ආර්ථික විද්‍යාවේ මූලික ගැටලුව වන්නේ ලෝකයේ ජිවත් වන මිනිසුන් අතර සම්පත් බෙදී යා යුත්තේ කොහොමද කියන එකයි. ධනවාදී පරමාදර්ශය සහ මාක්ස්වාදී සමාජවාදී පරමාදර්ශය මේ ප්‍රශ්නයට විකල්ප පිළිතුරු දෙකක් සපයනවා. මේ ප්‍රශ්නයට සමාන්තරව පවතින තවත් ප්‍රශ්නයක් වන්නේ ලෝකයේ ජිවත් වන මිනිසුන් අතර බලය බෙදී යා යුත්තේ කොහොමද කියන එකයි. මෙය දේශපාලන විද්‍යාවේ මූලික ගැටලුව ලෙස හැඳින්විය හැකියි.
සම්පත් බෙදීමේ ගැටලුව සහ බලය බෙදීමේ ගැටලුව අතර අවියෝජනීය සම්බන්ධයක් තිබෙනවා. මේ සම්බන්ධයේ ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ කොහේවත් පරමාදර්ශී ධනවාදයක් බිහි වී නැහැ. යම් හෙයකින් එවැන්නක් බිහි වූයේනම්, මාක්ස් විසින් පුරෝකථනය කළ පරිදි, එහි ප්රතිවිරෝධතා හේතුවෙන්ම ක්‍රමය කඩා වැටෙන්නට වුවත් යම් ඉඩක් තිබුණා.
ප්‍රායෝගික තත්ත්වයන් යටතේ මෙතෙක් ධනවාදී පරමාදර්ශය වෙත වඩාත්ම කිට්ටු වී තිබෙන්නේ බලය බෙදීමේ ගැටලුවට විසඳුමක් ලෙස ප්රජාතන්ත්රවාදය තෝරාගත් රටවල්. එසේ තෝරාගනු ලැබ ක්‍රියාත්මකව ඇති සහ තවමත් ක්‍රියාත්මක වන ප්රජාතන්ත්රවාදය වුවද කිසි විටෙකත් එහි පරමාදර්ශී ස්වරූපයම නොවුනත්, ප්රජාතන්ත්රවාදයේ එම අසම්පූර්ණ ස්වරූපය විසින් වුවද පරමාදර්ශී ධනවාදයක නෛසර්ගික ප්රතිවිරෝධතා වල නිශේධනීය ප්‍රතිඵල පාලනය කිරීම උදෙසා සාධනීය කාර්ය භාරයක් ඉටු කර තිබෙනවා. මේ සන්දර්භය තුළ ධනවාදී-ප්රජාතන්ත්රවාදී පැකේජය කාලයක් තිස්සේ ලෝකයේ ප්රමුඛ ආර්ථික-දේශපාලන ව්‍යුහය ලෙස වැජඹෙනවා.
පරමාදර්ශී ධනවාදයක කාර්යක්ෂමතාවයට හේතු වන්නේ මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු. ගනුදෙනුවක් නිදහස් ගනුදෙනුවක් වීමේ පූර්ව කොන්දේසියක් ලෙස ගනුදෙනුවේ පාර්ශ්වකරුවන් සමානයින් විය යුතුයි. එහෙත්, ධනවාදය විසින් සම්පත් සමානව බෙදී යාමක් කිසිසේත්ම සහතික නොකරන නිසා ධනවාදය තුළ වැඩි සම්පත් ප්‍රමාණයක් අයිතිකර ගන්නා පිරිස් වෙත වැඩි දේශපාලන බලයක්ද සංකේන්ද්‍රනය වී ධනවාදයේ සම්මත ඔවුන්ගේ වාසියට නිර්මාණය වුවහොත් ගනුදෙනු තවදුරටත් නිදහස් ගනුදෙනු නොවනවාක් මෙන්ම ධනවාදය එහි පරමාදර්ශී තත්ත්වය කරා ප්රගමනය වීමද නවතිනවා. මෙය ධනවාදයේ මූලික ප්රතිවිරෝධතාවක් සේ හඳුනාගත හැකියි.
