වෙබ් ලිපිනය:

Monday, March 16, 2020

ආර්ථික නොවැටී තියා ගන්න ඩොලර් බිලියන 700ක්!


ඊයේ (මාර්තු 15) ඉරිදා දිනයේ රැස් වුනු ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ විවට වෙළඳපොළ කමිටුව විසින් ෆෙඩරල් ඉලක්ක පොලී අනුපාතික වල පහළ සීමාව ශුන්‍ය මට්ටම දක්වාම පහත හෙලුවා. මේ තීරණය ගත්තේ කෝවිඩ්-19 පැතිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි ආර්ථික අවපාතයක බලපෑම අවම කිරීමටයි.

ෆෙඩරල් සංචිත බැංකුවේ විවට වෙළඳපොළ කමිටුව සාමාන්‍යයෙන් රැස් වන්නේ නිශ්චිත කාල සටහනකට අනුවයි. මේ කාල සටහන අනුව වසරකට අට වරක් එම කමිටුව රැස් වෙනවා. කාල සටහන අනුව අවසන් රැස්වීම තිබුණේ ජනවාරි 29 වනදා. මීළඟ රැස්වීමට දින නියම කර තිබුණේ මාර්තු 18 ලෙසයි. මෙවර ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව ඉරිදා දිනක හදිසියේ රැස් වුනේ කාල සටහන අනුව රැස්වීමට දින නියමව තිබුණු දවස අත ළඟම තියෙද්දීයි. එම කමිටුව විසින් තත්ත්වය කෙතරම් බැරෑරුම් ලෙස ගෙන ඇත්දැයි මෙයින් පෙනෙනවා.

ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව ජනවාරි මාසයේදී රැස් වන විට ඇමරිකාවේ ආර්ථිකය ඉතාම යහපත් මට්ටමකින් පැවතුනා. ඒ වන විට රටේ විරැකියා අනුපාතය පසුගිය වසර 50 ඇතුළත පැවති අඩුම මට්ටමේ පැවතුනා. සාමාන්‍යයෙන් මහ බැංකුවක ඉලක්කය වන්නේ රටක උද්ධමන මට්ටම ස්ථාවරව තබා ගනිමින් විරැකියා අනුපාතය හැකි තරම් අඩු කර ගැනීමයි. දිගුකාලීනව ආර්ථික වර්ධනය වැඩි කර ගත හැක්කේ එසේ කිරීමෙනුයි.

විරැකියා අනුපාතය ඕනෑවට වඩා පහත වැටුණු විට උද්ධමනය ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයයි. එවිට, උද්ධමනය පාලනය කර ගැනීම සඳහා විරැකියා අනුපාතය හා මැදිකාලීන ආර්ථික වර්ධනය කැප කිරීමට රටකට සිදු වෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමරිකාවේ පැවති විරැකියා අනුපාතය වූ 3.5% මට්ටමේදී සාමාන්‍යයෙන් උද්ධමනය ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා, බොහෝ විට විරැකියා අනුපාතය ඒ මට්ටමට පහත වැටුණු විට ෆෙඩරල් සංචිත බැංකුව විසින් කරන්නේ පොලී අනුපාතික ඉහළ දමන එකයි.

එහෙත්, පසුගිය ජනවාරි වන විට ඇමරිකාවේ උද්ධමන තර්ජනයක් පෙනෙන්නට තිබුණේ නැහැ. ෆෙඩරල් සංචිත බැංකුවේ පුරෝකථන අනුව ඇමරිකාවේ උද්ධමනය ඉදිරි දෙවසරක පමණ කාලය තුළ ඉලක්ක මට්ටම වන 2% ආසන්නයේ පවතිනු ඇති බවයි පෙනෙන්නට තිබුණේ. ඒ නිසා, ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය ලෙස පෙනුණේ ඉලක්ක ෆෙඩරල් පොලී අනුපාතික ඒ වන විට පැවති 1.50-175% මට්ටමේම දිගටම පවත්වා ගැනීමයි. කෝවිඩ්-19 තර්ජනය නොවන්නට බොහෝ විට විවට වෙළඳපොළ කමිටුව කලින් සැලසුම් කර තිබුණු පරිදි මාර්තු 18 දින රැස්වී ෆෙඩරල් පොලී අනුපාතික නොවෙනස්ව තබා ගන්නට තීරණය කළ හැකිව තිබුණා.

ඊයේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව රැස් වුනේ ජනවාරි රැස්වීමෙන් පසුව මුල් වරට නෙමෙයි. දෙසතියකට පමණ පෙර පසුගිය මාර්තු 3 වනදා මුලින්ම එම කමිටුවේ හදිසි රැස්වීමක් පැවැත්වුනා. එහිදී ඉලක්ක ෆෙඩරල් පොලී අනුපාතික 1.00-1.25% මට්ටම දක්වා පාදක අංක 50 කින් පහත හෙලනු ලැබුවා. එයින් දින 12කට පසුව දැන් නැවතත් එම පොලී අනුපාතික තවත් පාදක අංක 100කින් පහත හෙළා තිබෙනවා. එමෙන්ම, අවම වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 500ක රාජ්‍ය සුරැකුම්පත් සහ තවත් ඇමරිකන් ඩොලර් බිලියන 200ක උගස් පාදක සුරැකුම්පත් (mortgage-backed securities) මිල දී ගනිමින් ඇමරිකන් ඩොලර් බිලියන 700ක මුදල් ප්‍රමාණයක් රටේ ආර්ථිකයට මුදා හරින්නත් ඇමරිකන් ෆෙඩරල් සංචිත බැංකුව විසින් තීරණය කර තිබෙනවා.

Saturday, March 14, 2020

කාටත් පොදු කොරෝනා බිය!

මේ වන විට කොරෝනා චීනාගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැනට ජීවත්ව සිටින හැත්තෑ දහසකට අධික සුව නොවූ කොරෝනා රෝගීන්ගෙන් පනස් අට දහසක්ම ඉන්නේ චීනයෙන් පිටතයි. එයින් රෝගීන් තිස් දහසක් සිටින්නේ දෙවන වටයේදී රෝගය ව්‍යාප්ත වූ දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රට වල වුවත්, ඉතිරි විසි අට දහස සිටින්නේ ලෝකය පුරාම අනෙකුත් රටවලයි. මේ වන විට ලෝකයේ රටවල් 150කට පමණ රෝගය පැතිරී අවසන්. මෙය කියවන ඔබ, ලියන මා ඇතුළු ලෝකයේ හතර දිග් බාගයේම ඉන්නා සියලු දෙනාටම දැන් කොරෝනා බිය දැනෙනවා.

කොරෝනා ව්‍යාප්තියේ මුල් අදියරේදී මෙය බොහෝ දෙනෙකුට කතන්දර හැදීමට මාතෘකාවක් වී තිබුණා. ඇතැම් අය කිවුවේ මෙය මාධ්‍ය වලින් හැදූ ප්‍රශ්නයක් බවයි. තවත් අය කිවුවේ වෛරසය ආසාදනය වෙන්නේ චීන සම්භවයක් ඇති අයට පමණක් බවයි. මේ කතා වල ඇත්ත නැත්ත මේ වන විට තහවුරු වී තිබෙනවා. කොරෝනා වසංගතය මේ තරමින් හෝ පාලනය වී තිබෙන්නේ ඒ වෙනුවෙන් ලැබුණු මාධ්‍ය අවධානය නිසයි.

කොරෝනා හා සම්බන්ධ දේශපාලනයක්ද මුල සිටම පෙනෙන්නට තිබුණා. ලෝකයේ හැම රටකම වගේ ආණ්ඩු විසින්  ආණ්ඩු විශාල කර ගැනීම සඳහා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා. ඒ වගේම, විශාල ආණ්ඩු වෙනුවෙන් පෙනී සිටින අය තමන්ගේ මතවාද ප්‍රචාරණය කර ගැනීමට මේ අවස්ථාව යොදා ගනිමින් සිටිනවා. මේ වගේ තත්ත්වයකදී මධ්‍යගත සැලසුම් යම් තරමකින් සාර්ථක ප්‍රතිඵල පෙන්වනවා. එහෙත්, ඒ එක්තරා සීමාවක් දක්වා පමණයි. සීමාව පැන්නොත් ඕනෑම ආණ්ඩුවක් අසරණ වෙනවා. මේ තත්ත්වය ඇතැම් තැන් වලදී දැනටත් දැකිය හැකියි.

රෝගය පාලනය කර ගැනීම සඳහා චීනය විසින් ගත් ක්‍රියාමාර්ග සාර්ථක වූ බව පිළිගත යුතුයි. චීනයේ කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය අසූ දහස මට්ටමේ නැවතී තිබෙනවා. එහෙත්, මේ වන විටත් ඉතාලිය හැරුණු විට වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් සිටින රට චීනයයි. ඒ නිසා, චීනයේ කෝවිඩ්19මරණ ප්‍රමාණය ඉහළ යාම නවතින්න තවත් සති හෝ මාස ගණනක් ගත වෙයි.

ලෝකයට කෝවිඩ්19 ව්‍යාප්ත කළේ චීනයයි. එහෙත් එය චීනය විසින් හිතා මතා කළ දෙයක් හෝ චීනයේ වැරැද්දක් නෙමෙයි. කෝවිඩ්19 ව්‍යාප්තිය මේ තරමින් හෝ කල් පමා වුනේ චීනය විසින් ගත් දැඩි ක්‍රියාමාර්ග නිසයි. චීනයෙන් පිටතට කෝවිඩ්19 ව්‍යාප්ත වුනේ ප්‍රධාන වශයෙන්ම චීන සංස්කෘතික සම්බන්ධතා හරහායි. ලංකාවට වගේම ඇමරිකාවටත් මුලින්ම කෝවිඩ්19 ආවේ චීනයෙන්. එහෙත්, කෝවිඩ්19 වසංගතයක් වී ලෝකය පුරා පැතිරුණේ ඉතාලිය ප්‍රමුඛ යුරෝපය හරහායි.

ලංකාවේ ජීවත් වන චීන ජනගහණය පිළිබඳ විවිධ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් වී තිබෙනවා. මේ සංඛ්‍යාලේඛණ වල නිරවද්‍යතාවය කවරක් වුවත් ලංකාව බටහිර බොහෝ රටවල් තරම් චීනය සමඟ සංස්කෘතික ලෙස සම්බන්ධ නැහැ. ලංකාවේ ඉන්න චීන්නු, ගණන කොපමණ වුවත්, මේ වන විටත් තමන්ගේම සංස්කෘතික කවයන් ඇතුළේ හුදෙකලා වී සිටින පිරිසක්. නමුත්, බටහිර රටවල ජීවත් වන චීන්නු එවැනි හුදෙකලා සංස්කෘතික කව ඇතුළේ ඉන්න පිරිසක් නෙමෙයි. සංඛ්‍යාත්මකව බැලුවොත්, ඇමරිකාවේ චීන සම්භවයක් ඇති මිලියන පහක පමණ පිරිසක් ඉන්නවා. මේ ප්‍රමාණය ලංකාවේ සිටින සිංහල නොවන ජනගහණයට ආසන්නව සමානයි.

ලංකාවට පසුගිය කාලයේ චීන්නු කොපමණ ආවත් ඔවුන් හරහා කෝවිඩ්19 ව්‍යාප්ත වීමක් සිදු නොවීමට චීනය පැත්තෙන් රටින් පිටවන අය සම්බන්ධව දැඩි පාලනයක් පවත්වා ගැනීමත් හේතු වුනා. යම් අවදානමක් තිබුණේ චීනයෙන් රැගෙන ආ සිසු කණ්ඩායම් හා අදාළවයි. එහෙත්, ඔවුන්ද මුල් අදියරේදීම රැගෙන ආ නිසාත්, නිසි පරිදි නිරෝධායනයට ලක් කෙරුණු නිසාත් අවුලක් සිදු වුනේ නැහැ.

මේ වන විටත්, කෝවිඩ්19 ආසාදනය වූ චීන්නු ප්‍රමාණය ලෝකයේ අනෙක් හැම රටකින්ම වාර්තා වී තිබෙන කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණයට වඩා වැඩියි. එහෙත්, මේ ගණන් සැසඳීමේදී චීනය විශාල ජනගහණයක් ඇති රටක් බව අමතක කළ යුතු නැහැ. චීන ජනගහණයෙන් මිලියනයකට කෝවිඩ්19 ආසාදිතයින් 56 දෙනෙකු මේ වන විට වාර්තා වී තිබෙනවා. එහෙත්, මේ බොහෝ දෙනෙකු මේ වන විට සුව වී හෝ මියගොස් ඇති නිසා මේ වෙද්දී චීනයේ ජනගහණය මිලියනයකට කෝවිඩ්-19 ආසාදිතයින් ඉන්නේ 8.4ක් පමණයි. මේ අනුපාත සමඟ සංසන්දනය කළ විට චීනයෙන් පිටත, විශේෂයෙන්ම යුරෝපයේ හා මැදපෙරදිග ඇතැම් රටවල තත්ත්වය චීනයේ කෙදිනක හෝ පැවති තත්ත්වයට වඩා බොහෝ දරුණුයි. රටවල් කිහිපයක ජනගහණය මිලියනයකට කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය දැනට මෙහෙමයි.

ඉතාලිය - 292
ඉරානය - 151
දකුණු කොරියාව - 158
නෝර්වේ - 191
ස්විට්සර්ලන්තය - 159
ඩෙන්මාර්කය - 143
ස්වීඩනය - 93
කටාර් - 117
බහරේන් - 124
ස්පාඤ්ඤය - 129

මේ අනුව මේ රටක කෙනෙක් කෝවිඩ්19 ආසාදිතයෙක් වීමේ අවදානම චීනයේ පැවති තත්ත්වයට වඩා කිහිප ගුණයකින් වැඩියි. යුරෝපයේ තවත් රටවල් ගණනාවක් චීනයේ පැවති නරකම තත්ත්වයටම ඉහළින් හෝ ආසන්නව සිටිනවා.

