වෙබ් ලිපිනය:

Sunday, March 20, 2016

කළු, කැත කපුටා හා ලස්සන මොණරා


අද ලිපිය පටන්ගන්නේ රන්දිල් නෝනා විසින් පරිවර්තනය කර නිදහස් සිතිවිලි වියුණුවේ පළකර ඇති කතාවකිනි.

තමන්ගේ ජිවිතය ගැන බොහොම තෘප්තිමත් සිතින් පසු වූ හුදෙකලා කපුටෙක් ඈත ඈත වනන්තරයේ වාසය කළේය. නමුත් පළමු වරට හංසයෙකු දුටු දා පටන් ඔහුගේ සිතුවිලි වෙනස් විය.

“අනේ අප්පේ, මේ හංසයා සුදු ම සුදුයිනේ” කපුටා සිතුවේය.

“ඒකට මම!, මම කට්ට කලුයි. මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත් ම කුරුල්ලා මේ හංසයා වෙන්න ඕනෑ”

අනතුරුව තමන්ගේ සිතුවිල්ල පිළිබඳ ව ඔහු හංසයා සමග පැවසීය.

“ඇත්තටම,” හංසයා පිළිතුරු දුන්නේය.

“පාට දෙකක් තියෙන, ගිරවෙකු දකින කං මාත් මං ගැන හිතාගෙන හිටියේ එහෙම තමයි. එයා දැකපු දවසේ මට තේරුණා ප්‍රීතිමත් ම කුරුල්ලා මං නෙමෙයි ඒ ගිරවා තමයි කියලා.”

ඉක්බිති අපේ මේ කපුටා ඒ ගිරවා සොයාගෙන ගියේය. ගිරවා ඔහුට සිය සිතුවිලි මෙසේ පැහැදිලි කළේය.

“මම ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ එක ඇත්ත. හැබැයි ඒ මොණරෙකු දකින කං විතරයි. මට තියෙන්නේ පාට දෙකයි. ඒකට මොණරාට! එයාට තියෙන පාට ගනින්න මගේ මේ ඇ‍ඟේ තියෙන පිහාටු මදි. ඒ තරමට එයාගේ පිහාටුවෙන් පිහාටුවට එක එක පාට”

ඉතිරි කොටස කියවීමට කැමති කෙනෙකුට නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියට පිවිස කියවීමට පුළුවන.

දැන් මේ කතාව අනුව,
-කපුටා කළුය.
-හංසයා සුදුය.
-ගිරවාට පාට දෙකකි.
-මොණරාට පාට මහ ගොඩකි.
-කළු පාටට වඩා සුදුපාට ලස්සනය.
-සුදු පාටට වඩා පාට දෙකක් ලස්සනය.
-පාට දෙකකට වඩා පාට මහ ගොඩක් ලස්සනය.

අවුරුදු දහස් ගණනක් පුරා අපි කුරුල්ලන් ගැන ඔයාකාරයට හිතුවෙමු. පහතින් ඇත්තේ අවුරුදු දහස් ගණනක් පැරණි සංස්කෘත සුභාෂිතයක් හා එහි සිංහල තේරුමයි.

काकः कृष्णः पिकः कृष्णः को भेद पिककाकयोः
वसन्तसमये प्राप्ते काकः काकः पिकः पिकः

කපුටාත් කළුය කොවුලාත් කලුය.
එසේනම් කපුටාගේත් කොවුලාගේත් වෙනස කුමක්ද?
වසන්ත කාලය පැමිණි කළ,
කපුටාගේ කාකනාදයත් කොවුලාගේ කූජනයත් ඇසෙනු ඇත!

මෙතැනදීත් අපේ සිතීම මෙවැන්නකි.
-කපුටා කළුය.
-කොවුලාද කළුය.
-ඒ නිසා පෙනෙන හැටියට කපුටාගේත් කොවුලාගේත් වෙනසක් නැත.
-කපුටු හඬ අමිහිරිය.
-කොවුල් හඬ මිහිරිය.
-හඬේ වෙනසින් කපුටාත් කොවුලාත් වෙනස් බව දැනගත හැකිය.

(කපුටාගේත් කොවුලාගේත් වෙනසක් නොපෙනෙන්නේ කටවහගෙන ඉන්න තාක්කල් පමණි. අවශ්‍යනම්, වැඩක් කරන්නට අවස්ථාවක් ලැබෙන තුරු හෝ විපක්ෂයේ ඉන්න තාක්කල් කියන්නත් බැරිකමක් නැත.)

උත්තර අර්ධගෝලයේ රටවලට අද (මාර්තු 20) වසන්තය එළැඹේ. ලංකාවේනම් දැන් කපුටෝත්, කෝකිලයෝත් හවුලේ කුණු අහුලාගෙන කති. මගේ ආයතනයේ සේවකයින්ගෙන් විද්‍යුත් ලිපියක් මඟින් ඊයේ කාරුණිකව ඉල්ලා තිබුණේ ආයතන භූමිය පුරා නිදහසේ සැරිසරන පාත්තයින් කණ්ඩායම් වලට කෑම දීමෙන් වැළකෙන ලෙසය. ඒ පාත්තයින් පිලිබඳ වූ තරහකට නොවේ. පාත්තයින්ගේම හොඳටය.

මිනිස්සු බොහෝවිට පාත්තයින්ට දෙන්නේ උන් ස්වභාවික පරිසරයෙන් අහුලාගෙන කන කෑමම නොවේ. තමන් කන කෑමයි. මේ වැඩේ දිගටම කරන විට උන් මිනිස් කෑම වලට පුරුදු වෙති. උන්ගේ සිරුරු පරිණාමය වී ඇත්තේ මිනිස් ආහාර බුදීමට නොවන බැවින් මේ ආහාර නිසා පාත්තයෝ නොයෙක් රෝගාබාධ වලට ලක්වෙති. අර විද්‍යුත් ලිපියෙන් පාත්තයින්ට කෑම නොදමන ලෙස ඉල්ලා සිටියේ ඒ නිසාය. මිනිස්සු පාත්තයින්ට දමන්නේ තමන් කන "හොඳ කෑම" වුවත් අවසාන ප්‍රතිඵලය ලංකාවේ කුණු අහුලාගෙන කන කපුටන්ගේ හා කොවුලන්ගේ තත්ත්වයෙන් වෙනස් නැත. ඇත්තටමනම්, කුණු අහුලාගෙන කන කපුටන්ට හා කොවුලන්ට මීට වඩා තේරීමක් තිබේ.

අප බොහෝ විට සිතන්නේ අපේ දෑස් වලට ලස්සනට පෙනෙන, දෙසවනට මිහිරි නාද සේ ඇසෙන, දිවට රස අහර සේ දැනෙන සියළු දේ වෙනත් අයටත් එසේම පෙනෙන, ඇසෙන, දැනෙන බවයි. එහෙත්, ඇත්ත එය නොවේ.

(දෙවන කොටසක්ද ඇතත් තවමත් ලියා නැති බැවින් එය පළ කෙරෙන දිනය හරියටම කිව නොහැක.)

(Image: www.moralstories.org)

Saturday, March 19, 2016

කවදාක කොහොම කොයි ලෙසකද මා බිහි වූයේ?



මේ ලිපිය කලින් "මරණය දුකක් වන්නේ කාටද?" මාතෘකාව යටතේ පළකළ ලිපියට සම්බන්ධය. එමෙන්ම, ඒ ලිපියේ මුලින් ඇති වියාචනය මේ ලිපියටද අදාළය. පෙර ලිපියෙන් මා කතා කළේ මරණය දුකක්ය යන කරුණ විශ්වාසය හෝ තර්කනය මත මිස ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගත නොහැකි බවයි. ඒ, අප කවුරුත් තවම මියගොස් නැති බැවිනි.

අප කිසිවෙකු තවම මියගොස් නැත්තේ වුවද ඉපදී සිටින්නෙමු. එසේනම්, අපට ඉපදීම දුකක්ය යන්න විශ්වාසය හෝ තර්කනය මත පිළි නොගෙන ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගැනීමේ හැකියාවක් තිබේද?

බුද්ධ දේශනා අනුව, ඉපදීමේ දුක ලෙස දක්වා ඇති කරුණු බොහොමයක් ඇත්තටම ඉපදීමෙන් පසුව ජීවත්වීමේදී ඇතිවන දුක්ය. මේ අර්ථයෙන්, ඉපදීම දුකක් වන්නේ ඉපදීම නිසා වෙනත් දුක් ඇතිවන බැවිනි. ඒ හැරුණු විට, ඉපදීම හා කෙළින්ම අදාළ වන කරුණු කිහිපයක්ද විස්තර වේ.

ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ- මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිදු වීම.
ගර්භ පරිහරණ මූලික දුක්ඛ - මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.
ගර්භ විපත්ති මූලික දුක්ඛ- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක
විජායන මූලික දුක්ඛ- පර්‍වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක.
වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ- අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇති වීම.


ඉපදීම හා සෘජුවම අදාළ වන මේ දෑ දුක්යැයි අපට ප්‍රත්‍යක්ෂ කළ හැකිද? අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුක අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකි එකකි. එහෙත්, ඒ දුක උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇති වන දුකට සමාන කරන්නට වන්නේ තර්කනයෙන් හෝ විශ්වාසයෙනි. අප කවරෙකුට හෝ මාස නවයක් නොව දවසක් වුවද අතපය හකුළුවා කුඩා අවකාශයක සිර වී සිටින්නට සිදුවුවහොත් විඳින්නට වන දුක අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකි එකකි. එහෙත්, අපට එය දුකක් වන්නේ අතපය දිගහැර ගෙවන නිදහස් ජීවිතයකට අප පුරුදු වී සිටින නිසාය. එවැනි අවකාශයක සිටීමට හුරු වී සිටින කෙනෙකු ඒ ගැන ඒ අයුරින්ම සිතනු ඇත්ද? ගර්භාෂයෙන් එළියට පැමිණ නිදහසේ වසර ගණනක් දිවි ගෙවා ඇති වැඩිහිටියෝද බොහෝ විට තමන් වටකර අදෘශ්‍යමාන කාල්පනික ගර්භාෂ බිත්තියක් මවාගෙන ඒ තුළ සිරවී සිටීමට කැමැත්තක් දක්වනු අපට බොහෝවිට නිරීක්ෂණය කළ හැකි දෙයකි.

අවාසනාවකට මේ අවස්ථා කිසිවක් අපට මතක නැත. ගර්භ කාලය හෝ ඉපදෙන අවස්ථාව තබා තමන්ගේ ජීවිතයේ මුල් වසර දෙක තුළ සිදුවූ සිදුවීමක්වත් හරිහැටි මතක ඇති කිසිවෙකු මේ ලිපිය කියවන්නන් අතර ඇතැයි මම නොසිතමි. පර්යේෂණ අනුව පෙනී යන්නේ වැඩිහිටියෙකුට විස්තරාත්මකව මතක ඇති මුල්ම සිද්ධිය වයස 2-4 අතර කාලයේදී සිදුවූවක් බවයි. මගේ වයස වසර 2 1/2 දී පමණ අපේ පවුලට අළුතින් සාමාජිකයෙකු එක්වීම මට කිසිසේත්ම මතක නැතත් වයස වසර 3 1/2 දී අළුත් සාමාජිකයෙකු එකතු වනු මට හොඳින් මතක තිබේ. එමෙන්ම, මේ සිදුවීම් දෙක අතර කිසියම් අවස්ථාවක සිදුවූ ගෙවල් මාරු කිරීමක්ද මට මතක තිබේ. මට දැනට මතක ඇති පැරණිම සිදුවීම මේ ගෙවල් මාරුවයි.


එසේනම් ඊට පෙර සිටියේ මා නොවේද?

මා නමැති පුද්ගලයා මා විසින් අර්ථ දක්වා ගන්නේ මගේ වර්තමාන මතකයට සාපේක්ෂවය. මෙය කාටත් පොදුය. මේ මොහොතේ ඔබ ඉකොනොමැට්ටාගේ බ්ලොගය කියවයි. ඊයේ හෝ පෙර දිනකද ඔබ එය කියවූ බව ඔබට මතක තිබේ. ඒ අනුව, අද ජීවත්වන්නේ ඊයේ හෝ එදා ඉකොනොමැට්ටාගේ බ්ලොගය කියවූ ඔබමයැයි ඔබට සිතේ.

දශක හතරකට පමණ පෙර තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පරකන්දෙණිය ගමේ කොල්ලෙක් බිම වැටී තිබූ රුපියල් දෙකේ කොළයක් දැක හිමිහිට සාක්කුවට දමාගනී. පසුව එම මුදල ඔහුගේ බැංකු ගිණුමේ තැන්පත් කරයි. තවත් දවසක් හෝ කිහිපයක් සිය නැන්දා විසින් දෙන කෑම කන්නට එන බල්ලන්ට ගල් වලින් ගසා උන් වේදනාවෙන් කෑගසමින් දුවනු දැක සතුටුවේ. මේ සිදුවීම් මතකයේ ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මැදිවිය ඉක්මවූ වැඩිහිටි පුද්ගලයෙකු දශක හතරකට පෙර මේ දේවල් කළ කොල්ලා තමායැයි සිතා අනුන්ගේ මුදලක් වැරදි ලෙස ගැනීම ගැනත්, අසරණ සතෙකුට හිරිහැර කිරීම ගැනත් වරදකාරී හැඟීමක් ඇති කරගනිමින් පසු තැවේ. මේ දෙදෙනා එක් අයෙකු වන්නේ වැඩිහිටියාගේ අඛණ්ඩ මතකය තුළය. එසේනම්, මම මා වන්නේ මගේ මතකය තුළද? මා විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යනු දුටු බව බොහෝ දෙනෙකුට මතක ඇතත් මට ඒ බව අමතකනම් ඇත්තටම මා එවැන්නක් කළෙම්ද? 


බොහෝ වැඩිහිටියන්ට තමාගේ වයස 2-4 පමණ කාලයට පෙර සිදුවීම් මතක නැතත් එය එසේ වන්නේ වයස 4-5දී හෝ ආසන්න කාලයකදී කුඩා කාලයේ මතක ක්ෂය වී යන බැවිනි (Childhood amnesia). කුඩා දරුවෙකුට වයස අවුරුදු 1-2 අතර කාලය පිලිබඳ යම් මතකයක් තිබේ. එහෙත්, ඊට පෙර කාලය පිලිබඳ එවැනි පැහැදිලි මතකයක් ඇති බවක් තහවුරු වී නැත. එසේනම් ඊට පෙර සිටියේ මමමද?

මමයැයි මා සිතන ජීවත්වන, මියයාමට නියමිත පුද්ගලයෙකු සිටීනම් ඔහු (හෝ ඇය) ඉපදුනු අවස්ථාවක්ද තිබිය යුතුය. මගේ මතකයේ ඇති මුල්ම සිදුවීම සිදුවන විට මම ඉපදී සිටියෙමි. එමෙන්ම, මගේ පියාගේ ශුක්‍රාණුවක් හා මවගේ ඩිම්බයක් එකට එකතුව යුක්තානුවක් ඇති වන තුරු මා ඉපදී සිටීමේ ඉඩකඩක් නැත. මා යනු මගේ සිරුර නොවුවද මගේ සිරුර නැත්නම් මා යනුවෙන් පුද්ගලයෙකු සිටීමේ ඉඩක් නැත. එසේනම්, පිළිසිඳගැනීම සිදුවූ තැන් සිට මගේ මතකයේ ඇති මුල්ම සිදුවීම සිදුවන අවස්ථාව අතරතුර යම් මොහොතක මගේ උපත සිදුව තිබිය යුතුය.

මේ මොහොත මා මවුකුසින් එළියට පැමිණි මොහොතද?

