වෙබ් ලිපිනය:

Monday, March 13, 2017

පාසැල් නොයන ඇමරිකන් දරුවෝ

අධ්‍යාපනය ප්‍රාන්ත විෂයයක් වන ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම දෙමවුපියන් විසින් සිය දරුවන්ට නිශ්චිත වසර ගණනක් මූලික අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය වන අතර පොදු පාසැල් පද්ධතිය හරහා එම අධ්‍යාපනය නොමිලේ ලබා දීමේ අවස්ථාවද ඔවුන්ට තිබේ. එසේ වුවද, පාසැල් වයසේ දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් පාසැලකට අඩියක්වත් නොතබති.

මේ පිළිබඳ සංගණනයක් අවසන් වරට කළ 2012 වසරේදී, පාසැල් වයසේ දරුවන්ගෙන් 3.4%ක් හෙවත් මිලියන 1.77ක් පාසැල් නොයැවීමට ඔවුන්ගේ දෙමවුපියන් විසින් තීරණය කර තිබුණේය. 2003 වසරේදී මේ ප්‍රමාණය
මිලියන 1.10ක් හෙවත් පාසැල් වයසේ දරුවන්ගෙන් 2.2%ක් පමණක් වූ අතර සංඛ්‍යාලේඛණ මඟින් පෙන්වන්නේ මෙය සීඝ්‍රයෙන් ජනප්‍රිය වන ප්‍රවණතාවක් බවයි. මේ වසරේදී මෙම සංගණනය නැවතත් පැවැත්වේ.

දරුවන්ව පාසැල් නොයැවීමට තීරණය කර ඇති දෙමවුපියන්ගෙන් 91%ක්ම එසේ කිරීමට හේතුවක් ලෙස පාසැල් යැවීමෙහි ඇති 'අතුරු ආබාධ' පෙන්වා දී ඇත. වෙනත් සිසුන්ගෙන් සෘණාත්මක ආකල්ප හුරුවීම, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීම හා ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න ඒ අතර වේ. 74%ක් පොදු හා පෞද්ගලික පාසැල් වල කරන ඉගැන්වීම් ගැන සතුටු නැත. 77%කට සදාචාරය පිළිබඳවත්, 64%කට තමන් අදහන ආගම පිළිබඳවත් දරුවන්ට ඉගැන්වීමට ඇති උවමනාව මෙයට මුල් වේ. 44%ක් මෙය කරන්නේ සිය දරුවන්ට සම්ප්‍රදායික නොවන අධ්‍යපනයක් ලබා දීමේ අරමුණෙනි.

ඇමරිකාවේ දෙමවුපියන් විසින් දරුවන්ට නිශ්චිත වසර ගණනක් අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය වුවත්, ඔවුන්ට ඒ සඳහා විකල්ප කිහිපයක් තිබේ. බහුතරය විසින් රජයේ නියාමනයට වැඩිපුර ලක්වන පොදු පාසැල් අධ්‍යපනය සිය දරුවන්ගේ අධ්‍යාපන විකල්පය ලෙස තෝරා ගනිද්දී, තවත් පිරිසකගේ තෝරා ගැනීම වන්නේ පෞද්ගලික පාසැලකි. ඉහත සඳහන් කළ කාණ්ඩයේ දෙමවුපියන් මේ දෙවර්ගයේම පාසැල් අධ්‍යාපනය ප්‍රතික්ෂේප කර සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම තමන් විසින්ම භාරගත් අයයි. මේ තෙවන විකල්පය ගෘහ පාසැල් අධ්‍යාපනය (Homeschooling) ලෙස හැඳින්වේ.

ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීම හා අදාළ නීතිරීතිද අධ්‍යාපනය හා අදාළ අනෙකුත් නීති හා නියාමන රෙගුලාසි මෙන්ම ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වේ. උදාහරණයක් ලෙස ඇතැම් ප්‍රාන්ත වල මෙසේ ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීමේදී ගුරුවරුන්ගේ සුදුසුකම්, විෂයමාලා ආදිය සඳහා පූර්ව අනුමැතිය ලබා ගැනීම, එක් එක් දින ඉගැන්වීම් කටයුතු සිදුකරන කාලවේලාවන් පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීම ආදී කොන්දේසි ගණනාවක් තිබේ. මෙවැනි ප්‍රාන්ත වල දරුවාට නිසි අධ්‍යාපනය ලැබෙන බව තහවුරු කිරීම දෙමවුපියන්ගේ වගකීමකි. තවත් ඇතැම් ප්‍රාන්ත වල දෙමවුපියන්ට මේ කටයුත්තේදී වැඩි නිදහසක් ඇති අතර දරුවාට යම් හෙයකින් නිසි අධ්‍යාපනය නොලැබෙන්නේනම් ඒ බව තහවුරු කිරීම ප්‍රාන්ත බලධාරීන් විසින් කළ යුතු දෙයකි.

දරුවන්ට ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීම සෑම ආදායම්, ජනවාර්ගික, ප්‍රාදේශීය, අධ්‍යාපනික කණ්ඩායමකටම අයත් දෙමවුපියන් අතර ජනප්‍රිය වුවත් සුදු, ග්‍රාමීය දෙමවුපියන් අතර මෙය වඩා ජනප්‍රියය.

ඇතැම් අය තමන්ගේ විශේෂ දක්ෂතා ඇති දරුවන්ට ඔවුන්ගේ කුසලතාවන්ට ගැලපෙන පරිදි වඩා වේගයෙන් ඉගැන්වීම සඳහා මේ ක්‍රමය තෝරා ගනිති. හිතන්නට අමාරු තරමේ අඩු වයසකින් සරසවි පිවිසුම් ලබන දරුවන් ගැන ඉඳහිට අසන්නට ලැබෙන්නේ මේ හේතුවෙනි. තවත් අය මෙය කරන්නේ ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන්ට වඩා හෙමින් අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙනු පිණිසය.  


මෙවැනි විශේෂ හේතුවක් නැතිව ගෘහ පාසැල් අධ්‍යාපනය තෝරාගත් මා දන්නා දෙමවුපියෝද සිටිති. ඔවුන් කරන්නේ මෙවැනි නිවාස හත අටක දෙමවුපියන් කණ්ඩායමක් ලෙස එකතු වී මේ දෙමවුපියන් විසින්ම සිය දරුවන්ට මූලික විෂයයන් උගන්වන අතර, සංගීතය වැනි විෂයයන් සඳහා මුදල් ගෙවා වෙනත් ගුරුවරයෙකුගේ සේවය ලබා ගැනීමයි.  ගෘහ පාසැල් අධ්‍යාපනය තෝරාගත් දෙමවුපියන්ගෙන් හතරෙන් එකක් පමණම දරුවන්ට ඉගැන්වීම පිණිස වෙනත් තැනකින් කිසියම් අධ්‍යාපනයක් ලබති.

ඇමරිකානු පොදු පාසැල් අධ්‍යාපනය සඳහා එක් දරුවෙකු වෙනුවෙන් වසරකට ඩොලර් එකොළොස්දහසක පමණ මුදලක් වැය වුවත් ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවෙකු වෙනුවෙන් වැය වන්නේ ඩොලර් හයසියයක පමණ මුදලකි. ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීම සඳහා විෂය මාලාවන් සකස් කිරීමේදී අඩුවෙන්ම ජනප්‍රිය තේරීම වන්නේ පොදු හෝ පෞද්ගලික පාසැලක විෂය මාලාවක් මත පදනම්ව එය කිරීමයි.

සම්මත පරීක්ෂණ ප්‍රතිඵල අනුව පෙනෙන්නේ ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවන් පොදු හා පෞද්ගලික දෙවර්ගයේම පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි. එහෙත්, එයට හේතුව ගෘහ පාසැල් අධ්‍යාපනය නොව ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඇති වෙනස්කම් වන්නට පුළුවන. ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සමාජයීය කුසලතා වර්ධනය විවාදිත කරුණක්ව පවතී.

Sunday, March 12, 2017

ලංකාවට වාහන වැඩිද?


ඇතැම් අය හිතන්නේ ලංකාවට වාහන වැඩි බවයි. මෙසේ හිතන අය ඒ ආකාරයෙන් හිතන්නට එක් හේතුවක් වන්නේ ලංකාව කුඩා රටක් බවත්, රටේ දැනටමත් තිබෙන වාහන ප්‍රමාණය තිබෙන පාරවල් ප්‍රමාණයට ඔරොත්තු නොදෙන බවටත් ඇති අදහසයි.

රටේ ඇති පාරවල් වලට වාහන වැඩිද යන ප්‍රශ්නය වෙනත් ආකාරයකින්ද ඇසිය හැකිය. ඒ, රටේ තිබෙන වාහන ඉල්ලුමට ප්‍රමාණවත් පරිදි මහාමාර්ග පද්ධතිය පුළුල් වේද යන්නයි.

අඩු වශයෙන් හේතු දෙකක් නිසා දෙවන ප්‍රශ්නය වඩා නිවැරදිය.

පළමුව, ලංකාවේ වාහන මිල දී ගන්නා සියළු දෙනාම වාගේ එසේ වාහන මිලදී ගන්නේ තමන් උපයා ගන්නා තමන්ගේ මුදල් යොදවමිනි. වාහන මිලදී ගැනීම සඳහා බොහෝ දෙනෙකු මූල්‍ය පහසුකම් ලබා ගන්නේ වුවද, මෙසේ ලබා ගන්නා ණය පොලියත් සමඟ ආපසු ගෙවන්නේද ඒ අයම මිස වෙනත් අය නොවේ. එසේනම්, වාහන සඳහා ඇති ඉල්ලුම ස්වභාවික ඉල්ලුමක් මිස කෘතීම ඉල්ලුමක් නොවේ.

දෙවනුව, රටක මහා මාර්ග පද්ධතිය යනු හැමදාම එකම තත්ත්වයේ පැවතිය යුතු දෙයක් නොවේ. මිනිසුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ඉහළ යද්දී රටේ අළුතින් මාර්ග ඇති විය යුතුය. තිබෙන මාර්ග පුළුල් විය යුතුය. නඩත්තු විය යුතුය.

ලංකාවේ තිබෙන වාහන ප්‍රමාණය ඕනෑවට වඩා වැඩි බව කිසිවකු සිතනවානම් මුලින්ම විමසිය යුත්තේ එයට හේතුව වාහන 'තිබිය යුතු ප්‍රමාණයට' වඩා වැඩි වීමද එසේ නැත්නම් පාරවල් 'තිබිය යුතු ප්‍රමාණයට' වඩා අඩු වීමද යන්නයි. එසේනම්, මේ තිබිය යුතු ප්‍රමාණ මොනවාද?

රටේ මාර්ග පද්ධතිය නඩත්තු කිරීම හා පුළුල් කිරීම වියදම් අධික කටයුත්තකි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව නැති බව යමෙකුට කියන්නට පුළුවන. රජයට වියදම් කළ හැක්කේ වෙනත් අයෙකුගෙන් ලබා ගන්නා මුදල් පමණි. එසේ නැත්නම්, වෙනත් අයගෙන් අනාගතයේදී අයකරගෙන ගෙවන්නට දැන් ණය ලබා ගන්නට පුළුවන. රජය මෙසේ රටේ මාර්ග පද්ධතිය නඩත්තු කිරීම හා පුළුල් කිරීම වෙනුවෙන් වැය වන පිරිවැය කිසියම් පිරිසකගෙන් අය කරගන්නවානම් එය කළ යුතු සාධාරණම ආකාරය වන්නේ රටේ මාර්ග ප්‍රයෝජනයට ගන්නා අයගෙන් එහි මිල අය කිරීමයි

පාරවල් භාවිතා කරන්නේ වාහන භාවිතා කරන අයයි. මේ අය අතර, වාහන හිමියන් මෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීහුද සිටිති. එසේනම්, පාරවල් හැදීමේ හා ලොකු කිරීමේ වියදම් අය කරගත යුත්තේ මේ අයගෙනි. ආණ්ඩුව එසේ කරනවාද?

මේ (2017) වසර තුළ ආනයනය කරන වාහන වලින් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බදු ලෙස පමණක් රජය විසින් අය කර ගැනීමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 230කි. මේ මුදල ගෙවන්නේ කවුද?

පළමු වටයේදී, බදු රහිත වාහන ගෙන්වීමේ වරප්‍රසාදය ඇති ටික දෙනෙකු හැර වාහනයක් මිලදී ගන්නා සියල්ලෝම, බදු සහන ලබන අයද ඇතුළුව, මේ රුපියල් බිලියන 230ට දායක වෙති. දෙවන වටයේදී පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීහුද මෙයට දායක වෙති.

පෞද්ගලික බසයක් හෝ ත්‍රිරෝද රථයක් මිල දී ගෙන පොදු ප්‍රවාහන හෝ කුලී සේවා සපයන්නෙකු අවසාන වශයෙන් පාඩු ලබන්නේ නැත. මේ වාහන හිමියෝ තමන් විසින් වැය කළ බදු මුදල් ඇතුළු සියළු වියදම් අවසාන වශයෙන් මඟීන්ගෙන් අය කර ගනිති.

මේ අයුරින්ම භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කරන විට ගෙවන බදු මුදල් මුලින්ම භාණ්ඩ ප්‍රවාහන කුලී ගාස්තු වලට එක් වී දෙවනුව භාණ්ඩ මිලට එකතු වේ. දඹුල්ලේ ගොවියෙකුට ලැබෙන හා මහරගම පාරිභෝගිකයෙකු විසින් ගෙවන තක්කාලි කිලෝවක මිල අතර පරතරය වැඩි වීමට මේ තක්කාලි කිලෝව ප්‍රවාහනය කරන ලොරි හිමියා විසින් ලොරිය ආනයනය කරන විට ගෙවා ඇති විශාල බදු මුදලද හේතු වේ.

රටේ පාරවල් සෘජුව හෝ වක්‍රව ප්‍රයෝජනයට ගන්නා පිරිස් විසින් රජයට ගෙවන එකම බද්ද මෙසේ වාහන ආනයන මත පනවන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්ද නොවේ. ආනයන බදු, වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, අධිවේගී මාර්ග ප්‍රවේශ ගාස්තු, පෙට්‍රෝලියම් නිෂ්පාදන මත අය කෙරෙන විශේෂ විධිවිධාන බද්ද, වාහන අයිතිය වෙනුවෙන් හා වාහන විකිණීමේදී ගෙවන බදු ආදී ලෙස ලංකාවේ මාර්ග පද්ධතිය භාවිතා කරන්නන් විසින් රජයට ගෙවන බදු ප්‍රමාණය ඉතා විශාලය.

එසේනම් ප්‍රශ්නය වන්නේ මෙසේ ලංකාවේ මහාමාර්ග භාවිතා කරන්නන් විසින් රජයට ගෙවන මිලට සරිලන සේවාවක් ඔවුන්ට ආපසු රජයෙන් ලැබෙනවාද යන්නයි.

මේ (2017) වසරේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ සමස්ත වැය ශීර්ෂය රුපියල් බිලියන 163.4කි. එයින් බිලියන 38.6ක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වැය ශීර්ෂය යටතේ ඇති උසස් අධ්‍යාපනය සඳහා වන වියදම්ය. අධිවේගී මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, මාර්ග පුළුල් කිරීම හා වැඩි දියුණු කිරීම, පාලම් හා ගුවන් පාලම් තැනීම, ස්වභාවික ආපදා වලට ලක්වූ මාර්ග පිලිසකරණය, ග්‍රාමීය මාර්ග සංවර්ධනය (මගනැගුම හා දැයට කිරුළ ව්‍යාපෘති) ආදී සියළුම අංශ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 124.6කි.

රජය විසින් මහාමාර්ග භාවිතා කරන්නන්ගෙන් අය කරගන්නා මුදලින් බාගයක්වත් මහාමාර්ග සංවර්ධනය වෙනුවෙන් ආපසු වැය කරන්නේ නැත. රටේ මහාමාර්ග භාවිතා කරන අයගෙන් එහි මිල ගෙවා නැත්තේ පූර්ණ බදුසහන සහිතව වාහන ගෙන්වන දේශපාලනඥයින් පමණි. 50%ක බදු සහන ලබමින් වාහන ගෙන්වන රජයේ නිලධාරීන් පවා අඩු වශයෙන් තමන්ගේ මාර්ග භාවිතයේ වියදම ගෙවා තිබේ. ඉතිරි සියල්ලෝම තමන් විසින් ගෙවිය යුතු සාධාරණ මිල මෙන් දෙගුණයක් ගෙවති.

ලංකාවේ ප්‍රශ්නය වාහන වැඩිකම නොවේ. වාහන හිමියන්ගෙන් අය කරගන්නා මුදල් රජය විසින් මාර්ග සංවර්ධනය සඳහා නොයෙදවීමයි. ලංකාවේ වාහන පාරිභෝගිකයින් කියන්නේත් මත්පැන් හා දුම්වැටි පාරිභෝගිකයින් මෙන්ම රජය විසින් 'සූරාකෑමට ලක්කෙරෙන' පිරිසකි.

ලංකාවේ බොහෝ දෙනෙකුට වාහනයක 'නියම මිලට' වාහනයක් ගැනීමට ඇති අයිතිය රජය විසින් අහුරා තිබුණත් රටේ මිනිස්සුන්ගේ වාහන අවශ්‍යතාවය හෝ ඉල්ලුම අඩු වන්නේ නැති නිසා තල්ලු ස්ටාට් එන්ජින් වලට ලෑලි තට්ටු ගැසූ කෞතුකාගාර වල තිබිය යුතු වාහන පවා ලංකාවේ මාර්ග වලින් ඉවත් නොවේ. ලොරි තට්ටු කඩා වැටී සිසුන් තුවාළ ලබන්නේ එවැනි වාහන වල රියදුරන්ගේ වැරැද්ද නිසාම නොවේ.


(Image: Adaderana Biz)

Saturday, March 11, 2017

රසදිය විෂද?

අප හැම මොහොතකම විවිධ බාහිර දේවල් අපේ සිරුර තුළට ඇතුළු කර ගනිමින් සිටිමු. මුඛය, නාසය, සම ආදිය හරහා මෙසේ සිරුර තුළට අප විසින් ඇතුළු කර ගන්නා බාහිර ද්‍රව්‍ය අතර ආහාර, ජලය, ඖෂධ හා මත්ද්‍රව්‍ය වැනි හිතාමතාම ඇතුළු කරගන්නා දේ මෙන්ම එවැනි අනුදැනුමකින් තොරව ඇතුළු කර ගන්නා ඇසට පෙනෙන හා නොපෙනෙන බොහෝ දේ තිබේ. ඇතැම් විටෙක අපි ඖෂධ හෝ මත්ද්‍රව්‍ය ශිරාවකට හෝ මාංශ පේශියකට එන්නත් කර ගැනීම මඟින්ද ඇතුළු කර ගන්නෙමු.

සිරුර තුළට දැනුවත්ව හෝ නොදැනුවත්ව අප විසින් ඇතුළු කරගන්නා දේ අතර සිරුරේ පැවැත්මට අවශ්‍ය දේ, අනවශ්‍ය දේ මෙන්ම හානිකර දේවල්ද තිබේ. සිරුරට අවශ්‍ය දේ බොහොමයක්ද අවශ්‍ය වන ප්‍රමාණයක් තිබේ.

අපේ සිරුරට ඇතුළු වන අනවශ්‍ය දේවල් වලින් සිරුරේ පැවැත්ම සඳහා ප්‍රයෝජනයට නොගැනෙන දේවල් සිරුරෙන් ඉවත් කෙරෙන ස්වභාවික ක්‍රමවේදයක් තිබේ. ඇතැම් දේවල් කිවිසුම්, වමනය ආදී ක්‍රම වලින් ක්ෂණිකව ඉවත් කෙරේ. තවත් දේවල් වෙනත් සිරුරු කොටස් හරහා යාමෙන් පසුව මළ, මුත්‍රා, දහඩිය ආදිය සමඟ ඉවත් වේ.

