වෙබ් ලිපිනය:

Saturday, March 17, 2018

මගේ අනන්‍යතා


පෞද්ගලිකව මට "මම" යන අනන්‍යතාවය හා "මිනිසෙකු" යන අනන්‍යතාවය අතර තවත් අනන්‍යතා ගණනාවක් තිබේ. "සිංහල" හා "බෞද්ධ" යන අනන්‍යතා මේ අතරින් දෙකකි. ලංකාවේදී රැකියාවක් සඳහා හෝ අධ්‍යයන පාඨමාලාවක් සඳහා අයදුම් කරන අවස්ථා සෑම එකකදීම වාගේ ඇතැම් විට අනිවාර්යයෙන්ම කළ යුතු නිසාත්, අනෙකුත් අවස්ථා වලදී පුරුද්ද නිසාත් ජාතිය "සිංහල" හා ආගම "බෞද්ධ" ලෙස මා බොහෝ තැන් වල සටහන් කර තිබේ. 

ඉහත අනන්‍යතා දෙකම මට ලැබුණේ මගේ දෙමවුපියන්ගෙනි. එහෙත්, ඔවුන් විසින් කිසිදු දවසක "හොඳට මතක තියාගනින් උඹ   සිංහලයෙක්!" කියා හෝ "පුතේ අපි බෞද්ධයෝ!" කියා උගන්වා හෝ නැවත නැවත මතක් කර දී නැත. මේ දේවල් කුඩා දරුවෙකු ලෙස සිට ලොකු මහත් වෙද්දී ස්වභාවික ලෙසම අවබෝධ වූ දේවල්ය. මෙයින් දෙවැන්න ගැන විශේෂයෙන්ම කියනවානම් මගේ "බෞද්ධ" යන අනන්‍යතාවය නිතිපතා පන්සිල් රැකීම නිසා, නිවන් දැකීම ජීවිතයේ අවසන් ඉලක්කය වූ නිසා හෝ බුද්ධාදී අට තැන පිළිබඳ සැක දුරුවීම නිසා ලැබුණු දෙයක් හෝ අඩු වශයෙන් විශ්වාස මත පදනම්ව ලැබුණු දෙයක් හෝ නොව මේ කිසිදෙයක් නොදත් කුඩා අවදියකදීම ලැබුණු දෙයකි.

මා හිතන පරිදි, මෙය කියවන තවත් බොහෝ දෙනෙකුට තමන්ගේ ජාතික හා ආගමික අනන්‍යතා ලැබී ඇත්තේ මේ ආකාරයෙනි. එය එසේ නොවූ අයද කියවන්නන් අතර ඕනෑ තරම් සිටින්නට පුළුවන.

මගේ සිංහල අනන්‍යතාවය ම පහසුවෙන්ම අර්ථ දක්වා ගත හැකි වුණේ මා කුඩා කාලයේ ඇසුරු කළ අය අතර දෙමළ, මුස්ලිම්, මැලේ වැනි වෙනත් ජාතික අනන්‍යතා තිබුණු අයද සිටි බැවිනි. මා ඇතුළු සිංහලයින් හා මේ වෙනත් අය අතර පැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික වෙනස්කම් තිබුණේය. මේ අයුරින්ම, මා කුඩා කාලයේ ඇසුරු කළ අය අතර කතෝලික, ඉස්ලාම්, හින්දු වැනි වෙනත් ආගමික අනන්‍යතා තිබුණු අයද සිටියහ. මේ කණ්ඩායම් අතර වූ විශ්වාස හෝ ඇදහීම් පිළිබඳ වෙනස්කම් කෙසේවුවත්, අනෙකුත් ආගමිකයින් හා මා ඇතුළු බෞද්ධයින් අතර පැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික වෙනස්කම් මට පැහැදිලිව හෝ ඇතැම් විට අපැහැදිලිව දකින්නට ලැබුණේය. විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් හා සිංහල කතෝලිකයින් අතර වූ සංස්කෘතික වෙනස්කම් පැහැදිලි ලෙස මතු වී පෙනුණේ නැත.

"සිංහල" හා "බෞද්ධ" යන අනන්‍යතා තිබුණත් "ශ්‍රී ලාංකික" යන ජාතිකත්ව අනන්‍යතාවයක් කුඩා කාලයේදී හෝ අඩු වශයෙන් තරුණයෙකු වන තුරු මට නොතිබුණේය. ඒ මගේ දෙමවුපියන් ශ්‍රී ලාංකිකයින් නොවූ නිසා හෝ ඔවුන්ගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය වක්‍ර ලෙස මා වෙත සම්ප්‍රේෂණය නොකළ නිසා නොවේ. මේ අනන්‍යතාවය විසින් සිදු කෙරුණු විශේෂ කර්තව්‍යයක් නොවූ බැවිනි.

මගේ දෙමවුපියන් හෝ ළඟම ඥාතීන් බොහොමයක්ම ලංකාවෙන් පිට සංචාරය කර තිබුණු අය නොවූ අතර මා කුඩා කාලයේදී "ඩුබායි රැල්ල" ලංකාවේ ගම් වලට හමා තිබුණේද නැත. අපේ පැත්ත සංචාරකයින් නිතර පැමිණි පැත්තක්ද නොවේ. ඒ නිසා, එදිනෙදා ජීවිතයේදී මට හැමවිටම වගේ හමු වුණේ "ශ්‍රී ලාංකික" ජාතිකත්වයක් තිබුණු අයයි. එවැනි වටපිටාවක "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයකින් කෙරෙන කාර්යයක් නැත.

ජාතික හා ආගමික අනන්‍යතාවයන්ට අමතරව මා කුඩා කාලයේදී මට කුල අනන්‍යතාවයක්ද තිබුණේය. ඒ, කුල අනන්‍යතාවයට වැදගත් කමක් ලබා දුන් වෙනත් කුල අනන්‍යතා තිබුණු අයද මා අවට දකින්නට සිටි අතර මේ වෙනස් කුල වලට අයත් මිනිසුන් අතර පැහැදිලිව හෝ අපැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික හා සමාජ ආර්ථික වෙනස්කම්ද තිබුණේය. එහෙත්, දළ වශයෙන් හැත්තෑ හතෙන් පසුව ඉහත කී පරිදි විවිධ කුල අනන්‍යතා තිබුණු මිනිසුන් අතර වූ සංස්කෘතික හා සමාජ ආර්ථික වෙනස්කම් හඳුනාගැනීම අසීරු වන තරමටම අපැහැදිලි වී ගියේය. ඒ නිසා, මගේ කුල අනන්‍යතාවයේ වූ වැදගත්කමද ඉතා ඉක්මණින්ම දියාරු වී ගියේය.

සරසවියට ඇතුළු වීමෙන් පසුව, එතෙක් වැඩි වැදගත්කමක් නොතිබුණු තවත් අනන්‍යතාවයකට වැඩි වැදගත්කමක් ලැබෙන්නට විය. ඒ ප්‍රාදේශීය අනන්‍යතාවයි. වෙනත් ප්‍රදේශයකින් අපේ ප්‍රදේශයට ආවාහ විවාහ හරහා හෝ වෙනත් හේතුවක් නිසා සංක්‍රමණය වූ අය කුඩා කාලයේ සිටම මා දැන සිටි අතර මේ බොහෝ දෙනෙක් හැඳින්වුණේ "රිටිගලයා", "දික්වැල්ලා" හෝ "මාතලේ නංගී" වැනි ඔවුන්ගේ මුල් ප්‍රාදේශීය අනන්‍යතාවය සළකුණු වූ නමකින් වුවත් අප අවට සිටි වැඩි දෙනෙකු මේ පැත්තේම ඉපදී, හැදී වැඩී, පවුල් පන්සල් වී, මිය යන්නට නියමිතව සිටි අයයි. මෙයින් වෙනස්ව, සරසවියේදී දක්නට හැකි වූයේ ලංකාවේ හතරදිග් භාගයෙන්ම පැමිණි අයගේ මුසුවකි. එවැනි වටපිටාවකදී, ප්‍රාදේශීය අනන්‍යතාවයක ඇති වැදගත්කම ඉහළ යයි. මීට අමතරව සරසවියේදී පාසැල් අනන්‍යතාවයටද වැදගත් තැනක් ලැබෙයි.

ලංකාවෙන් පිටතට තාවකාලික සංචාරයක් සඳහා හෝ ස්ථිර පදිංචිය සඳහා පැමිණි වහාම ලංකාව තුළදී ඇතැම් අනන්‍යතා වලට වූ වැදගත්කම ගිලිහී වෙනත් ඒවාට වැඩි වැදගත්කමක් ලැබේ. රටින් පිටතදීද ලංකාවෙන් පැමිණි සංක්‍රමණිකයින් අතර ලංකාවේදී වැදගත් සේ සැලකුණු (පාසැල් හෝ ප්‍රාදේශීය අනන්‍යතා වැනි) අනන්‍යතාවන්ට වැදගත්කමක් තිබුණත් එයින් පරිබාහිර පොදු සමාජයේදී ප්‍රමුඛ වන්නේ "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයයි. අඩු වශයෙන් ඇමරිකාවේදී, "සිංහල" හෝ "බෞද්ධ" ආදී අනෙකුත් අනන්‍යතාවයන්ට ලැබෙන්නේ ඊට වඩා අඩු වැදගත්කමකි.

"සිංහල" අනන්‍යතාවය ඇති සෑම කෙනෙකුටම වාගේ ප්‍රමුඛව හෝ නැතිව "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයක්ද තිබේ. "ශ්‍රී ලංකාව" ලෙස දැන් හැඳින්වෙන බිම්කඩ ඇතුළත සියවස් ගණනාවකට පෙර "සිංහල" යන අනන්‍යතාවය ඇති වීමෙන් පසු එම අනන්‍යතාවය අඛණ්ඩව දිගින් දිගටම පවත්වාගෙන තිබෙන්නේ "ශ්‍රී ලංකාව" නම් වූ දිවයින තුළ ජීවත්ව සිටි අයයි.

සියවස් ගණනාවක් තිස්සේ සිංහලයින්ට මෙසේ සිය අනන්‍යතාවය ගිලිහෙන්නට නොදී පවත්වාගන්නට හැකි වී තිබෙන්නේ සිංහල නොවන වෙනත් අනුරූපී අනන්‍යතා තිබුණු අයද දිවයින තුළ සියවස් ගණනක් තිස්සේ අඛණ්ඩව ජීවත්ව සිටි බැවිනි. මේ බොහෝ දෙනෙක් වෙළඳාම හෝ වෙනත් ආර්ථික වාසි පිණිස, යුද පිණිස, ඉගෙනීම සඳහා හෝ ආවාහ විවාහ හරහා ලංකාවට සංක්‍රමණය වූ හෝ තාවකාලික පදිංචිය පිණිස පැමිණි විදේශිකයෝය. ලංකාවට ආසන්නවම පිහිටි දකුණු ඉන්දියාවෙන් හෙවත් "දෙමළෙන්" "සිංහලයට" පැමිණි විදේශිකයින් ඒ අතර වැඩියෙන් සිටින්නට ඇත.

සහශ්‍ර දෙකකටත් පෙර සිට ලංකාව විවිධ ජාතීන් ආකර්ශනය කර ගත් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවැතී ඇති බව ඕනෑ තරම් සාධක ඇති කරුණකි. එවැනි තැනක විවිධ සංස්කෘතික අනන්‍යතා ඇති මිනිසුන් නිතර දකින්නට ලැබීම සාමාන්‍ය දෙයකි. තාවකාලික සංචාර බොහෝ විට ස්ථිර සංක්‍රමණයන්ටද මුල පුරයි. මෙසේ වෙනත් රටකට සංක්‍රමණය වන්නන් ගමනාන්ත සංස්කෘතිය උකහා ගන්නා තුරු තමන්ගේ මුල් සංස්කෘතිය හැකි තරමින් පවත්වා ගන්නා බව රහසක් නොවේ. එකම රටකින් තවත් රටකට කෙටි කාලයක් තුළ විශාල පිරිසක් පැමිණි විට මුල් රටේ සංස්කෘතියට බොහෝ සමාන සංස්කෘතියක් ගමනාන්ත රටේ ස්ථිර ලෙස ඇති වන්නට පුළුවන් වුවත් මේ සඳහා සාධක ගණනාවක දායකත්වය අවශ්‍ය වේ.

පසුගිය සියවසේ අගභාගය දක්වාම ඉතිහාසය පුරා කවර කලෙක හෝ සිංහලයින් විසින් සාර්ථක ලෙස තමන්ගේ සංස්කෘතිය ශ්‍රී ලංකා දිවයිනෙන් ඔබ්බට ව්‍යාප්ත කර නැත. එහෙත්, කිසිදු සිංහලයෙකු සියවස් ගණනක ඉතිහාසය පුරා ආර්ථික වාසි සොයමින් හෝ වෙනත් හේතු මත අඩු වශයෙන් ආසන්නයේ ඇති තමිල්නාඩුවට හෙවත් "දෙමළෙට" හෝ සංක්‍රමණය නුවූවායැයි සිතිය නොහැකිය. ඇතැම් සිංහලයින් විසින් කලින් කලට එසේ වත්මන් දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වන්නට ඇත. එහෙත්, එසේ සංක්‍රමණය වූවන් "නොදන්නා දෙමළෙට ගොස් වරිගෙ නහගත්තා" මිස එහි සිංහල සංස්කෘතියක් ස්ථාපිත කරන්නට සමත්ව නැත. අතරින් පතර දකුණු ඉන්දියාවට සංක්‍රමණය වූ සිංහලයෙකුගේ සිංහල අනන්‍යතාවය ඇතුළු අනෙකුත්  අනන්‍යතා, එසේත් නැත්නම් ඔහුගේ "වරිගෙ", ප්‍රබල දෙමළ සංස්කෘතිය තුළ දියාරු වී යන්නට ඇත.

පසුගිය සියවසේ අගභාගයේ සිට ඉහත තත්ත්වය යම් තරමකින් වෙනස් වෙමින් තිබේ. මේ වන විට සිංහල සංස්කෘතිය සමුදුරු තරණය කර යම් තරමකින් හෝ ලෝකයේ සියළුම මහාද්වීප කරා ව්‍යාප්තව නැතැයි කිසිවකු කියන්නේනම් එය නිවැරදි නැත.

(මතු සම්බන්ධයි)

Thursday, March 15, 2018

අපේ අනන්‍යතා


මුස්ලිමුන් ලංකාවේ බහුතරය වේද යන ප්‍රශ්නය ගැන කතා කරන්නට පෙර පැහැදිලි කරගත යුත්තේ සිංහල හෝ මුස්ලිම් ලෙස ලාංකිකයින්ව වෙන් කරන බෙදුම් ඉර කුමක්ද යන්නයි. සිංහලයෙකු හා ශ්‍රී ලාංකික මුස්ලිමෙකු ඔවුන්ගේ ශරීර වල බාහිර පෙනුමෙන් තබා අඩු වශයෙන් ජාන පරීක්ෂාවකින් හෝ පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකියැයි මා සිතන්නේ නැත. සිංහලයින් හා ශ්‍රී ලාංකික මුස්ලිමුන් අතර තිබෙන්නේ සංස්කෘතික වෙනස්කම් පමණි. ඒ නිසා, බිළිඳු වියේ සිටම සිංහල පවුලක හැදෙන මුස්ලිම් දෙමවුපිය යුවලකගේ දරුවෙකුට (හෝ බිළිඳු වියේ සිටම මුස්ලිම් පවුලක හැදෙන සිංහල දෙමවුපිය යුවලකගේ දරුවෙකුට) ඒ බව නොදන්නේනම් වැඩිවිය පත් වෙද්දී කිසිදු අමුත්තක් දැනෙන්නේ නැත.

මෙයින් වෙනස්ව යුරෝපීය (සුදු) දෙමවුපිය යුවලක් විසින් කුඩා කාලයේ සිට හදා වඩා ගන්නා සිංහල (හෝ ශ්‍රී ලාංකික මුස්ලිම්) දරුවෙක්ට කලක් යද්දී තමන් තමන්ගේ පවුලේ අනෙක් අයගෙන් වෙනස් "අමුතු සතෙක්" බව ස්වභාවිකවම දැනෙන්නට පටන් ගනී.

සිංහල හෝ මුස්ලිම් යනු ලාංකිකයෙකුගේ මනසේ ඇති අනන්‍යතාවන් ගණනාවකින් එකකි. යමෙක් සිංහල හෝ මුස්ලිම් වන්නේ එවැන්නෙකු එසේ සිතන බැවිනි. යමෙක් එසේ සිතන්නේ ඔවුන්ට කුඩා කාලයේ සිට, බොහෝ විට ඔවුන්ගේ දෙමවුපියන් විසින්, එසේ සිතන්නට පුරුදු කරන බැවිනි. දෙමවුපියන් සිය දරුවන්ට මෙසේ සිතන්නට පුරුදු කරන්නේ ඔවුන් මෙවැනි සාමූහික අනන්‍යතාවයකට ඉහළ වටිනාකමක් දෙන බැවිනි. වෙනත් අයුරකින් කියනවානම්, ඔවුන්ගේ අනන්‍යතා පෙළ ගැස්මෙහි "සිංහල" එසේ නැත්නම් "මුස්ලිම්" යන අනන්‍යතාවය ඉහළින් ශ්‍රේණිගතව ඇති බැවිනි.

ජන සංගණනයකදී හෝ වෙනත් අවස්ථාවකදී යමෙක් තමන් සිංහලයෙකු ලෙස කැමැත්තෙන්ම හඳුන්වාදෙන්නේ එය එවැන්නෙකුගේ අනන්‍යතාවයන්ගෙන් එකක් වන බැවිනි. මෙසේ තමන්ව හඳුන්වා ගන්නා කණ්ඩායම අපි පොදුවේ සිංහලයින් වශයෙන් ගණන් ගන්නෙමු. එහෙත්, එය එසේ වූ පමණින් මේ සියලු දෙනාටම සිංහල යන අනන්‍යතාවය එක තරමට වැදගත් බව අදහස් නොවේ.

