Wednesday, December 5, 2018
අයිටීඑන් කුමන්ත්‍රණ දෙක
සති ගණනක් තිස්සේ ස්වාධීන රූපවාහිණිය හරහා ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණ දෙකක් පිළිබඳව මේ වන විට එළිදරවු වී අවසන්. එකක් ඇමරිකන් කුමන්ත්‍රණයක්. අනිත් එක රුසියන් කුමන්ත්‍රණයක්.
කුමන්ත්‍රණ කතා වලට ලංකාවේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ ඉල්ලුම පහසුවෙන් මුදල් කළ හැකියි. හැබැයි ඔය වැඩේ කරන්න සැපයුම්කරුවොත් ඕනෑ තරම් ඉන්න නිසා ඒ කාටවත් ඒකාධිකාරයක් පවත්වාගන්න අමාරුයි. වෙළඳපොළ තරඟකාරීයි.
කුමන්ත්‍රණ එකිනෙකට වෙනස්. ඒ නිසා, කුමන්ත්‍රණ එළිදරවු කිරීමේ සේවාවන් කියන්නේ සමජාතීය වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. ඒ නිසා, තරඟකරුවෝ කොපමණ හිටියත් තමන්ගේ භාණ්ඩය මොන විදිහකින් හෝ සුවිශේෂී කරගත්තොත් වෙළඳපොළ අල්ල ගන්න පුළුවන්.
ලිලන්ත කුමාරසිරිගේ කණාමැදිරියෝ කතා කළේ ඇමරිකන් කුමන්ත්‍රණයක් ගැනයි. මේක ඇමරිකන් රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ක්‍රියාත්මක වූ මාර සිරා කුමන්ත්‍රණයක්. හැබැයි කතාව ඉවර වෙද්දී ලංකාවේ පොලීසිය කුමන්ත්‍රණය එළිදරවු කර ගන්නවා. චාමරගේ රාහු කතා කළේ රුසියන් කුමන්ත්‍රණයක් ගැන. රහස් පොලීසිය ඒකෙත් සුලමුල හොයා ගන්නවා. නමුත්, එච්චරයි. සුලමුල හොයා ගත්තට පස්සේ ෆයිල් එක ක්ලෝස්.
ඔය කතා දෙකේම පොදු තේමාව පිටරටින් "අපේ දේවල්" අරගෙන යන එක. බොහොම ජනප්‍රිය තේමාවක්. රබර් වැවිල්ලෙන් පටන් අරන් රබර් වගේම ඇදුණු මිණිගංදෑළත් යාන්තම් ඉවර වුණා. අන්තිමට පරණ කෑලි නැවත පෙන්වමින් අද්දපු විදිහට මම හිතුවේ පරම්පරා තුනක කතාව බලන්න පරම්පරා හතරකවත් කාලය යයි කියලයි. ඒකෙත් කුමන්ත්‍රණ ගණනාවක් ගැන කතා කලා. ඒවා බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණ.
බටහිර රටවල් ලංකාවෙන් හෝ තූත්තුකුඩියෙන් හෝ ගන්න තිබෙන දේවල් ගන්නවා කියන එක බොරුවක් නෙමෙයි. ඔවුන් අනුන්ගේ දේවල් ගන්න වගේම තමන්ගේ දේවල් දෙන්නත් කැමතියි. ලංකාවේ ඔය දෙකටම කිසියම් විරෝධයක් තිබෙනවා. ගන්නකොට කියන්නේ දේශීය දැනුම නැත්නම් සම්පත් බටහිරයන් විසින් හොරකම් කර ගැනීම කියලා. දෙනකොට කියන්නේ බටහිර ආධිපත්‍යය බලහත්කාරයෙන් පැටවීම කියලා.
මේ විරෝධයට හේතුව බටහිර රටවල් විසින් ලංකාව වගේ රටවල දේවල් අරන් ගිහිං වැඩි දියුණු කරලා නැවත ලංකාවටම විකුණන අවස්ථා පෙනෙන්න තිබීම විය හැකියි. අප කුඩා කාලයේ නිතර යොදාගත් උදාහරණයක් වුනේ ලංකාවෙන් රබර් ගෙනිහින් ටයර් හදලා නැවත ලංකාවටම විකිණීම. දැන් බොහෝ විට කතා කරන දෙයක් වෙන්නේ දේශීය ඖෂධ ගෙනිහින් පෙති හෝ කරල් ලෙස නැවත ලංකාවටම විකුණනවා කියන එක. දෙවැන්න කොයි තරම් දුරකට වෙන දෙයක්ද කියා මම හරියටම දන්නේ නැතත් පළමුවැන්නනම් කාලයක් තිස්සේ සිදුවුණා.
මේ වැඩේම අනිත් පැත්තත් වෙනවා. ලංකාව වගේ රටවල් බටහිර රටවල් වලින් රෙදි, නූල්, යන්ත්රසූත්ර, තාක්ෂනය වගේ දේවල් අරගෙන ඇඳුම් මහලා නැවත බටහිර රටවලටම විකුණනවා. නමුත්, ඒ ගැන බටහිර රටවල මිනිස්සු කනිපින්දම් කියනවා අඩුයි. නැත්තෙමත් නැහැ. ඇමරිකාව වගේ රටවල තිබෙන චීන විරෝධය මීට කිට්ටුවෙන් යන එකක්.
රබර් කියන්නෙත් ලංකාවේ දෙයක් නෙමෙයි. රබර් ලංකාවට හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයන් විසින්. මිණිගංදෑළ පටන් ගත්තේ ඒ කාලයෙන්. සුද්දෝ එංගලන්තයේ රබර් නොවවා ලංකාවේ වැවුවේ එය වඩා ලාබදායක නිසා. ලංකාවේ ටයර් නොහදා එංගලන්තයේ හැදුවෙත් ඒ හේතුවම නිසා. නමුත්, කාලයත් එක්ක මේ තත්ත්වයන් වෙනස් වෙනවා. දැන් ලංකාවේ නිෂ්පාදන අපනයන ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙන්නේ ටයර් වැනි රබර් නිෂ්පාදන වලින්.
රටකට නිෂ්පාදන ක්‍රියාවලියේ එක අදියරක ඉඳලා තවත් අදියරකට යන්න හැකි වෙන්නේ තාක්ෂණ දැනුම වැඩි වීමට සමාන්තරවයි. ඒ සඳහා, එක්කෝ රට ඇතුළේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු විය යුතුයි. නැත්නම් පිටින් ඒ දැනුම ලබාගත යුතුයි. පිටින් දැනුම ලබාගන්න පුළුවන් වෙන්නේ දැනට රට ඇතුළේ තිබෙන දැනුමට සාපේක්ෂවයි. දැනුම ලබා ගැනීම පියවරෙන් පියවරට සිදු විය යුතු දෙයක්. ලෝකයට විවෘත වූ තරමට මෙය වඩා වේගවත්ව සිදු වෙනවා.
Labels:
ආකල්ප,
ආර්ථික විද්‍යාව,
ටෙලිනාට්‍ය
Monday, December 3, 2018
සුබගමන්, හිටපු ජනපති තුමනි!
කොයි තරම් බලවතෙක්ට වුනත් අන්තිමට සියල්ල අතහැර යන්න දවසක් එනවා. මේ නියාමය පෙන්වා දෙමින්, ඇමරිකාවේ 41 වන ජනාධිපති වූ ජෝජ් හර්බට් වෝකර් බුෂ් පසුගිය සිකුරාදා අවසන් ගමන් ගියා. මිය යන විට ඔහුගේ වයස වසර අනූ හතරක් හා දින 171ක්. ඒ අනුව, මෙතෙක් වැඩිම කලක් ආයු වැළඳූ ඇමරිකන් ජනාධිපති වරයා ඔහුයි.
ජෝජ් එච් ඩබ්ලිවු බුෂ් ඇමරිකන් ජනාධිපතිව සිටියේ 1989-1993 අතර කාලයේදීයි. සෝවියට් සංගමය බිඳ වැටුනේ මේ කාලය ඇතුළතයි. ඉන් පෙර රොනල්ඩ් රේගන් ජනාධිපති සේ කටයුතු කළ 1981-1989 කාලය තුළ ඔහු ඇමරිකාවේ 43වන උප ජනාධිපති සේ කටයුතු කළා.
ජෝජ් එච් ඩබ්ලිවු බුෂ්ගේ පුතා වූ ජෝජ් වෝකර් බුෂ් පසුව ඇමරිකාවේ 43 වන ජනාධිපතිවරයා සේ කටයුතු කළා. මේ දෙන්නා ඇමරිකාවේ ජනාධිපති සේ කටයුතු කළ දෙවන පිය පුතු යුගලයයි.
ජනාධිපති ට්‍රම්ප් විසින් මේ වෙනුවෙන් අනිද්දා (බදාදා) දිනය ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා.
Saturday, December 1, 2018
මහින්ද නිදහස් කළ කෝටිය
ඉරාන ජාතිකයෙකු විසින් රටින් පිටතට ගෙන යාමට උත්සාහ කරද්දී රේගුව විසින් අත් අඩංගුවට ගෙන රාජසන්තක කර තිබුණු ඇමරිකන් ඩොලර් 53,455ක මුදලක් එම පුද්ගලයා වෙත නැවත ආපසු භාර දෙන මෙන් මහින්ද රාජපක්ෂ විසින් නියෝග කර තිබුණු බව පසුගිය දවස් වල කතාබහට ලක් වූ පුවතක්. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ විසින් මේ පිළිබඳව පැහැදිලි කරමින් පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඉහත කී පුවත්පත් නිවේදනය අනුව, කතාබහට ලක් වූ මුදල අලි රිසාසද් මෝෆ් නම් වූ අදාළ පුද්ගලයා විසින් ඉරාන සමූහාණ්ඩු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සේවය කර ඉපැයූ මාසික වැටුප් මුදල්. මේ මුදල නිදහස් කිරීමේ නීතිමය හෝ සදාචාරාත්මක පසුබිම ප්‍රශ්න කරන්න නෙමෙයි මේ ලිපිය ලියන්නේ.
