වෙබ් ලිපිනය:

Monday, August 12, 2019

ගෝඨාභයගේ කතාව


ගෝඨාභය රාජපක්ෂව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා ලෙස නම් කරනු ලැබීමෙන් පසුව ඔහු විසින් කළ කතාව අවධානය යොමු කළ යුතු කතාවක්. සාමාන්‍යයෙන් මේ වගේ පුද්ගලයින්ගේ ප්‍රසිද්ධ කතා මගේම නොවන මගේ කතා. ගෝඨාභය, රනිල් හෝ මහින්ද වැනි කෙනෙක්ගේ ප්‍රසිද්ධ කතාවක් කියා කියන්නේ බොහෝ විට වෙනත් අයෙකු හෝ කිහිප දෙනෙකු විසින් ලියා දෙන කතාවක්.

එතරම්ම වැදගත් නොවන අවස්ථාවකදීනම් සිදු වන්නේ ඒ වෙලාවේ අතට ලැබෙන කොළයේ ඇති දේ කොළය (හෝ ටෙලිප්‍රොම්ටරය) බලාගෙන කියවන එකයි. නමුත්, ඊයේ වගේ සුවිශේෂී අවස්ථාවක ගෝඨාභය වගේ කෙනෙක් කරන කතාව දිහා රටම පමණක් නෙමෙයි ලෝකයම බලාගෙන ඉන්න බව ඔහු වගේම ඔහු වටා ඉන්න අයත් හොඳින්ම දන්නා නිසා මේ කතාවේ පිටපත ගෝඨාභය ඇතුළු කිහිප දෙනෙකුගේම පූර්ව විමර්ශනයට ලක් නොවූවක් වන්නට ඉඩක් නැහැ.

ගෝඨාභයගේ කතාවෙන් පිළිබිඹු වන්නේ හරියටම ඔහු හිතන විදිහ කියා අපට කියන්න බැරි වුවත්, ඔහු හිතන විදිහ කියා ඔහුට පෙන්වන්න අවශ්‍ය විදිහ බව සැකයක් නැහැ. ඒ නිසා, ඔහු ලංකාවේ ජනාධිපති වුවහොත් ඔහු පිටතට පෙන්වන්න කැමැත්තනේ සිටින ප්‍රතිරූපයේ පිළිබිඹුවක් ලෙස ඔහුගේ මේ කතාව සැලකිය හැකියි. මේ මොහොත වෙද්දී ලංකාවේ මීළඟ ජනාධිපති ධුරයට වඩාත්ම කිට්ටුවෙන් ඉන්න පුද්ගලයා ගෝඨාභය නිසා ඔහුගේ කතාවේ මගේ අවධානයට යොමු වූ තැන් ගැන පොඩ්ඩක් කතා කරන්න කැමතියි.

"පසුගිය කාලය පුරා රට වෙනුවෙන් හඩක් නැගූ මහා සංඝරත්නය,  ආගමික පූජකතුමන්ලා, දේශපාලනඥයන්, ජාතික සංවිධාන, මාධ්‍යවේදීන්, සමාජ ජාලා ක‍්‍රියාකාරිකයන්, හා විශේෂයෙන්ම රටේ තරුණ පරපුර පෙරටුකරගත් පොදු මහජනතාවට මම මේ අවස්ථාවේ මගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරනවා."

මෙහි සඳහන් ලැයිස්තුවට සමාජ ජාලා ක‍්‍රියාකාරිකයන් ඇතුළත්ව සිටීම අවධානයට ලක් විය යුතු දෙයක්. කාලයක් තිස්සේම ලංකාවේ දේශපාලනයේ දිශානතිය තීරණය කළ මහා සංඝරත්නය, ආගමික පූජකතුමන්ලා, දේශපාලනඥයන්, ජාතික සංවිධාන, මාධ්‍යවේදීන් හා රටේ තරුණ පරපුර යන කොටස් අතරට සමාජ ජාලා ක‍්‍රියාකාරිකයන්ද එක් වී සිටින බව මේ වෙද්දී ගෝඨාභය විසින් හිතන බව පැහැදිලියි.

ගෝඨාභය රාජපක්ෂද ප්‍රධාන කොටස්කරුවෙකු වූ පසුගිය රාජපක්ෂ දශකයේදී පෞද්ගලික මාධ්‍යද ඇතුළුව විධිමත් මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සියල්ලක් මතම ආණ්ඩුවේ හෙවනැල්ල වැටී තිබුණු බව රහසක් නෙමෙයි. බොහෝ විට සිදු වුනේ මාධ්‍යකරුවන් විසින්ම ස්වයං වාරණයක් පනවා ගැනීමයි. වෙනත් දේවලුත් වුනා. නමුත්, සමාජ මාධ්‍ය කෙරෙහි ආණ්ඩුවෙන් එපමණම බලපෑමක් සිදු වුනේ නැහැ. එයට හේතුව පසුගිය ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය වල බලපෑම නිසි පරිදි හඳුනා ගෙන නොතිබීම විය යුතුයි. නමුත්, රාජපක්ෂලා ඒ වැරැද්ද නැවත වරක් කරන එකක් නැහැ.

තමන් පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකු ලෙස හඳුන්වාගෙන තිබෙන විජේබාහු නමින් ප්‍රතිචාර දමන පාඨකයා විසින් ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙකුයැයි  අප විශ්වාස කරන්නේදැයි විමසා තිබෙනවා. අප එසේ විශ්වාස කරන්නේ හෝ නොකරන්නේ නැහැ. තහවුරු කර ගැනීමට අසීරු දේ පිළිබඳව අපගේ සාමාන්‍ය ස්ථාවරයද එවැන්නක්. අප සාමාන්‍යයෙන් කරන්නේ නොදන්නා දේ නොදන්නා බව දැනගෙන ඒ පදනම මත කටයුතු කිරීමයි.

කොහොම වුවත් ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිකම පිළිබඳව ඇතැම් දේ පැහැදිලියි. ඔහු 2003 සිට ඉතා මෑතක් වන තුරුම ඇමරිකන් පුරවැසියෙක්. අවම වශයෙන් ඊට වසර පහකට පෙර සිට ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවෙක් (ග්‍රීන්කාඩ් හිමියෙක්). ඒ වගේම, ඔහු ඇමරිකන් පුරවැසිකම ලබාගෙන තිබෙන්නේ ලංකාවේ පුරවැසිකම නැති වෙන්නට ඉඩ හරිමිනුයි. ඒ ලංකාවේ පුරවැසිකම අත් නොහැරම ඇමරිකානු පුරවැසියෙකු වීමේ විකල්පය ඔහු හමුවේ තිබියදී. ගෝඨාභය විසින් නැවත ලංකාවේ ද්විත්ව පුරවැසිකම ලබා ගෙන තිබෙන්නේ වසර ගණනාවකට පසුවයි.

මේ වෙද්දී ගෝඨාභය විසින් තමන්ගේ ඇමරිකන් පුරවැසිකමෙන් මිදී සිටින්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. එහෙත්, එය ස්ථිරවම කිව නොහැකියි. එය එසේ බව පෙන්වමින් අන්තර්ජාලය හරහා කූඨ ලේඛන හුවමාරු වෙද්දී, එම ලේඛන කූඨ ලේඛන බව තහවුරු වන තුරු ඔහු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. කෙසේ වුවත්, ඇමරිකන් පුරවැසිකම තිබියදී ඔහුට ලංකාවේ ජනාධිපති ධුරයට තරඟ කිරීමේ නීතිමය හැකියාවක් නැති නිසා, යම් හෙයකින් මේ වෙද්දී මේ කටයුත්ත අවසන්ව නැති වුවත් ඉතා ඉක්මණින් අදාළ කටයුතු අවසන් වන බවට විශ්වාසයකින් ඔහු කටයුතු කරන බව ස්ථිරයි. ඒ නිසා, මේ ගැන හොයන්නට වද වීම වැදගත් කරුණක් කියා මා හිතන්නේ නැහැ.

මට පෙනෙන වැදගත්ම කරුණනම් අවසන් මොහොත තෙක්ම ගෝඨාභය තමන්ගේ ඇමරිකන් පුරවැසිකම අත් හරින්නට සූදානම් නොවීමයි. ඔහු එය කරන්නේ තමන්ට ලංකාවේ ජනාධිපති වීමට සැලකිය යුතු ඉඩක් තිබෙන බව තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඊට වඩා අඩු වෙනත් කිසිවක් වෙනුවෙන් ඔහු ඒ පියවර තබන්නට සූදානම්ව සිටියේ නැහැ. එයින් පෙනෙන්නේ ඔහු තමන්ගේ ඇමරිකන් පුරවැසිකම කොයි තරම් වැදගත් සේ සලකනවාද කියන එකයි.

ගෝඨාභයට ඇමරිකන් පුරවැසිකමෙහි ඔය තරම් විශාල වටිනාකමක් පෙනුණේ ඇයි? මෙයට හේතුව මූල්‍ය වාසි වෙන්න බැහැ.

ගෝඨාභය ඇමරිකාවට පැමිණ ඔහුට ලංකාවේදී ඉපැයිය නොහැකි තරම් විශාල ආදායමක් උපයා නැහැ. ලංකාවේදී මෙන් ඉහළ තනතුරු හෝ දේශපාලන බලය ඔහුට ඇමරිකාවේදී ලැබී නැහැ. ඇමරිකාවේදී ඔහු තවත් එක් සාමාන්‍ය පුද්ගලයෙක් පමණයි.

ගෝඨාභය වැනි කෙනෙක් ලංකාවේදී තමන්ට ලැබෙන බලය, තනතුරු ආදී සියලු වරප්‍රසාද හමුවේ ඇමරිකන් පුරවැසිකමට මෙතරම් වටිනාකමක් දීමෙන් පෙනෙන්නේ ඇමරිකාව පිළිබඳව ඔහුගේ තිබෙන දැඩි විශ්වාසයයි. යමෙක් ලංකාවේ පුරවැසිකම අතහැර ඇමරිකාවේ පුරවැසියෙකු වීමට තීරණය කරන්නේ පළමුව ඇමරිකාව හා ලංකාව අතර තමන් වැදගත් සේ සලකන නිර්ණායක අනුව විශාල පරතරයක් දැකීම හා දෙවනුව තමන්ගේ හෝ තමන්ගේ දරුවන්ගේ ජීවිත කාල තුළ ඒ පරතරය පියැවෙන බවක් නොදකින නිසයි. ගෝඨාභය හා සැලකූ විට මේ නිර්ණායක මුදල් හෝ සාපේක්ෂ සමාජ තත්ත්වය වැනි දේ විය නොහැකියි. එසේනම්, ඔහු ප්‍රසිද්ධියේ මොනවා කිවුවත්, ඇමරිකානු සමාජ ආර්ථික ක්‍රමය පිළිබඳව දැඩි සේ  විශ්වාසය තබන්නෙකු විය හැකියි.

ගෝඨාභයට පසුගිය කාලයේ යුද අපරාධ චෝදනා ඇතුළු විවිධ චෝදනා නැගුනා. අවසන් කාලයේ ඇමරිකන් අධිකරණ වල චෝදනා ඉදිරිපත් කෙරුණා. නමුත්, මෙවැනි චෝදනාවකට වරදකරු වීමේ අවදානම හමුවේ ගෝඨාභය ඇමරිකන් පුරවැසිකම ඉවත් කරගත්තේ නැහැ. එයින් පෙනෙන්නේ ඔහු ඇමරිකන් අධිකරණ ක්‍රමය පිළිබඳව කොපමණ විශ්වාසයකින් කටයුතු කර ඇත්ද යන්නයි.

එකම පවුලේ සොයුරන් වන මහින්ද හා ගෝඨාභය හිතන ආකාරයන් වෙනස් වෙන්න ඉඩ තිබෙන ප්‍රධාන හේතු දෙකක් වන්නේ ගෝඨාභයගේ හමුදා පසුබිම හා ඇමරිකන් පසුබිමයි. මෙයින් පළමුවැන්න විශාල සේ කතාබහට ලක් වී ඇතත් දෙවැන්න එතරම් සාකච්ඡාවට බඳුන් වී නැහැ. ගෝඨාභය ලංකාවේ රාජ්‍ය නායකයා වුවහොත් ඔහු බටහිර විරෝධියෙකු වේයැයි කිසිසේත්ම හිතන්න බැහැ. ඒ වගේම, ඊයේ ඔහු පැවැත්වූ කතාවෙන් බටහිර රටවලට මේ බව සංඥා කරන්නටත් ඔහු අමතක කර නැහැ. මා පහත කොටස් උපුටා ගන්නේ ඊයේ ගෝඨාභය විසින් කළ කතාවෙන් මිසක් රනිල් වික්‍රමසිංහගේ කතාවකින් නෙමෙයි.

"සෑම පුරවැසියෙකුටම  ආර්ථික ස්ථාවරත්වයකුත්, දියුණු වීමේ සම අවස්ථාවකුත්, ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතියත් තිබිය යුතුයි."

"අලූතින් රැකියා අවස්ථා බිහිකිරීමට  මෙන්ම තරුණ පරපුර තුලින් පුද්ගලික ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහිකිරීමට අවශ්‍ය කරන ආර්ථික වටපිටාව සකස් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා."

"අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ හරහා ශිල්පීය දැනුම ලබා දෙන අතර නව නිර්මාණයන් කිරීම සඳහා අපේ තරුණ පරපුරට අතහිත දිය යුතුයි.  අපේ දීර්ඝ කාලීණ අරමුණ විය යුත්තේ නව නිර්මාණයන්ගෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රට බවට පත් වීමයි."

ගෝඨාභය මෙහි සඳහන් කරන්නේ සැමට දියුණු වීමේ සම අවස්ථා ගැන මිසක්, ඔහු වටා ඉන්න ඇතැම් සමාජවාදීන්ගේ ඔලු වල තිබෙන ආකාරයේ සැමට සැම දේ සමානව ලැබෙන ක්‍රමයක් ගැන නෙමෙයි. සම්පත් සමානව බෙදීම වෙනුවට ව්‍යවසායකත්වයට වැඩි ඉඩකඩක් විවර කර එක් එක් පුද්ගලයාගේ දක්ෂතාවය අනුව සම්පත් අත් කර ගැනීමට සැමට සමාන ඉඩකඩක් සපයා දෙන සමාජ ආර්ථික ක්‍රමයක් ගැනයි. ඉහත වැකි තුන ඇමරිකන් ඌරුවට ලියැවුණු වැකි තුනක්.

ඒ වගේම උතුරේ දෙමළ ජනතාවගේ සිතුම් පැතුම් හා අදාළව ඔහු ප්‍රකාශ කරන අදහස ඔහු වටා සිටින බොහෝ ජාතිකවාදීන් හිතන ආකාරයට වඩා වෙනස් එකක්. ඔහු කරන්නේ බටහිර රටවල් වලට අවශ්‍ය ආකාරයේ ප්‍රකාශයක්.

"උතුරේ ජනතාවට විශේෂිත වූ අපේක්ෂාවන් ගැන අපට මනා අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ මේ ගැටළු අපේ රජයක් විසින් නිසැකවම විසඳන්නට කටයුතු කරනවා."

මේ ප්‍රකාශ වගේම වෙනත් ඇතැම් ප්‍රකාශත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශ වලට වඩා වෙනස් නැහැ.

"රටේ සෑම ප‍්‍රදේශයකටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා."

කෙසේ වුවත්, ආරක්ෂණවාදී නැඹුරුවක්ද ගෝඨාභයගේ කතාවෙන් ඉඟි කෙරෙනවා.

"අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය තුල දේශීය ව්‍යාපාර ආරක්ෂා කරමින් ගෝලිය ආර්ථිකය තුළ නව වෙළඳපොළ අවස්ථා සොයා යාමට බලාපොරොත්තු වෙනවා."

ඔය දෙකම එකවර කරන්න මෙතෙක් පැවති ආණ්ඩු බොහොමයක්ම උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. කොහොම වුවත්, වත්මන් ප්‍රවණතා අනුව ලංකාව වැනි රටක ආරක්ෂණවාදී නැඹුරුවක් තිබීම බටහිර රටවලට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

ඒ වගේම මහින්දගේ කාලයේදී ඔය දෙකෙන් එකක්වත් සිදු වුණේ නැහැ. කිවුවේ මොනවා වුනත්, එම දශකය තුළ පවත්වාගෙන ගිය රුපියල කෘතීම ලෙස ඕනෑවට වඩා ශක්තිමත්ව තබා ගැනීමේ විදේශ විණිමය ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය නිෂ්පාදන වෙනුවට විශාල ලෙස ආනයන ආදේශ වුනා. රටේ ආනයන අපනයන පරතරය විශාල ලෙස වැඩි වුනා.

මහින්ද රාජපක්ෂගේ කාලයේ මෙන් රජය මූලිකව යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කැමැත්ත ගෝඨාභය විසින්ද පෙන්වනවා.

"රටේ සෑම ප‍්‍රදේශයක්ම යාකරමින්  ඇතිකළ මාර්ග පද්ධති හා දුම්රිය මාර්ග දියුණුව ඉදිරියට ගෙන යමින්  ප‍්‍රවාහන සේවාවල විශාල ප‍්‍රගතියක් හැකි ඉක්මනින් අපි අත්පත් කරගත යුතුයි."

එහෙත්, රාජ්‍ය මූල්‍යනය පිළිබඳ කිසිදු සඳහනක් ගෝඨාභයගේ කතාවේ නැහැ. කතාවේ නොකිවුවත්, ප්‍රායෝගිකව රජය මුල් වී කරන මෙවැනි කවර හෝ ව්‍යාපෘතියක් වෙනුවෙන් වැය කරන්න වෙන්නේ විදේශ ණය ලෙස ලබා ගන්නා ප්‍රාග්ධනයයි. බටහිර රටවල් වලින් මෙවැනි ණය මහා පරිමාණයෙන් ලබා ගැනීමේ හැකියාවක් නැති නිසා නැවත යන්න වෙන්නේ චීනය පැත්තටම තමයි.

