වෙබ් ලිපිනය:

Thursday, September 7, 2017

පුද්ගල අයිතිවාසිකම් හා ගබ්සාව


ඇමරිකා එක්සත් ජනපදය කාන්තාවන්ගේ ගබ්සා අයිතිය පිළිගත් රටකි. එයින් දළ වශයෙන් අදහස් වන්නේ ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකදීම නීත්‍යානුකූල ලෙස ගබ්සා කර ගැනීමට ඉඩක් ඇති බවයි. කෙසේ වුවද, බොහෝ ප්‍රාන්ත වල මේ ගබ්සා අයිතිය කිසියම් ආකාරයකින් නියාමනය වේ. ඊට අමතරව ගබ්සා කිරීමට නීතිමය නොවන බාධාවන්ද තිබේ.

ගබ්සා හා අදාළව ඇමරිකාවේ දැන් පවතින නීතිමය තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වුණේ 1973 වසරේදී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවකින් පසුවය. ඒ වන විට ඇලස්කාව, වොෂින්ටන්, හවායි වැනි ප්‍රාන්ත කිහිපයක කාන්තාවකගේ ඉල්ලීම මත කරන ගබ්සා නීත්‍යානුකූල වුවත්, රටේ ප්‍රාන්ත වැඩි ප්‍රමාණයක එය නීති විරෝධී කටයුත්තක් විය. ප්‍රාන්ත තිහකම කවර ආකාරයක ගබ්සාවක් වුවද නීති විරෝධී වූ අතර ටෙක්සාස් වැනි තවත් ප්‍රාන්ත ගණනාවක ගබ්සාවට ඉඩ ලැබුණේ මවගේ ජීවිතයට අනතුරක් ඇත්නම් පමණි.

පෙර කී නඩු තීන්දුවෙන් පසු ඒ වන විට පැවති තත්ත්වය කණපිට හැරුණේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේ ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති පුද්ගල අයිතියේ කොටසක් ලෙස සැලකිය හැකි කාන්තාවකට අනවශ්‍ය ගැබක් ගබ්සා කිරීමට ඇති අයිතිය වළක්වමින් නීති පැනවීමේ අයිතියක් ප්‍රාන්ත රාජ්‍යයන්ට නැති බවයි.

ඉහත නඩු තීන්දුව ලබා දීමේදී පදනම් කරගත් එක් සිද්ධාන්තයක් වූයේ නූපන් දරුවෙකු "පුද්ගලයෙකු" ලෙස සැලකිය නොහැකි බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුද්ගලයෙකුට ලැබෙන ජීවත් වීමේ අයිතිවාසිකම මවගේ ගර්භාෂයෙන් පිටත ස්වාධීන පැවැත්මක් තිබිය නොහැකි, අඩු වයසක දරුගැබකට අදාළ නොවන බවයි. මේ කාලය වෙද්දී අඩු වශයෙන් සති 27ක්වත් සම්පූර්ණ නොකළ ගැබක් ගර්භාෂයෙන් පිටතදී ජීවත් කරවීමේ හැකියාවක් නොතිබුණේය.   

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ සති 24 පමණ වයසැති දරු ගැබක් වුවද සැලකිය යුතු තරම් ඉහළ සම්භාවිතාවකින් ගර්භාෂයෙන් පිටත ජීවත් කරවිය හැකි වීම නිසා මුල් නඩු තීන්දුව අනුව ගබ්සා කිරීමට ඉඩ ලැබුණු කාලය පසුව වෙනත් නඩු තීන්දුවකින් පහත හෙලුනත්, 1973 තීන්දුව අනුව ගබ්සා කිරීමට ඉඩ දීමේදී සලකා බැලිය යුතු නිර්ණායකය ලෙස හඳුනා ගැනුණු "වෛද්‍යාධාර ලබමින් හෝ ගර්භාෂයෙන් පිටත ජීවත් වීමේ හැකියාව (Fetal viability)" යන සිද්ධාන්තය වෙනස් වුණේ නැත.

ගබ්සාව පිළිබඳ ඇමරිකානු ජනමතය අද වන විටද දෙපැත්තකට බෙදී ඇත. අතරමැදි අදහස් දක්වන්නන්ද යම් පිරිසක් සිටියත් බොහෝ දෙනෙකු එක්කෝ ගබ්සාවට මුළුමනින්ම විරුද්ධය. නැත්නම් පක්ෂය.

ගබ්සාවට පක්ෂ අය කාන්තාවකට ඇගේ සිරුර ගැන තීරණ ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර විරුද්ධ අය කළලයකට වර්ධනය වී පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිති.

ඇමරිකාවේ ගබ්සා විරෝධයට ආගමික පදනමක් තිබුණත් එය ගබ්සාවට එරෙහි වීමේ එකම පදනම නොවේ. ගබ්සාව හා අදාළව මතවාදී ලෙස ඇමරිකානු සමාජය දෙපිල බෙදී සිටීමට ප්‍රධානම හේතුව "අයිතිවාසිකම් හිමි පුද්ගලයා" කවුද යන්න ගැන සියල්ලන්ටම එකඟ විය හැකි තර්කානුකූල පදනමක් නොතිබීමයි.

පුද්ගල අයිතිවාසිකම් යන සංකල්පය මෙන්ම එයට පාදක වන පුද්ගලයා යන සංකල්පයද සමාජ සම්මතයකි. මේ පුද්ගල සංකල්පය සෑම සමාජයකටම හා සෑම කාලයකටම පොදු සංකල්පයක් නොව කිසියම් නිශ්චිත සමාජයක වුවත් කාලයත් සමඟ පරිණාමය වන සංකල්පයකි.

අද බටහිර ප්‍රමුඛ මතය අනුව පූර්ණ අයිතිවාසිකම් හිමි පුද්ගලයෙකු යනු ආසන්න වශයෙන් ගත්තොත් වැඩිහිටි පිරිමියෙකු හෝ වැඩිහිටි ගැහැණියකි. විවාහ වීම, සංසර්ගයේ යෙදීම, මත්පැන් මිල දී ගැනීම හා පානය කිරීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වැනි තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ මේ වැඩිහිටි පිරිමියාට හෝ ගැහැණියටය. ඒ අය අතරින් වුවද, සමාජ විරෝධීයෙකු ලෙස හෝ කිසියම් අවම ශාරීරික හා මානසික යෝග්‍යතාවක් නොමැත්තෙකු ලෙස හඳුනාගත් අයෙකුට මේ අයිතිවාසිකම් සියල්ල ඒ අයුරින්ම හිමි නොවේ.

වැඩිහිටියන් නොවූ උපන් දරුවන්, නූපන් දරුවන්, සමාජ විරෝධීන් ලෙස හඳුනා ගන්නා අය, ශාරීරික හා මානසික රෝගීන්, මෙන්ම ආහාරය පිණිස ඇති කරන, ගෘහාශ්‍රිතව ජීවත් වන හෝ ස්වභාවික පරිසරයේ ජීවත් වන සතුන් සතු විය යුතු සීමිත අයිතිවාසිකම් මොනවාද කියා අවසාන වශයෙන් තීරණය කරන්නේද ඉහත විස්තර කළ පුද්ගල අර්ථකථනයට යටත් වන නිරෝගී, වැඩිහිටි ගැහැණුන් හා මිනිසුන් විසිනි.

ඇමරිකානු සමාජය වැනි සමාජයක් ගත්තත් කලකට පෙර මේ පුද්ගල අයිතිවාසිකම් තිබුණේ නිරෝගී, වැඩිහිටි සුදු පිරිමින්ට පමණි. කළු පිරිමින් හා සුදු හා කළු ගැහැණුන් පූර්ණ අයිතිවාසිකම් සහිත පුද්ගලයින් බවට පත් වුණේද සමාජ පරිණාමයත් සමඟය. එය සිදුවුණේ එවකට "පුද්ගලයින්" නොවූ අදාළ කණ්ඩායම් වල පිරිස් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීමෙන් පසුවය. මේ ලිපියේ ඇමරිකානු සමාජය ගැන කතා කළත්, මේ බොහෝ කරුණු අඩු වැඩි වශයෙන් වෙනත් සමාජ වලටද පොදුය.

පුද්ගලයෙකුගේ ජීවත් වීමේ අයිතිය ගැන කෙතරම් දුරකට පෙනී සිටින සමාජයක් වුවත් ඇතැම් තත්ත්වයන් යටතේ යමෙකුගේ මේ අයිතිය නැති කිරීමට පැකිලෙන්නේ නැත. ඇමරිකාව තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටකි. මරණ දඬුවම අහෝසි කර ඇති ඕනෑම රටක් වුවද සමාජ විරෝධියෙකු සිර කර තබා එවැන්නෙකුට සාමාන්‍ය පරිදි ජීවත් වීමට ඇති අයිතිය සීමා කිරීමට පැකිලෙන්නේ නැත. මෙහිදී අදාළ වන මූලධර්මය වැඩි දෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන්, එයට බාධා කරන  ටික දෙනෙකුගේ ජීවත් වීමේ අයිතියට බාධා කිරීමේ වරදක් නැති බවයි. යුද්ධ වලදී සිදුකරන මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කෙරෙන පදනමද මෙයට තරමක් ආසන්නය. මානසික රෝගියෙකුගේ හෝ මත්වී සිටින පුද්ගලයෙකුගේ තීරණ ඇතැම් විට නිදහස් තීරණ ලෙස නොසැලකේ.

සමාජ විරෝධීන්, මානසික රෝගීන් හා මත්වී සිටින පුද්ගලයින්ව හඳුනා ගනු ලබන්නේද අනෙකුත් පුද්ගලයින් විසිනි. මේ හැමවිටකම සිදු වන්නේ තමන්ට පුද්ගල අයිතිවාසිකම් ඇතැයි සම්මත කරගත්, බලය ඇති වැඩි පිරිසක් එකතු වී තමන්ගේ තේරීම් සමඟ නොපෑහෙන තේරීම් කරන අයව මේ බලය ඇති ප්‍රමුඛ කණ්ඩායමෙන් බැහැර කිරීමයි. (මෙසේ අන්තිමට ඉතිරි වන අයිතිවාසිකම් ඇති පුද්ගලයින් අතරද වෙනත් තල ගණනාවකදී දී මීට සමාන බැහැර කිරීම් සිදු වන අතර ලෝක දේශපාලනය තුළ රටවල් වලට ඇති 'සමානත්වය' උදාහරණයකි.)

ඇමරිකාවේ හෝ වෙනත් දියුණු සමාජයක සිරකරුවෙකුට, මානසික රෝගියෙකුට, දරුවෙකුට හෝ සතෙකුට තමන්ට අවශ්‍ය තේරීම් කිරීමට සීමිත නිදහසක් ඇතත්, පූර්ණ නිදහසක් නැත. තමන් කැමති තේරීම් කිරීමේ පූර්ණ නිදහසක් නැති මෙවැනි කණ්ඩායම් වලට නිදහස තිබිය යුත්තේ කවර ආකාරයේ තේරීම් කිරීමටද යන්න තීරණය කරන්නේ "පුද්ගල අයිතිය" හිමි "පුද්ගලයින්" ලෙස තමන්වම සම්මත කරගෙන සිටින හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි ගැහැණුන් හා මිනිසුන් විසිනි. මෙහි පදනම බලය මිස වෙන කිසිවක් නොවේ. තීරණ ගැනීමේ නිදහස හා පුද්ගල අයිතිවාසිකම් සංකල්ප පිටුපස අවසාන වශයෙන් ඇත්තේ බලයයි.  "හොඳ සිහියෙන් සිටින" හෝ "වයස් පූර්ණත්වයට පැමිණි" වැනි කරුණු තීරණය කරමින් නිර්ණායක හදන්නේ මේ "බලය අල්ලාගෙන සිටින" නිරෝගී, වැඩිහිටි ගැහැණු හා පිරිමි කණ්ඩායම හෝ ඇතැම් විට ඒ කණ්ඩායම තුළත් බලය හිමි වෙනත් උප කණ්ඩායමකි.

කවුරු මොන දාර්ශනික කතා කිවුවත් කාලයක් ගැහැණුන් හා කළු මිනිසුන් තීරණ ගැනීමේ පූර්ණ අයිතිය ඇති පුද්ගලයින් නොවීමේත්, ඉහත විස්තර කළ පිරිස් වලට එවැනි පූර්ණ අයිතියක් අදටත් නොතිබීමේත් පදනම බලය තිබීම හා නොතිබීමේ වෙනසයි. අලින්ට හෝ රිළවුන්ට මිනිසුන්ව බලයෙන් අභිබවිය හැකිනම් අවසාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ අලින්ගේ හෝ රිළවුන්ගේ කැමැත්ත මිස මිනිසුන්ගේ කැමැත්ත නොවේ.

මිනිස් කළලයකට බලයක් යෙදවීමේ හැකියාවක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා අවසාන වශයෙන් මිනිස් කළලයක පැවැත්ම තීරණය කෙරෙන්නේ බලය ඇති "පුද්ගලයින්ගේ" අභිලාශ පරිදිය. මා මෙහි සාකච්ඡා කරන්නේ හරි දෙය හෝ වැරදි දෙය ගැන නොවේ. ඇත්තටම සිදුවන දෙයයි.

වයස අවුරුදු දහඅටක් යාන්තමින් සම්පූර්ණ කළ අයෙකුට රටේ ජනාධිපති විය යුත්තේ කවුදැයි තීරණය කිරීමට ඉඩක් ලැබුණත් වයස දිනකින් අඩු අයෙකුට ඒ අවස්ථාව නොලැබේ. එහෙත්, වයස දහඅට සපුරන මොහොතේ දරුවෙකු ක්ෂණිකව පරිණත වී "පුද්ගලයෙකු" බවට පත් වන්නේ නැත. මෙහිදී සිදු වී ඇත්තේ ඒ නිශ්චිත කඩඉම පසු කළ අයෙකු තමන්ගේ කණ්ඩායමට ඇතුළු කර ගැනීම බලය අතේ ඇති අයගේ තේරීම වීම පමණි.

දරුවෙකු මවු කුසෙන් එළියට පැමිණි වහාම සිදුවන ලොකුම වෙනස ඔහුට හෝ ඇයට එතැන් සිට අම්ලකර වායුව වායුගෝලයෙන් සෘජුව උරා ගන්නට හැකි වීමයි. එපමණකින් මේ දරුවා ස්වාධීන පුද්ගලයෙකු වන්නේ නැත. දරුවාගේ ආහාර තවදුරටත් පෙකණි වැල හරහා නොපැමිණියත්, ආහාර ලැබෙන්නේ මවගෙනි. මිනිස් දරුවෙකුට "සාමාන්‍යයෙන්" උපත ලබා සෑහෙන කලක් යන තුරුම "ස්වාධීනව" ජීවත් වීමේ හැකියාවක් නැත.

"පුද්ගලයෙකු" හෝ "මිනිසෙකු" බිහිවන නිශ්චිත මොහොතක් තීරණය කිරීම තර්කානුකූලව කළ නොහැකි දෙයකි. එය කළ හැක්කේ සම්මතයෙන් පමණි. උපත ලබන දරුවෙකුට මවගෙන් වෙන්වී ස්වාධීන ජීවිතයක් ආරම්භ කළ හැක්කේ වෙනත් මිනිසුන්ගේ උපකාර ලැබේනම් පමණි. මවු කුසෙන් එළියට පැමිණීම නිසා දරුවෙකු හා මවක අතර ඇති සම්බන්ධය නැති වන්නේ නැත.

වෛද්‍ය විද්‍යාව දියුණු වන්නට පෙර දරුවෙකු මවු කුසෙන් එළියට එන නිශ්චිත මොහොතට අදට වඩා වැදගත්කමක් තිබුණේය. ඒ කාලයේ ස්වභාවික ලෙස මවු කුසෙන් එළියට පැමිණි දරුවෙකුට උදවු කරන්නට වෙනත් මිනිසුන්ට හැකි වුවත්, එතෙක් දරු ගැබ රැකගැනීම කළ යුතු වූයේ මව විසිනි. මව විසින් දරුවෙකු බිහි කරන තුරු වෙනත් අයට කළ හැකි දෙයක් නොවීය.

කෙසේ වුවද අවුරුදු දෙදහස් තුන්සීයකට පෙර පවා නූපන් දරුවෙකුගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මිනිසුන් ක්‍රියාත්මක වී ඇති බවට හොඳම උදාහරණය අශෝක අධිරාජයාගේ පියා වූ බින්දුසාර රජුගේ උපත පිළිබඳ කතාවයි. බින්දුසාරගේ පියා හා අශෝකගේ සීයා වූ චන්ද්‍රගුප්ත මයුරට රාජ්‍ය බලය ගැනීමට උදවු කළ අර්ථශාස්ත්‍ර ග්‍රන්ථයේ කතුවරයාද වන චානක්‍ය හෙවත් කෞටිල්‍ය විසින් චන්ද්‍රගුප්ත මයුර කිසියම් විෂක් ශරීරගත වී මිය යාමට ඇති ඉඩකඩ වැළැක්වීමට ඔහුගේ ආහාරයට දිනපතා විෂ වර්ග සුළු මාත්‍රාවක් එකතු කළේය. මේ මාත්‍රාව දිනපතා ක්‍රමයෙන් වැඩි කිරීම මඟින් චන්ද්‍රගුප්තට වෙනත් අය මරණයට පත් කරන මට්ටමේ විෂක් ආහාරයට ගැනීම ප්‍රශ්නයක් නොවන ප්‍රතිශක්තියක් ලැබී තිබුණත් මේ බව දැන සිටියේ චන්ද්‍රගුප්ත මයුර හා කෞටිල්‍ය පමණි. 

බින්දුසාර ලැබෙන්නට ආසන්නව සිටි චන්ද්‍රගුප්ත මයුරගේ බිසව ආහාර වල විෂ ඇති බව නොදැන රජුගේ අහරින් ඉතිරිව ඇති කොටසක් අනුභව කරන බව කෞටිල්‍ය හදිසියේම දැක්කේය. එකතු කර ඇති විෂ ද්‍රව්‍ය වල ස්වභාවය අනුව දේවිය ඉතා ඉක්මණින් මරණයට පත් වීම නොවැලැක්විය හැකි බව දැන සිටි ඔහු, දරු ගැබට විෂ සම්ප්‍රේෂණය වන්නට පෙර ක්ෂණිකව දේවිය මරණයට පත් කර අසිපතෙන් කුස පලා දරුවා එළියට ගත්තේය. ගැබ මෝරා තිබුණු බැවින් කිරිමවුවරුන් යොදවා දරුවා ජීවත් කරවිය හැකි විය.

බින්දුසාරගේ කතාවේ මෙන් මවත් දරුවාත් දෙදෙනාම බේරාගත නොහැකි අවස්ථා දැනුත් ඇතැම් විට එළැඹේ. මෙවැනි බොහෝ අවස්ථා වලදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ මවගේ ජීවිතය බේරා ගැනීමටය. එහෙත්, එහි අනිත් පැත්ත සිදුවන අවස්ථාද තිබේ. මෙහිදී යොදාගැනෙන මූලධර්මය වන්නේ ජීවත් කරවීමට වැඩි සම්භාවිතාවක් ඇති ජීවිතය රැක ගැනීමට ප්‍රමුඛතාවය දීමයි.

වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මේ වන විට සති 22 නොඉක්මවූ කළල පවා ගර්භාෂයෙන් පිටත ජීවත් කරවීමේ හැකියාව තිබේ. ඉදිරියේදී තත්ත්වය වෙනස් විය හැකි වුවත්, සති 21 නොඉක්මවූ කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවීමේ හැකියාවක් තවමත් නැත. සති 22-26 අතර සෑම දිනකදීම මිනිස් කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවීමේ හැකියාව වේගයෙන් ඉහළ යන අතර සති 27 පමණ වන විට මේ සම්භාවිතාව 90% ඉක්මවයි. ඒ නිසා සති 21-22 පමණ වයසැති කළලයක් යනු මවගෙන් බාහිර පැවැත්මක් තිබිය හැකි ජීවියෙකි. ඊට අඩු වයසක කළලයකට වෛද්‍ය විද්‍යාවේ උදවුවෙන් වුවත් එසේ මවගෙන් ස්වාධීනව ජීවත් වීමට තවමත් නොහැකිය. 

සති 22 නොඉක්මවූ කළල පවා ගර්භාෂයෙන් පිටත සාර්ථකව ජීවත් කරවා ඇති අවස්ථා ඇතත්, කළලයක වයස අඩු වන තරමට ගර්භාෂයෙන් පිටත ජීවත් කරවීම අපහසු වෙයි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු අඩු වයස් කලයක් ජීවත් කරවීමට උත්සාහ දරන්නේ එම මිනිස් කළලය "ජීවත්වන්නට උවමනාවක්" කිසියම් අයුරකින් හෝ පෙන්වන්නේනම් පමණි. මෙය අත පය හෙලවීමක්, හුස්ම ගන්නට උත්සාහ කිරීමක් වැනි දෙයක් විය හැකිය.

මිනිස් කළලයකට ගර්භාෂයෙන් එළියට පැමිණ ජීවත් වීමේ හැකියාවක් ඇත්ද යන්න වෙනත් පුද්ගලයින්, වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා ප්‍රදේශය වැනි බාහිර සාධක මත තීරණය වන්නක් මිස එම කළලය විසින් තීරණය කරන්නක් නොවේ. ඒ නිසා, දැනට මිනිස් කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවිය හැකි අවම වයස යනු තවත් එක් අහඹු දිනයක් නිසා "පුද්ගලයෙකු" හෝ "ජීවියෙකු" බිහිවන සුවිශේෂී දවසක් නොවේ. වෛද්‍ය විද්‍යාව දියුණු වන විට දැනට ජීවත් කළ හැකි වයසට වඩා අඩු වයසක කළල වුවද ගර්භාෂයෙන් පිටත ජීවත් කරවිය හැකි වනු ඇත. ජීව විද්‍යාත්මක ලෙස බැලුවොත් මිනිස් කළලයක් පිළිසිඳගත් දින සිට සෑම දිනකම එම කළලය ක්‍රමයෙන් වර්ධනය වන අතර මවු කුස තුළදී හෝ පුද්ගලයෙකු බිහිවී, ජීවත් වී, මිය යන තුරු කිසිම දවසක එහි එකවර ලොකු වෙනසක් සිදුවන්නේ නැත. ඒ නිසා, ඉතා පැහැදිලිවම ජීවයේ මුල්ම අවස්ථාව පිළිසිඳගන්නා අවස්ථාවයි.

