වෙබ් ලිපිනය:

Showing posts with label ආර්ථික විද්‍යාව. Show all posts
Showing posts with label ආර්ථික විද්‍යාව. Show all posts

Tuesday, January 26, 2021

ශ්‍රමය, ප්‍රාග්ධනය හා ආර්ථික වර්ධනය


ආර්ථික සංවර්ධනය අතින් ලෝකයේ වෙනත් රටවල් එකින් එක ලංකාව පහු කරගෙන ඉදිරියට යාම ගැන, මේ කතාව අර්ධ සත්‍යයක් වුවත්, ලංකාවේ ජීවත්වන හෝ ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන ලංකාවෙන් පිට ජීවත් වන ගොඩක් අයට ලොකු කණස්සල්ලක් තිබෙනවා. කෙළින්ම නොකිවුවත්, මේ කවුරු වුනත් කතා කරන්නේ මේ වන විට සංවර්ධිත රටවල් ලෙස හඳුන්වන බටහිර රටවල් හා තවත් ඇතැම් රටවල් විසින් අත් කරගෙන තිබෙන ආකාරයේ සංවර්ධනයක් ගැනයි. බටහිර සංවර්ධනය කියන යෙදුම එක්ක කාට හෝ ප්‍රශ්න තිබෙනවානම් රටේ වැඩි කෙනෙකුට හිතේ හැටියට කාලා ඇඳලා හොඳ ගෙයක සතුටින් ජීවත් වෙන්න ලැබෙන ආකාරයේ සංවර්ධනයක් කියා අපි කියමු. 

ලංකාවේ කිසියම් ජන පදනමක් තිබෙන දේශපාලන පක්ෂ වලින් පටන් ගත්තොත්, එජාප හා දැන් එජාපයෙන් කැඩී ගොස් සිටින සජබෙ කොහොමටත් පෙනී සිටියේ ඔය ආකාරයේ සංවර්ධනයක් වෙනුවෙන්. රාජපක්ෂ කඳවුර හා හිතවතුන් ගත්තත් එහෙමයි. නලින් ද සිල්වා වගේ කෙනෙක් ගත්තත් තමන් බර කරත්තෙන් අනුරාධපුර යුගයට යන්න යෝජනා නොකරන බව පැහැදිලිව කියනවා. පොදුවේ ගත්තහම සමාජවාදීන්ගේ අවසන් ඉලක්කයත් ඕකම තමයි. මේ එක් එක් කණ්ඩායම වෙනස් වෙන්නේ ඔවුන්ගේ උපක්‍රම වලින් මිසක් අවසන් ඉලක්කය අනුව නෙමෙයි. වෙනස් වචන යොදාගත්තත්, කවුරු වුනත් කතා කරන්නේ වේගවත් සංවර්ධනයක් අත් පත් කර ගැනීම ගැනයි.

මේ සංවර්ධන කතිකාවේදී ප්‍රාග්ධනය ගැන බොහෝ විට කතා වෙනවා. වේගවත් සංවර්ධනයක් අත් පත් කර ගැනීමේදී ප්‍රාග්ධනයේ භූමිකාව පිළිබඳව ඉහත කී කණ්ඩායම් අතර ලොකු එකඟතාවයක් නැතත්, කවුරුත් වගේ ප්‍රාග්ධනයේ භූමිකාව ඉතාම වැදගත් සේ සලකනවා. ඒ වගේම, ලංකාවට ඉදිරියට යන්න තිබෙන ලොකුම බාධාව ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නැති බව කියලා සෑහෙන තරමේ එකඟත්වයක් තිබෙනවා. එකඟත්වයක් නැත්තේ අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක ගැනයි.

රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධනය අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද? 

මේ ගැන මම පෙර කතා කර තිබුණත් බොහෝ විට එසේ කර තිබෙන්නේ විස්තරාත්මකව මිස ගණිත ආකෘති ඇසුරෙන් නෙමෙයි. දැන් මෙහි පළවන ලිපි කියවන අය අතර ගණිතය තරමක් ඉහළට ඉගෙන ගත් අය යම් ප්‍රමාණයක් ඉන්න නිසාත්, ඒ ඇතැම් අය ඉල්ලා තිබෙන නිසාත්, මේ පැහැදිලි කිරීම සඳහා අපි ගණිතමය ආකෘති යොදා ගනිමු. අපේ ඇතැම් නිත්‍ය පාඨකයින්ට මෙය බර වැඩි වෙයි. ඒ තරම් ගණන් ගන්න එපා. අවශ්‍ය නැත්නම් බර වැඩි කොටස් අත ඇරලා කියවන්න.

රටක ආර්ථිකය වර්ධනය වනවාද කියා මනින්න යොදා ගන්නා සම්මත නිර්ණායකය දළ දේශීය නිෂ්පාදිතය. දළ දේශීය නිෂ්පාදිතය මගින් මනින්නේ කිසියම් කාලයක් තුළ රටක නිපදවූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඕනෑම භාණ්ඩයක් හදන්න යොදා ගන්නා නිෂ්පාදන සාධක සියල්ල අපට ශ්‍රමය හෝ ප්‍රාග්ධනය විදිහට අපට වර්ග කරන්න පුළුවන්. තක්කාලි වගේ ප්‍රාථමික කෘෂි නිෂ්පාදිතයක් නිෂ්පාදනය කරන්න අපට ඉඩමක් අවශ්‍යයි. මිනිස් ශ්‍රමය අවශ්‍යයි. උදළු වගේ කෘෂි උපකරණ අවශ්‍යයි. පොහොර, රසායන වගේ දේවල් අපි දැනට අමතක කරමු. මෙහි මිනිස් ශ්‍රමය හැර ඉඩම්, කෘෂි උපකරණ ආදිය අපට ප්‍රාග්ධනය ලෙස සලකන්න පුළුවන්.

ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදන සාධක ලෙස හඳුන්වන්නේ නිෂ්පාදනය සිදු කර අවසන් වීමෙන් පසුවත් තව දුරටත් මේ දේවල් ඉතිරි වන නිසයි. තක්කාලි හිටවා අස්වැන්න ලැබුණාට පසුව ඉඩම වගේම කෘෂි උපකරණත් තව දුරටත් ඉතිරිව තිබෙනවා. ශ්‍රමය ලබා දුන් ශ්‍රමිකයාත් තව දුරටත් ඉන්නවා. ඉඩම හා කෘෂි උපකරණ නිෂ්පාදනය සඳහා නැවත නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ශ්‍රමිකයාගේ ශ්‍රමයත් නැවත නැවත නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවන්.  

නිෂ්පාදනය සඳහා යොදා ගන්න ඇතැම් ආදාන නිෂ්පාදන කාර්යයේදී ක්ෂය වී යනවා. මේවාට අපි කියන්නේ අමුද්‍රව්‍ය කියලා. අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සාධක අතර වෙනස මෙයයි. තක්කාලි සෝස් හදන්න තක්කාලි අවශ්‍යයි. සෝස් නිෂ්පාදනය කර අවසන් වූ පසු තක්කාලි තව දුරටත් තක්කාලි ලෙස ඉතිරි වෙන්නේ නැහැ. යෝගට් හැදූ පසු කිරි තවදුරටත් කිරි ලෙස ඉතිරි වෙන්නේ නැහැ. මේ වගේ නිෂ්පාදිතයකට අපට ද්වීතියික නිෂ්පාදිතයක් කියා කියන්න පුළුවන්. 

ද්වීතියික නිෂ්පාදිතයක් හදද්දී ඒ සඳහා ශ්‍රමය හා ප්‍රාග්ධනය අවශ්‍ය වනවා වගේම වෙනත් ප්‍රාථමික නිෂ්පාදිතද අවශ්‍ය වෙනවා. ප්‍රාථමික නිෂ්පාදිතයක පිරිවැය වන්නේ ඒ සඳහා යොදාගත් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පිරිවැයයි. ද්වීතියික නිෂ්පාදිතයක පිරිවැයට ඒ සඳහා යොදාගත් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පිරිවැය වගේම අමුද්‍රව්‍ය ලෙස යොදාගත් ප්‍රාථමික නිෂ්පාදිත නිපදවීමට යොදාගත් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පිරිවැයද ඇතුළත්. අවසාන වශයෙන් ප්‍රාථමික වේවා, ද්වීතියක වේවා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් හදන්න අවශ්‍ය වෙන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය පමණයි. අපට මේ සම්බන්ධය මේ විදිහට ලියන්න පුළුවන්.

K,L ➞ Y 

Y = F(K,L)

මෙහි Y කියන්නේ නිෂ්පාදිතය. K කියන්නේ යෙදවූ ප්‍රාග්ධනය. L කියන්නේ යෙදවූ ශ්‍රමය. මෙහිදී ශ්‍රමය යන වචනය භාවිතා වෙන්නේ ශ්‍රමිකයින් ප්‍රමාණය වැනි අදහසකින් මිසක් සිදු කළ කාර්යයය කියන අදහසින් නෙමෙයි. F(.) කියා කියන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදිතය බවට පරිවර්තනය කෙරෙන නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වරූපය. උදාහරණයක් විදිහට, K = 10, L = 20 නම් Y කීයද කියා තීරණය කරන සම්බන්ධතාවයේ ස්වභාවය. එම සම්බන්ධතාවය තීරණය වන්නේ පවතින තාක්ෂනය මතයි. එවැනි කවර හෝ සම්බන්ධතාවයක් තිබෙන බව මිස එය කුමක්ද කියන එක අපි හරියටම දන්නේ නැහැ.

මේ දක්වා අපි බරපතල උපකල්පන කිසිවක් කරලා නැහැ. එහෙත්, මෙතනින් ඉදිරියට යාමේදී F(K,L) කියන සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳව කිසියම් ගණිතමය ආකෘතියක් යොදා ගැනීම විශ්ලේෂණය පහසු කරනවා. මේ සම්බන්ධතාවය විස්තර කිරීම සඳහා යොදා ගන්නා සරල ගණිතමය ශ්‍රිතයක් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ලෙස හැඳින්වෙනවා. එය මෙවැන්නක්.

Y = F(K,L) = AKαLß 

දැනට අපි මෙහි A නියතයක් ලෙස සලකමු. ඒ වගේම, α හා ß ද නියතයන්. විචල්‍යයන් වන්නේ K සහ L පමණයි. (ඔබ මෙය කියවන්නේ මුල් ලිපිය නැවත පළ කර ඇති තැනකින්නම් සමීකරණ වල දර්ශක වන α හා ß නිවැරදිව පෙන්නුම් කරනවාද කියා පරීක්ෂා කර බලන්න.)

මේ ශ්‍රිතයේ භාවිතය උදාහරණයකින් පැහැදිලි කළොත්, ඇඟලුම් කම්හලක ශ්‍රමිකයන් ගණන L ලෙසත් යෙදවූ ප්‍රාග්ධනය K ලෙසත් සැලකුවොත්, වසරකදී නිපදවිය හැකි ඇඟලුම් ප්‍රමාණය වන Y මේ සම්බන්ධතාවය අනුව හොයා ගන්න පුළුවන්. ඒ සඳහා  A, α හා ß කියන අගයයන්ද දැන සිටිය යුතුයි. දැනට අපි මේ අගයයන් මොනවාද කියන එක ගැන වද නොවී ඕනෑම අගයක් වෙන්න ඉඩ තියමු. 

දැන් අපි ඉහත කී ඇඟලුම් කම්හල වැනිම තවත් ඇඟලුම් කම්හලක් විවෘත කළොත් ප්‍රතිඵලය කුමක්ද? ඒ කියන්නේ, අලුත් කම්හලේත් පළමු කම්හලේ සිටිනවාට සමාන සේවක පිරිසක්, මැෂින් ප්‍රමාණයක් ආදී වශයෙන් කිසිම වෙනසක් නැතුව. එහෙමනම්, අලුත් කම්හලෙන්ද මුල් කම්හලේ තරමටම ඇඟලුම් ප්‍රමාණයක් වසරකදී නිපදවන්න පුළුවන් විය යුතුයි. ඒ කියන්නේ, කම්හල් දෙකම සැලකුවහම K සහ L යන දෙකම දෙගුණ වී ඇති නිසා Yද දෙගුණ විය යුතුයි.

ඉහත ශ්‍රිතයට නැවත ආවොත්, K සහ L වෙනුවට 2K සහ 2L ආදේශ කළොත් ප්‍රතිඵලය 2Y විය යුතුයි. එහෙම වෙනවද? දැන් අපට පොඩ්ඩක් ගණිතයේ දර්ශක පිළිබඳ දැනුම උපයෝගී කර ගන්න වෙනවා. පාසැලේ පහළ පන්තියක දැනුමක්නේ.

A(2K)α(2L)ß = (2)α+ßAKαLß = (2)α+ß Y 

ඉහත ප්‍රතිඵලය අනුව පෙනෙන පරිදි,  K සහ L යන දෙකම දෙගුණ වූ විට Y වල අගය (2)α+ß ගුණයකින් වැඩි වෙනවා. 

මෙම අගය හරියටම දෙගුණයක් වෙන්නේ α+ß =1 වුනොත් පමණයි. ඒ නිසා, කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ඉහත උපකල්පනය සමඟ ගැලපෙන පරිදි α+ß =1 ලෙස සලකනවා. ඒ කියන්නේ, ශ්‍රමය හා ප්‍රාග්ධනය යන දෙකම කිසියම් නියත අනුපාතයකින් වෙනස් කළොත් නිෂ්පාදිතයද එම අනුපාතයෙන්ම ඉහළ යනවා. මේ අනුව අපට අවශ්‍යනම්, කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය පහත ආකාරයෙන් ලියන්නත් පුළුවන්.

Y = F(K,L) = AKαL1-α 

ඉහත ශ්‍රිතයේ පරාමිතියක් වන α අගය 0 හා 1 අතර ඕනෑම අගයක් විය හැකියි. සෘණ අගයක් හෝ 1ට වැඩි අගයක් විය නොහැකියි.

උදාහරණයක් විදිහට α = 0.3 කියා අපි හිතමු. K සහ L යන දෙකම දෙගුණ වුනොත් Y ද දෙගුණ වන බව අප දැනටමත් දන්නවා. එසේ නොවී K පමණක් දෙගුණ වුනොත් වෙන්නේ කුමක්ද?

Y = F(K,L) = A(2K)αL1-α  = (2)αY

α = 0.3 යන උපකල්පනය යටතේ (2)α = 1.23 නිසා, K දෙගුණ වෙද්දී, ඒ කියන්නේ 100%කින් වැඩි වෙද්දී, Y වැඩි වෙන්නේ 23%කින් පමණයි.

මේ විදිහටම අපට L පමණක් දෙගුණ වුනොත් ප්‍රතිඵලයත් හොයා ගන්න පුළුවන්.

Y = F(K,L) = AKα(2L)1-α  = (2)1-αY

α = 0.3 යන උපකල්පනය යටතේ 1- α = 0.7 යි. ඒ නිසා, (2)1-α = 1.62 වෙනවා. ඒ කියන්නේ L 100%කින් වැඩි වෙද්දී, Y වැඩි වෙන්නේ 62%කින් පමණයි.

මෙය එක් උදාහරණයක් වුවත්, මේ උදාහරණයෙන් රටක නිෂ්පාදිතය (Y) සඳහා ශ්‍රම බලකායේ (L) හා ප්‍රාග්ධන සංචිතයේ (K) බලපෑම පිළිබඳව කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයෙන් උපකල්පනය කෙරෙන වැදගත් කරුණු කිහිපයක් පැහැදිලි කරනවා. 

1. කොපමණ සුළු ප්‍රමාණයකින් වුවත් K වැඩි කළහොත් Y වැඩි වෙනවා. එයට හේතුව α>0 වීමයි.
2. කොපමණ සුළු ප්‍රමාණයකින් වුවත් L වැඩි කළහොත් Y වැඩි වෙනවා. එයට හේතුව ß = 1-α > 0 වීමයි. එනම්, α < 1 වීමයි.
3. L සහ K දෙකම නිශ්චිත අනුපාතයකින් වැඩි කළොත් Y ද එම අනුපාතයෙන්ම වැඩි වෙනවා. එයට හේතුව α+ß =1 වීමයි.
4. L හෝ K යන දෙකෙන් එකක් නිශ්චිත අනුපාතයකින් වැඩි කළොත් Y වැනි වන නමුත් එසේ වැඩි වන්නේ ඊට වඩා අඩු අනුපාතයකින්. එයට හේතුව 0< α <1 වීමයි. ඒ වගේම වැඩි කරන ප්‍රමාණය වැඩි වෙද්දී ලැබෙන ප්‍රතිලාභ එන්න එන්නම අඩු වෙනවා. 

මේ කරුණ පැහැදිලි කර ගැනීමට අපි α = 0.5 ලෙස ගනිමු. 

- 20.5 = 1.41 නිසා K=K සිට K=2K දක්වා ප්‍රාග්ධනය වැඩි කළොත් නිෂ්පාදිතය Y = Y සිට Y = 1.41Y දක්වා වැඩි වෙනවා.  

- 30.5 = 1.73 නිසා K=2K සිට K=3K දක්වා ප්‍රාග්ධනය වැඩි කළොත් නිෂ්පාදිතය Y = 1.41Y සිට Y = 1.73Y දක්වා වැඩි වෙනවා. 

- 40.5 = 2 නිසා K=3K සිට K=4K දක්වා ප්‍රාග්ධනය වැඩි කළොත් නිෂ්පාදිතය Y = 1.73Y සිට Y = 2Y දක්වා වැඩි වෙනවා. 

පළමු අවස්ථාවේදී Y අගය 41%කින් වැඩි වූ නමුත් දෙවන අවස්ථාවේදී වැඩි වුනේ 173% - 141% = 32%කින් පමණයි. තෙවන අවස්ථාවේදී වැඩිවුණේ තවත් අඩුවෙන්. එනම්, 200% - 173% = 27%කින් පමණයි. නමුත්, අවස්ථා තුනේදීම අප යෙදවූ ප්‍රාග්ධනය සමානයි.

තවත් විදිහකින් කිවුවොත් Y දෙගුණ කරන්න K හතර ගුණයකින් වැඩි කළ යුතුයි. Y තුන් ගුණයක් කරන්න K නව ගුණයකින් වැඩි කළ යුතුයි. Y හතර ගුණයක් කරන්න K දහසය ගුණයකින් වැඩි කළ යුතුයි. ඒ කියන්නේ Y වැඩි වන තරමට ප්‍රාග්ධනය යොදවා Y තව දුරටත් වැඩි කරන එක එන්න එන්නම අමාරු වෙනවා. මේ කරුණ L වලටත් අදාළයි. 

ගණිතය ඇසුරෙන් තේරුම් ගන්න කැමති අයට ඉහත විස්තර කළ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණක ඇසුරෙන්ද මේ කරුණ පෙන්වා දෙන්න පුළුවන්.

Y = F(K,L) = AKαL1-α 

Y/K = αAKα-1L1-α αAKαL1-α /K = αY/K  

Y/L = (1-α)AKαL-α (1-α)AKαL1-α /L = (1-α)Y/L

එක් එක් නිෂ්පාදන සාධකය හා එම නිෂ්පාදන සාධක වල පාර්ශ්වීය අවකල සංගුණක අතර තියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් නිසා K හෝ L වැඩි කරන තරමට ලැබෙන ප්‍රතිලාභ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඔහොම වැඩි වෙලා තව දුරටත් K හෝ L වැඩි කරලා Y ඉහළ දැමිය නොහැකි ස්ථායී තත්ත්වයකට එනවා. ඊට පස්සේ  K හෝ L වැඩි වුනා කියලා Y වැඩි වෙන්නේ නැහැ.

හැබැයි මතක තියා ගන්න මේ වැඩේ වෙන්නේ K හෝ L යන දෙකෙන් එකක් පමණක් වැඩි කළොත්. ඔය සාධක දෙකම එකම අනුපාතයෙන් කොයි තරම් වැඩි කළත්, Y එම අනුපාතයෙන්ම වැඩි වෙනවා. ගණිතය පැත්තකින් තිබ්බොත් මෙතැන කියැවෙන කතාව වෙන්නේ ප්‍රාග්ධනය හා ශ්‍රමය කියන සාධක දෙකටම නිසි අවධානය යොමු නොකර ඔය දෙකෙන් එකකට අනවශ්‍ය තරමේ වැඩි අවධානයක් යොමු කළ විට ආර්ථික වර්ධනය බාල වෙනවා එකයි. 

ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නැති ශ්‍රමය වගේම ප්‍රමාණවත් ශ්‍රමයක් නැති ප්‍රාග්ධනයත් අකාර්යක්ෂමයි. ඒ නිසා, මේ දෙක අතර ප්‍රසස්ථ සමතුලනයක් හැම විටම පවත්වා ගන්න අවශ්‍යයි. රාජ්‍ය මැදිහත්වීම් නිසා බොහෝ විට වෙන්නේ මේ සමතුලනය නැති වෙන එකයි. 

ලංකාවේ නිදහස් අධ්‍යාපන හා නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති නිසාත් ඔය වගේ තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඊට කලින් අපි වෙනත් උදාහරණයක් ගනිමු. මැද පෙරදිග වෙලා තිබෙන්නේ මෙහි අනෙක් පැත්ත. තෙල් නිධි නිසා කෙටි කාලයක් තුළ ප්‍රාග්ධන සංචිත ඉහළ ගියත් ඒ හා ගැලපිය හැකි මට්ටමට මිනිස් සම්පත් ඉහළ ගිහින් නැහැ. ඒ නිසා, ආර්ථික වර්ධනය කාර්යක්ෂම මට්ටමක පවත්වා ගන්නනම් මිනිස් ශ්‍රමය ආනයනය කරන්න වෙනවා. 

ලංකාවේ වෙලා තියෙන්නේ මෙහි අනෙක් පැත්ත. නිදහස් අධ්‍යාපන හා නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති තනිව ගත්තොත් සාධනීයයි. එහෙත්, මිනිස් සම්පත් වෙනුවෙන් ආයෝජන ඉහළ දමන හැම විටකම ප්‍රාග්ධන ආයෝජන සීමා වීමක් වෙනවා. මේ වැඩේ කාලයක් තිස්සේ සිදු වන විට රටේ ශ්‍රම බලකායට සරිලන රැකියා නැතිව යනවා. මූලික ප්‍රශ්නය එලෙසම තියද්දී රජයේ රැකියා දුන්නා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. වෙනත් ප්‍රශ්න ගණනාවක් ඇති කරනවා පමණයි. මේ වගේ තත්ත්වයක් යටතේ සංක්‍රමණය නොවැලැක්විය හැකි දෙයක්. සංක්‍රමණය වගේම විරැකියාව විසින්ද ලබාගත හැකිව තිබුණු ආර්ථික වර්ධනය සීමා කරනු ලබන නමුත් ගැටළුව පසුපස තිබෙන මූලික ප්‍රශ්නය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රසස්ථ සමතුලනය නැති කර දමනු ලැබ තිබීමයි. 

රාජ්‍ය මැදිහත්වීම් නිසා හෝ වෙනත් ස්වභාවික හේතුවක් නිසා ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සමතුලනය බිඳ වැටුණු පසුව කිසියම් ආකාරකින් එම සමතුලනය නැවත හැදෙනවා. ලංකාව ගත්තොත් රටේ ශ්‍රම බලකාය රටින් පිටතට විතැන් වීම හරහා L අඩු වී, සංක්‍රමනික ප්‍රේෂණ හරහා K වැඩි වෙනවා. ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ සංචරණයට බාධා නැත්නම් ප්‍රසස්ථ සමතුලනය මේ ක්‍රමයට හෝ ඇති වන තුරු මේ වැඩේ වෙනවා. අදට ඇති!