ඇත්තටම ඒ අවස්ථාවේ වෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් කිහිපයක් පමණි. මගේ මව හා පැවති ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය බිඳ දමා ඇතැම් ජීව විද්‍යාත්මක කරුණු අතින් ස්වාධීන සිරුරකට හිමිකම් කීමට හැකිවීම මගේ උපතනම්, ඉපදීම යනු ජීව විද්‍යාත්මක හා භෞතික කරුණක් පමණි. එසේනම්, මා යනු මගේ සිරුර විය යුතුය. එය එසේ විය නොහැකි බව පෙර ලිපියක අපි කතා කළෙමු.

උපන් අළුත කුඩා දරුවෝ මෙන්ම ගර්භාෂයේ සිටින දරුවෝද බාහිර සංවේදනාවන්ට ප්‍රතිචාර දක්වති. ඒ නිසා, මතකයේ ආරම්භක සීමාවට පෙර මා නම් වූ පුද්ගලයෙකු නොපැවති බව කිවනොහැක. එමෙන්ම මොළයක් හා/හෝ ස්නායු පද්ධතියක් වර්ධනය වන තුරු මම නම් වූ පුද්ගලයෙකු සිටිය නොහැකිය. බාහිර සංවේදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට මොළය පුහුණු වෙද්දී යම් කිසි අවස්ථාවක මමනම් වූ මැරෙන තුරු ජීවත්වන පුද්ගලයා උපදී.

එය සිදුවන නිශ්චිත මොහොතක් තිබේද?


(Image: www.themotherish.com)

Thursday, March 17, 2016

අවසන් දේශනය



ඇමරිකාවේ කානගී මෙලන් සරසවියේ "අවසන් දේශනය" නම් වූ දේශන මාලාවක් පැවැත්වේ. මෙහිදී, තෝරාගත් දේශකයෙකුට ආරාධනා කෙරෙන්නේ යම්කිසි අයුරකින් මේ දේශනය ඔහුට හෝ ඇයට ඉදිරිපත් කිරීමට ලැබෙන අවසාන දේශනය වී යැයි උපකල්පනය කරමින් තමන්ට ලෝකයට දෙන්නට ඇති පණිවුඩයක් ඇත්නම් එය පැයක් තුළ ඉදිරිපත් කිරීමටය.

2007 සැප්තැම්බර් මස 18 වන දින පැවති "අවසන් දේශනය" සඳහා තෝරාගෙන තිබුණු දේශකයා වූයේ පරිගණක විද්‍යාව හා මිනිස්-පරිගණක අන්තර්-සම්බන්ධතා පිලිබඳ මහාචාර්ය වරයෙකු වූ ආචාර්ය රැන්ඩෝල්ෆ් පෝෂ්ය. දේශනයට සවන්දීමට පැමිණි සියගණනක පිරිසකගේ අත්පොළසන් මැද ඔහුගේ දේශනය ඇරඹුනේය.

"ස්තුතියි! මේ දේශනය සඳහා අවස්ථාවක් ලැබීම විශාල සතුටක්....මට දැනගන්න ලැබුණා මේ දේශනය නම් කර ඇත්තේ අවසාන දේශනය ලෙස බව. ඔබට මියයාමට පෙර අවසන් වරට එක් දේශනයක් කිරීමට පමණක් ඉඩතිබේනම් ඔබ එහිදී කතා කරන්නේ මොනවා ගැනද? එහෙනං අන්තිමට මගෙත් දිනය තීරණය වෙලා වගේ..."

සභාවේ සිනා.

"මගේ කතාවේ පසුබිම නොදන්න කෙනෙක් මෙතන ඉන්නවනම්, මම එය මුලින්ම කියල ඉන්නම්. අපේ තාත්තා කියල තියෙන්නේ කාමරේ අලියෙක් ඉන්නවනම් ඌව මුලින්ම හඳුන්වල දීල ඉන්න කියලා. [කියන්න ලොකු දෙයක් තියෙනවනම් වටෙන් ගොඩෙන් එතෙන්ට එන්නෙ නැතුව ඒක මුලින්ම කියල දාන්න කියලා]"

දේශනශාලාවේ තිරය මත ස්කෑන් ඡායාරූපයක් ප්‍රක්ෂේපනය වේ.

"මේ තියෙන්නේ මගේ අක්මාවේ කැට් ස්කෑන් ඡායාරූපයක්. ඔබට පේනවා ඇති එහි ටියුමර් දහයක් පමණ තියෙන බව. මේ ස්කෑන් ඡායාරූප  අනුව වෛද්‍යවරුන් ඇස්තමේන්තු කර ඇති ආකාරයට මට ජීවත්ව සිටීමට තව ඉතිරි වෙලා තියෙන්නේ මාස තුනක සිට හයක් දක්වා වූ කාලයක්!"

සභාව මීයට පිම්බාක් මෙන් නිහඬය.


"මේ ස්කෑන් ඡායාරූප පරික්ෂා කරලා ඔය ඇස්තමේන්තුව කරලා දැන් තවත් මාසයක් වෙනවා. මං හිතන්නේ ඔයගොල්ලන්ට ගණන හදාගන්න පුළුවන්!"

"මම ප්‍රතිකාර ගන්නේ ලෝකයේ සිටින හොඳම වෛද්‍යවරුන්ගෙන්. ඒත්, මේ තමයි ඇත්ත! මෙය අපට වෙනස් කළ නොහැකියි. අපට තීරණය කරන්න වෙනවා මෙවැනි තත්ත්වයකට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද කියලා...අපට ලැබෙන කාඩ් අත අපට වෙනස් කරන්න බෑ. ඒත්, ඒ කාඩ් සෙල්ලම් කරන විදිහ තියෙන්නේ අපේ අතේ..."

"මා දිහා බැළුවහම ඔබ බලාපොරොත්තු වන ආතතියෙන් හෙම්බත් වූ, මූසල මූණක් ඔබට නොපෙනෙනවානම්, මට කියන්න තියෙන්නේ, ඔබේ බලාපොරොත්තු බිඳ දැමීම ගැන අතිශයින්ම කණගාටුයි..."

"ඒ එක්කම මට සහතික කර කියන්න පුළුවන් මම මේ ඇත්ත මනසින් ප්‍රතික්ෂේප කර බොරු සතුටක් ලබනවා නෙමෙයි. සිදුවීමට නියමිත දේ මම පැහැදිලිව දන්නවා..."

"මගේ පවුල, දරුවන් තිදෙනා [ඒ අයගේ වයස අවුරුදු 1, 3 හා 5], මගේ බිරිඳ..."



සුන්දර පවුලක ඡායාරූපය තිරයේ ප්‍රක්ෂේපනය වේ.

"ටික දවසකට කලින් අපි ගෙවල් මාරු කළා. අපි වර්ජිනියා වලින් ලස්සන ගෙයක් මිලදී ගත්තා. අපේ පවුලේ සාමාජිකයින්ට ඉදිරි කාලය ගෙවන්න හොඳම තැන එය බව අපි හිතනවා."

ලස්සන ගෙයක ඡායාරූපය තිරයේ ප්‍රක්ෂේපනය වේ.


"අනෙත් වැදගත්ම කරුණ, මම දැනටත් ඉතාම සෞඛ්‍ය සම්පන්නයි. ඔවු, මෙතැන ඉන්න වැඩි දෙනෙකුට වඩා..."

වේදිකාව මත පහත්වන ආචාර්ය රැන්ඩි පෝෂ් පුෂ්-අප් කිහිපයක් ගසා, එක් අතක් ඔසවා තනි අතින්ද පුෂ්-අප් කිහිපයක් ගසයි.

"අපිට හිතාගන්න අමාරුම දෙයක් තමයි, පේන්න ඉහෙන් බහින රෝගයක් නැති පුද්ගලයෙක් මාස කිහිපයකින් අනිවාර්යයෙන් මැරෙන්නෙ කොහොමද කියන එක..."

"මෙතන කවුරු හරි ඉන්නවනම් මා ගැන අනුකම්පා කරන, මට කියන්න තියෙන්නේ, මම ඔහු හෝ ඇය ගැන අනුකම්පා කරන බව පමණයි."

මේ දේශනය ගැන කෙටි ලිපියක් 'දී ඔන්කොලොජිස්ට්' සඟරාවේද පළ විය.

දේශනයේ මාතෘකාව ආචාර්ය රැන්ඩි පෝෂ් විසින්ම පැහැදිලි කළේ මෙසේය.

"මේ දේශනය පිළිකා ගැන නෙමෙයි. පිළිකා ගැන ඕනැ තරම් අය කතා කරනවා. පිළිකා ගැන කතා කරල දැන් මට ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා, පිළිකා සුව කරන වැඩි දෙනෙක් නොදන්නා රහස් ප්‍රතිකාර ක්‍රම ගැන ඔබ දන්නවනම් කරුණාකරලා ඒවා ගැන මට කියන්න එන්න එපා."


"ඒ වගේම, මම කතා කරන්නේ ආගම හෝ අධ්‍යාත්මිකත්වය ගැනත් නෙමෙයි. හැබැයි මැරෙන්න කිට්ටුව කාලයක් තිස්සේ තිබුණු විශ්වාසයන් වෙනස් වීම ගැන (Deathbed conversions) අත්දැකීම්නම් මටත් තිබෙනවා."

නැවතත් නිහඬතාවයකි.

"මම මේ මැකින්ටොෂ් ලැප්ටොප් එකක් ගත්ත විතරයි!"


"මම අද කතා කරන්නේ අපේ කුඩා කාලයේ සිහින සැබෑ කරගන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම වෙනත් අයගේ කුඩා කාලයේ සිහින සැබෑ කරගැනීමට අපට උදවු කළ හැක්කේ කෙසේද කියන එකත් ගැනයි..."

දේශනයේ සම්පූර්ණ වීඩියෝව පහත තිබේ.





මේ වන විට මිලියන 17ක් දෙනා විසින් නරඹා ඇති ඉහත වීඩියෝව ඉතා ඉක්මණින් ජනප්‍රිය විය. 2008 ජූලි 25 දින ආචාර්ය රැන්ඩි පෝෂ් සිය කෙටි දිවිය නිමා කළේය. මියයාමට පෙර ඔහු ඉහත දේශනය පාදක කරගෙන පොතක්ද පළ කළේය. එය ඇරඹෙන්නේ මෙසේය.


මා ඉංජිනේරු ගැටළුවකට මුහුණ දී සිටිමි.

බැලූ බැල්මට මගේ පෙනුම ඉතාම සෞඛ්‍ය සම්පන්න වුවත්, මගේ අක්මාවේ පිළිකා ගැටිති දහයක් තිබේ. මට ජීවත් වීමට ඉතිරිව ඇත්තේ තවත් මාස කිහිපයක් පමණි.

මා සිහින මැවූ කාන්තාව හා විවාපත්ව සිටින මම කුඩා දරු තිදෙනෙකුගේ පියෙක්මි. මට ඉතා පහසුවෙන් මා පත් වී සිටින තත්ත්වය ගැන කණගාටු විය හැකි වුවත්, එයින් මට හෝ මගේ බිරිඳට හා දරුවන්ට සිදුවන කිසිදු යහපතක් නැත.

එසේනම්, ඉතිරිව ඇති සීමිත කාලය මා ගෙවිය යුත්තේ කෙසේද?

ඉතාම පැහැදිලිව මා විසින් කළ යුතු දේවල් වන්නේ මට හැකිතාක් කල් මගේ පවුලේ සාමාජිකයින් සමඟ සමීපව සිටිමින්, ඔවුන් සමඟ ගෙවන හැම මොහොතක්ම සතුටින් වැළඳ ගනිමින්, මා නැතිව ගෙවන ඔවුන්ගේ ඉදිරි ජීවිතය වඩා සැපවත් කිරීමට කළ යුතු සියල්ල සැලසුම් කිරීමයි.

එතරම්ම නොපැහැදිලි දෙයනම්, ඉදිරි වසර විස්සක පමණ කාලය නොමැරී ජීවත් වීමට ලැබුනේනම් මා විසින් මගේ දරුවන්ට උගන්වනු ලැබීමට නියමිත සියළු දේ ඉගෙන ගැනීමට ඔවුන්ට ඉඩ සලස්වන්නේ කෙසේද යන්නයි. ඔවුන් ඉතා ලාබාල වයසේ පසුවන බැවින් මේ කතාබහ මේ වෙලාවේ කිරීමේ හැකියාවක් නැත. වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කරගන්නා ආකාරයත්, අප වැදගත්යයි සිතන දේවලුත්, ජීවිතයේ අභියෝග වල මුහුණ දිය යුතු ආකාරයත් සෑම දෙමවුපියෙකු විසින්ම සිය දරුවන්ට කියා දිය යුතුය. ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට ආධාරක ලෙස අපේ සැබෑ ජීවිත කතා අපවිසින් ඔවුන්ට කියා දිය යුතුය. මා කානගී මෙලන් සරසවියේ අවසාන දේශනය යොදාගත්තේ මගේ ඒ අරමුණ වෙනුවෙනි.

මේ දේශනා සාමාන්‍යයෙන් සලඡායාලේඛණගත කෙරේ. එදින මා විසින් කරන්නේ කුමක්දැයි මම හොඳින් දැන සිටියෙමි. ශාස්ත්‍රාලීය දේශනයක් කිරීමට ලැබුණු අවස්ථාවට මුවා වෙමින් මා විසින් කළේ කිසියම් අනාගත දිනෙක මුහුදු වෙරළට ගසාගෙන ආ විටෙක මගේ දරුවන්ට සොයාගත හැකි වන පරිදි මා නමැති ප්‍රපංචය බෝතලයක් තුළට රිංගවීමයි.


මා චිත්‍ර ශිල්පියෙකු වීනම් මා ඔවුන් වෙනුවෙන් සිතුවමක් පින්තාරු කරනු ඇත. මා සංගීතඥයෙකු වීනම් මා ඔවුන් වෙනුවෙනි සංගීත ඛණ්ඩයක් නිමවනු ඇත. එහෙත්, මම දේශකයෙක්මි. එබැවින්, මම දේශනයක් කළෙමි.

මගේ ජීවිතයෙන් ඉතිරිව ඇති කාලය මෙතරම් කෙටි වුවද, ජීවිතයේ මිහිර ගැනත්, ජීවිතයේ වටිනාකම ගැනත් මම දේශනා කළෙමි. මා විසින් හෘදයංගම දේ ලෙස සලකන අවංකත්වය, ප්‍රතිපත්තිගරුක බව, කළගුණ සැලකීම වැනි යහගුණ ගැන මම කතා කළෙමි. ඒ අතර, මගේ දේශනය ඒකාකාරී, නීරස එකක් නොවන්නටද මම, ඉතා අසීරුවෙන් වුවත්, වගබලා ගත්තෙමි.

මේ පොත මඟින් මා කරන්නේ කානගී මෙලන් සරසවි වේදිකාවේදී මා පටන්ගත් දේශනය තවදුරටත් දිගටම කරගෙන යාමයි. කාලය ඉතා වටිනා නිසා, ඒ කාලය හැකිතාක් මගේ දරුවන් සමඟ ගත කළ යුතු නිසා, මම මේ කටයුත්තට ජෙෆ් සැස්ලෝගේ [පොතේ සම කතෘ] උදවු ඉල්ලුවෙමි. මගේ සෞඛ්‍යය පවත්වාගැනීමට ව්‍යායාම අත්‍යවශ්‍ය බැවින් සෑම දිනකම මම මගේ නිවස ආසන්නයේ පාපැදියෙන් රවුම් ගණනාවක් යමි. ඒ අතර, මගේ ජංගම දුරකථනයට සම්බන්ධ කළ හෙඩ් ෆෝනයෙන් මම ජෙෆ්ට දේශනා පැවැත්වූයෙමි. ජෙෆ් විසින් මේ පොතේ පරිච්ඡේද වලට හරවා ඇත්තේ මගේ එවැනි දේශනා පනස් තුනකි.

