වෙබ් ලිපිනය:

Showing posts with label අධ්‍යාපනය. Show all posts
Showing posts with label අධ්‍යාපනය. Show all posts

Sunday, October 4, 2020

රුසියන් බිංදුව


රුසියාවේ විභාග ඇගයීම් ක්‍රමය ගැන සටහනක් පහුගිය දවස්වල වත්පොතේ හුවමාරු වුනා. සටහන මුලින්ම පළ කළේ කවුද කියලානම් මට හොයා ගන්න බැරිවුනා. හැබැයි මා දන්නා තරමින් මේ සටහනේ තිබෙන තොරතුර නිවැරදියි. සුළු අක්ෂර වින්‍යාස නිවැරදි කිරීම් කිහිපයක් පමණක් සමඟ මම එම සටහන පහත පළ කරනවා.

"රුසියාවේ බහුතර විභාගවල උපරිම ලකුණු සංඛ්‍යාව 5කි. සිසුවෙකු කිසිම ප්‍රශ්නයකට පිළිතුර නොදී හිස් ප්‍රශ්න පත්‍රය ආපසු ලබාදුන්නේ නම් ඔහුට ලැබෙන ලකුණු සංඛ්‍යාව 2කි.

මොස්කව් විශ්වවිද්‍යාලයෙහි මාගේ මුල් දිනවල මා මෙම ක්‍රමය පිලිබඳව නොදැනුවත්ව සිටියෙමි. පසුව පුදුමයට පත් මා තියඩෝර් මෙඩ්රේව් මහාචාර්යවරයාගෙන් මෙසේ විමසුවෙමි. 

"කිසිම පැනයකට පිලිතුරු නොදුන් සිසුවෙකුට ලකුණු 5න් 2ක් ලබාදීම සාධාරණයි කියා ඔබ සිතනවාද? ඔහුට ලකුණු බිංදුවක් නොදෙන්නේ ඇයි? නිවැරදි ක්‍රමය එය නොවේද?"

එතුමා මාගේ පැනයට මෙසේ පිලිතුරු ලබාදුන්නේය.

"දරුවෙකුට අප ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? සෑම දේශනයකටම සහභාගී වීමට උදෑසන 7ට අවදි වූ සිසුවෙකුට ලකුණු බිංදුවක් දෙන්නේ කෙසේද? මෙම ශීත කාලගුණයේද උදෑසන අවදි වී පොදු ප්‍රවාහන සේවය මගින් නියමිත වේලාවට විභාගයට පැමිණ ප්‍රශ්නවලට පිලිතුරු ලිවීමට උත්සාහ දැරූ සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද? රෑ දවල් පාඩම් කර තමන්ගේ මුදලින් පෑනක්, පොතක්, පරිගණකයක් ලබාගෙන තම අධ්‍යාපනයට කැපවූ සිසුවෙකුට ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? අනිත් සියලුම ජීවන ක්‍රම ප්‍රතික්ෂේප කර අධ්‍යාපනයට යොමුවුන සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද?

මෙහි පුතේ, දරුවෙකු පිළිතුරු නොදැනීම හේතුවෙන් අපි ඔහුට ලකුණු බිංදුවක් ලබා නොදෙන්නෙමු. ඔහුද මිනිසෙකි. ඔහුට මොලයක් ඇත. ඔහු ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට උත්සාහ ගෙන ඇත.

අප මෙහි ලබාදෙන ලකුණු විභාග ප්‍රශ්න පත්‍රයට පමණක් සීමා නොවේ. ඔහුට උපහාරයක් ලෙස ලකුණු ප්‍රමාණයක් ලැබිය යුතුයි."

එයට ප්‍රතිචාර දැක්වීමට නොදැන මාගේ දෙනෙත් කඳුලෙන් පිරුණි. මිනිසෙකු ලෙස මාගේ වටිනාකම මා හට වැටහුනි.

බිංදුව ළමුන් තමන් ගැන තබාගෙන ඇති විශ්වාසය නසයි. ඉගෙනීමට ඇති උනන්දුව වනසයි. අද මා මෙම සටහන තබන්නේ අප රටේ පවතින මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට උත්සාහයක් දරන ගුරුවරුන් වෙනුවෙනි.

උපුටා ගැනීමකි.

මා රුසියාවේ හෝ සෝවියට් දේශයේ ඉගෙනුම ලබා නැහැ. එසේ ඉගෙනුම ලැබූ අය මෙය කියවන අය අතර ඉන්නවා. ඔවුන්ට ඔවුන්ගේම පෞද්ගලික අත්දැකීම් ඇති. එහෙත්, මේ ඇගයීම් ක්‍රමය පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයන මා පරිශීලනය කර තිබෙනවා. ඒ වගේම, රුසියානු මිතුරන්ගෙන් වැඩිදුර තොරතුරු අසා දැනගෙන තිබෙනවා.

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ මේ ඇගයීම් ක්‍රමය රුසියන් ක්‍රමයක් මිස "සමාජවාදී" ක්‍රමයක් නොවන බවයි. රුසියාවේ විභාග ඇගයීම් ක්‍රමය ප්‍රචලිත වී තිබෙන්නේ දහනවවන සියවසේ මුල් කාලයේදී. නොවැම්බර් විප්ලවයෙන් පසු මුල් කාලයේදී මේ ක්‍රමය වෙනස් කර වෙනත් ක්‍රමයක් හඳුන්වා දෙන්න උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. ඒ නිසා, මේ ක්‍රමයේ හොඳ හෝ නරක කවර වුවත් එය සමාජවාදයට සෘජුව සම්බන්ධ දෙයක් නෙමෙයි. එහෙත්, වක්‍ර සම්බන්ධයක් තිබෙනවා. මේ වත්පොත් සටහනෙන් පැහැදිලි වන්නේ එම වක්‍ර සම්බන්ධයයි. ඒ වක්‍ර සම්බන්ධය ගැන කතා කරන්න කලින් මේ සටහනේ නැති රුසියන් ඇගයීම් ක්‍රමයේ තවත් සුවිශේෂතා කිහිපයක් ගැන සඳහන් කළ යුතුයි.

ලංකාවේද ප්‍රචලිත බටහිර විභාග ඇගයීම් ක්‍රමයේදී ලිඛිත විභාග වලට වැඩි බරක් දෙනවා. එයට සාපේක්ෂව රුසියානු ක්‍රමයේදී වාචික විභාග වඩා ප්‍රචලිතයි. ඒ වගේම, බටහිර ලිඛිත විභාග වලදී මුළු විෂය නිර්දේශයම පිළිබඳ දැනුම පරීක්ෂාවට ලක් කෙරෙන නමුත් රුසියානු ක්‍රමයේදී බොහෝ විට අහඹු ප්‍රශ්න තුනක් අසා එමගින් දැනුම පරීක්ෂා කරනවා. විභාග ක්‍රම සංසන්දනය කළ යුත්තේ මේ වෙනස්කම්ද සිහියේ තබාගෙනයි.

විභාගයකදී මුළු විෂය නිර්දේශයම පරීක්ෂාවට ලක් කෙරෙන විට විභාග ප්‍රතිඵලය හා දැනුම අතර සහසම්බන්ධය වැඩියි. එහෙත්, අහඹු ලෙස ප්‍රශ්න තුනක් අසා එමගින් දැනුම පරීක්ෂාවට ලක් කරද්දී වැරදීම් වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඉහත කී අහඹු ප්‍රශ්න තුනෙන් දෙකකට නිවැරදිව පිළිතුරු දුන්නොත් රුසියානු විභාගයක් සමත් වූ සේ සැලකෙනවා. ලකුණු 3/5ක් ලැබෙනවා. ප්‍රශ්න තුනටම නිවැරදි පිළිතුරු දුන්නොත් 4/5ක් ලැබෙනවා. අවම වශයෙන් ප්‍රශ්න දෙකකට නිවැරදි පිළිතුරු ලබා නොදුන්නොත් ලැබෙන්නේ ලකුණු 2/5යි. මේ අනුව, 2/5 ලබා ගන්නා සිසුන් අතර ප්‍රශ්න තුනෙන් එකකට පමණක් නිවැරදි පිළිතුරු ලබා දුන් අයත්, එක ප්‍රශ්නයකටවත් නිවැරදි පිළිතුරු ලබා නොදුන් අයත් ඉන්නවා.

ලකුණු 5/5ක් ලබා දෙන්නේ මුල් ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන් අය වෙත තවත් අමතර ප්‍රශ්න යොමු කර ඒ ප්‍රශ්න වලටත් නිවැරදි පිළිතුරු දුන්නොත් පමණයි. ඒ වගේම, 2/5ට වඩා අඩු ලකුණු ලබා දෙන අවස්ථාත්, කලාතුරකින් වුවත්, තිබෙනවා. 1/5 වැනි ලකුණකින් අදහස් කෙරෙන්නේ නීති පිළි නොපැදීම හෝ විනය විරෝධී ක්‍රියාවක්. ප්‍රශ්න කිසිවකට නිවැරදිව පිළිතුරු ලබා නොදීම නිසා ලකුණු ප්‍රමාණය 2/5ට වඩා අඩු වන්නේ නැහැ.

මුළු විෂය නිර්දේශයම පරීක්ෂාවට ලක් කෙරෙන බටහිර ආකෘතියේ විභාගයකින් වෙනස්ව, අහඹු ප්‍රශ්න තුනක් පමණක් අහන විට සැලකිය යුතු දැනුමක් ඇති අයෙකුට වුවත් එම ප්‍රශ්න කිසිවකට පිළිතුරු දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා, 0/5 වෙනුවට 2/5 ලබා දීමේ නිශ්චිත පදනමක් තිබෙනවා. 

අනෙක් අතට මේ සමත්/අසමත් ලකුණ සංකේතයක් පමණයි. කාගේ හෝ ලකුණු ප්‍රමාණය 2/5ක් නම් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක එම ඇගයීම් ක්‍රමය ගැන දන්නා කාට වුනත් රහසක් නෙමෙයි. විභාගයකට මුහුණ දෙන සිසුවෙකුට වැදගත් වන්නේ විභාගය සමත්ද අසමත්ද කියන එක මිසක් ඒ බව දැනුම් දෙන සංකේතය කුමක්ද කියන එක නෙමෙයි. ලැබුනේ 2/5නම් එය අසමත්වීමක් බව අදාළ සිසුවාත් අනෙක් අයත් දන්නවා. වෙනත් රටක විභාග ඇගයීම් ක්‍රම ගැන නොදන්නා රුසියානු සිසුවෙකුට මෙය බිංදුවම තමයි. ඒ නිසා, බිංදුවෙන් ළමුන් තමන් ගැන තබාගෙන ඇති විශ්වාසය නසා ඉගෙනීමට ඇති උනන්දුව වනසනවානම් රුසියානු දෙකෙනුත් ඒ වැඩේම වෙනවා.

ඇමරිකාවේ විභාග වල සාමාන්‍ය සමත් ලකුණ 70 හෝ 73යි. A සාමාර්ථයක් ලබා ගන්නනම් 90ක් හෝ 93ක් ලබා ගත යුතුයි. නමුත්, ලංකාවේද ප්‍රචලිත බ්‍රිතාන්‍ය ක්‍රමයේදී සමත් ලකුණ 40ක් හෝ 50ක් පමණ වෙනවා. ලකුණු 70ක් හෝ 75ක් ලබාගත් විට A සාමාර්ථයක් ලැබිය හැකියි. ඇමරිකානු විභාග ක්‍රමයට පුරුදු වී සිටින බොහෝ දෙනෙක් දකින්නේ ඇමරිකාවේ අසමත් ලකුණක් වන 60%ක් පමණ ලබා බ්‍රිතාන්‍ය ක්‍රමයට සම්මාන සාමාර්ථයක් ලැබිය හැකි නිසා එය ඉතා පහසු බවයි. 

ඇත්තමට වෙන්නේ කිසියම් රටක භාවිතා කරන ඇගයීම් ක්‍රමය අනුව සිසුන් වගේම ඇගයීම් කරන අයත් තමන්ගේ විභාග සම්මත සීරුමාරු කර ගැනීමයි. ඒ නිසා, බොහෝ විට බ්‍රිතාන්‍ය ක්‍රමයට 40% ගැනීමත්, ඇමරිකානු ක්‍රමයට 70% ගැනීමත්, රුසියානු ක්‍රමයට 3/5 ගැනීමත් එක තරම් අමාරු වෙන්න ඉඩ තිබෙනවා. 

රුසියානු විභාග ඇගයීම් ක්‍රමය හා සෝවියට් සමාජවාදය අතර සම්බන්ධයක් නැතත් ඉහත සටහනේ සඳහන් මහාචාර්යවරයා හා සටහන ලියූ පුද්ගලයා විසින් මේ ඇගයීම් ක්‍රමය අර්ථකථනය කරන ආකාරය තුළින් ඔවුන්ගේ මාක්ස්වාදී චින්තනය පැහැදිලි වෙනවා.

දළ වශයෙන් කියනවානම් ඔවුන් සිතන්නේ විභාගයට පිළිතුරු දී ඇති ආකාරය කෙසේ වුවත් විභාගයට මුහුණ දීම දක්වා සිසුවා විසින් දරා ඇති මහන්සිය ඇගයීමට ලක් විය යුතු බවයි. මේ අදහස පදනම් වන්නේ ශ්‍රමයේ වටිනාකම පිළිබඳ මාක්ස්වාදී අදහස මතයි. මාක්ස්වාදය අනුව වටිනාකම් නිර්මාණය වන්නේ යෙදවූ ශ්‍රමයට සමානුපාතිකවයි. ඒ අනුව, එක තරමට මහන්සි වී විභාගයේදී සියලුම ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන් සිසුවාත්, කිසිම ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් ලබා නොදුන් සිසුවාත් සමාන වටිනාකම් නිර්මාණය කර තිබෙනවා.

නොවැම්බර් විප්ලවයෙන් පසුව හඳුන්වා දෙන්න උත්සාහ කර තිබෙන්නේ විභාග නැති, ඇගයීම් නැති අධ්‍යාපන ක්‍රමයක්. එහි පදනම වන්නේත් ඉගෙන ගැනීම යනු ඒ සඳහා වැය කළ ශ්‍රමය මිසක් තමන් උකහා ගත් දෙය නොවන බවයි. සෝවියට් දේශයට වුවත් මාක්ස්වාදී මූලධර්ම මත පදනම් වූ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හැකි වී නැහැ.

ධනවාදයට අනුව යමෙක් මහන්සි වී වැඩ කළ පමණින් වටිනාකම් නිර්මාණය වන්නේ නැහැ. ඒ, ධනවාදයේදී මාක්ස්වාදයේදී මෙන් ශ්‍රමයට නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නැති නිසා. ශ්‍රමයේ සාපේක්ෂ වටිනාකම තීරණය වන්නේ එම ශ්‍රමය යොදවා නිර්මාණය කළ වටිනාකම් මතයි. ඒ අනුව, කොයි තරම් කාලයක් මහන්සි වුනත් ඉගෙන ගත්ත දෙයක් නැත්නම් ඒ ඉගෙන ගැනීමෙන් ඇති වැඩක් නැහැ. අනෙක් අතට විභාගයේදී සියලුම ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු දිය හැකිනම් එය කළේ අවුරුද්ද තිස්සේම බේසම් වල කකුල් ඔබාගෙන පාඩම් කරලද, විභාගයට කලින් දවසේ පැය කීපයක් පාඩම් කරලද කියන එක වැදගත් නැහැ. මීටරෙන් ගොඩ දැම්මත්, මෝටරෙන් ගොඩ දැම්මත් වැදගත් වන්නේ අවසාන ප්‍රතිඵලයයි. 

බටහිර විභාග ඇගයීම් ක්‍රමයේදී කොහොම වුනත්, ධනවාදය තුළදී  අවසානයේදී කිසිම වටිනාකමක් නිර්මාණය කිරීමට දායක වෙලා නැත්නම් කොයි තරම් මහන්සි වුනත් ලැබෙන්නේ බිංදුව පමණයි. සමාජවාදී ක්‍රමයකදී මෙන් පහෙන් දෙකක් ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවානම් ලැබෙන්නේ වටිනාකම් නිර්මාණය කරන අයගේ සහකම්පනය මත පමණයි.

Sunday, September 13, 2020

අපේ අලුත් ජීවිතය

බ්ලොග් එක පැත්තේ ආවේ සති දෙකකටත් පස්සේ. මම හිතන්නේ තිබෙන කාර්ය බහුල තත්ත්වය නොවැම්බර් මැද වන තුරු අවසන් වන එකක් නැහැ. ඒ නිසා, එතෙක් කල් බ්ලොග් එක පණ පිටින් තියා ගන්න ඉඳහිට මේ වගේ යමක් ලියනවා හැර වැඩි දෙයක් කරන්න ලැබෙන එකක් නැහැ. 

පසුගිය වසර පහක පමණ කාලය තුළ වසරකට ලියා තිබෙන සාමාන්‍ය ලිපි ප්‍රමාණය මේ වසරේ දැනටමත් ලියා අවසන් නිසා ඉතිරි මාස කිහිපයේ වැඩිපුර නොලිවුවා කියා අඩුවක් දැනෙන එකක් නැහැ. කියවන්න අවශ්‍ය අයට කියවන්න ලිපි විශාල ප්‍රමාණයක් බ්ලොග් එකේ තිබෙනවා වගේම තවමත් සැලකිය යුතු පිරිසක් දිනපතාම පරණ ලිපි කියවනවා.

සැප්තැම්බර් මාසය කාර්ය බහුල වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේදීත් මෙහි පළ කර තිබෙන්නේ ලිපි තුනක් පමණයි. පෞද්ගලිකව ගත්තහම සැප්තැම්බර් මාසය බොහෝ දේ සැලසුම් කර ගත යුතු අවුරුද්දක ආරම්භය වැනි කාලයක්. මේ අවුරුද්දේ සුවිශේෂී ස්වභාවය නිසා තවත් අමාරුයි.

මේ වෙද්දී ඇමරිකාවේ කෝවිඩ් "දෙවන රැල්ල" මන්දගාමී වෙමින් යන නමුත් තවමත් දවසකට රෝගීන් හතළිස් දහසක් පමණ අලුතෙන් හඳුනා ගැනෙනවා. මරණ දහසකට කිට්ටුව සිදු වෙනවා. මා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් පසුගිය මාර්තු මාසයේ සිට තවමත් ඉන්නේ නිවස ඇතුළේ. මෙය ස්වේච්ඡාවෙන් සිරගත වීමක්. අපේ රැකියා වල ස්වභාවය නිසා අපට මේ අවස්ථාව හිමි වී තිබෙනවා.

පසුගිය මාසයේ ග්‍රීෂ්ම නිවාඩුවෙන් පසුව නැවතත් පාසැල් වාරය ආරම්භ වුනා. පාසැල් වල වගේම සරසවි වලත් බොහෝ විට සිදු වන්නේ තමන්ගේ රුචිකත්වය පරිදි පන්ති කාමරයට පැමිණ හෝ ගෙදර සිට ඉගෙන ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමයි. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ සිසුන් 22,000ක් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ගේ තේරීම් අනුව සිසුන් 7,000ක් මෙම පාසැල් වාරය අවසන් වන තුරු නිවෙස් වල සිට අධ්‍යයන කටයුතු කරන්නට කැමැත්ත පළ කර තිබෙනවා.

ඉතිරි සිසුන් 15,000 පන්ති කාමරයේ සිට ඉගෙන ගන්නවාට ඔවුන්ගේ දෙමවුපියන් කැමතියි. දරුවන් ගෙවල් වල තබා ගැනීම නිසා ඇති වන අමතර ප්‍රශ්නත් මෙයට හේතුවක්. අප නිවසේ සිට රැකියාව කරන නිසා දරුවන්ද නිවසේ සිටීම අපට ප්‍රශ්නයක් නොවූවත්, රැකියා සඳහා නිවෙසින් බැහැර යා යුතු දෙමවුපියන්ට එය ප්‍රශ්නයක්. තමන්ගේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු නිසි සේ සිදුවන බවට වග බලා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඒ වගේම, කොහොමටත් ගෙදරින් එළියට යන නිසා දරුවන් බැහැර ගියා කියා ඔවුන්ගේ අවදානම අමුතුවෙන් වැඩි වෙන්න දෙයකුත් නැහැ. 

පාසැල් සිසුන්ගේ (දෙමවුපියන්ගේ) වගේම සරසවි සිසුන්ගේ රුචිකත්වයන් දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන එක් දෙයක් වන්නේ පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුල් වල, විශේෂයෙන්ම ආසියානු සම්භවයක් ඇති පවුල් වල, ජනප්‍රිය තේරීම නිවසේ සිට අධ්‍යාපනය ලැබීම බවයි. මෙයට හේතු ගණනාවක් තිබෙනවා. 

පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුලකට ඇමරිකාව ඇතුළේ ඥාති සම්බන්ධතා ජාලයක් නැහැ. එසේ තිබියදී, පවුලේ අයෙකුට කෝවිඩ් ආසාදනය වී ඉතිරි අයටද බෝ වුනොත් බලන්න කෙනෙක් නැති කමින් අසරණ වෙනවා. ඥාති සම්බන්ධතා ජාලයක් තිබෙන කෙනෙකුට මේ වගේ අවස්ථාවක උදවු ලබා ගත හැකි සුරක්ෂිතතා දැලක් තිබෙනවා. ඒ නිසා, සංක්‍රමණිකයන්ට බය වෙන්න හේතු වැඩියි. 

ඉන්දියාව, චීනය වැනි ආසියානු රට වලින් ඇමරිකාවට සංක්‍රමණය වී සිටින බොහෝ දෙනෙක් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත ඇමරිකාවට සංක්‍රමණය වී සිටින වෘත්තීය රැකියා කරන අයයි. ඒ අයට බොහෝ විට නිවසේ සිට තමන්ගේ රැකියාව කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා, දරුවන්ද නිවසේ තබා ගැනීමට තිබෙන නැඹුරුව වැඩියි.