Wednesday, September 16, 2020

ආනයන වියදම් අඩුවීම තිරසාර වෙනසක්ද?

බොහෝ දෙනෙකු විසින් ලංකාවේ වත්මන් ආණ්ඩුව ජාතිකවාදී ආණ්ඩුවක් සේ සලකනවා. පසුගිය යහපාලන ආණ්ඩුව හා අදාළව කවුරුවත් එවැනි කතාවක් කිවුවේ නැහැ. ආර්ථික ජාතිකවාදය ජාතිකවාදී රාජ්‍ය ප්‍රතිපත්තියක වැදගත්ම කොටසක්. එහෙත්, ආර්ථික ජාතිකවාදය යන්නෙන් අදහස් වන්නේ ආරක්ෂණවාදය විය යුතු නැහැ. අන්තවාදී ආරක්ෂණවාදයක් වෙත තල්ලු නොවී ජාතික ආර්ථිකයක් ශක්තිමත් කළ හැකියි.

ආණ්ඩුවක ප්‍රතිපත්ති විශ්ලේෂණය කළ යුත්තේ කරනවා කියා කියන හෝ පෙන්වන්න හදන දේවල් වලින් නෙමෙයි. ඇත්තටම කරන දේවල් වලින්. අනෙක් ප්‍රතිපත්ති කෙසේ වුවත්, මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් දිහා බැලුවහම පෙනෙන්නේ 2004-14 මුහුණු ටිකමයි. මුහුණු සමාන වුවත් ප්‍රතිපත්ති සමාන නොවෙන්න බැරිකමක් නැහැ තමයි. කාලයත් එක්ක ටිකෙන් ටික මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිත් වෙනස් වෙනවා. සමහර විට එක පාරටම යූ-ටර්න් ගන්න අවස්ථාත් තිබෙනවා.  

හැබැයි මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති දිහා බැලුවහම එක මූලික කරුණකින් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් පොඩ්ඩක්වත් වෙනස් වෙලා බවක් පෙනෙන්නේ නැහැ. ඒ තමයි විදේශ විණිමය ප්‍රතිපත්තිය. මේ ආණ්ඩුව විසින් නැවතත් ගමන් කරමින් සිටින්නේ රටේ ජාතික ආර්ථිකය විනාශ කරන, චීන ගැති, ඉන්දියා ගැති විදේශ විණිමය ප්‍රතිපත්තියක් දෙසටයි. 

මතු පිටින් පේන්න තියෙන විදිහටනම් ආණ්ඩුව පරිප්පු ආනයනය නවත්තලා ඒ වෙනුවට බඩ ඉරිඟු ආදේශ කරන එක වගේ දේවල් කරනවා. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේත් ප්‍රදර්ශනාත්මකව ඔය වගේ දේවල් කළා. ඊට සාපේක්ෂව, යහපාලන ආණ්ඩුව දේශීය ගොවියා නගා සිටුවීම වගේ ආදර්ශ පාඨ වල එල්ලිලා හිටියේ නැහැ. නමුත්, කියන දේවල් හෝ පෙන්වන දේවල් වලට වඩා වැදගත් ඇත්තටම සිදු වෙන්නේ කුමක්ද කියන එකයි. 

මේ ආණ්ඩුවේ පළමු මාස හත තුළ, පසුගිය වසරේ පළමු මාස හතට සාපේක්ෂව ආනයන වියදම් වල සැලකිය යුතු අඩු වීමක් පෙනෙන්න තිබෙනවා. එහෙත් එය එක පැත්තකින් කෝවිඩ් වසංගතයේ බලපෑම නිසාත්, අනෙක් පැත්තෙන් ආනයන පාලනය කිරීම නිසාත් ඇති වී තිබෙන තත්ත්වයක්. ප්‍රශ්නය මේ අඩුවීම තිරසාර එකක්ද කියන එකයි.

මේ විදිහට ආනයන පාලනය කරන්න සිදු වී තිබෙන්නේම ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ වැරැද්දක් නිසා. විදේශ විණිමය ප්‍රතිපත්තිය නිවැරදිනම් කෝවිඩ් අර්බුදය හමුවේ වුවත් ආනයන පාලනය කරන්න අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. මෙහි තිබෙන්නේ නැති ප්‍රශ්නයක් හදාගෙන ඒ ප්‍රශ්නයට විසඳුම් සෙවීමක්.

වසරේ පළමු මාස හත තුළ ආනයන වියදම් ඩොලර් මිලියන 2,344කින් පහළ ගොස් තිබෙනවා. අදාළ විස්තර පහත වගුවේ තිබෙනවා.

ඉහත වගුවේ පෙන්වා දී තිබෙන සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි වැඩිපුරම පහළ ගොස් තිබෙන්නේ ඉන්ධන ආනයන වියදම්. එම අඩුවීම 37.7%ක්. ඉන්ධන ආනයන වියදම් අඩු වෙන්න ප්‍රධානම හේතුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහළ යාමයි. දෙවන හේතුව රටේ ඉන්ධන අවශ්‍යතාවය පහළ යාම. මේ දෙකටම හේතුව කෝවිඩ් වසංගතයයි. වසංගතය අවසන් වෙද්දී ඉන්ධන ආනයන වියදම් නැවත ඉහළ යාම වැළැක්විය හැකි දෙයක් නෙමෙයි.

ඉන්ධන වලට අමතරව ඉන්ධන නොවන අනෙකුත් අතරමැදි භාණ්ඩ ආනයනය 17.7%කිනුත්, ආයෝජන භාණ්ඩ ආනයනය 24.4%කිනුත් පහළ ගොස් තිබෙනවා. මේ අතරමැදි භාණ්ඩ යොදා ගැනෙන්නේ අපනයන වෙළඳපොළ හෝ දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් නිමි භාණ්ඩ රට ඇතුළේ නිපදවීම සඳහායි. උදාහරණයක් විදිහට මේ අඩුවීමෙන් බාගයකටත් වඩා ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අතරමැදි භාණ්ඩ. කෝවිඩ් හේතුවෙන් රටේ ආර්ථික කටයුතු සාමාන්‍ය මට්ටමින් සිදු නොවන පසුබිමක මේ අඩුව ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. එහෙත්, දිගින් දිගටම මේ අතරමැදි භාණ්ඩ ආනයනය නොකර ඉන්න පුළුවන්කමක් නැහැ. 

අතරමැදි භාණ්ඩ ආනයනය අඩු වීමේ ආර්ථික හානිය ක්ෂණික හා කෙටිකාලීන එකක්. ආයෝජන භාණ්ඩ ආනයනය අඩුවීමේ හානිය සාපේක්ෂව දිගුකාලීනයි. මේ ආණ්ඩුව විසින් යහපාලන ආණ්ඩුව කාලයේ පැවති අඩු ආර්ථික වර්ධන වේගය විවේචනය කරමින් සිටින එකෙන් පෙනෙන්නේ ඊට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් ඉලක්ක කරනවා කියන එකයි. එවැනි ආර්ථික වර්ධනයක් ලබා ගන්නනම් ගෙවුම් ශේෂ ප්‍රශ්න අමතක කර ආයෝජන භාණ්ඩ වැඩියෙන් ආනයන කරන්න වෙනවා. එහෙම නැත්නම් ආර්ථිකයේ විදේශ අංශය බේරා ගන්න මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කරන්න වෙනවා. රැවුලයි කැඳයි දෙකම බේරගන්න බැහැ. 

ආහාර හැර අනෙකුත් පාරිභෝගික භාණ්ඩ ආනයනයේත් 15.6%ක අඩු වීමක් තිබෙනවා. මේ අඩුවීමෙන් තුනෙන් දෙකක්ම වාහන ආනයන වියදම්. මෙයත් ආනයනය සීමා කිරීම් නිසා ඇති වී තිබෙන තාවකාලික කෘතීම තත්ත්වයක්. දිගුකාලීනව පවත්වාගන්න පුළුවන්කමක් නැහැ. සමස්තයක් වශයෙන් ගත්තහම ආයෝජන, අතරමැදි හා ආහාර නොවන පරිභෝජන භාණ්ඩ ආනයනය සඳහා යන වියදම් අඩු වීම රටේ ආර්ථිකයේ විදේශ අංශයේ ආකෘතිමය නිවැරදිවීමක් නෙමෙයි. කෝවිඩ් අවසන් වෙද්දී මේ සියලුම ආනයන වියදම් නැවත වේගයෙන් ඉහළ යන එක වලක්වන්න බැහැ.

වැදගත්ම වෙනස ආහාර ආනයන වියදම් වලයි. අනෙක් සියලුම අංශ වල ආනයන වියදම් අඩුවීමක් පෙනෙන්න තිබුණත් 2020 පළමු මාස 7 ඇතුළත ආහාර ආනයන වියදම් 14.8%කින් ඉහළ ගිහින්. පහුගිය කාලයේ දකින්න ලැබුණු ගෙවතු වගා රැළි ඇතුළු වගා සංග්‍රාම වල ප්‍රතිඵලය ඕකද? ආහාර ආනයන වියදම් වැඩි වීමෙන් 63%කටම හේතුව එළවළු ආනයන වියදම් වැඩි වීමයි. රටේ වට්ටක්කා විකුණගන්න බැරිව කුණු වෙද්දී එළවළු ආනයන වියදම් 38%කින් ඉහළ යනවානම් එතැන ලොකු අවුලක් පේන්නේ නැද්ද? මෙය විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි. විසඳිය යුතු, විසඳිය හැකි ප්‍රශ්නයක්. ඕනෑනම් ප්‍රශ්නයේ මුල හොයාගෙන විසඳුම් නොදී එළවළු ආනයනය තහනම් කරලා ප්‍රශ්නය වණ කරන්නත් පුළුවන්.  

බොහෝ විට ප්‍රචාරය කෙරෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ජාතිකවාදී බවයි. එය එසේනම් රාජපක්ෂ ආණ්ඩු යටතේ ආනයන අඩු විය යුතුයි. දේශීය කෘෂිකර්මයට බර දමන බව පෙන්වන ආකාරයට සමස්ත ආනයන කෙසේ වුවත් ආහාර ආනයන වියදම් හෝ අඩු විය යුතුයි. පහළ වගුවේ තිබෙන්නේ යහපාලන ආණ්ඩු කාලය සමඟ සංසන්දනයක්. මේ සංසන්දනය කරන්නේ රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති ජාතිකවාදී බවත්, යහපාලන ආර්ථික ප්‍රතිපත්ති එසේ නොවූ බවත් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න නිසා.


යහපාලන ආණ්ඩුව පැවති අවුරුදු හතර තුළ ලංකාවේ ආහාර ආනයන වියදම් 12.7%කින් අඩු වුනා. පසුගිය රාජපක්ෂ දශකයේදී වුණේ ආහාර ආනයන වියදම් 109.7%කින්, එනම් දෙගුණයකටත් වඩා වැඩියෙන් ඉහළ යාමයි. යහපාලන ආණ්ඩු කාලයේදී සමස්ත පරිභෝජන වියදම් වගේම සමස්ත ආනයන වියදම්ද ඉහළ ගියේ 2.7%කින් පමණයි. එහෙත්, රාජපක්ෂ දශකය තුළ සමස්ත පරිභෝජන වියදම් 137.4%කිනුත්, සමස්ත ආනයන වියදම් 142.7%කිනුත් ඉහළ ගියා. වඩා ජාතිකවාදී ඔය දෙකෙන් කොයි එකද?

මේ ආණ්ඩුව දේශීය කෘෂිකර්මය ගොඩ දාන්න කොයි තරම් මහන්සි වුනත්, මිනිස්සු කොයි තරම් වගා සංග්‍රාම කළත්, ආහාර ආනයන වියදම් තව තවත් ඉහළ යන එකෙන් පෙනෙන්නේ ඔය දේවල් වලින් පමණක් හදන්න බැරි මූලික වැරැද්දක් තිබෙනවා කියන එකයි. වැරැද්ද තිබෙන්නේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ. යහපාලන ආණ්ඩුව දේශීය ආර්ථිකයක් ගැන කතා නොකළත්, ඒ කාලයේ ආහාර ආනයන වියදම් විශාල ලෙස අඩු වුනේ, අවශ්‍ය පමණටම නොවුණත්, යම් තරමකින් විණිමය අනුපාතිකය අවප්‍රමාණය වෙන්න ඉඩ සැලසීම නිසයි.

ආනයන වියදම් අඩු කරන්න හා ජාතික ආර්ථිකය දිරිගන්වන්න අවශ්‍යනම් කළ යුතු හා පහසුවෙන් කළ හැකි එකම දෙය විණිමය අනුපාතිකය නිවැරදි කිරීමයි. එසේ නොකර ආනයන සීමා කරන්න යාමෙන් සිදු වනු ඇත්තේ එළවළු ඇතුළු ආහාර මිල ගණන් විශාල ලෙස ඉහළ යාම පමණයි. එසේ වීමෙන් පසුව හාල් කඩේට ජනාධිපති පැන්නා කියා වැඩේ ගොඩදාන්න පුළුවන් වෙන එකක් නැහැ.

Monday, August 17, 2020

ඔබෙ සැප මගෙ සතුටයි...

මිනිස්සු ජීවත් වෙනවා කියලා කරන්නේ නිරන්තරයෙන් සතුට සොයා යාම හා අසතුට කෙරෙන් බැහැර වීම කියා මම කිවුවොත් එයට කවුරුවත්ම වාගේ විරුද්ධ වෙන එකක් නැහැ කියා මම හිතනවා. සතුට හෝ අසතුට කියන්නේ මොකක්ද කියන එක හා අදාළවනම් එක් එක් පුද්ගලයාට වෙන වෙන අර්ථකතන ඇති. ඒක ප්‍රශ්නයක් නෙමෙයි.

අපි සරලව හිතමු සතුට කියන්නේ කලින් ලිපියේ කතා කළ සංකේතාත්මක චරිතය වූ නිමල්ගේ සතුට මෙන් කෑම, බීම හා කාන්තා ඇසුර කියලා. කාන්තා ඇසුර කියන එක දේශපාලනිකව නිවැරදි නැහැ කියලා කාට හරි හිතෙනවානම් පුරුෂ ඇසුර කියා දමා ගත්තත් ප්‍රශ්නයක් නැහැ.

කවුරු හෝ අහඹු පුද්ගලයෙක් ගත්තොත් ඔහුගේ හෝ ඇයගේ සතුට තිබෙන්නේ සංගීතය, ජොයින්ට් එකක් ගැසීම, දේපොළ එක් රැස් කර ගැනීම, ආගමික කටයුතු වල යෙදීම, රට ජාතිය රැක ගැනීම ගැන හිතීම, කාට හරි ගේමක් දීම, බ්ලොග් ලිපියක් ලියා පළ කිරීම වගේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ අසතුට තියෙන්නේත් ඔය දේවල් වලින් එකක හෝ කිහිපයකම වෙන්නත් පුළුවන්. අපේ කතාවට මේ කරුණ ගොඩක් අදාළ නැහැ. 

අපේ පහසුවට අපි සතුට කියන්නේ කෑම, බීම හා කාන්තා ඇසුර කියලා සලකමු. සත්තු පවා කරන මේ දේවල් වෙනුවට උඩ ලැයිස්තුවේ තිබෙන ආකාරයේ වෙන ඕනෑම දෙයක් ආදේශ කරගත්තා කියලා කියන්න යන කතාව වෙනස් වෙන්නේ නැහැ. තේරුම් ගන්න අපහසු වෙනවා පමණයි.

කෙනෙකුට කෑමෙන් සතුටු වීම සඳහා මූලික කොන්දේසියක් විදිහට අවශ්‍ය පමණ කෑම තියෙන්න ඕනෑ. සතුට තිබෙන්නේ තමන් තුළ වුවත් සතුට ලබන්න අවශ්‍ය කෑම තිබෙන්නේ තමන්ගෙන් පිටත. ඒ නිසා, කෑම හරහා ලබා ගන්නා සතුට තමන්ගෙන් බාහිර ලෝකයෙන් ස්වායත්ත නැහැ. මෙහිදී බාහිර ලෝකය කියන එකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ මනාපය පරිදි පාලනය නොවන කියන අදහසින්. තමන්ගේ සතුට සඳහා අවශ්‍ය සාධක සියල්ලම තමන්ටම පාලනය කළ හැකිනම් සතුට සොයා යාම කිසිවෙකුටත් ගැටළුවක් බවට පත් වන්නේ නැහැ.

කෑමෙන් සතුටු වීම සඳහා මුලින්ම කෑම සොයා ගත යුතුයි. ඒ සඳහා මොනවා හෝ දෙයක් කළ යුතුයි. ඒ කරන දෙයෙහි සතුට නොතිබෙන්න පුළුවන්. අපි ඉතාම සරලව හිතමු කුරුම්බා ගෙඩියක් ගෙඩියක් කඩා ගැනීමට උස පොල් ගහකට නගින එක වගේ දෙයක්. බොහෝ විට මේ විදිහට කෙනෙක් පොල් ගහකට නගින්නේ පොල් ගස් නැගීමේ සතුට වෙනුවෙන් නෙමෙයි. එහි බොහෝ විට තිබෙන්නේ අසතුටක්. නමුත්, කුරුම්බා ගෙඩියක් කෑමේ සතුට විඳීමේ පූර්ව කොන්දේසියක් විදිහට පොල් ගස් නැගීමේ අසතුට විඳින්න වෙනවා. 

වෙන ඕනෑම සංකීර්ණ ක්‍රියාවක් ගත්තත් බොහෝ විට මේ මූලික ලක්ෂණය පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. අපට කැමති තරමටම සතුට ලබන්න හෝ අසතුට මුළුමනින්ම බැහැර කරන්න පුළුවන්කමක් නැහැ. ජීවත් වනවා කියා අප විසින් කරන්නේ හැකිතාක් දුරට අසතුට බැහැර කරමින් වැඩි සතුටක් ලබා ගැනීම සඳහා අරගලයක නිරත වෙන එකයි.

ධනවාදියෙකු විසින් පිළිගන්නා සහ ඇස් ඇර අවට බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙන මූලික කරුණක් වන්නේ මේ සතුට හා අසතුට පුද්ගලයාට සාපේක්ෂ බවයි. මා සතුටු වන දෙයකින් ඔබ අසතුටු වන්න පුළුවන්. මා අසතුටු වන දෙයකින් ඔබ සතුටු වන්න පුළුවන්. අපි මෙය රුචිකත්වයන්ගේ විෂමතාවය ලෙස හඳුන්වමු. 

පුද්ගල අන්තර් සම්බන්ධතා වලදී මේ රුචිකත්වයන්ගේ විෂමතාවය විසින් විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. කුරුම්බා ගෙඩියක් කෑමෙන් මම සතුටු වෙනවා. නමුත්, පොල් ගස් නැගීමෙන් මා සතුටු වන්නේ නැහැ. මා තනි පුද්ගලයෙක්නම් මා පොල් ගහට නැග කුරුම්බා ගෙඩියක් කඩා ගෙන කනවාද?

මෙය තීරණය වෙන්නේ කුරුම්බා ගෙඩිය කෑමෙන් මට ලැබෙන සතුට කුරුම්බා ගහට නගින්නට සිදු වීමේ අසතුටට වඩා අඩුද වැඩිද කියන කාරණය මතයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම එකම පුද්ගලයෙක් හා අදාළව වුවත් අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. 

බාහිර පුද්ගලයෙක්ට තබා අදාළ පුද්ගලයාටම වුවත් කුරුම්බා ගෙඩියක් කෑමෙන් ලබන සතුට හා කුරුම්බා ගහට නගින්නට සිදු වීමේ අසතුට හරියටම මනින්න බැහැ. එසේ මැනිය හැකි මීටරයක් නැහැ. නමුත්, කිසියම් පුද්ගලයෙකුගේ හැසිරීම නිරීක්ෂණය කර මේ සතුට හා අසතුට පිළිබඳව ඇතැම් දේවල් නිශ්චිත ලෙසම කියන්න පුළුවන්. 

පොල් ගහක් සමඟ තනි වී සිටින පුද්ගලයෙක් ගහට නැග කුරුම්බා ගෙඩියක් කඩා ගන්නා බව පෙනේනම් එයින් අදහස් වෙන්නේ කුරුම්බා ගෙඩිය කෑමේ සතුට ගහට නැගීමේ අසතුටට වඩා වැඩි බවයි. එසේ කරන බවක් නොපෙනේනම් එයින් අදහස් වන්නේ කුරුම්බා ගෙඩිය කෑමේ සතුට ගහට නැගීමේ අසතුටට වඩා අඩු බවයි.

අදාළ පුද්ගලයා පොල් ගහට නොනැග්ගේ පොල් ගස් නගින්න දන්නේ නැති නිසා විය හැකි බව කාට හරි කියන්න පුළුවන්. වෙන්න පුළුවන්. එහෙමනම්, පොල් ගස් නැගීමේ අසතුටට හේතුව පොල් ගස් නගින්න නොදැනීමයි. ඒ හේතුව මත කතාව වෙනස් වෙන්නේ නැහැ.

දැන් අපි පාළු දූපතක් ගැන හිතමු. මෙහි ඉබේ වැවුණු පොල් ගස් ඕනෑ තරම් තිබෙනවා. ඒ පොල් ගස් වල තිබෙන කුරුම්බා සීමාකාරී සාධකයක් නෙමෙයි. එහෙත්, ගස් වල තිබෙන කුරුම්බා ගස් වලම තිබියදී ආහාරයට ගන්න බැහැ. ඒ නිසා, ගස් වල කුරුම්බා තිබුණු පමණින් කිසිවෙකුට සතුටක් ලබන්න බැහැ. ඒ සඳහා ගහකට නැග කුරුම්බා කඩා ගත යුතුයි. ගහකට නැග කඩා ගන්නා කුරුම්බා වල "සතුට" තිබෙනවා. එහෙත්, ඒ සතුට ලබා ගැනීමට අවශ්‍ය කෙනෙකුට ගහට නැගීමේ අසතුට විඳින්න වෙනවා.

මේ විදිහට ගහට නැගීමේ අසතුට විඳ කවුරු හෝ විසින් පොල් ගහට නැග කුරුම්බා කඩා ගැනීමෙන් පසුව ඒ කුරුම්බා වල සදාචාරාත්මක අයිතිය තියෙන්නේ කාටද? ඒ අයිතිය තිබෙන්නේ ගහට නැගපු පුද්ගලයාටයි. මොකද ඔහු ගහට නැග්ගේ නැත්නම් කුරුම්බා තවමත් ගහේ. කුරුම්බා බී සතුට ලබා ගැනීමේ විකල්පය බිහි වී තිබෙන්නේම ඔහු ගහට නැගපු නිසයි. 

ඔහු මේ කුරුම්බා වෙනත් අය සමඟ බෙදා ගත යුතුද? එය තීරණය කිරීම ඔහුගේ අයිතියක්. කැඩූ කුරුම්බා සියල්ල දූපතේ සියල්ලන් අතර සමසමව බෙදීමෙන් ඔහුට සතුටක් ලැබෙනවානම් ඔහු එසේ කරයි. තමන්ට රුචි අයට පමණක් කුරුම්බා බෙදා දීමෙන් සතුටක් ලැබෙනවානම් ඔහු එසේ කරයි. කවර හෝ හේතුවක් නිසා කුරුම්බා වලින් කොටසක් විනාශ කර දැමීමෙන් සතුටක් ලැබෙනවානම් ඔහු එයත් කරයි. මේ කතා කරන්නේ ඔහුගේ අභ්‍යන්තර සතුට ගැනයි. එයට බාහිර කරුණු සමඟ සම්බන්ධයක් තිබුණත් එය වක්‍ර සම්බන්ධයක් පමණයි.