විදේශ ණය අරගෙන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමත් යන දෙකම එකවර කිරීම අසීරු දෙයක්. ප්‍රාග්ධන ගිණුමට විදේශ ව්‍යවහාර මුදල් ගලා එන තරමටම ජංගම ගිණුමේ හිඟයත් ඉහළ යනවා. ඒ කියන්නේ ආනයන අපනයන පරතරය ඉහළ යනවා. එය සිදු වීම වැළැක්විය හැකි එකම ක්‍රමය ණය ලෙස ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් රටින් පිටතට නොයවා විදේශ සංචිත සේ රඳවා ගැනීමයි. නමුත්, ප්‍රාග්ධන ආයෝජන සඳහා අවශ්‍ය දෑ රට තුළ නොනිපදවෙන නිසා එය කිරීම අසීරුයි. වෙනත් විදිහකින් කිවුවොත් විදේශ ණය ලබා ගෙන රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, දේශීය නිෂ්පාදන හා රටේ අපනයන ආර්ථිකය නැංවීමත් යන දෙකම එක වර කිරීම පහසු කටයුත්තක් නෙමෙයි.

කවුරු බලයට පත් වුවත්, රජය මුල් වී මහා පරිමාණ ආයෝජන විශාල ලෙස සිදු කළ හැක්කේ විදේශ ණය තව තවත් ගෙන රටේ අනාගතය අස්ථාවර වන්නට ඉඩ හරිමින් පමණයි. එසේ නොකරනවානම් සිදුවන්නේ ආශ්චර්ය අමතක කර ස්ථාවර සාමාන්‍ය ආර්ථික වර්ධනයකින් සෑහීමකට පත් වෙන්නයි.

අවසාන වශයෙන් ගෝඨාභයගේ කතාව ඇතුළේ පොදුජන පෙරමුණේ සාමාජිකයින් නොවන විවිධ කණ්ඩායම් ගණනාවකට ආමන්ත්‍රණය කෙරෙන විවිධ හා වෙනස් වාක්‍ය ගණනාවක් රිංගවා තිබීමෙන් පේන්නේ අතේ තිබෙන 41.2%ක ඡන්ද ප්‍රතිශතයේ සිට 50% මට්ටම දක්වා යාමට අවශ්‍ය අමතර ඡන්ද ප්‍රමාණය ලබාගැනීමේ අභියෝගය ගෝඨාභය රාජපක්ෂ විසින් සිල්ලරට ගෙන නැති බවයි.

Sunday, August 11, 2019

ගෝඨාභය


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව මේ වන විට නිල වශයෙන් නම් කර තිබෙනවා. මේ වෙද්දී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් වැඩිම ජන පදනමක් තිබෙන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ නිසා, මේ මොහොත වන විට ලංකාවේ මීළඟ ජනාධිපති වීමට වැඩිම ඉඩකඩක් ඇති පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. එහෙත්, ඉදිරි දේශපාලන පෙළගැසීම් සිදුවන ආකාරය මත මේ තත්ත්වය වෙනස් වීමේ ඉඩකඩක්ද තිබෙනවා.

ඇමරිකාවේනම් ප්‍රධාන දේශපාලන පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගනු ලබන්නේ ප්‍රාථමික මැතිවරණ ප්‍රතිඵල අනුවයි. මේ ප්‍රාථමික මැතිවරණ වලදී කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයින් සේ ලියාපදිංචි වී සිටින ඡන්දදායකයින් විසින් තමන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පතන පුද්ගලයින් අතරින් අයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරනවා. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙවැනි නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ.

කෙසේ වුවත්, යම් හෙයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ බහුතර ඡන්දයෙන් එම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂයා තේරුවේනම් එම තේරීම වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීම ඉල්ලුම් සාධක මත තීරණය වූවක්. ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ මෙවැනි ඉල්ලුම් සාධක හඳුනාගත හැකි ඉවක් තිබෙන හා බොහෝ විට ඉල්ලුම් සාධක නොසලකා නොහරින අයෙක්.

පොදුජන පෙරමුණේ සාමාජිකයින් අතර වැඩිම ඉල්ලුමක් තිබුණු ජනාධිපති ධුර අපේක්ෂයා ගෝඨාභය රාජපක්ෂ වුවත් අවසන් සතිය පමණ දක්වාම ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳව කිසියම් අවිනිශ්චිතතාවයක් තිබුණා. ඒ අවිනිශ්චිතතාවයට පාදක වූ සාධක ගණනාවක් අතරින් ප්‍රධාන එකක් වූයේ ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවයයි.

වාර්තා වන ආකාරයට මේ වන විට ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවයෙන් ස්ව-කැමැත්තෙන් මිදී සිටිනවා. ඒ වගේම ඔහු විසින් සිය කැමැත්තෙන් ඇමරිකානු පුරවැසිකමින් මිදීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන අදාළ ලියකියවිලි ඔහු වෙත ලබා දී තිබෙන බවද කියැවෙනවා. මේ බව සඳහන් ෆෙඩරල් රෙජිස්ට්‍රිය තවමත් ප්‍රකාශයට පත් කෙරී නැතත් එය කිසියම් අයෙකු සිය ඇමරිකානු පුරවැසිකම අත් හැරීම පිළිබඳව සිදු කෙරෙන නිවේදනයක් මිස එම කටයුත්ත සම්පූර්ණ වීම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. කෙසේ වුවත්, 2019 දෙවන කාර්තුව හා අදාළ ෆෙඩරල් රෙජිස්ට්‍රියද නුදුරු දිනක ප්‍රකාශයට පත් වීමට ඉඩ තිබෙන නිසා මෙය තහවුරු කර ගැනීමට වැඩි කලක් බලා ඉන්න අවශ්‍ය වන එකක් නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් ලංකාවේ මැතිවරණයකට ඉදිරිපත් නොවූ හා සෘජුව දේශපාලකයෙකු සේ කටයුතු නොකළ, සිය සොහොයුරා ජනාධිපතිව සිටියදී රාජ්‍ය සේවයේ ප්‍රධාන පෙළේ තනතුරු කිහිපයක් පමණක් දැරූ අයෙක්. එහෙත්, එම තනතුරු දරද්දී ඔහු කටයුතු කළ ආකාරය බොහෝ සේ කතාබහට ලක් වී තිබෙනවා.

අවසන් වරට පැවති ප්‍රධාන මැතිවරණය වූ පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා එම පක්ෂයේ සහයෝගය ලැබූ ස්වාධීන කණ්ඩායම් වලට රටේ ඡන්ද වලින් 41.24%ක ප්‍රතිශතයක් ලැබුණා. එම මැතිවරණය පොදුජන පෙරමුණ මුහුණ දුන් පළමු හා එකම මැතිවරණයයි. ඒ වෙද්දී, පොදුජන පෙරමුණ හරියකට නායකයෙකු හෝ නොසිටි අඩමානයට අටවාගත් පක්ෂයක්. එවැනි තත්ත්වයක් යටතේ එම පක්ෂය විසින් 41.24%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ලැබීම කිසිවකු හෝ අපේක්ෂා කළ දෙයක් නෙමෙයි.

මේ වන විට පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ඡන්ද පදනම වැඩි දියුණු වන්නට මිස ගිලිහී තිබෙන්නට කිසිදු හේතුවක් නැහැ. මේ ඡන්ද ඉදිරි ජනාධිපතිවරණයකදී අපහසුවකින් තොරව ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා ගනු ඇතැයි සිතිය හැකි ස්ථිර ඡන්ද.

ජනාධිපතිවරණයකට පෙර පොදුජන පෙරමුණ ශ්‍රීලනිපය ප්‍රධාන එජනිසය හා සන්ධානගත වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. පළාත් පාලන මැතිවරණ වලදී එජනිසය හා ශ්‍රීලනිපය විසින් 12.07%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. නමුත්, එම ඡන්ද වලින් විශාල කොටසක් පාවෙන ඡන්ද මිස පාක්ෂික ඡන්ද සේ සැලකිය නොහැකියි. මේ පාවෙන ඡන්ද 2015ට පෙර එජනිසයට ලැබුණු, එහෙත් 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් සිංහල බෞද්ධ නාගරික ඡන්ද. ඊට අමතරව මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රීලනිප හා එජනිස ප්‍රාදේශීය නායකයන්ගේ පාලනයට නතු පාක්ෂික ඡන්ද යම් ප්‍රමාණයක්ද මේ 12.07ට ඇතුළත්.

පොදුජන පෙරමුණ විසින් යම් හෙයකින් ශ්‍රීලනිපය හා එජනිසය සමඟ සන්ධානගත නොවූවත් ඉහත කී සිංහල බෞද්ධ නාගරික ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් ආකර්ශනය කරගැනීම පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කෙරෙන ජනාධිපති අපේක්ෂකයාට පහසුවෙන් කළ හැකි දෙයක්. ගෝඨාභය රාජපක්ෂට මෙය වඩාත් පහසුයි. ඊට අමතරව දැනට ශ්‍රීලනිපය හා රැඳී සිටින ප්‍රාදේශීය දේශපාලනඥයින් බොහෝ දෙනෙක්ද ඉදිරි කාලය තුල පොදුජන පෙරමුණ හෝ එජාපය සමඟ එක් වීමට ඉඩ ඇති නිසා ඉතිරි ඡන්ද වලිනුත් වැඩි කොටසක් ක්‍රමයෙන් පොදුජන පෙරමුණ වෙත වැඩියෙන් හා එජාපය වෙත අඩුවෙන් විතැන් වී, හැත්තෑ හතේදී පැරණි වාමාංශික පක්ෂ වලට සිදු වුනාක් මෙන්,  ශ්‍රීලනිපය දිය වී යාමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපති ධුරයට තරඟ කළහොත් සාමාන්‍යයෙන් සුළු ජාතික පක්ෂයක ජනාධිපති අපේක්ෂකයෙකු හෝ ජවිපෙ අපේක්ෂකයෙකු ගන්නා ඡන්ද ප්‍රමාණය හෝ ඔහුට නොලැබී යා හැකියි.

පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂව සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ එජාප ප්‍රමුඛ ප්‍රතිවාදී පිල යම් පසුබෑමකට ලක්ව ඇති බවක් පෙනෙනවා. ඔවුන්ගේ පිලෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා කවරෙකුද යන්න පිළිබඳව තවමත් එකඟත්වයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ.

පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එජාපය විසින් ලබාගන්නට සමත් වූයේ 29.4%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මේ ප්‍රමාණය මේ වන විට වැඩි වී තිබෙන්නට හේතුවක් නැහැ. ඒ නිසා, එජාපය තනිව තරඟ කළහොත්, අපේක්ෂකයා කවුරු වුවත්, ඔවුන්ට ජය ගැනීමට ඉඩක් නැහැ.

ඉහත 29.4% ප්‍රතිශතය 2015ට පෙර මැතිවරණ වලදී එජාපය තනිව තරඟ කර ලබාගත් ඡන්ද ප්‍රතිශතයට බොහෝ ආසන්නයි. මේ එජාපයේ පාක්ෂික ඡන්ද. එවැනි තත්ත්වයක් තිබියදී, එජාප ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරණය ජය ගැනීමට සමත් වූයේ ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය එක පිලකට එකතු කර ගැනීමේ හා සිංහල බෞද්ධ නාගරික ඡන්ද සැලකිය යුතු ප්‍රතිශතයක්ද ආකර්ශනය කර ගත හැකි වීමේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි.

මෙවරද, එජාපය විසින් පුළුල් පෙරමුණක් සේ තරඟ කිරීමට උත්සාහ දරන බවත්, එයට විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති බවත් පෙනෙන්නට තිබෙනවා. පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නට පෙර පුළුල් පෙරමුණක් ගොඩ නගන්නට එජාපය උත්සාහ කළත් ඔවුන්ට එය තවමත් කරගත හැකි වී නැහැ. එවැනි පුළුල් පෙරමුණක් හදා ගැනීම 2015දී තරම් පහසු නැති බවයි දැනටනම් පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා, මේ මොහොත වෙද්දීනම් ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ පැහැදිලි වාසිදායක තැනකයි.

Thursday, August 8, 2019

අලි දමනය හා නවක වදය


අලියෙක්ගේ රූපයක් එක්ක රට පුරා ගහපු පෝස්ටරයක් පහුගිය දවස්වල ආන්දෝලනයක් ඇති කරලා තිබුණා. ඒ එක්කම වගේ රජයේ සරසවි වල නවක වදය ගැන කතාබහත් ආපහු ඇදිලා ආවා. ඔය දෙක අතර බැලූ බැල්මටම පේන සම්බන්ධයක් නැහැ. වඩා විමසිල්ලෙන් බැලුවත් එහෙම සම්බන්ධයක් පෙනෙන්න නැහැ.

පෝස්ටරේ පැත්තකින් තියමුකෝ. ලංකාවේ අලි මිනිස් ගැටුම හා ලංකාවේ රජයේ සරසවි වල නවක වදය අතර කුමක් හෝ සමානත්වයක් තියෙනවද?

ඔය දෙකම හිටපු ගමන් නැගලා යන මාතෘකා. හැබැයි නැගල යනවා වගේම බැහැලත් යනවා. එක්කෝ නවක වදය හේතුවෙන් අගතියට පත් සිසුවෙකු හෝ සිසුවියක ගැන ප්‍රසිද්ධ වුනාම, එහෙමත් නැත්නම් කුමක් හෝ කටයුත්තකට සරසවි ප්‍රජාවෙන් ලොකු විරෝධයක් මතු වෙන වෙලාවට නවක වදය ගැන කතාබහ නැගලා යනවා. ඊට පස්සේ කතාව කාලෙකට අමතක වෙනවා. ඔය විදිහටම අලියෙක් ගහලා මිනිහෙක් මැරුණහම, එහෙමත් නැත්නම් මිනිස්සු එකතු වෙලා අලියෙක් මරල දැම්මහම අලි මිනිස් ගැටුම ගැන කතාබහ නැගලා යනවා. බැහැලත් යනවා. හිතලා බැලුවොත් අර පෝස්ටරේ පිටිපස්සේ තියෙන කතාවත් ටිකක් ඔය වගේ එකක්!

කොයි තරම් කතා කළත්, විවිධ විසඳුම් යෝජනා වී තිබුණත් රජයේ සරසවි වල නවක වද ප්‍රශ්නය වගේම අලි මිනිස් ගැටුමත් තවම ඒ විදිහටම තියෙනවා. සරසවි නවක වදය තිබෙන්නේ ලංකාවේ රජයේ සරසවි වල පමණක් නෙමෙයි. නමුත්, ලංකාවේ රජයේ සරසවි වල තරම් දරුණු නවක වදයක් වෙනත් කිසිදු රටක පවතිනවා කියා මා හිතන්නේ නැහැ. මෙය යම් තරමකට ලංකාවටම සුවිශේෂී ප්‍රශ්නයක්.

අලි මිනිස් ගැටුම සරසවි නවක වදය තරමට ලංකාවටම ආවේණික ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නයට මුහුණ දෙන තවත් ආසියානු හා අප්‍රිකානු රටවල් ගණනාවක් තිබෙනවා. ඒ රටවල් විසිනුත් මේ ප්‍රශ්නයට විවිධාකාරයේ විසඳුම් ලබා දෙන්න උත්සාහ දරා තිබෙනවා.

අලි වැළැක්වීම සඳහා මී මැසි වැටක් යොදා ගැනීම අප්‍රිකානු රටවල් ගණනාවකදී සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙන ක්‍රමයක්. මෙහිදී කරන්නේ මීටර දහයක පමණ පරතරයක් ඇතිව ලණුවක් හෝ කම්බියක් මඟින් එකිනෙකට සම්බන්ධ කර මී මැසි ජනපද සහිත හෝ රහිත මී මැසි පෙට්ටි එල්ලීමයි. අලියෙක් මේ ලණුවේ හෝ කම්බියේ වැදුණු වහාම මී මැසි පෙට්ටි සියල්ලම හෙල්ලී මී මැස්සන් එළියට ඇවිත් අනින්න පටන් ගන්නවා. මේ අත්දැකීමට මුහුණ දෙන අලියෙක් ආයේ පැත්ත පළාතේ එන්නේ නැහැ. බොරු මී මැසි පෙට්ටි වලටත් බය වෙනවා.

මී මැසි වැට ක්‍රමය මේ වෙද්දී ලංකාවේත් අත් හදා බැලෙමින් තිබෙනවා. මෙවැනි වැටක් නිසි පරිදි හදා ගන්නා ආකාරය පිළිබඳ අත් පොතක් (ඉංග්‍රීසි බසින්) මෙහි තිබෙනවා.

අලි පාලනයට මීට පෙර යොදාගත් විදුලි වැට ක්‍රමයට සාපේක්ෂව මී මැසි වැට ක්‍රමයේ වාසි ගණනාවක් තිබෙනවා. විදුලි වැට වෙනුවෙන් වියදමක් දරන්න අවශ්‍ය වෙද්දී මී මැසි වැටකින් අමතර ආදායමක්ද ලැබෙනවා. ඒ වගේම කෘෂිකාර්මික බෝග හොඳින් පරාගනය වීම නිසා අස්වනු වැඩි වීමේ වාසියත් තිබෙනවා. අලින්ට ලී කොට දමා විදුලි වැට පහත් කර වැට පනින්න හැකි වුවත් මී මැසි වැටත් එක්ක ඒ වැඩේ කරන්න බැහැ. මෙය පාරිසරික ප්‍රශ්නයකට පාරිසරික විසඳුමක්.

