනත් පැති වල තත්ත්වයේ වෙනසක් තියෙන්න පුළුවන්.

කොහොම වුනත් මට පෙන්වා දෙන්න අවශ්‍ය වුනේ මේ දේවලුයි.
- ඇමරිකාවේ කුඹුරු අක්කරයක් වවන්න යන වියදම ඉන්දියාවට සාපේක්ෂව ගොඩක් වැඩියි.
- ඉන්දියාවේ (බෙංගාලයේ) කුඹුරු කෙරුවාවෙන් ලාබ ගන්න අක්කරයකින් වී කිලෝ ග්රෑම් 1,330ක අස්වැන්නක් ලබා ගැනීම ප්‍රමාණවත්.
-එහෙත්, ඇමරිකාවේ කුඹුරු කෙරුවාවෙන් ලාබ ගන්නනම් අක්කරයකින් වී කිලෝ ග්රෑම් 3,300ක් ලබා ගත යුතුයි. එය අමාරු ඉලක්කයක්.

එම ලිපියේ අවසානයේ මූලාශ්‍රය සදහන් කර තිබෙන පර්යේෂණ පත්‍රිකාව අනුව බෙංගාලයේ වී ගොවීන් ඇත්තටම ලාබ ලබන්නේ නැහැ. එහෙත්, ඉන්දියාවේ වී ගොවීන් විශාල ලාබයක් ලබන බව ගණන් හදා පෙන්වා ඇති තැන් කිහිපයක්ම අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. එම ගණන් බැලීම් හා පෙර කී පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තු ප්‍රධාන වශයෙන්ම වෙනස් වන්නේ එක් කරුණකින්. පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තුවට ඉඩමේ ආවස්ථික පිරිවැයද එකතු කර තිබෙනවා. මෙය සැලකිය යුතු මුදලක්. එය අත ඇරියොත් වියදම ගොඩක් අඩුයි.

දැන් අපි ලංකාවට එමු. ලංකාවේ වී අක්කරයක් වවන්න යන වියදම පිළිබඳවත් මෙවැනි ඇස්තමේන්තු තිබෙනවා. මම හදපුවා නෙමෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදපුවා. මේ ඇස්තමේන්තු වාරි ජල වී කර්මාන්තය හා වැසි ජල වී කර්මාන්තය සඳහා වෙන වෙනම පහත වගුවේ තිබෙනවා. සංසන්දනය කිරීම සඳහා ඇමරිකාවේ ගණන් 190 බැගිනුත් ඉන්දියාවේ ගණන් 2.50 බැගිනුත් රුපියල් වලට හරවා තිබෙනවා.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණන් අනුව වාරි ජල වී කර්මාන්තයේ වියදම් පියවගන්න අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 1,222ක් ලබා ගැනීම ප්‍රමාණවත්. වැසි ජල වී කර්මාන්තයෙන් ලාබ ගන්න අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 1,268ක් ලැබුනහම ඇති.  එහෙම බැලුවොත් ලංකාවේ වී ගොවියා ඉන්නේ ඉන්දියාවටත් වඩා වාසිදායක තැනක. මේ ඊයේ පෙරේදා ආණ්ඩුව වී වල සහතික මිල වැඩි කරන්න කලින් තත්ත්වය. දැන් විදිහටනම් මේ ගණන් තවත් අඩු වෙන්න ඕනෑ.

වාරි ජල වී කර්මාන්තයෙන් අක්කරයකට වී කිලෝ ග්‍රෑම් 2,130ක් ලබා ගන්න පුළුවන්. එහෙම බැලුවහම මාර ලාබයි. වැසි ජල වී කර්මාන්තයෙන් අක්කරයකට වී කිලෝ ග්‍රෑම් 1,486ක් ලබා ගත හැකියි. ඒ වැඩෙත් පාඩුවක් නැහැ. වැඩේ ඔය තරම්ම ලාබනම් ලංකාව ආනයනික සහල් වලට බය වෙන්නේ ඇයි? කිසි ප්‍රශ්නයක් නැතුව තරඟ කරන්න පුළුවන් වෙන්න ඕනැනේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු වල අඩුපාඩු කිහිපයක්ම තියෙනවා. වගුවේ ඇමරිකා, ඉන්දියා තීරු වල තිබෙන ලංකා තීරු වල නැති අයිතම දිහා බැලුවහම ඒ බව නොපෙනෙන්න හේතුවක් නැහැ.

වාරි ජල වී කර්මාන්තයේ වතුර වල වියදම දරන්නේ වී ගොවීන් විසින් නෙමෙයි. පොදුවේ රටේ හැමෝම. මහවැලිය හදන්න ගත්ත ණය සහ පොලිය තවම ගෙවනවා. මුල් ණය මුදල ලබා දුන් අයට දැන් මේ ණය ගෙවලා ඉවර ඇති. හැබැයි ඒ ගෙවලා තියෙන්නේ වතුර විකුණලා සල්ලි අරගෙන නෙමෙයි. අලුත් ණය අරගෙන. ඒ අලුත් ණයත් දැන් ගෙවලා ඇති. ඒ තවත් ණය අරගෙන. අන්තිමට මහවැලිය හදන්න ගත්ත සල්ලි වලට තවම පොලී ගෙවනවා. ගොවීන්ට වතුර නොමිලේ.

ඒ වගේම පෝර වියදමෙන් වැඩි කොටසක් දරන්නේත් පොදුවේ රටේ හැමෝම විසින්. ඒ ගණන් එකතු කලොත් මේ වියදම් ඇස්තමේන්තුව ඉහළ යනවා.

මේ සියල්ලටම වැඩිය ලොකුම අඩුපාඩුව කුඹුරු ඉඩම් වල බදු අගය මෙහි නැති වීමයි. ඇමරිකාවේ හා ඉන්දියාවේ ඇස්තමේන්තු වල ඒ ගණන් තියෙනවා. සාමාන්‍යයෙන් මේ මිල සැලකිය යුතු මිලක්. ගොවියෙක් වගා කරන්නේ තමන්ගේම ඉඩම වුවත්, ඉඩම බදු දී ලබා ගත හැකි ආදායම ආවස්ථික පිරිවැයක් විදිහට මේ ඇස්තමේන්තුවට එකතු විය යුතුයි. ඒ ගණන දැන ගන්න කුඹුරු බද්දට දෙන මිල ගණන් හොයා ගන්න වෙනවා. ලංකාවේ කුඹුරු කිරීමේ නියම වියදම දැන ගන්නනම් මේ අයිතමයන්ද එකතු විය යුතුයි.

මම හිතන්නේ ලංකාවේ කුඹුරු බද්දට දීම හා ගැනීම බොහෝ විට අත යටින් වෙන දෙයක්. අත යට වෙන දේවල් ගැන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට තොරතුරු හොයා ගන්න අමාරුයි. නිවැරදි ආකාරයකට සමීක්ෂණයක් නොකර මේ පිළිබඳ ඇස්තමේන්තු හදන්නත් අමාරුයි. මා පෞද්ගලිකව දන්නා තොරතුරු අනුව වියලි කලාපයේ කුඹුරු අක්කරයක කන්නයක බදු වටිනාකම අඩු වශයෙන් රුපියල් පනස් දාහක් පමණවත් වෙනවා. සමහර අය අස්වැන්නෙන් තුනෙන් එකටත් බදු දෙනවනේ. එහෙම බැලුවත් ඔය කිට්ටුව ගාණක්. අනික් අතට මේ කුඹුරු අක්කරයක මිල ලක්ෂ දහයක් පහළොවක් පමණ වන නිසාත් රටේ පොලී අනුපාතික 8-10%ක පමණ මට්ටමේ තිබෙන නිසාත් කන්නයක කාලයට පොලිය ඔය කිට්ටුවට එනවා.

කොහොම බැලුවත් ඉඩමේ බදු වටිනාකම එකතු කළාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව දෙගුණයක් පමණ වෙනවා. එතකොට වියලි කලාපයේ වුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වන ලාබය නැහැ. මේ කියන්නේ කිසිවෙකුට ලාබ නැහැ කියන එක නෙමෙයි. කුඹුරු බදු ගන්න අයට අනිවාර්යයෙන්ම ලාබ තියෙන්න ඕනෑ. නැත්නම් බදු ගන්න අමාරුවක් නැහැනේ. ඒ වගේම බදු දෙන අයගේ පැත්තෙන් බැලුවොත් ඒ අය කුඹුර බදු දෙන්නේ කුඹුර කරනවාට වැඩිය බදු දෙන එක ලාබ නිසයි. ඒ කියන්නේ ඒ අයම කුඹුර කළානම් ඉඩමේ බදු වටිනාකම අඩු කළාම අතින් පාඩුයි.

මේ කිවුවේ වියලි කලාපයේ ඉඩම් ගැන. තෙත් කලාපයේ කුඹුරු ඉඩම් බදු අරගෙන කුඹුරු වැඩ කරන අය ඉන්න බවක් මම දන්නේ නැහැ. බදු අරගෙන කුඹුරු කිරීම අනිවාර්යයයෙන්ම පාඩුයි. ඒ නිසා, ඒ ඉඩම් වල වටිනාකම මේ ක්‍රමයට තක්සේරු කරන්න බැහැ. හැබැයි මේ ඉඩම් වල විකුණුම් මිල වියලි කලාපයේ ඉඩම් වල මිලට වඩා වැඩියි. මේ ඉඩම් අක්කර ගානට යන්නේ නැහැ. බොහෝ විට විකිණෙන්නේ පර්චස් ගාණට. තෙත් කලාපයේ ඉඩම් වල වටිනාකමට හේතුව වී වගාවෙන් ලැබිය හැකි ආදායම නෙමෙයි. ඉඩම් වල වටිනාකම එකතු කළොත් වී වගා කරන එක අනිවාර්යයෙන්ම පාඩුයි.

මේ හැම දෙයක්ම ලිවීමෙන් මම පෙන්වා දෙන්න හදන්නේ ලංකාව කුඹුරු කරන එක අත ඇරිය යුතු බව නෙමෙයි. එහෙම හිතනවානම් එය වැරදි අදහසක්. කුඹුරු කිරීම පාඩු වෙන්නේ යන වියදම ලැබෙන ආදායමට වඩා අඩු නිසයි. වෙනත් විදිහකට කියනවානම් කාර්යක්ෂමතාවය අඩු නිසයි. නමුත්, ඇමරිකන් උදාහරණයෙන් පෙනෙන්නේ ලංකාවේ වී ගොවිතැනට වඩා කාර්යක්ෂම වෙන්න තව සෑහෙන අවකාශයක් තියෙනවා කියන එකයි. එහෙමනම්, එය නොවෙන්නේ ඇයි?

අත ඇරලා දමන්න ඕනෑ ලංකාවේ වී ගොවිතැන නෙමෙයි. ලංකාවේ වී ගොවිතැන වගේම තවත් බොහෝ දේවල් අකාර්යක්ෂම වෙන්න හේතු වී තිබෙන සාධකයි.

මෙහි ලියන දේවල් හැමවිටම සංවාදයට විවෘතයි. හැබැයි ලිපියේ ලියා නැති දේ හිතින් මවාගෙන විවේචනය කළාට අපට කරන්න දෙයක් නැහැ. ලිපියේ වැරැද්දක් තිබේනම් එය පැහැදිලිව පෙන්වන්න. මඩින් නෙමෙයි ගොඩින් එන්න!

Reference:
COST OF CULTIVATION OF AGRICULTURAL CROPS - 2018 YALA, Volume 75, SOCIO ECONOMICS AND PLANNING CENTRE, DEPARTMENT OF AGRICULTURE, July 2019.

ඇති සේ දකින නැති ලාබ

ලෝකයේ ලොකුම සහල් නිෂ්පාදකයා චීනය වුවත්, ලෝකයේ ලොකුම සහල් අපනයනකරු ඉන්දියාවයි. ඉන්දියාවේ නිපදවන සහල් සමඟ ලංකාවට මෙන්ම ඇමරිකාවටත් තරඟ කරන්න වෙනවා. ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් දෙදාහක් පමණයි. ලංකාවේ ඒක පුද්ගල ආදායම එමෙන් දෙගුණයක්. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ මෙන් තිස් ගුණයක්.

ඇමරිකාවට වගේම ලංකාවට සාපේක්ෂවත් ඉන්දියාවේ ශ්‍රමය ලාබයි. වී ගොවිතැන සඳහා අවශ්‍ය ශ්‍රමය වෙනුවෙන් ඉන්දියාවේදී ගෙවිය යුත්තේ ලංකාවේදී ගෙවන්නට අවශ්‍ය මිලට වඩා අඩු මිලක්. ඇමරිකාවේදීනම් මිනිස් ශ්‍රමය වෙනුවෙන් විශාල මිලක් ගෙවිය යුතුයි.

ශ්‍රමය වෙනුවෙන් ඉන්දියාව මෙන් දෙගුණයක මිලක් ගෙවන ලංකාවට ඉන්දියාවේ නිපදවන සහල් සමඟ තරඟ කරන්න බැරි වෙන්නත්, ඉන්දියාව මෙන් තිස් ගුණයක මිලක් ගෙවන ඇමරිකාවට ඉන්දියාවේ නිපදවන සහල් සමඟ තරඟ කරන්න පුළුවන් වෙන්නත් හේතුව කුමක්ද?

පහත වගුවේ තිබෙන්නේ ඉන්දියාවේ හා ඇමරිකාවේ අක්කරයක වී වවන්න යන වියදමයි. ඇමරිකාවට ඩොලර් දාහක් වියදම් වුනත්, ඉන්දියාවට වියදම් වෙන්නේ ඩොලර් හාර සීයක් පමණයි. ඉන්දියාවේ වී ගොවියෙක් මේ වියදම ආවරණය කර ගන්න අක්කරයකින් ලබා ගත යුත්තේ වී කිලෝ ග්‍රෑම් 1330ක් පමණයි. එතැනින් උඩ ලාභ. එහෙත්, ඇමරිකාවේ වී ගොවියෙක්ට ලාබ ලබන්න හැකි වෙන්නේ අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 3300කට වඩා වැඩියෙන් ලබා ගත්තොත් පමණයි.


ඇමරිකාවේ ගොවියෙක් අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 3400ක් පමණ ලබා ගන්නවා. ඒ නිසා, සුළු වුවත් ලාබයක් තිබෙනවා. ඉන්දියාවේ කුඹුරු ඉඩම් අක්කරයකින් ලැබෙන්නේ වී කිලෝ ග්‍රෑම් 1080ක පමණ ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ඉන්දියාවේ ගොවියෙකුට වී වගාවෙන් ඇත්තටම ලාබයක් නැහැ. එහෙමනම්, ඉන්දියාවේ ගොවීන් වී වගා කරන්නේ ඇයි?

ඉන්දියාවේ ගොවියෙකු අක්කරයක වී වවන්න යන වියදමෙන් අවම වශයෙන් 40%ක් මුදල් ලෙස වැය වන වියදම් නෙමෙයි. මේ ප්‍රමාණය 50% පමණ දක්වා කොටසක් වෙන්න පුළුවන්. ගොවි පවුලේ සාමාජිකයින් විසින් යොදවන ශ්‍රමය ඇත්තටම වියදමක් වුවත් ඒ වෙනුවෙන් පවුලේ අය වැටුප් ලබා ගන්නේ නැහැ. තමන්ට අයත් ඉඩම වී ගොවිතැන වෙනුවෙන් යොදා ගැනීමේ  ආවස්ථික පිරිවැයත් එවැනිම නොපෙනෙන වියදමක්. බොහෝ විට ගොවිතැන් වැඩ වලට යොදා ගන්න හරක් තමන්ගේම හරක්.

ඉන්දියාවේ බොහෝ ගොවීන්ට මෙන්ම ලංකාවේ බොහෝ ගොවීන්ටත් ඉහත කී වියදම් වියදම් සේ දැකිය හැකි අවබෝධයක් නැහැ. ඔවුන් වියදම් සේ දකින්නේ අතින් වියදම් වන මුදල් පමණයි. අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 900ක් ලැබෙන විට ඒ වියදම් ආවරණය වෙනවා. ගොඩක් ගොවීන් හිතන්නේ ඉතිරි මුදල ලාබයක් කියලයි. එහෙත්, නොපෙනෙන වියදම් සැලකූ විට ඒ ලාබය පාඩුවක් බවට පත් වෙනවා.

References

McBride, W. D. et al. (2018). US Rice Production in the New Millennium: Changes in Structure, Practices, and Costs. Economic Research Service, Economic Research Bulletin, (202).

Show, S. (2018). Cost of Cultivation and Profitability of Agriculture in West Bengal: A Study with Special Reference to Backward Region of West Bengal. Economic Affairs63(4), 1067-1075.

Sunday, April 26, 2020

අම්බිකා නික්ම ගිහින්!


කෙනෙක් රටකින් රටකට සංක්‍රමණය වෙන්නේ එසේ කිරීමෙන් ලැබෙන මොනවා හරි දේවල් ටිකක් තියෙන නිසයි. එහෙත්, එසේ රටකින් රටකට සංක්‍රමණය වීමේදී අහිමි වන දේවල් ටිකකුත් තියෙනවා. කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් රටකින් රටකට සංක්‍රමණය වෙන්නේ මේ දෙගොඩ කිරා බැලූ පසු සමස්තයක් ලෙස වාසියක් තිබෙන නිසයි.

හැබැයි මේ කතාව අදාළ වෙන්නේ තමන්ගේ කැමැත්තෙන් සංක්‍රමණය වන අයටයි. වෙනත් අයෙකුගේ මන දොල සපුරන්න රටකින් රටකට සංක්‍රමණය වෙන්න සිදු වන කෙනෙක්ට මේ කතාව ඒ විදිහටම වලංගු නැහැ. ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල සිට උතුරු ඇමරිකාවට සංක්‍රමණය වෙන්න සිදුව ඇති අලි ඇතුන් වැටෙන්නේ මේ ගොඩටයි.

වයස අවුරුදු අටක පමණ අලි පැටික්කියකව සිටියදී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කැලෑවකින් අල්ලා ගනු ලැබ වසර පහක් කොට ඇදීමේ රාජකාරියේ යෙදී ඇති අම්බිකා ඇමරිකාවට පැමිණ තියෙන්නේ 1961 වසරේදී. ඈ වොෂින්ටන් ඩීසීහි ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ සිටි හත් දෙනෙකුගෙන් යුත් ආසියානු අලි කණ්ඩායමේ සිටි වයස්ගතම සාමාජිකාවයි. අම්බිකාගේ සැත්තෑ එක් වසක දිවිසැරිය පසුගිය මාර්තු 27 වනදායින් නිමා වී තිබෙනවා.

ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ ඉතිරිව සිටින ආසියානු අලි පංතියේ සිවු දෙනෙකුම එකම වසරකදී ශ්‍රී ලංකාවේ උපන් අයයි. ඒ ශාන්ති, කමලා, ස්වර්ණා හා බොසී යන සිවු දෙනායි. ඉතිරි දෙදෙනා ඉන්දියාවෙන් හා තායිලන්තයෙන් පැමිණි අයයි. පසුගිය ජූනි මාසයේදී මා අවසන් වරට මේ අයව පියවි ඇසින් දැක ගත්තා. අන්තර්ජාලය හරහානම් ඕනෑම වෙලාවක ඔවුන්ව සජීවීව නැරඹිය හැකියි.

අම්බිකාගේ සෞඛ්‍ය තත්ත්වය කාලයක් තිස්සේම පිරිහෙමිනුයි තිබුණේ. කළ හැකි සියළු ප්‍රතිකාර කිරීමෙන් පසුව සුව වීමේ ඉඩක් පෙනෙන්නට නොතිබුණු බැවින් හා අම්බිකාගේ වයස ගැන සලකමින් පසුගිය මාර්තු 27 වනදා ඇයට සුවදායක මරණයක් ලබා දීමට ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ බලධාරීන් විසින් තීරණය කර තිබෙනවා.

ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ සිටි ආසියානු අලි අතරින් අම්බිකාගේ ළඟම යෙහෙළියන්ව සිටියේ ශාන්ති හා බොසී දෙදෙනායි. අම්බිකා මරණයට පත් වීමෙන් පසුව ඇයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට ලබා දී තිබෙනවා. සාමාන්‍යයෙන් අලින් කරන පරිදි, මිනිත්තු 15-20ක පමණ කාලයක් දේහය වටා පැදකුණු කරමින් හා සිය හොඬයෙන් අම්බිකාගේ කණ, මුඛය හා හොඬ අග ස්පර්ශ කරමින් ඔවුන් දෙදෙනා සිය වැඩිමහල් මිතුරියට අවසන් ගෞරව දක්වා තිබෙනවා.

