Sunday, June 7, 2020
රට ගිය ඇත්තෝ (පළමු කොටස)
සෑම වසරකදීම ලෝකයේ රටවල් ගණනාවක පුරවැසියන් 50,000කට ආසන්න පිරිසකට ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවන් වීමට හා පසුව ඇමරිකානු පුරවැසියන් වීමට ඉඩ සලසන ඇමරිකන් ග්‍රීන්කාඩ් ලොතරැයියේ ප්‍රතිඵල ඊයේ (ජූනි 6) ප්‍රකාශයට පත් කෙරුණා. ලොතරැයිය සඳහා අයදුම් කළ අයට සැප්තැම්බර් අවසානය දක්වා තමන්ගේ ප්‍රතිඵලය අන්තර්ජාලයෙන් පරීක්ෂා කළ හැකියි.
වසර ගණනාවක සිටම හරියටම ග්‍රීන්කාඩ් ලොතරැයියේ ප්‍රතිඵල පිටවන කාලයට සමාජ මාධ්‍ය හෝ විද්‍යුත් තැපෑල හරහා සංසරණය වන කතාවක් මෙවරද එසේ සංසරණය වෙමින් පවතිනවා. මේ කතාව අපේ පෙර ලිපියක ප්‍රතිචාර කොටසේ කිසියම් අයෙකු විසින් පළ කර තිබෙනවා. එහි කතාවේ මාතෘකාව හෝ රචකයාගේ නම සඳහන්ව නැහැ.
සොයා ගත හැකි තොරතුරු අනුව මේ කතාවේ රචකයා නිහාල් ගුරුසිංහනම් බ්ලොග්කරුවෙක්. ඔහුගේ "යථාර්ථවාදියා" සිංහල වියුණුව 2018 අවසානය දක්වාම සක්‍රියව තිබුණු එකක්. වසර හත අටක් තිස්සේ එහි ඔහුගේ කෙටි කතා හා කවි රැසක් පළ වී තිබෙනවා. වෙනත් තැන් ගණනාවක තිබෙන නිශ්චිත තොරතුරු අනුව ඔහු මේ කතාව මුලින්ම පළ කර තිබෙන්නේ 2011 ඔක්තෝබර් 23 දිනයි. ඒ ආසන්න දිනයක කවුරු හෝ අයෙක් විසින් පීඩීඑෆ් කර ලේඛකයාගේ නම රහිතව විද්‍යුත් තැපෑල හරහා බෙදා හැර තිබෙනවා.
මේ කතාවේ තාක්ෂණිකව හා/හෝ තර්කානුකූලව නිවැරදි නොවන කරුණු ගණනාවක් තිබෙනවා. මේ වෙද්දී වෙනස් වී තිබෙන දේවල් ගණනාවක්ද තිබෙනවා. ප්‍රබන්ධයක් හැම විටම තාක්ෂනික ලෙස නිවැරදි විය යුතු නැහැ. ප්‍රබන්ධයක් කියන්නේ ලේඛකයෙකුගේ පරිකල්පනයක් මිසක් සැබෑව නෙමෙයි. ඒ නිසා, එවැනි පදනමකින් කෙටි කතාවක් විචාරය කිරීම කිසිම තේරුමක් නැති විහිළුවක්.
කෙසේ වුවත් මේ කතාව සංසරණය වන්නේ ප්‍රබන්ධයක් ලෙස එහි තිබෙන විශිෂ්ඨත්වයට වඩා එහි අඩංගු කරුණු හේතුවෙනුයි. කතාවේ සාරය ඇමරිකන් ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට සංක්‍රමණය වී විනාශ වී යන පවුලක්. වසර හත අටකට පෙර මෙය මා වෙත මුලින්ම යොමු කළ පුද්ගලයා හිතාගෙන සිටියේ මෙය ප්‍රබන්ධයක් නොව සැබෑ විස්තරයක් බවයි. බොහෝ විට මුල් රචකයා එය ලියා පළ කරන විට එවැනි තත්ත්වයක් අපේක්ෂා කරන්න නැතුව ඇති.
පොදුවේ මේ කතාවෙන් කියන්න හදන්නේ ඇමරිකාවට සංක්‍රමණය වුනා කියා හැමදේම ලැබෙන්නේ නෑ කියන එකයි. ඒ කතාව ඇත්ත. ඇමරිකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් ධනවතුන් වී සිටින නිසා ඇමරිකාව රටක් විදිහට ධනවත් රටක්ව තිබෙනවා මිසක් රට ධනවත් නිසා මිනිස්සු ධනවත් වී නැහැ. ඇමරිකාවට සංක්‍රමණය වන කෙනෙකුට සාධාරණව මුදල් උපයන්න වැඩි අවස්ථාවන් මිසක් මුදල් ලැබෙන්නේ නැහැ. ලංකාව වගේ රටක තිබෙන සමහර අවස්ථා ඇමරිකාවේ නැති වෙන්නත් පුළුවන්. ඉගෙන ගන්න අවස්ථා මිසක් අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. හොඳ වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවස්ථා මිසක් සෞඛ්‍යය ලැබෙන්නේ නැහැ. ඇමරිකාවට හෝ ලෝකයේ වෙනත් රටකට කෙනෙක් සංක්‍රමණය වෙනවානම් එසේ කළ යුත්තේ ලංකාවේදී තමන්ට නොලැබෙන අවස්ථා හොයා ගෙන මිසක් සම්පත් හොයා ගෙන නෙමෙයි.
මුල් ලිපිය පළවී මාස කිහිපයකට පසුව වෙනත් තැනක පළ වී තිබෙන අදාළ කතාව පහත තිබෙනවා.
රට ගිය ඇත්තෝ..
එහිම ඉංග්‍රීසි පරිවර්තයක් මෙහි තිබෙනවා.
Its A 'Big Bite', Sam
කතාවේ තිබෙන තාක්ෂණික වැරදි හා වෙනත් අඩුපාඩු විවිධ පුද්ගලයින් විසින් පෙන්වා දී තිබෙනවා. ඒ හේතුව නිසා හෝ වෙනත් හේතු නිසා මුල් ලිපිය පසුව යථාර්ථවාදියා බ්ලොග් අඩවියෙන් ඉවත් කරගෙන ඇති බව පෙනී යනවා. ඒ අනුව, මේ කතාව මුල් රචකයා විසින් "අයිතිය හැර දැමූ" කතාවක් වෙන්න පුළුවන්.
කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. සමන් ජයසිංහ හා සිරිල් සපරමාදු. සිරිල් සපරමාදුගේ පවුලේ සාමාජිකයින් අවශේෂ චරිත. මේ සියළු දෙනාම ලංකාවෙන් ඇමරිකාවට ආ සංක්රමණිකයෝ.
කතාව කියන්නේ සමන් ජයසිංහ. ඔහු කඩවත සිට ඇමරිකාවේ චිකාගෝ නුවරට එන්නේ සිංහ සමාජයේ වාර්ෂික සමුළුවකට සහභාගී වෙන්නයි. ඔහු සමුළුව අවසන් වීමෙන් පසුව නැවත ආපසු යන්නේ නැහැ. වසර හතරක් තිස්සේ ඇමරිකාවේ රැකියාවක් කරමින් සිටින ඔහු තවත් වසරකට පසුව "තව කීයක් හරි හොයා ගෙන" ආපසු ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
කිසියම් සමුළුවකට හෝ පුහුණු වැඩ සටහනකට සහභාගී වීම සඳහා සංචාරක වීසා ලබා ගෙන ඇමරිකාවට ඇතුළු වීමෙන් පසුව කිසියම් පුද්ගලයෙකු ආපසු ලංකාවට නොගොස් ඇමරිකාවේ නැවතීම අභව්‍ය සිදු වීමක් නෙමෙයි. එසේ කළ අය මට පෞද්ගලිකවත් හමු වී තිබෙනවා.
කතාවේ හැටියට සමන් ජයසිංහ ඇමරිකාවට ඇවිත් අවුරුදු හතරක් වෙනවා. කතාව මුලින්ම පළ වී තිබෙන්නේ 2011දී නිසා මෙය 2008 ආර්ථික අවපාතයට පෙර කාලයක්.
"දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහු යනවා."
මේ කතාව තාක්ෂණිකව සම්පූර්ණයෙන්ම වැරදියි. ඇමරිකාවට පැමිණීමට සංචාරක වීසා ලබා දීමේදී වසර පහක කාලයක් සඳහා බහු ගමන්වාර වීසා බලපත්‍රයක් ලබා දෙන නමුත් එම වීසා බලපත්‍රය මත වරක් ඇමරිකාවට ඇතුළු වීමේදී ඇමරිකාවේ රැඳී සිටීමට අවසර ලබා දෙන්නේ මාස හයක කාලයක් දක්වා පමණයි. මාස හය ඉක්මවා දවසක් හෝ රැඳී සිටීම නීති විරෝධී ලෙස රැඳී සිටීමක්.
"මට බැංකු ගිණුමක් අරින්නවත්, වාහනයක් එළවන්නවත් බැහැ."
ඇමරිකාවේ නීත්‍යානුකූල ලෙස පදිංචි වී නොසිටින විදේශිකයෙකුට ඇමරිකාවේ වාණිජ බැංකුවක පුද්ගලික හෝ ව්‍යාපාරික අනේවාසික ගිණුමක් ආරම්භ කරන්න බැරිකමක් නැහැ. එහෙත්, සාපේක්ෂව අසීරුයි. ඒ සඳහා මුදල් ඉපැයූ ආකාරය ඇතුළු අවශ්‍ය තොරතුරු රාශියක් ලබා දිය යුතුයි. වීසා කල් ඉකුත් වීමෙන් පසුව නීති විරෝධී ලෙස රැඳී සිටින කෙනෙක්ට ඔය වැඩේ කොහොමවත් කරන්න බැහැ. වියානා සම්මුතිය අනුව ඇමරිකාවේ සංචාරය කරන ලාංකිකයෙකුට ඇමරිකාවේදී වාහන එළවන්නත් පුළුවන්කම තිබෙනවා. හැබැයි මාස හයක් යන තුරු පමණයි. නීති විරෝධී ලෙස රැඳී සිටින කෙනෙකු ඇමරිකාවේදී වාහන එළවනවානම් එය කරන්න වෙන්නෙත් නීති විරෝධී ලෙසයි.
"not authorized to work කියල පාස්පෝට් එකේ ගහල තියෙනවා."
"මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්."
"වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්."
නීති විරෝධී සංක්‍රමණිකයෙකු විසින් හදිසියේ රැකියාවක් හොයා ගන්නවා කියන එක කළ නොහැකි තරම් අමාරු දෙයක්. කාලය දිගේ ආපස්සට ගියොත් 2008 ආර්ථික අවපාතය වෙලාවේ බොහෝ ඇමරිකානුවන්ට රැකියා අහිමි වුනා. ඔය කියන විදිහේ රැකියාවක් පුරප්පාඩු වෙන කොට අයදුම්කරුවන් සිය ගානක් ඉල්ලුම් කරනවා. ඉන් පසුව, ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙන කොට නීති විරෝධී සංක්‍රමණිකයින් රැකියා කරනවාද කියා පරික්ෂා කරන ක්‍රමවේදය සෑහෙන්න විධිමත් වෙලා. 2008න් පසුව නීති විරෝධී ලෙස රැඳී සිටින්නෙකුට ඇමරිකාවේ රැකියාවක් හොයා ගන්න ඉතාම අඩු ඉඩ කඩකුයි තිබුණේ. ඒ නිසා, අපට සමන් ජයසිංහ විසින් මේ කතාව කියන කාලය 2007 දක්වාවත් පස්සට තල්ලු කරන්න වෙනවා. ඒ කියන්නේ ඔහු පැමිණි කාලය 2003 හෝ පෙර වසරක්. ඒ කාලයේදී වුවත් ගෑස් ස්ටේෂන් වල වැඩිපුරම වැඩ කළේ නීති විරෝධී සංක්‍රමණිකයින් කියන එක බොරුවක්. යම් ප්‍රමාණයක් ඉන්න ඇති.
ගෑස් ස්ටේෂන් එකක සේවය කරන අයෙකු මුහුණ දෙන තත්ත්වයන් ගැන කතාවේ තිබෙන බොහෝ දේවල් නිවැරදියි. එවැන්නෙකුට බොහෝ විට ලැබෙන්නේ අවම වැටුප හෝ ඊට කිට්ටු වැටුපක්.
"තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්."
මෙය තීරණය වන්නේ අදාළ පුද්ගලයාගේ වියදම් කිරීමේ රටාව මතයි. ඔය වගේ රැකියා කරලාත් ගෙවල් අරගෙන ඉන්න, පවුල් නඩත්තු කරන අය ඉන්නවා. හැබැයි නීත්‍යානුකූලව ඉන්න අය. ඒ වගේම, සමන් ජයසිංහගේම කලින් කතාව මේ කතාව සමඟ ගැලපෙන්නේ නැහැ.
"තව කීයක් හරි හොයා ගෙන ආපහුයනවා."
සමන් ජයසිංහගේ ලංකාවේ රැකියාව ගැන කතාවේ සඳහනක් නැතත් සිංහ සමාජයක සාමාජිකයෙක් කියන්නේ ලංකාවේ හැටියට දුප්පතෙක් වෙන්න බැහැ. ලංකාවට සාපේක්ෂව හොඳ සමාජ ආර්ථික තත්ත්වයක් තිබෙන කෙනෙක්. සැලකිය යුතු ආදායමක් ලබන කෙනෙක්. නමුත්, ඔහු නැවත ලංකාවට නොයා මේ "අඩුවෙන් ගෙවන පොඩි රස්සාව" කරගෙන ඉන්නේ ඒ රස්සාව කරලත් ඔහුට ලංකාවේ හොඳ රස්සාව කරලා ඉතුරු කරනවාට වඩා ගානක් ඉතුරු කරගන්න පුළුවන් නිසයි. වෙන රටක රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්කම තිබෙන අය පවා තමන්ගේ කැමැත්තෙන් ඇමරිකාවේ පොඩි රස්සා කරගෙන ජීවත් වෙලා තියෙනවා. "තව කීයක් හරි" කියන එකෙන් අදහස් වෙන්නේ සමන් ජයසිංහ දැනටමත් යම් මුදලක් ඉතිරි කරගෙන තිබෙන බවයි.
"මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. මුන්ට කියන්නේ “හෝම්ලස් පීපල්” කියල."
මේක අතිශයෝක්තියක්. ඇමරිකාවේ නිවාස අහිමි පුද්ගලයින් ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ වෙන වෙලාවක ලිපියකින් ඉදිරිපත් කරන්නම්.
"අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මාන තියෙනව. ඉංග්‍රීසි භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මා කියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේ මටද නොතේරෙයි."
මේ කතාවනම් සම්පූර්ණ ඇත්ත.
රට ගිය ඇත්තෝ කතාවේ ඊට පස්සේ තියෙන්නේ සමන් ජයසිංහට සිරිල් සපරමාදු හමු වීම හා සිරිල් සපරමාදුගේ කතාව. රට ගිය ඇත්තෝ කියන්නේ ඇත්තටම සමන් ජයසිංහ විසින් කියන සිරිල් සපරමාදුගේ කතාවයි. සිරිල් සපරමාදු සමන් ජයසිංහ වගේ නීති විරෝධී සංක්‍රමණිකයෙක් නෙමෙයි. ඔහු සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ ස්ථිර පදිංචිය සඳහා ඇමරිකාවට එන්නේ ඇමරිකාවේ ස්ථිර පුරවැසියෙකු හෙවත් ග්‍රීන්කාඩ් හිමියෙකු ලෙසයි. ඇමරිකාවේ ස්ථිර පුරවැසියෙකුට ඇමරිකන් පුරවැසියෙකුට හිමි වන වරප්‍රසාද වලින් විශාල ප්‍රමාණයක් හිමි වෙනවා. වසර පහකට පසුව ඇමරිකන් පුරවැසියෙකු වීමේ අවස්ථාවද ලැබෙනවා.
කතාව අනුව සිරිල් සපරමාදුට ඇමරිකන් ස්ථිර පුරවැසියෙකු වීමේ අවස්ථාව ලැබෙන්නේ ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කර ජයග්‍රාහකයෙකු වීම නිසයි. කතාව අවසන් වෙන්නේ ග්‍රීන් කාඩ් ලොතරැයිය සමඟ සිරිල් සපරමාදු වෙත ආ වාසනාව අවාසනාවකට පෙරළීමෙන්.
ඒ කොටස පිළිබඳව අපි ඊළඟ කොටසින් කතා කරමු.
Saturday, June 6, 2020
කළු, සුදු හා අළු
මා කවර ආකාරයක හෝ භීෂණකාරී ක්‍රියා අනුමත නොකරන අයෙකු බව මේ බ්ලොග් එක දිගටම කියවන අය දන්නවා. භීෂණය අනුමත නොකරන මා පොලිස් භීෂණය කෙසේවත් අනුමත කරන්නේ නැහැ. පොලීසිය ඉන්නේම ජීවිත හා දේපොළ ආරක්ෂා කරන්න නිසා පොලිස් නිලධාරියෙකු අතින් ජීවිතයක් නැති වීම සාමාන්‍ය පුද්ගලයෙකු අතින් ජීවිතයක් නැති වනවාට වඩා නරක දෙයක්.
ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය වැරැද්දක්. සිදු විය යුතුව නොතිබුණු දෙයක්. මා කෙසේවත් එය අනුමත කරන්නේ නැහැ. එහෙත්, මේ සිද්ධිය ගැන කතා කරන්නන් පහසුවෙන් අමතක කර දමන ඇතැම් කරුණු නැවත මතක් කර ගත යුතුයි. ප්‍රශ්නයක් හඳුනාගෙන විසඳුම් හොයන්නනම් පළමුව අන්තවාදී නොවී ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි.
ඇමරිකාවේ පොලීසි කියා කියන්නේ ඒකීය පුද්ගලයින්ගේ අවශ්‍යතා මත ඔවුන් විසින් සාමූහික තීරණයකින් පිහිටුවා ගෙන පොදු අරමුදල් වලින් නඩත්තු කරන ආයතන. පොලිස් නිලධාරියෙකුගේ කාර්ය භාරය වන්නේ අදාළ ප්‍රදේශයේ නීතිය හා සාමය රැකීමයි. වෙනත් වචන වලින් කිවුවොත් තමන් වෙනුවෙන් වියදම් දරන පුද්ගලයින්ගේ ජීවිත හා දේපොළ ආරක්ෂා කර දීමයි.
ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයට හේතු වූ සිද්ධි දාමය ආරම්භ වන්නේ 911 අංකයට ලැබුණු හදිසි දුරකථන ඇමතුමකින්. දුරකථන ඇමතුම දෙන්නේ "කප් ෆුඩ්ස්" කඩේ සේවකයෙක්. කඩේ අයිතිකරු මහ්මුද් අබුමයියාලේ. පලස්තීන ඇමරිකානුවෙක්. සිද්ධිය වෙන වෙලාවේ ඔහු කඩේ ඉඳලා නැහැ. කවුන්ටරේ ඉඳලා තියෙන්නේ වයස අවුරුදු 17ක බාලවයස්කරුවෙක්. දුරකථන ඇමතුම දී තිබෙන්නේ මේ දරුවා. ඇතැම් විට ග්‍රීෂ්ම නිවාඩුවේ කීයක් හෝ හොයා ගන්න වැඩ කරන දරුවෙක් වෙන්න ඇති. දුරකථන ඇමතුමේ ඉංග්‍රීසි භාවිතය අනුව බොහෝ විට සුදු හෝ කළු ඇමරිකානු දරුවෙක් නොවිය හැකියි. අයිතිකරුගේ ඥාතියෙක් වෙන්නත් පුළුවන්.
දුරකථන ඇමතුම අනුව කඩේට පැමිණි පුද්ගලයෙක් බඩු අරගෙන මුදල් ගෙවීමෙන් පසුව මුදල් ගෙවා ඇත්තේ හොර නෝට්ටු වලින් බව පෙනී ගොස් තිබෙනවා. කවුන්ටරයේ සිටි දරුවා එම පුද්ගලයා පසුපස ගොස් මුදල්, ජංගම දුරකථනය හෝ සිගරැට් ආපසු දෙන මෙන් ඉල්ලා ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. දුරකථන සංවාදය අනුව පැහැදිලි නැතත් ජංගම දුරකථනය ඉල්ලුවේ මුදල් ගෙවන තුරු ඇපයක් ලෙස වෙන්න පුළුවන්. පසුව මහ්මුද් අබුමයියාලේ විසින් සඳහන් කර තිබුණු පරිදි මේ පුද්ගලයා (ජෝජ් ෆ්ලොයිඩ්) ඔහුගේ කඩේට නිතර ආ ගිය ඔහු දන්නා කෙනෙක්.
