වෙබ් ලිපිනය:

Wednesday, June 7, 2017

මුවාද ගෝණාද?


උඩ රූපයේ දකුණු පැත්තේ ඉන්නේ මුවෙකි. වම් පැත්තේ ඉන්නේ ගෝණෙකි. මුවාත් ගෝණාත් වෙන් කර අඳුනා ගැනීම අපහසු දෙයක් නොවේ. දැනටත් රජරට ප්‍රදේශයේ එතරම්ම දුලබ නැති මේ සතුන් දෙදෙනාගේ බැලූ බැල්මටම පෙනෙන වෙනස්කම් තිබේ.

මේ වන විට ලංකාවට පොසොන් පොහොය උදා වී තිබේ. මහා වංශය ඇතුළු ලාංකීය මූලාශ්‍ර අනුව, ධර්මාශෝක රජුගේ පුත් මහින්ද හිමි, මහින්ද හිමිගේ නැඟණිය වූ සංඝමිත්තාවන්ගේ පුත් සුමන සාමනේර, මහින්ද හිමිගේ මවගේ සොහොයුරියගේ පුත් භණ්ඩුක ඇතුළු පිරිස හා දේවානම්පියතිස්ස රජු අතර තීරණාත්මක හමුව මිස්සක පවුවේදී සිදු වුණේ පොසොන් පුර පසළොස්වක දවසකය. මේ හමුව ලංකාවේ සංස්කෘතියට විශාලම බලපෑමක් කළ තනි සිදුවීම ලෙස හැඳින්වීමේ වරදක් තිබිය නොහැකිය.

දේවානම්පියතිස්ස රජුට මිහිඳු හිමි ඇතුළු පිරිස මුණ ගැසුණේ මුව දඩයමේ ගොස් සිටියදීය. පහත රූපයේ ඇත්තේ අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ මේ අවස්ථාව නිරූපණය කර ඇති ආකාරයයි. වෙනත් පුවත්පත් වලද ආකෘතිය අනුව මෙයට සමාන චිත්‍ර දකින්නට පුළුවන. 




චිත්‍රයෙන් පෙනෙන පරිදි මිහිඳු හිමි ප්‍රමුඛ සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මිස්සක පවුව මුදුනේ සිටී. දුනු හී ගත් දේවානම්පියතිස්ස රජු ගල පහළය. පැත්තකින් අඹ ගහකි. තවත් පැත්තකින් මුවෙක් දිවයයි.

මේ චිත්‍රය ලංකාවේ බොහෝ දෙනෙකුට කුඩා කල සිටම හුරු පුරුදු චිත්‍රයකි. බොහෝ දෙනෙක් මේ ආකෘතියේ චිත්‍රයක් ජීවිතයේ වරක් හෝ ඇඳ තිබෙන්නට පුළුවන. ඇතැම් විටක චිත්‍රයේ දේවානම්පියතිස්ස රජු දුනු හී පැත්තක දමා වැඳගෙන සිටිනවා වන්නට පුළුවන. මේ ආකෘතියේ චිත්‍ර සිය ගණනක් දැක තිබුණත් මුවෙක් වෙනුවට ගෝණෙක් සිටින චිත්‍රයක්නම් මා කවදාවත් දැක නැත.

කෙසේවුවත්, මහාවංශය අනුව මේ කතාවේ මුවෙක් නැත. දේවානම්පියතිස්ස රජු ගියේ මුව දඩයමේ වුවත් ඔහුට මුවෙක් හමුවුණේ නැත. ඔහුට මිහිඳු හිමි ඇතුළු පිරිස හමුවන්නේ ගෝණෙක් පසුපස පන්නද්දීය. මහාවංශයේ 14වන පරිච්ඡේදය ආරම්භයේ ඇති කතාව මෙවැන්නකි.

"ඒ දෙවනපෑතිස් රජ නුවර වැසියන්ට දියකෙළි විධාන කොට තෙමේ මුවදඩකෙළියට ගියේය. සතළිස් දහසක් මිනිසුන් විසින් පිරිවරණ ලදුයේ පයින්ම දුවමින් මිශ්‍රක පර්වතයට ගියේය. ඒ පව්හි වසන දෙවියා රජහට තෙරුන් දක්වනු කැමැත්තේ ගෝණ වේස ඇත්තේ තණ පඳුරක් කමින් සිටි යා සේ දැක්විය. රජතෙමේ දැක “පමා වූවා හු විදිනට යුතු නොවේ”යි සිතා දුනුදිය පෙළිය. ගෝණ තෙමේ පර්වතාන්තයට දිවිය. රජතෙමේ ලුහුබැඳ ගියේය. මෘග වෙස් ගත් ඒ දෙව්තෙමේ තෙරුන් වෙත ගොස් රජු විසින් තෙරුන් දුටු කල අතුරුදහන් වී."

කාලයත් සමඟ දැන් ගෝණා මුවා වී තිබේ. කබරගොයින් ඕනෑ තරම් තලගොයින් වෙද්දී ගෝණෙකු මුවෙක් වීම එතරම්ම විශේෂ දෙයක්ද නොවේ.


Monday, June 5, 2017

ප්ලාස්ටික් හාල් හදන හැටි...


මේ දවස්වල ලංකාවේ ප්ලාස්ටික් හාල් භීතිකාවක් පැතිරෙමින් පවතී. මේ කතාව පසුගිය වසර දෙක තුන ඇතුළත බත් ප්‍රධාන ආහාරය වූ ආසියාවේ හා අප්‍රිකාවේ වෙනත් ඇතැම් රටවලද වරින් වර 'නැගලා ගිය' කතාවකි. උඩුකය නිරුවත් වියට්නාම් තරුණයෙකු කිසියම් යන්ත්‍රයකට ප්ලාස්ටික් කැබලි කපා දමමින් "ප්ලාස්ටික් හාල්" නිපදවන ආකාරය පෙන්වන යූටියුබ්  වීඩියෝවක්ද මේ ආකාරයෙන් සංසරණය වේ.


මගේ අදහස පරිදි, මේ වීඩියෝවේ පෙන්වන යන්ත්‍රය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන යන්ත්‍රයක් විය යුතුය. ප්ලාස්ටික් වලින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පෙර මුලින්ම කරන්නේ මෙහි "ප්ලාස්ටික් හාල්" මෙන් පෙනෙන කුඩා ප්ලාස්ටික් පෙලට්ස් හැදීමයි. පසුව අවශ්‍ය පරිදි වර්ණ ගැන්වීමෙන් පසුව මේ ප්ලාස්ටික් පෙලට්ස් වලින් විවිධ දේ හැදිය හැකිය. පහතින් ඇත්තේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන යන්ත්‍රයක් ක්‍රියා කරන ආකාරය විස්තරාත්මක ලෙස පෙන්වන වීඩියෝවකි.



වසර විස්සකටත් පෙර මා සේවය කළ කොහුවල හන්දිය ආසන්නව තිබුණු ආයතනයක යට තට්ටුවේ තිබුණේ මේ ආකාරයේ ප්ලාස්ටික් පෙලට්ස් ආනයනය කර විකුණන ආයතනයකි. එහි ගබඩා කර තිබුණු ප්ලාස්ටික් පෙලට්ස් අසුරා තිබුණේද හාල් ඇසිරීමටද යොදාගන්නා ආකාරයේ ප්ලාස්ටික් බෑග් වලය. මේ ප්ලාස්ටික් පෙලට්ස් බැලූ බැල්මට ප්‍රමාණයෙන්, හැඩයෙන් හා පැහැයෙන් හාල් වලට සමානය. පහතින් ඇත්තේ ඊ-බේහි විකුණන්නට ඇති ප්ලාස්ටික් පෙලට්ස් බෑග් එකකි.


https://www.ebay.com/i/172655238119?chn=ps&dispItem=1



කිසියම් අයුරකින් වැරදීමකින් පෙනුමෙන් හා හැඩයෙන් සමාන හාල් වර්ගයක් සමඟ මිශ්‍ර වුවහොත් මේ ප්ලාස්ටික් පෙලට්ස් හාල් වලින් වෙන් කර හඳුනා ගැනීම අපහසු වන්නට ඉඩ තිබේ. එහෙත්, මේ ප්ලාස්ටික් පෙලට්ස් හාල් සමඟ පිසින විටක බත් මෙන් ඉදෙන්නට ඉඩක් නැත.

අප අසා ඇති කතාව අනුව, රයිගමයා හා ගම්පොළයා දෙදෙනා බුලත් කොළ ලෙස ගම්ම්රිස් කොළද, ගම්මිරිස් ලෙස පැපොල් ඇටද විකුණන්නට උත්සාහ කළේය. මිරිස්  කුඩු වලට ගඩොල් කුඩු කලවම් කරන වෙළෙන්දන් ගැනද අප කුඩා කාලයේ අසා තිබුණේය. මේ සියල්ලක්ම විය හැකි දේවල් වන්නේ යොදා ගන්නා ආදේශකය මිල අඩු එකක් බැවිනි. එහෙත්, ප්ලාස්ටික් පෙලට්ස් සාමාන්‍යයෙන් හාල් මෙන් දෙගුණයක් පමණ මිලෙන් වැඩිය. ඒ නිසා, හාල් සමඟ ප්ලාස්ටික් පෙලට්ස් හිතාමතාම මිශ්‍ර කර වෙළෙන්දෙකුට ලාබ ලැබිය නොහැකිය.

ප්ලාස්ටික් හාල් කතාව කෙසේ වුවත් කෘතීම හාල් දැන් කලක සිටම රටවල් ගණනාවක වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කෙරේ. මේ ගැන දෙවසරකට පෙර ඉකොනොමැට්ටා විසින් සටහනක් ලියා තිබේ. 



ඒ වන විට පැවතියාට වඩා දැන් කෘතීම හාල් ප්‍රචලිතව ඇති අතර එයට හොඳම සාක්ෂිය අලිබබාහි විකුණන්නට ඇති විවිධ මාදිලි වල කෘතීම සහල් නිෂ්පාදන යන්ත්‍ර ප්‍රමාණයයි.

https://www.alibaba.com/trade/search?fsb=y&IndexArea=product_en&CatId=&SearchText=artificial+rice+making+machine



මේ යන්ත්‍ර ඩොලර් 500ක පමණ අඩුමිලක සිට විකුණන්නට තිබේ. එමෙන්ම, ලෝකයේ සෑම මහාද්වීපයකටම මේ යන්ත්‍ර විකිණී ඇති බව පෙනේ. (පහළින් ඇති සිතියම බලන්න)

https://www.alibaba.com/product-detail/Best-seller-artificial-fortified-rice-making_60619064195.html 


කෘතීම හාල් හදන යන්ත්‍ර මේ තරම් අලෙවිවීමෙන් පෙනෙන්නේ කෘතීම සහල්ද විශාල ලෙස ලොව පුරා අලෙවි වන බවයි. මේ කෘතීම සහල් ඇතැම් විට වෙනම ඇසුරුම් කර තිබෙනු දැකිය හැකි වුවත්, ස්වභාවික සහල් සමඟ මිශ්‍ර කර විකුණනවා වීමටද ඉඩ තිබේ. එවැනි සහල් ලංකාවේද විකිණෙනවා වන්නට පුළුවන.

කෘතීම සහල් ලෙස හැඳින්වුවද මේ සහල් ආහාරයට නුසුදුසු 'ප්ලාස්ටික් සහල්' නොවේ. මෙහිදී සිදුවන්නේ පැස්ටා හෝ සීරියල් නිෂ්පාදනය කරන විටදී මෙන් අවශ්‍ය හැඩයට හාල් ඇටය හදා ගැනීමකි. අවශ්‍ය හැඩයට අමතරව අවශ්‍ය වර්ණය හා සුවඳ ලබාගැනීම සඳහා නිෂ්පාදනයේදී වර්ණකාරක හා සුගන්ධකාරක එකතු කෙරෙන්නට ඉඩ තිබේ.

ආරම්භයේදී මේ කෘතීම සහල් සකස් කෙරුණේ සුණු සාල් (broken rice) වලිනි. යොදාගත් නිෂ්පාදන ක්‍රමවේදය ඉතා සරල එකක් විය. පළමුව, සහල් පිටි කර පල්ප් එකක් සාදා ගැනීමෙන් පසුව එම පල්ප් එකෙන් අවශ්‍ය හැඩයේ සහල් ඇට සාදා පසුව වියලා ගැනුණේය. පිෂ්ඨය අඩංගු ආහාර බොහොමයක් ස්වභාවයෙන්ම ඇලෙන සුළු නිසා මෙහිදී අමතර රසායන එක් කිරීම අවශ්‍යම දෙයක් නොවීය.

දෙවන අදියරේදී, සුණු සාල් වලට අමතරව තිරිගු, ඉරිඟු වැනි වෙනත් ධාන්‍ය වර්ගද අර්තාපල්, බතල වැනි අල වර්ගද යම් ප්‍රමාණයක් මිශ්‍ර කෙරුණු අතර මේ වන විට එවැනි ආදේශක පමණක් යොදාගනිමින් හාල් නැතුවම කෘතීම හාල් නිෂ්පාදනය කෙරේ. මෙහිදී, අවශ්‍ය සුවඳ හා පැහැය ලබා ගැනීම සඳහා වර්ණකාරක හා සුගන්ධකාරක එක් කෙරේ.

පහතින් ඇත්තේ ඉරිඟු පිටි වලින් කෘතීම සහල් හදන පිලිපීන නිෂ්පාදකයෙකුගේ වත්පොත් පිටුවයි.

https://www.facebook.com/yummyhealthylife



සහල් ආසියානු කලාපයේ මෙන්ම ආසියාවෙන් පිටත ඇතැම් රටවලද ප්‍රධාන ආහාරයයි. එය එම රටවල කැලරි අවශ්‍යතා සපුරාලන ප්‍රධානම ආහාරය වුවත්, ඇතැම් සෞඛ්‍ය ප්‍රශ්න වලටද හේතුවකි. එක් අතකින් ඕනෑවට වඩා බත් කෑම සීනි වැඩිවීමට හේතුවකි. දෙවනුව, හාල් වල ප්‍රෝටීන් අඩංගු නැති නිසා ආහාර වේලේ සමතුලිතතාවයට ප්‍රශ්නයක් වේ. කෘතීම හාල් මේ ප්‍රශ්න දෙකටම විසඳුමකි. කෘතීම හාල් නිෂ්පාදනය කිරීමේදී ග්ලයිකෙමික් දර්ශක (GI) අගය අඩු ආදේශක යොදාගනිමින් හා ප්‍රෝටීන් අඩංගු කඩල, මුං ඇට වැනි මාෂබෝග වර්ගවල පිටි, තන්තුමය ආහාර ආදිය එකතු කරමින් එය කිරීමේ හැකියාව තිබේ.

කෙසේවුවද, අවසාන වශයෙන් තමන් ආහාරයට ගත යුතු දෙය එක් එක් පුද්ගලයාගේ තීරණයකි. ඒ නිසා, තමන් මිල දී ගන්නා සහල් වලට කිසියම් ආකාරයකින් කෘතීම ලෙස සකස් කළ සහල් අඩංගුද යන්න යන්න දැනගැනීම පාරිභෝගිකයෙකු සතු විය යුතු අයිතියකි. ඒ නිසා, රජය විසින් කළ යුත්තේ කෘතීම සහල් තහනම් කිරීම නොව, ආනයනික සහල් වලට කෘතීම සහල් මිශ්‍ර කර ඇත්නම් ඒ බව අසුරණයේ ප්‍රදර්ශනය කළ යුතු බව නියම කිරීමයි. 