උදාහරණයක් ලෙස කිසියම් පුද්ගලයෙකුට "සිංහල" යන අනන්‍යතාවයට අමතරව "බෞද්ධ", "ශ්‍රී ලාංකික", "දකුණේ", "ගොවිගම", "සමරවික්‍රමලා", "විශාකියන්", "යූඑන්පී" වැනි තවත් අනන්‍යතා ගණනාවක් තිබෙන්නට පුළුවන. මේ අනන්‍යතා වලින් ඇතැම් ඒවා "සිංහල" යන අනන්‍යතාවයට ඉහළින්ද තවත් ඒවා ඊට පහළින්ද තිබිය හැකිය. බොහෝ දෙමවුපියන් විසින් තමන්ගේ අනන්‍යතා ලැයිස්තුවේ ඉහළින් ඇති, තමන් විසින් වඩා වැදගත්යැයි සිතන අනන්‍යතාවන් සිය දරුවන් මත සම්ප්‍රේෂණය කරන්නට උත්සුක වන නමුත් ලැයිස්තුවේ පහළින් ඇති තමන්ට එතරම් නොවැදගත් අනන්‍යතා එසේ සම්ප්‍රේෂණය කරන්නට මහන්සි වන්නේ නැත. එවැනි අනන්‍යතා පරම්පරාවෙන් පරම්පරාවට මුළුමනින්ම සම්ප්‍රේෂණය නොවී කාලයත් සමඟ නැති වී යා හැකිය.

"සිංහල" යන අනන්‍යතාවයේ ආරම්භය ගැන අප කුඩා කාලයේ අසා ඇති, මෙය කියවන කවුරුත් වාගේ දන්නා, කතාවක් තිබේ. ඒ විජයාවතරණයෙන් පටන්ගන්නා මහා වංශ කතාවයි. මේ කතාව කතාවක් පමණක් විය හැකි වුවත් අදාළ කාලයේදී මේ කතාවෙන් කියවෙන ආකාරයේ විවිධ කණ්ඩායම් වත්මන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් ලංකාවට සංක්‍රමණය වූ බව සිතන්නට සාධක තිබේ. මෙය කියවන අය අතර වෙනස් මත තිබෙන අය සිටිය හැකි වුවත්, එසේ පැමිණි සංක්‍රමණිකයින් තාක්ෂනය අතින් (විශේෂයෙන්ම යුද තාක්ෂනය අතින්) එවකට ලංකාවේ සිටි පිරිස් වලට වඩා ඉදිරියෙන් සිට ඇති බව වැඩි ඉඩකඩක් ඇති කරුණකි.

විජයාවතරණයෙන් සංකේතවත් වන සංක්‍රමණ රැල්ලකින් පටන් ගත්තේයැයි සිතිය හැක්කේ දැන් අප ලංකාව ලෙස හඳුනාගන්නා භූමි භාගය තුළ අප දන්නා ඉතිහාසය තුළ සිදු වී ඇති විශාලතම සංස්කෘතික පරිවර්තනයි. අශෝක-දේවානම්පිතිස්ස කාලයේදී මේ සංස්කෘතික පරිවර්තනය බොහෝ දුරට සම්පූර්ණ වූ සේ සැලකිය හැකිය.

මහා වංශ ඉතිහාසයේ මුල් සියවස් තුන තුළ දිගින් දිගටම වත්මන් ඉන්දියානු අර්ධද්වීපයෙන් ලංකාවට සංක්‍රමණිකයින් පැමිණීම නිසා සිදුවූ පරිවර්තනය ඇමරිකානු මහාද්වීපයට යුරෝපීයයන් පැමිණීමෙන් පසුව උතුරු ඇමරිකාවේ සිදුවූ දෙයට වඩා දකුණු ඇමරිකාවේ සිදු වූ දෙයට සමාන වන්නට පුළුවන. දකුණු ඇමරිකාවේදී උතුරු ඇමරිකාවේදී තරමටම ස්වදේශිකයින් මිය ගියේ නැති අතර යුරෝපීයයන්ගේ සංස්කෘතිය තුළට ස්වදේශික සංස්කෘතීන් පහසුවෙන් අවශෝෂණය විය.

ලංකාවට වත්මන් ඉන්දියාවෙන් හෝ වෙනත් කිසිදු රටකින් සංක්‍රමණය වූවෙකු සිංහල අනන්‍යතාවයක් රැගෙන ආවේ නැත. එසේ ගෙන එන්නට එවැනි අනන්‍යතාවයක් ලෝකයේ කොහේවත් තිබුණේද නැත. සිංහල අනන්‍යතාවය ලංකාව ඇතුළෙන්ම බිහි වූවකි. බොහෝ විට මෙය සිදුවන්නට ඇත්තේ මහා වංශ ඉතිහාසයේ මුල් සියවස් තුන ඇතුළතදීය.

සිංහල අනන්‍යතාවය බිහි වුණේ ලංකාව ඇතුළේම වුවත් ඒ අනන්‍යතාවය බිහිවීමට පාදක වූ දේවල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රැගෙන ආවේ විජයාවතරණයේ සිට මහින්දාගමනය දක්වා කාලය තුළ වත්මන් ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශ වලින් ලංකාවට සංක්‍රමණය වූ අයයි. සිංහල භාෂාව විකාශනය වන්නේ මේ කාලයේදී ඊසානදිග ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයින් විසින් කතා කළ භාෂාවෙන්යැයි සිතන්නට සාධක තිබේ. ලංකාවේ දැනට ප්‍රචලිතව ඇති බුද්ධාගමේ ප්‍රභවය ඒ කාලයේ ඊසානදිග ඉන්දියාවේ වූ බුද්ධාගම බව පැහැදිලි කරුණකි.

ලංකාවේ බුද්ධාගම ප්‍රචලිත වීමෙන් පසු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ බෞද්ධ අනන්‍යතාවයද පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නට තරම් වැදගත් දෙයක් විය. ඒ අතර, කෘෂි ආර්ථිකයක් තුළ ලංකාවේ සමාජ ක්‍රමය සකස්වෙද්දී කුල අනන්‍යතාවයද පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නට තරම් වැදගත් දෙයක් බවට පත් විය.

කිසියම් අනන්‍යතාවයකට වැදගත් තැනක් ලැබෙන්නටනම් අදාළ අනන්‍යතාවයෙන් බාහිර වෙනත් අනන්‍යතාද දෘශ්‍යමානව තිබිය යුතුය. ඉතිහාසය පුරා දිගින් දිගටම ලංකාවට පැමිණි සංක්‍රමණිකයින් හා තාවකාලික සංචාරකයින් විසින් මේ අවශ්‍යතාවය සැපිරුවේය. ඉතිහාසයේ බොහෝ යුග වලදී සිංහලයින් නොවන වෙනත් ජාතීන්ද, බෞද්ධයින් නොවන වෙනත් ආගමිකයින්ද තාවකාලිකව හෝ ස්ථිරව ලංකාවේ ජීවත් වී තිබේ.

විවිධ කුල වලට අයත් පිරිස්නම් සියවස් ගණනක් තිස්සේ අඛණ්ඩව, එකිනෙකින් වෙනස් උප සංස්කෘතික කණ්ඩායම් (අනන්‍යතා) ලෙස, ලංකාව තුළම සිටියේය. ඒ නිසා, "සිංහල" හා "බෞද්ධ" යන අනන්‍යතා මෙන්ම ලංකාවේ සිංහලයින් අතර ප්‍රචලිත විවිධ කුල අනන්‍යතාද සියවස් ගණනක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය විය. එයින් අදහස් වන්නේ මේ අනන්‍යතා දැරූ පුද්ගලයින් සියල්ලන්ම විසින් යම් අනන්‍යතාවයක් එක් අයුරින්ම අර්ථකථනය කරගත් බව හෝ එවැනි අනන්‍යතාවන්ගේ ලක්ෂණ කාලයත් සමඟ පරිණාමය නොවූ බව නොවේ. "සිංහල" හා "බෞද්ධ" ආදී අනන්‍යතාවයන්ගේ ලක්ෂණ කාලයත් සමඟ දිගටම පරිණාමය විය.

මෙවැනි අනන්‍යතාවයකට අනුරූප වූ ඇඳුම් පැළඳුම්, කෑම බීම, සිරිත් විරිත් ආදිය මේ අයුරින් කාලයත් සමඟ සෙමින් හා වෙනස් වෙමින් ගොඩ නැගෙද්දී ආවාහ විවාහ ආදියේදී මේ අනන්‍යතා වලට වැදගත් තැනක් ලැබුණේය. දෙමෙලන්ට රට නා තැන් (ප්‍රාදේශීය නායක තනතුරු) හෝ දරු අවා (දරුවන් ආවාහ කර) නොදෙනුයි ටැම් ලිපි වල ලියැවී තිබෙන්නේ (බදුලු ටැම් ලිපිය) අනුරාධපුර යුගය අවසන් වෙන්නටත් පෙර තෙවන උදය රජුගේ කාලයේදීමය. ලංකාවේ ආවාහ විවාහ වලදී ජාතික, ආගමික මෙන්ම කුල අනන්‍යතාවයද මේ වන විටත් වැදගත් සාධකයකි.

කිසියම් අනන්‍යතාවයක් වැදගත් සේ සලකන බොහෝ අය බොහෝ විට එයට අනුරූප අනන්‍යතා වලට වෙනත් අයත් අඩුවැඩි නැතිව තමන් තරමටම බර තබන්නේයැයි (හෝ එසේ බර තැබිය යුතුයැයි) සිතති. එහෙත්, එවැනි ඇතැම් අනුරූප අනන්‍යතා ඇතැම් අයට කිසිසේත්ම වැදගත් නොවනවා පමණක් නොව එවැන්නක් තමන්ගේ අනන්‍යතාවක් සේ නොසලකන්නටද පුළුවන.

තමන්ගේ ජාතික අනන්‍යතාවයට වැඩි බරක් තබන බොහෝ දෙනෙකු බොහෝ විට සිතන්නේ වෙනත් අයටත් ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය තමන්ට තරමටම වැදගත් බවයි. මේ අයුරින්ම, තමන්ගේ ආගමික අනන්‍යතාවයට වැඩි බරක් තබන බොහෝ දෙනෙකු බොහෝ විට සිතන්නේ වෙනත් අයටත් ඔවුන්ගේ ආගමික අනන්‍යතාවය තමන්ට තරමටම වැදගත් බවයි. එහෙත්, ඇතැම් අයට මෙවැනි අනන්‍යතාවයක් කිසිසේත්ම නොවැදගත් විය හැකිය.

ජාතික, ආගමික, ප්‍රාදේශික හෝ කුල අනන්‍යතාවයන් වැදගත් සේ නොසලකන අයගේද මෙවැනිම අවුලක් තිබේ. ඒ, වෙනත් අයට එවැනි අනන්‍යතා කොතරම් වැදගත්ද යන්න තේරුම් ගන්නට අපහසු වීමයි.

කිසියම් අනන්‍යතාවයක් වැදගත් සේ සලකන අයෙකු බොහෝ විට කරන දෙයක් වන්නේ අනුරූප අනන්‍යතාවයක් පෙනෙන්නට නැති අයටද එවැනි අනන්‍යතාවයක් බලහත්කාරයෙන් හෝ කෘතීම ලෙස ආරෝපණය කිරීමයි. උදාහරණයක් ලෙස හින්දු ආගමිකයින් බොහෝ දෙනෙකුට ඔවුන් අදහන විෂ්ණු, ශිව හෝ කාලි වැනි ප්‍රධාන දෙවි කෙනෙකු සිටී. මේ ප්‍රධාන දෙවියා ඇදහීම එවැන්නෙකුගේ අනන්‍යතාවයකි. එවැනි ඇතැම් අය බෞද්ධාගමිකයින් තේරුම් ගන්නේද බුද්ධ නම් වූ එවැනිම දෙවි කෙනෙකු අදහන්නන් පිරිසක් ලෙසිනි.

මේ අයුරින්ම, කුල භේද නොසලකන කිසියම් මුස්ලිම් සංස්කෘතියක හෝ යුරෝපීය සංස්කෘතියක සිටින්නෙකු තමන්ගේ කුල ධුරාවලියේ නිශ්චිත තැනක ස්ථානගත කරන්නට සිංහලයන්ට අවශ්‍ය වෙයි. ඒ, කුල අනන්‍යතාවයට ලොකු බරක් තබන අයෙකුට "ජම්මයක් නැති" (කුලයක් නැති) පුද්ගලයෙක් ගැන සිතා ගැනීම අපහසු බැවිනි. යුරෝපීයයන් පැමිණෙන විට ලංකාවේ පැවති ව්‍යවහාර නීතිය ලේඛනගත කර ඇති නීති නිඝන්ඩුවෙහි "මෑත කාලවලදී ජම්මභේද නැත්තා වූ නානා දේශ වලින් මේ රටට පැමිණ පදිඤචිව සිටිනා මනුෂ්‍ය වර්ගයයන්ගෙන් කවිසිද, ජාවෝද, යොන්නුද යන මේ තුන්ගොල්ලම ගොවිවංශයේ මුදලිපේරුවේ අයවලට අධම වූයයි ව්‍යවහාරව පවතිනා බව දතයුතු" බව කියන්නේ මේ රීතිය අනුවය.

සංගණනයකදී සිංහල යන පොදු කුලකය තුළට ගොනු කෙරෙන කණ්ඩායමේ සියල්ලන්ම සිංහල යන අනන්‍යතාවයට යම් බරක් තබන්නන් වුවත්, මේ බර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි. ඇතැම් අයට ඇතැම් අවස්ථා වලදී එය තමන්ගේ "මම" යන අනන්‍යතාවයටද වඩා වැදගත් වේ. ජාතිය වෙනුවෙන් මැරෙන්නට හිතන්නේ එසේ වූ විටය. බොහෝ සිංහලයින්ට තමන්ගේ ජාතික අනන්‍යතාවය ආගමික අනන්‍යතාවයට වඩා වැදගත් වුවත් (මා ලියන මෙවැනි ඇතැම් දේ මගේ පෞද්ගලික නිරීක්ෂණ මිස වෙනත් මූලාශ්‍ර වලින් ලබාගත් දේ නොවේ. ඒ නිසා, එකඟ නොවන කෙනෙකුට මා සමඟ එකඟ නොවී සිටිය හැකිය.) ජාතික අනන්‍යතාවය ආගමික අනන්‍යතාවය තරම් වැදගත් සේ නොසලකන සිංහලයෝද සිටිති. ජාත්‍යන්තර බෞද්ධයින් මෙවැනි අයයි.

ජාතික හෝ ආගමික අනන්‍යතාවයයට වැඩි බරක් තබන අයට තේරුම් ගන්නට අපහසු වුවත් ජාතිකත්ව අනන්‍යතාවයට වැඩි බරක් තබන ශ්‍රී ලාංකිකයෝද සිටිති. එමෙන්ම, ජාතිකත්වය පවා වැදගත් සේ නොසලකන ජාත්‍යන්තරවාදීහුද සිටිති. ජාතික හෝ ආගමික අනන්‍යතාවයට වැඩි බරක් තබන බොහෝ දෙනෙකුට මෙසේ එවැනි අනන්‍යතාවයන්ට වැඩි බරක් නොතබන අය අවබෝධ කර ගැනීම අපහසු නිසා ඔවුන් කරන්නේ එවැන්නන් මත කවර හෝ ජාතික (හෝ ආගමික) අනන්‍යතාවයක් පැටවීමයි. උදාහරණයක් වශයෙන් සිංහල අනන්‍යතාවයට වැඩි බරක් පටවන සිංහලයකු එසේ නොකරන සිංහලයෙකු දෙමළෙකු සේ දකින අවස්ථා තිබේ. බෞද්ධ අනන්‍යතාවයට වැඩි බරක් පටවන බෞද්ධයෙකු එසේ නොකරන බෞද්ධයෙකු ක්‍රිස්තියානුවෙකු සේ දකින අවස්ථා තිබේ. සියවස් ගණනකට පෙර සිංහලයින් විසින් කුල භේද නොසලකන ඉස්ලාම් භක්තික සංක්‍රමණිකයින් තමන්ගේ කුල ධුරාවලිය තුල ස්ථානගත කර ඇත්තේද මේ අයුරිනි.

සිංහල අනන්‍යතාවයට තමන්ගේ දේශපාලන අනන්‍යතාවයට (අපි යූඑන්පී, අපි වමේ) වඩා වැඩිබරක් තබන ඇතැම් අය සිතන්නේ අනෙකුත් සිංහලයින් විසින්ද එසේ කළ යුතු බවයි. ඔවුන් අවබෝධ කර නොගන්නේ ඇතැම් අයගේ ජාතික අනන්‍යතාවය ඔවුන්ගේ දේශපාලන අනන්‍යතාවයට වඩා පහළින් තිබීම එහි විලෝමය මෙන්ම ස්වභාවික දෙයක් බවයි. සංක්ෂිප්තව කියනවානම් පුද්ගලයෙකුගේ අනන්‍යතාවයන් පමණක් නොව පුද්ගලයෙකු විසින් අනන්‍යතාවයන් නිර්ණය කරගන්නා පදනම්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එහෙත්, මෙවැනි අනන්‍යතා බෙදීම් සංගණනයක, ජනමත සමීක්ෂණයක හෝ නීතියක කොටසක් වූ විට සිදුවන්නේ ඉහත දෙවන කරුණ නොසලකා හරිමින් පුද්ගයින්ගේ අනන්‍යතාවන් වෙනස් වූවත් ඒ අනන්‍යතා නිර්ණය කෙරෙන පදනම නිශ්චිත දෙයක් සේ සලකනු ලැබීමයි.

(මතු සම්බන්ධයි)

Tuesday, March 13, 2018

හතරේ සීමා, හයේ සීමා හා යාර තිහේ සීමා


මෙය කියවන සියලු දෙනාම වගේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නා අයයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණක් ලබා ගැනීම සඳහා ක්‍රීඩකයින් දෙදෙනා කඩුළු අතර අනෙක් අන්තයට දිව යා යුතුය. ලකුණු දෙකක් හෝ තුනක් ගැනීමටනම් මේ අයුරින් පිළිවෙලින් දෙවරක් හෝ තෙවරක් කඩුළු අතර මාරු විය යුතුය. එහෙත්, ලකුණු හතරක් ගැනීම සඳහා එසේ කඩුළු අතර දිවීම අවශ්‍යම නොවන අතර හතරේ සීමාව නම් වූ පිට්ටනියේ ලකුණු කර ඇති මායිමෙන් ඔබ්බට පන්දුව යන්නට සැලැස්වීම ප්‍රමාණවත්ය.

ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුළු අතර දිව නොයමින් එකවර ලකුණු හතරක් ලබාගත හැකි අයුරින්ම එකවර ලකුණු හයක් ලබා ගැනීමටද හැකියාවක් තිබේ. ඒ සඳහා හතරේ සීමාවෙන් ඔබ්බේ ඇති වඩා පුළුල් තවත් මායිමකින් ඔබ්බට පන්දුව යැවිය යුතු නැත. කළ යුත්තේ අර හතරේ සීමාවෙන් ඔබ්බටම බිම නොගැටී පන්දුව යන්නට සැලැස්වීමයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ හතරේ සීමාවක් මිස හයේ සීමාවක් කියා වෙනම සීමාවක් නැත.

