වෙබ් ලිපිනය:

Thursday, August 16, 2018

කැරලි, සිවිල් යුද්ධ හා ආර්ථික වර්ධනය


නිදහස ලබා ගැනීමෙන් පසුව ලංකාවේ කැරලි දෙකක් ඇති වුණා. සිවිල් යුද්ධයකුත් ඇති වුනා. ඒ වගේම ලංකාව පාලනය කරපු ඇතැම් ආණ්ඩු ලංකාව ජාතික සමාජවාදයකට දක්කන්න උත්සාහ කළා. ජාතික සමාජවාදය කියන වචනයේ කොටස් දෙකක් තිබෙනවා. ඔය කොටස් දෙක ගැන වෙන් වශයෙන් කතා කරන එක කෙටියෙන් කළ හැකි දෙයක් නොවන නිසා අපි දැනට ඒ වැඩේ අතාරිමු.

මෙහි පළ කළ පසුගිය ලිපි දෙකකින් මම විස්තර කළ පරිදි 1961-2005 අතර කාලයේදී ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙලා තිබෙන්නේ 4.5%ක පමණ වේගයකින්. මේ වේගය අදාළ කාලයේ ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය සේ සැලකිය හැකි බව මම කිවුවා. නමුත්, මෙය ඉතාම දළ ඇස්තමේන්තුවක් පමණයි. ඒ වගේම, ඔය කාලය ඇතුළත ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය නොවෙනස්ව පැවති සේ සලකා සකස් කළ ඇස්තෙම්න්තුවක්.

පැහැදිලි කිරීම සඳහා මෙහෙම කිවුවත් රටක විභව ආර්ථික වර්ධන වේගය මේ විදිහට එක දිගට නොවෙනස්ව තියෙන්නේ නැහැ. එයත් වෙනස් වෙනවා. ඒ ගැන සලකමින් විභව දළ දේශීය නිෂ්පාදිතය කාලයත් එක්ක වෙනස් වන ආකාරය ගණිතමය ලෙස ආකෘතිගත කර වඩා ගැලපෙන නිර්රේඛීය ශ්‍රිතයක් හදාගැනීම සංකීර්ණ කටයුත්තක්. එවැන්නක් කරන ආකාරය හා අදාළ තාක්ෂණික කරුණු විස්තර කිරීම මේ වගේ බ්ලොග් ලිපියකට බර වැඩියි. මේ රේඛීය ආකෘතිය මෙය කියවන අයට තේරුම් ගැනීම පහසුයි.  ඒ නිසා, අපි මේ යන විදිහටම යමු.

කොහොම වුනත්, විභව ආර්ථික වර්ධනය නියතයක් සේ සැලකුවහම ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. මම මේ ප්‍රශ්න අපේ පාඨකයෙකුගේ ප්‍රතිචාරයක තිබෙන වචන වලින්ම නැවත උපුටා දක්වන්නම්.

"ආර්ථිකය සංවෘත කරලා, විවෘත කරලා, සිවිල් කැරලි දෙකක් වෙලා, අවුරුදු 30ක යුද්දයක් තිබිල පොටෙන්ෂල් ලයින් එක වෙනස් වෙලා නැහැනේ."

ඔහු හෝ ඇය අහන ප්‍රශ්නය ඇසිය යුතුම ප්‍රශ්නයක්. ප්‍රශ්නයට කෙටි පිළිතුරනම් "ඔව්, වෙනස් වෙලා තියෙනවා!" කියන එකයි. එවිට දෙවනුව මතු වන ප්‍රශ්නය එහෙමනම් මේ ලිපි වල ඒ බව අමතක කරල තියෙන්නේ ඇයි කියන එක. එයට කෙටි පිළිතුර වන්නේ "මෙහි පෙන්වන්න හදන කරුණට එය එය එතරම් අදාළ නැහැ!" කියන එකයි.

ඒ වගේම, අනිත් පැත්තේ ලිපියකින් පැහැදිලි කර ඇති පරිදි දළ දේශීය නිෂ්පාදිතය හා එහි වර්ධන වේගය කියන්නේ කරුණු දෙකක්. දිගුකාලීනව වැදගත් වන්නේ වර්ධන වේගය වුවත්, කිසියම් මොහොතක රටක වැසියන්ගේ සාමාන්‍ය ජීවන තත්ත්වය පිළිබිඹු වන්නේ (ඒක පුද්ගල) දළ දේශීය නිෂ්පාදිතයෙන් මිස එහි වර්ධන වේගයෙන් නෙමෙයි.

ලංකාවේ ආර්ථික වර්ධන වේගය 10%ක් වෙලා සිංගප්පූරුවේ හෝ ජපානයේ ආර්ථික වර්ධන වේගය -2%ක් වුවත් ලංකාවේ වැසියෙකුගේ (මේ මොහොතේ) ජීවන තත්ත්වය තිබෙන්නේ සිංගප්පූරුවේ හෝ ජපානයේ වැසියෙකුගේ ජීවන තත්ත්වයට වඩා ගොඩක් පහළින්. ආර්ථික වර්ධන වේගය වැදගත් වන්නේ දිගුකාලීනවයි.

ජපානයේ ඒක පුද්ගල ආදායම ලංකාවේ මෙන් දහ ගුණයකට වඩා වැඩියි. ලංකාවේ ජීවත් වන කෙනෙක් ජපානයට ගිහින් ගැලපෙන රැකියාවක් හොයාගත්තොත් දැන් ලංකාවේ උපයනවා මෙන් කිහිප ගුණයක වැටුපක් ඉපැයිය හැකියි. ඒ සඳහා, වහලෙක් වගේ වැඩ කරන්න අවශ්‍ය නැහැ. ලංකාවේදී මහන්සි වන ප්‍රමාණයම මහන්සි වුනත් වැඩි ආදායමක් ලැබෙනවා. ඒ ජපානයේදී පුද්ගලයෙකුගේ ශ්‍රමයේ ඵලදායීතාවය විශාල ලෙස ඉහළ යන නිසයි. නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය කියන්නේ මෙයටයි.

ආර්ථිකය දිගුකාලීනව මොනයම් හෝ වේගයකින් ප්‍රසාරණය වුනොත් කවදා හෝ දවසක ලංකාවට දැන් ජපානය සිටින තැනට පැමිණිය හැකියි. ඒ වේගය වැඩි වන තරමට මෙය වඩා ඉක්මණින් කළ හැකියි. වසරකට 4.5%ක සාමාන්‍ය වේගයෙන් ලංකාවේ ආර්ථිකය වර්ධනය වුණොත් වසර 50-55 ක පමණ කාලයකින් ලංකාවට අද ජපානය සිටින තැනට එන්න පුළුවන්.

කෙසේ වුවත්, ජපානයේ ආර්ථිකයත් එක තැන පල් වෙන්නේ නැහැ. අවුරුදු 50-55 යන විට ජපානය (බොහෝ විට) අද ඉන්න තැනින් තවත් ගොඩක් ඉදිරියට ගිහින්. ඒ නිසා, එපමණ කලකින් ලංකාව අද ජපානය සිටින තැනට ආවත් ඒ වන විටත් ලංකාව ජපානයට පසුපසිනුයි ඉන්නේ.

එහෙමනම්, ලංකාවට ජපානය අල්ලන්නම බැරිද? බැරි නෑ. ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධන වේගය ජපානයේ වේගයට වඩා වැඩිනම්, ඒ තත්ත්වය ප්‍රමාණවත් තරම් කාලයක් පැවතුනොත්, ලංකාවට ජපානය ඉන්න තැනටම එන්න පුළුවන්. ඒ නිසා, දැන් ආර්ථික වශයෙන් සංවර්ධිත රටවල් සේ සැලකෙන රටවල් සිටින තැනට කවදා හෝ ලඟා වීමේ සිහිනයක් ලංකාවට තිබෙනවනම් එය ළඟා කර ගැනීම සඳහා එවැනි රටවල දිගුකාලීන ආර්ථික වර්ධන වේගය ඉක්මවන වේගයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක්.

කිසිදු සංවර්ධිත රටක ආර්ථිකයක් දිගුකාලීනව 4.5%ක වේගයෙන් ප්‍රසාරණය වන්නේ නැහැ. ඒ නිසා, 4.5%ක වේගයෙන් ගියත් කවදා හෝ දවසක ඇමරිකාව, ජපානය වගේ රටවල මට්ටමට ලංකාවට එන්න පුළුවන්. එහෙම බැලුවහම 4.5%ක වේගය වුණත් නරකම නැහැ. හැබැයි ඕක වැඩි වන තරමට තවත් හොඳයි.

උද්ධමනය අඩු වුනා කියල කියන කොට සමහර අයට තියෙන ප්‍රශ්නය තමයි එහෙමනම් තවමත් බඩු ගණන් යන්නේ ඇයි කියන එක. උද්ධමනය කියන්නේ බඩු මිල වැඩි වන වේගය. වේගය අඩු වුනත් වාහනයක් ඉදිරියට යනවා වගේ උද්ධමනය අඩු වුනත් බඩු මිල වැඩි වෙනවා. වැඩි වන වේගය විතරයි අඩු වෙන්නේ. ඔය විදිහටම ආර්ථික වර්ධනය අඩු වුණත් රටේ ආර්ථිකය ඉදිරියට යනවා. රටේ ඒක පුද්ගල ආදායම තවදුරටත් ක්‍රමයෙන් ඉහළ යනවා. ප්‍රශ්නයක් වෙන්නේ ආර්ථිකය හැකිලුනොත් පමණයි. ඒ නිසා, රටක් දිගුකාලීනව උත්සාහ දැරිය යුත්තේ තමන්ට දරාගත හැකි වර්ධන වේගයක් පවත්වා ගන්නා අතර ඒ දරා ගැනීමේ හැකියාව වැඩි කර ගන්නයි.

ජවිපෙ විසින් ලංකාවේ කැරලි දෙකක් සිදු කළා. මේ අවස්ථා දෙකේදීම ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩු වුණා. නමුත් ආර්ථිකය හැකිළුනේ නැහැ. ජවිපෙ කැරලි නිසා ලංකාවේ ආර්ථිකයේ ධාරිතාව අඩු වුණාද? එවැන්නක් ලොකුවට සිදු වුණා කියා මම හිතන්නේ නැහැ.

ජවිපෙ කැරලි දෙකම සාපේක්ෂව කෙටි කාලයක් තුළ අවසන් වුණා. විශේෂයෙන්ම පළමු කැරැල්ල. මේ පළමු කැරැල්ල කාලයේ තාවකාලිකව ආර්ථික ක්‍රියාකාරකම් නැවතුණත් කැරැල්ලෙන් පසුව ඉතා කෙටි කලකින් මේ ක්‍රියාකාරකම් නැවත ආරම්භ කරන්න බැරිකමක් තිබුණේ නැහැ.

පළමු කැරැල්ලේදී රටේ විශාල දේපොළ හානියක් සිදු වුණේ නැහැ. ඒ නිසා, ප්‍රාග්ධන සංචිතයට ලොකු බලපෑමක් වුණේ නැහැ, ජීවිත හානි සිදු වුවත්, කැරැල්ලේදී මිය ගිය තරුණයින් බොහෝ දෙනෙක් සිසුන් හෝ රැකියා විරහිතව සිටි අයයි. ඒ නිසා ක්ෂණිකව සක්‍රිය ශ්‍රම සංචිතයට ලොකු බලපෑමක් වුණේ නැහැ.

මේ කාලයේ ලංකාවේ විරැකියාව ගොඩක් ඉහළ මට්ටමකයි තිබුණේ. ඒ නිසා, දිගුකාලීනව වුවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශ්‍රමය හිඟකම නිසා අඩාල වීමක් සිදු වුනේ නැහැ. අවශ්‍ය පුරප්පාඩු පුරවන්න ප්‍රමාණවත් තරම් රැකියා විරහිත පුද්ගලයින් රටේ හිටියා. රටේ තිබුණු නිෂ්පාදන තාක්ෂනය නැති වී යාමක් කොහොමටත් සිදු වුනේ නැහැ. ඒ නිසා, මේ කැරැල්ල නිසා නිපැයුම් පරතරය මිසක් විභව දළ දේශීය නිෂ්පාදිතය හෝ විභව ආර්ථික වර්ධන වේගය අඩු වෙන්න හේතුවක් තිබුණේ නැහැ.

පළමු කැරැල්ලට සාපේක්ෂව ජවිපෙ දෙවන කැරැල්ල කාලයක් ඇදුනා. ජීවිත හානියත් වැඩියි. ඒ වගේම රටේ ප්‍රාග්ධන සංචිත වලිනුත් යම් ප්‍රමාණයක් විනාශ කෙරුණා. නමුත්, මේ වෙලාවේ වුනත් ලංකාවේ තිබුණු තාක්ෂණයක් අහිමි වී ලංකාවේ නිෂ්පාදන ශක්‍යතාවය නැති වී ගියේ නැහැ. තේ කම්හලක් ගිණි තියපු තැනක නිෂ්පාදන ක්‍රියාවලිය සමහර විට අවුරුදු දෙක තුනකට ඇන හිටින්න ඇති. නමුත්, කම්හල නැවත ගොඩ නැගීමෙන් හෝ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව නැවතත් කලින් වගේම වැඩ කරගෙන යන්න බාධාවක් තිබුණේ නැහැ.

ජර්මනිය, ජපානය වගේ රටවල් යුද්ධ වලින් නැත්තටම නැති වෙලා ගියත් ඒ රටවල් වලට ඉතා කෙටි කාලයකින් නැවතත් ඔලුව උස්සන්න පුළුවන් වුනේ ඔවුන්ගේ විභවය නැති වෙලා නොතිබුණු නිසයි. ඒ රටවල මිනිස්සු විශාල පිරිසක් යුද්ධයේදී මිය ගොස් සිටියත් මිය ගිය මිනිසුන්ගේ තැන ගත හැකි වෙනත් මිනිසුන් රටේ හිටියා. ඒ නිසා, ඒ රටවල් කැඩුණු බිඳුණු දේ හදාගෙන වේගයෙන් ඉදිරියට ගොස් කලින් හිටපු මාර්ගයටම නැවත අවතීර්ණ වුණා. ලංකාවේ දකුණේ කැරලි වලින් පසුව වුනෙත් මේ දෙයමයි. කැරලි අවසන් වෙලා කෙටි කාලයකින් කලින් ගමන් කළ මාර්ගයට ලංකාවේ ආර්ථිකය නැවත අවතීර්ණ වුණා.

මේ කිවුවේ ජවිපෙ කැරළි දෙක ගැන. අනෙක් කරුණ ආර්ථිකය කලින් කලට මාරුවෙන් මාරුවට විවෘත හා සංවෘත කිරීම. නිදහසේ පටන් හැත්තෑ හත දක්වාම වුනේ ඔය වැඩේ. ශ්‍රීලනිපය ඉදිරියට දමාගත් වමේ සභාග ආණ්ඩු ඔවුන්ට බලය තිබුණු කාලවල් වල ලංකාව සමාජවාදයට දක්කන්න උත්සාහ කළා. තට්ටුමාරුවට බලයට ආ එජාප ආණ්ඩු මේ ඇතැම් වෙනස්කම් නැවත ආපසු හැරෙවුවා.

හැත්තෑ හතට පෙර ශ්‍රීලනිප ආණ්ඩු යටතේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වුණේ අඩු වේගයකින්. නමුත්, ඒ කාලවල් වලදීත් ආර්ථිකය වර්ධනය වුනා මිස හැකිළුනේ නැහැ. එජාප ආණ්ඩු යටතේ ලංකාවේ ආර්ථිකය වඩා වැඩි වේගයකින් වර්ධනය වුණා. මේ ක්‍රමය වෙනස් වෙන්න හේතු වුණු සමගි පෙරමුණු ආණ්ඩුවේ ජාතික සමාජවාදී පරීක්ෂණය සැලකුවත් මෙය සිදු කෙරුණේ වසර හතකට නොවැඩි කාලයක් තුළයි. වසර හතක කාලයකදී සිදුවන මේ වගේ ආපසු යාමක් නිසා රටක දිගුකාලීන ගමන සම්පූර්ණයෙන් වෙනස් වන්නේ නැහැ. ආර්ථික ක්‍රියාකාරිත්වය කූඩුවක හිරකර තිබුණත් කලින් තිබුණු ධාරිතාව එසේම තිබුණු නිසා නිදහස ලැබුණු ගමන්ම නැවතත් තටු ගහල පියාඹන්න බැරිකමක් තිබුණේ නැහැ. ඒ නිසා මම සලකන්නේ සමගි පෙරමුණු පරීක්ෂණය වුවත් ලංකාවේ ආර්ථිකයේ තාවකාලික පසු බැසීමක් විදිහටයි. ඇතැම් විට එය එසේ සිදු නොවුණානම් ජේආර් ගෙන ආ ප්‍රතිසංස්කරණ සිදු කරන එක තවත් පමා විය හැකිව තිබුණා.

අනෙක් අතට, ආනයන සීමා ලිහිල් කරලා යම් යම් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කළත් ජේආර්ගේ කාලයේදීත් ලංකාවේ කලින් තිබුණු රාජ්‍යමූලික සමාජවාදී ආකෘතියේ ලොකු වෙනසක් වුනේ නැහැ වගේම මේ වනතුරුත් එය ඒ විදිහම තමයි. ඔය ආර්ථිකයේ විවෘත සංවෘත කතාව දිහා හැඟීම් හෝ අත්දැකීම් පාදක කරගෙන බලන්නේ නැතිව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව වැනි සම්මත නිර්ණායකයක් දිහා බැලුවොත් පෙනෙන්නේ අඩු වැඩි වීම් වලින් පසුව විවෘත භාවය අතින් ලංකාව දැනටත් ඉන්නේ සමඟි පෙරමුණු කාලයේ හිටපු හරියේම බවයි. මේ නිර්ණායකය අනුවම බැලුවොත් මේ කාලය ඇතුළත ලෝකයේ අනෙක් රටවල් (සමස්තයක් ලෙස) දෙගුණයකින් පමණ විවෘත භාවය වැඩි කරගෙන තිබෙනවා.

කොහොම වුනත්, හැත්තෑ හතෙන් පසු කාලය ලංකාවේ ආර්ථික වර්ධනය හා අදාළව අලුත් යුගයක් වූ බව නොසලකා හැරිය හැකි අදහසක් නෙමෙයි. හැත්තෑ හතේ වෙනසින් පසුව ඇඟලුම් කම්හල් වගේ වඩා කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රමවේදයන් ලංකාවට ආවා. කලින් රටේ ආර්ථිකයට අඩු දායකත්වයක් සැපැයූ ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බලකා සහභාගිත්වය වේගයෙන් ඉහළ යන්න පටන් ගත්තා. වැදගත්ම වෙනස වුනේ අනූව දශකයේ මුල හරියේදී ශ්‍රීලනිපය ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමයි. මේ කරුණ හා අදාළ, කතා කිරීමට මේ වෙලාවේ කාලය වැය නොකරන, දේශපාලනික හේතු නිසා ආණ්ඩු මාරු එක්ක ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල සිදුවන විචලනයන් සෑහෙන තරමින් අඩු වුණා. මේ වෙනස්කම නිසා ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය තරමක් වැඩි නොවෙන්න හේතුවක් නැහැ.

ඒ එක්කම තවත් දේවල් සිදු වුනා. ලංකාවේ ජනගහණ වර්ධන වේගය අඩු වෙද්දී ශ්‍රම බලකාය ඉහළ යන වේගයත් අඩු වෙලා ශ්‍රම සාධකය නිසා ආර්ථික වර්ධනයට ලැබෙන දායකත්වය සීමා වෙන්න පටන් ගත්තා. මානව ප්‍රාග්ධනය ක්‍රමයෙන් ඉහළ ගියත් එසේ ඉහළ යන වේගය වැඩි වුණේ නැහැ දේශීය ඉතිරි කිරීම් හෝ විදේශ ආයෝජන වැඩි වුණේ නැති නිසා ප්‍රාග්ධන සංචිත වැඩි වන වේගයේ වෙනසක් වුනෙත් නැහැ. දියුණු රටවලින් තාක්ෂනය අවශෝෂණය කරගැනීම දිගින් දිගටම සිදුවුණත් එහි වේගය වැඩිවුනා කියන්න බැහැ.

මේ ආදී කරුණු සියල්ලම සැලකීමෙන් පසුව හැත්තෑ හතෙන් පසු ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය යම් තරමකින් වැඩි වුනේ නෑ කියා කියන්න බැහැ. 1961-2005 කාලය අතරතුර සාමාන්‍ය ආර්ථික වේගය 4.5%ක් බව පෙනුණත් මෙය හැත්තෑ හතට පෙර හා පසු ලෙස කොටස් දෙකකට කැඩුවොත් හැත්තෑ හතට පෙර වේගය තරමක් අඩුයි. හැත්තෑ හතට පසුව තරමක් වැඩියි. නමුත්, හැත්තෑ හතට පසුව වුවත් මේ මට්ටමට වඩා ගොඩක් වැඩි නැහැ. ඕනෑනම් 4.75%ක් පමණ කියා කිව හැකි බව මා කිවුවේ ඒ නිසයි.