දුරකථන ඇමතුම අනුව කඩේට පැමිණි පුද්ගලයා තමන්ට තමන්ව පාලනය කර ගත නොහැකි තරමට හොඳටම මත් වී සිටින පුද්ගලයෙක්. ඔහු දැන් කඩේ ඉදිරිපස මෝටර් රථයකට වී ඉන්නවා. ඒ අනුව, පොලිස් කණ්ඩායමක් වහාම සිද්ධිය වූ තැනට එනවා.
පොලිස් කණ්ඩායම වහාම එන්නේ අදාළ පුද්ගලයා තමන්ට තමන්ව පාලනය කර ගත නොහැකි තරමට හොඳටම මත් වී සිටින බවට ලැබුණු තොරතුරටද බරක් තබා විය යුතුයි. ඊට අමතරව මේ ප්‍රදේශය පොලිස් සුපරික්ෂාව යටතේ තිබෙන අපරාධ වැඩි ප්‍රදේශයක් කියා හිතන්න පුළුවන්.
ජෝජ් ෆ්ලොයිඩ් පොලිස් අණට අවනත වන්නේ නැහැ. චෝවින් ඔහුගේ දණහිස ෆ්ලොයිඩ්ගේ ගෙල මත තබා පීඩනයක් දමන්නේ ඔහුව අවනත කර ගැනීමේ අරමුණින් මිස මරා දැමීමේ අරමුණින් නෙමෙයි. මේ ක්‍රියාව පොලිස් අත් පොතේ තිබෙන, ඔවුන්ගේ පොලිස් පුහුණුවේ කොටසක් වන ක්‍රියාවක්. එවැන්නක් කළ යුතු අවස්ථාද පුහුණුවට ඇතුළත්. එහෙත්, මේ අවස්ථාව එවැනි අවස්ථාවක් නෙමෙයි. මෙය පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ සීමාව ඉක්මවා යාමක්.
පොලිස් නිලධාරියෙකු තමන්ගේ සීමාව ඉක්මවා යාමෙන් ජීවිතයක් හානි වූ විට එයට දඬුවම් හිමි විය යුතුයි. අධිකරණය හරහා එය සිදු විය යුතු නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. මේ අවස්ථාවේදීද අපක්ෂපාතී ලෙස හා කාර්යක්ෂම ලෙස ඒ කටයුත්ත සිදු වී තිබෙනවා. කිසිදු දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙකු විසින් අධිකරණයට බලපෑම් කර නැහැ. ඒ වගේම අධිකරණය මහජන උද්ඝෝෂණ වල පීඩනයට යටත්ව තීන්දු දිය යුතුත් නැහැ. පොලිස් නිලධාරියෙකු අතින් තමන්ගේ සේවය ඉටු කරන්නට යාමේදී සිදුවන නොදන්නා පුද්ගලයෙකුගේ මරණයක් පිළිබඳව තීන්දුවක් දීම ක්ෂණිකව කළ හැක්කක් නෙමෙයි. දෙපැත්තටම කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් දෙන්න වෙනවා.
පොලිස් නිලධාරීන් සෘජුවම චුදිතයින් වී සිටින මේ වගේ නඩුවකදී ඔවුන් අපක්ෂපාතී ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වීම විහිළුවක්. ඔවුන් අනිවාර්යයෙන්ම බලන්නේ තමන් බේරෙන්නේ කොහොමද කියලයි. මේ වන විට කවුරුත් දැක තිබෙන වීඩියෝව නොවන්නට සිද්ධිය හා අදාළ සියලු කරුණු අධිකරණය හමුවේ එළිදරවු වෙන්නේ නැහැ. මෙවැනි වෙනත් අවස්ථා වලදී සීමාව ඉක්මවා යන පොලිස් නිලධාරීන් ඕනෑ තරම් නිදහස් වෙනවා ඇති.
මේ සියලු සිද්ධි වලට කළු සුදු භේදය බලපාන්නේ කොහොමද? චෝවින් ෆ්ලොයිඩ්ගේ ගෙල මත අවම බලය වෙනුවට මාරාන්තික බලය යෙදීමට චෝවින් සුදු ජාතිකයෙක් වීමත්, ෆ්ලොයිඩ් කළු ජාතිකයෙක් වීමත් බලපෑවාද? සීමාව ඉක්මවා යන සුදු පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මැරුණු විට පොලිස් නිලධාරියා නිදහස් වෙන්නේ කළු සුදු භේදයක් නිසාද?
මේ වගේ කරුණක් දිහා සරලව බලන්න බැහැ. මතුපිටින් පෙනෙන විදිහට සුදු පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මැරෙනවා තමයි. නමුත්, ඒ හේතුව නිසාම මෙය කළු සුදු ප්‍රශ්නයක් කියා කියන්න බැහැ. පොලිස් නිලධාරියා කළු ජාතිකයෙක් වුනානම් ෆ්ලොයිඩ් තවමත් ජීවත් වෙනවාද? ෆ්ලොයිඩ් සුදු ජාතිකයෙක් වුනානම් ඔහු තවම ජීවත් වෙනවාද? මේ වගේ ප්‍රශ්නයකට විද්‍යාත්මක පිළිතුරක් හොයන එක ගොඩක් සංකීර්ණ වැඩක්. ඒ නිසා, සුදු ජාතිකයෙක් අතින් කළු ජාතිකයෙකු මිය ගිය පමණින් එහි කළු සුදු ප්‍රශ්නයක් තිබෙන බව කියන්න බැහැ. නැති බව කියන්නත් බැහැ.
සුදු පොලිස් නිලධාරියෙක් අතින් කළු ජාතිකයෙක් මිය ගිය විට කළු ජාතිකයින් ඒ ගැන සංවේදී වෙනවා. තමන් කළු ජාතිකයින් වීම නිසා අසාධාරණයට ලක් වන බව ඔවුන් හිතනවා. නීතියෙන් කොයි තරම් සීමා දැම්මත් ජාතිවාදය කියන එක මුළුමනින්ම තුරන් කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, කළු ජාතිකයින්ගේ කණස්සල්ල පදමනක් නැති එකක් කියා බැහැර කරන්න බැහැ. මේ කාරණයේදී කළු ජාතිකයින් සමඟ එකඟ වන සුදු ජාතිකයින් හා වෙනත් අයද විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට තමන්ගේ විරෝධතාව දක්වන්න තිබෙන අයිතිය ඇමරිකානුවන් විසින් පිළිගන්නා දෙයක්. ඒ වගේම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබෙන අයිතියක්.
ඇතැම් විට මේ විරෝධතාකරුවන් අතර සිටින පිරිස් සීමාව ඉක්මවා යනවා. එවැනි අවස්ථා වලට විශාල මාධ්‍ය අවධානයක් හිමි වෙනවා. එහෙත්, සමස්තයක් ලෙස බොහෝ විරෝධතා සාමකාමීයි.
ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය විරෝධතා වලට ආසන්න හේතුවක් පමණයි. මේ විරෝධතා හරහා මතු වන්නේ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබුණු ප්‍රශ්නයක්.
ආදායම, අධ්‍යාපන මට්ටම්, සෞඛ්‍යය වගේ කොයි දෙයක් බැලුවත් කළු ජාතිකයින් ඉන්නේ පසුපසින්. පොලිස් නිලධාරියෙකු අතින් මරණයට පත් වීමට තිබෙන සම්භාවිතාව බැලුවත් මේ වෙනස කැපී පෙනෙනවා. එහෙත් සැබෑ ප්රශ්නය වන්නේ මෙයයි. කළු ජාතිකයෙකුට කළු ජාතිකයෙකු වීම නිසා තිබෙන ප්‍රශ්න මොනවාද?
ජෝජ් ෆ්ලොයිඩ් සිදු වීමෙන් බැහැර වී පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතිකයෙකු මිය යන්න වැඩි ඉඩක් තිබෙනවාද කියන කරුණ පිළිබඳව පමණක් අපි දැනට පොදුවේ අවධානය යොමු කරමු.
පොලිස් නිලධාරියෙකුට ඇතැම් තත්ත්වයන් යටතේදී තීරණයක් ගන්න තිබෙන්නේ ඉතාම කෙටි කාලයක්. ඒ වගේ වෙලාවක ලොකු විශ්ලේෂණ කර කර ඉන්න බැහැ. ක්ෂණිකව ගිණි අවියට අත යනවා. මෙහිදී තීරණය ගැනෙන්නේ ඔවුන්ගේ පුහුණුව හා පූර්ව නිගමන මත පදනම්ව අවිඥානිකවයි.
තමන් ඉදිරියේ සිටින පුද්ගලයා සතුව අවියක් තිබෙනවාද කියන එක මේ විදිහට ක්ෂණිකව තීරණය කළ යුතු දෙයක්. පොලිස් නිලධාරියා විසින් කළු ජාතිකයින් ජීවත් වන ප්‍රදේශයකදී හමු වන අහඹු පුද්ගලයෙක් අතේ ගිණි අවියක් තියෙන්න වැඩි ඉඩක් තිබෙනවා කියන පූර්ව නිගමනයේ සිටියොත් කළු ජාතිකයෙකුට එරෙහිව වඩා ඉක්මණින් ගිණි අවිය පත්තු වෙන්න ඉඩ තිබෙනවා. පොලිස් නිලධාරීන් අතින් නිරායුධ කළු ජාතිකයින් වැඩිපුර මිය යන්නත් ඉඩ තිබෙනවා.
පරිගණක සමාකරණය මගින් මෙවැනි තත්ත්වයක් තිබේදැයි හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කර තිබෙනවා. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් 50 දෙනෙකු යොදාගෙන සිදු කළ පරිගණක සමාකරණ අධ්‍යයනයක් [1] මත 2005දී ප්‍රකාශිත පර්යේෂණ ප්‍රතිඵල අනුව පොලිස් නිලධාරියෙකු විසින් නිරායුධ කළු ජාතිකයෙකුට වෙඩි තියන්න තිබෙන සම්භාවිතාව නිරායුධ සුදු ජාතිකයෙකුට වෙඩි තියන්න තිබෙන සම්භාවිතාවට වඩා වැඩියි. එහෙත්, නිසි පුහුණුවක් ලබා දීමෙන් මේ තත්ත්වය වෙනස් කළ හැකියි.
කොලරාඩෝ සරසවියේ සිසුන් 69 දෙනෙකු යොදාගෙන සිදු කළ පරිගණක සමාකරණ අධ්‍යයනයකට අනුව ඔවුන් කළු ජාතිකයෙකු දුටු විට සුදු ජාතිකයෙකු දුටු විටදීට වඩා ඉක්මණින් ගිණි අවිය පත්තු කරන නමුත් ආසියානු පෙනුම ඇති අයෙකුට ගිණි අවිය පත්තු කරන්නේ සුදු ජාතිකයෙකුට පත්තු කරනවාටත් වඩා කල් ගැනීමෙන් පසුවයි. මෙයින් තහවුරු වන්නේ අනෙක් පුද්ගලයා අනතුරුදායක පුද්ගලයෙක් වීම පිළිබඳව තිබෙන පූර්ව උපකල්පනයයි. පොලිස් නිලධාරීන් 80 දෙනෙකු යොදාගෙන සිදු කර ඇති 2016දී ප්‍රකාශිත වෙනත් අධ්‍යනයකට අනුව පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකුට වෙඩි තියන්නේ සුදු ජාතිකයෙකුට වෙඩි තියනවාට වඩා කාලයක් අරගෙනයි [3].
ඉතාම අලුත් පර්යේෂණ පත්‍රිකාවකට අනුව හමේ පැහැය ඈතට නොපෙනෙන තරම් අඳුර වැටීමෙන් පසුව පොලීසිය විසින් වාහන නවත්වද්දී කළු ජාතිකයින්ගේ වාහන නවත්වන්නේ දවල් කාලයේදී නවත්වනවාට වඩා අඩුවෙන් [4]. මේ වගේ දෙයකින් කියවෙන්නේ කළු ජාතිකයින් පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ පූර්ව නිගමනයන් ඇති බවයි. මෙය හරියට එල්ටීටීඊ ප්රශ්නය තිබුණු කාලයේදී චෙක් පොයින්ට් එකකදී දෙමළ සේ පෙනෙන අයෙකු පරීක්ෂාවට ලක් වීමට වැඩි ඉඩක් තිබීමට සමානයි.
කළු ජාතිකයෙකු අපරාධකරුවෙකු වීමට වැඩි ඉඩක් තිබෙන බවට පූර්ව නිගමනයක ඇමරිකාවේ පොලිස් නිලධාරීන් සිටින බව පැහැදිලි කරුණක්. ඔවුන් එසේ සිතන්නේ පදනම් විරහිතවද නෙමෙයි. එහෙත් මේ පූර්ව නිගමනය අහිංසක කළු ජාතිකයෙකුගේ ජීවිතය හා මරණය වෙන් කර අඳින ඉරක් වෙන්න පුළුවන්. පොලිස් නිලධාරියා සුදුද කළුද කියන එක මත මේ පූර්ව නිගමනය වෙනස් වෙනවාද? තවත් මෑතකාලීන පර්යේෂණයකට [5] අනුව පොලිස් නිලධාරියා කළු ජාතිකයෙකු වුවා කියා තත්ත්වය තවත් නරක අතට මිස හොඳ අතට වෙනස් වෙන්නේ නැහැ.
කළු ජාතිකයින්ට කළු ජාතිකයින් වීම නිසා අසාධාරණයක් වෙනවාද කියන එක එක එල්ලේ නිගමනය කළ හැකි සරල දෙයක් නෙමෙයි. එහෙත්, බොහෝ දෙනෙක් එසේ විශ්වාස කරනවා. මේ විශ්වාස වල පැහැදිලි දේශපාලනික බෙදීමක් තිබෙනවා. ඒ බෙදීම පර්යේෂණ ප්‍රතිඵල වලටත් බලපානවා.
දේශපාලන බෙදීමේ එක පැත්තක ඉන්න අයට අනුව කළු ජාතිකයින් කළු ජාතිකයින් වීම නිසාම මුහුණ දෙන ප්‍රශ්නයක් නැහැ. මේ වචන මගේ වචන වුනත් අදහස මේ වගේ එකක්. මේ මතය අනුව ඇමරිකාවේ ඕනෑම කෙනෙකුට තමන්ගේ දක්ෂතාවය හා උනන්දුව මත ඉහළ යන්න අවස්ථාව තිබෙනවා. ඒ නිසා, කළු ජාතිකයින්ට විශේෂ අවස්ථා ලබා දිය යුතු නැහැ.
කළු ජාතිකයින්ගේ ජීවන තත්ත්වය පහළ මට්ටමක තිබීමට හේතුව අධ්‍යාපනය, චර්යාවන් ආදී කරුණු මිස කළු ජාතිකයෙකු වීමම නොවන බව දත්ත ඇසුරෙන් පර්යේෂණාත්මකව පෙන්වා දිය හැකි කරුණක්. එහෙත්, කළු ජාතිකයින් අධ්‍යාපනය, චර්යාවන් ආදී කරුණු වලින් වෙනස් තැනක ඉන්නේ ඇයි කියන එක දේශපාලනික කරුණක්. එය ඔවුන්ගේ වැරැද්දක්ද නැත්නම් සමාජ ක්රමයේ වැරැද්දක්ද?
දේශපාලන බෙදීමේ අනෙක් අන්තයේ ඉන්න අයට අනුව කළු ජාතිකයින් අද සිටින තත්ත්වයේ සිටීමට ඓතිහාසික කරුණු හේතු වී ඇති නිසා ඔවුන්ට වූ ඓතිහාසික වැරැද්ද නිවැරදි වන තුරු ඔවුන්ට විශේෂ සැලකිලි හිමි විය යුතුයි. මෙය රතු ඉන්දියානුවන් වැනි වෙනත් අයටත් අදාළයි.
කාලයක් තිස්සේ මේ දෙවන මතයට ඇමරිකානු දේශපාලනයේ වැඩි ඉඩක් හිමි වුනා. එහිදී තමන්ට අසාධාරණයක් සිදු වන බව සුදු ඇමරිකානුවන්ට පෙනුනා. විශේෂයෙන්ම සුදු ඇමරිකානු පිරිමින්ට. එක පැත්තකින් බැලුවහම වත්මන් පරම්පරාවට වන්දි ගෙවන්න වී තියෙන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් කළ වරදකට. මගේ එක සුදු ජාතික මිතුරෙක් "නේටිව් ඇමරිකන්" කියන යෙදුමට දැඩි සේ විරුද්ධයි. ඔහු කියන්නේ තමන් ඉපදුනේ ඇමරිකාවේ නිසාත්, තමන්ට වෙනත් කිසිම රටක් නැති නිසාත්, තමන්ද නේටිව් ඇමරිකන් කෙනෙක් බවයි. ඒ නිසා, එක් කණ්ඩායමක් පමණක් එසේ හැඳින්වීම වැරැද්දක් බවයි.
ට්‍රම්ප්ගේ ජයග්රහණයෙන් පිළිබිඹු වුනේ ඇමරිකාවේ සුදු ජාතිකයන්ගේ පීඩනය. එහෙත්, ට්‍රම්ප් මතුවීමත් සමඟම කළු ජාතිකයින්ගේ පීඩනය ඉහළ ගියා. දැන් කැකෑරෙමින් එළියට එන්නේ ඒ පීඩනයයි. ඇමරිකාවේ ප්රශ්නය පවතින සමාජ ක්‍රමය ඇතුළේ එක් එක් කණ්ඩායමට වෙන් කෙරෙන අවකාශය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් ධනවාදය පිළිබඳ හෝ ඇමරිකානු අර්ථ ක්රමයේ පදනම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අවකාශය තීරණය විය යුත්තේ ධනවාදය ඇතුළේ සිදුවන ප්රජාතන්ත්රවාදී ආකෘතියේ හෙට්ටු කිරීම් මතයි. සාමකාමී විරෝධතා කියන්නේත් එහි කොටසක්. මේ වගේ කරුණකදී හරි දේ තීරණය කළ හැකි වෙන විදිහක් නැහැ. එය දැන් සිදු වෙමින් තිබෙනවා.
Reference
[1] Plant, E. A., & Peruche, B. M. (2005). The consequences of race for police officers' responses to criminal suspects. Psychological Science, 16(3), 180-183.
[2] Sadler, M. S., Correll, J., Park, B., & Judd, C. M. (2012). The world is not black and white: Racial bias in the decision to shoot in a multiethnic context. Journal of Social Issues, 68(2), 286-313.
[3] James, L., James, S. M., & Vila, B. J. (2016). The Reverse Racism Effect: are cops more hesitant to shoot black than white suspects?. Criminology & Public Policy, 15(2), 457-479.
[4] Pierson, Emma, et al. "A large-scale analysis of racial disparities in police stops across the United States." Nature human behaviour (2020): 1-10.
[5] Johnson, D. J., Tress, T., Burkel, N., Taylor, C., & Cesario, J. (2019). Officer characteristics and racial disparities in fatal officer-involved shootings. Proceedings of the National Academy of Sciences, 116(32), 15877-15882.
Labels:
ඇමරිකාව,
ජාතිකවාදය,
ජාතිවාදය,
දේශපාලනය,
භාෂණයේ නිදහස,
සමානාත්මතාවය,
සහකම්පනය
Friday, June 5, 2020
පොලීසිය කා වෙනුවෙන්ද?
ඇමරිකාවේ මේ දවස් වල වෙන දේවල් ගැන ලංකාවේ ගොඩක් අය උනන්දුවක් දක්වනවනේ. ඇතැම් අය දකින විදිහට ඇමරිකාවේ පොලීසිය හා ජනතාව අතර ගැටුමක් තිබෙනවා. තවත් අය එය කළු හා සුදු වාර්ගිකයින් අතර ගැටුමක් ලෙස දකිනවා. මොන විදිහෙන් හරි ගැටුමක් තිබෙන බව පැහැදිලි කරුණක්නේ. ගැටුම කුමක්ද කියන එක තීරණය වන්නේ එක එක පුද්ගලයා එය අර්ථ විවරණය කරන ආකාරය අනුවයි.