ක්‍රිකට් ක්‍රීඩාවේදී හතරේ සීමාව ඉතා වැදගත් සීමාවකි. ඒ සීමාව කාටත් පැහැදිලිව දැකගත හැකි පරිදි පිට්ටනියේ පැහැදිලිව ලකුණු කර තිබේ. හයේ සීමාවක් කියා වෙනම සීමාවක් නැතත් හතරේ සීමාවට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් සීමා තිබේ. යාර තිහේ සීමාව එවැනි සීමාවකි. යාර තිහේ සීමාව ලකුණු කෙරෙන්නේ හතරේ සීමාව ඇතුළෙනි.

යාර තිහේ සීමාව ක්‍රිකට් ක්‍රීඩාවේදී හතරේ සීමාව තරම් වැදගත් නැති වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවන සීමාවකි. පන්දුව මේ සීමාවෙන් ඔබ්බට යැවූ පමණින් පිතිකරුවෙකු ඉදිරියේ කිසිදු ලකුණක් සටහන් වන්නේ නැත. පන්දුව මේ සීමාවෙන් ඔබ්බට ගියත් නොගියත් ලකුණක් ලබාගැනීමටනම් කඩුළු අතර දිව යා යුතුය.

අප බොහෝ දෙනෙකු තුළත් මේ ආකාරයේ හතරේ සීමා, හයේ සීමා හා යාර තිහේ සීමා තිබේ. ඒවායින් ඇතැම් සීමා හතරේ සීමාව හා හයේ සීමාව මෙන් එකිනෙක මත අතිපිහිත වී තිබේ. තවත් ඒවාට තිබෙන්නේ යාර තිහේ සීමාවට මෙන් අඩු වැදගත් කමකි. මේ සීමා යනු අපේ මනසේ ඇති අනන්‍යතාවන්ය.

අතළොස්සක් හැර බොහෝ දෙනෙකුට මේ සීමාවන්ගෙන් දෙකක් පොදුය. එයින්, පළමුවැන්න "මම" යන සීමාවයි. දෙවැන්න මිනිසෙකු යන සීමාවයි. පැහැදිලිව හඳුනාගත හැකි ඉහත සීමා දෙක අතර ජාතිය, ආගම, ජනවර්ගය, ජාතිකත්වය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල (අපි නාලන්දෙ) හෝ සරසවිය (අපි පේරා) ආදී තවත් සීමා අටෝරාසියක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන.

"මම" යන සීමාව සෑහෙන තරම් පැහැදිලි සීමාවකි. සිතුවිලි මාත්‍රයකින් අපේ කැමැත්ත පරිදි පාලනය කළ හැකි අපේ ශරීරාංග අපි "මම" ලෙස හඳුනාගන්නෙමු. ඉතිරි සියල්ල මගෙන් බාහිර ලෝකයයි. මේ අයුරින්ම, අපට බොහෝ ආකාරයන්ගෙන් සමාන වන සරීර කූඩු ඇති වෙනත් අය අපට පහසුවෙන්ම මිනිසුන් ලෙස වෙන්කර හඳුනාගත හැකිය. එහෙත්, මේ සීමා දෙක අතර ඇති අනෙකුත් සීමාවන් ඒ තරම්ම පැහැදිලි නැති අතර බොහෝ විට අපේ දැනුම මත මිස බාහිර පෙනුම අනුව "ස්වභාවික ලෙස" හඳුනා ගැනීමටද නොහැකිය. මේ අතරමැදි සීමාවන්ට ඇති වැදගත්කම සෑහෙන දුරකට එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි.

විවිධාකාරයේ විධිමත් හා අවිධිමත් සංස්ථාපිත ආයතන මඟින් ඉහත කී ආකාරයේ ඇතැම් අතරමැදි සීමාවන් ප්‍රවර්ධනය කරන අතර තවත් ඇතැම් සීමා ඉරි මකා දැමීම ප්‍රවර්ධනය කරයි. අද වන විට ලෝකයේ ප්‍රබලම සංස්ථාපිත ආයතන වන්නේ රාජ්‍යයන්ය. මේ බොහෝ රාජ්‍යයන් විසින් ආසන්න වශයෙන් දෙසියවසක පමණ කාලයක සිට විධිමත් හා අවිධිමත් දැනුම් පද්ධති සෘජුව හෝ වක්‍රව පාලනය කිරීම මඟින් පුද්ගලයින් නිශ්චිත රාජ්‍යයන් සංඛ්‍යාවක් අතර බෙදා හරින සීමා ඉරි ප්‍රවර්ධනය කරන අතර ජාතිකත්ව බෙදීම් දළ වශයෙන් මේ සීමා ඉරි වලට අනුරූපය. රාජ්‍යයන්ගේ පැවැත්ම සඳහා මේ ජාතිකත්ව සීමා ඉරි නැතුවම බැරි බැවින් සියලුම රාජ්‍යයන් පවත්වාගෙන යන රජයයන් විසින් එවැනි සීමා ඉරි දිගින් දිගටම ප්‍රවර්ධනය කිරීම තේරුම් ගත හැකි දෙයකි. මේ කටයුත්ත විධිමත් දැනුම් පද්ධතිය හරහා ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට බොහෝ දෙනෙකු මේ ජාතිකත්ව සීමා ඉරි තිබීම ගැටළුවක් හෝ නරක දෙයක් සේ සලකන්නේ නැත.

දළ වශයෙන් කිසියම් පුද්ගලයෙකුගේ ජාතිකත්වය යනු එවැන්නෙකුගේ පුරවැසිකම හා කිට්ටුවෙන් යන නෛතික සංකල්පයකි. ඇමරිකා එක්සත් ජනපදය ගත් කළ, සියළුම ඇමරිකානු පුරවැසියන් ඇමරිකානු ජාතිකයින් වන නමුත් සියළුම ඇමරිකානු ජාතිකයෝ ඇමරිකානු පුරවැසියෝ නොවෙති. ඇමරිකානු පුරවැසි සීමා ඉර ඇමරිකානු ජාතිකත්ව සීමා ඉරට ඇතුළෙන් ඇති එකකි. ජාතිකත්වය යන සංකල්පය වෙනත් තැන් වල වෙනත් ආකාර වලින් අර්ථ දැක්වෙන්නට පුළුවන.

ජාතිය, ආගම, ජනවර්ගය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල හෝ සරසවිය ආදී වෙනත් සීමා ඉරි හා අදාළවද සියළු දෙනාටම එකඟ විය හැකි සම්මත අර්ථකථන නැත. ඇමරිකා එක්සත් ජනපදයේදී ජනවර්ගය යන සංකල්පය පාදක වන්නේ පුද්ගලයෙකුගේ ශරීර ස්වභාවය හා අදාළ වූ පහසුවෙන් හඳුනාගත හැකි සාධක මතය. සුදු, කළු හෝ ආසියානු ජනවර්ගයකට අයත් වූවෙකු බාහිර ශරීර ස්වභාවය අනුව වෙන්කර හඳුනාගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. වෙනස් ජනවර්ග අතර මිශ්‍ර විවාහ වලින් බිහිවන දරුවන් "මිශ්‍ර" නම් වූ වෙනම කැටගරියක් යටතේ හඳුනාගැනේ.

ඇමරිකානු අර්ථදැක්වීම අනුව සැලකුවොත් ලංකාවේ වෙනස් ජනවර්ග නැත. ශ්‍රී ලාංකික සිංහලයින්, දෙමළුන් හා මුස්ලිමුන් ඔවුන්ගේ සංස්කෘතික සංකේත නොවේනම් ශරීර ස්වභාවයෙන් පමණක් වෙන් කර හඳුනා ගැනීම පහසු කටයුත්තක් නොවේ. මා දන්නා තරමින් ජාන විශ්ලේෂණයකින් පවා මේ කටයුත්ත කිරීම අසීරු දෙයකි. ඒ තබා, චීන හා මැලේ සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයින් පවා මේ වන විට බාහිර ස්වරූපයෙන් සෑහෙන තරමින් සිංහලයින්ට සමානය. ලංකාවේදී ජාති හෝ ජනවර්ග ලෙස පුද්ගලයින් වෙන් කරන්නේ සංස්කෘතික වෙනස්කම් පදනම් කර ගනිමිනි.

ජාති හෝ ජනවර්ග ආදී බෙදීම් වලට සියලු දෙනාට එකඟ විය හැකි නිශ්චිත අර්ථකතන නැති බැවින් මා මේ වචන භාවිතා කරන්නේ සැහැල්ලු ආකාරයකිනි. ඒ නිසා, "ශ්‍රී ලාංකික මුස්ලිම්" හෝ "ශ්‍රී ලාංකික දෙමළ" යනු ජාතියක්ද නැත්නම් ජනවර්ගයක්ද යන්න ගැන මා එතරම් වද වෙන්නේ නැත.

කිසියම් පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, ජනවර්ගය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල හෝ සරසවිය ආදිය බොහෝ විට තීරණය වන්නේ අදාළ පුද්ගලයා විසින් තමන්ව හඳුන්වා ගන්නා ආකාරය අනුවය. කිසියම් නිශ්චිත පුද්ගලයෙකුට "මම" හා "මිනිසෙකු" යන සීමා ඉරි අතර මෙවැනි අනන්‍යතා ඉරි ගණනාවක් තිබෙන්නට පුළුවන. එමෙන්ම, එවැන්නෙකුගේ ජීවිත කාලය තුළ එවැනි සීමා ඉරි මැකී යන්නට හෝ වෙනස් වන්නටද පුළුවන. ඉහත ආකාරයේ සාමූහික අනන්‍යතා බොහොමයටම තිබෙන්නේ සාපේක්ෂ තේරුමක් නිසා ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ගෝත්‍රවාදය, පවුල්වාදය, පාසැල් වාදය ආදී සංකල්ප වලටද තිබෙන්නේ සාපේක්ෂ තේරුම්ය.

ඇතැම් අය සිතන පරිදි ආගම යනු ඕනෑම මොහොතක වෙනස් විය හැකි දෙයක් වන අතර ජාතිය යනු එසේ නොවන නිශ්චිත දෙයකි. මා එසේ සිතන්නේ නැත. ආගමක් යනු කිසියම් පුද්ගලයෙකුගේ විශ්වාස පමණක්ම නොවේ. යමෙක් හැදෙන වැඩෙන පවුල හා බාහිර පරිසරය නිසා ලැබෙන වෙනත් දේවල්ද යමෙකුගේ ආගමේ කොටසකි. පසු කලෙක විශ්වාස වෙනස්වූ පමණින් මේ වෙනත් දෑ සියල්ල වෙනස් නොවේ.

අනෙක් අතට ජාතිය යනුද පුද්ගලයෙකුගේ මනසේ ඇති දෙයක් නිසා එය පසුකාලීනව වෙනස් වන්නට පුළුවන. ඇමරිකානු අර්ථයෙන් ගත් කළ ජනවර්ගයනම් එසේ පහසුවෙන් වෙනස් නොවේ.

ලංකාව ගත්තත්, ඉතිහාසය පුරා බොහෝ මිනිසුන්ගේ ආගම මෙන්ම ජාතියද වරින් වර වෙනස් වී තිබේ. එහෙත්, මේ වන විට රාජ්‍යයන් විසින් නීති පද්ධතීන් උපයෝගී කර ගනිමින් කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය වූ විට තමන්ගේ අනන්‍යතාවයන්ගෙන් එකක් හෝ කිහිපයක් වෙනස් කර ගැනීම වඩා අපහසු හෝ කළ නොහැකි දෙයක් බවට පත් කර තිබේ. මේ නිසා සිදුවී ඇත්තේ මා මුලින් කී ඇතැම් සීමා ඉරි වඩාත් පැහැදිලි ලෙස දෘශ්‍යමාන වීමයි. මේ ඇතැම් සීමා ඉරි පහසුවෙන් පැනිය නොහැකි උස් තාප්ප බවට පත් වී තිබේ.

ඔබට අනන්‍යතා කොපමණ තිබේද? ඔබට දැනෙන පරිදි වැදගත්කම අනුව ඔබ ඔබේ අනන්‍යතා පෙළගස්වන්නේ කෙසේද?

Sunday, March 11, 2018

සිංහලයින් සුළුතරය වන දිනය?


ලංකාවේ ජීවත්වන බහුතරය තමන් සිංහලයින් ලෙස හඳුන්වාගන්නෝය. ඊට අමතරව තමන් දෙමළ, මුස්ලිම්, මැලේ හෝ බර්ගර් වැනි වෙනත් ජනවර්ගයකට අයත් බව හඳුනා ගන්නෝද සැලකිය යුතු පිරිසක් සිටිති. අවසන් වරට සංගණනයක් පැවැත්වුණු 2012දී ගණන් ගැනුණු 20,359,400ක ශ්‍රී ලාංකික ජනගහණයෙන් (ආසන්නම 100ට) 15,250,100ක් තමන්ව හඳුන්වා ගත්තේ සිංහලයින් වශයෙනි (වගුව 2.4). මේ අනුව, 2012දී ප්‍රතිශතයක් ලෙස ලංකාවේ ජීවත් වූවන් අතරින් 74.9%ක් සිංහලයෝ වූහ.

සිංහලයින් ලංකාවේ පැහැදිලි බහුතරය වූවත් බොහෝ සිංහලයින්ට තිබෙන්නේ සුළුතර මානසිකත්වයකි. එයට සියවස් ගණනක් අතීතයට දිවෙන ඓතිහාසික හේතු තිබේ. තමන් ලංකාවේ බහුතරය බව බොහෝ සිංහලයින්ට ඇඟට නොදැනීමේ ප්‍රතිඵලය ලෙස ඔවුහු ඇතැම් විට තමන් රටේ බහුතරය බව ප්‍රදර්ශනය කරන්නට පෙළඹෙති. වෙනත් බොහෝ රටවල බහුතර ජනවර්ගය තුළින් මෙවැනි චර්යාවන් දකින්නට ලැබෙන්නේ මීට වඩා අඩුවෙනි.

සිංහලයෙන් අතර කලක සිට මුස්ලිම් භීතිකාවක් වර්ධනය වෙමින් පවතී. මෙයට සමාන්තරව බටහිර රටවල් ඇතුළු ලෝකයේ වෙනත් රටවලද කලක සිට මුස්ලිම් භීතිකාවක් වර්ධනය වෙයි.

ලංකාවේ මුස්ලිම් භීතිකාවේ විවිධ මාන තිබේ. එයින් එක් මානයක් වන්නේ නුදුරු දිනක මුස්ලිමුන් ලංකාවේ බහුතරය වී සිංහලයින් දෙවන තැනට පත් වේය යන අදහසයි. මෑත වසර වලදී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණයට වඩා කිහිප ගුණයක වේගයකින් වර්ධනය වෙමින් පැවතීම මේ අදහසේ මූලයයි. කිසියම් ගහණයක් තවත් ගහණයකට වඩා  සුළු වශයෙන් හෝ වැඩි වේගයකින් වර්ධනය වේනම් එම ගහණයේ වත්මන් ප්‍රමාණය කෙතරම් අඩු වුවත් කවර හෝ දිනක වැඩි වේගයකින් වර්ධනය වන ගහණය අනෙකුත් ගහණයන් සංඛ්‍යාත්මකව අභිබවන බව ගණිතමය යථාර්තයකි.

කෙසේවුවත්, ඉහත කරුණ එසේ සිදුවන්නේ අදාළ ගහණයන්හි වර්ධන වේගයන් ඉතා දිගු කාලයක් නොවෙනස්ව පැවතුණහොත් පමණි. විවිධ පාරිසරික සාධක නිසා සාමාන්‍යයෙන් එය එසේ සිදුවන්නේ නැත.

ලංකාවේ මුස්ලිම් ජනගහණය කිසියම් දිනක සිංහල ජනගහණය අභිබවනු ඇතිය යන අදහස වසර කිහිපයකට පෙර ප්‍රචලිත කළේ එක්තරා දේශපාලනඥයෙකි. කලකට පෙර අපවත් වූ හිමිනමක්ද ඊට පෙර මේ අදහස ව්‍යාප්ත කළේය. මේ වියුණුව ආරම්භ කළ වසරට ආසන්න පෙර වසරකදී චානුක වත්තේගම විසින් ඉහත අදහස අභියෝගයට ලක් කර තිබුණු අතර මහා කළු ලාංකිකයා නම් වූ අයෙක් විසින් චානුකගේ ලිපිය අභියෝගයට ලක් කර තිබුණේය. ඉහත ලිපි දෙක ගැන මා දැනගත්තේ 2016 සැප්තැම්බරයේදී රසිකොලොජියේ පළ වූ ලිපියකට ලක්ෂාන් විසින් දමා තිබුණු ප්‍රතිචාරයක් හරහාය. ඒ අවස්ථාවේදී මා කළ ඉල්ලීමක් අනුව, ලක්ෂාන් විසින් මෙන්ම තිසර විසින්ද ඉහත ලිපි වල සබැඳි පළ කර තිබුණේ  "ඉකොනොමැට්ටා මේ ගැන ඉදිරියේදි යම් අදහසක් පළකරාවිය" යන අපේක්ෂාවද ප්‍රතිචාරයට එකතු කරමිනි.

චානුකගේ හා මහා කළු ලාංකිකයාගේ ලිපි වල කතා කරන්නට තරම් දෙයක් තිබුණත් ඒ හා අදාළව ලිපියක් ලිවීම දිගින් දිගටම අතපසු වෙද්දී වෙනත් මිතුරන් කිහිප දෙනෙක්ගෙන්ම වරින් වර පෞද්ගලිකවද මීට සමාන ඉල්ලීම් ඉදිරිපත් විය. ඉතාම ආසන්නව මීට සමාන ඉල්ලීමක් කළේ ලංකාවේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකු වන මිතුරෙකි. ඔහුට අනුව, මෙය මේ වෙද්දී බොහෝ දෙනෙකු සාකච්ඡා කරන මාතෘකාවකි. ඔහුගේම වචන වලින් ප්‍රශ්නය මෙසේය.

"මේක අද මගේ බැචියක් අහපු ප්‍රශ්ණයක්. මුස්ලිම් ජනගහනය අපේ ජනගහනයට වඩා වැඩි වෙන්ඩ අවුරුදු කීයක් යනවද කියලා. පල්ලෙහා තියෙන්නේ සමීකරණ දෙකක link එකක්.දෙකම ඩොකාලා කියන්නේ. එක්කෙනෙක් කියනවා අවුරුදු 124 යි කියලා. අනිත් එක්කනා කියන්නේ අවුරුදු 420යි. කෝකද හරි? දෙකම වැරදිද?"