ආර්ථිකය කාලයක් තට්ටුමාරුවට විවෘත හා සංවෘත කිරීම ගැනත්, ජවිපෙ කැරළි දෙකේ බලපෑම ගැනත් කතා කළත් සිවිල් යුද්ධය නිසා සිදු වූ බලපෑම ගැන මා මෙහි කතා කළේ නැහැ. ජවිපෙ කැරළි වලින් වෙනස්ව මේ සිවිල් යුද්ධය වසර 26ක පමණ කාලයක් එක දිගට ඇදුනා. එවැන්නක බලපෑම තාවකාලිකයි කියා කියන්න අමාරුයි. ඒ ගැන අපි වෙනම කතා කරමු.

Wednesday, August 15, 2018

ලංකාවේ ආර්ථිකය විවෘතද?

සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ලංකාව සංවෘත ආර්ථිකයක් බවට පත් කරපු බවත්, හැත්තෑ හතේදී ජේආර් විසින් නැවතත් ලංකාවේ ආර්ථිකය විවෘත කරපු බවත් බොහොම ජනප්‍රිය, හැමෝම වගේ විශ්වාස කරන කතාවක්. එකම කතාව විශාල පිරිසක් විසින් නැවත නැවත කියන කොට එය අවිවාදාත්මක කරුණක් බවට පත් වෙනවා. නමුත්, මේ කතාව අර්ධ සත්‍යයක් පමණයි.

සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ දැඩි ආනයන සීමා කිරීමක් කළා. මේ නිසා, රටේ ගොඩක් මිනිස්සු විශාල පීඩාවකට පත් වුණා. ගොඩක් මිනිස්සු කිවුවට ඒ හැමෝම නෙමෙයි.

මේ කාලය වෙන කොටත් ලංකාවේ ගම් වල සම්ප්‍රදායික කෘෂිකාර්මික ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තිබුණේ නැහැ. දුර ඈත ගම් වල ගොඩක් මිනිස්සු කොහොමටත් කෑවේ බීවේ තමන් වවාගත් දේවල් මිසක් ආනයනය කළ ආහාර නෙමෙයි. වගා කළ හැකි, වගා නොකළ බිම් කට්ටිත් යම් ප්‍රමාණයක් ගම් වල තිබුණා. ඒ නිසා, සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් ලංකාවේ ගම්වල මිනිස්සු පීඩාවට පත් වුනේ නාගරික ප්‍රදේශ වල හිටපු අයට වඩා ගොඩක් අඩුවෙන්. මම මේ කියන්නේ මම ඇහින් දැකලා මතකයේ තිබෙන දේවල්.

හැබැයි ඉතිං මේ කාලයේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින්නම් විශාල අපහසුතාවයන්ට පත් වුණා. සමගි පෙරමුණු ප්‍රතිපත්ති ඒ අයගේ ජීවන රටාවන් සමඟ කොහෙත්ම ගැලපුනේ නැහැ. ඒ වගේම ඒ අයට වවන්න කියලා ලොකු ඉඩම් තිබුණෙත් නැහැනේ. ජේආර් බලයට පත් වීමෙන් පසුව ආනයන සීමා ලිහිල් කිරීමෙන් මේ අයටනම් ලැබුණේ විශාල සහනයක්.

හැත්තෑව අසූව දශක වල (වගේම තවමත්) ලංකාවේ මතවාද හදන්නේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින් මිසක් ගම් වල මිනිස්සු නෙමෙයිනේ. ඒ නිසා, ඔය විවෘත ආර්ථික කතාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලොකු බරක් වැටුණා.

හැත්තෑ හතේදී වුනේ ආනයන වලට තිබුණු සීමාවන් අඩු වීමයි. ඊට පෙර සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේදීත් අපනයන අධෛර්යමත් කළේ නැහැ. ඒ වගේම සමගි පෙරමුණු ආණ්ඩුව විදේශ රටවලින් ප්‍රාග්ධන ආයෝජන හෝ තාක්ෂනය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මේ වැඩේදී සමාජවාදී රටවල් වෙත වැඩිපුර නැඹුරු වුනත් සෝවියට් දේශය වගේ සමාජවාදී රටවල නිෂ්පාදන තාක්ෂණ ක්‍රමවේද ලංකාවට සාපේක්ෂව ගොඩක් ඉදිරියෙන් තිබුණු නිසා එයින් යහපතක් මිස අයහපතක් වුනේ නැහැ.

ඒ වගේම හැත්තෑ හතේදී ආර්ථිකයේ සියලු අංශ විවෘත වුනෙත් නැහැ. ජංගම ගිණුම මුලිනුත්, ප්‍රාග්ධන ගිණුම පසුවත් ක්‍රමයෙන් විවෘත වුනේ බොහොම හෙමින්. අදටත් ප්‍රාග්ධන ගිණුම මුළුමනින්ම නිදහස් නැහැ. ඒ වගේම විදේශ වෙළඳාමට තිබෙන බාධාවනුත් සම්පූර්ණයෙන්ම නැති වී නැහැ.

ලංකාව හා අදාළ අධ්‍යයන බොහොමයකම හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය විවෘත වූ සේ සලකන්නේ නැහැ. ඇතැම් අය එය ක්‍රමයෙන් සිදු වූවක් සේ සලකනවා. තවත් අය ඔවුන්ගේ නිර්ණායක අනුව හැත්තෑ හතට ගොඩක් පස්සේ අවුරුද්දකදී විවෘත වූ සේ සලකනවා. ඒ නිසා, හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය විවෘත වුනා කියන එක අවිවාදිත කරුණක් නෙමෙයි.

රටක් කොයි තරම් විවෘතද කියන එක නිර්ණය කිරීමේදී භාවිතා වන විවිධ නිර්ණායක තිබෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත නිර්ණායකය වන්නේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස විදේශ වෙළඳ පරිමාව, එනම් ආනයන හා අපනයන පරිමා වල එකතුව, කොපමණද කියන එක. මේ ප්‍රතිශතය වැඩි වන තරමට ආර්ථිකයක් වඩා විවෘත සේ සැලකෙනවා. මෙහි වැදගත්කම වන්නේ විදේශ වෙළඳාමට තිබෙන නිල හා නිල නොවන බාධාවන් සියල්ල මේ දර්ශකය හරහා පිළිබිඹු වීමයි.

ලෝක බැංකු වෙබ් අඩවියෙන් බාගත කළ හැකි මේ හා අදාළ දත්ත විශ්ලේෂණය කර විස්තර කරන්න කාලය නොයොදවා මම කෙලින්ම රූප සටහනකින්ම පෙන්වන්නම්. රූප සටහන දිහා බැලුවහම කාලයත් එක්ක ලංකාවේ ආර්ථිකයේ විවෘතකමට සිදු වී තිබෙන දේ පැහැදිලි වෙයි කියා හිතනවා.


Sunday, August 12, 2018

දිවීම හා බැරි මරගාතේ දිවීම


ඊයේ ලිපියට වෘත්තීය ඉංජිනේරුවන් වන අපේ මිතුරු පාඨකයින් කිහිප දෙනෙකුම කැමැත්ත දක්වලා තිබුණා. සමහර විට ඒ ලිපියේ විස්තර කළ ආර්ථික විද්‍යා සංකල්ප ගණිතය වැඩිදුර හැදෑරූ අයෙකුට තේරුම් ගැනීම පහසු වීම එයට හේතුව වෙන්න ඇති.

ආර්ථික විද්‍යා ප්‍රවාද ගොඩ නැඟීමේදී කිසියම් දුරකට භෞතික විද්‍යා ප්‍රවාද පස්සේ ගිහින් තිබෙන බව බොරුවක් නෙමෙයි. භෞතික විද්‍යාව කියන්නේ විද්‍යාව දියුණු වෙද්දී මුලින්ම ගොඩ නැගුණු විෂයයක්. එයට සාපේක්ෂව පරිනාමික ස්නායු විද්‍යාව වගේ මිනිස් චර්යාවන් පැහැදිලි කරන විෂයයන් ගොඩක් අලුත්.

ආර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්ත ගොඩ නැඟෙන කාලයේදී මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය ගැන බොහොම අඩු මට්ටමේ දැනුමකුයි තිබුණේ. ඒ නිසා, මිනිස් ක්‍රියාකාරකම් තේරුම් ගත හැකි වුණේ මිනිස් හැසිරීම් නිරීක්ෂණය කිරීම මඟිනුයි. ඒ කාලයේදී ආර්ථික විද්‍යාව විෂයයක් ලෙස දියුණු කළ අය අතින් මේ හැසිරීම් තරමක් යාන්ත්‍රික විදිහට ගණිතමය ආකෘති තුළට ඇතුළු වුණා.

කොහොම වුනත් භෞතික විද්‍යා ආකෘති හා ආර්ථික විද්‍යා ආකෘති අතර එක් සුවිශේෂී වෙනසක් තිබෙනවා. ආර්ථික විද්‍යා ආකෘතියක් පිළිගැනෙන්නනම් යොදා ගන්නා ගණිතමය ආකෘතිය නිරීක්ෂණ සමඟ ගැලපීම අවශ්‍ය වුවත්, එය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. එය ඒ විදිහට ගැලපෙන්නේ ඇයි කියා පැහැදිලි කෙරෙන තර්කානුකූල හේතුවකුත් අවශ්‍යයි.

උදාහරණයක් විදිහට ඇපල් ගෙඩියක් ගහේ ඉඳල බිමට වැටෙන ආකාරය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් පැහැදිලි කෙරෙනවා. මේ ප්‍රවාදය නිරීක්ෂණ සමඟ (යම් සීමාවන්ට යටත්ව) ගැලපෙනවා. ප්‍රවාදය පිළිගැනෙන්න මෙය ප්‍රමාණවත්. ඊට අමතරව ගලට ඔය ප්‍රවාදයෙන් විස්තර කරන ආකාරයට වැටෙන්න හේතුවක් තිබෙනවද කියන එක භෞතික විද්‍යාවේදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ආර්ථික විද්‍යා ප්‍රවාද මීට වඩා වෙනස්. මිල වැඩි වන විට භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම අඩුවනවා කියන එක නිරීක්ෂණ සමඟ ගැලපුණු පමණින්ම ඒ ප්‍රවාදයට වලංගු භාවයක් ලැබෙන්නේ නැහැ. ප්‍රවාදයට පිළිගැනීමක් ලැබෙන්නනම් මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩුවෙන්න මොනවා හෝ තර්කානුකූල හේතුවක් හෝ හේතු තිබිය යුතුයි.

ආර්ථික විද්‍යාවේදී නිතරම උත්සාහ දරන්නේ සහසම්බන්ධතා අතරින් හේතු ඵල සම්බන්ධතා වෙන් කර හඳුනා ගන්නයි. මෙය පහසු වැඩක් නොවන බව කිව යුතු නැහැ. ඒ වගේම තවමත් වෙනත් බොහෝ සමාන්තර විද්‍යාවන් සහසම්බන්ධතා සහ හේතු ඵල සම්බන්ධතා අතර වෙනසට එතරම්  සංවේදී වී නැහැ.

කලින් ලිපියෙන් කතා කළ කිසියම් රටක ශක්‍ය නිෂ්පාදනය හා නිපැයුම් පරතරය යන සංකල්ප දෙකෙන් කරන්නේ රටක ආර්ථික වර්ධනය සිදුවන පථයේ ගමන් මාර්ගය කොටස් දෙකකට විභේදනය කිරීමයි. මේ විදිහට කිසියම් දෙයක් තේරුම් ගැනීමේ පහසුව සඳහා සංරචක දෙකකට හෝ කිහිපයකට විභේදනය කිරීම නූතන විද්‍යාවන් වල බොහෝ විට සිදු කෙරෙන දෙයක්. ඒ විතරක් නෙමෙයි ජ්‍යෝතිෂ්‍යය වගේ විෂයකදී වුවත් ඔය වැඩේ ඔය විදිහටම වෙනවා.

කිසියම් දෙයක් අතීතයේ වෙනස් වී තිබෙන ආකාරයේ දැකිය හැකි රටාවන් හඳුනා ගත්තහම, ඒ රටාව ඉදිරියටත් වෙනස් නොවේය යන උපකල්පනය යටතේ, ඒ දෙය අනාගතයේ වෙනස් වනු ඇති ආකාරය පුරෝකථනය කළ හැකියි. ඒ වගේම, එය ඒ විදිහට වෙනස් වෙන්න හේතු වන කාරණා එකක් හෝ කිහිපයක් හඳුනා ගත හැකිනම් සහ එවැනි හේතුකාරක කිසියම් අයුරකින් වෙනස් කිරීමේ හැකියාවක් තිබෙනවානම් යම් තරමකට අනාගතය අපට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න පුළුවන්.

ඔහොම කිවුවට ඔය කියපු හැම දෙයකම මොනවා හෝ අවුලක් හෝ අවුල් ගණනාවක් තියෙනවා. පළමුව, හේතුකාරකයක් සේ හඳුනා ගන්නා දෙයක් සහසම්බන්ධයක් පමණක් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. හඳුනාගෙන තිබෙන්නේ ඇත්තටම හේතුකාරකයක් වුවත් බොහෝ හේතුකාරක අවශ්‍ය පමණ කල් ඇතුව වෙනස් කරන්න අමාරුයි. සමහර හේතුකාරක කොහෙත්ම වෙනස් කරන්න බැහැ. ඒ වගේම, ඉතිහාසයේ කරුණු සිදුවූ ආකාරයටම අනාගතයේදීත් කරුණු සිදුවෙයි කියන එක ගැන කිසිම සහතිකයක් නැහැ.

රටක ආර්ථිකය දිගුකාලීනව වර්ධනය වෙන්නේ රේඛීය ආකාරයකට වඩා ඝාතීය ආකාරයකට කිට්ටු රටාවකට. ඒ කියන්නේ, හැම අවුරුද්දකම දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යන්නේ නිශ්චිත ප්‍රමාණයකින් නෙමෙයි, නිශ්චිත ප්‍රතිශතයකින්.

රේඛීය වර්ධනයක් ගොඩක් අයට මනසින් චිත්‍රනය කර ගැනීම පහසුයි. නමුත් ඝාතීය ශ්‍රිතයක් මනසින් චිත්‍රණය කර ගැනීම ඊට වඩා අපහසු දෙයක්.

පහළ පන්ති වලදීම ඉගෙන ගන්න Y = mX + C ආකාරයේ සරල රේඛීය ප්‍රස්තාර ගැන ගොඩක් අය දන්නවා. ඕකේ C කියන්නේ අන්තඃඛණ්ඩය. එහෙමත් නැත්නම් කිසියම් ආරම්භක අවස්ථාවකදී Y වල අගය. m කියලා කියන්නේ රේඛාවේ බෑවුම. එහෙමත් නැත්නම්, X එක ඒකකයකින් වැඩි වෙනකොට Y කොයි තරමින් වැඩි වෙනවද කියන එක. මේකේ Y කියන්නේ දළ දේශීය නිෂ්පාදිතය කියලත්, X කියන්නේ කාලය (අවුරුද්ද) කියලත් ගත්තොත්, m අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන නිසා රේඛීය සමීකරණයක් මේ වැඩේට යොදාගන්න බැහැ.

කොහොම වුනත් ඝාතීය ලෙස වර්ධනය වන විචල්‍යයක ලඝු අගය ගත්තොත් අපිට රේඛීය වර්ධනයක් දකින්න පුළුවන්. ඒ නිසා, දළ දේශීය නිෂ්පාදිතයේ ලඝු අගය Y ලෙස ගත්තොත් අපට m වලට නියත අගයක් හොයා ගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ නියත අගය වන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය. මේ වේගය රටින් රටට වෙනස් වන එකක් නිසා සංඛ්‍යාලේඛණ වලින්ම තමයි හොයා ගන්න වෙන්නේ. ඒ වගේම කාලයක් තිස්සේ වෙනස් නොවෙන නියත වර්ධන වේගයක් තියෙනවා කියන උපකල්පනයත් මෙතැන තියෙනවා.

මේ ආකාරයට කිසියම් රටක දිගුකාලීන සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය හොයා ගත්තට පස්සේ අපට පුළුවන් ඔය සාමාන්‍ය වර්ධන වේගයෙන්ම හැම අවුරුද්දේදීම ආර්ථිකය වර්ධනය වුනානම් එක් එක් අවුරුද්දේදී දකින්නට හැකි විය යුතු දළ දේශීය නිෂ්පාදිතයේ ලඝු අගය හොයාගන්න. එය අනුසාරයෙන් තිබිය යුතු දළ දේශීය නිෂ්පාදිතයත් හොයා ගන්න පුළුවන්. සැබෑ දළ දේශීය නිෂ්පාදිතය කුමක්ද කියා දන්න නිසා මේ දෙකේ වෙනසින් නිපැයුම් පරතරයත් හොයා ගන්න පුළුවන්.

පහසුවට රේඛීය ශ්‍රිතයක් වැඩේට යොදාගත හැකි වුවත් මේ වැඩේ කරන්න රේඛීය උපකල්පනය අවශ්‍යම නැහැ. රේඛීය උපකල්පනය ගැලපෙන්නේ නැත්නම් තරමක් සංකීර්ණ වෙනත් ශ්‍රිතයක් වුනත් යොදාගන්න පුළුවන්. දැනට අපි වඩා සරල හා පහසු විදිහට වැඩේ පටන් ගම්මු.

ලෝක බැංකුවේ වෙබ් අඩවියෙන් 1961 අවුරුද්දේ ඉඳලා ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ ඇස්තමේන්තු බාගත කරගන්න පුළුවන්. ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ 2010 රුපියල් මිලියන වලින් තිබෙන ඇස්තමේන්තු වල ලඝු අගයන්ගේ ප්‍රස්ථාරයක් ඇන්දහම අපට පහත තිබෙන පළමු රූප සටහන ලැබෙනවා. මෙය ගණිතය හා එක්සෙල් පිළිබඳ මූලික දැනුමක් තිබෙන ඕනෑම කෙනෙකුට කළ හැකි අභ්‍යාසයක්. (කැමතිනම් කරල බලන්න.)


මේ ප්‍රස්ථාරයේ දැකිය හැකි විචල්‍යයේ (ලඝු දළ දේශීය නිෂ්පාදිතයේ) පථය රේඛීය එකක් බවට කරන උපකල්පනය එතරම් නරක එකක් නොවන බවට ඔබ මා සමඟ එකඟ වනු ඇති. නමුත්, අපට මේ ප්‍රස්ථාරයේ දැකිය හැක්කේ සරල රේඛා ඛණ්ඩයක්ම නෙමෙයි. එය සරල රේඛා ඛණ්ඩයක් "වගේ එකක්" පමණයි. ඒ සරල රේඛා ඛණ්ඩයක් වගේ එක දිහා බලලා අපට එය ආකෘතිගත කිරීම සඳහා ගැලපෙන සරල රේඛා ඛණ්ඩයක් හොයා ගන්න පුළුවන් වුණොත් ඒකේ බෑවුම හොයා ගන්න එක සරල කරුණක්.

පහළ දෙවන රූප සටහනේ මම 1961-2005 කාලය සඳහා ඒ විදිහේ සරල රේඛීය ආකෘතියක් යෝජනා කරල තියෙනවා. සරල රේඛාවේ සමීකරණය පහළ තියෙනවා.

Y = 0.045*X - 74.86

මෙහි Y කියන්නේ ලඝු(දල දේශීය නිෂ්පාදිතය). X කියන්නේ අවුරුද්ද. X වෙනුවට 1961 ආදේශ කළාම පළමු ඇස්තමේන්තුව ලැබෙනවා.


දැන් මේ සමීකරණය අනුව, දිගුකාලීන ආර්ථික වර්ධනය වෙන්නේ 4.5%ක්. මෙය හරියටම හරි කියා මම කියන්නේ නැති වුණත් මගේ ඇස් වලට පේන්නේනම් ගැලපෙන බෑවුම මේ වගේ එකක් කියලයි. ඕනෑනම් අමාරුවෙන් 4.75%ක් දැම්මත්, 5.75%ක බෑවුමක් ගැනනම් හිතන්නවත් බැහැ.

මගේ සමීකරණය ගැලපෙන එකක් කියා ගත්තොත් අපට මේ කාලය තුළ එක් එක් අවුරුද්දේ තිබුණු නිපැයුම් පරතරය හොයාගන්න පුළුවන්. දෙවන රූප සටහනේ එය පැහැදිලිව නොපෙනන නිසා තුන්වන රූප සටහනේ අදාළ වෙනස විශාලනය කරල තියෙනවා. ඇතැම් පාඨ ග්‍රන්ථ වල තිබෙන ආකාරයේ සයින් වක්‍රයක් පෙනෙන්න නැතත් ඒ දිහා බැලුවහම ඉතා පැහැදිලිවම චක්‍රීය විචලනයක් දකින්න පුළුවන්. ජාතික ආදායම් ගිණුම් ඇස්තමේන්තු හදන ක්‍රමවේදය අංග සම්පූර්ණ එකක් නොවන නිසා සිග්නල් එකට නොයිස් (මිනුම් වරද) එකතු වෙන එක බොහොම සාමාන්‍ය තත්ත්වයක්.


හරි. මේ 2005 දක්වා තත්ත්වය. දැන් මේ රූප සටහන් අනුව බැලුවොත් 2005 වන විට තිබෙන්නේ සෑහෙන දුරට සමතුලිත තත්ත්වයක්. ඊට පස්සේ මොකද වුණේ කියන එක අපි ඊළඟ ලිපියෙන් බලමු.

