වෙබ් ලිපිනය:

Sunday, September 13, 2015

සෝවියට් වරුන් විසින් ඝාතනය කෙරුණු සිංහල ලේඛකයෝ


සෝවියට් දේශය බිඳ වැටෙන තුරුම රුසියන් මෙන්ම සෝවියට් පොත් වල සිංහල පරිවර්තන අපට අඩු මිලට ලැබුණේය. මේ පොත් පෞද්ගලිකව මට ලැබුණු වාසියකි. වෙනත් පොතක් මිලදී ගැනීම සඳහා වැය කළ යුතු වූ මුදලට මට සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගත හැකි විය. මෙය මගේ පොත් රාක්කය පුරවා ගැනීම පහසු කළේය.

සෝවියට් පොත් අඩු මිලට විකිණීමට හැකි වූයේ ඔවුන්ගේ නිෂ්පාදන තාක්ෂනය දියුණු, අඩු වියදම් එකක් වූ නිසාමයැයි මා සිතන්නේ නැත. එය තරමක් දුරට එසේ විය හැකි වුවත් ප්‍රවාහන වියදම්ද සැලකූ පසු මේ පොත් බොහොමයක් වැයකළ පිරිවැයටත් වඩා අඩුවෙන් මිල කෙරී තිබුණු බව තේරුම් ගැනීම අපහසු නැත. එසේනම් මේ වියදම යම් කිසිවෙකු විසින් දැරිය යුතුය.

මා සෝවියට් පොතක් අඩු මිලට ලබා ගන්නා හැම විටකම සිදුවූයේ එහි 'නියම' මිලෙන් කොටසක් වෙනත් අයෙකු විසින් දැරීමයි. මෙහිදී මේ පිරිවැය දැරුවේ සෝවියට් දේශයේ සාමාන්‍ය මහජනතාවයි. මෙහිදී සිදුවුනේ තිලකේ හෝ රසික ඔවුන්ගේ පොතක් මිතුරෙකුට තෑගි කරන විට සිදුවන දෙයට සම්පුර්ණයෙන්ම නොවෙතත් තරමක් සමාන දෙයකි. මේ පොත් අපට ලැබුනේ 'සල්ලි එක්ක'ය.

රසික ඔහුහේ රුපියල් දෙසීයකට මිල කර ඇති පොතක් දන්නා කෙනෙකුට නොමිලේ දෙනවිට මේ දන්නා කෙනා රුපියල් දෙසීය ගෙවා පොත මිල දී ගැනීමත් රසික ඔහුට වෙනම රුපියල් දෙසීයක් දීමත් දෙකම එක වර සිදුවේ. මෙහිදී කාර්යක්ෂමතා හානියක් සිදුවිය හැකිය. රසිකට දෙසීයක පාඩුවක් වෙද්දී දන්නා කෙනාට ලැබෙන වාසිය දෙසීයට අඩු විය හැකිය. දෙසීයේ පොත රසික වෙනත් අයෙකුට තුන්සීයකට විකිණුවහොත්, පොත මිල දී ගන්නා තැනැත්තා එය කරන්නේ ස්වේච්ඡාවෙන්නම් දෙදෙනාටම වෙන්නේ වාසියකි.

'නියම' මිල රුපියල් දහයක් විය යුතු බරීස් පලෙවොයිගේ සැබෑ මිනිසෙකුගේ කතාවක්හි සිංහල පරිවර්තනය මා විසින් රුපියල් පහකට මිල දී ගන්නා විට උස්බෙකිස්තානයේ ඉවාන්ලාට සහ සයිබීරියාවේ ඇනාලාට ඉතිරි රුපියල් පහ ගෙවන්නට සිදුවේ. සෝවියට් රාජ්‍යය මඟින් ඉටු කර ඇත්තේ එහි පොදු ජනතාවගේ අවශ්‍යතාවය නොවිය හැකි බව මුඛ්‍ය කරුණට අදාල නොවන නිසා අමතක කළහොත් ඔවුන් මේ පිරිවැය කැමැත්තෙන්ම දරන්නේ ඉන්දියානු සාගරය මැද කුඩා දුපතක ජීවත් වන නොදන්නා කොලු ගැටයෙකු මේ පොත කියවනු දැකීම ඔවුන්ගේ සතුටට හේතුවන නිසාය. රසික දන්නා කෙනෙකුට ඔහුගේ පොතක් තෑගි කරන්නේත් මේ හේතුව නිසාය. ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ස්කොට් සහ හෙදර් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් බණ්ඩාරවෙලදී නොමිලේ බෙදාහරින ආගමික ප්‍රකාශන වල පිරිවැය දරන්නේත්, කොටුව දුම්රියපල ඉදිරිපිට 'කම්කරු පුවත්' විකුණන විකොස පූර්ණකාලිකයෙකු අව්වේ කට්ට කන්නේත්, මා පාතරාසයවත් නොගෙන මේ බ්ලොග් කටුව කොටන්නේත් එකම හේතුවකටය. අපිට අවශ්‍ය දේවල් කියවීමට වෙනත් අයව පෙළඹවීමෙන් අපට සතුටක් ලැබේ.

වෙනත් යමෙකුට කියවීම සඳහා මාව පෙළඹවීමට ඇවැසි වී මගේ වියදමින් කොටසක් එවැනි අයෙකු දරද්දී මගේ කියවීමේ අවශ්‍යතාව ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාව සමඟ සම්පාත වූ විට මට ලැබෙන්නේ විශාල වාසියකි. රසිකගේ පොත කීයක් හෝ දී කියවීමට බලාගෙන ඉන්නා කෙනෙකුට ඔහුගෙන් පොතක් තෑගී ලැබුණොත් සිදුවන්නේ මෙවැන්නකි. (එතරම් යෝග්‍ය විහිළුවක් නොවුවත්) එවිට සිදුවන්නේ සරසවියේ අවසාන වසරේ සිසුවියකගෙන් වෙලාව ඇසූ විට වෙන දෙයමය. මෙහි ඇති ප්‍රශ්නය අවශ්‍යතා සම්පාත වන බව මෙසේ තහවුරු කර ගත නොහැකි වීමයි. නොමිලේ බෙදන ආගමික ප්‍රචාරක පත්‍රිකා කුණු කූඩ වලට යන්නේ මේ නිසාය.

මගේ ගැටවර වියේදී අඩුමිලට වුවත් මා බොහෝ විට මිලදී ගත්තේ මා කැමති සෝවියට් පොත්ය. එහෙත්, මෙය හැම විටම ඒ අයුරින්ම සිදුවුණේ නැත. මා ප්‍රාග්ධනය පොත නොකියවූයේ ඒ නිසාය. මෙහිදී ඒ වෙනුවෙන් පිරිවැය දැරූ ඉවාන්ගේ සහ ඇනාගේ අරමුණ ඉටු වී නැත.

කෙසේ වුවද සමස්තයක් වශයෙන් සෝවියට් පොත් සහනාධාර වලින් මට මෙන්ම වෙනත් බොහෝ අයට යම් වාසියක් සැලසෙන්නට ඇත. එහෙත්, මෙසේ හොඳ ලෙස පෙනෙන බොහෝ දේ වල වෙනත් පැතිද තිබේ.

වෙනත් පොතක් වෙනුවට සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගැනීම මට හොඳ විකල්පයක් විය. එහෙත් මෙසේ සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගන්නා හැම විටකම වෙනත් සිංහල පොතක් මිල දී ගැනීමේ අවස්ථාව මගෙන් ගිලිහුණේය. ඒ සමඟම පොතක් විකුණාගැනීමේ අවස්ථාව සිංහල ලේඛකයෙකුට නැති වී ගියේය. මේ අයුරින් සෝවියට් පොත් අඩුමිලට දීමෙන් සෝවියට් නොවන පොත් වාරණයක්ද අනියමින් ක්‍රියාත්මක කෙරුණේය.

මේ කාලයේදී විකිණුනු සෝවියට් පොත් ප්‍රමාණය සහ සිංහල පොත් වෙළඳපොලේ ඇති ආකෘතිමය සීමාවන් සැලකූ විට මල්වර වන්නට සිටි සිංහල ලේඛකයින් කොපමණ ප්‍රමාණයක් ලාබෙට විකිණුනු සෝවියට් පොත් වලට යටවී තිඹිරිගෙයිම මියගියේදැයි සොයන්නටනම් කාලය යොදවා පර්යේෂණයක්ම කළ යුතුය.

Friday, September 11, 2015

පොත් ප්‍රකාශනයේදී අතරමැදියා ගසා කනවාද?



සිංහල ලේඛකයින් පොත් ලිවීම අධෛර්යය වීමට එක් හේතුවක් වන්නේ පොත් ලිවීමෙන් ලාභයක් නොමැති වීම බවට බොහෝ තැන් වල අදහස් පල වී ඇත. මේ සම්බන්ධ ජනප්‍රිය අදහසක් වන්නේ සිංහල පොත් වෙළඳපලේ ලාභය ගන්නේ අතරමැදි පොත් අලෙවිකරුවන් බවයි.

මේ සම්බන්ධව මටනම් පළමෝත අත්දැකීම් නැත. එහෙත්, කිහිප තැනකින් දැකගත හැකි පරිදි පොතක් අලෙවි කිරීමෙන් ලැබෙන මුදල සාමාන්‍යයෙන් බෙදීයන්නේ පහත පරිදිය.

ලේඛකයා 10%
ප්‍රකාශකයා 50%
අතරමැදි අලෙවිකරුවා 40%

මේ විග්‍රහය තුළ පාඨකයා නැත. කෙසේ වුවද, පාඨකයාද මේ සමස්ත ව්‍යාපෘතියේ කොටස්කරුවෙකි.

පළමුව අපි පොත් ප්‍රකාශනයේදී පොතක් වෙළඳපොලට සැපයීම සඳහා දායක වන පාර්ශ්ව තුනම එක් ඒකකයක් ලෙස සලකමින් මේ තිදෙනාටම ලබා ගත හැකි මුළු මුල්‍ය ලාභය ගැන සලකමු. ගොඩවල් තුනට කුමන අයුරින් හෝ බෙදෙන්නේ මේ ලාභයයි.

සැපයුම් පාර්ශ්වකරුවන්ගේ ශ්‍රමය හා වක්‍ර වියදම් ඉවත් කළත් පොත මුද්‍රණය කිරීමට සෘජුව වැයවෙන කඩදාසි, තීන්ත, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය බලශක්තිය ආදිය මුද්‍රණය කරන පිටපත් ගණන අනුව වෙනස් වන විචල්‍ය පිරිවැයකි. එක් පොතක් 'නිෂ්පාදනය කිරීම' සඳහා මෙසේ වැයවෙන විචල්‍ය පිරිවැයට වඩා අඩුවෙන් පොතක් විකිණිය නොහැක.

අනෙක් අතට පොතක අවසාන වටිනාකම තීරණය කරන්නේ එය 'පරිභෝජනය කරන' පාඨකයාය. එක් එක් පාඨකයාට එකම පොතේ ඇත්තේ වෙනස් වටිනාකම්ය. මේ වටිනාකම පොතේ මිලට වඩා වැඩිනම් යමෙක් පොතක් මිලදී ගනු ඇත. මේ අනුව, පොතක් විකිණිය හැකි උපරිම මිල ඒ සඳහා කිසියම් පාඨකයෙකු ලබා දෙන වැඩිම වටිනාකමයි.

මේ අනුව පොතක මිල වියයුත්තේ එහි විචල්‍ය නිෂ්පාදන පිරිවැය සහ පාඨකයකුගෙන් ඒ සඳහා ලැබෙන වටිනාකම අතර අගයකි.

තිලකසිතේ මිල ලංකාවේදීනම් රුපියල් 400කි. මේ පොතට මා ලබාදෙන වටිනාකම මෙයට වඩා වැඩිය. මේ පොතම කප්රුකේ විකිණෙන්නේ ඇමරිකානු ඩොලර් 4.73ක මුදලකටය. මෙය රුපියල් 650ක පමණ මුදලකි. තිලකසිත අයිති කර ගැනීම සඳහා මේ මුදල ගෙවීමටද මා සූදානම්ය. එහෙත් මේ පොත අන්තර්ජාලය හරහා ගෙන්වා ගැනීමට යන තැපැල් ගාස්තුව එක් වූ විට පොතේ මිල රුපියල් දෙදහස ඉක්මවයි. මේ මිල මා අධෛර්යය කරවන්නකි.