විශේෂයෙන්ම ඇමරිකාවේ හා ලංකාවේ සමාජයීය වෙනස්කම් ගැන අවබෝධයක් නැති අය මෙය දකින්නේ තමන් දන්නා ලංකාවේ තත්ත්වයන් මත පරාරෝපණය කරමින්. කළු හා සුදු වාර්ගිකයින් ගැන කතා කරද්දී හිතේ මවා ගන්නේ සිංහල මුස්ලිම් ගැටුමක් වගේ එකක්. පොලීසිය හා ජනතාව අතර ගැටුමක් ගැන කතා කරද්දී හිතේ මවා ගන්නේ ලංකාවේ පොලීසිය. කවුරු වුනත් තමන්ගේ අත්දැකීම් වලට සාපේක්ෂව ලෝකය දකින එක අමුතු දෙයක් නෙමෙයි.
දැන ගන්නට කැමති අයට දැන ගන්න ඇමරිකාවේ පොලිස් නිලධාරියෙක් කියන්නේ කවුද කියලා ටිකක් පැහැදිලි කරන්නම්.
අපි ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය වෙතම නැවත එමු. ඔහුගේ ගෙල මත දණහිස තබාගෙන සිටි ඩෙරික් චෝවින් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්. කළුතර පොලීසිය හරි මැදවච්චිය පොලීසිය හරි ශ්‍රී ලංකා පොලීසියේ කොටස් වෙනවා වගේ මේ මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව "ඇමරිකන් පොලිස් දෙපාර්තමේන්තුවේ" කොටසක් නෙමෙයි. ඇමරිකන් පොලීසිය කියා එකක් නැහැ.
ඇමරිකාවේ නීතිය හා සාමය රැකීම ඇමරිකන් ෆෙඩරල් රජයේ කටයුත්තක් නෙමෙයි. බොහෝ විට එය සිදු වන්නේ ප්‍රාන්ත මට්ටමටත් වඩා පහළ මට්ටකමදී. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කියා කියන්නේ මිනියාපොලිස් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව. එය පිහිටුවාගෙන තිබෙන්නේත්, බදු ගෙවා නඩත්තු කරන්නේත් මිනියාපොලිස් නගරයේ වැසියන් විසින්.
මිනියාපොලිස් නගරය 430,000ක පමණ ජනගහණයක් සිටින වර්ග සැතපුම් 54ක පමණ භුමි ප්‍රදේශයක පැතිරුණු මිනසෝටා ප්‍රාන්තයේ පිහිටි නගරයක්. ජනගහණය අනුව ඇමරිකාවේ නගර අතරින් 46 වන තැනටයි වැටෙන්නේ. 1950දී 98.4%ක්ම සුදු ජාතිකයින් සිටි නගරයක් වුවත් 2010 වන විට සුදු ජාතිකයින්ගේ ප්‍රතිශතය 63.8% දක්වා අඩු වී තිබෙනවා. නගර වැසියන්ගෙන් 18.6%ක් කළු ජාතිකයින්. වෙනත් විවිධ ජනවර්ග වලට අයත් පිරිස්ද විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා.
මිනියාපොලිස් නගරයට නගරාධිපතිවරයෙක් ඉන්නවා. ඡන්දයෙන් පත්ව සිටින නගරාධිපතිවරයා ජේකබ් ෆ්රේ. ඇමරිකන් යුදෙවුවෙක්. ඔහු නියෝජනය කරන්නේ මිනසෝටා ප්රජාතන්ත්රවාදී ගොවි කම්කරු පක්ෂයයි. ඩිමොක්රටික් පක්ෂය හා වාමාංශික පක්ෂයක් වූ මිනසෝටා ගොවි කම්කරු පක්ෂය සන්ධානගතව හැදුණු පක්ෂයක්. මේ වන විට මිනසෝටා ප්‍රාන්තයේ ඩිමොක්රටික් පක්ෂ ශාඛාව කියා කියන්න පුළුවන්. 1978 ජනවාරි 1 දින සිට දිගටම මිනියාපොලිස් නගරය පාලනය කර තිබෙන්නේ ප්රජාතන්ත්රවාදී ගොවි කම්කරු පක්ෂයේ නගරාධිපතිවරයෙක් විසින්. එයින් වසර හතක් නගරාධිපති ලෙස කටයුතු කර තිබෙන්නේ කළු ජාතික කාන්තාවක්. පසුගිය වසර 75ක කාලය ඇතුළත වෙනත් පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු විසින් නගරය පාලනය කර තිබෙන්නේ වසර 9ක කාලයක් පමණයි.
ලංකාවේ පොලීසිය පිහිටෙවුවේ 1866දී ඉංග්‍රීසින් විසින්. ඒ ලාංකිකයින් පොලීසියක් ඉල්ලා සිටි නිසා නෙමෙයි. පොලීසිය පිහිටෙවුවේ ඉංග්‍රීසි ආණ්ඩුව ආරක්ෂා කර ගන්නයි. වොලී බැස්ටියන්ට "මහජන සේවකයා ඔහු පොලිසියෙ නායකයා" කියා කිවුවත් අද දක්වාම ලංකාවේ පොලීසිය එහි ආකෘතිය අනුවම ලංකාවේ රජය වෙනුවෙන් පෙනී සිටින ආයතනයක්. බොහෝ අවස්ථා වලදී පවතින ආණ්ඩුව වෙනුවෙන්. පොලීසියට මහජනතාව පාලනය කිරීමට මිසක් මහජනතාවට පොලීසිය පාලනය කරන්න ඉඩක් නැති තරම්. එය කළ හැකි පහසුම ක්‍රමය මහජන නියෝජිතයෙකු හරහා බලපෑමක් කිරීමයි. පොලීසියට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම කළ නොහැකි දෙයක් නොවූවත් අසීරු දෙයක්.
ඇමරිකාවේ පොලීසි කියන්නේ ලංකාවේ මෙන් අහසින් පාත් වූ ආයතනයක් නෙමෙයි. මිනිස්සු එකතු වී ඔවුන්ගේ අවශ්‍යතාවය මත පිහිටුවා ගත් ආයතන. තමන්ට පොලීසියක් අවශ්‍යද, එය කොයි තරම් විශාල විය යුතුද වැනි කරුණු කිසියම් ප්‍රදේශයක ජනතාව විසින් තීරණය කරන දෙයක්.
තමන්ගේ ප්‍රදේශයේ නීතිය හා සාමය රැකී තිබීම ඓතිහාසිකව කිසියම් ගමක, නගරයක හෝ ප්‍රදේශයක ජීවත් වූ මිනිසුන්ට අවශ්‍ය වූ දෙයක්. ඒ නිසා මිනිස්සු එකතු වී ෂෙරීෆ් වරයෙකු පත් කර ගත්තා. මේ ෂෙරීෆ් ක්‍රමය ඇමරිකාවේ තවම තිබෙනවා. ගම්, නගර හෝ ප්‍රදේශ විශාල වෙද්දී තනි ෂෙරීෆ් වරයෙකුට නීතිය හා සාමය රකින එක කරන්න අමාරු වෙනවා. එවිට තවත් පිරිසක් බඳවා ගන්න වෙනවා. ඔවුන් ස්වේච්ඡා සේවකයින් හෝ ස්ථිර සේවකයින් වෙන්න පුළුවන්. ස්ථිර සේවකයින් වෙනුවෙන් වැටුපක් ගෙවන්න වෙනවා. එසේ වැටුපක් ගෙවා ස්ථිර සේවකයින් තබා ගත යුතුද කියන එක අදාළ ප්‍රදේශයේ වැසියන් විසින් තීරණය කළ යුතු දෙයක්.
කුඩා ප්‍රදේශයකට විශාල ජනගහණයක් ක්‍රමයෙන් සංක්‍රමණය වී නගර බිහි වන විට එවැනි නගර වල අපරාධ ඉහළ යනවා. නමුත් ෂෙරීෆ් වරයෙක්ට තමන්ගේ වියදම් දරන හැම දෙනෙක් ගැනම පොදුවේ බලනවා මිසක් නාගරික ප්‍රදේශ ගැන පමණක් බලන්න බැහැ. ඒ නිසා, නගරාධිපතිවරුන්ට වෙනම පොලිස් දෙපාර්තමේන්තු ඇති කරන්න සිදු වෙනවා. නගරයේ තිබෙන සරසවියක් වගේ ආයතනයකට නගරයේ පොලීසියෙන් ලැබෙන සේවය ප්‍රමාණවත් නැත්නම් තමන්ගේම පොලිස් දෙපාර්තමේන්තුවක් හදා ගන්න වෙනවා. ඔය විදිහට විවිධ හේතු මත හැදුනු පොලිස් දෙපාර්තමේන්තු ඇමරිකාවේ තිබෙනවා. ඒ පොලිස් දෙපාර්තමේන්තු වල වියදම දරන්නේත්, පොලිස් දෙපාර්තමේන්තු පාලනය කරන්නේත් පොලීසියක් අවශ්‍ය වූ අයයි.
සමීක්ෂණ අනුව ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තු 18,000කට නොඅඩු ප්‍රමාණයක් තිබෙනවා. මේවා එකිනෙකින් වෙනස් ස්වාධීන ආයතන. එහෙම නැතුව ලංකාවේ වගේ නීතිය හා සාමය රකින තනි පොලිස් දෙපාර්තමේන්තුවක් ඇමරිකාවේ නැහැ.
පොලිස් නිලධාරීන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාවේ විවිධ පොලීසි වල සේවය කරනවා. සාපේක්ෂව අඩු වැටුපක් ලබමින් ඔවුන් කරන්නේ ජීවිත අවදානමක් තිබෙන රැකියාවක්. 2018 වසරේදී ඇමරිකාවේ පොලිස් නිලධාරීන් පහර කෑමට ලක් වූ අවස්ථා 58,866ක් වාර්තා වී තිබෙන අතර අවස්ථා 18,005කදී ඔවුන්ට තුවාළ සිදු වී තිබෙනවා. වසරකට පොලිස් නිලධාරීන් 100-200 අතර ප්‍රමාණයක් සේවය ඉටු කිරීමට යාමේදී මරණයට පත් වෙනවා. 2019දී මිය ගිය ගණන 147ක්. 2020දී මේ දක්වා 96ක්.
අප කතාව පටන්ගත් මිනියාපොලිස් නගරයේ අඩු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තු පහක් තිබෙනවා. පළමුවැන්න හෙනපින් කවුන්ටි ෂෙරීෆ් කාර්යාලයයි. ඇමරිකාවේ කවුන්ටියක් කියන්නේ ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් වගේ එකක්. ෂෙරීෆ් කාර්යාලයට අනුයුක්තව නිලධාරීන් 800ක් පමණ ඉන්නවා. මෙහි ප්‍රධානියා වන ෂෙරිෆ් වරයා පත් වන්නේ මහජන ඡන්දයෙන්.
මිනසෝටා සරසවියට අයිති තවත් පොලිස් දෙපාර්තමේන්තුවක් තිබෙනවා. එය පාලනය වන්නේ සරසවිය පාලනය කරන බලධාරීන් විසින්. මිනියාපොලිස් ගුවන් තොටුපොළ වල නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත්, මිනියාපොලිස් පොදු ප්‍රවාහන (දුම්රිය) පද්ධතියේ නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත්, මිනියාපොලිස් නගරයේ පොදු උද්‍යාන වල නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත් වෙනම තිබෙනවා. මිනියාපොලිස් නගර සභාවට අයත් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මීට අමතරවයි.
මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මිනියාපොලිස් නගරයේ නගරාධිපතිවරයා යටතේ. පොලීසිය නඩත්තු වෙන්නේ නගරයේ වැසියන්ගේ බදු මුදලින්. සාමාන්‍යයෙන් ඇමරිකාවේ බදු මුදල් වැය කරන්නේ බදු ගෙවන අයගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවයි. නගරාධිපතිවරයා පත් වන්නේ මහජන ඡන්දයෙන්. පොලීසියේ ප්‍රධානියාව පත් කරන්නේ නගරාධිපතිවරයා විසින්. මිනියාපොලිස් පොලීසියේ ප්‍රධානියා වගකිව යුත්තේ මිනියාපොලිස් නගරාධිපතිවරයාටයි. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව හා ඇමරිකාවේ වෙනත් පොලිස් දෙපාර්තමේන්තු අතර සම්බන්ධයක් නැහැ.
මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රධානියා කළු ජාතිකයෙක්. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු කරන බවට මූලිකවම වග බලා ගත යුත්තේ ඔහු විසින්. ඔහු එසේ නොකරන්නේනම් ඔහුව ඉවත් කර වෙනත් අයෙකු පත් කළ යුත්තේ නගරාධිපතිවරයා විසින්. නගරාධිපතිවරයා කටයුතු කරන ආකාරය ගැන අසතුටුනම් ඔහුව ඉවත් කළ යුත්තේ නගරයේ වැසියන් විසින්.
ඩෙරික් චෝවින් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වන තුරුම කළු ඇමරිකානුවෙකු වන පොලිස් ප්‍රධානියාට ප්‍රශ්නයක් වී නැහැ. පොලිස් ප්‍රධානියාව නගරාධිපතිවරයාට ප්‍රශ්නයක් වී නැහැ. නගරාධිපතිවරයාව හෝ 1978 ජනවාරි 1 දින සිට දිගටම මිනියාපොලිස් නගරය පාලනය කරන ප්රජාතන්ත්රවාදී ගොවි කම්කරු පක්ෂයේ දේශපාලනය නගර වැසියන්ට ප්‍රශ්නයක් වී නැහැ.
ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඒ වෙලාවේ සිදු වුනු හුදෙකලා සිද්ධියක්ද, එසේ නැත්නම් ආයතනගත වී තිබෙන ප්‍රශ්නයක කොටසක්ද කියන එක විමසා බැලිය යුත්තේ මේ පසුබිමේ සිටයි.
(Image: https://www.fox9.com/news/councilmembers-vow-to-dismantle-minneapolis-police-department-emergency-meeting-set)
Thursday, June 4, 2020
වාහනයක් පාරෙන් එළියට පැන්නොත්...
සිංහල අවුරුදු කාලෙට අපි ගොඩක් අය ගෙවල් වලට යනවා. මේ සිද්ධිය වුනෙත් සිංහල අවුරුදු කාලෙක. හැබැයි මම ගෙදර ඇවිත් හිටියේ අවුරුද්ද නිසාම නෙමෙයි. ශිෂ්‍ය විරෝධතාවක් දිග් ගැස්සී සරසවිය වසා දමා තිබුණු නිසා. අවුරුද්දට ගෙදර ආවම ආපහු යන දවසක් ගැන ඉලක්කයක් තියෙනවා. මේ කියන අවුරුද්දේ එහෙම ඉලක්කයක් තිබුණේ නැහැ. සරසවිය අරිනකම් බලා ඉන්න ඕනෑ.
මම ජනේලය ළඟට වෙලා ඔහේ බලා හිටියා. සරසවිය ඇරලද කියලා පේන නිසා නෙමෙයි. වෙන කරන්න කියලා විශේෂ වැඩක් නැති නිසා.
මොකක් හෝ හේතුවක් නිසා පාරේ වාහන තදබදයක්. මෙය සාමාන්‍ය දෙයක් නෙමෙයි. බොහෝ විට වාහන තදබදයක් හැදෙන්නේ වාහන අනතුරක් නිසා. අපේ ගේ ඉස්සරහින් යන පාර ප්‍රධාන පාරක් වුනත් නගරයකින් තරමක් ඈත්ව පිහිටි කොටසක් නිසා බොහෝ විට වාහන එක ගැම්මට වේගයෙන් යනවා. එය එහෙම නොවනවානම් අනිවාර්යයෙන්ම මොකක් හරි අවුලක්.
මහ පාරට සමාන්තරව අපේ ගෙදරට විරුද්ධ පැත්තේ බොරළු පාරක් තිබෙනවා. ඔය පාරේ ඉඳහිට මෝටර් සයිකලයක්, ත්‍රී වීල් එකක් ගියත් ලොකු වාහනයක් යන්නේ නැහැ. ප්‍රධාන පාරේ සිට ඔය බොරළු පාර යා කරන හරස් පාරවල් ගණනාවක් තැනින් තැන තියෙනවා.
මහ පාරේ වාහන තදබදය නිසා වාහන ඔය කියපු සමාන්තර පාරට දමලා. අපේ ගෙදරට ටිකක් කලින් තිබෙන හරස් පාරෙන් ඒ පාරට දමලා ගෙදරට එහායින් තිබෙන ඊළඟ හරස් පාරෙන් නැවත ප්‍රධාන පාරට ගන්නවා.
ඔහොම බලා ඉඳිද්දී අපේ ගේ පැත්තට කණ්ඩායමක් එනවා. ගමේ තරුණයින් පිරිසක්. මම මේ අයත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ. අපි මේ ගෙදර පදිංචියට ඇවිල්ලත් වැඩි කාලයක් නැහැ. අපි කියා කිවුවත් ගෙදර අය. මම වැඩිපුර හිටියේ සරසවි නේවාසිකාගාරයේ. ඉඳහිට ගෙදර එන දවසක අහල පහළ මිනිස්සු ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ. හැබැයි ඒ මිනිස්සු මාව දන්නවා.
"මහත්තයා පොලීසියට ටෙලිෆෝන් කෝල් එකක් ගන්න පුළුවන්ද?"
තරුණ කණ්ඩායමත් එක්ක විදේශික කාන්තාවක්.
"ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද?"
තරුණ පිරිස අර විදේශික කාන්තාව දෙසට මුහුණ හැරෙවුවා. මම ඒ ප්‍රශ්නයම නැවත ඇගෙන් ඉංග්‍රීසියෙන් ඇහුවා.
"මගේ ජංගම දුරකතනයේ සිග්නල් නැහැ. පොලීසියට කෝල් එකක් ගන්න ඕනෑ."
ඒ දවස් වල ලංකාවේ ගොඩක් තැන්වල සිග්නල් නැහැ. අපේ ගෙවල් පැත්තේ සිග්නල් නැති බව අමුත්තක් නෙමෙයි.
"මේ නෝනගේ වාහනේ පාරෙන් පැත්තකට ගිහින්. පොලීසියට කතා කරන්න ඕනෑ කියනවා."
එක තරුණයෙක් පිළිතුරු දුන්නා. අර සාමාන්‍යයෙන් වාහන නොදමන පාරට ඇය ඇගේ වාහනයත් අනිත් වාහන පස්සෙන් දමලා. වාහනය අළුත්, සුඛෝපභෝගී වාහනයක්. පාර පටු පාරක්. යාන්තම් වාහනේ පළලට ඇති. ඔය වගේ පාරක වාහනයක් එළවන එක බටහිර රටක ජීවත් වන අයෙකුට පුරුදු දෙයක් නෙමෙයි. අවුලක් කර ගෙන තියෙන එකේ පුදුමයක් නැහැ.
ඔය වගේ වෙලාවක ගමේ තරුණ කැල පටස් ගාලා උදවු කරන්න ඉදිරිපත් වෙනවා. ලංකාවේ වෙන ගොඩක් ගම් වල වගේම තමයි. වාසියක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.
"කරුණේ මුදලාලිගේ ට්‍රැක්ටරේ ගෙනාවනම් වාහනේ අදින්න තිබුණා. කොහෙද කිවුවට අහන්නේ නැහැනේ. මහත්තවත් කියල බලන්න. අපි කියන දේ තේරෙන්නෙ නැතුව ඇති."
විදේශික කාන්තාව මගේ සහ තරුණයින්ගේ මුහුණු දිහා මාරුවෙන් මාරුවට සැකයෙන් බලනවා.
"මම සල්ලි දෙන්නම්!"
කීයක් හරි කඩා ගන්න බලාගෙන දුරකතන ඇමතුමක් අරන් දෙන්න අදිමදි කරනවා කියල හිතන්න ඇති.
"එන්න."
මම ඇයට දුරකථනය තිබෙන තැනට පැමිණෙන ලෙස ආරාධනා කළා.
