වෙබ් ලිපිනය:

Showing posts with label අයවැය හිඟය. Show all posts
Showing posts with label අයවැය හිඟය. Show all posts

Friday, December 24, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)


"අපි රට භාර ගන්න සූදානම්!"

ලාංකිකයෝ අත් දෙකම උස්සලා සුද්දට කිවුවා. සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්. 

රජයකට වසර හතර පහක් පාඩුවට දුවන්න පුළුවන්. එම කාලය තුළ, කලින් ඉතිරි කර ගත් සංචිත යොදා ගෙන පණ ගැට ගහගන්න පුළුවන්. නමුත්, සංචිත ඉවර වෙද්දී ඔය ක්‍රමය අර්බුදයට යනවා. වසර පහළොවක් පමණ පාඩුවට දුවද්දී ලංකාවේ රජයටත් සිද්ධ වුනේ ඔය සන්තෑසිය. නමසිය හැට පහ වෙද්දීම ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වුනා. ලංකාව මුහුණ දුන් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට මුහුණ දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදවු කළා. ප්‍රශ්නය විසඳුනා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවීමේ අරමුණ වුනේම ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන සාමාජික රටවලට උදවු කිරීමයි. අරමුදලේ උදවුවෙන් ලංකාව ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳා ගත්තත්, ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇති වීමට හේතු වූ නිදන්ගත රෝග තත්ත්වය සුව කර ගත්තේ නැහැ. ඒ නිසා, ලෙඩේ නැවත නැවත හැදුනා. නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ලෙඩේ සුව කර ගන්න සිදු වුනා. දාසය වතාවක්ම මෙය සිදු වුනා. නැවතත් සිදු වෙයි. 

දැන් නැවතත් ලංකාව ලෙඩ වෙලා. මේ ලෙඩේ සුව කරන්න බැරි ලෙඩක් නෙමෙයි. සුව කරන්න අමාරු ලෙඩේ නැවත නැවත මතු වීමට හේතුවන නිදන්ගත රෝග තත්ත්වයයි. නිදහස ලබා අවුරුදු පහළොවක් යද්දීත් ලංකාවට මේ නිදන්ගත රෝග තත්ත්වය ඇති වෙලා. එය සුව කරන්නනම් සමාජවාදී දෘෂ්ඨිවාදය කියන පිළිකාව ඉවත් කළ යුතුයි. ඒ වැඩේ ඩොලර් ප්‍රශ්නය විසඳන තරම් ලේසි නැහැ. මේ පිළිකාව ලංකාවේ සමාජ දේහය පුරා පැතිරී ඇති භයානක පිළිකාවක්.

"මම ධනවාදියෙක්!" කියා බය නැතිව කියන අය දැන් දැන් අතරින් පතර දකින්න පුළුවන්. ලංකාවට ගොඩ යන්න පුළුවන් වෙන්නේ ඒ පිරිස රටේ බහුතරය වූ දවසටයි. බොහෝ විට ඊට කලින් වේදනාකාරී "ඔළුගෙඩි මාරු කිරීමේ පරීක්ෂණ" එකක් හෝ කිහිපයක් ලංකාවේ සිදු වෙයි. තවමත් ගෙවා නැති විශාල මිලක් ගෙවන්න සිදු වෙයි.

ලංකාවේ ආණ්ඩු කළ ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි හා ජාතික සමාජවාදී අදහස් අඩු වැඩි වශයෙන් අභ්‍යන්තරීකරණය කරගෙන සිටි ආණ්ඩු සියල්ල යටතේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වූ බව මා කලින් පැවසුවා. එය කවුරුත් දන්න දෙයක්. පැහැදිලි නැති කරුණ වන්නේ මේ ආකාරයෙන් ආර්ථිකය වර්ධනය වුනේ එම ආණ්ඩු වලින් කළ කී දේවල් නිසාද කියන එකයි. ඇත්තටම වුනේ මීට වඩා වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගන්න තිබුණු හැකියාව අහිමි වීම කියා මා කිවුවොත් එය කී දෙනෙක් පිළිගනීද?

නෛසර්ගිකවම කවදාවත් රජයකට වෙළඳපොළ යාන්ත්‍රනයේ කාර්යක්ෂමතාවය අභිභවනය කළ නොහැකියි. රජයක් විසින් කරන බොහෝ කටයුතු පෞද්ගලික අංශය විසින් නොකරන නිසා මේ කරුණ සංසන්දනාත්මකව පෙන්වා දෙන්න අසීරුයි. එහෙත්, පෞද්ගලික අංශයට කළ හැකි දේවල් රජය විසින් කරන අවස්ථා දෙස බැලීමෙන් මේ කරුණ තහවුරු කර ගත හැකියි. 

නිදහස ලැබෙන තුරු හෝ ආසන්න කාලයක් දක්වා ලංකාවේ ක්‍රියාත්මක වූයේ පෞද්ගලික අංශයට මුල් තැන ලැබුණු ආර්ථික ප්‍රතිපත්තියක්. එහෙත්, ලංකාව ඒ වන විට කාර්මීකරණය වී තිබුණේ නැහැ. ලංකාවේ සම්ප්‍රදායික කෘෂිකාර්මික ආර්ථිකය තුළ ප්‍රමුඛතාවය ලැබී තිබුණේ වී ගොවිතැනටයි. ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ආයෝජනය කර ලාබ ලැබීමේ අපේක්ෂාව පෙරදැරි කරගත් ව්‍යවසායකයෙකු විසින් රටේ කවදාවත් වගා නොකළ බෝගයක් අලුතින් වගා කිරීමේ අවදානම ගන්න කලින් රට පුරා සාර්ථක ලෙස වැවෙන වී ගොවිතැන වෙත අවධානය යොමු නොකළේනම් එය පුදුමයක්. 

ලංකාවේ පැවති ඉංග්‍රීසි ආණ්ඩුව ලෝකය පුරා පැතිරී තිබුණු විශාල අධිරාජ්‍යයක එක් කොටසක් පමණයි. ආණ්ඩුවේ ඉහළ තට්ටුවේ සිටි ඉංග්‍රීසින්ට ලංකාව මුල් කරගත් ජාතික අභිලාශ තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණු අභිලාශය ලංකා කොලනිය පාඩු නැතුව දුවවන එක පමණයි. ඒ නිසා, ඔවුන්ගේ අභිලාශ හා ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ආයෝජනය කරන්න කැමැත්තෙන් සිටි ව්‍යවසායකයෙකුගේ අභිලාශ ආතර ලොකු වෙනසක් තියෙන්න හේතුවක් නැහැ. තිබුණේත් නැහැ.

ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවේ වී ගොවිතැන දියුණු කරන්න උත්සාහ කළා. එහෙත්, එය අසීරු බව ඔවුන්ට වැටහුනා. ඉංග්‍රීසින් විසින් ඉංග්‍රීසි අධිරාජ්‍යයේම වෙනත් ප්‍රදේශ වල වී ගොවිතැන දියුණු කළා. ලංකාවේ වී ගොවිතැන ගැන පමණක් දැන සිටි සම්ප්‍රදායික ගොවීන් මෙන් නොව ඉංග්‍රීසින්ට කලාපයේ අනෙකුත් තැන් වල වී ගොවිතැන සමඟ ලංකාවේ වී ගොවිතැන සංසන්දනාත්මකව බැලීමේ හැකියාව තිබුණා. 

ලංකාවේ වී ගොවිතැන වගේම ඉන් පසු හඳුන්වා දුන් කෝපි වගාවද අසාර්ථක වුවත්, තේ හා රබර් වගාවන් සාර්ථක වුනා. තේ, රබර් අපනයනය කර ලැබෙන ආදායමෙන් පහසුවෙන්ම වී ආනයනය කළ හැකි වුනා. විදේශ විනිමය හිඟයක් ඇති වුනේ නැහැ. මුදල් ඒකකය අවප්‍රමාණය වුනෙත් නැහැ.

පෞද්ගලික ව්‍යවසායකයන් විසින්, වැඩිපුරම යුරෝපීය සම්භවයක් තිබුණු අය විසින්, තේ රබර් ආදිය වවා අපනයනය කළා. පසුව මේ කර්මාන්ත හරහා දේශීය ධනවතුන්ද බිහි වුනා. මිනිරන් ආදී අවශේෂ කර්මාන්තද වූ බව මා අමතක කරන්නේ නැහැ. මෙය සාරාංශගත ලිපියක් පමණයි. හාල් පරිප්පු ආදිය වැඩි වශයෙන්ම ආනයනය කරන්න සිදු වුනේ "ආනයනික" කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ පරිභෝජනය වෙනුවෙන්. බොහෝ දුරට මේ කාර්යයයේ නිරතව සිටියේ ඉන්දීය සම්භවයක් තිබුණු ව්‍යවසායකයින්. ඉන්දීය "කුලී කරුවන්" රටට පැමිණීම හා ආනයන ඉහළ යාම (විශේෂයෙන්ම වී හෝ සහල් ආනයනය) අතර සෘජු හා පැහැදිලි සම්බන්ධයක් දැකිය හැකියි.

රටෙන් අපනයනය කරන දේවල් වලින් වගේම රටට ආනයනය කරන දේවල් වලින්ද ඉංග්‍රීසි ආණ්ඩුව බදු අය කළා. රජයේ ප්‍රධාන ආදායම වුනේ මේ විදිහට ආනයන හා අපනයන මත අය කළ බදු. ඒ බදු ගෙවුවේ විශාල ව්‍යාපාරිකයින් විසිනුයි. මීට අමතරව ඉංග්‍රීසි ආණ්ඩුව ආදායම් බදුද අය කළා. ඒ හැර, රටේ දුප්පතුන්ගෙන් වක්‍ර බදු අය කළේ නැහැ. ඇහැට නොපෙනෙන උද්ධමන බදු අය කළේත් නැහැ. රජය නඩත්තු කළේ ධනවතුන් විසින්. නිදහස ලැබීමෙන් වසර ගණනාවකට පසු රාජ්‍ය ආදායම් දෙස බැලුවත් මේ තත්ත්වය දැකිය හැකියි.

මාක්ස්වාදීන් වේවා, මාක්ස්වාදයට විරුද්ධ මතයක සිටි අය වේවා, "අපි රට භාර ගන්න සූදානම්!" කියා නිදහසින් පසු ලංකාව පාලනය කිරීමට අත ගැහුවේ එක්කෝ එංගලන්තයට ගොස් ඉගෙනගත් අය. එහෙම නැත්නම් එංගලන්තයේ සංචාරය කර එංගලන්තය දැක තිබුණු අය. ලංකාව නිදහස ලබන විට සාමාන්‍ය එංගලන්ත වැසියෙක් සාමාන්‍ය ලාංකිකයෙකුට වඩා වැඩි පෝසතෙක්. එංගලන්තයේ ආයෝජනය කළ හැකි ප්‍රාග්ධනයක් තිබුණු විශාල පිරිසක් හිටියා. ඊට සාපේක්ෂව ලංකාවේ එවැනි අය හිටියේ අඩුවෙන්. අද වන විටද මේ සාපේක්ෂ වෙනස එලෙසම දැකිය හැකියි.

නිදහස ලැබූ තැන් සිට අද දක්වාම ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් රටේ ප්‍රගතියට ලොකුම බාධාව සේ දකින්නේ ප්‍රාග්ධනය හිඟකමයි. ඒ අනුව, නැති ප්‍රාග්ධනය කොහෙන් හෝ හොයා ගැනීමට විශාල මහන්සියක් දරනවා. මේ පිළිබඳව මා දරන්නේ වෙනස් අදහසක්. ඒ ගැන කතා කිරීම පසුවට තබමු.

ලංකාවේ ප්‍රශ්නය ආදායම් ඉක්මවා වියදම් කිරීම බව අමුතුවෙන් විස්තර කළ යුතු දෙයක් නෙමෙයි.එය හැමෝම වගේ දන්නවා. හැමෝම වගේ පිළිගන්නවා. ලංකාවේ ප්‍රශ්නය කියා කිවුවත් මෙය ලංකාවේ රජයේ ප්‍රශ්නයක් මිසක් සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය මිනිසෙකු තමන්ගේ ආදායම ඉක්මවා වියදම් කරනවානම් එය රජය විසින් එසේ කිරීමේ අතුරු ඵලයක් ලෙස සිදු වන දෙයක්. සැබෑ ප්‍රශ්නය රජයේ අයවැය හිඟයයි.

ගෙවුම් ශේෂ ප්‍රශ්නයද රජයේ අයවැය හිඟය නිසා ඇති වූ අතුරු ප්‍රතිඵලයක් පමණයි. නිදහස ලබා අවුරුදු පහළොවක් ඉක්මවද්දී ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය ඉස්මතු වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න සිදු වුනා. මෙය දිගින් දිගටටම සිදු වෙනවා. අනාගතයේදීත් සිදු වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් හෝ නොගොස් මේ මොහොතේ මුහුණ දෙන ප්‍රශ්නය විසඳා ගත් පමණින් නැවත නැවතත් ගෙවුම් ශේෂ අර්බුද පැමිණීම වැළකෙන්නේ නැහැ. ඒ සඳහා අයවැය තුලනය කරගත යුතුයි. 

අද වන විට ලංකාවේ රාජ්‍ය අයවැය හිඟයට ප්‍රධානම හේතුවද රාජ්‍ය අයවැය හිඟයමයි. මෙය 2022 අයවැය ඇස්තමේන්තු දෙස බැලීමෙන් පමණක්ම වුවත් පහසුවෙන් තේරුම් ගත හැකියි.

වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික - රුපියල් බිලියන 1,531යි.

පොලී වියදම් - රුපියල් බිලියන 1,115යි.

අනෙකුත් වියදම් - රුපියල් බිලියන 2,797යි.

අගය වෙනස් වීම සඳහා ප්‍රතිපාදනද සමඟ වියදම් එකතුව - රුපියල් බිලියන 5,461යි.

ආදායම් හා ලැබීම් - රුපියල් බිලියන 2,261යි.