මා තිලකසිත වැනි සාහිත්‍ය කෘතීන් සඳහා දායක වී නැති නමුත් පොත් දෙකක් සඳහා දායකත්වය සපයා තිබේ. මේ පොත් දෙකෙන් එකකවත් මුද්‍රිත පිටපත් මා සතුව නැත්තේ ඒ පොත් මිල දී ගැනීමට මා වැය කළ යුතු වූ මුදල පොතක මුද්‍රිත පිටපතක් සඳහා මා ලබාදුන් වටිනාකමට වඩා වැඩි වූ නිසාය. එක්තරා ආයතනයක සේවය කරද්දී තවත් ලේඛිකාවන් දෙදෙනෙකු සමඟ ලියා, සෝදුපත් බලා අවසන් කළ මෙයින් එක් පොතක් මුද්‍රණයෙන් පිටවී ඇති බව අහම්බෙන් මා දැනගත්තේ ශ්‍රී ලංකාව හා අදාලව ලියවුනු පොත් පිළිබඳව ඇමරිකානු විශ්ව විද්‍යාලයක පුස්තකාල වෙබ් අඩවියේ අන්තර්ජාල සෙවීමක් කරද්දීය. රුපියල් 300කට මිල කර තිබුණු මේ පොත ඇමරිකානු ඩොලර් තුනකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සඳහා තැපැල් ගාස්තු ලෙස තවත් ඩොලර් පහළොවක් ගෙවිය යුතු වීම නිසා ලංකාවෙන්ම පොත ගැනීමට සිතා වැඩේ අතහැරියත් මා ලංකාවට යනවිට එහි එක් පිටපතක් හෝ නොවිකිණී ඉතිරිව තිබුණේ නැත.

තිලකසිතේ විචල්‍ය පිරිවැය රුපියල් 200ක් යැයි අපි සිතමු. රුපියල් 400කට මේ පොත විකිණීමෙන් රුපියල් 200ක ලාභයක් ලැබේ. (ඇත්තටම මෙය නියම 'ආර්ථික' ලාභය නොවේ. අපි දැනට එසේ සිතමු.) පොත් 1000ක් විකිණුවහොත් මුළු ලාභය රුපියල් 200*1000 = 200,000කි.

රුපියල් 400 පොතේ 'නියම' මිලයැයි අපි සිතමු. තිලකසිතට රුපියල් 500ක් ගෙවීමට වුවද කැමති මා වැනි අය සිටිති. එසේනම්, පොතේ මිල ඉහළ නංවා ලාභය වැඩි කර ගත නොහැකිද?

මෙය කළ නොහැක්කේ ලාභය නිෂ්පාදකයාට තනිව තීරණය කළ නොහැකි දෙයක් බැවිනි. තිලකසිතේ වටිනාකම රුපියල් 400ට වැඩියැයි සිතන අය 1000ක් සිටිති. ඒ නිසා ඒ මිලට පිටපත් 1000ක් විකිණිය හැකිය. එහෙත් මේ පාඨකයෝ සියළු දෙනාම පොතේ වටිනාකම රුපියල් 500කට වඩා වැඩියැයි නොසිතති. එසේ සිතන පිරිස 600ක් යැයි සිතමු. දැන් එක් පොතකින් ලාභය රුපියල් 300ක් වුවත් මුළු ලාභය රුපියල් 300*600 = 180,000ක් පමණි. ඒ නිසා පොතේ මිල වැඩිකිරීමෙන් ලාභය වැඩි කරගත නොහැක.

එතකොට අඩුවට දුන්නොත්? පොත රුපියල් 300කට විකිණුවහොත් එක් පොතකින් ලාභය රුපියල් 100ක් පමණි. එහෙත් පොත් වැඩි ප්‍රමාණයක් අලෙවි කර ගත හැකිය. මිල රුපියල් 300ක් දක්වා අඩු කළ විට පොතේ වටිනාකම රුපියල් 300 සිට 400 දක්වා වූ  මුදලක් ලෙස සිතන පාඨකයින්ද තිලකසිත මිල දී ගනු ඇත. මේ පිරිස අඩුවශයෙන් 1000ක්නම් මිල අඩුකිරීමෙන් ලාභය වැඩි වේ. එසේ නැත්නම් මිල අඩුකිරීම අවාසිදායකය. පොතේ මිල රුපියල් සියයකින් අඩුකළ විට එය මිල දී ගැනීමට සූදානම් පිරිස දෙගුණයක් වේයැයි සිතීම අපහසුය. ඒ නිසා ලාභය අඩුවනු ඇත.

රුපියලක් වැනි සුළු ගණනකින් මෙසේ මිල වැඩි කළත්, අඩු කළත් ලාභය වැඩි නොවේනම් ඒ මේ පොතේ 'නියම' මිලයි.

මෙතෙක් සරලව කතා කළත් පොතේ 'ලාභය' පාර්ශ්ව තුනක් අතර බෙදේ. මේ මුළු ලාභය තීරණය වන්නේ පොතට වටිනාකමක් දීමට සිටින පාඨකයින් ගණන අනුවය. සිංහල නොදන්නා අයෙකුට සිංහල පොතක වටිනාකමක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා සිංහල පොතකට වටිනාකමක් දිය හැකි අය සොයන්නට වෙන්නේ සිංහල කියවන පිරිස් අතරෙනි. මේ අය පොතේ අන්තර්ගතයටද කැමති විය යුතුය.

පොතක අන්තර්ගතය එකම වුවත් ඉංග්‍රීසියෙන් ලියවුනු පොතකට වටිනාකමක් දීමට සූදානම් පිරිස එවැනිම සිංහල පොතකට වටිනාකමක් දෙන පිරිසට වඩා බොහෝ වැඩි නිසා ඉංග්‍රීසියෙන් ලියන කෙනෙකුට ලාභ ලැබීමට වැඩි ඉඩකඩක් ඇත. සිංහල භාෂාවට වඩාත්ම සමාන උතුරු ඉන්දීය බස සේ මා සලකන වංග බසින් ලියවෙන පොත් කියවන්නට සිටින පිරිස සිංහල පාඨක පිරිස මෙන් 13 ගුණයකි. වංග සාහිත්‍යය සිංහල සාහිත්‍යය අභිබවා ඉදිරියට යාමට ප්‍රධානම හේතුව මේ සාධකයයි. පාර්ශ්වකරුවන් අතර කවර ආකාරයෙන් බෙදාගන්නට හෝ සිංහල පොතකින් ලැබෙන්නේ සීමිත ලාභයකි.

පොත් ප්‍රකාශකයෙකු කරන්නේ සාපේක්ෂව සරල නිෂ්පාදන කාර්යයකි. එමෙන්ම, මූලිකවම මුද්‍රණ කරුවෙකු වන 'අත්පිටපත් අමුද්‍රව්‍ය ලෙස ගන්නා මුද්‍රිත පොත් නිෂ්පාදකයෙකුට' කළ හැකි එකම කටයුත්ත පොත් නිෂ්පාදනය නොවේ. පෝස්ටර්, ප්‍රචාරක පත්‍රිකා වැනි බොහෝ මුද්‍රණ විකල්ප ඔහු සතුය. මුද්‍රණ තාක්ෂනය ඉගෙන ගැනීමට බොහෝ සේ අපහසු තාක්ෂණයක්ද නොවේ. මේ නිසා අවශ්‍ය ප්‍රාග්ධනය ඇති අයෙකුට මුද්‍රණ කර්මාන්තයට ඇතුළු වීමට විශාල බාධකයක් නැත. මුද්‍රණ කර්මාන්තයෙන් විශාල ලාභ ලැබිය හැකිනම් බොහෝ දෙනා මේ කර්මාන්තයට අලුතින් එක් වනු ඇත. එසේ එක් නොවන්නේ එවැනි අධික ලාභ මෙහි නොමැති නිසාය. අනෙක් අතට මුද්‍රණකරුවෙකුට කියවීම ප්‍රවර්ධනය කිරීම සඳහා පාඩුවට පොත් මුද්‍රණය කර දී සතුටක් ලබන්නට තර්කානුකූල හේතුවක්ද නැත. මේ නිසා මගේ අදහස පරිදි ලංකාවේ පොත් ප්‍රකාශකයෙකු ලබන්නේ කර්මාන්තය සඳහා යොදවන සම්පත් වෙනුවෙන් ලැබිය යුතු 'නියම' ලාභයයි.

නලින් සඳහන් කර ඇති පරිදි පොතක මිලෙන් 50%ක් ලබා ගන්නා පොත් ප්‍රකාශකයෙකුගේ මුද්‍රණ වියදම පොතේ මිලෙන් 40%ක් පමණ වේ. මෙය එපමණ  වියයුතු බව මගේද අදහසයි. මේ අනුව, රුපියල් 400කට මිල කෙරෙන පොතක විචල්‍ය පිරිවැය ඉවත් කළ විට ප්‍රකාශකයාට රුපියල් 40ක්, එනම් පොතේ මිලෙන් 10%ක්, ඉතිරි වේ. පොත් මුද්‍රණයේදී ප්‍රකාශකයා විශේෂ අවදානමක් නොගනී. බොහෝ විට පොත් මුද්‍රණයට පෙර ප්‍රකාශකයා අත්තිකාරම් මුදලක් ලබා ගනු ඇති බවත්, මුද්‍රිත පොත් බැහැර දීමට පෙර ඉතිරි මුදලද අය කර ගනු ඇති බවත් මගේ උපකල්පනයයි. එසේනම්, මේ රුපියල් 40 ප්‍රකාශකයාගේ ලාභයද?

මෙය ප්‍රකාශකයාගේ ගිණුම්කරණ ලාභය විය හැකිය. එහෙත්, මෙය ඔහුගේ හෝ ඇයගේ ආර්ථික ලාභයනම් නොවේ.

විචල්‍ය පිරිවැය හැරුණු විට ප්‍රකාශකයා දරන ස්ථිර පිරිවැය තිබේ. මුද්‍රණාලය පිහිටි ගොඩනැගිල්ලේ කුලිය, විදුලි බිල්, දුරකථන බිල් ආදිය ගෙවිය යුතුය. මුද්‍රණ යන්ත්‍ර ගැනීමේදී බැංකු ණය ලබාගෙන ඇත්නම් ඒ සඳහා පොලිය ගෙවිය යුතුය. මුද්‍රණ කාර්යයට කෙලින්ම සම්බන්ධ නොවන පිළිගැනීමේ නිලධාරිනියන් වැනි අයගේ වේතනද ඇතුළුව සියළු වේතනද ගෙවිය යුතුය. මේ සියළු වියදම් වලට අමතරව ඔහු හෝ ඇය වැය කරන තමන්ගේ ශ්‍රමයේ වටිනාකම සඳහාද කිසිවක් ඉතිරි නොවේනම් මේ බිස්නස් එක කිරීමෙන් වැඩක් නැත. විචල්‍ය පිරිවැය ඉවත් කළ විට ඉතිරිවන රුපියල් 40 ප්‍රමාණවත් වන්නේ යන්තමින් මේ වියදම් පියවා ගැනීමට පමණි. ඉතිරි වන යම් මුදලක් ඇත්නම් ඒ තමන්ගේ ශ්‍රමයේ වටිනාකමයි. මේ අනුව ගිණුම්කරණ ලාභය කෙසේ වෙතත් ප්‍රකාශකයා ආර්ථික ලාභයක් නොලබයි.

