වෙබ් ලිපිනය:

Thursday, January 30, 2020

කොරෝනා භීෂණය


මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය 7,815 දක්වාත්, ආශ්‍රිත මරණ ගණන 170 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන්ද නව කොරෝනා රෝගීන් හමු වීමත් සමඟ මේ වන විට චීනයෙන් පිටත රටවල් හා ප්‍රදේශ 20ක් කරා වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයගෙන් මිය ගොස් තිබෙන්නේ 2.2% ක් පමණයි.

මීට පෙර, 2002-2003 වසර වලදී ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනා වෛරසය රටවල් 29ක පැතිරී 8,098 දෙනෙකු ආසාදනය වුනා. ඔවුන්ගෙන් 774 දෙනෙකු මිය ගියා. ඒ අනුව, සාර්ස් මරණ අනුපාතය 9.6%ක් වුනා. ඉන් පසුව, 2013-2015 කාලයේ පැතිරුණු මර්ස් කොරෝනා වෛරසය රටවල් 26ක 1227 දෙනෙකුට වැළඳී ඔවුන්ගෙන් 449 දෙනෙකු මිය ගියා. එය 37%ක මරණ අනුපාතයක්.

කොරෝනා වෛරස් වර්ග නිසා ඇති වන අතුරු ආබාධ වලට ප්‍රතිකාර කරනු මිස වෛරසය මැඩලිය හැකි ඖෂධ නැහැ. එහෙත්, මිනිස් සිරුරේ ඇති වන ස්වභාවික ප්‍රතිශක්තියෙන් බොහෝ දෙනෙකුට වෛරසය මැඩ පැවැත්විය හැකියි. වයස්ගත හා වෙනත් රෝගී තත්ත්වයන් ඇති අය හැර සාමාන්‍යයෙන් නිරෝගී බොහෝ දෙනෙකුට නව කොරෝනා වෛරසය මැඩ පවත්වා ගැනීමට හැකි වී තිබෙනවා. සාර්ස් හා මර්ස් කොරෝනා වෛරස වලට සාපේක්ෂව නව කොරෝනා වෛරසය වැළඳුනු අයෙකු මිය යාමේ ඉඩකඩ කිහිප ගුණයකින් අඩුයි.

කෙසේ වුවත්, මරණ අනුපාතිකය අඩු මට්ටමක තිබීම නිසා නව කොරෝනා වෛරසය සාර්ස් හා මර්ස් කොරෝනා වෛරස වලට වඩා අඩුවෙන් භයානක බව කියන්න බැහැ. මෙය භයානක වන්නේ මරණ අනුපාතිකය නිසා නෙමෙයි. වෛරසය ව්‍යාප්ත වන වේගය නිසයි. සාර්ස් වෛරසය 8,098 දෙනෙකුට ආසාදනය වුනේ මාස අටක පමණ කාලයක් තුළයි. මරණ අනුපාතය වැඩි වුවත්, මරණ ගණනින් හා ආසාදිතයින් ප්‍රමාණය අනුව සාර්ස් වෛරසය තරම් බලපෑමක් නොකළ, මර්ස් වෛරසය පැතිරුනේත් මාස ගණනාවක කාලයක් තුළයි. නමුත්, නව කොරෝනා ආසාදිතයින් ගණන 7,815 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ සති හයක පමණ කාලයක් ඇතුළතයි.


මේ වන විට හඳුනාගෙන ඇති මුළු නව කොරෝනා ආසාදිතයින් ගණන ලොව පුරා සිටි සාර්ස් ආසාදිතයින් ගණනට ආසන්නයි. චීනයේනම් සාර්ස් ආසාදනය වූ ගණනට වඩා නව කොරෝනා ආසාදිතයින් ගණන දැනටමත් ඉක්මවා අවසන්. නව කොරෝනා වෛරසයේ මෙන්ම සාර්ස් වලද ආරම්භක රට වූ චීනයෙන් හඳුනාගත් මුළු සාර්ස් ආසාදිතයින් ගණන 5327ක් පමණයි.

සංසන්දනාත්මකව, 774ක් වූ සාර්ස් මරණ ප්‍රමාණයට සාපේක්ෂව 170 මට්ටමේ දැනට තිබෙන නව කොරෝනා මරණ ප්‍රමාණය අඩුයි. එහෙත්, නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නේ මීට පෙර සාර්ස් හා මර්ස් කොරෝනා වෛරස ව්‍යාප්ත වූවාට වඩා බොහෝ වේගයෙන්. නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම කෙසේ හෝ පාලනය කර නොගත්තොත් මේ රෝගය ආශ්‍රිත මරණ අනුපාතය පහළ මට්ටමක තිබුණත්, මරණ ප්‍රමාණය වැඩි වීමේ අවදානමක් තිබෙනවා.

රෝගයේ ස්වභාවය අනුව චීනය විසින් කරන්නේ කළ යුතු හොඳම දෙයයි. රටක විශාල කොටසක් හුදෙකලා කිරීම චීනය වැනි රටකට මිස ඇමරිකාව වැනි රටකට ලේසියකින් කළ නොහැකි දෙයක්.

යාවත්කාලීන කිරීම:

මේ වන විට, නව කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 9,692 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ ප්‍රමාණයද 213 දක්වා ඉහළ ගිහින්. එක් සතියක් ඇතුළත නව කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන දස ගුණයකින් වැඩි වීම ඇතුළු තවත් කරුණු සලකා බලමින් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර සැලකිල්ලට බඳුන් විය යුතු මහජන සෞඛ්‍යය පිළිබඳ හදිසි ආපදා තත්ත්වයක් (Public Health Emergency of International Concern) ප්‍රකාශයට පත් කර තිබෙනවා. 


Wednesday, January 29, 2020

උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්

කාලයකට ඉස්සර උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවූ බව පැවසෙන්නේ අන්දරේ විසින් ඔහුගේ පුතාටයි. අන්දරේ කියන්නේ ඒ වෙද්දී රජවාසල කවටයා.

අන්දරේ කාටත් ඇහෙන්න උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවුවත් අන්දරේගේ හෝ පුතාගේ කටේ පස් තිබුණේ නැහැ. පස් කන බව කෑ ගසා කියමින් ඔවුන් කළේ හිතේ හැටියට රජවාසල සීනි කන එකයි. වෙනත් විදිහකින් කිවුවොත් පොදු දේපොළ අපහරණය කරමින් වංචාවක් කිරීමයි. ඒ දවස් වල වෝහාරික විගණන තිබුණේ නැති නිසා රජවාසල කවටයින් පවුල් පිටින් සීනි කෑමෙන් සිදු වූ අලාභය ගැන ගණන් මිමි නැහැ.

අන්දරේට පොදු දේපොළ අපහරණය කරන්න අවස්ථාව ලැබුණේ රජා විසින් තොරතුරු වසන් කරමින් බොරුවක් කියූ නිසයි. අන්දරේ විසින් රජවාසල මිදුලේ වේලෙන්න වනා තිබුණු සීනි පෙන්වා රජාගෙන් ඒ මොනවාදැයි ඇසූ විට රජා ඇත්ත නොකියා බොරුවක් කිවුවා.

සීනි වල කැලරි අගය ඉහළයි. ඒ වගේම සීනි කන්න කවුරුත් වගේ ආසයි. නමුත්, අන්දරේලාට හා දරුවන්ට රජාට හා දරුවන්ට මෙන් හිතේ හැටියට සීනි කන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, එවැනි අවස්ථාවක් ලැබුණොත් අතාරින්නේත් නැහැ. රජා ඕක දන්නවා. තොරතුරු වසන් කරමින් පැදුරේ තියෙන්නේ වැලි කියා අන්දරේට කියන්නේ ඒකයි.

ඕනෑනම් පැදුරේ තිබෙන්නේ සීනි කියා කියන්න පුළුවන්කම රජාට තිබුණා. ඒ වගේම, ඒ සීනි රාජ්‍ය දේපොළක් බවත් කියන්න තිබුණා. නමුත්, රජා එහෙම කිවුවේ නැහැ. ඒකටත් හේතු තිබෙනවා.

රාජ්‍ය දේපොළ කියන්නේ පොදු දේපොළ. ඒ බව රජා දන්නවා. ඒ එක්කම මේ පොදු දේපොළ භුක්ති විඳින්නේ තමන්, පවුලේ අය සහ වටේ ඉන්න ටික දෙනෙක් පමණක් බවත් දන්නවා. ඒ කුඩා කණ්ඩායම ඇතුළට රජවාසල කවටයින්ව ඇතුළු කර ගන්න රජාට අවශ්‍ය නැහැ. රජා බොරු කියන්නේ ඒ නිසයි.

රජා බොරු කිවුවත් රජවාසල කවටයින්ව අන්දන්න අමාරුයි. රජාවත් අන්දලා රජවාසල සීනි කන හැටි ඔවුන් දන්නවා. තනියම නෙමෙයි පවුල් පිටින්.

අන්දරේ රජවාසල සීනි කන්නේ ලස්සනට රජාගේ කට වහලා. පැදුරු වල තියෙන්නේ සීනි නෙමෙයි වැලි කියලා කිවුවේ රජා විසින්මයි. ඒ නිසා දැන් රජාට රාජ්‍ය දේපොළ අපහරණය කළා කියා අන්දරේට දඩුවම් දෙන්න බැහැ.

රජවාසල කවටයෝ වැලි කිය කිය සීනි කනවා. ඒ අතරේ රටේ මිනිස්සු කන්න දෙයක් නැතුව ඇත්තටම පස් කනවා. පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු තම නිවසේ බිත්තිවල ඇති මැටි  ආහාරයට ගන්නා පුවතක් අද එක්තරා වෙබ් අඩවියක වාර්තා වී තිබුණා.

මා වෛද්‍යවරයෙකුගේ කාර්යය කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ වාර්තාවේ තිබෙන විස්තරය අනුව මෙය පයිකා (pica eating disorder) කියන රෝගී තත්ත්වය වෙන්න පුළුවන්. මෙය සැලකෙන්නේ මානසික රෝගී තත්ත්වයක් ලෙසයි. එහෙත්, මන්දපෝෂණය හා ඛණිජ ලවණ ඌණතා ඇතුළු වෙනත් පෝෂණ ඌණතා සමඟ මේ රෝගී තත්ත්වයේ විශාල සහසම්බන්ධයක් තිබෙනවා. හැම විටම දරුවෙකු පස් කන්නේ පෝෂණ ඌණතා නිසා නොවුණත්, දිගින් දිගටම පස් කන දරුවෙකු පෝෂණ ඌණතා වලින් පෙළෙන්නෙකු වීමේ සම්භාවිතාව ඉතා වැඩියි. වාර්තාවේ තිබෙන අනෙකුත් තොරතුරු අනුව මේ දරුවා පෝෂණ ඌණතාවයකින් පෙළෙන දරුවෙකු බව පැහැදිලියි.

ලංකාව ඉහළ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයක් ඇති බවට උදම් අනන රටක්. ඒ වගේම, මෑතකදී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් වූ රටක්. මේ සියල්ලටම වඩා කාලයක් තිස්සේ විශාල සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යන රටක්. එවැනි රටක දරුවන්ට පස් කන්න යොමු වෙන තරමේ ආහාර සුරක්ෂිතතා ප්‍රශ්නයක් තිබීමෙන් පෙනෙන්නේ මේ සුබසාධන ආකෘතිය අසමත් එකක් බවයි.

අප මේ කරුණ කියන්නේ ඉහත තනි උදාහරණය දෙස බලමින් නෙමෙයි. 2016 ශ්‍රී ලංකා ජනවිකාශ හා සෞඛ්‍ය සමීක්ෂණ ප්‍රතිඵල අනුව ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17%ක් වයසට අවශ්‍ය තරමට වඩා මිටියි. එම දරුවන්ගෙන් 15%කට උසට ගැලපෙන බර නැහැ. අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 21%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. වඩාත්ම කණගාටුවට කරුණ 2006-2016 අතර වසර දහයක් තුළ මේ තත්ත්වයේ පැහැදිලිව පෙනෙන වෙනසක් සිදු වී නොතිබීමයි.


Monday, January 27, 2020

කොරෝනා වෛරසය එළියට ආවේ විද්‍යාගාරයකින්ද?


චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගෙන පැතිරෙන කොරෝනා වෛරසය මේ වෙද්දී ලෝකයම භීතියට පත් කරමින් තව දුරටත් පැතිරෙනවා. මේ වන විට ලංකාවෙන්ද මේ වෛරසය හමු වී ඇති බව වාර්තා වී තිබෙනවා.

කොරෝනා වෛරස් වර්ග හතක් මීට පෙර හඳුනාගෙන තිබුණා. මීට පෙර 2002 නොවැම්බරයේදී චීනයේ ගුවාන්ඩොන්ග් ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පැතිරුණු සාර්ස් වයිරසයද මේ වර්ග හතෙන් එකක්. මෙවර පැතිරෙන්නේ මින් පෙර හමු නොවූ අලුත්ම කොරෝනා වෛරසයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වෛරසය 2019-nCoV ලෙස නම් කර තිබෙනවා.

මේ වෛරසය පැතිරුනේ වූහාන්හි මුහුදු මාංශ වෙළඳ පොළකින් බව විශ්වාස කෙරෙනවා. මුලින්ම වෛරස් රෝගය වැළඳී තිබෙන්නේ එම වෙළඳපොළේ මාංශ අත පත ගෑ හෝ එහි නිතර ආ ගිය අයටයි.

