වෙබ් ලිපිනය:

Wednesday, January 16, 2019

ඉර හඳ ඇල්ලීම


"ඉර හඳ ඇල්ලුවත් මොකටද?"

"අපි හදන්නෙ ඉර හඳ අල්ලන්න නෙමෙයි!"

ඔය වගෙ කතා ලංකාවේ මිනිස්සුන්ගේ කටින් නිතරම පිට වෙනවා. මේ කතා වලින් කියැවෙන්නේ ඉර හඳ අල්ලනවා වගේ ලොකු වැඩ නොකළාට කරන්න ඊට වඩා වැදගත් වැඩ තිබෙන බවයි.

පසුගිය සියවසේ තුන්වන කාර්තුව අභ්‍යාවකාශ තරණය හා අදාළ ගොඩක් දේවල් සිදුවුණු කාලයක්. ඒ කාලයේ ඉර හඳ අල්ලන්න උත්සාහ කළ රටවල් අතර ඉදිරියෙන්ම සිටියේ සෝවියට් දේශය හා ඇමරිකාවයි.

වෙනත් හැම දෙයක්ම වගේ රජය මූලිකව කළ සෝවියට් දේශය අභ්‍යවකාශ තරණය වෙනුවෙන් විශාල ප්‍රමුඛතාවයක් දෙමින්, සැලකිය යුතු තරමින් සම්පත් වැය කර ඔවුන්ගේ එම ආයෝජන වල ප්‍රතිඵල නෙලා ගනිමින් පසුගිය සියවසේ මැද හරියේදී අභ්‍යවකාශ තරණයේ ප්‍රමුඛයා වෙන්න සමත් වුණා. ගොඩක් දේවල් රජයේ මැදිහත්වීමකින් තොරව සිදුවන ඇමරිකාවේ එවැනි දැවැන්ත කටයුත්තකට අත ගැසිය හැකි පෞද්ගලික ආයෝජකයින් සිටියේ නැහැ. එවැනි ආයෝජනයකින් ලැබිය හැකි අවදානමට සරිලන ලාබ පෙනෙන්නට නොතිබීම එයට හේතුවයි.

සෝවියට් දේශය විසින් 1957 ඔක්තෝබර් 4 වෙනිදා මුල් වරට සාර්ථක ලෙස කෘතීම චන්ද්‍රිකාවක් (ස්පුට්නික් 1) ගුවන්ගත කළා. ඒ එක්කම ඇමරිකානු ෆෙඩරල් රජයට ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් ලෙස අභ්‍යවකාශ තරණය ගැන හිතන්න අවශ්‍ය වාතාවරණය හැදුනා. 1958 ඔක්තෝබරයේදී නාසා ආයතනය බිහිවුනේ ඒ අනුවයි. නාසා ආයතනය පිහිටුවීමෙන් පසුව ඉලක්ක කළ පළමු ව්‍යාපෘතිය වූයේ අභ්‍යවකාශයට මිනිසෙකු යැවීමයි.

නාසා ආයතනය විසින් 1960 අප්‍රේල් 26 දින අභ්‍යවකාශයට ඇමරිකානුවෙකු යැවීමට මුලින්ම සැලසුම් කර තිබුණත් අවශ්‍ය සියළු කටයුතු සැලසුම් කළ පරිදිම සිදු නොවූ නිසා මේ කටයුත්ත 1961 මැයි 5 දක්වා කල් ගියා. ඊට තෙසතිකට පෙර 1961 අප්‍රේල් 12 වෙනිදා රුසියානුවෙකු වූ යූරි ගගාරින් මුල් වරට අභ්‍යවකාශයට ගියා.

අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා වූ ගගාරින්ට ලොව වටෙන්ම ලොකු පිළිගැනීමක් ලැබුණා. 1961 දෙසැම්බරයේදී ඔහු ලංකාවටත් ආවා. ඒ සංචාරයේදී ගගාරින් විසින් සිටවූ ගස් ලංකාවේ ගොඩක් තැන් වල දැනටත් තිබෙනවා ඇති කියා හිතනවා. 


(Image: http://lka.rs.gov.ru/en/news/10510)

මුල් වරට අභ්‍යාවකාශයට ඇමරිකානුවෙකු යවන්න නොහැකි වුවත්, මුල් වරට ඇමරිකානුවෙකු හඳට යවන්න නාසා ආයතනයට හැකි වුනා. ඒ 1969 ජූලි 21 වෙනිදා. ඇපලෝ ව්‍යාපෘතිය යටතේ, 1969, 1971 හා 1972 වසර වලදී ගමන් හයකදී ඇමරිකානුවන් 12 දෙනෙකු හඳට ගොඩ බැස්සා. ඒ හැර වෙනත් කිසිවෙකු මෙතෙක් හඳට අඩිය තබා නැහැ. මිනිසෙකු අවසන් වරට හඳට ගොඩ බැස්සේ 1972 දෙසැම්බරයේදී. කෙසේ වුවත්, ඒ කාලයේදීම සෝවියට් දේශය විසින් මිනිසුන් රහිත යානා ගණනාවක් හඳට යැවුවා.

ඇමරිකාව විසින් මිනිසුන් හඳට යැවීම මූලික වශයෙන්ම ඇමරිකන් රජයේ දේශපාලන ව්‍යාපෘතියක්. එහි ඉලක්කය වුණේ කෙසේ හෝ සෝවියට් දේශයට වඩා ඉස්සර වීමයි. එය නොකළානම් හඳ සෝවියට් දේශයේ භුක්තියට සින්න වෙලා යයි කියා බයක් හිතෙන්න ඇති. ඒ හැර එහි වෙනත් ආර්ථික වාසි තිබුණේ නැහැ. ඒ නිසා ඉලක්කය පස්සේ පන්නා ජය ගැනීමෙන් පසුව ඇමරිකාව පැත්තෙන් අභ්‍යවකාශ තරණයට වූ උනන්දුව දිය වෙලා ගියා. අනිත් පැත්තෙන් සෝවියට් දේශයත් වැඩේ අත ඇරලා දැම්මා. ඊට පස්සේ දශක ගාණක්ම ඉර හඳ අල්ලන වැඩේ පැත්තකට විසි වෙලයි තිබුණේ.

දැන් නැවතත් අභ්‍යාවකාශ තරණය ගැන උනන්දුව අලුත් වී තිබෙනවා. ඉර අල්ලන්න ඇමරිකාවෙන් යවපු පාකර් ප්‍රෝබ් එක කලින් කවදාවත් ගිහින් නොතිබුණු තරම් ඉරට කිට්ටු වෙද්දී, අභ්‍යාවකාශ තරඟයට අළුතෙන් එකතු වී සිටින චීනය මුල් වරට හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවා තියෙනවා. මෙය සිදුවන්නේ චන්අ නැත්නම් චන්ද්‍ර දෙවඟන ව්‍යාපෘතිය යටතේ සිදුවන සිවුවන මෙහෙයුම ලෙසයි.

මෙතෙක් කල් හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවනු ලැබ නොතිබුණේ එය තාක්ෂණිකව වඩා අසීරු කටයුත්තක් නිසයි. හඳ තමන් වටා භ්‍රමණය වන අක්ෂය ආසන්න වශයෙන් හඳ පොළොව වටා යන පථයට ලම්බකව පිහිටා තිබෙන නිසා හැම විටම පොළොව පැත්තට හැරී තිබෙන්නේ හඳේ එක අර්ධයක් පමණයි. ඒ නිසා හඳේ පොළොවෙන් විරුද්ධ පැත්තේ තිබෙන කොටසේ සිට පොළොව සමඟ සෘජුව සන්නිවේදනය කිරීමේ හැකියාවක් නැහැ. චීනය මේ අභියෝගය ජයගෙන තිබෙන්නේ හඳ මත ගොඩ බස්වපු යානය හා පොළොවේ පාලන මධ්‍යස්ථානය යන දෙකම "දැකිය හැකි" පරිදි හඳේ කක්ෂයේ ස්ථානගත කර තිබෙන "පොල්කිචි පාලම" චන්ද්‍රිකාව වෙත මුලින්ම සන්නිවේදන සංඥා යොමු කර එතැනින් ගමනාන්තය වෙත යොමු කිරීම මගිනුයි. මේ චන්ද්‍රිකාව කලින්ම ස්ථානගත කරනු ලැබුවා.

චන්අ-4 යානය ඇතුළේ කපු ඇටයක් පැල කරවන්නත් චීනය සමත් වුනා. මේ හඳේ පැලයක් පැල වුනු පළමු අවස්ථාව. කොහොම වුනත් ඒ පැලයට ආයුෂ තිබුණේ දවස් කිහිපයක් පමණයි. හඳේ දවසක් පොළොවේ දවස් 27ක් පමණ වන නිසා හඳට රෑ වන තුරු පැලයට දවස් ගානක්ම අවශ්‍ය උෂ්ණත්වය ලැබුණත් හඳට රෑ වෙද්දී එන අධික ශීතලෙන් බේරෙන්න විදිහක් නොතිබුණු නිසා දවස් කීපයකට කලින් ඒ කපු පැලේ මිය ගිහින්. 

අභ්‍යාවකාශ තරණයේ යෙදෙන හැම රටක්ම වගේ එය කරන්නේ තමන්ගේ රටේ ජාතික කටයුත්තක් ලෙස සලකලයි. ඒ නිසා, වෙනත් ක්ෂේත්‍රවල තරමට මේ ක්ෂේත්‍රයේ දැනුම රටකින් රටකට කාන්දු වෙන්නේ නැහැ. කිසියම් රටක් අභ්‍යවකාශ තරණයෙන් ඉදිරියට එනවා කියන්නේ ඒ රටේ තාක්ෂණ දැනුම පිළිබඳ සංඥාවක්.

චීනය වගේම අසල්වැසි ඉන්දියාවත් අභ්‍යවකාශ තාක්ෂනය අතින් වේගයෙන් ඉදිරියට යමින් සිටිනවා. ඉන්දියාවේ "ඒක් ටොයිලට් ප්‍රේම් කතා" සුලභ වීම එයට බාධාවක් වී නැහැ. ඉදිරි දශකයක කාලය තුළ මේ ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් වෙයි කියා හිතන්න පුළුවන්. නුදුරු අනාගතයේ දවසක ඉර හඳ අල්ලන්න ආසාවක් ඇති වුනු කෙනෙක් හඳට ගියොත් දවල් කෑමට චීන කෑම කන්න ලැබෙයිද ඉන්දියන් කෑම කන්න ලැබෙයිද කියා දැන්ම කියන්න අමාරුයි.

Sunday, January 13, 2019

බෙලිඅත්තට කෝච්චියක්!


මාතර ඉඳලා බෙලිඅත්තට කෝච්චියක් වැටීම පහුගිය දවස් වල ගොඩක් අය කතා කරපු දෙයක්නේ. ඒ කතාබහත් වෙනත් ගොඩක් දේවල් වගේම කතාකරන පුද්ගලයින්ගේ දේශපාලන පක්ෂපාතීත්වයන් මත ධ්‍රැවීකරණය වෙලා තිබුණු බව පෙනෙන්නට තිබුණා. සුද්දෝ ගියාට පස්සේ පළමු වතාවට මේ ආකාරයට ලංකාවේ කෝච්චි පාරක් හැදුනු එක ගැන සමහර අය උදම් අනද්දී, තවත් සමහර අය මේ ව්‍යාපෘතිය සුදු අලියෙක් විදිහට දැක්කා.

කිලෝමීටර 26ක් වන මේ දුම්රිය මාර්ග කොටස හදන්න ඇමරිකන් ඩොලර් මිලියන 278.2ක් වියදම් වෙලා කියල කියනවා. ඒ ගාන ඕනෑවට වඩා වැඩිද, ඔය ආයෝජනය ආපහු ලැබෙන්න කොයි තරම් කාලයක් යනවද වගේ බරපතල ප්‍රශ්න අපි පැත්තකින් තියමුකෝ. කොහොම හරි දැන් බෙලිඅත්තට කෝච්චියක් යනවනේ!

ලංකාවේ හැදුණු පළමුවෙනි කෝච්චි පාර කොළඹ නුවර පාරයි. ඒකෙනුත්, මුලින්ම හැදුනේ කොළඹ අඹේපුස්ස දක්වා කොටසයි. හැතැම්ම 34.5ක් (කිලෝමීටර 55ක් පමණ) වන මේ කොටස හදන්න වියදම් වෙලා තියෙන්නේ ස්ටර්ලින් පවුම් 258,795ක් පමණයි. කිලෝමීටරේකට පවුම් පන්දාහකට අඩුයි. ඒ දවස් වලම සුද්දා රේල්පාර කතරගමටම හදල තිබුණානම් කිලෝ මීටරේකට ඩොලර් මිලියන දහය පන්නල වියදම් කරන්න වෙන්නේ නැහැ. කොහෙද ඉතිං පහු පහු වෙද්දී රේල් පාරවල් හදන එක සුද්දා අතෑරලා දාලනේ!

මේ කොළඹ අඹේපුස්ස පාරේ මුලින්ම මගී දුම්රියක් දුවවල තියෙන්නේ 1865 අන්තිම හරියේදී. නමුත්, ඊට පෙර විශේෂ ගමන්වාර ගණනාවක් දුවවල තියෙනවා. හරියටම හෙටට අවුරුදු 154කට කලින් ලංකාවේ පළමු දුම්රිය අනතුර සිදුවෙලා තියෙන්නේ නිල වශයෙන් ලංකාවේ මගී දුම්රිය ධාවනය ආරම්භ වෙන්නත් කලිනුයි. හරියටම කියනවනම් 1865 ජනවාරි 14 වෙනිදා. රේල් පාර හදන කටයුතු බාරව හිටපු ලිපිකරුවෙක් වන ශ්‍රී රාමලූ නායිදු කියන මනුස්සයාගේ නොසැලකිල්ල නිසා රාගම කිට්ටුව සිදුවෙලා තිබෙන මේ අනතුරෙන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.