උමාඔය ව්‍යාපෘතිය බොහෝ ප්රශ්නකාරී ව්‍යාපෘතියක්. හිටපු බ්ලොග් රචකයෙකු හා මේ ව්‍යාපෘතිය ගැන නිතර කතා කළ පුද්ගලයෙකු වූ සමන්ත විද්‍යාරත්න වැනි ඇතැම් අය විසින් මෙය හැඳින්වූයේ උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය නමින්. ව්‍යාපෘතිය නිසා සිදු වූ පාරිසරික හානිය ගැන ඕනෑ තරම් කතා වෙලා තිබෙනවා. මා හිතන්නේ මේ වන විට අදාළ ප්‍රධාන පාරිසරික ප්රශ්නය විසඳා තිබෙනවා කියායි.
මේ ව්‍යාපෘතියේ වියදමෙන් 85%ක් (ඩොලර් මිලියන 450ක්) ලැබීමට නියමිතව තිබුණේ ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය මුදලක් ලෙසයි. ඉතිරිය ලංකාවෙන්. ව්‍යාපෘතියේ වියදම් ඇස්තමේන්තුව මුල සිටම විවේචනයට ලක් වූ දෙයක්. විස්තරාත්මක කරුණු පිළිබඳ එකඟතාවයක් නැතිව, ඉරාන රජය සමඟ හදිසියේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එහි කොන්ත්‍රාත්කරු වූ ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු මුදල ඉහළ දැමූ බවත්, ලංකාවේ ඉංජිනේරුවන් එයට එකඟ නොවූ බවත් වාර්තා වී තිබුණා. අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ ඉල්ලා අස්වීමක් පවා සිදු වුණා.
මේ වගේ බහුකාර්ය ව්‍යාපෘති වලින් ලැබෙන වාසි රැසක් තිබෙනවා. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. නමුත්, ප්රශ්නය වන්නේ මේ වාසි වෙනුවෙන් ගෙවිය යුතු මිල ඒ වාසි වලට වඩා අඩුද වැඩිද කියන එකයි.
ඉරානයෙන් ණය මුදල ලැබෙන්නේම අදාළ කොන්ත්‍රාත්තුව ඉරාන සමාගමකට ලබා දීමේ කොන්දේසිය එක්කයි. ඒ එක්කම ඒ සමාගමේ ලාබ ලෙස ණය මුදලෙන් සැලකිය යුතු කොටසක් ආපසු ඉරානයට යාම සහතික වෙනවා. වෙනත් අවශ්‍ය දේවල් බොහොමයක් ඉරානයෙන්ම ආනයනය කෙරෙන්නත් ඉඩ තිබෙනවා. ඒ මුදලත් ආපසු යනවා. අවසාන වශයෙන් ව්‍යාපෘතියේ සේවය කරන්න එන අලි රිසාසද් මෝෆ් වගේ අය ඔවුන්ගේ වැටුප් ලෙස තවත් මුදල් ප්‍රමාණයක් ආපසු ගෙනියනවා. අන්තිමට ඉරානය දුන් මුදලින් සැලකිය යුතු කොටසක් ආපහු ඉරානයේ.
කොහොම වුනත් ගත් මුළු ණය මුදල සහ පොලිය ලංකාව විසින් ගෙවිය යුතුයි. එසේ ගෙවන්න තරම් ප්‍රමාණවත් මුදලක් මේ ව්‍යාපෘතිය නිසා ජනනය වෙනවද? එහෙම වෙනවනම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, බොහෝ විට එසේ වෙන්නේ නැහැ. එතකොට පාරිසරික හානි ඇතුළු අනෙකුත් අවාසි වල ආවස්ථික පිරිවැය හා වන්දි ලබා දීම් වැනි වියදම්?
මෙය උමා ඔය ව්‍යාපෘතිය හා පමණක් අදාළ හෝ ඉරානය හා පමණක් අදාළ තත්ත්වයක් නෙමෙයි. කිසියම් ව්‍යාපෘතියක් නිසා අනාගතයේ ජනනය වෙන අමතර ආදායම හා විදේශ විණිමය ප්‍රමාණය ණය ආපසු ගෙවන්න තරම් ප්‍රමාණවත්ද යන්න බොහෝ විට සැලකිල්ලට ගැනෙන්නේ නැති වීම ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයක හිර වී සිටින්න එක් හේතුවක්.
ඕනෑම යහපත් දෙයක් වෙනුවෙන් ගෙවිය යුතු මිලක් තිබෙනවා.
(Image: https://srilankamirror.com/news/3698-hartal-against-uma-oya-project-disrupts-bandarawela-pictures)
Labels:
ආර්ථික අර්බුදය,
ආවස්ථික පිරිවැය,
ගෙවුම් ශේෂය,
රාජ්‍ය ණය
Friday, November 30, 2018
ආනයන වියදම් අඩු නොවෙන්නේ ඇයි?
මහ බැංකුවේ නිවේදනයකට අනුව 2018 පළමු මාස 9 ඇතුළත ආනයන වියදම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.4%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 1587.4ක වැඩි වීමක්.
පසුගිය අගෝස්තු මාසය දක්වා වසරක කාලය තුළ රුපියල එතරම්ම අවප්‍රමාණය වුණේ නැහැ. නමුත්, යම් තරමකින් අවප්‍රමාණය වුණා. එසේ තිබියදීත්, ආනයන වියදම මේ ආකාරයෙන් ඉහළ ගොස් තියෙන්නේ ඇයි?
ඉහත වැඩි වීමෙන් 95%කටම හේතු වී තිබෙන්නේ කාණ්ඩ තුනක ආනයන වියදම් වල සිදු වූ වැඩි වීමයි. ඒ පෞද්ගලික වාහන ආනයනය, ඉන්ධන ආනයනය හා පොහොර ආනයනය යන කාණ්ඩ තුනයි.
වසරේ පළමු මාස නවය ඇතුළත පෞද්ගලික වාහන ආනයන වියදම් 129.6%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 670.2ක වැඩි වීමක්. ඉන්ධන ආනයන වියදම් ඩොලර් මිලියන 713.8කිනුත්, පොහොර ආනයන වියදම් ඩොලර් මිලියන 116.6 කිනුත් (163.8%කින්) ඉහළ ගොස් තිබෙනවා. මේ කාණ්ඩ තුනේ පමණක් ආනයන වියදම් ඉහළ යාම ඩොලර් මිලියන 1,500.6ක්. ඉතිරි කාණ්ඩ සියල්ලේම ආනයන වියදම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 86.8කින් පමණයි. එය 0.6%ක සුළු වැඩි වීමක්.
මෙසේ විශාල ලෙස පෞද්ගලික වාහන ආනයන වියදම් ඉහළ යාමට හේතු වී තිබෙන්නේ මෝටර් රථ ආනයනය දෙගුණයකින් පමණ ඉහළ යාමයි. ත්‍රිරෝද රථ, ද්විත්ව කාර්ය වාහන හා මෝටර් සයිකල් ආදිය ආනයනය කිරීම කැපී පෙනෙන ලෙස වැඩි වී නැහැ. මෝටර් රථ ආනයනය මෙසේ විශාල ලෙස ඉහළ යාමට හේතුව වසර මුලදී ලබා දුන් තීරු බදු රහිත වාහන බලපත් බව පැහැදිලියි. ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමටත් මෙලෙස අළුතින් ආනයනය කළ, ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් ආදියට සාපේක්ෂව ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු, පෞද්ගලික වාහන ප්‍රමාණය සැලකිය යුතු ලෙස දායක වී තිබෙන බව සිතිය හැකියි. අප්‍රේල් මාසයේ සිට පොහොර සහනාධාරය නැවත ලබා දීම පොහොර ආනයන වියදම් ඉහළ යාමට හේතු වී තිබෙනවා.
රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දුන් විට සෛද්ධාන්තිකව ආනයන වියදම් අඩු විය යුතුයි. එසේ වෙන්නේ ආනයන භාණ්ඩ වල මිල ඉහළ යාම නිසා ඒ භාණ්ඩ වල දේශීය ඉල්ලුම අඩු වීමෙන්. නමුත්, බදු සහන හෝ සහනාධාර දීම මඟින් මිල ඉහළ යාම වලක්වා මිල තිබුණාටත් වඩා පහළ හෙළුවොත් විණිමය අනුපාතිකය අවප්‍රමාණය කළ පලියට ආනයන වියදම් අඩු වෙන්නේ නැහැ.
(Images: https://auto.economictimes.indiatimes.com/news/passenger-vehicle/cars/higher-import-duty-to-hit-indias-car-exports-to-sri-lanka/55712005)
Labels:
ජාත්‍යන්තර වෙළඳාම,
මහ බැංකුව,
විණිමය අනුපාතිකය,
වෙළඳ ශේෂය
Thursday, November 29, 2018
ඊයේ ඩොලරය පහළ ගියේ ඇයි?
දිගින් දිගටම දිනපතා කීයකින් හෝ ඉහළ යමින් තිබුණු ඇමරිකන් ඩොලරයක මිල අද දිනයේ (29 බ්‍රහස්පතින්දා) පොඩ්ඩක් අඩු වුනා. ඒ ඇයි? ජනාධිපතිවරයා හා කතානායකවරයා අතර සාකච්ඡාවෙන් පස්සෙද? නැත්නම් මහ බැංකු මැදිහත්වීමක් නිසාද?