තරඟකාරී වෙළඳපොලක ව්‍යාපාරයක් කිරීමෙන් ආර්ථික ලාභයක් ලැබිය නොහැක. ව්‍යාපාරයෙන් අතට කිසිම මුදලක් නොලැබෙන බව එයින් අදහස් නොකෙරේ. මුදලක් ලැබේ. එහෙත් ඒ මුදල දීර්ඝකාලීනව තමන්ට වෙනත් තැනක වැඩකර ලබාගත හැකි වැටුපේත්, ආයෝජනය කර ඇති මුදල වෙනත් තැනක ආයෝජනය කර ලබා ගත හැකි පොලියේත්, ගොඩනැඟිල්ල තමාගේමනම් එය වෙනත් අයෙකුට කුලියට දීමෙන් ලබාගත හැකි කුලියේත් එකතුවට වඩා විශාල ලෙස වෙනස් විය නොහැක.

කෙසේ වුවද, කෙටිකාලීනව යම් කර්මාන්තයකින් මෙවැනි 'සුපිරි' ලාභයක් ලැබීමට බැරිකමක් නැත. මේ කර්මාන්තය රජයේ නියාමනයට යටත් නැත්නම් සහ වෙනත් කෙනෙකුට ඉගෙන ගත නොහැකි තරමට මෙහි තාක්ෂනය සංකීර්ණ නැත්නම් (සහ වෙනත් එවැනි කරුණු සමහරක් නිසා නොවේනම්) මේ  'සුපිරි' ලාභය දකින වෙනත් අය මේ කර්මාන්තයට ආකර්ශනය වනු ඇත. එවිට තරඟකාරීත්වය වැඩිවී ලාභය අඩුවනු ඇත. අවසානයේදී, මේ කර්මාන්තය අලුතෙන් පිවිසෙන්නෙකුට ආකර්ෂණීය නොවී යනු ඇත.

ඇතැම් කාල වල රැල්ලට සිදු වූ පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ, චීන අවන්හල් සහ කමියුනිකේෂන් ආයෝජනයන් ටික කලකින් නැවතී ගියේ මේ අනුවය.

ප්‍රකාශකයා සුපිරි ලාභයක් නොලබයි. එසේනම් ලේඛකයා?

ලංකාවේ සාමාන්‍යයෙන් ලේඛකයින් ලාභ නොලබන බව පොදු මතයයි. මෙය වැරදි අදහසක් නොවන බවට හොඳම නිදසුන බොහෝ සිංහල ලේඛකයින් වෘත්තීය ලේඛකයින් නොවීමයි.

රසිකගේ සිවු වසරක් මරදානේ පොත අලෙවිකර ඇත්තේ රුපියල් දෙසීයකටය. (මේ ගණන් නිවැරදි නොවූවත් එයින් මා කියන කරුණ වෙනස් වන්නේ නැත.) ඉහත සුත්‍රය අනුව පොතකින් රසිකට රුපියල් 20ක් ලැබේ. පොත් 1000ක් විකිණුවහොත් රුපියල් 20,000කි. මේ රසිකගේ ලාභයද?

මෙය රසික බදු ගෙවීමේදී පෙන්විය යුතු ඔහුගේ ගිණුම්කරණ ලාභය විය හැකිය. එහෙත්, මේ ඔහුගේ ආර්ථික ලාභය නොවේ.  ආර්ථික ලාභය ගණනය කිරීමට මේ ලාභයෙන් ඔහුගේ ආවස්ථික පිරිවැය අඩු කළ යුතුය. මේ පොත ලිවීම සඳහා ගත කළ කාලය වෙනත් වැඩකට යෙදවූවානම් ඔහුට උපයාගත හැකිව තිබුණු වැඩිම මුදල කීයද?

පොත් ලියා, පුත්තු හැදුවාට ගස් හිටවා නැති රසික මේ කාලය ඇපල් ගස් කිහිපයක් හිටවීමට යෙදවූවානම් ඔහුට නොමිලේ ශාරීරික ව්‍යායාම සමඟ ඇපල් විකුණා ගාණක් හොයා ගැනීමට හැකිවනු ඇත. මේ ගණන රුපියල් 20,000ට වැඩිදැයි මා දන්නේ නැත. මේ කාලය උපදේශන සේවා සැපයීමක් වැනි වෙනත් කටයුත්තකට යෙදවූවානම් ඔහුට ඉහත මුදලට වඩා මුදලක් උපයා ගැනීමට තිබිණි. මෙය රසිකට පමණක් නොව පොත් ලියා ඇති තිලකේ, කුරුටු වැනි වෙනත් අයටත් මේ ආවස්ථික පිරිවැය සහ එයින් වන පාඩුව සලකා වැඩේ අතහැර දමන මාතලන් වැනි අයටත් පොදුය. මේ අනුව, බොහෝ ලේඛකයින් පොත් ලියන්නේ අතින් කයිට් කරගෙනය. ඒ ඇයි?

ලේඛකයෙකු පොත් ලියන්නේ පොත විකිණීමෙන් ලැබෙන මුදල් ලාභය පමණක්ම බලාගෙනනම් ඔහු හෝ ඇය කළ යුත්තේ වැඩිම ඉල්ලුමක් ඇති වර්ගයක පොතක් ලිවීමයි. එසේ කරන ලේඛකයෝද සිටිති. උදාහරණයක් ලෙස 'මල්' පොත් වලට පසුගිය දශක කිහිපයේම හොඳ ඉල්ලුමක් තිබුණේය. මේ පොත් විකිණීමෙන්නම් ලේඛකයින් පාඩුවක් නොලබන්නට ඇත.

කෙසේ වුවද, තිලකේ හෝ රසික ලියා ඇත්තේ මල් පොත් නොවේ. ඒ ඇයි?

මෙතැනදී වෙන්නේ තරමක් සංකීර්ණ දෙයකි. තිලකේ සහ රසික වැනි අය එකවරම නිෂ්පාදකයෝද, පාරිභෝගිකයෝද වෙති. ඔවුහු පොත් විකිණීමෙන් කිසියම් මුදල් ලාභයක් බලාපොරොත්තු වෙති. එමෙන්ම, තමන් කැමති දෙයක් ලිවීමෙන් සහ එය වෙනත් අය කියවනු සහ අගය කරනු දැකීමෙන් ලබන සතුට තුලින් පාරිභෝගිකයෝද වෙති. මෙසේ තමාගේම නිෂ්පාදනයට වටිනාකමක් දෙමින් ඔවුහු එහි 'මිල' ගෙවති. මෙහිදී පොත් ලියා විකිණීමේ සමස්ත ක්‍රියාදාමය තුල ලබන මුල්‍ය පාඩුවට වඩා ඔවුන් පාරිභෝගිකයින් ලෙස ලබන තෘප්තිය ඉහළය. ඔවුන් දන්නා කියන අයට පාඩුපිට පොත් නොමිලේ බෙදන්නේත්, ඒ පොත් නොකියවා පැත්තකට විසි කර තිබෙනු දැක පසුතැවෙන්නේත් ඒ නිසාය. නොකියවන එකා සල්ලි එක්ක දුන්නත් නොකියවන බව කණගාටුවෙන් කියන්නේ ඒ නිසාය.


ඇත්තටම සල්ලි එක්ක පොත් දීමෙන් පොත් නොකියවන අය පොත් කියවීමට පෙළඹවීම බැරි දෙයක් නොවේ. හැබැයි ටිකක් වැඩිපුර දිය යුතුය. කිසියම් පොතක් විභාගයක් සඳහා නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් වූ විට එය මිලදී ගැනීම මෙන්ම කියවීමද විශාල ලෙස වැඩි වන්නේ ඒ නිසාය. මෙහිදී ලැබෙන මුදල විභාගය සමත් වූ පසු හොඳ රැකියාවක් ලැබීමෙන් ඉහළ යන අනාගත ආදායමයි. විභාග වලට පොත් නිර්දේශකර ගැනීම සඳහා අතයටින් මුදල් මාරු වීමද මෙයට සම්බන්ධ දෙයකි.


මෙසේ තමාගේ සතුට වෙනුවෙන් ලිවීම දුලභ දෙයක් නොවේ. බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ ජෝජ් මැක්ෆ්ලයි විද්‍යා ප්‍රබන්ධ ලියා ඒවා කිසිවෙකුට නොපෙන්වන්නේ ඔහු මෙහිදී පාරිභෝගිකයෙකු පමණක් වන නිසාය. ඔහුට නිෂ්පාදකයෙකුද විය හැකි බව කියාදෙන්නට ඔහුගේ අනාගත පුතු වන මාටිට කාලය හරහා පැමිණීමටම සිදුවන්නේ පාරිභෝගිකයෙකු ලෙස ඔහු ලබන සතුට ඉතා විශාල නිසාය. ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිධරයෙකු වන හඳගම පාඩුවට චිත්‍රපට හදන්නේ මේ නිසාය. බොහෝ දෙනා බ්ලොග් ලියන්න්නේත් මේ නිසාය.

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු මූලික උපාධියක් හෝ පශ්චාත් උපාධියක් හැදෑරීම වෙනුවෙන් කාලය සහ මුදල් යොදවන්නේ අනාගතයේදී ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් ආයෝජනයක් වශයෙනි. එහෙත්, පශ්චාත් උපාධි තුන හතරක් ඇති කෙනෙකු තවත් එකක් කිරීමෙන් එවැනි වාසියක් නොලැබේ. මෙහිදීද සිදුවන්නේ අධ්‍යාපනය ලැබීම පරිභෝජන භාණ්ඩයක් වීමයි.

අවසාන වශයෙන් සිටින්නේ පොතේ මිලෙන් 40%ක් ඩැහැගන්නා අතරමැදියාය. මේ අතරමැදියා සුපිරි ලාභයක් ලබනවාද?

අතරමැදියන්  'අයුතු' හෝ 'අසාධාරණ' ලාභයක් ලබන්නේය යන්න ජනප්‍රිය අදහසකි. මෙයට එක් හේතුවක් වන්නේ අතරමැදියෙකුගේ 'ලාභය' නිෂ්පාදකයෙකුගේ හෝ පාරිභෝගිකයෙකුගේ ලාභයට වඩා පාරදෘශ්‍ය වීමයි. අතරමැදියාගේ කාර්යය වන්නේම නිෂ්පාදකයකුගෙන් අඩුමිලට ලබා ගන්නා භාණ්ඩයක් වැඩිමිලට විකිණීම නිසා මේ දෙක අතර වෙනස පැහැදිලි වුවත් අතරමැදියෙකුගේ වියදම් ඒ තරමටම පැහැදිලි නැත.

පොත් වෙළඳාමේදී අතරමැදියා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මට ඇත්තේ දළ අදහසක් නිසා පහත ඇතැම් වියදම් අදාළ නැති විය හැකි වුවත් මා සිතන පරිදි ලේඛකයාට සහ ප්‍රකාශකයාට සාපේක්ෂව සාමාන්‍යයෙන් අතරමැදියෙකුගේ වියදම් සකස් වනු ඇත්තේ මෙසේය.


-අතරමැදියෙකු භාණ්ඩයක් මිලදී ගැනීමේදී මුදලක් ආයෝජනය කළ යුතුය. රුපියල් 200කට මිල කෙරෙන පොතක් වෙනුවෙන් මේ ආයෝජනය ප්‍රකාශකයාට ගෙවන මුදල රුපියල් 100ක් යැයි සිතමු. පොත විකිණුනොත් ලේඛකයාට රුපියල් 20ක් ගෙවා ඉතිරිය අතරමැදියාට ළඟ තබා ගත හැකිය. නොවිකිණුනොත්? එවිට අතරමැදියාට තමා අපේක්ෂා කළ ලාභය පමණක් නොව ආයෝජනය කළ මුදලද ආපසු නොලැබේ. සාපේක්ෂව, ප්‍රකාශකයාට සහ ලේඛකයාට සාමාන්‍යයෙන් මෙවැනි ආයෝජනය අහිමිවීමේ අවදානමක් නැත.

-භාණ්ඩය විකිණෙන තුරු මෙසේ ආයෝජනය කර ඇති මුදල වියදමකි. ඒ මුදල බැංකු ගිනුමක තබා ගැනීමෙන් ලැබෙන පොලිය අතරමැදියා නැති කර ගනී.

-භාණ්ඩයක් ගබඩා කර තබා ගැනීම වියදම් යන වැඩකි. නොවිකිණෙන පොත් වට්ටම් දී 'කීයකට හෝ' විකුණා දමන්නේ ඒ නිසාය.