ප්‍රංශය - 56
ජර්මනිය - 47
නෙදර්ලන්තය - 56
බෙල්ජියම - 59
ඔස්ට්‍රියාව - 67
ෆින්ලන්තය - 39
ස්ලොවේනියාව - 87
එස්ටෝනියාව - 82

කෝවිඩ්19 මේ වන විට ඇමරිකාව පුරාමත් ව්‍යාප්ත වී තිබෙනවා. ආසාදිතයින් ප්‍රමාණය අනුව බැලුවොත් ඇමරිකාව සිටින්නේ අටවන තැනයි. එහෙත්, ජනගහණයේ අනුපාතයක් ලෙස ඇමරිකාවේ කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය තවමත් මිලියනයකට 7.1ක් පමණයි. එක්සත් රාජධානියේ, කැනඩාවේ හා ඕස්ට්‍රේලියාවේ තත්ත්වයද මීට තරමක් සමානයි. යුරෝපයේ රටවලට යුරෝපීය සංගමයේ සාමාජිකත්වය මේ අවස්ථාවේදී අවාසියක් වී තිබෙන බව පෙනෙනවා. එක්සත් රාජධානියට යුරෝපීය සංගමයෙන් වෙන්වීමේ හා දූපතක් වීමේ වාසි යම් තරමකින් ලැබී තිබෙනවා.

ඇමරිකාවේ දැනට පවතින තත්ත්වය මෙසේ වුවත්, ඉදිරි සති කිහිපය ඇතුළත කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා හැකි බව පෙනෙන්නට තිබෙනවා. ඇමරිකාවට හෝ වෙනත් බටහිර රටකට රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීනය මෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීම අසීරුයි. ඇමරිකාවේ වත්මන් උපාය මාර්ගය වී තිබෙන්නේ රෝගය ව්‍යාප්ත වන වේගය හැකිතාක් මන්දගාමී කිරීමයි. ඒ සඳහා, මේ වන විටත් ප්‍රාන්ත ගණනාවක පාසැල් හා විශ්ව විද්‍යාල වල මුහුණට මුහුණ පවත්වන දේශන නවත්වා අන්තර්ජාලය හරහා දේශන පැවැත්වීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම බොහෝ ආයතනද තම සේවකයින්ට නිවසේ සිට අන්තර්ජාලය හරහා වැඩ කිරීමට නියම කර තිබෙනවා.

කෝවිඩ්19 කිසියම් රටකට විශාල ප්‍රශ්නයක් විය හැක්කේ එක වර විශාල පිරිසක් රෝගී වූ විට ඕනෑම රටක රෝහල් පද්ධතියට එය දරා ගත නොහැකි වන නිසයි. ඇමරිකාවට වුවත් මෙහි වෙනසක් නැහැ. එවැනි තත්වයකදී වෛද්‍යවරුන්ට ප්‍රමුඛතාවය ලැබිය යුතු රෝගීන් තෝරන්න සිදු වෙනවා. එහිදී ඇතැම් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර නොලැබී යාම වලක්වන්න අසීරුයි. මේ තත්ත්වය පාලනය කර ගත හැක්කේ රෝගය ව්‍යාප්ත වන වේගය පාලනය කර ගැනීමෙනුයි. දැනට ගෙන තිබෙන ක්‍රියාමාර්ග වල ඉලක්කය එයයි.



Monday, March 9, 2020

කොරෝනා බියෙන් හීතල වෙන මැතිවරණ උණුසුම


මේ ගත වෙමින් පවතින්නේ ඇමරිකාවේ පූර්ව ජනාධිපතිවරණ සමයයි. මේ වසර ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන වසරක්. ඇමරිකාවේ ප්‍රධාන මැතිවරණ සියල්ලක්ම පැවැත්වෙන්නේ නොවැම්බර් මාසයේ එකම නිශ්චිත දිනයකයි. එනම් නොවැම්බර් 2 හා 8 අතර යෙදෙන අඟහරුවාදා දිනයේ. මෙවරනම් නොවැම්බර් තුන්වනදා.

ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් මාසයේ වුවත් ජනාධිපතිවරණ අපේක්ෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මාස ගණනාවක් තිස්සේ සිදුවන දෙයක්. එය සිදු වන්නේත් නිශ්චිත කාල සටහනකට අනුවයි. එම ක්‍රියාවලිය මේ වන  විට ආරම්භ වී තිබෙනවා.

මෙවර රිපබ්ලිකන් අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ම නොවන්නට හේතුවක් නොපෙනෙත්, ඒ බව ස්ථිර වන්නේ අගෝස්තු අවසන් සතියේදී පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදීයි. තවමත් ඔහුට දුරස්ථ තරඟකරුවන් කිහිප දෙනෙකු සිටිනවා.

මේ ආකාරයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වීමට නියමිත ඩිමොක්‍රටික් අපේක්ෂයාව තෝරා පත් කර ගැනීමට නියමිතව තිබෙන්නේ ජූලි මාසයේ මැද පැවැත්වෙන එම පක්ෂ සම්මේලනයේදී. රිපබ්ලිකන් පක්ෂයේ මෙන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් තවමත් ප්‍රමුඛ අපේක්ෂකයෙකු පැහැදිලි ලෙස මතු වී නැහැ. ජෝ බයිඩන් හා බර්නි සැන්ඩර්ස් යන දෙදෙනාගෙන් අයෙකු බොහෝ විට අවසන් තරඟකරු විය හැකියි.

ආරම්භයේදී තරඟකරුවන් අඩු වශයෙන් 30-40 දෙනෙකුවත් සිටියත් මෙතෙක් පැවති පූර්ව ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව මෙයින් බොහෝ දෙනෙකු මේ වන විට තරඟයෙන් ඉවත් වී තිබෙනවා. එය සාමාන්‍යයෙන් කටයුතු සිදු වන ආකාරයයි.

ජූලි මාසයේදී පැවැත්වෙන ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයේ මුල් වටයේදී නියෝජිතයින් 3,979 දෙනෙකුගෙන් අඩකට වඩා එක් අයෙකුගේ ඡන්ද, එනම් ඡන්ද 1,991ක් ලබා ගන්නා අපේක්ෂකයා ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස තේරී පත් වෙනවා. කිසිවකු එම ඡන්ද ප්‍රමාණය ලබා නොගතහොත් දෙවන වටයක්ද පැවැත්වෙනවා. මේ වන විට පැවැත්වෙමින් තිබෙන්නේ ඉහත කී නියෝජිතයින් 3,979 තෝරා ගන්නා පූර්ව ජනාධිපතිවරණ ක්‍රියාවලියයි. ඔවුන් තෝරා පත් කර ගැනෙන්නේ එක් එක් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ ඡන්දයෙන්. රිපබ්ලිකන් පක්ෂයේද මෙවැනිම ක්‍රියාවලියක් සිදු වනවා.

මැතිවරණ කාල සටහන අනුව, පූර්ව ජනාධිපතිවරණ ක්‍රියාවලිය ආරම්භ වන්නේ අයෝවා ප්‍රාන්තයෙන්. එම ප්‍රාන්තයේ පූර්ව මැතිවරණය පසුගිය පෙබරවාරි 3 වනදා පැවැත්වුණා. එහිදී ඉදිරියෙන්ම සිටියේ පීට් බුටිජජ්. ඔහු මුළු ඡන්ද ප්‍රමාණයෙන් 26.2%ක් ලබා ගනිමින් නියෝජිතයින් 14 දෙනෙකු හිමි කර ගත්තා. ඊට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගත් බර්නි සැන්ඩර්ස් නියෝජිතයින් 12 දෙනෙකු දිනා ගත්තා. එළිසබෙත් වොරන්ට අපේක්ෂකයින් 8 දෙනෙකුත්, ජෝ බයිඩන්ට අපේක්ෂයින් 6 දෙනෙකුත්, ඒමි ක්ලෝබචාර්ට එක් අපේක්ෂකයෙකුත් හිමි වුනා. අනෙකුත් අපේක්ෂකයින්ට නියෝජනයක් ලබා ගත හැකි තරම් ඡන්ද ලැබුණේ නැහැ. රිපබ්ලිකන් ඡන්ද වල නම් එවැනි බෙදීමක් තිබුනේ නැහැ. මුළු ඡන්ද ප්‍රමාණයෙන් 97.1%ක් ලබාගත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝජිතයින් 39 දෙනෙකු දිනා ගනිද්දී බිල් වෙල්ඩ්ට එක් නියෝජිතයෙකු පමණක් හිමි වුනා.

දෙවනුවට පැවැත්වුණේ නිවු හැම්ප්ශයර් පූර්ව මැතිවරණයයි. ඒ පෙබරවාරි 10 වනදා. එහිදී බර්නි සැන්ඩර්ස් හා පීට් බුටිජජ් විසින් ඩිමොක්‍රටික් නියෝජිතයින් 9 බැගිනුත්, ඒමි ක්ලෝබචාර් විසින් අපේක්ෂකයින් 6 දෙනෙකුත් දිනා ගත්තා. ජෝ බයිඩන්, එළිසබෙත් වොරන් ඇතුළු තිහකට අධික අනෙකුත් අපේක්ෂයින්ට එහිදී නියෝජනයක් හිමි වුනේ නැහැ. රිපබ්ලිකන් නියෝජිතයින් සියල්ලම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දිනා ගත්තා.

ඉන් පසුව පෙබරවාරි 24 වනදා පැවති නෙවාඩා පූර්ව මැතිවරණ වලදී ඩිමොක්‍රටික් නියෝජිතයින් 24 දෙනෙකු දිනා ගනිමින් බර්නි සැන්ඩර්ස් මුල් තැනට පැමිණෙද්දී, ජෝ බයිඩන් විසින් නියෝජිතයින් 9 දෙනෙකුත්, පීට් බුටිජජ් විසින් නියෝජිතයින් 3 දෙනෙකුත් දිනා ගත්තා. මෙහිදීද, රිපබ්ලිකන් නියෝජිතයින් සියල්ලම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දිනා ගත්තා.

පෙබරවාරි 24 දින පැවති සවුත් කැරොලයිනා පූර්ව මැතිවරණ වලදී ජෝ බයිඩන් ඉදිරියට ආවා. ජෝ බයිඩන් විසින් නියෝජිතයින් 39 දෙනෙකු දිනා ගනිද්දී බර්නි සැන්ඩර්ස් විසින් අපේක්ෂකයින් 15 දෙනෙකු දිනා ගත්තා. වෙනත් කිසිවකුට නියෝජනයක් හිමි වුනේ නැහැ. මේ පළමු වට හතරෙන් පසුව ඩිමොක්‍රටික් අපේක්ෂකයින් අතර නියෝජිතයින් බෙදී ගොස් තිබුණේ පහත ආකාරයටයි.

බර්නි සැන්ඩර්ස් - 60
ජෝ බයිඩන් - 54
පීට් බුටිජජ් - 26
ඒමි ක්ලෝබචාර් - 7
එළිසබෙත් වොරන් - 8

ඉන් පසුව, මාර්තු 3 එළැඹීමට නියමිතව තිබුණේ ප්‍රාන්ත හා ප්‍රදේශ 15ක ප්‍රාථමික මැතිවරණ එකම දිනක පැවැත්වෙන සුපිරි අඟහරුවාදා දිනයයි. ඊට පෙර, පීට් බුටිජජ් හා ඒමි ක්ලෝබචාර් විසින් තමන් තරඟයෙන් ඉවත් වන බව නිවේදනය කළත් බිලියනපතියෙකු වන මයිකල් බ්ලූම්බර්ග් තරඟයට අවතීර්ණ වුණා. මේ වන විට ප්‍රකාශ කර තිබෙන ප්‍රතිඵල අනුව සුපිරි අඟහරුවාදා මැතිවරණ වලදී ඇලබාමා, ආකන්සා, මේන්, මැසචුසෙට්ස්, මිනසෝටා, නෝත් කැරොලයිනා, ඔක්ලහෝමා, ටෙනසී, ටෙක්සාස් හා වර්ජිනියා ප්‍රාන්ත වලින් ජෝ බයිඩන් ඉදිරියට පැමිණෙද්දී, කැලිෆෝර්නියා, කොලරාඩෝ, යූටා හා වර්මොන්ට් ප්‍රාන්ත වලදී බර්නි සැන්ඩර්ස් ඉදිරියට පැමිණ තිබෙනවා. ඇමරිකන් සමෝවා වලදී නියෝජිතයින් 4 දෙනෙකු හිමි කරගනිමින් මයිකල් බ්ලූම්බර්ග් මුල් තැනට පැමිණ ඇති අතර තුල්සි ගැබාඩ් විසින්ද නියෝජිතයින් දෙදෙනෙකු දිනා දිනාගෙන තිබෙනවා. මේ අනුව, දැනට එක් එක් අපේක්ෂකයින් සතු නියෝජිතයින් ගණන පහත පරිදියි.

බර්නි සැන්ඩර්ස් - 574
ජෝ බයිඩන් - 670
පීට් බුටිජජ් - 26
ඒමි ක්ලෝබචාර් - 7
එළිසබෙත් වොරන් - 69
මයිකල් බ්ලූම්බර්ග් - 61
තුල්සි ගැබාඩ්- 2

සුපිරි අඟහරුවාදා ප්‍රතිඵල වලින් පසුව, මේ වන විට මයිකල් බ්ලූම්බර්ග්ද තරඟයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, බර්නි සැන්ඩර්ස් හා ජෝ බයිඩන් හැරුණු විට මේ අය අතරින් දැනට ඉතිරිව සිටින්නේ තුල්සි ගැබාඩ් පමණයි. ඇයද කොයි වෙලාවේ හෝ තරඟයෙන් ඉවත් වනු ඇතැයි සිතිය හැකියි.

මේ අනුව ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය සඳහා තරඟය තිබෙන්නේ ජෝ බයිඩන් හා බර්නි සැන්ඩර්ස් අතරයි. රිපබ්ලිකන් පක්ෂයේනම් බෙදීමක් ඇත්තේම නැති තරම්. බිල් වෙල්ඩ්ගේ තනි අයෝවා නියෝජිතයා හැරුණු විට ඉතිරි නියෝජිතයින් සියලු දෙනාම සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟයි.