කොළඹ සිට අඹේපුස්ස දක්වාම නැග්ම අඩි 180ක් පමණක් වූ මේ දුම්රිය මාර්ගයේ මුලින්ම නිල වශයෙන් දුම්රියක් ධාවනය කර තිබෙන්නේ 1864 දෙසැම්බර් 27 වෙනිදා. මේ ගමනට විශේෂ අමුත්තෙක්ද සහභාගී වී තිබෙනවා. ඒ මේ කියන දවස් වල ලංකාවේ දින 12ක සංචාරයක යෙදුනු හා වසරකට පසුව දෙවන ලියෝපෝල්ඩ් නමින් බෙල්ජියමේ රජ වූ බ්‍රබන්ට්හි ඩියුක් වරයා. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ටෙරන්ස් ඕබ්‍රයන්, යටත් විජිත මහලේකම් ගිබ්සන්, විගණකාධිපති, බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා ඇතුළු ආණ්ඩුවේ ඉහළම නිලධාරීන් හා ඔවුන්ගේ පවුල් වල අයත්  මේ ගමනට සහභාගී වෙලා තියෙනවා. මේ මංගල දුම්රිය ධාවනය කරල තියෙන්නේ ගිල්ෆඩ් මෝල්ස්වර්ත් විසිනුයි.

බොහෝ දෙනෙක්ව උද්දාමයට පත් කරපු ඔය ගමන සාර්ථක ලෙස අවසන් වෙලා සති දෙකකට පමණ පසුවයි මම මුලින් කියපු අනතුර සිදු වෙලා තියෙන්නේ. ඒ දුම්රියේ රියදුරු ලෙස කටයුතු කරල තියෙන්නෙත් මෝල්ස්වර්ත්මයි. දුම්රිය මැදිරි 16ක් තල්ලු කරගෙන ඔහු එන්ජිම ධාවනය කර තිබෙන්නේ පසුපසින්. දුම්රිය මැදිරි වල වැඩිපුරම ඉඳලා තියෙන්නේ පාර හැදීමේ කටයුතු වල නිරත වූ කම්කරුවන්.

ඔය දුම්රිය පාර හදන දවස් වල රාගම පැත්තේ තිබිලා තියෙන්නේ ගැඹුරු මඩ වගුරු. ඒ නිසා පාර හදල තියෙන්නේ අඩි හය හතක් පස් පුරවලයි. දුම්රිය මාර්ගයේ වැඩ කරන්න දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් විශාල පිරිසක්ද ඇවිත් තිබෙනවා. කඩිනමින් වැඩ නිමකර මගී ප්‍රවාහනය සඳහා දුම්රිය මාර්ගය පොරොන්දු වූ දවසට විවෘත කරන්න ඉඩ සලසනු පිණිස කොන්ත්‍රාත්කරු වැඩ වේගවත් කරමින් සිටි කාලයක්. දවස පුරාම දුම්රිය ධාවනය කර තිබෙන්නේ මාර්ගයේ හතරවන හා දහවන සැතපුම් අතර පස් ඇදීමටයි.

වෙලාව හවස හය පමණ වෙද්දී රේල්පාරේ ට්‍රොලියක් නවත්වා තිබෙන බව දුම්රිය නියාමක හාඩින් විසින් දකින කොට කෝච්චිය හා ට්‍රොලිය අතර යාර විස්සකවත් දුරක් තිබී නැහැ. අඳුර වැටෙමින් තිබුණු මේ වෙලාවේ  කිට්ටුවට එන තුරුම ඒ හරියේ තිබුණු පාලමේ වහලය හා ට්‍රොලිය වෙන වෙනම පෙනිලා නැහැ. ට්‍රොලියේ වැදුණු දුම්රිය මැදිරි දෙපැත්තට වැනිලා එකින් එක මඩ වගුරට පෙරලිලා. පෙට්ටි 16න් 14ක්ම. එන්ජිමත් පිටිපස්සේ නිසා නිකම්ම තල්ලු වෙලා යන පෙට්ටිනේ. අනිත් එක කෝච්චිය පැයට සැතපුම් විස්සක පමණ, පැවති තත්ත්වයන් යටතේ තරමක් වැඩි වේගයකිනුයි ධාවනය කරලා තියෙන්නේ.

ට්‍රොලිය රේල්පාරේ නවත්තලා ගිහින් තියෙන්නේ ශ්‍රී රාමලූ නායිදු කියන මනුස්සයා. ඔය මනුස්සයා කුලීකාරයින්ට පඩි ගෙවන්න ඇවිත් තියෙන්නේ ට්‍රොලියේ. කුලීකාරයින් දෙන්නෙක් ලවා තල්ලු කරගෙනයි ඇවිත් තියෙන්නේ. ඔය වගේ වැඩක් කරන්න ඔහුට බලයක් තිබී නැහැ.

අන්තිමට 36 දෙනෙක් මිය ගිහින්. ගොඩක් අය මඩේ ගිලීම නිසා. ඔය අතර එක් අයෙක් සුද්දෙක්. ජෝජ් ඉන්ග්‍රම්. ඉතිරි අයගෙන් තුනෙන් දෙකක් සිංහල. තුනෙන් එකක් දෙමළ. ඔය කුලී කාරයෝ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ රාගම හරියේ. ඔවුන් හවස පහමාරට වැඩ ඉවර කරලා ගෙවල් වලට යමිනුයි ඉඳලා තියෙන්නේ. වැඩ පාටියේ කුලීකරුවන් 129ක් හිටියත් ගොඩක් අය කොහොම හරි පැනගෙන තියෙනවා. එහෙම නැත්නම් කෝච්චියට නැගලා නැහැ.

දුම්රිය නියාමක හාඩින් රියදුරුට සංඥා කරමින් දුම්රිය පසුපසට මැදිරියෙන් මැදිරියට දුවගෙන ඇවිත් තිබුණත් ඔහුට වැඩි දුරක් එන්න ලැබිලා නැහැ. දුම්රිය මැදිරි පෙරලෙද්දී ඔහුටත් බරපතල තුවාළ සිදු වී තිබෙනවා. තුවාලකරුවන්ව ප්‍රතිකාර ලබා දීම සඳහා වැලිසර රෝහලට හා අහල පහළ ගෙවල් වලට ගෙනිහින් තියෙනවා. ආණ්ඩුකාරවරයා වෛද්‍ය කණ්ඩායම් හා අනෙකුත් නිලධාරීන් සමඟ ඇවිත් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. පසුව පත් කරලා තියෙන 13 දෙනෙකුන් යුතු ජූරිය තීරණය කරලා තියෙන්නේ වැරදිකාරයා නායිදු බවයි.

අනතුර සිදු වී දවසකට පස්සේ ඒ කාලයේ ලංකාවේ හිටපු ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් වූ හිපොලයිට් සිල්වාෆ් විසින් මේ ස්ථානය දැකපු ආකාරය ලිපිය ආරම්භයේ තිබෙන චිත්‍ර සටහනෙන් දැකිය හැකියි. පහළ චිත්‍ර සටහන් වල තියෙන්නේ ඔහු දැකපු ඒ කාලයේ කොළඹ (කොටුව) දුම්රිය ස්ථානය. අන්තිම චිත්‍ර සටහනේ ඈතින් පේන්නේ කොළඹ කොටුව.




Wednesday, January 9, 2019

සාධාරණත්වය උදෙසා අරගලය


අදට වසර හයකට පෙර නීත්‍යානුකූල මිනීමැරුමක ගොදුරක් වූ රිසානා නෆීක් පිළිබඳ මතකය අලුත් කරමින් නාරද විජයසූරිය විසින් ඔහුගේ වත්පොත් පිටුවේ තබා ඇති සටහනක් එතැනින් උපුටාගෙන පහත පළ කර තිබේ.

"මගේ දෑසේ කඳුලක් තිබේ ... ඒ ඔබ වෙනුවෙනි 
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
දුක කියන්නට කිසිවෙකු නොමැතිව , ළමා දිවියේ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් වසර 7 ක් තිස්සේ අඳුරු සිර මැදිරියක සිරගතව සිටි ඒ අහිංසක දැරිය අද වැනි දිනයක උදේ 11 . 40 ට තියුණු කඩු පහරින් ගෙළ සිඳ මරා දැමිණි 
ගිණියම් රියාද් වැලි කතර අහිංසක දැරියගේ රුධිරය උරා ගන්නා මොහොතේ භීතියෙන් මුසපත් වූ ඇගේ විවුර්ත වූ දෑස සහිත හිස බිම පතිත විය . 
මට ඇගේ බියපත් දෑස මැවී පෙනෙයි .

වසර ගණනාවක් තිස්සේ නොවියලෙන කඳුලක් මගේ ඇස් කෙවෙණි වල සිර වී තිබේ 
අද ද සිතුම් පාරා ඒ කඳුළු උණුසුමට වැගිරේ . 
ඇගේ මරණයට මා වගකිවයුතුයැයි දැනෙන වරදකාරී හැඟීමෙන් මියෙන තුරු මිදිය නොහැක ,

ඒ අවාසනාවන්ත ජීවිතය බේරා ගැනීමට කරනු ලැබූ නිහඬ සටන පරාජය වූ හැටි මම ඔබට කියමි . 
ඒ 2007 වසරේ ජූනි මාසයේ දවසකි , නෙත් රූපවාහිනී මැදිරියේ රාත්‍රී පහන් කන්ද වැඩ සටහන නිම කර මගේ කාර්යාල කාමරයට ඇතුල් වන විට දුර කථන ඇමතුමක් ලැබිණි , 
සෞදි අරාබියේ සිට කථා කළ ගෘහ සේවිකාවක් බිඳුණු ස්වරයෙන් පැවසුවේ ''දවද්මි '' සිර ගෙදර අපේ ගැහැණු ළමයෙකු මරණ දණ්ඩනයට නියම කර ඇති බවත් තව මාසයක් ඇතුළත අභියාචනයක් නොකළහොත් ඈ මරා දමන බවත්ය . මේ වන විටත් බලධාරීන් කිසිම පියවරක් ගෙන නොමැති බවත්ය .
සිර ගෙදරට යාමට අවකාශ ඇති ඇය දැරිය ගේ සියලු තොරතුරු අසා දැනගෙන මට කීවාය ,

අල් කතයිබි නමැති පොහොසත් පවුලක මාස 4ක් වයසැති දරුවාට කිරි පොවමින් සිටින අතරතුර ශ්වාස මාර්ගයේ කිරි සිරවීමට ලක් වී ඇත , ඇය කෑ ගසමින් දරුවාගේ පිටට වැරෙන් තට්ටු කරන්නට පටන් ගත්තාය , ඒ මොහොතේ ගෙහිමි කාන්තාව එහි පැමිණි අතර , දරුවා නිසලව සිටින අයුරුත් රිසානා පිටට පහර දෙන අයුරුත් දැක වහා කිපී දැරියට නහයෙන් ලේ වැගිරෙන ලෙස පහර දී පොලිසියට භාර දී ඇත .

පොලිසියෙදීත් ඉන බඳින හම් පටියකින් දරුණු පහර දීමට ලක්ව සිටි දැරියට අරාබි භාෂාවෙන් ඔවුන් කියූ කිසිවක් වටහා ගත නොහැකි විය , කාත් කවුරුත් නොමැති රටක ඇය බියෙන් මුසපත් වී සිටියාය ,

දරුවාගේ ගෙල මිරිකා මරා දැමූ බවට ලියු ලිපියකට , අකුරු නොදත් ඇයගේ ඇඟිලි සලකුණ ගෙන තිබිණි , 2005 වසරේ මැයි 4 වනදා රියාද් නගරයට පැමිණි 17 හැවිරිදි දැරිය දින 18 ක සේවයෙන් පසුව 22 වනදා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය .

වසර දෙකක නඩු විභාගයෙන් අනතුරුව මරණ දණ්ඩනය නියම කරන තුරු කිසිවෙකු මේ පිළිබඳව දැනුවත් වී නොතිබිණි , එදා රාත්‍රියේ එම ගෘහ සේවිකාව ඒ බව මට නොපවසන්නට එය මාධ්‍යයෙන් වසන් වුන සිද්ධියක් වන්නට ඉඩ තිබිණි .

සිද්ධිය ඇසීමත් සමගම මගේ සිරුර ගිණිගෙන දැවෙන බවක් මට දැනුනි , එවකට විදේශ කම්කරු කටයුතු පිලිබඳ අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාට ඒ රාත්‍රියේම මම දුර කථන ඇමතුමක් දුන්නෙමි , ඕනෑම මොහොතක ඔහුගේ ලේකම් වරයෙකුට කථා කරන්නට මට පහසුව සලසා තිබිණි . සිද්ධිය කෙටියෙන් පවසා හෙට උදෑසන විශේෂ සජීවී පහන් කන්ද වැඩ සටහනකට සුදානම්ව සිටින ලෙස දැනුවත් කර , එමොහොතේම මම ආසියානු මානව හිමිකම් සංවිධානයට සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට විද්‍යුත් ලිපි දෙකක් යොමු කෙරුවෙමි , පසුදා උදෑසන සජීවී වැඩ සටහනේදී සිද්ධිය අනාවරණය කළ මම සෞදි අරාබි තානාපති වරයාට පිළිතුරු දෙන්නැයි ආරාධනය කළෙමි ,

හොඳින් සිංහල කථා කරණ , ඕනෑම මොහොතක අපේ රුපවාහිනිය සමග සම්බන්ධ වන , මා සමග දැඩි කෝපයකින් පසුවන තානාපති තුමා දුරකතනයෙන් සම්බන්ධ විය . 
ඒ වනවිටත් තානාපති කාර්යාලය , රිසානාගේ සිද්ධිය ශ්‍රිලංකාවේ රජයට වාර්තා කර නොතිබුන බව මට පැහැදිලි විය .