ණය ගැනීමේ අවශ්‍යතාවය - රුපියල් බිලියන 3,200යි.

ඇස්තමේන්තු කර තිබෙන ආදායම් හා ලැබීම් අතිශයෝක්තියක්. මේ ඉලක්කය කිසිසේත්ම ළඟා කර ගත නොහැකි ඉලක්කයක්. අපි ඒ බව අමතක කර මේ ආදායම උපයා ගත්තා කියා හිතමු. එසේ වුවද, රජයේ සමස්ත ආදායමම වුවත් වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික හා පොලී වියදම් ගෙවීම සඳහා ප්‍රමාණවත් නැහැ. 

මේ ආණ්ඩුවට වගේම ඉදිරියේදී බලයට පත් වන කවර හෝ ආණ්ඩුවකටත් අලුතෙන් තවත් ණය ගනිමින් තිබෙන ණය වාරික හා පොලී වියදම් ගෙවීම හැර වෙනත් විකල්පයක් නැහැ. කෙසේ හෝ වියදම් කපා හැර, ආදායම් අඩු කරගෙන ප්‍රාථමික අයවැය හිඟය තුලනය කර ගත්තත්, ණය ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙන එක නියතයක්. මොකද ණය ගෙවන්න ණය ගැනීමේදී ණය වැඩි නොවෙතත්, පොලී ගෙවන්න ණය ගැනීමේදී ණය වැඩි වෙනවා. ණය වැඩි වෙද්දී පොලී වියදම්ද වැඩි වෙනවා. ඊට අමතරව විනිමය අනුපාතය පිරිහෙද්දී විදේශ ණය වල රුපියල් අගයද ඉහළ යනවා. 

රාජ්‍ය මූල්‍යනය මේ තරම් නරක අඩියකට වැටුණු පසු ප්‍රශ්නය වසරකින් දෙකකින් විසඳන්න බැහැ. මේ තත්ත්වය ආපසු හරවන්නනම් සැලකිය යුතු කාලයක් සැලකිය යුතු තරමේ ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යන්නම වෙනවා. එය පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. ඒ සඳහා හැකි ඉක්මණින් ආකෘතිමය ප්‍රතිසංස්කරණ ගණනාවක් ගන්න වෙනවා. මේ ප්‍රතිසංස්කරණ ගැන බොහෝ දෙනෙක් බොහෝ වර කතා කර තිබෙනවා. ඒවා රහස් නෙමෙයි. ඇතැම් අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කියා කියන්නෙත් මේ නොකරම බැරි ප්‍රතිසංස්කරණ වලට.

මොන තරම් කැපවීම් කලත් අයවැය තුලනය කර ගන්න අවුරුදු තිහ හතළිහක් යනවා. මේක අවුරුදු හැත්තෑ හතරක ප්‍රශ්නයක්. අයවැය තුලනය කර ගන්න තුරු දිගින් දිගටම ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇතුළු වෙනත් ප්‍රශ්න ඇති වෙන එකත් වලක්වා ගන්න බැහැ. හැබැයි ගෙවුම් ශේෂ ප්‍රශ්නය අයවැය ප්‍රශ්නයට සාපේක්ෂව විසඳන්න පහසු ප්‍රශ්නයක්. එම ප්‍රශ්නය වුවද ක්ෂණිකව, ස්ථිර ලෙස විසඳිය නොහැකි වුවත් වසර දහයකින් පහළොවකින් විසඳා ගන්න පුළුවන්.

ආර්ථිකයේ අසමතුලිතතා සමතුලිත කර ගැනීම සඳහා අපට ආර්ථිකය සමතුලිතව තිබුණු තැනකට ආපසු යන්න වෙනවා. නිදහස ලබන විට ඒ සමතුලිතතාවය තිබුණා. එහෙත්, මෙසේ ආපසු යාමේදී නිදහසෙන් පසුව අප විසින් ලබා ගෙන තිබෙන වෙනත් බොහෝ ජයග්‍රහණ නැති කර ගන්න බැහැ. මේ අසමතුලිතතාවය ප්‍රශ්නයක් වුවත් නිදහස ලැබූ තැන් සිට රට එක තැන තිබී නැහැ. අසමතුලිතතා මධ්‍යයේ වුවත්, ලංකාව මේ කාලය තුළ හිටපු තැනින් බොහෝ දුරක් ඉදිරියට ගිහින්. 

සුබසාධනවාදය හා ආදායම් විෂමතා අඩු කිරීමේ උත්සාහයන් අයවැය හිඟයට දායක වී ඇතත් එය එකම හේතුව නෙමෙයි. නිදහසට පෙරද පහළ ආදායම් ස්ථර වල පිරිස් සුබසාධනය කෙරුණා. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රජය විශාල වියදමක් දැරුවා. එහෙත්, අයවැය තුලනය වුනා. ඇත්තටම දැන් වෙලා තියෙන්නේ සුබසාධනයද අවශ්‍ය පමණ හෝ අවශ්‍ය පරිදි සිදු නොවීමයි. 

නිදහසින් පසු සාර්ව-ආර්ථික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් අපට අයවැය හිඟය පුළුල් වීමට හේතු වූ කරුණු ගණනාවක් එකින් එක හඳුනාගත හැකියි. එසේ හඳුනාගෙන අවුරුදු 74ක් කරන්න බැරි වූ ඇතැම් දේවල් අත හැර දැමිය හැකියි. මේ මුළු කාලය තුළම කාටවත් හරියකට කරන්න බැරි වූ දේවල් පුද්ගලයින්ගේ ප්‍රශ්න නොව ක්‍රමයේ ප්‍රශ්න බව හඳුනා ගෙන අත හැර දමන්න තවත් ප්‍රමාද විය යුතු නැහැ. මේ ලැයිස්තුව තුළ පැහැදිලිව හඳුනාගත හැකි එක් දෙයක් වන්නේ රාජ්‍ය පාලනය යටතේ ඇති ව්‍යවසායයි.

රාජ්‍ය ව්‍යවසායයන්හි පාඩු පිළිබඳ සංයුක්ත නිදර්ශන ඕනෑ තරම් පෙන්විය හැකියි. කෝප් කමිටුවේ ගණන් බැලීම් අනුව රජයට  පවරාගත් තැන් සිට පසුගිය මාර්තු අවසානය දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සමුච්ඡිත අලාභය පමණක් රුපියල් බිලියන 372ක්. පෞද්ගලික ව්‍යවසායකයෙකුගේ කළමනාකරණය යටතේ ලාබ ලබමින් තිබූ මෙම ආයතනය නැවත රජයට පවරා ගත්තේ ඇයි කියන එක රහසක් නෙමෙයි. මෙහි වරද පහසුවෙන් රාජපක්ෂ පවුල් පාලනය පිට පැටවිය හැකියි. වෙනත් කණ්ඩායමක් විසින් අදාළ ආයතනය පාලනය කළේනම් මෙවැන්නක් සිදු නොවන බව යමෙකුට කිව හැකියි.

බොහෝ දෙනෙකු හිතන විදිහට රාජ්‍ය අංශය මේ තරම් අකාර්යක්ෂම වී තිබෙන්නේ හැත්තෑ හතේදී ඊනියා නිදහස් ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුවයි. දේශපාලකයා හා රාජ්‍ය සේවකයා දූෂිතයෙකු වී තිබෙන්නේද එයින් පසුවයි. අප අවධානය හෙළන්නේ මෙවැනි සංයුක්ත නිදර්ශන දෙස නෙමෙයි. යම් හෙයකින් රාජපක්ෂ පවුල් පාලනය තුළ හෝ හැත්තෑ හතෙන් පසුව නාස්තිය, දූෂණය හා හොරකම් ඉහවහා ගියේනම් එය සිදුව ඇත්තේ ක්‍රමයේ ප්‍රශ්නයක් නිසා මිස පුද්ගලයින්ගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. පුද්ගලයින් වෙනස් කිරීමෙන් යම් සාධනීය වෙනසක් කළ නොහැකි බවක් මෙයින් අදහස් වන්නේ නැහැ.

රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පෞද්ගලික අයිතිය යටතේ පැවති ව්‍යවසාය රජය සතු කර ගැනීම පටන් ගත්තේ පනස් හයේ වෙනසින් පසුවයි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩු යටතේ මේ වැඩේ ජයටම සිදු වුනා. ඊට අමතරව රජය අලුත් ව්‍යවසාය ගණනාවකටද අත ගැසුවා. ඉන් පසුව, අනූව දශකයේ සිට රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකි වුවත් රාජපක්ෂ දශකය තුළ නැවතත් ජාතික සමාජවාදය කරා නැඹුරු වීමක් සිදු වුනා. දේශපාලකයින් හොරුන් නොවූ බව කියන හැත්තෑ හතට පෙර යුගයේ රාජ්‍ය ව්‍යවසාය ලාබ ලැබුවාද?

පහත වගුවේ පෙන්වා දී තිබෙන්නේ ලංකාව පෞද්ගලික ව්‍යවසාය රජය සතු කරන්න පටන් ගැනීමෙන් පසුව ගත වුනු 1954-1984 අතර වසර තිහක කාලය තුළ සමස්තයක් ලෙස රාජ්‍ය ව්‍යවසායයන්හි ආදායම්, වියදම් හා ලාභ-අලාභයි. හොරකම්, දූෂණ චෝදනා නැති, ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති සමාජවාදීන් මුදල් ඇමති ධුරය දැරූ කාල වකවානු වලදීත් රාජ්‍ය ව්‍යවසාය පාඩුවට මිස ලාබයට දුවා නැහැ.


හොරකම්, දූෂණ, නාස්ති ආදිය රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන්නට හේතුවක් බව බොරුවක් නෙමෙයි. එය පැහැදිලි කරුණක්. මේ හොරකම්, දූෂණ, නාස්ති නැවැත්විය හැකිනම් රාජ්‍ය ව්‍යවසායයන්හි පාඩු අඩු කළ හැකි බවත් ඇත්තක්. එහෙත්, එසේ හොරකම්, දූෂණ, නාස්ති අඩු කිරීම ගැන කතා කරන්න සිදු වී තිබීමම පෞද්ගලික අංශයට කළ හැකි දේ රජය විසින් කිරීමේ ප්‍රතිඵලයක්. හේතුව ඉතා පැහැදිලි, තේරුම් ගන්න අමාරු නැති කරුණක්. පෞද්ගලික ව්‍යාපාරයකට පාඩුවට දුවන්න බැහැ. පාඩු ලබන පෞද්ගලික ව්‍යාපාර වැසී යනවා. එහෙත්, රජයට දිගින් දිගටම පාඩු ලබන ව්‍යාපාර නඩත්තු කළ හැකියි. එම පාඩුව දරන්නේ පැත්තක ඉන්න පිරිසක්. වක්‍ර බදු හරහා රුපියල් බිලියන 372ක ශ්‍රී ලන්කන් පාඩුව ගෙවන ශ්‍රී ලාංකිකයින්ගෙන් අති මහත් බහුතරය ජීවිතේටම ගුවන් යානයක් දැක තිබෙන්නේ අහසේ පමණයි.

හැම රාජ්‍ය ආයතනයක්ම පාඩු නොලබන බව කාට හෝ කියන්න පුළුවන්. වෙන්න පුළුවන්. නමුත්, පෞද්ගලික අයිතිය යටතේ තිබුණානම් ඔය කිසිම ආයතනයක් පාඩු ලබන්නේ නැහැ. ඒ වගේම, කිසියම් ආයතනයක් කිසියම් වසරකදී ගිණුම්කරණ ලාබයක් ලැබුවා කියන එකෙන් එම ආයතනය පාඩු නොලැබූ බවක් අදහස් වන්නේ නැහැ. ගිණුම්කරණ ලාබය රුපියල් වලින් විශාල මුදලක් වෙන්න පුළුවන්. එපමණකින්ද මේ කතාව වෙනස් වෙන්නේ නැහැ. 

කිසියම් ව්‍යවසායකයෙක් විසින් ආයතනයක් වෙනුවෙන් ආරම්භයේදී යොදවන ප්‍රාග්ධනයක් තිබෙනවා. ඇතැම් විට පසුව තවතවත් ප්‍රාග්ධනය යොදවනවා. ආයතනයක ගිණුම්කරණ ලාබයට අමතරව මෙසේ යෙදවූ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභද නොලැබේනම්, එහි ගිණුම්කරණ ලාබයක් ඇතත් ආර්ථික ලාභයක් නැහැ. 

නිදහසේ සිට අයවැය හිඟයක් දිගටම නඩත්තු කරන ලංකාවේ රජය රාජ්‍ය ව්‍යවසාය වෙනුවෙන් ආයෝජනය කර තිබෙන හැම ආන්තික රුපියලක්ම ණයට ගත් රුපියල්. හැම ආන්තික ඩොලරයක්ම ණයට ගත් ඩොලර්. මේ රුපියල් හා ඩොලර් වෙනුවෙන් පොලී ගෙවිය යුතුයි. ඊට අමතරව ඩොලර් ණය වල රුපියල් වටිනාකමද වසරින් වසර ඉහළ යනවා. ගිණුම්කරණ ලාබයක් ආර්ථික ලාබයක් වීමටනම් මේ පොලී වියදම් හා ඩොලරයේ මිල ඉහළ යාමේ බලපෑමද ආවරණය කෙරෙන තරමට එම ගිණුම්කරණ ලාබ විශාල විය යුතුයි. එසේ නැත්නම් ඇත්තටම සිදුව තිබෙන්නේ පාඩුවක්.

තමන් යටතේ ඇතැම් ආයතන පාලනය වූ කාල වකවානු වල දිගින් දිගටම පාඩු ලැබූ එම ආයතන ලාබ ලැබූ බව ඇතැම් අය කියනවා. මේ කතාව පට්ට පල් බොරුවක් කියා මම කියන්නේ නැහැ. එසේ වූ පමණින්, මගේ තර්කය අවලංගු වන්නේද නැහැ. කෙසේ වුවද, මේ කියන ලාබ පිළිබඳවද මට ප්‍රශ්න තිබෙනවා. 