මේ ආකාරයට පොල් ගස් නැග දූපතේ කුරුම්බා කඩන පුද්ගලයෙකු විසින් කුරුම්බා බෙදා දීමේදී කුරුම්බා සමානව සියල්ලන් අතර බෙදනවා වෙනුවට තමන්ට කවර ආකාරයකින් හෝ තමන්ගේ සතුට වැඩි කර ගැනීම සඳහා බාහිර සාධකයක් සම්පාදනය කරන කෙනෙකු වෙනුවෙන් කුරුම්බා වැය කරන්න වැඩි ඉඩක් තිබෙනවා. උදාහරණයක් විදිහට ඔහු "කාන්තා සැප" ලබා ගැනීම වෙනුවෙන් කුරුම්බා වැය කළ හැකියි. එහි ප්‍රතිඵලයක් විදිහට ඔහු දූපතේ සිටින වෙනත් අයට වඩා වැඩියෙන් කාන්තා සැප ලබනවා වෙන්න පුළුවන්. ඇතැම් විට මහළු හෝ රෝගී පුද්ගලයෙකුට හෝ කුඩා දරුවෙකුට කුරුම්බා ලබා දීමෙන් ඔහු සතුටක් ලබනවා වෙන්න පුළුවන්. එහිදී කුරුම්බා ලබා ගන්නා පුද්ගලයා විසින් හිතා මතා කරන සුවිශේෂී කාර්යයක් නැතත් කුරුම්බා ලබා දෙන පුද්ගලයා විසින් ඔහුගෙන් හෝ ඇයගෙන් "ලබා ගන්නා" යම් දෙයක් තිබෙනවා.

මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් දෙය වන්නේ කුරුම්බා හිමිකරු වෙතින් කුරුම්බා ලබා ගැනීමට සමත් වන්නේ කවර හෝ ආකාරයකින් ඔහුව සතුටු කිරීමට සමත් වන අය විසින් බවයි. එසේ කළ නොහැකි අයට කුරුම්බා හිමි කර ගැනීමේ ඉඩක් නැහැ.

තමන් විසින් පොල් ගස් නැග කුරුම්බා කඩන්නේත් නැති, එසේ ගස් නැග කුරුම්බා කඩන අයෙකු සතුටු කිරීමේ හැකියාවක්ද නැති අයත් කුරුම්බා වලින් සතුටට පත් වෙනවා. එවැනි අයෙකුට කුරුම්බා ලබා ගැනීමට හැකි එක් ක්‍රමයක් වන්නේ කුරුම්බා හොරකම් කිරීම හෝ මංකොල්ල කෑමයි. මෙහිදීත් පුද්ගලයින් දෙදෙනෙකු අතර අන්තර් ක්‍රියාවක් සිදු වන නමුත් එය නිදහස් ගණුදෙනුවක් මෙන් දෙපාර්ශ්වයටම සතුටු විය හැකි අන්තර් ක්‍රියාවක් නෙමෙයි. කුරුම්බා හොරකම් කරන හෝ මංකොල්ල කන පුද්ගලයා මේ වැඩෙන් සතුටු වුවත් කුරුම්බා වල අයිතිකරුට මෙයින් ලැබෙන්නේ අසතුටයි. ඒ නිසා, මෙවැන්නක් කිසි විටෙකත් එකඟතාවයකින් යුතුව සිදු වන්නේ නැහැ.  

කුරුම්බා වල අයිතිය ගස් නැග කුරුම්බා කැඩූ පුද්ගලයාටය යන සම්මුතිය පිළි නොගන්නා අයෙකු වගේම එය පිළි ගන්නා නමුත් එම සම්මුතියට ගරු නොකරන අයත් දූපතේ ඉන්න පුළුවන්. එවැනි අයෙකු කුරුම්බා හොරකම් කරන්න හෝ මංකොල්ල කන්න පෙළඹෙන්න පුළුවන්. මෙහිදී කුරුම්බා හිමිකරු මුහුණ දෙන්නේ සතුට වැඩි කර ගැනීමේ ප්‍රශ්නයට නොව අසතුට බැහැර කිරීමේ ප්‍රශ්නයටයි.

තමන්ගේ කුරුම්බා හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුරුම්බා හිමිකරුට නිදිමරන්න වෙනවා. තමන්ගේ කුරුම්බා මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුරුම්බා හිමිකරුට සටන් කරන්න වෙනවා. මේ දෙකේදීම ඔහුට අසතුට මිසක් සතුට උරුම වන්නේ නැහැ. අනෙක් අතට මේ කිසිවක් නොකර තමන්ගේ කුරුම්බා අහිමි කරගැනීම තුළත් ඔහුට ලැබෙන්න අසතුටයි.

මෙහිදී කුරුම්බා හිමිකරුට සිදු වන්නේ අඩු නරක තෝරා ගන්නයි. කුරුම්බා ටික හොරුන්ට ගන්න ඉඩ හැර හොඳින් නිදාගත්තත්, කුරුම්බා ආරක්ෂා කර ගන්න නිදි මැරුවත් ඔහුට අන්තිමේදී ලැබෙන්නේ අසතුටයි. ඔහු කරන්නේ කුමක්ද කියා බලා සිටින කෙනකුට මේ දෙකෙන් ඔහු වඩා අසතුටු වන කාරණය දැන ගත හැකියි.

මේ වගේ වෙලාවක කුරුම්බා ආරක්ෂා කර දීමේ සේවාව සපයන්න යම් පිරිසක් ඉදිරිපත් වෙන්න පුළුවන්. එහි හිලවුවට ඔවුන්ට යම් කුරුම්බා ප්‍රමාණයක් ලැබෙනවා. මෙය නිදහස් ගනුදෙනුවක්. දෙපාර්ශ්වයම එම ගනුදෙනුවෙන් සතුටු වෙනවා. කුරුම්බා හිමිකරු ආරක්ෂකයාට කුරුම්බා ගෙඩි කිහිපයක් දී හොඳින් නිදා ගන්නවා. ආරක්ෂකයා කුරුම්බා බී නිදි මරනවා.

දූපතේ කුරුම්බා හොරුන් විශාල ලෙස වැඩි වුනොත් කුරුම්බා හිමිකරුට ආරක්ෂකයින් වෙනුවෙන් විශාල කුරුම්බා ප්‍රමාණයක් වෙන් කරන්න වෙනවා. මේ අතර දූපතේ ජනප්‍රිය දේශකයෙක් විසින් හොරකම් කිරීමේ "ආදීනව" ගැන මිනිසුන් දැනුවත් කරනවා. දේශකයා විසින් කියන කතාවේ සත්‍යාසත්‍යතාවය තහවුරු කර ගැනීමේ හැකියාවක් නැතත් ඔහු කියන දෙය බොහෝ දෙනෙක් විසින් පිළිගන්නවා. ඒ නිසා දූපතේ හොරුන් අඩු වෙනවා. දේශකයාව උනන්දු කරවීම සඳහා කුරුම්බා හිමිකරු විසින් යම් කුරුම්බා ප්‍රමාණයක් තමන්ගේ කැමැත්තෙන් ලබා දෙනවා.

දැන් දූපතේ කුරුම්බා මත පදනම් වූ ආර්ථිකයක් තිබෙනවා. බොහෝ දෙනෙක් එහි කොටස්කාරයන් වෙලා. ඒ කොටස්කරුවන් හැම දෙනෙකු විසින් වගේම කරන නිශ්චිත කාර්යයයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන දෙයක්ද තිබෙනවා. නමුත්, ඒ හැම දෙයකම මූලාරම්භය අර කුරුම්බා කඩන මනුස්සයාගේ කුරුම්බා කැඩීමේ කුසලතාවයයි. දූපතේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ හෝ සංකෝචනය වන්නේ මූලික වශයෙන්ම ඔහු විසින් කඩන කුරුම්බා ප්‍රමාණය අඩු වැඩි වන ආකාරයටයි. එහෙත්, වෙනත් සාධක වලද බලපෑමක් තිබෙනවා.

එහෙත් දූපතේ සිටින හැම කෙනෙක්ම මේ ආර්ථිකයේ කොටස්කාරයෙක්ය යන්න එයින් අදහස් වෙන්නේ නැහැ. කුරුම්බා කඩන්නේත් නැති, කුරුම්බා කඩන පුද්ගලයා විසින් අගය කරන කවර හෝ සේවයක් කරන්නේත් නැති, එහෙත් කුරුම්බා කඩන්නාගේ දේපොළ අයිතිවාසිකම් පිළිගන්නා අයෙකුට කුරුම්බා කන්න අවශ්‍යනම් කරන්න වෙන්නේ කුමක්ද? 

එවැන්නෙකුට පොල් ගස් නගින්න ඉගෙන ගන්න වෙනවා. එසේ නැත්නම් පොල් ගස් නගින කෙනෙකුව සතුටු කළ හැකි වෙනත් කිසියම් ආකාරයක් ගැන ඉගෙන ගන්න වෙනවා. දෙවැන්නෙක් පොල් ගස් නගින්න ඉගෙන ගෙන කුරුම්බා කඩන්න පටන් ගත් විට ඔහුටත් මුල් කුරුම්බා කඩන්නා මෙන් කටයුතු කරන්න පුළුවන්. එහිදී ආරක්ෂකයින්, කාන්තාවන් වැනි කොටස් වලට කුරුම්බා කඩන්නන් දෙදෙනෙකු සිටීමේ වාසිය ගනිමින් තමන්ගේ සේවාවන් වල වටිනාකම සම්බන්ධව හෙට්ටු කරන්නත් අවස්ථාව ලැබෙනවා.

පළමු කුරුම්බා කඩන්නාගේ අනුකම්පාවට ලක් නොවන්නේනම් දෙවැනි කුරුම්බා කඩන්නා පොල් ගස් නගින්න පුරුදු වන තුරු ඔහුට කුරුම්බා කන්න අවස්ථාවක් ලැබෙන්නෙම නැද්ද? 

ඔහු පොල් ගස් නගින්න පුරුදු වන ආකාරය බලා සිටින ආරක්ෂක රැකියාවක් වැන්නක් කරන අයෙකුට මේ කරන්න යන වැඩේ සාර්ථක වන බවට විශ්වාසයක් ඇති වුනොත් තමන්ගේ කුරුම්බා කොටසින් ගෙඩියක් නිශ්චිත ගිවිසුමක් මත පුහුණු වන පොල් ගස් නගින්නාට දෙන්න පුළුවන්. ගිවිසුම අනුව ආධුනිකයා කුරුම්බා කඩා ගැනීමට සමත් වූ පසුව දැන් ලබා ගන්නා කුරුම්බා ගෙඩිය වෙනුවෙන් කුරුම්බා ගෙඩි දෙකක් ආපසු ලබා දෙනවා.

මේ ආකාරයේ සමාජ ක්‍රමයක් තිරසාර ලෙස පවතින්න පුළුවන්. බොහෝ දෙනෙකුට එවැනි ක්‍රමයක් පවත්වා ගැනීම වාසිදායක නිසා ඔවුන් එම ක්‍රමය ආරක්ෂා කර ගන්නවා මිස එය බිඳ වැටෙන්න ඉඩ අරින්නේ නැහැ. ක්‍රම විරෝධීන් ටික දෙනෙක් හිටියත් ඔවුන්ට පවතින ක්‍රමය වෙනස් කළ හැකි දේශපාලන බලයක් නැහැ.

කෙසේ වුවත්, දූපතේ මේ සමාජ ආර්ථික ක්‍රමයම පැවතීමට පරම වූ හේතුවක් නැහැ. එහි වෙනත් ක්‍රමයක් වුවත් පවතින්න පුළුවන්.

අපි මේ දූපතට යාබද වෙනත් දූපතක් ගැන හිතමු. පළමු දූපතේ වගේම කුරුම්බා කඩන්නා කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් මෙහිද හැදෙනවා. එසේ තිබියදී එක්තරා දේශකයෙක් විසින් මෙවැනි අදහසක් සාර්ථකව ජනගත කරනවා.

"බලන්න කුරුම්බා කඩන්නා දිහා. ඔබට කුරුම්බා ලැබෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔහුයි. ඔහු ඇසුරු කරන කාන්තාවන්ට, ඔහු වටා සිටින ආරක්ෂකයින්ට ඔහු ලෝබ නැතුව කුරුම්බා බෙදනවා. වෙන අයට කුරුම්බා ලැබෙන්නේ ඔහුගේ අනුකම්පාව මතයි. කොයි තරම් වැරදිද? කොයි තරම් අසාධාරණද? නැද්ද, හා?"

"ඉතිං ඔහු කඩන කුරුම්බා බෙදන විදිහ ඔහු විසින් තීරණය කරන එකේ වැරැද්ද මොකක්ද?"

"වැරැද්ද මේකයි. ඔහු කුරුම්බා කඩනවා තමයි. නමුත්, ඔහුට දැනෙන්නත් අනෙක් අයට දැනෙන බඩගින්නමයි. ඒ නිසා, කුරුම්බා දූපතේ ඉන්න හැමෝටම සමානව අයිති විය යුතුයි."

"ඒත් ඔහු දෙන්නේ නැත්නම් මොකද කරන්නේ?"

"කුරුම්බා හිමියෙක් කවදාවත් තමන්ගේ කුරුම්බා කැමැත්තෙන් අනෙක් අයට දෙන්නේ නැහැ. ඒ පවතින ක්‍රමයේ හැටි. කුරුම්බා කන්නනම් අපට මේ ක්‍රමය වෙනස් කරන්නම වෙනවා."

දේශකයා විසින් හොරකම, මංකොල්ලකෑම සාධාරණීකරණය කරන සදාචාරාත්මක පදනමක් හදනවා. දැන් කුරුම්බා හොරු තව දුරටත් හොරු, මංකොල්ලකාරයෝ නෙමෙයි. සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින අය. වඩා සාධාරණ ලෝකයක් හැදීම වෙනුවෙන් පෙරමුණ ගන්න පෙරටුගාමියෝ. 

සත්‍යාසත්‍යතාවය පරීක්ෂා කරන්න පදනමක් නැතත් දූපතේ කිසියම් පිරිසක් විසින් ඔය කතාව විශ්වාස කරනවා. විශ්වාස නොකළත් කුරුම්බා කඩන්නාගේ කුරුම්බා තොගය පොදු අයිතියට යටතේ කර සමසමව බෙදා ගැනීම කියන අදහස ඇතුළේ මහන්සියක් නැතිව කුරුම්බා කන්න ලැබෙන එක පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා. මේ පිරිස විසින් කුරුම්බා කඩන්නා විසින් කඩන කුරුම්බා සියල්ල තමන්ගේ අයිතිය යටතට ගෙන දූපතේ සියල්ලන්ටම සමානව හෝ සමාන සේ පෙනෙන ලෙස බෙදා දෙනවා.

දූපතේ බොහෝ දෙනෙක්ට දැන් සතුටුයි. ඒ අයට නිකම් ඉඳලා කුරුම්බා ලැබෙනවා. නමුත්, කුරුම්බා කඩන්නා සතුටු නැහැ. ඔහු කොයි තරම් මහන්සි වී කුරුම්බා කැඩුවත් ඔහුට ලැබෙන්නේ වෙනත් අයෙකුට ලැබෙන කුරුම්බා ප්‍රමාණයමයි. එහෙත්, ඔහුට කරන්න දෙයක් නැහැ. අකැමැති වුනා කියා ඔහුට කුරුම්බා නොකඩා ඉන්නත් බැහැ. අනෙක් එය එයට ඔහුට ඉඩ දෙන්නේ නැහැ. ඒ පිරිස බලවත්. ඔහු තනි පුද්ගලයෙක්. ඉඳහිට ඔහු වෙනුවෙන් හඬක් නගන කෙනෙක්ව නිහඬ කරන්න වෙනම පිරිසක් ඉන්නවා. 

මේ ක්‍රමයත් සමතුලිතතාවයක් ලෙස කාලයක් තියෙන්න පුළුවන්. පළමු දූපතට සාපේක්ෂව දෙවන දූපතේ කුරුම්බා සමානව බෙදී යනවා. පළමු දූපතේ බොහෝ දෙනෙක්ට කුරුම්බා නොලැබුණත් දෙවන දූපතේ එවැනි ප්‍රශ්නයක් නැහැ. එහෙත් කාලයත් සමඟ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙනවා.

පළමු දූපතේ දෙවන කුරුම්බා කඩන්නෙකු බිහි වී සමස්ත කුරුම්බා නිෂ්පාදනය ඉහළ යනවා. දෙවන කුරුම්බා කඩන්නා පොල් ගස් නගින්න පුරුදු වෙන්නේම පළමු පොල් කඩන්නා විසින් ගෙවන වඩා යහපත් ජීවිතය ඉලක්ක කරගෙනයි. එහෙත්, දෙවන දූපතේ එවැනි ප්‍රශ්නයක් නැහැ. එහි කාටත් සමානව කුරුම්බා ලැබෙනවා. මහන්සි වී කුරුම්බා කඩන්න පුරුදු වුනා කියා අමුතුවෙන් ලැබෙන දෙයක් නැහැ. කඩන කුරුම්බා අනෙක් අය සමඟ බෙදාගන්නයි වෙන්නේ. එහි සමාජ සම්මතය අනුව සාධාරණ දෙය ඒ ආකාරයට කුරුම්බා ටික සමසමව බෙදාගැනීමයි.

පළමු දූපතේ දෙවන කුරුම්බා කඩන්නා කුරුම්බා කඩන්න පුහුණු වීමෙන් පසුව ඔහු වෙනුවෙන් කාලයක් තමන්ගේ කුරුම්බා කැප කළ පුද්ගලයාට පොලියත් එක්ක කුරුම්බා ලැබෙන්න ගන්නවා. එයින් දිරිමත් වන ඔහු තවත් අයව ගස් නැගීම සඳහා උනන්දු කරවනවා. ගස් නගින්න පුරුදු වන කෙනෙකුට පුහුණු වන කාලය ඇතුළත ඔහුගෙන් කුරුම්බා සංග්‍රහ ලැබෙනවා. කුරුම්බා කැඩීමේ කුසලතාවය ලබා ගැනීමෙන් පසුව ඒ වෙනුවෙන් ඔහුට කුරුම්බා ආපසු ලැබෙනවා. 

මේ දිරිගැන්වීම නිසා තවත් කුරුම්බා කඩන්නන් බිහි වී පළමු දූපතේ කුරුම්බා නිෂ්පාදනය තවතවත් ඉහළ යනවා. දැන් එම දූපතේ හැමෝම එක්කෝ කුරුම්බා කඩනවා. නැත්නම් කුරුම්බා කඩන අයව සතුටු කළ හැකි වෙනත් දෙයක් කරනවා. ඔය දෙකම නොකරන්නේ එවැන්නක් කළ නොහැකි කුඩා ළමුන්, ආබාධිතයින්, මහළු පුද්ගලයින් වැනි අය පමණයි. අනෙක් අයගේ අනුකම්පාව මත ඒ අයටත් කුරුම්බා ලැබෙනවා. 

පළමු දූපතේ හැමෝගෙම ප්‍රධාන ඉලක්කය වෙනත් කාව හෝ හැකි තරම් සතුටු කිරීමයි. තමන්ගේ සතුට තමන්ට ලැබෙන්නේ වෙනත් අයව සතුටු කළ තරමට බව පළමු දූපතේ බොහෝ දෙනෙකු විසින් තේරුම් අරගෙනයි ඉන්නේ. එය ප්‍රත්‍යක්ෂයෙන්ම පෙනෙන්න තිබෙන දෙයක් නිසා කවුරුවත් බලහත්කාරයෙන් ඒ බව ඒත්තු ගන්වන්න අවශ්‍ය නැහැ. දෙමවුපියන් තමන්ගේ දරුවන්ට කුඩා කළ සිටම වෙනත් අයව සතුටු කරන්න පුරුදු කරනවා. ඒ දෙමවුපියන් තමන්ගේ දරුවන්ට ආදරේ නිසයි. දරුවන් සතුටු වනු දකින්න දෙමවුපියන් කැමති නිසයි. ඔවුන්ට සතුටු විය හැක්කේ ඔවුන්ටද වෙනත් අයව සතුටු කළ හැකිනම් පමණක් බව දෙමවුපියන් දන්නා නිසයි.

දෙවන දූපතේ මේ ආකාරයට "ඉබේටම" කටයුතු සිදු වන්නේ නැහැ. දෙවන දූපත පාලනය කරන "සමානතා පක්ෂය" විසින් නිෂ්පාදනය වැඩි කර ගැනීමේ අරමුණින් කුරුම්බා කැඩීම සඳහා තවත් අය යොදවන්න උත්සාහ කරනවා. එහෙත්, කඩන කුරුම්බා තමන්ට නොලැබෙන බව දන්නා නිසා බොහෝ දෙනෙකු ඒ ගැන උනන්දු වන්නේ නැහැ. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට සමාජය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කළ යුතු බව අනෙක් අයට ඉගැන්වීමට සමානතා පක්ෂය විසින් පිරිසක් යොදවනවා. 

කුරුම්බා කඩන්න ගස් නගිනවාට වඩා මේ වැඩේ පහසු නිසා කට්ටිය හොයා ගන්න අමාරු වෙන්නේ නැහැ. ඒ පිරිස විසින්  සමාජය වෙනුවෙන් පුද්ගලයින් විසින් ඉටු කළ යුතු යුතුකම් ගැනත්, සමානතා මූලධර්මයේ විද්‍යාත්මක බව ගැනත් කුඩා කාලයේ සිටම අනෙක් අයට උගන්වනවා. දිගින් දිගටමත් මේ දැනුවත් කිරීම විවිධ මාධ්‍ය හරහා සිදු වෙනවා. මේ දැනුවත් කිරීම් නිසා බොහෝ දෙනෙක් පවතින ක්‍රමය ප්‍රශ්න කරන්නේ නැහැ. එම ක්‍රමය ඇත්තටම විශ්වාස කරනවා.

එහෙත්, වරින් වර පවතින ක්‍රමය පිළිබඳව ඇතැම් අයට සැක සංකා ඇති වෙනවා. එවැනි අය තමන්ගේ අදහස් පතුරවන්න පෙර හඳුනාගෙන "පුනරුත්ථාපනය" කිරීම සඳහා තවත් පිරිසක් යෙදවෙනවා. අවසානයේදී දෙවන දූපතේ ටික දෙනෙක් කුරුම්බා කඩද්දී වැඩි දෙනෙක් විසින් කරන්නේ පවතින ක්‍රමය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විවිධ දේ කරන එකයි. 

ක්‍රමය පවතිනවා. එහෙත්, එය පළමු දූපතේ ක්‍රමය තරම් සාර්ථක නැහැ. දෙවන දූපතේ කාටත් සමානව කුරුම්බා ලැබුණත් ඒ හැමෝටම ලැබෙන්නේ සීමිත පිරිසක් විසින් කඩන කුරුම්බා ටිකක්. පළමු දූපතේ එවැනි සමාන බෙදී යාමක් නැතත්, කුරුම්බා කඩන්නන් වැඩි නිසා පහළම මට්ටමේ සිටින අයට පවා දෙවන දූපතේ එක් අයෙකුට ලැබෙනවාට වඩා වැඩියෙන් කුරුම්බා ලැබෙනවා. මේ බව බොහෝ දෙනෙකු විසින් දැන ගන්නා තුරු දෙවන දූපතේ ක්‍රමය නොවෙනස්ව පවතිනවා. එහෙත්, පළමු දූපත ගැන තොරතුරු ලැබෙන තරමට දෙවන දූපතේ ක්‍රමය එහි පවත්වා ගන්න අසීරු වෙනවා. කාලයක් යද්දී ඒ ක්‍රමය බිඳ වැටෙනවා.

