පසුගිය ලිපියේ කතාකළ පරිදි ශ්‍රී ලාංකිකයින්ගෙන් 38%ක් පමණම මිය යන්නේ හෘදයාබාධ හෝ ආඝාත නිසාය. එනම්, හදවතේ හෝ මොළයේ ධමනියක් අවහිර වී රුධිර සැපයුම නැවතීම නිසාය. මෙසේ ධමනි අවහිර වීම වලක්වාගත හැකිනම් හෘදයාබාධ හා ආඝාත වලක්වාගත හැකිය. එය කිරීමට තරම් විද්‍යාව දියුණු නැත. එහෙත්, මෙසේ ධමනි අවහිරවීමේ ඉඩකඩ අඩු කරගැනීමට අපට හැකියාවක් තිබේ. එනයින්, හෘදයාබාධ හා ආඝාත ඇතිවීමේ ඉඩකඩ අඩු කර අපේක්ෂිත ආයු කාලය වැඩි කර ගැනීමට අපට පුළුවන.
රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සහ හෘදයාබාධ අතර ඉතා පැහැදිලි, හඳුනාගත් සම්බන්ධතාවයක් තිබේ. එහෙත්, එවැනි පැහැදිලි සම්බන්ධතාවයක් තිබූ පමණින් කොලෙස්ටරෝල් හෘදයාබාධ වලට හේතු වන බව ස්ථිරවම පැවසිය නොහැකිය. අප නොදන්නා තෙවන කරුණක් හෘදයාබාධ වලට මෙන්ම කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමටද හේතුවනවා විය හැකිය. කෙසේවුවද, එවැනි යාන්ත්‍රණයක් ගැන හරියටම නොදන්නා බැවින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම මඟින් හෘදයාබාධ ඇතිවීම අවම කර ගැනීම සඳහා අපට උත්සාහයක් දැරිය හැකිය.
බොහෝ දෙනා දන්නා පරිදි, කොලෙස්ටරෝල් වල ප්‍රධාන සංඝටක තුනක් තිබේ. ඒ, LDL (ලෝ ඩෙන්සිටි ලිපෝ ප්‍රෝටීන්), HDL (හයි ඩෙන්සිටි ලිපෝ ප්‍රෝටීන්) හා ට්‍රයිග්ලිසරොයිඩ් (TG) යන සංඝටකයි. යමෙකුගේ රුධිරයේ මුළු කොලෙස්ටරෝල් ප්‍රමානය ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 200ක් හෝ ඊට වැඩිනම් සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු එහි සංයුතිය පරීක්ෂා කිරීමට නියම කරයි.
පරීක්ෂණාගාරයකදී මනින රුධිරයේ ඇති මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය (TC) ඉහත කොටස් තුනේ එකතුවට සමාන නැත. මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය සහ එහි සංඝටක අතර ඇති සම්බන්ධතාවය ආසන්න වශයෙන් මෙවැන්නකි.
TC = LDL + HDL + 0.2 TG
සාමාන්‍යයෙන් පරීක්ෂණාගාරයකදී රුධිරයේ ඇති LDL ප්‍රමාණය ඇත්තටම මනින්නේ නැත. ඉහත සමීකරණය භාවිතයෙන් එය ආසන්නව ගණනය කරගන්නවා පමණි. ඇතැම් විට LDL-C කියා (calculated) සඳහන් කරන්නේ ඒ නිසාය. සාමාන්‍ය මට්ටමේ කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇති අයෙකු හා අදාළව මේ සමීකරණය එතරම් වැරදි නැත.
මේ LDL නරක කොලෙස්ටරෝල් ලෙසත් HDL හොඳ කොලෙස්ටරෝල් ලෙසත් හැඳින්වේ. LDL මඟින් අවහිර කරන ධමනි HDL මඟින් පිරිසිදු කරන බව දැනට පිළිගැනෙන ප්‍රධාන ධාරාවේ දැනුමයි. මේ දැනුම මත රෝගියෙකුගේ LDL මට්ටම අඩු මට්ටමක පවත්වා ගැනීම සහ HDL මට්ටම වැඩි කර ගැනීම වෛද්‍ය වරයෙකුගේ ඉලක්කයයි. LDL වලට අමතරව ට්‍රයිග්ලිසරොයිඩ්ද ධමනි අවහිර කිරීමට උදවු කරන නිසා TG මට්ටම අඩුකරගැනීමද ඉලක්කයකි.