ඇත්තටම වුනේ රුපියල ශක්තිමත් වීම නෙමෙයි. ඩොලරය පොඩ්ඩක් දුර්වල වීමයි. මෙය සිදුවුනේ ඊයේ (28 බදාදා) ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ජෙරමි පවල් විසින් කළ ප්‍රකාශයක් නිසයි.
පහුගිය කාලයේ ඩොලරයේ මිල ඉහළ යන්න හේතු වුනේ ඩොලරය ශක්තිමත් වීම බව මාස කිහිපයකට පෙර මහ බැංකුව පැත්තෙන් ඇහුනු දෙයක්. එය සම්පූර්ණ ඇත්තක් නොවුනත් අර්ධ සත්‍යයක්. මේ ගැන මා ඒ දවස් වල පැහැදිලි කළා.
පසුගිය ආර්ථික අවපාතයෙන් පසුව ඇමරිකන් ආර්ථිකය නැවත උඩට ගැනීම පිණිස පොලී අනුපාතික හොඳටම අඩු කළා. 2008 දෙසැම්බර් මාසයේදී ෆෙඩරල් පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වාම අඩු කළා. එතැන් සිට වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතුනේ 0-0.25% මට්ටමේ. මේ කාලය තුළ ප්රාග්ධනය විශාල ලෙස ඇමරිකාවෙන් පිටත වැඩි පොලී අනුපාතික තිබුණු තැන් වලට ගලා ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලරය ක්‍රමයෙන් දුර්වල වුනා. ඒ කාලයේ ඩොලරයක මිල ඉහළ යාමේ ප්රශ්නය හෝ විදේශ ප්රාග්ධනය ආකර්ශනය කර ගැනීම ලංකාවට ලොකුවට බල නොපෑවේත් ඒ නිසයි.
මෙසේ ශුන්‍ය මට්ටම ආසන්නයේ වසර හතක් පැවති පොලී අනුපාතික 2015 දෙසැම්බරයේදී 0.25-0.50% මට්ටම දක්වාත්, තවත් වසරකට පසු 0.50-0.75% දක්වාත් ආදී වශයෙන් ක්‍රමයෙන් ඉහළ නැංවුනා. ඉන්පසුව 2017දී තෙවරක් හා 2018දී මේ වන තුරු තෙවරක් ෆෙඩරල් පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. දැන් තිබෙන්නේ 2.00–2.25% මට්ටමේ.
සමාන අවදානමක් තිබෙන වෙනත් රටවලට සාපේක්ෂව රටක පොලී අනුපාතික ඉහළ යන විට ඒ රටට විදේශ ප්රාග්ධනය ආකර්ශනය වෙනවා. එවිට, විණිමය අනුපාතිකය ශක්තිමත් වෙනවා. පසුගිය තෙවසරක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ සාපේක්ෂව ඉහළ පොලී අනුපාතිකයි.
රටක මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමන්නේ උද්ධමනය පාලනය කිරීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය අඩු වෙනවා. රටක ආර්ථික වර්ධනය අඩු කෙරෙන ප්‍රතිපත්ති වලට රාජ්‍ය පාලකයින් එතරම් කැමති නැහැ. ජනාධිපති ට්‍රම්ප් හා අදාළව වුවත් මෙහි වෙනසක් නැහැ. ඔහු සවුදි අරාබියට බලපෑම් කරමින් තෙල් මිල පහළින් තබාගන්න උත්සාහ කරන්නෙත් තෙල් මිල අඩුවන තරමට ඇමරිකන් ආර්ථික වර්ධනය වේගවත් වන නිසයි.
ජෙරමි පවල්ගේ බදාදා ප්‍රකාශයෙන් අදහස් වුනේ පසුගිය තෙවසර තුළ සිදු කෙරුණු පොලී අනුපාතික ඉහළ දැමීම තව වැඩි කලක් මේ ආකාරයට සිදු නොකෙරෙනු ඇති බවයි. පොලී අනුපාතික අවශ්‍ය මට්ටම කිට්ටුවටම පැමිණ තිබෙන බව ඔහු විසින් පැවසීමෙන් බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ තවත් වරකට නැත්නම් දෙකකට වඩා පොලී අනුපාතික ඉහළ දමන්නට ඉඩක් නැති බවයි.
ඉදිරි කාලයේදී පොලී අනුපාතික දිගින් දිගටම වැඩි වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඇමරිකාවට ප්රාග්ධනය ගලා එන එක සීමා වෙනවා කියන එකයි. ඒ කියන්නේ ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන ප්‍රවණතාව වෙනස් වෙනවා කියන එකයි. පවල්ගේ ප්‍රකාශය සිදු වූ ඊයේ ඇමරිකන් ඩොලරය බ්‍රිතාන්‍ය පවුම, යුරෝව, යෙන් මුදල, චීන යුවානය, ඕස්ට්‍රේලියානු හා කැනේඩියානු ඩොලර්, ඉන්දියන් රුපියල ඇතුළු ලෝකයේ ව්‍යවහාර මුදල් බොහොමයකටම සාපේක්ෂව දුර්වල වුනා.
අද ඇමරිකන් ඩොලරයක රුපියල් මිල තරමක් අඩු වෙන්න හේතු වී තිබෙන්නේත් ඉහත ප්‍රකාශයයි. බ්‍රිතාන්‍ය පවුම, යුරෝව, යෙන් මුදල ආදී අනෙක් විදේශ ව්‍යවහාර මුදල් බොහොමයකට සාපේක්ෂව අද දිනයේත් රුපියල පිරිහී තිබෙනවා.
පවල්ගේ ප්‍රකාශයට ඇමරිකානු කොටස් වෙළඳපොළත් ප්‍රතිචාර දැක්වූවා. ඊයේ කොටස් වෙළඳපොළ දර්ශක සැලකිය යුතු ලෙස ඉහළ ගියා. පොලී අනුපාතික වැඩි වීම නවතිනවා කියන්නේ ආර්ථික වර්ධනය ඉහළ යනවා කියන එකයි. එවිට සමාගම් වල ලාබ ඉහළ ගොස් කොටස් හිමියන්ගේ ලාභාංශ ඉහළ යනවා. ඒ නිසා, පොලී අනුපාතික සීමා වෙන්න යන ප්‍රවෘත්තියට කොටස් ඉල්ලුම වැඩි වී කොටස් මිල ඉහළ යනවා.
ජෙරමි පවල්ගේ ප්‍රකාශය නිසා කොටස් වෙළඳපොළේ හා විනිමය වෙළඳපොළේ ඊයේ ඇති වූ තිගැස්ම සුළු හා තාවකාලික එකක්. ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිගේ කටින් පනින මෙවැනි කෙටි අදහස් දැක්වීමක් පවා ලෝකය පුරාම විශාල බලපෑමක් කරනවා.
(Image: https://www.moneycontrol.com/news/business/markets/opinion-jerome-powell-spoke-like-a-dove-but-appearances-can-be-deceptive-2886351.html)
Labels:
ආර්ථික විද්‍යාව,
ඇමරිකාව,
පොලී අනුපාතික,
විණිමය අනුපාතිකය
Wednesday, November 28, 2018
අවිනිශ්චිත නොවැම්බරය
නොවැම්බර් මාසය අවසන් වෙන්න තව දවස් දෙකක් පමණයි තියෙන්නේ. සියවසකට පමණ පෙර සිදුවුණු ඔක්තෝබර් විප්ලවය කියන සිදුවීම දැන් සමරන්නේ නොවැම්බර් මාසයේ. ඒ සිදුවීම එතැන් සිට ගත වුනු සියවස් තුන්කාලක කාලය තුළ ලෝක දේශපාලනයට විශාල බලපෑමක් කළා. ඒ ආකාරයටම ලංකාවේ රාජ්‍ය බලය පැහැරගන්න දෙවරක්ම උත්සාහ කළ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භක නායකයාව මරා දමනු ලැබුවේත් නොවැම්බරයකදී. ඔහු ඇතුළු අනෙකුත් මිය ගිය ජවිපෙ සාමාජිකයින්ව සමරමින් එම පක්ෂය හා එම පක්ෂයෙන් බිඳී ගිය පක්ෂ ඉල් මහ විරු සමරු පවත්වනවා.
ලංකාවේ රජය සමඟ වසර විසිහයක් යුද වැදුණු (ඊටත් පෙර සිට ක්‍රියාත්මක වූ) එල්ටීටීඊ නායක ප්රභාකරන්ගේ වගේම එම අරගලය වෙනුවෙන් උපවාසයක් කර මිය ගිය තිලීපන්ගේත් උපන් දින යෙදී තිබුනේත් නොවැම්බර් මාසයේ. මේ කාලය තුළ සැමරුණු මහවිරු සතියේදී එල්ටීටීඊ සංවිධානය විසින් බොහෝ විට කිසියම් දරුණු ත්‍රස්ත ක්‍රියාවක් කළ හෝ කරන්නට ඉඩ තිබුණු නිසා අදාළ කාලයේ බොහෝ දෙනෙක් ගෙදරින් එළියට බැස්සේ අවිනිශ්චිත හැඟීමකින්. එල්ටීටීඊ හිතවාදීන් විසින් තවමත් රහසිගතව හෝ මහවිරු සමරු පවත්වනවා. එල්ටීටීඊ සංවිධානය පරාජය කරද්දී ලංකාවේ ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂත් නොවැම්බරයේම උපන් අයෙක්.
ඇමරිකාවේ ප්‍රධාන මැතිවරණ සියල්ල පැවැත්වෙන මැතිවරණ දිනය යෙදෙන්නෙත් නොවැම්බරය තුළයි. ඒ නිසා නොවැම්බරය ඇමරිකාවටත් අවිනිශ්චිත මාසයක්. සති කිහිපයකට පෙර පැවති මැතිවරණයෙන් ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ජනාධිපති වරයාගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයෙන් ඩිමොක්රටික් පක්ෂය වෙත මාරු වුනා.