දෙවන දූපතේ සමාජ ආර්ථික ක්‍රමය මෙහෙයවන "සමානතා මූලධර්මය" විශ්වාසය මත පමණක් පදනම් වන සත්‍යාසත්‍යතාවය තහවුරු කළ නොහැකි මූලධර්මයක්. එහෙත්, එය සැබෑවක් බව බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරන තාක් එම සමාජ ආර්ථික ක්‍රමය පවතින්න පුළුවන්. එවැනි විශ්වාසයක් පවත්වාගත හැක්කේ ඒ මූලධර්මය ඇත්තටම විශ්වාස කරන හෝ ඒ මූලධර්මය මත පදනම් වූ සමාජ ආර්ථික ක්‍රමයකින් වාසි ලබන පිරිසක් විසින් මාධ්‍ය ප්‍රචාරණ, මාධ්‍ය වාරණ, සාහිත්‍යය, කලාව ආදිය යොදාගෙන එම මතවාදයේ ආධිපත්‍යය නඩත්තු කරන තාක් පමණයි. 

පළමු දූපතේ බොහෝ දෙනෙක් විශ්වාස කරන අනුන්ගේ දේ සොරකම් නොකළ යුතුය කියන මූලධර්මයත් ඒ වගේම සත්‍යාසත්‍යතාවය තහවුරු කළ නොහැකි මූලධර්මයක්. එම මූලධර්මය බොහෝ දෙනෙකු විසින් විශ්වාස කිරීමටද මාධ්‍ය ප්‍රචාරණ, සාහිත්‍යය, කලාව ආදිය උපකාරී වෙනවා. එහෙත්, ඒ මාධ්‍ය ප්‍රචාරණ ආදිය නැතත් මේ මූලධර්මය පිළිගැනීම බොහෝ දෙනෙකුට අපහසු නැහැ. ඒ නිසා, පළමු දූපත ඇතුළේ පවතින ක්‍රමය දිගටම පවත්වා ගන්න විකල්ප මතවාද වාරණය කරන්න අවශ්‍ය නැහැ. සමානතා මූලධර්මය මෙන් නොව එය සැබෑවක් බව බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන් තේරෙනවා.

පෞද්ගලික දේපොළ අයිතිවාසිකම් පිළිගැනීම වසර දහස් ගණනක් පැරණි සමාජ සම්මතයක්. මේ සමාජ සම්මතය, සාපේක්ෂව මෑතකදී බිහි වූ මාක්ස්වාදය වැනි ආගම් වල හැර, ලෝකයේ හැම ප්‍රධාන ආගමික මතවාදයකම පිළිගැනෙන කාලයේ පරීක්ෂාවට ලක් වූ  මූලධර්මයක්. විවිධ ආගම් මගින් පෙන්වා දෙන අනුන්ගේ දේ සොරකම් කරන අයට මුහුණ දෙන්නට වෙන ප්‍රතිවිපාක අසත්කරණයට ලක් කර පරීක්ෂාවට ලක් කළ නොහැකි වුවත්, දේපොළ අයිතිය පිළිගැනීමේ හා නොපිළිගැනීමේ වෙනස සමාජ සංවර්ධනයට බලපාන ආකාරය අනුභූතික දත්ත ඇසුරින් පරීක්ෂාවට ලක් කළ හැකි දෙයක්.


Thursday, August 13, 2020

ගෝටාට අසූව ඩබල් කළ හැකිද?

පෙර ලිපියකට ප්‍රතිචාරයක් දමමින් එක් පාඨකයෙකු විසින් සඳහන් කර තිබුණේ මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන් සියල්ලන්ම එසේ කළේ "ජාතිය බේරා ගැනීමට" නොවන බවයි. මේ කතාව බොරුවක් නෙමෙයි. ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන් පිරිස විෂමජාතීය පිරිසක්. ඒ තුළ විවිධ අභිලාශ තිබෙන කණ්ඩායම් ගණනාවක් සිටිනවා. ආණ්ඩුවට මුහුණ දෙන්න වී තිබෙන ප්‍රධානම අභියෝගයක් වන්නේද එයයි. අප විසින් පහත ප්‍රතිචාරය තව දුරටත් විශ්ලේෂණය කරන්නේ මේ කරුණ පිළිබඳව සැලකිල්ලට ගනිමිනුයි.

"Only thing I know , we had GDP less than USD 20 Bil since 1948-2005 and it went up to 80 Bil USD by 2015. (Wijebahu)"

ඉහත ප්‍රතිචාරය අනුව 2005 වසර වන විට, එනම් පසුගිය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වන විට, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 20කට අඩුයි. 2015දී එම ආණ්ඩුව ගෙදර යන විට එම අගය ඇමරිකන් ඩොලර් බිලියන 80 ඉක්මවලා. ඒ කියන්නේ, බැලූ බැල්මටම පෙනෙන පරිදි වසර දහයක් ඇතුළත රටේ ජාතික ආදායමේ ඩොලර් අගය හතර ගුණයකින් වැඩි වෙලා. 

මේ ආණ්ඩුව වෙනුවෙන් සහයෝගය දෙන බොහෝ දෙනෙක් එසේ කරන්නේ ආර්ථික සාධක වලට ප්‍රමුඛත්වය දෙමින් නෙමෙයි. එය පුද්ගල කැමැත්ත පිළිබඳ ප්‍රශ්නයක්. එහි වැරැද්දක් නැහැ. ඇතැම් විට ආර්ථිකයේ දරුණු කඩා වැටීමක් හමුවේ වුවත් එම පිරිස ආණ්ඩුව අත නොහැර සිටීමට ඉඩ තිබෙනවා.

කෙසේ වුවත්, පසුගිය රාජපක්ෂ දශකය තුළදී පෙනෙන්නට තිබුණු හා/හෝ මවා පෙන්වනු ලැබ තිබුණු "ආශ්චර්යය" හමුවේ දෑස් නිලංකාර කරගෙන සිටින, ඒ හේතුව නිසා මේ ආණ්ඩුවට සහයෝගය දෙන යම් පිරිසක්ද ඉන්නවා. එම පිරිස මේ ආණ්ඩුවට සහයෝගය දෙන අය අතරින් සුළුතරයක් යන්න මගේ අදහසයි. 

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව රටේ ජාතික ආදායමේ ඩොලර් අගය හතර ගුණයකින් වැඩි කළේය ආදී කරුණු වලට බරක් තබන්නේ මේ පිරිසයි. මේ විශ්වාසය ඇතුළේ මේ ආණ්ඩුව විසින් ඉදිරි අවුරුදු පහ ඇතුළත රටේ ජාතික ආදායමේ ඩොලර් අගය අවම වශයෙන් දෙගුණ කරනු ඇතැයි යන විශ්වාසය ගැබ්ව තිබෙනවා කියා මා හිතනවා. 

චන්ද්‍රිකා ආණ්ඩුවේ අවසන් කාලයේදී නිදහසින් පසු මුල් වරට ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුනා. ඉන් පසු බලයට පත් වූ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පැවති කාලය තුළ රටේ ආර්ථිකය නැවත හිස එසෙවුවා. ඊට පෙර, 1970-77 සමාජවාදී පරීක්ෂණයෙන් දුර්වලව සිටි රටේ ආර්ථිකය ජේආර් ජයවර්ධන බලයට පත් වීමෙන් පසුව අළුත් පණක් ලබා නැගී සිටියා. මේ ආදී කරුණු නිසා රටේ ආර්ථිකය ගොඩ දැමිය හැක්කේ එජාපයටය යන ජනප්‍රිය මතයක් ඇති වී තිබුණා. 2015දී බලයට පත් වන විට එජාප ආණ්ඩුවේ හා එහි නායක රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමනාකරණ හැකියාව පිළිබඳව රටේ බොහෝ දෙනෙකුට අවිශ්වාසයක් තිබුණේ නැහැ. එහෙත්, ඒ බොහෝ දෙනෙක් දැන් කියන්නේ හොඳින් තිබුණු ආර්ථිකය යහපාලන ආණ්ඩුව විසින් විනාශ කර දැමූ බවයි. 

ලංකාව නිදහස ලබන විට රටේ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය පිළිබඳ ප්‍රශ්නයක් හෝ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ ප්‍රශ්න දෙකම නිදහසින් පසුව ඇති වූ ප්‍රශ්න. නිදහස් වූ ලංකාවට ජාතික අභිලාශ තිබුණා. ජාතික අභිලාශ ඉටු කර ගැනීම වෙනුවෙන් ඇතැම් විට ආර්ථික අභිලාශ කැප කරන්න සිදු වෙනවා. එය බොහෝ විට රටක පුරවැසියන් කැමැත්තෙන් කරන දෙයක්. නැගෙනහිර ජර්මනිය නැවත බටහිර ජර්මනියට එකතු කර ගැනීම නිසා බටහිර ජර්මන් වැසියන්ගේ අනාගත අපේක්ෂිත ජාතික ආදායම් මට්ටම 10%කින් පමණ පහළ ගියත් ඒ පිළිබඳව කිසිවකු මැසිවිලි නගන්නේ නැහැ.

නිදහස ලැබූ ලංකාවේ ආර්ථික වටිනාකමක් ඇති සම්පත් හා ව්‍යවසායයන් බොහොමයක් විදේශිකයින් සතුව තිබුණා. ජාතික අභිලාශ අනුව යමින් එම සම්පත් රජය සතු කර ගනු ලැබුවා. එහෙත්, මෙසේ රජය සතු කරගැනීම් හැම විටම සිදු වුනේ ජාතික අභිලාශ පෙරදැරිව නෙමෙයි. සමාජවාදී අභිලාශ පෙරදැරිවයි. රටේ දේශීය ව්‍යවසායකයින් සතු සම්පත් හා ව්‍යවසාය රජය සතු කර ගැනීම නිසා දිගින් දිගටම රටක් වශයෙන් ගෙවන්න සිදු වුනේ නොගෙවිය යුතුව තිබුණු මිලක්. එවැන්නක් සිදු වුනේ සමාජවාදී අභිලාශ මත පදනම්ව මිස ජාතික අභිලාශ මත පදනම්ව නෙමෙයි.

රටේ සම්පත් ටිකෙන් ටික මධ්‍යම රජයේ පාලනයට නතු වීම නිසා එක පැත්තකින් පෞද්ගලික අංශයේ නිෂ්පාදන හැකියාව පහත වැටී රජයට අය කරගත හැකිව තිබුණු බදු ආදායම් ක්‍රමයෙන් අඩු වෙද්දී, අනික් පැත්තෙන් අකාර්යක්ෂමතාවය නිසා පාඩු ලබන්නට වූ රාජ්‍ය අංශය රජයේ අයවැයට බරක් වී රජයේ අයවැය හිඟය ටිකෙන් ටික පුළුල් වෙන්න පටන් ගත්තා. කාලයක් තිස්සේ ලංකාවට ආදායම් උපයා දුන් කෘෂි නිෂ්පාදන වල අපනයන තරඟකාරීත්වය අඩු වී ගෙවුම් ශේෂය මතද පීඩනයක් ඇති වන්නට වුනා. රටේ විදේශ වත්කම් වලට සාපේක්ෂව බැරකම් ඉහළ යන්න පටන් ගත්තා.

ලංකාවේ ආර්ථිකයේ මේ නිදන්ගත රෝග දෙකට විසඳුම් සෙවීමේ ඉතිහාසය අවම වශයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව කාලය දක්වා පැරණියි. සමගි පෙරමුණේ උපාය මාර්ගය වූ ආනයන පාලනය හේතුවෙන් රටේ ආර්ථික වර්ධනය විශාල ලෙස සීමා වුනා වගේම රට තුළ විශාල භාණ්ඩ හිඟයක් ඇති වුනා. එවර ලංකාව සමාජවාදය පිළිබඳව ඉගෙනගත් පාඩම් රටේ සාමූහික විඥානය තුළ තවමත් රැඳී තිබෙනවා.

අසාර්ථක වූ සමගි පෙරමුණු පරීක්ෂණය කෙළවර වුනේ ජේආර් ජයවර්ධනට හයෙන් පහක බලයක් ලැබීමෙන්. නිදහස ලැබුණු කාලයේ සිටම ජේආර්ගේ සිහිනය වුනේ සිංගප්පූරු මාදිලියේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ මෙහෙයවෙන, ණයෙන් දුවන ආර්ථිකයක්. ලංකාවේ බොහෝ දෙනෙක් ධනවාදය ලෙස හඳුනා ගන්නේත්, එතෙක් මෙතෙක් ලංකාවේ ආණ්ඩු විසින් අනුගමනය කරන මූලික ආර්ථික-දේශපාලන ආකෘතිය වන්නේත් ජේආර් විසින් හඳුන්වා දුන් ක්‍රමයයි. 

මේ පවතින ක්‍රමය තුළ ධනවාදී ක්‍රමයකදී මෙන් යම් පුද්ගලයෙකුට මුල සිට ආර්ථික හිණිපෙතේ ඉහළ නගින්න ඉඩකඩ ඇතත්, ඒ කවර ආකාරයකින් හෝ රාජ්‍ය යාන්ත්‍රනය සමඟ බද්ධ වීමෙන් මිසක් තමන්ගේ ව්‍යවසායකත්වය මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, දිගින් දිගටම සිදුවන බලය හා ප්‍රාග්ධනය අතර වන කැත ගනුදෙනුවක් මේ ක්‍රමය ඇතුළේ තිබෙනවා. මතුපිටින් පෙනෙන්නට ඇති පරිදි නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයක් තිබුණත්, ඒ වෙළඳපොළට නිදහසේ හැසිරීමේ සැබෑ ඉඩකඩක් විවරව නැහැ. මේ තිබෙන සීමිත වෙළඳපොළ නිදහසටද එරෙහි දේශපාලන ව්‍යාපාර තිබුණත් වෙළඳපොළ නිදහසට ඇති බාධා ඉවත් කිරීම වෙනුවෙන් හඬක් නොනැගෙන තරම්.

ජේආර්ගේ ආකෘතිය යටතේ රටේ ආර්ථික වර්ධන වේගය කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. එයට සාපේක්ෂව රජයේ අයවැය හිඟය හා රටේ ශුද්ධ විදේශ බැරකම්ද ඉහළ ගොස් අනාගත ආණ්ඩු වලට එම ප්‍රශ්න ඉතුරු වුනා. මේ ප්‍රශ්න වලට චන්ද්‍රිකා ආණ්ඩුවේ විසඳුම වුණේ රාජ්‍ය ව්‍යවසායයන් විකිණීමයි. එමගින් තාවකාලිකව රජය මුහුණ දෙමින් සිටි මූලික ප්‍රශ්න දෙකම විසඳාගත හැකි වුනා. ලැබුණු අරමුදල් වලින් අයවැය හිඟය පියවා ගැනීමට ඉඩ සැලසෙද්දී, විදේශ ව්‍යවහාර මුදලින් ලැබුණු අරමුදල් වලින් ගෙවුම් ශේෂ ප්‍රශ්නය තාවකාලිකව විසඳුණා. එහෙත්, මේ ප්‍රශ්න දෙකෙන් එකක්වත් ස්ථිරව විසඳුනේ නැහැ. ඒ ප්‍රශ්න අනාගතයට ඉතුරු වුනා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ මෑතකාලීන පාලකයන් අතරින් ජේආර් ජයවර්ධනගේ රාජ්‍යමූල්‍ය ආකෘතියෙන් යම් තරමකින් බැහැරව කටයුතු කළ කෙනෙක්. ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වල ආණ්ඩු පවා ජේආර්ගේ ආකෘතිය ආදරයෙන් වැළඳගෙන සිටිත්දී ජේආර්ගේ බෑණාගේ තේරීම වුනේ කීනීසියානු පිම්බීමක් වෙනුවට රාජ්‍යමූල්‍ය විනය පිලිබඳව සැලකිලිමත් වීමයි. ඒ හරහා ආර්ථිකයේ නිදන්ගත ප්‍රශ්න වලට ප්‍රතිකාර කිරීමයි. 

ඔහුට ඒ සඳහා අවශ්‍ය ධෛර්යයද නොඅඩුව තිබුණා. 2001-2004 අතර වසර දෙකහමාරක කෙටි කාලයක් තුළදී රටේ ආර්ථික වර්ධන වේගයද එහි දිගුකාලීන සාමාන්‍ය අගයට වඩා ඉහළින් තබා ගනිමින්, රජයේ වියදම් විශාල ලෙස සීමා කිරීම මගින් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය ප්‍රතිශතාංක තුනකින් පමණ අඩු කර ගැනීම හරහා ණය ගැනීම සීමා කර උද්ධමනය හා පොලී අනුපාතික වාර්තාගත මට්ටමකට පහත හෙලීමටත්, ජංගම ගිණුම් ශේෂය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස හැත්තෑ හතෙන් පසු මෙතෙක් වාර්තා වී ඇති අවම මට්ටමට ගෙන එන්නටත්, ගෙවුම් ශේෂ අතිරික්තයක් පවත්වා ගන්නටත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සමත් වුනා. ඒ අනුව, ආර්ථික කළමනාකරණය සම්බන්ධව බොහෝ දෙනෙක් රනිල් පිළිබඳව විශ්වාසය තැබීම හේතු සහගතව කළ දෙයක්.

පසුගිය යහපාලන ආණ්ඩුව විසින්ද ඉහත කී රාජ්‍යමූල්‍ය විනය පවත්වා නොගත්තා නෙමෙයි. ඔවුන් බැනුම් අසාගෙන බදු වැඩි කරමින් හා රාජ්‍ය වියදම් සෑහෙන තරමකින් සීමා කරමින් ඉතා අසීරුවෙන් ප්‍රාථමික ශේෂය ධන පැත්තට හැරෙවුවා. ඇතැම් විට මෙවර ඔවුන් පෙර අවස්ථාවේදී ගියාටත් වඩා දුර ගියා වෙන්න පුළුවන්. එහෙත්, 2005දී රනිල් වික්‍රමසිංහට භාර ගන්න වූ ආර්ථිකය 2001දී මෙන් වසර දෙකහමාරකින් ගොඩ දැමිය හැකි එකක් නෙමෙයි. ඒ නිසා, පසුගිය ආණ්ඩුවට ආර්ථිකයේ ක්ෂණික කඩා වැටීමක් වලක්වා ගනු හැර වැඩිමනත් දෙයක් කළ හැකි වූයේ නැහැ.

පසුගිය මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට ආරම්භයේදීම හා මැද භාගයේදී සුවිශේෂී බෝනස් දෙකක් හිමි වුනා. පළමුව, මානව කේන්ද්‍රීයව බැලුවොත් විශාල ඛේදවාචකයක් වුවත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළව විශාල පාරිතෝෂිකයක් වූ සුනාමිය පැමිණීමෙන් පසුව ගලා ආ විදේශාධාර හා ලැබුණු ණය සහන නිසා ශුද්ධ විදේශ විණිමය ප්‍රවාහ ඉහළ ගොස් රටේ බොහෝ ආර්ථික නිර්ණායකයන් තිබිය යුතුවාට වඩා හොඳින් පෙනෙන්න පටන් ගත්තා. පසුව දිගින් දිගටම විදේශ ණය ලබා ගනිමින් එම ණය වල උදවුවෙන් රුපියල ශක්තිමත්ව තියා ගැනීම සඳහා උත්තේජනයක් සපයන්න ඇත්තේ මේ සුනාමි ආධාර සුනාමියයි.

දෙවන පාරිතෝෂිකය යුද්ධය කෙමෙන් නිමාව දකිද්දී රටේ ආර්ථික වර්ධන වේගය පෙර සිතාගත නොහැකි වූ තරමට ඉහළ යාමයි. යුද්ධය මුළුමනින්ම අවසන් වීමට පෙර, නැගෙනහිර බිම්පෙදෙස් නිදහස් වීමෙන් පසුව, මේ තත්ත්වය නිරීක්ෂණය කළ හැකි වුනා. ආර්ථික වර්ධන වේගය මෙතෙක් වාර්තා වී තිබුණු මට්ටම් ඉක්මවා ඉහළ නැංවීමේ හැකියාවක් තිබෙන බවට ආණ්ඩුවට විශ්වාසයක් ඇති කරන්න ඇත්තේත්, පසුව ණයෙන් දුවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආදිය හරහා ඉහළ ආර්ථික වර්ධන වේගයක් කෙසේ හෝ පවත්වා ගැනීමට ආණ්ඩුවට පෙළඹවීමක් ඇති කරන්න ඇත්තේත් මේ දෙවන පාරිතෝෂිකයයි.

දැන් මේ ආණ්ඩුව මුහුණ දී සිටින තත්ත්වය එක් අතකින් පසුගිය යහපාලන ආණ්ඩුව මුහුණ දුන් තත්ත්වයට සමානයි. රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂ භාර දුන් ආර්ථිකය ඔහුට ඊට කාලයකට පෙර චන්ද්‍රිකා කුමාරතුංග විසින් භාර දුන් ආර්ථිකය තරම් පහසුවෙන් ගොඩ දැමිය හැකි එකක් නෙමෙයි. ඒ නිසා, 2002-2004 උපක්‍රම 2015දී ප්‍රමාණවත් වුණේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂට දැන් මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේත් එවැනිම ප්‍රශ්නයකටයි. රනිල් වික්‍රමසිංහ විසින් 2019දී ගෝඨාභයට භාර දුන් ආර්ථිකය පහළොස් වසරකට පෙර ඔහු විසින්ම ගෝඨාභයගේ වැඩිමල් සොයුරාට භාර දුන් ආර්ථිකයට වඩා බොහෝ සේ දුර්වල වී ඇති ආර්ථිකයක්. ඒ නිසා, මහින්ද රාජපක්ෂට ලැබුණු සාපේක්ෂ වාසි බොහොමයක් ගෝඨාභයට නැහැ. ඒ නිසා, ඇතැම් අය විශ්වාස කරන පරිදි මහින්ද විසින් වසර දහයකින් රටේ ආර්ථිකයේ ඩොලර් අගය හතර ගුණයක් කළත්, මහින්දගේ සොහොයුරාට එවැන්නක් කිරීම පහසු වැඩක් නෙමෙයි. මැතිවරණයට පෙර කෙසේ වුවත්, මහින්ද යුගයේ ආර්ථික සෞභාග්‍යය ගැන මැතිවරණයෙන් පසුවත් දිගටම කතා කරන ආණ්ඩුවේ ආධාරකරුවන් විසින් දැන හෝ නොදැන කරමින් සිටින්නේ ගෝඨාභයගේ ආණ්ඩුවේ ගෙල සිර කිරීමක්.

මා එසේ කියන්නේ ඇයි?

ලංකාවේ වත්මන් ඒක පුද්ගල ආදායම තුන් ගුණයකට මඳක් වැඩියෙන් වැඩි වුවහොත් ලංකාව සංවර්ධිත රටක්. 2005-2015 අතර කාලයේ ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකට ආසන්නව වැඩි වී තිබෙනවා. එහෙමනම් ගෝඨාභය රාජපක්ෂගේ වසර පහක ධුර කාලය අවසන් වන විට ලංකාව සංවර්ධිත රටක මායිමට ඇවිත් තියෙයිද? තව අවුරුදු හත අටක් යන කොට ලංකාව සංවර්ධිත රටක් වෙලා තියෙයිද?