වෙනත් කිසිවක් ජීවත් වන දෙමවුපියෙකුගේ අඩුව නොපුරවන බව අපි මුල සිටම දැන සිටියෙමු. එහෙත්, ඉංජිනේරු විද්‍යාව යනු පරිපූර්ණ විසඳුම් ලබා දීම නොවේ. ඔබ සතුව ඇති සීමිත සම්පත් යොදාගෙන කළ හැකි හොඳම දෙය කිරීමයි. [ඉංජිනේරු විද්‍යාව හා ආර්ථික විද්‍යාව එකිනෙක අතිපිහිත වන්නේ මෙතැනදීය.] මගේ දේශනය මඟින් මෙන්ම මේ පොත මඟින්ද මා කිරීමට උත්සාහ කරන්නේ එවැන්නකි.

ලිපියේ කොටු වරහන් තුළ ඇති එකතුකිරීම් මගේය. මේ පොත කියවීමට කැමති කෙනෙකුට මෙහි ගොස් එය කියවිය හැකිය. පිළිකා හා අදාළව මා ලියූ පසුගිය ලිපියට ඉතා වටිනා එකතු කිරීම් රැසක් ප්‍රතිචාර ලෙස බොහෝදෙනෙකු විසින් එකතු කර ඇති නිසා ඒ දේවල් ලිවීමට මා වැය කළ යුතු කාලය ඉතිරිවීම සතුටට කරුණකි.

Wednesday, March 16, 2016

අයියා නංගිලාගේ දරුවෝ


මිනිසුන්ගේ ඇති වෙනත් අයෙකුට හානියක් නොවන ආකාරයේ විවිධ විශ්වාස ගැන කතාකිරීම ඒ තරම්ම තේරුමක් නැති දෙයකි. ආගමික, සංස්කෘතික මෙන්ම ඇතැම් විට විද්‍යාත්මක ලේබල් යටතේද එන එවැනි විශ්වාස වලින් අප බොහෝ දෙනෙකු ඉඳහිට හෝ සිඟිති ආතල් එකක් ගන්නෙමු. කිසිවෙකුගේ ආගමික විශ්වාස වලට ගැරහීමේ අදහසක් නැතත්, යමෙකුට එසේ සිතෙනවානම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරමින් මේ ලිපිය ලියන්නට හේතු වූ මූලික අදහස පහළ වුනේ රසිකගේ ලිපියක ඇති කරුණක් දැකීමෙනි.

රසිකගේ ලිපියේ හරය නොවූවත්, ඔහු එහි අවසානයේ "සිංහබාහු-සිංහසීවලි" පමණක් නොව, "ජීවහත්ත-දිසාලා" අතීතයක් ද අපට ඇති බව මතක් කර ඇත. ඔහු මෙහිදී කියන්නේ අපේ ජනප්‍රිය ඉතිහාස කතාව අනුව සිංහලයින් වගේම වැද්දන්ද පැවතෙන්නේ අයියා-නංගී එකතුවකින් බවයි. ඔහු කෙළින්ම කියා නැතත්, අයියා-නංගී එකතුවක් නුසුදුසු දෙයක් බව එයින් අදහස් වේ. මෙය ඔහු කියන දෙයක්ම නොවේ. අප මත බලෙන් පැටවූ රෝම-ලන්දේසි නීතිය අනුවත්, එවකට රටේ පැවති උඩරට නීතිය ලෙස පසුව හැඳින්වුණු නීතිය අනුවත් අයියා-නංගී විවාහයක් යනු නොගැලපෙන, තහනම් විවාහයකි.

සදාචාරය කියන සංකල්පය වගේම නීතිරීතිත් තැනින් තැනට කලින් කලට වෙනස් වේ. අයියා-නංගී විවාහ නුසුදුසු ලෙස ලංකාවේ සාමාන්‍යයෙන් සැලකුනත් මවගේ සොහොයුරෙකුගේ හෝ පියාගේ සොහොයුරිකගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහයක් ලංකාවේ නීතියෙන් මෙන්ම සමාජ සම්මත අනුවද අනුමත විවාහයකි. පරම්පරා කිහිපයකට පෙර කාලය දක්වාම සිදුවුණු සම්ප්‍රදායික විවාහ බොහොමයක්ම මේ ආකාරයේ නෑනා-මස්සිනා විවාහයි. කෙසේ වුවද, පියාගේ සොහොයුරෙකුගේ හෝ මවගේ සොහොයුරියෙකුගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහයක් සැලකෙන්නේ අසම්මත, තහනම් විවාහයක් වශයෙනි. ලංකාවේදී අසම්මත සම්බන්ධතා ලෙස පිළිගැනෙන පියාගේ සොහොයුරෙකුගේ හෝ මවගේ සොහොයුරියෙකුගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහ බොහෝ මුස්ලිම් රටවල ජනප්‍රිය සම්ප්‍රදායකි.

ඇමරිකාවේ ප්‍රාන්ත වලින් අඩකම මේ ආකාරයේ ළඟම ඥාතීන් අතර විවාහයක් සිදුකිරීම නීති විරෝධීය. තවත් ප්‍රාන්ත හතක ඒ සඳහා ඉඩ ලැබෙන්නේ වයස හෝ වෙනත් හේතුවක් මත දරුවන් බිහි කිරීමේ ඉඩකඩක් නැත්නම් පමණි. මෙහි අරමුණ ඉපදෙන දරුවන් නිරෝගී දරුවන් වීම තහවුරු කිරීමයි. චාල්ස් ඩාවින් පවා ඔහුගේ නෑනා හා විවාහ වූ නමුත් බටහිර සංස්කෘතිය තුළ සාමාන්‍යයෙන් ළඟ නෑයන් අතර විවාහ අනුමත නොකෙරේ.

ළඟ නෑයන් අතර විවාහ පිලිබඳ සම්මත රටින් රටට විශාල ලෙස වෙනස් වුවද, එක පවුලේ අයියා-නංගී විවාහ ලෝකයේ සෑම සංස්කෘතියක මෙන්ම පිළිකුල් කෙරෙන දෙයකි. මෙයට ආගමික පසුබිමක්ද තිබේ. බයිබලයේ පැරණි ගිවිසුමේ මේ ගැන කියවෙන්නේ මෙසේය.


"නුඹලාගෙන් කිසිවෙකු කිට්ටු ඥාතියෙකුගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.

නුඹේ මවගේ නිරුවත අනාවරණය කොට නුඹේ පියාට නින්දා නොකළ යුතු ය. ඈ නුඹේ මව බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ බිරිඳකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එසේ කිරීම නුඹේ පියාට කරන නින්දාවකි.

ගෙදර උපන් හෝ අන් තැනක උපන් හෝ නුඹේ පියාගේ හෝ මවගේ හෝ දුව වන නුඹේ සහෝදරියගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පුතෙකුට උපන් හෝ දුවකට උපන් හෝ නුඹේ මිණිබිරියකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය නුඹට ම කරගන්න නින්දාවකි.

නුඹේ පියාට දාව උපන්, ඔහුගේ වෙන කසාදයක දුව, නුඹේ සොහොයුරිය වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ සොහොයුරිය, නුඹේ පියාගේ කිට්ටු නෑයෙකු බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ මවගේ සොහොයුරිය, නුඹේ මවගේ කිට්ටු නෑයෙකු බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ සහෝදරයාගේ බිරිඳ නුඹේ කුඩම්මා වන බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ ලේලි, නුඹේ පුතාගේ බිරිඳ වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ සහෝදරයාගේ බිරිඳගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය ඔහුට කරන නින්දාවකි.

නුඹ යම් ස්ත්‍රියකගේ නිරුවත අනාවරණය කළ පසු ඇගේ දුවගේ හෝ ඇගේ මිණිබිරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. ඔවුන් කිට්ටු නෑයන් වන බැවින් එසේ කිරීම දුෂ්ටකමකි.

නුඹේ භාර්යාව ජීවත් ව සිටිය දී, ඇගේ සහෝදරිය තවත් භාර්යාවක වශයෙන් පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය."

ලෙවි ව්‍යවස්ථාව 18 (6-18).


මේ වන විට විද්‍යාත්මක පදනමක් තිබුණද ළඟ ඥාතීන් අතර විවාහ පිලිබඳ බටහිර සදාචාර අදහස් වර්ධනය වන්නේ මේ බයිබල් පාඨ වල සිට බව මගේ අදහසයි.

මේ බයිබල් මතය ගැන මා මුලින්ම දැනගන්නා විට මගේ වයස අවුරුදු දොළහක් පමණ වන්නට ඇත. ඒ දිනවල අප වාසය කළ ප්‍රදේශයේ සතියක් පුරා යම් ක්‍රිස්තියානි නිකායක සුවකිරීමේ මෙහෙයක් පැවැත්වුනේය. ගම්සභා පිට්ටනියේ පැවැත්වූ මේ සුවකිරීමේ මෙහෙය මෙහෙයවූයේ ඇමරිකානුවෙකු විය යුතුයැයි මා දැන් සිතන 'සුද්දෙකි'. පරිවර්තකයින් දෙදෙනෙකු විසින් ඔහු කියන දේ සිංහලට හා දෙමළට හැරෙව්වේය.

සුද්දා කියන දේ දෙමළට හැරවූ නමුත්, මේ අවස්ථාවට දෙමළුන් කිසිවෙකුත් පැමිණියාද යන්න සැක සහිතය. මේ කියන ප්‍රදේශය තනිකරම වාගේ සිංහල බෞද්ධ ගමකි. එහි සැලකිය යුතු මුස්ලිම් ජනගහණයක්ද සිටි නමුත් යාබද ගමක සිට පැමිණ වෙදකම් කළ ඇපොතිකරි කෙනෙකු හැරුණු විට කිසිදු ක්‍රිස්තියානි, කතෝලික හෝ දෙමළ පවුලක් සිටි බවක් මට මතක නැත. ඇත්තටම කියනවානම් අපේ නිවසට යාබද නිවසේ සිටියේත් දෙමළ ක්‍රිස්තියානි පවුලක් වුවත් ඒ වන විට ඔවුන් සිංහල බෞද්ධයින් වී සිටියහ.

සුව කිරීමේ මෙහෙය සඳහා සැලකිය යුතු සෙනඟක් දිනපතා පැමිණියේ මූලික කටයුත්තට අමතරව චිත්‍රපට පෙන්වීම හා ජනප්‍රිය සිංහල හා හින්දි සිංදු වල තාලයට ආගමික ගීත ගැයීමද සිදුවූ බැවිනි. මේ දෙකටම වඩා මට අවශ්‍ය වූයේ මගේ පොත් රාක්කයට නොමිලේ දෙන පොත් හැකි තරමක් එකතු කර ගැනීමටය.

මුල් දවස්වලම සැලකිය යුතු පොත් ප්‍රමාණයක් එකතු කර ගත හැකි වුවත් මට අවශ්‍ය වූයේ තරමක් ලොකු ඉලක්කයකට ලඟා වීමටය. ඒ සම්පූර්ණ බයිබලයක් අයිති කර ගැනීමයි. සම්පූර්ණ බයිබල් සීමිත ප්‍රමාණයක් තිබෙනු මා දුටුවද, මා එයින් පිටපතක් ඉල්ලා සිටියද මට එය ලැබුණේ නැත. පොත් බෙදා දුන් ශ්‍රී ලාංකික පුද්ගලයා දවසකට බයිබලයේ එක් පරිච්ඡේදයක් වන සුභාරංචි පොත් පිංචක් වැනි යමක් දී තවත් පොත් අවශ්‍යනම් ඊළඟ දිනත් පැමිණෙන ලෙස දන්වයි. මේ වැඩේ මට ඇල්ලුවේ නැත.

තෙවන හෝ සිවුවන දින පමණ වෙද්දී මම බයිබලයක් කෙසේ හෝ ලබා ගැනීමට සැලසුමක් හැදුවෙමි. සුවකිරීමේ මෙහෙය අවසන් කිරීමෙන් පසු මේ කටයුත්තට සම්බන්ධ වන සුද්දා ඇතුළු සියල්ලෝම වේදිකාවෙන් බැස පොත් බෙදීමත්, ප්‍රශ්න වලට උත්තර දීමත් කරයි. මට අවශ්‍ය වුනේ කෙසේ හෝ සුද්දාවම අල්ලා ගන්නටය.

මම සුද්දා කිට්ටුවටම ගියෙමි. එහෙත්, ලාංකික පුද්ගලයෙක් මට බාධා කළේය.

"මට අරයට පොඩ්ඩක් කතා කරන්න ඕනෑ. ප්‍රශ්නයක් තියෙනව අහන්න."

"ඇයි? මොකක්ද දැනගන්න ඕනෑ? මගෙන් අහන්න"

"දැන් ඔය ඕගොල්ලන්ගේ ආගමේ හැටියට අයියලා නංගිලා කසාද බඳින එක හරිද?"

"නෑ. ඒක පාපයක්!"

මා සිතන පරිදි, මීට පෙර දිනද මොහුගෙන් මේ ආකාරයේ අණ්ඩර ප්‍රශ්න ගණනක් අසා සිට ඇති නිසා ඔහු මට උත්තර දෙන්නේ එතරම් කැමැත්තකින් නොවේ. අඩි හතරක්වත් උස නැති බටු කොල්ලෙකු විසින් වැඩිහිටියෙකු ලස්සනට මඩවන මේ අවස්ථාව බලා ගැනීමට තවත් ළමයින් හා වැඩිහිටියන් රැසක් වටවී සිටින්නේ මෙය මෙසේ සිදුවන පළමු දිනය නොවූ බැවිනි.

"ඒක පාපයක් කියල බයිබලේ තියෙනවද?"

"ඔවු, තියෙනව."

"මට දීපු කොටස් ටිකනම් ඔක්කොම කියෙවුව. ඒවයෙනම් තිබුනෙ නෑ. හරියටම පෙන්නන්න පුලුවන්ද තියෙන තැන?"

වටේ පිටේ අයත් දැන් සිනාසෙති. තමන්ගේ සහායකයාව පොඩි එකෙක් බයිට් එකට ගෙන ඇති බව සුද්දා කෙසේ හෝ නිරීක්ෂණය කළේය. සුද්දා කඩිමුඩියේ මා සිටි තැනට ආවේය. ඔහුගේ අතේ බයිබලයක්ද ඇති බව මම දැක්කෙමි. දැන් මගේ ඇහැ එතැනය.

"යර්ස් සන් වට්ස් ද ප්‍රොබ්ලම්?"

ඔහු ඇමරිකානුවෙකු බව මා සිතන්නේ ඔහුගේ උච්ඡාරණය තේරුම් ගැනීම මට බොහෝ අසීරු වූ බව මතක ඇති නිසාය.

"මෙයාගෙන් අහන්න අයියා-නංගි කසාද බඳින එක වැරැද්දක් කියල බයිබලේ තියෙනවද කියල?"

ඔහු සමඟ සිටි ඔහුගේ පරිවර්තකයා එය ඉංග්‍රීසියට හැරෙවුවේය.

"හරි, තියෙනව කියල මම දන්නව. මට ඕනෑ ඒකේ තියෙන දෙයයි තැනයි හරියටම දැනගන්න."

ඔහු සහායකයාට යමක් කිවුවේය. සහායකයා ඔහු අත වූ සිංහල බයිබලයක් පෙරලා ඉහතින් ඇති පාඨ විය යුතුයැයි මා දැන් සිතන කොටසක් කියවාගෙන ගියේ මේ කරදරෙන් බේරෙන්නේ කෙසේද කියා හිතමින් විය යුතුය.

"යම් මිනිසෙකු තම පියාගේ දුව හෝ තම මවගේ දුව වන තමාගේ සහෝදරිය හෝ පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය කළොත්, එය දුෂ්ටකමකි. ඔවුන් ප්‍රසිද්ධියේ නින්දාවට පත් කර තම සෙනඟ අතරෙන් නෙරපනු ලැබිය යුතු ය. ඔහු තම සොහොයුරියට නින්දා කළ බැවින්, ඒ දුෂ්ටකම ගැන වගකිව යුතු ය."

ලෙවි ව්‍යවස්ථාව 20 (17).


"එතකොට ඔයගොල්ලන්ගේ දෙවියෝ අයියා-නංගි කසාද බඳින එකට විරුද්ධයි. ඒක හරි. තව ප්‍රශ්නයක් තියෙනවා..."