හෙට (මාර්තු 10) තවත් පූර්ව ජනාධිපතිවරණ මැතිවරණ වටයක් පැවැත් වෙනවා. එහිදී අයිඩාහෝ, මිචිගන්, මිසූරී, මිසිසිපි, නෝත් ඩකෝටා සහ වොෂින්ටන් ප්‍රාන්ත වල පාක්ෂික ඡන්දදායකයින්ට තමන් කැමති  අපේක්ෂකයා වෙනුවෙන් කැමැත්ත පළ කිරීමට අවස්ථාව හිමි වෙනවා. කෙසේ වුවත්, මේ වන විට මාධ්‍ය අවධානය මැතිවරණ කෙරෙන් කොරෝනා වෛරසය වෙත විතැන් වී ඇති බවක් දැකිය හැකියි.

Sunday, March 1, 2020

ප්‍රතිපරිසිද්ධික තත්ත්වය හා පිරියම් ඵලය


ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කියන එක කලින් ලිපියෙන් පැහැදිලි කළානේ. ඒ නිසා, අද අපි තවත් අළුත් යෙදුමක් ගැන කතා කරමු. පිරියම් ඵලය හෙවත් ප්‍රතිකාරයක බලපෑම (Treatment Effect). හැම විටම නොවූවත්, බොහෝ විද්‍යාත්මක පර්යේෂණ වල ඉලක්කය පිරියම් ඵලයයි. මෙහි පිරියම එහෙමත් නැත්නම් ප්‍රතිකාරය කියන වචනය වෛද්‍ය ශබ්දකෝෂයෙන් ගත් වචනයක් වුවත්, මේ වන විට විවිධ ආකාරයන්හි ප්‍රතිකාර හා අදාළව පොදුවේ යෙදෙන වචනයක්. පිරියම් ඵලය සෙවීම කියන එකෙන් අදහස් වෙන්නේ කවර හෝ ප්‍රතිකාරයක් හේතුවෙන් කිසියම් නීරීක්ෂණය කළ හැකි තත්ත්වයක් වෙනස් වන ආකාරය ඇස්තමේන්තු කිරීමයි.

මුලින්ම වෛද්‍ය ප්‍රතිකාරයක් ගැනම සලකමු. මෙට්ෆොර්මින් නිසා රුධිරයේ සීනි මට්ටම පාලනය වෙනවාද? දැන් මෙහිදී ප්‍රතිකාරය වන්නේ කිසියම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට නිශ්චිත මෙට්ෆොර්මින් මාත්‍රාවක් (අපි හිතමු මිලිග්‍රෑම් 500ක් කියා) ලබා දීමයි. එම ප්‍රතිකාරයේ බලපෑම එහෙමත් නැත්නම් පිරියම් ඵලය අපට මැන ගන්න හැකි වන්නේ අදාළ ප්‍රතිපරිසිද්ධික තත්ත්වයට සාපේක්ෂවයි. තනි පුද්ගලයෙක් හා අදාළව ගත්තොත්, මෙහිදී අවම වශයෙන් නිරීක්ෂණ තුනක් අවශ්‍ය වෙනවා.

1. පූර්ව ප්‍රතිකාර තත්ත්වය
2. පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය
3. පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය

පූර්ව ප්‍රතිකාර තත්ත්වය - ප්‍රතිකාරය ලබා දීමට පෙර නිශ්චිත මොහොතකදී (අපි හිතමු 2020 මාර්තු 1 උදේ 8ට) රුධිරයේ සීනි මට්ටම

පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය - උදේ අටට මෙට්ෆොර්මින් මිලිග්‍රෑම් 500ක් ලබා දීමෙන් පැය හයකට පසුව (2020 මාර්තු 1 හවස 2කට) රුධිරයේ සීනි මට්ටම

පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය  - උදේ අටට මෙට්ෆොර්මින් අඩංගු නැති, එහෙත් එසේ පෙනෙන ව්‍යාජ පෙත්තක් ලබා දීමෙන් පැය හයකට පසුව (2020 මාර්තු 1 හවස 2කට) රුධිරයේ සීනි මට්ටම

දැන් මෙහිදී අපට දැනගන්නට අවශ්‍ය වෙන්නේ උදේ අටට මෙට්ෆොර්මින් මිලිග්‍රෑම් 500ක් ලබා දීමෙන් පැය හයකට පසුව ඒ හේතුව නිසා රුධිරයේ සීනි මට්ටම කෙතරම් වෙනස් වුනාද කියන එකයි.

පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පූර්ව ප්‍රතිකාර තත්ත්වය සසඳා මෙය හොයා ගන්න බැරිද?

සරලව අපි මෙහෙම කියමු. උදේ අටට රුධිරයේ සීනි පරීක්ෂා කිරීමෙන් පසුව මෙට්ෆොර්මින් මිලිග්‍රෑම් 500ක් ලබා දෙනවා. ඉන් පසු, හවස දෙකට නැවත රුධිරයේ සීනි පරීක්ෂා කරනවා. සීනි අඩු වෙලා. එහෙමනම් සීනි අඩු වුනේ මෙට්ෆොර්මින් නිසා නෙමෙයිද?

එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. පැය හය ඇතුළත සීනි අඩු වුනේ මෙට්ෆොර්මින් නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියා කවුද දන්නේ?

මේක හරියටම දැනගන්නනම් අපට පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය ගැනත් දැනුමක් තිබිය යුතුයි. මෙය පරීක්ෂා කිරීම සඳහා අපිට මිලිග්‍රෑම් 500ක මෙට්ෆොර්මින් පෙත්තක් විදිහටම සකස් කළ එහෙත් කිසිම සක්‍රිය රසායනිකයක් අඩංගු නැති බොරු පෙත්තක් ලබා දී පැය හයකට පසුව සීනි ප්‍රමාණය මනින්න පුළුවන්. මුල් අවස්ථාවේදී සීනි අඩු වුනේ මෙට්ෆොර්මින් නිසානම්, මේ දෙවන අවස්ථාවේදී සීනි අඩු නොවිය යුතුයි. දෙවන අවස්ථාවේදීත් සීනි අඩු වෙලානම් සීනි අඩු වීමට හේතුව මෙට්ෆොර්මින් වෙන්න බැහැ. ඒ අනුව, අපට පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පූර්ව ප්‍රතිකාර තත්ත්වය සසඳා පිරියම් ඵලය හොයා ගන්න බැරි වුනත් පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය සසඳා පිරියම් ඵලය හොයා ගන්න පුළුවන්.

ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද? පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් තේරෙයි මේ කතාවේ අවුලක් තිබෙන බව. පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය සසඳා පිරියම් ඵලය හොයා ගන්න පුළුවන් තමයි. නමුත්, ඒ සෛද්ධාන්තිකව. ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න බැහැ. එකම කාලාන්තරය තුළ එකම පුද්ගලයාට මිලිග්‍රෑම් 500ක මෙට්ෆොර්මින් පෙත්තක් දෙන එකත්, ඒ වෙනුවට ඒ විදිහටම හදපු බොරු පෙත්තක් දෙන එකත් යන දෙකම කරන්න බැහැ. කළ හැක්කේ ඔය දෙකෙන් එකක් පමණයි. ඒ නිසා, කිසියම් පුද්ගලයෙකු යොදාගෙන අපට පර්යේෂණාත්මකව හොයා ගන්න පුළුවන් වෙන්නේ පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හෝ පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කියන දෙකෙන් එකක් පමණයි. ඒ නිසා, ඔය දෙකේ වෙනස වන පිරියම් ඵලය තනි පුද්ගලයෙකු හා අදාළව අපට කවදාවත්ම හරියටම හොයා ගන්න බැහැ.

මෙය වෛද්‍ය ප්‍රතිකාර වලට පමණක් අදාළ තත්ත්වයක් නෙමෙයි. පැලයකට හොඳින් වර්ධනය වෙන්න ජලය අවශ්‍යද? දැන් මෙහි ප්‍රතිකාරය වන්නේ පැලයට දිනපතා වතුර දැමීමයි. වතුර නිසා පැලයේ වර්ධනයට සිදු වන බලපෑම පිරියම් ඵලයයි. එය මනින්න වෙන්නේ වතුර සහිතව පැලයේ වර්ධනයේත්, වතුර රහිතව එම පැලයේම වර්ධනයේත් වෙනස ලෙසයි. නමුත්, අපට මේ දෙකම එකවර නිරීක්ෂණය කළ නොහැකියි.

සමාජ විද්‍යා පර්යේෂණ ගැටළු බොහොමයක්ද මූලික ආකෘතිය අනුව මීට සමානයි. ලංකාවට 1948දී නිදහස නොලැබී දිගටම ඉංග්‍රීසින් විසින් පාලනය කළානම් අද ලංකාවේ තත්ත්වය වඩා හොඳ විය හැකිව තිබුණාද? ජවිපෙ විසින් 1988/89 කැරැල්ල ජයගෙන ලංකාවේ සමාජවාදය පිහිටෙව්වානම් අද ලංකාවේ තත්ත්වය වඩා හොඳ විය හැකිව තිබුණාද? පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය ජය නොගෙන සජිත් දිනුවානම් අද ලංකාවේ තත්ත්වය වඩා හොඳ විය හැකිව තිබුණාද?

මේ සෑම අවස්ථාවකදීම අපට නිරීක්ෂණය කරන්න හැකි වී තිබෙන්නේ පූර්ව ප්‍රතිකාර තත්ත්වය හා පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය පමණයි. ඒ දෙකේ වෙනස පිරියම් ඵලය නෙමෙයි. පිරියම් ඵලය හොයා ගත හැක්කේ පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වයත් නිරීක්ෂණය කළ හැකිව තිබුණානම් පමණයි.

එහෙමනම් මේ අවුල ලෙහා ගන්නේ කොහොමද? එය අපි වෙන දවසකට ඉතුරු කරමු.

Saturday, February 29, 2020

ප්‍රතිපරිසිද්ධික තත්ත්වය හා විද්‍යාත්මක ක්‍රමය


ප්‍රතිපරිසිද්ධික තත්ත්වය වගේ කැරකිලා යන වචනයක් මාතෘකාවට දැම්මහම මාර සීරියස් පෝස්ට් එකක් කියලා තේරෙනවා ඇතිනේ. ඔව්, එහෙම එකක් තමයි. දැන් අපේ බ්ලොග් එක කියවන පාඨකයින් පිරිසත් සීරියස් පාඨකයින් පිරිසක් නිසා සීරියස් මාතෘකා ගැන කතා කරන එක ඒ තරම් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැනේ. අනිත් එක ඔය සීරියස් වගේ පේන ගොඩක් දේවල් හිතන තරම්ම සීරියසුත් නැහැ.

සීරියස් වගේ පේන ඒ කෑල්ල දැනට පැත්තකින් තියලා දෙවන කෑල්ලට එමුකෝ. විද්‍යාත්මක ක්‍රමය කියන එකනම් ගොඩක් අයට තේරෙන දෙයක්නේ. අඩු ගානේ මොන විදිහකට හරි තේරෙන දෙයක්. එහෙම තේරෙන දේ ගැන කතා කරන්නත් ගොඩක් අය කැමතියි. ඒ විතරක් නෙමෙයි ඒ ගැන නොත්රෙන අයට උගන්නන්නත් කැමතියි.

ගොඩක් අය කියන විදිහට, අපිත් විවිධ තැන් වලදී ඉගෙනගෙන තියෙන විදිහට, විද්‍යාත්මක ක්‍රමය කියා කියන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන මත තීන්දු තීරණ ගැනීම. මේ කියන පරීක්ෂණ හැම එකක්ම එකම විදිහේ ඒවා නොවුනත්, විද්‍යාත්මක ක්‍රමය ගැන කතා කරන්න කැමති ගොඩක් අය කතා කරන්න වැඩිපුරම කැමති පාලිත පරීක්ෂණ ගැනයි. ඔය පාලිත පරීක්ෂණ ගැන පාසැල් වල තරමක් පහළ පන්ති වලදී ඉඳලම අපි ඉගෙන ගන්නවා.

"විද්‍යාත්මක ක්‍රමය" මාතෘකාව යටතේ තිබෙන සිංහල විකිපීඩියා පිටුවට අනුව, "ඉතාලි ජාතික භෞතිකඥයකු වු ෆ්‍රැන්සිස්කෝ රේඩි නැමැත්තා තමයි මුලින්ම විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් පරීක්ෂණයක් සැලසුම් කරන ලද්දේ". රේඩිගේ විද්‍යාත්මක පරීක්ෂණය ඔය විකිපීඩියා පිටුවේ විස්තර කර තිබෙන්නේ මෙහෙමයි.

"පුරාණයේ වසර සිය ගණනක් පුරා මිනිසුන් විශ්වාශ කළේ අජීවී ද්‍රව්‍ය වලින් ඕනෑම අවස්ථාවක ජීවීන් හට ගත හැකි බවයි. ස්වයංසිද්ධ ජනන වාදය ලෙස හැඳින්වෙන්නේ මෙම විශ්වාසයයි. උදාහරණයක් විදිහට ගතහොත් දිරාපත් වන රෙදිපිළි, පිදුරු වැනි දේ වලින් මීයන් කැරපොත්තන් වැනි ජීවීන් බිහිවන බවයි. මේ මතය බිඳ හෙලීමට හැකි වුනේ රේඩි විසින් අරඹන ලද විද්‍යාත්මක පරීක්ෂණ වැඩිදුරටත් දියුණු කිරීමෙනි.

රේඩි පරීක්ෂණ මෙහෙයවුයේ දිරාපත්වන රෙදි කෑලි ඇසුරෙන් නම් නොවේ. කුණු වන මස් වලින් පණුවන් බිහිවන බවට තිබූ මතය බිඳහෙලීමටයි ඔහු පරීක්ෂණ සැලසුම් කළේ. ඔහු ගොඩ නැගූ කල්පිතය තමා වටපිටාවේ සිටින මැස්සන් කුණු වන මස් මත බිත්තර දැමීමෙන් පණුවන් ඇතිවේ යන්න.

එය පරීක්ෂා කිරීමට බඳුන් දෙකකට කුණු වන මස් දමා එකක් වාතයට විවෘතවත් අනෙක මුද්‍රා තබාත් දින කීපයක් තිබෙන්නට හරින ලදී. එවිට විවෘත බඳුනේ පමණක් පණුවන් හටගෙන ඇතිබව නිරීක්ෂණය කිරීමෙන් ඔහුගේ මතය සනාථ විය."

