වෙබ් ලිපිනය:

Wednesday, January 13, 2021

සංඛ්‍යානය, ගණිතය හා දේශපාලනය


සංඛ්‍යාන විද්‍යාව හා ගණිතය අතර තිබෙන වෙනස කුමක්ද? එක් පාඨකයෙකු විසින් අපෙන් මෙම ප්‍රශ්නය අසා තිබුණා. ඇත්තටම මෙම ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ප්‍රශ්නයේ වැදගත්කමට, විශේෂයෙන්ම ලංකාවේ පසුබිමේදී, දේශපාලන මානයක් තිබෙනවා. ලෝක මට්ටමේදී වෙනත් දේශපාලන මාන ගණනාවක්ද තිබෙනවා.

සංඛ්‍යාන විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේ බොහෝ දුරට ගණිත ආකෘති මතයි. ඒ වගේම, මෙම විෂය ගණිතයෙන් බාහිර වෙනත් දේ එකතු කර ගනිමින් ගණිතයෙන් බිඳී ගිය විෂයයක් ලෙසද හඳුන්වන්න පුළුවන්. එහෙත්, අද වන විට පොදු පිළිගැනීම අනුව සංඛ්‍යාන විද්‍යාව කියන්නේ ස්වාධීන ගණිතමය විද්‍යාවක් මිසක් ගණිත විද්‍යාවේ තවත් එක් උප ශාඛාවක් ලෙස හඳුන්වන්න බැහැ.

සංඛ්‍යාන විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේම අවිනිශ්චිතතාවය මතයි. සංඛ්‍යාන විද්‍යාව තුළට අවිනිශ්චිතතාවය එකතු වන්නේ සම්භාවිතාව කියන සංකල්පය හරහා. එම සංකල්පය ගණිත සංකල්පයක්. ගණිත විද්‍යාවේ කොටසක්. එහෙත්, එතැන් සිට සංඛ්‍යාන විද්‍යාව වෙනම තනි ගමනක් යනවා. එක වගේ පෙනෙන්නට තිබුණත් දාර්ශනික ලෙස මේ දෙන්නා වෙනස්ම දෙන්නෙක්.

ගණිතයේ එන දැනුම නිර්මාණය කිරීමේ ප්‍රවේශය එක් ආකාරයක බුද්ධිවාදී ප්‍රවේශයක්. මෙහිදී එක තැනකින් පටන් ගෙන සාධනයන් හරහා අපෝහනය මගින් අලුත් දැනුමක් නිර්මාණය කරනවා. සාධාරණ වශයෙන් ගත් විට භෞතික විද්‍යාව තුළ දැනුම නිර්මාණය වන්නේද මේ ආකාරයෙන්. අලුත් සත්‍යයක් දැන ගන්නටනම් දැනට දන්නා සත්‍යයන්ගෙන් පටන් ගන්න වෙනවා. එක් සත්‍යයකින් තවත් සත්‍යයක් අපෝහනය කර ගැනීම සඳහා යොදාගත හැකි රීති උපයෝගී කරගනිමින් දිගින් දිගටම අලුත් දැනුම නිර්මාණය කළ හැකියි. නමුත්, මේ සමස්ත ක්‍රියාවලියම ආරම්භ කළ හැක්කේ කිසියම් ආරම්භක සත්‍යයකින්. එම ආරම්භක සත්‍යය හෝ එක් සත්‍යයකින් තවත් සත්‍යයක් අපෝහනය කර ගැනීම සඳහා යොදාගත හැකි රීති සත්‍ය බව සාධනය කිරීමේ හැකියාවක් ගණිතය තුළ නැහැ. ඒ සත්‍යයන් සාධනය වනවානම් සාධනය වන්නේ දර්ශනය තුළ.

ආරම්භක සත්‍යය හෝ සත්‍යයකින් තවත් සත්‍යයක් අපෝහනය කර ගැනීම සඳහා යොදාගන්නා රීති සත්‍ය බව සාධනය කළ නොහැකි තත්ත්වයක් යටතේ අලුත් දැනුමක් සත්‍යද යන ප්‍රශ්නය ඉතිරි වෙනවා. මේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස අලුත් දැනුම් පරීක්ෂාවට ලක් කරන්න වෙනවා. මේ පරීක්ෂණ වලින් කිසියම් අලුත් දැනුමක් අසමත් වුවහොත් එය සත්‍යයක් සේ පිළිගැනෙන්නේ නැහැ. එසේ අසමත් වන තුරු අලුත් දැනුම සත්‍යයක් ලෙස පවතිනවා. මුලදී සමත් වන අලුත් දැනුමක් පසුව කිසියම් පරීක්ෂණයකින් අසමත් වූ විට එය ප්‍රතික්ෂේප කෙරෙන අතර එම දැනුම නිර්මාණය කර ගැනීම සඳහා යොදා ගැනුණු හෝ නොගැනුනු එතෙක් අසමත්ව නැති දැනුම් යොදා ගෙන වෙනත් අලුත් දැනුම් නිර්මාණය කෙරෙනවා. මේ ක්‍රමයට ගණිතය, භෞතික විද්‍යාව හා ඒ මත ගොඩ නැගුණු ඉංජිනේරු විද්‍යාව වැනි තාක්ෂනික විෂයයන් බොහෝ දුර ගමන් කර තිබෙනවා. 

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දැනුමක් හා පුහුණුවක් තිබෙන අයෙකු විසින් සැලසුම් කර හදන ගොඩනැගිල්ලක් හෝ පාලමක් එවැනි දැනුමක් හා පුහුණුවක් නැති අයෙකු හදන ගොඩනැගිල්ලක් හෝ පාලමක් මෙන් කඩා වැටෙන්නේ නැහැ. මෙය අදාළ ගොඩනැගිල්ල හෝ පාලම සැලසුම් කිරීම සඳහා යොදා ගත් මූලධර්ම නිවැරදිද යන්න පිළිබඳ වක්‍ර පරීක්ෂණයක්. එවැනි ගොඩනැගිලි හෝ පාලම් කඩා නොවැටෙන තාක් අදාළ මූලධර්ම නිවැරදි සේ සැලකෙනවා. 

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දැනුමක් හා පුහුණුවක් නැති අයෙකු විසින් සැලසුම් කරන ගොඩනැගිල්ලක් හෝ පාලමක් අනිවාර්යයෙන්ම කඩා වැටෙන්නේ නැති වුනත්, එසේ කඩා වැටෙන විට එය සැලකෙන්නේ අදාළ මූලධර්ම නොසලකා හැරීම හේතුව බවයි. එවැන්නක් කඩා නොවැටුණහොත්, එය සැලකෙන්නේ අහම්බයක් ලෙසයි.

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දැනුමක් හා පුහුණුවක් තිබෙන අයෙකු විසින් සැලසුම් කරන ගොඩනැගිල්ලක් හෝ පාලමක් කඩා වැටුණු විටෙක එය සාමාන්‍යයෙන් අදාළ මූලධර්ම වල වැරැද්දක් ලෙස සැලකෙන්නේ නැහැ. මූලධර්ම නිවැරදි බව තව දුරටත් පිළිගැනෙන අතර මූලධර්ම යොදාගෙන සිදු කළ ඉංජිනේරුමය සැලසුමේ හෝ වෙනත් පසු පියවරක වැරැද්දක් ලෙස මෙය සැලකෙනවා. ඒ අනුව එම වැරැද්ද නිවැරදි කිරීම හා/හෝ එවැනි වැරදි නැවත සිදු වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සිදු වනවා. අදාළ සැලසුම් මූලධර්ම තව දුරටත් සත්‍ය සේ සැලකෙනවා.

මේ මූලධර්ම යොදාගෙන සැලසුම් කරන ගොඩනැගිලි හෝ පාලම් දිගින් දිගටම කඩා වැටෙනවානම් එම මූලධර්ම පිළිබඳවද සැකයක් ඇති වෙනවා. තවදුරටත් එම මූලධර්ම සත්‍ය සේ පිළිගන්න අමාරුයි. ඒ නිසා, එම මූලධර්ම වෙනුවට "නිවැරදි" මූලධර්ම ආදේශ කරන්න වෙනවා. මෙය කරන්නේ එම පැරණි මූලධර්ම සකස් කිරීමට යොදාගත් න්‍යාය හෝ පාදක මූලධර්ම තවදුරටත් සත්‍ය සේ සලකමින් අලුත් මූලධර්ම හදා ගැනීම මගිනුයි.

මේ විදිහට අලුතින් හදා ගන්නා මූලධර්ම යොදාගෙන සැලසුම් කරන ගොඩනැගිලි හෝ පාලම්ද දිගින් දිගටම කඩා වැටෙනවානම් මොකද කරන්නේ? එම මූලධර්ම හා පැරණි මූලධර්ම සකස් කිරීමට යොදාගත් න්‍යාය හෝ පාදක මූලධර්ම තවදුරටත් සත්‍ය සේ සලකමින් නැවතත් අලුත් මූලධර්ම හදා ගැනීමයි. පාදක මූලධර්ම තවදුරටත් සත්‍ය සේ සැලකෙනවා. මා හිතන විදිහට නලින් ද සිල්වා විසින් බටහිර විද්‍යාවේ පරිධියේ දැනුම ලෙස හඳුන්වන්නේ මේ ආකාරයට පිරමිඩයේ පහළ මට්ටමේ තිබෙන දැනුමක් වෙනස් කිරීමයි. නලින් ද සිල්වා විසින් කියන දෙයම නොවිය හැකි වුවත්, ඉහත උදාහරණයේ සඳහන් පාදක මූලධර්ම පිළිබඳව සැක කිරීමට වැඩි ඉඩක් නොතිබීම දැනුමේ ආධිපත්‍ය ස්වභාවය පිළිබිඹු කරනවා කියා කියන්න පුළුවන්.

විද්‍යාව තුළම ඉහත කී පාදක මූලධර්මද සත්‍ය නොවන සේ සැලකී වෙනස් විය හැකියි. එය සිදු වන්නේ එම පාදක මූලධර්ම යොදාගෙන හදාගත් මූලධර්ම අසත්‍ය බව දිගින් දිගටම වෙනස් වන්නේනම් පමණයි. එවැන්නක් වෙන්න විශාල කාලයක් යා හැකියි. මේ වගේ දෙයක් සුසමාදර්ශීය වෙනසක් වෙන්න පුළුවන්. එවැනි වෙනස් වීමකදීද ඒ පාදක මූලධර්ම සකස් කර ගැනීමේදී සත්‍ය සේ සැලකුණු මූලධර්ම තවදුරටත් සත්‍ය සේ සැලකෙනවා. මෙහිදී එම සත්‍ය මූලධර්ම තිබෙන්නේ භෞතික විද්‍යාවේ විෂය පථයේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ, ඉංජිනේරු විද්‍යාව කියන විෂයේ පාදමම කඩා වැටිලා යාමෙන් පසුවත්, භෞතික විද්‍යාව සත්‍යයක් ලෙස ඉතිරි වෙන්න පුළුවන්. ඔය විදිහටම භෞතික විද්‍යාවේ පාදම කඩා වැටෙද්දී ගණිතය සත්‍යයක් ලෙස ඉතිරි වෙන්න පුළුවන්.

බටහිර විද්‍යාවේ මේ ආකාරයේ ලොකු කඩා වැටීම් සාමාන්‍යයෙන් ලේසියකට වෙන්නේ නැහැ. එය අවශ්‍යනම් කෙනෙකුට බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත්, අඩු වශයෙන් සෛද්ධාන්තික ලෙස පරිධියේ සිට සෑහෙන තරම් ඇතුළට ගිහින් එතැන සිට පරිධිය දක්වා නැවත ප්‍රතිසංස්කරණය කරගෙන එන්න පුළුවන්. කේන්ද්‍රය සුරක්ෂිතව පවතින තුරු පරිධිය සුරක්ෂිතයි.

දැන් පරිධිය පුරා විසිරී තිබෙන හා පරිධිය හා කේන්ද්‍රය අතර තිබෙන හැම දෙයක්ම සත්‍ය වෙන්නේ කොහොමද? එය වෙන්නේ කේන්ද්‍රයේ සත්‍යය තිබීම මත. නැත්නම් මේ සමස්ත ගොඩ නැගීමේම කිසිම තේරුමක් නැති වෙනවා. ඒ නිසා, මිනිස් දැනුමෙන් ප්‍රශ්න කළ නොහැකි සත්‍යයක් වන දෙවියන් වහන්සේව කේන්ද්‍රයෙන් තියලා මේ ගොඩ නැගීම කරගෙන යන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ පැවැත්ම හෝ නොපැවැත්ම ගැන දැන ගන්න හෝ දැනගත නොහැකි බව දැනගන්න වෙන්නේ දර්ශනයෙන්. තට්ටු ගණනාවක උස ගොඩනැගිල්ලක් විදිහට බටහිර විද්‍යාව ගොඩ නැගෙන්නේ මේ අත්තිවාරම උඩ. දැන් සත්‍යය සොයා යාම කියා කියන්නේ මේ ගොඩ නැගීමේ පරිධියේ සිට කේන්ද්‍රය දෙසට යාම. උස ගොඩනැගිල්ලේනම් උඩම තට්ටුවේ සිට අත්තිවාරම දක්වා පැමිණීම. 

මේ වෙද්දී මේ ගොඩනැගිල්ල ගොඩක් උසයි. ඇත්තටම කියනවානම් මෙය උඩු අතට හැරවූ පිරමිඩයක් වැනි ගොඩනැගිල්ලක්. මුළු ගොඩනැගිල්ලම තියෙන්නේ තනි ගඩොලක් මත. හැබැයි අපූරුම දෙය කියන්නේ ගොඩනැගිල්ල කඩා නොවැටී ඔය පහළම තියෙන ගඩොල මාරු කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ අත්තිවාරම වෙන එක ප්‍රශ්නයක්නම් දෙවියන් වහන්සේ අයින් කරලා වෙනත් ඕනෑම පරම සත්‍යයක් එතැනින් තියන්න පුළුවන්. ඒ මොකක් හෝ දෙය පරම සත්‍යයක් නම් ඒක මොකක් වුනත් කමක් නැහැ. ඒ මොකක් හෝ දෙය සත්‍යනම් ගණිතය, භෞතික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේම හදපු පාලම කඩා වැටෙන්නේ නැහැ කියන එකත් පරම සත්‍යයන්. සැකයකට ඉඩක් තියා ගන්න අවශ්‍ය නැහැ.

මාක්ස්වාදය කියා කියන්නේ ඉහත කී දැනුම් ගොඩනැගුම සමාජ විද්‍යාවන්ට ව්‍යාප්ත කිරීමක්. මාක්ස්වාදය හා මාක්ස්වාදී සමාජ විද්‍යා හදලා තිබෙන්නේත් පෙර කී උඩු යටිකුරු කළ පිරමිඩය උඩ. මාක්ස්වාදයටත් ගණිතයට හා භෞතික විද්‍යාවට වගේම පරම සත්‍යයක් වන ආරම්භයක් අවශ්‍යයි.

සුවිශේෂී කාරණයක් වන්නේ සංඛ්‍යාන විද්‍යාව සහ වෙනත් බටහිර විද්‍යාවන් ගණනාවක්ම හදා තිබෙන්නේ මේ ගඩොල මත නොවීමයි. ගණිතය හා සංඛ්‍යාන විද්‍යාව සංසන්දනය කළහොත් මේ විෂයයන් දෙක අතර තිබෙන දාර්ශනික හා දේශපාලනික වෙනස එයයි. සංඛ්‍යාන විද්‍යාව ගණිතය මෙන් මූලික සත්‍යයකින් හෝ වාස්තවික යථාර්තයකින් ආරම්භ වෙන්නේ නැහැ. එහි ආරම්භය නිරීක්ෂණ හා ප්‍රත්‍යක්ෂයයි. ගණිතයේදී මෙන් මේ නිරීක්ෂණ වලට නිශ්චිත හේතුවක් අපි දන්නේ නැහැ. හේතුව ඕනෑම එකක් වෙන්න පුළුවන්. එහි තිබෙන්නේ නොදැනුමක්. අවිනිශ්චිත භාවයක්.

ගණිතයේදී හා පෙර සඳහන් කළ අනෙකුත් විෂයයන්හිදී දැනුම ගොඩ නැගෙන්නේ කේන්ද්‍රයේ සිට පරිධිය දෙසට වුවත් සංඛ්‍යාන විද්‍යාවේදී දැනුම ගොඩ නැගීම ආරම්භ වන්නේ පරිධියේ සිටයි. වඩා වැදගත් පරිධිය මිස කේන්ද්‍රය නෙමෙයි. ගණිතයේ දැනුම අපෝහක දැනුමක් වුවත්, සංඛ්‍යාන විද්‍යාවේ දැනුම අනුභූතික දැනුමක්. 

ඇත්තටම කියනවානම් සංඛ්‍යාන විද්‍යාවේ පරිධිය කියා කියන්නේ ගණිතයේ කේන්ද්‍රය. සංඛ්‍යාන විද්‍යාවේ කේන්ද්‍රය කියා කියන්නේ ගණිතයේ පරිධිය. ඒ කියන්නේ එක පරම සත්‍යයක් වෙනුවට සත්‍යයන් අනන්ත ප්‍රමාණයක් තිබෙනවා. ඔය ඕනෑම එකක් වෙන්න පුළුවන්. එක දෙවියෙක් වෙනුවට අනන්තයක් දෙවිවරු!

ඔය අනන්තයක් වූ සත්‍ය අතරින් සත්‍යය කුමක්ද? අපි දන්නේ නැහැ. ගණිතය විසින් කරන්නේ දන්නා සත්‍යය උපයෝගී කරගෙන නොදන්නා සත්‍ය නිරාවරණය කරන එකනම්, සංඛ්‍යාන විද්‍යාවේදී කරන්නේ නිරීක්ෂණය කළ හැකි කරුණු වලින් පටන්ගෙන වියහැකියාවක් ලෙස පවතින සත්‍යයන් සත්‍ය වීමේ හැකියාව අනුමාන කරන එකයි. මේ ක්‍රියාවලිය තුළ සෛද්ධාන්තික ලෙසම පරම සත්‍යයක් හමු වන්නේ නැහැ. 

පොඩි උදාහරණයක් දෙන්නම්. ආවරණය වූ භාජනයක පාට වෙනස හැරුණු විට එක සමාන රතු බෝල 50ක් හා නිල් බෝල 50ක් තිබෙනවා. මේ භාජනයට අත දමා බෝල දෙකක් ගත්තොත් ඒ දෙක නිල් බෝලයක් හා රතු බෝලයක් වීමේ සම්භාවිතාව කොපමණද?

මෙය සංඛ්‍යාන විද්‍යාවේ මායිමේ, එහෙත් ගණිතයේ වපසරිය තුළ තිබෙන ප්‍රශ්නයක්. මෙහි එක සමාන බෝල කියන එක වියුක්ත අදහසක්. ඒ නිසා, මුළු ගොඩනැගුමම වියුක්ත ගොඩනැගුමක්. ප්‍රශ්නයට විසඳුම අපට බුද්ධිවාදී ලෙස හොයා ගන්න පුළුවන්. එය ගණිතයේ ක්‍රමයයි. 

මේ බුද්ධිවාදී පිළිතුර නිවැරදිද? අපට මෙය පරීක්ෂාවට ලක් කළ හැකියි. ඒ සඳහා අපට අපේ ප්‍රායෝගික සීමාවන් තුළ සමාන සේ සැලකිය හැකි බෝල 100ක් හදා ගන්න වෙනවා. ඉන් පසු, එයින් බෝල 50ක් රතු පාටින් හා තවත් බෝල 50ක් නිල් පාටින් පාට කර භාජනයට දමා ආවරණය කර, හොඳින් හොලවා බෝල මිශ්‍ර කිරීමෙන් පසුව අත දමා බෝල දෙකක් ගන්න වෙනවා. ඒ බෝල දෙක මොන පාට වෙයිද? විසඳුම නිවැරදිද කියා පරීක්ෂා කරන්නනම් අපට මේ පරීක්ෂණය විශාල වාර ගණනක් කරන්න වෙනවා.

මෙහිදී අප විසින් මේ පරීක්ෂණය කරන්නේ ගැටළුවට විසඳුමක් හොයාගන්න නෙමෙයි. විසඳුම හොයාගෙන ඉවරයි. එය පරම සත්‍යයක්. එය පරම සත්‍යයක් වන්නේ විසඳුම හොයාගත්තේ අප විශ්වාස කරන පරම සත්‍යයකින් පටන් ගෙන නිසා. පරීක්ෂණ ප්‍රතිඵලය විසින් කරන්නේ විසඳුම වගේම ආරම්භක පරම සත්‍යයද සත්‍ය බව තහවුරු කරන එකයි.

දැන් අපි සංඛ්‍යාන විද්‍යාවේ වපසරියට එමු. ඔබ වසා තිබෙන භාජනයකට අත දමා බෝල දෙකක් ගන්නවා. එක බෝලයක් නිල් පාටයි. අනෙක් බෝලය රතු පාටයි. ඒ හැරුණු විට බෝල දෙකම එක වගේ බව පෙනෙනවා. පොඩි වෙනස්කම් තියෙන්නත් පුළුවන්. ඔබ දන්නේ මේ අතේ තිබෙන බෝල දෙක ගැන පමණයි. ඒ බෝල දෙක පරීක්ෂා කර ලබා ගන්නා අනුභූතික තොරතුරු මත ඔබට භාජනයේ තිබෙන්නේ මොනවාද කියන ප්‍රශ්නයට විසඳුමක් හොයන්න වෙනවා. 