සරසවි වල නවක වද ප්‍රශ්නයටත් බොහෝ විට යෝජනා වී තිබෙන්නේ විදුලි වැට විසඳුම්. නමුත්, වැටට කොට ගෙනත් තියලා අලි වැට පනිනවා. අවශ්‍ය වන්නේ විදුලි වැටක් වෙනුවට මී මැසි වැටක්.

(Image: http://www.readthehook.com/88743/elephant-can-they-avoid-bees-all-costs)

Wednesday, July 24, 2019

ලී ක්වාන් යූ මිථ්‍යාව


මේ වන විට ආසියානු කලාපයේ වැඩිම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කරන රට සිංගප්පූරුවයි. සිංගප්පූරුවට මෙවැනි තැනකට එන්න අඩිතාලම වැටුණේ ලී ක්වාන් යූ එරට අගමැති ධුරය දැරූ දශක තුනක කාලය තුළදීයි. එම කාලය තුළ සිංගප්පූරු ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වී සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුනා.

ලී ක්වාන් යූ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය රාජ්‍ය මූලික එකක්. ඒ වගේම, ඔහුගේ පාලන කාලය තුළ සිංගප්පූරුව තුළ ඉතා දැඩි නීති ක්‍රියාත්මක වුනා. ඒ නීති නොපිළිපදින අයට දැඩි දඬුවම් ලබා දෙනු ලැබුවා. මේ නීති හා දඩුවම් මොනවාද කියා විස්තර කරන්න මා වචන නාස්ති කරන්නේ නැහැ.

සිංගප්පූරුව ලංකාවේ බොහෝ දෙනෙකුගේ පරමාදර්ශී රටක්. ලංකාවේ ලී ක්වාන් යූ කෙනෙකු බිහි වී ලංකාව කෙටි කලක් තුළ සිංගප්පූරුවක් වනු දැකීම මෙවැනි අයගේ අභිලාෂයයි. මේ අය දරන අදහස් දළ වශයෙන් පහත ආකාරයට පෙළ ගැස්විය හැකියි.

1. ලංකාවට නිදහස ලැබෙන විට ඒක පුද්ගල ආදායම අතින් ලංකාව හිටියේ ආසියාවේ ජපානයට පමණක් පිටුපසින්.

2. සිංගප්පූරුව හැදීමේදී ලී ක්වාන් යූගේ පරමාදර්ශය වුණේ ලංකාවයි. (එසේ නැත්නම් කොළඹ නගරයයි.)

3. සිංගප්පූරුව දියුණු රටක් වුනේ ලී ක්වාන් යූ නිසා.

4. මැලේසියාව විසින් අනපේක්ෂිත ලෙස හදිසියේම එළියට දැම්මට පස්සේ ලී ක්වාන් යූට භාර ගන්න වුනේ කිසිදු වගාවක් කළ නොහැකි දුප්පත් රටක්.

5. ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව දියුණු රටක් වුනේ ඔහු දැඩි නීති හා දැඩි දඬුවම් සහිත ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළ නිසා.

6. සිංගප්පූරුව ඉදිරියට යද්දී ලංකාව එන්න එන්නම පස්සට ගියා. (එසේ නැත්නම් එකතැන නැවතී තිබුණා.)

7. ලී ක්වාන් යූ වැනි පාලකයෙක් බලයට පත් වී ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමා ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළහොත් ලංකාවත් සිංගප්පූරුව මෙන් දියුණු රටක් කළ හැකියි.

8. "xxx"ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි. (මේ අවස්ථාවේදී, ගොඩක් අයට මේ "xxx" ගෝඨාභය රාජපක්ෂ. නමුත්, ඉහත 1-6 අදහස් ගෝඨාභය රාජපක්ෂ ගැන කතාබහක් ඇතිවෙන්න පෙර සිට කාලයක් තිස්සේ පවතිනවා.)

මේ අදහස් ගැන මට කියන්න තියෙන්නේ මේ කියන දේවල් සාවද්‍ය ප්‍රකාශ නොවේනම් වැඩිම වුවහොත් අර්ධ සත්‍ය බවයි.

ලංකාවට නිදහස ලැබෙන විට ඒක පුද්ගල ආදායම අතින් ලංකාව හිටියේ ආසියාවේ ජපානයට පමණක් පිටුපසින්.

අද ලෝක සිතියමේ දැකිය හැකි ආසියානු රටවල් බොහොමයක් ලංකාවට නිදහස ලැබෙන විට ස්වාධීන රටවල් සේ පැවතුණේ නැහැ. උදාහරණයක් විදිහට සිංගප්පූරුව, මැලේසියාව හෝ බංග්ලා දේශය නමින් ස්වාධීන රටවල් ඒ වන විට තිබුණේ නැහැ. ඒ නිසා, අද රටවල් සේ තිබෙන බොහෝ බිම් පෙදෙස් වල ඒ වන විට ලංකාව සමඟ සංසන්දනය කළ හැකි සංවර්ධන නිර්ණායක නැහැ. ඒ වගේම, ඒ වෙද්දී පැවති ස්වාධීන රටවල් සියල්ලේම ඒක පුද්ගල ආදායම වැනි සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කෙරුණේත් නැහැ.

ඇතැම් ආසියානු රටවල 1960 හෝ ඊට පසු වසරක සිට ඒක පුද්ගල දදේනි පිළිබඳ දත්ත ලෝක බැංකු වෙබ් අඩවියේ තිබෙනවා. ඒ වෙද්දී ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 142ක්. මහ බැංකු වාර්තා වල තිබෙන ලංකාවේ ආර්ථික වර්ධන වේගයන් හා ජනගහණ වර්ධන වේගයන් අනුව නිදහස ලැබෙන විට ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 118කට ආසන්න විය යුතුයි. 1960 වන විට ජපානයට අමතරව සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, පිලිපීනය, හොංකොං ආදී තවත් රටවල් ගණනාවක ඒපුදදේනි ඒ වසරේදී ලංකාවේ ඒපුදදේනිට වඩා වැඩියි. ඒ වෙද්දී තිබුණු පරතරය අනුව, මේ වෙනස වසර 12ක් තුළ ඇති වූ එකක් වෙන්න ඉඩක් තිබෙන්නේ කොරියාව හා අදාළව පමණයි. ඒ අනුව, ලංකාව හිටියේ  ජපානයට පමණක් පසුපසින් කියන එක පිළිගතහැකි කරුණක් නෙමෙයි.

සිංගප්පූරුව හැදීමේදී ලී ක්වාන් යූගේ පරමාදර්ශය වුණේ ලංකාවයි. (එසේ නැත්නම් කොළඹ නගරයයි.)

මේ ප්‍රකාශය කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් නිතර නිතර කියන එකක් වුවත් මෙවැන්නක් කියා ඇති තැනක් මට හමු වී නැහැ. මෙය ඔහුගේ කිසියම් ආසන්න ප්‍රකාශයක් මත පදනම්ව බිහි වූ "කතන්දරයක්" විය හැකියි. මේ කතාව ඇත්තක්නම් ඔහු ඒ ගැන පසුකාලීනව සඳහන් කිරීමට සැලකිය යුතු ඉඩක් තිබුණා. ලී ක්වාන් යූ විසින් වරින් වර ලංකාව ගැන නිශේධනාත්මක ප්‍රකාශනම් ගණනාවක්ම කර තිබෙනවා.

සිංගප්පූරුව දියුණු රටක් වුනේ ලී ක්වාන් යූ නිසා.

මේ කතාව හරියට ලංකාවේ සිවිල් යුද්ධය දිනුවේ රාජපක්ෂලා නිසා කියනවා වගේ කතාවක්. ලංකාවේ සිවිල් යුද්ධය දිනන්න රාජපක්ෂලාගෙන් විශාල දායකත්වයක් ලැබුනා වගේම සිංගප්පූරුව දියුණු රටක් වෙන්න ලී ක්වාන් යූගෙන් විශාල දායකත්වයක් ලැබුණා තමයි. වෙනත් අයෙක් ලංකාවේ බලයේ සිටියානම් ඇතැම්විට යුද්ධය නොදිනන්න ඉඩක් තිබුණා වගේම වෙනත් අයෙක් සිංගප්පූරු අගමැතිව සිටියානම් ඇතැම්විට සිංගප්පූරුව මේ තරම් ඉක්මණින් දියුණු රටක් නොවෙන්නත් ඉඩ තිබුණා.

නමුත්, ලංකාවේ සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීම වගේම සිංගප්පූරුව දියුණු වීමත් සාධක විශාල ප්‍රමාණයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය. මේ දෙකම වෙන කිසියම් අයෙකු අතින් වුවත් සිදුවිය හැකිව තිබුණා. (එයින් අදහස් කරන්නේ වෙන ඕනෑම අයෙකු අතින් කියන එක නෙමෙයි).

වඩමාරච්චි මෙහෙයුම වෙලාවේ ලංකාවේ ජනාධිපති ජේආර් ජයවර්ධන නොවී මහින්ද රාජපක්ෂ වුනානම් ඒ වෙලාවේ යුද්ධය අවසන් වෙනවා කියා කවුරු හරි හිතනවානම් එය මුලාවක්. සිංගප්පූරුව දියුණුවීම ගැන කියන්න තියෙන්නෙත් ඒකම තමයි. යුද්ධයක් දිනීම හෝ රටක් දියුණු කිරීම සඳහා පාලකයෙක් අවදානම් තීන්දු ගත යුතුයි. නමුත්, මේ අවදානම් ගැනීම් වලින් හැම විටම අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එය යම් තරමකට වාසනාව මතත් තීරණය වන දෙයක්. ලැබෙන ප්‍රතිඵලය අනුව කෙනෙක් වීරයෙක් හෝ දුෂ්ඨයෙක් විය හැකියි. බලාපොරොත්තු වූ විදිහට වැඩේ කෙරුණොත් වීරයා වන කෙනාගේ වාසියට ඉතිහාසය ලියැවිලා අවශේෂ කරුණු අමතක වී යනවා.

අවසන් ප්‍රතිඵලය පැත්තකින් තිබ්බොත්, ලංකාව සම්බන්ධවම වුවත් මෙවැනි අවදානම් තීන්දු ගත් පාලකයින් ඉන්නවා. සිරිමාවෝ බණ්ඩාරනායක හා ජේ ආර් ජයවර්ධන උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. වැඩේ පත්තු වුනානම් මේ අයත් ලී ක්වාන් යූලා. ලී ක්වාන් යූ කියන්නේ දැවැන්ත චරිතයක්. නමුත්, ලී ක්වාන් යූ ප්‍රතිරූපය මේ වෙද්දී එය පුම්බලා තියෙන තරමටම ලොකු එකක් නෙමෙයි.

මැලේසියාව විසින් අනපේක්ෂිත ලෙස හදිසියේම එළියට දැම්මට පස්සේ ලී ක්වාන් යූට භාර ගන්න වුනේ කිසිදු වගාවක් කළ නොහැකි දුප්පත් රටක්.

එළියට දැමීමේ කතාවෙන් පටන් ගත්තොත්, සිංගප්පූරුව නිදහස් රටක් වුනේ 1965දී. ඊට පෙර සිංගප්පූරුව මැලේසියාවේ කොටසක්ව පැවතුනා. නමුත්, සිංගප්පූරු මැලේසියා දීගය දෙවසරක ඉතා කෙටි දීගයක්. 1963 දක්වා  වසර 16ක පමණ කාලයක් සිංගප්පූරුව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ස්වාධීන පාලනයක් ලෙස හා වෙනම බ්‍රිතාන්‍ය කොලනියක් ලෙස මැලේසියාවෙන් වෙන්ව පැවතුනා. මැලේසියාවට නිදහස ලැබෙන විට මැලේසියාව සමඟ  එකතු වෙන්න වැඩිපුරම අවශ්‍ය වුනේ සිංගප්පූරුවටයි. ඒ වන විටත් (1959 සිට) සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ. පසුගිය සියවසේ මුල භාගයේදී ලංකාවේ ඇතැම් දෙමළ නායකයින්ට මුළු රටේම නායකයින් වීමට තිබුණු ආකාරයේ උවමනාවක් සමහර විට ලී ක්වාන් යූටත් තිබුණා වෙන්න පුළුවන්.

සිංගප්පූරුව හා මැලේසියාව එකතුව සිටි දෙවසර තුළ වුවත් රටවල් දෙක හරියටම එකම රටක් විදිහට ක්‍රියාත්මක වුනේ නැහැ. මේ දීගය මුල සිටම අවුල් ගොඩක් තිබුණු දීගයක්. මැලේසියාවෙන් එළියට දැම්මේ හදිසියේ වුවත් එය කොයි වෙලාවක හෝ සිදුවන දෙයක් බව ලී ක්වාන් යූ පැහැදිලිවම දැන සිටියා.

සිංගප්පූරුව කියන්නේ කිසිදු වගාවක් කරන්න ඉඩක් ඉතිරිව නොතිබුණු බිමක් බව ඇත්ත. නමුත්, ඉංග්‍රීසින් විසින් කාලයක් තිස්සේම සිංගප්පූරුව වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර තිබුණා. එය ලී ක්වාන් යූගේ දැක්ම මත සිදු වූ සුවිශේෂී දෙයක් නෙමෙයි. ඒ වගේම,  ලී ක්වාන් යූ විසින් භාරගත් සිංගප්පූරුව සංවර්ධිත රටක් නොවූවත් සැලකිය යුතු ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයක් එක් රැස්වී තිබුණු තැනක්. එය කිසිවක් නොතිබුණු දුප්පතුන් පිරී සිටි මුඩුබිමක් නෙමෙයි.

සිංගප්පූරුව නිදහස් රටක් වූ 1965දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 516.5ක්. නමුත්, ඒ වෙද්දී ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 152.9 ක් පමණයි. ලී ක්වාන් යූ අගමැති ධුරය භාරගත් කාලයට ගියත් සිංගප්පූරුව කියා කියන්නේ ඒ වන විටත් ජපානය හැරුණු විට ආසියාවේ හොඳම ජීවන තත්ත්වයක් තිබුණු තැනක්. 1960දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක්. ලංකාවේනම් ඇමරිකන් ඩොලර් 142ක් පමණයි. ඒ වගේම මැලේසියාවත් මේ කාලය වෙද්දී පවා හිටියේ ලංකාවට වඩා උඩින්. 1960දී මැලේසියාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 235ක්. එසේ නැත්නම්  ලී ක්වාන් යූ මැලේසියාව සමඟ එකතු වෙන්න හිතන්නේ නැහැ.

ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව දියුණු රටක් වුනේ ඔහු දැඩි නීති හා දැඩි දඬුවම් සහිත ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළ නිසා.

ලී ක්වාන් යූගේ දරදඬු පාලනය සිංගප්පූරුව අද තියෙන තැනට එන්න උදවුවක් වුවත් සිංගප්පූරුව අද තියෙන තැනට ආවේ ඔහුගේ දරදඬු පාලනය නිසාම කියා කියන්න බැහැ. මේ දරදඬු පාලනය වගේම රාජ්‍යමූලික සංවර්ධන උපාය මාර්ගයත්  සිංගප්පූරුවට වාසිදායක වුණේ සුවිශේෂී හේතු කිහිපයක් නිසා. ඒ ගැන පසුව වැඩිපුර කතා කරමු.

සිංගප්පූරුවට වේගයෙන් දියුණු වෙන්න මූලික වශයෙන්ම උපකාරී වුනේ එහි ආනයන අපනයන ආර්ථිකයයි. සිංගප්පූරුවට ආනයන අපනයන වේගයෙන් වර්ධනය කර ගනිමින් දියුණු වීමට උපකාරී වූ කරුණු අතර ලී ක්වාන් යූගේ දරදඬු පාලනයට අමතරව බ්‍රිතාන්‍යයන් විසින් කාලයක් තිස්සේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කර තිබීම, භූගෝලීය පිහිටීම, කුඩා දූපතක් වීම, කුඩා ප්‍රදේශයක ජීවත් වූ නොවිසුරුණු කුඩා ජනගහණයක් සිටීම, සංස්කෘතික සාධක (චීන සම්භවය හා ඉංග්‍රීසි සංස්කෘතිය යටතේ පුහුණු වී සිටීම) ආදී කරුණු ගණනාවක් බලපා ඇති බව සිතිය හැකියි.

මේ කරුණු අතරින් ලී ක්වාන් යූගේ දරදඬු පාලනයේ දායකත්වය කුමක්ද කියා අපට බැලිය හැක්කේ ආසන්න වශයෙන් හෝ අනෙක් සාධක ගැලපෙන වෙනත් තැනක් ඇත්නම් පමණයි. එසේ නැතුව සිංගප්පූරුව ලංකාව හෝ වෙනත් අහඹු තැනක් සමඟ සසඳා අපට නිගමන වලට පැමිණිය නොහැකියි.

හොඳ වෙලාවට එවැනි තැනක් තිබෙනවා. ඒ හොංකොං. හොංකොං කියා කියන්නේත් බ්‍රිතාන්‍යයන් විසින් කාලයක් තිස්සේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කළ, චීන සම්භවයක් සහිත මිනිසුන් වෙසෙන, කුඩා දූපතක්. දුපතේ ප්‍රමාණය හා ජනගහණය අනුව හොංකො බොහෝ දුරට සිංගප්පූරුවට සමානයි. බ්‍රිතාන්‍යය විසින් චීනයෙන් 99 අවුරුදු බද්දට ලබාගෙන තිබුණු හොංකො දූපත 1997දී නැවත චීනයට භාර දෙනු ලැබූ නිසා සිංගප්පූරුව හා සංසන්දනය කළ යුත්තේ ඊට පෙර කාලයයි. මේ කාලයෙන් වැඩි කොටසක් ලී ක්වාන් යූ සිංගප්පූරුවේ අගමැති සේ කටයුතු කළ අතර ඉතිරි කාලය ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළා.