අනෙක් අතට මෙවැනි සංක්‍රමණික පවුල් වල දෙමවුපියන් බොහෝ විට ඉලක්ක කරන්නේ තමන්ගේ දරුවන්ටත් උසස් අධ්‍යාපනයක් ලබා දී හොඳ රැකියාවක් ලබා ගැනීමේ ඉඩකඩ වැඩි කරන්නයි. ඒ වගේම ඇමරිකාවේ ඉපදුනු සංක්‍රමණික පවුල් වල දරුවන් අතර පවා ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් උරුම වූ විභාග ඉලක්ක කළ අධ්‍යාපනය කෙරෙහි යම් නැඹුරුවක් තිබෙනවා. ඉලක්කය විභාගය හෝ ලකුණු වූ විට ඉගෙන ගන්නේ කොහොමද කියන එක එතරම් වැදගත් නැහැ.

හැම විටම නොවූවත්, පරම්පරා ගණනක් ඇමරිකාවේ ජීවත් වන සුදු හෝ කළු ඇමරිකානු පවුල් වල සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමවුපියන්ගේ ඉලක්කය අධ්‍යාපනය මිස විභාග හෝ ලකුණුම නෙමෙයි. ඔවුන් බලාපොරොත්තු වන අධ්‍යාපනය පූර්ණ එකක් වන්නේ සිසුන්ට පංති කාමරය තුළ අනෙක් සිසුන් සමඟ ගැටෙන්නට අවස්ථාව ලැබේනම් පමණයි. 

ඇමරිකාව හැම තැනම තත්ත්වය මා දන්නේ නැතත්, අපේ ප්‍රදේශයේ පාසැල් හා සරසවි විවෘත කර තිබෙන්නේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමිනුයි. සිසුන් හැම විටම මුහුණු ආවරණ නිසි පරිදි පැළඳ සිටිය යුතු අතර අඩි හයක පරතරය පවත්වා ගත යුතුයි. මේ කොන්දේසි යටතේ පන්ති කාමරයක ඉඩ තිබෙන්නේ සීමිත සිසුන් පිරිසකට පමණයි. ඒ නිසා, පාසැල් යාමට කැමති සිසුන් සියලු දෙනාටම ඒ අවස්ථාව ලබා දීමේ හැකියාවක් නැහැ.

අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පංති කාමරයේ සිට ඉගෙන ගැනීමට කැමති සිසුන්ට සතියේ දින පහෙන් දෙකක් එසේ පාසැල් යාමට අවස්ථාව ලැබෙනවා. ඉතිරි දින වල නිවසේ සිට ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ විය යුතුයි. වාසගමේ මුල් අකුරු අනුව ගෙදර සිටින දවස් හා පාසැල් යන දවස් තීරණය වෙනවා. 

ගෙදර හතර දෙනෙක් තැන් තැන් වලට වී සාමාන්‍යයෙන් නිවසෙන් පිටත පන්ති කාමරයක හෝ රැකියා ස්ථානයක කරන කටයුතු කිරීමත් පහසු වැඩක් නෙමෙයි. සමහර වෙලාවට එක ගාලගෝට්ටියක්! සංගීතය, සරඹ වගේ විෂයයනුත් තියෙනවනේ!!

(Image: https://www.reddit.com/r/funny/comments/fxgm1p/my_roommates_zoom_meeting_attire/)

Tuesday, May 19, 2020

වැරදුනේ කොතැනද?


සමගි පෙරමුණු ආණ්ඩුවේ 1972-76 පස් අවුරුදු සැලැස්ම ගැන පෙර ලිපියේ කෙටි සඳහනක් තිබෙනවා. ඇතැම් විට මේ පස් අවුරුදු සැලැස්මේ පසුබිම, අරමුණු, ඉලක්ක හා ප්‍රතිඵල ගැන සමාලෝචනයක් කරන්න මෙය සුදුසුම කාලයක්. සැලැස්ම සාර්ථක නොවූ බවට හොඳම සාක්ෂිය 1977දී ජේආර් ලැබූ හයෙන් පහේ මැතිවරණ ජයග්‍රහණයයි. ඒ සමඟම මධ්‍යගත සැලසුමක් මත පදනම් වූ සංවෘත මිශ්‍ර ආර්ථිකයක් පිළිබඳ අදහස නැවත දශක ගණනාවක් යන තුරු හිස එසැවිය නොහැකි ලෙස ලංකාවෙන් ප්‍රතික්ෂේප වුනා. මේ දැවැන්ත ප්‍රතික්ෂේප වීම හේතුවෙන් අවධානයෙන් ගිලිහී ගිය ඇතැම් සාධනීය කරුණුද ඉහත කී පස් අවුරුදු සැලැස්මේ තිබුණා.

බොහෝ දෙනෙක් සිතා සිටින පරිදි 1977දී ලංකාවේ ධනවාදී ආර්ථික ක්‍රමයක් තහවුරු වුනේ නැහැ. ආර්ථිකයේ යම් විවෘත වීමක් සිදු වුනා. රජය විසින් සිදු කළ ඇතැම් කටයුතු පෞද්ගලික අංශය වෙත විතැන් වුනා. සමගි පෙරමුණු යුගයට සාපේක්ෂව මේ වෙනස්කම් ධනවාදයේ දිශාවට සිදු වූ පරිවර්තන ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙත්, මධ්‍යගත සැලසුම්, මිශ්‍ර ආර්ථිකයක් හා ආරක්ෂණවාදී ප්‍රවේශයක් කියන පැකේජ් එකේ බොහෝ කොටස් අද දක්වාම එලෙසම තිබෙනවා. මේ සීමාකාරී තත්ත්වයන් හා ධනවාදය අතර ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති තවමත් දෝලනය වෙමින් තිබෙනවා.

නිදහසින් පසු ලංකාව මේ වන විට සෑහෙන දුරක් පැමිණ තිබෙනවා. රට තවම තිබෙන්නේ නමසිය හතළිස් අටේ කියා කිසිවෙකුට කියන්න බැහැ. එසේ වුවත්, මේ අවුරුදු 72 ඇතුළත රටවල් ගණනාවක් ලංකාව පසුකර ඉදිරියට ගිහින් තිබෙනවා. ඒ කියන්නේ සාපේක්ෂ පදනමක ලංකාව පසුපසට ගිහින් තිබෙනවා. එහෙමනම්, ලංකාවට වැරදුනු මොනවා හෝ තැන් තිබිය යුතුයි. ඒ තැන් මොනවාද?

අතීතයේ සිදු වූ වැරදි අඩුපාඩු දැන් හඳුනා ගත්තා කියා අතීතය වෙනස් කරන්න බැහැ. නමුත්, අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය වෙනස් කර ගත හැකියි. අතීතයේ කළ වැරදි නැවත නැවතත් සිදු කළ යුතු නැහැ.

සංවර්ධනයේ ඉලක්කය මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමයි. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. ආදායම් මට්ටම් ඉහළ ගිය පමණින්ම ජීවන තත්ත්වය උසස් වෙන්නේ නැහැ. ඒ සඳහා තවත් බොහෝ දේ සිදු විය යුතුයි. නමුත්, මේ තවත් බොහෝ දේ බොහෝ විට සිදු වන්නේ ආදායම් මට්ටම ප්‍රමාණවත් ලෙස ඉහළ ගොස් ඇත්නම් පමණයි. ඒ නිසා, පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් මට්ටම යනු ඒ පුද්ගලයින්ගේ හෝ පොදුවේ රටේ ජීවන තත්ත්වය පිළිබඳ සියයට සියයක සහසම්බන්ධයක් නැති වක්‍ර නිර්ණායකයක්ද වෙනවා.

මෙයින් වෙනස්ව පුද්ගලයෙකුගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ඔහුගේ හෝ ඇයගේ ජීවන තත්ත්වය පිළිබඳ සෘජු නිර්ණායකයක් සේ සලකන්න පුළුවන්. ඒ පදනම මත අධ්‍යාපනය හා සෞඛ්‍යය ආදායම් මට්ටමට වඩා වැදගත්. එහෙත්, කරුණු දෙකක් නිසා ආදායම් මට්ටම අතහැර අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැන කතා කරන්න බැහැ. පළමුව, හොඳ අධ්‍යාපන හා සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගන්නනම් හොඳ ආදායම් මට්ටමක් අවශ්‍ය වෙනවා. දෙවනුව, හොඳ අධ්‍යාපන හා සෞඛ්‍ය මට්ටමක් ඇති විට වැඩි ආදායමක් ඉපැයීමේ ශක්‍යතාවයක් ඇති වෙනවා. මේ හේතු දෙක නිසා අධ්‍යාපනය හා සෞඛ්‍යය දියුණු විය යුත්තේ ආදායම් මට්ටම ඉහළ යාමට සමාන්තරවයි. අධ්‍යාපනය හා සෞඛ්‍යය නොසලකන ආදායම් ඉහළ යාමකට හෝ ආදායම් මට්ටම නොසලකා හරින අධ්‍යාපන හා සෞඛ්‍ය සංවර්ධනයකට දිගුකාලීන පැවැත්මක් නැහැ. එය අකාර්යක්ෂමයි.

ලෝකයේ හැම රටක්ම වාගේ කිසියම් තරමකින් අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කරනවා. එසේ කරන්නට හේතු තිබෙනවා.

දෙදෙනෙකු අතර සිදුවන අන්තර්ක්‍රියා බොහොමයක වාසිය හා අවාසිය තිබෙන්නේ ඒ දෙදෙනාටයි. එහෙත්, ඇතැම් විට පැත්තක සිටින තෙවන පාර්ශ්වයකටද බලපෑමක් වෙනවා. උදාහරණයක් විදිහට ඔබ ඔබේ මුදලින් දුම්වැටියක් මිල දී ගෙන උරනවා. එයින් ඔබට දිගුකාලීන සෞඛ්‍ය හානියක් සිදු වෙනවා. ඔබ ඒ බව දන්නවා. හානියේ ප්‍රමාණය ගැන නිසි තක්සේරුවක් ඔබට තිබෙනවා. ඒ බව දැන දැන ඔබ දුම්වැටිය උරනවානම් එය ඔබේ ස්වාධීන නිදහස් තීරණයක්. මට එයට මැදිහත් වෙන්න අයිතියක් නැහැ. එහෙත්, ඔබ පොදු ස්ථානයක වාතයට එකතු කරන සිගරැට් දුම මට ආශ්වාස වෙනවානම් එය මගේ ප්‍රශ්නයක්. ඔබ වත්තේ පුළුස්සන වියලි කොළ ගොඩක දුම මගේ වත්තට එනවානම් එය මගේ ප්‍රශ්නයක්.

මේ ආකාරයෙන් කිසියම් පුද්ගලයෙකු විසින් කරන කටයුත්තකින් පැත්තක සිටින අයෙකුට බලපෑමක් සිදු වන අවස්ථා බාහිරත්ව ලෙස හඳුන්වනවා. මා මෙලෙස පරිවර්තනය කරන්නේ externalities කියන ඉංග්‍රීසි වචනයයි. ඇතැම් විට නිවැරදි සිංහල වචනය වෙනත් එකක් විය හැකියි.

තෙවන පාර්ශ්වයකට බාහිරත්වයක බලපෑම නරක බලපෑමක් වෙන්න පුළුවන් වගේම හොඳ බලපෑමක් වෙන්නත් පුළුවන්. බලපෑම නරක එකක්නම් එය සෘණාත්මක බාහිරත්වයක් (negative externality) ලෙසත්, බලපෑම හොඳ එකක්නම් එය ධනාත්මක බාහිරත්වයක් ලෙසත් (positive externality) ලෙසත් හැඳින්වෙනවා. ඉහත කී දුම්වැටි උදාහරණය සෘණාත්මක බාහිරත්වයක්. ඔබේ තාප්පයේ ඔබේ වියදමින් ඔබ අඳින ආකර්ශනීය චිත්‍රයකින් ධනාත්මක බාහිරත්වයක් ඇති කරවන්න පුළුවන්.

බාහිරත්ව ඇති තත්ත්වයක් යටතේ කිසියම් පුද්ගලයෙකු විසින් අවස්ථාව අනුව ගන්නා හොඳම තීරණය පොදුවේ සමාජයක් ලෙස සැලකූ විට හොඳම තීරණය නොවෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක පොදු සමාජය පෞද්ගලික තීරණයකට බලපෑමක් කිරීම එසේ නොකිරීමට වඩා කාර්යක්ෂමයි. උදාහරණයක් විදිහට පොදු තැනක දුම්පානය කරන කෙනෙකුගෙන් දඩ මුදලක් අය කර ඒ මුදල අක්‍රිය දුම්පානය නිසා රෝගී වන අය වෙනුවෙන් යෙදවීම වඩා කාර්යක්ෂමයි වගේම වඩා සාධාරණයි. ඒ වගේම කෙනෙක් පෞද්ගලික ඉඩමක තිබෙන පාරට පෙනෙන තමන්ගේ තාප්පයේ තමන්ගේ වියදමෙන් අඳින චිත්‍රය නිසා සතුටු වන අයගෙන් ඒ සතුට වෙනුවෙන් මුදලක් අය කර චිත්‍රයේ පිරිවැය දැරූ පුද්ගලයාට දෙන එකේත් වැරැද්දක් නැහැ.

හැබැයි මේ වගේ මැදිහත්වීමක් කළ යුත්තේ ඉතාම පරිස්සමෙන්. මොකද කිසියම් කටයුත්තකින් පුද්ගලයෙකු ලබන සතුට හෝ අසතුට සෘජුව නිරීක්ෂණය කළ නොහැකි නිසා බාහිරත්ව ඇති බව පැහැදිලිව පෙනෙන විටෙක පවා එම බාහිරත්වයේ ප්‍රමාණය හරියටම මැන ගැනීම පහසු නැහැ. නිවැරදි කිරීමක් කාර්යක්ෂම වෙන්නනම් බාහිරත්වයේ ප්‍රමාණය හරියටම මැන ගන්න වෙනවා.

උදාහරණයක් විදිහට පොදු අරමුදල් යොදවා හදන පිට්ටනියක් ගැන හිතමු. දැන් මේ පිට්ටනිය හැදූ පසු ඕනෑම කෙනෙක්ට ගිහින් එහි ක්‍රීඩා කරන්න පුළුවන්. පිට්ටනියක් තිබෙනවානම් එහි ක්‍රීඩා කිරීම සඳහා මුදල් ගෙවන්න කැමති විශාල පිරිසක් ඉන්නවා. ක්‍රීඩා කිරීමේ සතුට ගෙවන මුදලට වඩා වැඩියි. නමුත්, පිට්ටනියක් නැති නිසා කිසිවෙකුට ඒ විකල්පය නැහැ. පිට්ටනියක් තිබුණානම් මුදල් ගෙවා එහි ක්‍රීඩා කිරීමට ඉඩ ඇති කිසිවෙකුට අලුතෙන් පිට්ටනියක් හැදීම වෙනුවෙන් ආයෝජනය කිරීමේ හැකියාවක් නැහැ. ඔය වගේ වෙලාවක පොදු අරමුදල් යොදවා පිට්ටනියක් හදන එක නරක දෙයක් නෙමෙයි. මුලදී සියල්ලන්ටම පාඩුවක් සිදු වුනත් පිට්ටනිය හැදුනු පසු මුදල් නොගෙවා ක්‍රීඩා කරන්න ලැබෙන නිසා ඒ පාඩුව සමනය වෙනවා.

සමහර විට ඔය පිට්ටනිය තමන්ට කවදාවත් යන්න නොලැබෙන පිට්ටනියක් වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. එහි ක්‍රීඩා කරන කණ්ඩායම් දිහා රූපවාහිනියෙන් හෝ බලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා, හැමෝටම යන්න නොලැබෙන පිට්ටනියක්, පාරක් හෝ ස්මාරකයක් වෙනුවෙන් වුවත් පොදු මුදල් යෙදෙවීම වරදක් කියා එකවරම කියන්න බැහැ. ක්ෂණික ගිලන් රථ සේවයක් වගේ දෙයක් වෙනුවෙන් යොදවන මහජන මුදල් වලින් ඕනෑම කෙනෙකුට කොයි වෙලාවක හරි වාසියක් වෙන්න පුළුවන්.

හැබැයි මේ වගේ කටයුත්තක් වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම සාධාරණ හා කාර්යක්ෂම වන සීමාවක් තිබෙනවා. අපි හිතමු ඉකොනොමැට්ටා බ්ලොග් එකේ පස් වන සංවත්සරය සැමරීම සඳහා මහජන මුදල් යොදවා ගාලු මුවදොර පිටියේ ස්මාරකයක් හැදුවා කියා. ඕක දකින සමහර අයට සතුටක් ඇති වෙයි. තවත් සමහර අයට අසතුටක් ඇති වෙයි. අපි හිතමු වැඩි දෙනෙකුට ඇති වෙන්නේ සතුටක් කියලා. ඔබට මේ ස්මාරකය එහි තිබීමෙන් සතුටක් ඇති වෙනවානම් ඒ සතුට වෙනුවෙන් ඔබ වැය කරන්න කැමති නිශ්චිත උපරිම මුදලක්ද තිබෙනවා. ස්මාරකය නිසා රටේ සියල්ලන්ටම ලැබෙන සතුට මුදලින් ඇස්තමේන්තු කිරීමෙන් පසුව, ඒ වෙනුවෙන් වැය කළ මහජන මුදල් බදු ලෙස අය කර ගැනීමේදී ඔවුන්ට අහිමි වන සතුට ඉක්මවනවානම් මේ ස්මාරකය හැදීම මහජන යහපත සඳහා හේතු වෙනවා. ඒ නිසා එය කාර්යක්ෂමයි. එසේ නොවන්නේනම් එය මහජන මුදල් නාස්ති කිරීමක්.

අධ්‍යපනය පොදු අරමුදල් යොදවා සුබසාධනය කිරීමේ ආර්ථික විද්‍යා පදනම වන්නේත් එයින් සැලසෙන පෞද්ගලික යහපතට අමතරව පොදු යහපතක්ද සැලසෙනවා කියන එකයි. ඔබේ අධ්‍යාපන මට්ටම ඉහළ යද්දී ඔබේ ආදායම් ලැබීමේ හැකියාව ඉහළ යනවා. ඒ හරහා හා වෙනත් ආකාර වලින් ඔබට යහපතක් සැලසෙනවා. එයට අමතරව ඔබ දැනුම් තේරුම් ඇති අයෙකුව සිටීමෙන් ඔබ අවට සිටින අනෙකුත් අයටද යහපතක් සැලසෙනවා. ඔබට අකුරු කියවිය හැකිනම් එසේ කළ නොහැකි අයෙකුට පාරක් තොටක් හොයා ගන්න උදවු කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. ඔබ විදේශ භාෂාවක් ඉගෙනගෙන ඇත්නම් විදේශ සංචාරකයෙකුට වුවත් ඔබෙන් පාරක් තොටක් අහගන්න පුළුවන්. විශේෂයෙන්ම සාමූහික නිෂ්පාදන කටයුත්කදී සියළු දෙනාම එක සේ දැනුවත් වූ විට 2 + 2 = 5 තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.

අධ්‍යාපනය වෙනුවෙන් යමෙක් කළ යුතු ආයෝජනය තනිකරම පෞද්ගලික ආයෝජනයක්නම් ඔබ ආයෝජනය කරන්නේ ඔබට එයින් අනාගතයේදී ලැබෙන පෞද්ගලික ප්‍රතිලාභ දෙස බලාගෙනයි. ලැබෙන අනාගත වාසි අද කරන ආයෝජනයට වඩා වැඩිනම් ඔබ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරනවා. එසේ නැත්නම් නැහැ. ඔබ ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් අද වැය කරන මුදල් නිසා පැත්තක ඉන්න වෙනත් අයටද වාසි ලැබෙනවා කියන කරුණට මෙහිදී ඔබේ අවධානය යොමු වන්නේ නැහැ. වෙනත් අයට වාසි ලැබෙන්න ඔබ ඔබේ මුදල් වැය කළ යුත්තේ ඇයි?

අපි හිතමු ඔබ මේ ආකාරයට නොසිතා අධ්‍යාපනය වෙනුවෙන් තරමක් වැඩි ආයෝජනයක් කළා කියා. මේ වැඩෙන් ඔබට අනාගතයේදී සිදු වන්නේ අවාසියක්. නමුත්, රටේ හැම කෙනෙක්ම ඔබ විදිහටම සිතා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කළොත්? දැන් ඒ අනිත් අය විසින් සිදු කළ අමතර ආයෝජන වල වාසිය ඔබටත් එනවා. ඒ නිසා, අවසානයේදී ඔබට ශුද්ධ ලෙස වාසියක් මිසක් අවාසියක් වෙලා නැහැ. හැබැයි ඔය වාසිය ඔය විදිහට ලැබෙන්නේ හැමෝම අධ්‍යාපනය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කළොත් පමණයි. එසේ නැත්නම් ඔබට වෙන්නේ අවාසියක්. අනිත් අය ගැන ඔබට සහතිකයක් නැති නිසා ඔබ වැඩේට අත ගහන්නේ නැහැ. අනිත් අය හිතන්නෙත් ඒ විදිහටමයි.

අධ්‍යාපන ආයෝජන සිදුවන්නේ තනිකරම පෞද්ගලික තීරණ මතනම් එම ආයෝජන සිදු වන්නේ ප්‍රසස්ථම මට්ටමට වඩා තරමක් අඩුවෙන්. අධ්‍යාපනය වෙනුවෙන් කිසියම් පොදු ආයෝජනයක් කිරීම මේ ප්‍රශ්නයට විසඳුමක්. නමුත්, එය ප්‍රසස්ථ වන නිශ්චිත සීමාවක් තිබෙනවා. එම මට්ටම ඉක්මවා ගියහොත් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරන පොදු ආයෝජන වලින් එම ආයෝජන වලට සරිලන වාසියක් ලැබෙන්නේ නැහැ.

ලංකාව නිදහස ලබන කාලයේදී එසේ නිදහස ලැබූ වෙනත් රටවල වගේම ලංකාවේද අධිරාජ්‍ය විරෝධය උපරිම මට්ටමක තිබීම පහසුවෙන් තේරුම් ගත හැකි කරුණක්. ඒ කාලයේදී සමාජවාදී රටවල් අධිරාජ්‍ය විරෝධය හා ජාතීන්ගේ නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන්ද පෙනී සිටි නිසා ලංකාව වැනි රටවල අධිරාජ්‍ය විරෝධී හා ජාතිකවාදී අදහස් ව්‍යාප්ත වීමට සමාන්තරව සමාජවාදී අදහස්ද ව්‍යාප්ත වුනා. අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම හරහා මානව සංවර්ධනයට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න නිදහස් ලංකාව යොමු වීම කෙරෙහි මේ සමාජවාදී අදහස් වලින්ද සැලකිය යුතු බලපෑමක් සිදු වෙන්න ඇති.