"පොලීසියේ අංකය කුමක්ද?"
ඇය මගෙන් ඇහුවේ 999 වැනි ඉලක්කම් තුනේ අංක කිහිපයක් උත්සාහ කිරීමෙන් පසුවයි. ඒ දවස් වල ලංකාවේ ඔය ඉලක්කම් තුනේ හදිසි ඇමතුම් අංක තිබුණේ නැහැ. මම දුරකථන නාමාවලිය පෙරළලා අපේ පොලීසියේ අංකය ඇයට පෙන්නුවා.
පොලීසියට ඇමතුමක් ගන්න කිහිප වරක් උත්සාහ කළත් කවුරුවත් දුරකථනය උස්සන්නේ නැහැ. මේ වෙලාවේ ඕනෑනම් පොලීසියේ නිකම් නමට වගේ එක නිලධාරියෙක් ඇති. අවුරුදු දවස් වල කන්තෝරු වල තත්ත්වය කවුරුත් දන්නවනේ. නමට ඩියුටි හිටියත් එක්කෙනෙක් තියලා අනිත් අය ගෙදර ගිහින් ඇති.
වැඩේ හරියන්නේ නැති බව ඇයට තේරුණා. එහෙත් අපේ ගමේ තරුණයන්ගේ ඉංග්‍රීසි එක්ක ඔට්ටු වී හොඳටම තෙහෙට්ටු වී සිටි ඇයට අඩු වශයෙන් මගේ ඉංග්‍රීසි වලින් කිසියම් හෝ පහසුවක් දැනෙන්න ඇති.
"මට පොලීසියට කියලා ඇදගෙන යන ට්‍රක් රථයක් (tow truck) ගෙන්න ගන්න ඕනෑ"
අපේ පොලීසිය සතුව ටෝ ට්‍රක් නැති බවත්, මේ වගේ දෙයකට පොලීසිය එන්නේ නැති බවත්, අද වගේ දවසක ඔය වගේ දේකට තියා අත්‍යාවශ්‍යම දෙයකටවත් එවන්න අමතර නිලධාරීන් පොලීසියේ නැති බවත් මම අමාරුවෙන් ඇයට පහදා දුන්නා.
ගමේ තරුණයින්ව සම්බන්ධීකරණය කරලා ට්‍රැක්ටරයක් හොයා ගෙන ඇගේ වාහනය නැවත පාරට අරන් දුන්නා. වැඩේට දුරකථන ඇමතුම් කිහිපයක් ගන්නත් සිදු වුනා. අවුරුද්ද දවසේ ඔය වගේ දෙයක් කරන එකත් ටිකක් කෝස් එකක්. ට්‍රැක්ටරේ වගේම එළවන්න මනුස්සයෙක් හොයා ගන්නත් ඕනෑ. ඒ මනුස්සයාට ට්‍රැක්ටරේ දෙන්න අයිතිකාරයා කැමති වෙන්නත් ඕනෑ.
වැඩේ ගොඩ දාගත්තාට පස්සේ ඇයට ගොඩක් සතුටුයි. ට්‍රැක්ට්‍රරයට අසාධාරණ ගානක් ගත්තේ නැහැ. ඇයට වැඩේට සතුටුයි. වැඩේ කෙරුණට පස්සේ තරුණයින් පිරිස පිරිවරා නැවත අපේ ගෙදර ඇවිත් මට කීයක් හෝ මුදලක් දික් කළා. දුරකථන ඇමතුම් වල වියදමට හරියන්න කියලා දුන්නත් ඊට වඩා ගොඩක් වැඩි මුදලක්. මම මුදල් ප්‍රතික්ෂේප කළා. ගමේ තරුණයින්ට කීයක් හෝ දෙන්න කියා ඉල්ලීමක් කළහම ඇය මගෙන් අසා ගාණක් දුන්නා. කට්ටියට හවසට සෙට් වෙන්න ඒ මුදල ප්‍රමාණවත්.
වාහනේ තිබුණේ අපේ ගෙදරින් ටිකක් ඈත. මට කීයක් හෝ මුදලක් දෙන්න හිතාගෙන ආපු ඇගේ අතේ ඒ වෙලාවේ මුදල් හැර වෙනත් දෙන්න දෙයක් තිබුණේ නැහැ. ඇය පැළඳ සිටි කැප් තොප්පිය ගලවලා මට දීලා ගියා. "LA" අකුරු දෙක ගහපු කැප් තොප්පියක්. ඔය තොප්පිය කාලයක් මා ළඟ තිබුණා.
ඔය සිද්ධිය වෙන කොට මම කවදාවත් ලංකාවෙන් පිට වෙනත් රටකට ගිහින් තිබුණේ නැහැ. පොතකින් පතකින් හෝ චිත්‍රපටියකින් දැනගෙන සිටි දෙයක් මිසක් වෙන රටවල් වල කටයුතු සිදුවෙන පිළිවෙළ ගැන අවබෝධයක් තිබුණේත් නැහැ. විදේශික කාන්තාවගේ හැසිරීම අනුව පෙනුනේ ඔය වගේ අවස්ථාවක ඇගේ රටේනම් මුලින්ම කරන්නේ පොලීසියට කතා කර උදවු ඉල්ලා ගන්න එක බවයි.
මේ කාලය වෙන කොට ජවිපෙ දෙවන කැරැල්ල ඉවර වෙලා වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නැහැ. කැරැල්ල කාලයේ ජවිපෙ කටයුතු කරපු ආකාරය ගැන වගේම පොලීසිය හා හමුදා එකතු වෙලා කැරැල්ල මර්දනය කරපු ආකාරය ගැනත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ජවිපෙට කිසිදු සම්බන්ධයක් නොතිබුණු කෙනෙක් වුවත් ඕනෑම වෙලාවක රාජ්‍ය මර්දනයේ ගොදුරක් විය හැකිව තිබුණා. කොටින්ම ඔය කාලය වෙද්දීත් පොලිස්කාරයෙක් කියන්නේ දකින්න ප්‍රිය උපදවන දර්ශනයක් නෙමෙයි. හදිසියකදී උදවුවක් ඉල්ල ගන්න එක කොහොම වුනත් අහම්බෙන් පොලිස් කාරයෙක් මුණ ගැහුණු වෙලාවක වුනත් අයින් වෙලා පයින් යන එක ඇඟට ගුණයි.
කාලයකට පස්සේ මම ඇමරිකාවේ පදිංචියට ආවා. ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ පොදු ප්‍රවාහන පහසුකම් ඇත්තේම නැති තරම්. නිවුයෝර්ක් වගේ නගර වල තත්ත්වය වෙනස්. මේ කියන කාලයේ මම හිටියේ පොඩි ගමක.
අර ලංකාවේදී කැප් තොප්පිය දුන්නු කාන්තාව අහම්බෙන් ඇමරිකාවේදී නැවත හමු වුනාද? නෑ. මේක හොලිවුඩ් චිත්‍රපටියක් හෝ ටෙලි නාට්‍යයක් නෙමෙයි. ඒ කතාව එතැනින් ඉවරයි. මේක වෙන කතාවක්.
පදිංචියට ඇවිත් ටික දවසකින් මූලික අවශ්‍යතාවයක් වන කාර් එකක් ගත්තා. අලුත් එකක් නෙමෙයි. ලංකාවේදීනම් හිතන්නවත් බැරි පොඩි ගාණකට.
ඊළඟ කාර්යය වුනේ රියදුරු බලපත්‍රය ලබා ගැනීම. ඒ වැඩෙත් කොහොම හරි කර ගත්තා. ඊට පස්සේ ළඟ පාත කඩේකට වගේ යන්න අවශ්‍ය වූ විට වෙන කාගේ හෝ උදවු ඉල්ලන්න අවශ්‍ය වුනේ නැහැ.
කාර් එක අරගෙන ටික දවසකින් ගමෙන් පිටත ආසන්න නගරයකට යන පළමු ගමන. කිලෝමීටර 130ක වගේ දුරක්. අධිවේගී මාර්ගයක වාහනයක් ධාවනය කරපු පළමු දවස. අපි ලංකාවෙන් එන කාලයේ ලංකාවේ අධිවේගී මාර්ග තිබුණේ නැහැ. වෙන රටකදී අධිවේගී මාර්ගයක වාහනයක් ධාවනය කරලා තිබුණෙත් නැහැ.
මේ වෙද්දී බිරිඳගේ මවත් අපේ ගෙදර ඇවිත් හිටියා. අප හිටියේ දෙවන දරුවා බලාපොරොත්තුවෙන්.
ගමේ පාරවල් වල වාහනය ධාවනය කළේ වැඩිම වුනොත් පැයට කිලෝමීටර හැත්තෑවක අසූවක වේගයෙන්. කිලෝමීටර වලින් කිවුවත් ඇමරිකාවේ දුර මනින්නේ හැතැම්ම වලින්. ඒ දවස් වෙද්දීත් ඔලුවේ තිබුණේ ලංකාවේදී කාලයක් තිස්සේ පුරුදු වී සිටි කිලෝමීටර් නිසාත්, පාරවල් හොඳ නිසාත් වේගය ඒ තරම් ඇඟට දැනෙන්නේ නැහැ. ලංකාවේදී පැයට කිලෝමීටර සීය පන්නන්න පුළුවන් තැන් තිබුණේ ඉතා අඩුවෙන් නිසා එය ලොකු වේගයක් වගේ හිතට දැනුනත් කිලෝමීටර සීය හැතැම්ම හැටපහක් වෙද්දී කිලෝ මීටර හැතැම්ම වෙනස අමතක වෙනවා.
ගමන ගිහින් අවුලක් නැතුව ආපහු ආවා. අවුල වුනේ ගමනේ අන්තිම හරියේදී. පැයට කිලෝමීටර සීයක වගේ වේගයකින් ඇවිත් ගමට ඇතුළු වන පාරට වාහනය හරවන්න ඕනෑ. ගමෙන් එළියට ගිය පළමු අවස්ථාව නිසා හරවන තැන ගැන අදහසක් නැහැ. ජීපීඑස් එක කියනකම් ඔහේ එන්නයි තියෙන්නේ.
ජීපීඑස් එක වාහනය පාරෙන් එළියට ගන්න දැනුම් දුන්නා. වාහනයේ වේගය අඩු කළත් රෑම්ප් එකේ වංගුව ගන්න අවශ්‍ය තරමට වේගය අඩු වුනේ නැහැ. පළමු දවස නිසා වංගුවේ වක්‍රතාවයේ තරම ගැන අදහසක් තිබුණේම නැහැ. වාහනය පාරෙන් එළියට පැන්නා. එළියට කියා කිවුවත් බොහොම පොඩ්ඩක්.
පාර දෙපැත්තේ ගල් කැට (gravel) දමලා. වාහනේ නැවතුනේ ඒ නිසා. වාහනයේ වැඩි කොටසක් තවමත් පාරේ වුනත් ඉස්සරහ රෝද පාරෙන් එළියේ.
ඔහොම දේවල් ලංකාවේදී ඕනෑ තරම් වෙලා තියෙන නිසා කිසිම අවුලක් දැනුනේ නැහැ. රිවස් කරලා ආපහු පාරට දාගෙන යන එකනේ තියෙන්නේ.
හැබැයි හිතපු විදිහටම වැඩේ වුනේ නැහැ. රෝද එක තැන කැරකෙනවා. පොඩි තල්ලුවක් ලැබුණානම් වාහනේ පාරට එනවා. ලෑල්ලක් වගේ දැම්මනම් ඒත් හරි.
ඔය තරම් දේවල් හිත හිතා ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. පාරේ ගිය තව වාහන දෙකක් නවත්වා ඒ වාහන වල සිටි අය උදවුවට ආවා. පාරේ මේ හරියේ වාහන මහ ගොඩක් යන්නේ නැහැ. ගෙවල් හෝ කඩ තියෙන හරියකුත් නෙමෙයි. දැකපු අය තමයි තමන්ගේ වාහන නවත්තලා උදවුවට එන්නේ. ඔය වගේ වෙලාවක සාමාන්‍යයෙන් බොහෝ ඇමරිකානුවන් උදවු කරන්න ඉදිරිපත් වෙනවා.
"මොකද වුනේ? මොනවා හරි උදවුවක් අවශ්‍යද?"
"නෑ. ප්‍රශ්නයක් නැහැ. වාහනේ පොඩ්ඩක් පාරෙන් එළියට ගියා විතරයි"
වාහනේ පාරෙන් එළියට ගියාම ප්‍රශ්නයක් නැති වෙන්නේ කොහොමද? අර ඇමරිකානුවා හිතන්න ඇති. කොයි තරම් බඩගිණි වෙලාවක වුනත් හදිසියේ ගෙදරකට ගියාම කෑමට ආරාධනා කළොත් "දැන් කන්න බෑ. කාලා ආවේ." කියල කියන්නනේ කාලයක් තිස්සේ පුරුදු වෙලා හිටියේ. ඔහොම කිවුවට අනිවාර්යයෙන්ම කෑම හම්බුවෙන බව දන්නවා. හැබැයි ඒ ලංකාවේ. ලංකාවෙත් ඒ දවස් වල.
"ටෝ ට්‍රක් එකකට කෝල් කරලද තියෙන්නේ?" ඇමරිකානුවා අහනවා.
"මූට පිස්සුද මන්දා...ටෝ ට්‍රක් එකක් ගෙනත් ගොඩ ගන්න වාහනේ අනිත් පැත්ත ගහල නෑනේ. ඔහොම දේවල්ද අපිට ලංකාවෙදි වෙලා තියෙන්නේ.." මම හිතනවා.
හිතුවේ ඔහොම වුනත් උත්තර දුන්නේ මෙහෙමයි.
"නෑ. ටෝ ට්‍රක් එකක් ගේන්න තරම් දෙයක් නැහැ. ඉස්සරහින් පොඩි තල්ලුවක් දෙන්න පුලුවන්නම් වාහනේ පස්සට එයි."
උදවුවට ඇවිත් හිටපු ඇමරිකානුවන් කිහිප දෙනා එකිනෙකාගේ මුහුණු බලා ගන්නවා. මෙහෙම දෙයක් ඒ මිනිස්සුන්ට ඒ තරම් පුරුදු නැහැ වගේ. හැබැයි වැඩේට ඉදිරිපත් වුනා.
වාහනයකට තල්ලුවක් දාන එකෙත් පොඩි කලාවක් තියෙනවනේ. මේ මිනිස්සුන්ට ඔය කලාව පුරුදු නැහැ. රෝද තවත් එක තැන කැරකුණා විතරයි.
"අපි ඇතුලෙ කට්ටියව බස්සලා ට්‍රයි කරලා බලමු."
ඔය වෙලාවෙම ඔතැනින් ගිය පොලිස් මුර සංචාරක රථයක් නවත්වා පොලිස් නිලධාරියෙක් බැහැලා ආවා. මම හිතන්නේ අහම්බයක්. මේ හරියේ පොලිස් මුර සංචාරක රථ නිතරම යන්නේ නැහැ.
"කාට හරි තුවාලද?"
"නෑ. පොඩ්ඩක් වාහනේ පාරෙන් එළියට පැන්නා විතරයි."
එළියේ උෂ්ණත්වය අඩුයි. ඒ නිසා, බිරිඳ, දරුවා හා බිරිඳගේ මව මේ වන තුරුත් හිටියේ වාහනය ඇතුළේ. පොලිස් නිලධාරියා ඔවුන්ට ඔහුගේ මෝටර් රථයට ගිහින් ඉන්න කියා ආරාධනා කර එහි එන්ජිම හා හීටරය ක්‍රියාත්මකව තැබුවා. එය ලොකු සහනයක් වුනා. ඉන් පසු ඔහු නැවත ආවා.
"ටෝ ට්‍රක් එකකට කෝල් කරලද තියෙන්නේ?"
"නෑ."
"නොම්මරයක් ළඟ තියෙනවද?"
"නෑ"
ඒ දවස් වල අන්තර්ජාල සම්බන්ධතා තිබෙන ස්මාර්ට් ෆෝන් ප්‍රචලිතව තිබුණේ නැහැ.
"මම ටෝ ට්‍රක් එකක් කෝල් කරලා දෙන්නද?"
දැන් වැඩේ කොහොමටත් ගොඩින් බේරගන්න බැරි බව පැහැදිලියි. ටෝ ට්‍රක් එකක් ගෙන්න ගන්න එක හැර වෙන විකල්පයක් නැහැ.
"හා"
පොලිස් නිලධාරියා අවශ්‍ය දුරකථන ඇමතුම ගත්තා.
"අපි දැන් ඉන්න අවශ්‍ය නැහැනේ. එහෙනම් අපි යනවා."
උදවුවට වාහන නවත්තපු ඇමරිකානුවන් පිටත්ව ගියා. ටික වෙලාවක් යද්දී ටෝ ට්‍රක් එක ආවා. ඉතා පහසුවෙන් වාහනයේ ඉදිරිපස ඔසොවා පාරෙන් තියලා දුන්නා. බොහොම පොඩි වෙලාවයි ගියේ. ඊට පස්සේ බිලකුත් දුන්නා.
ඔය අතරවාරයේ පොලිස් නිලධාරියා විසින් මගේ රියදුරු බලපත්‍රය ඇතුළු ලියකියවිලිද පරීක්ෂා කළා.
"ටෝ ට්‍රක් එක යන්න කලින් වාහනය ධාවනය කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න." පොලිස් නිලධාරියා මතක් කළා.
එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ටෝ ට්‍රක් යන්න ගියා. බිරිඳ හා මව දරුවාද සමඟ ඇවිත් වාහනයේ වාඩි වුනා. ඉතුරු වෙලා තිබුණේ කරපු හැම දෙයකටම පොලිස් නිලධාරියාට ස්තුති කරන එක පමණයි. මම ඒ සඳහා ඔහුගේ මෝටර් රථය දෙසට ගියා.
"පොඩ්ඩක් ඉන්න."
ඔහු මොකක්ද කොළයක් අතේ තිබ්බා.
"පාලනය කර ගත නොහැකි වේගයකින් වාහනය ධාවනය කිරීම නිසා මට ඔබට දඩ කොළයක් දෙන්න වෙනවා. ඔබ වරද පිළිගෙන දඩය ගෙවනවානම් එය මේ ආකාර වලින් කළ හැකියි. ඔබ වරද පිළි නොගන්නවානම් මේ දේවල් කරන්න පුළුවන්." ඔහු විස්තර කළා.
"ඔබට මොනවා හරි දෙයක් පැහැදිලි කර ගන්න අවශ්‍යද?"
"නැහැ"
නැහැ නොකියා වෙන මොනවා කියන්නද?
"මේ මගේ බිස්නස් කාඩ් එක. පවුලේ අයත් එක්ක පරිස්සමෙන් යන්න."
ඔය තමයි මට ඇමරිකාවේදී ලැබුණු පළමු දඩ කොළය.
කොයි තරම් පරිස්සමෙන් එළෙවුවත් ඕනෑම වාහනයක් පාරෙන් එළියට පනින්න පුළුවන්. පොලිස් වාහනයක් වුනත්!
Wednesday, June 3, 2020
අභ්‍යාවකාශයෙන් ආ සීනු හඬ
තරඟකාරී නිදහස් වෙළඳපොළක් ඇති විට කිසිදු තනි පාරිභෝගිකයෙකුට හෝ සැපයුම්කරුවෙකුට මිලට බලපෑම් කරන්න බැහැ. ඒ වගේ වෙළඳපොලක විකිණෙන භාණ්ඩයේ හෝ සේවාවේ මිල එම භාණ්ඩය නිපදවීම සඳහා වැය වන ආන්තික පිරිවැයට සමානයි. ඒ කියන්නේ, ශ්‍රමය සඳහා හා ප්රාග්ධනය සඳහා ප්රතිලාභ මිස අමතර ලාභ නැහැ.
නිදහස් වෙළඳාමට ඉඩ ලැබුණා කියලා හැම වෙළඳපොළක්ම තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. විවිධ හේතු නිසා ස්වභාවිකවම ඒකාධිකාර ගොඩ නැගෙන අවස්ථා තිබෙන්න පුළුවන්. කතිපයාධිකර ඊට වඩා සුලභව දකින්න ලැබෙනවා. බොහෝ වෙළඳපොළවල් වල ප්‍රධාන සමාගම් හතර පහකට නැත්නම් හත අටකට වඩා නැති බව පෙනෙන්නට තිබෙන කරුණක්. මේ වගේ වෙළඳපොලක වුවත් ලාභ අවසාන වශයෙන් බෙදී යන්නේ ප්රාග්ධනය යෙදවූ අය හා ශ්‍රමය යෙදවූ අය අතරයි.