අම්බිකා ගැනත්, මෙහි සඳහන් ඇගේ යෙහෙළියන් ගැනත් පෙර ලියූ ලිපි කිහිපයක් පහත තිබෙනවා.

අම්බිකාගේ විලාපය


Saturday, April 25, 2020

ඉන්දියාවේ කොරෝනා


ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නඩත්තු කරන කෝවිඩ්-19 දත්ත පුවරුවේ මෙන්ම වසංගත රෝග අංශය මඟින් ප්‍රකාශයට පත් කරන දෛනික වාර්තා වලද ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය හා ජර්මනිය පිළිබඳ සංසන්දනාත්මක දත්ත ඉදිරිපත් කරනවා. මේ රටවල් පහ ලෝකයේ වැඩිම කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණයක් හඳුනාගෙන ඇති රටවල් පහයි.

කෝවිඩ්-19 ව්‍යාප්තිය අතින් පහළින් සිටින ලංකාව ඉහත රටවල් සමඟ සංසන්දනය කිරීම කිසිම තේරුමක් නැති වැඩක්. මේ රටවල් තෝරා ගෙන ඇති පිළිවෙළ අනුව ලෝකයේ වෙනත් ඕනෑම රටක එම රටවලට වඩා හොඳ තත්ත්වයක් දකින්න ලැබෙන එක අනිවාර්ය කරුණක්. ඊටත් වඩා වැදගත් දෙය මේ රටවල් පහෙන් එකක්වත් කෝවිඩ්-19 ආසාදනය රටින් දුරු කිරීමේ ඉලක්කයක් ඇතුව කටයුතු නොකළ රටවල් වීම. එම රටවල ඉලක්කය වුනේ රෝගය ව්‍යාප්ත වීම අදාළ රටවල සෞඛ්‍ය පද්ධතීන්ට දරා ගත හැකි මට්ටමට පාලනය කර ගැනීමයි. ඒ කාරණයේදී ඇතැම් රටවල් සාර්ථක වී තිබෙනවා. තවත් රටවල් අසාර්ථක වී තිබෙනවා.

මීට අමතරව පෙර කී රටවල් හා ලංකාව අතර ආර්ථික තත්ත්වයේ, දේශගුණයේ, සංස්කෘතියේ හා සමාජ ක්‍රම වල විශාල වෙනස්කම් තිබෙනවා. ලංකාවේ කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ වෙනත් රටක් සමඟ සසඳනවානම් ඒ වැඩේට වඩාත්ම යෝග්‍ය රට අසල්වැසි ඉන්දියාවයි. එහෙත්, ඉන්දියාව ලංකාව මෙන් 62 ගුණයක ජනගහණයක් සිටින රටක් නිසා මෙවැනි සංසන්දයක් කළ යුත්තේ ජනගහණ අනුපාතය ගැන සලකමිනුයි.

දකුණු ආසියානු කලාපයේ පළමු කෝවිඩ්-19 ආසාදිතයා හමු වුනේ ලංකාවෙන්. එහෙත්, ලංකාවේ කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත්තේ දෙවන ආසාදිතයා හමු වූ මාර්තු 11 දින සිටයි. ඉන්දියාවෙන් පළමු වරට කෝවිඩ්-19 ආසාදිතයෙකු හමු වුනේ ලංකාවේ පළමු කෝවිඩ්-19 ආසාදිතයා හමු වී සතියකට පසුව වුවත්, ලංකාවේ දෙවන කෝවිඩ්-19 ආසාදිතයා හමු වන විට ඉන්දියාවෙන් ආසාදිතයින් 62 දෙනෙකු හමු වී තිබුණා. මේ අනුව, එම රෝගියා හමු වන තුරු ලංකාවේ හා ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයින් හමු වී තිබුණේ ජනගහණ අනුපාතයටයි.

කටුනායක ගුවන් තොටුපොළ වසා දමන තුරු ගෙවුණු දෙවන අදියර තුළ ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුනා. එහෙත්, ඉන්දියාවේ එවැන්නක් වුනේ නැහැ. මුල්ම අදියරේදී ඉන්දියාව ඉතා ඉක්මණින් දැඩි තීරණ ගැනීම එයට හේතු වුනා වෙන්න පුළුවන්. මාර්තු 19 දිනය අවසන් වන විට ලංකාවෙන් රෝගීන් 66 දෙනෙකු හමු වී සිටියා. ඉන්දියාවෙන් හමු වී සිටියේ රෝගීන් 104 දෙනෙකු පමණයි. ජනගහණය අනුපාතය සැළකු විට ඒ වන විට ලංකාවේ කෝවිඩ්-19  අවදානම ඉන්දියාවේ මෙන් 39 ගුණයක් දක්වා වැඩි වී තිබුණා.

කටුනායක වසා දැමීමෙන් පසුව තෙවන අදියරේදී ලංකාව කෝවිඩ්-19 පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා. එම ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ කෝවිඩ්-19 පැතිරීම විශාල ලෙස සීමා වුනා. ඊට සාපේක්ෂව ඉන්දියාවේ වැඩි වේගයකින් වෛරසය පැතිරුණා. අප්‍රේල් 19 වන විට ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් 271ක් හමු වී තිබුණා. ඉන්දියාවෙන් එමෙන් 65 ගුණයක් පමණ, එනම් ආසාදිතයින් 17,615 දෙනෙකු ඒ වන විට හමු වී තිබුණා. ඒ වෙද්දී දෙරට කෝවිඩ්-19 අවදානම් තත්ත්වයන් ආසන්නව සමාන වී තිබුණා. ලංකාව ඉන්දියාවට වඩා තරමක් හෝ ඉදිරියෙන් සිටියා.

එහෙත්, පසුගිය දින කිහිපය තුළ ලංකාවේ කෝවිඩ්-19 අවදානම ඉන්දියාවට සාපේක්ෂව ඉහළ යමින් ඇති බව පෙනෙනවා. මේ වන විට ලංකාව කෝවිඩ්-19 පැතිරීමේ හතරවන අදියරකට අවතීර්ණ වෙමින් ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ.

Wednesday, January 15, 2020

සුබ තයිපොන්ගල් දිනයක්!


අද (ජනවාරි 15) ලංකාවේ නිවාඩු දවසක්. ඒ තයිපොංගල් දිනය වෙනුවෙනුයි. ලංකාවේ තයිපොංගල් උත්සවය සමරන්නේ දෙමළ හින්දු අනන්‍යතාවය ඇති පිරිසයි. තමිල්නාඩුවේද මේ උත්සවය මේ නමින්ම සැමරෙනවා. ඉන්දියාවේ තවත් ප්‍රාන්ත ගණනාවක මේ දිනය මේ නමින්ම හෝ වෙනත් නමකින් සැමරෙනවා.

ඉංග්‍රීසීන් ලංකාව ආණ්ඩු කරන්න පටන් ගැනීමෙන් පසු, 1886 වන තුරු බෞද්ධ, හින්දු හෝ ඉස්ලාම් ආගමික උත්සව පැවැත්වෙන දින ලංකාවේ පොදු නිවාඩු දින වූයේ නැහැ. නමුත්, ක්‍රිස්තියානි නිවාඩු දින ගණනාවක්ම ලංකාවේ පොදු නිවාඩු දින සේ නම් කර තිබුණා. 1886 අංක 4 දරන නිවාඩු දින පණතින් එම නිවාඩු දින ලැයිස්තුවට ක්‍රිස්තියානි නොවන ආගමික නිවාඩු දින තුනක් එකතු වුණා. ඒ, හින්දු අලුත් අවුරුද්ද, වෙසක් පසළොස්වක පෝය හා මහමදිකයන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන්. මීට අමතරව බැංකු නිවාඩු දින අතරට තයිපොංගල් නිවාඩුවක්ද මේ පණතින් එකතු කෙරුණා.

ඉහත පණතින් අප්‍රේල් අලුත් අවුරුද්ද හින්දු අලුත් අවුරුද්දක් ලෙස මිස සිංහල අලුත් අවුරුද්දක් සේ හඳුන්වා නොතිබීම කැපී පෙනෙන කරුණක්. ඒ වගේම, හින්දු නිවාඩු දිනයක් තෝරා ගැනීමේදී ප්‍රමුඛතාවය ලැබී තිබෙන්නේ තයිපොංගල් දිනයට නොව තමිල් පුතාන්ඩු (දෙමළ අලුත් අවුරුදු) දිනයටයි. තයිපොංගල් දිනය ලංකාවේ පොදු නිවාඩුවක් කෙරෙන්නේ 1914 වසරේ සිටයි. එතැන් සිට අද දක්වාම තයිපොංගල් දිනය ලංකාවේ පොදු නිවාඩු දිනයක්.

සිංහල අලුත් අවුරුද්ද වගේම දෙමළ අලුත් අවුරුද්දත් ආරම්භ වෙන්නේ මේෂ සංක්‍රාන්තියෙන්. ලංකාවේ, ඉන්දියාවේ හා කලාපයේ තවත් රටවල භාවිතා වන සූර්ය දින දර්ශන අනුව මේෂ සංක්‍රාන්තියෙන් ඇරඹෙන පළමු මාසය ජ්‍යොතිෂ්‍යයේදී හැඳින්වෙන්නේ මේෂ රවි මාසය ලෙසයි. තයිපොංගල් දිනය වගේම තමිල් පුතාන්ඩු දිනයත් තමිල්නාඩු ප්‍රාන්තයේ නිවාඩු දිනයක්. ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත ගණනාවකම හා තවත් නැගෙනහිර ආසියානු රටවල් ගණනාවකම විවිධ නම් වලින් මේෂ සංක්‍රාන්තිය සමරනවා.

අවුරුද්දේ ඉතිරි මාසද මේ අයුරින්ම පිළිවෙලින් රාශි චක්‍රය අනුව නම් කර තිබෙනවා. ඒ අනුව, දහවන මාසය මකර රවි මාසයයි. දෙමළ දින දර්ශනය අනුව මකර රවි මාසය තෛ මාසය ලෙස හැඳින්වෙනවා. සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට යාමත් සමඟ මේ මාසය ඇරඹෙනවා. ඒ සංසිද්ධිය මකර සංක්‍රාන්තිය ලෙස හැඳින්වෙනවා. තෛපොංගල් නමින් සැමරෙන්නේත් මේ මකර සංක්‍රාන්තියමයි.

නිරයන ජ්‍යෝතිෂ්‍යය අනුව සූර්යයා උත්තරායනය ආරම්භ කරන දවස තෛපොංගල් හෙවත් මකර සංක්‍රාන්ති දවසයි. එහෙත්, දැන් සැබැවින්ම සූර්යයා උත්තරායනය ආරම්භ කරන්නේ දෙසැම්බර් 21 ආසන්න දිනයකයි. නිරයන ජ්‍යෝතිෂ්‍යය නක්ෂත්‍ර වර්ෂය මත පදනම් වීමත්, නක්ෂත්‍ර වර්ෂයක් නිවර්තන වර්ෂයකට වඩා මිනිත්තු 20ක් පමණ දිගු වීමත් නිසා මේ පරතරය වසරින් වසර වැඩි වෙනවා. ක්‍රිස්තු වර්ෂ 543දී පමණ ජ්‍යෝතිෂ්‍යයෙහි සායන නිරයන භේදය ඇති වන කාලයේ සිදු වීම් දෙකම සිදු වී තිබෙන්නේ එකවරයි. ඒ කාලයේදී මේෂ සංක්‍රාන්තිය සිදු වී තිබෙන්නේ වසන්ත විෂුවය සිදුවීමට සමගාමීවයි.

තෛපොංගල් යන වචනයේ මුල් කොටස හැදී තිබෙන්නේ අදාළ මාසයේ නමින්. එහි දෙවන කොටසින් අදහස් වෙන්නේ දෙමළ ජාතිකයින් විසින් බොහෝ විට උත්සව අවස්ථා වලදී හදන ගිතෙල්, මුං ඇට, හකුරු ආදිය මුසු කිරිබතයි. සිංහලයින් දැන් අවුරුදු කිරිබතට වැඩිපුර දේවල් එකතු කරන්නේ නැතත් සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ තවමත් තිබෙන්නේ හකුරු, ගිතෙල්, තල වැනි වෙනත් දෑද මිශ්‍ර කිරිබතක් හදා ගත යුතු බවයි.

ලංකාවේ රාජ්‍ය නායකයින් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයින් වුවත් ඔවුන් තෛයිපොංගල් උත්සවය සැමරීම වරද්දන්නේ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද අද මෝදර ශ්‍රී වෙන්කටේෂ්වරන් මහා විෂ්ණු දේවාලයේදී හින්දු බැතිමතුන් සමඟ තෛයිපොංගල් උත්සවය සැමරීම සඳහා එක් වී තිබෙන අතර සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂ නායක කාර්යාලයේදී තෛයිපොංගල් සැමරුමක් පවත්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ තෛපොංගල් දින නිවේදනය පහත තිබෙනවා.

"ලෝකවාසී දෙමළ ජනතාව මහත් හරසරින් පිළිගන්නා තෛපොංගල් මංගල්‍යය සමරන ශ්‍රී ලාංකේය දෙමළ සහෝදරත්වය සමග මම ද සතුටින් එක්වෙමි.

තෛපොංගල් උත්සවයත් සමඟ අන්‍යොන්‍ය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇති වන නවමු බැඳීම පවුල් ඒකකයේ සිට සමස්ත සමාජය පුරා විහිද යයි. එමගින් දෙමාපිය දූදරු, ගුරු දෙගුරු ඥාති හිතමිත්‍රාදීන් මෙන්ම, පාලකයන් පාලිතයන් අතර ද මානව ගුණයෙන් යුතු සාමාජයීය බැඳීම තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මාගේ විශ්වාසය යි.

තෛපොංගල් දින වන්දනාවට පාත්‍ර වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුරු දුරලන ආලෝකයත් වන්නේ යම් සේද, උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතය ද ප්‍රභාමත් වේවා යි ප්‍රාර්ථනය කරමි!"


(Image: https://twitter.com/USAmbSLM/status/1217272764668809216/photo/1)

Sunday, November 10, 2019

අයෝධ්‍යා තීන්දුව


මුළු මහත් ඉන්දියාවම ඇස් දල්වා බලා සිටි අයෝධ්‍යා අර්බුදයේ ගමන් මාර්ගයේ සුවිශේෂී මං සලකුණක් සටහන් කරමින් අර්බුදයට මුල්ව ඇති බිම්කඩේ අයිතිය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ හින්දූන්ට ලබා දුන්නා. මේ තීන්දුවෙන් පසු ආගමික ගැටුම් ඇති වීම වලක්වනු පිණිස ඉන්දීය රජය හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඉන්දියාවේ ජනගහනයෙන් 80%ක් පමණ හින්දූන් වුවත් ඉන්දුනීසියාව හැරුණු විට ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහණයක් සිටින රටත් ඉන්දියාවයි. මේ ආගමික කණ්ඩායම් දෙක අතර ගැටුම් ඉන්දියාවට අලුත් දෙයක් නෙමෙයි. හින්දූන් හා මුස්ලිමුන් අතර කාලයක් තිස්සේ පවතින අයෝධ්‍යා අර්බුදයත් සියවස් කිහිපයක් ඈතට දිවෙන්නක්.

හින්දු ආගමික සාහිත්‍යයට අනුව විෂ්ණුගේ සත්වන අවතාරය රාම. රාමායනය අනුව රාම ඉපදී තිබෙන්නේ අයෝධ්‍යා නගරයේ. බුද්ධ කාලයේ සාකේත නුවර සේ හැඳින්වී තිබෙන්නේත් මේ අයෝධ්‍යාවයි. සාකේත සූත්‍රය දේශනා කර තිබෙන්නේ මේ ආසන්න අඳුන් වනයේ සිටයි.

අයෝධ්‍යා අර්බුදයට හේතු වූයේ 1992දී විනාශ කරනු ලැබූ බාබුර් මුස්ලිම් පල්ලියයි. මේ පල්ලිය ඉදි කර ඇති සේ සැලකෙන්නේ 1528දීයි. හින්දු පාර්ශ්වයට අනුව, රාම ඉපදී තිබෙන්නේ හරියටම මේ මුස්ලිම් පල්ලිය තිබෙන තැනයි. ඔවුන් විශ්වාස කරන ආකාරයට පල්ලිය හදා තිබෙන්නේ පෙර එම ස්ථානයේ වූ රාම දෙවොලක් මතයි.

බාබුර් පල්ලිය පිහිටි බිමට අක්කර 2.77ක භූමියට හින්දූන් අයිතිවාසිකම් කියන්නේ දහනවවන සියවසේ මැද සිටයි. ඉංග්‍රීසින් විසින් පල්ලිය ඇතුලේ මුස්ලිමුනටත්, පල්ලියෙන් පිටත කොටසක හින්දූන්ටත් ආගමික වතාවත් කිරීමට වෙන් කර දී තිබියදී 1949දී හින්දූන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පල්ලියට ඇතුළු වී එහි රාම සීතා ප්‍රතිමා තැන්පත් කිරීමෙන් පසුව ප්‍රශ්නයේ වත්මන් අදියර ආරම්භ වෙනවා. ජවහර්ලාල් නේරු විසින් මේ ප්‍රතිමා ඉවත් කරන්න උත්සාහ කළත් එය කළ හැකි වන්නේ නැහැ.

විශ්ව හින්දු පර්ෂද් ක්‍රියාකාරිකයින් මුල් වී 1992 දෙසැම්බර් 6 වනදා බාබුර් පල්ලිය විනාශ කර දමන අතර ඉන් පසු ඇතිවන ආගමික ගැටුම් හේතුවෙන් දෙදහසක පමණ පිරිසක් මිය යනවා. ඉන්පසුව හින්දු ආගමික සංවිධාන දෙකක් හා මුස්ලිම් ආගමික සංවිධානයක් ස්ථානයේ අයිතිය වෙනුවෙන් නඩු මගට යනවා. 2003දී සිදු කරන පුරා විද්‍යා කැනීම් අනුව මුස්ලිම් පල්ලිය පිහිටි තැන ඊට සියවස් කිහිපයකට පෙර සිට වෙනත් ආගමික ගොඩනැගිල්ලක් තිබී ඇති බව පෙනී යනවා. එහෙත් එය රාම දෙවොලක්ද, ශිව දෙවොලක්ද එසේත් නැත්නම් බෞද්ධ විහාරයක්ද යන්න විවාදිත කරුණක්.

පුරා විද්‍යා කැණීම් අනුව භූමියට හින්දු අයිතියද පිළිගනිමින් 2010 සැප්තැම්බරයේදී අලහබාද් මහාධිකරණය විසින් අදාළ බිම්කඩ සම කොටස් තුනකට බෙදා හින්දු සංවිධාන දෙකක් හා මුස්ලිම් සංවිධානයක් අතර බෙදා දෙනවා. එහෙත්, අදාළ පාර්ශ්ව මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙනියනවා. අද (නොවැම්බර් 9) ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව රාම ජන්ම භූමියේ අයිතිය මුළුමනින්ම හින්දු පාර්ශ්වයට ලැබෙන අතර මුස්ලිම් පල්ලිය හදා ගැනීම සඳහා වෙනත් තැනකින් ඉඩම් අක්කර පහක් ලබා දී තිබෙනවා. මේ සමඟ අයෝධ්‍යාවේ රාම දෙවොලක් සෑදීම පිළිබඳ නරේන්ද්‍ර මෝදිගේ ඡන්ද පොරොන්දුවක්ද ඉටු කිරීමට ඉඩකඩ සැලසෙනවා.

මේ තීන්දුව පිළිබඳව මුස්ලිම් පාර්ශ්වය සතුටු නොවන බව කිව යුතු නැහැ. සිකුරාදා රාත්‍රියේ දැනුම් දී සෙනසුරාදා උදේ තීන්දුව ප්‍රකාශ කර තිබෙන්නේ කිසිදු පාර්ශ්වයකට ආගමික ගැටුම් සඳහා සංවිධානය වීමට ඇති ඉඩකඩ අහුරන්නයි. ඊට අමතරව ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක පාසැල් හා සරසවි වසා හමුදා සීරුවෙන් තබා තිබෙනවා.