මීට තෙවසරකට පෙර වූහාන් නගරයේ දරුණු ගණයේ රෝගකාරක පිළිබඳ පර්යේෂණ සිදු කෙරෙන විද්‍යාගාරයක් ආරම්භ කෙරුණා. මෙවැනි ජෛව පර්යේෂණ සිදුකෙරෙන විද්‍යාගාර වර්ග කෙරෙන ආකාරය අනුව වඩාත්ම භයානක ක්ෂුද්‍ර ජීවීන් හා අදාළ පර්යේෂණ කරන විද්‍යාගාර හතරවන කාණ්ඩයේ විද්‍යාගාර ලෙස හැඳින්වෙනවා. ලෝකයේ මෙවැනි විද්‍යාගාර තිබෙන්නේ ඉතා සීමිත ගණනක් පමණයි. ප්‍රතිකාර සොයා ගෙන නැති, මාරාන්තික වෛරස් හා අදාළ පර්යේෂණ සිදු වන්නේ මේ විද්‍යාගාර තුළයි.

චීන විද්‍යා ඇකඩමිය මුල් වරට 2017 ජනවාරියේදී මෙවැනි හතරවන කාණ්ඩයේ පර්යේෂණ කරන විද්‍යාගාරයක් පටන් ගැනීමට අනුමැතිය දුන්නා. මේ විද්‍යාගාරය පිහිටවූයේ වූහාන් නගරයේ. විද්‍යාගාරය පිහිටවීමේ අරමුණ වුනේ භයානක වසංගත රෝග වලට හා ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ හැකි ජීව අවි ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම් වීමයි.

"...as the threat of terrorism increases globally, the risk for bioterrorism is expected to increase as well. To prepare for biological threats, scientists must research dangerous pathogens to develop effective methods to prevent, diagnose, and treat the diseases caused by them." Han Xia et al., Wuhan Institute of Virology (May 2019)

මෙම විද්‍යාගාරය සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව විනිවිදභාවය අඩු හා ධුරාවලියට මුල් තැන දෙන චීනයේ මෙවැනි විද්‍යාගාරයක් ආරම්භ කිරීමේ අවදානම ගැන ඇතැම් පිරිස් කණස්සල්ල පළ කළා. 2017 පෙබරවාරි මාසයේදී නේචර් සඟරාවේ පළ වූ ලිපියකින්ද මේ අවදානම පෙන්වා දී තිබුණා. ප්‍රතිශක්තිකරණ එන්නත් පරීක්ෂා කිරීම සඳහා සතුන් උපයෝගී කර ගැනීමේදී ඇතිවිය හැකි අවදානම් ගැනද එහි අවධානය යොමු කර තිබුණා. මේ ලිපියේ සඳහන්ව තිබුණු පරිදි මීට පෙර බෙයිජිං නගරයේ පිහිටි විද්‍යාගාරයකින් කිහිප වරක්ම සාර්ස් වෛරසය එළියට ගොස් තිබෙනවා.

නේචර් ලිපියට අනුව, හතරවන කාණ්ඩයේ රෝගකාරක ගැන පර්යේෂණ කළ හැකි පර්යේෂණාගාරයක් 1981දී ජපානයේද පිහිටුවා ඇතත් 2015 වන තුරුම එහි සිදු කර තිබෙන්නේ තුන් වන කාණ්ඩයේ හෝ ඊට වඩා අඩු අවදානමක් ඇති රෝගකාරක පිළිබඳ පර්යේෂණ පමණයි. වූහාන් ජෛව පර්යේෂණ විද්‍යාගාරය පිහිටුවා මාස කිහිපයකට පසු 2017 අගෝස්තුවේදී එබෝලා ඇතුළු ප්‍රතිකාර නැති, මාරාන්තික වෛරස් වර්ග කිහිපයක් ගැන පර්යේෂණ කිරීමට එම විද්‍යාගාරයට අනුමැතිය ලැබුණා.

කොරෝනා වෛරසය මුලින්ම සම්ප්‍රේෂණය වූයේයැයි සැලකෙන මුහුදු මාංශ වෙළඳපොළ පිහිටා තිබෙන්නේ වූහාන් ජෛව පර්යේෂණ විද්‍යාගාරයේ සිට සැතපුම් විස්සක දුරකින් බව පැවසෙන අතර වෛරසය එළියට ආවේ මේ විද්‍යාගාරයේ සිටද යන සැකය ඇතැම් අය විසින් මතු කර තිබෙනවා.

Sunday, January 26, 2020

බැඳුම්කර දේශපාලනය


හඬපට හඬ පරයමින් නැවතත් බැඳුම්කර හඬ මතු වී තිබෙනවා. ඒ වෝහාරික විගණන වාර්තා ප්‍රසිද්ධ වීමෙන් පසුවයි. තවමත් සම්පූර්ණ කර තිබෙන්නේ වාර්තා හයකින් පහක් පමණයි. ඒ වාර්තා පහේද ඇමුණුම් ප්‍රසිද්ධ කර නැති නිසා වාර්තා වල ඇති දේ ගැන පූර්ණ අවබෝධයක් ලබා ගැනීම තරමක් අමාරුයි. එහෙත්, අදාළ වකවානු වල බැඳුම්කර නිකුතු නිසා රජයට සිදු වූ අලාභය කියන නිශ්චිත කරුණ ගැන කතා කිරීමට ප්‍රමාණවත් තොරතුරු මේ වන විට ප්‍රසිද්ධ වී තිබෙනවා. දැනට ප්‍රසිද්ධ වී තිබෙන වාර්තා පහ පිළියෙළ කිරීම සඳහා අදාළ විගණන සමාගම විසින් රුපියල් මිලියන 275ක මුදලක් අය කර තිබෙනවා.

බැඳුම්කර දේශපාලනය අමතක කර මේ සිද්ධිය ගැන කතා කරන්න බැහැ. මේ හා අදාළ ක්‍රියාදාමය පටන් ගත්තේ 2015 පෙබරවාරි 27 දින පැවැත්වුණු වෙන්දේසියෙන් පසුවයි. ඒ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී සත් සතියක් ගෙවිලාත් නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වී මාසයයි. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුනේ එජාප, ජවිපෙ, ද්‍රවිඩ සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් මහින්ද රාජපක්ෂට එරෙහිව ඔහුට සහයෝගය දුන් නිසයි. රාජපක්ෂ අනුගාමිකයින්ගේ පැත්තෙන් බැලු විට මහින්දගේ පරාජය අනපේක්ෂිත හා දරා ගන්න අමාරු එකක්ව තිබුණා. ජනාධිපතිවරණ වේදිකා වල මහින්ද ඇතුළු කණ්ඩායමේ හොරකම් හා දූෂණ ගැන විශාල ලෙස කතා වුනා. මේ කතා ඡන්දදායකයින් විසින් විශ්වාස කළ බව බොහෝ රාජපක්ෂවාදීන්ගේ අදහස වුනා. 

මේ වෙද්දී රනිල් වික්‍රමසිංහට කාලයක් තිස්සේ ගොඩ නගාගත් "මිස්ටර් ක්ලීන්" ප්‍රතිරූපයක් තිබුණා. එහෙත්, මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් ඡන්ද වලින් ජවිපෙ හා ද්‍රවිඩ සන්ධාන ඡන්ද ඉවත් වූ පසු එජාපය විශාල වාසිදායක තැනක හිටියේ නැහැ. ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ප්‍රදේශ බොහොමයක් ජයගත්තේ මහින්ද රාජපක්ෂයි. එවන් පසුබිමක එලැඹීමට නියමිතව තිබුණු මහ මැතිවරණය ජයගැනීම එජාපයට අභියෝගයක්ව තිබුණා.

ජනාධිපතිවරණයේදී ජවිපෙ එජාප හා සන්ධානගත වීම සැලකිය හැක්කේ එම පක්ෂය පැත්තෙන් ගත් උපක්‍රමික තීරණයක් ලෙසයි. ජවිපෙට මහින්ද රාජපක්ෂව පරාජය කිරීමට අවශ්‍ය වුනා. එය කළ හැකිව තිබුණේ එජාපයටයි. ඒ සඳහා එජාපයට ජවිපෙ සහයෝගය අත්‍යාවශ්‍යව තිබුණා. එජාපය හා ජවිපෙ එක පිලකට නොපැමිණියානම් මහින්ද රාජපක්ෂ පැරදෙන්නේ නැහැ. නමුත්, ජවිපෙට ඉන් ඔබ්බට එජාපය ශක්තිමත් වනු දකින්න අවශ්‍ය වුණේ නැහැ. ජවිපෙ උපක්‍රමය වුනේ එජාප හා එක්ව රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීමෙන් පසුව, වඩා දුර්වල එජාපයටද වැටෙන්නට හැර 2020දී රටේ දේශපාලන බලයට කිට්ටු වීමයි. රාජපක්ෂලා ඉතා ඉක්මණින්ම නැවත හිස ඔසොවයි කියා ජවිපෙ ගණන් බලා තිබුණේ නැහැ.

බැඳුම්කර කතාව එළියට ආවේ මෙවැනි පසුබිමකයි. සිද්ධිය ජනගත කිරීමට වැඩිම දායකත්වය සැපයුවේ ජනතා විමුක්ති පෙරමුණයි. එසේ කිරීමට ජවිපෙට උපක්‍රමික හේතු ගණනාවක් තිබුණා. එක පැත්තකින් රාජපක්ෂලා දුර්වල වී සිටියදී රනිල් ශක්තිමත් වීමද වැළැක්වූ විට තෙවන පාර්ශ්වය වූ ජවිපෙට මහ මැතිවරණයේදී ජනතා ආකර්ශනයක් හිමිවීමේ ඉඩකඩක් පෙනෙන්නට තිබුණා. දෙවනුව, මෙය ඔවුන්ගේ "උනුත් හොරු මුනුත් හොරු" ප්‍රවාදය සමඟ හොඳින් ගැලපුනා. තෙවනුව, රාජපක්ෂවාදීන් විසින් ජවිපෙ වෙත අලවා තිබුණු රතු අලි ලේබලය හමුවේ තමන් එජාපයට ප්‍රතිවිරුද්ධ විකල්ප දේශපාලනයක යෙදෙන බව ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවයක් ජවිපෙට තිබුණා. අද දක්වාම මේ සිද්ධිය ඉදිරියට ඇදගෙන යාමේ ප්‍රමුඛ කාර්යයක් ජවිපෙ විසින් කරනවා.

පරාජයේ කම්පනයෙන් වික්ෂිප්ත වී සිටි රාජපක්ෂවාදීන්ට මෙය අනපේක්ෂිතව ලැබුණු මහඟු අවස්ථාවක් වුනා. ඔවුන් වහා ක්‍රියාත්මක වී කපුටු පිහාටුව කපුටන් හත් දෙනෙක් බවට පත් කළා. බැඳුම්කර මගඩිය ලංකා ඉතිහාසයේ සිදු වූ ලොකුම මූල්‍ය වංචාව බව එජාප පාක්ෂිකයින්ද ඇතුළුව රටේ බොහෝ දෙනෙක් විශ්වාස කරන්න පටන් ගත්තා. නමුත්, සිදු වුනේ කුමක්ද කියන එක ගැන රටේ බොහෝ දෙනෙකුට හරි අදහසක් තිබුණේ නැහැ. අදටත් නැහැ. සමහර අය මෙය තේරුම් ගන්නේ මහ බැංකුව මංකොල්ල කෑමක් ලෙසයි.

මේ සිදුවීම හා අදාළව කමිටු ගණනාවක් පත් කෙරුණු අතර වාර්තා ගණනාවක් එළි දැක්වුනා. ජවිපෙ විසින් බොහෝ විට පදනම් කර ගත්තේ විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාවයි. අදාළ වාර්තා අනුව, අදාළ කාලයේ "අසාමාන්‍ය" බැඳුම්කර වෙන්දේසි දෙකක් සිදු වී තිබුණු අතර එම වෙන්දේසි දෙක නිසා රජයට සිදුව හැකිව තිබුණු උපරිම පාඩුව රුපියල් බිලියන 1.674 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා. ඒ 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියෙන් වූ රුපියල් මිලියන 889ක පාඩුවක් හා 2016 මාර්තු 29 දින තවත් රුපියල් මිලියන 785 ක පාඩුවක් ලෙසයි. 

එහෙත්, පොහොට්ටු පාක්ෂිකයින් විසින් ජනගත කළ අදහස් අනුව මේ පාඩුව මීට වඩා ගොඩක් වැඩියි. 2015 අගෝස්තු මහ මැතිවරණයට මසකට පමණ පෙර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව ඒ වන විට රජයට සිදු වී තිබුණු අලාභය රුපියල් මිලියන 56,700ක්. මේ 2015 පෙබරවාරි 27 වෙන්දේසිය නිසා එදිනම සිදු වූ රුපියල් බිලියන 2ක අලාභයේත්, ඉන් පසුව අනෙකුත් රාජ්‍ය සුරැකුම්පත් වල පොලී අනුපාතික ඉහළ යාම නිසා සිදු වූ රුපියල් කෝටි 5,470ක (බිලියන 54.7ක) අලාභයන්හි එකතුවයි. මේ මුදල කෝප් වාර්තාවේ සඳහන් රුපියල් මිලියන 889ට සාපේක්ෂව අති විශාල මුදලක්. මේ මුදල සඳහන් කරමින් කරුණු ඉදිරිපත් කළ පහත තිබෙන කබ්රාල්ගේ සාකච්ඡාවේදී තමන්ගේ කාලයේදී සිදු කළ බැඳුම්කර නිකුතු ගැනද කරුණු සොයා බලන මෙන් ඔහු අභියෝග කළා.


කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදි මා මගේ වියුණු දෙකෙහි මේ සිදුවීම ගැනත්, පොදුවේ රාජ්‍ය සුරැකුම්පත් හා අදාළ තාක්ෂණික කරුණු ගැනත් කතා කරමින් ලිපි මාලා දෙකක් සහ තවත් තනි ලිපි ගණනාවක් පළ කළා. පළමු ලිපි මාලාවෙන් මා අවධානය යොමු කළේ 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියෙන් රජයට සිදු වූ අලාභය ගැනයි. බොහෝ දෙනෙකු අපේක්ෂා කළ දෙය නොවූවත්, මේ ලිපි මාලාව හරහා මා පෙන්වා දුන්නේ ඉහත බැඳුම්කර වෙන්දේසියේදී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා නිසා රජයට සිදුව ඇති අලාභය විගණකාධිපති වාර්තාවේ හා කෝප් වාර්තාවේ සඳහන් රුපියල් මිලියන 889ක මුදලට වඩා අඩු මුදලක් විය යුතු බවයි. එම ලිපි මාලාව හරහා මා ඉදිරිපත් කළ කරුණු ඇතැම් අයගේ කණස්සල්ලට හේතු වී ඇතත් අභියෝගයට ලක් වී නැහැ.

මා මේ ලිපි ලියන විට දැන් හෙළිදරවු වී ඇති බොහෝ කරුණු හෙළිදරවු වී නැහැ. ඒ නිසා, මට බොහෝ නිගමන වලට පැමිණෙන්න වුනේ න්‍යායාත්මක හා විශ්ලේෂණාත්මක පදනමක සිටයි. අලුතෙන් හෙළිව ඇති තොරතුරු වලින් එම නිගමන නිවැරදි බව සනාථ වී තිබෙනවා. ඒ නිසා, මා ලියූ දේවල් වෙනුවෙන් මට අදටත් පෙනී සිටිය හැකියි. ලියා පළ කළ සියළු ලිපි තව දුරටත් සංවාදයට විවෘතව අද දක්වාම එළෙසම තිබෙනවා.

මා විගණකාධිපති වාර්තාව හා ඒ මත පාදක වූ කෝප් වාර්තාව විවේචනය කළේ තාක්ෂනික පදනමක සිටයි. එම වාර්තා වල සඳහන් ඇස්තමේන්තු සකස් කිරීමේ පදනම වී තිබුණේ මුලින් දැනුම් දුන් බැඳුම්කර ප්‍රමාණය මිල දී ගත හැකිව තිබුණු මුදලටම අවසාන වශයෙන් මිලදී ගත් බැඳුම්කර ප්‍රමාණයද මිල දී ගත හැකිව තිබුණේය යන්නයි. මගේ පළමු ලිපිපෙළේ අවසානයේදී මා පෙන්වා දුන්නේ මේ උපකල්පනය නිවැරදි නැති බව හා සැබෑ පාඩුව මීට වඩා අඩු විය යුතු බවයි.

පසුව ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපති කොමිෂමේ වාර්තාව පෙර වාර්තා දෙකට සාපේක්ෂව පුළුල් හා සංකීර්ණ ලෙස කරුණු හා සාක්ෂි සොයා බලමින් සකස් කර තිබුණු පිටු 1,154ක දීර්ඝ වාර්තාවක්. ජනාධිපති කොමිෂමේ වාර්තාවේ සඳහන් වන්නේ 2015 පෙබරවාරි 1 දින සිට 2016 මාර්තු 31 දක්වා පැවති සියළු වෙන්දේසි වලින් රජයට සිදුව තිබෙන අලාභය රුපියල් මිලියන 689 ක් බවයි. 

මේ අලාභය සිදු වී තිබෙන්නේ  2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී. එම අලාභයට හේතුව හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හරහා පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් මිල-සංවේදී හෝ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම බව කොමිසම විසින් නිගමනය කර තිබෙනවා. 2016 මාර්තු 29 දින හෝ අදාළ කාලය තුළ වෙනත් දිනක මෙවැනි අක්‍රමිකතාවයක් සිදු වී තිබෙන බව එම කොමිසම විසින් නිරීක්ෂණය කර නැහැ. 

අළුත්ම වාර්තා අනුව, ඉහත කී කාලයේ මෙන්ම ඊට පෙර 2002 ජනවාරි 1 සිට 2016 මාර්තු 16 දක්වා වූ මුළු කාලය තුළ බැඳුම්කර නිකුතු වලින් රජයට සිදු වූ අලාභය ඇස්තමේන්තු කර තිබෙනවා. අදාළ ඇස්තමේන්තු සකස් කළ සමාගම ජාත්‍යන්තර විගණන සමාගමක් වීම හෝ එම සමාගමට රුපියල් මිලියන 275ක මුදලක් මේ වෙනුවෙන් ගෙවා තිබීම නිසා රජයට සිදුව ඇති හානිය පිළිබඳ මේ වාර්තා වල ඇති ගණන් බැලීම් හරියටම හරි කියා කියන්න බැහැ. මේ වාර්තා වල අලාභය ගණන් හදා තිබෙන්නේ අදාළ දිනයේ පැවති සාමාන්‍ය ද්වීතියික වෙළඳපොළ පොලී අනුපාතිකය යටතේ රජයට අවශ්‍ය තරම් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත හැකිව තිබුණේය යන පදනමින්. එය වැරදි උපකල්පනයක්. එහෙත්, කවර හෝ උපකල්පන මත නොපිහිටා අලාභය ගණනය කිරීමක් කළ නොහැකියි.

වෝහාරික විගණන වාර්තා අනුව, 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී රජයට සිදුව ඇති අලාභය අවම වශයෙන් රුපියල් මිලියන 1106.43ක්ද, උපරිම වශයෙන් 1114.63ක්ද වෙනවා. මේ ගණන් ජනාධිපති කොමිෂමේ වාර්තාවේ හා විගණකාධිපති/ කෝප් වාර්තා වල ඇති ඇස්තමේන්තු වලට වඩා වැඩියි. එහෙත්, අජිත් නිවාඩ් කබ්රාල් වැනි අයගේ ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩුයි.

මේ ආකාරයටම 2002 සිට එක් එක් නිකුතු වලදී රජයට අලාභයක් සිදු වූයේද යන්නත් මේ විගණනයේදී සොයා බලා තිබෙනවා. මෙසේ අලාභ ගණනය කර තිබෙන පදනම නිවැරදියි මා සිතන්නේ නැති වුවත්, සියලු කාලපරිච්ඡේද හා අදාළව ඔවුන් යොදාගෙන තිබෙන්නේ එකම පදනමක් නිසා මේ ඇස්තමේන්තු සංසන්දනාත්මකයි. ඒ නිසා, උපකල්පන වෙනස් කර එක් කාලයක අලාභ අඩු හෝ වැඩි ලෙස ඇස්තමේන්තු කරන්නට සිදු වුවහොත් අනෙක් කාලයේ අලාභත් අනුරූපී ලෙස අඩු හෝ වැඩි වෙනවා.

වෝහාරික විගණන වාර්තා අනුව, 2015 පෙබරවාරි 1 දින සිට සිදුව තිබෙන සමස්ත අලාභය රුපියල් මිලියන 6642.67ක්ද උපරිම වශයෙන් රුපියල් මිලියන 9690.16ක්ද වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 6.6-9.7 පරාසයේ අලාභයක්. ඊට පෙර 2005 සිට 2015 දක්වා කාලය තුළ රජයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 10.5-10.6 පරාසයේ (අවම වශයෙන් රුපියල් මිලියන 10477.31ක් හා උපරිම වශයෙන් රුපියල් මිලියන 10622.35ක් ලෙස) බව ඇස්තමේන්තු කර තිබෙනවා.

මගේ පෞද්ගලික මතයනම් 2015ට පෙර කාලයේදී අක්‍රමිකතා සිදුව ඇතත් මේ කියන ආකාරයේ අලාභයක් රජයට සිදුව නැති බවයි. අලාභයක් සිදු වුනා විය හැක්කේ රාජ්‍ය බැංකු වලට සහ සේවක අර්ථසාධක අරමුදලටයි. ඉන් පසු කාලයේද, රජයට අලාභයක් වූවානම් ඒ 2015 පෙබරවාරි 27 වෙන්දේසියේදී පමණයි. එදින සිදු වී ඇති දෙය මේ වන විට රහසක් නෙමෙයි. ඒ අනුව, වඩාත්ම නිවැරදි ඇස්තමේන්තුව ලෙස මා සලකන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇස්තමේන්තුවයි.

මේ වන විට අර්ජුන් ඇලෝසියස් විසින් 2015 පෙබරවාරි 27 වෙන්දේසියට පෙර අභ්‍යන්තර තොරතුරු ලබාගෙන ඇති බවත්, අර්ජුන් මහේන්ද්‍රන් විසින් එම වෙන්දේසියට බලපෑම් කර ඇති බවත් පැහැදිලි කරුණක්. එය එජාප පාක්ෂිකයින්ට බැහැර කළ නොහැකි කරුණක්. ඒ නිසා, එජාපය දැන් උත්සාහ කරන්නේ එම වෙන්දේසියේදී රජයට අලාභයක් වූවානම් එම පදනම මත බැලූ විට ඊට පෙර යුගයේදී ඊට වඩා වැඩි අලාභයක් සිදු වී ඇති බව පෙන්වන්නයි. එවිට 2015 පෙබරවාරි සිදු වූ දෙය සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. වෝහාරික විගණන වාර්තාවෙන් එජාපයට අවශ්‍ය දෙය සිදු වෙනවා.

මේ වන විට එජාපය දේශපාලනිකව ශක්තිමත් තැනක නොසිටින නිසා උපාය මාර්ගිකව සැලකූ විට ජවිපෙට එජාපයට පහර දීමේ විශේෂ වාසියක් නැහැ. දෙගොල්ලන්ම එකයි කියන ඔවුන්ගේ දිගුකාලීන ප්‍රවාදය තහවුරු කිරීම ඔවුන්ට වඩා වාසියි. වෝහාරික විගණන වාර්තාවෙන් ඒ කටයුත්තත් සිදු වෙනවා. මූල්‍ය වෙළඳපොළ ඒකාධිකාරය, ළබැඳියා ගැටුම් වැනි බොහෝ කරුණු හා අදාළව ජවිපෙ විසින් දිගින් දිගටම කියන හා අපේ ලිපි වලද අප විසින් කතා කර තිබෙන දේවල් බොරු නෙමෙයි. ඒ බව මේ විගණන වාර්තා වලින් නැවත වරක් තහවුරු කර තිබෙනවා.

එහෙත් මේ තත්ත්වයන්ට මුල් වී ඇති හේතුව ලෙස අප විසින් හඳුනා ගන්නේ ජවිපෙ විසින් හඳුනා ගන්නා දෙයම නෙමෙයි. අප ඊට වඩා පියවරක් ආපස්සට යනවා. ඒ නිසා, අප විසඳුම ලෙස දකින්නේ  ජවිපෙ දකින විසඳුම නෙමෙයි. ජවිපෙට අනුවනම් දැන් ප්‍රශ්නය ඔවුන්ගේ මැදිහත්වීම නිසා විසඳී තිබෙනවා. එහෙත් අප එය ස්ථිර විසඳුමක් සේ දකින්නේ නැහැ.

බැලූ බැල්මටම පෙනෙන පරිදි වෝහාරික විගණන වාර්තාව පොදුජන පෙරමුණට අවාසිදායක එකක්. ඔවුන් විසින්ම ඉදිරිපත් කළ උපකල්පනයක් වන සෘජු ක්‍රමයට ද්වීතියික වෙළඳපොළ පොලියටම ප්‍රමාණවත් අරමුදල් සපයාගත හැකිව තිබුණේය යන පදනම මත පෙර වසර වල රජයට සිදු වූ අලාභ ගණනය කර තිබීම නිසා ඔවුන් උගුලක සිර වී සිටිනවා. එහෙත්, ඔවුන්ට ඒ අවාසියෙන් ගැලවිය හැකි මාර්ග මෙහි ඉතිරි වී තිබෙනවා. 2005-2015 අතර රජයට සිදුව ඇති අලාභයෙන් 95%ක් පමණම රාජ්‍ය බැංකු වලට හෝ සේවක අර්ථසාධක අරමුදල හරහා නැවත රජයට ලැබී ඇති බව වැනි තර්ක ඔවුන්ට ඉදිරිපත් කළ හැකියි.

බැඳුම්කර වෙන්දේසියෙන් සිදුවූ අලාභයට අමතරව 2005-2015 කාලයේ ඇතැම් වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටට සිදුව ඇති හානි පෙන්වා දීමට පසුබිමක්ද මේ විගණන වාර්තා නිසා ලැබී තිබෙනවා. විශේෂයෙන්ම 2008 හා 2012 වසර වලදී.  විගණන වාර්තා අනුව රජයට වූ පාඩුවේ වැඩි කොටස සිදුව තිබෙන්නේ රුපියල නාමික පදනමකින් පවා අධිප්‍රමාණය වෙන්නට සලස්වනු ලැබූ ඒ දෙවසර තුළදී. රජයට සිදු වූ පාඩු ලෙස පෙන්වා ඇති සංඛ්‍යා තුළ මේ එක් එක් වසර වලදී පැවති සාර්ව ආර්ථික තත්ත්වයන්ගේ අපිළිවෙළ (ඇනෝමලිය) පිළිබිඹු කරනවා. 2005-2015 වැරදි ආර්ථික ප්‍රතිපත්ති කියන එකෙන් අදහස් කළේ 2015-2019 ප්‍රතිපත්ති මුළුමනින්ම නිවැරදියි කියන එක නෙමෙයි.