(Image: http://www.dailymirror.lk/mobile/article/06-06-2015-78437.html)

Saturday, August 11, 2018

දැන් බැට දුන්නා ඇතිද?

පසුගිය සතියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබන්න තීරණය කරල තිබෙනවා. මේ ගැන දැනුම් දීමෙන් පසුව අධිපති කුමාරස්වාමි විසින් ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැනත්, ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට තීරණය කිරීමට පෙර සලකා බැලුණු කරුණු ගැනත් විස්තර කරනවා.

අධිපති කුමාරස්වාමි කියන විදිහට මේ අවුරුද්දේ ලංකාවේ ආර්ථික වර්ධනය 4% මට්ටමටවත් එන්න ඉඩක් නැහැ. ඔහුටම අනුව, ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය 5.75%ක්. නමුත්, 2013 සිට එක දිගටම ආර්ථිකය වර්ධනය වෙන්නේ විභව ආර්ථික වර්ධන වේගයට වඩා අඩු වේගයකිනුයි.

මේ විභව ආර්ථික වර්ධන වේගය කියන්නේ කුමක්ද? මෙයින් අදහස් වන්නේ කිසියම් රටක ආර්ථිකයකට වැඩි අපහසුවක් නැතිව දිගුකාලීනව පවත්වා ගැනීමේ හැකියාවක් තිබෙන සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයයි. නූතන ආර්ථිකයක එය තීරණය වන්නේ රටක නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යාම මතයි.

නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියා කියන්නේ යම් නිශ්චිත ශ්‍රම හා ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයක් උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යෑම. උදාහරණයක් ලෙස කෘෂිකාර්මික අංශය ගත්තොත් අක්කරයක වී වගා කර ලබා ගත හැකි අස්වැන්න ඉහළ යාම.

කිසියම් වසරක් තුළ රටක ආර්ථික වේගය විභව ආර්ථික වේගයට වඩා වැඩි හෝ අඩු විය හැකියි. එසේ වූ විට, විභව ආර්ථික වර්ධන වේගය හා සැබෑ වර්ධන වේගය අතර වෙනසින් නිපැයුම් පරතරය පිළිබිඹු වෙනවා. මෙහි මම නිපැයුම් පරතරය කියා සිංහලෙන් ලිවුවේ අවුට්පුට් ගැප් කියන ඉංග්‍රීසි වචනයයි. නියම පාරිභාෂික වචනය වෙනත් එකක් වෙන්න පුළුවන්. නිපැයුම් පරතරය චක්‍රීය ලෙස විභව නිපැයුම් මට්ටම වටා, එහෙමත් නැත්නම් විභව ආර්ථික වර්ධන වේගය වටා විචලනය වීමේ ක්‍රියාවලිය ව්‍යාපාර චක්‍ර ලෙස හඳුන්වනවා.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති වලින් හා රජයේ රාජ්‍යමූල ප්‍රතිපත්ති වලින් විභව නිපැයුම් මට්ටම වෙනස් කළ නොහැකියි. එහෙත්, නිපැයුම් පරතරයට බලපෑමක් කර ආර්ථික වර්ධන වේගය වෙනස් කළ හැකියි.

මේ විභව වර්ධන වේගය ඇස්තමේන්තු කරන එක පහසු වැඩක් නෙමෙයි. කොහොම හරි මහ බැංකුව දැන් කියන විදිහට එය 5.75%ක්. එහෙම බැලුවොත් පසුගිය අවුරුදු පහක් පුරාවටම සිදු වෙලා තිබෙන්නේ සෘණ නිපැයුම් පරතරයක් ඇති වී එය එන්න එන්නම පුළුල් වීමයි.

පසුගිය අවුරුදු පහේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වුනේ පහත පෙන්වන ආකාරයටයි.

2013 - 3.4%
2014 - 5.0%
2015 - 5.0%
2016 - 4.5%
2017 - 3.1%

මේ අනුව, ඔය අවුරුදු පහේ 5.75% මට්ටමින් වර්ධනය වුනානම් මේ වන විට රටේ ආර්ථිකය දැන් තිබෙනවාට වඩා 8%ක් පමණ ඉහළින් තිබිය යුතුයි. නමුත්, එය එසේ වී නැහැ. ඒ කියන්නේ 8%ක පමණ සෘණ නිපැයුම් පරතරයක් මේ වන විට තිබෙනවා. මේ අවුරුද්ද අවසන් වෙද්දී මෙය 10%ක් පමණ වීමට නියමිතයි.

මේ වගේ වෙලාවක සාමාන්‍යයෙන් සිදුවන්නේ රටක මහ බැංකුවක් විසින් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කර ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඉඩ අරින එකයි. එහෙත්, මහ බැංකුව කරමින් සිටින්නේ එහි අනිත් පැත්තයි.

මහ බැංකුව කියන විදිහටම රටේ මූර්ත පොලී අනුපාතික තියෙන්නෙත් ගොඩක් ඉහළ මට්ටමක. ආණ්ඩු මාරුව සිදු වූ තැන් සිට රජය කරමින් සිටින්නේත් රාජ්‍ය වියදම් සීමා කරමින් සිටීමයි. ඒ කියන්නේ පසුගිය අවුරුදු තුනක පමණ සිට ලංකාවේ මුදල් ප්‍රතිපත්තියේ වගේම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියේත් ඉලක්කය වී තිබෙන්නේ ආර්ථික වර්ධනයට තිරිංග හෙලීමයි. දැන්වත් මෙය නැවැත්විය යුතුයි කියා මහ බැංකුව හිතන්නේ නැහැ. ඒ ඇයි?

ප්‍රධානම හේතුවක් විදිහට මහ බැංකුව දකින්නේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කළොත් විදේශ අංශය අස්ථාවර වෙයි කියා තියෙන බයයි. පොලී අනුපාතික පහළ දැම්මොත් මූල්‍ය ප්‍රාග්ධනය ලංකාවේ සිට කලාපයේ වෙනත් රටවල් කරා විතැන් වෙයි කියා මහ බැංකුව හිතනවා. එහෙම වුනොත් විණිමය අනුපාතිකය මත තිබෙන පීඩනය තවත් වැඩි වෙනවා. වෙනත් විදිහකින් කියනවානම් රටේ විදේශ අංශය අස්ථාවර වීම වලක්වා ගැනීම වෙනුවෙන් තව දුරටත් ආර්ථික වර්ධනය අඩාල වෙන්න අරින එකයි මහ බැංකුවේ තෝරා ගැනීම වෙලා තිබෙන්නේ.

ලංකාවේ ආර්ථිකයේ විදේශ අංශයේ අර්බුදය ඔය තරම්ම ඔඩු දිව්වේ කොහොමද? මෙයට එක ප්‍රධාන හේතුවක් වන්නේ පසුගිය කාලයේ රටට දරා ගන්න බැරි තරමේ ආර්ථික වර්ධන ඉලක්කයක් පස්සේ දිවීම බව මහ බැංකුව නොකිව්වත් ඔවුන් තේරුම් අරගෙන නොහිටින්න විදිහක් නැහැ. ආණ්ඩු මාරුව කිට්ටු වෙනකම්ම මහ බැංකුවේ ප්‍රතිපත්ති සකස් වෙලා තිබුණේ දැන් කියන විදිහට 5.75%ක් වන විභව ආර්ථික වර්ධන මට්ටමේ ආර්ථිකය ස්ථාවර කරන්න නෙමෙයි.

ඒ කාලේ උත්සාහ කළේ 8%ක පමණ ඉලක්කයක් හඹා යන්නයි. රජයට හා මහ බැංකුවට මුල් වී අවුරුදු දෙක තුනක්, නැත්නම් හතරක් පහක් තිස්සේ ආර්ථිකය එහි විභව මට්ටම ඉක්මවා ප්‍රසාරණය කරන්න පුළුවන් වුවත්, ආර්ථිකයක මූලික ආකෘතිය එසේම තිබියදී විභව ආර්ථික වර්ධනය ඉහළ දමන්න බැහැ. ඒ නිසා, වසර කිහිපයක් එක දිගට ආර්ථිකය වැඩි වේගයකින් වර්ධනය වුවත් ඒ තත්ත්වය දිගටම ඒ විදිහට තබා ගන්න බැරුවා වගේම බොහෝ විට වේදනාකාරී ස්වභාවික "නිවැරදි වීමකින්" අවසන් වෙන්න ඉඩ තිබුණා.

නියම වේගයට වඩා වේගයෙන් යන වාහනයක් පාලනය කර ගන්න බැරි වෙලා හැප්පුනාම හානිය වැඩියි. ඒ  වෙලාවට කරන්න වෙන්නේ ගමන යන්න පරක්කු වෙන එක පැත්තකින් තියලා වේගය අඩු කරගෙන වාහනයේ පාලනය අතට ගන්න එකයි. රජය හා මහ බැංකුව විසින් පසුගිය අවුරුදු තුනේ කළේ ඕක කියලා අපිට දළ වශයෙන් කියන්න පුළුවන්. තවත් විදිහකට කියනවනම් ඔවුන් කළේ සෘණ නිපැයුම් පරතරයක් ගොඩ නඟන එක නෙමෙයි, ඇති වෙලා තිබුණු ධන නිපැයුම් පරතරයක් නැති කරලා දමන එක කියා අපට කියන්න පුළුවන්. හරි එහෙම කියමුකෝ.

දැන් ඔය විදිහට නැති කරලා දැමිය යුතුව තිබුණු නිපැයුම් පරතරය කොයි තරම්ද? ඇස්තමේන්තු කරලා බැලුවේ නැතත්, විභව ආර්ථික වර්ධන වේගය 5.75%ක් කියා සැලකුවොත්, ඕක 10%කට වඩා වැඩි පරතරයක්ව තිබුණා වෙන්න ලොකු ඉඩක් නැහැ.. එහෙමනම්, මේ වන විට මේ පරතරය නැති වෙලා තියෙන්න ඕනෑ. ඒ කියන්නේ දැන් ආර්ථිකයට බැට දුන්නා ඇති. අනෙක් අතට ආර්ථිකය ස්ථාවර කරගන්න තව තවත් එයට බැට දෙන්න ඕනෑනම් එයින් අදහස් වෙන්නේ ඔය 5.75% මට්ටම වුණත් නියම ගාණට වඩා වැඩි ඇස්තමේන්තුවක් බවයි.

තව කතා කරන්න දේවල්නම් ගොඩක් තියෙනවා. ඒ වුණත්, ඉතිං බ්ලොග් පෝස්ට් එකක්නේ. ගොඩක් වෙලාවට අමතක කරලා දැම්මත් මතක් වෙන වෙලාවට හරි ලිපියේ දිග ගැනත් හිතන්න ඕනැනේ. ඒ නිසා, සෙස්ස පස්සට තියමු.


(Image: http://trading2day.com/spx-bullish-scenario-to-2510-20-winning-points-so-far/)

Friday, August 10, 2018

අපිට ලැබෙන නම්බු නාම

මේ බ්ලොග් එක කියවන ඇතැම් පාඨකයෝ අපට වරින් වර විවිධ නම්බු නාම දීල තියෙනවා. පහළින් තියෙන්නේ දවස් තුන හතරකට කලින් ලැබුණු ඒ වගේ නම්බු නාම දෙකක්. ඇතැම් විට නම්බු නාම දෙකම දීලා තියෙන්නේ එකම පාඨකයා වෙන්න පුළුවන්.

"ඉකොනොමැට්ටා වගේ උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්"

"ඉකොනොමැට්ටා වැනි බටහිර දැනුම් වහල් අනුකාරකයන්"

සමහර විට මේ වගේ නම්බු නාම දෙන අය ඔය වගේ ප්‍රතිචාරයක් දැම්මහම අපිට කේන්ති යනවා කියල හිතලා, කේන්ති ගිය ඉකොනොමැට්ටෙක්ව හිතින් මවා ගෙන සතුටු වෙනවා ඇති. ඒ විදිහට හෝ කවුරු හරි සතුටක් ලබනවානම් ඒකෙත් ඒ හැටි වැරැද්දක් නැහැ. ඔයිට වඩා හොඳ නම්බු නාමත් මේ බ්ලොග් එක නිසා අපිට ඇතැම් අයගෙන් ලැබිල තියෙනවනේ. මම හිතන හැටියට මේ වගේ ප්‍රතිචාර දමන එකේ ඊට වඩා වෙනස් දේශපාලනික අරමුණුත් තිබෙනවා.

දැන් ඔය පළමුවෙනි ලේබල් එක ගහන්නේ ඉකොනොමැට්ටා උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක් කියල කිවුවහම නෑ එහෙම නෙමෙයි ඉකොනොමැට්ටා මධ්‍යස්ථයි කියල පෙන්වීම සඳහා මෙහි එජාපය විවේචනය කරලා පෝස්ට් දෙක තුනක්වත් දමයි කියන බලාපොරොත්තුවෙන් වෙන්න පුළුවන්. හැබැයි ඉතිං ඉකොනොමැට්ටාට එහෙම තමන් ඉන්න තැන කාටවත් පෙන්වන්න දඟලන්න අවශ්‍ය නැහැ.

ඉකොනොමැට්ටා ලියන දේවල් ආශ්‍රයෙන් කැමති කෙනෙක් කැමති නිගමනයකට එන එකේ ලොකු  ප්‍රශ්නයක් නැහැ. ලිවීමේ අඩුපාඩුවක් නිසා ලියන දෙයකින් වැරදි අදහසක් සන්නිවේදනය වුනොත් විතරක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉඳහිට මෙහි එන කෙනෙකුට මිස නිතර මෙහි එන කෙනෙකුට එවැනි ප්‍රශ්න ඇති වෙන්නත් ඉඩකඩ අඩුයි.

කොහොමටත් ඔය මධ්‍යස්ථ කතාව ඒ තරම් තේරුමක් නැති එකක්. කෙනෙක් මධ්‍යස්ථද නැද්ද කියන එක එය නිර්ණය කරන පුද්ගලයාගේ අදහස් මත තීරණය වන දෙයක්. ඒ නිසා, කෙනෙක් මධ්‍යස්ථ සේ දකින කෙනෙක්ව තවත් කෙනෙක් අන්තවාදියෙක් සේ දකින්න පුළුවන්.

වෙනත් අයෙක් ගහන ලේබල් එකක් නිසා හිත් රිදීමක් ඇති වෙන්නේ ඒ වගේ ලේබල් එකකින් තමන් තමන්ටම ගහගෙන ඉන්න ලේබල් එකක් වැහිල යන විටයි. උදාහරණයක් විදිහට තමන් මාර බුද්ධිමතෙක් හෝ උගතෙක් කියා හිතාගෙන හෝ පෙන්නගෙන ඉන්න කෙනෙක්ට වෙන කෙනෙක් මෝඩයෙක් කියලා ලේබල් එකක් ගැහුවම රිදෙන්න පුළුවන්. තමන් "පිරිසිදු" සිංහලයක් කියලා හිතාගෙන හෝ පෙන්නගෙන ඉන්න කෙනෙක්ට පරම්පරාවේ කලවමක් ගැන කියන කොට රිදෙන්න පුළුවන්. මටනම් ඔය කොයි ලේබල් එකෙත් ඒ තරම් වෙනසක් නැහැ.

ඒ තරම් කියලා කිවුවේ ඔය ලේබල් ප්‍රශ්නයක් වෙන වෙලාවල් නැත්තෙම නැති නිසා. අසූ අට අසූ නවය කාලය පහු කරපු අය දන්නවා ඒ කාලයේ කාට හරි දේශද්‍රෝහී ලේබලය හෝ ඒ වගේම අනික් පැත්තෙන් හේතුවක් නැතුව ජේවීපී ලේබල් එක වැදුනානම් විය හැකිව තිබුණේ කුමක්ද කියන එක. "කොටි", "සිංහල කොටි" වගේ ලේබලුත් ඔය වගේ.

එහෙම බැලුවහම  "උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක්" කියන එක ගණන් ගන්න තරම් වැදගත්කමක් තියෙන ලේබල් එකක් නෙමෙයි. අපි පේරාදෙණියේ හිටපු කාලයේදීනම් කවුරු හෝ සිසුවෙක්ට ඔය ලේබල් එක වැදෙන එකේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. එයින් හැඟවුනේ අනෙක් "පොදු" සිසුන් හැම වෙලාවෙම පරිස්සම් විය යුතු, ආණ්ඩුවේ ඔත්තුකාරයෙක් වගේ දෙයක්. ඒ විතරක් නෙමෙයි "චින්තන කාරයෙක්", "විකොසේ එකෙක්" වගේ ලේබල් වලින් වුනත් කියවුණේ "අපෙන් එකෙක් නොව මේ මිනිසා" වගේ අදහසක්.

කලින් කී උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක් කියන නම්බු නාමය දුන්න කෙනා ඒ ලියා තිබෙන දේ ලිවුවේ අවංකවම කියා අපි මොහොතකට හිතුවොත් ඔහු හෝ ඇය එවැනි අයෙක්ව හඳුනාගන්න නිර්ණායකය කුමක්ද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඉකොනොමැට්ටා හා අදාළවනම්, එය මේ බ්ලොග් එකේ ලියන දේවල් මත සිදු කෙරෙන්නක් විය යුතුයි.

ඔය ලේබල් එකෙන් ගැලවෙන්න කරන උත්සාහයක් ලෙස කියන දෙයක් නොවුණත්, ඉකොනොමැට්ටා ලංකාවේ සිටියදී කිසිම දවසක කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකුව සිට නැහැ. අවම වශයෙන් ශිෂ්‍ය දේශපාලනය ඇතුළේදී පවා. මැතිවරණ බොහොමයකදීම අඩු වශයෙන් ඡන්දයවත් දමා නැහැ. එජාපයටනම් කවදාවත්ම ඡන්දයක් පාවිච්චි කර නැහැ. කොහොම වුනත්, මේ මොන දේවල් කිවුවත් ඉකොනොමැට්ටා "උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක්" නොවේ කියන එක තහවුරු වෙන්නේ නැහැ.

ඉකොනොමැට්ටා ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකුව සිට නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි වගේ පතෝල ප්‍රතිපත්තියක හිටියා හෝ ඉන්නවා කියන එක නෙමෙයි. ලංකාව (වගේම ලංකාවෙන් බාහිර ලෝකයත්) දැන් තිබෙනවාට වඩා හොඳ තැනක් වෙනවට ඉකොනොමැට්ටා කැමතියි. ඒ නිසා, ලංකාව දැන් ඉන්න තැනින් ඉහළට උස්සන්න හෝ පහළට වැටෙන එක නවත්වන්න වැඩිපුරම දායක වෙන ප්‍රතිපත්ති අනුගමනය කරන දේශපාලන පක්ෂයක් ලංකාවේ බලයේ ඉන්නවානම් ඉකොනොමැට්ටා කැමතියි.

දැන් මෙහෙම කිවුවහම මතුවෙන මූලිකම ප්‍රශ්නය තමයි ඔය ඉහළ හෝ පහළ හෝ කියන්නේ මොකක්ද කියන එක.

මාක්ස්වාදීන් කියා තමන්ව හඳුන්වා ගන්නා අයගේ කටවල් වලින් නිතර එළියත පනින වචන දෙකක් තමයි ප්‍රගතිශීලීන් හා ප්‍රතිගාමීන් කියන වචන දෙක. මේ අදහස අනුව, ප්‍රගතියේ දිශාවට යන අය ප්‍රගතිශීලීන්. එයින් විරුද්ධ දිශාවට යන අය ප්‍රතිගාමීන්. ටික කලකට පෙර මම ලියූ ලිපියක මාතෘකාවට යොදාගත්තේ ඉදිරිගාමීන් සහ පසුගාමීන් කියන වචන. කියැවෙන අදහසේ එහෙමට වෙනසක් නැහැ. මාක්ස්වාදීන් වැඩිපුර පාවිච්චි කළත් ඔය වචන ඒ අයටම සින්නක්කරේට ලියල දෙන්න බැහැ.

දැන් මේ වචන වලින් අදහස් වෙන්නේ ප්‍රගතියේ දිශාවක් හා ඊට විරුද්ධ දිශාවක් තිබෙන බවයි. මාක්ස්වාදීන්ට අනුව මේක සමාජය පරිණාමය වන ආකාරය ගැන මාක්ස් උගන්වා තිබෙන ප්‍රවාදයේ විස්තර කෙරෙන දිශාවයි. වෙනත් කෙනෙක්ට ඒක භාවනා කරලා සිත යම් කිසි තත්ත්වයකට පත් කර ගැනීම වගේ වෙනස්ම දෙයක් වෙන්න පුළුවන්. රේඛීය සිතීමක් කියා මේ ප්‍රගතිය කරා යෑම කියන අදහස අවඥාවෙන් බැහැර කරන ඇතැම් අය පවා පවතින තත්ත්වය වෙනස් විය යුතු ආකාරය ගැන යෝජනා කරන එකෙන් පේන්නේ ඒ අයට සාපේක්ෂව පවා ප්‍රගතියේ දිශාවක් තිබෙන බවයි.

ප්‍රගතියේ දිශාව කියන අදහස බැහැර කළොත් එතැනින් එහාට හිතාමතා කරන්න දෙයක් නැති තරම්. කොහොම වුනත්, මේ ප්‍රගතිය කියන එක පුද්ගලයාට සාපේක්ෂයි.