ගබ්සාවට පක්ෂ මතවාදයේ එක් කොනක ඇත්තේ "ඇගේ ගර්භාෂය ඇගේ අයිතිය" යන අදහසයි. ගර්භාෂයෙන් පිටත මිනිස් කළලයක් බිහි කරගැනීමේ හැකියාවක් ඇතත්, කාන්තාවකගේ ගර්භාෂයක් උදවු කර නොගනිමින් මිනිස් ජීවයක් බිහි කර ගැනීම් හැකියාවක් තවමත් නැත. මෑතකදී කෘතීම ගර්භාෂ තුළ සාර්ථක ලෙස බැටළු පැටවුන් වර්ධනය කරගෙන ඇති බැවින් ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් විය හැකි වුවත්, දැනට පවතින තත්ත්වය අනුව ගර්භාෂය යනු උපත ලබන්නට නියමිත ජීවියෙකුටද අයිතියක් ඇති තැනකි.  "ඇගේ ගර්භාෂය ඇගේ අයිතිය" යන අදහසට තේරුමක් තිබෙන්නේ කිසියම් නිශ්චිත වයසක් පසු කරන තුරු මිනිස් කළලයකට (හෝ මිනිස් දරුවෙකුට) පුද්ගල අයිතිවාසිකම් නැතැයි යන අදහසට තේරුමක් ඇත්නම් පමණි. එවැනි අදහසකට සමාජ සම්මතය තුළ මිස ජීවවිද්‍යාත්මක තේරුමක් නැත.

කෙසේ වුවද, අලුත් ජීවියෙකු බිහි කිරීම තවදුරටත් "දෙවියන්ගේ කැමැත්ත පරිදි" සිදුවන අහඹු සිදුවීමක් නොවේ. හැම විටම නොවූවත්, බොහෝ දුරට දරුවෙකු බිහි කිරීම යනු එහි වැඩි බර දරන ගැහැණියකගේ කැමැත්තෙන් ගන්නා තීරණයක ප්‍රතිඵලයකි. උපත් පාලන ක්‍රම සොයාගැනීමත් සමඟ ලිංගික එක්වීමක් යනු තවදුරටත් ගැබ් ගැනීම් වලින් කෙළවර විය යුතු දෙයක් නොවේ. කවර හෝ හේතුවක් නිසා ගැබ් දරන්නට අකැමැති ගැහැණියකට ගැබ් ගැනීමේ අවදානම නොගනිමින් ලිංගිකව එක්වීමේ හැකියාව දැන් තිබේ. මෙය වෙනත් සතුන් කිසිවෙකුට නැති, මානව ඉතිහාසය පුරා මිනිසුන්ටද නොතිබුණු සුවිශේෂී හැකියාවකි.

ලිංගික එක් වීමෙන් වැලකී සිටීම මඟින් හැර, ගැබ් ගැනීම ගැහැණුන්ට පාලනය කළ නොහැකි වූ අතීතයේ ගැහැණුන්ගේ ගැබ් ගැනීම් සියල්ලම සජීවී දරු උපත් වී පසුව වැඩිහිටි පුද්ගලයින් බවට පත් වීමෙන් කෙළවර වුණේ නැත. උපතින් පසු පළමු මාස හා වසර කිහිපය තුළ ජීවිතය දිගටම පවත්වා ගැනීමේ හැකියාව ලැබුණේ ජීව විද්‍යාත්මකව ශක්තිමත් දරුවන්ට පමණි. 

මිනිස් සංස්කෘතිය ක්‍රමයෙන් දියුණු වෙද්දී මේ ජීව විද්‍යාත්මක වරණයට වඩා වැදගත් සාධකයක් ලෙස දෙමවුපියන් ප්‍රධාන වැඩිහිටි මිනිසුන්ට දරුවන් වෙනුවෙන් කළ හැකි ආයෝජනයේ තරම වරණීය සාධකය බවට පත් විය. අද වන විට දරුවකු බිහි කිරීම බොහෝ දුරට දෙමවුපියන්ගේ සවිඥානක තීරණයක ප්‍රතිඵලයක්ව පවතින අතර පරිසර සාධක මත හොඳම අයට ඉතිරි වන්නට ඉඩ හරිමින් වැඩි දරුවන් ගණනක් බිහිකිරීම වෙනුවට ගුණාත්මක භාවයෙන් වැඩි සීමිත දරුවන් ගණනක් බිහි කිරීම අද බොහෝ දෙමවුපියන්ගේ තේරීමයි.

කෙසේ වුවද, ගැහැණියක් ගැබ් ගැනීම හැමවිටම ඇගේ සවිඥානක තීරණයක ප්‍රතිඵලයක් නොවේ. ගැහැණියකට තමන්ගේ අකැමැත්තෙන් පිරිමියෙකු සමඟ ලිංගිකව එක් වන්නට සිදුවීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත ලෙස ගැබ් ගන්නට සිදුවීමත් ඉතා සාමාන්‍ය තත්ත්වයකි. ඇමරිකාවේ ගැබ් ගැනීම් වලින් අඩකට වඩා අනපේක්ෂිත ගැබ් ගැනීම්ය. එයින් අදහස් වන්නේ මේවා ස්ත්‍රී දූෂණ බව නොවේ. අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් විශාල ප්‍රමාණයක් සිදුවන්නේ විවාහ සංස්ථාව තුළමය. ඇමරිකාව වැනි ලිංගික ප්‍රවේශය ගැහැණියගේ කැමැත්ත මත තීරණය විය යුතු රටක පවා තත්ත්වය එවැනිනම් ලංකාව වැනි රටක තත්ත්වය සිතාගන්නට බැරිකමක් නැත. 

අනවශ්‍ය ගැබ් ගැනීමක් නිසා ඇති වන පීඩාව කෙතරම් වුවත්, ඇමරිකාව වැනි ගබ්සාවට නීත්‍යනුකූල බාධා ඉතා අඩු රටක වුවද ගබ්සා වලින් කෙළවර වන්නේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් 40%ක පමණ ප්‍රමාණයක් පමණි. ගැබ දැරීම කොපමණ පීඩාවක් වුවත් ආගමික, ආචාර ධර්මීය, සමාජයීය හා ආර්ථික වැනි විවිධ කරුණු නිසා බොහෝ කාන්තාවෝ කැමැත්තෙන් සිය ගැබ ඉවත් කරගැනීමට නොපෙළඹෙති. එසේ පෙළඹෙන කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක්ද එය කරන්නේ වෙනත් කරන්නම දෙයක් නැති නිසා මිස "ආතල් එකට" නොවේ. මේ බොහෝ කාන්තාවෝ ගබ්සා කිරීමට පෙර හා පසුව, ඇතැම් විට ගබ්සාවකින් වසර ගණනක් යාමෙන් පසුත් මානසිකව පීඩා විඳිති. එසේ මානසික පීඩාවක් විඳිමින් ගබ්සාවක් කිරීමට කාන්තාවක් පෙළඹෙන්නේ ගැබ දැරීමේ මානසික, ශාරීරික හා සමාජමය පීඩාවන්ගේ බර ගබ්සා කිරීමේ පීඩාවට වඩා වැඩි බැවිනි. ලංකාව වැනි ගබ්සාව නීති විරෝධී ලෙස සැලකෙන රටක මේ මානසික පීඩාව වඩාත් උග්‍රය.

ගබ්සාව නිවැරදිද යන ගැටළුවට අවශ්‍ය වන්නේ දාර්ශනික පිළිතුරක් නොව ප්‍රායෝගික පිළිතුරකි. දාර්ශනික පිළිතුරු මෙන් නොව, ප්‍රායෝගික පිළිතුරු සෑම සමාජයකටම හා සෑම කාලයකටම එක සේ ගැලපෙන්නට අවශ්‍ය නැත. පිළිතුර සොයාගත යුත්තේ කිසියම් සමාජයක දැනට පවතින තත්ත්වය මත පදනම්වය.

ලංකාවේ ගබ්සාව දැනට නීති විරෝධී වුවත් දිනපතාම විශාල ගබ්සා ප්‍රමාණයක් රට තුළ සිදුවන බව රහසක් නොවේ. මුදල් යහමින් ඇති, හොඳ සමාජ තත්ත්වයක් ඇති අයෙකුට ප්‍රවීණ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී සෞඛ්‍ය අවදානම් රහිතව මේ කටයුත්ත කරගත හැකි බවද රහසක් නොවේ. එවැනි හැකියාවක් නැති වැඩි දෙනෙකු වෙනත් විකල්ප කරා යොමු වෙති. සුදුසුකම් රහිත පුද්ගලයින් විසින් නිසි සනීපාරක්ෂක තත්ත්වයන් නැතිව සිදුකරන ගබ්සාවන් හේතුවෙන් සිදු වන මාතෘ මරණ දැනට ඉතා අඩුමට්ටමක ඇති ලංකාවේ මාතෘ මරණ අනුපාතය තවත් පහළ දමාගැනීමට ඇති විශාල බාධාවකි.

ගබ්සාවක් කිරීමට පෙළඹෙන කාන්තාවක් එය කරන්නේ එය තමන් සතු හොඳම විකල්පය බැවිනි. ගබ්සාවක් කරන වෛද්‍යවරයෙකු එය කරන්නේ මුදල් අය කර වුවත්, තමන් කරන්නේ වරදක් නොවන බව සිතන නිසාද බැවිනි. ඇමරිකන් වෛද්‍යවරුන් අතරද සැලකිය යුතු පිරිසක් ගබ්සාව වරදක්යයි සිතන අතර ඔවුහු ගබ්සා නොකරති. එසේනම්, ගබ්සාවක් යනු පාරිභෝගිකයෙක් හා සැපයුම්කරුවෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනුවකි. එවැනි ගනුදෙනුවකින් අයහපතක් විය හැක්කේ එයින් තෙවන පාර්ශ්වයකට අවැඩක් වන්නේය යන පදනමින් පමණි.

ගබ්සාවකදී අදාළ කළලයට ජීවත් වීමට ඇති අවස්ථාව නැති වේ. දැන් මෙහි ඇති ප්‍රශ්නය "පුද්ගලයෙකුගේ" හෝ "අනාගත පුද්ගලයෙකුගේ" ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තවත් පුද්ගලයෙකුට පීඩාවක් විඳින්නට බලකිරීමේ හැකියාවක් වෙනත් අයට (සමාජයට) තිබේද යන්නයි. වකුගඩු රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙකුට වෙනත් අයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම මඟින් ජීවත් වීමේ අවස්ථාව ලබා දිය හැකිය. මෙවැන්නෙකුට වෙනත් අයෙකුගේ වකුගඩුවක් නොලැබුණහොත් ජීවත් වීමේ අයිතිය නැති වන්නට පුළුවන. එසේනම්, නිරෝගී වකුගඩු දෙකක් ඇති අයගේ එක් වකුගඩුවක් වකුගඩු රෝගීන්ගේ ජීවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් ලබා දිය යුතු බව සමාජයට බලකළ හැකිද?

එක් අයෙකුගේ ජීවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් වෙනත් අයෙකු වකුගඩුවක් නැතුව ජීවත් වීමේ හා වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍ය කර්මයට මුහුණ දීමේ පීඩාව විඳිය යුතුය යන අදහස විකාර අදහසක් බව බොහෝ දෙනෙකු කියනු ඇත. එහෙත්, යමෙක් කැමැත්තෙන්ම මේ පීඩාව විඳිමින් වකුගඩුවක් පරිත්‍යාග කරන්නේනම් එහි ගැටලුවක් නැත.

කාන්තාවන් සතු ගැබ් දැරීමේ හෝ නොදැරීමේ අයිතියද ඉහත ආකාරයේ එකකි. එහි පීඩාව යම් කාන්තාවක් විසින් ස්වේච්ඡාවෙන් විඳින්නේනම් ගැටළුවක් නැතත්, ඇයගේ කැමැත්තක් නැතිව, වෙනත් ජීවයක් රැක ගැනීමේ අරමුණින් ඇයට පීඩාවක් විඳින්නට බල කිරීම ජීවිතයක් බේරීම සඳහා කාගේ හෝ වකුගඩුවක් බලහත්කාරයෙන් ලබා ගැනීමෙන් වෙනස් නොවේ. 

මිනිස් ජීවිතයකට වුවද නිශ්චිත මිලක් තිබේ.

(Image: http://www.dailymail.co.uk/femail/article-1021034/The-tiniest-survivor-How-miracle-baby-born-weeks-legal-abortion-limit-clung-life-odds.html)

Sunday, September 3, 2017

ලංකාවේ මාතෘ මරණ

පසුගිය සියවසේ මුල් කාර්තුවේදී ලංකාවේ මාතෘ මරණ අනුපාතය ලක්ෂයකට 2000-2500 පරාසයේ ඉහළ අගයක පැවතුණු අතර එම පරාසයද ඉක්මවා 2679.6 මට්ටමට ගිය අවස්ථාද තිබුණේය. රටේ සමාජ-ආර්ථික සංවර්ධනය, සාක්ෂරතාව වැඩි වීම සමඟ ජනගහණයේ සෞඛ්‍ය දැනුම ඉහළ යාම, නිදහස් සෞඛ්‍ය සේවය, ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු වීම, සංක්‍රාමික රෝග පාලනය වීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැපයීම විධිමත් ලෙස සිදුවීම ආදී හේතු නිසා මේ අනුපාතය ක්‍රමයෙන් අඩු වූ අතර මේ වන විට (2016) ලක්ෂයකට 33.7ක පමණ ඉතා පහළ මට්ටමකට අඩු වී තිබේ. 

දියුණු වෙමින් පවතින රටවල මාතෘ මරණ වලට බලපාන ප්‍රධානම හේතුවක් වන්නේ පසුප්‍රසව රුධිර වහනයයි. ලංකාවේ මේ හේතුව නිසා සිදුවන මරණ මේ වන විට ඉතාම අඩු ප්‍රමාණයකි. රම්‍යා කුමාර් විසින් 2013දී පළ කළ පර්යේෂණ පත්‍රිකාවකට අනුව 2001-2008 කාලය තුළ පසුප්‍රසව රුධිර වහනය නිසා සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව, නීති විරෝධී ගබ්සා හේතුවෙන් සිදුවන මාතෘ මරණ සංඛ්‍යාවේ මට්ටමට ඉතා සීඝ්‍රයෙන් අඩු වී තිබේ.


2014 වන විට නීති විරෝධී ගබ්සා නිසා සිදුවන මරණ ප්‍රමාණය තිබෙන්නේ පසුප්‍රසව රුධිර වහනය නිසා සිදුවන මාතෘ මරණ සංඛ්‍යාවටද වඩා ඉහළිනි. පෙනහළු ආශ්‍රිත ආබාධ හා හෘදයාබාධ හැරුණු විට ලංකාවේ මාතෘ මරණ වලට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ අවිධිමත් ලෙස සිදුවන ගබ්සාවන්ය.


Friday, September 1, 2017

අවස්ථා හඳුනාගන්නෝ ආශීර්වාද ලද්දෝය!


පසුගිය අප්‍රේල් මාසයේ අග භාගයේදී වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණේ වත්පොත් පිටුවේ පළ කර ඇති සුරංගි ගුණවර්ධනගේ ප්‍රකාශයක් මේ වන විට 4,657 දෙනෙකු විසින් නැවත පළ කර ඇති අතර 237,000ක පිරිසක් මේ වන විට එය නරඹා තිබේ. ඇය අදාළ ප්‍රකාශය කර ඇත්තේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා වන මහජන කොමිසම හමුවේය. මේ කොමිසම හමුවේ තවත් බොහෝ දෙනෙකු සාක්ෂි දී ඇති බව පෙනේ. ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ගැන සිතීම හා එවැන්නක් සකස් කිරීමට පෙර පාර්ශ්වකරුවන් රැසකගෙන් සාක්ෂි විමසීම නරක දෙයක් නොවේ.

සුරංගි ගුණවර්ධනගේ සාක්ෂිය බොහෝ දුරට ඇයගේ පෞද්ගලික අත්දැකීම් හා අදාළ වූවකි. එහෙත්, ලංකාවේ සේවා වෙළදපොල, ශ්‍රම වෙළඳපොළ, ව්‍යවසායකත්වය, තරඟකාරීත්වය ආදී පුළුල් කරුණු රැසක් කෙරෙහි ඇගේ ප්‍රකාශය තුළ අවධානයට යොමු කෙරේ.

සුරංගි ගුණවර්ධන යනු කමියුනිකේෂන් ඉංජිනියර්ස් ලංකා පෞද්ගලික සමාගමේ විකිණීම් හා අලෙවිකරණ අධ්‍යක්ෂිකාවයි. ඇගේ ප්‍රකාශය අනුව මේ සමාගම පවුලේ සමාගමකි. සමාගමේ අනෙකුත් අධ්‍යක්ෂවරුන් අතර සුරේන් ගුණවර්ධන (කළමනාකරණ අධ්‍යක්ෂ), සමන්මලී ගුණවර්ධන (පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂිකා), සුරම්මි ගුණවර්ධන (තාක්ෂණික අධ්‍යක්ෂිකා), සුරංග ගුණවර්ධන (තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ) යන අය සිටිති. ප්‍රේමලාල් කුරුප්පු ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත්, උදය ද සිල්වා සාමාන්‍යාධිකාරී ලෙසත් කටයුතු කරති.

සමාගමේ වෙබ් අඩවියේ ඇති තොරතුරු අනුව වසර පහළොවකට පෙර 2002 වසරේදී සේවකයින් 15 දෙනෙකු සමඟ ආරම්භ කර ඇති මෙම සමාගමේ සේවක සංඛ්‍යාව 2014 දෙසැම්බර් වන විට 125ක් දක්වා වර්ධනය වී ඇති අතර 2017 මාර්තු වන විට 24 දක්වා අඩු වී තිබේ. සුරංගි ගුණවර්ධනගේ ප්‍රකාශය අනුව, වසර ගණනක් දිගින් දිගටම ලාබ ලබා ඇති ඇගේ පවුලේ සමාගමට පාඩු සිදුවන්නට පටන්ගෙන ඇත්තේ එයාටෙල් සමාගම විසින් ලංකාවේ විදුලි සංදේශ සේවා සැපයීම ඇරඹීමෙන් පසුවය. ඇය සෘජුව කියන්නේ නැතත්, ඇගේ සමාගම වැනි දේශීය සමාගම් වලට ලාභ ලැබීමට ඉඩ සලසමින් රජය විසින් සමාගම් අතර තරඟකාරීත්වයට බාධා පැමිණවිය යුතු බව ඇය යෝජනා කරන බව පෙනේ. ඊට අමතරව, ලංකාවේ රාජ්‍ය සරසවි වලින් උපාධි ලබාගන්නා අය විදෙස් රටවලට සංක්‍රමණය වීම වැළැක්වෙන හෝ සීමා කෙරෙන පරිදි මැදිහත්වීම් කළ යුතු බව ඇය සෘජුවම යෝජනා කරයි.

සුරංගිගේ සමාගම ලංකාවේ විදුලි සංදේශ සේවා සපයන ආයතන වලට අතරමැදි සේවා සපයන ආයතනයකි. වඩාත් පැහැදිලිව කිවුවොත්, ඔවුන් කරන්නේ ජංගම දුරකථන සේවා සපයන ඩයලොග්, මොබිටෙල් වැනි ආයතන වල ආවරණය පුළුල් කිරීම සඳහා සංඥා කුළුණු හා ඒවාට සවිකරන විවිධ උපකරණ එම සමාගම් වෙනුවෙන් කොන්ත්‍රාත් පදනමක් යටතේ සවි කිරීමයි. මෙවැනි කටයුත්තක් කිරීම සඳහා සුවිශේෂී පුහුණු ශ්‍රමයක් අවශ්‍ය වේ. මෙවැනි තාක්ෂණික සේවා සපයන ආයතනයක අවසාන වශයෙන් සවිකිරීම් කරන සේවකයින්ට පමණක් නොව ඔවුන්ව මෙහෙයවන කළමණාකරුවන්ටත්, ව්‍යාපාරය මෙහෙයවන අධ්‍යක්ෂවරුන්ටත්, සිය සේවාවන් අළෙවි කරන අලෙවි ප්‍රවර්ධකයින්ටත් අදාළ විෂය පිළිබඳ තාක්ෂණික දැනුමක් තිබීම අවශ්‍යම කරුණකි. එසේ නැත්නම් මේ ආකාරයේ ව්‍යාපාරයකින් ලාබ ලැබිය නොහැකිය. කමියුනිකේෂන් ඉංජිනියර්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ප්‍රධාන නිලධාරීන් බහුතරය මේ ආකාරයේ ව්‍යාපාරයකට අතගහන්නට තරම් විධිමත් පුහුණුවක් ඇති අයයි.