හැම දෙනෙකුටම ජීවිතය ආරම්භ කරද්දී ප්‍රාග්ධනයක් උරුමයෙන් ලැබෙන්නේ නැහැ. එවැනි අයෙකුට මුල් කාලයේදී තමන්ගේ ශ්‍රමයේ ප්රතිලාභ මිසක් ප්රාග්ධනයේ ප්රතිලාභ ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙත්, ශ්‍රමයේ ප්රතිලාභ සියල්ල පරිභෝජනය කර අවසන් නොකර යම් කොටසක් ආයෝජනය කිරීමෙන් කාලයක් යද්දී ඕනෑම කෙනෙකුට ප්‍රාග්ධන සංචිතයක් ගොඩ නඟා ගන්න පුළුවන්.
කොටස් වෙළඳපොළ කියන්නේ පුද්ගලයෙකුට තමන්ගේ ප්රාග්ධනය ආයෝජනය කරන්න හොඳ තැනක්. කොටස් වෙළඳපොළ සංකල්පයේ අපූර්වත්වය වන්නේ කිසියම් සමාගමක් විසින් අධික ලාභ උපයනවා කියා හිතන කෙනෙකුට ඒ ගැන දුක් වෙනවා හෝ පැමිණිලි කරනවා වෙනුවට අදාළ සමාගමේ කොටස් හිමියෙකු වී ඒ ලාබ වල කොටස්කරුවෙකු වෙන්න අවස්ථාව මේ හරහා ලැබෙන එකයි.
වෙනත් ඕනෑම අයෙකුටත් ඇමසන්, මයික්‍රෝසොෆ්ට් හා ෆේස්බුක් වැනි සමාගමක කොටස් මිල දී ගන්න බාධාවක් නැහැ. කැමතිනම් ගොඩක් ලාබ උපයනවා කියා සමහර අය කියන මොන්සැන්ටෝ වගේ සමාගමක කොටස් වුවත් මිල දී ගන්න පුළුවන්. නියම ජනසතු කිරීමක් කියා කිව හැක්කේ සමාගමක් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කිරීමටයි. ජනසතු කිරීමේ නාමයෙන් සමාගමක් රජය සතු කළ විට සිදුවන්නේ එය ටික දෙනෙකුගේ බූදලයක් බවට පත් වීම බව පෙන්වන්න දෘශ්‍යමාන උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.
වෙනත් ඕනෑම අයෙකුට මේ කොටස් මිල දී ගන්න බාධාවක් නැහැ. නියම ජනසතු කිරීමක් කියා කිව හැක්කේ සමාගමක් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කිරීමටයි. ජනසතු කිරීමේ නාමයෙන් සමාගමක් රජය සතු කළ විට සිදුවන්නේ එය ටික දෙනෙකුගේ බූදලයක් වීම බව පෙන්වන්න උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.
කොටස් වෙළඳපොළක් කියා කියන්නේ සමාගම් වල කොටස් ගනුදෙනු වන තැනක්. ලෝකයේ ලොකුම කොටස් වෙළඳපොළ නිවුයෝර්ක් කොටස් වෙළඳපොළයි. එහි ලැයිස්තුගත කර තිබෙන සමාගම් කොටස් වල වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 25කට වඩා වැඩියි. ඒ කියන්නේ ඇමරිකාවේ ජාතික ආදායමටත් වඩා වැඩියි. නිවුයෝර්ක් කොටස් වෙළඳපොළ ආරම්භ වී වසර දෙසීයකටත් වඩා වැඩියි.
වසර පණහකට ආසන්න ඉතිහාසයක් තිබෙන නැස්ඩෑක් කොටස් වෙළඳපොළ ලෝකයේ දෙවන විශාලතම කොටස් වෙළඳපොළයි. ඇමසන්, මයික්‍රෝසොෆ්ට් හා ෆේස්බුක් වැනි තාක්ෂණික අංශයේ සමාගම් බොහොමයක් ලැයිස්තුගත කර තිබෙන්නේ නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ.
නිවුයෝර්ක් කොටස් වෙළඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ වීම හා අවසන් වීම සංඥා කරමින් සීනුවක් නාද කිරීම සියවස් එකහමාරක් පමණ සිට සිදුවන දෙයක්. මේ සීනුව නාද කිරීමේ කටයුත්ත පසුකාලිනව කිසියම් නම්බුකාර වැඩක් බවට පත් වී තිබෙනවා. උදාහරණයක් ලෙස ලැයිස්තුගත සමාගමක ස්වර්ණ ජයන්තිය වැනි විශේෂ සැමරුම් අවස්ථාවකදී කොටස් වෙළඳපොළ සීනුව හඬවා එම අවස්ථාව සැමරීමට අදාළ සමාගමේ ප්‍රධානියෙකුට අවස්ථාව ලැබෙනවා. නැස්ඩෑක් කොටස් වෙළඳපොළ හා කොළඹ කොටස් වෙළඳපොල ඇතුළු ලෝකයේ වෙනත් කොටස් වෙළඳපොළවල් වලටද මේ චාරිත්‍රය පැතිරී තිබෙනවා.
සාමාන්‍යයෙන් මේ සීනු චාරිත්‍රය ඉටු කරන අය අදාළ ස්ථානයට පැමිණෙන නමුත් ඊයේ (ජූනි 2) උදේ නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ගනුදෙනු ආරම්භ කරමින් චාරිත්‍රානුකූල ලෙස සීනුව නාද කළ අය ඒ කටයුත්ත කළේ වෙනත් තැනක සිටයි. මේ වෙනත් තැන නිවුයෝර්ක් නගරයේ, ඇමරිකාවේ හෝ අඩු වශයෙන් පෘථිවිය මත පිහිටි තැනක් නෙමෙයි. සීනු හඬ ආවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටයි.
ස්පේස්-එක්ස් සමාගමේ කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ගිය ඓතිහාසික ගමන සමරමින් ගමනට සහභාගී වූ නාසා අභ්‍යාවකාශගාමීන් වන රොබර්ට් බැන්කන් හා ඩග්ලස් හර්ලිත්, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය භාරව සිටින ක්‍රිස් කැසීඩීත් එකතුව ඊයේ මේ චාරිත්‍රය ඉටු කළා. ඒ සඳහා උපයෝගී කර ගත්තේ මේ දවස් වල ගෙදර සිට වැඩ කරන ගොඩක් අයට පුරුදු සූම් මෘදුකාංගයයි.
සූම් මෘදුකාංගය නිපදවූ සූම් වීඩියෝ කමියුනිකේෂන්ස් සමාගමද නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක්. එම සමාගමේ කොටස් නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරමින් පොදු සමාගමක් බවට පත් වීම සමරමින් එහි ප්‍රධාන විධායක නිලධාරිනිය විසින්ද පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නැස්ඩෑක් සීනුව නාද කළා.
(Image: https://www.space.com/spacex-crew-dragon-astronauts-nasdaq-opening-bell.html)
Labels:
අභ්‍යාවකාශ තරණය,
ආයෝජනය,
ඇමරිකාව,
කොටස් වෙළඳපොළ,
මූල්‍ය වෙළඳපොළ
Tuesday, June 2, 2020
ජෝජ් ෆ්ලොයිඩ් හා ආරුමුගම් තොණ්ඩමන්
බටහිර දේශාංශ 79 ආසන්නයේ වූ නගරයක ඉපදුනු ජෝජ් ෆ්ලොයිඩ් හා නැගෙනහිර දේශාංශ 80 ආසන්නයේ වූ නගරයක ඉපදුනු ආරුමුගම් තොණ්ඩමන් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? එහෙම සම්බන්ධයක් තියෙනවද?
මේ දෙන්නා කවදාවත්ම එකිනෙකා හමු වෙලා නැතුව ඇති. සම්බන්ධයක් ගැන කතා කරන්න දෙන්නෙක් හමු වී තියෙන්න අවශ්‍යම නැහැ.
ජෝජ් ෆ්ලොයිඩ් පසුගිය 25 වෙනිදා රෑ මිය ගියා. ලංකාවටනම් මැයි 26 වෙනිදා උදේ. ආරුමුගම් තොණ්ඩමන් මිය ගියේත් එදාමයි. ජෝජ් ෆ්ලොයිඩ් ඇමරිකාවේ සුළු ජාතිකයෙක්. ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක්. මේ දෙදෙනාගේම මරණ නීතියේ සමානාත්මතාවය ගැන කතිකාවකට මුල පුරා තිබෙනවා.
මේ වගේ සමානකම් පෙන්නන්න පුළුවන් වුනත් මේ සමානකම් අතර වෙනස්කම්ද කැපී පෙනෙනවා.
ජෝජ් ෆ්ලොයිඩ් මිය ගියේ පොලිස් අත් අඩංගුවේදී. මරණ පරීක්ෂක වාර්තාව අනුව එය මිනීමැරුමක්. එහෙත්, ආරුමුගම් තොණ්ඩමන් මිය ගියේ ස්වභාවික හේතුවකින් රෝහලකදී.
ජෝජ් ෆ්ලොයිඩ් ඇමරිකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේත්, ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේත් එකම පදනමකින් නෙමෙයි. ජෝජ් ෆ්ලොයිඩ් සුළු ජාතිකයෙක් වෙන්නේ ඔහුගේ හමේ පැහැය කළු නිසා. ඇමරිකාවේ මහ ජාතිය හමේ පැහැය සුදු අයයි. මේ කණ්ඩායම් දෙකට අයත් අය බොහෝ විට දුටු පමණින්ම වෙනස් ලෙස හඳුනාගන්න පුළුවන්. කණ්ඩායම් දෙකේම ඉන්නේ එකම කාලයකදී ලෝකයේ විවිධ රට වලින් ඇමරිකාවට සංක්‍රමණය වූ අය හෝ ඒ අයගෙන් පැවත එන්නන්. උපතින් ලැබෙන දෙයක් වන හමේ පැහැය වෙනස් කර ගැනීම ඉතාම අසීරු කටයුත්තක් නිසා කළු ඇමරිකානුවෙකුගේ දරුවෙකුට සුදු ඇමරිකානුවෙක් වෙන්න ස්වභාවික ජීව විද්‍යාත්මක බාධකයක් තිබෙනවා.
ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේ මෙවැනි පදනමකින් නෙමෙයි. සංස්කෘතික සංකේත නොවන්නට ඔහුව රටේ මහ ජාතිය වන සිංහලයෙකුගෙන් වෙනස් කොට හඳුනාගන්න බැහැ. ඔහු අයත්වන ඉන්දියානු දෙමළ කණ්ඩායම ලංකාවේ ජාති හෝ ජනවර්ග ලෙස හැඳින්වෙන ප්‍රධාන කණ්ඩායම් අතරින් ලංකාවට වඩාත්ම මෑතකදී සංක්‍රමණය වූ කණ්ඩායමයි. ආරුමුගම් තොණ්ඩමන්ගේ සීයා ඉන්දියාවේ ඉපදුණු අයෙක්. ඔහු ලංකාවට සංක්‍රමණය වී වසර සියයකටත් අඩුයි. ලංකාවේ ඉපදුණු ආරුමුගම් තොණ්ඩමන් විසින් නියෝජනය කරන ලංකාවේ ඉන්දියානු දෙමළ කුලකය ලංකාවේ මහ ජාතිය වන සිංහලයින්ගෙන් වෙනස් වන්නේ සංස්කෘතික කරුණු මතයි. පෞද්ගලිකව ආරුමුගම් තොණ්ඩමන් ජීවත් වූ සංස්කෘතිය ඔහු විසින් නියෝජනය කළ ඉන්දියානු දෙමළ සංස්කෘතියම නොවෙන්නත් පුළුවන්.
ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව රට පුරා විරෝධතා පැන නැගී තිබෙනවා. උද්ඝෝෂකයින්ගේ මතය නීතිය ඉදිරියේ සුළුතර කළු ජාතිකයින්ට සමාන සැලකිලි නොලැබෙන බවයි. ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමඟුල් උළෙල පැවැත්වුණු ආකාරය පිළිබඳවද, මේ ආකාරයෙන්ම නොවූවත්, බොහෝ දෙනෙකු විරෝධය පළ කර තිබෙනවා. එහෙත්, එය සුළුතර කණ්ඩායමකට වැඩි සැලකිල්ලක් ලැබීම පිළිබඳව වන විරෝධයක්.
මෙසේ නීතිය ඉදිරියේ වැඩි සැලකිලි ලැබුවේ ලංකාවේ ජීවත්වන ඉන්දියානු දෙමළ සුළුතර කණ්ඩායම කියා කියන්න බැහැ. එම කණ්ඩායමේ වීම නිසා ලංකාවේදී පුද්ගලයෙකුට වැඩි සැලකිලි ලැබෙන්නේ නැහැ. මෙහිදී ආරුමුගම් තොණ්ඩමන් වැඩි සැලකිලි ලැබුවේ රටේ දේශපාලන බලය හිමි සුළුතර කණ්ඩායමේ අයෙකු ලෙසයි. එම සුළුතර කණ්ඩායම නීතිය ඉදිරියේ බලවත්ව සිටින්නේ වෙනත් විශාල පිරිසක් තමන් සතු බලය ස්වේච්ඡාවෙන් ඔවුන් වෙත ප්රදානය කර නිහඬව සිටින නිසයි.
ධනවාදය, ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍යය කියන කරුණු තුන ඇතුළත් පැකේජය බටහිර රටවල ආර්ථික-දේශපාලන ව්‍යුහය හැඩගස්වන මූලධර්ම තුනක්. මේ මූලධර්ම බොහෝවිට අනුපූරක වුවත්, ආදේශක වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, ධනවාදී විසඳුම හා ප්රජාතන්ත්රවාදී විසදුම හැම විටම එකක්ම නෙමෙයි. නීතිය හා නීතියේ ආධිපත්‍යය කියන්නේ මේ දෙකෙන්ම බැහැර වෙනම කරුණක්.
ධනවාදය තුළ නිදහස් ගනුදෙනු කිරීමේ අයිතිය පිළිගැනෙනවා. මේ අයිතිය තියෙන්නේ කාටද? එය ධනවාදයෙන් බාහිරව තීරණය වන දෙයක්. ප්රජාතන්ත්රවාදය තුළ හැම පුද්ගලයෙකුගේම අදහස් වලට ඉඩක් ලැබෙනවා. එහෙත්, මේ පුද්ගලයා කවුද කියන එක තීරණය වෙන්නේ ප්රජාතන්ත්රවාදයෙන් බැහැර වෙනත් මානයකයි.
එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ දේපොළක් සේ සැලකුණු, වහලුන් හා වහල් හිමියන් ලොව පුරාම සිටි කාලයක් තිබුණා. ඒ කාලයේදී එක් වහල් හිමියෙකු විසින් තමන්ට අයිති වහලෙකුව වෙනත් අයෙකුට විකිණිය හැකි වීම සමාජ සම්මතයක්. එවැනි තත්ත්වයක් දිගටම පැවතිය යුතුද නැද්ද කියන එක තීරණය වන්නේ එක්කෝ ඒ වන විට ජීවත් වන නිදහස් මිනිසුන්ගේ අදහස් වෙනස් වීම මත. එසේ නැත්නම් වහලුන් ලෙස ජීවත් වන මිනිසුන්ගෙන් එන ප්‍රතිරෝධය මත. නිදහස් වෙළඳාමේ යෙදීමේ අයිතිය ඇති නිදහස් මිනිසෙකු හා වෙළඳ භාණ්ඩයක් වන වහලෙකු වෙන් කරමින් ඉරක් අඳින එක ධනවාදයට පිටින් සිදුවෙන දෙයක්.
සියලු මිනිසුන් සමානයි කියන අදහස සම්මතයක් වෙන්න ආබ්‍රහමික ආගම් වලින් විශාල බලපෑමක් කෙරුණා. මුල්ම මිනිසා හා ගැහැණිය මැවුවේ දෙවියන් වහන්සේ විසින්නම්, අනිත් හැමෝම ඒ අයගෙන් පැවත එන්නන්නම්, මිනිස්සු එකිනෙකාගෙන් වෙනස් වෙන්න මූලධාර්මික හේතුවක් නැහැ.
වත්මන් බටහිර ප්රජාතන්ත්රවාදය වගේම ධනවාදයත් ගොඩ නැගී තිබෙන්නේ සියලු මිනිසුන් සමානයි කියන මූලධර්මය මත පදනම්වයි. සමාජවාදය තුළ මේ මූලධර්මය තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් සියලු මිනිසුන් සමාන නිසා සියලු මිනිසුන්ගේ ශ්‍රමය සමානයි කියන තැන දක්වාම යනවා. ඒ අනුව, සම්පත් සමාන ලෙස බෙදී යාම සාධාරණීකරණය කෙරෙනවා.
ධනවාදය තුළ මිනිසුන්ගේ ශ්‍රමය, හැකියාවන් හා රුචිකත්වයන් සමාන සේ නොසැලකෙන නිසා සම්පත් සමානව බෙදී යා යුතුයැයි සැලකෙන්නේ නැහැ. ඒ වෙනුවට ධනවාදයේ මූලධර්මය වෙන්නේ සම්පත් වල අයිතිය එම සම්පත් නිපදවීමට දායක වන අයට හිමි විය යුතු බවයි.
ධනවාදය තුළත් සියළු මිනිසුන් සමාන බව මූලධාර්මික ලෙස පිළිගැනෙනවා. ඒ නිසා, සම්පත් සමානව බෙදී යාම අවශ්‍ය නොවූවත්, ඕනෑම කෙනෙකුට සම්පත් අත්පත් කර ගැනීමට සමාන අවස්ථා ලැබිය යුතු බව මූලධාර්මික ලෙස පිළිගැනෙනවා.
හැබැයි ඔය සියලු මිනිසුන් සමානයි කියන එක විශ්වාසයක් හෝ සම්මතයක් පමණයි. ඒ නිසා, ඒ සම්මතය තුළ ගොඩ නැගුනු සමාජ ආකෘති, සමාජවාදය වේවා, ධනවාදය වේවා, පවතින්න අදාළ සමාජයේ විශාල පිරිසක් මේ සම්මතය පිළිගත යුතුයි. එසේ නැත්නම් සමාජ ආකෘතියකට පැවැත්මක් නැහැ.
සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගැනීම හා සියලු මිනිසුන් සමානයි කියා විශ්වාස කිරීම කරුණු දෙකක්. සමාජවාදී වගේම බටහිර ධනවාදී රටවල් ගණනකම සියලු මිනිසුන් සමානයි කියන සම්මතයට පොදු පිළිගැනීමක් තිබුණත් මේ රටවල් වල මිනිස්සු වැඩි පිරිසක් සියලු මිනිසුන් සමානයි කියා විශ්වාස කළා කියලා මම හිතන්නේ නැහැ. සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගන්වන්න මිසක් එවැනි විශ්වාසයක් තහවුරු කරවන්න ආගම් වලට හැකි වුනේ නැහැ. සමාජවාදයට හැකි වුනෙත් නැහැ. බටහිර ධනවාදයට හැකි වෙලත් නැහැ.
මේ අදහස ආබ්‍රහමික ආගම් වලින් ආ අදහසක් කියා මම කිවුවනේ. හැබැයි බොහෝ විට ආගම් හරහා ඔය වගේ සම්මතයක් ප්‍රචලිත වෙන්නෙත් එයින් සිදු කෙරෙන කිසියම් කාර්ය භාරයක් ඇත්නම් පමණයි. සමාජවාදී රටවල් බොහෝ විට මැවුම්වාදය හා සම්ප්‍රදායික ආගම් ප්‍රතික්ෂේප කළා. ඒ ඉඩ පිරවූයේ පරිණාමවාදය විසින්. හැබැයි මෙහිදී පරිණාමවාදය යොදා ගත්තේත් සියලු මිනිසුන් සමානයි කියන මූලික විශ්වාසය තහවුරු කිරීමේ උපකරණයක් විදිහටයි. එය එහෙම නොවෙයි කියා තහවුරු කරන්න අවශ්‍ය කෙනෙකුට ඒ වැඩේටත් පරිණාමවාදය වගේම ආබ්‍රහමික ආගමුත් යොදා ගන්න පුළුවන්.