ඔහු මේ සිද්ධිය දන්නා බවත් , අභියාචනයක් ඉදිරිපත් කිරීමට අරාබි නීතිඥයින් සපයා ගැනීමට සහ නීතිමය කටයුතු වලට දැවැන්ත වියදමක් යන බවත් එය අප සිතන තරම් පහසු නොවන බවත් ඔහු පැවසීය ,

මගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අතර , මා සිටින්නේ සජීවී වැඩ සටහනක බව මට අමතක විය ,
තානාපති කාර්යාලයේ ගෝනියක් තිබේදැයි මම ගරු තානාපති තුමාගෙන් අවිනීත ලෙස ප්‍රශ්න කලෙමි , 
එතුමා ඒ ඇයි දැයි මගෙන් විමසීය ,
කරුණාකර එම ගෝනිය තානාපති කාර්යාලයේ දොරටුව අසල තබන ලෙස මම ඉල්ලා සිටියෙමි . 
''නාරද රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විහිලුවකට ගන්න එපා , මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වන්නට ඔබට ඕනෑම දෙයක් කිව හැකි නමුත් මේ ප්‍රශ්න ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රික ගනු දෙණු , ඔබ ඔබේ කටයුතු කරගෙන සිටින්න .'' යැයි ඉතා වෘත්තියමය අයුරින් සහ ඉවසීමෙන් ඔහු පැවසීය ,

අපට අපේ දැරියකගේ ජීවිතය පිළිබඳව වේදනාවක් ඇති බවත් , වැසිකිලි හෝදන , කාණු පිරිසිදු කරණ මන්දිර වල බැල මෙහෙවරකම් කරන දිළිඳු මිනිසුන්ගේ රුධිරය කකියන බවත් , ඒ මිනිසුන් ගේ දුප්පත් වැටුපෙන් රියාල් එක බැගින් පෝලිමේ විත් ඔබේ ගෝනිය පුරවා දෙන්නට අප සපථ කරන බවත් මම ඔහුට පැවසීමි . 
මගේ දෑස් වල කඳුළු කැමරාවෙන් වසන් කර ගැනීමට උත්සහ කළද මගේ කටහඬේ බිඳුණු ස්වරය ලෝකයට ඇසුනි . දහස් ගණනක් දෙනා එක හඬින් අසරණ දැරිය වෙනුවෙන් හඬ නගන්නට විය . ඈ ඒ කිසිවක් නොදැන අඳුරු සිරකුටියේ මරණ භයෙන් තැතිගෙන සිටි මොහොතේ අප ඇය බේරා ගැනීමේ සටන අරඹා තිබිණි , 
ඊ ළඟ මොහොතේ ඇමති වරයා දුරකතනයෙන් සම්බන්ධ විය , ඔහු වහාම මේ වෙනුවෙන් ක්‍රියා කරන බවත් නියෝජ්‍ය ඇමති බාහිලා මහතා හෙටම රියාද් නුවරට පිටත් කරන බවත් පොරොන්දු විය , ඉනික්බිති ලංකාවේ දේශපාලකයින් , මාධ්‍ය මේ පිලිබඳ පුවත් මවන්නට විය .

එතැන් පටන් සිදු වූ සිද්ධි දාමය එතරම් ප්‍රීති දායක නොවේ , කොළඹ සරසවියේ නීති පීඨයෙන් පිට වුන අපට වඩා ඉහළ වසරක උගත් නීතිඥයෙක් වූ තානාපති කාර්යාලයේ නීති නිලධාරියා විශාල කැපවීමකින් කටයුතු කළ නමුත් , ලිපි ගොනු සැඟවීම වැනි බාධක ඔහුට එල්ල විය , ඇතැම් විට අපට රහසිගතව මෙහෙයුම් දියත් කරන්නට සිදු විය .

නීතිමය පිළිසරණ ඉතා අල්ප බව වැටහෙන්නට පටන් ගත විට ලාංකික සේවකයන් මාර්ගයෙන් සෞදි ජාතිකයන් දෙදෙනෙකු හඳුනා ගත් මා මියගිය දරුවාගේ දෙමාපියන් වෙත කිට්ටු කලෙමි . 
එරට ශාරියා නීතිය අනුව අගතියට පත් පාර්ශවයට පමණක් ලේ වන්දිය ලෙස මුදලක් රැගෙන රිසානාට සමාව දීමේ හැකියාව තිබිණි . සෞදි රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යංශ දෙකක උසස් නිලධාරීන් වූ මියගිය දරුවාගේ දෙමාපියන් වෙත පණිවුඩ කරුවන් යොමු කළෙමි , එකළ එහි සේව්‍ය කළ බොහෝ දුප්පත් මිනිසුන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබිණි ,

දරුවාගේ පියා විශාල මුදලක් ලේ වන්දිය ලෙස ලබා ගැනීමට කැමැත්ත පල කළද මව එක හඬින්ම කියා සිටියේ රිසානාගේ රුධිරය දැකීමට ඇයට අවශ්‍ය බවයි . 
එහෙත් අප උත්සාහය අත නොහැරියෙමු , ඒ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාත් , බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරාත් සෞදි රජුගෙන් දැරියට සමාව දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි ,
බාල වයස්කාර දැරියට මරණ දඬුවම නියම කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට අපේ නීතිඥයින් තර්ක කරමින් සිටියේය .

සියල්ල තීරණය වන්නේ මවගේ කැමැත්ත මත බව තේරුම් ගත් අප ඇය කැමති කරවා ගැනීමේ වෑයම අත නොහැර කරගෙන යමින් සිටියෙමු .
අවාසනාවට ආර්ථික හේතුන් මත නෙත් රුපවාහිනිය නවතා දැමීමට සිදු විය .

අපේ රුපවාහිනී තිරයේ සංඥා නොමැති බව දක්වන පණිවිඩය දෙස බලාගෙන මගේ කාර්යාල මේසය මත මම හඬමින් සිටියෙමි . ඒ මොහොතේ ගලා ගිය කඳුළු වල වැඩි බරක් රිසානා වෙනුවෙන් වෙන්ව තිබිණි . 
වසර 8 ක නඩු විභාගයකින් පසුව 2013 ජනවාරි 9 වනදා පෙ ව 11.40 ට රියාද් හී දවද්මි වධක භූමියේදී මරා දැමිණි .

රටේ පවතින අනන්ත දරිද්‍රතාවයෙන් මිදෙන්නට තම ලෙයින් මසින් තැනූ දියණිය අඩු වයසක් යොදා මාරු කතරට යැවූ දෙමාපියන්ටත් , දිළිඳු මිනිසුන්ගේ ජීවන වේදනාව මත සුඛෝපභෝගී ජීවිත ගෙවන මුග්ධ දේශපාලකයන්ටත් අද රිසානා අමතක වී තිබිය හැකිය .

එහෙත් ඈ මගේ දියණිය මෙන් . ඈ මගේ සොයුරිය මෙන් මගේ හදවත පතුලේ රිදුම් දෙමින් මා මියයන තුරුම සිටිනු ඇත . අදටත් මේ රටේ මිනිසුන්ට කිසි විටෙකත් අවශ්‍ය නැති කුණු කන්දල් අලෙවි කරණ මාධ්‍ය පිළිබඳව මට පිළිකුලක් තිබේ ,

කාලකන්නි දේශපාලකයන්ට කඩේ යනවා වෙනුවට , රටක ජනතාවගේ ආකල්ප සංවර්ධනය කරන්නට රුපවාහිනිය වැනි මාධ්‍යයක් යොදා ගත හැකි ආකාරය පිළිබඳව පුර්වාදර්ශයක් සපයන්නට අපට හැකි විය . 
එවැනි මාධ්‍ය සිහිනයක් අවසන් හුස්ම දක්වාම මා තුල තැන්පත්කළ දැරිය අද වැනි දවසක ගෙළ කපා මරා දැමූ , ඒ බියපත් දෑසේ හිමිකාරියයි , 
රිසානා වැනි තවත් දස දහස් ගණනක් අදත් වැලි කතරේ දුක් විඳියි .

ඔබ ඔබෙන් ප්‍රශ්ණ කරමි 
රිසානා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම ඔබේ සහජාත දියණියට අත් වුවහොත් ඔබ කුමක් කරන්නේද ? 
එහෙත් රිසානා ඔබේ දියණිය නොවේ ,
එහෙයින් ඇගේ මරණය ඔබට ඉවසා දරා ගත හැකිය , 
අප සැබවින්ම මිනිසුන්ද ?

නාරද විජයසූරිය"

රිසානා නෆීක්ව මරා දමනු ලැබීම අත්වැරදීමක ප්‍රතිඵලයක් බව හෝ එක් හුදෙකලා සිදුවීමක් බව යමෙකුට කියන්නට පුළුවන. ඉහත සටහන සමඟම කියවිය යුතුයයි මා සිතන නදීර විජේසිංහගේ පහත බ්ලොග් සටහනේ විස්තර කෙරෙන සිදුවීමනම් කෙසේවත් අත්වැරදීමක් නොවේ.

සාධාරණත්වය උදෙසා අරගලය 

Monday, January 7, 2019

විකල්ප දැනුමෙන් අලි එළවිය හැකිද?


විකල්ප දැනුමක උදවුවෙන් අලියෙක් එළවන්න හදපු කෙනෙක්ට අන්තිමේදී ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා. ඔහු අලියාව  එළවන්න යන විදිහෙන් පෙනෙන්නේ තමන් සතු වූ විකල්ප දැනුම ගැන ඔහුට කොපමණ විශ්වාසයක් තියෙන්න ඇද්ද කියන එකයි. නමුත්, අලි එළවන එක හිතන තරම් පහසු නැති බව කලින් තේරුම් නොගැනීම නිසා ඔහුට ගෙවන්න වී තිබෙන මිල ඉතාම විශාලයි. කණගාටුදායක සිදුවීමක්!

ලංකාවේ ඉතිහාස කතාව ගලා යද්දී අලින්ගේ කතාවකුත් පසුබිමෙන් ගලා ගෙන යනවා. කුරුඳු අපනයනය ප්‍රචලිත වන තුරුම ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ වුනේ අලි ඇත්තු හා මුතු. විශාල අලි ඇතුන් ගහණයක් හිටපු ලංකාවේ අලි ඇල්ලීම හා හීලෑ කිරීම සැලකිය යුතු පිරිසකගේ රැකියාව වී තිබෙනවා. මේ මිනිස්සු ජීවත් වන්නට ඇත්තේ කොයි වෙලාවක අලියෙක් ගහයිද කියන අවදානම දරාගෙනයි. ඊට අමතරව හේන් කුඹුරු කරපු බහුතර මිනිස්සුන්ට වගේම ගෙවල් වලට වී හිටපු මිනිස්සුන්ට පවා අලින්ගෙන් වෙන උවදුරු ගැන කල්පනාවෙන් ඉන්න සිදු වී තිබෙනවා.

අලි බැලීම, මුතු කිමිදීම හා අතුරේ යාම ඉතාම අවදානම් රැකියා ලෙස සැළකී තිබෙනවා. මුල් දෙක ලංකාවේ පැරණිම අපනයන කර්මාන්ත. තුන්වැන්න පසුකාලීනව නැගලා ගිය කර්මාන්තයකට සම්බන්ධයි. මේ වෘත්තීන් තුනෙන්ම අවදානමට සරිලන වාසි ලැබෙන්න ඇති. ඒ වාසි ලැබුණේ අවදානම් ගත් අයටම නොවෙන්න පුළුවන්. කොට අදින අලි හා පෙරහැරේ යන අලි වෙනම ඉන්නවනේ. අලි මේච්චල් කරන්න යන අයට තමන් ගන්න අවදානම ගැන හරි අවබෝධයක් තිබෙනවාද යන්න නොපැහැදිලියි.

දැවැන්ත සතෙක් වන අලියෙක් එක්ක මිනිහෙක්ට බාහු බලයෙන් සටන් කරලා දිනන්න බැහැ. ඒ වැඩේට කිසියම් ආකාරයක තාක්ෂණයක් උපයෝගී කරගන්න වෙනවා. වෙඩි බෙහෙත් යුගයට කලින් අලි එළවන්න උදවු කරන්න ඇත්තේ ගින්දර හා ශබ්ද කිරීම් වැනි මූලික උපක්‍රමයි. ඒ උපක්‍රම ඒ තරම්ම සාර්ථක නොවූ නිසා විකල්ප උපක්‍රම ගැන හොයන්න උනන්දුවක් ඇති වෙන්න ඇති. මොන උපක්‍රම යොදා අලි මෙල්ල කරගත්තත් පොඩි වැරදීමකින් අලියා ඉස්සර වෙන්න පුළුවන්. කරන්දෙණියේ පෙරහැරකදී අලියෙකු ඇත්ගොව්වාව පාගා මරා දමා දැන් සති දෙකයි. බුත්තල - කතරගම පාරේදී අලි මන්තර වල හාස්කම් පෙන්නන්න ගිය අයෙක්ව අලියෙක් විසින් පාගා මරා දමන්නේ ඉන් සතියකට පසුවයි. ඊටත් කලින් අලියෙක් ඇත්ගොව්වාව මරා දමනු පහත වීඩියෝවේ දැකිය හැකියි. (සංවේදී අය නොබලා ඉන්න)


අලි මන්තර කියන ඒවා ලංකාවේ කාලයක් තිස්සෙම අලි එලවන්න යොදාගෙන තිබෙනවා. මේ මන්තර ඇත්තටම වැඩ කළාද නැද්ද කියන එක කොහොම වුනත්, වැඩ කරන බව දැඩි සේ විශ්වාස කළ මිනිස්සු දිගින් දිගටම ජීවත් වී තිබෙනවා. එසේ නැත්නම් ඒවා පවතින්න විදිහක් නැහැ.