නොවැම්බර් මාසය යෙදෙන්නේ උත්තරාර්ධ ගෝලයේ හේමන්ත සෘතුව තුළ වුවත්, අපට දැනටම හිම වැටෙන්න පටන් අරන්. සති කිහිපයකට පෙර වර්ණවත්ව තිබුණු ගස් ගොඩක් දැන් කෝටු වෙලා. හැලුණු කොළ උඩ හිම එකතු වෙලා. අපේ ගේ ඉස්සරහ තිබෙන එක මේපල් ගහකනම් තවමත් කොළ වැටිලා නැහැ. හැම අවුරුද්දේම ඒ ගහේ විතරක් කොළ වැටෙන්නේ සතියකට දෙකකට පසුවයි. මිනිස්සු වගේම ගසුත් එකිනෙකට වෙනස් නිසා වෙන්න ඇති.
ඔක්තෝබර් අවසානයේ සිට දිග් ගැසෙමින් තිබෙන ලංකාවේ දේශපාලන අර්බුදය නොවැම්බරය පසු කරගෙන දෙසැම්බරය කරා ගමන් කරමින් තිබෙනවා. අද ඩොලරයක මැදි මිල රුපියල් 180.39ක්. ඔක්තෝබර් 25 සිට මේ වන විට මේ මිල රුපියල් 7.66කින් ඉහළ ගොස් තිබෙනවා. නොවැම්බර් 21න් අවසන් වූ සති 4 තුළ රාජ්‍ය සුරැකුම්පත් වල වූ විදේශ ආයෝජන වලින් රුපියල් බිලියන 29.0ක් ඉවත් කරගෙන තිබෙනවා. නොවැම්බර් 23න් අවසන් වූ සති 4 තුළ කොටස් වෙළඳපොළෙහි වූ විදේශ ආයෝජන වලින් රුපියල් බිලියන 7.8ක් ඉවත් කරගෙන තිබෙනවා.
මා ඉහත හානි සියල්ල දේශපාලන අර්බුදයට බැර කරන්නේ නැහැ. දේශපාලන අර්බුදය නොපැවතියත් මේ කාලය තුළ ඩොලරයේ මිල යම් තරමකින් ඉහළ යාමත්, රාජ්‍ය සුරැකුම්පත් වල හා කොටස් වෙළඳපොළෙහි වූ විදේශ ආයෝජන යම් ප්‍රමාණයක් රටින් පිටව යාමත් සිදු විය හැකිව තිබුණා. ඒ ප්රවණතා ආරම්භ වී තිබුණේ දේශපාලන අර්බුදය ඇරඹෙන්න පෙරයි. හැබැයි දේශපාලන අර්බුදය නිසා තත්ත්වය වඩා දරුණු වුණා.
පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් යටතේ රුපියල අවප්‍රමාණය වීම නරක දෙයක් කියා මා කියන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වුනා හෝ නොවුනා කියා හොඳ දෙය නරක දෙයක් වෙන්නේ නැහැ. නරක දෙය වන්නේ දේශපාලන අර්බුදය නිසා රුපියල අවප්‍රමාණය වීමේ අපේක්ෂිත වාසිය නැති වීමයි.
රුපියල අවප්‍රමාණය වූ පමණින් රටේ නිෂ්පාදන ආර්ථිකය එකවර දියුණු වෙන්නේ නැහැ. රුපියල නියම තැනට ඇවිත් ස්ථාවර වුවත්, දශකයක පමණ කාලයක් තිස්සේ ක්‍රමයෙන් ගොඩ නැගුනු ආනයන අපනයන පරතරය නැති වෙන්න අඩු වශයෙන් වසර කිහිපයක්වත් යයි. නමුත්, දේශපාලන අර්බුදය ආරම්භ වන විටත් ආර්ථිකයේ සේවා අංශය විණිමය අනුපාතිකයේ වෙනස් වීමට ප්‍රතිචාර දක්වමිනුයි තිබුණේ. දේශපාලන අර්බුදය නොවන්නට සංචාරක කර්මාන්තය හරහා ලැබෙන විදේශ විණිමය සැලකිය යුතු ලෙස වැඩි විය හැකිව තිබුණා.
දැනට පවතින තත්ත්වයේ යම් වෙනසක් සිදු විය හැක්කේ අධිකරණ තීන්දු වලින් පසුව පමණයි. ඇතැම් අය කියන විදිහට නොවැම්බරය ලංකාවට අරාජික මාසයක්. නමුත්, මා එසේ හිතන්නේ නැහැ. මහින්ද පාර්ශ්වයේ අරමුණ වුනේම කවර ආකාරයෙන් හෝ රාජ්‍ය බලය ඇල්ලීම හා පවත්වාගෙන යාමයි. සමස්තයක් ලෙස බැලූ විට ඔවුන් මේ වන විට අපේක්ෂිත අරමුණ ඉටු කරගෙන තිබෙනවා. රටින් පිටත පිළිගැනීමක් නැතත්, රට ඇතුළේ ඔවුන් රාජ්‍ය බලය ක්‍රියාත්මක කරමින් සිටිනවා.
රාජ්‍ය බලයට දිගින් දිගටම හිමිකම් කිවුවත්, මහින්ද පාර්ශ්වයේ අභියෝගය හමුවේ රනිල් විසින් කළේ රාජ්‍ය බලය අතහැර දැමීමයි. ඔවුන් උත්සාහ කළේ ව්‍යවස්ථාදායකය හරහා විධායකයේ බලයට අභියෝග කිරීමටයි. ඒ සඳහා ඔවුන්ට කල් පසු වී වුවත් අධිකරණයේ සහායද පතන්නට සිදු වුණා.
මේ වන විට මහින්ද විරෝධී කණ්ඩායම විසින් ව්‍යවස්ථාදායකය තුළ සිය බලය තහවුරු කරගෙන සිටියත් එතැනින් එහාට අඩියක් තියන්න ඔවුන්ට හැකි වී නැහැ. ව්‍යවස්ථාදායකය නොසලකා හරිමින් විධායකය ක්‍රියාත්මක වෙමින් සිටිනවා.
විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් ඇමරිකාවටත් හුරුපුරුදුයි. ව්‍යවස්ථාදායකය විසින් මුදල් වෙන් නොකිරීම මත ඇමරිකන් ෆෙඩරල් රජයේ ක්‍රියාකාරීත්වය සීමා කරන්න සිදු වී තිබෙන්නේ වරක් දෙවරක් නෙමෙයි. නමුත්, රට ඇතුළේ ඇමරිකන් ෆෙඩරල් රජයේ බලපෑම එතරම් විශාල නොවන නිසා ෆෙඩරල් රජය අකර්මන්‍ය වීම සාමාන්‍ය ජන ජීවිතයට ලොකු බලපෑමක් කරන්නේ නැහැ.
ලංකාවේ සාමාන්‍ය ජනජීවිතයට මධ්‍යම රජයේ බලපෑම ඊට වඩා ගොඩක් වැඩියි. නමුත්, දැන් පැහැදිලිව පෙනෙන පරිදි ලංකාවේ විධායකය ඇමරිකාවේ විධායකයට වඩා ගොඩක් බලවත්. ලංකාවේ විධායකයට ව්‍යවස්ථාදායකය නොසලකා කටයුතු කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. ඇමරිකානු ජනජීවිතයට සෘජු බලපෑමක් කරනවාට වඩා පහසුවෙන්, වෙනස් රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති රටකට සෘජු බලපෑමක් කර, ඒ හරහා වක්‍ර ලෙස ඇමරිකන් ජනජීවිතයට බලපෑමක් කිරීම ඇමරිකන් ජනාධිපතිවරයාට පහසුයි.
උදාහරණයක් ලෙස ගත්තොත් ලංකාවේ රාජ්‍ය නායකයෙකුට මෙන් ඇමරිකානු ජනාධිපතිවරයාට සෘජුව ඇමරිකාවේ තෙල් මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ. එය තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. නමුත්, ඔහුට තෙල් නිපදවන ප්‍රධාන රටක් වන සවුදි අරාබියේ රාජ්‍ය නායකයාට බලපෑමක් කළ හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස, දැන් සිදු වී තිබෙනාවක් මෙන්, තෙල් මිල විශාල ලෙස පහළ වැටෙන්න පුළුවන්.
හැත්තෑ හතේ සිටම ලංකාවේ ව්‍යවස්ථාදායකය කියන්නේ විධායකය විසින් නැටවූ රූකඩ මඩුවක් පමණයි. මෙය යම් තරමකින් වෙනස් වුනේ රනිල් වික්‍රමසිංහ අගමැති සේ කටයුතු කළ වකවානු දෙකේදීයි. මුල් අවස්ථාවේදී විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම අවසන් වුනේ විධායකය විසින් ව්‍යවස්ථාදායකය නීත්‍යානුකූල ලෙස පරාජය කරනු ලැබීමෙනුයි. දහනවවන සංශෝධනයේ අරමුණ වූයේ එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්වීමයි. ඒ උත්සාහය කෙතරම් සාර්ථකද කියා දැනගන්න ලැබෙන්නේ ඉදිරි සති කිහිපය ඇතුළත ලැබෙන්නට නියමිත අධිකරණ තීන්දු වලින් පසුවයි.
Labels:
ඇමරිකාව,
කාලගුණය,
තෙල් මිල,
දේශපාලන අර්බුදය,
දේශපාලනය
Tuesday, November 27, 2018
තෑන්ක්ස්ගිවිං නයෙක්!
කීයක් හරි අඩුවෙන් බඩුවක් මිල දී ගන්න පෝලිමේ ඉන්න එක මම කැමති දෙයක් නොවුණත් පසුගිය බ්‍රහස්පතින්දා මෙවැනි දෙයක් නොකර ඉන්න බැරි වූ බව මම කිවුවනේ. මිල දී ගන්න සැලසුම් කර තිබුණේ, තනියම ඔසොවන්න අමාරු, රූපවාහිනියක් නිසා මේ වැඩේට දෙන්නෙක් යා යුතුම වුනා.
පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වමින් ගොඩක් අය ලියා තිබුණේ දැන් කලක සිටම ලංකාවේ පෝලිම් දකින්න නැති බවයි. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. පසුගිය කාලයේ ලංකාවේ පෝලිම් ක්‍රමක්‍රමයෙන් අඩු වී තිබෙනවා. එයට ප්‍රධානම හේතුවක් වන්නේ මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යාමයි.
ස්තුති කිරීමේ සති අන්තයේදී වට්ටම් සහිතව බඩු විකුණුවා කියා හැම ඇමරිකානුවෙක්ම පෝලිම් වලට එකතු වෙන්නේ නැහැ. එය තීරණය වෙන්නේ එක් එක් පුද්ගලයාගේ පෝලිමේ සිටීමේ ආවස්ථික පිරිවැය හා වට්ටම නිසා ලැබෙන මුදල් වාසියේ ප්‍රමාණය අනුවයි. ලංකාව ගත්තත් එය එහෙමයි.
උදාහරණයක් විදිහට පසුගිය දවසක ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමීමක් කලින් දැනුම් දීම නිසා, මිල වැඩි වෙන්න පෙර ඉන්ධන ලබාගන්න ගොඩක් අය පෝලිම් ගැහුණා. ඒත් හැමෝම එය කළේ නැහැ. ලැබෙන වාසිය රස්තියාදුවේ ආවස්ථික පිරිවැයට වඩා වැඩි අය පමණයි මේ විදිහට පෝලිම් වලට එකතු වුණේ.
මා පාසැල් යන කාලයේ මසකට වරක් සෑහෙන වෙලාවක් ගත කරපු තැනක් වුනේ සීසන් පෝලිමයි. ඒ දවස්වල අප පාසැල් ගියේ ලංගම බස් වල. ඒ කාලයේ පාසැල් සිසුන්ට වාර ප්‍රවේශපත්‍ර ලබා දුන්නේ ඉතාම අඩු මිලකට. සාමාන්‍ය මාසයක් තුළ දවස් 22ක් පමණ ගමන් කළ හැකි වූ වාර ප්‍රවේශපත්‍රයක් සඳහා ගෙවිය යුතු වූ මිල ආසන්න වශයෙන් දවස් හතරක බස් ගාස්තුවට සමානයි.
සෑම මසකම අවසන් දින දෙකකදී පමණ හා මුල් දින දෙකකදී පමණ අපේ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ වාරප්‍රවේශ පත්‍ර නිකුත් කරන කවුළුවක් විවෘත කර තිබුණා. පාසැල අවසන්ව දෙකට පමණ මේ පෝලිමට එකතු වුනත් සමහර වෙලාවට හවස හතරට හෝ පහට වාරප්‍රවේශ පත්‍ර කවුළුව වහන තුරුත් කවුළුව වෙත ළඟා වෙන්න ලැබෙන්නේ නැහැ. දින කිහිපයක්ම මේ වැඩේ වුනොත්, තුන්වනදායින් පසුව වාර ප්‍රවේශ පත්‍රය මිල දී ගන්න ඩිපෝවටම යන්න වෙනවා. වාරප්‍රවේශ පත්‍රය මිල දී ගන්නා තුරු බස් වලට ටිකට් ගත යුතුයි. මේ කියන කාලය හැත්තෑ හතට වඩා දශකයකට පමණ පසු කාලයක්.
ඒ කාලයේත් වඩා හොඳ ප්‍රවාහන සේවා භාවිතා කළ අය අපේ පන්ති වල හිටියා. හැබැයි කලාතුරකින්. පාසැලට ඉතාම ආසන්නයේ හෝ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි කිහිප දෙනෙක් හැර අනෙක් බොහෝ දෙනෙක් පාසැල් ආවේ වාර ප්‍රවේශපත්‍ර වලින්.
මේ වන විට ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පන්තිකයින්ගේ ළමුන් බොහොමයක් පාසැල් යන්නේ පාසැල් වෑන් රථ වලින්. ඒ නිසා ඔවුන් සීසන් පෝලිම් වල කාලය නාස්ති කළ යුතු නැහැ. අපේ කාලයේ දරුවෙක් සීසන් පෝලිමේ රස්තියාදු වීමේ වගේම ඉන්පසුව පාසැල් බස්රථය නොපැමිණි දවසක ලංගම බසයක්ම එන තුරු රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැය ගැන දෙමවුපියන් වැඩිපුර නොහිතුවේ ඒ රස්තියාදුව නැති කළ හැකි විකල්ප ඔවුන්ගේ ආදායම් වලට සාපේක්ෂව ගොඩක් මිල අධික වූ නිසයි. නමුත්, දැන් තත්ත්වය වෙනස් බව කිවයුතු නැහැ.
මිල පාලනයක් තිබූ පමණින්ම පෝලිම් ඇති වෙන්නේ නැහැ. පෝලිමක් හෝ භාණ්ඩ හිඟයක් ඇති වන්නේ නියම කරන මිල සමතුලිත මිලට වඩා අඩු මිලක්නම් පමණයි. ලංකාවේ ඉන්ධන වලට තියෙන්නේ පාලන මිලක්. නමුත්, විශේෂ තත්ත්වයක් යටතේ හැර සාමාන්‍යයෙන් ඉන්ධන මිල දී ගන්න ලොකු පෝලිම් නැහැ. එයට හේතුව බොහෝ විට රජයෙන් නියම කරන ඉන්ධන මිල එතරම් අඩු මිලක් නොවීමයි. ඒ මිලට, පවතින ඉල්ලුමට වඩා වැඩියෙන් වුවත් ඉන්ධන සපයන්න බැරිකමක් නැහැ. අනෙක් අතට මිල අඩු මිලක් වුවත් පාඩු විඳගෙන ඒ මිලට දිගටම තෙල් විකිණීමේ හැකියාව රජය සතුව තිබෙනවා. එවිට අලාභය රටේ සියල්ලන් අතර බෙදී යනවා.
හැත්තෑ හතට පෙර පෝලිම් තිබුණේ සමතුලිත මිලට වඩා අඩුවෙන් බොහෝ භාණ්ඩ වල මිල නියම කර තිබුණු නිසයි. නමුත්, ඒ කාලයේ පවා ඇති හැකි අය මේ පෝලිම් වලට ගියේ නැහැ. මුදල් යහමින් තිබුණු අය කළේ වැඩි මිලක් ගෙවා කළු කඩෙන් බඩු ගන්න එකයි. පෝලිමේ රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැය වැඩි අය වැඩිපුර මුදලක් වැය වීම ගැන කණගාටු වුණේ නැහැ. කෙනෙකුගේ ආදායම් ඉහළ යන තරමට ඔහුගේ හෝ ඇයගේ තේරීම වෙන්නේ පෝලිමේ රස්තියාදු වීම වෙනුවට වැඩි මිලක් ගෙවා භාණ්ඩය මිල දී ගැනීමයි.
ඇමරිකාවේ වගේම ලංකාවෙත් ඒක පුද්ගල ආදායම වසරින් වසර ඉහළ යනවා. ඇමරිකාව, ජපානය, ජර්මනිය වගේ තාක්ෂනය අතින් පෙරමුණේ සිටින රටකට තවත් වර්ධනය විය හැක්කේ නව නිර්මාණ හරහා කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමෙන් පමණයි. නමුත්, ඉන්දියාව, චීනය, ලංකාව වැනි ආදායම් අතින් හා තාක්ෂනය අතින් පෙරමුණේ නොසිටින රටවලට පෙරමුණේ සිටින රටවල තාක්ෂනය උකහාගෙන වඩා වේගයෙන් වර්ධනය වීමේ හැකියාව තිබෙනවා.
ලෝකයට විවෘත වන තරමට ආර්ථික වශයෙන් පසුගාමී රටකට වඩා වේගයෙන් ඉදිරියට යා හැකියි. ඒ එක්කම දියුණු රටවල් හා අඩු දියුණු රටවල් අතර පරතරය ක්‍රමයෙන් අඩු වෙනවා. එය වෙනත් බාධා කිරීම් නැත්නම් තාක්ෂනය කාන්දු වීම නිසා ස්වභාවිකවම සිදු වන දෙයක්.
අද සාමාන්‍ය ඇමරිකන් නිවෙසක රූපවාහිනී යන්ත්‍ර දෙකකට වඩා තිබෙනවා. නිවෙස් 40%ක පමණ රූපවාහිනී යන්ත්‍ර තුනක් හෝ වැඩි ප්‍රමාණයක් තිබෙනවා. නමුත්, වසර පණහකට හැටකට පෙර එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.
බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ මාටි මැක්ෆ්ලයි 1984 වසරේ ඉඳලා 1956 වසරේ ඔහුගේ මවගේ නිවසට යනවා. ඒ වන විට ඇගේ නිවසට රූපවාහිනියක් ගෙනැල්ලා. මාටිගේ ගෙදරත් රූපවාහිනියක් තිබෙනවද කියා ඔවුන් අසනවා. මාටි අනාගතයෙන් පැමිණි බව ඔවුන් දන්නේ නැහැ. මාටි කියන්නේ තමන්ගේ නිවසේ රූපවාහිනී යන්ත්‍ර දෙකක්ම තිබෙන බවයි.
"ඔබ හොඳටම පෝසත් කෙනෙක් විය යුතුයි!" කුඩා දරුවෙකු වන මාටිගේ මාමා කෙනෙක් කියනවා.
"ඔහු විහිළු කරනවා. කොයි ගෙදරකවත් රූපවාහිණී දෙකක් නැහැ!" මාටිගේ ආච්චි කියනවා.