-මෙයට අමතරව අතරමැදියා දරන ස්ථිර වියදම් බොහෝය. මෙය ප්‍රකාශකයාගේ වියදම් ගැන කතා කරද්දී විස්තර කළ දේවලට සමානය.


කෙසේ වුවද, මේ සියළු වියදම් පියවා ගැනීමට පොතක මිලෙන් 40%ක් අවශ්‍යද යන ප්‍රශ්නයට පිළිතුරක් මෙහි නොමැති බැවින් ඒ පිළිතුර සොයා ගත යුතු වන්නේ වෙනත් නිරීක්ෂණ තුලිනි.

පොත් වෙළඳාමේ අතරමැදියකු වීමට සුවිශේෂී හැකියාවක් අවශ්‍ය නොවේ. ආයෝජනය සඳහා අවශ්‍ය මුදල් තිබීම ප්‍රමාණවත්ය. එමෙන්ම, එවැනි මුදලක් ඇති අයෙකුට පොත්ම විකුණන්නට අවශ්‍යතාවක් නැත. ගෘහ විද්‍යුත් උපකරණ, නිමි ඇඳුම් වැනි වෙනත් දෙයක්ද විකිණීමට පුළුවන. පොත් වෙළඳාමෙන් සුපිරි ලාභයක් ලැබිය හැකිනම් බොහෝ දෙනා මේ ව්‍යාපාරයට අළුතින් එකතු විය යුතුය. එහෙත්, පොත් වෙළඳාමේ අතරමැදියන් අතර පසුගිය දශක කිහිපය තුළ බිහිවුණු එවැනි 'වීර චරිත' නැත.

පොත් වෙළඳාමෙන් පසුගිය කාලයේදී ව්‍යාපාරික දැවැන්තයින් බිහි වී නැතත්, එවැනිම වෙනත් අංශ වල අතරමැදියන් වූ ව්‍යාපාරික දැවැන්තයින් පසුගිය කාලයේ බිහිවී තිබේ. හොඳම උදාහරණය නිමි ඇඳුම් වෙළඳාමයි.

මැද පෙරදිග සුළු රැකියාවක් කර ඉතිරි කරගන්නා මුදලක් ආයෝජනය කර නුවරඑළිය පොළේ බඩු විකුණන මුබාරක්ට ප්‍රංශ මුළු වලින් එළියට පැමිණ සීමා අතික්‍රමණය කරන්නට පුළුවන. ගෙදර ඉස්තෝප්පුවෙන් එළියට බහින සුමනපාලට සහ ධර්මලතාට ගාලු කොටුවේ බැම්ම උඩින් පියඹා කොළොම්තොට කූඩු හදන්නට පුළුවන. වැල්ලවත්තේ පදික වේදිකා පියමං කර ඩුප්ලිකේෂන් පාර හරහා පැමිණෙන ප්‍රීතිට සහ නීලාට දකුණු ආසියාවේම ලොක්කෙකු වන්නට පුළුවන. මෝටර් රථයේ ඩිකියෙන් එළියට බහින ඔටාරාගේ අයියා ඒ වන විටත් දැවැන්තයෙකු වී සිටීම නිසා ඇගේ කතාව වීර කාව්‍යයක් නොවන්නේ නැත. තිලකවර්ධනලා සහ සුබියාන්ලා ඇතුළු මේ ගොඩට දැමිය හැකි වීරයෝ තවත් බොහෝ සිටිති.


මේ අය මෙසේ ඉහළට මතුවුණේ ඔවුන්ගේ ව්‍යාපාරික දක්ෂතාවය නිසායැයි යමෙකු කිවහොත් එය බොරුවක් නොවේ. ඔවුන් සියළු දෙනාටම 'සුපිරි ලාභ' ඇති තැන අනිත් අයට කලින් අල්ලා ගැනීමේ 'ඉව' තිබුණේය. මේ අය පොත් විකිණීමට නොසිතා ඇඳුම් වැඩේට බහින්නේ ඒ නිසාය. එමෙන්ම, තමන්ගේ පාරිභෝගිකයන් හඳුනාගැනීමේ හැකියාවද මේ අය සතු විය. ප්‍රීති, නීලමනී සහ සුජීව වැල්ලවත්තෙන් ඩුප්ලිකේෂන් පාරට එන විටත් තමන්ගේ පාරිභෝගිකයින්ට ෆිටෝන් කාමරයකින් නිසි ප්‍රයෝජනය පමණක් ගැනීමට ඇති සංයමය පිළිබඳව නිවැරදි තක්සේරුවක් ඔවුන්ට තිබුණේය. එහෙත්, මූලික කරුණනම් නිමි ඇඳුම් වෙළඳාමේ අතරමැදියෙකුට ලබා ගත හැකි  'සුපිරි ලාභ' තිබීමයි. මේ ක්ෂේත්‍රයේ සුපිරි ලාභ තවමත් පිරිහී නොමැති බව මගේ අදහසයි.

පොත් ක්ෂේත්‍රයේනම් මෙවැනි තත්ත්වයක් යාන්තමින්වත් පෙනෙන්නට නැත. ඒ පොත් වෙළඳාමෙන් අතරමැදියා සුපිරි ලාභයක් නොලබන බැවිනි. එසේ වුවද ඔවුන් පාඩුවක්ද නොවිඳ නිසි ලාභයක් ලබති. දිගුකාලීනව ව්‍යාපාරය අත් හැර නොයන්නේ ඒ නිසාය.

සිංහල කියවන්නන්ගේ ප්‍රමාණය විශාල නොවීමේ පාඩුව ප්‍රකාශකයා හෝ අතරමැදියා නොදරන බැවින් අවසාන වශයෙන් එය දරන්නට වෙන්නේ ලේඛකයින්ටය. කෙටිකාලීනව මේ වෙළඳපොළ පුළුල් වන බවක් පෙනෙන්නට නොමැති නිසා මුදල් ලාභයම සලකා 'විකිණෙන පොත්' ලිවීමට නොසිතන ලේඛකයින්ට තවත් කාලයකට මේ කටයුත්තට දායක වීමට සිදුවනු ඇත්තේ මුදල් ලාභ ගැන ලොකු බලාපොරොත්තුවකින් තොරව තමන්ගේම සතුට වෙනුවෙනි.

(මෙයට පෙර මා ලියූ සටහන කිසියම් තාක්ෂණික හේතුවක් නිසා සින්ඩි වල සහ රෝල් වල අප්ඩේට් වුණේ නැත.)

(Photo credit: archives.dailynews.lk)

Tuesday, September 8, 2015

මා ප්‍රාග්ධනය උපයාගත් හැටි...

සරල, නිහතමානී පුද්ගලයෙකු ලෙස හැඳින්විය හැකි මගේ පියාගේ මට වැඩිපුර ඇල්ලුවේ නැති එක් දෙයක් වූයේ වරින් වර දාන ලොකු ටෝක්ය. මෙවැනි සමහර ප්‍රකාශ ලොකු ටෝක් ලෙස තීරණය කර තිබීම ඇත්තටම මගේ අවබෝධයේ අඩුකමක් බව මට තේරුණේ බොහෝ කලකට පසුවය.

මා කුඩා කළ මෙසේ ඔහු නිතර නිතර දැමූ එක් ලොකු ටෝක් එකක් වූයේ මහා ගොඩක් නොවූ  සිය දෙමවුපියන්ගේ ඉඩකඩම් දේපොළ ඔහුගේ පවුලේ දරුවන් අටදෙනෙකු අතර බෙදන සුවිශේෂී අවස්ථාවේදී ඔහුට වඩා වැඩිමහළු සොයුරන් අසාධාරණ හා ආත්මාර්ථකාමී ඉල්ලීම් වෙනුවෙන් සටන් කරද්දී මගේ පියා වීරයෙකු මෙන් සිදුකළ "අයියණ්ඩිය, බිය නොවන්න!" මාදිලියේ ප්‍රකාශයයි. ඔහු නිතර නිතර කියූ පරිදි "දෙමවුපියන්ගේ දේපොළ සත පහක්වත් එපා!" කියමින් ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන් සමඟ වූ කිසියම් නොමනාපයක් නිසා නොවේ. ඔහු කිසිදා මේ තීරණයට හේතුව පැහැදිලි කළේ නැතත් සැබෑ හේතුව සිය දෙමවුපියන්ගෙන් මූල්‍ය ස්වාධීනත්වය ලබා ගැනීමට වූ අවශ්‍යතාව බව මගේ අදහසයි.

කෙසේ හෝ මේ කතාව නිතර ඇහෙද්දී, කාටවත් නොකිවුවත්, මාත් හිතාගත්තේ මගේ පියාගේ දේපොළ බෙදන දවසට මාද මෙවැනි ප්‍රකාශයක් කර වීරයෙකු වන බවයි. ඒත් පොඩි පරහකුත් තිබුණේය.

මගේ පියා දඬුවම් මාරු සහ එසේ නොවන සාමාන්‍ය ස්ථාන මාරු ලබමින් මා ඔහුත් සමඟ ගතකළ වසර දහඅට තුළ පදිංචිය වෙනස් කළ අවස්ථා දහතුනෙන් මට මතක නැති මුල් අවස්ථා තුන ඉවත් කළ විට ඉතිරි අවස්ථා වලදී වඩාත්ම සැලකිල්ලෙන් ප්‍රවාහනය කළ ලොකු තොම්සන් බිත්ති ඔරලෝසුව, පියාගේ දේපොළ එපා කිවුවත් ඔහුගේ පියාගෙන් ලබා ගෙන තිබුණු කැටයම් දැමූ පතරොම් තුවක්කුව වගේම යුනික් රේඩියෝව වැනි වටිනා වස්තු අමාරුවෙන් වුවත් අමතක කළ හැකි විය. එහෙත් ඔහුගේ පොත් රාක්කයේ ඇති පොත් වලින් ලොකු පොත් කිහිපයක්නම් නොගෙන ඉන්නට හිත හදා ගැනීම පහසු කටයුත්තක් වුනේ නැත.

මගේ පියා සතුව තිබුණු වටිනාම ද්‍රව්‍යමය දේපොළ වූයේ ඔහුගේ මේ ප්‍රකාශන එකතුවයි. මෙය පුළුල් විෂය පරාසයක පැතිරුණු පොත් එකතුවක් නොවූ අතර බොහෝ දුරට ඔහු විසින් උනන්දුවක් දැක්වූ විෂය ක්ෂේත්‍ර කිහිපයකට සීමා විය. මේ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අළුත් හෝ පැරණි පොතක් ගැන දැනගත් විට එය කෙසේ හෝ අයිති කරගන්නා තුරු ඔහුට ඉවසිල්ලක් තිබුණේ නැත.

පඩි දිනයේ දියර වර්ග රැගෙන නොආවත් පොත් කිහිපයක්නම් ඔහු නොවරදවා රැගෙන ආවේය. මෙයට අමතරව සෑම සතියකම ඉරිදා පත්තර කිහිපයක් සහ සතිපතා පත්තර කිහිපයක්ම මිල දී ගැනීමට ඔහු වැය කළ මුදල අපේ පවුලේ මුළු ආදායම සැලකූ විට විශාල මුදලකි. ඇතැම් පුවත්පත් වල මංගල කලාපයේ සිට සියළුම කලාප ඔහු සතුව තිබුණේය.

ටික ටික ලොකු වෙන විට පොඩි කාලේ ඇති පොඩි තණ්හාවල් ලොකු තණ්හාවල් බවට පත් වේ. මේ ධර්මතාවය අනුව මට ලොකු වී මගේ පියාට වඩා ලොකු පෝසතෙක් වීමටත් අවශ්‍ය විය. ඒ සඳහා ඔහු සතු පොත් ගොඩ පරදවන ලොකු පොත් ගොඩක් අවශ්‍ය වේ. ඒ පොත් තියන්නට ලොකු පොත් රාක්කයක්ද අවශ්‍ය වේ. එවිට මටත් පොර සේ ඔහුගේ දේපොළ කිසිවක් අවශ්‍ය නැති බව කියන්නට පුළුවන. මේ වැඩේ කළ යුත්තේ පියාගේ උදවු නොලබමිනි.

