Saturday, March 17, 2018
මගේ අනන්‍යතා
පෞද්ගලිකව මට "මම" යන අනන්‍යතාවය හා "මිනිසෙකු" යන අනන්‍යතාවය අතර තවත් අනන්‍යතා ගණනාවක් තිබේ. "සිංහල" හා "බෞද්ධ" යන අනන්‍යතා මේ අතරින් දෙකකි. ලංකාවේදී රැකියාවක් සඳහා හෝ අධ්‍යයන පාඨමාලාවක් සඳහා අයදුම් කරන අවස්ථා සෑම එකකදීම වාගේ ඇතැම් විට අනිවාර්යයෙන්ම කළ යුතු නිසාත්, අනෙකුත් අවස්ථා වලදී පුරුද්ද නිසාත් ජාතිය "සිංහල" හා ආගම "බෞද්ධ" ලෙස මා බොහෝ තැන් වල සටහන් කර තිබේ.
ඉහත අනන්‍යතා දෙකම මට ලැබුණේ මගේ දෙමවුපියන්ගෙනි. එහෙත්, ඔවුන් විසින් කිසිදු දවසක "හොඳට මතක තියාගනින් උඹ සිංහලයෙක්!" කියා හෝ "පුතේ අපි බෞද්ධයෝ!" කියා උගන්වා හෝ නැවත නැවත මතක් කර දී නැත. මේ දේවල් කුඩා දරුවෙකු ලෙස සිට ලොකු මහත් වෙද්දී ස්වභාවික ලෙසම අවබෝධ වූ දේවල්ය. මෙයින් දෙවැන්න ගැන විශේෂයෙන්ම කියනවානම් මගේ "බෞද්ධ" යන අනන්‍යතාවය නිතිපතා පන්සිල් රැකීම නිසා, නිවන් දැකීම ජීවිතයේ අවසන් ඉලක්කය වූ නිසා හෝ බුද්ධාදී අට තැන පිළිබඳ සැක දුරුවීම නිසා ලැබුණු දෙයක් හෝ අඩු වශයෙන් විශ්වාස මත පදනම්ව ලැබුණු දෙයක් හෝ නොව මේ කිසිදෙයක් නොදත් කුඩා අවදියකදීම ලැබුණු දෙයකි.
මා හිතන පරිදි, මෙය කියවන තවත් බොහෝ දෙනෙකුට තමන්ගේ ජාතික හා ආගමික අනන්‍යතා ලැබී ඇත්තේ මේ ආකාරයෙනි. එය එසේ නොවූ අයද කියවන්නන් අතර ඕනෑ තරම් සිටින්නට පුළුවන.
මගේ සිංහල අනන්‍යතාවය ම පහසුවෙන්ම අර්ථ දක්වා ගත හැකි වුණේ මා කුඩා කාලයේ ඇසුරු කළ අය අතර දෙමළ, මුස්ලිම්, මැලේ වැනි වෙනත් ජාතික අනන්‍යතා තිබුණු අයද සිටි බැවිනි. මා ඇතුළු සිංහලයින් හා මේ වෙනත් අය අතර පැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික වෙනස්කම් තිබුණේය. මේ අයුරින්ම, මා කුඩා කාලයේ ඇසුරු කළ අය අතර කතෝලික, ඉස්ලාම්, හින්දු වැනි වෙනත් ආගමික අනන්‍යතා තිබුණු අයද සිටියහ. මේ කණ්ඩායම් අතර වූ විශ්වාස හෝ ඇදහීම් පිළිබඳ වෙනස්කම් කෙසේවුවත්, අනෙකුත් ආගමිකයින් හා මා ඇතුළු බෞද්ධයින් අතර පැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික වෙනස්කම් මට පැහැදිලිව හෝ ඇතැම් විට අපැහැදිලිව දකින්නට ලැබුණේය. විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් හා සිංහල කතෝලිකයින් අතර වූ සංස්කෘතික වෙනස්කම් පැහැදිලි ලෙස මතු වී පෙනුණේ නැත.
"සිංහල" හා "බෞද්ධ" යන අනන්‍යතා තිබුණත් "ශ්‍රී ලාංකික" යන ජාතිකත්ව අනන්‍යතාවයක් කුඩා කාලයේදී හෝ අඩු වශයෙන් තරුණයෙකු වන තුරු මට නොතිබුණේය. ඒ මගේ දෙමවුපියන් ශ්‍රී ලාංකිකයින් නොවූ නිසා හෝ ඔවුන්ගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය වක්‍ර ලෙස මා වෙත සම්ප්‍රේෂණය නොකළ නිසා නොවේ. මේ අනන්‍යතාවය විසින් සිදු කෙරුණු විශේෂ කර්තව්‍යයක් නොවූ බැවිනි.