මෙය මෙසේ දිගින් දිගටම පාඩු ලැබූ ආයතන වල පාඩුව ලාබ වලට හැරවූ බව කියන අයට කරන අභියෝගයක්. ඔබ එසේ කරන්නට සමත් වුනානම්, කරුණාකර අදාළ ආයතනය පාඩු ලැබූ වසර වල හා ලාබ ලැබූ වසර වල විස්තරාත්මක ගිණුම් සමඟ පාඩු ලාබ බවට හැරවූ ආකාරය පැහැදිලි කරන්න. එවිට ඔබ සංඛ්‍යාලේඛණ විජ්ජාවක් කර නැති බව කාට වුවත් පැහැදිලි වෙයි. ඒ වගේම, කවර හෝ පාඩු ලබන ආයතනයක් ලාබ ලබන ආයතනයක් බවට පත් කළ හැකි ක්‍රමයක් ඔබ දැන සිටිනවානම්, ජනතාවට ආදරයක් ඇති කෙනෙකු ලෙස ඔබ ඒ රහස සඟවාගෙන නොසිට ඉදිරිපත් කළ යුතුයි. අවසාන අරමුණ ජනතාවට සේවයක් කිරීමනම් ඔබේ යෝජනාව වෙනත් අයෙකු විසින් ක්‍රියාත්මක කිරීම ඔබට ප්‍රශ්නයක් වෙන්න බැහැ. 

රජය ව්‍යාපාර කිරීමේ පාඩුව මෙපමණක් නෙමෙයි. රාජ්‍ය ව්‍යවාසයයක් සතු ඒකාධිකාරී බලය ප්‍රයෝජනයට ගනිමින් පාරිභෝගිකයන්ගෙන් අසාධාරණ මිලක් අය කළ හැකියි. ඒ නිසා, ඇතැම් විට රාජ්‍ය ව්‍යවාසයයක් ලාබ ලැබුවත් ඒ ලාබ නියම ක්‍රමයට උපයන ලාබ නෙමෙයි. උදාහරණයක් ලෙස තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය නඩත්තු කරන අතරම ඉන්ධන මිල ඉහළ දමා පාඩු අඩු කර ගන්න පුළුවන්. විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය නඩත්තු කරන අතරම විදුලි බිල ඉහළ දමා පාඩු අඩු කර ගන්න පුළුවන්. පෞද්ගලික අංශයේ ඒකාධිකාරයකට වුවද මෙය කළ හැකි වුවත් රජයට නියාමනය හරහා ඒකාධිකාර ඇති වීම වැළැක්විය හැකියි. 

පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමට තිබෙන කර්මාන්තයක වුවද රාජ්‍ය ව්‍යවසායයක් පැත්තකින් ක්‍රියාත්මක වෙද්දී සමස්තයක් ලෙස එම කර්මාන්තයම අකාර්යක්ෂම වෙනවා. රාජ්‍ය ආයතනය පාඩුවට දුවන විට පෞද්ගලික ආයතනයට එසේ පාඩු ලබමින් දුවන්න බැරි නිසා වෙළඳපොළෙන් ඉවත් වෙන්න වෙනවා. රාජ්‍ය ආයතනය සුපිරි ලාබ ලබන විට පෞද්ගලික අංශයේ තරඟකරුවන්ද සුපිරි ලාබ ලැබීමට පෙළඹෙනවා. ඇතැම් අවස්ථා වල පෞද්ගලික අංශයේ තරඟකරුවන්ට රාජ්‍ය අංශය අභිබවා තරඟයෙන් ඉස්මතු විය හැකි නමුත් ඇතැම් විට සිදු වන්නේ පෞද්ගලික අංශයද රජයේ ක්‍රමයට අනුගත වීමයි. ලංකාවේ ටෙලිකොම් කර්මාන්තය පළමු කාණ්ඩයටත්, වාණිජ බැංකු දෙවන කාණ්ඩයටත් උදාහරණයි.

සමස්තයක් ලෙස ගත් විට රාජ්‍ය අංශය ව්‍යවසායයන් බදා ගෙන සිටීමෙන් සිදුවන ලොකුම හානිය කර්මාන්තයේ වර්ධනය ඇණ හිටීමයි. අනූව දශකයට පෙර දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීමට අවශ්‍ය වූ අයෙකුගෙන් ඇහුවොත් මේ ගැන කියයි. මේ හේතුව මත ලංකාවේ රජය විසින් අහිමි කරගත්, නොපැවති සමාගම් වලින් ලබා ගත හැකිව තිබුණු බදු ආදායම ඉතා විශාලයි. මේ පාඩුව, රාජ්‍ය ව්‍යවසාය වල සමස්ත සමුච්ඡිත අලාබයට එකතු කර එයට පොලී වියදම් හා ඩොලරයේ මිල ඉහළ යාමේ බලපෑම එකතු කළ විට වත්මන් ණය කන්දට රාජ්‍ය අංශයේ ව්‍යවසාය නිසා සිදුව ඇති බලපෑම තේරුම් ගත හැකි වෙයි.

ඔළුගෙඩි මාරු කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. පෞද්ගලික අංශයට කළ හැකි දේ රජය විසින් බදාගෙන සිටීම දිගින් දිගටම අසාර්ථක වී ඇති ක්‍රමයක්. එය නැවත නැවත අත් හදා බලමින් ලංකාව මුහුණ දෙන නිදන්ගත ප්‍රශ්නයෙන් ගොඩ යන්න බැහැ. ලංකාවේ ගොඩදමන්නනම්, ඉදිරියේදී අප විසින් කතා කරන්නට අපේක්ෂා කරන වෙනත් බොහෝ දේ අතර, රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතුයි. ඒ වෙනුවෙන් සෘජුව පෙනී නොසිටින පුද්ගලයෙකුට හෝ දේශපාලන පක්ෂයකට රට ගොඩ දමන්න බැහැ. 

කෙසේ වුවද, මෙයට විසඳුමක් ලෙස රාජ්‍ය ව්‍යවසායයන් විදේශිකයින්ට විකුණා දැමීම තුළ වෙනත් අතුරු ප්‍රශ්න ඇති වෙනවා. ඩොලර් හිඟයට තාවකාලික පිළියමක් ලෙස රජය සතු වත්කම් විදේශිකයින්ට විකුණා දැමීමත්, පුද්ගලීකරණය හරහා නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමත් එකට පටලවා ගත යුතු නැහැ.

Tuesday, December 21, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (දෙවන කොටස)

වැඩවසම් ආකෘතියක ක්‍රියාත්මක වූ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණු ලංකාව ඉංග්‍රීසීන් විසින් ලෝකයට සම්බන්ධ කළා. එහෙත්, අඩු වශයෙන් ආරම්භයේදී, මේ ආකාරයෙන් ලෝකයට සම්බන්ධ කළේ ලංකාව මිස ලාංකිකයින් නෙමෙයි. ලාංකිකයින්, විශේෂයෙන්ම උඩරට පළාත් වල ජීවත් වූ සිංහලයින්, තවදුරටත් ලෝකය සමඟ ලොකු සම්බන්ධයක් නොමැතිව පරණ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකය ඇතුළේම ජීවත් වුනා. මේ ආර්ථිකය 88/89 කාලය දක්වාම ලංකාවේ බොහෝ ගම් වල තිබුණා. එහෙත්, අනූව දශකයේ මැද භාගය වෙද්දී එවැනි ස්වයංපෝෂිත ආර්ථිකයක් ඉතිරිව තිබුණේ මීමුරේ වැනි ගම් සුළු ප්‍රමාණයක පමණයි. අසූව දශකය ලංකාවේ ධනවාදයේ එක් අදියරක් සම්පූර්ණ කළ කාලයක්.

ඉංග්‍රීසි පාලන කාලය තුළ ලංකාව ලෝකය සමඟ සම්බන්ධ කළ ප්‍රධානම කණ්ඩායම යුරෝපයෙන් සංක්‍රමණය වූ වැවිලිකරුවන්. ඊට අමතරව ඉන්දීය උපමහාද්වීපයේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ ජාත්‍යන්තර (කලාපීය) වෙළඳාමෙහි නිරත වූ ව්‍යවසායකයින්ද මේ කටයුත්තට දායක වුනා. ලංකාවේ ධනවාදය දියුණු කළේ මේ සංක්‍රමණිකයන් විසින්. ඔවුන් පාරම්පරික ලාංකිකයින් නෙමෙයි. පාරම්පරික ලාංකිකයින් ඔවුන්ව අනුගමනය කරමින් ලෝකය සමඟ සම්බන්ධ වුනේ ඉතා සෙමෙන්. 

මට මතක තිබෙන කාලයේ මා දන්නා මගේ ඥාතීන්, මිතුරන් ජීවත් වූ ඇතැම් ගම් බොහෝ දුරට ස්වයංපෝෂිත ගම්. එවැනි ගමක ජීවත් වූ අයෙකුට ගමෙන් පිට සිදුවන දෙයක ලොකු බලපෑමක් තිබුණේ නැහැ. යම් හෙයකින් මෙවැනි ගමක් හා බාහිර ලෝකය අතර සම්බන්ධය බිඳී ගිය මොහොතක මෙවැනි ගමක වැසියන්ට ලොකු අපහසුතාවයන්ට මුහුණ දෙන්න වුනේ නැහැ. ඇත්තටම 88/89 සමයේ එසේ සිදු වූ කාල වකවානු තිබුණා. එහෙත් බාහිර උදවු නැතිව ගම් වල මිනිස්සු කොහොම හරි ජීවත් වුනා.

මම හිතන විදිහට මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වෙන්න පටන් ගත්තේ ඇඟලුම් කර්මාන්තය රට පුරා පැතිරීම හා ගම් වල තරුණයන් උතුරේ යුද්ධය සමඟ සම්බන්ධ වීම සමඟයි. මේ සමඟම, කලින් අතේ සල්ලි නොගැවසුණු, ඇඟ වෙහෙසා මොනවා හෝ වවාගෙන කෑ, තරුණ තරුණියන් අතේ සල්ලි ගැවසෙන්න පටන් ගත්තා. ගමේ ආර්ථිකය තීරණාත්මක ලෙස වෙනස් වුනා. අද ලංකාවේ ගමක් බාහිර ලෝකයෙන් හුදෙකලා වුනොත් ඒ ගමේ වැසියන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඇමරිකාවේ වගේම ලංකාවේ ගමක වුවත්, වෙළඳපොළ මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතයේම කොටසක්. වෙළඳපොළ හරහා ලංකාවම එකිනෙකා හා සම්බන්ධ වෙලා. ලංකාව වගේම ලාංකිකයින්ද ලෝකය සමඟද සම්බන්ධ වෙලා.

මතුපිටින් බැලුවොත් ඉංග්‍රීසි ආණ්ඩුව හැදෙන්නට පෙර රට පාලනය කළ රජෙකුට විශාල බලයක් තිබුණා. සිරිත් විරිත් වලට ගරු කරමින් වුවත් තමන්ගේ අභිමතය පරිදි වැසියෙකුගේ හිස ගසා දැමීමට හෝ වෙනත් ආකාරයක කුරිරු වධබන්ධයකට ලක් කිරීමට රජුට හැකි වුනා. තමන්ට මනාප කාන්තාවක් අන්තඃපුරයට ගෙන්වා ගත හැකි වුනා. එහෙත්, ප්‍රායෝගිකව පර්යන්ත ගමක ජන ජීවිතයට හෝ ග්‍රාමීය ආර්ථිකයට රජුගෙන් බලපැමක් සිදු නොවුණු තරම්. ඉඩම් අයිතිය රජු සතු වුවත් ගැමියෙකුට කැලය කොටා ගිණි ලා හේනක් හදාගන්න එය බාධාවක් වුනේ නැහැ. අනූව දශකය පමණ දක්වාම මේ ක්‍රමයේ නෂ්ඨාවශේෂ ලංකාවේ දැකිය හැකිව තිබුණා. මා අයත්වන්නේ එම නෂ්ඨාවශේෂ ඇසින් දුටු අවසන් පරම්පරාවට විය යුතුයි.

අද වන විට ලංකාවම වෙළඳපොළට සම්බන්ධයි. ගනුදෙනු හැමදාමත් සිදු වුනත්, ගනුදෙනු සඳහා මහා පරිමාණයෙන් මුදල් භාවිතා කිරීම හා මුදල් භාවිතයෙන් තොර ජීවිතයක් ගැන සිතිය නොහැකි මට්ටමකට රටම පත් වීම සාපේක්ෂව අලුත් දෙයක්. අනූව දශකයේ සම්පූර්ණ වූයේ මේ පරිවර්තනයයි. ජාතික රාජ්‍ය ආකෘතිය තුළ ධනවාදය මේ අදියරට පැමිණීමත් සමඟ රජය සතු මුදලේ අගය පාලනය කිරීමේ හැකියාව හේතුවෙන් මුළු රටම රජයේ ග්‍රහණයට නතු වීමද නොවැලැක්විය හැකියි. එම තත්ත්වය තුළ රජය හමුවේ වැසියා විශාල අසරණ භාවයකට පත් වෙනවා. රජය කරන වරදකින් පීඩාවට පත් වන වැසියෙකුට පුද්ගලයෙකු ලෙස තනිව කළ හැකි දෙයක් නැතිව යනවා.

නිදහස ලබද්දී ලංකාවේ මෙවැනි තත්ත්වයක් ඇති වී තිබුණේ නැහැ. ඒ වගේම, රජය කටයුතු කළේ විනයකට යටත්වයි. දැන් වගේම ඒ කාලයේත් රජයට වියදම් තිබුණා. මේ වියදම් පියවා ගැනීම සඳහා රජය ආදායම් එකතු කළා. බොහෝ විට එය කළේ විනිවිද භාවයක් ඇතුවයි. සල්ලි අච්චු ගසමින් ඇහැට නොපෙනෙන "උද්ධමන බදු" එකතු කළේ නැහැ. 