සුද්දෝ ආවට පස්සේ ලංකාවේ අලින් විශාල ගණනකට වෙඩි තබා මරා දමපු බව ප්‍රචලිත කරුණක්. නමුත්, මේ වෙඩි තැබීම් දිහා අද කෝණයෙන් බලන එක නිවැරදි නැහැ. සුද්දෝ එන කාලය වන කොටත් ලංකාවේ අලි කියන්නේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජනජීවිතයට විශාල තර්ජනයක්. බොහෝ අවස්ථා වල අලින්ට වෙඩි තබා තියෙන්නේ මහජන යහපත ගැන හිතලා. ඒ ගැන ඒ කාලේ ගොඩක් මිනිස්සු කැමැත්තෙන් සිට ඇති බව පැහැදිලියි.

අලි එළවන්න වෙඩි බේත් යොදා ගත හැකි බව දැන් ප්‍රධාන ධාරාවේ දැනුමක්. අලි මන්තරත් කාලයක් ඒ විදිහට ප්‍රධාන ධාරාවේ දැනුමක් වී තියෙන්න ඇති. දැනුම කියන එක පදනම් වෙන්නෙත් මිනිස්සුන්ගේ විශ්වාස මතයි. දිවයින පත්තරේට අනුව පසුගිය සතියේ මිය ගිය පුද්ගලයා විසින් "මීට පෙර දුටුවන් මවිත කරමින් බුත්තල - කතරගම මාර්ගයේදී වන අලි රංචු පිටින් පලවා හැර" තිබෙනවා. මේ පුද්ගලයා අලියා වෙත යන ආකාරයෙන් ඔහුට අලි මන්තරේ බලය ගැන කිසිදු අවිශ්වාසයක් නැති බව පේනවා. ඔහු මේ වැඩේ කරන්නේ පළමු වරට නොවන නිසා වෙන්න ඇති.



අලි ඇත්තු ඉදිරියට බය නැතිව ගිය සුද්දෝ ගැන වාර්තා තිබෙනවා. ඔවුන් ඒ විදිහට අලින්ට කිට්ටු වෙන්නේ තමන්ගේ රයිපලේ ගැන තිබෙන විශ්වාසය මතයි. එවැනි විශ්වාසයක් තිබුණු, අලි විශාල ගණනක් වෙඩි තබා මරා දැමූ පුද්ගලයින්ව පවා අලින් විසින් මරා දමා තිබෙනවා.

අලි මන්තර ගැන පෞද්ගලිකව මගේ කිසිදු විශ්වාසයක් නැහැ. ඒ නිසා, මොන අලි මන්තරයක් ලැබුණත් මමනම් ඒකේ බලය අත්හදා බලන්න අලියෙක්ට කිට්ටු වෙන්නේ නැහැ. හැබැයි කවුරු හෝ අලි මන්තර වලින් අලි මෙල්ල කළ හැකි බව කියනවානම් එය පට්ටපල් බොරුවක් කියා කියන්න මට පුළුවන්කමක් නැහැ. කාලයක් අලි මන්තර වලින් අලි එළවා පෙන්වා ආදායම් ඉපැයූ අයෙක්ට අන්තිමේදී අලි ප්‍රහාරයකින් මිය යන්න සිදුවීම නිසා අලි මන්තර බොරු බව ඔප්පු වෙන්නෙත් නැහැ. හැමදාම වෙඩි තබා අලි මරපු කෙනෙක්ට එක දවසක වෙලාවට කොකා ගස්සාගන්න බැරි වෙන්න පුළුවන්.

මත්පැන්, දුම්වැටි, සීනි නිසා අකාලයේ මැරෙන අයගේ උදවුවට බදු ගහන්න ආණ්ඩුව ඉන්නවා. සාමාන්‍යයෙන් ආණ්ඩු කියන්නේ මේ වගේ බදු ගහන්නේ සමාජ යහපත තකා කියලයි. මත්පැන් බොන අයෙක් මත්පැන් නිසා මැරෙන්න තිබෙන සම්භාවිතාව කොපමණද? එතකොට දුම්වැටි, සීනි නිසා ඒ දේවල් පරිභෝජනය කරන කී දෙනෙක් මැරෙනවද? අලි බලන කෙනෙක් අලියෙක්ගේ පහර දීමකින් මැරෙන්න තියෙන සම්භාවිතාව ඊට වඩා අඩුද? ඒ අවදානම අඩුකරගත හැකි ක්‍රියාමාර්ග නැද්ද? අලි බැලිල්ල නියාමනය කළා කියා ආණ්ඩුවට දැනෙන තරමේ ආදායමක් ලැබෙන්නේනම් නැහැ.

Thursday, January 3, 2019

දැනුම බෝ වේවා!


ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස ලංකාවට බටහිරින් ආ අදහසක්. වෙනත් ගොඩක් රටවල වගේම, තමන් වෙනුවෙන් හිතන එක "දැනමුත්තන්" විසින් කිරීම ගැන ලංකාවේ ප්‍රතිරෝධයක් තිබුණේ නැහැ. සමාජය එයට පුරුදු වෙලයි තිබුණේ. ලංකාවේදී ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස තවමත් උඩ සිට පහළට ගලා එමින් තිබෙන අදහසක්.

මම හිතන විදිහට අඩු වශයෙන් ඇමරිකාවේ මේ අදහස පහළ සිට ඉහළට පැමිණ තිබෙනවා. අඩුපාඩු රහිතව නෙමෙයි. මුලදී කාන්තාවන් හා යුරෝපීය සම්භවයක් නැති අය බැහැර කරමින් වැඩිහිටි, සුදු පිරිමින්ගේ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස. නමුත්, අඩු වශයෙන් ඒ සීමාවන් ඇතුළත, නායකයින් බිහි වී තිබෙන්නේ "ජනතාව" අතරින්.

ඇමරිකාව ජනාවාස කළ යුරෝපීයයන්ට රජෙක් හිටියේ නැහැ. බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යය පිළිගන්නා පිරිසක් හිටියා වුවත්, එංගලන්තයෙන් ගොඩක් ඈත තිබුණු විශාල රටක් මත ලොකු බලපෑමක් කිරීම පහසු කටයුත්තක් වුනේ නැහැ. යුරෝපයේ අනෙක් රටවල් වලින් ආ මිනිස්සුන්ට බ්‍රිතාන්‍යය එක්ක එවැනි බැඳීමක් හෝ තිබුණේ නැහැ.

විශාල සංස්කෘතික දුරක් තිබෙන ලංකාවේ සිට තේරුම් ගැනීම අසීරු වුවත්, යුරෝපයේ විවිධ රටවලින් පැමිණි, වෙනස් භාෂා කතා කළ, එකම මූලයක් සහිත වුවත් වෙනස් ආගම් ඇදහූ පිරිස් අතර වූ සංස්කෘතික විවිධත්වය විශාලයි. මෙවැනි පිරිසකට එක්ව කටයුතු කරන්න ඔවුන්ව බැඳ තබන කුමක් හෝ අවශ්‍ය වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය විසින් පුරවන්නේ ඒ අඩුවයි. එය පහසු කරන්නේ, අඩු වශයෙන් ඇමරිකාවට යුරෝපයෙන් සංක්‍රමණය වූ වැඩිහිටි සුදු පිරිමින් අතර දැනුම අතින් විශාල පරතරයක් නොතිබීමයි. සංක්‍රමණය ඇතුළෙම ස්වභාවිකවම තේරීමක් සිදු වෙනවා. එවැනි "තේරුණු" මිනිස්සු පිරිසකට පොදු යහපත වෙනුවෙන් එකඟත්වයන්ට පැමිණීම පහසුයි. පහළ සිට ඉහළට ගලා යන්නේ එවැනි බිම් මට්ටමේ වූ එකඟත්වයනුයි. නායකයින් "පොළොවෙන් මතුවෙන්නේ" එවැනි පසුබිමක.

පසුගිය සියවස් දෙකහමාරක පමණ කාලය තුළ එක පැත්තකින් කලින් බැහැරව සිටි කාන්තාවන් හා යුරෝපීය නොවන සම්භවයක් ඇති පිරිස් අන්තර්ග්‍රහණය කර ගනිමින් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වෙද්දී, අනිත් පැත්තෙන් සමාජයේ "දැනුම අඩු" පිරිස් මේ ක්‍රියාවලියෙන් බැහැර වීමකුත් සිදු වී ඇතැයි කිව හැකියි.

මේ කාලය තුළ මිනිස්සු විසින් සමූහයක් ලෙස අළුතින් එකතු කරගත් දැනුම අති විශාලයි. ඒ දැනුම, ජීවිත කාලයක් තුළ වුවත් තනි පුද්ගලයෙකුට ග්‍රහණය කර ගැනීම අසීරුයි. ඒ හේතුව නිසා, දැනුම අතින් සමාජයේ විශාල පරතරයක් ඇති වීමත්, පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ඇතුළේම දැනුම අතින් පසුපසින් සිටින අය යම් තාක් දුරකට ක්‍රමයෙන් බැහැර වීමකුත් සිදු වී තිබෙනවා.

වෙනත් විදිහකින් කිවුවොත් ක්‍රමයෙන් "දැනමුත්තන්" බිහි වෙන්න පටන් ගැනීමත්, ඔවුන්ට පිළිගැනීමක් ලැබීමත්, ඔවුන් කියන දේ වෙනත් අය පිළිගැනීමත් සිදු වෙනවා. නමුත්, මේ විදිහට වෙනත් අය විසින් මේ දැනුමැත්තන් කියන දේ පිළිගන්නේ, අඩු වශයෙන් ඔවුන් විසින් පෙන්වා දීමෙන් පසුව, කියන දේ තමන්ටත් තේරෙන නිසයි. නමුත්, කාලය යද්දී කණ්ඩායම් දෙක අතර දැනුම් පරතරය පුළුල් වෙනවා. ඉන්පසුව, දැනුමැත්තන් කියන දේ පිළිගන්නේ තමන්ට ඒ දේවල් ග්‍රහණය වන නිසාම නෙමෙයි. ඔවුන් පිළිබඳව වන විශ්වාසය නිසා.

මේ ක්‍රමයේ අවුලක් තිබෙන බව පැහැදිලියි. මුලින්ම වෙන්නේ දැනුමැත්තන්ට සමාජයේ අධිකාරී බලයක් හිමි වීම. බලය එක්ක යම් තරමකින් හෝ බලය අපහරණය කිරීමත් එනවා. එවිට අනෙකුත් අයට තමන් වෙනුවෙන් හිතන දැනුමැත්තන් පිළිබඳව වන විශ්වාසය පළුදු වෙනවා. ඒ වුනත්, ඔවුන්ට හඬක් නගන්න මාධ්‍යයක් නැත්නම් මේ විශ්වාසය පලුළු වීම කාලයක් යටපත් වී තිබෙන්න පුළුවන්.

සමාජ මාධ්‍ය ව්‍යාප්තිය නිසා කලින් හඬක් නොතිබුණු බොහෝ අයගේ හඬ මතු වෙන්න ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් පුළුල් වෙද්දී දැනුමැත්තන් පිළිබඳ වූ අවිශ්වාසය මතු වෙන්නේ දැනුම් විරෝධයක් ලෙසයි. විශේෂඥයින් තමන් කියන "නිවැරදි" දෙය අනෙක් අය විසින් පිළිගනු ඇතැයි යන විශ්වාසය පෙරදැරිව සිටිද්දී, වැඩි දෙනෙකුට තේරෙන භාෂාවෙන් කතා කළ නොහැකි දැනුමැත්තන් අභිබවමින් සමාජ ජාලා හරහා "ගොඩ පෙරකදෝරුවන්" ඉස්මතු වෙන්න පටන් අරන් තියෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විට වැරදි දැනුම වේගයෙන් සංසරණය වෙනවා.

මේ කියන්නේ ඇමරිකාව ගැන වුවත්, කියවන්නේ ලංකාවට සම්බන්ධයක් තිබෙන අය නිසා රෝසිගේ සංඛ්‍යා කියැවීම උදාහරණයක් ලෙස පෙන්විය හැකියි. තමන්ට ග්‍රහණය නොවන නිවැරදි දේ විශ්වාසය මත පදනම්ව නිවැරදි සේ සැලකූ කාලය අවසන්ව තිබෙනවා. ඒ නිසා, විශේෂඥයින් විසින් වඩා නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීම තවදුරටත් ප්‍රමාණවත් වන්නේ නැහැ. තමන් යෝජනා කරන්නේ නිවැරදි දෙය බව අනෙක් අයට ඒත්තු ගැන්වීමත් ඔවුන් විසින් කළ යුතුව තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය වැනි අදහස් ලංකාවේදී ඉහළ සිට පහළටයි ගලා එන්නේ. නිදහස් වෙළඳපොළ පිළිබඳ අදහසනම් එහෙමවත් එන්නේ නැහැ. කලින්ම ඉහළ සිට පහළට ආ හා එවනු ලැබූ සමාජවාදී අදහස් වල බලපෑම ඊට හේතුවයි. ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් නිදහස් වෙළඳපොළ වෙනුවෙන් විවෘතව පෙනී සිටින්නේ නැහැ. වෙනස්කම් තිබෙන්නේ රාජ්‍ය ග්‍රහණයේ ප්‍රමාණයේ පමණයි. ඒ නිසා, ගොඩක් අය ධනවාදය කියන එකෙන් තේරුම් ගන්නේ ධනපතියන්ට වාසිදායක, හැම දෙයක්ම මුදල් මත පදනම් වූ දෙයක් ලෙසයි.