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපට මුලින්ම පෙර කී පරිදි රාජපක්ෂ පාලන කාලයේදී හතර ගුණයකින් පමණ වැඩි වුණු ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය එය සෑදී තිබෙන සංරචක වලට විසංයෝජනය කරන්න සිදු වෙනවා. මේ කාර්යයේදී ඉන් පසුව යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ දේ වැදගත් නැතත් අපි සංසන්දනය පිණිස එම කාලයත් ගනිමු.

නාමික දළ දේශීය නිෂ්පාදිතය (ඩොලර් බිලියන)

2004      20.7

2014      79.4

2019      84.0

මේ අනුව, 2005-2014 කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වසරකට 14.4% බැගින් ඉහළ ගොස් ඇතත් 2015-2019 කාලයේ එම ඉහළ යාම 1.1%ක් පමණයි.

මේ ආකාරයට නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය දෙස බලන එකේ තිබෙන එක් මූලික වැරැද්දක් වන්නේ ඇමරිකන් ඩොලරයේ වටිනාකම වසරින් වසර වෙනස් වල බව මෙහිදී සැලකිල්ලට ගෙන නොතිබීමයි. මා මේ කියන්නේ ඇමරිකන් ඩොලරයක රුපියල් අගය වෙනස් වීම ගැන නෙමෙයි. ඒ කරුණට අපි පසුව එමු. මේ කතා කරන්නේ ඇමරිකාවේ උද්ධමනය නිසා ඇමරිකානු ඩොලරයටම සාපේක්ෂව එහි අගය වෙනස් වීම ගැනයි. ඒ නිසා, අපට ඇමරිකාවේ උද්ධමනයේ බලපෑම ඉවත් කර මේ සංඛ්‍යා සංසන්දනය කරන්න වෙනවා. 

ආසන්න වශයෙන් 2004 ඇමරිකානු ඩොලරයක දැන් වටිනාකම ඩොලර් 1.36ක්ද, 2014 ඩොලරයක දැන් වටිනාකම ඩොලර් 1.08ක්ද, 2019 ඩොලරයක දැන් වටිනාකම ඩොලර් 1.01ක්ද වෙනවා. නියම අනුපාත යොදා ඉහත ගණන් 2020 මූර්ත ඩොලර් වලට (වසරේ මැද ජූනි මාසයේ අගය සලකමින්) පරිවර්තනය කළ විට ඉහත සංඛ්‍යා වෙනස් වෙන්නේ මේ ආකාරයටයි.

දළ දේශීය නිෂ්පාදිතය (2020 ඩොලර් බිලියන)

2004      28.13

2014      85.88

2019      84.54

දැන් මේ ගණන් වල උද්ධමනයේ බලපෑමක් නැති නිසා හරිනම් සැබෑ ආර්ථික වර්ධනය පෙන්විය යුතුයි. මේ ගණන් අනුව, 2005-2014 කාලය තුළ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 13.1%ක් විය යුතුයි. 2015-2019 කාලය තුළ ලංකාවේ ආර්ථිකය වසරකට 0.2% බැගින් හැකිලී තිබිය යුතුයි. නමුත්, එය එසේ නොවූ බව අපි දන්නවා. එහෙමනම් මෙහි වැරැද්ද කුමක්ද? 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ රුපියල් වලින් මිසක් ඩොලර් වලින් නෙමෙයි. එම ගණන් ඩොලර් වලට හරහා පෙන්වීම තුළ තිබෙන්නේ රැවටිල්ලක්. 2005-2014 අතර ලංකාවේ මූර්ත වර්ධන වේගය ඉහළ මට්ටමක වූ බව සැබෑවක් වුවත් එය 13.1% මට්ටමේ තිබුණේ නැහැ. එම වසර දහය තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය වුනේ 6.4%ක් පමණයි. නමුත්, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය 14.4% බැගින් ඉහළ ගොස් තිබෙනවා. එයින්, 1.3%කට හේතුව ඇමරිකාවේ උද්ධමනයයි. එසේනම්, ඉතිරි 6.7% ආවේ කොහෙන්ද?

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපට ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ රුපියල් අගයෙන් පටන් ගන්න වෙනවා. කොහොමටත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ රුපියල් වලින් බව මම කිවුවනේ.

නාමික දළ දේශීය නිෂ්පාදිතය (රුපියල් බිලියන)

2004        2,091

2014      10,361

2019      15,016

මේ අනුව, 2005-2014 කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ රුපියල් අගය වසරකට 17.4% බැගින් ඉහළ ගොස් ඇතත් 2015-2019 කාලයේ එම ඉහළ යාම 7.7%ක් පමණයි. රටේ ජාතික ආදායමේ සැබෑ වැඩිවීම, එහෙමත් නැත්නම් මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන වේගය හොයාගන්න මේ ගණන් වලින් අදාළ කාල වල පැවති උද්ධමනයේ බලපෑම ඉවත් කරන්න වෙනවා. 2005-2014 කාලයේ සාමාන්‍ය උද්ධමනය 11.0%ක්. 2015-2019 කාලයේ සාමාන්‍ය උද්ධමනය 3.9%ක්. මේ අනුව, අදාළ කාලවල් වල සැබෑ ආර්ථික වර්ධනය පිළිවෙලින් 17.4% -11.0% = 6.4%ක් සහ 7.7% - 3.9% = 3.8%ක් වෙනවා.

දැන් මේ 6.4% ආර්ථික වර්ධනය ඩොලර් වලින් බැලූ විට 14.4% දක්වා වැඩි වී පෙනෙන්නත්, 3.8% ආර්ථික වර්ධනය 1.1% වී පෙනෙන්නත් හේතුව කුමක්ද? 2005-2014 කාලය තුළ ඇමරිකාවේ සාමාන්‍ය උද්ධමනය 2.3%ක්.  2015-2019 කාලය තුළ එය 1.5%ක්. ඒ නිසා, හරිනම් මේ ගණන් 6.4% + 2.3% = 8.7%ක් හා 3.8% + 1.5% = 5.3%ක් විය යුතුයි. එහෙත්, එය එසේ නොවූයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විණිමය අනුපාතිකය ඇමරිකාව හා ලංකාව අතර උද්ධමන වෙනසට ගැලපෙන පරිදි වෙනස් නොවීම නිසයි.

ඇමරිකාවේ බඩු මිල 2.3% බැගින් ඉහළ යද්දී ලංකාවේ බඩු මිල 11.0% බැගින් ඉහළ යනවා කියා කියන්නේ ඇමරිකන් බඩු ලංකාවට සාපේක්ෂව වසරකට 8.7% බැගින් ලාබ වෙනවා කියන එකයි. පොදුවේ මෙය ආනයනික බඩු දේශීය නිෂ්පාදන වලට සාපේක්ෂව ලාබ වීමක් කියා කියන්න පුළුවන්. එහි ප්‍රතිඵලය වන්නේ අපනයන සමඟ තරඟ කළ නොහැකිව දේශීය කර්මාන්ත වැසී යාමයි. එසේ නොවන්නටනම් රුපියල ඩොලරයට සාපේක්ෂව 8.7%කින් අවප්‍රමාණය වෙන්නට සලස්වන්න වෙනවා. එහෙත්, 2005-2014 කාලය තුළ රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වුනේ නැහැ  අනෙක් අතට 2015-2019 කාලය තුළ රුපියල අවප්‍රමාණය විය යුතුව තිබුණේ 3.9% - 1.5% = 2.4%කින් පමණක් වුවත්, පෙර වසර වල රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වී නොතිබුණු නිසා ඊට වඩා තරමක් හෝ වැඩියෙන් අවප්‍රමාණය වීමට ඉඩ හැරිය යුතු වුනා.

මේ අනුව පැහැදිලි වනු ඇති පරිදි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය මෙසේ විශාල ලෙස වැඩි වී පෙනෙන්නට ප්‍රධානම හේතුව "වැරදි" විණිමය අනුපාතිකයක් යොදා ගනිමින් රුපියල් වලින් මනින අගයක් ඩොලර් වලින් පෙන්වීමයි. මේ ආකාරයෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙස රාජ්‍ය ණය පෙන්වන විට ඩොලර් වලින් මනින විදේශ ණය රුපියල් වලට හැරවෙන්නේ "වැරදි" විණිමය අනුපාතිකයක් යොදා ගනිමින් නිසා එම ණය ප්‍රමාණය අඩුවෙන් පෙනෙනවා. වෙනත් නිර්ණායකද වැඩි කර පෙන්වන්නට අවශ්‍ය වූ විට රුපියල් ඩොලර් වලිනුත්, අඩු කර පෙන්වන්නට අවශ්‍ය වූ විට ඩොලර් රුපියල් වලිනුත් පෙන්වීමෙන් නැති සෞභාග්‍යයක් පෙන්විය හැකියි.

අපි නැවත මුල් ප්‍රශ්නයට එමු. මොන විදිහකින් හරි 2005-2014 කාලය තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය හතර ගුණයකින් වැඩි කරලා පෙන්නුවනේ. මේ ආණ්ඩුවටත් ඒ වැඩේ ඒ විදිහටම කරල පෙන්නන්න පුළුවන්කමක් තියෙනවද? 

අපි කතාව අවුරුදු පහකට සීමා කරමු. 2025 වෙද්දී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය දෙගුණයක් කරලා පෙන්වන්න මේ ආණ්ඩුවට පුළුවන් වෙයිද? මේ වැඩේ කරන්නනම් වසරකට 14.9%කින් ඔය අගය වැඩි කරන්න වෙනවා. ඔය අවුරුදු පහේ රටේ ඇත්ත ආර්ථික වර්ධනය කොයි මට්ටමට උස්සගන්න පුළුවන් වෙයිද? 2005-2014 අතර ලැබුණු යුද්ධය අවසන් කිරීමේ බෝනස් එක නැවත ලැබෙන්නේ නැහැ. එය සුවිශේෂී තත්ත්වයක්. ඒ නිසා, කීනිසියානු පිම්බීම් වලින් පමණක් අපහසුවකින් තොරව ඒ දශකයේ ලබාගත් 6.4% සාමාන්‍යයට නැවත යන්න පුළුවන්කමක් ඇතැයි මම හිතන්නේ නැහැ. 

හැත්තෑ හතෙන් පස්සේ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 5%කට කිට්ටුයි. පහුගිය අවුරුදු හතරේදී ආර්ථික වර්ධනය ඔය මට්ටමට පහළින් තිබුණු නිසා එහි වාසියකුත් තිබෙනවා. තව පුළුවන් උප්පරවැට්ටි හැම එකම දමලා 6%ක සාමාන්‍ය වර්ධනයක් ගත්තා කියලා අපි හිතමු. තව 8.9%ක් ඕකට එකතු කළ යුතුයි. ඒක කරන්න වෙන්නේ විණිමය අනුපාතිකය උද්ධමන වෙනස සමඟ ඉහළ යාම යටපත් කිරීමෙන්.

ඉදිරි අවුරුදු පහේ ඇමරිකාවේ උද්ධමනය 2%ක් පමණ වෙයි. ඇමරිකාව මේ ඉලක්ක මට්ටම ඒ තරම් වෙනස් වෙන්න ඉඩ හරින්නේ නැහැ. ඩොලරයක රුපියල් මිල මොන විදියෙන් හරි අවුරුදු පහක්ම දැන් මට්ටමේම තියා ගත්තා කියා හිතමු. එහෙම තත්ත්වයක් යටතේ මේ ඉලක්කයට යන්න ලංකාවේ සාමාන්‍ය උද්ධමනය 11% මට්ටමට යන්න ඉඩ දෙන්න වෙනවා. නමුත්, දැන් කාලයක් තිස්සේම මහ බැංකුව විසින් උද්ධමනය 5-6% මට්ටමේ තියාගෙනයි ඉන්නේ. උද්ධමනය ඉහළ ගියොත් ඊට අනුරූපව පොලී අනුපාතිකත් ඉහළ යනවා. එවිට, ආණ්ඩුවේ වියදම් ඉහළ ගොස් අයවැය හිඟය තවත් පුළුල් වෙන නිසා එය ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙනවා. අනෙක් අතට උද්ධමනය ඉහළ යා නොදී තියා ගන්න එකත් ආණ්ඩුවේ ඉලක්කයක්. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනය 6% මට්ටමේවත් තියා ගන්න වෙනවා. 

මේ අනුව උද්ධමන වෙනස 4%ක්. ඩොලරයක අගය කිසිදු වෙනසක් නැතිව දැන් මට්ටමේම තියා ගත්තොත් ආර්ථික වර්ධනයේ ඩොලර් අගය ඉහළ යාම 10% මට්ටමට ගන්න පුළුවන්. එය 14.9% මට්ටමට ගන්නනම් අවුරුද්දකට 4.9% බැගින් ඩොලරයේ අගය පහළ දමා ගන්න වෙනවා. ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඩොලරය අවුරුදු පහක් දැන් තිබෙන මට්ටමේ තියාගන්න එකත් මොන විදිහකින්වත් කරන්න බැරි දෙයක්. ඒ නිසා, කලින් වතාවේ වගේ අවුරුදු පහකින් ජාතික අදායම දෙගුණ වෙයි කියලා කවුරු හරි බලා ඉන්නවානම් ඒක අර එළුවාගේ මොකක්ද වැටෙනකම් බලා ඉන්නවා වගේ වැඩක්!

(Image: https://srilankaequity.forumotion.com/t31351-real-reason-for-presnt-level-of-stock-market-in-sri-lanka)

Wednesday, July 29, 2020

මිනිස්සු සල්ලි එපා කිවුවොත්?


බැංකු හා මුදල් මැවීම ගැන උනන්දුවෙන් කියවන පිරිසක් තවමත් සිටින නිසා තව ටිකක් ඉදිරියට යමු. එකම මාතෘකාවක් පිළිබඳව එක දිගටම ලියන කොට ඒ මාතෘකාව ගැන වැඩි උනන්දුවක් නැති අය ටිකෙන් ටික හැලෙනවා. එහෙම වෙන බව තේරුණොත් මාතෘකාව වෙනස් කෙරෙයි. තවමනම් අවුලක් නැහැ.

ඒ වගේම, මේ ලිපිය පෙර ලිපි වලට සම්බන්ධ නිසා එම ලිපි නොකියවූ අයෙකුට අගමුල නොතේරෙන්න පුළුවන්. එහෙමනම්, කරුණාකර පහත තිබෙන ලිපි කියවා නැවත එන්න. ආර්ථික විද්‍යාව යම් මට්ටමකට හදාරා තිබෙන කෙනෙකුට වුනත් අලුත් දේවල් විය හැකි ඇතැම් කරුණුත් ඉදිරියට එන්න ඉඩ තිබෙනවා.

අපේ සල්ලි හා බැංකුවේ සල්ලි


මුදල් මවන්නේ කොහොමද?


පෙර ලිපි කියවුවානම් දැන් ඔබට වාණිජ බැංකු වලින් කරන මුදල් මැවීම ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. එසේ නැත්නම් අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් අහන්න. දැන දැන උවමනාවෙන්ම ඇහුවේ නැත්නම්, මෝඩ ප්‍රශ්න කියා දේවල් නැහැ. පැහැදිලි නැති දෙයක් පැහැදිලි කර ගැනීම ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. කොහොමටත් මෙහි ප්‍රතිචාර දමන්න තමන්ගේ නම දැමීම අනිවාර්ය නැහැ. එකම පහසුව කෙටියෙන් අකුරු දෙකක් හෝ දැම්මොත් එකම පුද්ගලයාගේ ප්‍රතිචාර වෙන් කර හඳුනා ගන්න පුළුවන් වීමයි.

දැන් මේ වාණිජ බැංකු විසින් කරන මුදල් මැවීම මුදල් ගුණනය කිරීමක් එහෙමත් නැත්නම් මුදල් බෝ කිරීමක්නේ. අර මැජික්කාරයෝ තොප්පියට පරවියෙක් දමලා පරවියෝ දෙන්නෙක් ගන්නවා වගේ. 

වට්ටක්කා ඇට දෙකක් කුඹුරට වීසි කළාම වට්ටක්කා වැල් දෙකක් හැදෙනවා. ඒ වැල් දෙකේ වට්ටක්කා හැදෙනවා. ඒ වට්ටක්කා වල තිබෙන ඇට ටික කුඹුරු වලට හරි වතු වලට හරි විසි කළාම තව වට්ටක්කා වැල් විශාල ප්‍රමාණයක් හැදී ඒවායේත් වට්ටක්කා හැදෙනවා. ඔය විදිහට හැදෙන වට්ටක්කා ටික ඔක්කොම නාස්ති වෙන්න නොදී එකතු කරගෙන අපනයනය කරන්න පුලුවන්නම් ලංකාව සංවර්ධිත රටක් කරන්න අවශ්‍ය වෙන්නේ වට්ටක්කා ඇට දෙකක් පමණයිනේ.

ඔය විදිහට වට්ටක්කා ඇට දෙකකින් රටක් ගොඩ දමන්න බැරි බව කියවන කාට වුනත් තේරෙනවනේ. හැබැයි ආකෘතියක් හදලා එහෙම පුළුවන් කියා සෛද්ධාන්තිකව පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ ඒ ආකෘතිය වැරදි බව තවත් කෙනෙක්ට පෙන්වන්න පුළුවන්. ආකෘතිය වැරදි වුනත් වට්ටක්කා ඇට දෙකකින් වට්ටක්කා හදා ගන්න පුළුවන් කියන කාරණය ඇත්තක්නේ.

වාණිජ බැංකු එකතු වෙලා මුදල් මවන එකත් ඔය වගේ වැඩක්. අසීමිත ලෙස මුදල් ගුණනය කරන්න බැරි වුනත් බැංකු වලට මුදල් ගුණනය කිරීමක් කළ හැකියි. මෙය කවුරුවත් හිතාමතා කරන දෙයක් නෙමෙයි. වට්ටක්කා ඇට දෙකක් කුඹුරට විසි කළාම පැල වෙනවා වගේ දෙයක්. සමහර වෙලාවට ඔය ඇට දෙක පැලවෙන්නේ නැති බව කාට හරි කියන්න පුළුවන්. එහෙම පැල වුනේ නැත්නම් වට්ටක්කා මැවීමක් නැහැ. මුලින් වට්ටක්කා පැල වුනත් වට්ටක්කා හේනක්ම බෝකර ගත්තාට පස්සේ වුනත් එක පාර ඔය හේනම විනාශ වෙන්න පුළුවන්. ඔය වගේම වාණිජ බැංකු විසින් මුදල් මැවීමේ යාන්ත්‍රණයත් විවිධ හේතු මත අතරමග නවතින්න පුළුවන්. 

ඊට කලින් අපි මුලටම ගියොත් වට්ටක්කා බෝකර ගන්න මුලින්ම වට්ටක්කා ඇටයක් හෝ ඇට දෙකක් අවශ්‍ය වෙනවා වගේම වාණිජ බැංකු වලට මුදල් මැවීම ආරම්භ කරන්නත් කිසියම් බීජ මුදලක් (seed money) අවශ්‍ය වෙනවා. ඔය බීජ මුදල් වෙන්නේ මහ බැංකුව විසින් සංසරණයට අලුතෙන් එකතු කරන මුදල්. 

අපි හිතමු රටේ මුදල් ඉල්ලුම හා සැපයුම මනා සේ සමතුලිතව තිබෙනවා කියා. දැන් එක බැංකුවකට දවස අවසානයේ මුදල් හිඟයක් ඇති වුනත්, ඒ හිඟය පියවා ගන්න අවශ්‍ය මුදල් වෙනත් බැංකුවක තිබෙනවා. ඒ වගේම, එක බැංකුවක මුදල් අතිරික්තයක් ඇති වුනොත් එම අතිරික්තය ආයෝජනය කළ හැකි ඉල්ලුමක් රටේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙනවා. ඒ නිසා, මහ බැංකුවට ඇඟිලි ගහන්න දෙයක් නැහැ.

ඔහොම තියෙද්දී රජය හා මහ බැංකුව එකතු වී රටේ මුදල් සැපයුම වැඩි කරන්න තීරණය කරනවා. හේතුව මොකක් හෝ වෙන්න පුළුවන් ඒ කාරණය අපි දැනට පැත්තකින් තියමු.

රජය විසින් රුපියල් බිලියන 10ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. මහ බැංකුව විසින් අලුතින් මුද්‍රණය කළ මුදල් ගෙවා ඒ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා. දැන් රජය විසින් ඔය මුදල් යොදවා රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා. අපි ඔය වගේ උදාහරණයක් ගනිමු. දැන් මෙහිදී රුපියල් බිලියන 10ක සල්ලි අච්චු ගැසීමක් සිදු වෙලා. ඒ වගේම රටේ මුදල් සැපයුම ක්ෂණිකවම රුපියල් බිලියන 10කින් ඉහළ යනවා. ඒ කියන්නේ රටේ මුදල් ඉල්ලුම හා සැපයුම අතර රුපියල් බිලියන 10ක පරතරයක් ඇති වෙනවා. ඒ අමතර රුපියල් බිලියන 10 ගන්න කෙනෙක් නැහැ.

වෙනත් විදිහකින් කිවුවොත් රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළත් රාජ්‍ය සේවකයින්ට ඇත්තටම වැඩිපුර සල්ලි අවශ්‍ය නැහැ. හැබැයි මෙහිදී රාජ්‍ය සේවකයින්ට ඇත්තටම වැඩිපුර සල්ලි අවශ්‍ය නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඔවුන් තමන්ට පඩි වැඩි කළ එක ගැන අසතුටු වෙනවා කියන එක නෙමෙයි. කවුද ඒකට අකැමති? නමුත්, ඔවුන්ට ඒ වැඩි කළ මුදල මුදල් නෝට්ටු වලින් අතේ තියාගන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ක්ෂණික වියදම් සඳහා පරණ වැටුප ප්‍රමාණවත්. ඒ නිසා කරන්නේ වැඩි වූ මුදල බැංකුවේ දමන එකයි. බැංකුවට කෙළින්ම ආවානම් බැංකුවේම තියන එකයි.

දැන් බැංකුවේ රුපියල් බිලියන 10ක අතිරික්තයක් තිබෙනවා. ඒ මුදල තිබෙන්නේ අර රාජ්‍ය සේවකයින්ගේ තැන්පතු වලයි. ඒ නිසා, පාඨකයෙකු විසින් නිවැරදිව පෙන්වා දී තිබෙන පරිදි, බැංකු වලට එම මුදල් වෙනුවෙන් පොලියක් ගෙවන්න වෙනවා. බැංකුවේ නිකම් තිබෙන සල්ලි වෙනුවෙන් බැංකුව විසින් පොලියක් ගෙවනවා කියා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්නේ. ඒ නිසා, බැංකුවට ඔය වැඩේ කරන්න බැහැ. ඔය රුපියල් බිලියන 10ක මුදල ණය විදිහට කාගේ හෝ ඇඟේ ගහන්නම වෙනවා.

දැන් ප්‍රශ්නය තිබෙන්නේ ණය ගන්න ඉල්ලුමක් නැති කමයි. අලුතෙන් රුපියල් බිලියන 10ක මුදලක් සංසරණයට එකතු වෙන්න කලින් ණය ඉල්ලුම සමතුලිත වෙලා තිබුණු නිසා දැන් ඊට වඩා අමතර ඉල්ලුමක් නැහැ. ඒ නිසා, අමතර ඉල්ලුමක් ඇති කරන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද?

