වෙබ් ලිපිනය:

Thursday, February 10, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (සිවුවන කොටස)


ප්‍රශ්නයක ස්වභාවය හා ගැඹුර ගැන අවබෝධයක් නැති අයෙකුට විසඳුම් යෝජනා කරන එක පහසුයි. එසේ කරන අයද සුලබයි. බොහෝ දෙනෙකුට අනුව ලංකාවේ ආර්ථිකයේ වත්මන් ප්‍රශ්නය ඩොලර් නැතිකම. මෙයට හේතු ලෙස අධිපරිභෝජනය, රටේ හදාගත හැකි දේවල් ආනයනය කිරීම, රට ඇතුළේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවීම ආදී විවිධ හේතු ඉදිරිපත් වෙනවා. යමෙක් ප්‍රශ්නයකට ඉදිරිපත් කරන විසඳුම් ප්‍රශ්නයට හේතුව ලෙස හඳුනා ගැනෙන කරුණු මත තීරණය වෙනවා. 

ඩොලර් හිඟයට හේතු සේ ඉදිරිපත් කරන අධිපරිභෝජනය, රටේ හදාගත හැකි දේවල් ආනයනය කිරීම, රට ඇතුළේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවීම ආදී කරුණු හරහා කෙරෙන්නේ ප්‍රශ්නය රටේ සාමාන්‍ය මිනිස්සු වෙත තල්ලු කිරීම. මේ වගේ දේවල් නිතර ඇහෙද්දී රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වන හැඟීම මෙහෙම වෙලා තියෙන්නේ රජයේ වැරැද්දකින් නෙමෙයි අපේ වැරැද්දකින් කියන එකයි. නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි.

ලංකාවේ වත්මන් ඩොලර් හිඟය තනිකරම රාජපක්ෂ දශකය තුළ පටන් ගත් පොන්සි ක්‍රීඩාව නිසා ඇති වූ ප්‍රශ්නයක්. එය රටේ විදේශ විනිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් මිසක් සාමාන්‍ය ජනතාවගේ වැරැද්දකින් ඇති වූ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නය හමුවේ අපට කළ හැක්කේ කුමක්ද කියා විමසන අය ඉන්නවා. නමුත්, ඇත්තටම මේ ප්‍රශ්නය හමුවේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නැහැ. කළ යුතු දෙය කළ යුත්තේ රජය හා මහ බැංකුව විසිනුයි. ඇත්තටම රටේ තිබෙන ප්‍රශ්නය වගකීමක් නැති සල්ලි අච්චු ගැසීම හමුවේ රුපියලේ වටිනාකම වේගයෙන් පහළ යාම හා එයට අනුරූපව විණිමය අනුපාතය සකස්වීම වලක්වා තිබීම මිසක් රටේ මිනිස්සු ආනයන වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීම නෙමෙයි.

කවුරු හෝ තමන්ගේ සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දුන්නා කියලා වෙනත් අයෙකුට එය අධිපරිභෝජනයක් කියා කියන්න බැහැ. සල්ලි තමන්ගේනම් වියදම් කරද්දී තමන්ට ඕනෑ හැටියකට වියදම් කරනවා මිසක් වෙන අයට අවශ්‍ය විදිහට වියදම් කරන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් ආප්ප අරන් නොදී ඉතාලියෙන් පීසා ගෙනත් බල්ලන්ට දුන්නත් කතාව එච්චරයි. ඔය වගේ වැඩකින් වෙනත් අයට වගේම රටටත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. සල්ලි තියෙන කෙනෙක් මිල අධික මෝටර් රථයක් ආනයනය කළ විට රටේ තවත් බොහෝ දෙනෙකුටත් කීයක් හෝ හොයා ගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙන එකයි වෙන්නේ.

රුපියල් වේවා, ඩොලර් වේවා, තමන් විසින් උපයා ගත් සල්ලි කවුරු හෝ වියදම් කරනවානම් එය අධිපරිභෝජනයක් නෙමෙයි. සල්ලි තමන්ගේනම් ඒ සල්ලි ගඟේ මූදේ දැම්මත් වෙන කාටවත් එයින් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. රටට ප්‍රශ්නයක් වෙන්න විදිහකුත් නැහැ, හැබැයි වියදම් කරන්නේ අනුන්ගේ සල්ලිනම් එතැන ප්‍රශ්නයක් තිබෙනවා. වියදම් කරන්නේ නැති සල්ලිනම් ඊටත් වඩා ප්‍රශ්නයක් තිබෙනවා.

කවුරු හෝ විසින් තමන් විසින් උපයා නොගත්, නැති සල්ලි වියදම් කරනවානම් එය අධිපරිභෝජනයක් කියා කියන්න පුළුවන්. ලංකාව නිදහස ලැබූ තැන් පටන් බලයේ සිටි හැම ආණ්ඩුවක්ම නැති රුපියල් වියදම් කළා. සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියවීමේදී වෙන්නේ නැති රුපියල් අලුතින් මවා වියදම් කිරීමක්. නැති රුපියල් වියදම් කරන තරමට රුපියලේ අගය පහළ යනවා. එවිට ඒ පහළ යාම විණිමය අනුපාතය තුළද නිරූපනය විය යුතුයි. එසේ නොවුනහොත් රුපියල් වලට ලංකාවෙන් පිටදී ඉල්ලුමක් නැතිව යනවා. රුපියල් ගෙවා ඩොලර් වැනි විදේශ මුදල් මිල දී ගන්න බැරි වෙනවා. ඩොලර් හිඟයක් ඇති වෙනවා.

නැති රුපියල් වියදම් කිරීම රාජපක්ෂලා පටන් ගත් සෙල්ලමක් නෙමෙයි. එය පරණ සෙල්ලමක්. රාජපක්ෂලා පටන් ගත් අලුත් සෙල්ලම නැති රුපියල් වලට අමතරව නැති ඩොලර්ද වියදම් කිරීමයි. අද ලංකාව මුහුණ දෙන අර්බුදයට හේතුව මේ විදිහට නැති ඩොලර් වියදම් කිරීමයි. එහෙම නැතුව හැම දෙයක්ම ආනයනය කිරීම නෙමෙයි.

රාජපක්ෂ දශකයට පෙර 2001-2003 කාලයේදී ශ්‍රී ලාංකිකයින් විසින් නැති ඩොලර් වියදම් කළේ නැහැ. ආනයන සඳහා වියදම් කළ හැම ඩොලරයක්ම කවර හෝ ආකාරයකින් ඉපැයූ ඩොලර්. රාජපක්ෂ දශකය තුළ විණිමය අනුපාතය හිර කර ගෙන සිටීම නිසා මේ තත්ත්වය වෙනස් වුනත්, සමස්තයක් ලෙස 2015-2019 අතර පැවතියේත් මෙවැනිම තත්ත්වයක්. 2014 අවසානයේදී ඩොලරයක මිල 131.05ක් පමණයි. යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව 2015 වසර අවසාන වෙද්දී ඩොලරයේ මිල රුපියල් 144.06 දක්වා ඉහළ ගියා. එසේ කිරීම නිසා, එම වසර තුළ ආනයන වෙනුවෙන් වැය කළ යුතු වූ විදේශ විණිමය මුළු ප්‍රමාණයම පහසුවෙන් උපයා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට හැකි වුනා.

ආනයන පාලනයක් නොතිබුණු 2015 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 18,935ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,072ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 23,007ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,546කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 6,397කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 6,980කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 23,923ක්. එහෙමනම්, ලංකාවේ මිනිස්සු හැම දේම පිටරටින් ගෙන්වීම නිසා ඩොලර් හිඟ වුනා කියන කතාවේ ඇත්තක් තියෙනවද?

ඊළඟ අවුරුද්ද ගත්තත් කතාව මේ විදිහමයි. 2016 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 19,400ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,259ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 23,659ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,310කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,138කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,242කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 24,690ක්

ඩොලර් ආදායම් රටට එනවානම්, ඒ ඩොලර් මොන විදිහට වියදම් කළත් රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. 2017 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 20,980ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,421ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 25,401ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,360කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,724කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,164කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 26,248ක්. ඔය තියෙන්නෙ ඩොලර්!

ලංකා ඉතිහාසයේ ආනයන වෙනුවෙන් වැඩිම වියදමක් ගිය වසර 2018 වසරයි. 2018 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 22,233ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,608ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 26,841ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,890කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 8,374කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,015කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 27,279ක්. මෙම වසර තුළ, ඩොලරයක මිල රුපියල් 152.85 සිට රුපියල් 182.75 දක්වා ඉහළ ගියා. ඒ නිසාම, ඉහළ ගිය ආනයන ඉල්ලුමට ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් රටට ආවා. ඩොලර් හිඟ වී ආනයන පාලනය කරන්න වුනේ නැහැ. 

යහපාලන ආණ්ඩුවේ අවසන් අවුරුද්ද වූ 2019දීත් ආනයන පාලනයක් සිදු වුනේ නැහැ. එහෙත්, පෙර වසරේ විණිමය අනුපාතය විශාල ලෙස අවප්‍රමාණය වීම ඇතුළු හේතු නිසා නිසා ස්වභාවික ලෙසම ආනයන සීමාවීමක් සිදු වුනා. 2019 වසරේදී භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 19,937ක් දක්වා අඩු වුනා. සේවා ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 4,625ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 24,562ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,940කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,474කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 6,717කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 26,131ක්. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් 2019 වසර තුළ ආනයන වියදමට වඩා ඩොලර් මිලියන 1,569ක් රටට ගෙනත්. මේ අවුරුද්ද තුළ ඩොලරයක මිල රුපියල් 182.75 සිට රුපියල් 181.63 දක්වා පහළ ගියා. 

පිටරටින් හැමදේම ගේන නිසා රටේ ඩොලර් හිඟ වෙනවා කියන එක පට්ටපල් බොරු කතාවක්. ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන ශ්‍රී ලාංකිකයෝ ඒ වෙනුවෙන් මුදල් උපයනවා. ඔවුන් වියදම් කරන්නේ තමන් උපයන සල්ලි. ආනයනික හෝ ආනයනික නොවන භාණ්ඩ හෝ සේවා වෙනුවෙන් සල්ලි වියදම් කරනවා කියා කියන්නේ ඒ සල්ලි මොන විදිහකින් හෝ උපයලා කියන එකයි. භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩිපුර වියදම් කරලානම් ඒ කියන්නේ රටේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙලා කියන එකයි. එය හොඳ දෙයක් මිසක් නරක දෙයක් නෙමෙයි. ආනයනික භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩිපුර වියදම් කරලානම් ඒ කියන්නේ ඊට අමතරව රටේ මිනිස්සුන්ගේ විදේශ විණිමය ආදායම්ද වැඩි වෙලා කියන එකයි. එහෙමනම් වැඩි වැඩියෙන් ආනයනය කර පරිභෝජනය කිරීමේ තියෙන වැරැද්ද මොකක්ද?

ලංකාවේ ඩොලර් හිඟයට හේතුව රාජපක්ෂලා විසින් අලුතෙන් හොයාගත්, දැනටත් භාවිතයේ තිබෙන අපූරු දේශීය විසඳුමයි. මේ අපූරු දේශීය විසඳුම තුළ ලංකාවේ බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් මැවීමක් සිදු වෙනවා. මේවා ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථ වල නැති දේවල්.

සාමාන්‍යයෙන් රටක බැංකු පද්ධතිය විසින් මුදල් මැවීමක් කළත් ඒ විදිහට මවන්නේ රටේ ජාතික මුදල් මිසක් වෙන රටක මුදල් නෙමෙයි. ලංකාවේනම් රුපියල්. මහ බැංකුව පිටවූ දා සිට ලංකාවේ වාණිජ බැංකු රුපියල් මවනවා. එසේ නැත්නම් ගුණනය කරනවා. රාජපක්ෂ දශකයේ සිට, ඊට අමතරව, ලංකාවේ වානිජ බැංකු විසින් ඩොලර් ගුණනය කිරීමක්ද කරනවා. හැබැයි මේ වැඩේට ආරම්භයක් දෙන්න මහ බැංකුවක් නැහැ. මොකද ලංකාවේ මහ බැංකුවට ඩොලර් අච්චු ගහන්න බැහැ. ඇමරිකාවේ අච්චු ගහන ඩොලර් ලංකාවට නිකම්ම දෙන්නේත් නැහැ. වාණිජ බැංකු වලට ගුණනය කරන්න ඩොලර් සපයන්නේ ලංකාවේ රජයයි. අවසාන වශයෙන් නැති රුපියල් වගේම නැති ඩොලර්ද පරිභෝජනය වෙනුවෙන් වැය වෙනවා. 

ලංකාවේ වාණිජ බැංකු විසින් කරන ඩොලර් මැවීමේ ක්‍රියාවලිය ඇතුළේ රජය විසින් ණයට ගන්න එක ඩොලර් එකක් දෙක තුනක් හෝ ඩොලර් කිහිපයක් බවට පත් වෙනවා. ඒ නිසා, ණයට ගත් ඩොලර් එකට වඩා වැඩිපුර වියදම් කරන්න පුළුවන්. ප්‍රශ්නය මතු වන්නේ කවදා හෝ ගත් ණය ගෙවන්න යන වෙලාවකයි. මොකද රජයේ විදේශ ණය වලින් ඩොලර් එකක් ගෙවද්දී වෙළඳපොළේ ඩොලර් දෙක තුනක් හෝ කිහිපයක්ම හිඟ වෙනවා. ඒ නිසා, මොන විදිහෙන් හෝ මේ ණය රෝල ගහගෙන යන්නම වෙනවා. පේන විදිහට ආණ්ඩුව ගේම අත අරින්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්දියාව ගේම අතට අරන්.

Wednesday, February 9, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (තෙවන කොටස)

තමන්ට නිෂ්පාදනය කර ගත හැකි හැම දෙයක්ම තමන් විසින්ම හදා ගන්නවා කියන එක ඉතාම අකාර්යක්ෂම වැඩක් වගේම ඉතාම පසුගාමී අදහසක්. මේ වගේ දෙයක් ගැන කවුරු හෝ හිතනවානම් එය ශිෂ්ඨාචාරයේ ආරම්භයට ආපසු යාමක්. මෙය ධනවාදී අදහසක් නොවනවාක් මෙන්ම අඩු වශයෙන් මාක්ස්වාදී හෝ සමාජවාදී අදහසක්වත් නෙමෙයි. ධනවාදය වගේම මාක්ස්වාදය පදනම් වන්නේත් විශේෂීකරණය මත පදනම් වූ සාමූහික නිෂ්පාදනය මතයි.

ගෙවතු වගාව නරක දෙයක් නෙමෙයි. විනෝදාංශයක් ලෙස ගෙවතු වගාවට කැමති අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ විනෝදාංශයේ ප්‍රතිඵලයක් විදිහට තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය ආහාර බෝග වලින් යම් ප්‍රමාණයක් ලැබෙන්නත් පුළුවන්. හැබැයි එහෙමයි කියලා ආර්ථික ප්‍රතිපත්තියක් විදිහට හැමෝම තම තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය ආහාර බෝග ගෙදරම හදා ගන්න එක ප්‍රවර්ධනය කිරීම අන්තිම පසුගාමී වැඩක්. මොකද ගෙවතු වගාවේ වාසි තිබුනත්, එහි ආවස්ථික පිරිවැයක්ද තිබෙනවා. 

අපි හිතමු කාට හෝ කෙනෙකුට කිසියම් අත්කම් භාණ්ඩයක් හැදීමේ කුසලතාවයක් තිබෙනවා කියලා. එවැනි කෙනෙක් ගෙවතු වගාව සඳහා යොදවන කාලය ඒ අත්කම් භාණ්ඩය හැදීම වෙනුවෙන් යොදවලා, අත්කම් භාණ්ඩය විකුණා ලැබෙන මුදලින් තමන්ට අවශ්‍ය ආහාර මිල දී ගන්න එක ගෙවතු වගාව වෙනුවෙන් කාලය වැය කරන එකට වඩා වාසිදායක වෙන්න පුළුවන්. 

මේ කරුණ රටකටත් අදාළයි. කිසියම් භාණ්ඩයක් රට ඇතුළේ නිෂ්පාදනය කළ හැකි වූ පමණින්ම එසේ කිරීම කළ යුතු හොඳම දෙය වන්නේ නැහැ. ඇමරිකාව ලංකාවෙන් ඇඟලුම් ආනයනය කරන්නේ මේ ඇඟලුම් ඇමරිකාව ඇතුළේ හදාගන්න බැරි නිසා නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය ශ්‍රමය, ප්‍රාග්ධනය වගේම තාක්ෂණයත් ඇමරිකාවේ තිබෙනවා. හැබැයි ඇමරිකාවේ තිබෙන ශ්‍රමය හා ප්‍රාග්ධනය ඇඟලුම් හදන්න නොයොදවා ඊට වඩා ඵලදායී දෙයක් වෙනුවෙන් යොදවා, ඇඟලුම් ලංකාවෙන් ආනයනය කරන එක ඇමරිකාවට වාසියි.

මේ කරුණ ලංකාවටත් අදාළයි. ලංකාවේ හදාගත යුතු හැම දෙයක්ම ලංකාවේම හදා ගැනීම ලංකාවේ පැත්තෙන් හොඳම දෙය නෙමෙයි. ලාබෙට මිල දී ගත හැකි දේ ආනයනය කිරීම රට ඇතුළේ ඒ දේවල් හදන්න ශ්‍රමය හා ප්‍රාග්ධනය නාස්ති කරනවාට වඩා වාසියි. එහෙම කළ පමණින් ලංකාවට විදේශ විණිමය හිඟයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද විදේශ විණිමය රටට එන එකම ක්‍රමය භාණ්ඩ අපනයනයනම්, ආනයන වෙනුවෙන් වැය කළ හැක්කේ අපනයන කර උපයන විදේශ විණිමය පමණයි. 

හැබැයි ඉහත කරුණ සත්‍ය වන්නේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වනවානම් පමණයි. මොකද රටට ඩොලර් එන තරමට ඩොලර් රටින් යන්නේ නැත්නම් රට ඇතුළේ ඩොලර් ඉතුරු වෙනවා. ඩොලර් වලට ඉල්ලුම අඩු වෙනවා. ඩොලරයේ මිල පහළ යනවා. ආනයන ලාබ වී ආනයන ඉහළ ගොස් ඉතුරු වූ ඩොලර් රටෙන් එළියට යනවා. අනෙක් අතට ආනයන ඉල්ලුම වැඩිනම් ඩොලරයේ මිල ඉහළ ගිහින් ආනයනික බඩු වල මිල ඉහළ යනවා. ආනයනික බඩු තව දුරටත් ලාබ නැති නිසා ඉල්ලුම අඩු වී ඩොලර් රටෙන් එළියට යන එක පාලනය වෙනවා. 

රටකට ඩොලර් එන්නේ භාණ්ඩ අපනයනය කිරීමෙන් පමණක් නෙමෙයි. සේවා වෙළඳාමෙන්ද රටට ඩොලර් එනවා. ඒ වගේම, ඩොලර් එළියටත් යනවා. භාණ්ඩ අපනයනය කිරීමෙන් ලැබුණත්, සේවා අපනයනය කිරීමෙන් ලැබුණත් ලැබෙන ඩොලර් වල වෙනසක් නැහැ. ඒ නිසා, විණිමය අනුපාතය පාවෙන්න ඉඩ දී ඇති විටක ඔය වෙළඳපොළවල් දෙකම එකට සමතුලිත වෙනවා මිසක් වෙන වෙනම සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා, සේවා ගිණුමේ ඩොලර් අතිරික්තයක් තිබේනම් වෙළඳ ගිණුමේ ඊට සමාන හිඟයක් තිබීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ගිණුම් දෙක එකට ගත් විට සමතුලිත වෙනවානම් මේ එක් එක් ගිණුම සමතුලිත කරන්න උත්සාහ කළ යුතු නැහැ. 

ලංකාවට සාමාන්‍යයෙන් සේවා වෙළඳාමේදී සාපේක්ෂ වාසියක් තිබෙනවා. ලාංකිකයින් සේවා නිෂ්පාදනයේදී වඩා කාර්යක්ෂමයි. භාණ්ඩ නිෂ්පාදනයේදී ඒ කාර්යක්ෂමතාවය නැහැ. ඒ නිසා, දිගින් දිගටම ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයක් තිබුණත් සේවා ගිණුමේ තිබෙන්නේ අතිරික්තයක්.

රටකට විදේශ විණිමය එන්නෙත්, රටෙන් විදේශ විණිමය එළියට යන්නේත් භාණ්ඩ හෝ සේවා වෙළඳාම් හරහා පමණක් නොවෙයි. රටට විදේශ විණිමය එන හා රටෙන් පිටට විදේශ විණිමය යන තවත් ක්‍රම ගණනාවක් තිබෙනවා. මේ විදිහට රටට එන හා රටෙන් යන විදේශ විණිමය ජංගම ගිණුමේ හෝ මූල්‍ය ගිණුමේ සටහන් වෙනවා. ජංගම ගිණුමේ සටහන් වන්නේ ආපසු නොයන සේ රටට එන විදේශ විණිමය. එසේ නැත්නම් ආපසු නොඑන සේ රටින් යන විදේශ විණිමය. භාණ්ඩ හා සේවා වෙළඳාමෙන් ලැබෙන හෝ අහිමි වන විදේශ විණිමය සටහන් වෙන්නේ ජංගම ගිණුමේ. මෙයින් වෙනස්ව, මූල්‍ය ගිණුමේ සටහන් වන්නේ පසුව ආපසු යාමට නියමිත හෝ පසුව ආපසු ඒමට නියමිත විදේශ විණිමය. උදාහරණයක් විදිහට විදේශ ණය හා ආයෝජන. 

රටක ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙනවානම් ඒ රටට තමන්ගේ විදේශ විණිමය අතිරික්තය රටින් පිට ආයෝජනය කර අනාගතයේදී ආදායම් උපදවන්න පුළුවන්. ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවානම් සිදු වෙන්නේ ඒ හිඟය පියවෙන තරමට විදේශ ණය ගන්න. විදේශ ණය වැඩි වන තරමට අනාගතයට විදේශ විණිමය වියදම්ද වැඩි වැඩියෙන් එකතු වෙනවා.

කාලයක සිටම ලංකාවේ ජංගම ගිණුමේ තිබෙන්නේ හිඟයක්. ජංගම ගිණුමේ හිඟයක් නොතිබුනානම් ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩි වීම ලංකාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හිඟය පියැවීමට අවශ්‍ය පමණ විදේශ විණිමය රටට එන මාර්ගයක් තිබෙනවා. එසේ රටට එන විදේශ විණිමය නැවත රටින් එළියට යන්නේ නැහැ. ශ්‍රමික ප්‍රේෂණ උදාහරණයක්.

අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි වීමේ කිසිම ප්‍රශ්නයක් නැතත්, සමස්තයක් ලෙස රටට එන ඩොලර් වලට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටෙන් එළියට යනවානම් එතැන පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මේකයි.

දිගින් දිගටම රටට එන ඩොලර් වලට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටෙන් එළියට යනවා කියන එක වෙන්න බැරි දෙයක්නේ. මොකද එළියට යන්නනම් ඩොලර් රටට ඇවිත් තියෙන්න ඕනෑ. එහෙම නැතුව ඩොලර් මහ පොළොවෙන් මතු වෙන්නේ නැහැනේ. ඒ නිසාම, ඩොලර් රටට එන යම් ක්‍රමයක් නැතුව දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් තියෙන්නත් බැහැ. දිගින් දිගටම ලංකාවේ ජංගම ගිණුමේ හිඟයක් තියෙන්නේ දිගින් දිගටම විදේශ ණය ලෙස රටට ඩොලර් එන නිසයි. එහෙම නැත්නම් ප්‍රාග්ධන ආයෝජන ලෙස හෝ වෙන ක්‍රමයකට මූල්‍ය ගිණුමට ඩොලර් එන නිසයි. මූල්‍ය ගිණුමට ඩොලර් එන්නේ නැත්නම්, ජංගම ගිණුමේ හිඟයත් නැති වෙලා යනවා. ඒ එක්කම ඩොලර් ප්‍රශ්නයත් නැති වෙනවා. 