Wednesday, October 30, 2019

සිදුරු ළිඳේ ඛේදවාචකය හා ඇපලෝ මානසිකත්වය


ඇපලෝ මානසිකත්වය කියන සංකල්පය ගැන මම මුලින්ම දැනගත්තේ අනූව දශකයේදී කොළඹ සරසවියේ පශ්චාත් උපාධි දේශනයකදී. දේශකයා විසින් විස්තර කළ ආකාරයට මෙය හැත්තෑව දශකයේ මුල් කාලයේ සංකල්පයක්.

අනූව දශකයේදී ගුවන් ප්‍රවේශපතක් මිල දී ගන්න අවශ්‍ය වූ බොහෝ දෙනෙක් එය කළේ ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයෙකු හරහා. ලංකාවේ බොහෝ දෙනෙක් තවමත් ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයින් හරහා ප්‍රවේශපත් මිල දී ගන්නවා. මමනම් පසුගිය වසර දහයක හෝ ඊටත් වැඩි කාලය ඇතුළත ගුවන් ප්‍රවේශපත් මිල දී ගෙන තිබෙන්නේ අන්තර්ජාලය හරහා පමණයි. එය පහසුයි වගේම ලාබයි.

ප්‍රයිස්ලයින්, කයාක් වගේ සමාගම් කාලයක සිට අන්තර්ජාලය හරහා ගුවන් ප්‍රවේශපත් විකුණනවා. ශ්‍රීලන්කන් ඇතුළු ගුවන් සමාගම්ද සෑහෙන කාලයක සිට මේ වැඩේ කරනවා. එහෙත්, ගුවන් සමාගම් ප්‍රමුඛතාවය දෙන්නේ තමන්ගේ හා හවුල්කාර ගුවන් සමාගම් වල ප්‍රවේශපත් විකිණීමට පමණක් නිසා එහි පහසුවක් මිස ලොකු ලාබයක් නැහැ. ප්‍රයිස්ලයින්, කයාක්  වගේ වෙබ් අඩවියකට ගිය විට ගුවන් සමාගම් විශාල ගණනක මිල ගණන් සසඳා බැලිය හැකියි. මෙවැනි අන්තර්ජාල වෙළඳාම් ප්‍රචලිත වෙන්න කලින් ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයින් අතින් සිදු වුනෙත් ඔය කටයුත්තයි.

ගුවන් සමාගම් විසින් ප්‍රවේශපත් නිකුත් කිරීම ස්වයංකරණය කිරීම පටන් අරන් තියෙන්නේ හැටේ දශකයේදී වුවත් ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයින්ට සෘජුවම ගුවන් සමාගමක් වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කරන්න හැකි වී තිබෙන්නේ 1976 සිටයි. ඒ යුනයිටඩ් ගුවන් සමාගම විසින් වැඩි දියුණු කළ ඇපලෝ ගුවන් ආසන වෙන් කිරීමේ පද්ධතිය භාවිතා කිරීමේ අවස්ථාව ගුවන් ප්‍රවේශපත් නියෝජිතයින්ටත් ලැබීමෙන් පසුවයි.

ඇපලෝ ගුවන් ආසන වෙන් කිරීමේ පද්ධතිය හා තවත් එවැනිම එකක් වූ ඇමරිකන් ගුවන් සමාගමේ සේබර් මධ්‍යම ආසන වෙන් කිරීමේ පද්ධතියත් හේතුවෙන් ඇමරිකන් හා යුනයිටඩ් ගුවන් සමාගම් වැඩි වැඩියෙන් ගුවන් මගීන් ආකර්ශනය කර ගනිමින් සිටිද්දී එයට ප්‍රතිචාරයක් ලෙස යුරෝපීය ගුවන් සමාගම් නවයක් එකතු වී 1987දී ගැලීලියෝ ගුවන් ආසන වෙන් කිරීමේ පද්ධතිය නිර්මාණය කරනවා. ඉන් පසුව, 1992දී ගැලීලියෝ හා ඇපලෝ පද්ධති එක පද්ධතියක් ලෙස සම්බන්ධ කෙරෙනවා. 2000 වසර වන විට ලෝකය පුරා අලෙවි වූ ගුවන් ප්‍රවේශපත් වලින් හතරෙන් එකක් පමණ අලෙවි වී තිබෙන්නේ මේ පද්ධතිය හරහා. මා ඉහත දේශනයට සවන් දෙන කාලයේ ලංකාවේ ගුවන් ප්‍රවේශපත් නියෝජිතයින් බොහෝ දෙනෙකු විසින්ද මේ ගැලීලියෝ/ඇපොලෝ පද්ධතිය භාවිතා කළා.

ලෝකයේ ගුවන් සමාගම් ගණනාවක් විසින් ලෝකය පුරා ඇති ගුවන් තොටුපොල ගණනාවක් අතර පවත්වාගෙන යන ගමන් වාර සම්බන්ධීකරණය කරමින් ලෝකය පුරා විසිරී සිටින ගුවන් ප්‍රවේශපත් නිකුත් කිරීමේ නියෝජිතයින් අති විශාල පිරිසක් විසින් එකම ආසනය දෙදෙනෙකුට නොවිකුණා සමාන්තරව ගුවන් ප්‍රවේශපත් විකිණීම අද තාක්ෂනය අනුව සරල දෙයක් වුවත් ඒ කාලයේ හැටියට සෑහෙන දෙයක්. මා සවන් දුන් දේශනයේදී කතා කළේ එවැනි සංකීර්ණ මෘදුකාංගයක් හදා තිබීම ගැනයි. දේශකයා විසින් ඇපොලෝ මානසිකත්වය කියන සංකල්පය ගැන කතා කළේ මේ හා අදාළවයි.

ඇපොලෝ මධ්‍යම ප්‍රවේශපත් වෙන් කිරීමේ පද්ධතිය වගේ ඉතා සංකීර්ණ මෘදුකාංගයක් සාර්ථකව හදන්න පුලුවන්නම්, ඊට වඩා ගොඩක් සරල මෘදුකාංගයක් හරියට හදා ගන්න බැරි ඇයි? ඔන්න ඕකයි ඇපොලෝ මානසිකත්වය.

මේ දේශනයේදී වැඩි බරක් තිබ්බේ ඇපොලෝ මධ්‍යම ප්‍රවේශපත් වෙන් කිරීමේ පද්ධතියට වුනත් ඔය සංකල්පය බිහි වෙලා තිබෙන්නේ ඇමරිකාවේ නාසා ආයතනයේ ඇපොලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය හා අදාළවයි. සාර්ථක ව්‍යාපෘතියක් සේ බොහෝ දෙනෙක් සලකන ඇපොලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය යටතේ මිනිසුන් ගණනාවක් හඳට ගියා. ඉතා සංකීර්ණ කටයුත්තක් වන මිනිහෙක් හඳට යැවීම සාර්ථකව කරන්න පුලුවන්නම් ඊට වඩා ගොඩක් සරල සූපිං වැඩ අනාගන්නේ ඇයි? ඔන්න ඇපොලෝ මානසිකත්වය.

ඔය දේශනයෙන් පස්සේ නැවත කවදාවත් අහන්න නොලැබුණු ඇපොලෝ මානසිකත්වය කියන අදහස නැවත මතක් වුනේ සුජිත් විල්සන් ඛේදවාචකයෙන් පසු බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාර දැකලයි. නමුත්, දැන් සොයා බැලු විට මේ සංකල්පය ගැන ගූගල් දෙයියාවත් දන්නේ නැහැ.

ඇපොලෝ මානසිකත්වය ගැන මා පෙර කී දේශකයා විසින් පැහැදිලි කරපු ආකාරයට මේ මානසිකත්වය නිවැරදි එකක් නෙමෙයි. ඇපොලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය, ඇපොලෝ මධ්‍යම ප්‍රවේශපත් වෙන් කිරීමේ පද්ධතිය වගේ සංකීර්ණ ව්‍යාපෘති ඉතා සාර්ථකව අවසන් කරලා තිබෙන එක ඇත්ත. නමුත්, මෙවැන්නක් වෙන සූපිං වැඩක් එක්ක සංසන්දනය කිරීමේදී මේ ව්‍යාපෘති සඳහා ගත කළ කාලය, වැය කළ මුදල් කන්දරාව, සම්බන්ධ වූ මිනිස්සු ගණන ආදිය අපි පහසුවෙන් අමතක කරනවා. ඒ වගේම, මෙවැනි ව්‍යාපෘති කිහිපයක් සාර්ථක වෙද්දී එවැනිම සම්පත් ප්‍රමාණයක් යොදවා අසාර්ථක වූ ව්‍යාපෘතිත් අමතක කරනවා. ඔන්න ඇපොලෝ මානසිකත්වය.

දැන් අර දරුවා බේරගන්න බැරි වීම ගැන තිබෙන ප්‍රචලිත අදහසක් වන්නේ හඳට යන්න පුළුවන් ඉන්දියාවට අඩි අනූවක් යට හිර වී සිටි දරුවා බේරගන්න බැරි වුනා කියන එකයි. ඔතන තියෙන්නෙත් ඇපොලෝ මානසිකත්වය. සමහර සූපිං වැඩ (වගේ පෙනෙන වැඩ) ගොඩක් සංකීර්ණ වැඩ වලට වඩා අමාරුයි.

ඉන්දියාව හඳට යානයක් යැවුවා තමයි. නමුත්, ඒක දවස් දෙක තුනක් ඇතුළත සිදු වූ දෙයක් නෙමෙයි. චන්ද්‍රයාන්-2 ව්‍යාපෘතිය දශකයකට වැඩි කාලයක් තිස්සේ සිදු වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වුනා වගේම විශාල පිරිසක් සම්බන්ධ වුනා. ඒ තරම් කාලයක් තිස්සේ සැලසුම් කරලත්, ඒ තරම් සම්පත් යොදවලත් අන්තිම මොහොතේදී අවුලක් වුනා. ඉන්දියාවට වික්‍රම් ලෑන්ඩරය සාර්ථක ලෙස හඳට ගොඩ බස්වන්න බැරිවුනා. එය කඩා වැටුණු බවයි සැලකෙන්නේ.

ඇමරිකාවේ අභ්‍යාවකාශ ව්‍යාපෘති ගත්තත් අසාර්ථක වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. චැලෙන්ජර් ඛේදවාචකය මතක ඇතිනේ. ඔය ඇපලෝ-11 ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන වුවත් අවසන් මොහොත දක්වාම විශාල සැක සංකා තිබී තිබෙනවා.

සුජිත් විල්සන් සිදුරු ළිඳකට වැටී මිය ගිය එකම ඉන්දියානු දරුවා නෙමෙයි. පසුගිය වසර කිහිපය තුළම වුවත් ඉන්දියානු දරුවන් ගණනාවක් සිදුරු ලිං වලට වැටී මිය ගොස් තිබෙනවා. ඒ වගේම, තවත් දරුවන් ගණනාවක් මෙලෙස සිදුරු ලිං වලට වැටීමෙන් පසුව බේරාගෙන තිබෙනවා. ඇතැම් දරුවන් පණ පිටින් ගොඩට ගත්තත් පසුව රෝහලේදී මිය ගොස් තිබෙනවා. මේ සිද්ධිය විශේෂ වන්නේ එයට වැඩි මාධ්‍ය අවධානයක් ලැබීම නිසයි.

ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ සිට සාමාන්‍ය මිනිසුන් දක්වා විශාල පිරිසක් මේ සිද්ධියේදී තමන්ට කළ හැකි දේ කර තිබෙනවා. ඔවුන් හිතා මතා දරුවාට මැරෙන්න ඇර නැහැ. මෙවැනි තැනක හිර වූ දරුවෙකු ගොඩ ගැනීම හඳට යානයක් යැවීම හා සසඳා සූපිං වැඩක් කියා කියන්න බැහැ. එය සංකීර්ණ කටයුත්තක්. කිසියම් විශේෂඥතාවයක් ඇති අය දරුවා බේරා ගැනීමේ කටයුත්තට සම්බන්ධ වී තිබෙනවා. නමුත්, කාගේත් අවාසනාවට අවසානයේදී වැඩේ සාර්ථක වී නැහැ.

ලංකාවේත් බොහෝ දෙනෙක් මැතිවරණ ප්‍රතිඵලයක්, ක්‍රීඩා තරඟයක් නරඹන අයුරින් මේ දරුවා බේරා ගැනීමේ ක්‍රියාවලිය දෙස බලා සිට ඇති බව පේනවා. ඈත සිට වුවත් එසේ බලා සිටින තරමට බලා සිටින කෙනෙකුට වියදමක් යනවා. දත්ත වල මුදල් වියදම අමතක කළත්, මෙවැන්නක් වෙනුවෙන් යොදවන කාලයේ ආවස්ථික පිරිවැය විශාලයි. දරුවා බේරා ගැනීම පමා වෙන තරමට වියදම ඉහළ යනවා. මෙසේ ඈත සිට මෙවැනි දෙයක් නරඹන කෙනෙක් විසින් කරන්නේ ආයෝජනයක්. යමෙක් ආයෝජනයක් කරන්නේ ලාබයක් බලා ගෙනයි. මැතිවරණයකදීනම් ඒ ලාබය තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ සතුට. ක්‍රීඩා තරඟයකදීනම් ඒ ලාබය තමන් කැමති කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ සතුට.

මැතිවරණයකදී හෝ ක්‍රීඩා තරඟයකදී නරඹන්නන් හැම දෙනෙකුගේම සතුට තිබෙන්නේ එකම තැනක නෙමෙයි. එක් එක් පුද්ගලයා තමන්ගේ කාලය ආයෝජනය කරන්නේ වෙනස් අපේක්ෂකයින් හෝ කණ්ඩායම් වෙනුවෙන්. ඒ නිසා, වැඩේ අවසන් වෙන්නේ කවුරු හෝ පිරිසකට ලාබයක් ලබා දෙමින්. නමුත්, මේ වගේ මානුෂික කරුණකදී තත්ත්වය වෙනස්. පැත්තක සිට බලා සිටින හැම දෙනෙක්ම බලා සිටින්නේ දරුවාව බේරා ගන්නා තුරුයි. දරුවාව බේරා ගන්න හැකි වුනානම් සියලු දෙනාටම වෙන්නේ වාසියක්. නමුත්, සිදු වුනේ එහි විලෝමයයි.

දරුවා බේරා ගැනීමේ මෙහෙයුම කල් ගන්නා තරමට පැත්තක සිට බලා ඉන්න අයගේ ආයෝජනය ඉහළ යනවා. දරුවාගේ ජීවිතයේ වටිනාකම තව තවත් වැඩි වෙනවා. කතාව කෙළවර වෙද්දී බලා සිටි සියල්ලන්ටම විශාල පාඩුවක් වෙලා. ඔවුන් සියල්ලන්ම මානසිකව කඩා වැටෙනවා. එයින් ගැලවෙන්න කවුරු හෝ වැරදිකරුවෙක් අවශ්‍යයි. ඇපොලෝ මානසිකත්වය එළියට එන්නේ ඒ පසුබිමේදී.

මේ දරුවා පහළට වැටී තිබෙන්නේ අඟල් කිහිපයක සිදුරක් ඇතුළෙන්. ඒ තුළින් වෙනත් අයෙකුට දරුවා වෙත යන්න බැහැ. දරුවා ඉන්නේ ඔහුව බේරා ගන්න උත්සාහ කරන අයට සහයෝගය දිය හැකි වයසක නෙමෙයි. කඹයක් දැම්මා කියා එය අල්ල ගන්නවත් ඔහුට තේරෙන්නේ නැහැ. ඒ වුනත් හිර වී සිටින්නේ පණ තියෙන දරුවෙක් නිසා පණ නැති දෙයක් වගේ දරුවාව ඇදලා ගන්නත් බැහැ. හිතහිතා ඉන්න ලොකු කාලයකුත් නැහැ. මේ වගේ වෙලාවක තිබෙන විකල්ප සීමිතයි. හඳට යානයක් යවද්දී වගේ ලොකු සැලසුම් හදන්න කාලයක් නැහැ.

දරුවා බේරා ගන්න යොදාගෙන තිබෙන ක්‍රම දෙකම මීට පෙර සාර්ථක වී තිබෙන ක්‍රම. නමුත්, අවාසනාවට මෙවර වැඩේ සාර්ථක වී නැහැ. මෙවැනි සිදුරු ළිඳක් හදන්නේ පොළොවේ මතුපිට පෘෂ්ඨය ඉතාම තද තැන් වලයි. මතුපිට තිබෙන පාෂාණයක් හෝ වෙනත් තද පසක් අඩි ගණනක් සිදුරු කළාට පස්සේ පහළ ස්ථරය ලිහිල් පස්. මේ සිද්ධියේ විශේෂත්වය වන්නේ මුලින් දරුවා අඩි 26ක් පමණ දුරකින් සිර වී සිටීමයි. දරුවා බේරා ගැනීම සඳහා යන්ත්‍ර මගින් සමාන්තර සිදුරු කැණීමට යාමේදී පස බුරුල් වී දරුවා පහළට වැටෙන්නට ඉඩ තිබීම ගැන දරුවා බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ අය මුලින් සැලකිලිමත් වී තිබෙනවා. පළමු ක්‍රමය යොදා ගෙන තිබෙන්නේ ඒ නිසයි. අදාළ උපාංගය නිර්මාණය කර තිබෙන පුද්ගලයාගේ දරුවෙකුත් මීට පෙර මෙවැනි සිදුරු ලිඳකට වැටී ගොඩ ගෙන තිබෙන්නේ ඉතා අසීරුවෙන්. ඔහු උපාංගය නිර්මාණය කර තිබෙන්නේ ඉන් පසුවයි. කෙසේ වුවත්, මෙහිදී අන්තිමේදී සිදු වී තිබෙන්නේ දරුවා තවත් පහළට වැටීමයි. සමාන්තර ළිං කැණීම කෙරෙහි යොමු වී තිබෙන්නේ ඉන් පසුවයි.

මේ සමාන්තර ලිං ක්‍රමය මීට පෙර වාර ගණනාවක් සාර්ථක වී ඇති ක්‍රමයක්. උඩ ඡායාරූපයේ දැකිය හැක්කේ මාස කිහිපයකට පෙර අඩි 60ක සිදුරු ළිඳකට වැටුණු හර්යානා ප්‍රාන්තයේ මාස 18ක දරුවෙකු මේ ක්‍රමයට පැය 47කට පසු බේරාගත් අවස්ථාවයි. ශල්‍යකර්මයකට භාජනය කෙරෙන ඇතැම් රෝගීන් මිය යන්නේ අදාළ වෛද්‍යවරයාගේ වරදක් නිසා නෙමෙයි. මෙහිදී සිදු වී තිබෙන්නේත් එවැන්නක්.

කොහොම වුවත් මේ ආකාරයට වසරකට දරුවන් ගණනක් සිදුරු ළිං වලට වැටීමනම් ප්‍රශ්නයක්. වැටෙන ළමයින් බේරා ගන්න උපකරණ හදනවාට වඩා වැදගත් වන්නේ මේ විදිහට ළමයින් සිදුරු ළිං වලට වැටෙන එක වලක්වා ගැනීමයි. ඒ වෙනුවෙන් නීති පවා පනවා ඇතත් එම නීති ක්‍රියාත්මක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. නීති තිබුණත්, නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීම ලංකාව, ඉන්දියාව වැනි රටවල පොදු ප්‍රශ්නයක්.

කොහොම වුනත් මේ අනාරක්ෂිත අත් හැර දැමූ සිදුරු ළිං ගැන ආණ්ඩුවට දොස් කියන එක තේරුමක් නැහැ. ඔය වගේ වලවල් වහමින් ඉන්න එක ආණ්ඩුව විසින්ම කළ යුතු නැහැ. තමන්ගේ ළමයින් සෙල්ලම් කරන තැන් වල සිදු විය හැකි මෙවැනි අනතුරු ගැන සැලකිලිමත් වීම දෙමවුපියන්ගේ වගකීමක්. විශේෂයෙන්ම මෙවැනි අනතුරු දුලබ නැති වටපිටාවක. කොයි තරම් ගැඹුරු හා භයානක වුවත්, මෙවැනි ලිඳක මතුපිට සිදුර ඉතා කුඩා එකක්. තරමක ගලක් හෝ ලෑල්ලක් දමා මෙවැනි සිදුරක් වැසීම විනාඩි කිහිපයක වැඩක්. වැටක් ගහන්න වුවත් පුළුවන්. තමන්ගේ දරුවන්ගේ ජීවිතාරක්ෂාව ගැන සැලකිල්ලක් නැතිව, බල්ලෝ බළල්ලු මෙන් ඔහේ ළමයි හදන දෙමවුපියන් සිටීම අනාරක්ෂාකාරී සිදුරු ළිං වලටත් වඩා ප්‍රශ්නයක්.