මෙහි අමුත්තක් නැහැ. මානුෂික සම්බන්ධතා හොඳින්ම අවබෝධ කරගත හැක්කේත්, ඒ සම්බන්ධතා බාධාවකින් තොරව පවත්වා ගැනීමට ඉඩ දිය හැක්කේත් වෙළඳපොළ නිදහසට ඉඩදීමෙන් බව තේරුම් නොගන්නා අය ඇමරිකාවේ වුවත් අඩු නැහැ. උදාහරණයක් විදිහට අවම වැටුප් නීති නිසා ලොකුම අවාසිය වන්නේ සමාජයේ පහළම ස්ථර වලට කියන එක ගොඩක් අයට එකවර අවබෝධ කරගන්න අමාරුයි.

මෙයට එක් හේතුවක් වන්නේ දේශපාලන බලය ලබා ගැනීමේ හෝ පවත්වා ගැනීමේ අරමුණින් හිතාමතාම වැරදි තොරතුරු සමාජගත කරනු ලැබීමයි. දෙවන හේතුව දැනුම තිබෙන අපක්ෂපාතී අය ඉදිරියට නොපැමිණීමයි.

දෙවන බාධකය බිඳ හෙළීම පිණිස මේ වන විට ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් විවිධ ව්‍යාපෘතී යටතේ එකතු වී සිටිනවා. "නීඩ් (NEED)" ව්‍යාපෘතියත් එවැන්නක්. ජාතික ආර්ථික අධ්‍යාපන නියෝජිතයින් (NATIONAL ECONOMIC EDUCATION DELEGATION) ලෙස එකතුව සිටින මේ කණ්ඩායම සමඟ මේ වන විට ඇමරිකාවේ හිටපු මහ බැංකු අධිපතීන් වූ ජැනට් යෙලන් හා බෙන් බර්නැන්කි වැනි අය, නොබෙල් ත්‍යාගලාභීන් වන ජෝජ් අකර්ලොෆ් හා වර්නන් ස්මිත් වැනි අය ඇතුළු ඇමරිකාවේ සියළු ප්‍රාන්ත නියෝජනය කරන ආර්ථික විද්‍යාඥයින් තුන් සිය ගණනක් එකතු වී සිටිනවා. මෙහි අරමුණ බ්ලොග් ආදිය හරහා දැනුම සමාජගත කිරීමෙන් නොනැවතී සමාජයේ විවිධ ස්ථර සමඟ සෘජුව සංවාදයක් ඇති කර ගනිමින් ආර්ථික විද්‍යා දැනුම සමාජගත කිරීමයි. ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් මෙසේ සිතීම සතුට දනවන්නක්.

පසුගිය තෙමස තුළ මේ බ්ලොගය වෙනුවෙන් වැඩි කාලයක් යොදන්න හැකි වුවත් මේ වසරේ මුල් මාස හතර තුළ ලොකු කාලයක් මේ වෙනුවෙන් යොදවන්න අමාරු වෙයි. නමුත්, ඉඩ ලැබෙන පරිදි මොනවා හෝ නොලියැවෙන එකක් නැහැ.

Monday, December 31, 2018

සැන්ඩි එපා!


සමහර වෙලාවට "සෝඩා ටිකක් දාල පොඩ්ඩක් ගේන්නද?" කියල ඇහුවහම විවිධ පිළිතුරු ලැබෙනවා. "පාවිච්චියක් නෑ!", "දැන් නවත්තල ඉන්නේ!", "දැන් බෑ!", "එහෙනං පොඩ්ඩක් ගම්මුකෝ!" ඉඳලා "සෝඩා එපා!" දක්වා විවිධ ප්‍රතිචාර ඔය අතර තිබෙනවා. ලාල්කාන්ත සහෝදරයා වගේ "උවමනාවක් නැතත්" යාලුවන්ගේ වදේට හරි "මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් විදිහට" හරි ගන්න අයත් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඉතිං ඔතැන උවමනාවක් නෑ කියන එකෙන් කියන්නේ ඔය විදිහට වෙනත් කෙනෙක් බල නොකළානම් හොයාගෙන ගිහින් ගන්න උවමනාවක් නෑ කියන එක පමණයි. වෙනත් අයෙකුගේ බල කිරීමට යටවෙන කෙනෙක් වුනත් කරන්නේ අවසාන වශයෙන් තමන් කැමති දේ. එහෙම නැත්නම් නොකර ඉන්න බැරිකමක් නැහැනේ!

සැර මත්පැන් පැණිබීම වලින් සැන්ඩි කරන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්. එයට ආර්ථික සාධක වගේම සංස්කෘතික සාධකත් හේතු වෙනවා.

සැන්ඩි කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මත්වීම පාලනය කරගැනීම. අනෙක් පැත්තට මූලික වශයෙන්ම මත්පැන් බොන්නේ මත්වෙන්න කියා හිතුවොත් මේ චර්යාවේ පරස්පරයක් පේනවා. වෙනත් විදිහකින් කිව්වොත්, බොනවා තමයි- ඒත් මත්වීමේ උවමනාවක් නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ විදිහට සැන්ඩි කරමින් බොන්නේ, යාලුවන්ගේ බල කිරීමට යටවුණේ නැත්නම්, හොයාගෙන ගිහිං බොන්න තරම් උවමනාවක් නැති අය බවයි. ඒ නිසා, මේක මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් කියන එකේ වැරැද්දක් නැහැ.

සමහර සාමූහික චර්යා වලින් පිළිබිඹු වෙන්නේ පුද්ගල චර්යා වල එකතුව නෙමෙයි. සමූහයක කිසිම තනි පුද්ගලයෙකුට පෞද්ගලිකව කරන්න අවශ්‍ය නොවන දෙයක් එවැනි පුද්ගලයින් සමූහයක් විසින් කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. බුදු පිළිමයක් කැඩීම, පල්ලියකට ගලක් ගැහීම, හදිසි අනතුරකින් පසු රියදුරාට පහර දීම වගේම සංචාරයක යෙදීම, සිල් ගැනීම වගේ තනි තනිව කරන්න කිසිවෙකුට උවමනාවක් නැති ගොඩක් දේවල් ඔය විදිහට පුද්ගලයින් කණ්ඩායමක් විසින් කරන්න පුළුවන්. එවැනි උවමනාවක් තිබෙන එක් පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකු විසින් කවර ආකාරයෙන් හෝ සමූහයක් මෙහෙයවීම වෙනම කරුණක්. මා කියන්නේ ඒ ගැන නෙමෙයි.

සමාජගත වීම සඳහා මත්පැන් බොන ඇතැම් කණ්ඩායම් වල කිසිවෙකුටත් තනිතනිව මත්පැන් බොන්න අවශ්‍ය නැහැ. නමුත්, "අනිත් අය ගැන හිතා" හැමෝම සෙට් වෙනවා. සමාජ සත්ත්වයෙක් වන මිනිසාගේ ඔය වගේ හැසිරීම් ඕනෑ තරම් තියෙනවා. මේ වගේ හැසිරීම් ක්‍රීඩා න්‍යාය (game theory) ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන්.

තමන්ගේ උවමනාවට තනිව මත්පැන් බොන පුද්ගලයෙක්ට සැන්ඩි වැදගත් නැහැ. නමුත්, යාළුවන්ගේ උවමනාවට සෙට් වෙන කොටනම් සැන්ඩි නැතුවම බැහැ. මෙතැන ගේම් එක ඩෝප් නොවී වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්න එකයි. මොකද සතුට තියෙන්නේ සෙට් වෙන එකේ මිසක් මත්පැන් වල නෙමෙයි. මත්පැන් වලින් කරන්නේ සෙට් වෙන්න හේතුවක් සපයන එක පමණයි.

සංඛ්‍යාලේඛණ මත පදනම් නොවී නිගමන වලට එළැඹෙන එක නිවැරදි නැති වුවත්, මම හිතන විදිහට බටහිර රටක මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාවේ මිනිස්සු මේ විදිහට සෙට් වෙන්න වැඩි කාලයක් වෙන් කරනවා. කාලයේ ආවස්ථික පිරිවැය සාපේක්ෂව අඩුවීම මෙයට එක් හේතුවක් කියන්න පුළුවන්.

බටහිර රටකදීනම් මේ වගේ එකතුවකදී කියන වෙලාවට හැමෝම වගේ එනවා. පැමිණිය යුතු වෙලාව වගේම සාදය අවසන් වන වෙලාවත් බොහෝ විට ඇරයුමේම තියෙනවා. ඒ වෙලාවට සභා තොමෝ සතුටින් විසිර යනවා. හැබැයි මේ කියන්නේ ලංකාව වැනි රටවලින් ආ සංක්‍රමණිකයින් ගැන නෙමෙයි. (ඔවුන්ගේ හැසිරීම ග්‍රාම්‍යයි කියා කියන්න හදනවත් නෙමෙයි).

ලංකාවේ ඔය වැඩේ ඔය විදිහට නොවන බව කියවන කවුරුත් දන්නවනේ. "මචං, පොඩ්ඩක් පරක්කුයි. තව පැය බාගෙන් ඔතැන." කියා කියන එකා එන්නේ තව පැය එකහමාරකින් වීම කාටවත් පුදුමයක් නෙමෙයි. ඒ වගේම එක්කෙනෙක් දෙන්නෙක් ආපහු ගියා කියා වැඩේ නවතින්නෙත් නැහැ. ඉතුරු අය ඇදගෙන යනවා. ඉවර වෙන වෙලාව වැඩේ සංවිධානය කරපු කෙනාටවත් කලින් කියන්න පුළුවන් කමක් නැහැ. මෙයට හේතුව ලංකාවේ පොදු ප්‍රවාහනයේ දුර්වලතා හෝ මාර්ග තදබදය පමණක්ම නෙමෙයි. ඔය විදිහට තැනකට වෙලාවට නොඑන ඇතැම් අය ඇතැම් වැදගත් දේ මොන විදියෙන් හෝ හරියටම නැකැත් වෙලාවකට කරනවා.එහෙම නැකතකට වැඩක් වෙනවා කියලා දන්නා අවස්ථා වලදී කොහොම හරි වෙලාවට එනවා.

ඇත්ත නැත්ත කොහොම වුවත් මත්පැන් මත පනවා තිබෙන විශාල බද්ද සාධාරනීකරණය කරන්නේ සමාජ යහපත ඉස්සරහට දාලනේ. මෙහි එක අතුරු ඵලයක් වන්නේ "කලවම් බඩු" විශාල ලෙස වෙළඳපොළට එන එක. මේ වැඩේ කරන්න පහසු වෙන්න හේතු වී තිබෙන එක් කරුණක් වන්නේ සැන්ඩි කිරීමේ පුරුද්දයි.

කාලයක් ඇතැම් අය ගෙන ආ තර්කයක් වුනේ සැර අඩු මත්පැන් මිල අඩු කර සැර වැඩි මත්පැන් භාවිතයේ හානි අඩු කළ යුතු බවයි. නමුත්, සමාජශීලී වෙන්න බොන ලංකාවේ ගොඩක් අය බොන්නේ සැර අඩු මත්පැන් වර්ග වලටත් වඩා තනුක කරලා. ප්‍රශ්න විසඳගන්න බොන අය කොහොමටත් සැර අඩු මත්පැන් හොයනවා අඩුයි.

බටහිර රටක මත්පැන් මිල සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා, කිසියම් පෞද්ගලික සාදයක් වගේ තැනක වුවත් මත්පැන් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා, බොන කෙනෙකුට විකල්ප වැඩියි. ලංකාවේ අධික මත්පැන් මිල එක්ක විකල්ප සීමා වෙනවා. ඒ නිසා, ඇල්කොහොල් සාමූහිකයක් ඇතුළේදී "ප්‍රජාතන්ත්‍රවාදය අනුව" බහුතරයේ කැමැත්තට අනික් අයට යට වෙන්න වෙනවා. එවිට, පුද්ගල කැමැත්ත යටපත් වෙනවා. සැන්ඩි කිරීම ප්‍රචලිතව තිබීම ඇතුලෙ තිබෙන්නේ ඒ විදිහට පොදු කැමැත්ත ඇතුළේ යට වෙන පුද්ගල කැමැත්ත මතු වෙන ආකාරයයි. එක් එක් පුද්ගලයා විසින් කරන්නේ තිබෙන එකම ඇල්කොහොල් විකල්පය තමන්ට අවශ්‍ය තරමට සැන්ඩි කරගෙන තමන්ට අවශ්‍ය නිෂ්පාදනය හදාගන්න එක. මේ පුරුද්ද නිසා, එකම බෝතලයෙන් වුවත් එක් එක් පුද්ගලයාට අවශ්‍ය දේ බොන්න ඉඩ සැලසිලා තිබෙනවා.

අපි ලියන දේවල් වුනත් කියවන අය කියවන්නේ තමන්ට අවශ්‍ය පමණට සැන්ඩි කරගෙන. ඒකත් පුද්ගල කැමැත්ත. කෙනෙක් ලියන දේවල් වැඩිපුර බීලා වෙනත් කෙනෙක් මත්වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි සමහර වෙලාවට සමහර අය කියවන්නේ එනකොට අරන් එන සැන්ඩිම විතරයි!

වෙන ලිපි වල වගේම මේ ලිපියේ තියෙන දේවලුත් තමන්ට කැමති පමණ සැන්ඩි කරගෙන කියවන්න. අරගෙන ආපු සැන්ඩි විතරක්ම වුනත් කමක් නැහැ. එය ඔබේ කැමැත්ත.