ලංකාව දිගින් දිගටම වගේ මානව සංවර්ධනය අතින් සමාන ආදායම් මට්ටමක සිටි වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටියා. එයට අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම විශාල පිටිවහලක් වී ඇති බව කිසිදු සැකයක් නැති කරුණක්. එහෙත්, එයින් අදහස් වන්නේ මේ තත්ත්වය පැවතිය හැකිව තිබුණු හොඳම තත්ත්වය බව නෙමෙයි.

ඕනෑම දෙයක නියම මිලක් තිබෙනවා. ඒ මිලට වඩා මිලක් ගෙවන්න වෙනවානම් කොයි තරම් වටිනා දෙයක් වුවත් මිල දී ගන්න එකේ තේරුමක් නැහැ. අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම වෙනුවෙන් ගෙවන මිලත් එවැන්නක්. මානව සංවර්ධනය වෙනුවෙන් ආයෝජන ඉහළ දමද්දී භෞතික සංවර්ධනය වෙනුවෙන් සිදු කළ හැකි ආයෝජන සීමා වෙනවා. ඒ නිසා, මේ දෙක අතර නිසි සමතුලිතතාවයක් පවත්වාගත යුතුයි. මානව සංවර්ධනය වෙනුවෙන් අඩුවෙන් ආයෝජනය කිරීම වගේම වැඩියෙන් ආයෝජනය කිරීමත් දිගුකාලීනව හානිකරයි.

මානව සංවර්ධනය වෙනුවෙන් නිසි පමණ ආයෝජනය නොකර භෞතික සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කළ විට දිගුකාලීනව භෞතික සම්පත් වැඩි වුනත්, ඒ භෞතික සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි මානව සම්පත් ප්‍රමාණවත් තරම් නැති නිසා නිෂ්පාදිතය අඩු වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස භෞතික සම්පත් සංචිත තිබෙන මට්ටමේ පවත්වා ගැනීම අසීරු වෙන්න පටන් ගන්නවා.

මෙහි අනිත් පැත්තත් එහෙමයි. භෞතික සංවර්ධනය වෙනුවෙන් නිසි පමණ ආයෝජන සිදු නොකර මානව සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කළ විට දිගුකාලීනව මානව සම්පත් සංචිත වැඩි වුනත්, ඒ වැඩි වූ මානව සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට අවශ්‍ය භෞතික සම්පත් හිඟ නිසා නිෂ්පාදිතය අඩු වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස මානව සම්පත් සංචිත තිබෙන මට්ටමේ පවත්වා ගැනීම අසීරු වෙන්න පටන් ගන්නවා. ලංකාවේ ආර්ථිකය අකාර්යක්ෂම වෙන්න මේ දෙවන හේතුව බොහෝ දුරට දායක වී තිබෙනවා.

සැබෑවක්ද ප්‍රබන්ධයක්ද කියා මා හරියටම නොදන්නා ජනප්‍රිය කතාවකට අනුව ගහකට යවා ගන්නවත් ගමක කොල්ලෙක් නැති වෙයි කියන පදනමින් ලංකාවේ ඇතැම් දේශපාලනඥයින් නිදහස් අධ්‍යාපනය සේ හඳුන්වන, සියල්ලන්ට පොදුවේ ලැබෙන සුබසාධිත අධ්‍යාපනයට එරෙහි වී තිබෙනවා. මේ කතාව මොන අදහසකින් කියපු එකක් වුනත් එහි ආර්ථික විද්‍යා අරුතක් තිබෙනවා. රටට අවශ්‍ය වන්නේ පොල් කඩන්න දන්න මිනිස්සුනම් රටේ සියල්ලන්ටම උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙන එකේ තේරුමක් නැහැ. උපාධි මට්ටමේ අධ්‍යාපනයකින් වැඩක් වෙන්නනම් මානව සංවර්ධනයට සමාන්තර භෞතික සංවර්ධනයක්ද සිදු විය යුතුයි.

ඕනෑවට වඩා කලින් මානව සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කරමින් සුබසාධිත ආර්ථිකයක් පවත්වා ගැනීම (premature welfarism) ලංකාවේ අනාගත සංවර්ධනයට හානිකර වී ඇති බව සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් කිහිප දෙනෙකු විසින්ම පෙන්වා දී තිබෙන කරුණක්. මෙය දැන් සිදු වී අවසන් නිසා ඒ හානිය ආපසු හරවන්න බැහැ. ඒ නිසා දැන් කළයුත්තේ පවතින තත්ත්වය වාසියට හරවා ගන්න එකයි.

අවසාන ප්‍රතිඵලය කවරක් වුවත් සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්ම ඉහත අඩුපාඩුව නිවැරදිව හඳුනාගෙන විසඳුම් සෙවීම සඳහා දැරූ අවංක උත්සාහයක්. විසඳුම් සෙවූ ක්‍රමවේදයේ වරදින් හා ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිසා වසර පහ අවසානයේ රටේ ආර්ථිකය කබලෙන් ලිපට වැට්ටවීම හැර වෙනත් දෙයක් සිදු නොකළත්, මේ සැලසුමේ ඉලක්කය වුනේ රටේ මානව සම්පත් සංවර්ධනයට ගැලපෙන පරිදි භෞතික සම්පත් සංචිත වැඩි කර ගැනීම හා එයට සමාන්තරව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි.

සමගි පෙරමුණු උපක්‍රමය අසාර්ථක වීමෙන් පසුව විදේශ ණය වලින් භෞතික සම්පත් හිඟය පුරවා ගැනීමේ විකල්පය වෙත ලංකාව මාරු වුනා. අද දක්වා වසර 43ක් ලංකාව විසින් මේ උපාය මාර්ගය අනුගමනය කරමින් සිටිනවා. එහෙත් මේ උපාය මාර්ගයේද පැහැදිලි නෛසර්ගික අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු කාලයක් තිස්සේ සමුච්ඡය වී දැන් ලංකාව නැවතත් මේ ක්‍රමයට තවත් ඉදිරියට යා නොහැකි සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා.

(Image: https://www.agefotostock.com/age/en/Stock-Images/Rights-Managed/GBP-CPA0002087)

Saturday, January 4, 2020

කිම බැදිවල යන්නේ?


පෙර ලිපියේ ලියූ පරිදි, සාමාන්‍ය පෙනීම ලෙස සැලකෙන්නේ 20/20 හෙවත් 6/6 පෙනීමයි. එහෙත්, පෙනීම මේ මට්ටමට නැති සියළු දෙනාවම දෘශ්‍යාබාධිත පුද්ගලයින් සේ සැලකෙන්නේ නැහැ. 6/12 මට්ටම ඉක්මවන පෙනීමක් ඇත්නම් එය සාමාන්‍ය පෙනීමක් ලෙස සැලකෙනවා. එහෙත්, පෙනීම 6/12 මට්ටමට වඩා අඩුනම්, එනම් සාමාන්‍ය පුද්ගලයෙකුට මීටර 12ක් ඈත සිට දැකිය හැකි දෙයක් මීටර 6ක දුරකදීවත් නොපෙනේනම් එය ඇස් පෙනීමේ දුර්වලතාවයක් ලෙස සැලකෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, අවම වශයෙන් බිලියන 2.2ක පිරිසක්, එනම් ලෝක ජනගහණයෙන් 28% ඉක්මවන ප්‍රතිශතයක් කිසියම් හෝ ඇස් පෙනීමේ දුර්වලතාවයකින් පෙළෙනවා. මෙයින් බොහෝ දෙනකු වයස අවුරුදු පණහ ඉක්මවූ අයයි. මේ අයගෙන් බිලියනයක පමණ පිරිසක් ඒ තත්ත්වයට පත් වීම වලක්වා ගත හැකිව තිබුණු බව ඇස්තමේන්තු කර තිබෙනවා.

ජාත්‍යන්තර රෝගාබාධ වර්ගීකරණය අනුව දුර පෙනීමේ දුර්වලතාවය මත පුද්ගලයින් වර්ග කරන්නේ පහත ආකාරයටයි.

6/12 සිට 6/18 දක්වා - සුළු දෘශ්‍යාබාධිත තත්ත්වයක්
6/18 සිට 6/60 දක්වා - මධ්‍යස්ථ දෘශ්‍යාබාධිත තත්ත්වයක්
6/60 සිට 3/60 දක්වා - දරුණු දෘශ්‍යාබාධිත තත්ත්වයක්
3/60ට අඩු- අන්ධ

දුර පෙනීම ඇමරිකානු ක්‍රමයට 20/200 මට්ටමට එහෙමත් නැත්නම් මෙට්‍රික් ක්‍රමයට 6/60 මට්ටමට වඩා අඩු පුද්ගලයින් ඇමරිකන් එක්සත් ජනපද නීතිය අනුව අන්ධ පුද්ගලයින් සේ අර්ථ දැක්වෙනවා. මෙසේ මනින්නේ උපැස් හෝ වෙනත් දෘශ්‍යධාර පැළඳීමෙන්ද පසුව වඩා හොඳින් පෙනෙන ඇසේ පෙනීමයි. ඇමරිකානුවන්ගෙන් මිලියන 1.1ක පමණ පිරිසක් නීත්‍යානුකූලව අන්ධ අයයි. ඒ අයට අන්ධ පුද්ගලයින්ට ලැබෙන විශේෂ පහසුකම් හා වරප්‍රසාද ලබා ගැනීමේ හිමිකම ලැබෙනවා. එහෙත්, ඔවුන් අතරෙන් වෛද්‍යමය ලෙස පූර්ණ අන්ධ සේ සැලකිය හැක්කේ 15%ක පමණ පිරිසක් පමණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2010 ඇස්තමේන්තු අනුව ඒ වෙද්දී ලෝකයේ අන්ධ ජනගහණය මිලියන 39ක්. ලංකාවේ මෑතකාලීන සමීක්ෂණයකට අනුව, රටේ ජනගහණයෙන් තුනෙන් එකක් පමණ කිසියම් හෝ දෘශ්‍යාබාධිත තත්ත්වයකින් පෙළෙනවා. මේ උපැස් හෝ වෙනත් දෘශ්‍යධාර පැළඳීමෙන්ද පසු තත්ත්වයයි.

6/12ට වැඩි (සාමාන්‍ය පෙනීම) - 67.5%
6/12 සිට 6/18 දක්වා (සුළු දෘශ්‍යාබාධිත තත්ත්වයක්) - 13.6%
6/18 සිට 6/60 දක්වා (මධ්‍යස්ථ දෘශ්‍යාබාධිත තත්ත්වයක්) - 15.4%
6/60 සිට 3/60 දක්වා (දරුණු දෘශ්‍යාබාධිත තත්ත්වයක්) - 1.6%
3/60ට අඩු (අන්ධ) - 1.7%

රටේ එක් එක් ප්‍රදේශ වල ජනගහණයේ අන්ධ ප්‍රතිශතය සමාන නැහැ. බස්නාහිර, දකුණු හා සබරගමු පළාත් වල තත්ත්වයට  සාපේක්ෂව ඌව, වයඹ හා නැගෙනහිර පළාත් වල අන්ධ ප්‍රතිශතය දෙගුණයකටත් වඩා වැඩියි. ග්‍රාමීය, අඩුආදායම්ලාභී, අඩු අධ්‍යාපනයක් ඇති අය හා කාන්තාවන් අතර අන්ධ හා දෘශ්‍යාබාධී තත්ත්වයන් විශාල ලෙස සංකේන්ද්‍රනය වී තිබීමෙන් පෙනෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ සමාජයේ එවැනි ප්‍රතිලාභ අවශ්‍යම කොටස් වෙත සමානුපාතිකව බෙදී නොයන බවයි. වළක්වාගත හැකි තත්ත්වයන් යටතේ අන්ධ හෝ දරුණු දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්ව සිටින අයගෙන් තුනෙන් දෙකක් පමණම සඳහන් කර තිබෙන්නේ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඔවුන්ට මිල අධික කාර්යයක් වූ බවයි.

මග හොඳට පෙනේනම්
යන්ට දෑසත් පෙනේනම්
කිම බැදිවල යන්නේ
මං මුලා වූ එවුන් සේ

ඔහොම කියන්නේ මග හොඳට පේන අය ගැනයි. දෑස හොඳින් පෙනෙන ඇතැම් අයත් බැදි වල ගියත්, යන්ට දෑස නොපෙනෙන අයටත් මං මුලා වූ එවුන් සේ බැදි වල නොගොස් පාර දිගේම යන්න තාක්ෂනය විසින් ඉඩ සලසනවා. රටක සුළුතරයක් වන දෘශ්‍යාබාධිත ජනගහණයටත් අනෙක් අයගේ උදවු නැතිව ස්ව-උත්සාහයෙන් පාර දිගේ යන්න පහසු කරමින් පාරවල් හොඳින් එළි පෙහෙළි කිරීම ඇස් පෙනෙන බහුතරයකගේ යුතුකමක් හා වගකීමක්.

බටහිර රටවල පොදු ස්ථාන වල ඇති නාම පුවරු ආදියේ ඇති දෑ බ්‍රේල් අකුරින්ද ලියා තිබීම දෘශ්‍යාබාධිත පිරිස් වලට විශාල පහසුවක්. ලංකාවේද මෙසේ කළ හැකි වුවත් දෘශ්‍යාබාධිත පිරිස් වලට එහි වාසිය ලැබෙන්නේ ඔවුන්ට බ්‍රේල් අකුරු කියැවීමට හැකිනම් පමණයි. ඇතැම් මූලාශ්‍ර අනුව බ්‍රේල් අකුරු කියැවිය හැක්කේ ලංකාවේ දෘශ්‍යාබාධිත ජනගහණයෙන් 15%කට පමණයි.

අද (ජනවාරි 4) ලෝක බ්‍රේල් දිනයයි.

(Image: https://www.pharmabraille.com/wp-content/uploads/2014/11/World-Braille-Usage-Third-Edition-1.pdf)

Thursday, October 31, 2019

පෑඩ් එකේ වැදී නිකම්ම ලැබුණු බවුන්ඩරිය


සමාජ ආර්ථික තත්ත්වය අනුව පහළින් සිටින ජන කණ්ඩායම් වෙනුවෙන් ආධාර ලෙස ලබා දීම පිණිස භාණ්ඩ එකතු කිරීම (supply drives) ඇමරිකාවේ සුලභ දෙයක්. පාසැල්, කාර්යාල, සරසවි, සුපිරි වෙළඳසැල් වැනි බොහෝ තැන් වල මේ වැඩේ නිතර කෙරෙනවා. පාසැල්, කාර්යාල වගේ තැන් වල මේ වගේ ආධාර එකතු කිරීමක් තිබෙන දවසක ඒ ගැන කලින් දැනුම් දී නියමිත දිනයේ විවිධ අය රැගෙන එන බඩු දමන්න ලොකු පෙට්ටියක් තැබීම සාමාන්‍ය ක්‍රමයයි. සුපිරි වෙළඳසැලකදීනම් අපට මේ ආකාරයට කිසියම් ජන කණ්ඩායමකට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවේ (needs list) ඇති දෙයක් මිල දී ගෙන එය මුදල් ගෙවීමේ කවුන්ටරයටම ආපසු දුන් විට අදාළ භාණ්ඩය කවුන්ටරය අසල තිබෙන පෙට්ටියකට දමනවා.

පසුගිය සතියේත් මෙවැනි භාණ්ඩ එකතු කිරීමක් ගැන විද්‍යුත් ලිපියක් ලැබුණා. එහි තරමක විශේෂත්වයක් තිබුණා. විද්‍යුත් ලිපිය එවා තිබුණේ සමාජ විද්‍යා මහාචාර්යවරියක් විසින්. ඇය මේ සෙමෙස්ටරයේ ප්‍රථම උපාධිය හදාරන සිසුන්ට "ඒඩ්ස් සහ සමාජය" නම් පාඨමාලාවක් උගන්වනවා. ඇමරිකාවේ සරසවි වල පාඨමාලා වල විෂය නිර්දේශ සෑම වසරකම අලුත් වෙනවා වගේම උගන්වන විෂයනුත් අලුත් වෙනවා.

කෘතිම බුද්ධිය වැනි අලුත් දේවල් එකතු කරමින් රටේ අවශ්‍යතා අනුව වෙනස් වෙන්නේ තාක්ෂණ විෂයයන් පමණක් නෙමෙයි. සමාජ විද්‍යා විෂයනුත් රටේ අවශ්‍යතා අනුව අලුත් වෙනවා. ඒ නිසා, උපාධියක් හදාරන කෙනෙකුට රස්සාවක් හොයා ගන්න පිකටිං කරන්න අවශ්‍ය නැහැ. උසස් අධ්‍යාපනය වෙනුවෙන් අතින් මුදල් ගෙවිය යුතු නිසා කරන ආයෝජනයට ප්‍රතිඵලයක් ලැබෙන බව තහවුරු නොවන පාඨමාලා වලට තිබෙන ඉල්ලුම ටිකෙන් ටික නැති වෙලා එවැනි පාඨමාලා අහෝසි වෙලා යනවා. ඒ වෙනුවට අලුත් පාඨමාලා එනවා.

ඔය විදිහට ලංකාවේ සරසවි වල සමාජ විද්‍යා පීඨ වල ඉගැන්විය හැකි "මැද පෙරදිග රැකියා වල නිරත කාන්තාවන්ගේ පවුල් වල සමාජ ප්‍රශ්න", "යුද්ධයට සහභාගී වී ආපසු ආ සෙබළුන් හා සමාජය", "අන්තර්-වාර්ගික ආතතීන් හා සමාජය" වගේ ඕනෑ තරම් අලුත් විෂයයන් ගැන හිතන්න පුළුවන්. ඒ වගේ අලුත් විෂයයන් ලංකාවේ සරසවි වල උගන්වනවාද නැද්ද කියා මම දන්නේ නැහැ. ඇමරිකාවේනම් එසේ වෙනවා. ඔය "ඒඩ්ස් සහ සමාජය" පාඨමාලාව එක උදාහරණයක්.

දැන් මේ පාඨමාලාව හදාරන සිසුන් විසින් එය සමත් වෙන්න කළ යුතු දේවල් අතර විභාග වලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගණනාවක් තියෙනවා. සහභාගිත්ව පරීක්ෂණයක් කරමින් අවම පැය ගණනක් ඒඩ්ස් රෝගීන් බහුල ප්‍රජාවන් සමග ගත කළ යුතුයි. ඒ වගේම, එච්අයිවී ආසාදනය වීමේ අවදානම වැඩිම ජන කොටස් වෙනුවෙන් නිශ්චිත අවම පැය ගණනක් ස්වේච්ඡාවෙන් සේවය කළ කළ යුතුයි. ඔවුන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය දේ එකතු කර බෙදා දීමත් මේ පාඨමාලාවේම කොටසක්. මා මුලින් කී විද්‍යුත් ලිපිය ලැබුණේත් මෙවැනි ආධාර එකතුවක් හා අදාළවයි.

අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවේ ඉහළින්ම තිබුණේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා. සබන්, ෂැම්පු, දත්බෙහෙත්, දත් බුරුසු ආදී භාණ්ඩ ගණනාවක් පහළින් තිබුණා. අදාළ දවසේ මේ වෙනුවෙන් තබා තිබුණු පෙට්ටියට ඔය දේවල් ගොඩක් එකතු වී තිබුණා. ගොඩක් අය පැකිලීමක් නැතුව සනීපාරක්ෂක තුවා ගෙනත් පෙට්ටියට දැම්මා.

මේ වටෙන් ගොඩෙන් එන්නේ සජිත්ගේ සනීපාරක්ෂක තුවා කතාවට බව කියවන අයට නොතේරෙන්න හේතුවක් නැහැනේ. මේ ගැන අජිත් පැරකුම්, රසික, අජිත් ධර්මා වගේ තවත් ගොඩක් අයත් ලියා තිබුණා. සජිත් ඔය කතාව කිවුවේ කොයි තරම් සීරියස් විදිහටද කියා මම දන්නේ නැහැ. ඒ වගේම, සජිත් යම් විදිහකින් දිනුවොත් ඔය වැඩේ කරයිද කියන්නත් මම දන්නේ නැහැ. කොහොම වුනත් මේ කතාව නිසා දැන් සජිත්ට ලොකු ගැම්මක් ඇවිත් තිබෙනවා. බෝලෙට හරියට පාරක් ගහගන්න බැලුව දඟල දඟල හිටපු මනුස්සයගෙ පෑඩ් එකේ වැදිලා බවුන්ඩරියක් ගියාම කොහොමද ආතල් එක?

ඔසප් දරිද්‍රතාවය කියන එක දැන් ලෝකය පුරාම කතාබහට ලක්වන කරුණක්. මේ ප්‍රශ්නය තුන්වන ලෝකයේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. සංවර්ධිත රටවල් බොහොමයක කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. මේ සම්බන්ධව අවධානය යොමු කිරීම සඳහා පසුගිය 19 වෙනිදා පළමු වරට ඇමරිකාවේ ජාතික ඔසප් දිනයකුත් පැවැත් වුනා. වෙන මොනවා නැතත් සජිත් නිසා මේ ප්‍රශ්නය ගැන කතාබහක් ඇති වීමම ලොකු දෙයක්.

මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වය වුනේ වැඩි සද්දයක් නැති වීමයි. එක පැත්තකින් එයට හේතු වී තිබෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමයි. ලෝකයේ ස්වාධීන මිනිස්සු හෝ ස්වාධීන කොමිසම් නැහැ කියා කාට හෝ තර්ක කරන්න පුළුවන්. ඒ තර්ක කොහොම වුනත්, මැතිවරණය පැවැත්වෙන ආකාරය සෑහෙන තරමකින් නියාමනය කරන්න මැතිවරණ කොමිසම සමත් වී සිටින බව කාට වුනත් පිළිගන්න වෙනවා.