අමතර ණය ඉල්ලුමක් ඇති කරන්න බැංකු වලට ණය පොලී අඩු කරන්න වෙනවා. කලින් 10%ක පොලියට ණය ගන්න අවශ්‍ය නොවූ යම් පිරිසක් පොලිය 9% වූ විට ණය ඉල්ලාගෙන එනවා. එවිට අර අමතර රුපියල් බිලියන 10ක මුදල හෝ එයින් කොටසක් ඒ අයට දෙන්න පුළුවන්. ඒ වගේම බැංකු වලට තැන්පතු පොලී අනුපාතික පහළ දමන්නත් පුළුවන්. එවිට එක පැත්තකින් දැනට තිබෙන තැන්පතු සඳහා ගෙවිය යුතු පොලී වියදම් පහළ යනවා. අනෙක් පැත්තෙන් ලැබෙන පොලිය අඩු නිසා පාරිභෝගිකයින්ගෙන් පිරිසක් තමන්ගේ තැන්පතු ඉවත් කර ගන්නවා. ඔය දෙයාකාරයෙන්ම අන්තිමට රටේ මුදල් ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. අර අමතර රුපියල් බිලියන 10ක මුදල බැංකු පද්ධතියෙන් එළියට යනවා.

ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට වාණිජ බැංකු විසින් මුදල් මවන ආකාරය පැහැදිලි කිරීම සඳහා යොදා ගන්නා ඉතා සරල ආකෘතියක් තිබෙනවා. මෙය ප්‍රායෝගිකව ඒ ආකාරයෙන්ම "වැඩ කරන" ආකෘතියක් නෙමෙයි. එහෙත්, එම ආකෘතිය යොදා ගෙන මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම පාලනය කරන ආකාරය පැහැදිලි කළ හැකියි.

මේ ආකෘතියේදී අපි උපකල්පන ගණනාවක් කරනවා. පළමු උපකල්පනය වන්නේ රටේ ණය ඉල්ලුමේ සීමාවක් නැහැ කියන එකයි. අරමුදල් තිබේනම් බැංකුවකට ඕනෑ තරම් ණය දෙන්න පුළුවන්. මෙය නිවැරදි උපකල්පනයක් නොවන බව අපි දන්නවා. නමුත්, ආකෘතිය වඩා සංකීර්ණ කර නොගැනීම සඳහා අපි දැනට ඒ බව අමතක කරමු. දෙවන උපකල්පනය වන්නේ කවුරු හෝ ණය ලෙස ලබා ගන්නා මුදල් සියල්ලම අනෙක් අතට නැවත බැංකු පද්ධතිය තුළට එනවා කියන එකයි. මේ උපකල්පන යටතේ මහ බැංකුව විසින් සංසරණයට එකතු කරන රුපියලක් කොපමණ ගුණනය වනවාද කියන එක අප‍ට ගණනය කළ හැකියි. එය තීරණය වන්නේ මහ බැංකුව විසින් නියම කරන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මතයි.

මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මගින් තීරණය වෙන්නේ වාණිජ බැංකු වලට තමන් විසින් එකතු කර ගන්නා තැන්පතු වලින් කොපමණ ප්‍රතිශතයක් නැවත ණය සේ නිකුත් කළ හැකිද කියන එකයි. බැංකු වල ව්‍යවස්ථාපිත සංචිත කියා කියන්නේ ණය සේ නිකුත් නොකර අනිවාර්යයෙන්ම මහ බැංකුවේ තැන්පතුවක් සේ තැබිය යුතු මුදලක්. එම මුදල සාමාන්‍යයෙන් බැංකුවේ තැන්පතු වල ප්‍රතිශතයක්. ණය සේ නිකුත් කළ හැක්කේ එම තැන්පතු මහ බැංකුවේ තැබීමෙන් පසු ඉතිරි වන අමතර මුදල හෝ එයින් කොටසක් පමණයි. මේ හරහා මහ බැංකුව විසින් වාණිජ බැංකු විසින් මුදල් ගුණනය කිරීමේ ක්‍රියාවලිය පාලනය කරනවා.

උදාහරණයක් විදිහට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%ක් කියා අපි හිතමු. ඒ කියන්නේ බැංකුවක තැන්පතු ප්‍රමාණය රුපියල් 100කින් ඉහළ ගියොත් එම මුදලෙන් ණය සේ නිකුත් කළ හැක්කේ රුපියල් 90ක් පමණයි. එම රුපියල් 90 නැවත තැන්පතුවක් සේ බැංකුවට පැමිණියොත් දෙවන වර ණය සේ නිකුත් කළ හැක්කේ රුපියල් 90*90% = 81ක් පමණයි. හැම චක්‍රයකදීම මුදල ටිකෙන් ටික අඩු වුනත් මේ වැඩේ වැල වගේ යනවා.

පළමු වටයේදී මහ බැංකුවේ හෝ රජයේ මැදිහත් වීමක්, එහෙමත් නැත්නම් වෙනත් බාහිර හේතුවක් නිසා වැඩි වූ රුපියල් 100
දෙවන වටයේදී ඒ රුපියල් 100 යොදාගෙන මවන රුපියල් 90
තුන් වන වටයේදී ඒ රුපියල් 90 යොදාගෙන මවන රුපියල් 81
හතර වන වටයේදී ඒ රුපියල් 81 යොදාගෙන මවන රුපියල් 81*90% = 72.90
....

ඔහොම වැල වගේ යනවා. වට්ටක්කා වගේම තමයි. අන්තිමේදී අර මුල් රුපියල් 100 රුපියල් කීයක් වෙනවද? ගුණෝත්තර ශ්‍රේණි ගැන දන්න කෙනෙකුට ඔය එකතුව පහසුවෙන් හොයා ගන්න පුළුවන්. කාට හෝ අවශ්‍යනම් අහන්න. මෙහි ගණිතය පෙන්වන්නම්. 

සමීකරණ පැත්තකින් තියමුකෝ. කාට වුනත් එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ තරමයි මේ එකතුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මත හා ආරම්භක වටයේදී වැඩි වූ මුදල මත තීරණය වන දෙයක් බව. උදාහරණයක් විදිහට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 50%ක් කළොත් දෙවන වටයේදී මැවෙන්නේ රුපියල් 90ක් නෙමෙයි රුපියල් 50ක්. තෙවන වටයේදී මැවෙන්නේ රුපියල් 25ක් පමණයි. ඒ වගේම පළමු වටයේදී තැන්පතු ප්‍රමාණය රුපියල් 200කින් වැඩි වුනොත් ඉන් පසු වට වලදී මැවෙන මුදල් ප්‍රමාණයත් සමානුපාතිකව වැඩි වෙනවා.

මේ අනුව තවත් කරුණු කිහිපයක් හොඳින් පැහැදිලි වෙනවා.

- ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව තියෙද්දී මහ බැංකුව හා රජය එකතු වී සල්ලි අච්චු ගැසූ විට එසේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් සැපයුම ඉහළ යනවා.
- ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව තියෙද්දී මහ බැංකුව හා රජය එකතු වී සල්ලි අච්චු ගැසූ විට මුදල් සැපයුම ඉහළ යන්නේ එසේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණයට සමානුපාතිකවයි.
- ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම මගින් සල්ලි අච්චු නොගසා රටේ මුදල් සැපයුම වැඩි කළ හැකියි. අවසන් ප්‍රතිඵලය සමානයි.

මහ බැංකුවකට මුදල් සැපයුමට බලපෑම් කළ හැකි තවත් ආකාර තිබුණත් මෙහි සඳහන් කළේ ප්‍රධානම ක්‍රම දෙකයි.

දැන් අපි මහේෂ්ගේ ප්‍රශ්නයට එමු.

"ඉකොන් කියන විදියට අපි හිතමුකෝ වානිජ බැන්කු තමන්ට ලැබෙන සියලුම තැම්පතු ( අපි හිතමුකෝ ස්තාවර තැම්පතු සහ ලමා ගිනුම් වැනි ආපසු ලබා ගැනීමේ අඩු සම්බාවිතාවක් තියෙන තැම්පතු කියලා) වලින් 90% ක් නය විදියට දෙන්න සුදානමින් ඉන්නවා කියලා. ඒත් රටේ මිනිස්සුන්ගෙන් නය වලට ඉල්ලුමක් නැති නම් ඒ සල්ලි වලට බැන්කු මොනවද කරන්නෙ? අපි හිතමුකෝ ලක්ශ 100 ක් තැම්පතු තියෙනවා එකෙන් ලක්ශ 90 නය දෙන්න පුලුවන්. ඒත් නය ගන්නේ ලක්ශ 20 විතරයි නම් ඉතුරු ලක්ශ 70 ට බැන්කුව මොකද කරන්නේ?"

ඇත්තනේ! පොතේ තියෙන්නේ ඔය උඩින් කියපු කතාව තමයි. ඒ නිසා, විභාගයකට ලියන කෙනෙක් වැඩි පණ්ඩිතකම් නොකර ඒ කතාව කට පාඩම් කරගෙන ලිවුවොත් ලකුණු ටික හම්බ වෙයි. හැබැයි ඔය කතාවේ කියන ආකාරයට රටේ ණය වලට ඉල්ලුමක් නැත්නම් වට්ටක්කා හැදෙන්නේ කොහොමද?

පහසු පිළිතුරක් අවශ්‍යනම් උඩින්ම ලියලා තිබෙනවා. විසඳුම සරලයි. කරන්න තියෙන්නේ පොලී අනුපාතික පහළ දමන එකයි. එතකොට නැති ණය ඉල්ලුම හැදෙනවා. බොහෝ වෙලාවට ඇත්තටම වෙන්නෙත් ඕක තමයි. 

හැබැයි ඔය ආකාරයට පොලී අනුපාතික අඩු වී අවශ්‍ය තරම් ණය ඉල්ලුමක් ඇති නොවන තත්ත්වයන්ද තියෙනවා. දැන් ලංකාවේ තියෙන්නේත් ඒ වගේ තත්ත්වයක්. ඒ ඇයි කියා මම පැහැදිලි කරන්නම්. මේ කියන්න යන ටික පාඨ ග්‍රන්ථ වල තිබෙන මූලික කරුණු නෙමෙයි.

කාට හෝ ණයක් දෙන එකේ අවදානම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. පොලියක් බලාගෙන ණය දුන්නත් පොලිය තියා දුන් මුල් මුදලවත් ආපසු නොලැබෙන අවස්ථා එමටයි. මෙය වාණිජ බැංකු විසින් මුහුණ දෙන ලොකුම අවදානමයි. පෙර ලිපි වල විස්තර කළ ද්‍රවශීලතා අවදානමත් ලොකු අවදානමක් වුණත් ණය ආපසු නොලැබීමේ අවදානමට සාපේක්ෂව ද්වීතියිකයි.

අපි හිතමු මෙලෙස ණය ආපසු නොලැබීමේ අවදානම 1%ක් කියා. ඒ කියන්නේ රුපියල් ලක්ෂය බැගින් සිය දෙනෙකුට ණය දුන්නොත් එයින් කවුරු හෝ කෙනෙක් පොල්ල තියනවා. ඒ නිසා, මේ ණය ආපසු නොලැබීමේ අවදානම වෙනුවෙන් පමණක් බැංකුවට 1%කට මඳක් වැඩි පොලියක් අය කරන්න වෙනවා. එක්කෙනෙක්ට දුන් රුපියල් ලක්ෂය නැති වුවත් ඉතිරි 99 දෙනාගෙන් අමතර රුපියල් දාහ බැගින් (හරියටමනම් පාඩුව පියවගන්නනම් රුපියල් 1010.10ක් බැගින්) ඇවිත් නිසා අවුලක් නැහැ. අනෙක් අවදානම් වෙනුවෙනුත් ඔය වගේ යම් පොලියක් එකතු කරන්න වෙනවා.

දැන් මේ වෙලාව ගැන හිතමුකෝ. කෝවිඩ් ඉවරවෙන දවසක් පෙනෙන්න නැහැ. ආර්ථිකය නැවත හිස ඔසොවන දවසක් පැහැදිලිව පෙනෙන්න නැහැ. ඔය වගේ තත්ත්වයක් යටතේ බැංකුවකින් ණයක් ගන්නා කෙනෙකුට ඒ ණය ආපසු ගෙවාගන්න බැරි වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. අපි කියමු මේ අවදානම 5%ක් කියලා. ඒ කියන්නේ ඒ අවදානම වෙනුවෙන් පමණක් අඩු වශයෙන් 5%ක පොලියක් අය කරන්න වෙනවා. ඊට වඩා අඩු පොලියකට ණය දෙනවා කියන්නේ දැන දැන කිඹුල් කටකට පනිනවා වගේ වැඩක්. වෙනත් විදිහකින් කිවොත් වාණිජ බැංකුවකට අනිවාර්ය පාඩුවක් නොලබා ණයක් දිය හැකි අවම පොලියක් තිබෙනවා.

මේ විදිහට වාණිජ බැංකුවකට අනිවාර්ය පාඩුවක් නොලබා ණයක් දිය හැකි අවම පොලියට ණය දුන්නත් ණය ගන්න රටේ ඉල්ලුමක් නැත්නම් මොකද කරන්නේ? දැන් අර මම මුලින් කියපු විසඳුම වැඩ කරන්නේ නැහැ. බැංකු වලට සල්ලි එනවා. ඒත් මළ වදේ ඒ සල්ලි වලට කරන්න දෙයක් නැහැ. දෙන්න හැදුවට කවුරුවත් ණය ගන්නේ නැහැ. 

මේ වගේ තත්ත්වයක් යටතේ ණය පොලිය තවත් අඩු කිරීමේ හැකියාවක් නැති නිසා බැංකු විසින් කරන්න ඉඩ තිබෙන්නේ තැන්පතු පොලිය අඩු කරන එකයි. එවිට, බැංකුවෙන් තැන්පතු ඉවත් වෙනවා. අලුත් තැන්පතු එන එක නවතිනවා. රටේ මුදල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. බැංකුවේ තත්ත්වයත් සමතුලිත වෙනවා. නමුත්, අර පොතේ හැටියට සිදු විය යුතු, බොහෝ විට ඇත්තටමත් සිදුවෙන මුදල් ගුණනය වීම කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා, රජය හෝ මහ බැංකුව විසින් අපේක්ෂා කළ ප්‍රතිඵලය එලෙසම දකින්න ලැබෙන්නේ නැහැ.

අදට ඔය ඇති. ප්‍රශ්න තිබේනම් අහන්න.

Tuesday, July 28, 2020

මුදල් මවන්නේ කොහොමද?


මේ ලිපිය පෙර ලිපියට සම්බන්ධයි. එහි දෙවන කොටසක් කියා කියන්න පුළුවන්. ඒ නිසා, කරුණාකර පෙර ලිපිය කියෙවුවේ නැත්නම් එය මුලින් කියවා එන්න නැත්නම් අගක් මුලක් නොතේරෙන්න පුළුවන්. 


මුලින්ම එම ලිපිය පළ  කිරීමෙන් පසුව පාඨකයෙකු විසින් ඇසූ ප්‍රශ්නයක් සහ එයට ලබා දුන් පිළිතුර මෙහි නැවත පළ කරන්නම්. මම හිතන්නේ ඉදිරියට යාම සඳහා එම ප්‍රශ්නය වගේම පිළිතුරත් වැදගත්.

"ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය මහජන බැංකුවේ නැතුව සම්පත් බැංකුවේ අර ලක්ශ දහය තැන්පත් කලා නම් මොකද වෙන්නෙ? එතකොට චන්ද්‍රානි ලක්ශ දහයක් ණය ඉල්ලං මහජන බැංකුවට එනකොට මහජන බැංකුව සම්පත් බැංකුවෙන් ඒක ණයක් හැටියට ගන්නවද?"

ඔබ අසා තිබෙන්නේ තර්කානුකූලව ඊළඟට ඇසිය යුතු ප්‍රශ්නයක්. කෙටි පිළිතුර, ඔව්.

පැහැදිලි කිරීමේ පහසුව සඳහා මහජන බැංකුව පමණක් යොදාගත්තත් ඇත්තටම මේ වැඩේට බැංකු පද්ධතියම සම්බන්ධයි. ඒ වගේම දවසකට මේ වගේ දේවල් වෙන්නේ එකක් නෙමෙයිනේ. විශාල ප්‍රමාණයක් ඔය වගේම සිද්ධි වෙනවා. එක සිද්ධියක් තනිව ගත්තහම මහජන බැංකුවට සම්පත් බැංකුවෙන් ණයක් ගන්න වෙනවා. වෙනත් සිද්ධියකදී සම්පත් බැංකුවට මහජන බැංකුවෙන් ණයක් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔය බැංකු දෙකටම ලංකා බැංකුවෙන් ණයක් ගන්න වෙනවා.

වැදගත් කරුණ වන්නේ කවර හෝ බැංකුවකින් ණය ලෙස එළියට යන මුදල් තව කවර හෝ බැංකුවකට තැන්පතු ලෙස ආපසු ලැබෙනවා. ඒ වගේම, කවර හෝ බැංකුවකින් ණයක් නිකුත් කළ විට වෙනත් කවර හෝ බැංකුවකට එම මුදල තැන්පතුවක් ලෙස ආපසු එනවා. ඒ නිසා, මහජන බැංකුව වගේ නිශ්චිත බැංකුවක් ගත්තොත් එම බැංකුවෙන් ආපසු ගන්නා තැන්පතු සම්පත් බැංකුවේ තැන්පත් කෙරෙනවා වගේම එහි අනික් පැත්තත් සිදු වී සෑහෙන තරමකින් සමතුලිත වීමක් වෙනවා. හරියටම සමතුලිත වෙන්නේ නැහැ තමයි.

අවසානයේදී මහජන බැංකුවේ මුදල් තැන්පතු කිරීම්, ආපසු ගැනීම්, ණය දීම්, ණය ආපසු ලැබීම් ආදිය හේතුවෙන් කිසියම් සුළු මුදලක් පමණක් ඉතිරි වුනොත් එය ඊළඟ දවස වෙනුවෙන් තියා ගන්න පුළුවන්. සුළු අඩුවක් වුනොත් එය බැංකුවේ තිබෙන අමතර අරමුදල් වලින් පියවා ගන්න පුළුවන්. නමුත්, එම හිඟය වැඩිනම් වෙනත් බැංකුවකින්, ඔබ කියන පරිදි සම්පත් බැංකුවෙන් දෛනික පදනම මත ණයක් ගන්න වෙනවා. ඒ වගේම, දවස අවසානයේදී සැලකිය යුතු මුදලක් ඉතිරි වුනොත් එය වෙනත් වාණිජ බැංකුවකට දෛනික පදනමින් ණයක් විදිහට දෙන්න පුළුවන්.

මේ වැඩේ වෙන්නේ බැංකු වලින් එළියට යන සල්ලි ප්‍රමාණයට සමාන මුදලක් නැවතත් කවර හෝ බැංකුවකට ආවොත්නේ. එහෙම එනවා කියන්නේ රටේ මුදල් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

සිංහල අවුරුදු කාලය වගේ විශේෂ අවස්ථාවක් ගත්තොත් අදාළ සතියේ බැංකු වලින් එළියට යන මුදල් සතියක් පමණ යන තුරු බැංකු පද්ධතියට නැවත ආපහු එන්නේ නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස බැංකු පද්ධතියට ද්‍රවශීලතා හිඟයකට මුහුණ දෙන්න වෙනවා. එක බැංකුවක අඩුව පියවන්න වෙනත් බැංකුවක් නැහැ. ඒ වගේ අවස්ථාවක මහ බැංකුවට තාවකාලිකව මුදල් සැපයුම වැඩි කරන්න වෙනවා.

කෝවිඩ් නිසා සිදු වී තිබෙන්නේ සිංහල අවුරුදු කාලයේ දින කිහිපයකට ඇති වනවා වගේ තත්ත්වයක් මාස ගණනක්ම අල්ලා සිටීමයි. මිනිස්සු සල්ලි ආපසු ගන්න තරමට සල්ලි නැවත බැංකු වල තැන්පත් කරන්නේ නැහැ. ඒ වගේම, ණය වාරික ගෙවීම කල් දැමීම නිසා මුදල් අපේක්ෂා කළ පරිදි බැංකු වලට එන්නේ නැහැ. මේ අඩුව පුරවන්න මුදල් සැපයුම වැඩි කළ යුතුයි.

හැබැයි දැන් වෙලා තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් සැපයුම වැඩි කිරීමක්. ඒ නිසා, බැංකු වල රුපියල් බිලියන ගණනක් ගොඩ ගැහිලා. ආණ්ඩුව විසින් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බල කිරීම මත හෝ මහ බැංකුව කැමැත්තෙන්ම එසේ කිරීම නිසා. පසුගිය සතිය අවසානයේ රුපියල් බිලියන 118ක අතිරික්තයක්. ඔය වගේ සමස්ත අතිරික්තයක් බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන විට එක් බැංකුවකට තවත් බැංකුවකින් ණය ගන්න අවශ්‍ය වෙන්න ඉතාම අඩු ඉඩකඩක් තියෙන්නේ. හැම බැංකුවක් සතුවම වගේ වැඩිපුර මුදල් තිබෙනවා. ඒ නිසා, බැංකු වලට ණය විදිහට ඔය සල්ලි කාට හෝ තල්ලු කරන්න වෙනවා. මේ වෙද්දී ලංකාවේ බැංකු විසින් කරමින් ඉන්නේ ඒකයි.

ඉහත ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර අවසන්. මේ ලිපිය පළ කරන්නේ පාඨකයින් විසින් අසා තිබෙන තවත් ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්නයි. ප්‍රශ්න අසා තිබෙන පාඨකයින් දෙදෙනා එක් අයෙකුම නොවේය යන්න මගේ උපකල්පනයයි. එම ප්‍රශ්න වලට වෙනම පිළිතුරු නොදී මෙසේ ලිපියකින් ප්‍රතිචාර දක්වන්නේ ප්‍රශ්න දෙකම එකිනෙකට සම්බන්ධ නිසයි. ප්‍රශ්න දෙකක් කියා කිවුවත් ප්‍රශ්න ගණනාවක් සහිත ප්‍රතිචාර දෙකක්.

"රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? කොහොමද ?
උදා. මහජන බැංකුව රත්නසේකරට දෙන දෙවෙනි ලක්ශ 10 එහෙම මවලා දෙන්න පුලුවන් කියලා තීරණය කරේ කොහොමද?"

"ස්තුතියි ඉකොනෝ කොමෙන්ටුවට පොස්ටුවක් දමාම පැහැදිලි කරාට. ඒ වගේම මට තව ගැටළුවක් ආවා මේක කියවද්දී. ඒ තමයි දැන් බැංකුවට තැන්පතුවක් ලෙස තිබෙන්නේ ලක්ෂ 10 යි. එතකොට ඒක තව කෙනෙක්ට ණයක් විදියට දෙන්න පුළුවන්. ඒ උනාට ආයේ තවත් කෙනෙක්ට ලක්ෂ 10 ක ණයක් දෙන්නේ කොහොමද? මොකද එහෙම දෙන එක නිවැරදි නැහැනි. මොකද එහෙම දෙන්න පුළුවන් මුදලක් ඇත්තටම නැහැ. එහෙම කරන්න පුළුවන් තමයි ඉකොනෝ කියලා තියෙන විදියට ප්‍රායෝගිකව. ඒත් එහෙම කරන එක නිත්‍යානුකූල කරලා තියෙන්නේ ඇයි? මූල්‍ය ආයතනයටත් රිස්ක් එකක් නැද්ද ඒකෙන්?"

මේ වගේ ප්‍රශ්න මතු වීම ඉතාම සාධාරණයිනේ. හරිනම් මේවා පාසැල් වල ඉගැන්විය යුතු දේවල්. තේරුම් ගන්න උපාධි අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් බොහෝ දෙනෙක් නොදැන සිටීමෙන් ඒ ක්‍රියාවලීන් ගැන අවබෝධයක් තිබෙන අයට එසේ නොදන්නා අයව පාලනය කිරීමේ ඉඩක් ලැබෙනවා. මම මේ ප්‍රශ්න වලට ගැලපෙන පිළිවෙලට පිළිතුරු දෙන්නම්.