අනිත් එක මේ වගේ දේවල් වෙන්නේ ඉන්දියාවේ විතරක් නෙමෙයි. පසුගිය දවස් වල ගම්පොළ පැත්තෙන් අතුරුදහන් වූ තරුණ ගුරුවරියගේ සිරුර දවස් කිහිපයකට පසු හමුවුනේ සැතපුම් ගණනක් ඈත ජලාශයකින්. ඇය පාර අයිනේ කාණුවකට වැටී මේ ඉරණම අත් වෙන්නට ඇති බව සඳහන්ව තිබුණා. ඒ කරුණ තහවුරු වී නැතත්, එම කාණු සිදුරටම වැටුණු වෙනත් තරුණියක් ජීවිතය බේරා ගෙන තිබෙන්නේ ඉතා අසීරුවෙන් බව වාර්තා වී තිබුණා. මේ වගේ දේවල් වලක්වා ගැනීමනම් රොකට් යවන තරම් අමාරු නැහැ.

Sunday, October 27, 2019

ඔක්තෝබර් කුමන්ත්‍රණයට අවුරුද්දයි!


ජනාධිපති සිරිසේන විසින් සිදු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට මේ වන විට වසරක් ගත වී තිබෙනවා. මේ කුමන්ත්‍රණය මහින්ද හා මෛත්‍රී එක්ව සිදු කළ බවත්, කුමන්ත්‍රණයට එරෙහිව විවිධ බලවේග පෙළ ගැසී අවසානයේදී දින පනස් එකකට පසු කුමන්ත්‍රණය පරාජය කරනු ලැබීම මහින්ද-මෛත්‍රී පිලේ පරාජයක් බවත් එම පිලේ මෙන්ම ප්‍රතිවිරුද්ධ පිළේ බොහෝ දෙනෙකුගේ අදහසයි. ඇත්තටම මේ කුමන්ත්‍රණය මහින්ද-මෛත්‍රී පාර්ශ්ව වල සැලසුමක්ද? එහෙම නැත්නම්, ඔවුන්ද නොදැන ඔවුන් වෙන කාගේ හෝ සැලසුමක ඉත්තන් වුනාද?

මා දන්නා තරමින් ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී සිදු වූ ආකාරයට ජනාධිපති සිරිසේන විසින් රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කර මහින්දව එම ධුරයට පත් කළ යුතු බවත්, ව්‍යවස්ථාව අනුව එසේ කළ හැකි බවත්, මුලින්ම කරුණු සහිතව පැහැදිලි කරමින් යෝජනා කළේ නලින් ද සිල්වා විසිනුයි. පහත තිබෙන්නේ ඔහු විසින් 2017 නොවැම්බර් 25 දින පළ කළ ලිපියක්.

ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි

ඉහත ලිපියෙන් නලින් ද සිල්වා විසින් යෝජනා කළේ කඩිමුඩියේ ගෙන ආ දහනවවන සංශෝධනයේ තිබෙන පරස්පර වල වාසිය ගනිමින් මෙය කළ හැකි බවයි.

රනිල්ව ඉවත් කිරීම ගැන ඒ වන විටත් කාලයක් තිස්සේ කතා කරමින් සිටිය ඔහු මේ කරුණ දිගින් දිගටම අවධාරණය කරන්න පටන් ගත්තේ 2018 පෙබරවාරියේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණ වලින් පසුවයි. පහත ලිපිය ඔහු විසින් පළ කර තිබුණේ 2018 පෙබරවාරි 17 වනදා.

ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි

එම ලිපියේ ඔහු විසින්ම "දේශපාලනඥයන් ජනමාධ්‍යවේදීන් මුහුණු පොතේ පඬි පෝතකයන් මා ලියන කිසිවක් සතපහකට ගණන් ගන්නෙ නැහැ." යනුවෙන්ද ලියා තිබුණා. ඔහුගේ එම ප්‍රකාශය අවතක්සේරුවක් බව පැහැදිලි වුවත්, අගමැති ඉවත් කිරීමේ ඔහුගේ යෝජනාව මාස හතකට පසු සැබෑවක් වේයැයි මා හිතුවේ නැහැ. අඩු වශයෙන් ඔහු හෝ එසේ සිතුවාදැයි සැක සහිතයි.

එක පැත්තකින් නලින් ද සිල්වාගේ යෝජනාවේ බරපතල අඩුපාඩු තිබුණා. ඔහු තර්කනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අර්ථනිරූපණය කරන්න උත්සාහ කළත්, තර්කනය මේ වගේ කරුණකදී යොදාගන්නා එක් මූලධර්මයක් පමණක් වීමත්, මහින්ද-මෛත්‍රී වටා නීති විශාරදයින් ගණනාවක් සිටීමත් නිසා නලින් ද සිල්වාගේ යෝජනාව සැබෑවක් වීමේ ඉඩක් පිළිබඳ සැකයක් එසේ සිදුවන තුරුම මට තිබුණේ නැහැ. ආණ්ඩු වෙනස නලින් ද සිල්වාගේ යෝජනාවක් වුවත්, අවසානයේදී ආණ්ඩු වෙනස සිදු වුනේ ඔහු නිසා කියා කියන්න බැහැ.  ඔහුගේ යෝජනාව අවසානයේදී කාගේ හෝ සැලසුමක කොටසක් වුනා.

ඔක්තෝබර් කුමන්ත්‍රණය හා ආසන්නව සුවිශේෂී සිදුවීම් කිහිපයක් සිදු වුනා. රෝ ඔත්තුකරුවෙකු විසින් තමන්ව (හා ගෝඨාභය රාජපක්ෂව) ඝාතනය කිරීමට සැලසුමක් ඇති බව ජනාධිපති සිරිසේන විසින් ඔක්තෝබර් 16 දින කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තා වී තිබුණා. පසුව ජනාධිපති සිරිසේන විසින් ඔක්තෝබර් 17 දින දුරකථනයෙන් ජනාධිපති මෝදී අමතා මේ පුවත සාවද්‍ය එකක් බව පවසා තිබුණා. හදිසියේ මතු වූ නාමල් කුමාරනම් අයකුගේ ප්‍රකාශ මත අත් අඩංගුවට ගැනුණු මාර්සලි තෝමස්නම් ඉන්දියානු ජාතිකයෙකු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මානසික රෝගියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව නිදහස් කර මානසික ප්‍රතිකාර සඳහා යවා තිබුණා.

මේ වන විට රනිල් මෛත්‍රී ගැටුමද උඩටම මතු වී තිබුණා. ඔක්තෝබර් 20-22 අතර රනිල් වික්‍රමසිංහ ඉන්දියානු සංචාරයක නිරත වුනා. ඊට පෙර මහින්ද රාජපක්ෂද ඉන්දියාවේ සංචාරය කළා. ඔක්තෝබර් 26 වෙනිදා රනිල්ව ඉවත් කර මහින්දව පත් කෙරුණා. මහින්ද පිලට මුලින්ම ගිය අය අතර වඩිවේල් සුරේෂ් එක් අයෙක්. ඔහු බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්දියානු දෙමළ ප්‍රජාව නියෝජනය කරන්නෙක්. ඉන් පසු, දින කිහිපය තුළ ඔහු දෙපැත්තට දෝලනය වුනා. තවත් කිහිප දෙනෙක්ද පැති මාරු කළා. නොවැම්බර් 3 වෙනදා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සතාසිවම් වියලේන්තිරන් රාජපක්ෂ පිලට මාරු වුනා. මේ ආකාරයට මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් පිල් මාරු කළත්, ඒ වෙලාවේ මහින්දලාට බහුතර මන්ත්‍රීන්ගේ සහයෝගය ලබාගත හැකි ආකාරයේ රැල්ලක් තිබුනේ නැහැ.

ඔක්තෝබර් කුමන්ත්‍රනය සිදු වන විට තිබුණු දේශපාලන වාතාවරණය කොයි වගේ එකක්ද? ඒ වන විට එජාපය බිමටම සමතලා වෙලයි හිටියේ. එජාපය වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නොසිටි තරම්. අනෙක් අතට 44%ක් ලෙස මාධ්‍ය කිහිපයක් හරහා ජනගත කර තිබුණු 40.5%ක ඡන්ද ප්‍රතිශතයෙන් පොදුජන පෙරමුණ හා එම පක්ෂයේ ආධාරකරුවන් හිටියේ ටොප් ෆෝර්ම් එකේ. ඒ වගේම, 2015දී එජාපය එක්ක හිටපු බලවේග එකින් එක හැලී ගිහින් අවසානයේදී ජාතික ආණ්ඩුවේ පාර්ශ්ව දෙකත් ඒ වෙලාවේ දෙපිලකයි හිටියේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයගත්තේ ඉන්දියාවේ හා බටහිර රටවල උදවුවෙන් කියන එක බොහෝ දෙනෙකු විසින් නොයෙක් වර කියා ඇති දෙයක්. විශේෂයෙන්ම මහින්ද පාර්ශ්වයේ අය. ජනාධිපතිවරණය පැවැත්වෙන විටත් එජාපය සතුව විශාල ජන පදනමක් තිබුණේ නැහැ. ද්‍රවිඩ සන්ධානයේ හා ජවිපෙ සහයෝගය නොලැබුනානම් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති වෙන්න ලැබෙන්නේ නැහැ. ද්‍රවිඩ සන්ධානය, ජවිපෙ හා එජාපෙ එකතු වීමෙන් පසුව රාජපක්ෂලා එපා වී සිටි විශාල පිරිසක්ද ඒ පැත්තට විතැන් වුනා. එසේ වුනේ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කිහිප දෙනෙකු පිල් මාරු කළ නිසා නෙමෙයි. එහෙත්, 2015දී රාජපක්ෂලාගෙන් විතැන් වූ ඡන්දදායකයින් පිරිසත්,  අඩු වැඩි වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිල් මාරු කළ පිරිස සිටි දේශපාලන මානසිකත්වයේම සිටි පිරිසක්.

ද්‍රවිඩ සන්ධානය, ජවිපෙ හා එජාපෙ අතර වූ මැතිවරණ සන්ධානය ඒ ආකාරයටම තිබුණේ ජනාධිපතිවරණය අවසන් වන තුරු පමණයි. ද්‍රවිඩ සන්ධානයට හා ජවිපෙට තමන්ගේ අනන්‍යතා හා ඡන්දදායක පදනම් රැකගෙන එජාපය (හෝ වෙනත් ප්‍රධාන පක්ෂයක්) හා එක්ව කටයුතු කළ හැකි සීමාවක් තිබෙනවා. එම පක්ෂ මහ මැතිවරණයට තරඟ කළේ වෙන වෙනමයි.

ජනාධිපතිවරණ ගණිතය හා මහ මැතිවරණ ගණිතය වෙනස්. එජාපය ශ්‍රීලනිපයේ මෛත්‍රී කණ්ඩායම හා එක්ව, ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය වෙන වෙනම තරඟ කරද්දී,  ශ්‍රීලනිපයේ ප්‍රධාන කණ්ඩායමට එරෙහිව මහ මැතිවරණයට ගියානම් 2015 අගෝස්තු අවසන් ප්‍රතිඵලය වෙන්නේ වෙනෙකක්. එය වෙනස් වුනේ මෛත්‍රීපාල සිරිසේන එජනිස සභාපති වීම හා මහින්ද එම ධුරය මෛත්‍රීට භාර දී පැත්තකට වීම සමඟයි. මේ සමඟ ඇති වුනේ විශාල දේශපාලන විකෘතියක්.

මෛත්‍රීපාල සිරිසේන විසින් භාර ගත්තේ තමන්ට එරෙහිම තමන්ගේ ප්‍රතිවාදියාට ඡන්දය දුන් කණ්ඩායමේ නායකත්වයයි. මේ වැඩේට රනිල් වික්‍රමසිංහ වක්‍රව සහයෝගය දුන් බවක් මිසක් විරුද්ධ වූ බවක් පෙනෙන්න තිබුණේ නැහැ. මම හිතන්නේ රනිල්, මෛත්‍රී ඇතුළු බොහෝ දෙනෙකුට වගේම මහින්ද පිලටත් ශ්‍රීලනිපයේ සංකේතාත්මක වටිනාකම පිළිබඳව තිබුණේ අධි තක්සේරුවක්. එතෙක් ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස හැරී බැලූ විට ඒ අධි තක්සේරුව නිවැරදි බව පෙනෙන්නට තිබුණා. 2018 පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන තුරුම වෙනත් බොහෝ දෙනෙක් වගේම මගේ ඇස්තමේන්තුව වුනේත් ශ්‍රීලනිප කියන පක්ෂය සමඟ මීට වඩා විශාල පිරිසක් සිටින බවයි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් තහවුරු වුනේ එය එසේ නොවන බවයි.

පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන විට එජාපයට රටේ 50%ක ඡන්ද නොතිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණු කරුණක් වුවත් ඒ ප්‍රමාණය 29%ක් තරම් පහළ බවක් පැහැදිලිව පෙනෙන්නට තිබුණේ නැහැ. නමුත්, එජනිස ඡන්ද මීට වඩා වෙනස් ලෙස පොදුජන පෙරමුණ හා එජනිසය අතර බෙදුනානම් 40%ක පමණ ඡන්ද ප්‍රතිශතයකින් වුවත් එජාපයට රටේ පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක බලය ලබාගත හැකිව තිබුණා. 2015 අගෝස්තුවේදී එජාපය 45.7%ක ඡන්ද ප්‍රතිශතයකුත්, එජනිසය 42.4%ක ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන තිබුණා.

පළාත් පාලන මැතිවරණ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන එජාපය හා සහයෝගීතාවය ගැන කතා කරමින්ම දිගින් දිගටම එජාපය විවේචනය කිරීමද කළා. එහිදී ඔහුගේ උපක්‍රමය වුනේ එජනිස ඡන්ද පොදුජන පෙරමුණට යාම වැළැක්වීම මිස එජාපයේ ඡන්ද ආකර්ශනය කර ගැනීම නෙමෙයි. එහෙත්, සිදු වුනේ එජනිස ඡන්ද පොදුජන පෙරමුණට යාම හා 2015 අගෝස්තුවේ එජාපය ලැබූ ඡන්ද එජනිසය වෙත විතැන් වීමයි. පළාත් පාලන මැතිවරණ වලදී 29% මට්ටමට වැටුණු එජාපයට තව දුරටත් පැවැත්මක් ඇති බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. යහපාලන ආණ්ඩුව පිහිටුවීමට උදවු කළත්, ඉන් පසුව, විශේෂයෙන්ම බැඳුම්කර වංචාව සිදු වීමෙන් පසුව, දිගින් දිගටම එජාපය විවේචනය කළ ජවිපෙට එජාපයට සෘජුව සහයෝගය දීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම, ද්‍රවිඩ සන්ධානයට උතුරට ගොස් පෙන්විය හැකි එජාපය දෙමළ ජනතාව වෙනුවෙන් කළ සුවිශේෂී දෙයක් තිබුණේත් නැහැ. ඒ වගේම, යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාගේ හොරකම් අල්ලා ඔවුන්ට නඩු දමා තිබුණේ නැහැ. ඒ නිසාත්, එජාපය බැඳුම්කර වංචාවට පැටලීමත් නිසා රාජපක්ෂ විරෝධයේ දේශපාලන වාසිය මේ වන විට තුනී වෙලයි තිබුණේ. ඔක්තෝබර් කුමන්ත්‍රණය සිදු වුනේ මෙවැනි දේශපාලන වටපිටාවකයි.

ඔක්තෝබර් කුමන්ත්‍රණය සමඟ සියල්ල කණපිට හැරුණා. ජවිපෙට, එජාපයට, ද්‍රවිඩ සන්ධානයට මෙන්ම නිර්පාක්ෂිකයින්ටත් නැවත එකට එකතුව කටයුතු කරන්න එයින් අවස්ථාවක් සැලසුණා. රාජපක්ෂලා සමඟ සිටි ඇතැම් අය බලය අපහරණය පිළිබඳ නිදර්ශන රට හමුවේ ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා. වඩිවේල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීමත් සමඟ මන්ත්‍රීවරුන් වෙන්දේසි වීම ගැන කතාබහ මතු වුනා. රංගෙ බණ්ඩාර සිදුවීමෙන් මෙය තහවුරු වෙන්න පෙර සිටම මන්ත්‍රී වෙන්දේසිය ජාත්‍යන්තර අවධානය දිනාගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම ඉදිරියට දමා ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්න ජවිපෙට පදනමක් හැදුනා. සතාසිවම් වියලේන්ද්‍රන්ගේ පිල් මාරුවත් එක්ක ද්‍රවිඩ සන්ධානයට ප්‍රසිද්ධියේ එජාපයට සහයෝගය දිය හැකි පසුබිමක් හැදුනා. 2015දී මෙන් නැවතත් රාජපක්ෂ විරෝධී බලවේග එක කඳවුරකට ආවා.

ඔක්තෝබර් කුමන්ත්‍රණය වෙලාවේ රනිල්ගෙන් දැක ගත හැකි වුනේ තරමක් උදාසීන ප්‍රතිචාරයක්. අරලියමන්දිරය අත් නොහැරියත්, අගමැතිකම නමට තියාගෙන හිටියත්, තමන්ගේ නීත්‍යානුකූල අගමැතිකම රැක ගන්න ඔහු ලොකු සටනක් කළේ නැහැ. ඔහු කළේ බටහිර රටවලට නඩු කියන එක පමණයි. අඩු වශයෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ හෝ නැහැ.  තත්ත්වය වෙනස් වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුනේ ජවිපෙත්, ආණ්ඩුව ඇතුළේ සිටි චම්පික හා රාජිත වැනි අයත් සක්‍රිය වීමයි. ඔවුන් එසේ සක්‍රිය වුනේ රටේ බොහෝ මිනිසුන් මේ අවස්ථාවේදී සංවේදී වූ නිසා විය හැකියි. එසේ නැතත්, ඔවුන් එසේ සක්‍රිය වීම ප්‍රයෝජනවත් වුනේ රටේ බොහෝ මිනිසුන් මේ වෙලාවේ සංවේදී හා සක්‍රිය වූ නිසයි.

අවසානයේදී දින පනස් එකකින් පසු එම ආණ්ඩුව බිඳ වැටුණා. ඒ වෙලාවේ එකට එකතු වූ බලවේග නැවත විසිරී ගියා. දිගුකාලීනව එජාපයට ලොකු වාසියක් හෝ පොදුජන පෙරමුණට ලොකු අවාසියක් වුනේ නැහැ. නමුත්, යම් හෙයකින් රාජපක්ෂලාට තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මිල දී ගත හැකි වුනානම් තත්ත්වය වෙනස් වෙනවා. රාජපක්ෂලා විසින් බලෙන් ගත් ආණ්ඩුව වැඩි කලක් පැවතුනානම් රාජපක්ෂ විරෝධීන් දිගටම එක්ව කටයුතු කිරීම හා රාජපක්ෂ විරෝධය එන්න එන්නම වර්ධනය වීමත් සිදු වෙනවා. අරලියගහ මන්දිරයට පහර දී රනිල්ව ඉවත් කළානම් තත්ත්වය බොහෝ සේ වෙනස් වෙනවා. ඉතා පහසුවෙන් විදේශ මැදිහත්වීමකට අවස්ථාව සැලසෙනවා. එවැන්නක අවසන් ප්‍රතිඵලය හිතා ගන්නත් අමාරු තරම් භයානකයි.

ඔක්තෝබර් කුමන්ත්‍රණය හා එය බිඳ වැටීම නිසා එක් එක් පාර්ශ්ව වලට සිදු වූ වාසි අවාසි ඇස්තමේන්තු කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක්. ඒ වගේම, සමහර සැලසුම් වෙනත් සැලසුමක ප්‍රතිඵලයක් විය හැකි බව කූඹියෝ බලපු අය දන්නවා. ඔක්තෝබර් කුමන්ත්‍රණය සැලසුම් වුනේ කොහොමද කියන එක බොහෝ විට කවදාවත් හරියටම දැනගන්න නොලැබෙන්න පුලුවන්.