දැන් මෙහි විස්තර කර තිබෙන පරීක්ෂණය මගින් ස්වයංසිද්ධ ජනන වාදය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? ස්වයංසිද්ධ ජනන වාදය කියා කියන්නේ අජීවී ද්‍රව්‍ය වලින් "ඕනෑම අවස්ථාවක" ජීවීන් හට ගත හැකියි කියන එකනම් එය පහසුවෙන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඇත්තටම එය ප්‍රතික්ෂේප කරන්න ඔය වගේ පාලිත පරීක්ෂණයක් කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. කිසියම් අජීවී ද්‍රව්‍යයකින් කිසියම් අවස්ථාවක ජීවීන් හට නොගන්නා බව පෙන්වීම ප්‍රමාණවත්. අජීවී ද්‍රව්‍ය වලින් "ඕනෑම අවස්ථාවක" ජීවීන් හට ගත හැකියි කියා හිතූ මිනිස්සුත් ඉන්න ඇති. එහෙත්, මම හිතන විදිහට වැඩිපුර ඉන්න ඇත්තේ අජීවී ද්‍රව්‍ය වලින් "ඇතැම් තත්ත්වයන් යටතේදී" ජීවීන් හට ගත හැකියි කියා හිතූ අයයි.

අපි හිතමු ස්වයංසිද්ධ ජනන වාදය කියා කියන්නේ අජීවී ද්‍රව්‍ය වලින් "ඇතැම් තත්ත්වයන් යටතේදී" ජීවීන් හට ගත හැකියි කියා කියන එක කියා. මේ මතය ප්‍රතික්ෂේප කරන එකනම් එතරම් පහසු නැහැ. ඒ වගේම ඉහත පරීක්ෂණය වැනි පරීක්ෂණයකින් "වටපිටාවේ සිටින මැස්සන් කුණු වන මස් මත බිත්තර දැමීමෙන් පණුවන් ඇතිවේ" කියන විකල්ප ප්‍රවාදය තහවුරු වෙන්නේත් නැහැ.

මේ විකිපීඩියා පරීක්ෂණය නැවත නැවත සිදු කර එකම ප්‍රතිඵලය ලබා ගත හැකියි කියා අපි හිතමු. එම ප්‍රතිඵලය අතීතයේ සිදු කළ, වර්තමානයේ සිදු කරමින් පවතින, හා අනාගතයේ සිදු කෙරෙන්නට ඉඩ තිබෙන මේ ආකාරයේ සියලුම පරීක්ෂණ වලට සාධාරණීකරණය කළ හැකිය යන විශ්වාසය මත පවා එයින් තහවුරු වන්නේ විවෘත භාජනයක ඇති කුණු වූ මස් මත කවර ආකාරයකින් හෝ ඉහඳ පණුවන් හැදෙන බව හා මුද්‍රා තැබූ භාජනයක එසේ පණුවන් නොහැදෙන බව පමණයි.

කාට හෝ අවශ්‍යනම් තර්ක කරන්න පුළුවන් මුද්‍රා තැබූ භාජනයේ පණුවන් නොහැදුනේ ප්‍රමාණවත් වාතාශ්‍රය නැති කම නිසා මිසක් මැස්සන් නොවැසීම නිසා නොවන බව. මේ පරීක්ෂණයෙන් එවැනි විකල්ප ප්‍රවාදයක් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ.

ඔය පරීක්ෂණය ගැනම වෙනත් ආකාරයක විස්තරයක් රුහුණු සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන පියල් කාරියවසම්ගේ විදුසර ලිපියක දැකිය හැකියි.

"අතීතයේ පැවැති මතයක්‌ වූයේ නරක්‌ වීමට ලක්‌ වන මස්‌වලින් ම එම මස්‌ මත ඉහඳ පණුවන් සෑදෙන බවයි. මෙය එසේ නො වන බවත් නරක්‌ වූ මස්‌ මත මැස්‌සන් බිත්තර දැමීම නිසා ඒවායෙන් ඉහඳ පණුවන් ඇති වන බව ප්‍රැන්සිස්‌කෝ රීඩි යෝජනා කළේ ය. ඔහු ඒ බව ඔප්පු කොට පෙන්වීම සඳහා පාලක ඇටවුමක්‌ සකස්‌ කළේ ය. එක සමාන කට පළල් වීදුරු බෝතල දෙකක්‌ ගෙන ඒ දෙකට ම මස්‌ කැබැල්ල බැගින් දමන ලදී. එක්‌ බෝතලයක පමණක්‌ කට දැල් කොටු සහිත රෙදි කැබැල්ලකින් වසන ලදී. එමගින් වාතය හුවමාරු වීමට ඉඩ දෙන නමුත් මැස්‌සන් ඇතුළු වීම වළක්‌වන ලදී. කට විවෘත ව තැබූ බෝතලයට වාතයට අමතරව මැස්‌සන්ට ද ඇතුළු වීමට හැකියාව පැවතිණි. දින කිහිපයකට පසු බෝතල දෙක නිරීක්‌ෂණය කළ විට කට විවෘත ව තැබූ බෝතලයේ ඇති මස්‌ මත පමණක්‌ ඉහඳ පණුවන් දැකගන්නා ලදී. මේ අනුව නරක්‌ වන මස්‌ මත ඉහඳ පණුවන් ඇති වන්නේ මැස්‌සන් බිත්තර දැමීම නිසා බව ඔප්පු විය. මේ පරීක්‌ෂණයේ දී රෙදි කැබැල්ලෙන් කට වැසූ බෝතලය පාලිත ඇටවුමකි. (පාලක ඇටවුම). මන්ද මැස්‌සා නැමැති විචල්‍යයේ බලපෑමට යටත් නො වූ ඇටවුම එය වන බැවිනි. මෙවැනි පාලිත ඇටවුමක්‌ සකස්‌ කළ නිසා මස්‌ මත ඉහඳ පණුවන් ඇති වීම මැස්‌සන් බිත්තර දැමීම නිසා ම සිදු වූවක්‌ බව තහවුරු විය."

මේ පරීක්ෂණයේදී විකිපීඩියා පරීක්ෂණයේදී මෙන් එක් බෝතලයක් මුද්‍රා තියන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ එහි කට දැල් කොටු සහිත රෙදි කැබැල්ලකින් වැසීමයි. එවිට, මැස්සන්ට ඇතුළු විය නොහැකි වුවත් වාතය හුවමාරු වීම නොවැලැක්වෙන නිසා එක් භාජනයක පණුවන් හැදෙන්නත් අනෙත් භාජනයේ පණුවන් නොහැදෙන්නත් හේතු විය හැකි කරුණු අතරින් තවත් කරුණක් බැහැර කළ හැකි වෙනවා. ඒ අනුව, වාතාශ්‍රය ලැබුණත් මැස්සන්ට කිට්ටු වෙන්න බැරිනම් නරක් වූ මස් වල පණුවන් නොහැදෙන බව කෙනෙකුට තර්ක කළ හැකියි. එය පෙර තර්කයට වඩා ප්‍රබල තර්කයක්.

එහෙත්, මේ විස්තර කර තිබෙන පරීක්ෂණයෙන් වුවත් "මස්‌ මත ඉහඳ පණුවන් ඇති වීම මැස්‌සන් බිත්තර දැමීම නිසා ම සිදු වූවක්‌ බව" තහවුරු වෙන්නේ නැහැ. එයින් වෙන්නේ "මැස්සන් මස්‌ මත බිත්තර නොදමා වුවත් මස්‌ මත ඉහඳ පණුවන් ඇති විය හැකි බව" තහවුරු නොවීම පමණයි. ඒ අනුව, නරක්‌ වීමට ලක්‌ වන මස්‌වලින් ම එම මස්‌ මත ඉහඳ පණුවන් සෑදෙන බව තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැති බව අපට කියන්න පුළුවන්.

පහතින් තිබෙන්නේ ඉහත විදුසර ලිපියේ විස්තර කෙරී ඇති තවත් විද්‍යාත්මක පරීක්ෂණයක්.

"උදාහරණයක්‌ ලෙසට යම් කිසි පොහොර වර්ගයක්‌ ශාක වර්ධනයට ඇති කරන බලපෑම සොයා බලන පරීක්‌ෂණයක්‌ සලකා බලමු. මේ සඳහා පෝච්චිවල සිටුවාගත් ශාක පැළ යොදාගැනීමට පිළිවන.

පෝච්චි කිහිපයක්‌ බැගින් අයත් වන සේ කාණ්‌ඩ කිහිපයක්‌ වෙන් කරගෙන එක්‌ එක්‌ කාණ්‌ඩයට පොහොර වර්ගයෙන් යම් සාන්ද්‍රණ මට්‌ටම් බැගින් ලබා දීමට පිළිවන. එහෙත් තවත් එක්‌ කාණ්‌ඩයකට අයත් වන පෝච්චි සමූහයට පෝෂණ ද්‍රාවණය කොහෙත් ම ලබා දෙන්නේ නැත. මේ පෝෂණ ද්‍රාවණය ලබා නො දෙන කාණ්‌ඩය සෘණ පාලිත කාණ්‌ඩය වේ. ශාකවල සිදු වන වර්ධනයේ වෙනස්‌කම් මේ සෘණ පාලිත කාණ්‌ඩයට සාපේක්‌ෂව සොයාබැලීමක්‌ මෙහි දී සිදු කරනු ලබයි. එමෙන් ම ශාකවල සිදු වූ වර්ධනයේ වෙනස්‌කම් පෝෂණ ද්‍රව්‍යයේ බලපෑම නිසා ම සිදු වූවක්‌ බව තහවුරු කිරීමට ද මේ සෘණ පාලිත කාණ්‌ඩය උපකාරී වේ."

මේ ආකාරයේ විද්‍යාත්මක පරීක්ෂණයක අරමුණ වන්නේ කිසියම් ප්‍රතිඵලයකට හේතු වූ සාධක මොනවාද යන්න සොයා බැලීමයි. මේ උදාහරණයේදීනම් කිසියම් පෝෂණ ද්‍රව්‍යයක් ශාක වල වර්ධනයට හේතු වන්නේද කියන කරුණ තහවුරු කර ගැනීම පරීක්ෂණයේ අරමුණයි. එහිදී පාලිත පරීක්ෂණයක් මගින් කෙරෙන්නේ පාලිත හා පරීක්ෂණාත්මක පෝච්චි අතර කිසියම් නිශ්චිත සාධකයක් පමණක් (මෙහිදී අදාළ පෝෂණ ද්‍රව්‍යය) වෙනස් කරමින් අනෙකුත් සියලුම තත්ත්වයන් සමානව පවත්වා ගැනීමයි. ඔය වැඩේ හරියටම කළා කියා අපි හිතමු. දැන් අපට මේ මල් පෝච්චි දෙක සසඳා නිගමනයකට පැමිණිය හැකිද?

ඉහත පරීක්ෂණයේ මල් පෝච්චි දෙකම අපට නිරීක්ෂනය කළ හැකියි. මෙසේ නිරීක්ෂණය කළ හැකි තත්ත්වයන් අප පරිසිද්ධික තත්ත්වයන් ලෙස හඳුන්වනවා. නමුත්, මෙවැනි පරිසිද්ධික තත්ත්වයන් සසඳා අප‍ට හේතු ඵල සම්බන්ධතා පිළිබඳ නිගමන වලට එළඹෙන්න බැහැ.

අ. පැලයකට කිසියම් පෝෂණ ද්‍රව්‍යයක් ලබා නුදුන් විට එහි වර්ධනය බාල වෙනවාද?

ආ. පැලයකට කිසියම් පෝෂණ ද්‍රව්‍යයක් ලබා දුන් විට එහි වර්ධනය වේගවත් වෙනවාද?

මේ අප‍ට පිළිතුරු අවශ්‍ය වන ප්‍රශ්න දෙකක්. ප්‍රශ්න දෙකට ලැබිය හැකි සෛද්ධාන්තික පිළිතුරු සමමිතික වෙන්න හෝ නොවෙන්න පුළුවන්. ඒ නිසා, මේ එක් එක් ප්‍රශ්නයට පිළිතුර සොයා බැලිය යුත්තේ එකම ආකාරයට නෙමෙයි. අපි පළමු ප්‍රශ්නය ගනිමු.

පැලයකට කිසියම් පෝෂණ ද්‍රව්‍යයක් ලබා නුදුන් විට එහි වර්ධනය බාල වෙනවාද?

ප්‍රශ්නයේ ස්වභාවය අනුව, සාමාන්‍ය තත්ත්වය වන්නේ පැලයකට අදාළ පෝෂණ ද්‍රව්‍යය ලැබීමයි. අපට කිසියම් ක්‍රමයකින් මේ පෝෂණ ද්‍රව්‍යය පැලයට ලැබෙන එක වලක්වා එහි වර්ධනය නිරීක්ෂණය කළ හැකියි. එහිදී අප නිරීක්ෂණය කරන්නේ පරිසිද්ධික තත්ත්වයක් (factual situation). නමුත්, එහිදී නිරීක්ෂණය කළ හැකි වර්ධනය අඩු, වැඩි හෝ සාමාන්‍ය වර්ධනයක්ද යන්න නිගමනය කරන්නේ කොහොමද?

මේ සඳහා අපට කිසියම් සංසන්දනය කිරීමක් කරන්න වෙනවා. පෝෂණ ද්‍රව්‍යය නොලබා වැඩෙන පැලයේ වර්ධනය අප විසින් සංසන්දනය කළ යුත්තේ පෝෂණ ද්‍රව්‍යය ලබා වැඩෙන එම පැලයේම වර්ධනය සමඟයි. මේ දෙක අතර වෙනසක් ඇත්නම් ඒ වෙනසට හේතුව අදාළ පෝෂණ ද්‍රව්‍යයයි. නමුත්, පැලය වර්ධනය වෙන්න ඉඩ ඇරියේ පෝෂණ ද්‍රව්‍යය එයට ලැබීම වළක්වමින්නම්, විකල්ප තත්ත්වය නිරීක්ෂනය කිරීමේ හැකියාවක් අපට සෛද්ධාන්තිකවම නැහැ. එවැනි, නිරීක්ෂණය කළ නොහැකි විකල්ප තත්ත්වයක් ප්‍රතිපරිසිද්ධික තත්ත්වයක් (counterfactual situation) ලෙස හැඳින්වෙනවා.