රුපියල් මිලියන 275ක් අය කර මේ විගණනය සිදු කළ සමාගම විසින් අන්තිමේදී සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 275කට වඩා අඩුයි කියා හොයා ගත්තානම් ඔවුන්ට කොන්ත්‍රාත්තුව භාර දුන් අය අමාරුවක වැටෙනවා. මෙහි අලාභය ගණනය කළ හැකි නිශ්චිත පදනමක් නැති නිසා එය කොහොමටත් කරන්න වෙන්නේ මොනවා හෝ උපකල්පන මතයි. විගණන සමාගම විසින් වැඩි අලාභයක් පෙන්විය හැකි පරිදි ඔවුන්ගේ උපකල්පන සිදු කර තිබෙනවා. මේ උපකල්පන සහ විශේල්ෂණ අප අපේ බ්ලොග් ලිපි ලියන විට සිදු කරන විශ්ලේෂණ වලට සාපේක්ෂව වුවත් ඉතා සරලයි.

කොහොම වුනත්, මාස කිහිපයකින් මෙවැනි වාර්තාවක් පිළියෙළ කිරීම අභියෝගාත්මක කාර්යයයක්. ලිපි පෙළ ලියන්න පටන් ගනිද්දී මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳ පසුබිම් කරුණු ගැන මනා අවබෝධයක් අපට තිබුණත්, අදාළ විගණන සමාගමේ නිලධාරීන්ට මේ දේවල් මුල සිටම හදාරන්න වෙනවා. ඔවුන් කර තිබෙන්නේ ඔවුන්ට කළ හැකි දේ. විගණනයේ මූලධර්ම හා ආර්ථික විද්‍යා මූලධර්ම හැම විටම සමාන නැහැ. ආර්ථික ලාභ හා ගිණුම්කරණ ලාභ (හෝ අලාභ) අර්ථ දක්වන්නේ එකම ආකාරයට නෙමෙයි. ගිණුම්කරණ සම්මත වෙනස් වෙන කොට ගිණුම්කරණ ලාභ වෙනස් වෙනවා. ආර්ථික ලාභ එසේ වෙනස් වෙන්නේ නැහැ. නමුත්, ආර්ථික ලාභ ගණනය කිරීමේදී විවිධ අවිනිශ්චිතතා ගැන සැලකිල්ලට ගන්නා නිසා හරියටම සතේටම ගණන් හදන්න අමාරුයි. බොහෝ විට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නේ මිනුම් වරදක් එක්කයි. එවැන්නක් මත පදනම්ව නීති ක්‍රියාමාර්ග ගන්න අමාරුයි. විගණන ඇස්තමේන්තු ඒ වැඩේට වඩා ගැලපෙනවා.

සිදුව තිබෙන අලාභය මීට වඩා බෙහෙවින්ම අඩු බව අපට පෙන්වා දිය හැකි වුවත්, එය මේ වෙලාවේ පොදුජන පෙරමුණේ, ජවිපෙ හෝ එජාපෙ යන කිසිදු පක්ෂයක පාක්ෂිකයින් සතුටු කරවන්නක් නෙමෙයි. එවැනි පාක්ෂිකයින් නොවන බොහෝ දෙනෙක් පවා මේ අලාභය විශාල වන තරමට සතුටු වෙනවා. රටේ දැවැන්ත හොරකම් සිදුවන විට තමන්ට පොඩි හොරකමක් කරන්න හිත හදාගන්න ලේසියි. කොහොම වුවත්, අපේ අදහස් දැනගන්න කැමති ටික දෙනෙක් හෝ ඉන්න නිසා අපේ හෘදය සාක්ෂිය අනුව අපට නිවැරදි සේ පෙනෙන දෙය සටහන් කරන්න අප පැකිළෙන්නේ නැහැ.

Saturday, January 25, 2020

ආදම්, ඒව සහ වෙනත් අය


පිරිමියෙකු කුසේ දරුවෙකු පිළිසිඳ ගැනීම බොහෝ දෙනෙකුට සුවිශේෂී පුවතක්. ලංකාවේ වගේම ඇමරිකාව ඇතුළු බටහිර රට වලත් එහෙමයි. මෙයට හේතුව වන්නේ සාමාන්‍ය සම්මතය අනුව දරුවකු පිළිසිඳ ගත හැක්කේ ගැහැණියකගේ කුසේ පමණක් නිසා.

අප බොහෝ විට කෙනෙක්ව පිරිමියෙකු හෝ ගැහැණියක ලෙස පහසුවෙන් වෙන් කර හඳුනා ගන්නවා. ඒ වගේම, පුරුෂයෙකුගෙන් හා ගැහැණියකගෙන් අපේක්ෂා කරන, එකිනෙකට වෙනස් වූ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. මේ ලක්ෂණ වලට ජීව විද්‍යාත්මක කරුණු, සිරුරේ බාහිර පෙනීම, ඇඳුම් පැළඳුම් ආදිය, සමාජ හැසිරීම, ලිංගික හැසිරීම්, නීතිමය කරුණු ආදී බොහෝ දේ ඇතුළත්.

බොහෝ දෙනෙකු හා අදාළව ලොකු ගැටළුවක් ඇති නොවුනත්, යමෙක් පිරිමියෙකු හෝ ගැහැණියක ලෙස ලේබල් කිරීම ඒ තරම්ම සරල කරුණක් නෙමෙයි. ලිංගිකත්වයට මාන ගණනාවක් තිබෙනවා.

1. ජානමය වෙනස්කම් 

ගැහැණුන් හා පිරිමින් ජාන වලින්ම වෙනස්. ගැහැණියකට එකිනෙකට සමාන x වර්ණදේහ දෙකක් තිබෙනවා. පිරිමියෙකුට තිබෙන්නේ එකිනෙකට වෙනස්, එක් x වර්ණදේහයක් හා y වර්ණදේහයක්. ගැහැණියක හා පිරිමියෙකු අතර සංසර්ගයෙන් බිහිවන දරුවෙකුට මවගෙන් හා පියාගෙන් එක් වර්ණදේහය බැගින් ලැබෙනවා. මවට තිබෙන්නේ x වර්ණදේහ දෙකක් නිසා දරුවෙකුට මවගෙන් හැමවිටම උරුම වෙන්නේ x වර්ණදේහයක්. එහෙත්, පියාගෙන් x වර්ණදේහයක් හෝ y වර්ණදේහයක් ලැබෙන්න පුළුවන්. පියාගෙන් ලැබුණේ x වර්ණදේහයනම් දරුවා ගැහැණු දරුවෙකු වෙනවා. පියාගෙන් ලැබුණේ y  වර්ණදේහයනම් දරුවා පිරිමි දරුවෙකු වෙනවා. 

සුලබව දැකිය හැකි තත්ත්වයන් මේවා වුවත්, xx ජාන සහිත ගැහැණු හා xy ජාන සහිත පිරිමි හැර වෙනත් වර්ග වල අයත් ඉඳහිට බිහි වෙනවා. මෙවැනි තත්ත්වයන් සැලකෙන්නේ ජාන විකෘති ලෙසයි. ඇතැම් ජාන විකෘති තත්ත්වයන් නිසා බාහිර පෙනුමේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙත් ඇතැම් විකෘති නිසා බාහිර වෙනස්කම් හා/හෝ විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙනවා.

xxy - ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය ලෙස හැඳින්වෙන මේ තත්ත්වයේදී පුද්ගලයෙකුට අමතර x වර්ණදේහයක් ලැබෙනවා. සාමාන්‍ය පිරිමියෙකුට හා ගැහැණියකට තිබෙන්නේ වර්ණදේහ 46ක් පමණක් වුවත්, මේ අයට වර්ණදේහ 47ක් තිබෙනවා. මෙය වඩාත්ම සුලබ ජාන විකෘති තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි. 500-1000කට පමණ එක් අයෙක්ට xxy වර්ණදේහ පිහිටනවා. y වර්ණදේහය නිසා පිරිමියෙකු වුවත් x වර්ණදේහ දෙකක්ම තිබෙන නිසා ඇතැම් කාන්තා ලක්ෂණ මතු වීමේ ඉඩක් තිබෙනවා.

මීට වඩා දුලබ ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණ තත්ත්වයන්ද තිබෙනවා. 50000කට එක් අයෙක් xxxy ලෙස වර්ණදේහ 48ක් සහිතවත්, 85000කට එක් අයෙක්  xxxxy ලෙස වර්ණදේහ 49ක් සහිතවත් උපදිනවා.

xyy - මෙහිදී 1000කගෙන් එක් අයෙකුට පමණ අමතර y වර්ණදේහයක් ලැබෙනවා. බොහෝ විට මෙවැනි අය සාමාන්‍ය නිරෝගී පිරිමින් වුවත් කථාකිරීමේ දුර්වලතා ආදී ඇතැම් රෝග තත්ත්වයන් ඇති වීමේ ඉහළ ඉඩක් තිබෙනවා. මෙවැනි අය ඇතැම් ටියුෂන් ගුරුවරුන් විසින් යූටියුබ් හරහා උගන්වන ආකාරයේ බෙල්ල කැපුවත් කඳට කෙළින් හිට ගත හැකි "සුපර් මේල්ලා"නම් නෙවෙයි.

xxx - මෙයත් 1000කගෙන් එක් අයෙකුට පමණ ඇතිවන තත්ත්වයක්. ඉතා කලාතුරකින් xxxx හා xxxxx තත්ත්වයන් ඇති අයද ඉපදෙනවා.

x0 - ටර්නර් සහලක්ෂණය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය 2500කින් අයෙකුට ඇති වෙනවා. මෙවැන්නෙකුට තිබෙන්නේ එක් x වර්ණදේහයක් පමණයි. ඒ නිසා මුළු වර්ණදේහ ගණන 45ක් පමණයි.

xxyy - මේ තත්ත්වය 25000කින් අයෙකුට පමණ ඇති විය හැකියි. මීට අමතරව xxxyy තත්ත්වය ඇති ඉතා සුළු පිරිසක්ද වාර්තා වී තිබෙනවා.

මේ අනුව පැහැදිලි වන පරිදි ජානමය ලෙස බැලූ විට සාමාන්‍ය පිරිමි හෝ සාමාන්‍ය ගැහැණු නොවන වෙනත් කණ්ඩායම් ගණනාවක් සිටිනවා. 

2. ශාරීරික ලක්ෂණ 

සාමාන්‍යයෙන් පිරිමියෙක් කියන්නේ සිරුරෙන් පිටත ලිංගික අවයවයක් ඇති, මුහුණේ රැවුල වැවෙන, පපුව පැතලි අයෙක්. සාමාන්‍ය ගැහැණියකගේ මුහුනේ රැවුල වැවෙන්නේ නැහැ. ලිංගික අවයව තිබෙන්නේ සිරුර ඇතුළට වෙන්නයි. ඔවුන්ගේ පියයුරු ඉදිරියට නෙරා එනවා. එහෙත්, මෙය හැම විටම මෙසේ විය යුතු නැහැ. ජාන වෙනස්කම් නිසා ගැහැණු ලක්ෂණ සහිත පිරිමි හා පිරිමි ලක්ෂණ සහිත ගැහැණු ඉපදෙනවා. සිරුරේ හෝමෝන වෙනස්කම් නිසාත් මෙය වෙනවා. ටෙස්ටටරෝන් හෝමෝනය බාහිරින් ගැනීමෙන් කෙනෙකුට පිරිමි ලක්ෂණ මතු කරගන්න පුළුවන්. ඒ වගේම, ඊස්ට්‍රජන් හෝමෝනය ගැනීමෙන් ගැහැණු ලක්ෂණ ඉස්මතු කර ගත හැකියි. මේ නිසා, කෙනෙකුගේ ශාරීරික ලක්ෂණ හැම විටම ජාන සැකැස්ම සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ.

3. තමන්ට දැනෙන ලිංගිකත්වය 

කෙනෙකුට දැනෙන තමන්ගේ ලිංගිකත්වය ඔහුගේ හෝ ඇයගේ බාහිර පෙනුම සමඟ නොගැලපෙන්න පුළුවන්. ගැහැණු පෙනුම තිබෙන ගැහැණියකට උපන් දා සිටම තමන් පිරිමියෙක් සේ දැනෙන්න පුළුවන්. ඒ වගේම, පිරිමි පෙනුම තිබෙන පිරිමියෙකුට තමන් ගැහැණියක සේද දැනෙන්න පුළුවන්. මේ ආකාරයට "අනුන්ගේ සිරුරක" සිර වී සිටින්නට වීම විශාල වදයක්. හෝමෝන ප්‍රතිකාර හා/හෝ ශල්‍යකර්ම වලින් ලිංග වෙනස්කම් කර ගන්න යොමු වන්නේ එවැනි අයයි.

4. පිටතට පෙන්වන ලිංගිකත්වය 

ඇතැම් ගැහැණු පිරිමි ලෙස අඳින්න පළඳින්න හා හැසිරෙන්න කැමතියි. ඇතැම් පිරිමි ගැහැණු ලෙස හැසිරෙන්න හා අඳින්න පළඳින්න කැමතියි. මෙවැනි අය ඇතැම් විට ශාරීරිකව සාමාන්‍ය ගැහැණු පිරිමි වෙන්න පුළුවන්. ඒ වගේම මේ බාහිර ප්‍රකාශනය ඉහත සඳහන් කළ ඔවුන්ට දැනෙන ලිංගිකත්වයම නොවෙන්නත් පුළුවන්.