දියුණු ප්රජාතන්ත්රවාදයක් තුළ ධනවාදයේ ඉහත ප්රතිවිරෝධතාවයට ඉස්මතු වීමට තිබෙන ඉඩකඩ සිමා වෙනවා. ඒ හරහා ධනවාදය ස්වයංක්‍රීය ලෙසම අර්බුදයකට යාම වලක්වනවා. ධනවාදී-ප්රජාතන්ත්රවාදී පැකේජය කාලයක් තිස්සේ ලෝකයේ ප්රමුඛ ආර්ථික-දේශපාලන ව්‍යුහය ලෙස ස්ථාවරව පවතින්නේ මේ හේතුව මතයි. මෙවැනි සමතුලිතතාවයක් තුළ සමාජවාදී පරමාදර්ශයටද යම් ඉඩක් ඉතිරි වෙනවා. එය කොපමණද කියන එක අවශේෂ සාධක මත තීරණය වන දෙයක්.
කොහොම වුනත් එක දෙයක් පැහැදිලියි. ප්රජාතන්ත්රවාදී බල ව්‍යුහයක් හා පරමාදර්ශී නොවූවත් අඩු වශයෙන් ඊට කිට්ටු සමාජවාදයක් කිසි විටෙකත් පැකේජයක් ලෙස ස්ථාවරව පැවතී නැහැ. බටහිර රටවල් තුළ දැකිය හැක්කේ ප්රජාතන්ත්රවාදී බල ව්‍යුහයන් පවත්වා ගනිමින් ධනවාදී පරමාදර්ශයෙන් ඈත් විය හැකි, එසේ නැත්නම් සමාජවාදී පරමාදර්ශය කරා යා හැකි, "ස්වභාවික" සීමාවයි. මෙයින් අදහස් වන්නේ මේ සීමාව වෙනස් නොවන ස්ථිර සීමාවක් බව නොවූවත්, එම "ස්වභාවික" සීමාව ධනවාදී පරමාදර්ශයෙන් බොහෝ ඈත් වූ සීමාවක් නෙමෙයි.
මේ සීමාව මාක්ස්වාදය විසින් මුල සිටම හඳුනා ගන්නවා. මාක්ස්වාදය තුළ බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීම සහ බලහත්කාරය මත රාජ්‍ය බලය පවත්වා ගැනීම විකල්පයක් සේ යෝජනා වී තිබෙන්නේත්, සමාජවාදය වෙත යාමේදී එම විකල්පය හැම විටම ක්‍රියාත්මකව තිබෙන්නේත් ඒ නිසයි. "ස්වභාවික" සීමාව ඉක්මවා සමාජවාදී මාර්ගයේ ගමන් කර ඇති හැම විටකම මුලින්ම සිදුවන්නේ ප්රජාතන්ත්රවාදය වෙනුවට ඒකාධිපතිත්වයක් ආදේශ වීමයි. මේ ඒකාධිපතිත්වය යනු තනි පුද්ගලයෙකු නොවී කුඩා කණ්ඩායමක සාමූහිකත්වය විය හැකි වුවත් එය කිසියම් සමාජයක හැම දෙනාගේම හෝ වැඩි දෙනෙකුගේ කැමැත්තනම් නෙමෙයි. වැඩි දෙනෙකුගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම සඳහා ප්රජාතන්ත්රවාදය බිඳ දමා ඒකාධිපතිත්වයක් ගොඩ නැගිය යුතු වන්නේ නැහැ.
ප්රතිවිරෝධතා ගහණ මාක්ස්වාදයේ අවසන් ඉලක්කය තුළ රජය අහෝසි වී යනවා. එහෙත්, රජය අවසන් කිරීමේ මාර්ගය වැටී තිබෙන්නේ සමස්ත දේශපාලන බලය මෙන්ම සම්පත් බෙදා හැරීමේ අයිතියද රජය වෙත සංකේන්ද්‍රණය කිරීම හරහා. අපූරුම කරුණක් වන්නේ කොමියුනිස්ට් සමාජයක් කරා යාමේ අතරමැදි පියවරක් ලෙස මාක්ස්වාදය විසින් යෝජනා කරන නිර්ධන පංති ආඥාදායකත්වය තුළ ඉලක්ක කෙරෙන්නේ ප්රජාතන්ත්රවාදය ගොඩනැගීම වීමයි. සැබෑ ලෝකය තුළ මෙය සිදුව ඇති ආකාරය අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ.