ඉහත රූප සටහනෙහි පෙන්වා තිබෙන්නේ පසුගිය වසර දෙසීයක කාලය තුළ ලංකාවේ රාජ්‍ය ආදායම් හා වියදම්. වියදම ආදායම ඉක්මවූ අවුරුදු රතු පාටින්ද, ආදායම වියදම ඉක්මවූ අවුරුදු කොළ පාටින්ද පෙන්වා තිබෙනවා. ස්ථම්භයේ උස වියදම් හා ආදායම් අතර අනුපාතයයි.

ලංකාවට නිදහස ලැබෙන තුරු බොහෝ වසර වලදී රජයේ වියදම් ආදායම නොඉක්මවූ බව මේ ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලිව පෙනෙනවා. එයින් අදහස් වන්නේ අයවැය අතිරික්තයක් පැවති බවයි. ඉංග්‍රීසි ආණ්ඩුව මෙසේ එකතු වූ අතිරික්තය ඉතිරි කරමින් ආයෝජනය කළා. ඒ ආයෝජන වලින්ද ආදායම් ලැබුණා. කවර හෝ හේතුවක් නිසා කිසියම් වසරක් තුළ රජයේ ආදායම වියදමට වඩා අඩු වී අයවැය හිඟයක් ඇති වූ විට මෙසේ කලින් ඉතිරි කරගත් අරමුදල් ප්‍රයෝජනයට ගත හැකි වුනා.

විදේශ අංශයේ පැවතියේද මෙවැනිම තත්ත්වයක්. අපනයන වෙනුවෙන් වැය කළේ ආනයනය කර ඉපැයූ විදේශ විණිමයයි. ඉතිරිය විදේශ සංචිත සේ එකතු වුනා. ආනයන වෙනුවෙන් අපනයන ආදායම් ඉක්මවා වියදම් කරන්නට සිදු වූ වසර වලදී ප්‍රයෝජනයට ගත්තේ මෙසේ කලින් ඉතිරි කරගත් සංචිතයි. මුල් කාලයේදී ලංකාවේ භාවිතා වූ සල්ලි කියන්නේත් ආනයන භාණ්ඩයක්. අපනයන වල හිලවුවට ඉන්දියාවෙන් කාසි ආනයනය කළා. ඒ හැර සල්ලි අච්චු ගසමින් වියදම් කළේ නැහැ. ඒ නිසා, විශාල කාලයක් අපහසුවකින් තොරව විණිමය අනුපාතය ස්ථිරව පවත්වා ගන්න පුළුවන් වුනා.

නිදහසින් පසු මේ තත්ත්වය වෙනස් වුනා. ප්‍රස්තාරය දෙස බැලූ විට වෙනස ඉතා පැහැදිලිව පෙනෙනවා. කේන්සියානු ප්‍රතිපත්ති අනුගමනය කළ එජාප ආණ්ඩු වගේම ජාතික සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ වාමාංශික ආණ්ඩු විසින්ද එක සේ ආදායම් ඉක්මවා වියදම් කළා. ප්‍රස්ථාරයේ රතු තීරු මිස කොළ තීරු දකින්නට නැත්තේ ඒ නිසා. 

දිගින් දිගටම අයවැය හිඟයන් මිස අතිරික්ත නැති වූ විට ටික කලකින් ඉතිරි කරගත් දේ අවසන් වෙනවා. එයින් ලැබුණු පොලී ආදායම්ද අහිමි වෙනවා. ඉන් පසු ණය ගන්න සිදු වෙනවා. ඒ ණය වෙනුවෙන් ගෙවන්න සිදුවන පොලී මුදල් වැය ශීර්ෂයට එකතු වෙනවා. අයවැය හිඟය තවත් ඉහළ යනවා. එය පියවන්න වැඩියෙන් ණය ගන්න වෙනවා. විෂම චක්‍රයක් හැදෙනවා. 

රාජ්‍ය අංශයේ මෙවැනි විෂම චක්‍රයක් හැදෙද්දී විදේශ අංශයේද එවැනිම විෂම චක්‍රයක් හැදුනා. එයට හේතු වූයේ 1950දී මහ බැංකුව පිහිටුවීමෙන් පසුව රජයේ අයවැය හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීමේ විකල්පය කරාද යොමුවීම හේතුවෙන්. රජය විසින් අච්චු ගසා වියදම් කරන සල්ලි ආර්ථිකයට එකතු වෙන්නේ පෙර මෙන් සල්ලි ආනයනය කරන විට සිදු වන ආකාරයෙන් නෙමෙයි. සල්ලි ආනයනය කිරීමට භාණ්ඩ අපනයනය කළ යුතුයි. ඒ නිසා, මුදල් සැපයුම වැඩි වෙන්නේ නිෂ්පාදනය වැඩි වුනොත් පමණයි. සල්ලි අච්චු ගැසීමේදී එවැනි සීමාවක් නැහැ. 

රජය විසින් අච්චු ගහන සල්ලි මිනිස්සුන්ගේ අතට ගිය විට භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එහිදී ආනයන ඉහළ යනවා. එහෙත් එයට අනුරූපව අපනයන ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. සල්ලි ආනයනය කළ කාලයේ මෙවැනි ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නයක් ඇති වීමේ ඉඩක් තිබුණේ නැහැ. 

අපනයන ආදායම් ඉක්මවා ආනයන වියදම් ඉහළ ගිය විට එකතු කරගෙන තිබෙන සංචිත අඩු වෙනවා. මෙය දිගින් දිගටම සිදු වන විට සංචිත දිගින් දිගටම අඩු වෙනවා. 

ඉහත කරුණට අමතරව නිදහසින් පසු ලංකාවේ විදේශ සංචිත පිරිහෙන්න තවත් කරුණක් බලපෑවා. නිදහසට පෙර වසරින් වසර ලංකාවට විදේශික ව්‍යවසායකයන් පැමිණුනා. ඔවුන් පැමිණුනේ ප්‍රාග්ධනයද අරගෙනයි. නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති නිසා මේ අයුරින් රටට විදේශිකයින් පැමිණීම අඩුවුනා පමණක් නොව රටේ සිටි විදේශිකයින් හා සංක්‍රමණිකයන්ගෙන් පැවත ආ අය රටින් පිටව යාමද වුනා. එසේ ගියේ ඔවුන් සතු වූ ප්‍රාග්ධනය මෙන්ම ව්‍යවසායකත්වයද  අරගෙනයි. 

නිදහසින් පසු රටේ සිටි විදේශිකයන්ගේ දේපොළ රජය සතු කර ගනිමින් රටේ සිටි ආයෝජකයින්ට රටින් පිටව යාමට සැලසූ ලංකාවට දශක කිහිපයක් යද්දී ආයෝජකයින් රටට ගෙන්වා ගැනීම විශාල අභියෝගයක් වී තිබීමත්, විදේශ විණිමය හොයන්නට රටේ දේපොළ විදේශිකයන්ට විකුණන්නට වී තිබීමත් දෛවයේ සරදමක්.

රජයක් දිගින් දිගටම ආදායම ඉක්මවා වියදම් කරමින් හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීම මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුනා වගේ වැඩක්. හිඟය පාලනය කරන්න අවශ්‍ය වුවත් එය කරන එක පහසු වැඩක් නෙමෙයි. අයවැය හිඟය පියවන්න විදේශ ණය ගැනීමෙන් ආනයන අපනයන පරතරය හමුවේ සංචිත පහළ යාමේ අමතර ප්‍රශ්නයද තාවකාලිකව විසඳා ගත හැකි වුවත් එයින් සිදු වන්නේ දිගුකාලීන ගෙවුම් ශේෂ උගුලකද හිර වීමයි. 

නිදහස ලබන විට විශාල විදේශ සංචිත ප්‍රමාණයක් රටේ ඉතිරිව තිබුණත් දිගින් දිගටම අපනයන ආදායම් ඉක්මවා ආනයන වෙනුවෙන් වියදම් කිරීම නිසා 1964 වන විට ලංකාවේ විදේශ සංචිත රටේ විදේශ ණය ප්‍රමාණයට වඩා අඩු මට්ටමකට වැටුණා. මේ දවස් වල ලංකාවේ විදේශ සංචිත ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. එහෙත්, ඇත්තටම, එනම් ශුද්ධ පදනමකින්, ලංකාව සතුව විදේශ සංචිත තිබුණේ 1963 වන තුරු පමණයි. නිදහස ලබා වසර පහළොවක් ඇතුළත ලංකාවේ බලයේ සිටි ආණ්ඩු රටේ විදේශ සංචිත ටික ඉවර කළා. එතැන් සිට අද දක්වාම අප කතා කරන්නේ ණයට ගත් සංචිත ගැන මිසක් උපයාගත් සංචිත ගැන නෙමෙයි.

ප්‍රමාණවත් සංචිත තිබෙන තුරු ලංකාවට විණිමය අනුපාතය ස්ථිරව තබා ගත හැකි වුවත් සංචිත අවසන් වීමෙන් පසුව එය කළ හැකි වූයේ නැහැ. ඒ නිසා, රුපියල අවප්‍රමාණය කරන්න සිදු වුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ගන්න සිදු වුනා. හැටේ දශකයේ මැද සිට දිගින් දිගටම මේ වැඩේ කරන්න සිදු වුනා. 

සමගි පෙරමුණු රජය දැඩි ලෙස ආනයන පාලනය කළේත්, හැත්තෑ හතේදී ජේආර් බලයට පත් වීමෙන් පසුව රුපියල විශාල ලෙස අවප්‍රමාණය කළේත් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි. මේ පිළියම් වලින් තාවකාලිකව ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳුනත් දිගින් දිගටම නැවත නැවතත් ප්‍රශ්නය මතු වුනා. ඒ රෝගයට මිස රෝග නිධානයට පිළියම් නොකෙරුණු නිසයි. රෝග නිධානය වූ අයවැය හිඟය පවතින තුරු ගෙවුම් ශේෂ ප්‍රශ්න වරින් වර මතු වීම නොවැලැක්විය හැකියි.

මතු සම්බන්ධයි.

Friday, December 10, 2021

රෙගියුලේටර ප්‍රශ්නය


ලංකාවේ ගෑස් සිලින්ඩර වලට සම්බන්ධ කර තිබෙන උපාංග පිපිරෙන්න පටන් ගැනීම නිසා ඇති වූ ප්‍රශ්නය මේ වෙද්දී විසඳිලා වගේ. ගෑස් සිලින්ඩර වල පීඩනය වැඩි කිරීම මේ ප්‍රශ්නයට හේතුව බවයි කියැවුනේ. සමහර විට පීඩනය වැඩි කළත් පුපුරන්නේ නැති තරමට ප්‍රමිතියක් ගෑස් සිලින්ඩර වල තියෙන්න ඇති. එහෙත්, ගෘහස්ථ පාරිභෝගිකයෙක් සැලකුවාම ගෑස් සිලින්ඩරය, ගෑස් උදුන හා ඒ දෙක සම්බන්ධ කෙරෙන උපාංග සියල්ලම එකම පද්ධතියක කොටස්. මේ වගේ පද්ධතියක එක තැනක් බිඳ වැටෙනවා කියා කියන්නේ පද්ධතියම බිඳ වැටීමක්. 

කවර හෝ පද්ධතියක් බිඳ වැටෙද්දී බොහෝ විට මුලින්ම බිඳ වැටෙන්නේ එහි දුර්වලම තැනින්. පහත් තැනින් යයි ගලා ජලේ!

ගණන් හිලවු පැත්තකින් තියලා කතා කළොත්, ගෑස් සිලින්ඩරයක ගෑස් අසුරා තිබෙන්නේ විශාල පීඩනයක් යටතේ. ඒ වගේ පීඩනයක් යටතේ තියෙන දෙයක් එකවර නිදහස් වුනොත් කෙළවර වෙන්නේ විශාල විනාශයකින්. සිලින්ඩරයේ ගෑස් පාවිච්චියට ගැනීමේදී වෙන්නේත් මේ විදිහට විශාල පීඩනයක් යටතේ ගබඩා කර තිබෙන ගෑස් නිදහස් වෙන එක. හැබැයි ඒ වැඩේ වෙන්නේ පාලනයක් යටතේ. 

මේ විදිහට පාලනයක් යටතේ නිදහස් කර ගන්නා ගෑස් දහනය කරලා අපිට විවිධ දේවල් කර ගන්න පුළුවන්. ලංකාවේ වැඩිපුරම වෙන්නේ කෑම උයන එක. කෑම ඉවිල්ල ගින්දර පාලනය කරමින් කරන කලාවක්. ගෑස් වලින් උයද්දී ගින්දර පාලනය කරන්නේ ගෑස් සැපයුම පාලනය කරලා. ගෑස් හරියට පාලනය කරගන්න බැරි වුනොත් ගින්දරත් හරියට පාලනය කර ගන්න බැහැ. රෙගියුලේටරයෙන් කරන්නේ සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් සැපයුම පාලනය කරන එක.

ඇමරිකාවේනම් ගෙවල් වල පාවිච්චියට කඩෙන් ගෑස් ගේන්න අවශ්‍ය නැහැ. ගෑස් සැපයුම් නල ගෙවල් වලට සම්බන්ධ කරලයි තියෙන්නේ. ප්‍රධාන ගෑස් නලයක් දිගේ එන ගෑස් රෙගියුලේටරයක් මගින් පීඩනය අඩු කරලා ගෙවල් වලට සපයනවා. ඒ නිසා, ගෙදර ගෑස් ඉවර වෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ එවැනි යටිතල පහසුකම් නැති නිසා සිලින්ඩරේ ගෑස් ඉවර වෙද්දී කඩෙන් අළුත් ගෑස් සිලින්ඩරයක් ගේන්න වෙනවා. සමහර වෙලාවට ගෑස් ඉවර වෙලා කියලා දැන ගන්න ලැබෙන්නේ හොද්දක් බතක් බාගෙට ඉදී තියෙද්දී ලිප නිවුනාමයි. 