මගේ දෙමවුපියන් හෝ ළඟම ඥාතීන් බොහොමයක්ම ලංකාවෙන් පිට සංචාරය කර තිබුණු අය නොවූ අතර මා කුඩා කාලයේදී "ඩුබායි රැල්ල" ලංකාවේ ගම් වලට හමා තිබුණේද නැත. අපේ පැත්ත සංචාරකයින් නිතර පැමිණි පැත්තක්ද නොවේ. ඒ නිසා, එදිනෙදා ජීවිතයේදී මට හැමවිටම වගේ හමු වුණේ "ශ්‍රී ලාංකික" ජාතිකත්වයක් තිබුණු අයයි. එවැනි වටපිටාවක "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයකින් කෙරෙන කාර්යයක් නැත.
ජාතික හා ආගමික අනන්‍යතාවයන්ට අමතරව මා කුඩා කාලයේදී මට කුල අනන්‍යතාවයක්ද තිබුණේය. ඒ, කුල අනන්‍යතාවයට වැදගත් කමක් ලබා දුන් වෙනත් කුල අනන්‍යතා තිබුණු අයද මා අවට දකින්නට සිටි අතර මේ වෙනස් කුල වලට අයත් මිනිසුන් අතර පැහැදිලිව හෝ අපැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික හා සමාජ ආර්ථික වෙනස්කම්ද තිබුණේය. එහෙත්, දළ වශයෙන් හැත්තෑ හතෙන් පසුව ඉහත කී පරිදි විවිධ කුල අනන්‍යතා තිබුණු මිනිසුන් අතර වූ සංස්කෘතික හා සමාජ ආර්ථික වෙනස්කම් හඳුනාගැනීම අසීරු වන තරමටම අපැහැදිලි වී ගියේය. ඒ නිසා, මගේ කුල අනන්‍යතාවයේ වූ වැදගත්කමද ඉතා ඉක්මණින්ම දියාරු වී ගියේය.
සරසවියට ඇතුළු වීමෙන් පසුව, එතෙක් වැඩි වැදගත්කමක් නොතිබුණු තවත් අනන්‍යතාවයකට වැඩි වැදගත්කමක් ලැබෙන්නට විය. ඒ ප්‍රාදේශීය අනන්‍යතාවයි. වෙනත් ප්‍රදේශයකින් අපේ ප්‍රදේශයට ආවාහ විවාහ හරහා හෝ වෙනත් හේතුවක් නිසා සංක්‍රමණය වූ අය කුඩා කාලයේ සිටම මා දැන සිටි අතර මේ බොහෝ දෙනෙක් හැඳින්වුණේ "රිටිගලයා", "දික්වැල්ලා" හෝ "මාතලේ නංගී" වැනි ඔවුන්ගේ මුල් ප්‍රාදේශීය අනන්‍යතාවය සළකුණු වූ නමකින් වුවත් අප අවට සිටි වැඩි දෙනෙකු මේ පැත්තේම ඉපදී, හැදී වැඩී, පවුල් පන්සල් වී, මිය යන්නට නියමිතව සිටි අයයි. මෙයින් වෙනස්ව, සරසවියේදී දක්නට හැකි වූයේ ලංකාවේ හතරදිග් භාගයෙන්ම පැමිණි අයගේ මුසුවකි. එවැනි වටපිටාවකදී, ප්‍රාදේශීය අනන්‍යතාවයක ඇති වැදගත්කම ඉහළ යයි. මීට අමතරව සරසවියේදී පාසැල් අනන්‍යතාවයටද වැදගත් තැනක් ලැබෙයි.
ලංකාවෙන් පිටතට තාවකාලික සංචාරයක් සඳහා හෝ ස්ථිර පදිංචිය සඳහා පැමිණි වහාම ලංකාව තුළදී ඇතැම් අනන්‍යතා වලට වූ වැදගත්කම ගිලිහී වෙනත් ඒවාට වැඩි වැදගත්කමක් ලැබේ. රටින් පිටතදීද ලංකාවෙන් පැමිණි සංක්‍රමණිකයින් අතර ලංකාවේදී වැදගත් සේ සැලකුණු (පාසැල් හෝ ප්‍රාදේශීය අනන්‍යතා වැනි) අනන්‍යතාවන්ට වැදගත්කමක් තිබුණත් එයින් පරිබාහිර පොදු සමාජයේදී ප්‍රමුඛ වන්නේ "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයයි. අඩු වශයෙන් ඇමරිකාවේදී, "සිංහල" හෝ "බෞද්ධ" ආදී අනෙකුත් අනන්‍යතාවයන්ට ලැබෙන්නේ ඊට වඩා අඩු වැදගත්කමකි.
"සිංහල" අනන්‍යතාවය ඇති සෑම කෙනෙකුටම වාගේ ප්‍රමුඛව හෝ නැතිව "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයක්ද තිබේ. "ශ්‍රී ලංකාව" ලෙස දැන් හැඳින්වෙන බිම්කඩ ඇතුළත සියවස් ගණනාවකට පෙර "සිංහල" යන අනන්‍යතාවය ඇති වීමෙන් පසු එම අනන්‍යතාවය අඛණ්ඩව දිගින් දිගටම පවත්වාගෙන තිබෙන්නේ "ශ්‍රී ලංකාව" නම් වූ දිවයින තුළ ජීවත්ව සිටි අයයි.