කලින් ලිපියකත් ලියා තිබෙන පරිදි, කිසියම් නිශ්චිත මොහොතක අප ගමන් කරමින් සිටින්නේ ප්‍රගතියේ දිශාවටද කියන එක අපිට ස්ථිරවම කියන්න අමාරුයි. එහෙත්, අද අප සිටින තැනට පැමිණි ගමන් මාර්ගය දෙස ආපසු හැරී බැලූ විට ඒ පාර දිගේ ඉදිරියට ගිය කාල පරාස, නැවතී සිටි තැන් වගේම, ආපසු ගිය කාල පරාසත් යම් නිරවද්‍යතාවයකින් යුතුව හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනා ගැනීමම වුනත් සාපේක්ෂයි. ඇතැම් විට දැන් ආපස්සට යාමක් වගේ පෙනෙන දෙයක් ඉදිරියට යන ගමනේදී කළ යුතුම දෙයක්ව පැවතුනා වෙන්න වුවත් බැරි නැහැ.

සමාජ සත්ත්වයින් ලෙස හෝමෝ සේපියන්ස්ලා ඔවුන්ගේ ඉතිහාසය තුළ විශාල දියුණුවක් ලබා ඇති බව, එනම් ඉදිරියට ගමන් කර ඇති බව මා විශ්වාස කරන දෙයක්. ඒ විශ්වාසය මගේ පෞද්ගලික අත්දැකීම්, මා ඉගෙනගෙන තිබෙන දේවල් ආදිය මත පදනම් වන්නක්.

අප ඉතිහාසය කියා හිතන දෙය, එතකොට පරිණාමවාදය වගේ ප්‍රවාද පැත්තකින් තියමු. පළමුව, මට මතක තිබෙන මගේ ජීවිත කාලය තුළ සමස්තයක් ලෙස ලංකාව ජීවත් වීම සඳහා වඩා සුදුසු තැනක් වුණා කියා මම හිතනවා. දෙවනුව, සමස්තයක් ලෙස ගත්තහම ඇමරිකාව වැනි බටහිර රටක් ලංකාවට වඩා ජීවත් වීමට සුදුසු තැනක් කියා මම හිතනවා. ඒ වගේම, දශක ගණනාවකට පෙර තිබුණු ඇමරිකාවට වඩා අද තිබෙන ඇමරිකාව ජීවත් වීමට සුදුසු තැනක් කියලත් මම හිතනවා.

දළ දේශීය නිෂ්පාදිතය, භෞතික ජීවන තත්ත්ව දර්ශකය වගේ කිසියම් රටක කිසියම් අවස්ථාවක පවතින තත්ත්වය එම රටේ වෙනත් අවස්ථාවක පැවති තත්ත්වය හෝ එම අවස්ථාවේදී වෙනත් රටක පවතින තත්ත්වය සමඟ සැසඳිය හැකි සම්මත නිර්ණායක තිබෙනවා. මේ නිර්ණායක වල අඩුපාඩුත් තිබෙනවා.

පෙර කී නිර්ණායක වලින් ඊටත් පෙර කී මා හිතන ආකාරය තහවුරු කරනවා. නමුත්, පළමු කී මම හිතන ආකාරයට පාදක වෙන්නේ මූලික වශයෙන්ම මගේ පෞද්ගලික අත්දැකීම් මිසක් දෙවනුව කී නිර්ණායක නෙමෙයි. මගේ පෞද්ගලික අත්දැකීම් සමඟ ගැලපෙන නිසා පෙර කී නිර්ණායක රටවල් දෙකක් හෝ අවස්ථා දෙකක් සැසඳීම සඳහා හොඳ නිර්ණායක කියා මම හිතනවා. නමුත්, පරිපූර්ණ, අංග සම්පූර්ණ නිර්ණායක කියා හිතන්නේ නැහැ. පෞද්ගලික අත්දැකීම් හරහා දැනෙන දෙයට යම් තෝරගත් නිර්ණායක හා අදාල සංඛ්‍යාලේඛණ පිරික්සා ලබාගන්නා දැනුම සමකරන්න බැහැ.

කොහොම වුනත්, මගේ අත්දැකීම් තිබෙන තැන් වලදී ඒ අත්දැකීම් එක්ක මේ වගේ නිර්ණායක පෑහෙන එක පදනම් කර ගනිමින් මම මට එවැනි අත්දැකීම් නැති තැන් ගැන සැසඳීමක් කරන්න මේ වගේ නිර්ණායක භාවිතා කරනවා. උදාහරණයක් ලෙස උගන්ඩාවට වඩා නවසීලන්තය ජීවත් වෙන්න සුදුසු රටක් කියා මම හිතන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් මත පදනම්ව නෙමෙයි. මේ විදිහට එක තැනක් හා අදාළ අත්දැකීමක් වෙනත් තැන් වලට සාධාරනීකරණය කරද්දී වැරදෙන තැන් තියෙන්න පුළුවන්. ඒ වගේම එහෙම කරන එකට දාර්ශනික පදනමක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන්. එය මම එතරම් වැදගත් දෙයක් සේ සලකන්නේ නැහැ.

ඉකොනොමැට්ටාට ලැබිල තිබෙන දෙවන නම්බු නාමය "බටහිර දැනුම් වහල් අනුකාරකයන්" කියන එකයි. "උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්" කියද්දී මෙන්ම ඇතැම් අය විසින් අපහාසාත්මක අර්ථයකින් යොදාගන්නා මේ ලේබල් එක නලින් ද සිල්වාගේ නිර්මාණයක්. නමුත්, මේ වෙලාවේ මේ ලේබල් එක ඉකොනොමැට්ටාට ගහල තියෙන නිර්නාමික පුද්ගලයා හෙවත් බ්ලොග් භාෂාවෙන් ඇනෝ (හිතන විදිහට) නලින් ද සිල්වා නෙමෙයි. ඇනෝ කරල තියෙන්නේ නලින් ද සිල්වා විසින් වෙනත් අයෙකු අරභයා ලියූ දෙයකට ඉකොනොමැට්ටාගේ ලිපිය සම්බන්ධ කර සුළුවෙන් වෙනස් කර මෙහි දැමීමයි.

නලින් ද සිල්වාට බටහිර විද්‍යාව ගැනත් බටහිර දැනුම් ආධිපත්‍යය ගැනත් විවේචනයක් තිබෙනවා. ඔහු එය කරන්නේ කිසියම් පදනමක පිහිටලා. වැදගත්ම කරුණ වන්නේ ඔහු බටහිර විද්‍යාව විවේචනය කරන්නේ බටහිර විද්‍යාව හා එහි විධි ක්‍රම හැදෑරීමෙන් පසුව වීමයි. නමුත්, ඔහුව අනුකරණය කරන ඇතැම් අය, විශේෂයෙන්ම සමාජ ජාලා වල වාද විවාද වලට පැටලෙන අය, බටහිර විද්‍යාව හෝ නලින් ද සිල්වා කියන දේවල් යන දෙකෙන් එකක්වත් හරියට ග්‍රහණය කරගෙන නැති බවයි ඔවුන් දමන ප්‍රතිචාර වලින් පෙනෙන්නේ.

මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි. නලින් ද සිල්වාගේ අදහස් පිළිගන්න ඇතැම් අය බටහිර විද්‍යාවත් ඉහළටම හැදෑරූ අය. එවැනි අයට නලින් ද සිල්වාව අනුකරණය නොකර ඔහුගේ අදහස් තමන්ට ග්‍රහණය වන ආකාරයෙන් නැවත කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට ජානක වංශපුර වගේ අය.

පේරාදෙණියේ නවක වදයට ලක් වූ කෙනෙක් නවක වදය විවේචනය කරන කොට එහි යම් වෙනසක් තිබෙනවා. ඒ වගේම බටහිර විද්‍යාවේ විධික්‍රම ඉගෙනගත් කෙනෙක් ඒවා විවේචනය කරන කොට එය පැහැදිලිව පෙනෙනවා. එහෙම නැති, මං මුලා වී පාර සොයාගෙන යන අයගේ වෙනසත් ඒ විදිහටම පෙනෙනවා.

නලින් ද සිල්වාව උපුටා දක්වමින් මෙහි නිර්ණාමික ප්‍රතිචාර දමන අය ඔහුව අනුකරණය කරන්න උත්සාහ කරන අය වෙන්න ඉඩ තිබෙනවා වගේම ඔහුව බයිට් එකට ගන්න උත්සාහ කරන ඔහු කියන දේවල් වලින් රිදෙන අය වෙන්නත් පුළුවන්. කොපි පේස්ට් ඇනෝ ප්‍රතිචාරයකින් මේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකේ සාමාජිකයින් වෙන් කර හඳුනාගන්න අසීරුයි. ඒ නිසා, මේ ප්‍රතිචාර වලට පිළිතුරු දෙන්න යාමෙන් සිදු වෙන්නේ එය දැමූ තැනැත්තාගේ උපක්‍රමයට අහුවීමක් වෙන්න පුළුවන්. එහෙම තියෙද්දී, සෝමක්කා එක්ක ඔට්ටු දාන්න ගිය ඇම්ඩ වැටුණු අමාරුවේ වැටෙන්නෙ මොකටද?

අනුකරණය කියන එක කවුරුත් කරන දෙයක්. අපි කුඩා කාලයේදී මුලින්ම අපේ දෙමවුපියන්ව අනුකරණය කරනවා. මගේ දරුවෙක් දැන් ටික දවසක සිට උදේ නැගිට්ට ගමන්ම නානවා. එහෙම කරන්න කියා ඔහුට කවුරුත් කියා නැහැ. ඔහු එසේ කරන්නේ ඔහුගේ පියා වන මාව අනුකරණය කරමිනුයි. අප කන කෑම, අඳින ඇඳුම් වගේ බොහෝ දේවල් අනුකරණ තමයි. එවැනි අනුකරණ නොකරන කෙනෙක් නැහැ.

මම හිතන විදිහට බටහිර රටවල් ලංකාවට වඩා ජීවත්වීම සඳහා සුදුසු තැන් බව මම කළින්ම කිවුවා. මේ කරුණේදී මා සමඟ එකඟ නොවන අය එක්ක වාද කරන්න මට අවශ්‍ය නැහැ. මෙය මා හිතන විදිහයි. වෙනත් අයෙකු වෙනස් ලෙසකින් හිතීම සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි.

බටහිර රටවල් ලංකාවට වඩා ජීවත්වීම සඳහා සුදුසු තැන් කියා මම කියන්නේ යටිතල පහසුකම් වැනි භෞතික සම්පත් ඇතුළු ආර්ථික කරුණු මත පමණක් පදනම්ව නෙමෙයි. සමස්තයක් ලෙස සමාජය දෙස බලමිනුයි. ඒක පුද්ගල ආදායම අනුව බැලුවොත් ඇමරිකාවටත් වඩා ටිකක් ඉහළින් ඉන්න, ලංකාවේ ඇතැම් අයගේ පරමාදර්ශී රටක් වන සිංගප්පූරුව වැනි රටක් ඇමරිකාව තරම් ජීවත් වීමට සුදුසු රටක් කියා මම හිතන්නේ නැහැ. ඒක පුද්ගල ආදායම අතින් ඉහළ මැදපෙරදිග රටවල් ගැන වුවත් මගේ අදහස එවැන්නක්. කොහොම වුවත්, ආර්ථික වශයෙන් වඩා දියුණු රටක් ජීවත් වීම සඳහා වඩා සුදුසු රටක් වෙන්න වැඩි ඉඩකඩක් තිබෙනවා.

ඒ වගේම ඇමරිකාව පරමාදර්ශී රටක් කියලත් මම හිතන්නේ නැහැ. ඇමරිකන් ජීවිතයේ මම අගය කරන අංග වගේම වෙනස් විය යුතුයි කියා හිතන දේවලුත් තිබෙනවා. ඒ වගේම ලංකාවේත් මම අගය කරන අංග වගේම වෙනස් විය යුතුයි කියා හිතන දේවල් තිබෙනවා. ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ වෙනස් විය යුතු දේවල් වැඩියි.

මොන අතින් හෝ තමන්ට වඩා සාර්ථක පුද්ගලයෙක් දිහා බලාගෙන හැදෙන එකේ මම වරදක් දකින්නේ නැහැ. ඒ වගේම, රටක් වඩා සාර්ථක වෙනත් රටක් දිහා බලාගෙන හැදෙන එකේත් වරදක් නැහැ. ඇමරිකාව වගේ ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්න රටක් දිහා බැලුවහම ඒ වගේ රටක් අද ඉන්න තැනට එන්න උපකාරී වුනු දේවල් කරන්න වගේම බාධාකාරී වූ දේ නොකර ඉන්නත් පුළුවන්. එහෙම දෙයක් යෝජනා කළ විට "බටහිර දැනුම් වහල් අනුකාරකයන්" වෙනවානම් එය අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස මම සලකන්නේ නැහැ.

ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව, මේ අවස්ථාව වන විට, ආර්ථික ප්‍රතිපත්ති අතින් බැලුවොත් සමස්තයක් ලෙස වඩාත්ම ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඉතිහාසය දිහා බැලුවත් බොහෝ විට අනෙක් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරලා තිබෙන්නේ කිසියම් කාල පමාවකින් පසුව එජාපය සිටි තැනටම එන එකයි. ජවිපෙ පවා අන්තිමට කැරකිලා එන්නේ ඒ පාරටමයි.

අනික් අතට, බොහෝ විට සිදු විය හැකි පරිදි, ජනප්‍රියත්වය සෑහෙන තරමට පිරිහිලා තිබෙන මේ ආණ්ඩුව පැරදිලා රාජපක්ෂලාගේ ආණ්ඩුවක් ආවත් ආර්ථිකයේ තිබෙන මූලික ආකෘතිය ලොකුවට වෙනස් කෙරෙන්න විදිහක් නැහැ. කිසිසේත්ම හොරකම් අනුමත කරන්නේ නැති වුනත් හොරකම්, දූෂණ වැළැක්වූ පමණින් ලංකාව සුරපුරක් කළ හැකියි කියා මා නොසිතන නිසා වැඩිපුර හොරකම් කරන්නේ කවුද කියන ප්‍රශ්නය ගැන මම එතරම් වද වෙන්නේ නැහැ. හොරකම් සිදු නොවනවානම් හොඳයි තමයි. නමුත්, හොරකම් මැද්දේ වුවත් මොනවා හෝ නිෂ්පාදනය වෙලා ආර්ථිකය ඉදිරියට තල්ලු කෙරෙන ක්‍රමයක් හොරකම් නැති වුනත් හොරකම් කරන්න දෙයක්වත් නිෂ්පාදනය නොවන ක්‍රමයකට වඩා හොඳයි.

මම මේ ආණ්ඩුවේ ඇතැම් කටයුතු විවේචනය කරල තිබෙන්නේ හදාගන්නවානම් වැරදි හදාගෙන ඉදිරියට යන්න උදවු වෙන්න මිසක් ආණ්ඩුව ගෙදර යවන්න හෝ ආණ්ඩුව එක්ක වෛරයකින් නෙමෙයි. එහෙම කරලා තිබෙන්නේ රටක් වශයෙන් ලංකාව ඉදිරියට අඩියක් හෝ තියනවට තියෙන කැමැත්ත නිසා මිසක් ආණ්ඩුවට තිබෙන පක්ෂපාතිත්වය නිසාත් නෙමෙයි. මේ ආණ්ඩුව වෙනස් වෙලා වෙනත් ආණ්ඩුවක් ආවත් මම කරන්නේ ඔය ටිකමයි. සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් තිබෙනවාද කියා හරියටම නොදන්නා නමුත්, ඉකොනොමැට්ටාගේ වියුණු හරහා පසුගිය කාලය මුළුල්ලේ වරින් වර කර තිබෙන යෝජනා වලින් ඇතැම් ඒවා ඒ යෝජනා කර සිදු කර ටික කලකට පසුව ක්‍රියාත්මක වී තිබෙනු දැකීම සතුටට කරුණක්.

එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති අනෙක් විකල්ප වලට සාපේක්ෂව ඉදිරිගාමී බව කීමෙන් අදහස් කෙරෙන්නේ අඩු වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති හා අදාළව හෝ එජාපය කරන හැම දෙයක්ම නිවැරදි බව නෙමෙයි. එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති වල හා ඒවා ක්‍රියාත්මක කිරීමේ තිබෙන අඩුපාඩු සියල්ලම වගේ අනෙක් දේශපාලන පක්ෂ වලටත් පොදු බවයි. එජාප ආර්ථික ප්‍රතිපත්ති සියල්ලම අනුමත නොකළත්, ලංකාවේ ආර්ථිකය නිවැරදි මාර්ගයට ගන්න කළ යුතු දේ ලෙස මම හිතන දේවල් සමඟ මේ වෙලාවේ වඩාත්ම සමපාත වන්නේ එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති.

ආණ්ඩුව විසින් ආර්ථිකය හැසිරවීමේදී කිසියම් කරුණක් හා අදාළව කරන්නේ ආර්ථිකය හසුරුවන එක ඉකොනොමැට්ටා බාර ගත්තත් කරන්න පුළුවන් හොඳම දේ නම්, යෝජනා කරන්න වෙන ප්‍රායෝගික විකල්පයක් ඉකොනොමැට්ටාට පේන්නෙත් නැත්නම්, ආණ්ඩුව කරන දෙයක වැරැද්දක් අඩුපාඩුවක් පෙනුණත් එය විවේචනය කිරීම සාධාරණයි කියා මම හිතන්නේ නැහැ. අප විශ්වාස කරන නිවැරදි ක්‍රියාමාර්ගයක් කවර හෝ ආණ්ඩුවක් විසින් ගන්න විට ඒ වෙනුවෙන් පෙනී සිටිනු මිස බොරුවට එය විවේචනය  කිරීමේ කුහක ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න අපට හැකියාවක් නැහැ. එහෙම නොකරන්නෝ "උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්" කියා කවුරු හෝ හිතනවානම් එය ඒ අයගේ ප්‍රශ්නයක් මිසක් මගේ ප්‍රශ්නයක් නෙමෙයි.

ඔය "බටහිර දැනුම් වහල් අනුකාරකයන්" එහෙම නැත්නම් "උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්" වගේ ලේබල් වලින් මට රිදෙන්නේ නැතුවා වගේම ඔය ලේබල් නිසා මම ආඩම්බර වෙන්නේත් නැහැ. ඕවා නිකම්ම නිකම් ලේබල් පමණක් බව දන්න නිසා මම ඕවා දිහා බොහොම උපේක්ෂාවෙනුයි බලන්නේ.

හැබැයි සතුටු වෙන්නේ නෑ කියන්නමත් බැහැ. මෙහි ඇවිත්, ඉකොනොමැට්ටා ලියන "ආර්තික විජ්ජා රස කතා" හෝ වෙන මොනවා හෝ වැල්වටාරමක් කවුරු හෝ කියවන්නේ එයින් මොනවා හෝ සතුටක් ලැබෙන නිසයි. ඒ ගැන ඉකොනොමැට්ටාට නිහතමානී සතුටක් තිබෙනවා. වෙන තැනකින් කොපි කරගෙන ඇවිත් හෝ මෙහි කමෙන්ට් එකක් දමන අය කරන්නේ මේ ලිවිල්ල දිගටම ඇදගෙන යාම දිරිමත් කරන එකයි. ඒ නිසා ඒ ගැන වුවත් තිබෙන්නේ සතුටක්. ඒ නිසා, මෙහි ලියන දේ හෝ ඒ මත පදනම්ව ඉකොනොමැට්ටාව විවේචනය කරන අයට මම අවංකවම කියන්නේ ඔබ ඔබටම අවංකනම් ඔබ කරන දේ දිගටම කරන්න කියලයි. ඔබ හිතන ආකාරය දැන ගැනීම මට ඇත්තටම සතුටක්!

පහුගිය අවුරුදු තුනකුත් මාස තුනකට කිට්ටු කාලයක් පුරා ලිපි හාරසිය ගණනක් ලියමින් පැමිණි ගමනට දිරි දුන් අය අතර අපව අගය කරමින් ප්‍රතිචාර දැක්වූ අය, විවේචන කළ අය වගේම දෝෂාරෝපණ කළ අයත් එක සේ ඇතුළත්. ඒ වගේම කිසිවක් නොකියා නිහඬව ලියන දේ කියවන විශාල පිරිසත් එයට ඇතුළත්. හැම ප්‍රතිචාරයකටම පිළිතුරු නොසපයන්නේ ඇතැම් ප්‍රතිචාර වල ස්වභාවය අනුව අමුතුවෙන් කියන්න තරම් යමක් නැති නිසා. ඇතැම් විට කාලයත් හරස් නොවෙනවා නොවෙයි.

අපේ පාඨකයින්ව අපි හැම වෙලාවේම අගය කළත් ඒ ගැන ඉඳහිට හෝ නොකීවොත් අප ඔබව කොයි තරම් අගය කරනවාද කියන එක දැනෙන එකක් නැහැ. ඒ නිසා, නැවත වරක් අවධාරණයෙන් යුතුව මතක් කරන්නේ මෙහි පැමිණ අප ලියන දේ කියවන හා කවර හෝ ආකාරයේ ප්‍රතිචාරයක් දැමීමට තමන්ගේ වටිනා කාලය යොදවන ඔබ සැමව අප ඉතාමත්ම අගය කරන බවයි.