5. ලිංගික ආකර්ෂණය 

විවිධ අයට විවිධ ආකාරයෙන් ලිංගික ආකර්ශන ඇති විය හැකියි.
- විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශනය වීම වඩාත්ම සුලබ තත්ත්වයයි.
- සම ලිංගිකයන්ට ආකර්ෂණය වීම 
- විරුද්ධ ලිංගිකයන්ට මෙන්ම සම ලිංගිකයන්ටද ආකර්ශනය වීම 
- විරුද්ධ ලිංගිකයන්ට, සම ලිංගිකයන්ට මෙන්ම මේ දෙකටම නැති අයටද ආකර්ශනය වීම 
- කිසිදු ලිංගික ආකර්ශනයක් නැති වීම 

යමෙකුගේ ලිංගික ආකර්ෂණය, බාහිර පෙනීම, ජාන සැකැස්ම ආදිය අතර සෘජු සම්බන්ධයක් තිබිය යුතු නැහැ.

6. චිත්තවේගීය ආකර්ශනය 

චිත්තවේගීය ආකර්ශනය හා ලිංගික ආකර්ෂණය කරුණු දෙකක්. උදාහරණයක් විදිහට විරුද්ධ ලිංගිකයන්ට මෙන්ම සම ලිංගිකයන්ටද ලිංගිකව ආකර්ශනය වන කෙනෙක් චිත්තවේගීය ලෙස ආකර්ශනය වෙන්නේ විරුද්ධ ලිංගිකයෙකුට පමණක් විය හැකියි.

7. නීතිමය අර්ථ දැක්වීම 

මෙය තීරණය වන්නේ රටේ නීතිය අනුවයි. බොහෝ විට කෙනෙකුට නීතිය අනුව ගැහැණු හා පිරිමි යන දෙගොඩෙන් එකකට වැටෙන්න වෙනවා. 

මෙසේ විස්තර කළ පරිදි ලිංගිකත්වයට මාන ගණනාවක් තිබෙන නිසා එක් මානයකදී පිරිමියෙක් ලෙස සැලකෙන අයෙක් වෙනත් මානයකදී ගැහැණියක් විය හැකියි. ඇතැම් අයට මේ ද්විමය බෙදීම ගැලපෙන්නේ නැහැ.

ලංකාවේ වත්මන් නීති රාමුව තුළ පුද්ගලයෙක් උපතින්ම ගැහැණියක හෝ පිරිමියෙකු වෙනවා. ඇතැම් මාන වලදී මේ විදිහට උපතින් ලැබෙන ලිංගිකත්වය ඇතුළේ නොසිටින අයට අපහාසාත්මක අර්ථයෙන් පොදුවේ "පොන්නයා" කියන වචනය භාවිතා කෙරෙනු දැකිය හැකියි. 

පිරිමි හා ගැහැණු නොවන අනෙකුත් අය එකම පොදු කණ්ඩායමක් නෙමෙයි. ඒ අය අතර එකිනෙකට වෙනස් කණ්ඩායම් විශාල ගණනක් සිටිනවා.

ලංකාවේ උපතක් ලියාපදිංචි කරන විට "පිරිමියාද ගැහැණියද යන වග" සඳහන් කරන්න සිදු වී තිබෙන්නේ යුරෝපීය බලපෑම නිසා. ආබ්‍රහමික ආගම් අනුව දෙවියන් විසින් පිරිමියෙකු හා ගැහැණියක මවනවාට අමතරව වෙනත් වර්ග වල මිනිසුන්ව මවන්නේ නැහැ. ඒ නිසා, ආදම් වැනි පිරිමි හා ඒව වැනි ගැහැණු හැර වෙනත් ලිංගික අනන්‍යතා තිබෙන අය සිටීම ගැටළුවක් මතු කරනවා.

ත්‍රිපිටක සාහිත්‍යයේද ඇතුළුව ඉන්දියානු කලාපයේ දැකිය හැක්කේ චතුර්කෝටික බෙදීමක්. ඒ පුරුෂ, ස්ත්‍රී, නපුංසක හා උභතෝබ්‍යඤ්ජනක ලෙස. නපුංසක වචනය හැදී තිබෙන්නේ පුරුෂ හෝ ස්ත්‍රී නොවන තේරුමෙන්. ඉහත වර්ග කිරීම් අනුව, ගැහැණු හා පිරිමි නොවන අය වැටෙන්නේ මේ ගොඩටයි. උභතෝබ්‍යඤ්ජනක ලෙස හඳුන්වා තිබෙන්නේ ගැහැණු හා පිරිමි ලිංගික අවයව දෙවර්ගයම තිබෙන අයයි. මෙවැනි මිනිසුන් සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්න නැහැ. අවශ්‍යනම් දරුවන් බිහි කරන පිරිමින්ව උභතෝබ්‍යඤ්ජනකයින් ලෙස හඳුන්වන්න පුළුවන්.

Thursday, January 23, 2020

දස මස කුස දැරූ පිය වරුණ


මාතර රෝහලේදී පිරිමියෙකු විසින් දරුවෙකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වී තිබෙනවා. විකාර සහගත කතාවක් වගේ පෙනුණත් පිරිමින්ට දරුවන් ලැබෙන්න පුළුවන්. එවැනි සිදුවීම් මීට පෙරත් වාර්තා වී තිබෙනවා. මෙහි ගැටළුවක් තිබෙනවානම් තිබෙන්නේ පිරිමියෙකු ලෙස අප විසින් අර්ථ දක්වා ගන්නා සංකල්පයේ. එක් අර්ථදැක්වීමක් අනුව පිරිමියෙකු වන අයෙකු වෙනත් අර්ථදැක්වීමක් අනුව ගැහැණියක විය හැකියි. සංක්‍රාන්ති ලිංගිකයන්ට බොහෝ විට මේ ගැටළුවට මුහුණ දෙන්න වෙනවා.

ඇමරිකානුවෙකු වූ තෝමස් බේඩී විසින් 2008දී ගැහැණු දරුවෙකු වදා දරුවකු වැදූ පළමු පිරිමියා ලෙස ප්‍රසිද්ධ වුනා. ඔහු උපතින් ගැහැණියක වූ බව කීම නිවැරදි නොවන්නේ පුද්ගලයෙකු ගැහැණියක හෝ පිරිමියෙකු ලෙස ලේබල් කිරීම සරල කරුණක් නොවන නිසා.

තෝමස් ඉපදුණේ ඉතා පියකරු ගැහැණු සිරුරක් උරුම කර ගනිමිනුයි. තෝමස්ගේ උපතේදී දෙමවුපියන් විසින් තැබූ නම ට්‍රේසි. ට්‍රේසි රූප රාජිණී තරඟ වලට පවා ඉදිරිපත් වෙනවා. එහෙත්, උපතේ පටන්ම ට්‍රේසිගේ සිතුම් පැතුම් වල ඔහු සිටියේ පිරිමියෙක් ලෙසයි.

පසුව ලිංගය මාරු කර ගැනීමේ ශල්‍ය කර්මයකට මුහුණ දෙන ට්‍රේසි හෝමෝන ප්‍රතිකාර ලබා ගනිමින් නීත්‍යානුකූලව මෙන්ම පෙනුමෙන්ද පිරිමියෙක් බවට පත් වී තෝමස් වෙනවා. ඒ 2002 වසරේදී. එහෙත් මේ ශල්‍ය කර්මයේදී ට්‍රේසි විසින් වෙනස් කර ගන්නේ සිරුරේ උඩ කොටස පමණයි. පිරිමි ලිංගික අවයව බද්ධ කර ගැනීමක් හෝ ගර්භාෂය ඉවත් කිරීමක් සිදු වන්නේ නැහැ. හවායි නීතිය අනුව, උප්පැන්න සහතිකයේ ලිංගය වෙනස් කර ගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය නැහැ.

මෙයින් වසරකට පසුව තෝමස් නැන්සි සමඟ නීත්‍යානුකූල ලෙස විවාහ වෙනවා. මෙය නීත්‍යානුකූලව සමලිංගික විවාහයක් හෝ එකට ජීවත් වීමක් නෙමෙයි. ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන සාමාන්‍ය විවාහයක්.

විවාහයෙන් පසුව බේඩී යුවලට දරුවන් අවශ්‍ය වුවත්, ඒ වන විට නැන්සි විසින් ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකට මුහුණ දී සිටින නිසා ඇයට ගර්භණී වීමේ හැකියාවක් නැහැ. මෙවැනි යුවලකට කරන්න වෙන්නේ වෙනත් කාන්තාවකගේ ගර්භාෂය කුලියට ගැනීමයි. එහෙත්, තෝමස් විසින් මෙහිදී තීරණය කරන්නේ මේ වැඩේට තමන්ගේම ගර්භාෂය යොදා ගැනීමටයි. ඔවුන් වෛද්‍යවරුන් නව දෙනෙකු වෙතම ගියත් පෙනුමෙන් මෙන්ම නීතිය අනුවද පිරිමියෙකු වන තෝමස්ගේ ගර්භාෂයේ සංසේචිත කළලයක් තැන්පත් කිරීමට ඔවුන් කැමති වෙන්නේ නැහැ.

මෙහිදී තෝමස් විසින් තමන් නිතිපතා ලබා ගන්නා ටෙස්ටටෝරෝන් හෝමෝනය ලබා ගැනීම නවත්වනවා. මාස නවයකට පසුව ඔහුට නැවත මාස් ශුද්ධිය හැදෙනවා. ඉන් පසුව, ඔවුන් අන්තර්ජාලය හරහා නම නොදන්නා අයෙකුගේ සංරක්ෂණය කළ ශුක්‍රාණු ලබා ගන්නවා. නැන්සි විසින් සිරින්ජයක් යොදා ගෙන එම ශුක්‍රාණු තෝමස්ගේ යෝනියට ඇතුළු කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තෝමස් ගර්භණී වෙනවා.

මෙසේ පළමු වරට ගර්භණී වන තෝමස්ගේ කුසෙහි දරු කළල තුනක්ම වර්ධනය වුවත් ඒ ගර්භාෂයෙන් පිටතයි. ඒ නිසා, එම කළල ඉවත් කරන්න සිදු වෙනවා. එහෙත්, දෙවන වර වැඩේ හරියටම හරියනවා. තෝමස් විසින් 2008 ජූනි 29 වනදා පසුව සූසන් ලෙස නම් කෙරෙන ගැහැණු දරුවෙකු බිහි කරනවා. දරු උපත සිදු වන්නේ සාමාන්‍ය ආකාරයටයි.

තෝමස් විසින් දරුවන් වැදීම එතැනින් නතර වෙන්නේ නැහැ. මේ වන විට ඔහු තවත් දරුවන් දෙදෙනෙකු වදා තිබෙනවා. ඒ වගේම, තෝමස් කියන්නේ මේ වන විට දරුවන් වදා තිබෙන පළමු පිරිමියා නෙමෙයි. ඇමරිකාවේ මෙන්ම එක්සත් රාජධානිය හා ජර්මනිය ඇතුළු රටවල් කිහිපයකම තවත් පිරිමි මේ වෙද්දී දරුවන් වදා තිබෙනවා. දරුවකු වදන පිරිමියෙකු හැඳින්විය යුත්තේ දරුවාගේ මව ලෙසද නැත්නම් පියා ලෙසද යන්න තවමත් විවාදයට ලක් වන නීතිමය කරුණක්.


(Image courtesy: Daily Mirror Online)

Tuesday, January 21, 2020

කැලේ මාරු වන විට පුල්ලිත් මාරු වේ!

කළු කොටි ගැන නැවතත් වාර්තා වී තිබෙනවා. දශකයකට පමණ පෙරනම් කළු කොටි කියන නම ඇහෙන විට මතක් වුනේ එම නමින් හැඳින්වුණු එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන හමුදාවයි. එහෙත්, මේ වාර්තාව උතුරේ කළු කොටි ගැන නෙමෙයි. කලකට පසු නැවත ලංකාවෙන් වාර්තා වී ඇති කළු පැහැ හම සහිත ශ්‍රී ලාංකික කොටි පවුලක් ගැනයි.

කොටි වර්ග ලෝකය පුරාම විසිරී සිටියත් ලංකාවේ සිටින කොටින් ලංකාවටම ආවේණිකයි. සත්ත්ව වර්ගීකරණය අනුව පැන්තෙරා ගණයට අයත් පැන්තෙරා පාර්ඩස් විශේෂයට අයත් උප විශේෂ නවයක් අතරින් එක් උප විශේෂයක් වන ශ්‍රී ලාංකික කොටියා "පැන්තෙරා පාර්ඩස් කොටියා" යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඇටවූ කැමරා උගුල් හරහා ඡායාරූපගත කරගෙන තිබෙන කළු කොටි පවුලද මේ ශ්‍රී ලාංකික කොටි පවුලේම සාමාජිකයින් මිස වෙනස් හෝ අලුත් සත්ත්ව විශේෂයක් නෙමෙයි. ඔවුන්ට හම කළු පැහැ ගන්වන ජාන සැකසුමක් තිබෙනවා පමණයි.

අප අසා තිබෙන පරණ කියමනක් වන්නේ කැලේ මාරු වන විට කොටියාගේ පුල්ලි මාරු නොවන බවයි. සාමාන්‍යයෙන් කොටින් ලෙස හඳුන්වන්නේ හමේ පුල්ලි සහිත සතුන්. හමේ ඉරි සහිත සතුන් ව්‍යාඝ්‍රයන් ලෙස හඳුන්වනවා. ජගුවරයින්ගේ හමේද පුල්ලි තිබුණත් කොටින්ගේ හා ජගුවරයින්ගේ පුල්ලි පැහැදිලිව හඳුනාගත හැකි තරම් වෙනස්. ජගුවරයින්ගේ පුල්ලි වල මැද තිත් තිබෙනවා. කොටින්ගේ පුල්ලි වල එවැනි තිත් නැහැ. කොටි, සිංහයින්, ජගුවරයින්, ව්‍යාඝ්‍රයින් හා හිම කොටි යන සත්ත්ව විශේෂ පහම අයත් වන්නේ පැන්තෙරා ගණයටයි.