"දැන් ඔයගොල්ලන්ගේ දෙවියෝ ඉස්සෙල්ලම මැවුවේ ආදම්ව නේද?"

"ඔවු"

"ඊට පස්සේ එයාගේ ඉල ඇටයක් අරන් ඒවව මැවුවනේ?"

"ඔවු"

සහායකයා අපට පරිවර්තයෙන් උදවු කරයි.

"දෙවියන් වහන්සේ වෙන කවුරුවත්ම මිනිස්සු මැවුවේ නැද්ද?"

"නෑ"

ඇතැම් විට පිළිතුර මීට වඩා දිග, බයිබල් උපුටාගැනීම් සහිත එකක් වූවා විය හැකිය.

"එතකොට ඒ අයගෙන් තමයි මිනිස්සු ඔක්කොම පැවතෙන්නේ?"

"ඔවු"

"ඒක එහෙම වෙන්නනම් ආදම්ගෙයි ඒවගෙයි ළමයින්ට කසාද බඳින්නම වෙනවනේ. මැවුවේ දෙන්නෙක් විතරනම් ඒක වෙන බව දෙවියෝ දැනගෙන ඉඳල තියෙනව. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ දෙවියෝ අයිය-නංගි විවාහ අනුමත කරල තියෙනවා"

මම ජයග්‍රාහකයෙකු මෙන් කියාගෙන ගියෙමි. වටේට රැස් වී සිටින පිරිස හයියෙන් හිනාවේ.

සුද්දාට කට උත්තර නැති වුනේයැයි කීම අතිශයෝක්තියක් වන්නේ මේ ප්‍රශ්නයටද ඔහුට පැහැදිලි පිළිතුරක් තිබුණු බැවිනි. ඔහු කීවේ ඒ දවස්වල දෙවියන්ගේ කැමැත්ත එසේ වූ බවත් පසුව එය වෙනස් වූ බවත්ය. මගේ බයිට් කිරීම එතැනින් අවසන් වුනේත් නැත. අන්තිමේදී සුද්දාගේ අතේ තිබුණු බයිබලය ගන්නට මරිසියක් දැම්මත් ඒක හරිගියේත් නැත.

කෙසේවුවද, මට කියන්නට අවශ්‍ය වන්නේ තමන් අයියා-නංගී විවාහයකින් පැවත එන බව සිතන්නේ සිංහලයින් පමණක් නොවන බවයි. පරණ ගිවිසුම මත පදනම් වූ ආබ්‍රහමික ආගම් අදහන ලෝක ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක්, ඔවුන් විශ්වාස කරන පරිදි, පැවතෙන්නේ අයියා-නංගී සම්බන්ධතාවයක ප්‍රතිඵල ලෙසින්ය.


(Image: https://en.wikipedia.org/wiki/Tutankhamun)

Tuesday, March 15, 2016

නැති පැය හා නැති වූ පැය


පසුගිය ඉරිදා පාන්දර උතුරු ඇමරිකාවේ බොහොමයක් පෙදෙස් වල නැති පැයක් ගෙවී ගියේය. ඒ පාන්දර දෙකේ සිට 2:59:59 දක්වා වන පැයයි. මේ පැය නැති  පැයක් වූ බැවින් ඒ කාලය තුල වූ පාන්දර 2.50 වැනි වෙලාවක උතුරු ඇමරිකාවේ පෙදෙස් කිහිපයක හැර වෙනත් තැන් වල කිසියම් දෙයක් සිදුවීයැයි කවුරු හෝ කිවුවොත් එය බොරුවක් බව හොයාගන්නට ෂර්ලොක් හෝම්ස්ම අවශ්‍ය නැත.

ඇමරිකාවේ, කැනඩාවේ සහ බටහිර ඉන්දීය දූපත් රාජ්‍ය ගණනාවක දිවා ආලෝක සුරැකුම් කාලය මේ ඉරිදා ඇරඹුණු නිසා එදින පෙරවරු 1:59:59 පසු වූ පසු එළැඹුණේ දෙකේ කණිසම නොවේ. තුනේ කණිසමයි. මේ නිසා, උතුරු ඇමරිකාවේදී පසුගිය ඉරිදා දිනය පැය විසි තුනකින් ගෙවී ගියේය. කෙසේවුවද, මෙසේ නැති වූ පැය මාස ගණනකින් පසු එළැඹෙන නොවැම්බර් මස හය වනදා නැවත ආපසු ලැබෙනු ඇත. ඒ අනුව, එදින ගෙවී යනු ඇත්තේ පැය විසිපහකට පසුවය. තව දෙසතියකින් යුරෝපයේද, සමකයෙන් ඈත්ව පිහිටි වෙනත් රටවල වෙනත් දිනවලද මීට සමාන දෙයක් සිදුවනු ඇත.

වසර විස්සකට පෙර ලංකාවේත් මෙවැනි නැති පැයක් ගෙවී ගියේය. ඒ, ඒ දිනවල ලංකාව මුහුණ පෑ විදුලි අර්බුදයට එය පිළියමක්යැයි එවකට පැවති රජය විශ්වාස කළ බැවිනි. මේ නැති වූ පැයෙන් බාගයක් මාස කිහිපයකට පසු ආපසු ලැබුණත් ඉතිරි බාගය ආපසු ලබා ගැනීමට අවුරුදු දහයක් බලා ඉන්නට විය. ඊට පෙර දෙවන ලෝක යුද සමයේදීද මෙවැන්නක් ලංකාවේ සිදුවී තිබේ.

ඉරිදා පාන්දර හරියටම දෙකට උතුරු ඇමරිකාවේ බොහෝ පෙදෙස් වල මේ අයුරින් ඔරලෝසු පැයක් ඉදිරියට කරකවනු ලැබුවත් එය සිදුවුණේ එකම මොහොතක නොවේ. ඒ, උතුරු ඇමරිකාවේ පාන්දර දෙක කියන සංකල්පයද තැනින් තැනට වෙනස් වන දෙයක් බැවිනි.  ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ කැලිෆෝර්නියා වැනි ප්‍රාන්ත වල මේ නැති පැය එළැඹුණේ ලංකාවේ වේලාවෙන් හවස 3.30ටය. නැගෙනහිර වෙරළබද ප්‍රාන්ත වල මෙය සිදුවුනේ ලංකාවේ වේලාවෙන් ඊට පැය තුනකට පෙර පස්වරු 12.30ය.

ඔය කාලය ඇතුළත උතුරු ඇමරිකාවේ තැන් තැන් වල නැති පැය ගෙවෙද්දී ඔරලෝසු වල එවැනි වෙනසක් සිදු නොවී ලංකාවේ පැය නමයක් නැති වී ගොස් තිබේ. ඒ, ඇත්තටම මේ පැය නවය නොගෙවුනු නිසා නොවේ. විදුලි එළිය නැතුව ඉටිපන්දම් හඳුන්කූරු වලින් පමණක් සැනහී ගෙවන පැයක් බොහෝ දෙනෙකුට නැති වූ පැයක් වන බැවිනි. ලංකාවේ ජාතික විදුලිබල සැපයුම් පද්ධතිය බිඳ වැටී ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට පැය නවයක කාලයක් ගත වී තිබේ.


එහෙම වුනේ ඇයි?

දියුණු රටක ජාතික විදුලිබල පද්ධතියේ මේ ආකාරයේ බිඳ වැටීමක් සිදු වන්නේ ඉතා කලාතුරකිනි. එහෙත්, බොහෝ දියුණු වන රටවල මෙය නිතර සිදුවන දෙයකි. ලංකාවේ මෙවැනි බිඳ වැටීම් නිතරම සිදු නොවන නිසා එවැන්නක් සිදුවූ විට විශාල කතාබහක් ඇතිවේ. කෙසේවුවද, රටක ජාතික විදුලිබල පද්ධතිය සාමාන්‍යයෙන් මෙසේ බිඳ නොවැටී පවත්වාගැනීමට හැකිවීමෙන් අදහස් වන්නේ එය සරල කටයුත්තක් බව නොවේ.

ඉතා සීමිත මට්ටමකින් හැර (බැටරි වැනි) විදුලිබල ශක්තිය යනු ගබඩා කර තබාගත හැකි දෙයක් නොවේ. විදුලිබලය පරිභෝජනය කරන අවස්ථාවේදීම නිපදවීමද කළ යුතුය. මූලික වශයෙන් මෙය ඉල්ලුම් සැපයුම් කළමනාකරණය පිලිබඳ ප්‍රශ්නයකි. ඒ ඒ මොහොතේ ඇති ඉල්ලුමට සපයන සැපයුම අඩුත් නැතිව, වැඩිත් නැතුව ක්ෂණිකව නිපදවිය යුතුය.

රටේ විදුලිබල ඉල්ලුම දවස පුරා ඉතා සුමට ලෙස වෙනස් වන්නකි. ඔබ ඔබේ නිවසේ විදුලි බල්බයක් දල්වන විට රටේ සමස්ථ විදුලිබල ඉල්ලුම වොට් 60කින් හෝ වෙනත් ගණනකින් වැඩි වේ. රූපවාහිනිය ක්‍රියාත්මක කළ විටද එයම සිදුවේ. විදුලි බල්බය ක්‍රියා විරහිත කළ විට ඉල්ලුම අඩුවේ. ඉල්ලුම මේ අයුරින් අඩු වැඩි වන විට සැපයුමද ඒ අනුව වෙනස් කළ යුතුය.

කෙසේවුවද, රටේ විදුලි බල සැපයුම වොට් 60ක් වැනි සුළු ගණනකින් වැඩි කළ නොහැකිය. සැපයුම වැඩි කළ හැක්කේ ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමෙනි. උදාහරණයක් ලෙස රන්දෙණිගල ජලවිදුලි බලාගාරයේ මෙගාවොට් 62ක ධාරිතාවක් ඇති විදුලි ජනක යන්ත්‍ර දෙකක් තිබේ. මේ දෙකෙන් එකක් ක්‍රියාත්මක කළ විට මෙගාවොට් 62ක සැපයුමක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වේ. දෙකම ක්‍රියාත්මක කළහොත් මෙගාවොට් 124ක් එකතු වේ. මේ අනුව, එක් විදුලිජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කළ විට වොට් 60ක විදුලි බල්බ මිලියනයක් දැල්වීමට අවශ්‍ය විදුලි බලය ජනනය වේ.

පෙර කී පරිදි, ලංකාවේ විදුලිබල ඉල්ලුම මොහොතින් මොහොත වෙනස් වේ. වැඩිම ඉල්ලුමක් ඇත්තේ හවස 7-8 අතරය. ඒ කාලය තුළ ඉල්ලුම මෙගාවොට් 2,000 පමණ දක්වා ඉහල යයි. ඉල්ලුම අඩුම පාන්දර 2-3 අතරය. ඒ කාලය තුල ඉල්ලුම මෙගාවොට් 900 පමණ දක්වා අඩුවේ. [ලංකාවේ විදුලිබල පද්ධතිය හා අදාළ නිවැරදිම දත්ත මා සතුව නැත. මෙහිදී මා ගණන් යොදාගන්නේ මා කියන කරුණු පැහැදිලි කිරීම සඳහාය. කෙසේවුවද, මේ ගණන් නිවැරදි ගණන් වලට ආසන්න බව මගේ අදහසයි.] මේ අතර සෑම මොහොතකම  ඉල්ලුම අඩු වැඩි වේ. එමෙන්ම, සතියේ දින අනුවද, නිවාඩු දින, ක්‍රිකට් තරඟ, මැතිවරණ කාල, සිංහල අවුරුදු, වෙසක් හා නත්තල් වැනි උත්සව කාල ආදිය අනුවද වෙනස් වේ. මෙසේ අඩු වැඩි වන විට සැලසුම් සහගතව විදුලිජනක යන්ත්‍ර ක්‍රියාත්මක හා අක්‍රිය කිරීම මඟින් මේ ඉල්ලුම හරියටම ගැලපිය යුතුය. උදාහරණයක් ලෙස මෙගාවොට් 10කින් සැපයුම වැඩිකිරීමට මෙගාවොට් 70ක ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර ක්‍රියාත්මකව තිබූ මෙගාවොට් 60ක ජනක යන්ත්‍රයක් අක්‍රිය කිරීම වැනි දෙයක් කරන්නට සිදුවිය හැකිය.


ලංකාවේ ලබාදෙන විදුලියේ සංඛ්‍යාතය 50කි. වෝල්ටීයතාව 230කි. රට තුල භාවිතා කරන ගෘහ විදුලි උපකරණ මෙන්ම කර්මාන්ත සඳහා යොදාගන්නා යන්ත්රෝපකරණද සාදා ඇත්තේ මේ සංඛ්‍යාතයට, වෝල්ටීයතාවයට සහ තවත් සංකීර්ණ තාක්ෂණික තත්ත්වයන් සමඟ ගලපමිනි. ඒ නිසා, සපයන විදුලිය සම්මත තත්ත්වයේ නොපැවතුනොත් මේ උපකරණ වලට හානි වීමේ සිට කාර්යක්ෂමතාව අඩුවීම දක්වා අවාසි සිදුවිය හැකිය. පවතින ඉල්ලුමට වඩා සැපයුම වැඩි වූ විට ජනක යන්ත්‍ර ත්වරණය වීම නිසා (සාමාන්‍ය වේගයට වැඩියෙන් කැරකීම නිසා) විදුලියේ සංඛ්‍යාතය 50 ඉක්මවයි. ඉල්ලුම වැඩි වුවිට සංඛ්‍යාතය අඩුවේ. මා දන්නා තරමින් විදුලිබල මණ්ඩලය උත්සාහ කරන්නේ මේ සංඛ්‍යාතය 49.5-50.5 අතර පවත්වා ගැනීමටය. මෙවැනි පරාසයක් ඇත්තේ සැපයුම හරියටම පාලනය කළ නොහැකි නිසාය.

විදුලිබල පද්ධතියක් විශාල වූ තරමට එය ස්ථාවරව තබාගැනීම වඩා පහසු වේ. එවිට, ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කළ විට එක් වර ඇතිවන බලපෑම විශාල ප්‍රදේශයක බෙදීයයි. ඇමරිකාව වැනි ඉතා විශාල ලෙස විදුලිය පරිභෝජනය කරන ලංකාව මෙන් සිය ගුණයකටත් වඩා විශාල රටකද (ඇලස්කාව හා හවායි හැර) ජාතික විදුලි බල පද්ධතිය පළමුව තනි පද්ධති තුනක් ලෙස වෙන වෙනමත්, දෙවනුව එක් පද්ධතියක් ලෙසත් සම්බන්ධ කර ඇත්තේ ඒ නිසාය. ලංකාව වැනි කුඩා රටක විදුලි ජනක යන්ත්‍ර සියල්ල සම්බන්ධ කළද එය සාපේක්ෂව කුඩා පද්ධතියක් බැවින් එහි සමතුලිතතාව රැකගැනීම පහසු කටයුත්තක් නොවේ.


මෙය කරන්නේ එක් තැනකිනි. එහි සේවය කරන ඉංජිනේරුවරු පැය විසි හතර පුරාම එහි රැඳී සිටිමින් අවශ්‍ය පරිදි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට හා අක්‍රිය කිරීමට දිවයින පුරා පිහිටි විදුලි බලාගාරවල සිටින ඉංජිනේරුවන්ට  උපදෙස් දෙති. ඉල්ලුම සැපයුම කළමනාකරණය කරන්නේ ඒ අයුරිනි.