Wednesday, March 6, 2019

රත්තරන් වූ ගිතෙල් හා සඳුන්


පසුගිය ලිපිය සමඟ පලකළ මහින්ද විසින් තිරුපතියට තුලාභාර දෙන ඡායාරූපය කලින් දැක නැති බව කියන නයනේ විසින් එය පොටෝෂොප් පින්තූරයක්දැයි සැක පහළ කර තිබෙනවා. සමාජ මාධ්‍ය වල සංසරණය වන මෙවැනි ඡායාරූප බොහොමයක් පොටෝෂොප් කළ ඒවා.

එපමණක් නෙවෙයි බොහෝ විට ප්‍රධාන මාධ්‍ය වල දකින්න ලැබෙන්නේත් පොටෝෂොප් කළ ඡායාරූප හෝ ඔවුන්ගේ පුස්තකාල වලින් හෝ දැන්නම් අන්තර්ජාලයෙන් ගත් පැරණි ඡායාරූප මිස වාර්තා කරන සිද්ධියට අදාළ සැබෑ ඡායාරූප නෙමෙයි. ඒ නිසා, ඡායාරූපයක් පොටෝෂොප් කළ එකක් නොවන බව ස්ථිරව කියන එක ගොඩක් අසීරු වැඩක්.

සමහර අය ඇත්ත ඡායාරූප පොටෝෂොප් ඡායාරූප බව කියන්න සැබෑ ඡායාරූපය ලෙස පොටෝෂොප් කළ ඡායාරූප පෙන්වන වෙලාවලුත් තිබෙනවා. මේ ගොඩක් දේවල් වලින් තහවුරු වෙන්නේ අප දකින්නේ නිර්මිත යථාර්තයක් හෝ වෙනත් සාපේක්ෂ යථාර්තයක් මිස නිරපේක්ෂ යථාර්තයක් නොවන බවයි.

පොටෝෂොප් කළ එකක් වුවත් නැතත් මහින්ද තුලාභාර දෙන  ඡායාරූපය අපටනම් වසර ගණනකට පෙර සිටම දැක පුරුදු එකක්. එය හෝ එවැනි ඡායාරූප දෙස් විදෙස් මාධ්‍ය ගණනාවක පළ වී තිබෙනවා. ඒ වගේම, අප දන්නා තරමින් මහින්දගේ තුලාභාර කතාව කාලයක් තිස්සේම බොහෝ දෙනෙක් දැන සිටි, මාධ්‍ය වල කතා බහට ලක් වූ පුවතක්. නයනේ වැනි කෙනෙක් ඒ ගැන දැන නොසිටීම පුදුමයක්.

මහින්දගේ කාලයේ යුද්ධය අවසන් වීම නිසා බොහෝ දෙනෙක්ට මහින්ද වීරයෙක්ව සිටිනවා. තමන්ගේ වීරයින්ගේ තමන් කැමති නැති පැති නොපෙනී යාම අමුතු දෙයක් නෙමෙයි. මේ විදිහට මහින්ද හා සම්බන්ධ තවත් බොහෝ දේ ලංකාවේ සාමූහික මතකයෙන් ගිලිහෙමින් තිබෙනවා.

මහින්ද මුලින්ම ජනාධිපති සේ තේරී පත් වුනු 2005 ජනාධිපතිවරණයේදී ඔහු 50% ඉක්මවා ලබාගත්තේ ඡන්ද 28,633ක් පමණයි. මේ මැතිවරණයේදී ප්‍රභාකරන් විසින් උතුරේ ඡන්ද තහනමක් ක්‍රියාත්මක නොකළේනම් මැතිවරණ ප්‍රතිඵලය මීට වඩා වෙනස් විය හැකිව තිබුණු බව පැහැදිලි කරුණක්. මහින්දගේ 2005 මැතිවරණ ජය පසුපස වූ තීරණාත්මක සාධකය වුනේ ප්‍රභාකරන්.

ඒ වගේම, මහින්ද 2005 මැතිවරණයට ගියේ එල්ටීටීඊ සංවිධානය සමඟ සාම සාකච්ඡා කරන බව කියමින් මිස යුද්ධය හරහා උතුරේ ප්‍රශ්නය අවසන් කරන බව කියමින් නෙමෙයි. මැතිවරණ ජයෙන් පසුවත්, මහින්ද උත්සාහ කළේ ප්‍රශ්නය සාකච්ඡාවෙන් විසඳන්නයි. එය නොකළ හැකි වූයේ ප්‍රභාකරන්ගේ පැත්තෙන් සාකච්ඡා සඳහා සැබෑ උවමනාවක් නොතිබීම හේතුවෙනුයි. එක පැත්තකින් ප්‍රභාකරන් විසින් දිගින් දිගටම යුද්ධයම ඉල්ලා සිටිද්දී මාවිල්ආරු සිදුවීමෙන් පසුව රතන හිමි වැනි අය මහින්දගේ ආණ්ඩුව යුද්ධයට බලෙන් වගේ තල්ලු කළා. ප්‍රතිඵලය නරක එකක් වුනානම් එහි බර ඔවුන් වෙත වැටෙනවා.

ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයට ඉස්ලාම් ත්‍රස්තවාදය ප්‍රශ්නයක් වීමෙන් පසුව ත්‍රස්තවාදය සම්බන්ධ ඔවුන්ගේ ආකල්ප වෙනස්වීම, ඉන්දියාවේ ස්ථාවරය වෙනස්වීම හා මහින්ද ඇතුළු කණ්ඩායම යුද්ධයේ අවසන් අදියරේදී සෘජු ස්ථාවරයක සිටීම මත යුද්ධය අවසන් වුනා. ඒ එක්කම කාලයක් තිස්සේ ලංකාවේ මධ්‍යම රජයේ පාලනයෙන් ගිලිහී අර්ධ-ස්වාධීන ආර්ථිකයක් ලෙස පැවතුණු ප්‍රදේශ නැවත එකම ආර්ථිකයක කොටසක් බවට පත් වී රටේ දළ දේශීය නිෂ්පාදිතය වසර කිහිපයක කෙටි කාලයක් තුළ එක් වර ඉහළ ගියා. යුද්ධය අවසන් වීමේ හා එහි වක්‍ර ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය ප්‍රසාරණය වීමේ වාසිය රාජපක්ෂ ආණ්ඩුවට ලැබී මහින්ද බොහෝ දෙනෙකුගේ වීරයෙක් වුණා. දැන් ඇතැම් අයට 2005 දී මහින්ද කළ කී දේ අමතකව තිබීම පුදුමයක් නෙමෙයි.

ජනාධිපති සේ මුලින්ම පත් වීමෙන් පසුව මහින්ද විසින් මුලින්ම කළ කාර්යයක් වුනේ තිරුපතියට ගොස් තුලාභාරය ඔප්පු කිරීමයි. මහින්ද ජනාධිපති සේ දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 වෙනිදා. ඔහු තිරුපතියට ගොස් තුලාභාර පූජාව සිදු කර තිබෙන්නේ 2005 දෙසැම්බර් 30 සිකුරාදා.

තිරුපති ගොස් තුලාභාර කරන කෙනෙකු තමන්ගේ බරට රත්තරන්ම පූජා කළ යුතු නැහැ. රත්තරන් පූජා කිරීමක් සිදුවනවානම් එය සිදුවනවා ඇත්තේ ඉතා කලාතුරකින්. රිදී, යකඩ වැනි වෙනත් ලෝහ වර්ගයක්, ධාන්‍ය හා පළතුරු වර්ග ඇතුළු ආහාර වර්ගයක් හෝ ඒ මුකුත්ම නැත්නම් තමන්ගේ බරට වතුර වුවත් එහිදී පූජා කළ හැකියි. මෑතකදී නරේන්ද්‍ර මෝදි විසින් තමන්ගේ බරට නෙළුම්මල් පූජා කර තිබුණා. තුලාභාර සඳහා අවශ්‍ය ගොඩක් දේවල් එහිදීම මුදල් ගෙවා ලබා ගත හැකියි.

තිරුපති ගමනේදී මහින්ද රාජපක්ෂ විසින් කුඩා රන් ඔටුන්නක් හා පිත්තල පහනක් තිරුපතියට පූජා කර තිබෙන අතර ඊට අමතරව තමන්ගේ බරට සමාන බරක ගිතෙල් තිරුපතියට පූජා කර තිබෙනවා. මාධ්‍ය වාර්තා අනුව ඉහත කතා කළ ඡායාරූපය ඒ අවස්ථාවේදී ගෙන තිබෙන එකක්. එම වාර්තා වල මහින්දගේ බර කොපමණදැයි වාර්තා වී නැහැ.

මහින්ද විසින් තමන්ගේ බරට රත්තරන් පූජා කළ කතාව 2015 මැතිවරණ සමයේ ප්‍රචාරය වූ බොරුවක්. ඔහු ඉහත කී රන් ඔටුන්න හැර වෙනත් රත්තරන් තිරුපතියට පූජා කර ඇති බවක් මා දන්නේ නැහැ. මේ ගමනින් පසුවත් වරින් වර මහින්ද තිරුපතියට ගොස් තිබෙනවා. ඇතැම් විට 2005ට පෙරත් මහින්ද තිරුපති යන්න ඇති.

මහින්ද වගේම රනිලුත් නිතර තිරුපති යන බව පේනවා. 2015 ජනාධිපතිවරණයෙන් පසුව, අගෝස්තු මහ මැතිවරණයට පෙර, රනිල් තිරුපතියට ගොස් තිබෙනවා. 2015 අප්‍රේල් 18 වෙනිදා ඔහු තමන්ගේ බර වූ කිලෝග්‍රෑම් 77ක ප්‍රමාණයක, රුපියල් 847,000ක් වටිනා සඳුන් තුලාභාරයක් සේ  පූජා කර තිබෙනවා. මේ රුපියල් ඉන්දියන් රුපියල් විය යුතුයි. පසුගිය ලිපිය සමඟ පළ කර තිබෙන ඡායාරූපයේ දැකිය හැකි කුට්ටිසාක්කු ඇතුළේ තිබෙන්නේ එම සඳුන් වෙන්න පුළුවන්. මේ කුට්ටිසාක්කු කියන වචනයේ සාක්කු කෑල්ල බිඳී ඇවිත් තියෙන්නේ sack යන්නෙන් බව පෙනෙන නමුත් කුට්ටි යන්නේ ප්‍රභවය කුමක්ද කියන එක පැහැදිලි නැහැ.

මාධ්‍ය වාර්තා වල තිබෙන ඉන්දියානු රුපියල් 847,000ක වටිනාකම නිවැරදිනම් රනිල් වික්‍රමසිංහ විසින් සඳුන් කිලෝ ග්‍රෑමයක් මිල දී ගෙන තිබෙන්නේ ඉන්දියානු රුපියල් 11,000 බැගින්. මේ වන විට තිරුපතියේ මයිසූර් සඳුන් විකුණන්නේ කිලෝ ග්‍රෑමයක් ඉන්දියානු රුපියල් 23,000ක මිලටයි. ඇතැම් විට පසුගිය කාලයේ මිල වැඩිවුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල් පිටින් අඩුවට සඳුන් අරන් ගියා වෙන්නත් පුළුවන්.

මේ වන විට තිරුපතියේ ගිතෙල් කිලෝ ග්‍රෑමයක් විකුණන්නේ ඉන්දියානු රුපියල් 400 බැගින්. පෙනුම අනුව මහින්ද රනිල්ට වඩා බර වැඩියි කියා හිතන්න පුළුවන්. අපි මහින්දගේ බර විදිහට කිලෝ ග්‍රෑම් 90ක් දැම්මත් තුලාභාරයේ ගිතෙල් වල වටිනාකම ඉන්දියානු රුපියල් 36,000ක් පමණයි. රනිල්ගේ සඳුන් වලට වඩා ගොඩක් අඩුවෙනුයි මහින්දගේ ගිතෙල් වලට මුදල් වැය වී තිබෙන්නේ. අර කුඩා රත්තරන් ඔටුන්නටයි පිත්තල පහණටයි තව කීයක් හරි යන්න ඇති.

මහින්ද විසින් තුලාභාර පූජාව සිදුකර තිබෙන ඔහුගේ 2005 ඉන්දියානු සංචාරය පිළිබඳ තොරතුරු 2005 දෙසැම්බර් 31 "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබෙන්නේ මෙහෙමයි.

අපේ ප්‍රමුඛතාවය සාම ගිවිසුමක්- රාජපක්ෂ 

මාණ්ඩලික වාර්තාකරු විසිනි.

'අප සාකච්ඡා සඳහා කොටි සංවිධානයට ආරාධනා කර ඔවුන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් ඉන්නවා.' පසුගිය සිකුරාදා ගුරුවායර්හි ශ්‍රී ක්‍රිෂ්ණා දේවාලයේදී තුලාභාර පූජාවේ යෙදෙන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි.

ගුරුවායර් සිට: ජනවාර්ගික සටනින් බෙදී ඇති සිය රට තුළ සටන් විරාමයක් ඇති කර ගැනීම සිය රජයේ ක්ෂණික අවශ්‍යතාවය බව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කියා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙසේ ප්‍රකාශ කළේ සිය බිරිඳ ශිරන්ති රාජපක්ෂද සමඟ ශ්‍රී ක්‍රිෂ්ණා දේවාලය වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

"අපට අවශ්‍ය සාමයයි, සියල්ලන්ටම සාමය" දේවාලය ඉදිරිපිටදී මාධ්‍යකරුවන් අමතමින් ඔහු පැවසීය.

කොටි සංවිධානය සමඟ නැවත අළුතින් සාම සාකච්ඡා ආරම්භ කරන්නේද යන පැනයට රාජපක්ෂ මහතා මෙසේ පිළිතුරු දුන්නේය. "අප විසින් දැනටමත් ඔවුන්ට සාකච්ඡා සඳහා ආරාධනා කර තිබෙනවා. අප ඔවුන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් ඉන්නවා."

කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් විසින් සටන් විරාම ගිවිසුමක් සඳහා කළ ආරාධනය පිළිගනු ගනු ඇත්දැයි විමසීමේදී ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ "මම එහෙම හිතනවා" යන්නයි. තිරුපති ගමන ගැන විමසීමේදී ඔහු මෙසේ පැවසීය. "අපට අවශ්‍ය සාමයයි. සියල්ලන්ටම සාමය ඉල්ලා යාඥා කරන්න මෙහි ආවේත් ඒ නිසයි."

ජනවාර්ගික ප්‍රශ්නය විසඳිය හැක්කේ උතුරු නැගෙනහිර පළාත් වල ආර්ථික සංවර්ධනය තුළින් පමණක් බව පැවසූ රාජපක්ෂ මහතා ඒ සඳහා ඉන්දියාව විශාල සහයෝගයක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.

සිය ඉන්දීය සංචාරය ඉතා සාර්ථක එකක් වූ බව පැවසූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ විශාල ඉඩකඩක් පෙනෙන්නට ඇති බවද පැවසීය. රාජපක්ෂ මහතා දේවාලයේදී ගිතෙල් වලින් තුලාභාර පූජාව සිදු කළේය. ඊට අමතරව සම්ප්‍රදායික පිත්තල පහණක් හා කුඩා රන් ඔටුන්නක්ද ඔහු දේවාලයට පූජා කළේය.

(Image: https://www.cntraveller.in/story/tirumalas-tirupati-temple-may-shut-five-days-august/)

Tuesday, March 5, 2019

කුවේරට ගෙවීමට ඇති හිඟ මුදල කොපමණද?


ගොඩක් පවුල් වල අඹු සැමියන් අතර පොඩි පොඩි ආරවුල් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඔය වගේ දේවල් වෙන්නේ මිනිස් පවුල් වල විතරක් නෙමෙයි. දෙවිවරුන්ගේ පවුල් වලත් ඔය වගේ ආරවුල් ඇති වෙනවා.

බොහෝ කාලයකට කලින් දවසක සතුටින් පවුල් කමින් සිටි විෂ්ණු හා ලක්ෂ්මී අතරත් ඔය වගේ ආරවුලක් ඇති වුනා. ආරවුලට හේතු වුනේ ඔවුන්ගේ වෛකුන්ඨ භවනට ආ අමුත්තෙක්. අමුත්තා භෘගු සෘෂිවරයා. භෘගු කියන්නේ සප්තාර්ශීගෙන් එක්කෙනෙක්.

මේ සප්තාර්ශීන් ගැන මා මීට පෙර ලියා තිබෙනවා. එම ලිපියේ සඳහන් වූ ලැයිස්තුවේ හිටියේ මරිචි, පුලස්ති, පුලහ, අංගීරස, අත්‍රි හා ක්‍රතු යන හත් දෙනා වුවත් වෙනත් විකල්ප සප්තාර්ශී ලැයිස්තු ගණනාවක්ම තිබෙනවා. භෘගු ආදේශ වන්නේ ඉහත ලැයිස්තුවේ මරිචි වෙනුවටයි.

වෛකුන්ඨ භවනට භෘගු එන කොට විෂ්ණු ආදීශේෂනම් මන්ත්‍රය ජපකරමින් සිටිනවා. ඒ නිසා, අමුත්තෙකු පැමිණ සිටින බව ඔහුගේ අවධානයට ලක් වෙන්නේ නැහැ. මෙයින් කෝපයට පත් වන භෘගු විෂ්ණුගේ පපුවට පයින් ගහනවා. අර ඒ දවස් වල අරලියගහ මන්දිරේ ඇතුළෙත් ඔය වගේ දේවල් වුනා කියනවනේ. අපිනම් දැකලා නැහැ.

කොහොම හරි ගහපු පාර වදින්නේ විෂ්ණුගේ හදවත වාසභවනය කරගෙන සිටින ලක්ෂ්මීටයි. මේ සිද්ධියෙන් පස්සේ ලංකාවේ පොලීසිය සමහර වෙලාවට කරනවා වගේ විෂ්ණු විසින් කරන්නේ වින්දිතයා වූ ලක්ෂ්මී ගැන හොයා බලනවා වෙනුවට වැරැද්ද කරපු භෘගුගෙන් සමාව අයැදිමින් ඔහුගේ කකුල අතගාන එකයි.

ඔය වගේ වෙලාවක පවුල් ආරවුලක් ඇතිවෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. දිව්‍ය ලෝකයේ කියලත් ඕකේ වෙනසක් නැහැ. ගුටි කාල ඉන්න තමන්ගේ බිරිඳ ගැන නොසලකා වැරැද්ද කරපු භෘගුගෙන් සමාව යැදීම ගැන විෂ්ණු එක්ක අමනාප වන ලක්ෂ්මී වෛකුන්ඨය පමණක් නෙමෙයි දෙවුලොවම හැර යනවා. එසේ යන ඇය ඕපපාතිකව මිනිස් ලොවේ උපදිනවා.

සැමියෙක්ට බිරිඳකගේ අගය තේරෙන්නේ ඔය වගේ අවුලක් වුනාට පස්සෙනේ. විෂ්ණුට කියලත් වෙනසක් නැහැ. ඔහු සිය බිරිඳ හොයාගෙන මිනිස් ලොවට එනවා. ඇවිදින් චෝල රටේ වෙන්කත කන්ද කිට්ටුව තියෙන පුෂ්කරනී විල අසල වූ සියඹලා ගහක් යට වේතුඹසක් ඇතුළට වී භාවනා කරමින් සිටිනවා. ඔය වෙන්කත කන්දත් රූමස්සල වගේ හිමාලයෙන් ගෙනාපු කොටසක් කියලයි කියන්නේ.

මේ එක්කම වගේ රටේ කිරි ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. රටේ කිවුවේ චෝල රටේ. මේ දවස්වල ලංකාවේ තියෙන කිරි ප්‍රශ්නය වගේ එකක්නම් නෙමෙයි.