ලංකාවේ පාවිච්චි කරන ආකාරයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක ගෑස් ටිකෙන් ටික ප්‍රයෝජනයට ගනිද්දී සිලින්ඩරයේ පීඩනයත් ටික ටික අඩු වෙනවා මිසක් පීඩනය වැඩි වෙන්නේ නැහැ. මොකද සිලින්ඩරයෙන් ඒකේ තියෙන ගෑස් ඉවත් වෙනවා මිසක් ඇමරිකාවේ වගේ සිලින්ඩරේට ගෑස් එන මාර්ගයක් නැහැනේ. සර්වත්‍ර වායු නියමය අනුව ගෑස් සිලින්ඩරේ පරිමාව වෙනස් වෙන්නෙත් නැත්නම්, උෂ්ණත්වය වෙනස් වෙන්නෙත් නැත්නම්, සිලින්ඩරයේ තිබෙන ගෑස් අණු ගණන අඩු වෙද්දී පීඩනය අඩු විය යුතුයි. 

හැබැයි උෂ්ණත්වය වැඩි වෙද්දී ගේ ලුසැක්ගේ නියමය අනුව පීඩනය වැඩි වෙනවා. ඒ නිසා, සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් නිසා එතුළ පීඩනය අඩු වුනත්, ඒ ගෑස් සිලින්ඩරය ආසන්නයේ දහනය කරද්දී යම් හෙයකින් සිලින්ඩරය ඇතුළේ ගෑස් වල උෂ්ණත්වය විශාල ලෙස ඉහළ ගිහින් ඒ හේතුව නිසා පීඩනය ඉහළ යාමේ බලපෑම වඩා වැඩිනම් සිලින්ඩරයෙන් ගෑස් මුදා හරිද්දී වුවත් ඇතුළේ පීඩනය ඉහළ යන්න පුළුවන්. පීඩනය ඔරොත්තු නොදෙන මට්ටමකට ආවොත් සිලින්ඩරේ පුපුරන්න වුනත් පුළුවන්.

ගෑස් සිලින්ඩර් ගැනත්, ඔය කියපු නියම ගැනත් මම වැඩිපුර දන්නේ නැහැ. ඒ නිසා, ඕවා ගැන නොදන්නා කෙනෙක් ඉන්නවානම් ජනාධිපති නියමය වගේ එකක් කියලා හිතන්නකෝ. ඒකනම් කවුරුත් වගේ දන්නවනේ. "සෑම ගැසට්ටුවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ගැසට්ටුවක් ඇත!".

ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නෙත් ටිකක් විතර ඔය ගෑස් සිලින්ඩරේ වගේ. ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති වුනාම සිලින්ඩරේ ඇතුළේ පීඩනයක් ඇති වෙනවා. නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය කියන්නේ ඒ පීඩනය වැඩි වෙන්න නොදී මුදා හරින ස්වභාවික යාන්ත්‍රනය. සිලින්ඩරේ ඇතුළේ ලොකු පීඩනයක් හැදෙන්නේ නැත්නම් රෙගියුලේටරයක් අවශ්‍ය වන්නේ නැහැ. සිලින්ඩරේ විශාල වන තරමට යම් නිශ්චිත ගෑස් ප්‍රමාණයක් එහි ගබඩා කර ගැනීමේදී අඩු පීඩනයක් පවත්වා ගත හැකියි. බොයිල්ගේ නියමය!

ලංකාවේ ගෑස් සිලින්ඩර වලට පුරවා තියෙන්නේ ප්‍රොපේන් හා බියුටේන් මිශ්‍රණයක්නේ. මුලින් තිබී ඇත්තේ බියුටේන් 70%ක සහ ප්‍රොපේන් 30%ක මිශ්‍රණයක්. උපාංග පුපුරන්න පටන් අරන් තියෙන්නේ ඔය අනුපාතය 50:50 ලෙස වෙනස් කළාට පස්සේ. දැන් නැවතත් 70:30 අනුපාතයට යා යුතුයි කියලා රජය නියෝග කර තිබෙනවා. 

ප්‍රොපේන් හා බියුටේන් දෙවර්ගයම හයිඩ්‍රෝකාබන්. ඒ කියන්නේ මේවා හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන් වලින්. ප්‍රොපේන් අණුවක කාබන් පරමාණු 3ක් හා හයිඩ්‍රජන් පරමාණු 8ක් තිබෙනවා. බියුටේන් අණුවක කාබන් පරමාණු 4ක් හා හයිඩ්‍රජන් පරමාණු 10ක් තිබෙනවා. ඒ කියන්නේ බියුටේන් අණුවක් ප්‍රොපේන් අණුවකට වඩා බරයි. ඒ නිසා, බරෙන් සමාන ප්‍රොපේන් හා බියුටේන් ප්‍රමාණ ගත්තොත් ප්‍රොපේන් වල අණු ගණන වැඩියි. සර්වත්‍ර වායු නියමය අනුව, පරිමාව හා උෂ්ණත්වය සමානනම් පීඩනය තීරණය වන්නේ අණු ගණන මත කියලා කලින් කිවුවනේ. ඒ නිසා, වායු මිශ්‍රණයක බියුටේන් අඩු කරලා ප්‍රොපේන් වැඩි කරද්දී පීඩනය වැඩි වෙනවා. උපාංග පිපිරිලා තියන්නේ ඔය හේතුව නිසා.

අයවැය පරතරය නිසා ඇති වෙන පීඩනයත් ඔය ගෑස් සිලින්ඩරයක් ඇතුළේ හැදෙන පීඩනය වගේ තමයි. හැබැයි මේ සිලින්ඩරේට ඇමරිකාවේදී වගේ කෙළින්ම ගෑස් එනවා. කඩේ ගිහින් ගෑස් පුරවන්න අවශ්‍ය නැහැ. ගෑස් එන්නේ ගෑස් පාවිච්චියට ගන්න තරමටනම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය නියතව තියෙනවා මිස අඩු වැඩි වෙන්නේ නැහැ. නමුත් ගෑස් සිලින්ඩරේට එන වේගයෙන්ම පිට වෙන්නේ නැත්නම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම ඉහළ යනවා. ඒකේ අනෙක් පැත්ත වුනොත් පීඩනය අඩු වෙනවා. 

ඔය විදිහටම රාජ්‍ය වියදම් වැඩි වෙද්දී අයවැය මත පීඩනය වැඩි වෙනවා. ආදායම් ඉහළ යද්දී පීඩනය අඩු වෙනවා. අයවැය හිඟය ඉහළ යන තරමට "සිලින්ඩරේ ඇතුළේ" පීඩනය වැඩි වෙනවා. පීඩනය හැදෙන්නේ වායු වර්ග දෙකක් නිසා. "දේශීය ණය" සහ "විදේශීය ණය". ඔය දෙකෙන් දේශීය ණය බියුටේන් වගේ. විදේශීය ණය ප්‍රොපේන් වගේ. විදේශීය ණය නිසා ඇති වන පීඩනය වඩා වැඩියි. හැබැයි ඔය දෙකෙන් කොයි එකෙන් වුනත් පීඩනය වැඩි වෙනවා.

වියදම් තරමට ආදායම් ඉහළ නොයද්දී අයවැය මත ඇති වන පීඩනය අඩු කර ගන්න කරන එක දෙයක් වන්නේ සල්ලි අච්චු ගැසීමයි. සල්ලි අච්චු ගහලා තාවකාලිකව අයවැය මත වන පීඩනය අඩු කර ගන්න පුළුවන්. සිලින්ඩරේ ගෑස් වේගයෙන් එළියට යද්දී ලිප වඩා හොඳින් දැල්වෙනවා. කෑම හොඳින් ඉදෙනවා. මේක තමයි ආර්ථික වර්ධනය.

හැබැයි මේ විදිහට සල්ලි අච්චු ගහලා අයවැය පීඩනය අඩු කරගෙන ආර්ථිකය වර්ධනය කළ හැක්කේ එක සීමාවක් දක්වා පමණයි. ගෑස් සිලින්ඩරයේ පීඩනය අඩු කරන්න වැඩියෙන් ලිපට ගෑස් එවලා ලිපේ ගින්දර වැඩි වුනොත් බත රොස් වෙනවා. කාමරයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒක තමයි උද්ධමනය කියන්නේ.

සිලින්ඩරයේ ගෑස් අඩු වෙද්දී ඒ තුළ පීඩනය අඩු වෙන්නේ කාමරයේ උෂ්ණත්වය නියතව තිබුණොත්නේ. හැබැයි ලිපේ දැල්ලේ සැර වැඩි වෙලා කාමරයේ උෂ්ණත්වය ඉහළ ගිහින් සිලින්ඩරයේ ගෑස් වල උෂ්ණත්වයත් ඉහළ ගියොත් සිලින්ඩරයේ ගෑස් පරිමාව අඩු වෙද්දී වුනත් පීඩනය ඉහළ යන්න පුළුවන්. එතකොට ගෑස් සිලින්ඩරය පුපුරන එක වලක්වා ගන්න තව තවත් වැඩි වැඩියෙන් ගෑස් නිදහස් කරන්න වෙනවා. ඒ ගෑස් ලිපේ දැවෙද්දී උෂ්ණත්වය තව තවත් ඉහළ යාම නිසා පීඩනය වැඩි වීමේ විෂම චක්‍රයක් හැදුනොත් මොකද වෙන්නේ? 

ඔය වගේ වෙලාවක මුලින්ම කළ යුත්තේ සිලින්ඩරයට ගෑස් එන සැපයුම සීමා කරන එකයි. ඒ කියන්නේ අයවැය හිඟය. සිලින්ඩරේට ගෑස් එන එක සීමා නොකර සිලින්ඩරෙන් පිට වෙන ගෑස් සැපයුම සීමා කළාම මොකද වෙන්නේ? 

කාමරේ රත් වෙන එක අඩු වෙන නිසා පීඩනය පොඩ්ඩක් අඩු වුනත් පිටවෙන තරමට වඩා වැඩියෙන් දිගින් දිගටම සිලින්ඩරයට ගෑස් එන නිසා සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම වැඩි වෙන එකයි වෙන්නේ. ඔය පීඩනය නිදහස් වෙන්නේ කොයි වෙලාවක හෝ ගෑස් සිලින්ඩරේ පිපිරුවාමයි. දිගින් දිගටම ආදායම් ඉක්මවා වියදම් කරමින් මිල පාලනය හා විණිමය අනුපාතය පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කරන්න ගියාම ඇති වෙන්නේ ඔය වගේ තත්ත්වයක්.

සිලින්ඩරය පුපුරන එක වලක්වන්නනම් කොයි වෙලාවක හරි වෑල් ඇරලා ගෑස් නිදහස් කරන්නම වෙනවා. එහෙම කරන්න වෙන වෙලාවට කාමරයේ උෂ්ණත්වය ලොකුවටම වැඩි වෙනවා. කාට කාටත් උෂ්ණත්වය දැනෙන්න ගන්නවා. හැබැයි ඔය වැඩේ පරක්කු කිරීමෙන් වෙන්නේ  වෑල් ඇරලා ගෑස් නිදහස් කිරීමෙන් පස්සෙත් සිලින්ඩරය ඇතුළේ පීඩනය අඩු වෙනවා වෙනුවට වැඩි වෙන තත්වයක් දක්වා තත්ත්වය ඔඩු දුවන එක. මිල පාලනය හා විණිමය පාලනය නිසා දැන් ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වයත් ඔය වගේ!

Saturday, November 13, 2021

අයවැය අභියෝගය


තවත් අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. තවත් අයවැයක් කියා කිවුවත් මෙය තවත් අයවැයක්ම නෙමෙයි. ලංකාව තීරණාත්මක මංසන්ධියකට එළැඹ සිටින අවස්ථාවක ඉදිරිපත් කෙරෙන අයවැයක්. ලෝකය පුරා විසිරී සිටින, ලංකාව ගැන කවර ආකාරයක හෝ උනන්දුවක් තිබෙන බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටි අයවැයක්.

රාජ්‍ය අයවැයක් කියා කියන්නේ රජයේ ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් පිළිබඳ ලියවිල්ලක් මිසක් එය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන පුද්ගලයාගේ ලොකු තාත්තා, තාත්තා හා අයියා ඇතුළු පරම්පරාව ගැන පුරාජේරු ගහන්න හදන ලියවිල්ලක් නොවන නිසා අපි කෙළින්ම අවශ්‍ය තැනට යමු. 

ඉදිරි වසර සඳහා යෝජිත රජයේ ආදායම් හා වියදම් මෙහෙමයි.

මුළු ආදායම - රුපියල් බිලියන 2,284යි.

මුළු වියදම - රුපියල් බිලියන 3,912යි.

අයවැය හිඟය - රුපියල් බිලියන 1,628යි.

රුපියල් බිලියන 1,628ක අයවැය හිඟයක් පවත්වා ගන්න සැලසුම් කරනවා කියන්නේ ඒ අඩුව ණය වලින් පුරවා ගත යුතුයි කියන එකයි. ඊට අමතරව, ඉදිරි වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ගෙවීමටත් ණය ගන්න වෙනවා. නමුත්, දැන් ලංකාව ඉන්නේ ලේසියකට විදේශ ණය ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ඒ නිසා, අයවැය හිඟය පියවන්න වෙන්නේ දේශීය ණය වලින්.

රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 508ක විදේශ ණය ලබා ගන්න සැලසුම් කර තිබෙනවා. එහෙත්, වසර තුළ ආපසු ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 687ක්. ඒ නිසා, අයවැය හිඟය වන රුපියල් බිලියන 1,628ට අමතරව විදේශ ණය වලින් කොටසක් පියවීම සඳහාද රුපියල් බිලියන 179ක දේශීය ණය ලබා ගන්න අවශ්‍ය වෙනවා.

මේ අනුව, දේශීය ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 1,807ක්. එයින් රුපියල් බිලියන 501ක් බැංකු අංශයෙන්ද ඉතිරිය බැංකු නොවන අංශ වලින්ද ලබා ගැනීම සැලසුමයි.