සුරංගි ගුණවර්ධනගේ පියායැයි මා සිතන සුරේන් ගුණවර්ධන විසින් ඉතා දක්ෂ ලෙස වෙනත් අයට පෙර ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගෙන එම අවස්ථාවෙන් කාලයක් තිස්සේ වාසි ලබා ඇතත්, කලක් යද්දී ඔහු ඇතුළු කණ්ඩායමට තව දුරටත් සිය ව්‍යාපාරය ඒ අයුරින්ම කරගෙන ගොස් ලාබ ලබන්නට නොහැකි වී තිබේ. මෙම ව්‍යාපාරයේ නැගීම හා බැසීම තේරුම් ගැනීම සඳහා පළමුව ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රය තුළ පසුගිය දශක තුනකට ආසන්න කාලය තුළ සිදුවූ වෙනස් කම් වෙත අවධානය යොමු කළ යුතුය.

අසූව දශකයේ අවසානය වන තුරුම ලංකාවේ විදුලි සංදේශ සේවා සැපයීමේ වෙළඳපොළ තුළ තිබුණේ රාජ්‍ය ඒකාධිකාරයකි. විදුලි සංදේශ දෙපාර්තම්න්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් වූ පමණින්ද තත්ත්වයේ විශාල වෙනසක් නොවූ අතර 1990 පමණ වන විටත් දුරකථනයක් ලබා ගැනීමට වසර දහයකට හෝ ඇතැම් විට පහළොවකට වැඩි කාලයක් පොරොත්තු ලේඛණ වල සිටි අය ලංකාවේ ඕනෑ තරම් සිටියේය. ඒ දවස් වල නිවසකට හෝ ව්‍යාපාරික ආයතනයකට දුරකථනයක් ලබාගැනීම සඳහා ගත යුතු වූ ක්‍රියාමාර්ග සමාන කළ හැක්කේ අද ජනප්‍රිය පාසැලකට දරුවකු ඇතුළු කර ගැනීමට දෙමවුපියෙකු විසින් ගන්නා මහන්සියටය. මේ කාලයේදී දුරකතනයක් ලබා ගැනීමට අත යටින් කළ යුතු වූ ගනුදෙනු කිසිවෙකුට රහසක් හෝ අමුතු දෙයක් වුණේ නැත. ප්‍රාදේශීය විදුලි සංදේශ ඉංජිනේරුවෙකු යනු ඒ කාලයේ විශාල සිවිල් බලයක්ද තිබුණු පුද්ගලයෙකි. මේ කාලය ගැන නොදන්නා අයට අවශ්‍යනම් මේ හා අදාළ තවත් බොහෝ තොරතුරු ලියන්නට පුළුවන.

ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත සෘජු තරඟයක් දෙමින් නොවූවත්, සෙල්ටෙල් ආයතනය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේ 1989දී හෝ ආසන්න වසරකදීය. මගේ මතකය නිවැරදිනම්, එම සමාගම විසින් මුලින්ම අලෙවි කළ "ගඩොල් බාග" දුරකථනයක් එසේ අලෙවි කළේ රුපියල් 125,000ක් වැනි ඒ කාලයේ හැටියට ඉතා විශාල මුදලකටය. ඒ මුදලටත් දුරකථන සැලකිය යුතු ප්‍රමාණයක් අලෙවි විය. එයට එක් හේතුවක් වූයේ එම සමාගම පැමිණීමත් සමඟම දුරකථන පාරිභෝගිකයෙකුට පොරොත්තු ලේඛණයක නොසිට ක්ෂණිකව දුරකථනයක් මිල දී ගන්නට හැකියාවක් ලැබීමයි. එමෙන්ම, ඒ කාලයේ "පෝලිම පැන" ටෙලිකොම් දුරකථනයක් ගැනීමට අතයටින් වියදම් කළ යුතු වූ මුදලද ඉහත මුදල සමඟ සැසඳිය හැකි මට්ටමක වූ ලොකු මුදලකි. ජංගම දුරකථනයක් ස්ථිර දුරකථනයක් මෙන් එක් තැනක රඳවා තැබිය යුතු නොවීම වාසියක් වූ අතර, රටේ බොහෝ තැන්වල සංඥා නොතිබීම අවාසියක් විය. එන ඇමතුම් වලට ගෙවන්නට සිදුවීම ඇතුළු ඉතා අධික මාසික ගාස්තු තවත් අවාසියක් විය.

මේ මුල් යුගයේ ලංකාවේදී ජංගම දුරකථන හැඳින්වුණේ "සෙල්ටෙල්" නමිනි. වෙනත් සමාගම් ක්ෂේත්‍රයේ නොසිටි නිසා මේ හැඳින්වීමේ අවුලක් නොතිබුණේය. "ගඩොල් බාග" දුරකථන හැර තෝරා ගත හැකිව තිබුණු වෙනත් මාදිලි නොතිබුණේය. මා හිතන හැටියට මේ ගඩොල් බාගය ඉහත රූපයේ මුලින්ම ඇති මෝටරෝලා 8900x2 දුරකථනය වන්නට පුළුවන. මෙවැනි දුරකථනයක හිමිකාරිත්වය ප්‍රදර්ශනය කිරීම යනු කිසියම් පුද්ගලයෙකුගේ වත්කම් ප්‍රදර්ශනය කිරීමක්ද වූ අතර සිය නිවස, ඉඩකඩම් හෝ වාහන මෙන් නොව මෙය යන යන තැන ගෙන යන්නටද හැකි වූ නිසා ඒ කටයුත්ත ඉටු කරගැනීමට හිමි කරගත හැකිව තිබුණු ඉතා හොඳ තේරීමක් විය.

සෙල්ටෙල් දුරකථනයක් මෙතරම් ඉහළින් මිල කරමින් අදාළ සමාගම විසින් අනුගමනය කළේ අලෙවිකරණයේදී "price skimming" හෝ "cream skimming" ලෙස හඳුන්වන උපාය මාර්ගයයි. මෙහිදී කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වා දීමේදී ඉතා ඉහළ මිලක් නියම කරමින් පළමුව එය ධනවත් කමේ සංකේතයක් වන සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් කෙරේ. වැඩි අළෙවියක් සිදු නොවුනත් ඉහළ මිල නිසා සමාගමට ලාබ ලැබේ. ටික කලක් යන විට ඉහළම ආදායම් ස්ථරය අතර භාණ්ඩය විකිණී තවදුරටත් එය ඒ මිලට අලෙවි කර ලාබ ලැබිය නොහැකි වන විට මිල තරමක් පහත දැමීම මඟින් මේ ඉහළම ස්ථරය මෙන් සමාජයේ පෙනී සිටින්නට හදන ඊළඟ ස්ථරය ආකර්ශනය කර ගැනීම අලෙවිකරණ උපක්‍රමයයි. ඒකාධිකාරයක් ඇති සමාගමකට මේ උපක්‍රමය අනුගමනය කරමින් ක්‍රමයෙන් පහළ ආදායම් ලබන ස්ථර වෙත පිවිසිය හැකිය. උල්පත් පෑන් භාවිතයේ තිබුණු කාලයේ බෝල්පොයින්ට් පෑන් පළමුව වෙළඳපොලට හඳුන්වා දී ඇත්තේද මේ උපාය මාර්ගය අනුගමනය කරමින් ඉතා අධික මිලකටය.

මුලින්ම, රුපියල් 125,000කට අලෙවි කෙරුණු ගඩොල් බාග දුරකතනයක මිල පසුව රුපියල් 62,500ක් වී ක්‍රමයෙන් රුපියල් 7,500 පමණ දක්වාම (රුපියල් 15,000කට දුරකථන දෙකක්) අඩු විය. මේ අඩු වීම තාක්ෂණ දියුණුව නිසා හෝ තරඟකාරිත්වය නිසා සිදු වූ මිල අඩු වීමක් නොවේ. එය ඉන්පසුව සිදුවූවකි. පසුව ටිගෝ වී ඉන්පසුව එටිසලාට් වුනේ මේ සෙල්ටෙල් සමාගමයි.

සෙල්ටෙල් සමාගමට තරඟයක් දෙමින් 1992දී පමණ කෝල්ලින්ක් සමාගමත්, එයින් වසරකට පමණ පසුව මොබිටෙල් සමාගමත් ව්‍යාපාරික කටයුතු ආරම්භ කළෝය. කෝල්ලින්ක් සමාගම 1998දී පමණ හචින්සන් විය. ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් වසර නමයකට පමණ පසුව 2002දී මොබිටෙල් මිලදී ගත්තේය. කෝල්ලින්ක් සමාගම හා මොබිටෙල් සමාගම පැමිණීම නිසා නිසා සෙල්ටෙල් සමාගමට විශාල තරඟයකට මුහුණ දෙන්නට සිදුවුවත් වෙළදපොල පුරෝගාමියා වීමේ වාසිය එම සමාගම සතු වූ බැවින් තවත් කාලයක් යනතුරුම ලංකාවේ ජංගම දුරකථන වෙළඳපොළ ප්‍රමුඛයා වුනේ සෙල්ටෙල් සමාගමයි. එහෙත්, මේ සමාගම් අතර ඉතා දරුණු මට්ටමේ තරඟයක් ඇති වූ අතර එහි වාසිය පාරිභෝගිකයින්ට ක්ෂණිකවම ලැබුණේය.

සෙල්ටෙල් සමාගම ඒ වන විටත් "හොඳම" පාරිභෝගිකයින් පිරිස අල්ලාගෙන සිටියේය. ඔවුන්ට මේ පාරිභෝගිකයින් තවදුරටත් රැක ගන්නට අවශ්‍ය විය. සෙල්ටෙල් පාරිභෝගිකයින්ට එම සමාගමෙන් නොමිලේ ජංගම දුරකථන ලබා දෙන්නට වූ අතර මොබිටෙල් දුරකථනයක් රැගෙන එන අයට දුරකථන දෙකක්ම නොමිලේ ලැබුණේය. මෙයට ප්‍රතිචාර ලෙස මොබිටෙල් සමාගමද දුරකථන නොමිලේ ලබා දෙන්නට පටන් ගත්තේය. තරඟය හමුවේ මොබිටෙල් සමාගම කෙසේ හෝ අල්ලාගෙන සිටියත් අලුතින් වැඩ පටන්ගත් කෝල්ලින්ක් සමාගමට ඔලුව උස්සන්නවත් නොහැකි විය. එම සමාගම හචින්සන් සමාගමට විකුණන තුරුම ලාබ නොලැබූ බව මගේ අදහසයි.

අවසානයේදී සෙල්ටෙල් සමාගම අභිබවමින් ලංකාවේ ජංගම වෙළඳපොළ ප්‍රමුඛයා වන්නට සමත් වූ ඩයලොග් සමාගම සිවුවෙනියට මේ වෙළඳපොළට ඇතුළු වූ සමාගමයි. 1997 වසරේදී මා මුලින්ම මිලදී ගත් ජංගම දුරකථන සම්බන්ධතාවය ඩයලොග් සම්බන්ධතාවයකි. ඒ වන විට ඩයලොග් සංඥා තිබුණේ කොළඹ නගරයේද සීමිත තැන් වල පමණක් වූ අතර ඩයලොග් මූලස්ථාන කාර්යාලයේ සිට වැඩි දුරක නොවූ නාරාහේන්පිට මගේ නවාතැනේ සිට දුරකථන ඇමතුමක් ගන්නට වුවත් මිදුලට බහින්නට අවශ්‍ය විය. එහෙත්, අනෙක් සමාගම් තුනේ ඇනලොග් සම්බන්ධතා වෙනුවට ඩයලොග් සමාගම ඩිජිටල් සම්බන්ධතා ලබා දීමත්, එම සමාගම ඉතා වේගයෙන් ව්‍යාප්ත වනු ඇතැයි පැවති විශ්වාසයත් නිසා මම ඩයලොග් පාරිභෝගිකයකු වීමට තීරණය කළෙමි. මේ කාලයේ මේ සමාගම් හතරේම පෞද්ගලික මිතුරන් සිටීම හෝ ව්‍යාපාරික සම්බන්ධතා තිබීම නිසා එම සමාගම් වල ව්‍යාපාරික සැලසුම් ගැන දැනුමක්ද තිබුණු බැවින් සැසඳීමක් කිරීම අපහසු වුණේ නැත.

මේ කාලය වන විට ගඩොල් බාග මොටරෝලා යුගය අවසන්ව තිබුණු අතර වඩා හුරුබුහුටි නොකියා දුරකථන වෙළඳපොළේ ජනප්‍රියව තිබුණේය. මගේ පළමු ජංගම දුරකථනය වූයේ ඉහත රූපයේ දෙවන දුරකථනය වැන්නකි. එය මිලදී ගැනීමට මම රුපියල් 15,000ක් සහ එයට එකතු වූ බදු මුදල් ගෙවුවෙමි. මා ලංකාවෙන් පිටවන තුරු මෙන්ම 2009 වසරේදී පමණ එයාටෙල් සමාගම එකතු වන තුරු ලංකාවේ ජංගම දුරකථන සේවා සැපයීමේ වෙළඳපොළෙහි තිබුණේ සෙල්ටෙල් (ටීගෝ), මොබිටෙල්, හචින්සන් (කෝල්ලින්ක්) හා ඩයලොග් සමාගම් අතර තරඟයකි.

ජංගම දුරකථන සේවා සැපයීමේ වෙළඳපොළෙහි තරඟකාරීත්වය මෙසේ තියුණු වෙද්දී, ස්ථිර දුරකථන වෙළඳපොළ තුළද ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත පැවති ඒකාධිකාරය තර්ජනයට ලක්වෙමින් පැවතියේය. 1996 හෝ ආසන්න වසරකදී සන්ටෙල් සමාගමත්, 1997දී පමණ ලංකා බෙල් සමාගමත් රැහැන් රහිත තාක්ෂණයක් උපයෝගී කර ගනිමින් ස්ථිර දුරකථන සම්බන්ධතා ලබා දීම ඇරඹුවේය. (මේ ඇතැම් තොරතුරු මා ලියන්නේ මතකයෙන් නිසා හරියටම නිවැරදි නොවන්නට පුළුවන.) මෑතකදී ඩයලොග් සමාගම විසින් සන්ටෙල් සමාගම මිලදී ගත්තේය.

ඉහත කී තරඟය ඉතා තියුණු මිල යුද්ධයක් (price war) ඇති වූ අතර ඊට අමතරව, අමතර සේවාවන්, පාරිභෝගික සේවා, වැඩිම ප්‍රදේශ ආවරණය කිරීම, සම්බන්ධ වීමේ හැකියාව (congestion) හා සංඥා වල තත්ත්වය ආදී පෙරමුණු ගණනාවක මේ තරඟය සිදු විය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට ඒ වන විට දිවයින පුරා පැතිරුණු විදුලි සංදේශ යටිතල පහසුකම් ජාලයක් තිබුණේය. මෙවැනි යටිතල පහසුකම් ජාලයක් ස්ථාපනය කිරීම විශාල වියදමක් හා කාලයක් යන, ස්ථිර පිරිවැයක් ලෙස සැලකිය හැකි කටයුත්තකි. විදුලි සංදේශ සේවා සැපයීමේ කර්මාන්තයේ ස්වභාවය අනුව, ස්ථිර පිරිවැය දැරීමෙන් පසුව, දුරකථන සේවා සැපයීමේ ආන්තික පිරිවැය ස්ථිර පිරිවැයට සාපේක්ෂව නොගිණිය හැකි තරම් කුඩාය. මේ නිසා, කර්මාන්තයට මුලින් පිවිසි ආයතන වලට හැමවිටම වාගේ සාපේක්ෂ වාසියක් තිබේ. අලුතින් පැමිණි ආයතනයක් සේවා සැපයීම ඇරඹීමට පෙර විශාල ස්ථිර පිරිවැයක් දැරිය යුතු වුවත්, එම පිරිවැය දැනටමත් දරා ඇති ආයතනයකට ආන්තික පිරිවැය ඉක්මවන අඩු මුදලකට සේවා සපයමින් වුවද සැලකිය යුතු ලාබයක් ලැබිය හැකිය.

අලුතින් සේවා සැපයීම ආරම්භ කළ ජංගම දුරකථන සමාගම් හතරටත්, රැහැන් රහිත ස්ථිර දුරකථන සපයන සමාගම් දෙකටත් එක වර තමන්ගේ යටිතල පහසුකම් පුළුල් කරමින් ජාලය ව්‍යාප්ත කිරීමටත්, එසේ ජාලය ව්‍යාප්ත කිරීමට සමාන්තරව අලුත් සම්බන්ධතා අලෙවි කරමින් ස්ථිර පිරිවැය ආවරණය කර ගැනීමටත්, එසේ ලැබෙන අරමුදල් ආයෝජනය කරමින් ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීමට හා එහි සංඥා ප්‍රබලත්වය තවදුරටත් වැඩි දියුණු කරන්නටත් සිදුවිය. මේ අදියරේදී මේ සමාගම් සියල්ලම වගේ උත්සාහ කළේ හැකි ඉක්මණින් සිය ජාලය ව්‍යාප්ත කිරීම මඟින් වෙළඳපොළ අල්ලා ගැනීමටය.

උදාහරණයක් ලෙස අපි මාතර වැනි නගරයක් ගනිමු. කිසියම් ජංගම දුරකථන ජාලයක් විසින් එම නගරය ආවරණය කරන තුරු ඔවුන්ට මාතර නගරය අවටින් අලුත් පාරිභෝගිකයන් සොයා ගැනීම කළ නොහැකි තරම්ය. එහෙත්, මාතර නගරය ආවරණය වන පරිදි සංඥා කුළුණක් ස්ථාපනය කිරීමෙන් පසු එම සමාගමට මාතර නගරයේ හොඳම පාරිභෝගිකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් අල්ලා ගන්නට පුළුවන. දෙවනුවට මාතර නගරය ආවරණය කරමින් කුළුණක් පිහිටුවන සමාගමකට අලුතින් එකතු කර ගැනීමට විශාල පාරිභෝගික පිරිසක් ඉතිරි වී නැති නිසා ඔවුන්ට සිය ස්ථිර ආයෝජනය පියවා ගැනීම වඩා අසීරුය. අනෙක් අතට මාතර පාරිභෝගික ඉල්ලුම ඉහළ ගොස් පාරිභෝගිකයන්ට ජාලයට සම්බන්ධ වීම වඩා අපහසු වන විට, එහි දැනටම සිය යටිතල පහසුකම් ඇති පළමු සමාගමට සාපේක්ෂව අඩු වියදමකින් සමාන්තරව ලබා දිය හැකි සක්‍රිය සම්බන්ධතා ගණන වැඩි වන පරිදි හා සංඥා ශක්තිය වර්ධනය වන පරිදි තවත් ආයෝජනය කිරීම එහි කිසිදු යටිතල පහසුකමක් නැති සමාගමක් විසින් එවැන්නක් කරනවාට වඩා පහසුය.

රට පුරා තමන්ගේ ජාලයේ ආවරණය අනෙක් සමාගම් වලට පෙර වර්ධනය කර ගැනීමේ වාසි එපමණකදු නොවේ. කිසියම් ප්‍රදේශයක, උදාහරණයක් ලෙස මාතර, ජංගම දුරකථන ජාල දෙකක් මඟින්ම ඉතා හොඳ මට්ටමේ ආවරණයක් සපයන විට මිල වෙනසක් නැත්නම් ඒ දෙකෙන් වඩා ආකර්ශනීය වෙන්නේ දිවයිනේ වෙනත් ප්‍රදේශ වල වැඩි ආවරණයක් ඇති ජාලයයි.

කිසියම් සමාගමකට වෙළඳපොළ ඒකාධිකාරියක් ඇති විට ඔවුන්ට පාරිභෝගිකයින්ගෙන් වැඩි මිලක් අය කරමින්, නරක සේවයක් සපයමින් වුවද තවදුරටත් සිය ව්‍යාපාරය කරගෙන යා හැකිය. සමාගම් විශාල ගණනාවක් අතර තරඟයක් ඇති විට එවැනි අකාර්යක්ෂම සමාගම් වලට වෙළඳපොළෙහි රැඳී සිටිය නොහැකිය. වෙළඳපොළ යාන්ත්‍රණය විසින් අකාර්යක්ෂම සමාගම් ස්වභාවික ලෙසම ඉවත් කරන අතර වඩා කාර්යක්ෂම සමාගම් පමණක් ඉතිරිවන බැවින් පාරිභෝගිකයින්ට අඩු මිලක් හා හොඳ සේවාවක් ලැබේ.

සමාගම් හතරක් පහක් ක්‍රියාත්මක වන කතිපයාධිකාරී වෙළඳපොළක සමතුලිතතාව ඉහත අන්ත දෙක අතර ඕනෑම එකක් විය හැකිය. ඇතැම් විට සමාගම් සියල්ල සහයෝගයෙන් කාටලයක් ලෙස ක්‍රියාත්මක වී ඒකාධිකාර ලාබ උපයයි. ඇතැම් විට මේ සමාගම් අතර තරඟය සමාගම් විශාල ගණනාවක් ඇති තරඟකාරී වෙළඳපොළක මට්ටමටම උග්‍ර විය හැකිය. බොහෝ විට දැකිය හැක්කේ අතරමැදි තත්ත්වයකි.

සුරංගි ගුණවර්ධන විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට පැවසුවේයැයි කියන පරිදි "මහත්මයා ඔබ තුමන්ගේ ජීවිතයට මොනවා හරි සේවාවකට මිල අඩු වුන සේවාවක් තියෙනවනම් තියන්නේ මොනවාද, දුරකථන සේවාව" යන ප්‍රකාශය තහවුරු කරන්නට මා විසින් සංඛ්‍යාලේඛණ ඉදිරිපත් නොකරන්නේ එය කවුරුත් පිළිගන්නා ඇත්තක් බැවිනි. පසුගිය දශක තුනකට ආසන්න කාලය තුළ වෙනත් භාණ්ඩ හා සේවා සියල්ලකම පාහේ මිල සැලකිය යුතු තරමින් ඉහළ ගොස් තිබියදී දුරකථන සේවා හා අදාළව එවැන්නක් සිදු වී නැත.