හිටපු ගමන්ම රජ්ජුරුවන්ගේ එළදෙනකගේ කිරි නැතිව යනවා. ඒ ගැන හොයා බලන්න එළදෙන පස්සෙන් එන ගොපල්ලා එළදෙන සියඹලා ගහයට වේතුඹස ඇතුළේ ඉන්නා කාට හරි දිනපතා කිරි දෙන බව දැනගන්නවා. මේ විදිහට රාජ්‍ය සම්පත් අවභාවිතා කරන්නේ කවුද කියා හොයා බලන්න ගොපල්ලා වේ තුඹසට පොරවකින් ගහනවා. පොරෝ පාර වදින්නේ විෂ්ණුගේ නළලට. විධායක බලැති රාජ්‍යනායකයින්ගේ මල්ලිලාටත් පොරෝපාරවල් වදින එකේ දෙවිකෙනෙක්ට පොරෝපාරක් වදින්න බැරිද?

පොරෝ පාර නිසා ඇති වෙච්ච තුවාලයට බෙහෙත් හොයාගෙන ඉබාගාතේ යන විෂ්ණු නවතින්නේ ශ්‍රී වරාහස්වාමිගේ අසපුවේ. මේ වන විට විෂ්ණු පෙනී සිටින්නේ සිරිනිවාස යන නමිනුයි. ශ්‍රී වරාහස්වාමි කියන්නේ ඌරෙක් ලෙස පහළ වූ විෂ්ණුගේ තෙවන අවතාරය. කතාව ටිකක් බැක් ටු ද ෆියුචර් වගේ. දැන් විෂ්ණුට වෙනත් ස්වරූපයකින් විෂ්ණුම හමු වෙනවා.

සිරිනිවාස වරාහස්වාමිගෙන් නවාතැන් ඉල්ලා හිටියත් නොමිලේ නවාතැන් දෙන්න වරාහස්වාමි කැමති වෙන්නේ නැහැ. ඔහු ඒ වෙනුවෙන් කුලී ගෙවීමක් අපේක්ෂා කරනවා. තමන්ගේම පුනර්භවයකට වුනත් නොමිලේ නිවාස පහසුකම් සපයන්න බැහැනේ. තමන් අයත් වන්නේ ප්‍රාග්ධනය අහිමි පංතියට බව කියන සිරිනිවාස තමන් අත කිසිදු මුදලක් නැති බව පවසනවා.

කොහොම හරි අන්තිමේදී සිරිනිවාස වරාහස්වාමි එක්ක ඩීල් එකක් දාගන්නවා. මේ ඩීල් එක අනුව, තමන්ගේ බැතිමතුන් සියලු දෙනාම තමන්ට වඳින්න කලින් වරාහස්වාමිට වඳින බවට වග බලා ගැනීමට සිරිනිවාස පොරොන්දු වෙනවා. වරාහස්වාමිට පළමු මනාපය හා තමන්ට දෙවන මනාපය දෙන්න කියා සිරිනිවාස ඔහුගේ බැතිමතුන්ට දැනුම් දෙනවා. එහි හිලවුවට සිරිනිවාසට නවාතැන් ලැබෙනවා.

සිරිනිවාස වරාහස්වාමිගේ ආශ්‍රමය කිට්ටුව අඩු වියදම් නිවාසයක් හදාගන්නවා. වෛකුලදේවී නම් වූ කාන්තාවක් සිරිනිවාසගේ දායිකාවක වීමෙන් නොනැවතී ඔහුගේ කිරිමවු ලෙස ඔහුට සත්කාර කරමින් රැක බලාගන්නවා.

මේ අතරේ චන්ද්‍රවංශයට අයත් ආකාශරාජ නම් වූ රජු තමන්ට දරුවන් නැති නිසා දරුවන් ලබා ගැනීමට කරන පූජාවක කොටසක් ලෙස හාන්න කුඹුරට යනවා. නගුලෙන් පස් පෙරලද්දී ඔහුට නෙලුම් පොහොට්ටුවක් හමු වෙනවා. පොහොට්ටුව පරීක්ෂා කරද්දී එය තුළ ගැහැණු දරුවෙකු සිටින බව පෙනෙනවා. ආකාශරාජ රජු විසින් මේ දැරිවිය සිය දියණියක සේ හදා වඩා ගන්නවා. නෙළුමෙන් උපන් නිසා ඈ පද්මාවතී සේ නම් කෙරෙනවා. මේ විදිහට පද්මාවතී ලෙස උපදින්නේ විෂ්ණුගේ බිරිඳව සිටි ලක්ෂ්මියයි. එහෙත් පද්මාවතී ඒ බව දන්නේ නැහැ.

ඔහොම කාලයක් යද්දී දවසක දඩයමේ ගොස් වෙහෙසව ගසක් යට වාඩි වී සිටින සිරිනිවාසගේ හා සිය මිතුරියන් සමඟ මල් නෙලන්න කැලයට පැමිණ ගී ගයමින් නටන පද්මාවතීගේ දෙනෙත් හමුවෙනවා. ඔවුන් එක් වරම එකිනෙකාට ප්‍රේම කරන්න පටන් ගත්තත්, පද්මාවතීගේ මිතුරියන් විසින් මේ "දඩයක්කාරයාව" එළවා දමනවා.

ප්‍රේමයෙන් ආතුර වන සිරිනිවාසගේ කෑම රුචිය ගිලිහී ගිහින් බලා ගත් අතේ බලා ඉඳිද්දී ඔහුගේ කිරිමවු වූ වෛකුලදේවී විසින් කරුණු විමසනවා. මේ අවස්ථාවේදී සිරිනිවාස විසින් පද්මාවතිය කෙරෙහි තමන් තුළ වන ප්‍රේමය ගැන වගේම තමන් විසින් මෙතෙක් හෙළි කර නොතිබුණු සැබෑ අනන්‍යතාවයත් ඇයට හෙළිකර ආකාශරාජ වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන සේ ඇගෙන් ඉල්ලා සිටිනවා.

මේ විවාහ යෝජනාව ගැන ආකාශරාජ විසින් බ්‍රහස්පතිගෙන් විමසනවා. එහිදී බ්‍රහස්පති විසින් විවාහය අනුමත කරනවා. විවාහයට කැමැත්ත ලැබේදැයි සැකයෙන් ඉන්න සිරිනිවාස විසිනුත් සාත්තර කියන්නියකගේ වෙසින් රජ මැදුරට ගොස් වර්ණපාල කළා වගේ වැඩක් කරනවා. විවාහය තීන්දු වෙනවා. හැබැයි අවුල තියෙන්නේ ඊට පස්සෙයි.

විවාහයනම් තීන්දුයි. ඒත් ඉතිං කෝ වෙඩින් එක ගන්න සල්ලි? මහජන මුදලින් යැපෙන, කවදාවත් රස්සාවක් නොකරපු සිරිනිවාස අතේ සතපහක්වත් තියෙන එකක්යැ?

කොහොම වුනත්, සිරිනිවාසට ජයට මගුල් කන්නත් ඕනෑ. තමන්ගේ අතේ සතේ නැති බව මාමණ්ඩිට පෙන්නන්නේ කොහොමද?

දේව මණ්ඩලයටම ආරාධනා කරලා මගුලනම් ජයට ගත්තා. සැරසිලි වැඩ සියල්ල සැලසුම් කළේ විශ්වකර්ම විසින්. හැබැයි ඔය ඔක්කොම කළේ ණය වෙලා. ණය ගත්තේ ගිවිසුමක් ගහලා කුවේරගෙන්. ගිවිසුම අනුව, ණය හා පොලිය ආපහු ගෙවනකම් විෂ්ණුට නැවත වෛකුන්ඨ භවනට යන්න බැහැ. ඒ විදිහටම කියලා නැතත් කුවේර විසින් වෛකුන්ඨ භවන ඇපයට තියාගෙන බවයි කතාව අනුව පේන්නේ.

ඔය ණය තාම එහෙම්මමයි. හැබැයි හොඳ වෙලාවට ණය ගෙවන්න උදවු කරන්න සෑහෙන්න කට්ටිය ඉන්නවා. ඉන්දියාවේ විතරක් නෙමෙයි ලංකාවෙත්. දකුණු ඉන්දියාවේ තිරුපති දේවාලයේ භාරකාරයෝ තමයි ඔය ණය හා පොලිය එකතු කරලා කුවේරට ගෙවන කටයුත්ත කරමින් ඉන්නේ. ණය ගැන සඳහන් කරමින් ඔවුන් දිගින් දිගටම මුදල් එකතු කරනවා. සිරිනිවාසට නැවත වෛකුන්ඨ භවනට යන්න උදවු කරන්න මිනිස්සු සල්ලි දෙනවා. සමහර අය තමන්ගේ බරට රත්තරන් දෙනවා. එහි හිලවුවට විෂ්ණු විසින් මේ මිනිස්සුන්ගේ ඉල්ලීම් ඉටු කරනවා.

තිරුපති දේවාලයේ මේ මූල්‍ය වසර තුළ අපේක්ෂිත ආදායම ඉන්දියානු රුපියල් කෝටි 2,894ක්. වාර්ෂිකව ඔය වගේ විශාල ආදායමක් ලැබිලත් තිරුපති දේවාලයේ පාලකයින්ට තවම සිරිනිවාස-පද්මාවතී මගුලට කුවේරගෙන් ගත්තු ණය ගෙවා අවසන් කරන්න හැකි වී නැහැ. මේකත් ලංකාවේ රාජ්‍ය ණය වගේම ගෙවුවට ගෙවුවට ඉවර නොවන ණයක් වගේ.

ලංකාවේ ආණ්ඩුව පහුගිය කාලයේ තොරතුරු දැනගැනීමේ පණතක් සම්මත කළානේ. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුව ඔහොම පණතක් සම්මත කළේ 2005දී. සමාජ ක්‍රියාකාරිකයෙකු වන නරසිංහ මූර්ති විසින් 2014දී මේ පණතේ ප්‍රතිපාදන යටතේ තිරුපති දේවාලයේ පාලකයින්ගෙන් පහත තොරතුරු ඉල්ලා හිටියා.

1. විෂ්ණු විසින් කුවේරගෙන් ලබාගෙන තිබෙන මුළු ණය ප්‍රමාණය කොපමණද?
2. විෂ්ණු විසින් එම ණය ලබාගෙන තිබෙන්නේ කුමන අවශ්‍යතාවයක් සඳහාද?
3. මේ වන විට කුවේර වෙත විෂ්ණු විසින් ආපසු ගෙවා ඇති මුදල කොපමණද? එයින් කොපමණ මුදලක් පොලී ලෙසත් කොපමණ මුදලක් ණය වාරික ලෙසත් ගෙවා තිබේද?
4. මේ වන විට විෂ්ණු විසින් කුවේරට ගෙවීමට ඉතිරිව ඇති හිඟ මුදල කොපමණද?

නරසිංහ මූර්තිට මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණාදැයි දැනගන්නට නැහැ. මාස කිහිපයකට පෙර වාර්තා වී තිබුණේ දෙවියන්ට අපහාස කිරීම මත ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවයි.

ලංකාවේ ආණ්ඩුවටත් විෂ්ණුට වගේම ණය ප්‍රශ්නයක් තිබෙනවා. මේ ණය අර්බුදය ඇති කළේ රාජපක්ෂ ආණ්ඩුව විසින් නොවූවත් එම ආණ්ඩුව පැවති කාලය ණය අර්බුදය ඔඩු දිවූ කාලයක්. රාජපක්ෂ ණය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක් වුණා. එසේ වුවත්, මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව සිදුවී තිබෙන්නේත් රාජ්‍ය ණය තවත් ඉහළ යාම පමණයි.

මහින්ද රාජපක්ෂට වගේම රනිල් වික්‍රමසිංහටත් විසඳන්න තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවේ ණය ප්‍රශ්නය විතරක් නෙමෙයි. මේ දෙන්නාම විෂ්ණු විසින් කුවේරගෙන් ගත් ණය ගෙවන එක ගැනත් සැලකිලිමත්. ඒ නිසා, මේ දෙන්නම කාලයෙන් කාලයට තිරුපති ගිහින් තමන්ගේ බරට රත්තරන් හෝ වෙන මොනවා හරි දී කුවේරගේ ණය පියවන්න උදවු කරනවා. මේවා ඒ අයගේ පෞද්ගලික අවකාශයට අයත් දේවල් ලෙස අප සලකන නිසා මේ ලිපිය තිරුපති දේවාලය ගැන කරුණු ඉදිරිපත් කරන්නක් මිස කාගෙවත් පුද්ගලික විශ්වාස පිළිබඳව කරන විවේචනයක් නෙමෙයි.

(Image: http://dayal-bathee.blogspot.com/2019/03/blog-post.html)

Wednesday, October 31, 2018

චීන සුබ පැතුමේ සිට ඉන්දියානු නිහඬතාවය දක්වා...


ලංකාවේ පවතින තත්ත්වය මේ වන විට ඉතා වේගයෙන් බටහිර මාධ්‍ය වල අවධානය දිනා ගනිමින් තිබෙනවා. මේ හා අදාළ වාර්තා පිරික්සන විට සුවිශේෂී කරුණු කිහිපයක්ම කැපී පෙනෙනවා.

මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීම හා අදාළ පුවත වාර්තා කෙරෙන්නේ එක්කෝ ව්‍යවස්ථාවට එරෙහිව සිදු වූවක් ලෙස. එසේ නැත්නම් ව්‍යවස්ථාවට එරෙහිවද යන්න පැහැදිලි නොමැතිව ලෙස.

මහින්ද රාජපක්ෂ නම බොහෝ විට ලියැවෙන්නේත් නිකම්ම නෙමෙයි. "මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට ලක් වී ඇති", "මාධ්‍ය මර්දනය කිරීමේ චෝදනා වලට ලක් වී ඇති" වැනි හඳුන්වාදීම්ද සමගයි.

ඒ එක්කම අර්ජුනගේ ආරක්ෂකයෙකු විසින් කළ වෙඩි තැබීම ඇතුළුව මේ වන විට සිදුව තිබෙන මරණ දෙකකට විශාල බරක් වැටෙමින් තිබෙන බව පෙනෙනවා. නමුත්, මේ ගැන බොහෝ විට කියැවෙන්නේ පසුබිම් කතා නැතිව "බල අරගලය නිසා මේ වන විටත් ජීවිත හානි සිදු වී තිබෙනවා" වැනි කතා. විශාල ජීවිත හානියක් සිදු වීමේ අවදානමක් ගැන බොහෝ විට අවධාරණය කෙරෙනවා.

මහින්ද රාජපක්ෂව පත් කර වැඩි වෙලාවක් යන්න කලින්, 27 සෙනසුරාදා, චීන නායකයාගේ සුබ පැතුමක් සමඟ චීන තානාපතිවරයා ඔහුව හමු වුනා. ඔහු එදිනම රනිල් වික්‍රමසිංහවත් හමු වී තිබෙනවා. ප්‍රශ්නය මේ තරම් දුරදිග යයි කියා චීනය ඒ වන විට දැන සිටියාද කියා මා දන්නේ නැහැ.

මේ වන විට චීනයේ ස්ථාවරය වී තිබෙන්නේ ප්‍රශ්නයට මැදිහත් නොවී සිටීමයි. දින දෙකකට පෙර (29 සඳුදා) චීන විදේශ අමාත්‍යංශය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙය රට ඇතුළේ විසඳා ගත යුතු ප්‍රශ්නයක් බවයි.

නියම අගමැතිවරයා කවුද කියන ප්‍රශ්නය දිග් ගැස්සෙද්දී, අනෙකුත් රටවල් මුලින් කළේ විමසිල්ලෙන් බලා සිටීම පමණයි. ඔවුන් එක්වරම කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් සෘජුව පෙනී සිටියේ නැහැ. එසේ වුවත්, එක්සත් රාජධානිය, යුරෝපීය රටවල් කිහිපයක්, කැනඩාව හා ඉන්දියාව ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටියා. මේ වන විට (27 සෙනසුරාදා) රනිල් වික්‍රමසිංහ විසින් ඉහත රටවල් ඇතුළු තෝරාගත් රටවල් කිහිපයක තානාපතිවරුන් ගෙන්වා ඔහුගේ ස්ථාවරය පැහැදිලි කර උදවු ඉල්ලා සිටි බව වාර්තා වී තිබුණා.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය වගේම රනිල් පාර්ශ්වයත් අද දක්වාම කියන්නේ ව්‍යවස්ථාව අනුව තමන් නිවැරදි බවයි. ඒ නිසා, ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටීම පසුව ඕනෑ පැත්තකට නැවිය හැකි පතෝල ප්‍රකාශයක් පමණයි.

ඉරිදා (28) වෙද්දී කථානායකවරයා විසින් ව්‍යවස්ථානුකූල අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ බව තීරණය කර තිබුණා. එයට සමාන්තරව ඒ වන විට ජනාධිපතිවරයා විසින් කල් තබා තිබුණු පාර්ලිමේන්තුව වහාම නැවත කැඳවන මෙන් ඉල්ලීමක් එජාපයෙන් මතු වුණා. ඒ ඉල්ලීමට මහින්ද-මෛත්‍රී කණ්ඩායම් හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් කොටස්ද එකතු වුනා.

එදිනම (28 ඉරිදා) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගෙන ඇති මහජන නියෝජිතයන්ට ආණ්ඩුව මෙහෙයවිය යුත්තේ කවුරුන් විසින්දැයි තීරණය කිරීමට ඉඩ ලබාදෙමින්, කතානායකවරයා සමඟ සාකච්ඡා කොට වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරුණා. මෙයින් ඇමරිකාව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහව පිළිගන්නා බවක් අදහස් නොවුනත්, පාර්ලිමේන්තුව කල් තැබීම ඇමරිකාව අනුමත නොකරන බව ප්‍රකාශ වුනා. එය රනිල් පාර්ශ්වයට වාසිදායක ප්‍රකාශයක්.

සඳුදා (29) වෙද්දී කැනඩාවත් මේ ඉල්ලීම කරමින් ඇමරිකාවට එකතු වුනා. එයට අමතරව මාධ්‍යවේදීන්ගේ හා මානව හිමිකම් ක්‍රියාකාරිකයින්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කරන මෙන්ද කැනඩාව ඉල්ලා සිටියා. පාර්ලිමේන්තුව හරහා ඉක්මණින් ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් මේ වන විට (31 බදාදා) ඕස්ට්‍රේලියාවද ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති සිරිසේන විසින්ද පසුගිය සඳුදා (29) තානාපතිවරුන් හමු වී තිබෙනවා. එයින් අනතුරුව, නිවේදනයක් නිකුත් කරමින් යුරෝපීය සංගමය විසින්ද වහාම පාර්ලිමේන්තුව කැඳවීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

සඳුදා (29) එක්සත් රාජධානිය විසින් නිකුත් කෙරුණු නිවේදනයෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් කර තිබෙන ඉල්ලීමට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා සංහිඳියාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක් වී ශ්‍රී ලංකා රජය හා ජනතාව සමඟ කටයුතු කිරීමට කැප වී සිටින බව අවධාරණය කර තිබෙනවා.

පසුගිය ඉරිදා ඉන්දියාව විසින් කරපු පතෝල අදහස් දැක්වීමෙන් පසුව තවමත් ඒ පැත්තෙන් සද්දයක් නැහැ.

කූඹියෝ බලපු අය දන්නවා ඇති සමහර ගේම් ගැහුවේ කවුද කාටද කියා දැන ගන්න සෑහෙන කාලයක් යන බව.

Monday, August 6, 2018

තේ කොළ හා කෝපි දළු

අපි දත් ගැලවිල්ල ගැන කතා කරමින් හිටියනේ. ඇමරිකාවේදී දතක් ගලවනවා කියන එක ඒ තරම් වේදනාකාරී දෙයක් නෙමෙයි. එයට හේතුව මේ වැඩේ කරන්නේ ප්‍රතිකාරලාභියාගේ ඉල්ලීම පරිදි අදාළ ප්‍රදේශය හිරිවැට්ටවීමෙන් හෝ අවශ්‍යනම් රෝගියාව  සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීමෙන් පසුව නිසායි. සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීම කෙසේ වුවත් අදාළ ප්‍රදේශය හිරිවට්ටවන එක ලංකාවෙත් සාමාන්‍යයෙන් කරන දෙයනේ.