රුපියල් බිලියන 508ක විදේශ ණය කියා කියන්නේ ඩොලරය රුපියල් 200 ගණනේ ගණන් හැදුවොත් ඩොලර් බිලියන 2.54ක්. මේ ප්‍රමාණයෙන් රුපියල් බිලියන 150ක් (ඉහත විණිමය අනුපාතය අනුව ඩොලර් මිලියන 750ක්) වාණිජ ණය ලෙසත්, ඉතිරි මුදල ව්‍යාපෘති ණය ලෙසත් ලබා ගන්නට යන බවයි සඳහන්ව තිබෙන්නේ.

ව්‍යාපෘති ණය සාමාන්‍යයෙන් හදිසියේ ලබා ගන්න බැහැ. මේ ඇස්තමේන්තුව පදනම් වෙනවා ඇත්තේ දැනට යෝජනා ඉදිරිපත් කර ණය ලබා ගැනීම සඳහා වැඩ කටයුතු සිදු වෙමින් තිබෙන (pipeline එකේ තිබෙන) ව්‍යාපෘති මත පදනම්ව විය යුතුයි. එසේ වුවත්, එවැනි ව්‍යාපෘති ණය අපේක්ෂා කළ පරිදිම ලැබෙන බවට සියයට සියයක සහතිකයක් නැහැ. මිලියන 750ක් කියා කියන්නේ ලංකාව අරගෙන තිබෙන ණය වල හැටියට ලොකු ණයක් නොවුණත්, මේ වෙලාවේ එවැනි මුදලක් වුවත් වාණිජ ණය ලෙස ලබා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්.

මේ ණය සියල්ල ගත්තත් ලබන වසරේ ගෙවිය යුතු විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් ඩොලර් මිලියන 900ක් පමණ දේශීය වෙළඳපොළෙන් මිල දී ගන්න සිදු වෙනවා. පසුගිය වසර ගණනාවක් තුළ ලංකාවේ දේශීය වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ ඩොලර් බිලියන දෙකක හෝ තුනක ණය වෙළඳපොළට සැපයීමෙන් පසුවයි. ඒ වැඩේ කරන්න බැරි වීමෙන් පසුව සංචිත ක්ෂය වෙන්න පටන් ගත්තා. ඉන් පසුව, ආනයන පාලනය කරන්න සිදුවුණා.

දැන් සංචිත ඩොලර් මිලියන 2,268 දක්වා පහත වැටිලා. ඒ, විශාල ලෙස ආනයන පාලනය කරන පසුබිමක. මේ වගේ තත්ත්වයක් තුළ රටට එන ඩොලර් වලින් ඩොලර් මිලියන 900ක් ණය ගෙවන්න ගන්නවා කියන්නේ එම අඩුව හා ගැලපෙන පරිදි තව දුරටත් ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. එසේ නැත්නම්, සංචිත තවත් අඩු වෙනවා කියන එකයි.

මේ විදිහට ඩොලර් මිලියන 900ක් දේශීය වෙළඳපොළෙන් හොයා ගෙන ගොඩ දාගන්න පුළුවන් වෙන්නේත් අපේක්ෂිත පරිදි ඩොලර් බිලියන 2.54ක් ණය ගන්න පුළුවන් වුනොත්. වාණිජ ණය ලෙස ඩොලර් මිලියන 750ක් ලබා ගැනීම බොහෝ විට සිදු නොවෙන්න පුළුවන්. ව්‍යාපෘති ණය වුවත්, ඇස්තමේන්තුවේ තිබෙන තරමටම නොලැබෙන්න වැඩි ඉඩක් තිබෙනවා. බොහෝ විට සිදු විය හැකි පරිදි, විදේශ ණය ගෙවීම සඳහා මිල දී ගත යුතු ඩොලර් අවශ්‍යතාවය ඩොලර් මිලියන 900ක් නොවී ඩොලර් බිලියන 2ක් පමණ වුවහොත්, එය ඉතාම දරුණු තත්ත්වයක්.

සංචාරක කර්මාන්තය යම් තරමකින් හිස ඉසෙවුවොත් එයින් සහනයක් ලැබෙයි. එහෙත්, ඉදිරි වසරේදී එසේ සංචාරක කර්මාන්තය හිස එසෙවුවත්, වසංගතයට පෙර පැවති මට්ටමට නැවත යාමේ ඉඩක් පෙනෙන්නේ නැහැ. අනෙක් අතට සංචාරකයෝ රටට ගෙන්නන එකත්, ආනයන සීමා දිගටම පවත්වා ගැනීමත් දෙකම එකට කිරීම අසීරු වැඩක්.

එක දෙයක් පැහැදිලියි. ඒ, ඉදිරි වසර තුළද දැඩි ආනයන සීමා පවත්වා ගන්න සිදු වෙනවා කියන එක. එහි අහිතකර ප්‍රතිඵල ගණනාවක් තිබෙනවා. රට තුළ භාණ්ඩ හිඟය, ආර්ථික වර්ධනය අඩාල වීම හා මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ලෙස මිල ගණන් ඉහළ යාම එයින් ප්‍රධාන දේවල්. 

මේ වගේ තත්ත්වයක් යටතේ අපේක්ෂිත පරිදි බදු ආදායම් වැඩි කර ගත හැකි වෙයිද? 

භාණ්ඩ හා සේවා බදු ආදායම වසර තුළ 58.6%කින්ද, ආදායම් බදු ආදායම 68.1%කින්ද, ආනයන බදු ආදායම 21.1%කින්ද, බදු නොවන ආදායම්  32.9කින්ද වැඩි කර ගැනීම සැලසුමයි. වැඩිම මුදලක් උපයා ගන්න සැලසුම් කර තිබෙන්නේ භාණ්ඩ හා සේවා බදු වලින්. මේ බදු  නිසා සෘජු ලෙසම භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. ආනයන බදු නිසා වෙන්නේත් බඩු මිල ඉහළ යාමයි. සමාගම් වල ආදායම් මත අය කරන බදු වලින් විශාල කොටසක්ද එම සමාගම් විසින් පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනෙන නිසා එයින්ද බඩු මිල ඉහළ යනවා.

පසුගිය ආණ්ඩුව විසින් බදු වැඩි කිරීම දේශපාලන සටන් පාඨයක් කර ගනිමින් බලයට පත් වූ මේ ආණ්ඩුවටද අවසන් වශයෙන් ඒ දේම කරන්නට සිදු වීමෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුවටද ඊට වඩා වෙනස් විකල්පයක් නැති බවයි. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි මිලද සෘජුව හෝ වක්‍රව අය කර ගන්නම වෙනවා.

ලංකාවේ ආණ්ඩු විසින් කාලයක් තිස්සේ රාජ්‍ය අයවැය හරහා ජනතාවට විවිධ සහන ලබා දෙමින් එහි බර ඉදිරි ආණ්ඩුවකට තල්ලු කළා. දැන් එය තව දුරටත් කළ නොහැකියි. මේ යථාර්තයට මුලින්ම මුහුණ දෙන්න සිදු වුනේ යහපාලන ආණ්ඩුවටයි. එම ආණ්ඩුව 2015දී මැතිවරණය ඉලක්ක කර විවිධ සහන දුන්නා. එහෙත්, ඔවුන්ට එවැනි සහන නඩත්තු කරමින් වසර හතරක් ඇද ගන්න පුළුවන්කමක් ඒ වන විට තිබුණේ නැහැ. ඒ නිසා, අන්තිමට දුන්නාටත් වැඩියෙන් ආපසු ගන්න සිදු වුනා. මෙය කරන්න යාමේදී ආණ්ඩුවේ ජනප්‍රියත්වය හොඳටම ගිලිහුණා.

මේ ආණ්ඩුවද බලයට පත් වූ වහාම, මැතිවරණ ඉලක්ක කර, ඊටත් වඩා විශාල සහන දුන්නා. එහෙත්, මේ ආණ්ඩුවට එවැනි සහන නඩත්තු කරමින් ඊළඟ මැතිවරණය දක්වා රාජ්‍යමූල කළමනාකරණය කළ නොහැකියි. මේ ආණ්ඩුවටත් දැන් යථාර්තයට මුහුණ දෙන්න සිදු වෙලා. වෙනත් අයෙකු බලයට පැමිණියා කියලාත් මේ යථාර්තය වෙනස් වෙන්නේ නැහැ. මැතිවරණ පොරොන්දු, අයවැය සහන ගැන බලාපොරොත්තු තැබිය හැකි වූ යුගය දැන් ඉවරයි. අලුතින් බලයට පත්වන කවර හෝ ආණ්ඩුවක් එවැනි පොරොන්දු දී එම පොරොන්දු ඉටු කළහොත්, ඊළඟ වසරේ සිටම එසේ ලබා දුන් සහන සියල්ල පොලියත් සමඟ ආපහු ගන්නම වෙනවා.

යහපාලන ආණ්ඩුව දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත්තේ රාජපක්ෂලාගේ "හොරකම්". බැඳුම්කර "හොරකම" එක්ක ඔවුන්ගේ සටන් පාඨය ඔවුන්ටම පාරාවළල්ලක් වුනා. යහපාලන බදු දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත් මේ ආණ්ඩුවටද ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ එවැනිම අභියෝගයකටයි. 

බදු නිසා බඩු මිල ඉහළ යනු ඇතත් ඒ එක්කම ඉල්ලුම පහළ යන නිසා ඇස්තමේන්තු වල තිබෙන තරමට ආදායම් ලැබේයයි සිතිය නොහැකියි. එසේ වුවහොත්, වියදම්ද සීමා කරන්න වෙනවා. අයවැය ඇස්තමේන්තු වල තිබෙන ප්‍රාග්ධන වියදම් වලින් වැඩි කොටසක් කපා හැරෙනු ඇති බවනම් සහතික කර කිව හැකියි. පුනරාවර්තන වියදම් අඩු කිරීම ප්‍රයෝගිකව ඉතාම අසීරු කටයුත්තක්.

දේශීය වෙළඳපොළෙන් රුපියල් බිලියන 1,807ක් ණය ලබා ගැනීමද පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා පොලී අනුපාතික වැඩි කරන්න සිදු වෙනවා. පොලී අනුපාතික ඉහළ යද්දී රජයේ වියදම්ද ඉහළ යනවා. ඒ නිසා, බැංකු අංශයෙන් ණය ගැනීම් අයවැය ඇස්තමේන්තු වල තිබෙන ගණන් ඉක්මවයි කියන එක කියන්න මහ ලොකු විශ්ලේෂණයක් කළ යුතු නැහැ. බොහෝ විට සිදු විය හැකි පරිදි, ඇස්තමේන්තු වල ඇති තරමට විදේශ ණය නොලැබුණොත් ඒ අඩුව පුරවන්න වෙන්නෙත් දේශීය ණය වලින්. ඒ කියන්නේ තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා කියන එකයි.

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයේ මිල ස්ථාවරව තියා ගෙන ඉන්න එක කරන්න පුළුවන් වෙයිද?

එක දෙයක්නම් පැහැදිලියි. ඒ බඩු මිල විශාල ලෙස ඉහළ යාමට නියමිත බවයි. ගිය වසරේ අයවැය ඇස්තමේන්තු වල ආදායම් අයිතමයන් සැබෑ ආදායම් හා සැසඳූ විට හැම අයිතමයකම වගේ දැකිය හැක්කේ සැබෑ ආදායම ඇස්තමේන්තුවට වඩා අඩු බවයි. හැබැයි ඇස්තමේන්තුව ඉක්මවා අදායම් ලැබී ඇති අයිතමයක්ද තිබෙනවා. ඒ පාස්පෝට් ගාස්තු ආදායම!


Saturday, September 25, 2021

යහපාලන ණය හා රාජපක්ෂ ණය


යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට (2014 වසර අවසානයේදී) ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,487ක් පමණයි. යහපාලන ආණ්ඩුවේ පාලන කාලය අවසන් වෙද්දී (2019 වසර අවසානයේදී) ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,032ක් වෙලා. ඒ කියන්නේ රුපියල් බිලියන 5,545කින් වැඩි වෙලා. 

ඉහත සංඛ්‍යා ගැන ටිකක් වැඩිපුර කතා වෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවට සම්බන්ධ අය මේ ණය වැඩි වීම උලුප්පා පෙන්වනවා. අද මහ බැංකු අධිපති කබ්රාල් සහභාගී වූ සාකච්ඡාවකදීත් ඔහු මේ ණය වැඩි වීම ගැන කතා කළා. සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛණ ගැන වැඩි අවබෝධයක් නැති, පක්ෂයක් බදා ගෙන නැති අයට පවා මේ සංඛ්‍යාලේඛණ ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ තරම් ණය අරගෙන යහපාලන ආණ්ඩුව කළේ මොනවද? ඇරත් ඔය තරම් බදු වැඩි කිරීමෙනුත් පසුව?

යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වී සිටි ඇතැම් දේශපාලනඥයින්ට අනුව එම ආණ්ඩුව ණය අරගෙන තිබුණේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය ගෙවන්න. එහෙම ණය ගෙවුවානම් ණය අඩු නොවී වැඩි වුනේ කොහොමද?

රජයේ ආදායමට වඩා වියදම වැඩි වූ විට අඩුව පියවන්න සිදු වන්නේ ණය වලින්. ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම කළේ ආදායම ඉක්මවා වියදම් කරන එකයි. 1955 වසරෙන් පසුව මේ තත්ත්වයේ යම් වෙනසක් ඇති වුනේ 2017 හා 2018 දෙවසර තුළ පමණයි. එම දෙවසර තුළ ණය පොලී වියදම් හැරුණු විට රජයේ අනෙකුත් වියදම් ආදායමට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට ආණ්ඩුව සමත් වුනා. මෙය හැඳින්වෙන්නේ ප්‍රාථමික අයවැය පරතරය ලෙසයි. මේ දෙවසර තුළ ලංකාව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තත්, 1955න් පසුව අනෙකුත් සෑම වසරකදීම ලංකාවේ දැකිය හැකි වුනේ ප්‍රාථමික අයවැය හිඟයක්.