මූල්‍ය ගිණුමට දිගින් දිගටම ඩොලර් එනවානම්, එසේ එන තාක් කල්, ජංගම ගිණුමේ හිඟයක් නඩත්තු කරන්න පුළුවන්. හැබැයි මෙය ජංගම ගිණුම සමතුලිතව තියාගෙන වෙළඳ ගිණුමේ හිඟයක් නඩත්තු කරනවා වගේ වැඩක් නෙමෙයි. මූල්‍ය ගිණුමට එන ඩොලර් කවදා හෝ ආපසු යනවා. ඒ විතරක් නෙමෙයි. මූල්‍ය ගිණුමට එන හැම ඩොලරයක්ම රටේ බැරකමක් වෙනවා. රටේ බැරකම් ඉහළ යද්දී ඊට අනුපාතිකව වාර්ෂිකව ගෙවිය යුතු පොලී වියදම්ද ඉහළ යනවා. මේ පොලී වියදම් රටින් එළියට යන්නේ නැවත ආපසු එන්න නෙමෙයි. ඒ නිසා, ඒවා සටහන් වෙන්නේ ජංගම ගිණුමේ. අවසාන ප්‍රතිඵලය ජංගම ගිණුමේ හිඟය ඉහළ යාමයි. 

කලින් ලිපියක කතා කළ පරිදි, 1956 සිටම ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරමින් සිටිනවා. ඒ නිසා, අයවැය හිඟය පියවන්න ණය ගන්න වෙනවා. මේ වැඩේට විදේශ ණය අරගන්නවා කියන්නේ මූල්‍ය ගිණුමට සල්ලි එනවා කියන එක. මූල්‍ය ගිණුමට සල්ලි එද්දී අනික් පැත්තෙන් ජංගම ගිණුමේ හිඟයක් ඇති වෙනවා. ඒ වගේම, රටේ බැරකම් ඉහළ යාම නිසා අනාගතයේ ජංගම ගිණුම මත පීඩනයක්ද ඇති වෙනවා. එහිදී ඩොලරයේ මිල ඉහළ දමන්න වෙනවා. 1956න් පසුව ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් තිබී ඇත්තේ 1965 හා 1977 වසර වලදී පමණයි. එම වකවානු වල ඩොලරයේ මිල එකවර විශාල ලෙස ඉහළ ගිය බවත් මතක තබා ගත යුතුයි. පහත පළමු රූප සටහනේ තිබෙන්නේ මෑත වසර වලදී ලංකාවේ ජංගම ගිණුමේ ශේෂයයි. ශේෂයක් කිවුවට හිඟයන්ම තමයි!


ජංගම ගිණුමේ මේ හිඟය හැදෙන්නේ කොහොමද? 

පළමුව, ලංකාවේ ආනයන අපනයන අතර පරතරයක් තිබෙනවා. වෙළඳ හිඟය කියන්නේ එයට. මේ විදිහට වෙළඳ හිඟයක් තිබීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් නොවන බව මම කිවුවනේ. හැබැයි ප්‍රශ්නයක් නොවෙන්නනම් ඩොලර් රටට එන වෙන මාර්ගයක් තිබිය යුතුයි. ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයක් තිබුණත් සේවා ගිණුමේ අතිරික්තයක් තිබෙනවා. එයින්ද නොපියැවෙන කොටස ශ්‍රමික ප්‍රේෂණ වලින්ද පියැවෙනවා. හැබැයි මේ සියල්ලටම අමතරව ලංකාවේ විදේශ බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ලෙස විශාල මුදලක් රටින් එළියට යනවා. ඒ කොටස වසරින් වසර ඉහළ යනවා. රටේ ඩොලර් හිඟයට මේ හේතුව කොයි තරම් දුරට බලපානවාද කියන එක සාකච්ඡා වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. ඇත්තටම කියනවානම් සාකච්ඡා වී නැති තරම්!

පහත දෙවන රූප සටහනෙහි පෙනෙන්නේ රටේ විදේශ බැරකම් සඳහා ප්‍රතිලාභ ලෙස වාර්ෂිකව රටින් පිටට යන ඩොලර් ප්‍රමාණයයි.


මේ ආකාරයෙන් රටේ විදේශ බැරකම් සඳහා ප්‍රතිලාභ ලෙස වාර්ෂිකව රටින් පිටට ගිය ඩොලර් ප්‍රමාණය රටේ ඉතිරි වුනානම් ජංගම ගිණුමේ ශේෂය මොන වගේ වෙයිද? 

පහත තෙවන රූප සටහනින් පෙනෙන්නේ බැරකම් සඳහා ප්‍රතිලාභ ලෙස වැය වුනු කොටස ඉවත් කිරීමෙන් පසු ජංගම ගිණුමේ ශේෂයයි.  2001-2003 කාලයේදීත්, 2018දී හැර 2015-2019 අතර කාලයේදීත් මෙම කොටස අතිරික්තයක්. ඒ කියන්නේ, එකතු වී තිබුණු පැරණි බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවන්නට සිදු නොවුනානම් මෙම වසර වලදී විදේශයන්ට ණය වනවා වෙනුවට තිබෙන ණය වලින් කොටසක්ද ගෙවා දැමිය හැකිව තිබුණු බවයි.


මෙයින් කරුණු කිහිපයක්ම පැහැදිලි වෙනවා. පළමුව, රජයේ අයවැය හිඟය පාලනය වී ඇති හා විණිමය අනුපාතය නිදහසේ තීරණය වී ඇති වකවානු වල පැරණි විදේශ බැරකම් සඳහා ප්‍රතිලාභ ගෙවීම හැර අනෙකුත් සියළු විදේශ විණිමය අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් ඩොලර් රටට පැමිණ තිබෙනවා. ඒ නිසා, පැරණි ණය හා පොලී ගෙවීමට හැර අළුතින් විදේශ ණය ගන්න අවශ්‍ය වී නැහැ. 

දෙවනුව, එම තත්ත්වය යටතේ වුවද, පැරණි විදේශ බැරකම් වලට පොලී එකතු වීම නිසා විදේශ බැරකම් තව දුරටත් සැලකිය යුතු තරමින් ඉහළ ගොස් තිබෙනවා. විණිමය අනුපාතය තව දුරටත් අවප්‍රමාණය වීමට ඉඩ හැරියේනම් ජංගම ගිණුම සමතුලනය කර ගත හැකිව තිබුණු බවද මෙයින් ගම්‍ය වෙනවා. එසේ වුනානම්, ණය ගැනීමේ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. 

ඩොලර් හිඟය කියා කියන්නේම වැරදි විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා හදාගත් ප්‍රශ්නයක්! ඔඩොක්කුවේ දමාගත් අහක යන නයෙක්!!

Sunday, February 6, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (දෙවන කොටස)

මෙම දෙවන ලිපි මාලාවේ පළමු කොටස අවසානයේදී අපි කතා කළේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාම හා එය වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ ආකාරයයි. මේ කොටසින් අපි මේ ගැන අපි තව දුරටත් පැහැදිලි කර ගනිමු.

ශුද්ධ විදේශ බැරකම් යනු විදේශ වත්කම් හා විදේශ බැරකම් අතර වෙනසයි. විදේශ වත්කම් ඉක්මවා විදේශ බැරකම් ඉහළ යාමේ ප්‍රශ්නය වන්නේ එම බැරකම් වෙනුවෙන් දිගින් දිගටම වාර්ෂිකව විදේශ විණිමය වැය කිරීමට සිදු වීමයි. ඉතා අඩු පොලියකට විදේශ ණය ලබාගත හැකි ඇමරිකාව වැනි රටක විදේශ වත්කම් විදේශ බැරකම් වලට වඩා අඩු වුවත් තම විදේශ වත්කම් වලින් විදේශ බැරකම් වල මුළු වියදමම පියවා ගත හැකියි. හැබැයි එසේ කරන්න ඇමරිකාවට වුවද හැකි වී තිබෙන්නේ අඩු පොලී අනුපාතික වලට ණය ගැනීමේ හැකියාව මත මෙන්ම සැලකිය යුතු විදේශ වත්කම් ප්‍රමාණයක් තිබීමද හේතුවෙනුයි.

ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් ඉතා වැඩි වීම විශාල ප්‍රශ්නයක්. ඊටත් වඩා ප්‍රශ්නයක් වන්නේ ලංකාවේ විදේශ බැරකම් වල අනුපාතයක් ලෙස විදේශ වත්කම් ඉතා පහළ මට්ටමක තිබීමයි. ශුද්ධ විදේශ බැරකම් බොහෝ වැඩි වෙනත් ඇතැම් රටවලට මෙවැනි ප්‍රශ්නයක් නැහැ.

පහත වගුවෙහි පෙන්වා ඇති පරිදි ලෝකයේ රටවල් අතරින් වැඩිම ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණයක් තිබෙන රටවල් හයකම විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් වලින් 70% ඉක්මවනවා. අසල්වැසි ඉන්දියාව ගත්තත් දැකිය හැක්කේ මෙවැනි තත්ත්වයක්. ණය අර්බුදයක සිර වී සිටින රටක් සේ හඳුනා ගැනෙන ග්‍රීසිය සතුව පවා ඔවුන්ගේ විදේශ බැරකම් ප්‍රමාණයෙන් 47% ක විදේශ වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. එහෙත්, ලංකාව සතුව තිබෙන විදේශ වත්කම් ප්‍රමාණය රටේ විදේශ බැරකම් වලින් 13%ක් පමණයි!


අතේ රුපියල් 70ක් තිබෙන කෙනෙකුට හිර නොවී රුපියල් 100ක රෝලක් ගහගන්න පුළුවන්. එහෙත්, අතේ රුපියල් 13ක් තියාගෙන රුපියල් 100ක රෝලක් ගහන කෙනෙක් කොයි වෙලාවක හෝ හිරවෙනවා. හිරවෙන්නේ කොයි වෙලාවෙද කියන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. වසංගතය නිසා සංචාරකයින් පැමිණීම අඩු වෙද්දී ලංකාවට වුනෙත් මේකයි.

යම් ස්ථාවර මට්ටමක තිබුණු ලංකාවේ විදේශ බැරකම් ප්‍රමාණය 2007 පමණ සිට වේගයෙන් ඉහළ යන්න පටන් ගත්තා. එහෙත්, 2010න් පසුව විදේශ වත්කම් ඉහළ ගියේ නැහැ. මෙය පහත රූප සටහනෙහි පැහැදිලිව දැකගත හැකියි.



විදේශ බැරකම් ඉහළ යද්දී ඒ වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු ප්‍රතිලාභද ඉහළ යනවා. එහෙත්, විදේශ වත්කම්ද ඉහළ නොයන්නේනම් එම වත්කම් වලින් ලැබෙන ආදායම් ඉහළ යන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම මේ හිඟය පියවීම සඳහා අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණය උපයා ගත හැකි වෙනත් ක්‍රමයක් නැත්නම් ඒ වෙනුවෙන් තවත් විදේශ ණය ගන්න සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊළඟ වසරේදී අවශ්‍ය වන අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණය තවත් ඉහළ යනවා. දිගුකාලීන සැලසුමක් ඇතිව විදේශ වත්කම් හා බැරකම් අතර වෙනස ක්‍රමයෙන් අඩු කර නොගෙන මේ විදේශ ණය උගුලෙන් ගැලවෙන්න බැරුවා වගේම උගුල යම් මොහොතක ගැස්සෙන එකත් වලක්වන්න බැහැ.


යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට (2014 අවසානයේදී) සමස්ත ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 42,914ක්. 2019 අවසාන වෙද්දී එම ණය ප්‍රමාණය ඩොලර් මිලියන 54,812ක්. මේ අනුව එම වසර පහ තුළ විදේශ ණය වැඩි වීම ඩොලර් මිලියන 11,897ක්. එම වසර පහ තුළ ලංකාවේ විදේශ බැරකම් වෙනුවෙන් ගෙවා ඇති ප්‍රතිලාභ මුදල ඩොලර් මිලියන 11,834ක්. මේ අනුව, විදේශ ණය ඉහළ යාමෙන් 99.5%ක්ම පරණ ණය වල පොලියයි. එසේ නැත්නම් පැරණි ආයෝජන වෙනුවෙන් ගෙවූ ප්‍රතිලාභයි. විදේශ බැරකම් ඩොලර් මිලියන 11,897කින් ඉහළ ගියත් ණය ලෙස ඇත්තටම රටට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 63ක් පමණයි. 

මෙම කාලය තුළ ලංකාවේ විදේශ වත්කම් වල ආදායම් ලෙස ඩොලර් මිලියන 814ක් උපයා ඇති නමුත් සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 518කින් පමණයි. එහි ඩොලර් මිලියන 296ක අඩුවක් තිබෙනවා. මේ ගණනද ඇතුළුව රටට ශුද්ධ විදේශ බැරකම් ලෙස 2014-2019 කාලය තුළ පැමිණ තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 359ක් පමණයි. සංචිත ඉහළ යාම අඩු කළ විට අදාළ කාලය තුළ ශුද්ධ විදේශ බැරකම් ඉහළ යාම ඩොලර් මිලියන 11,389ක්. ඒ අනුව, 2014-2019 අතර කාලය තුළ ඉහළ ගිය ශුද්ධ විදේශ බැරකම් වලින් 97%කටම හේතු වී තිබෙන්නේ පරණ ණයට වලට පොලී එකතු වීමයි. 

මේ කරුණ පැහැදිලි කළ යුත්තේ පසුගිය ආණ්ඩු වල ක්‍රියාකාරකම් වල හොඳ නරක සංසන්දනය කිරීම සඳහාම නෙමෙයි. ලංකාවේ වත්මන් තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීම සඳහා. ඉදිරි වසර වල ලංකාව එක ඩොලරයක හෝ විදේශ ණය අලුතින් නොගත්තත් තිබෙන ණය වල පොලිය ලෙස වාර්ෂිකව ඩොලර් බිලියන 2 ඉක්මවන මුදලක් එකතු වෙනවා. ඉන් පසුව, ඒ පොලියටද පොලිය එකතු වී වැල් පොලී වෙනවා. ඉදිරි සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක මුඛ්‍ය ඉලක්කය විය යුත්තේ කෙසේ හෝ මේ චක්‍රයෙන් ගැලවීමයි.

මෙහිදී අප කතා කරන්නේ රටේ සමස්ත විදේශ ණය ගැනයි. රජයේ විදේශ ණය එයින් කොටසක් පමණයි. 2010 වන තුරු රටේ විදේශ ණය වලින් විශාල ප්‍රමාණයක් රජයේ විදේශ ණය වුවත්, 2010දී ආරම්භ කළ පොන්සි ක්‍රීඩාව හරහා රජය විසින් සෘජුව විදේශ ණය ලබා නොගෙන වක්‍ර ලෙස විදේශ ණය ලබා ගන්නා ක්‍රමයක් ආරම්භ වුනා. ඒ නිසා, රාජ්‍ය ණය අතර තිබෙන විදේශ ණය ප්‍රමාණය දෙස බැලූ විට රට සිරවී සිටින විදේශ ණය උගුලේ බරපතලකම පැහැදිලිව පෙනෙන්නේ නැහැ. විදේශ ණය ගැන කතා කරන හැම දෙනෙකුම මෙන් රාජ්‍ය ණය ගැන කතා කළත්, විනිමය අනුපාතය පාලනය කරමින් ආරම්භ කර පවත්වා ගෙන යන පොන්සි ක්‍රීඩාව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති තරම්. පහත රූප සටහන දෙස බැලූ විට මේ පොන්සි ක්‍රීඩාවේ ආරම්භය පැහැදිලිව හඳුනා ගත හැකියි.



Friday, February 4, 2022

ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නය


බොහෝ තනි පුද්ගලයින් විසින් මෙන්ම ලංකාවේ ප්‍රමුඛ දේශපාලන ධාරා විසින්ද ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ආර්ථික අර්බුදය ඩොලර් නැතිකම සේ හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම මත පදනම්ව විවිධ විසඳුම්ද යෝජනා කරනවා. මේ යෝජිත විසඳුම් එම විසඳුම් ඉදිරිපත් කරන දේශපාලන ධාරා අනුව වර්ග නොකර ආකෘතිය අනුව පහත අයුරින් ලැයිස්තුගත කළ හැකියි. 

1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබා ගැනීම හෝ එසේ නොගොස් වෙනත් පාර්ශ්ව වලින් ණය ලබා ගැනීම - මෙහිදී ක්ෂණිකව රටට ඩොලර් ආවත්, මැදිකාලීනව ඊට වඩා ඩොලර් ප්‍රමාණයක් රටින් එළියට යනවා. වෙනත් පාර්ශ්ව වලින් ණය ගත් විට ආපසු යන ප්‍රමාණය වැඩියි.

2. විදේශගත ලාංකිකයන්ගෙන් ඩොලර් එවන ලෙස ආයාචනය කිරීම- මෙහිදී ක්ෂණිකව රටට යම් ඩොලර් ප්‍රමාණයක් එනවා. ඒ ඩොලර් ආපසු යන්නේ නැහැ. නමුත්, මේ වගේ දෙයක් දිගින් දිගටම කරන්න බැහැ. මහා පරිමාණයෙන් කරන්නත් බැහැ. 

3. ණය පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ආනයන පාලනය කිරීම - මෙහිදී අරමුණ වන්නේ ඩොලර් එළියට යන එක සීමා කර ගැනීම හෝ පමා කර ගැනීම. හැබැයි මේ විදිහට ඩොලර් ඉතුරු කර ගත හැක්කේ කෙටි කාලයකට පමණයි.

4. දේශීය වත්කම් විදේශිකයන්ට විකිණීම හා/හෝ ස්වභාවික සම්පත් විකිණීම - මෙයින්ද ක්ෂණික වාසියක් ලැබුනත් බොහෝ විට සිදු විය හැක්කේ දිගුකාලීනව අවාසියක් වෙන එකයි. එසේ නොවන ආකාරයෙන්ද මෙය කළ හැකි අවස්ථා තියෙන්න පුළුවන්. 

5. විණිමය අනුපාතය පාවෙන්නට ඉඩ හැර රුපියල අවප්‍රමාණය කිරීම - ක්ෂණිකව ප්‍රශ්නය විසඳා ගත හැකි ක්‍රමයක් වුවත් දිගුකාලීනව ප්‍රශ්නය විසඳෙන්නේ මේ වැඩේ දිගින් දිගටම කරන්නේනම් පමණයි.

6. රුපියල අවප්‍රමාණය නොකර අපනයන ප්‍රවර්ධනය කිරීම - කරන්න පුළුවන්නම් හොඳයි. එහෙත් මෙය සංගත හෝ ප්‍රායෝගික යෝජනාවක් නෙමෙයි.

මේ ලැයිස්තුවට එකතු කළ හැකි තවත් විසඳුම් තිබිය හැකියි. මෙහි අවසනට සඳහන් කළ විසඳුමෙහි සංගතභාවය හා ශක්‍යතාවය ප්‍රශ්නකාරී වුවත්, අනෙක් හැම විසඳුමක්ම ඩොලර් නැතිකමට ප්‍රශ්නයක් විය හැකි විසඳුම්. මේ ඕනෑම ක්‍රමයකින් හෝ ක්‍රම කිහිපයකින් ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ක්ෂණික ප්‍රශ්නය විසඳෙන්න පුළුවන්. නමුත්, අප සාකච්ඡා කළ යුතු කරුණ එයින් ඔබ්බෙහි තිබෙන දෙයක්.

ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ක්ෂණික ප්‍රශ්නය ඩොලර් නැතිකම කියන එකේ වැරැද්දක් නැහැ. නමුත්, ලංකාවේ අනාගතය පිළිබඳ දිගුකාලීන දැක්මක් ඇති දේශපාලන වැඩ පිළිවෙලක් හෝ දිගුකාලීන සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් තුළ අවධානය යොමු විය යුතු හා විසඳුම් යෝජනා විය යුතු ලංකාවේ දිගුකාලීන ප්‍රමුඛ ආර්ථික ප්‍රශ්නය ඩොලර් නැතිකම නෙමෙයි. ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමයි. 

ඩොලර් නැතිකම ලංකාවට ප්‍රශ්නයක් වන්නේ ඇයි? ඉහත කවර ආකාරයකින් හෝ ඩොලර් නැතිකමට විසඳුමක් සොයා ගතහොත් අනාගතයේදී නැවතත් ඩොලර් නැතිකම ලංකාවට ප්‍රශ්නයක් නොවන බවට සහතිකයක් තිබේද? එවැනි සහතිකයක් නැත්නම්, ඩොලර් නැතිකමට මේ මොහොතේ ලබා දෙන විසඳුමක් පැලැස්තර විසඳුමක් පමණක් නොවන්නේද? ඩොලර් නැතිකම ලංකාවට ප්‍රශ්නයක් වීමම ප්‍රශ්නයක් බව ඔබ නොදකින්නේද?

ඩොලර් කියන්නේ ඇමරිකාවේ ජාතික මුදල් ඒකකයයි. ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවට ඩොලර් ඕනෑ තරමක් මුද්‍රණය කර ගත හැකියි. ඒ නිසා, ඇමරිකාවට ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙනත් රටවලට ඩොලර් මුද්‍රණය කරන්න බැහැ. එහෙත්, ඒ හේතුව නිසාම අනෙක් හැම රටකටම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. 

ඇමරිකාව ඩොලර් මුද්‍රණය කරනවාක් මෙන්ම අනෙක් රටවලට ඒ රටවල ජාතික මුදල් ඒකක මුද්‍රණය කර ගත හැකියි. ලංකාවටත් රුපියල් මුද්‍රණය කර ගන්න පුළුවන්.

ලංකාවට ඩොලර් අවශ්‍ය වන්නේ භාණ්ඩ හෝ සේවා ආනයනය සඳහා. ඇමරිකාවත් භාණ්ඩ හා සේවා ආනයනය කරනවා. ඒ වෙනුවෙන් ඩොලර් වැය කරනවා. අනෙක් රටවල් ඩොලර් ලබාගෙන ඇමරිකාවට භාණ්ඩ හා සේවා එවනවා. අනෙක් රටවල් රුපියල් ලබාගෙන ලංකාවට භාණ්ඩ හා සේවා එවනවානම් ලංකාවට ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත්, අනෙක් රටවල් රුපියල් අරගෙන ලංකාවට භාණ්ඩ හා සේවා එවන්නේ නැහැ. ඒ නිසා, ලංකාවට ඩොලර් උපයා ගන්න සිදු වී තිබෙනවා. 

ලෝකයේ අනෙක් හැම රටක්ම ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයට මුහුණ දෙන්නේ නැහැ. අපි එක්සත් රාජධානිය හෝ ජපානය වැනි රටක් ගනිමු. එක්සත් රාජධානියට භාණ්ඩ හා සේවා ආනයනය කරන්න ඩොලර් අවශ්‍යම නැහැ. ඔවුන්ට පවුම් ගෙවා භාණ්ඩ හා සේවා ආනයනය කළ හැකියි. ඒ අයුරින්ම ජපානයට යෙන් ගෙවා භාණ්ඩ හා සේවා ආනයනය කළ හැකියි. ලෝකයේ රටවල ජාතික මුදල් ඒකක අතරින් මෙවැනි ශක්තියක් තිබෙන්නේ මුදල් ඒකක සීමිත ප්‍රමාණයකට පමණයි. ලංකාවේ රුපියල ඒ අතර නැහැ. එහෙමනම්, දිගුකාලීනව බැලුවොත් ලංකාවේ ප්‍රශ්නය ඩොලර් නැතිකමද, එසේ නැත්නම්, රුපියලට පිළිගැනීමක් නැතිකමද? 