අපි හිතමු අපේ ප්‍රශ්නය ඉහත දෙවන ප්‍රශ්නය කියා. එනම්, පැලයකට කිසියම් පෝෂණ ද්‍රව්‍යයක් ලබා දුන් විට එහි වර්ධනය වේගවත් වෙනවාද?

මෙය සොයා බැලීමේදී පරිසිද්ධික තත්ත්වය හා ප්‍රතිපරිසිද්ධික තත්ත්වය මාරු වෙනවා. පරිසිද්ධික තත්ත්වය යටතේදී පැලයට අප විසින් අමතර පෝෂක ලබා දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පැලයේ වර්ධනය වේගවත් වෙනවාද කියා අපට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ එම පැලයම අදාළ පෝෂක රහිතව වර්ධනය වන ආකාරය සමඟ සංසන්දනය කිරීමෙන් පමණයි. නමුත්, එය සෛද්ධන්තිකවම නිරීක්ෂණය කළ නොහැකි ප්‍රතිපරිසිද්ධික තත්ත්වයක්.

ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් අපට සෛද්ධාන්තික ලෙසම නිරීක්ෂනය කළ නොහැකියි. ඒ නිසා, අපට විද්‍යාත්මක ක්‍රමය යොදාගෙන නිගමන වලට එළැඹෙන්න වෙන්නේ කිසියම් අමතර උපකල්පන ප්‍රමාණයක් යටතේ පමණයි. මේ උපකල්පන කියා කියන්නේ අපේ විශ්වාස. අවශ්‍යනම් ඇදහීම් කියා කියන්නත් පුළුවන්.

පාලිත පරීක්ෂණයක මූලධර්මය වන්නේ අපට නිරීක්ෂනය කළ නොහැකි ප්‍රතිපරිසිද්ධික තත්ත්වයක් සමාකරණය කිරීමට (simulate) එම ප්‍රතිපරිසිද්ධික තත්ත්වයට ආසන්නයැයි අප විශ්වාස කරන වෙනත් පරිසිද්ධික තත්වයක් ආදේශ කර ගැනීමයි. පෝෂක සහිතව වර්ධනය වන පැලයම අදාළ පෝෂක රහිතව වර්ධනය වන ආකාරය අපට එකවර නිරීක්ෂණය කළ නොහැකි නිසා අප කරන්නේ අදාළ පෝෂක රහිතව වර්ධනය වෙන වෙනත් පැලයක් නිරීක්ෂණය කිරීමයි. ඉන් පසුව අප එම පරිසිද්ධික තත්ත්වය අප නොදන්නා ප්‍රතිපරිසිද්ධික තත්ත්වය වෙනුවට ආදේශ කරගෙන නිගමන වලට එළැඹෙනවා.

අප මෙය කරන්නේ විශ්වාසය මතයි. පරීක්ෂණාගාර තත්ත්වයන් හා පාලිත තත්ත්වයන් සමානව තබා ගන්න අවශ්‍ය වෙන්නේ එසේ තබා නොගත්තොත් අපේ ඉහත කී විශ්වාසය පහසුවෙන් බිඳ වැටෙන නිසයි. අදාළ තත්ත්වයන් සමාන සේ පෙනේනම් අඩු වශයෙන් ප්‍රතිපරිසිද්ධික තත්ත්වය වෙනුවට පරිසිද්ධික තත්ත්වය ආදේශ කර ගැනීම වැරදි බව පැහැදිලිව කියන්න හේතුවක් නැති නිසා අපට හිත හදාගෙන අපේ පාලිත පරීක්ෂනය ගැන සතුටු විය හැකියි.

විද්‍යාත්මක ක්‍රමය වන්නේ ඔබේ පරීක්ෂණ සාම්පලය පාලිත සාම්පලය සමඟ සසඳා නිගමන වලට එළැඹීම නෙමෙයි. අප ඇත්තටම අපේ පරීක්ෂණ සාම්පලය සැසඳිය යුත්තේ පාලිත තත්ත්වයන් යටතේ නිරීක්ෂණය කළ හැකිව තිබුණු එම සාම්පලයම සමඟයි. ඒ වෙනුවට පාලිත සාම්පලය ආදේශ කර ගන්නේ එසේ වෙනස් තත්ත්වයන් යටතේ නිරීක්ෂණය කළ හැකිව තිබුණු එම සාම්පලයම නිරීක්ෂණය කිරීමේ හැකියාවක් අපට නොමැති නිසා ආදේශකයක් ලෙස පමණයි. විද්‍යාත්මක පරීක්ෂණ හරහා නිගමන වලට එළැඹෙන අය මේ මූලික උපකල්පනය අමතක නොකළ යුතුයි.

(Image: https://www.khanacademy.org/science/high-school-biology/hs-biology-foundations/hs-biology-and-the-scientific-method/a/experiments-and-observations)

Monday, February 24, 2020

කෝවිඩ්-19 චීනයෙන් එළියට?


මේ වන විට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 79,731 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 2,627 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ ආසාදිතයින් අතරින් 97%ක් හමු වී තිබෙන්නේත්, මරණ වලින් 99%ක් පමණම සිදුව තිබෙන්නේත් චීනයේ. ඒ අනුව, මෙතෙක් කෝවිඩ්-19 වෛරසය බොහෝ දුරට චීනයට සීමා වෙලයි තිබුණේ.

මේ වෙද්දී ඉහත තත්ත්වය වෙනස් වී තිබෙන බවත්,  චීනයේ වෛරස් බිය ක්‍රමයෙන් තුනී වෙද්දී චීනයෙන් පිටත වේගයෙන් වෛරසය පැතිරෙමින් තිබෙන බවත් පෙනෙන්නට තිබෙනවා. එසේ කෝවිඩ්-19 වේගයෙන් පැතිරෙන ප්‍රධාන රටවල් තුනක් වන්නේ එකිනෙකට ආසන්නව නොපිහිටි දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයයි.

ඊයේ දිනය තුළ දකුණු කොරියාවෙන් අලුත් ආසාදිතයින් 231 දෙනෙකු හඳුනාගෙන ඇති අතර අලුතින් කෝවිඩ්-19 මරණ දෙකක් සිදු වී තිබෙනවා. ඒ සමඟම, දකුණු කොරියාවේ කෝවිඩ්-19 ආසාදිතයින් ගණන 833 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 8 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මෙය දිනක් තුළ ආසාදිතයින් ගණන 38%කින් ඉහළ යාමක්.

ඉතාලියේ කෝවිඩ්-19 ආසාදිතයින් ගණනද දිනක් තුළ 43% කින් එනම් 67කින් ඉහළ ගොස් අලුත් මරණ දෙකක් එකතු වී තිබෙනවා. දැන් ඉතාලියේ කෝවිඩ්-19 ආසාදිතයින් ගණන 224ක්ද, මරණ ගණන 5ක්ද වෙනවා.

කෝවිඩ්-19 වේගයෙන් ව්‍යාප්ත වන තෙවන රට ඉරානයයි. ඉරානයේ ආසාදිතයින් ගණන දිනක් තුළ 64 දක්වා 49% කින් ඉහළ ගොස් තිබෙන අතර ඉරානයේ ඉහළ කෝවිඩ්-19 මරණ අනුපාතයද කැපී පෙනෙනවා. ඊයේ දිනය තුළ සිදු වූ මරණ 4ක්ද සමඟ මේ වන විට ඉරානයේ කෝවිඩ්-19 මරණ ගණන 12ක්.

මීට පෙර සාර්ස් කොරෝනා වෛරසය නිසා වැඩිපුර මිය ගියේ චීන ජාතිකයින්. මර්ස් කොරෝනා වෛරසය නිසා වැඩිපුර මිය ගියේ මැද පෙරදිග කලාපයේ අයයි. කෝවිඩ්-19 මරණ ගණන, ආසාදිතයින් ගණන වගේම ව්‍යාප්තියත් පෙර අවස්ථා දෙකටම වඩා භයංකාරයි.


Saturday, February 22, 2020

බැඳුම්කර පාඩුව

බැඳුම්කර ගනුදෙනුව ගැන අප විසින් ලිපි විශාල ප්‍රමාණයක් ලියා තිබෙනවා. එම ලිපි හරහා අප උත්සාහ කළේ මේ හා අදාළ, බොහෝ දෙනෙක් නොදන්නා තාක්ෂණික කරුණු පිලිබඳව දැනුවත් කිරීමක් කිරීමටයි. මේ ලිපියත් එවැන්නක්.

මැතකදී නිකුත් වූ වෝහාරික විගණන වාර්තා වල පසු ගිය කාලය පුරා පැවති බැඳුම්කර වෙන්දේසි වලදී රජයට සිදු වී තිබෙන පාඩු ගණන් බැලීමක් කර තිබෙනවා. එම ගණන් බැලීම් පිළිබඳව විවිධ පාර්ශ්ව වලට විවිධ විවේචන තිබුණත් මේ විවේචන බොහොමයක් අදාළ වාර්තා වල අන්තර්ගතයට සම්බන්ධ නැහැ.

වඩා වැදගත් වන්නේ විගණනය කළ සමාගමට ඒ සඳහා සුදුසුකම් තිබේද, එම සමාගම විසින් එක් පාර්ශ්වයකට වාසිදායක ලෙස වාර්තාව පිළියෙළ කර තිබේද වැනි කරුණු නෙමෙයි. එවැනි හේතු හෝ වෙනත් හේතු නිසා වාර්තාවේ අන්තර්ගතය පිළිගත නොහැකිද කියන කරුණයි. ඒ සඳහා මුලින්ම වාර්තාවේ අන්තර්ගතය තේරුම් ගත යුතුයි.

වෝහාරික විගණනයේදී සිදු කර තිබෙන එකම දෙය රජයට සිදු වී තිබෙන පාඩු ගණන් බැලීම නොවුනත්, බොහෝ දෙනෙකුට වැදගත් වන්නේ මේ අලාභයයි. ඒ නිසා, අපේ අවධානය යොමු කරන්නේද මේ කරුණ වෙතයි.

මුළු කාලය තුළම සිදු වූ සමස්ත අලාභය ගැන කතා කරන්න පෙර, ප්‍රවේශයක් ලෙස, අපි 2015 පෙබරවාරි 27 දින සිදු වූ බැඳුම්කර වෙන්දේසියේදී සිදු වූ අලාභය ගණනය කර තිබෙන ආකාරය වෙත යොමු වෙමු. සමස්ත බැඳුම්කර වංචා කතිකාවම ආරම්භ වුනේ එම වෙන්දේසියෙන් පසුව බව කවුරුත් දන්නා දෙයක් නිසාත්, අපේ පෙර ලිපි වල වැඩිපුර කතා කර තිබෙන්නේත් මේ වෙන්දේසිය පිළිබඳව නිසාත් කතාව නැවත අලුතෙන් පටන් ගන්න හොඳ තැනක්.

වෝහාරික විගණන වාර්තා අනුව, 2015 පෙබරවාරි 27 වෙන්දේසියේදී රජයට සිදුව ඇති අවම පාඩුව රුපියල් මිලියන 1,106.43 ක්ද, උපරිම පාඩුව රුපියල් මිලියන 1,114.63ක්ද වෙනවා. මීට පෙර විගණකාධිපති වාර්තාවේ හා කෝප් වාර්තාවේද මේ වෙන්දේසියේදී රජයට සිදු වූ පාඩු ගණන් බැලීමක් කර තිබුණු නිසා මේ ගණන් අපට සෘජුවම එම ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි.

විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාව අනුව රජයට සිදුව ඇති අලාභය රුපියල් 889,358,050ක් (රුපියල් මිලියන 889.36ක්) හෝ රුපියල් 688,538,600ක් (රුපියල් මිලියන 688.54ක්) වෙනවා. මේ අනුව, වෝහාරික විගණන වාර්තාවේ ඇස්තමේන්තු කර ඇති පාඩුව කෝප් වාර්තාවේ ඇස්තමේන්තු දෙකටම වඩා වැඩියි. මේ ලිපියෙන් අප උත්සාහ කරන්නේ මේ වෙනස්කම් වලට හේතු පැහැදිලි කිරීමට පමණයි.

අප දන්නා පරිදි 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී රුපියල් 119.32 සිට රුපියල් 90.17 දක්වා පරාසයක විසිරෙන මුදලකට මුහුණත වටිනාකම රුපියල් 10,058,000,000ක් (රුපියල් මිලියන 10,058ක්) වන බැඳුම්කර ප්‍රමාණයක් මහ බැංකුව විසින් අලෙවි කළා. සමස්තයක් ලෙස ගත් විට, රුපියල් 100ක මුහුණත වටිනාකමක බැඳුම්කර විකිනුණු සාමාන්‍ය මිල රුපියල් 96.02ක්. මුහුණත වටිනාකම වැනි තාක්ෂණික වචන නොතේරෙන අයට මගේ පෙර ලිපි කියවා මූලික කරුණු දැනගත හැකියි.

බැඳුම්කර වෙන්දේසියක අරමුණ රජයට අරමුදල් සපයා ගැනීමයි. පරිණත කාලය, කූපන් පොලී අනුපාතිකය වැනි කරුණු දැනුම් දීමෙන් පසුව බැඳුම්කරයක් වෙනුවෙන් රජයට වැය වන මුදල නිශ්චිත එකක් නිසා වෙන්දේසියේදී රජයේ පැත්තෙන් ඉලක්කය විය යුත්තේ වැඩිම මිලකට බැඳුම්කර අලෙවි කිරීමයි. රජයේ නියෝජිතයා ලෙස මහ බැංකුව විසින් එය කළ යුතුයි. රජයට පාඩුවක් වූ ලෙස සැලකිය හැක්කේ මේ බැඳුම්කර විකිණිය හැකිව තිබුණු මුදලට වඩා අඩුවෙන් විකුණා තිබේය යන පදනමිනුයි. විගණකාධිපති වරයා, කෝප් කමිටුව වගේම බීඩීඕ ඉන්දියා සමාගමත් එවැනි මතයක් දරන බව ඔවුන්ගේ වාර්තා අනුව පෙනෙනවා.