ඉහත ප්‍රශ්නය විමසමින් මගේ මිතුරා වෙනත් දෙදෙනෙකුගේ ගණනය කිරීම් සඳහා යොදාගෙන තිබුණු සමීකරණ ඇතුළු අදාළ තොරතුරුද පිටපත් කර තිබුණේය. එක් සමීකරණයක් ඉදිරිපත් කර තිබුණේ විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම වත්පොතෙහි සක්‍රියව අදහස් දක්වන්නෙකුද වන රංග වීරක්කොඩි විසිනි. දෙවැන්න දුලාන් චිරන්තක නම් වූ අයෙකු විසිනි. වත්පොතේ දක්වා ඇති තොරතුරු අනුව ව්‍යවහාරික විද්‍යා උපාධිධාරියෙකු බව පෙනෙන දුලාන් චිරන්තකද වත්පොත හරහා සිදුවන සංවාද තුළ සක්‍රියව සිටින්නෙකු බව පෙනේ.

මා හිතන පරිදි මගේ මිතුරාගේ පණිවුඩයේ ඇති පහත කොටස රංග වීරක්කොඩි විසින් ලියූවක් විය යුතුය.

"ඝාතීය වර්ධනය ගැන සමීකරණයක් තියෙනව. ඒක දැම්මම අවුරුදු 79කින් මුස්ලිම් ජනගහනය 25% වෙන බවත් අවුරුදු 124කින් 50% වෙන බවත් පෙනෙයි. මේව තනිකර නොම්මර. නොම්මර ජාති, වර්ග අඳුනන්නේ නෑ. ඔප්පු කරලත් පෙන්වන්න ඕනද?  x(1+a)^n = y(1+b)^n කියන එක n වලට විසඳන්න තියෙන්ලේ. x = සිංහල ජනගහනය, a=සිංහල ජනගහනය වර්ධන අනුපාතය, y=මුස්ලිම් ජනගහණය, b=මුස්ලිම් ජනගහණ වර්ධන අනුපාතය."

ඒ සමඟම ඔහු ඉදිරිපත් කරන සමීකරණය ඔහු විසින්ම විසඳා තිබේ. පහත රූපයේ තිබෙන්නේ රංගගේ විසඳුමයි.


ගණිතමය ලෙස රංග විසින් ඉදිරිපත් කර තිබෙන සමීකරණයේ වරදක් නැත. ඔහුගේ විසඳුමේද වරදක් නැත. කිසියම් ගහණ දෙකක ආරම්භක ප්‍රමාණ හා වර්ධන වේගයන් දන්නේනම් අදාළ ගහණ දෙකේ ප්‍රමාණ සමාන වීමට ගත වන කාලය එමඟින් අපට සොයාගන්නට පුළුවන.

උදාහරණයක් ලෙස අපි පහත සංඛ්‍යා යොදාගනිමු.

ආරම්භක හාගහණය = 1000
ආරම්භක ඉබිගහණය = 9000
හාවන්ගේ වර්ධන වේගය = 3%
ඉබ්බන්ගේ වර්ධන වේගය = 1%

ගහණ සමාන වීමට ගතවන කාලය = (ලඝු (1000) - ලඝු (9000)) / (ලඝු (1.01) - ලඝු(1.03)) = වර්ෂ 112.055ක් යයි.

දුලාන් චිරන්තක විසින් බැලූ බැල්මටම වෙනස් ලෙස පෙනෙන තවත් සමීකරණයක් ඉදිරිපත් කර තිබේ. ඔහු මෙසේ ලියයි.

"Sir මම අහල තියන equation එක නම් මේක . මේකට දැම්මාම නම් අවුරුදු 420 ට වඩා යනව පහු කරන්න, හැබැයි එතකොට ආගම් ඇදහීමේ සංකල්පෙ තියෙයි ද, ලෝකෙ ඉතුරු වෙල තියෙයි ද නම් දන්නෙ නැහැ."

පහත රූපයේ තිබෙන්නේ පිළිතුර සොයාගැනීම සඳහා දුලාන් චිරන්තක විසින් යොදාගෙන තිබෙන සමීකරණයයි.


රංගගේ සමීකරණය මෙන්ම දුලාන් චිරන්තකගේ සමීකරණයද නිවැරදිය. එහෙත්, එමඟින් කළ හැක්කේ කිසියම් ගහණයක ආරම්භක ප්‍රමාණය හා වර්ධන වේගය දන්නේනම් කිසියම් නිශ්චිත කාලයකට පසු අදාළ ගහණයේ ප්‍රමාණය සොයා ගැනීමයි. ගහණ දෙකක් සමාන වීමට ගතවන කාලය සොයාගැනීමටනම් එක් එක් ගහණයට අදාළ සමීකරණය වෙන වෙනම යොදා පිළිතුරු සමාන වන්නේ වර්ෂ කීයකට පසුවදැයි සොයාගන්නට සිදුවේ. එසේ නැත්නම්, අදාළ සමීකරණ දෙක පහත පරිදි විසඳිය හැකිය.


ඉහත විසඳුම රංගගේ විසඳුමට හරියටම සමාන නොවූවත් ආසන්න වශයෙන් සමානය. ඒ, a යනු කුඩා දශම සංඛ්‍යාවක් වූ විට ලඝු(1+a) ≈ a (ආසන්න වශයෙන් සමාන) බැවිනි. ඒ නිසා, දුලාන් චිරන්තකගේ සමීකරණය යොදාගත්තද ආසන්න වශයෙන් රංගගේ සමීකරණයෙන් ලැබුණු පිළිතුරට සමාන පිළිතුරක් ලැබිය යුතුය.

ඉහත ඉබි හා හා ගහණ සමාන වන්නට දුලාන් චිරන්තකගේ සමීකරණය අනුව වර්ෂ 109.861ක් යයි. මෙය රංගගේ සමීකරණයෙන් ලැබුණු වර්ෂ 112.055ට ආසන්නව සමාන වුවත් මඳක් අඩු කාලයකි. එසේ වුණේ ඇයි?

රංගගේ හා දුලාන්ගේ සමීකරණ දෙකම මේ ගණනය කිරීම සඳහා යොදාගැනීමට හැකි වුවත් ඒ දෙකේ සුළු වෙනසක් තිබේ. රංගගේ සමීකරණය යොදාගන්නා විට කාලය අඛණ්ඩව ගලා යන දෙයක් ලෙස නොව කුඩා කාලාන්තර වල එකතුවක් ලෙස (discrete-time model) උපකල්පනය කෙරේ. එහෙත්, දුලාන්ගේ සමීකරණයේදී කාලය අඛණ්ඩව ගලාගෙන යන දෙයක් ලෙස (continuous-time model) සැලකේ. එය කාලය ලෙස අප දන්නා දෙයට වඩා කිට්ටු උපකල්පනයකි. ඉතා දිගු කාලයක් සැලකීමේදී මේ දෙකේ විශාල වෙනසක් නැති නිසා රංගගේ සමීකරණය තුළ පවතින උපකල්පනයෙහි ලොකු ප්‍රශ්නයක් නැත. සමීකරණය විසඳීම සඳහා ලඝු වලට පරිවර්තනය කිරීමේදීද රංග සිය මුල් උපකල්පනය නොසලකා හරිමින් කාලය අඛණ්ඩව ගලායන්නක් සේ සලකයි.  රංගගේ සමීකරණය ගණිතය වැඩිපුර හදාරා නැති කෙනෙකුට තේරුම් ගැනීම පහසුය.

රංගගේ සමීකරණය අනුව වසරක් අවසානයේ හාගහණය එකවර ක්ෂණිකව 3%කින් ඉහළ යයි. ඉන්පසුව එය ස්ථාවරව තිබී දෙවසරකට පසුව නැවතත් එකවර ක්ෂණිකව 3%කින් ඉහළ යයි. දුලාන්ගේ සමීකරණය අනුව හාගහණය වසර පුරා එකම වේගයෙන් ක්‍රමයෙන් වැඩිවී වසරකදී 3%ක වර්ධනයක් පෙන්වයි. මේ දෙක එකක් මෙන් පෙනුණත් ගණිතමය වශයෙන් මෙහි වෙනසක් තිබේ. සාමාන්‍යයෙන් ගහණයක් වසර පුරා අඛණ්ඩව වර්ධනය වන නිසා රංගගේ සමීකරණය යොදාගත් විට පෙනෙන්නේ නියම වර්ධනයට වඩා ඉතා සුළුවෙන් වුවත් අඩු වර්ධනයකි.

කෙසේවුවත්, රංගට හා දුලාන්ට වෙනස් පිළිතුරු ලැබී තිබෙන්නේ ඔවුන් යොදාගත් සමීකරණ වෙනස් නිසා නොව ඔවුන්ගේ උපකල්පන වල වෙනස්කම් හෝ ගණනය කිරීමේ අඩුපාඩු නිසා වියයුතුය. එසේ නැත්නම් කවර සමීකරණය යොදාගත්තද ලැබිය යුත්තේ ආසන්නව සමාන පිළිතුරකි.

ආරම්භයේදීම සඳහන් කළ පරිදි, ඉහත සමීකරණ දෙකෙහිම ඇති මූලික උපකල්පනයක් වන්නේ අදාළ ගහණයන් විශාල කාලයක් තිස්සේ නිශ්චිත වේගයන්ගෙන් වර්ධනය වන බවයි. එහෙත්, කිසියම් ගහණයක් හා අදාළව එය එසේම වන්නේයැයි උපකල්පනය කළ නොහැකිය. විවිධ සාධක මත ගහණයන්ගේ වර්ධන වේගයන් කලින් කලට වෙනස් වේ.

Friday, March 9, 2018

කටුනායක සිට පැය එකහමාරක්...

පසුගිය කාලයේ තොරතුරු තාක්ෂණයේ හා සන්නිවේදන තාක්ෂණයේ සිදුවී ඇති වේගවත් දියුණුව නිසා ලෝකය බොහෝ සේ කුඩා වී ඇති බව නිතර කියැවෙන දෙයකි. මේ දියුණුවේ උදවුවෙන් ලෝක ගෝලයේ ලංකාවෙන් හරියටම අනිත් පැත්තේ සිටින මා වැනි අයෙකුට ලංකාවේ හිත මිතුරන් සමඟ මෙන්ම සමාජය සමඟද නිරන්තරව සම්බන්ධව සිටීම ඉතා පහසු කටයුත්තක් වී තිබේ. බොහෝ කරුණු හා අදාළව කොළඹින් බැහැරව ජීවත් වන මගේ මුල් පවුලේ සාමාජිකයින්ට මා සිටින්නේ කොළඹද නැත්නම් ඇමරිකාවේද යන්න එතරම් ලොකුවට බල නොපායි.

ඇමරිකාවේ හෝ වෙනත් රටක සිට ගිණිකූරක් ගසා ලංකාවේ පිදුරු ගොඩක් දැල්විය හැකි තරමට තොරතුරු තාක්ෂනය දියුණුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ප්‍රවාහන තාක්ෂණයේ ඇති වී තිබෙන දියුණුව ඒ තරමටම වේගවත් නැති නිසා ලංකාව හා ඇමරිකාව අතර භෞතික දුර ඇඟටම දැනෙන වෙලාවල්ද තිබේ.

ඇමරිකාවේ මගේ නිවසේ සිට ලංකාවේ මගේ නිවසට යන එක එපාවන තරමටම වෙහෙසකර කටයුත්තකි. බොහෝ විට මේ ගමනට පැය තිස්පහකට හෝ හතළිහකට ආසන්න වෙලාවක් ගත වේ. හදිසි අවස්ථාවකදී මේ සීමාකාරී සාධකය විසින් නැවත මතක් කර දෙන්නේ ලෝකය තවමත් එතරම්ම කුඩා නැති බවයි. ගුවන් යානයකින් තවත් එකකට මාරු වීමට ඇති කාලය හැකි අවමය දක්වා අඩු කර ගත්තද ඉහත ගමනට පැය තිහක්වත් ගත වේ. මේ කාලය මීට වඩා අඩු කර ගත හැක්කේ නිවුයෝර්ක්, වොෂින්ටන් ඩීසී වැනි ප්‍රධාන නගරයක් ආසන්නයේ ජීවත් වන අයෙකුට පමණි.

අවම වශයෙන් ගුවන් යානා තුනකට මාරු වෙමින් දිනක් හෝ දෙකක් නිදිවරා කටුනායකට ගොඩ බැසීමෙන් පසු ඇවැසි වන්නේ හැකි ඉක්මණින් ගමනාන්තයට ලඟා වන්නටය. ගමනේ මේ අවසන් අදියර වෙනුවෙන් මා බොහෝ විට තෝරාගන්නේ ගුවන් තොටුපොළ කුලීරථ සේවාවයි. මේ සේවා සැපයුම්කරුවන් අප වෙනුවෙන් දින දෙකක් හෝ තුනක් රස්තියාදු වන නිසා, අපේ රස්තියාදුව අඩු කරගැනීමේ වටිනාකම ඔවුන්ට ගෙවා රස්තියාදු කාලයෙන් යම් කොටසක් අඩු කර ගන්නට පුළුවන.

මගේ පියාගේ පියා මිය ගිය වසරට ආසන්න කාලයකදී මගේ මවගේ සොහොයුරෙකු විසින් වරක් පැවසූ පරිදි ඒ කාලයේදී රුසියාවේ සිට පැය අටකින් කටුනායකට එන්නට හැකි වුවත්, කටුනායක සිට ඌව පළාතේ පිහිටි ඔහුගේ නිවසට යන්නට ඊට වඩා වැඩි කාලයක් ගත වී තිබේ. හැත්තෑ හතෙන් පසු වසරක් වුවත්, ඒ වන විටද ඌව පළාතේ ප්‍රත්‍යන්ත නගරයකට වඩා කොළඹ සෝවියට් දේශයට සමීපව තිබුණා වන්නට ඇත.

පසුගිය දශකයක හෝ ඊට තරමක් වැඩි කාලයේ ලංකාවේ මාර්ග සංවර්ධනයේ සිදුවූ දියුණුව නිසා දැන් කටුනායක සිට ලංකාවේ පිහිටි අපේ මුල් නිවසට යන්නට පැය එකහමාරක් ප්‍රමාණවත්ය. මේ ගමන සඳහා ලබාගන්නා ගුවන් තොටුපොළ කුලීරථ සේවා පැකේජයට අවසන් වරට ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ සිදුවී ඇති වෙනස්කම් ගැන මෙන්ම කාලීන සිදුවීම් ගැනද සිදුකෙරෙන යාවත්කාලීන කිරීම්ද ඇතුළත් වන අතර බොහෝ විට පුළුල් දේශපාලන විග්‍රහයකටද නොමිලේ සවන් දෙන්නට ඉඩ ලැබේ. මෙවැනි කුලී රථ රියැදුරන්ට වඩා හොඳ දේශපාලන විශ්ලේෂකයෝ ලංකාවේ සිටිත්නම් ඒ ත්‍රිරෝද රථ රියදුරන් අතර පමණක් විය හැකිය.

කෙසේවුවත්, මෙවර පැකේජයට අයත් වූ දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ වූයේ දේශපාලන විග්‍රහයකින් නොවේ.

"මහත්තය ඔය xxx පැත්තෙත් හරියට මුස්ලිම් අය ඉන්නව නේද?"

"හ්ම්!"

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථා වල හූමිටි තබනු හැර වැඩි කතා වලට යාම මගේ පුරුද්ද නොවේ. ඇසෙන දේ මගේ අදහස් සමඟ නොගැලපුනත් වාද කරන්නට යනවාට වඩා නිහඬව සිටීම තෝරාගන්නේ එවැනි වාද කිරීමකින් අවසාන වශයෙන් ලැබෙන දෙයක් නැති බැවිනි.

ගුවන් තොටුපොළ කුලී රථ රියදුරෙකු බොහෝවිට මේ ආකාරයේ කතාවක් අරඹන්නේ තමන්ගේ දේශපාලනික හෝ වෙනත් අදහස් නිසාම නොවේ. සිය පාරිභෝගිකයා සතුටු කර සන්තෝෂමක් ලබාගැනීමේ අරමුණෙනි. ඒ වෙනුවෙන් එවැන්නෙකු විසින් බොහෝ විට පළ කරන්නේ සිය පාරිභෝගිකයා අසන්නට සතුටු වනු ඇතැයි ඔහු සිතන අදහසකි.

ලංකාවේදී මේ ආකාරයේ සේවා සපයන්නෙකුට අත දිගහැර සන්තෝෂම් මුදලක් දීමට මා බොහෝ විට පැකිලෙන්නේ නැත. එයට එක් හේතුවක් වන්නේ සේවා සපයන්නන්ට අවම වශයෙන් 15%ක සන්තෝෂමක් දීමට ඇමරිකාවේදී පුරුදුව සිටීමයි. දෙවන හේතුව දේශපාලනිකය. ලංකාවේ ශ්‍රම බලකාය තුළ සිටින්නන් අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයේ දැතිරෝදයක් නොවී කිසියම් ස්වයං රැකියාවක් කිරීම සුළුවෙන් හෝ දිරිමත් කරන්නට මා කැමතිය.

කෙසේවුවත්, ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නෝ යනු ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් වියුක්ත වූ කොටසක් නොවෙති. මේ සේවාව සැපයීමේ අවස්ථාව ලැබෙන්නේම විෂය භාර ඇමතිවරයාගේ නිර්දේශයෙනි. ඒ නිසා, බොහෝ විට ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන් අතර පවතින ආණ්ඩුවට පක්ෂපාතී වූවන් වැඩිපුර දකින්නට පුළුවන.

ඉහත කී රියදුරාද බොහෝ විට එජාප පාක්ෂිකයෙකු වන්නට ඉඩ තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන්ද පෙන්නුම් කළ පරිදි, පවතින ආණ්ඩුවට පක්ෂව අදහස් පළ කිරීම මේ වෙලාවේදී සිය පාරිභෝගිකයින් සතුටු කළ හැකි දෙයක් නොවන බව ඔහු නිගමනය කළා විය හැකිය. අනෙක් අතට, තමන්ගේ බඩ රස්සාව ලබාගන්නට උදවු කළ ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නටද ඔහුට හිත නුදුන්නා වන්නට ඇත. දේශපාලනය වෙනුවට පාරිභෝගිකයින් සතුටු කළ හැකි වෙනත් මාතෘකාවක් තෝරා ගන්නට ඔහු පෙළඹෙන්නට ඇත්තේ එබැවිනි.

"මුස්ලිම් අය ටවුමකට එනවා කියන්නෙ ඉතිං පුදුම වදයක් තමයි. නැද්ද මහත්තයා? පොඩ්ඩක් ඉඩ දුන්නොත් නවතින්නෙ මුළු ටවුමම අල්ලලා..."

එනපොට දැන් පැහැදිලිය. නිහඬව නොසිට, ඔලුව දමන්නට පෙරම මුට්ටියට පොලු පහරක් ගහන්නට මට හිතුණේය.