පැන්තෙරා ගණයට අයත් බොහෝ සතුන්ට පුල්ලි සහිත හමක් තිබුණත් මේ සතුන් අතර කළු පැහැ සම ඇති සතුන්ද සිටිනවා.  මේ විදිහට ජාන විකෘති සිදු වී කළු පැහැ සතුන් බිහිවීම කැලේ මාරු වන විට කොටින්ගේ පුල්ලි මාරු වීමක් කියා කියන්නත් පුළුවන්. අඳුරු තෙත් කලාපීය වනාන්තර වල වාසය කරන කොටි අතර මේ කළු පැහැ ජාන විකෘතිය වඩා සුලභයි.

දහනවවන සියවසේ මැද භාගයේදී (1846-1850) ලංකාවේ යටත් විජිත මහ ලේකම් ලෙස කටයුතු කළ ජේම්ස් එමර්සන් ටෙනන්ට් විසින් වාර්තා කර ඇති පරිදි කළු කොටි දුලබ වුවත් ඒ කාලයේදී රටේ විවිධ ප්‍රදේශ වලින් හමු වී තිබෙනවා. ලංකාවේ කළු කොටි අඩ සියවසකට පෙර තිරගත වූ හොලිවුඩ් චිත්‍රපටයකටද තේමා වුනා. එහෙත්, මෑතකදී ලංකාවෙන් කළු කොටි පණ පිටින් හමු වී නැහැ. අවසන් වරට 2009දී හමු වී තිබෙන්නේ පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශයේ මද්දකට හසුව මියගොස් සිටි කළු කොටියෙක්. එම කළු කොටියාගේ සම සංරක්ෂණය කර හැදූ අනුරුවක්  ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

කොටියෙකුගේ හම කළු පැහැ වෙන්නේ නිලීන ජානයක් හේතුවෙන්. නිලීන ජානයකට අදාළ ලක්ෂණ මතු වන්නේ මවගෙන් හා පියාගෙන් එම ලක්ෂණ රැගෙන යන ජාන දෙකක්ම ලැබුණොත් පමණයි. කළු කොටියෙකුගේ ජාන දෙකේම මේ ලක්ෂණය තිබෙන නිසා කළු කොටි ජෝඩුවකට ලැබෙන සියළුම පැටවුන්ටද කළු හමක් උරුම වෙනවා.

කළු කොටියෙකු සහ සාමාන්‍ය කොටියෙකු අතර සංසර්ගයෙන් බිහිවන පැටවුන්ට අනිවාර්යයයෙන්ම එක් කළු ජානයක් හිමි වුවත්, එවැනි පැටියෙකු කළු කොටියෙකු වන්නේ සාමාන්‍ය කොටියාගෙන්ද කළු ජානයක් උරුම වුවහොත් පමණයි. කළු ජානයක් හා සාමාන්‍ය ජානයක් හිමි සාමාන්‍ය කොටින් දෙදෙනෙකුගේ පැටවෙකුද කළු කොටියෙකු විය හැකියි. ඒ නිසා, කළු කොටින් සම්පූර්ණයෙන්ම වඳ වී ගියත් නැවත සාමාන්‍ය කොටින්ට දාව කළු කොටි බිහි විය හැකියි. කෙසේ වුවත්, කළු කොටි ඇති වන ජානය වඳ වී ගියොත් නැවත කළු කොටි බිහි වීමේ ඉඩකඩද ඇහිරෙනවා.

Sunday, January 19, 2020

ට්‍රම්ප් චීනය දණ ගැස්සුවාද?



මේ සතියේ සිදු වූ සුවිශේෂී සිදු වීමක් වූයේ ඇමරිකාව හා චීනය අතර වෙළඳ ගිවිසුමේ පළමු අදියර අත්සන් තැබීමයි. පසුගිය බදාදා (ජනවාරි 15) ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන උප අගමැතිවරයෙකු වන ලියු හේ අතර ධවල මන්දිරයේදී අත්සන් තැබුණු මේ ගිවිසුම පෞද්ගලිකව ජනාධිපති ට්‍රම්ප් විසින් හා පොදුවේ ඇමරිකාව විසින් ලද විශාල ජයග්‍රහණයක් කියා කිව හැකියි.

ගිවිසුම අනුව චීනය විසින් ඉදිරි දෙවසර ඇතුළත චීනය වෙත ආනයනය කරන ඇමරිකානු නිෂ්පාදන ප්‍රමාණය අවම වශයෙන් ඩොලර් බිලියන 200කින් වැඩි කළ යුතුයි. එමෙන්ම, ඇමරිකානු සමාගම් චීන වෙළඳපොළට ඇතුළු වීම සඳහා සැපිරිය යුතු විවිධ කොන්දේසි, විශේෂයෙන්ම වෙළඳපොළට ඇතුළුවීමේ කොන්දේසියක් ලෙස තමන්ගේ තාක්ෂනය චීනයට අනිවාර්යයෙන් ලබා දිය යුතු වීම, මේ ගිවිසුමෙන් වැළැක්වෙන අතර ඇමරිකන් සමාගම් වලට පේටන්ට් අයිතිය ඇති දේවල් වල ව්‍යාජ අනුකරණ පාලනය කිරීමටද චීනය ක්‍රියා කළ යුතුයි.

ඇමරිකාව කියා කියන්නේ නාමික විණිමය අනුපාතය අනුව බැලුවොත් තවමත් ලෝකයේ විශාලතම ආර්ථිකය. අනෙක් අතට ක්‍රය ශක්ති සාම්‍යය අනුව බැලුවොත් ලෝකයේ විශාලතම ආර්ථිකය චීනයයි. කොයි විදිහට බැලුවත් ලෝකයේ  විශාලතම ආර්ථිකයන් දෙක වන්නේ ඇමරිකාව හා චීනයයි.

ලෝකයේ විශාලතම අපනයනකරුවා චීනයයි. එමෙන්ම ලෝකයේ විශාලතම ආනයනකරුවා ඇමරිකාවයි. මේ දෙරට එකිනෙකාගේ ලොකුම වෙළඳහවුල්කරුවාද වෙනවා.

වසර 35කට පෙර, 1985දී, චීනය හා ඇමරිකාව අතර සිදු වූ මුළු වෙළඳාම ඇමරිකන් ඩොලර් බිලියන 7.7ක් පමණයි. මේ ප්‍රමාණය දෙපාර්ශ්වය අතර ආසන්න වශයෙන් සමසමව බෙදී ගොස් තිබුණා. ඒ වෙද්දී චීනය හා ඇමරිකාව අතර ගිණිය හැකි තරමේ වෙළඳ ශේෂයක් තිබුණේ නැහැ. ඒ වගේම ඒ වෙද්දී චීනය ඇමරිකාවේ ප්‍රධානම වෙළඳ හවුල්කරුවෙකු වූයේද නැහැ. චීනය ලෝක ආර්ථික බලවතෙකු සේ සැලකුණේත් නැහැ. ඒ වෙද්දී ලංකාවේ ඒක පුද්ගල ආදායම චීනයේ ඒක පුද්ගල ආදායමට වඩා 25%කින් වැඩියි.

චීන ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් විදේශ වෙළඳාම කරා යොමු වෙද්දී ඇමරිකාව වෙත කරන චීන අපනයන වසරින් වසර ඉහළ ගියා. චීනය වෙත කරන ඇමරිකන් අපනයනත් වසරින් වසර ඉහළ ගියත් එසේ ඉහළ ගියේ අඩු වේගයකින් නිසා ඇමරිකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමේ අසමතුලිතබවක් ඇති වුනා. ඇමරිකාවට අවාසිදායක ලෙස ඇති වුනු වෙළඳ ශේෂය ක්‍රමක්‍රමයෙන් පුළුල් වෙන්න පටන් ගත්තා.

ලංකාව වැනි කුඩා ආර්ථිකයක් ඇති රටක් සමඟ ඇමරිකාව විසින් කරන ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකාවට දිගින් දිගටම අවාසිදායක වුවත් එය ඇමරිකාවට දැනෙන තරමේ විශාල අවාසියක් නෙමෙයි. ඒ නිසා, එය ඇමරිකාව තුළ දේශපාලන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත්, චීන ආර්ථිකය වසරින් වසර වේගයෙන් ප්‍රසාරණය වී චීනය ලෝක ආර්ථික බලවතෙකු ලෙස ඇමරිකාව සමඟ කරට කර පැමිණීමෙන් පසුව ද්විපාර්ශ්වික වෙළඳ හිඟයේ බලපෑම ඇමරිකාවට දැනෙන්න ගන්නවා.

රටවල් දෙකක් අතර වෙළඳාම අසමතුලිත වූ විට, අවාසිදායක වෙළඳ ශේෂයක් තිබෙන රටේ ව්‍යවහාර මුදල අවප්‍රමාණය වී වාසිදායක වෙළඳ ශේෂයක් තිබෙන රටේ ව්‍යවහාර මුදල  ශක්තිමත් වෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකාව හා කැනඩාව අතර වෙළඳ ශේෂය ඇමරිකාවට අවාසිදායක ලෙස පුළුල් වුවහොත් කැනඩාවට දිගින් දිගටම ඇමරිකන් ඩොලර් ගලා යාම නිසා කැනඩාවේ ඇමරිකන් ඩොලර් වලට තිබෙන ඉල්ලුම අඩු වී ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව කැනඩා ඩොලරය ශක්තිමත් වෙනවා. එවිට, වෙළඳ ශේෂය නැවත ඇමරිකාවට වාසිදායක ලෙස වෙනස් වෙනවා.

ඉහතින් කියූ දේ එලෙසම වෙන්නේ කිසියම් රටක විණිමය අනුපාතිකය ඉල්ලුම හා සැපයුම මත තීරණය වනවානම් පමණයි. ඇමරිකාවේ, කැනඩාවේ හා වෙනත් බටහිර රටවල් බොහොමයක විණිමය අනුපාතිකය ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩ සලසා ඇතත් චීනයේ එවැනි තත්ත්වයක් නැහැ. චීනය විසින් දිගින් දිගටම තමන්ගේ විණිමය අනුපාතිකය නියම මට්ටමට වඩා අවප්‍රමාණය වෙන්න ඉඩ හරිමින් ජාත්‍යන්තර වෙළඳාමේදී වාසියක් ලබා ගත්තා. ඇමරිකාව දකින ආකාරයට මෙය අනිසි වාසියක්.


යුවානය නියම මට්ටමට වඩා අවප්‍රමාණය කර තබා ගැනීම නිසා චීන නිෂ්පාදන වෙනත් රටවල පාරිභෝගිකයින්ට අඩු මිලකට ලබා ගත හැකි වුනා. වෙනත් රටවල නිෂ්පාදන චීනයට මිල අධික වුනා. 2018 වසරේදී ඇමරිකාව ඩොලර් බිලියන 659.8ක බඩු චීනයෙන් ආනයනය කරද්දී චීනය ඇමරිකාවෙන් ආනයනය කළේ ඩොලර් බිලියන 120.1ක බඩු විතරයි. දෙරට අතර මුළු වෙළඳාමෙන් 81.8%ක්ම සිදු වුනේ චීනයේ සිට ඇමරිකාව පැත්තටයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2018 වන විට ඇමරිකාවේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය ඩොලර් බිලියන 419.5ක් දක්වා ඉහළ ගියා.

ජනාධිපති ට්‍රම්ප් චීනය සමඟ වෙළඳ යුද්ධයකට පැටළුනේ මේ අවාසිය අඩු කර ගන්නයි. ඇමරිකාව හා චීනය විසින් තමන්ගේ රට වලට ආනයනය කෙරෙන එකිනෙකාගේ නිෂ්පාදන සඳහා තරඟයට බදු පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස දෙරටටම අවාසියක් සිදු වුවත්, වෙළඳ යුද්ධය ආරම්භයේදී විශාල වාසිදායක තැනක සිටි චීනයට වැඩිපුර තුවාළ සිදු වුනා. ඇමරිකාවට චීනයට තරම් නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ.

වෙළඳ යුද්ධය නිසා පසුගිය 2019 වසරේදී චීනය හා ඇමරිකාව අතර වෙළඳාම ඩොලර් බිලියන 143.5කින්, එනම් 2018 වසරට සාපේක්ෂව 21.7%කින් අඩු වුනා. මේ අඩුවීම ආසන්න වශයෙන් සමානුපාතිකව සිදු වුවත්, ද්විපාර්ශ්වික වෙළඳ පරිමාවෙන් පහෙන් හතරකටත් වඩා සිදු වුනේ චීනයේ සිට ඇමරිකාව දෙසට නිසා ඇමරිකාව චීනයට කරන අපනයන ඩොලරයකින් අඩු වන විට චීනය ඇමරිකාව වෙත කරන අපනයන ඩොලර් හතර පහකින් පමණ අඩු වුනා. හරියටම ගණන් කියනවානම් ඇමරිකාව චීනයට කරන අපනයන ඩොලර් බිලියන 22.4කින් අඩු වෙද්දී, චීනය ඇමරිකාවට කරන අපනයන ඩොලර් බිලියන 120.1කින් අඩු වුනා.

මේ වන විට චීන ආර්ථිකය සෑහෙන්න විශාල හා ශක්තිමත් ආර්ථිකයක්. පසුගිය දෙවසරක පමණ කාලය තුළ චීනයට ඇමරිකාව හමුවේ දණ නොනමින් එකට එක කරමින් සිටින්න හැකි වුණේ ඒ නිසයි. කොහොම වුනත් මේ වෙද්දී චීනය පියවරක් පසුපසට තබා තිබෙනවා.