පැස්ටා හෝ සීරියල් වර්ග ආහාරයට ගන්නට නොපැකිළෙන අයෙකු කෘතීම සහල් ආහාරයට ගැනීමට බිය විය යුතු නැත. එහෙත් යොදා ඇති රසකාරක හා වර්ණකාරක ගැන සැලකිලිමත් විය යුතුය. එමෙන්ම, විකිණීමට අසීරු තත්ත්වයේ ඇති, එහෙත් පෙනුමෙන් මිස පෝෂණ ගුණය අතින් අඩුවක් නැති බාල තත්ත්වයේ සහල්, සුණුසහල් හා වීමෝල් වලින් ඉවතලන සහල් කුඩු ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් හොඳ පෙනුමක් ඇති කෘතීම සහල් නිෂ්පාදනය කිරීම සාපේක්ෂව අඩු ආයෝජනයකින් ලාංකිකයෙකුට ඇරඹිය හැකි කර්මාන්තයකි.

Sunday, June 4, 2017

සුසන්තිකාගේ පදක්කම


සුසන්තිකා නැවත වරක් සිය ඔලිම්පික් පදක්කම මුදල් කරන්නට උත්සාහයක් දරන බව පෙනේ. නැවත වරක් කියා කීවේ මීට පෙරද වාර ගණනාවක් ඇය සිය ඔලිම්පික් පදක්කම මුදල් කර හෝ එසේ කරන්නට උත්සාහයන් දරා ඇති බැවිනි. ඈ මෙය පටන්ගත්තේ ඔලිම්පික් පදක්කම ලැබෙන්නටද පෙර සිටය.

වරක් ඇය මාධ්‍ය ඉදිරියට පැමිණ ඇමතිවරයෙකුට චෝදනා කළාය. තවත් වරක් ඇගේ පවුලේ ප්‍රශ්න ගැන කතා කළාය. මේ චෝදනා හා ප්‍රශ්න වලට රටේ ඉල්ලුමක් තිබුණේය. ඒ ඉල්ලුමට හේතු වූයේ සුසන්තිකා විසින් ඔලිම්පික් පදක්කමක් ලබා තිබීමයි. වෙනත් විදිහකින් කියනවානම් ඇය මාධ්‍ය ඉදිරියට පැමිණ අලෙවි කළේ ඇය සතු වූ ඔලිම්පික් පදක්කමේ ව්‍යුත්පන්නයකි. නැත්නම් ඩෙරිවේටිව් එකකි.

දැන් ඇය කරන්නේද එයයි. ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නට යන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන විට බොහෝ දෙනෙකුට ඇති වේයැයි ඇය සිතන කම්පනය මුදල් කරන්නට සුසන්තිකා දැන් උත්සාහ කරයි.

සුසන්තිකාගේ ඔලිම්පික් ජයග්‍රහනය ලංකාවේ විශාල පිරිසකට 'ලොකු දෙයක්' විය. අප නොදන්නා කාලයක හිමිව තිබුණු ඩන්කන් වයිට්ගේ ඔලිම්පික් පදක්කම ගැන පමණක් අසා තිබුණු අප බොහෝ දෙනෙකුට සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමේ වටිනාකමක් තිබුණේය. ඉතා දුෂ්කර මාර්ගයක ඔලිම්පික් පදක්කම දක්වා පැමිණි ඇය විසින් ලබාගත් ජයග්‍රහණයෙන් පැත්තක සිටි අපටද ලැබුණු දෙයක් තිබුණේය. සුසන්තිකා වෙනුවෙන් ඒ වන විටද රජය මඟින් වැය කර තිබුණු පොදු අරමුදල් හරහා ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපද කිසියම් පිරිවැයක් දරා තිබුණත් ලැබුණු ලාබය ඊට වඩා වැඩි වූ නිසා අප බොහෝ දෙනෙකු වෙත සුසන්තිකා වෙත ගෙවන්නට කිසියම් ණයක් තිබුණේය.

වෙනත් අයුරකින් කිවහොත් සුසන්තිකාගේ ඔලිම්පික් ජයග්‍රහණය නිසා ඇයට හිමිවූ පෞද්ගලික ප්‍රතිලාභ වලට අමතරව තවත් බොහෝ දෙනෙකුටද කිසියම් ප්‍රතිලාභයක් ලැබී තිබුණේය. මෙය මූල්‍ය ප්‍රතිලාභයක් නොවීම වෙනම කරුණකි. ආර්ථික විද්‍යා භාෂාවෙන් මෙය 'පොසිටිව් එක්ස්ටර්නලිටි' එකකි. මේ 'පොසිටිව් එක්ස්ටර්නලිටි' එක ඇගේ ජයග්‍රහණය අගය කළ මිනිසුන්ගේ හදවත් තුළ ඇයට අවශ්‍ය විටක ආපසු ගත හැකි ස්ථිර තැන්පතුවක් සේ රැඳී තිබුණේය.

සුසන්තිකා යනු මේ ආකාරයේ ඉතිරි කිරීමක් කළ එකම තැනැත්තිය නොවේ. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය හා කුමාර සංගක්කාර වැනි වෙනත් ක්‍රීඩකයෝද, බොහෝ කලාකරුවෝද වෙනත් මිනිසුන්ගේ හදවත් තුළ කිසියම් ප්‍රාග්ධනයක් ඉතිරි කළේය. එය ඔවුන්ට පහසු වූයේ බොහෝ මිනිසුන් වීරයින් නඩත්තු කරන නිසාය.

බොහෝ මිනිසුන් තමන් ගැන හිතන්නේ තමන්ගේ සැබෑ තරමට වඩා ලොකු මිනිසුන් ලෙසය. එසේ හිතුවත්, මේ බොහොමයකට තමන්ගේ හිතේ තිබෙන 'ලොකු වැඩ' කරගැනීමේ සැබෑ හැකියාවක් නැත. ඔලිම්පික් පදක්කමක් ගැනීමේ හෝ ජාතික ක්‍රිකට් කණ්ඩායමට රිංගා ගැනීමේ සිට ප්‍රසිද්ධ ගායකයෙකු හෝ නළුවකු වීම දක්වා තමන්ට ළඟා කරගත නොහැකි සිහින ලඟා කරගන්නා අය මේ මිනිසුන්ගේ වීරයෝ වෙති. වීරයින් නඩත්තු කිරීමේ වැරැද්දක් නැතත් එය වියදම් අධික කටයුත්තකි. ඔබේ වීරයා හෝ වීරවරිය විසින් ඔබ වෙත ඉතිරි කර ඇති ප්‍රාග්ධනය ඔහු හෝ ඇය විසින් කොයි මොහොතේ හෝ මුදල් කරන්නට ඉඩ තිබේ.

වීර චරිතයක් බවට පත් වුනු අයෙකුට ඒ වීරකම මුදල් කළ හැකි පහසුම ක්‍රමයක් වන්නේ වෙළඳ දැන්වීම් වෙනුවෙන් පෙනී සිටීමයි. කුමාර සංගක්කාර ෆොන්ටෙරා වෙළඳ දැන්වීමකට පෙනී සිටින විට, ඔහුව වීරයෙකු ලෙස සලකන බොහෝ දෙනෙකු ඒ හේතුව නිසාම ෆොන්ටෙරා කිරි මිල දී ගැනීමට පෙළඹේ. මේ හරහා සංගක්කාර ඔහුව වීරයකු ලෙස සලකන පිරිස් විසින් ඔහුගේ ජයග්‍රහණයන් තුලින් ලබාගත් 'පොසිටිව් එක්ස්ටර්නලිටි' වල වටිනාකම නැවත ආපසු ලබාගනී.

මේ ක්‍රමයේ කිසිදු වැරැද්දක් නැත. සංගක්කාරට වෙළඳ දැන්වීමක පෙනී සිටීම මඟින් රටේ සියලු දෙනාටම ෆොන්ටෙරා කිරි පොවන්නට නොහැකිය.  වෙළඳ දැන්වීම බලා ෆොන්ටෙරා කිරි බොන්නට පෙළඹෙන්නේ සංගක්කාරව වීරයෙකු ලෙස නඩත්තු කරන අය පමණි. ඒ නිසා, මෙසේ කිරීම හේතුවෙන් ක්‍රිකට් වලින් කිසිදු සතුටක් නොලබන පැත්තක සිටින අයට පාඩුවක් වෙන්නේ නැත.

වෙළඳ දැන්වීම් වල පෙනී සිටීමට අමතරව මේ ආකාරයේ "වීරයෝ" මැතිවරණ වලට ඉදිරිපත් වෙමින්ද 'පොසිටිව් එක්ස්ටර්නලියේ ' වටිනාකම තමන් වෙත ඇද ගනිති. සනත් ජයසූරිය කළේ මෙයයි. දේශපාලන පවුලකට අයත් වුවද, අර්ජුන රණතුංගද බොහෝ දුරට කළේ මෙයයි. කෙසේවුවද, මෙහිදීද ඔවුන්ව වීරයින් ලෙස නඩත්තු නොකරන අයට මිලක් ගෙවන්නට වුනේ නැත. ඒ නිසා, ඔවුන් ලබාගත්තේ ඔවුන් සතු දෙයකි.

එහෙත්, සුසන්තිකා කරන්නේ මේ දෙයම නොවේ. ඇය පීඩනයක් යොදවන්නේ රජය හරහා මහජන මුදල් වලින් වැඩිපුර ප්‍රතිලාභයක් ලබා ගැනීමටය. මහජන මුදල් වලට සුසන්තිකාව වීරවරියක් ලෙස තවදුරටත් නඩත්තු කරන අය මෙන්ම එසේ නොකරන අයද දායක වී තිබේ. ඒ නිසා, මහජන මුදලින් ප්‍රතිලාභ ලැබීම යනු පෙර අවස්ථා වලදී මෙන් තමන්ට අයිති දෙයක් මුදල් කිරීමක් නොවේ.

රටේ සියලු දෙනා කෙසේවෙතත් බොහෝ දෙනෙකු සුසන්තිකාව වීරවරියක ලෙස නඩත්තු කිරීම හේතුවෙන් ඇයට මහජන මුදලින් මෙතෙක් කල් යම් ප්‍රතිලාභ ලබන්නට හැකිවී තිබේ. රටේ බොහෝ දෙනෙක් සුසන්තිකාව වීරවරියක ලෙස නඩත්තු කළද ඔවුන් ඒ වෙනුවෙන් ගෙවන්නට කැමති උපරිම මිලක් තිබේ. කාලයක් තිස්සේ සුසන්තිකා විසින් මේ මිලෙන් සෑහෙන කොටසක් ලබා ගෙන තිබේ. ඒ නිසා ඈ විසින් වසර ගණනකට පෙර එකතු කළ ප්‍රාග්ධනය මේ වන විට බොහෝ දුරට ක්ෂය වී අවසන්ව තිබිය යුතුය.

ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නට යන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමෙන් සුසන්තිකාට සමාජය කම්පනය කරන්නට හැකි වනු ඇත්තේ ඈ විසින් එකතු කළ ප්‍රාග්ධනය මෙතෙක් කල් වරින්වර මුදල් කිරීමෙන් පසුවද තවදුරටත් ඉතිරිව ඇත්නම් පමණි.

Saturday, June 3, 2017

සූටි කයියා එළියට ගැනීමෙන් පසු...


ආපනශාලාවකට පැමිණි අයෙක් කිසියම් ආහාරයක් ඇණවුම් කළේය. ඔහු ආහාර ගැනීම අරඹන්නට හදන විටම ගෑරුප්පුව බිම වැටුණේය. වේටර් වරයකුට කතා කළ ඔහු අලුත් ගෑරුප්පුවක් ඉල්ලා සිටියේය. සිය නිල ඇඳුමේ සාක්කුවට අත දැමූ වේටර්වරයා සිය පාරිභෝගිකයාට වහාම ගෑරුප්පුවක් ලබා දුන්නේය.

ගෑරුප්පුවක් රැගෙන එන්නට කුස්සියට නොගොස් වේටර්වරයා විසින් වහාම එය ලබාදීම පාරිභෝගිකයාව සතුටටද, මවිතයටද පත් කළේය.

"ඔයා හැම වෙලාවෙම අමතර ගෑරුප්පුවක් සාක්කුවෙ දාගෙන ඉන්නවද?"

"මගේ විතරක් නෙමෙයි, සර්! අපේ රෙස්ටොරන්ට් එකේ හැම වේටර් කෙනෙක්ගෙම සාක්කුවේ අමතර ගෑරුප්පුවක් වගේම අමතර හැන්දකුත් තියෙනවා!"

"මරුනේ! කාගෙ අදහසක්ද මේක?"

"පහුගිය මාසේ අපේ මුදලාලි රෙස්ටොරන්ට් එකේ ප්‍රොඩක්ටිවිටි එක ඉම්ප්රූ කරන්න උපදෙස් ගන්න කන්සල්ටන්ට් කෙනෙක්ව හයර් කළා. ඉතිං මිනිහා සති ගාණක් මේ රෙස්ටොරන්ට් එකේ වැඩ කෙරෙන හැටි බලා හිටියා. එයා දැකල තිබුණු දෙයක් තමයි අපේ කස්ටමර්ස්ලාගෙන් පහෙන් එකක් විතරම හැන්දක් හරි ගෑරුප්පුවක් බිම වට්ටලා අලුත් එකක් ඉල්ලන බව."

"ඉතිං?"

"එක වේටර් කෙනෙක් කුස්සියට ගිහින් හැන්දක් හරි ගෑරුප්පුවක් හරි ගේන්න මිනිත්තු දෙකහමාරක් යනවා. අපේ රෙස්ටොරන්ට් එකට දවසකට කස්ටමර්ස්ලා දාහක් විතර එනවා. එතකොට මේ හැඳි ගෑරුප්පු බිම වැටීම නිසාම දවසකට වේටර්ලාගේ පැය අටක් පමණ නාස්ති වෙනවා. කන්සල්ටන්ට් පෙන්නල දුන්න විදිහට හැම වේටර්ටම අමතර හැන්දක් හා ගෑරුප්පුවක් ළඟ තබාගන්න දීමෙන් අපට එක වේටර් කෙනෙක්ව අයින් කරන්න පුළුවන් වුණා."

"නියම අදහසක්නේ! එයා ඒ වගේ යෝජනා වෙන මුකුත් කළේ නැද්ද?"

ගෑරුප්පුවෙන් ඇන මස් කෑල්ලක් කටට ඔබාගන්නා ගමන් පාරිභෝගිකයා අසයි.

"ඇයි නැත්තේ? සර්ට පේනවද මගෙ කමිසේ යටින් නූලක් එල්ලෙනවා."

"මම දැක්කා. අනිත් වේටර්ලගේත් එහෙම නූලක් එල්ලෙනවා නේද?"