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සාපේක්ෂව එතරම් සක්‍රිය නැති වීමට එකම හේතුව ස්වාධීන මැතිවරණ කොමිසම කියා මා හිතන්නේ නැහැ. මෙහි ඊට වඩා දෙයක් තිබෙනවා. බොහෝ දෙනෙක් නිරීක්ෂණය කර තිබෙන ආකාරයට ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයෙක් වන ගෝඨාභය රාජපක්ෂ වැඩි සද්දයක් නැහැ. ඇතැම් අය හිතන්නේ එයට හේතුව ඔහුට ටෙලිප්‍රොම්ටරයක් නැතිව කතා කරන්න බැරිකම කියලයි. එයත් එක් හේතුවක් වෙන්න පුළුවන්. නමුත්, එකම හේතුවනම් නෙමෙයි. මේ සාපේක්ෂ නිහඬතාවයට, මම හිතන හැටියට, ප්‍රධාන හේතුව මේ වන විට ලංකාවේ ඡන්දදායකයින් සිටින තැනයි.

හැත්තෑ හතේ ඉඳන් අවුරුදු දාහතක් බලයේ සිටි එජාප ආණ්ඩුව පරාජය කරලා මිනිස්සු චන්ද්‍රිකාව පත් කරගත්තේ ඒ වන විට එජාපය එපාවටම එපා වෙලා හිටපු නිසයි. එයින් පස්සේ එජාපය කවදාවත් කලින් තිබුණු එජාපය වුනේ නැහැ. 2015දී මිනිස්සු එජාපය ප්‍රමුඛ සන්ධානයට ඡන්දය දුන්නේ රාජපක්ෂලා පරාජය කරන්න මිසක් එජාපය නැවතත් ආකර්ශනීය වූ නිසා නෙමෙයි. 2015දී වුනෙත් ඔය වගේම දෙයක්. සැලකිය යුතු පිරිසකට රාජපක්ෂලා එපාවටම එපා වුනා. ඒ එපා වුනු රාජපක්ෂලාව ඒ පිරිසට තවමත් නැවත ආකර්ශනීය වෙලා නැහැ. නමුත්, රාජපක්ෂලා වෙනුවට තෝරාගත් එජාපයත් ඒ තරමටම හෝ වැඩිපුර එපා වෙලා.

වත්පොතේ කෙනෙක් පළ කර තිබුණු අදහසක් වුනේ ලංකාවේ මිනිස්සුන්ට කළ හොඳ ඉක්මනින් අමතක වන නමුත් කළ නරක ලේසියෙන් අමතක වෙන්නේ නෑ කියන එකයි. මේ හේතුව නිසා එජාප හා රාජපක්ෂලා දෙගොල්ලන්ම එපා වීමේ වාසිය ජවිපෙට ලොකුවට ලැබෙන්නෙත් නැහැ. දැන් වෙනස් වී හිටියත් ජවිපෙ අපකීර්තිමත් ඉතිහාසයත් මිනිස්සුන්ට තවම මතකයි. ඒ නිසා, මේ පාර ගොඩක් දෙනෙක් ඡන්දය දෙන්නේ තමන් අකැමැතිම පුද්ගලයාව පරද්දන්න මිසක් කැමැතිම පුද්ගලයාව දිනවන්න නෙමෙයි. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵලය තීරණය කරන පාවෙන ඡන්දදායක පිරිස. සාපේක්ෂ නිහඬතාවයට හේතුව ඔන්න ඕකයි.

ගෝඨාභය රාජපක්ෂ කතා කරන තරමට ඔහුව වැඩි අවධානයට ලක් වෙනවා. එවිට ඔහුගේ හොඳට වඩා මතක් වෙන්නේ අඩුපාඩුයි. ඒ නිසා, ඔහු කතා කරන තරමට වාසිය සජිත්ටයි. ඕකේ අනිත් පැත්තත් ඔහොමමයි. සජිත් කතා කරන තරමට ඡන්ද වැඩිවෙන්නේ ගෝඨාභයටයි. ඒ නිසා, මේ වෙලාවේ ප්‍රතිවාදී අපේක්ෂකයාට මතු වෙන්න දී නිහඬව සිටීම තමයි සජිත්ට වගේම ගෝඨාභයටත් වාසි. දෙන්නම වේගවත් ප්‍රහාර එල්ල කරන්න ගියොත් වෙන්නේ දෙන්නම අවුට් වෙලා ජවිපෙ පැත්තට වාසිය කැරකෙන එකයි.

මෙච්චර දවස් වැඩිපුර කතා කළේ සජිත්. ගෝඨාභයගෙන් වැඩි සද්දයක් ඇහුණේ නැහැ. සජිත් කතා කරන තරමට ඡන්ද වැඩි වුනේ ගෝඨාභයට. සජිත් තමන්ට ඡන්ද එකතු කරන හැටි ගෝඨාභය පැත්තකට වෙලා බලා හිටියා. දැන් පෑඩ් කතාවෙන් පස්සේ තත්ත්වය ටිකක් වෙනස් වෙලා. මේ කතාව අල්ලාගෙන කරපු විවේචන නිසා වුනේ ගෝඨාභය කඳවුරේ වහගෙන හිටපු අඩුපාඩු මතු වුන එකයි.

ගැහැණු කියන්නේ ඡන්දදායකයින්ගෙන් 50%ක් හෝ ඊටත් වැඩි ප්‍රතිශතයක්. මතුපිටින් නිරීක්ෂණය කරලා ඔවුන් හිතන හැටි තේරුම් ගන්න ලේසි නැහැ. ගැහැණු නැගිට්ටහම නොහිතන දේවල් වෙන්න පුළුවන්. සජිත් සනීපාරක්ෂක තුවා නිකම් දෙයිද, නොදෙයිද, දෙනවානම් කවර ආකාරයකින් දෙයිද කියන එක වගේ දේවල් එතරම් වැදගත් කරුණු නෙමෙයි. හිතාමතා හෝ අහම්බෙන් සජිත්ට අහුවුනේ නිලයක්. මේ කතාව කරපු දවසේ ඉඳලා පොදුජන පෙරමුණු පාක්ෂිකයෝ සජිත්ට ඡන්ද එකතු කරනවා.

Thursday, August 22, 2019

මන්ත්‍රීවරුන්ට අවම අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යද?


ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ක් අතරින් 94 දෙනෙකු සාමාන්‍ය පෙළ අසමත් බවත්, උපාධිධාරීන් සිටින්නේ 25 දෙනෙකු පමණක් බවත් වාර්තා වී තිබෙනවා. ඒ වගේම, මහජන නියෝජිතයින්ට කිසියම් අවම අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුයි කියන එක දැන් කලක සිට කතා බහට ලක් වෙන අදහසක්. මේ අදහස ගොඩක් ප්‍රචලිත වුනේ පාර්ලිමේන්තුව ඇතුළේ මිරිස් කුඩු ප්‍රහාර එල්ල වුනු, පිහි උරුක් වුනු මහින්දගේ දින පණහේ ආණ්ඩුව කාලයේ. නමුත්, මේ අදහස කලක සිට තිබෙන අදහසක්.

මේ අදහස වෙනුවෙන් පෙනී සිටින අයගේ මූලික තර්කයක් වන්නේ වෙන ඕනෑම රස්සාවක් කරන්න මූලික අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍යව තියෙද්දී මන්ත්‍රීවරයෙක් වෙන්න පමණක් එවැනි අවශ්‍යතාවයක් නොතිබීමේ වැරැද්දක් තිබෙනවා කියන එකයි. අනෙක් පැත්තෙන් මතුවන තර්කය වන්නේ ආචාර්ය උපාධි වැනි ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති අය පවා සමහර වෙලාවට හැසිරෙන්නේ අට පාස් නැති අයට වඩා අන්ත විදිහට කියන එකයි. ඒ වගේම, මිනිස්සු කැමතිනම් අධ්‍යාපන සුදුසුකම් පාදක කරගෙන කෙනෙකුට මන්ත්‍රී කෙනෙක් වෙන්න තිබෙන අවස්ථාව වලක්වන එක නිවැරදි නැහැ කියන තර්කයත් ප්‍රචලිත තර්කයක්.

දෙවන තර්කය එතරම් නිවැරදි එකක් නෙමෙයි. ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති ඇතැම් අයට වඩා හොඳින් අඩු අධ්‍යාපන සුදුසුකම් තිබෙන ඇතැම් අය ප්‍රතිපත්ති සම්පාදනයට දායක වන බව ඇත්තක් වුවත්, පොදු වශයෙන් ගත් විට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති අය හා අඩු අධ්‍යාපන සුදුසුකම් තිබෙන අය අතර පැහැදිලි වෙනසක් දැකිය හැකියි. එහෙත්, ඒ හේතුව යමෙකු අධ්‍යාපන සුදුසුකම් නොමැතිවීම මත මහජන නියෝජිතයෙකු වීම වැළැක්වීම සාධාරනීකරණය කරන්නේ නැහැ. මිනිස්සුන්ට තමන්ගේ නියෝජිතයා ලෙස පත් කර යවන්න අවශ්‍ය වන්නේ ලොකු අධ්‍යාපන සුදුසුකම් නැති අයෙක්නම් එයට බාධා වන නීති පැනවීමේ කිසියම් අවුලක් තිබෙනවා. එසේ කිරීමෙන් වෙන්නේ රටේ පාලන බලය කිසියම් කල්ලියක් අතට පත් වීම රටේ නීතියෙන්ම තහවුරු වීමයි. නීතියේ උදවුවක් නැතුවත් වෙලා තියෙන්නේ ඒකනේ.

අනෙක් පැත්තට ගත්තහම මහජන ඡන්දයෙන් "නුසුදුස්සන්" නියෝජිතයින් සේ පත් වීමේ මූලික අවුලට කවර හෝ විසඳුමක් අවශ්‍යයි. නීත්‍යානුකූලව මහජන ඡන්දයෙන් තේරී පත් වෙන කෙනෙක් නුසුදුස්සෙක් කියා කියන්න බැරි නිසා සමහර අය මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රශ්නයක් ලෙස දකිනවා. ඇත්තටම මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයට හේතුව  ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියා රටේ විශාල පිරිසක් හරියට දන්නේ නැති වීමයි. ලංකාවට ආවේණික හූනෝ ඉන්නවාක් මෙන්ම ලංකාවට ආවේණික ප්‍රශ්නත් තිබෙන නමුත්, මේක ලංකාවට පමණක් ආවේණික ප්‍රශ්නයකුත් නෙමෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය වගේම නීතියේ ආධිපත්‍යය වගේ සංකල්පත් සියවස් ගණනාවක් තිස්සේ බටහිර සංස්කෘතිය ඇතුළේ පරිණාමය වූ සංකල්ප. මේ සංකල්ප ලංකාවට හඳුන්වා දෙන්නේ යුරෝපීයයන් විසින්. පොඩි වෙනස්කම් කිහිපයක් සිදු වී තිබුණත් ලංකාවේ රාජ්‍ය ආකෘතිය ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දුන් එකක්. ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය වගේ ගොඩක් දේවල් ලංකාවට ඇවිත් තිබෙන්නේ එංගලන්තයෙන්. බටහිර රටවල මිනිස්සුන්ට වගේ ලංකාවේ (හා වෙනත් දකුණු ආසියාතික රටවල හා තවත් රටවල) මිනිස්සුන්ට මේ සංකල්ප ඇඟට පත්තියම් වෙලා නැහැ. මුල් කාලයේ මහජන නියෝජිතයින් වුනේ එංගලන්තයේ අධ්‍යාපනය ලබා, ටික කලක් හෝ එංගලන්තයේ ජීවත් වී, එහෙම නැත්නම් අඩු වශයෙන් ලංකාවේම සිට එංගලන්ත සම්ප්‍රදායන් ඇතුළේ ජීවත් වී මේ බටහිර සංකල්ප ඇඟට පත්තියම් කර ගැනීමට සමත්ව සිටි සීමිත ලාංකිකයින් අතරින් පිරිසක් වුවත් ඒ තත්ත්වය මේ වෙද්දී වෙනස් වෙලා.

ලංකාවේ ඡන්දදායකයින් අතර සිටින බොහෝ දෙනෙක්ට තමන් විසින් මහජන නියෝජිතයෙකු පත් කර යැවිය යුත්තේ ඇයි කියන එක ගැන හරි අවබෝධයක් නැහැ. දොස්තර කෙනෙක් කියා කියන්නේ ලෙඩ වූ විට බෙහෙත් දී ලෙඩේ සුව කරන කෙනෙක් කියා මිනිස්සු හැමෝම වගේ දන්නවා. පොලිස් නිලධාරියෙක්ගේ රස්සාව නීතිය හා සාමය ආරක්ෂා කිරීම කියලාත් මිනිස්සු හැමෝම වගේ දන්නවා. ඒත් මන්ත්‍රී කෙනෙක්ගේ රස්සාව මොකක්ද කියලා රටේ ගොඩක් මිනිස්සු වගේම මේ මන්ත්‍රීලාගෙන් ගොඩක් අයත් දන්නේ නැහැ.

රටේ විශාල පිරිසක් තමන්ගේ මහජන නියෝජිතයාගෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ නීතිය කඩා, නීතියට පිටින් ගිහින් තමන්ට උදවුවක් කිරීමයි. සම්මත ක්‍රමවේදයෙන් පිට ගිහින් තමන්ට හෝ තමන්ගේ කාට හෝ රජයේ රැකියාවක් ලබා ගැනීම, සම්මත ක්‍රමවේදයෙන් පිට ගිහින් රජයේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම, වැරැද්දක් කර පොලීසියට අහු වූ අයෙක්ව නිදහස් කර ගැනීම, නීති විරෝධීව වෙනත් අයෙකුගේ පෞද්ගලික දේපොළක මිනියක් වල දමන්න උදවු ලබා ගැනීම ආදී වශයෙන් ලැයිස්තුවක් ලියන්න පුළුවන්. ඔය හැම වෙලාවකම සිදුවන්නේ මහජන නියෝජිතයා මැදිහත් වී රටේ නීතිය කඩන එකයි.

එක පැත්තකින් බැලුවහම රටේ මිනිස්සු මහජන නියෝජිතයින්ගෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වීම සාධාරණයි. ඔවුන් එසේ කරන්නේ පවතින නීතිය හා/හෝ නීතිය ක්‍රියාත්මක කිරීමේ රාමුව ඇතුළේ තමන්ට සාධාරණය ඉටු නොවන බව පෙනෙන විටයි. නමුත්, මේ ක්‍රමයට කිසියම් අයෙකුට සාධාරණය ඉටු වන බොහෝ විට එය සිදු වන්නේ තවත් බොහෝ දෙනෙකුට අසාධාරණයක් සිදු කරමිනුයි. මහජන නියෝජිතයෙකුට නීති කඩන්න කිසිම අයිතියක් නැහැ. නීතියේ හෝ නීතිය ක්‍රියාත්මක කරන ආකාරයේ කිසියම් හෝ වැරැද්දක් තිබේනම් ඔවුන් කළ විසින් කළ යුත්තේ ඒ වැරැද්ද සිදු නොවන ආකාරයට නීතිය හා නීතිය ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කිරීම මිසක් ප්‍රශ්නය එසේම තිබියදී හුදෙකලා සිද්ධියකට විසඳුමක් දීම නෙමෙයි. හුදෙකලා සිද්ධි වලට නීතියට පිටින් ගිහින් විසඳුම් දීමෙන් මූලික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. තවත් අවුල් වෙනවා.

මෙහිදී නීතිය හා නීතිය ක්‍රියාත්මක කරන ආකාරය කියා එකට ලිවුවත් මෙයින් පළමුවැන්න ව්‍යවස්ථාදායකයේ කාර්යයක්. දෙවැන්න විධායකයේ කාර්යයක්. නමුත්, ලංකාවේ රාජ්‍ය ව්‍යුහය ඇතුළේ විධායකයේ ඉහළින්ම ඉන්නේත් ඡන්දයෙන් තේරී පත් වන මහජන නියෝජිතයින් නිසා මේ අංශ දෙකේදීම මෙහි ලියා තිබෙන කරුණ අදාළ වෙනවා.

මෙහි ලියූ "නුසුදුස්සන්" කියන වචනය මා භාවිතා කරන්නේ "තමන්ගේ පංතිය අමතක කර වෙනත් පංතියකට සේවය කිරීම" හෝ "රට ජාතිය අමතක කර බටහිර උවමනා වෙනුවෙන් පෙනී සිටීම" වැනි දේශපාලනික මතවාදයක් හා බැඳුණු අර්ථයකින් නෙමෙයි. තමන්ගේ දේශපාලන මතවාදය කුමක් වුවත්, පොදුවේ වැරදි දේවල් ලෙස බහුතරයක් මිනිස්සු දකින දේවල් හා අදාළවයි. උදාහරණයක් විදිහට රටේ සාමාන්‍ය මිනිහෙක් තවත් කෙනෙකුගේ ඇස් වලට මිරිස් කුඩු ගැහුවොත් ඔහුට හෝ ඇයට නීතියෙන් ගැලවීමක් නැහැ. නමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රටම බලා සිටියදී හා වීඩියෝ සාක්ෂි තිබියදී එවැන්නක් කර පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී බේරී සිටිය හැකියි.

හොරු, මෝඩයින් හා නුසුදුස්සන් පාර්ලිමේන්තුවට නොයැවිය යුතු බව ගොඩක් අය කියනවා. නමුත් කිවුවට කෙරෙන්නේ නැහැනේ. ප්‍රමාණවත් පිරිසකගේ ඡන්ද ලබා ගත හැකිනම් කාට වුවත් මහජන නියෝජිතයෙකු විය හැකියි. මෙයට හේතුව තමන් මහජන නියෝජිතයෙක් සේ පත් කර ගත යුත්තේ මොන වගේ කෙනෙක්ද කියන එක ගැන, තවත් සරලව කිවුවොත් මන්ත්‍රී කෙනෙකුගේ රස්සාව මොකක්ද කියන එක ගැන හරි අවබෝධයක් නැති විශාල පිරිසක් රටේ සිටීමයි. ඒ අයට මේ අවබෝධය ලැබෙන තුරු ප්‍රශ්නය මේ ක්‍රමයට විසඳෙන්නේ නැහැ. මහජන නියෝජිතයෙකු වීම සඳහා අවම සුදුසුකම් පැනවීම වැනි යෝජනා එන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහටයි.

ප්‍රශ්නය වෙනත් කෝණයකින් බැලුවොත් මන්ත්‍රී කෙනෙකුගේ රස්සාව මොකක්ද කියන එක නොදන්නා විශාල පිරිසක් මේ මන්ත්‍රීලා අතරම ඉන්නවා. තමන්ගේ රස්සාව මොකක්ද කියලා රස්සාව කරන මිනිස්සුම දන්නේ නැත්නම් වෙන මිනිස්සු කොහොමද දන්නේ?

ඇත්තටම කියනවානම් පොදුවේ රස්සාවක් සැලකුවොත් රස්සාවේ කාර්යය තීරණය කරන්නේ රස්සාව දෙන කෙනා මිසක් රස්සාව කරන කෙනා නෙමෙයි. සැපයුම එන්නේ ඉල්ලුම පසුපසින්. එහෙම බැලුවහම මෙතැනත් වෙලා තිබෙන්නේ ඒකමයි. එහෙමනම්, ලංකාවේ සමස්ත ඡන්දදායකයා තමන්ගේ කාර්ය භාරය පිළිබඳව සබුද්ධික වන තුරු ප්‍රශ්නයට විසඳුමක් නැද්ද?

දැනටමත් යෝජනා වී තිබෙන මුල් යෝජනාව තරම්ම දැඩි නැති එක් විසඳුමක් තිබෙනවා. ඒ දේශපාලන පක්ෂ විසින් තමන්ගේ අපේක්ෂකයින් තේරීමේදී කිසියම් අවම අධ්‍යාපන සුදුසුකමක් තිබෙන අයට පමණක් අවස්ථාව දීමයි. ලංකාවේ මහජන නියෝජිතයින් සියල්ලම වාගේ තේරී පත් වෙන්නේ කිසියම් දේශපාලන පක්ෂයකින් නිසා මෙය කළ හැකිනම් ප්‍රශ්නයට විසඳුමක්.

නමුත්, කුඩා ඡන්ද පදනමක් ඇති දේශපාලන පක්ෂයකට මිස ප්‍රධාන පක්ෂයකට ප්‍රායෝගිකව මෙයද කළ හැක්කක් නෙමෙයි. ඡන්ද පදනමක් තිබෙන, ජනප්‍රිය අපේක්ෂකයෙකුව අධ්‍යාපන සුදුසුකම් නොතිබූ පමණින් අත හරින්න කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා, මේ වැඩේත් හරියන වැඩක් නෙමෙයි.

අධ්‍යාපන සුදුසුකම් නොතිබීම මත මහජන නියෝජිතයෙකු වීම වැළැක්වීම සුදුසු නැතත්, මහජන නියෝජිතයෙකුට තමන්ගේ රාජකාරිය කරන්න මූලික දැනුමක් අවශ්‍යයි. ඒ මූලික දැනුම නැති කෙනෙකුට මේ රස්සාව කරන්න බැහැ. මගේ අදහස අනුව, මේ මූලික දැනුම කියන දෙයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබද දැනුම ඇතුළත්. ඒ නිසා, අධ්‍යාපන සුදුසුකම් කෙසේ වෙතත්, මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂයෙකුට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම, රටේ මූලික නීතිය හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වැනි දේ පිළිබඳව හදාරා විභාගයක් සමත් වෙන්න නියම කිරීමේනම් වැරැද්දක් නැහැ. පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදියට තරඟ කරන අය ඒ ආයතන වල කාර්ය භාරය කුමක්ද කියා දැනගෙන සිටිය යුතුයි.

රටේ සියලුම ඡන්දදායකයින් මේ දේවල් ගැන දැනුවත් කරනවාට වඩා ඔවුන්ගේ නියෝජිතයින් වෙන්න කැමැත්තෙන් ඉන්න අයව දැනුවත් කිරීම පහසුයි. එතකොට, අඩු ගානේ තමන්ගේ රස්සාව මොකක්ද කියා ඒ මිනිස්සු දන්නවා. වෙනත් අය වෙන වෙන දේවල් ඉල්ලා සිටින විට ඒක මගේ රස්සාවේ කොටසක් නෙමෙයි කියා මේ අයගෙන් ටික දෙනෙක් හෝ කියන්න ඉඩ තිබෙනවා.