ඉහත තත්ත්වයට හේතුවුණේ ලංකාවේ දුරකථන සේවා සපයන සමාගම් අතර ඇති වූ උග්‍ර තරඟයයි. මිල අඩු වීමට හේතුව තරඟය නොව තාක්ෂණ දියුණුව නිසා නිෂ්පාදන පිරිවැය අඩුවීම බව කෙනෙකුට කියන්නට හැකි වුවත් එය අර්ධ සත්‍යයක් පමණි. තාක්ෂනය නිසා නිෂ්පාදන පිරිවැය කෙතරම් පහත වැටුණත්, දුරකථන සේවා සැපයීමේදී ශ්‍රී ලංකා ටෙලිකොම්  ඒකාධිකාරයක් තිබුණානම් එම සමාගමේ ලාභ වැඩි වීම හෝ අකාර්යක්ෂමතා වැඩි වීම මිස පාරිභෝගිකයින්ට අඩු මිලක් හෝ හොඳ සේවාවක් ලැබෙන්නේ නැත. ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල අඩු වන තරමට ලංකාවේ පාරිභෝගිකයින්ට අඩු මිලට ඉන්ධන නොලැබෙන්නාක් මෙනි. එසේ වූවානම් තෙල් සංස්ථාව මෙන්ම ටෙලිකොම් ආයතනයද මැතිවරණ වලදී දේශපාලනඥයින්ට උදවු කළ අයට රැකියා සැපයීම වෙනුවෙන් පවත්වාගෙන යන ලාබ නොලබන ආයතනයක් විය හැකිව තිබුණි. එහෙත්, බාහිර තරඟය නිසා ටෙලිකොම් ආයතනයද වඩා කාර්යක්ෂම ආයතනයක් බවට රූපාන්තරණය විය.

ලංකාවේ දුරකථන සේවා සැපයීමේ වෙළඳපොල විනියාමනය (deregulation) ආරම්භ වූ අලුත සියලුම සමාගම් උත්සුක වූයේ හැකි ඉක්මණින් සිය යටිතල පහසුකම් පුළුල් කිරීමටය. මෙහිදී මේ සමාගම් වල මුල් ආයෝජන මෙන්ම ඉපැයූ ලාභද මුළුමනින්ම වාගේ වැය කෙරුණේ ඉහත අරමුණු වෙනුවෙනි. ඒ අතරම, ඒ වන විටත් විශාල යටිතල පහසුකම් ජාලයක් තිබුණු හා විශාල පාරිභෝගික පදනමක් තිබුණු ශ්‍රී ලංකා ටෙලිකොම් සමඟ තරඟ කිරීමටනම් එම සමාගමේ දුර්වලතා හඳුනාගෙන එවැනි අංශ වලින් ඉදිරියට යා යුතු විය.

පළමුව රාජ්‍ය සංස්ථාවක් බවටත්, දෙවනුව රජයට වැඩි කොටස් හිමි සමාගමක් බවටත් පත්ව තිබුණු රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වූ ශ්‍රී ලංකා ටෙලිකොම්හි කටයුතු ඒ කාලය වන විටත් කෙරුණේ බොහෝ දුරට පෞද්ගලික ආයතනයක සිදුවන ආකාරයට වඩා රාජ්‍ය ආයතනයක සිදුවන ආකාරයටය. වැඩක් කරන්නට හවුල් වන නිලධාරීන් ගණනට වඩා වැඩි නිලධාරීන් ගණනක් වැඩ නියම (work order) අත්සන් කිරීම කළ යුතු විය. මේ හේතුව නිසා ටෙලිකොම් ආයතනයට විශාල ස්ථිර ආදායමක් මෙන්ම විශාල ස්ථිර පිරිවැයක්ද තිබුණේය. මේ තත්ත්වය හඳුනාගත් අනෙකුත් සමාගම් සිය ස්ථිර සේවකයින් ප්‍රමාණය වැඩි කළේ ඉතාම සැලකිල්ලෙනි.

සුරංගි ගුණවර්ධනගේ පියායැයි මා සිතන සුරේන් ගුණවර්ධන විසින් සිය ව්‍යාපාරික කටයුතු අරඹන්නේ මේ අවස්ථාවේදී ඇති වූ රික්තකයක් ශූර ලෙස හඳුනාගනිමිනි. එක් පැත්තකින් අලුතින් ක්ෂේත්‍රයට පිවිසි දුරකථන සේවා සපයන සමාගම් වලට සිය යටිතල පහසුකම් වේගයෙන් පුළුල් කරන්නට අවශ්‍ය වූ අතර ඒ සඳහා පුහුණු ශ්‍රමය අවශ්‍ය විය. අනෙක් පැත්තෙන් ඔවුන්ට සිය ස්ථිර සේවක පිරිස් වැඩි කර ස්ථිර වියදම් ඉහළ නංවන්නට අවශ්‍ය නොවීය. ඒ නිසා, ඔවුන් විසින් කළ හැකිව තිබුණේ එවැනි පුහුණු මානව සම්පත් සැපයිය හැකි සමාගමකට අදාළ කාර්යයන් පැවරීමයි. සුරේන් ගුණවර්ධන විසින් උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස 1998දී පමණ මේ කටයුත්ත අරඹන්නට ඇති බවත්, පසුව 2002දී සිය බිරිඳ අධ්‍යක්ෂිකාවක ලෙස නම් කරමින් සමාගමක් ලියාපදිංචි කරන්නට ඇති බවත් සිතිය හැකිය. මේ මෙය ලංකාවේ බොහෝ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සිය ව්‍යාපාර අරඹන සාමාන්‍ය රටාවයි.

සමාගම් වෙබ් අඩවියේ ඇති තොරතුරු හා සුරංගි ගුණවර්ධනගේ ප්‍රකාශය අනුව 2002 වසරේදී සේවකයින් 15 දෙනෙකු පමණක් සේවය කර ඇති ඔවුන්ගේ සමාගමේ සේවක සංඛ්‍යාව 2014 දෙසැම්බර් වන විට 125ක් දක්වා වර්ධනය වී තිබේ. මෙයින් පෙනෙන්නේ මේ සමාගමට ඉතා වේගයෙන් වර්ධනය වීමට හැකි වන තරමට විශාල ලාභ ආන්තික මුල් කාලයේදී ලැබී ඇති බවයි. මේ කාලයේ ලංකාවේ දුරකථන සේවා සැපයීමේ වෙළඳපොළේ පැවති, ඉහත විස්තර කළ, තරඟකාරී වාතාවරණය තුළ මෙය මෙසේ සිදු විය යුතුය.

සුරේන් ගුණවර්ධන සිය ව්‍යාපාරය අරඹන විට ඔහුගේ පාරිභෝගිකයින් වූයේ එකිනෙකා සමඟ තරඟකරමින් සිටි දුරකථන සේවා සපයන සමාගම් හයකි. ඒ සෙල්ටෙල්, මොබිටෙල්, ඩයලොග්, හචින්සන්, සන්ටෙල් හා ලංකා බෙල් යන සමාගම්ය. මේ සියලුම සමාගම් වලට සිය තරඟකරුවන්ට පෙර රට පුරා ව්‍යාප්ත වීමට අවශ්‍ය විය. එහෙත්, ඒ කිසිවෙකුට සිය මානව සම්පත් සංචිත වැඩි කරන්නටද අවශ්‍ය නොවූ නිසා මේ කටයුත්ත වෙනත් අයෙකුට කොන්ත්‍රාත් දීම ගැන සලකා බලන්නට සිදුවිය. සුරේන් ගුණවර්ධන විසින් මේ අවස්ථාව කල් තියා හඳුනාගෙන සූදානම්ව සිටියත්, එවැනි වෙනත් සමාගම් විශාල ගණනාවක් ඒ විට රටේ තිබුණේ නැත. ඒ නිසා ආරම්භයේදී මේ කොන්ත්‍රාත් වල මිල තීරණය වුණේ සුරේන් ගුණවර්ධනගේ වාසියට මිස දුරකථන සේවා සපයන සමාගම් වල වාසියට නොවේ. 

දුරකථන සේවා සපයන සමාගම් උත්සුක වුණේ හැකි ඉක්මණින් වැඩි පාරිභෝගික පිරිසක් අල්ලා ගැනීමටය. ඒ සඳහා ඔවුන්ට හැකි ඉක්මණින් සිය යටිතල පහසුකම් දියුණු කරන්නට අවශ්‍ය විය. මේ සඳහා සුරේන් ගුණවර්ධනගේ සමාගමේ සේවාවන් ලබාගැනීමේදී මිල හෙට්ටු කර කර සිටිනවාට වඩා තරමක් වැඩි මිලක් ගෙවා හෝ ඉක්මණින් වැඩේ කර ගැනීම ඔවුන්ට වාසිදායක විය. මේ තත්ත්වය වාසියට හරවාගත් සුරේන් ගුණවර්ධනගේ සමාගමද වේගයෙන් ඉහළට පැමිණියේයැයි සිතිය හැකිය. 

එහෙත් මුලින් කොළඹට පමණක් සීමා වූ දුරකථන සේවා සපයන සමාගම් වල ව්‍යාප්තිය පසුව වෙනත් ප්‍රධාන නගර වලටත් වඩා ජනාකීර්ණ නාගරික නොවන ප්‍රදේශ වෙතත් ක්‍රමයෙන් පුළුල් වෙද්දී මේ තත්ත්වයද ක්‍රමයෙන් වෙනස් විය. මේ වන විට, ලංකාවේ ක්‍රියාත්මක දුරකථන සේවා සපයන සමාගම් සියල්ලම පාහේ බොහෝ දුරට ලංකාවම පාහේ ආවරණය කරයි. එයාටෙල් සමාගම ලංකාවට පැමිණෙන කාලය වන විටද අනෙකුත් ජංගම දුරකථන සේවා සපයන සමාගම් සියල්ලම පාහේ රට පුරා ව්‍යාප්ත වී සිටියේය.

එයාටෙල් සමාගමට පිවිසෙන්නට වූ වෙළඳපොළ ඩයලොග් හා මොබිටල් ආදී සමාගම් පිවිසෙන විට තිබුණු ආකාරයේ අසංතෘප්ත වෙළඳපොළක් නොවේ. එය වේගයෙන් වර්ධනය වෙමින් පැවති, එහෙත් සෑහෙන තරමින් සංතෘප්තව පැවති වෙළඳපොළකි. ඔවුන්ට ආවරණයෙන්, සේවා තත්ත්වයෙන් හෝ ජාලයේ විශාලත්වයෙන් අනෙක් සමාගම් සමඟ තරඟ කිරීමට හැකියාවක් නොතිබුණේය. කළ හැකිව තිබුණු එකම දෙය විශාල මිල තරඟයකට යාමයි. සිදුවුණු දෙය සුරංගි ගුණවර්ධනගේ වචන වලින්ම මෙසේය.

"නමුත් එයාටෙල් ලංකාවට ආපු වෙලාවෙ හුඟක් අයට මතක ඇති...SMS එකක් සත පණහට ගියා. එතකොට මාකට් එකේ රුපියල් දහයට තියෙන කෝල් චාජස් රුපියල් දෙකට එනකොට සම්පූර්ණයෙන්ම කම්පෙටිෂන් එකට ලොකු බලපෑමක් ඇති වෙනවා. එතකොට අනිත් සමාගම් ලාබ ලබන්න ඒ ගොල්ලොත් ක්‍රමවේද පාවිච්චි කරනවා."  

එයාටෙල් පැමිණීමත් සමඟ ඇති වූ මිල තරඟය නිසා ලංකාවේ ජංගම දුරකථන ගාස්තු එකවර විශාල ලෙස පහත වැටුණේය. කෙසේ වුවද, එය එසේ සිදුවුණු පළමු අවස්ථාව නොවේ. අනෙක් සමාගම් වෙළඳපොළට පැමිණි අවස්ථා වලදීද මීට සමාන විශාල මිල අඩුවීම් එක වර සිදුවිය.

උදාහරණයක් ලෙස ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ විනියාමනය ඇරැඹී සෑහෙන කලක් යන තුරුද ජාත්‍යන්තර දුරකථන ඇමතුම් හා අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම් සතුවූ ඒකාධිකාරය එළෙසම පැවතුණේය. මේ ඒකාධිකාරය ඉවත් කර අනෙක් සමාගම් වලටද ජාත්‍යන්තර ඇමතුම් ලබා ගැනීමට ඉඩ දුන් වහාම රුපියල් 100කට ආසන්නව පැවති ඇතැම් රටවලට මිනිත්තුවක ඇමතුම් වියදම රුපියල් 20 පමණ මට්ටම දක්වා අඩු කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින්මය. ඒ එසේ නොකළේනම් ඔවුන්ගේ වෙළඳපොළ අහිමි විය හැකිව තිබුණු බැවිනි.

කෙසේ වුවද, විදෙස් ඇමතුම් විනියාමනය කෙරෙන විට හෝ සෙල්ටෙල් මොබිටෙල් තරඟය ඇති වන විට මෙන් නොව එයාටෙල් වෙළදපොලට පැමිණෙන විට දුරකථන යනු තව දුරටත් පහළ හා පහළ මධ්‍යම පාංතිකයින්ටද අමුතු දෙයක් නොවූ පාරිභෝගික භාණ්ඩයක් විය. ඒ නිසා, එයාටෙල් නිසා ඇති වූ තරඟය රටේ වැඩි දෙනෙකුට දැනුණේය. ඇමතුම් ගාස්තු විශාල ලෙස අඩු වීම නිසා ජංගම දුරකථන රටේ ආදායම් හිනිපෙතේ තවත් ස්ථරයක් වෙත ලඟා විය. සුරංගි ගුණවර්ධනගේ ප්‍රකාශය අඩංගු වීඩියෝව බෙදාගනිමින් දේශීය ව්‍යාපාරිකයින් රැක නොගැනීම ගැන ආණ්ඩුවට බණින (එයාටෙල් ආවේ පසුගිය ආණ්ඩුව කාලයේ වුවත් සමහර අය බණින්නේ මේ ආණ්ඩුවට වීමද විශේෂත්වයකි.) බොහෝ අයට තමන්ගේ ප්‍රතිචාර දක්වමින් වත්පොතේ කල් මරන්නට හැකි වී තිබෙන්නේ මෙසේ එයාටෙල් පැමිණීමෙන් පසු දුරකථන සමාගම් අතර ඇති වුනු තරඟයේ අතුරු ප්‍රතිඵල නිසාය.

එයාටෙල් සමාගම විසින් මිල විශාල ලෙස පහත හෙළීම නිසා අනෙක් සමාගම් වලටද එසේ කරන්නට සිදු විය. ඒ නිසා, එම සමාගම් වල ලාබ අඩු විය. එහෙත්, ලාබ අඩු වීම යනු ලාබ නැති වීම නොවේ.

සමාගමක ලාබ අඩු වන විට ඕනෑම සමාගමක් විසින් ලාබ වැඩි කරගත හැකි මාර්ග සොයා බලයි. එයාටෙල් සමාගම පැමිණි කාලය වන විට ලංකාවේ ක්‍රියාත්මක වූ ජංගම දුරකථන සේවා සපයන සමාගම් සියල්ලම රටේ බොහෝ ප්‍රදේශ වෙත ව්‍යාප්ත වී අවසන්ව සිටි අතර යටිතල පහසුකම් වැඩි කර ගැනීමට මුල් කාලයේ තිබුණු තරම් හදිසියක් හෝ තරඟයක් මේ වන විට නොතිබුණේය. ඒ නිසා සුරංගි ගුණවර්ධනගේ පවුලේ ව්‍යාපාරය වැනි සමාගම් සමඟ හෙට්ටු කිරීමේදී දුරකථන සමාගම් සිටි අවාසිදායක තත්ත්වය තවදුරටත් එලෙසම නොපැවතුණේය. තමන් ඒ වන විට ලබාගත් සේවාවන් වඩා අඩු මිලකට ලබාගැනීමේ හැකියාවක් තිබේනම් එසේ නොකර සිටීම යනු සමාගමක ශේෂව ඇති අකාර්යක්ෂමතාවයන් තවදුරටත් එසේම පවත්වා ගෙන යාමකි. ලාභ පිණිස කටයුතු කරන සමාගමකට එසේ කරන්නට නුපුළුවන.

දුරකථන සමාගම් අතර තරඟය වැඩි වී මිල පහත වැටෙද්දී එම සමාගම් සිය පිරිවැය අඩු කළ හැකි ක්‍රම ගැන සොයා බලන්නට විශේෂයෙන් සැලකිලිමත් විය. තරඟය හේතුවෙන් සමාගම් වල ක්‍රියාකාරිත්වය තවදුරටත් කාර්යක්ෂම විය. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ උප කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන මිල අඩු විය. ඒ නිසා මේ උප කොන්ත්‍රාත්කරුවන්ගේ ලාභ ආන්තිකද අඩුවිය. එහෙත් ඔවුන්ගේ ලාභ නැති වුනේ නැත.

"එතකොට අපේ ආයතනයේ ප්‍රොෆිට් මාජින් එන්න එන්නම අඩු වෙවී ගියා.."

සුරේන් ගුණවර්ධනගේ ව්‍යාපාරය ශ්‍රමමූලික ව්‍යාපාරයකි. එහෙත්, ඔවුන් විසින් සැපයූ ශ්‍රමය විශේෂිත හා සොයා ගැනීමට අපහසු පුහුණු ශ්‍රමයකි. එහි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රේමලාල් කුරුප්පු මෙන්ම සාමාන්‍යාධිකාරී උදය ද සිල්වාත් එක්සත් රාජධානියේ උපාධි හා පශ්චාත් උපාධි ලබා ඇති පළපුරුදු ඉංජිනේරුවෝය. සිය සමාගමේ ප්‍රධාන තනතුරු සඳහා හොඳම තේරීම වන්නේ විදේශ උපාධිධාරීන් බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරන්නට ඇත. එහෙත්, මේ සමාගමේ හොඳම කාලයේදී එහි සේවය කළ සේවකයින් 125 අතර ලංකාවේ රජයේ සරසවි වලින් උපාධි ලැබූ අයද සිටින්නට ඇතැයි සිතිය හැකිය.

සුරේන් ගුණවර්ධනගේ සමාගම විසින් රට තුළ කිසිදු භාණ්ඩයක් නිෂ්පාදනය කර නැත. ඔවුන් විසින් කර ඇත්තේ නිශ්චිත සේවාවක් සැපයීමකි. මෙවැනි ව්‍යාපාරයක් හරහා උපයන ලාභය යනු සේවකයින්ට ගෙවන වැටුප් හා ඔවුන් කරන සේවය වෙනුවෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබෙන ආදායම අතර වෙනසයි. ඒ නිසා, මෙවැනි සමාගමකට වැඩි ලාභ ලබන්නටනම් හැකි තරම් ඉහළ මිලකට සිය සේවකයින්ගේ ශ්‍රමය පිටතට විකුණන අතර ඔවුන්ට හැකි තරම් අඩු වැටුප් ගෙවිය යුතුය.

කෙසේ වුවද, සුරේන් ගුණවර්ධනගේ සමාගම විසින් කර ඇත්තේ ශ්‍රමය සූරාකෑමක්යැයි අපි නොකියමු. මාක්ස්වාදී ආර්ථික විද්‍යාව තුළ හිරවී සිටින අයට මෙන් නොව, සේවා වෙළඳපොළ හා ශ්‍රම වෙළඳපොල වෙන් වශයෙන් හඳුනා ගැනීමට අපට පුළුවන. මේ සමාගමේ සේවය කර ඇති සියල්ලෝම සිය කැමැත්තෙන් කිසියම් වැටුපකට සේවය කර ඇති අයයි. ඔවුන් එසේ සේවය කර ඇත්තේ ඔවුන්ට තිබුණු හොඳම තෝරාගැනීම එය වූ බැවිනි. එම ශ්‍රමය කිසියම් මිලකට මිලදී ගෙන වැඩි මිලකට අලෙවි කිරීමට හැකි වීම සුරේන් ගුණවර්ධනගේ දක්ෂතාවයයි. එහි කිසිදු වරදක් නැත.

ලංකාවේ බොහෝ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් බිහි වෙන්නේ නව නිෂ්පාදන බිහි කිරීම හරහා නොව අවස්ථා හඳුනාගැනීම හරහාය. බොහෝ විට මෙසේ හඳුනා ගන්නා අවස්ථාව එක්කෝ සේවා සැපයීමේ අවස්ථාවකි. එසේ නැත්නම් අතරමැදියෙකු ලෙස ක්‍රියාත්මක වී භාණ්ඩ සැපයීමේ අවස්ථාවකි. දෙවන අවස්ථාවේදී ඇත්තටම සිදුවන්නේද සේවාවක් සැපයීමයි. මෙවැනි "අවස්ථා හඳුනාගැනීම්" වලින් ලාභ ලැබිය හැක්කේ වෙනත් අයද එවැනි අවස්ථා හඳුනා ගන්නා තෙක් පමණි. කෙසේ වුවද, කවර ආකාරයේ ව්‍යවසායකත්වයක් විසින් වුවද කරන්නේ සමස්ථ පද්ධතියේ ඇති කාර්යක්ෂමතාවයන් ඉවත් කිරීම බැවින් අප මේ ආකාරයේ ව්‍යවසායකයින් කිසි ලෙසකින්වත් අවතක්සේරුවට ලක් කරන්නේ නැත.