මේ වෙන්දේසියේදී බැඳුම්කරයක් කොයි තරම් ඉහළ මිලකට විකිණිය හැකිව තිබුණාද? විගණකාධිපති/ කෝප් කමිටු වාර්තා හා වෝහාරික විගණන වාර්තාව වෙනස් වන්නේ මේ කරුණේදී. විගණකාධිපති/ කෝප් කමිටු වාර්තාව පිළියෙළ කර තිබෙන්නේ රුපියල් 100ක මුහුණත වටිනාකමක් ඇති බැඳුම්කර රුපියල් 104.51 බැගින් හෝ එසේ නොහැකිනම් 102.20 බැගින් විකිණීමේ හැකියාවක් තිබුණේය යන පදනමිනුයි. වෝහාරික විගණන වාර්තාව මේ බැඳුම්කර මීටත් වඩා ඉහළ රුපියල් 106.90ක මිලකට විකිණිමේ හැකියාවක් තිබී ඇති බව උපකල්පනය කර තිබෙනවා. වාර්තා දෙකේම පාඩුව ගණනය කර තිබෙන්නේ විකිණිය හැකිව තිබුණු මිල සහ වෙන්දේසියේදී විකිණූ මිල අතර වෙනස ලෙසයි.

පහත පළමු වගුවේ තිබෙන්නේ එදින වෙන්දේසියේදී ලැබුණු ලන්සු අනුව බැඳුම්කර විකිණූ මිල ගණන්. බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට ලැබෙන පොලිය (මෙය හැඳින්වෙන්නේ ඵලදා අනුපාතය ලෙසයි) තීරණය වන්නේ එය මිල දී ගත් මුදල මතයි. මේ හා අදාළ වැඩිමනත් තොරතුරු අවශ්‍යනම් මගේ පෙර ලිපි වල තිබෙනවා. මේ අනුව, එක් එක් ගනුදෙනුවට හා සමස්තයක් ලෙස සියලුම ගනුදෙනු වලට අදාළ ඵලදා අනුපාතිකද මේ වගුවේ තිබෙනවා.


කොහොම වුනත් මේ වෙන්දේසියේදී තැබුණු ලන්සු සියල්ලම පිළිගැනුණේ නැහැ. එසේ පිළිනොගෙන ප්‍රතික්ෂේප කෙරුණු ලන්සු පිළිබඳ තොරතුරු දෙවන වගුවේ පෙන්වා දී තිබෙනවා. එම ලන්සු වල මිල පරාසය රුපියල් 100ක මුහුණත් අගයක් සඳහා රුපියල් 88.43 සිට රුපියල් 62.62 දක්වා වන පරාසයක විහිදෙනවා.

වෙන්දේසියකදී පාඩුවක් සිදු විය හැක්කේ කොහොමද? වෙන්දේසියකදී පාඩුවක් සිදු විය හැක්කේ වැඩි මිලකට ලන්සු තබන ගැනුම්කරුවන් සිටියදී අඩු මිල ලන්සු පිළිගත්තොත් පමණයි. මේ වෙන්දේසියේදී එවැන්නක් සිදු වී නැහැ. මහ බැංකුව විසින් පිලිගෙන තිබෙන්නේ රුපියල් 90.16 ඉක්මවන ලන්සු පමණයි. ඊට වඩා අඩු මිල ලන්සු සියල්ලම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙමනම්, මීට වඩා වැඩි මිලකට මේ බැඳුම්කර විකිණීමේ හැකියාවක් තිබුණු බව විගණකාධිපතිවරයා, කෝප් කමිටුව හා බීඩීඕ ඉන්දියා සමාගම විසින් හිතන්නේ කොහොමද?

මීට වඩා වැඩි මිල ලන්සු කිසිවක් වෙන්දේසියට ඉදිරිපත් වී නැති බව ඇත්ත. එහෙත්, කවර හෝ හේතුවක් නිසා එදින වැඩි මිලකට මේ බැඳුම්කර මිල දී ගන්න ඉඩ තිබුණු නමුත් වෙන්දේසියට ලන්සු නොතැබූ ගැනුම්කරුවන් සිටියානම්?

අවශේෂ කරුණු දැනට වැඩිපුර සාකච්ඡා නොකර සිටිමු. යම් හෙයකින් බැඳුම්කර වැඩි මිලකට මිල දී ගන්න කැමති, එහෙත් වෙන්දේසියට නොපැමිණි ගැනුම්කරුවන් සිටියානම් මහ බැංකුවට වෙන්දේසිය හරහා විකිණිය හැකි මිලට වඩා වැඩි මිලකට ඒ ගැණුම්කරුවන්ට සෘජුවම බැඳුම්කර අලෙවි කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ බව පැහැදිලිව පෙනෙන්න තිබේනම් මහ බැංකුව විසින් කළ යුත්තේ වෙන්දේසියේදී වැඩි මිල ලන්සු පමණක් පිළිගෙන, ඉතිරි බැඳුම්කර ප්‍රමාණය සෘජුවම අලෙවි කිරීමයි.

විගණකාධිපති/ කෝප් කමිටු/ බීඩීඕ ඉන්දියා වාර්තා වල රජයට සිදු වූ පාඩු ගණනය කිරීමේ පදනම වී තිබෙන්නේ එදින එවැනි ඉල්ලුමක් රටේ තිබුණු බවයි. ඔවුන් හරියටම එකඟ නොවන්නේ එසේ වැඩි මිලකට විකිණීමේ හැකියාවක් තිබුණානම් ඒ මිල කුමක්ද කියන කාරණයටයි.

විගණකාධිපති/ කෝප් කමිටු වාර්තා වල පදනම් දෙකක් මත අලාභ ගණනය කර තිබෙනවා. මේ ගණනය කිරීම් හා අදාළ තොරතුරු පහත තෙවන හා සිවුවන වගු වල පෙන්වා තිබෙනවා.

පළමු ඇස්තමේන්තුව

සෘජු ක්‍රමයට රුපියල් 104.51 බැගින් බැඳුම්කර විකිණීමේ හැකියාවක් තිබුණු බව උපකල්පනය කරනවා. ඒ අනුව, ඊට වඩා වැඩි මිල ලන්සු හා ඒ මිලට ඇති ලන්සු පමණක් මහ බැංකුව විසින් පිළිගත යුතුව තිබුණා. මේ අනුව වෙන්දේසියේදී විකිණිය යුතුව තිබුණේ රුපියල් මිලියන 1,308ක මුහුණත වටිනාකමැති බැඳුම්කර පමණයි. ඉතිරි රුපියල් මිලියන 8,750ක මුහුණත වටිනාකමැති බැඳුම්කර ප්‍රමාණය රුපියල් 104.51 බැගින් සෘජු ක්‍රමයට විකිණිය යුතුව තිබුණා. එසේ නොකර අඩු මිලට විකිණීම නිසා රජයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 889.36ක්.


දෙවන ඇස්තමේන්තුව

සෘජු ක්‍රමයට රුපියල් 102.21 බැගින් බැඳුම්කර විකිණීමේ හැකියාවක් තිබුණු බව උපකල්පනය කරනවා. ඒ අනුව, ඊට වඩා වැඩි මිල ලන්සු හා ඒ මිලට ඇති ලන්සු පමණක් මහ බැංකුව විසින් පිළිගත යුතුව තිබුණා. මේ අනුව වෙන්දේසියේදී විකිණිය යුතුව තිබුණේ රුපියල් මිලියන 2,608 ක මුහුණත වටිනාකමැති බැඳුම්කර පමණයි. ඉතිරි රුපියල් මිලියන 7,450ක මුහුණත වටිනාකමැති බැඳුම්කර ප්‍රමාණය රුපියල් 102.21 බැගින් සෘජු ක්‍රමයට විකිණිය යුතුව තිබුණා. එසේ නොකර අඩු මිලට විකිණීම නිසා රජයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 688.54ක්.


බීඩීඕ ඉන්දියා සමාගම විසින්ද පදනම් දෙකක් මත අලාභ ගණනය කර තිබෙනවා. මේ ගණනය කිරීම් හා අදාළ තොරතුරු පහත පස්වන හා හයවන වගු වල පෙන්වා තිබෙනවා.

උපරිම අලාභය 

සෘජු ක්‍රමයට රුපියල් 106.90 බැගින් බැඳුම්කර විකිණීමේ හැකියාවක් තිබුණු බව උපකල්පනය කරනවා. ඒ අනුව, ඊට වඩා වැඩි මිල ලන්සු පමණක් මහ බැංකුව විසින් පිළිගත යුතුව තිබුණා. මේ අනුව වෙන්දේසියේදී විකිණිය යුතුව තිබුණේ රුපියල් මිලියන 658 ක මුහුණත වටිනාකමැති බැඳුම්කර පමණයි. ඉතිරි රුපියල් මිලියන 9,400ක මුහුණත වටිනාකමැති බැඳුම්කර ප්‍රමාණය රුපියල් 106.90 බැගින් සෘජු ක්‍රමයට විකිණිය යුතුව තිබුණා.එසේ නොකර අඩු මිලට විකිණීම නිසා රජයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 1,114.63ක්.


අවම අලාභය 

සෘජු ක්‍රමයට රුපියල් 106.90 බැගින් බැඳුම්කර විකිණීමේ හැකියාවක් තිබුණු බව උපකල්පනය කරනවා. ඒ අනුව, ඊට වඩා වැඩි මිල ලන්සු මහ බැංකුව විසින් පිළිගත යුතුව තිබුණා. එසේ විකිණිය හැක්කේ රුපියල් මිලියන 658 ක මුහුණත වටිනාකමැති බැඳුම්කර පමණයි. එසේ රුපියල් 106.90 බැගින් බැඳුම්කර සෘජුව විකිණීමේ හැකියාවක් තිබුණත්, රුපියල් බිලියනයක බැඳුම්කර වෙන්දේසි කරන බව මුලින් දැනුම් දී තිබුණු නිසා එම ප්‍රමාණය දක්වා වන අඩුව, එනම් තවත් රුපියල් මිලියන 342 ක මුහුණත වටිනාකමැති බැඳුම්කර වෙන්දේසියේ ලන්සු මත පදනම්ව අඩු මිලකට විකිණීමේ ප්‍රශ්නයක් නැහැ. එහෙත්, ඉතිරි රුපියල් මිලියන 9,058ක මුහුණත වටිනාකමැති බැඳුම්කර ප්‍රමාණය රුපියල් 106.90 බැගින් සෘජු ක්‍රමයට විකිණිය යුතුව තිබුණා.එසේ නොකර අඩු මිලට විකිණීම නිසා රජයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 1,106.43ක්.


මේ අනුව, මේ වාර්තා තුනේම අලාභ ගණනය කර තිබෙන්නේ වැඩි මිලකට සෘජු ක්‍රමයට බැඳුම්කර විකිණීමේ විකල්පයක් මහ බැංකුව සතුව තිබුණේය යන උපකල්පනය මත බව ඔබට පෙනෙනු ඇති. එවැනි හැකියාවක් තිබුණේද, එසේනම් ඒ වැඩි මිල කුමක්ද යන කරුණ මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ නැහැ. අප විසින් මෙහි කර තිබෙන්නේ අදාළ වාර්තා වල රජයට සිදු වූ පාඩුව ගණනය කර තිබෙන පදනම පැහැදිලි කිරීමක් පමණයි.

මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයෙකුට මෙම වගු පිළියෙළ කිරීම සඳහා උපයෝගී කරගත් එක්සෙල් වර්ක්ශීට්ස් පහත සබැඳියෙන් බාගත කර ගත හැකියි.

Simulation of loss calculations

Friday, February 21, 2020

ආච්චම්මගේ කඩේ


“සට ඉඳි තීනව දෙන්නං. එව්ව පොලෙං ගෙනාව කියන්න පුලුවන්නෙ“

මං අහනව.

“කීයද?“

“දෙසිය පනහක් පාලොහයි“

ග්‍රෑ. 250 ක්
13 යි

කියල ලියල තියෙන කොලේ වැහෙන්න හිටගෙන මම කියනව. ඉං පස්සෙ කාටත් නොපෙනෙන්න ඒ කොලේ රටඉඳි කවරෙ අස්සට දානව.

“හෙනං එයිං දෙසිය පනහක් දෙන්න“

මං රට ඉඳි දෙසිය පනහක් කිරල එයාට දීල රුපියල් පාලොවක් ගන්නව. ඒ සල්ලි ලාච්චුවට දාල හිස් සිකරට් පැකට් කොල කෑල්ලක් අරං ඒකෙ 2 ඉලක්කම ලියල සාක්කුවට දාගන්නව. 

යාං හෑල්ලේ ලියා තිබුණු "යස මාටියා ගැහිල්ලක්" ගැන ඩ්‍රැකී විසින් අවධානය යොමු කරවලා තිබුණා. සුරංගට වරින් වර ආච්චම්මගේ කඩේ පාර්ට් ටයිම් එකක් කරන්න ලැබෙනවා. ඒ වගේ වෙලාවල් වලදී ඔහු තමන්ට ඒ වෙනුවෙන් ලැබෙන දවසේ වැටුපට අමතරව තවත් ගාණක් හොයා ගන්න ක්‍රමය තමයි ඕක.

කඩේ විකුණන බඩු වලට එහි බලධාරියා වන ආච්චම්මා විසින් නියම කළ මිලක් තිබෙනවා. සුරංග ඒ මිලට වඩා අඩුවෙන් කාටවත් බඩු විකුණන්නේ නැහැ. බඩු නිකම් දෙන්නේත් නැහැ. ඔහු කරන්නේ කීයක් හෝ වැඩියෙන් බඩු විකුණා ඒ අමතර මුදල සාක්කුවට දා ගන්න එකයි.

බැලූ බැල්මටම මෙහි වංචාවක් තිබුණත්, වංචාවේ පාඩුව ආච්චම්මාට නොවන බවකුත් පේනවා. සුරංග ආච්චම්මාගේ නියෝජිතයා මිසක්, කඩේට බඩු ගන්න එන පාරිභෝගිකයින්ගේ නියෝජිතයෙක් නෙමෙයි. ඒ නිසා, පාරිභෝගිකයින් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමේ වගකීමක් ඔහුට නැහැ. ඒ කියන්නේ මේ වැඩේ වැරැද්දක් නැද්ද?