රටේ නීතිය වෙනස් කරනවා වෙනුවට දේශපාලන පක්ෂ වලට තනි තනිව මේ වැඩේ කළ හැකියි. විශේෂයෙන්ම ඔවුන්ගේ පක්ෂ වලින් නාම යෝජනා අපේක්ෂා කරන අයට මේ මූලික කරුණු ඇතුළත් විභාගයකට පෙනී සිට සමත්වීම අනිවාර්ය කිරීම දේශපාලන පක්ෂයකට කළ නොහැකි දෙයක් නෙමෙයි. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම එකඟ වන දවසක වැඩේ විභාග දෙපාර්තමේන්තුව වැනි ස්වාධීන ආයතනයකට භාර දිය හැකියි. එතකොට කියන්න තරම් අධ්‍යාපන සුදුසුකමක් නැති මහජන නියෝජිතයෙකුට අඩු ගානේ පෙන්නන්න සහතිකයක් හෝ ලබාගත හැකියි.

බටහිර රටවල සියවස් ගණනක් තිස්සේ පරිණාමය වූ සංකල්ප ලංකාව වගේ රටක මිනිස්සුන්ට එකපාර පත්තියම් වෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු තමන්ට නොතේරෙන දෙයක් ඉගෙන ගන්න වැඩිපුරම මහන්සි වෙන්නේ විභාගයක් තියෙන වෙලාවටයි.

Tuesday, April 9, 2019

වේවැල් කෝටු සංස්කෘතිය


ගුරුවරුන් විසින් පාසැල් සිසුන්ට ශාරීරික දඬුවම් දීම හා රජයේ සරසවි වල නවක වදය කාලයෙන් කාලයට උඩට මතුවන මාතෘකා දෙකක්. පාසැල් ගුරුවරියකට උසාවියකින් දඬුවම් නියම කිරීමත් එක්ක පළමු කරුණත්, සරසවි සිසුවෙකු සිය දිවි නසා ගැනීම සමඟ දෙවන කරුණත් මැතකදී නැවතත් උඩට ආවා.

මම දකින විදිහටනම් මේ දෙකම එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්. ඒ විතරක් නෙමෙයි, මේ කරුණු දෙකටම සම්බන්ධ තවත් තුන්වන කරුණුත් තියෙනවා. ලී ක්වාන් යූ පන්නයේ නායකයෙක් ඇවිත් රට හදයි කියා බලාපොරොත්තු වීම එවැන්නක්. නමුත්, මේ කරුණු වලදී දෙවිදිහකට ප්‍රතිචාර දක්වන අය අඩු නැහැ.

ලංකාවේ සරසවියකට නොගිය අය අතර නවක වදය වෙනුවෙන් පෙනී සිටින අය නැති තරම්. එහෙත්, රජයේ සරසවියකට ගිය ඇතැම් අය නවක වදය වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව පෙනී සිටිනවා. නමුත්, එවැනි අය හැමෝම නෙමෙයි.

නවක වදයට එරෙහිව කතා කරන ගොඩක් අය පාසැල් සිසුන්ට ශාරීරික දඬුවම් පැමිණවීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම එවැනි ගොඩක් අය ලී ක්වාන් යූ පන්නයේ නායකයෙක් පත් කර ගැනීම වෙනුවෙනුත් පෙනී සිටිනවා. මෙතැනදී මා අවධානය යොමු කරවන්නේ කිසියම් නිශ්චිත පුද්ගලයෙක් දෙස නොවන බවත්, මේ වර්ගයේ කවුරු හෝ නායකයෙක්ට රටේ තිබෙන ඉල්ලුම ගැන පමණක් බවත් පැහැදිලිව කිව යුතුයි. විවිධ පුද්ගල චරිත ගැන අදහස් පළ වෙන්නේ ඒ ඉල්ලුම නිසයි.

රජයේ සරසවි වලට ගිය අය අතරින් ඇතැම් අය නවක වදය වෙනුවෙන් පෙනී සිටිනවා. තවත් අය නවක වදයට විරුද්ධ නොවී නිහඬව සිටිනවා. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රජයේ සරසවි වලට ගිය ගොඩක් අය එක්කෝ සෘජුව හෝ වක්‍රව නවක වදයට සම්බන්ධව සිටි අය වීම. එසේ නැත්නම් අඩු වශයෙන් එයට විරුද්ධ නොවූ අය වීම. නමුත්, රජයේ සරසවියකට නොගිය අයෙකුට එවැනි ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මේ ප්‍රශ්නය දිහා බලන්නේ බාහිර පුද්ගලයින් ලෙසින් නිසා මෙහි තිබෙන අවුල පැහැදිලිව පෙනෙනවා.

ගුරුවරුන් විසින් දරුවන්ට දඬුවම් දීම කියන කරුණේදී රටේ ගොඩක් අයට මේ විදිහට ප්‍රශ්නය දිහා බාහිර පුද්ගලයින් සේ බලන්න බැහැ. එයට හේතුව ලංකාවේ බොහෝ දෙනෙක් ගුරුවරුන් ලෙසම නොවූවත්, අඩු වශයෙන් දෙමවුපියන් හෝ වැඩිහිටියන් ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා ඇති අය වීමයි. මෙතැනදී මේ විදිහට දරුවන්ට වද හිංසා කරන්නේ ඔවුන්ගේ අනාගත යහපත වෙනුවෙන්ය කියන හිතුවිල්ල හෝ ප්‍රකාශය අස්සේ රිංගලා කෙනෙක්ට තමන්ගේම හිත රවට්ටගන්න පුළුවන්. "අපි අද මෙතැන ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහල හදපු නිසා" කියා කියන එකත් ඔය බොරුවේම කොටසක්.

ටික කලක සිට ලංකාවේ නීතිමය වරදක් වුවත් ගුරුවරුන්ට දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා සමාජ විරෝධීන් ලෙස නොව සමාජ ශෝධකයින් සේ පෙනී සිටින්න හැකි වී තිබෙන්නේ ගෙවල් වලදී දෙමවුපියන් හා අනෙකුත් වැඩිහිටියන් විසින්ද දරුවන්ට එවැනිම ශාරීරික දඬුවම් පැමිණවීමයි. තමන්ගේ දරුවා හදාගන්න කියා ගෙදරදී දරුවාට ශාරීරික දඬුවම් දෙන දෙමවුපියෙකුට පාසැලේදී ගුරුවරයෙකු විසින් ඒ දේම කළාම එයට විරුද්ධ වෙන්න අමාරුයි. ඒ වගේම, "දැනුම් තේරුම් තිබෙන" පාසැල් ගුරුවරුන් විසින් සිසුන්ට ශාරීරික දඬුවම් දෙන විට ගෙවල්වල වැඩිහිටියන්ටත් ඒ දේම කරන්න උත්තේජනයක් ලැබෙනවා.

සරසවි වල නවක වදය දිගින් දිගටම පවතින්න හේතු වෙන්නෙත් "අපි අද මෙතැන ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහල හදපු නිසා" කියා හිතන මානසිකත්වයමයි. නවක වදය හේතුවෙන් තමන්ට යමක් ලැබුණු බව බොහෝ සරසවි සිසුන් හිතනවා. ඒ හැඟීම ගොඩක් දෙනෙක්ට තියෙන තාක් කල් නවක වදය නැති කරන්න අමාරුයි. සරසවි නවක වදයේ වගේම ඒකාධිපති පාලකයින් අපේක්ෂා කරන මානසිකත්වයේත් මුල තිබෙන්නේ කුඩා කාලයේදී වැඩිහිටියන් හා ගුරුවරුන් විසින් දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තමන්ට අවශ්‍ය ආකාරයට දරුවන් විනයගරුක කිරීමේ පුරුද්දයි.

මෙය කියවන අපේ පරම්පරාවේ ගොඩක් අය ඕනෑ තරම් පාසැලේදී ගුරුවරුන්ගෙන් ගුටි කා ඇති. පුළුවන්නම් එවැනි අවස්ථා දහයක් මතක් කරගන්න. මේ විදිහට ගුරුවරුන්ගෙන් වැඩිපුරම ගුටිකන්න වී තිබෙන්නේ මොන වගේ දේවල් වලටද? ගොඩක් වෙලාවට විනය සේ හැඳින්වෙන කරුණු හා අදාළවයි. කොණ්ඩය කපා නොතිබීම, අදාළ කාලයේ මෝස්තරය අනුව කලිසම කොට වීම හෝ දිග වීම, කමිසයේ උඩ බොත්තම පියවා නොතිබීම, ප්‍රමාද වී පැමිණීම, ගැහැණු ළමයින් හා අදාළව නියපොතු පාට කර තිබීම, ගවුම කොට වැඩි වීම...සරසවි නවක වදයේත් ඔය මූලික ලක්ෂණ ටික ඒ විදිහටම තියෙනවා.

විනය වැදගත් නොවන බව මා කියන්නේ නැහැ. නමුත්, එසේ විනය වැදගත් වන තැනකදී එය එසේ වැදගත් වන්නේ ඇයි කියන එක තවත් අයෙකුට පැහැදිලි කරන්න අමාරු නැහැ. බොහෝ විට ශාරීරික දඬුවම් අවශ්‍ය වෙන්නේ එවැනි විශේෂ වැදගත්කමක් නැති දෙයක් විනය කියන ලේබලය යටතේ බලාත්මක කරන විටයි. දඬුවම් ලබන අයෙක් විනයගත වෙන්නේ දඬුවමෙන් බේරෙන්න මිසක් එසේ විනයගත වීමේ වැදගත්කමක් දකින නිසා නෙමෙයි. මූලික අරමුණ දඬුවමෙන් ගැලවීම නිසා එතැන් සිටම කල්පනා කරන්නේ දඬුවමෙන් ගැලවී කලින් කළ දේ දිගටම කරන්නේ කොහොමද කියන එක ගැනයි.

දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීමෙන් සිදු වන්නේ කුඩා කාලයේ සිටම නිර්මාණශීලිත්වය මොට කරනු ලැබූ අණ පිළිපදින්නන් පරම්පරාවක් බිහි වීමයි. ඔවුන්ට හිතන්න අවශ්‍ය නැහැ. ඒ නිසා, තමන් වෙනුවෙන් හිතන හා තීරණ ගන්නා කවුරු හෝ ඉන්නවාට ඔවුන් කැමතියි. ඒකාධිපතියන්ට ඉල්ලුමක් එන්නේ එවැනි අයගෙනුයි.

(Image: http://conceptnewscentral.com/index.php/2016/01/18/kill-fail-lick-crime-duterte-tells-gensan-folks/)

Thursday, January 3, 2019

දැනුම බෝ වේවා!


ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස ලංකාවට බටහිරින් ආ අදහසක්. වෙනත් ගොඩක් රටවල වගේම, තමන් වෙනුවෙන් හිතන එක "දැනමුත්තන්" විසින් කිරීම ගැන ලංකාවේ ප්‍රතිරෝධයක් තිබුණේ නැහැ. සමාජය එයට පුරුදු වෙලයි තිබුණේ. ලංකාවේදී ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස තවමත් උඩ සිට පහළට ගලා එමින් තිබෙන අදහසක්.

මම හිතන විදිහට අඩු වශයෙන් ඇමරිකාවේ මේ අදහස පහළ සිට ඉහළට පැමිණ තිබෙනවා. අඩුපාඩු රහිතව නෙමෙයි. මුලදී කාන්තාවන් හා යුරෝපීය සම්භවයක් නැති අය බැහැර කරමින් වැඩිහිටි, සුදු පිරිමින්ගේ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස. නමුත්, අඩු වශයෙන් ඒ සීමාවන් ඇතුළත, නායකයින් බිහි වී තිබෙන්නේ "ජනතාව" අතරින්.

ඇමරිකාව ජනාවාස කළ යුරෝපීයයන්ට රජෙක් හිටියේ නැහැ. බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යය පිළිගන්නා පිරිසක් හිටියා වුවත්, එංගලන්තයෙන් ගොඩක් ඈත තිබුණු විශාල රටක් මත ලොකු බලපෑමක් කිරීම පහසු කටයුත්තක් වුනේ නැහැ. යුරෝපයේ අනෙක් රටවල් වලින් ආ මිනිස්සුන්ට බ්‍රිතාන්‍යය එක්ක එවැනි බැඳීමක් හෝ තිබුණේ නැහැ.

විශාල සංස්කෘතික දුරක් තිබෙන ලංකාවේ සිට තේරුම් ගැනීම අසීරු වුවත්, යුරෝපයේ විවිධ රටවලින් පැමිණි, වෙනස් භාෂා කතා කළ, එකම මූලයක් සහිත වුවත් වෙනස් ආගම් ඇදහූ පිරිස් අතර වූ සංස්කෘතික විවිධත්වය විශාලයි. මෙවැනි පිරිසකට එක්ව කටයුතු කරන්න ඔවුන්ව බැඳ තබන කුමක් හෝ අවශ්‍ය වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය විසින් පුරවන්නේ ඒ අඩුවයි. එය පහසු කරන්නේ, අඩු වශයෙන් ඇමරිකාවට යුරෝපයෙන් සංක්‍රමණය වූ වැඩිහිටි සුදු පිරිමින් අතර දැනුම අතින් විශාල පරතරයක් නොතිබීමයි. සංක්‍රමණය ඇතුළෙම ස්වභාවිකවම තේරීමක් සිදු වෙනවා. එවැනි "තේරුණු" මිනිස්සු පිරිසකට පොදු යහපත වෙනුවෙන් එකඟත්වයන්ට පැමිණීම පහසුයි. පහළ සිට ඉහළට ගලා යන්නේ එවැනි බිම් මට්ටමේ වූ එකඟත්වයනුයි. නායකයින් "පොළොවෙන් මතුවෙන්නේ" එවැනි පසුබිමක.

පසුගිය සියවස් දෙකහමාරක පමණ කාලය තුළ එක පැත්තකින් කලින් බැහැරව සිටි කාන්තාවන් හා යුරෝපීය නොවන සම්භවයක් ඇති පිරිස් අන්තර්ග්‍රහණය කර ගනිමින් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වෙද්දී, අනිත් පැත්තෙන් සමාජයේ "දැනුම අඩු" පිරිස් මේ ක්‍රියාවලියෙන් බැහැර වීමකුත් සිදු වී ඇතැයි කිව හැකියි.

මේ කාලය තුළ මිනිස්සු විසින් සමූහයක් ලෙස අළුතින් එකතු කරගත් දැනුම අති විශාලයි. ඒ දැනුම, ජීවිත කාලයක් තුළ වුවත් තනි පුද්ගලයෙකුට ග්‍රහණය කර ගැනීම අසීරුයි. ඒ හේතුව නිසා, දැනුම අතින් සමාජයේ විශාල පරතරයක් ඇති වීමත්, පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ඇතුළේම දැනුම අතින් පසුපසින් සිටින අය යම් තාක් දුරකට ක්‍රමයෙන් බැහැර වීමකුත් සිදු වී තිබෙනවා.

වෙනත් විදිහකින් කිවුවොත් ක්‍රමයෙන් "දැනමුත්තන්" බිහි වෙන්න පටන් ගැනීමත්, ඔවුන්ට පිළිගැනීමක් ලැබීමත්, ඔවුන් කියන දේ වෙනත් අය පිළිගැනීමත් සිදු වෙනවා. නමුත්, මේ විදිහට වෙනත් අය විසින් මේ දැනුමැත්තන් කියන දේ පිළිගන්නේ, අඩු වශයෙන් ඔවුන් විසින් පෙන්වා දීමෙන් පසුව, කියන දේ තමන්ටත් තේරෙන නිසයි. නමුත්, කාලය යද්දී කණ්ඩායම් දෙක අතර දැනුම් පරතරය පුළුල් වෙනවා. ඉන්පසුව, දැනුමැත්තන් කියන දේ පිළිගන්නේ තමන්ට ඒ දේවල් ග්‍රහණය වන නිසාම නෙමෙයි. ඔවුන් පිළිබඳව වන විශ්වාසය නිසා.

මේ ක්‍රමයේ අවුලක් තිබෙන බව පැහැදිලියි. මුලින්ම වෙන්නේ දැනුමැත්තන්ට සමාජයේ අධිකාරී බලයක් හිමි වීම. බලය එක්ක යම් තරමකින් හෝ බලය අපහරණය කිරීමත් එනවා. එවිට අනෙකුත් අයට තමන් වෙනුවෙන් හිතන දැනුමැත්තන් පිළිබඳව වන විශ්වාසය පළුදු වෙනවා. ඒ වුනත්, ඔවුන්ට හඬක් නගන්න මාධ්‍යයක් නැත්නම් මේ විශ්වාසය පලුළු වීම කාලයක් යටපත් වී තිබෙන්න පුළුවන්.

සමාජ මාධ්‍ය ව්‍යාප්තිය නිසා කලින් හඬක් නොතිබුණු බොහෝ අයගේ හඬ මතු වෙන්න ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් පුළුල් වෙද්දී දැනුමැත්තන් පිළිබඳ වූ අවිශ්වාසය මතු වෙන්නේ දැනුම් විරෝධයක් ලෙසයි. විශේෂඥයින් තමන් කියන "නිවැරදි" දෙය අනෙක් අය විසින් පිළිගනු ඇතැයි යන විශ්වාසය පෙරදැරිව සිටිද්දී, වැඩි දෙනෙකුට තේරෙන භාෂාවෙන් කතා කළ නොහැකි දැනුමැත්තන් අභිබවමින් සමාජ ජාලා හරහා "ගොඩ පෙරකදෝරුවන්" ඉස්මතු වෙන්න පටන් අරන් තියෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විට වැරදි දැනුම වේගයෙන් සංසරණය වෙනවා.

මේ කියන්නේ ඇමරිකාව ගැන වුවත්, කියවන්නේ ලංකාවට සම්බන්ධයක් තිබෙන අය නිසා රෝසිගේ සංඛ්‍යා කියැවීම උදාහරණයක් ලෙස පෙන්විය හැකියි. තමන්ට ග්‍රහණය නොවන නිවැරදි දේ විශ්වාසය මත පදනම්ව නිවැරදි සේ සැලකූ කාලය අවසන්ව තිබෙනවා. ඒ නිසා, විශේෂඥයින් විසින් වඩා නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීම තවදුරටත් ප්‍රමාණවත් වන්නේ නැහැ. තමන් යෝජනා කරන්නේ නිවැරදි දෙය බව අනෙක් අයට ඒත්තු ගැන්වීමත් ඔවුන් විසින් කළ යුතුව තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය වැනි අදහස් ලංකාවේදී ඉහළ සිට පහළටයි ගලා එන්නේ. නිදහස් වෙළඳපොළ පිළිබඳ අදහසනම් එහෙමවත් එන්නේ නැහැ. කලින්ම ඉහළ සිට පහළට ආ හා එවනු ලැබූ සමාජවාදී අදහස් වල බලපෑම ඊට හේතුවයි. ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් නිදහස් වෙළඳපොළ වෙනුවෙන් විවෘතව පෙනී සිටින්නේ නැහැ. වෙනස්කම් තිබෙන්නේ රාජ්‍ය ග්‍රහණයේ ප්‍රමාණයේ පමණයි. ඒ නිසා, ගොඩක් අය ධනවාදය කියන එකෙන් තේරුම් ගන්නේ ධනපතියන්ට වාසිදායක, හැම දෙයක්ම මුදල් මත පදනම් වූ දෙයක් ලෙසයි.

මෙහි අමුත්තක් නැහැ. මානුෂික සම්බන්ධතා හොඳින්ම අවබෝධ කරගත හැක්කේත්, ඒ සම්බන්ධතා බාධාවකින් තොරව පවත්වා ගැනීමට ඉඩ දිය හැක්කේත් වෙළඳපොළ නිදහසට ඉඩදීමෙන් බව තේරුම් නොගන්නා අය ඇමරිකාවේ වුවත් අඩු නැහැ. උදාහරණයක් විදිහට අවම වැටුප් නීති නිසා ලොකුම අවාසිය වන්නේ සමාජයේ පහළම ස්ථර වලට කියන එක ගොඩක් අයට එකවර අවබෝධ කරගන්න අමාරුයි.

මෙයට එක් හේතුවක් වන්නේ දේශපාලන බලය ලබා ගැනීමේ හෝ පවත්වා ගැනීමේ අරමුණින් හිතාමතාම වැරදි තොරතුරු සමාජගත කරනු ලැබීමයි. දෙවන හේතුව දැනුම තිබෙන අපක්ෂපාතී අය ඉදිරියට නොපැමිණීමයි.

දෙවන බාධකය බිඳ හෙළීම පිණිස මේ වන විට ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් විවිධ ව්‍යාපෘතී යටතේ එකතු වී සිටිනවා. "නීඩ් (NEED)" ව්‍යාපෘතියත් එවැන්නක්. ජාතික ආර්ථික අධ්‍යාපන නියෝජිතයින් (NATIONAL ECONOMIC EDUCATION DELEGATION) ලෙස එකතුව සිටින මේ කණ්ඩායම සමඟ මේ වන විට ඇමරිකාවේ හිටපු මහ බැංකු අධිපතීන් වූ ජැනට් යෙලන් හා බෙන් බර්නැන්කි වැනි අය, නොබෙල් ත්‍යාගලාභීන් වන ජෝජ් අකර්ලොෆ් හා වර්නන් ස්මිත් වැනි අය ඇතුළු ඇමරිකාවේ සියළු ප්‍රාන්ත නියෝජනය කරන ආර්ථික විද්‍යාඥයින් තුන් සිය ගණනක් එකතු වී සිටිනවා. මෙහි අරමුණ බ්ලොග් ආදිය හරහා දැනුම සමාජගත කිරීමෙන් නොනැවතී සමාජයේ විවිධ ස්ථර සමඟ සෘජුව සංවාදයක් ඇති කර ගනිමින් ආර්ථික විද්‍යා දැනුම සමාජගත කිරීමයි. ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් මෙසේ සිතීම සතුට දනවන්නක්.