අනිවාර්යයෙන්ම ඔබට නිශ්චිත පිළිතුරක් දෙන්න බැහැ. සංඛ්‍යාන විද්‍යාව එවැනි නිශ්චිත පිළිතුරු සපයන්නේ නැහැ. එහෙත්, පිළිතුරු සපයනවා. අද වෙද්දී බටහිර විද්‍යාවේ විෂයයන් විශාල ප්‍රමාණයක් තියෙන්නේ සංඛ්‍යාන විද්‍යාව තිබෙන ගොඩේ මිසක් ගණිතය තිබෙන ගොඩේ නෙමෙයි. බටහිර වෛද්‍ය විද්‍යාව, වසංගත විද්‍යාව ආදිය තිබෙන්නේ මේ දෙවන ගොඩේ. 


Tuesday, January 12, 2021

ආයෙත් ඒවිද ඒ සමනලයා


සාර්ථකත්වය 95.0% බව කියන පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඒක එහෙම නෙමෙයි කියා කියන කෙනෙක් එන්නවානම් කරුණාකර ඉදිරිපත් වෙන්න. විද්‍යාව අනුව එවැනි නිශ්චිත ප්‍රකාශයක් කරන්න පුළුවන්කමක් නැහැ. ධම්මික පැණියේ සාර්ථකත්වයත් 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. එහෙමනම්, මේ දෙකම එකිනෙකට සමානද? 

"ඒ කාලේ පල්ලියේ ඉගැන්වීම වුනේ සමස්ත විශ්වයම පෘථිවිය කේන්ද්‍ර කරගත්තක් බව. ඒත් පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය කෙරෙන බවට සාක්ෂි සොයා ගෙන ගැලීලියෝ ගැලිලි ඒක ප්‍රකාශයට පත් කළාම ඒ ගැන කිපුණු කතෝලික පල්ලිය 1633 දී ඔහු නිවාස අඩස්සියේ තබන්න නියෝග කළා. ... ඉතාලි පාලකයන් එදා ඔහු කියූ සත්‍යය බැහැර කළත් අද මුළු ලෝකයම ඔහු එදා හෙළි කළ දේ පිළිගන්නවා."

ඉහතින් තියෙන්නේ සරෝජ් පතිරණගේ ප්‍රකාශයක්.

පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය කෙරෙන බවට ගැලීලියෝ විසින් කරපු ප්‍රකාශය සත්‍යයක්ද? අද මුළු ලෝකයම ඔහු එදා හෙළි කළ දේ පිළිගන්නවා කියන්නේ ඇත්තද? විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ ගැලීලිගෙන් සෘජුවම පැවත එන, ගැලීලියෝගේ වගේම අයිසෙක් නිවුටන්ගේත් ශාස්ත්‍රාලයීය මී මුණුපුරෙක් වන නලින් ද සිල්වානම් මේ කතාව පිළිගන්නේ නැහැ. නලින් ද සිල්වාගේ පහත ලිපිය අගට ගියොත් සූර්යයා පෘථිවිය වටා භ්‍රමණය වන ආකෘතියක් ඇස් වලින්ම බලා ගන්න පුළුවන්.

කොපර්නිකස් හා ගැලීලියෝ නිවුටන්ට කළ හදිය

දැන් එහෙමනම්, නිවැරදි නලින් ද සිල්වාද නැත්නම් සරෝජ් පතිරණද? කෙටි පිළිතුරනම් ඔය ආකෘති දෙකම එක තරමට නිවැරදි බවයි. අවශ්‍යනම් ආකෘති දෙකම වැරදි බව "පෙන්වා දෙන්නත්" පුළුවන්.

මේ ආකෘති දෙකටම වඩා නිවැරදි භෞතික විද්‍යා ආකෘතියක් අනුව පොළොව වටා ඉරවත්, ඉර වටා පොළොවවත් ගමන් කරන්නේ නැහැ. ඇත්තටම සිදුවන්නේ පොළොවේත්, ඉරේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා (barycenter) ඉරත් පොළොවත් දෙකම ගමන් කිරීමයි. පහත ලිපිය ආරම්භයේ ඇති ආකෘතිය බලන්න.

දවසට පැය කීයක්ද එහේ?

ඇත්තටම කියා කිවුවත් ඇත්තටමත් නෙමෙයි. මුල් ආකෘති දෙක වගේම මේ තෙවැන්නත් තවත් ආකෘතියක්. වෙනත් කෙනෙකුට ඉතාම පහසුවෙන් මේ ආකෘති තුනම වැරදි බව පෙන්වා දෙන්න පුළුවන්. සරලම වැරැද්දක් විදිහට ඉර, හඳ, හා පොළොව මේ ආකාරයට එකම තලයක ගමන් කරන්නේ නැහැ. ඒ බව සලකා ත්‍රිමාන ආකෘතියක් හදන්න පුළුවන් වුනත් එයත් තවත් ආකෘතියක් පමණයි. යම් තත්ත්වයන් යටතේදී මේ වගේ ආකෘතියකින් මේ ග්‍රහවස්තූන් සැබෑවටම චලනය වන ආකාරය නිරූපණය වන්නේ නැහැ. එහෙමයි කියලා වැඩ ගත හැකි සීමාව තුළ වැඩ ගන්නවා මිස ඔය ආකෘති අහක දාන්න අවශ්‍යත් නැහැ. 

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත හදලා තියෙන්නේ විද්‍යාවේ ක්‍රමවේදය අනුව. කියන විදිහට ධම්මික පැණිය හදලා තියෙන්නේ කාලි අම්මාගෙන් අසාගත් වට්ටෝරුවකට. ඔය දෙකේම සාර්ථකත්වය 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. එසේ වුවත්, පෞද්ගලිකව මට මේ දෙකෙන් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත සම්බන්ධව තිබෙන විශ්වාසය ධම්මික පැණිය සම්බන්ධව නැහැ. ඒ ඇයි?

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත හදලා පරීක්ෂා කරලා වෙළඳපොළට එන ක්‍රමවේදය පිළිබඳව මට විශ්වාසයක් තිබෙනවා. ධම්මික පැණිය සම්බන්ධව මට එවැනි විශ්වාසයක් නැහැ. මගේ විශ්වාසය අනුව මා විසින් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත ලබා ගත්තොත් කෝවිඩ් හැදී මාව මැරෙන එක වැලකෙන්න 100%කට ඉතාම ආසන්න සම්භාවිතාවක් තිබෙනවා. කෝවිඩ් නොහැදෙන්න අඩු වශයෙන් 95%ක පමණවත් සම්භාවිතාවක් තිබෙනවා. නමුත්, ධම්මික පැණිය ලබා ගැනීමෙන් පසුව කෝවිඩ් නොහැදෙන්න එවැනි ඉහළ සම්භාවිතාවක් ඇති බව විශ්වාස කරන්න මට සාධක නැහැ. සමහර විට මේ පැණිය ගත්තා කියා කිසිම වැඩක් නැති වෙන්නත් පුළුවන්. මේ නිගමන විෂයමූලිකයි. ඒ නිසා, වෙන කෙනෙක් වෙනත් ආකාරයකට හිතනවානම් එහි කිසිම වැරැද්දක් නැහැ.

කාලි දෙවඟන විසින් මේ බෙහෙත දුන්නා කියන කතාව හෝ අඩු වශයෙන් කාලි දෙවඟන කියා කෙනෙක් ඉන්නවා කියන එක (ඇතැම් අයගේ මානසික ලෝක වල හැර) මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත්, අඥේයවාදියෙක් විදිහට මේ දේවල් මට මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද මේ දේවල් ඇත්ත කියා ඔප්පු වී නැතුවාක් මෙන්ම බොරු කියා ඔප්පු වෙලත් නැහැ. එහෙමනම්, මම මේ දේවල් ගැන විශ්වාසයක් නැති බව කියන්නේ ඇයි?

සරල පිළිතුරක් දුන්නොත් මට කිසිම දවසක ඔය කියන කාලි දෙවඟන, නාථ දෙවියන් හෝ වෙනත් දෙවි කෙනෙක් හමු වෙලා හෝ සන්නිවේදනය කරලා නැහැ. එවැනි අත්දැකීමක් තිබුණානම් මට මේ කතාව විශ්වාස කරන්න තිබුණා. 

එහෙමනම්, මම කෝවිඩ් හැදෙන්නේ වෛරසයකින් කියා විශ්වාස කරන්නේ (අඥේයවාදියෙක් විදිහට සැකය බැහැර නොකර මම එසේ විශ්වාස කරනවා) ඔය කියන වෛරසය දැකල තියෙන නිසාද? නැහැ. මම මේ වෛරසය දැකලා නැහැ. නමුත්, අවශ්‍යනම් එම වෛරසය දකින්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයක් තිබෙනවා. සමහර විට ඒ සඳහා අවශ්‍ය වන උපකරණ (ඉලෙක්ට්‍රොනික් අන්වීක්ෂයක්) තිබීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික් අන්වීක්ෂයකින් වෛරසය දකින්න පුහුණුවක් අවශ්‍ය වෙන්න පුළුවන්. මට අවශ්‍යනම් එවැනි පුහුණුවක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳවද මට විශ්වාසයක් තිබෙනවා. 

මේ විශ්වාසය පදනමක් නැති විශ්වාසයක් නෙමෙයි. මා ගැන පෞද්ගලිකව දන්නා අය දන්නා පරිදි මා එකිනෙකින් වෙනස් විෂයයන් ගණනාවක් විධිමත් ලෙස හදාරා තිබෙනවා. තවත් ඇතැම් විෂයයන් අවිධිමත් ලෙස හදාරා තිබෙනවා. කාලය හා මුදල් අවශ්‍ය වන නමුත් මා බොහෝ විට සාර්ථක වී තිබෙනවා. වෙනත් බොහෝ අයත් මා මෙන්ම මේ දෙය කරනු මා නිරීක්ෂණය කර තිබෙනවා. ඒ නිසා, මා දැනට හදාරා නැති බටහිර විද්‍යාවේ වෙනත් විෂයය ක්ෂේත්‍රයක් හදාරන්න අවශ්‍යනම් එය කළ හැක්කක් බවට මට සෑහෙන විශ්වාසයක් තිබෙනවා. 

මා හදාරා තිබෙන ක්ෂේත්‍ර තුළ හමු වී තිබෙන අලුත් දැනුම් හැම විටම ඇත්තද? පැහැදිලිවම නැහැ. මා බටහිර විද්‍යාව හදාරන්නේත් අඥේයවාදියෙකුගේ සැකය අත් නොහැරයි. හැබැයි හදාරන දෙය හැකිතාක් හොඳින් හදාරනවා. බටහිර විද්‍යාව තුළ වුවත් හමුවන හැම දෙයක්ම නිවැරදි නැහැ. සමහර දේවල් වැරදියි. නිවැරදි බොහෝ දේවල්ද නිවැරදි වන්නේ යම් සීමාවක් තුළයි. නමුත්, සමස්තයක් ලෙස මා පසුතැවිලි වී නැහැ. බටහිර විද්‍යාව තුළ, අවශ්‍යතාවයක් හා හැකියාවක් ඇත්නම් වැරදි නිවැරදි කිරීමේ හා නිවැරදි දේ නිවැරදි වන සීමාව පුළුල් කිරීමේ අවස්ථාව මා හමුවේ තිබෙනවා. මහා ලොකු දේවල් නොවුනත්, එසේ කර ඇති තැන්ද තිබෙනවා. අදටත් මා බටහිර විද්‍යාවන් පිළිබඳ මගේ දැනුම වඩා පුළුල් කර ගැනීම පිණිස මගේ පෞද්ගලික කාලය හා මුදල් ඉතා කැමැත්තෙන් වැය කරනවා.

බටහිර විද්‍යාවේ දැනුම් ක්ෂේත්‍රයට අයත් නොවන විකල්ප දැනුම් පිළිබඳ මගේ විශ්වාසයක් නැතත් එවන් දේ හැදෑරීම වෙනුවෙන්ද මා සෑහෙන කාලයක් යොදවා තිබෙනවා. එවැනි හැදෑරීම් කර තිබෙන්නේද බටහිර විද්‍යා විෂයයක් හදාරන තරමේම උනන්දුවකින් හා කැප කිරීමකින්. මෙය එක අතකින් අජිත් ධර්මා මළවුන් සමඟ කතා කරන්න යාමට සමාන කළ හැකියි. එහෙත්, බොහෝ විට මට හමු වී තිබෙන්නේ එක්කෝ හිතාමතා කරන බොරු. එසේ නැත්නම් ඇත්තක් ඇති බව විශ්වාස කිරීමට තරම් සාක්ෂි නැති දේ. මා සතු ඇතැම් විකල්ප දැනුම් ගැන මා වැඩිපුර ලියන්නවත් කැමති නැත්තේ මගේ විශ්වාසය අනුව එසේ ලිවීමෙන් අර්ථයකට වඩා අනර්ථයක් සිදු විය හැකි නිසයි. ඒ එක්කම මේ විකල්ප දැනුම් සම්පූර්ණ බොරු බව තහවුරු වී නැති බවද කිව යුතුයි.

ඊයේ රෑ "පූර්ණ ආගන්තුකයා (The Perfect Stranger)" කියලා ක්‍රිස්තියානි චිත්‍රපටයක් බැලුවා. මෙහි තරුණ කාන්තාවකට අමුත්තෙක්ගෙන් අහඹු ලෙස රාත්‍රී කෑමකට ආරාධනාවක් ලැබෙනවා. ඔහු තමන්ව හඳුන්වා දෙන්නේ නාසරෙත් සිට පැමිණි ජීසස් ලෙසයි. ඇමරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ නිවුයෝර්ක් මායිමට කිට්ටුව නාසරෙත් නම් වූ නගරයක් තිබෙනවා. ජීසස් කියන නමත් දුලබ නමක් නොවන නිසා මෙහි ලොකු අමුත්තක් නැහැ. රාත්‍රී කෑම අවසානයේදී අමුත්තා පිටත්ව යාමට පෙර තමන් සමඟ නැවත සම්බන්ධ විය හැකි ආකාරය කාන්තාවට බිස්නස් කාඩ් එකක පිටුපස ලියා දෙනවා. ගෙදර ගිහින් බලද්දී එහි ලියා තිබෙන්නේ "එළිදරවු 3:20" කියලයි. බයිබලය පෙරලා බැලූ විට අදාළ පාඨය මෙවැන්නක්.

එළිදරවු 3:20: "මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය."

නාථ දෙවියන් හෝ කාලි අම්මා සමඟ සම්බන්ධ වීමට ඔය වගේ නිශ්චිත ක්‍රමයක් තිබුනනම් මමත් එය කරනවා. නමුත්, කවුරුවත් එවැනි ක්‍රමයක් නොදන්නා නිසා මට ඒ අයත් එක්ක සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැහැ. හැබැයි කවුරු හෝ තමන්ට එසේ සම්බන්ධ විය හැකි බව කියනවානම් එය ප්‍රතික්ෂේප කරන්න මට පුළුවන්කමක් නැහැ. සම්බන්ධ වන ක්‍රමය අහගත්තත් අදාළ දෙවියාට මා සමඟ සම්බන්ධ වෙන්න අවශ්‍ය නැත්නම් වැඩේ කෙරෙන්න විදිහක් නැහැනේ.

වෙනත් කෙනෙකුට දෙවි කෙනෙක් සමඟ සම්බන්ධ වෙන්න බැරි බව මට නිශ්චිතව කියන්න පුළුවන්කමක් නැත්නම්, ඒ කියන්නේ ඔය වැඩේ වෙන්න කවර හෝ හැකියාවක් තිබෙනවානම් එහෙම කෙනෙක් කෝවිඩ් සඳහා ප්‍රතිකාරයක් ලබා දෙන එකත් වෙන්න පුළුවන්නේ. ඒකේ අවුලක් නැහැ. නමුත්, එහෙමයි කියලා දෙවියන්ගෙන් අහගත්තා කියා කවුරු හරි දෙන බෙහෙතක් ගැන මට විශ්වාසය තියන්න පුලුවන්ද? 

අඥේයවාදියෙක් වන මට දෙවියෙක් විසින් මිනිහෙක්ට බෙහෙතක් ලබා දිය හැකියි කියන කතාව සාධක රහිතව මුළුමනින්ම බැහැර කරන්න බැරුවාක් වගේම එහෙම දෙන බෙහෙතක් වැඩ කරනවා කියන එක සාධක රහිතව පිළිගන්න පුළුවන්කමකුත් නැහැ. ඔය ප්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අයම කියන විදිහට දෙවියන්ගේ බෙහෙත් වුනත් හරියටම හරි නොයන්න පුළුවන්. දෙවියෝ බොරු කියන්නත් පුළුවන්. එහෙමනම් දෙවියෝ දුන්නත් බෙහෙත ගන්න වෙන්නේ පරීක්ෂා කිරීමෙන් පසුවයි. මීට කලින් හරියට බෙහෙත් දීලා දෙවියන්ට හොඳ වාර්තාවක් තිබුණානම් සමහර විට පරීක්ෂා නොකර වුනත් බෙහෙත ගන්න තිබුණා. එහෙම වාර්තාවක් නැහැනේ.

ධම්මික පැණියට මගේ පිළිගැනීමක් ලැබෙන්නනම් එය පරීක්ෂා කළ යුත්තේ කොහොමද? බටහිර ඖෂධයක් සාමාන්‍යයෙන් පරීක්ෂා කරන විධික්‍රමය අනුගමනය කරමින්, සැලකිය යුතු තරම් විශාල නියැදියක් යොදා ගෙන සසම්භාවී සායනික පරීක්ෂණයක් කරලා ඵලදායීත්වය තහවුරු වුනොත් මම මෙය සාර්ථක ඖෂධයක් ලෙස පිළිගන්නවා. අදාළ ඔසුව හදන්න දැනුම ලැබුණේ කොහොමද කියන එක මට අදාළ නැහැ. මොකද පරීක්ෂා කරන ක්‍රමය පිළිබඳව මට සෑහෙන විශ්වාසයක් තිබෙන නිසා. මතක තබා ගන්න මම මේ කතා කරන්නේ අඥේයවාදියෙක්ගේ විශ්වාසයක් ගැන මිසක් සැකයෙන් තොර විශ්වාසයක් ගැන නෙමෙයි.

ධම්මික පැණිය බටහිර ක්‍රමයටම පරීක්ෂා කළ යුතුද? මෙය පරීක්ෂා කළ හැකි වෙනත් සාර්ථක ක්‍රමයක් තිබෙනවානම් සසම්භාවී සායනික පරීක්ෂණ ක්‍රමයම යොදා ගත යුතු නැහැ. නමුත්, දැනට කිසිම කෙනෙක් එවැනි විකල්ප ක්‍රමයක් යෝජනා කර නැහැ. රෝගීන්ට පැණිය දීගෙන ගියා කියලා ඖෂධය පරීක්ෂා වෙන්නේ නැහැ. එය අර මම පොඩි කාලේ කරපු මදුරු පරීක්ෂණය වගේ එකක්.

මදුරු පරීක්ෂණ ක්‍රමයෙන් ඖෂධය පරීක්ෂා වෙන්නේ නැහැ කියා කියන්නේ ඇයි? මේ වෙද්දී බොරු වී තිබුණත්, මේ හා අදාළව කියපු කතාව වුනේ දැනට දහ පහළොස් දාහකට බේත දීලා තිබුණත් ඒ කාටවත් කෝවිඩ් හැදී නැහැ කියන එකයි. පසුගිය සති වලදී සාමාන්‍ය වශයෙන් සතියකට ලංකාවේ 4000කට කිට්ටු පිරිසකට කෝවිඩ් හැදුණා. ලංකාවේ ජනගහණය මිලියන 21කට වැඩියිනේ. ඒ කියන්නේ බෙහෙතක් නොගත්තත් සතියක් යද්දී දහ පහළොස් දාහක පිරිසකගෙන් කොවිඩ් හැදෙන්න ඉඩ තිබුණේ දෙන්නෙක්ට නැත්නම් තුන් දෙනෙක්ට පමණයි. කෝවිඩ් වැඩිපුර හැදුනේ කොළඹ ආශ්‍රිතව නිසා, ධම්මික පැණිය වැඩිපුර ගත්තේ කෑගල්ල පැත්තේ පිරිස්නම් ඔය විදිහට දෙතුන් දෙනෙකුට හෝ කෝවිඩ් නොහැදෙන එක පැණිය නොගත්තත් සිදුවිය හැකිව තිබුණු දෙයක්. 

මේ වෙද්දී පැණිය ගත් කිහිප දෙනෙකුටම කෝවිඩ් හැදී තිබෙන බව වාර්තා වී තිබෙනවා. පැණිය ගත් එක් අයෙකුට හෝ කෝවිඩ් හැදුනානම් එය මුලින් කියපු ආකාරයේ සියයට සියයක් සාර්ථක දිව්‍ය ඖෂධයක් කියන එක බොරු වෙනවා. නමුත්, ඒ හේතුව නිසා මේ පැණිය ඵලදායී එකක් නොවන බව තහවුරු වෙලා නැහැ. පැණිය කොයි තරම් ඵලදායීද කියන එක තවමත් විවෘත ප්‍රශ්නයක්. 