සුබ නව වසරක්!

Sunday, December 30, 2018

මං උනත් ඉතිං ඉන්නෙ මෙ අවුෂදේ බලෙන්...


ග්‍රෙගෝරියන් අවුරුද්ද ඉවර වෙද්දී සංක්‍රාන්තිය සමරන්න අවුෂද ටිකක් ගන්න එක ගොඩක් දෙනෙක් කරන දෙයක්නේ. ඕකේ ඉතිං ලොකු වැරැද්දක් නැහැ. බොන්න උවමනාවක් නැති වුනත් යාලුවන්ගෙන් බේරෙන්න බැරි වුන වෙලාවට චුට්ටක් ගන්නවා කියල ලාල්කාන්ත සහෝදරයත් කියල තියෙනවනේ.

ඔය වගේ සමාජ සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් විදිහට වගේම ප්‍රශ්න වැඩි වුනහමත් තව අය බොනවනේ. එහෙම අය මුලින් කී අයට වඩා ටිකක් වැඩි වෙන්න ගන්නවා. ඒ අයට තියෙන එක විවේචනයක් තමයි බීල ප්‍රශ්න විසඳන්න බෑ කියන එක.

ආපහු සිහිය එන කොට තිබිච්ච ප්‍රශ්න ඔක්කොම තිබුණත් ඒ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක කරන එකත් එක විසඳුමක්නේ. හැබැයි ඔය විදිහට ප්‍රශ්න විසඳන්න අසීමාන්තික ලෙස එක දිගට බොන එකෙන් පස්සේ නැති ප්‍රශ්න ඇති වෙනවා. එහෙම තියෙද්දිත් සමහර අය ඔය වැඩේ කරන්නේ මේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැති නිසාද?

ටික දවසකට කලින් ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සරසවියක පර්යේෂකයෙකු වන අයෙකු එක්ක කරපු කතාබහක් ගැන කලින් ලිපියක සඳහන් කළානේ. ඔහුට අනුවනම් මිනිස්සු මේ විදිහට බොන්නේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැතිව නෙමෙයි. ඒ හානි ගැන දැනගෙන හිටියත් බොන එකෙන් ලැබෙන දේ ඒ හානි වලට වඩා වටින නිසා. වෙනත් විදිහකින් කිවුවොත් මේ මිනිස්සු කරන්නෙත් නොබොන අනුවණ දනෝ වගේම බොහොම තාර්කික විදිහට කටයුතු කරමින් තමන්ට හොඳම දේ කිරීම. එහෙම වෙන්නේ කොහොමද?

ඔහුගේ අදහස වන්නේ වෙනත් විකල්පයක් නැති විට මානසික ආතතියට ප්‍රතිකාරයක් ලෙස මිනිස්සු මත්පැන් ගන්නවා කියන එකයි. හැබැයි වෙනත් වඩා හොඳ විකල්පයක් ලැබුනොත් ඔවුන් තව දුරටත් මේ වැඩේ කරන්නේ නැහැ.

ඔහුට අනුව, මේ චර්යාවම වෙනත් කරුණු හා අදාළව වුවත් පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කන බොන මිනිස්සුනේ. කන එකෙන් අපි හොඳට සතුටු වෙනවා. ඒ වගේම, ඇඟ හොල්ලන්න හොරයි. නමුත්, ඔය විදිහට කකා බිබී ව්‍යායාම නොකර ඉන්න කොට කොලෙස්ටරෝල් නගිනවා. ඔන්න එතකොට අකැමැත්තෙන් ඩයට් කරන්න වෙනවා. ව්‍යායාම කරන්න වෙනවා.

මෙතැන තේරීම් දෙකක් තිබෙනවා. එකක් හෘද රෝගයක් හැදීමේ අවදානම ගන්න එක. අනික අපි අකැමැති දේවල් වන ඩයට් කිරීම හා ව්‍යායාම කිරීම වැනි දේ කරන එක. දෙකෙන් එකක්වත් අපි කැමති දේවල් නෙමෙයි. ඒ නිසා, තිබෙන හොඳම විකල්පය අඩු නරක විකල්පය තෝරා ගැනීම.

දැන් ඔය මැතිවරණ වලදී ගොඩක් අය කරන්නෙත් ඕකමනේ. මොකා ආවත් එකයි කිවුවට මොකෙක් හරි එනවනේ. ඒ නිසා, අඩු නරක විකල්පය තෝරා ගන්න වෙනවා. ඉතිං ගොඩක් ඡන්ද වැටෙන්නේ කාව හරි දිනවන්න නෙමෙයි. අනිත් අපේක්ෂකයා දිනන එක වලක්වන්න. මිනිස්සුන්ගේ හැසිරීම තාර්කිකයි.

කොහොම වුනත් අමතර විකල්ප වැඩි වන තරමට අපට වඩා අඩු නරක හෝ වඩා හොඳ විකල්පයක් තෝරා ගැනීම පහසු වෙනවා. මා කිවූ පර්යේෂකයා මුලින්ම පෙන්වා දෙන්නේ කොලෙස්ටරෝල් පාලනය කරන්න ලිපිටෝර් වගේ ස්ටැටින් ඖෂධ සොයා ගැනීම. මේවායේ අතුරු ආබාධ හොඳටම අඩුයි. දැන් තුන්වන විකල්පයක් විදිහට ඩයට් නොකර, ව්‍යායාම නොකර ස්ටැටින් ඖෂධ වලින් කොලෙස්ටරෝල් පාලනය කරගෙන හෘද රෝග අවදානම අඩු කර ගන්න පුළුවන්. ඔහු පෙන්වා දෙන විදිහට මේ චර්යාත්මක වෙනස ඇමරිකාවේ ස්ථුලතාවය ඉහළ යන්න හේතු වී තිබෙනවා.

මේ ආකාරයටම ආතතිය පාලනය කරන ඖෂධ වෛද්‍ය නිර්දේශ නැතුව මිල දී ගැනීම පහසු වීමට සමාන්තරව ආතතියට විසඳුමක් ලෙස අධික ලෙස මත්පැන් පානය කිරීම අඩු වෙමින් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා. (මේ පර්යේෂණ ප්‍රතිඵල මේ විදිහටම වලංගු වන්නේ ඇමරිකාව වගේ රටකට බව මතක් නොකළොත් එය අඩුපාඩුවක්.) මේ කරුණු එක්ක ඔහු පෙන්වා දෙන්නේ තාක්ෂණය නිසා වඩා හොඳ අලුත් විකල්ප ලැබීමේ වාසිය හා ඒ එක්ක වෙළඳපොළ යාන්ත්‍රනය තුළ සමාජයීය ප්‍රශ්න ස්වභාවිකවම විසඳෙන ආකාරයයි.

Saturday, December 29, 2018

ලීනි සිබරල් කානි සිවුද?


දැන් ළමයි කොහොමද දන්නේ නැහැ. අපිනම් දෙවන භාෂාවක් ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලෙදිමයි. ඒ පෙරළි භාෂාව. බස් පෙරළීම හා "බස්" පෙරළීම කියා දෙකක් තියෙනවනේ! ඊට පස්සේ තුන්වන භාෂාවකුත් ඉගෙන ගත්තා. ඒ සීනි භාෂාව.

ඔය භාෂා තුන ඔය පිළිවෙළටම මිසක් වෙනත් පිළිවෙලකට ඉගෙන ගන්න බැහැ. පෙරළි භාෂාව ඉගෙන ගන්න කලින් සිංහල ඉගෙන ගන්න වෙනවා. අර සිංහල උගත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක් හා ඒ කාලයේ ජීවත් වූ හිමිනමක් අතර පළමු පංතියේ දුම්රිය මැදිරියකදී වූ කතාබහක් ගැන කතාව අහල ඇතිනේ. සුද්දට ඇනගන්න වුනේ සිංහල කොයි තරම් හොඳින් ඉගෙනගෙන තිබුණත් පෙරළි භාෂාව ගැන දැනගෙන නොසිටි නිසයි. සීනි භාෂාව ඉගෙන ගන්නනම් සිංහලයි පෙරළි භාෂාවයි දෙකම කලින් හදාරලා තියෙන්න ඕනෑ.

දෙවන, තුන්වන ආදී භාෂා කොපමණ ඉගෙන ගත්තත් මවු භාෂාව හසුරුවන එක වඩා පහසුයි. ලියන්න වගේම කියවන්නත්. හැබැයි තමන්ට පහසුම භාෂාවෙන් ලියා තිබෙන දෙයක් වුවත් හැමෝම කියවන්නේ එකම විදිහට නෙමෙයි. එකම අකුරු හා වචන තමයි. නමුත්, කියවන එක් එක් පුද්ගලයා ඒ වචන වලින් තේරුම් ගන්නේ තම තමන්ට අවශ්‍ය දේවල්. එයත් අප අතර තිබෙන විවිධත්වයේ කොටසක්.

රනිල් ප්‍රධාන එජාප ආණ්ඩුව ලිබරල් මතවාදී ආණ්ඩුවක් ලෙස බොහෝ දෙනෙක් සලකනවා. එහෙමනම්, මහින්දලා ප්‍රති-ලිබරල්ද?

රනිල්ගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ලෙස රාජිත විසින් යෝජනා කළ පැණි බීම සඳහා වූ සීනි බද්ද මහින්ද විසින් ඉවත් කළා. මේ බද්ද දමපු වෙලාවේ ඒ ගැන බටහිර මාධ්‍ය වාර්තා වල ඉතා පැහැදිලිවම ලියා තිබුණේ මෙය ප්‍රති-ලිබරල් ක්‍රියාමාර්ගයක් බවයි. එහෙමනම් බද්ද ඉවත් කිරීම ලිබරල් තීරණයක්. කවුරු හෝ පුද්ගලයෙක්, ප්‍රතිපත්ති සම්පාදකයෙක් හෝ ආණ්ඩුවක් විසින් සමස්තයක් ලෙස කටයුතු කරන ආකාරය හා එවැනි පුද්ගලයකු හෝ ආණ්ඩුවක් විසින් ගන්නා හුදෙකලා ප්‍රතිපත්ති තීරණ දිහා එකම අච්චුවේ දමා බලන්න බැහැ.

ලිබරල් වගේ පුළුල් තේරුමක් තියෙන බර වචන පැත්තකින් තියලා නිදහස් වෙළඳපොළ කියන සාපේක්ෂව සරල සංකල්පය වෙත හැරෙමුකෝ. නිදහස් වෙළඳපොළක් කියන්නේ රජයේ මැදිහත්වීමක් නැතුව පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනු වලට ඉඩලැබෙන තැනක්. හරියට පැණිබීම නිෂ්පාදකයෙකු හා පාරිභෝගිකයෙකු අතර සිදුවන ගනුදෙනුවක් වගේ. ගනුදෙනුව සිදුවන මිල තීරණය කරන්නේ ඒ දෙන්නා. දෙන්නාගෙන් කාට හෝ පාඩුනම් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ගනුදෙනුවක් වෙනවනම් එයින් කියන්නේ දෙන්නටම වාසි බවයි.

සීනි බද්ද කියන්නේ රජය විසින් ඉහත කී ගනුදෙනුවට අකුල් හෙළන නියාමන ක්‍රියාමාර්ගයක්. එය නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බාධාවක්. එවැනි ක්‍රියාමාර්ගයක් යුක්තියුක්ත කළ හැක්කේ කවර පදනමකින්ද?

මේ ආකාරයේ බදු වලට කියන්නේ පිගෝවියන් බදු කියලා. කිසියම් හෝ හේතුවක් නිසා නිදහස් ගනුදෙනු වලට ඉඩ හැරීමෙන් සමාජයට අයහපතක් සිදුවෙනවාය යන උපකල්පනය මත ඒ අයහපත නැති කරන එකයි මෙවැනි බදු පැනවීමෙන් අපේක්ෂා කරන්නේ. ඇතැම් භාණ්ඩ මත පිගෝවියන් බදු පැනවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබෙනවා. මත්පැන් හා දුම්වැටි උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. වසර කිහිපයක සිට සීනි බදුත් මේ නිර්දේශ අතරට එකතු වී තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ අවසන් ඇමරිකානුවා වූ රිචඩ් ඕවර්ටන් වසර 112ක් හා දින 230ක් ආයු වළඳා පෙරේදා (දෙසැම්බර් 27) මිය ගියා. ඔහු නොකඩවා දිනපතාම දුම්පානය කළ, උදේට කෝපි එක්ක හෝ අමුවෙන්ම විස්කි වඩියක් සප්පායම් වූ, හැමදාම රෑට අයිස්ක්‍රීම් එකක් කන්න ප්‍රිය කළ පුද්ගලයෙක්. රිචඩ් ඕවර්ටන් වැනි ප්‍රති-උදාහරණ පෙන්විය හැකි වුවත්, අධික මත්පැන් භාවිතය හා දුම්වැටි භාවිතය නිසා පුද්ගලයෙකුට සෞඛ්‍යමය හානි වෙනවා කියන එක පිළිගත හැකි, පැහැදිලි කරුණක්.

ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයක් වන්නේ හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයෙක්ට තමන්ට හොඳම දේ තෝරාගැනීමේ හැකියාවක් තිබෙනවා කියන එකයි. ඒ අනුව, කවුරු හෝ දුම්වැටියකට ගෙවන මිල ගෙවන්නේ මේ හානි ගැන සැලකීමෙන්ද පසුව ඔහු හෝ ඇය දුම්වැටියෙන් ලබන සතුට ගෙවන මිලට වඩා වැඩි නිසයි. ඒ පදනම මත බැලුවොත් කවුරුහරි දුම්පානය හේතුවෙන් පෙනහළු පිළිකාවක් හදා ගත්තොත් ඒක ඒ පුද්ගලයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්.