කෙසේවුවද, මේ ඉල්ලුම් සැපයුම් කළමනාකරණය මීට වඩා බොහෝ සංකීර්ණ කටයුත්තකි. ඉල්ලුම සහ සැපයුම පවතින්නේ එකම ප්‍රදේශයේ නොවන නිසා විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී බලශක්ති හානියක් සිදුවේ. ලංකාවේ මෙසේ සිදුවන තාක්ෂනික හානිය මුළු නිෂ්පාදනයෙන් 10% පමණ වේ. කොළඹට විදුලිය සපයන විට හානිය අඩුය. යාපනයට සපයන විට ඉතා වැඩිය. එමෙන්ම, මෙසේ සම්ප්‍රේෂණය කිරීමේදී වෝල්ටීයතාව අඩුවේ. ජව සාධකය (power factor) වැනි වෙනත් තත්ත්වයන්ද පැවතිය යුතු තත්ත්වයෙන් පිට පනී. ඒ නිසා, රටේ කොතන හෝ ඇති ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර විදුලිය සැපයිය නොහැකිය. රට පුරා වෝල්ටීයතාවය හා ජව සාධකය අවශ්‍ය මට්ටමේ තබා ගනිමින් එය කළ යුතුය. මෙය පහසු නැත.

ඉහත ආකාරයේ තාක්ෂනික කරුණු වලට අමතරව ආර්ථික සාධක ගැනද සැලකිලිමත් වීමට සිදුවේ. ජල විදුලිය ඒකකයක් නිපදවීමට යන වියදම රුපියල් 1-1.50 පමණ වුවත් ගල් අඟුරු වලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 9-10 පමණත් ඩීසල් වලින් නිපදවීමට රුපියල් 15 පමණත් (මා සිතන පරිදි දැනට ඇති අඩු ඉන්ධන මිල ගණන් යටතේ) වැය වේ. එමෙන්ම, විදුලිය නිපදවීම සඳහා ජලය ප්‍රයෝජනයට ගැනීමේදී කෘෂිකාර්මික අවශ්‍යතා ගැනද සැලකිලිමත් වීමට සිදුවේ. මහවැලි සංකීර්ණය වැනි සංකීර්ණ වල ඉහල රඳවා ඇති ජලය ක්‍රමයෙන් පහළට ගෙන එමින් කිහිප වරක්ම ප්‍රයෝජනයට ගන්නා බැවින් ඒ රටා ගැනද සැලකිලිමත් විය යුතුය. මේ සියල්ල කිරීම තබා එහි සංකීර්ණත්වය ඒ පිලිබඳ දැනුමක් නැති දේශපාලනඥකුට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට පහදා දීම වුවද පහසු කටයුත්තක් නොවේ.


කිසියම් හේතුවක් නිසා සමස්ත විදුලිබල ධාරිතාව සමස්ත විදුලිබල ඉල්ලුමට වඩා අඩුවූ විට විදුලිය කප්පාදු කිරීමට සිදුවේ. මෙහිදී කරන්නේ රටේ කිසියම් ප්‍රදේශයක විදුලිය කපා හැරීම මඟින් සමස්ත ඉල්ලුම අඩුකර සැපයුම සමඟ ගැලපීමයි. මුළු රටේම එක් වර විදුලිය නොකපන්නේ එසේ කිරීමෙන් අවශ්‍ය කටයුත්ත සිදු නොවන නිසාය.

කිසියම් හේතුවකින් පද්ධති බිඳවැටීමක් සිදුවූ විට ක්ෂණිකවම ඉල්ලුම සැපයුම වෙනස් වේ. මෙවැනි අවස්ථාවකදී සිදුවන හානිය අවම කරගැනීම සඳහා වහාම ජනක යන්ත්‍ර එකක් හෝ කිහිපයක් ස්වයංක්‍රීයව අක්‍රිය වන පරිදි ජාතික විදුලිබල පද්ධතියක් සැලසුම් කෙරේ. බිඳවැටීමේ බලපෑම ඉතා විශාලනම් සමස්ත පද්ධතියම ක්ෂණිකව අක්‍රිය විය හැකිය. 2003 අගෝස්තුවේදී සිදු වූ මෙවැනි පද්ධති බිඳ වැටීමකින් ඊසානදිග ඇමරිකාවේ හා කැනඩාවේ ප්‍රාන්ත ගණනාවක වැසියන්ට පැය ගණනක් අඳුරේ සිටීමට සිදුවිය. 2011 දී
ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ ප්‍රාන්ත ගණනාවකද මෙවැන්නක් සිදුවිය. 2012 ජූලි මාසයේ ඉන්දියාවේ සිදුවූ මෙවැනි පද්ධති බිඳ වැටීමකින් මුළු උතුරු ඉන්දියාවටම අඳුරේ සිටින්නට සිදුවිය. ලෝක ජනගහණයෙන් 9%ක් අඳුරේ තැබූ මේ පද්ධති බිඳ වැටීම මෙතෙක් ලොව සිදුවූ විශාලම පද්ධති බිඳ වැටීමයි.

ලංකාවේ පද්ධති බිඳ වැටීමට මුල් වූ කරුණ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න ගැන සැලකිලිමත් විය යුතුය. කෙසේවුවද, එක් තැනෙක සිදුවූ බිඳ වැටීමක් නිසා රටේම විදුලිය නැතිවීම අසාමාන්‍ය තත්ත්වයක්නම් නොවේ. මෙසේ වූ විට, ජනක යන්ත්‍ර සියල්ලම එක් වර ක්‍රියාත්මක කළ නොහැකිය. පද්ධතියේ සමතුලිතතාව පවත්වාගනිමින් එකින් එක ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා යම් කාලයක් ගතවන නමුත් පැය නවයක් වැනි විශාල කාලයක් ගතවීමනම් තේරුම් ගැනීමට අපහසුය. 



(Image: http://www.ndtv.com/world-news/sri-lanka-suffers-worst-blackout-in-20-years-1286782)

Monday, March 14, 2016

ශුභ පයි දිනයක්!


ග්‍රීක් භාෂාව ග්රීසියේ ප්‍රධාන භාෂාවයි. එය සයිප්‍රසයේත් (තුර්කි භාෂාව සමඟ) ප්‍රධාන භාෂාවකි. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජර්මනිය හා කැනඩාව ප්‍රධාන රටවල් ගණනාවක විසිරී සිටින ග්‍රීක ඩයස්පෝරාවට අයත් සැලකිය යුතු පිරිසක්ද ග්‍රීක් බස වහරති. කෙසේ වුවද, ග්‍රීක් බස වහරන සමස්ත ලෝක ජනගහණය සිංහල වහරන ජනගහණයට වඩා ප්‍රමාණයෙන් අඩුය.

ග්‍රීක් භාෂාව සහශ්‍ර ගණනක් තුළ ඉතා අඩුවෙන්ම වෙනස් වූ බසකි. සියවස් විසි හතරකට පෙර මහා පිලිප් රජ කරන කාලයේ ග්‍රීසියේ ජීවත් වූ අයෙකු අද එහි වසන්නෙකු හමුවුවහොත් ඔවුන්ට අපහසුවකින් තොරව අදහස් හුවමාරු කරගත හැකි වනු ඇතැයි සැලකේ. ග්‍රීසියේ පැරණි ලේඛණ කියවීමට නූතන ග්රීකයෙකුට අමුතු වෙහෙසක් දැරීමට සිදු නොවේ. එමෙන්ම, මේ වසර සියවස් විසිහතර තුළ ග්රීකයින්ගේ නම්ද වෙනස් වී නැත.

ලෝකයේ වෙනත් බස් වහරන බොහෝ දෙනෙකුට ග්‍රීක් භාෂාව ග්‍රීක් වගේ වුනත් මේ ගොඩ දෙනෙකුට තමන් ග්‍රීක් අකුරක්වත් නොදන්නා බව කිව නොහැකිය. විද්‍යාව හා ගණිතය වැනි විෂයයන් හදාරන බොහෝ දෙනෙකුට ග්‍රීක් හෝඩිය ග්‍රීක්ම නැත.

ග්රීකයින් නොවන වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මාද මුලින්ම උගත් ග්‍රීක් අකුර පයි (
π) අකුරයි. එය මුලින්ම උගත්තේ ප්‍රාථමික පංතියකදී වෘත්තයක පරිධියේ දිග හා වර්ග ඵලය සොයන සමීකරණ ඉගෙනගන්නා අවස්ථාවේදීය. පයියාගල කියන්නට ලැජ්ජාවට පයාගල කියා කියන්නාක් මෙන් මේ ග්‍රීක අකුරද බොහෝ විට අපි ෆයි යනුවෙන් උච්ඡාරණය කළෙමු. ග්‍රීක පයි අකුර යෙදෙන්නේ සිංහල පයන්නෙන් එන ශබ්දයට ඉතා ආසන්න ශබ්දයක් හැඟවීමටය. නූතන ග්‍රීක් භාෂාවේ 'ෆ' ශබ්දය හඟවන 'ඵයි' (Φ) නම් වූ තවත් අකුරක් ග්‍රීක හෝඩියේ තිබේ. ෆයි කියා උච්ඡාරණය කළහොත් ග්රීකයෙකු එය තේරුම් ගන්නේ මේ ඵයි අකුර ලෙසින්ය.

ගණිතයේදී ග්‍රීක පයි අකුර යොදාගන්නේ එක්තරා වැදගත් නියතයක් හඳුනාගැනීමටය. මේ නියතය නිශ්චිත අගයක් ඇති අපරිමේය සංඛ්‍යාවකි. මේ අංකයේ නිවැරදිම අගය ආසන්න වශයෙන් මිස දශකමය සංඛ්‍යාවක් ලෙස හරියටම ලියා පෙන්විය නොහැකිය. දශකමය සංඛ්‍යාවක් ලෙස හරියටම ලියා පෙන්වීම අපහසු වෙනත් බොහෝ සංඛ්‍යා තිබේ. එහෙත් මේ බොහොමයක් සංඛ්‍යා 1/3 හා 1/7 වැනි පුනරාවර්තී දශම සංඛ්යාවන්ය. උදාහරණයක් ලෙස 1/3=0.33333333......වන අතර 1/7= 0.142857142857142857...වේ. මෙවැනි පුනරාවර්තී දශම සංඛ්යාවක පුනරාවර්තනය වන සංඛ්‍යාව හෝ සංඛ්‍යා කිහිපය උඩින් ඉරක් ඇඳීමෙන් එවැනි සංඛ්‍යාවක් ලියා දැක්වීමට පුළුවන.

කෙසේ වුවද, පයි අකුරෙන් නියෝජනය වන අපරිමේය දශම සංඛ්‍යාව එවැනි පුනරාවර්තී දශම සංඛ්යාවක් නොවේ. අනුභූතී උත්තර සංඛ්‍යාවක්ද (Transcendental number) වන මේ සංඛ්‍යාවේ අගය දශමස්ථාන ට්‍රිලියනයක් ඉක්මවා ගණනය කර ඇති අතර ඒ දක්වාම එම සංඛ්‍යාව කිසිදු නිශ්චිත රටාවක් නොපෙන්වයි. (ට්‍රිලියනය ගැනනම් දැන් ලංකාවේ කවුරුත් දන්නවා ඇතැයි සිතමි.) මේ නියතය හරියටම පැවසීම මේ තරම් අමාරු වුවත් ප්‍රායෝගික කටයුතු සඳහා එය බාධාවක් නොවේ. දශමස්ථාන හතරකට එහි අගය 3.1416 වේ.


අද ක්‍රිස්තු වර්ෂයෙන් 2016 මාර්තු 14 වෙනිදාය. සිංහල ක්‍රමයට අප මේ දිනය ලියන්නේ 2016-03-14 හෝ 16-03-14 ලෙසිනි. තර්කානුකූලව වඩා නිවැරදි ක්‍රමය ලෙස සැලකිය හැකි අවුරුද්ද මුලට දමන මෙම ක්‍රමය දැන් ලංකාවේ භාවිතා වන්නේ අඩුවෙනි. එහෙත්, චීනය, ජපානය හා කොරියාව වැනි අග්නිදිග ආසියාතික රටවලත්, ඉරානයේත් තවමත් දිනය ලියන්නේ මේ ආකාරයෙනි.

ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල මේ වන විට ප්‍රධාන වශයෙන්ම දිනය ලියන්නේ ඉංග්‍රීසි (එංගලන්ත) ක්‍රමයටය. ඒ අනුව දිනය මුලට දමා අද දිනය 14-03-16 ලෙස ලියැවේ. කෙසේ වුවද, ඇමරිකාවේ දිනය ලියන්නේ ඉහත ක්‍රම දෙකටම වඩා වෙනස් ලෙස මාසය මුලට දමමිනි. ඒ අනුව අද දිනය ලියන්නේ 03-14-16 ලෙසිනි. ඇමරිකාව පමණක් භාවිතා කරන මේ ක්‍රමය
කිසිදු තර්කානුකූල පදනමක් නොමැති ක්‍රමයක් ලෙස පෙනේ. මේ ක්‍රමය භාවිතා වීමට පාදක වූ හේතුවක්ද දැනගන්නට නැත.

ඇමරිකානු ක්‍රමයට මාර්තු 14 ලියන්නේ 3-14 ලෙස වීමත්, ගණිතයේදී යොදාගන්නා පයි සංකේතයේ දශමස්ථාන දෙකකට ආසන්න අගය 3.14 වීමත් නිසා මාර්තු 14 ඇමරිකාවේ ජාතික පයි දිනය ලෙස සැලකේ. දිනය නම් කිරීමේ අරමුණ ගණිතය පිලිබඳ දැනුම පුළුල් කිරීමයි.


අද දිනය ඇමරිකානු ක්‍රමයට 3-14-16 නිසා ඇත්තටම මේ දිනය දශමස්ථාන හතරකටම නිවැරදිය. කෙසේවුවද, පසුගිය වසරේ මාර්තු 14 දින උදේ 9:26:53ට මේ අගය අංක (digits) දහයක් දක්වාම ගැලපුනේය.

ශුභ පයි දිනයක්!


(Image:http://logcabincooking.com/i-made-you-a-winter-squash-birthday-pi-albert-einstein/pi-day-6-2/)

Sunday, March 13, 2016

සතර පෙර නිමිති නොදැකීම


පිළිකාවක් හේතුවෙන් සිදු වූ මිතුරෙකුගේ මරණයක් ගැන මම දෙසතියකට පෙර ලිපියක සඳහනක් කළෙමි. වත්පොත හරහා මේ පුවත දැනගන්නා මොහොතේ ඒ මරණය හා අදාළ තවත් කරුණු දෙකක් දැනගන්නට ලැබුණේය.
-ඔහු මේ පුවත දැනගන්නා විට පිළිකාව සුව කළ නොහැකි මට්ටමට වර්ධනය වී තිබී ඇත.
-මේ ගැන වෙනත් අයට කියනවාට ඔහුගේ වැඩි කැමැත්තක් තිබී නැත.

පසුගිය වසර දෙක තුළ ඇමරිකාවේ ජීවත් වූ මගේ වෙනත් මිතුරු මිතුරියන් තිදෙනෙකුට පිළිකා සෑදී මේ වන විට සුවය ලබා සිටිති. එයින්, දෙදෙනෙකු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ය. මගේ පදිංචිය වෙනස්වීම් නිසා ඔවුන් මේ රෝගයට පාත්‍ර වන විට මා මේ මිතුරා හා මිතුරිය දැන හඳුනාගෙන වැඩි කාලයක් නැත. අනෙක් මිතුරිය පිලිපීන සම්භවයක් ඇති තැනැත්තියකි. දශකයක පමණ කාලයක් තිස්සේ මා දන්නා ඇය සමඟ මා රටවල් කිහිපයකදී අවස්ථා කිහිපයක්ම සමීපව කටයුතු කර ඇත.

බටහිර රටවල පිළිකාවකින් සුවය ලැබීමේ ඉඩකඩ (survival rate) දියුණු වන රටවල එම ඉඩකඩට වඩා සැලකිය යුතු ලෙස විශාලය. මෙයට එක් හේතුවක් වන්නේ මුල් අදියරේදීම පිළිකා වැඩි ප්‍රමාණයක් හඳුනාගැනීමයි. එසේ වුවද, බටහිර රටකදී පිලිකාවක් වැළඳීමට ඇති ඉඩකඩ කිහිප ගුණයකින් වැඩි නිසා පිළිකාවකින් මරණයට පත්වීමේ ඉඩකඩද වැඩිවී තිබීම වෙනම කතා කළ යුතු කරුණකි.