රෝගය වැළැක්වීමේ හැකියාව පැත්තකින් තිබ්බොත්, ඇතැම් තැන් වල පළ කර තිබුණු තොරතුරු අනුව, වතුපිටිවල පරීක්ෂණයේදී පැණිය ගත් සියල්ලන්ගේම කෝවිඩ් සුව වී තිබෙනවා. එහෙත්, පැණිය නොගත් පාලිත කණ්ඩායම තුළ එවැනි දෙයක් සිදු වී නැහැ. නියැදිය ඉතා කුඩා වුනත් මේ පරීක්ෂණය හරියට කරපු එකක්නම් එයින් කියැවෙන්නේ පැණිය කෝවිඩ් සුව කිරීමට සමත්ව ඇති බවයි. ඒ කියන්නේ එසේ වීමට විශාල සම්භාවිතාවක් ඇති බව මිස සැකයකින් තොර නිශ්චිත ප්‍රකාශයක් නෙමෙයි. එහෙත් මේ පරීක්ෂණය කර ඇති ආකාරය අනුව එය නිසියාකාරයෙන් කර නොතිබීමේ හැකියාව බැහැර කරන්න බැහැ.

ධම්මික පැණිය නිසි සසම්භාවී සායනික පරීක්ෂාවකින් නිසැකව සමත් වුවහොත් මා එය සාර්ථක ඖෂධයක් සේ පිළිගන්නවා. එසේ නැත්නම් පිළිගන්නේ නැහැ. කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ නිසි සසම්භාවී සායනික පරීක්ෂාවකින් නිසැකව සමත් වී නැති සියලු දේ මා බැහැර කරන බව නෙමෙයි. හෙම්බිරිස්සාවකට තම්බා බොන ඉඟුරු කොත්තමල්ලි හෝ ඇතැම් ආයුර්වේද බෙහෙත් එවැනි පරීක්ෂාවකට ලක්ව නොතිබීම මට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, හදිසියේ කඩා පාත් වූ ලෙඩකට ප්‍රතිකාරයක් සේ හදිසියේ කඩා පාත් වූ ඖෂධයක් වසර සිය හෝ දහස් ගණනක් තිස්සේ පරීක්ෂාවට ලක් වූ දේවල් ගොඩට දමන්න පුළුවන්කමක් නැහැ. වසර සිය හෝ දහස් ගණනක් තිස්සේ කාලයේ පරීක්ෂාවට ලක් වීම වුවද නිසැකව ඖෂධයක ඵලදායීත්වය තහවුරු කරන්නේ නැතත් එම සම්භාවිතාව ඉහළ නංවනවා.

ධම්මික පැණිය යම් හෙයකින් කෝවිඩ් මඩින ඉතා සාර්ථක ඖෂධයක් බව සසම්භාවී සායනික පරීක්ෂාවකින් තහවුරු වුනා කියා හිතමු. ඒ හේතුව මත විධික්‍රමයක් ලෙස දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමේ සාර්ථකත්වය තහවුරු වෙනවාද? පැහැදිලිවම නැහැ. සමහර අය කියන විදිහට කාලි අම්මාගෙන් ලැබුණු සේ එළියට එන්නේ ලංකාවේ කොහොමටත් භාවිතයේ තිබුණු ආයුර්වේද හෝ වෙනත් දේශීය ඖෂධයක් කියන එක අපට බැහැර කරන්න බැහැ.

තාවකාලික කල්පිතයක් විදිහට දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම ක්‍රමවේදයක් විදිහට අපි පිළිගනිමු. දෙවියන්ගෙන් ලැබුණු සේ පැවසුණු දැනුමක් මිනිස් පරීක්ෂා සමත් වූ අවස්ථා ගැන සීමිත වාර්තා කිහිපයක් අප සතුව තිබෙනවා. බොහෝ දෙනෙක් පුන පුනා කතා කරන්නේ අපට තහවුරු කර ගැනීමේ හැකියාවක් නැති මෙවැනි වාර්තා අතළොස්සක් ගැනයි. අදාළ දැනුම් නිවැරදි බව මිස එම දැනුම් ලැබුණේ දෙවියන්ගෙන් හෝ වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණියෙකුගෙන් කියන එක තහවුරු වී නැහැ. 

අඥේයවාදී ස්ථාවරයක සිටිමින් අපි දැනට හිතමු මේ කතා සියල්ල ඇත්ත බව. මා විද්‍යාත්මක පර්යේෂණයක් කර නැතත් අදෘශ්‍යමාන ප්‍රාණියෙකුගෙන් යම් යම් දේ දැනගත් බව කියමින් මිනිසුන් දැන හෝ නොදැන (උදාහරණයක් ලෙස යම් මානසික ආබාධයක් නිසා) සිදු කරන ලද ප්‍රකාශ මීට වඩා විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. මෙවැනි වාර්තා නිසි ක්‍රමවේදයකට එකතු කළොත් අපට පුළුවන් දැනගන්න අදෘශ්‍යමාන ප්‍රාණියෙකුගෙන් යම් දැනුමක් ලබාගත් බවට කවුරු හෝ කරන ප්‍රකාශයක ඇති තොරතුරක් සත්‍ය වීමේ සම්භාවිතාව. මගේ විෂයමූලික අනුමානය මෙම සම්භාවිතාව ඉතාම අඩු බවයි. කෙසේ වුවත්, මෙපමණකින් වුවද දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම පිළිබඳ අදහස අපට බැහැර කරන්න බැහැ.

කෝවිඩ් සඳහා ඔසුවක් හැදීම වැනි දෙයක හෝ වෙනත් එවැනි කටයුත්තක පියවර ගණනාවක් තිබෙනවා. මුල් අදියරේදී ඉදිරිපත් වන අදහස් වලින් අවසන් අදියර වන විට සාර්ථක බව තහවුරු වන්නේ ඉතාම සුළු අදහස් ප්‍රමාණයක් පමණයි. අපට අවශ්‍යනම් මේ සම්භාවිතාව ගණනය කළ හැකියි. දෙවියෙක්ගෙන් ලැබුණු දැනුමක් ලෙස කිසිවෙකු විසින් ඉදිරිපත් කරන අදහසක් නිවැරදි වීමේ සම්භාවිතාව මිනිසෙකු විසින් මුල් අදියරේදී ඉදිරිපත් කරන අදහසක් නිවැරදි වීමේ සම්භාවිතාවට වඩා වැඩිනම් දෙවියන්ගෙන් දැනුම් ලබා ගැනීම යම් තරමකින් හෝ ඵලදායී කාර්යයයක්. එවැනි වෙනසක් නැත්නම්, දෙවියන්ගෙන් දැනුම ලබා ගත හැකි වුවත් ඒ දැනුමෙන් ඇති වැඩක් නැහැ.

මේ නිදර්ශනයෙන් පැහැදිලි කළ පරිදි දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම ඵලදායී දෙයක්ද නැද්ද කියා විද්‍යාත්මක ලෙස පරීක්ෂා කිරීමට අපට දෙවියන් පිළිබඳව විශ්වාස කරන්න අවශ්‍ය වන්නේ නැහැ. දෙවියන් කියා කොට්ඨාසයක් ඉන්නවාද, ඔවුන් සමඟ සන්නිවේදනය කළ හැකිද ආදී දේ ගැන අඥේයවාදීව සිටිමින්ම දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමේ ඵලදායීත්වය අපට විද්‍යාත්මක පරීක්ෂාවකට ලක් කළ හැකියි.


Sunday, January 10, 2021

අල හොදි හා නියඟලා අල


වැහි දවසක්. ඇමරිකාවේ නෙමෙයි, ලංකාවේ. උදේ වැඩට යන්න බස් එකෙන් බහිනවා. බස් එකෙන් බැහැලා කන්තෝරුවට පයින් යන්න තිබෙන්නේ බොහොම පොඩි දුරක්. ඒ වුනත්, මොර සූරන වැස්ස නිසා ඒ පොඩි දුර පයින් යන්න බැහැ. අතේ කුඩයකුත් නැහැ. බස් එකෙන් බැහැපු ගමන්ම කරන්න තියෙන්නේ ළඟම තියෙන කඩ පිලකට දුවන එක. මිනිත්තු පහළොවක් ඇතුළත කන්තෝරුවට නොගියොත් රතු ඉර වදිනවා. එතකල් වැස්ස අඩු වීම බලාපොරොත්තුවෙන් කඩ පිලේ ඉන්න පුළුවන්කම තිබෙනවා.

යන්නේ කන්තෝරුවටම නොවෙන්න පුළුවන්. ප්‍රශ්නය රතු ඉර වදින එකම නොවෙන්න පුළුවන්. උදාහරණ විදිහට විභාගයකට, ටියුෂන් පංතියකට, දේශනයකට හෝ සම්මුඛ පරීක්ෂණයකට යද්දී ඔය වැඩේ වෙන්න පුළුවන්. ආණ්ඩුවේ කන්තෝරුවක් හෝ බැංකුවක් වහන්න කිට්ටුව වැඩක් කරගන්න යද්දී ඔය වැඩේ වෙන්න පුළුවන්. මම හිතන්නේ කියවන ගොඩක් අයට ඔය වගේ අත්දැකීමක් නැති වෙන්න බැහැ.

මිනිත්තු පහක් ගත වෙද්දී වැස්ස ටිකක් තුරල් කරනවා. ආයෙම වැඩි වෙන්නත් පුළුවන්. වැස්ස නැවතිලාම යන්නත් පුළුවන්. කිසිම නිශ්චිත අදහසක් නැහැ. පොඩ්ඩක් තෙමෙද්දී කන්තෝරුවට දුවනවද? නැත්නම්, වැස්ස ආපහු වැඩි වීමේ අවදානම අරගෙන පායනකම් තව ටිකක් බලනවද? 

ඔය වගේ වෙලාවක මමනම් බොහෝ විට කරන්නේ පොඩ්ඩක් තෙමෙද්දී කන්තෝරුවට දුවන එකයි. සමහර විට මිනිත්තු පහක් යද්දී වැස්ස පායලා. තෙමිලා තියෙන්නේ නිරපරාදේ. හැබැයි වැස්ස තවත් අඩු වන තුරු බලා ඉඳිද්දී වැස්ස අඩු නොවී තවත් වැඩි වුනානම් එක්කෝ හොඳටම තෙමෙන්න වෙනවා. නැත්නම් රතු ඉර වැදෙනවා.

අපිට ජීවිතයේ මුහුණ දෙන්න වෙන ගොඩක් ප්‍රශ්න ඔය වගේ. නිශ්චිත නිවැරදි පිළිතුරක් නැහැ. අවිනිශ්චිතතාවය හමුවේ  තීරණ ගන්න වෙන්නේ විෂයමූලික සම්භාවිතා මත පදනම්වයි. ගන්න තීරණයකින් අවදානම අඩු කරගන්න පුළුවන් වුනත් අවදානම නැති කරගන්න බැහැ. 

සමහර දවසට බස් එක ලොකු ට්‍රැෆික් එකකට අහුවෙලා වෙනදාට වඩා පරක්කු වෙනවා. අනිවාර්යයෙන්ම වෙලාවට වැඩට යන්න බැරි වෙනවා. උදේම ඉන්නම ඕනෑ රැස්වීමකුත් තියෙනවා. ඉන්න තැන අනුව බස් එකෙන් බැහැලා ත්‍රීවීල් එකක් හොයා ගන්න පුළුවන් කමක් පේන්නෙත් නැහැ. තියෙන ට්‍රැෆික් එකේ හැටියට ත්‍රීවීල් එකකට වුනත් අස්සෙන් රිංගලා යන්නත් අමාරුයි. ඒ කියන්නේ විකල්පයක් නැහැ. ඉතිං මැරෙන්නද? බස් එක යන වෙලාවක යයිනේ කියලා හිතලා පාඩුවේ අතේ තියෙන පොතක් කියවන එකයි මමනම් කරන්නේ.

අඥේයවාදියෙක්ගේ ලෝකය සමස්තයක් විදිහට ගත්තහම අවිනිශ්චිතතාවන්ගෙන් පිරුණු එකක්. අඥේයවාදියෙක්ම නොවුනත් ඕකේ වෙනසක් නැහැනේ. අඥේයවාදියෙක්ගේ තිබෙන වෙනස ඔය ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හොයන්න වද නොවීමයි. නිශ්චිත පිළිතුරු හොයන්නේ නැහැ කියා කියන්නේ පිළිතුරු හොයන්නේ නැහැ කියන එක නෙමෙයි. අවිනිශ්චිත පිළිතුරකින් සෑහීමකට පත් වෙන්න පුරුදු වෙනවා කියන එකයි.

වයස අවුරුදු එකොළහක් වෙද්දී, ඒ කියන්නේ හයේ පන්තියට එන කොට මම මුළු හදවතින්ම හේතුවාදියෙක් වී සිටි බව කලින් ලිපියේ ලිවුවනේ. ඒ එක්කම විද්‍යාව ගැන ඉගෙන ගන්නත් විශාල උනන්දුවක් ඇති වුනා. විශේෂයෙන්ම තාරකා විද්‍යාව ගැන ගොඩක් කියෙවුවා. ඒ වයසේ හැටියට වෙනත් අයට වඩා ඉදිරියෙන් සිටියත් මහා ලොකු දේවල් දැනගෙන හිටියා කියන්න බැහැ. අහල පහළ පුස්තකාල හත අටකම නිත්‍ය සාමාජිකයෙකු වී හිටියත් තිබුණු දැනුම් පිපාසයට සරිලන තරමේ සිංහල පොත් හොයාගන්න පුළුවන් වුනේ නැහැ. සාපේක්ෂතාවාදය ගැන ලියපු සිංහල පොතක් හොයා ගන්න පුළුවන් වුනේ අටේ පංතියේදී පමණ.

ගොඩක් වෙලාවට හේතුවාදීකම එළියට දැම්මේ වැඩිහිටියෙකු කේන්ති ගස්සන්න අවශ්‍ය වූ විටක. වැඩිහිටියන් කේන්ති ගස්සන්න අවශ්‍ය වුනේ මගේ නිදහසට වැඩිහිටියෙක් අනවශ්‍ය ලෙස බාධා කරනවා කියා හිතුනු වෙලාවට. මා විසින් මිථ්‍යා විශ්වාස සේ වර්ග කර තිබුණු දේවල් වලට බොහෝ වැඩිහිටියන් විශාල බරක් තබන බවත්, වැඩිහිටියන් සමඟ ගනුදෙනු කරද්දී ළමයෙකුට සිදුවන අවාසි සමනය කරගැනීමේ මාර්ගයක් ඒ හරහා වැටී තිබෙන බවත් ඉතා අඩු වයසකදී අවබෝධ කරගන්න මට පුළුවන් වී තිබුණා. ළමයෙක් විදිහට වැඩිහිටියන්ගේ ඔය දුර්වලතාවය මම බොහෝ වර ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා. වැඩිහිටියෙක් අසාධාරණයක් කරද්දී ගොඩක් වෙලාවට බැණුම් ඇහුවේ පැත්තක හිටපු දෙවියෙක්.

ඔය වැඩේ නිසා සිදු වුනු පාඩුත් බොහොමයි. "කට කැඩිච්ච කතා" කියලා නමක් හදාගෙන හිටපු නිසා කාලයක් යනකල්ම කෝඩුවේ සිරීපාදේ එක්ක ගෙන යන්න කැමති වැඩිහිටියෙක්ව හොයා ගන්න අමාරු වුනා. අන්තිමට මේ වැඩේට ඥාතියෙක්ව බොහොම අමාරුවෙන් කැමති කරගත්තා. ඇය ගත්ත අවදානම ගැන හිතලා, ඇයට මා නිසා වෙනත් අයගෙන් බැණුම් අහන්න වෙන එක වලක්වා ගන්න ඔය ගමන ගිහින් එනකල්ම වචනයක් කටින් පිට කරන්න කලින් දහයට ගණන් කරනවා කියලා හිතින් අධිෂ්ඨාන කරගෙනයි ගියේ. ඒ වැඩේනම් අමාරුවෙන් වුවත් ඒ විදිහටම කළා. හිතට ආපු දේවල් ඒ විදිහටම කිවුවනම් කී පාරක් කට වරද්දගෙනද දන්නේ නැහැ.

සාමාන්‍ය පෙළ විභාගයට යන්න කලින් බෝධි පූජා තියන්නත්, බෙල්ලන්විල ගොස් කතරගම දෙවියන්ට භාර වීමටත් හැදුවත් යන එක කෙලින්ම ප්‍රතික්ෂේප කළා කියලා අජිත් ධර්මා විසින් ලියා තිබුණා. ඔය වගේ වැඩ මමත් ඕනෑ තරම් කරලා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට යද්දී ප්‍රතිඵලය ගැන මට විශාල සහතිකයක් තිබුණා. සාමාන්‍ය පෙළ විභාගය කියා කියන්නේ එක විෂයයක විෂය අංකය පාසැලෙන් වරද්දලා යවලා හයේ පන්තියේ සිට වසර පහක් උගත් විෂයයක් වෙනුවට කවදාවත් ඉගෙනගෙන නැති විෂයයක් විභාගයට ලියන්න වී තිබියදී ඒ විෂය දවස් තුන හතරකින් ඉගෙන ගෙන එයටත් විශිෂ්ඨ සාමාර්ථයක් ලබාගත් අමතක නොවන විභාගයක්. ප්‍රතිඵලය ගැන ඒ තරම් සහතිකයක් තියෙද්දී ඒකේ ගෞරවයෙන් පොඩ්ඩක්වත් කොහේවත් ඉන්න දෙවි කෙනෙක්ට දෙන්න මට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ.

සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දවසේදී විභාග ශාලාවේ වාඩි වී සිටිය යුතු වූ වෙලාව උදේ අට. උදේ අටට පාසැලට යන්නනම් හතටවත් කළින් ගෙදරින් යා යුතුයි. පාසැල් බස් රථය එන්නේ උදේ 6:45 වගේ වෙලාවකට. පාසැල් බස් රථය අල්ලා ගත්තේ නැත්නම් වෙනත් බස් එකක යන්න වෙනවා. වෙනත් බස් සීසන් කෑලි වලට හැම විටම නවත්වන්නේ නැහැ. ඔය ඔක්කොම සලකලා බලලා පාසැල් බස් එක එන වෙලාවට ගෙදරින් එළියට බහින්න හදන කොටම අමුතු නියෝගයක් ආවා.

"හතහමාරට රාහු කාලේ. පරක්කු නොවී යන්න."

සඳුදා දවස් වල හතහමාරට රාහු කාලේ ලබනවා. රාහු කාලේ තිබුණත් නැතත් කොහොමටවත් මම හතහමාර වෙනකම් ගෙදර ඉන්නේ නැහැ. ඒ වෙලාවට ගෙදරින් ගිහින් වෙලාවට විභාගෙට යන්න බැරි බව දන්නවා. ඒ වෙනකොටත් අනෙක් භාරහාර සියල්ල ප්‍රතික්ෂේප කරලා තිබුණු නිසා අන්තිම මොහොතේ හරි මගේ විභාග ප්‍රතිඵලයේ නම්බුව හොරකම් කරන්න හදන උත්සාහයක් විදිහටයි මට මේක තේරුණේ. මළ පැන්න පාර විභාගයට වෙලාවට යන්න බැරි වෙන එකේ අවදානමත් අමතක වුනා. ආපහු ගෙදර ඇවිත් රාහු කාලේ ලබලා මිනිත්තු පහක් ගත වෙන තුරු පුටුවක වාඩි වෙලා ඉඳලා, වම් කකුල පෙරට තියලා, දොරෙන් ඉදිරිය බලා කෙළින්ම එළියට බහින්නේ නැතුව එදා මරු සිටි දිශාව වූ වයඹ දිශාවට හැරිලා ගෙදරින් එළියට බැස්සේ 7:35ට. මිනිත්තු පහක් වැඩිපුරත් හිටියේ යාන්තමින් රාහු කාලය අහු නොවී යන්න පුළුවන් නිසා. විභාගෙට යන්න ඉන්න නිසා පින්සෙන්ඩු වුනා මිසක් ගෙදර කවුරුවත් ගහන්න බණින්න ආවේ නැහැ.

මගේ වාසනාවට වගේ බස් නැවතුමට යන කොටම ආපු දුරගමන් බස් රථයක් අත දාපු ගමන් නැවැත්තුවා. බස් නැවතුමේ වෙන කවුරුවත්ම හිටියේ නැහැ. හැමෝම ගිහින්. සාමාන්‍යයෙන් බස් එකක් එනතුරු මිනිත්තු දහයක් පහළොවක් බලා ඉන්න වෙනවා. එවැනි ප්‍රමාදයක් සිදු නොවූ නිසාත්, බස් එක හැම තැනම නවත්වන එකක් නොවූ නිසාත් සෑහෙන තරම් ඉක්මණින් පාසැල ළඟට ගියා. ඊට පස්සේ හති දාගෙන විභාග ශාලාවට දිවුවා. අටට විභාග ශාලාවේ සිටිය යුතු වුනත් විභාගය පටන් ගන්නේ අටහමාරට. ඒ අතර, කොළ බෙදන එක විභාග අංකය (ඇඩ්මිෂන් කාඩ් එක) පරීක්ෂා කරන එක ආදිය කරනවා. මම යන කොට ඔය ඔක්කොම කරලා අන්තිමට ප්‍රශ්න පත්‍රයත් බෙදලා. හැමෝම තම තමන්ගේ ආසන වල වාඩි වෙලා නිසා කවුරුවත් නැති හිස් ආසනයක් ඈතදීම මගේ උකුසු ඇස් වලට නිරීක්ෂණය වුනා. කෙළින්ම එතැනට ගිහින් බලද්දී මගේ විභාග අංකය. ඉතිං හති ඇර ඇර විභාගය ලිවුවා.

ඔය වගේ මෝඩ වැඩ දිගින් දිගටමනම් කළේ නැහැ. අනිත් අයගේ විශ්වාස නිසා මම නිකම් පරිප්පු කන්න අවශ්‍ය නැහැ කියන එක කාලයක් යද්දී තේරුණා. 