මෙතෙක් පැවති සමාජවාදී සේ හඳුනාගත හැකි කිසිදු සමාජයක ප්රජාතන්ත්රවාදය ගොඩ නැගී නැහැ. ඒ වෙනුවට සිදුව තිබෙන්නේ මිනිස් නිදහසෙහි මූලික අංග පවා අහිමිව යාමයි. පරිකල්පනීය අදහසක් ලෙස හෝ ඒකාධිපති සමාජවාදී ක්‍රමයක් තුළ ප්රජාතන්ත්රවාදයක් ගොඩ නැගෙන්නට ඉඩක් තිබේද?
සෛද්ධාන්තික ලෙස ගත්තොත් මෙවැන්නක් සිදු වීමේ ඉඩක් තිබෙනවා. බලය තිබෙන පිරිමියෙක් විසින් කාන්තාවක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සිර කර ගෙන දිගින් දිගටම දූෂණය කළත්, කාලයක් යද්දී ඒ කාන්තාව තමන්ගේ දූෂකයා සමඟ යම් ආකාරයක ආත්මීය බැඳීමක් ඇති කර ගන්නවා. ඒකාධිපති සමාජවාදී සමාජයක් තුළත් මෙවැන්නක් සිදු විය හැකියි.
සමාජවාදී විප්ලවයක් මෙහෙයවන්නේ සමාජයේ බහුතරයකට නොතේරෙන දෙයක් තමන්ට පමණක් තේරෙන බව හිතන සීමිත පිරිසක් විසින්. ඒ අය අතරින් ඇතැම් ගුරුකුල වල අයට අනුව, ඔවුන්ට තේරෙන දෙය අනෙක් අයට නොතේරෙන්නේ වෙනත් අය විසින් නිදහස් අදහස් සේ සලකන අදහස් සමාජය විසින් ඔවුන් මත පටවා තිබෙන අදහස් මිසක් ඔවුන්ගේම අදහස් නොවන නිසා. එහෙත්, මේ සීමිත පිරිසට පමණක් නිදහස් අදහස් තිබෙනවා. ඒ අය පමණක් මඩේ පිපුණු පියුම් සේ සමාජය විසින් ඔවුන් මත පටවා තිබෙන අදහස් වලින් මිදී නිදහස්ව සිතනවා. අනෙක් අයට එසේ කළ නොහැකි නිසා, සමාජයේ ගැලවුම්කරයින් විය හැක්කේ මේ "තෝරාගත් පිරිසටයි". ඒ නිසා, ඔවුන්ගේ ඒකාධිපතිත්වයක් යටතේ අනෙක් අයගේ නිදහස් කැමැත්ත වෙනස් කළ යුතුයි.
කොමියුනිස්ට් ප්රකාශනය අනුව සමාජවාදී සමාජයක එක් මූලික අංගයක් වන්නේ සියලුම මාධ්‍ය වල පාලනය රජය යටතේ මධ්‍යගත කිරීමයි. අධ්‍යාපනය ලබා දීමද රජය සතු ඒකාධිකාරයක් විය යුතුයි. මේ ක්‍රමයට කාලයක් යද්දී මිනිසුන්ගේ නිදහස් කැමැත්ත වෙනස් කළ හැකියි. මා මේ ලිපියේ අවධානය යොමු කරන ගුරුකුල වල සමාජවාදීන්ට අනුව, නිදහස් කැමැත්ත කියා කියන්නේ ඇත්තටම නිදහස් කැමැත්තක් නොවන නිසා එසේ කිරීමේ කිසිම වැරැද්දක් නැහැ. ඔය වැඩේ කාලයක් තිස්සේ කරගෙන යද්දී සෛද්ධාන්තිකව රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත රජයේ කැමැත්තම වෙන්න පුළුවන්. හරි මාර්ගයට ගන්නම බැරි අය සමහර විට අතුරු දහන් වෙන්න පුළුවන්. එහෙම නැතුව කොහොමද සමාජවාදය පවතිද්දීම ප්රජාතන්ත්රවාදය ගොඩ නගන්නේ?