"අපිටනම් එහෙම විශේෂ කරදරයක් නැහැ. අනිත් එක ඔය xxx ටවුමට මුස්ලිම් අය අද ඊයේ ආව නෙමෙයි. අපි පොඩි කාලෙ ඔය ටවුමෙ වැඩිපුර තිබුණෙ දෙමළ මුස්ලිම් කඩ. සිංහල කඩ තිබුණේ කීපයයි. ඒත් හැත්තෑ ගණන් වල ඉඳන් අවුරුදු දෙකෙන් දෙකට වගේ සිදුවුණු ජාතිවාදී කෝලාහල නිසා දෙමළ කඩ එකින් එක අඩු වෙලා ගියා. ගොඩක් දෙමළ කඩ පිච්චුවේ අසූ තුනටත් කලින්. සමහර ඒවා මිනිස්සුත් ඇතුළෙ ඉඳිද්දී..."

"දෙමළ කඩ වැහුනට පස්සේ ටවුමේ වැඩිපුරම තිබුණේ මුස්ලිම් කඩ. පහුගිය කාලෙ වුණේ ඔය මුස්ලිම් විරෝධය පිට දාල සිංහල මුදලාලිලා දෙන්නෙක් ටවුමෙ කඩ ටික අල්ලගන්න එකයි. දැන්නම් ටවුමම වගෙ අයිති ඒ දෙමස්සිනාලටයි..."

"මුස්ලිම් අය අතරේ අන්තවාදී සුළු පිරිසක් ඉන්නවා. ඒ හැර, හැම මුස්ලිම් මිනිහම නරක නැහැ."

මගේ සංවාද පාර්ශ්වකරුවාට ඔලුව දමාගන්නට නැවතත් ඉඩක් පෑදුණේය.

"ඒක තමයි, අන්තවාදී පිරිසක් ඉන්නවා. ඒ අය තමයි මේවා කරන්නේ..."

"දැන් බලන්නකෝ අම්පාරේ හෝටලේක සිංහල අයට දිගටම වඳ පෙති දීල අහුවෙලානේ. දැන් අපිනම් ඉඳහිට දෙමළ මුස්ලිම් මිනිහෙක්ට මොනව හරි කළත් එහෙම ජාතියක්ම නැති කරන්න හදන්නෙ නෑනේ. බලන්ඩකො කොයි තරම් නරකද කියල. සිංහල වුනා කියල එහෙම කරන එක කොයි තරම් නරකද?"

"ඕකනම් හැබැයි බොරු කතාවක්. එහෙම කෑම වලට පෙත්තක් කලවම් කරල මිනිහෙක්ව වඳ කරන්න බැහැ. මිනිස්සු ගොඩක් අය ඔය වගෙ කතාවක් ඇහුවම ඕනෑවට වඩා කලබල වෙනවනෙ..."

ටික වෙලාවක් යන තුරු පැවතුණේ නිහඬතාවයක් පමණි. වේයන්ගොඩ හා නිට්ටඹුව නගර පසු විය. තවත් සෑහෙන දුරක් යා යුතුය. රියදුරාට නිදිමත හැදීමේ අවදානමද ඇති නිසා මේ නිහඬතාවය එතරම් හොඳ නැත.

"කොහෙද පදිංචිය කටුනායක කිට්ටුවමද?"

රියදුරා නැවතත් දොඩමළු විය. ඔහුගේ පදිංචිය ගැන පමණක් නොව දරුවන් ගැනද මට දැනගන්නට ලැබුණේය.

"මොන ඉස්කෝලෙටද යන්නෙ?"

"xxx එකට. අපි ආගමේනෙ මහත්තය. ඒ නිසා පල්ලියෙ ඉස්කෝලෙට යවනව."

අවසාන වශයෙන් මේ රියදුරාද එක්තරා ආකාරයක සුළුතරයකට අයත් වූවෙකි. එක් සුළුතරයකට එරෙහිව ඇතිවන විරෝධයක් ඉතා පහසුවෙන් වෙනත් සුළුතරයකට එරෙහිවද ක්‍රියාත්මක විය හැකි බව ඔහු නොදන්නවාදැයි මා දන්නේ නැත. අඩු වශයෙන් ඔහුගේ මුස්ලිම් විරෝධය සැබෑ විරෝධයක්ද එසේ නැත්නම් සිය පාරිභෝගිකයින් සතුටු කරන්නට කරන දෙයක්ද යන්නවත් මට නිශ්චිතව පැවසිය නොහැකිය. එය දෙවැන්න වුවත් ඔහු එසේ කළේ ඔහුගේ පාරිභෝගිකයින් අතර මුස්ලිම් විරෝධයට ඉහළ ඉල්ලුමක් තිබුණු බැවිනි.

ජාතිවාදයට ඉල්ලුමක් පවතින පසුබිමක සැපයුම පාලනය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඉහත කී ආකාරයේ කුලී රථ රියදුරන් හා ත්‍රිරෝද රථ රියදුරන් වැනි අයට ඇතැම් විට සමාජ ජාලා වලටත් වඩා කාර්යක්ෂමව අදහස් සම්ප්‍රේෂණය කළ හැකිය.

මේ පැය එකහමාරේ ගමන තුළ මට තේරුම් ගියේ එක ගිණිකූරකින් ලංකාවේ සමාජය මුළුමනින්ම දවා අළු කළ හැකි වියලි පිදුරු ගොඩක් රට ඇතුළේ කාලයක් තිස්සේ එකතු වී ඇති බවයි. දින දෙකක් ලංකාවේ ගත කර, රටින් පිටවී ඇමරිකාවට ගොඩ බසිද්දී දැන ගන්නට ලැබුණේ ඒ පිදුරු ගොඩට කොහෙන් හෝ ගිණි පුලිඟුවක් වැටී ඇති බවයි.

ජාතිවාදය පැත්තකින් තිබ්බත් සියළු රටවැසියන්ගේ ජීවිත හා දේපොළ අයිතිය සුරැකීම රජයක මූලික කාර්යයකි. රටේ ආර්ථික හා සමාජ ජීවිතයේ සෑම අහුමුල්ලකටම අත පොවන, රටේ තරමට සාපේක්ෂව විශාල ආරක්ෂක බලඇණියක් නඩත්තු කරන දැවැන්ත රජයකට එහි වගකීමෙන් කෙසේවත් ගැලවෙන්නට නුපුළුවන. වියලි පිදුරු කන්දක් ගොඩ ගැසී ඇති තැනක වරින් වර ගිණි දළු මතු වීම නොවැලැක්විය හැකි වුවත් එවැනි ගිණි දළු හාත්පස පැතිරී මුළු මහත් සමාජයම දවා අළු කරන්නට පෙර වහා නිවා දැමීමට රජය අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය.

Wednesday, March 7, 2018

පිය සමර


ඒ නමසිය අසූ දෙකේ අවුරුද්දේ අන්තිම සතියේ දවසකි. මගේ පියාගේ මුල් ගමේම ජීවත් වූ ඔහුගේ බාල සොයුරෙකුත්, ඔහුගේ තවත් ඥාති සොහොයුරෙකුත් හදිසියේම අපේ ගෙදර ආවේ තරමක කලබල ස්වභාවයක් පෙන්වමිනි.

"අක්කෙ, අයිය ගෙදරද?"

සාමාන්‍යයෙන් සතියේ දිනක දවල් වරුවේ මගේ පියා ගෙදර සිටින්නට ඉඩක් නොතිබුණු තරම්ය.

"ඇයි, මල්ලි? මොකුත් කරදරයක්ද?"

"පොඩි කරදරයක්නම් තමයි! අයිය ගෙදර නැද්ද?"

"අයියනම් ගෙදර නෑ..."

ජංගම දුරකථන භාවිතයක් නොතිබුණු මේ කාලයේ සාමාන්‍ය දුරකථනයක් සුඛෝපභෝගී භාණ්ඩයක් වූ අතර එවැන්නක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු අධික මිල ගෙවීමේ හැකියාව තිබුණු අයෙකුට වුවද ඒ සඳහා වසර ගණනාවක් පොරොත්තු ලේඛණයක රැඳී සිටින්නට සිදුව තිබුණේය. හදිසි පණිවිඩයක් යැවිය හැකිව තිබුණු වේගවත්ම ක්‍රමය වූයේ විදුලි පණිවුඩයක් යැවීමයි. බොහෝ විට විදුලි පණිවුඩයකට වඩා වේගයෙන් පණිවුඩකරුවෙකුට අවශ්‍ය තැනට ළඟා විය හැකිව තිබුණේය.

බාප්පා පැමිණ තිබුණේ නරක පණිවුඩයක්ද සමඟිනි. මේ නරක පණිවුඩය හැකි ඉක්මණින් මගේ පියා වෙත සන්නිවේදනය කළ යුතු විය.

වාසනාවට මගේ පියා එදින සිටියේ විශාල දුරක නොවේ. අපේ එවක නිවසේ සිට සැතපුම් තුන හතරකට නොවැඩි දුරක වූ රජයේ දෙපාර්තමේන්තුවකට අයත් පුහුණු මධ්‍යස්ථානයකය. පණිවුඩකරුවන් දෙදෙනා සමඟ එහි යන්නට මමද එක් වුනෙමි.

දේශන ශාලාවේ පණහක හෝ සියයක පමණ පිරිසක් රැඳී සිටි අතර මගේ පියා දේශනයක් පවත්වමින් සිටියේය. ශාලාවේ කොට බිත්ති වලට උඩින් අප පැමිණෙනු මගේ පියාට දර්ශනය වන්නට ඇත. අප දේශන ශාලාවේ කොට බිත්තිය අයිනේ රැඳී සිටියෙමු.

දේශනය මඳකට නැවැත්වූ මගේ පියා අප සිටින තැනට පැමිණියේය.

"ඇයි, මල්ලි?"

"අයියේ කියන්ඩ ආවේනම් නරක ආරංචියක්!"

"මොකක්ද?"

මගේ පියා ඇසුවේ ඉන් පසුව අසන්නට ලැබෙන දෙය ගැන අදහසක් ඇතුව විය යුතුය.

ඔහුට එය අසන්නට ලැබුණේය. ඒ ඔහුගේ පියාගේ මරණය පිළිබඳ පුවතයි. පසුගිය සියවසේ මුල් අවුරුද්දේ ඉපදී තිබුණු මගේ පියාගේ පියා ඒ වන විට සිය අසූ දෙවසරක දිවි සැරිය නිමා කර තිබුණේය.

"ඔහොම පොඩ්ඩක් ඔතැන ඉන්න!"

ආපසු වේදිකාව මතට ගිය මගේ පියා කිසිදු කලබලයක් නැතිව සිය දේශනය නැවතත් ආරම්භ කළේය. විනාඩි දහයකින් පමණ පසුව නියමිත වේලාවටම දේශනය අවසන් කළේය. දේශනය අවසානයේ තවත් කෙටි නිවේදනයක් කරමින් ඔහු වේදිකාවෙන් බැස්සේය.

"මීට මොහොතකට පෙර මට අසන්නට ලැබුණේ මගේ ආදරණීය පියාගේ මරණය පිළිබඳ ශෝකදායක ආරංචියයි. ඒ නිසා, මට මෙහි දිගටම රැඳී සිටින්න හැකියාවක් නැහැ. ඒ ගැන සමාවන්න. කරුණාකර රැස්වීමේ කටයුතු දිගටම කරගෙන යන්න."

මගේ පියා අප අසලට පැමිණියේය.

"යමු!"

එසේ වුවත්, රැස්වීමේ කටයුතු බාධාවකින් තොරව දිගටම පැවැත්වුණේ නැත.

එක් අයෙක් නැඟිට එළියට ආවේය. තවත් අයෙක් ආවේය. තවත් අය ආවේය. දැන් අප වටා මිනිස් වළල්ලකි.

"මහත්තය අපෙන් මොනවද කෙරෙන්න ඕනෑ?"

මගේ පියා කවර කලෙකවත් ධන සම්පත් ගොඩ ගසා තිබුණු අයෙකු නොවේ. කිසියම් මුදලක් අතට ලැබෙන පරක්කුවෙන් එය වියදම් කර දැමීමේ මනා කුසලතාවයක් ඔහු සතු විය. එහෙත්, පරිවාර සම්පත්තියෙන්නම් ඔහුට කිසිදු අඩුවක් නොවීය.

"ඕගොල්ලො කවුරුවත් කරදර වෙන්න අවශ්‍ය නැහැ. දැන් මේ කරගෙන ගිය වැඩේ දිගටම කරගෙන යන්න."

මගේ පියාට එදා ඔහුගේ පියාගේ මරණය කවර ආකාරයකට දැනුණාදැයි මට අවබෝධයක් තිබුණේ නැත. ඉන් පසුව ගෙවුණු වසර තිස්හයක කාලය තුළ බොහෝ දේ වෙනස් වී තිබේ. විදුලි පණිවුඩ ක්‍රමය මියගොස් දැන් වසර ගණනාවකි. අද වන විට ජංගම දුරකථනයක් අතේ නැති කෙනෙක් නැත. මගේ පියාගේ පියා සිය දෙඅසූ වස් ජීවිත කාලය තුළ කිසිදා ඇසින් නොදුටු ජංගම දුරකථනය දෙඅසූ විය ආසන්නයේ සිටි මගේ පියාගේ හොඳම හිතමිතුරෙක් හා සේවකයෙක් වී සිටියේය. පියාගේ ජංගම දුරකථනයෙන් මගේ ජංගම දුරකථනයටද වරින් වර නොයෙක් ආකාරයේ විද්‍යුත් පණිවුඩ පැමිනුණේය. මේවා බොහෝ විට කිසියම් විද්‍යුත් ලේඛණයක් සොයාදෙන මෙන් කෙරුණු ඉල්ලීම්ය. එහෙත්, දේශනයක්, හමුවක් හෝ රැස්වීමක් අතරතුර ජංගම දුරකථනය වෙත එබී බැලීම මගේ ක්‍රමය නොවේ. ඒ නිසා, දේශනයක් අතරතුර ලැබෙන පණිවුඩයක් මා දැනගන්නේ දේශනය අවසන් වීමෙන් පසුවය. ඉතිහාසය පුනරාවර්තනය වූවත් ඒ හරියටම එකම ආකාරයටම නොවේ.

සන්නිවේදන තාක්ෂනය වැනි දේ වසර තිස් හයක් තුළ ඇදහිය නොහැකි වේගයෙන් වෙනස් වී ඇත. තවත් බොහෝ දේවල්ද එසේ වෙනස් වී ඇත. එහෙත්, පිය පුතු සම්බන්ධතා වැනි මානුෂික සම්බන්ධතා වල ස්වභාවය පරම්පරා දෙක තුනක් තුළ එසේ වෙනස් වන්නේ නැත. ඒ නිසා වසර තිස් හයකට පෙර මගේ පියාගේ පියා මිය ගිය දින මගේ පියාට ඇති වුනු හැඟීම අනාගතයේ දිනෙක මගේ පුතුද ඊට බොහෝ සමාන අයුරකින් අත් විඳින්නට ඉඩ තිබේ.

Sunday, February 25, 2018

ශ්‍රීලනිපයේ අනාගතය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වුණේ 1951 වසරේදීය. එම පක්ෂය ජාතික මැතිවරණයකට මුහුණ දුන් මුල්ම අවස්ථාව 1952 පාර්ලිමේන්තු මැතිවරණයයි. කොට්ඨාශ ක්‍රමයට පැවැත්වුණු එම මැතිවරණයේදී දිවයිනේ පාර්ලිමේන්තු ආසන 95න් 48කට තරඟ කළ එම පක්ෂයට ආසන 9ක් ජය ගන්නට හැකි වූ අතර රටේ සමස්ත ඡන්ද වලින් 15.52%ක් ලබා ගනිමින් ලංකාවේ දෙවන ප්‍රධාන පක්ෂය බවට පත් වන්නට හැකි විය. ඉන් පසුව පැවති 1956 මැතිවරණයේදී ශ්‍රීලනිපය ප්‍රධාන පක්ෂය වූ මහජන එක්සත් පෙරමුණු සභාගයට දිවයිනේ සමස්ත ඡන්ද වලින් 39.52%ක් ලබා ගත හැකි විය. එතැන් සිට දිගටම ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

මෙවර පළාත් පාලන මැතිවරණ වලදී පළාත් පාලන ආයතන 340න් අඩු වශයෙන් 328කට ශ්‍රීලනිපය හෝ එජනිසය ලෙස තරඟ කළ කණ්ඩායම් සියල්ලටම ලබා ගත හැකි වූයේ රටේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 12.1%ක් පමණි. මේ ශ්‍රීලනිපය ආරම්භ වීමෙන් පසු එම පක්ෂය මේ මට්ටමට වැටුණු පළමු අවස්ථාවයි.

ශ්‍රීලනිපයේ පරිහානිය ඇරඹුණේ එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂට ප්‍රතිපක්ෂව තරඟ කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ශ්‍රීලනිප සභාපතිත්වයද භාර ගැනීමත් සමඟය. ඒ වන විට ශ්‍රීලනිපයේ සිටි අති මහත් බහුතරය මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් අයයි. පොදුජන පක්ෂය පිහිටුවීමත් සමඟ මහින්දවාදී ඡන්ද ශ්‍රීලනිපයෙන් ක්‍රමයෙන් ඉවත් වන්නට පටන් ගත්තේය. පසුගිය පළාත් පාලන මැතිවරණය මේ ක්‍රියාවලියේ මස්තකප්‍රාප්තියයි. එජනිස ඡන්ද බැඳී තිබී තිබුණේ ශ්‍රීලනිප හෝ එජනිස යන නම් සමඟ හෝ පක්ෂ සලකුණු සමඟ නොවන බව මැතිවරණ ප්‍රතිඵලය පෙන්වා දෙයි.

කෙසේ වුවත්, එජනිස ඡන්ද ප්‍රමාණය ලක්ෂ 15ක මට්ටමට වැටීම මෛත්‍රීපාල සිරිසේනගේ පරාජයක් ලෙස මා සලකන්නේ නැත. ඒ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද පනස් දහසකට නොවැඩි ප්‍රමාණයක් පමණක් මත බලපෑම් කළ හැකි ප්‍රාදේශීය නායකයෙකු වූ ඔහුට ජාතික ඡන්ද පදනමක් කිසි කලෙක නොතිබුණු බැවිනි. මේ වන විට එජනිසය සතුව ලක්ෂ 15ක ඡන්ද පදනමක් ඇති අතර එම පක්ෂය තෙවන බලවේගයක් ලෙස ජවිපෙ අභිබවා ඉදිරියෙන් සිටී.