මෙතැනදී ආගමික හෝ විද්‍යාත්මක මූලයක් තිබීමට වඩා වැදගත් වුනේ සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගැනීමේ වාසි බොහෝ දෙනෙකුට තිබීමයි. එහිදී මෙය ආර්ථික විද්‍යාවේ විෂය පථයට සම්බන්ධ වෙනවා.
නීතිය කියන දෙය අවශ්‍ය වන්නේම එවැන්නක් නැත්නම් කිසියම් සමාජයක සියලු දෙනාම පවතින සමාජ ආකෘතිය සමඟ ගැලපෙන පරිදි කටයුතු නොකරන නිසා. මෙහිදී මම නීතිය කියන යෙදුමට සමාජ සම්මත, චාරිත්‍ර වාරිත්‍ර ආදියත් ඇතුළත් කරනවා. නීතියෙන් කරන්නේ පුද්ගල කැමැත්ත පොදු කැමැත්තට යටපත් කරන එකයි. ඒ නිසා නීතියක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ බොහෝ දෙනෙකුගේ පුද්ගල කැමැත්ත පොදු කැමැත්ත සමඟ ගැලපෙනවානම් පමණයි. සුළු පිරිසකගේ කැමැත්ත පොදු කැමැත්ත සමඟ නොගැලපෙනවානම් එක්කෝ ඒ අයට අකැමැත්තෙන් පොදු කැමැත්තට ඉඩ දෙන්න වෙනවා. නැත්නම් දඬුවම් විඳින්න වෙනවා. මේක මිනිස් සමාජයකට වගේම සත්ත්ව ගහණයකට වුවත් පොදු කරුණක්.
බස් එකකට නගින අවස්ථාවක් ගැන හිතන්න. හැමෝම බස් එකට නගින්න පොරකනවානම් මට පැත්තකට වෙලා ඉන්න බැහැ. එහෙම හිටියොත් මළාට සීට් එකක් හම්බ වෙන්නේ නැහැ. හැමදාම හිටගෙන. ඒ නිසා, අනිත් හැමෝම පොරකනවානම් මටත් පොරකන්න වෙනවා. නැත්නම් පාඩුව විඳ දරාගන්න වෙනවා.
කට්ටියම පෝලිමේ බස් එකට නැග්ගොත් මුලින් නගින අයට සීට් ලැබෙනවා. පස්සේ නගින අයට නැති වෙනවා. එක දවසක සීට් එකක් නැති වුනත්, හැමදාම නැති වෙන්නේ නැහැ. අතරින් පතර දවසක සීට් එකක් ලැබෙනවා. පොරකාලා නැග්ගා කියලත් ඔය ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. කොහොම හරි පොර කාලා කලින් නැග්ගොත් සීට් එකක් ලැබෙනවා. නැත්නම් නැහැ.
අන්තිමට වෙනස සීට් එකක් ලැබෙනවාද නැද්ද කියන එක නෙමෙයි. පෝලිමේ ගියත්, පොර කෑවත් බස් එකේ සීට් ගණන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, පොර කාලා තුවාල කර ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. හැබැයි ඒ හැමෝම පෝලිමේ ඉන්නවානම් පමණයි. අනෙක් අය බස් එකට නගින්න පොරකනවානම් එක් කෙනෙක් පැත්තකට වෙලා ඉන්න එක ඉල්ලං කෑමක් වෙනවා.
පාරේ වාහන එළවන එකත් ඔය වගේ. හැමෝම එකම වේගයකට වාහන එළවනවානම් නිතර නිතර වාහන ඉස්සර කරන්න අවශ්‍ය නැහැ. නිතර නිතර තිරිංග තද කරන්න අවශ්‍යත් නැහැ. කාටත් ඉක්මණින් ගමනාන්තයට යන්න පුළුවන්. නමුත්, හැමෝම එහෙන් මෙහෙන් රිංගලා යන්න හදනවානම් එහෙම නොකරන කෙනාට ගමන යන්න වෙන්නේ සෑහෙන්න පරක්කු වෙලා. හැමෝම ඔය වැඩේ කරන්න ගියාම වෙන්නේ හැමෝගෙම ගමන පරක්කු වෙන එකයි.
මිනිස්සු තනි තනිව පවතින තත්ත්වයට ප්‍රතිචාර දක්වනවා. ඒ තමන්ට වඩාත්ම වාසිදායක වන ආකාරයටයි. සමහර වෙලාවට මේ තනි ප්‍රතිචාර නිසි පරිදි සම්බන්ධීකරණය කරගත් විට හැමෝටම වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. නීති, සම්මත, චාරිත්‍ර වාරිත්‍ර ඇති වෙන්නේ ඒ වගේ තත්ත්වයන් යටතේදීයි.
ඉතා සුළු පිරිසක් විසින් නීතියක් හෝ සම්මතයක් කැඩුවා කියලා සම්මතය බිඳ වැටෙන්නේ නැහැ. නමුත්, මේ ප්‍රමාණය යම් සීමාවකට වැඩිනම් සම්මතය පවත්වා ගන්න බැහැ. එය බිඳ වැටෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම කියා කියන්නේ විශාල පිරිසකට වාසිදායක සම්මතයක් ඉතා සුළු පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් බිඳ වැටෙන එක වලක්වා ගන්න දරන උත්සාහයක්.
ඇමරිකාවේදී පුද්ගලයෙකුට නොදන්නා පුද්ගලයෙක් සමඟ කරන ගනුදෙනුවකදී අනෙක් පුද්ගලයා පිළිබඳ කිසියම් විශ්වාසයක් තියන්න පුළුවන්. ඔහු හෝ ඇය මා කැමති මිලට භාණ්ඩයක් ගන්න එකඟ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. ඒ පිළිබඳව මට සහතිකයක් නැහැ. එහෙත්, ඔහු හෝ ඇය මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්න ඉඩක් නැහැ. හමුවන හැම නොදන්නා පුද්ගලයෙකු විසින්ම වාගේ මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්න ඉඩක් ඇත්නම් භාණ්ඩය විකුණනවා වෙනුවට මට කරන්න වෙන්නේ භාණ්ඩය රැක ගන්නා ආකාරය ගැන හිත හිතා ඉන්නයි.
මට හමුවෙන අහඹු පුද්ගලයෙක් බොහෝ විට මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්නේ නැති වුවත් යම් අයෙකු විසින් කලාතුරකින් එසේ කළ හැකියි. බදු මුදල් වැය කරමින් පොලිස් නිලධාරීන් නඩත්තු කරන්නේ ඒ අවදානම අඩු කර ගන්නයි. පොලිස් නිලධාරියා කියා කියන්නේ පිළිගත් සම්මතය කඩන අයට දඬුවම් කර සම්මතය කැඩීම අධෛර්යමත් කරන යාන්ත්‍රණයේ කොටසක්. ඒ සඳහා පොලිස් නිලධාරියාට බලය ලැබෙන්නේ විශාල පිරිසක් විසින් සම්මතය පිළිගැනීම තුළයි.
දෙදෙනෙකු අතර සිදුවන අන්තර් ක්‍රියාවකදී ඒ දෙදෙනා විසින්ම ගන්නේ තමන්ට වාසිදායක ස්ථාවරයයි. මෙහිදී ප්‍රශ්නයට මැදිහත්වන තෙවැන්නෙකු විසින් ඒ දෙදෙනාම සමාන සේ සැලකිය යුතු වෙනවා. සම්මතය තුළ තෙවැන්නාට භූමිකාවක් තිබෙන්නේම එසේ සියල්ලන්ට සමාන සේ සලකන බවට වන විශ්වාසය මතයි. එහෙත්, පොලිස් නිලධාරීන් කියන්නේ සියලු මිනිසුන් සමාන සේ සැලකිය යුතු බවට වන සම්මතය පිළිගත් අය මිස සියලු මිනිසුන් සමාන බව විශ්වාස කරන අය නෙමෙයි. තනි පුද්ගලයින් සේ ගත් විට පොලිස් නිලධාරීන්ට අනෙක් පුද්ගලයින් පිළිබඳ පූර්ව නිගමන තිබෙනවා. ඒවා යටපත් වෙන්නේත් සම්මතය තුළයි. මේ සම්මතයට නීති, චර්යා ධර්ම, සම්මත ආදිය ඇතුළත්.
පොදු සමාජයේ අහඹු පුද්ගලයෙකු ඉඳ හිට පොදු සමාජයේ සම්මත බිඳින විට අප පොලීසිය කැඳවනවා. එහෙත්, පොලිස් නිලධාරීන් අතරද ඉඳ හිට සම්මත බිඳින අයෙකු හමු වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයින් අධෛර්යමත් කෙරෙන යාන්ත්‍රණයක් නැත්නම් සමස්තයක් ලෙස පොලීසිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා. වඩා පුළුල්ව කිවුවොත් නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩු පාඩු හැදුණේ නැත්නම් නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා.
නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු හදන්න වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළමයි. අඩුපාඩු සංස්ථාගත නොවන තාක් කල් එය සාර්ථකයි. එහෙත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු සංස්ථාගත වූ විට බාහිර සමාජයේ මැදිහත්වීමක් නැතිව අඩුපාඩු හැදෙන්නේ නැහැ.
ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය අහම්බයක් වෙන්න පුළුවන්. පොලිස් නිලධාරියාගේ අරමුණ වුනේ ඔහුව මරා දැමීම කියා හිතන්න බැහැ. එහෙත්, මරණයට හේතු වූ ක්‍රියාවලිය අහම්බයක් නෙමෙයි. ඒ වගේ දෙයක් වෙනත් පොලිස් නිලධාරියෙක් අතින් වෙනත් තැනකදී සිදු වෙන්න පුළුවන්. බාහිර සමාජයේ දැඩි ප්‍රතිරෝධය නිසා වෙනත් අයෙකු වෙනත් තැනකදී කරන්නට ඉඩ ඇති මෙවැනි කටයුත්තක් අධෛර්යය කෙරෙනවා. මා ප්‍රතිරෝධය දැක්වීම කියා කියන්නේ පෞද්ගලික හා පොදු දේපොළ විනාශ කිරීම, පැහැර ගැනීම හෝ හොරකම් කිරීම නෙමෙයි. ඒ වගේ වැඩ වලින් වෙන්නේ විරෝධය අයාලේ යාම පමණයි.
ඇමරිකාව තුළ සියලු මිනිසුන් නීතිය ඉදිරියේ සමානය කියන සම්මතයට පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා, සියයට සියයක්ම නැතත් නීතිය සෑහෙන තරම් සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙනවා. එසේ නොවන විට නීති පද්ධතිය තුළම වැරැද්ද හැදෙනවා. එයත් නොවන විට දැන් සිදු වන ආකාරයෙන් ප්රශ්නය නීති පද්ධතියෙන් එළියට පිටාර යනවා. හැබැයි මේ වගේ විරෝධතා ඇති වන්නේත් මිනිස්සු සමස්තයක් ලෙස පවතින සමාජ ආකෘතියට කැමති නිසයි. විරෝධතාවයේ අරමුණ පවතින ආකෘතියේ වැරදි නිවැරදි කර එය කඩා වැටෙන එක වලක්වා ගැනීම මිසක් එහි පදනම දුර්වල කරන එක නෙමෙයි.
නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානයි කියන එක ලංකාව බටහිර රටවලින් ගත් අදහසක් මිස රට ඇතුළෙන් ඓන්ද්‍රීය ලෙස මතු මතු වූ අදහසක් නෙමෙයි. යුරෝපීයයන් එන්න කලින් එහෙම සංකල්පයක් ලංකාවේ තිබුණේ නැහැ. යුරෝපීයයන්ගේ කාලයේදී සංකල්පය ආවත් කවදාවත් නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වුනේ නැහැ. නිදහසින් පසුවත් එහෙම වුනේ නැහැ. මෙය ලංකාව හා අදාළව ළඟා කර ගත යුතු ඉලක්කයක් පමණයි.
ලංකාවේදී නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන නැති බව ගොඩක් අය දන්නවා. ඒ බව නැවත තහවුරු කරන සිද්ධියක් වීම විශේෂ සිදුවීමක් නෙමෙයි. එවැනි දේ නිතර සිදු වෙනවා. ඒ නිසා, තොණ්ඩමන්ගේ අවමගුල ආශ්‍රිතව වෙනත් අයට නැති වරප්‍රසාද හිමිවීම ලංකාවේ මිනිස්සුන්ව කම්පනයට පත් කරන්නේ නැහැ. හැබැයි මේ සිද්ධිය නිසා ලංකාවේදී නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානවන සමාජ ආකෘතියක් ගොඩ නගා ගැනීම පිළිබඳ විශ්වාසයට බරපතල ලෙස හානි සිදු වී තිබෙනවා.
කොරෝනා නිසා මාස දෙක හමාරක් තිස්සේ ගෙදරටම වී සිටින නමුත් මෙතෙක් කල් අපට ඇඳිරි නීතියක් තිබුණේ නැහැ. දැන් ඒකත් තිබෙනවා. කොරෝනා වෛරසය කළු සුදු භේද සැලකුවත් නැතත් වෛරසය නිසා මිය ගිය අය අතරත්, වෛරසය හමුවේ රජය ගත් ක්‍රියාමාර්ග නිසා රැකියා අහිමි වූ අය අතරත් කළු ජාතිකයින්ගේ ප්‍රතිශතය ජනගහණයේ ඔවුන්ගේ ප්‍රතිශතයට වඩා වැඩියි. වසරකට පොලිස් අත් අඩංගුවේදී මිය යන දහසකට අධික ඇමරිකානුවන් අතර තත්ත්වයත් එසේමයි. කළු ජාතිකයින්ගේ ජීවිත වලට ලැබෙන්නේ අඩු වටිනාකමක් බව බොහෝ දෙනෙකු විසින් සිතනවා.
මේ වෙලාවේ ඇමරිකාවේ නීතිය හා සාමය රකින පොලිස් නිලධාරීන් ගිරයට හසු වූ පුවක් වගේ. විරෝධතාකරුවන් බොහෝ දෙනෙක් සාමකාමී ලෙස විරෝධතා දැක්වූවත් ඔවුන් අතරින් මතු වන කුඩා පිරිස් හිටිවනම සමාජ විරෝධී කටයුතු කෙරෙහිත් යොමු වෙනවා. ඔවුන්ගෙන් ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීම පොලීසියේ වගකීමක් වී තිබෙනවා. එහෙත්, මේ වෙලාවේ චුදිතයින් වී සිටින්නේ පොලීසිය නිසා ඔවුන්ට එම චෝදනාව ඔප්පු කෙරෙන දේවල් කරන්නත් බැහැ. ඒ නිසා, පොලීසිය හැකි පමණින් විරෝධතාකරුවන් හා සහයෝගයෙන් කටයුතු කරන්න සිදු වී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ විශේෂ ඉලක්කයක් හෝ අරමුණක් නැතිව මේ වන විට අටවන දිනටත් විරෝධතා ආරම්භ වී තිබෙනවා.
Labels:
ආකල්ප,
ඇමරිකාව,
දේශපාලනය,
ධනවාදය,
නීතිය,
ප්රජාතන්ත්රවාදය,
සමානාත්මතාවය
Sunday, May 31, 2020
කොරෝනා අමතක කර අභ්‍යාවකාශගත වෙමු!
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා අභ්‍යාවකාශගාමීන් දෙදෙනකු ප්‍රවාහනය කරමින් ස්පේස්-එක්ස් සමාගමේ කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ඊයේ (මැයි 30) ඇමරිකානු නැගෙනහිර කලාපයේ වේලාවෙන් පස්වරු 3:22ට හෙවත් ලංකාවේ වේලාවෙන් මැයි 31 දින අළුයම 12:52ට ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථක ලෙස ගුවන්ගත කෙරුණා. මේ අවස්ථාව පෞද්ගලික සමාගමක් මුල් වී මිනිසුන් අභ්‍යාවකාශය වෙත ප්‍රවාහනය කරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙනවා.
කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයේ මේ පළමු පරීක්ෂණාත්මක ගමනට නාසා අභ්‍යාවකාශගාමීන් වන රොබර්ට් බැන්කන් හා ඩග්ලස් හර්ලි සහභාගී වුනා. යානය ගුවන්ගත කිරීම සඳහා මුලින්ම සැලසුම් කර තිබුණු දිනය මැයි 27 වුවත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවසන් මොහොතේදී එම කටයුත්ත දින හතරකින් කල් දැම්මා.
මෙතෙක් අභ්‍යාවකාශ තරණය රජයයන් මුල් වී සිදු කළ කටයුත්තක්. ආරම්භයේදී මේ කටයුත්තේදී මුල් තැන සිටියේ සෝවියට් දේශයයි. රටේ ආදායම මිනිසුන් අතර බෙදා හැරීමේ ඒකාධිකාරය රජය වෙත තබා ගෙන සිටි සෝවියට් දේශය වැනි සමාජවාදී රට වලට රජයේ ප්‍රමුඛතා වෙනුවෙන් බාධාවකින් තොරව සම්පත් යොමු කිරීමේ හැකියාව තිබුණු නිසා අභ්‍යාවකාශ තරණය වැනි කටයුතු වලදී අනෙක් රටවලට වඩා ඉදිරියෙන් සිටීමට හැකි වුනා.
ඇමරිකාව මුලින්ම අභ්‍යාවකාශ තරණයට අවතීර්ණ වුනේ සෝවියට් දේශයට දෙවැනි විය නොහැකි නිසයි. සෝවියට් දේශය විසින් පළමු වරට අභ්‍යාවකාශයට මිනිසෙකු යැවීමෙන් පසුව ඇමරිකානුවන්ගේ ජාතිකාභිමානයට සෑහෙන්න රිදුනා. ඒ නිසා, ඇමරිකාවේ ෆෙඩරල් රජයටත් බදු මුදල් යොදවා අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ආයෝජනය කරන්න ඉඩ සැලසුණා. ඇමරිකාව සෝවියට් දේශය පරදවා අභ්‍යාවකාශ තරණය තුළද ඉදිරියට ගොස් පළමු වරට මිනිසෙකු හඳ වෙත යැවුවා.
මුලින්ම සෝවියට් දේශය අභ්‍යාවකාශ තරණ තරඟයෙන් ඉවත් වීමත්, පසුව සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ අභ්‍යාවකාශ තරණය සඳහා වූ ඇමරිකානු උනන්දුව දියාරු වී ගියා. කෙසේ වුවත්, සෝවියට් දේශය අභ්‍යාවකාශ තරණ තරඟයෙන් මිස අභ්‍යාවකාශ තරණයෙන් ඉවත් වුනේ නැහැ. සෝවියට් දේශය වගේම පසුව රුසියාවත් දිගටම අභ්‍යාවකාශ තරණයෙහි යෙදී සිටියා. පසුකාලීනව අභ්‍යාවකාශ තරණයේදී රටවල් අතර තරඟයක් වෙනුවට සහයෝගීතාවයක් ගොඩ නැගුනා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් එහි ප්‍රතිඵලයක්.
අභ්‍යාවකාශ තරණය බදු මුදල් නාස්ති කළ ප්‍රදර්ශනාත්මක කටයුත්තක් මිස ආර්ථික වශයෙන් ඵලදායී ලාබ ගෙනදුන් කටයුත්තක් වුනේ නැහැ. අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත් වියදම් අධික යානා එක ගමනකින් පසුව නැවත නැවත අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත නොහැකි වීම මෙය ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තක් ලෙස වැඩි දියුණු වීමට තිබුණු විශාලම බාධාවක්.
සඳ තරණයෙන් වසර පණහකට පසුව දැන් නැවත උදා වෙමින් තිබෙන්නේ අභ්‍යාවකාශ තරණයේ නව යුගයක්. ස්පේස්-එක්ස් සමාගම ඇතුළු පෞද්ගලික සමාගම් විසින් පෞද්ගලික ධනය ආයෝජනය කර අත් හදා බලමින් සිටින්නේ නැවත නැවත අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත හැකි අභ්‍යාවකාශ යානා නිසා එක් ගමනක් සඳහා වන පිරිවැය විශාල ලෙස අඩු වෙනවා. ඒ අනුව, මුදල් ගෙවන්නට සූදානම් ඕනෑම කෙනෙකුට අභ්‍යවකාශගත වීමේ අවස්ථාව සලසා දෙමින් අභ්‍යාවකාශ සංචාරක කර්මාන්තය කර්මාන්තයක් ලෙස සංවර්ධනය වීමට වැඩි දවසක් යන එකක් නැහැ.