"මහජන බැංකුව රත්නසේකරට දෙන දෙවෙනි ලක්ෂ 10 එහෙම මවලා දෙන්න පුලුවන් කියලා තීරණය කරේ කොහොමද?"

මම මුල් ලිපියේ මේ ක්‍රියාදාමය පැහැදිලි කර තිබෙන ආකාරය නිවැරදි වුවත් එසේ පැහැදිලි කර තිබෙන්නේ ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථයක මේ ක්‍රියාවලිය පැහැදිලි කරන සම්මත ආකාරයට නෙමෙයි. මම පටන් ගත්තේ ප්‍රශ්නය ඇසූ පාඨකයා සිතන තැන සිටයි. මේ ප්‍රශ්න මේ ආකාරයට මතු වන්නේ මා මුල් ප්‍රශ්නය පැහැදිලි කළ ආකාරය හේතුවෙනුයි. සම්මත ක්‍රමයට පැහැදිලි කළානම් බොහෝ විට මෙවැනි ප්‍රශ්න මතු වන්නේ නැහැ. 

ඒ එම ප්‍රශ්න නැති නිසා නෙමෙයි. සාමාන්‍ය පැහැදිලි කිරීමේදී ඒ ප්‍රශ්න සැඟවෙන නිසා. ඒ නිසා, කවුරු හෝ අමතර ප්‍රශ්නයක් ඇහුවත් කෙනෙකුට ඉතා පහසුවෙන් ඇඟ බේරා ගන්නා ගිරා පිළිතුරක් දෙන්න පුළුවන්. නමුත්, මට අවශ්‍ය වුනේ එවැන්නක් නොකර මේ සිද්ධි දාමය ඇතුළේ තිබෙන මූලධර්ම මොනවාද කියා ඒත්තු ගන්නන්නයි. මේ ප්‍රශ්න මතු වී තිබීමෙන් පෙනෙන්නේ මේ කරුණේදී මා සාර්ථක බවයි.

මේ ප්‍රශ්න දෙකෙන්ම පැහැදිලි වෙන්නේ මහජන බැංකුව විසින් දෙවන ලක්ෂ දහය ණය ලෙස ලබා දීම මොකක් හෝ වැරැද්දක් සේ පෙනෙන බවයි. "ඒ තමයි සාමාන්‍යයෙන් බැංකු කටයුතු සිදු වෙන විදිහ" වැනි ඇඟ බේරාගත හැකි පහසු පිළිතුරක් දෙන්න මම කැමති නැහැ.

පළමුව, වාණිජ බැංකුවක ප්‍රධාන ව්‍යාපාරික කාර්යය වන්නේ තැන්පතුකරුවන්ගේ තැන්පතු මුදල් සේප්පුවක දමා ආරක්ෂා කර දීම නෙමෙයි. බැංකු විසින් ආදායම් උපයන්නේ පොලියක් අය කර ණය දීම මගිනුයි. තැන්පතු කියන්නේ එසේ ණය ලෙස ලබා දීම සඳහා අරමුදල් හොයා ගන්නා ක්‍රමයක්.

මගේ මුල් පැහැදිලි කිරීම අනුව මහජන බැංකුව විසින් දෙවන ලක්ෂ දහය ණය ලෙස ලබා දෙන අවස්ථාව දක්වාම රටේ සෑම මුදල් නෝට්ටුවකටම කිසියම් "අයිතිකාරයෙක්" ඉන්නවා. මේ තත්ත්වය අපිට පහසුවෙන් මනසින් මවා ගත හැකි තත්ත්වයක්. ඒ නිසා, බැංකුවේ තිබෙන තැන්පතු සමරදිවාකරගේ මුදල්, රාමලිංගම්ගේ මුදල්, ෆර්සානාගේ මුදල් ආදී ලෙස වෙන් කළ හැකියි. වැඩේ අවුල් වෙන්නේ දෙවන ලක්ෂ දහය ලබා දීමෙන් පසුවයි. 

නමුත්, ඇත්තටම වාණිජ බැංකුවක් ඔය විදිහට සල්ලි ලේබල් කරන්නේ නැහැනේ. ඔවුන් කරන්නේ තැන්පතු සේ ලැබෙන මුදල් සියල්ල එකම "පෙට්ටියකට" දමන එකයි. ඒ පෙට්ටියෙන් රුපියල් පන්දාහක් අරගෙන එය සමරදිවාකරගේද, රාමලිංගම්ගේද, නැත්නම් ෆර්සානාගේද කියා හොයන්න බැහැ. බැරි නැති වුනත් බැංකුවක් එසේ කරන්නේ නැහැ. එසේ නොකිරීම වැරැද්දක්ද කියන එක පසුව සාකච්ඡා කරමු.

නැවත ණය නිකුත් කරන කොටත් ඔය පෙට්ටියෙන් මුදල් අරගෙන දෙනවා මිසක් ඒ දෙන්නේ සමරදිවාකරගේ මුදල්ද, රාමලිංගම්ගේ මුදල්ද, ෆර්සානාගේ මුදල්ද කියා හොයන්න බැංකුව මහන්සි වෙන්නේ නැහැ. බැංකුවේ මුදල් තිබේනම් ණය ලෙස නිකුත් කරනවා. එපමණයි. ඒ නිසා, චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ සල්ලි කියා මම කිවුවත් බැංකුව කොහේවත් එහෙම සටහන් කරගෙන නැහැ. තමන්ට ලැබුනේ සමරදිවාකරගේ තැන්පතු මුදල් බව චන්ද්‍රානි නොදන්නවා වගේම චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ මුදල් බව අඩු ගානේ බැංකුවවත් දන්නේ නැහැ.

චන්ද්‍රානි විසින් රුපියල් ලක්ෂ දහයක ණය මුදල ලබාගෙන අනික් අතට ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කළ නිසා එසේ තැන්පත් කළේ ණයට ගත් සල්ලිම බව අපි දන්නවා. එහෙත්, බැංකුව ඒ බව කොහේවත් වාර්තා කර ගන්නේ නැහැ. ඒ වගේම, මේ අවස්ථාවේ අපට මේ ණය මුදල හා තැන්පතුව එකිනෙක හා පාහන්න හැකි වුවත් බොහෝ විට එවැන්නක් කරන්න අමාරුයි. උදාහරණයක් විදිහට චන්ද්‍රානි විසින් එවෙලේම මුදල් තැන්පත් නොකර ගෙදර යාමෙන් පසුව ඇගේ දරුවා විසින් මහජන බැංකුවේ වෙනත් ශාඛාවකින් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමට මුදල් බැර කළොත් ඒ සල්ලි බැංකුවෙන් ණයට දුන් සල්ලිම බව තහවුරු කරන්න අමාරුයි. මේ වැඩේට රටේ බැංකු පද්ධතියම සම්බන්ධ වන නිසා වැඩේ කරන්නම බැරි තරම්.

එයින් අදහස් වෙන්නේ කුමක්ද? මහජන බැංකුවේ පැත්තෙන් බැලූ විට මුලින් සමරදිවාකර විසින් තැන්පත් කළ රුපියල් ලක්ෂ දහයක මුදල වගේම දෙවනුව චන්ද්‍රානි විසින් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කළ රුපියල් ලක්ෂ දහයක මුදලත් එක සමාන තැන්පතු දෙකක්. ඒ දෙක එකක්මද දෙකක්ද කියන එක බැංකුවට හොයා ගන්න බැහැ. බැංකුව විසින් කරන්නේ තැන්පතු ලෙස ලැබෙන මුදල් ණය සේ ලබා දෙන එක පමණයි. එසේ ලබා දෙන ණය නැවත තැන්පතු සේ බැංකු පද්ධතිය ඇතුළටම එන එක ස්වභාවිකවම වෙන දෙයක්. එහෙම නැතුව බැංකු විසින් කරන "වැරැද්දක්" නෙමෙයි.

වැරැද්දක් නෙමෙයි කියා මම කිවුවත් තර්කානුකූලව මෙහි අවුලක් තිබෙන බව පේනවනේ. ගොඩක් වෙලාවට කියවන කෙනෙකුට අවුලක් දැනුනත් අහන්න අවශ්‍ය ප්‍රශ්නය එක පාරටම ඔළුවට එන එකක් නැහැ. ඒ නිසා, මමම ප්‍රශ්නය පැහැදිලි කරන්නම්.

අපි අපේ මුල් උදාහරණයට ගියොත්, මම කියපු කතාව ඔය විදිහටම සිද්ධ වෙනවානම් බැංකුවකට එකම රුපියල් ලක්ෂ දහය අනන්ත වාරයක් ණය ලෙස නිකුත් කළ හැකියිනේ. එහෙම වෙනවානම් අනිවාර්යයෙන්ම එහි අවුලක් තිබිය යුතුයිනේ.

දැනට අපි මහ බැංකුව හා සියලුම බැංකු නියාමන නීති අමතක කරමු. ඒ කිසිවක් නැතත් ඉහත කී ආකාරයේ දෙයක් වෙන්නේ නැහැ. එයට හේතුව වෙනත් ඕනෑම ව්‍යාපාරයක් කරන කෙනෙක් වගේම බැංකු ව්‍යාපාරයක් කරන කෙනෙකුත් අවදානම් ගන්නවා වුවත් අසීමිත ලෙස අවදානම් ගන්නේ නැහැ. බැංකුවේ පැත්තෙන් ගත් විට අවදානම ආරම්භ වන්නේ දෙවන වරට රත්නසේකරට ලක්ෂ දහයක් ණයට දෙන අවස්ථාවේදී නෙමෙයි. පළමු වරට චන්ද්‍රානිට ලක්ෂ දහය ණයට දෙන විටත් ඒ අවදානමම තිබෙනවා.

මුදල් මැවීම අමතක කරමු. මහජන බැංකුව විසින් චන්ද්‍රානිට ණයට දෙන්නේ සමරදිවාකරගේ තැන්පතු මුදල්. එසේ එම මුදල් ණයට දුන් පසු සමරදිවාකර බැංකුවට පැමිණ තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලුවොත් මහජන බැංකුව මොකද කරන්නේ? සල්ලි නොදී ඉන්න බැහැනේ. බැහැ කිවුවොත් බැංකුව බංකොලොත් වෙනවා.

අනිවාර්යයයෙන්ම මෙහි අවදානමක් තිබෙනවා. ඒ අවදානම ගන්නේ නැත්නම් වාණිජ බැංකුවකට ණය දෙන්නම බැහැ. ඒ කියන්නේ වාණිජ බැංකු ව්‍යාපාරයට පවතින්නම බැහැ. වාණිජ බැංකු විසින් කරන්නේ දක්ෂ ලෙස මේ අවදානම කළමනාකරණය කරන එකයි. එසේ කර ගන්න බැරි බැංකු බංකොලොත් වී වැසී යනවා. 

වාණිජ බැංකු පවතින තාක් කල් මුදල් මැවීම කියන එකත් ස්වභාවිකවම සිදු වෙනවා. එය සැලසුම් කර කරන දෙයක් නෙමෙයි. නමුත්, මගේ මුල් උදාහරණයේදී මෙන් බැංකුවකට රුපියල් ලක්ෂ දහයක් තැන්පතු සේ ලැබුණු විට බැංකුව විසින් එම මුළු මුදලම නැවත ණය සේ නිකුත් කරන්නේ නැහැ. එසේ නිකුත් කරන්නේ එම මුදල් වලින් යම් කොටසක් පමණයි. එම කොටස කොපමණද කියන එක එක් එක් බැංකුවේ තීරණයක්. එය තීරණය වන්නේ එක් එක් බැංකුව විසින් ගන්නා අවදානම මතයි.

බැංකුවක තැන්පතුකරුවන් විසින් ඕනෑම වෙලාවක තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටිය හැකි බවත්, එසේ ඉල්ලූ විට ආපසු දිය යුතු බවත් බැංකු දන්නවා. ඒ එක්කම හැම තැන්පතුකරුවෙක්ම එක වර තමන්ගේ මුදල් ආපසු ගන්නේ නැති බවත් බැංකු දන්නවා. 

කිසියම් නිශ්චිත දවසක තැන්පතු සේ ආපසු ඉල්ලන මුදල් ප්‍රමාණය ගැන දළ අදහසක් බැංකුවකට තිබෙනවා. ඒ නිසා, හැම විටම බැංකුවක් විසින් ණය සේ අරමුදල් නිකුත් කරන්නේ තැන්පතු ආපසු ගෙවීම සඳහා කිසියම් මුදල් ප්‍රමාණයක් අතේ තියාගෙනයි. මුල් උදාහරණයට නැවත පැමිණියහොත් මහජන බැංකුව විසින් කිසි විටකටත් සමරදිවාකරගේ රුපියල් ලක්ෂ දහයක මුදලම චන්ද්‍රානිට දෙන්නේ නැහැ. එසේ දෙන්නේ රුපියල් ලක්ෂ අටක් හෝ නවයක් වැනි අඩු මුදලක්. ඒ නිසා, චන්ද්‍රානි විසින් නැවත ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කරන්නේ රුපියල් ලක්ෂ අටක් හෝ නවයක් වැනි අඩු මුදලක්. අපි මේ මුදල ලක්ෂ අටක් කියා කියමු. සමරදිවාකර ඔහුගේ තැන්පතු ආපසු ගන්න ආවොත් දෙන්න මහජන බැංකුව විසින් ඉතුරු ලක්ෂ දෙක තියා ගන්නවා.

දැන් දෙවන වටයේදී රත්නසේකර ණය ඉල්ලාගෙන බැංකුවට එනවා. බැංකුවේ ලක්ෂ දහයක් තියෙනවා තමයි. නමුත්, එයින් ලක්ෂ දෙකක් තියාගෙන ඉන්නේ සමරදිවාකර ඔහුගේ තැන්පතු ආපසු ගන්න ආවොත් ආපසු දෙන්නයි. ඒ නිසා, ඒ සල්ලි රත්නසේකරට ණයට දෙන්න බැහැ. එහෙමනම්, ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තිබෙන ලක්ෂ අටක මුදල රත්නසේකරට දෙන්න පුළුවන්ද? 

එසේ කළත් කලින් ප්‍රශ්නයම එනවනේ. ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය සල්ලි ආපහු ගන්න ආවොත් මොකද වෙන්නේ?

මහජන බැංකුවට ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තිබෙන ලක්ෂ අටක මුදල මුළුමනින්ම රත්නසේකරට දෙන්න පුළුවන්කමක් නැහැ. එහි අවදානමක් තිබෙනවා. ඒ නිසා, මහජන බැංකුව විසින් දෙවන වටයේදී ණය නිකුත් කරන්නේ ඒ අවදානම වෙනුවෙන්ද යම් මුදලක් ඉතිරි කර ගෙනයි. අපි කියමු මේ මුදලත් ලක්ෂ දෙකක් කියා. ඒ කියන්නේ, රත්නසේකරට ණය ලෙස දෙන්නේ රුපියල් ලක්ෂ හයක් පමණයි. ඔහු නැවත ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කරන්නේත් ලක්ෂ හයක් පමණයි. 

මෙහිදීත් මුල් අවස්ථාවේදී වගේම මුදල් මැවීමක් සිදු වී තිබෙනවා. එය ඉතාම පැහැදිලියිනේ. නමුත්, එක් වටයකදී අලුතෙන් මැවෙන මුදල් ප්‍රමාණය ආරම්භක තැන්පතුවට සාපේක්ෂව අඩු මුදලක්. ඒ නිසා, වාණිජ බැංකුවකට එකම රුපියල් ලක්ෂ දහය අනන්ත වාරයක් ගුණනය කරන්න බැහැ. වාණිජ බැංකුවකට මැවිය හැකි මුදල් ප්‍රමාණය යම් නිශ්චිත සීමාවකට ඇවිත් නවතිනවා. මේ සීමාව තීරණය වෙන්නේ එක් එක් වාණිජ බැංකුව විසින් ගන්නා අවදානම මතයි.

දැන් ඔබට එක දෙයක් පැහැදිලි විය යුතුයි. කිසියම් බැංකුවක තැන්පතුකරුවන් සියලුම දෙනා එකවර තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලා සිටියොත් එම මුදල් ආපසු ගෙවීමේ හැකියාවක් කිසිදු බැංකුවකට නැහැ. එසේ ඉල්ලා සිටියහොත් ඕනෑම ශක්තිමත් බැංකුවක් කඩා වැටෙනවා. 

හැබැයි මෙය පුදුම විය යුතු භයානක තත්ත්වයක් නෙමෙයි. මේ වගේ අවදානමක් ඕනෑම දෙයක තිබෙනවා. රෝහලක ඖෂධ ගබඩා කර තබා ගන්නේ සාමාන්‍යයෙන් පැමිනෙනු ඇතැයි සිතිය හැකි රෝගීන් ප්‍රමාණය ගැන සලකලයි. ඇඳන් ප්‍රමාණය, වාට්ටු ප්‍රමාණය, වෛද්‍යවරුන් හා හෙදියන් ප්‍රමාණය ආදිය තීරණය කරන්නේත් එවැනි පදනමක සිටයි. කෝවිඩ් වැනි තත්ත්වයක් නිසා එකවර විශාල රෝගීන් ප්‍රමාණයක් රෝහල්ගත වුවහොත් ඖෂධ හා ඇඳන් හිඟයක් ඇති වීම නොවැලැක්විය හැකියි. ඒ හේතුව නිසා, රෝහල් පහසුකම් සාමාන්‍ය අවශ්‍යතාව මෙන් දහ ගුණයක් දක්වා පුළුල් කර දිගින් දිගටම පවත්වා ගැනීම කාර්යක්ෂමයි කියා කියන්න බැහැ. නමුත්, එසේ නොකිරීමේ අවදානමක් තිබෙනවා.

පාලමක් සැලසුම් කරද්දී ඒ මතින් එකවර ගමන් කරන්නට ඉඩ තිබෙන පුද්ගලයින් ප්‍රමාණය හා ඔවුන් පා තබන රටාව පිළිබඳව පූර්ව උපකල්පන කරනවා. ඒ පූර්ව උපකල්පන ඉක්මවා යන තත්ත්වයකදී පාලම ඔරොත්තු නොදෙන්න පුළුවන්.

අපි තවමත් බැංකු නියාමනය ගැන කතා කළේ නැහැනේ. මහ බැංකු හා බැංකු නියාමනය සාපේක්ෂව අලුත් සංකල්ප. වාණිජ බැංකු සංකල්පය ඊට වඩා ගොඩක් පරණයි. ජාතක කතා වල ඉන්න සිටුවරු කියන්නේත් යම් ආකාරයක බැංකුකරුවන් පිරිසක්. මහ බැංකු විසින් රටක සමස්ත බැංකු පද්ධතියේ අවදානම් ගැන හිතන්න පටන්ගන්න පෙර සිටම වාණිජ බැංකු තමන්ට තිබෙන අවදානම් ගැන සැලකිලිමත් වුනා. ඔවුන් ණය සේ  අරමුදල් නිකුත් කළේ තමන්ට ලැබෙන තැන්පතු වලින් කිසියම් ප්‍රතිශතයක් හදිසි සංචිතයක් සේ තබා ගැනීමෙන් පසුවයි. ඒ, තැන්පතුකරුවන් තමන්ගේ අරමුදල් ඉල්ලගෙන පැමිණි විට එම මුදල් ආපසු දෙන්නයි. මේ ප්‍රතිශතය 1% ද, 5%ද 20%ද කියන එක එක් එක් බැංකුවේ තීරණයක්. එම ප්‍රතිශතය අනුව අදාළ බැංකුව විසින් කොයි තරම් දුරකට මුදල් මැවීමට දායක වෙනවාද කියන එකත් තීරණය වෙනවා.

මහ බැංකු කියන්නේ එක විදිහකින් බැලුවහම පසුකාලීනව ඇති වී බැංකු ක්‍රියාකාරිත්වයේ සුක්කානම තමන් අතට ගත් ව්‍යුහයක්. මහ බැංකු බිහි වෙන්න පෙර සිටම වාණිජ බැංකු තිබුණා. මුදල් මැවීමත් සිදු වුනා. ඒ විතරක් නෙමෙයි. මුල් කාලයේ අලුතින් මුදල් නෝට්ටු සංසරණයට එකතු කළේත් බැංකු විසින් හෝ බැංකු සේ සැලකිය හැකි ව්‍යුහයන් විසින්. නමුත්, මේ වන විට රටක සංසරණය වෙන මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ මහ බැංකු විසින්.

එසේ වුවත්, ඔබට එක් දෙයක් පැහැදිලි විය යුතුයි. රටක මහ බැංකුවකට මුදල් සැපයුම තීරණය කළ හැකි වුවත් එය එක්තරා විදිහක සාමූහික කටයුත්තක්ද වෙනවා. අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කර මුදා හැරීමේ ඒකාධිකාරය තිබෙන්න මහ බැංකු අතේ. එසේ වුවත්, එම මුදල් ප්‍රමාණය වාණිජ බැංකු විසින් ගුණනය කරනවා. ඒ වගේම, මේ ගුණනය වීම රටේ මුදල් හා ණය ඉල්ලුම මතද තීරණය වන්නක්.

මේ වගේ සංකීර්ණ තත්ත්වයක් යටතේ මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම කොපමණ විය යුතුදැයි තීරණය කිරීමෙන් පසුව එම ඉලක්කය සැපිරෙන බවට වගබලා ගන්නේ කොහොමද?

පළමුව, වාණිජ බැංකු විසින් මුදල් මැවීමක් කළත් මෙහිදී වෙන්නේ මහ බැංකුව විසින් අලුතෙන් නිකුත් කරන මුදල් ගුණනය වීමක් නිසා ආරම්භක මුදල පාලනය කළ විට අවසන් මුදල් ප්‍රමාණයද පාලනය වෙනවා. දෙවනුව, වාණිජ බැංකු විසින් ණය නිකුත් කිරීමේදී තැන්පතු වලින් කිසියම් ප්‍රතිශතයක් සංචිතයක් සේ තබා ගන්නා බව මම කිවුවනේ. මහ බැංකුව විසින් මේ සඳහා අවම සීමාවක් පනවා තිබෙනවා. ඒ නිසා, වාණිජ බැංකු වලට ණය නිකුත් කළ හැක්කේ එම අවම සංචිත ප්‍රමාණය මහ බැංකුවේ ගිණුමක තැන්පත් කිරීමෙන් පසුවයි. මේ අවම සීමාව වෙනස් කිරීමෙන් වාණිජ බැංකු වල මුදල් මැවීමේ හැකියාව පාලනය කළ හැකියි.

මේ කරුණු තවත් දීර්ඝ ලෙස විස්තර කළ හැකියි. ප්‍රශ්න මතු වුවහොත් පිළිතුරු සපයන්නම්. 

Monday, July 27, 2020

අපේ සල්ලි හා බැංකුවේ සල්ලි


කාලයකට පස්සේ මම ගොඩක් කැමති විදිහේ ප්‍රශ්නයක් පාඨකයෙක් විසින් අහලා තිබුණා. ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි හදාරලා තිබෙන කෙනෙක්ටනම් ඉතාම සරල ප්‍රශ්නයක්. සමහර විට කෙනෙකුට මෝඩ ප්‍රශ්නයක් වගේ පෙනෙන්නත් පුළුවන්. නමුත්, මේ වගේ ප්‍රශ්නයක් ආර්ථික විද්‍යාව හදාරලා නැති කෙනෙකුට ඉතාම සංකීර්ණ, බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බ්ලොග් එක ලියන්න පටන් ගනිද්දී මම ඉලක්ක කළේ මේ වගේ මූලික මට්ටමේ ප්‍රශ්න තිබෙන අයවයි. වෙනත් විෂයයක් ගත්තත් ඔය ප්‍රශ්නයම තියෙනවා. කිසියම් විෂයයක් හදාරපු කෙනෙකුට ඉතා සරල ප්‍රශ්නයක් වගේ පෙනෙන දෙයක් එම විෂය හදාරා නැති කෙනෙකුගේ හිතට වද දෙන සංකීර්ණ ප්‍රශ්නයක්.