Monday, August 6, 2018

තේ කොළ හා කෝපි දළු

අපි දත් ගැලවිල්ල ගැන කතා කරමින් හිටියනේ. ඇමරිකාවේදී දතක් ගලවනවා කියන එක ඒ තරම් වේදනාකාරී දෙයක් නෙමෙයි. එයට හේතුව මේ වැඩේ කරන්නේ ප්‍රතිකාරලාභියාගේ ඉල්ලීම පරිදි අදාළ ප්‍රදේශය හිරිවැට්ටවීමෙන් හෝ අවශ්‍යනම් රෝගියාව  සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීමෙන් පසුව නිසායි. සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීම කෙසේ වුවත් අදාළ ප්‍රදේශය හිරිවට්ටවන එක ලංකාවෙත් සාමාන්‍යයෙන් කරන දෙයනේ.

පෞද්ගලිකව මම ඔය නිර්වින්දනය කියන විකල්පයට එතරම් කැමති නැහැ. මේ වගේ වැඩක් කෙරෙද්දී මට හොඳ සිහියෙන් ඉන්න ඕනෑ. හිරි වැට්ටවීමෙන් පසුව දන්ත ප්‍රතිකාරයක් කරන විට රෝගියාට වේදනාවක් දැනෙනවානම් වහාම අතක් උස්සා දැනුම් දීමක් කරන මෙන් ඉල්ලීමක් කරනවා. එවැනි ඉල්ලීමක් කළ විට වැඩේ තාවකාලිකව නවත්වා අමතර නිර්වින්දන ඖෂධ ලබා දීමෙන් පසුවයි නැවත වැඩේට බහින්නේ. නමුත්, මම පෞද්ගලිකව මේ වගේ වෙලාවකදී යම් කිසි මට්ටමකට වේදනාව ඉවසාගෙන ඉන්න කැමතියි. ඒ නිසා, තරමක වේදනාවක් දැනුණත් ප්‍රශ්නයක් නැති බව කියමින් වේදනාව දරාගෙන ඉන්නවා.

දන්ත ප්‍රතිකාරයක් කරද්දී මේ ක්‍රමයට වේදනාව පාලනය කළත් ගෙදර ආවට පස්සේ වේදනාව එනවනේ. එය වළක්වාගන්න ගෙදර එන විට ප්‍රබල වේදනා නාශක ලැබෙනවා. මේ විදිහට බොහෝ විට ලැබෙන ඖෂධ මත්ද්‍රව්‍ය ගණයේ ලා සැලකිය හැකි ඒවා (opioid). මේ වන විට ඇමරිකාව විසඳුම් හොයන දැවෙන ප්‍රශ්නයක් වන්නේ මෙවැනි ඖෂධ අවභාවිතය හා ඒවා යොදාගනිමින් ගෙවල් වලම හදා ගන්නා මත්ද්‍රව්‍යයි. ආරක්ෂාකාරී පියවරක් සේ සලකා මේ විදිහට නියම කරන වේදනා නාශක ෆාමසියකින් මිල දී ගත්තත්, නිර්වින්දන ඖෂධ වල ක්‍රියාකාරීත්වය ඉවත් වූ පසුවත් මම සාමාන්‍යයෙන් කරන්නේ හැකිතාක් දුරට වේදනාව ඉවසා සිටින්න උත්සාහ කිරීමයි.

දන්ත ප්‍රතිකාරය අවසන් වූ පසුව මේ ආකාරයෙන් ෆාමසියෙන් මිල දී ගත යුතු වේදනා නාශක, ප්‍රතිජීවක ඇතුළු ඖෂධ සඳහන් බෙහෙත් තුණ්ඩුව ඇතුළු තවත් දේ අඩංගු පාර්සලයක් දන්ත වෛද්‍යවරයාගෙන් ලැබෙනවා. ඇමරිකාවේ දන්ත වෛද්‍යවරයෙකු හමු වීමෙන් පසුව දත් බුරුසුවක්, දන්ත ආලේපන ටියුබයක් හා ඩෙන්ටල් ෆ්ලොස් වැනි දේ අඩංගු ගුඩි බෑග් එකක් කොහොමටත් ලැබෙනවා. දතක් ගැලවීම වගේ ලොකු වැඩකින් පස්සේ බෙහෙත් තුණ්ඩුව, අමතර ගෝස් කෑලි, පසු ප්‍රතිකාර උපදෙස් ආදියත් මේ බෑග් එකටමයි එකතු වෙන්නේ.

දතක් ගැලවීමෙන් පසුව කලින් කී ගුඩි බෑග් එකට එකතු වන තවත් දෙයක් තියෙනවා. ඒ ටී බෑග් එකක්. මේක දෙන්නේ දිගටම ලේ එනවනම් ලේ නවත්වන්න. තේ කොළ වල තිබෙන ටැනික් ඇසිඩ් වලින් ලේ කැටි ගැහෙන්න උදවු වෙන බවත්, රුධිර නාල සංකෝචනය වීම නිසා රුධිර වහනය අඩු වන බවත් කියවෙන නමුත් ඇමරිකාවේ දන්ත වෛද්‍යවරුන්ගේ පසු ප්‍රතිකාර උපදෙස් සමඟ ටී බෑග් එකක් ලැබෙන්නේ මේ හා අදාළව කිසිවකු විසින් සිදු කළ පර්යේෂණයක් හේතුවෙන් කියා මම හිතන්නේ නැහැ.

ලේ නවත්වන්න ටී බෑග් එකක් යොදා ගැනීම සාමාන්‍ය ඇමරිකානුවන් විසින් හොයාගත් අත් බේතක් කියලයි මම හිතන්නේ. ඔය අත් බේත පසුව දන්ත වෛද්‍යවරුන් විසිනුත් භාවිතයට ගන්න ඇති. මීයෝ අල්ලනවනම් පූසා මැටියෙන් වුනාම මොකද? පුරුද්දක් ලෙස දිනපතා තේ පානය කරන අය අතර මොළයේ රුධිර නාල පිපිරී සිදුවන රුධිර වහන (Hemorrhage) හතර ගුණයකින් අඩු බව මෑතකාලීන ජපන් පර්යේෂකයෙකුගේ පත්‍රිකාවකනම් සඳහන් වෙලා තිබුණා.

අපි කුඩා කාලයේදී තුවාලයක් වුනාම කරපු අත් බේතක් තමයි කෝපි දළු ටිකක් කටින් හපලා තුවාලයට තියන එක. ඉක්මණින් ලේ නවතින බව අත් දුටුවයි සත්තයි! තේ කොළ මොකද කෝපි කොළ මොකද?

දිගින් දිගටම රටෙන් එළියට විදේශ විණිමය ගලන එකත් තුවාලයකින් නොනවත්වා ලේ ගලනවා වගේම දෙයක් තමයි. කොහොම හරි ඉක්මණින් නැවැත්තුවේ නැත්නම් වැඩේ බරපතල වෙන්න පුළුවන්.

ලංකාවේ ආර්ථිකය දැන් කලක සිට මුහුණ දී සිටින විදේශ විණිමය ප්‍රශ්නය ඉංග්‍රීසින් විසින් ලංකාව අල්ලා ගත් මුල් කාලයේ ඔවුන්ටත් මුහුණ දෙන්න සිදු වූ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඉංග්‍රීසීන් විසින් දැරූ උත්සාහය තුළ සෑහෙන තරමකින් ලංකාවේ ඉතිහාසය වෙනස් වුනා වෙන්න පුළුවන්.

අද ඉන්දියාව කියා අපි දන්නා රට ඉංග්‍රීසින්ගේ නිර්මාණයක් බව ගොඩක් අය දන්න දෙයක්නේ. ආසන්න වශයෙන් ඉන්දියාව පිහිටා තිබෙන බිම් ප්‍රදේශය එසේ හඳුන්වන්න වෙලානම්නම් අවුරුදු සහශ්‍ර දෙක තුනක්වත් වෙනවා. එය වෙනත් කරුණක්.

ඉංග්‍රීසින් විසින් වෙන වෙනම පාලනය වුනු බිම් කොටස් සිය ගණනක් එකතු කරලා ඉන්දියාව (හා පකිස්ථානය) හදන කොට ඔය ඉන්දියාව කියන අලුත් රටට ඒ ආසන්නයේම තිබුණු ලංකාවත් එකතු නොකර සිටීම බලාගෙන ගියාම සුවිශේෂී දෙයක්. එහෙම නොවෙන්න එක් ප්‍රධාන හේතුවක් වුණේ ලංකාව මුල ඉඳලම වගේ ඉන්දියාවෙන් ස්වාධීන වෙනම බ්‍රිතාන්‍ය කොළනියක් සේ පාලනය කරනු ලැබීමයි.

ඉන්දියාවට සම්බන්ධයක් නැති වෙනම රටක් වූ, ලංකාව මෙන් දහගුණයක් විශාල, මියන්මාරය පවා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක්ව තිබී වෙනම කොළනියක් වුණේ ඉන්දියාවට නිදහස ලැබෙන්න යාන්තම් අවුරුදු දහයකට කලිනුයි. එහෙම බැලුවහම ලංකාව බේරිලා තියෙන්නේ යාන්තමිනුයි.

කොහොම වුණත් ලංකාවත් ඉංග්‍රීසීන්ගේ මදුරාසි පාලනයේ කොටසක් වූ කාලයක් තිබුණා. ලංකාවෙන් ලන්දේසි එළවා ලන්දේසින් සතු වූ ප්‍රදේශ අයිති කර ගැනීමේදී බරපැන දැරුවෙත් මදුරාසියේ තිබුණු ඉංග්‍රීසි ආණ්ඩුවයි. මතක හැටියට පවුම් දොළොස් දාහක් වගේ මුදලක්.

ලංකාව අල්ලාගත්තායින් පස්සේ ඒ අල්ලාගත් ප්‍රදේශ පාලනය කළෙත් ඔය මදුරාසි ආණ්ඩුවමයි. පාලනය කළා කිවුවට ඇත්තටම කළේ බොහොම හදිස්සියෙන් ආදායම් එකතු කරන්න දඟලන එකයි. ඇල්ලුවට හපන්න බෑ කිවුව වගේ ඔන්න ඔතැනදී තමයි මදුරාසි ආණ්ඩුව ඇණ ගත්තේ.

මදුරාසි ආණ්ඩුව කළේ මදුරාසියේ ආදායම් එකතු කළ ක්‍රමය ගෙඩි පිටින් ලංකාවේ ක්‍රියාත්මක කිරීම. නමුත්, ඊට පෙර සිටි පෘතුගීසින් හා ලන්දේසින් විසින් කළේ සියවස් ගණනක් තිස්සේ සිංහලයින් පුරුදු වී සිටි රාජකාරි ක්‍රමය ඒ විදිහටම තියෙද්දී ඒ ක්‍රමයටම ආදායම් එකතු කර ගැනීමයි.

පෘතුගීසින්ට හා ලන්දේසින්ට ලංකාවේ ඒ වන විට තිබුණු රාජකාරි ක්‍රමය ඇතුළේම ඔවුන්ට අවශ්‍ය දේ පහසුවෙන්ම කරගන්න පුළුවන් වුණා. ආණ්ඩුවට අවශ්‍ය මිනිස් ශ්‍රමය වෙනුවෙන් ඔවුන් මුදල් වැය කළ යුතු නොවූ නිසා වියදම් ඉතිරි වුණා. ඒ නිසා, මුදලින් නැතුව ශ්‍රමයෙන් බදු ගෙවන එකේ අවාසියක් තිබුණේ නැහැ. රාජකාරි ක්‍රමයට අස්වැන්නෙන් කොටසක් ලබා දිය යුතු අය ස්වේච්ඡාවෙන්ම එය කළා. රටේ සාමාන්‍ය ජනතාව හා ආණ්ඩුව අතර කටයුතු සම්බන්ධීකරණය කළේ සම්ප්‍රදායික ප්‍රභූන් වූ ඉඩම් හිමි, ඉහළ කුල වල පිරිස් අතරින් තෝරාගත් අයයි.

ඉංග්‍රීසින් ලංකාවට එන විට ලන්දේසින්ගේ කාලය දක්වාම මුහුදුබඩ පළාත් වලත් ක්‍රියාත්මක වුනු බදු ක්‍රමය ඉංග්‍රීසින්ට තේරුම් ගන්න අමාරු තරමේ සංකීර්ණ එකක්. ඉඩම් භුක්ති විඳීමේ හිලවුවට රාජකාරි ක්‍රමයට ඉඩම් ලබාගත් අය අවුරුද්දකට මාස තුනක් ආණ්ඩුවට වැඩ කරනවා. බිං අඳේට ඉඩම් ලබාගත් අය වවන භෝගය අනුව දහයෙන් එකේ සිට දෙකෙන් එක දක්වා නියමිත කොටස ආණ්ඩුවට ගෙවනවා. මුදලි තනතුරට හා එයින් පහළ තනතුරු වලට පත් කර තිබුණු අය මේ කටයුතු සම්බන්ධීකරණය කරනවා. සමහර ඉඩම් වල බිං අඳේ ගන්නේ මේ අයයි.

ඉංග්‍රීසීන් පැමිණි ගමන්ම කළේ එක පාරටම මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන එකයි. මේ අනුව ඔවුන් උත්සාහ කළේ සියලුම බදු රිදී වලින්ම අය කර ගන්නයි. ඉඩමේ ප්‍රමාණය අනුව ඇස්තමේන්තු කරන ලද, ලැබිය හැකි අස්වැන්නෙන් බාගයක වටිනාකම බදු ලෙස මුදලින්ම ගෙවිය යුතු බව නියම කෙරුනා. ඒ වන විට අතේ රිදී කාසි ලොකුවට ඉතිරි කරගෙන හිටියේ නැති ලංකාවේ මිනිස්සුන්ට මේ අලුත් බදු ක්‍රමය කොයි තරම් ප්‍රශ්නයක් වුනාද කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ!

වැඩිපුරම ප්‍රශ්නයක් වුණේ 1796 සැප්තැම්බර් 1 සිට ක්‍රියාත්මක වන පරිදි පොල් ගහකට පනම ගානේ දමපු බද්දයි. මේක අලුත් බද්දක්ම නොවුනත් ලන්දේසින්ගේ කාලේ ඔය බද්ද ක්‍රියාත්මක වී නොතිබුණු නිසා මිනිස්සුන්ට සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුණු එකක්.

මේ අලුත් බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් මදුරාසියෙන් රැගෙන ආ නිලධාරීන් ඔමිල්දාර්ලා ලෙස හා ඔවුන්ගේ පහළ නිලධාරීන් ලෙස පත් කළා. ඒත් එක්කම ඒ වන විට වරප්‍රසාද ලබමින් සිටි මුදලි, ආරච්චි ආදී තනතුරු වල සිටි අයට මෙතෙක් ලැබුණු වරප්‍රසාද නැති වුණා. දකුණු ඉන්දියාවෙන් ආනයනය කළ අයව ඔමිල්දාර්ලා ලෙස හා එයින් පහළ පේෂ්කාර්, පට්ටකාරර් ආදී තනතුරු වලට පත් කෙරුණා.

ඉංග්‍රීසින් යටතේ බදු ආදායම් එකතු කරන එක සෑහෙන තරමකට පුද්ගලීකරණය වෙලයි තිබුණේ. මේ ක්‍රමය යටතේ කිසියම් ප්‍රදේශයක කිසියම් බද්දක් එකතු කිරීමේ අයිතිය වෙන්දේසියේ විකුණලා වැඩිම ඉල්ලුම්කරුට දෙනවා. ඕක ඊජිප්තුව, රෝමය, ග්‍රීසිය වගේ රටවලත් ක්‍රියාත්මක වූ ක්‍රමයක්. ඊට පස්සේ බදු එකතු කර ගැනීම වෙන්දේසියෙන් දිනන පුද්ගලයාගේ වැඩක්. ආණ්ඩුවට ගෙවන්න පොරොන්දු වූ මුදල එකතු කරගන්න බැරි වුනොත් පාඩු වෙනවා. වැඩිපුර එකතු කරගත්තොත් ලාබ. ආණ්ඩුවේ පැත්තෙන් ගත්තහම බදු ආදායම් සම්බන්ධ අවිනිශ්චිතතාවය නැතුව යනවා.

මේ ක්‍රමයේ තිබුණු ප්‍රධාන ප්‍රශ්නය තමයි වෙන්දේසිය දිනන පුද්ගලයින් විසින් බදු එකතු කර ගැනීම සඳහා මිනිස්සුන්ව විශාල ලෙස පීඩාවට පත් කිරීම. විශේෂයෙන්ම ඒ වගේ තත්ත්වයක් වලක්වන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන විට.

ලංකාව ඉංග්‍රීසින් විසින් අල්ල ගත්තට පස්සේ මේ විදිහට බදු එකතු කිරීමේ කොන්ත්‍රාත් ගත්තු වැඩි දෙනෙක් ආණ්ඩුවේ පහළ ස්ථරය වූ ඔමිල්දාර්ලා වැනි අයමයි. ඒ අය බොහෝ විට බදු එකතු කරන්න යොදාගත්තේ ඔවුන්ගේ පහළ නිලධාරීන්වයි. පහළ මට්ටමේදී යුක්තිය පසිඳලීමේ බලතල තිබුණෙත් ඒ අයටමයි. ඒ නිසා, මේ බදු එකතු කිරීමේ පලහිලව්ව දුර දිග ගියොත් ඒ ගැන පැමිණිලි කරන්න වෙන්නෙත් මේ අයටමයි. වෙන එකක් තබා ඒ දවස් වල ලංකාවේ බ්‍රිතාන්‍ය පරිපාලනයේ ඉහළින්ම සිටි රොබට් ඇන්ඩෲස්ගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලෙස කටයුතු කරපු ජර්විස් උන්නැහේ පවා තමන්ගේ රස්සාවට අමතරව මේ බදු කොන්ත්‍රාත් වැඩේ කරපු කෙනෙක්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!

ඉන්දියාවෙන් ආපු ඔමිල්දාර්ලා කලින් හිටපු මුදලි ආරච්චි පේරු වල ඇත්තෝ වගේ ලංකාවේ මිනිස්සු ගැන යාන්තමින් හෝ කැක්කුමක් තිබුණ අය නෙමෙයි. ඔවුන් වෙනම සංස්කෘතියක හිටපු, වෙනම භාෂාවක් කතා කරපු මිනිස්සු. කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේ අයට බදු එකතු කරගන්න උදවු වෙන්න දකුණු ඉන්දියාවේ ඉඳලා ඒ අයගේ යාලුවෝ නෑදෑයෝ සනුහරෙන් සෑහෙන ප්‍රමාණයකුත් ඇවිත් තියෙනවා. බදු එකතු කිරිල්ල කොහොම වුනාද කියන එක හිතාගන්න පුළුවන්නේ!

මේ අලුත් බදු ක්‍රමය නිසා අලුත් ඉංග්‍රීසි ආණ්ඩුවට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුනා. ආණ්ඩුවේ වැඩ වලට අවශ්‍ය කුලීකරුවන් ඉන්දියාවේදී වගේ දවස් කුලියකට නැත්නම් මාස් පඩියකට බඳවා ගන්න ඔවුන් බලාපොරොත්තු වුවත් කීයක් දුන්නත් කුලී වැඩ කරන්නනම් බෑ කියන එක තමයි සිංහලයන්ගේ ප්‍රතිචාරය වෙලා තියෙන්නේ. ඕනෑනම් රාජකාරී ක්‍රමයට වැඩ කරන්න ඕනෑ දවස් ගාණ වැඩ කරන්නම්. හැබැයි ඔය රිදී කාසි කොච්චර දුන්නත් කුලී වැඩ කරන්න කියලනම් අපිට කියන්න එපා!

අවුරුද්දකටම පනමක ගෙඩි නොහැදෙන කණාටු පොල් ගහකටත් පනමක බද්දක් ගෙවන්න නියම කරලා ඔමින්දාර්ලාගේ මැරයෝ තාඩන පීඩන කරන්න පටන් ගත්තහම දුක කියන්නවත් කෙනෙක් නැති පහතරට මිනිස්සු විශාල අසහනයකට පත් වුණා. තනතුරු නැතිවෙලා හිටපු ආරච්චිලා මුදලිලා ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. පහතරට පුරා කැරැල්ලක් මතු වුණා. තමන්ගේ ආණ්ඩුව වට්ටපු ඉංග්‍රීසින් ගැන කැමැත්තකින් නොසිටි ලංකාවේ පදිංචිව සිටි ලන්දේසීන් කැරළිකරුවන්ට යටින් උදවු කළා.

අන්තිමේදී, මේ අවුල් සහගත තත්ත්වය ගැන කරුණු හොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන්න 1797 අවුරුද්දේ ජූනි 9 වෙනිදා ජෙනරාල් ඩි මියුරන්ගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණා.

ඩි මියුරන් කමිටුවේ නිර්දේශ වල ප්‍රතිඵලයක් ලෙස රාජකාරි ක්‍රමය නැවත ස්ථාපිත කෙරුණා. ඉන්දියාවෙන් ආ නිලධාරීන් ආපසු යැවුනා. ලංකාවේ කලින් හිටපු මුදලි, ආරච්චි ආදීන්ගේ තනතුරු නැවත ලැබුණා. 1797 සැප්තැම්බර් 16 වෙනිදා සිට පොල් බද්ද අහෝසි වුණා.