යහපාලන ආණ්ඩු කාලය ගත්තත් 2017 හා 2018 දෙවසර තුළ ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තත් 2015දී හා 2019දී ඊට වඩා විශාල ප්‍රාථමික අයවැය හිඟයක් පැවති නිසා යහපාලන ආණ්ඩුවද සමස්තයක් ලෙස ලංකාවේ ණය මල්ල ලොකු කිරීමට මිස කුඩා කිරීමට දායක වුනේ නැහැ. අදාළ කාලය තුළ සමස්තයක් ලෙස යහපාලන ආණ්ඩුව විසින් ආදායම ඉක්මවා රුපියල් බිලියන 371ක් වියදම් කළා.

යහපාලන ආණ්ඩුව අවුරුදු හතරටම ආදායම ඉක්මවා වියදම් කළේ රුපියල් බිලියන 371ක් පමණක්නම් රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,545කින් වැඩි වුනේ කොහොමද?

ප්‍රාථමික අයවැය හිඟය හැරුණු විට මේ වැඩි වීමට හේතු දෙකක් තිබෙනවා. එකක් පරණ ණය වල පොලිය එකතු වීම. දෙවැන්න පරණ ණය වල වෙළඳපොළ අගය වෙනස් වීම. මෙසේ වෙළඳපොළ අගය වෙනස් වීමට බොහෝ දුරට හේතු වන්නේ විණිමය අනුපාතය වෙනස් වීමයි. එහෙත් එය එකම හේතුව නෙමෙයි.

උදාහරණයක් විදිහට 2015 වසර තුළ පමණක් රුපියල් බිලියන 7,487 සිට රුපියල් බිලියන 8,599 දක්වා රුපියල් බිලියන 1,112කින් රාජ්‍ය ණය ඉහළ ගියා. එහෙත් එම වසරේ රජයේ ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 320ක් පමණයි. (මෙයත් විශාල මුදලක්.) ඉතිරි මුදල වැඩි වුනේ රුපියල් බිලියන 510ක පොලී එකතු වීමෙන් හා රුපියල් බිලියන 283කින් ණය වල අගය වෙනස් වීමෙන්.

යහපාලන ආණ්ඩුව පැවති 2015-2019 අතර සිදු වූ රුපියල් බිලියන 5,545ක ණය වැඩි වීමෙන් රුපියල් බිලියන 3,610ක්ම පොලී එකතු වීම්. තවත් රුපියල් බිලියන 1,564ක් ණය වල අගය වෙනස් වීම්. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව ඇත්තටම ආදායම ඉක්මවා වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන 371ක් පමණක් වුවත් තවත් රුපියල් බිලියන 5,174කින් ණය ඉහළ ගොස් තිබෙන්නේ පරණ ණය වලට පොලී එකතු වීමෙන් හා අගය වෙනස් වීමෙන්. මෙයින් යහපාලන ආණ්ඩුව කාලයේම ගත් ණය වල පොලිය එකතු වීම හා අගය වෙනස් වීම රුපියල් බිලියන 167ක් පමණයි. ඉතිරි කොටස තනිකරම පරණ ණය. 


යහපාලන ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 537

පරණ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 12,494

මුළු ණය - රුපියල් බිලියන 13,032


මේ පරණ ණය රාජපක්ෂ ණයද?

රාජපක්ෂ දශකය තුළ රුපියල් බිලියන 2,144 සිට (2004 වසර අවසානයේදී) රුපියල් බිලියන 7,487 දක්වා (2014 වසර අවසානයේදී) රුපියල් බිලියන 5,343කින් රාජ්‍ය ණය ඉහළ ගියා. හැබැයි යහපාලන ආණ්ඩුව කාලයේදී වගේම රාජපක්ෂ දශකය තුළත් ඔය තරමින් ණය ඉහළ ගියේ ආදායම ඉක්මවා වියදම් කළ නිසාම නෙමෙයි. එම කොටස රුපියල් බිලියන 966ක් පමණයි. රුපියල් බිලියන 3,094ක්ම ණය පොලී. තවත් රුපියල් බිලියන 1,440ක් ණය වල අගය වෙනස් වීමේ ප්‍රතිඵල. ඒ අතර රාජපක්ෂ ණය වලම පොලිය හා අගය වෙනස් වීමේ ප්‍රතිඵලද තිබුණත් වැඩි කොටස පරණ ණය. 

මේ අනුව, 2019 අවසානය වන විට වාර්තා වූ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයෙන් රාජපක්ෂ ණය ප්‍රමාණය කොපමණද?


යහපාලන ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 537

රාජපක්ෂ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 2,449

පරණ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 10,046

මුළු ණය - රුපියල් බිලියන 13,032


ඔය විදිහට ගණන් හදාගෙන ආපස්සට ගියොත් ලංකාවේ රාජ්‍ය ණය කියා කියන්නේ නිදහසින් පසු හැම ආණ්ඩුවක් විසින්ම ආදායම ඉක්මවා වියදම් කිරීමේ ප්‍රතිඵලයක් මිසක් එක ආණ්ඩුවක වරදකින් සිදු වූ දෙයක් නෙමෙයි. මේ ණය උගුලෙන් ගැලවෙන්නනම් අයවැය හිඟය අඩු කර ගැනීම මිස වෙනත් විකල්පයක් නැහැ. 

Tuesday, August 24, 2021

ජීවිතයක වටිනාකම අසීමිතද?


මංගල සමරවීරත් කෝවිඩ් වසංගතයේ ගොදුරක් වෙලා. මංගල කියා කියන්නේ මා කවදාවත් පෞද්ගලිකව දැන සිටි අයෙක් නෙමෙයි. මගේ මිතුරන් අතරනම් ඔහුව සමීපව ඇසුරු කළ අය ඉන්නවා. මංගල බොහෝ දෙනෙකුව තරාතිරම නොබලා ලඟින් ඇසුරු කර තිබෙන අයෙක්. ඒ අය මංගල ගැන බොහෝ දේ ලියා තිබෙනවා. මංගලව කිසිදා පෞද්ගලිකව ඇසුරු කර නැති මට මංගල ගැන අනෙකුත් අය කියා ඇති දේවල් වලට එකතු කරන්න මහ ලොකු දෙයක් නැහැ. 

ලොකුවට සමරන ගොඩක් වීරයෝ වීරයන් වී ඉන්නෙම කලින්ම මැරුණු නිසා. කාලයක් වීරයන් වී සිටි අය දැන් පජාත වී සිටින්නේ ඒ කාලෙම නොමැරුණු නිසා. කවුරු වුනත් පීක් වෙන කාලයක් තියෙනවා. ඊට පස්සේ බැහැලා යනවා. මංගල ගැන මගේ පෞද්ගලික අදහස ඔහු තවත් කාලයක් ජීවත්ව සිටියානම් ඔහුට කළ හැකි භූමිකාවක් තිබුණා කියන එකයි. 

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ඉන්න මිනිස්සු අතරේ මොකක් හෝ වෙනසක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින මිනිස්සු අඩුයි. ලෝකය ඉදිරියට යන්නේ ඒ වගේ මිනිස්සු නිසා. සමහර විට මේ වගේ මිනිස්සු නිසාම ලෝකය පස්සට යන්න වුනත් පුළුවන්. හැබැයි ඒ අවදානම ගන්න මිනිස්සු නැත්නම් ලෝකය එකම තැනයි. මංගලට සුබ ගමන්!

හරියටම දන්නේ නැතත් මංගල බොහෝ විට කෝවිඩ් එන්නතක මාත්‍රා සම්පූර්ණ කර පූර්ණ ප්‍රතිශක්තිය ලබා ඉන්න ඇතැයි මා හිතනවා. මංගල වැනි ලංකාවේ "ඇති හැකි" ගොඩේ සිටි අයෙකුට එන්නත කලින්ම නොලැබෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහුට එන්නත ලබා ගන්න ප්‍රතිපත්තිමය ප්‍රශ්න තියෙන්නත් විදිහක් නැහැ.

ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන කයිවාරු ගහන අය වැහි වැහැලා හිටියත්, ධනය හා බලය නැති සාමාන්‍ය මිනිහෙක්ට ලැබෙන කෝවිඩ් ප්‍රතිකාර මොන වගේද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මංගලටනම් ඉහළම මට්ටමෙන් වෛද්‍ය ප්‍රතිකාරත් ලැබෙන්න ඇති. එහෙම වෙලත් මංගල වගේ අයෙකුට කෝවිඩ් හමුවේ පැරදෙන්න වීමෙන් පෙනෙන්නේ රෝගයේ භයානක කමයි.

කෝවිඩ් එක අතකින් "ඇති හැකි" අයගේ රෝගයක්. රටවල් විදිහට ගත්තත් වැඩිපුර බැට කෑවේ ඇති හැකි රටවල්. විස්තර කරන්න යන්නේ නැතත් මෙයට හේතු තිබෙනවා. මංගල මේ වෙද්දී කෝවිඩ් වලට ගොදුරු වූ ලංකාවේ ඉහළම සමාජ-ආර්ථික තලයක සිටි පුද්ගලයා කියා කිව හැකියි. කිලී මහරාජා වැනි අයත් කෝවිඩ් වලට ගොදුරු වුනා. මේ පෝලිමට තව කවුරු එකතු වෙයිද කියා අපි කවුරුවත් දන්නේ නැහැ. මිය ගියේ කෝවිඩ් වලින් වුනත්, කාලයක් තිස්සේ පවත්වා ගත් ජීවන විලාසිතාවන්ද මංගල වැනි අයෙකුගේ මරණයට දායක වුනා විය හැකියි.

මංගල ගැන පෙර ලියූ ලිපි ගැන මතක් කරද්දී මුලින්ම මතකයට ආවේ ඔහු පසුගිය ආණ්ඩුවේ මුදල් ඇමති තනතුර භාරගත් අවස්ථාවේ ලියා පළ කළ ලිපිය. එම ලිපියේ ලියූ පරිදි, ඒ වන විට මුදල් ඇමති ධුරය දැරූ රවී කරුණානායකගේ භුමිකාවේ ලොකු වැරැද්දක් තිබුණේ නැහැ. හොඳින් කටයුතු සිදු වෙමින් තිබුණු තනතුරක් භාර ගන්නා අයෙකුට සාර්ථක වීම වඩා අසීරුයි. මංගලට මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වී තිබුණා. ඒ ගැන මා ලිවුවේ මේ විදිහටයි.

"දැන් මුදල් ඇමති ලෙස පත්වී සිටින්නේ මංගල සමරවීරයි. ඔහු හොඳ පරිපාලකයෙකු හා තීරණ ගැනීමට බය නැති පුද්ගලයෙකු බව පෙන්වා ඇතත් ආර්ථික විද්‍යාව හෝ  මූල්‍යකරණය වැනි විෂයයක විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති අයෙකු නොවේ. පවත්නා තත්වයන් හමුවේ රවී කරුණානායක විසින් නොකළ දෙයක් මංගල සමරවීර විසින් කිරීමට ලොකු ඉඩක් ඇති බවක් නොපෙනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ තීරණ වලට ඕනෑවට වඩා මැදිහත් නොවී පරිපාලකයෙකු ලෙස පමණක් කටයුතු කිරීමෙන් අඩුම වශයෙන් පවත්නා තත්ත්වය තවත් නරක් නොකර තබා ගැනීම හා වලගැට්ටෙන් යාන්තමින් ඈත්වී ඇති ආර්ථිකය ලොකු පිමි පන්නවන්නට උත්සාහ කරමින් අවදානමක් ගැනීම යන මාර්ග දෙක මංගල සමරවීර ඉදිරියේ විවෘතව තිබේ."

මංගල සමරවීරගේ ධුර කාලය තුළ ඉහත විස්තර කළ අසීරු අභියෝගය සාර්ථකව ජයගත්තා. 1955 වසරේ සිට 1992දී හැර  එක දිගටම පැවති රජයේ අයවැයේ ප්‍රාථමික හිඟය මංගල සමරවීර මුදල් ඇමති ධුරය දැරූ 2017 හා 2018 දෙවසර තුළ අතිරික්තයක් බවට පත් වුනා.

මේ වෙද්දීනම් අයවැයේ ප්‍රාථමික හිඟය ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් පුළුල් වෙලා. දැන් ආණ්ඩුව රජයේ  වියදම් කැපීම ගැන කතා නොකර බැරිම තැනකට පත් වෙලා. දිනපතා සිය ගණනින් මිනිස්සු මැරෙද්දිත් බලාගෙන ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නැති තැනකට ආණ්ඩුව වැටිලා. එසේ වුවත්, ආණ්ඩුවට වෙනත් කළ හැකි දෙයක් තියෙනවද? ආණ්ඩුව වෙනස් වුනොත් කළ හැකි වෙනස් දෙයක් තියෙනවද?

සමහර අය කියන විදිහටනම් මිනිස් ජීවිතයක් මිල කළ නොහැකි තරම් අසීමිතයි. ඔහොම කිවුවට නොදන්නා අයෙකුගේ ජීවිතයක් බේරා ගන්න තමන් සතු මිල මුදල් දේපොළ පරිත්‍යාග කරන්න ඔය කියන අය සූදානම්ද? මම නම් මගේ ජීවිතය වෙනුවෙන් වුවත්, මට අයිති භෞතික වටිනාකම් සියල්ල නැති කර ගන්නේ නැහැ. මම මැරුණත් මගෙන් පැවත එන අය ජීවත් විය යුතුයි. ඒ අයට යහපත් ජීවිතයක් ගෙවන්න පුළුවන් විය යුතුයි. 

ජීවිතයක් බේරා ගැනීම කියන එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? අපි කවුරුත් කොයි වෙලාවේ හෝ මැරෙනවා. කොයි තරම් දැඟලුවත්, ඕක ටිකක් කල් දාගන්න පමණයි පුළුවන්. ජීවිතයක වටිනාකම ගැන අපට කතා කළ හැක්කේම ආයුකාලය දිගු කර ගැනීම කියන අර්ථයෙන් පමණයි. 