1960දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක් වන විට හොංකොං ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක්. 1997දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 26,276ක් වන විට හොංකොං ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 27,330ක්. රටවල් දෙකේම ආදායම් වර්ධනය වී තිබෙන්නේ එකම රටාවකට බව පහත ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලි වෙනවා. (චීනයේ කොටසක් වුනාට පස්සේ හොංකොං වලට සිංගප්පූරු ගැම්මටම යන්න බැරි වුනා.) ඒ කියන්නේ ලී ක්වාන් යූ හා ඔහුගේ දරදඬු නීති සමඟ සිංගප්පූරුව යම් ප්‍රගතියක් අත්පත් කරගත්තානම් ලී ක්වාන් යූ කෙනෙක් නොසිටි හොංකොං රටත් ඒ කාලය තුළ එවැනිම ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා.


ගොනා එක්ක කරත්තයත් යා යුතුයි. නමුත්, කරත්තය ගොනාට කලින් යා යුතු නැහැ. රටවල් දියුණු වෙන කොට මිනිස්සුන්ට අනිත් මිනිස්සු ගැන හිතන්න ඉස්පාසුවක් ලැබෙනවා. එතකොට ටිකින් ටික විනය හැදෙනවා. එය ස්වභාවිකවම වෙන දෙයක්. ලංකාවෙන්ම උදාහරණ පෙන්වන්න පුළුවන්. ලිපිය දිග් ගැහෙනවා.

සිංගප්පූරුව ඉදිරියට යද්දී ලංකාව එන්න එන්නම පස්සට ගියා.

කලින් කිවුවා වගේ සිංගප්පූරුව කවදාවත් ලංකාවට පසුපසින් හිටියේ නැහැ. සිංගප්පූරුව කියන රට හැදෙන විටත් එහි ඒපුදදේනි ලංකාවේ මෙන් තෙගුණයකටත් වඩා වැඩියි. ඒ වගේම ලංකාව පසුපසට ගිහින් නැහැ. 1960දී ඇමරිකන් ඩොලර් 142ක් පමණක් වූ (නිදහස ලැබෙන විට ඇමරිකන් ඩොලර් 118ක් පමණක් වූ) ලංකාවේ ඒපුදදේනි මේ වෙද්දී ඇමරිකන් ඩොලර් 4000 පන්නා තිබෙනවා. ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වී තිබෙනවා. 1960දී ලංකාවට වඩා පසු පසුපසින් සිටි තායිලන්තය වැනි ඇතැම් ආසියානු රටවල් මේ වෙද්දී ලංකාව ඉක්මවා ඉදිරියට ගොස් ඇති බව ඇත්තක් වුවත් පිලිපීනය වැනි වෙනත් ඇතැම් ආසියානු රටවල් හා 1960දී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි අප්‍රිකානු රටවල් ගණනාවක් පසුකරන්න ලංකාව සමත් වී තිබෙනවා. සිංගප්පූරුව තරම්  වේගයෙන් ලංකාව ඉදිරියට ගොස් නැතත් ලංකාව එන්න එන්නම පස්සට ගියා කියන එක බොරුවක්. (ඒ වගේම පහුගිය දශක දෙක දිහා බැලුවොත් ලංකාව සිංගප්පූරුවට වඩා ගොඩක් වේගයෙන් ඉදිරියට යනවා.)

ලී ක්වාන් යූ වැනි පාලකයෙක් බලයට පත් වී ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමා ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළහොත් ලංකාවත් සිංගප්පූරුව මෙන් දියුණු රටක් කළ හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමන එක හොඳ අදහසක් නෙමෙයි. රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, වංචාව දූෂණය නාස්තිය අවම කිරීම වගේ දේවල් කළ යුතුයි. හැබැයි මේ දේවල් කළ පමණින් ලංකාව සිංගප්පූරුවක් කරන්න බැහැ. සිංගප්පූරුව සිංගප්පූරුවක් වෙන්න හේතු වූ සුවිශේෂී තත්ත්වයන් සියල්ල ඒ ආකාරයෙන්ම ලංකාවට ආදේශ කරන්න බැහැ.

කලකට පෙර ඔය කුරුණෑගල පැත්තේ මීවැල්ලාව කියා පන්සලක බෝධියකින් බුද්ධ රූපයක් මතු වුනා. ඒ එක්කම රටේ හැම පැත්තෙන්ම ඔය ගමට ට්‍රිප් යන්න පටන් ගත්තා. ඒ එක්කම මේ අභ්‍යන්තර සංචාරකයින් ඉලක්ක කරගත් ආර්ථිකයක් ගමේ හැදුණා. ඔය වගේ සිද්ධියකින් පස්සේ ගමක් කෙටි කලක් ඇතුළත වේගයෙන් දියුණු වෙන්න පුළුවන්.

මීවැල්ලාව රැල්ල ටික කාලයකින් නැතුව ගියා. ඔය වගේ සමහර රැළි කාලයක් දිගටම තියෙනවා. ඉන්දියාවේ පුත්තපාර්තිය ගැන හිතන්න. සායි අනුගාමිකයින් නිසා  ඇති වුනු විශාල ආර්ථිකයක් එහි තිබෙනවා. නමුත්, මෙවැනි ආර්ථිකයක් විශාලනය කරන්න බැහැ (unscalable). සිංගප්පූරු ආර්ථිකයත් ඒ වගේ එකක්. එය හොංකොං වගේ තැනකට හරියනවා. නමුත්, ලංකාවට හරියන්නේ නැහැ.

මාල දිවයින වගේ රටකට සංචාරක ව්‍යාපාරය වගේ දෙයකින් පමණක් ගොඩ යන්න පුළුවන්. රටේ ජනගහණය ලක්ෂ හතරකට පොඩ්ඩයි වැඩි. අවුරුද්දකට ඒ වගේ තුන් ගුණයක් සංචාරකයෝ එනවා. දැනට එහි පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය දහ ගුණයකින් වැඩි කරන එක කරන්න බැරි දෙයක් නෙමෙයි. මිලියන් දොළහක් මාල දිවයිනට ගෙන්වා ගන්න තරම් සංචාරක ඉල්ලුමක් ලෝකයේ තියෙනවා. එවිට රටට එන සල්ලි වලින් මාල දිවයිනේ ඒක පුද්ගල ආදායම හත් අට ගුණයකින් ඉහළ යන්න පුළුවන්. එක මාල දිවයින් වැසියෙකුට වසරකට සංචාරකයෝ තිහක් විතර එනවනේ.

හැබැයි ලංකාවට ඔය ඉලක්කයට යන්නනම් වසරකට සංචාරකයෝ මිලියන හයසීයක් ගෙන්න ගන්න වෙනවා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රටක් කුඩා වෙද්දී බාහිර ඉල්ලුම ගැන වැඩිපුර අවධානය යෙදිය යුතු වුවත් රටක් ලොකු වෙද්දී අභ්‍යන්තර ඉල්ලුම ගැන හිතන්න වෙනවා. ඇමරිකාව, ඉන්දියාව, චීනය, සෝවියට් දේශය වගේ රටකට ජාත්‍යන්තර වෙළඳාම කොයි තරම් වාසිදායක වුවත්, ලොකු දේශීය ඉල්ලුමක් හා දේශීය නිෂ්පාදිතයක් නැතුව වැඩිදුර යන්න බැහැ. මොකද ඒ රටවල්වල තරමට අවශ්‍ය තරම් විශාල බාහිර ආර්ථිකයක් නැහැ.


ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු රටකට අවශ්‍යනම් ස්වයංපෝෂිත ආර්ථිකයක් පවත්වා ගන්න බැරිකමක් නැහැ. නමුත්, ලංකාවට ඒක කරන්නත් බැහැ. කරන්න ගියොත් දැන් ඉන්න තැනිනුත් පහළට වැටෙනවා. හැබැයි එහෙම කියලා දේශීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම අමතක කරලා සිංගප්පූරුව වගේ වෙන්නත් බැහැ. ඔය දෙකේ මනා සංකලනයක් ලංකාවට අවශයි. මේක මීට වඩා බර විදිහට පැහැදිලි කරන්න පුළුවන්. අවශ්‍ය නැහැනේ.

සිංගප්පූරු ආර්ථිකය පදනම් වෙලා තියෙන්නේ ආනයන අපනයන වෙළඳාම මතයි. දළ වශයෙන් කිවුවොත් සිංගප්පූරුව කරන්නේ ඇමරිකාව, යුරෝපය වගේ රටවල් වලින් වැඩිපුර ආනයනය කරලා චීනය, කොරියාව වගේ රටවලට වැඩිපුර අපනයනය කරන එකයි.

සිංගප්පූරු ජාතිකයින් බහුතරය මැන්ඩරීන් චීන්නු. ඒ නිසා, ඔවුන්ට අනෙක් කහ මිනිස්සු එක්ක ගණුදෙනු කරන එක පහසුයි. ඒ එක්කම බටහිර එක්ක ගණුදෙනු කරන්න අවශ්‍ය සංස්කෘතික පුහුණුවත් ඔවුන්ට තිබෙනවා. චීන්නුන්ට මෙය නැහැ. ඒ නිසා, සිංගප්පූරු කාරයෙක්ව අතරමැදියෙක් විදිහට තියාගන්න එක චීනටත් වාසියි. සුද්දටත් වාසියි.

සිංගප්පූරුව කාලයක් තිස්සේ ගත්ත මේ වාසිය වෙන රටකට ඒ  විදිහටම ගන්න බැහැ. ඒ වගේම මේ වාසිය ලංකාව තරමේ රටකට විශාලනය කළ හැකි එකකුත් නෙමෙයි. (මේක දළ පැහැදිලි කිරීමක් පමණයි.) ඒ වගේම දැන් ටික කලක ඉඳලා බටහිර එක්ක ගනුදෙනු කළ හැකි චීන්නු, කොරියන් කාරයෝ වේගයෙන් වැඩි වෙනවා. ඒ නිසා මේ වාසියත් ක්‍රමයෙන් ගිලිහෙනවා. සිංගප්පූරුවනම් දැන් ගොඩ ගිහින් ඉවර නිසා ආපහු වැටෙන්නේ නැහැ. ඒත් වෙන රටකට අනෙක් අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත් අනාගතේ ඔය වාසිය ගන්න බැහැ.

 "xxx"ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි. 

මේ සංවාදයට පුද්ගලයෙක් කොහෙත්ම වැදගත් නැති වුනත් මේ වෙලාවේ ලී ක්වාන් යූ කෙනෙක්ට ලංකාවේ තිබෙන ඉල්ලුම එක්ක වැඩිපුරම ගලපමින් තිබෙන්නේ  ගෝඨාභය රාජපක්ෂ නම නිසා අපට ඔහුව මුළුමනින්ම මග හැර කතා කරන්නත් බැහැ. හැබැයි මේ ඉල්ලුම ගෝඨාභය නම මතු වෙන්න කලින් සිටම කාලයක් තිස්සේ තිබුණු එකක්. ජේආර් මතු වෙද්දීත් මේ කතිකාව යම් තරමකට මතු වී තිබුණා. අනෙක් අතට ගෝඨාභය ගැන පුද්ගලයෙකු සේ සැලකුවොත් ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු වීම මේ වන විටත් දුරස්ථ කරුණක්.

ලී ක්වාන් යූ කෙනෙක් විදිහට ලංකාවේ මිනිස්සු ගෝඨාභයව තෝරා ගත්තත්, වෙන කෙනෙක් තෝරාගත්තත් ඒ තෝරා ගන්නා පුද්ගලයා බලයට පත් වූ පසු ක්‍රියා කරන්න ඉඩ තිබෙන ආකාරය ගැන කිසිම සහතිකයක් නැහැ. ලෝක ඉතිහාසය පුරා විවිධ රටවල සාර්ථක වූ එක් ආඥාදායකයෙකුට අසාර්ථක වූ අය විශාල ගණනක් ඉන්නවා. යම් හෙයකින් ඒ විදිහට ක්‍රියා කළත්, එසේ කළ පමණින් ලංකාව සිංගප්පූරුවක් වෙන්නේත් නැහැ.

පුද්ගලයෙක් විදිහට ගෝඨාභය ගත්තොත්, යකා කියන තරම් කළු නැහැ කියනවා වගේ, පවතින බාහිර තත්ත්වයන් යටතේ ඔහු ගොඩක් අය හිතන ආකාරයට වඩා මුළුමනින්ම වෙනස් ආකාරයකට හැසිරෙන්න වුවත් පුළුවන්. ග්‍රීසියේ සිරිසා සන්ධානය වගේ. ගෝඨාභය කියන පුද්ගලයාට වඩා ප්‍රශ්නය තිබෙන්නේ ඔහුට කැමති මිනිස්සු ඔහුගෙන් අපේක්ෂා කරන දේවල් වලයි. මිනිස්සුන්ගේ ඉල්ලුම තිබෙන්නේ ආඥාදායකයෙකුටනම් ගෝඨාභය හෝ වෙනත් නොහිතනම අයෙකු ආඥාදායකයෙකු සේ මතු වෙන්න පුළුවන්. වැඩේ වැරදුනා කියා තේරෙන කොට පරක්කු වැඩි විය හැකියි.

(Image credit: http://cheekiongyeo.com/contemporary-sculpture-series/figurative/timeless/lky-front-cover/)

Sunday, July 21, 2019

හිතනකොටම ටයිප් වෙනවානම්...


මා මේ සටහන් ලියන්නේ ගූගල් ආදාන මෙවලම් ඇසුරෙන්. සිංහලෙන් ටයිප් කිරීම මෙතරම් පහසු නොවන්නට මෙවැනි සටහන් නොලියවිය හැකිව තිබුණා. මා භාවිතා නොකළත් හඬ හඳුනාගැනීමේ මෘදුකාංගයක් භාවිතා කරමින් ලිවීම තවත් පහසුයි. එසේ ලියන අය ඉන්නවා.

හිතන කොටම, හිතන වේගයෙන්ම ටයිප් වෙනවානම් කොයි තරම් පහසුද? සමහර විට වසර කිහිපයකින් එයත් කළ හැකි දෙයක් වෙන්න පුළුවන්.

මිනිස් ජෙනෝමය මුළුමනින්ම හඳුනාගෙන, සිතියම්ගත කරලා දැන් වසර පහළොවකටත් වැඩියි. මම හිතන විදිහට මෙය මානව පරිණාමයේ දිශානතිය කෙරෙහි කළ බලපෑම සුළුපටු නැහැ. මේ වෙද්දී කාගේ හෝ පුද්ගලයෙකුගේ ජෙනෝමය මුළුමනින්ම හඳුනා ගන්න එක ඩොලර් දාහකට ආසන්න වියදමකින් කළ හැකි දෙයක්. අවුරුදු දහයකට කලින් මේ වැඩේට ඩොලර් ලක්ෂයක්වත් වැය වුණා. ඩීඑන්ඒ බේසස් මිලියනයක් (මෙගාබේස් එකක්) හඳුනාගන්න දැන් වැය වන්නේ ඩොලර් ශත එකහමාරක පමණ මුදලක්. රුපියල් වලින්නම් දෙකයි පණහක් විතර.

සමාජ සමීක්ෂණ වලදී ඉස්සරනම් කළේ නිශ්චිත ප්‍රශ්න ටිකක් අහලා ඒවාට ලැබෙන පිළිතුරු සටහන් කර ගන්න එක පමණයි. පස්සේ උස, බර, රුධිර සාම්පලයකින් හොයා ගන්නා සීනි, කොලෙස්ටරෝල් ආදිය පිළිබඳ තොරතුරුත් මේ සමීක්ෂණ දත්ත වලට එකතු වුණා. දැන් ඇමරිකාවේ මේ වගේ සමීක්ෂණ ගණනාවකම කෙළ බිංදු කිහිපයක් විශ්ලේෂණය කරලා ලබා ගන්නා ඩීඑන්ඒ තොරතුරුත් තිබෙනවා.

සමාජ විද්‍යාඥයින් අතට ඩීඑන්ඒ තොරතුරු ලැබීමෙන් පස්සේ පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත සිදු වී තිබෙන වෙනස දේශපාලනිකව ඉතා වැදගත් එකක්. මේ දත්ත විශ්ලේෂණය කරමින් පර්යේෂණ ප්‍රතිඵල එකින් එක එළියට එද්දී වැඩි වැඩියෙන් තහවුරු වෙන්නේ මිනිහෙක් කොයි තරම් දුරකට තමන්ට අහම්බෙන් ලැබුණු ජාන කට්ටලයේ හිරකාරයෙක්ද කියන එකයි. හොඳ හෝ නරක පුරුදු, ජීවන විලාසිතා ආදිය හැම විටම පුද්ගලයෙකුගේ ස්වේච්ඡා තීරණ හෝ සංස්කෘතික සාධක මත පමණක් තීරණය වන දේවල් නෙමෙයි.

ඉගෙන ගන්න තිබෙන උනන්දුව, ඉතිරි කරන්න තිබෙන කැමැත්ත වගේ දේවල් වල ඉඳලා හිතාගන්න අමාරු තරම් මිනිස් හැසිරීම් ගණනාවකට ජාන වල සම්බන්ධයක් තිබෙන බව පෙනෙන්න තිබෙනවා. මේ අංශයෙන් කෙරෙන පර්යේෂණ ප්‍රතිඵල එළියට එනකොට මිනිස්සු කවුරුත් සමානයි කියන දේශපාලන අදහස අභියෝගයට ලක් වන එක වලක්වන්න බැහැ. නමුත්, ජාන තෙරපුම පාලනය කරගෙන මිනිහෙක්ට ක්‍රියා කිරීමේ හැකියාවක් තිබෙන නිසා පුද්ගල තීරණ වලට තිබෙන වැදගත්කම මේ පර්යේෂණ වලින් නැති වෙන්නේ නැහැ.