දැනට කොලෙස්ටරෝල් වැඩිකමෙන් පෙලෙන රෝගීන් විසින් වැඩිපුරම භාවිතා කරන ඖෂධය ඇටෝවැස්ටටීන් කැල්සියම්ය (atorvastatin calcium). එහි ජනප්‍රියම වෙළඳනාමය ලිපිටෝර්ය. ලිපිටෝර් මෙතෙක් ලෝකයේ වැඩිපුරම විකිනුණු ඔසුවකි. 1997 සිට 2012 දක්වා වසර 14.5ක කාලය තුල ලිපිටෝර් අලෙවිය සඳහා පේටන්ට් අයිතිය තිබුණු ෆයිසර් සමාගම ලැබූ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 125 ඉක්මවයි. 2011 නොවැම්බර් 11 දින ෆයිසර් සමාගමේ පේටන්ට් බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසුව තරඟකාරී සමාගම් විසින්ද වෙනත් සන්නාම යටතේ ඇටෝවැස්ටටීන් කැල්සියම් නිපදවීම ඇරඹුවේය. මේ 2012 මැද පමණ සිට මේ විකල්ප නිෂ්පාදන වෙළඳපොළට පැමිණීමත් සමඟ ෆයිසර් සමාගම ලිපිටෝර් විකුණා ලැබූ ආදායමෙන් හතරෙන් තුනක්ම ඔවුන්ට අහිමි වී තිබේ.
ලිපිටෝර් මඟින් රුධිරයේ LDL සැලකිය යුතු ලෙස අඩු කරන අතර HDL සුළු වශයෙන් වැඩි කරයි. ට්‍රයිග්ලිසරොයිඩ්ද තරමකට අඩුකරයි. කෙසේ වුවද, ලිපිටෝර් වල ජනප්‍රියත්වයට හේතු වූයේ එමඟින් රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීම නොවේ. හෘදයාබාධ ඇතිවන සම්භාවිතාව අඩු කිරීමය. කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් වන්නේ හෘදයාබාධ හා කොලෙස්ටරෝල් අතර ඇති සම්බන්ධතාවය නිසාය.
ලිපිටෝර් වලට හෘදයාබාධ සෑදීම වැළැක්විය නොහැකිය. එහෙත්, හෘදයාබාධයක් සෑදීමේ සම්භාවිතාව අඩු කළ හැකිය. මේ වන විට පර්යේෂණ 300කින් පමණ තහවුරු කරගෙන ඇති පරිදි ලිපිටෝර් මඟින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය 37-58% කින් පමණ අඩු කරන අතර හෘදයාබාධයක් හැදීමේ ඉඩකඩ 25-45%කින් පමණ අඩු කරයි. වෙනත් අයුරකින් කිවහොත්, මරණය නියත වුවත්, අපට මුදල් ගෙවා මරණය කල් දමා ගත හැකිය.
කෙසේ වුවද, මෙය සූදුවකි. මුදල් ගෙවා දිගටම ලිපිටෝර් මිලදීගෙන පාවිච්චි කළත් හෘදයාබාධයක් සැදීමේ හැකියාව ඉවත් නොවේ. එය අඩුවනවා පමණි.
මිනිස් ජීවිතයක වටිනාකම ඉතා විශාලය. එහෙත්, එය අසීමිත නැත. ලිපිටෝර් වැනි රෝගයක් සෑදීමේ ඉඩකඩ අඩුකර ගැනීමට උදවු කරන (එහෙත් ඇතැම් එන්නත් මෙන් ඉතා ඉහල සම්භාවිතාවකින් රෝග නිවාරණය නොකරන) ඔසුවක් භාවිතා කිරීම වාසිදායක වන්නේ එසේ කිරීම නිසා වැඩි වන අපේක්ෂිත ආයු කාලයේ වටිනාකම ඔසුවේ මිලට වඩා වැඩිනම් පමණි. ඔසුවේ මිල ඉතා අධිකනම්, හෘදයාබාධයක් සෑදීමේ අවදානම ගැනීම වඩා වාසිදායකය. වෙනත් විදිහකින් කියනවානම්, ලිපිටෝර් මිල පැවති මිලට වඩා අඩු වීනම් තවත් බොහෝ දෙනෙකු වැඩි කලක් ජීවත් විය හැකිව තිබුණි.
ඒකාධිකාරය අහෝසි වීමෙන් පසුව ලිපිටෝර් මිල කලින් පැවති මිලෙන් හතරෙන් එකක් පමණ දක්වා පහත වැටී ඇත. එසේනම්, ෆයිසර් සමාගම පේටන්ට් බලපත්‍රය මඟින් ලැබුණු ඒකාධිකාරය නිසා විශාල ලාභයක් ලබා තිබේ.
මේ ලාභය අසාධාරණද?
කියවා නැත්නම්, පහත ඇති ලිපියත් කියවා තීරණය කරන්න.