1798 ඔක්තෝබර් 12 වෙනිදා ෆෙඩ්රික් නෝර්ත් ලංකාවේ පළමුවෙනි ආණ්ඩුකාරයා විදිහට පත් වෙලා ආවා. ලංකාව ඉන්දියාවෙන් ස්වාධීන වෙනම කොළනියක් වුණා. ලංකාවට නිදහස ලැබෙන තුරුම ඒ තත්ත්වය ඒ විදිහටම පැවතුණා.

Sunday, August 5, 2018

ලංකාවේ වහල්ලු


යුරෝපීයයන් පැමිණෙන්නට පෙර ලංකාවේ වූ නීතිය පිළිබඳ හොඳම මූලාශ්‍රයක් සේ නීති නිඝණ්ඩුව සැලකිය හැකිය. එහි පළමු පරිච්ඡේදයේ දෙවන කාණ්ඩයේ නඩු විනිශ්චය කිරීමට පෙර දැනගත යුතු මූලික කරුණු සඳහන්ව තිබේ.

මෙහිදී පළමුව කෙරෙන්නේ "අය" හා "දෙය" නම් වූ අර්ථදැක්වීම් දෙකක් ඉදිරිපත් කිරීමයි. මෙහි "අය" යන්නට සියලු මිනිසුන් ඇතුළත්ය වන අතර "දෙය" යනු ඒ මිනිසුන් සතු සියලු චංචල හා නිශ්චල දේපොලයි.

"අය" හෙවත් මනුෂ්‍යයෝ වර්ග දෙකකි. ඒ "දහසුන්" හා "නිදහසුන්ය". නිදහසුන්ට තමන් කැමති තැනකට ගොස් රැකියාවක් කර ජීවත් විය හැකි වුවත් දහසුන්ට එසේ කළ නොහැකි විය. ඔවුහු ඔවුන්ගේ ස්වාමීන් සතු දේපොලක් සේ සැලකුණෝය.

නිදහසුන් වුවද සියලු මිනිසුන් සමාන වුණේ නැත. කුලය අනුව ඔවුහු නීතිය ඉදිරියේ වෙනස් ලෙස සැලකුණෝය. එයට අමතරව ගිහි හා පැවිදි සේද වෙනසක්ද තිබුණේය. මෑතකදී රටට පැමිණ පදිංචි වූ සංක්‍රමණිකයින්ද ඇතුළු නිදහසුන්ගේ කුල හා අදාළ අමතර අර්ථදැක්වීම් රාශියක් ඉන් පසුව ඇතත් මෙහිදී අපේ සාකච්ඡාව දහසුන් ගැන නිසා අපි ඒ වෙත අවධානය යොමු කරමු.

අන්තෝජාත, ධනක්කීත, කරමරානිත, සාමංදාස ව්‍යොපගත​ යනුවෙන් දාසයෝ වර්ග හතරකි.

අන්තෝජාත- කිසියම් නිවසක දාසයන් සේ පරම්පරාවෙන් පැවතෙන අයයි. නීති නිඝණ්ඩුවට අනුව මේ දහසුන්ගේ ආරම්භය සේ සැලකෙන්නේ විජය ඇතුළු හත් සියයක් පිරිසට විවාහ කරගැනීම පිණිස දඹදිවින් එවූ ස්ත්‍රීන් හත්සියය සමඟ එවූ රන් රිදී ඇතුළු දායාද වලටම අයත් වූ දාසියන් හා දාසයින්ය.

ධනක්කීත- අයිති ස්වාමියාගෙන් හෝ මවුපියන්ගෙන් මිල දී ගත් අයයි. මේ අනුව පෙනෙන්නේ දාසයින් පරම්පරාවෙන් උරුම වනවාට අමතරව ඔවුන්ව මුදල් ගෙවා මිල දී ගත හැකි සක්‍රිය වෙළඳපොළක්ද කාලයක් තිස්සේ ලංකාවේ තිබී ඇති බවයි.

කරමරානිත- මේ වර්ගයේ දාසයින්ද කොටස් තුනකි. වෙනත් රටකින් සොරකම් කරගෙන ආ අය, යුද්ධයකදී බලහත්කාරයෙන් පැහැරගෙන ආ අය හා කුලයට නොගැලපෙන හැසිරීම් හේතුවෙන් කුලයෙන් පන්නා දමනු ලැබ රජුගේ වහලුන් වූ කාන්තාවන් වශයෙනි.

සාමංදාස ව්‍යොපගත-මේ කාණ්ඩයට අයත් වන අය තමා විසින් ස්ව-කැමැත්තෙන්ම දාස බවට පැමිණි අයයි. රැකියාවක් නැති කම නිසාද, ආරක්ෂාව පිණිසද, තමන් විසින් කළ හොරකමකට හෝ අලාභහානියකට වන්දි ගෙවිය නොහැකි නිසාද, ගත් ණයක් ආපසු ගෙවීමට නොහැකි නිසාද යන හේතු හතර මත මෙහිදී නිදහසුන් ස්ව-කැමැත්තෙන්ම දහසුන් වී තිබේ.

ඉහත හතරවන කාණ්ඩය දෙස බැලූ විට පෙනෙන්නේ මේ තත්ත්වය අද අර්ථයෙන් ගත්තොත් තමන්ගේ කැමැත්තෙන්ම ශ්‍රමය විකිණීමක් මිස වහල්කමක් නොවන බවයි. ලංකාවේ මෙයද සැලකුණේ දාස භාවයට පත් වීමක් වශයෙනි. පසුකාලීනව සිංහලයින් කුලී ශ්‍රමිකයින් සේ සේවය කරන්නට අකැමැති වීමට හේතුව වූයේද එසේ කළ පසු තමන් තවදුරටත් නිදහසෙකු නොවන බවට වූ අදහසයි.

සාමංදාස ව්‍යොපගත වර්ගයේ දාසයෙකුගෙන් පැවත එන්නෝ දාසයෝ නොවෙති. පරම්පරා කිහිපයක්ම එකම ස්වාමියෙකු යටතේ සේවය කළද එහි වෙනසක් නොවේ. එමෙන්ම ගෙවිය යුතු ණයක් හෝ වන්දියක් වෙනත් අයෙකු විසින් පියවීමෙන් පසුව හෝ ඒ වෙනුවෙන් අවශ්‍ය පමණ කාලයක් සේවය කිරීමෙන් පසු එවැන්නෙකුට නිදහසෙකු විය හැකිය. ණයක් ගෙවීම පිණිස දෙමවුපියන් විසින් දරුවෙකු වහල් කමට දුන් විට ණය අවසන්ව නොතිබුණත් ලොකුමහත් වීමෙන් පසුව දරුවාට නිදහසෙකු වීමට බාධාවක් නැත.

ධනක්කීත ක්‍රමයට දාසයෙකු අයිති කර ගත හැක්කේ මුල් අයිතිකරුට නිරවුල් අයිතියක් ඇත්නම් පමණි. අයිතිය පිළිබඳ ව්‍යාකූල භාවයක් ඇත්නම් මුදල් ගෙවූ පමණින් දාසයෙකු හිමි නොවේ. දරුවෙකු දාසයෙකු සේ විකිණීමට මවු පිය දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය වේ. එක් අයෙක් හෝ විරුද්ධනම් දරුවෙකු විකිණිය නොහැකිය. මව හෝ පියා මිය ගොස් සිටියද මිය ගිය පාර්ශ්වයේ ඥාතීන් දරුවාට රැකවරණය සැපයීමට කැමතිනම් ඔවුන්ගේ කැමැත්තට විරුද්ධව දරුවා විකිණිය නොහැකිය.

දරුවෙකුට කිසියම් හෝ රැකියාවක් කර තමන්ගේ අවශ්‍යතා සපුරා ගත හැකිනම් මවුපියන් විසින් විකුණනු ලැබීමට විරුද්ධ වී ස්වාධීනව ජීවත් විය හැකිය. එමෙන්ම, දරුවෙකු වෙනත් අයෙකුට විකුණන්නේනම් ඒ මොහොතේ දරුවා දෙමවුපියන් සමඟ සිටිය යුතුය. දෙමවුපියන් විසින් විකුණා දැමූ බව පවසා වෙනත් තැනක සිටින දරුවෙකු අල්ලා ගත නොහැකිය.

දහසියකගේ කුසේ ඉපදෙන දරුවෙකු එම දහසිය අයිතිකරුගේ දේපොළකි. එහෙත්, නිදහසියකගේ කුසෙහි දාසයෙකුට ජාතකව උපදින දරුවෙකු දාසයෙකු නොවේ. වෙනත් අයුරකින් කිවහොත් දරුවෙකු උපතින් දහසෙකු හෝ නිදහසෙකු වන්නේ මව අනුව මිස පියා අනුව නොවේ.

දහසෙකුගේ අයිතිකරුට තමන්ගේ දාසයාව ත්‍යාග කරන්නට, විකුණන්නට හෝ නිදහස් කරන්නට පුළුවන. එහෙත්, දහසයාගේ කුලයට වඩා අඩු කුලයක අයෙකුට එසේ ත්‍යාග කරන්නට හෝ විකුණන්නට නොහැකිය. අඩු කුලයක අයෙකුට අකැමැත්තෙන් විවාහ කර දෙන්නටද නොහැකිය. දහසියකගේ අයිතිය පැවරීමෙන් පසුව ඇයගේ කුසේ උපන් දරුවන්ගේ අයිතිය පමණක් අලුත් අයිතිකරුට හිමි වේ.

ලංකාවට ඉංග්‍රීසින් මුලින්ම පැමිණි කාලය වහල් වෙළඳාම ලෝකය පුරා ව්‍යාප්තව තිබූ කාලයකි. මේ වහල් වෙළඳාමේ කේන්ද්‍රයක් වූයේ ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් වූ වත්මන් යේමනයේ අල්-මුඛා වරායයි. මෙහි වැඩිපුරම අළෙවි වී තිබෙන්නේ අප්‍රිකානු සම්භවයක් ඇති වහලුන් වුවත් මුස්ලිම් වෙළෙඳුන් විසින් ඒ කාලයේ ලංකාවේ ළමුන්ද රැගෙන ගොස් වහලුන් සේ විකුණා ඇති බව ඒ කාලයේ ඇතැම් වාර්තා අනුව පෙනේ.

බ්‍රිතාන්‍යය විසින් 1807 මාර්තුවේදී එහි වැසියන්ට වහල් වෙළඳාම තහනම් කළේය. මුලින්ම අප්‍රිකානු වහලුන් හා අදාළව පමණක් පැනවුණු මේ තහනම 1811 මැයි මාසයේදී සියලු වහලුන් හා අදාළව දිගු වූ අතර 1812 ජනවාරි 1 දින සිට ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය තිබුණු ප්‍රදේශ වලද මේ නීතිය බලාත්මක විය. ඉන් පසුව, 1813 දී කොළඹ අද්මිරාල් උසාවියේ විභාග වූ නඩුවක වාර්තා අනුව පෙනෙන පරිදි, එම වසරේදී සිංහල ළමුන් 15 දෙනෙකු වහලුන් සේ අරාබියට විකිණීම සම්බන්ධව බ්‍රිතාන්‍ය යටත් වැසියන් තිදෙනෙකුට හා විදේශිකයින් තිදෙනෙකුට චෝදනා ඉදිරිපත් වී තිබේ.

මේ විදේශිකයින් තිදෙනා අතරින් පළමුවැන්නා අල්-මුඛා සිට පැමිණි ජොහාන් බානි නම් වූ අරාබි නැවක නිලධාරියෙකු වූ අහමඩ් කාසිම් නමැත්තෙකි. අනෙත් දෙදෙනා මලක්කාවෙන් පැමිණි මැලේ මුස්ලිම් පූජකයෙකු හා දකුණු ඉන්දියානු (මලබාර්) හමුදා සාමාජිකයෙකි. යටත් විජිත වැසියන් තිදෙනා වන්නේ ගාල්ලේ මුස්ලිම් වෙළෙඳුන් දෙදෙනෙකු හා බර්ගර් ජාතිකයෙකි. 1813 ජනවාරිදී ජොහාන් බානි නැව ගාලු වරායට එන විට ඒ ප්‍රදේශයේ විශාල ආහාර හිඟයක් තිබී ඇති අතර කෑම වේලක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම්ව සිටි දරුවන්ගෙන් අඩුවක් තිබී නැත. එවැනි ළමුන් 15 දෙනෙකු නැවට දක්කාගෙන පැමිණ තිබෙන්නේ බත්ගමගේ සයිමන් නම් වූ අයෙකි.

බ්‍රිතාන්‍ය රජය පෙර කී අවස්ථාවේදී වහල් වෙළඳාම තහනම් කළත් වහලුන් ළඟ තබා ගැනීම තහනම් කළේ නැත. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ලාංකිකයින්ගේ විරෝධතා මැද එය සිදු වුණේ ඉන් පසු වසරකදීය. 1844 අප්‍රේල් 30 දින ප්‍රකාශයට පත් කර ඇති එංගලන්ත සභාවේ ප්‍රකාශනයක සටහන්ව ඇති පරිදි, (The Church of England Magazine No. 461) 1835 වසරේ සිදු කර ඇති ජන සංගණනයකදී පිරිමි 14,108 ක් හා ගැහැණු 13,289 ක් ලෙස වහලුන් 27,397ක් ගණන් ගැනී ඇත.

මෙසේ පසුව ඉංග්‍රීසින් විසින් ලංකාවේ වහල් වෙළඳාම මෙන්ම වහළුන් ළඟ තබා ගැනීමද තහනම් කළත් එය බලපෑවේ අන්තෝජාත, ධනක්කීත හා කරමරානිත යන කාණ්ඩ වලට අයත් වන වහලුන්ට පමණි. ඉංග්‍රීසි නීතිය යටතේ වුවද යමෙක් ස්ව-කැමැත්තෙන් සාමංදාස ව්‍යොපගත වහලෙක් වීම වැළැක්වීමට හැකි කමක් තිබුණේ නැත.

(Historical information: http://www.houghton.hk/?p=161)

Friday, August 3, 2018

ඉතිරි දතුත් ගලවා නිදහස් වීම


පසුගිය ලිපියෙන් අපි කතා කළේ ඥාන දත් ගැලවීම ගැනයි. ඇමරිකාව හා අදාළව ගත්තොත් මෙතැනදී වෙන්නේ දන්ත වෛද්‍යවරු කියනවා. අපි ගලවනවා.

වෙනත් ඕනෑම පුද්ගලයෙක් වගේම දන්ත වෛද්‍යවරයෙකුත් පුද්ගලයින් වශයෙන් හා පොදු වශයෙන් තමන්ගේ පහසුව හා වාසිය ගැන හිතන එක වලක්වන්න බැහැ. ඒ නිසා, ඔවුන්ගේ පාරිභෝගිකයින් වන අපේ වාසිය හා පහසුවට අඩුවක් වෙනවානම් ඒ ගැන සැලකිලිමත් වෙන එක අපේ වැඩක්.

සමහර අවස්ථා වලදී දන්ත වෛද්‍යවරයෙකු වැනි කිසියම් ක්ෂේත්‍රයක විශේෂඥයෙක් අපට යෝජනා කරන දෙයක් අපට හොඳම දෙයද කියන සැකය අපට ඇති වෙනවා. අපේ වාහනය අලුත්වැඩියා කරන පුද්ගලයා එහෙමත් නැත්නම් අපේ මූල්‍ය උපදේශකයා වගේ කෙනෙක් ගත්තත් මෙවැනි අවස්ථා මතු වෙනවා.

මේ වගේ අවස්ථා වලදී විශේෂඥයෙක් ඔහුගේ පාරිභෝගිකයාට වඩා දැනුමෙන් සන්නද්ධව සිටීම නිසා ඇති වන තොරතුරු අසමමිතිය පාරිභෝගිකයාගේ අවාසියට හිටිනවා. විශේෂඥයෙකුට එයින් අයුතු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.

ඇමරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර හා අදාළව ඉහත තත්ත්වය යම් තරමකින් පාලනය වෙන්නේ රක්ෂණ සමාගම් නිසයි. වෛද්‍ය රක්ෂණයක් ඇති අයෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර වියදමෙන් වැඩි කොටසක බරපැන දරන්නේ රක්ෂණ සමාගම් විසිනුයි. මේ වියදම් වක්‍ර ලෙස දෙවනුව පාරිභෝගිකයින් වෙතම පැවරෙන එක වෙනම කරුණක්.

දන්ත වෛද්‍යවරයෙක් විසින් කාගේ හෝ දතක් ගැලවීම හෝ පිරවීම වැනි ප්‍රතිකාරයක් නිර්දේශ කළාම එය කළ යුතු දෙයක්ද කියා රක්ෂණ සමාගම විසින් හොයා බලනවා. එසේ නොවේනම් ඔවුන් අදාළ වියදම ප්‍රතිපූරණය කරන්නේ නැහැ. මේ නිසා, මුදල් ගැරීම සඳහා වෛද්‍යවරුන් විසින් අනවශ්‍ය ප්‍රතිකාර කරන එක පාලනය වීමක් සිදු වෙනවා. රක්ෂණ සමාගම් සතුව රෝගීන්ගේ වෛද්‍ය ඉතිහාසය ගැන වාර්තා තිබෙන නිසා දන්ත වෛද්‍යවරයෙකුට එකම දත දෙපාරක් ගලවන්න අමාරුයි.

කොහොම වුණත්, රක්ෂණ සමාගමක් විසින් කිසියම් ප්‍රතිකාරයක් අවශ්‍ය එකක්ද අනවශ්‍ය එකක්ද කියා තීරණය කරන්නේත් වෛද්‍යවරුන් බහුතරයක් කරන දෙයට සාපේක්ෂවයි. සම්මතයෙන් බැහැර වන වෛද්‍යවරුන්ව රක්ෂණ සමාගම් විසින් හඳුනා ගන්නා නමුත් ඔවුන් සම්මත වෙනස් කරන්න යන්නේ අඩුවෙන්.

වෙනත් විශේෂ වෛද්‍යමය හේතුවක් නැතත් ඥාන දත් ගලවා දමන එක ඇමරිකාවේ දන්ත වෛද්‍යවරුන්ගෙන් වැඩි දෙනෙකු අතර තිබෙන පොදු සම්මුතියක්. ඒ නිසා, දන්ත වෛද්‍යවරයෙකු ඥාන දතක් ගලවන විට එය ඥාන දතක් බව පමණක් රක්ෂණ සමාගමට වාර්තා කිරීම ප්‍රමාණවත්. නමුත්, අනෙක් දත් ගලවන එක ඒ තරම්ම පහසු නැහැ. ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කළ යුතුයි.

මෑතකදී මගේ දන්ත වෛද්‍යවරිය විසින් ගලවන්න නිර්දේශ කළ එක් දතක් ඥාන දතක් නෙමෙයි. ඇය මේ දත ගලවා ගන්නා මෙන් නිර්දේශ කර දැන් අවුරුදු දෙකකටත් වැඩියි. නමුත්, දතේ මට පෙනෙන හෝ දැනෙන කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

ඇගේ නිගමනයට පාදක වෙන්නේ දත් මුලේ එක්ස්-කිරණ ඡායාරූපයි. ඇගේ නිගමනය අනුව, දත් මුල් වල ආසාදනයක් තිබෙනවා. එය ගලවා නොදමා ගොඩ දැමීමේ හැකියාවක් නැහැ. කැක්කුමක් හෝ සංවේදීතාවයේ ප්‍රශ්නයක් මට නැතත් ඇය කියන්නේ එවැනි ප්‍රශ්නයක් ඇති වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් බවයි.

දැන් මේ සිදු විය හැකි ප්‍රශ්නය පොඩි දත් කැක්කුමක සිට අපි පණු ගෙඩි කියා කියන විදුරු මස ඇතුළේ ආසාදනයක් දක්වා කවර එකක් හෝ විය හැකියි. නමුත් තවමනම් එවැන්නක් වී නැහැ. එවැන්නක් සිදු වෙන්න ඉඩ තිබෙන නිසා මූද හත් ගවුවක් තියෙද්දී අමුඩ ගැසිය යුතුද? එහෙම නැත්නම් ප්‍රශ්නය අත ළඟට එනකම් බලාගෙන ඉන්නවද?

දත නොගැලවුවොත් ප්‍රශ්නයක් එන්න ඉඩ තිබෙනවා. එවිට අවසාන වශයෙන් කරන්න වෙන්නේ දත ගලවා දමන එකයි. දැන් කරන්න යන්නේත්  ඒකමයි.

දත නොගලවා හිටියොත් ප්‍රශ්නයක් එන තුරු හෝ දත තියෙනවා. ප්‍රශ්න එන්න ඉඩ තිබෙන බව සිතා දත් සියල්ල දැන්ම ගලවා දැමුවොත් අනාගතයේදී ඔය ප්‍රශ්න එන්නෙම නැහැ. නමුත්, එහෙම කියල අද ඉඳලම දත් නැතුව ජීවත් වෙන්න ඕනෑද?

ඔහොම හිතලා කාලයක් වැඩේ ඇද්දත් දන්ත වෛද්‍යවරියගෙන් බේරීමක් නැහැ.

දන්ත වෛද්‍යවරිය විසින් එක්ස්-කිරණ ඡායාරූප පෙන්වා ප්‍රශ්නය විස්තර කළත් මට එහි එවැනි ප්‍රශ්නයක් පෙනෙන්නේ නැහැ. එකම රූපය දෙස බැලුවත් අප හැමෝටම එකම දේ පෙනෙන්නේ නැහැ. ඇයට පෙනෙන දෙයට ඇගේ ඇස් වල පෙනීමට අමතරව ඇය ලබා ඇති පුහුණුවත් බලපානවා. ඒ පුහුණුව නැති මට ඇයට පෙනෙන දේ පෙනෙන්නේ නැහැ.