සියවස් ගණනාවක් තිස්සේ සිංහලයින්ට මෙසේ සිය අනන්‍යතාවය ගිලිහෙන්නට නොදී පවත්වාගන්නට හැකි වී තිබෙන්නේ සිංහල නොවන වෙනත් අනුරූපී අනන්‍යතා තිබුණු අයද දිවයින තුළ සියවස් ගණනක් තිස්සේ අඛණ්ඩව ජීවත්ව සිටි බැවිනි. මේ බොහෝ දෙනෙක් වෙළඳාම හෝ වෙනත් ආර්ථික වාසි පිණිස, යුද පිණිස, ඉගෙනීම සඳහා හෝ ආවාහ විවාහ හරහා ලංකාවට සංක්‍රමණය වූ හෝ තාවකාලික පදිංචිය පිණිස පැමිණි විදේශිකයෝය. ලංකාවට ආසන්නවම පිහිටි දකුණු ඉන්දියාවෙන් හෙවත් "දෙමළෙන්" "සිංහලයට" පැමිණි විදේශිකයින් ඒ අතර වැඩියෙන් සිටින්නට ඇත.
සහශ්‍ර දෙකකටත් පෙර සිට ලංකාව විවිධ ජාතීන් ආකර්ශනය කර ගත් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවැතී ඇති බව ඕනෑ තරම් සාධක ඇති කරුණකි. එවැනි තැනක විවිධ සංස්කෘතික අනන්‍යතා ඇති මිනිසුන් නිතර දකින්නට ලැබීම සාමාන්‍ය දෙයකි. තාවකාලික සංචාර බොහෝ විට ස්ථිර සංක්‍රමණයන්ටද මුල පුරයි. මෙසේ වෙනත් රටකට සංක්‍රමණය වන්නන් ගමනාන්ත සංස්කෘතිය උකහා ගන්නා තුරු තමන්ගේ මුල් සංස්කෘතිය හැකි තරමින් පවත්වා ගන්නා බව රහසක් නොවේ. එකම රටකින් තවත් රටකට කෙටි කාලයක් තුළ විශාල පිරිසක් පැමිණි විට මුල් රටේ සංස්කෘතියට බොහෝ සමාන සංස්කෘතියක් ගමනාන්ත රටේ ස්ථිර ලෙස ඇති වන්නට පුළුවන් වුවත් මේ සඳහා සාධක ගණනාවක දායකත්වය අවශ්‍ය වේ.
පසුගිය සියවසේ අගභාගය දක්වාම ඉතිහාසය පුරා කවර කලෙක හෝ සිංහලයින් විසින් සාර්ථක ලෙස තමන්ගේ සංස්කෘතිය ශ්‍රී ලංකා දිවයිනෙන් ඔබ්බට ව්‍යාප්ත කර නැත. එහෙත්, කිසිදු සිංහලයෙකු සියවස් ගණනක ඉතිහාසය පුරා ආර්ථික වාසි සොයමින් හෝ වෙනත් හේතු මත අඩු වශයෙන් ආසන්නයේ ඇති තමිල්නාඩුවට හෙවත් "දෙමළෙට" හෝ සංක්‍රමණය නුවූවායැයි සිතිය නොහැකිය. ඇතැම් සිංහලයින් විසින් කලින් කලට එසේ වත්මන් දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වන්නට ඇත. එහෙත්, එසේ සංක්‍රමණය වූවන් "නොදන්නා දෙමළෙට ගොස් වරිගෙ නහගත්තා" මිස එහි සිංහල සංස්කෘතියක් ස්ථාපිත කරන්නට සමත්ව නැත. අතරින් පතර දකුණු ඉන්දියාවට සංක්‍රමණය වූ සිංහලයෙකුගේ සිංහල අනන්‍යතාවය ඇතුළු අනෙකුත් අනන්‍යතා, එසේත් නැත්නම් ඔහුගේ "වරිගෙ", ප්‍රබල දෙමළ සංස්කෘතිය තුළ දියාරු වී යන්නට ඇත.
පසුගිය සියවසේ අගභාගයේ සිට ඉහත තත්ත්වය යම් තරමකින් වෙනස් වෙමින් තිබේ. මේ වන විට සිංහල සංස්කෘතිය සමුදුරු තරණය කර යම් තරමකින් හෝ ලෝකයේ සියළුම මහාද්වීප කරා ව්‍යාප්තව නැතැයි කිසිවකු කියන්නේනම් එය නිවැරදි නැත.
(මතු සම්බන්ධයි)
Labels:
ආකල්ප,
සංක්‍රමණය,
සමාජ චර්යා,
සිංහල සංස්කෘතිය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
No comments:
Post a Comment
ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.