රොබට් කියෝසාකි කියා ඇති විදිහට ආයෝජනය පටන් ගත යුත්තේ හැකි තරම් කුඩා කාලයේදීය. පොඩි පරහකට තියෙන්නේ ආයෝජනය කිරීමට මුදල් අවශ්‍ය වීමයි. වයස අවුරුදු එකොළහක් වෙන තුරු එවැනි ස්ථිර ආදායම් මාර්ගයක් මට තිබුණේ නැත. කළ හැකි වූ එකම දෙය නිවසට එන නෑදෑයෙකු "ටොපී කෑමට" අතේ මිට මොළවන මුදල් එකතු කර පොතක් මිල දී ගැනීමයි.

එසේ වුවත්, මගේ වයස අවුරුදු නවයකට ආසන්න වෙද්දී සිදුවූ පදිංචිය වෙනස් වීමක් සමඟ අර්ධ කාලීන රැකියා කර කිසියම් මුදලක් සොයා ගැනීම සඳහා අවස්ථා කිහිපයක් උදාවිය. මෙවැනි එක් රැකියාවක් වූයේ පොල්කටු ගණන් කිරීමයි. ඒ දිනවල අපි සිටි නාගරික ප්‍රදේශයක පාරක් අයිනේ පිහිටි නිවසට නිවෙස් දෙකක් එහායින් සිල්ලර කඩයක් තිබුණේය. අපේ අසල්වාසීන් සහ පවුලේ හිතවතුන් වූ මේ අය පොල්කටු ව්‍යාපාරයක්ද කළේය. ගෙවල් වලින් පොල්කටු මිල දී ගැනේ. පිරිමි පොල්කට්ටක් සතයකි. ගෑණු පොල්කට්ටක් සත බාගයකි. පිරිමි පොල්කටු රබර් වතු වලටත් ගෑණු පොල්කටු අඟුරු සෑදීම සඳහා ලංගම ඩිපෝව ඇතුළු කම්මල් වැඩ කරන තැන් වලට විකිණේ. ඔවුන්ට මගේ සේවය අවශ්‍ය වූයේ ලොකු ඕඩරයක් පැමිණි විට එය නිසි පරිදි පිළියෙළ කිරීමටය. මා පරීක්ෂාවෙන් සිටින විට ගණන් නොවරදින බව ඔවුන්ගේ විශ්වාසය විය.

පොල්කට්ටෙන් පටන් ගත් වැඩේ ටික දවසකින් කඩේ වැඩ කිරීම දක්වා ව්‍යාප්ත විය. එහෙත් මට කරන්නට තිබුණේ සීනි කිරීම වැනි සරල කටයුත්තක් නොවේ. සීනි කිරන්නට ඇති පදං කට්ටිය කඩේ සිටියේය. කර ගන්නට අමාරුව තිබුණු කාරිය ගාණ හදා ගැනීමය. කඩය කළ මව සහ සොයුරු සොයුරියෝ කිසිවෙකුට මේ වැඩේ සීනි කිරන තරමට පහසු වුනේ නැත. ගණක යන්ත්‍ර නොතිබුණු මේ යුගයේ මගේ රාජකාරිය වුණේ ගණක යන්ත්‍රයක කාර්යයයි. බඩු ටික කිරා අවසන් වන විට මා හිතින් ගාණ හදා අවසානය.

මේ ගණන් කවදාවත් වැරදුණේ නැති බැවින් මේ රැකියාවට තිබුණු ඉල්ලුම අඩු නොවුණත් මේ සඳහා මේ අසල්වැසියන්ට අපේ ගෙදරින් අවසර ලබා ගත හැකි වුණේ අතරින් පතර දවසක නිසා මට ලබා ගත හැකි වූයේ සීමිත ආදායමක් පමණි. මේ වැඩෙන් සහ වෙනත් මෙවැනි 'රැකියා' කිහිපයකින් මට යම් මුදලක් උපයාගත හැකි වූ අතර මෙමඟින් ඉඳහිට පොතක් මිලදී ගෙන හෙමින් හෙමින් වුවත් මගේ ඉලක්කය කරා ගමන ඇරඹිය හැකි විය.

ඔය අතර එක්වර වැඩි මුදලක් උපයාගත හැකි වන අවස්ථාද පැමිණුනේය. අවුරුදු කාලයේ වැඩිහිටියන්ට බුලත් දී වැඳීම හොඳ ආදායම් මාර්ගයකි. බුලත්අත ආපහු ලැබෙන්නේ රුපියලක් හෝ දෙකක් සමඟය. අපේ ගෙදරට අමුත්තන්ගෙන් අඩුවක් නොතිබුණු නිසා මේ වැඩේ කිසිම අමාරුවක් තිබුණේ නැත. අවුරුදු කාලයෙන් පසුව වුවද ඉඳහිට මෙවැනි අවස්ථා හිමිවේ. පාසැලට හෝ දහම් පාසැලට ආධාර පිණිස ලැබෙන 'කොටු කොළ' මහඟු ආදායම් මාර්ගයකි. ගෙදරට එන සමහර අමුත්තන්ට මගෙන් මේ කොටුකොළය සමඟ මුලින්ම පෑනක් වෙනුවට ලැබෙන්නේ අල්පෙනිත්තකි. සත පනහක් දී කොටුවක් හිල් කළ හැකිය. සතපනහ ගෙන කොටු කොළය අනෙක් පස හරවා නියපොත්ත ඇතිල්ලූ විට හිල නොපෙනී යයි.

මගේ සම්පත් දායකයින්ට පැන්සලක් ලැබෙන්නේ මෙසේ කොටුවකට හිල් දෙක තුනක් වැදුණු පසුවය. කොටු කොළයේ ඉටිපන්දමක් අතුල්ලා ඇති නිසා කතිරය වැදෙන්නේ යන්තමිනි. එය නියපොත්තෙන් සූරාදැමීම අපහසු නැත. අපේ ගෙදරට අමුත්තන්ගෙන් අඩුවක් නොවූ නිසා මෙවැනි කොටුකොළයකින් සෑහෙන ආදායමක් උපයා ගත හැකිය.

පොල්කටු ව්‍යාපාරය තිබුණු ප්‍රදේශයේද අප සිටියේ වසර දෙකකට අඩු කාලයකි. යූඇන්පී කාරයෙකු වීම නිසා සමඟි පෙරමුණු රජය කාලයේ ළඟ ළඟ ස්ථාන මාරු ලැබූ මගේ පියාගේ දේශ සංචරණය ආණ්ඩුව මාරු වූ පසු වෙනස් වූයේ නැත. ආණ්ඩු මාරුවෙන් පසු මාරුවීම් ලැබුණේ ශ්‍රී ලංකා කාරයෙකු වී සිටීම නිසාය.

ඇත්තටම ඔහු මේ කාලයේදී මේ මොන කාරයෙක්වත් වී නොසිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරඹුණු කාලයේදී සිය යූඑන්පී ඥාති සමූහයෙන් පිටමං වී සක්‍රිය ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයෙකුව සිට තිබුණේ වුවද රජයේ නිලධාරියෙකු වූ පසු ඔහු ක්‍රියා කළේ මනුතාපයේ ජන්තුටත් වඩා අකුරටම නීතිය ක්‍රියාත්මක කරන්නෙකු ලෙසිනි. ප්‍රදේශයේ ස්වභාවික ආපදාවකට ලක්වූ පිරිසකට බෙදීම සඳහා බේකරියකින් උණු උණුවේ බෑ පාන් රාත්තල් පන්සීයක් නිවසේ ඉදිරිපස කොටසේ ගොඩ ගැහෙද්දී ඒ කටයුත්ත වෙනුවෙන්ම මුළුතැන්ගෙයි පිසෙන ලොකු පරිප්පු හොද්ද හැඳිගාමින් සිටි සිය ගැබ්බර බිරිඳට උණු උණුවේ පාන් කෑල්ලක් කන්නට ඇති වුණු දොළදුක සංසිඳුවා ගැනීමට ඔහුගෙන් අවසරයක් නොලැබුණු බව ඇය නිතර නිතර මතක් කරයි.

ඔහුව මුලින්ම යූඑන්පී කාරයෙකු ලෙස නම් කර රටවටේ යවා තිබුණේ හැත්තෑ එකේදී චේගුවේරා ලේබලය ගසා යූඑන්පී තරුණයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ මන්ත්‍රී වරයෙකු වූ, ප්‍රගතිශීලී දේශපාලනඥයෙකු කළ ඉල්ලීම නොසලකා හැරීම නිසාය. මගේ පියාගේ ඥාතියෙකුද වූ මේ ප්‍රසිද්ධ දේශපාලනඥයා ආණ්ඩුව මාරුවන තුරුම මේ වාඩුව අත ඇරියේ නැත.

ධුරාවලිය අනුව වැඩි වැදගත් කමක් නැති තනතුරක් දැරු මගේ පියා අවශ්‍ය අවස්ථා වලදී හැමවිටම තමාගේ රැකියාවේ ධාරිතාවට වඩා විශාල පරාසයක වැඩ කළ අයෙකි. "කැපවීමෙන් අකුරටම වැඩ කරන අවංක නිලධාරියෙකු" ලෙස ඉහළ නිලධාරීන්ගේ ඇගයීමට ලක්ව සිටීම නිසා මගේ පියාට දුෂ්කර පළාතකට මාරුවක් ලබා වැඩි කල් සිටීමට ඉඩ ලැබුණේද නැත. ඔහුගේ "වැඩ වලින්" ලකුණු දමාගෙන රැකියා බේරාගත් සහ උසස්වීම් ලබාගත් බොහෝ ඉහළ නිලධාරීන් සිටි නිසා ඉතා ඉක්මණින් ඔහුට නැවත කැඳවීමක් ලැබේ. එහෙත්, පෙර කී දේශපාලඥයා මෙය දැනගත් වහාම ඔහුට නැවතත් දුර බැහැරක යාමේ අවස්ථාව උදාවේ. සමඟි පෙරමුණු රජය පෙරළෙන තුරුම මෙය සිදුවිය.

කෙසේ වුවද හැත්තෑ හතේ පෙරළියෙන් අනතුරුව ශ්‍රී ලංකා කාරයින්ගෙන් පලිගැනීම වැලැක්වූ නිසා ඔහුට ශ්‍රී ලංකා කාරයින්ට ලැබෙන පලිගැනීම් මාරුද හිමි වුණේය. තමන්ගේ සේවා කොන්ත්‍රාත්තුව අනුව "ලංකාවේ හතර දිග් බාගේ ඕනෑම කියන තැනකට" යාමට සූදානමින් සිටි ඔහු හැමවිටම කළේ ඔහු සිතූ පරිදි නිවැරදි දෙයයි. කවර දුෂ්කරතා තිබුණත් ඔහු "මාරුව හදා ගැනීම" සඳහා දේශපාලඥයින් හෝ ඉහළ නිලධාරීන් පසු පස ගියේ නැත.

කෙසේ වුවද, හැත්තෑ හතේදී යූඑන්පියෙන් ඉල්ලා රැල්ලට ගොඩගිය පෙර කී වාමාංශික දේශපාලනඥයාගේ හිටපු පුද්ගලික ලේකම් වරයා මගේ පියාව හොඳින් දැන සිටි කෙනෙකි. මගේ පියා එවකට රජරට-උතුරු පළාත් මායිමේ දුෂ්කර ප්‍රදේශයක අඹු සුතනුවන්ගෙන් දුරස්ථව "දුක් විඳින" බව කෙසේ හෝ දැනගත් ඔහු මගේ පියාව තමාගේ ප්‍රදේශයට කැඳවා ගත්තේය. මේ දේශපාලනඥයා වෙනත් වැරදි කර තිබුණත් මගේ පියාගෙන්නම් කිසිදු ප්‍රතිඋපකාරයක් ඉල්ලා නැත. බොහෝ දෙනා යෝජනා කළත්, හිතා ගත හැකි පරිදිම, මගේ පියා මේ දේශපාලනඥයාට ස්තුති කරන්නට ගියේත් නැත.