දන්ත වෛද්‍යවරිය කියන විදිහට විදුරු මසට යටින් ආසාදනය වී තිබෙන දත නොගලවමින් කල් අරින තරමට යාබද දතක් ආසාදනය වෙන්න තිබෙන අවදානම ඉහළ යනවා.

ඇය එසේ කියන විට මට ඇයව විශ්වාස කරන්න සිදු වෙනවා. ඒ ඇය අදාළ විෂය පිළිබඳව ලබා ඇති පුහුණුව හා ඇගේ සේවා පළපුරුද්ද ගැන සලකමින්. මගේ ඉන්ද්‍රියකට ප්‍රත්‍යක්ෂ්‍ය නොවුණත්, දන්ත වෛද්‍ය විද්‍යා උපාධියක් ලබා ඇති, කාලයක් දන්ත වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කර පළපුරුද්දක් ලබා තිබෙන කෙනෙක් කියන දෙයක් නිවැරදි වෙන්න ඉඩක් තිබේය යන මේ දෙවන කරුණත් විශ්වාසයක්.

වෛද්‍යවරයා පිළිබඳව විශ්වාසයක් ඇති වෙන්න මේ මූලික විශ්වාසය අත්‍යාවශ්‍ය වුවත්, එහි විලෝමය සිදු විය යුතු නැහැ. වෛද්‍යවරයාගේ නිගමන වැරදි වුවත්, ඔහු පුහුණුවක් ලබා තිබෙන ක්‍රමවේදය නිවැරදි වෙන්න පුළුවන්. ඒ නිසා, වෛද්‍යවරයා පිළිබඳව විශ්වාසයක් නැති කෙනෙකුට වෛද්‍යවරයා මාරු කරන්න පුළුවන්. නමුත්, මේ දන්ත වෛද්‍යවරුන් සියළු දෙනා විසින්ම අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව සැකයක් තිබෙන කෙනෙක්ට වෛද්‍යවරයා මාරු කිරීම විසඳුමක් වෙන්නේ නැහැ.

මේ වැඩේ ආකෘතිමය ලෙස ගත්තොත් දෙවියන් ගැන විශ්වාසය තබන එකට වඩා ගොඩක් වෙනස් නැහැ. දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක් වරක් දෙවරක් අවශ්‍ය දේ සිදු නොවුණා කියා තමන්ගේ විශ්වාසය වෙනස් කර ගන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ කපුවාව මාරු කරලා බලන එකයි. නමුත්, දිගින් දිගටම කපුවන් අසාර්ථක වෙද්දීත් දෙවියන් ගැන තිබෙන විශ්වාසය බිඳ වැටෙන්නේ නැත්නම් එය වෙනත් දෙයක්.

රටක් ගමන් කරන දිශාවටත් ඒ රටේ මිනිස්සුන්ගේ විශ්වාස බලපානවා. කිසියම් රටක ජීවත් වන එක් අයෙක්ට ඒ රටේ බහුතරයක් අයගේ විශ්වාස සමඟ පෑහෙන්න අමාරු වුවත්, අඩු වශයෙන් තාවකාලිකව හෝ ඒ බහුතරය සමඟ යම්තාක් දුරකට අනුගත වෙන්න වෙනවා. බොහෝ දෙනෙක්ට එහෙම කරන්න වෙන්නේ වෙනත් විකල්පයක් නැති කමට වුවත්, අර බහුතරය කාලයත් එක්ක තමන්ගේ විශ්වාස වෙනස් කරගනු ඇති බවට තිබෙන අපේක්ෂාවත් එතැන තියෙනවා.

නොගැලපීම තියෙන්නේ කපුවා සම්බන්ධව හිතන දේවල් වලනම් කාලයත් එක්ක නොගැලපීම සමනය වෙන්න ඉඩක් තිබුණත්, එය ඊට වඩා මූලික මට්ටමේ වෙනසක්නම් තත්ත්වය ටිකක් දරුණුයි. බොහෝ දෙනෙක්ගේ මූලික මට්ටමේ විශ්වාස සමානනම් ඒ මත පාදක වූ දෙවන මට්ටමේ විශ්වාස කොයිතරම් වෙනස් සේ පෙනුණත් ඒවා හා අදාළව එකඟතාවයකට එන එක ඒ තරම් අමාරු නැහැ. එහෙම බැරි වුනත් අඩු වශයෙන් බහුතරය සමඟ එකඟ නොවී ජීවත් වීමේ ලොකු ආතතියක් දැනෙන්නේ නැහැ.

වෛද්‍යවරයා කියන නිසා ඥාන දත් ගලවන්න හිත හදාගන්න පුළුවන් වුවත් දත් ඇන්දම ගලවන්න කිවුවොත්නම් ප්‍රශ්නයක් වෙනවා. දන්ත වෛද්‍යවරු හැමෝම එහෙම කියනවනම්, අහළ පහළ අය හැමෝමත් ඒ අදහස අනුමත කරනවනම්, ඒක ඊට වඩා ගොඩක් බරපතල ප්‍රශ්නයක්!

(Image: https://www.soulseeds.com/expectation-post/2012/07/seed-of-perspective-4/)

ඥාන දත් ගලවා නිදහස් වීම


පසුගිය දවසක මට දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යන්න වුණා. ඇමරිකාවේ දන්ත වෛද්‍ය වරයෙක් දතක් ගලවා දමන්න කියන්නේ එය නොගලවා ගොඩ දාන්නම බැරිනම් වුවත්, මේ ප්‍රකාශනය කටේ දත් තිස්දෙකටම එකම අයුරින් බලපාන එකක් නෙමෙයි. ඥාන දත් හා සම්බන්ධව ඇමරිකානු ප්‍රතිපත්තිය වන්නේ එන කොටම ගලවා දමන එකයි.

සාමාන්‍යයෙන් ඇමරිකානු දරුවෙක්ගේ ඥාන දත් ගලවා දමන්නේ ඒවා එන කොටමයි. ඒ කියන්නේ අවුරුදු විස්සේදී වගේ. මම ඇමරිකාවට එනකොට මේ වයස පැනලා. ඒ නිසා, ඇමරිකාවට එනකොටත් මගේ ඥාන දත් පරිස්සම් වෙලා තිබුණා. මුල් දවස් වල දන්ත වෛද්‍ය වරයෙක් වෙත යන හැම වෙලාවෙම මුලින්ම අවධානය යොමුවුණේ මේ ඥාන දත් වලටයි. දන්ත සෞඛ්‍යය පවත්වා ගැනීම හා අදාළ නිර්දේශ වල උඩින්ම තියෙන්නේ ඥාන දත් ගලවා දැමීම.

ඥාන දත් ගලවා දැමීම කියන එක වචනාර්ථයෙන් වගේම සංකල්පීයවත් මට ටිකක් අවුලක් දැනවූ දෙයක්. මේවා ගැලවිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට මට ලැබුණු පිළිතුර ඉතාම සරල එකක්. ඒවා ගලවා දැමිය යුත්තේ ඒවා අවශ්‍ය නොවන නිසා. [මෙය අසම්පූර්ණ පිළිතුරක්. වඩා තර්කානුකූල පිළිතුරු පසුව වෙනත් දන්ත වෛද්‍යවරුන්ගෙන් ලැබුණා.]

මට තිබුණු මූලික ප්‍රශ්නය මිනිස්සුන්ගේ ශරීරයේ ස්වභාවික කොටසක් අනවශ්‍ය දෙයක් වෙන්නේ කොහොමද කියන එකයි. එහෙම වෙන අවස්ථා ඕනෑ තරම් තිබුණත් ඒ ව්‍යතිරේඛ ලෙස මිස සාමාන්‍ය තත්ත්වය ලෙස නොවන නිසා මම මගෙන්ම අසාගත් මේ ප්‍රශ්නය නොවැදගත් එකක් නෙමෙයි. කටේ ඥාන දත් තියෙන එක මට ප්‍රශ්නයක් නොවේනම්, වෙනත් අයෙකුට එයින් ඇති කරදරයකුත් නැත්නම් ඒවා ගලවා දැමිය යුත්තේ ඇයි?

ඇමරිකාවේදී වෛද්‍යවරයෙකු හෝ වෙනත් කිසියම් විශේෂඥයෙකුගේ නිර්දේශ අප පිළිගත යුතුම නැහැ. නමුත්, එසේ පිළි නොගන්නවානම් ඒ හේතුව නිසා ඇති විය හැකි ප්‍රශ්න වල අවදානමත් අප විසින්ම ගත යුතුයි. මේ කරුණේදී, මගේ දැනුමට සාපේක්ෂව එවැනි ලොකු අවදානමක් පෙනුණේ නැහැ.

අනෙක් අතට මේ ඥාන දත් ගලවා දැමීමේ ක්‍රියාපටිපාටියේත් අවදානම් තිබුණා. ඒ වගේම එහි බරපැනත් මා විසින්ම දැරිය යුතුයි. මගේම සල්ලි වලින්, අවදානමක් හා අපහසුතාවයක් දරමින් මා විසින් ඥාන දත් ගලවා දැමිය යුත්තේ මට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ නොවන කුමක් හෝ අවදානමක් අඩු කර ගැනීම වෙනුවෙනුයි.

මේ නිර්දේශය ලැබුණු මුල් කාලයේදී ඇමරිකාවේ කොයි තරම් කාලයක් ඉඳීද කියා ස්ථිර අදහසක් තිබුණේ නැහැ. නැවත ලංකාවට හෝ වෙනත් රටකට ගියානම් මේ ඥාන දත් ප්‍රශ්නයක් නොවිය හැකිව තිබුණා. නමුත්, එහෙම වුණේ නැහැ.

කාලයත් එක්ක පදිංචිය මාරු කරමින් ඇමරිකාව වටේ තැනින් තැනට යද්දී දන්ත වෛද්‍ය වරුනුත් මාරු වුණා. නමුත්, දන්ත වෛද්‍යවරුන් මාරු වුණා කියා ඥාන දත් ගලවා දැමිය යුතු බවට වූ නිර්දේශයනම් වෙනස් වුණේ නැහැ.

ගොඩක් අය දිගින් දිගටම එකම දේ කියන කොට එය වදයක් වෙනවා. ඇමරිකාවේ තවත් කලක් ඉන්නවානම්, මේ ඥාන දත් පළහිලවුවට හැමදාමත් දන්ත වෛද්‍යවරු එක්ක වාද විවාද කර කර ඉන්න වෙනවා. ඊට වඩා ලේසියි යන ක්‍රමේට යන එක. එහෙම නැත්නම් වෙන්නේ ඇමරිකාවේ ක්‍රමයට ලංකාවේ වාහන එළවන්න ගියාම වෙන විදියේ අවුලක්.

දන්ත වෛද්‍යවරුන් විසින් ඥාන දත් ගලවා දමන්න නිර්දේශ කරන්න හේතු කිහිපයක් තිබෙනවා. මේ දත් ගලවා දැමූ විට ඉතිරි දත් වලට නිසි පරතරයක් ඇතුව වැඩෙන්න ඉඩකඩ ලැබෙන නිසා ඒවා වඩා සෞඛ්‍ය සම්පන්න ලෙස දිගු කලක් පවතින බවට ඇති අදහස එයින් එකක්. දත් අතර නිසි පරතරයක් ඇති විට දත් පිරිසිදු කිරීම පහසුයි. මේ අදහස පවුල් සංවිධානය ගැන නූතන අදහසට කිට්ටුවෙන් යන එකක්.

දෙවන කරුණ, කටේ මුල්ලට වෙන්න තිබෙන මේ දත් පරීක්ෂා කිරීම, පිරිසිදු කිරීම හෝ පිරවීම වැනි ප්‍රතිකර්මයක් කිරීම වඩා අපහසු වීමයි. එය මූලික වශයෙන්ම දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක්. නමුත්, අවසාන වශයෙන් දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් කියන්නේත් ඔවුන්ගෙන් ප්‍රතිකාර ගන්නා අයගේම ප්‍රශ්නයක්.

රජයට අයිති පාඩු ලබන ව්‍යවසායයක් ලාබ ලබන එකක් බවට පත් කරන්න මහන්සි වෙනවාට වඩා එහි අයිතිය බැහැර කර නිදහස් වීම පහසුයි. ඒ වගේම, ඔය ඥාන දත් සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වා ගන්න උදවු කරනවාට වඩා ගලවා දාන්න නිර්දේශ කරන එක පහසුයි.

රජයට අයිති ව්‍යවසායයකින් ලාබ ඉපැයූවා කියා එහි වාසිය එය කළමනාකරණය කරන අයට ලැබෙන්නේ නැහැ. නමුත්, ඒ ව්‍යවසායයම පෞද්ගලික අයිතියට යටත් වුණාම තත්ත්වය වෙනස්. ලැබෙන ලාබය හෝ පාඩුව එහි අයිතිකරුවාටමයි. මේ වෙනස නිසා, ව්‍යවසායයක් හැකි තරම් කාර්යක්ෂම සේ කළමනාකරණය කර ලාබ ලබන එකක් බවට පත් කරන්න පෞද්ගලික ව්‍යවසායයෙකුට තිබෙන උනන්දුව රජයකට නැහැ.

ඔයාකාරයටම ඥාන දත් තිබෙන්නේ ප්‍රතිකාරලාභියාගේ කටේ මිසක් දන්ත වෛද්‍යවරයාගේ කටේ නොවන නිසා දන්ත වෛද්‍යවරයෙකු තමන්ගේ පහසුව ගැන වැඩිපුර හිතන එක සාමාන්‍ය දෙයක්. මේ ගැන යම් අවුලක් තිබෙන කෙනෙකුට අවශ්‍යනම් දන්ත වෛද්‍යවරයාව මාරු කරන්න පුළුවන්. නමුත්, ඒක මැතිවරණයකදී ආණ්ඩුව මාරු කරනවා වගේ වැඩක්.

රජය කියන යාන්ත්‍රනය ඇතුළේ තිබෙන ආකෘතිමය ප්‍රශ්නය ආණ්ඩුව මාරු කලා කියා විසඳෙන්නේ නැහැ. ආණ්ඩුව මාරු කළ අලුත යම් වෙනස්කම් පෙනුණත් මූලික දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම දන්ත වෛද්‍යවරයා මාරු කර වෙනත් අයෙකු වෙත ගියත් බොහෝ විට ඥාන දත් හා සම්බන්ධ ප්‍රතිපත්තියේ වෙනසක් වෙන්නේ නැහැ.

තනි පුද්ගලයෙකුට කිසියම් රටක හෝ සමාජයක පවතින ක්‍රමයට කිසියම් බලපෑමක් කරන්න පුළුවන්. නමුත්, මෙහි සීමාවන් තිබෙනවා. එක්තරා සීමාවකදී ඒකීය පුද්ගලයෙකුට යන ක්‍රමයට අනුගත වෙන්න සිද්ධ වෙනවා. යන ක්‍රමය වෙනස් කරන්න වුවත්, පළමුව එම ක්‍රමයට අනුගත වී යන ප්‍රවාහයත් එක්කම යම් දුරක් යන්න වෙනවා. මුල ඉඳන්ම උඩු ගං පීනන්න උත්සාහ කළොත් බොහෝ විට වැඩි දුරක් යන්න ලැබෙන්නේ නැහැ.

ඥාන දත් අවශ්‍ය නෑ කියන එක ඇමරිකාවේ දන්ත වෛද්‍ය වරුන් බොහෝ දෙනෙකු පිළිගන්නා සම්මතයක්. මේ සම්මතය අනුව නිරෝගී, සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි පුද්ගලයෙකුගේ මුඛයේ තිබිය යුත්තේ දත් 28ක් පමණයි.

නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් කියන එකම කිසියම් කාලයකට හා සමාජයකට සාපේක්ෂ සම්මතයක්. රෝග කියන ඒවා අර්ථ දක්වන්නේ මේ සම්මතයට සාපේක්ෂවයි. ඒ නිසා, එක සමාජයක එක කාලයක රෝගයක් සේ සැලකෙන දෙයක් වෙනත් කාලයක වෙනත් සමාජයක රෝගයක් නොවෙන්න පුළුවන්. එහි අනිත් පැත්තත් වෙන්න පුළුවන්. ඇතැම් කාල වල ඇතැම් සමාජ වල සුන්දර නාරි දේහයක ලක්ෂණ වූ නල දත් හා පෙති ගෝමර වෙනත් කාලයක වෙනත් සමාජයක රෝග ලෙස හඳුනා ගැනෙන්නේ ඒ විදිහටයි.

ශාරීරික රෝග වලටත් වඩා මේ කරුණ කැපී පෙනෙන්නේ මානසික රෝග හා අදාළවයි. නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක්ගේ භෞතික ශරීරය සම්බන්ධව වගේම හැසිරීම හා අදාළවත් සම්මතයක් තිබෙනවා. මේ සම්මතය කාලයට හා දේශයට සාපේක්ෂ එකක්. භෞතික ශරීරයේ වගේම හැසිරීමේත් සුළු වෙනසක් රෝගයක් ලෙස හඳුනා ගැනෙන්නේ නැතත්, එක්තරා සීමාවක් පැන්නට පස්සේ එය රෝගයක් වෙනවා. කෞමාර කාමය හෝ සමලිංගික සේවනය වැනි චර්යාවන් රෝග වන්නේ හෝ නොවන්නේ නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් පිළිබඳ අදාළ සමාජයේ අදාළ කාලයේ පවතින සම්මතයට සාපේක්ෂවයි. මේ පුද්ගල ප්‍රතිරූපය වෙනස් වෙන කොට රෝගීන් නිරෝගීන් වී නිරෝගීන් රෝගීන් වෙනවා.

රටක් විදිහට ලංකාව අද ඉන්නේ කොතැනද කියන එක ගත්තත් එය තීරණය වන්නේ රටක් තිබිය යුතු කොතැනද කියන එක ගැන එක් එක් පුද්ගලයා සිතන ආකාරය මතයි. සෞඛ්‍ය සම්පන්න, නිරෝගී රටක ප්‍රතිරූපය කුමක්ද? ඇමරිකාවද? සිංගප්පූරුවද? කියුබාවද? එහෙමත් නැත්නම් යුරෝපීයයන් එන්න කලින් තිබුණු ලංකාවද?

Thursday, August 2, 2018

කුරුඳු, කෝපි සමඟ තේ...

ලංකාවේ ආර්ථිකයේ දකින්නට පුළුවන් මූලික මට්ටමේ ප්‍රශ්න වලින් එකක් තමයි අඛණ්ඩව පවතින ආනයන අපනයන පරතරය. එහෙමත් නැත්නම් සෘණ වෙළඳ ශේෂය. මේ සෘණ වෙළඳ ශේෂය පියවෙන තරමේ අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණයක් රට ඇතුළට ගලා එන ශ්‍රමික ප්‍රේෂණ වගේ වෙනත් යාන්ත්‍රණ තියෙනවනම් සෘණ වෙළඳ ශේෂයක් තියෙන එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත්, එහෙම ලැබෙන විදේශ විණිමයත් ප්‍රමාණවත් නැත්නම්, දිගින් දිගටම විදේශ ණය හරහා මේ හිඟය ආවරණය කරගන්න වෙනවනම්, ඒ වෙලාවට වැඩේ කොහොම හරි ගොඩ දාගත්තත් එන්න එන්නම ප්‍රශ්නය උග්‍ර වෙන එක විතරයි වෙන්නේ.

මතුපිටින් බැලුවොත් පෙනෙන දෙයක් තමයි නිදහසින් පසුව ලංකාව දිගින් දිගටම විදේශ විණිමය අර්බුද වලට මුහුණ දුන් බව සහ මේ අර්බුද වලට විසඳුම් ලෙස ගහපු පැලැස්තර වලට යටින් එන්න එන්නම තුවාලය ඔඩු දුවපු බව. නමුත්, ඇත්තටම මේ ප්‍රශ්නයේ මුල් ඉංග්‍රීසි කාලය දක්වාම දිවෙනවා.

ලංකාව දැන් විදේශ විණිමය එකතු කර ගන්නේ බටහිර රටවල් වලිනුයි. මැදපෙරදිගිනුත් විදේශ විණිමය ලැබුනත් එයින් සෑහෙන ප්‍රමාණයක් නැවතත් ඒ කලාපයටම ආපසු යනවා. මේ විදිහට බටහිර රටවලින් එකතු කර ගන්න විදේශ විණිමය ගලා යන්නේ ඉන්දියාවට හා චීනයට.

ලංකාවේ විදේශ වෙළඳාමේ මේ ආකෘතිය වුනත් නිදහසින් පසුව ඇති වුනු අලුත් එකක් නෙමෙයි. දහනවවෙනි සියවසේ අග භාගය වෙද්දීත්, එවක බ්‍රිතාන්‍ය ඉන්දියාව හා ලංකාව අතර විශාල වෙළඳ හිඟයක් තිබුණා. එහි හිලවුවට බටහිර රටවලින් විදේශ විණිමය ගලා ආවා. ඒ වගේ ආකෘතියක් ඇති වුනේ කොහොමද කියන එක සාකච්ඡා කරන්න තරම් වැදගත් දෙයක්.