අඥේයවාදය කියන්නේ මොකක්ද කියලා මම දැනගත්තේ "අඥේයවාදය යනු කුමක්ද?" නම් වූ පොතක් කියවලා. පොඩි පොතක්. සමහර විට පරිවර්තනයක්. මගේ ජීවිතයට සුවිශේෂී බලපෑමක් කළ පොතක් වුවත් කතෘ කවුද කියලාවත් මතක නැහැ. මම හිතන්නේ ඔය පොත කියවන්න ලැබුණේ සාමාන්‍ය පෙළ විභාගය ලියලා ගෙදර හිටපු කාලයේ. ඒ වන විට මම අහලා තිබුණු රසල් හා අසා නොතිබුණු හක්ස්ලි වගේ අය අඥේයවාදීන් බව ඔය පොත හරහා දැන ගැනීමෙන් පසුව ඒ අයගේ ඉංග්‍රීසි පොත් කිහිපකුත් හොයාගෙන කියවන්න උත්සාහ කළා. හරියටම තේරුම් ගන්න තරම් ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. කොහොම වුනත්, ඔය කාලයේදී මම ද්‍රව්‍යවාදයෙන් ඔබ්බට ගියා. බෞද්ධ සාහිත්‍යය තුළ ගර්හාවට ලක් වන සංජය බෙල්ලට්ඨිපුත්ත විසින් කියන්නේත් තේරුමක් තියෙන කතාවක් බව වැටහුණා. ඉන් පසු, දිගටම මම මා ගැන හිතුවේ අඥේයවාදියෙක් විදිහටයි. 

විද්‍යාව කියා කියන්නේ ඉතා පුළුල් දැනුම් පද්ධතියක්. කවුරු වුනත් හොඳින්ම දන්නේ මේ දැනුම් පද්ධතියේ කිසියම් කොටසක් පමණයි. අලියාගේ කණ, කකුල්, වලිගය ආදිය මිස අලියාවම අතගාන්න අපි කාටවත් කාලය හෝ අවස්ථාවන් ලැබෙන්නේ නැහැ. අලියා ඒ තරම්ම ලොකු සද්දන්තයෙක්. භෞතික විද්‍යාවේ තන්තු න්‍යාය හෝ ක්වොන්ටෝම් න්‍යාය වගේ දේවල් මම හදාරලා නැහැ. ඒ වුනත්, ලෝකයේ හැම ප්‍රශ්නයකටම විසඳුම් හොයන්න ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව ඉහළටම හදාරා තිබීම අත්‍යාවශ්‍යයි කියලා මම හිතන්නේත් නැහැ. ඒ වගේම, අනෙක් හැම විද්‍යාවක්ම භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යනවා කියාත් මම හිතන්නේ නැහැ. තාරකා භෞතික විද්‍යාවට විශාල මෙහෙයක් කරලා, නේචර් වගේ ඉහළම ජර්නල ඇතුළු විමර්ශිත ජර්නල වල තාරකා භෞතික විද්‍යාව සම්බන්ධ වැදගත් පත්‍රිකා සිය ගණනක් පළ කරලා පසුව ආර්ථික විද්‍යාව මුල සිට හදාරන්න පැමිණි අය සිටියත් ඒ අය එවැනි දෙයක් කියන්නේ නැහැ. මේ කතාව භෞතික විද්‍යාව පිළිබඳ මගේ දැනුමේ අඩුපාඩු වහගන්න කියන කතාවක් නෙමෙයි. කොහොමටත් මම භෞතික විද්‍යා න්‍යාය ලොකුවට දන්නේ නැහැ. සමහර විට දන්නේම නැහැ වෙන්නත් පුළුවන්.

මගේ විද්‍යා දැනුම සීමිත දැනුමක්. මා වැඩිපුර ඇසුරු කර තිබෙන්නේ ආර්ථික විද්‍යාව, සංඛ්‍යානය වැනි විෂයයන් හා අදාළ පර්යේෂණ වල නියැලෙන අයයි. මේ හැම දෙනෙක්ම වගේ විද්‍යාවේ භාවිතය තුළදී අඥේයවාදීන්. මා හිතන විදිහට විද්‍යාව විසින් කරන්නේ දැනුමේ අවිනිශ්චිතතාවය පිළිගනිමින් එම අවිනිශ්චිතතාවය අවම කරන විසඳුම් සෙවීම මිස නිශ්චිත පරම විසඳුම් හොයන එක නෙමෙයි. විද්‍යාවේ වෙනත් කේෂේත්‍ර වල පර්යේෂණ කරන අය ඇතැම් විදිහට වෙනත් ආකාරයකට හිතනවා වෙන්න පුළුවන්. මා දන්නා සීමාවේනම් හැම විටම මේ අවිනිශ්චිතතාවය තිබෙනවා.

ගණිතය බොහෝ වෙලාවට නිශ්චිත පිළිතුරු සපයනවා. නමුත්, සංඛ්‍යානය බොහෝ වෙලාවට සපයන්නේ අවිනිශ්චිත පිළිතුරු. මෙය ගණිතය හා සංඛ්‍යානය අතර ප්‍රධාන වෙනසක්. දෙවියන් වහන්සේ දාදු කැට උඩ දමන්නේ නැතුව ඇති. හැබැයි මට ඒක දැනගන්න වෙන්නේත් දාදු කැටයක් උඩ දමලා. 

විද්‍යාවෙන් කවදාවත් කෝවිඩ් සඳහා සියයට සියයක් සාර්ථක බෙහෙතක් හොයා ගන්න බැහැ. අඩුම වශයෙන් සියයට සියයට නිරවද්‍යතාවයකින් යුතුව කෝවිඩ් රෝගියෙකු හඳුනා ගන්නවත් බැහැ. අවශ්‍යනම් කෝවිඩ් පරීක්ෂණයක ප්‍රතිඵල මත කෝවිඩ් රෝගය අර්ථදක්වන්න පුළුවන්. එවිට සිදුවන්නේ සියයට සියයක නිරවද්‍යතාවය ප්‍රකාශයට පත් කිරීමක්. මම විද්‍යාව තේරුම් ගන්නා ආකාරයට විද්‍යාව සහ ආගම් අතර වෙනස ආගම් වලින් නිශ්චිත පිළිතුරු යෝජනා කරද්දී විද්‍යාව විසින් එවැනි නිශ්චිත පිළිතුරු යෝජනා නොකිරීමයි. වෙනත් අයට වෙනත් අර්ථකථන තියෙන්න පුළුවන්.

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ ඵලදායීතාවය 95.0%ක් බව හැමෝම වගේ අහලා ඇති. ඔය මාධ්‍ය හැම එකකම වගේ කියන්නේ. දැන් මේ අනුව, එන්නත ගත්තා කියා රෝගය හැදෙන එක වැලකෙනවද? අනිවාර්යයෙන්ම නැහැ. රෝගය හැදෙන එක වැලකෙන්නේ 95%ක සම්භාවිතාවකින් පමණක් බවත්, රෝගය වැළඳීමට 5%ක සම්භාවිතාවක් තිබෙන බවත් ගොඩක් අය කියයි. ඔය ටික ගොඩක් අයට තේරෙනවනේ. ඒ කියන්නේ එන්නත ගත්තත් රෝගය හැදෙන්න හෝ නොහැදෙන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් වන බවට කිසිම සහතිකයක් නැහැ. 

හරි. ඒක එහෙමයි කියමුකෝ. එහෙමනම් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත ලබාගත් කෙනෙක්ට රෝගය වැළඳීමේ සම්භාවිතාව 95.0%ක් කියන එක නිශ්චිත කාරණයක්ද? මේ හා අදාළ විද්‍යාව ගැන වැඩි දැනුමක් නැති අය ඔව් කියලා කියයි. නමුත්, මේ හා අදාළ පර්යේෂණ පත්‍රිකාවක් බැලුවොත් පේනවා එන්නතේ සාර්ථකත්වය 90.3- 97.6% පරාසයේ විචලනය විය හැකි බව. 95.0%ක සාර්ථකත්වය කියන්නේ නිශ්චිත කාරණාවක් නෙමෙයි. එය 90% හෝ 97% වැනි ගණනක් වෙන්න පුළුවන්. මේ ගැන ටිකක් වැඩිපුර දන්නා කෙනෙක් ඔය පරාසය ඉදිරිපත් කරයි.

එහෙමනම්, පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත ලබාගත් කෙනෙක්ට රෝගය වැළඳීමේ සම්භාවිතාව 90.3- 97.6% පරාසයේ විචලනය විය හැකි අගයක් කියන එක නිශ්චිත කාරණයක්ද? 

පිස්සුද? ඒත් නෑ!

ඔය 90.3- 97.6% පරාසයට කියන්නේ 95% විශ්වාසී පරාසය කියලා. ඒ කියන්නේ, පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය 90.3- 97.6% පරාසයේ අගයක් වෙන්න 95%ක සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ පරාසයෙන් පිටත අගයක් වෙන්නත් 5%ක සම්භාවිතාවක් තිබෙනවා. සාර්ථකත්වය 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. 

කෝවිඩ් පරීක්ෂාවක් ගැන කියන්න තියෙන්නේත් ඔය ටිකමයි. අපි හිතමු පීසීආර් පරීක්ෂණයකින් කෝවිඩ් රෝගියෙකු හඳුනාගැනීමේ සම්භාවිතාව 70%ක් කියලා. ඒ කියන්නේ වැරදෙන්න 30%ක ඉඩක් තිබෙනවා. එහෙමනම්, හරියන්න 70%ක ඉඩක් තිබෙනවා කියන එක නිශ්චිත කාරණාවක්ද? පැහැදිලිවම නැහැ. හරියන්න 70%ක ඉඩක් තිබෙන්න කිසියම් ඉඩක් තිබෙනවා. එහෙත් එය 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඔය ගොඩක් අය කතා කරන R0 අගය, කෝවිඩ් පැතිරෙන වේගය වගේ ඕනෑම දෙයක් හා අදාළව මේ අවිනිශ්චිතතාවය තිබෙනවා. අවිනිශ්චිතතාවයට හේතුව විද්‍යාව ඒ තරම් දියුණු නැති වීම නෙමෙයි. මේක විද්‍යාවේ ස්වභාවයමයි. අවිනිශ්චිතතාවයක් නැත්නම් ඒක ආගමක්. මේ කාරණා ගැනනම් මම ටිකක් හදාරා තිබෙන නිසා, ඇත්තටම මගේ මූලික විෂය ක්ෂේත්‍රය නිසා, වැඩි පැහැදිලි කිරීම් අවශ්‍යනම් කරන්න අමාරුවක් නැහැ. 

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය සෛද්ධාන්තිකව 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්. සෛද්ධාන්තිකව ධම්මික පැණියේ සාර්ථකත්වයත් 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය දෙකේ කිසිම වෙනසක් නැද්ද?

විද්‍යාව හා ව්‍යාජ විද්‍යාව අතර වෙනස තේරුම් ගන්නනම් සාර්ථකත්වය සෛද්ධාන්තිකව 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත හා ඒ ආකාරයෙන්ම සාර්ථකත්වය සෛද්ධාන්තිකව 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් ධම්මික පැණිය අතර තිබෙන වෙනස කුමක්ද කියා වටහාගත යුතුයි. පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් වුනත් වඩාත්ම ඉඩ තිබෙන්නේ එම අගය 95.0%ක් වෙන්නයි. එම අගය 90.3- 97.6% පරාසයේ අගයක් නොවෙන්න තිබෙන සම්භාවිතාව 5%කට වඩා අඩුයි. නමුත්, ධම්මික පැණිය ගැන අප දන්නේ එහි සාර්ථකත්වය 0-100% අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන් කියන එක පමණයි. විද්‍යාව විසින් මෙහිදී අවසන් වශයෙන් කර තිබෙන්නේත්, මම හිතන විදිහට බොහෝ විට කරන්නේත් අපේ නොදැනුම තුළ තිබෙන ඓන්ද්‍රීය අවිනිශ්චිතතාවය නිසා අපට මුහුණ දෙන්න සිදුවන අවදානම අවම කරන එකයි. එහෙම නැතුව විද්‍යාව විසින් නිශ්චිත පිළිතුරු ලබා දෙන්නේ නැහැ.

හැබැයි අපට බොහෝ විට අවශ්‍ය වන්නේ නිශ්චිත පිළිතුරු මිසක් අවිනිශ්චිත පිළිතුරු නෙමෙයි. 95%ක සම්භාවිතාවකින් කෝවිඩ් වලක්වන ඔසුවකට වඩා 100%ක  සම්භාවිතාවකින් කෝවිඩ් වලක්වන ඔසුවකට අපි කැමතියි. අපි අවිනිශ්චිතතාවයට කැමති නැහැ. ඇත්තටම කියනවානම් විද්‍යාව අවශ්‍ය වන්නේත් අපි අවිනිශ්චිතතාවයට කැමති නැති නිසා. ඒ නිසා, භාවිතය තුළදී විද්‍යාවට සිදුවෙනවා මිනිස්සුන්ට නිශ්චිත පිළිතුරු සේ පෙනෙන පිළිතුරු සපයන්න. දැනුම් ආධිපත්‍යයක් ලෙස විද්‍යාවේ භූමිකාව විද්‍යාමාන වන්නේ මේ සන්දර්භය තුළයි.

මට කෝවිඩ් තිබෙනවද කියා සැකයක් ඇති වුනොත් මම පරීක්ෂාවක් කර ගන්න යනවා. අපි හිතමු මට ලැබුණු පරීක්ෂණ ප්‍රතිඵලය මේ වගේ එකක් කියලා.

"ඔබට කෝවිඩ් හැදී තිබීමේ සම්භාවිතාව 64.7-77.4% අතර අගයක් වීමට 95%ක සම්භාවිතාවක් තිබෙනවා!"

ඔය අණ්ඩර දෙමළයෙන් වැඩක් තියෙන්නේ කාටද? 

"ඒ කියන්නේ මට කෝවිඩ් හැදිලද? නැද්ද?"

ගොඩක් අය අහයි. මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ බයිනරි (ද්විමය) උත්තර. කෝවිඩ් හැදිලද නැද්ද? ඔයා මට කැමතිද නැද්ද? යුෂ්මතා වැරදිකරුද නිවැරදිකරුද? 

භාවිතය තුලදී විද්‍යාව සන්නිවේදනය කරන්න වෙන්නේ විද්‍යාව භාවිතා කරන අයට එයින් ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයට. මෙහිදී ගොඩක් වෙලාවට අවිනිශ්චිතතාවය ගැන නොකියා ද්විකෝටික බෙදීමක් කරලා නිශ්චිත පිළිතුරක් ඉදිරිපත් කරන්න සිදු වෙනවා. එක්කෝ පොසිටිව් නැත්නම් නෙගටිව්. 

දැන් වැඩේ පහසුයි. තමන් කෝවිඩ් පොසිටිව්ද නැත්නම් නෙගටිව් නෙගටිව්ද කියලා රෝගියා දන්නවා. පොසිටිව්නම් නිරෝධායනයට. නෙගටිව්නම් ගෙදර. 

අවිනිශ්චිත තොරතුරකින් මේ විදිහට නිශ්චිත ප්‍රතිඵලයක් ලබා දෙන්නේ කොහොමද? ඒ සඳහා කිසියම් රීතියක් උපයෝගී කර ගන්න වෙනවා. උදාහරණයක් විදිහට කෝවිඩ් වැළඳී තිබීමේ සම්භාවිතාව 95%ට වඩා වැඩිනම් පොසිටිව්. එම සම්භාවිතාව 5%ට අඩුනම් නෙගටිව්. ඒ කියන්නේ වැරදෙන්න තිබෙන සම්භාවිතාව 5%ක් පමණයි. එතකොට කෝවිඩ් වැළඳී තිබීමේ සම්භාවිතාව 5-95% අතරනම් මොකක්ද කියන්නේ? අවශ්‍යනම් චතුර්කෝටික පිළිතුරක් දෙන්න පුළුවන්.

"ඔබට කෝවිඩ් හැදිලත් නැහැ. හැදිලා නැත්තේත් නැහැ"

"ඔබට කෝවිඩ් හැදිලා වගේම ඔබට කෝවිඩ් හැදිලා නැහැ"

දාර්ශනික වැදගත්කමක් තිබෙනවා විය හැකි වුවත්, ඔය වගේ චතුර්කෝටික පිළිතුරකින් කාටවත් ප්‍රයෝජනයක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. වඩා නිවැරදි පිළිතුරක් අවශ්‍යනම් අර මම කලින් යෝජනා කරපු පිළිතුර තියෙනවා.

"ඔබට කෝවිඩ් හැදී තිබීමේ සම්භාවිතාව 64.7-77.4% අතර අගයක් වීමට 95%ක සම්භාවිතාවක් තිබෙනවා!"

ද්විකෝටික පිළිතුරු වල බොහෝ විට ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබෙනවා. විද්‍යාත්මක ක්‍රම හරහා ලබා ගන්නා අවිනිශ්චිත තොරතුරු ගොඩක් වෙලාවට භාවිතය තුළදී නිශ්චිත ද්විකෝටික පිළිතුරු විදිහට සන්නිවේදනය කරන්න හේතුව මේකයි. මෙහි ආධිපත්‍ය ස්වරූපයක් තිබෙනවා තමයි. නමුත්, අවශ්‍ය කෙනෙකුට විද්‍යාව තුළින්ම ඒ ආධිපත්‍ය බාධකය බිඳගෙන අවශ්‍ය පියවර ගණනක් පස්සට යන්න පුළුවන්. 

කෝවිඩ් පරීක්ෂාවකදී හෝ වෙනත් එවැනි පරීක්ෂණයකදී ලැබෙන තොරතුරු මත නෙගටිව් හෝ පොසිටිව් ගොඩකට දමන්න බැරිනම් බොහෝ විට කරන්නේ පරීක්ෂණය නැවත සිදු කරන එකයි. එවිට ආසාදිතයෙකු විය හැකි පුද්ගලයාට නිශ්චිත පිළිතුරු දෙකකින් එකක් ලැබෙනවා. අනෙක් අතට පරීක්ෂාව කරන පුද්ගලයාට ත්‍රිකෝටික බෙදීමක් හමු වෙනවා. එහෙත්, විද්‍යාව, අඩු වශයෙන් මා වැඩිපුර දන්නා ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විෂයයන් හා අදාළව, ද්විකෝටික තර්කයක හෝ ත්‍රිකෝටික තර්කයක හිර වී නැහැ. සංඛ්‍යානමය විශ්ලේෂණයන් තුළ වියහැකියාවන් අනන්ත ප්‍රමාණයක් තිබෙනවා.

විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය තුළ කවදාවත්ම අවිනිශ්චිතතා මුළුමනින්ම නැති කරන්න බැහැ. ඔබට දැන් සනීපයි කියා රෝගියෙකු රෝහලෙන් ගෙදර යවන එකෙන් අදහස් වෙන්නේ මේ වන විට ඔබට රෝගය සුව වී තිබීමේ සම්භාවිතාව ඉතාම විශාලයි කියන එකයි. නිසි සේ සැලසුම් කළ පාලමක් නිසි දැනුමක් නැති මේසන් බාස් කෙනෙකු හැදූ පාලමක් මෙන් කඩා වැටෙන්නේ නැහැ කියන්නේ එසේ කඩා වැටීමේ සම්භාවිතාව ඉතා අඩුයි කියන එකයි. 

සුද්දන් පොටේටෝ චිප්ස් කද්දී අල හොදි එක්ක බත් කන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මම හොදි හදන්න අර්තාපල් වෙනුවට නියඟලා අල ගන්නේ නැහැ. 


Saturday, January 9, 2021

ආධිපත්‍යය හරහා දැනුම සම්ප්‍රේෂණය කිරීම


ආගම ගැන ගාමිණී වියන්ගොඩට හිතෙන හැටි ගැන ලිපියක් පළ කර තිබෙනවා. ඒ ලිපියේ මා කැමතිම කොටසක් තිබෙනවා. මා ඒ කොටසට කැමති වන්නේ මා කුඩා කාලයේ මා ජීවත් වූ සංස්කෘතිය තුළ පුනරුප්පතිය කියන අදහස මා වෙත උඩුගත කෙරෙමින් තිබුණු කාලයේදී ඒ ගැන මා හිතපු ආකාරයෙන් කොටසක් ගාමිණී වියන්ගොඩ විසින්ද ඒ අයුරින්ම විස්තර කර තිබෙන නිසයි. 

යම් හෙයකින් ඊළඟ ආත්මයක් තිබුණොත්?