අකුරටම වැඩකළ මගේ පියා ඔහුගේ මේ ප්‍රතිපත්තියෙන් බැහැරව "හොර වැඩ" කළ වෙලාවල්ද තිබුණේය. මගේ වයස යාන්තම් එකොළහක් වෙද්දී වයස දහසයක් සේ "හොරට කොළ පුරවා" අවට තිබූ පුස්තකාල කිහිපයකම සාමාජිකත්වය රැගෙන දීම මෙවැනි හොර වැඩකි. මේ හොරකම පේනවාටත් වඩා ලොකු හොරකමක් වන්නේ ඒ වන විට මේ පුස්තකාල තිබුණේ ඔහුගේම අධීක්ෂණය යටතේ බැවිනි. කෙසේ හෝ, මේ නිසා සතියකට පොත් දහයක් දොළහක් කියවීමේ අවස්ථාව මට ලැබුණේය. ඇත්තටම මේ කාලයේදී මා කළ ප්‍රධානම කටයුත්ත පොත් කියවීමයි.

සමහර පොත් කියවූ පසු ඒවා අයිති කර ගැනීමේ ආශාවක්ද ඇතිවේ. ආතර් සී ක්ලාක්ගේ පොත් වල පරිවර්තන, කොවූර්ගේ පොත් සහ සරච්චන්ද්‍රගේ සහ නවගත්තේගමගේ නවකතා මෙසේ මුල් කාලයේදී මට "කෙසේ හෝ" අයිති කර ගැනීමට අවශ්‍ය වූ පොත් අතර තිබුණේය. මේ අනුව, මේ කාලයේදී මගේ පොත් එකතුව ටික ටික ලොකු විය.

පොත් ගොඩක් තිබුණු පලියටම හෝ පොත් ගොඩක් කියවා තිබුණු පලියටම කෙනෙක් උගතෙක්, බුද්ධිමතෙක් හෝ "පොරක්" වන්නේ නැත. ඒ සඳහා කාටත් පේන්නට මේ පොත් තැබිය හැකි ලොකු පොත් රාක්කයක්ද අවශ්‍යය.

අපේ මීළඟ වාසස්ථානය පිහිටියේ පාසැලක් ඉදිරිපිටය. මේ කාලයේදී මේ පාසැලේ මහපොළ ප්‍රදර්ශනයක් පැවැත්වුනේය. මෙය ආදායම් උපයාගැනීම සඳහා තවත් අනගි අවස්ථාවක් විය. අපේ නිවසේ මිදුලේ වාහන නැවැත්වීමට ඉඩදීමෙන් යම් මුදලක් සොයා ගත හැකි විය. එහෙත් මේ මුදල අපේ නිවසේ නැවතී පාසැල් ගිය මගේ පියාගේ මිතුරෙකුගේ දරුවකු වූ "පන්ති සගයෙකු" සහ මගේ බාල සොයුරා සමඟ බෙදාගත යුතුවිය.

ප්‍රදර්ශනය සඳහා පාර හරහට ලොකු තොරණක් ඉදි වුණේය. එහි ජේආර්ගේ, ප්‍රේමදාසගේ සහ ඇතුලත්මුදලිගේ රූප තිබුණේය. ප්‍රදර්ශනය අවසානයේදී මේ තොරණ ඉවත් කරන විට එය සෑදීමට යොදාගත් ඇල්බීසියා ලෑලි ප්‍රදර්ශනය සඳහා ගෙනැවිත් තිබුණු අසල වූ ලොකු කුණු බක්කියකට දැමීමට සූදානම් වනු දුටු මා වහාම ඉදිරිපත් වී මේ ලෑලි ඉල්ලා සිටියෙමි. ලොකු පොත් රාක්කයක් සාදාගැනීමට මේ ලෑලි ප්‍රමාණවත් විය.

යකඩ ඇණ සහ ලැකර් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනය මා සතුව ඒ වන විටත් තිබුණේය. යාබද නිවසින් කියතක් ඉල්ලාගත් මා ඇල්බීසියා ලෑලි වල පැන්සලකින් කැපුම් ලකුණු කර ඒවා නිසි පරිදි කපා ගැනීමට හැදුවත් මේ කාර්යය හිතූ තරම් පහසු වූයේ නැත. කෙසේ වුවද, කිසියම් කාර්යයකට මගේ පියා හමුවීමට පැමිණ ඔහු එනතුරු බලා සිටි වඩු වැඩ දත් වැඩිහිටියෙකුගේ උදවුව ලැබුණු නිසා වැඩි අපහසුවකින් තොරව මගේ පියාගේ පොත් රාක්කය තරම්ම විශාල තට්ටු පහක ලොකු පොත් රාක්කයක අයිතිකරුවා වීමට මට හැකිවිය.

මීළඟ ප්‍රශ්නය මතුවූයේ රාක්කයේ පොත් ඇහිරීමෙන් පසුවය. මා ඒ වන විට එක් රැස් කරගෙන සිටි මහා වස්තු සම්භාරයම මේ විශාල රාක්කයේ තට්ටුවකින් අඩකට වඩා පිරවීමට ප්‍රමාණවත් නොවීය.

එක් එක් පුද්ගලයා ජීවිතයේ එක් එක් කාලයේදී "පීක්" වන බව කොහේ හෝ ලියවී තිබුණේය. මතක හැටියටනම් දැනට විවෘතව නොපවතින චානුක වත්තේගමගේ සිහි සටහන් බ්ලොගයේ විය යුතුය. මේ කාලය සාමාන්‍ය පෙළ, උසස් පෙළ, පහේ ශිෂ්‍යත්වය හෝ වෙනත් අවස්ථාවක් විය හැකිය. මා සම්බන්ධව මෙය ඇතැම් විටෙක සිළුමිණ වැනි "ලොකු පත්තර" කියවීම ඇරඹු වයස තුනක පමණ කාලය හෝ පහේ ශිෂ්‍යත්වය ලියූ වයස දහයේ කාලය විය යුතුය.

ශිෂ්‍යත්වයෙන් ලබා ගත හැකි මුළු ලකුණු ගණනට ඉතා කිට්ටු ගණනක් ගෙන දිවයිනේ ඕනෑම පාසැලකට පහසුවෙන් ඇතුළත් වීමේ අවස්ථාව ලබා ගත්තත් කොළඹ බෝඩිමකට වැයවෙන අමතර පිරිවැය දැරීමේ හැකියාවක් මගේ පියාට නොවූ නිසාත්, මුදල් ආධාරයක් ලබා ගැනීමට නොහැකි තරමට ඔහුගේ ආදායම ලොකු වැඩි වූ නිසාත් ශිෂ්‍යත්වය සමත් වීමට මා දැරූ (ඇත්තටම මහ ලොකුවට නොදැරූ) උත්සාහය වතුරේ ගියේ නැත. මගේ වයස අවුරුදු එකොළහක් වන විට, මා හය වන ශ්‍රේණියට ඇතුළත් වන විට, පුද්ගලික උපකාරක සේවා ලබා දීම සඳහා ලැබුණු ඉල්ලුම ඉන්පසු අඩු වුණේම නැත.

මේ අනුව පසු කාලයේදී ස්වේච්ඡා, අර්ධ කාලීන මෙන්ම ස්ථිර හා පූර්ණ කාලීන පදනමින් මා කලින් කලට කළ මගේ මුල්ම "ස්ථිර" රැකියාවට පදනම වැටුණේය. මෙයින් ලැබුණු ආදායම ගෙවත්තේ ලිඳ අසල ලොකු කංකුන් පාත්තියක් දමා කන්කුන් මිටි විකිණීමෙන් හෝ බුලත් අතක් සමඟ තුටුපඬුරක් ගෙන මගේ පියාගෙන් අකුරු කියවා ගැනීමට ළමුන් ගෙන එන පාරිභෝගිකයින්ගෙන් කොටසක් "කඩා ගැනීමෙන්" ලැබුණු ආදායම මෙන් නොව, මාස්පතා ලැබුණු ස්ථිර ආදායමකි.

දෙමවුපියන්ගේ උපකාරයකින් තොරව වෙනත් පුද්ගලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහාද කිසියම් මුදලක් වැය කළත්, මේ මුදල් මා ප්‍රධාන වශයෙන්ම වැය කළේ පොත් ගැනීම සඳහාය. එහෙත්, රාක්කයනම් පිරෙන පාටක්වත් පේන්නට තිබුණේ නැත.

රාක්කය පුරවා ගැනීම සඳහා තරමක් පහසු ක්‍රමයක් වූයේ ලොකු කැමැත්තක් නැතත් නොමිලේ හෝ අඩු මිලට ලැබෙන පොත් හෝ ප්‍රකාශන ලබා ගැනීමයි. නොමිලේ රාක්කය පුරවා ගැනීමට ප්‍රධාන මාර්ග දෙකක් තිබුණේය.

පළමුවැන්න, නොමිලේ ලැබෙන සෝවියට් දේශය සඟරාවන්ය. මට වඩා වසර ගණනක් වැඩිමල් දුරින් ඥාතියෙකු වූ තරුණයෙකු ගෙන්වා ගත් මේ සඟරාවක අවසාන පිටුවේ ඇති ෆෝරමයක් පුරවා යැවූ විට මාස දොළහක් තුල මේ සඟරාවේ කලාප දොළහක් නොමිලේ ලැබුණේය. මෙය දිගටම ලබා ගැනීම සඳහා කළ යුතු වූයේ වසරකට වරක් මෙසේ ෆෝරමයක් පුරවා යැවීම පමණි.

අනෙක් මාර්ගය වූයේ නොමිලේ ලැබෙන බයිබල් කොටස් ඇතුළු ක්‍රිස්තියානි ප්‍රකාශන ලබා ගැනීමයි. රසික කළාක් මෙන් මා කෙතරම් අකැමැති පොතක වුවද පිට කවරය ඉරීමට තබා පාඩම් පොතක ඉරක් ඇඳීමට තරම්වත් ධෛර්යයක් නැති මට මේ ප්‍රකාශන වල අන්තර්ගතය ප්‍රශ්නයක් වුනේ නැත.

පොත් මිලදී ගැනීමේදී මා කැමති පොත් බොහෝ තිබුණත් අතේ වූ සීමිත මුදලට වැඩිම පොත් ගණනක් ගැනීමටනම් මිලදී ගත යුතු වූයේ ලාබෙට තිබුණු සෝවියට් පොත්ය. වෙනත් එවැනි ප්‍රමාණයේම පොතක මිලට වඩා බාගයක හෝ තුනෙන් එකක මිලට කියවන්නට ආසා හිතෙන සෝවියට් පොතක් මිල දී ගත හැකි විය. ප්‍රගති ප්‍රකාශක මන්දිරයේ පොත් සමඟ මහජන ප්‍රකාශකයින් ප්‍රදර්ශන තබමින් රට වටා යද්දී මා උපයාගන්නා මුදල් ඔවුන්ට දෙමින් මම මගේ පොත් රාක්කය ලස්සන කර ගත්තෙමි.

සෝවියට් පොත් අතරත් කතා පොත් වලට වඩා විශාල ලෙසින් මිල අඩු, ඉතාම සුළු මුදලකට අලෙවි කළ පොත් කිහිපයක්ද තිබුණේය. මාක්ස්, එංගල්ස්, සහ ලෙනින් පොත් ත්‍රිත්වය විකිණුනේ එකක් රුපියල බැගිනි. ඒ වන විට වෙනත් සෝවියට් පොතක් වුවද අඩුම වශයෙන් තුනයි පනහක්වත් විය. කැමති පොතක් මිලදී ගැනීමටනම් රුපියල් පහක්වත් වැය කළ විය යුතුය. සෝවියට් දේශයේ පස් අවුරුදු සැලසුම් ගැන පොතක්ද මෙසේ අඩු මිලට විකුනුණේය. මෙසේ වයස අවුරුදු එකොළහක කාලයේදී රුපියලක් ගෙවා මා ලාබෙට මිලදී ගත් එක් පොතක් 'ප්‍රාග්ධනය යනු කුමක්ද?' නම් වූවකි. මෙය ප්‍රාග්ධනය පොතේ සංක්ෂිප්ත අනුවාදයක් හෝ එක් වෙළුමක් විය යුතුය.