පැය දහ නවයක ගමනකින් පසුව තව මිනිත්තු කිහිපයකින් කෲ ඩ්‍රැගන් අභ්‍යාවකාශ යානයේ අභ්‍යාවකාශගාමීන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ළඟා වන අවස්ථාව පහත සබැඳියෙන් සජීවී ලෙස නැරඹිය හැකියි.
https://www.nasa.gov/nasalive
Labels:
අභ්‍යාවකාශ තරණය,
තාක්ෂනය,
නවමු පුවත්
Saturday, May 30, 2020
මරණ බය හමුවේ අහිතකර පුරුදු
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාවේ සිදුවන මරණ වලින් 10%කට හේතුව දුම් පානයයි. ලංකාවේ දුම් පානය බොහෝ දුරට පිරිමින්ගේ පුරුද්දක්. ලංකාවේ පිරිමින් අතර දුම් පානය 2005දී වූ 40.5% මට්ටමේ සිට ක්‍රමයෙන් පහත වැටෙමෙන් ඇතත් 2018 වන විටත් පිරිමින්ගෙන් 28.4%ක් දුම්පානයෙන් ඈත්ව සිටියේ නැහැ.
ලංකාවේ දුම් පානය කරන්නන්ගෙන් 91%ක් සිගරැට් උරන්නන්. ඉතිරි ප්‍රමාණයෙන් වැඩි පිරිසක් බීඩි උරන්නන්. ලංකාවේ සිගරැට් වෙළඳපොළ බොහෝ දුරට ලංකා දුම්කොල සමාගමේ ඒකාධිකාරයක්. 2019 වසරේදී දුම්කොළ සමාගමේ පිරිවැටුම රුපියල් බිලියන 141.3ක්. එම මුදලින් රුපියල් බිලියන 120.4ක් ලබා ගෙන තිබෙන්නේ රජය විසිනුයි. බදු ගෙවීමෙන් පසුව සමාගමේ ලාබය රුපියල් බිලියන 17.3ක්. එම ලාබය බොහෝ දුරට රටෙන් පිටට යන මුදලක්. ලංකා දුම්කොළ සමාගමේ කොටස් වලින් 92.5%ක්ම අයිති බීඒටී හා පිලිප් මොරිස් බහුජාතික සමාගම් වලටයි. ඉතිරි කොටස් වලින්ද සැලකිය යුතු අයිතියක් විදේශිකයන් හෝ විදේශික සමාගම් සතුයි.
රජය විසින් හා දුම්කොල සමාගමේ කොටස් හිමිකරුවන් විසින් ලබා ගෙන ඇති ආදායම් මුළු පිරිවැටුමෙන් අඩු කළ විට විකිණූ සිගරැට් වල පිරිවැය සොයාගැනීම අමාරු නැහැ. සේවක පඩි නඩි, දුම්කොළ ඇතුළු අමුද්‍රව්‍ය වල වියදම හා විදුලි බිල ඇතුළු අනෙකුත් වියදම් සඳහා වැයවන මුළු පිරිවැය වන්නේ රුපියල් බිලියන 3.7ක පමණ මුදලක් පමණයි. දුම්කොළ සමාගමේ ඒකාධිකාරයේ උදවුවෙන් දුම්කොළ සමාගම හා රජය විසින් එකතු කර ගන්නා මුදල දුම්වැටි නිපදවීමට යන නිෂ්පාදන වියදමට සාපේක්ෂව හතළිස් ගුණයකට ආසන්න විශාල මුදලක්.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෑතකාලීන අධ්‍යයනයකට අනුව ලංකාවේ දුම්පානයේ අවාසිය වසරකට රුපියල් බිලියන 213.8ක්. මේ මුදලින් රුපියල් බිලියන 15.3ක් දුම්වැටි භාවිතය ආශ්රිත රෝග වෙනුවෙන් වැය වන මුදල්. ඉතිරි රුපියල් බිලියන 198.5 දුම්වැටි නිසා සිදුවන අකල් මරණ හා රෝග නිසාත්, ඵලදායීතාවය අඩු වීම නිසාත් රටේ නිෂ්පාදිතය පහළ යාමේ අවාසියයි.
අවාසියේ වැඩි කොටස වන රුපියල් බිලියන 179.3ක් දුම්වැටි ආශ්රිත රෝග නිසා වයස 70ට පෙර මිය යන අයගේ අඩු වූ ජීවිත කාලයන්හි වටිනාකමයි. මේ අවාසිය අදාළ අයගේ පවුල් වලට සිදුවන අවාසියක්. දුම්වැටි භාවිතය ආශ්රිත රෝග වෙනුවෙන් වැය වන මුදලෙන් රජයට වැය වන මුදල රුපියල් බිලියන 8.3ක් පමණයි. ඉතිරියෙන් රුපියල් බිලියන 5.9ක් රෝගීන්ගේ අතින් යන වියදම්. රුපියල් බිලියන 1.1ක් රක්ෂණ ගිවිසුම් හරහා පියවෙන වියදම්.
දුම්පානය නිසා සමස්තයක් ලෙස රටට විශාල පාඩුවක් වුනත්, රජයට සිදුවන්නේ විශාල වාසියක්. දුම්කොළ සමාගම විසින් කරන ප්‍රධාන කාර්යය දුම්වැටි නිපදවා විකිණීම නොව, කොමිස් මුදලක් ලබමින් රජයට ආදායම් එකතු කර දීම බව කිවුවොත් එය වඩා නිවැරදියි. දුම්වැටි අලෙවිය හරහා රජය විසින් උපයන බිලියන 120.4ක මුදල දුම්වැටි ආශ්රිත රෝග වෙනුවෙන් රජය වැය කරන රුපියල් බිලියන 8.3 මෙන් පහළොස් ගුණයකට ආසන්නයි.
කොරෝනා තර්ජනය දුම්පානය කරන්නන්ට වඩා අහිතකර ලෙස බලපෑමත්, කොරෝනා තර්ජනය හමුවේ රජය විසින් ගත් විවිධ ක්‍රියාමාර්ගත් නිසා 2020 පළමු කාර්තුව තුළ දුම්කොළ සමාගමේ අලෙවි ආදායම 13%කින් පහත වැටී තිබෙනවා. දෙවන කාර්තුව තුළ කොරෝනා බලපෑම මීට වඩා වැඩි විය යුතුයි.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් මැයි 1-10 අතර ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් සිදු කර ඇති සමීක්ෂණයකට අනුව, දුම්පානය කරන්නන්ගෙන් 20%ක් කෝවිඩ් තර්ජනය හමුවේ දුම්පානය අතහැර තිබෙනවා. තවත් 68%ක් දුම් පානය සීමා කර තිබෙනවා. ඔවුන්ගෙන් 51%ක්ම පවසා ඇත්තේ කෝවිඩ් තර්ජනය අවසන් වීමෙන් පසුවද මේ තත්ත්වය එලෙසම පවත්වා ගැනීමට අදිටන් කරගෙන සිටින බවයි.
තෙවසරකට පෙර දුම්වැටි විරෝධී දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට සම්මානයක් ලබා දෙමින් එහි ක්‍රියාකාරකම් අගය කළා. එහෙත් එම වසර තුළද ලංකාවේ දුම්වැටි අලෙවිය, ඒ හරහා රජය ඉපැයූ බදු ආදායම මෙන්ම දුම්කොල සමාගමේ ලාබද පෙර වසරට වඩා ඉහළ ගියා. කාලයක් තිස්සේ රජයට කළ නොහැකි වූ හෝ කරන්නට අවශ්‍ය නොවූ කාර්යයයක් කොරෝනා වෛරසය විසින් සිදු කර තිබෙනවා.
හෙට (මැයි 31) මේ වසරේ ලෝක දුම්වැටි විරෝධී දිනයයි.
ආච්චිට හාල් ගරන්න වී මෝලක්!
ලංකාවේ පැවති ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකය ගැන අපි පෙර ලිපියකින් කතා කළා. ඇත්තටම ලෝකයේ හැම රටකම වගේ යම් කාලයකදී තිබෙන්න ඇත්තේ ඔය ආකෘතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක්. වවපු බෝග විතරයි වෙනස් වෙන්න ඇත්තේ. ලංකාවේ මේ ආකෘතියට ආසන්නව තිබුණු ගම් මට මතක ඇති කාලයේත් තිබුණා.
මේ වගේ ගමක සාමාන්‍ය ගෙදරක බොහෝ විට කොස් ගහක්, පොල් ගස් කිහිපයක්, කෙසෙල් පඳුරු කිහිපයක් එහෙමත් තිබුණා. ඒවාට අමුතුවෙන් සාත්තුවක් කෙරුණේ නැහැ.
දැන් අපි කලින් ලිපිය අවසානයේදී අහපු ප්‍රශ්නයට එමු.
ලංකාවට ඉංග්‍රීසින් විසින් තේ හා රබර් හඳුන්වා දෙන විට සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ පැවති වී වගාව ආශ්රිත කෘෂිකර්මාන්තයක් ලංකාවේ තිබුණා. එහෙම තියෙද්දී ඉංග්‍රීසින් විසින් අපනයන කර්මාන්තයක් ලෙස වී වගාව දියුණු නොකර ලංකාවේ නොතිබුණු තේ හා රබර් වගා කරමින් අවදානමක් ගත්තේ ඇයි? අඩු වශයෙන් දේශීය පරිභෝජනය සැපිරිය හැකි තරමට වී ගොවිතැන දියුණු නොකර වී හෝ සහල් ආනයනය කරන්න පෙළඹුණේ ඇයි?
මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස සංස්කෘතික හෝ දේශපාලන හේතු ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරු හෝ එවැනි හේතු ඉදිරිපත් කළොත් මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙත්, මෙය මෙසේ වෙන්න පැහැදිලි ආර්ථික හේතු තිබෙනවා. ලංකාවේ අනාදිමත් කාලයක් තිස්සේ වැවුණු වී රටට ආනයනය කරන වටපිටාවක් හැදෙන්නත්, එවැනිම කෘෂිකාර්මික බෝගයක් වූ පොල් ප්‍රධාන අපනයන බෝගයක් වෙන්නත් ආර්ථික සාධක බලපෑවා.
හාල් සඳහා රට ඇතුළේ විශාල ඉල්ලුමක් තිබුණා. එහෙත් අර මුලින් කී ස්වයංපෝෂිත ඒකක ඇතුළේ පිටට දිය හැකි වී අතිරික්තයක් නිෂ්පාදනය වුනේ නැහැ. කන්නයක් අවසානයේ වී අස්වැන්න වී බිස්සට හෝ අටුවට ගියා. ඉන් පසුව ටිකෙන් ටික අඩු වුනා. වී බිස්ස හිස් වේ ගෙන එන කොට මිනිස්සු කොස් දෙල් බතල වලට බැහැලා වී ටික පරිස්සම් කර ගත්තා. එක දිගට අස්වනු හොඳ වූ විට වී බිහි, අටු කොටු පිරුණා. එක දිගට අස්වනු පාළු වෙන කොට වී බිහි හිස් වෙලා වෙන මොනවා හෝ දෙයක් හොයා ගෙන කන්න වුනා. නැත්නම් බඩගින්නේ ඉන්න වුනා. මේ වගේ තත්ත්වයක් තියෙද්දී පිටට වී විකුණන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
ඔය තත්ත්වයේ තිබුණු ලංකාවේ වී ගොවිතැන ගොඩ දමන්නනම් පසුකාලීනව කළා වගේ වියලි කලාපය සංවර්ධනය කර මිනිස්සු පදිංචි කරවීම වගේ සංකීර්ණ වෙනසක් කරන්න වෙනවා. නමුත්, ඒ වෙනුවෙන් මුදල් හා කාලය වැය කරනවාට වඩා පහසුවෙන් හා අඩු වියදමකින් කලාපයේ වෙනත් රටකින් සහල් ආනයනය කරන්න පුළුවන්කම තිබුණු නිසා ඉංග්‍රීසින්ට එවැනි වැඩකට අතගහන්න අවශ්‍ය වුනේ නැහැ. වී ගොවිතැන සඳහා ලංකාවට වඩා වාසිදායක තත්ත්වයන් කලාපයේ වෙනත් රටවල තිබුණා.
ඉංග්‍රීසීන් විසින් වැඩේ අත ඇරියේ සොයා බැලීමක් නොකර නෙමෙයි. ඔවුන් මී හරකුන් ආනයනය දක්වා විවිධ දේවල් අත් හදා බලා තිබෙනවා. නමුත්, ඒ වැඩෙන් මී හරකුන්ට වූ තරම්වත් යහපතක් වී ගොවීන්ට වුනාද කියන එක සැකයි. ආනයනය කරපු සමහර මී හරක්නම් කැලේට හරි පැනගත්තා.
ඇත්තටම ලන්දේසි කාලයේදී පවා ලංකාවේ වී ගොවිතැන ගොඩදාන්න උත්සාහ කර තිබෙනවා. පැරණි වී අමුණු ප්‍රතිසංස්කරණය, ඉන්දියාවෙන් ශ්‍රමිකයින් රැගෙන ඒම, වී වැපිරීම වෙනුවට පැල හිටවීම හඳුන්වා දීම වගේ බොහෝ දේ කරමින් ඒ කාලයේදීත් උත්සාහ කර ඇති බවට වාර්තා ඇතත් වැඩේ සාර්ථක වී නැහැ. බෙංගාලය, සුමාත්‍රා වාගේ පැති වල එකට විස්සක හෝ තිහක අස්වැන්නක් ලැබෙද්දී ලංකාවේ වී අස්වැන්න එකට හයකට හෝ දොළහකට වඩා වැඩි වී නැහැ.
එක පැත්තකින් මෙයට සමාජය සංවිධානය වී තිබුණු ආකාරයත් සැලකිය යුතු තරමකින් බලපානවා. ගණුදෙනුවක පාර්ශ්ව දෙකම මිනිසුන් වශයෙන් සමාන සේ නොසැලකේනම් ගනුදෙනු සිදු වුවත් ඒවා නිදහස් ගනුදෙනු නෙමෙයි. එක පාර්ශ්වයකට මිල තීරණය කිරීමේ බලය වැඩියි. ඒ වගේම, වැඩියෙන් ප්රාග්ධනය රැස් කළා කියලා සමාජ ධුරාවලියේ ඉහළට යන්න පුලුවන් කමක් නැත්නම් තමන් දැනට ඉන්න තත්ත්වය පවත්වාගත හැකි යමක් ලැබීම ප්‍රමාණවත්. ඊට වඩා මහන්සි වී ප්රාග්ධනය එක්රැස් කරගත්තා කියලා කොහොමටත් උඩට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා, පැල හිටවන්න මහන්සි නොවී වී ටික ඉහලා දාලා ගෙදර ඇවිත් බුලත් විටක් හපලා නිදාගන්න එක සැපයි.
වී ගොවිතැනේදී ලංකාව සතු නොවූ සාපේක්ෂ වාසිදායක තත්ත්වය පොල් වගාවේදී තිබුණා. ඒ වගේම පොල් සඳහා බාහිර ඉල්ලුමක්ද තිබුණා. ඒ නිසා, පොල් ලංකාවේ අපනයන බෝගයක් බවට පත් වුනා. කොස් දෙල් කෙහෙල් වගේ දේවල් වී හා පොල් මෙන් කල් තබාගත හැකි නොවූ නිසා ඒවා ආනයන හෝ අපනයන බවට පත් වුනේ නැහැ. මේ දේවල් වලට හාල් පොල් වලට වගේ විදේශ ඉල්ලුමක් තිබුණෙත් නැහැ.
ලංකාවේ පැරණි ස්වයංපෝෂිත ආර්ථිකය ක්‍රමයෙන් වාණිජකරණය වෙද්දී පැරණි සමාජ ධුරාවලිය ක්‍රමයෙන් බිඳ වැටෙමින් අලුත් ඉඩම් හිමි ධනවතුන් බිහි වෙන්න පටන් ගත්තා. මේ ධනවතුන් බොහෝ විට බිහි වුනේත් පොල් වගාව ආශ්‍රිතව මිසක් වී වගාව ආශ්‍රිතව නෙමෙයි.
ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ සහල් ඉල්ලුමෙන් විශාල කොටසක් ආනයනය කරන්න සිදු වී තිබුණා. එහෙත්, තේ, රබර්, පොල් අපනයනය කර ලැබූ විදේශ විණිමය ප්‍රමාණවත් වූ නිසා මේ වැඩේ අවුලක් තිබුණේ නැහැ. නිදහස ලැබී ටික කාලයක් යද්දී ලංකාවේ අපනයන වල මිල එසේම තිබියදී ආනයන මිල ඉහළ යාම නිසා ගෙවුම් ශේෂ හිඟයක් ඇති වී එම හිඟය ටිකෙන් ටික උග්‍ර වෙන්න පටන් ගත්තා. රජය මගින් ලබා දුන් සහල් සලාකයේ බරපැන ඉහළ යාම නිසා ආනයනික සහල් මිල ඉහළ යාම ගෙවුම් ශේෂ හිඟයට අමතරව රජයේ අයවැය හිඟයද ඉහළ යවන්න හේතු වුනා.
ලංකාව මේ වගේ ප්‍රශ්නයක පැටලුනේ නිදහස ලැබෙද්දී උරුම වූ තේ, පොල්, රබර් ආර්ථිකයේ දිගටම හිර වී සිටි නිසයි. නිදහස ලැබූ අලුතම අපනයන විවිධාංගීකරණය හා කාර්මීකරණය ගැන බරපතල ලෙස හිතුවානම් අපනයන වියදම් ඉහළ යද්දී ආනයන වියදම්ද සමාන්තරව ඉහළ යා හැකිව තිබුණා. ඉංග්‍රීසීන් දිගටම රට පාලනය කළානම් ඔවුන් බොහෝ විට කල් තියාම මේ වැඩේ කරනවා. නමුත්, නිදහස් ලංකාව ඊට වඩා බර තැබුවේ ආනයන ආදේශනය වෙතයි.
වී ගොවිතැන නගා සිටුවීම කෙරෙහි නිදහස් ලංකාවේ හැම ආණ්ඩුවකින් වගේම විශේෂ අවධානයක් යොමු වුනා. ආර්ථික සාධක වලට වඩා චිත්තවේගීය සාධක එයට මුල් වුනා. අජිත් පැරකුම්ගේ වචන වලින් කියනවානම් ලංකාවේ බලයේ සිටි හා නොසිටි දේශපාලන පක්ෂ විසින් වී ගොවිතැන නැංවීමේ ලේබලය ගහගෙන දිගින් දිගටම කළේ ලාංකිකයාගේ මානසික කිරිපල්ල අතගාන එකයි.
වී ගොවිතැන වෙත විශාල ලෙස සම්පත් යෙදවීමේ වාසිය ලබමින් රටේ වී වවන බිම් ප්‍රමාණය වගේම අක්කරයකින් ලැබිය හැකි වී ප්‍රමාණයත් වසරින් වසර ඉහළ ගියා. එයට සමාන්තරව රටේ සහල් ආනයන අවශ්‍යතාවය ටිකෙන් ටික පහත වැටුණා. මහවැලි ගොවි බිම් වල වී අස්වනු රටේ සමස්ත වී නිෂ්පාදිතයට එකතු වීමෙන් පසුව 1982 පමණ වන විට ලංකාව රටේ සහල් පරිභෝජන අවශ්‍යතාවය රට තුළින්ම සපුරා ගත හැකි තත්ත්වයකට පත් වුනා.
මේ කාලය වෙද්දීත් ලංකාවේ මා පෙර කතා කර ඇති ස්වයංපෝෂිත ගම් තිබුණා. විශේෂයෙන්ම තෙත් කලාපයේ වී ගොවිතැන සිදු කෙරුණේ වාණිජ පදනමකින් නෙමෙයි. දැනට වුවත් මේ තත්ත්වයේ ලොකු වෙනසක් නැහැ.