"එවිට මා සිතන්නේ මෙසේය: අද සිටින 'මම' යනු ඉහතින් කී සියල්ලේ සංජානනයයි. අහවල් නමක් ඇති, අහවල් සම්බන්ධකම් ඇති, අහවල් පවුලක් ඇති, අහවල් අතීතයක් සහ වර්තමානයක් ඇති, අහවල් සංස්කෘතියක් සහ රටක් ඇති, අහවල් විශ්වාස සහ දෘෂ්ටිවාද සමුදායක් ඇති, අහවල් භාෂාවක් ඇති 'මම' යන හැඟීමක් හෙවත් සංජානනයකි. ඇත්තෙන්ම එය, මූලික වශයෙන්, භාෂාමය නිර්මිතයකි. ඊළඟ ආත්මයේදී, වෙනත් භාෂා නිර්මිතයක් සහිත, වෙනත් සංස්කෘතික පසුබිමක මා උපන්නොත්, ඒ 'මම' එදාට මා සංජානනය කරනු ඇත්තේ වර්තමාන කෝදුවෙන් නොවේ. තවදුරටත් මේ කාරණය පැහැදිලි කළොත්: ඊළඟ ආත්මයේ මා පණුවෙකු වී උපන්නොත්, ඒ පණුවා තමාගේ 'මම' සංජානනය කරනු ඇත්තේ, අද 'මම' විසින් පණුවා යන සතාව සංජානනය කරන කෝදුවෙන් නොවේ. අද 'මම' තුළ සිටින දෙමාපියන්, දරුවන්, ගෙවල් දොරවල්, සංස්කෘතිය ආදී කිසිවක් පණුවාගේ 'මම' සඳහා සංජානනීය මෙවලම් වශයෙන් පාවිච්චියට නොගැනේ. පණුවා 'මම' යන්න සංජානනය කරනු ඇත්තේ, පස, මඩ, වතුර ආදිය සමගය. අප මුලින් කී 'පැවැත්ම' සමග අනන්‍ය වන කිසිවක් ඊළඟ පැවැත්ම සමග අනන්‍ය නොවන බව මෙහි අදහසයි. එසේ නම්, වර්තමාන 'මම' විසින් ඇති කරගන්නා මතු පැවැත්මක සංජානනයක්, මරණින් පසු ඊළඟ පැවැත්මක් තිබුණත්, ඒ පැවැත්මට අදාළ වන්නේ නැත. මන්ද යත්, වටිනාකම් මැනෙන කෝදුව වෙනස් වන බැවිනි. තවත් විදිහකින් කිවහොත්, මගේ තර්කය වන්නේ, පණුවාගේ සැපත/දුක සහ මගේ සැපත/දුක අතර, එකිනෙකාට සාපේක්ෂව, වෙනසක් නැති බවයි."

වියන්ගොඩගේ සිට මා වෙත හැරුණොත්, මරණයෙන් මතු ජීවිතය පිළිබඳ අදහස මා තුළ ස්වභාවිකවම ඇති වුනු අදහසක් නෙමෙයි. මරණයෙන් පස්සේ වෙන්නේ කුමක්ද කියන එක මට ප්‍රශ්නයක් වෙන්නත් කළින්ම ඒ ප්‍රශ්නයට පිළිතුරක් මට ලැබී තිබුණා. ඒ පිළිතුර ඔය ප්‍රශ්නයට තිබෙන සිංහල බෞද්ධ පිළිතුර කියා කියන්න පුළුවන්. මේ පිළිතුර පසුව ඉගෙනගත් අභිධර්මයේ විස්තර කරන දෙයමත් නෙමෙයි. මා ජීවත් වුනේ වෙනත් සංස්කෘතියකනම් බොහෝ විට මට මේ ප්‍රශ්නයට වෙනත් පිළිතුරක් ලැබිය හැකිව තිබුණා.

අද ඉපදෙන දරුවන් වැඩි දෙනෙකුට වුවත් මේ ප්‍රශ්නය ඔවුන්ට ප්‍රශ්නයක් වෙන්නත් කලින්ම ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනවා. පිළිතුර තීරණය වන්නේ සංස්කෘතිය මත. දරුවන් වැඩිහිටියන් වන්නේ මේ පිළිතුර තමන්ගේ ලෝකයේ සාමාන්‍ය කොටසක් ලෙස සලකමින්. ඇතැම් අය වැඩිහිටියන් වන්නේ මේ පිළිතුර වෙනත් හැම දෙනෙකුගේම ලෝක වලද සාමාන්‍ය කොටසක් ලෙස සලකමින්.

පුනරුප්පතිය පිළිබඳ අදහස කුඩා කාලයේදී මට ලැබුණේ, ලෝකයේ වෙනත් බොහෝ දරුවන්ට වගේම, ඉතාම සාමාන්‍ය, කවුරුත් දන්නා දෙයක් විදිහටයි. හරියට ගින්දරට අත පිච්චෙනවා වගේ. හැබැයි ඉතිං මගේනම් පොඩි කාලේ ඉඳලම තිබුණු පුරුද්දක් වුනේ කවුරු හරි ගින්දරට අත පිච්චෙනවා කියා කිවුවත් අල්ලලාම බලන්න පෙළඹෙන එක. මෙයින් අදහස් කළේ එහි වචනාර්ථයම නොවුණත් යම් සීමාවන් තුළ වචනාර්ථයම තමයි. ගින්දරට අත පිච්චෙනවා කියන කතාව ගැන පොඩි සැකයක් තිබුණත් ලොකු සැකයක් නැත්නම් අවදානම ගන්න යන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම තේරුමක් නැතුව බුර බුරා ඇවිලෙන ගිණි ගොඩකට පනින්නේ නැහැ. අනෙක් අතට ඔය ගින්දරට අත පිච්චෙනවා කියන කතාව මොන විදිහකින්වත් සෙට් වෙන්නේ නැත්නම් හරි, අවදානම එතරම් විශාල නැති බව පෙනෙනවානම් හරි අවදානම අරගෙන අල්ලලාම බලනවා. ඔය පුච්චපු කොස් ඇටයක් බාගන්න අවශ්‍ය වෙලාවක අත පිච්චෙයි කියන බයට බළල්ලු හොයා හොයා ඉන්නේ නැහැ.

ඒ දවස් වල ක්‍රියා කළ ආකාරය ඒ දවස් වල දැන නොසිටි දැන් දන්නා සංකල්පයක් ඇසුරෙන් විස්තර කරනවානම් කවුරු හෝ කියන දෙයක් ඒ විදිහටම වෙන්න හෝ නොවෙන්න තිබෙන විෂයමූලික සම්භාවිතාව මත තීරණ ගන්න එකයි කළේ. සවිඥානිකව හෝ අවිඥානිකව මම දැන් කරන්නේත්, වෙනත් අය විසින් කරනවා කියා හිතන්නේත් ඒකම තමයි. එක් එක් පුද්ගලයා ක්‍රියා කරන ආකාරය වෙනස් වෙන්නේත්, එකම පුද්ගලයා වෙනස් අවස්ථා වලදී ක්‍රියා කරන ආකාරය වෙනස් වන්නේත් බොහෝ දුරට මේ විෂයමූලික සම්භාවිතාව වෙනස් වන ආකාරය මතයි.

මගේ මවු භාෂාව සිංහල. පසුව පාසැලේදී විෂයයක් විදිහට සිංහල භාෂාව ඉගෙන ගත්තත් මුලින්ම ගෙදරදී සිංහල ඉගෙන ගන්නේ ලෝකය තේරුම් ගැනීමේ කොටසක් විදිහටනේ. මම පෞද්ගලිකව ගත්තොත් පුනරුප්පත්තිය ගැන ඉගෙන ගත්තේත් ඔය විදිහටම තමයි. එවැනි තවත් අය වගේම එසේ නොවූ අයත් ඇති. උදාහරණයක් විදිහට පහත සඳහන් ආකාරයේ මනඃකල්පිත සිදු වීමක් කුඩාම කාලයේ මා සිටි තැනක සිදු විය හැකිව තිබුණා.

"මේකිනම් ලොකු අත්තම්මමයි. මේ බලන්නකෝ නාහේ, කට, ඇස්... බෙල්ලේ උපන් ලපේත් ඒ විදිහටම තියෙනවා.."

"නෑ. ඒක වෙන්න බැහැ. අම්මා මැරෙනකල්ම ප්‍රාර්ථනා කළේ ඊළඟ පාර පිරිමි ආත්මෙක ඉපදෙන්න. ආපහු ගෑනු ආත්මෙකම ඉපදෙයිද?"

දැන් විවාදය සිදු වෙන්නේ අළුත උපන් බිළිඳියක් කලින් මිය ගිය ඥාතිවරියකගේ පුනරුප්පත්තියක්ද නැද්ද කියන එක ගැන. ඒ හැර, කලින් මිය ගිය කෙනෙක් මේ විදිහට බිළිඳියක් ලෙස පවුලේ කෙනෙකුගේ කුසින් ඉපදෙන්න පුළුවන්ද කියන එක ගැන කිසිම විවාදයක් නැහැ. එය පොදු දැනුමක කොටසක්.

සමහර වෙලාවට මේ වගේ අවවාදත් ලැබෙනවා.

"උඹනම් ලබන ආත්මේ පෙරේතයෙක් වෙලා ඉපදෙයි ඔහොම තනියම කෑවොත්!"

සමහර වෙලාවට කුස්සියට එන ගෙම්බෙක් කොයි තරම් එළෙවුවත් නැවත නැවතත් එනවා.

"මූව කොච්චර එළෙවුවත් ආපහු එනවනේ. මළ ගිය ප්‍රාණකාරයෙක්ද කොහෙද?"

මැරෙන කෙනෙක් නැවත ඉපදෙනවා. ඒ ඉපදෙන්නේ වෙනත් මනුෂ්‍යයෙක් ලෙස වෙන්න පුළුවන්. මනුෂ්‍යයෙක් නොවන ඇහැට පෙනෙන වෙනත් සතෙක් ලෙස වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇහැට නොපෙනෙන නමුත් අපි අතරේම හෝ වෙන කොහේ හරි ඉන්න මනුෂ්‍ය නොවන ප්‍රාණියෙක් විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම ඔය කොයි තත්ත්වයක හෝ ඉන්න කෙනෙක් මනුෂ්‍යයෙක් ලෙස ඉපදෙන්නත් පුළුවන්. මම හිතන විදිහට ඕක ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළේ හැදෙන කෙනෙක් මුලදීම ලෝකය අවබෝධ කර ගන්නා ආකාරයේම කොටසක්.

කුඩා කාලයේදී හරි වැරදි ගැන අදහස තේරුම් ගන්න වෙන්නේත් ඔය විදිහටමයි. හරි දේ කළොත් එයින් යහපතක් වෙනවා. වැරදි දේ කළොත් දඬුවම් ලැබෙනවා. සමහර වැරදි වලට දඬුවම් ලැබෙන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයක්. බොරු කියලා හෝ හොරකම් කරලා අහු වුනොත් කාගෙන් හෝ දඬුවම් ලැබෙනවා. අහු වුනේ නැත්නම් එහෙම කාගෙන්වත් දඬුවම් ලැබෙන්නේ නැහැ. හැබැයි කියන විදිහට ඒ වගේ අහු නොවෙන්න කරන වැරදි වලටත් ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙනවා.

"ඕවට සොබා දර්මෙන්ම දඬුවම් ලැබෙනවා!"

සමහර වෙලාවට කාටවත් අහුනොවෙන්න පූසෙක්ට පයින් ගහලා ටික වෙලාවකට පස්සේ කකුල ඇඳ විට්ටමේ වදිනවා. ඒක ස්වභාව ධර්මයෙන් ලැබුණු දඬුවමක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙන වෙලාවල් ඕනෑ තරම් තියෙනවා. ඒවාට දඬුවම් ලැබෙනවා ඇත්තේ පසු ආත්මයකදී.

"ඔය බේරිලා හිටියට ඕවා ලබන ආත්මේ හරි පටිසන් දෙනවා!"

සමහර දේවල් කරනවාද නොකරනවාද කියා තීරණය කිරීමේදී මරණයෙන් මතු ඒ ක්‍රියාවන්ට ලැබිය හැකි හොඳ හෝ නරක ප්‍රතික්‍රියාවන්ද සැලකිල්ලට ගන්න වෙනවා. මේ ප්‍රතික්‍රියා ගැන දැනගන්න වෙන්නේ වැඩිහිටියන්ගෙන්. ඒ වුනත්, වැඩිහිටියන් කියන දේ ඒ විදිහටම වෙනවා කියලා තියෙන සහතිකේ මොකක්ද?

"ඔය බිත්තියේ කුරුටු ගාන්න එපා. තාත්තා ආවහම ගුටිකන්න වෙයි!"

ඔහොම කිවුවාට ඔය වගේ වැරැද්දක් කරන හැම වෙලාවකම තාත්තාගෙන් ගුටිකන්න වෙන්නේ නැහැ. ගුටිකන්න වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒ නිසා, අවදානමක් අරගෙන බිත්තියේ කුරුටු ගාන එක දිගටම කරගෙන යන්න පුළුවන්කමක් තිබෙනවා. ලබන ආත්මයේ පටිසන් දෙන්න නියමිත වැරදි වලට වුනත් ඔය විදිහටම දඬුවම් නොලැබී යන්න බැරිද? එහෙමනම්, පොඩි අවදානමක් ගත්තහම මොකද වෙන්නේ?

තාත්තාගෙන් ගුටිකන්න වෙන සම්භාවිතාව පිළිබඳ විෂයමූලික දැනුම ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන්. අත්දැකීමෙන්. නමුත්, ලබන ආත්මයේ දඬුවම් විඳින්න වෙන සම්භාවිතාව ගැන ඒ වගේ ප්‍රත්‍යක්ෂ දැනුමක් නැහැ. තාත්තාගෙන් ගුටිකන්න වෙන වැරැද්දක්නම් තැත්වරද ක්‍රමයට ගුටිකන්න වෙන සීමාව දක්වා කරලා නවත්වන්න සැලසුම් කරන්න පුළුවන්. ලබන ආත්මයේ දඬුවම් විඳින්න වෙන වැරදි ඒ විදිහට කරන්න බැහැ. හැබැයි මේ ආත්මයේම ස්වභාව ධර්මයෙන්ම දඬුවම් විඳින්න වෙනවාද කියන එකනම් තැත්වරද ක්‍රමයට පරීක්ෂා කරන්න පුළුවන්. 

මම කුඩා කාලයේදීම පෞද්ගලිකව ඔය වැඩේ කරල තියෙනවා. ඇත්තටම කියනවානම් වැඩිපුර කරලා තියෙන්නේ ඕකේ අනික් පැත්ත. ඒ කියන්නේ හොඳ වැඩ කළාම හොඳ විපාක ලැබෙනවාද කියලා පරීක්ෂා කරන එක. උදාහරණයක් විදිහට දවස් ගණන් එක දිගට නිශ්චිත මදුරුවන් ගණනකට ලේ දන් දීම වගේ වැඩ. හොඳ වෙලාවට ඒ කාලයේ ඩෙංගු, මැලේරියා වගේ රෝග තිබුණේ නැහැ. එහෙම වුනානම් වැඩි දවසක් නොගිහින් විපාක ලැබෙනවා.

කාටවත්ම නොකියා තනියම හොරෙන් කළත්, විද්‍යාව හෝ විද්‍යාත්මක ක්‍රමය ගැන දැන නොසිටියත් මේ විදිහට කුඩා කාලයේදීම කළේ එක විදිහක විද්‍යාත්මක පරීක්ෂණ. දැන් දන්නා බටහිර විද්‍යාවේ විධික්‍රමය අනුවනම් මෙය විද්‍යාත්මක පරීක්ෂණයක් නෙමෙයි. මේ පරීක්ෂණ හරහා ඉතාම කුඩා කාලයේදී මා පැමිණි නිගමනය හොඳ හෝ නරක වැඩ වලට කවුරු හෝ විසින් ඒවා නිරීක්ෂණය කර දඬුවම් හෝ ත්‍යාග ලබා දුන්නේ නැත්නම්, ස්වභාව ධර්මය විසින් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් විසින් එවැන්නක් කරන බවට පිළිගත හැකි සාධක නැති බවයි. මෙයින් අදහස් වන්නේ තවමත් මම මේ විදිහටම හිතනවා කියන එක නෙමෙයි.

මේ ආත්මයේදී කරන ක්‍රියා වලට ලබන ආත්මයකදී විපාක ලැබෙනවාද කියන එක ඔය විදිහට පරීක්ෂා කරන්න විදිහක් නැති නිසා, ඒ ගැන නිගමනයකට එන්න වුනේ තර්කය මත පදනම්ව. තර්කය පදනම් වුනේ මොන දැනුමක් මතද කියා අදවත් මම දන්නේ නැහැ. බොහෝ විට එදිනෙදා කතාබහ අතරතුර වැඩිහිටියෝ තර්ක කරනවා බලා ඉඳලා ඉගෙන ගත්ත විදිහක් වෙන්න පුළුවන්. කොහොම වුනත්, මගේම අභ්‍යන්තරයෙන් පැන නැගුනු ප්‍රශ්නයට මගේම පිළිතුර මම හෙවුවේ මේ විදිහටයි.

මේ ආත්මයේ කරන දේවල් බලා ඉඳලා වැඩිහිටියෙක් එවේල්දීම දඬුවම් දෙනවා වගේ මේ ආත්මයේ කරන දේවල් බලා ඉඳලා ලබන ආත්මයේ දඬුවම් දෙන්න කෙනෙක් ඉන්නවානම් ඒ කවුරු හරි කෙනා මේ ආත්මයේදී කිසිම දඬුවමක් නොදී ඉන්න හේතුවක් නැහැ. ප්‍රත්‍යක්ෂයෙන්ම පෙනෙන පරිදි කරන හොඳ හෝ නරක වැඩකට එවෙලේම හෝ ඉතා ඉක්මණින් දඬුවම් හෝ තෑගි නොලැබුණොත් පස්සේ තැපෑලෙන් විපාක ලැබෙන එක අඩු සම්භාවිතාවක් තිබෙන වැඩක්. ඒ නිසා, පස්සේ දඬුවම් දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම දැනුත් මොනවා හරි දඬුවම් ටිකක් දිය යුතුයි. තියෙන වැඩ ටික කරන්න සේවකයින් මදිකම නිසා ප්‍රමත්ත සමුදාය (බැක්ලොග්) ඇති වෙන්න පුළුවන් වගේ දේවල් ඒ දවස් වල මතක් වුනේ නැහැ. ඒ අනුව, මේ ආත්මයේ "රහසින්" කරන හොඳ හෝ නරක වැඩ දිහා බලා ඉඳලා ඒවාට විපාක ලබා දෙන කෙනෙක් ඉන්න බවක් පෙනෙන්නේ නැති නිසා, ලබන ආත්මයක ඒ වැඩ වලට විපාක ලැබෙයි කියන එක සැක නොකර ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඔහොම අදහසක් ඇති වුනා කියා වැරදි වැඩ කරන්න හෝ හොඳ වැඩ නොකර ඉන්න පෙළඹුමක් ඇති වුනේනම් නැහැ. මොකද නොපෙනෙන අය කෙසේ වෙතත් පෙනෙන්න ඉන්න අය මේ හොඳ හෝ නරක වැඩ වලට විපාක ලබා දෙනවනේ. අඩු වශයෙන් ඔය වගේ පවතින දැනුම ප්‍රශ්න කරන අදහස් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීම පවා මෙලොවදීම විපාක දෙන වරදක් බව ඒ දවස්වලම තේරිලයි තිබුණේ. ඔය අවබෝධයත් එක්ක කරන්න තිබුණු හොඳම දෙය වෙනත් අය හොඳ වැඩ ලෙස සලකන දේවල් කරද්දී හැකි තරම් ප්‍රදර්ශනාත්මක ලෙස කරන එක සහ වෙනත් අය නරක වැඩ ලෙස සලකන දේවල් ඉඳහිට හෝ කරද්දී පුළුවන් තරම් රහසිගතව කරන එකයි. අත්දැකීම් එක්ක මේ උපාය මාර්ගයේ සාර්ථකත්වය තවතවත් තහවුරු වුනා. ඒ එක්කම වැඩිහිටියන් විසින් "දී තිබෙන" ලෝකය ඒ විදිහටම භාර ගැනීමේ අවදානම ගැනත් මටනම් පොඩි කාලයේදීම අවබෝධ වුනා.

ත්‍රිපිටකයේ තිබෙන්නේ මොනවා වුනත් බොහෝ සිංහල බෞද්ධයින් විසින් තේරුම් ගන්නා ආකාරයට පුනරුප්පත්තියේදී සිදු වෙන්නේ භෞතික ශරීරය ඇතුළේ තිබෙන ආත්මය හෝ එවැනි දෙයක් එයින් ඉවත්ව යාමයි. කරන හොඳ නරක ඊළඟ ආත්මයට අරන් යන්නේ මේ ආත්මයයි. මේ අදහස වඩා කිට්ටු හින්දු සංකල්ප වලට වුවත්, පසුව අභිධර්මය ඉගෙන ගන්නා තුරු, පුනරුප්පතිය කියන අදහස මම තේරුම් ගත්තේත් ඔය විදිහටයි.

දැන් මේ කියන කතාවේ හැටියට මගේ මරණයෙන් පස්සේ මම නැවත මිනිසෙකු, බල්ලෙකු, හරකෙකු, මදුරුවෙකු හෝ කවදාවත් දැක නැති පෙරේතයෙක් විදිහට නැවත ඉපදෙන්න පුළුවන්. ඒ විදිහට ඉපදුනාට පස්සේ දැන් කරන හොඳ නරක වල විපාකත් විඳින්න වෙනවා. ඒ විදිහටම බැලුවොත් දැන් මම විඳින හොඳ හෝ නරක විපාක වලට හේතුව පෙර ආත්මයක මිනිසෙකු, බල්ලෙකු, හරකෙකු, මදුරුවෙකු හෝ පෙරේතයෙකු ලෙස සිටියදී කළ දේවල්. නමුත්, ප්‍රශ්නය තියෙන්නේ ඔය කතාව ඇත්ත වුනත් බොරු වුනත් එහෙම පෙර භවයක් ගැන මට කිසිම මතකයක් නැති නිසා කතාව ඇත්තද බොරුද කියලා තහවුරු කරගන්න කිසිම ක්‍රමයක් නැති වීමයි. වැඩිහිටියන් විසින් කියා දෙන හැම දෙයක්ම ඇත්ත නොවන බව ඇස් පනාපිට පෙනෙද්දී, ඒ අය කියන නිසාම මේ පුනරුප්පත්ති කතාව ගැන සැක නොකර ඉන්න පුළුවන්ද?