රටක ජාතික මුදල් ඒකකයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීම කිසිසේත් කළ නොහැකි දෙයක් නෙමෙයි. ඇමරිකානු ඩොලරයට අද තිබෙන පිළිගැනීම මීට වසර සියයකට පෙර මේ ලෙසින්ම තිබුණේ නැහැ. පසුගිය සියවසේ මුල් කාලය වෙද්දීත් ඇමරිකානු ඩොලරය ඇමරිකාවෙන් පිටත ලොකු පිළිගැනීමක් නොලැබූ මුදල් ඒකකයක්. යුරෝ මුදල් ඒකකයට තිබෙන්නේ වසර තිහක පමණ ඉතිහාසයක්. ජපානයේ යෙන් මුදල් ඒකකයට පිළිගැනීමක් ලැබුණේ පසුගිය සියවසේ දෙවන භාගයේදී. ලංකාවේ රුපියලට තරම් ඉතිහාසයක් නැති, ඉතා කුඩා රටක් වන සිංගප්පූරුවේ ජාතික මුදල් ඒකකය අද ලොව පුරාම පිළිගැනෙන මුදල් ඒකකයක්. 

ඇතැම් මුදල් ඒකක වලට තිබෙන පිළිගැනීමට හේතුව අදාළ රටවල් වල ආර්ථිකය කියන එක ඇත්තක් වුවත්, මුදල් ඒකකයක ශක්තිය නිර්ණය කරන එකම සාධකය එය නෙමෙයි. බිට්කොයින් වැනි මුදල් පසුපස කිසිදු ආර්ථිකයක් නැහැ.

සිංගප්පූරු ඩොලර් අරගෙන සංචාරය කරන අයෙකුට ලෝකයේ බොහෝ රටවලදී ඉතා පහසුවෙන් එම මුදල් වෙනත් මුදලකට මාරු කරන්න පුළුවන්. එහෙත් ලංකාවේ රුපියල් අරගෙන වෙනත් රටකට යන කෙනෙකුට එසේ මාරු කරන්න බැහැ. ලංකාවේ සංචාරකයින් නිතර යන එන ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ හා සිංගප්පූරුවේ "පුංචි ඉන්දියාව" වැනි සීමිත තැන් කිහිපයකදී හැර ලංකාවෙන් පිටතදී ලංකාවේ රුපියල් මාරු කරන්න බැහැ. ඒ නිසා, පිටරටකට යන ලාංකිකයෙකුට රුපියල් වෙනුවට ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් ඒකකයක් අරගෙන යන්න වෙනවා. දිගුකාලීනව කරගත යුත්තේ මේ තත්ත්වය වෙනස් කර ගැනීම නෙමෙයිද? 

දූරදර්ශී දේශපාලන ව්‍යාපාරයක් විසින් ඉහත ලැයිස්තුවේ ඇති විසඳුම් දෙස බැලිය යුත්තේ මේ ඉලක්කය අමතක නොකරමිනුයි. මේ මොහොතේ ඩොලර් නැතිකම සඳහා යෝජනා කරන විසඳුම් වලින් දිගුකාලීනව සිදු වෙන්නේ "ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නය" විසඳෙන එකද, නැත්නම්, තවත් උග්‍ර වෙන එකද?

ලංකාවේ රුපියලට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීම ක්ෂණිකව, වසරකින් දෙකකින් හෝ වසර දහයකින් පහළොවකින් කළ හැකි දෙයක් නෙමෙයි. නමුත්, ඒ ගැන නොසලකා හිටියොත් කවදාවත්ම ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒ තරම් දුර බලන්න කලින් මේ මොහොතේ ප්‍රශ්නය විසඳා ගත යුතු බව ඇත්ත. හැබැයි එහිදී අවධානය යොමු කළ යුත්තේ ප්‍රශ්නය කොහොම හරි විසඳා ගන්න නෙමෙයි. වඩා හොඳ විදිහකට විසඳා ගන්නයි.

ලංකාවේ රුපියල කාටවත් එපා කියන එකෙන් කියැවෙන්නේ ලංකාව පෙන්වන වටිනාකම කවුරුවත් එහි දකින්නේ නැහැ කියන එකයි. දැන් රුපියලක මිල ඩොලර් ශත බාගයක්. ඒ මිලට කවුරුවත් රුපියල් මිල දී ගන්නේ නැහැ. මිල අඩු කිරීම ප්‍රශ්නයට විසඳුමක්. ලංකාවේ චූටි රුපියලටත් යම්කිසි වටිනාකමක් තියෙනවනේ. ඒ මිලට දුන්නොත් ඩොලර් ගෙවා රුපියල් ගන්න අය හොයා ගන්න බැරිවෙන එකක් නැහැ. වෙනත් විදිහකට කිවුවොත් රුපියලේ සැබෑ වටිනාකම නිරූපණය වන ආකාරයට විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීම ක්ෂණික ප්‍රශ්නයට ලබා දිය හැකි පහසු හා ක්ෂණික විසඳුමක්. 

හැබැයි මේ විදිහට ප්‍රශ්නය විසඳා ගත් පමණින් දිගුකාලීන ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ලංකාව රුපියල් අච්චු ගහන තරමට එහි සැබෑ වටිනාකම අඩු වෙනවා. ඒ නිසා, එක්කෝ ඔය සල්ලි අච්චු ගැහිල්ල නවත්වන්න ඕනෑ. නැත්නම් හැමදාම දිගින් දිගටම රුපියලට අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න ඕනෑ.

ණයට ඩොලර් අරගන්න පුළුවන්නම් ඒ මගිනුත් මේ මොහොතේ ප්‍රශ්නය විසඳෙනවා. හැබැයි දිගුකාලීනව ඒ ගත් ණය පොලියද සමඟ ගෙවන්න වෙන නිසා ප්‍රශ්නය නැවත වටයකින් මතු වෙන්නේ වඩා දරුණු ලෙසයි. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබා ගැනීම හෝ එසේ නොගොස් වෙනත් පාර්ශ්ව වලින් ණය ලබා ගැනීම අතර තිබෙන ප්‍රධානම වෙනස පළමු ක්‍රමයේදී බොහෝ විට විණිමය අනුපාතය අවප්‍රමාණය කරන්න සිදු වීමයි. ඊට අමතරව, මැදිකාලීනව ප්‍රශ්නය යටපත් කළ හැකි කොන්දේසි ඒ සමඟ එන්න පුළුවන්.

විදේශගත ලාංකිකයන්ගෙන් ඩොලර් එකතු කර ගන්න පුළුවන්නම් ඒ මගින්ද මේ මොහොතේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. එහෙත්, අනුන්ගෙන් හැමදාම සල්ලි ඉල්ලන්න බැහැ. ඔය වැඩේ ලොකුවට කරන්නත් බැහැ.  දැන් ප්‍රශ්නය විසඳාගත්තා කියලා ප්‍රශ්නය නැවත මතු වෙන එක වලක්වා ගන්නත් බැහැ. මීට සාපේක්ෂව, ලාංකිකකයින් වැඩි වැඩියෙන් රට පටවන එකේත් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා වුවත් එය වඩා ස්ථාවර ක්‍රමයක්. ඒ වැඩෙන් ක්ෂණික ප්‍රශ්නය හෝ දිගුකාලීන ප්‍රශ්නය නොවිසඳුනත් මැදිකාලීනව සහනයක් ලැබෙනවා.

ණය පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ආනයන පාලනය කිරීම වගේ දේවලුත් ක්ෂණික ප්‍රශ්නයට විසඳුම් වුවත් මේ වැඩ වලින් මැදිකාලීනව වගේම දිගුකාලීනවත් වෙන්නේ ප්‍රශ්නය උග්‍ර වෙන එකයි. වත්කම් හා/හෝ ස්වභාවික සම්පත් විකිණීමෙන්ද ලැබිය හැක්කේ කෙටිකාලීන වාසියක් පමණයි. රුපියල අවප්‍රමාණය නොකර අපනයන ප්‍රවර්ධනය කිරීම කතාවට හොඳ දෙයක් වුවත් ප්‍රායෝගිකව කරන්න අමාරු වැඩක්.

ඔය මොන දෙයක් කළත් දිගුකාලීනව තියා මැදිකාලීනවවත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ නිසා, නහය ඉදිරිපස තිබෙන පහසු විසඳුම අතහැර වෙන වෙන විසඳුම් හොයන එක කිසිම තේරුමක් නැති වැඩක්. රුපියල එහි සැබෑ වටිනාකම දක්වා පහත වැටෙන්න ඉඩ දුන් පසු ක්ෂණික ප්‍රශ්නය අවසානයි. ඉන් පසු, සල්ලි අච්චු ගහන එක ටිකෙන් ටික හෝ අඩු කරන්න වෙනවා. සල්ලි අච්චු ගහනවානම් නැවත නැවත රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න වෙනවා. 

අවසාන වශයෙන් "ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නය" විසඳා ගත හැක්කේ සල්ලි අච්චු ගැසීම සීමා කිරීම මගින් පමණයි. රටක් ලෙස කවදා හෝ ආර්ථික නිදහස ලබා ගැනීම ගැන හිතනවානම් ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නයෙන් හැකි ඉක්මණින්  නිදහස් වෙන එක ගැනත් දැන්ම හිතන්න වෙනවා.

Friday, January 28, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (පළමු කොටස)

ලංකාවේ ආර්ථික ප්‍රශ්නය පිළිබඳව ප්‍රධාන මතවාදී ධාරා තුනම එකඟ වන කොටසක් තිබෙනවා. ඒ නිදහසින් පසුව හැම ආණ්ඩුවකම දායකත්වයෙන් ගොඩ ගසා ගත් ණය කන්ද රටට ඔරොත්තු නොදෙන බව. මේ විවේචනය ඇතුළේ පොදුවේ ලංකාවේ ක්‍රියාත්මක වන සාර්ව-ආර්ථික ප්‍රතිපත්තිය ගැන විවේචනයක්ද තිබෙනවා. ප්‍රශ්නයට ක්ෂණික, මැදිකාලීන හා දිගුකාලීන විසඳුම් අවශ්‍ය බවද පොදු පිළිගැනීමක්.

ඉහත කී එකඟතාවයෙන් ඔබ්බට මේ මතවාදී ධාරා තුන පාරවල් තුනක යමින් ප්‍රශ්නයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් තැන් තුනකට යොමු කරනවා. ජාජබ විග්‍රහය අනුව ප්‍රශ්නය දරුණු වෙන්නේ 1977 සිටයි. හතළිස් තුනේ විග්‍රහය අනුව, රාජපක්ෂ දශකය තුළදී වාණිජ ණය ගන්න පටන් ගත් 2009 සිටයි. වියත්මග විග්‍රහය අනුව යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව 2015 සිටයි.

හතළිස් තුනේ ආර්ථික දේශපාලන ස්ථාවරය එජාප/සජබ ස්ථාවරයට වඩා විශාල ලෙස වෙනස් නැහැ. ඒ වගේම, වියත්මග ස්ථාවරය සහ මේ ආණ්ඩුව විසින් දැනට ක්‍රියාත්මක කරන ස්ථාවරය අතරත් පෙනෙන ලොකු වෙනසක් නැහැ. ඒ නිසා, මම මේ ධාරා තුන ඉහත ආකාරයෙන් හඳුන්වන්න කැමතියි. ඔය ධාරා තුනට අමතරව ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවකට තිබෙන්නේ ශ්‍රීලනිපයයි. එය සිටින්නේ කොතැනද කියන එක පැහැදිලි නැහැ.

මේ කණ්ඩායම් තුනටම බල ඉලක්ක තිබෙනවා. ඒ ඉලක්කය කරා යාමේදී ඔවුන්ට නිශ්චිත ජන කණ්ඩායමකට ආමන්ත්‍රණය කරන්න වෙනවා. තමන් ඉලක්ක කරන කණ්ඩායමේ අභිලාශ වලින් යම් සීමාවකට වඩා විතැන් වෙමින් ස්වාධීන විග්‍රහයක් කරන්න මේ කවර කණ්ඩායමකටවත් පුළුවන් කමක් නැහැ. ඒ හේතුව නිසා මේ විග්‍රහයන් එකක්වත් ඔවුන්ටම සාපේක්ෂව අවංක විග්‍රහයන් බවට සහතිකයක් නැතත්, මේ එක් එක් විග්‍රහය සමඟ අවංකවම එකඟ වෙන පිරිස් ලංකාවේ ඉන්නවා. 

නිදහසේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ප්‍රශ්නයක බර එක කණ්ඩායමකට දමන එක අසීරු හා සංකීර්ණ වැඩක්. නමුත්, මේ බර සම සේ බෙදා හැරීමත් නිවැරදි ප්‍රවේශයක් නෙමෙයි. ඒ නිසා, වෙනස් විග්‍රහයන් තිබීමෙන් ඒවායින් එකක් හැර අනෙක්වා වැරදියි කියන එක ගම්‍ය වන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නයේ මුල ලෙස හඳුනා ගන්නේ කොතැනද කියන එක මත විසඳුමේ හැඩය තීරණය වෙනවා. මොකද ප්‍රශ්නයේ මුල ප්‍රශ්නයක් නැති තැනක් තිබෙනවා. ඒ තැන ලෙස එකිනෙකා හඳුනා ගන්නේ වෙනස් තැන් තුනක්.

මේ වෙනස බලපාන්නේ මැදිකාලීන විසඳුම් ගැන කතා කරද්දී. ක්ෂණික විසඳුම කොහොමත් මේ දැන් දිය යුතුයි. දිගුකාලීන විසඳුමට තව සෑහෙන කාලයක් තිබෙනවා. දළ වශයෙන් ගත්තොත්, ජාජබ විසඳුම ස්ථානගත වී තිබෙන්නේ 1977ට ආපසු යාම වටා. හතළිස් තුනේ විසඳුම ස්ථානගත වී තියෙන්නේ 2019ට ආපසු යාම වටා. වියත්මග විසඳුම ස්ථානගත වී තිබුණේ 2015ට ආපසු යාම වටා.

ජාජබ විසින් 1970-77 කාලයට නැවත යා යුතුයැයි කියන බවක් හෝ හතළිස් තුන 2015-2019 වෙත නැවත යා යුතුයැයි කියන බවක් හෝ වියත්මග විසින් නැවත 2004-2014 කාලයට යා යුතුයැයි කියූ බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. ඔය කණ්ඩායම තුන විසින්ම එම එක් එක් අතීත පරමාදර්ශය තුළ හඳුනාගත් අඩුපාඩු තිබෙනවා. හැබැයි පරණ වැරදි හදාගෙන ස්ථානගත වෙන්න බලා ඉන්නේ ඔය තැන් වලයි.

මේ ස්ථාවර තුන අතරින් මගේ පෞද්ගලික ස්ථාවරය වඩා කිට්ටු හතළිස් තුනේ ස්ථාවරයටයි. නමුත් හතළිස් තුන මෙන් රාජ්‍ය ණය ප්‍රශ්නයේ බර මම මුළුමනින්ම රාජපක්ෂ දශකයට බැර කරන්නේ නැහැ. මම දකින විදිහට රාජ්‍ය ණය ප්‍රශ්නය යනු හතළිස් හතේ සිට වර්ධනය වන, දිගුකාලීන විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයයි. රාජපක්ෂ දශකය තුළ වර්ධනය කළේ මේ වන විට ක්ෂණික විසඳුමක් අවශ්‍යව තිබෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නයයි. එය විණිමය අනුපාතය පාලනය කරමින් පොන්සි ක්‍රීඩාවක් පටන් ගැනීම නිසා ඇති වූ ප්‍රශ්නයක්. 

මගේ විසඳුම් ස්ථානගත වන්නේ මගේ විග්‍රහයට සාපේක්ෂවයි. ඒ අනුව, ක්ෂණික ප්‍රශ්නය මේ පොන්සි ක්‍රීඩාව දිගටම කරගෙන යන්න බැරි වීමේ ප්‍රශ්නයයි. ක්ෂණික ප්‍රශ්නයට ක්ෂණික විසඳුම කඩා වැටෙන්න නොදී මොන ආකාරයෙන් හෝ පොන්සි ක්‍රීඩාව දිගටම කරගෙන යාමයි. ක්ෂණිකව ඊට වඩා දෙයක් කරන්න බැහැ. 

මැදිකාලීන විසඳුම විය යුත්තේ පොන්සි ක්‍රීඩාවෙන් ගැලවෙන එකයි. රාජ්‍ය ණය ප්‍රශ්නය යනු එයින්ද පසුව විසඳන්නට වෙන ප්‍රශ්නයක්. ආර්ථික වර්ධනය එන්නේ මේ සියල්ලෙන් පසුවයි. මෙහි පෙර-පසු කියා කියන්නේ කාල අර්ථයකින් (chronologically) නොව ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතු ප්‍රමුඛතා අනුපිළිවෙළ මතයි. කාල අර්ථයෙන්නම් මේ සියල්ල එකට ගෙන විසඳුම් සෙවිය යුතුයි. ඊට අමතරව, මේ සියල්ලට ඔබ්බෙන් තිබෙන දිගුකාලීන ආර්ථික සංවර්ධනයටත් ප්‍රමුඛතාවය ලැබිය යුතුයි. 

මේ ප්‍රශ්න අතරින් ක්ෂණික ප්‍රශ්නය ක්ෂණිකව විසඳන්න වෙන්නේ මේ ආණ්ඩුවටයි. යම් හෙයකින් ආණ්ඩුව විසින් ප්‍රශ්නය දැනට විසඳා ගත්තත්, මැදිකාලීන ප්‍රශ්නය විසඳන තුරු මේ ක්ෂණික ප්‍රශ්නය සදාකාලික (perennial) ක්ෂනික ප්‍රශ්නයක් වෙයි කියන එක මගේ අදහසයි. මේ හේතුව නිසා දැනට දේශපාලන බලය නැති, බලයට එන්න හිතාගෙන ඉන්න කණ්ඩායම් වලටත් ප්‍රශ්නයට විසඳුමක් ගැන හිතන්න වෙනවා.

මගේ මේ අවසන් ප්‍රකාශය ජාජබ හා 43 විශ්ලේෂණ සමඟ විශාල ලෙස ගැටෙන්නේ නැති වුනත්, ආණ්ඩුවේ විශ්ලේෂණය සමඟ සෘජු ලෙස ගැටෙනවා. ආණ්ඩුවට අනුව, ක්ෂණික ප්‍රශ්නය කෝවිඩ් නිසා ඇති වූ අනපේක්ෂිත ප්‍රශ්නයක්. මා පෙන්වා දෙන පදනමින්ම නොවුණත්, ක්ෂණික ප්‍රශ්නය කෝවිඩ් නිසා ඇති වූ ප්‍රශ්නයක් නොවන බව ජාජබ හා 43 කණ්ඩායම් වලද මතයයි. එය එලෙස නොදකින්නේ ආණ්ඩුවේ මතවාදය සමඟ සිටින අය පමණයි. 

ආණ්ඩුවේ මතවාදය කියා කිවුවත් ආණ්ඩුව වෙත දේශපාලන පක්ෂපාතිත්වයක් නැති හා ආණ්ඩුවට විරුද්ධ පැත්තේ ඉන්න ඇතැම් අයත් මේ අදහස දරනවා. ඒ නිසා, ක්ෂණික ප්‍රශ්නය කෝවිඩ් නිසා ඇති වූ අනපේක්ෂිත ප්‍රශ්නයක් නොවන බවත්, ඒ නිසාම කෝවිඩ් අවසන් වීමෙන් පසුව අවසන් නොවන බවත්, සාධක සහිතව අපට පෙන්වීමට සිදු වෙනවා. මෙයින් අප අදහස් කරන්නේ කෝවිඩ් නිසා අනපේක්ෂිත ප්‍රශ්නයක් ඇති නොවූ බව නෙමෙයි. ප්‍රශ්නය ඊට වඩා බරපතල ප්‍රශ්නයක් බවයි. 

ඒ වගේම, ලංකාවේ ප්‍රශ්නය සරල ණය ප්‍රශ්නයක් නොවන බවත් අපට තව දුරටත් තහවුරු කර පෙන්වන්න සිදු වෙනවා. ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය තේරුම් ගැනීම සඳහා අපි මුලින්ම මේ කරුණු දෙක නිරවුල් කර ගනිමු. 

මේ වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, මෙය එසේ වූ පළමු අවස්ථාව නෙමෙයි. මීට පෙර අවස්ථා දෙකකදී ලංකාවේ ලංකාවේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා ගියත් මෙවැනි විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. ඒ වගේම දැනටත් දළ දේශීය නිෂ්පාදිතය මෙන් 266%ක් රාජ්‍ය ණය තිබෙන ජපානයට හෝ එම අනුපාතය 100% ඉක්මවා ඇති ඇමරිකාව, කැනඩාව, ප්‍රංශය, බහරේන් හෝ සිංගප්පූරුව වැනි රටවලට ලංකාව මුහුණ දෙන ආකාරයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වී නැහැ.

රාජ්‍ය ණය ප්‍රශ්නය ලංකාවේ ක්ෂණික ප්‍රශ්නය නෙමෙයි. ක්ෂණික ප්‍රශ්නය ගෙවුම් ශේෂ ප්‍රශ්නයයි. ගෙවුම් ශේෂ ප්‍රශ්නයට හේතුව ලංකාවේ විදේශ වත්කම් වලට සාපේක්ෂව විදේශ බැරකම් විශාල ලෙස ඉහළ ගොස් තිබීමයි. එය කෙතරම් බරපතල තත්ත්වයකට ඔඩු දුවා ඇත්ද යන්න අපි මුලින්ම තේරුම් ගනිමු.

ලෝකයේ හැම රටකටම විදේශ බැරකම් වලට වඩා වැඩියෙන් විදේශ වත්කම් තියා ගන්න බැහැ. ලෝකයට ණය වෙන රටවල් තිබේනම් ලෝකයට ණය දෙන රටවලුත් තිබිය යුතුයි. ශුද්ධ විදේශ වත්කම් හෝ බැරකම් තිබීම අනුව අපට ලෝකයේ රටවල් ගොඩවල් දෙකකට වෙන් කරන්න පුළුවන්. 


ඉහත ලෝක සිතියමෙහි තැඹිලි පාටින් ලකුණු කර තිබෙන ඇමරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වගේ රටවල් වල විදේශ බැරකම් විදේශ වත්කම් වලට වඩා වැඩියි. ඒ කියන්නේ ඒ රටවල් ලෝකයට ණයයි. නිල් පාටින් ලකුණු කර තිබෙන රුසියාව, චීනය, ජපානය, කැනඩාව වගේ රටවල විදේශ වත්කම් විදේශ බැරකම් වලට වඩා වැඩියි. දත්ත නැති නිසා මෙහි අළු පාටින් ලකුණු වී තිබුණත් ලංකාව පාට විය යුත්තේ මොන පාටින්ද කියන එක කියන්න අවශ්‍ය නැහැනේ.

ලංකාව වගේම දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවන රාජ්‍ය ණය ප්‍රමාණයක් තිබෙන ජපානය, කැනඩාව, බහරේන්, සිංගප්පූරුව වගේ රටවල් වලට ඒ ණය ප්‍රශ්නයක් වී නැත්තේ ඇයි කියන එක පැහැදිලියිනේ. ඒ රටවල් වල රජය ණය වී තිබුණත්, එසේ ණය වී තිබෙන්නේ රටේම මිනිස්සුන්ට. ඒ රටවල් ශුද්ධ වශයෙන් විදේශ වලට ණය දීලා මිසක් ණය වෙලා නැහැ. 

