"මොනාද අනේ ඔය කියවන විකාර? අම්මගෙ රෙද්ද මොන පාටද? ඔය කෙහෙම්මල පැත්තකට දාල එන්න නිදාගන්න! ඉකොනොමැට්ටා? මොකාද ඔය ටික දවසක ඉඳන් ලොකු උනන්දුවකින් කියවන මැට්ටා?"
"හරි හරි තව විනාඩි දහයක් දෙන්න."
නිශාදි පොරවනය යටට ගුලි වුණේය. ටික වෙලාවකින් ඒ පොරවනය යටටම රිංගාගත් චමත් මේස ලාම්පුවේ එළිය අඩවන් කළේය.
වැඩි වෙලාවක් ගියේ නැත. යෙවිඳු අඩ අඳුරේම දෙමවුපියන්ගේ කාමරයට ඇදී නිශාදි සහ චමත් මැද්දට පැන්නේය.
"ඇයි යෙවිඳු මේ? තාම නිදි නැද්ද? මොකද අම්මලගෙ කාමරේට ආවේ? ඔයාට ඇඳක් තියෙනවනේ..."
"කාමරේ යකෙක් ඉන්නව. මට බයයි!"
"යක්කු කියල ජාතියක් නෑ ළමයෝ...ගිහිං බය නැතුව නිදා ගන්න!"
"නෑ, අදනං ඇත්තටම යකෙක් ඉන්නව."
"ඔයා කොහොමද දන්නේ?"
"සද්දෙ ඇහෙනවා. බොරුනම් ඇවිත් බලන්න."
නිශාදි විදුලි ලාම්පුවේ එලිය වැඩි කර යෙවිඳු සමඟ දරුවන්ගේ කාමරයට ඇවිදගෙන ආවේය.
"ඔය ඇහෙනව නේද සද්දේ? බොරුද මම කිවුවේ?"
"මොන සද්දයක්ද? මටනං කිසි සද්දයක් ඇහෙන්නෙ නෑ! ඔය දවල් තිස්සෙම කාටුන් බලලා හිතේ තියෙන ඒවා..."
"නෑ අම්මේ, ඔය සද්දයක් ඇහෙන්නේ...මටත් ඇහෙනවා."
"ඔයත් තාම නිදි නැද්ද, ලෙහානි? මම හිතුවේ ඔයා නිදි කියලා..."
නිශාදිට කිසිදු ශබ්දයක් නෑසේ. එහෙත්, දරු දෙදෙනාම කියන්නේ ශබ්දයක් ඇසෙන බවයි.
"අනේ චමත්, ඔයාවත් ඇවිත් බලන්න. මේ ළමයින්ට සද්දයක් ඇහෙනවලු. මටනම් කිසිම සද්දයක් ඇහෙන්නෙ නෑ."
ප්‍රවාහන ඇමති වරයා අයවැය කතාව අහගෙන ඉන්නවාටත් වඩා අඩු උනන්දුවකින් චමත් ඇඳෙන් නැඟිට එන්නේ වෙන කරන්නම දෙයක් නැති නිසාය.
"කෝ මොන සද්දද? ඔහේ ඇති යකෙකුත් නෑ. සද්දෙකුත් නෑ. විකාර නැතුව ගිහිං ඔය රෙද්ද පොරෝගෙන නිදාගන්න."
යෙවිඳුට සහ ලෙහානිට ඇසෙන බව කියන එහෙත් නිශාදිට හෝ චමත්ට නොඇසෙන මේ යකාගේ ශබ්දය ඇත්තටම සැබෑ ලෝකයේ නැති ළමයින්ගේ මනසේ නිර්මාණය වූවක්ද?
***
අපට පෙනෙන රූප යනු අපේ ඇස් හා මොළය එක්වී ආලෝක තරංගයකට දක්වන ප්‍රතිචාරය වන්නා සේම අපට ඇසෙන ශබ්ද යනු අපේ ශ්‍රවණේන්ද්‍රිය හා මොළය එක්වී ශබ්ද තරංගයකට දක්වන ප්රතිචාරයයි. පෙර කතා කළ දෘශ්‍ය ආලෝකයද ඇතුළත් විද්‍යුත් චුම්භක තරංග වලට 'ගමන් කිරීමට' මාධ්‍යයක් අවශ්‍ය නොවේ. එහෙත්, ශබ්ද තරංග වලට 'ගමන් කිරීමට' ජලය, වාතය වැනි මාධ්‍යයක් අවශ්‍ය වේ.