හැබැයි පුද්ගලයෙක් දුම්වැටියකට ගෙවන මිල තීරණය කරද්දී ඒ නිසා තමන්ට ලැබෙන සතුට හා සිදුවිය හැකි හානි ගැන මිසක් වෙනත් අයට සිදුවිය හැකි හානි ගැන හිතන්න හේතුවක් නැහැ. කවුරු හෝ මගේ සේවා ස්ථානයේ, නිවසේ හෝ වෙනත් පොදු ස්ථානයක සිට දුම්පානය කරද්දී, මටත් සිගරට් දුම ආඝ්‍රාණය වෙනවා. ඒ නිසා, මගේ පෙනහළු පිළිකා අවදානම ඉහළ යාම වෙනුවෙන් මට ලැබෙන දෙයක් නැහැ. පිගෝවියන් බදු පිටුපස තිබෙන අදහස වන්නේ දුම්පානය කරන පුද්ගලයාගෙන් හා සිගරැට් වෙළෙන්දාගෙන් මුදලක් අය කරගෙන තෙවන  පාර්ශ්වයක් වන මගේ හානිය ප්‍රතිපූරණය කළ යුතු බවයි. මත්පැන් පානය කිරීමේ පුරුද්ද නිසා ගෘහස්ථ හිංසනයේ ගොදුරු වන අය, රිය අනතුරු වලට ලක්වෙන අය ආදීනුත් මෙවැනි තෙවන පාර්ශ්ව සේ සැලකිය හැකියි. සීනි වැඩිපුර බීමෙන් මේ විදිහට කවර හෝ තෙවන පාර්ශ්වයන්ට හානි වෙනවද?

තෙවන පාර්ශ්වයන්ට හානි වෙන අවස්ථා වලදී නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය කිසියම් නියාමනයකට ලක් කිරීම පිළිබඳව මගේ මූලික ප්‍රතිවිරෝධතාවයක් නැහැ. නමුත්, එසේ කරන්න කලින්, ඒ විදිහට තෙවන පාර්ශ්වයන්ට හානි වෙන බවත්, නියාමන ක්‍රියාමාර්ග නිසා ඒ හානි අඩුවන බවත් පැහැදිලිව පෙන්වා දෙන්න නියාමකයින්ට හැකි විය යුතුයි.

ඇතැම් විට ඉහත මූලධර්මයට අමතරව වෙනත් මූලධර්ම මතත් නියාමන ක්‍රියාමාර්ග ගැනෙනවා. උදාහරණයක් විදිහට මත්පැන් හා දුම්වැටි මිල දී ගැනීමේදී අවම වයස් සීමාවක් පැනවීම පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී යොදා ගැනෙන මූලධර්මය වන්නේ මේ දේවල් වල හොඳ නරක කිරා මැන බැලීමේ හැකියාවක් තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයින්ට පමණක් බවයි. තවත් උදාහරණයක් ගත්තොත් බොහෝ බටහිර ඖෂධ විකිණිය හැක්කේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කර ඇත්නම් පමණයි. මොකද ප්‍රමාණවත් පුහුණුවක් නැත්නම් මේ ඖෂධ වල හොඳ නරක කිරා මැන බලන්න සාමාන්‍ය පුද්ගලයෙකුට බැහැ. මේ ආකාරයේ නියාමනයක් තිබීම ගැන වෛද්‍යවරුන් නොවන වැඩිහිටි පුද්ගලයින්ගේ විරෝධයක් නැහැ. ඒ නිසා, නියාමනය සමාජයේ පොදු තීරණයක්.

මේ විදිහට බැලුවොත්, මත්පැන්, දුම්වැටි හා පැණි බීම මත බදු පැනවීමෙන් මේ දේවල් වල සෞඛ්‍යමය හානි පිළිබඳව සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක්ට වුවත් අවබෝධයක් නැති බව පිළි ගැනෙනවාද? මේ වගේ තත්ත්වයක් නැහැ කියා කියන්න බැහැ. එහෙම තත්ත්වයක් තියෙනවනම් එයට විසඳුම කුමක්ද?

මෙය දේශපාලනික කරුණක්. පළමු විසඳුම වන්නේ වෛද්‍යවරුන් බෙහෙත් නිර්දේශ කරනවා වගේ "දන්නා අය විසින්" අනෙක් අයට ඔවුන්ගේ තේරීම් සිදු කළ යුතු ආකාරය නියම කිරීමයි. දෙවන විසඳුම දන්නා අය විසින් ඒ අයගේ දැනුම් පරතරය අඩු කරගන්න උදවු කිරීමයි. මගේ දේශපාලනික තේරීම දෙවැන්නයි. නමුත්, සියළුම දේශපාලනඥයින් අඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ පළමු විසඳුම වෙනුවෙනුයි. ඔවුන්ට වෘත්තීය පැවැත්මක් තිබෙන්නේ ඒ තුළයි.

(Image: http://www.dailymirror.lk/article/Snaring-children-in-the-sugary-drink-trap-140964.html)

සීනි දී සැනසීම


පහුගිය "දින පණහ" ඇතුළත සිදු වූ එක් දෙයක් තමයි මහින්ද විසින් පැණි බීම මත පනවා තිබුණු සීනි බද්ද අඩු කිරීම. මේ බද්ද දැම්මේ අවුරුද්ද මුලදී රාජිත විසින්. කර්මාන්තයට දැනෙන තරමේ ලොකු බද්දක්.

මානව ඉතිහාසයේ වැඩි කාලයක් තිස්සේ මිනිස්සු හිටියේ ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම කැලරි ප්‍රමාණය හෝ ලබා ගැනීම අභියෝගයක් වූ පරිසරයකයි. ඒ කාලයේ වැඩි කාලයක් ජීවත් වී තමන්ගේ ජාන අනාගතයට ඉතිරි කරන්න පුළුවන් වුනේ මොන විදිහකින් හෝ මේ ශක්ති අවශ්‍යතාවය සපුරා ගත් අයටයි.

මිනිස්සු සාමාන්‍යයෙන් ගන්නා ආහාර අතරින් සීනි හා තෙල් කියන්නේ කැලරි පොදි. ඉතා පොඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් විශාල කැලරි ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා.

පසුගිය අවුරුදු දහදාහක පමණ කාලය ගත්තොත් සීනි හා තෙල් කියන්නේ මිනිස්සුන්ට කලාතුරකින් හමු වූ දේවල්. සීනි ලැබුණේ හදිසියේ අහම්බෙන් හමු වූ ඉදුණු පළතුරු පිරුණු ගහක් වගේ තැනකින්. ඒ වගේ වෙලාවක පුළුවන් තරම් ඉදුණු පළතුරු කනවා මිස, ඒ පළතුරු ගෙදර ගෙනිහින් කල් තබා ගෙන ටික ටික කන්න පුළුවන් තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ.

සීනි හා තෙල් වැඩියෙන් කන්න කැමැත්තක් තිබුණු හා මේ ආහාර වලින් ලැබුණු ශක්තිය සිරුරේ තැන්පත් කරගෙන ටිකෙන් ටික ප්‍රයෝජනයට ගන්න හැකියාවක් තිබුණු අයට අනෙක් අයට සාපේක්ෂව පරිණාමික වාසියක් ලැබුණා. ඒ නිසා, සීනි හා තෙල් වලට වැඩි කැමැත්තක් නැති මිනිස්සු ටිකෙන් ටික වඳ වී යද්දී මේ දෙකට වැඩි රුචිකත්වයක් දක්වන අය ඉතිරි වුනා. අපි හැමෝම වගේ ඒ විදිහට ඉතිරි වූ පරම්පරා වල අය. ඒ නිසා, අප ඉපදෙන්නෙම සීනි හා තෙල් වලට තිබෙන කැමැත්ත එක්කයි.

මානව ඉතිහාසයේ මෑතම යුගය දක්වාම සීනි හා තෙල් වලින් ලැබෙන ශක්තිය සිරුරේ තැන්පත් කරගන්න පුළුවන් වීම මිනිස්සුන්ට වාසියක් මිස අවාසියක් වුනේ නැහැ. පළතුරු පිරුණු ගහක් හෝ මේද පිරුණු සිරුරක් සහිත ලොකු සතෙක් වරක් හමු වීමෙන් පසුව නැවත හමු වුනේ සෑහෙන කාලයක් ගිහින්. ඒ වන විට සිරුරේ තැන්පත්ව තිබූ ශක්තිජනක ටික වැය වී අවසන්.

නමුත්, දැන් තත්ත්වය වෙනස්. සාගින්නෙන් පෙළෙන මිනිස්සු අදටත් ලෝකය පුරා විසිරී ඉන්න බව ඇත්තක් වුවත් ලංකාව වැනි රටක පවා බොහෝ දෙනෙක්ගේ ආදායම් තමන්ට අවශ්‍ය අවම ආහාර ප්‍රමාණයට වඩා ආහාර වෙනුවෙන් වැය කළ හැකි තරමට ඉහළ ගිහින්. ඉතිං අපි අපිට ආස දේවල් හිතේ හැටියට කනවා.

පරම්පරා ගණනක් අපේ සෞඛ්‍ය වර්ධනයට හේතු වූ පුරුද්දකින් දැන් වෙන්නේ අපේ මරණය ඉක්මන් කරන එකයි. හෘදයාබාධ, ආඝාත හා දියවැඩියාව කියන්නේ ලාංකිකයෙක්ව මරණයට පත් කරන ප්‍රධාන හේතු. වෙනත් බොහෝ රටවල තත්ත්වයත් එහෙමමයි.

රාජිත විසින් සීනි බද්ද හඳුන්වා දීමෙන් අපේක්ෂා කර තිබුණේ මේ වන විටත් ලංකාවේ විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයක් වී තිබෙන දියවැඩියාව පාලනය කිරීමයි. මේ තීරණයේ සෘජු ප්‍රතිඵලය වන්නේ පැණි බීම මිල ඉහළ යාමයි. පැණි බීම වලට සීනි බද්දක් පැනවීම මෑත කාලයේදී වෙනත් බොහෝ රටවල් විසින්ද කර තිබෙන දෙයක්.

ජාන වලින්ම එන පුරුද්ද නිසා පොඩි කාලේ ඉඳලම අපි පැණිරසට ආසයි. ගොඩක් පොඩි කාලේ අම්මගේ නංගිගෙන්, පුංචි අම්මගෙන්, ඉල්ලුවහම බෝතලෙන් සීනි හැන්දක් අල්ලට දමනවා. හැබැයි අම්මා නැති වෙලාවට. අම්ම දැක්කොත් පුංචි අම්මටත් බැණුම් අහන්න වෙනවා.

දැන් පොඩි එකාට වැඩියෙන් ආදරේ අම්මාද නැත්නම් පුංචි අම්මාද? අම්මා හිතනවා සීනි වැඩිපුර දීම හොඳ දෙයක් නොවන බව. සමහර විට ඒ දවස්වල හිතන්න ඇත්තේ දත් නරක් වෙන එක හරි කිරිපණුගාය හැදෙන එක හරි ගැන මිසක් දියවැඩියාව ගැන නොවෙන්න පුළුවන්.

එතකොට පුංචි අම්මා කරන්නේ නරකක්ද? පුංචි අම්මත් කොල්ලට ආදරෙයි. ඈ හිතන්නේ ඔය ඉඳලා හිටලා සීනි හැන්දක් දීලා පොඩි එකාගේ ආසාව ඉටු කළාට මහ ලොකු හානියක් වෙන්නේ නැහැ කියලයි.

මහින්ද කළේත් අපේ පුංචි අම්මා පොඩි කාලේ කළා වගේ වැඩක්. සීනි බද්ද නිසා පැණි බීම මිල වැඩි වුණත් පැණි බීම නැතුවම බැරි එකා කොහොමටත් බොනවා. පැණි රස වැඩිපුර කෑමේ සෞඛ්‍යමය හානි ඉතා හොඳින්ම දන්නා මම වුනත් ජානමය තෙරපුම නිසා හෝ ඇබ්බැහිය නිසා හෝ වෙනත් හේතුවක් නිසා සීනි වලට තියෙන කැමැත්තට ගොඩක් වෙලාවට ඉඩ දෙනවා. මේ ගැන ඇමරිකාවේ ප්‍රධානම සරසවියක පර්යේෂකයෙක් එක්ක ළඟදී කරපු කතාබහක් ගැන පස්සේ වෙනම ලියන්නම්.

රාජිත ක්‍රියා කළේ අපේ අම්මා වගේ. සීනි හැන්දක් දුන්නොත් කොල්ලා දැන් සතුටු වෙයි. ඒත් අනාගතයේදී කණගාටු වෙයි. ඒ නිසා, කොල්ලාගේ දිගුකාලීන සතුට ගැන හිතනවානම් කරන්න ඕනෑ සීනි නොදී ඉන්න එකයි. (කොල්ලා ඒ ගැන දැන් ඉන්නේ සතුටෙන්ද? ඒක වෙනම ප්‍රශ්නයක්!)

මේ සීනි ප්‍රතිපත්ති දෙකෙන් පොදුවේ මහින්දගේ හා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවාද කියන එකත් නිරූපණය වෙනවා. මහින්ද කරන්නේ ණය අරගෙන හරි කන්න දීලා, තව ප්‍රාග්ධන ආයෝජනත් මොනවා හරි කරලා, මිනිසුන්ව අද සතුටින් තියන එකයි. පස්සේ දියවැඩියාව හැදුනහම, ණය ආපසු ගෙවන්න වුනහම...ඒක ඒ වෙලාවට බලා ගම්මු!