අකල් මරණයකට පත් වූ, මුලින්ම සඳහන් කළ මිතුරා මෙන්ම පෙර කී අනෙක් මිතුරා හා මිතුරියද තමන්ගේ රෝග තත්ත්වය ගැන වෙනත් අය දැනගන්නවාට එතරම් කැමැත්තකින් සිට නැති බව පෙනේ. මෙයින් වඩා වයසින් අඩු මිතුරිය ඇගේ පිළිකාව හා සටන් කර ජයගත් බව මා වත්පොත හරහා දැනගත්තේ ඇය විසින්ම අවසානයේ ඒ බව වත්පොත හරහා දැනුම් දීමෙන් පසුවය. ඒ අතරවාරයේදී මට ඇයව කිහිප වරක්ම පෞද්ගලිකව හමුවන්නට ඇත.

දෙවන මිතුරා රෝහල්ගතව සිටින බව මා 'වටෙන් ගොඩෙන්' දැනගත්තත්, ඇතැම් විට ඒ වන විට ඔහු සමඟ මගේ ලොකු සම්බන්ධයක් නොතිබූ බැවින්, වෙනත් මිතුරන් ඒ ගැන මා සමඟ කතාබහ නොකළේය. තමන්ගේ සමීපතම නෑදෑයන් ආදීන්ගෙන් වෙන්ව සිටින අයෙකුට මෙවැනි අවස්ථාවකදී වෙනත් අයෙකුගේ උදවුවක වටිනාකම බොහෝ වැඩිය. මගේ රැකියාවේ ස්වභාවය අනුව මට නිශ්චිත සේවා මුරයක් තුළ සේවය කිරීමට බොහෝ විට අවශ්‍ය නොවන නිසා දිනක් හෝ  කිහිපයක් රෝහලේ නැවතී ඔහුට අත් උදවු කිරීමේ හැකියාවක් මට තිබුණේය. එහෙත්, තමන්ගේ රෝගය ගැන 'හැමෝම දැනගන්නවට' ඔහු අකමැති වූ බැවින් ඔහුගේ පෞද්ගලිකත්වයට ගරු නොකර උදවුවක් කිරීමේ හැකියාවක් මට තිබුණේ නැත.

කෙසේ වුවද, පිලිපීන මිතුරියගේ ප්‍රවේශය වූයේ මීට වඩා වෙනස් එකකි. මුලින් පිලිපීන මුදල් අමාත්‍යාංශයේත්, පසුව ලෝක බැංකුවේත් සේවය කළ ඇය මේ සිදුවීම වන විට ඇමරිකානු සරසවියක ආචාර්ය උපාධිය හදාරමින් සිටියාය. පිළිකාව වැළඳෙන විටත් අවිවාහකව සිටි ඇය වෘත්තීය කටයුතු වලට දක්වන සැලකිල්ලම සාමාන්‍යයෙන් රූ සපුව ගැනද දැක්වූ තැනැත්තියකි. පිළිකාවෙන් බේරීමට ඇයට ඇගේ පියවුරක් ඉවත් කිරීමට සිදු විය. විකිරණ ප්‍රතිකාර නිසා ඈ මහත් සැලකිල්ලෙන් නඩත්තු කළ දිගු වරල සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය. මා මේ සියළු දේ දැනගත්තේ ඈ ඇගේ පිළිකාව මුලින්ම හඳුනාගත් තැන් පටන් සියළු අදියරයන් වෙනම බ්ලොග් එකක යාවත්කාලීන කළ බැවිනි.

මේවා පුද්ගලික තේරීම්ය. එහෙත්, මගේ සාමාන්‍ය නිරීක්ෂණය වන්නේ බොහෝ ලාංකිකයින් පිළිකාවක් වැනි රෝගයක් වැළඳුනු විට ඒ බව රහසිගතව තබාගැනීමට උත්සාහ කරන බවයි. වෙනත් රටකට සංක්‍රමණය වී වසර ගණනක් ජීවත් වුවද මෙවැනි පුරුදු ඇතැම් විට වෙනස් නොවේ. වෙනත් අයෙකුගෙන් උදවු උපකාරයක් ලබා ගැනීමට ඇති හැකියාවද නොසලකමින් මෙසේ හැසිරෙන්නේ ඇයිද යන්න විමසිය යුතු කරුණකි.

බටහිර රටකට සාපේක්ෂව ලංකාවේදී වෙනත් අයෙකුගේ රෝගයක් වැනි තත්ත්වයක් ගැන පුද්ගලයින් වැඩිපුර සැලකිලිමත් වේ. මේ නිසා 'වෙන කෙනෙකුට කරදර කළ යුතු නැත' යන මානසිකත්වය මේ තත්ත්වයට මුල් වෙනවා විය හැකිය. එහෙත්, මට සිතෙන පරිදි මෙයට වෙනත් හේතුද තිබේ.

කොයිතරම් මරණයේ අනියත බව ගැන කතා කළත් ලංකාවේ බොහෝ දෙනා මරණයට වගේම මාරාන්තිකයැයි සාමාන්‍යයෙන් සිතන රෝග වලටත් ඇත්තේ පුදුම බයකි. සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, ලංකාවේ කාන්තාවන්ගේ එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ දැනුම් මට්ටම මම පසුගිය ලිපියකින් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළෙමි. මේ වන විට, එච්අයිවී වෛරසය ශරීරගත වීම දශක දෙකකට පෙර මෙන් මාරාන්තික තත්ත්වයක් නොවේ. අධි සක්‍රිය ප්‍රති-වෛරස් ප්‍රතිකාරකය (Highly active antiretroviral therapy - HAART) වැනි සම්බන්ධීකරණය කළ ඖෂධ පංතියක් දිගටම ගැනීමෙන් එච්අයිවී වෛරසය ශරීරගත වූ බොහෝ දෙනෙකු දැන් ඒඩ්ස් තත්ත්වයට එළඹෙන්නේ නැත. ඒ අනුව, එච්අයිවී වෛරසය ශරීරගත වීම කොලෙස්ටරෝල් හෝ සීනි වැඩිවීම වැනි රෝගකාරක තත්ත්වයක් බවට දැන් පත් වී ඇති අතර බටහිර රටවල එච්අයිවී ආසාදිත පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයුකාලය සාමාන්‍ය පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයුකාලයටම ආසන්නය.

තත්ත්වය එසේ වුවද, එච්අයිවී ආසාදිත පුද්ගලයෙකු සමඟ සාමාන්‍ය සමාජ කටයුත්තක යෙදීමට සූදානම් පිරිස කොතරම් සීමිත විය හැකිද යන්න පසුගිය දින වල ලංකාවේ සිදුවූ සිදුවීම් වලින් පැහැදිලි විය. ඒ සිදුවීම් වසර හයකට පෙර සිදුකළ සමීක්ෂණයේ දත්ත තහවුරු කරයි.

එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ දැනුම් මට්ටම ගැන ඉහත ආකාරයේ සමීක්ෂණයක් සිදුකර තිබුණත් පිලිකා පිලිබඳ දැනුම හා ආකල්ප ගැන මා දන්නා තරමින් මෙවැනි සමීක්ෂණයක් සිදු කර නොමැත. එහෙත්, මගේ පෞද්ගලික අදහසනම් පිළිකා පිලිබඳ දැනුම හා ආකල්ප වුවද එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ තත්ත්වයෙන් විශාල ලෙස වෙනස් නොවන බවයි.


ලංකාවේ යමෙකුට පිළිකාවක් වැළඳුණු විට ඒ බව වෙනත් අය දැනගන්නවාට කැමති අය සිටිනවානම් ඒ බොහෝ අඩුවෙනි. එච්අයිවී/ඒඩ්ස් හැදුණු විටක මෙන්ම මෙහිදීද වන්නේ "ඔය හංගගෙන හිටියට පුෂ්පගෙ හස්බන්ඩ්ට පිළිකාවක්ලු!" ආකාරයේ කටකතා පැතිරීමයි. එමෙන්ම, පිළිකා වාතයෙන්, ආහාර වලින් වැනි ක්‍රම වලින් බෝ නොවුණත්, පිළිකා රෝගියෙකුගේ නිවසට නිතර යන්න එන්නට හෝ එවැන්නෙකු සමඟ කෑම කන්නට බොහෝ ලාංකිකයින් පැකිලෙන බව මගේ උපකල්පනයයි. තමාගේ රෝගය ගැන ප්‍රචාරය වනවාට බොහෝ දෙනෙකු අකැමති වන්නේ මේ හේතුවද නිසාය.

අපි සතර පෙර නිමිති ගැන ඕනෑ තරම් අසා ඇත්තෙමු. සතර පෙර නිමිති ඕනෑ තරම් අපට පෙනෙන්නට තිබේ. එහෙත්, බොහෝවිට අපි සතර පෙර නිමිති නොදකිමු.



(Image: adarawanthaingearamaya.blogspot.com/)

Thursday, March 10, 2016

බොරු, පට්ටපල් බොරු හා සංඛ්‍යාලේඛණ


ගිණුම්කරණ සම්මතයන්ගේ ඇති අවිනිශ්චිතතාවන් උපයෝගී කරගෙන සැබෑ ලෝකයේ යම් නිශ්චිත ආකාරයකින් සිදුවන දෙයක් වෙනස් ආකාර කිහිපයකින් වාර්තා කිරීමේ යම් හැකියාවක් පවතී. පහත උදාහරණය සලකමු.

සිරිපාල කිසියම් රැකියාවක් කර මසකට රුපියල් 20,000ක ආදායමක් ලබයි. ඔහුගේ මාසික වියදම රුපියල් 30,000කි. මේ දෙක අතර ඇති අඩුව පුරවා ගැනීමට සිරිපාලට මාස්පතා වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදුවේ. ආදායම වැඩියෙන් පෙන්විය හැකිනම් ණය ගැනීම වඩා පහසුය.

ඉහත දත්ත අනුව සිරිපාලගේ අයවැය හිඟය රුපියල් 10,000කි. ඔහුගේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස එය 50%කි.

සිරිපාල ජීවත් වන්නේ දෙමවුපියන්ගෙන් ලැබුණු නිවසේය. මේ නිවස කුලියට දුන්නොත් ඔහුට මසකට රුපියල් 10,000ක් ලබාගත හැකිය. එමෙන්ම, ඔහු එවැනි නිවෙසක් කුලියට ගත්තොත් ඔහුට මසකට රුපියල් 10,000ක් ගෙවන්නට වනු ඇත. ඒ නිසා, සිරිපාලගේ පරිභෝජන වියදම රුපියල් 30,000ක් කීම නිවැරදි නැත. අයිතිය තමන්ටම වුවත් නිවසේ සිටීම මඟින් සිදුකරන පරිභෝජනයද සැලකුවහොත්, ඔහු ඇත්තටම රුපියල් 40,000ක් වටිනා භාණ්ඩ හා සේවා පරිභෝජනය කරයි. එමෙන්ම, ඔහුට තමාගේ දේපල වලින් (නිවසෙන්) කුලිය ලෙස මසකට තවත් රුපියල් 10,000ක ආදායමක්ද ලැබේ. ඒ අනුව, සිරිපාලගේ මුළු ආදායම රුපියල් 30,000කි.

මෙහිදී ඇත්තටම සිදුවන්නේ සිරිපාල විසින් ඔහුට අයිති දේපල එහි වෙළඳපොළ වටිනාකමට ඔහුටම කුලියට දුන් සේ සැලකීමයි. එසේ සැලකීම හෝ නොසැලකීම මත ඔහුගේ සැබෑ ජීවන තත්ත්වයේ කිසිදු වෙනසක් වුනේ නැත. එහෙත්, ඔහුගේ "අයවැය හිඟය" දැන් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 50% සිට 33.3% දක්වා අඩු වී තිබේ.

සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමේදී තාක්ෂණිකව වැරදි නොවන මෙවැනි 'විජ්ජා' කිරීමට පුළුවන. ඒ විජ්ජා සංකීර්ණ වූ විට බොහෝ දෙනෙකුට යම් අවුලක් ඇඟට දැනුණත් සිදුවුනේ කුමක්ද කියා හරියටම මීටර් වෙන්නේ නැත. මෙවැනි සමහර සංඛ්‍යාලේඛණ විජ්ජානම් අතේ මාට්ටු වෙන ඒවාය. එහෙත්, ඒවා වුවත් කෙනෙකුට පෙනෙන්නේ විමසිලිමත් වුවහොත් පමණි.

පැරා විසින් රාවය පුවත්පතෙන් උපුටාගෙන පළ කර ඇති මේ සංඛ්‍යාලේඛණ අනුව, 2016 සඳහා ඇස්තමේන්තු කර ඇති අමාත්‍යංශ සියල්ලේ මුළු වියදම රුපියල් බිලියන 1,661 සිට රුපියල් බිලියන 2,128 දක්වා 28%කින් වැඩි වී ඇත. රජයේ වියදම් ගැන කතා කරන විට බොහෝ දෙනා කතා කරන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැනය. අනෙක් කේෂ්ත්‍ර වලට සාපේක්ෂව අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා කෙරෙන වියදම් ගැන බොහෝ දෙනාගේ ඇත්තේ ධනාත්මක අදහසකි.

ඉහත සංඛ්‍යාලේඛණ අනුව, 2015 වසරට සාපේක්ෂව අධ්‍යාපනය සඳහා වන ප්‍රතිපාදන 45%කින්ද, සෞඛ්‍යය සඳහා වන ප්‍රතිපාදන 29%කින්ද ඉහළ දමා ඇති අතර සියළු අමාත්‍යාශ වල මුළු වියදමෙන් පිළිවෙලින් 16%ක් හා 11%ක් වෙන් කර ඇත්තේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙනි. මේ අනුව, 2016 වසර තුළ අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍ර වල සැලකිය යුතු දියුණුවක් ඇතිවෙනු ඇතැයි යමෙකුට අපේක්ෂා කළ හැකිය.

ඇත්තටම එහෙම වෙයිද? 

මෙය තීරණය වන්නේ මේ වියදම් වැඩි කර ඇත්තේ කවර අනු අංශයන් යටතේද යන්න මතය. මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ මේ වන විටත් ඇති අයවැය ඇස්තමේන්තු සැලකිල්ලෙන් පරීක්ෂා කළහොත් පිළිතුර සොයාගැනීම අපහසු නැත.

අධ්‍යාපනය සඳහා රජය විසින් වැයකෙරෙන මුළු මුදල අමාත්‍යංශ කිහිපයක් අතර බෙදී යයි. මේ අතරින් විශාලම ප්‍රතිපාදන වැඩිවීම පෙනෙන්නට ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේය. එම අමාත්‍යාංශයට 2015දී වෙන් කළ රුපියල් මිලියන 62,134ක මුදල 2016දී රුපියල් මිලියන 185,975 දක්වා තෙගුණයකින් වැඩිකර තිබේ. මෙය ඉතා විශාල වැඩි වීමකි. අධ්‍යාපනය සඳහා වැඩිපුර වෙන්කළ ප්‍රතිපාදන වලින් වැඩි කොටසක් ඇත්තේ මෙතැනය.

කෙසේ වුවද, එක් එක් අනු අංශ පිරික්සීමේදී කොතැනකවත් එවැනි විශාල වැඩි වීමක් පෙනන්නට නැත. එසේනම්, මේ වැඩිවීම සිදුවුනේ කෙසේද?