හැබැයි ඔය තත්ත්වය පවතින්නේත් මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කිරීමට අපහසු තරම් සංකීර්ණ කළු පෙට්ටියක්ව තිබෙන තුරු පමණයි. ඒ තත්ත්වයත් තව දශකයකට වඩා ඒ විදිහටම නොතිබෙන්න පුළුවන්. ඒ වෙද්දී සමාජ විද්‍යාඥයින්ට විශ්ලේෂණය කරන්න වෙන්නේ මිනිස් මොළ වල නියුරෝන ෆයර් වෙන රටා පිළිබඳ දත්ත වෙන්න පුළුවන්.

පළමු හඳ ගමනට වසර පණහක් ගත වෙද්දී, දැන් දවස් කිහිපයකට කලින් ඊලෝන් මස්ක් ඔහුගේ නියුරාලින්ක් ව්‍යාපෘතියේ ඉදිරි පියවර ගැන පැහැදිලි කළා. මිනිස් මොළය හා පරිගණක සෘජුව සම්බන්ධ කර ජාලගත කිරීමේ ඔහුගේ පර්යේෂණ සඳහා ලබන වසර ඇතුළත මිනිසුන් යොදා ගන්න ඔහු සැලසුම් කර තිබෙනවා. හරියටම කියනවානම් මේ ව්‍යාපෘතිය යටතේ කරන්නේ කුඩා චිපයක් හිසේ සමට යටින් තැන්පත් කර මොළයේ විවිධ තැන් ඒ චිපයට සම්බන්ධ කිරීමයි.

මේ චිපයෙන් මොළයේ නියුරෝන වලින් ලබා දෙන සංඥා සංවේදනය කරගෙන රැහැන් රහිතව පරිගණක පද්ධතියක් වෙත සම්ප්‍රේෂණය කරනවා. ඒ සංඥා විශ්ලේෂණය කරන පරිගණකයක් මඟින් නැවත හිසේ තැන්පත් කර ඇති චිපය හරහා මොළය වෙත සංඥා ප්‍රතිචාර නිකුත් කරනවා. සරලවම කිවුවොත් මිනිස් මොළ සුපිරි පරිගණක පද්ධතියක කොටසක් වෙනවා. වෙනත් අයුරකින් කිවුවොත් සුපිරි පරිගණක පද්ධතියක් මිනිස් මොළයක කොටසක් වෙනවා. ඊට පස්සේ තව ගොඩක් දේවල්... ගොඩාක් දේවල්... වෙන්න පුළුවන්.

සැලසුම්කරුවන් විශ්වාස කරන ආකාරයට දත්ත සම්ප්‍රේෂණය හා විශ්ලේෂණය සිදුවන වේගය නිසා අතරමගදී පරිගණකයක් සම්බන්ධ වූ බව මොළය තේරුම් ගන්නේ නැහැ. ඒ වගේම මොළයේ තැන් තැන් වලට සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩ කේශ නාලිකා වලටත් වඩා කුඩා නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ඒවා ආගන්තුක ද්‍රව්‍ය සේ හඳුනා ගන්නේ නැහැ. මේ තරම් කුඩා ඉලෙක්ට්‍රෝඩ මොළයට සම්බන්ධ කරන එක මිනිස් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුට කළ නොහැකි නිසා අනවීක්ෂයක් ලෙස බලාගෙන ඒ වැඩේ කරන්නේ ඒ වෙනුවෙන්ම නිර්මාණය කර තිබෙන රොබෝ කෙනෙක්. මේ වැඩේට හිසේ මැහුම් දැමිය යුතු තරම් ලොකු කැපුමක් කළ යුතු හෝ සිහි නැති කළ යුතු නැහැ.

අනාගතයේදී ඔබට බ්ලොග් ලිපියක් ලියන්න ලිවිය යුතු දේ හිතීම පමණක් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපටයක් නරඹන්න ඔබට ඔබේ ඇස් හෝ සවන් අවශ්‍ය නොවෙන්න පුළුවන්. එය මේට්‍රික්ස් චිත්‍රපට ත්‍රිත්වයේ පෙන්වන ආකාරයේ මෙතෙක් මිනිසුන් සතු නොවූ වෙනස්ම ආකාරයේ සංවේදනා අත්දැකීමක් විය හැකියි. මේ සියල්ලටම පෙර සිදු විය හැක්කේ ස්නායු පද්ධතිය හානි වීම නිසා සිරුරේ විවිධ කොටස් චලනය කළ නොහැකි අයට එසේ කිරීමට සැලසීම, ඇස් නැති අයට පෙනීම ලබා දීම වැනි දේ.

මම හිතන විදිහට ඊලෝන් මස්ක් දැන් අත ගහන්නට යන්නේ මෙතෙක් විද්‍යාව විසින් අත නොතැබූ, මෙතෙක් ආගම් වල වපසරියේ තිබුණු කොටසකටයි. ඒ නිසා, තාක්ෂනය ගැන උනන්දුවක් දක්වන අයට අමතරව දර්ශනය වගේ විෂයයන් ගැන උනන්දුවක් දක්වන අයත් වෙන්නේ මොනවාද කියා බලා ඉන්න එක කෝකටත් හොඳයි.

පහත වීඩියෝවේ විස්තර තිබෙනවා. වීඩියෝව නැරඹීමට "Watch this video on YouTube." ක්ලික් කරන්න.



(Image: https://alsnewstoday.com/2017/02/23/study-shows-brain-computer-interface-allows-als-patients-to-type-much-faster/)

සිංගප්පූරු සිහිනය


සිංගප්පූරු ආකෘතිය ලංකාවට හරි නොයන්නේ සිංගප්පූරුව කියන රට ආර්ථික වශයෙන් දියුණු වෙද්දී මිනිස්සු යන්ත්‍ර බවට පත් වෙලා තිබෙන නිසාම නෙමෙයි. කාට හරි කියන්න පුළුවන්නේ දැන් ඉන්න හැටියට ඒකෙත් වැරැද්දක් නැහැ කියා. සරලවම සිංගප්පූරු ආකෘතියෙන් ලංකාව ගොඩ දාන්න බැහැ.

හොඳ ප්‍රධාන විධායක නිලධාරියෙකුට කාලයක් තිස්සේ ලාබ නොලැබූ පෞද්ගලික සමාගමක් ගොඩ දාන්න පුළුවන්. එවැනි කෙනෙක් මුලින්ම කරන්නේ සමාගමේ නීති රීති හා ක්‍රමවේදයන් සේවකයින් විසින් අනුගමනය කරන බව තහවුරු කිරීමයි. සමාගමේ ලාබ ඉහළ යාම හා ඒ ලාබ වලින් කොටසක් තමන්ගේ අතට ලැබී තමන්ගේ ජීවිත සැපවත් වන බව ප්‍රධාන විධායක නිලධාරියා විසින් සේවකයින්ට ඒත්තු ගන්වනු ලැබුවහොත් ගොඩක් සේවකයින් කැමැත්තෙන්ම සමාගම් විනයට අනුගත වෙනවා. ගොඩක් දෙනෙක් සමාගම් විනයට අනුගත වන බව පෙනෙන විට ඉතිරි අයගෙන් වැඩි දෙනෙකුත් අනුගත වෙනවා. ඒ විදිහට අනුගත නොවන ටික දෙනෙක්ව බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මට පස්සේ ඉතිරි වෙන ටික දෙනාත් සමාගම් විනයට අනුගත වෙනවා. ඊට පස්සේ වැඩේ පහසුයි. සිංගප්පූරුව කියන රට ක්‍රියාත්මක වෙන්නෙත් තනි ලොකු සමාගමක් ක්‍රියාත්මක වන ආකාරයටයි.

සිංගප්පූරු ආකෘතියෙන් ගොඩ යාමේ හැකියාවක් තිබෙන්නේ සිංගප්පූරුව වගේ නාගරික රාජ්‍යයකටම පමණයි. ගොඩක් ලොකු රටක් නොවුණත් ඒ ආකාරයට ගොඩ යන්න නොහැකි තරමට ලංකාව ලොකුයි. දෙවැනි හේතුව ආසන්න වශයෙන් ජගත් පතිරණගේ පහත ප්‍රකාශය ඇතුළේ තියෙනවා.

"සිංගප්පූරුව කියන්නේ මූලධර්මවාදී ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. ... [එහි] පවතින්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ ඉංග්‍රීසි බාශාවට පලමු තැන සහ අනෙක් සංස්කෘතීන් සියල්ලට දෙවෙනි තැන. තුන්වැනියෝ නෑ."

ඔය කතාවේ ඇත්තක් තිබෙනවා. පොදු සිංගප්පූරු සංස්කෘතිය කියන්නේ චීන, මැලේ හෝ දෙමළ සංස්කෘතිය නෙමෙයි. ඔය සංස්කෘතීන් තුනටම අයත් අය එකතු කිරීම සඳහා පිටින් ආනයනය කර බලහත්කාරයෙන් සිංගප්පූරුව මත පැටවූ සංස්කෘතියක්. එසේ කිරීම සිංගප්පූරුවේ වේගවත් ආර්ථික ගමනට විශාල ලෙස දායක වී තිබෙනවා.

සිංගප්පූරුවේ බහුතරය චීන්නු. එහෙත්, ඔවුන් සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වෙන විට කාලයක් මැලේසියාවේ සුළුතරයක් සේ සිටි පිරිසක්. සාපේක්ෂව මෑත කාලයකදී ආර්ථික හේතු මත මැලේසියාවට සංක්‍රමණය වී, මැලේසියාව පුරා විසිරී සිටි පිරිසක්. එහි වෙසෙන තෙවන ප්‍රධාන කණ්ඩායම වන දෙමළුන් කියන්නේත් එවැනිම පිරිසක්. ඒ නිසා  චීන්නුන්ට හෝ දෙමළුන්ට තමන්ගේ මුල් සංස්කෘතිය සිංගප්පූරුවේ ප්‍රමුඛ සංස්කෘතිය නොවීම ප්‍රශ්නයක් වුණේ නැහැ. චීන බහුතරයක් සහිතව සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වෙද්දී ඉන්දියාව හා පකිස්තානය වෙන් වෙද්දී වගේ මැලේසියා කොටසේ හිටපු චීන්නු විශාල වශයෙන් සිංගප්පූරුවට ආවේ නැහැ.

අනෙක් අතට මැලේසියා කොටසට ගිහින් භූමිපුත්‍රයින් නොවී සිංගප්පූරු කොටසේ රැඳුණු මැලේ ජාතිකයින් එසේ කළේ ඔවුන්ද ඔවුන්ගේ මැලේ සංස්කෘතික අනන්‍යතාවයට ලොකු බරක් නොදුන් පිරිසක් වූ නිසයි. ඒ නිසා, මැලේ, චීන, දෙමළ සංස්කෘති සියල්ල දෙවන තැනට දමා ඔය තුනටම නැති ආනයකික පොදු සංස්කෘතියක් ඇතුළේ සියලුම සිංගප්පූරුවන් විනයගත කිරීම ලී ක්වාන් යූට අමාරු වුනේ නැහැ.

ඔය වගේ දෙයක් කරන්න බැරි තරමට ලංකාවේ තත්ත්වය සංකීර්ණයි වගේම පසුබිම වෙනස්. ලංකාවේ සිංහල බෞද්ධ අනන්‍යතාවය දරන අයගේ ඒ අනන්‍යතාවය ගොඩක් ප්‍රබලයි. ඒ වගේම ලංකාවේ දෙමළුන්ටත් අවුරුදු 26ක කාලයක් තිස්සේ යුද්ධයක් ඇදගෙන යන්න පුළුවන් තරමට ශක්තිමත් අනන්‍යතාවයක් තිබුණා. ලංකාවේ මුස්ලිම් අයත් තමන්ගේ අනන්‍යතාවය පවත්වා ගනිමින් සෑහෙන කලක් තිස්සේ රටේ ජීවත් වෙනවා. ඉන්දියානු දෙමළුන් හා අනෙක් සුළු කණ්ඩායම් අමතක කළත්, ඉහත කී රටේ ප්‍රධාන කණ්ඩායම් තුනම ආනයනික ආගන්තුක සංස්කෘතියක් ඇතුළට රිංගවලා පොදු සංස්කෘතියක් හදන එක සිංගප්පූරුවේදී කළ තරම් ලේසියෙන් කරන්න බැහැ.

සංස්කෘතික කරුණු අමතක කර ආර්ථික කරුණු වලටම ආපසු ආවොත් සිංගප්පූරුව බිහි වුනේ "ජලය නැති, වගා බිම් අඩු, කිසිඳු ආදායම් මාර්ගයක් පිළිබඳව හෝඩුවාවක් නැති බිම් කඩකයි". මේ වගේ තැනක් ගොඩ දාන්න පුළුවන්කම තිබුණේ මුළුමනින්ම ලෝකයට විවෘත කිරීම හරහා පමණයි. තමන්ගේ සම්ප්‍රදායික රැකියා සමඟ හෝ ජීවන විලාසිතා සමඟ අත් නොහැරිය හැකි ඓන්ද්‍රීය සම්බන්ධයක් තිබුණු මිනිස්සු සිංගප්පූරුවේ හිටියානම් ඒ ඉතා අඩුවෙන්.

ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාව කියන්නේ රට වටා සම්පත් පිරුණු මුහුදක් තිබෙන, වියලී ගිය දණ්ඩක් වුවත් දළු ලන සරු පසක් තිබෙන වාසනාවන්ත රටක් කියා හිතන බොහෝ දෙනෙක් තවමත් ලංකාවේ ඉන්නවා. එහෙම හිතන බොහෝ දෙනෙක් ඔය කියන සරු පසේ මඤ්ඤොක්කා දණ්ඩක්වත් හිටවන්නේ නැති, බිලී පිත්තක් අරගෙන මාලුවෙක් අල්ල ගන්න කවදාවත් නොහිතන අය වීම වෙනම කතාවක්. ඒ වුවත්, මේ ගොඩක් අයගේ සිහිනය කවුරු හෝ ඔය මඤ්ඤොක්කා දණ්ඩ හිටවලා රට ගොඩ දායි කියන එකයි.

ස්වයංපෝෂිත ආර්ථිකයක් කියන්නෙත් ලංකාවට කොහොමටත් හරියන එකක් නෙමෙයි. ඒ ගැන වෙනම කතා කරමු. ඒ වුනත්, එහි අනික් අන්තය වන සිංගප්පූරු අන්තයත් ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒ අන්තයට යන්න අත ඇරිය යුතු දේවල් ලංකාවේ මිනිස්සු ලේසියකට අතාරින්නේ නැහැ. බලෙන් ඒ කටයුත්ත කරගන්න උත්සාහ කරන පාලකයෙක්ට යම් හෙයකින් අවස්ථාවක් ලැබුණත් එවැන්නෙකුට ලංකාවේ දිගුකාලීන පැවැත්මක් නැහැ.

Saturday, July 20, 2019

සිංගප්පූරු ආකෘතිය


සිංගප්පූරු ආකෘතිය ගැන චන්දිම ගෝමස් විසින් ඉතා හොඳ ලිපියක් ලියා තිබෙනවා. මෙය මා කාලයක් තිස්සේ කතා කරන්න හිතාගෙන හිටපු මාතෘකාවක්. ලියන්න හිතා ගෙන හිටපු බොහෝ දේ චන්දිම ගෝමස් විසින් ලියා තිබෙනවා. (එම ලිපිය පළවූ දින මේ ලිපිය හා ඊළඟ ලිපිය ලිවීමෙන් පසුව චන්දිම ගෝමස්ගේ ලිපි පෙළ තවත් ඉදිරියට ගොස් තිබෙනවා.)

සිංගප්පූරුව කියන රට බිහි වෙන්න කලින් එය මැලේසියාවේ කොටසක්. රාජ්‍ය පාලන ආකෘතියේ වෙනස්කම් නොතිබෙන්නට අදටත් සිංගප්පූරුව මැලේසියාවට බොහෝ අතින් සමානව තිබිය හැකිව තිබුණා. මෑතක් වන තුරුම මැලේසියාවේ ජීවත් වූ චන්දිම වැනි කෙනෙක් සිංගප්පූරුව ගැන සටහන් කරන දෙයෙහි මා ලියනවාටත් වඩා විශ්වාසනීයත්වයක් තිබෙනවා.

සිංගප්පූරුව පසුගිය සියවසේ අවසන් දශක තුන ඇතුළත වේගයෙන් දියුණු වූ රටක්. ඒක පුද්ගල ආදායම අනුව දැනට ඉහළින්ම සිටින ආසියාතික රට සිංගප්පූරුවයි. ඒක පුද්ගල ආදායම අතින් සිංගප්පූරුව ඉන්නේ ඇමරිකාවටත් ඉහළින්. එහෙත්, චන්දිම ගෝමස් කියන විදිහට ඔහු දැනට පා තබා තිබෙන රටවල් අතරින් යන්න අකැමතිම රට සිංගප්පූරුවයි. ඒ ඇයි කියා ඔහු හේතු දක්වනවා.

ලංකාව සිංගප්පූරුවක් කරන්න කතා කරන අයගේ අඩුවක් නැහැ. මේ ගොඩක් අය සමාජවාදයට විරුද්ධ අය වීමත් කැපී පෙනෙනවා. සිංගප්පූරුව ධනවාදී රටක් කියා ඔවුන් හිතාගෙන ඉන්නවා ඇති. නමුත්, ලෙනින්ගේ මුහුණ ගලවලා ලී ක්වාන් යූගේ මුහුණ ඇලෙව්වා කියා රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් තිබෙන රටක් ධනවාදී රටක් වෙන්නේ නැහැ.

රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් යටතේ විනාශ වූ රටවල් විශාල ප්‍රමාණයක් අතරේ සාර්ථක ප්‍රතිඵල නෙලාගත් රටවල්ද  තිබෙනවා. සිංගප්පූරුවම උදාහරණයක් ලෙස පෙන්විය හැකියි. ඇත්තටම කියනවානම් ලෙනින්ගේ සෝවියට් දේශයත් රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් යටතේ සාර් රුසියාව සිටි තැන සිට විශාල දුරක් යන්න සමත් වුණා. ඒ ක්‍රමයට යා හැකි සීමාව පෙනෙන්න පටන් ගත්තේ දශක ගණනාවකට පසුවයි. ඒ විතරක් නෙමෙයි. හිට්ලර්ගේ ජර්මනියත් රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් යටතේ විශාල පිම්මක් පැන්නා.

ආර්ථික වර්ධනය රටකට ඉතා වැදගත්. නමුත්, ආර්ථික වර්ධනය වෙනුවෙන් ගෙවිය යුතු මිල ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ වලට වඩා වැඩි විය යුතු නැහැ.

දැනට දශක දෙකකට පමණ පෙර මා මුල් වරට සිංගප්පූරුවට අඩිය තැබූ දවසේ හොල්මං වුණා කියා කියන්න පුළුවන්. රටට ඇතුළු වූ වහාම මා දුටු පිරිසිදුකම හා පිළිවෙළ අද වන තුරුත් කිසිදු රටකදී දැක නැති බව කිව යුතුයි. සති දෙක තුනකට පෙර සිංගප්පූරුවට අඩිය තබන විටත් මේ තත්ත්වය එසේම දැකිය හැකිව තිබුණා.

ඒ විතරක් නෙමෙයි. සිංගප්පූරුව දවසින් දවසම අලුත් වන රටක්. වසරක හෝ දෙකක කාලාන්තරයකින් පසුව රටට ඇතුළු වන විට බොහෝ දේ වෙනස් වෙලා. හැබැයි මේ වෙනස්කම් සියල්ලම වගේ භෞතික වෙනස්කම්. සිංගප්පූරු මිනිස්සුනම් එදත් රජයෙන් පාලනය කරන යන්ත්‍ර. එය අදත් එහෙමයි. මේ ගැන චන්දිම ගෝමස්ගේ අදහස මෙවැන්නක්.

"සිංගප්පුරුව පුරාම මා දකින්නේ හැඟීම් දැනීම් නැති රොබෝවරුන් පිරිසකි. ඔවුන් තුල කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් හෝ අඩුම තරමේ හාස්‍ය රසය විඳගැනීමේ හැකියාවක් හෝ මා දකින්නේ නැත."

සිංගප්පූරුව දවසින් දවසම අලුත් වන රටක් කියා මා කිවුවනේ. චාන්ගි ගුවන් තොටුපොළ හා යාබදව තනා ඇති "ජුවෙල්" වෙළඳ හා විනෝදාස්වාද සංකීර්ණය විවෘත කර දැනට මාස කිහිපයකට වඩා නැහැ. යුදෙවුවෙකු වන මෝෂේ සෆ්ඩී විසින් සැලසුම් කර ඇති මෙය අපූරු නිර්මාණයක්.

ජුවෙල්හි ප්‍රධානම ආකර්ෂණය ලෙස හැඳින්විය හැක්කේ එහි ඇති කෘතීම දිය ඇල්ලයි. එම දිය ඇල්ල අවට කෘතීම වනාන්තරයක්ද නිර්මාණය කර තිබෙනවා. කෘතීම වනාන්තරයක් කියා කිවුවත් එහි තිබෙන්නේ ස්වභාවික ගස්වැල්. ජුවෙල් වැනි තැනක් පමණක් නෙමෙයි පොදුවේ සිංගප්පූරුවම ගත්තත් මේ රට ස්වභාවික ගස්වැල් හා කොන්ක්‍රීට් ඉදිකිරීම් මනාව මිශ්‍ර කර තිබෙන වෙළඳ හා විනෝදාස්වාද සංකීර්ණයක්. මේ ගස් වැල් ස්වභාවික ගස්වැල් වුවත් රටේ හැම ගහක්ම හැම වැලක්ම වගේ පැලවී තිබෙන්නේ සිංගප්පූරු රජයට අවශ්‍ය තැන් වලයි.

සිංගප්පූරු ස්වභාවිකත්වය කියන්නේම සැලසුමක කොටසක් වන කෘතීම ස්වභාවිකත්වයක්. සිංගප්පූරු ජාතිකයෙකුගේ ස්වභාවික හැසිරීම් ගැන කියන්න තිබෙන්නේත් ඒ ටිකමයි. අර කතාවක් තිබෙනවානේ පිරිමි දෙන්නෙක් හා එක් ගැහැණියක් කූඩු කර තැබූ විට සිදු වන දේ ගැන. සිදුවන දේ තීරණය වන්නේ මේ තිදෙනාගේ ජාතිකත්වය මතයි. කූඩු කර ඇත්තේ ඇමරිකානුවන්, චීන්නු, ඉන්දියානුවන්, රුසියානුවන් ආදී ලෙස වෙනස් වෙද්දී සිදු වන දෙයත් වෙනස් වෙනවා.

ඒ අනුව, පිරිමි දෙන්නා මරාගෙන ඉතිරි වන පිරිමියා විසින් ගැහැණියව අයිති කර ගැනීම, පිරිමින් දෙදෙනා විසින් ගැහැණියව හවුලේ බෙදා ගැනීම, ගැහැණිය පැත්තක සිටියදී පිරිමි දෙදෙනා එකතු වීම, ගැහැණිය මරා දමා පිරිමි දෙදෙනා එකතු වීම, ගැහැණිය විසින් තමන්ගේ කැමැත්ත පරිදි පිරිමියෙකු තෝරා ගැනීම, ගැහැණිය විසින් තමන්ගේ කැමැත්ත පරිදි පිරිමියෙකු තෝරා ගැනීමෙන් පසුව ඒ පිරිමියා ගැහැණියව අනෙක් පිරිමියාට විකිණීම, කේන්ද්‍ර ගැලපීම අනුව පිරිමියෙකු හා ගැහැණිය එකතු වීම ආදී විවිධ දේ සිදු විය හැකියි. කතාව අනුව, කූඩුවේ ඉන්නේ සිංගප්පූරු ජාතික පිරිමි දෙන්නෙකු හා ගැහැණියක්නම් සිදු වන්නේ ඔවුන් තිදෙනාම කළ යුතු දේ රජයෙන් දැනුම් දෙන තුරු කතාබහක්වත් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න එකයි.

චන්දිම ගෝමස් කියන විදිහට  සිංගප්පූරුවේ ඉන්නේ කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් නැති රොබෝවරුන්නම් ඒ වගේ රටක ජුවෙල් වගේ තැන් හැදෙන්නේ කොහොමද කියා කාට හරි අහන්න පුළුවන්. අඩි 130ක් උස ජුවෙල් දියඇල්ල එහි පසුබිමේ ඇති ගස් වැල් එක්ක ඉතා සුන්දර දසුනක්. සිංගප්පූරුව වගේ තැනක් කොන්ක්‍රීට් ගොඩක් විදිහට නොතබා මේ ආකාරයට ගස්වැල් එක්ක බ්ලෙන්ඩ් කරන එක නරක අදහසක් නෙමෙයි. හැබැයි ඔය වගේ දෙයක් ලොකු මැජික් එකක් වෙන්නේ ස්වභාවික දිය ඇලි නැති සිංගප්පූරුව වගේ තැනකටම තමයි.

මාවනම් හිතන්න වැඩිපුරම පෙළඹවූ මොහොත ස්විච් එකක් දමා ජුවෙල් දිය ඇල්ල ඔන් කරපු මොහොතයි. මම හිතන්නේ මේ වගේ මොහොතකින් සංකේතවත් කරන්නේ සිංගප්පූරු ජාතිකයෙකුට තිබිය හැකි කලාත්මක චින්තනයේ, ස්වභාවධර්මය පිළිබඳ සුන්දර හැඟීමේ සීමාවයි.

චන්දිම සිංගප්පූරුව හා අදාළව කරපු ආකාරයේ විවේචනයක් සෝවියට් දේශය හා අදාළව සාමාන්‍යයෙන් සිදු වන්නේ නැහැ. ගොඩක් අය පුන පුනා කියන්නේ සෝවියට් දේශය සාහිත්‍යය, කලාව ආදිය වෙනුවෙන් විශාල ඉඩකඩක් විවර කළා කියන එකයි. ජුවෙල් දිය ඇල්ල ඔන් ඕෆ් කරන මොහොත වැනි මොහොතක ළඟ හිටියේ නැත්නම් කාට වුනත් පෙනෙන්නේ සිංගප්පූරු රජය තමන්ගේ රටේ මිනිස්සුන්ගේ කලාත්මක චින්තනය, ස්වභාවධර්මය පිළිබඳ සුන්දර හැඟීම වෙනුවෙන් කොයි තරම් වැඩ කොටසක් කරල තියෙනවද කියන එක විතරයි.

(Image: https://www.businessinsider.sg/changi-airport-jewel-best-waterfall-forest/)

Friday, July 19, 2019

සිරිසා පරාජය


පසුගිය සතියේ පැවති ග්‍රීක මැතිවරණයෙන් බලයේ සිටි වාමාංශික සිරිසා සන්ධානය ගෙදර යවමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විශිෂ්ඨ ජයක් වාර්තා කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියා කියන්නේ 2015දී වාමාංශික සිරිසා සන්ධානය ග්‍රීසියේ බලයට පත් වන තුරු කාලයක් තිස්සේ මාරුවෙන් මාරුවට ග්‍රීසිය පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්. අනෙක් ප්‍රධාන පක්ෂය ලෙස පැවතුණේ මේ වන විට නැත්තටම නැති වී තිබෙන පැසොක් (පෑන්හෙලනික් සමාජවාදී) පක්ෂයයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ග්‍රීසියේ එජාපය ලෙසත්, පැසොක් පක්ෂය එහි ශ්‍රීලනිපය ලෙසත් හඳුන්වන්න පුළුවන්. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙසත්, පැසොක් පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙසත් සැලකෙනවා. කාලයක් තිස්සේම මාරුවෙන් මාරුවට බලයේ සිටියේ මේ පක්ෂ දෙක වුවත්, ලංකාවේ වගේම ග්‍රීසියේත් වාමාංශික පක්ෂ වලට විශාල බලපෑමක් කළ හැකිව තිබීම ඇතුළු තවත් හේතු නිසා මේ පක්ෂ දෙක විසින්ම මාරුවෙන් මාරුවට කළේ රජයේ ආදායමට වඩා වියදම් කරමින් සුබසාධන ආර්ථිකයක් පවත්වා ගෙන යන එකයි.

රාජ්‍ය බලය හිමි පක්ෂය බදු වැඩි කිරීම, සුබසාධන වියදම් කපා හැරීම වැනි දේ කරන්න උත්සාහ කළ හැම විටකම සිදු වුනේ පැවති ආණ්ඩුවට ගෙදර යන්න වෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට පක්ෂ දෙකේම ආණ්ඩු යටතේ විශාල අයවැය හිඟයක් නඩත්තු වුනා. රටේ ණය බර එන්න එන්නම ඉහළ ගියා. හරියට ලංකාවේ වගේමයි.

යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුව, විශේෂයෙන්ම 2000-2007 කාලයේදී ග්‍රීසිය විසින් යුරෝ කලාපයේ දැකිය හැකි වූ ඉහළම ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2000දී ඇමරිකන් ඩොලර් 12,043ක් වූ ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2008 වෙද්දී ඇමරිකන් ඩොලර් 31,997 දක්වා ඉහළ ගියා.

කෙසේ වුවත් මෙය ණයට ගත් සංවර්ධනයක්. ග්‍රීසිය යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුවත් ග්‍රීක රජයේ ආදායම් ඉක්මවා වියදම් කිරීමේ පිළිවෙත වෙනස් වුනේ නැහැ. තමන්ගේම ජාතික මුදල් ඒකකයක් තිබුණු කාලයේ කළ හැකි වූ සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීමත් යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුව තව දුරටත් කළ හැකි වූයේ නැහැ. මේ කාලයේදී ග්‍රීසියේ රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඉහළින් පැවතුණා.

මෙහි ප්‍රතිඵලයක් විදිහට 2009දී සමස්ත යුරෝපීය සංගමයම මුහුණ දුන් ආර්ථික අවපාතය ග්‍රීසියට දරුණුවටම දැනුණා. 2010 වෙද්දී එතෙක් ගැසූ රෝල තව දුරටත් ගසා ගත නොහැකිව ග්‍රීක රජය හිරවුනා. මේ වෙද්දී බලයේ සිටියේ පැසොක් පක්ෂයයි. එක පැත්තකින් ආර්ථික අවපාතයේ බලපෑමත්, අනෙක් පැත්තෙන් අර්බුදය හමුවේ රජයේ වියදම් සීමා කරන්නට සිදු වීමත් නිසා පැසොක් පක්ෂයේ ජනප්‍රියත්වය ගිලිහී ගොස් 2012 මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නැවත බලයට පත් වුණා. මේ මැතිවරණයේදී අලුතින් හදාගත් වාමාංශික සිරිසා සන්ධානය පැසොක් පක්ෂය තෙවන තැනට තල්ලු කරමින් දෙවන තැනට එන්න සමත් වුණා. ඒ වෙද්දී ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 24,916 දක්වා පහත වැටිලා.

පැසොක් පක්ෂය වෙනුවට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයට පත් කර ගත්තත් අලුත් ආණ්ඩුවට කළ හැකිව තිබුණේත් කලින් ආණ්ඩුව කළාක් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, යුරෝපීය මහ බැංකුවෙන් හා යුරෝපීය සංගමයෙන් ණය ඉල්ලා සිටීම පමණයි. ඒ වෙනුවෙන් ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ විය යුතුව තිබුණා. බදු ඉහළ දැමීම, විශ්‍රාම වැටුප් ඇතුළු සුබසාධන වියදම් කපා හැරීම ආදී මේ කොන්දේසි ඉටු කරමින් රජයකට ජනප්‍රියතාව පවත්වා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ.

අයවැය හිඟය අඩු කර ගැනීමට රාජ්‍ය වියදම් කැපෙද්දී, ආර්ථිකය වසරින් වසර හැකිලෙන්න පටන් ගත්තා. 2015 වෙද්දී ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 18,167 දක්වා 2008 මට්ටමේ සිට 40%කින් පමණ පහත වැටුණා. විරැකියා අනුපාතය පොදුවේ 27% මට්ටමටත්, තරුණයන් අතර 58% මට්ටමටත් ඉහළ ගියා. ඉතා ඉක්මණින්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත් මිනිස්සුන්ට එපා වුණා.

වාමාංශික සිරිසා සන්ධානය 2015දී බලයට ආවේ මේ වගේ පසුබිමකයි. දිගින් දිගටම තට්ටු මාරුවට බලය ලබා ගත් ප්‍රධාන පක්ෂ දෙකටම කළ හැකි වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ පදයට නටන එක පමණයි. නමුත්, ඒ පක්ෂ දෙකෙන් එකකටවත් ණය වලින් පුම්බා තිබුණු ග්‍රීසියේ ආර්ථික සමෘද්ධියේ හුළං බහින එක වළක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සිදු වෙමින් තිබුණේ සිදුව යුතුව තිබුණු නිවැරදි වීමක්. යුරෝපීය සංගමයට එකතු වීමේ අභිලාෂයෙන් කලක සිට ග්‍රීසිය විසින් රාජ්‍ය ආදායම්, වියදම් හා ණය පිළිබඳව බොරු සංඛ්‍යාලේඛණ පෙන්වා තිබුණු බවත් මේ වෙද්දී හෙළි වී තිබුණා.

උනුත් එකයි මුනුත් එකයි කියා ජනතාව තේරුම් ගනිද්දී සිරිසා සන්ධානය තෙවන විකල්පයක් ලෙස මතු වුණා. ඔවුන් පෙනී සිටියේ සුබසාධන වියදම් ඇතුළු රාජ්‍ය වියදම් කප්පාදුවට එරෙහිවයි. පවතින ක්‍රමයට විරුද්ධ වෙමින් ජනතාව මුලා කරනු හැර සිරිසා සන්ධානය සතු අමුතු සමාජවාදී  විකල්පයක් නැති බව ග්‍රීක ජනතාව ඒ වෙලාවේ තේරුම් ගත්තේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙක පිළිබඳව සිරිසා සන්ධානයේ විවේචන ඇත්ත වුවත්, සිරිසා සන්ධානයට බලයට පැමිණ ක්‍රියාත්මක කළ හැකිව තිබුණු වෙනත් විකල්ප වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ.

සිරිසා සන්ධානය බලයට පත් වීමෙන් පසුව බොහෝ සමාජවාදීන් උද්දාමයට පත් වුණා. ලංකාවේ හා ලංකාවෙන් පිටත සිට ලංකාවේ දේශපාලනය කරන ඇතැම් අය මෙය විග්‍රහ කළේ යුරෝපයෙන් පටන් ගත් ධනවාදයේ කඩාවැටීමේ ආරම්භය ලෙසයි. වසර හතරකට පසුව ඉතිහාසය විසින් මේ සිරිසා නමාමි විශ්ලේෂකයන්ගේ විග්‍රහ වල නිරවද්‍යතාවය නිරාවරණය කර තිබෙනවා.

බලයට පත් වීමෙන් පසුව සිරිසා සන්ධානය උත්සාහ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ කොන්දේසි වලට එකඟ නොවී කෙසේ හෝ ඔවුන්ගෙන් ණය ගන්නයි. රාජ්‍ය වියදම් කප්පාදුවට ජනතා කැමැත්තක් නැති බව පෙන්වන්න ජනමත විචාරණයක්ද පැවැත්වුනා. සිරිසා සන්ධානය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටි පරිදිම රාජ්‍ය වියදම් කප්පාදුවට එරෙහිව 61%ක ජනමතයක් ප්‍රකාශ වුනා. ඒත්, ප්‍රශ්නය එයින් විසඳුනේ නැහැ.