ඇතුළු වූ ද්‍රව්‍යයේ ස්වභාවය අනුව සිරුරට ඇතුළු වන බාහිර ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් වන වේගය වෙනස් වේ. සාමාන්‍යයෙන් මේ වේගය මනින්නේ අර්ධ ජීව කාලය නම් මිනුම උපයෝගී කර ගනිමිනි. උදාහරණයක් ලෙස දුම් බොන්නෙකු සිරුර තුළට ඇතුළු කර ගන්නා නිකොටින් වලින් 70-80% පමණ මුලින්ම (පොඩි අකුරු මාරුවක් වී) කොටිනින් බවට පත් වේ. දුම් බොන්නන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂාවක් ලෙස ලේ හෝ මුත්‍රා වල ඇති කොටිනින් ප්‍රමාණය පරීක්ෂා කෙරේ.

මේ කොටිනින් සිරුරෙන් ඉවත් කෙරෙන ක්‍රියාවලියේ අර්ධ ජීව කාලය පැය 20ක් පමණ වේ. සිගරැට්ටුවක නිකොටින් මිලි ග්‍රෑම් 12ක් පමණ ඇති අතර එම නිකොටින් වලින් කොටිනින් මිලි ග්‍රෑම් 9ක් පමණ හදයි. අර්ධ ජීව කාලය පැය 20ක් යන්නෙන් අදහස් වන්නේ සිරුරේ ඇති කොටිනින් ප්‍රමාණයෙන් අඩක් පැය 20ක් ඇතුළත සිරුරෙන් ඉවත් කෙරෙන බවයි. 

මේ අනුව, සිගරැට්ටුවක් ඉරීමෙන් පැය 20කට පසුව සිරුරේ කොටිනින් ප්‍රමාණය මිලි ග්‍රෑම් 4.5ක් දක්වාත්, පැය 40කට පසුව මිලි ග්‍රෑම් 2.25ක් දක්වාත්, පැය 60කට පසුව මිලි ග්‍රෑම් 1.13ක් දක්වාත්, පැය 80කට පසුව මයික්‍රෝ ග්‍රෑම් 563ක් දක්වාත් අඩු වේ. සතියකට පසු සිරුරේ ඉතිරි වන්නේ මයික්‍රෝ ග්‍රෑම් 35ක් හෙවත් මුල් ප්‍රමාණයෙන් 0.4%කට ප්‍රමාණයක් පමණි. තවත් සතියක් යන විට ඉතිරි වන්නේ මයික්‍රෝ ග්‍රෑම් එකකටත් අඩු ප්‍රමාණයකි.

ඉහත පැහැදිලි කළ අයුරින් සිරුරට අහිතකර කොටිනින් සිරුරෙන් ක්‍රමයෙන් ඉවත් වන්නේ සිගරැට්ටුව උරන්නා දිගින් දිගටම නැවත සිගරැට් නොඋරන්නේනම් පමණි. මේ පුද්ගලයා පැය 20කට පසුව තවත් සිගරැට්ටුවක් ඉරුවොත් ඒ වන විට සිරුරේ ඇති කොටිනින් මිලි ග්‍රෑම් 4.5ට තවත් මිලි ග්‍රෑම් 9ක් එකතු වේ. ඊළඟ පැය 20 තුළ මේ මිලි ග්‍රෑම් 13.5ක එකතුවෙන් මිලි ග්‍රෑම් 6.75ක් සිරුරෙන් ඉවත් වුවත් තවත් සිගරැට්ටුවක් ඉරූ වහාම කොටිනින් ප්‍රමාණය මිලි ග්‍රෑම් 15.75ක් දක්වා ඉහළ යයි. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස දිනපතා දුම් බොන්නෙකුගේ සිරුරේ ඇති කොටිනින් ප්‍රමාණය හැමදාමත් කිසියම් මට්ටමක පවතී. ඒ ප්‍රමාණය තීරණය වන්නේ කොටිනින් වල අර්ධ ජීව කාලය හා දුම්වැටි දෙකක් අතර ගතවන සාමාන්‍ය කාලය මතය.

සක්‍රිය දුම්පානය කරන්නන්ගේ මෙන්ම නිතර සිගරැට් දුමට නිරාවරණය වන අක්‍රිය දුම්පානය කරන්නෙකුගේ සිරුරේද මේ අයුරින්ම කිසියම් කොටිනින් ප්‍රමාණයක් ස්ථාවරව පවතී. ඒ, අඩු කොටිනින් මට්ටමක් සිරුරේ ඇති විට පැය 20ක් ඇතුළත සිරුරෙන් ඉවත් වන්නේද අඩු ප්‍රමාණයක් බැවිනි. සිරුරේ කොටිනින් ප්‍රමාණය දිගුකාලයක් එක දිගටම ඉහළ මට්ටමක ස්ථාවරව පැවතීම විවිධ රෝගාබාධයන්ට හේතු විය හැකිය. සිරුරට අනවශ්‍ය හෝ අහිතකර දේ පමණක් නොව අවශ්‍ය දේ වුවද ඕනෑවට වඩා නිතර නිතර ඇතුළු කරගන්නා විට සිරුරට මේ අනවශ්‍ය ප්‍රමාණයන් ඇතුළු වන වේගයෙන් ඉවත් කරන්නට නොහැකි නිසා සිරුර තුළ දිගින් දිගටම රැඳී තිබෙන්නට පුළුවන.

රසදිය ඉහළ මාත්‍රාවන්ට කෙටිකාලයක් තුළ නිරාවරණය වීම සිරුරට, විශේෂයෙන්ම මොළයට, මධ්‍යම ස්නායු පද්ධතියට හා වකුගඩු වලට, අහිතකරය. සිරුරට රසදිය ඇතුළු වන ආකාර කිහිපයකි. එයින් ප්‍රධාන ප්‍රභවය අප ආහාරයට ගන්නා මාළු වර්ගයි. මාළු වර්ග හරහා ආහාරයට එකතු වන රසදිය සංයෝගය වන මෙතිල් මර්කරි වල අර්ධ ජීව කාලය දින 50-65 ක් පමණ වන නිසා මේ රසදිය සිරුරෙන් ඉවත් කෙරෙන්නේ ඉතා සෙමිනි.

ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය විසින් වසර ගණනාවක් තිස්සේ විවිධ මාළු වර්ග වල ඇති රසදිය ප්‍රතිශතය පරීක්ෂා කරයි. පසුගිය වසර 25ක පමණ කාලය තුළ මේ ආකාරයෙන් පරීක්ෂා කර ඇති මාළු නියැදි ප්‍රමාණය පන්දහසකට අධිකය. මේ ඇතැම් මාළු නියැදි වල කිලෝ ග්‍රෑමයකට මිලි ග්‍රෑම් 4.5ක් පමණ දක්වා මෙතිල් මර්කරි අඩංගුව තිබී ඇත. සාමාන්‍යයෙන් මෝර වැනි ලොකු මාළු වර්ග වල කිලෝ ග්‍රෑමයක ඇති මෙතිල් මර්කරි ප්‍රමාණය මිලි ග්‍රෑමයකට වඩා වැඩිය. වෙනත් බොහෝ මාළු වර්ග වල තත්ත්වයද එසේය. වැඩි විස්තර මෙහි තිබේ.

කිසියම් මාළු වර්ගයක ඇති රසදිය (මෙතිල් මර්කරි) ප්‍රමාණය අදාළ මාළුන්ගේ ජීවිත කාලය, ආහාරයට ගන්නා දේ ආදිය අනුව වෙනස් වේ. පොඩි මාළුන් ආහාරයට ගන්නා ලොකු මාළුන්ගේ සිරුරේ තැන්පත් වී ඇති රසදිය ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩිය. කෙසේ වුවද, මේ දත්ත පදනම් වෙන්නේ ඇමරිකාවෙන් ලබා ගන්නා මාළු නියැදි මත නිසා ලංකාවේ බහුලව ආහාරයට ගන්නා මීට ආසන්නව සමාන මාළු වර්ග වල ඇති රසදිය ප්‍රමාණ මීට වඩා අඩු හෝ වැඩි විය හැකිය. කෙසේ වුවද ලංකාව හා අදාළව සිදු කර ඇති මෑතකාලීන පර්යේෂණ වලින් පෙනෙන පරිදි ලංකාවේ වැඩිපුර ආහාරයට ගන්නා ඇතැම් මාළු වර්ග වලද කිලෝ ග්‍රෑමයකට මිලි ග්‍රෑමයකට ආසන්න මෙතිල් මර්කරි ප්‍රමාණයක් අඩංගුය.

නිතර මාළු ආහාරයට ගන්නා අයෙකුගේ සිරුරේ එකතු වන මෙතිල් මර්කරි සිරුරෙන් ඉවත් වෙන්නේ ඉතා සෙමින් නිසා සිරුරේ මෙතිල් මර්කරි සාන්ද්‍රණය ක්‍රමයෙන් ඉහළ ගොස් කිසියම් ස්ථාවර මට්ටමකට පැමිණේ. රුධිර පරීක්ෂාවකින් මේ ප්‍රමාණය මැන ගන්නට පුළුවන. සිරුරේ මෙතිල් මර්කරි සාන්ද්‍රණය කෙටි කාලයක් තුළ විශාල ලෙස ඉහළ යාම මොළයට හා මධ්‍යම ස්නායු පද්ධතියට හානිකර ලෙස බලපාන්නට පුළුවන. අනෙක් අතට, දිගුකාලීනව සිරුරේ මෙතිල් මර්කරි සාන්ද්‍රනය විශාල ලෙස අඩු වීම හා හෘද රෝග වැළඳීමේ අවදානම අතරද සහසම්බන්ධයක් තිබෙන බව (හේතුඵල සම්බන්ධයක් තහවුරු කර නැතත්) ඇතැම් පර්යේෂණ ප්‍රතිඵල අනුව පෙනී යයි.

එසේනම් ප්‍රශ්නය වන්නේ අප විසින් මාළු ආහාරයට ගැනීම නැවැත්විය යුතුද යන්නයි.

මාළු ආහාරයට ගැනීමේ ඉහත අහිතකර ප්‍රතිඵලය තිබුණත් මාළු වල සෞඛ්‍යමය ප්‍රතිලාභ ඊට වඩා බොහෝ වැඩිය. මොළයේ හා සිරුරේ වර්ධනයට නැතුවම බැරි ඔමේගා-3 මේද අම්ල ප්‍රභවයක් ලෙසත්, ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙසත් මාළු වල වටිනාකම ඉතා විශාලය. ඒ නිසා, මාළු ආහාරයට ගත යුතුද යන තීරණය මේ යහපත් හා අයහපත් ප්‍රතිඵල කිරා මැන බලා ගත යුතු තීරණයකි. සෞඛ්‍ය ආර්ථික විද්‍යාඥයින් විසින් කරන්නේ මෙවැනි කිරා මැන බැලීම්ය.

සමස්තයක් ලෙස මාළු ආහාරයට ගැනීම සෞඛ්‍ය වර්ධනයට හේතු වන නමුත් ඇතැම් මාළු වර්ග සතියකට කිහිප වරකට වඩා ආහාරයට ගැනීම නුසුදුසු බවත්, ගර්භණී හා කිරිදෙන මවුවරුන් විසින් වෙනත් අයෙකු ආහාරයට ගන්නා ප්‍රමාණය වුවද ආහාරයට ගැනීම නුසුදුසු බවත් ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය විසින් නිර්දේශ කරන්නේ මේ හිතකර හා අහිතකර ප්‍රතිඵල සසඳා බලමිනි. ඇතැම් මාළු වර්ග හා අදාළව කැනඩාව විසින්ද මෙවැනි සුරක්ෂිතතා සීමාවන් ඉදිරිපත් කරයි. ස්වීඩනය මෙවැනි අවවාදයක් කරන තවත් රටකි. එහෙත්, මේ කිසිදු රටක් ඇතැම් මාළු වර්ග ආහාරයට ගැනීම සීමා කරන්නට මිස අත් හරින්නට උපදෙස් නොදෙන්නේ මාළු ආහාරයට ගැනීමේ යහපත් සෞඛ්‍යමය ප්‍රතිඵල අයහපත් ප්‍රතිඵල වලට වඩා වැඩි බැවිනි. 


මෑතකාලීන අධ්‍යයනයකට අනුව ලාංකිකයින් 55.8%කගේ හිසකෙස් වල තැන්පත් වී ඇති රසදිය ප්‍රමාණය අනුමත ප්‍රමාණයට වඩා වැඩිය. මේ අනුව පෙනෙන පරිදි ලංකාවේ නාරිවේද හා ප්‍රසව වෛද්‍යවරයකු ගර්භණී කාන්තාවකට ඇතැම් මාළු වර්ග වැඩිපුර ආහාරයට ගැනීමේ අවදානම ගැන දැනුවත් කිරීම යෝග්‍ය වුවත්, එය කළ යුත්තේ ඒ හේතුවෙන් සිදුවිය හැකි ප්‍රෝටීන් ඌණතා ආදියේ අහිතකර ප්‍රතිඵල ගැනද සලකමිනි.

මිනිස් සිරුරට රසදිය එකතු කරන ප්‍රධාන ප්‍රභවය ආහාරයට ගන්නා මාළු හා වෙනත් මුහුදු ආහාර බව හඳුනාගෙන ඇතත් එය එකම හේතුව නොවේ. වාතයේ ඇති රසදිය වාෂ්ප ආශ්වාස වාතය සමඟ සිරුරට ඇතුළුවීම තවත් ආකාරයකි. අප භාවිතා කරන උෂ්ණත්වමානයක් වැනි උපකරණයක් බිඳුණු විට එහි අඩංගු ලෝහ රසදිය වායු ගෝලයට එකතු වන අතර ආශ්වාස වාතය හරහා සිරුරට එකතු විය හැකිය. කෙසේ වුවද, මේ අවදානම එවැනි උපකරණ භාවිතය අත් හරින්නට තරම් විශාල බව පෙනී ගොස් නැත.

වසර ගණනාවක් තිස්සේ දත් පිරවීම සඳහා යොදාගත් ඇමල්ගම් වලද රසදිය අඩංගුය. මේ රසදිය වාෂ්ප බවට පත්වී පෙනහළු හරහා සිරුරට ඇතුළු වේ. එහෙත් එසේ ඇතුළු වන රසදිය ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයකි. මේ හේතුවෙන් හානියක් සිදු වන බව තහවුරු වී නැත. ඒ නිසා, ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය වයස අවුරුදු 6 ඉක්මවූ දරුවන් හා වැඩිහිටියන්ගේ දත් පිරවීම සඳහා ඇමල්ගම් යොදාගැනීම අහිතකර ලෙස නොසලකයි. කෙසේවුවද, මේ සඳහා දැන් වෙනත් විකල්පයක් ඇති බැවින් ඇමරිකාවේ දන්ත වෛද්‍යවරු දත් පිරවීම සඳහා මේ වන විට ඇමල්ගම් යොදාගන්නේ ඉතා සීමිතවය.

මගේ දතක වසර විස්සකට පමණ පෙර කළ ඇමල්ගම් පිරවුමක් තිබේ. එය කළේ, එවකට පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය සිසුවෙකුව සිටි අයෙකි. ඔහු මේ පිරවුම සහතික කළේ වසර පහක කාලයකට වුවත් එය වසර විස්සකට පසුව තවමත් ඉතා හොඳින් පවතී. මේ ඇමල්ගම් පිරවුම ඉවත්කර අළුත් පිරවුමක් දමා ගන්නා මෙන් ඇමරිකාවේ දන්ත වෛද්‍ය වරුන් හතර පස් දෙනෙක්ම මට යෝජනා කර ඇතත් මා ඒ සඳහා යොමු නොවූයේ වැඩි හොඳට හොඳින් තියෙන දත් වලට අත ගැහීමේ අතුරු ආබාධ ගැන මට අත්දැකීම් ඇති බැවිනි.

මෙහිදී තවත් දෙයක් පැහැදිලි කළ යුතුය. කිසියම් පර්යේෂකයෙකු කිසියම් ඔසුවක හෝ වෛද්‍ය ක්‍රියාදාමයක යම් නිශ්චිත අතුරු ආබාධයක් ඇති බවට සාධක නැති බව කියනවානම් එයින් අදහස් වන්නේ ඒ කියන දෙය මිස වෙනත් දෙයක් නොවේ. යම් අතුරු ආබාධයක් ඇත්දැයි පිරික්සන පරීක්ෂණයකින් එවැනි අතුරු ආබාධ ඇති බවක් තහවුරු නොවන බව මිස අතුරු ආබාධ නැති බවක් තහවුරු නොකෙරේ. ඒ නිසා, පර්යේෂකයෙකුගෙන් කිසියම් ඔසුවක අතුරු ආබාධ ඇත්දැයි විමසුවහොත් එසේ ඇත්නම් කියන්නට පුළුවන් වුවත්, එසේ නැත්නම් අතුරු ආබාධ නොමැති බව ස්ථිරව කියන්නට නුපුළුවන. විද්‍යාත්මක ක්‍රමය ගැන දැනුමක් ඇති පර්යේෂකයෙකු එවැනි පිළිතුරු දෙන්නේ නැත.

පර්යේෂණ නැවත නැවත කරන්නේ ඒ නිසාය. නිතර යොදා ගන්නා උදාහරණයක් ගන්නේනම්, අපට හැමදාම හමුවන්නේ තණකොළ කන හරක් පමණක්නම් අපට කියන්නට පුළුවන් වෙන්නේ මිනී කන හරක් සිටින බවට සාක්ෂි නැති බව පමණි. මිනී කන හරක් නැති බව කිසිවෙකුට ස්ථිරව කිව නොහැක. අනාගතයේ යම් කිසි දවසක හරකෙක් මිනිසෙකු මරා කෑ බව වාර්තා වෙන්නට පුළුවන. එහෙත්, ඒ හේතුවෙන් අද හරකෙකු දකින විට පණ එපා කියා දුවන්නට අවශ්‍ය නැත.

ඇතැම් එන්නත් වලද රසදිය සංයෝගයක් වන තිමරසල් (වඩා නිවැරදි උච්ඡාරණය තයිමරසල්ය) විෂබීජ නාශකයක් ලෙස යොදාගැනේ. මේ තිමරසල් වලින් 50%ක පමණ බරක් එතිල් මර්කරි බවට පත්වේ. එතිල් මර්කරිද මෙතිල් මර්කරි මෙන්ම මොළයට හා මධ්‍යම ස්නායු පද්ධතියට හානිකරය. කෙසේවුවද, එතිල් මර්කරි වල අර්ධ ජීව කාලය සතියකටත් වඩා අඩු බැවින් සිරුරේ ඇති මෙතිල් මර්කරි වලින් 50%ක් ඉවත් වීමට යන කාලය තුළ එතිල් මර්කරි වලින් 99.75%ක් පමණම ඉවත් වේ. එන්නත් ආදිය සමඟ සිරුරට එකතුවන එතිල් මර්කරි ආහාර මාර්ගය හරහා ගමන් නොකර කෙළින්ම රුධිරයට එකතු වන නිසා සිරුරෙන් ඉවත් වීම මීටත් වඩා ඉක්මන්ය.