ඒකාධිපති සමාජවාදී සමාජ තුළ ප්රජාතන්ත්රවාදය ගොඩ නැගී ඇති ආකාරය ගැන මෙය කියවන කවුරුත් වගේ දන්නවා. අධ්‍යාපනය, මාධ්‍ය, කලාව හරහා නිදහස් කැමැත්ත පාලනය කරන්න කොයි තරම් උත්සාහ කළත් ඒ වැඩේ කිසි විටෙකත්, කවර සමාජයකවත්, දිගුකාලීනව සාර්ථක වී නැහැ.
අපේ නිදහස් කැමැත්ත පූර්ණ නිදහස් කැමැත්තක් නෙමෙයි. ජානමය වෙනස්කම් ඇතුළු භෞතික වෙනස්කම් පැත්තකින් තිබ්බත්, "මම" කියන පුද්ගලයා බිහි වෙන්නේ කිසියම් සමාජ පසුබිමක. අසූ ගණන් වල ලංකාවේ ඉපදුනු දරුවන් විශාල ප්‍රමාණයක් යුරෝපිය රටවල දරුවන් නැති යුවලවල් වලට අලෙවි කරනු ලැබුවා. පහුගිය කාලයේ මේ ඇතැම් දරුවන් ලොකු මහත් වී තමන්ගේ ජීවවිද්‍යාත්මක දෙමවුපියන් සොයා ආ අවස්ථා ගණනාවක් අපි දැක්කා. මේ අය හිතන ආකාරයත්, ලංකාවේ ජිවත් වූ ඔවුන්ගේ සොයුරු සොයුරියන් හිතන ආකාරයත් සංසන්දය කිරීම හොඳ ස්වභාවික සමාජ පරීක්ෂණයක් (natural experiment) වෙයි.
ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම වගේම එම සමාජ පසුබිමෙහි ඉන් පසුව සිදුවන වෙනස්කම්ද පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත කෙරෙහි බලපානවා. මීට පෙර ලිපියකට ප්‍රතිචාරයක් දමමින් "සිංහලයින් ලංකාවේ කළුගඟ බඩ ගමක විසීමත් ඔරුමිත්තනාඩුවේ නගරයක සිටීමත් දෙකම එක සේ ස්වභාවික යැයි මා සිතන්නේද නෑ" කියා කතාකතු විසින් ලියා තිබුණා. පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත ස්වභාවිකත්වය සේ සැලකුවොත් එම ස්වභාවිකත්වය ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම සමඟ වෙනස් වෙනවා. මේ හේතුව පාදක කර ගනිමින් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත ස්වභාවික නොවන සේ සලකා වෙනත් අයෙකුට අවශ්‍ය පරිදි එය වෙනස් කර "ස්වභාවික කිරීම" සාධාරණීකරණය කළ හැකිද?
අපේ නිදහස් කැමැත්ත පූර්ණ නිදහස් කැමැත්තක් නොවන බවත්, ඉපදෙන හා ජිවත්වන සමාජ පසුබිම නිදහස් කැමැත්ත කෙරෙහි බලපෑමක් කරන බවත් ඇත්ත. එහෙත්, එකම සමාජ පසුබිමක ඉපදෙන හා ජිවත්වන හැම දෙනෙකුගේම නිදහස් කැමැත්ත හැම විටම සමාන වන්නේ නැහැ. තේරීමක් කිරීමේ නිදහසක් ඇති හැම විටකම අපට පෙනී යන්නේ මිනිසුන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක වන්නේ එකම සමීකරණයකට අනුව නොවන බවයි. තමන් මඩේ පිපිණු පියුම් බව සිතා සිටින, කොහෙන් හෝ හොයා ගත් "චින්තකයෙක්ගේ" ලියුම් විවෘත නොකරම බෙදන පියුන්ලාටද එසේ සිතන්න හැකි වී තිබෙන්නේ මෙවැනි නිදහස් තේරීමක් මිනිස්සුන්ට තිබෙන නිසයි.