ග්‍රීක රජය අයවැය හිඟය පියැවෙන පරිදි විශාල ලෙස රාජ්‍ය වියදම් සීමා කෙරෙන ප්‍රතිසංස්කරණ කරා නොයන්නේනම් ඔවුන්ට දිගින් දිගටම ණය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාව කිසිසේත්ම සූදානම්ව සිටියේ නැහැ. ඒ තත්ත්වය යටතේ සිරිසා සන්ධානය විසින් බලය ලබා ගැනීම පිණිස ජනතාවට පොරොන්දු වූ පරිදි මේ කොන්දේසි වලට දිගින් දිගටම විරුද්ධ සිටින්නේනම් ඔවුන් විසින් ණය නොගෙවා පැහැර හැරීම හා අවසාන වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත්වීම වැනි ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබුණා. බලයට පත් වෙන්න කලින් මොනවා කිවුවත්, ග්‍රීක ජනතාවගේ වාසනාවට සිරිසා සන්ධානය එවැනි මෝඩ වැඩක් කරන්න පෙළඹුනේ නැහැ. ඔවුන් එවැනි ක්‍රියා මාර්ගයක් ගත්තේනම් එය රටක් ලෙස ග්‍රීසිය විනාශය කරා තල්ලු කරමින් තම පක්ෂයේ වලද තමන් විසින්ම කපා ගැනීමක් වෙනවා.

රැඩිකල් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනු වෙනුවට ජනමතවිචාරණයෙන් පසුව සිරිසා සන්ධානය කළේ තමන් සතියකට පෙර විරුද්ධව සිටි කොන්දේසි සියල්ලට එකඟ වෙමින් ට්‍රොයිකාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමයි. ගිවිසුම අත්සන් කිරීමෙන් නොනැවතුණු සිරිසා සන්ධානය පසුගිය සිවු වසර තුළ නැවත නැවතත් විශාල ලෙස රාජ්‍ය වියදම් කපා හරිමින් හා බදු ඉහළ දමමින් දශක ගණනක් එක දිගට පැවති ග්‍රීසියේ විශාල අයවැය හිඟය අතිරික්තයක් බවට හරවන්නට සමත් වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ග්‍රීසියේ ආර්ථිකය පැවති තත්ත්වයට සාපේක්ෂව ස්ථාවර වී තිබෙන අතර විරැකියා අනුපාතය ක්‍රමයෙන් පහත බසිමින් තිබෙනවා.


විපක්ෂයේ සිටියදී මොනවා කිවුවත් වාමාංශික පක්ෂයකට බලය ගෙන ක්‍රියාත්මක කළ හැකි වඩා හොඳ විකල්පයක් නැති බව සිරිසා සන්ධානය විසින් නැවත වරක් තහවුරු කර තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසාන වශයෙන් සිදු වී තිබෙන්නේ වාමාංශික බලවේග වල ප්‍රතිරෝධය හමුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හෝ පැසොක් පක්ෂයට ක්‍රියාත්මක කළ නොහැකිව තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ අමාරු හා ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ යෝජනා සිරිසා සන්ධානය විසින් ක්‍රියාත්මක කරනු ලැබීමයි.

පක්ෂයක ඉතිහාසයට හෝ කරනවායැයි කියන දෙයට වඩා වැදගත් වන්නේ ඇත්තටම කරන දෙයයි. ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග ගන්නට සිදුවීම හේතුවෙන් සිරිසා සන්ධානය සතු වූ ආණ්ඩු බලය දැන් නැවතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙත මාරු වී තිබුණත්, පැසොක් පක්ෂය මේ වන විට දිය වී ගොස් ඇති පසුබිමක ග්‍රීක දේශපාලනයේ එම පක්ෂය සතු වූ තැන ඉදිරියේදී සිරිසා සන්ධානය සතු විය හැකියි. ඒ එක්කම, සිරිසා සන්ධානය වඩා මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ක්‍රමයෙන් රූපාන්තරණය වන්නට ඉඩ තිබෙනවා.

(Image: https://www.thenation.com/article/syriza-rising/)

Thursday, July 18, 2019

රස්සා ආරස්සා...


ආයු අපේක්ෂාව ගැන ලියන්න තවත් ගොඩක් දේවල් තිබුණත්, තාක්ෂණික පැත්තට බර ලිපි එක දිගට කියවන්න ගොඩක් අය කැමති නෑනේ. මේ ලිපිය සති කිහිපයකට කලින් ලියන්න පටන් ගත් එකක්. ආයු අපේක්ෂාව ගැන කතා කරන්න කලින් කතා කරපු මාතෘකාවට සම්බන්ධ ලිපියක් වුනත්, වක්‍රව ආයු අපේක්ෂාවටත් සම්බන්ධයක් තිබෙනවා.

ලිපිය ලියන්න පටන් ගත් දවසේ උදේ පොඩි වැඩක් කරගන්න රාජ්‍ය අංශයේ ආයතනයකට ගියා. කවුරු හෝ මේ වියුණුව නිතිපතා නොකියවන අයෙක් මේ ලිපිය කියවනවානම් දැනගැනීම පිණිස මේ කතා කරන්නේ ඇමරිකාවේ රාජ්‍ය අංශයේ ආයතනයක් ගැන බව මතක් කළ යුතුයි. නිශ්චිතවම කියනවානම් ගියේ සමාජ සංරක්ෂණ අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලයකටයි. මේ විදිහට ඇමරිකාවේ ජීවත්වන අයෙක්ට රජයේ ආයතනයකට යන්න අවශ්‍ය වෙන්නේ ඉතා කලාතුරකින්. බොහෝ දේවල් දුරකථනය හෝ අන්තර්ජාලය උපයෝගී කරගෙන කරගත හැකියි.

ඇමරිකාවේ රාජ්‍ය අංශය වුවත් ලංකාවට සාපේක්ෂව ගොඩක් කාර්යක්ෂමයි. ඒ වගේම, ලංකාවේ පෞද්ගලික අංශය වුවත් පොදු වශයෙන් සැලකූ විට ගොඩක්ම කාර්යක්ෂම නැහැ. මේ වෙනසට හේතු තිබෙනවා.

ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාවය අඩුයි කියන එකෙන් අදහස් වෙන්නේ ලංකාවේ මිනිස්සු වැඩ නොකර හොරට පඩි ගන්නවා කියන එක නෙමෙයි. මේ දෙක දෙකක්. ඇමරිකාවේ සාමාන්‍ය ශ්‍රමිකයෙකු දවල් රෑ නැතුව මැරීගෙන වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ රාජ්‍ය අංශයේ පවා දවල් රෑ නැතුව මැරීගෙන වැඩ කරන අය ඉන්නවා. නමුත්, එයින් අදහස් වන්නේ වැඩ කරන පැය ගණනේ තරමට පලදායී කාර්යයක් සිදු වෙනවා කියන එකම නෙමෙයි.

ඇමරිකාවේ සමාජ සංරක්ෂණ අධිකාරියේ හෝ රථවාහන කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් ගත්තොත් ලංකාවේ රාජ්‍ය ආයතන වලට සාපේක්ෂව වැඩ කෙරෙන පිළිවෙළේ මූලික වෙනස්කම් ගණනාවක් තිබෙනවා. පළමු වෙනස කිසියම් සේවාදායකයෙකු වැඩක් කරගන්න අදාළ ආයතනයේ "තමන්ට අයිති" ශාඛාවටම යා යුතු නොවීමයි. තොරතුරු මුළුමනින්ම වගේ පරිගණකගත කර තිබෙන නිසා ඕනෑම සේවකයෙකු කිසියම් කාර්යයක් කරන්නේ කවර ශාඛාවේ සිටද කියන එක වැදගත් නැහැ. මේ හේතුව නිසා, එක් ප්‍රාදේශීය කාර්යාලය අසීමිත තදබදයක් තියෙද්දී වෙනත් ප්‍රාදේශීය කාර්යාලයක සේවකයින් වැඩ නැතිව වේලි වේලී ඉන්න එක සෑහෙන දුරකට ස්වභාවිකවම මඟ හැරෙනවා.

මගේ පෞද්ගලික නිරීක්ෂණ අනුව මේ ගොඩක් කාර්යාල වලට දවසකට සැලකිය යුතු සෙනඟක් එනවා. කාර්යාල සේවකයින් වැඩ නැතිව බලා සිටින බවක් මා දැකලාම නැහැ. ඒ වගේම, සේවාදායකයෙකු සෙනඟ වැඩි නිසා ආපසු හැරී යන බවකුත් මා දැක නැහැ. ප්‍රාදේශීය කාර්යාල ස්ථානගත කර තිබෙන්නේත්, ඒවාට සේවකයින් අනුයුක්ත කර තිබෙන්නේත් සේවාදායක ඉල්ලුම හා ගැලපෙන තරමටයි. මා හිතන්නේ රටේ පවතින යාන්ත්‍රණය තුළ මේ සමතුලිතතාවය ස්වභාවික ලෙසම ඇති වෙනවා කියලයි.

ඉතා කලාතුරකින් හැර කිසියම් කටයුත්තක් කර ගන්න යන අයෙකුට තමන්ට හමුවෙන පළමු නිලධාරියා හෝ නිලධාරිනිය හරහා ඒ කටයුත්ත කරගත හැකියි. ඔහු හෝ ඇය තවත් කිහිප දෙනෙකුගේ අනුමැතිය ලබා ගත යුතු නැහැ. ඒ වගේම ඡායා පිටපත් ලබා ගැනීමේ සිට මුදල් අය කිරීම දක්වා සියලු කටයුතු කරන්නේ මේ නිලධාරියා හෝ නිලධාරිනිය විසින්ම නිසා අමතර රස්තියාදුවක් නැහැ. මෙය ලංකාවට සාපේක්ෂව විශාල වෙනසක්.

කාර්යාලයට යන අයෙකු මුලින්ම කළ යුත්තේ නොම්මරයක් ගැනීමයි. එකම පිළිවෙළට යන නොම්මර වෙනුවට තමන්ට කරගන්න අවශ්‍ය කාර්යය අනුව කාණ්ඩ කිහිපයක් යටතේ මේ නොම්මර නිකුත් කෙරෙන අතර එකම කටයුත්තකට පැමිණි අයව බොහෝ විට එකම කවුන්ටරයකට යොමු කෙරෙන නමුත් ඒ කටයුත්තට පැමිණි අය නැත්නම් වෙනත් කටයුතු වලට පැමිණි අයත් ඒ කවුන්ටරයට යොමු කෙරෙනවා. මෙයත් කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. සමස්තයක් වශයෙන් ගත් විට සේවකයින් සේවය කරන කාලය ඇතුළත එක දිගට වැඩ කර දවස අවසන් වෙද්දී සේවාදායක ඉල්ලුම සපුරා අවසන් කරනවා.

මේ විදිහට රාජ්‍ය ආයතන කාර්යක්ෂමව පැවතීමට මූලිකම මට්ටමේදී හේතු වෙන්නේ රාජ්‍ය ආයතන වල මූල්‍ය කළමනාකරණය සිදු වන ආකාරයයි. ලංකාවට සාපේක්ෂව ගත් විට මේ මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයේ ලොකු මූලික වෙනසක් තිබෙනවා.

ලංකාවේ වගේම ඇමරිකාවේත් රාජ්‍ය අංශය නඩත්තු වෙන්නේ බදු මුදල් වලින්. වෙනස තියෙන්නේ බදු මුදල් වියදම් කරන ආකාරයේ. බදු සේ අය කරන ඩොලරයක් ලංකාවේ බදු රුපියල් වගේ නිදහසේ කැමති කටයුත්තක් වෙනුවෙන් වෙන් කරන්න බැහැ. බදු බොහොමයක් අය කරන්නේ නිශ්චිත වියදම් වෙනුවෙනුයි.

උදාහරණයක් විදිහට ඇමරිකාවේ අධිවේගී මාර්ග හා පොදු ප්‍රවාහනය වෙනුවෙන් කෙරෙන වියදම් ආවරණය වෙන්නේ එම මාර්ග භාවිතා කරන අය විසින් ගෙවන බදු මුදල් වලිනුයි. අදාළ බදු මුදල් කෙළින්ම යන්නේ වෙනම අරමුදලකට. ඒ බදු මුදල් වෙනත් කටයුත්තකට වියදම් කරන්න බැහැ.

ෆෙඩරල් අධිවේගී මාර්ග භාර අරමුදල ලෙස හැඳින්වෙන ඉහත අරමුදල යටතේ ගිණුම් දෙකක් තිබෙනවා. ඒ අධිවේගී මාර්ග ගිණුම හා පොදු ප්‍රවාහන සේවා ගිණුමයි. ඇමරිකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම්, සංවර්ධනය, නඩත්තුව හා නියාමනය වෙනුවෙන් මුදල් වැය කෙරෙන්නේ පළමු ගිණුමෙන්. උමං දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා සංවර්ධනය කිරීම හා නියාමනය වෙනුවෙන් වියදම් සිදු කෙරෙන්නේ දෙවන ගිණුමෙන්.

අධිවේගී මාර්ග භාර අරමුදල යටතේ ඇති ඉහත ගිණුම් දෙකට බදු හරහා අරමුදල් සැපයෙන නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ අරමුදල් ලැබෙන්නේ ඉන්ධන බදු වලින්. මේ වන විට ඇමරිකාවේ විකිණෙන පෙට්‍රෝල් ගැලුමකින් ඇමරිකන් ශත 18.40ක හා ඩීසල් ගැලුමකින් ඇමරිකන් ශත 24.40ක බද්දක් අය කෙරෙනවා. මේ බදු ප්‍රමාණ 1997 ඔක්තෝබර් සිට වෙනස් වී නැහැ. පෙට්‍රල් ගැලුමකින් හා ඩීසල් ගැලුමකින් ශත 2.86 බැගින් පොදු ප්‍රවාහන සේවා ගිණුමට බැර වෙනවා. පෙට්‍රල් ගැලුමකින් ශත 15.44ක් හා ඩීසල් ගැලුමකින් ශත 24.44 බැගින් අධිවේගී මාර්ග ගිණුමට බැර වෙනවා. එවිට අය කරන බදු මුදලින් ඉතිරි වන්නේ තවත් ශත 0.10ක් පමණයි. ඒ ශත දශමය යන්නේ තවත් අරමුදලකට. ඒ භූගත ඉන්ධන ටැංකි කාන්දු අරමුදලටයි. භූගත ඉන්ධන ටැංකි වලින් ඉන්ධන කාන්දු වීම වැළැක්වෙන පරිදි නියාමනය කටයුතු කිරීම වෙනුවෙන් මුදල් වැය කෙරෙන්නේ භූගත ඉන්ධන ටැංකි කාන්දු අරමුදලෙන්.

ඩීසල් හා පෙට්‍රෝල් වලට අමතරව අඩු අලෙවියක් ඇති අනෙකුත් ඉන්ධන වර්ග වලින්ද ඉහත කී ගිණුම් තුනට අරමුදල් බැර වෙනවා. ඒ බදු මුදල් රජයේ පොදු අරමුදලට බැර වන්නේ නැහැ. ඊට අමතරව තවත් බදු වර්ග කිහිපයකින් ලැබෙන ආදායම්ද අධිවේගී මාර්ග ගිණුමට මුළුමනින්ම බැර වෙනවා. එම බදු අය කෙරෙන්නේ ට්‍රක් රථ වැනි බරවාහන වලින් හා එම බරවාහන සඳහා යොදා ගන්නා ටයර් අලෙවි කරන විටයි. මේ ආකාරයට බදු මුදල් නිශ්චිත කාර්යයන් සඳහා වෙන් කර තිබෙන නිසා රටේ මහාමාර්ග පද්ධතියේ ප්‍රතිලාභ ලබන අයගෙන්ම එම ප්‍රතිලාභ වෙනුවෙන් වැය වෙන මිල අය කෙරෙනවා. අනෙක් අතට, අදාළ බදු ගෙවන අයටම එම බදු වල ප්‍රතිලාභ ලැබෙනවා.

මේ ආකාරයට අධිවේගී මාර්ග ගිණුමට එකතු වන මුදල් එක් එක් ප්‍රාන්ත වල මාර්ග සංවර්ධන කටයුතු සඳහා ප්‍රාන්ත අතර බෙදා හැරෙනවා. එහිදී කිසියම් ප්‍රාන්තයකින් එකතු වෙන බදු මුදල් හරියටම එම ප්‍රාන්තයටම ලබා දෙන්නේ නැහැ. එහෙත් අරමුදල් ප්‍රාන්ත අතර බෙදා හැරීම සිදු වන්නේත් ක්‍රමවේදයක් අනුවයි.

මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමෙන් පසුව ඉතිරි වන අරමුදල් ආයෝජනය කෙරෙනවා. එමගින් අරමුදලට පොලී ආදායමක්ද ලැබෙනවා. ඇමරිකාවේ රාජ්‍ය ණය වලින් විශාල ප්‍රමාණයක් ඇමරිකානු රජය යටතේම තිබෙන මෙවැනි අරමුදල් වලින් ගත් ණයයි.