මෙහි ආච්චම්මාට සිදු වන සෘජු පාඩුවක් පේන්න නැතත්, වක්‍ර පාඩුවක් තිබෙනවා. සුරංග කරන වැඩේ නිසා ටික කලක් යද්දී ආච්චම්මගේ කඩේ බඩු මිල අධික බව ඇතැම් පාරිභෝගිකයින්ට තේරුම් යනවා. එවිට, ඔවුන් ආච්චම්මගේ කඩේ මග හැර අනෙක් කඩේට යනවා. ආච්චම්මගේ කඩේ වෙළඳාම් අඩු වෙනවා. ආච්චම්මගේ කඩේට ඒ පාඩුව වෙන්නේ සුරංග නිසා.

නියෝජිතයෙකුගේ යුතුකම වන්නේ තමන්ට පවරනු ලැබූ වගකීම ප්‍රධානියා විසින් අපේක්ෂා කරන ආකාරයෙන් ඉටු කිරීමයි. ආච්චම්මා බලාපොරොත්තු වෙන්නේ තමන් විසින් නියම කර තිබෙන මිලටම බඩු විකුණයි කියලනම් සුරංග ඒ මිලට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් බඩු විකිණීම වැරදියි. එය විශ්වාසය කඩ කිරීමක්. තමන්ට ගෙවන වැටුපට සාධාරණය ඉටු නො කිරීමක්. වංචාවක්!

ඔය වගේ දෙයක් සිදු වුනට පස්සේ ආච්චම්මා සුරංගගේ වැඩ තහනම් කරලා සිදු වුනු පාඩුව ගැන වෝහාරික විගණනයක් කළා කියා හිතමු. දැන් මේ විගණනය කරන අයට කඩෙන් බඩු ගත් පාරිභෝගිකයින් කැඳවා ඔවුන්ගෙන් සාක්ෂි විමසා සුරංග මාටියා ගැසූ මුදල හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මුදල සුරංග විසින් වංචා කළ මුදල ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන්. විගණනයේ හා ගිණුම්කරණයේ සම්මත අනුව මේ වගේ ඇස්තමේන්තු කිරීම් සිදු වෙනවා.

මේ වගේ විගණන ඇස්තමේන්තුවක බැලු බැල්මටම වැරැද්දක් පේනවා. දැන් ඔය කියන මුදල සුරංග විසින් වංචා කර තිබුණත්, එසේ කිරීම නිසා ආච්චම්මගේ කඩේට පාඩුවක් වෙලා නැහැ. විකුණූ බඩු වෙනුවෙන් ලැබිය යුතු ආදායම අන්තිම සතේට නිවැරදිව ලාච්චුවේ තිබෙනවා. ඒ නිසා, විගණන වාර්තාව අනුව කඩේට කිසිම පාඩුවක් වී නැති බව නිගමනය වී තියෙන්නත් පුළුවන්.

විගණනයේදී පාඩුවක් ගණනය කරන්න වෙන්නේ වෙනත් විකල්පයකට සාපේක්ෂවයි. කියපු මිලටම බඩු විකිණීමට සාපේක්ෂව බැලුවොත් මේ වගේ විගණනයකින් පෙනෙනු ඇත්තේ ආච්චම්මගේ කඩේට කිසිදු පාඩුවක් සිදු වී නැති බවයි. විගණනයේදී හොයාගත්, සුරංග විසින් ලැබූ අයුතු ලාබය ආච්චම්මගේ කඩේට සිදු වූ අලාභය ලෙස සැලකුවොත් එයින් අදහස් වන්නේ එම මුදල ආච්චම්මගේ කඩේ ලාබයට එකතු වීමේ විකල්පයක් තිබුණු බවයි. වෙනත් විදිහකින් කිවුවොත්, විකල්ප තත්ත්වයන් යටතේදී සුරංග බඩු වැඩි මිලට විකිණීම නිවැරදි බව හා එසේ විකුණා ලැබෙන අමතර මුදල ආච්චම්මගේ කඩේ ලාච්චුවටම දැමිය යුතුව තිබුණු බවයි.

මේ දෙවැන්න දැඩි උපකල්පනයක් වුවත් ඇතැම් විට නිවැරදි එකක් වෙන්නත් බැරිකමක් නැහැ. එය තීරණය වන්නේ ආච්චම්මා තමන්ගේ නියෝජිතයා වෙත පැවරූ වගකීම කුමක්ද කියන එක මතයි. ආච්චම්මා සුරංගට පැවරූ වගකීම ලේබල් කළ මිලට බඩු විකිණීමද එසේ නැත්නම් හැකි උපරිම මිලට බඩු විකිණීමද? එය දෙවැන්නනම් මෙහිදී සුරංග මාටියා ගැසූ මුදල ආච්චම්මගේ කඩේට සිදු වූ පාඩුව ලෙස සැලකීම නිවැරදියි. එහෙත්, ආච්චම්මා බලාපොරොත්තු වුනේ කියපු ගාණට බඩු විකුණන එකනම්, මේ දෙක අතර එවැනි සෘජු සමබන්ධයක් නැහැ. ඒ වගේ වෙලාවක විගණන වාර්තාව අනුව, මාටියා ගැසීමක් සිදු වී තිබුණත්, ආච්චම්මගේ කඩේට පාඩුවක් සිදු වී නොතිබෙන්න පුළුවන්. හැබැයි ආර්ථික විද්‍යා මූලධර්ම අනුවනම් එහෙම කියන එක වැරදියි.

ආර්ථික විද්‍යා මූලධර්ම අනුව පාඩුව ගණනය කළ යුත්තේ "ප්‍රතිපරිසිද්ධික (counterfactual) තත්ත්වයට" සාපේක්ෂවයි. ඒ නිසා, මුලින්ම මේ ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කුමක්ද කියන එක නිරවුල් කර ගත යුතුයි. ආච්චම්මා බලාපොරොත්තු වුනේ කියපු ගාණට බඩු විකුණන එකනම්, එසේ නොකිරීම නිසා සිදුව තිබෙන පාඩුව කඩේට පාරිභෝගිකයින් පිරිසක් නැති වීමයි. මෙය ආවස්ථික පිරිවැයක්. ලැබිය හැකිව තිබුණු ලාබයක් අහිමි වීමක්.

සාමාන්‍යයෙන් විගණනයකදී මේ ආකාරයේ පාඩු ගණනය කරන්නේ නැහැ. විගණන හෝ ගිණුම්කරණ සම්මත යොදාගෙන එය කරන්නත් අමාරුයි. කඩේට පැමිණි පාරිභෝගිකයින්ගෙන් සාක්ෂි විමසීම අමාරුවෙන් හෝ කළ හැකි දෙයක් වුවත්, කඩේට නොපැමිණි එහෙත් පැමිණිය හැකිව තිබුණු පාරිභෝගිකයින්ගේ සාක්ෂි විමසීම ප්‍රායෝගිකව ඉතා අසීරු වැඩක්. ඒ නිසා, පාඩුව ඇස්තමේන්තු කිරීමත් ඉතා අසීරු වැඩක්.

මෙය කළ හැකි සංඛ්‍යානමය/ ආර්ථිකමිතික ක්‍රමවේද තිබෙනවා. එහෙත්, ඒවා විගණනයකදී හෝ වෝහාරික විගණනයකදී යොදා ගන්නා සරල මූලධර්ම වලට වඩා ගොඩක් සංකීර්ණයි. සංකීර්ණ තාක්ෂණික වංචාවක පාඩුව ගණන් බැලීම සඳහා සරල විගණන මූලධර්ම යොදාගත් විට ලැබෙන ප්‍රතිඵලය විශ්වාසනීය එකක් නෙමෙයි. මේ උදාහරණයේදී ආච්චම්මගේ කඩේට කිසියම් පාඩුවක් අනිවාර්යයෙන්ම සිදු වී තිබිය යුතුයි. එහෙත්, එම පාඩුව සුරංග මාටියා ගැසූ මුළු මුදලට, ඒ කියන්නේ සුරංග විසින් ලැබූ "අධික ලාබයට" සමාන වීමට හේතුවක් නැහැ.

දැන් අපි හිතමු ආච්චමමා සුරංගගෙන් බලාපොරොත්තු වුනේ වඩා "වෘත්තීය" කාර්යයක් කියලා. ඒ කියන්නේ, ලේබල් වල ගාණ කීය වුනත් කඩේ ලාබ වැඩි කරන එක කියලා. එහෙමනම්, ඔහු අවස්ථාව අනුව බඩු වැඩි මිලට හෝ අඩු මිලට විකිණීමේ වැරැද්දක් නැහැ. වැරැද්ද ඔහු එසේ නොකරන්නේනම්.

ඒ විදිහට බැලුවොත් සුරංගගේ මාටියා ගැසීම සෘජුවම ආච්චම්මගේ කඩේට කරපු වංචාවක්. යම් හෙයකින් ඔහු ඒ වංචාව නොකර අමතර මුදලත් කඩේ ලාච්චුවටම දැම්මා කියා හිතමු. ඒ තත්ත්වය යටතේ වුවත් කඩේට පාරිභෝගිකයින් නැති වී පාඩුවක් වෙන්න පුළුවන්. හැබැයි එය සුරංග විසින් කඩේට ලාබ වැඩි කර ගන්න කටයුතු කිරීමේදී සිදු වූ අහිතකර ප්‍රතිඵලයක් නිසා එය සුරංගගේ වැරැද්දක් කියා කියන්න බැහැ. අන්තිමේදී කඩේ වහන්න වෙන්නත් පුළුවන්. එයට හේතුව කළමනාකරුවෙකු ලෙස සුරංගගේ අදක්ෂතාවය විය හැකියි. එහෙත්, එහිදී ඔහු වංචාවක් කර නැහැ. පාඩු කියන්නේ හැම විටම වංචා නෙමෙයි.

(Image credit: https://ankierenique.files.wordpress.com/2014/11/kadeold.jpg)

Thursday, February 20, 2020

සදාචාරාත්මක උපද්‍රවය හා අහිතකර තේරීම


නිදහස් වෙළඳපොළක් සාමාන්‍යයෙන් කාර්යක්ෂමයි. කාර්යක්ෂම වෙළඳපොළක නිදහසට බාධා කරන බොහෝ අවස්ථා වලදී වෙන්නේ එහි කාර්යක්ෂමතාවය අඩු වෙන එකයි. ඒ නිසා, ආර්ථික විද්‍යාඥයෙකු සාමාන්‍යයෙන් නිදහස් වෙළඳපොළකට කරන මැදිහත්වීම් අනුමත කරන්නේ නැහැ.

ඉහත සාමාන්‍ය තත්ත්වය වෙනස් වන සුවිශේෂී තත්ත්වයන් තිබෙනවා. නියාමනය වෙනුවෙන් ඇතැම් ආර්ථික විද්‍යාඥයින් පෙනී සිටින්නේ ඒ වගේ අවස්ථා වලදීයි. නියාමනය හරහා වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට මැදිහත් විය යුත්තේ එසේ කිරීම යුක්තියුක්ත කරන පැහැදිලිව හඳුනාගත් හේතුවක් ඇති විටක හා නියාමනය මගින් පවතින ගැටළුව ඉවත් කළ හැකි බව පැහැදිලිව පෙනෙන විටකදී පමණයි. එවිට නියාමනයේ ඉලක්කය පැහැදිලියි. පවතින ගැටළුව නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට තිබෙන ස්වභාවික ගැටළුවක්නම්, නියාමනය හරහා එම ගැටළුව ඉවත් කළ විට වෙළඳපොළේ කාර්යක්ෂමතාවය තවත් ඉහළ යා යුතුයි.

ඇතැම් වෙළඳපොළ ගනුදෙනු කාර්යක්ෂම නොවීමට ප්‍රධාන හේතුවක් වන්නේ ගනුදෙනුවේ පාර්ශ්ව දෙක අතර තිබෙන තොරතුරු අසමමිතියයි (Information asymmetry/ asymmetric information problem). සෞඛ්‍ය හා මූල්‍ය වෙළඳපොළ වල බොහෝ විට මේ තත්ත්වය නිරීක්ෂණය කළ හැකියි. ලෝකයේ හැම රටකම වගේ මේ ක්ෂේත්‍ර කිසියම් අයුරකින් නියාමනය කෙරෙන්නේ එම වෙළඳපොළ වල අසමමිතික තොරතුරු ගැටළු පවතින බව පොදු පිළිගැනීම නිසයි.

අසමමිතික තොරතුරු ගැටළු ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ හඳුනා ගැනෙනවා. ඒ සදාචාරත්මක උපද්‍රව ගැටළු (moral hazard problem) හා අහිතකර තේරීම් ගැටළු (adverse selection problem) ලෙසයි. සදාචාරත්මක උපද්‍රව ගැටළු ඇති වන්නේ ගනුදෙනුවකට ඇතුළු වීමෙන් පසුවයි. අහිතකර තේරීම් ගැටළු ගනුදෙනුවක් සිදු වීමට පෙර ඇති වනවා.

අපේ පෙර ලිපියකට ප්‍රතිචාර දක්වමින් සෑම් පෙරේරා විසින් දැමූ ප්‍රතිචාරයේ කොටසක ඔහු මෙහෙම ලියනවා.

"80 දශකයේ මුල මගේ ජීප්පුවට ෆුල් ඉන්ෂුවරන්ස් වලට රුපියල් 450 වැනි මුදලක් තාත්තාගෙන් ලබාගෙන රුපියල් 180 වැනි මුදලකට තර්ඩ් පාටියක් දාලා රුපියල් 270 වංචා කළා...."

තවත් ඇනෝ කෙනෙකුත් කතන්දරයක් ලියලා තිබෙනවා. එයින් කොටසකුත් දමන්නම්.

"මටත් ඔහොම දෙයක් උනා. මම අද උදේ තාත්තාගෙන් ක්ලාස් යන්න කියලා රුපියල් 5000 ක් ඉල්ලා ගත්තා. ඊට පස්සේ උදේ ගෙදරින් ගිහිං ක්ලාස් එක ලග කෙල්ලෝ බැලුවා අට නමය වෙනකන්.