එජනිසයට මේ ඡන්ද පදනම වර්ධනය කර ගැනීම කෙසේ වුවත් දිගටම රැකගත හැකි වෙයිද?

එජනිස ඡන්ද වලින් ලක්ෂ පහක් පමණ සේ මා ඇස්තමේන්තු කරන ශ්‍රීලනිප ඡන්ද වලින් කොටසක් පොදුජන පෙරමුණ විසින් පහසුවෙන් ආකර්ශනය කරගනු ඇත. එහෙත්, ඉතිරි ඡන්ද වල හැසිරීම තීරණය වන්නේ ඉදිරි දේශපාලන පෙළගැසීම් අනුවය. ලක්ෂ 10ක් පමණ වන මේ ඡන්ද ලංකාවේ මැතිවරණ වල අවසන් ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කිරීමේ හැකියාව ඇති පාවෙන ඡන්දයි. මේ වන විට ලංකාවේ පාවෙන ඡන්ද වලින් වැඩිම ප්‍රමාණයක් රැඳී තිබෙන්නේ එජනිස ඡන්ද මල්ලේය. ලක්ෂ 7 ඉක්මවන ජවිපෙ ඡන්ද වලින් ලක්ෂ 5ක් පමණම මේ වන විට එම පක්ෂයේ ස්ථාවර ඡන්ද බවට පත් වී ඇති අතර පාවෙන ඡන්ද එහි ඇත්තේ ලක්ෂ 2ක පමණ ප්‍රමාණයක් පමණි.

මැතිවරණයෙන් පසුව එජනිසය සතුව විකල්ප තුනක් තිබුණේය. පළමුවැන්න පොදුජන පෙරමුණ සමඟ එකතු වීමයි. දිවයිනේ සමස්ත ඡන්ද වලින් 40.5%ක් ලබා සිටින පොදුජන පෙරමුණට වෙනත් පක්ෂ වල සහාය නොමැතිව බලය පිහිටුවිය හැක්කේ පළාත් පාලන ආයතන 125ක පමණි. එහෙත්, එජනිස සමඟ එකතු වුවහොත් මේ ප්‍රමාණය 238ක් පමණ දක්වා ඉහළ යයි. පොදුජන පෙරමුණ හා එජනිස අතර සන්ධානයකට දළ වශයෙන් දිවයිනේ සිංහල බෞද්ධ බහුතරයක් සිටින සියලුම පළාත් පාලන ආයතන වල බලය පිහිටුවිය හැකිය.

එහෙත්, මෙය සිදුවන ආකාරයක් මේ වන විට පෙනෙන්නට නැත.

එක පැත්තකින් පොදුජන පෙරමුණේ අරමුණ ඉදිරි ජාතික මැතිවරණයක් ජයගැනීම මිස පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම නොවේ. ජාතික මැතිවරණයකදී එජනිසයේ ඉතිරි ඡන්ද පහසුවෙන් තමන් වෙනත් ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා විය යුතුය. අනෙක් අතට පොදුජන පෙරමුණ හා එජනිසය අතර සන්ධානයකින් සිදුවන්නේ පොදුජන පෙරමුණ තුල එජනිසය ක්‍රමයෙන් දිය වී යාමයි. ඉන්පසුව, මෛත්‍රීපාල සිරිසේන හෝ එජනිසය තවදුරටත් ලංකාවේ දේශපාලනය තුළ වැදගත් සාධකයක් වන්නේ නැත.

දෙවන විකල්පය එජාපය සමඟ එකතු වීමයි. මේ වන විටද එජාප-එජනිස සන්ධානයක් පවතින නිසා මෙය එතරම් අපහසු නැත. කෙසේවුවද, එජාප-එජනිස සන්ධානයකට වුවද වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් වල සහයෝගය නොලබා බලය පිහිටුවිය හැක්කේ පළාත් පාලන ආයතන 57ක පමණි. මෙය පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවිය හැකි ආයතන ගණනින් අඩකටත් අඩුය. කෙසේ වුවත්, පොදුජන පෙරමුණට එජනිස සමඟ සන්ධානගත වී බලය ලබාගත හැකි අමතර ආයතන ගණන දැන් ගණනට අඩු වුවත්, එජාපයට මෙය දැන් ගණන මෙන් 8 ගුණය ඉක්මවයි. ඒ නිසා, එජනිසයට පොදුජන පෙරමුණ විසින් ගෙවනවාට වඩා වැඩි මිලක් ගෙවන්නට එජාපය සූදානමින් සිටිනවා විය හැකිය.

එජාපය සමඟ සන්ධානගත වුවද එජනිසයේ ඉතිරිව ඇති ශ්‍රීලනිප ඡන්ද විශාල ප්‍රමාණයක් පොදුජන පෙරමුණ වෙත ක්‍රමයෙන් විතැන් වීම වැළැක්විය නොහැකි වුවත් එමඟින් එජනිස මරණය පමා කරගත හැකිය.

එජනිස සතු තෙවන විකල්පය වන්නේ තෙවන බලවේගයක් ලෙස ස්වාධීනව සිටීමයි. මෙහිදී එජනිසයට දිගටම රඟපාන්නට සිදුවන්නේ දිගින් දිගටම පවතින ආණ්ඩු විවේචනය කරන ජවිපෙ භූමිකාවයි. මෙමඟින් ශ්‍රීලනිප ඡන්ද ගිලිහුණත් පාවෙන ඡන්ද තමන් වෙත රඳවා ගන්නට එජනිසයට පුළුවන. එසේ කළහොත් තෙවන බලවේගයක් ලෙස පමණක් වුවත් එජනිසය දිගටම පවතිනු ඇත.

මේ තෙවන විකල්පය යටතේ එජනිසයට තරඟ කරන්නට වෙන්නේ ජවිපෙ සමඟය.

ජවිපෙ සමඟ මේ වන විට රැඳී සිටින බහුතරය එසේ රැඳී සිටින්නේ ජවිපෙහි මාක්ස්වාදී මුල් නිසා නොවේ. ප්‍රධාන පක්ෂ කෙරෙහි ඇති කළ කිරීම හා ජවිපෙ විසින් ප්‍රදර්ශනය කරන පක්ෂ විනය ආදී වෙනත් හේතු නිසාය. ජවිපෙට දැන් සිටින තැනින් ඉහළට යන්නට තිබෙන බාධාව ඔවුන්ගේ මාක්ස්වාදී මූලයන්ය. විපක්ෂයේ සිටින තාක් කල් මේ මාක්ස්වාදී මූලයන් ප්‍රශ්නකාරී නොවූවත් ජවිපෙට බලය ලැබුනොත් එය ප්‍රශ්නයක් බව ලංකාවේ ඡන්දදායකයා දනී. එසේ නැතුව, ජවිපෙ විසින් කැරලි අවස්ථා දෙකකදී මිනීමැරීම වැනි දේ තවදුරටත් එතරම් වැදගත් කරුණු නොවේ. ජවිපෙට නැවත එවැනි තැනකට යා නොහැකි බව පැහැදිලි කරුණකි. අනෙක් අතින් ජවිපෙට නිදහස් වෙළඳපොළ අන්තය කරා තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ අවශ්‍යතාවය පෙනෙන නමුත් ඔවුන්ගේ ඉතිහාසය අනුව ක්‍රමක්‍රමයෙන් මිස කෙටි කළක් තුළ එම පක්ෂය වෙනස් කිරීමේ හැකියාවක් නැත.

පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එජනිසය විසින් ඉතා දක්ෂ ලෙස ජවිපෙ සමඟ තරඟ කරමින් පාවෙන ඡන්ද එක්රැස් කරගත්තේය. මෙහිදී, එජනිසය සතු වූ වාසිය ජවිපෙ මාක්ස්වාදී ඉතිහාසයයි. එහෙත්, මේ වාසිය දිගටම රැකගන්නටනම් එජනිසයට ජවිපෙ ආකාරයේ විනයක්ද අවශ්‍ය වේ. එවැනි විනයක් පවත්වා ගැනීමට එජනිසයට හැකි වේදැයි සැක සහිතය. ඒ නිසා එජනිස පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ක්‍රමයෙන් ජවිපෙ වෙත විතැන් වන්නටද ඉඩ තිබේ.

අවසාන වශයෙන් එජනිසය සතුව කොපමණ ඡන්ද ඉතිරිවේද යන්න අනාගතයට භාර කරුණකි.


Saturday, February 24, 2018

පොහොට්ටුවට කැපූ වලේ අලියා වැටීම හා මහින්ද බිල්ලා ඉනිමඟ


එජාපය ඉතා පරිස්සමෙන් කෑම මේසය සකස් කළේය. මෙසේ කෑම මේසය සකස් කරද්දී තමන් ඇතුළු එක් එක් පුද්ගලයින්ට අසුන් ගන්නට සිදුවන තැන් ගැන අදහසක් එජාපයට තිබුණේය. ඒ අනුව, හොඳම රසමසවුළු දීසි තමන් අසුන් ගන්නට සිටි අසුන ආසන්නයේ ස්ථානගත කෙරුණු අතර ඒ කෑම බඳුන් බොහොමයක් තබා තිබුණේ පොදුජන පෙරමුණ අසුන් ගනු ඇතැයි පෙනෙන්නට තිබුණු පැත්තට හැකි තරම් දුරස්ථවය. එහෙත්, අවසානයේදී එජාපයට අසුන් ගන්නට සිදු වී තිබෙන්නේ කෑම මේසයේ විරුද්ධ පැත්තේය.

පළාත් පාලන ආයතන වලට කාන්තා නියෝජිතයින් පත් කිරීම හා අදාළව ඉහත තත්ත්වය විශේෂයෙන් කැපී පෙනේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර 3445න් 3266ක්ම කොට්ඨාශ මන්ත්‍රීධුරයි. කිසියම් පක්ෂයක සමානුපාතික නියෝජනය කොට්ඨාශ මන්ත්‍රීධුර වලින් දැනටමත් සම්පූර්ණ වී ඇති විට පණත අනුව 25% කාන්තා නියෝජනය අදාළ නොවේ. එමෙන්ම, එජනිස/ශ්‍රීලනිප හා ජවිපෙ ඇතුළු අනෙකුත් බොහෝ පක්ෂ 20% මට්ටම ඉක්මවා ඡන්ද ලබාගනිමින් අඩුම වශයෙන් ලැයිස්තු මන්ත්‍රීධුර 4ක් හිමි කර ගෙන ඇත්නම් ඒ ඉතාම සීමිත තැන් කිහිපයක පමණි. ඒ නිසා, එජාපය හැර අනෙකුත් පක්ෂ කිසිවකට 25% කාන්තා නියෝජනය බරක් වන්නේ නැත.

එහෙත්, එජාපයේ මන්ත්‍රීධුර 2,436න් 1,570ක්ම ලැයිස්තු මන්ත්‍රීධුරයි. එමෙන්ම, එජාපය ආයතන බොහොමයක 20% ඡන්ද ප්‍රතිශතය ඉක්මවා ඇති අතර අවම වශයෙන් මන්ත්‍රීධුර 4ක් හිමි කරගෙනද තිබේ. ඒ නිසා, 25% කාන්තා නියෝජනයේ බර වැඩිපුරම වැටෙන්නේ එජාපය මතය. කිසියම් දේශපාලන පක්ෂයකට වාසි වන පරිදි මැතිවරණ නීති සකස් කිරීමේ ඇති අවුල මෙයයි. ඡන්දදායක හැසිරීම කිසිවෙකුට හරියටම පුරෝකථනය කළ නොහැකි නිසා මෙවැනි අපේක්ෂිත වාසියක් ඉතා පහසුවෙන් අවාසියකට හැරෙන්නට පුළුවන.

මෙවර පළාත් පාලන මැතිවරණ වලින් පොදුජන පෙරමුණ හා එහි සහාය ලැබූ කණ්ඩායම් විසින් ලක්ෂ 51.25ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබා තිබේ. මෙය පසුගිය මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ලක්ෂ 47.3ක ඡන්ද ප්‍රමාණය ඉක්මවන්නකි. වලංගු ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස මෙය මහ මැතිවරණයේ එජනිස ඡන්ද ප්‍රතිඵලයට වඩා අඩු වන්නේ 1.1%කින් පමණි. ශ්‍රීලනිපය හෝ එජනිසය විසින් මෙවර ලබාගෙන තිබෙන්නේ ඡන්ද ලක්ෂ 15.0 ක් හෙවත් මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් 31.67%ක් පමණි. ඊට අමතරව, මහ මැතිවරණයේදී එජනිසයට සහාය දුන් ලංකා කම්කරු කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතලයි පුලිකල්, ජාතික කොංග්‍රසය ඇතුළු වෙනත් පක්ෂ විසින් මෙවර තවත් ඡන්ද ලක්ෂ 1.84ක් ලබා තිබේ. මේ ඡන්දද ඉවත් කළ විට, මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද වලින් අඩුම වශයෙන් ඡන්ද ලක්ෂ 30.50ක් මෙවර පොදුජන පෙරමුණ විසින් ලබාගෙන තිබේ.

කෙසේවුවත්, පොදුජන පෙරමුණ හා එහි සහාය ලැබූ කණ්ඩායම් විසින් ලබා ඇති මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 51.25ක් පමණ වන අතර ඒ ප්‍රමාණය ඉහත ගණනට වඩා ලක්ෂ 20.75කින් වැඩිය. මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත්තේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 10.35කින් අඩු ඡන්ද ප්‍රමාණයකි. මේ ඡන්ද මහ මැතිවරණයේදී භාවිතා නොවුණු බව පෙනෙන්නට තිබුණේය. ඒ, වලංගු ඡන්ද සංඛ්‍යාවද ඊට ආසන්න ප්‍රමාණයකින් (ලක්ෂ 9.56කින්) පහළ යාමත්, ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලැබූ ඡන්ද ප්‍රමාණය ඔහුට සහාය දැක්වූ පක්ෂ වල ඡන්ද වල එකතුවට ආසන්නව සමාන වීමත් සැලකූ විටය.

පළාත් පාලන ඡන්ද වලදී වලංගු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 12.42කින් ඉහළ ගිය නිසා මේ ඡන්ද මෙවර පොදුජන පෙරමුණ විසින් ආකර්ෂණය කර ගෙන ඇතැයි සිතිය හැකි වුවත්, පොදුජන පෙරමුණ හා සහායක පක්ෂ විසින් මෙවර ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය තවත් මිලියනයකින් පමණ වැඩිය.

මහ මැතිවරණයේදී ජවිපෙ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය මෙවර ලක්ෂ 1.7කින් වැඩි වී ඇති අතර ද්‍රවිඩ සන්ධානයේ ඡන්දද අඩු වී නැත. ලක්ෂ 14.49කින් විශාල ලෙස අඩු වී ඇත්තේ එජාපයේ ඡන්දයි. මෙයින් ලක්ෂ 1.64ක් පමණ මහ මැතිවරණයේදීදී එජාපයට සහාය දැක්වූ වෙනත් පක්ෂ අත ඇතත් තවත් ලක්ෂ 12.85ක පමණ අඩුවක් තිබේ. මෙවර සෑම දිස්ත්‍රික්කයකම ඡන්ද භාවිතය මහ මැතිවරණයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බැවින් මේ ඡන්ද භාවිතා නොවූ ලෙස සැලකිය නොහැකිය.

ජනාධිපතිවරණයට සාපේක්ෂව බැලුවොත් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඡන්ද පනස් දහසක පමණ අඩුවක් හා ගම්පහ ඡන්ද දස දහසක පමණ සුළු අඩුවක් දැකිය හැකි වුවත් ඉතිරි සෑම දිස්ත්‍රික්කයකම වලංගු ඡන්ද ප්‍රමාණයන් ඉහළ ගොස් ඇත. මේ අනුව, එජාපය විසින් මහ මැතිවරණයේදී ලබාගත් නාගරික ඡන්ද හැටදහසක් පමණ භාවිතා නොවූ බවත්, තවත් ලක්ෂ 1.7ක් පමණ ජවිපෙ වෙත සම්ප්‍රේෂණය වූ බවත් සැලකුවහොත් තවදුරටත් ලක්ෂ 10.5ක පමණ අඩුවක් තිබේ.

මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණ අතර ඡන්ද වෙනස් වීම් සැලකූ විට මෙවර ශ්‍රීලනිපය හා එජනිසය විසින් ලැබූ ඡන්ද ලක්ෂ 15 පසුගිය මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්දම සේ සැලකුවහොත් මහ මැතිවරණයේදී එජාපය විසින් ලබාගත් ඡන්ද වලින් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් පොදුජන පෙරමුණ වෙත සම්ප්‍රේෂණය වී තිබිය යුතුය. එජාපය විසින් 2015දී ලබාගත් පාවෙන ඡන්ද කිසියම් ප්‍රමාණයක් පොදුජන පෙරමුණ වෙත සෘජුවම මාරු වී තිබිය හැකි වුවත් බොහෝ විට සිදුවී තිබෙනවා විය හැක්කේ එජනිස ඡන්ද වලින් තවත් මිලියනයක් පමණ පොදුජන පෙරමුණ වෙතත්, එජාප ඡන්ද එපමණම ප්‍රමාණයක් ශ්‍රීලනිපය හෝ එජනිසය වෙතත් සම්ප්‍රේෂණය වීමයි.

එසේනම් එජනිසය මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද ලක්ෂ 47.3න් ලක්ෂ 41ක් පමණම එනම් 87%ක් පමණම ලබාගෙන ඇත්තේ පොදුජන පෙරමුණයි. එජනිස වෙත ඉතිරිව ඇත්තේ එම ඡන්ද වලින් 10%කට නොවැඩි ප්‍රමාණයකි. එනම් ප්‍රමාණාත්මකව ලක්ෂ පහකට නොවැඩි ඡන්ද ප්‍රමාණයකි. එජනිසයේ ඉතිරි ඡන්ද මිලියනයක් පමණ මහ මැතිවරණයේදී එජාපය වෙත ලැබුණු ඡන්දයි.

පළාත් පාලන මැතිවරණ වලින් ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානයට අයත් පක්ෂ විසින් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණ මැතිවරණයට පෙර අප විසින් සිතා සිටි ප්‍රමාණ වලට සමානය. ශ්‍රීලනිප හා එජනිස විසින් ලබාගෙන ඇති ලක්ෂ 15ක පමණ ඡන්ද ප්‍රමාණයද නිවැරදි වුවත් ඒ වැරදි උපකල්පන කිහිපයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුන්‍ය වී ඇති බැවිනි.