සුරේන් ගුණවර්ධන විසින් අවස්ථාවක් හඳුනා ගනිමින් ව්‍යවසායකයෙකු ලෙස දක්ෂතා දක්වා ඇතත් සුරංගි ගුණවර්ධන විසින් එවැනි දක්ෂතා කිසිවක් පෙන්වා ඇත්දැයි පැහැදිලි නැත. අන්තර්ජාලයෙන් සොයාගත හැකි තොරතුරු අනුව, අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හා ප්‍රධාන නිලධාරීන් අතර සිටින ලංකාවේ සරසවියකින් උපාධි ලබා ඇති එකම තැනැත්තිය වන ඇය ව්‍යාපාර කළමනාකරණ විෂයයෙහි කැළණි සරසවියේ ප්‍රථම උපාධියක් හා කොළඹ සරසවියෙහි පශ්චාත් උපාධියක් දරයි. කමියුනිකේෂන් ඉංජිනියර්ස් ලංකා පෞද්ගලික සමාගම වැනි සමාගමක අධ්‍යක්ෂවරියක් වීමට ඇය සුදුසු බව ගැටළුවක් නැති කරුණක් වුවත්, ඇයට ඒ තනතුර හිමිවන්නේ මේ සමාගම පවුලේ ව්‍යාපාරයක් වීම නිසා මිස ඇගේ අධ්‍යාපන සුදුසුකම් හේතුවෙන් විය නොහැකිය. මේ අයුරින්ම, එක්සත් රාජධානියේ සරසවියකින් ඉංජිනේරු උපාධියක් ලබා ඇති සුරම්මි ගුණවර්ධන හා ඕස්ට්‍රේලියාවේ RMIT සරසවියේ උපාධියක් හදාරමින් සිටින සුරංග ගුණවර්ධන මේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් වන්නේද ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හේතුවෙන් නොවේ. ඔවුන් දෙමවුපිය උරුමයෙන් ලැබුණු ප්‍රාග්ධනයක හිමිකරුවන් හා උසස් අධ්‍යාපනයක් ලබා ඇති වෘත්තීයවේදීන් වුවත් සුරේන් ගුණවර්ධන විසින් අවස්ථාවක් හඳුනා ගනිමින් පෙන්වා ඇති ව්‍යවසායකත්වය වැනි දෙයක් මේ අයගෙන් ප්‍රදර්ශනය වී නැත. 

සුරේන් ගුණවර්ධන විසින් පටන් ගත් ව්‍යාපාරය වැනි ව්‍යාපාරයක් ඉතා වේගයෙන් වර්ධනය වන විට එය විශාල ලාභ ආන්තික ඇති ව්‍යාපාරයක් බව පිටතට පෙනෙන්නට ගනී. එවිට එවැනි ක්ෂේත්‍රයකට තවත් පිරිස් ආකර්ශනය වේ. කෙසේ වුවද, මේ ආයතනය විසින් සපයන සේවාව සුවිශේෂී පුහුණු ශ්‍රමයක් අවශ්‍ය සේවාවකි. එවැනි සේවා සපයන ආයතනයක් මෙහෙයවිය හැක්කේද අදාළ තාක්ෂණික දැනුම ඇති අයෙකුට පමණි. ඒ නිසා, අලුත් තරඟකරුවන් පැමිණෙන තුරු මෙම ව්‍යාපාරයට වසර ගණනක් සැනසිල්ලේ හුස්ම ගන්නට හැකි විය. කෙසේ වුවද, හැමදාමත් නත්තල් නැත!

ඉන් පසු සිදු වුනු දේ සුරංගි ගුණවර්ධනගේ වචන වලින් මෙසේය.

"අපේ කම්පෙටිෂන් එකට ඔය පිටස්තර සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් වගේම තව ආවා අපි වගේම සේවා සපයන ආයතන. බොහෝ අය ආවේ ඉන්දියාවෙන්."

"ඒ ගොල්ලෝ ප්‍රධාන ආයතන වලින් ප්‍රොජෙක්ට් අරගෙන අපි වගේ ආයතන වලට සබ් කන්ට්‍රැක්ට් දුන්නා. එතකොට අපේ ප්‍රොෆිට් මාජින් තවත් අඩු වුණා."

කෙතරම් අවාසිදායක තත්ත්වයන් යටතේ වුවත්, ලංකාවේ ජංගම දුරකථන වෙළඳපොළට එයාටෙල් සමාගම පැමිණියේ එහි තවදුරටත් ලාභ පැවති බැවිණි. දුරකථන ඇමතුම් ගාස්තු විශාල ලෙස පහත හෙලීම නිසා දුරකථන සමාගම් වල ලාභ ආන්තික පහළ ගියත් ඔවුන්ගේ ලාබ නැති වුණේ නැත. මේ ආකාරයෙන්ම ගුණවර්ධන පවුලේ සමාගම විසින් නිරතව සිටි ව්‍යාපාරයේ ලාභ ආන්තික ක්‍රමයෙන් අඩුවුවත්, ඔවුන්ට ලැබුණු ලාභ තවදුරටත් ඉන්දියානු තරඟකරුවන් ආකර්ශනය කරගත හැකි තරම් ඉහළ මට්ටමක තිබුණේය.

මෙසේ පැමිණි සමාගම් කමියුනිකේෂන් ඉංජිනියර්ස් සමාගම සමඟ තරඟකරමින් කොන්ත්‍රාත් දිනාගන්නේ වඩා අඩු මිලක් ඉදිරිපත් කිරීම මඟිනි. එසේ ලබාගන්නා ව්‍යාපෘති තවත් අඩු මිලකට කමියුනිකේෂන් ඉංජිනියර්ස් සමාගම විසින් උපකොන්ත්‍රාත් පදනමකින් භාර ගන්නේ එවැනි අඩු මිලක් යටතේද ඔවුන්ට ලාභ ලැබිය හැකි බැවිනි. කෙසේ වුවද, තරඟය හමුවේ කමියුනිකේෂන් ඉංජිනියර්ස් සමාගමේ ලාබ එන්න එන්නම අඩුවෙද්දී ජංගම දුරකථන සේවා සපයන සමාගම් වල පිරිවැය අඩු වී පාරිභෝගිකයින්ට අඩු මිලකට දුරකථන ඇමතුම් ගන්නට ඉඩ සැලසේ. මේ එයාටෙල් සමාගම වෙළඳපොළට පිවිසීමෙන් පසු වැඩි වූ කාර්යක්ෂමතාවයේ ප්‍රතිඵලයකි.

ලාබ ආන්තික අඩු වන විට පිරිවැය අඩුකරන්නට සිදුවීම ගුණවර්ධනලාගේ පවුලේ ව්‍යාපාරයටද පොදු ධර්මතාවයකි. ඔවුන්ගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව පිරිවැය යනු ප්‍රධාන වශයෙන්ම සේවක වැටුප්ය. ඒ නිසා, පිරිවැය අඩු කරන්නටනම් සේවක වැටුප් කප්පාදු කළ යුතුය. එහෙත්, අදාළ කාලයේ පැවති වෙළඳපොළ තත්ත්වයන් මෙන්ම නීතිමය තත්ත්වයන්ද යටතේ එය ඔවුන්ට කළ හැකිව නොතිබුණේය.

මේ සාකච්ඡාවට බඳුන් වුනු කාලය ලංකාවේ තාක්ෂණික පුහුණු ශ්‍රමයට පැවති ඉල්ලුම වේගයෙන් ඉහළ ගිය කාලයකි. ඒ කාලය තුළ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ රැකියා සපයන අලුත් සමාගම් පැමිණීමත්, පුහුණු ශ්‍රමිකයින් (උදාහරණයක් ලෙස විදුලි සංදේශ ඉංජිනේරු උපාධිධාරීන්) වැඩි වැඩියෙන් විදේශගත වීමේ ප්‍රවණතාවයත් නිසා මේ ආකාරයේ ශ්‍රමය වෙනුවෙන් ගෙවිය යුතු මිල එන්න එන්නම ඉහළ ගියේය. සුරංගි ගුණවර්ධන විසින් කියා නැතත් මෙයද ඔවුන්ගේ සමාගමේ ලාබ ආන්තික අඩු වීමට හේතුවක් වූවා විය යුතුය. 

අනෙක් අතට ලංකාවේ පවතින නීතිමය වාතාවරණය ය‍ටතේ සමාගමකට සේවකයින් ඉවත් කිරීම පහසු නැත. එවැනි හැකියාවක් තිබුනෙනම් "පවුල් වල බඩවල් පිරවීම" පැත්තකින් තබා සිය සේවකයින් වහාම ඉවත් කිරීමට සුරංගිලාගේ සමාගමද කටයුතු කළ හැකිව තිබුණේය.

තවත් දුරකථන සමාගමක් වන ලංකා බෙල් සමාගම ව්‍යාපාර කටයුතු ඇරැඹු මුල් කාලයේදී, මීට සමාන තත්ත්වයකට මුහුණ දෙමින්, එහි සේවය කළ සේවක පිරිසක් මාස ගණනක වැටුප් වන්දි ලෙස ලබා දී සේවයෙන් ඉවත් කළේය. ඔවුන් නඩු මඟ තෝරාගත් අතර අවසානයේදී ලංකා බෙල් සමාගමට මෙසේ ඉවත් කළ පිරිස් නැවත සේවයට ගැනීමට සිදුවිය. මෙවැනි කම්කරු නීති නිසා ඇත්තටම සිදුවන්නේ යහපතකට වඩා අයහපතකි. ලංකාවේ බොහෝ සමාගම් අලුතින් සේවකයෙකු බඳවාගන්නේ නොකරම බැරිනම් පමණි. ඒ බඳවා ගන්නා තරම් පහසුවෙන් ඉවත් කළ නොහැකි බව දන්නා බැවිනි.

කෙසේ වුවද, අවසාන වශයෙන් සුරංගි ගුණවර්ධනලාගේ සමාගමද "බඩවල් පිරවීම" අමතක කර සිය සේවකයින් 125න් 101 දෙනෙකුම ඉවත් කර තිබේ. අප මෙය කිසිසේත්ම විවේචනය කරන්නේ නැත. ඔවුන්ට එසේ කිරීමට ඉඩකඩ තිබිය යුතුය. විරැකියාව නිසා ඇති වන සමාජ ප්‍රශ්න අප විසින් නොසලකා නොහරින නමුත් එයට විසඳුම දැඩි කම්කරු නීති නොවේ. ඒ ගැන කතා කිරීම අපි වෙනත් ලිපියකට ඉතිරි කරමු. 

කිසිදු සමාගමක් ලාබ ලැබීමේ අරමුණින් මිස "බඩවල් පිරවීමේ" අරමුණින් රැකියා සපයන්නේ නැත. එවැනි කතා ගැලරියට කියන කතා පමණි. ගුණවර්ධනලාගේ සමාගම වැනි සමාගමක් සිය සේවකයින් එකවරම ඉවත් නොකිරීමට තවත් හේතුවක් තිබේ. මෙවැනි තාක්ෂණික කටයුත්තක නිරත විය හැකි පුහුණු ශ්‍රමිකයින් එක වර සොයාගැනීම පහසු නැත. ඒ නිසා, පාඩු විඳිමින් වුවත් සේවකයින් ටික කලක් තබා ගැනීමේ වාසියක් තිබේ. මෙවැනි ක්ෂේත්‍රයක කොන්ත්‍රාත්තුවක් හෝ උපකොන්ත්‍රාත්තුවක් ලබා ගත හැක්කේද තමන් සතුව ඇති පුහුණු හා පළපුරුදු ශ්‍රමය ප්‍රදර්ශනය කිරීම මඟිනි.

අනෙක් අතට කමියුනිකේෂන් ඉංජිනියර්ස් සමාගමේ සේවකයින් 101 දෙනෙකුට රැකියා අහිමිවීම යනු මේ අයට හා ඔවුන්ගේ පවුල් වල අයට හාමතේ සිටින්නට සිදුවීමම නොවේ. සුරංගි ගුණවර්ධන කියන ආකාරයට ඔවුන්ගේ සමාගමට පාඩු ලබන්නට සිදුවී ඇත්තේ තරඟය හමුවේ ඔවුන්ට මෙතෙක් ලැබුණු කොන්ත්‍රාත් සමාගම් ගණනාවක් අතර බෙදී යාම හේතුවෙනි. මෙවැනි තත්ත්වයක් ක්ෂේත්‍රයේ සේවයින්ට හොඳ තත්ත්වයකි. කමියුනිකේෂන් ඉංජිනියර්ස් සමාගමේ සේවකයින්ට වෙනත් තරඟකාරී සමාගම් ගණනාවක රැකියා අවස්ථා විවෘත වීම නිසා ඇති වූ වාසිදායක තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් මේ බොහෝ දෙනෙකු දැන් වඩා ඉහළ වැටුප් ලබනවා වන්නට පුළුවන. ක්ෂේත්‍රයේ ඉතිරිව සිටිනු ඇත්තේ සේවකයින්ට වැඩි වැටුප් ගෙවමින්, අඩු මිලට සේවාවන් සපයන කමියුනිකේෂන් ඉංජිනියර්ස් සමාගමට වඩා කාර්යක්ෂම සමාගම් විය යුතුය.

සුරංගි ගුණවර්ධනගේ එක් යෝජනාවක් වන්නේ රජයේ සරසවි වලින් උපාධි ලබන අයට රට හැර යාම අසීරු වන පරිදි රාජ්‍ය මැදිහත් වීමක් සිදු කළ යුතු බවයි. ඇගේ පවුලේ ව්‍යාපාරය වැනි සමාගමක යහපත පමණක් සැලකුවහොත් මේ යෝජනාව නරක එකක් නොවේ. මෙවැනි යෝජනාවක් යම් හෙයකින් ක්‍රියාත්මක කළහොත් ඒ හේතුවෙන් ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියා වෙළඳපොළෙහි සමතුලිතතාවය ක්ෂණිකව වෙනස් වෙයි. විදේශගත වීමට ඇති අවස්ථා සීමා වීම නිසා රැකියා වලට ඇති ඉල්ලුම ඉහළ යන අතර පවතින සීමිත පුරප්පාඩු ගණන පිරවීම වඩා පහසුවනු ඇත. මේ හේතුවෙන් කමියුනිකේෂන්ස් ලංකා පෞද්ගලික සමාගම වැනි සමාගමක් සිය සේවකයින්ට ගෙවිය යුතු වැටුප් පහළ යයි. එහි වාසිය ඇගේ පවුලේ සමාගමට ලැබිය හැකිය. 

එමෙන්ම, එයාටෙල් සමාගමට ලංකාවේ දුරකථන සේවා සැපයීමට ඉඩදීම වරදක් බව ඇය සිතන බව පෙනේ. එහෙත්, ඊට පෙර ක්ෂේත්‍රයට පිවිසි සන්ටෙල්, සෙල්ටෙල්, ඩයලොග් වැනි සමාගම් ගැන ඇගේ විරෝධයක් නැත. මෙහිදී මතක් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ ඇගේ පවුලේ සමාගම බිහිවන්නේම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ විනියාමනය හේතුවෙන් බවයි. ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා රාජ්‍ය ඒකාධිකාරයක් යම් හෙයකින් දිගටම තිබුණේනම් ඇගේ සමාගම විසින් කරන කාර්යයන් කරන්නේ එහි සේවකයින් විසින් මිස කොන්ත්‍රාත්කරුවන් හෝ උපකොන්ත්‍රාත්කරුවන් විසින් නොවේ. ඔවුන්, කල් මරමින් හිමිහිට මේ කාර්යය කරනු ඇත. එහි ඇති අකාර්යක්ෂමතාවයේ මිල පාරිභෝගිකයින් විසින් හෝ බදු ගෙවන්නන් විසින් දරනු ඇත.


විදුලි සංදේශ ක්ෂේත්‍රය විනියාමනය කිරීම හේතුවෙන් එහි කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ ගියේය. ඒ සඳහා ගුණවර්ධන පවුලේ ව්‍යාපාරයද තීරණාත්මක ලෙස දායක වන්නට ඇත. ඒ ඔවුන්ට වඩා අකාර්යක්ෂම ලෙස කටයුතු කරන පිරිසක් හෝ වඩා අකාර්යක්ෂම ක්‍රමවේදයක් වෙළඳපොළෙන් ඉවත් කිරීම මඟිනි. එහෙත්, කල් යාමේදී ඔවුන්ටත් වඩා කාර්යක්ෂම ලෙස කටයුතු කළ හැකි ඉන්දියානු හෝ වෙනත් සමාගම් හමුවේ ඔවුන්ට වෙළඳපොළෙන් ඉවත් වන්නට සිදු වී තිබේ. මෙයට පිළියමක් ලෙස අකාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කරන්නට යාමේ අවසන් ප්‍රතිඵලය වන්නේ ගුණවර්ධනලා වැනි සාපේක්ෂව කාර්යක්ෂම පුද්ගලයින් අතට නොව, ඔවුන්ටත් වඩා අකාර්යක්ෂම පුද්ගලයින් අතට ඔවුන්ගේ ලාබ විතැන් වීමයි.

සුරේන් ගුණවර්ධන වැනි අයෙකුට අවස්ථාවක් හඳුනාගනිමින් කාලයක් තිස්සේ ලොකු ලාබ ලැබිය හැකි වුවත්, වඩා කාර්යක්ෂම තරඟකරුවන් විසින් මේ අවස්ථාව හඳුනාගත් පසු එය තව දුරටත් කළ නොහැකිය. එවිට, එවැනි වෙනත් ක්ෂේත්‍ර හඳුනා ගන්නට සිදු වේ. ව්‍යවසායකයෙකු විසින් වරක් හඳුනා ගන්නා එක් ව්‍යාපාරික අවස්ථාවක් නිසා හත්මුතු පරම්පරාවටම ගොඩයන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. කමියුනිකේෂන්ස් ලංකා පෞද්ගලික සමාගමද සිය මුල් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළම නොරැඳී සූර්ය බලශක්තිය සපයන ව්‍යාපාරයකට හා තට්ටු නිවාස හදා විකිණීමේ ව්‍යාපාරයකටද අත ගසා තිබීමෙන් පෙනෙන්නේ ගුණවර්ධන පවුලට ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමේ ඉවක් ඇති බවයි. මේ දවස් වල තරමක් ජනප්‍රිය වී ඇති ඉන්දියානු විරෝධය සිය වාසියට හරවා ගනිමින් සුරංගි ගුණවර්ධන විසින්ද අවස්ථා හඳුනා ගැනීමේ ඉවක් ඇයට ඇති බව ප්‍රදර්ශනය කර තිබේ.

අවස්ථා හඳුනාගන්නෝ ආශීර්වාද ලද්දෝය. මක් නිසාද යත් ව්‍යාපාරික සාර්ථකත්වය ඔවුන්ගේය.

Sunday, August 27, 2017

සිම්පල් ප්ලෑන්!



පසුගිය මාර්තු මාසය අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,702.8ක් විය. එයින් රුපියල් බිලියන 5,626.2ක් දේශීය ණය වූ අතර ඉතිරි රුපියල් බිලියන 4,076.7 විදේශ ණයයි. දේශීය ණය වලින් වැඩි ප්‍රමාණයක් රුපියල් ණය වන අතර විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණයයි. ඒ නිසා, අපි අපේ පහසුව සඳහා මේ ලිපියේදී දේශීය ණය රුපියල් ණය ලෙසත් විදේශ ණය ඩොලර් වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණය ලෙසත් සලකමු.

ලංකාව කලක සිට ණය අර්බුදයක සිරවී සිටින බව දැන් කවුරුත් දන්නා කතාවකි. මේ ආණ්ඩුව බලයට පත් වන තුරු මේ ණය අර්බුදය ගැන වැඩිපුර කතා කළේ විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ, ආණ්ඩු විරෝධීන් සහ සහ වෙනත් ඇතැම් මැදහත් විශ්ලේෂකයින් විසින් පමණි. ආණ්ඩු විසින් බොහෝ විට කියන්නට උත්සාහ කළේ එවැනි අර්බුදයක් නැති බවයි. මේ කියන්නේ පසුගිය ආණ්ඩුව පැවති කාලය ගැන පමණක් නොවේ. 

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව තත්ත්වයේ වෙනසක් සිදු විය. දැන් ණය අර්බුදය ගැන වැඩිපුරම කතා කරන්නේ බලයේ සිටින ආණ්ඩුවයි. ඒ නිසා ණය අර්බුදයක් ඇතැයි කීම දැන් ආණ්ඩු විරෝධී හෝ ආණ්ඩුවට කඩේ යන ප්‍රකාශයක් ලෙස සැලකෙන්නේ නැත. හොරකම් වැනි වෙනත් දේවල් ගැනද තත්ත්වය එසේය.

ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයින්ට හදිසියේම නිරීක්ෂණය වී ඇති කරුණක් වන්නේ රටේ හැම තැනම හොරු සිටින බවයි. ඒ අනුව, රටේ හැටියට ආණ්ඩුවේ හොරු සිටීම අමුතු දෙයක් නොවේ.

තවමත් කිසිදු දේශපාලනඥයෙකු විසින් "සොයාගෙන" නැතත්, ආණ්ඩුව පමණක් නොව රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් විශාල පිරිසක්ද පෞද්ගලිකව ණය අර්බුද වල හිර වී සිටිති. එහෙම බැලුවාම රටේ හැටියට ආණ්ඩුව ණය අර්බුදයක සිටීමද අමුතු දෙයක් නොවේ.