රටක විදේශ වෙළඳාමේ සිදුවන ආකෘතිමය වෙනස්කම් ඒ රටේ සමාජ ආකෘතියට විශාල බලපෑමක් කරනවා. විදේශ වෙළඳාමේ ආකෘතිය වෙනස්වීම නිසා සමාජ ආකෘතිය වෙනස් වෙනවා කියනවට වඩා මේ දෙකම එකට වෙනස් වෙනවා කියා කිවුවොත් වඩා නිවැරදියි. ලංකාව දිහා බැලුවත් මේ සමාන්තර වෙනස්වීම් (parallels) හඳුනාගන්න පුළුවන්.

ලංකාව සහශ්‍ර ගණනක සිට විදේශ වෙළඳාමේ යෙදුණු රටක්. මුල් කාලයේදී ලංකාවේ අපනයන භාණ්ඩ වුණේ අලි ඇතුන් හා මුතු මැණික් ආදියයි. කලක් යද්දී මේ ලැයිස්තුවට කුළුබඩුත් එකතු වෙනවා. විජය එන විට කුවේණි කපු කටිමින් සිටි බව කියවෙතත් ලංකාවට ආනයනය කළ භාණ්ඩ අතර රෙදි පිළි ඉහළින්ම තිබෙනවා. මුතු මැණික් වෙනුවට රන් රිදී රට ඇතුළට එන එකත් වෙන්න ඇති. අලි වෙනුවට අශ්වයෝ හුවමාරු වෙන්න ඇති.

යුරෝපීයයන් එන තුරුම ලංකාවෙන් අපනයනය කර තිබෙන දේවල් සියල්ලම වාගේ සැලකිය හැක්කේ ස්වභාවික සම්පත් ලෙසයි. ඒ කාලය වන තුරු හේන් කුඹුරු මිසක් වෙනත් වාණිජ භෝග කිසිවක් ලංකාවේ වගා කළ බවක් පෙනෙන්නේ නැහැ.

මහාවංශයේ ඉඳල ගොඩක් පැරණි මූලාශ්‍ර වල සඳහන් කරුණක් තමයි ඇතැම් කාල වල පොළොවෙන් වටිනා මැණික් මතු වූ බව. මෙය නිකම්ම කියන කතාවක් කියලා මම හිතන්නේ නැහැ. රටේ මැණික් ඉල්ලම් තියෙන පැති වල ඇළ දොළ ගංගා ඉවුරු වලින් මැණික් මතු වෙන එක සිදුවෙන්න ගොඩක් ඉඩ තිබුණු දෙයක්. සැලසුම් සහගතව මැණික් පතල් හාරන එක පටන් ගන්න කලින් මුල් කාලයේ ලංකාවෙන් හමු වූ මැණික් වැඩිපුරම ලැබෙන්න ඇත්තේ මේ විදිහටයි.

කාලයක් යද්දී ලංකාවේ අපනයන අතරට කුරුඳු එකතු වෙනවා. ලංකාවට පෘතුගීසීන් එන්නේ වැරදීමකින්ම නෙමෙයි. පෘතුගීසින් මෙහි එන්න ආසන්න කාලයේදී පෘතුගාලයේ රජු ලංකාවේ කුරුඳු ගැන උනන්දුවෙන් ඉඳල තියෙනවා.

මුල් කාලයේදී ඉබේ වැවෙන කුරුඳු ගස් වලින් අවශ්‍ය කුරුඳු පොතු ප්‍රමාණය එකතු කර ගන්නවා මිසක් සංවිධානාත්මක ලෙස කුරුඳු වැවීමක් සිදු වී නැහැ. ඒ නිසා, ඒ කාලයේදී කුරුඳු වුවත් සැලකිය හැක්කේ මුතු මැණික් වගේම ස්වභාවික සම්පතක් විදිහටයි.

අපනයනය සඳහා අලි ඇතුන්, මුතු මැණික් වගේම කුරුඳු එකතු කිරීමත් මුලින් සිදු වෙලා තියෙන්නේ ලංකාවේ සියවස් ගණනක් තිස්සේ තිබුණු ශ්‍රම වෙළඳපොළ ආකෘතිය එසේම තිබියදීයි. ශ්‍රම වෙළඳපොළ ආකෘතිය කියා කිවුවත් මේ කාලයේ ඇත්තටම එවැනි වෙළඳපොළක් නොතිබීමම තමයි මේ ආකෘතිය. පැවති රාජකාරි ක්‍රමය එසේම තිබියදී වෙනත් රාජකාරි වල යෙදුණු අයව කුරුඳු එකතු කරගැනීම සඳහා යෙදවීම මඟින් පැවති සමාජ ආකෘතිය එසේම තියෙද්දී වැඩේ ගොඩ ගිහින් තියෙනවා.

මේ තත්ත්වය වෙනස් වෙන්නේ සැලසුම් සහගත ලෙස කුරුඳු වැවීම පටන් ගැනීමත් සමඟයි. දකුණේ වෙරළබඩ කුරුඳු වැවීමට සමාන්තරව උතුරේ දුම්කොළ වගාවත් පටන් ගන්නවා. ලංකාවේ පළමු වාණිජ භෝගය කුරුඳුද නැත්නම් දුම්කොළද කියන එක හරියටම හොයා බැලිය යුතු දෙයක්. කොහොම වුණත් ලන්දේසි කාලයේදී වාණිජ භෝග ලෙස කුරුඳු වගේම දුම්කොළ වවන එකත් ප්‍රචලිත වෙනවා. ඉංග්‍රීසින් පැමිණෙන කාලය වන විට ලංකාවේ ප්‍රධාන අපනයනය කුරුඳු. ඉන් පසුව, කුරුඳු වෙනුවට කෝපිත්, කෝපි වෙනුවට තේත් ආදේශ වෙනවා.

වාණිජ භෝග ප්‍රචලිත කිරීමේදී යුරෝපීයයන් විසින් මුහුණ දෙන ලොකුම අභියෝගය වන්නේ මුදලට ශ්‍රමය විකුණන්න සිංහලයින්ගේ තිබුණු අකැමැත්තයි. සියවස් ගණනක් තිස්සේ රාජකාරි ක්‍රමයට පුරුදු වෙලා හිටපු සිංහලයන් වැඩි දෙනෙක් මුදල් වෙනුවෙන් තමන්ගේ පරම්පරා රස්සාව හැර වෙනත් රස්සාවක් කරන්න කැමති වෙන්නේ නැහැ.

මේ අඩුව පුරවන්නේ ඉන්දියානු ශ්‍රමිකයන් විසිනුයි. ඉංග්‍රීසින්ගේ කාලයේ කෝපි, තේ හා රබර් වගාව ප්‍රචලිත කරන කොට කණක පුල්ලේ ක්‍රමයට සංවිධානාත්මක ලෙස රැගෙන එනු ලැබූ ඉන්දියානු ශ්‍රමිකයින් පිළිබඳ සැලකිය යුතු තරම් නිවැරදි සංඛ්‍යාලේඛණ තිබෙනවා. නමුත්, ඊට පෙර කුරුඳු කර්මාන්තයට අවශ්‍ය වූ ඉල්ලුම සපුරමින් කේරළයෙන් පැමිණ ලංකාවේ පැළපදියම් වී පසුව සිංහලයින් වූ ශ්‍රමිකයින් හෝ දුම්කොළ කර්මාන්තයේ යෙදෙන්නට උතුරට පැමිණ පැළපදියම් වූ ශ්‍රමිකයින් ගැන එවැනි වාර්තා හොයාගන්න අමාරුයි.

කුරුඳු වවන්න ඉන්දියානුවන් යම් ප්‍රමාණයක් ලංකාවට පැමිණියත් ඒ හේතුව නිසා ලංකාවේ තිබුණු ආර්ථික ආකෘතිය ලොකුවට වෙනස් වුණේ නැහැ. රැකියා සොයා ලංකාවට පැමිණි මේ සංක්‍රමණිකයින්ගෙන් සෑහෙන පිරිසක් පසුව ලංකාවේ පැලපදියම් වුණත් එය සිදුවුණේ ලංකාවේ ආර්ථිකයට හා සමාජයට දරාගන්න අමාරු තරමේ වේගයකින් නෙමෙයි. මෙසේ මුල් කාලයේදී පැමිණි අය පදිංචි වුනේ ලංකාවේ ආර්ථික ඒකක වූ ගම් ආශ්‍රිතව මිසක් එයින් වෙන්ව නෙමෙයි. ඒ අයගේ ආහාර වැනි මූලික අවශ්‍යතා වෙනුවෙන් ඇති වූ ඉල්ලුම මේ ආර්ථික ඒකක ඇතුළෙම සැපිරුනා.

කුරුඳු යුගය අවසන් වෙලා මුලින් කෝපි වගාවත් පසුව තේ හා රබර් වගාවනුත් ව්‍යාප්ත වෙද්දී, කෙටි කාලයක් ඇතුළත විශාල සංක්‍රමනික පිරිසක් රට ඇතුළට පැමිණීමත් සමඟ මේ තත්ත්වය වෙනස් වුණා. මේ සමඟම ඇති වුනේ "එක රටක් ආර්ථිකයන් දෙකක්" වගේ තත්ත්වයක්.

හේනක් කුඹුරක් කරගෙන හිටපු ගොවීන්ගෙන් හා ඔවුන්ට සහාය සේවාවන් සැපයූ කම්මල්කරුවන්, කුඹල්කරුවන් වැනි අයගෙන් සමන්විත ආර්ථික ඒකක තවදුරටත් ඒ විදිහටම තිබුණා. ඊට පිටින් වතු ආශ්‍රිත ලයින් කාමර වල පදිංචි කරවනු ලැබූ ඉන්දියානු ශ්‍රමිකයින් මේ ආර්ථික ඒකක සමඟ ගැටුණේ ඉතාම අඩුවෙන්.

ඉන්දියානු ශ්‍රමිකයන් ලංකාවට ආවේ ලංකාවේ නවතින්න බලාගෙන නෙමෙයි. ඔවුන් ආවේ කාලයක් වැඩ කරලා මුදල් හොයාගෙන නැවත තමන්ගේ ගම් රටවලට යන්න බලාගෙනයි. දැන් ලංකාවෙන් මැදපෙරදිග රටවලට ශ්‍රමිකයින් යනවා වගේ. ඔවුන්ට තමන් පැමිණි වැඩේ කරනවා මිසක් ලංකාවේ ගම් සමඟ බද්ධ වෙන්න උවමනාවක් හෝ වෙලාවක් තිබුණේ නැහැ.

උදාහරණයක් ලෙස කොළඹ නුවර දුම්රිය පාර හදන කාලයේ ලංකාවට පැමිණි ඉන්දියානු ශ්‍රමිකයින් විශාල ප්‍රමාණයක් නැවත ආපසු ගිහින් තියෙනවා. දහනවවන සියවසේ අන්තිම කාලය වෙද්දී ලංකාවට අවශ්‍ය ඉන්දියානු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම හා මෙහි රඳවා ගැනීම විශාල අභියෝගයක් වී තිබෙනවා.

ලංකාවේ තිබුණු ස්වාධීන ග්‍රාමීය ආර්ථික ඒකක වලට නිෂ්පාදනය ඉහළ නංවා තමන්ගේ ගම ඇතුළේ හෝ ආශ්‍රිතව ඇති වුනු ආහාර ඉල්ලුමේ වැඩිවීමක්  සපුරන්න හැකියාව තිබුණත් මේ ආර්ථික ඒකක වලට පිටින් වූ වතු ආශ්‍රිත සංක්‍රමණික ජනාවාස වල වැසියන්ගේ ආහාර අවශ්‍යතා සපුරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

ඒ නිසා, මේ සංක්‍රමනික ශ්‍රමිකයින් වෙනුවෙන් හාල් හා කරවල ප්‍රධාන ආහාර ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය ඉන්දියාවෙන් ආනයනය කරන්න සිදු වුණා. ලංකාවේ ජීවත් වූ යුරෝපීයයන් වෙනුවෙන් ඒ වන විටත් කිසියම් ආහාර ප්‍රමාණයක් ආනයනය කළත් ඉන්දියානු සංක්‍රමණිකයින් වෙනුවෙන් ආනයනය කරන්නට අවශ්‍ය වූ ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. ඒ වුණත්, ලංකාවේ අපනයන ඇමරිකාවට හා යුරෝපයට මිසක් බ්‍රිතාන්‍ය ඉන්දියාවට ගියේ නැති නිසා ලංකාව හා බ්‍රිතාන්‍ය ඉන්දියාව අතර විශාල වෙළඳ ශේෂ හිඟයක් ඇති වුණා.

ලංකාව යන්ත්‍ර සූත්‍ර වැනි දේ ගෙන්නුවේ බටහිර රටවල් වලින් වුවත් ඒ රටවලට පළමුව කෝපිත්, දෙවනුව තේත් සෑහෙන තරමින් යවපු නිසා වෙළඳ ශේෂයේ අතිරික්තයක් තිබුණා. නමුත්, ලංකාවේ ආනයනය වල මිල විශාල ලෙස ඉහළ ගිය අවුරුදු වලදී හැර මේ අතිරික්තය බ්‍රිතාන්‍ය ඉන්දියාව සමඟ වූ වෙළඳ හිඟය පියවීමට ප්‍රමාණවත් නොවූ බැවින් ආර්ථික ආකෘතියේ මේ පරිවර්තනය සිදුවුනු මුල් දශක වලදී  සමස්තයක් ලෙස වෙළඳ ශේෂ හිඟයක් තිබුණා.

කිසියම් රටක අඛණ්ඩ වෙළඳ ශේෂ හිඟයක් තිබෙන විට ගෙවුම් ශේෂ අර්බුද නොඑන්නනම් එයට අනුරූප අඛණ්ඩ ප්‍රාග්ධන ප්‍රවාහ තිබිය යුතුයි. ඉංග්‍රීසි ආණ්ඩුව මහා බ්‍රිතාන්‍යයේ ආයෝජකයින්ව මොන අයුරකින් හෝ දිගින් දිගටම ආකර්ෂණය කරගත් නිසා ලංකාවේ ආණ්ඩුවට ගෙවුම් ශේෂ අර්බුද වලින් බේරී ඉන්න හැකි වුණා. ඔවුන්ට එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය රජය සතුව තිබූ ඉඩම් විකුණමින් ආණ්ඩුව අයවැය හිඟයක් ඇති වීම වලක්වා ගත්තා. මේ ඉඩම් මුඩුබිම් පණත හරහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් අයිති කරගත් ඉඩම්.

මුඩුබිම් පණත නිසා බොහෝ දෙනෙක්ට අයිතිය තහවුරු කළ නොහැකි වූ පෞද්ගලික ඉඩම් අහිමි වූ බව හැමතැනම වාගේ කියවෙන දෙයක්. නමුත්, ඒ සමඟ සිදුවුණු වැඩිපුර සාකච්ඡා නොවන දෙයක් තමයි ලංකාවේත් යුරෝපයේ මෙන් ඉඩම් හිමි පන්තියක් හා ඉඩම් අහිමි පන්තියක් ඇති වීම.

රජෙකුගෙන් සන්නසකින් හෝ වෙනත් ලියවිල්ලකින් ගම් වර ලබා තිබුණු අයගේ ඉඩම් වල තනි අයිතිය මුඩුබිම් පණත නිසා ඔවුන්ට හිමි වුණා. නමුත්, ඊට පෙර නින්දගමක් තිබීම කියන්නේ ඒ ආකාරයේ තනි අයිතියක්ම නෙමෙයි. මුඩුබිම් පණත නිසා නින්දගමකින් කොටසක් වෙනත් ඕනෑම අයෙකුට විකුණන්න, ස්ථිර ලෙස පවරන්න හෝ ඒවායේ පදිංචි වී සිටි මිනිසුන් හිතුමතේ එළවා දමන්න මේ ඉඩම් හිමියන්ට පෙර නොවූ හැකියාවක් ලැබුණා. ඒ එක්කම, කලින් පොදු අයිතිය යටතේ තිබුණු, හේනක් කොටා ගැනීම වැනි දේකට භාවිතා කළ හැකි වූ බිම් රජයට අයත් වීම නිසා තවත් විශාල පිරිසකට ඉඩම් නැතිකම දැනෙන්න වුණා.

මුල් කාලයේදී තිබුණු "එක රටක් ආර්ථික දෙකක්" තත්ත්වය කාලයත් එක්ක වෙනස් වුණා. එය ඉංග්‍රීසින් විසින් ලංකාවේ තිබුණු ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය සෘජුව කඩා බිඳ දැමීමක් කියා කියන්න බැරි වුනත් අවසානයේදී එවැනි දෙයක් සිදුවුනා.

කොහොමටත් මේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය දැන් ඇතැම් අය හිතන තරම් සුන්දර එකක් වුණේ නැහැ. ඒ ක්‍රමය යටතේ ජනගහණය දිගුකාලීනව පවතින මට්ටමේ තබාගන්නවාට වඩා වැඩි දෙයක් සිදු වුණේ නැහැ. ගැහැණියක් දරුවන් දහයක් දොළහක් වැදුවත් ගොඩක් දරුවන් උපන්ගෙයිම හෝ කුඩා කාලයේදීම මිය ගියා. ඉඳහිට ඇතැම් අයෙක් අවුරුදු සීය ඉක්මවා ජීවත් වුවත් සාමාන්‍ය ආයු අපේක්ෂාව අදට සාපේක්ෂව ගොඩක් පහළයි තිබුණේ. කන්නයක් පාලු වුනාම තිබුණු ආහාර සංචිත වලින් අමාරුවෙන් ගොඩ දාගන්න හැකි වුණත්, කන්න කීපයක් එක දිගට පාලු වෙනකොට දුර්භික්ෂ හේතුවෙන් විශාල පිරිසක් මිය ගියා. දහනවවන සියවස ආරම්භ වන තුරු යුරෝපය ඇතුළු ලෝකයේ හැම රටකම වගේ තිබුණේ මෙවැනි තත්ත්වයක්.

යුරෝපීයයන් ලංකාවට නොආවත් කිසියම් අවස්ථාවක ලංකාවේ තිබුණු ආර්ථික ආකෘතිය වෙනස් විය හැකිව තිබුණා. යුරෝපීය පාලනය නිසා සිදුවුණේ එය තරමක් ඉක්මන්වීම පමණයි. ලංකාවේ ස්වයංපෝෂිත ආර්ථික ඒකක බිඳ වැටෙන්න පටන්ගත්තේ සෞභාග්‍යයට පාර තිබෙන්නේ සංවෘත ආර්ථිකයක් ඇතුළේ නොව වඩා විවෘත ආර්ථිකයක් හරහා බව ඒ ඒකක ඇතුළේ ජීවත් වූ මිනිස්සුන්ට ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැනෙන්න පටන් ගැනීමත් සමඟයි. ඒ එක්කම ක්‍රමයෙන් ගම් වලට පිටතින් තිබුණු ආණ්ඩුවේ පාලනයට යටත් වූ බාහිරට විවෘත වූ ආර්ථිකය ඇතුළට ලංකාවේ ග්‍රාමීය ආර්ථික ඒකක අවශෝෂණය වුණා.

ගම් වල මිනිස්සුත් හේන් කුඹුරු අත හැර වාණිජ භෝග වවන්න පටන් ගැනීමත් එක්ක රටේ ආහාර නිෂ්පාදනය අඩු වෙලා ආහාර ආනයනය කරන්න සිදු වුණා. මේ ආහාර ආනයනය කළේ ඉන්දියාව, චීනය ඇතුළු අසල්වැසි රටවලින් මිස යුරෝපයෙන් නෙමෙයි. නමුත්, ලංකාවේ අපනයන අළෙවි වුණේ බටහිර රටවලයි.

පසුගිය සියවසේ අග කාලය වෙද්දී තේ, රබර් ඉක්මවා ලංකාවේ ප්‍රධාන අපනයනය බවට ඇඟලුම් පත් වුණා. මැදපෙරදිග ශ්‍රමිකයින් ලංකාවේ ප්‍රධානම විදේශ විණිමය උල්පත බවට පත් වුණා. මේ සමඟම ලංකාවේ සමාජයේත් ආකෘතිමය වෙනසක් සිදු වුණා. ඒ ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස පිරිමින්ට තිබුණු තැන ක්‍රමයෙන් ගැහැණුන් අතට පත් වීම. ඒ එක්ක තවත් දේවල් ගොඩක් සිදු වුණා. කොහොම වුනත්, විදේශ වෙළඳාම සිදුවුණු ආකාරය ඒ හේතුව නිසා වෙනස් වුණේ නැහැ.

තවමත් ලංකාවේ විදේශ විණිමය හොයන්නේ බටහිර වෙළඳපොළවල් වලිනුයි. නමුත්, එහෙම හොයන සල්ලි වියදම් කරන්නේ ආසියානු කලාපයේ. හොයන සල්ලි වියදම් කරන්න ප්‍රමාණවත් නැති නිසා ලංකාව හැමදාමත් බලාගෙන ඉන්නේ කවදාවත් නොඑන ආයෝජකයෝ ඇවිදින් රට ගොඩදානකම්. ඒ වැඩේ කෙරෙන්නේ නැති වුණහම තිබෙන විකල්පය ආපහු මුලට ගිහින් රටේ ස්වභාවික සම්පත් මොනවා හෝ විකුණන එකයි.

මේ කෙටියෙන් ලියන්නේ ගොඩක් දිග කතාවක්. කතාවේ අටුවා ටීකා ගොඩක් තියෙනවා.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...