විශාල ආශාවක් නොතිබුණත් මෙසේ අමාරුවෙන් උපයාගත් මුදල් වැය කර මිලදීගත් මේ පොත් මා අමාරුවෙන් හෝ කියවා දැම්මෙමි. එහෙත්, ප්‍රාග්ධනය පොතනම් කියවන්නට ගත් නමුත් ඒ වයසේදී කියවන්නට කිසිම ආසාවක් ඇතිවුණේ නැත. ලාබෙට ලැබුණු නිසා මගේ පොත් රාක්කය ලස්සන කරන්නට මිල දී ගත් මේ පොත මා තවමත් සම්පූර්ණයෙන් කියවා අවසන් කර කියවා නැත.

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Sunday, September 6, 2015

මයිකල් ජැක්සන් සහ මැයි විරුවෝ



අද (සඳුදා) උතුරු ඇමරිකානු මහාද්වීපය තුළ කම්කරු දිනය සැමරේ. ආරම්භක අභිප්‍රායයන් කවරෙක් වුවද, මේ වන විටනම්, ග්‍රීෂ්ම සෘතුවේ අවසාන දීර්ඝ සති අන්තය වන කම්කරු දිනයේදී බොහෝ දෙනා මේ නිවාඩුව ප්‍රයෝජනයට ගන්නේ කාලගුණය වෙනස් වීමට පෙර එළිමහනේ විනෝද වීම සඳහාය. බොහෝ සුපිරි වෙළඳසැල් වල කම්කරු දිනය වෙනුවෙන් අඩු මිලට බඩු විකිණීමද සාමාන්‍ය දෙයකි.

ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව හැරුණු විට ලංකාව ඇතුළු ලෝකයේ අනෙකුත් සෑම රටක්ම පාහේ කම්කරු දිනය සමරන්නේ ජාත්‍යන්තර කම්කරු දිනයද වන මැයි පළවෙනිදාටය. මෙහි විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස මැයි පළවෙනිදා යොදාගැනීමට පාදක වූ සිදු වීම සිදුවුණේ ඇමරිකාවේදී වීමයි.

1884 දී රැස්වුණු ඇමරිකාවේ සහ කැනඩාවේ කම්කරු සංගම් සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ සමුළුවකදී 1886 මැයි පළමුවෙනිදා සිට පැය අටේ වැඩ දිනය සම්මතයක් විය යුතුයයි සම්මුතියකට පැමිණි අතර මේ දිනය ලං වෙද්දී මේ ඉල්ලීම ලබාගනු පිණිස මහා වැඩ වර්ජනයක්, විරෝධතා රැළි සහ පෙළපාලි ඇතුළු උද්ඝෝෂණ ව්‍යාපාරයක් කැඳවනු ලැබිණි. ඇමරිකාවේ බොහෝ නගර වල පැවති මේ විරෝධතා ව්‍යාපාර වලින් විශාලම එක වූයේ චිකාගෝහි පැවති විරෝධතාවයි. මේ සඳහා සහභාගී වූ පිරිස 90,000 ඉක්මවීයැයි ඇස්තමේන්තු කර ඇත.

විරෝධතා ව්‍යාපාරය දින කිහිපයක් දිග්ගැස්සෙද්දී මැයි 3 වන දින එය මැඩ පැවැත්වීම සඳහා වූ පොලිස් මැදිහත්වීම කෙළවර වූයේ පොලිස් වෙඩි පහරින් විරෝධතාවට එක්වූ මැක්කෝර්මික් සමාගමේ සේවකයින් දෙදෙනෙකු (විකිපීඩියා අනුව, වෙනත් ඇතැම් මූලාශ්‍ර අනුව සිවු දෙනෙකු හෝ හය දෙනෙකු විය හැක.) මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබීමෙනි.

දැනටත් බොහෝ විට සිදුවන පරිදිම, මේ මරණ වෙන්දේසි කරමින්, පසුදින සැලකිය යුතු පිරිසකගේ සහභාගිත්වයෙන් ඉහත වෙඩි තැබීම සිදුවූ තැනට ආසන්නව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කෙරිණි. සාමකාමීව පැවැත්වුණු මේ රැස්වීම නවත්වන ලෙස පොලීසියෙන් විධාන කෙරුණද ඒ වන විට විරෝධතාකරුවන් අමතමින් සිටි කථිකයා එයට එකඟ වූයේ නැත. මෙහිදී සිදුවූ බහින්බස් වීම අතරතුර හඳුනා නොගත් විරෝධතාකරුවෙකු පොලීසිය දෙසට බෝම්බයක් දමා ගැසීය. මෙයින් එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් හය දෙනෙකු මරණීය තුවාල ලැබීය. මෙහිදී පොලීසිය විසින් පෙරලා වෙඩි තැබීමේදී තවත් බොහෝ මරණ සහ තුවාල සිදුවිය. (මුලින්ම සිදුවූයේ පොලිස් වෙඩි තැබීම බවද එක් මතයකි.)

මේ සිද්ධිය සම්බන්ධව විරෝධතාව සංවිධානය කළ කම්කරු නායකයින් ඇතුළු අට දෙනෙකුට චෝදනා ඉදිරිපත් විය. ඔවුන්ගෙන් හත් දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර එක් අයෙකු නඩු විභාගය ඇරඹෙන දින ස්වේච්ඡාවෙන් භාර විය. මේ විවාද සම්පන්න නඩු විභාගයේදී මේ කිසිවෙකුට බෝම්බය දමා ගැසීම පිළිබඳව චෝදනා ඉදිරිපත් නොවූ අතර ඉදිරිපත් කළ චෝදනාව වූයේ මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවට අනුබල දෙමින් කුමන්ත්‍රණයක් කිරීමයි. මේ සම්බන්ධ මූලාශ්‍ර අන්තර්ජාලයේ ඇති නිසාත්, ඒවායේ අපැහැදිලි හා විවාද සම්පන්න තැන් බොහෝ ඇති නිසාත් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට මා කාලය මිඩංගු කරන්නේ නැත.

කුමන්ත්‍රණය ඔප්පු කිරීම සඳහා මුද්‍රණාලයක් වටලා සොයාගත් ප්‍රචණ්ඩකාරීත්වය වපුරන පෝස්ටර්, බෝම්බ සෑදීමට යොදාගන්නා උපකරණ ආදිය උපයෝගී කර ගැනුණු අතර තවත් සැකකරුවෝ කිහිප දෙනෙකු රජයේ සාක්ෂිකරුවෝ වූහ.ඔවුන්ට චෝදනා ඉදිරිපත් නොකෙරිණි. අපක්ෂපාතීත්වය පිළිබඳව බොහෝ විවේචන එල්ල වී ඇති, මේ සැකකරුවන්ට එරෙහිව පැවති නඩු විභාගයේදී මේ අට දෙනාගෙන් හත් දෙනෙකුටම මරණ දඬුවම හිමිවිය. එයින් දෙදෙනෙකුගේ දඬුවම අභියාචනාධිකරණයේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා වෙනස් කෙරුණේය.

මරණ දඬුවම නියම වූ පස් දෙනාගෙන් එක් අයෙකු දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර දින සවස් වරුවේ සියදිවි නසා ගත්තේය. අනෙක් සිවුදෙනාව 1887 නොවැම්බර් 11 වැනි දින එල්ලා මරා දමන ලදී. ඔවුන් විප්ලවීය ගීත ගයමින් පෝරකයට ගිය බව පැවසේ.

මෙසේ පැය අටේ වැඩමුරයක් වෙනුවෙන් ජීවිතය කැපකළ මේ පස් දෙනාගේ සිරුරු විරෝධතාව සිදුවූ ස්ථානයට ආසන්නව චිකාගෝහි ෆොරස්ට් පාර්ක් ප්‍රදේශයේ ඩෙස්ප්ලේන්ස් වීදියේ පිහිටි මේ වනවිට ෆොරස්ට් හෝම් සුසාන භූමියේ කොටසක් වන, එවකට ජර්මන් වෝල්ඩ්හයිම් සුසාන භූමියේ තැන්පත් කෙරිණි. (මේ බොහෝ දෙනෙකු ජර්මන් සම්භවයක් ඇති අයයි.) මොවුන් ඉතා ඉක්මණින්ම ඇමරිකාවේ මෙන්ම ලෝකය පුරා කම්කරුවන් ඇතුළු වැඩකරන ජනතාවගේ වීරයන් බවට පත් වූහ. ඔවුන්ගේ සිරුරු මිහිදන් කෙරුණු තැන විරු ස්මාරකයක් ඉදිවූ අතර සිද්ධියට සම්බන්ධ ඉතිරි තිදෙනෙක්ද මියයාමෙන් පසු සිරුරු මිහිදන් කෙරුණේ මේ ස්ථානයට ආසන්නවය. 1997 වසරේදී මේ ස්මාරකය ඇමරිකාවේ ජාතික ඓතිහාසික ස්මාරකයක් ලෙස නම් කෙරුණේය.


රතු ඉර වදින්නට පෙර (දැන්නම් විද්‍යුත් කාලසටහන් යන්ත්‍ර) කන්තෝරුවට යාන්තම් රිංගාගන්නට දඟලන, තුනහමාරේ සිට ඔරලෝසුව දෙස බලමින් සිටින ලංකාවේ බොහෝ දෙනෙකුට දැනෙන පැය අටේ වැඩ දිනයේ වැදගත්කම එදා කෙසේ වෙතත් අදනම් ඇමරිකාවේ සාමාන්‍ය වැඩකරන ජනතාවට ඇඟට දැනෙන දෙයක් නොවේ.

මධ්‍යම පාන්තික රැකියා කරන බොහෝ දෙනෙකුට නිවසේම සිට වැඩකිරීමේ හෝ තමන්ට අවශ්‍ය විචල්‍ය වැඩමුරයක් තෝරා ගැනීමේ අවස්ථාව හිමිවී ඇති අතර ඔවුන්ගේ වේතන තීරණය වන්නේ කරන කාර්යයේ ඵලදායීතාව අනුව මිස වැඩ කරන පැයගණන අනුව නොවේ. පැයේ රේට්ටුවට පහළම මට්ටමේ රැකියා කරන සේවකයින්ගේ අපේක්ෂාවද රැකියා දෙකක් හෝ කරමින් වැඩි ආදායමක් ලබා ගැනීම මිස තම වැඩ දිනය පැය අටකට සීමා කර ගැනීම නොවේ.

අක්කර විශාල ගණනක පැතිරුණු සුසාන භූමි සංකීර්ණයක පිහිටි ලොකු කුඩා ස්මාරක දහස් ගණනක් අතරින් ඓතිහාසික මැයි විරු ස්මාරකය සොයා ගැනීම පහසු වැඩක් නොවේ. එහෙත්, මේ අවට ජීවත් වන අය හෝ මේ සුසාන භූමි සංකීර්ණය ඉදිරිපිට ඇති වෝල්මාර්ට් වෙළඳසැලේ අවම වැටුපට වැඩ කරන ඩිමිටායි ඩෙමෝර්ලා පාරෙන් අනෙක් පැත්තේ ඇමරිකාවේ ජාතික ඓතිහාසික ස්මාරකයක් ඇති බව වුවද දන්නේ නැත. ජාත්‍යන්තර කම්කරු දිනයේදී චිකාගෝහිදීද ලොකු සහභාගිත්වයක් නොමැතිව සැමරුමක් සිදුවූවත් මේ සඳහා සහභාගී වන බොහෝ දෙනෙකු ලතින් ඇමරිකානු රටවලින් මෑතකදී පැමිණි සංක්‍රමණිකයින්ය

මේ ස්ථානයේ සිට සැතපුම් 42ක් දුරින් අඩු ආදායම්ලාභී කළු ජාතිකයින් බහුලව වෙසෙන පෙදෙසක මයිකල් ජැක්සන් උපන් කුඩා නිවස පිහිටා තිබේ. කටු මැටි ගසා, පිදුරු සෙවිලි කර නැතත් මේ නිවස ඇමරිකාවට සාපේක්ෂව දුගී නිවසකි. වසා දමා ඇති මේ නිවෙස ඉදිරිපිට ඉදිකර ඇති ස්මාරකයක් හැරුණු විට මෙහි නරඹන්නට විශේෂ දෙයක් නැති මුත් පැය භාගයක් පමණ කාලයක් තුළ අඩු වශයෙන් කණ්ඩායම් හතරක් පහක් එහි පැමිණෙනු දැකිය හැකිය. මේ බොහෝ දෙනා කළු ජාතිකයින්ය.