"ඔවු. මේකත් ඒ කන්සල්ටන්ට්ගේම අදහසක්. එයාගේ ගණන් හැදීම් අනුව එක වේටර් කෙනෙක් පැය දෙකකට වරක් මුත්‍රා කරන්න වැසිකිලියට යනවා."

"ඉතිං?"

"ඉතිං වැඩේ ඉවර කරලා අත් සෝදාගන්න ඕනැනේ. ඒකට සාමාන්‍යයෙන් විනාඩි තුනක් යනවා."

"ඒක ඉතිං කරන්නම වෙනවනේ?"

"නෑ! කන්සල්ටන්ට් යෝජනා කරපු විදිහට මේ නූල අවශ්‍ය තැනට ගැට ගහල තියෙන්නේ ඒකයි. දැන් අපි මුත්‍රා කරන වෙලාවට අතින් අල්ලන්නේ නැතුව නූලෙන් ඇදල සූටි කයියා එළියට ගන්න පුළුවන්. එතකොට අත හෝදන්න අවශ්‍ය වෙන්නේ නැහැ."

"මරුනේ ඕයි!"

"සර්, තව මොනව හරි ඕනැනම් කියන්න. මම එහා මේසෙට යනවා."

වේටර්වරයා යන්නට හැරුණේය.

"මේ පොඩ්ඩක් ඉන්නවා. දැන් එතකොට නූලෙන් අල්ලල සූටි කයියා එළියට ගත්ත කියමුකෝ...ඕක කොහොමද අතින් නොඅල්ලා ආපහු ඇතුළට දාගන්නේ?"

"අනිත් අයනම් ඕක කොහොම කරනවද කියල මම දන්නෙ නෑ, සර්! මමනම් ඔය වැඩේට සාක්කුවෙ තියෙන අමතර හැන්ද හරි ගෑරුප්පුව හරි තමයි පාවිච්චි කරන්නේ!"

***

ආපනශාලා පාරිභෝගිකයින් විසින් හැඳි හා ගෑරුප්පු බිම වැට්ටවීම මෙය කියවන බොහෝ දෙනෙකු විසින් කලින් අසා තිබෙන්නට ඉඩ ඇති උඩ කතාවේ පෙන්වන තරම් ලොකු ප්‍රශ්නයක් නොවූවත්, සේවකයින් වෙනුවෙන් අවම පිරිවැයක් දරමින් තත්ත්වයෙන් හැකිතාක් ඉහළ සේවාවක් සැපයීම ඉතා තරඟකාරී කර්මාන්තයක් වන ආපනශාලා කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රශ්නයකි. මේ සඳහා හැකිතාක් අවම වැටුපකට සේවකයින් බඳවා ගන්නට සිදුවේ.

ලංකාවේ ඇතැම් කර්මාන්ත හා අදාළව අවම වැටුප් නියම කර තිබුණත්, එම කර්මාන්ත වල නිරතවන ශ්‍රමිකයින්ට ගෙවන සාමාන්‍ය වැටුප් මේ අවම වැටුප් වලට වඩා බොහෝ වැඩි නිසා ලංකාවේ අවම වැටුප් නීතිවලින් ශ්‍රම වෙළඳපොළ සමතුලිතතාවයට ප්‍රායෝගිකව එතරම් බලපෑමක් සිදු නොවේ. එහෙත්, ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල පවතින්නේ මෙයට වඩා වෙනස් තත්ත්වයකි. ඇමරිකාවේ අවම වැටුප වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලට වඩා වැඩිය. ඒ නිසා, ආපනශාලා කර්මාන්තය වැනි නුපුහුණු ශ්‍රමය අවශ්‍ය කර්මාන්ත වල නියැලෙන ව්‍යවසායකයින්ට ශ්‍රමය මිල දී ගැනීමේදී "නියම මිලට" වඩා වැඩි මිලක් වන අවම වැටුප සිය සේවකයන්ට ගෙවන්නට සිදු වේ.

ශ්‍රම වෙළඳපොළේ ඇති ඉහත අසමතුලිතතාවය නිසා ෆෙඩරල්, ප්‍රාන්ත හෝ ප්‍රාදේශීය පාලකයින් විසින් නියම කර ඇති අවම වැටුපට වඩා අඩුවෙන් වැඩ කරන්නට කැමැත්තෙන් සිටින ඇමරිකානුවන් හා ඇමරිකාවේ පදිංචි විදේශිකයින් බොහෝ දෙනෙකුට රැකියා විරහිතව ඉන්නට සිදුවී තිබේ. මෙහි බලපෑම වැඩිපුරම තිබෙන්නේ ඇමරිකාවේ පදිංචි විදේශිකයින්ටය. නිල සංඛ්‍යාලේඛණ වල දැකිය නොහැකි වුවත්, ආපනශාලා කර්මාන්තයේ විදේශ ආපනශාලා අනු අංශය තුළ මේ අසමතුලිතතාවය සමතුලිත වන ආකාරය පැහැදිලිව  පෙනෙන්නට තිබේ.

ඇමරිකාවේ බොහෝ නගර වල ක්ෂණික ආහාර ආපනශාලා නොවන ආපනශාලා අතරින් අඩුම මිලකට ආහාර වේලක් විකිණෙන්නේ මෙක්සිකන්, චීන, වියට්නාම් ආදී රටවල ආහාර විකුණන එවැනි රටවලින් පැමිණි සංක්‍රමණිකයින් විසින් පවත්වාගෙන යන ලාබ අවන්හල් වලය.

මේ අවන්හල් වල සේවය කරන සේවකයින් බොහෝ දෙනෙකුට කිසිදු වැටුපක් නොලැබේ. එසේ තිබියදී, ඔවුන් මෙසේ සේවය කරන්නේ සන්තෝෂම් ලෙස ලැබෙන මුදල් වලින් පමණක් වුවද ඔවුන් බලාපොරොත්තු වන ශ්‍රමයේ වටිනාකම ලැබෙන නිසාය. එහෙත්, එවැනි සන්තෝෂම් මුදල් වුවද ඔවුන්ට ලැබෙන්නේ ව්‍යවහාර මුදලින් (cash) සන්තෝෂම ලබාදුන් විට පමණි. බොහෝ පාරිභෝගිකයින් විසින් ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවමින් බිල් පතටම එකතු කරන සන්තෝෂම් මුදල් අදාළ සේවකයින්ට ලැබෙන්නට මෙන්ම නොලැබෙන්නටද ඉඩතිබේ. 

අලිඛිත සේවා ගිවිසුමක් අනුව තමන්ට හිමි විය යුතු සන්තෝෂම් මුදල් නොලැබුණු විටෙක පැමිණිලි කිරීමේ හැකියාවක්ද මේ බොහෝ දෙනෙකුට නැත. ඒ, මේ බොහෝ දෙනෙකුට ඇමරිකාවේ රැකියා කිරීමට අවශ්‍ය නීතිමය අවසරයද නැති නිසාය. ඒ නිසා, දේශීය ආදායම් අධිකාරියට බදු ගොනු කිරීමේදී
ඔවුන් උපයන ආදායම වාර්තා වන්නේද නැත.

ඉහත ආකාරයේ අලිඛිත සේවා ගිවිසුම් මත සන්තෝෂම් මුදල් පමණක් වෙනුවෙන් සේවය කරන බොහෝ දෙනෙකු ඇමරිකාවේ විවිධ නගර වලදී මට හමුවී තිබේ. මේ සියලු දෙනාම වාගේ සේවය කරන්නේ සංක්‍රමණිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන අවන්හලක වීම විශේෂත්වයකි. ඔවුන් සතු ලාබ ශ්‍රමය සමඟ තරඟ කිරීම සිය සේවකයින්ට නිසි ලෙස අවම වැටුප් ගෙවන ව්‍යවසායකයෙකුට කරන්නට අමාරු දෙයකි. ඒ නිසා, මේ ලාබ අන්තයේ ඇති ඇමරිකානු අවන්හල් අතර බොහෝ විට දැකිය හැක්කේ රටපුරා පැතිරුණු ශාඛා ගණනාවක් ඇති මැක්ඩොනල්ඩ්ස් ආකාරයේ ස්වයංසේවා අවන්හල්ය. එවැනි අවන්හල් සිය විශාලත්වයේ වාසිය (economy of scale) හා ස්වයංකරණය මඟින් වෙළඳපොළ තරඟයට මුහුණ දෙයි.

ඇමරිකාවේ ආපනශාලා කර්මාන්තය මුහුණ දෙන්නේ මිල නියාමනයට පමණක් නොවේ. මේ කර්මාන්තයේ ගුණාත්මක භාවයද විශාල ලෙස නියාමනයට යටත් වේ. අවම වැටුප් මෙන්ම අවම තත්ත්ව පාලන අවශ්‍යතාවයන්ද ඇමරිකාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පමණක් නොව නගරයෙන් නගරයට පවා වෙනස් වේ.

උදාහරණයක් ලෙස, වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටල් නගරය අයත් වන කිංග් කවුන්ටිය ආපනශාලා හා අදාළව පුළුල් නියාමන රාමුවක් ක්‍රියාත්මක කරන ප්‍රදේශයකි. මේ කවුන්ටියේ බලධාරීන් විසින් මාස හතරකට පමණ වරක් ප්‍රදේශයේ ඇති ආපනශාලා පරීක්ෂා කරමින් ලකුණු දීමක් කරයි. මේ ක්‍රමය අනුව ලකුණු ලැබෙන්නේ වැරදි හෝ අඩුපාඩු වලටය. කිසිදු වැරැද්දක් නැත්නම් ලකුණු ගණන බිංදුවකි.

වැරැද්දේ හෝ අඩුපාඩුවේ ස්වභාවය අනුව ලකුණු ගණන වෙනස් වනවාට අමතරව, රතු වැරදි හා නිල් වැරදි වශයෙන්ද වර්ගීකරණයක්ද කෙරේ. මුළු ලකුණු ගණන අනුව අවන්හලක් ඉතා හොඳ, හොඳ, සාමාන්‍ය හා අඩුපාඩු සහිත ලෙස වර්ග කෙරේ. කිසියම් අවන්හලක මේ අවසන් වර්ගීකරණය මෙන්ම, එය පරීක්ෂා කෙරුණු එක් එක් අවස්ථාවේදී දකින්නට ලැබුණු රතු හා නිල් වැරදි පිළිබඳ විස්තර හා ලකුණු ගණන්ද අන්තර්ජාලයෙන් බලාගන්නට පුළුවන.

බලධාරීන් විසින් සිදුකරන පරීක්ෂාවට අමතරව ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා (හා වෙනත් ක්‍රමවලින්) පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර ඒ පැමිණිලි සම්බන්ධවද බලධාරීහු ක්‍රියාත්මක වෙති. මහජන සෞඛ්‍යට හානිකර තත්ත්වයක් පෙනෙන්නට ඇත්නම් එවැනි අවන්හලක් වහාම වසාදමන්නට නියෝග කෙරේ. මෙසේ අවන්හලක් වසා දමන්නට තීරණය කරන්නේ වැරැද්ද විශාල එකක් වීම නිසා, එකම වැරැද්ද අවවාද නොතකා දිගටම කිරීම නිසා හෝ සුළු වැරදි විශාල ගණනක් සිදු කිරීම නිසා වන්නට පුළුවන.

එක පැත්තකින් සේවකයින් සඳහා අවම වැටුප් ගෙවන අතරම දැඩි තත්ත්ව පාලන කොන්දේසි වලට මුහුණ දෙමින් අවන්හල් සේවා සපයන ව්‍යවසායකයෙකුට ලාබ ලැබීම විශාල අභියෝගයකි. 2014 වසරේදී සියැටල් නගර සභාව විසින් පණතක් සම්මත කරගනිමින් වසර කිහිපයක් ඇතුළත අවම වැටුප ඩොලර් 10 සිට ඩොලර් 15 පමණ දක්වා ඉහළ දමන්නට තීරණය කළේ මේ  අතරදීය.


ඩිමොක්‍රටික් පක්ෂයට බලය ඇති සියැටල් නගර සභාවේ නියෝජිතයින් අතර ඇමරිකාවේ ක්‍රියාත්මක ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් වන සමාජවාදී විකල්ප පක්ෂයේ සාමාජිකාවක් වූ ක්ෂමා සවන්ත්ද සිටී. ඇය ඇමරිකාවේ එවැනි නියෝජිත තනතුරකට තේරී පත් වී සිටින එම පක්ෂයේ එකම (සාමාජිකයා හෝ) සාමාජිකාවයි.

අවම වැටුප් වැඩිකිරීම යනු ආපනශාලා කර්මාන්තකරුවන්ගේ පිරිවැය ඉහළ යාමයි. විශාල ලාභ නැති තරඟකාරී කර්මාන්තයක පිරිවැය ඉහළ ගිය විට කර්මාන්තයේ කලින් පැවති ලාබ නැති වී යයි. එවිට කර්මාන්තයේ දිගටම රැඳී සිටිය හැක්කේ කිසියම් උපාය මාර්ගික ප්‍රතිචාරයක් දක්වමින් සිය අහිමි වූ ලාබ නැවත හිමි කරගත හැකි අයට පමණි. දේශපාලන තීරණ හේතුවෙන් කර්මාන්තයක පිරිවැය ඉහළ යන හැම විටකම වගේ ව්‍යවසායයන් ගණනක් වැසී ගොස්, ඒවායේ සේවය කළ අයට රැකියා අහිමි වන බව න්‍යායාත්මකව මෙන්ම දත්ත වලින්ද පෙනී යන කරුණකි.

තවමත් ජර්නලයක පළ වී නැති අලුත් හාර්වර්ඩ් පර්යේෂණ පත්‍රිකාවකට (working paper) අනුව, අවම වැටුප ඩොලරයකින් වැඩි වන විට පහළ අන්තයේ ඇති අඩුමිල අවන්හලක් වැසීයාමට ඇති ඉඩකඩ 14%කින් ඉහළ යයි. අවන්හලක් වැසීයාම යනු සේවකයින් ගණනකට රැකියා අහිමිවීමකි.

අවම වැටුප් වැඩි වෙද්දී තවදුරටත් කර්මාන්තයේ රැඳී සිටින අය එසේ කරන්නේ කෙසේද? ලාබ පවත්වාගත හැකි එක් ක්‍රමයක් වන්නේ මිල ඉහළ දැමීමයි. එහෙත්, එසේ කළ විට මේ අඩු මිල අවන්හල් වලට එන පාරිභෝගිකයින්ට අඩුමිල අවන්හල් හා වඩා හොඳ අවන්හල් අතර මිල වෙනස පෙර තරම් විශාල නොවන බව පෙනෙන නිසා ඔවුන් බොහෝ දෙනෙක් වඩා හොඳ අවන්හල් වෙත යයි. අවම වැටුප් ඉක්මවන වැටුප් ගෙවන වඩා හොඳ අවන්හල් වලට අවම වැටුප් වැඩිවීමේ බලපෑමක් නැති නිසා ඔවුන්ට මිල වැඩි කිරීමට අවශ්‍යතාවයක් නැත. මිල වැඩි කරන විට ලාබ ආන්තිකය වැඩිවුවත් ඊට වඩා වැඩියෙන් පාරිභෝගිකයින් ගණන අඩුවේනම් ලාබ වැඩි නොවේ. අඩුමිල අවන්හල් හා අදාළ තත්ත්වය මෙවැන්නකි. ඒ නිසා මිල වැඩි කිරීම එක්තරා සීමාවකින් ඔබ්බට හරියන උපාය මාර්ගයක් නොවේ.