රනිල්ලා හදන්නේ අද සතුට තරමක් කැප කරමින් වුනත් දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ කරන්නයි. හැබැයි මතක තියා ගන්න "දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ".

දැන් මේ ප්‍රතිපත්ති දෙකෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය කොයි එකද? ඇත්තටම බැලුවොත් මහින්ද කටයුතු කරන ආකාරය වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි. ඔහු බොහෝ විට දෙන්න උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් ඉල්ලන දෙයයි. පස්සේ ණය ගෙවන්න වෙනවා කියන එකේ ලංකාවේ වැඩි දෙනෙක්ට අවුලක් නැහැ. වඩා වැදගත් අද කාල බීල ඉන්න එකයි.

(Image: https://www.dailymail.co.uk/health/article-3336474/University-Bath-says-spoonful-sugar-secret-athletic-success.html)

Friday, December 28, 2018

බටහිර සංවර්ධනය හා තෙල්

තෙල් කියා කියන්නේ කාලයක සිටම බටහිර සංවර්ධනයට තිරිංග හෙළන, බටහිර රටවල දේශපාලන ආධිපත්‍යයට අභියෝග කරන ප්‍රබල අවියක්. ඇමරිකාව ඇතුළේ සැලකිය යුතු තෙල් නිෂ්පාදනයක් සිදුවුවත්, ඇමරිකාවේ තෙල් පරිභෝජනය ඊට වඩා ගොඩක් වැඩියි. ඒ නිසා, ඇමරිකාව සියවස් තුන්කාලක සිටම තෙල් ආනයනකරුවෙක්. ඉතා මෑතක් වන තුරුම, ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු වුනෙත් ඇමරිකාවයි.

ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල් ශුද්ධ තෙල් ආනයනකරුවන් වීමේ වාසිය තෙල් නිපදවන රටවල් විසින් දිගින් දිගටම ලබාගත්තා. නිපැයුම සීමා කිරීම මගින් නිපැයුම් වියදම ඩොලර් දහයකටත් අඩු තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිල ගණන් යටතේ විකුණන්න සවුදි අරාබිය වැනි රටවල් සමත් වුණා. ඒ විදිහට ඉපැයූ මුදල් අත දිගහැර වියදම් කරමින් අරාබි රටවල් හා ඇතැම් සමාජවාදී රටවල් විසින් සුබසාධන රාජ්‍යයන් නඩත්තු කළා. තෙල් සල්ලි වල උදවුවෙන් රජය විසින් රටේ මිනිස්සුන්ට බොහෝ දේ නොමිලේ දුන් නිසා මේ වගේ රටවල ඒකාධිපති පාලන ක්‍රම අභියෝගයට ලක් වුණේ නැහැ.

මෙහි නොමිලේ කියන එකෙන් අදහස් කළේ ඇත්තටම නොමිලේ කියන එකයි. ලංකාවේ වගේ අදාළ වියදම් බදු ආදිය හරහා අනික් පැත්තට මේ සුබසාධන පහසුකම් භුක්ති විඳපු මිනිස්සුන්ගෙන්ම අය කර ගත්තේ නැහැ. වක්‍ර විදිහට ඒ මුදල් අය කර ගත්තේ තෙල් ආනයනය කරන රටවල පාරිභෝගිකයින්ගෙන්. ඒ රටවල් අතර ඇමරිකාව වගේ බටහිර රටවල් වගේම ලංකාව වගේ අඩු ආදායම් මට්ටම් වල සිටි රටවලුත් තිබුණා.

තෙල් නිපදවූ බොහෝ රටවල තෙල් කර්මාන්තය තිබුණේ රජයේ පාලනය යටතේ. එය අදටත් එහෙමමයි. තරඟයක් නොතිබුණු නිසා කර්මාන්තයට කාර්යක්ෂම වෙන්න බල කෙරුණේ නැහැ. තෙල් බැරලයක් නිපදවීමේ ආන්තික පිරිවැය ගොඩක් අඩුවුණත්, මේ ගොඩක් රටවල් තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිලකට විකුණා ලබන ලාබ වියදම් කරන්න ක්‍රම හදලයි තිබුණේ. ඒ නිසා, ආන්තික පිරිවැය අඩුවූ පමණින් අඩු මිලට තෙල් විකුණන්න මේ රටවල් වලට පුළුවන් කමක් තිබුණේ නැහැ. දැනටත් නැහැ.

තෙල් කර්මාන්තයේ ආන්තික පිරිවැය තීරණය වෙන්නේ නිෂ්පාදකයාගේ කාර්යක්ෂමතාවය මතම නෙමෙයි. එය බොහෝ දුරට තීරණය වෙන්නේ තෙල් නිධියේ ස්වභාවය අනුව. මැද පෙරදිග තෙල් වල ආන්තික පිරිවැය ගොඩක් අඩු ඒ තෙල් උඩට ගන්න එක පහසු නිසයි. ඒ තරම් පහසුවෙන් උඩට ගත හැකිව තිබුණු ඇමරිකන් තෙල් කලින්ම ඉවර වෙලයි තිබුණේ.

කොයි තරම් කාර්යක්ෂම නිෂ්පාදකයෙක්ට වුනත් ඇමරිකාවේ තෙල් නිධියකින් මැද පෙරදිගදී තරම් ලාබෙට තෙල් ගොඩගන්න බැහැ. ඒ නිසා, මැද පෙරදිග ඇතුළු තෙල් නිපදවන රටවල් ඇමරිකාවට ලොකු ලාබයක් තියාගෙන තෙල් විකුණුවත් ඒ ලොකු ගණන් පවා ඇමරිකාවෙන් තෙල් හොයන්න යන වියදමට වඩා ලාබ වූ නිසා ඇමරිකාවේ තෙල් කර්මාන්තය ලොකුවට දියුණු වුණේ නැහැ.

කොයි දේක වුනත් සීමාවක් තියෙනවනේ. 2008 මැද වෙද්දී පැවතුණු අධික තෙල් මිල ඇමරිකාවේ තිබුණු තෙල් සමතුලිතතාවය වෙනස් කළා. හයිඩ්‍රෝලික් විභේදන තාක්ෂණය දියුණු වී ශල්ක තෙල් එළියට එන්න පටන්ගත්තා. ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ ගියා. ලෝකයේ අනෙක් තෙල් නිපදවන්නන් එක්ක එකතුවෙලා කාටල් හදන්න ඇමරිකානු නීතියෙන් ඇමරිකානු සමාගම් වලට ඉඩක් නැති නිසා ඇමරිකාවේදී වෙළඳපොළේ රැඳී සිටින්න ලැබෙන්නේ අඩුම මිලකට තෙල් නිපදවන වඩාත්ම කාර්යක්ෂම නිෂ්පාදකයින්ට පමණයි.

ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ යද්දී ඇමරිකාවේ තෙල් ආනයන ඉල්ලුම ක්‍රමයෙන් පහළ ගියා. එවිට ලෝක තෙල් ඉල්ලුමත් පහළ යන බව කිව යුතු නැහැ.

තෙල් මිල පහළ යන විට තෙල් නිපදවන රටවල ලාබ පහළ යනවා. එය වලක්වා ගන්න කරන්න තියෙන්නේ නිෂ්පාදනය සීමා කිරීමයි. නමුත්, නිෂ්පාදනය අඩු කිරීම නිසා සිදුවෙන පාඩුව මිල වැඩි වීමෙන් ආවරණය නොවුණොත් ඒ වැඩෙන් වෙන්නෙත් පාඩුවක්. නිෂ්පාදනය පාලනය කළ හැකි වුවත් මිල තීරණය වන්නේ වෙළඳපොළ සාධක මතයි. කෙසේ වුවත්, සිදු වුනේ වෙනත්ම දෙයක්.

ප්‍රශ්නයේ මුල තිබුණේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදනය. ඒ නිසා, සවුදි අරාබිය විසින් උත්සාහ කළේ ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය වැටෙන තෙක්ම මිල අඩු වෙන්න අරින්නයි.

සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග සම්ප්‍රදායික තෙල් ලිං වලින් අවුරුදු සිය ගානක්ම එක දිගට තෙල් ගන්න පුළුවන්. නමුත්, ඇමරිකාවේ ශල්ක තෙල් ලිං වලින් අවුරුදු තුන හතරකට වඩා කාලයක් එක දිගට තෙල් ගන්න බැහැ. ඒ නිසා, දිගින් දිගටම අලුත් තෙල් ලිං කණින්න ඕනෑ. මේ වැඩේට ආයෝජකයින් අත ගහන්නේ තෙල් මිල ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක තිබේනම් පමණයි.


සවුදි අරාබිය කළේ නිෂ්පාදනය වැඩි කර තෙල් මිල පහළින් තියාගෙන ඇමරිකාවේ ශල්ක තෙල් ලිං එකෙන් එක වැහෙන ආකාරය දෙස බලා ඉන්න එකයි. සැලසුම් කරපු විදිහටම ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණා. අඩු තෙල් මිල නිසා වැහෙන ලිං වල හිලවුවට අලුත් තෙල් ලිං හැදුණේ නැහැ. කොහොම වුනත් මේ ටික වෙද්දී තෙල් නිපදවන රටවල් වල ලාබ ගොඩක් අඩු වූ නිසා ඒ රටවල් වල අයවැය හිඟයයන් විශාල ලෙස ඉහළ ගියා. අනික් අතට ඇමරිකාවේ තෙල් කර්මාන්තය වැටුණත් පහළ ගිය තෙල් මිලේ උදවුවෙන් අනෙක් බොහෝ අංශ වේගයෙන් වර්ධනය වුනා.

තෙල් නිපදවන රටවල් වලට දිගින් දිගටම තෙල් මිල පහළින් තියාගන්න උවමනා වුණේ නැහැ. එහෙම තියෙන්න අරින්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය සීමා වෙද්දී තෙල් මිල ටිකෙන් ටික නැවත ඉහළ ගියා. තෙල් නිපදවන රටවල් එයට ඉඩ ඇරියා.

කොහොම වුනත් ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය එක් නිෂ්පාදකයෙක් අතේ තිබෙන එකක් නෙමෙයි. මිල පහළ යද්දී කර්මාන්තයෙන් විසි වුණේ වඩාත්ම අකාර්යක්ෂම නිෂ්පාදකයින්. වඩා කාර්යක්ෂම, අඩු පිරිවැයකින් තෙල් බැරලයක් නිපදවිය හැකි නිෂ්පාදකයෝ වෙළඳපොළේ ඉතුරු වුණා. අලුත් අභියෝගය හමුවේ කර්මාන්තයේ කාර්යක්ෂමතාව තවත් ඉහළ නංවා ගත හැකි තාක්ෂනයන් බිහි වුනා. නිදහස් වෙළඳපොළක් කියන්නේ එහෙම තැනක්.

අන්තිමට ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණත්, ඉතිරි වූ අයගේ කාර්යක්ෂමතාවය ඉහළ ගිය නිසා තෙල් ලිං අඩු වෙන තරමටම තෙල් සැපයුම අඩු වුනේ නැහැ. අනෙක් පැත්තෙන්, නැවත මිල ඉහළ යද්දී තෙල් ලිං ආයෙත් අලුතෙන් හැදුනා. තෙල් නිපදවන රටවල් විසින් කරපු දේවල් වලින් ලොකු වැඩක් වුණේ නැහැ.

උඩ රූප සටහන දිහා බැලුවහම මේ කරුණු පැහැදිලි වෙනවා. තෙල් මිල වැටිලා මාස තුනක් පමණ යන කොට එයට අනුරූපව ක්‍රියාකාරී තෙල් ලිං ප්‍රමාණයත් පහත වැටෙනවා. ඉන්පසුව මිල ක්‍රමයෙන් නැවත ඉහළ යද්දී නැවත තෙල් ලිං නැවත හැදිලා මිල ඉහළ යාම නවතිනවා. 2008දී වගේම 2014දීත් මෙය වුනත් 2014 වැටීමෙන් පසුව මිල ඉහළ යාම නවත්වාගන්න 2008 වැටීමෙන් පසුව තරම් තෙල් ලිං හැදෙන්න අවශ්‍ය වුනේ නැහැ. මොකද ඒ වන විට කර්මාන්තය තවත් කාර්යක්ෂම වෙලා.

පසුගිය නොවැම්බර් අවසාන සතිය තුළ වසර 75කට පසුව පළමු වරට ඇමරිකා එක්සත් ජනපදය ශුද්ධ තෙල් අපනයනකරුවෙකු වුනා. එය තාවකාලිකව එක් සතියක් තුළ පමණක් සිදු වූ දෙයක් වුවත් එවැන්නක් පවා 1973 සිට පැවති ඇමරිකානු සිහිනයක්. ඉහළ තෙල් මිල හේතුවෙන් ඇමරිකාවේ තෙල් නිෂ්පාදන කර්මාන්තයේ වගේම විකල්ප බලශක්ති හා ඉන්ධන පිරිමැසුම් තාක්ෂණ ආදිය වෙනුවෙන්ද ආයෝජන දිරිමත් වී තිබෙනවා. අනාගත ඇමරිකානු සංවර්ධනය තෙල් මත පෙර තරම් යැපෙන්නේ නැහැ.

අනෙක් පැත්තෙන් දැන් ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු ඇමරිකාව නෙමෙයි. චීනයයි. තෙල් මිල නිසා කලින් බටහිර රටවල් මුහුණ දුන් අභියෝග වලට දැන් මුහුණ දෙන්න සිදුවී තිබෙන්නේ චීනය, ඉන්දියාව වැනි රටවලටයි. ලංකාව වැනි රටවලුත් ඒ අතර තිබෙනවා.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...