ඔය වගේ සරල ප්‍රශ්න වලට සරල උත්තර දෙන්න යන කොට ආර්ථික විද්‍යාව ගැන යම් දැනුමක් තිබෙන අය සංකීර්ණ ප්‍රශ්න මතු කරනවා. එවිට ඒ අය ඉලක්ක කර සංකීර්ණ පිළිතුරු සපයන්න වෙනවා. මේ වැඩේ දිගින් දිගටම සිදු වීම නිසා සමහර විට දැන් බ්ලොග් එක ඕනෑවට වඩා බරපතල වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා. වඩා වැදගත් වෙන්නේ ආර්ථික විද්‍යා විෂය දැනුමක් තිබෙන, මෙහි ලියන දේවල් සමඟ පහසුවෙන් එකඟ වෙන අය මෙය කියවන එක නෙමෙයි. එවැනි දැනුමක් නැති ටික දෙනෙක් හෝ ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප අවබෝධ කර ගැනීමයි. 

රටේ මුදල් හා මූල්‍ය පාලනය භාරව ඉන්න ටික දෙනෙකුට ලංකාවේ හැමෝගෙම ජීවිත පාලනය කරන්න හැකි වී තිබෙන්නේ එවැනි දැනුමක් රටේ බොහෝ දෙනෙකුට නැති නිසයි. එය මිනිස්සුන්ගේ වැරැද්දක් නෙමෙයි. ලංකාවේ සමාජවාදී ආණ්ඩු විසින් සමාජවාදී අධ්‍යාපන ක්‍රමය හරහා දිගින් දිගටම පවත්වා ගෙන යන තත්ත්වයක්. ලංකාවේ ධනවාදී දේශපාලන පක්ෂ නැති නිසා මේ උගුලෙන් ගැලවෙන්න වෙන්නේ රටේ මිනිස්සු කවර හෝ විකල්ප ක්‍රමයකින් අවශ්‍ය දැනුම ලබා ගත්තොත් විතරයි. හැමදේම අතැඹුලක් සේ දන්න විවිධ නිකාය වල භක්තිවාදී මාක්ස්වාදී ආගමිකයින්ට දැනුම පොවන්න බැරි වුනත්, භක්තිවාදීන් නොවන විවෘත මනසක් තිබෙන අයට නොදන්නා විෂයයක් තේරුම් ගැනීම නොකළ හැක්කක් නෙමෙයි.

"ඉතිං බැංකුවට ගිහිං අපි ගන්නේ අපේ ගිණුමේ ඉතිරි වෙලා තියෙන සල්ලි ටිකනේ. එතකොට කොහොමද රටේ මුදල් හිගයක් ඇති වෙන්නේ ඉකොනෝ. මොකද අපිට ගන්න පුළුවන් ගිණුමේ තියෙන මුදල මිසක් ඊට වඩා වැඩි ගානක් නෙමේ. ඒ කියන්නේ රටක සියලුම ගිණුම් වල තියෙන මුදල් ප්‍රමාණය ඉලක්කම් වලින් පෙන්නවට වඩා අඩු මුදල් නෝට්ටු ගණනක්ද මුද්‍රණයේ පවතින්නේ. ප්‍රශ්නේ තේරුනාද දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මගේ ඔලුවට ආවට මෙහෙම ලියලා තේරුම් කරන්න මටත් තේරෙන්නේ නැහැ."

මේ ප්‍රශ්නය ඇතුළේ ආර්ථික විද්‍යාවේ මූලික කරුණු ගණනාවක් තිබෙනවා. මම හිතන්නේ මම මේ ගොඩක් දේවල් වරින් වර පැහැදිලි කරලත් තිබෙනවා. අපි මේ පාඨකයාගේ ගැටලුව හැකි තරමින් පැහැදිලි කරන්න උත්සාහ කරමු. එය ඔහු හෝ ඇය වැනි තවත් අයටත් උපකාරයක් වෙයි කියා මම හිතනවා.

මුදල් කියා කිවුවහම බොහෝ දෙනෙක්ගේ සිහියට එන්නේ මුදල් නෝට්ටු. රුපියල් සීයේ කොළයක් නැත්නම් රුපියල් පන්දාහේ කොළයක් වගේ දෙයක්. ඔවු. ඒවා මුදල් තමයි. එය ඉතාම පැහැදිලි කරුණක්නේ. 

අපිට මේ මුදල් ලැබෙන්නේ කොහොමද? බොහෝ දෙනෙක් හා අදාළව සරලම පිළිතුර වැඩ කරලා උපයන ආදායමක් ලෙස කියන එකයි. සමහර විට මොනවා හෝ කෘෂිකාර්මික හෝ ධීවර නිෂ්පාදනයක් විකුණලා ලබා ගන්න සල්ලි. සමහර විට වඩු වැඩක්, මේසන් වැඩක්, කරණවෑමි රැකියාවක් වගේ දෙයක් කරලා ලබා ගන්න සල්ලි. මේ වගේ වැඩක් කළාම කෙළින්ම අතට සල්ලි එනවා. රුපියල් නෝට්ටු වලින්. වැඩේ සරලයි.

ඔය විදිහට කවුරු හෝ කෙනෙක් විසින් උපයන මුදල් වෙනත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කරනවා. එවිට තවත් පිරිසක් අතට මේ සල්ලි යනවා. අවසානයේ යම් ඉතිරියක් ඇතොත් බැංකු ගිණුමක තැන්පත් කරනවා. දැන් බැංකුවේ තියෙන්නේ කාගේ සල්ලිද? අර පාඨකයා නිවැරදිව කියනවා වගේ අපේ සල්ලි. අපිට අවශ්‍ය වෙලාවට බැංකුවට ගිහින් ඔය සල්ලි ආපහු ගන්න පුළුවන්.

සමහර අය ආදායම් උපයන්නේ රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරලා. එවැනි රැකියා කළ අයට කාලයකට පෙර පඩි පැකට් එකක් ලැබුණා. හරියට සතේටම ලියුම් කවරයක දමපු නෝට්ටු හා කාසි ගොඩක්. පඩි පැකට් එක ගත්තට පස්සේ කතාව කලින් වගේමයි. ණය තුරුස් ඇත්නම් ගෙවලා ඉතිරිය වියදම් කරනවා. යම් විදිහකින් ඉතිරියක් ඇත්නම් බැංකු ගිනුමේ තැන්පත් කරනවා.

දැන් මම හිතන්නේ ඔය පඩි පැකට් ක්‍රමය එතරම් දකින්න නැහැ. නැත්තේමත් නැහැ තමයි. පඩි දවසේ සල්ලි අරගෙන යන වාහනය මංකොල්ල කෑ පුවත් දැනුත් කලාතුරකින් හෝ ඇහෙනවා. හැබැයි බොහෝ විට පඩිය කෙළින්ම බැංකු ගිණුමකට යනවා. ඊට පස්සේ බැංකුවෙන් අවශ්‍ය තරමට මුදල් අරගෙන වියදම් කරන එකයි කරන්න තියෙන්නේ. මුළු වැටුපම වියදම් කර අවසන් කළේ නැත්නම් ඔය සල්ලි බැංකුවේ ඉතිරි වෙනවා.

මේ ක්‍රමය කලින් ක්‍රමයට වඩා වෙනස් වෙන්නේ එක් කරුණකින් පමණයි. කලින් ක්‍රමයට අතට එන සල්ලි වලින් කොටසක් බැංකුවේ දමනවා. දැන් ක්‍රමයට බැංකුවට කෙළින්ම එන සල්ලි වලින් කොටසක් එහි ඉතිරි වෙනවා. ඒ වෙනස හැරුණු විට අවසාන වශයෙන් බැංකුවේ තිබෙන්නේ පාඨකයා විසින් නිවැරදිව තේරුම් අරන් තිබෙන විදිහටම අපේ සල්ලි.

අතේ තිබුණත් බැංකුවේ තිබුණත් සල්ලි අපේනේ. සල්ලි අතට ආවේ වෙන කෙනෙකුගෙන්. මේ වෙන කෙනා තවත් අපි වගේම වැටුපක් සඳහා වැඩ කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඒ පුද්ගලයාගේ අතට සල්ලි ඇවිත් තියෙන්නේත් අපිට සල්ලි ලැබුණු විදිහටමයි. එහෙම නැත්නම් පෞද්ගලික සමාගමකින් වෙන්න පුළුවන්. පෞද්ගලික සමාගමක් සල්ලි හොයන්නේ මොනවා හෝ විකුණලානේ. ඒ කියන්නේ, අපි වගේ කාගේ හරි අතේ තිබුණු සල්ලි. 

සල්ලි ලැබුණේ රජයෙන් වෙන්නත් පුළුවන්. ලංකාවේ ගොඩක් අය කරන්නේ රජයේ රැකියානේ. රජයට සල්ලි කොහෙන්ද? අපි දැනට හිතමු රජය සල්ලි හොයන්නේ බදු හා වෙනත් ආදායම් වලින් කියලා. වෙනත් ආදායම් කිවුවේ ඔය වාහන ලියාපදිංචි ගාස්තු වගේ දේවල්. ඔය විදිහට බැලුවොත් රජයෙන් ලැබෙන්නේත් අපි වගේ කාගෙන් හෝ එකතු කර ගන්නා සල්ලි.

දැන් මේ කතාවේ පොඩි අවුලක් පෙනෙන්නේ නැද්ද? සල්ලි අතින් අතට යන බව පැහැදිලියි. අපේ අතේ තිබෙන රුපියල් පන්සීයක නෝට්ටුවක අතීතය මොනයම් විදිහකින් හෝ හාරා ඇවිස්සුවොත් එහි පරණ අයිතිකාරයින් හොයා ගන්න පුළුවන්. එහෙත් ප්‍රශ්නය මුලින්ම මේ රුපියල් පන්සීයේ නෝට්ටුව කාගේ හරි අතට ලැබුණේ කොහොමද?

ඒ ප්‍රශ්නය එහෙම්මම තියෙද්දී අපි දැන් බැංකුවට යමු. අපි මොන ආකාරයකින් හෝ සල්ලි හොයනවා. ඒ සල්ලි වලින් කොටසක් බැංකුවට යනවා. අර පාඨකයා කියපු විදිහටම දැන් බැංකුවේ තියෙන්නේ අපේ සල්ලි මිසක් බැංකුවේ සල්ලි නෙමෙයිනේ. නමුත්, බැංකුව අපි කවදා හරි ආපහු ගන්නකම් මේ සල්ලි සේප්පුවේ තියාගෙන ඉන්නවද? 

බැංකුවකට රත්තරන් බඩුවක් උගස් කළාමනම් එය ආපහු ගන්නකම් බැංකුව සේප්පුවක දමලා තියාගෙන ඉන්නවා. නමුත්, බැංකුවක සල්ලි දැම්මහම බැංකුව ඒ විදිහට ඒ සල්ලි තියාගෙන ඉන්නේ නැහැ. ණය විදිහට කාට හරි දෙනවා. දැන් ඒ දෙන්නේ බැංකුවේ සල්ලිද අපේ සල්ලිද? අපේ සල්ලිනේ. ඒ කියන්නේ දැන් ගිහින් බැලුවොත් අපි බැංකුවේ දමපු සල්ලි සියල්ල බැංකුවේ නැහැ. 

දැන් අපි අර මුලින් කතාවට තවත් කොටසක් එකතු කරමු. අපි මොනවා හෝ විකුණලා එහෙම නැත්නම් රස්සාවක් කරලා සල්ලි හොයනවා. ඒ සල්ලි වියදම් කරනවා. ඊට අමතරව අපිට බැංකුවකින් ණයක් අරගෙන ඒ සල්ලිත් වියදම් කරන්න පුළුවන්. හැබැයි මේ සල්ලි කාගේ හරි සල්ලිනේ. හදිසියකට අසල්වැසියාගෙන් රුපියල් දාහක් ණයට ඉල්ලගත්තහම අසල්වැසියාගේ අතේ තිබෙන සල්ලි වලින් රුපියල් දාහක් අඩු වෙනවා වගේ බැංකුවෙන් ණයක් ගත්තහම බැංකුවේ තිබෙන අපේ සල්ලි වලින් කොටසක් අඩු වෙනවා. නමුත්, සල්ලි වෙන තැනකට ගිහින් මිසක් සල්ලි ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. ඒ නිසා, මේ විදිහට බැලුවොත් හැම මුදල් නෝට්ටුවකටම කවුරු හරි අයිතිකාරයෙක් ඉන්නවා. මම බැංකුවෙන් ණයට ගත් රුපියල් පන්දාහේ නෝට්ටුවේ සැබෑ අයිතිකාරයා ඒ රුපියල් පන්දාහ බැංකුවේ තැන්පත් කළ පුද්ගලයා. 

තවමත් කතාව සරලයි. ඒ වගේම, මුදල් නෝට්ටු මුලින්ම සංසරණයට ආවේ කොහොමද කියන ප්‍රශ්නය විසඳිලා නැහැ. 

පුද්ගලයෙකුට හෝ සමාගමකට වියදම් කළ හැක්කේ තමන් උපයන ආදායම හෝ ණයට ගන්නා මුදලක් පමණයි. ණයට ගන්නා මුදල් කියා කියන්නේත් වෙනත් පුද්ගලයෙකුගේ හෝ සමාගමක ආදායමයි. නමුත්, රජයට ආදායම ඉක්මවා වියදම් කළ හැකි තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ මහ බැංකුව සමඟ හවුල් වී සල්ලි අච්චු ගැසීමයි. උදාහරණයක් විදිහට රජයට අළුතෙන්ම මුද්‍රණය කළ මුදල් නෝට්ටු වලින් රජයේ සේවකයෙකුගේ වැටුප් ගෙවන්න පුළුවන්කම තිබෙනවා. ඒ මුදල් රජය විසින් බදු හෝ ආදායම් ලෙස එකතු කරගත් මුදල් විය යුතුම නැහැ. අලුතින්ම මුදල් නෝට්ටු සංසරණයට එන්නේ ඔය විදිහටයි. මෙය ඉතාම සරල පැහැදිලි කිරීමක්. 

දැන් කතාව ටිකක් සම්පූර්ණයි. රජය මහ බැංකුව හා හවුල්ව සල්ලි අච්චු ගසා වියදම් කරනවා. ඒ සල්ලි කාගේ හෝ ආදායමක් වෙනවා. ඉන් පසු, සල්ලි අතින් අත යනවා. කොටසක් බැංකු වලට යනවා. නැවත ණය ලෙස බැංකු වලින් එළියට එනවා. හැබැයි මොන ආකාරයට හෝ සංසරණය වෙන්නේ රජය විසින් මහ බැංකුව සමඟ එකතු වී සංසරණයට එකතු කළ මුදල් ප්‍රමාණයයි. සල්ලි තිබෙන්නේ බැංකුවේද අතේද කියන එක අදාළ කරුණක් නෙමෙයි. අර පාඨකයා තේරුම් ගෙන තිබෙන ආකාරය තවමත් නිවැරදියි.

කතාවේ තේරුම් ගන්න අමාරු කොටස ඉන් පසු කොටසයි. අපි හිතමු කවුරු හෝ කෙනෙක් බැංකුවෙන් ණයක් අරගෙන දරුවෙකුගේ පෞද්ගලික උපාධි පාඨමාලාවක් සඳහා වැය කළා කියලා. අපි කියමු රුපියල් ලක්ෂ දහයක්. දැන් බැංකුවට මේ විදිහට දෙන්න වෙන්නේ කාගේ හරි සල්ලිනේ.

මෙහෙම හිතමු. සමරදිවාකර විශ්‍රාමිකයෙක්. ඔහු රුපියල් ලක්ෂ දහයක් මහජන බැංකුවේ විශ්‍රාමික ගිණුමක තියලා එහි පොලියෙන් ජීවත් වෙනවා. ඔහු මේ ආදායම උපයා තියෙන්නේ රජයේ රැකියාවක් කරලා. රජය ඔහුට වැටුප් ගෙවා තියෙන්නේ සල්ලි අච්චු ගහලා. ඒ කියන්නේ, සමරදිවාකර තමයි මේ සල්ලි වල මුල් අයිතිකරුවා හා වත්මන් සැබෑ අයිතිකරුවා. මහජන බැංකුව සමරදිවාකරගේ සල්ලි වල භාරකරුවා.

සමරදිවාකර මේ සල්ලි හදිස්සියේ ආපහු නොගන්න බව බැංකුව දන්නවා. චන්ද්‍රානි ඇගේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් මහජන බැංකුවෙන් ලක්ෂ දහයක ණයක් ඉල්ලනවා. මහජන බැංකුව සමරදිවාකාරගේ සල්ලි චන්ද්‍රානිට දෙනවා. හැබැයි ඒ සල්ලි සමරදිවාකරගේ බව චන්ද්‍රානි දන්නේ නැහැ. තමන්ගේ සල්ලි ණයක් සේ චන්ද්‍රානිට දුන් බව සමරදිවාකර දන්නේත් නැහැ. මහජන බැංකුව චන්ද්‍රානිට දුන් ණය වෙනුවෙන් 10%ක පොලියක් අය කර ගන්නවා. සමරදිවාකරට පොලිය ලෙස 8%ක් ගෙවනවා. ඉතරි 2% බැංකුවේ වියහියදම් වෙනුවෙන් යොදවනවා. තවමත් මුදල් සැපයුම වෙනස් වෙලා නැහැ. සමරදිවාකරගේ සල්ලි චන්ද්‍රානි අතට යාම හා මහජන බැංකුව අතරමැදියෙකු සේ කටයුතු කර ලාබයක් ලැබීම පමණයි සිදු වී තිබෙන්නේ.

චන්ද්‍රානි මේ සල්ලි ගත්තේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නනේ. ඇය අනෙක් අතට ඒ සල්ලි "ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ" ගිණුම් අංකයකට බැර කරනවා. මේ ගිණුම පවත්වාගෙන යන්නෙත් මහජන බැංකුවේ. ඒ කියන්නේ, චන්ද්‍රානි රුපියල් ලක්ෂ දහයක ණයක් ගත්තත් ඒ සල්ලි බැංකුවෙන් එළියට ගිහින් නැහැ. ඒ විදිහටම තිබෙනවා.

චන්ද්‍රානි තමන්ගේ දරුවාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ණයක් ගත් බව දැන ගන්නා රත්නසේකරටත් ඔහුගේ දරුවා වෙනුවෙන් ණයක් ගන්න අවශ්‍ය වී මහජන බැංකුවට එනවා. චන්ද්‍රානි විසින් ලබාගත් ණය මුදල බැංකුවෙන් එළියට ගියේ නැතුවා සේම රත්නසේකර විසින් ගන්නා ණය මුදලත් එළියට නොයන බව මහජන බැංකුව දන්නවා. මහජන බැංකුව ඒ ලක්ෂ දහයම නැවතත් රත්නසේකරට ණයට දෙනවා. රත්නසේකර විසින් එම මුදල ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුම් අංකයට බැර කරනවා. දැන් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ රුපියල් ලක්ෂ දෙකක් තියෙනවා.

මහජන බැංකුව විසින් චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ සල්ලිනේ. එහෙමනම්, රත්නසේකරට ණයට දුන්නේ කාගේ සල්ලිද? සමරදිවාකරගේ සල්ලි කියා කියන්න බැහැනේ. සමරදිවාකරගේ ගිණුමේ ලක්ෂ දහයක් මිසක් ලක්ෂ විස්සක් තිබුණේ නැහැනේ. ඒ වගේම, මේ වෙලාවේ අලුතෙන් සල්ලි අච්චු ගැසීමක් වුනෙත් නැහැ. ඒ කියන්නේ රටේ තිබුණු මුදල් නෝට්ටු ප්‍රමාණය වෙනස් වුනේ නැහැ. එහෙමනම්, මේ අමතර රුපියල් ලක්ෂ දහය ආවේ කොහෙන්ද?

බැංකු විසින් කරන මුදල් මැවීම කියා කියන්නේ ඕකටයි. මෙය මහ බැංකුව හා රජය එකතු වී කරන සල්ලි අච්චු ගැසීමට වඩා වෙනස් දෙයක්. සල්ලි අච්චු ගහන විට රටේ භෞතික ලෙස සංසරණය වන මුදල් නෝට්ටු ප්‍රමාණය වැඩි වෙනවා වුනත් (පැහැදිලි කිරීම සඳහා කියන සරල කතාවක් පමණයි. ඇත්තටම එහෙමම වෙන්නේත් නැහැ) වාණිජ බැංකු විසින් මුදල් මවන විට එවැනි දෙයක් වෙන්නේ නැහැ. මෙහිදී වෙන්නේ එකම රුපියල් පන්දාහේ නෝට්ටුව වාර ගණනාවක්ම නැවත නැවත ණය ලෙස ලබා දෙන එකයි. ණය ලෙස ලබා ගන්නා මුදල් නැවත නැවත බැංකුවට ආපසු එන තුරු මේ වැඩේ දිගින් දිගටම කරන්න පුළුවන්.

වාණිජ බැංකු විසින් මේ ආකාරයට මුදල් මැවීමක් කිරීමේ එහෙමත් නැත්නම් රටේ මුදල් ප්‍රමාණය ගුණනය කිරීමේ මූලධර්මය බැංකුවේ තැන්පත් කර තිබෙන මුදල් සියල්ල එම ගිණුම් අයිතිකරුවන් විසින් එක වර ලබා නොගන්නා බවට වන විශ්වාසයයි. එවැනි විශ්වාසයක් නැත්නම් බැංකුවකට ණය දෙන්නම බැහැනේ. අනෙක් අතට එවැනි විශ්වාසයක් තිබේනම් එකම රුපියල් පන්දාහ හතර පස් දෙනෙකුටම ණයට දුන්නා කියලා මොකද වෙන්නේ?

මම හිතන්නේ රටේ මුදල් සැපයුම සංසරණයේ තිබෙන නෝට්ටු ප්‍රමාණයට වඩා වැඩි වෙන්නේ කොහොමද කියන එක දැන් පැහැදිලි ඇති කියලා. අපේ උදාහරණයට ගියොත් එකම රුපියල් ලක්ෂ දහයට දැන් අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. මුල් අයිතිකාරයා වූ සමරදිවාකර හා දෙවන අයිතිකරුවා වූ ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය. සමරදිවාකරගේ ගිණුමේ රුපියල් ලක්ෂ 10ක් තිබෙනවා. ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ රුපියල් ලක්ෂ 20ක් තිබෙනවා. හැබැයි බැංකුවේ මුදල් නෝට්ටු ලෙස තියෙන්නේ රුපියල් ලක්ෂ 10ක් පමණයි. මේ ගිණුම් දෙකේම මුදල් එකවර ගන්න ආවොත් බැංකුව අර්බුදයකට යනවා. එහෙම අර්බුදයකට ගිය බැංකු පිළිබඳ උදාහරණ ලංකාවේම තියෙනවනේ.

මම හිතන්නේ දැනට මේ ඇති. ප්‍රශ්න තිබේනම් තවත් අමතර පැහැදිලි කිරීම් කළ හැකියි.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...