විවිධ එන්නත් වල ඇති තිමරසල් ප්‍රමාණ මේ වෙබ් පිටුවෙන් බලා ගන්නට පුළුවන. ඇතැම් එන්නත් වල මේ ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑමයකටත් වඩා අඩුය. මේ වගුව අනුව එන්නතක ඇති ඉහළම තිමරසල් ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 25කි. ඒ අනුව, එතිල් මර්කරි ඇත්තේ වැඩිම වුනොත් මයික්‍රෝ ග්‍රෑම් 12.5කි. ලංකාවේ ආහාරයට ගන්නා ඇතැම් මාළු වර්ග වල කිලෝවක බරක ඇති මෙතිල් මර්කරි ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 900ක් පමණ වන අතර, ඒ අනුව එන්නතක ඇති එතිල් මර්කරි ප්‍රමාණය ආහාරයට ගන්නා ග්‍රෑම් 100ක පමණ මාළු කෑල්ලක ඇති මෙතිල් මර්කරි ප්‍රමාණයටත්
වඩා බෙහෙවින්ම අඩුය. මේ එතිල් මර්කරි ප්‍රමාණයද මෙතිල් මර්කරි වලට වඩා හත් අට ගුණයක වේගයෙන් සිරුරෙන් ඉවත් වේ. එමෙන්ම මාළු කන තරමට එන්නත් ලබා ගන්නේද නැත.

ඇතැම් එන්නත් නිෂ්පාදනයේදී විෂබීජහරණය පිණිස තිමරසල් යොදා ගැනෙන්නේ එයින් ලැබෙන සෞඛ්‍යමය වාසිය සිදුවිය හැකි අවාසියට වඩා වැඩි බැවිනි. කෙටි කාලයක් තුළ එන්නත් විශාල ප්‍රමාණයක් නිපදවීම අසීරු කටයුත්තකි. එමෙන්ම එන්නත් ගබඩා කර තබාගැනීමේ සීමාවන්ද තිබේ. මේ නිසා ෆ්ලූ එන්නත් වැනි ඇතැම් එන්නත් වල අවශ්‍ය ඉල්ලුම සැපිරීමට තනි එන්නත් ලෙස නිෂ්පාදනය නොකර මාත්‍රා ගණනක් එකට ඇති බහු මාත්‍රා එන්නත් ලෙස නිපදවන්නට සිදුවේ. තිමරසල් යොදාගන්නේ මෙවැනි බහු මාත්‍රා එන්නත් භාවිතා කිරීමේදී එයට පසුව කිසියම් විෂබීජයක් ඇතුළු වීම නිසා ඇති විය හැකි අවදානම අඩු කර ගැනීම පිණිසය. එයින් ලැබෙන වාසිය තිමරසල් හේතුවෙන් ඇති විය හැකි අවාසියට වඩා වැඩිය.

කොයි දේ වුවත් ඕනෑවට වඩා හොඳ නැත. මේ 'ඕනෑවට වඩා' යන්නට නිශ්චිත තේරුමක් තිබේ. ඒ, යමකින් සිදුවන අහිතකර දේ හිතකර දේ ඉක්මවන සීමාවයි. 


(Image: https://jasonprall.com/blog/mercury-myth-fish-tale-epic-proportion/)

Friday, March 10, 2017

එරාන් හෙළිකරන ඇමතිවරුන්ගේ කඳුළු කතාව


බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන් විසින්, විනාඩි තුනකට අඩු කාලයක් තුළ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි මට්ටමේ පුහුණුවක් ලබා ඇති, යහපාලනවාදීන් බලාපොරොත්තු තබා සිටි, රජයේ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුගෙන් අසන ප්‍රශ්න කිහිපය හරහා රජයේ මූල්‍ය විනය, අකාර්යක්ෂමතාවය, රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජයට ඇති උවමනාවේ තරම, දිනෙන් දින පුළුල් වන රජය හා ජනතාව අතර පරතරය ආදී කරුණු රැසක් මතු කරයි.

නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්නට අනුව අළුත් ඇමතිවරුන් සිය එදිනෙදා රාජකාරි කරන්නේ විශාල සම්පත් හිඟයකට මුහුණ දෙමින්, පුදුම දුකක් විඳිමිනි. ඔවුන්ට හදිසියකට අමාත්‍යාංශයෙන් එළියට යන්නට වාහනයක් නැති අතර වෙනත් අමාත්‍යාංශයකින් වාහනයක් ණයට ඉල්ලා ලැබෙන තුරු බලා සිටින්නට වේ. ඇමතිවරුන්ගේ දුක ගැන එරාන් වික්‍රමරත්න විසින් කොතරම් හොඳින් පැහැදිලි කිරීමට සමත් වී සිටිනවාද කියා වත්පොතේ අදාළ වීඩියෝව යටින් වැටී ඇති කමෙන්ට් කියවන විට සක් සුදක් සේ පැහැදිළි වේ.

එරාන් වික්‍රමරත්න කියන ආකාරයට ආණ්ඩුව කරන්නට හදන්නේ පරණ වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමයි. රජයේ වාහන පරණ වන විට ඒවා ප්‍රතිස්ථාපනය කරන ක්‍රමවේදයක් තිබේ. වසර කිහිපයකට පසු වාහනයක වටිනාකම ක්ෂය වී අවසන් වූ ලෙස සැලකෙන අතර, පරණ වාහන වෙනුවට අළුත් වාහන මිල දී ගත යුතුවේ.

මෙහි ඇති ප්‍රශ්නය පරණ වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීම නොවේ. ඒ සඳහා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නේ ඇයිද යන කරුණයි.

පරණ වාහන ක්ෂය වී අවසන් වන දිනය අවිනිශ්චිත එකක් නොවේ. ඒ නිසා මෙසේ අළුත් වාහන සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන ප්‍රමාණය කලින් සැලසුම් කළ හැකි වියදමකි. රජයේ සියළු ආයතන මෙය කරයි. වාර්ෂිකව මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගන්නා අයවැය ඇස්තමේන්තු වලට මෙවැනි වියදම් ඇතුළත්ය.

අයවැය ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර අනුමත කරගන්නට අවශ්‍ය වෙන්නේ කලින් පුරෝකථනය කළ නොහැකි වූ, අළුත් වියදම් වෙනුවෙනි. රටක් අනපේක්ෂිත ලෙස යුධමය තත්ත්වයකට හෝ ස්වභාවික ව්‍යසනයකට මුහුණ දුන් විට මෙසේ පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නට සිදුවීම පිළිගත හැකි වුවත්, ක්ෂය වන වාහන වෙනුවට අළුතින් වාහන මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කෙරේනම් එයින් පිළිබිඹු වන්නේ ආණ්ඩුවේ මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයකි.

ඇතැම් විට මේ වාහන අවශ්‍ය වෙන්නේ අළුතින් පිහිටුවන අමාත්‍යාංශ හෝ වෙනත් රාජ්‍ය ආයතන වෙනුවෙන් වන්නට පුළුවන. ප්‍රශ්නය තියෙන්නේ මෙසේ අළුත් ආයතන හෝ අමාත්‍යාංශ පිහිටුවමින් රජය තවත් පුළුල් කරන්නේ කලින් නොකළ අළුත් වැඩ කරන්නට නොව, කිසියම් පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකුට තනතුරු හා වරප්‍රසාද පිරිනැමීමට වීමයි.

බොහෝ විට අළුත් අළුත් අමාත්‍යාංශයක් හදන්නේ පරණ අමාත්‍යංශයක කොටසක් ගලවා ගැනීමෙනි. මේ ඇතැම් ඇමතිවරුන් භාරයේ ඇත්තේ දහසකට නොව ඇතැම් විට සියයකටත් වඩා අඩු පිරිසක් සේවය කරන එක් ආයතනයක් පමණි. එවැන්නක් පාලනය කිරීමට ආයතන ප්‍රධානියෙක් සිටීම ප්‍රමාණවත් වන අතර විශාල වියදමක් දරා ඇමති කෙනෙකු නඩත්තු කිරීම අවශ්‍ය නැත. රජයේ අකාර්යක්ෂමතාවය ඇත්තේ මෙතැනය.

උදාහරණයක් ලෙස, දයා ගමගේගේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇත්තේ, සේවකයින් 1,088ක් වැඩකරන අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය පමණි. එම දෙපාර්තමේතුවේ කටයුතු අධීක්ෂණය කරන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ සේවක පිරිස 76කි. මේ අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශයේ කොටසක්ව පැවතියානම්, වාහන ගොඩනැඟිලි ඇතුළු අමාත්‍යාංශය නඩත්තු කිරීමට යන සියළු වියදම් ඉතිරි කර ගත හැකිව තිබුණි. දයා ගමගේට අයිති ඇතැම් ඇඟළුම් කම්හල් හා ඉදිකිරීම් සමාගම් වල මීට වඩා සේවක පිරිසක් වැඩ කරනු ඇතැයි සිතිය හැකි අතර ඒවා බොහෝ විට පාලනය කරනු ඇතැයි සිතිය හැක්කේ අදාළ ආයතන ප්‍රධානීන් විසිනි.

මලික් සමරවික්‍රම අමාත්‍ය ධුරය දරන, සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍ය ධුරය දරන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළදාම් අමාත්‍යංශය යටතේ ඇත්තේ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව පමණි. සේවකයින් ගණන 80කි. අමාත්‍යාංශයේ මුළු සේවක පිරිස 445කි. වෙළඳ අමාත්‍යාංශයේ කොටසක් ලෙස පවත්වා ගත හැකි, මේ දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරන ඇමති වරුන් නඩත්තු කිරීම අමතර වාහන, ගොඩනැඟිලි හා සේවකයින් වෙනුවෙන් අමතර ප්‍රතිපාදන වෙන් කරන්නට සිදුවන අතර මෙවැනි ඇමතිවරුන් වෙනුවෙන් වාහන ගෙන්වීමට පොදු අරමුදල් වෙන් කරන්නට වෙන්නේ ඇමති වරයාට මෙන්ම රාජ්‍ය ඇමති වරයාටත් වාහන ආනයනය කිරීමට මිලියන 30 ඉක්මවන තීරුබදු සහනද ලබා දීමට අමතරවය.

මේ අයුරින්ම, සේවකයින් 92ක් පමණක් සිටින හරින් ද සිල්වා අමාත්‍ය ධුරය දරන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ කටයුතු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් හරහා කරන්නට බැරි කමක් නැත. සේවකයින් 19 දෙනෙකු පමණක් සිටින සරත් අමුණුගමගේ විශේෂ කාර්ය අමාත්‍යාංශය කරන්නේ මොනවාද කියන එකවත් පැහැදිලි නැත.

ඇමතිවරයෙකුට රුපියල් ලක්ෂ 400ක වාහනයක් අවශ්‍ය වන්නේ ඇයිදැයි බීබීසී මාධ්‍යවේදියා විමසද්දී එරාන් වික්‍රමරත්න ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට නොපැකිලේ. ඔහුට අනුව, සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ සභාපති වරයෙකු වුවද මෙවැනි මිල අධික වාහන පාවිච්චි කරන නිසා ඇමති වරයෙකු එසේ කිරීම සාමාන්‍ය දෙයකි.

සමාගම් වල ලාභ යනු මහජනයාගෙන් පැහැර ගන්නා දෙයක්යැයි සිතන අයටනම් මෙය හොඳ පිළිතුරක් වන්නට පුළුවන. එහෙත්, එය එසේ නොවන බව එරාන් වික්‍රමසිංහ හොඳින්ම දනී. සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ සභාපති වරයෙකු වාහන සඳහා වැය කරන්නේ ඔවුන් සමාගම වෙනුවෙන් උපයන මුදල් මිස මහජන මුදල් නොවේ. සමාගමක් දිගින් දිගටම පාඩු ලබනවානම් ඔවුන්ට මේ මිල අධික වාහන පරිහරණය කිරීම දිගටම කරන්නට ලැබෙන්නේ නැත.

මෙහි ඇති ප්‍රශ්නය එරාන් වික්‍රමරත්න කියන පරිදි, ආණ්ඩුව සමාගමක් ලෙස අප සැලකුවත් එය ලාභ නොලබන දිගින් දිගටම පාඩු ලබන, බංකොලොත් වෙන්නට ආසන්න සමාගමක් වීමයි.

ලංකාවේ මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් අඩු කර අයවැය සමතුලිත කර ගැනීම සඳහා මේ ආණ්ඩුව සැලකිය යුතු තරම් උත්සාහයක් දරා තිබේ. එහෙත්, ප්‍රශ්නය වන්නේ එය කර ඇති ආකාරයේය. වියදම් අඩුකර ඇත්තේ සෑම අංශයකම ප්‍රාග්ධන වියදම් කැපීමෙන් මිස වඩා නාස්තිකාර වියදම් සීමා කිරීමෙන් නොවේ. වාහන ගෙන්වීම වෙනුවෙන් වැය කරන සෑම ඩොලරයක්ම එක් අතකින් රජයේ අයවැය හිඟයද, අනෙක් අතින් ගෙවුම් ශේෂ හිඟයද පුළුල් කිරීමට දායක වන බව සැඟවිය හැකි කරුණක් නොවේ.

මේ ආණ්ඩුවට පසුගිය ආණ්ඩුව විසින් ගත් විශාල ණය මුදලක් ගෙවන්නට සිදුවී තිබේ. ඒ අයුරින්ම, ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවකට මේ ආණ්ඩුවේ ණයද එලෙසින්ම ගෙවන්නට සිදුවනු ඇත. ඒ, රජයේ ණය ආපසු ගෙවන්නට හැකි මට්ටමින්වත් එතෙක් කලක් හෝ රටේ ආර්ථිකය ඇදගෙන යන්නට හැකි වුනොත්ය.

Thursday, March 9, 2017

කාර් නැතිව අපි කොහොමද නිවන් දකින්නේ?

මේ, අද බීබීසී සිංහල සේවය මඟින් ඔවුන්ගේ වත්පොත් පිටුව හරහා බෙදාගෙන තිබුණු වීඩියෝවකි.


https://www.facebook.com/BBCSinhala/videos/787265841431166/


සාමාන්‍යයෙන් මම මගේ විග්‍රහයන් එකතු නොකර මෙවැනි දේ මේ වියුණුවෙහි පළ කරන්නේ නැත. එහෙත්, මෙහිදීනම් අමුතුවෙන් කිසිවක් විග්‍රහ කරන්නට අවශ්‍ය නැති තරම්ය. මාධ්‍යවේදියා විසින් අහන්නට අවශ්‍ය දේ අසා තිබේ. මා විසින් ලිවිය හැකිව තිබුණු ලිපියක තිබිය හැකි කරුණු වීඩියෝව නරඹන අයෙකුට හිතාගන්නට අමාරු නැති නිසා අමුතුවෙන් නැවත ලියන්නේ නැත.


අදාළ පෙර ලිපි:

චතුර්වර්ණ මතු කරන වාහන බලපත්‍ර (පළමු කොටස)

චතුර්වර්ණ මතු කරන වාහන බලපත්‍ර (දෙවන කොටස) 

 

Saturday, March 4, 2017

අපේ අසල්වාසීන්ගේ ස්වයං නිර්ණ අයිතිය


ඊයේ අපේ අසල්වාසී නිවාස හිමියන්ගේ සංගමයේ රැස්වීම පැවැත්වුනේය. මේ සංගමය නිවාස ඒකක 82ක් අයත්වන අසල්වාසී සාමූහික (neighborhood) දෙකක එකතුවකි. සාමූහික දෙක වෙන් කරන පාරෙන් උතුරු පැත්තේ ගෙවල් එක් අසල්වාසී සාමූහිකයකි. එහි නිවාස ඒකක 56කි. පාරෙන් දකුණු පැත්තේ ගෙවල් තවත් අසල්වාසී සාමූහිකයකි. එහි නිවාස ඒකක 26කි. 

වෙනවෙනම සංගම් දෙකක් නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් නිවාස ගණනක් එක පැත්තකවත් (විශේෂයෙන්ම පාරේ දකුණු පැත්තේ) නොමැති නිසා කොටස් දෙකටම ඇත්තේ එක් නිවාස හිමියන්ගේ සංගමයකි. එහි නිලධාරී මණ්ඩලයටද එක් එක්  කොටසේ අවම නියෝජනයන් අවශ්‍යය. ඒ නිසා, තීරණ ගැනීමේදී වැඩි නිවාස ඒකක ගණනක් ඇති උතුරු පැත්තේ අයට සිය 'බහුතර මතය' දකුණු පැත්තේ අය මත පැටවිය නොහැකිය.

ඇමරිකාවේ නිවාස හිමියන්ගේ සංගමයක් සරල සුබසාධක සංගමයක් පමණක් නොවන අතර නීතිමය බලයක් ඇති ආයතනයකි. සංගමයේ නීති පිළිපැදීමට සියළුම නිවාස හිමියෝ බැඳී සිටිති. 


නිවාස හිමියන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ස්වේච්ඡාවෙන් කළ යුතු නිශ්චිත වැඩ කොටසක් තිබේ. මේ අතර, අසල්වාසී සාමූහිකයේ පොදු දේපල (අලංකාරය සඳහා සාදා ඇති කෘතීම පොකුණු දෙක, පාරෙන් ඇතුළුවන තැන් වල ඇති නාමපුවරු ආදිය) නඩත්තු කර අලංකාරව තබාගැනීම, නිවාස හිමියන් සාමූහිකයේ නීති පිළිපදින බවට වගබලාගැනීම හා ඇතැම් දේවල් පරීක්ෂා කර අනුමත කිරීම, පොදු කොටස් වල තණකොළ කැපීම හා හිම ඉවත් කිරීම ආදිය මෙන්ම වසරකට වරක් හෝ කිහිප වරක් නිවාස හිමියන්ගේ අනවශ්‍ය දේවල් අළෙවි කරන ප්‍රජා අලෙවි දින (කමියුනිටි යාඩ් සේල්) හා 'බ්ලොක් පාටි' ආදිය සංවිධානය කිරීම ඇතුළත්ය.

අපේ සංගමයට අයත් වන අසල්වාසී සාමූහික දෙකේ නිවාස හිමියන් විසින් පිළිපැදිය යුතු නීති මාලාවන් දෙක හරියටම සමාන නොවීම නිසා බොහෝ විට සංගමයේ කටයුතු අනවශ්‍ය පරිදි සංකීර්ණ වීම පසුගිය කාලයේ සාකච්ඡා කෙරෙමින් පැවතුණු දෙයකි. මේ නීති මාලාවන්හි නිවාස හිමියන් විසින් කළ යුතු දේ, කළ හැකි දේ, හා නොකළ යුතු දේ වෙනවෙනම  පැහැදිලිව දක්වා තිබේ. එමෙන්ම, සංගමය විසින් කරන කටයුතු හා පරිපාලන වියදම් වෙනුවෙන් සියළු නිවාස හිමියන් විසින් වාර්ෂික සාමාජික ගාස්තුවක් අනිවාර්යයෙන්ම සංගමයට ගෙවිය යුතුය.

නිවසේ ඉදිරිපස කොටසේ තණකොළ කපා නඩත්තු කිරීම, හිම ඉවත් කිරීම, මැරුණු ගස් ඇත්නම් කපා ඉවත් කිරීම, රාත්‍රියට විදුලි පහන් දැල්වෙන බවට වග බලා ගැනීම ආදිය අප සිටින දකුණු පැත්තේ නිවාස හිමියන් විසින් කළ යුතු දේවල්ය. කුණු එකතු කරන දින වල හැර වෙනත් දින වල කුණු බක්කි (ට්‍රෑෂ් කෑන්) පෙනෙන්නට තැබීම, රෙදි වැල් ඇදීම, නිවස විකුණන විටක හැර නිවස ඉදිරිපස දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, අසල්වාසීන්ට බාධා වන පරිදි ශබ්ද කිරීම ආදිය දකුණු පැත්තේ අය නොකළ යුතු දේවල් වලට අයත්ය. එමෙන්ම, බල්ලන් පූසන් වැනි සුරතල් සතුන් හැර, ඌරන් කුකුළන් වැනි ගොවිපොළ සතුන් මේ ගෙවල් වල හැදීමද කළ නොහැකි දෙයකි.  නිවස කුලියට දීම හා අමතර බඩු තබා ගැනීම සඳහා නිවස පිටුපස ගබඩා ගෙයක් හදා ගැනීම දකුණු පැත්තේ නිවාස හිමියන්ට කළ හැකි දේවල් සඳහා උදාහරණයි.