2106 අයවැය ඇස්තමේන්තු වෙළුම 2 පිටුව 217 වෙත ගිය විට රහස හමු වේ.

http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2016/approved/sin/bdgtestmates2016S-vol2.pdf

2016 ප්‍රතිපාදන වෙන් කිරීම් වල 2015දී නොතිබුණු අළුත් කැටගරියක් තිබේ. මේ කැටගරිය නම් කර ඇත්තේ "රාජ්‍ය ආයෝජන පවත්වාගෙන යාමේ පිරිවැය- ඉඩම් හා ගොඩනැගිලි" යනුවෙනි. අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර ඇති රුපියල් මිලියන 185,976 ක මුදලින් රුපියල් මිලියන 121,976ක්ම ඇත්තේ ඇත්තේ මේ අළුත් කැටගරිය යටතේය. ඒ මුදල ඉවත් කළහොත් ඉතිරි වන්නේ රුපියල් මිලියන 64,626ක් පමණි. මේ මුදල 2015 ගණන වූ රුපියල් මිලියන 62,624ට වඩා වැඩි වන්නේ යාන්තමිනි.

එතකොට මොකක්ද මේ අළුත් කැටගරිය?

දිවයින පුරා පවත්වාගෙන යන රජයේ පාසැල් 10,121ක් සතුව සැලකිය යුතු ඉඩම් හා ගොඩනැගිලි ප්‍රමාණයක් තිබේ. මේ ඉඩම් හා ගොඩනැඟිලි වෙන කාට හෝ කුලියට දුන්නොත් රජයට විශාල මුදලක් උපයා ගන්නට පුළුවන. එසේ කිරීමට නොහැකි වී තිබෙන්නේ ඒ ඉඩම් හා ගොඩනැගිලි පාසැල් සඳහා ප්‍රයෝජනයට ගන්නා (හෝ නොගන්නා) නිසාය. එසේනම්, මෙය අධ්‍යාපනය සඳහා වැය කෙරෙන වියදමකි.

අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එකතු වූ ආකාරයෙන්ම මේ කැටගරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශිර්ෂයටද එකතු කර තිබේ. (2016 අයවැය ඇස්තමේන්තු වෙළුම 1 පිටුව 299 බලන්න.)

http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2016/approved/sin/bdgtestmates2016S-vol1.pdf

සෞඛ්‍ය අමාත්‍යාශයේ පිරිවැයද 2015දී වූ රුපියල් මිලියන 148,184 සිට රුපියල් මිලියන 174,078 දක්වා වැඩි කර ඇත්තේ ඉහත කැටගරිය යටතේ රුපියල් මිලියන 17,878ක් එකතු කිරීමෙනි. එය ඉවත් කළ විට ඉතිරි වන්නේ සුළු වැඩි වීමක් පමණි.

රජයට ස්මාර්ට් විසඳුම් නැතැයි ඇතැම් අය කියති. එහෙත්, මේ තරම් සරල ස්මාර්ට් විසඳුමක්නම් මා දැක ඇති බවක් මතක නැත.

මා පාසැල් යන කාලයේ අපේ පාසලේ පැත්තකද දම් කැලයක් තිබුණේය. දැනටත් බොහෝ ග්‍රාමීය පාසැල් සතුව මෙවැනි ඉඩම් තිබෙනවා විය හැකිය.  අධ්‍යාපනයට වැය කරන වියදම් තවත් මදිනම් දැන් කරන්නට ඇත්තේ මේ ඉඩකඩම් සඳහා අය කරන කුලිය වැඩි කර එය නොගෙන සිටීම පමණි.

මෙහිදී සිදුවී ඇත්තේ ගිණුම්කරණ සම්මත වෙනස්වීමක් නොවේ. හිතාමතාම සිදු කළ සංඛ්‍යාලේඛණ විජ්ජාවකි. එය ගිණුම්කරණ ක්‍රමවේදයේ සිදුවූ වෙනසක්නම් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වල වැය ශීර්ෂ වලට පමණක් බලපෑමට හේතුවක් නැත. වනජීවී, ආරක්ෂක වැනි අමාත්‍යාංශ යටතේද විශාල රජයේ දේපල ප්‍රමාණයක් තිබේ.

පැරා විසින් උපුටාගත් රාවය සංඛ්‍යාලේඛණ පිළියෙළ කළේයැයි මා සිතන අහිලන් කදිරගාමර්ටනම් මෙය අසු වී නැත. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රතිපාදන වැඩි කර තිබීම ඔහු විසින් බොහෝ තැන්වල අගය කර තිබීමෙන් එය පෙනේ. එහෙත්, මෙය පරීක්ෂාවෙන් බලන ඕනෑම කෙනෙකුට අතටම අහුවෙන ඉතාම ලාබ සංඛ්‍යාලේඛණ විජ්ජාවකි.

මෙසේ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ වලට 'නැති' අරමුදල් එකතු කිරීමටනම් රජයේ ආදායමට 'නැති' ඉපයීමක්ද එක් කළ යුතුය. රජයේ බදු නොවන ආදායම් 2015දී පැවති රුපියල් බිලියන 126 සිට රුපියල් බිලියන 378 දක්වා තෙගුණයකින් වැඩි වී ඇත්තේ මේ 'නැති ආදායම' එකතු කිරීම නිසාය. 2016 වසර සඳහා වූ ආදායම් ඇස්තමේන්තු වල ආදායම් කේතය 20.02.01.05 යටතේ "Notional Rent income from Land & Building" යනුවෙන් අළුතින් කැටගරියක් එකතු කර රුපියල් බිලියන 139 ක් (රුපියල් මිලියන 139,230ක්) රජයේ ආදායමට එකතු කර ඇති බව ඔබට බලා ගත හැකිය. මේ මුදල ඉහත අධ්‍යාපන හා සෞඛ්‍ය වැය ශීර්ෂ වලට එකතු කර ඇති අයිතම දෙකේ එකතුවට සමානය.

http://www.treasury.gov.lk/images/depts/fpd/docs/circulars/Revenue_Estimate_%202016.pdf

මේ ආකාරයට නැති ආදායම් පෙන්වීමට හැකි වුවද රජයට ඒ නැති ආදායම් වියදම් කළ නොහැකිය. එමෙන්ම, පළාත් සභා ආදායම් කියා ඇති කොටසද ඇත්තටම නැති ආදායමකි. පළාත් සභා වල වියදම කිහිප ගුණයකින් වැඩි නිසා මේ මුදල් ඇත්තටම මධ්‍යම රජයට ලැබෙන මුදල් නොවේ. රජයේ සැබෑ ආදායම් වන්නේ බදු ආදායම් පමණි. එමෙන්ම, අයවැය යෝජනා නැවත ආපසු හැරවීම නිසා ඒ යෝජනා හරහා මුලින් ලබාගැනීමට අපේක්ෂා කළ බදු ආදායමෙන්ද තුනෙන් එකක් පමණ ලැබීමේ ඉඩක් නැත. ඒ නිසා, රජයට ඉතිරිව ඇති විසඳුම් දෙක වනුයේ තවදුරටත් වක්‍ර බදු වැඩිකිරීම හෝ මුදල් අච්චු ගැසීම පමණි.

මේ ලිපිය අධ්‍යාපනයට හා සෞඛ්‍යට ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස වැඩි නොකිරීම ගැන කරන විවේචනයක් නොවේ. පවතින වාතාවරණය යටතේ එය අසීරු දෙයක් විය හැකිය. වෙනත් අයගේ සංඛ්‍යාලේඛණ විජ්ජා ගැන කතාකරන අය ඊට වඩා බාල අතේ මාට්ටු වන විජ්ජා කරන බව පෙන්වා දීමක් පමණි. කරන හොර වැඩක් අහු නොවන ලෙස, වෘත්තීය ලෙස කළ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල නිලධාරීන් වුවද තරමක් දුරට අන්දන්නට බැරිකමක් නැත. එයින්, ඇතැම් විට වාසියක් ගන්නටත් පුළුවන. එහෙත්, මෙවැනි බාල විජ්ජාවන්නම් අතේ මාට්ටු වුවහොත් වෙන්නේ වස ලැජ්ජාවකි.

(Image: davidmcghee.wordpress.com)

Wednesday, March 9, 2016

සංඛ්‍යාලේඛණ බොරුද?

ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මඟින් ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ සමීක්ෂණයක් 2003 දී හෝ ආසන්න වසරකදී සිදු කළේය. ඒ වන විට ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධ මෙවැනි පුළුල් සමීක්ෂණ සිදු කිරීමේ භාවිතාවක් නොවූ බැවින් මෙය ඉතා අභියෝගාත්මක කටයුත්තක් විය. මේ කාණ්ඩයට වැටෙන සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් සම්බන්ධ කරගෙන සිදු කළ පෞද්ගලික සම්මුඛ සාකච්ඡා මඟින් එකතු කරගත් තොරතුරු වල සාරාංශ වාර්තාවක් එළිදක්වමින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොළඹ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේ කොටසක පැවති සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය පිලිබඳ වැඩමුළුවට හා ප්‍රවෘත්ති සාකච්ඡාවට මමද සහභාගී වූයෙමි.

මේ වැඩමුළුව අතරතුර එවකට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ලංකාව භාරව සිටි ප්‍රධාන නිලධාරියා විසින් තමන් මේ සමීක්ෂණය සිදු කිරීමේදී මුහුණදුන් අභියෝග විස්තර කළේ මෙසේය.

"ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වල ලාභදායීත්වය පිරික්සන විට තියෙන ලොකුම බාධාව වන්නේ අපි ඔවුන්ගේ ගිණුම් වල තොරතුරු ලබාගත යුත්තේ කොහෙන්ද කියන එකයි. මේ ව්‍යවසායකයින් සාමාන්‍යයෙන් ගිණුම් කට්ටල් තුනක් පවත්වාගෙන යනවා. එකක් බැංකුවට පෙන්වීමට. ණය ලබා ගැනීම සඳහා තමන්ගේ බැංකුවට ඉදිරිපත් කරන කරන මේ ගිණුම් අනුව පාඩු ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."

"දෙවැනි කට්ටලය පවත්වාගෙන යන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්වීමටයි. මේ ගිණුම් අනුව බැලුවොත් ලාභ ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."

"මේ දෙතැනින්ම පහසුවෙන් දත්ත එකතු කරගැනීමේ හැකියාව තියෙද්දී එසේ නොකර මේ ව්‍යවසායකයින්ව පෞද්ගලිකව හමුවී විස්තර ලබාගැනීමේ පිරිවැය අධික, කාලය ගතවෙන, දුෂ්කර කටයුත්තට අපි අත ගැහුවේ තමන්ගේ බිරිඳට පමණක් පෙන්වන, රහසිගතව පවත්වාගෙන යන තුන් වන ගිණුම් කට්ටලය හොයා ගන්නයි"

මේ ප්‍රකාශයේ වැරැද්දක් ඇත්නම් එසේ ඇතැයි මා සිතන්නේ ඔහු කී බිරිඳට පෙන්වන කතාවේ පමණි. කිසියම් ක්‍රමවේදයක අවිනිශ්චිතතා ඇති විට ඒ අවිනිශ්චිතතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මිනිස්සු පෙළඹෙති.

ඉහත සිදුවීමෙන් වසර පහකට පසු, සති ගණනාවක් පුරා පැවති ජාත්‍යන්තර වැඩමුළුවකදී අප්‍රිකානු රටවල් ගණනාවක මුදල් අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව මට ලැබුණේය. එහිදී මා දැනගත්, මා විමතියට පත් කළ කරුණක් වූයේ බොහෝ අප්‍රිකානු රටවල ජාතික ගිණුම් හා අදාළවද මෙවැන්නක් සිදුවන බවයි. ඒ අනුව, එක් ගිණුම් කට්ටලයක් පිළියෙළ වන්නේ රටේ ජනතාවට හා මාධ්‍යයට පෙන්වීමටය. දෙවැන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි අඩු ආදායම් රටවලට ණය හා ආධාර ලබාදෙන ජාත්‍යන්තර ආයතන වලට පෙන්වීම සඳහාය. තුන්වැන්නක් ගැන එහිදී කතාබහක් සිදු නොවූවත්, ඇතැම් විට අභ්‍යන්තර තීරණ ගැනීමේදී එවැන්නක්ද ප්‍රයෝජනයට ගන්නවා විය හැකිය.

ඉහත කතාබහ විසින් මා විමතියට පත් කළේ ලංකාවේ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව හෝ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේතුව විසින් සංඛ්‍යාලේඛණ  සකස් කිරීමේදී මෙවැන්නක් කිසිවිට නොකරන බැවිනි. තවමත්, මේ සංඛ්‍යාලේඛණ පිළියෙළ වන ක්‍රමවේදයේ විශාල ගැටළුකාරී තත්ත්වයන් නැත. එමෙන්ම, රටේ දේශපාලන අධිකාරියට මෙවැනි කටයුතු වලට අතපෙවීමට ඇත්තේ ඉතාම සීමිත, දුරස්ථ හා වක්‍ර හැකියාවක් පමණි.

කෙසේවුවද, ලංකාවේ ආර්ථිකය හා අදාළ සංඛ්‍යාලේඛණ පිළිබඳව බොහෝ දෙනා තුළ යම් අවිශ්වාසයන් පවතී. එයට ප්‍රධානම හේතුව පොතේ ඇති දේ අතේ නැති බව නිතර දකින්නට ලැබීමයි. අප්‍රිකානු රටවල සිදුවන බව මා කී දේවල් ලංකාවේ සිදුනොවුනද මහජනතාව තුළ සංඛ්‍යාලේඛණ පිළිබඳව ඇති අවිශ්වාසය පදනම් විරහිත එකක් නොවේ. එයට හේතුව  සංඛ්‍යාලේඛණ බොරු නොවූවත් මහජනතාවට පෙනෙන්නට සංඛ්‍යාලේඛණ වලින් 'සෙල්ලම් දැමීමට' පුළුවන් කමක් තිබීමයි.

නිවැරදි සංඛ්‍යාලේඛණ වෙනස් ප්‍රවේශ වලින් ඉදිරිපත් කිරීම මෙසේ සෙල්ලම් දැමිය හැකි සරලම ක්‍රමයයි. "මේ වසරේ 6%ක ඉතා හොඳ ආර්ථික වර්ධනයක් ලබාගත හැකිවනු ඇත." කියූ විට සම්ප්‍රේෂණය කෙරෙන අදහස හා "මේ වසරේ ආර්ථික වර්ධනය 6% මට්ටමට කඩා වැටෙන ලකුණු දැන්මම පෙනෙන්නට තිබේ." කියන විට බොහෝ දෙනෙකුට දැනෙන දෙය එකම නොවේ. එහෙත්, විමසිල්ලෙන් කියවන්නේනම් මෙවැනි තොරතුරක ඇති මූලික කරුණ උකහා ගැනීම අමාරු දෙයක් නොවේ.

ඊළඟ මට්ටමේදී සිදුවන්නේ තමන්ගේ මතය තහවුරු කිරීමට උදවු වන සංඛ්‍යාලේඛණ පමණක් තෝරා බේරා ඉදිරිපත් කිරීමයි. ආර්ථික වර්ධනය මෙන්ම උද්ධමනයත් වැඩි වන විට අයෙක් උද්ධමනය ගැන කතා නොකර ආර්ථික වර්ධනය ගැන ලොකුවට කතා කරද්දී තවත් අයෙක් එහි අනෙත් පැත්ත කරයි.

සංඛ්‍යාලේඛණ සමඟ බොහෝ විට දමන මෙවැනි සරල හා සිල්ලර සෙල්ලම් වලට අමතරව වඩා සංකීර්ණ තාක්ෂණික සෙල්ලම් දමන්නටත් පුළුවන. එසේ කළ විට සිදුවී ඇත්තේ කුමක්ද යන්න බොහෝ දෙනෙකුට නොතේරේ.


2004-2014 කාලය තුළ ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,139.5 සිට 7,390.9 දක්වා වැඩි වූ බව කෙනෙකු කියද්දී වෙනත් අයෙකුට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය මේ කාලය තුළ 102.3 සිට 75.5 දක්වා අඩු වූ බව කියන්නට පුළුවන. මේ දෙදෙනාම කියන්නේ බොරු නොවේ. එකම දෙය දෙයාකාරයකට කියූ විට වෙනස් අරුත් මතුවේ.