මාටි පැමිණි 1984 අවුරුද්දේදී ඇමරිකානු ගෙදරක රූපවාහිනී යන්ත්‍ර දෙකක් තිබීම අසාමාන්‍ය දෙයක් නොවෙන්න ඇති. නමුත්, ලංකාවේනම් ඒ කාලය වෙද්දී රූපවාහිනී යන්ත්‍රයක් තිබීමම තරමක් ලොකු දෙයක්. ඒ වන විට ලංකාවට රූපවාහිනී ඇවිත් විශාල කාලයක් ගෙවී තිබුණේ නැහැ. හරියට 1956දී ඇමරිකාවේ වගේ.
මාටි මැක්ෆ්ලයි අනාගතයටත් යනවා. ඒ 2012ට. ඒ වන විට ෆ්ලැට් ටීවී හැමතැනම දකින්න තිබෙනවා. බැක් ටු ද ෆියුචර් හදපු කාලයේ ෆ්ලැට් ටීවී තිබුණේ නැහැ. දැන් ඇමරිකාවේනම් දැකිය හැක්කේ ෆ්ලැට් ටීවී විතරයි. ලංකාවෙත් ගොඩක් ගෙවල් වල දැන් තිබෙන්නේ ෆ්ලැට් ටීවී. තාක්ෂනය වේගයෙන් ලෝකය පුරා පැතිරෙනවා. එය වලක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.
මා පසුගිය බ්‍රහස්පතින්දා උදෙන්ම ගියේ රූපවාහිණියක් ගන්නයි. අඟල් 55ක ස්මාර්ට් රූපවාහිණියක් ඩොලර් දෙසීයකට අඩුවෙන් ගන්න ලැබෙනවා කියන්නේ නරක දෙයක් නෙමෙයි. මෙය සාමාන්‍ය මිලෙන් අඩක්. පූර්ව ප්‍රචාරණ අත් පත්‍රිකාව අනුව එක් වෙළඳසැලකින් විකුණන්නේ රූපවාහිණී යන්ත්‍ර 20ක් පමණයි. එක් අයෙකුට එකයි.
සේල් මිල වලංගු වන්නේ උදේ හයේ සිට නිසා ඊට පැය කාලකට පමණ කලින් එහි යන්න සිදු වුනා. හරියටම හය වෙද්දී ගත්තේ නැත්නම් රූපවාහිණී යන්ත්‍ර 20 විකිණී අවසන් වෙනවා. පැය බාගයක පමණ රස්තියාදුව කඩේකට ගියාම කොහොමත් සිදු වන දෙයක්. මෙහි වූ ආවස්ථික පිරිවැය උදේ පාන්දරින්ම කඩේ යන්න වීමයි. උදේ පාන්දර කඩේ නොගියත්, මා කොහොමත් උදෙන් නැගිටින නිසාත්, මේ වෙළඳසැල නිවසේ සිට විනාඩි පහක පමණ දුරක තිබුණු එකක් නිසාත්, ලැබුණු වාසියට සාපේක්ෂව ආවස්ථික පිරිවැය නොසලකා හැරිය හැකියි.
උදේ හය වෙද්දීම රුපවාහිනී යන්ත්‍ර 20 විකිණී අවසන් වුවත්, මෙය මිල දී ගන්න මහා ලොකු පෝලිමක් තිබුණේ නැහැ. රූපවාහිණී අවශ්‍ය අය එතරම්ම නැතුව ඇති. එසේ නැත්නම් ඉල්ලුම තියෙන්නේ වඩා හොඳ සන්නාම වලට හෝ වඩා විශාල ඒවාට වෙන්න ඇති. වෙනත් බොහෝ තැන් වල මෙවැනි සේල් තිබෙන නිසා වෙන්නත් පුළුවන්. එසේ නැතුව මිල ප්‍රශ්නයක් නිසානම් වෙන්න බැහැ. මේ වගේ වෙළඳසැලක තාවකාලික සේවකයෙකුට වුවත් මේ දවස් වල දින දෙකක් වැඩ කරලා ඩොලර් දෙසීයකට වඩා උපයගන්න පුළුවන්.
කඩේට ගියාට පස්සේ දැක්කේ අයිෆෝන් එකකුත් සාමාන්‍ය මිලෙන් අඩකට ගත හැකි බව. ඒ විදිහට දුන්නේ අයිෆෝන් හතරක් පමණයි. ගිය එකේ ෆෝන් එකකුත් ගත්තා. ඒකටත් විශාල පෝලිමක් තිබුණේ නැහැ. පරණ මාදිලියක් නිසා වෙන්න ඇති.
මේ වගේ සේල් නොතිබුණත්, ස්මාර්ට් ටීවී එකක මිල දැන් ගොඩක් අඩුයි. එක හේතුවක් මෙය චීනයේ නිපදවූවක් වීම. චීනය ඔවුන්ගේ මුදල් ඒකකය අවප්‍රමාණය කර පවත්වා ගන්නා නිසා විදේශිකයින්ට චීන බඩු ලාබයි. එහි අවාසිය චීන ශ්‍රමිකයන්ටයි. අනෙක් අතට ඇමරිකාවේ හදනවාට වඩා අඩුවෙන් චීනයෙන් බඩුවක් ආනයනය කළ හැකියි කියන්නේ ඇමරිකාවටත් වාසියක්. රූපවාහිණියක් නිපදවන්න ඇමරිකාවේදී වැඩි වියදමක් යනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඇමරිකන් ශ්‍රමය වඩා මිල අධික බවයි. ඒ කියන්නේ රූපවාහිණී හදනවා වෙනුවට ඇමරිකන් ශ්‍රමය වඩා ඵලදායී වැඩකට යෙදවෙනවා කියන එකයි.
(Image: https://www.sickchirpse.com/tag/watching-tv/)
Monday, November 26, 2018
රතු ග්‍රහයා වෙත නෑ ගමනක්!
පසුගිය මැයි පස් වනදා කැලිෆෝර්නියාවේ වැන්ඩන්බර්ග් ගුවන් හමුදා කඳවුරේ සිට අඟහරු ග්‍රහයා වෙත ගමන් ඇරැඹු ඉන්සයිට් යානය සයමසකට වැඩි කාලයක චාරිකාව නිමා කර තවත් පැය කිහිපයකින් සිය ගමනාන්තය කරා ළඟා වෙනවා. මේ අවස්ථාව සජීවී ලෙස නැරඹිය හැකියි.
අඟහරු ගමන බොහෝ අභියෝගාත්මක කටයුත්තක්. මෙතෙක් අඟහරු වෙත සිදු කෙරුණු ගමන් වලින් සාර්ථක වී ඇති ප්‍රමාණයට වඩා අසාර්ථක වී ඇති ප්‍රමාණය වැඩියි. කෙසේ වුවත්, ඇමරිකාවෙන් අඟහරු වෙත යැවූ යානා බොහොමයක්ම අපේක්ෂිත අරමුණු ඉටු කිරීමට සමත්ව තිබෙනවා.
ඉන්සයිට් යානය අඟහරු වෙත ළඟා වීමෙන් අනතුරුව මෙතෙක් නොකළ බොහෝ දේ කරන්නට නියමිතයි. ඒ කටයුතු අතර අඟහරු පෘෂ්ඨයේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීම විශේෂයි.
ඉන්සයිට් යානය අඟහරු වෙත ලඟා වීමට නියමිතව තිබෙන්නේ ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී (27 අළුයම) 1.30ට පමණ. මධ්‍යම රාත්‍රී 12.30 සිට නාසා වෙබ් අඩවියෙන් (පහත සබැඳියෙන්) සජීවී විකාශනය නැරඹිය හැකියි.
https://www.nasa.gov/nasalive
Labels:
අභ්‍යාවකාශ තරණය,
ඇමරිකාව
Sunday, November 25, 2018
ක්වෝ වොරන්ටෝ: කවර වරයකින්ද?
මහින්ද රාජපක්ෂ විසින් නීති විරෝධී ලෙස අගමැති සේ කටයුතු කිරීමත්, වෙනත් අය නීති විරෝධී ලෙස කැබිනට් ඇමතිවරුන් සේ කටයුතු කිරීමත් වළක්වමින් ක්වෝ වොරන්ටෝ රීට් ආඥාවක් ප්රදානය කරන සේ ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචනාධිකරණය වෙත ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා. මොකක්ද මේ ක්වෝ වොරන්ටෝ කියන්නේ?
ක්වෝ වොරන්ටෝ රීට් ආඥා විශේෂයක්. මේ රීට් ආඥා එන්නේ ඉංග්‍රීසි නීතියෙන්. ලංකාවේ නීතිය මූලිකවම රෝම ලන්දේසි නීතිය මත පදනම් වූවක් වුවත්, එහි බොහෝ අංග පසුව ඉංග්‍රීසි නීතියෙන් එකතු වූ ඒවා. රීට් ආඥා එකතු වී තිබෙන්නේත් ඒ විදිහටයි.
රීට් ආඥා වල ප්රභවය එංගලන්ත රජුගේ ලිඛිත නියෝගයි. රීට් (writ) යන වචනයේ තිබෙන්නේ ලිඛිත යන අදහසයි. අද වන විට මේ රීට් ආඥා බොහෝ රටවල මූලික නීතියේ කොටසක්. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත සේ පැවති රටවල.
රීට් ආඥා ප්‍රභේද විශාල ගණනක් තිබෙනවා. ඒ අතරින් රීට් ආඥා ප්‍රභේද හයක් ගැන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඇමරිකාව, ඉන්දියාව වැනි වෙනත් රටවලත් මේ රීට් ආඥා ප්‍රභේද හය සමඟ අතිපිහිත වන හා නොවන රීට් ආඥා ප්‍රභේද කිසියම් ප්‍රමාණයක් පිළිගැනෙනවා.