පසුගිය තෙමස තුළ මේ බ්ලොගය වෙනුවෙන් වැඩි කාලයක් යොදන්න හැකි වුවත් මේ වසරේ මුල් මාස හතර තුළ ලොකු කාලයක් මේ වෙනුවෙන් යොදවන්න අමාරු වෙයි. නමුත්, ඉඩ ලැබෙන පරිදි මොනවා හෝ නොලියැවෙන එකක් නැහැ.

Thursday, October 18, 2018

මව්බිමේ ජනතාවට ද්‍රෝහියෙක් නොවනු!


ලංකාවේ රජයේ සරසවියක සේවය කරමින් සිටියදී බැඳුම්කරයකට අත්සන් තබා උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමෙන් පසුව ආපසු නොපැමිණි අය රජයට ගෙවිය යුතු මුදල් ප්‍රමාණ දවස කිහිපයකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ ලැයිස්තුවේ 485 දෙනෙකුගේ නම්, තනතුරු, ලිපින, ගෙවිය යුතු මුදල් ප්‍රමාණ, ඇපකරුවන්ගේ නම් ඇතුළු විස්තර රැසක් ඇතුළත්. 

මා මේ ගැන දැනගත්තේ ගොසිප්ලංකා වෙබ් අඩවියෙන්. එහි සඳහන් විදිහට ජාතික පුවත්පත් වල පිටු 4ක් පුරා දැන්වීමක් ලෙස මේ තොරතුරු පළ කර තිබෙනවා. රජයට අයවිය යුතු මුළු මුදල රුපියල් මිලියන 813ක්. ඩොලර් මිලියන පහකට ටිකක් අඩුයි. මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ලබා දීම නිසා රජයට අහිමි වූ බදු මුදලෙන් අටෙන් එකකට ආසන්න මුදලක්. වැඩිම මුදල ගෙවිය යුතු තැනැත්තා රුපියල් මිලියන 26.5ක් ගෙවිය යුතුයි. එක වාහනයකින් අහිමි වන බදු මුදලට තරමක් අඩු මුදලක්. රුපියල් 1,127ක් තරම් අඩු මුදලක් ගෙවිය යුතු අයත් ලැයිස්තුවේ ඉන්නවා.

මටනම් මෙය රජයේ අකාර්යක්ෂමතාවය පිළිබිඹු කරන තවත් එක් කටයුත්තක් පමණයි. මම එහෙම කියන්නේ මගේ හෝ මා පෞද්ගලිකව දන්නා කිසිවකුගේ නම් මේ ලැයිස්තුවේ තිබෙන නිසා නෙමෙයි. මෙහි නම් සඳහන් කිසිවකු මා පෞද්ගලිකව දන්නේ නැහැ. ඇතැම් විට මේ කටයුත්ත පසුපස වෙනම ගේමක් තියෙනවා වෙන්නත් පුළුවන්. මේ වගේ පුවත්පත් දැන්වීමකින් රජයට එල්ලවන මිනිස්සුන්ගේ විරෝධය තාවකාලිකව වෙනත් අතකට යොමු කරන්න පුළුවන්. ඉටු කරගත හැකි වෙනත් අරමුණුත් තිබෙනවා.

ගොසිප්ලංකා පුවත අනුව පුවත්පත් දැන්වීමේ මෙවැනි ඉල්ලීමක් තිබෙනවා. 

"මෙරට ජනතාව අනේකවිද දුක්ඛ දෝමනස්සයන් මැද එදා වේල පිරිමසා ගැනීම පිණිස ඉතා වෙහෙසකර ලෙස උපයා ගත් මුදලින් ගෙවන ලද බදු මුදලින් පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුනි. රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුන්නේ ද ඔවුන්ගේම මුදලෙනි. ඔබ බොහෝ දෙනෙකුට මහපොළ ශිෂ්‍ය ආධාර ලබා දුන්නෙමු. ඔබට පශ්චාත් උපාධි සඳහා ණය ආධාරය ලබා දුන්නේ ද එම ජනතාව ලේ, දහඩිය, කඳුළු වගුරා උපයා ගත් මුදලෙනි. 

ඔබ එසේ ලබාගෙන බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය කරමින් ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් මිලියන 813 ඉක්මවා ඇත.

එසේ ලද මුදල්වලින් ඔබ අද උගතකු වී වෙනත් රටවල හෝ ආයතනවල උසස් නිලතල හොබවමින් වැජඹෙන බව අප දනිමු. අනාගත පරම්පරාවට අධ්‍යාපනය ලබාදීම සඳහා ඔබ ජනතාවගෙන් ලබාගත් ණය මුදල මෙම මොහොතේ අපට ඇවැසිව ඇත. උපන් බිමට සහ මව්බිමේ ජනතාවට ඔබ ද්‍රෝහියෙක් නොවනු ඇතැයි අප විශ්වාස කරමු. ණයකරුවනි, ඇපකරුවනි පහත සඳහන් මුදල් සහ ඒ මත පොලී මුදල් වහාම ගෙවා ණයෙන් නිදහස් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි."

රජයේ නිවේදනයක් වුවත් ලියල තියෙන්නේ අර අසූ අට අසූ නමය කාලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අත් පත්‍රිකා වල තිබුණු භාෂාවෙන්. මෙහි මුල් කොටස ප්‍රස්තුතයට සෘජුව අදාළ දෙයක් නෙමයි. මේ මුදල් ගෙවිය යුත්තේ පශ්චාත් උපාධි සඳහා පිටව යාමේදී අත්සන් කර තිබෙන බැඳුම්කරයේ කොන්දේසි අනුව මිසක්, පළමු වසරේ සිට උසස් පෙළ දක්වා හෝ ඉන්පසුව රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය දක්වා ඉගෙන ගැනීම වෙනුවෙන් නෙමෙයි. ඒ කොටස එකතු කර තිබෙන්නේ මේ මුදල් ගෙවිය යුතු අය වෙනුවෙන් නෙමෙයි. එහි ඉලක්කය කුමක්ද කියන එක ඔබම හිතා බලන්න.

මේ ලැයිස්තුවේ ඉන්න බොහෝ දෙනෙකුට එහි කියන ආකාරයට පශ්චාත් උපාධි සඳහා ණය ආධාර ලබා දී තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. අනිවාර්යයයෙන්ම මෙහි සිටින අතිමහත් බහුතරය තමන්ගේ කුසලතා මත විදෙස් රටකින් ශිෂ්‍යත්වයක් ලැබ රටින් පිටවූ අය විය යුතුයි. එහෙම නැතුව රජයේ සරසවි ඇදුරෙකුට පශ්චාත් උපාධි හැදෑරීමේ මුළු වියදමම "ජනතාව ලේ, දහඩිය, කඳුළු වගුරා උපයා ගත්" මුදලින් ලැබෙනවානම් එය ඉතාම කලාතුරකින් සිදුවන්නක් විය යුතුයි. එහෙම නැත්නම් මේ විදිහට ජනතාව කියා කියන්නේ බටහිර රටවල් වල බදු ගෙවන ජනතාව ගැනත් හිතාගෙනද දන්නෙ නැහැ.

මේ අයගෙන් සෑහෙන පිරිසක් වැටුප් සහිත නිවාඩු අරගෙන ගිය අය වෙන්න පුළුවන්. ඒ අනුව, බොහෝ විට මේ ණය කියන්නේ එසේ අධ්‍යාපනය සඳහා රටින් පිටව සිටියදී ලබාගත් වැටුප්.

රැකියාවෙන් අස් නොවී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදෙස්ගත වන සරසවි ඇදුරෙකුගේ බැඳුම්කර මුදලට ඇතුළත් වන්නේ ඒ කාලයේ ලබාගත් වැටුප් පමණක් නෙමෙයි. වැටුප් රහිත නිවාඩු ගත්තත් බැඳුම්කරයට මුදලක් එකතු වෙනවා. ඒ වගේම ඇතැම් විදේශ ශිෂ්‍යත්වලාභීන්ගේ ශිෂ්‍යත්ව මුදලේ වටිනාකමත් බැඳුම්කරයට එකතු වෙනවා. මේ අවස්ථා වලදී ඇත්තටම මහජන මුදල් වැයවීමක් සිදු වෙන්නේ නැහැ.

කොහොම වුනත්, බැඳුම්කරයකට අත්සන් තබා රටින් පිටවන අයෙක් එසේ රටින් යන්නේ නැවත සේවයට වාර්තා නොකළොත් බැඳුම්කරයේ මුළු මුදලම රජයට ගෙවන්න එකඟ වෙලයි. ඒ නිසා, රටට ආපසු එන්නේ නැත්නම් බැඳුම්කරයේ කොන්දේසි අනුව ගෙවිය යුතු මුදල අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. එහි කතා දෙකක් නැහැ.

එහෙම ගෙවුවේ නැත්නම් කළ යුත්තේ කුමක්ද?

බැඳුම්කරය අනුව ගෙවිය යුතු මුදල ආපසු ගෙවීම කවුරු හෝ විසින් පැහැර හරිනවානම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් කළ යුත්තේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. රටින් පිට සිටින තැනැත්තාව අල්ලගන්න බැරිනම් ලංකාවේ සිටින ඇපකරුවන්ව අල්ලගන්න පුළුවන්. ඔවුන්ව ඇපකරුවන් සේ පිළිගෙන තිබෙන්නේ අදාළ මුදල ආපසු ගෙවන්න පුළුවන් තරම් ආදායමක් තිබෙන නිසයි. 

බැඳුම්කර අත්සන් කර විදෙස්ගත වී ආපසු නොඑන හැමෝම අදාළ මුදල ගෙවීම පැහැර හරින්නේ නැහැ. නමුත් එසේ පැහැර හරින අය ඉන්නවා. ඒ අයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග නොගැනීම රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක්. එයින් වෙන්නේ ගෙවිය යුතු මුදල් නිසි පරිදි ගෙවන අයට තමන් මෝඩයින් සේ දැනෙන එකයි. ඒ නිසා, තවත් අය මුදල් ආපසු ගෙවීම පැහැර හරින්න ඉඩ තියෙනවා. හැබැයි මුදල් ආපසු අය කර ගැනීමට ක්‍රියා කළ යුත්තේ ගිවිසුමේ කොන්දේසි අනුව නීතිමය වශයෙන් මිසක් පුවත්පත් දැන්වීම් පළ කිරීම වැනි මහජන මුදල් නාස්ති කරමින් කරන සෝබන වැඩ හරහා නෙමෙයි.

මගේ විශ්වාසය අනුව පුවත්පත් දැන්වීමේ නම් සඳහන් බොහෝ දෙනෙක් තමන් ගෙවිය යුතු මුදල ගෙවීම පැහැර හැර සිටින අය නෙමෙයි. මේ ඇතැම් අය ගොසිප්ලංකා පුවතට ප්‍රතිචාර දක්වමින් ඒ බව සඳහන් කර තිබෙනවා. ගොඩක් අය මුල් ගිවිසුමේ කොන්දේසි අනුව හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ පසුව ඇති කරගත් එකඟතාවයක් මත මාසික වාරික සේ තමන් ගෙවිය යුතු මුදල් පියවමින් සිටිනවා. පුවත්පත් දැන්වීමේ තිබෙන්නේ පසුගිය වසර අවසාන වෙද්දී ඒ අයට ගෙවන්න ඉතිරිව තිබුණු හිඟ ශේෂයයි. ඉන්පසුව ගත වූ මාස අට තුළ මේ ඇතැම් අය හිඟ මුදල් සියල්ලම පියවා අවසන්ව ඇති බව ඔවුන් සඳහන් කරනවා. 

ලැයිස්තුවේ අවසානයට නම් තිබෙන 60 දෙනෙක් පමණ ගෙවිය යුතුව තිබෙන්නේ රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලක්. 180 දෙනෙක් පමණම ගෙවිය යුත්තේ ලක්ෂ 5කට වඩා අඩු මුදලක්. මේ අය අතර පසුගිය මාස දහය ඇතුළත තමන්ගේ ණය වාරික ගෙවා අවසන් කළ අය ඉන්න පුළුවන්. ඒ නැතත්, ගිවිසුම අනුව වාරික වශයෙන් තමන් ගෙවිය යුතු මුදල් ගෙවමින් සිටින අයෙක් බැඳුම්කරයේ කොන්දේසි අනුව මුදල් ගෙවීම පැහැර හැර තිබෙන අයෙක් සේ සලකන්න බැහැ.

ජාතික පුවත්පතක පිටුවක දැන්වීමක් සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වැය වනවා කියා මම හිතනවා. ඒ අනුව පත්තර හතරක දැන්වීම් දැම්මොත් ලක්ෂ හයක්. එක පිටුවක නම් 120ක් පමණ තිබෙන නිසා එක නමක් පළ කරන්න වියදම රුපියල් පන්දාහක් පමණ වෙනවා. ඊටත් අඩු මුදලක් ගෙවිය යුතු අයත් මේ ලැයිස්තුවේ ඉන්නවා.

බැඳුම්කරයක් අත්සන් කර රටින් පිටවී එහි කොන්දේසි අනුව ගෙවිය යුතු මුදල නොගෙවා සිටීම ඉතා පැහැදිලිවම වරදක්. ඒ වරද කරන්න ඉඩ හැරීමෙන් වෙන්නේ තවත් අය ඒ වරදට පෙළඹවීමක්. නමුත්, බැඳුම්කරයේ කොන්දේසි අනුවම හෝ පසුව ඇති කරගත් එකඟතාවයක් මත වාරික වශයෙන් මුදල් ගෙවමින් සිටින අයගේ නම් මේ ලැයිස්තුවේ තිබෙනවානම් එය අදාළ පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමක්. ඒ වගේම මුදල් අය කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය නිසිපරිදි අනුගමනය නොකර පුවත්පත් දැන්වීම් දැමීම තවත් මහජන මුදල් නාස්තියක් පමණයි.

ලංකාවට ආපහු ආපු නැති එක ගැන මේ අයට පොඩි හරි අවුලක් තිබුණනම් ලංකාවේ වෙන මේ වගේ විහිළු වැඩ දැක්කම හිත හදාගන්න පහසුවක් වෙයි.

Monday, October 15, 2018

සිස්සත්තේ


පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නැවතත් කතාබහක් ඇති වෙලා තියෙනවනේ. මේ ගැන ලිපියක් ලියන්න හිත හිතා ඉන්න අතරේ ලියන්න හිතපු ගොඩක් දේවල් අජිත් පැරකුම් විසින් ලියා තිබෙන බව දැක්කා. ඒවා නැවත ලියන්න අවශ්‍ය නැහැනේ. පැරාගේ ලිපියට ලින්ක් එකක් මේ ලිපිය අන්තිමට තියෙනවා. කොහොම වුනත්, එහි නැති මගේ අත්දැකීම් හා අදහස් ටිකක් සටහන් කරන්නම්.

පටන් ගන්න වෙන්නේම පොර ටෝක් ටිකකින්. පොර ටෝක් වුණත් බොරු නොවන නිසාත්, මාතෘකාවට අදාළ නිසාත් ලියන්නම වෙනවා.

ඉකොනොමැට්ටා පහේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වූ කෙනෙක්. ඒ දවස් වල විභාග ප්‍රතිපල දීමේ ක්‍රියාවලිය පරිගණකගත කරලා තිබුණේ නැහැ. ඒ නිසා මගේ ලකුණු ප්‍රමාණය ලංකාවෙන් කී වැනි තැනද කියා දැනගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. හරියටම දන්නේ එය දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ප්‍රමාණය වූ බව පමණයි.

ඒ කාලයේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම හා ප්‍රතිඵල ලේඛණ සකස් කිරීම දිස්ත්‍රික් මට්ටමින් හෝ ප්‍රාදේශීය අධ්‍යාපන කොට්ඨාශ මට්ටමෙන් සිදුවුණා කියලයි මම හිතන්නේ. ප්‍රතිඵල ලැබුණු දවසේම ප්‍රාදේශීය අධ්‍යාපන කොට්ඨාශයේ වැඩිම ලකුණ බවත් සතියකට පමණ පස්සේ දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණ බවත් දැනගන්න ලැබුණා.

මා ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ අවුරුද්දේ ලංකාවේ ඕනෑම පාසැලකට ඇතුළු වීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණයත් වඩා ගොඩක් වැඩියි. මුළු ලකුණු ප්‍රමාණයෙන් අඩු වෙලා තිබුණේ බොහොම ටිකයි. හැබැයි එවැනි ලකුණු ප්‍රමාණයක් ගැනීමේ ඉලක්කයක් ඒ දවස්වල මට තිබුණේ නැහැ. දෙමවුපියන් මේ වෙනුවෙන් ලොකු බරක් දැම්මෙත් නැහැ. කොහොමටත් ඒ කාලයේ දැන් වගේ පහළ පන්තිවල ළමුන් ටියුෂන් ගියේ නෑනේ.

ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල අනුව, ඒ කාලයේ මෙන්ම දැනටත් ලංකාවේ ජනප්‍රියම පාසැලට ඇතුළු වීමේ අවස්ථාව මට හිමි වන විට මම මා පහේ ශිෂ්‍යත්වය ලියූ ප්‍රාථමික පාසැලේ සිට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ මධ්‍ය මහා විද්‍යාලයකට ඇතුළත් වෙලා. ඒ ඇතුළත්වීමේ විභාගයක් හරහා. ජනවාරි මාසයේ එහි ඇතුළු වී සති කිහිපයකින් ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ලැබෙන්නට නියමිත පාසැල ගැන දැනුම් දීම ලැබුණා.

මේ වන විට මගේ වයස අවුරුදු එකොළහක් වෙලා. වයස අවුරුදු එකොළහක ගොඩක් දරුවන්ට වගේම ඒ කාලයේදී මටත් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා හිමි වන්නේ කුසලතා අනුව පමණක් නොවන බව අවබෝධ වී තිබුණේ නැහැ. එය මට මුලින්ම දැනුනේ ශිෂ්‍යත්වය කොයි තරම් ඉහළින් සමත් වුණත් ඒ හේතුව නිසා මට ලැබෙන කිසිම කෙහෙම්මලක් නැති බව අවබෝධ වීමත් සමඟයි.

ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල අනුව යා හැකිව තිබුණු අගනුවර පාසැලට යාමේ අවස්ථාව මට ලැබුණේ නැහැ. එයට හේතු වූ කරුණු අතරින් ප්‍රධාන කරුණක් වුණේ මාව කොළඹ බෝඩින් කර ඉගැන්වීමේ වියදම දැරීමේ හැකියාවක් මගේ පියාට නොතිබීමයි. ඔහුට එවැනි හැකියාවක් නොතිබීමට ඔහුගේ ආදායම් සීමාවන් තරමටම වාගේ ඔහුගේ මූල්‍ය කළමනාකරණයේ වූ දුර්වලතාවයනුත් හේතු වුණා.

මේ ගැන මගේ පසුකාලීන ආකල්පය උදාසීන එකක්. ඇතැම් විට මා එකී කොළඹ පාසැලට මාරු වුනානම් සරසවි ප්‍රවේශය වඩා අසීරු වෙන්න තිබුණා.අනෙක් අතට මා පසුකාලීනව ඉතා අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණයන් වඩා පහසුවෙන් හා/හෝ වඩා කලින් ලඟා කරගන්න ඉඩ ලැබෙන්නත් තිබුණා. සිදු වූ දේ මිස සිදු නොවූ දේ දැන ගැනීමේ හැකියාවක් අපට නැහැනේ. කොහොම වුණත් ශිෂ්‍යත්වයෙන් මට "අයිති වූ" පාසැලට යන්න නොලැබීම ගැන ඒ කාලයේ මට තිබුණේ විශාල කණගාටුවක්.

ශිෂ්‍යත්වය සමත්වීම නිසා දරුවෙකුට ලැබෙන අනික් වාසිය අදාළ මාසික දීමනාවයි. මගේ පියාගේ ආදායම් මට්ටම අනුව මට එය ලැබුනෙත් නැහැ. රජයේ සේවකයක් වූ ඔහුට ඔහුගේ ආදායම සැඟවීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත්, අපට වඩා ගොඩක් හොඳින් ජීවත් වුණු, "මුදලාලිලාගේ" දරුවන් වූ මගේ ඇතැම් මිතුරන්ට ශිෂ්‍යත්ව ආධාර මුදල් හිමි වුණා.

පසුකාලීනව මහපොළ ආධාර හා අදාළවත් තිබුණේ මෙවැනි තත්ත්වයක්. ව්‍යාපාර, වතුපිටි ආදියෙන් ලොකු ආදායම් ඉපැයූ දෙමවුපියන්ගේ දරුවන් වූ මගේ ඇතැම් මිතුරන් ශිෂ්‍යත්ව ආධාරය වගේම මහපොළ ආධාර මුදලත් ලබා ගන්න සමත් වුණා. බොහෝ විට මේ අවස්ථාවන් අහිමි වුණේ රජයේ සේවකයන්ගේ දරුවන්ට. ආදායම පිළිබඳ සැඟවිය නොහැකි වාර්තා නොතිබුණු අයෙකුට පවුලේ ආදායම අවශ්‍ය තරමට වඩා අඩු බවට ග්‍රාමසේවක සහතිකයක් ලබා ගැනීම අසීරු වුණේ නැහැ. ප්‍රායෝගිකව ඒ වගේ වෙලාවක ග්‍රාමසේවක කෙනෙක් බලන්නේ දරුවාගේ පැත්තයි.

"ළමයෙක්ට ඉගෙන ගන්න කීයක් හරි ලැබෙන එකනේ!"

කොහොම වුණත් යම් කිසි අයුරකින් මට ඒ වෙලාවේ ශිෂ්‍යත්ව ආධාර ලැබුණානම් මගේ ජීවිතයේ ලොකු වෙනසක් විය හැකිව තිබුණද? මම හිතන්නේ නැහැ.

මම දන්නා තරමින් දැනට මාසික ශිෂ්‍යත්ව ආධාර මුදල සේ ලැබෙන්නේ රුපියල් පන්සීයක් වැනි මුදලක්. ඇතැම් විට මා වැරදි වෙන්න පුළුවන්. මෙය රුපියල් දාහක් වුනත් මා කියන කතාව අවලංගු වෙන්නේ නැහැ. ඒ කාලයේ මේ මුදල රුපියල් පනහක් හෝ අද රුපියල් පන්සීයකට සමාන කළ හැකි එවැනි මුදලක්.