ගිණුම්කරණ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතතාවන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් අවස්ථාවල යම් සමාගමක් කිසියම් කාලයක් තුළ ලාභ ලැබූ හෝ පාඩු ලැබූ බව පෙන්වීමේ හැකියාවක් තිබේ. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නොවේ. කොයි රටේත් සිදුවන්නකි. එහෙත්, මෙසේ යම් සමාගමක ගිණුමක්  'තාක්ෂණිකව නිවැරදිව' ලාභ ලබන බව පෙන්වූ පමණින් ඒ සමාගමේ 'අතේ ඇති ලාභ' වෙනස් වන්නේ හෝ බංකොලොත් වීමට නියමිතනම් එය සිදු නොවන්නේ නැත. ආර්ථික විද්‍යාඥයෙකු විසින් ගිණුම්කරණ ලාභ හා ආර්ථික ලාභ නිවැරදිව වෙන්කොට හඳුනාගත යුත්තේ එබැවිනි.

කෙසේවුවද, ගණකාධිකාරී වරුන් පුහුණුවක් ලබා ඇත්තේ ඔවුන් දන්නා තාක්ෂනික උපක්‍රම උපයෝගී කරගෙන සිය සේවාදායකයාට අවශ්‍ය පරිදි ලාභය අඩුවෙන් හෝ වැඩියෙන් පෙන්වීමටය. දක්ෂ ගණකාධිකාරීවරයෙකුට මේ කාර්යය වඩා හොඳින් කළ හැකිය.

වෘත්තීය ගණකාධිකාරීවරයෙකු රටක මහ බැංකුවේ ප්‍රධානියා හෝ මුදල් ඇමතිවරයා වූ විට එවැන්නෙකු තමන් ලබා ඇති පුහුණුව අනුව, තමන්ට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ යුතු හොඳම දෙය කිරීමට උත්සාහ ගැනීම තේරුම් ගැනීමට අපහසු නැත.


(Image: http://38north.org/2012/07/rfrank071612/)

Tuesday, March 8, 2016

ශාරුක්ගේ ඇමරිකා සංචාර


2012 අප්‍රේල් 12 දින ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව පැවැත්වෙන සුවිශේෂී දේශනයකට සවන් දීමට එක් දහස් හත්සියයක පමණ පිරිසක් පැමිණ සිටියහ. දේශකයාට යේල් සරසවිය මඟින් වටිනා සම්මානයකින් පිදීමද මේ දේශනයට සමාන්තරව සිදුවිය. නිවේදිකාවගේ හඳුන්වාදීමෙන් පසු දේශනය ඇරඹිණි. අත්පොලසන් හඬ සිසාරා පැතිරේ.

"ස්තුතියි! ස්තුතියි!! අවසානයේදී කෙසේ හෝ මා පැමිණියා. දීර්ඝ ගුවන් ගමනක්...ගුවන් තොටුපලේ මාව රඳවා ගත්තේ පැය එකහමාරක් පමණයි."

තමන් පැය කිහිපයකට පෙර මුහුණදුන් අපහසුතාවය විහිළුවකට ගනිමින් මෙසේ දේශනය අරඹන්නේ සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ය.

"සමහර වෙලාවට මම ටිකක් අහංකාර වැඩියි වගේ මට හිතුනහම මම කරන්නේ ඇමරිකාවට එන එක. ඇමරිකාවට ගොඩ බැහැපු ගමන් ආගමන විගමන නිලධාරීන් මගෙ රැස් බස්සවල මම තරුවක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක් කියන එක මට මතක් කරල දෙනව."

ඔහු මේ කියන්නේ නිවු යෝර්ක්හි වෙස්ට්චෙස්ටර් ගුවන් තොටුපලට පෞද්ගලික ගුවන් යානයකින් ඉන්දියාවේ සිට පැමිණ ගොඩ බෑ පසු සිදුවූ අකරතැබ්බය ගැනය. අම්බානි පවුලට අයත් මේ පෞද්ගලික ගුවන් යානයේ පැමිණි මුකේෂ් අම්බානිගේ බිරිඳ නීතා අම්බානි ඇතුළු අනෙක් මගීන්ට පහසුවෙන් ගුවන් තොටුපළෙන් පිටවීමට ලැබුණත් ශාරුක් ඛාන්ට ඒ අවසරය ලැබුණේ නැත. ගුවන් තොටුපොළ බලධාරීන් විසින් රඳවා ගැනුණු ඔහුට රටට ඇතුළු වීමට ලැබුණේ විනාඩි 75ක ප්‍රශ්න කිරීම් වලට මුහුණ දීමෙන් අනතුරුවය. මේ හේතුවෙන් කලින් වේලා නියම කර තිබුණු පුවත්පත් සාකච්ඡාවකට මෙන්ම ඉහත දේශනයටද නියමිත වේලාවට සහභාගී වීමට ශාරුක්ට නොහැකි විය. මේ ශාරුක් මෙවැනි අකරතැබ්බයකට මුහුණ දුන් මුල් අවස්ථාව නොවේ. 2009 අගෝස්තු 14 දින නෙවාර්ක්හි ලිබර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීද ඔහුව මේ අයුරින්ම රඳවාගෙන විනාඩි 66ක් තිස්සේ ප්‍රශ්න කරනු ලැබ තිබුණේය.

ඉන්දියාවට ශාරුක් ඛාන් කියන්නේ තවත් සාමාන්‍ය පුද්ගලයෙකු නොවේ. ටජ්මහල වැනි ඉන්දියානු සංකේතයකි. ශාරුක් ඛාන්ව ඇමරිකාවේදී මෙසේ පාච්චල් වීම ඉන්දියානුවන්ගේ බොක්කටම වදින කේස් එකක් බව කියන්නත් දෙයක් නැත. ඔවුන් සිතා ඉන්නේ ශාරුක් ඛාන්ව නොහඳුනන අය ලෝකයේ කොහේවත් සිටිය නොහැකි බවයි. හරිනම් මේ ආගමන විගමන නිලධාරීන් කළ යුත්තේ තමන්ගේ ලේන්සු වලින් ශාරුක් ඛාන්ගේ දාඩිය පිසදමා ඒවා සිහිවටන ලෙස තබා ගැනීමය. එහෙත්, සිදු වුණේ වෙන දෙයකි. ඒ අනුව, ඇමරිකාවට එරෙහි ඉන්දියානු විරෝධතා මතු වීමට ගතවුණේ පැය ගණනකි. අන්තිමේදී, මෙය ඉන්දියාව සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වී ඇමරිකාවට ඉන්දියාවෙන් සමාව ගැනීමට සිදුවිය.


කෙසේවුවද, මේ සිද්ධියෙන් අනතුරුව එයට සම්බන්ධ වූ ආගමන විගමන නිලධාරීන්ට රුපවාහිනී නාලිකා පිරිවරා පැමිණි මහජන නියෝජිතයින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට, රැකියා අහිමි කර ගැනීමට හෝ අඩු වශයෙන් විනය පරීක්ෂණ වලට මුහුණ දීමට සිදුවූයේ නැත. ඒ, ඔවුන් කළේ ඔවුන් විසින් පිළිපැදිය යුතු සාමාන්‍ය ක්‍රියාදාමයේ කොටසක් වූ බැවිනි.

*** 

බොහෝ දෙනෙක් බොහෝ තැන් වල කතා කර ඇති දේවල් ගැන නැවත නැවත තව දුරටත් කතා කිරීම එතරම් ප්‍රියජනක හෝ ඵලදායී කටයුත්තක් නොවූවත් ඒ බොහෝ දෙනෙකුට නොපෙනුණු පැති ඇත්නම් එවැනි පැති වෙතද අවධානය යොමු කිරීමේ වැදගත්කමක් තිබේ.

දරුවෙකුට පාසැලක් ලබා දීමේ කටයුත්තට අවසානයේදී රටේ
ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිදුවිය. මීටත් වඩා සුළු ප්‍රශ්න ලොකු ප්‍රශ්න බවට පත් කර අවසානයේ රටේ ජනාධිපතිවරයා විසින් විසඳූ ඉතිහාසය අවසන් වී වැඩි කලක් නැති නිසා මෙහි අමුත්තක් එක් වර නොපෙනේ. එහෙත්, වැදගත් කරුණ වන්නේ එවැනි දේ තවමත් සිදුවීමයි.

රාජාණ්ඩුවක බලයේ ප්‍රභවය රටේ රජුය. රටේ මහජනතාව කළ යුත්තේ හැකිතාක් හොඳින් රජුගේ කැමැත්ත ඉටු කිරීමයි. එවැනි ක්‍රමයක් පවතින විට යම්කිසි ප්‍රශ්නයක් මතුවූ විට අවසන් තීරණය රජු විසින්ම ගත යුතු වීම තේරුම් ගත හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක රටේ බලයේ ප්‍රභවය ජනතාවයි. එවැනි ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක වන්නේ සියළු දෙනාටම පිළිගත හැකි රාමුවක් යටතේ සෑම පුද්ගලයෙක් විසින්ම තම තමන්ට අයත් කාර්යය නිසි සේ කිරීම මතය. ඒ නිදහස රැකියාවක් කරන සෑම පුද්ගලයෙකුටම තිබේනම් සහ එය අනිසි ලෙස නොයෙදවේනම්, අවශ්‍ය තීරණ අවශ්‍ය මට්ටමේදී ගන්නවා මිස ඉහළ මට්ටමකට යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ කලාතුරකිනි. මෙහිදී, කිසියම් රැකියාවක් කරන අයෙකු තමා සතු යම් බලයක් අනිසි ලෙස යොදවනවාද යන්න තීරණය කළ හැක්කේ එවැන්නෙකුගේ කාර්යභාරය විධිමත් ලෙස අර්ථ දක්වා ඇත්නම් පමණි.

ඇතැම් විට, ප්‍රායෝගික තත්ත්වයන් මත මෙසේ නිශ්චිත ලෙස අර්ථ දැක්වීමක් කිරීම අපහසු විය හැකිය. එවිට, අදාළ පුද්ගලයාට අවස්ථාවෝචිතව තීරණයක් ගැනීමට නිදහසක් ලැබේ. උදාහරණයක් ලෙස ගුවන් තොටුපොළක සේවය කරන ආගමන විගමන නිලධාරියෙකු 'සැක සහිත' පුද්ගලයෙකු රඳවාගෙන ප්‍රශ්න කළ යුතුනම්, මෙවැනි 'සැක සහිත' පුද්ගලයෙකු අර්ථ දක්වා ගැනීම ඔහුගේ හෝ ඇයගේ රැකියාවේ කොටසකි. ඒ අයිතිය ඔහුට හෝ ඇයට ලබා දිය නොහැකිනම් කළ යුත්තේ 'සැක සහිත' පුද්ගලයෙකු යනු කවරෙක්දැයි නිශ්චිත උපදෙස් මාලාවක් එවැන්නෙකුට ලබාදීමයි.

සංවර්ධිත රටක සහ දියුණු වෙමින් පවතින රටවල් අතර මා දකින එක් පැහැදිලි වෙනසක්නම් සංවර්ධිත රටවල කවර මට්ටමේ හෝ රැකියාවක් කරන අයෙකුට තමාගේ විෂය රාමුවට අයත් කටයුත්තක් ගැන නිදහසේ තීරණ ගැනීමේ හැකියාවක් තිබීමයි. දියුණු වෙමින් පවතින රටවල බොහෝ විට තීරණ ගැනීමට කල් පසුවීම, ධුරාවලියේ ඉහළ තැනකින් අනුමැතිය පැතීම වැනි දේ සිදුවේ. මෙය සමාජයේ පහළ ස්ථර වල සිටින අයගේ අධ්‍යාපනයේ හෝ ලබා ඇති පුහුණුවේ අඩුවක්යයි මා සිතා සිටියත් එය එසේම නොවන බව පෙනෙන්නේ රාජ්‍ය පාලනයේ ඉහළ ස්ථර වල සිටින අය පහළ රැකියා කරන්නන් ගැන සිතන අයුරු දැනගත හැකි, පසුගිය දිනවල සිදුවූ සිදුවීම් දෙක තුනක් නිරීක්ෂණය කරන විටය.

තමන්ට නීත්‍යානුකූලව කිරීමට බලය ඇති දේ ගැන අයෙක් කටමැත දොඩවයි. එහෙත්, ඒ බලය තමන්ට ලැබුනේ කෙසේද. කුමක් සඳහාද   යන කරු
ණු අමතක කරයි. තවත් අයෙක් සිතන්නේ නීති හැදීමේ බලය ඇත්තේ තමන්ට බවත්, රටේ මහජනතාව කළ යුත්තේ ඒවා තමන් අර්ථ දක්වන ආකාරයට පිළිපැදීම පමණක් බවත්ය. ඒ පදනම මත, ඔහු විසින් ධුරාවලියේ පහළ රැකියාවක් කරන අයෙකු තමන්ගේ වපසරිය තුළ ඔහුගේ අභිමතය ක්‍රියාත්මක කිරීම ප්‍රශ්න කරයි. තමන් විසින් මහජනතාවට ලබා දුන් නිදහසක් ගැන කතා කරන ඔහු ඇත්තටම ඒ නිදහස තමන් විසින් ප්‍රශ්න කෙරෙන ආරක්ෂක නිලධාරියා, ඔහුව ප්‍රශ්න කළ කාන්තාව ඇතුළු පිරිස් විසින් නියෝජනය කරන ජනතාව විසින් ලබාගත් නිදහසක් බවත්, තමන්ගේ තාවකාලික තනතුර එහි අතුරු ඵලයක් බවත් අමතක කරයි.

එක් අතකින් බොහෝ දෙනෙකු
තමන්ගේ අයිතීන් පිළිබඳව හඬ නැගීමට හැකිවීම විශාල ප්‍රගතියකි. පැරාගේ වචන වලින් කියනවානම් 'හුජ්ජ කොල්ලන්ටත් දැන් බය නැතිව ඇමතිවරුන්ගෙන් ගේම ඉල්ලන්නට පුළුවන්කම තිබේ'. මෙය අමතක කළ යුතු නැතත්, එය රටක තිබිය යුතු තත්ත්වයක් මිස විශේෂ තත්ත්වයක් හෝ පාරිතෝෂිකයක් නොවේ.

රජු දැහැමි, නිදහස් මතධාරී හෝ ඉදිරිගාමී වූ පමණින් රාජාණ්ඩුවක් ජනරජයක් වන්නේ නැත. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කියන්නේ එක් එක් පුද්ගලයාට තමාගේ වපසරියට යටත් කටයුතු පිලිබඳ නිවැරදි තීරණ නිදහසේ ගතහැකි, ඒ වපසරිය නිශ්චිතව අර්ථ දක්වා ඇති සමාජයක් මිස සෑම කුඩා තීරණයක්ම ඉහළ සිට පහළට සම්ප්‍රේෂණය වන සමාජයක් නොවේ. එමෙන්ම, වෙනත් අය ලොකු වැරදි කර තිබීම හේතුවෙන් පොඩි වැරදි සාධාරණීකරනය වන්නේද නැත.  


සරසවියක අංශ ප්‍රධානීන්ගේ සිට පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියෙකු දක්වා කවර හෝ රැකියාවක යෙදෙන පුද්ගලයෙකුට තමන්ගේ රැකියාවට අදාළ සීමාවන් තුළ අභිමතය ක්‍රියාත්මක කිරීමට රටේ දේශපාලන අධිකාරියෙන් ඇති බලපෑම් විසින් සාමාන්‍ය පුද්ගලයින් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය තීරණ ගැනීම අධෛර්යය කරනු ලැබීමත්, රටේ සාමාන්‍ය පුද්ගලයින් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය තීරණ නොගැනීම හේතුවෙන් කොහේ හෝ සිදුවන සිල්ලර සිදුවීමකට අදාළ තීරණයක් ගැනීමට විධායකයේ ප්‍රධානියාට මැදිහත්වීමට සිදුවීමත් එකිනෙකින් වියුක්ත සිදුවීම් නොවේ.

(Images: sonsofmalcolm.blogspot.com, rkhyd.wordpress.com, www.lokvani.com)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...