පළමුව, එජනිස ඡන්ද වලින් අවම වශයෙන් 20%ක්වත් එම පක්ෂය වෙත රැඳෙනු ඇතැයි මා සිතුවත් එසේ රැඳී ඇත්තේ 10%ක පමණ ඡන්ද ප්‍රමාණයකි. එම ඡන්ද වලින් 90%කට ආසන්නවම ලබාගන්නට පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

දෙවනුව, ජනාධිපතිවරණයේදී භාවිතා වී මහ මැතිවරණයේදී භාවිතා නොවුණු මිලියනයක් පමණ වූ ශ්‍රීලනිප ඡන්ද ආණ්ඩු බලය වෙනස් නොකරන පළාත් පාලන මැතිවරණයකදී පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වනු ඇතැයි මා සිතුවේ නැත. එහෙත්, එය එසේ සිදුවී තිබේ.

තෙවනුව, මහ මැතිවරණයේදී එජාපය විසින් ලබාගත් පාවෙන ඡන්ද වලින් කොටසක් ශ්‍රීලනිප/එජනිස හා ජවිපෙ වෙත ආකර්ශනය වනු ඇතැයි මා සිතා සිටියත් ඒ ප්‍රමාණය පිළිබඳව මගේ ඇස්තමේන්තුව වූයේ මීට වඩා අඩු එකකි. මා සිතා සිටියේ එජාපය ලක්ෂ 40 ඉක්මවා, බොහෝ විට ලක්ෂ 41-42ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇති බවයි. ඒ අනුව, මෙවර එජනිසයට 2015 එජනිස ඡන්ද ලක්ෂ 10ක් පමණ හා 2015 එජාප ඡන්ද ලක්ෂ 5ක් පමණ ලැබෙනු ඇතැයි මා සිතා සිටියත් ඔවුන්ට ලැබී ඇති බව පෙනෙන්නේ එජාප ඡන්ද ලක්ෂ 10ක් පමණ හා එජනිස ඡන්ද ලක්ෂ 5කට නොවැඩි ප්‍රමාණයකි.

මා ලංකාවේ ඉදිරි දේශපාලන ප්‍රවණතා තේරුම් ගන්නේ එජනිස ඡන්ද වල මේ සංයුතිය අනුසාරයෙනි.

පොදුජන පක්ෂයේ වත්මන් ශක්තිය 41.2% පමණ වන අතර එජාපයේ ශක්තිය 29.4%කි. ඇතැම් අය විසින් කරන පරිදි එජනිසයේ 12.1% එජාපයට එකතු කළද, එහි තිබෙන්නේ 41.5%කි.

මේ අතර මහින්දවාදීන් විසින් පොදුජන පක්ෂයේ ඡන්ද හා එජනිස ඡන්ද එකතු කරමින් ගණන් හදති. මේ ගොඩවල් දෙක එකතු කළ විට 53.3%ක් පමණ වේ. ඉදිරි මැතිවරණයකදී එජනිස වෙත තවමත් ඉතිරිව ඇති ශ්‍රීලනිප ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් පොදුජන පෙරමුණ විසින් ආකර්ශනය කරගනු ඇති නමුත් එජනිස විසින් මෙවර ලබාගෙන ඇති මිලියනයක් පමණ වූ පාවෙන ඡන්ද ප්‍රමාණය පිළිබඳව එවැනි සරල උපකල්පනයක් කළ නොහැකිය.

ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ගැන බොහෝ දෙනෙක් කතා කළත් එවැනි ජාතික මැතිවරණයක් පැවැත්වෙන්නට පෙර මුලින්ම පැවැත්වෙනු ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. අලුත් පළාත් සභා මැතිවරණ ක්‍රමය හා අලුත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය අතර එක් පැහැදිලි වෙනසක් තිබේ.

පළාත් පාලන මැතිවරණ සඳහා අදාළ වූ 60:40 අනුපාතය පළාත් සභා මැතිවරණ වලදී 50:50 ලෙස වෙනස් වේ. ඒ නිසා, කිසියම් පළාත් සභාවක බලය පිහිටුවීම සඳහා එම පළාත් සභා බල ප්‍රදේශයේ සියලුම කොට්ඨාශ ජයගැනීම ප්‍රමාණවත් සාධකයක් නොවේ!

අලුත් මැතිවරණ ක්‍රමය අනුව පළාත් සභාවක බලය පිහිටුවීමටනම් අවම වශයෙන් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබීම අනිවාර්ය අවශ්‍යතාවයකි. දැනට පවතින ඡන්ද සංයුතිය එසේම තිබුණොත් පොදුජන පෙරමුණට බලය පිහිටුවන්නට ඉඩක් ලැබෙනු ඇත්තේ දකුණු පළාත් සභාවේ පමණි. මේ ප්‍රතිඵලය අනුව, වෙනත් කිසිදු පළාත් සභාවක් තුළ කිසිදු තනි පක්ෂයකට බලය පිහිටුවන්නට ඉඩක් නැත.

පොදුජන පෙරමුණ විසින් මේ වන විටත් ඔවුන්ට ලබාගත හැකි ඡන්ද විශාල ප්‍රමාණයක් ආකර්ශනය කරගෙන අවසන් නිසා ඉතිරි තීරණාත්මක ඡන්ද ප්‍රමාණය ආකර්ශනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. ඒ අතරම, දැනට ඔවුන් සමඟ රැඳී සිටින ඡන්දදායකයින් එසේම රඳවා තබා ගැනීමද අවශ්‍ය වේ. මෙයින් දෙවැන්න සාපේක්ෂව පහසු කටයුත්තකි. මාධ්‍ය හරහා පුළුල් ලෙස ප්‍රචාරය කෙරෙන 45% බොරු ඡන්ද ප්‍රතිශතය මෙන්ම  කුරහන් පාටින් පාට කර ඇති බොරු සිතියමද මේ දෙවන කටයුත්තට උපකාරී කරනු ඇතත්, ඒ හරහා එජනිස ඡන්ද සියල්ලම ආකර්ෂණය කර ගත හැකියැයි සිතන්නේනම් එය මුලාවකි.

ශ්‍රීලනිප පාක්ෂිකයින්ගෙන් 90%කටත් වඩා සිටින්නේ මහින්ද සමඟ බව පැහැදිලි කරුණක් වුවත් උග්‍ර මහින්ද විරෝධී ශ්‍රීලනිප පාක්ෂිකයෝද යම් ප්‍රමාණයක් සිටිති. මේ වන තුරුත් මෛත්‍රී වෙත රැඳී ඇති ශ්‍රීලනිප ඡන්ද වලින් යම් ප්‍රමාණයක් මෙවැන්නන්ගේ ඡන්දයි. එමෙන්ම, එජනිසය මෙවර ලබා ඇති පාවෙන ඡන්ද විශාල ප්‍රමාණයක්ද මහින්ද විරෝධී ඡන්දයි. එජාපයෙන් කැඩී එජනිසයට ඡන්දය දෙමින් ඔවුන් එජාපය වෙතද සිය විරෝධය පෙන්වා ඇතත්, ඔවුන්ට මහින්ද නැවත බලයට පත්වනු දකින්නට අවශ්‍ය නැත. කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ මහින්ද බලයට එනු වැළැක්වීම සඳහා මේ ඡන්දදායකයින් විසින් ඕනෑම තත්ත්වයක් යටතේ එජාපය වෙත ඡන්දය භාවිතා කරනු ඇති බව නොවේ.

මේ වන විට ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵලයට පාවෙන ඡන්දදායකයින්ගේ බලපෑම පෙරටත් වඩා ඉතා විශාලය. 2015 ජනවාරියේදී මෙන්ම මෙවරද ඡන්ද ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කළේ මේ පිරිසයි. දශක කිහිපයකට පෙරද මෙවැනි කොටසක් සිටියත් ඔවුන්ට තනි පුද්ගලයින් ලෙස තීරණ ගන්නවා හැර අද තරම් විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් තිබුණේ නැත. එහෙත් දැන් ඔවුන්ට අදෘශ්‍ය සංවිධානයක් ලෙස එකතු වන්නට සමාජ මාධ්‍ය විසින් වේදිකාවක් සපයා තිබේ. ඒ නිසා, ඔවුන්ගේ තීරණ තනි තීරණ වුවත් ඒවා අහඹු තීරණ නොවේ. ඒ තීරණ වල දිශානතියක් හා රිද්මයක් තිබේ. එමෙන්ම මේ පිරිස දැන් සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතයක් ලෙසද ඉතා විශාලය. ඒ හේතුව නිසා ලංකාවේ කිසියම් හෝ ඉදිරි මැතිවරණයක ප්‍රතිඵලය පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් නොවනු ඇත.

ඇතැම් අයට අනුව මෙවර පොදුජන පෙරමුණ ලැබූ ජය වාර්තාගත එකකි. ඔවුන් කියන පරිදි මෙතෙක් කිසිදු පළාත් පාලන මැතිවරණයකදී බලයේ සිටින පක්ෂය පරාජය වී නැත. මේ කරුණ මා විසින් සනාථ කරගෙන නැතත් එය එසේ වන්නට පුළුවන. පළාත් පාලන මැතිවරණයකදී බලයේ නොසිටින පක්ෂයකට ඡන්දදායකයින් ආකර්ෂණය කරගැනීම ඉතා අසීරුය. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද වලින් මහ මැතිවරණයේදී එජනිසය වෙත නොලැබුණු ඡන්ද මිලියනය මෙවරද භාවිතා නොවනු ඇති මා විසින් උපකල්පනය කළේද මේ පදනමිනි.

කෙසේ වුවත්, පොදුජන පෙරමුණ විසින් මේ ඡන්ද මුළුමනින්ම වාගේ ආකර්ෂණය කරගෙන තිබේ.

වෙනත් අයුරකින් සිතා බැලුවොත් ඉතිහාසයේ සිදුවී ඇති දෙය හා මෙවර සිදුවී ඇති දෙය අතර ලොකු වෙනසක්ද නැත. පළාත් පාලන මැතිවරණයක් ජයගැනීම අසීරු වන්නේ බලයේ නැති පක්ෂයකටය. එහෙත්, 2015 මැතිවරණ පරාජයෙන් පසු දිගින් දිගටම මහින්දවාදීන් හැසිරුණේ පරාජිතයින් ලෙස නොවේ. තවදුරටත් බලය ඇත්තන් පරිද්දෙනි. අනෙක් අතට ආණ්ඩුවේ පාර්ශ්ව දෙක හැසිරුනේද තවදුරටත් මහින්ද අතේම බලය තිබෙන්නාක් මෙනි. මේ ආණ්ඩුව බලයට පත් වී සෑහෙන කාලයක් යනතුරුම මහින්ද බිල්ලා පෙන්නනවා හැරෙන්නට ආණ්ඩුවට වෙනත් පෙන්නන්නට යමක් තිබුණේ නැත. අන්තිමේදී රටේ ඡන්දදායකයින්ට නිතර අහන්නට ලැබුණු මහින්ද බිල්ලාගේ කතාව එපා විය.

මෙසේ ආණ්ඩුව විසින් මහින්ද බිල්ලා ගැනම කියනවා හැර වෙනත් යමක් නොකිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ එජාපය වෙත 2015දී ආකර්ෂණය වූ පාවෙන ඡන්ද සියල්ලම වාගේ ඔවුන්ගෙන් ගිලිහීමයි. එහෙත්, මහබැංකු බිල්ලා පෙන්වමින් මේ ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් රඳවා ගන්නට මෛත්‍රීපාල සිරිසේන විසින් සමත් වී තිබේ. තවත් කොටසක් ජවිපෙ වෙත විතැන් වී ඇති අතර මුස්ලිම් ඡන්ද හා කොළඹ ආශ්‍රිත දෙමළ ඡන්ද ජනවාර්ගික පක්ෂ වෙත විතැන් වී තිබේ.

මේ බොහෝ පාවෙන ඡන්දදායකයින්ට මහින්ද බිල්ලා ගැනම අසා එපා වී තිබුණත් ඔවුන්ට මහින්ද රාජපක්ෂ යනු තවදුරටත් බිල්ලෙකි. අනෙක් අතට ආණ්ඩුවට මහින්ද බිල්ලාම නැවත කෙසේ හෝ විකුණනවා හැරෙන්නට විකුණන්නට වෙනත් දෙයක් ඇත්තේද නැත. කෙසේ වුවත්, 2015 ඡන්දයේදී මෙන්ම ඉන් පසුව දෙවසරක් පමණ තිස්සේද විකිණූ මහින්ද බිල්ලා නැවත විකුණන්නටනම් වෙනස් අසුරනයක් අවශ්‍යය.

මෙවර මැතිවරණයේ වැරදි සමස්ත ප්‍රතිඵලය හා කුරහන් පාට ලංකා සිතියම මුලින්ම ඉදිරිපත් කළේ දෙරණයි. මේ වන විට එය ඇත්ත ප්‍රතිඵලය බවට පත්ව තිබේ. ඕනෑම සති අන්ත පුවත් පතක් හෝ විවිධ බ්ලොග් සටහන් ඇතුළු මැතිවරණය පිළිබඳව ලියැවුණු වෙනත් ලිපි කියවූ විට මෙය පැහැදිලිය. දෙරණ යනු පසුගිය ආණ්ඩුව කාලයේ සිය ව්‍යාපාර දියුණු කරගත් ලංකාවේ ජාතිකවාදීන් අතර ජනප්‍රිය මාධ්‍ය ආයතනයකි. පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය උත්කර්ශයට නැංවීමට මීට වඩා හොඳ මාධ්‍ය ආයතනයක් තවත් නැත. කෙසේ වුවද, මෙවර එජාප මැතිවරණ ප්‍රචාරණ කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේද එම ආයතනයටමය.

කෙසේවුවත්, මේ කටයුත්තේදී එජාපයේ හා පොදුජන පෙරමුණේ අවශ්‍යතා පුදුමාකාර ලෙස සමපාත වී තිබේ. පොදුජන පෙරමුණට ඔවුන්ගේ ඡන්ද දායකයින්ට ළඟ පෙනෙන ජයග්‍රහණය පෙන්විය යුතුය. එජාපයට ඔවුන්ගෙන් ගිලිහී සිටින පාවෙන ඡන්දදායකයින්ව කීද්දුවා නැවතත් මහින්ද බිල්ලා පෙන්වන්නට අවශ්‍යය. එහෙත් එය කළ යුත්තේ පෙර මෙන් සෘජු ලෙස නොව ඇඟට නොදැනෙන පරිද්දෙනි. දැන් වැඩේ ගොඩය. මෙවර එජාපයට අවශ්‍ය ප්‍රචාරක කටයුත්ත කරන්නේ මහින්දවාදීන් විසින්මය. එජාපයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ හෝ කතා කළ ඇතැමුන් දැනටමත් නැවත එජාපය දෙසට හැරී තිබීම තුළ පෙනෙන්නේ මේ ප්‍රචාරක උපක්‍රමය සාර්ථක බවයි.

Friday, February 23, 2018

ඡන්ද දෝස මෝහ

පළාත් පාලන මැතිවරණයේ 'නිවැරදි' සමස්ත ප්‍රතිඵලය ඊයේ මෙහි පළ කෙරුණේය. එහෙත්, මෙහිදී නිවැරදි යන වචනය භාවිතා කරන්නේ සාපේක්ෂ අර්ථයකිනි. මාධ්‍ය හරහා ප්‍රචලිතව ඇති ප්‍රතිඵල අනුව ඡන්දය පැවැත්වුණු ආයතන 340ම කිසියම් පක්ෂයක් විසින් ජයගෙන ඇති බව පෙනුණත් ආයතන 200කම කිසිදු තනි පක්ෂයකට බහුතර බලයක් ලැබී නැත. ඒවායේ බලය තීරණය වන්නේ පක්ෂ එකිනෙක සන්ධානගත වන ආකාරය අනුවය.

කෙසේවුවද, ඉහත නිරීක්ෂණය පදනම් වන්නේද වැරදි රාශියක් දැකිය හැකි නිල මැතිවරණ ප්‍රතිඵල පාදක කරගනිමිනි. ලිපි දෙකක් පුරා මෙවැනි වැරදි ගණනාවක් දැනටමත් පෙන්වා දී ඇතත් එසේ පෙන්වා දී තිබෙන්නේ බැලූ බැල්මටම පෙනෙන වැරදි පමණි. මේ වැරදි පෙන්වා දීමේදී, මැතිවරණ කොමිසම විසින් මන්ත්‍රීධුර බෙදාහැර ඇති ක්‍රමය පණත අනුව නිවැරදියැයි සලකා තිබේ. වැරදි ලෙස දක්වා ඇත්තේ මැතිවරණ කොමිසම විසින්ම අනුගමනය කර ඇති සාමාන්‍ය ක්‍රමවේදය පවා අනුගමනය කර නැති තැන්ය.

මෙයින් අදහස් වන්නේ මැතිවරණ කොමිසම විසින් අනුගමනය කර ඇති සාමාන්‍ය ක්‍රමවේදය පණත අනුව නිවැරදි බව නොවේ. එහිද ප්‍රශ්න තිබේ. ඊට අමතරව පනතේද ප්‍රශ්න තිබේ. ඒ අනුව, මේ මැතිවරණ ප්‍රතිඵලය තනිකරම අවුල් ජාලයකි. තවමත් නිල වශයෙන් මන්ත්‍රීධුර පුරප්පාඩු සඳහා පත්වන පුද්ගලයින් නම් කර නැත්තේ මේ අවුල් ලිහා ගන්නට අසීරු නිසා විය හැකිය. සන්ධාන ඇති වීම හා මන්ත්‍රීවරු අලෙවිවීම හරියටම ඇරඹෙනු ඇත්තේ මන්ත්‍රීධුර පුරප්පාඩු පිරවුනු පසුවය.

අලුත් මැතිවරණ ක්‍රමය ගැන මීට පෙර මෙහි ලිපියක් පළ කර තිබේ. එහෙත්, මැතිවරණ කොමිසම විසින් අනුගමනය කර ඇති ක්‍රමය හරියටම එම ලිපියේ මා විසින් විස්තර කර ඇති ක්‍රමයම නොවේ. මගේ අදහස අනුව, පණත අනුව මා විස්තර කර ඇති ක්‍රමය නිවැරදිය. එහෙත්, මා නීති විශාරදයෙක් නොවන බැවින් මට මේ ගැන සහතික විය නොහැකිය. කෙසේ වුවත්, මා දකින වැරැද්ද මෙහි සටහන් කර තැබිය යුතුය. මා සිතන පරිදි පණත අනුව නිවැරදි ක්‍රමවේදය අනුගමනය කළහොත් මීට වඩා වැඩි ආයතන ගණනක බහුතර බලය කිසියම් හෝ පක්ෂයකට ලැබෙන අතර අමතර මන්ත්‍රීධුර ගණනාවක් සඳහා වැය වන මහජන මුදල්ද ඉතිරි වේ. මා පෙන්වා දෙන තාක්ෂණික වරදට පදනමක් නැත්නම් අවශ්‍ය කෙනෙකුට එය පැහැදිලි කිරීමේ අයිතිය තිබේ. එහෙත්, එය එසේ නොවේනම් අගතියට පත්ව ඇති පාර්ශ්ව වලට නීතිමය පිලිසරණ පැතීමේ හැකියාව තිබේ.