මිල වැඩි කළ නොහැකිනම් කරන්නට වෙන්නේ පිරිවැය අඩු කර ගැනීමයි. එය කළ හැක්කේ සේවක පිරිස් අඩු කිරීමෙනි. මේ නිසා, අවම වැටුප් ඉහළ යන විට රැකියා නැති වන්නේ වැසීයන අවන්හල් වල සේවය කළ පිරිස් වලට පමණක් නොවේ. දිගටම කර්මාන්තයේ රැඳී සිටින අවන්හල් වල සේවය කළ විශාල පිරිසකටද රැකියා අහිමි වේ.

සේවකයින් අඩු කළ විට කලින් කළ වැඩ කරන්නට පිරිස් මදි වේ. මෙයට එක් විසඳුමක් වන්නේ ස්වයංකරණය වෙත යොමු වීමයි. ශාඛා ගණනාවක් ඇති මැක්ඩොනල්ඩ්ස් ආකෘතියේ අවන්හල් හැරුණු විට අනෙක් අඩු මිල අවන්හල් වලට ස්වයංකරණය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇත්තේද සීමිත හැකියාවකි. ඒ නිසා, මේ කුඩා අවන්හල් බොහොමයක්ම යොමු වන්නේ තෙවන විකල්පය වන ගුණාත්මක භාවය පහත හෙලීම කෙරෙහිය.

ගුණාත්මක භාවය පහත හෙලීමේද සීමාවන් තිබේ. ලොකු වැරදි කළොත් නියාමනයේ හස්තයට අසුවී ව්‍යාපාරය වසා දමන්නට සිදුවේ. ඒ නිසා, 'රතු වැරදි' සිදු නොවන්නට සැලකිලිමත් විය යුතු වුවත් 'නිල් වැරදි' සිදුවීමෙන් විය හැකි හානිය එතරම්ම වැඩි නැත. දත්ත අනුව පෙනී යන්නේ අවම වැටුප් වැඩිවන හැම විටකම ආහාර වල ගුණාත්මක භාවයට (සුරක්ෂිතතාවට) විශාල ලෙස බලපාන කරුණු ගැන පමණක් සැලකිලිමත් වෙමින් "පොඩි අතපසුවීම්" නොසලකා හරින්නට ආපනශාලා පරිපාලකයින් පෙළඹෙන බවයි.


සමීක්ෂණ ප්‍රතිඵල අනුව පෙනෙන පරිදි, ගැහැණුන්ගෙන් 40%ක් හා පිරිමින්ගෙන් 62%ක් වැසිකිලි යාමෙන් පසු අත් සේදීම ගැන වද නොවන අතර, වසර කිහිපයකට පෙර පළ කෙරුණු පර්යේෂණ පත්‍රිකාවකට අනුව,  යොදාගත් නියැදියේ සිටි එසේ අත සෝදන අය අතරින්ද 95%ක්ම නිසි ලෙස විෂබීජහරණය වන පරිදි එය කරන්නේ නැත. අවම වැටුප ඉහළ යන හැම විටකම සිදුවන්නේ වේටර් කෙනෙකු මුත්‍රා කිරීමෙන් පසුව නිසි ලෙස අත සෝදා විෂබීජහරණය කිරීමේ ඉඩකඩ තවත් පහළ යාමයි.

මෙය මෙසේ කීවත් මෙය ලංකාවේ බොහෝ දෙනෙකු සංවේදී නැති කරුණක් වන්නටද පුළුවන. මුත්‍රා කරන්නට පවා පහසුකම් නැති තැනකදී අත සේදීම ගැන කතාකිරීම තේරුමක් නැති දෙයකි.

දැන් තත්ත්වය වෙනස් වී තිබෙන්නට ඉඩ ඇතත් මා පාසැල් යන කාලයේදී මෙන්ම සරසවියේ සිටි කාලයේදීද පුරුද්දක් වශයෙන් මුත්‍රා කිරීමෙන් පසු නොවරවා අත සෝදන අයෙකු සිටියේනම් ඔහු හොඳ බයිට් එකක් වනු නොඅනුමානය. පිරිමියෙක් විසින් කොහේ හෝ අයිනකට මුත්‍රා කිරීම වසර පහළොවකට විස්සකට පෙරද ඉතාම සාමාන්‍ය දෙයක් විය. මේ තත්ත්වය දැන් සෑහෙන දුරට වෙනස් වී තිබේ. මෙවැනි දසුනක් ඇස ගැටුණු බටහිර රටකින් පැමිණි සංචාරකයෙකු විසින් හඳුනා ගන්නා ලංකාව, පාරවල් අයිනේ පෝලිමට මළපහ කරන්නන් සිටින බව බොහෝ දෙනෙක් කියන ඉන්දියාවෙන් වෙනස් වන්නට ඇත්තේ සුළු ඉඩකි.

ඇමරිකාවේ පාරවල් අයිනේ මලපහ කරන අය හෝ මුත්‍රා කරන අය දකින්නට නැත්තේ නීති තද නිසා හෝ ඇමරිකානුවන් ස්වභාවයෙන්ම ශිෂ්ඨ සම්පන්න නිසාම නොවේ. ඇමරිකානු සමාජය දිගු කලක් තිස්සේ එවැනි තැනක් දක්වා පරිණාමය වී ඇති බැවිනි. ඒ පරිණාමය ලංකාවේ මෙන්ම ඉන්දියාවේද සිදුවේ. ඇමරිකාවේ පාරවල් අයිනේ මලපහ කරන අය හෝ මුත්‍රා කරන අය දකින්නට නැතත්, ඇමරිකානුවන් සෑහෙන දෙනෙකු තවමත් මුත්‍රා කිරීමෙන් පසු අත නොසෝදති. එහෙත්, මේ තත්ත්වය සීඝ්‍රයෙන් වෙනස් වේ.

ලංකාවේ පාර අයිනේ මුත්‍රා කිරීමට නොපැකිලුණු කෙනෙක් හෝ පාර අයිනේ මළපහ කර ඇති ඉන්දියානුවෙක් ඇමරිකාවට පැමිණි පසු එසේ කරන්නේ නැත. නීති රීති වල වෙනස්කම් වලට වඩා මෙයට බලපාන්නේ සාම්‍ය පීඩනයයි (peer pressure). ආර්ජන්ටිනා පර්යේෂක කණ්ඩායමක් විසින් 'ඉකොනොමික් ඉන්ක්වයරි' සඟරාවේ අලුත්ම කලාපයේ පළ කර ඇති ලිපියකට අනුව වෙනත් අයෙකු මුත්‍රා කිරීමෙන් පසුව අත සෝදනු දැකීම නිසා ඇති වන සාම්‍ය පීඩනය යමෙක් මුත්‍රා කර අත සේදීමේ සම්භාවිතාව 13%කින් වැඩි කරයි.

සමාජයක් එකවර වෙනස් වන්නේ නැත. එහෙත්, තනි පුද්ගලයින් කරන දේවල් වෙනත් අයද අනුගමනය කිරීමට පෙළඹෙන අතර, මෙසේ අනුගමනය කරන ප්‍රමාණය එක් සීමාවකට පැමිණි විට සාම්‍ය පීඩනය ඉතා වැඩි නිසා ඉතා කෙටි කලක් තුළ සමාජය විශාල පරිවර්තනයකට ලක් වේ. මෙය හොඳ අතට මෙන්ම නරක අතට වුවත් සිදුවන්නට පුළුවන.


***

"සර්, තව මොනව හරි ඕනැද? නැත්නම් බිල ගේන්නද?"

"බිල ගේන්න. හැබැයි ඊට කලින් මට තව එක දෙයක් අහන්න තියෙනවා..."

"අහන්න, සර්!"

"තමුසෙ කාගෙන්ද අර සූටි කයියා වචනේ අල්ල ගත්තේ?"

"ඒකද , සර්? ඒක ටිකක් පරණ කතාවක්. මෙතන වැඩට එන්න කලින් ඉලන්දාරියා කාලේ මං අභයගිරි ප්‍රොජෙට්ටේකේ වැඩ කළා. ඕක එතැන වැඩ කරපු මහත්තේක්ගේ වචනයක්!"

"මරු වචනයක්නේ ඕයි!"

"අපෝ, ඔය මනුස්සයාගේ වචන ගැනනං කියල වැඩක් නෑ. ඔන්න දැන් ටික කාලෙක ඉඳල නිදහස් සිතුවිලි කියල බ්ලොග් එකකුත් ලියනවා.."

"එතකොට තමුසේ බ්ලොග් පාඨකයෙක්?"

"ඉස්සර කියෙවුවා. පස්සේ නැවැත්තුවා. අර කන්සල්ටන්ට් උන්නැහේ අපේ මුදලාලිට කියලනේ වැඩ කරන අය බ්ලොග් කියෝන එක නවත්ත ගත්තොත් සේවකයො බාගයක්ම අයින් කරල රෙස්ටෝරන්ට් එක අමාරුවක් නැතුව දුවවන්න පුළුවන් කියල.."

Friday, June 2, 2017

සිරුරේ දුවන්නේ එක ලේ නොවේ පුතුනේ...


පසුගිය සියවසේ ආරම්භය වන තුරුම බටහිර වෛද්‍ය විද්‍යාඥයින් බොහෝ දෙනෙක් විශ්වාස කළේ සියලුම මිනිසුන්ගේ සිරුරේ දුවන්නේ එකම ලේ බවයි. මේ හේතුවෙන් රුධිර පාරවිලනය කිරීම් බොහොමයක්ම අසාර්ථක වූවා පමණක් නොව ඇතැම් විට මරණයෙන් කෙළවර විය. 1900 වසරේදී ඔස්ට්‍රියානු විද්‍යාඥයකු වූ කාල් ලෑන්ඩ්ස්ටයිනර් විසින් ඔහුගේ කාර්ය මණ්ඩලයේ අයගේ රුධිර නියැදි එකිනෙක මිශ්‍ර කරමින්, ලේ ප්‍රභේද තුනක් ඇති බව හඳුනා ගත්තේය. මේ ලේ ප්‍රභේද තුන ඔහු A , B හා C ලෙස නම් කළේය.

පසුව සිදු කෙරුණු වැඩිදුර විශ්ලේෂණ කිරීම් වලින් පැහැදිලි වූයේ මේ ලේ වර්ග තුන එකිනෙකින් වෙනස් වන්නේ A හා B සාධක ලෙස පහසුව සඳහා අපට දැනට හැඳින්විය හැකි සාධක රුධිර සෛල වල තිබීම හෝ නොතිබීම අනුව බවයි. A සාධකය ඇති විට A රුධිර කාණ්ඩයද, B සාධකය ඇති විට B රුධිර කාණ්ඩයද ඇති වේ. මේ සාධක දෙකම ඇති විට හැදෙන AB රුධිර කාණ්ඩය පසුව සොයා ගැනුණේය. කාල් ලෑන්ඩ්ස්ටයිනර් විසින් මුලින්ම C ලෙස හැඳින්වූ රුධිර කාණ්ඩය මේ සාධක දෙකෙන් එකක්වත් නැති විට ඇති වන්නකි. මේ අනුව, "(අඩංගු) නැති" යන අදහස දෙන "Ohne" යන ජර්මන් වචනය අනුව යමින් මේ රුධිර කාණ්ඩය O ලෙස නම් කෙරුණේය.

කාල් ලෑන්ඩ්ස්ටයිනර් විසින් මුලින්මද, ඒ බව දැන නොසිටි වෙනත් අය විසින් පසුවද සිදුකළ රුධිර කාණ්ඩ වර්ගීකරණය ඉතා වැදගත් සොයාගැනීමක් විය. මේ සොයාගැනීමෙන් පසුව රුධිර පාරවිලනය සාපේක්ෂව බොහෝ සුරක්ෂිත කටයුත්තක් විය. සිය සොයාගැනීම වෙනුවෙන් 1930 වසරේදී කාල් ලෑන්ඩ්ස්ටයිනර්ට වෛද්‍යවිද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිවිය.

රුධිර වර්ගීකරණය වැදගත් සොයාගැනීමක් වූයේ වෛද්‍යවිද්‍යාත්මකව පමණක් නොවේ. මිනිසුන් භෞතික වශයෙන් උපතින්ම එකිනෙකාගෙන් වෙනස් බවද මේ මඟින් පැහැදිලි කෙරුණේය. ඒ නිසා, මේ සොයාගැනීම ජාන විද්‍යාවේ තීරණාත්මක කඩඉමක් ලෙස හැඳින්විය හැකිය.

කිසියම් පුද්ගලයෙකුගේ ABO රුධිර වර්ගීකරණ කාණ්ඩය ඔහුට හෝ ඇයට ජීවවිද්‍යාත්මක දෙමවුපියන්ගෙන් උරුමවන්නකි. යමෙකුට සිය උපතින්ම උරුම වන ඇතැම් ලක්ෂණ හැම විටම මවගෙන්ද, තවත් ඇතැම් ලක්ෂණ හැම විටම පියාගෙන්ද උරුම වන අතර, දෙමවුපියන් දෙදෙනාගෙන්ම උරුම වන දේද තිබේ. ABO රුධිර කාණ්ඩය යනු මෙසේ මවගෙන් හා පියාගෙන් යන දෙදෙනාගෙන්ම උරුම වන දෙයකි. හෝමෝ සේපියන්ස්ලාගේ නවවන වර්ණදේහ යුගලයේ ඇති ජාන අනුව ABO රුධිර කාණ්ඩය තීරණය වන අතර එය යමෙකුගේ ජීවිත කාලය තුළ බාහිර සාධක මත වෙනස් නොවන්නකි.

ඔබේ මව හා පියා යන දෙදෙනාගේම රුධිර කාණ්ඩ O නම්, ඔබේ රුධිරයට A හෝ B ලක්ෂණ මිශ්‍ර විය නොහැකි බැවින් අනිවාර්යයෙන්ම ඔබේ රුධිර කාණ්ඩයද O විය යුතුය. O රුධිර කාණ්ඩය ඇති පිරිසක් කිසියම් දූපතකට සංක්‍රමණය වී එය ජනාවාස කර බාහිර ලෝකය හා සම්බන්ධයක් නැතුව කාලයක් ජීවත් වුවහොත් ඔවුන්ගෙන් පැවත ඒ දූපතේ වාසය කරන්නන් අතර A, B හෝ AB රුධිර කාණ්ඩය ඇති අය සිටින්නට නුපුළුවන.

මේ අයුරින්ම AB රුධිර කාණ්ඩය ඇති දෙදෙනෙකුගේ විවාහයෙන් O රුධිර කාණ්ඩය ඇති දරුවකු (පසුව විස්තර කරන විශේෂ තත්වයකදී හැර) බිහි විය නොහැකිය. එහෙත් එම දරුවන් අතර A, B හෝ AB රුධිර කාණ්ඩ ඇති අය සිටින්නට පුළුවන.