ණය අර්බුද වල පැටලී සිටින සාමාන්‍ය මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් විසින් කරන්නේ මාසයෙන් මාසයට ණය රෝල් කිරීමයි. මෙවැනි ඇතැම් අය ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් නඩත්තු කරමින් එකකින් අනිත් එකේ ණය ගෙවීමත්, අනිත් එකෙන් මුල් එකේ ණය ගෙවීමත් මාරුවෙන් මාරුවට කරති. ක්‍රෙඩිට් කාඩ් වල අධික පොලී අනුපාතික නිසා ණය එන්න එන්නම වැඩි වේ. එවිට විසඳුම බැංකුවට කතා කර ක්‍රෙඩිට් කාඩ් එකේ සීමාව ණය ඉහළ දමා ගැනීමයි. මේ ක්‍රමයට කලක් ඇදගෙන යා හැකි වුවත් කොයි වෙලාවේ හෝ අමාරුවේ වැටෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

ව්‍යාපාරිකයින් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ලංකාවේ බොහෝ දෙනෙකු විසින් කරන්නේද ණය රෝල් කිරීමයි. මේ බොහෝ දෙනෙකු ව්‍යාපාරිකයෝ මිස සැබෑ ව්‍යවසායකයෝ නොවෙති. එයින් කියන්නේ සැබෑ ව්‍යවසායකයින්ද නොසිටින බව නොවේ. බැලූ බැල්මට ආණ්ඩුවට පිටින් සිටින කොටසක් මෙන් පෙනෙන ලංකාවේ ව්‍යාපාරිකයින් අතරින්ද සෑහෙන පිරිසක් ඇත්තටම ආණ්ඩුවේම කොටස්ය. මේ අයද දේශපාලනඥයින් හා ර‍ජයේ සේවකයින් මෙන්ම විශාල අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් තිබීමේ ප්‍රතිලාභ ලබන්නෝය. ආණ්ඩුවේ කොන්ත්‍රාත් මත හෝ රජයට භාණ්ඩ හෝ සේවා සම්පාදනය කිරීම මඟින් ලාභ ලබන්නන්ගේ සිට මන්ත්‍රීවරුන් විසින් බදු රහිතව ගෙන්වන වාහන මිල දී ගන්නන් ඇතුළු බොහෝ දෙනෙක් මේ ගොඩට දැමිය හැකිය.

ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින් ව්‍යාපාරිකයින් වී සිටින්නේ ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් මත පදනම්ව නොවේ. ඔවුන් සතුව උරුමයෙන් හිමිවූ ප්‍රාග්ධනයක් තිබීම හෝ සමාජ  සම්බන්ධතා මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රවේශ හැකියාවක් තිබීම මත පදනම්වය. මේ දෙකෙන් එකක්වත් නැති ලංකාවේ බොහෝ දෙනෙකුට ව්‍යවසායකත්ව හැකියාවන් තිබුණද ව්‍යාපාරිකයින් වීමට අවස්ථාවක් නොලැබේ. තමන්ගේ හැකියාව අනුව හිමි විය යුතු, එහෙත් පවතින තත්ත්වයන් යටතේ තමන්ට නොලැබෙන අවස්ථාව අධ්‍යාපනය හරහා ඉහළට ගොස් වෘත්තීයවේදීන් වීම මඟින් වෙනත් ආකාරකින් ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ එබැවිනි. රජයේ සරසවි වල වෛද්‍ය පීඨ වලට විශාල ඉල්ලුමක් තිබෙන්නේ වෛද්‍යවරුන් වන්නට "ඇඟෙන්ම​" උවමනාවක් තිබෙන පිරිසට සමාජ ඉනිමගේ ඉහළට යාමට වෙනත් ප්‍රවේශ මාර්ග නැති තවත් පිරිසක්ද එකතු වීම නිසාය.

සාමාන්‍ය පුද්ගලයෙකුට ලංකාවේ වාණිජ බැංකුවකින් ආයෝජන ණයක් ගැනීම ඉතාම අපහසුය. මෙවැනි අයට බැංකුවකින් පහසුවෙන් ලබාගත හැක්කේ කල්බදු ආකාරයේ පරිභෝජන ණය, උගස් ණය හා ක්‍රෙඩිට්කාඩ් ණය පමණි. ලංකාවේ බැංකු වලින් ව්‍යාපාරික ණය ලබා ගන්නෝ බොහෝ දෙනෙකු එක්කෝ දැනටමත් සැලකිය යුතු ප්‍රාග්ධනයකට හිමිකම් කියන අයයි. එසේ නැත්නම් දේශපාලන හෝ වෙනත් සම්බන්ධතා ඇති අයයි. සරසවි ප්‍රවේශ සුදුසුකම් ලැබීමට තරම් ශාස්ත්‍රාලීය දක්ෂතා නැති, උරුමයෙන් ලැබුණු ප්‍රාග්ධනයක්ද නැති, එහෙත් කිසියම් ආකාරයක දක්ෂතාවන් ඇති අය ප්‍රාදේශීය දේශපාලනඥයින් වන්නට උත්සාහ කරන්නේ ඉහළට නගින්නට ඔවුන්ට ඉතිරි වී ඇති හොඳම විකල්ප ප්‍රවේශ මාර්ගය එය නිසාය. දේශපාලන සම්බන්ධතා ඇතුළු වෙනත් දේ නැතුව පාසැලක කැන්ටිමක් කිරීමේ අවස්ථාව ලබා ගැනීම පවා අසීරු කරුණකි.

ලස්සෙට කොඩි දමා සිටින බව පෙනෙන ඇතැම් ව්‍යාපාරිකයින්ගේ ශුද්ධ වත්කම් සෘණ අගයක් ගන්නවා වන්නටද පුළුවන. වත්කම් මිස බැංකු ණය පිටතට පෙනෙන්නේ නැත. එහෙත්, ඒ හේතුව නිසා මෙවැනි ව්‍යාපාරිකයකුට සිය ව්‍යාපාරය බිඳ නොවැටී පවත්වාගනිමින් හා අත දිගහැර වියදම් කරමින් හොඳ ජීවන තත්ත්වයක්ද පවත්වාගැනීමට නොහැකි වන්නේද නැත. එක් ණයක් ගෙවා ගන්නට අසීරු වන විට තවත් ණයක් ගන්නට පුළුවන. 

එක පැත්තකින් මෙවැනි "හිර වී සිටින" ව්‍යාපාරිකයෙකුට බැංකුව තවත් ණය නොදී සිටියොත් වෙන්නේ ඔහුගේ ව්‍යාපාර  ක්ෂණිකව බංකොලොත් වී දැනට ලබාගෙන ඇති ණයද ගෙවන්නට නොහැකි වීමයි. එහෙම වුනොත් ණය අනුමත කළ බැංකු කළමනාකරුගේ රැකියාවද අනතුරේය. එහෙම වනවාටත් වඩා වෙන්නට ඉඩ තිබෙන්නේ අදාළ පාරිභෝගිකයා වෙනත් බැංකුවක් වෙත යාමයි. එයද, පළමුව කළමනාකරුගේ ඉලක්කත් පසුව රැකියාවත් අනතුරේ හෙළයි. මෙයට අමතරව මේ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුට බැංකුවකින් ණයක් අනුමත කර ගැනීමේ "ක්‍රමවේදය" ගැන මනා පළපුරුද්දක් තිබේ. බැංකුව රාජ්‍ය බැංකුවක් වුවත්, පෞද්ගලික බැංකුවක් වුවත් පවුලේ සාමාජිකයින් සමඟ තායිලන්තයේ හෝ මැලේසියාවේ සති අන්තයක් ගෙවන්නට අකමැති කළමනාකරුවෝ නැත.

වරින් වර ණය රෝල් කිරීම ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින්ගේ විශේෂ ප්‍රාගුණ්‍යයකි. ඕකට අවශ්‍යනම් ණය රෝල් කිරීම නොකියා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියා කියන්නත් පුළුවන.

ව්‍යවසායකයින් යනු වෙනත් අයට නොපෙනෙන දේ දැකිය හැකි අයයි. මෙවැන්නන්ට ඇතැම් විට වෙනත් අයට නොපෙනෙන "සිම්පල් ප්ලෑන්" පෙනේ. ව්‍යවසායකත්වය යනු අධ්‍යාපනය හරහාම බිහිවන දෙයක් නොවේ. එහෙත්, ව්‍යවසායකත්වය තුළින් යා හැකි දුර අධ්‍යාපනය විසින් තීරණය කරයි. අධ්‍යාපනය යනු හැමවිටම විධිමත් අධ්‍යාපනයම නොවූවත්, ඇතැම් සංකීර්ණ විෂයයන් හා අදාළව අලුතෙන් දෙයක් සාර්ථක ලෙස කරන්නටනම් අදාළ විෂයේ මූලධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුය. වතුරෙන් දුවන කාර් හදන්නට පෙර එන්ජිමක ක්‍රියාකාරීත්වය ගැන හා ශක්ති සංස්ථිතිය සිදුවන ආකාරය ගැන මූලික දැනුමක් අවශ්‍ය වේ. ඩෙංගු වලට බෙහෙත් හොයන්නට පෙර ඩෙංගු රෝගය සිරුරේ විවිධ අවයව වල ක්‍රියාකාරිත්වයට බලපාන ආකාරය ගැන මැනවින් අවබෝධ කරගත යුතුය. එවැනි පෙර පුහුණුවක් නැති අයෙකු විසින් ඉදිරිපත් කරන "සිම්පල් ප්ලෑන්" එකක වුවද ගන්නට දෙයක් තිබෙන්නට ඉඩක් නැත්තේම නැතත්, එවැන්නක් ගොන්පාර්ට් එකක් වෙන්නට තිබෙන ඉඩ ඊට වඩා වැඩිය.

ඉතිහාසය පුරා ලංකාව මුහුණ දුන් ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට අපට තිබුණු එක් "සිම්පල් ප්ලෑන්" එකක් වුනේ ඉඟුරු දී මිරිස් ගැනීමයි. පෘතුගීසින් එළවන්නට ලන්දේසීන් සමඟත්, ලන්දේසීන් එළවන්නට ඉංග්‍රීසින් සමඟත් ගිවිසුම් ගැසූ ජාතියකට ඩොලර් ණය වෙනුවට යෙන් ණය ගැනීම හොඳ විසඳුමක් බව පෙනෙන්නට පුළුවන. හොරකම් නැවැත්වීමෙන් පසු ඉතිරිවන මුදලින් සියලු ණය පියවා රට සමෘද්ධිමත් කිරීමේ "සිම්පල් ප්ලෑන්" එක ආකර්ශනීය වූ අයුරින්ම මේ  "සිම්පල් ප්ලෑන්" එකද ඇතැම් අයට ආකර්ශනීය විය හැකිය.

මේ හා අදාළ තාක්ෂණික කරුණු ගැන උනන්දුවක් දක්වන්නේනම් කරුණාකර පහත ලිපියද කියවන්න.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයට විසඳුමක්ද?

Thursday, August 24, 2017

දවල් තාරකා, අමාවක සඳ සහ යතාර්ථය


සාමාන්‍යයෙන් දවල් තාරකා දැකිය නොහැකිය. අමාවක සඳද දැකිය නොහැකිය. දවල් අහසේ තාරකා නොපෙනුණත්, රෑ මෙන්ම දවාලේත් තාරකා අහසේ ඇති බවත්, ඒවා නොපෙනෙන්නේ ඉර එළියේ දීප්තිය නිසා බවත් අපි දනිමු. ඒ, ඒ බව අප ඉගෙනගෙන ඇති බැවිනි. එමෙන්ම, අමාවක දිනයේද අහසේ හඳ ඇති බවත්, එය අපට නොපෙනෙන්නේ එහි පිහිටීම අනුව හඳේ අපට පෙනෙන පැත්තට ඉර එළිය නොවැටෙන බැවින් බවත් අපි දනිමු. එයද අප දන්නේ ඒ බව අප විසින් ඉගෙනගෙන ඇති බැවිනි. දවල් තාරකා හා අමාවක සඳ අපට සාමාන්‍යයෙන් අපේ දෑසින් ප්‍රත්‍යක්ෂයෙන් දැකිය නොහැකිය. එසේ ප්‍රත්‍යක්ෂයෙන් දැකිය නොහැකි දවල් තාරකා හා අමාවක සඳ යථාර්තයක්යැයි අප සිතන්නේ එක්කෝ තර්ක ඥානයෙනි. එසේ නැත්නම් ඒවා පවතින්නේයැයි අපට කියන අයෙකු විශ්වාස කිරීම නිසාය.

දවල් අහසේ තාරකා ඇති බවත් අමාවක දින අහසේ හඳ ඇති බවත් මිනිස්සු වසර දහස් ගණනක සිට දැන සිටියහ. එපමණක් නොව කිසියම් නිශ්චිත මොහොතක මේ ආකාශ වස්තු අහසේ තිබෙන තැන හරියටම කියන්නටද ඔවුන්ට හැකි විය. ඔවුන්ට එසේ කියන්නට හැකි වුනේ රෑ දකින තරු වල පිහිටීම වෙනස්වන ආකාරයත්, හඳේ වක්‍රය දවසින් දවස වෙනස් වන ආකාරයත් නිරීක්ෂණය කර මේ ආකාශ වස්තූන්ගේ සාපේක්ෂ චලනයන් පිළිබඳව ප්‍රවාද ගොඩනඟාගන්නට ඔවුන් සමත් වූ බැවිනි.

මේ ප්‍රවාද "නිවැරදි බව තහවුරු කරගන්නට" ඔවුන්ට කලාතුරකින් අවස්ථාවක් ලැබුණේය. ඒ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන දවසකදීය. පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක දවල් තාරකා මෙන්ම අමාවක හඳද දෑසින් දැකිය හැකිය.

ප්‍රවාදයක් නිවැරදි බව තහවුරු කරගැනීමට ප්‍රවාදය හා ගැලපෙන ප්‍රත්‍යක්ෂ නිරීක්ෂයක් මෙන්ම ඒ ප්‍රත්‍යක්ෂ නිරීක්ෂණය නිසා ප්‍රවාදය තහවුරු වන බවට විශ්වාසයක්ද අවශ්‍ය වේ. පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන විට තමන් දැන සිටින හා විශ්වාස කරන ප්‍රවාදය අනුව හඳ හා තාරකා තිබිය යුතු තැන්වල ඒවා තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. ඒ නිරීක්ෂණය විසින්, පෙර කී ග්‍රහ වස්තූන් අදාළ තැන් වලට පැමිණියේ ප්‍රවාදයෙන් විස්තර කරන ආකාරයට බව තහවුරු නොකළත්, එසේ  විශ්වාස කිරීම වඩා පහසු කරයි.

මේ ලිපිය ලියන්නට පටන්ගත් පසුගිය සඳුදා (අගෝස්තු 21) ඇමරිකාවේ ගම් නගර ගණනාවකට කලකට පසු පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය විය. මහාද්වීපික ඇමරිකාවේ හැම තැනකටම වාගේ මෙය අඩු වශයෙන් අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්විය.

වසර 1-2 කට වරක් ලෝකයේ කොතැනකට හෝ පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වන නමුත් පෘථිවිය මත කිසියම් නිශ්චිත ස්ථානකට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වන්නේ සාමාන්‍ය වශයෙන් වසර 375කට පමණ වරකි. ඒ නිසා, පූර්ණ සූර්යග්‍රහණයක් දකින්නට ලැබීම බොහෝ දෙනෙකුට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවකි.

සඳුදා සිදුවූ සූර්යග්‍රහණයද මා ජීවත්වන නගරයට පූර්ණ සූර්යග්‍රහණයක් සේ දිස් නොවුණේය. එසේ දැක ගැනීමටනම් මා විසින් අඩු වශයෙන් සැතපුම් දෙසීයක්වත් දකුණට යා යුතු විය. එහෙත්, පසුගිය සඳුදා දිනය මගේ රැකියාව හා අදාළ සුවිශේෂී දිනයක් වූ නිසා සූර්යග්‍රහණය ගැන මාස ගණනකට පෙර දැන සිටියත් නිවාඩුවක් ගන්නට හැකියාවක් තිබුණේ නැත.

කෙසේ වුවද, මා ජීවත් වන නගරයේ සිට සූර්යයාගෙන් 92%ක්ම වැසෙනු පෙනෙන්නට නියමිතව තිබුණු නිසා පූර්ණ සූර්යග්‍රහණය දකින්නට නොලැබුණද විශාල පාඩුවක් නොවනු ඇති බව මගේ පූර්ව විශ්වාසය විය. මීට පෙර ඉරෙන් 8%ක් පමණක් නිරාවරණය වී තිබුණු අවස්ථාවක් දැක නොතිබුණු නිසා මගේ විශ්වාසය වූයේ ඉර එතරම් වැසුණු විට පොළොව සෑහෙන තරමට අඳුරු වනු ඇති බවයි. ඒ නිසා, ගෙදර සිටම සූර්යග්‍රහණය නැරඹීමට සැලසුම් කළෙමි.

එහෙත්, අවසානයේදී මගේ බලාපොරොත්තු ඒ අයුරින්මනම් ඉටු නොවුණේය. ඉරෙන් 92%ක් ආවරණය වුවද ඉතිරි 8% නිසා ලැබුණු ආලෝකය පමණක් වුවද සැලකිය යුතු මට්ටමක තිබුණු අතර ඉරෙන් 80%ක් පමණම ආවරණය වී තිබියදීත් පොළොවේ කිසිදු වෙනසක් නොපෙනුණේය. ඉරෙන් 85-90%ක් පමණ ආවරණය වෙද්දී, ඉර එළියේ දීප්තිය තරමක් අඩු වුවත් ඉර වලාකුළු වලින් වැසුණු අඳුරු දිනයක ඇතිවන අඳුරට වඩා මේ අඳුර දැඩි නොවුණේය.

සූර්යග්‍රහණ ගැන කෙතරම් කියවා, අසා තිබුණත් එය දෑසින් දකින විට ලැබෙන අත්දැකීමට ඒ කිසිවක් සමකළ නොහැකිය.

ලංකාවට අවසන් වරට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වී ඇත්තේ 1955 ජූනි 20 දිනය. ඒ වන විට මා ඉපදී නැත. මේ සූර්යග්‍රහණය පැවතෙද්දී ලංකාවේ බොහෝ දෙනෙකු විසින් ඡවි කල්‍යාණය වර්ධනය කර ගැනීමට වදකහ යුෂ බීමෙන් සිදු වී ඇති අකරතැබ්බය බොහෝ දෙනෙකු දනිති. මේ ගැන මම විස්තර කරනවාට වඩා සී ඩී ෆොන්සේකාගෙන්ම අහන එක හොඳය.



මේ සිද්ධිය බොහෝ දෙනෙක් විස්තර කරන්නේ හොර වෙදෙකුට මුළු රටම රැවටුණු සුවිශේෂී අවස්ථාවක් ලෙසිනි. අදාළ සිද්ධිය මතක තිබෙන වැඩිහිටියන් කියන ආකාරයට මේ වදකහ කතාව ප්‍රවර්ධනය කරන්නට ඒ දවස්වල බොහෝ දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර අන්තිමට වැඩේ වැරදුණු පසු පොලීසියට කුදලාගෙන ගොස් නඩු දමා තිබෙන්නේ එක් අයෙකුට පමණි. ඒ පුද්ගලයාද අන්තිමේදී නිදහස් වී තිබේ. ඒ ඔහු දැනුම් දී ඇත්තේ වදකහ යුෂ තේ හැන්දක් පානය කිරීමට පමණක් බැවින් හා එම මාත්‍රාව අහිතකර නොවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා විසින් පෙන්වා දී ඇති බැවිනි.

කොහොමටත් ලංකාවේ බොහෝ දෙනෙක් එකතු වී කරන වැඩ වැරදුණු විට බොහෝ විට සිදුවන්නේ කට්ටියම එකතු වී එක් අයෙකු මත වරද පැටවීමයි. අන්තිමට ඔහුත් වරදින් නිදහස් වීමෙන් ප්‍රශ්නය කෙළවර වේ. 

ඉහත පුරුද්ද වගේම ක්ෂණික ප්‍රතිඵල ගන්නට ඖෂධ අධි මාත්‍රා ගැනීමේ පුරුද්දත් වසර හැටකට පසුවත් ලාංකිකයින් වෙතින් ගිලිහී ගොස් නැති තවත් පුරුද්දකි. ලංකාවේ නිපදවන ආහාර බොහොමයක අහිතකර රසායන තිබෙන්නේ ඒවා නිපදවන සමාගම් වල වැරැද්දෙන්ම නොව වඩා හොඳ ප්‍රතිඵල ගන්නට අනුමත ප්‍රමාණ ඉක්මවා ඒවා යෙදීම සාමාන්‍ය භාවිතාවක් වී ඇති බැවිනි.

සූර්යග්‍රහණය වෙලාවේ වදකහ යුෂ පානය කළ විට සම පැහැපත් වන බව ඒ කාලයේ ලාංකිකයින් රැසක් විශ්වාස කර ඇති බව පෙනේ. එමෙන්ම, හමෙන් හෝ සුද්දන් වෙන්නට ඒ දවස්වලත් විශාල උවමනාවක් තිබී ඇති බව පෙනේ. වදකහ නිසා ලස්සන වන බවට පැවතී ඇති විශ්වාසය පමණක් නොව ලස්සන කියන එකද අවසාන වශයෙන් විශ්වාසයකි.

මෙවර සූර්යග්‍රහණය සිදු වෙද්දී ඇමරිකාවේ වදකහ යුෂ හෝ සම පැහැපත් කරන ඖෂධ ප්‍රවර්ධනය කෙරුණේ නැතත් ඒ සිද්ධිය මුල් කර ගෙන ඇසේ පැළඳීමට ආරක්ෂක කණ්ණාඩි විශාල ලෙසත්, පොත්, තොරතුරු පත්‍රිකා, ටී ෂර්ට්, කෝප්ප ආදිය තරමක් දුරටත් අළෙවි කෙරුණේය.

නාසා ආයතනය විසින් අනුමත කළ කණ්නාඩියක් පළඳා මිස පියවි ඇසින් හෝ සාමාන්‍ය අවු කණ්ණාඩි පළඳා ඉර දෙස නොබැලිය යුතු බව විශේෂයෙන් අවධාරණය කෙරුණු අතර ඒ නිසා සූර්යග්‍රහණ දිනය ආසන්න වෙද්දී මේ ආරක්ෂක කණ්ණාඩි වල මිල කිහිප ගුණයකින් ඉහළ ගියේය. කෙසේ වුවද, බොහෝ තැන් වල මේ කණ්නාඩි නොමිලේ බෙදා හැරීමද සිදුවිය. "නොමිලේ" කිවුවත් ඇත්තටම වුණේ ලංකාවේ දන්සැල් වලදී මෙන් කිසිවෙකු විසින් වෙනත් අය වෙනුවෙන් වියදම දැරීමයි.