රාජ්‍ය ණය වැඩි වීමත් ප්‍රශ්නයක් තමයි. නමුත්, රටක විදේශ ණය වැඩි වීම ඊට වඩා ගොඩක් බරපතල ප්‍රශ්නයක්. විදේශ ණය හෝ බැරකම් වැඩියි කියන්නේ ඒ බැරකම් වෙනුවෙන් හැම වසරකම යම් මුදලක් පොලී හෝ ලාභාංශ ලෙස ගෙවිය යුතු බවයි.  ඇමරිකාව, එක්සත් රාජධානිය වගේ ලොව පිළිගත් මුදල් ඒකක තිබෙන රටවල් හැර අනෙක් බොහොමයක් රටවල් මේ පොලී මුදල් ගෙවිය යුත්තේත් විදේශ විණිමය වලින්. ප්‍රශ්නයට හේතුව ඕකයි. විදේශ වත්කම් වැඩි රටවල් වලට ඔය ප්‍රශ්නය නැහැ වගේම සෑම වසරකම පොලී ලෙස සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක්ද ලැබෙනවා.

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය ලිපි මාලාවේ දහවන හා අවසන් කොටසින් කියපු විදිහට 2021 සැප්තැම්බර් අවසානයේදී ලංකාවේ දළ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 8.3ක් පමණයි. දළ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 62.3ක්. ඔය ඩොලර් බිලියන 8.3න් ලංකාවට විදේශ විණිමය ලෙස පොලී ආදායමක් ලැබෙනවා. ඩොලර් බිලියන 62.3 වෙනුවෙන් පොලී ලෙස වියදමක් දරන්න වෙනවා. 

පොලී අනුපාතික සමාන සේ උපකල්පනය කළොත්, වත්කම් වෙනුවෙන් ලැබෙන ආදායමෙන්  ඩොලර් බිලියන 8.3ක බැරකම් වල පොලී වියදම් ආවරණය වෙනවා. තව ඩොලර් බිලියන 54.0 ක ශුද්ධ බැරකම් තිබෙනවා. ඒ වෙනුවෙන් පොලී ලෙස ගෙවීම සඳහා විදේශ විණිමය කොහෙන් හෝ හොයා ගන්න වෙනවා. පොලී අනුපාතිකය 4%ක් ලෙස සැලකුවොත් වසරකට ඩොලර් බිලියන 2කට වඩා වැඩි මුදලක්.

හරියටම කියනවානම් ප්‍රශ්නය විදේශ බැරකම් විදේශ වත්කම් වලට වඩා වැඩි වීමමත් නෙමෙයි. විදේශ බැරකම් වෙනුවෙන් පොලී ගෙවන්න විදේශ වත්කම් වලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම. ඔය දෙක සමතුලනය කර ගන්න බැරිනම් රටක් දිගුකාලීනව ගෙවුම් ශේෂ උගුලක හිර වෙන්න ඉඩකඩ වැඩියි. රටක විදේශ වත්කම් වලින් උපයන ආදායම විදේශ බැරකම් වල පොලී වියදම් ගෙවන්න ප්‍රමාණවත්නම් වත්කම් වලට වඩා බැරකම් වැඩි වීම ප්‍රශ්නයක් නෙමෙයි.

ලෝකයේ රටවල් අතරින් ශුද්ධ විදේශ බැරකම් වැඩිම රට ඇමරිකා එක්සත් ජනපදයයි. 2021 සැප්තැම්බර් අවසානයේදී ඇමරිකාවේ දළ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 50.5ක්. නමුත් දළ විදේශ වත්කම් ලෙස තිබුණේ ඩොලර් ට්‍රිලියන 34.4ක් පමණයි. ඒ කියන්නේ ඩොලර් ට්‍රිලියන 16.1ක වෙනසක්. ඩොලර් බිලියන 16,070ක් පමණ. එහෙම බැලුවහම ලංකාවේ ඩොලර් බිලියන 54 සොච්චමක්!

ලෝකයට ඔය තරම්ම ණය වුනත් එය ඇමරිකාවට ප්‍රශ්නයක් නොවන්නේ ඇයි? පළමුව, මේ තරම් ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණයක් තිබුණත් ඒ බැරකම් වැඩි වශයෙන්ම ඇමරිකන් ඩොලර් බැරකම්. ඒ නිසා, ඇමරිකාවට අවශ්‍යනම් ඩොලර් අච්චු ගහලා ඔය ණය ගෙවන්න පුළුවන්. ඒ වැඩෙන් උද්ධමනය ඉහළ ගොස් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් තමයි. නමුත් ලංකාවට වගේ විදේශ විණිමය අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.

ඊටත් වඩා වැදගත් කරුණ ඇමරිකාව ඔය විදේශ බැරකම් වෙනුවෙන් ගෙවන්නේ ඉතාම සුළු පොලියක් පමණක් වීමයි. ලංකාවේ රාජ්‍ය ආදායමෙන් 70%කටත් වඩා පොලී ගෙවන්න වියදම් වුනත් ඇමරිකාවේ පොලී වියදම රාජ්‍ය ආදායමෙන් 10% ඉක්මවන්නේ නැහැ. අනෙක් පැත්තෙන්, ඇමරිකාවේ විදේශ වත්කම් වලින් ඇමරිකාව සැලකිය යුතු පොලී ආදායමක් උපයනවා. පොලී කියා මෙහිදී කියන්නේ ලාභාංශ ඇතුළු අනෙකුත් ඒ ආකාරයේ ප්‍රතිලාභද පොදුවේ සලකලා.

ඩොලර් ට්‍රිලියන 34.4ක් පමණක් වන ඇමරිකාවේ විදේශ වත්කම් වලින් ඇමරිකාව වාර්ෂිකව උපයන පොලී ආදායමෙන් ඩොලර් ට්‍රිලියන 50.5ක් පමණ වන විදේශ බැරකම් වෙනුවෙන් පොලී ගෙවුවට පස්සේත් ඇමරිකාවට වාර්ෂිකව සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා, ශුද්ධ විදේශ බැරකම් වැඩි වීම ඇමරිකාවට ප්‍රශ්නයක් නෙමෙයි. 

අනෙක් පැත්තෙන්, ශුද්ධ විදේශ වත්කම් වැඩිම රට ජපානයයි. 2021 සැප්තැම්බර් අවසානයේදී ජපානයේ දළ විදේශ වත්කම්  ප්‍රමාණය යෙන් ට්‍රිලියන 1,228.9ක්. දළ විදේශ බැරකම් ප්‍රමාණය යෙන් ට්‍රිලියන 845.6ක්. ඒ කියන්නේ ජපානය සතුව යෙන් ට්‍රිලියන 383.3ක ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. ඩොලර් වලින්නම් බිලියන 3,442ක් පමණ. විදේශ බැරකම් වලට වඩා වැඩි විදේශ වත්කම් ප්‍රමාණයක් තිබෙන නිසා ජපානයට පොලී වියදම ඉක්මවන පොලී ආදායමක් උපයන්න පුළුවන්.

හැබැයි විදේශ බැරකම් වලට වඩා විදේශ වත්කම් වැඩි වූ පමණින්ම මේ වාසිය ලැබෙන්නේ නැහැ. 2021 සැප්තැම්බර් අවසානයේදී චීනයේ දළ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 9,057ක්. දළ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 7,031ක් පමණයි. ඒ කියන්නේ චීනය සතුව ඩොලර් බිලියන 2,026ක ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. එසේ වුවත්, චීනයේ ඩොලර් බිලියන 7,031ක බැරකම් නිසා වසරකට රටින් එළියට විදේශ විණිමය ප්‍රමාණය තරමට ආදායමක් චීනයේ ඩොලර් බිලියන 9,057ක විදේශ වත්කම් වලින් ලැබෙන්නේ නැහැ. ලැබීම් හා ගෙවීම් සමතුලනය කර ගන්නනම් චීනයට මීටත් වඩා විදේශ වත්කම් අවශ්‍යයි.

ඇමරිකාවේ ෆෙඩරල් සුරැකුම්පත් වල ආයෝජනය කර තිබෙන විදේශ රටවල් අතරින් උඩින්ම ඉන්නේ චීනය හා ජපානය. මේ ආයෝජන වෙනුවෙන් ලැබෙන්නේ ඉතාම අඩු පොලියක්. චීනයේ වගේම ජපානයේත් විදේශ වත්කම් වලින් අඩු ආදායමක් ලැබෙන්න හේතුව මේකයි. ජපානයේ විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු පොලීත් ඉතා අඩු නිසා මෙය ජපානයට ප්‍රශ්නයක් නොවුනත්, චීනයට ඒ වාසිය නැහැ. එහෙමනම් චීනය ඔවුන්ගේ වත්කම් ඇමරිකාවේ තියාගෙන ඉන්නේ ඇයි?

චීනය මෙතැනදී කරන්නේ ඇමරිකාව සමඟ වෙළඳ අතිරික්තයක් පවත්වා ගැනීමේ වාසිය ලබා ගන්න එක. ඇමරිකාවේ ෆෙඩරල් සුරැකුම්පත් වල ආයෝජනය කිරීම හරහා චීනය යුවානයට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම වැඩි කරනවා. එහිදී චීන අපනයන ඇමරිකාවට ලාබදායක වෙනවා. ඇමරිකන් අපනයන චීනයට මිල අධික වෙනවා. චීනයෙන් ඇමරිකාවට භාණ්ඩ යන තරමට ඇමරිකාවෙන් චීනයට භාණ්ඩ එන්නේ නැහැ. ඒ නිසා, එන ඩොලර් වලින් කොටසක් චීනයේ ඉතිරි වෙනවා. ඒ ඉතිරියෙන් පොලී ආදායම් හා වියදම් අතර පරතරය පියවා ගෙන තවත් ගාණක් ඉතුරු කර ගන්න පුළුවන්. සිංගප්පූරුව වගේ රටවල් කරන්නේත් මේ වැඩේ.

ලංකාව සතු සීමිත විදේශ වත්කම් ආයෝජනය කර තිබෙන්නේත් බටහිර රටවල. ඒ වෙනුවෙන් ලැබෙන්නේ ඉතාම අඩු පොලී අනුපාතිකයක්. ඊට සාපේක්ෂව ලංකාවේ විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතිකය ගොඩක් ඉහළයි. ඒ කියන්නේ ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් නඩත්තු කරන්න සෑම වසරකම සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ශුද්ධ විදේශ බැරකම් ඉහළ යද්දී මේ විදිහට අවශ්‍ය වන විදේශ විණිමය ප්‍රමාණයත් වැඩි වෙනවා.

අපි හිතමු ලංකාව මොන විදිහකින් හෝ විදේශ විණිමය ලැබීම් හා ගෙවීම් ගලපගත්තා කියලා. පවතින තත්ත්වය යටතේ එහෙම කළා කියලාත් විදේශ ණය නොගෙන ඉන්න බැහැ. වසර තුළ ගෙවිය යුතු ණය වාරික ගෙවන්න කොහොමටත් ණය ගන්න වෙනවා. එසේ කළා කියලා ණය වැඩි වන්නේ නැති නිසා ඒ කොටස පැත්තකින් තියමු. ශුද්ධ විදේශ බැරකම් නඩත්තු කිරීම සඳහාත් ණය ගන්න වෙනවනේ. ඒ කොටසින් වෙන්නේ අනිවාර්යයෙන්ම ශුද්ධ විදේශ බැරකම් තවත් ඉහළ යන එක. 

මේ විදිහට ශුද්ධ විදේශ බැරකම් ඉහළ යද්දී පොලී අනුපාතික වැඩි නොවුනත්, ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම් වැඩි වෙනවා. ඊට අමතරව පොලී අනුපාතිකත් ඉහළ යන නිසා වියදම තවත් වැඩි වෙනවා. මේක දිය සුළියකට අහු වුනා වගේ වැඩක්. විදේශ විණිමය ලැබීම් හා ගෙවීම් ගලපගත්තා වුවත් හැම වසරකම විදේශ ණය එන්න එන්නම වැඩි වෙනවා. ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලියත් එන්න එන්නම වැඩි වෙනවා. 2011 පමණ සිට ලංකාවේ ඉන්නේ මේ උගුලේ හිරවෙලා. රාජ්‍ය ණය ප්‍රශ්නය නිදහස ලබපු කාලයේ සිට තිබුණු ප්‍රශ්නයක් වුනත්, මේ වගේ ප්‍රශ්නයක් 2010 පමණ වන තුරු තිබුණේ නැහැ.

මේ තත්ත්වය යටතේ අඩු වශයෙන් ශුද්ධ විදේශ බැරකම් තව දුරටත් වැඩි කර නොගෙන තියෙන මට්ටමේම තියා ගන්න වුනත් විදේශ විණිමය ලැබීම් හා ගෙවීම් අතර පොලී වියදම් ගෙවන්නට ප්‍රමාණවත් අතිරික්තයක් පවත්වා ගන්නම වෙනවා. විදේශ බැරකම් අඩු කර ගන්න පුළුවන් වෙන්නේ ඒ අතිරික්තය ඊටත් වඩා වැඩිනම් පමණයි. ඔය සීමාවට යන තුරු ලංකාවේ විදේශ ණය සෑම වසරකදීම ඉහළ යන එක වලක්වන්න කාටවත් පුළුවන්කමක් නැහැ. 

පහත ප්‍රස්ථාරයේ තැඹිලි පාට තීරු වලින් පෙන්වන පරිදි 2011 සිට සිදු වෙමින් පවතින්නේ මෙයයි. එහි පෙනෙන 2020 විදේශ බැරකම් අඩු වීම ගිණුම්කරණ ක්‍රමවේද නිසා සිදු වූ දෙයක් මිසක් සැබෑවටම සිදු වූ අඩුවක් නෙමෙයි. වැඩි විස්තර ඉදිරියේදී.



Wednesday, January 26, 2022

බැඳුම්කරේ ගෙවුවේ යාළුවන් නිසාද?


ජනවාරි මාසයේදී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කරය පියෙවුවේ එහි ආයෝජනය කර තිබුණු බොහෝ දෙනෙක් ආණ්ඩුවේ හිතවතුන් වූ නිසා කියා කතාවක් පැතිර තිබෙනවා. ඇතැම් අය මේ ගැන අපෙන් අදහස් විමසලත් තිබෙනවා. මේ වගේ දෙයක් ගැන අපට කතා කළ හැක්කේ එවැන්නක් සිදු වීමට සෛද්ධාන්තික හැකියාවක් තිබුණේද යන පදනමින් පමණයි. 

මම ආණ්ඩුවේ හිතවතෙක් වුනානම්, මේ වගේ දෙයකට වැය කළ හැකි තරමේ සැලකිය යුතු මුදලක් අතේ තිබුනානම්, මම පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණ මේ බැඳුම්කරය වෙනුවෙන් ආයෝජනය කරනවා. ඒ නිසා, සල්ලි අතේ තිබුණු ආණ්ඩුවේ හිතවතුන් එසේ නොකළා වෙන්න බැහැ. ඒ වගේම, මම ආණ්ඩුවේ හිතවතෙක් නොවුනත්, මේ වගේ දෙයකට වැය කළ හැකි තරමේ සැලකිය යුතු මුදලක් අතේ තිබුනානම්, ඒත් මම ඔය වැඩේම කරනවා.

ගෙවපු බැඳුම්කරය පැත්තකින් තියමු. තව හය මාසයකින් ගෙවන්න නියමිත බැඳුම්කරකුත් තියෙනවනේ. ඔය බැඳුම්කරයත් ආණ්ඩුව නියමිත පරිදි ගෙවයි කියන එක මගේ විශ්වාසයයි.

ජූලි 25 කල් පිරෙන මේ බැඳුම්කරයේ ඩොලර් 200,000ක මුහුණත අගයක් ගන්න අද ගෙවිය යුත්තේ ඩොලර් 154,500ක් පමණයි.  මාස හයකින් ඩොලර් 205,875ක් අතේ. ලාබය කෙළින්ම ඩොලර් 51,375ක්!

අතේ සල්ලි නැත්නම් ගෙයක් ඇපයට තියලා ඔය ගාන ගත්තත් ඕනෑනම් ඩොලර් 1000ක් පොලිය ගෙවන්න වෙයි. ඒත් ඩොලර් 50,000කට වඩා අතේ. ඩොලර් මිලියන 3ක් පමණ ආයෝජනය කළොත් කෙළින්ම ඩොලර් මිලියනයක් ගොඩ දාගන්න පුළුවන්. ඉතිං මම හිතන්නේ අතේ සල්ලි තියෙනවානම් ආණ්ඩුවේ හිතවතුන්ට වගේම ආණ්ඩුවේ තරහ කාරයින්ට වුනත් හොඳ අවස්ථාවක් තවමත් තිබෙනවා. 

ඇතැම් අය අහන්නේ මේ වෙලාවේ මහ බැංකුව විසින් සංචිත මුදල් යොදවා මේ බැඳුම්කර මිල දී නොගන්නේ ඇයි කියලා. මුළු බැඳුම්කරයම මිල දී ගන්නනම් බැහැ. මොකද තමන්ගේ බැඳුම්කර කොටස් විකුණන්නේ සීමිත පිරිසක්. හැබැයි ඩොලර් මිලියන 30ක වගේ මුදලකට බැඳුම්කර කොටස් මිල දී ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. බැඳුම්කරය කොහොමටත් ගෙවනවානම් සංචිත මුදල් යොදවා ඩොලර් මිලියන 40ක මුහුණත අගයක් ඩොලර් මිලියන 30කට පමණ මිල දී ගත්තොත් මාස හයෙන් ඩොලර් මිලියන දහයක් බේරිලා. ලූණු බිකත් බඩට කිවුවා වගේ වෙලාවේ හැටියට ඩොලර් මිලියන දහයක් වුනත් වටිනවනේ. මම හිතන්නේ වාණිජ බැංකු කොහොමටත් ඔය වැඩේ කරනවා ඇති. 

බැඳුම්කර කොටස් යම් ප්‍රමාණයක් මිල දී ගත් වහාම කොටසක මිල ඉහළ යනවා. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කළ යුතු නැහැ. සමහර විට ඩොලර් මිලියන පණහක් හැටක් වුනත් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ජනවාරි බැඳුම්කරයේ මිල හදිසියේ ඉහළ ගියේ එවැනි දෙයක් කළ නිසා වෙන්නත් පුළුවන්. ඒ ගැන, දැනගෙන සිටි කෙනෙකුට ඉතාම කෙටි කාලයකින්, සමහර විට දවස් ගාණකින්, විශාල ලාබයක් ලබන්න පුළුවන්කමකුත් තිබුණා. හැබැයි යමක් වෙන්න පුළුවන් කියන එකෙන් වුනා කියන එක අදහස් වෙන්නේ නැහැ.

ජූලි බැඳුම්කරය ගැන උනන්දු ආණ්ඩුවේ හිතවතෙකුට මේ වෙලාවේ පවා තිබෙන විශේෂ වාසිය සල්ලි ආපසු ලැබෙන බවට තිබෙන සහතිකය. ලංකාවට විශේෂ සම්බන්ධයක් නැති විදේශ ආයෝජකයෙකුට මේ සහතිකය නැහැ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ආණ්ඩුවේ හිතවතුන් සල්ලි හම්බ කරනවානම් එහි පෙන්විය හැකි වැරැද්දක් නැහැ. ඒ වගේම, එයින් ආණ්ඩුවට අමුතු පාඩුවක් වෙන්නෙත් නැහැ.

කිහිප දෙනෙක් අහපු තවත් ප්‍රශ්නයක්නම් ඩොලරය 200 මට්ටමේ තියාගෙන ඉන්නේ කළු සල්ලි රටින් එළියට පන්නන්නද කියන එක. මේ වගේ දෙයක් වුනත් සිදු වෙන්න පුළුවන්කමක් තිබෙනවා. සිදුවනවාද නැද්ද කියා මම දන්නේ නැහැ.

මා සතු විශාල කළු සල්ලි ප්‍රමාණයක් රුපියල් වලින් ලංකාවේ තිබෙනවා කියා කියමු. දැන් මට මේ සල්ලි ඩොලර් කර රටින් පිට කර ගන්න ඕනෑ. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඔය දෙකෙන් එකක්වත් ලේසි නැහැනේ. රුපියල් ඩොලර් කරන එක වගේම රටින් පන්නන එකත් ගොඩක් අමාරුයි. හැබැයි දැන් තියෙන්නේ අසාමාන්‍ය තත්ත්වයක්. 

ලංකාවට සල්ලි යවන්න ඕනෑ අය ලෝකය පුරාම ඉන්නවනේ. අපි හිතමු ඇමරිකාවේ, කැනඩාවේ ඉන්න එහෙම අයට ඩොලරයට රුපියල් 220 ගානේ දෙන්න පොරොන්දු වුනා කියලා. දැන් මට ඉතා පහසුවෙන් ඩොලර් එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවේ තිබෙන රුපියල් වලින් ගෙවන්න පුළුවන්. අන්තිමට ලංකාවේ හිර වෙලා තිබුණු රුපියල් ටික ඩොලර් වෙලා රටෙනුත් එළියට ඇවිත්. මම හිතන විදිහට රටට එන ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමට මේ වගේ දේවල් සිදු වීමත් එක් හේතුවක්.

Monday, January 24, 2022

දෙවන මොනාක් ප්‍රකාශනය



හතළිස් තුන් වන සේනාංකයේ ජාතික සමුළුවේදී ඉදිරිපත් කර තිබෙන "ගොඩ එමු ගොඩ ගනිමු" ප්‍රකාශනය මා මහත් උද්‍යෝගයෙන් කියවූ දේශපාලන ලියැවිල්ලක්. මා මෙය දෙවන මොනාක් ප්‍රකාශනය ලෙස හඳුන්වන්නේ මීට පෙර මේ ස්ථානයේම පැවැත්වුණු ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුවේදී ඉදිරිපත් කළ පළමු මොනාක් ප්‍රකාශනයක්ද තිබෙන නිසයි. ඒ "අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්" නම් වූ ලියැවිල්ලයි.

මේ ලියැවිලි දෙකම ඉදිරිපත් වන්නේ එකම සන්දර්භයක. ඒ නිසා, මේ ලියවිලි දෙක එක ළඟින් තියා සංසන්දනයක් කළ හැකියි. පළමු මොනාක් ප්‍රකාශනය කියවද්දීත් එය කළේ යම් උනන්දුවක් සහිතව වුවත්, එය ගැඹුරු හැදෑරීමක් නැතිව කඩිනමින් සකස් කළ සරල ලියැවිල්ලක්. පරිපූර්ණ හෝ සම්පූර්ණ (perfect or complete) ලියැවිල්ලක් නොවූවත්, දෙවන මොනාක් ප්‍රකාශනය පුළුල් හැදෑරීමක් කර සකස් කර තිබෙන, බරක් තිබෙන ලියැවිල්ලක්. මේ මට්ටමේ දේශපාලන ලියැවිලි ලංකාවේ සුලබ නැහැ. 

මොනාක් ප්‍රකාශන දෙකෙන් එකක්වත් අපක්ෂපාතී හෝ ස්වාධීන ලියැවිලි නෙමෙයි. ඒවායින් අදාළ දේශපාලන ධාරා නියෝජනය වෙනවා. අපේක්ෂා කළ යුතු පරිදිම මේ දේශපාලන ධාරා දෙක අතර තිබෙන සැලකිය යුතු තරමේ මතවාදී වෙනස්කම් ලියැවිලි වල අන්තර්ගතය කෙරෙහි බලපා ඇති නමුත් ඒ දෙකෙහි හඳුනා ගත හැකි සමානකම් ගණනාවක්ද තිබෙනවා.