යමෙකුගේ රුධිර කාණ්ඩය AB වන්නේ ඔහුට හෝ ඇයට සිය දෙමවුපියන්ගෙන් එක් අයෙකුගෙන් A වර්ගයේ ඇලීලයක් හා අනෙක් තැනැත්තා හෝ තැනැත්තියගෙන් B වර්ගයේ ඇලීලයක් ලැබී තිබීම නිසාය. එවැන්නෙකු සිය දරුවන් වෙත A හෝ B යන වර්ග දෙකෙන් කවර හෝ ඇලීලයක් ලබා දෙන්නට ඉඩ තිබේ. මේ නිසා, AB රුධිර කාණ්ඩය ඇති මවකගේ හා පියෙකුගේ දරුවන්ට ඒ දෙදෙනාගෙන්ම A වර්ගයේ ඇලීල ලැබීම නිසා A රුධිර කාණ්ඩය ඇති වන්නටත්, දෙදෙනාගෙන්ම B වර්ගයේ ඇලීල ලැබීම නිසා B රුධිර කාණ්ඩය ඇති වන්නටත්, එක් අයෙකුගෙන්  A වර්ගයේ ඇලීලයක් හා අනෙක් අයගෙන් B වර්ගයේ ඇලීලයක් හිමි වී AB රුධිර කාණ්ඩය ඇති වන්නටත් පුළුවන. එහෙත්, O රුධිර කාණ්ඩය ඇති වීමට ඉඩක් නැත.

AB රුධිර කාණ්ඩය ඇති අයෙක් හා O රුධිර කාණ්ඩය ඇති අයෙක් අතර විවාහයකින් බිහි වන දරුවන්ගේ රුධිර කාණ්ඩ විය හැක්කේ මොනවාද? මෙහිදී, AB රුධිර කාණ්ඩය ඇති අය A හෝ B ඇලීල සිය දරුවන්ට උරුම කළත්, O රුධිර කාණ්ඩය ඇති අය හැම විටම උරුම කරන්නේ O ඇලීලයකි. ඒ නිසා දරුවන්ට AB රුධිර කාණ්ඩය ඇති වීමේ ඉඩක් නැත. එමෙන්ම, O රුධිර කාණ්ඩය ඇති වීමටද ඉඩක් නැත. ඒ දරුවන්ගේ රුධිරයේ හැම විටම A සාධකය හෝ B සාධකය පවතින බැවිනි.

මේ අනුව, දරුවකුගේ දෙමවුපියන් හඳුනාගැනීමේදී ABO රුධිර වර්ගීකරණයෙන් කිසියම් පිටිවහලක් ලැබේ. ABO රුධිර වර්ගීකරණය සොයා ගැනුණු කාලයේ සිටම පීතෘත්වය තීරණය කිරීම හා අදාළ නඩු වලදී මෙය උපයෝගී කරගෙන තිබේ.

AB දෙමවුපියන්ට දාව A රුධිර කාණ්ඩය ඇති දරුවෙකු බිහි වී ඇත්නම් ඔහුට හෝ ඇයට සිය දෙමවුපියන් දෙදෙනාගෙන්ම A ඇලීල හිමි වී තිබිය යුතුය. එහෙත්, AB (හෝ A) හා O දෙමවුපියන්ට දාව A රුධිර කාණ්ඩය ඇති දරුවෙකු බිහි වී ඇත්නම් ඔහුට හෝ ඇයට A ඇලීලයක් හිමිව ඇත්තේ දෙමවුපියන්ගෙන් එක් අයෙකුගෙන් පමණි. මේ දෙදෙනාගේම ABO රුධිර කාණ්ඩය හෙවත් රූපානුදර්ශය (phenotype) සමාන වුවත් ප්‍රවේණිදර්ශය (genotype) සමාන නැත.

පළමුවැන්නා AA වර්ගයේ ප්‍රවේණිදර්ශයක් ඇති පුද්ගලයෙක් වන අතර දෙවැන්නා AO වර්ගයේ ප්‍රවේණිදර්ශයක් ඇති පුද්ගලයෙකි. AA වර්ගයේ පුද්ගලයෙකු හැමවිටම සිය දරුවන්ට A ඇලීලයක් උරුම කරන නමුත් AO වර්ගයේ පුද්ගලයකු හැම විටම එසේ නොකරයි. සහකරුගේ හෝ සහකාරියගේ රුධිර කාණ්ඩය කුමක් වුවත් AA වර්ගයේ අයෙකුගේ දරුවෙක්ගේ රුධිර කාණ්ඩය හැම විටම A හෝ AB විය යුතුය. එහෙත්, AO වර්ගයේ අයෙකුගේ දරුවන්ගේ රුධිර කාණ්ඩය (සහකරුගේ හෝ සහකාරියගේ රුධිර කාණ්ඩය අනුව) ඕනෑම එකක් වන්නට පුළුවන.

මේ ආකාරයෙන්ම B රුධිර කාණ්ඩය ඇති අය අතර BB වර්ගයේ අයත් BO වර්ගයේ අයත් සිටිති. ඒ අනුව, රුධිර කාණ්ඩ හෙවත් රූපානුදර්ශ ඇත්තේ හතරක් පමණක් වුවත් ABO රුධිර වර්ගීකරණය හා අදාළව ප්‍රවේණිදර්ශය (genotype) අනුව පුද්ගලයින් කොටස් හයකට වර්ග කළ හැකිය. ඒ, AA, AO, BB, BO, AB හා OO වශයෙනි.

ABO රුධිර වර්ගීකරණය තුළ "උසස්" හෝ "පහත්" ලේ වර්ග නැතත් ඇතැම් කරුණු හා අදාළව වඩා හොඳ ලේ වර්ග තිබේ. විශේෂයෙන්ම ඇතැම් රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ABO රුධිර කාණ්ඩය අනුව වෙනස් වේ. එහෙත්, සමස්තයක් ලෙස සෑම අතින්ම වඩා හොඳ හෝ නරක ලේ වර්ග මේ කාණ්ඩ අතරින් හඳුනාගත නොහැකිය.

ලෝකයම සැලකූ විට, ඉහත රුධිර කාණ්ඩ අතරින් වඩාත්ම සුලභ ලේ වර්ගය O වන අතර වඩාත්ම දුලබ ලේ වර්ගය AB කාණ්ඩයයි. එහෙත්, ලෝකයේ භූගෝලීය කලාප හා ජනවාර්ගිකත්වයන් අනුව රුධිර කාණ්ඩ ව්‍යාප්තිය විශාල ලෙස වෙනස් වේ. දකුණු ඇමරිකාවේ හා ලෝකයේ විවිධ පෙදෙස් වල ජීවත්වන ආදිවාසීන් අතර O රුධිර කාණ්ඩය ඉතා සුලභ අතර බටහිර යුරෝපීය සම්භවයක් ඇති කොකේසියානුවන් අතර A රුධිර කාණ්ඩය සුලභය. B රුධිර කාණ්ඩය වැඩිපුර හමුවන්නේ උතුරු ඉන්දියාවේ සිට උතුරට ඇති සිරස් තීරුවකය. මෙයින් පෙනෙන්නේ විවිධ පෙදෙස් වල විවිධ රුධිර කාණ්ඩ සහිත පුද්ගලයින්ට වඩා හිතකර පාරිසරික තත්ත්වයන් පැවතී ඇති බව වන්නට පුළුවන.

රුධිර කාණ්ඩ වෙනස්කම් පැවතීමෙන් සිදුවන ජීව විද්‍යාත්මක කාර්ය භාරය පිළිබඳව තවමත් තිබෙන්නේ අසම්පූර්ණ දැනුමකි. ABO රූපානුදර්ශය හා ප්‍රවේණිදර්ශය ඇතුළු රුධිර කාණ්ඩ ව්‍යාප්තිය හැදෑරීමෙන් මිනිසාගේ අතීත සංක්‍රමනික රටාවන් හඳුනා ගන්නට පුළුවන. එහෙත්, ABO රුධිර කාණ්ඩ ඇතිවීම හා ව්‍යාප්තිය සම්බන්ධවද, එකිනෙකට වෙනස් මත තුන හතරක්ම තිබීම මෙයට තරමක බාධාවකි.

 

Thursday, June 1, 2017

නැකැත් ක්‍රමයේ විකාශනය

පෙර ලිපියකින් විස්තර කළ පරිදි නැකැත් ලෙස හඳුනා ගන්නේ අපට පෙනෙන අහසේ පොළොව කැරකෙන අක්ෂයට ඉහළින් ඇති කොටස කොටස් 27කට බෙදූ විට ලැබෙන කොටසකි. ඊටත් පෙර විස්තර කළ පරිදි, ලග්න ලෙස හඳුන්වන්නේ අපට පෙනෙන අහසේ පොළොව කැරකෙන අක්ෂයට ඉහළින් ඇති කොටස කොටස් 12කට බෙදූ විට ලැබෙන කොටසකි. ඒ නිසා, ලග්න හා නැකැත් අතර සෘජු සම්බන්ධයක් තිබේ.

මීන හා මේෂ ලග්න වෙන් කෙරෙන බෙදුම් ඉරෙන් රේවතී හා අස්විද නැකැත්ද වෙන් වේ. ඒ නිසා, සිංහල අවුරුද්ද යනු ඉර රේවතී නැකතින් අස්විද නැකතට සම්ප්‍රාප්ත වීමක්ද වේ. මීන හා මේෂ ලග්න අතරත් රේවතී හා අස්විද නැකැත් අතරත් ඇති බෙදුම් ඉරි යනු එකක් මිස දෙකක් නොවේ.

ලග්නයක් තව දුරටත් කොටස් 9කට බෙදූ විට එක් කොටසක් නවාංශකයක් ලෙස හැඳින්වේ. එමෙන්ම, නැකතක් තව දුරටත් කොටස් හතරකට බෙදූ විට කොටසක් පාදයක් ලෙස හැඳින්වේ. මේ අවස්ථා දෙකේදීම සිදුවන්නේ අහසේ පොළොව කැරකෙන අක්ෂයට ඉහළින් ඇති කොටස කොටස් 108කට බෙදනු ලැබීම නිසා නවාංශකයක් නැකතක පාදයකටද සමානය. උදාහරණයක් ලෙස අස්විද නැකත යනු මේෂ ලග්නයේ පළමු නවාංශක හතරද, බෙරණ නැකත යනු මේෂ ලග්නයේ පස්වන සිට අටවන දක්වා නවාංශකද වේ. මේෂ ලග්නයේ අවසන් නවාංශකය කැති නැකතේ පළමු පාදයයි.

ලග්න ක්‍රමය සුමේරියාවේ බිහිවී බැබිලෝනියාවේදී වැඩි දියුණු වී පසුව ග්‍රීසිය හරහා හෝ සෘජුවම උතුරු ඉන්දියාවට පැමිණි දැනුමකි. එහෙත්, නැකැත් ක්‍රමය අඩුම වශයෙන් ලග්න ක්‍රමය භාවිතයට පැමිණීමට වසර දහසකට පමණ පෙර ක්‍රිස්තු පූර්ව 1500දී පමණ සිට වෛදික ඉන්දියාවේ භාවිතා වී ඇති අතර එය පූර්ව වෛදික ඉන්දියාවේ බිහිවූ හෝ වැඩි දියුණු වූ ක්‍රමයකි. කෝට්ටේ යුගය වන තුරු ලංකාවේද සූර්ය වර්ෂ හෝ ලග්න භාවිතා වී ඇති බවට සාධක නැතත් අඩුම වශයෙන් මහාවංශ, දීපවංශ හා රාජාවලි කතා වල ආරම්භයේ සිට දිගටම නැකැත් ගැන සඳහන් වේ. ඉතිහාසයේ කිසියම් අවස්ථාවකදී මේ ක්‍රම දෙක එකතු කර ඇති බව පෙනේ.

නැකැත් ක්‍රමයේ ආරම්භය ගැන සිතීමට ඇති හොඳම සාක්ෂිය නේපාලය, බංග්ලා දේශය හා පකිස්ථානය ඇතුළු පැරණි ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල මෙන්ම තායිලන්තය වැනි ථෙරවාද බෞද්ධ රටවලද භාවිතා වන චන්ද්‍රසූර්ය දින දර්ශන වල මාස නම් කර ඇති ආකාරය විමසා බැලීමයි. මේ මාස වල නම් මා මේ වන විට විස්තර කර ඇති නැකැත් විසිහතේ ඇතැම් නැකැත් වල සංස්කෘත නම් වලට සමානය. එසේ නැත්නම් එම නම් වලින් බිඳී ගොස් තිබේ.

1. අශ්විනී  - අස්විද
2. භරණී - බෙරණ
3. කෘතිකා - කැති
4. රෝහිණී - රෙහෙණ
5. මෘග ශීර්ෂ - මුවසිරස
6. ආර්ද්‍ර - අද
7. පුනර්වසු - පුනාවස
8. පුෂ්‍ය - පුස
9. ආශ්ලේෂ - අස්ලිස
10. මාඝ - මා
11. පූර්ව ඵාල්ගුණී - පුවපල්
12. උත්තර ඵාල්ගුණී - උතුරුපල්
13. හස්ත - හත
14. චිත්‍ර - සිත
15. ස්වාති -සා
16. විශාඛ - විසා
17. අනුරාධ - අනුර
18. ජ්‍යෙෂ්ඨ -දෙට
19. මූල - මුල
20. පූර්ව ආශාඪ- පුවසල
21. උත්තර ආශාඪ- උතුරුසල
22. ශ්‍රාවන - සුවන
23. ධනිෂ්ඨ - දෙනට
24. ශතාභිෂ - සියාවස
25. පූර්ව භද්‍රපාද - පුවපුටුප
26. උත්තර භද්‍රපාද - උත්‍රපුටුප 
27. රේවතී - රේවතී 


සංස්කෘත චන්ද්‍රමාස වලට අදාළ සිංහල චන්ද්‍රමාස මෙසේය.

1. අශ්වින/ අශ්විනී  - වප්
2. කෘතිකා - ඉල්
3. මෘග ශීර්ෂ / අග්‍රහායන - උඳුවප්
4. පුෂ්‍ය/ පෞෂ්‍ය  - දුරුතු
5. මාඝ - නවම්
6. ඵාල්ගුණ/ ඵාල්ගුණී - මැදින්
7. චිත්‍ර / චෛත්‍ර - බක්
8. විශාඛ / වෛශාඛ  - වෙසක්
9. ජ්‍යෙෂ්ඨ - පොසොන්
10. ආශාඪ- ඇසළ
11. ශ්‍රාවන - නිකිණි
12. භද්‍ර - බිනර

වෙසක් හා ඇසළ යන මාස වල නම් අදාළ නැකැත් වල නම් අනුව හැදී ඇතත්, ලංකාවේ භාවිතා වන අනෙකුත් චන්ද්‍ර මාස වල නම් වල එවැනි සම්බන්ධතාවයක් පෙනෙන්නට නොතිබීම විශේෂත්වයකි. එහෙත්, ඉන්දියාවේ, නේපාලයේ, බංග්ලා දේශයේ හා තායිලන්තයේ භාවිතා වන සියලුම චන්ද්‍ර මාස වල නම් අදාළ නැකැත් වල නම් වලට සම්බන්ධය.