ගබඩා ගෙයක් හදා ගැනීම කියා කිවුවත් තමන්ට කැමති ආකාරයකට එය කරන්නට නුපුළුවන. එසේ හදාගත හැක්කේ අසල්වාසී සාමූහිකයේ අලංකාරය නැති නොවන පරිදි සංගමය විසින් අනුමත කරන මාදිලියක එකකි. සංගමය වෙත අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසුව සවි කිරීමට ඉල්ලා සිටින ගබඩා ගෙයි ප්‍රමාණය, සදා ඇති ද්‍රව්‍ය, පාට ආදිය සංගමය විසින් පරීක්ෂා කර අනුමත කළ යුතුය. ඒ වගේම, හදා ගන්නවා කියා කිවුවත් ඇත්තටම කරන්නේ කඩෙන් මිලදී ගෙන සවිකිරීමයි. විවිධ මාදිලි වල ලොකු කුඩා ගබඩා ගෙවල් වර්ග ගණනාවක් කඩවල විකුණන්නට ඇති අතර ඉහළ රූපයේ ඇත්තේ එතරම් ලොකු නැති එවැනි ගබඩා ගෙයකි.

මේ විස්තර කියවන විට ඇතැම් අයට හිතෙනු ඇත්තේ පුද්ගල නිදහස ගැන මහ ලොකුවට කතා කරන ඇමරිකාවේ නිවාස හිමියෙකුට තමන්ගේ ගෙදර වත්තේ හතර මායිම ඇතුළේවත් කැමති දෙයක් කරගන්නට නිදහසක් නැති බවයි. වත්තේ ඉදිරිපස සහ පිටුපස සිටවිය යුතු හා සිටවිය හැකි එක් එක් වර්ග වල (සදාහරිත, සෙවණ දෙන හා පඳුරු) ශාඛ ගණන් පවා සංගමයේ රෙගුලාසි වලින් නියාමනය වී තිබේ. කිසියම් අසල්වාසී සාමූහිකයකට අළුතින් පැමිණෙන අයෙකු එසේ පැමිණීමෙන් මේ රෙගුලාසි වලට ස්වයංක්‍රීයව යටත් වේ.

මේ විස්තර ලියන්නේ, ඇමරිකාව මාරයි කියන්නටවත්, ලංකාවේ ඉන්න ගොබ්බයින්ට ඕවා තේරෙන්නේ නැතැයි කියන්නටවත්, ඇමරිකාවේ විදිහට අනිත් අයත් කටයුතු කළ යුතුයැයි කියන්නටවත් නොවේ. පුද්ගල නිදහස අගයන සමාජයක පුද්ගල නිදහසට ප්‍රමුඛත්වය දෙමින් සාමූහිකව සිදුවිය යුතු කටයුතු සාමූහිකව කරගන්නා ආකාරය විස්තර කරන්නටත්, ඇමරිකාවේ බලය විමධ්‍යගත වී ඇති ආකාරය පැහැදිලි කරන්නටත්, හා බිම් මට්ටමේදී ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන අදහසක් ලබා දීමත් සඳහාය.

පළමුව කියන්නට තියෙන්නේ උඩින් විස්තර කළ රෙගුලාසි එකක්වත් ආණ්ඩුව විසින් හෝ වෙනත් බලාධිකාරියක් විසින් බලහත්කාරයෙන් පනවා ඇති රෙගුලාසි නොවන බවයි. එක් එක් අසල්වාසී සාමූහිකය තුළ මේ රෙගුලාසි පනවාගෙන ඇත්තේ අපි අපිමය. ඒ, බහුතර කැමැත්ත අනුව යමිනි. කෙසේ වුවද, එසේ රෙගුලාසි පනවා ගෙන නීතිඥයෙකු හරහා ප්‍රාදේශීය පරිපාලනය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ රෙගුලාසි පිළිපදින්නට සියල්ලෝම බැඳී සිටිති. මෙසේ සාමූහික තීරණ ගැනීමට සිදුවී තිබෙන්නේ මගේ වත්තේ හතර මායිම ඇතුළේ මා කරන ඇතැම් දේවල් වලින් මගේ අසල්වැසියන්ටද බලපෑමක් වන බැවිනි. ඒ නිසා මගේ පුද්ගල නිදහස අත්විඳීමේදී මා විසින් මගේ අසල්වැසියාගේ නහයේ සීමාව නොඉක්මවන්නට වගබලාගත යුතුය.

අපේ සංගමයට අයත් උතුරු පැත්තේ අසල්වැසි සාමූහිකයේ රෙගුලාසිද බොහෝ දුරට දකුණු පැත්තේ ඒවාට සමාන වුවත් හරියටම සමාන නැත. මා පෙර කී පරිදි, මේ දවස්වල සංගමය උත්සාහ ගන්නේ මේ දෙක එකක් කිරීමටය. එහෙත්, ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් එක් කළ තරම් පහසුවෙන් එය කරන්නට පුළුවන් කමක් නොපෙනේ. ඒ, මෙසේ කිරීම සඳහා එක පැත්තක අය අනෙත් පැත්තේ රෙගුලාසි පිළිගැනීම හෝ දෙපැත්තේම අය විසින් අළුතින් හදන අතරමැදි රෙගුලාසි මාලාවක් පිළිගැනීම කළ යුතු බැවිනි.

සංගමයේ රැස්වීම් වලට සාමාන්‍යයෙන් සහභාගී වන නිවාස ඒකක තිහක පමණ සාමාජිකයින් විසින් මෙවැනි මූලික එකඟතාවයකට පැමිණියද, එය සම්මත කර ගැනීම සඳහා එක් එක් පැත්තේ නිවාස හිමියන්ගේ සමස්ත ඡන්ද වලින් (භාවිතා කරන ඡන්ද වලින් නොවේ) 75% බැගින් අවශ්‍ය වේ. මේ නිසා, නැවතත්, දකුණේ අය උතුරේ බහුතර මතයට යටවීම වැලකී තිබේ.

දැන් මේ කටයුත්ත මෙසේ කරගැනීම සඳහා ඇති ප්‍රධානම බාධාව දකුණු පැත්තේ අයට ඇති ගබඩා ගෙයක් හදා ගැනීමේ අයිතිය උතුරු පැත්තේ අයට නැති වීමයි. එසේනම්, එම අයිතිය ලබා ගැනීමට ඔවුන් කැමති වනු ඇතැයි ඔබ සිතන්නට පුළුවන. එහෙත්, තත්ත්වය පෙනෙනවාට වඩා සංකීර්ණය.

දකුණු පැත්තේ ඇති ගෙවල් වලට සාපේක්ෂව උතුරු පැත්තේ ගෙවල් තරමක් විශාලය. ඒ නිසා, ඒ පැත්තේ වැඩි දෙනෙකුට ගබඩා ගෙවල් අවශ්‍ය නැත. ඒ නිසා, උතුරු පැත්තේ අයට මෙවැනි ඉඩක් ලබා දුන්නත් එය ප්‍රයෝජනයට ගනු ඇත්තේ සුළු පිරිසකි. එවිට, තරහට පොල් හිටෙව්වාක් මෙන් අතරින් පතර තැනක පමණක් පෙනෙන්නට ලැබෙන ගබඩා ගෙවල් නිසා ඒ පැත්තේ අලංකාරය අඩුවීමෙන් ගෙවල් සියල්ලේම වෙළඳපොළ වටිනාකම අඩුවනු ඇතැයි ඔවුහු සිතති. ඒ නිසා, උතුරු පැත්තේ අය ගබඩා ගෙවල් වලට ඉඩදෙන්නට කැමති නැත. ඔවුන් උත්සාහ කරන්නේ දකුණු පැත්තේ රෙගුලාසි වලටද ඒ තහනම ඇතුළත් කිරීමටය.

එහෙත්, දකුණු පැත්තේ තත්ත්වය වෙනස්ය. සාපේක්ෂව කුඩා ගෙවල් ඇති දකුණු පැත්තේ බොහෝ දෙනෙකු ගබඩා ගෙයක් සවි කර ගැනීමට කැමතිය. මේ ගෙවල් කුඩා නිසා ගබඩා ගෙයක් තිබීමෙන්
වෙළඳපොළ වටිනාකම අඩුවනු නොව වැඩි වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

මේ තත්ත්වය යටතේ එක් එක් පැත්තේ නිවාස ඒකක වලින් 75%ක ඡන්ද ලබා රෙගුලාසි වෙනස් කිරීමට හැකිවේද යන්න සැක සහිතය.

ප්‍රතිශක්තිකරණය මෙන්ම අධ්‍යාපනයද, ගිණි අවි පරිහරණයද පුද්ගල නිදහසට මුල් තැන ලැබෙන සාමූහික තීරණ විය යුත්තේ මේවායේ පුද්ගල උපයෝගීතාවයන්ට වඩා දෙයක් ඇති බැවිනි. වෙනත් අයෙකුගේ නොදැනුවත්කම වෙනුවෙන් මා මිලක් ගෙවිය යුතු නැත.

Tuesday, February 28, 2017

ඔවුන් ඔබට සඟවන දෙය (දෙවන කොටස)

ඔවුන් ඔබට සඟවන දෙය (පළමු කොටස)

 

වසර දොළහක පමණ කාලයක් තිස්සේ ඇත්තක් ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කළ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ්ගේ කෘතීම නිර්මාණයක් වූ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව අවසානයේදී අදාළ සඟරාව මඟින් ඉවත් කර ගැනුණේය. ඒ සමඟම, සිදු වූ හානිය පූරණය කර ගැනීමේ අරමුණින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ කලාප ගණනාවක් මේ කරුණ ගැන ඇත්ත හෙළිකරන ලිපි වෙනුවෙන් වෙන් කෙරුණේය. බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ ප්‍රධාන සංස්කාරිකාව වූ (සහ අදටත් එම තනතුර දරන) ආචාර්ය ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ් සිදුවීමට ප්‍රතිචාර දක්වමින් පැවසූ පරිදි මෙහිදී සිදු වුනේ විද්‍යාත්මක ක්‍රමයේ වැරැද්දක් නොවේ. වේක්ෆීල්ඩ් විසින් හිතාමතාම විද්‍යාත්මක ප්‍රජාව රැවටීමකි.

බ්‍රයන් ඩියර් විසින් හෙළිදරවු කරන තුරු, වේක්ෆීල්ඩ්ට වසර දොළහක් තිස්සේ මේ බොරුව ප්‍රචාරය කිරීමටත්, එමඟින් ප්‍රසිද්ධිය හා ආර්ථික වාසි ලබා ගැනීමටත් හැකි විය. ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ්ගේ මේ වංචාව පසුගිය සියවසේ මුල් භාගය පුරාවටම විද්‍යාත්මක ප්‍රජාව රැවටූ මිනිසා හා වානරයා අතර හමු නොවූ පුරුක පිළිබඳ වංචාව සමඟ සැසඳුවාය. එය දශක හතරක් පුරාවටම ඇත්තක් ලෙස සැලකුනත්, වේක්ෆීල්ඩ්ගේ වංචාව නිසා වසර දොළහක් තුළ සිදුවී ඇති හානිය සමඟ එය සැසඳිය නොහැකිය.

බ්‍රිතාන්‍යය තුළ MMR එන්නත හඳුන්වා දුන් 1988 වසරේ සිට ක්‍රමයෙන් ඉහළ ගිය ප්‍රතිශක්තිකරන අනුපාතය වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණය පළවන විට 92% ආසන්න මට්ටමක ස්ථාවරව පැවතියේය. එහෙත්, ඔහුගේ ප්‍රතිශක්තිකරන විරෝධී ප්‍රචාර හමුවේ  ක්‍රමයෙන් පහත වැටුණු මේ අනුපාතය 2004 වන විට 80%ටද වඩා අඩු විය (මෙහි 23 පිටුවේ පස්වන රූප සටහන බලන්න). කෙසේ වුවත්, බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ උත්සාහයන් හා වේක්ෆීල්ඩ්ව එළිදරවුවීම හේතුවෙන් පසුගිය 2013/14 දක්වා නැවත ක්‍රමයෙන් ඉහළ ගිය මේ අනුපාතය නැවතත් 92% මට්ටමට පැමිණියේය.

බ්‍රිතාන්‍ය වෛද්‍ය ලියාපදිංචිය අහිමි වූ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් ඉන්පසුව කළේ කුමක්ද? මෙය සිදුවන විටත් ඔහු ඇමරිකාවට පැමිණ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරන විරෝධීන් සමඟ එක්ව ක්‍රියාත්මක වෙමින් සිටියේය. මා පෙරද කියූ පරිදි, වේක්ෆීල්ඩ් ඇමරිකාවට පැමිණීමටද පෙර සිටම ඇමරිකාවේ තිබුණේ MMR එන්නත් විරෝධයක් නොව, ප්‍රධාන වශයෙන්ම තිමරසල් හා ස්වේච්ඡතාව අතර ඇතැයි විශ්වාස කෙරුණු සම්බන්ධතාවයක් මත පදනම් වූ ප්‍රතිශක්තිකරන එන්නත් විරෝධයකි.

ඇමරිකාවට පැමිණීමෙන් පසු සිය උපාය මාර්ගයන් වෙනස් කළ වේක්ෆීල්ඩ් සිය ප්‍රේක්ෂක කණ්ඩායම ලෙස සිටි විමර්ශිත ජර්නල් කියවන 'උගතුන්' වෙනුවට සාමාන්‍ය ජනතාව (ඇමරිකන් බයියන්?)
වෙත හැරුණේය. ඔවුන් ඉලක්ක කර ගනිමින් වේක්ෆීල්ඩ් විසින් 2010දී හා 2012දී පොත් දෙකක් ලියා පළ කෙරිණි. පොතක් ලියා පළ කිරීම විමර්ශිත ජර්නලයක ලිපියක් පළ කරනවාක් මෙන් අන්තර්ගත කරුණු වල වැදගත්කම හෝ නිරවද්‍යතාවය තහවුරු කරගෙන කළ යුතු දෙයක් නොවේ. කෙසේ වුවද, මේ පොත් වලින් MMR එන්නතෙහි ඇතැයි ඔහු කියා සිටින අතුරු ආබාධ ඇති බව තහවුරු කිරීමක් හෝ ඔහු කළ වංචනික ක්‍රියාව නොකළ බව තහවුරු කිරීමක් සිදුවී නැත.

පොත් පළ කිරීමෙන් නොනැවතුණු වේක්ෆීල්ඩ් පසුගිය වසරේදී චිත්‍රපටයක්ද නිෂ්පාදනය කර ඇමරිකාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය කරවූයේය. "Vaxxed: From Cover-Up to Catastrophe" නම් වූ මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස ඉදිරිපත් කළේනම් එය හොඳ චිත්‍රපටයක් ලෙස සැලකීමට ඉඩකඩක් තිබුණත් ඔහු මෙය ඉදිරිපත් කළේ වාර්තා චිත්‍රපටයක් ලෙසිනි. වේක්ෆීල්ඩ්ගේ 'වන් මෑන් ෂෝ එකක්' ලෙස හැඳින්විය හැකි මේ චිත්‍රපටය මූලිකවම කරකැවෙන්නේ ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන කේන්ද්‍රය විසින් MMR එන්නත ලබා දීමෙන් පසුව අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන්ට ස්වේච්ඡතාව වැළඳීමට තිබුණු ඉහළ අවදානම පිළිබඳව දැනගැනීමෙන් පසුව එම කරුණ හිතාමතාම යට ගැසූ බවට වන චෝදනාව වටාය.

චිත්‍රපටයේ තේමාව වන ඉහත 'යටගැසූ පරීක්ෂණය' වේක්ෆීල්ඩ්ගේ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව මෙන් තනිකරම අතේ රෝලක් නොවේ. මේ සිද්ධිය එළියට එන්නේ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරණ එන්නත් විරෝධී ක්‍රියාධරයකු වන මහාචාර්ය බ්‍රයන් හුකර් හරහාය. බ්‍රයන් හුකර්ගේ දරුවකුද MMR එන්නත ලබාදී මාස කිහිපයකට පසුව ස්වේච්ඡතා රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබේ. බ්‍රයන් හුකර් රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥයෙකු වන ආචාර්ය විලියම් තොම්සන් සමඟ මාස දහයක කාලයක් තුළ වාර ගණනාවක් දුරකථනයෙන් කථා කර ඇති අතර විලියම් තොම්සන්ට නොදන්වා මේ සංවාද පටිගත කර තිබේ. චිත්‍රපටියේ ඇත්තේ මෙසේ පටිගත කළ සංවාදයි.

ආචාර්ය විලියම් තොම්සන් ඇතුළු රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් පිරිසක් විසින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර ඇති සම්බන්ධක් සොයමින් දත්ත විමසුමට ලක්කර ඇති අතර මේ හා අදාළ පර්යේෂණ පත්‍රිකාව 2004 වසරේදී පීඩියට්‍රික්ස් විමර්ශිත ජර්නලයේ පළ විය. මේ පර්යේෂණ ප්‍රතිඵලය අනුව, MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග (autism spectrum disorders) අතර සම්බන්ධයක් පෙනෙන්නට නැත. 


බ්‍රයන් හුකර් හා වේක්ෆීල්ඩ් විසින් විශාල ප්‍රචාරයක් ලබාදුන් පරිදි, මුළු නියැදිය හා අදාළව තත්ත්වය මෙසේ වුවත් ඉහත පර්යේෂකයින්ට අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග අතර සම්බන්ධයක් පවතින බව දැනගන්නට ලැබී තිබේ. එහෙත්, ඒ බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් නොකිරීමට තොම්සන් ඇතුළු පර්යේෂක කණ්ඩායම තීරණය කර ඇත.

මේ කරුණ බොරුවක් නොවේ. බ්‍රයන් හුකර් විසින් "රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු සමඟ පැවැත්වූ" දුරකථන සංවාද පටිගත කර ප්‍රසිද්ධ කර තිබුණේ විලියම් තොම්සන්ගේ අනුමැතිය හෝ අනුදැනුම රහිතව වුවත්, පසුව විලියම් තොම්සන් විසින් නීතිඥයෙකු හරහා ප්‍රකාශයක් කරමින් තහවුරු කළ පරිදි ඇත්තටම එවැන්නක් සිදු වී තිබේ. ඔවුන් එසේ කර ඇත්තේ ඇයි?

මෙය සමාජජාලා වල ප්‍රචාරය වූ පරිදි, "හිට්ලර්ගේ යුදෙවු ඝාතන වැනි ජනවර්ගයක් විනාශකර දැමීම අරමුණු කරගත් මහා කුමන්ත්‍රණයක්" නොවේ. පර්යේෂක කණ්ඩායමක සාමාජිකයින් අතර ඔවුන්ගේ දත්ත විශ්ලේෂණ මත පදනම් වූ ඇතැම් නිගමන සම්බන්ධව එකඟතාවක් ඇති නොවීමක් පමණි. කියන ආකාරයේ දත්ත විනාශ කිරීමක්ද සිදුවී නොමැති අතර ඕනෑම පර්යේෂකයෙකුට (වෘත්තීය පර්යේෂණ යෝජනාවක් පිළියෙල කර රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයට ලබා දීමෙන් පසුව) මේ දත්ත ලබාගෙන අවශ්‍ය පරිදි විශ්ලේෂණය කර බැලීමේ හැකියාවක් තිබේ. 