හැත්තෑව දශකයේදී මට සමීප ඇසුරක් තිබුණු බොහෝ නිවෙස් වල තමන්ගේම කුඹුරකින් ලබා ගත් වී සංචිත තිබුණා. මේ වී සහල් කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ ගෙදරින්මයි. ලොකු හැළියක වී තැම්බීමෙන් පසුව මිදුලේ මාගල් එළා අව්වේ වී වේලුවා. වැස්ස එනකොට හනිකට වී ගෙට ගන්න ඕනෑ. ආනන්ද සමරකෝන් විසින් ලියපු ජනප්‍රිය ගීයකත් කියන්නේ ඔය කතාවනේ.
අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ ..//
අම්මත් අර නා ගෙන එන්නේ //
මල්ලි තවම කුඹුරේ //
සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ...
ඔය විදිහට තම්බා වේලා ගන්නා වී සමහර වෙලාවට ගෙදර වංගෙඩියේ කොටලා, කුල්ලෙන් පොලලා හාල් කර ගත්තා. හුණු සාලුත් එකතු වෙනවා. කිරිබත් එහෙම හදාගන්න වී තම්බන්නේ නැතුව කැකුලෙන් කෙටුවා. හැබැයි ඔය කාලේ වෙද්දී ගොඩක් ගම් වලට ආසන්න කඩ මණ්ඩියක වී මෝලකුත් තිබුණා. ගෙදර තම්බා වේලා ගන්නා වී මෝලේ ගන්නත් පුළුවන්කම තිබුණා. සමහර වෙලාවට මෝලේ ගාස්තුව වී හෝ හාල් වලින්ම ගෙවන්නත් පුළුවන්කම තිබුණා. මමත් ඕනෑ තරම් වී ගෝනි ඔලුවේ තියාගෙන වී මෝල් වලට ගෙනිහින් හාල් කරගෙන ඇවිත් තියෙනවා.
හැත්තෑ ගණන් වලදී බොහෝ විට ගෙදර වී ඉවර වෙන කොට කඩෙන් මිල දී ගත්තේ රට හාල්. පස්සේ පස්සේ කඩවලට වියලි කලාපයෙන් හාල් එන්න පටන් ගත්තා. මේ හාල් වල අප්‍රසන්න ගඳක් තිබුණා. එයට හේතුව වී තිබුණේ තම්බන්නේ නැතිව ටැංකියක දමා වී පල් කරන එක කියලා ඒ දවස් වල අහලා තිබුනත් එහෙම එකක් දැක්කේ වසර ගණනකට පසුවයි. මම හිතන විදිහට වියලි කලාපයේ වුනත් මුල් කාලයේදී මෝලකින් වී කොටාගන්න ඇත්තේ ගෙදර පරිභෝජනය සඳහා වෙන්න ඇති.
ඔය පොඩි වී මෝල් වලින් මුල් කාලයේ කළේ යැපුම් කෘෂිකර්මයේ නිරතව සිටි මිනිසුන්ගේ වංගෙඩියට හා මෝල්ගහට ආදේශකයක් වෙමින් වී කොටන රාජකාරිය කරන එක පමණයි. වී කෙටීම සඳහා ගාස්තුව විදිහට එකතු කරගත් හාල් ඔය වගේ මෝලකින් මිල දී ගන්නත් පුළුවන්කම තිබුණා. ඊට අමතරව මේ වගේ වී මෝල් හිමියන් විසින් වී මිල දී ගෙන පසුව විකිණීමක් කළේ නැහැ.
ගෙදර වී වලින් කොටා ගත් හාල් වුනත්, කඩේ හාල් වුනත් ඔය හාල් ලිපේ තියන්න කලින් මුලින්ම වී අහුලන්න ඕනෑ. ඊට පස්සේ ගරන්න ඕනෑ. නෑඹිලියක් උපයෝගී කර ගනිමින් හාල් ගරන එකත් පුහුණුවක් අවශ්‍ය කලාවක්. පුහුණුව නැති කෙනෙක් හාල් ගැරුවොත් කාලා හමාරයි. ඒ නිසා, තමන්ට හරියට හාල් ගරන්න බැරිනම් ආච්චිට හාල් ගරන්න කියන්න වෙනවා.
මම හිතන විදිහට අරලිය ආකෘතියේ පෞද්ගලික වී මෝල් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ අනූව දශකය එළැඹෙන්න ආසන්නවයි. කඩෙන් ගෙනාපු හාල් වතුර දමා කෙළින්ම ලිපේ තියන එක ඒ කාලයේ හැටියට සුවිශේෂී අත්දැකීමක්. අරලිය ආකෘතිය දක්වා පරිණාමය වුනේ කලින් යුගයේ ගම් වල තිබුණු කුඩා පරිමාණයේ වී මෝල් වුවත් මේ අලුත් ආකෘතියේ වී මෝල් වලින් ඉටු කරපු ආර්ථික කාර්යය අර පරණ වී මෝල් වලින් කරපු දෙයම නෙමෙයි. පරණ වී මෝල් වලින් කළේ වංගෙඩියේ දමා මෝල්ගහෙන් වී කොටන එකට විකල්පයක් සැපයීමයි. එහෙත්, මේ අලුත් ආකෘතියේ වී මෝලක ආර්ථික කාර්ය භාරය වී කෙටීමට සීමා වී නැහැ.
මේ අලුත් ආකෘතියේ වී මෝලකින් වී-සහල් සැපයුම් දාමය ඇතුලෙ කරන කටයුතු කිහිපයක්ම තිබෙනවා. පළමුව, කෙළින්ම ගොවියාගෙන් හෝ අතරමැදියෙකු හරහා වී මිල දී ගැනීම. දෙවනුව, මේ මිල දී ගන්නා වී සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. තෙවනුව, වී සහල් බවට පත් කිරීම. අවසාන වශයෙන්, සහල් තොග වෙළෙන්දන් වෙත ප්‍රවාහනය කිරීම. ඔය කටයුතු හතරෙන් සම්ප්‍රදායික වී මෝල් හිමියෙකු විසින් කළේ තෙවන කටයුත්ත පමණයි. ඒ නිසා, අරලිය ව්‍යාපාරය වගේ ව්‍යාපාර වී මෝල් ලෙස හඳුන්වන එකේම වැරැද්දක් තිබෙනවා. වී මෝල් හිමියාගේ ලාබ පාඩු හෝ ඒකාධිකාර ගැන කතා කරන්න කලින් පළමුව මේ වෙනස නිවැරදිව විග්රහ කරගෙන තේරුම් ගත යුතුයි.
ලංකාවේ වී ගොවිතැන කියන්නේ කාලයක් තිස්සේ විවිධ රාජ්‍ය මැදිහත්වීම් හරහා හොඳටම පටලවා තිබෙන නූල් බෝලයක්. ගොඩක්ම පැටලුනු නූල් බෝලයක පැටලුම් අරින එක ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට පැටලුම් අරිනවා කියා ඇත්තටම හිතාගෙන වැඩේට බහින කෙනෙක් වුනත් වැඩේ ඉවර කරන්නේ නූල් ටික තවත් පටලවලා. ඒ නිසා, මොනවා හෝ විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්න කළින් මුලින්ම කළ යුත්තේ මේ පැටලුම් ලිහලා විසඳුම් සෙවිය යුතු සැබෑ ප්‍රශ්න මතු කර ගන්න එකයි. මේ වගේ සංකීර්ණ අවුලක් ක්ෂණිකව ලිහන්න බැහැ. අපි අවශ්‍ය තැනට හෙමිහිට යමු. දැනට අපි මේ කරුණු මතක තියා ගනිමු.
- ලංකා ඉතිහාසයේ කවරදාකවත් අද තරම් සමස්ත වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ.
- බොහෝ විට ඒක පුද්ගල පදනමකින් වුවත් අද තරම් වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ. අතරින් පතර එවැනි වකවානු තිබුණා වෙන්න පුළුවන්.
- නිදහසින් පසු දිගින් දිගටම ලංකාවේ ආණ්ඩු විසින් වී ගොවිතැනට විශේෂ සැලකිලි දක්වමින් සම්පත් යෙදෙවීම නිසා සමස්තයක් ලෙස රටට වූ යහපත හෝ අයහපත කවරක් වුවත්, වී ගොවිතැනේ සැලකිය යුතු දියුණුවක් ඇති වී තිබෙනවා.
අතීතයේ කළ දේවල් නිසා සිදු වූ පාඩු ආපසු හැරවිය නොහැකි ගිලුණු පිරිවැය නිසා දැන් කළ යුත්තේ මත්තල ගුවන් තොටුපොළ පර්යන්තය වී වේලන්න ගත්තා වගේ වැඩ නොකර අනාගතය දෙස බලා කළ යුතු හොඳම දේ කිරීමයි.
නිදහසෙන් පසු ලංකාවේ වී වගාව වෙනුවෙන් යොදා ගැනෙන බිම් ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩියෙන් වැඩි වී තිබෙනවා. ඒ තත්ත්වය නැවත ආපසු හරවන්න උත්සාහ කළ යුතු නැතත්, මේ බිම් ප්‍රමාණය තවත් වැඩි කරන්නට යාම කාර්යක්ෂම නැහැ. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවාගන්න ඔය ඉඩම් ටික ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. වී වගාව සඳහා තව තවත් ඉඩම් වෙන් කිරීම කාර්යක්ෂම නොවන බව වඩා විස්තරාත්මකව පැහැදිලි කළ හැකි කරුණක්.
නිදහස ලැබූ තැන් පටන් අද දක්වාම රටේ බොහෝ දෙනෙක් විවාදයකින් තොරව එකඟ වී ඇති කරුණක් වන්නේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයයි. මෙය ලංකාවේ සමාජවාදී සැලසුම් වලද ප්රමුඛ ඉලක්කයක් වුනා.
ලංකාවේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් අඩු බව ඇත්ත. එහෙත්, ඉතිහාසයේ කවර කලෙකවත් ඉඩම් අක්කරයකින් නොගත් තරමේ විශාල අස්වැන්නක් දැන් ලංකාවේ වී ගොවියා විසින් ලබා ගන්නවා. නිදහසෙන් පසු ලංකාවේ වී ගොවිතැනේ ඵලදාව තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙය තවත් ඉහළ දමා ගැනීමට උත්සාහ කළ යුතු බව පිළිබඳව විවාදයක් නැහැ. හැබැයි ලංකාවට අවශ්‍ය සහල් ප්‍රමාණය රට ඇතුළේම නිපදවා ගැනීම ඉලක්කයක්නම් ඒ සඳහා දැන් ලැබෙන අස්වැන්න හොඳටම ඇති.
එහෙමනම් සැබෑ ප්රශ්නය කුමක්ද? ආණ්ඩුව විසින් හෝ බොහෝ දේශපානඥයින් විසින් නිවැරදිව හඳුනාගෙන නැති, ඩඩ්ලි සිරිසේන වැනි මෝල් හිමියන් විසින් ව්‍යවසායික ඉවෙන් හෝ වෙනත් ක්‍රමයකින් හඳුනාගෙන මිලක් අය කරමින් විසඳුම් දී ඇති ලංකාවේ වී-හාල් සැපයුම් දාමයේ ප්‍රශ්න ගැන අපි ඉදිරියේදී කතා කරමු.
Labels:
ආර්ථික විද්‍යාව,
ආහාර,
ඉතිහාසය,
කෘෂිකර්මය,
නියාමනය,
මුදල්,
සහල්,
ස්වයංපෝෂණය
Thursday, May 28, 2020
ඩඩ්ලි සිරිසේනගේ හයේ පාර
තරඟය උණුසුම්. කොරෝනා අස්සේ ගෙවල් වලට හිර වෙලා ඉන්න ප්‍රේක්ෂකයෝ කට ඇරගෙන රූපවාහිණී තිරය දිහා බලා ඉන්නවා. ඉතිරි වී තියෙන්නේ අවසන් ඕවරයේ අවසන් පන්දුව පමණයි. "නියාමකයෝ" කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා "නිදහස්" කණ්ඩායම ලකුණු 90කට සීමා කර ගත යුතුයි. ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට විනිසුරුකරුවන් විසින් නියම කර ඇති ඉලක්කය පසුපස හඹා ගිය "නිදහස්" කණ්ඩායමේ කඩුලු එකින් එක දැවී ගිහින්. සමහර ක්‍රීඩකයෝ දැවී යන්න කලින්ම ක්‍රීඩාගාරයට ආපහු ගිහින්. ඉතිරි වී තියෙන්නේ අන්තිම කඩුල්ල පමණයි.
නියාමකයෝ කණ්ඩායමේ නායකයා විසින් තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ව යාර තිහේ සීමාව ඇතුළේ ස්ථානගත කරනවා. පන්දුවට පහර දෙන්න නියමිතව සිටින්නේ පොළොන්නරුව අරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිදහස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඩඩ්ලි සිරිසේන. නියාමකයෝ කණ්ඩායමේ නායකයා වගේම ක්‍රීඩකයිනුත් කලින්ම තරඟය දිනලා. ටෝක් කෝටියයි. කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නා පාරිභෝගික අධිකාරී අන්තයේ සිට පන්දු එවීම සඳහා දිව එනවා. දැවී ගියාද?
ෆුල්ටොස් පන්දුවක්. ඩඩ්ලි සිරිසේන යාර තිහේ සීමාව ඉහළින් වේගවත් පහරක් එල්ල කරනවා. උඩ පන්දුවක්ද?
නියාමකයෝ කණ්ඩායමේ ක්‍රීඩකයෝ කට ඇරගෙන බලා ඉන්නවා. පන්දුව පසුපස දිව යන්න කවුරුවත් නැහැ. හතරේ සීමාව පසු කර පන්දුව බිම පතිත වෙනවා. හයේ පාරක්! ලකුණු 96යි!!
ලකුණු පුවරුවේ 90 ඉලක්කම ගැලවිලා පොල් ගෙඩි අකුරින් 96 ඉලක්කම සටහන් වෙනවා. රුපවාහිණී කැමරා කාච 96 ඉලක්කම වෙත නාභිගත වෙනවා. රට පුරා ප්‍රේක්ෂකයෝ කටවල් ඇරගෙන බලා ඉන්නවා.
නිදහස් පිල දිනුම්! තරඟයේ වීරයා ඩඩ්ලි සිරිසේන!!
***
ඩඩ්ලි සිරිසේන වීරයෙක් කියා මම කියන්නේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙකු ලෙස අද සිටින තැනට ඇවිත් තිබෙන්නේ කාලයක් තිස්සේ රටේ දේශපාලන බලාධිකාරියේ සහයෝගයද ලබමිනුයි. ඉදිරියේදීත් එය එසේම වෙයි. කොහොමටත් දේශපාලනයෙන් මුළුමනින්ම ඈත් වී ලංකාවේ ව්‍යාපාරිකයෙකුට සාර්ථක වෙන්න අමාරුයි. එය වෙනස් විය යුතු දෙයක්. හැබැයි මේ මොහොතේ ඩඩ්ලි සිරිසේන විසින් නියෝජනය කළේ නිදහස් වෙළඳපොළයි.
ඩඩ්ලි සිරිසේන විසින් විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හදාරා නැතුව ඇති. බොහෝ විට ආර්ථික විද්‍යාව හදාරා ඇති අය ඔහුගේ හාල් මෝලේ වැඩ කරන්නෙත් නැතුව ඇති. නමුත්, ඔහු වෙළඳපොළ කියන්නේ කුමක්ද කියා ඉතා නිවැරදිව අවබෝධ කරගෙන තිබෙන බව පේනවා.
ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයින් 10,123 ඉන්නවා. කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයෝ 14,161ක් ඉන්නවා. අමාත්‍යාංශය යටතේ තිබෙන අනෙකුත් ආයතන එකතු කළාම (2018 ජූනි 30 දත්ත අනුව) සේවකයෝ 36,315ක් ඉන්නවා. ඔය ගණන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලිය වගේ තැන් වල ඉන්න පිරිස් නැතුව. මේ අය අතරේ කෘෂිකර්ම උපාධිධාරීන් වගේම පශ්චාත් උපාධිධාරීන් විශාල පිරිසක් ඉන්නවා. තව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ පිරිස් බලයෙන් කොටසකුත් යෙදෙවෙන්නේ කෘෂිකර්මය හා අදාළ තොරතුරු එකතු කරන්නයි. ඔය සියලු දෙනාම යොදාගෙන හදන රජයේ සංඛ්‍යාලේඛණ වලට තනි ඩඩ්ලි සිරිසේන අභියෝග කරනවා.
මම මේ රජයේ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අධ්‍යාපනය හෑල්ලු කරන්නේ නැහැ. මෙය එවැනි දෙයක් නෙමෙයි. ඒ වගේම තනි පුද්ගලයින් වශයෙන් ගත්තොත් මේ බොහෝ දෙනෙක් දක්ෂ, කාර්යක්ෂම පුද්ගලයින් වෙන්න පුළුවන්. රජයේ අකාර්යක්ෂමතාවය කියන එක රජයේ සේවකයින් හරියට වැඩ නොකිරීමට ලඝු කළ හැකි දෙයක් නෙමෙයි. ඒ වගේම ඩඩ්ලි සිරිසේන කියන්නේ පට්ට මීටරයක්, මාර මොළයක් කියලා මම කියන්නේ නැහැ. හැබැයි අර විශාල කණ්ඩායම ඩඩ්ලි සිරිසේනට පරාදයි.
ධම්මික පෙරේරා ළඟ වගේ ඩඩ්ලි සිරිසේන ළඟත් ඉතා දක්ෂ පර්යේෂකයින් කණ්ඩායමක් ඉන්නවද? බොහෝ විට නැතුව ඇති. එහෙමනම්, රජයේ පරිණත විශේෂඥයින් කණ්ඩාමට වඩා වෙළඳපොළ ගැන ඩඩ්ලි සිරිසේන දන්නේ කොහොමද?
මෙතැන තිබෙන්නේ රජයට සම්බන්ධ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමය ක්‍රමයක් විදිහටම අකාර්යක්ෂමයි. අසාර්ථකයි. කොයි තරම් දක්ෂ, උගත් කෙනෙක් දැම්මත් ඒක එහෙමයි.
රට පුරා ලොකු කුඩා වී මෝල් වල, තොග හා සිල්ලර කඩ වල, ගෙවල් වල තිබෙන වී හෝ සහල් තොග හරියටම ඇස්තමේන්තු කරන්න විශාල මිනිස් සම්පත් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත්, මිල සංඥාව තේරුම් ගත හැකි පුද්ගලයෙකුට ඔය දැවැන්ත කාර්යය නොකර පැත්තක සිට ඔය ඇස්තමේන්තුව සෑහෙන්න නිවැරදිව කරන්න පුළුවන්.
තමන්ට පෙනෙන්නට තිබෙන ඉල්ලුම දිහා බලලා ඩඩ්ලි සිරිසේන රටේ හාල් ඉල්ලුම හා සැපයුම නිවැරදිව ඇස්තමේන්තු කරනවා. අනෙක් ලොකු කුඩා ව්‍යාපාරිකයිනුත් ඒ වැඩේ කරනවා. ඔවුන් ව්‍යාපාරිකයින් වී සිටින්නේ ඒ වැඩේ හරියට කරන්න ඔවුන්ට පුළුවන් නිසයි. ඒකට කෘෂිකර්ම උපාධි හෝ ආර්ථික විද්‍යා උපාධි අවශ්‍යම නැහැ. අවශ්‍ය වන්නේ මිල සංඥාව නිවැරදිව තේරුම්ගන්න හැකිවීම පමණයි.
මුලින්ම කිවුවා වගේ මම ඩඩ්ලි සිරිසේන මාර පොරක් කියා කියන්නේ නැහැ. ඒකාධිකාර වෙනුවෙන් පෙනී සිටින්නේත් නැහැ. හැබැයි මේ වෙලාවේ ඩඩ්ලි සිරිසේන විසින් මධ්‍යගත සැලසුම් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ඔලු වලට උඩින් දැවැන්ත හයේ පහරක් ගහලා තියෙනවා. ඒක මධ්‍යගත සැලසුම් විශ්වාස කරන අයට රිදෙන්නම ගහපු කණේ පාරක්ද වෙනවා.
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...