අනෙක් අය කියන හැම දෙයක්ම ඇත්ත නොවුනත්, ගොඩක් අය පොදුවේ පිළිගන්න ගොඩක් දේවල් ඇත්ත බව අත්දැකීමෙන්ම පෙනෙන දෙයක්. පුනරුප්පතිය ගොඩක් අය පිළිගන්නවා. ඒ නිසා, මේ කතාව නොසලකා හැරීමේ අවදානමකුත් තිබෙනවා.

ඉහත උභතෝකෝටිකය හමුවේ මට ප්‍රශ්නය විසඳාගැනීමට පෑදුනු පොට ඉහත ගාමිණී වියන්ගොඩගේ තර්කයයි. මිනිහෙක් විදිහට ජීවත්වෙමින් හැමදාම තණකොළ උලාකන්න වීම දුකක් වුනත්, හරකෙක්ට එය දුකක්ද? තමන්ටත් තමන් අවට සිටින සියල්ලන්ටත් හිතන පතන විට කන්න අවශ්‍ය ඕනෑම කෑමක් ඉබේම පහළ වෙනවානම්, එය සුවිශේෂී සැපක් ලෙස තේරුම් ගන්න පුළුවන්ද? ඒ වගේම, හැමදාම ගිණිදැල් වලින් පිච්චෙමින් ජීවත් වන වෙනත් ආකාරයක ජීවිතයක් ගැන නොදන්නා කෙනෙක්ට එය දුකක් ලෙස තේරෙන්න පුළුවන්ද? එහෙමනම්, ඔය මොකෙක් වී ඉපදුණත් වෙනසක් තියෙනවාද?

හැබැයි. මා විසින් හදාගත් ඉහත ගාමිණී වියන්ගොඩ තර්කයේ මට සාපේක්ෂව පොඩි අවුලකුත් තිබුණා. දැන් මගේ මේ තර්කය මේ විදිහට වැඩ කරන්නේ කෙනෙකුට තමන්ගේ අතීත භව ගැන මතකයක් නැත්නම් පමණයි. හරකෙක්ට තමන්ට මිනිහෙක් වී සිටීමේ විකල්පයක් තිබුණා කියා අවබෝධයක් ඇත්නම් හරක් ජීවිතය දුකක් සේ පෙනෙන්න පුළුවන්. සමාජවාදී සෝවියට් සංගමය පහුකරගෙන බටහිර රටවල් වේගයෙන් වර්ධනය වන බව සෝවියට් වැසියන්ට නොපෙනුනානම් සෝවියට් ක්‍රමය ඔය තරම් ඉක්මණින් කඩා වැටෙන්නේ නැහැ. ඒ වගේම දැන් තිබෙන ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට වඩා සාර්ථක විකල්පයක් කොහේ හෝ තිබුණානම් මේ ක්‍රමය කල් නොගොස් කඩා වැටෙනවා. එවැනි සංසන්දනයක් කළ නොහැකිනම් අපායක හා දිව්‍ය ලෝකයක වෙනසක් නැහැ. 

පුනරුප්පතිය පිළිබඳ අදහස අදටත් මගේ නොදන්නා සීමාවේ තිබෙන දෙයක් වුවත් එවැන්නක් තිබීමේ සම්භාවිතාව මා සලකන්නේ ශුන්‍යයට ආසන්න ලෙසයි. ශුන්‍ය වීම හා ශුන්‍යයට ආසන්න වීම අතර විශාල වෙනසක් තිබෙන බව ගණිතය උගත් අය දන්නවා ඇතිනේ. ඒ නිසා, පුනරුප්පතියක් තිබීමේ සුළු හෝ අවදානමකුත් තිබෙනවානේ. යම් හෙයකින් එවැන්නක් තිබුණත් එසේ නැවත උපදින්නේ මායැයි මා සිතන්නේ නැහැ. පුනරුප්පතිය පිළිබඳ කල්පිත ඉදිරිපත් කෙරෙන බොහෝ පැකේජ වලට අනුව මිනිස් ජීවිතය අනෙක් ආකාර වල ජීවිත වලට වඩා උසස් මාදිලියක ජීවිතයක්. එසේනම් පෙර භව පිළිබඳව මිනිසෙකුට නැති මතකයක් වෙනත් සතෙකුට හෝ වෙනත් ආකාරයක ජීවයකට තිබීමේ සම්භාවිතාව අඩු එකක්. පෙර භව පිළිබඳ මතකයක් නැත්නම් එය අලුත් ජීවිතයක්. මේ තර්කය අනුව පුනරුප්පතියක් තිබීමේ අවදානමත් නොසලකා හරින්න අමාරු වුනේ නැහැ. මම හිතන්නේ ඉහත ගාමිණී වියන්ගොඩ විසින් විස්තර කර තිබෙන්නේත් ඔය තර්කයයි.

පුනරුප්පතිය පිළිබඳ අදහස ඉතා අඩු වයසකදී මා විසින්ම තේරුම් ගත් ආකාරය අනුව ඒ කාලයේ සිටම මා ගත කළේ පරලොවට බය නැති, මරණයට ඉතා අඩුවෙන් බය ජීවිතයක්. මරණයට බය නැති කියා කිවුවොත් එය අතිශයෝක්තියක් වෙන්න පුළුවන්. මරණයට කෙසේ වෙතත් මරණය ආශ්‍රිත වේදනාවටත්, ජීවත්ව සිටියදීම මගේ පාලනය මට නැති වී යනවා කියන අදහසටත් මම බයයි.

මා මත පටවනු ලැබූ පුනරුප්පත්තිය වැනි සංකල්ප පිළිබඳව මට සැක ඇති වුනේ විද්‍යාව ඉගෙන ගැනීම නිසා නෙමෙයි. පාසැල් යන්න පටන් ගැනීමෙන් පසුව වුවත් පහළ පන්ති වලදී විද්‍යාවක් කියා දෙයක් හරියකට උගන්වන්නේ නැහැ. මා කොවූර්ගේ පොත් කියවන්න පටන් ගත්තේ වයස අවුරුදු නවය හෝ දහය කාලයේ. මගේ සංකල්පීය ලෝකය මුලින්ම විශාල ලෙස වෙනස් කළේ කොවූර්ගේ පොත්. එහෙත්, මෙහිදී සිදු වුනේ කොවූර්ගේ පොත් වලින් මා මොළ ශෝධනයකට ලක් වීම නෙමෙයි. මට ඒ වන විටත් ඇති වී තිබුණු, මා විසින්ම අඩමාන විසඳුම් හොයාගෙන තිබුණු ප්‍රශ්න වලට නිශ්චිත හා පැහැදිලි පිළිතුරු කොවූර්ගේ පොත් තුළින් හමු වීමයි එහිදී සිදු වුනේ.

වයස අවුරුදු එකොළහක පමණ කාලය වෙද්දී මම මුළු හදවතින්ම හේතුවාදියෙක්. ඒ වන විට විද්‍යාව කියලා ලොකු දේවල් ඉගෙන තිබුණේ ගෙන නැහැ. ඒ නිසා, ආරම්භයේ සිටම මම විද්‍යාව ඉගෙන ගත්තේ මහත් උනන්දුවකින් වගේම අද ආපසු හැරී බැලුවොත් භක්තියකින්. සමහර අය කියන්නේ ආගම් විවේචනය කරන ගොඩක් අය මොකක් හෝ කරදරයක් වූ විට හොරෙන් ආගම් අදහනවා කියලයි. මා සම්බන්ධවනම් කියන්න තිබෙන්නේ තනිකරම අනික් පැත්ත. 

මා හදවතින්ම හේතුවාදියෙක්ව සිටි කාලයේ වගේම ඉන් පසුව අඥේයවාදියෙක් විදිහට රූපාන්තරණය වීමෙන් පසුවත් මම ගෙදරදී හැර ගෙදරින් පිටතදී ප්‍රදර්ශනාත්මකව අනාගමිකයෙකු ලෙස කටයුතු කර තිබෙන්නේ ඉතා අඩුවෙන්. හේතුව ඉතාම සරලයි. ලැබෙන කිසිදු වාසියක් නැතිව අනාගමිකයෙකු වීමෙන් පසුව අහිමි වෙන සමාජයීය අවකාශය නැති කර ගන්න මට අවශ්‍ය වුනේ නැහැ. එය එකම හේතුවද නෙමෙයි. අනෙක් හැමෝටම වගේ විශ්වාස කරන්න අවුලක් නැති දේවල් මට පමණක් විශ්වාස කරන්න අමාරු ඇයි කියන කුතුහලයත් මට තිබුණා. ඒ නිසා මම බුද්ධ ධර්මය වගේම අනෙක් ආගම් ගැනත් සෑහෙන තරම් හැදෑරුවා. ඒ හැදෑරුවේ විශ්වාසයක් නැතුව වුවත් ආගම් බොරු කිරීමේ අදහසින් නෙමෙයි. විශ්වාසයක් ඇති කර ගත හැකි තරමේ දෙයක් හොයා ගත හැකිදැයි පරීක්ෂා කිරීමේ අරමුණින්. 

විවිධ ආගම් වලින් යෝජනා කරන ප්‍රවාද වියහැකියාවන් ලෙස ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මේ හැම ප්‍රවාදයක්ම එකවර ඇත්ත වෙන්න බැහැ. අනෙක් අතට විද්‍යාව කියන්නේත් කතන්දර ගොඩක් තමයි. නලින් ද සිල්වා කියා කියන්නේ එය තේරුම් ගන්න මට උපකාරී වූ පුද්ගලයෙක්. කොවූර්ගේ පොත් වගේම නලින් ද සිල්වාගේ මගේ ලෝකයත් මා හිතන ආකාරය විශාල ලෙස වෙනස් කළ පොතක්. 

දැනුම් ආධිපත්‍යය කියන අදහස මා මුලින්ම නලින් ද සිල්වාගෙන් ඉගෙනගත් දෙයක්. ඒ වගේම, විද්‍යාව කියන්නේ වාස්තවික යථාර්තයක් හෝ පරම සත්‍යයක් නොවන බව මුලින්ම තේරුම් ගත්තේත් නලින් ද සිල්වා හරහායි. ඒ සීමාවන්ට යටත්ව වුවත් විද්‍යාව පිළිබඳව විශ්වාසය තැබීම මට ප්‍රශ්නයක් නෙමෙයි. එය පරම විශ්වාසයක් නොවූවත් මට සාපේක්ෂව විවිධ විකල්ප අතර තිබෙන හොඳම විකල්පයයි.

නලින් ද සිල්වා විසින් භාවිතා කරන වචන සඳහා නලින් නැට්ටන් හා නලින් මැක්කන් ඔහු වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර අරගෙන තිබිය හැකි වුවත් ආධිපත්‍යය හරහා දැනුම සම්ප්‍රේෂණය කිරීම කියන එක අධ්‍යාපන මනෝ විද්‍යාවේ ප්‍රචලිත සංකල්පයක්. මෙය චාල්ස් පියර්ස් (1839–1914) විසින් විස්තරාත්මකව ඉදිරිපත් කළ අදහසක්. දන්නා තරමින් ඔහු පේටන්ට් එකක්නම් අරගෙන නැහැ. ඒ නිසා කවුරුවත් ඔහුට රෝයල්ටි ගෙවන්න අවශ්‍ය නැහැ. 

ඕනෑම කෙනෙක් මුලින්ම හා බොහෝ විට වැඩිපුරම ලබා ගන්නේ ආධිපත්‍යය හරහා සම්ප්‍රේෂණය වන දැනුම. පළමුවෙන්ම මේ ආධිපත්‍යය පතුරුවන්නේ දෙමවුපියන් විසින්. ලංකාව වගේ විස්තෘත පවුල් තිබෙන රටකනම් ආච්චිලා, සීයලා, නැන්දලා මාමලා වගේ ගොඩක් අය ඉන්නවා. දැනටත් ලංකාවේ ගොඩක් ළමයි උසස්පෙළට හදාරන විෂයයන් තීරණය කරන්නේ වැඩිහිටියෝ. වැඩිහිටියන් වූ පසු රජය, ජනමාධ්‍ය, ආගමික සංස්ථා, වෘත්තීය සංවිධාන ආදිය විසින් මේ වැඩේ කරනවා. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නෙමෙයි.

විවිධ දැනුම් ආධිපත්‍ය යටතේ ඉන්න බොහෝ දෙනෙක් එම දැනුම් ආධිපත්‍යයන් ප්‍රශ්නයක් කියා හිතන්නේ නැහැ. දැනුම් ආධිපත්‍යයන් පවතින්නේම කිසියම් සමාජයක වැඩි දෙනෙක් එවැන්නක් පිළිගන්න නිසයි. එහෙත්, කවර හෝ දැනුම් ආධිපත්‍යයකට අනුගත නොවන කෙනෙකුට එවැනි දැනුම් ආධිපත්‍යයකින් පීඩනයක් දැනෙනවා. ඒ වගේම දැනුම් ආධිපත්‍යයකින් නිදහස් වෙන්න අවශ්‍ය වුවත් එය කරන්න අමාරුයි. 

මටනම් පෞද්ගලිකව මුලින්ම ප්‍රශ්නයක් වුනේ සිංහල බෞද්ධ දැනුම් පද්ධතියේ ආධිපත්‍යයයි. කොවුර්ගේ පොත් ඒ ආධිපත්‍යයෙන් මානසිකව නිදහස් වෙන්න මට උපකාරී වුනා. ලංකාවේ ගෙදරින් පිට විධිමත් හා අවිධිමත් පොදු අධ්‍යාපනය තුළ බටහිර විද්‍යා දැනුමට ආධිපත්‍යයක් තිබීම එයට පහසුවක් වෙන්න ඇති. එහෙත් මෙය සිදු වුනේ මගේ තේරීමක් ලෙස නිසා බටහිර විද්‍යා දැනුම් ආධිපත්‍යය මට එතරම් පීඩාවක් වූයේ නැහැ. එතරම් කියා කීවේ දැනුම් ආධිපත්‍යයක යම් පීඩාවක් තිබෙන නිසයි. උදාහරණයක් විදිහට පාසැලේදී එන්නත් ලබා දෙන දවස් වල මා පාසැල් ගියේ ඉතාම අකැමැත්තෙන් මරන්න ගෙන යන හරකෙක් වගේ. (මරන්න ගෙන යන හරකෙක්ගේ හැඟීම් ගැන දැනගන්න හරකෙක් වෙන්නම අවශ්‍යයි කියා හිතන හරක් ඉන්න පුළුවන්!)

මානසිකව නිදහස්ව සිටියත්, සමාජයීය වශයෙන්නම් ලංකාවේ සිටියදී කවදාවත්ම සිංහල බෞද්ධ දැනුම් පද්ධතියේ ආධිපත්‍යයෙන් නිදහස් වෙන්න ලැබුණේ නැහැ. ලංකාවේ ජීවත්ව සිටියානම් අදටත් මේ පීඩාව විඳිමින් ජීවත් වෙන්න වෙනවා. එක පැත්තකින් එය මගේම තේරීමක්. එම ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මිල ගෙවන්න මට අවශ්‍ය වුනේ නැහැ කියන එක වඩා නිවැරදියි. හේතුවත් පැහැදිලියි. ලංකාවේදී ඒ ආධිපත්‍යයට අනුගත වීමේ සමාජයීය වටිනාකමක් තිබෙනවා.

බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පවතින්නේත් මේ හේතුව නිසා. නලින් ද සිල්වා කියනවා වගේම ලංකාවේ එවැනි ආධිපත්‍යයක් තිබෙනවා. නමුත්, එය ස්වභාවික සමතුලිතතාවයක්. ඒ වගේම, ලංකාවේ වැඩි දෙනෙකුගේ තේරීමක්. එම ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මිල ගෙවන්න හෝ ඒ  ආධිපත්‍යයට අනුගත වීමේ සමාජයීය වටිනාකම නැති කර ගන්න ලංකාවේ බොහෝ දෙනෙකුට අවශ්‍ය නැහැ. ඒ නිසා, එවැනි දැනුම් ආධිපත්‍යයක් තිබීම වැරැද්දක්ම නෙමෙයි. වැරැද්දක් සිදු වන්නේ වැඩි දෙනෙකුගේ කැමැත්ත රහිතව, ආණ්ඩු බලය යොදා ගෙන අකාර්යක්ෂමතාවය නිසා පරිණාමයේදී ස්වභාවිකවම දියාරු වී ගිය දැනුම් සඳහා කෘතීම ලෙස ආධිපත්‍යයක් ඇති කළොත් ඒ හේතුව නිසයි.

(Image: http://www.dailymirror.lk/news-features/The-cane-Our-children-as-our-priority/131-136637)


Thursday, January 7, 2021

තිරිසන් මනස්


පසුගිය ලිපියේ මාතෘකාව සම්බන්ධව කිහිප දෙනෙකුටම ප්‍රශ්න ඇති වී තිබෙනවා. ප්‍රශ්න ඇති වී තිබෙන්නේ "මනුෂ්‍ය නොවන දැනුම" යන යෙදීම සම්බන්ධවයි. එහෙත්, මේ යෙදීම ප්‍රශ්න කරන කිසිවෙකුත් "මනුෂ්‍ය නොවන දැනුම" ලෙස ඒ අය හඳුන්වන්නේ කුමක්ද කියන එක නිශ්චිතව සඳහන් කර නොතිබීමෙන් පැහැදිලි වන්නේ ඒ කිසිවෙකුටත් තමන් විසින් කියන දේවල් ගැන නිරවුල් අදහසක් නැති බවයි. 

ජගත් පතිරණට අනුව මේ යෙදීම නිසා නලින් ද සිල්වාට අපහාසයක් සිදු වී තිබෙනවා. එහෙත්, ඒ අපහාසය සිදු වුනේ කවර ආකාරයකින්ද කියන එක ඔහු පැහැදිලි කර නැහැ. මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම පිළිබඳව වසර කිහිපයක සිට නලින් ද සිල්වා විසින් අදහස් පළ කරමින් සිටිනවා. මේ ගැන කතා කළ හැකි දේවල් අපමණ තිබුණත් පාළු ගෙවල් වල වලං බිඳින එකේ තේරුමක් නැහැ. අප මෙහි ලියන දෙයකට එරෙහිව සුළු හෝ වැදගම්මක් ඇති විවේචනයක් එල්ල වූ විට අප ලියන දේ වෙනුවෙන් පෙනී සිටිනු මිස මෙය කියවන වැඩි දෙනෙකු විසින් කොහොමටත් බරපතල සේ නොසලකන අදහස් වලට එරෙහිව ලියන්නට අපේ කාලය නාස්ති කිරීම එතරම් තේරුමක් නැති වැඩක්.

නලින් ද සිල්වාගේ අදහස් ගැන කතා කරන එක මා වසර තිහකට වැඩි කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් කර ඇති දෙයක්. නමුත්, එවැනි සාකච්ඡාවක් සඳහා ගැලපෙන කෙනෙක් හමු වන්නේ ඉතාම කලාතුරකින්. නලින් ද සිල්වාගේ මූලික විවේචනයක් වන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් බටහිර දැනුමේ අනුකාරකයින් බවයි. මේ විවේචනය මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එවැනි විවේචනයක් කරන නලින් ද සිල්වා විසින් පසුගිය කාලය මුළුල්ලේ කර තිබෙන්නේද ඔහු කියන දේ එලෙසම වමාරන්නට පමණක් දන්නා අනුකාරකයින් පිරිසක් හදන එකයි. මෙය නලින් ද සිල්වා විසින් හිතාමතා කළ දෙයක් කියා මා කියන්නේ නැහැ. ඇතැම් විට මේ ගැන ඔහුගේත් මනාපයක් නැති වෙන්න පුළුවන්. ඔහුම වරින් වර කියා තිබෙන්නේ ඔහුට ගෝලයින් නැති බවයි.

ඒ විදිහට නලින් ද සිල්වා කියන දේවල් ගැන තමන්ටවත් අවබෝධයක් නැතුව වමාරන්නට පමණක් දන්නා නලින් පෝතකයින් හා නලින් නැට්ටන් මිස නලින් ද සිල්වාගේ අදහස් වෙනුවෙන් සෘජුව පෙනී සිටින කෙනෙක් තවමත් අපට මේ වියුණුව හරහා හමු වී නැහැ. අනෙක් පැත්තෙන් නලින් ද සිල්වාගේ විවේචකයින් ලෙස හමු වන්නේ නලින් ද සිල්වා යනු කිසිම වැදගැම්මකට ඇති අදහසක් පළ නොකරන අයෙකු සේ සලකන අයයි. ඔය ගොඩවල් දෙකේම නැති සුළු පිරිසක් වරින් වර සැබෑ ලෝකයේදී හමු වී ඇතත් මේ වියුණුව හරහානම් එවැන්නෙකු මෙතෙක් හමු වී තිබුණේ නැහැ. මේ දෙගොඩටම නැති එක් අයෙකු පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දක්වා තිබීම සතුටට කරුණක්.

නලින් ද සිල්වාගේ අදහස් ගැන පොදු වශයෙන් මෙහි කතා කිරීම පාළු ගෙයි වලං බිඳීමක් වුවත්, අප විසින් ලියූ ලිපියේ මාතෘකාව විවේචනය කරමින් පළ කර ඇති ඇති කරුණු පිළිබඳව අපට තවදුරටත් අදහස් දැක්විය හැකියි.

මනුෂ්‍ය නොවන දැනුම් ගැන කතා කරන්නට කලින් දැනුමක් කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුතුයි. 

ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝෂය දැනුම (knowledge) යන වචනය අර්ථ දක්වන්නේ පහත ආකාරයටයි.