මා සිතන පරිදි, බ්‍රයන් හුකර් හා විලියම් තොම්සන් යන දෙදෙනා වේක්ෆීල්ඩ් මෙන් වංචනිකයෝ නොවෙති. MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් ඇති බවත්, 2004 පීඩියට්‍රික්ස් පර්යේෂණය සඳහා උපයෝගී කරගත් දත්ත වලින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව මේ සම්බන්ධය පැහැදිලිව පෙනෙන බවත් ඔවුන් ඇත්තටම විශ්වාස කරනවා වන්නට පුළුවන. වේක්ෆීල්ඩ් වුවද, දත්ත සකස් කිරීමේදී වංචාවක් කර ඇතත්, ඇත්තටම මෙවැනි සම්බන්ධයක් ඇතැයි හිතනවා විය හැකිය.

විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් සිදුකළ පෙර පළ නොකෙරුණු දත්ත විශ්ලේෂණය බ්‍රයන් හුකර් විසින් නැවත සිදු කළ අතර අදාළ පර්යේෂණ පත්‍රිකාව 2014 අගෝස්තුවේදී 'ට්‍රාන්ස්ලේෂනල් නියුරෝඩිජෙනරේෂන්' ජර්නලයේ පළ විය. එම පර්යේෂණ පත්‍රිකාව පළවීමත් සමඟම, විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් පළමුවත්, බ්‍රයන් හුකර් විසින් පසුවත් යොදාගෙන තිබුණු සංඛ්‍යානමය ක්‍රමවේදයේ අඩුපාඩු වෙනත් බොහෝ දෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබුවේය. 


රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් විසින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණු ප්‍රතිඵලය ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර තිබුණේ එම අඩුපාඩු පිළිබඳව තේරුම් ගෙන සිටි නිසාය. බ්‍රයන් හුකර්ගේ පර්යේෂණ පත්‍රිකාවද පසුව එය පලකළ ජර්නලයෙන් ඉවත් කෙරිණි. පසුව අවධානයට ලක්වුණු ක්‍රමවේදයේ අඩුපාඩු වලට අමතරව, ලිපියේ තේමාව හා සම්බන්ධ සංවිධාන සමඟ ඔහුගේ තිබුණු සම්බන්ධතා බ්‍රයන් විසින් ජර්නලයට හෙළිදරවු කර නොතිබීමද මේ තීරණයට හේතු විය.

ද්වීතියික දත්ත මත සිදුකරන විශ්ලේෂණයන් ඉතා සැලකිල්ලෙන් කළ යුතුය. ඇස් කණ්ණාඩි පාවිච්චි කරන හා නොකරන සිසුන් නියැදි දෙකක් ගෙන ඔවුන්ගේ සාමාන්‍ය පෙනීමේ හැකියාවන් සංසන්දනය කළහොත්, බොහෝ විට ඔබට පෙනෙනු ඇත්තේ කණ්ණාඩි පාවිච්චි නොකරන සිසුන්ගේ පෙනීම වඩා හොඳ බවයි. එහෙත්, මේ නිරීක්ෂණය මත කණ්ණාඩි පාවිච්චි කිරීම නිසා ඇස් පෙනීම දුර්වල වන බවට නිගමනයකට පැමිණිය නොහැක්කේ, කණ්ණාඩි පාවිච්චි කරන්නේම ඇස් පෙනීම දුර්වල අය බැවිනි.

බ්‍රයන් හුකර් විසින් නැවත විශ්ලේෂණය කළ, VAXXED චිත්‍රපටියේ ප්‍රධාන තේමාව වූ අප්‍රිකානු ඇමරිකන් දරුවන් සම්බන්ධව පැවතියේද මෙවැනි තත්ත්වයකි. ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් සඳහා පෙර පාසැල් වයසේදී විශේෂ අධ්‍යාපනික වැඩ සටහන් ක්‍රියාත්මක වන අතර එම වැඩ සටහන් වලට ඇතුළත් වීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා තිබිය යුතුය. මේ හේතුවෙන් ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් MMR එන්නත ලබාගෙන තිබීමට ඇති ඉඩකඩ අනෙක් දරුවන්ට වඩා වැඩිය. මෙය එන්නත හේතුවෙන් රෝගය වැඩිවීමක් ලෙස යමෙකු වරදවා වටහා ගන්නට පුළුවන.

වඩා විශාල නියැදි යොදාගනිමින් ඩෙන්මාර්කය, ජපානය, පෝලන්තය හා කැනඩාව ඇතුළු රටවල් ගණනාවක සිදු කර ඇති ස්වාධීන පර්යේෂණ වලින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් නිරීක්ෂණය වී නැත.  ඇමරිකානු දරුවන් 95,727ක විශාල නියැදියක් යොදාගනිමින් මෑතකදී ස්වේච්ඡතාව හා MMR එන්නත අතර තිබිය හැකි සම්බන්ධක් පිළිබඳව සිදු කෙරුණු පුළුල් අධ්‍යයනයකින්ද එවැනි සම්බන්ධයක් ඇති බවක් පෙනී ගොස් නැත. මේ පර්යේෂණ අධ්‍යයනයේ ප්‍රතිඵල 2015දී ජර්නල් ඔෆ් ඇමරිකන් මෙඩිකල් ඇසෝෂියේෂන්හි (JAMA)  පළවිය. කෙසේ වුවද, අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව පමණක්, MMR එන්නත ලබාගැනීම හා ස්වෙච්ඡතා පරාසයේ ආබාධ ඇති වීම අතර සම්බන්ධයක් පැවතිය හැකි බවට බ්‍රයන් හුකර් සහ තවත් අය පළ කරන අදහස තහවුරු කිරීම හෝ බැහැර කිරීම පිණිස අවශ්‍ය තරම් විධිමත් පර්යේෂණ
ප්‍රමාණවත් ගණනක් තවමත් සිදු කෙරී නැත.

එන්නත් වෙනුවෙන් හා එන්නත් විරෝධී ලෙස සිදුවන පිල් බෙදීම තුළින් පිළිබිඹු වෙන්නේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. නිරෝගීව සිටින තමන්ගේ දරුවෙකුට MMR එන්නත ලබාදීමෙන් පසු කෙටිකලක් තුළ ඔහුගේ හෝ ඇයගේ මානසික වර්ධනය ඇස්පනාපිටම කැපී පෙනෙන ලෙස බාල වන විට දෙමවුපියන්ට 'ප්‍රත්‍යක්ෂ වන්නේ' එන්නත ලබා දීම හේතුවෙන් මෙය සිදු වූ බවයි. එය එසේ නොවන බව පර්යේෂකයෙකුට සංඛ්‍යාලේඛණ පිරික්සා 'බුද්ධියෙන්' තේරුම්ගත හැකි වුවත් මේ පර්යේෂණ පත්‍රිකා බොහොමයක්ම කියවනු ලබන්නේ සාපේක්ෂව වැඩි උගත්කමක් ඇති අය අතරෙන් වුවද අතලොස්සක් පමණි. එසේ නොකරන අතිමහත් බහුතරය පොදු මාධ්‍ය හා විශේෂයෙන්ම සමාජ ජාලා හරහා දැනුම ලබා ගැනීම වත්මන් යුගයේ යථාර්තයයි.

සංවර්ධිත රටවල වලද ඇතැම් දේශපාලනඥයින් දැනුම ලබාගන්නේ 'පත්තරේ කියවා' මිස පර්යේෂණ පත්‍රිකා කියවා නොවේ. පත්තර වැනි "පැරණි මාධ්‍ය" මෙන් කිසියම් පිරිසකගේ ස්වයං නියාමනයකට හෝ අඩු වශයෙන් යටත් නොවන සමාජ මාධ්‍ය තොරතුරු වලින් බොහෝ විට පිළිබිඹු වන්නේ ඒවා පළ කරන හෝ බෙදාගන්නා අයගේ ප්‍රත්‍යක්ෂ දැනුමයි. මේවා අතර ප්‍රසිද්ධිය හෝ වෙනත් කිසියම් වාසියක් ලබාගැනීමේ අරමුණින් හිතාමතා පලකරන දේවල් අඩු නැතත් එවැනි දේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරෙන්නේ එක් පුද්ගලයාගේ දැනුම, අත්දැකීම්, විශ්ලේෂණ හැකියාවන් ආදියට සාපේක්ෂ කරුණක් වන "ප්‍රත්‍යක්ෂය" සමඟ එවැනි දේ ගැලපෙන බැවිනි.

ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හරහා මිනිස් සංහතිය පසුගිය ශතවර්ෂය තුළ ලබාගෙන ඇති ජයග්‍රහණයන් අතිමහත්ය. මේ වැඩසටහන් හරහා වසූරිය වැනි ඇතැම් රෝග මිහිමතින් තුරන් කරනු ලැබ ඇති අතර පෝලියෝ හා සරම්ප රෝගද එසේ මිහිමතින් තුරන් කිරීම මිනිසුන්ට සාමූහිකව ක්‍රියාකර වසර කිහිපයකින් ළඟා කරගත හැකිව ඇති ඉලක්කයකි.

වසරකට සරම්ප රෝගීන් 267,000ක් පමණ ලෝකයෙන් වාර්තා වන අතර මේ රෝගීන්ගෙන් 146,000ක් පමණ මිය යති. එයින් වැඩි ප්‍රමාණයක් කුඩා දරුවන්ය. කෙසේ වුවද, 2000-2013 අතර කාලය තුළ සරම්ප රෝගය නිසා සිදුවන මරණ මිලියන 15.6ක් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් වැලැක්වී තිබේ. එන්නත සොයා ගැනීමට පෙර ඇමරිකාවේ පමණක් වසරකට මිලියන බාගයක් පමණ සරම්ප රෝගීන් වාර්තා වූ අතර ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් ඇමරිකාව තුළ සරම්ප රෝගීන් ක්‍රමයෙන් අඩුවී ගොස් 2000 වසරේදී සරම්ප රෝගය ඇමරිකාවෙන් තුරන් වී ඇති බව නිවේදනය කෙරිණි. ඇමරිකාවේ බොහෝ වෛද්‍යවරුන් ජීවිතයේ එක් වරක් හෝ සරම්ප රෝගියෙකු දැක නැත.

එන්නත සොයාගැනීමට පෙර කාලයේ මෙන්, සිය ඥාතීන් හා මිතුරන් සරම්ප රෝගයෙන් පීඩා විඳීම හා ඔවුන්ගෙන් ඇතැමුන් මිය යාම ඇස් පනා පිට පෙනෙන විට මෙම රෝගයේ භයානකකම (හෝ මෙවැනිම තත්ත්වයක් යටතේ වෙනත් රෝගයක භයානකකම) බොහෝ දෙනෙකුගේ ප්‍රත්‍යක්ෂ දැනුමක් බවට පත්වේ. එන්නත හඳුන්වා දුන් මුල් කාලයේදී, එය ලබාගත් සීමිත පුද්ගලයින් පමණක් මෙවැනි වසංගත තත්ත්වයක්දී බේරී සිටින බවද බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ වන්නට ඇත. එහෙත්, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් දැන් එසේ සරම්ප රෝගීන් දකින්නට නොලැබෙන නිසා එම රෝගයේ භයානකකම බොහෝ ඇමරිකානුවන්ට ප්‍රත්‍යක්ෂව නොදැනේ. එය බුද්ධියෙන් අවබෝධ කරගත යුතු කරුණකි.

ඇමරිකාවේ ජීවත්වන අයෙකුට වෛද්‍ය හෝ ආගමික හේතුමත ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගෙන සිටින්නට හැකි අතර බොහෝ ප්‍රාන්ත වල තමන්ගේ පෞද්ගලික විශ්වාස මත වුවද එසේ කළ හැකිය. මෙය සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් නොවූවත්, කිසියම් සීමිත භූමි ප්‍රදේශයක (උදාහරණයක් ලෙස කුඩා නගරයක හෝ ගමක) ජීවත් වන බහුතරය ආගමික හෝ වෙනත් විශ්වාස හේතුවෙන් එන්නත් ලබා නොගැනීම නිසා ඇතිවන ප්‍රතිඵලය රටපුරා විසිරුණු පිරිස් අහඹු ලෙස එන්නත් ලබා නොගත් විට ඇති වන ප්‍රතිඵලයම නොවේ. යම් හෙයකින් වෙනත් රටකින් පැමිණෙන සරම්ප ආසාදිතයෙකු මෙවැනි ප්‍රජාවක් සමඟ හැසිරෙන විට එවැනි ප්‍රදේශයක වසංගත රෝග තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති අතර පසුගිය කාලය තුළ කිහිප වරක්ම මෙවැනි සිදුවීම් වාර්තා විය.

එන්නත් විරෝධය පසුපස මෙන්ම පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදීද මතු වුනේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. ඇමරිකානු ජනාධිපතිවරණයට තෙමසකට පෙර ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පිළිබඳව වාර්තා වී ඇති අතර MMR එන්නත් විරෝධීන් ජනාධිපති ට්‍රම්ප් පිළිබඳව බලාපොරොත්තු තබා ඇති බව පෙනේ. MMR එන්නත හා ස්වේච්ඡතාව අතර පැවතිය හැකි සම්බන්ධය පිළිබඳව වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා හිතන ආකාරය තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට බලපෑමක් කරන්නට පුළුවන.



Monday, February 20, 2017

ඔවුන් ඔබට සඟවන දෙය (පළමු කොටස)


පර්යේෂකයකු විසින් කිසියම් පර්යේෂණයක් කිරීමේදී එය කළ යුත්තේ මතිග්‍රාහී නොවී, පූර්ව නිගමන රහිතව, සත්‍යය එළිදරවු කර ගැනීමේ අරමුණිනි. එහෙත්, ඇතැම් විටෙක පර්යේෂකයෙකු විසින් ඒ අයුරින්ම ක්‍රියා නොකිරීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස කිසියම් ඖෂධ නිෂ්පාදන සමාගමකින් වැටුප් හෝ වෙනත් වාසි ලබන පර්යේෂකයෙකු එවැනි සමාගමක් මඟින් අලෙවි කරන හෝ අලෙවි කිරීමට අපේක්ෂා කරන ඔසුවක අඩුපාඩු එළිදරවු නොකරමින් එවැනි සමාගමකට වාසිදායක වන පරිදි මතිග්‍රාහී ලෙස පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වීමට ඇති ඉඩකඩ අපට බැහැර කළ නොහැකිය.

කෙසේ වුවද, විමර්ශිත ජර්නලයක පර්යේෂණ පත්‍රිකාවක් පළ කරනු ලබන්නේ ලේඛකයාට කිසි දිනෙක හඳුනා ගැනීමට නොලැබෙන "ඇනෝ" විමර්ශකයින් අඩුම වශයෙන් දෙදෙනෙකු, බොහෝ විට තිදෙනෙකු, විසින් පර්යේෂණ පත්‍රිකාවක් දැඩි විමර්ශනයට ලක් කර අනුමත කිරීමෙන් පසුවය. ලේඛකයා විසින් හඳුනා ගනු නොලැබුවද, ජර්නලයේ සංස්කාරකවරයා විසින් මෙසේ තෝරා ගන්නේ ලිපියේ අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති විමර්ශකයින් දෙදෙනෙකු, තිදෙනෙකු හෝ ඇතැම් විට සිවු දෙනෙකි.

විශාල ආයෝජන සිදු කළ යුතු, වාණිජ නිෂ්පාදන හා අදාළ පර්යේෂණ බොහෝ විට සිදුවන්නේ පෞද්ගලික සමාගම් තුළ වුවත්, විමර්ශිත ජර්නලයන්හි සංස්කාරකවරුන්, විමර්ශකයින් මෙන්ම ලිපි පළකරන පර්යේෂකයින්ද බහුතරය කිසියම් සරසවියකට අනුබද්ධ ශාස්ත්‍රාලීය පර්යේෂකයින්ය. ආචාර්ය උපාධි ප්‍රදානය කරන මට්ටමේ පර්යේෂණ විශ්ව විද්‍යාල වලට සම්බන්ධ සරසවියක ආචාර්යවරයෙකු විසින් දේශන පැවැත්වෙන කාල වලදී ඉගැන්වීම හා අදාළ සියළු කටයුතු සඳහා (දේශන සඳහා නොවේ) සාමාන්‍යයෙන් ගත කළ යුත්තේ වැඩිම වුණොත් තමන්ගේ කාලයෙන් 30-40%ක් පමණි. වැඩි කාලයක් යෙදවිය යුත්තේ පර්යේෂණ වෙනුවෙනි. ග්‍රීෂ්ම සෘතුව සාමාන්‍යයෙන් ඉගැන්වීම් කටයුතු වලින් මුළුමනින්ම නිදහස්ය.

හොඳ පර්යේෂණ වැඩසටහනක් දියත් කරන අයෙකුට ඉගැන්වීම සඳහා යොදවන කාලය තවත් අඩුකරගැනීමට හෝ තමන් සතුව පර්යේෂණ අරමුදල් ඇත්නම් 'කාලය මිලදී ගැනීමට' පුළුවන. මේ පර්යේෂණ අරමුදල් බොහොමයක් ලැබෙන්නේ රජයට සම්බන්ධ පොදු අරමුදල් වලින් හෝ වෙනත් භාර අරමුදල් වලිනි. ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකුට තමන් කරන පර්යේෂණ වල ගුණාත්මකභාවය හා ආචාර ධාර්මීය කරුණු පිළිපැදීම සම්බන්ධව හැර පර්යේෂණ ක්ෂේත්‍රය හෝ පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳව කිසිවෙකුගේ බලපෑම් වලට යටත් වීමට අවශ්‍ය නැත.

පර්යේෂණයක් සඳහා මිනිසුන් හෝ සතුන් යොදා ගැනීමේදී පර්යේෂකයෙකු විසින් ඒ සඳහා අදාළ අනුමැතීන් ලබා ගත යුතු අතර නිශ්චිත ආචාර ධාර්මීය සම්මුතීන් පිළිපැදිය යුතුය. එමෙන්ම, පර්යේෂණ පත්‍රිකාවක් ජර්නලයකට ඉදිරිපත් කිරීමේදී තමන් විසින් මේ ආචාර ධාර්මීය සම්මුතීන් පිළිපැද ඇති බවත්, අවශ්‍ය අනුමැතීන් ලබා ඇති බවත් සහතික කළ යුතුය. ඊට අමතරව, අදාළ පර්යේෂණයේ විෂයයට කිසියම් අයුරකින් සම්බන්ධ පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් තමන් කිසියම් මූල්‍යමය වාසියක් ලබන්නේනම් එවැනි දේ එළිදරවු කරමින් වියාචනයක් කළ යුතුය. ස්වාධීන විමර්ශකයෙකු විසින් කිසියම් පර්යේෂණ පත්‍රිකාවක ප්‍රතිඵලය හා ක්‍රමවේදය විමර්ශනය කිරීමේදී මෙවැනි වියාචන ඉදිරිපත් කර ඇත්නම් ඒවාද සැලකිල්ලට ගනී.

කෙසේවුවද, ඇතැම් විටෙක කිසියම් පර්යේෂකයෙකු මේ ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නට ඉඩ තිබේ. එවැන්නක් එළිදරවු වීම යනු පර්යේෂකයෙකුගේ වෘත්තීය ජීවිතයේ අවසානයයි. එවැනි විටෙක ඒ වන විට පළ වී ඇති පර්යේෂණ පත්‍රිකාවක් ඉවත් කිරීම හා අදාළ පර්යේෂක කණ්ඩායම අසාදු ලේඛනගත කරනු ලැබීම, කලාතුරකින් වුවද, සිදුවේ.

බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෙකු හා උදරාබාධ විශේෂඥයෙකු (gastroenterologist) වූ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් ප්‍රධාන පර්යේෂකයින් දොළොස් දෙනෙකු විසින් 1998 පෙබරවාරි මාසයේදී 'ලැන්සෙට්' විමර්ශිත ජර්නලයේ පළ කෙරුණු ලිපියකින් සිදුකර තිබුණේ ඉතා ආන්දෝලනාත්මක හෙලිදරවුවකි. මේ එළිදරවුව අනුව, උතුරු ලන්ඩනයේ හැම්ස්ටඩ්හි රාජකීය නිදහස් රෝහලේ ළමා උදර රෝග අංශයට 1996 ජූලි- 1997  පෙබරවාරි අතර කාලයේදී ප්‍රතිකාර සඳහා අනුපිළිවෙලින් පැමිණි වයස 6-10 අතර පිරිමි දරුවන් 11 දෙනෙකු හා ගැහැණු දරුවෙකු බඩවැලේ ආසාදනයකින් හා මොළයේ වර්ධනය පමාවීමේ රෝගී තත්ත්වයකින් (gastrointestinal disease and developmental regression) පෙළුණු බවත්, මේ දරුවන්ගේ දෙමවුපියන් විසින් සපයා ඇති තොරතුරු අනුව දරුවන් 12 දෙනාගෙන් 8 දෙනෙකුම ඉහත රෝග තත්ත්වයන් ප්‍රදර්ශනය කර ඇත්තේ සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝග සඳහා ලබාදෙන ත්‍රිත්ව එන්නත (MMR) ලබාදීමෙන් පසුව බවත් එම හෙළිදරවුවයි.

ඉතාම සුළු නියැදියකින් ලබාගත් දත්ත මත පදනම් වූ, සැකයක් පමණක් එළිදරවු කෙරුණු, මේ පර්යේෂණ පත්‍රිකාව පළවීමට සමගාමීව වෛද්‍ය වේක්ෆීල්ඩ් විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හා වීඩියෝවක් ප්‍රසිද්ධ කරමින් MMR ත්‍රිත්ව එන්නත හා මොළයේ වර්ධනය පමාවීමේ රෝගී තත්ත්වයක් වන ස්වේච්ඡතාව (Autism) අතර තිබිය හැකි සම්බන්ධයක් පිළිබඳව මාධ්‍ය අවධානය යොමු කරවූවේය. එතැනින් පටන්ගත් MMR ත්‍රිත්ව එන්නතට එරෙහි වේක්ෆීල්ඩ්ගේ ප්‍රහාරය දිගින් දිගටම විශාල මාධ්‍ය ආවරණයක් ලබා ගත් අතර බොහෝ දෙනෙකුගේ අවධානයද දිනා ගත්තේය. වේක්ෆීල්ඩ්ගේ ප්‍රහාරය මූලිකවම එල්ල වූයේ රෝග තුනක් වෙනුවෙන් ලබාදෙන තනි එන්නතක් වූ MMR ත්‍රිත්ව එන්නතට එරෙහිවය. ඒ හැර, ඔහු පොදුවේ එන්නත් වලට එරෙහි නොවූ අතර MMR ත්‍රිත්ව එන්නත හා ස්වේච්ඡතාව අතර තිබිය හැකි සම්බන්ධතාවය ගැන වැඩිදුර කරුණු සොයා බලන තුරු මෙම ත්‍රිත්ව එන්නත ලබා ගැනීමෙන් වැලකී, ඒ වෙනුවට විකල්පයක් ලෙස එක් එක් රෝගය සඳහා තනි එන්නත් ලබා ගත යුතු බව යෝජනා කළේය.

වේක්ෆීල්ඩ් විසින් මේ අනාවරණය සිදුකරන විටද, ඇමරිකාවේ බ්‍රිතාන්‍යයේ මෙන්ම වෙනත් රටවලද සැලකිය යුතු ප්‍රතිශක්තිකරණ විරෝධීන් පිරිසක් සිටියහ. ඔවුන් විසින් බොහෝ විට ප්‍රදර්ශනය කළේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ විරෝධයකි. මෙවැනි කණ්ඩායම් විසින් පැතිරවූ විවිධ දුර්මත හෝ තහවුරු නොවූ කරුණු අතර වූ ප්‍රතිශක්තිකර
ය ඇත්තටම ප්‍රයෝජනයක් නැති ඖෂධ සමාගම් විසින් ලාභ වැඩි කරගැනීමට කරන කටයුත්තක් බවත්, ප්‍රතිශක්තිකරණ එන්නත් වල හානිකර විෂ රසායන ඇති බවත්, මේ එන්නත් නිසා වඩා භයානක වෙනත් රෝගී තත්ත්වයන් ඇතිවන බවත් වැනි කරුණු පිළිගන්නට කැමති පිරිස් කලක සිටම සිටියේය. ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් විසින් සමස්තයක් ලෙස ප්‍රතිශක්තිකරණය කිරීමෙන් වැළකිය යුතුයැයි නොපැවසූ නමුත් ඔහු ඉතා ඉක්මණින් මේ කණ්ඩායම් වල වීරයෙක් විය. මෙතෙක් බොහෝ විට කටකතා වලට පමණක් සීමා වූ ප්‍රතිශක්තිකරණයේ හානිකර විපාක එළිදරවු කරමින් වේක්ෆීල්ඩ් විසින් ලැන්සෙට් වැනි පිළිගත් විමර්ශිත ජර්නලයක පළ කළ ලිපිය මේ 'කුමන්ත්‍රණ න්‍යායාචාරීන්ට' ලැබුණු මහඟු මැණිකක් විය.

මේ වන විට, අසූව දශකයේ අග (1988) සිට බ්‍රිතාන්‍යයේද, හැත්තෑව දශකයේ මුල (1971) සිට ඇමරිකාවේද වසරක් සපිරිණු දරුවන්ට MMR ත්‍රිත්ව එන්නත ලබාදෙමින් පැවති අතර සරම්ප හා රුබෙල්ලා රෝග එම රටවලින් සම්පූර්ණයෙන්ම වාගේ දුරු වෙමින් පැවතියේය. වේක්ෆීල්ඩ්ගේ 'එළිදරවුව' පළමුව බ්‍රිතාන්‍යයේත්, පසුව ඇමරිකාවේත් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් පිළිබඳ මහජන විශ්වාසය සැලකිය යුතු ලෙස බිඳ දැමීමට සමත් වූ අතර එන්නත ලබාගන්නා ප්‍රතිශතය ක්‍රමයෙන් පහත වැටෙන්නට විය.

දරුවෙකුගේ ස්වේච්ඡතාව පිළිබඳ රෝග ලක්ෂණ මුලින්ම පහළ වන්නේ වසරකට පමණ පසුවය. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් යටතේ MMR ත්‍රිත්ව එන්නත ලබා දුන්නේද දරුවෙකු වයස වසරක් සම්පූර්ණ කරද්දීය. මේ නිසා, කවර හේතුවක් නිසා හෝ ස්වේච්ඡතාව ඇති දරුවෙකුගේ එම රෝග ලක්ෂණ හඳුනා ගන්නට ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත ලබා දීමෙන් පසුව ගත වන කාලයේදීය. ඒ නිසා, බොහෝ දෙමවුපියන්ට පෙනෙන්නේ මේ එන්නත ලබා දීමෙන් පසුව නිරෝගීව වැඩෙමින් සිටි සිය දරුවාගේ වර්ධනය බාල වූ බවයි. මේ හේතුවෙන්, ස්වේච්ඡතාව තිබුණු දරුවන් සිටි බොහෝ දෙමවුපියන්ට පෙනුණේ වේක්ෆීල්ඩ් එළිදරවුව ඇස් පනාපිට පෙනෙන ඇත්තක් බවයි. ඒ අනුව, වේක්ෆීල්ඩ් විසින් විසි කළ ගිණි පුපුරට තවත් බොහෝ දෙනෙකු අතින් පැට්‍රෝල් වැටී ප්‍රතිශක්තිකරණ විරෝධය බ්‍රිතාන්‍යය හා ඇමරිකාව ප්‍රධානව ලෝකය පුරා පැතිරෙන්නට විය.

මේ විරෝධය ඇති වන විට නිෂ්පාදනය කළ බොහෝ එන්නත් වල තිමරසල් (Thimerosal) ලෙස හැඳින්වෙන රසදිය සංයෝගයක් විෂබීජ නාශකයක් ලෙස යොදා ගැනුණේය. රසදිය ද්‍රව ලෝහයක් ලෙස එහි ශුද්ධ මූලික ස්වරූපයෙනුත්, කාබනික රසදිය සංයෝග ලෙසත්, අකාබනික රසදිය සංයෝග ලෙසත් පවතී. ඇතැම් මාළු වර්ග වැනි ආහාර වල ඇති කාබනික රසදිය සංයෝග (මෙතිල්මර්කරි) විෂ සහිත ලෙස සැලකෙන අතර ස්නායු ආබාධ හා වකුගඩු රෝග ආදියට හේතුවේ. තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ. ඒ නිසා එතිල්මර්කරි සුළු මාත්‍රාවකින් සිරුරට සැලකිය යුතු බලපෑමක් සිදුනොවේ. කෙසේවුවද, එවකට ළමා එන්නත් බොහොමයක අඩංගු වූ, තිමරසල් ස්වේච්ඡතාවට හේතුවන බව බොහෝ දෙනෙක් විශ්වාස කරන්නට විය. එහෙත්, MMR ත්‍රිත්ව එන්නතෙහි කිසිදු දිනෙක තිමරසල් අඩංගු වූයේ නැත.


ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වෙන්නේ කිසියම් රෝගයකට හේතුවන වයිරසයකින් සුළු මාත්‍රාවක් ජීවී හෝ මැරුණු ආකාරයෙන් සිරුරට එන්නත් කර සිරුර තුළ අදාළ රෝගයට ස්වභාවික ප්‍රතිශක්තියක් ඇති කිරීමයි. ප්‍රතිශක්තිකරණය නිසා ලැබෙන වාසි (හෝ අවාසි) වල කොටස් දෙකකි. පළමුව, එහි පුද්ගලික ප්‍රතිලාභ තිබේ. ඊට අමතරව, ප්‍රතිශක්තිකරණයේ සමාජ ප්‍රතිලාභද තිබේ.

ප්‍රතිශක්තිකරණයේ පුද්ගල ප්‍රතිලාභ අතර උඩින්ම තියෙන්නේ අදාළ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ සැලකිය යුතු ලෙස අඩුවීමයි. ප්‍රතිශක්තිකරණය කිරීමෙන් පසුව වුවද, අදාළ වෛරසය සිරුරට ඇතුළු වූ විට රෝගය නොවැළඳීමේ ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඉවත් නොවේ. එහෙත්, එම ඉඩකඩ සැලකිය යුතු තරම් අඩුවේ. උදාහරණයක් ලෙස MMR ත්‍රිත්ව එන්නත එක් වරක් ලබා ගැනීමෙන් පසු වෛරසය සිරුරට ඇතුළු වූ විට සරම්ප රෝගය වැළඳීමේ ඉඩකඩ 93% දක්වාත්, දෙවරක්
ගැනීමෙන් පසු 97% දක්වාත් අඩුවේ. එමෙන්ම, ඇතැම් පුද්ගලයින්ට මෙම රෝගයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තියක් ඇති බැවින් එන්නත නොගත්තද රෝගය සමඟ සටන් කළ හැකි ස්වභාවික ප්‍රතිශක්තියක් සිරුරේ තිබේ. එවැනි අයෙකුට වසංගත තත්වයකදී වුවද රෝගය නොවැළඳී බේරී සිටින්නට පුළුවන.

අනෙක් අතට, කිසියම් එන්නතක් ලබාගන්නා පුද්ගලයෙකුට ඇතැම් අවදානම් වලට මුහුණ දෙන්නට සිදුවේ. මෙවැනි එක් අවදානමක් වන්නේ එන්නත හේතුවෙන් අදාළ රෝගය වැළඳීමට සුළු ඉඩකඩක් තිබීමයි. මෙය අවම කිරීම සඳහා සිරුරට එන්නත් කරන වෛරස් මාත්‍රාව අඩු කළ විට, එන්නතේ සඵලතාවය එනම් එමඟින් රෝගය වැළැක්වීමට ඇති ඉඩකඩ අඩුවේ. අනෙක් අතට එන්නතක සඵලතාවය වැඩි කිරීමට වෛරස් මාත්‍රාව වැඩි කළ විට, එන්නත නිසා රෝගය හැදෙන්නට තිබෙන ඉඩකඩ ඉහළ යයි. එන්නතක අඩංගු විය යුතු වෛරස් මාත්‍රාව තීරණය කරන්නේ මේ සම්භාවිතාවන් දෙක සමතුලිත කරමිනි.

මෙයට අමතරව එන්නතක් නිසා විවිධ අතුරු ආබාධ වැළඳීමේ ඉඩකඩක්ද පවතී. එහෙත්, බොහෝ විට එවැනි අතුරු ආබාධ දරුණු ඒවා නොවේ; එන්නත ලබාදුන් තැන ඉදිමීම හෝ රතුවීම වැනි ලොකු අපහසුතාවයක් ඇති නොකරන අතුරු ආබාධයි. වඩා දරුණු අතුරු ආබාධ ඇති වීමටද ඉතා සුළු ඉඩකඩක් තිබේ. මේ අවාසි වලට අමතරව එන්නතක් සඳහා වැය කළ යුතු මිලද එන්නත් ලබා ගන්නා තැනැත්තාගේ අවාසියකි. මේ වාසි අවාසි එකතු කළ විට බොහෝ දෙනෙකුට පුද්ගල මට්ටමින් වුවත් සිදුවන්නේ ශුද්ධ වාසියකි. එහෙත්, එය එසේ නොවන අයද සිටින්නට පුළුවන.

කිසියම් රෝගයක් පතුරුවන වාහකයින් ලෙස ක්‍රියා කරන්නේ එම රෝගය වැළඳුණු පුද්ගලයින්ය. බොහෝ විට, මෙවැනි රෝගියෙකු රෝග ලක්ෂණ මුලින්ම පහළ කරන විටත් සෑහෙන කලක් රෝග වාහකයෙකු ලෙස කටයුතු කර අවසන්ය. ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට දින ගණනක් තිස්සේ ඔබ විසින් ඔබේ නිවසේදී, කාර්යාලයේදී හා දුම්රියේදී හමුවන බොහෝ දෙනෙකුට මේ වෛරසය ප්‍රදානය කරයි. ඔවුන්ගෙන් ඇතැම් අයට මේ වෛරසය මැඬ පවත්වා ගැනීමට ස්වභාවික ප්‍රතිශක්තියක් ඇත. එහෙත්, සියල්ලන්ටම එය කළ නොහැකිය.

අනෙක් අතට, ඔබේ නිවසේදී, කාර්යාලයේදී හා දුම්රියේදී හමුවන බොහෝ දෙනෙකුගෙන් ඔබේ සිරුරට විවිධ වෛරස ඇතුළු විය හැකි නමුත් ඒ හැම විටම ඔබ රෝගී වන්නේ නැත. නමුත්, ඔබට එදිනෙදා හමුවන රෝගවාහකයින් ගණන වැඩි වන තරමට ඔබටද අදාළ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ වැඩිවේ. කිසියම් ප්‍රදේශයක කිසියම් රෝගයක වාහකයින් ගණන යම් නිශ්චිත සීමාවක් ඉක්මවූ විට එම ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ අදාළ රෝගයට මොනයම් අයුරකින් හෝ අනාවරණය වීම නිසා වසංගත තත්ත්වයන් ඇතිවේ.

යම් තැනැත්තෙකු විසින් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාගැනීමෙන් පසුව එම තැනැත්තා රෝග වාහකයෙකු බවට පත්වීමේ ඉඩකඩ විශාල ලෙස අඩුවේ. කිසියම් ප්‍රදේශයක බොහෝ දෙනෙකු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් විට එම ප්‍රදේශයෙන් අදාළ රෝගය පතුරුවන වාහකයෙකු හමුවීමේ ඉඩකඩ විශාල ලෙස අඩුවේ. ඒ නිසා, ඔබ එන්නත් කර නොතිබුණත්, වෙනත් බොහෝ දෙනෙකු එන්නත් ලබාගෙන ඇත්නම් අදාළ රෝගය ඔබට වැළඳීමට ඇති ඉඩකඩද අඩු වේ. මේ ප්‍රතිශක්තිකරණයේ ඇති සමාජ ප්‍රතිලාභ කොටසයි.

ප්‍රතිශක්තිකරණ එන්නත් වල ඇති ඉහත සමාජ ප්‍රතිලාභයේ ඵලයක් ලෙස කිසියම් වසංගත රෝගයක් හැදීමේ අවදානම සම්පූර්ණයෙන්ම නැති කිරීම සඳහා යම් රටක ජීවත් වන සියළු දෙනාවම ප්‍රතිශක්තිකරණය කළ යුතු නැත. සරම්ප රෝගය සඳහා ප්‍රතිශක්තිකරණය වී සිටින ප්‍රමාණය මුළු ජනගහණයෙන් 90-95%ක් පමණ වූ විට, රෝගයක් පැතිරවීමට ප්‍රමාණවත් වාහකයින් පිරිසක් නොමැති නිසා අදාළ රෝගය වැළඳීමේ ඉඩකඩ මුළුමනින්ම වාගේ නැති වේ. ඒ නිසා, විවිධ හේතූන් මත එන්නත් ලබා දිය නොහැකි කොටස් හා 'ප්‍රතිශක්තිකරණ විරෝධී' සුළු ප්‍රතිශතයක්ද සිටීම රෝගයක් මුළුමනින්ම දුරු කිරීමට බාධාවක් නොවේ. මේ ගණන රෝගය අනුව සහ වෙනත් සාධක මත වෙනස් වන අතර මීට වඩා බෙහෙවින් අඩු හෝ වැඩි ප්‍රතිශතයක් වන්නට පුළුවන. මේ සාධකය සමූහ ප්‍රතිශක්තිය (herd immunity) ලෙස හෝ ප්‍රජා ප්‍රතිශක්තිය (community immunity)
ලෙස හැඳින්වේ.

වසංගත රෝග තත්ත්වයක් ඇති වූ විට වැඩිපුරම එහි ගොදුරු බවට පත්වන්නේ කුඩා දරුවන්, මහල්ලන්, ගර්භණී කාන්තාවන්  හා කිසියම් හේතුවක් නිසා ස්වභාවික ප්‍රතිශක්තිය අහිමි කරගෙන සිටින -උදාහරණයක් ලෙස අවයව බද්ධයකින් පසු එය සිරුර මඟින් ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධ ගනිමින් සිටින- වැනි සාපේක්ෂව 'දුර්වල' අයයි. රෝගයකට ඔරොත්තු දීමේ වැඩි හැකියාවක් ඇති තරුණ හා නිරෝගී අය බොහෝදෙනෙකු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන රෝග වාහකයින් ඇති වීමේ ඉඩකඩ අවම කළ විට එයින් විශාලම වාසිය සැලසෙන්නේ මෙවැනි කොටස් වලටය. ඒ අතින් මෙය තමන්ටත් වාසියක් ලබමින් සමාජයේ දුර්වල අයටත් උදවුවක් කළ හැකි කටයුත්තකි.

වේක්ෆීල්ඩ්ගේ MMR ත්‍රිත්ව එන්නත් විරෝධය හේතුවෙන් දැල්වුණු ප්‍රතිශක්තිකරණ විරෝධී රැල්ල ඇතිවන විට බොහෝ බටහිර රටවල් සමූහ ප්‍රතිශක්ති තත්ත්වයට ළඟා වී සරම්ප වැනි රෝග එම රටවලින් මුලිනුපුටා දැමීමට ආසන්නව සිටියේය. මේ අතරතුර, වර්ධනය වන්නට වූ එන්නත් විරෝධය නිසා බොහෝ දෙනෙකු සිය දරුවන්ට MMR ත්‍රිත්ව එන්නත ලබා දීම ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තේය. ඇතැම් අය එන්නත් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නටත් පටන් ගත්තේය. ඒ සමඟම බටහිර රටවල වසංගත රෝග අවදානම, විශේෂයෙන්ම සරම්ප අවදානම, විශාල ලෙස ඉහළ යන්නට විය.