බොහෝ රටවල රීට් ආඥා ගැන සඳහන් වෙන්නේ මූලික අයිතිවාසිකම් හා අදාළව වුවත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන හා රීට් ආඥා පිළිබඳව වෙන් වෙන්ව සඳහන් වෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් වුවත්, රීට් ආඥාවක් ප්රදානය කරන මෙන් ඉල්ලමින් අභියාචනාධිකරණය වෙත යන්න පුළුවන්. පසුව අවශ්‍යනම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන්නත් පුළුවන්. මීට අමතරව, දහතුන්වන සංශෝධනයෙන් පසුව එකතු වූ 154ග(4) අනුව්‍යවස්ථාව අනුව, පළාත් සභා ලැයිස්තුවේ ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් රීට් ආඥා නිකුත් කිරීමේ බලය අදාළ පළාත් මහාධිකරණයටත් තියෙනවා.
ලංකාවේ අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය හෝ පළාත් මහාධිකරණයක් වෙත ගොස් ඉල්ලා සිටිය හැකි රීට් ආඥා වර්ග හය පහත ඒවායි.
1. සර්ටියෝරාරි
2. තහනම්
3. ප්‍රොසිඩෙන්ඩෝ
4. මන්ඩාමුස්
5. ක්වෝ වොරන්ටෝ
6. හේබියස් කෝපුස්
මා මේ වචන ලියා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ තිබෙන අක්ෂර වින්‍යාසය අනුවයි. වෙනස් ආකාර වලින් මේ වචන උච්ඡාරණය කරනවා. මේ රීට් ආඥා අතරින් අවසන් වර්ගය ගැන 141 අනුව්‍යවස්ථාවේත්, අනෙක් වර්ග පහ ගැන 140 අනුව්‍යවස්ථාවේත් සඳහන් වෙනවා.
මේ අතරින් හේබියස් කෝපුස් ආඥාවකින් ඉල්ලා සිටින්නේ නීතිය අනුව ක්‍රියාකිරීම සඳහා කිසියම් පුද්ගලයකු අධිකරණය හමුවට පමුණුවන ලෙස හෝ රජයේ හෝ පෞද්ගලික අත් අඩංගුවේ නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින පුද්ගලයෙකු අධිකරණය හමුවට පමුණුවන ලෙසයි. 1988/89 කාලය මෙවැනි හේබියස් කෝපුස් නඩු ගැන නිතර අහන්න ලැබුණු කාලයක්. ඒ කාලයේ මහින්ද රාජපක්ෂගේ නම කියැවුනේ මෙවැනි නඩු හා අදාළව කටයුතු කළ නීතිඥයෙකු ලෙසයි.
ලැයිස්තුවේ මුලින් තිබෙන රීට් ආඥා වර්ග දෙක තරමක් සමානයි. සර්ටියෝරාරි ආඥාවක් මගින් යම් රජයේ නිලධාරියෙක් හෝ වෙනත් පුද්ගලයෙක් විසින් සිදු කළ නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් බල රහිත කරවා ගත හැකියි. තහනම් ආඥාවක් මගින් එවැනි ක්‍රියාවක් අනාගතයේදී සිදු කිරීම වැළැක්විය හැකියි. ප්‍රොසිඩෙන්ඩෝ ආඥාවක් කියන්නේ ඉහළ උසාවියකින් පහළ උසාවියකට දෙන ආඥාවක්. කිසියම් අයුරකින් විභාග වීම නැවතී තිබෙන නඩුවක් විභාග කර තීන්දුව ලබා දෙන මෙන් එමඟින් විධානය කෙරෙනවා.
මන්ඩාමුස් රීට් ආඥාවකින් කෙරෙන්නේ කිසියම් රජයේ නිලධාරියෙක් හෝ වෙනත් පුද්ගලයෙක් සතු නීතිමය වගකීමක් හෝ යුතුකමක් පැහැර හැර ඇති අවස්ථාවකදී එම වගකීම හෝ යුතුකම ඉටු කර ගැනීමේ නීතිමය අයිතිය ක්‍රියාත්මක කරවා ගැනීමයි. පළාත් සභා මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට ආඥාවක් නිකුත් කරන සේ ඉල්ලමින් අභියාචනාධිකරණයට යන බව පසු ගිය කාලයේ පොදුජන පෙරමුණ පැත්තෙන් කියවුනා.
ක්වෝ වොරන්ටෝ ආඥාවක් මඟින් කරන්නේ කිසියම් ව්‍යවස්ථාපිත හෝ රජයේ පොදු තනතුරක් දරන අයෙකුට එම තනතුර දැරීමට ඇති සුදුසුකම විමසා බලා අදාළ තනතුර දැරීම වැළැක්වීමයි. මේ ලතින් වචන වල දළ වචනාර්ථය "කවර වරයකින්ද?" කියන එකයි.
ඇතැම් වාර්තා වල තිබෙන පරිදි මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ක්වෝ වොරන්ටෝ ආඥාවක් ඉල්ලා සිටිමින් ගොනු කර තිබෙන්නේ ඒ ආකාරයේ පළමු නඩුව නෙමෙයි. මෙවැනි නඩුවකට මෑතකාලීන නිදසුනක් ලෙස බුවනෙක ලලිත ඇතුළු පස් දෙනෙකු විසින් ගීතා කුමාරසිංහට එරෙහිව ගොනු කළ නඩුව සඳහන් කළ හැකියි. එම නඩුවේ තීන්දුව අනුව ඇයට ඇගේ මන්ත්‍රී ධුරය අහිමි වුනා. අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රජිත් කීර්ති තෙන්නකෝන් විසින්ද මෙවැනි නඩුවක් ගොනු කළ බව පසුගිය කාලයේ වාර්තා වී තිබුණා.
(Image: https://srilankatwo.wordpress.com/2017/05/04/geetha-kumarasinghe-loses-her-m-p-post-piyasena-gamage-replaces-her-upfa-loses-one-more-m-p/)
Saturday, November 24, 2018
පෝලිමේ මැද... හිටියට පාඩු වෙනවද...
මේ සටහන ලියන්න පටන්ගත් පෙරේදා ඇමරිකාවේ ස්තුති කිරීමේ දිනය. එදින සිට ගත වන දින හතර බොහෝ දෙනෙකුට දින හතරක දිගු සති අන්තයක්. ඇමරිකාවේ සියල්ලන්ටම පොදු නිශ්චිත නිවාඩු දින කැලැන්ඩරයක් නැහැ. නිවාඩු දින එක් එක් ආයතනය අනුව වෙනස් වෙනස් වෙනවා. ඇතැම් අය ෆෙඩරල් නිවාඩු දින ඇමරිකාවේ පොදු නිවාඩු දින සේ සලකනවා.
නොවැම්බර් මාසයේ සිවුවන ගුරු දිනයට යෙදෙන ස්තුති කිරීමේ දිනය ෆෙඩරල් නිවාඩු දිනයක් මෙන්ම සෑම ආයතනයකම වාගේ නිවාඩු දිනයක්. ඉන් පසුව යෙදෙන කළු සිකුරාදා දිනය ෆෙඩරල් නිවාඩු දිනයක් නෙමෙයි. නමුත්, බොහෝ ප්‍රාන්ත වල ප්‍රාන්ත රජයේ නිවාඩු දිනයක්. ඒ වගේම බොහෝ පෞද්ගලික ආයතන වල සේවකයින්ට එදින වැටුප් සහිත නිවාඩු දිනයක්.
ආරම්භක අරමුණ කුමක් වුවත් මේ වන විට ස්තුති කිරීමේ සති අන්තය කියන්නේ සිල්ලර වෙළඳාම ප්‍රවර්ධනය කෙරෙන දිනයක්. බොහෝ සිල්ලර වෙළඳසැල් සමූහ විසින් මේ සති අන්තයේ විශාල වට්ටම් සහිතව භාණ්ඩ අලෙවි කරනවා. ඒ වගේම, මේ වට්ටම් පිළිබඳව විශාල පූර්ව ප්‍රචාරණයක් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ස්තුති කිරීමේ සති අන්තයේදී විශාල සිල්ලර භාණ්ඩ අලෙවියක් සිදු වෙනවා. ඇමරිකාවේ වාර්ෂිකව සිදුවන සිල්ලර භාණ්ඩ වෙළඳාමෙන් 30%ක් පමණම සිදු වෙන්නේ ස්තුති කිරීමේ සති අන්තයේ සිට නත්තල දක්වා වන මසක පමණ කාලය තුළයි.
පසුගිය ලිපියට ප්‍රතිචාරයක් ලෙස එක් පාඨකයෙක් මෙවැනි ඉල්ලීමක් කළා.
"ඉකොනොමැට්ටා ජිවත් වන රටේ එදිනෙදා ප්‍රශ්න, ඒවා ගැන ඉකොනෝ ඒ රටේ පුරවැසියන් සමග කතා බහ කරන අයුරු, ඒවාට විසදුම් යෝජනා කරන විදිය ගැන එහෙම ලිපි පෙළකුත් ලියන්න."
ඇමරිකාවේ මේ වගේ එදිනෙදා ප්‍රශ්න මොනවාද කියන එක ගැනත්, ඒවාට විසඳුම් හොයන හැටි ගැනත් මා මීට පෙර ලිපි ගණනාවක් ලියා තිබෙනවා. හැබැයි එවැනි දේ වෙනුවෙන් මා වෙන් කර තිබෙන්නේ සීමිත ඉඩක්. ඒ හේතුවක් නැතුව නෙමෙයි.