තමන්ගේම ආයුකාලය දිගු කරගන්න හෝ එය අඩු වීමේ අවදානම අඩු කරගන්න මිනිස්සු ඕනෑම මිලක් ගෙවනවාද? මිනිස්සුන්ගේ හැසිරීම් වලින්නම් එහෙම පෙනෙන්නේ නැහැ. ආයුකාලය දිගු කර ගැනීම සඳහා කළ හැකි වියදම් නොයන, බොහෝ විට මිල මුදල් ඉතිරි වන, දේවල් නොසලකා හරින අය කොයි තරම් ඉන්නවද? මම වුනත් මේ ගොඩේ ඉන්න කෙනෙක්. වසංගතය නිසා ඇතැම් ජීවන විලාසිතා ගැන අලුතෙන් හිතන්න පෙළඹුමක් ඇති කරන නමුත් ඇබ්බැහි වලින් මිදෙන්න ලේසි නැහැ. මේ බ්ලොග් ලිවිල්ල වුනත් ඒ වගේ දෙයක්. 

පාරේ වාහනයක් එළවන අයෙක් කොයි තරම් අවදානමක් ගන්නවද? පාරට බහිනවා කියා කියන්නේම මැරෙන්න තියෙන අවදානම වැඩි වෙනවා කියන එකයි. එහෙත්, රස්සාව කළ යුතුයි. සල්ලි වෙනුවෙන් යම් ජීවිත අවදානමක් ගත යුතුයි. ජීවිත අවදානම ලැබෙන දෙයට වඩා වැඩිනම් අවදානම නොගෙන ඉන්න එක වෙනම දෙයක්.

සල්ලි වෙනුවෙන් මිනිස්සු කොයි තරම් අවදානමක් ගන්නවද කියන එක දිහා බලලා මිනිස් ජීවිතයක වටිනාකම තක්සේරු කරන්න පුළුවන්. පහුගිය දවස් වල ලංකාවේ ගුරුවරු උද්ඝෝෂණ වලට ගියෙත් මේ වගේ අවදානමක් අරගෙනනේ. අපි හිතමු ඔය උද්ඝෝෂණ නිසා පඩි වැඩි වුනා කියලා. මාසයකට ඕනෑනම් රුපියල් 10,000ක් වැඩි වෙයි. අවුරුද්දකට රුපියල් 120,000ක්.

දැන් ඔය උද්ඝෝෂනයම තව අවුරුදු දෙකකට පස්සේ කළානම් කෝවිඩ් නිසා වන ජීවිත අවදානම නැහැනේ. එතකොට මේ උද්ඝෝෂණ මේ වෙලාවෙම කිරීමේ වාසිය අවුරුදු දෙකක වගේ කාලයකදී වැඩිපුර අතට එන මුදලනේ. ඒ කියන්නේ රුපියල් 240,000ක් වගේ මුදලක්. හැබැයි ඔය වාසිය වෙන්නේ පඩි වැඩි වුනොත් පමණයි. එහෙම සහතිකයක් නැහැනේ. අපි හිතමු උද්ඝෝෂණ කිරීමෙන් පඩි වැඩි වෙන්න තිබුණු සම්භාවිතාව 50%ක් කියලා. ඒ කියන්නේ මේ වැඩෙන් අපේක්ෂිත වාසිය ඉහත මුදලින් 50%ක් හෙවත් රුපියල් 120,000ක්. දැන් මේ ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ ඔය මුදල වෙනුවෙන්.

රුපියල් 120,000ක් වෙනුවෙන් ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ එම අවදානමට වඩා ඉහත මුදල වටින නිසා. එහෙත්, කෝවිඩ් ව්‍යාප්ත වෙද්දී ඉහත මුදලට වඩා ජීවිත අවදානම ඉහළ ගියා. උද්ඝෝෂණ නැවතුනා. මේ විදිහට උද්ඝෝෂණ නැවතුන මොහොත ජීවිත අවදානම රුපියල් 120,000කට සමාන වූ මොහොත සේ සැලකිය හැකියි.

මේ වෙද්දී රටේ ජනගහනයෙන් 1%ක් පමණ කෝවිඩ් ආසාදිතයින් වෙලානේ. උද්ඝෝෂණ නැවතෙන කොට ඔය ප්‍රමාණය 0.5%ක් පමණ වෙන්න ඇති. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් 200ක් සහභාගී වන උද්ඝෝෂණයක කෝවිඩ් ආසාදිතයෙක් ඉන්නවා කියන එකයි. හැබැයි උද්ඝෝෂණයට සහභාගී වන හැමෝටම වෛරසය ආසාදනය වෙන්නේ නැහැනේ. මුහුණු ආවරණ දැමීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වගේ දේවලුත් කළානේ. ඒ නිසා, අපි හිතමු ඔය 200ක පිරිසෙන් 20කට කෝවිඩ් ආසාදනය වුනා කියලා. ඒ අනුව, උද්ඝෝෂණයට සහභාගී වීමෙන් කෝවිඩ් හැදෙන්න 10%ක පමණ සම්භාවිතාවක් තියෙනවා.

කෝවිඩ් හැදුනා කියලා මැරෙන්නේ නැහැනේ. අපි හිතමු හැදුනට පස්සේ මැරෙන සම්භාවිතාව 1%ක් කියලා. ඒ කියන්නේ උද්ඝෝෂණයට සහභාගී වීමෙන් මැරෙන්න වෙන සම්භාවිතාව 0.1%ක් කියන එකයි. මේ විදිහට දාහෙන් එකක ජීවිතය අහිමි වීමේ අවදානමක් ගන්නේ රුපියල් 120,000ක් වෙනුවෙන්. ඒ කියන්නේ, ජීවිතයේ වටිනාකම පිළිබඳ තක්සේරුව රුපියල් 120,000ක් මෙන් දහස් ගුණයක් හෙවත් රුපියල් මිලියන 120ක් කියන එකයි,

මේ ගණන් හැදීම ඕනෑවට වඩා සරල ගණන් හැදීමක් වුනත් මීට වඩා සංකීර්ණ විදිහට ලාංකිකයෙකුගේ ජීවිතයක වටිනාකම ගැන කර තිබෙන ඇස්තමේන්තුත් මීට කිට්ටුයි. 

Friday, April 30, 2021

මෙන්න තවත් සංඛ්‍යාලේඛණ විජ්ජාවක්!


පසුගිය වසර සඳහා වූ මහ බැංකු වාර්තාව නිකුත් වී තිබෙනවා. ආර්ථිකය හා සම්බන්ධව සැලකූ විට, පසුගිය වසර නිදහසින් පසුව ලංකා ඉතිහාසයේ නරකම වසර වූ බව පැහැදිලි කරුණක්. එයට ප්‍රධානම හේතුවක් වුනේ ලොවටම ප්‍රශ්නයක් වූ කෝවිඩ් වසංගතය වුවත්, ලංකාව හා අදාළව ගත් විට ආර්ථිකය මෙවැනි නරක අඩියකට වැටෙන්න එකම හේතුව කෝවිඩ් වසංගතය නෙමෙයි. නිහඬ මාරයින් වූ නිදන්ගත රෝග කිහිපයක් ලංකාවේ ආර්ථිකය ගොළුබෙලි ගමනින් මරණය කරා දක්කමින් සිටියේ කාලයක සිටයි.

නිදහසින් පසු ලොකුම පසුබෑම වාර්තා කරමින් ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී 3.6%කින් හැකිලී තිබෙනවා. රටේ ඒක පුද්ගල ජාතික ආදායම 2014 මට්ටමෙන්ද පහළට වැටී, ඩොලර් 3,582 දක්වා අඩු වී තිබෙනවා. එහෙත් මේ ලිපියෙන් අප ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ ආර්ථික වර්ධනය පිළිබඳව නොව, පසුගිය වසරේ ලංකාවේ රාජ්‍ය මූල්‍යනය වෙතටයි.

පසුගිය වසර තුළ ලංකාවේ රාජ්‍ය ආදායම් රුපියල් බිලියන 1,373 දක්වා අඩු වී තිබෙනවා. පෙර වසරේ රාජ්‍ය ආදායම වූ රුපියල් බිලියන 1,899 හා සැසඳූ විට මෙය 28%ක පමණ දැවැන්ත අඩුවීමක්. රාජ්‍ය ආදායම අඩු වීමට හේතුව කෝවිඩ් වසංගතය නොවන බව කවුරුත් දන්නා දෙයක්. මේ අඩුවීමට ප්‍රධානම හේතුව වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියයි. බදු අඩු කිරීම නරක දෙයක් නොවුනත්, සල්ලි අච්චු ගැසීම හරහා "උද්ධමන බද්දක්" ලෙස වක්‍ර ලෙස එම බද්ද අය කර ගන්නවානම් එයින් සිදු වන්නේ යහපතක් නෙමෙයි.

ඉහත කී පරිදි රාජ්‍ය ආදායමේ සිදුව ඇති දැවැන්ත කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, දළ දේශීය නිෂ්පාදිතය 3.6%කින් පහත වැටී තිබෙන තත්ත්වයක් යටතේද, නිල සංඛ්‍යාලේඛණ අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක් දක්වා රාජ්‍ය ආදායම පහත වැටී තිබෙනවා. නිදහසින් පසුව මෙම ප්‍රතිශතය තනි ඉලක්කමක මට්ටමට වැටී තිබෙන්නේ ප්‍රථම වතාවටයි.

රාජ්‍ය ආදායම පෙර වසරට සාපේක්ෂව 28%කින් අඩු වෙද්දී රාජ්‍ය වියදම් ඇත්තටම 19%කින් වැඩි වී ඇතත්, බැලූ බැල්මටම අතේ මාට්ටු වන සංඛ්‍යාලේඛණ විජ්ජාවක් කරමින් මහ බැංකුව විසින් මේ වැඩි වීම 9%ක අඩුවීමක් සේ පෙන්වනවා. මහ බැංකුව විසින් එසේ කරන්නේ මුදල් අමාත්‍යාංශය කියන නිසයි (Adjustment for arrears as per the Ministry of Finance). මේ අනුව, 2020 වසර තුළ රජයේ වැය වලින් රුපියල් බිලියන 423ක මුදලක් පෙර වසරේ වියදම් වෙනුවෙන් පසුව ගෙවූ මුදල් සේ සලකමින් 2020 වියදම් වලින් අඩු කර 2019 වසරට එකතු කර තිබෙනවා. එහෙත්, 2021 වසර තුළ ගෙවනු ලැබූ 2020 වියදම් ඒ අයුරින් 2020 වියදම් වලට එකතු කර ඇති බවක් පෙනෙන්නට නැහැ. 

මේ අනුව 2020 වසරේ සැබෑ අයවැය හිඟය රුපියල් බිලියන 2,090ක් වුවත් එය පෙන්වා තිබෙන්නේ රුපියල් බිලියන 1,668ක් ලෙසයි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 14.0% මට්ටමට ඉහළ ගොස් ඇති බව පෙනෙන්නට ඇති අයවැය හිඟය පෙන්වා තිබෙන්නේ 11.1% ලෙසයි.

හොඳ ගණකාධිකාරී වරයෙකුට සංඛ්‍යා එහාට මෙහාට කර ලාබ ලබන සමාගමක් පාඩු ලබන ලෙසත්, පාඩු ලබන සමාගමක් ලාබ ලබන බවත් පෙන්විය හැකියි. එය දක්ෂකමක් ලෙස මිස වැරැද්දක් ලෙස සැලකෙන්නේ නැහැ. එසේ කිරීමෙන් සමාගමකට අඩුවෙන් බදු ගෙවීම වැනි වාසි ලබාගන්න පුලුවන්. එහෙත් ගණන් එහා මෙහා කර විජ්ජා පෙන්වීම ආර්ථික විද්‍යාවේ ක්‍රමය නෙමෙයි. එසේ කරන්න යාමෙන් වෙන්නේ තමන්ම මුලාවේ වැටීම පමණයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවද මේ අයුරින්ම සංඛ්‍යාලේඛණ විජ්ජා පෙන්වූ අතර ඉකොනොමැට්ටා වෙබ් අඩවිය ඒ බැව් මුලින්ම පෙන්වා දුන්නා. පවතින තත්ත්වය ඉතාම නරක හා සැඟවිය නොහැකි තරම් පැහැදිලි වූ විට අතීතය වෙනස් කර ප්‍රගතියක් පෙන්වීමේ ඉතිහාසය කොයි තරම් පැරණිද කියා මා දන්නේ නැහැ. ජෝජ් ඕර්විල් යන ආරූඪ නාමයෙන් ලියූ ඉංග්‍රීසි ලේඛක එරික් ආතර්  බ්ලෙයාර්ගේ "1984" කෘතියේ මෙවැනි තත්ත්වයක් විස්තර කෙරෙනවා.

පසුගිය වසරේ මහ බැංකු වාර්තාවට අනුව 2019 අයවැය හිඟය වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.8%ක් පමණයි. දැන් එය 9.6%ක් වෙලා. කෝවිඩ් නැතුවත් 9.6%ක අයවැය හිඟයක් තිබුණානම් දැන් 11.1%ක් වීම කොයි තරම් හොඳ තත්ත්වයක්ද?

"තෙමසකට පෙර දිනකට කෝවිඩ් රෝගීන් දස දහසක් පමණ වාර්තා වුනත් රජයේ කෝවිඩ් මර්දන වැඩ සටහනේ සාර්ථකත්වය පිළිබිඹු කරමින් මේ වන විට දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය දෙදහසකටත් වඩා පහළ මට්ටමකට වැටී තිබෙනවා."

ජෝජ් ඕර්විල් දැකපු අනාගතයේ බිහිවන ආණ්ඩු ඔය වගේ කතා කියන්න පුළුවන්. වර්තමානය හංගන්න බැරි වූ විට කළ යුත්තේ අතීතය වෙනස් කරන එකයි. මාස තුනකට කලින් තත්ත්වය කාටද මතක? වෙනත් අතීතයක් මතක තිබුණත් ඔප්පු කරන්නේ කොහොමද? විශේෂයෙන්ම අතීතය පිළිබඳ මූලාශ්‍ර තිබෙන්නේ රජයේ පාලනය යටතේනම්?

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...