එළැඹෙන ඇමරිකන් ජනාධිපතිවරණය හා මේ වෙද්දී පැවැත්වෙන දෝෂාභියෝග විභාගය හමුවේ අත්සන් තැබුණු ඇමරිකන් චීන වෙළඳ ගිවිසුම ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික ජයග්‍රහණයක්ද වෙනවා. චීනය සමඟ වෙළඳ යුද්ධයකට යමින් ඔහු විශාල අවදානමක් ගත්තා. වෙනත් බොහෝ දේශපාලනඥයින්ට සාපේක්ෂව බැලූ විට ජනාධිපති ට්‍රම්ප් මෙවැනි අවදානම් ගැනීමට පැකිලෙන්නේ නැහැ. දේශපාලනඥයෙකු වීමට පෙර ව්‍යාපාරිකයෙකු වීම ඊට හේතුවක් වෙන්න පුළුවන්.

දෙසතියකට පෙර කාසිම් සුලෙයිමානි ඝාතනය සඳහා අණ දෙමින්ද ජනාධිපති ට්‍රම්ප් විසින් විශාල අවදානමක් ගත්තා. එයත් මෙවැනිම ගණනය කළ අවදානමක් වෙන්න පුළුවන්. කලින් දැනුම් දීමෙන් අනතුරුව ඉරාකයේ කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල කරමින් ඉරානය ප්‍රශ්නයෙන් ඉවත් වීම නිසා ජනාධිපති ට්‍රම්ප්ගේ අරමුණ ඉටු වුනා.

ඇමරිකානු නීතිය අනුව පුද්ගල ඝාතන නීති විරෝධීයි. එහෙත්, ජීවිත හා දේපොළ වලට හානියක් සිදු වීමේ අවදානමක් ඇති විටක ආත්මාරක්ෂාව සඳහා ප්‍රතික්‍රියා දැක්විය හැකියි. ට්‍රම්ප්ට අනුව කාසිම් සුලෙයිමානිව අවසන් කිරීම මෙවැනි ආත්මරාක්ෂක ප්‍රතික්‍රියාවක් මිස ප්‍රහාරයක් නෙමෙයි. ඔහුව ඝාතනය නොකළේනම් විශාල ජීවිත හා දේපොළ හානියක් සිදු විය හැකිව තිබුණා. ඝාතනය යන වචනයට ආසන්න අරුත් තිබෙන ඉංග්‍රීසි වචන ගණනාවක් තිබෙනවා. කාසිම් සුලෙයිමානිගේ මරණය හා අදාළව ඇමරිකානු නොවන හා ජාත්‍යන්තර මාධ්‍ය විවිධ වචන යොදාගත්තත් ට්‍රම්ප් විසින් යොදාගත්තේ "ටර්මිනේට්" යන වචනයයි.

ඇතැම් ට්‍රම්ප් හිතවාදී විශ්ලේෂකයින්ට අනුව ට්‍රම්ප් විසින් චීනය සමඟ වෙළඳ යුද්ධයක් ආරම්භ කළේ නැහැ. වෙළඳ යුද්ධය දශක ගණනක් තිස්සේම පැවතුණා. ඇමරිකාව කාලයකට පෙරම එයින් පැරදිලයි හිටියේ. මෙය ඒ තත්ත්වය හමුවේ ඇමරිකාව පැත්තෙන් දැක්වූ ප්‍රතික්‍රියාවක්.

මේ කතාවේ ඇත්තක් තිබෙනවා. චීන ඇමරිකන් ද්විපාර්ශ්වික වෙළඳාම දශක ගණනාවක් තිස්සේම සිදු වුනේ චීනයේ වාසියටයි. ඒ වාසියේ උදවුවද ලබමින් මේ වෙද්දී චීනය ඇමරිකාව සමඟ කරට කර සිටින ලෝක ආර්ථික බලවතෙකු වී තිබෙනවා. දිගින් දිගටම පැවතුනු චීනයට වාසිදායක වෙළඳ අතිරික්තය නිසා චීනයේ ඇමරිකන් ඩොලර් සංචිත ගොඩ ගැහුණා. ලෝකය පුරාම චීනය විසින් ආයෝජනය කළේත්, උපාය මාර්ගික වැදගත් කමක් තිබෙන ව්‍යාපෘති වෙනුවෙන් ණය ලෙස ලබා දුන්නේත් මේ විදිහට එකතු වුනු ඩොලර්.

වෙළඳ යුද්ධය නිසා ඇමරිකාව හා චීනය අතර 2018දී වූ ඩොලර් බිලියන 419.5ක වෙළඳ හිඟය 2019 වෙද්දී ඩොලර් බිලියන 320.8 දක්වා අඩු වී තිබෙනවා. බදාදා අත්සන් කළ ගිවිසුම අනුව 2021 අවසානය වන විට චීනය වෙත කෙරෙන ඇමරිකන් ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 200කින් ඉහළ යා යුතුයි. ඒ 2020දී ඩොලර් බිලියන 76.7කින් හා 2021දී ඩොලර් බිලියන 123.3කින් වශයෙන්. කෙසේ වුවත්, දැනට පවතින වෙළඳ හිඟය ඩොලර් බිලියන 320.8ක් බව සැලකූ විට එය ඩොලර් බිලියන 200කින් අඩු වුවත්, වාසිය තවදුරටත් තිබෙන්නේ චීනයටයි. එහෙම, බැලුවහම මේ ගිවිසුම හඳුන්වන්න පුළුවන් වන්නේත් ඇමරිකාව විසින් ගත් ආත්මාරක්ෂක ක්‍රියා මාර්ගයක් විදිහටයි.

Saturday, January 18, 2020

මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!

"ඕනෑම සමාජයක අම්මයි තාත්තයි නැති ළමයි සම්බන්ධයෙන්, අනාථ ළමයි සම්බන්ධයෙන්, ඒ සමාජයේ සැලකිල්ලේ ප්‍රමාණයෙන් ඒ සමාජයේ ශීලාචාර තත්ත්වයේ තරම පෙන්වනවා. ඇත්ත වශයෙන්ම ලංකාවේ අම්මයි තාත්තයි නැති, වෙන කවුරුවත්ම නැති, ළමයි රජයේ අනාථ නිවාස වල ඉන්නවා. එහෙම අනාථ නිවාස විශාල ගාණක් තිබෙනවා. 

ලංකාව ඒ ළමයෙකුට දවසකට කරන වියදම රුපියල් විස්සයි. සියළු දේ සඳහා. කන්න බොන්න ඇඳුම් පැළඳුම් සඳහා, සියලු දේ සඳහා, රුපියල් විස්සක වියදමක් කරන්නේ. එතකොට තේරුම් ගන්න පුළුවන්.

ලංකාවේ මොන තරම්...කියන්නේ රුපියල් කෝටි ගණන් නොයෙකුත් දේවල් වලට වියදම් කරනවා. ඒත් අත්‍යාවශ්‍ය, අත්‍යාවශ්‍යයෙන්ම අපි බලාගත යුතු පිරිස, දෙමවුපියන් නැති දරුවෝ අපි බලාගන්නේ නැහැ කියන එක. 

ඒ දරුවෝ අපි නම්බුකාර හිඟන්නෝ බවට පත් කරලා. කියන්නේ ඒ ගොල්ලන්ව ඇත්තටම හිඟා කන්න පුරුදු කරනවා. මිනිස්සු ආපුවහම කෑම බීම අරගෙන, වැඳලා, නටලා, ඒ ගොල්ලන්ට ඕනෑ විදිහට. හරිම ඛේදජනකයි."

ඉහත කොටස උපුටා ගත්තේ රන්ජන් හඬපට හා අදාළව පසුගිය දිනක වික්ටර් අයිවන් විසින් උඩුගත කර තිබෙන ප්‍රකාශයකින්.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ 2013 වාර්තාවකට අනුව ඒ වසරේදී ලංකාවේ ළමාරක්ෂක ආයතන 414ක ළමුන් 14,179 දෙනෙකු රැඳී සිටියා. මේ ආයතන 414න් රාජ්‍ය ආයතන ප්‍රමාණය 37ක් පමණයි. ආයතන බහුතරයක් පරිපාලනය කෙරුණේ දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, ආගමික සංවිධාන ඇතුළු වෙනත් ආයතන හෝ පුද්ගලයින් විසිනුයි.

මෙහිදී, ළමාරක්ෂක ආයතන ලෙස අර්ථ දක්වා තිබෙන්නේ කවර හෝ හේතුවක් මත බාලවයස්කාර දරුවන් නේවාසිකව රඳවා ගන්නා ආයතනයි. උදාහරණයක් ලෙස මේ ආයතන අතරින් 102ක් ආගමික ආයතන. ක්‍රිස්තියානි හෝ කතෝලික සෙමනේරි 66ක්, බෞද්ධ පිරිවෙන් 21ක්, හින්දු අරනේරි පාසැල් 13ක් හා ඉස්ලාම් මද්‍රසා පාසැල් 2ක් මේ ගණනට ඇතුළත් වුනා. රාජ්‍ය රාජ්‍ය ආයතන 37ත් විවිධ වර්ගයේ ආයතන. උදාහරණයක් ලෙස විවිධ වැරදි වලට වරදකරුවන් වූ හෝ චෝදනා ලැබූ බාලවයස්කාර දරුවන් රඳවා තබා ගන්නා හා පුනරුත්ථාපනය කෙරෙන ස්ථාන මේ ගණනට ඇතුළත්.

පසුගිය අයවැයෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 373.5ක්. ඒ මුදලින් රුපියල් මිලියන 260කට වැඩි මුදලක් වැය වන්නේ එහි සේවය කරන 449 දෙනෙකුගේ වැටුප් හා අනෙකුත් දීමනා වෙනුවෙන්. ඉතිරි මුදලින් විදුලි බිල්, ඉන්ධන වියදම් ආදිය ඉවත් කළ විට වික්ටර් අයිවන් කියන, එක ළමයෙකුට දවසකට වියදම් කරන්නේ රුපියල් විස්සයි කියන එක නිවැරදි වෙන්න පුළුවන්.

"In comparison with the national budgetary expenditure in the health, education and social services sectors, the child protection sector occupies a low priority area with a 0.5% in the total national expenditure for children (Budget for Children)."

2017 වසරේ "සේව් ද චිල්රන්" වාර්තාවකද සඳහන් කර ඇති පරිදි, පොදුවේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සුබසාධනය කිරීමට සාපේක්ෂව ළමුන් ඉලක්ක කරගත්, විශේෂයෙන්ම විශේෂ සැලකිලි හිමි විය යුතු ළමුන් ඉලක්ක කරගත්, වියදම් කෙරෙහි යොමු වන්නේ අඩු අවධානයක්.

හේතුව පැහැදිලියි. දෙමවුපියන්ගේ රැකවරණය අහිමි දරුවෙකුට කිසිදු දේශපාලන බලයක් නැහැ. ඒ නිසා, ඒ අය වෙනුවෙන් පෙනී සිටීමෙන් කාටවත් දේශපාලන වාසියක් ලැබෙන්නේ නැහැ. නමුත්, ලංකාවේ පොදු සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් වල ප්‍රතිලාභ ලබන්නේ රටේ දේශපාලන බලය හිමි කණ්ඩායමයි.

"මේක ඇත්ත ඉකොනා... ප්‍රා ලේ කාර්යාලයක ඉන්නකොට ඔයවගේ දේ කොතෙකුත් අනාවරණය වෙනවා. ජීවවිද්‍යාත්මක පියා ම, මවත් දැනුවත්ව දියණිය කාලයක් තිස්සේ දූෂණය කිරීම වැනි දේ පවා."

පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දමමින් ඩ්‍රැකී ලියා තිබෙනවා. තමන්ගේ නිවසේදී තමන්ගේ ජීව විද්‍යාත්මක දෙමවුපියන් අතින්ම හෝ ඔවුන්ගේ අනුදැනුම ඇතිව දරුවෙකු ලිංගික හෝ වෙනත් අතවරයකට ලක් වන විට ඒ දරුවා වැටෙන්නේ වැටෙන්න පුළුවන් පහළම තැනකටයි. එවැනි දරුවෙකුට හිතෙන්නේ ගෙදර මිනිස්සු සලකන්නේ මේ විදිහටනම් පිට මිනිස්සු ගැන හිතන එකවත් තේරුමක් නැහැ කියලයි.

"මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!"

මේ කතාව මා කුඩා කාලයේදී දෙමවුපියන් නුරුස්සන දෙයක් කළ විට නිවසේදී බොහෝ වර අසා තිබෙන කතාවක්. සමහර විට කුඩා කාලයේ මේ වගේ කතා අහපු තවත් අය ඇති.

ඔය කියන තැන ඉහත සඳහන් ළමාරක්ෂක ආයතන අතර තිබෙන, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියාමනයට හා/හෝ පරිපාලනයට යටත් ආයතනයක්. මා හිතන්නේ කාලයක් තිස්සේ රෝමානු කතෝලික පල්ලිය විසින් පවත්වා ගෙන ආ ආයතනයක්. "මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!" කියා කුඩා දරුවෙකුට ගෙදරදී කියන කොට දරුවාගේ මනසේ මැවෙන්නේ ගෙදර දඬුවම් දී හදා ගන්න අමාරු දරුවෙකුට ලොකු දඬුවම් දී කොහොම හරි හදාගන්නා අපායක් වගේ තැනක් ගැනයි. මේ කතාව නිතර ඇහෙන කොට දරුවෙකු හිතන්නේ තිබෙන හොඳම විකල්පය වන්නේ කවර අතවර විඳිමින් වුවත් ගෙදරම ඉන්න එක බවයි. සුමීර ගුණසේකරගේ අත්දැකීම් අනුවනම් එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ.