අලුත් ක්‍රමයට මන්ත්‍රී පුරප්පාඩු පුරවන ආකාර තුනක් තිබේ. ඒ පහත පරිදිය.

1) කොට්ඨාශ ජයග්‍රාහකයින් (පණතේ 65B ඡේදයේ 1 අනුකොටස)
2) සමානුපාතික ක්‍රමයට හිමිවන පූර්ණ මන්ත්‍රීධුර (පණතේ 65B ඡේදයේ 3 අනුකොටස)
3) සමානුපාතික ක්‍රමයට හිමිවන "කොටෙන් ගොඩයන" මන්ත්‍රීධුර  (පණතේ 65B ඡේදයේ 4(b) අනුකොටස)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පණතේ 65B ඡේදයේ 4(b) අනුකොටස මා තේරුම් ගන්නා ආකාරය අනුව ඉහත (3) ක්‍රමයට මන්ත්‍රීවරුන් පත් කළ යුත්තේ (1) හා (2) ක්‍රම වලට අවශ්‍ය මන්ත්‍රී පුරප්පාඩු පිරවිය නොහැකිනම් පමණි. එහෙත්, සිදුව ඇත්තේ එය නොවේ. මෙහි ප්‍රතිඵලය ලෙස පණත අනුව නියමිත ගණනට වඩා එල්ලෙන මන්ත්‍රීධුර එකතු වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එක අතකින් පොදු පිරිවැය ඉහළ යද්දී අනෙක් අතින් ආයතන ගණනාවක බහුතර බලය කිසිදු පක්ෂයකට නැතිව ගොස් ඇත.

මෙය පැහැදිලි කිරීම සඳහා අපි පහත උපුටා දක්වන කොළඹ මහ නගර සභාවේ ප්‍රතිඵලය දෙස බලමු.

එජාප     131,353
ශ්‍රීලපොපෙ 60,087
එජනිස    31,421
එප්‍රස     27,168
ජවිපෙ     14,234
ස්වාධීන-2 4,833
එසාස     4,700
ශ්‍රීලජාබ  3,251
ලකස      2,853
යජාපෙ  2,771
එජනිපෙ     1,380
ස්වාධීන-1 929
එකතුව     284,980


කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීධුර ගණන 110ක් ලෙස නිර්ණය කර ඇති අතර එයින් 60%ක් එනම් 66ක් කොට්ඨාශ මන්ත්‍රීධුර වේ. නගර සභා බල ප්‍රදේශයේ ඇති කොට්ඨාශ 41න් එක් එක් කොට්ඨාශයේ වැඩිම ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට මේ මන්ත්‍රීධුර හිමිවේ. බහුමන්ත්‍රී කොට්ඨාශයන්හි වැඩිම ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ පරිදි මන්ත්‍රීධුර 2ක් හෝ 3ක් හිමි වේ. ඒ අනුව, කොට්ඨාශ මන්ත්‍රීධුර 66 බෙදී ගොස් ඇත්තේ පහත පරිදිය.

එජාප     60
ශ්‍රීලපොපෙ 3
එජනිස    2
එප්‍රස     1

මැතිවරණ කොමිසම විසින් මේ කොටස නිවැරදිව කර ඇති අතර අවුල තිබෙන්නේ ඉතිරි මන්ත්‍රීධුර 44 හා අදාළවය. මේ මන්ත්‍රීධුර 44 සමානුපාතික ක්‍රමයට බෙදීම සඳහා පළමුවෙන්ම "අදාළ ඡන්ද සංඛ්‍යාව" සොයාගත යුතුය. මෙය මුළු වලංගු ඡන්ද ගණන මන්ත්‍රීධුර ගණනෙන් බෙදූ විට ලැබෙන පූර්ණ සංඛ්‍යාවයි. 264,980/110=2,590.727 වන නිසා මෙහිදී අදාළ ඡන්ද සංඛ්‍යාව වන්නේ 2,590යි. මේ අනුව එක් එක් දේශපාලන පක්ෂය හෝ කණ්ඩායම විසින් ලබාගත් සෑම ඡන්ද 2,590ක් වෙනුවෙන්ම එක් මන්ත්‍රීධුරයක් වෙන් විය යුතුය. මෙය එක් එක් පක්ෂයේ ඡන්ද ගණන 2,590න් බෙදූ විට ලැබෙන පූර්ණ සංඛ්‍යාවයි. මේ ගණන් පහතින් දක්වා තිබේ.

එජාප     131,353 50.72 50
ශ්‍රීලපොපෙ 60,087 23.20 23
එජනිස    31,421 12.13 12
එප්‍රස     27,168 10.49 10
ජවිපෙ     14,234 5.50 5
ස්වාධීන-2 4,833 1.87 1
එසාස     4,700 1.81 1
ශ්‍රීලජාබ  3,251 1.26 1
ලකස      2,853 1.10 1
යජාපෙ  2,771 1.07 1
එජනිපෙ     1,380 0.53 0
ස්වාධීන-1 929 0.36 0
එකතුව     284,980 105

මැතිවරණ කොමිසම විසින් මේ දෙවන පියවරද නිසිපරිදි අනුගමනය කර තිබේ.

දෙවන පියවරෙන් පසුව එක් එක් පක්ෂයට හෝ කණ්ඩායමට පණතේ 65B ඡේදයේ 3 අනුකොටස අනුව හිමි විය යුතු සමානුපාතික මන්ත්‍රීධුර ගණන හා 65B ඡේදයේ 1 අනුකොටස අනුව දැනටමත් හිමි වී ඇති කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන පරීක්ෂා කළ විට පෙනෙන්නේ එජාපය දැනටමත් අමතර මන්ත්‍රීධුර 10ක් ලබාගෙන ඇති බවයි. ඒ මන්ත්‍රීධුර ගණන අඩු කළ නොහැකි නිසා මේ වන විට මන්ත්‍රීධුර බෙදී ගොස් ඇති ආකාරය පහත පරිදි වේ.

එජාප     60
ශ්‍රීලපොපෙ 23
එජනිස    12
එප්‍රස     10
ජවිපෙ     5
ස්වාධීන-2 1
එසාස     1
ශ්‍රීලජාබ  1
ලකස      1
යජාපෙ  1
එජනිපෙ     0
ස්වාධීන-1 0
එකතුව     115

මේ අනුව දැනටමත් නියමිත ආසන ගණන වන 110 පිරවී තවත් අමතර ආසන 5ක්ද පිරවී අවසානය. ඒ නිසා, දැනටමත් පණතේ 65B ඡේදයේ 4(a) අනුකොටස අනුව එල්ලෙන මන්ත්‍රීධුර 5ක් තිබේ. ඒ නිසා, පණතේ 65B ඡේදයේ 4(b) අනුකොටස අනුව "කොටවලින්" මන්ත්‍රීධුර පිරවීමේ අවශ්‍යතාවයක් නැත. 4(b) අනුකොටස ක්‍රියාත්මක විය යුත්තේ 1 හා 3 අනුකොටස් අනුව පුරප්පාඩු පිරවීමෙන් පසුව තවත් පුරප්පාඩු ඇත්නම් පමණි.

මා සිතන පරිදි පණතේ විස්තර කර ඇති නිවැරදි ක්‍රමය ඉහත ක්‍රමයයි. එහෙත්, මැතිවරණ කොමිසම විසින් කර ඇත්තේ එය නොවේ. ඔවුන් පණතේ ඇති අනුපිළිවෙල වරද්දමින් පළමුව 3 අනුකොටසත්, දෙවනුව 4(b) අනු කොටසත් ක්‍රියාත්මක කර ඇති අතර 1 අනුකොටස දෙස අවධානය යොමු කර තිබෙන්නේ එයින් පසුවය.

මේ අනුව, 3 අනු කොටස අනුව ඉහත පෙන්වා ඇති පරිදි මන්ත්‍රීධුර 105ක් පිරවීමෙන් පසුව එජාපය විසින් දැනටමත් අමතර ආසන 10ක් ලබා ඇති බව නොසලකමින්, 4(b) අනුකොටසේ විස්තර කර ඇති ආකාරයට තවත් පුරප්පාඩු 5ක් පුරවා තිබේ. ඒ සමානුපාතික ක්‍රමයට මුළු මන්ත්‍රීධුර ගණන වන ධුර 110ම පිරෙන පරිදිය. ඔවුන් කර ඇති දෙය තේරුම් ගැනීමට එක් එක් දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට දැනටමත් ලැබී ඇති මන්ත්‍රීධුර වෙනුවෙන් අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ඉවත් කළ විට ශේෂය දෙස බැලිය යුතුය. මේ ශේෂය දෙස බලමින් වැඩිම ශේෂය ඇති පක්ෂ හෝ කණ්ඩායම් 5ට අමතර මන්ත්‍රීධුර වෙන් කර තිබේ.

එජාප     131,353 50.72 50 129,500 1853 1 51
ශ්‍රීලපොපෙ 60,087 23.20 23 59,570 517 23
එජනිස    31,421 12.13 12 31,080 341 12
එප්‍රස     27,168 10.49 10 25,900 1268 10
ජවිපෙ     14,234 5.50 5 12,950 1284 1 6
ස්වාධීන-2 4,833 1.87 1 2,590 2243 1 2
එසාස     4,700 1.81 1 2,590 2110 1 2
ශ්‍රීලජාබ  3,251 1.26 1 2,590 661 1
ලකස      2,853 1.10 1 2,590 263 1
යජාපෙ  2,771 1.07 1 2,590 181 1
එජනිපෙ     1,380 0.53 0 0 1380 1 1
ස්වාධීන-1 929 0.36 0 0 929 0
එකතුව     284,980 105 271,950 13,030 5 110

මැතිවරණ කොමිසම විසින් 1 අනුකොටස අනුව කළ යුතු දේ පරීක්ෂා කර ඇත්තේ එයින් අනතුරුවය. මෙහිදී ඔවුන්ට එජාපය විසින් මන්ත්‍රීධුර 9ක් දැනටමත් වැඩිපුර ලබාගෙන ඇති බව පෙනී ගොස් ඇති අතර ඒ අනුව එල්ලෙන ආසන 9ක් නම් කර තිබේ. එහෙත් ඇත්තටම තිබිය යුත්තේ එල්ලෙන ආසන 5ක් පමණි. මේ හේතුව නිසා කොළඹ මහ නගර සභාවේ සමස්ත ප්‍රතිඵලය වෙනස් වී ඇති ආකාරය පහත දැක්වේ.

එජාප     60 60
ශ්‍රීලපොපෙ 23 23
එජනිස    12 12
එප්‍රස     10 10
ජවිපෙ     5 6
ස්වාධීන-2 1 2
එසාස     1 2
ශ්‍රීලජාබ  1 1
ලකස      1 1
යජාපෙ  1 1
එජනිපෙ     0 1
ස්වාධීන-1 0 0
එකතුව     115 119

පණතේ විධිවිධාන නිසිපරිදි අනුගමනය කළේනම් එජාපයට අනෙක් පක්ෂ සියල්ලටම වඩා ඡන්ද 5ක් ඇතත්, මැතිවරණ කොමිසම විසින් මන්ත්‍රීධුර බෙදා ඇති ආකාරය අනුව දැන් තිබෙන්නේ එක් වැඩි ඡන්දයක් පමණි. මේ අනුව, නගරාධිපතිගේ තීරක බලය නැතිව එජාපයට කොළඹ මහා නගර සභාව තුළ තනිව යෝජනාවක් සම්මත කළ නොහැකිය. වැරදි ක්‍රමය නිසා 0.48% තරම් අඩු ඡන්ද ප්‍රතිශත ලබාගත්, පණත අනුව තැන්පත් කළ ඇප මුදල් හෝ ආපසු නොලබන දේශපාලන පක්ෂ වලටද මන්ත්‍රී ධුර හිමි වී ඇති අතර විශාල හෙට්ටු කිරීමේ බලයක්ද ලැබී තිබේ.

මැතිවරණ කොමිසම විසින් සෑම ආයතනයක් හා අදාළවම අනුගමනය කර ඇත්තේ ඉහත ක්‍රමයයි. ඒ නිසා, නියම ක්‍රමය අනුගමනය කළේනම් කිසියම් හෝ පක්ෂයකට බලය හිමිවන ආයතන ගණනාවකම බලය කිසිදු තනි පක්ෂයකට නොලැබී ගොස් ඇති අතර මේ හේතුව නිසා ඉතා සුළු ඡන්ද ප්‍රතිශත ලබා කොට වලින් ගොඩ ගිය වලිග වලට ආයතන බල ප්‍රදේශ තුළ මුල් තැනට පැමිණි බල්ලන් නැටවීමේ හැකියාව ලැබී තිබේ.

මේ අවුල ඇති වීමේ මුල 2017 නොවැම්බර් 2 දිනැති අංක 2043/56 දරන අති විශේෂ ගැසට් පත්‍රයයි. එහි කොළඹ මහ නගර සභාව ඇතුළු එක් එක් පළාත් පාලන ආයතනය සඳහා සමානුපාතික ක්‍රමයට පත් කරගත යුතු සභික සංඛ්‍යාව නිශ්චිත ලෙස සඳහන් කර තිබේ. මේ ගැසට් පත්‍රයට අනුව මැතිවරණ කොමිසම නිවැරදිය. එහෙත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පණත අනුව මේ අයුරින් නිශ්චිත ලෙස ගැසට් කල යුත්තේත්, එසේ කිරීමේ හැකියාව ඇත්තේත් එක් එක් ආයතනය සඳහා තේරී පත් විය යුතු කොට්ඨාශ මන්ත්‍රීධුර ගණන පමණි. දෙවන ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරුන් ගණන එසේ නිශ්චිත ලෙස ගැසට් පත්‍රයේ සඳහන් කිරීමට අවශ්‍යතාවයක් හෝ හැකියාවක් නොමැත.

කෙසේවුවත්, දෙවන ලැයිස්තුවේ මන්ත්‍රීධුර ගණනද නිශ්චිත ලෙස ගැසට් කර ඇති අතර එම ගැසට් පත්‍රය නිසා මැතිවරණ කොමිසමද අමාරුවේ වැටී තිබේ. මගේ අදහස අනුවනම් ගැසට් පත්‍රය හා පණත අතර නොගැලපීමක් ඇති විට අනුගමනය කළ යුත්තේ පණතේ ඇති ක්‍රියාපටිපාටියයි.

මෙය අපගේ පෞද්ගලික අදහස වන අතර මේ ලිපියේ සඳහන් නීතිමය කරුණු නිවැරදි නොවන්නට ඉඩ තිබේ. ඒ නිසා, අප කරන්නේ මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරවීමක් පමණි. අවශ්‍ය අයෙකුට මේ කරුණු ඔස්සේ වැඩිදුර සොයා බලන්නට හා ඉන් අනතුරුව මැතිවරණ ප්‍රතිඵල නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කරන්නට පුළුවන.

Thursday, February 22, 2018

ඇත්ත ඡන්ද ප්‍රතිඵලය Sri Lanka local election results 2018


මෙවර පළාත් පාලන මැතිවරණයෙහි සමස්ත ප්‍රතිඵල සාරාංශයක් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කළේ නැත. බොහෝ දෙනෙකු විසින් ජාතික මැතිවරණයක් සේ සලකා කටයුතු කළත් මෙවර පැවැත්වුණේ තනි ප්‍රාදේශීය මැතිවරණ 340ක් බැවින් ඒවා එකතු කර සමස්ත නිල ප්‍රතිඵලයක් නිකුත් කිරීමේ වගකීමක් මැතිවරණ කොමිසමට නැත.

කෙසේ වුවත්, බොහෝ දෙනෙකුට රටේ සමස්ත ප්‍රතිඵලය දැනගන්නට අවශ්‍ය වූ අතර මේ අඩුව පිරෙවුවේ දෙරණ, ලංකාදීප හා හිරු වැනි මාධ්‍ය ආයතන විසිනි. මේ ආයතන විසින් ප්‍රචාරය කළ වැරදි ප්‍රතිඵලය මේ වන විට ඇත්ත ප්‍රතිඵලය බවට පත් වී තිබේ. පුදුම සහගත ලෙස මාධ්‍ය ආයතන සියල්ලටම වැරදී තිබෙන්නේ එකම අදහසක් මතු කරන අයුරකිනි.

පහත ප්‍රතිඵල සාරාංශය ඉදිරිපත් කරන්නේ වඩා නිවැරදි ප්‍රතිඵලයක් කොහේ හෝ සටහන් වී තිබිය යුතු බැවිනි. ලංකාවේ වත්මන් දේශපාලන බලතුලනය තේරුම් ගැනීමට නිවැරදි ප්‍රතිඵලය දැන සිටීම මෙන්ම ප්‍රතිඵලය නිවැරදිව කියවීමද ඉතා වැදගත්ය.

කෙසේ වුවත්, මෙහිදී අප නිවැරදි ප්‍රතිඵලය යන වචන භාවිතා කරන්නේ සාපේක්ෂ අර්ථයකිනි. මේ සාරාංශය පිළියෙළ කිරීම සඳහා අප විසින් පාදක කරගෙන ඇති නිල මැතිවරණ ප්‍රතිඵලද දෝෂ සහගත වීම ඊට හේතුවයි. එවැනි තත්ත්වයක් යටතේ නිවැරදි ප්‍රතිඵලය වන්නේ පණත අනුව නිවැරදි දෙයද නැත්නම් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇති දෙයද යන්න ගැටලුවකි. ඊට අමතරව අප අතින් සිදු වී තිබිය හැකි අත්වැරදි හා අපේ උප විඥානය කියවීමේ හැකියාව ඇති ඇනෝලාට පෙනෙන වෙනත් අඩුපාඩුද තිබිය හැකිය.

Election commission of Sri Lanka did not publish a national summary of the results of local authority elections 2018. The commission was not required to do so since this was not a national election, but 340 separate elections conducted simultaneously.

However, many treated this election as a one with national importance and consequently there was a demand for some summary statistic.  Some media websites including Derana, Daily Mirror and Hirufilled this gap with incomplete, incorrect and misleading summary statistics which have now been publicized internationally by international media and even magazines like The Economist and knowledge repositories like Wikipedia.

We publish the following table for the sake of recording a more accurate summary of results somewhere. The accuracy of these summary statistics too, however, are subjected to the accuracy of official results which are not free from simple arithmetic mistakes and possible data entry errors as well as our own data entry and computational errors.

economatta@gmail.com



වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...