දළ ප්‍රකාශයක් ලෙස 43 සේනාංකය පෙනී සිටින්නේ කෞශල්‍යතන්ත්‍රවාදය වෙනුවෙන්. කෞශල්‍යතන්ත්‍රවාදය පිළිබඳව පෞද්ගලිකව මට මූලධාර්මික ගැටළු තිබෙනවා. සමාජවාදය මෙන්ම කෞශල්‍යතන්ත්‍රවාදයද පෙනී සිටින්නේ යම් තෝරා ගත් පිරිසක් විසින් අනෙක් අය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම වෙනුවෙන්. මේ කාරණයේදී 43 සේනාංකය හා ජාජබ අතර වෙනසක් නැහැ. ප්‍රායෝගික තලයේදී කණ්ඩායම් දෙකම පෙනී සිටින්නේ රජයේ සරසවි වලින් උපාධි ලැබූ, මාද අයත් වන පරම්පරාවේ උගතුන් මගින් මෙතෙක් ලංකාවේ නඩත්තු වන ප්‍රභූ-මූලික දේශපාලනය විස්ථාපනය කිරීම වෙනුවෙන්.

මේ අදහස වෙනුවෙන් පෙනී සිටින්නේ මේ කණ්ඩායම් දෙක පමණක් නෙමෙයි. මතවාදී වෙනස්කම් කෙසේ වුවත්, ගෝඨාභයව ජනාධිපති පුටුවට තල්ලු කළ වියත්මග ස්ථාවරයද මීට කිට්ටු එකක්. මේ වෙද්දී කෞශල්‍යතන්ත්‍රවාදය ලංකාවේ ජනප්‍රිය වෙමින් තිබෙනවා වගේම නුදුරු අනාගතයේදී ප්‍රභූ-මූලික දේශපාලනය විස්ථාපනය කිරීමේ විභවයක්ද ඒ සතුව තිබෙනවා. කෞශල්‍යතන්ත්‍රවාදය පිළිබඳව මූලධාර්මික ගැටළු තිබුණත් මෙවැනි වෙනසක් පිළිබඳව නිශේධනීය අදහසක් මට නැහැ. එහෙත් ලොකු විශ්වාසයක්ද නැහැ.

උගතුන් විසින් දේශපාලනය මෙහෙයවීම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලද සිදුවන දෙයක්. එහෙත්, එය සිදු වන්නේ වෙනස් ආකෘතියකයි. එහිදී පළමුව උගතුන් විසින් ජනමතය මෙහෙයවනවා. දෙවනුව ජනමතය විසින් දේශපාලනය හසුරුවනවා. ඒ මිසක්, උගතුන් විසින් වෙනත් අය වෙනුවෙන් තීන්දු ගැනීමක් වෙන්නේ නැහැ. පසුගිය කාලයේ ඇමරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල ඇතැම් දේශපාලනඥයින් උඩට මතු වුනේ, උගතුන්ට සුපුරුදු පරිදි ජනමතය හැසිරවීමට අපහසු වූ පසුබිමකයි. වසංගතය නිසා චක්‍රය නැවත ආපසු කැරකුනා.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බලෙන් පැල කරනු ලැබුවද සමාජය පූර්ණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වී නැති, වැඩවසම් නෂ්ඨාවශේෂ වලින් නොමිදුනු, ලංකාව වගේ රටවල බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහිදී උගතුන් අතින් සිදු වෙන්නේ වැඩවසම් ප්‍රභූ දේශපාලනය පෝෂණය වීමයි. උගතුන් කරන්නේ ඔවුන්ගේ ස්වාමිවරුන්ට අවශ්‍ය දෙය. මේ තත්ත්වයට සාපේක්ෂව කෞශල්‍යතන්ත්‍රවාදය සාධනීය වෙනසක් වුවත් කෞශල්‍යතන්ත්‍රවාදය වෙනුවට ස්වාමියා මාරු වීමක් පමණක් සිදුවීමේ අවදානමද මෙහි තිබෙනවා.

පළමු මොනාක් ප්‍රකාශනය දෙවැන්න හා ලඟින් තැබිය නොහැකි එකක් කියා මම කිවුවනේ. එසේ වුවත්, දෙවන මොනාක් ප්‍රකාශනයේ වපසරියටත් වඩා ලොකු වපසරියක් ආවරණය කරන වෙනත් ලියැවිලි ගණනාවක් ජාජබ විසින් කලින්ම පිළියෙල කර තිබෙනවා. ඒ නිසා, දෙවන මොනාක් ප්‍රකාශනය සමඟ පළමු මොනාක් ප්‍රකාශනය සැසඳීමට පෙර අඩු වශයෙන් තවත් එක් ලියැවිල්ලක් එයට අමුණන්න වෙනවා. ඒ, "ආර්ථිකය- ගුණාත්මක ජීවිතයක් නොසැලෙන ආර්ථිකයක්" නම් වූ ලියැවිල්ලයි. මෙය දෙවන මොනාක් ප්‍රකාශනය හා සැසඳිය හැකි නිශ්චිත කරුණු සහිත ලියැවිල්ලක්.

මීට සමාන ලියවිලි කිහිපයක් වියත්මග විසින්ද එළි දක්වා තිබෙනවා. ඒ අතරින් වැදගත්ම ලියැවිලි දෙක "පිරිපුන් දේශයක් වෙනුවෙන්" හා "සෝදාපාළුව" සේ නම් කර තිබෙන ලියැවිලි දෙකයි. අවශ්‍යනම් මෙයටම මහ බැංකුවේ සයමාසික වැඩ පිළිවෙලත් එකතු කළ හැකියි. දෙවන මොනාක් ප්‍රකාශනය ගැන හදාරන අයෙක් පළමු මොනාක් ප්‍රකාශනය හා ආශ්‍රිත අනෙක් ලියැවිල්ල ගැන වගේම ඉහත ලියැවිලි සමඟත් සංසන්දනයක් කළ යුතුයි. 

මේ කිසිදු පාර්ශ්වයක් සමඟ මට පෞද්ගලික හෝ දේශපාලන පක්ෂපාතීත්වයක් නැහැ. එහෙත්, ඉහත ලියැවිලි අතරින් මගේ මතවාදී පක්ෂපාතීත්වය දිනා ගන්නේ දෙවන මොනාක් ප්‍රකාශනය හෙවත් "ගොඩ එමු ගොඩ ගනිමු" ලියැවිල්ලයි. තවදුරටත් සංවාදයට ලක් විය යුතු හා වැඩි දියුණු විය යුතු මූලික ලියැවිල්ලක් පමණක් වුවත්, මෙහි දැන් ක්‍රියාත්මක "ගොඩ ගහ ගනිමු ගිලෙමු" ක්‍රමයට පැහැදිලි හා ප්‍රායෝගික විකල්පයක් තිබෙනවා. 

කෞශල්‍යතන්ත්‍රවාදය පිළිබඳව බලාපොරොත්තු තබා ගෙන සිටින උගතුන්ට හා වෘත්තිකයන්ට මගේ යෝජනාව මේකයි. 

- ඔබ එන්නේ ඉහත කඳවුරු තුනෙන් එකක් සමඟනම් පළමුව ඔබේ කඳවුර විසින් ඉදිරිපත් කර ඇති ලියැවිල්ල කියවා, තේරුම් ගෙන ප්‍රශ්න කරන්න. දෙවනුව, ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙකේ ලියැවිලි කියවා ඔබේ විශ්වාසය පරීක්ෂාවට ලක් කරන්න.

- ඔබට ඔය කඳවුරු තුනෙන් එකක් සමඟවත් ආත්මීය බැඳීමක් නැත්නම් ඔය ලියැවිලි තුනම කියවා සංසන්දනයක් කරන්න. 

43වන සේනාංකයේ ප්‍රකාශන 

ජාතික ජන බලවේගයේ ප්‍රකාශන 

වියත්මග ප්‍රකාශන 

මහ බැංකුවේ සයමාසික සැලැස්ම 


පසු එකතු කිරීම:

ඔබට අවශ්‍යනම් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයද කියවිය හැකියි. මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ වත්මන් ආණ්ඩුවේ කාර්ය සාධනය විමසා බැලීම සඳහායි. අදාළ ප්‍රකාශනයේ වැදගත්ම තැන 2020 -2025 සාර්ව ආර්ථික ඉලක්ක ඇතුළත් 36 පිටුවයි. 

දෙවන මොනාක් ප්‍රකාශනය සෞභාග්‍යයේ දැක්ම හා ජාජබ ආර්ථික වැඩ පිළිවෙළ වැනි වෙනත් ඒ ආකාරයේ ලියැවිල්ලකින් වෙනස් වන්නේ එහි සඳහන් ඉලක්ක හා වැඩ පිළිවෙළ යථාර්ථවාදී වීම තුළයි. මේ මොහොතේ ජනතාව සමඟ සංවාදයක් ඇති කර ගත යුත්තේ ප්‍රායෝගිකව ලඟා කරගත නොහැකි මනෝරාජික ඉලක්ක අතහැර බිම් යථාර්තයන් මත පදනම්වයි.

Saturday, January 22, 2022

සංඛ්‍යාලේඛණ වලට වංගු ගසා සල්ලි අච්චු ගහන හැටි...


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 14% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 21.5%ක් දක්වා ඉහළ ගිහින්. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 12.1% මට්ටමට ගොස් තිබුණා. මහ බැංකුව කියන විදිහට මේ විදිහට මිල මට්ටම ඉහළ යන්නේ "සැපයුම් සාධක" නිසා මිසක් සල්ලි අච්චු ගැසීම නිසා නෙමෙයි. 

සැපයුම් සාධක නිසා මිල මට්ටම් ඉහළ යද්දී මුදල් වලට තිබෙන ඉල්ලුමද ඉහළ යනවා. ඒ ඉල්ලුමට සරිලන සේ මුදල් සැපයුම වැඩි නොකළොත්, සැපයුම් සාධක නිසා ඉහළ ගිය මිල නැවත පහත වැටී උද්ධමනය සෘණ පැත්තට යා යුතුයි. එහෙත්, ඉහළ යන මුදල් ඉල්ලුම හා ගලපමින් මුදල් සැපයුම වැඩි කළොත් ඉහළ ගිය මිල ඒ මට්ටමේම නවතිනවා. ඒ නිසා, උද්ධමනය පහළ ගියත් සෘණ පැත්තට යන්නේ නැහැ. 

මහ බැංකුව කියන විදිහට, මිල මට්ටම ඉහළ යන්නේ සැපයුම් සාධක නිසානම්, ඔය දෙකෙන් කොයි එක වුනත් ඉතා ඉක්මණින් උද්ධමනය අඩු විය යුතුයි. මොකද උද්ධමනය අඩු වීමෙන් අදහස් වෙන්නේ මිල මට්ටම ඉහළ යන වේගය අඩුවීම මිසක් මිල අඩු වීම නොවන බැවින්. ඒ නිසා, මහ බැංකුව කියන්නේ ඇත්තද කියලා බලා ගන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

ආණ්ඩුව විසින් අළුතෙන්ම රුපියල් බිලියන 227ක සහන පැකේජයක් ඉදිරිපත් කළා. කියන විදිහට මේ අමතර වියදම් නිසා සමස්තයක් ලෙස රජයේ වියදම් වැඩි වෙන්නේ නැහැ. වියදම් කරන බව කියන්නේ අයවැයෙන් වෙන් කළ වෙනත් ප්‍රතිපාදන කපලා ඒ හරහා ඉතිරි වන සල්ලි වලින්. කපන්නේ මොන වියදම්ද කියන එක පැහැදිලි නැහැ. කියන විදිහටම කෙරුණත් නැතත් අයවැය හිඟය තව දුරටත් ඉහළ නොදැමිය යුතුය යන ස්ථාවරයට එන්න ආණ්ඩුවට සිදු වී තිබෙනවා. මේ බතල කොළ කටින් හිටවන ඒවා පමණක්ද? 

පසුගිය 2021 වසරේ පළමු මාස දහය තුළ රජය විසින් උපයාගෙන තිබෙන ආදායම රුපියල් බිලියන 1,156.5ක් පමණයි. අයවැය සම්මත කර ගනිද්දී ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව වසර තුළ ලැබීමට තිබුණු ආදායම රුපියල් බිලියන 2,029ක්. මේ අනුව, මාස දහයක් අවසාන වෙද්දී උපයාගෙන තිබෙන්නේ ඇස්තමේන්තු කළ අදායමෙන් 57%ක් පමණයි. ඇස්තමේන්තු නිවැරදිනම් අවසන් දෙමස තුළ රුපියල් බිලියන 872.5ක් ලැබී තිබිය යුතුයි.

අයවැය ඇස්තමේන්තු අනුව, 2021 වසරේ රජයේ වර්තන වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,534ක්. පළමු මාස දහය තුළ වර්තන වියදම් සේ වැය කර තිබෙන මුදල රුපියල් බිලියන 2,319.0ක්. ඒ කියන්නේ ඇස්තමේන්තු කළ වියදම් වලින් 91.5%ක්ම පළමු මාස දහය තුළ වියදම් කරලා. වර්තන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ වියදම්. අවසන් මාස දෙක තුළ වියදම් කළේ රුපියල් බිලියන 215ක් පමණක්ද?

ආදායම් වැඩියෙනුත්, වර්තන වියදම් අඩුවෙනුත් ඇස්තමේන්තු කිරීම ලංකාවේ රජය (මුදල් අමාත්‍යංශයේ අදාළ නිලධාරීන්) විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. කවදාවත්ම මේ ඇස්තමේන්තු හරියට හදාගන්න බැරිනම් "අපට මේවා කළ හැකි දක්ෂ නිලධාරීන් ඉන්නවා" කියන කතාව හිස් වචන ටිකක් පමණක් වෙනවා. සමහර විට නිලධාරීන් දක්ෂ ඇති. ඒ දක්ෂතාවය යෙදෙවෙන්නේ මොන විදිහටද? 

රජයේ ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ දැවැන්ත වියදම වසා ගැනීමට යොදා ගන්නා ආවරණයක් පමණයි. අයවැයෙන් ලොකුවට පෙන්වා සම්මත කර ගන්නා ප්‍රාග්ධන ආයෝජන ඇත්තමට ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒ සල්ලි වලින් සැලකිය යුතු කොටසක්ද අවසාන වශයෙන් යොදා ගැනෙන්නේ රජය නඩත්තු කිරීම වෙනුවෙනුයි. ඉතිං කොහොමද වත්කම් හැදෙන්නේ? 

අයවැයෙන් යෝජිත රාජ්‍ය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 1,070ක් වුවත් පළමු මාස දහය තුළ සිදු කර තිබෙන රාජ්‍ය ආයෝජන ප්‍රමාණය එයින් 38.6%ක් හෙවත් රුපියල් බිලියන 412.8ක් පමණයි. ඇස්තමේන්තු කර තිබුණු ඉතිරි ආයෝජන අවසන් මාස දෙක තුළ සිදු වුනා කියා හිතන අයෙකු ඉන්නවාද?

ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා රාජ්‍ය අයවැය කියා කියන්නේම සංදර්ශනාත්මක බොරුවක් පමණයි. අයවැය ඇස්තමේන්තු අනුව, වසර තුළ ලබා ගැනීමට අපේක්ෂා කළ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,563ක් පමණයි. එහෙත්, සාමන්‍යයෙන් සිදු වන පරිදි, ආදායම් ඇස්තමේන්තු වැඩි කර පෙන්වන නිසා ආයෝජන වියදම් සේ වෙන් කරන ප්‍රතිපාදන කපා හැරීමෙන් පසුවද රජය නඩත්තු කිරීම සඳහා ඇස්තමේන්තු කරනවාට වඩා ණය ගන්න වෙනවා. ඇස්තමේන්තුව අනුව, ණය ගැනීමට නියමිතව තිබුණේ පහත ආකාරයෙනුයි.

ශුද්ධ විදේශ ණය - රුපියල් බිලියන 99ක් (විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් රුපියල් බිලියන 507ක් අවශ්‍ය නිසා මුළු එකතුව රුපියල් බිලියන 606ක්).

දේශීය ණය රුපියල් බිලියන 1,466ක්. මෙයින් බැංකු අංශයෙන් ගන්නා ණය ප්‍රමාණය රුපියල් බිලියන 310ක්. සංවර්ධන බැඳුම්කර විකිණීමෙන් තවත් රුපියල් බිලියන 60ක්. ඉතිරි රුපියල් බිලියන 1,086 බැංකු නොවන අංශ වලින් ගන්නා ණයයි.

ඇත්තටම සිදු වී තියෙන්නේ කුමක්ද?

පළමු මාස දහය තුළ පමණක් රුපියල් බිලියන 2,226.7කින් රාජ්‍ය ණය ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර තුළ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබුණු රුපියල් බිලියන 1,563ක ණය ප්‍රමාණයට වඩා 14.7%කින් වැඩියි. අවසන් මාස දෙක තුළ, මේ වැඩිපුර ගත් ණය ආපසු ගෙවලාද?

පළමු මාස දහය තුළ පමණක් විදේශ ණය ඉහළ යාම රුපියල් බිලියන 464.20ක්. එම කාලය තුළ දේශීය ණය ඉහළ යාම රුපියල් බිලියන 1,762.40ක්. 

පළමු මාස 11 තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1526.20ක්. එයින් රුපියල් බිලියන 1,124.80ක් කෙළින්ම මහ බැංකුවෙන් ගත් ණයයි. 

රජයට ඩොලර් වලින් ණය ගැනීම කළ නොහැකි තරමට අසීරු වී තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විදේශිකයන්ට විකිණූ විට රජයට ලැබෙන්නේ රුපියල් වුවත් රටට ඩොලර් ලැබෙනවා. එහෙත්, පසුගිය වසර තුළ සිදු වී තිබෙන්නේ විදේශිකයන් සතු වූ රුපියල් බිලියන 6.9ක පමණ වූ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින්ද රුපියල් බිලියන 5.1ක ප්‍රමාණයක් විකුණා දමා එම මුදල් ආපසු රැගෙන යාමයි. සංවර්ධන බැඳුම්කර විකිණීමෙන් රජයට කෙළින්ම ඩොලර් ලැබෙනවා. එහෙත්, වසර තුළ කල් පිරුණු සංවර්ධන බැඳුම්කර වලින්ද සැලකිය යුතු කොටසක් නැවත විකුණාගත නොහැකි වීම නිසා රජයට අයවැය ඇස්තමේන්තුව අනුව අමතර රුපියල් බිලියන 60ක් හොයා ගැනීම කෙසේ වුවත් රුපියල් බිලියන 34.6ක් ආපසු ගෙවන්න සිදු වී තිබෙනවා.

ඩොලර් වලින් ණය ගැනීම කළ නොහැකි තරමට අසීරු වී ඇති පසුබිමක රජය විසින් ප්‍රධාන වශයෙන්ම අයවැය හිඟය පියවාගෙන තිබෙන්නේ රුපියල් බිලියන 1,879ක පමණ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීමෙනුයි. මෙයින් රුපියල් බිලියන 330ක් පමණ ණය අරගෙන තිබෙන්නේ දෙසැම්බර් මාසය තුළයි. ඒ අනුව, පළමු මාස දහය තුළ පමණක් රුපියල් බිලියන 1,548ක පමණ භාණ්ඩාගාර බිල්පත් විකුනා ණය අරගෙන තිබෙනවා. එම කාලය තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1526.20ක් බව කලින් කිවුවනේ. ඒ කියන්නේ රජයට ඩොලර් ණය ගන්න බැරි වී තිබෙනවාක් මෙන්ම උද්ධමනාත්මක නොවන දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීමටද හැකි වී නැහැ. 

පවතින වාතාවරණය යටතේ විණිමය අනුපාතය ඉහළ නොයවා වෙළඳපොළෙන් ඩොලර් වලින් ණය ගැනීමේ හැකියාවක් රජයට නැහැ. ඒ වගේම, පොලී අනුපාතික ඉහළ නොදමා උද්ධමනාත්මක නොවන දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීමේ හැකියාවද මේ වන විට ගිලිහෙමින් තිබෙනවා. විණිමය අනුපාතය හා පොලී අනුපාතික නිවැරදි නොකරන්නේනම් හා අයවැය හිඟය පාලනය කර නොගන්නේනම් මේ වන විට රජය සතු එකම විකල්පය උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් ණය ගැනීම පමණයි. 

විණිමය අනුපාතය හා පොලී අනුපාතික නිවැරදි කළහොත් ඒ හේතුව නිසාම අයවැය හිඟය ඉහළ යාමද නොවැලැක්විය හැකියි. එහෙත්, එසේ නොකළා කියා ප්‍රශ්නයෙන් ගැලවී සිටින්න පුළුවන් වෙන්නේ උද්ධමනය විශාල ප්‍රශ්නයක් බවට පත් වන තුරු පමණයි. උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් තව තවත් ණය ගනිමින් උද්ධමනය පාලනය කිරීමේ හැකියාවක් නැහැ. 

පසුගිය සතියේ රජය ඩොලර් මිලියන 100ක සංවර්ධන බැඳුම්කර වෙළඳපොළට ඉදිරිපත් කළත් 8%ක පමණ විශාල පොලී අනුපාතයක් ගෙවීමේ පොරොන්දුව යටතේ වුවත් විකුණා ගත හැකි වූයේ ඩොලර් මිලියන 11ක පමණ ප්‍රමාණයක් පමණයි. ඩොලර් වලින් පොලී ගෙවන්නට රට ඇතුළේ ඩොලර් හැදෙන්නේ නැති නිසා මේ වෙලාවේ කිසිවෙකු පොන්සි ක්‍රීඩාවකට එළැඹී අවදානමක් ගන්න බයයි.

මේ වන විට රජයට භාණ්ඩාගාර බිල්පත් විකුණා දේශීය වෙළඳපොළෙන් මාස තුනකට රුපියල් ණය ගත හැක්කේත් 8.5% පමණ පොලියකටයි. මහ බැංකුව විසින් මේ භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන වාණිජ බැංකු වලට හා ප්‍රාථමික අලෙවිකරුවන්ට විකුණන විට මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව සංචිත මුදල් වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. එහෙත්, ඇත්තටම මෙහිදී වෙන්නේ සංඛ්‍යාලේඛණ වලට වංගු ගසා සල්ලි අච්චු ගැසීමක්ම තමයි.

මාස තුනකට රජයට 8.5% පොලියට ණය දෙන වාණිජ බැංකු විසින් ඔවුන් මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියා  දිනපතා මහ බැංකුවෙන් 6.5% පොලියට ණය ගන්නවා. මේ වැඩෙන් වාණිජ බැංකු වලට (හා අනුබද්ධ ප්‍රාථමික ගැනුම්කාර සමාගම් වලට) කෙළින්ම 2%ක "කොමිස් මුදලක්" ලැබෙනවා. අන්තිමට වක්‍ර ලෙස රජයට ණය දෙන්නේ මහ බැංකුවම තමයි. ඒ කියන්නේ අච්චු ගහන සල්ලි!

ඔය විදිහටනම් දේශීය වෙළඳපොළෙන් ඕනෑ තරම් ණය ගන්න පුළුවන්. ඇයි සල්ලි තමන්ගේ සල්ලිත් නෙමෙයිනම්, 2%ක ලාබයකුත් ලැබෙනවානම් කවුද වැඩේට අත නොගහන්නේ. හැබැයි ඔය අවස්ථාව සාමාන්‍ය මිනිහෙකුට ලැබෙන අවස්ථාවක් නෙමෙයි.

පසුගිය සතියේ පමණක් ඔය ක්‍රමයට රුපියල් බිලියන 97ක භාණ්ඩාගාර බිල්පත් විකිණුවා. ඕකෙන් 2%ක් කියා කියන්නේ රුපියල් බිලියන දෙකක්. කෝටි දෙසීයක්!

දැන් රජය 8.5% පොලියට ණය ගන්නවා. මහ බැංකුව 6.5% පොලියට ණය දෙනවා. ඒ ණය ගන්න අය 8.5% පොලියට රජයට ණය දෙනවා. ලැබෙන එකම වාසිය, මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ වලට අනුව සල්ලි අච්චු ගහලා නැහැ!