මාස වල නම් ලෙස යොදාගන්නා නැකැත් වල නම් නැකැත් විසිහතෙහි යෙදී ඇති අනුපිළිවෙල පරීක්ෂා කළ විට අපට නැකැත් වල විකාශනය ගැන යම් ඉඟියක් ලබා ගත හැකිය. මේ නම් යෙදී ඇත්තේ නැකැත් 27 තුළ ආසන්න වශයෙන් සම දුරිනි. මාස වල නම් ලෙස යොදා ගන්නා නැකැත් තුනක්ම උත්තර හා පූර්ව වශයෙන් පසුව කොටස් දෙකකට බෙදී ඇත. මේ කරුණු අනුව, මුලින්ම නැකැත් 12ක් හඳුනාගනු ලැබ පසුව එය නැකැත් 27ක් දක්වා විකාශනය වූ බව සිතීම නරක උපකල්පනයක් නොවේ.

ඉහත ඉදිරිපත් කළ නැකැත් 27ට අමතරව අභිජිත් නමින් හැඳින්වෙන 28වන නැකතක්ද ජ්‍යෝතිෂ්‍යයේදී ඇතැම් විට භාවිතා වේ. මේ අභිජිත් නැකත ලෙස සැලකෙන්නේ උත්තර ආශාඪ නැකතේ අවසන් 1/4 හා ශ්‍රාවන නැකතේ මුල් 1/15 කොටසයි. මේ අනුව සාමාන්‍ය නැකතකට අංශක 13 1/3ක් අයත් වන නමුත් අභිජිත් නැකතට අයත් වන්නේ අංශක 4 2/9ක් පමණි. මෙයට හේතුවද අපි පසුව විමසා බලමු.

අභිජිත් නැකතද ඇතුළුව අනෙකුත් සියලුම නැකැත් වල පිහිටීම් සූර්ය සිද්ධාන්තයේ ඛණ්ඩාංක යොදා ගනිමින් විස්තර කර තිබේ. ඒ නිසා මේ සියලුම නැකැත් වලට අයත් තාරකා හෝ තාරකා රාශි අහසේ හඳුනාගත හැකිය. එසේනම් අප විමසා බැලිය යුත්තේ මේ නැකැත් තාරකා හා එනමින් හඳුන්වන මාස අතර ඇති සම්බන්ධතාවයයි. 


නැකතක නමින් හඳුන්වන කිසියම් මාසයක පුර පසළොස්වක පෝය දවසේ අදාළ නැකතට අයත් තාරකාව හෝ තාරකා පංතිය තිබෙන්නේ අහසේ හඳ තිබෙන තැනට ආසන්නව හා ඉර ඇති තැනට ප්‍රතිවිරුද්ධවය. අනෙක් අතට අමාවක දිනවල මේ තරු තිබෙන්නේ ඉර මෙන්ම හඳද ඇති පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේය.

මේ අනුව පෙනෙන්නේ මාස නම් කර ඇත්තේ පුර පසළොස්වක පෝය දිනයේ හඳ ආසන්නව ඇති නැකත අනුව බවයි. මේ ආකාරයෙන් නම් කළ විට කිසියම් මාසයක ඉර තිබෙන්නේ අදාළ මාසයේ නමින් හැඳින්වෙන නැකතට ප්‍රතිවිරුද්ධ පැත්තේය.

පුර පසළොස්වක පෝයට වැඩි බරක් දී ඇති නිසා මේ ක්‍රමය ආරම්භ වුනේ පූර්ණාන්ත මාස භාවිතා කළ වෛදික සංස්කෘතියේ වන්නට වැඩි ඉඩක් තිබේ. ඉන්දියාවේ නාගයින් හෙවත් නාවිකයින් ජීවත් වූ මුහුද ආසන්න ප්‍රාන්ත වල මෙන්ම ලංකාවේද ප්‍රචලිතව ඇත්තේ අමාන්ත මාස ක්‍රමයයි. නැකැත් විසි හතේම (විසි අටේම) නම් ක්‍රිස්තු පූර්ව 1500දී පමණ ලියැවුණු සේ සැලකෙන සෘග් වේදයේ සඳහන්ව ඇති බැවින් මාස හඳුන්වන මූලික නැකැත් ඊට පෙර හඳුනාගෙන තිබුණේයැයි සිතන්නට පුළුවන.

ඉහත පරිදි මාසයෙන් මාසයට හඳ හා ආසන්නව ඇති නැකැත වෙනස් වන්නේ හඳ දිනපතා යම් තරමකින් නක්ෂත්‍ර ගෝලය හරහා චලනය වීම නිසා බව සෘග් වේදය ප්‍රබන්ධ වල කාලය වන විට වෛදිකයෝ දැන සිටියහ. මුලින්ම ඔවුන් තේරුම් ගන්නට ඇත්තේ දින 2-3කට පමණ වරක් හඳ එක් මූලික නැකතක සිට තවත් මූලික නැකතකට ගමන් කරන බවයි. පසුව මේ මූලික නැකැත් අතර ඇති තරු තවත් නැකැත් ලෙස හඳුනා ගැනීමෙන් හා ඇතැම් මූලික නැකැත් වලට අයත් තරු රාශි උත්තර හා පූර්ව ලෙස කොටස් දෙකකට බෙදීමෙන් දිනකට හඳ ගමන් කරන දුර ආකෘතිගත කළ හැකි පරිදි නැකැත් 27ක් හඳුනාගෙන තිබේ.

පෑලවිය, දියවක ආදී තිථි මෙන්ම නැකැත්ද මුල් කාලයේදී යොදාගෙන තිබෙන්නේ දවසක් හඳුනා ගැනීමටය. එහෙත්, හඳට පොළොව වටා යාමට දින 27කුත් පැය 7කුත් මිනිත්තු 43කට පමණ ආසන්න කාලයක් යන නිසා තෙමසකට පමණ වරක් එක් දිනයක වෙනසක් ඇති වේ. මේ වෙනස ආකෘතිගත කිරීම සඳහා අධික නැකතක් ලෙස අභිජිත් නැකත වරින් වර යොදාගෙන තිබේ. ඒ නැකත සෑම මාසයකම උදාවී නැත.

පසුකාලීනව හඳට නක්ෂත්‍ර තාරකා හරහා වටයක් යාමට ගත වන කාලය (හෙවත් හඳට පොළොව වටා යාමට ගතවන කාලය) හරියටම දැන ගැනීමෙන් පසුව සාමාන්‍ය නැකතක කාලය ඉර උදාවේ සිට ඊළඟ ඉර උදාව දක්වා ගෙවෙන දවසක් ලෙස සලකනු වෙනුවට, දවසේ කිසියම් වෙලාවක සිට ඊළඟ දවසේ එම කාලය දක්වා ගතවන පැය 24ක පමණ කාලයක්  ලෙසත්, අභිජිත් නැකතේ කාලය පැය 7කුත් මිනිත්තු 43කට පමණ ආසන්න ඊට වඩා අඩු කාලයක් ලෙසත් සලකා තිබේ.

එහෙත්, ඒ අයුරින් නැකැත් වල කාලය බෙදා වැඩි කල් යන්නට පෙරම අභිජිත් නැකත අතහරිමින් හඳට පොළොව වටා යාමට ගතවන කාලය ඉතිරි නැකැත් 27 අතර සම-අංශක ලෙස බෙදා තිබේ. මෙසේ කිරීමෙන් රාශි චක්‍රය හා නැකැත් චක්‍රය සමපාත කිරීමටද හැකි වී තිබේ. දැනටත් අභිජිත් නැකතේ කාලය වන හඳට අංශක 4 2/9ක් යාමට ගතවන කාලය හඳට පොළොව වටා යාමට ගතවන කාලයේ දින 27ට අමතර අතිරික්තය වන පැය 7කුත් මිනිත්තු 43කට පමණ කාලයට ආසන්න ලෙස සමානය.

මුල් කාලයේදී නැකැත් චක්‍රයේ ආරම්භය ලෙස සලකා ඇත්තේ අස්විද නැකත නොව කැති නැකතයි. දැන් දෙවන නැකත ලෙස සැලකෙන බෙරණ නැකත ඒ කාලයේ අවසන් නැකත ලෙස සලකා ඇති අතර අවුරුද්දේ ආරම්භය සමපාත වී ඇත්තේ ඉර බෙරණ නැකතේ සිට කැති නැකතට යාම
යි. මෙය සිදුවන්නේ මේෂ සංක්‍රාන්තිය සිදුවී දින 27කට පමණ පසුවය. එය එසේ තිබී අද පවතින ආකාරයට වෙනස් වීමට හේතුව ඉදිරි ලිපියකින් කතා කරමු. 

(Image: ajitvadakayil.blogspot.com)

Tuesday, May 30, 2017

වහාම ඉවත්වන්නේ කොහාටද?


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (මැයි 28 දින) අති විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රටේ දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ක හා අවට ප්‍රදේශ වල ජීවත් වන්නන්ට වැසි ඇති වූ වහාම සිය නිවෙස් වලින් ඉවත්වී ආරක්‍ෂිත ස්ථාන කරා යන මෙන් ඉල්ලා තිබුණේය. හත සිතියමේ රතු පැහැයෙන් ලකුණු කර ඇත්තේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ට අයත් ප්‍රදේශයි. කහ පැහැයෙන් ලකුණු කර ඇත්තේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 33ට මායිම් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයි.


රජය විසින් මේ නිවේදනය නිකුත් කර ඇති ආකාරය අනුව අදාළ අවවාදයේ වැදගත්කම ඉතාම සීමිත බව කිවයුතු නැත. රතු පාටින් ලකුණු ක ඇති අවදානම් කලාපයේ  හා යාබද ප්‍රදේශ වල ජීවත් වන පිරිස අඩු වශයෙන් මිලියන තුනක්වත් වෙතැයි උපකල්පනය කළ හැකිය. දැන් මේ අවවාදය ලැබුණු පසුව වැසි වැටුණහොත් මේ මිලියන තුනක් ඉක්මවන පිරිස වහාම අවදානම් කලාපයෙන් ඉවත් විය යුතුය. එහෙත්, ඒ සඳහා ඔවුන් බොහෝ දෙනෙකුට සිය නිවෙස් වලින් සැතපුම් පණහක් හැටක්වත් ඈතට යන්නට සිදුවේ. මෙය ප්‍රායෝගිකව සිදුවන්නක් හෝ කළ හැක්කක් නොවේ. අදාළ නිවේදනයෙන් සිදුවන එකම කාර්ය භාරය කිසියම් විපතක් සිදුවීමෙන් පසුව "අපි කලින් දැනුම් දුන්නා" කියා අදාළ නිලධාරීන්ට වගකීමෙන් ගැලවෙන්නට නිදහසට කරුණක් ඉතිරිවීම පමණි.

ගංවතුරක් ළඟ එන විට හෝ නායයෑමේ අවදානමක් ඇති විට ළඟපාතක තිබෙන අවදානම අඩු තැනකට යන්නට මිස සැතපුම් පණහක් හැටක් ඈතින් ඇති ප්‍රදේශයකට යන්නට කාලයක් නැත. එමෙන්ම ගංවතුර හෝ නායයෑමේ අවදානම් කෙතරම් වැඩි ප්‍රදේශයක වුවත් සෑම බිම් අඟලකම ඒ අවදානම එකසේ නැත. ඒ නිසා, මෙවැනි අවදානම් සහගත තත්ත්වයකදී ජනතාව යොමු කළ යුත්තේ සිය නිවසට ආසන්නයේම තිබෙන අවදානම අඩු ස්ථාන වෙතය. ඒ සඳහා අවදානම් කලාප මීට වඩා විස්තරාත්මක මට්ටමකට සිතියම්ගත කළ යුතුය.

බොහෝ ගම් වල ගංවතුර හෝ නායයෑමේ අවදානම ඉතා වැඩි නිවාස මෙන්ම එසේ නොවන නිවාසද නැති විය නොහැක. අවදානම අධික තැන් නිසි ලෙස හඳුනාගෙන අදාළ නිවැසියන් දැනුවත් කළ විට ඔවුන්ට හදිසි තත්ත්වයකදී වහාම යායුත්තේ කොතැනකටදැයි කලින් සැලසුම් කරගත හැකි නිසා කලබල වී හිස් හැරුණු අත දුවන්නට හෝ හිත හිතා ඉන්නට අවශ්‍ය වන්නේ නැත. මේ ආකාරයේ නිසි සැලසුමක් (contingency plan) නොතිබීම ස්වභාවික ආපදා වලදී නැවත නැවතත් සිදුවන විශාල ජීවිත හානි වලට හේතුවකි. පරම්පරා ගණනක් ගංවතුර අවදානම වැඩි ගම් වල ජීවත් වූ මිනිසුන්ට එවැනි නිශ්චිත සැලසුමක් තිබුණේය.

මේ කාර්යය දැන් හෝ ආරම්භ කරන්නේනම් ඉදිරි වසර වලදීද අනිවාර්යයෙන්ම සිදුවන්නට ඉඩ ඇති ගංවතුර හා නායයෑම් හමුවේ ජීවිත හානි අවම කරගන්නට ඉඩ සැලසෙනු ඇත. එමෙන්ම දිගුකාලීනව එවැනි ප්‍රදේශ වලින් ජනතාව ක්‍රමයෙන් ඉවත්වීමට හා එවැනි ප්‍රදේශ වලට අලුතින් පදිංචිය පිණිස පැමිණීම අධෛර්යමත් වීමටද එය හේතු වනු ඇත. සුරක්ෂිත විකල්ප ස්ථාන ඉදිරිපත් නොකර, එක ළඟ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවක් එකම අවදානම් කලාපයක් ලෙස නම් කර ජනතාවට වහාම ඉවත්වන්නට කීමනම් තනිකරම ගොංපාර්ට් එකකි.

Monday, May 29, 2017

පංතියෙන් දොට්ට දැම්ම මොට්ටපාලලා...

පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 25) හාර්වඩ් සරසවියේ 366 වන උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුනේය. මේ උපාධි ප්‍රදානෝත්සව උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ මීට වසර පහළොවකට පෙර සිසුවෙකු ලෙස හාර්වඩ් සරසවියට ඇතුළු වුවද සිය උපාධිය සම්පූර්ණ නොකර දෙවසරකට පසුව හාර්වඩ් සරසවියෙන් පිටවූ අයෙකි. මේ පුද්ගලයා වෙනකකු නොව පසුගිය මාර්තු මාසය අවසන් වන විට වත්කම් හිමිකම් අනුව ලෝකයේ පස්වැනියා වූ මාර්ක් සකර්බර්ග්ය. මේ උපාධි ප්‍රදානෝත්සවයේදී මාර්ක් සකර්බර්ග් නීතිය පිළිබඳ සම්මාන ආචාර්ය උපාධියකින්ද පිදුම් ලැබීය.

මෙය මේ ආකාරයේ දෙයක් සිදුවූ පළමු අවස්ථාව නොවේ. මෙයට දශකයකට පෙර, 2007 වසරේදී, හාර්වඩ් සරසවියේ 356 වන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේද හාර්වඩ් සරසවියට ඇතුළු වී සිය උපාධිය සම්පූර්ණ නොකර පිටවූ අයෙකි.  ඔහු දැන් වසර ගණනක සිට වත්කම් හිමිකම් අනුව ලෝකයේ ඉහළින්ම සිටින බිල් ගේට්ස්ය. බිල් ගේට්ස්ද එම වසරේදී නීතිය පිළිබඳ සම්මාන ආචාර්ය උපාධියකින්ද පිදුම් ලැබීය.


බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් වැනි අය සිය ප්‍රථම උපාධි සම්පූර්ණ නොකර සරසවියෙන් පිටවීම ඇතැම් අය දකින්නේ වැඩිදුර අධ්‍යාපනයේ හෝ උපාධි වල එතරම් වැදගත්කමක් නැතැයි යන අරුතිනි. එහෙත්, එය නිවැරදි නොවේ. මේ දෙදෙනාගෙන් එක් අයෙක්වත් තමන්ගේ සරසවි විභාග සමත්වීමේ නොහැකියාව නිසා හාර්වර්ඩ් සරසවියෙන් විසිවුණු "පංතියෙන් දොට්ට දමනු ලැබූ මොට්ටපාලලා" නොවේ.

බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් විසින් ඔවුන්ගේ ප්‍රථම උපාධි සම්පූර්ණ නොකිරීම දෙස බැලිය යුත්තේ අධ්‍යපනයේ අරමුණ කුමක්ද යන්න විමසමිනි. එක් එක් පුද්ගලයා අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන විවිධ විශේෂ අරමුණු තිබුණත් පොදුවේ අධ්‍යාපනය විසින් කරන කාර්ය භාරය වනුයේ කිසියම් පුද්ගලයෙකුට සිය අනාගත ජීවිතය වඩා සාර්ථක කරගැනීමට තල්ලුවක් දීමයි.

සාර්ථකත්වය යනු කුමක්ද යන්නද විවාදිත කරුණක් වුවත් බොහෝ දෙනෙකු පිළිගන්නා අයුරින් බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් යනු සාර්ථක පුද්ගලයින්ය. මේ අර්ථයෙන් මොරටු සරසවියේ ජාතික තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට තේරී එය සම්පූර්ණ නොකළ ධම්මික පෙරේරාද ජීවිතය සාර්ථක කරගත් පුද්ගලයෙකි.

අධ්‍යාපනයේ පළමු කාර්යභාරය ලෙස සැලකිය හැක්කේ පුද්ගලයෙකුගේ කුසලතා ඔප්නැංවීමයි. මෙය විධිමත් මෙන්ම අවිධිමත් අධ්‍යාපනය හරහාද සිදුවේ. දෙවනුව, අධ්‍යපනය තුළින් යමෙකුට තමන්ගේ දැනුම, කුසලතා හා හැකියාවන් පිළිබඳව වෙනත් අයට සංඥා කළ හැකිය. මේ සඳහා විධිමත් අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වේ.

ව්‍යවසායකයෙකු යනු තමන්ගේ හැකියාවන් පිළිබඳව විශ්වාසය තබන පුද්ගලයෙකි. එවැන්නෙකුට මේ හැකියාවන් වෙනත් අයට ප්‍රදර්ශනය කිරීම එතරම්ම වැදගත් දෙයක් නොවේ. එහෙත්, තමන්ගේ කුසලතාවන් වෙනත් අයෙකුගේ අරමුණු ඉටුකිරීම වෙනුවෙන් අලෙවිකරන අයෙකුට සිය ශ්‍රමය වෙනුවෙන් නිසි ප්‍රතිලාභ ලබාගැනීමටනම් ඒ කුසලතා පිළිබඳව ප්‍රමාණවත් අයුරින් සංඥා කරන්නට සිදුවේ. විධිමත් අධ්‍යාපන සුදුසුකම් තිබීම මේ කටයුත්තට පිටිවහලකි.

සිය උපාධි පාඨමාලා සම්පූර්ණ කරන්නට පෙරම සාර්ථකත්වය කරා පියවර තැබූ බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග්ට එය කරන්නට තමන්ගේ කුසලතා වෙනත් අයට සංඥා කිරීමට උදවු වන ප්‍රථම උපාධි සහතිකය අතට ලැබෙන තුරු කල් මරන්නට අවශ්‍ය නොවීය. සාර්ථක ව්‍යවසායකයින් වන්නට ඉඩ සලසන මූලික ගුණාංග ලෙස සැලකිය හැකි සහජ කුසලතාවන් මෙන්ම අධිෂ්ඨානය හා කැපවීමද ඔවුන් සතුව මුල සිටම පැවතුණේය.

සහජ කුසලතාවන්, අධිෂ්ඨානය හා කැපවීම තිබුණු පමණින්ම බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් දැන් සිටින තැනට පැමිණෙන්නට සියල්ලන්ට නුපුළුවන. ඒ සඳහා, යම් තරමකින් වාසනා ගුණයක්ද අවශ්‍ය වේ. මේ දෙදෙනාටම ඒ වාසනා ගුණයද නොඅඩුව තිබුණේය. දෙදෙනා අතරින්, වාසනාව අතින් මාක් සකර්බර්ග් වඩාත් ඉදිරියෙන් සිටී.

ලෝකයේ ආදායම් විෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. එහෙත්, එයට හේතුව බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් වැනි අය ධනවතුන් වී සිටීම නොවේ. ඔවුන් ධනය උපයාගෙන ඇත්තේ වෙනත් අය සතු දේ සූරාකෑමෙන්ද නොවේ. මුල සිටම මහන්සියෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් තමන් විශ්වාස කරන අරමුණක් වෙනුවෙන් කැපවීමෙනි.

සැබෑ ප්‍රශ්නය වන්නේ සහජ කුසලතාවන්, අධිෂ්ඨානය හා කැපවීම ඇති තවත් බොහෝ දෙනෙකුට බිල් ගේට්ස්ලා හෝ මාර්ක් සකර්බර්ග්ලා වන්නට නොහැකි වීමයි. මේ දෙදෙනා උපතින් ප්‍රකෝටිපතියන් නොවූවත් ආහාර, නිවාස වැනි මූලික පහසුකම් පවා නොතිබුණු දුප්පතුන්ගේ දරුවෝද නොවූහ. ඔවුන්ගේ දෙමවුපියෝ වෘත්තිකයෝ වූහ. මාර්ක් සකර්බර්ග්ගේ පියා දන්ත වෛද්‍යවරයෙකු වූ අතර මව මනෝවෛද්‍යවරියකි. බිල් ගේට්ස්ගේ පියා නීතිඥවරයෙකි. මව ව්‍යාපාර කටයුතුවලද යෙදුනු සමාජ ක්‍රියාකාරිනියකි.

බිල් ගේට්ස්ට හා මාර්ක් සකර්බර්ග්ට ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් ලැබුණේ වඩා හොඳ ජාන, ගෘහස්ථ  වාතාවරණයක් හා මාර්ගෝපදේශනයක් පමණක් නොවේ. ඔවුන්ගේ දෙමවුපියන් සතුව සිය දරුවන් වැඩිහිටියන් වන තුරු "අඩුපාඩුවක් නොදැනෙන්නට" හදන්නට තරම් ප්‍රමාණවත් වත්කම්ද තිබුණේය. ඔවුන් ව්‍යවසායකයින් ලෙස අවදානම් ගෙන අසාර්ථක වූවානම් "කන්න බොන්න නැතුව මැරෙන්නේ" නැත. එහෙත්, ඇමරිකාව ඇතුළු ලෝකයේ විවිධ රටවල ජීවත්වන තවත් බොහෝ දෙනෙක් සම්බන්ධව තත්ත්වය මෙසේම නොවේ. ආදායම් විෂමතාවය ප්‍රශ්නයක් වන්නේ එතැනදීය.




(Image: http://www.moweble.com/bill-gates-vs-mark-zuckerberg-where-do-they-differ.html)

Sunday, May 28, 2017

හතළිස්පන් දොහේ වතුර


මගේ පෙර ලිපියේ සඳහන් කළ පරිදි ඇමරිකාවේ ගංවතුර තර්ජන පවතින තැන් ලකුණු කර ඇති සිතියම් (floodplain maps) ඉතාම විස්තරාත්මකය. පර්චස් කිහිපයක කුඩා ඉඩමක් ඇතුළත ගංවතුරෙන් යටවෙන්නට ඉඩ ඇති තැන් පවා මේ සිතියම් වලින් බලාගන්නට පුළුවන. මා දන්නා තරමින් මේ සිතියම් සකස් කර ඇත්තේ ආකෘති අනුසාරයෙන් නොව නිරීක්ෂණ අනුසාරයෙනි. අලුත් නිරීක්ෂණ පදනම් කර ගනිමින් මේ සිතියම් නිරන්තරව යාවත්කාලීන කෙරේ.

කාලගුණ අනාවැකි කීම සඳහා උපයෝගී කරගන්නා ආකෘතිද බොහෝ දුරට පදනම් වී ඇත්තේ අතීත නිරීක්ෂණ මතය. මෙහිදී, අනාවැකි කීම සඳහා යොදාගන්නා ක්‍රමවේදය වන්නේ පැරණි දත්ත මත කාලගුණ රටාවන් හඳුනාගැනීම හා ඒ රටාවන් ඉදිරියේදීද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි උපකල්පනය කිරීමයි. එහෙත්, චන්ද්‍රිකා ඡායාරූප වැනි වෙනත් ආසන්න නිරීක්ෂණ මත මේ අනාවැකි සීරුමාරු කෙරේ.


සිතියම්ගත කර නොතිබුණත් මේ ෆ්ලඩ්ප්ලේන්ස් වල මායිම් අඩුම වශයෙන් අප කුඩා දරුවන්ව සිටි කාලය වන තුරුම ගංවතුර තර්ජන ඇති ප්‍රදේශ වල ජීවත් වූ අය දැන සිටියෝය. නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට මුහුණ දුන් ගමක ජීවත් වූ මගේ පියාගේ දෙමවුපියන්ට හා ඔවුන්ගේ පරම්පරාවේ වැඩිහිටියන්ට ඒ ගමේ ඕනෑම තැනක හතළිස් හතේ මහ ගංවතුරට යටවුනු සීමාවන් වගේම ඊටත් පෙර නවසිය තිස් හයේ ගංවතුරට යටවුනු සීමාවන්ද පෙන්වන්නට පුළුවන්කම තිබුණේය.

මගේ පියාගේ දෙමවුපියන් සතු වූ ඉඩම් වලින් ගංවතුර තර්ජනයට වැඩියෙන්ම ලක් වූ ඉඩම තෝරාගෙන තිබුණේ පවුලේ සුසානභූමිය වශයෙනි. මේ ගැන දැන් හිතද්දී මතුවන ප්‍රශ්නයනම් අවුරුද්දේ මාසයක පමණ කාලයක් තුළම වතුරෙන් යටව තිබූ හෝ ගඟේ ජල මට්ටම වැඩි නිසා වලක් කපන්නට උදැල්ලක් ගහන පරක්කුවෙන් වතුර ඉනූ මේ ඉඩම ගංවතුර කාලයේදී සිදුවන මරණයකදී කෙසේ ප්‍රයෝජනයට ගත්තේද යන්නයි. ගෙදර වටේටම වතුරින් යටව තියෙද්දී කුඩා දරුවෙකු වූ පවුලේ සාමාජිකයෙකුගේ මරණයක් සිදුවූ එක් අවස්ථාවක් ගැන පමණක් මගේ මතකයේ තිබීමෙන් පෙනෙන්නේ ගංවතුර හේතුවෙන් අමුතුවෙන් මරණ සිදු වීම එතරම් සුලභ නොවූ බවයි.

මගේ පියාගේ දෙමවුපියන්ගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ඉඩම් යනු අද තරම්ම හිඟ සම්පතක් නොවූවත්, මරණ අනුපාතිකය අඩුවීම නිසා රටේ ජනගහණය විශාල ලෙස වර්ධනය කළ ඊළඟ පරම්පරාවේ බොහෝ දෙනෙකු අතර මේ ඉඩම් බෙදී යද්දී මේ තත්ත්වය වෙනස් විය. ඒ නිසා, පියාගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට පෙර පරම්පරාවේ අය මෙන්  තමන්ගේ වාසය සඳහා 'ෆ්ලඩ්ප්ලේන්' එකක නොපිහිටි තැනක් තෝරා ගන්නට තරම් හැකියාවක් නොතිබුණේය.

ඇමරිකාවේ ෆ්ලඩ්ප්ලේන්ස් වල පිහිටි ඉඩම් වලට ඇති ඉල්ලුම අඩු පරිද්දෙන්ම මගේ පියාගේ දෙමවුපියන්ගේ ඉඩම් දරුවන් අතර බෙදී යද්දීද ෆ්ලඩ්ප්ලේන්ස් වල පිහිටි ඉඩම් වලට තිබුණේ අඩු ඉල්ලුමකි. ඒ කාලයේ වෙනත් පවුල් මෙන්ම සාමාජිකයින් ගණනින් ලොකු පවුලක් වූ මේ පවුලේ
බාල සාමාජිකයින් ඇටෙන් පොත්තෙන් එළියට එන විට වැඩිහිටි සාමාජිකයින් පවුල් පන්සල් වී ගෙවල් දොරවල් හදාගෙන අවසන්ය. ඒ නිසා, බාල සාමාජිකයින් ගෙවල් හදන්නට හිතන විට ෆ්ලඩ්ප්ලේන්ස් වල නොපිහිටි ඉඩම් පියාගේ දෙමවුපියන් සතුව ඉතිරිව නොතිබුණේය.

රත්නපුර පැත්තේ වැඩිහිටි පරම්පරාවේ ඕනෑම කෙනෙක් වාගේ සමඟ කතා කළොත් හතළිස් දොහේ වතුර ගැන අහගන්නට පුළුවන. මේ ප්‍රවාදය අනුව සිංහල අවුරුද්ද පහුවී දවස් හතලිස් පහකින් කළු ගඟ පිටාර දමයි. මගේ පියාගේ මහගෙදර පිහිටි ප්‍රදේශය වැනි ප්‍රදේශ සැලකූ විට මේ සිදුවීම හැම අවුරුද්දකම වාගේ නොවැරදීම සිදුවිය. ආසන්න වශයෙන් ගංවතුර ඇති විය හැකි කාලය දැනගෙන සිටි නිසා ඒ කාලය තුළ වඩා විමසිල්ලෙන් කාලගුණයේ වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන් ගඟ පිටාර දමන්නට ඉඩ ඇති මොහොත හරියටම හඳුනාගෙන ඒ සඳහා සූදානම් වීමට ඔවුන්ට හැකිවිය.

මෙවර ගංවතුර පැමිණ ඇත්තේද සිංහල අවුරුද්ද පසුවී ආසන්න වශයෙන් දින 42-43කට පමණ පසුවය. පසුගිය සියවසක පමණ කාලය තුළ නිවර්තන අවුරුද්ද මත පදනම් වූ කාලගුණ චක්‍රයට සාපේක්ෂව සිංහල අවුරුදු දිනය දිනකින් හෝ දෙකකින් පස්සට තල්ලු වී ඇති බැවින් දැන් ඒ ගංවතුර සිංහල අවුරුද්ද පසුවී දින 43කින් පමණ පැමිණෙනවා වන්නට පුළුවන.