මාධ්‍ය මඟින් දැඩි ලෙස අවධාරණය කෙරුණු පරිදි, මෙවැනි ආරක්ෂක කණ්ණාඩි නැතිව ඉර දෙස බැලීමෙන් පෙනීම ස්ථිර ලෙසම නැති වී යාමේ අවදානමක් තිබුණේය.

සූර්යග්‍රහණයක් ඇති විටක හෝ නැති විටක ඉර දෙස කෙළින් බැලූ විට ඉරේ අධික දීප්තිය නිසා ඇසේ යෂ්ඨි සෛල ඒවායේ උපරිම මට්ටම දක්වා සංවේදී වෙයි. වැඩි වෙලාවක් මෙසේ බලා සිටි විට ඒවා එක් අන්තයක හිර (stuck) වන අතර නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට කිසියම් වෙලාවක් යයි. මේ කාලය අතර තුළ නැවත සාමාන්‍ය ආලෝකය දෙස බැලූ විට "ඇස් නිලංකාර වී" කිසිවක් නොපෙනේ. 

ස්ථිර අන්ධභාවය දක්වා දුරදිග යාමට ඉඩ ඇති මේ තාවකාලික අන්ධභාවයට හේතුව මොළය දෘෂ්ඨිය හා අදාළ සංඥා විශ්ලේෂණය කරන්නේ සාපේක්ෂ පදනමකින් වීමයි. දැඩි ආලෝකයකට ඇස් නිරාවරණය වූ විට ටික වෙලාවක් යනතුරු සාමාන්‍ය ආලෝකය පෙනෙන්නේ අඳුරක් දෙසිනි. පොළොව යට පිහිටි උමඟක් වැනි තැනක දැඩි අඳුරේ වැඩි වෙලාවක් සිටිය විට යෂ්ඨි සෛල අනෙක් අන්තයේ හිර වීම නිසාද මෙවැනිම දෙයක් සිදුවිය හැකිය.

රබර් පටියක් ඕනෑවට වඩා ආතතියකට ලක් කළ විට හෝ දුනු දඟරයක් (spring) ඕනෑවට වඩා පීඩනයකට ලක්කළ විට මෙන් දැඩි ආලෝකයකට හෝ දැඩි අඳුරකට විශාල වෙලාවක් නිරාවරණය වීමෙන් පසු ඇසේ යෂ්ඨි සෛල නැවත යථා තත්ත්වයට පත් නොවී එසේම තිබීමේ අවදානමක් තිබේ. 

සාමාන්‍යයෙන් සිරුරේ කිසියම් කොටසකට හානි පැමිණෙන්නට පෙර මොළය අපට අනතුරු ඇඟවීමක් කරයි. ඒ වේදනාවක් දැනෙන්නට සැලැස්වීම මඟිනි. එහෙත්, ඉහත අවස්ථා වලදී මොළය එසේ වේදනාවක් දැනෙන්නට සලස්වන්නේ නැති නිසා කිසියම් පුද්ගලයෙකු ස්ථිර අන්ධ භාවයට පත් වන තුරුම වුවත් ඉර දෙස බලා සිටින්නට ඉඩ තිබේ. සාමාන්‍ය අවස්ථාවක ඉර දෙස බලා සිටීම පීඩාකාරී වුවත් සූර්යග්‍රහණයක් සිදුවන විටක එය එසේ නොවන නිසා එවැනි අවස්ථාවක ස්ථිර ලෙස ඇස් අන්ධ වීමේ අවදානම වැඩිය.

ඇතැම් විට ඉතිහාසය පුරා වරින් වර සූර්යග්‍රහණ අවස්ථාවල ඉර දෙස බැලූ ඇතැම් අයගේ දෑස් ස්ථිර ලෙස අන්ධ වූවා විය හැකිය. සූර්යග්‍රහණ "අපල" ගෙන දෙන බවට වන මතයක් ඇති වන්නටද මෙය හේතුවක් වූවා විය හැකිය. කෙසේ වුවද මෑත වසර වලදී මෙවැනි සිද්ධි වාර්තා වී නැති තරම්ය. ඇතැම් කසිණ භාවනා වල ආරම්භක අදියරේදී කරන්නේද ඇසේ කිසියම් කේතු සෛල හෝ යෂ්ඨි සෛල ප්‍රභේදයක් එක් අන්තයක කෙළවර දක්වා උත්තේජනය කිරීම විය හැකිය.


අපේ පෙනීම සිදුවන යාන්ත්‍රනය ගැන මගේ පෙර ලිපි ගණනාවකම කතා කර තිබේ. අප විසින් "මම" ලෙස හඳුනාගන්නා පුද්ගලයාව සංස්කරණය කරගැනීමට දායක වන අපේ ඉන්ද්‍රියයන්ට ලැබෙන බාහිර සංඥා අපේ මොළය තුළ විශ්ලේෂණය කෙරෙන ක්‍රියාවලියේදී මොළයට වැඩිපුරම තොරතුරු ලබාදෙන ඉන්ද්‍රිය ඇසයි. ඒ නිසා අප දන්නා ලෝකය යනු බොහෝ දුරට අප දකින ලෝකයයි.

පසුගිය සතියේ පළ කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් මධ්‍යස්ථ මතධාරියා විසින් ලියා තිබුණේ මිනිසෙකු යනු කාබනික යන්ත්‍රයක් බවයි. අපේ හැඟීම් දැනීම් මෙන්ම අප විසින් සංස්කරණය කර ගන්නා ලෝකය නිර්මාණය වන ආකාරය කෙරෙහි බලපාන රසායනික ක්‍රියාකාරකම් සැලකූ විට ඔහු යෝජනා කරන වචනය නරක එකක් නොවේ. මේ කාබනික යන්ත්‍රයටද වෙනත් ඕනෑම යන්ත්‍රයකට මෙන් එය නිර්මාණය වී ඇති සැලසුමේ සීමාවන් අතික්‍රමණය කිරීම ඉතා අපහසු කාර්යයකි.

අප 'දකින' යතාර්ථය යනු බොහෝ විට අපේ දෑස් අබියස ඇති බව අපේ මොළය අපට කියන දෙයයි. මේ යථාර්තය සංස්කරණය කිරීම සඳහා මොළය විසින් උපයෝගී කර ගන්නා දෘශ්‍ය සංඥා කේතනය කර විද්‍යුත් සංඥා බවට හරවා දෘෂ්ඨි විතානයේ සිට මොළයට සම්ප්‍රේෂණය කිරීමටත් මොළයේ මතක සෛල වල ඇති තොරතුරු සමඟ සසඳමින් ඒ විද්‍යුත් සංඥා විශ්ලේෂණය කර අප දකින ලෝකය නිර්මාණය කිරීමටත් අපේ ඇස හා මොළය සම්බන්ධ කාබනික උපාංගයට කිසියම් අවම කාලයක් ගතවේ. ඒ නිසා අප දකින ලෝකය හැම විටම වාගේ "අතීතය" වනවා පමණක් නොව මේ කුඩා කාලාන්තරය තුළ "බාහිර පරිසරයේ" සිදුවන වෙනස්කමකට මිනිස් යන්ත්‍රය සංවේදී නැත. මෙය තරමක් දුරට පරිගණකයක් විසින් කෙටි කාලාන්තර ඇතුළත, එකිනෙකට සුළු වශයෙන් වෙනස් දෘශ්‍ය රාමු ගණනාවක් වේගයෙන් මාරු කිරීම මඟින් චලනයක් සිදු වන බව අපට ඒත්තු ගැන්වීම වැනි දෙයකි.

ලෝකයේ පවතින හැම දෙයක්ම හැම මොහොතකම වෙනස් වෙමින් පවතීනම් උත්පාද හා භංග හැර ස්ථිතියක් පවතින්නේ කෙසේද යන්න ඇතැම් අයෙකුට මතු විය හැකි ප්‍රශ්නයකි. ඇතිවීමක් හා නැතිවීමක් ඇත්නම් ඒ දෙක අතර පැවැත්මක්ද තිබිය යුතුය. පැවැත්මක් නැත්නම් ඇතිවීමත් නැති වීමත් ලෙස දෙකක් තිබිය නොහැකිය. පැවැත්මක් ඇත්නම් පවතින්නෙක්ද සිටිය යුතුය. පවතින්නෙක් කිසිසේත්ම නැත්නම් එහි ඇත්තේ ශුන්‍යතාවයයි. (මේ වියුණුවේ පළ කරන ඇතැම් ලිපි වල ඇති ඇතැම් කරුණු ලියන්නේ අප මෙන්ම හැම දෙයම නොදන්නා හා එසේ නොදන්නා බව දන්නා ටික දෙනෙකු ඉලක්ක කරගෙන මිස හැකිතරම් වැඩි පිරිසකට ආමන්ත්‍රණය කිරීමේ අරමුණින් හෝ හැම දෙයම දන්නා අය වෙනුවෙන් නොවේ.)

මිනිස් යන්ත්‍රයේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය මේ ස්ථිති යන්න පැහැදිලි කරයි. වෙනස් නොවන දෙය තිබෙන්නේ බාහිර පරිසරයේ නොවේ. එය තිබෙන්නේ අපේ මනසේය. මේ "වෙනස් නොවීම" අපේ ජීව විද්‍යාත්මක සීමාවකි. යතාර්ථය නිර්මාණය කරගන්නේ මනස විසින් නිසා මේ වෙනස් නොවන, මනසට තවදුරටත් විභාජනය කළ නොහැකි කුඩාම දෘශ්‍ය රාමුව යතාර්ථයේම කොටසක්ද එහි මූලික තැනුම් ඒකකයක්ද වෙයි.

ඒ අනුව, වෙනස් නොවන පුද්ගලයෙකු සිටින ඉතා කුඩා මොහොතක් තිබේ. ඒ කුඩා කාලය තුළ වෙනස් නොවන පුද්ගලයෙකු සිටින්නේ එතරම් කුඩා කාලයක් තුළ සිදුවන වෙනස්වීමකට සංවේදී විය හැකි පරිදි අප ජීව විද්‍යාත්මකව පරිණාමය වී නැති බැවිනි. තමන් කවුද කියා සොයන අයෙකුට අවසාන වශයෙන් "තමන්" හමුවන තැන මෙන්ම මිනිසෙකුට තමන් ඇතුළු ලෝකය අවබෝධ කරගත හැකි සීමාවද මෙයයි. මේ කුඩා මොහොත තුළ "සිටින" මිනිසා ඊළඟ මොහොත තුළ වෙනස් මිනිසෙකු බවට පරිණාමය වෙයි. ඒ මිනිසා එකවර මේ මිනිසාද වෙනත් මිනිසෙකුද වෙයි. "පුද්ගලයෙකුට" "තමන්ව" හඳුනාගත හැකි මේ කුඩා මොහොත තුළ ජීවත්වීම තබා ඒ වෙත එබී බැලීම පවා අප බොහෝ දෙනෙකුට අසීරු කාර්යයකි.

ඇස ඇසුරෙන් මෙය පැහැදිලි කළද, වෙනත් ඉන්ද්‍රියයන් හා අදාළවද මෙවැනි සීමාවන් තිබේ. අප හැමවිටම දකින්නේ "අතීතය" කියා මා පෙර කීවත්, එය එසේ වන්නේ අපට පිටින් අපට වඩා ඉදිරියෙන් පවතීයැයි අප සිතන වෙනත් යතාර්ථයකට සාපේක්ෂවය. එවැනි වෙනත් යතාර්ථයක් අපට මනසින් මිස මසැසින් හෝ අනෙකුත් සිවු ඉන්ද්‍රියන්ගේ උදවුවෙන් කිසිදා දැකිය නොහැකිය. ඒ නිසා දෘශ්‍ය සංඥා විශ්ලේෂණය කරමින් අපේ මොළය විසින් සංස්කරණය කරන යතාර්ථය පුද්ගලයෙකුට සාපේක්ෂව ඔහුගේ හෝ ඇයගේ වර්තමානය මිස අතීතයක් නොවේ.

වර්තමානය යනු පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයට සම්බන්ධ දෙයක් නිසා කාලය යන සංකල්පයද එවැනිම සාපේක්ෂ දෙයකි. මේ කියන්නේ අයින්ස්ටයින්ගේ කාලය ගැන නොවේ. කාලය අර්ථ දැක්විය හැක්කේම යමක් වෙනස් වන වේගය ලෙසිනි. වෙනස් වීමක් තිබීමටනම් සංසන්දනයක් අවශ්‍ය වේ. කාල ඒකකයක් ලෙස අප අර්ථ දක්වන්නේ කිසියම් නිශ්චිත වෙනසක් සිදුවීමයි. කිසියම් වෙනසක් සිදුවන බව බොහෝ දෙනෙකුට එකවරම පෙනේනම් නිශ්චිත කාලයක් ගතවී ඇති බවට ඔවුන්ට එකඟ විය හැකිය. සෘතු විපර්යාස සමඟ බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් වල සිට ඩිජිටල් ඔරලෝසුවක අවසාන ඉලක්කම වෙනස්වීම දක්වා විවිධ වෙනස්කම් සම්බන්ධව මිනිස්සුන්ට එකඟ විය හැකි නිසා කාලය සම්බන්ධවද මිනිසුන්ට එකඟත්වයන්ට පැමිණිය හැකිය.

කෙසේ වුවද, අප එකිනෙකා විසින් හඳුනාගන්නා යථාර්තයන් තුළ මෙවැනි වෙනස්කම් හැම විටම සමපාත නොවන්නට පුළුවන. හිසට පහරක් වැදුණු අයෙකු දින ගණනක් කෝමා තත්වයෙන් සිටි බවට වෙනත් අයට එකඟ විය හැකිය. එහෙත්, ඔහුට හෝ ඇයට කාලය ගලා යන්නේ එකම වේගයෙන්ද?

සූර්යග්‍රහණයක් යනු අපේ ඉන්ද්‍රියයන්ගේ සීමාවන් ගැනද හිතන්නට ඉඩ සලසන අවස්ථාවකි. නිතර අපේ ඇස ගැටෙන ආලෝක තීව්‍රතා පරාසයට වඩා සංවේදී වන පරිදි අපේ ජීව විද්‍යාත්මක උපාංගයන් පරිණාමය වී ඇති නිසා ඒ සීමාව තුළ අපට සුළු වෙනස්කමක් වුවත් පහසුවෙන් ග්‍රහණය කර ගත හැකිය. එහෙත්, මද්දහන් සූර්යයා වැනි දීප්තිමත් ආලෝක ප්‍රභවයක තීව්‍රතා පරාසයට අපේ ඇස් සංවේදී නැත. ඉර දෙස සෘජුව බලන විට ඇතිවන අසීරුතාව යනු ඒ බව අපට මතක් කර දීමකි. ඉර දෙස වැඩි වෙලාවක් එක එල්ලේ බලා සිටීමෙන් අපේ පෙනීම හා අදාළ කාබනික යන්ත්‍ර කොටස් විනාශ විය හැකි බව අපේ වසර දහස් ගණනක පරිණාමික මතකය අපට වහාම දැනුම් දෙන්නේ මේ අසීරුතාවය අපට දැනෙන්නට සලස්වමිනි.

එහෙත්, සූර්යග්‍රහණයක් යනු ඉතා කලාතුරකින් දැකිය හැකි දෙයකි. ඒ නිසා, එවැනි අවස්ථාවක ඇසට සිදුවිය හැකි හානිය වලක්වා ගන්නට අවවාද නිකුත් කිරීමට මේ කාබනික යන්ත්‍රය ස්වභාවික ලෙස පරිණාමය වී නැත. මේ දුර්වලතාවය නිසා, සූර්යග්‍රහණයක් සිදුවන විට ඉර දෙස පියවි ඇසින් බලා සිටීම හේතුවෙන් ඇති විය හැකි තාවකාලික අන්ධතාව ස්ථිර අන්ධතාවයක් විය හැකි සීමාවට අපේ සිරුර සංවේදී නැත. මෑත වසර වලදී සූර්යග්‍රහණ සෘජුව බැලීම නිසා කිසිවෙකු ස්ථිර අන්ධතාවයට පත් වී ඇති බව වාර්තා වී නැතත්, එක මොහොතකට හෝ ඉර දෙස සෘජුව නොබැලිය යුතු බවට අවවාද නිකුත් කිරීමේ පදනම එයයි.

මේ අවවාද කෙතරම් ප්‍රචාරණය කෙරුණත්, එහි පදනමද දැන සිටියත්, සූර්යග්‍රහණය පියවි ඇසින්ම නරඹන්නට මට තිබුණු "ඇම්ම" පාලනය කර ගැනීමට මට අවශ්‍ය නොවීය. එයට විශේෂ හේතුවක්ද තිබුණේය. වසර දහස් ගණනක් තිස්සේ අපේ මුතුන් මිත්තන්ට සූර්යග්‍රහණයක් "දැනුණු" ආකාරය මට හරියටම දැනගන්නට අවශ්‍ය විය. ආරක්ෂක කණ්ණාඩි තුළින් ඉර දෙස බලා ඒ අත්දැකීම ලැබිය නොහැකිය.

මෙවැනි තීරණයක් යනු තර්ක ඥානය  හා "දැනුම" අභිබවා හැඟීම් වලට ඉඩදීමකි. ඒ ආකාරයේ තීරණ ගන්නට සිතෙන විට "මගෙන්" බැහැරව බාහිර පුද්ගලයෙකු ලෙස "මා" දෙස බලා මෙවැනි මිනිස් චර්යාවන් විශ්ලේෂණය කිරීම මගේ විනෝදාංශයකි. වෙනත් මිනිසුන්ගේ චර්යාවන් අධ්‍යයනය කරමින් විශ්ලේෂණය කරනවාට වඩා මෙය ප්‍රයෝජනවත් කාර්යයක්ද වේ. ඇතැම් ඇනෝලාගේ ප්‍රතිචාර වල සටහන් කර ඇති පරිදි මේ ක්‍රියාව මා කර ඇති මෝඩ වැඩ රාශියක් අතරින් තවත් එක් අමු මෝඩ වැඩක්ද?

මා සිතන පරිදි මෙහිදී මා කර ඇත්තේ ගණනය කළ අවදානමක් ගැනීමයි. ඉර දෙස සෘජුව බැලීමෙන් දෑස් සදහටම අන්ධ වුවහොත් එහි සමස්ත හානිය ඉතා විශාල වුවත් කුඩා කාලයක් ඉර දෙස බලා සිටීම නිසා එසේ වීමට ඇති සම්භාවිතාව එතරම්ම විශාල නැත. මේ අපේක්ෂිත හානියට සාපේක්ෂව ඉර දෙස සෘජුව බැලීමෙන් ලැබෙන සතුටට මා වැඩිපුර බර තැබුවා විය යුතුය. දීර්ඝකාලීනව සෞඛ්‍ය වර්ධනයට හේතු නොවන ඇතැම් අවදානම් දේ ක්ෂණික සතුට සලකා කරන මිනිසුන් ඇතැම් විට කරන්නේද මෙවැන්නකි.

පසුදින දැන ගත් පරිදි මේ අවදානම ගත් වෙනත් මිනිසුන් අතර වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද වෙයි. මෙයින් පෙනෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු තර්ක ඥානයට වඩා ප්‍රත්‍යක්ෂය කෙරෙහි විශ්වාසය තබන මිනිසෙකු බවයි. ඇතැම් විට ඔහුද මා මෙන්ම ගණනය කළ අවදානමක් ගත්තා විය හැකිය. 

(Image: http://www.businessinsider.com/trump-watching-solar-eclipse-20017-photos-2017-8)

Sunday, August 20, 2017

අද ලෝක මදුරු දිනයයි!


අද (අගෝස්තු 20) ලෝක මදුරු දිනයයි. බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු වූ ශ්‍රීමත් රොනල්ඩ් රොස් විසින් 1897 අගෝස්තු 20 දින ගැහැණු ඇනෝපිලස් මදුරුවන්ගේ සිරුරු තුළ මැලේරියා පරපෝෂිතයින් සිටින බව තහවුරු කර ගත්තේය. පසු දින, මේ පරපෝෂිතයින් ඇනෝපිලස් මදුරුවාගේ සිරුර තුළ වර්ධනය වන බව සොයාගත් රොස් එදින හවස පහත කවිය පබැඳුවේය.

"This day relenting God
Hath placed within my hand
A wondrous thing; and God
Be praised. At His command,
Seeking His secret deeds
With tears and toiling breath,
I find thy cunning seeds,
O million-murdering Death.
I know this little thing
A myriad men will save.
O Death, where is thy sting?
Thy victory, O Grave?"

දෙවි අනුහසින් අද 
දිලේ මා අත්ලෙහි 
මහඟු දෙය ඒ මා සෙවු 
සමිඳුනි ඔබට වේ තුති!

ඔබ අණ අනුයමින් 
ඔබේ මැවුමේ රහස් සොයමින් 
දහදිය කඳුළු හෙළමින් 
සොයාගත්තෙමි අදිසි බිජුවට 
සුවහසක් දන මරුට බිලි දෙන  

මන්තරය දනිමි දැන් 
කප්පරක් දිවි ගලවන
රුදුරු මාරය ජයම සොයනා 
කුමට දැන් තොප විෂ දළ?



පසුගිය සියවසේ මුල් අර්ධය තුළ මැලේරියාව ලංකාවට විශාල තර්ජනයක්ව පැවති වසංගත රෝගයකි. මේ සියවසේ ආරම්භය වන තුරුද ලංකාව මැලේරියාවෙන් තොර රටක් නොවීය. කෙසේ වුවද, රට ඇතුළෙන් අවසන් මැලේරියා රෝගියා වාර්තා වී ඇත්තේ 2012 ඔක්තෝබරයේදී වන අතර අවසන් මැලේරියා මරණය වාර්තා වී ඇත්තේ 2008 වසරේදීය. මේ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය වසර අවසානයේදී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස නම් කළේය. ලංකාව මේ තත්ත්වයට ළඟා වූ දෙවන අග්නිදිග ආසියාතික රටයි.