ඒ වන විට (හෝ ඉන් පසුව මේ වන තුරු) තිමරසල් අඩංගු එන්නත් හේතුවෙන් එන්නත ලබාදුන් තැන රතු වීම හා ඉදිමීම හැර වෙනත් අතුරු ආබාධ ඇති බවක් තහවුරු වී නොතිබුණත් එන්නත් පිළිබඳ මහජන විශ්වාසය වැඩි වැඩි කර සමූහ ප්‍රතිශක්ති මට්ටම පවත්වාගැනීමේ මූලික  පියවරක් ලෙස 1999 ජූලි මාසයේ සිට තිමරසල් රහිතව එන්නත් නිෂ්පාදනය කිරීමට හෝ එන්නත් වල අඩංගු තිමරසල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඇමරිකානු ළමා වෛද්‍ය ඇකඩමිය, රෝග පාලන හා නිවාරණ කේන්ද්‍රය (CDC) හා ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදකයෝ එකඟ වූහ. කෙසේ වුවද, පෙරද කී පරිදි MMR ත්‍රිත්ව එන්නතේ කිසිදිනෙකත් තිමරසල් අඩංගු වූයේ නැත.


ත්‍රිත්ව එන්නත් විරෝධයට මුල් වූ වේක්ෆීල්ඩ් පර්යේෂණ පත්‍රිකාවේ එම එන්නත හා ස්වේච්ඡතාව අතර තිබිය හැකි සම්බන්ධයක් ගැන සැකයක් මතු කර තිබීම හැර එවැන්නක් තහවුරු කළ හැකි කරුණු කිසිවක් ඉදිරිපත් කර නොතිබුණේය. එමෙන්ම, එහි නිගමන පදනම් වී තිබුණේ ඉතා සුළු නියැදියකින් (12 දෙනෙකුගෙන්) ලබාගත් දත්ත මතය. මෙවැනි පර්යේෂණ පත්‍රිකාවක්  සාමාන්‍යයෙන් ලැන්සෙට් වැනි ජර්නලයක පළ නොකෙරෙන නමුත් මෙය එහි පළ කර තිබුණේ අදාළ කරුණේ ඇති වැදගත්කම නිසාමය.

මේ පර්යේෂණ පත්‍රිකාවෙන් මතු කළ සැකය ඔස්සේ තවත් පර්යේෂකයින් බොහෝ දෙනෙකු වඩා විශාල නියැදි යොදා ගනිමින් පර්යේෂණ කළත් ඔවුන් කිසිවකුටත් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් සොයා ගැනීමට නුපුළුවන් විය. ඒ අතර, ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව සඳහා දායක වූ පර්යේෂකයින් දහදෙනෙකු එහි නිගමන පදනම් විරහිත බව පවසමින් ඉල්ලා අස් කර ගත්තේය. මේ කරුණු මෙසේ සිදුවෙද්දී, ජනතා අවධානය තවදුරටත් වැඩිපුර ලැබුණේ වේක්ෆීල්ඩ්ගේ මුල් මතයටය. 


මේ අතර, ප්‍රතිශක්තිකරණ විරෝධීන්ගේ වීරයෙකු වූ වේක්ෆීල්ඩ් ඇමරිකාවේ සංචාරය කරමින්, ස්වේච්ඡතාව පිළිබඳ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙමින්, දේශන පවත්වන්නට පටන් ගත්තේය. ඇමරිකාවේදී MMR ත්‍රිත්ව එන්නත් විරෝධය සම්පූර්ණ එන්නත් විරෝධයක් බවට හැරුණු අතර, මේ ව්‍යාපාරය විසින් වේගයෙන් ඉහළ යන හඳුනාගත් ස්වේච්ඡතා රෝගීන් ප්‍රමාණය ප්‍රතිශක්තිකරණ එන්නත් ගණන වැඩිවීම සමඟ සම්බන්ධ කරමින් ප්‍රවාද ගොඩනඟන්නටත් පතුරුවන්නටත් විය. මේ මතවාද වේගයෙන් පැතිරෙද්දී MMR ත්‍රිත්ව එන්නත ලබා ගන්නා ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළ යන්නට විය. පර්යේෂණ පත්‍රිකාව පළ වන විට 92% මට්ටමේ පැවති බ්‍රිතාන්‍යයේ MMR එන්නත් කිරීමේ අනුපාතය 80% මට්ටමටද වඩා පහත වැටුණු අතර ලන්ඩන් නගරයේ මේ අනුපාතය ඉතාම පහළ මට්ටමකට වැටුණේය. 2000 නොවැම්බරයේදී වේක්ෆීල්ඩ් CBS රූපවාහිණී චැනලය විසින් නිෂ්පාදනය කළ MMR ත්‍රිත්ව එන්නත හා ස්වේච්ඡතා වසංගත අවදානම පිළිබඳ පැයක වාර්තා වැඩසටහනක පෙනී සිටිද්දී ජෙනී මැකාති වැනි නිලියන් ප්‍රතිශක්තිකරණ විරෝධී ව්‍යාපාරය තුළ ක්‍රියාශීලී වන්නට විය.

මෙසේ කල් ගත වෙද්දී, බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය, සන්ඩේ ටයිම්ස් පුවත්පත හා චැනල් ෆෝ රුපවාහිනී නාලිකාව වෙනුවෙන් බ්‍රයන් ඩියර් විසින් විමර්ශනයක් ආරම්භ කළේය. බ්‍රයන් ඩියර්ගේ විමර්ශනය හේතුවෙන්, ඉහළ මධ්‍යම පාංතික වෛද්‍ය යුවලකගේ දරුවකු ලෙස ඉපිද පෞද්ගලික පාසැල් වල අධ්‍යාපනය ලබා තිබුණු, සල්ලි පසුපස නොහඹන අවංක හා ස්වාධීන පර්යේෂකයෙකු බව බැලූ බැල්මටම පෙනෙන, "වෙන්ඩ ටොයියෙකු නොව සැබැවින්ම පොෂ් ටොයියෙකු වූ", වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණය පිළිබඳ ඇත්ත එළිවිය.


ලැන්සෙට්හි පළ කළ පර්යේෂණය සිදුකරන්නට හිතන්නටත් පෙර, ත්‍රිත්ව එන්නත නිෂ්පාදනය කළ සමාගමට එරෙහිව නඩුවක් ගොනුකර විශාල වන්දි මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කළ රිචඩ් බාර්නම් නීතිඥයෙකු විසින් ඒ සඳහා උදවු ලබා ගැනීමට වේක්ෆීල්ඩ්ට මුදල් ගෙවා තිබුණේය. ස්වේච්ඡතාව වැළඳුණු දරුවන් පිලිබඳ මාධ්‍ය වාර්තා අනුව යමින් සම්බන්ධ කරගත් බ්‍රිතාන්‍ය පවුල් 1,600ක් වෙනුවෙන් අදාළ සමාගමෙන් වන්දි ලබාගෙන එමඟින් විශාල මුදලක් ඉපැයීමට බලාපොරොත්තු වූ, රිචඩ් බාර් තමන්ට අවශ්‍ය කතාව ගෙතීමට වේක්ෆීල්ඩ්ගේ උදවු සොයා එද්දී වේක්ෆීල්ඩ් විසින් බාර් සමඟ හෙට්ටු කර පැයකට පවුම් 150ක් බැගින් පවුම් 435,643ක මුදලක්ද සහ වෙනත් අමතර වියදම්ද ඔහුගේ බිරිඳගේ නමින් ලියාපදිංචි කර තිබුණු සමාගමක් හරහා ලබාගෙන තිබේ.

මේ මුදල වේක්ෆීල්ඩ්ගේ වාර්ෂික ආදායම මෙන් අටගුණයකට වඩා වැඩිය. මෙසේ වේක්ෆීල්ඩ් විසින් ලබාගෙන ඇත්තේ අඩුආදායම් ලබන්න
න්ට නීති සහාය ලබා දීම සඳහා ස්ථාපිත කර තිබුණු එක්සත් රාජධානියේ නීති ආධාර අරමුදලේ මුදල්ය. මෙයට අමතරව මේ කටයුත්ත සඳහා තවත් පවුම් 55,000ක පර්යේෂණ ආධාර මුදලක්ද වේක්ෆීල්ඩ් විසින් ලබාගෙන ඇති අතර ලැන්සෙට් සඟරාවට පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන විට ඔහු මේ කිසිවක් එළදරවු කර නැත. එය බරපතල ලෙස ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි.

වේක්ෆීල්ඩ් විසින් ලබාගන්නට බලාපොරොත්තු වූ ප්‍රධාන ආර්ථික වාසිය මෙය නොවේ. ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව පළ වන්නට මාස 9කට පෙර ඔහු විසින් සරම්ප රෝගය සඳහා ලබා දිය හැකි තනි එන්නතක් සඳහා පේටන්ට් බලපත්‍රයක් අයදුම් කර තිබේ. එයට වාණිජ වටිනාකමක් ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත වෙළඳපොළෙන් ඉවත් වුවහොත් පමණක් බව කිව යුතු නැත.

මේ මූල්‍යමය කරුණු හැරුණු විට වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණයද කියන ආකාරයටම සිදුවී තිබුණේ නැත. පර්යේෂණය සඳහා යොදාගත් දරුවන් දොළොස්දෙනා ඔහුගේ සායනයට පැමිණි අහඹු රෝගීන් නොවූ අතර ත්‍රිත්ව එන්නත් විරෝධීන් යොදවාගෙන විශේෂයෙන් සොයාගත් රිචඩ් බාර්ගේ පාරිභෝගිකයින්ව සිටි අයයි. මේ කිසිවකු ලන්ඩනයේ ජීවත් වූ අය නොවූ අතර එක් අයෙක් පැමිණ තිබුණේ ඇමරිකාවෙනි. තවත් දෙදෙනෙක් සැතපුම් 280ක් දුරින් පිහිටි වෙනත් නගරයකිනි. මේ අයගෙන් ඇතැම් අය MMR එන්නත ලබා දීමට පෙරද ස්වේච්ඡතා රෝග ලක්ෂණ පෙන්වා තිබුණු බවත්, තවත් ඇතැම් අය ඉන් පසුවද එම රෝග ලක්ෂණ පෙන්වා නැති බවත් බ්‍රයන් ඩියර් විසින් අනාවරණය කෙරුණේය.

මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව 2010 ජනවාරි මාසයේදී ලැන්සෙට් සඟරාව තනිකරම බොරුවක් වූ වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණ පත්‍රිකාව ඉවත් කළ අතර එම වසරේම මැයි මාසයේදී වසර දෙකහමාරක විමර්ශනයකින් පසුව ඔහුගේ බ්‍රිතාන්‍ය වෛද්‍ය ලියාපංචිය අහෝසි කරනු ලැබ දෙසැම්බරයේදී එම තීන්දුව අභියාචනාධිකරණය විසින්ද තහවුරු කෙරිණි.

කෙසේවුවද, වේක්ෆීල්ඩ් විසින් ස්වාභිවෘද්ධිය අරමුණු කර ගනිමින් දැල්වූ ප්‍රතිශක්තිකරණ විරෝධය එයින් නොනැවතුණු අතර ඔහු අදටත් කුමන්ත්‍රණ න්‍යායාචාරීන්ගේ වීරයෙකි. මෙය බොහෝ රටවල ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් වලට විශාල බලපෑමක් ඇති කර ඇති අතර රටවල් ගණනාවක
වසංගත රෝග අවදානම් වැඩි කර තිබේ.

Saturday, February 18, 2017

ත්‍රිත්ව කාර්ය වාහන


පසුගිය 2016 වසර අවසානය වන විට ලංකාවේ මුළු වාහනගහණය 6,795,469 ක් විය. මෙයින් 54.4%ක් එනම් 3,699,630ක් මෝටර් සයිකල් වූ අතර තවත් 16.42%ක් එනම් 1,115,987ක් ත්‍රිරෝද රථ විය. ඒ අනුව, ජනගහණයෙන් දහසකට වාහන 327ක් තිබුණත් එයින් 178ක් මෝටර් සයිකල්ද තවත් 54ක් ත්‍රිරෝද රථද වූ අතර ට්‍රැක්ටර් හා ට්‍රේලර්, ලොරි හා බස්ද ඇතුළුව ඉතුරු වාහන තිබුණේ ජනගහණයෙන් දහසකට 95ක් පමණි.

කුඩා රටක් වන ලංකාවේ වාහන ඕනෑවට වඩා ඇති බව ඇතැම් අය සිතති. මෙසේ සිතන බොහෝ අය දැනට තමන් සතුව අඩු වශයෙන් මෝටර් සයිකලයක්වත් ඇති අයයි. මේ සිතුවිල්ලට හේතුවන්නේ පාරේ ඇති වාහන තොගය නිසා තමන්ට වාහනයක් තිබුණත් බොහෝ වෙලාවක් මහමඟ රස්තියාදු වෙන්නට සිදුවන නිසා වන්නට පුළුවන. මෙසේ සිතන අය අතර දැනට තමන් සතු කිසිදු වාහනයක් නැති අයද සිටින්නට පුළුවන.

වාහනයක් ගැනීම යනු තමන් සතු
වාහනයක් නැති අයගේ සිහින අතර උඩින්ම තියෙන සිහිනයකි. වඩා හොඳ වාහනයක් ගැනීම දැනට වාහනයක් තියෙන බොහෝ දෙනෙකුගේ සිහිනයකි. මෝටර් සයිකල්, ත්‍රීවීල්, පොඩි කාර්, ලොකු කාර්, ලොකුම කාර් යනු බොහෝ දෙනෙකුගේ සිහින දිගුවන පිළිවෙළයි. මෙසේ වාහන ගන්නා බොහෝ දෙනෙකු එය කරන්නේ කල්බදු වැනි ක්‍රමයකින් මූල්‍ය පහසුකමක් ලබා ගනිමිනි. මෙවැනි මූල්‍ය පහසුකම් වෙනුවෙන් ලංකාවේදී ගෙවිය යුතු පොලිය සැලකිය යුතු ලෙස විශාලය. එහෙත්, වෙනත් දේ කැප කරමින් වාහන සිහිනය සැබෑ කර ගැනීම සඳහා බොහෝ දෙනෙකු නොපැකිළෙති.

ලංකාවේ වාහන වැඩි බව සිතන්නේ මේ වාහන සිහිනය තුළ ජීවත් වන අයමය. එසේනම්, වාහන වැඩි වී ඇත්තේ තමන් හැර වෙනත් අය වාහන මිල දී ගැනීම නිසාය. ඒ නිසා, වාහන වැඩිවීම නිසා ඇති වන ප්‍රශ්න අඩු කරන්නට වෙනත් අය වාහන ගැනීම වැළැක්විය යුතුය.

ලංකාවේ වාහන මිල දී ගන්නා බොහෝ දෙනෙක් එසේ වාහන මිලදී ගන්නේ "තමන්ගේ" සල්ලි වලිනි. මේ සල්ලි ලැබෙන්නේ මූල්‍ය ආයතනයකින් විය හැකි වුවත් අවසාන වශයෙන් පොලියත් සමඟ මුල් මුදල ආපසු ගෙවන්නට සල්ලි හම්බ කරන්නේ වාහන සිහින දකින මේ මිනිස්සුන්මය. ඒ වෙනුවෙන් වෙනත් දේවල් කැප කරමින් මේ පිරිස් තමන් මහන්සියෙන් උපයන සල්ලි වැය කරන්නේ වාහනයක හිමිකරුවෙකු වීමෙන් ලැබෙන මුදල් හෝ මුදල් නොවන වාසි වාහනය වෙනුවෙන් කැප කරන වෙනත් දේ වලට වඩා ඔවුන් අගය කරනා නිසාය.

ඇතැම් අය හිතන්නේ ලංකාවේ අධික වාහන ඉල්ලුමට හේතුව පොදු ප්‍රවාහනයේ ඇති දුර්වලතා බවයි. පොදු ප්‍රවාහන සේවාවන්හි ඇති අඩුපාඩු වාහන ඉල්ලුමට බලපාන නමුත් එය එකම හේතුව නොවේ. වාහන ගෙදර තියාගෙන එදිනෙදා ප්‍රවාහන අවශ්‍යතා සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන විශාල ලාංකිකයින් පිරිස විසින් පෙන්වා දෙන්නේ ඔවුන් වාහන ගන්නේ ප්‍රවාහන අවශ්‍යතාවය සඳහා පමණක් නොවන බවයි. වාහනයක මූලික කාර්යය මඟී හා භාණ්ඩ ප්‍රවාහනය වුවත් ලංකාවේ වාහන මිල දී ගන්නා බොහෝ දෙනෙකු මීට වඩා හාත්පසින්ම වෙනස් තවත් අවශ්‍යතාවයන් දෙකක්ද වාහන මඟින් සපුරා ගනිති.

ලංකාවේදී තමන් සතු වාහනය යනු සමාජ ධුරාවලියේ තමන් සිටින තැන පිළිබඳ සංකේතයකි. මෝටර් සයිකල්, ත්‍රීවීල්, පොඩි කාර්, ලොකු කාර්, ලොකුම කාර් ලෙස ධුරාවලිගත වන්නේ කිසියම් පුද්ගලයෙකු මේ ධුරාවලිය තුළ සිටින ස්ථානයයි. ඒ නිසා, ධුරාවලියේ උඩට යන්නට වඩා හොඳ වාහනයක් අවශ්‍ය වේ.

කෙසේ වුවද, මෙහි තවත් අවුලක් තිබේ. මූලික අවශ්‍යතාවය මඟී හා/හෝ භාණ්ඩ ප්‍රවාහනය පමණක්නම් ඊළඟ අදියරේ වාහනයක් මිල දී ගත් විට ප්‍රශ්නය විසඳේ. එහෙත්, අවශ්‍යතාවය වන්නේ සමාජ ධුරාවලිය තුළ තමන් සිටින ස්ථානය ඉහළට  ගැනීමනම් තමන් ඊළඟ අදියරට යාම පමණක් ප්‍රමාණවත් නැත. අනෙත් අය එම අදියරට පැමිණීම වැළැක්වීමද අවශ්‍ය වේ. ත්‍රීවීල් පදින සියල්ලන්ම කාර් ගත් විට තමන් කාර් එකක් ගැනීම තව දුරටත් විශේෂ දෙයක් නොවේ. අන්තිමට සමාජ ධුරාවලියේ තමන් සිටින්නේ කලින් සිටි තැනමය. ලංකාවේ වාහන වැඩිය යන අදහස අවිඥානකවම එන්නේ මේ මනෝභාවයත් සමඟය.

ලාංකිකයෙකු වාහනයක් මිලදී ගැනීමට යොමුවන අනෙක් කරුණ වන්නේ ලංකාවේදී වාහනයක් යනු හොඳ මූල්‍ය ආයෝජනයක් වීමයි. ලංකාවේ ආයෝජන වෙළදපොළ (කොටස් වෙළඳපොළ හා රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ) රටේ බොහෝ දෙනෙකුගෙන් දුරස්ථ සීමිත පිරිසකගේ ක්‍රීඩා භූමියකි. දිගටම පවත්වා ගන්නා රාජ්‍ය අයවැය හිඟයත්, එහි ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම පිරිහෙන විණිමය අනුපාතිකයත්, තනිකරම වාගේ ආයනයනික භාණ්ඩයක් වන වාහන මිල ඒවා නිෂ්පාදනය කරන රටවල මුදලින් සාපේක්ෂව ස්ථාවරව තිබීමත්, වාහන අලුත්වැඩියා කටයුතු කරන ශ්‍රමිකයින්ගේ ගාස්තු සාපේක්ෂව අඩු වීමත් නිසා ලාංකිකයෙකු මිල දී ගන්නා වාහනයක වෙළඳපොළ වටිනාකම අඩුවන්නේ ඉතා සෙමිනි. ඇතැම් විට මිල
වැඩි වන අවස්ථාද තිබේ. පසුගිය වසර කිහිපය තුළ වාර්ෂිකව ලංකාවේ අළුතින් ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණය වෙනස් වී ඇති ආකාරය පරික්ෂා කළ විට බොහෝ දෙනෙකු ආයෝජනයක් ලෙස සලකා වාහන මිලදී ගන්නේය යන කරුණ තහවුරු කර ගන්නට පුළුවන.