පෞද්ගලිකව මම ඔය නිර්වින්දනය කියන විකල්පයට එතරම් කැමති නැහැ. මේ වගේ වැඩක් කෙරෙද්දී මට හොඳ සිහියෙන් ඉන්න ඕනෑ. හිරි වැට්ටවීමෙන් පසුව දන්ත ප්‍රතිකාරයක් කරන විට රෝගියාට වේදනාවක් දැනෙනවානම් වහාම අතක් උස්සා දැනුම් දීමක් කරන මෙන් ඉල්ලීමක් කරනවා. එවැනි ඉල්ලීමක් කළ විට වැඩේ තාවකාලිකව නවත්වා අමතර නිර්වින්දන ඖෂධ ලබා දීමෙන් පසුවයි නැවත වැඩේට බහින්නේ. නමුත්, මම පෞද්ගලිකව මේ වගේ වෙලාවකදී යම් කිසි මට්ටමකට වේදනාව ඉවසාගෙන ඉන්න කැමතියි. ඒ නිසා, තරමක වේදනාවක් දැනුණත් ප්‍රශ්නයක් නැති බව කියමින් වේදනාව දරාගෙන ඉන්නවා.

දන්ත ප්‍රතිකාරයක් කරද්දී මේ ක්‍රමයට වේදනාව පාලනය කළත් ගෙදර ආවට පස්සේ වේදනාව එනවනේ. එය වළක්වාගන්න ගෙදර එන විට ප්‍රබල වේදනා නාශක ලැබෙනවා. මේ විදිහට බොහෝ විට ලැබෙන ඖෂධ මත්ද්‍රව්‍ය ගණයේ ලා සැලකිය හැකි ඒවා (opioid). මේ වන විට ඇමරිකාව විසඳුම් හොයන දැවෙන ප්‍රශ්නයක් වන්නේ මෙවැනි ඖෂධ අවභාවිතය හා ඒවා යොදාගනිමින් ගෙවල් වලම හදා ගන්නා මත්ද්‍රව්‍යයි. ආරක්ෂාකාරී පියවරක් සේ සලකා මේ විදිහට නියම කරන වේදනා නාශක ෆාමසියකින් මිල දී ගත්තත්, නිර්වින්දන ඖෂධ වල ක්‍රියාකාරීත්වය ඉවත් වූ පසුවත් මම සාමාන්‍යයෙන් කරන්නේ හැකිතාක් දුරට වේදනාව ඉවසා සිටින්න උත්සාහ කිරීමයි.

දන්ත ප්‍රතිකාරය අවසන් වූ පසුව මේ ආකාරයෙන් ෆාමසියෙන් මිල දී ගත යුතු වේදනා නාශක, ප්‍රතිජීවක ඇතුළු ඖෂධ සඳහන් බෙහෙත් තුණ්ඩුව ඇතුළු තවත් දේ අඩංගු පාර්සලයක් දන්ත වෛද්‍යවරයාගෙන් ලැබෙනවා. ඇමරිකාවේ දන්ත වෛද්‍යවරයෙකු හමු වීමෙන් පසුව දත් බුරුසුවක්, දන්ත ආලේපන ටියුබයක් හා ඩෙන්ටල් ෆ්ලොස් වැනි දේ අඩංගු ගුඩි බෑග් එකක් කොහොමටත් ලැබෙනවා. දතක් ගැලවීම වගේ ලොකු වැඩකින් පස්සේ බෙහෙත් තුණ්ඩුව, අමතර ගෝස් කෑලි, පසු ප්‍රතිකාර උපදෙස් ආදියත් මේ බෑග් එකටමයි එකතු වෙන්නේ.

දතක් ගැලවීමෙන් පසුව කලින් කී ගුඩි බෑග් එකට එකතු වන තවත් දෙයක් තියෙනවා. ඒ ටී බෑග් එකක්. මේක දෙන්නේ දිගටම ලේ එනවනම් ලේ නවත්වන්න. තේ කොළ වල තිබෙන ටැනික් ඇසිඩ් වලින් ලේ කැටි ගැහෙන්න උදවු වෙන බවත්, රුධිර නාල සංකෝචනය වීම නිසා රුධිර වහනය අඩු වන බවත් කියවෙන නමුත් ඇමරිකාවේ දන්ත වෛද්‍යවරුන්ගේ පසු ප්‍රතිකාර උපදෙස් සමඟ ටී බෑග් එකක් ලැබෙන්නේ මේ හා අදාළව කිසිවකු විසින් සිදු කළ පර්යේෂණයක් හේතුවෙන් කියා මම හිතන්නේ නැහැ.

ලේ නවත්වන්න ටී බෑග් එකක් යොදා ගැනීම සාමාන්‍ය ඇමරිකානුවන් විසින් හොයාගත් අත් බේතක් කියලයි මම හිතන්නේ. ඔය අත් බේත පසුව දන්ත වෛද්‍යවරුන් විසිනුත් භාවිතයට ගන්න ඇති. මීයෝ අල්ලනවනම් පූසා මැටියෙන් වුනාම මොකද? පුරුද්දක් ලෙස දිනපතා තේ පානය කරන අය අතර මොළයේ රුධිර නාල පිපිරී සිදුවන රුධිර වහන (Hemorrhage) හතර ගුණයකින් අඩු බව මෑතකාලීන ජපන් පර්යේෂකයෙකුගේ පත්‍රිකාවකනම් සඳහන් වෙලා තිබුණා.

අපි කුඩා කාලයේදී තුවාලයක් වුනාම කරපු අත් බේතක් තමයි කෝපි දළු ටිකක් කටින් හපලා තුවාලයට තියන එක. ඉක්මණින් ලේ නවතින බව අත් දුටුවයි සත්තයි! තේ කොළ මොකද කෝපි කොළ මොකද?

දිගින් දිගටම රටෙන් එළියට විදේශ විණිමය ගලන එකත් තුවාලයකින් නොනවත්වා ලේ ගලනවා වගේම දෙයක් තමයි. කොහොම හරි ඉක්මණින් නැවැත්තුවේ නැත්නම් වැඩේ බරපතල වෙන්න පුළුවන්.

ලංකාවේ ආර්ථිකය දැන් කලක සිට මුහුණ දී සිටින විදේශ විණිමය ප්‍රශ්නය ඉංග්‍රීසින් විසින් ලංකාව අල්ලා ගත් මුල් කාලයේ ඔවුන්ටත් මුහුණ දෙන්න සිදු වූ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඉංග්‍රීසීන් විසින් දැරූ උත්සාහය තුළ සෑහෙන තරමකින් ලංකාවේ ඉතිහාසය වෙනස් වුනා වෙන්න පුළුවන්.

අද ඉන්දියාව කියා අපි දන්නා රට ඉංග්‍රීසින්ගේ නිර්මාණයක් බව ගොඩක් අය දන්න දෙයක්නේ. ආසන්න වශයෙන් ඉන්දියාව පිහිටා තිබෙන බිම් ප්‍රදේශය එසේ හඳුන්වන්න වෙලානම්නම් අවුරුදු සහශ්‍ර දෙක තුනක්වත් වෙනවා. එය වෙනත් කරුණක්.

ඉංග්‍රීසින් විසින් වෙන වෙනම පාලනය වුනු බිම් කොටස් සිය ගණනක් එකතු කරලා ඉන්දියාව (හා පකිස්ථානය) හදන කොට ඔය ඉන්දියාව කියන අලුත් රටට ඒ ආසන්නයේම තිබුණු ලංකාවත් එකතු නොකර සිටීම බලාගෙන ගියාම සුවිශේෂී දෙයක්. එහෙම නොවෙන්න එක් ප්‍රධාන හේතුවක් වුණේ ලංකාව මුල ඉඳලම වගේ ඉන්දියාවෙන් ස්වාධීන වෙනම බ්‍රිතාන්‍ය කොළනියක් සේ පාලනය කරනු ලැබීමයි.

ඉන්දියාවට සම්බන්ධයක් නැති වෙනම රටක් වූ, ලංකාව මෙන් දහගුණයක් විශාල, මියන්මාරය පවා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක්ව තිබී වෙනම කොළනියක් වුණේ ඉන්දියාවට නිදහස ලැබෙන්න යාන්තම් අවුරුදු දහයකට කලිනුයි. එහෙම බැලුවහම ලංකාව බේරිලා තියෙන්නේ යාන්තමිනුයි.

කොහොම වුණත් ලංකාවත් ඉංග්‍රීසීන්ගේ මදුරාසි පාලනයේ කොටසක් වූ කාලයක් තිබුණා. ලංකාවෙන් ලන්දේසි එළවා ලන්දේසින් සතු වූ ප්‍රදේශ අයිති කර ගැනීමේදී බරපැන දැරුවෙත් මදුරාසියේ තිබුණු ඉංග්‍රීසි ආණ්ඩුවයි. මතක හැටියට පවුම් දොළොස් දාහක් වගේ මුදලක්.

ලංකාව අල්ලාගත්තායින් පස්සේ ඒ අල්ලාගත් ප්‍රදේශ පාලනය කළෙත් ඔය මදුරාසි ආණ්ඩුවමයි. පාලනය කළා කිවුවට ඇත්තටම කළේ බොහොම හදිස්සියෙන් ආදායම් එකතු කරන්න දඟලන එකයි. ඇල්ලුවට හපන්න බෑ කිවුව වගේ ඔන්න ඔතැනදී තමයි මදුරාසි ආණ්ඩුව ඇණ ගත්තේ.

මදුරාසි ආණ්ඩුව කළේ මදුරාසියේ ආදායම් එකතු කළ ක්‍රමය ගෙඩි පිටින් ලංකාවේ ක්‍රියාත්මක කිරීම. නමුත්, ඊට පෙර සිටි පෘතුගීසින් හා ලන්දේසින් විසින් කළේ සියවස් ගණනක් තිස්සේ සිංහලයින් පුරුදු වී සිටි රාජකාරි ක්‍රමය ඒ විදිහටම තියෙද්දී ඒ ක්‍රමයටම ආදායම් එකතු කර ගැනීමයි.

පෘතුගීසින්ට හා ලන්දේසින්ට ලංකාවේ ඒ වන විට තිබුණු රාජකාරි ක්‍රමය ඇතුළේම ඔවුන්ට අවශ්‍ය දේ පහසුවෙන්ම කරගන්න පුළුවන් වුණා. ආණ්ඩුවට අවශ්‍ය මිනිස් ශ්‍රමය වෙනුවෙන් ඔවුන් මුදල් වැය කළ යුතු නොවූ නිසා වියදම් ඉතිරි වුණා. ඒ නිසා, මුදලින් නැතුව ශ්‍රමයෙන් බදු ගෙවන එකේ අවාසියක් තිබුණේ නැහැ. රාජකාරි ක්‍රමයට අස්වැන්නෙන් කොටසක් ලබා දිය යුතු අය ස්වේච්ඡාවෙන්ම එය කළා. රටේ සාමාන්‍ය ජනතාව හා ආණ්ඩුව අතර කටයුතු සම්බන්ධීකරණය කළේ සම්ප්‍රදායික ප්‍රභූන් වූ ඉඩම් හිමි, ඉහළ කුල වල පිරිස් අතරින් තෝරාගත් අයයි.

ඉංග්‍රීසින් ලංකාවට එන විට ලන්දේසින්ගේ කාලය දක්වාම මුහුදුබඩ පළාත් වලත් ක්‍රියාත්මක වුනු බදු ක්‍රමය ඉංග්‍රීසින්ට තේරුම් ගන්න අමාරු තරමේ සංකීර්ණ එකක්. ඉඩම් භුක්ති විඳීමේ හිලවුවට රාජකාරි ක්‍රමයට ඉඩම් ලබාගත් අය අවුරුද්දකට මාස තුනක් ආණ්ඩුවට වැඩ කරනවා. බිං අඳේට ඉඩම් ලබාගත් අය වවන භෝගය අනුව දහයෙන් එකේ සිට දෙකෙන් එක දක්වා නියමිත කොටස ආණ්ඩුවට ගෙවනවා. මුදලි තනතුරට හා එයින් පහළ තනතුරු වලට පත් කර තිබුණු අය මේ කටයුතු සම්බන්ධීකරණය කරනවා. සමහර ඉඩම් වල බිං අඳේ ගන්නේ මේ අයයි.

ඉංග්‍රීසීන් පැමිණි ගමන්ම කළේ එක පාරටම මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන එකයි. මේ අනුව ඔවුන් උත්සාහ කළේ සියලුම බදු රිදී වලින්ම අය කර ගන්නයි. ඉඩමේ ප්‍රමාණය අනුව ඇස්තමේන්තු කරන ලද, ලැබිය හැකි අස්වැන්නෙන් බාගයක වටිනාකම බදු ලෙස මුදලින්ම ගෙවිය යුතු බව නියම කෙරුනා. ඒ වන විට අතේ රිදී කාසි ලොකුවට ඉතිරි කරගෙන හිටියේ නැති ලංකාවේ මිනිස්සුන්ට මේ අලුත් බදු ක්‍රමය කොයි තරම් ප්‍රශ්නයක් වුනාද කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ!

වැඩිපුරම ප්‍රශ්නයක් වුණේ 1796 සැප්තැම්බර් 1 සිට ක්‍රියාත්මක වන පරිදි පොල් ගහකට පනම ගානේ දමපු බද්දයි. මේක අලුත් බද්දක්ම නොවුනත් ලන්දේසින්ගේ කාලේ ඔය බද්ද ක්‍රියාත්මක වී නොතිබුණු නිසා මිනිස්සුන්ට සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුණු එකක්.

මේ අලුත් බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් මදුරාසියෙන් රැගෙන ආ නිලධාරීන් ඔමිල්දාර්ලා ලෙස හා ඔවුන්ගේ පහළ නිලධාරීන් ලෙස පත් කළා. ඒත් එක්කම ඒ වන විට වරප්‍රසාද ලබමින් සිටි මුදලි, ආරච්චි ආදී තනතුරු වල සිටි අයට මෙතෙක් ලැබුණු වරප්‍රසාද නැති වුණා. දකුණු ඉන්දියාවෙන් ආනයනය කළ අයව ඔමිල්දාර්ලා ලෙස හා එයින් පහළ පේෂ්කාර්, පට්ටකාරර් ආදී තනතුරු වලට පත් කෙරුණා.

ඉංග්‍රීසින් යටතේ බදු ආදායම් එකතු කරන එක සෑහෙන තරමකට පුද්ගලීකරණය වෙලයි තිබුණේ. මේ ක්‍රමය යටතේ කිසියම් ප්‍රදේශයක කිසියම් බද්දක් එකතු කිරීමේ අයිතිය වෙන්දේසියේ විකුණලා වැඩිම ඉල්ලුම්කරුට දෙනවා. ඕක ඊජිප්තුව, රෝමය, ග්‍රීසිය වගේ රටවලත් ක්‍රියාත්මක වූ ක්‍රමයක්. ඊට පස්සේ බදු එකතු කර ගැනීම වෙන්දේසියෙන් දිනන පුද්ගලයාගේ වැඩක්. ආණ්ඩුවට ගෙවන්න පොරොන්දු වූ මුදල එකතු කරගන්න බැරි වුනොත් පාඩු වෙනවා. වැඩිපුර එකතු කරගත්තොත් ලාබ. ආණ්ඩුවේ පැත්තෙන් ගත්තහම බදු ආදායම් සම්බන්ධ අවිනිශ්චිතතාවය නැතුව යනවා.

මේ ක්‍රමයේ තිබුණු ප්‍රධාන ප්‍රශ්නය තමයි වෙන්දේසිය දිනන පුද්ගලයින් විසින් බදු එකතු කර ගැනීම සඳහා මිනිස්සුන්ව විශාල ලෙස පීඩාවට පත් කිරීම. විශේෂයෙන්ම ඒ වගේ තත්ත්වයක් වලක්වන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන විට.

ලංකාව ඉංග්‍රීසින් විසින් අල්ල ගත්තට පස්සේ මේ විදිහට බදු එකතු කිරීමේ කොන්ත්‍රාත් ගත්තු වැඩි දෙනෙක් ආණ්ඩුවේ පහළ ස්ථරය වූ ඔමිල්දාර්ලා වැනි අයමයි. ඒ අය බොහෝ විට බදු එකතු කරන්න යොදාගත්තේ ඔවුන්ගේ පහළ නිලධාරීන්වයි. පහළ මට්ටමේදී යුක්තිය පසිඳලීමේ බලතල තිබුණෙත් ඒ අයටමයි. ඒ නිසා, මේ බදු එකතු කිරීමේ පලහිලව්ව දුර දිග ගියොත් ඒ ගැන පැමිණිලි කරන්න වෙන්නෙත් මේ අයටමයි. වෙන එකක් තබා ඒ දවස් වල ලංකාවේ බ්‍රිතාන්‍ය පරිපාලනයේ ඉහළින්ම සිටි රොබට් ඇන්ඩෲස්ගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලෙස කටයුතු කරපු ජර්විස් උන්නැහේ පවා තමන්ගේ රස්සාවට අමතරව මේ බදු කොන්ත්‍රාත් වැඩේ කරපු කෙනෙක්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!

ඉන්දියාවෙන් ආපු ඔමිල්දාර්ලා කලින් හිටපු මුදලි ආරච්චි පේරු වල ඇත්තෝ වගේ ලංකාවේ මිනිස්සු ගැන යාන්තමින් හෝ කැක්කුමක් තිබුණ අය නෙමෙයි. ඔවුන් වෙනම සංස්කෘතියක හිටපු, වෙනම භාෂාවක් කතා කරපු මිනිස්සු. කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේ අයට බදු එකතු කරගන්න උදවු වෙන්න දකුණු ඉන්දියාවේ ඉඳලා ඒ අයගේ යාලුවෝ නෑදෑයෝ සනුහරෙන් සෑහෙන ප්‍රමාණයකුත් ඇවිත් තියෙනවා. බදු එකතු කිරිල්ල කොහොම වුනාද කියන එක හිතාගන්න පුළුවන්නේ!

මේ අලුත් බදු ක්‍රමය නිසා අලුත් ඉංග්‍රීසි ආණ්ඩුවට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුනා. ආණ්ඩුවේ වැඩ වලට අවශ්‍ය කුලීකරුවන් ඉන්දියාවේදී වගේ දවස් කුලියකට නැත්නම් මාස් පඩියකට බඳවා ගන්න ඔවුන් බලාපොරොත්තු වුවත් කීයක් දුන්නත් කුලී වැඩ කරන්නනම් බෑ කියන එක තමයි සිංහලයන්ගේ ප්‍රතිචාරය වෙලා තියෙන්නේ. ඕනෑනම් රාජකාරී ක්‍රමයට වැඩ කරන්න ඕනෑ දවස් ගාණ වැඩ කරන්නම්. හැබැයි ඔය රිදී කාසි කොච්චර දුන්නත් කුලී වැඩ කරන්න කියලනම් අපිට කියන්න එපා!

අවුරුද්දකටම පනමක ගෙඩි නොහැදෙන කණාටු පොල් ගහකටත් පනමක බද්දක් ගෙවන්න නියම කරලා ඔමින්දාර්ලාගේ මැරයෝ තාඩන පීඩන කරන්න පටන් ගත්තහම දුක කියන්නවත් කෙනෙක් නැති පහතරට මිනිස්සු විශාල අසහනයකට පත් වුණා. තනතුරු නැතිවෙලා හිටපු ආරච්චිලා මුදලිලා ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. පහතරට පුරා කැරැල්ලක් මතු වුණා. තමන්ගේ ආණ්ඩුව වට්ටපු ඉංග්‍රීසින් ගැන කැමැත්තකින් නොසිටි ලංකාවේ පදිංචිව සිටි ලන්දේසීන් කැරළිකරුවන්ට යටින් උදවු කළා.

අන්තිමේදී, මේ අවුල් සහගත තත්ත්වය ගැන කරුණු හොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන්න 1797 අවුරුද්දේ ජූනි 9 වෙනිදා ජෙනරාල් ඩි මියුරන්ගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණා.

ඩි මියුරන් කමිටුවේ නිර්දේශ වල ප්‍රතිඵලයක් ලෙස රාජකාරි ක්‍රමය නැවත ස්ථාපිත කෙරුණා. ඉන්දියාවෙන් ආ නිලධාරීන් ආපසු යැවුනා. ලංකාවේ කලින් හිටපු මුදලි, ආරච්චි ආදීන්ගේ තනතුරු නැවත ලැබුණා. 1797 සැප්තැම්බර් 16 වෙනිදා සිට පොල් බද්ද අහෝසි වුණා.

1798 ඔක්තෝබර් 12 වෙනිදා ෆෙඩ්රික් නෝර්ත් ලංකාවේ පළමුවෙනි ආණ්ඩුකාරයා විදිහට පත් වෙලා ආවා. ලංකාව ඉන්දියාවෙන් ස්වාධීන වෙනම කොළනියක් වුණා. ලංකාවට නිදහස ලැබෙන තුරුම ඒ තත්ත්වය ඒ විදිහටම පැවතුණා.