මේ බ්ලොග් එක කියවන අයගෙන් බාගයක්ම ලංකාවෙන් පිට සිටින අයයි. ලංකාවේ සිටින මෙය කියවන අය අතරින් සෑහෙන දෙනෙකුත් බටහිර රටවල් ගැන හොඳින් දන්නා අය. සමහර අය ඇමරිකාවේ සිදුවෙන දේවල් අපටත් වඩා හොඳින් හා කලින් දන්නවා. හරියටම ලංකාවේ සිදුවන ඇතැම් දේවල් ලංකාවේ ඉන්න අයට කලින් අපට දැනගන්න ලැබෙනවා වගේ.
පළමුවන ලෝකයේ ප්‍රශ්න ගැන වෙනත් බ්ලොග්කරුවන් කිහිප දෙනෙකුත් කතා කරනු මා දැක තිබෙනවා. ඒ ප්‍රශ්න ලංකාව වගේ රටක ප්‍රශ්න සමඟ සසඳන්න බැහැ. ඇමරිකාව වගේ රටක ජීවත් වන කෙනෙක් ලංකාවේදී මෙන් ජීවත්වීම හා අදාළ මූලික ප්‍රශ්න වලට විසඳුම් හොයමින් දිනපතා විශාල කාලයක් නාස්ති කළ යුතු නැහැ. ලංකාවේ මිනිස්සු එදිනෙදා විසඳුම් හොයමින් සිටින ප්‍රශ්න ගණනාවකටම බටහිර රටවල් වල මීට පරම්පරා ගණනාවකට පෙර ජීවත් වූ මිනිස්සු විසඳුම් හොයලා අවසන්. ඒ නිසා මේ රටවල අද ජීවත් වන අයගේ ජීවිත බොහෝ පහසු වී තිබෙනවා.
කොහොම වුනත්, මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න කියන ඒවා විසඳුම් හොයා අවසන් කළ හැකි දේවල් නෙමෙයිනේ. ඒ නිසා, වඩා වැදගත් වන්නේ හැමදාම අලුත් ප්‍රශ්න නිර්මාණය කරමින් ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන හෝද හෝදා මඩේ දමන ක්‍රම වෙනුවට අලුතින් ඇති වන ප්‍රශ්න ඇතුළු මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන ක්‍රමවේද තෝරා ගැනීමයි.
ලංකාවේ මිනිස්සු එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න වලින් විශාල ප්‍රමාණයක් සම්පත් බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්න විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ මේ ප්‍රශ්න ආණ්ඩුව විසින් විසඳිය යුතු බවයි. එහෙම හිතලා ඒ වැඩේ වඩා හොඳින් කරයි කියා හිතන ආණ්ඩු බලයට පත් කරගත්තත් වැඩි කලක් යන්න කලින් ආණ්ඩුව අවශ්‍ය දෙය නොකරන බව ඔවුන්ට පේනවා. එවිට කරන්නේ ආණ්ඩුව මාරු කරන්න උත්සාහ කරන එකයි. නමුත්, ප්රශ්නය පවතින්නේම ආණ්ඩු විසින් සම්පත් බෙදාහැරීම කළමනාකරණය කරන්න යාම තුළ නිසා ආණ්ඩුව මාරු කළා කියා ප්රශ්නය විසඳෙන්නේ නැහැ.
තවත් අයෙක් අහලා තිබෙනවා "ඔබ ඇයි මෙතරම් එක්සත් ජාතික පක්ෂ ධනපති ජිවන විලාසිතාවට කැමති මහත්මයා?" කියලා. මේ කියන ජීවන විලාසිතාව කුමක්ද කියා අදාළ පුද්ගලයාගෙන් ඇහුවත් පිළිතුරක් දී නැහැ. ඔය කියන ජීවන විලාසිතාව කුමක්ද කියා මම දන්නේ නැහැ. හැබැයි පවතින ආණ්ඩුව කුමක් වුවත් නිදහස් වෙළඳපොළක් වෙනුවෙන්නම් මා පෙනී සිටිනවා.
ලංකාවේ මිනිස්සු එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයකට ඇමරිකානුවෙක් මුහුණ නොදිය යුත්තේ නිදහස් වෙළඳපොළ ක්‍රමය තුළ එවැනි ප්‍රශ්න වලට ස්වභාවිකවම විසඳුම් ලැබෙන නිසයි. ආණ්ඩුවකට කරන්න තියෙන්නේ නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට තිබෙන බාධා ඉවත් කිරීම පමණයි.
ඇමරිකාවේ ජීවත් වන අයෙකුට තිබෙන විශාලම වාසියක් වන්නේ පෝලිම් වල නොසිට, තමන්ට අවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් නිවසට ආසන්න තැනකින් සාධාරණ මිලකට මිල දී ගන්න තිබෙන හැකියාව. ඒ නිසා, අමතර ප්‍රශ්න විසඳන්න නාස්ති කරන කාලය තමන් කරන රැකියාව හරියට කිරීමට යෙදවිය හැකියි. රැකියාව කර උපයන ආදායම වැය කරමින් ඉතිරි ප්‍රශ්න විසඳාගත හැකියි.
ස්තුති කිරීමේ සති අන්තය කියන්නේ ඇමරිකානු සිල්ලර වෙළඳසැල් විසින් සැලසුම්සහගතව නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයේ වෙනසක් කරන දවස් කිහිපයක් කියා කියන්න පුළුවන්. ඇමරිකාවේ සාමාන්‍යයෙන් මිල පාලනයක් නැහැ. ඒ නිසා කිසියම් භාණ්ඩයක මිල කියා කියන්නේ ඒ සඳහා තිබෙන ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල. කිසියම් අයෙක් භාණ්ඩයක හෝ සේවාවක මිල මේ සමතුලිත මට්ටමට වඩා අඩු කළොත්, සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගිහින් සම්පත් බෙදාහැරීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා. අදාළ භාණ්ඩයේ මිල ගෙවා එය මිල දී ගන්න කැමති සියල්ලන්ටම ඒ අවස්ථාව නොලැබෙන නිසා පෝලිම් ඇති වෙනවා.
ස්තුති කිරීමේ සති අන්තය තුළ නිශ්චිත වෙලාවක් ඇතුළත ඇමරිකාවේ සිල්ලර වෙළඳසැල් බොහොමයක් විසින් තෝරාගත් භාණ්ඩ ගණනාවක මිල සෑහෙන තරමකින් අඩු කරනවා. නමුත්, මේ අඩු කළ මිලට ලබා දෙන්නේ සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පමණයි. ඒ වගේම, මෙවැනි භාණ්ඩයකින් එක් අයෙකුට මිල දී ගත හැක්කේ ඒකක සීමිත ප්‍රමාණයක්, බොහෝ විට එකක් පමණක් කියා නියමයකුත් තිබෙනවා.
ඉහත ආකාරයට කෘතීම ලෙස සැපයුම සීමා කර, මිල අඩු කර, ඉල්ලුම ඉහළ යන්න සැලැස්වූ විට අදාළ භාණ්ඩ තොගය ඉතා ඉක්මණින් විකිණෙනවා. ඒ නිසා, භාණ්ඩයක් හිමි කරගත හැක්කේ මුලින්ම පෝලිමට එකතු වූ අයට පමණයි. භාණ්ඩයේ මිල අඩු නිසා වාසියක් ලැබුණත්, ඒ වෙනුවෙන් උදේ පාන්දරින් අවදි වී පෝලිමේ ඉන්න සිදු වීමේ ආවස්ථික පිරිවැය දරන්න වෙනවා. එහෙම ඉඳලාත් අන්තිමේදී භාණ්ඩය මිල දී ගන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා, අනෙක් අයට කලින් තමන්ට අවශ්‍ය භාණ්ඩය හිමි කරගන්න පාරිභෝගිකයින් විශාල පිරිසක් පොර කනවා. වසර කිහිපයකට පෙර ස්තුති කිරීමේ සති අන්තයකදී වෝල්මාර්ට් සේවකයෙකු පාරිභෝගිකයින්ට පෑගී මිය ගියේත් මෙවැනි පොරකෑමක ප්‍රතිඵලයක් ලෙසයි. මුල සිටම මේ බ්ලොග් එක නොකියවූ අය වෙනුවෙන් ඒ ගැන ලියූ පෙර ලිපියකට ලින්ක් එකක් පහත තියෙනවා.
පූජ්‍ය පක්ෂයට පමණයි!
ස්තුති කිරීමේ සති අන්තයේදී අඩු මිලට බඩු මිල දී ගත හැකි වුවත් ඔය තරඟයට හා රස්තියාදුවට මම කැමති නැහැ. නමුත්, ඒ ක්‍රියාවලියට සහභාගී වී සතුටක් ලබන අයත් ඉන්නවා. ලංකාව වගේ රටවල් වලින් ඇවිත් තියෙන අය පෝලිම් වල කටු කාල තියෙන හැටියට මේ පෝලිම් මොනවද? අනිත් එක සමහර අය, විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ අය, අඩු මිලකට ලබා ගත හැකියැයි සිතන තමන්ට අනවශ්‍ය දෙයක් මිල දී (නො)ගැනීම වෙනුවෙන් පැය ගණන් සාප්පු වල රස්තියාදු වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒ වගේ දේවල් වලට එවැනි කෙනෙක්ගේ සමීපතම අයටත් අකැමැත්තෙන් හෝ කාලය නාස්ති කරන්න වෙන වෙලාවල් තිබෙනවා.
ඉතිං පහුගිය බ්රහස්පතින්දානම් මටත් උදේ පහට නැගිටලා පෝලිමකට එකතු වෙන්න වුනා. ඒ ගැන, පසුව කියන්නම්!
(Image: https://www.dailysignal.com/2014/11/26/thanksgiving-sales-dont-even-really-save-much-asking-work/)
Labels:
ආර්ථික විද්‍යාව,
ආවස්ථික පිරිවැය,
ඇමරිකාව,
තෝරාගැනීම්,
ධනවාදය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...