අඩු ආදායම්ලාභී දරුවෙකුට මේ වගේ සොච්චම් මුදලක් ලැබුණා කියලා දරුවාගේ දෙමවුපියන්ට දරුවාව රටේ හොඳම පාසැලකට යැවීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, එවැනි දරුවෙකුට අදට වුවත්, ශිෂ්‍යත්ව ප්‍රතිඵලය කුමක් වුවත්, ශිෂ්‍යත්ව ආධාරය ලැබුණත් නොලැබුණත්, දෙමවුපියන් සතුව ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් නැත්නම්, අධ්‍යාපනයේ සම අවස්ථා හිමි වෙන්නේ නැහැ. වැඩි කැමැත්තක් තිබෙන දෙයක් නොවූවත්, පෞද්ගලිකව මගේම අත්දැකීම් සටහන් කළෙත් මේ කරුණට බරක් දමන්නයි.

පහේ ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භක අරමුණ වෙලා තියෙන්නේ ගම් වල ඉන්න දක්ෂ සිසුන්ට මධ්‍ය මහා විද්‍යාල වලට ඇතුළු වී ඉහළට ඉගෙන ගන්න අවස්ථාව සැපයීම කියා කියනවනේ. මම හිතන්නේ මුල කාලයේ ඒ අරමුණ සෑහෙන තරමකින් ඉටු වුනා. හැබැයි දැන්නම් එවැන්නක් වෙන්නේ නැහැ.

ආර්ථික දුෂ්කරතා තිබෙන දක්ෂ දරුවෙකුට තමන්ගේ දක්ෂතාවය අනුව කැමැති ඉලක්කයකට යන්න ඉඩ සැලසීම තහවුරු කරන්නනම් එවැන්නකුට දැන් ගෙවනවාට වඩා සැලකිය යුතු මුදලක් ගෙවිය යුතුයි. ඒ මුදලින් නේවාසික ගාස්තු, ප්‍රවාහන ගාස්තු, අමතර පොත්පත් සඳහා වියදම්, පාසැලේ අධ්‍යාපන චාරිකා ආදිය වැනි වෙනත් දේ සඳහා වියදම් ආදිය වගේම ටියුෂන් ගාස්තුත් ආවරණය නොවනවානම් සම අවස්ථා සැලසීමක් සිදු වෙන්නේ නැහැ.

මේ විදිහට බැලුවහම තේරුමක් වෙන්නනම් දරුවෙක්ට මාසයකට රුපියල් පන්දාහක මුදලක්වත් ගෙවිය යුතුයි. එය දැන් මුදල වගේ දහ ගුණයක මුදලක්.

ශිෂ්‍යත්ව ආධාර සඳහා දැනට වෙන් කරන මුදලින් ආධාර ලබන එක් දරුවෙකුට දැන් මුදල මෙන් දහගුණයක මුදලක් දෙන්නනම් ශිෂ්‍යත්ව ආධාර ලබන සිසුන් ගණන දහයෙන් එකක් දක්වා අඩු කරන්න වෙනවා. දැනටත් ශිෂ්‍යත්වය සමත් වෙන්නේ වැඩිම ලකුණු ගන්න 10% පමණක් නිසා එයින් අදහස් වෙන්නේ වැඩිම ලකුණු ගන්න 1%කට පමණක් ආධාර ලැබිය හැකි බවයි. මම හිතන්නේ වැඩි සිසුන් ප්‍රමාණයකට තේරුමක් නැති සුළු මුදලක් දෙනවට වඩා, වඩාත්ම දක්ෂ සීමිත සිසුන් ගණනකට ඔවුන්ගේ අනාගතය වෙනස් කරන්න තරම් ප්‍රමාණවත් මුදලක් දෙන එක වඩා හොඳයි කියලයි.

ශිෂ්‍යත්වය සමත් වන ඉතා දුප්පත් දරුවෙකුට මාසයකට රුපියල් 5000ක් දුන්නොත් ඒ මුදල දරුවාගේ පවුලේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. එහෙම වුනොත්, සිසුවාගේ අනාගතය වෙනස් කිරීමේ අරමුණ ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා, මේ මුදල් සෘජුව ලබා නොදී පාසැල් නේවාසිකාගාරයට හෝ ලියාපදිංචි පාසැල් ප්‍රවාහන සේවා සපයන්නෙකු වැනි අයෙකුට ගෙවීම වඩා සුදුසුයි.

ලංකාව වගේ රටක පවුලක ආදායම් මට්ටම හරියටම හොයන එකත් පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා, වඩා සුදුසු ක්‍රමය වන්නේ හරි වැරදි පරීක්ෂා කරනවා වෙනුවට තමාගේ ආදායම අඩු බව කියා ආධාර මුදල් ඉල්ලන සියලු සිසුන්ට මේ ආධාරය දෙන එකයි. ආධාරය දෙන්නේ කුසලතා පදනමින් නිසා එහි ඇති වැරැද්දක් නැහැ. කොයි තරම් ධනවත් පවුලක ඉපදුනත් පහේ පන්තියේ දරුවෙක් කියන්නේ ආදායම් උපයන්නෙක් නෙමෙයි. විශාල ආදායමක් උපයන සුළු පිරිසක් පමණක් ආධාරය නොගෙන ඉඳියි.

ඇත්තටම අවශ්‍යතාවය වන්නේ දක්ෂ දරුවෙක්ට තමන් කැමති පාසැලකට ගිහින් අධ්‍යාපනය ලබන්න ඉඩ සැලසීම නිසා ඒ සඳහා අවශ්‍ය සියලු වියදම් වෙන් කිරීමයි විය යුත්තේ. මේ මුදල දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්න පුළුවන්. පාසල් නේවාසිකාගාරයක යන දරුවෙකුට ඒ වෙනුවෙන් වියදම් දරන්න වෙනවා. ගෙදර සිට යන දරුවෙකුට පාසැල් වෑන් රථ වෙනුවෙන් මුදල් වැය කරන්න වෙනවා. ඒ නිසා, වඩාත්ම හොඳ ක්‍රමය සියල්ලන්ටම රුපියල් 5000 ගානේ දෙනවා වෙනුවට එවැනි කිසියම් උපරිමයකට යටත්ව අවශ්‍ය වියදම් සියල්ල ගෙවන එකයි. ඒ වියදම් වලට පහත ආකාරයේ වියදම් එකක් හෝ කිහිපයක් ඇතුළත් විය හැකියි.

1. පාසැල් නේවාසිකාගාර ගාස්තු- කෙළින්ම පාසැලට, අවශ්‍යනම් ලියාපදිංචි නේවාසිකාගාර පහසුකම් සපයන්නන්ට. එවැනි සිසුන්ට වාරය මුල හා අග ඇතුළුව නියමිත වාර ගණනක් ගෙදර යන්න සහ ආපසු එන්න වියදම, වැඩිහිටියන්ගේ ප්‍රවාහන වියදම්ද ඇතුළත්ව.
2. ප්‍රවාහන ගාස්තු- ලියාපදිංචි ප්‍රවාහන සේවා සපයන්නන්ට 
3. පාසැලෙන් සිසුන්ගෙන් අය කරන විවිධ ගාස්තු- කෙළින්ම පාසැලට 
4. වාරයකට වරක් අමතර පොත් පත් ගන්න මුදලක්- පොත් වල බිල්පත් ඉදිරිපත් කළ යුතුයි. අවශ්‍යනම් මේ මුදලින් ක්‍රීඩා භාණ්ඩ වැනි දෙයක් ගන්නත් පුළුවන්.

ඔය වගේ ක්‍රමවේදයක් හැදුවොත් හැම සිසුවෙකු වෙනුවෙන්ම උපරිම මුදල ගෙවන්න අවශ්‍ය වන එකක් නැහැ. ශිෂ්‍යත්වය සමත් හෝ අසමත් ඉහළ ආදායම් ලබන පවුල් වල දරුවන් වෙනුවෙන් වැය කරන මුදල් ඔවුන්ගේ දෙමවුපියන්ගේ බදු ආදායමෙන් අඩු කිරීම වැනි සහනයකුත් දුන්නට කමක් නැහැ.

මගේ කාලයේ කෙසේ වුවත් ඊට ගොඩක් කලින් පහේ ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසුව ගමේ පාසැල් වලින් අලුත පිහිටවූ මධ්‍ය මහා විද්‍යාල වලට ඇතුළු වෙලා පසුව රජයේ ඉහළම මට්ටමේ නිලධාරීන්, සරසවි මහැදුරන් ආදීන් වූ අය ගැන මම දන්නවා. නමුත් මගේ කාලය වන විටත් පහේ ශිෂ්‍යත්වය මධ්‍යම පාංතික දරුවන්ට වඩා හොඳ පාසැල් වලට යන්න ඉඩ සලසන, දුප්පත්ම ළමයින් බැහැර කරන එකක් වී අවසානයි. ගෙවන ආධාර මුදල ප්‍රමාණවත් තරමින් වැඩි කරලා සීමිත පිරිසකට පමණක් මේ අවස්ථාව දුන්නොත් නැවතත් පහේ ශිෂ්‍යත්වයේ මුල් අරමුණ ඉටු වෙන්න පුළුවන්.

මීට අමතරව පහේ ශිෂ්‍යත්වය මේ වන විට පාසැල් වල හයේ පංතියට සිසුන් ඇතුළු කර ගැනීමේ ප්‍රධාන නිර්ණායකයක් වෙලාත් තිබෙනවානේ. ඒ අරමුණ වෙනුවෙනුත් ශිෂ්‍යත්වය යොදා ගැනීමේ වැරැද්දක් නැහැ. නමුත්, සිසුන් බඳවා ගැනීමේදී ශිෂ්‍යත්ව ලකුණුම නොබලා ශිෂ්‍යත්වය, ඇතුළත්වීමේ විභාගයක්, ඒ දෙකම, ඒ දෙකෙන් කැමති එකක්, වෙනත් නිර්ණායක ආදී ක්‍රමවේදයක් යොදා ගැනීමේ නිදහස එක් එක් පාසැලට ලබා දුන්නනම් වඩා හොඳයි කියලයි මම හිතන්නේ. 

දැන් පවතින ක්‍රමයනම් වයස අවුරුදු දහයක පමණ දරුවෙකුට ඔරොත්තු නොදෙන තරම්. නමුත්, වෙනත් විකල්පයකුත් පේන්න නැති නිසාත්, ළඟම පාසැල හොඳම පාසැල වැනි ඉලක්ක කෙටිකාලීනව ලඟා කරගන්න අමාරු නිසාත්, ශිෂ්‍යත්වය මුළුමනින්ම අහෝසි කරන එක සුදුසුයි කියන්නත් බැහැ. ඒ නිසා, පහේ ශිෂ්‍යත්වයේ තිබෙන සාධනීය අංග තියාගෙන සිසුන් මත තිබෙන පීඩනය අවම කළ හැකි ප්‍රතිසංවිධානයකටයි යා යුත්තේ.

මේ මගේ සතපහ. පැරාගේ ලිපියට ලින්ක් එකක් පහළින්.

පහේ ශිෂ්‍යත්වය අධ්‍යාපන ක්‍ර‍මයේ ගැටලුවක් ලෙස


(Image: http://www.hirunews.lk/149298/grade-5-scholarship-examination-cut-off-marks-announced-get-full-list)

Sunday, October 7, 2018

ඔබට සතුටුයිද දැන්?


ටික දවසකට කලින් ලියපු ලිපියකින් මම කියන්න උත්සාහ කළේ මිනිහෙකුගේ ආදායම, වත්කම් වගේ දේවල් හා ලබන සතුට අතර තිබෙන්නේ දුර්වල සම්බන්ධයක් බවයි. ධනය වැඩි අයෙකුගේ ධනය තවතවත් වැඩි වන විට සතුට වැඩි වෙන්නේ ඉතා සෙමින්. එයට හේතු ගණනාවක් තිබෙනවා. කොහොම වුනත් ඒ හේතු ගැන මේ වෙලාවේ කතා කරන්න අදහසක් නැහැ.

මිනිස්සු තමන්ට මුදලින් අවාසි වෙන තීරණ ගන්න අවස්ථා ඕනෑ තරම් තිබුණත්, ඒ වගේ වෙලාවල් වලදීත් තමන්ගේ සතුට අඩු වෙන තීරණ ගන්නේ නැහැ. මුදල් වලින් පාඩුවක් වෙන තීරණයක් ගැනීම නිසා වෙනත් ක්‍රමයකින් තමන්ගේ සතුට වැඩි වෙනවනම් මිනිහෙක් ගන්නේ සතුට වැඩිවන තීරණය මිසක් මුදල් වැඩිවන තීරණය නෙමෙයි. රැකියාව, විවාහය, සංක්‍රමණය වගේ ගොඩක් තීරණ වලදී මේ කරුණ පෙනෙන්න තිබෙනවා.

ඉහත කතාව ගැන කියවපු කිසි කෙනෙක් විරුධත්වයක් දැක්වූයේ නැහැ. නමුත්, ඇතැම් අය මම කියූ දෙයින් තවත් ගොඩක් ඉදිරියට ගිහින් මුදල් නිසා සතුට අඩු වෙනවා කියන අනිත් අන්තයටම ගිහින් ඉන්න බව පෙනුණා. අදාළ පර්යේෂණම නොවුනත් ඒ පර්යේෂණ උපුටා දක්වමින් පළ කළ පුවත්පත් ලිපි වලටත් අවධානය යොමු කරවලා තිබුණා.

ආදායම හා සතුට අතර තිබෙන සම්බන්ධය මම පෞද්ගලිකවත් අධ්‍යයනය කර තිබෙන කරුණක්. ඒ වගේම, මේ හා අදාළව පර්යේෂණ පත්‍රිකා පළ කරලා තිබෙන ඇතැම් අය මා හොඳින් දන්නා අය. තවත් අය එක්ක වරක් හෝ කතා කරල තිබෙනවා. මේ හා අදාළව ලියැවී තිබෙන ගොඩක් දේවල් කියවලත් තිබෙනවා. ඒ හැම දෙයකින්ම පසුව මගේ පෞද්ගලික නිගමනයනම් මේ කරුණ ගැන ඒ ලියා ඇති කිසිම දෙයකින් ලොකු නිගමන වලට එන්න නොහැකි බවයි. ඒ පර්යේෂණ ගැන තිබෙන විවේචන සිංහලෙන් ලියන බ්ලොග් එකක ලියන එකේ තේරුමක් නැති නිසා මෙහි ලියන්නේ නැහැ.

ධනය අතට ලැබෙද්දී සතුට අඩුවනවානම් එයින් අදහස් වෙන්නේ මිනිස්සුන්ට ධනවත් වෙන්න පහසුකම් සැලසීම වැරැද්දක් කියන එකයි. මිනිස්සුන්ට දුප්පතුන් විදිහටම ඉන්න දුන්නම සතුටු වෙනවනම් ඒ සතුට නැති කරන එක මොන තරම් අපරාදයක්ද?

නමුත්, මේ තර්කය නිවැරදි නැහැ. ධනය අතේ තිබෙන කෙනෙකුට ඒ ධනය නිසා තමන්ගේ සතුට අඩු වෙනවා කියා තේරෙනවනම් තමන්ගේ ධනය වෙන කාට හරි දීල නිදහස් වෙන එක හරිම පහසු දෙයක්. කතා වල ඒ වගේ දේවල් සුලභ වුවත් සැබෑ ලෝකයේ එවැනි දේ නිතර වෙන්නේ නැහැ. නමුත්, සිදුවන අවස්ථා තිබෙනවා. මේ විදිහට තමන් අතේ තිබෙන ධනයෙන් නිදහස් වෙන්න බලාගෙන ඉන්න, ධනය නිසා පීඩා විඳින මිනිස්සු ගණනට සාපේක්ෂව බැලුවහම ධනය නැති කමින් පීඩා විඳින මිනිසුන් ගණන ගොඩක් වැඩියි.

අපේ කට්ටකාඩුවේ ලොකු මල්ලී ලියා තිබෙන විදිහට, ලලිත් ගුණවර්ධන, බස්සා වගේ අය එකඟ වෙලා තිබෙන විදිහට "අපි බොහෝ දෙනෙක් අල්පේච්ඡ වන්නේ තේරීමක් (choice) ලෙස නොව වෙනත් විකල්පයක් නොමැති වීම නිසා". ධනය තිබෙන කෙනෙක්ට අල්පේච්ච ජීවිතයක් ගත කරන්න අවශ්‍යනම් ඒකට ලොකු බාධාවක් නැහැ. ඒ වගේම, එවැන්නෙකු සතුටු වෙන්නේ වඩා සුඛෝපභෝගී දිවි පැවැත්මකින්නම් ඒ සඳහා අවශ්‍ය ධනයත් ඔහු සතුව තිබෙනවා.

නමුත්, ධනය නැති කෙනෙකුට මේ තේරීම නැහැ. එවැනි කෙනෙක් ඇතැම් විට අර විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු සමග සංවාදයක යෙදුණු මාළුකාරයා වගේ තමන්ගේ දැන් ජීවිතයෙන් හොඳටම සතුටු වෙන කෙනෙක්නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම කෙනෙක්ට ලොකු බිස්නස් එකකට අතගහන්න යෝජනා කරන එකෙත් තේරුමක් නැහැ.

ඒ වුණත්, හැම මාළුකාරයාම හිතන්නේ ඔය සංවාදයේ පැටලුණු මාළුකාරයා වගේ නෙමෙයි. ගොඩක් අය තමන්ගේ දැන් ජීවිතයෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. එහෙම අය බලාගෙන ඉන්නේ දැන් ඉන්න තැනින් අඩියක් ඉස්සරහට තියන්නේ කොහොමද කියලයි.

තවත් ගොඩක් අය සල්ලි හොයන්න වැඩිපුර මහන්සි නොවෙන්නේ සල්ලි වලට අකැමැති නිසා නෙමෙයි. සල්ලි හොයන්න සිදුවිය යුතු මහන්සියට අකැමැති නිසයි. එහෙම මහන්සි නොවී ධනය එක්රැස් කරගන්න ක්‍රමයක් තියෙනවනම් මේ ගොඩක් අය එපා කියන්නේ නැහැ.

මම පෞද්ගලිකව ගත්තොත් මට ජීවත් වෙන්න මහගොඩක් දේවල් අවශ්‍ය නැහැ. මම තරුණ කාලයේදීවත් බඩු මිල දී ගනිද්දී සන්නාම පස්සේ පන්නපු කෙනෙක් නෙමෙයි. මට අවශ්‍යනම් මීට වඩා ටිකක් වැඩි ආදායමක් ලැබිය හැකි රැකියාවක් හොයාගන්න අපහසු නැහැ. නමුත්, දැන් රැකියාව කරද්දී තිබෙන නිදහසට මම කැමතියි.

මේකම වෙනත් විදිහකට කියනවනම් වඩා වැඩි ආදායමක් හොයන්න දැන් මම සතුට ලබන වෙනත් දේවල් කැප කරන්න මම කැමති නැහැ. එහෙම නැතුව පහසුවෙන් මුදල් ලැබෙනවනම් සංචාරයේ යෙදීම වගේ දේවල් වෙනුවෙන් තවත් ඕනෑ තරම් මුදල් වැය කරන්න බැරිකමක් නැහැ.

මෙහෙම කිවුවත් මම මේ කියන අල්පේච්ඡ ජීවිතය කියන්නේ මොන වගේ එකක්ද? වැඩිය නෙමෙයි දැනට අවුරුදු දහයකට කලින් මම ගෙවපු ජීවිතයට ආපහු ගිහින් මට අද තරමටම සතුටින් ඉන්න පුළුවන් වෙයිද? මම හිතන්නේ නැහැ.

හැම දෙනාම නොවුනත් අල්පේච්ඡ දිවි පැවැත්මකින් සතුටු වෙන මම වගේ තවත් ගොඩක් අය තමන්ගේ ඒ අල්පේච්ඡ ජීවිතය අර්ථ දක්වාගන්නේ තමන් දැන් ඉන්න සමාජ තත්ත්වයට සාපේක්ෂවයි. මොන විදිහෙන් හෝ තමන් ඉන්න තැනින් උඩට යාමේ පිස්සුවක් (මා ඇතුළු) මේ අයට නැති වෙන්න පුළුවන්. නමුත්, තමන් ගතකරන ජීවිතය හිතාහිටි තරම්ම අල්පේච්ඡ එකක් නොවන බව හරියටම තේරෙන්නනම් මොකක් හෝ අවුලක් වෙලා දැන් ඉන්න තැනින් අඩියක් පහළට වැටෙන්න ඕනෑ.

ඒ වගේම, මේ වගේ අල්පේච්ඡ ජීවිත ගෙවන (නැවතත් මා ඇතුළු) ගොඩක් අයගේ වත්කම් හෝ ආදායම් මොන විදිහකින් හෝ පොඩ්ඩක් ඉහළ ගිය විට වෙන්නේ ඔය අල්පේච්ඡකම තවදුරටත් තිබුණත් එහි ලක්ෂණ වෙනස් වෙන එකයි. බයික් එකක් ගන්න පුළුවන් කෙනෙක් කැමැත්තෙන්ම බස් එකේ යමින් තමන්ගේ අල්පේච්ඡ ජීවිතය ගැන සතුටු වෙද්දී ටොයෝටා ලෑන්ඩ් කෲෂර් එකක යන්න පුළුවන් කෙනෙක් ඩබල් කැබ් එකක යමින් තමන්ගේ අල්පේච්ඡ ජීවිතය ගැන සතුටු වෙනවා වෙන්න පුළුවන්.

තමන්ගේ මූලික අවශ්‍යතා ඉටුකරගන්න තරම් වත්කම් හෝ ආදායම් නැති අයෙක් තමන් දැනට ගත කරන ජීවිතයෙන් සතුටු වෙන්නේම නැති බව කියන්න බැරි නමුත් එවැනි අයෙකුට කිසියම් මුදලක් ලැබුණු විට වැඩිවන සතුට ධනවතෙකුට මුදලක් ලැබුණු විට වැඩිවන සතුටට වඩා ගොඩක් වැඩියි. ආදායම් මට්ටම යම් තැනකට ආවට පස්සේ හැමෝටම නොවුනත් ගොඩක් අයට සල්ලි පස්සේ පැන්නීම ඇති වෙනවා. නමුත්, එයින් කියන්නේ සල්ලි එපා වන බව හෝ සල්ලි නිසා සතුට අඩුවන බව නෙමෙයි. වෙනත් ඇතැම් දේවල් වලින් ලැබෙන සතුට සල්ලි වලින් ලැබෙන සතුටට වඩා වැඩි බවයි.