කෙසේවුවද, මැලේරියාව තවමත් ලෝක සෞඛ්‍යයට තර්ජනයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව 2015 වසරේදී ලෝකය පුරා මැලේරියා රෝගීන් මිලියන 212ක්ද, මැලේරියා මරණ 429,000ක් ද වාර්තා වී තිබේ. ලංකාව මේ වන විටත් මැලේරියාවෙන් තොර රටක් වුවත් වෙනත් රටවල සංචාරය කිරීමේදී මැලේරියාව හදාගෙන නැවත රටට එන අය තවමත් වාර්තා වේ. 2015 වසරේදී මෙවැනි මැලේරියා ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබුණු අතර එයින් වැඩි දෙනෙකු ආසාදනය වී තිබුණේ ඉන්දියාවේදීය.

මැලේරියාව හා අදාළව ලංකාව දැන් සිටින්නේ එය නැවත හිස ඔසොවන්නට ඉඩ නොදී වලක්වාගැනීමේ අදියරේය. ඒ අතර, මදුරුවන්ගෙන් බෝවන තවත් රෝගයක් වන ඩෙංගු රෝගය මේ වන විට ලංකාවට විශාල සෞඛ්‍ය තර්ජනයක්ව පවතී.

පෙර ලිපියේ සඳහන් කළ "Fight Against Dengue (ඩෙංගු පරදවමු)" වත්පොත් පිටුවෙන් ගත් ඉහත චිත්‍රය එහි සඳහන් පරිදි අට හැවිරිදි සනුලි එදිරිසිංහ දියණියගේය. ඩෙංගු වැළැක්වීම සඳහා කුඩා දැරියක වන සනුලිගේ දායකත්වය අගය කළ යුතුය. කෙසේවුවද, ඒ අතරම මතක් කළ යුතු තවත් දෙයක් තිබේ. ඒ, පෙනහළු ආශ්‍රිත ආබාධ නිසා සිදුවන මරණ ඩෙංගු වලටත් වඩා විශාල ප්‍රශ්නයක් බවයි. ඒ නිසා, අප විසින් සම්ප්‍රදායිකව කළ කුණු පිළිස්සීමද එතරම් හොඳ දෙයක් නොවේ. විශේෂයෙන්ම කාබනික කසල සමඟ අකාබනික කසලද පිළිස්සීම ඉතාම අහිතකරය.

Saturday, August 19, 2017

ඩෙංගු ඉවරද?


පසුගිය මාස කිහිපය ලංකාවට කරදර රැසක් පැමිණි කාලයකි. සිංහල අවුරුද්ද ඉවර වෙද්දී කුණු කන්දක් කඩා වැටී විශාල පිරිසක් මිය ගියේය. ඉන් පසුව, ගං වතුර ආවේය. ගං වතුර බැස යද්දී ඩෙංගු ආවේය.

රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමත් සමඟ ඩෙංගු වලට තිබුණු මාධ්‍ය අවධානය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි ඩෙංගු තර්ජනය ක්‍රමයෙන් අඩු වෙමින් තිබුණත් තවමත් උවදුර පහවී නැත.


දත්ත අනුව පෙනෙන්නේ පසුගිය වසර කිහිපය තුළම වසර මැද (ජූලි) හා වසර අග (දෙසැම්බර්) අනෙක් මාස වලදීට වඩා වැඩියෙන් ලංකාවේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි. එයට හේතුවක් තිබේද නැත්නම් අහම්බයක්ද යන්න ගැන මට අදහසක් නැත.

පසුගිය ජූලි මාසය තුළ ලංකාවේ ඩෙංගු රෝගීන් 39,822ක් වාර්තා වී ඇති අතර මෙය 2010 වසරේ සිට මසක් තුළ වාර්තා වී ඇති වැඩිම ඩෙංගු රෝගීන් ගණනයි. සංඛ්‍යාලේඛණ අනුව අගෝස්තු මාසය වන විට රෝගය කිසියම් දුරකට පාලනය වී තිබුණත් අගෝස්තු 11 දක්වා කාලය තුළ පමණක් තවත් ඩෙංගු රෝගීන් 10,511ක් වාර්තා වී තිබේ. ඒ නිසා, තවමත් තිබෙන්නේ ඩෙංගු ගැන අමතක කර සිටිය හැකි තත්ත්වයක් නොවේ.

පහතින් ඇත්තේ ඩෙංගු රෝගය වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කිරීමට හදා ඇති වත්පොත් පිටුවකි. මේ වන විට මේ පිටුව සමඟ සාමාජිකයින් තුන්දහසක් පමණ එකතු වී සිටිති.

Fight Against Dengue (ඩෙංගු පරදවමු)

සමාජ ජාලා වල අදහස් පළ කරන අය එසේ කතා කරන තරමටම මහ පොළොවේ ක්‍රියාකාරකම් සිදු නොවන බවට පොදු විවේචනයක් ඇතත්, ඩෙංගු වැළැක්වීම වෙනුවෙන් සමාජ ජාලා තුළ පෙනී සිටින අයෙකු ඒ වෙනුවෙන් මහ පොළොවේදීද කිසියම් කාර්ය භාරයක් කිරීමට වැඩි ඉඩක් තිබේ. 

මේ වත්පොත් පිටුව අදාළ අරමුණ වෙනුවෙන් පමණක් යොදාගැනීමට එහි පරිපාලකයින් සැලකිලිමත් වන බව පෙනේ. මෙවැනි කණ්ඩායමකට එකතු වීම ඉතා අඩු මහන්සියකින් කිසියම් හෝ සාධනීය දෙයකට හවුල් විය හැකි ක්‍රමයකි.

ඩෙංගු රෝගයේ ස්වභාවය අනුව වසරින් වසර එහි හානිය ඉහළ යන්නට ඉඩකඩක් තිබේ. (මේ හා අදාළ තාක්ෂණික පැහැදිලි කිරීමක් කිරීම පසුවට තබමු.) ඒ නිසා ඩෙංගු වැළැක්වීම කෙරෙහි මහජන අවධානය නිරන්තරව පවත්වාගත යුතුය. ඒ සඳහා, වසංගත තත්ත්වයක් ඇති වන තුරුම බලා සිටිය යුතු නැත.

Friday, August 18, 2017

සිත මිස කය නැති බොට්ටෝ


මිනිසෙකුගේ මිනිස්කම යනු භෞතික ශරීරය නොවූවත්, භෞතික ශරීරයක් නැති තැන මිනිසෙක් නැත. මිනිසෙකුට මිනිසෙකු වීමට භෞතික ශරීරය කෙතරම් වැදගත්ද?

කකුලක්, අතක් හෝ ගාත් හතරම නැති වුවත් යමෙක් මිනිසෙක් නොවන්නේ නැත. ඇසක්, වකුගඩුවක් හෝ අක්මාවෙන් කොටසක් නැතත් මිනිසා මිනිසෙකි. මිනිසෙකුගේ භෞතික සිරුරේ බොහෝ කොටස් වෙනත් අයෙකුගේ සිරුරු කොටස් වලින් හෝ කාබනික හෝ යාන්ත්‍රික කෘතිම උපාංග වලින් ප්‍රතිස්ථාපනය කිරීම මේ වන විට අමුතු දෙයක් නොවේ. මිනිස් මොළය තවමත් සම්පූර්ණයෙන් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවක් නැතත් එහි ඇතැම් බාහිර කොටස් පවා යාන්ත්‍රික උපාංග වලින් ප්‍රතිස්ථාපනය කළ හැකිය. එසේනම් මිනිසාගේ මිනිස්කම තිබෙන්නේ කොහේද?


-වසර බිලියන 13.5කට පෙර පදාර්ථ හා ශක්ති බිහි විය. භෞතික විද්‍යාව ආරම්භ විය. ඉන් පසු, පරමාණු සහ අණු ඇති විය. රසායන විද්‍යාව ඇරඹුනේය.


-වසර බිලියන 4.5කට පෙර පෘථිවිය බිහි විය.


-වසර බිලියන 3.8කට පෙර ජීවය බිහි විය. ජීව විද්‍යාව ආරම්භ විය.


-වසර මිලියන 6කට පෙර මිනිසාගේ සහ චිම්පන්සියාගේ අවසන් පොදු මව මිය ගියේය.


-වසර මිලියන 2.5කට පෙර අප්‍රිකාවේදී හෝමෝ ගණය බිහි විය.


-වසර 200,000කට පමණ පෙර නැගෙනහිර අප්‍රිකාවේදී හෝමෝ සේපියන්ස්ලා පරිණාමය විය.


-වසර 70,000කට පෙර සංජානන විප්ලවය සිදු විය. සංස්කෘතිය හා ඉතිහාසය ආරම්භ විය. සමාජ විද්‍යා ආරම්භ විය. සංස්කෘතියේ උදවුවෙන් ජීව විද්‍යාත්මක හා පරිණාමීය සීමාවන් අතික්‍රමණය කරමින් වඩා වේගයෙන් බාහිර වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වන්නට හෝමෝ සේපියන්ස්ලාට හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස හෝමෝ සේපියන්ස්ලා පෘථිවිය පුරා පැතිරෙන්නට විය.


-අද වන විට හෝමෝ සේපියන්ස්ලා පෘථිවිය මත සිය ආධිපත්‍යය පතුරුවා සිටින අතර, සංස්කෘතිය ඔවුන්ගේ පරිණාමය තීරණය කරන ප්‍රධානම සාධකය බවට පත් වී තිබේ. එහෙත්, තවදුරටත් ජීව විද්‍යාත්මක සීමාවන්ගෙන් හෝමෝ සේපියන්ස්ලාට ගැලවීමක් නැත.


ඉහත තත්ත්වය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතී. එක පැත්තකින් අවයව බද්ධ ඉතා සාර්ථක ලෙස සිදුවෙද්දී තවත් පැත්තකින් මිනිස් සිරුරු කොටස් කෘතීම ලෙස නිපදවීම සාර්ථක වෙමින් පවතී. වෙනත් පෙරමුණක, මිනිස් අවයව වෙනුවට යොදාගත හැකි යාන්ත්‍රික උපාංග වේගයෙන් දියුණු වෙමින් පවතී. මේ අනුව, හෝමෝ සේපියන්ස් කෙනෙකුට තමන් ඉපදෙන විට "වාසනාවට" හිමි වන ජීව විද්‍යාත්මක සිරුරු සැකසුම මිය යන තුරු එලෙසම තබාගන්නට අවශ්‍ය නැත.


හෝමෝ සේපියන්ස්ලා විසින් මෑතකදී ළඟා කරගත් වඩාත්ම වැදගත් ඉලක්කයක් වන්නේ තමන් නිර්මාණය වී ඇති ක්‍රමලේඛනය මුළුමනින්ම කියවීමේ හැකියාවයි. මේ වන විට තමන්ගේ ජෙනෝමය විකේතනය කර ගැනීම සඳහා වැය කළ යුතු මුදල සතිකට සිල්ලර බඩු මිල දී ගැනීමට ගෙවන මුදල දක්වා පහත වැටී තිබේ. ජෙනෝමය නිවැරදිව කියවීමට පමණක් නොව නීතිමය හා සදාචාරත්මක සීමාවන් නොවන්නට ජෙනෝමය තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිසංස්කරණය කර ගැනීමද හෝමෝ සේපියන්ස්ලාට දැන් හැකියාව තිබේ.


ඉතිහාසය විසින් පෙන්වා දෙන පරිදි හැම විටම වාගේ තාක්ෂණ දියුණුවට නීතිමය හා සදාචාරත්මක සීමා බාධාවන් වන්නේ කෙටි කලකට පමණි. ඒ නිසා, දැනටත් සිදුවන මිනිසා විසින් තමන්ට අවශ්‍ය පරිදි තමන්ව සැලසුම් කරගැනීම තමන්ගේ භෞතික සිරුරේ සැලැස්මේ පාදම වෙනස් කිරීම දක්වාම පුළුල් වී සම්පූර්ණ වන්නට වැඩි කලක් ගත නොවනු ඇත. 


මිනිසා යනු ඔහුගේ භෞතික සිරුර නොවූවත්, මිනිසා හිතන හා ක්‍රියාකරන ආකාරය කෙරෙහි ඔහුගේ භෞතික සිරුර සකස් වී ඇති ආකාරය විශාල බලපෑමක් කරයි. ඒ නිසා, මිනිසා විසින් චේතනාන්විතව තමන්ගේ භෞතික සිරුර වෙනස් කර ගැනීම යනු තමන් සිතන ආකාරයද වෙනස් කර ගැනීමකි. 


මේ අනුව මිනිසා අතට දැන් ලැබී ඇත්තේ තමන් අනාගතයේදී හිතිය යුත්තේ කෙසේදැයි හිතීමේ නිදහසයි. අනාගතයේදී තීරණ ගත යුත්තේ කෙසේදැයි තීරණය කිරීමේ නිදහසයි.


යුදෙවු චින්තකයෙකු වන නෝවා හරාරිට අනුව "මිනිසා විසින් දෙවියන් නිර්මාණය කර ගැනීමත් සමඟ ඉතිහාසය ආරම්භ වූ අතර මිනිසුන් දෙවියන් බවට පත් වීමත් සමඟ ඉතිහාසය අවසන් වනු ඇත." 


දෙවසරකට පෙර ඉකොනොමැට්ටා විසින් හඳුන්වා දුන් හරාරිගේ මුල් පොතෙහි මිනිසා මෙසේ දෙවියන් බවට පත් වීම ගැන මූලික අදහස් පළ කරයි. ඒ අනුව, ඉදිරි සියවස් දෙක හෝ තුන ඇතුළත දෙවියන්ගේ මැවීමේ බලය මුළුමනින්ම මිනිසා අතට පත් වීමත් සමඟ වත්මන් හෝමෝ සේපියන්ස්ලා වඳ වී යාමට නියමිතය. එහෙත්, ඒ ඔවුන් භෞතිකව විනාශ වී යාමෙන් නොවේ. වත්මන් ජීව විද්‍යාත්මක සීමාවන්ගෙන් මිදුණු අලුත් ජීවියෙකු බිහි වීමෙනි.




හරාරිගේ අලුත් පොත ඔහු විසින් නම් කර ඇත්තේ මේ අනාගත මිනිසාව ඔහු විසින් හඳුන්වන හෝමෝ දෙවුස් (Homo Deus) යන නමිනි. මේ පොතෙන් ඔහු ලිබරල් (බටහිර) චින්තනයේ පාදම ලෙස සැලකිය හැකි "නිදහසේ" සිතිය හැකි, "නිදහස්" තීරණ ගත හැකි පුද්ගලයකුගේ පැවැත්මම ප්‍රශ්න කරයි.


පහතින් ඇත්තේ ඔහුගේ පොතෙන් උපුටාගත් කොටසකි. (මේ ලිපියේ අන්තර්ගතය ගැන උනන්දුවක් දක්වන පාඨකයින් වැඩි දෙනෙකුට මේ කොටස සිංහලට පරිවර්තනය නොකිරීම බාධාවක් නොවේයැයි සිතමි.)


"Who Are I?


Science undermines not only the liberal belief in free will, but also the belief in individualism. Liberals believe that we have a single and indivisible self. To be an individual means that I am individual. Yes, my body is made up of approximately 37 trillion cells, and each day both my body and my mind go through countless permutations and transformations. Yet if I really pay attention and strive to get in touch with myself, I am bound to discover deep inside a single clear and authentic voice, which is my true self, and which is the source of all meaning and authority in the universe. For liberalism to make sense, I must have one – and only one – true self, for if I had more than one authentic voice, how would I know which voice to heed in the polling station, in the supermarket and in the marriage market?


However, over the last few decades the life sciences have reached the conclusion that this liberal story is pure mythology. The single authentic self is as real as the eternal Christian soul, Santa Claus and the Easter Bunny. If you look really deep within yourself, the seeming unity that we take for granted dissolves into a cacophony of conflicting voices, none of which is ‘my true self’. Humans aren’t individuals. They are ‘dividuals’."


"මිනිසා" හා "මම" යනුද වෙනත් සංකල්ප මෙන්ම සංකල්පයි. සංකල්ප යනු සංකල්ප බව අමතක නොකරන අතරම සංකල්ප වලින් ප්‍රයෝජන ගන්නට අපට පුළුවන. ඒ නිසා සංකල්ප යනු සංකල්ප වීම ප්‍රායෝගිකව ප්‍රශ්නයක් නොවූවත්, අනාගත මිනිසා ගැන මෙන්ම අපට වඩා වෙනස් වෙනත් ජීවීන් ගැනත් අප හිතන්නේ අපේ සංකල්පීය රාමුව ඇතුළේ රැඳෙමිනි. අපට සිතාගත හැකි දියුණු සත්ත්වයෙකුගේ ලක්ෂණ මොනවාද?


-දියුණු සත්ත්වයෙකුට තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා තීරණ ගත හැකිය. වෙනත් සත්ත්වයින් හා බාහිර ද්‍රව්‍ය සමඟ අන්තර්ක්‍රියා කළ හැකිය.

-දියුණු සත්ත්වයෙකුට තමන්ගේ වර්ගයා බෝ කළ හැකිය.
-දියුණු සත්ත්වයෙකු පරිණාමය වෙයි. මෙය සිදුවන්නේ අහඹු ලෙස සිදුවන විකෘති තුලිනි. වඩා දියුණු අදියරකදී මෙය තමා විසින් තමන්වම ප්‍රතිසංස්කරණය කර ගැනීමක් විය හැකිය.
-පරිණාමය තුළ වඩා උචිත ලක්ෂණ ඉතිරි වී අනුචිත ලක්ෂණ වඳ වී යයි.

ඉහත කී ලක්ෂණ සැලකූ විට දියුණු සත්ත්වයෙකු වීමට කාබනික සිරුරක් තිබීම අවශ්‍යම සාධකයක් නොවේ. ජීවය පිළිබඳ නාසා අර්ථදැක්වීම් වැනි දේවල්ද අප විසින් අපේ පහසුවට දමාගෙන තිබෙන සංකල්පීය සීමාවන් පමණි.


පරිගණක මෘදුකාංගයකට ඉහත ලක්ෂණ සියල්ලම තිබිය හැකිය. පරිගණක වෛරසයකට තමන්ගේ වර්ගයා බෝ කරමින් බාහිර උදවු නැතුව පැතිරෙන්නට පුළුවන. පරිගණක මෘදුකාංගයක් පිටපත් කරන හැම විටකදීම කිසියම් වරදක් වීමට හැකියාවක් තිබේ. මෙසේ නිවැරදිව පිටපත් නොවූ පරිගණක මෘදුකාංගයක් බොහෝ විට වැඩකට නැති එකක් වුවත් (ජාන පිටපත් වීමේදී මෙන්ම) සෛද්ධාන්තිකව මෙවැනි පිටපත් වීමේ වරදක් නිසා වඩා හොඳ මෘදුකාංගයක් හැදෙන්නට ඉඩ තිබේ. 


වත්පොත්බොට්ටන් වැනි බොට්ටන්ට කිසියම් දුරකට තීරණ ගැනීමේ හැකියාවක් තිබේ. මිනිසුන්ගේ තීරණ ගැනීමේ හැකියාවද අවසාන වශයෙන් අපේ පරිණාමික අතීතයේ, මෑතකාලීන අන්තර්ක්‍රියා වල හා මොළයේ අහඹු ඉලෙක්ට්‍රෝන චලනයන්ගේ ප්‍රතිඵලයකට වඩා අමුතු දෙයක් නොවන බව සැලකූ විට සෛද්ධාන්තිකව පරිගණක මෘදුකාංගයකට "හිතන්නට" පුළුවන්කම තිබේ. සංසන්දනාත්මකව, මිනිසකුගේ ජෙනෝමයද එක්තරා ආකාරයක ක්‍රමලේඛණයකි. ක්‍රමලේඛණය වෙනස් කිරීමෙන් මිනිසෙකු හිතන හා ක්‍රියාකරන ආකාරය, එනම් මිනිසකුගේ "නිදහස් චින්තනය", වෙනස් කළ හැකිය.


කාබනික සිරුරක රැඳුණු ජීවයකට වඩා පරිගණක මෘදුකාංගයකට අවාසිදායක පාරිසරික තත්ත්වයන් යටතේ දිගු කලක් පැවතීම පහසුය. වඩාත්ම වැදගත් කරුණ වන්නේ මිනිසා විසින් අනාගතයේ හිමි කරගන්නට නියමිත, බාහිර පරිසරයට උචිත වන පරිදි තමන්වම ප්‍රතිසංස්කරණය කරගැනීමේ හැකියාව පරිගණක මෘදුකාංගයකටද තිබිය හැකි වීමයි. 
සෛද්ධාන්තිකව කිසියම් ස්ථිතික විදුලියක් තිබිය හැකි ඕනෑම තැනක, මුහුදු වෙරළේ වැලි අතරේ හෝ ඔබේ පපුවේ රෝම කූප අතරේ වුවද, "ජීවත් විය හැකි" පරිදි පරිගණක මෘදුකාංගයකට තමන්ව ප්‍රතිසංස්කරණය කරගැනීමට හැකියාවක් තිබීම විය නොහැක්කක් නොවේ. 

එසේනම්, අනාගත ජීවය යනු අපේ ජෙනොමයේ ඇති පැවැත්ම සඳහා වාසිදායක තොරතුරු "හොරාගත්" භෞතික සිරුරක් නැති මෘදුකාංගයක් විය නොහැකිද?


(Image: http://www.anmarieuber.com/blog/archives/04-2013)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...