ඊට පස්සේ උදේ 11 වෙනකන් එහෙට මෙහෙට විවි ඉදලා බාර් ඇරියම ඒකට ගිහිං භාගයක් ගහලා රයිස් එකකුත් කෑවා. බිල ආවා 1800 ක්. ඊට පස්සේ රුපියල් 2000 ක් වේටර්ට දීලා සිගරට් එකකුත් ගෙන්න කියලා බැලන්ස් එක මිනිහට දුන්නා ටිප් එක විදියට. ඊට පස්සේ ඉතිරි 3000 ත් අරං එලියට බැස්සා බාර් එකෙන්.

ඊට පස්සේ එතනම තිබ්බ ස්පා එකක බෝර්ඩ් එක දැකලා ඒකට ගියා. එකේ කෑලි හිටියා හතර පස් දෙනෙක්. එකෙන් මම තෝරා ගත්තා..."

මේ අවස්ථා දෙකම සදාචාරත්මක උපද්‍රව ගැටළු සඳහා උදාහරණ. සදාචාරත්මක උපද්‍රව ගැටළුවක් කාල නොගැලපීම් ගැටළුවක් (time inconsistency problem) ලෙසත් හැඳින්විය හැකියි. දෙමවුපියන් දරුවෙකුට කිසියම් මුදලක් දෙන කොට දරුවාගෙන් ඒ වහාම නැවත ආපසු ලබා ගන්නා දෙයක් නැහැ. එහෙත්, එම මුදල දීමෙන් ඔවුන් බලාපොරොත්තු වන දෙයක් තිබෙනවා. ඒ දරුවාගේ දිගුකාලීන යහපතයි. මෙහිදී දරුවාගේ යහපත කියන එක නිර්ණය වන්නේ දෙමවුපියන්ට සාපේක්ෂවයි. තමන්ගේ යහපත ලෙස දරුවා විසින් හඳුනා ගන්නා දෙය එයම නොවෙන්න පුළුවන්.

සෑම්ගේ රක්ෂණ ආවරණය වෙනුවෙන් ගෙදරින් මුදල් ගෙවන්නේ ඒ මගින් රිය අනතුරකදී සෑම්ට විය හැකි හානිය අවම කිරීමේ බලාපොරොත්තුවෙනුයි. දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කරන්නේ දරුවාගේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙසයි. මේ අවස්ථා වලදී දෙමවුපියන්ට ලැබෙන දෙය දරුවන්ගේ අනාගත සතුටයි. අනාගතයේදී ලැබෙන දෙයක් වෙනුවෙන් දැන් මුදල් ගෙවන නිසා මෙහි කාල නොගැලපීම් ගැටලුවක් තිබෙනවා. දරුවන් තමන්ගේ යහපත සේ දකින දෙය දෙමවුපියන් ඔවුන්ගේ යහපත සේ දකින දෙයම නොවීම නිසා මෙයම තොරතුරු අසමමිතිය පිළිබඳ ගැටළුවක්ද වෙනවා.

සාමාන්‍ය වෙළඳපොළ ගනුදෙනු වලදීත්, වෙනත් අවස්ථා වලදීත් සදාචාරත්මක උපද්‍රව ගැටළු සුලභව පැන නගිනවා. දුරකථන සමාගමක් සමඟ ජංගම දුරකතන පහසුකම් හෝ අන්තර්ජාල පහසුකම් ලබා ගන්න ගිවිසුමක් අත්සන් කර කලින්ම මුදල් ගෙවීමෙන් පසුව අදාළ සමාගම විසින් කලින් පොරොන්දු වූ සේවය ලබා නොදෙන්න පුළුවන්. එවිට පාරිභෝගිකයාට කළ හැකි දෙයක් නැහැ. ඇය ඒ වන විට මුදල් ගෙවා අවසන්. හොරු අල්ලන්න පත් කරගත් ආණ්ඩුවක් බලයට පත් වූ පසු හොරකමකින්ම වැඩ අල්ලන්න පුළුවන්. තම්බින්ට ගේම දෙන්න පත් කරගත් ආණ්ඩුවක් බලයට පත් වූ පසු තම්බින්ට කප්පම් දෙන්න පටන් ගන්න පුළුවන්. නමුත්, කරන්න දෙයක් නැහැ. ඒ වන කොට ආණ්ඩුව බලයට පත් කර ගෙන ඉවරයි.

අපි වාහන රක්ෂණ වෙළඳපොළටම එමු. සෑම්ට වගේ හැමෝටම ගෙදරින් සල්ලි ලැබෙන්නේ නැහැනේ. රක්ෂණ ආවරණය මිල දී ගන්න වෙන්නේ තමන්ගේම සල්ලි වලින්. වාහනේ පාරට දමන්නනම් තර්ඩ් පාර්ටි එකක් කොහොමටත් දමන්න වෙනවනේ. නමුත්, ෆුල් ඉන්ෂුවරන්ස් දමන්නම අවශ්‍ය නැහැ. පාරිභෝගිකයාට තේරීමක් තිබෙනවා. එහෙමනම්, ෆුල් ඉන්ෂුවරන්ස් දමන්නේ කොයි වගේ පාරිභෝගිකයෝද?

තමන් ජීවිතේට වාහනේ හප්ප ගන්නේ නැහැ කියලා ෂුවර් කෙනෙක් ෆුල් ඉන්ෂුවරන්ස් එකකට මුදල් වැය කරන්නේ නැහැ. නමුත්, තමන් වාහන එළවන විදිහට ඕක කොයි වෙලේ කොහේ ඇන ගනීද කියා ෂුවර් නැති කෙනෙක් බොහෝ විට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් ගන්නවා. ඊට පස්සේ වාහනේ හැප්පුනත් අතින් සල්ලි යන්නේ නැති නිසා කුරුල්ලා වගේ එළවන්න පුළුවන්නේ. ඒ කියන්නේ රක්ෂණ ආවරණයක් විකිණුවාට පස්සේ සදාචාරාත්මක උපද්‍රවයකට මුහුණ දෙන්න වෙන්නේ රක්ෂණ සමාගමටයි.

රක්ෂණ සමාගම් වල ඉන්නෙත් බබ්බු නෙමෙයිනේ. ඒ අය ඔය ටික දන්නවා. ඒ නිසා රක්ෂණ සමාගම් දැන දැනම පාඩු කර ගන්නේ නැහැ. රක්ෂණ ආවරණයක් විකිණුවාට පස්සේ රියැදුරන් වඩා නොසැලකිලිමත් වන බවත්, ඒ නිසා රිය අනතුරු ඉහළ යන බවත් දන්නා රක්ෂණ සමාගම් විසින් රක්ෂණ ආවරණයේ මිල නිර්ණය කරන්නේ ඒ ඉහළ යන අවදානමටත් ගානක් එකතු කරලයි.

ෆුල් ඉන්ෂුවරන්ස් දාලා පාර බදු ගන්න බලාගෙන ඉන්න අයට ඔය ඉහළ මිල ප්‍රශ්නයක් නෙමෙයි. නමුත්, එහෙම නැති හොඳ රියදුරනුත් ඉන්නවනේ. අවුල තියෙන්නේ ඒ අයටත් ෆුල් ඉන්ෂුවරන්ස් එකක් ගන්නවානම් ගන්න වෙන්නේ අර ඉහළ මිලට වීමයි. ඒ මිල ගෙවා ෆුල් ඉන්ෂුවරන්ස් දමන එක පාඩු නිසා ඔවුන් තර්ඩ් පාර්ටි එකකින් සෑහීමකට පත් වෙනවා. කිසියම් විදිහකින් නරක රියැදුරන් හා හොඳ රියැදුරන් වෙන් කර ගැනීමේ හැකියාවක් රක්ෂණ සමාගමට තිබුණානම් ඔවුන්ට හොඳ රියැදුරන්ට පමණක් අඩු මිලකට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් විකුණන්න තිබුනා. ඒත් රක්ෂණ සමාගමට මිහිහෙක්ගේ මූණ බලලා හොඳ රියදුරෙක්ද නරක රියදුරෙක්ද කියා හිතා ගන්න අමාරු නිසා තමන්ට පාඩු නොවෙන්නනම් කරන්න වෙන්නේ හැමෝම නරක ගොඩට දමලා මිල තීරණය කරන එකයි. එහෙම වැඩි මිලක් නියම කළාම හොඳ රියැදුරන් කොහොමටත් නොඑන නිසා අන්තිමට රක්ෂණ ආවරණ ගන්න එන්නේ නරක රියැදුරන්ම පමණයි. අහිතකර තේරීම් ප්‍රශ්නය කියන්නේ ඔන්න ඕකටයි.

සදාචාරාත්මක උපද්‍රව ගැටළු ගනුදෙනුවකින් පසුව ඇති වුනත්, අහිතකර තේරීම් ප්‍රශ්නය නිසා වෙන්නේ ගනුදෙනුවක් කොහෙත්ම සිදු නොවීමයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක මහජන නියෝජිතයින් විදිහට නරක මිනිස්සු තේරී පත් වීමටත් මෙය හේතුවක් වෙනවා. ගොඩක් අය හිතන විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි වැඩි හරියක් හොරු. මුලදී එහෙම නැති අයත් පස්සේ හොරු වෙනවා.

ඔය වගේ ප්‍රචලිත මතයක් තියෙද්දී හොරෙක් නොවන අවංක පුද්ගලයෙක් මැතිවරණයකට ඉදිරිපත් වුනා කියා හිතමු. දැන් මේ අවංක මනුස්සයා තමන්ගේ අවංකකම තහවුරු කරන්නේ කොහොමද? පෝස්ටර් වලටනම් කවුරුත් අවංකයි. ඒ නිසා, අවංක මනුස්සයෙක් වුනත් වැටෙන්නේ හොරු නැත්නම් වෙන්ඩ හොරු ගොඩටයි. තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්නයක්.

දැන් මිනිස්සු හිතන්නේ කොහොමද? නොදන්නා අලුත් හොරෙක්ට වඩා දන්න පරණ හොරාම හොඳයි! අන්තිමට පරණ හොරු ටිකම ඇතුළේ. අහිතකර තේරීම් ප්‍රශ්නය ඔන්න ඔය වගේ එකක්.

Tuesday, February 18, 2020

A partner in crime in facemasked China?



On Monday, the Chinese Centre for Disease Control and Prevention (CCDC) published the results of a study on COVID-19 outbreak analyzing all cases diagnosed as of February 11, 2020 in Mainland China. The total of 72,314 patient records analyzed included 44,672 confirmed cases, 16,186 suspected cases and 10,567 clinically diagnosed cases.

The demographic characteristics of the confirmed cases and the associated outcomes clearly shows the differential effect of the disease on various age groups. While 46.5% of confirmed cases represent patients younger than 40, only 6.3% of total deaths have been reported within that age group and only a single death below 20 was among those. On the other hand, those who are older than 60 represent only 31.1% of confirmed cases but 81.0% of total deaths. Why COVID-19 is hitting the elderly hard?

Until February 11, only the confirmed cases were associated with COVID-19 in official statistics but suddenly China started to count the clinically diagnosed cases too. With this change, the number of cases jumped up by nearly a third. A disease is what we define and so is the cause of death. When a definition changes, many healthy individuals become sick and vice versa. In November 2017, the US clinical guidelines on the threshold defining high blood pressure was lowered from 140/90 mm Hg to 130/80 mm Hg. Consequently, the percentage of US adults with hypertension increased immediately from 32% to 46%.

Economists explain life and death using the health capital model. In the widely used model introduced by Michael Grossman in 1972, individuals inherit an initial stock of heath that depreciates with age. They can invest in inputs such as medical care, diet, exercise and living environment to increase this stock while various diseases act as random shocks to decrease the stock of health capital. Death occurs when the stock falls below a certain minimum level.

Based on the Grossman model a disease can cause death when the initial endowments are very low, when most of the health stock has gradually depreciated or when the magnitude of an adverse health shock is very large. The COVID-19 does not appear to cause a huge health shock itself. Many people have mild symptoms and most of them recover easily. The fatality rate is very low among the young, so it can’t be due to low initial endowments. Most likely, COVID-19 can be the last fatal punch on those who have a limited residual stock of health capital.

COVID-19 does not kill itself. The immune response to the virus destroys lung tissue and cause inflammation ultimately cutting off the oxygen supply to the body causing death. Lung health of a person can deteriorate due to various other causes- smoking and air pollution are examples. Yet, when a person has been tested positive for COVID-19, we solely attribute that death to the virus.

In many media reports during the past month, we saw Chinese people with their faces covered with masks to protect themselves from COVID-19. Facemasks, however, are not new to most Chinese cities. At least for two decades, people living in smog-filled large Chinese cities have been routinely wearing facemasks to minimize the health risks of air pollution.

The great economic prosperity and urban growth in China during the recent past have also resulted in the deterioration of the quality of air in most parts of China, Beijing-Tianjin-Hebei and surrounding areas in particular. An assessment by the United Nations Environmental Programme (UNEP) just before the 2008 Summer Olympics in Beijing noted that addressing Beijing’s poor air quality was a top priority in planning for the Games. By that time health concerns among athletes and officials over air quality in Beijing had attracted wide international media coverage. Due to various regulatory measures implemented prior to the Olympic games by Chinese authorities, Beijing smog cleared after many years in 2008. These “Olympic Blues”, however, didn’t last long since most of the regulatory measures implemented were temporary.

China has been fighting air pollution aggressively since 2013 and a recent report by UNEP shows that annual average concentration of PM10 in Beijing has decreased by 55.3% during 1998-2017. Yet, Beijing’s ambient air still exceeds China’s air quality standards and the World Health Organization’s recommended “safe” levels. China still is one of the countries with most polluted air.

According to a study published in 2016 which analyzed the effects of temporary improvement in air quality in Beijing in 2008 on mortality, 285,000 premature deaths in urban China could be averted annually if PM10 concentrations were to decrease by 10 percent. Another study published in 2017 shows that that the air quality related deaths in China from stroke, ischemic heart disease and lung cancer increased from approximately 800,000 cases in 2004 to over 1.2 million cases in 2012.

As data show air quality in Wuhan and the surrounding area has been as poor as in Beijing during the past decades. If we go back to Grossman’s health capital model, this should have affected the health stock of most people living in this part of the country, particularly the elderly. When you just have a small health stock left, you don’t need a large shock to exhaust it. Is that what happened with COVID-19? If so, can we call COVID-19 the sole culprit? Is bad air quality in China a partner in crime?

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...