ගුවන් තොටුපොළ සංවර්ධනය වැනි අංශයක් ගත්තත් කටයුතු සිදු වන්නේ මේ ආකාරයටයි. එම වියදම් සිදු කෙරෙන්නේ ගුවන් තොටුපොළ හා ගුවන් මාර්ග භාර අරමුදලින්. ඒ යටතේ ගිණුම් හතරක් තිබෙනවා. ඒ ගොඩනැගිලි හා උපකරණ ගිණුම, පර්යේෂණ සංවර්ධන ගිණුම, ගුවන් තොටුපොළ සංවර්ධන වැඩසටහන් ගිණුම හා මෙහෙයුම් ගිණුම ලෙසයි. මේ එක් එක් ගිණුමට මුදල් ලැබෙන්නේත් නිශ්චිත බදු වලින්. අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර බද්ද, රටට පැමිණෙන හා රටින් පිටතට යන ගුවන් යානා වල මගීන්ගෙන් අය කරන බද්ද, "ගුවන් සැතපුම්" මිල දී ගැනීමේදී අය කරන බද්ද, ගුවන් මඟින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අය කරන බද්ද, ගුවන් යානා සඳහා යොදා ගන්නා ඉන්ධන වලින් අය කෙරෙන බද්ද ආදී බදු ආදායම් බැර වෙන්නේ ඉහත ගිණුම් වලටයි.

මා ලිපිය පටන් ගැනීමේදී සඳහන් කළ සමාජ සංරක්ෂණ අධිකාරිය නඩත්තු වෙන්නේ සමාජ සංරක්ෂණ අරමුදල යටතේයි. ඇමරිකානුවන් බොහෝ දෙනෙකුගේ ප්‍රධාන විශ්‍රාමික ආදායම වන්නේ මාසිකව ලැබෙන සමාජ සංරක්ෂණ දීමනාවයි. මේ දීමනාවේ ප්‍රමාණය තීරණය වන්නේ විශ්‍රාම යාමට පෙර යම් අයෙකු විසින් උපයා තිබෙන ආදායම මතයි. ඇමරිකාවේ සේවය කරන අයගේ වැටුප අතට ලැබෙන්නේ එයින් සමාජ සංරක්ෂණ බදු මුදල් හා විශ්‍රාමික සෞඛ්‍ය වියදම් ප්‍රතිලාභ බදු අඩු කර ගැනීමෙන් පසුවයි.

විශ්‍රාම යාමෙන් පසු යමෙකුට ලැබෙන මාසික සමාජ සංරක්ෂණ දීමනාව තීරණය වන්නේ ඔහු හෝ අය විශ්‍රාම යාමට පෙර රැකියා කර ඉපැයූ සාමාන්‍ය ආදායම මතයි. ඒ කියන්නේ වක්‍රව ඔහු හෝ අය විසින් ගෙවා ඇති සමාජ සංරක්ෂණ බදු මුදල් ප්‍රමාණය මතයි. එහෙත්, එයින් අදහස් වන්නේ හරියටම යමෙක් ගෙවූ බදු මුදල නැවත ආපසු ලැබෙනවා කියන එක නෙමෙයි. මාසික දීමනාව ගණනය කෙරෙන්නේ පහළ ආදායම් ඉපැයූ අයට වාසිදායක වන ආකාරයටයි. එසේ වුවත්, සමස්තයක් ලෙස සමාජ සංරක්ෂණ දීමනා ගෙවිය යුත්තේ එකතු වී ඇති බදු මුදල් වලින් හා ඒ බදු මුදල් ආයෝජනය කර උපයා ඇති පොලී ආදායමෙනුයි. ඊට අමතරව සමාජ සංරක්ෂණ අධිකාරියට නඩත්තු වෙන්න සිදුවෙන්නේත් මේ අරමුදලෙන්.

මේ වන විටත් සමාජ සංරක්ෂණ අරමුදල ක්ෂය වෙමිනුයි පවතින්නේ. ඇමරිකානුවෙකුගේ ආයු අපේක්ෂාව කාලයත් සමඟ ඉහළ යාම සමාජ සංරක්ෂණ අරමුදල වඩා වේගයෙන් ක්ෂය වී යාමට හේතු වී තිබෙනවා. අරමුදල ආරම්භ කළ අවදියේ එකතු කර ගන්නා බදු මුදල් තරමට දීමනා ලබා ගන්නා විශ්‍රාමිකයින් නොසිටියත් කල් යද්දී මේ තත්ත්වය කණපිට හැරෙන නිසා නුදුරු වසරකදී අරමුදලේ සංචිත වලින් මාසික දීමනා ගෙවීම කළ නොහැකි වීමට නියමිතයි. එවිට මාසික දීමනා දිගටම ගෙවන්නනම් බදු වැඩි කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් අරමුදල තර කළ යුතු වෙනවා.

මෙවැනි තත්ත්වයක් තියෙද්දී අරමුදලේ පරිපාලකයින්ට අකාර්යක්ෂම වෙන්න බැහැ. ඔවුන්ට අවම පිරිවැයකින් අවශ්‍ය සේවා සපයන්න සිදු වෙනවා. ඔවුන්ගේ සාපේක්ෂ කාර්යක්ෂමතාවයට හේතුව මෙයයි.

පොදුවේ ගත්තත් ඇමරිකාවේ ෆෙඩරල් සේවකයෙකුට තමන් ගන්නා වැටුපට සරිලන ඵලදායී සේවයක් නොකර වැටුප් ගැනීම අසීරුයි. ඒ නිසා, ඇමරිකානුවෙකුට රජයේ රැකියාවක මහා ලොකු ආකර්ශනීයත්වයක් නැහැ. සාපේක්ෂව යම් රැකියා සුරක්ෂිතතාවයක් තිබුණත් ඒ වෙනුවෙන් මිලක් ගෙවිය යුතුයි. අනෙක් අතට පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවයක් නැතත් මුහුණ දෙන අවිනිශ්චිතතාවය වෙනුවෙන් එහි මිල ලැබෙනවා.

ලංකාවේ රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයේත් රැකියා සුරක්ෂිතතාව රටේ නීති පද්ධතියෙන් තහවුරු කර තිබෙනවා. මෙය ලංකාවේ පෞද්ගලික අංශයේ අකාර්යක්ෂමතාවයට එක් හේතුවක්. ලංකාවේ පෞද්ගලික සමාගමකට පාඩු ලබන හෝ අවශ්‍ය තරම් ලාබ නොලබන කාලයකදී අකාර්යක්ෂම සේවකයින් සේවයෙන් ඉවත් කර පාඩු පියවා ගැනීම කළ නොහැකි තරමට අසීරු දෙයක්. බැලූ බැල්මට පෙනෙන්නේ මෙයින් රටේ වැටුප් ලබන ශ්‍රමිකයින්ට යහපතක් වී ඇති බවයි. එහෙත්, එය එසේම නැහැ.

පාඩු ලබන කාලයකදී සේවකයින් ඉවත් කිරීමේ හැකියාවක් නැති නිසා ලංකාවේ පෞද්ගලික සමාගමක් සේවකයින් බඳවා ගන්නේ එවැනි කාලයකදී වුවත් ආදායම් වියදම් තුලනය කර ගත හැකි තරමට පමණයි. මෙහි අවාසිය තිබෙන්නේ සමාගමකට ලාබ ලැබීමේ ඉඩප්‍රස්ථා වැඩි වන කාල වලදීයි. සේවකයින් අවශ්‍ය විටක ඉවත් කිරීමේ හැකියාවක් තිබුණානම්, පෞද්ගලික සමාගමක් එවැනි කාලයකදී බය නැතිව වැඩිපුර සේවකයින් බඳවාගෙන නිෂ්පාදනය ඉහළ දමනවා. නමුත්, එසේ කිරීමේ දිගුකාලීන අවදානම නිසා ලංකාවේ බොහෝ සමාගම් වලට තමන්ගේ ලාබ වැඩි කර ගැනීමේ ඉඩප්‍රස්ථා මග හැරී යනවා. ඇතැම් සමාගම්නම් අනියම් සේවකයින් පිරිසක් නඩත්තු කරමින් නීතියේ හිල් වලින් රිංගනවා.

පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීමට වැඩි බරක් දීමේ තවත් අවාසියක් වන්නේ තරුණයින්ට රැකියා අවස්ථා අහිමි වීමයි. අකාර්යක්ෂම සේවකයින් ඉවත් කිරීමේ හැකියාවක් පෞද්ගලික සමාගම් වලට තිබුණානම් පළපුරුදු සේවයින්ට වගේම ආධුනික සේවකයින්ටත් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලැබෙනවා. සමස්තයක් ලෙස රටේ රැකියා ප්‍රමාණය, සමාගම් වල ලාභ වගේම රටේ ජාතික ආදායමත් ඉහළ යනවා. ඒ වගේම, ව්‍යවසායකයින් අළුත් ව්‍යාපාර වලට අතගහන්න දැන් තරමට බය වෙන්නේත් නැහැ.

පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවය නීතියෙන් කෘතීම ලෙස තහවුරු නොකර තිබුණේ වුවත් දැන් රැකියා කරන අයට රැකියා නැති වෙන්නේ නැහැ. සමස්තයක් ලෙස රටේ රැකියා සැපයුම ඉහළ යන නිසා ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමේදී ඒ අයට කොහොමටත් රැකියා ලැබෙනවා. නමුත්, ඒ රැකියා නැති කර නොගෙන තියා ගන්නනම් දිගින් දිගටම කාර්යක්ෂමව ඉන්න වෙනවා.

හැබැයි ලංකාව තියෙන්නේ එක තැන කියා මා කියන්නේ නැහැ. වසරින් වසර ලංකාවේ තත්ත්වය යම් තරමකින් හොඳ අතට හැරෙනවා. 1990 පමණ කාලයේදී කාට හෝ බැංකු ගණුදෙනුවක් කර ගන්න අවශ්‍යනම් බොහෝ විට තමන්ගේ බැංකු ශාඛාවටම යා යුතුව තිබුණා. මේ තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තේ සම්පත් බැංකුව වැඩ පටන් ගැනීමත් එක්කයි. ඔවුන්ගේ ආකෘතියේ කලින් පැවති ආකෘතියට සාපේක්ෂ ප්‍රධාන වෙනස්කම් දෙකක් තිබුණා. පළමුව, සියළු බැංකු ශාඛා පරිගණකගත කිරීම හරහා "තමන්ගේ බැංකු ශාඛාව" කියන සංකල්පය ඔවුන් විසින් නැති කර දැම්මා. දෙවනුව, පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතාව කවරක් වුවත් එය තනිව ඉටු කළ හැකි බැංකු විධායකයින් සහිත ආකෘතියක් සම්පත් බැංකුව විසින් හඳුන්වා දුන්නා.

සම්පත් බැංකුවේ මේ කාර්යක්ෂම ක්‍රමවේදයන් ඉතා වේගයෙන් අනෙක් පෞද්ගලික බැංකු වලටත් බෝ වුණා. එසේ වුනේ තරඟකාරී පසුබිමක ලාබ අපේක්ෂා කරන පෞද්ගලික බැංකුවට පවතින්නනම් අනෙක් තරඟකරුවන්ට සාපේක්ෂව හැකිතාක් කාර්යක්ෂම වෙන්න නිදහස් වෙළඳපොල ක්‍රමය විසින් බල කෙරෙන නිසයි. රාජ්‍ය බැංකු වලට එවැනි පීඩනයක් නොතිබුණත්, දිගුකාලීනව මේ පීඩනය ඔවුන්ටත් යම් තරමකින් දැනෙන්න ගත් නිසා ඔවුන්ටත් හෙමින් හෙමින් වුවත් යම් වෙනස්කම් කරගන්න සිදු වුනා. එහෙත්, රාජ්‍ය බැංකුවකට ලාබ ලබන්න පෞද්ගලික බැංකුවකට තරම් පීඩනයක් නැති නිසා ලංකාවේ රාජ්‍ය බැංකු පෞද්ගලික බැංකු තරමට කාර්යක්ෂම වුනේ නැහැ.

මෙහි වක්‍ර ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ බැංකු රස්සා (විශේෂයෙන්ම ඇමරිකාවට සාපේක්ෂව) තවමත් පොෂ් රස්සා ලෙස පවතිනවා. රැකියා සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩියි. රැකියා වෙළඳපොළට අලුතින් එකතු වන අයෙකුට බැංකු රස්සාවකට ඔලුව දමා ගැනීම අසීරුයි. ඉන්න කෙනෙක් ලේසියකට රස්සාව අතාරින්නේ නැහැ. ඒ වගේම පාරිභෝගික සත්කාරය නරකම නැතත් දියුණු කළ හැකි තරමටම ඉහළ ගිහින් ඇතැයි කියන්න බැහැ.

කුමක් හෝ රස්සාවක් කරන කෙනෙක් ඒ රස්සාව ලේසියකට අතහරින්නේ නැහැ කියන එකෙන් බොහෝ විට අදහස් වෙන්නේ  ඔහුට හෝ ඇයට තමන් දැනට ලබා ගන්නා වැටුප් හා වරප්‍රසාද ලබා ගත හැකි විකල්ප රැකියා අවස්ථාවක් නැහැ කියන එකයි. ඒ කියන්නේ තමන් ලබා දෙන නිෂ්පාදන දායකත්වයට වඩා දෙයක් තමන් විසින් ලබා ගන්නවා කියන එකයි. සිද්ද වෙන්නේ මෙහි අනිත් පැත්තනම් මේ වගේ කෙනෙක්ට එක තැනකින් යන පරක්කුවට වෙනත් තැනක රස්සාවක් ලැබෙන්න ඕනෑ. එවැනි හැකියාවක් තිබෙන අයත් ඉන්නවා. ඒ අය බොහෝ විට එක තැනක එල්ලී නොසිට තමන්ගේ නියම මිල හොයාගෙන යනවා. නමුත්, ඒ ටික දෙනෙක්. කෘතීමව ඇති කර තිබෙන රැකියා සුරක්ෂිතතාවයේ වාසිය ගන්න අය ඊට වඩා ගොඩක් වැඩියි.

Wednesday, July 17, 2019

ෆේස්ඇප්: ඔබත් මූණ දමා බැලුවාද?


අපේක්ෂිත ආයුකාලය ගැන දැන් ලිපි කිහිපයකින්ම කතා කළා. හැමෝම නොවුණත් අපි ගොඩක් දෙනෙක් තව ටික කලක් ජීවත් වෙන්න කැමතියි. තරුණ හා මැදි වයස් වල ඉන්න බොහෝ අය තව අවුරුදු විස්සක්වත් ජීවත් වෙන්න කැමතියි පමණක් නෙමෙයි, තව අවුරුදු විස්සකින් තමන්ගේ පෙනුම කොයි වගේද කියා දැන ගන්න හැකිනම් එයටත් කැමතියි.

මගේ ලංකාවේ ජීවත් වන දැනට මැදි වියේ ඉන්න මිතුරෙක් අද උදේ වත්පොතේ අපූරු ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා. පළමුවැන්නේ තිබුණේ ඔහුගේ දැන් පෙනුම හා වසර 20කට පසුව පෙනුමයි. තවත් මෙවැනි ඡායාරූප දෙක තුනක් තිබුණා. මේ මිතුරා ඔහුගේ වසර 20කට පසු පෙනුම මොන වගේද කියා දැන ගන්න භාවිතා කර තිබුණේ ෆේස්ඇප් කියන ඇප් එකයි.

ෆේස්ඇප් ඇප් එක ඇවිත් දැන් වසර කිහිපයක් වෙනවා. මේ වෙද්දී එය වෛරල් වී ඇති බව පෙනෙනවා. මේ වන විට මේ ඇප් එක ගූගල් ප්ලේ හරහා මිලියන 100ක් දෙනා බාගත කරගෙන ඇති බවත්, රටවල් 121කම ජනප්‍රියම ඇප් එක බවත් මාධ්‍ය වාර්තා වල කියැවෙනවා.

ෆේස්ඇප් ඇප් එක නිසා ආරක්ෂාවට ඇති වී තිබෙන තර්ජනය ගැන මේ වෙද්දී ඇමරිකානු මාධ්‍ය විසින් කතා කරන්න පටන් අරන් තිබෙනවා. මෙවැනි කතාබහක් ඇති වී තිබෙන්නේ අදාළ ඇප් එක බාගත කර ගන්නා අයෙකු විසින් කැමති විය යුතු කොන්දේසි වල සුවිශේෂී ස්වභාවය නිසයි. ඇප් එකක් බාගත කර ගැනීමට පෙර බොහෝ දෙනෙක් මේ කොන්දේසි නොකියවන බව අමුතුවෙන් කිව යුතු නැහැනේ.

"You grant FaceApp a perpetual, irrevocable, nonexclusive, royalty-free, worldwide, fully-paid, transferable sub-licensable license to use, reproduce, modify, adapt, publish, translate, create derivative works from, distribute, publicly perform and display your User Content and any name, username or likeness provided in connection with your User Content in all media formats and channels now known or later developed, without compensation to you. When you post or otherwise share User Content on or through our Services, you understand that your User Content and any associated information (such as your [username], location or profile photo) will be visible to the public."

ෆේස්ඇප් ඇප් එක බාගත කර ගන්නා අයෙකු දැනුවත්ව හෝ නොසැලකිල්ල හේතුවෙන් එකඟ වන කොන්දේසි අනුව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික තොරතුරු එකතු කරගෙන එම තොරතුරු අදාළ සමාගමට අවශ්‍ය පරිදි මුදල් නොගෙවා භාවිතා කිරීමට, වෙනස් කිරීමට, බෙදා හැරීමට හා ප්‍රසිද්ධ කිරීමට සදාකාලික, අවලංගු කළ නොහැකි අවසරයක් ලබා දෙනවා. අදාළ සමාගමේ මවු සමාගම රුසියානු සමාගමක් වීමත්, පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව විසින් සමාජ මාධ්‍ය හරහා බලපෑමක් කළේය යන්නත් මේ හා අදාළ ඇමරිකානු කණස්සල්ල වැඩි කිරීමට හේතු වී තිබෙනවා.

(Image: https://www.indiatimes.com/technology/news/meet-faceapp-the-aging-app-that-s-taken-over-social-media-recently-371417.html)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...