ඔය භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් කෙළින්ම මිල දී ගත්තානම් 8.5% පොලිය ලැබෙන්නේ මහ බැංකුවට. ඒ පොලිය මහ බැංකුවේ ලාබ වලට එකතු වෙලා, ඒ ලාබ භාණ්ඩාගාරයට යවද්දී නැවත රජයටම ලැබෙනවා. ඒ කියන්නේ රජය ඇත්තටම පොලියක් ගෙවන්නේ නැහැ. දැන් වෙන්නේ එයින් 2%ක් අඩු වෙන එක පමණයි. 

මේ අඩුවත් එකතු වෙන්නේ අයවැය හිඟයටයි. උද්ධමනයට තිබෙන බලපෑම කොහොමටත් ඒ විදිහටම තියෙනවා. මොකද සංඛ්‍යාලේඛණ කොහොම වුවත් අච්චු ගහපු සල්ලි සංසරණයට එකතු වෙලා. ඒ කියන්නේ උද්ධමන බද්දක් ලෙස ඔය 2%ත් ගෙවන්න වෙන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට.

ආර්ථිකය වැඩ කරන්නේ ගිණුම්කරණ මූලධර්ම අනුව නෙමෙයි. හොඳ ගණකාධිකාරීවරයෙකුට ගිණුම් නැවත සකස් කරලා පාඩු ලබා ඇති බව පෙනෙන ආයතනයක් ලාබ ලබා ඇති බව පෙන්වන්න පුළුවන්. අනෙක් පැත්ත කරන්නත් පුළුවන්. එහෙම කරලා රජයට ගෙවන බදු අඩු කරගන්නත් පුළුවන්. හැබැයි එහෙම කළා කියලා සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ.  සංඛ්‍යාලේඛණ කියන්නේ ඇත්ත තත්ත්වය බලා ගන්න යොදාගත හැකි දර්ශක මිසක් ඇත්ත තත්ත්වය නොවන නිසා සංඛ්‍යාලේඛණ මොන විදිහෙන් හෝ වෙනස් කළත් ඇත්ත තත්ත්වය එලෙසමයි.

නිල සංඛ්‍යාලේඛණ අනුව සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,343ක් පමණයි. සංඛ්‍යාලේඛණ වලට එකතු නොවන කොටස රුපියල් බිලියන 543ක්. ඒවත් අච්චු ගහපු සල්ලිම තමයි! 

පළමු මාස එකොළහ තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,526ක් බවත් එයින් රුපියල් බිලියන 1,125ක්ම අරගෙන තියෙන්නේ මහ බැංකුවෙන් බවත් කලින් කිවුවනේ. එතකොට අනෙක් බැංකු වලින් අරන් තියෙන්නේ රුපියල් බිලියන 401ක් පමණයි. මේ වෙද්දී වාණිජ බැංකු විසින් දෛනිකව මහ බැංකුවෙන් 6.5% පොලියට ණයට ගන්න මුදල රුපියල් බිලියන 543ක්. 

ඒ කියන්නේ, සෘජුව හෝ වක්‍රව රජයේ අයවැය හිඟය මුළුමනින්ම වාගේ පියැවෙන්නේ මහ බැංකුවේ සල්ලි වලින්. සංඛ්‍යාලේඛණ වලට වංගු ගහන්න පුළුවන් වුනත් වංගු ගහලා උද්ධමනය වලක්වන්න බැහැ. 

රුපියල් බිලියන 543න් 2%ක් අරගෙන 365න් බෙදලා බලන්න. දවසකට රුපියල් කෝටි තුනක්! මිලියන 30ක්!! මහ බැංකුවෙන් 6.5% පොලියට ගන්න සල්ලි රජයට 8.5% පොලියට දෙන එකෙන් යම් පිරිසකට දවසකට ලැබෙන ලාබය! ඕකේ අරමුණ සංඛ්‍යාලේඛන වලට වංගු ගහන එක පමණක්මද?

එක්තරා පුද්ගලයෙක් මහ බැංකුව ඇරෙන වෙලාවට මහ බැංකුව ඉදිරිපිටට ඇවිදින් මහ බැංකුවේ නිලධාරීන්ට හා පවුල් වල අයට හෙණ ඉල්ලනවා. සාප කරනවා. මේක රූපවාහිණි නාලිකාවක මාධ්‍ය සංදර්ශනයක් හෝ කාගේ හෝ සැලසුමක කොටසක් වෙන්න පුළුවන්. හැබැයි ඔයිට වඩා පිරිසක් ඔය වැඩේම කරන දවසක් වුනත් එන්න පුළුවන්!

https://www.facebook.com/hirunews/videos/226901726198633/

Wednesday, January 19, 2022

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (දහවන කොටස)

මෙය මෙම ලිපි මාලාවේ පළමු අදියරේ අවසන් ලිපියයි. ඉන් පසුව, දෙවන අදියරේ ලිපිද කොටස් වශයෙන් පළ කිරීම අපේක්ෂාවයි. පළමු අදියරෙහි අප විස්තර කරන්නේ ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයෙහි ඓතිහාසික මූලයන් පිළිබඳවයි. දෙවන අදියරෙන් අප මෙම අර්බුදයේ වත්මන් තත්ත්වය විග්‍රහ කරනවා. විසඳුම් ගැන කතා කෙරෙනු ඇත්තේ තෙවන අදියරෙහිදී. 

ලංකාවේ ආර්ථික අර්බුදයට මුල් වූ පාදක හේතුව රාජ්‍ය අයවැය හිඟය බවත්, එය නිදහස ලැබූ තැන් පටන්ම වර්ධනය වූ හිඟයක් බවත්, රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් ප්‍රශ්නයට දායක වී ඇති බවත් අප දැනටමත් දන්නවා. කෙසේ වුවත්, රාජ්‍ය අයවැය හිඟය සමඟ ලංකාව විශාල කාලයක් ඉදිරියට ගියා. වත්මන් ආර්ථික අර්බුදයට රාජ්‍ය අයවැය හිඟයේ දායකත්වය අමතක කළ නොහැකි වුවත්, එය ආසන්න හේතුව නෙමෙයි. ආසන්න හේතුව දළ වශයෙන් 2010 වසරේදී ලංකාව ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තේයැයි කිව හැකි පොන්සි ක්‍රීඩාවයි. 

ලිපි මාලාවේ පළමු අදියර අවසන් කිරීමට පෙර අපි මේ පොන්සි ක්‍රීඩාව හොඳින් අවබෝධ කර ගනිමු. 

පහත වගුවෙහි පෙන්වා තිබෙන්නේ 2021 තෙවන කාර්තුව අවසානයේදී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයයි. මෙම ණය වලට රුපියල් ණය මෙන්ම ඩොලර් ණයද ඇතුළත්. සංසන්දනය කිරීමේ පහසුව පිණිස සියළුම ණය රුපියල් වලින් මෙන්ම ඩොලර් වලින්ද පෙන්වා තිබෙනවා.


ඉහත සංඛ්‍යාලේඛණ අනුව ලංකාවේ රාජ්‍ය ණය වලින් විදේශ ණය තිබෙන්නේ 37.9%ක් පමණයි. ඉතිරි 62.1% දේශීය ණය. කෙසේ වුවත්, විදේශයන්ට ණය වී තිබෙන්නේ ලංකාවේ රජය පමණක් නෙමෙයි. පහත පළ කෙරෙන ඊළඟ වගුව දෙස බැලූ විට මේ බව පැහැදිලි වෙනවා. 

ලංකාවේ සමස්ත විදේශ වත්කම් හා බැරකම් අතර වෙනස ඩොලර් මිලියන 54,012ක හිඟයක්. මේ හිඟයෙන් සැලකිය යුතු කොටසක් රාජ්‍ය ණය නෙමෙයි. කෙසේ වුවත්, වගු දෙකම එක්ව ගෙන කියවූ විට සමස්ත චිත්‍රය දැකිය හැකියි.

මධ්‍යම රජයේ දේශීය ණය එම ණය ලබාගත් මූලාශ්‍රය අනුව කොටස් තුනකට වර්ග කළ හැකියි. ඒ මහ බැංකුවෙන් ලබාගත් ණය, අනෙකුත් වාණිජ බැංකු වලින් ලබාගත් ණය හා බැංකු නොවන අංශ වලින් ලබා ගත් ණය ලෙස. මෙයින් පළමු කාණ්ඩ දෙක උද්ධමනාත්මක මූලාශ්‍ර. 

රජයට ණය දෙන මේ කණ්ඩායම් තුනම මේ වන විට ශුද්ධ වශයෙන් ලෝකයට ණයයි. අර කපුගේ කියන්නේ "පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය" කියලා. ඒ වගේ, ලංකාවේ මධ්‍යම රජය දේශීය ණය ලබා ගන්නා මූලාශ්‍ර තුනම මේ වෙද්දී ශුද්ධ වශයෙන් ලෝකයට ණයකරුවෝ. ඉතිං මහ බැංකුවට වුනත්, අනෙකුත් බැංකු වලට වුනත්, රටේ අනෙකුත් අංශ වලට වුනත්, රජයට තවත් ණය දෙන්න වෙන්නේ ලෝකයට තවත් ණය වෙලා. එහෙම නැත්නම් මුදල් සැපයුම වැඩි කරලා.

මහ බැංකුවෙන් පටන් ගනිමු. පසුගිය වසරේ තෙවන කාර්තුව අවසන් වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය (ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය) ඩොලර් මිලියන 747ක්. මහ බැංකුව රජයට දී තිබෙන ණය වල ඩොලර් අගය මිලියන 9,166ක්. ඒ කියන්නේ මහ බැංකුව විසින් තමන් සතු මුළු සේසතම රජයට ණයට දීලා තවත් ඩොලර් මිලියන 747ක් ණයට අරගෙනත් දීලා තියෙනවා. මෑතකදී අත්සන් කළ විණිමය හුවමාරු ගිවිසුම් ආදිය තියෙන්නේ ඔය ගොඩේ. රජය බේරගන්න ගිහින් දැන් මහ බැංකුවත් ලෝකයට ණයකරුවෙක්!

වාණිජ බැංකු දිහා බැලුවත් දැකිය හැක්කේ ඔය කතාවමයි. වාණිජ බැංකු වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,998ක්. වාණිජ බැංකු වලින් රජයට දී තිබෙන ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 19,806ක්. ඔය ණය වලින් කොටසක් වාණිජ බැංකු විසින් රජයට ලබා දී තියෙන්නේ ලෝකයට ණය වෙලා. ලංකාවේ වාණිජ බැංකු විසින් ස්වෛරිත්ව බැඳුම්කර වල කර තිබෙන ආයෝජන ආදිය තිබෙන්නේ ඔය ගොඩේ.

අනෙකුත් අංශ දිහා බැලුවත් කතාව ඕකමයි. අනෙකුත් අංශ වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 19,110ක්. ඇත්තටම ඔය ණය වලින් සැලකිය යුතු කොටසක් රජයටම සම්බන්ධ ආයතන වල විදේශ ණය. ඒ ප්‍රමාණය වෙනම හොයා ගන්න නැති නිසා, අපි මුළු ණය ප්‍රමාණයම ගත්තත්, අනෙකුත් අංශ වලින් රජයට දී තිබෙන ණය වල ඩොලර් වටිනාකම මිලියන 23,887ක්. 

දැන් පැහැදිලියිනේ කතාව. ලංකාවේ සන්දර්භයේ රටේ කවුරු හෝ විසින් ලබාගත් විදේශ ණය අවසාන වශයෙන් වියදම් කර තිබෙන්නේ රජය විසින්. සංඛ්‍යාලේඛණ වල තිබෙන රජයේ දේශීය වලින් සැලකිය යුතු කොටසක් වක්‍ර ලෙස විදේශ ණයම තමයි. 

පසුගිය වසරේ තෙවන කාර්තුව අවසන් වෙද්දී ලංකාවේ සමස්ත විදේශ බැරකම් ප්‍රමාණය වන ඩොලර් මිලියන 54,012 මධ්‍යම රජයේ ණය වලින් 63.5%ක්. මේ ප්‍රතිශතය සංඛ්‍යාලේඛණ වල දැකිය හැකි දේශීය ණය ප්‍රතිශතය වන 37.9%ට වඩා ගොඩක් වැඩියි. ඉතිරි කොටසත් මෑත කාලයේදී උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් ලබාගත් ණය. ඒ කියන්නේ අච්චු ගැසූ හෝ මවනු ලැබූ සල්ලි. 

දැන් මෙයින් කියැවෙන කතාව කුමක්ද? 

ලංකාවේ රජය විසින් මේ ආකාරයෙන් අත දිග හැර වියදම් කර තිබෙන්නේ රට තුළ කිසිදා නූපයූ ආදායම්. එක්කෝ රටේ කවුරු හෝ විසින් ගත් විදේශ ණය. එහෙම නැත්නම්, අච්චු ගහපු සල්ලි. හැබැයි මේ සල්ලි වැය කර තිබෙන්නේ කවුරු හෝ විසින් නිපදවූ දේවල් මිල දී ගෙන පරිභෝජනය කරන්න. ඒ වෙනුවෙන් කිසිදා නොගෙවූ මිල කවදා හෝ ගෙවන්නම වෙනවා. ලොතරැයි ක්‍රීඩාවක ජයග්‍රාහකයෝ පමණක් ඉන්න බැහැ!

මේ තත්ත්වය අහම්බයක් නෙමෙයි. සැලසුමක කොටසක්. ඕක තමයි 2010 සිට ලංකාවේ සාර්ව-ආර්ථික ආකෘතිය. නැති සල්ලි වියදම් කිරීම හා ඒ ණය ගෙවන්න වෙද්දී ඊටත් වඩා වැඩියෙන් නැති සල්ලි වියදම් කිරීම. ලෝකයට සාපේක්ෂව ලංකාවේ ආර්ථිකය ගොඩක් පොඩි නිසා ඔය වගේ පොන්සි ක්‍රීඩාවක් යම් කාලයක් කරන්න පුළුවන්. 

මෙහිදී මේ පොන්සි ක්‍රීඩාව ආරම්භ වුනේ 2010දී කියා නිශ්චිත ලෙස කියන්නේ කොහොමද? ලංකාවේ රාජ්‍ය අයවැය හිඟය නඩත්තු වුනේ නිදහස ලැබූ තැන් සිට. ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට ගියේ 1964දී. එතැන් සිටම ලංකාවට ගෙවුම් ශේෂ අර්බුද ආවා. හැබැයි 2010 වන තුරුම මෙය අනිවාර්යයෙන්ම බිඳ වැටෙන පොන්සි ක්‍රීඩාවක තත්ත්වයට පත් වුනේ නැහැ.

පහත රූප සටහනෙහි පෙන්වා තිබෙන්නේ 1960 සිට ලංකාවේ රාජ්‍ය ණය හා විදේශ ණය ඉහළ ගිය ආකාරය. මේ විදේශ ණය සියල්ලම සෘජු ලෙස රජයේ ණය නොවූවත්, වක්‍ර ලෙස රජයේ ණයම බව මම මදකට පෙර පැහැදිලි කළා. සියලුම සංඛ්‍යා තිබෙන්නේ 2020 ඩොලර් වලින්. ඒ නිසා, කාලයත් සමඟ මුදල් ඒකක වල අගය වෙනස් වීමේ බලපෑමක් මෙහි පෙන්වන්නේ නැහැ.


මම හිතන්නේ රූප සටහන දෙස බැලූ විට 2010න් පසුව 2011 වසරේදී එක වර සිදු වන වෙනස හඳුනා ගන්න අපහසු නැහැ. 1980-1987 කාලය තුළත් ශුද්ධ විදේශ බැරකම් ඉහළ යනවා. එහෙත් මේ කාලය නැවත ආපසු නොයන දිගුකාලීන ආයෝජන රටට පැමිණි කාලයක්. එම ආයෝජන වලින් රට තුළ ඩොලර් උල්පත් හැදෙනවා. ඒ නිසා, 1987න් පසුව රටේ ශුද්ධ විදේශ බැරකම් දිගින් දිගටම ඉහළ යන්නේ නැහැ. 2006 වසර පමණ දක්වාම මේ තත්ත්වය දැකිය හැකියි. 

ලංකාවේ පළමු ස්වෛරිත්ව බැඳුම්කරය හරහා ඩොලර් මිලියන 500ක් හොයාගෙන ඩොලරයේ මිල පාලනය කරන්න පටන් ගත් 2007න් පසුව 2008දීත්, දෙවන ස්වෛරිත්ව බැඳුම්කරය හරහා ඩොලර් මිලියන 500ක් ලබාගත් 2009න් පසුව 2010දීත් රටේ ශුද්ධ විදේශ බැරකම් යම් තරමකින් ඉහළ යනවා. එහෙත්, ලොකුම වෙනසක් දැකිය හැක්කේ 2010දී ඩොලර් බිලියනයක තෙවන ස්වෛරිත්ව බැඳුම්කරය නිකුත් කිරීමෙන් පසුව 2011දීයි. 

එම වසර තුළ ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය 2020 ඩොලර් වලින් මිලියන 12,817 සිට 24,757 දක්වා දෙගුණයකින් ඉහළ යනවා. නාමික ඩොලර් වලින් බැලුවොත් 2010 අවසානයේදී මිලියන 12,817ක් වූ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 25,718 දක්වා ඩොලර් මිලියන 12,900කින් වැඩි වීමක්. ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කර ණය ගනිද්දී ඩොලර් බිලියන 13කින් පමණ රටේ විදේශ ණය වැඩි වුනේ කොහොමද?

මේක තමයි පොන්සි ක්‍රීඩාව. එහෙම නැතුව මේක ගත්ත ණය ඵලදායී ලෙස ආයෝජනය නොකිරීමේ හෝ හොරකම් කර ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රශ්න කොහොමටත් තිබෙනවා. නමුත්, මේ හිරවීම හිර වුනේ පොන්සි ක්‍රීඩාවක් පටන් ගත් නිසා. ප්‍රශ්නය ගොඩින් බේරාගෙන "වේදනාවක් නැතිව" ගැලවෙන්න අමාරු ඒ නිසයි. මොකද ලොතරැයි ක්‍රීඩාවක පරාජයන් නැතිව ජයග්‍රහණ පමණක් තියෙන්න බැහැ. මේ තත්ත්වය නිවැරදිව තේරුම් නොගෙන අවුල ලෙහන්න බැහැ.



ඉහත පෙන්වා තිබෙන්නේ 2006-2020 අතර ලංකාවේ විණිමය අනුපාතය කළමනාකරණය කළ ආකාරය. 2007 වන තුරු පුළුවන් තරම් කාලයක් මෙය රුපියල් 107 පමණ මට්ටමක තියාගෙන හිටියා. මේ විදිහට විණිමය අනුපාතය එක තැන තියා ගෙන ඉඳිද්දී සංචිත හිඳෙනවා. සංචිත හිඳෙද්දී ඩොලරය එම මට්ටමේ තියාගෙන ඉන්න බැරි වුනා. 

ඉන් පසුව, 2007දී පළමු ස්වෛරිත්ව බැඳුම්කරයෙන් ඩොලර් මිලියන 500ක් හොයාගෙන කොහොම හරි ඩොලරය රුපියල් 113 මට්ටමේ හිර කර ගත්තා. ඉන් පසුව, 2011 වන තුරුම ඩොලරය නිදහස් කළේ නැහැ. ඔය කාලය තුළ ස්වෛරිත්ව බැඳුම්කර හරහා තවත් ඩොලර් මිලියන 1,500ක් ගන්න වුනා. හැබැයි ඩොලරය 113 මට්ටමේ තියා ගත්තේ ඒ සල්ලි වලින් නෙමෙයි. ඩොලර් මිලියන 1,500කින් එවැන්නක් කරන්න බැහැ. 

මේක කළේ අර මම කියපු පොන්සි ක්‍රීඩාව හරහා. රුපියල ඩොලරයට සාපේක්ෂව 3.00%කින් අධිප්‍රමාණය වූ 2010 වසර මෙහිදී විශේෂයි. මින් පසු රුපියල තව දුරටත් දිගින් දිගටම අවප්‍රමාණය නොවන බවත්, එය අධිප්‍රමාණය වනු ඇති බවත් මේ කාලයේදී මහ බැංකු අධිපතිවරයා කෙළින්ම කිවුවා. එවැන්නක් වෙළඳපොළට ලබා දෙන සෘජු සංඥාවක්. කිවුවා වගේම මහ බැංකුව මෙය කරලත් පෙන්නුවා. 

මේ කාලයේදී රුපියල් වලින් ලංකාවේ ආයෝජනය කරන කෙනෙකුට අවදානමක් නැතිව 8%ක පමණ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්කම තිබුණා. ඩොලර් රුපියල් කර ආයෝජනය කරන කෙනෙකුට තවත් 3%ක් ලැබෙනවා. එතකොට 11%ක්. ඔය කාලය වන විට ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලිය 0.3%කටත් වඩා අඩුයි. ඒ කියන්නේ පොලියක් නැහැ වගේ. යුරෝපයේ තත්ත්වයේ වුනත් වැඩි වෙනසක් තිබුණේ නැහැ. එහෙම තියෙද්දී 11%ක ප්‍රතිලාභයක් ලැබෙන තැනකට සල්ලි ගේන්නේ නැත්තේ කවුද? 

රුපියල කඩා වැටීමේ අවදානමක් මෙතැන තිබුණා තමයි. හැබැයි 11%ක් ලැබෙද්දී ඒ අවදානම ගන්න ගොඩක් අය බය වෙන්නේ නැහැ. මේ කිවුවේ විදේශිකයන්ගේ පැත්තනේ. ලංකාවේ බැංකු වල පැත්තෙන් තත්ත්වය කොහොමද? 

ඇමරිකාවේ හා යුරෝපයේ තැන්පතු වලට බැංකු පොලියක් ගෙවන්නේම නැති තරම් නිසා ලංකාවේ බැංකු වලට 2-3%ක පොලියක් ගෙවලා පහසුවෙන් ඩොලර් වලින් ණය ගන්න පුළුවන්. ණය ගැනීම කියා කිවුවේ ඩොලර් ගිණුම් වලට තැන්පතු එක්රැස් කර ගැනීම ගැනයි. ඊට පස්සේ ඒ ඩොලර් රුපියල් කරලා 8% පොලියට භාණ්ඩාගාර බිල්පත් වල දාලා 5-6%ක ලාබයක් ලබන්න පුළුවන්. තැන්පතු ආපසු ගෙවද්දී 3%ක් අඩුවෙන් මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් නිසා ලාබය 8-9% තරම් ඉහළයි. ණයට ගන්න ඩොලර් රුපියල් කරලා පෞද්ගලික අංශයට ණය විදිහට දුන්නොත් තවත් ලාබයි. විදේශ බැංකුවකින් ණය ගන්න පුළුවන් ව්‍යාපාරිකයෙකුට වුනත් මේ වාසියම තියෙනවා.

දැන් මහ බැංකුව විසින් ලංකාවේ වාණිජ බැංකු විසින් හා පුළුවන්කමක් තිබෙන අනෙක් සියලුම ආයතන හා පුද්ගලයින් විසින් ණයට ඩොලර් ගැනීමට පොළඹවන වාතාවරණයක් හදලා. ඒ වගේම විදේශිකයින් ඩොලර් ලංකාවට ගෙනත් රුපියල් වලින් ආයෝජනය කරන වාතාවරණයක් හදලා. ඔය ක්‍රම දෙකටම රටට ඩොලර් එද්දී විණිමය අනුපාතය නිකම්ම පහළ වැටෙනවා. 2011දී ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් දෙගුණ වුනේ ඔය ක්‍රමයටයි.