දරුවෙකුට කවර හෝ අතවරයක් වෙන විට එයට හැකි ආකාරයෙන් මැදිහත්වීම ශීලාචාර වැඩිහිටියෙකුගේ යුතුකමක්. නමුත්, බොහෝ විට මෙවැනි අතවරයක් සිදුවන බව දකින වැඩිහිටියෙකු විසින් ගන්නේ අතවරය කරන වැඩිහිටියාගේ පැත්තයි. පැමිණිල්ලක් කළ විට වැඩිහිටියාට මුහුණ දෙන්න සිදු වන තත්ත්වය ගැන සානුකම්පිකව බලන අය එසේ සිතීමෙන් දරුවෙකුට වෙන අසාධාරණය නොසලකා හරිනවා. 2017 වසරේදී සිදු වූ විවිධ ළමා අතවර හා නොසලකා හැරීම් පිළිබඳ පැමිණිලි 12,093ක් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා. එයින් අඩක් පමණම පාසැල් නොයැවීම පිළිබඳවයි. බාල වයස් විවාහ හා ගැබ් ගැනීම් 606ක්, කායික දණ්ඩන 694ක්, මානසික අපයෝජන 1,310ක්, නොසලකා හැරීම් 1,745ක් හා ළමා ලිංගික අපයෝජන 398ක්ද වාර්තා වී තිබෙනවා.


නමුත්, මේ විදිහට කවුරු හෝ විසින් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියට වාර්තා කරන්නේ සිදුවන අතවර වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව පැහැදිලියි. මුලතිවු හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් කිසිදු පැමිණිල්ලක් නැත්තේ ඒ දිස්ත්‍රික්ක වල ළමුන්ට කිසිදු අතවරයක් සිදු නොවන නිසා විය නොහැකියි.

Thursday, January 16, 2020

උඹ යකින්නක් වුනේ කොහොමද?


"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

සමන් ලෙනින් ඔහොම අහන්නේ මෝහිණීගෙන්. මෝහිණී ගැන නොදන්නා කෙනෙක් නැහැනේ. ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඩන තුන්මං හන්දියේ ඈ බලා ගෙන ඉන්නේ අතේ ඉන්න දරුවාව දෙන්න කෙනෙක් එන තුරුයි. අතේ ඉන්න දරුවා ඇයට කරදරයක් වෙන්න ඇති. නමුත්, යකින්නක් වන ඇය මේ දරුවාව කුණු බක්කියකට දමන්නේ නැහැ. පණ පිටින් වලලන්නෙත් නැහැ.

ඒ අතින් බැලුවහම මෝහිණීගේ අතේ ඉන්න දරුවා නැත්නම් දැරිවිය වාසනාවන්තයි. සමහර දරුවෝ ඒ තරම් වාසනාවන්ත නැහැ.

"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

රජී වසන්ත වෙල්ගම සමන් ලෙනින් හරහා අහන්නේ සාධාරණ ප්‍රශ්නයක්. අද උදේ වැඩට එද්දී කාර් එකේදී ඔය සිංදුව ඇහෙද්දී මතක් වුනේ රත්නපුර කොස්ගල වත්තේ පදිංචි අවිවාහක තරුණියකට දාව උපන් බව කියන, උපන් මොහොතේම නිවස පිටුපස පස්ගොඩක් යට පැය පහක් තිස්සේ වළ දමනු ලැබ සිටීමෙන් පසුව අසල්වැසියකුගේ ඇස ගැටී පණ බේරා ගෙන තිබෙන බිළිඳියවයි.

මේ මව විසින් කරලා තිබෙන්නේ මෝහිණීවත් නොකරන දෙයක් වුණත් ඈ යකින්නක් කියා අපට එක වරම කියන්න බැහැ. බොහෝ විට ඇගේ පැත්තෙනුත් අපි නොදන්නා කතාවක් ඇති.

උපන් හැටියේම දරුවන්ව මරා දැමීම හෝ මැරෙන්නට අත හැර දැමීම ලෝකය පුරාම අතීතයේ සිටම සිදු වූ දෙයක්. රොබට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී "දරුවා ආහාර නොමැති කමින් මිය යන තුරු හාමත් කර තැබීමෙන්, දිය බඳුනක හිස ඔබා තබා හුස්ම හිරවී මැරෙන්නට සැලැස්වීමෙන් හෝ පණ පිටින්ම වළලා දමමින්" මැරෙන්නට ඉඩ හළ බව ඔහු ලියා තිබෙනවා. මේ වගේ දේවල් අදටත් ලෝකයේ බොහෝ රටවල සිදු වෙනවා. ඇමරිකාවේ පවා.

ලෝකයේ බොහෝ සමාජ වල ඉතිහාසය පුරාම මේ විදිහට බිළිඳු දරුවන් මරා දැමීම හෝ මැරෙන්නට හැරීම කර තිබෙන්නේ ජනගහණ පාලන උපක්‍රමයක් විදිහටයි. මේක අර ඕස්ට්‍රේලියාවේ ඔටුවන් මැරීම වගේම වැඩක්. උපත් පාලන ක්‍රම ප්‍රචලිත වීමෙන් පසුව ජනගහණ පාලනය සඳහා වඩා "සදාචාර සම්පන්න" විකල්පයක් ලැබුණා. එහෙත්, අදටත් අනවශ්‍ය ගැබ් ගැනීම් සුලබව සිදු වෙනවා.

ලංකාවේ කාන්තාවකට අනවශ්‍ය ගැබ් ගැනීමකින් පහසුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැහැ. එහෙත්, සෑම දිනකම නීති විරෝධී ගබ්සා විශාල ප්‍රමාණයක් රටේ සිදු වන බව ප්‍රසිද්ධ රහසක්. නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකම අනවශ්‍ය ගැබ් ගැනීම් වලට හේතුවක් වුවත් එය එක් හේතුවක් පමණයි. ලිංගික අධ්‍යාපනයක් තිබුණත් එතැනින් එහාට බොහෝ දේවල් තීරණය වෙන්නේ රටේ බහුතරය හිතන හා ක්‍රියා කරන ආකාරය මතයි.

හතේ අපේ පොත පසුගිය දවස් වල බොහෝ කතාබහට ලක් වුනා. ඔය පොත වසර කිහිපයකට කලින් ලබා දී තිබුණානම් කොස්ගල වත්තේ තරුණියට ඇගේ දරුවාව පණ පිටින් වළලන්න සිදු වෙන එකක් නැද්ද?

හතේ අපේ පොත සර්ව සම්පූර්ණ නැහැ. එහි පැහැදිලි අඩුපාඩු තිබෙනවා. නමුත්, එවැන්නක් එළිදැක්වීම හොඳ ආරම්භයක්. රන්ජන් හඬපට වලින් දරුවන් ලිංගික අධ්‍යාපනය ලබා ගන්නවාට වඩානම් එය අනිවාර්යයෙන්ම හොඳයි. දරුවන් ලිංගික අධ්‍යාපනයක් ලැබිය යුතුයි. එහෙත්, බටහිර රටවල ක්‍රමය ලංකාවට ඒ විදිහටම යොදා ගන්න අමාරුයි.

ඇත්තටම කියනවානම් හතේ පන්තිය කියන්නේත් මේ වැඩේට තරමක් වැඩි වයසක්. ලංකාවේ දරු දැරියන් බොහෝ දෙනෙක් විවිධ ආකාර වල ලිංගික අතවර වලට ලක් වෙන්නේ ඊට වඩා ගොඩක් අඩු වයස් වලදී.

ඇමරිකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ පෙර පාසැල් කාලයේ ඉඳලයි. හැබැයි මෙතැනදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ විවිධ ලිංගික ක්‍රියා ගැන කියා දෙන එක නෙමෙයි. මෙවැනි වයසකදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ දරුවෙකුට පුද්ගලිකත්වය ගැන කියා දීමයි. පුළුල් ලෙස කියනවානම් දරුවෙකුගේ අයිතිවාසිකම් ගැන හා පෞද්ගලිකත්වය කියන සංකල්පය ගැන ඔවුන්ව දැනුවත් කිරීමකුයි වෙන්නේ. අනෙක් අතට ලොකු පන්ති වලදී වුවත් වඩා බරපතල දේවල් කියා දෙන්නේ දෙමවුපියන් විසින් ලිඛිත අවසරයක් ලබා දී ඇත්නම් පමණයි. ඇමරිකාවේ කිවුවත් මම දන්නා පැති වල. මෙය හැම ප්‍රාන්තයකම වෙන ආකාරය ගැන මම හොයා බලලා නැහැ.

උපන් හැටියේම දරුවන් අතහැර දැමීමේ සිට දරුවන්ට සිදුවන ලිංගික අතවර දක්වා බොහෝ දේ පොදුවේ ගත් විට ළමයින්ට සිදුවන අතවර වල කොටසක්. කායික වධ හිංසා වලට නිතරම ලක් වෙන දරුවෙක් කොයි වෙලේ හෝ ලිංගික අතවරයකට ලක් වීමේ අවදානම වැඩියි. ඒ නිසා, වඩා සුදුසු වන්නේ වධ හිංසා වලට ලක් නොවීමට දරුවෙකුට තිබෙන අයිතිය ගැන පොදුවේ දැනුවත් කරන අතරම නිසි වයසේදී  ලිංගික අතවර ගැනත් යම් දැනුවත් කිරීමක් කරන එකයි. ලිංගිකත්වය හා අදාළ සෞඛ්‍යමය කරුණු ගැන වෙනම දැනුවත් කිරීමක් කළ හැකියි.

පසුගිය දවස් වල සංසරණය වූ දරුවෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව දරුවන්ට සිදු වන වධ හිංසා පිළිබඳ ඇස් අරවන්නක් වෙන්න පුළුවන්. එහෙත්, කොළඹ ගමයා විසින් පළ කර තිබුණු සුමීර ගුණසේකරගේ ලිපියේ ඇති පරිදි, මේ වගේ දේවල් ඉතාම සුලබ දේවල්. වධකයින් වන වැඩිහිටියන් අසල්වැසියන් එක්ක ප්‍රශ්න ඇති කරගෙන නැත්නම් බොහෝ විට ඔවුන් වින්දිතයින් වන දරුවන් වෙනුවෙන් පෙනී නොසිට ඇහැ කණ පියාගෙන ඉන්න එකයි කරන්නේ.

ලිංගික අතවර වේවා, වෙනත් වධ හිංසා වේවා, තමන්ගේ නිවසේදීම දරුවෙක් අතවර වලට ලක් වන විට දරුවා ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙනවා. දරුවෙකු මේ වගේ වෙලාවක කට පියාගෙන ඉන්න පුරුදු වෙන්නේ මුළු ලෝකයම ඉන්නේ වධක වැඩිහිටියන්ගේ පැත්තේ මිසක් තමන්ගේ පැත්තේ නොවන බව තේරුම් ගැනීමෙන් පසුවයි. හැකි ඉක්මණින් ලොකු මහත් වී වැඩිහිටියන්ගෙන් නිදහස් වීම හැර දරුවා දකින වෙනත් විකල්පයක් නැහැ.

මේ විදිහට කුණු ගොඩවල් වල ළමා කාලයම ජීවත් වෙන්න සිදු වී ඇති දරුවන් කුඩා කාලයේම කුණු ගොඩකට වීසි කරනු ලැබ මිය යන දරුවන්ට වඩා අවාසනාවන්තයි. හැම විටම නොවූවත්, සොයා බැලුවොත් ඔවුන් බොහෝ විට තමන්ගේ ජීව විද්‍යාත්මක මවුපියන් දෙදෙනා සමඟ ජීවත් නොවන දරුවන්. අර වීඩියෝවේ සුළු මවගෙන් පහර කන දැරිය වගේ.

ඇමරිකාවේදීනම් මේ වගේ වෙලාවක පාසැලේ ගුරුවරයෙකුට දැනුම් දීමට දරුවන්ව දැනුවත් කරනවා. එසේ දරුවෙකු විසින් දැනුම් දීමක් කළ විට, එසේත් නැත්නම් දරුවෙකු නිවසේදී කිසියම් වධ බන්ධනයකට ලක් වන බව ගුරුවරයෙකුට සැක සිතුණු විට අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබෙනවා. ගුරුවරයෙකුට ඒ ක්‍රියාපටිපාටියෙන් බැහැර වෙන්න බැහැ.

ලංකාවේනම් හැමෝම නැතත් බොහෝ දෙමවුපියන් වගේම ගුරුවරුනුත් වධකයින්. කණගාටුවට කරුණ එය වරදක් කියා බොහෝ දෙනෙක් නොසිතන එකයි. මෙය සංස්කෘතියේ කොටසක්නම් එය වෙනස් විය යුතු කොටසක්.

කුඩා කාලයේ ලිංගික අතවර වලට හෝ වෙනත් ශාරීරික හෝ මානසික වධ හිංසා වලට ලක්වන හැම දරුවෙක්ම වැඩිහිටියෙකු වූ විට සමාජ විරෝධියෙකු හෝ මානසික රෝගියෙකු වෙන්නේ නැතත් එවැනි වැඩිහිටියන් අතර කුඩා කාලයේ අතවර වලට ලක් වූ අය වැඩියි. කිසියම් සමාජයක් දරුවන්ට හා වෙනත් දුර්වල අයට සලකන ආකාරයෙන් අදාළ සමාජයේ නිරෝගී භාවය පිළිබිඹු වෙනවා. එසේ වුවත්, සමාජයක් සැබෑවටම නිරෝගී බව කිව හැක්කේ ආකල්පමය වෙනසකින් එය සිදු වී ඇත්නම් මිසක් දැඩි නීති රීති හරහා කෘතිමව එවැනි තත්ත්වයක් පෙනෙන්නට සලස්වා ඇති අවස්ථා වලදී නෙමෙයි.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...