මේ ගංවතුර බොහෝ අවුරුදු වල දින කිහිපයකින් පසුව බැස ගියත් සමහර අවුරුදු වල සති ගණනක් අල්ලා සිටියේය. ගංවතුර නිසා බාහිර ලෝකය සමඟ සම්බන්ධතා විශාල ලෙස සීමා වුනු මෙවැනි ගම්මාන වලට වසර හතළිහකට පණහකට පෙර අද මෙන් සහන සේවා වල උපකාර ලොකුවට ලැබුණේද නැත. එහෙත්, ගංවතුර මැදින් එවැනි ගම් වල ජීවිතය සාමාන්‍ය පරිදි ගලා ගියේය.

ගංවතුර එන කාලය ගැන අදහසක් තිබුණු නිසා වී වැපිරීම වැනි කටයුතු ගංවතුර අවසන් වන තුරු කල් දැමුණේය. විවාහ උත්සව ආදිය සඳහා දින නියම කරගැනීමේදී ඇතැම් විට මේ ගංවතුර කාලය මඟ හැරියත්, එවැනි කටයුතු සඳහා වෙනත් ඵලදායී වැඩක් සඳහා යොදාගත නොහැකි ගංවතුර කාලයම යොදා ගත් අවස්ථාද තිබුණේය. මගේ පියාගේ දෙමවුපියන්ගේ පරම්පරාවේ ඇතැම් වැඩිහිටියන් සිය මනාලියන් කැන්දාගෙන පැමිණ ඇත්තේ ඔරු පෙරහැරකින් බව මා අසා තිබේ. ගොවිතැන් කටයුතු කළ නොහැකි වූ ගංවතුර කාලය වට්ටි, පැදුරු විවීම් වැනි ගෙවල් වල සිට කළ හැකි දේ කරන්නට හොඳ කාලයක් විය.

අඩ සියවසකට පමණ පෙර කාලය දක්වාත් ලංකාවේ බොහෝ පෙදෙස් වල පැවති ජීවන රටාව අනුව ගංවතුර සමඟ 'සහයෝගයෙන්' අනෙක් කටයුතු කරගන්නට පුළුවන්කමක් තිබුණත් දැන් ගම් ඒකක වලට පෙර මෙන් ස්වාධීනව ජීවිතය පවත්වා ගත නොහැකි නිසා ගංවතුර සමඟ සහයෝගීතාවය පවත්වා ගැනීමද අසීරුය. ඒ අතින් බැලූ විට ගංවතුර වැනි ස්වභාවික ආපදා බටහිර සංවර්ධනයේ ප්‍රශ්නයක්යැයි කියන කතාවට පදනමක් තිබේ.


එහෙත් වඩා විමසිල්ලෙන් බැලුවොත් ප්‍රශ්නය තිබෙන්නේ බටහිර සංවර්ධනයේ නොව ලංකාව වැනි රටවල බටහිර සංවර්ධන ආකෘතීන් යොදාගෙන ඇති ආකාරයේය. තමන් අලුතින් ජනාවාස පිහිටුවා ගෙන පදිංචි වන ප්‍රදේශ වල කාලගුණ රටාවන් හඳුනා ගනිමින්, ෆ්ලඩ්ප්ලේන් සිතියම් අඳිමින් ස්වභාව ධර්මයට යටත් විය යුතු තැන් වල යටත් වෙමින් ඇමරිකාව වැනි රටවල් ඉදිරියට පැමිණි තුලිත සංවර්ධන ක්‍රියාවලියේ ඇතැම් වැදගත් පියවර ලංකාව වැනි රටවලට මඟ හැරේ. ලංකාව හා ඉතියෝපියාව වැනි රටවල කුණු කඳු වලට මිනිසුන් යටවීමේ සිට ගංවතුර ආපදා දක්වා බොහෝ ප්‍රශ්න වලට මුල බටහිර සංවර්ධනය නොව ඒ බටහිර සංවර්ධනය ක්‍රියාත්මක කිරීමේදී නොවැදගත්යැයි සිතා උවමනාවෙන්ම මඟ හරින හෝ නොසැලකිල්ල නිසා මඟ හැරෙන දේවල්ය.


ලෝකයේ ප්‍රධාන ශිෂ්ඨාචාර ගණනාවක් ගංගා නිම්න ආශ්‍රිතව බිහි වූයේ ගංවතුර තර්ජන හමුවේ වුවද ගංගා නිම්න වල ජීවත් වීම වඩා වාසිදායක වූ බැවිනි. මේ වාසි අතරින් එක් ප්‍රධාන වාසියක් වූයේ ප්‍රවාහන පහසුවයි. විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා පසුගිය සියවස ඇරඹෙන තුරුත් ජල ප්‍රවාහනය කාර්යක්ෂම ක්‍රමයක් විය. එහෙත්, දැන් මේ අවශ්‍යතාවයන් වෙනස් වී තිබේ.

මිනිසුන්ගේ ක්‍රියා නිසා ස්වභාවික ආපදා එන්න එන්නම වැඩිවන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මිනිසුන්ගේ ක්‍රියා නිසා ස්වභාව ධර්මය මත විශාල බලපෑමක් සිදු වී ඇති බව ඇත්තක් වුවත් මිනිසාගේ පාලනයෙන් තොර හේතු මත ස්වභාව ධර්මයේ සිදුවන ඇතැම් වෙනස්කම් සැලකූ විට ස්වභාව ධර්මය කෙරෙහි මිනිසුන් විසින් කර ඇති බලපෑම එතරම්ම විශාල නැත. ස්වභාව ධර්මය ඉදිරියේ මිනිසා තවමත් කුරා කුහුඹුවෙකි.

ස්වභාව ධර්මය සමඟ ජීවත් වීමේදී තවමත් හොඳම උපාය මාර්ගය වන්නේ ස්වභාව ධර්මයේ රිද්මය හඳුනාගැනීම හා ස්වභාව ධර්මයට යටත් වීමයි. ඉතිහාසය පිරික්සා බලන විට පෙනෙන්නේ පසුගිය සියවසක පමණ කාලය තුළ ස්වභාවික ආපදා වැඩි වීමට වඩා ස්වභාවික ආපදා නිසා සිදුවන හානි වැඩිවී ඇති බවයි. එය ස්වභාව ධර්මයේ රිද්මය නොතකා හැරීමේ හා ස්වභාව ධර්මයට අවශ්‍ය මට්ටමින් යටත් නොවීමේ ප්‍රතිඵලයකි.

Saturday, May 27, 2017

ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා...


දෙසතියකට පෙර අපේ නිවස ආසන්නයේ ඇති පිට්ටනිය හා ඒ අවට ප්‍රදේශය ගංවතුරින් යට වුණේය. ගංවතුර කියා කිවුවත් පිටාර දමා තිබුණේ "ක්‍රීක්" එකක් ලෙස හැඳින්වෙන කුඩා දොළපාරකි. ඇමරිකාවේ මා ජීවත් වන ප්‍රදේශයේ ගංවතුර යනු එතරම්ම දුලබ සිදුවීමක් නොවේ. එහෙත්, මෙසේ ඇති වුනු ගංවතුරක් හේතුවෙන් මා දන්නා තරමින් මේ ප්‍රදේශයේ විශාල ජීවිත හෝ දේපොළ හානියක් සිදු වී නැත.

කෙසේවුවත්, විශාල රටක් වන ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වල ජීවත්වන පුද්ගලයින් මුහුණ දෙන ස්වභාවික ව්‍යසන අතරින් වැඩිම ජීවිත හානි සිදු කරන ස්වභාවික ව්‍යසනය ලෙස ගංවතුර හැඳින්විය හැකිය. 2015 වසරේදී ගංවතුර හේතුවෙන් ඇමරිකාවේ ජීවිත හානි 176ක් සිදුව තිබුණු අතර සිදුවූ දේපොළ හානිය ඩොලර් බිලියන 2.2 ඉක්මවීය. එම වසරේ සියලුම ස්වභාවික ව්‍යසන වලින් සිදු වුනු ජීවිත හානි ගණන 522ක්ද, දේපොළ විනාශය ඩොලර් බිලියන 4.2ක් ද විය.

ගංවතුර නිසා ඇති වන හානි අවම කරගැනීම සඳහා ඇමරිකාවේ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. අඩුම වශයෙන් වසර 100කට වරක් ගංවතුරෙන් යටවීමට ඉඩ ඇති, එනම් වසරක් තුළ ගංවතුරෙන් යටවීමට 1%ක සම්භාවිතාවක් ඇති ප්‍රදේශ සිතියම්ගත කර ඇති අතර මේ සිතියම් අන්තර්ජාලයෙන් බලාගන්නට පුළුවන.

නිවසක් මිලදී ගැනීමට පෙර යමෙකු සොයා බලන එක් කරුණක් වන්නේ අදාළ ප්‍රදේශය ඉහත කී සිතියමක ගංවතුර කලාපයක් ලෙස සලකුණු වී ඇත්ද යන්නයි. එසේ ලකුණු වී ඇත්නම් ගංවතුර හානි වෙනුවෙන් රක්ෂණයක් මිල දී ගන්නට සිදුවන අතර මේ වෙනුවෙන් වාර්ෂිකව මුදල් වැය කළ යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස ගංවතුරට යටවීමේ සම්භාවිතාව 1% ඉක්මවන ප්‍රදේශ වල දේපොළ සඳහා ඉල්ලුම අඩු නිසා දේපොළ වටිනාකම වෙනත් ප්‍රදේශ වලට වඩා තරමක් අඩුය. මෙය වක්‍ර ලෙස පහත් බිම් වල ඉදිකිරීම් සීමා කරයි.

ගංවතුරෙන් සිදුවන හානි ගැන කතා කිරීමේදී මා ගංවතුර ලෙස සිංහලට පරිවර්තනය කළේ ෆ්ලඩ් (flood) යන ඉංග්‍රීසි වචනයයි. එහෙත්, මේ හානි වලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ සැබෑවටම ගංවතුර ලෙස හැඳින්විය හැකි රිවර් ෆ්ලඩ් (river flood) හේතුවෙන් නොව ෆ්ලෑෂ් ෆ්ලඩ් (flash flood) හෙවත් "ක්ෂණික වතුර" හේතුවෙනි. ෆ්ලෑෂ් ෆ්ලඩ් වලට බොහෝ විට හේතු වන්නේ ශීත කාලයේදී උස් ප්‍රදේශ වල හිම එකතු වීමෙන් පසුව පරිසරයේ උෂ්ණත්වය හිම දියවන මට්ටමට පැමිණීම නිසා උස් ප්‍රදේශ වල එකතු වී ඇති හිම විශාල තොගයක් ඉතා කෙටි කාලයක් තුළ දියවී පහත් බිම් වෙත ගලා ඒමය.

ටොර්නේඩෝ, සුළිසුළං, ලැව්ගිනි ආදී වෙනත් ස්වභාවික ව්‍යසන මෙන්ම ගංවතුර හා ක්ෂණික වතුර ආපදා පිළිබඳවද කලින් නිවැරදිව පුරෝකථනය කර ජනතාව දැනුවත් කරන නිසා ඇමරිකාවේ ස්වභාවික ව්‍යසන වලින් ජීවිත හානි සිදුවන්නේ ඉතා අඩුවෙනි. මේ පුරෝකථන සෑහෙන දුරට නිවැරදි වීම වීම හා ජනතාව ඒ ගැන විශ්වාසය තබමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම හානි අඩුවීමට හේතුවයි.

අපේ නිවස අසල පිට්ටනිය වතුරෙන් යට වී තිබෙනු විට මට නිතැතින්ම සිහිවන්නේ මගේ කුඩා කාලයයි. ගංවතුර කොයිතරම් හානිකර වුවත්, වැඩිහිටියන්ට මෙන් එහි බරක් පතලක් නොතේරෙන කුඩා දරුවන්ට එයින් ලැබුණේ විශාල ආශ්වාදයකි.

"ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා"



මගේ පියාගේ මහගෙදර පිහිටා තිබුණු ගම අප කුඩා කාලයේ සෑම වසරකම වාගේ ගංවතුරෙන් යටවූ අතර ගංවතුර කාලයට ගම වටකරගත් වතුර හේතුවෙන් ඒ ගම ඇතැම් විට සති ගණනක් බාහිර ලෝකයෙන් වෙන් කෙරුණේය. ගම මැද තරමක උස් ඉඩමක පිහිටා තිබුණු මගේ පියාගේ මහගෙදර ගංවතුරෙන් කිසිවිටෙකත් යට නොවුනත් ගමේ පහත් බිම් වල පිහිටි ගෙවල් බොහොමයක්ම ගංවතුරට යට වුණේය. මේ ඇතැම් ගෙවල් වල වැසියෝ ඒ කාලයට පවුල් පියාගේ මහගෙදර පිහිටි ඉඩමේ කඳවුරු බැඳගත් අතර ඒ නිවසේ ඒ කාලයට විශාල බත් හැලියක් ඉදුණේය.

මගේ පියාගේ ගමේ බොහෝ නිවෙස් වල ඒ දවස් වල දැකිය හැකිව තිබුණු දෙයක් වූයේ ඉස්තෝප්පුවේ හෝ පිටත පිටත මඩුවක මුනින් අතට තබා තිබුණු කොල්ලෑ ඔරුවයි. සැහැල්ලු ලීයක මැද හාරා හදා තිබුණු මේ ඔරු සාමාන්‍යයෙන් බංකුවක් මෙන් වාඩිවීම සඳහා පාවිච්චි කළ අතර ගංවතුර කාලයේදී ගමනාගමනය සඳහා නැතුවම බැරි දෙයක් විය.

කුඩා කාලයේ ගංවතුර දැකීමේ මිහිරක් තිබුණත් ගංවතුර යනු එඩ්වඩ් ජයකොඩිගේ උඩින් ඇති ගීතය ඇසෙන විට හිතට දැනෙන ආකාරයේ සුන්දර අත්දැකීමක් නොවන බව කිවයුතු නැත. ලංකාවේ ගංවතුර ආපදා බොහෝ විට අවසන් වන්නේ විශාල ජීවිත හා දේපොළ හානි සිදුකරමින්, තවත් විශාල පිරිසක් අවතැන් කරමිනි. මෙවරද තත්ත්වයේ ලොකු වෙනසක් නැත.


මා පෙර කිවූ මගේ පියාගේ මහගෙදර පිහිටි ගම මෙවරද ගංවතුරෙන් වට වී ඇත. එවැනි ගම් වලට සාමාන්‍යයෙන් පහසුවෙන් ලඟා විය හැකි හා ප්‍රධාන මාර්ග වලට ආසන්නව පිහිටි ගම් වලට ලැබෙන තරම් හෝ ලැබෙන ඉක්මණින් බාහිර ආධාර ලැබෙන්නේද නැත.

විවිධ දේශපාලන කණ්ඩායම් තරඟයට මෙන් ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීමට ඉදිරිපත්ව සිටින බව පෙනේ. ඔවුන් එසේ කරන්නේ වෙනත් අභිමතාර්ථ ඇතුව වන්නට පුළුවන. එහෙත්, මෙවැනි ව්‍යසන අවස්ථාවක වැදගත් වන්නේ එවැනි වෙනත් අභිමතාර්ථ තිබෙනවාද නැද්ද යන්න නොවේ. තමන්ට හැකි පමණින් මොනවා හෝ කිරීමයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...