ප්‍රශ්නය තියෙන්නේ මේ විදිහට රටට එන හැම ඩොලරයක් වෙනුවෙන්ම 10%ක පමණ අමතර ඩොලර් ප්‍රමාණයක් වාර්ෂිකව රටින් එළියට යා යුතු වීමයි. විණිමය අනුපාතිකය නොවෙනස්ව තිබෙන තාක් මේ විදිහට එකතු වන ප්‍රතිලාභ නැවත නැවත රට ඇතුළේම ආයෝජනය වෙනවා. ඒ ඩොලර් වලටත් පොලිය හැදෙනවා. ඒ නිසා, එසේ එළියට යා යුතු ඩොලර් ඇත්තටම රටේ නොතිබීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ඩොලර් විදේශිකයන්ගේ වත්කම් ලෙස ගිණුම් වල තිබෙනවා. නමුත්, ඔවුන්ට රටින් පිටට ගෙන යා හැකි පරිදි ඇත්තටම රටේ ඩොලර් නැහැ. සියළුම ගිණුම් හිමියෝ එකවර බැංකුවට ගියොත් දෙන්න සල්ලි බැංකුවක නැහැ වගේ. 

පොලී ආදායම් හා රුපියල අධිප්‍රමාණය වීමේ ප්‍රතිලාභ ලෙස විදේශිකයන් ලංකාවෙන් උපයන ඩොලර් ගිණුම් වල සටහන් වුනත් ඒ ඩොලර් කොහෙන්වත් රටට එන්නේ නැහැනේ. රට ඇතුළේ රුපියල් මිසක් ඩොලර් අච්චු ගහන්නත් බැහැ. ඒ නිසා, රටේ විදේශ ණය වලින් කොටසක් ආපසු ගෙවිය හැක්කේ තවත් ණය අරගෙනම පමණයි. මේ කොටස ආපසු ගෙවිය හැකි වෙනත් ක්‍රමයක් නැහැ. 

එහෙමනම්, අඩු වශයෙන්, රටට පැමිණි ඩොලර් ආපසු ගෙවිය හැකි ලෙස රටේ ඉතිරි වෙනවද?

විණිමය අනුපාතය හිර කරගෙන සිටිද්දී, රටට එන ඩොලර් රටේ ඉතිරි වෙන්නෙත් නැහැ. මේ සන්දර්භයේදී ඩොලර් ණයට ගන්න කෙනෙක් එය කරන්නෙම ඩොලර් රුපියල් කරන්න බලාගෙන. ඩොලර් විදිහටම තියා ගත්තොත් අතින් පාඩුයි. මොකද රුපියලට සාපේක්ෂව ඩොලර් එක බහිනවා. ඒ නිසා, ඩොලර් අතේ තියෙන අය ඒ ඩොලර් කීයකට හෝ විකුණලා දමනවා. සමතුලිතතාවයක් ඇති වෙන්නේ මේ ඩොලර් මොන ක්‍රමයකින් හෝ රටින් එළියට ගියොත් පමණයි. ඒ නිසා, අනිවාර්යයෙන්ම ආනයන ඉහළ යනවා.

සෛද්ධාන්තිකව සිදු විය යුතු මේ ආනයන ඉහළ යාම ප්‍රායෝගිකවද සිදු වී ඇති බව සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව පෙනෙනවා. 2009දී ලංකාවේ ආනයන වියදම ඩොලර් මිලියන 10,207 පමණයි. 2010 වෙද්දී මෙය ඩොලර් මිලියන 13,451ක් වෙනවා. 2011 වෙද්දී ඩොලර් මිලියන 20,269ක් දක්වා ඉහළ යනවා. මේ විදිහට දෙවසරක් තුළ ලංකාවේ ආනයන වියදම දෙගුණ වෙන්නේ කොහොමද? 

මේක වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ රුචිකත්වය එක රැයකින් වෙනස් වූ නිසා හෝ දේශීය නිෂ්පාදන වලට තැන නොදීම නිසා හෝ නෙමෙයි. මම විස්තර කරපු පොන්සි ක්‍රීඩාව නිසා. 2011 වසර තුළ රජයේ විදේශ ණය ඩොලර් මිලියන 2,203කින් ඉහළ යද්දී රටේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 12,900කින් වැඩි වෙන්න හේතු වෙන්නෙත්, ඊට සමානුපාතිකව ආනයන ඉහළ යන්නේත් ඔය පොන්සි ක්‍රීඩාව නිසා.

අන්තිමට රටට කිසිදා නොආ, එහෙත් ලංකාව විසින් ගෙවිය යුතු, ඩොලර් ප්‍රමාණය වගේම රටට පැමිණි ඩොලර් ටිකත් රටේ නැහැ. ඒ ඩොලර් ආනයන වෙනුවෙන් වැය වෙද්දී රටේ අපනයන කර්මාන්ත වර්ධනය අඩාල වී ඒ හරහා ලැබෙන්න තිබුණු ඩොලර් ප්‍රමාණයකුත් අහිමි වෙලා. ඔය දේවල් වෙද්දී මහ බැංකුව කොච්චර කිවුවත් ලංකාවට විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්න කොහොමටවත් බැහැ කියන එක මේ ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙකුට පැහැදිලි වෙනවා. එවිට ඔවුන් කරන්නේ වහාම තමන්ගේ ඩොලර් රටින් ඉවත් කර ගැනීමයි. ඒ ඩොලර් රුපියල් කරලානම් ඉතා ඉක්මණින් නැවත ඩොලර් කරගෙන රටින් ඉවත් කර ගන්නවා. මෙහිදී ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙනවා. 

ලංකාවට 2012දී මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වුනා. ඉතා කෙටි කලක් තුළ ඩොලරයේ මිල සීඝ්‍රයෙන් ඉහළ ගියා. රුපියල් 113 මට්ටමේ වසර හතරක් පමණ රඳවාගෙන සිටි ඩොලරයේ මිල රුපියල් 130 මට්ටමට වැටුණා. හැබැයි පරණ සෙල්ලම නැවතුනේ නැහැ. එය නැවත පටන් ගත්තා. පොන්සි ක්‍රීඩකයෝ නැවතත් ක්‍රීඩාවට අවතීර්ණ වුනා. 

වසර තුනක් ගොස් 2014 වන විට මේ සෙල්ලම නැවතත් දුරදිග ගිහින්. රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණය අවසන් වන තුරු කොහොම හරි අල්ලාගෙන හිටියා. විණිමය අනුපාතය අවප්‍රමාණය වුනේ මැතිවරණයෙන් පසුව 2015දී. එවර ඩොලරය රුපියල් 145 පමණ මට්ටමකට ගියා.

යහපාලන ආණ්ඩුව මේ පොන්සි ක්‍රීඩාවෙන් ඉවත් වුනාද? ඒ වෙද්දී මෙය කොටි වලිගයක් වී අවසන්. යහපාලන ආණ්ඩුව පොඩ්ඩක් පරිස්සමෙන් ක්‍රීඩා කළත් ක්‍රීඩාව අත ඇරියේ නැහැ. ස්වෛරිත්ව බැඳුම්කර විකුණමින් ණය ගැනීම් දිගටම සිදු වුනා. ඩොලරයේ මිල 150 මට්ටමෙහි තවත් කාලයක් නඩත්තු කෙරුණා. දිගින් දිගටම වෙළඳපොළපොළට ඩොලර් පොම්ප කෙරුණු නිසා ආනයන අඩු වුනේ නැහැ. 2018දී නැවතත් හිරවුනා. ඩොලරය කෙටි කාලයක් තුළ රුපියල් 180 මට්ටමට ගියා. ඉන් පසුව, රුපියල් 180 සීමාවේ ක්‍රීඩා කරමින් සිට බෝලය මේ ආණ්ඩුවට පාස් කළා. දැන් මේ ආණ්ඩුව රුපියල් 200 සීමාවේ ක්‍රීඩා කරනවා. ක්‍රීඩාව දිගටම කරගෙන යාම සඳහා අළුත් ක්‍රීඩකයින් හොයනවා.

ලංකාවේ විනිමය ප්‍රතිපත්ති පොන්සි ක්‍රීඩාව තුළ ක්‍රීඩකයෙකුට හඳුනා ගත හැකි පැහැදිලි රටාවක් තිබෙනවා. ඒ නිසා, ඔවුන්ට ඔවුන්ගේ අවදානම කළමණාකරණය කරගෙන දිගටම ක්‍රීඩා කළ හැකියි. රුපියල වේගයෙන් කඩා වැටී ඩොලරයක මිල ස්ථාවර වීමෙන් පසු වසර දෙක තුනක් කෙසේ හෝ එය ඒ මට්ටමේ තියා ගන්න බව ඔවුන් දන්නවා. ඒ නිසා, ඔවුන් බය නැතුව සල්ලි දමමින් ක්‍රීඩාවට එළැඹෙනවා. රුපියල කඩා වැටීමේ අවදානම ඉහළ යද්දී ඔවුන් ක්ෂණිකව ඉවත් වෙනවා. එය කළ නොහැකි වූ අය ක්‍රීඩාවෙන් පරදිනවා. මේ ක්‍රීඩාවට ආකර්ශනය වන්නේ සූදුවට කැමති සමපේක්ෂකයින් මිසක් සැබෑ ආයෝජකයන් නෙමෙයි. ක්‍රීඩාවේ පසුබිමේ වෙනම මානයක භූ දේශපාලනයද ක්‍රියාත්මක වෙනවා.

එජාපය හෝ සජබෙ මේ පොන්සි ක්‍රීඩාවට අකැමැති හෝ විරුද්ධ නැහැ. ඔවුන් ආණ්ඩුවට කරන විවේචනය වන්නේ ආණ්ඩුව ක්‍රීඩාව හොඳින් නොකරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හරහා පොන්සි ක්‍රීඩාව කඩා වැටෙන දවස ප්‍රමාද කරගත හැකියි. හැබැයි මුලින් කී පරිදි, පොන්සි ක්‍රීඩාවක් දිගටම හැමදාම පවත්වා ගෙන යන්න බැහැ. 

සරල විග්‍රහයක සිටින ජවිපෙට මේ කිසිවක් ගැන නිවැරදි අවබෝධයක් නැහැ. විසඳුමක් තිබිය හැක්කේ ප්‍රශ්නය ගැන අවබෝධයක් ඇත්නම් පමණයි. ප්‍රශ්නය ගැන අවබෝධයක් තිබුනත් එය ප්‍රශ්නයක් සේ නොදැකීම හෝ නොදැක්කා සේ සිටීම මේ ආණ්ඩුවේ ප්‍රශ්නයයි. එජාපය මේ ක්‍රීඩාවෙහි ප්‍රශ්න දැක්කත් සමස්ත ක්‍රීඩාවම ප්‍රශ්නයක් සේ දකින්නේ නැහැ.

මෙය මේ ලිපි මාලාවේ පළමු අදියරෙහි අවසන් මෙන්ම වැදගත්ම කොටසයි. ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කළ හැකි නමුත්, මීටත් වඩා සරලව හෝ කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. මෙතෙක් ලියා ඇති දේ නිරවුල්ව තේරුම් ගැනීමට කාලයක් තබා අර්බුදයේ වත්මන් දිශානතිය ගැනත්, ගැලවිය හැකි ක්‍රමය ගැනත් කතා කිරීමට ප්‍රවේශ වෙමු. ඊට අමතරව, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, බලශක්තිය, ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර වෙන් වෙන්ව ගෙන ගැටළු හා විසඳුම් කතා කළ හැකි වුවත්, එය කළ හැක්කේ මූලික සාර්ව-ආර්ථික ගැටළු විසඳා ගෙන ආර්ථිකය හරි පාරට දමා ගැනීම සඳහා අප විසින් යෝජනා කිරීමට නියමිත ප්‍රවේශය සමඟ පුළුල් එකඟතාවක් ඇති පිරිසක් සමඟ පමණයි. 

Monday, January 17, 2022

කඩා වැටෙන්නට නියමිත පොන්සි ක්‍රීඩාව

රුපියල් විස්සක් ගෙවා ක්ෂණික ලොතරැයියක් මිල දී ගන්නා කෙනෙක් එසේ කරන්නේ ඇයි? එවැන්නෙකු මේ ලොතරැයියේ ජයග්‍රාහකයෙකු වී රුපියල් මිලියන ගණනක ත්‍යාගයක් හිමි වීමේ යම් ඉඩක් තිබෙන නිසා. එහෙත්, බොහෝ විට සිදු වන්නේ තමන්ගේ අතේ තිබුණු රුපියල් විස්සත් නැති වෙන එකයි. 

ලොතරැයියක් මිල දී ගන්නා අයෙක් එසේ කරන්නේ මේ බව නොදැන නෙමෙයි. පළමු ලොතරැයියෙන් කිසිදු දිනුමක් නොලබන අයෙකු ඇතැම් විට තවත් ලොතරැයියක් මිල දී ගන්නවා. එයින්ද දිනුමක් නොලැබුණොත් ඇතැම් විට තෙවන ලොතරැයියක්ද මිල දී ගන්නවා. මෙසේ කරන්නේ නොඇදුනු දිනුම දෙවන, තෙවන වර හෝ ඇදෙයි කියා හිතාගෙනයි.

කවුරු හරි අතේ විශාල ධනයක් තිබෙනවානම්, ඔය විදිහට එකින් එක ලොතරැයි සියල්ල සූරා ගෙන ගියොත් අනිවාර්යයෙන්ම දිනුම් සියල්ල ඔහුට හෝ ඇයට ලැබෙනවා. මේ ගැන කිසිදු සැකයක් නැහැ. එහෙමනම්, ධම්මික පෙරේරා වගේ කෙනෙක් වෙළඳපොළේ තිබෙන ලොතරැයි සියල්ල එක වර මිල දී නොගන්නේ ඇයි?

රත්නපුර පැත්තේ ඇතැම් මැණික් ව්‍යාපාරිකයින් ඔය වගේ වැඩ කරන අවස්ථා තිබුණත්, ධම්මික පෙරේරා වගේ කෙනෙක් කවදාවත් ඔය වගේ දෙයක් කරන්නේ නැහැ. මොකද ඔය වැඩේ කළොත්, එසේ කරන තැනැත්තාට දිනුම් සියල්ලම අනිවාර්යයෙන්ම හිමි වන නමුත් ඒ සියලුම දිනුම් මුදල් මෙන් දෙගුණයක හෝ තුන් ගුණයක් ඒ වෙද්දී වැය වෙලා. 

ධම්මික පෙරේරා ව්‍යාපාරික ලෝකයට ඔළුව දාගත්තේ රට පුරා ජැක්පොට් මැෂින් හයි කරමින්. ඒ දවස් වල පිස්සුවෙන් වගේ ජැක්පොට් ගැසූ අය රට පුරාම හිටියා. ජැක්පොට් ක්‍රීඩකයින්ගෙන් දෙකේ කාසි වලට සෑහෙන ඉල්ලුමක් තිබුණා. ජැක්පොට් ක්‍රීඩාවෙන් දිනුම් සේ ලැබෙන්නේ ජැක්පොට් යන්ත්‍රයක් ඇතුළට යන දෙකේ කාසි වලින්ම යම් ප්‍රමාණයක් පමණයි. ඊට අමතරව, යන්ත්‍රය ඇතුළේ දෙකේ කාසි හැදෙන්නේ නැහැ. හැබැයි ඇතුළට යන දෙකේ කාසි සියල්ල නැවත එළියට එන්නේ නැහැ. යන්ත්‍රය ඇතුළේ දෙකේ කාසි පිරෙන්න කලින් ධම්මික පෙරේරා ඇවිදින් යන්ත්‍රය හිස් කරනවා. ඉතිරි වන දෙකේ කාසි ඔහුගේ සාක්කුවට යනවා. 

ජැක්පොට් ක්‍රීඩාවේ යෙදුනු ක්‍රීඩකයෝ මේ බව නොදැන හිටියා නෙමෙයි. ජැක්පොට් ක්‍රීඩාව තහනම් නොකළේනම් මිනිස්සු දිගින් දිගටම ජැක්පොට් ගහනවා. අද ලොතරැයි ගන්න අයත් කරන්නේ මෙයමයි.

සමාගමක කොටස් මිල දී ගන්නා අයෙකු කරන්නෙත් යම් තරමකින් ජැක්පොට් ගහනවා වගේ වැඩක්. මේ ක්‍රීඩාවෙන් දිනන්න හෝ පරදින්න පුළුවන්. එහෙත්, දිගින් දිගටම සමාගමක කොටස් වෙනුවෙන් මුදල් ආයෝජනය කරන අයෙක් බොහෝ විට දිනනවා මිසක් පරදින්නේ නැහැ. මොකද කෙටිකාලීනව සමාගමක කොටස් මිල ඉහළ පහළ යාම අහඹු ලෙස සිදු වුවත්, එය තනිකරම අහඹු ලෙස සිදු වන්නේ නැහැ. දිගුකාලීනව සමාගමක කොටස් මිල ඉහළ පහළ යන්නේනම් එම සමාගම් කොටස් වල වටිනාකම ඇත්තටම අඩු වැඩි වන ආකාරය පිළිබිඹු කරමින්.

සමාගමක කොටස් වල සැබෑ වටිනාකම ඇත්තටම ඉහළ නොගියත්, කවර හෝ හේතුවක් නිසා කෙටිකාලීනව මිල ඉහළ යන අවස්ථා තිබෙනවා. මේ වගේ වෙලාවක එම කොටස් මිල දී ගන්නා අයෙකුට දිගුකාලීනව පාඩුවක් සිදු වෙනවා. ඒ පාඩුව සිදු වන්නේ යම් මොහොතක කොටස් මිල එහි සැබෑ වටිනාකම දක්වා එක වර ක්ෂණිකව පහත වැටීමෙනුයි. එසේ වුවත්, ඒ කඩා වැටීම සිදු වන තුරු යම් කාලයක් කොටස් මිල ඉහළ යා හැකියි. අවදානමක් ගන්න කැමති අයෙකුට මේ කාලය තුළ කොටස් වෙළඳපොළ ගනුදෙනු වලින් සාමාන්‍ය ලාබය ඉක්මවන විශාල ලාබයක් උපයන්න පුළුවන්. හැබැයි මෙය සැබෑ ආයෝජනයකට වඩා සූදුවක්!

කොටස් වෙළඳපොළේ වගේම වෙනත් ඕනෑම වෙළඳපොළක මිල බුබුළු හැදෙන්න පුළුවන්. එය ධනවාදී ක්‍රමයක් ඇතුළේ සිදු වන දුලබ නොවන සිදු වීමක්. බොහෝ විට වගේ මිල බුබුලක් හදන්න දායක වෙන්නේ අතරමැදියෝ. ඒ නිසාම, බොහෝ විට මිල බුබුල කඩා වැටුණු විට පාඩුව විඳින්න වෙන්නේත් ඔවුන්ටයි.

මිල බුබුලක් හැදී ඇති විට එය මිල බුබුලක් බව දන්න, එය කොයි මොහොතක හෝ කඩා වැටෙන බවත් දන්න, බොහෝ දෙනෙක් නොවටිනා මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිල දී ගන්නවා. එසේ නොවටිනා මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිල දී ගන්නේම මිල බුබුල කඩා වැටෙන්න කලින් වෙනත් අයෙකුට අදාළ භාණ්ඩය හෝ වත්කම විකුණා ලාබයක් ලැබීමේ අරමුණින්. වෙනත් වචන වලින් කිවුවොත් තමන්ට පාඩුවක් වෙන්න කලින් අදාළ භාණ්ඩය හෝ වත්කම කාගේ හෝ ඇඟේ ගැසිය හැකිය යන විශ්වාසයෙන්.

මිල බුබුළු කියන්නේ ධනවාදී වෙළඳපොළක ස්වභාවික ලෙසම බිහි වන පොන්සි ක්‍රීඩාවක් වැනි දෙයක්. බුබුල හැදෙන කාලය තුළ ක්‍රීඩා කරන ඕනෑම කෙනෙකුට ජයග්‍රාහකයෙකු සේ තරඟයෙන් ඉවත් විය හැකියි. පරාජිතයින් නැහැ. එහෙත්, ජැක්පොට් යන්ත්‍රයක් තුළ දෙකේ කාසි හැදෙන්නේ නැතුවාක් මෙන්ම, අදාළ වත්කමේ මිල ඉහළ යාමට සාපේක්ෂව එහි සැබෑ වටිනාකම ඉහළ යන්නේ නැති නිසා යම් මොහොතක මිල බුබුල පුපුරා යනවා. ඒ වන විට තරඟය තුළ රැඳී සිටින සියල්ලන්ම පරාජිතයින් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් පොන්සි ක්‍රීඩාවක් අවසන් වන්නේත් මේ ක්‍රමයටමයි.

ධනවාදී ක්‍රමයක් තුළ පොන්සි ක්‍රීඩා බිහි වීම ධනවාදී ක්‍රමයට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ විදිහට හැදෙන හෝ හදන පොන්සි ක්‍රීඩාවක් අවසන් වන යාන්ත්‍රනයද ධනවාදය තුළම තිබෙනවා. ආර්ථික අවපාත වලදී බොහෝ විට වෙන්නේත්, ධනවාදී ක්‍රමයක් තුළ බිහි වන පොන්සි ක්‍රීඩා කෙළවර වීමක් වැනි දෙයක්. 

ධනවාදී බටහිර ලෝකයේ ආර්ථික අවපාතයක් ඇති වෙන හැම වෙලාවකම වගේ මෙය ධනවාදයේ කඩා වැටීමක් සේ සලකමින් සතුටු වන පිරිසක් ඉන්නවා. මේ පිරිස අතර සිටින හැමෝම සමාජවාදීන් නොවුනත්, සමාජවාදීන් සාමාන්‍යයෙන් ඉන්නේත් මේ කණ්ඩායමේ. එහෙත්, ආර්ථික අවපාතයක් කියා කියන්නේ ඇත්තටම ධනවාදය ස්ථාවර වෙමින් ඉදිරියට යන ක්‍රියාවලියේම කොටසක්.

ධනවාදයේ පාදක මූලධර්මයක් වන්නේ කිසියම් භාණ්ඩයක හෝ සේවාවක මිල තුළින් එහි සැබෑ වටිනාකම නිරූපණය විය යුතු බවයි. මිල බුබුලක් පවතින විට මෙය සිදු වන්නේ නැහැ. මිල බුබුලක් පිපිරෙද්දී වෙන්නේ අදාළ භාණ්ඩයේ මිල එහි සැබෑ වටිනාකම නිරූපණය වන පරිදි නිවැරදි වීමක්. ආර්ථික අවපාත හරහා වෙන්නේ කිසියම් ආර්ථිකයක සමස්තයක් ලෙස මිල මට්ටමේ තිබෙන වැරැද්දක් නිවැරදි වීමක්. එයට සමාන්තරව සාර්ව-ආර්ථික නිර්ණායක ගණනාවක තිබෙන "වැරදි" ආර්ථික අවපාතයකදී නිවැරදි වෙනවා. ආර්ථිකයක් "කඩා වැටීමේදී" වෙන්නෙත් මේ වගේම දෙයක්. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක සැබෑ තත්ත්වය සාර්ව-ආර්ථික නිර්ණායක වලින් පිළිබිඹු වීමක්. 