රටේ විදේශ විණිමය අනුපාතිකය මහ බැංකුවේ මැදිහත් වීමෙන් ස්ථාවරව තබාගත් වසර වලදී වාහන මිලදී ගැනීම වැඩි වී ඇත්තේ සෙමිනි. විණිමය අනුපාතිකය පහල වැටුණු 2009, 2013 වැනි වසර වලදී වාහන ඉල්ලුමද අඩු වී ඇත. අනෙක් අතට රටේ  විනිමය අනුපාතිකය නිදහස් කෙරෙන විට හෝ එවැනි අපේක්ෂාවන් වැඩිවන විට වාහන මිලදී ගැනීම් විශාල ලෙස ඉහළ යයි. බදු ප්‍රතිපත්ති වෙනස්කම් වැනි වෙනත් හේතුද තිබුණත්, වසර ගණනකට පසු විණිමය අනුපාතිකය නිදහස් කෙරුණු 2015 වසරේදී වාහන මිලදී ගැනීම් පෙර වසරට වඩා විශාල ලෙස ඉහළ යාමටද, ඊට පෙර 2012දී රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වන්නට ආසන්න කාලයේදීද වාහන ඉල්ලුම විශාල ලෙස වැඩි වන්නටද හේතුවුණේ මේ ආයෝජන අවශ්‍යතාවයයි.

මේ කරුණු අනුව, ලංකාවේදී මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ වල සිට සියළුම වාහන ත්‍රිත්ව කාර්ය වාහනයි. පළමුව, මේ වාහන මඟී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත හැකිය. දෙවනුව, ඒවා සමාජ ධුරාවලිය පවත්වාගැනීමට උදවු කරයි. තෙවනුව, වාහන යනු බොහෝ දෙනෙකුට මූල්‍ය ආයෝජනයකි. ඒ නිසා, මෙයින් එක් අවශ්‍යතාවයක් සඳහා පමණක් ආදේශකයක් වන පොදු ප්‍රවාහන සේවා දියුණු කළ පමණින් ලංකාවේ වාහන සඳහා ඇති ඉල්ලුම අඩු නොවනු ඇත.

Thursday, February 16, 2017

බයිට් එක වෙන බේබද්දෝ

"මා දැන සිටි එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු මධුලෝලයෙන් පෙලෙන රෝගීන් ගේ හිමොග්ලෝබීන් කෙතෙක් අඩු වූවද ඔවුනට රුධිර පාරවිලනය කිරීමට විරුද්ධ විය​. ඒ ආගමික හේතු නිසා නොවේ. මේ බේබදු කාලකන්නින්ට බ්ලඩ් දෙන එක අපරාධයක් කියා ඔහු නිතර කීවේය​. සුරාධූර්ත්වය රෝගයක් ලෙස දැකීමට ඔහුට නොහැකි විය​. බඩවල් ඉදිමුණු මදිරාබාධයෙන් පෙලුනු රෝගීන් ඔහුගේ වාට්ටුවේ මිය ගියද ඔහු සැලුනේ නැත."

ඉහත ඡේදය උපුටා ගත්තේ ටික දවසකට පෙර පළ කර තිබුණු වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපියකිනි. එම ලිපියට කමෙන්ටුවක් එකතු කරමින් අජිත් ධර්මා විසින් ලියා තිබුණේ කිසි දිනෙක මත්පැන් පානය නොකළ ඔහුගේ පියාට බොහෝ විට අධික මත්පැන් පානය හේතුවෙන් හැදෙන රෝගයක් වැළඳී රෝහල්ගතව සිටියදීද රෝහල් සේවකයින් විසින් ඔහු මධු ලෝලියෙකුව සිට ඇති බවට පූර්ව නිගමනයකට පැමිණ කුඩම්මාගේ සැලකිලි දැක්වූ බවයි.

ඇමරිකාවේ ජනගහණයෙන් ඇතැම් සීමිත කොටස් වලට හැර වැඩි දෙනෙකුට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් නැති අතර වෛද්‍ය ප්‍රතිකාර වල මිල සෘජුව හෝ වක්‍රව (වෛද්‍ය රක්ෂණයක් හරහා) රෝගියා විසින් ගෙවිය යුතුය. මේ නිසා කිසියම් වෛද්‍ය ප්‍රතිකාරයක මිල යනු වෙනත් පාරිභෝගික භාණ්ඩයක මෙන්ම ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලයි. ඉල්ලුම හා සැපයුම සමතුලිත වන විට භාණ්ඩයක හෝ සේවාවක හිඟයක් ඇති නොවේ. කෙසේ වුවද, වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය කළ හැකි මුදල රෝගියාගේ මිල දී ගැනීමේ හැකියාව මත තීරණය වන නිසා වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුට ප්‍රතිකාරයක් නියම කිරීමේ දී, හැම විටම සවිඥානකව සිදු නොවූවත්, එයින් රෝගියාට සැලසෙන යහපත වැය වෙන මුදල සමඟ සැසඳීමක් කිරීමට සිදු වේ.

ලංකාවේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍ය වරයෙකුට බොහෝ විට මේ මිල සාධකය ගැන ඇමරිකාවේදී මෙන් සැලකිලිමත් වන්නට සිදු නොවේ. එහෙත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය වෙන මුදල රෝගියාගෙන් අය කර නොගෙන වෙනත් අයෙකුගෙන් අය කර ගන්නා ක්‍රමයකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත නොවන බැවින් බොහෝ විට වෛද්‍යවරයාට වෙනත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වේ. ඒ අවශ්‍යතා තරමට සම්පත් නොමැති වීම නිසා ඇතිවන සම්පත් බෙදා හැරීමේ ගැටළුවයි. මෙහිදී ඇමරිකාවේදී මිල සාධකය මඟින් ස්වයංක්‍රීය ලෙස සිදු වන සම්පත් බෙදා හැරීමේ කාර්යය වෛද්‍යවරයාට තමන්ගේ අභිමතය පරිදි කිරීමට සිදු වේ. වඩා ඉහළ තලයකදී රෝහල් අතර සම්පත් බෙදා හැරීම කිසියම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනකු විසින් ඔවුන්ගේ අභිමතය පරිදිත්, පොදුවේ සියළුම රජයේ රෝහල් වලට සම්පත් වෙන් කරන ප්‍රමාණය මුදල් ඇමති වරයා හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් ඔවුන්ගේ අභිමතය පරිදිත් සිදු කරයි.

කිසියම් රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුට රෝගීන් අතර බෙදා දිය හැකි සම්පත් ප්‍රමාණය සියළුම රෝගීන්ගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් නැත. ඖෂධ, පරීක්ෂණ උපකරණ හා රෝහල් ඇඳන් ආදී සියළුම ආකාර වල සම්පත් වලට මෙය බලපායි. මෙහිදී සම්පත් බෙදා හැරීම සම්බන්ධව අභිමතය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති වෛද්‍ය වරයෙකු තමන්ගේ පෞද්ගලික නිර්ණායක හෝ වෛද්‍ය ආචාර ධර්ම මත පදනම් වූ වෙනත් පොදු නිර්ණායකයක් යොදා ගනිමින් ප්‍රමුඛතා පදනම මත සම්පත් බෙදා හැරීම සිදු කරයි. මේ ප්‍රමුඛතා පදනම තීරණ ගන්නා පුද්ගලයා අනුව වෙනස් විය හැකිය. රුවන් ජයතුංගගේ උදාහරණයේ මධු ලෝලියාට හා අජිත් ධර්මාගේ පියාට රුධිර ප්ලාස්මා පාරවිලනය සිදු නොකෙරෙන්නේ ඔවුන් මේ තීරණය ගන්නා පුද්ගලයාගේ ප්‍රමුඛතා පදනම මත පහළට වැටෙන බැවිනි.

රජයේ රෝහල් වල සම්පත් හිඟය ක්‍රමයෙන් ඉහළ යද්දී සම්පත් බෙදා හැරීම සම්බන්ධව වෛද්‍ය වරුන්ට කළ හැකි බලපෑමද ක්‍රමයෙන් ඉහළ යයි. 2017 වසර සඳහා අයවැයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 160,971.8 කි. මෙය 2016 වසර සඳහා වෙන්කර තිබුණු මුදල වූ රුපියල් මිලියන 198,838.0 ක මුදලට වඩා 19.04% කින් අඩු මුදලකි (2017 අයවැය ඇස්තමේන්තු ඉංග්‍රීසි පිටපත වෙළුම 1 පිටුව 327). කෙසේ වුවද, 2016 වසරේ ගණන සංඛ්‍යාලේඛණ විජ්ජාවකින් වැඩිකර පෙන්වූ මුදලකි. ඇත්තටම වෙන් කර තිබුණු මුදල මීට වඩා රුපියල් මිලියන 17,878 කින් අඩු මුදලක් විය. එම ගණන ඉවත් කළද 11.05%කින් ප්‍රතිපාදන කප්පාදු වී තිබේ. 

රජයේ වියදම් වැඩි කර නොගන්නා අතර, ණය ගෙවීම සඳහා වැඩි මුදලක් වෙන් කිරීම සඳහා මෙවර අමාත්‍යාංශ වැඩි ප්‍රමාණයක ප්‍රතිපාදන යම් ප්‍රමාණයකින් කප්පාදු කර ඇති බව පෙනේ. බොහෝ දෙනාගේ අවධානයට ලක්වන සෞඛ්‍ය හා අධ්‍යාපන වැනි ක්ෂේත්‍රද මේ ප්‍රතිපාදන කප්පාදුවෙන් ගැලවී නැත. (මේ ගැන ඉඩක් ලැබුණු විටක පසුව වෙනම කතා කරමු.)

කෙසේ වුවද, අවසන් ප්‍රතිඵලය වන්නේ රජයේ රෝහල් වල සම්පත් හිඟය තව දුරටත් ඉහළ යාමයි. ඒ සමඟම වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයින්ට සම්පත් බෙදා හැරීමේදී සිය අභිමතය ක්‍රියාත්මක කිරීමට ලැබෙන ඉඩකඩ තව දුරටත් ඉහළ යනු ඇති අතර, රුවන් ජයතුංගගේ ලිපියේ මධු ලෝලියා වැනි අයට එහි වන්දිය වැඩිපුර ගෙවන්නට සිදු වනු ඇත.

මේ කියන ආකාරයේ මධු ලෝලීන් මට මගේ ජීවිතයේදී ඕනෑ තරම් හමු වී තිබේ. මැරෙන්නම අමාරු වී රෝහල් ගත කර යාන්තම් ගොඩදාගෙන නැවත ආපසු පැමිණියත් මෙවැනි අය මත්පැන් පානය නවත්වන්නේ නැත. ඇත්තටම ඒ වන විට මත්පැනෙහි වහලුන්ව සිටින ඔවුන්ට මේ පුරුද්දෙන් මිදීමේ හැකියාවක්ද නැත. බොහෝ රෝහල් සේවකයින් මෙවැනි තැනැත්තන්ව දකින්නේ තමන්ගේ පාලනය යටතේ ඇති සීමිත සම්පත් ප්‍රමාණය විනාශ කරන සමාජ විරෝධීන් කොටසක් වශයෙනි. ඒ නිසා සම්පත් බෙදා හැරීමේදී වරදකාරී හැඟීමකින් තොරව එවැන්නන්ට අඩු ප්‍රමුඛතාවයක් දීමට ඔවුන්ට හැකි වී තිබේ. අධික ලෙස මත්පැන් පානය කිරීමේ සමාජ පිරිවැයක් ඇත්තටම තිබුණත් මෙහිදී එම තාර්කික හේතුවට වඩා වැඩිපුර බලපාන්නේ තීරණ ගන්නා පුද්ගලයින්ගේ ආගමික හා සංස්කෘතික පසුබිමයි.

මත්පැන් වලට එරෙහිව යන තාර්කික හේතුත්, ඊටත් වඩා ආගමික හා සංස්කෘතික හේතුත් නිසා රජයයන්ට මත්පැන් පානය අධෛර්යමත් කිරීම හේතුවක් ලෙස ඉදිරියට දමමින් මත්පැන් පානය කරන්නන්ගෙන් අධික බදු අය කිරීමට හැකියාවක් ලැබී තිබේ. මේ මඟින් මත්පැන් භාවිතය අධෛර්යමත් වන බව ඇත්තක් වුවත් බදු වැඩි කිරීම මඟින් රජය ඇත්තටම අපේක්ෂා කරන්නේ සිය බදු ආදායම් ඉහළ නංවා ගැනීමය. එය එසේ නොවේනම් රජය විසින් කළ යුත්තේ මෙසේ සුරා බදු ලෙස එකතු කර ගන්නා මුදල් වැය කිරීමේදී මත්පැන් වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ප්‍රමුඛතාවයක් දීමයි. එහෙත්, එවැන්නක් සිදු නොවේ. ඒ නිසා, හැමවිටම වාගේ මේ බදු වැඩි කිරීම් කරන්නේ "ගාණකටය". 

බදු වැඩි වීම නිසා ඕනෑවට වඩා මිල වැඩි වූ විට අන්තිමට වෙන්නේ, ලොතරැයි වලින් වුනාක් මෙන්, රජයේ බදු ආදායම අඩු වීමයි. ඇස්තමේන්තු කර ඇති පරිදි, 2017 වසරේදී රජයේ සුරා බදු ආදායම රුපියල් මිලියන 175,500 දක්වා වැඩි කර ගැනීමට රජය අපේක්ෂා කරයි (2017 අයවැය ඇස්තමේන්තු ඉංග්‍රීසි පිටපත වෙළුම 1 පිටුව XXIV). මේ මුදල 2017 වසරේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුළු මුදලට වඩා රුපියල් මිලියන 14,528 කින් පමණ වැඩිය. ඒ නිසා, ලංකාවේ මධු ලෝලීන් ගෙවන බදු වලින් පමණක් රජය විසින් "නොමිලේ" ලබා දෙන සියළුම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවාවන් ලබා දී වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන ආනයන බදු සහන නිසා රජයට අහිමි වන ආදායමද ආවරණය කර ගැනීමට පුළුවන.

රෝහල්ගත වී යන්තම් ගොඩ දාගෙන ආපසු ගෙදර යන මධු ලෝලීහු නැවතත් මත්පැන් පානය කර රෝගී වී ආපසු රෝහල්ගත වෙති. එහෙත්, රෝහල්ගත වන ඒ වාර දෙක අතරද ඔවුහු රජයට තවත් සැලකිය යුතු වැඩිපුර මුදලක් බදු ලෙස ගෙවති.

මෙහිදී මෙසේ රෝහල්ගත වන වැඩි දෙනෙකු පරිභෝජනය කරන්නේ නීති විරෝධී මත්පැන් බවත්, ඒ නිසා ඔවුනගෙන් රජයට බදු ආදායමක් නොලැබෙන බවත් කියවන අයෙකුට මට "කියා දෙන්නට" පුළුවන. මතුපිටින් පෙනෙන පරිදි මේ කතාව නිවැරදිය. එහෙත්, ඇත්තටම මෙය සංකීර්ණ කරුණකි. නීති විරෝධී මත්පැන් පරිභෝජනය කිරීමට මේ පිරිස් පොළඹවා ඇත්තේ රජයයි. ඒ, බදු මඟින් මිල හත් අට ගුණයකින් ඉහළ යැවීම හරහා "නියම මිලට" තත්ත්වයෙන් වඩා හොඳ මත්පැන් පරිභෝජනය කිරීමට අඩු ආදායම්ලාභී බොහෝ දෙනෙකුට ඇති අයිතිය රජය විසින් නැති කර ඇති බැවිනි. 

මේ පිටුපස සෞඛ්‍යමය හේතු තිබුණත්, මෙහිදී ආගමික හා සංස්කෘතික හේතු වලින් මේ ඉහළ බදු වලට වැඩි තල්ලුවක් ලැබී තිබේ. සීනි හා පිෂ්ඨය වැඩිපුර ගැනීමද විශාල ලෙස සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන අතර බත් වලට වන ඇබ්බැහියද අත් හැරීම ඉතා අපහසු ඇබ්බැහියකි. ඒ නිසා මත්පැන් මෙන්ම මිල වැඩි වුවත් ඉල්ලුම එතරම් අඩු නොවන හාල් වලට විශාල බද්දක් පැනවීමෙන් රජයට බදු ආදායම සැලකිය යුතු ලෙස වැඩි කර ගැනීමට පුළුවන. නමුත්, කිසිදු රජයක් ඒ ගැන නිකමටවත් හිතන්නෙවත් නැතිවා පමණක් නොව හැකි තරම් අඩු මිලකට හාල් සැපයීමට දැඩි උත්සාහයක් දරයි. ඒ, සෞඛ්‍යමය හේතු කෙසේ වුවත් "බඩ පිරෙන්නට බත් කෑම" මත්පැන් පානය කිරීම මෙන් "වරදක්" නොවන නිසාය.

මත්පැන් පානය කරන්නෝද අඩු වැඩි වශයෙන් මේ සංස්කෘතික රාමුව තුළම සිරවී සිටින අතර තමන් කරන්නේ වරදක්ය යන හැඟීම පෙරදැරි කරගෙන කියන ගාණක් ගෙවා මත්පැන් මිලදී ගන්නවා මිස ඔවුහු කවදාවත් සංවිධානය වී කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැස් වී රජය නඩත්තු කිරීමට විශාල දායකත්වයක් දෙන තමන්ගේ "බේබදු අයිතිවාසිකම්" වෙනුවෙන් හඬ නඟන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ තෝරා ගැනීම වන්නේ නීත්‍යානුකූල මත්පැන් මිල තමන්ට දරා ගැනීමට නොහැකි වන විට නිහඬව නීති විරෝධී මත්පැන් වෙත යොමු වීමයි. මෙසේ ඉහළ සුරා බදු හමුවේ කිසිදු විරෝධයක් නොපා නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළෙන් පිරිසක් බැහැර වීම තුළ එසේ නොකරන අයගෙන් වැඩි මුදලක් බදු ලෙස ඉපැයීමට රජයට වක්‍රව උදවුවක් ලැබේ. නීත්‍යානුකූල මත්පැන් සඳහා අය කරන ඉහළ බදු නිසාම ඇතිවන නීති විරෝධී මත්පැන් වෙළඳසැල් වෙත ඔවුහු යොමු වෙති.

මෙසේ විශාල මුදලක් රජයට බදු ලෙස ගෙවමින් තමන්ගේ මුදලින් මත්පැන් පානය කරන්නන් බොහෝ දෙනෙකු මෙන්ම මේ විශාල බදු මුදල නොගෙවිය හැකි බැවින් නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළෙන් බැහැර වී බදුද සමඟ වැඩි මිලක් ගෙවා "හොඳ මත්පැන්" පරිභෝජනය කිරීමේ අවස්ථාව එය කිරීමට ආර්ථික ශක්තියක් ඇති අයට පවරා දීම මඟින් ඔවුන්ගෙන් වැඩිපුර බදු මුදලක් අය කර ගැනීමට රජයට වක්‍ර ලෙස උදවු කර ඇති පිරිසද මත්පැන් පානය කරන්නේ සංස්කෘතිය හරහා උරුම වන වරදකාරී හැඟීමක් සහිතව බැවින් බේබද්දන් රෝහල් තුළ මෙන්ම වෙනත් තැන් වලද බයිට් වීම ඉදිරියටත් එසේම සිදු වනු ඇත.

(Image: https://lordsofthedrinks.com/2015/03/11/drunk-guy-picks-fight-with-a-killer-elephant-in-sri-lanka/)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...