මා මෙහිදී ගමන් කිරීමට කියා කිවුවත් ඇත්තටම ශබ්ද තරංගයක් කියන්නේ මෙවැනි මාධ්‍යයක් තුල ඇතිවන කිසියම් නිශ්චිත රටාවකි. ඔබ පහතින් ඇති රූපය දෙස බලා සිටියොත් වමේ සිට දකුණට තරංගයක් ගමන් කරනු ඔබට පෙනේ. එහෙත්, මේ තරංගය ගමන් කරන දිශාවට එය සැදී ඇති බව පෙනෙන කළු තිත් ගමන් නොකරයි. ඒවායේ ඇත්තේ චක්‍රීය චලිතයකි. රූපසටහනේ ඇති රතු තිත් දෙස බලා සිටියහොත් මෙය පැහැදිලි වනු ඇත.

තරංගයක සංඛ්‍යාතය මනින්නේ හර්ට්ස් වලිනි. ඉතා දිගු තරංග ආයාම ඇති ශබ්ද තරංග බොහෝ විට හඳුන්වන්නේ තරංගයේ සංඛ්‍යාතයෙනි. හෝමෝ සේපියන්ස්ලාට සාමාන්‍යයෙන් ඇසෙන්නේ හර්ට්ස් 20-20000 අතර පරාසයේ ශබ්ද තරංගයි. සංගීත ස්වරයක් යනු මෙවැනි එක් නිශ්චිත සංඛ්‍යාතයකි. මෙයට වඩා කෙටි තරංග ආයාම ඇති, අපට ඇසිය නොහැකි උච්ච සංඛ්‍යාත 'අල්ට්‍රාසොනික්' හෝ 'සුපර්සොනික්' ලෙස හැඳින්වේ. එමෙන්ම අපට ඇසිය නොහැකි තරම් දිගු තරංග ආයාම ඇති, අඩු සංඛ්‍යාත 'ඉන්ෆ්රාසොනික්' ලෙස හැඳින්වේ.
හෝමෝ සේපියන්ස්ලාගේ ශ්‍රව්‍ය පරාසය හර්ට්ස් 20-20000 ලෙස සාමාන්‍යයෙන් දැක්වුනත් අප බොහෝ දෙනෙකු මේ මුළු පරාසයටම සංවේදී නැත. අප වයස්ගත වෙද්දී අපේ ශ්‍රව්‍ය සීමාව ඉතා සීග්‍රයෙන් පිරිහේ.
මෙසේ අපේ ඇසීම දුර්වල වී 'චමින්දලා' වෙන්නට හැට පැනිය යුතු නැත. දහඅට විස්ස වන විටම බොහෝ දෙනෙකු චමින්දලා වී අවසානය. ළමයින්ට සහ ගැටවරයින්ට ඇසෙන බොහෝ ශබ්ද වැඩිහිටියන්ට නොඇසේ. මෙය තරුණ වයසේ සිටින්නන්ටද අදාලය. මේ අයුරින් විශේෂයෙන්ම නෑසී යන්නේ උච්ච සංඛ්‍යාතයි.
සාප්පු සංකීර්ණ වල රස්තියාදු ගැසීම පුරුද්දක් කරගත් ඇතැම් ගැටවර වයසේ තරුණ තරුණියන්ගෙන් එලොවටවත් මෙලොවටවත් වැඩක් තිබේද නොතිබේදැයි මා නොදන්නා නමුත් මෙවැනි ඇතැම් සාප්පු සංකීර්ණ වල හිමිකරුවෝ ඔවුන් මහා ඇණයක් ලෙස සලකති. වැඩකට ඇති පාරිභෝගිකයන්ට වදයක් නොවන ලෙස මෙවැනි කණ්ඩායම් ඉවත්කර ගැනීම සඳහා භාවිතා වන එක් ක්‍රමයක් වන්නේ මෙසේ වැඩිහිටියන්ට නෑසෙන සංඛ්‍යාතයකින් කණ කඩාගෙන යන නාදයක් නිකුත් කිරීමයි.
මෙහිම අනිත් පැත්තද සිදුවේ. ඇතැම් පාසැල් සිසුන්ගේ ජංගම දුරකථන වල 'රිඟින් ටෝන්' ගුරුවරුන්ට නෑසේ.
සාමාන්‍යයෙන් හර්ට්ස් 10,000 පමණ දක්වා සංඛ්‍යාත බොහෝ දෙනෙකුට ඇසේ. එහෙත්, හර්ට්ස් 14,500න් පමණ ඉහළ සංඛ්‍යාත බොහෝ විට ඇසෙන්නේ වයස 18-20 නොඉක්මවූ අයට පමණි.
මෙහි ගොස් මේ සංඛ්‍යාත වලින් ඔබට ඇසෙන උපරිම සංඛ්‍යාතය කුමක්දැයි පරික්ෂා කරන්න. ඉන්පසු වයස 15ක පමණ හෝ ඊට අඩු ඔබේ දරුවෙකු, බාල සොයුරෙකු හෝ අල්ලපු ගෙදර ළමයෙකු කැඳවා ඔබට නොඇසෙන සංඛ්‍යාත වලට දක්වන ප්‍රතිචාරය පරික්ෂා කරන්න.
https://sites.google.com/site/econaudios/
(photo credit: www.123rf.com)