වරින් වර ආර්ථික අවපාත පැමිණියත් ධනවාදී ආර්ථිකයක් දිගින් දිගටම වර්ධනය වෙනවා. මේ වර්ධනය සිදු වන්නේ විද්‍යාවේ දියුණුවට සමාන්තරව කියා කියන්නත් පුළුවන්. විද්‍යාව කියා කියන්නේ බටහිර විද්‍යාව. ආර්ථිකයක් තුළ බුබුලක් හැදෙද්දී සිදු වෙන්නේ මේ විදිහට විද්‍යාවේ දියුණුවට සමාන්තරව "සැබෑ" වටිනාකම් ඉහළ යාම ඉක්මවා ආර්ථිකය වර්ධනය වීමක්. මේ වගේ දෙයක් සිදු වන අවස්ථාවක වර්ධනය සිදු වන්නේ සැබෑවටම වටිනාකම් ඉහළ යාමක් නිසාද නැත්නම් බුබුලක් හැදීම නිසාද කියන එක ඇතැම් විට ප්‍රායෝගිකව මතු වන ප්‍රශ්නයක්. ඇතැම් අවස්ථා වලදී, සැබෑවටම වටිනාකම් ඉහළ යාමක් ලෙස රජයක් විසින් පෙන්වන තත්ත්වයක් බුබුලක් බව පැහැදිලි වන්නේ බුබුල පිපිරුනාට පසුවයි.

ධනවාදී ආර්ථිකයක බුබුළු ඇති වීම ඉතාම සාමාන්‍ය සංසිද්ධියක් වගේම ධනවාදී ක්‍රමය පිළිබඳව කනස්සළු වීමට කාරණයක් නෙමෙයි. එහෙත්, ධනවාදී ක්‍රමයක් තුළ බොහෝ දෙනෙකු විසින් අපේක්ෂා කරන දිගුකාලීන ආර්ථික වර්ධනය යම් හේතුවක් නිසා නවතිනවානම් හෝ කඩා වැටෙනවානම් එහි කනස්සළු විය යුතු කාරණයක් තිබෙනවා. බටහිර විද්‍යාවේ වර්ධනය යම් හේතුවක් නිසා නැවතුනොත් හෝ කඩා වැටුනොත් එය ධනවාදී ආර්ථිකයන්හි වර්ධනයට සෘජු බලපෑමක් කළ හැකියි. 

බටහිර විද්‍යාව දිගින් දිගටම වර්ධනය වනු ඇති බවට අපට සහතිකයක් තිබේද? මෙය ප්‍රශ්න කරන විවිධ කණ්ඩායම් සිටිනවා. බටහිර විද්‍යාව දිනෙන් දින දියුණු වන බව අප බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරනවා. එහෙත් එය විශ්වාසයක් පමණයි. විද්‍යාව විසින් විසඳන ප්‍රශ්න වලට වඩා ඒ නිසා ඇති කරන ප්‍රශ්න වැඩි බව විශ්වාස කරන කණ්ඩායම්ද සිටිනවා. ඇතැම් පරිසරවාදීන් සිටින්නේ මේ ගොඩේ. මේ දවස් වල ඇතැම් එන්නත් විරෝධීන්ද මේ ගොඩට එකතු වී සිටිනවා.

විද්‍යාව විසින් අප පරම සත්‍යයක් කරා ගෙන යන බවට දාර්ශනික සහතිකයක් නැහැ. ඒ හේතුව නිසාම, ධනවාදය හරහා ලඟා කරගත හැකි දිගුකාලීන සංවර්ධනය සැබෑ ප්‍රගතියක් නොවන බව විශ්වාස කරන අයෙකුගේ එම විශ්වාසයට අභියෝග කළ හැකි දාර්ශනික පදනමක්ද නැහැ. එහෙත්, ඒ තත්ත්වය යටතේ වුවත් ධනවාදය හා සමාජවාදය කියන විකල්ප දෙක අතරින් ධනවාදය පහසු තෝරා ගැනීමක්. මොකද සමාජවාදයේ ඉලක්කය වන්නේද ධනවාදය ඉලක්ක කරන දිගුකාලීන සංවර්ධනයයි. ඒ ඉලක්කය කරා යාමේදී ධනවාදය වඩා කාර්යක්ෂමයි.

ලංකාව වෙත හැරුනොත්, ලංකාවේ ආර්ථිකයේ සිදු විය හැකි කඩා වැටීමකදී සිදු වන්නේ, හදා හෝ හැදී තිබෙන බුබුළු පුපුරා යාමක් පමණයි. එයින් දිගුකාලීනව රටට හෝ රටේ ජීවත් වන මිනිසුන්ට අයහපතක් වෙන්නේ නැහැ. කඩා වැටීමකින් පසුව සිදු විය හැක්කේ රට ඇත්තටම තිබෙන තැන සාර්ව-ආර්ථික නිර්ණායක වලින් නිවැරදිව නිරූපනය වීමක් පමණයි.

පසුගිය කාලයේ ලංකාවේ සාර්ව-ආර්ථික නිර්ණායක වලින් නිරූපණය වූ ප්‍රගතිය සැබෑ ප්‍රගතියක්ද? 

මා මේ ප්‍රශ්නය අසන්නේ ධනවාදය හරහා ලඟා කරගත හැකි දිගුකාලීන සංවර්ධනය සැබෑ ප්‍රගතියක් නොවන්නේය යන සංවර්ධන විරෝධී ආස්ථානයක සිටිමින් නෙමෙයි. මෙය එවැනි සැබෑ ප්‍රගතියක් ධනවාදය හරහා (මෙන්ම අඩු කාර්යක්ෂමතාවයකින් වුවත් සමාජවාදය හරහාද) ලඟා කර ගත හැකිය යන විශ්වාසය මත පදනම්ව අසන ප්‍රශ්නයක්. එසේනම්, මේ ප්‍රගතිය එවැනි සැබෑ ප්‍රගතියක්ද? සැබෑ ප්‍රගතිය ඉක්මවූ මායාවක් පෙන්වන බුබ්බුලයක්ද? එවැනි බුබ්බුලයක් ඇත්නම්, බුබ්බුලයට යටින් සැඟවී තිබෙන සැබෑ ප්‍රගතිය කොපමණද?

පහත පළමු වගුවේ ඔබට දැකිය හැක්කේ ලංකාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ වසර-1, වසර-5 හා වසර-10 බැඳුම්කර ඵලදා අනුපාතික සංසන්දනයක්. 


සාමාන්‍යයෙන් ලංකාවේ රජය බැඳුම්කර වෙනුවෙන් ගෙවන පොලී අනුපාතික ඇමරිකාවේ එම අනුපාතික වලට වඩා 7-8% පමණ වැඩියි. එසේනම්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන බැඳුම්කර ඇමරිකාව විසින් නිකුත් කරන බැඳුම්කර වලට වඩා ආකර්ශනීය විය යුතුයි. එහෙත්, එය එසේ වන්නේ ඩොලරයක මිල ස්ථිරව තිබේනම් පමණයි. ඩොලරයක මිල සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යන නිසා ඇත්තටම ලැබෙන්නේ මීට වඩා අඩු ප්‍රතිලාභයක්. දෙවන වගුවෙහි ඔබට එම ඩොලර් ප්‍රතිලාභ දැකගත හැකියි.


විණිමය වෙනස්වීම් සැලකීමෙන් පසුවද ඇමරිකානුවෙකුට ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමෙන් ඇමරිකාවේදී ලබනවාට වඩා 2-3%ක පමණ ප්‍රතිලාභයක් ලැබිය හැකියි. මෙය ලංකාවේ ආයෝජනය කිරීමේ ඇති වැඩි අවදානම වෙනුවෙන් ඇමරිකානුවෙකු විසින් අපේක්ෂා කරන අධිභාරයයි. එම අවදානමේ කොටස් දෙකක් තිබෙනවා. පළමු කොටස ශ්‍රී ලංකා රජය විසින් ණය පැහැර හැරීමේ අවදානමයි. දෙවැනි කොටස විණිමය අනුපාතය වෙනස් වීමේ අවදානමයි.

දැන් අපි මෙහිදී කතා කරන්නේ ශ්‍රී ලංකා රජයේ රුපියල් ණය ගැන මිසක් ඩොලර් ණය ගැන නෙමෙයි. ඇමරිකාවේ රජයට (ෆෙඩරල් සංචිත බැංකුව හරහා) ඩොලර් අච්චු ගහන්න පුළුවන් වගේම ශ්‍රී ලංකාවේ රජයටත් (මහ බැංකුව හරහා) රුපියල් අච්චු ගහන්න පුලුවන්. ඒ නිසා, ශ්‍රී ලංකා රජය විසින් ගන්න රුපියල් ණය ආපසු නොගෙවීමේ අවදානම ඉතාම අඩුයි. මේ අධිභාරයට තනිකරම වගේ හේතු වෙන්නේ රුපියල් නැවත ඩොලර් කර ගැනීමේදී සිදු විය හැකි පාඩුවයි. 

ලංකාවේ බැඳුම්කර පොලී අනුපාතික කොයි තරම් ඉහළ මට්ටමක තිබුණත්, ඩොලරයේ මිල විශාල ලෙස ඉහළ ගියොත් ඒවායේ ආයෝජනය කරන විදේශිකයෙකුට පාඩුවක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට 2018 වසර තුළ ඩොලරයක මිල 19.56%කින් ඉහළ ගියා. ඒ අවුරුද්දේ වසරක බැඳුම්කරයක පොලිය 11.20%. එය ඇමරිකාවේ එම පොලී අනුපාතය වූ 2.60%ට වඩා ගොඩක් ආකර්ශනීය වුවත් විණිමය අනුපාතය පිරිහීම නිසා ඩොලර් රුපියල් කරලා ලංකාවේ වසරක බැඳුම්කරයක ආයෝජනය කරන විදේශිකයෙකුට අවසාන වශයෙන් වෙන්නේ 10.96%ක පාඩුවක් විඳ දරා ගන්නයි. ඒ නිසා, රුපියල අවප්‍රමාණය වීමේ ඉඩකඩ ඉහළ යද්දී ලංකාවට එන ආයෝජන පහළ යනවා.

බොහෝ විට වෙනවා වගේ රුපියල අවප්‍රමාණය නොවී, අධිප්‍රමාණය වුනොත් වෙන්නේ කුමක්ද? දැන් විදේශිකයෙකුට ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කරලා ශ්‍රී ලාංකිකයෙකු ලබන ප්‍රතිලාභයත් වඩා වැඩි ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. එක පැත්තකින් ඉහළ පොලී අනුපාතිකය. අනෙක් පැත්තෙන් ඩොලරයේ මිල පහළ යාම නිසා ලැබෙන වාසිය. ඩබල් බෝනස්!

රුපියල අධිප්‍රමාණය වෙද්දී විදේශිකයෙකුට ලැබෙන මේ වාසිය ලැබෙන්නේ රජය විසින් නිකුත් කරන බැඳුම්කර වල ආයෝජනය කළ විට පමණක් නෙමෙයි. කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කළත්, ඉඩමක් ගත්තත්, ලංකාවේ බැංකු ගිණුමක සල්ලි දැම්මත්, ලංකාවේ කාට හෝ ණයක් දුන්නත්, රුපියල් වලින් වෙන මොනවා හෝ ආයෝජනයක් කළත් මේ වාසියම ලැබෙනවා. ඒ නිසා, රුපියල අධිප්‍රමාණය වෙද්දී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළට විදේශ ආයෝජන ගලා එනවා. හැබැයි මේ විදිහට ලංකාවේ මොනවා හෝ වත්කමක ආයෝජනය කරන විදේශිකයෙක් එසේ කරන්නේ ඩොලරයේ මිල පහළ යාමේ වාසිය බලාගෙන මිසක් අදාළ වත්කම් වල සැබෑ වටිනාකම පිළිබඳ විශ්වාසයෙන් නෙමෙයි. මේක සුදූකරුවන් ආකර්ෂණය කර ගනිමින් පොන්සි ක්‍රීඩාවකින් ප්‍රයෝජනය ගැනීමක් වගේ දෙයක්.

රාජපක්ෂ රෙජීමයේ ආර්ථික උපක්‍රමය වුනේ මේ පොන්සි ක්‍රීඩාව හරහා ඩොලර් ණය රටට ආකර්ශනය කර ගැනීමයි. නමුත්, මේ වැඩේ කරන්නනම් රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙන එක ආපසු හැරවිය යුතුයි. රුපියල අධිප්‍රමාණය කිරීම හෝ එය කළ නොහැකිනම් අඩු වශයෙන් එක තැන තියා ගැනීම කළ යුතුයි. ඒ වගේම, රුපියල අවප්‍රමාණය වෙන්න නොදෙන බව ලංකාවේ ඩොලර් ආයෝජනය කළ හැකි අයට කෙසේ හෝ සංඥා කළ යුතුයි.

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් වෙළඳපොළට අඛණ්ඩව ඩොලර් සැපයිය යුතුයි. එහෙත්, එය කළ හැක්කේ විදේශ සංචිත විශාල ප්‍රමාණයක් අතේ ඇත්නම් පමණයි. ලංකාව සතුව එවැනි විශාල සංචිත ප්‍රමාණයක් තිබුණේ නැහැ. ඒ නිසා, ලංකාව කළේ අවදානම් සහිත සූදුවකට අත ගහන එක. ඒ ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කර, එකවර විශාල ඩොලර් ප්‍රමාණයක් හොයා ගෙන එම ඩොලර් වල උදවුවෙන් විණිමය අනුපාතය පහළින් තියා ගැනීමයි.

ඩොලර් මිලියන 500ක් කියා කියන්නේ 2007 වන විට ලංකාව අරගෙන තිබූ වෙනත් විදේශ ණය වලට සාපේක්ෂව විශාල මුදලක්. වසර පහක ස්වෛරිත්ව බැඳුම්කරය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙවන්නට පොරොන්දු වූ 8.25%ක කූපන් පොලී අනුපාතිකය එවකට (මෙන්ම දැනටද) ලංකාව විසින් විදේශ ණය සඳහා ගෙවූ පොලී අනුපාතික වලට සාපේක්ෂව ඉතාම පොලී අනුපාතිකයක්. 

ස්වෛරිත්ව බැඳුම්කරයක ආයෝජනය කරන විදේශිකයෙකුට ලංකාවේ රුපියල් බැඳුම්කරයක ආයෝජනය කරද්දී මුහුණ දෙන්න සිදු වන ඩොලරයේ මිල වෙනස් වීමේ අවදානමට මුහුණ දෙන්න සිදු වන්නේ නැහැ. මොකද සල්ලි හා පොලිය ආපසු ලැබෙන්නේ ඩොලර් වලින්මයි. නමුත්, ලංකාවේ රජයට රුපියල් ණය දීමේදී එවැන්නෙකුට මුහුණ දෙන්න සිදු නොවන අවදානමක් මෙහි තිබෙනවා. ශ්‍රී ලංකාවේ රජයට රුපියල් අච්චු ගහන්න පුළුවන් වුනත්, ඩොලර් අච්චු ගහන්න බැහැ. ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවන්න සිදු වූ ඉහළ පොලිය ඒ අවදානම වෙනුවෙන් ගෙවන්න වූ අධිභාරයයි.

ඉතා ඉහළ පොලියකට වුවත් එකවර විශාල ඩොලර් ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසු ලංකාවට ඩොලරයක මිල ස්ථාවරව තියා ගන්න පුළුවන් වුනා. එහිදී රුපියල් වලින් ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට ලැබෙන ප්‍රතිලාභද විශාල ලෙස ඉහළ ගියා. රටට ඩොලර් ගලා ගෙන එන්න පටන් ගත්තා. ඒ ඩොලර් වල උදවුවෙන් ඩොලරයක මිල දිගටම පහළින් තියා ගන්න පුළුවන් වුනා.

දැන් ක්‍රම දෙකකට රටට ඩොලර් එනවා. එක පැත්තකින් රජය විසින් කෙළින්ම ගන්න ඩොලර් ණය. අනෙක් පැත්තෙන් විදේශිකයෝ ඩොලර් රුපියල් කරලා ලංකාවේ රුපියල් වලින් ආයෝජනය කරනවා. මේ දෙකෙන්ම වෙන්නේ රටේ ඩොලර් සැපයුම ඉහළ යාම. මහ බැංකුව විසින් මේ ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගත්තානම් සැපයුම අඩු වී විණිමය අනුපාතය කලින් වගේම අවප්‍රමාණය වෙනවා. එවිට, පළමු ක්‍රමයට කෙසේ වෙතත් දෙවන ක්‍රමයට රටට එන ඩොලර් ප්‍රවාහ නවතිනවා. රජයේ ආර්ථික උපාය මාර්ගය වුනේම විණිමය අනුපාතය අවප්‍රමාණය වීම වලක්වා ගැනීම නිසා එවැන්නක් සිදු වුනේ නැහැ.

සාමාන්‍ය ක්‍රමයට අපනයන හෝ ප්‍රේෂණ වලින් රටට එන ඩොලර් ප්‍රමාණයට වඩා විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණි විට එම ඩොලර් සැපයුම හා ඉල්ලුම සමාන වන පරිදි ඉල්ලුම ඉහළ යනවා. ආනයන විශාල ලෙස ඉහළ යනවා. ආනයන ලාබදායක නිසා අපනයන හා ආනයන ආදේශක කර්මාන්ත බිඳ වැටෙනවා. සාමාන්‍ය ක්‍රමයට රටට එන ඩොලර් ප්‍රවාහ හිඳෙනවා. නමුත්, උද්ධමනය පහළ යනවා. පරිභෝජනය ඉහළ යනවා. ආයෝජනත් ඉහළ යනවා. දේශීය ණය අවශ්‍යතා සීමා වන නිසා පොලී අනුපාතිකත් පාලනය කර ගත හැකියි. සාර්ව-ආර්ථික නිර්ණායක හැම එකක්ම වගේ හොඳ වෙනවා. 

හැබැයි මේ සියල්ල රඳා පවතින්නේ විණිමය අනුපාතය පාලනය කිරීම මත. විණිමය අනුපාතය පාලනය වෙන්නේ දිගින් දිගටම වෙළඳපොළට සපයන හෝ සැපයෙන ඩොලර් නිසා. එය නැවතුනොත් සියල්ල කණපිට හැරෙනවා. කොටි වලිගය අල්ලා ගත්තා වගේ වැඩක්. ඇත්තටම කොටි වලිගය අල්ලා ගත්තාටත් වඩා අවදානම් වැඩක්. මෙය යම් කිසි අවස්ථාවක අත හරින්නම සිදු වන කොටි වලිගයක්. ඒ ඇයි?

අපි හිතමු කවුරු හෝ විදේශිකයෙක් රුපියල් ලක්ෂ 150කට ලංකාවේ ඉඩමක් මිල දී ගත්තා කියලා. ඩොලරයක් රුපියල් 150යි. ඒ කියන්නේ ඩොලර් ලක්ෂයක් රටට ගේනවා. මේ ඩොලර් රුපියල් වලට මාරු කළහම රටේ ඩොලර් සැපයුම ඉහළ යනවා. ඩොලරයේ මිල පහළ යනවා. ආනයනික භාණ්ඩ වල මිල පහළ ගොස් ඉල්ලුම ඉහළ යනවා. ඩොලර් ලක්ෂය රටෙන් එළියට යනවා. මහ බැංකුව ඩොලර් ලක්ෂය මිල දී ගෙන සංචිත වලට එකතු කර ගත්තොත් මේ වැඩේ වෙන්නේ නැහැ. 

අපි හිතමු වසර තුනකට පසුව ඉඩම රුපියල් ලක්ෂ 180ක් වුනා කියලා. මේ වෙද්දී ඩොලරය රුපියල් 180ක් වෙලානම් අර විදේශිකයාට ලැබෙන්නේ වසර තුනකට පෙර රටට ගෙනා ඩොලර් ලක්ෂය පමණයි. රුපියල් ගෙවා ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගනිද්දී ඩොලර් ඉල්ලුම ඉහළ ගොස් ඩොලරයේ මිල ඉහළ යනවා. මහ බැංකුව විසින් රටට කලින් ගෙන ආ ඩොලර් ලක්ෂය සංචිත වලට එකතු කරගෙන තිබුණානම් ඒ ඩොලර් ලක්ෂය විකුණලා විණිමය අනුපාතය පාලනය කර ගන්න පුළුවන්. සංචිත නැත්නම් ඩොලරයේ මිල ඉහළ යාම වලක්වා ගන්න රජයට කොහෙන් හෝ ඩොලර් ලක්ෂයක් ණයට ගෙන වෙළඳපොළට දමන්න වෙනවා. කොහොම වුනත්, ඉඩම් මිල වැඩි වන වේගයට වඩා වේගයෙන් ඩොලර් මිල වැඩි වන බව විදේශිකයා දැන සිටියේනම් ඔහු හෝ ඇය මේ සල්ලි ලංකාවට ගේන්නේ නැහැ.

අපි හිතමු ඩොලරය 150 මට්ටමේම තිබුණා කියලා. දැන් ඉඩම විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 180 මාරු වෙන්නේ ඩොලර් 120,000කට. රටින් එළියට යන අමතර ඩොලර් 20,000 කවදාවත්ම රටට ඇවිත් නැහැ. ඒ නිසා, ඒ ඩොලර් 20,000 රටින් ගෙනියන්න වෙන්නේ රටේ කවුරු හෝ විදේශ ණයක් අරගෙන ඩොලර් 20,000ක් රුපියල් කළොත්ම පමණයි. ඉන් පසු, ඒ ණය වෙනුවෙන් ඩොලර් වලින් පොලී ගෙවද්දීත් නැවත ඔය වගේම ප්‍රශ්නයක් මතු වෙනවා. 

විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න නොදී තියා ගෙන සිටිමින් විදේශිකයන්ගෙන් රුපියල් ණය ගත් විට වෙන්නේත් ඔය ටිකමයි. රුපියල් ණය වෙනුවෙන් රුපියල් වලින් ගෙවන පොලිය ඩොලර් කරද්දී එළියට යන්නේ රටට කවදාවත් නොආ ඩොලර්. ජැක්පොට් මැෂිමක් ඇතුළේ දෙකේ කාසි පැටවු ගහන්නේ නැතුවාක් වගේම ලංකාව ඇතුළේ ඩොලර් පැටවු ගහන්නේත් නැති නිසා නැති නිසා රටට කවදාවත් නොපැමිණි ඩොලර් රටින් එළියට යනවා කියා කියන්නේ හැම විටම පියවන ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් අලුතින් ගන්නම වෙනවා කියන එක. මේක පොන්සි ක්‍රීඩාවක්.

පොන්සි ක්‍රීඩාවක් කවදා හෝ කඩා වැටෙනවා. මේ පොන්සි ක්‍රීඩාව කඩා වැටෙන්නේ තව දුරටත් ණය ගන්න බැරි වූ දවසට. ඒ දවස එන තුරු රටේ හැමෝම ජයග්‍රාහකයෝ. මොකද සාර්ව-ආර්ථික නිර්ණායක හැම එකක්ම හොඳින් තියෙන්නේ විණිමය අනුපාතය අවප්‍රමාණය නොවීම නිසා. විණිමය අනුපාතය අවප්‍රමාණය නොවන්නේ එක්කෝ දිගටම ණය ගන්න නිසා. නැත්නම් දිගටම ණය ලැබෙන නිසා. දිගටම ණය ලැබෙන්නේ විණිමය අනුපාතය අවප්‍රමාණය නොවීම නිසා. 

මේ ක්‍රමය පවත්වා ගන්න හැම වෙලාවේම ණය දෙන්න කැමති අළුත් ගනුදෙනුකරුවෙක්ව අල්ල ගන්න වෙනවා. බැරි වූ දවසට විණිමය අනුපාතය එක වර කඩා වැටෙනවා. උද්ධමනයද එක වර ඉහළ යනවා. හැබැයි විණිමය අනුපාතය වගේම මිල මට්ටමත් නවතින්නේ තිබිය යුතු තැන. 

මේ ක්‍රීඩාව ආරම්භ කළ රාජපක්ෂලා තවමත් උත්සාහ කරන්නේ කවුරු හෝ අලුත් ක්‍රීඩකයින් පිරිසක් බඳවා ගෙන පොන්සි ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න. සමහර විට තවත් ටික කලක් ඔවුන් ඒ වැඩේ කරයි. හැබැයි මේ ක්‍රීඩාව පොන්සි ක්‍රීඩාවක්!

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...