මේ වගේ වෙලාවට මිනිස්සු දැනුම, සෞඛ්‍යය වගේ ඉලක්ක පස්සේ පන්නන්න ගන්නවා. බලය හා පිළිගැනීම වගේ ඉලක්ක පස්සේ පන්නන අයත් ඉන්නවා. එය එක් එක් පුද්ගලයා සතුටු වන ආකාරය මත තීරණය වන්නක්.

සාමාන්‍යයෙන් අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම් සැලකෙන්නේ ආයෝජනයක් හැටියටයි. මේ අදහස අනුව යමෙක් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් හෝ කාලය යොදවන්නේ ඒ  හේතුවෙන් අනාගතයේදී තමන්ගේ ආදායම් ඉහළ යනු ඇතැයි විශ්වාස කරන නිසයි. නමුත්, එය එහෙම නොවන අවස්ථා තිබෙනවා. දශක ගණනක් රැකියාව කර විශ්‍රාම යාමෙන් පසුව සරසවි වල උපාධි පාඨමාලා හදාරන්න එන අය ඉන්නවා. ඒ එන්නේ අනාගතයේ තමන්ගේ ආදායම් වැඩි කරගන්න නෙමෙයි. ඒ වගේම, තමන්ගේ රැකියාවට අදාළ නැති වෙනත් දේ ඉගෙන ගන්න මුදල් හා කාලය යොදවන අය ඉන්නවා. (මේ දවස්වල අර්ධ ශතකය පහුකරපු අපේ මිත්‍රයෝ කිහිප දෙනෙක් මාර උනන්දුවෙන් සංගීතය හදාරනවා.)

කෙනෙක්ගේ රැකියාව ඔහුගේ හෝ ඇයගේ ආදායම් මාර්ගය වනවාක් මෙන්ම යම්තාක් දුරකට සතුට ලබන මාර්ගයක් එහෙමත් නැත්නම් විනෝදාංශයක්ද වන බව මම කලින් ලිපියක සඳහන් කළානේ. ඔයාකාරයටම අධ්‍යාපනය කියන්නෙත් ආයෝජන භාණ්ඩයක් වගේම යම් තරමකට පරිභෝජන භාණ්ඩයක්. ඇතැම් අය ඉගෙන ගන්නේ ඒ හේතුවෙන් තමන් ලබන සතුට නිසා.

සෞඛ්‍යය කියන එක ගත්තත් තත්ත්වය ඔය වගේම තමයි. අනාගත ආයෝජනයක් විදිහට හොඳ සෞඛ්‍ය පුරුදු වෙනුවෙන් ආයෝජනය කරන අය වගේම මෙවැනි ඇතැම් හොඳ සෞඛ්‍ය පුරුදු වලින් සතුටු වන අයත් ඉන්නවා. එවැනි අයට එවැනි කටයුතු සතුට ලබන මාර්ගයක්. පරිභෝජන භාණ්ඩයක්.

එක් එක් පුද්ගලයා සතුට ලබන ආකාරය වෙනස්. එය තීරණය වන්නේ කොහොමද කියන එක හරියටම පැහැදිලි කළ හැකි ආකාරයක් නැහැ. මෙවැනි ඇතැම් වෙනස්කම් කුඩා කාලයේදීම දකින්න පුළුවන්.

ඇතැම් ළමයි කුඩා කාලයේදී පාඩම් වැඩ වලට යොමු කරන්න දෙමවුපියන්ට සෑහෙන මහන්සියක් දරන්න වෙනවා. නමුත්, ක්‍රීඩා කිරීම හා අදාළව තනිකරම එහි අනිත් පැත්ත. ගොඩක් වෙලාවට සෙල්ලම් නවත්තලා පොත අතට ගන්නේ දෙමවුපියෙක් හොඳින් කතා කර කීමේ සීමාව පැන්නටත් පස්සෙයි. හැබැයි හැම ළමයාම ඔහොම නැහැ. මම හිටියේනම් තනිකරම අනිත් පැත්තේ. ඒ වර්ගයේ ළමයෙක්ට පොත් පත් කියවන්න කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත්, පොත පැත්තකින් තියා එළියට බහින්න කියා කියන්න වෙන්නේ ටිකක් සැර දාලයි.

දැන්නම් එන්න එන්නම මේ දෙවන කාණ්ඩයේ ළමයි වැඩියි. හැබැයි එළියට බහින්නේ නැත්තේ පොත්පත් නිසා නෙමෙයි.

යමෙක් තමන්ගේ රැකියාවෙන් සතුටු වන එකේ කිසියම් අවාසියකුත් තිබෙනවා. එවැනි අයෙකුට තරමක් අඩු වැටුපක් ගෙවා වුවත් රැකියාව තුළ රඳවා ගන්න අපහසුවක් නැහැ. ඒ වගේම, අධ්‍යාපනය නිසා සතුටු වන කෙනෙක් ලැබෙන ප්‍රතිලාභ ගැන නොහිතා හෝ ඊට වඩා වැඩියෙන් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන නිසා එහි ප්‍රතිලාභ වෙනත් අයට, ඇතැම් විට පොදුවේ සමාජයට ලැබෙන්න පුළුවන්. නමුත්, රැකියාවෙන් හෝ අධ්‍යාපනයෙන් සතුටු නොවන කෙනෙක් ඒ වෙනුවෙන් කාලය හා ශ්‍රමය යොදවන්නේ තමන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය තරමේ මූල්‍යමය වාසියක් සැලසෙනවානම් පමණයි.

ඇතැම් අය ශාරීරික ව්‍යායාම කිරීමෙන් සතුටු වෙනවා. නමුත්, පෞද්ගලිකව මම ශාරීරික ව්‍යායාම කරන්නේ එය ආයෝජනයක් ලෙස සලකලයි. එවිට වියදම වැඩියෙන් දැනෙනවා. මේ වැඩෙන් නිරායාසයෙන්ම සතුටක් ලැබෙනවානම් වඩා පහසුවෙන්, අඩු වියදමකින්, එය කරන්න තිබුණා. මේ වියදම කියන්නේ මුදල් නෙමෙයි.

අපට සතුටක් ලැබෙන දේවල් කිරීම අපේ තේරීමක් වුවත් අපට සතුටක් ලැබෙන්නේ මොන දේවල් වලින්ද කියන එක අපේ තේරීමක් කියා මම හිතන්නේ නැහැ. එය දෙවියන්ගේ කැමැත්ත හෝ කර්මය හෝ අපට අහම්බෙන් ලැබුණු ජාන වෙන්න පුළුවන්.

(Image: https://partners4prosperity.com/money-and-happiness/)

Sunday, September 23, 2018

බටහිර ක්‍රමය හා ලංකාවේ ක්‍රමය


මේ වන විට ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ජෙෆ් බෙසෝස්. පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 21) දවස අවසන් වෙද්දී ඔහුගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 157.3ක් ලෙස ඇස්තමේන්තු කරලා තිබුණා.

මීට හරියටම මාස 16කට පෙර මගේ ලිපියක ඔහු ගැන සඳහන් වන විට ඔහුගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 45.2ක් පමණයි. ඒ වන විට ලැයිස්තුවේ ඔහුට වඩා ඉහළින් තවත් හතර දෙනෙක් හිටියා. උඩින්ම හිටියේ බිල් ගේට්ස්. ඒ වන විට බිල් ගේට්ස්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 75ක්.

පසුගිය දෙසැම්බරයේදී ජෙෆ් බෙසෝස් බිල් ගේට්ස් ඇතුළු අනෙක් සියල්ලන්ම පහු කරගෙන ලැයිස්තුවේ උඩටම ආවා. ඒ දවස් වල මගේ ලිපියක ඔහු ගැන සඳහන් වෙන විට ජෙෆ්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 99.9ක්. මතක විදිහට ඒ වන විට බිල් ගේට්ස්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 90ක් පමණ.

මේ වන විට බිල් ගේට්ස්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 98.3ක් දක්වා ඉහළ ගොස් තිබුණත්, ජෙෆ් ඉන්නේ බිල්ට වඩා ඩොලර් බිලියන 59ක් ඉදිරියෙන්. 2017 අවසාන වන විට ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයම ඩොලර් බිලියන 51.8ක්. දැන් තව ටිකක් වැඩි වෙලා ඇති. ඔය ණය ටික ඔක්කොම ජෙෆ්ගේ සල්ලි වලින් ගෙවල දැම්මත් ඔහු තවදුරටත් ලෝකයේ ලොකුම ධනවතා.

මේ වත්කම් ඇස්තමේන්තු වලින් අදහස් වෙන්නේ කුමක්ද කියන එක වෙනම පැහැදිලි කළ යුතු කරුණක්. කලක සිටම ඒ ගැන ලියන්න හිටියත් ලියන්න වුනේ නැහැ. අද ලියන්නෙත් නැහැ. කොයි තරම් දේවල් ලිවුවත් ලියන වේගයට වඩා වේගයෙන් ලියන්න දේවල් ඔළුවට එනවා. හරියට කොයි තරම් ගෙවුවා වුනත් ලංකාවේ විදේශ ණය එන්න එන්නම වැඩි වෙනවා වගේ.

ටික දවසකට කලින් ජෙෆ් බෙසෝස් විසින් ශ්‍රී ලාංකික ඇමරිකානුවෙක් ගැන කරපු ප්‍රකාශයකට මාධ්‍ය වල ලොකු තැනක් ලැබුණා. මේ හා අදාළව ඉයන් විසින් ඔහුගේ බ්ලොග් එකේ පළ කර තිබුණු සටහනක් පහත තිබෙනවා.

කියවලම බලන්න

මේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයා ජෙෆ් බෙසෝස් සමඟ ප්‍රින්ස්ටන් සරසවියේ එකට ඉගෙන ගෙන තිබෙන යසන්ත රාජකරුණානායක. ජෙෆ් බෙසෝස් සහ ඔහුගේ තවත් මිතුරෙක් විසින් පාර්ශ්වීය අවකල සමීකරණයක් විසඳගන්න පැය තුනක් තිස්සේ මහන්සි වීමෙන් පසුවත් ප්‍රතිඵලයක් නැති තැන තමන්ගේ කණ්ඩායමේ දක්ෂතම සිසුවා වන යසන්තගේ උදවු හොයන්න තීරණය කරනවා. ගණිත ගැටලුව දෙස ටික වෙලාවක් බලා ඉන්න යසන්ත පිළිතුර කියනවා. ඉන්පසුව පිටු තුනක් දිග සුළු කිරීම් කරමින් පිළිතුර තමන් මුලින් කී එකම බව තහවුරු කර පෙන්වනවා.

මේ වැඩෙන් ජෙෆ් බෙසෝස් හොල්මන් වෙලා යනවා. තමන් ප්‍රින්ස්ටන් සරසවියට ඇතුළු වෙද්දී හිතාගෙන සිටි පරිදි සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් නොවීමටත් මේ සිද්ධිය හේතු වුනා කියා ජෙෆ් කියනවා.

"යසන්ත. ඔබ මේ ගැටළුවට පිළිතුර එක වරම කිවුවේ මනෝමයෙන් මේ සුළු කිරීම් සියල්ල කරලද?" ජෙෆ් අහනවා.

"මේ වගේ සංකීර්ණ සුළු කිරීමක් මනෝමයෙන් කළ නොහැකි බව කියන්නත් දෙයක් නෑනේ.." යසන්ත කියනවා.

"මම මේ වගේම ගැටළුවක් මීට වසර තුනකට පමණ පෙර විසඳලා තිබෙනවා. මේ ගැටළුව දැකපු හැටියේම මට ඒ ගැටළුව හා මේ ගැටළුව අතර සම්බන්ධය පෙනුණා. ඒ එක්කම පිළිතුර පැහැදිලි වුණා."

මෙතැනදී යසන්ත ගැටළුවට පිළිතුර හොයාගත් ක්‍රමයත්, ජෙෆ් හා ඔහුගේ මිතුරා පිළිතුර හොයන්න උත්සාහ ගත් ක්‍රමයත් අතර වෙනස කැපී පෙනෙනවා.

යසන්ත ගැන මාධ්‍ය වල තිබෙන තොරතුරු වලට වඩා වැඩිමනත් යමක් මා දන්නේ නැහැ. ඔහු ආචාර්ය උපාධිය වගේම ප්‍රථම උපාධිය ලබාගෙන තිබෙන්නේත් ඇමරිකාවේ සරසවි වලින්. ඒ නිසා, ඔහු ඉපදුනේ ලංකාවේනම් ඇමරිකාවට සංක්‍රමණය වෙන්න ඇත්තේ සරසවි ප්‍රවේශයට කලින්. ඇතැම් විට ඔහු කුඩා කල සිටම ඇමරිකාවේ සිටි අයෙක්ද දන්නෙත් නැහැ.

කොහොම වුනත්, ජෙෆ් බෙසෝස් විසින් සඳහන් කරන සිද්ධියේදී යසන්තගේ මොළය වැඩ කරලා තියෙන්නේ ගොඩක් ශ්‍රී ලාංකිකයින්ගේ මොළය වැඩ කරන විදිහටයි. නමුත්, ජෙෆ් බෙසෝස්ගේ මොළය වැඩ කරලා තියෙන්නේ ගොඩක් ඇමරිකානුවන්ගේ, විශේෂයෙන්ම උගත් ඇමරිකානුවන්ගේ මොළය වැඩ කරන ආකාරයටයි.

ආර්ථික විද්‍යාවද ඇතුළු බටහිර විද්‍යාවන් උගන්වද්දී පුහුණු කරන්නේ කිසියම් නිශ්චිත තර්කානුකූල ක්‍රමවේදයකට ගැටලුවක් විශ්ලේෂණය කරන ආකාරයයි. ක්‍රමය හරියට අනුගමනය කළොත් නිවැරදි පිළිතුර හමුවනු ඇතිය යන උපකල්පනය මෙහි තිබෙනවා. නමුත්, ඇතැම් අයට මේ විදිහට ක්‍රමානුකූලව ගැටළුවක් විශ්ලේෂණය නොකර වඩා ඉක්මණින් පිළිතුරට යන්න පුළුවන් වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.

අවංකවම කියනවනම් මගේ ඔලුව වැඩ කරන්නෙත් යසන්තගේ ක්‍රමයට. (මමත් යසන්ත තරමටම දක්ෂ පුද්ගලයක් කියා කියන්න හදන එක නෙමෙයි මේ කරන්නේ.) ගැටළුවක් විසඳන්න කලින් ගැටළුව දෙස මතුපිටින් බලලා පිළිතුරක් ඔළුවට ආවට පස්සේ ක්‍රමානුකූලව විශ්ලේෂණය කරලා ඒ පිළිතුරට යන්න පුලුවන්ද කියලා බලන එකයි මමත් ගොඩක් වෙලාවට කරන්නේ. ඒ මිසක් නියම ක්‍රමයට මුල ඉඳලම යන්නේ නැහැ.

සමහර වෙලාවට මගේ විශ්ලේෂණ හැකියාවේ තිබෙන අඩුපාඩු නිසා මේ වැඩේ මට කර ගන්න බැරිවෙනවා. එවිට, ඔළුවට ආපු අදහසෙන් වැඩක් නැතිව යනවා. තවත් සමහර වෙලාවට විශ්ලේෂණය කළාට පස්සේ මුලින් හිතපු පිළිතුර වැරදි බව පැහැදිලි වෙනවා. කොහොම වුනත් මේ ක්‍රමය පෞද්ගලිකව මට හරියන ක්‍රමයක්.

ඇමරිකාවේ ඉපදුණු මගේ දරුවනුත් බොහෝ විට ගැටළු විසඳන්නේ මේ ක්‍රමයටයි. ඔවුන්ගේ පාසැල් වල ගණිත පරීක්ෂණ වලදී මෙය ප්‍රශ්නයක් වෙන වෙලාවල් තිබෙනවා. මෙය ගුරු-දෙගුරු රැස්වීම් වලදී පවා සාකච්ඡා වී තිබෙන කරුණක්. මා මෙහි කියන්නේ ඇමරිකාවේ පාසැල් වල තිබෙන කිසියම් දරුවකුගේ දෙමවුපියන් හා ගුරුවරයෙකු අතර තිබෙන කුඩා රැස්වීම් ගැන.

"ඔබේ දරුවා ඉතා ඉක්මණින් ගණිත ගැටළු විසඳා නිවැරදි පිළිතුර සටහන් කරනවා. නමුත්, පිළිතුර ලබාගත් විදිහ පෙන්වා නැති නිසා මට ලකුණු දෙන්න විදිහක් නැහැ. ඔහු අන්තර්ජාලය පිරික්සා හෝ වෙනත් අයෙකුගෙන් කොපි කර පිළිතුර සටහන් නොකළ බව මා දන්නා නමුත් එය තහවුරු කරමින් පිළිතුර ලියන එක ඔහුගේ වගකීමක්."

මේ ප්‍රශ්නයට මමත් කුඩා කාලයේදී මුහුණ දී තිබෙන නිසාත්, තවමත් සමහර වෙලාවට මුහුණ දෙන නිසාත් මගේ දරුවන් මුහුණ දෙන ප්‍රශ්නය මට තේරුම් ගන්න පුළුවන්. නමුත්, ඔවුන්ගේ ගුරුවරුන්ට මෙය තේරෙන්නේ නැහැ. තේරුණත් කළ හැකි දෙයකුත් නැහැ. ඇමරිකාවේ ක්‍රමයට බොහෝ වෙලාවට පිළිතුරටත් වඩා වැදගත් වන්නේ පිළිතුර ලබාගත් ක්‍රමයයි. ඇමරිකාවේ ක්‍රමය කියා කිවුවත් මෙය ඇත්තටම බටහිර ක්‍රමය. යුරෝපයට සාපේක්ෂව බැලුවොත් ඇමරිකාවේදී යම් තරමකින් හෝ පිළිතුරට වටිනාකමක් ලැබෙනවා.

ලංකාවේ ක්‍රමය ටිකක් දුරට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සමඟ සම්බන්ධ කරන්න පුළුවන්. ලංකාවේ උසස්පෙළ විභාගයේදී ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය (දැන්නම් තියෙන්නේ සංයුක්ත ගණිතයනේ!) වගේ විෂයයන්ට වැඩිම ලකුණු ගන්න ගොඩක් අය කර තිබෙන්නේ විභාගයට ලැබෙන්න ඉඩ තිබෙන ආකාරයේ ගැටළු විශාල ප්‍රමාණයක් විසඳන ආකාරය පුහුණු වීමයි. එසේ කිරීමෙන් පසුව, විභාගයේදී කරන්නේ යසන්තගේ ක්‍රමයට ප්‍රශ්න පත්‍රයේ තිබෙන ගැටළුව තමන්ගේ මතකයේ තිබෙන ගැටළුවක් සමඟ ගලපලා ඒ අනුසාරයෙන් පිළිතුර වෙත ඉක්මණින් යන එකයි.

උසස්පෙළින් පසුව සරසවියේදීත් ගොඩක් අය විභාග වලට සූදානම් වෙන්නේ ඔය ක්‍රමයටමයි. ඇතැම් සරසවි සිසුන් දේශන වලින් වැඩක් නෑ කියා හිතන්නේත්, දේශන වලට සහභාගී නොවී කුප්පි වලින් විභාග ගොඩ දා ගන්නේත් මේ නිසයි.

ඇමරිකාවේ වගේම ලංකාවෙත් සරසවි දේශන වලින් කරන්නේ නිවැරදි ක්‍රමවේදය උගන්වන එකයි. ඇමරිකාවේදීනම් ඇතැම් මහාචාර්යවරු පිළිතුර වැරදි වුනත් ක්‍රමවේදය නිවැරදිනම් ලකුණු දෙන්න පැකිළෙන්නේ නැහැ. නමුත්, ලංකාවේ එය වෙන්නේ සාපේක්ෂව අඩුවෙන් බවයි මගේ අදහස.

දේශන වලදී නිවැරදි ක්‍රමවේදය උගන්වා, විභාග වලදී නිවැරදි පිළිතුර හොයන එකේ නොගැලපීමක් තියෙනවා. සරසවි වල කුප්පි වලින් වගේම සරසවියෙන් පිටදී ටියුෂන් වලිනුත් කෙරෙන්නේ ඉතා ඉක්මණින් පිළිතුර හඹා යන්න අවශ්‍ය පුහුණුව ලබා දෙන එකයි. එය නිවැරදි පිළිතුර හොයන විභාග ඇගැයීම් ක්‍රමය සමඟ ගැලපෙනවා.

මෙය කෙසේවත්ම යසන්තගේ ක්‍රමය අවතක්සේරු කිරීමක් නෙමෙයි. ඔහු ලංකාවේ උගත් අයෙක් නොවෙන්නත් පුළුවන්. ඔය විදිහටම ගැටළු විසඳන මගේ දරුවන් ලංකාවේ උගත් අය නෙමෙයි.

ඇතැම් විට මෙයට සංස්කෘතික හෝ ජානමය සම්බන්ධයක් තියෙන්න පුළුවන්. අළුත්ම පර්යේෂණ වලින් පෙනෙන්නේ යමෙක් අනාගතයේදී අධ්‍යාපනය අතින් ඉදිරියට යාම හෝ ධනවතෙකු වීම වගේ වගේ නොහිතන දේවල් පවා යම් තරමකට උපදින විටම තීරණය වී තිබෙන බවයි.

ඒ නැතත්, ලංකාවේ ක්‍රමය මිනිස්සු ගැටළු විසඳන ස්වභාවික ක්‍රමයයි. ඇමරිකාවේ වුවත්, ලොකු අධ්‍යාපනයක් නැති අය ගැටළු විසඳන්නේ ඔය විදිහට. අධ්‍යාපන ක්‍රමයෙන් කරන්නේ එය වෙනස් කරන එකයි.

(Image: http://www.ft.lk/front-page/Lankan-who-solved-maths-problem-for-Jeff-Bezos-and-gave-world-Amazon/44-663275)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...