Monday, April 30, 2018

විජයාවතරණය


සංයුත්ත නිකායේ සගාථා වර්ගයේ දේවපුත්ත සංයුත්තයේ ඇති සූරිය හා චන්දිම සූත්‍ර අනුව බුදුන් සැවැත් නුවර දෙවුරම් වෙහෙර වැඩ විසූ කිසියම් දෙදිනක සූරිය හා චන්දිම දෙව් පුතුන් රාහු අසුරිඳු විසින් අල්ලා ගනු ලැබ එම පීඩාවෙන් ගැලවීම සඳහා බුදුන්ගේ පිහිට අයැද තිබේ. අදාළ කාලයේදී සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ හඳුනා ගැනුණේ පිළිවෙලින් සූරිය හා චන්දිම දෙව් පුතුන් රාහු අසුරිඳු විසින් අල්ලා ගැනීමක් ලෙසින් බව අමතක නොකර මේ සූත්‍රයන්හි පෙල කියවූ විට මතුවන අදහස එය අමතක කර මේ සූත්‍ර කියැවූ විට ලැබෙන අදහසම නොවේ.

මේ කාලය වන විටද යම් නිරවද්‍යතාවයක් සහිතව සූර්යයාගේ, චන්ද්‍රයාගේ හා තවත් ඈතින් පිහිටි තාරකා ගණනාවක පොළොවට සාපේක්ෂ චලිතය තේරුම්ගත හැකි ප්‍රවාද බිහි වී තිබුණත් ඒ සමඟම මේ ආකාශ වස්තූන් බොහොමයකටම කිසියම් දේවත්වයක්ද ආරෝපණය  වී තිබුණේය.

දේවපුත්ත සංයුත්තයේ අවසානයට ඇති සූරිය හා චන්දිම සූත්‍ර හැර තවත් සූත්‍ර අටක් තිබේ. මේ සූත්‍ර වල එක් විශේෂත්වයක් වන්නේ වෙනත් බොහෝ සූත්‍ර ආරම්භයේදී කියැවෙන "එක්තරා දෙවියෙක්" වෙනුවට නිශ්චිත නමකින් හඳුන්වා ඇති දෙව් පුතෙකු හමුවීමයි. උදාහරණ ලෙස දේවපුත්ත සංයුත්තයේ පළමු සූත්‍ර දෙක පඨම කස්සප සූත්‍රය හා දුතිය කස්සප සූත්‍රයි. මේ සූත්‍ර පාඨ දේශනා කර තිබෙන්නේ "මනා ඡවිවර්ණ ඇති කසුප් දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත" එළැඹීමෙන් පසුවය.

ඇතැම් දිනවල රෑ පෙරයම ඉක්ම ගිය කල්හි සැවැත් නුවර අහසේ දැකිය හැකි වූ තාරකාවක්ද මේ කාලයේ හැඳින්වුණේ කස්සප යන නමිනි. මහාභාරතයෙහි කස්සප හෙවත් කාශ්‍යප, මරිචි, අත්‍රි, පුලහ, පුලස්‍ය, ක්‍රතු, වශිෂ්ඨ යන නම් හත සප්තසෘෂීන් ලෙස හැඳින්වෙන අතර වෘහත්සංහිතාවෙහි ඇති ලැයිස්තුවෙහි කාශ්‍යප යන්න වෙනුවට අංගීරස නම ආදේශ වී තිබේ. මේ අයුරින් සෘෂීන් හෝ දෙවියන් සේ සංකල්පගත කර ඇති, දැන් බටහිර රටවල මහ වලහා ලෙසත්, බිග් ඩිපර් ලෙසත්, අර්සා මේජර්  (Ursa Major) ලෙසත් හැඳින්වෙන සප්තාර්ශී තාරකා මණ්ඩලයට අයත් තාරකා ගැන මා මීට පෙරද විස්තර කර තිබේ.

වික්ටර්ගේ අරුන්දතී හා ජෝතිපාලගේ අරුන්දතීලා

දේවපුත්ත සංයුත්තයේ තෙවන සූත්‍රය මාඝ සූත්‍රයයි. මෙය දේශනා කර තිබෙන්නේ "මනා ඡවිවර්ණ ඇති මාඝ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත" එළැඹීමෙන් පසුවය. මාඝ නමින් හැඳින්වෙන, ඇතැම් දිනවල රෑ පෙරයම ඉක්ම ගිය කල්හි සැවැත් නුවර අහසේ දැකිය හැකි වූ තාරකාවක්ද තිබේ. සකු බසින් මාඝ නක්ෂත්‍රය ලෙසින්ද සිංහලෙන් මා නැකත ලෙසින්ද හැඳින්වෙන්නේ මේ තාරකාවයි. හඳ මාඝ නැකැත් තාරකාවට ආසන්නව තිබියදී එළැඹෙන චන්ද්‍ර මාසය සකු බසින් මාඝ මාසය ලෙස හැඳින්වෙන අතර දකුණු ඉන්දීය භාෂාද ඇතුළුව වත්මන් ඉන්දියානු භාෂා බොහොමයකම මේ මාසය හැඳින්වෙන නම් බිඳී ගොස් ඇත්තේ මාඝ යන සංස්කෘත නමිනි. සිංහල චන්ද්‍ර මාස ක්‍රමය අනුව මෙය නවම් මාසයයි. මේ හා අදාළ වැඩිපුර තොරතුරු පහත ලිපියේ තිබේ.

නැකැත් ක්‍රමයේ විකාශනය 

වෙසක්, ඇසළ වැනි ඇතැම් සිංහල චන්ද්‍රමාස වල නම් වලට පැහැදිලි සංස්කෘත මුල් තිබුණත් අනෙකුත් බොහෝ සිංහල චන්ද්‍ර මාස වල නම් වල එවැනි සකු හෝ මගධ ප්‍රභවයක් පැහැදිලිව නොපෙනේ. දකුණු ඉන්දීය ප්‍රභවයක්ද නොපෙන්වන මේ නම් ආර්ය කණ්ඩායම් ලංකාවට සංක්‍රමණය වීමට පෙර භාවිතා වූ නම් වන්නට පුළුවන.

සිදුහත් කුමරුගේ උපත, බුදුවීම හා බුදු හිමියන්ගේ තෙමඟුල සිදුවූ ලෙස සැලකෙන්නේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය. සිදුහත් උපත සිදුවන්නට පෙර වෙසක් පුර පසළොස්වක දිනයක් සුවිශේෂී දිනයක් වූයේ පුර පසළොස්වක පෝයක් වීම නිසා පමණක් බැවින් එවැනි දිනයක සිදුහත් උපත සිදුවූ බව පසුව එකතු වූ කතාවක් විය යුතුම නැත. එකුන් තිස් වියේදී ගිහිගෙය හැරගොස් සවසරක් දුෂ්කර ක්‍රියා කරන සිදුහත් කුමරු අධිෂ්ඨාන​ පූර්වකව බෝමුල වාඩි වූයේ පන්තිස් විය සැපිරීමට පෙර තමන්ගේ අරමුණ ඉටුකරගන්නට විය හැකි නිසා බුද්ධත්වය හා සිදුහත් උපත එකම දිනක සිදු වීමද බොහෝ විට සිදුවිය හැකි දෙයකි. සම්බුද්ධ පරිනිර්වාණයද වෙසක් පොහෝ දිනකම සිදුවූයේනම් එය අහඹුවක් වුවත් එවැන්නක් සිදුවීමට ඇති සම්භාවිතාවද (1/365) සිදු නොවිය හැකිතරම් කුඩා එකක් නොවේ. කෙසේ වුවත්, සම්බුද්ධ පරිනිර්වාණය වෙසක් පුර පසළොස්වක දිනකම සිදුනොවූවා වන්නට පුළුවන.

බුදුන්ගේ තෙමඟුල සිදු වූ බව පිළිගැනෙන වෙසක් පෝය බෞද්ධයන්ට ඉතා වැදගත් දිනයකි. ඊට අමතරව මහාවංශයේ කතාව අනුව සිංහල ජාතියේ ආරම්භයද සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වෙසක් පෝය දින කරා දිවයයි.

"ස්ථිර බුද්ධි ඇති විජය නම් කුමර ලංකායෙහි හෝ තාම්‍රපර්ණී ද්වීපයෙහි යමක ශාලාන්තරයෙහි හෙවත් සල්රුක් දෙදෙනා අතුරෙහි තථාගතයන් පිරිනිවන් පිණිස සැතපුණු දවස බටුයේය." (මහාවංශය- හයවෙනි පරිච්ඡේදය)

මහාවංශයේ කතාව අනුව බැලුවොත් සිංහලයින්ගේ ආරම්භකයා විජය නොවේ. ඔහුගේ මළනු සුමිත්තගේ පුත් පණ්ඩුවාසදේවයි. විජයට දාව කුවේණියගේ කුසින් බිහිවන දරුවන්ගෙන් වැද්දන් මිස සිංහලයින් පැවත එන බවක් මහාවංශයෙහි කියා නැත. පඬි රජ දියණිය විජයට දාව පුතුන් වදා නැති අතර දියණියන් ගැනද සඳහනක් නැත. එහෙත්, පණ්ඩුවාසදේවට ලංකාවට එන්නට ඉඩ සැලසෙන්නේ විජය නිසාය. කතාවට විජය වැදගත් වන්නේ ඒ නිසාය. එසේනම්, විජය ලංකාවට පැමිණීම තනිකරම අහම්බයක්ද?

මහාවංශයේ මුල් කොටස සැබෑ ඓතිහාසික සිදුවීම් සේ බැලූ බැල්මටම නොපෙනෙන ලුණු ඇඹුල් වලින් පිරී ඇතත්, දේවපුත්ත සංයුත්තයේ සූත්‍ර මෙන්ම මහා වංශයද  ඒවා ලියැවුණු කාලය හා ඓතිහාසික සන්දර්භය ගැන සිතා පරිස්සමින් කියවනවානම් ඒ ලුණු ඇඹුල් අතර තිබෙන සැබෑ ඓතිහාසික සිදුවීම් වන්නට වඩා ඉඩකඩ ඇති දෑ තෝරාබේරා ගැනීම කළ නොහැක්කක් නොවේ.

(Image: http://lankauruma.blogspot.com/2014/09/kuveni.html)

(Image: http://www.lankaweb.com/news/items/2016/11/07/kuvenis-curse-still-holds-sway/)

Wednesday, April 18, 2018

දෙවුරම් වෙහෙරෙන් උදවු ඉල්ලූ දේවපුත්‍රයා


සංයුත්ත නිකායේ සගාථා වර්ගයේ දේවපුත්ත සංයුත්තයේ සූරිය සුත්‍රය නම් වූ සූත්‍රයක් තිබේ. එහි පෙළ පහත දැක්වේ.

"මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල සූර්‍ය්‍ය දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කරනුයේ මේ ගාථාව කීය.

’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ හැමතන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූර්‍ය්‍ය දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.

’’එම්බා රාහු, සූර්‍ය්‍ය දෙව්පුත් තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ සූර්‍ය්‍ය දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’

’’එම්බා රාහු, අන්‍ධකාරයෙහි යමෙක් එලිය කරන්නේද, බබළන්නේද, මඬුලු සටහන් ඇත්තේද, උග්‍ර තේජස් ඇත්තේද, එසේවූ අහස හැසිරෙන සූර්‍ය්‍යයා නොගිලුව, මගේ ශ්‍රාවක බවට පැමිණි සූර්‍ය්‍යයා අතහරුව,’’

එකල රාහු අසුරිඳු සූර්‍ය්‍ය දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාවය ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත පැමිණියේය. පැමිණ, කැලැඹුණේ ලොමු දැහැගැනුම ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳුට ගාථායෙන් (මෙසේ) කීය:

’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් හිරු දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු, ස්වභාවය ඇතිව, බිය ගත්තකු මෙන් සිටිනෙහිද?’’

(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලදුයෙමි. (ඒ මම) ඉදින් සූර්‍ය්‍ය දෙව්පුතු නොමුදාලීම් නම්, මා හිස සත්කඩකට පැලෙන්නේය. ජීවත්වන්නෙම් නම් සැපයක් නම් නොලබන්නෙමි.’’

දේවපුත්ත සංයුත්තයේම ඇති චන්දිම සූත්‍රයේ පෙළද බොහෝ දුරට මෙයට සමානය. එහි වෙනස සූර්‍ය්‍ය දෙව්පුතු වෙනුවට චන්දිම දෙවු පුතු සිටීමයි. සූරිය සූත්‍රය හා චන්දිම සූත්‍රය දැනටත් ලංකාවේ සෙත් පිරිතක් ලෙස නිතරම භාවිතා වන්නකි. වෙනත් බොහෝ සූත්‍ර වල කියැවෙන ආලෝකය විහිදා රාත්‍රී යාමයේ බුදුන් හමුවට පැමිණෙන දේවතාවන් මෙන් සූර්‍ය්‍ය දෙව්පුතු හෝ චන්දිම දෙවු පුතු බුදුන් වෙත නොපැමිණීමද විශේෂත්වයකි. සූත්‍ර අනුව ඔවුන් කරන්නේ බුදුන් සිහි කිරීම පමණි.

මෙහි කියැවෙන සූර්‍ය්‍ය හා චන්දිම දේවපුත්‍රයින් යනු ඉර හා හඳ බවත්, මේ කියන්නේ සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ගැන බවත්  තේරුම් ගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇතිවීම පිළිබඳව බුද්ධ කාලයේ පැවති දැනුම චන්දිම සූත්‍රයෙන් හා සූරිය සූත්‍රයෙන් පිළිබිඹු වේ. බුද්ධ කාලයෙන් වසර සහශ්‍රයකට පමණ පසුව සූර්ය සිද්ධාන්තය ලියැවෙන කාලය වන විට මේ ස්වභාවික සංසිද්ධි පැහැදිලි කිරීමට පමණක් නොව නිවැරදිව පුරෝකථනය කිරීමටද හැකි තරමට ජ්‍යෝතිෂය දියුණු වී තිබුනත් ක්‍රිස්තු පූර්ව හයවන සියවස ආසන්න කාලයේදී සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ බොහෝ දෙනෙකුට බිය උපදවන දෙයක් වූ බව සිතා ගැනීම අපහසු නැත.

සූරිය සූත්‍රයේ පෙළ අනුව බුදුන් සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවිසූ කිසියම් අවස්ථාවක සූර්යග්‍රහණයක් සිදුවන්නට ඇති බවට අපට ප්‍රවාදයක් ගොඩනැගිය හැකිය. මේ අයුරින්ම චන්ද්‍රග්‍රහණයක්ද සිදුවන්නට ඇති නමුත් අපට වඩා වැදගත් වන්නේ මේ කාලයේදී සිදුවීමට ඉඩ තිබුණේයැයි අප සිතන සූර්යග්‍රහණයයි. හදිසියේම දවල් කාලයේ ඉර නොපෙනී ගොස් අඳුරු වුවහොත් බොහෝ දෙනෙකු බියට පත් වන බවත්, තමන්ට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අයෙකු සේ සලකන බුදුන් වැනි කෙනෙකුගෙන් පිහිට අයදින්නට ඉඩ ඇති බවත් වටහාගැනීම අපහසු දෙයක් නොවේ. එවැනි විටෙක, බුදුන් ශ්‍රාවක පිරිසගේ බිය දුරු කිරීම පිණිස කිසියම් දෙයක් කරන්නටද ඉඩ තිබේ.

චන්ද්‍රග්‍රහණ මෙන් නොව සූර්යග්‍රහණ දුර්ලභය. පොළොවේ කොතැනකට හෝ සූර්යග්‍රහණයක් පෙනීම දුලබ දෙයක් නොවූවත් පොළොවේ කිසියම් නිශ්චිත ස්ථානයකට වසර දහසකට පූර්ණ සූර්යග්‍රහණ හත අටකට වඩා පෙනෙන්නේ නැත. සූරිය සූත්‍රය අනුව ඉහත සූර්යග්‍රහණය සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයට පෙනුණු එකකි. එසේනම්, මෙය සිදුව තිබෙන්නේ ජේතවන පූජාව සිදු කිරීමෙන් පසුව සම්බුද්ධ පරිනිර්වාණයට පෙර වසරකදී විය යුතුය.

සැවැත් නුවර ජේතවනාරාමය පැවති තැන සේ සැලකෙන්නේ උත්තර ප්‍රදේශ්හි සහේත් නගරයයි. මේ ස්ථානය උත්තර අක්ෂාංශ 27.5086443 හා නැගෙනහිර දේශාංශ 82.0392016 හි මුහුදු මට්ටමේ සිට මීටර් 105-110 ක පමණ උසක පිහිටා ඇති තැනකි. මේ තොරතුරු වල උපකාරයෙන් අපට සැවැත් නුවර ජේතවනාරාමයට පූර්ණ සූර්යග්‍රහණයක් දකින්නට ලැබුණු අවස්ථා ගණනය කර සොයාගත හැකිය. එවිට අපට පෙනෙන පරිදි, ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය තුළ එවැනි පූර්ණ සූර්යග්‍රහණ තිබී ඇත්තේ හයක් පමණි. ඒවා පහත දැක්වේ.

1. ක්‍රිස්තු පූර්ව 986 දෙසැම්බර් 26 හවස 4:29:49 සිට මිනිත්තු 1:16ක්.
2. ක්‍රිස්තු පූර්ව 848 අගෝස්තු 4 උදේ 6:14:54 සිට මිනිත්තු 2:54ක්.
3. ක්‍රිස්තු පූර්ව 794 සැප්තැම්බර් 6 උදේ 6:34:57 සිට මිනිත්තු 2:23ක්.
4. ක්‍රිස්තු පූර්ව 769 මැයි 5 හවස 5:08:22 සිට මිනිත්තු 1:34ක්.
5. ක්‍රිස්තු පූර්ව 548 ජූනි 19 උදේ 10:11:32 සිට මිනිත්තු 5:41ක්.
6. ක්‍රිස්තු පූර්ව 309 අගෝස්තු 15 හවස 2:13:02 සිට මිනිත්තු 3:29ක්.

මේ අතරින් මුල් හතර සිදුව ඇත්තේ බුද්ධ කාලය ලෙස බොහෝ දෙනෙකු විසින් පිළිගන්නා කාලයට බොහෝ කලිනි. අවසන් පූර්ණ සූර්යග්‍රහණය සිදුව තිබෙන්නේ අශෝක කාලයට ඉතා ආසන්නවය. ඒ නිසා බුද්ධ කාලයේදී සිදු වූවා විය හැක්කේ පස්වැන්න පමණි. එමෙන්ම එය මිනිත්තු 5:41ක් පුරා පැවති දීර්ඝ සූර්යග්‍රහණයක් වීමද විශේෂත්වයකි.

එසේනම්, ක්‍රිස්තු පූර්ව 548 ජූනි 19 උදේ 10:11:32 සිට මිනිත්තු 5:41ක් මහ දවාලේ ඉර නොපෙනී ගියේ බුදු හිමියන් සැවැත් නුවර සිටි සමයකදීද?

ථෙරවාද සම්ප්‍රදාය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 543දීය. එසේනම්, මේ සූර්යග්‍රහණය සිදුව තිබෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයට වසර පහකට පෙරය. එහෙත්, දැනට වැඩියෙන් පිළිගන්නා ගයිගර්ගේ ගණනය කිරීම් අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 483දී වන අතර මෙය ඊට වසර 65කට පෙර වසරකි. ඒ වන විට සිදුහත් කුමරාට වයස අවුරුදු 15ක් පමණි. ක්‍රිස්තු පූර්ව 483ට පෙර වසර 45 තුළ (ගයිගර්ගේ ගණනය කිරීම් අනුව බුද්ධත්වයෙන් පසු පරිනිර්වාණය දක්වා කාලය තුළ) අඩු වශයෙන් ජේතවනාරාමය පිහිටි ප්‍රදේශයට සැලකිය යුතු බලපෑමක් කරන (දැනෙන තරමට අහස අඳුරු කරන) අර්ධ සූර්යග්‍රහණයක් හෝ සිදු වී නැත.

එසේනම්, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් සැබෑවටම අල්ලා ගන්නා ලද්දේ වීද?

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...