අධ්‍යාපනය හා පළපුරුද්ද තුළින් ලබා ගන්නා තොරතුරු, අවබෝධය හා කුසලතා (the information, understanding, and skills that you gain through education or experience).

ඉහත අර්ථදැක්වීම මේ මාතෘකාව ගැන කතා කරන වෙනත් අය විසින්ද භාවිතා කර තිබෙන නිසාත්, මේ අර්ථදැක්වීම සමඟ පෞද්ගලිකව මට එකඟ විය හැකි නිසාත්, මා සාකච්ඡාවට ප්‍රවේශයක් ලෙස මේ අර්ථදැක්වීම ගන්නවා. කිසියම් අයෙකු මේ අර්ථදැක්වීම සමඟ එකඟ නොවන්නේනම්, ඒ පිළිබඳව වැඩිදුර කතා කළ හැකියි.

දැනුම සහ දැනීම යනු දෙකක් බව කතා කතු විසින් අපට මතක් කර දී තිබෙනවා. තවත් අයෙක් ඉව කියන වචනය ඉදිරිපත් කර තිබෙනවා. දැනීම කියන්නේ දැනුම නොවන බව විවාද කළ යුතු කරුණක් නෙමෙයි. මිනිසෙකුගේ කවර හෝ ඉන්ද්‍රියයකට යමක් දැනෙන්න අධ්‍යාපනයක් හෝ පළපුරුද්දක් අවශ්‍යම නැහැ. එය උපතින්ම ලැබෙන හැකියාවක්. ජීවවිද්‍යාත්මක කරුණක්. ගින්දර අල්ලන විට පළමුව උණුසුමත් දෙවනුව වේදනාවත් දැනෙන එක දැනුමට සම්බන්ධ දෙයක් නෙමෙයි. නමුත්, සමහර දේවල් දැනෙන්නේ අධ්‍යාපනය හෝ පළපුරුද්ද හරහා ලැබෙන දැනුම හරහා. මෙහි කිසියම් කෙනෙක් ප්‍රතිචාරයක් දමන කොට මේ එන්නේ මොකාටද කියා දැනෙන්නේ පළපුරුද්ද නිසා. ඉව කියන එකත් දැනීමටම සම්බන්ධ දෙයක්. දැනුම නැතත් ඉව තියෙන්න පුළුවන්. දැනීමට හෝ ඉවට ප්‍රතිචාර දැක්වීම සඳහා දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, දැනුමක් තිබෙන කෙනෙක් දැනීමට හෝ ඉවට ප්‍රතිචාර දැක්වීමේදී එය වෙනස් ආකාරයකට කරන්න පුළුවන්.

මිනිස් දරුවෙක් උපදින්නේ දැනුමක් නැතුවයි. දැනුම කියා කියන්නේ උපතින් පසුව ලබා ගන්නා දෙයක්. ගින්දර අල්ලා අත පිච්චෙන විට යමෙක් ක්ෂණිකව අත ඉවත් කර ගන්නේ දැනුම නිසා නොවුණත්, ගින්දර අල්ලා නොසිටින්නේ දැනුම නිසා. කුඩා කාලයේ ගින්දර අල්ලන දරුවන් වයසින් වැඩෙද්දී ගින්දර නොඅල්ලන්නේ ඒ නිසයි. නැවත නැවතත් ගින්දරම අල්ලන, වයසින් නොවැඩෙන වැඩිහිටි දරුවන්ට මෙය අදාළ නැහැ.

දැනුම ගැන කතා කරන බොහෝ අවස්ථා වලදී අප කතා කරන්නේ මනුෂ්‍ය දැනුම ගැනයි. ඒ කියන්නේ එක් මනුෂ්‍යයකු හෝ පොදුවේ මනුෂ්‍යයන් විසින් අධ්‍යාපනය හෝ පළපුරුද්ද හරහා ලබා ගන්නා තොරතුරු, අවබෝධය හා කුසලතා. දැනුම ලබා ගත හැක්කේ මනුෂ්‍යයන්ට පමණක්ද?

බටහිර ලෝකයේ මනුෂ්‍ය නොවන දැනුම ගැන කතා කරන සන්දර්භ දෙකක් තිබෙනවා. පළමුවැන්න, කාබනික ජීවීන් නොවන යන්ත්‍රයකට දැනුම ලබා ගත හැකිද කියන එකයි. දෙවැන්න මනුෂ්‍යයන් නොවන වෙනත් කාබනික ජීවීන්ට දැනුම ලබා ගත හැකිද කියන එකයි. නලින් ද සිල්වා කතා කරන මනුෂ්‍ය නොවන දැනුම මේ දෙකෙන් එකක්වත් නෙමෙයි. නලින් ද සිල්වාත්, නලින් පෝතකයින් හා නලින් නැට්ටනුත් කතා කරන මනුෂ්‍ය නොවන දැනුම ගැන මටනම් පැහැදිලි අදහසක් නැහැ. මෙහි ප්‍රතිචාර දැමූ කිසිවෙකුට, නලින් ද සිල්වා කියන දේවල් තම තමන් විසින් කියවා ගන්නා ආකාරය වමාරනවා මිස, ඒ ගැන අදහසක් ඇති බවක් පෙනෙන්නේත් නැහැ. 

නලින් ද සිල්වා කතා කරන හා නලින් නැට්ටන් විසින් වමාරන නාථ දෙවියන් මටනම් හිතින්වත් මවාගන්න අමාරුයි. සරල රේඛාවක් හිතින් මවා ගන්න බැරි බව කියන නලින් ද සිල්වාට නාථ දෙවියන් හිතින් මවා ගත හැකි බව ඔහු කිහිප වර සඳහන් කර තිබෙන දෙයක්. මටනම් සරල රේඛාවක් හිතින් මවා ගන්න පුළුවන්. අවශ්‍යනම් රේල් පාරක් හැතැම්ම ගණනක් කෙළින් තිබෙන තැනක රේල් පීල්ලක දාරය ගැන හිතන්න. ඔය දාරයේ ගණකම ශුන්‍ය සේ සලකන එකත්, රේල් පීල්ල අනන්තය දක්වා දික් කරන එකත් පහසුවෙන් හිතින් කරන්න පුළුවන්. එහෙත්, නාථ දෙවියන් හෝ වෙනත් දෙවි කෙනෙක් මටනම් හිතින්වත් මවා ගන්න බැහැ. සමහර හින්දු හෝ බෞද්ධ දෙවිවරුන්ගේ පිළිමනම් හිතින් මවා ගන්න පුළුවන්. ඒ හිතින් මවා ගන්නා පිළිම සහ අප එදිනෙදා දකින මිනිස් රූප අතර ලොකු වෙනසක් නැහැ. දේව රූපයක් මිනිස් රූපයකින් වෙනස් වුනොත්, බොහෝ විට මිනිසෙකුගේ හා සතෙකුගේ හයිබ්‍රිඩ් එකක්. ගණ දෙවි රූපය අලි ඔළුවක් තිබෙන මිනිස් රූපයක්. අනිබස් දේව රූපය බලු ඔලුවක් තිබෙන මිනිස් රූපයක්. ලංකාවේ සමහර පන්සල් වල දේව රූප වලට තිබෙන්නේ ඒවා හදන දවස් වල ඒ පැතිවල හිටපු ඉංග්‍රීසි පාලකයන්ගේ මුහුණු.

හැබැයි ඉතිං මට නාථ දෙවියන් හමු නොවුනා හෝ නාථ දෙවියන් හිතින් මවා ගන්න බැරි වුනා කියා නාථ දෙවියන් කියා කෙනෙක් නැති බව තහවුරු වන්නේ නැහැ. මගේ ලෝකයේ එහෙම කෙනෙක් නැති වුනත් වෙනත් අයගේ ලෝක වල ඉන්න පුළුවන්. ඒ නිසා, එවැනි කෙනෙක් ඉන්නවා කියා හිතන අයගේ විශ්වාස වලට මම පහර දෙන්න යන්නේ නැහැ. නාථ දෙවියන් විශ්වාස කරන අයගේ ඒ විශ්වාස දැරීමේ අයිතිය වෙනුවෙන් මම පෙනී සිටිනවා. එහෙත් මම පෞද්ගලිකව මනුෂ්‍ය නොවන දැනුම් ලෙස තේරුම් ගන්නේ අර කලින් සඳහන් කළ අකාබනික යන්ත්‍ර වල හෝ වෙනත් කාබනික ජීවීන්ගේ දැනුම් මිස මට කිසිම අදහසක් නැති නාථ දෙවියන්නම් කෙනෙකුගෙන් හෝ වෙනත් මට නොපෙනෙන, නොදැනෙන කෙනෙකුගෙන් වෙනත් අයට ලැබෙන මනුෂ්‍ය නොවන දැනුම් නෙමෙයි. 

අකාබනික යන්ත්‍ර වල හෝ වෙනත් කාබනික ජීවීන්ගේ දැනුම් ගැන කතා කරන එක බොහෝ විට සිදුවන්නේ මිනිසුන්ට හැර මේ අනෙකුත් කාණ්ඩ දෙකේ අයටත් විඥානයක් තිබෙනවාද කියන ප්‍රශ්නයත් එක්කයි. අපේ ප්‍රස්තුතයට වඩා අදාළ වෙනත් කාබනික ජීවීන් නිසා අපි දැනට අකාබනික යන්ත්‍ර පැත්තකින් තියමු.

මනුෂ්‍ය දැනුම කියන එක ගැන කවුරුත් වගේ එකඟ වෙනවා. මේ දැනුම සමඟ විඥානය (consciousness) සම්බන්ධ කිරීමත් බොහෝ දෙනෙක්ට ගැටළුවක් නැති කරුණක්. විඥානයක් තියෙන්නේ මිනිස්සුන්ට විතරද? සත්තුන්ට තිබෙන්නේ දැනීමක්, ඉවක් එහෙමත් නැත්නම් සහජාසයක් පමණද? ඊට අමතරව අධ්‍යාපනය හා පළපුරුද්ද හරහා තොරතුරු, අවබෝධය හා කුසලතා ලබා ගැනීම හෙවත් දැනුම ලබා ගැනීම සත්තුන්ට කරන්න බැරිද?

පෙරදිග, විශේෂයෙන්ම බෞද්ධ හා හින්දු චින්තනය ඇතුළේනම් සත්තුන්ටත් මිනිස්සුන්ට වගේම විඥානයක් තිබෙනවා. මේ කරුණ තහවුරු කරන්න උදාහරණ අවශ්‍යයි කියා මම හිතන්නේ නැහැ. ඒ වගේම, මිනිස්සුන්ගෙන් සත්තුන්ට මාරු විය හැකි ආත්මයක්ද තිබෙනවා. නොනැසෙන සදාකාලික ආත්මයක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඇති වී නැති වෙන චිත්ත පරම්පරාවක් වෙන්න පුළුවන්. මොකක් වුනත් මිනිස්සුන්ට තියෙන එක සත්තුන්ටත් තිබෙනවා. 

සත්තුන්ට මිනිස්සුන්ට මෙන් ආත්මයක් නැහැ කියන එකත්, සතුන් ක්‍රියා කරන්නේ තනිකරම සහජාසය මත කියන එකත්, ආබ්‍රහමික ආගම් වල හා නලින් ද සිල්වාගේ විවේචනයට නිබඳ පාත්‍ර වෙන ඇරිස්ටෝටල්ගෙන් පටන් ගන්නා බටහිර දාර්ශනික සම්ප්‍රදාය තුළ වර්ධනය වූ අදහසක්. නමුත්, මේ අදහස මේ වන විට බටහිර ලෝකය තුළම බිඳ වැටී අවසන්. මේ සුසමාදර්ශ වෙනසේ තීරණාත්මකම කඩඉමක් ලෙස හැඳින්විය හැක්කේ 2012 කේම්බ්‍රිජ් ප්‍රකාශනයයි.  

We declare the following: “The absence of a neocortex does not appear to preclude an organism from experiencing affective states. Convergent evidence indicates that non-human animals have the neuroanatomical, neurochemical, and neurophysiological substrates of conscious states along with the capacity to exhibit intentional behaviors. Consequently, the weight of evidence indicates that humans are not unique in possessing the neurological substrates that generate consciousness. Nonhuman animals, including all mammals and birds, and many other creatures, including octopuses, also possess these neurological substrates.”

නිවැරදි පාරිභාෂික වචන සියල්ලම නොදන්නා නිසා මම ඉහත ප්‍රකාශනය සිංහලට පරිවර්තනය කරන්නේ නැහැ. සරලව කියනවානම් මෙයින් කියන්නේ හිතන්න පුළුවන් මිනිස්සුන්ට පමණක් නෙමෙයි කියන එකයි. ඇරිස්ටෝටල්ගේ සිට ඉහත ප්‍රකාශනය දක්වා පැමිණි දිගු ගමන ගැන හෝ සතුන්ගේ දැනුම, මතකය හා සිතීමේ හැකියාව පෙන්වන මෑත කාලීන පර්යේෂණ ගැන කතා කරන්න මම කාලය යොදවන්නේ නැහැ.

මේ වැඩේට ලංකාවෙන්ම උදාහරණ පෙන්වන්න අමාරු නැහැ. අර අලි වැට ගහපු පැති වල අලි කොට ගෙනත් වැටට තියලා වැට පනින්නේ සහජාසය හෝ ඉව නිසා නෙමෙයි. අධ්‍යාපනය හා පළපුරුද්ද තුළින් තොරතුරු, අවබෝධය හා කුසලතා ලබා ගැනීම සත්තුන්ටත් පොදුයි. 

ඉහත උදාහරණයෙන් අලින්ට දැනුමක් තිබෙන බව පැහැදිලි වන නමුත් ඒ දැනුම මිනිස්සුන්ට නැති, අලින්ට අනන්‍ය දැනුමක් නෙමෙයි. ඒ නිසා, එය මනුෂ්‍ය නොවන දැනුමක් වුවත් මනුෂ්‍ය දැනුමක් බවට පත් කර ගන්න අවශ්‍ය දැනුමක් නෙමෙයි. 

බල්ලන්ගේ ආඝ්‍රාණ ඉන්ද්‍රිය මිනිස්සුන්ගේ එම ඉන්ද්‍රියට වඩා වර්ධනය වී තිබුණත් ඒ හේතුව නිසාම බල්ලන්ට බිම් බෝම්බ හෝ කෝවිඩ් ආසාදිතයින් හඳුනාගන්න බැහැ. එය කළ හැකි වන්නේ අධ්‍යාපනය හා පළපුරුද්ද හරහා එම කුසලතාවය වර්ධනය කර ගැනීමෙන් පසුවයි. එය බල්ලන්ගේ දැනුමක් වනවා වගේම මිනිස් දැනුමක් නොවන බල්ලන්ට අනන්‍ය දැනුමක්. බල්ලන් ලවා ඒ වැඩේ කරගන්නා ආකාරය මිනිස් දැනුමක්. බල්ලෙක් බිම්බෝම්බ තිබෙන තැන පෙන්වන බව මිසක් බල්ලා බිම්බෝම්බ හොයා ගන්නේ කොහොමද කියන එක මිනිස්සු දන්නේ නැහැ. ඒ වගේම, බිම්බෝම්බ හොයද්දීත්, කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගනිද්දීත් බල්ලන්ට ඕනෑ තරම් වරදිනවා. බල්ලන්ට එහෙම වරදිනවා කියන එකත් මිනිස් දැනුමක්.

නලින් ද සිල්වාගේ තර්ක බොහොමයක්ම වැරදියි කියා සෛද්ධන්තිකවම පෙන්විය නොහැකි තර්ක. තර්ක ගොඩනගලා තිබෙන්නේම චක්‍රීය ආකෘතියක. උදාහරණයක් විදිහට නලින් ද සිල්වාට අනුව සිංහල බෞද්ධයෙක්ට කවදාවත් බටහිර විද්‍යාඥයෙක් වෙන්න බැහැ. මේ තර්කය කවදාවත් බිඳින්න පුළුවන් එකක් නෙමෙයි. මොකද කවුරු හරි කෙනෙක් නලින් ද සිල්වාගේ සම්මත අනුව බටහිර විද්‍යාඥයෙක් වුනොත්, ඒ පුද්ගලයා සිංහල බෞද්ධ සංස්කෘතියේ නොඉන්න බව පහසුවෙන්ම කියන්න පුළුවන්. මේක නලින් ද සිල්වාගේ මූලික අදහස ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. 

නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමත් ඔය වගේම බිඳින්න අමාරු තර්කයක්. මොකද අදාළ ප්‍රවාදය අනුවම ඕනෑම කෙනෙක්ට මේ ආකාරයට දෙවියන්ගෙන් දැනුම ලබා ගන්න බැහැ. ඒ නිසා, මට නාථ දෙවියන්ව නොපෙනුනා කියා නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම නොකළ හැක්කක් බව තහවුරු වෙන්නේ නැහැ. මෙහි තිබෙන පළමු ප්‍රශ්නය වන්නේ වංචනිකයෙකුට පහසුවෙන්ම නලින් ද සිල්වාගේ ප්‍රවාදය තමන්ගේ වාසියට හරවා ගත හැකි වීමයි. එවැනි වංචනිකයින් කොපමණ හමු වුනත් ඒ හේතුව නිසා නලින් ද සිල්වාගේ ප්‍රවාදය බිඳෙන්නේත් නැහැ. අනෙක් අතට දෙවියන්ගෙන් ලැබෙන දැනුමක් නිවැරදි නැති වුනා කියා දැනුම ලබාගත් පුද්ගලයා වංචනිකයෙක් වෙන්නෙත් නැහැ. මොකද ප්‍රවාදය අනුවම දෙවියන් විසින් ලබා දෙන තොරතුරු නිවැරදි නොවෙන්න පුළුවන්. බල්ලන්ට වගේම දෙවියන්ටත් වරදිනවා. දෙවියෝ හිතාමතාම බොරුවක් කරන්නත් පුළුවන්.

දැන් නලින් ද සිල්වාගේ අලුත්ම පර්යේෂණය දෙවියන් හරහා ඉතිහාස දැනුම ලබා ගැනීමනේ. දැන් ඔය උතුරේ යුද්ධයේදී මැරුණු එල්ටීටීඊ සාමාජිකයෝ ඉන්නවනේ. ඒ අයට ඒ දවස් වල උගන්වපු ඉතිහාසයකුත් තිබුණනේ. මේ අයගෙන් කොටසක් දෙවිවරු හෝ වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණීන් වෙලා (මම එවැන්නක් විශ්වාස නොකළත්) සිංහලයින් විශාල පිරිසකට ඉතිහාස දැනුම ලබා දුන්නොත් ඒ දැනුම පිළිගන්න වෙනවද? එවැනි දැනුමක් පිළිගන්න බැරිනම් ඒ විදිහටම ලැබෙන සිංහලයින්ට වාසිදායක දැනුමක් පිළිගැනීම නිවැරදිද?

නලින් ද සිල්වාගේ ප්‍රවාදය අනුවම බැලුවත් දෙවි කෙනෙකුගෙන් ලැබෙනවා කියා කියන දැනුම භාවිතයට ගත යුත්තේ පරීක්ෂාවට ලක් කර මිනිස් දැනුමක් බවට පත් කර ගැනීමෙන් පසුවයි. අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ කොහොමද කියන එක දැන නොගත්තා කියා ප්‍රශ්නයක් නැහැ. නමුත්, අඩු වශයෙන් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන බව තහවුරු වී නැත්නම් එහි දෙවියන්ගේ නියෝජිතයාගේ බොරුවකට අහුවීමේ අවදානම වගේම දෙවියන්ගේ බොරුවකට අහු වීමේ අවදානමත් තිබෙනවා.


Sunday, January 3, 2021

කෝවිඩ් පරීක්ෂාවට මනුෂ්‍ය නොවන දැනුම


ඇමරිකාව තුළ මුලින්ම කෝවිඩ් පැතිරෙද්දී තිබුණු ලොකුම ප්‍රශ්නය ප්‍රමාණවත් තරම් කෝවිඩ් පරීක්ෂණ කට්ටල නැති වීම. නිවු යෝර්ක්, නිවු ජර්සි වගේ ප්‍රාන්ත වල කෝවිඩ් පැතිරෙද්දී පරික්ෂාවට ලක් කර හඳුනා ගැනුනේ කෝවිඩ් ආසාදිතයින් අතරින් දරුණු රෝග ලක්ෂණ පහළ වූ අය පමණයි. ඒ නිසා, ඇමරිකාවේ කෝවිඩ් මරණ අනුපාතය ඉතා ඉහළ මට්ටමක ඇති බව පෙනෙන්නට තිබුණා. සාපේක්ෂව වැඩියෙන් කෝවිඩ් පරික්ෂා කිරීමට සමත් වූ ජර්මනිය වැනි රටවල මරණ අනුපාතයද අඩු මට්ටමක ඇති බව පෙනෙන්නට තිබුණා. කෝවිඩ් පරීක්ෂණ කට්ටල සුලභ වීමෙන් පසුව රෝගය ව්‍යාප්ත වූ රටවල මරණ අනුපාතය තවත් අඩු බව පෙනෙන්නට තිබෙනවා.

කෝවිඩ් පරීක්ෂා සිදු කිරීම ක්ෂණිකව කිරීම අසීරු, තරමක කාලයක් ගත වන කටයුත්තක්. ඒ නිසා, සැක සහිත කෝවිඩ් කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම වැනි දේ ප්‍රචලිතව තිබෙනවා. ඒ වගේම, කෝවිඩ් පරීක්ෂාවන්හි නිරවද්‍යතාවය එතරම් ඉහළ මට්ටමකද නැහැ. කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මිනිසුන්ට නොදැනෙන දේ දැනෙන වෙනත් සතුන් යොදා ගන්න බැරිද?

කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පුහුණු කළ සුනඛයින්ව යොදා ගත හැකි බව මේ වන විට තහවුරු වී තිබෙනවා වගේම රටවල් කිහිපයක්ම මේ ක්‍රමය දැනටමත් යොදා ගන්නවා.

ජර්මන් පර්යේෂක කණ්ඩායමක් විසින් පළ කර තිබෙන පර්යේෂණ පත්‍රිකාවකට අනුව, දින හතක පුහුණුවක් ලැබූ සුනඛයින් අට දෙනෙකුට ස්වයංක්‍රීය ලෙස අහඹු නියැදි 1,012ක් ඉදිරිපත් කිරීමේදී, ඒවායින් 157ක් පොසිටිව් ලෙසත්, 792ක් නෙගටිව් ලෙසත් නිවැරදිව හඳුනා ගැනීමට මේ සුනඛයින් සමත් වී තිබෙනවා. ඔවුන්ට වැරදී තිබෙන්නේ අවස්ථා 63කදී පමණයි.

ප්‍රංශ හා ලෙබනන් පර්යේෂක කණ්ඩායමක් විසින් පළ කර තිබෙන තවත් පර්යේෂණ පත්‍රිකාවට අනුව, ඔවුන් විසින් පරීක්ෂාවට ලක් කළ සුනඛයින් හය දෙනෙකු 76%-100% අතර නිරවද්‍යතාවයකින් යුතුව කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගෙන තිබෙනවා. මේ කෝවිඩ් ආසාදිතයින්ට රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන්නන්ද ඇතුළත්.

පුහුණු කළ සුනඛයෙකුට පැයකට පුද්ගලයින් 250 දෙනෙකු පමණ පරීක්ෂා කළ හැකියි. ෆින්ලන්තය, ඩුබායි, චිලී ඇතුළු රටවල් ගණනාවක කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දැනටමත් සුනඛයින් යොදා ගැනෙනවා.

References

Jendrny, P., Schulz, C., Twele, F., Meller, S., von Köckritz-Blickwede, M., Osterhaus, A. D. M. E., ... & Manns, M. P. (2020). Scent dog identification of samples from COVID-19 patients–a pilot study. BMC infectious diseases, 20(1), 1-7.

Grandjean, D., Sarkis, R., Lecoq-Julien, C., Benard, A., Roger, V., Levesque, E., ... & Berceau-Falancourt, D. (2020). Can the detection dog alert on COVID-19 positive persons by sniffing axillary sweat samples? A proof-of-concept study. PloS one, 15(12), e0243122.


Saturday, January 2, 2021

එන්නත් විරෝධය හමුවේ සාමූහික ප්‍රතිශක්ති අභියෝගය


මේ වෙද්දී ලෝකයේ හැම රටකම වගේ පළමු ඉලක්කය වී තිබෙන්නේ හැකි ඉක්මණින් කෝවිඩ් වලට එරෙහිව සාමූහික ප්‍රතිශක්තිය හදා ගැනීමයි. ඒ සඳහා, විශ්වාසනීයම මාර්ගය වැටී තිබෙන්නේ එන්නත් හරහා. මෙහිදී බොහෝ අඩු ආදායම්ලාභී රටවලට ප්‍රශ්නයක් වී තිබෙන්නේ එන්නත් වල මිල හා එන්නත් ලබා ගැනීමට පොරොත්තු ලේඛණයක ඉන්න වී සිටීමයි.

කෝවිඩ් එන්නත්කරණය අතින් ඉදිරියෙන්ම සිටින රට ලෙස හැඳින්විය හැක්කේ ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය මේ වන විට එරට මිලියන 9කට නොවැඩි ජනගහණයෙන් මිලියනයක්ම එන්නත් කර අවසන්. පසුගිය නොවැම්බර් මාසයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, යුදෙවු හා ග්‍රීක සම්භවයක් ඇති පයිසර් ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බොර්ලා සමඟ පෞද්ගලිකවම කතා කර පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් ඊශ්‍රායලයට කලින්ම ලබා ගැනීමට ගිවිසුමක් ඇති කර ගත්තා. ඇතැම් වාර්තා අනුව, ඊශ්‍රායලය විසින් මේ එන්නත් ලබා ගෙන තිබෙන්නේ ඩොලර් 62ක් තරම් අධික මිලකට. ඇමරිකාව පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් ලබා ගත්තේ ඩොලර් 19.50 බැගිනුයි.

චීන බලධාරියෙකු උපුටා දක්වන බ්ලූම්බර්ග් අනුව චීනය තුළ මේ වෙද්දී කෝවිඩ් එන්නත් මිලියන 4.5ක් ලබා දී තිබෙනවා. මුලින්ම එන්නතක් අනුමත කළ බටහිර රට වන එක්සත් රාජධානිය දෙසැම්බර් 27 වන විට එන්නත් මිලියනයක් පමණ ලබා දී තිබෙන අතර ඇමරිකා එක්සත් ජනපදය දෙසැම්බර් 30 වන විට එන්නත් මිලියන 2.8ක් ලබා දී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීම සඳහා තිබෙන ප්‍රධානම බාධාව රට තුළ තිබෙන ප්‍රබල එන්නත් විරෝධයයි. ජනමත සමීක්ෂණ අනුව, කෝවිඩ් එන්නතක් ලබා ගැනීමට සූදානම්ව සිටින්නේ ඇමරිකානුවන්ගෙන් 58%ක් පමණයි. මේ තත්ත්වය යටතේ දැනට අනුමත කර තිබෙන 95%ක ඵලදායීතාවයක් තිබෙන එන්නත් දෙකෙන්ම ගොඩ යනවා මිස අඩු ඵලදායීතාවයක් තිබෙන ඇස්ට්‍රසෙනිකා වැනි එන්නතකින් ඇමරිකාවට ගොඩ යන්න අමාරුයි. 70%ක ඵලදායී තාවය තිබෙන එන්නතකින් ප්‍රතිශක්තිය ඇති කර හැක්කේ 40%කගේ පමණයි. නමුත්, 95%ක ඵලදායී තාවය තිබෙන එන්නතකින් 55%කගේ ප්‍රතිශක්තිය ඇති කර ගත හැකියි. ඒ ගණනට, කෝවිඩ් හැදී ප්‍රතිශක්තිකරණය ලැබුණු 10%ක් පමණ එකතු වූ විට 65%ක පමණ මට්ටමට යා හැකියි.

එන්නත්කරණය වැනි කටයුත්තක් මධ්‍යගත ඒකාධිපති පාලනයක් ඇති රටකට ප්‍රජාතන්ත්‍රවාදී රටකට වඩා සාර්ථකව කළ හැකියි. ප්‍රජාතන්ත්‍රවාදී රටකට එන්නත් විරෝධීන්ගේ හඬටද ඉඩක් දෙන්න සිදු වෙනවා. ඇමරිකාව තුළ එන්නත් විරෝධීන්ගේ හඬද ප්‍රබලයි.

මේ වියුණුව දිගටම කියවන අය දන්නා පරිදි, මා එන්නත් විරෝධයට එරෙහිව එන්නත්කරණය වෙනුවෙන් පෙනී සිටින අයෙක්. එහෙත්, බලහත්කාරයෙන් එන්නත් කිරීම මා අනුමත කරන්නේ නැහැ. අවශ්‍ය කෙනෙකුට එන්නතක් ලබා ගැනීමේ නිදහස වගේම එන්නතක් ලබා නොගෙන සිටීමේ නිදහසද තිබිය යුතුයි. එන්නත් විරෝධීන්ගේ හඬ කරුණු මත පදනම්ව පරාජය කරනු මිස යටපත් නොකළ යුතුයි.

එන්නත් කියන්නේ කෝකටත් තෛල නෙමෙයි. එන්නත් විරෝධීන් විසින් පෙන්වා දෙන බොහෝ හානි එන්නත් වල ඇත්තටම තිබෙනවා. එන්නත් විරෝධීන් විසින් බොහෝ විට කරන්නේ මේ ඇත්තටම තිබෙන හානි අතිශයෝක්තියෙන් යුතුව උලුප්පා පෙන්වීමයි. එවැනි හානි තිබියදීත් එන්නත්කරණය වෙනුවෙන් පෙනී සිටින මා ඇතුළු බොහෝ දෙනෙක් එසේ කරන්නේ එන්නත් වලින් ලැබෙන වාසි සිදුවන හානි වලට වඩා වැඩි නිසයි.

කෝවිඩ් එන්නත් මහා පරිමාණයෙන් ලබා දීම සිදු වන්නේ සාමාන්‍යයෙන් එන්නතක් පරීක්ෂාවට ලක් කෙරෙන කාලය තුළ ඒවා පරීක්ෂා නොකරයි. ඒ නිසා, මේ එන්නත් වලින් දිගුකාලීනව අතුරු ආබාධ ඇති නොවන බවට අපට සහතික කරන්න බැහැ. නමුත්, එවැනි අතුරු ආබාධ තිබේද කියා දැනගන්නත් කෝවිඩ් වලින් බේරී ජීවත් වෙන්න වෙනවා.

වයස ඇතුළු වෙනත් ඇතැම් සාධක අනුව කෝවිඩ් යනු ඇතැම් අයට ගණන් ගත යුතු මට්ටමේ ලෙඩක් නෙමෙයි. එවැනි අයෙක් එන්නතේ අතුරු ආබාධ වල අවදානම ගන්නවා වෙනුවට කෝවිඩ් වැළඳීමේ අවදානම ගන්නවානම් එවැන්නෙකුගේ පෞද්ගලික තීරණයට ඉඩ දිය යුතුයි. ඇමරිකාවේ එන්නත් විරෝධීන් බොහෝ දෙනෙක් කෝවිඩ් අවදානමද එතරම් දුරට නොතකන අයයි. ඒ නිසා, එවැනි අය එන්නත සඳහා තරඟ නොකර කෝවිඩ් හදා ගැනීමෙන් ප්‍රතිශක්තිය හදා ගැනීම නිසාද අවසාන වශයෙන් ඇමරිකාවට සාමූහික ප්‍රතිශක්ති ඉලක්කයට යාම පහසු වෙනවා. ඒ වගේම, ඔවුන් එන්නත් සඳහා වන තරඟයෙන් ඉවත් වීම නිසා එන්නත් අවශ්‍ය අයට වඩා ඉක්මණින් එන්නතක් ලබා ගැනීමේ අවස්ථාවද හිමි වෙනවා.


Thursday, December 31, 2020

Do you love me? සුබ නව වසරක්!



ගෙවුණු වසර මුලදී සුබ නව වසරක් කියා අපි බොහෝ දෙනෙක් විසින් කරපු ප්‍රාර්ථනා ඒ විදිහටම ඉටු වුනා කියා කියන්න අමාරුයි. මම හිතන්නේ ගෙවුණු අවුරුද්ද අපි බොහෝ දෙනෙක්ගේ ජීවිත වල අත්දැකපු නරකම අවුරුද්දක්. ඒ නිසාම, එළැඹෙන අවුරුද්ද ගෙවෙනු වසරට වඩා යහපත් වසරක්විය යුතුමයි. හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවුනත්, අඩු වශයෙන් එළැඹෙන වසර වඩා යහපත් වසරක් කර ගන්න අපට හැකි පමණින් අපි උත්සාහ කරමු.


වසරක් ගණනක් සිදු තිස්සේ සිදු වූ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ සමාප්තිය සටහන් කරමින් යුරෝපීය සංගමය හා බ්‍රිතාන්‍යය අතර සංචරණය සඳහා වූ පූර්ණ නිදහස අදින් අවසන් වෙනවා. ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ 521-73 ලෙස විශාල බහුතරයකින් සම්මත වූ වෙළඳ ගිවිසුම අනුව බ්‍රිතාන්‍ය-යුරෝපීය සංගම් දේශ සීමාව හරහා තීරු බදු හෝ කෝටා කිසිවක් රහිතව තව දුරටත් භාණ්ඩ හුවමාරු වනු ඇතත්, භාණ්ඩ හුවමාරුව සඳහා තිබෙන ඒ නිදහස සේවා හුවමාරුවට තවදුරටත් හිමි වන්නේ නැහැ. මේ අනුව, බ්‍රිතාන්‍ය හා යුරෝපීය සරසවි අතර පැවති සිසු හුවමාරු වැඩසටහන් ඇතුළු බොහෝ ගිවිසුම් අවසන් වෙනවා.

පසුගිය සියවස පුරා ලෝකයේ රටවල් අතර භාණ්ඩ වෙළඳාම සඳහා වූ බාධාවන් විශාල සේ අඩු වුනත්, සේවා හුවමාරු හා සංක්‍රමණය හා අදාළව එවැනි තත්ත්වයක් ඇති වුනේ නැහැ. හැම විටම කාර්යක්ෂමතාවය හොයා යන ධනවාදය තුළ වඩා කාර්යක්ෂම ලෙස නිපදවෙන භාණ්ඩ හා සේවා වලට වගේම වඩා කාර්යක්ෂම ලෙස භාණ්ඩ හා සේවා නිපදවන ශ්‍රමිකයන්ටද වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව හිමිවන නමුත් එය අකාර්යක්ෂම ශ්‍රමිකයින්ගේ රැකියා අහිමි කිරීමද සිදු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එක පැත්තකින් සුබසාධනවාදය වෙතටත්, අනෙක් පැත්තෙන් ජාතිකවාදය වෙතටත් රටවල් තල්ලු වෙනවා. එහෙත්, ප්‍රශ්නයේ මුල කාර්යක්ෂමතාවය නිසා ජාතිකවාදී විසඳුම් වලින් කළ හැක්කේ ප්‍රශ්නය තාවකාලිකව යටපත් කිරීම පමණයි. 

හැම විටම කාර්යක්ෂමතාවය හොයා යන ධනවාදය තුළ වඩා කාර්යක්ෂම සංක්‍රමණිකයෙකු අකාර්යක්ෂම ස්වදේශිකයෙකු වෙනුවෙන් ආදේශ කළ නොහැකි වූ විට, තාවකාලිකව ස්වදේශිකයෙකුගේ රැකියා අවස්ථා ඉහළ යන නමුත් දිගුකාලීනව සිදු වන්නේ අකාර්යක්ෂම මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය හා ස්වයංකරණය ආදේශ වීමයි. ඔබේ සේවා ආයතනයේ ඔබ සමඟ සේවය කරන සහායකයා මිනිස් මිනිස් ශ්‍රමිකයෙකු නොවී යාන්ත්‍රික ශ්‍රමිකයෙකු වීමට වැඩි කළක් යන එකක් නැහැ. ඒ එක්කම, වේගවත් ලෙස ස්වයංකරණය හඹා යන හා එසේ නොකරන රටවල් අතර පරතරය එන්න එන්නම පුළුල් වෙන එකත් නොවැලැක්විය හැකි දෙයක්.



***
You broke my heart
'Cause I couldn't dance
You didn't even want me around
And now I'm back
To let you know
I can really shake 'em down
Do you love me?
(I can really move)
Do you love me?
(I'm in the groove)
Now do you love me?
(Do you love me)
Now that I can dance
(Dance)
Watch me now, hey
(Work, work)
Ah, work it all baby
(Work, work)
Well, you're drivin' me crazy
(Work, work)
With a little bit of soul now
(Work)
I can mash-potato
(I can mash-potato)
And I can do the twist
(I can do the twist)
Now tell me baby
(Tell me baby)
Do you like it like this
(Do you like it like this)
Tell me
(Tell me)
Tell me
Do you love me?
(Do you love me)
Now, do you love me?
(Do you love me)
Now, do you love me?
(Do you love me)
Now that I can dance
(Dance)
Dance
Watch me now, hey
(Work, work)
Ah, shake


සුබ නව වසරක්!!! Happy New Year!!!


Wednesday, December 30, 2020

එක්සත් රාජධානිය එන්නත්කරණය වේගවත් කරයි!


අද දිනයේ (දෙසැම්බර් 30) එක්සත් රාජධානිය විසින් ඇස්ට්‍රසෙනිකා එන්නතටද හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අනුව, ඇස්ට්‍රසෙනිකා එන්නත බටහිර රටක අනුමැතිය ලබන තෙවන එන්නත බවට පත් වෙනවා. 

ඇස්ට්‍රසෙනිකා සමාගමට අනුව, දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි, එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 70.4%ක්. මේ අගය පදනම් වන්නේ සායනික පරීක්ෂණ සඳහා සහභාගී වූ එක්සත් රාජධානියේ හා බ්‍රසීලයේ පුද්ගලයින් 11,636 දෙනෙකුගේ දත්ත මතයි. මෙම ප්‍රමාණය පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා යොදාගත් පුද්ගලයින් ප්‍රමාණයට වඩා අඩු නිසා ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවයද සාපේක්ෂව අඩුයි. ඒ අනුව, මෙහි ඵලදායීතාවය 54.8-80.6% පරාසයේ විචලනය විය හැකියි. 

ඉහත මට්ටමේ ඵලදායීතාවයක් ලැබෙන්නේ දෙවන මාත්‍රාව ලබා දී දින 14කට පසුවයි. එහෙත්, මේ වෙද්දී බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබෙන්නේ හැකි තරම් විශාල පිරිසකට ඉතා ඉක්මණින් එන්නතේ එක් මාත්‍රාවක් ලබා දීමටයි. ඒ නිසා, එන්නතේ ඵලදායීතාවය මීට වඩා බෙහෙවින්ම අඩු විය හැකියි.

මොඩර්නා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 94.1% වන අතර එය 89.3-96.8% පරාසයේ විචලනය විය හැකියි. පයිසර්-බයෝඑන්ටෙක් එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 95.0% වන අතර එය 90.3-97.6% පරාසයේ විචලනය විය හැකියි. 

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත මුලින්ම අනුමත කළේද එක්සත් රාජධානියයි. මේ වන විට එක්සත් රාජධානිය තීරණය කර තිබෙන්නේ එම එන්නතද පළමුව එක් මාත්‍රාවක් බැගින් හැකි තරම් වැඩි පිරිසකට ලබා දීමටයි. පයිසර්-බයෝඑන්ටෙක් සමාගම් වලට අනුව, පළමු මාත්‍රාව ලබා දී දෙවන මාත්‍රාව ලබා දෙන්නට පෙර කාලය තුළ එම එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 52.4%ක්. එම අගය 29.5-68.4% පරාසයේ විචලනය විය හැකියි.

එක්සත් රාජධානිය විසින් දැනටමත් ඇණවුම් කර තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් හා ඇස්ට්‍රසෙනිකා එන්නත් ප්‍රමාණය රටේ ජනගහණයට අවශ්‍ය එන්නත් ප්‍රමාණයට වඩා වැඩියි. ඒ නිසා, මුලින් එක් මාත්‍රාවක් බැගින් ලබා දුන්නත් දෙවන මාත්‍රාවද ඉතා ඉක්මණින් ලබා දෙන්න පුළුවන් වෙයි.

ඇස්ට්‍රසෙනිකා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය අඩු වුවත්, එම එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තබා ගත හැකිවීම එහි ඇති වැදගත් වාසියක්. එමෙන්ම, මේ එන්නත අඩුආදායම්ලාභී රටවලට දරා ගත හැකි, ඩොලර් 4කට නොවැඩි මිලකට අලෙවි කිරීමට නියමිතයි. 

ලෝකයේ සෑම රටකම 20%ක ජනගහණයකට හැකි ඉක්මණින් කෝවිඩ් එන්නතක් ලබා දීමේ අරමුණින් ලෝක බැංකුව විසින් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 300ක් වෙන් කර ගෙන ඇතත් එම ප්‍රමාණය සෑහෙන්නේ ලෝක ජනගහණයෙන් 2%කට පමණයි. රටවල් ගණනාවක්ම තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් දැනටමත් එන්නත් වෙන් කර ගෙන හෝ වෙන් කර ගනිමින් සිටින නිසා, 20% කෙසේ වෙතත්, ඉතිරිවන රටවල 5%ක පමණවත් ප්‍රතිශතයකට මෙම එන්නත් ලබා ගන්න ඉඩ සැලසෙයි කියා හිතන්න පුළුවන්. 

චීනය විසින්ද අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ඔවුන්ගේ සිනෝපාර්ම් එන්නත සායනික පරීක්ෂණ වලදී 79.34%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි. එහෙත්, අමතර තොරතුරු කිසිවක් නැති නිසා මේ ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවය පිළිබඳව දැනට තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. 

අනුමත වූ පළමු කෝවිඩ් එන්නත ලෙස හඳුන්වා ගන්නා රුසියාවේ ස්පුට්නික්-වී එන්නත එරට විසින් අනුමත කළේ තෙවන අදියරේ සායනික පරීක්ෂණ සිදු නොකරයි. දෙසතිකට පෙර ඉදිරිපත් කළ සායනික පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම එන්නතේ ඵලදායීතාවය 91.4%ක්.

රුසියානු එන්නතේ මාත්‍රා බිලියන 2.4ක් සඳහා ඉන්දියාව, බ්‍රසීලය, චීනය, දකුණු කොරියාව ඇතුළු රටවලින් ඇනවුම් ලැබී ඇති බව සඳහන්ව තිබෙන අතර එන්නතක් ඩොලර් 10කට නොවැඩි මිලකට ලබා දෙන බවද සඳහන්ව තිබෙනවා. 

ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා රුසියානු ස්පුට්නික්-වී එන්නතේ හා ඇස්ට්‍රසෙනිකා එන්නතේ මිශ්‍රණයක් ලබා දීමේ හැකියාවද මේ වන වට පරීක්ෂා කෙරෙමින් පවතිනවා.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...