ඇමරිකාවේ වත්මන් ජනාධිපතිවරයා කළු ජාතිකයෙකු වුවත් ජනවර්ගයක් වශයෙන් ආදායම හා අධ්‍යාපන මට්ටම අනුව තවමත් ඇමරිකාවේ කළු ජාතිකයින් සිටින්නේ සාමාන්‍ය ඇමරිකානුවෙකුට වඩා පසුපසිනි. එහෙත් ක්‍රීඩා සහ සංගීත ක්ෂේත්‍ර වල ජනගහණ සංයුතියට සාපේක්ෂව ඔවුන්ගේ දායකත්වය විශාලය. දැනටත් බොහෝ කළු ජාතිකයින්ගේ සිහිනය ඔවුන්ගේ දරුවන් ගායකයින් හෝ බේස්බෝල් ක්‍රීඩකයින් කිරීමයි. මයිකල් ජැක්සන් මේ සිහිනයේ සංකේතයකි. වීරයෙකි.

වීරයින් මෙන්ම ද්‍රෝහීන්ද බිහිවන්නේ නිරපේක්ෂ කාල-අවකාශයන්හි නොවේ.

Friday, September 4, 2015

හතරේ සීමාව සහ හයේ සීමාව

ඒ ලංකාවේ ක්‍රිකට් වංශ කතාවේ ලොකුම ශිඛර දෙකක අතරමැද වූ කාලයකි. පළමු ශිඛරය වූයේ ලංකාවට 1981දී ටෙස්ට් තත්ත්වය හිමි වීමයි. දෙවැන්න 1996 ලෝක කුසලාන ජයග්‍රහණයයි.

විප්ලවකාරී ව්‍යාපාරයේ නායකයින් වැඩි දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබ හෝ මරා දමනු ලැබ තිබුණත් භීෂණයේ ගිණිදළු සම්පූර්ණයෙන් නිවී ගොස් නොතිබුණේය. අපි අපේ විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය සඳහා සූදානම් වෙමින් සිටියෙමු.

බස්නාහිර පළාතේ වැට අද්දරම දුෂ්කර පාසැලක් තිබීම කිසියම් පරිපාලන වරදක් විය හැකියැයි සිතා සිටි මගේ ඒ අදහස නිවැරදි නොවන බව වැටහුණේ සේවයට වාර්තා කළ මුල් දිනයේදීමය.

මා වැනි තරුණ ගුරුවරයෙකුගේ පැමිණීම විශ්‍රාම යාමට ආසන්නව සිටි විදුහල්පති මෙනෙවියට මෙන්ම එවැනිම වයසක සිටි උප විදුහල්පති වරයාටත් (ශ්‍රේණිය අනුව නොවූවත් තනතුරේ වැඩ බැලීම අනුව), විශ්‍රාම යාමට තරම්ම වයසක නොසිටි අනෙකුත් ගුරු මෙනෙවියන් හතර පස් දෙනාටත් විශාල ආශ්වාදයක් ගෙන දුන්නේය. අධ්‍යාපන කන්තෝරුවට ගොස් වැඩක් කර ගැනීමට හැකි තරම් පණ ඇති කෙනෙකු සිටීම ලොකු වාසියකි. කෙසේ වුවද, මගේ පැමිණීමෙන් වඩාත්ම ආශ්වාදයට පත් වුනේ මා සේවයට පැමිණීමට වසර දෙක තුනකට පමණ පෙර මේ විදුහලට පැමිණ සිටි තරුණ ගුරු යුවලයි. ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි ප්‍රතිසංස්කරණ යෝජනා සඳහා තවත් ඡන්දයක් වැඩි වීම ඔවුන්ගේ අමන්දානන්දයට හේතු විය.

මා ඉහළ පන්තියකට අළුතින් පැමිණුනු සිසුවෙකු නොවන බව පැහැදිලි කිරීමට තරමක වේලාවක් ගත වුණත්, සේවයට වාර්තා කළ දිනම මට ලැබුණේ ඉතා ඉහළ පිළිගැනීමකි. හතේ අටේ පන්තියක කොළු ගැටයෙකු ඉස්කෝල වත්තේ පොල් ගසකට යවා සංග්‍රහය සඳහා කුරුම්බා සපයා ගැනීම කිසිවෙකුට විශේෂ දෙයක් වුණේ නැත. විදුහල්පතිනියගේ මේ පුරුද්ද ගැන සිය නොමනාපය පසු දිනෙක හොරෙන් මෙන් මට ප්‍රකාශ කළ පෙර කී යුවලේ තරුණ විද්‍යා ගුරුවරයාද වඩාත්ම විවේචනය කළේ පොඩි ළමයින් යොදවා පාසල් වත්තේ කොස් පොල් කඩා ගැනීම නොවේ. ඇගේ ගෙදර වත්තේ පොල් කැඩීම සඳහා පාසැල් එන සිසුන්ව පිටත් කර හැරීමයි.

මගේ පැමිණීම කාගේත් සතුටට හේතු වූ ප්‍රධාන කරුණු අතර දෙවැන්න වූයේ මගේ පත්වීම් කඩදාසියේ වූ ඉංග්‍රීසි විෂය හැරුණු විට ගණිතය සහ විද්‍යාව වැනි කවුරුත් උගන්වන්නට බය වූ වෙනත් විෂයයන්ද ඉගැන්වීමට මගේ වූ කැමැත්තයි. ඇත්තටම මේ පාසැලේ ඉංග්‍රීසි විෂය ඉගැන්වීමනම් එතරම් සංකීර්ණ කාර්යයක් වූයේ නැත. තුනේ පන්තියේ සිට දහවන ශ්‍රේණිය දක්වා සියල්ලන්ටම උගන්වන්නට තිබුණේ එකම මට්ටමින් නිසා වෙන වෙනම සූදානම් වීමක් අවශ්‍ය වූයේ නැත.

හයවන ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල කොහොමටත් හිටියේ ළමුන් දෙදෙනෙකු නැත්නම් තිදෙනෙකි. ගොයම් කැපූ පසු ටික කාලයක් මේ පන්ති හිස් නිසා නොමිලේ ඕෆ් පීරියඩ් ලැබේ. එය එසේ වන්නේ මේ කාලයේදී පුරන්වන කුඹුරු වල මැණික් ගැරීම ජයටම සිදුවන නිසාය.

සිසුවෙකු ලේසියෙන් සාපෙළ සමත් නොවූ නිසා දහවන ශ්‍රේණියේනම් විවිධ වයස් වල ළමයින් හත් අට දෙනෙකු සිටියහ. වෙනත් විදුහල් වලින් ඉගෙන දෙවරක් සාපෙළ අසමත් වූ අයද මේ පාසැලට ඇතුළත්ව මේ අයුරින් දහවන ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියේය. මේ ඇතැම් සිසුන් මගේ වයසට ආසන්නව සිටි නිසාත්, සේවයට වාර්තා කළ පළමු දින මා ඇඳ සිටියේ සුදු කමිසයක් සහ ඉතා ලා පැහැති කලිසමක්ද නිසාත් විදුහල්පතිවරිය සිතා සිටියේ මාද වෙනත් විදුහලකින් එසේ පැමිණි සිසුවෙකු බවයි.

ගුරු මණ්ඩලයේ කවුරුත් මුලින්ම මට පැහැදිලි කර දුන් වැදගත්ම කරුණ වූයේ උගන්වන්නට ඒ හැටි මැරෙන්නට අවශ්‍ය නොවන බවයි. තරුණ විය ඉක්මවමින් සිටි ගුරුවරියන් කණ්ඩායමට අවශ්‍ය වූයේ පාසැල් කාලය තුළ මගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නටය. සිසුන්ට වතුවැඩ විෂය ඉගෙනගැනීමට ඉඩ සලසා මේ ගුරුවරියන්ට මෙන්ම මටත් ඉංග්‍රීසි පන්තිය සඳහා කාලය වෙන්කර දීමට තරම් විදුහල්පතිනිය කාරුණික වුවත් මා ඒ සඳහා කැමැත්තක් නොදැක්වූ හෙයින් මේ නොමිලේ ඉංග්‍රීසි පංතිය පැවැත්වුණේ හවස් වරුවේදීය. ඔවුන්ට අමතරව පන්සලේ හාමුදුරුවන්ද මේ පන්තියට එක් විය.

විදුහල්පතිනිය පාසැල් වත්තේත්, ඇගේ ගෙදර වත්තේත් එළවළු කොටු හැදීම වැනි කටයුතු සඳහා පාසැල් සිසුන්ව පාසැල් කාලය තුළ යොදා ගැනීමට තමාගේ ඇති විරුද්ධත්වය ප්‍රසිද්ධියේ නොවූවත්, රහසින් හෝ මට ප්‍රකාශ කළ තරුණ විද්‍යා ගුරුවරයාද එසේ පවසා ඇත්තේ අවංකව නොවන බව වටහා ගැනීමට මට වැඩි කාලයක් නොගියේය.

අනෙකුත් ගුරුවරුන් දැන සිටි පරිදි අධ්‍යාපන කන්තෝරුවේ මා දන්නා හඳුනන 'ලොක්කන්' සිටියේය. මේ උසස්වීම් ලබා සිටි මගේ පැරණි ගුරුවරුන් සහ මගේ පියාගේ පාසැල් මිතුරන් හෝ සමකාලීනයන්ය. මේ නිසා ඔවුන්ට වසර ගණනාවක් තිස්සේ කර ගැනීමට නොහැකිව තිබුණු ඇතැම් වැඩ ඔවුන්ගේ ඉල්ලීම් පරිදි දවසින් කර දීමට මට හැකි විය. ඇත්තටම මා එවැනි ඇතැම් දේ කළේ මේ දැනහැඳුනුම් කම් උපයෝගී කරගෙනම නොවේ. නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීමෙනි. මා මේ ලොක්කන්ට කේලම් කියා විදුහල්පතිනිය ඇතුළු අනෙකුත් ගුරුවරුන් අමාරුවේ වැටෙන විට තමන් පමණක් ඇඟ බේරාගැනීමට විද්‍යා ගුරුවරයා කලින්ම උපාය මාර්ගයක් ගෙන තිබුණේය.

මා ලොක්කන්ට කේලම් කියන්නට ලෑස්ති වී සිටින ඔත්තු කාරයෙක් නොවන බව වැඩි කල් නොගොස්ම මේ විද්‍යා ගුරුවරයා ඇතුළු ගුරු මණ්ඩලයටම අවබෝධ විය. අමතර ආදායමක් ලබා ගත හැකි ක්‍රමයක් පිලිබඳව මා දැනුවත් කර ඒ සඳහා මට උදවු කිරීමට ඇති කැමැත්ත මේ ගුරුවරයාගෙන් ප්‍රකාශ වුනේ ඉන් පසුවය. පාසැල් සිසුන් පුරන් වූ කුඹුරු වල මැණික් ගැරීම සඳහා යෙදවීම ඉතාමත්ම වාසිදායක කටයුත්තකි. ඔහුට අනුව පාසැලේ නාමලේඛනයේ එක වැටීමද සිදුවන නිසා මේ සිසුන්ගේ දෙමවුපියන්ද ගුරුවරුන් සමඟ හවුලේ මේ කටයුත්ත කිරීමට දැක්වූයේ විශාල කැමැත්තකි.

පාසැලේ සිටි පිරිමි ළමුන් ටික දෙනාට වතු වැඩ සහ පතල් වැඩ විෂයයන් ඉගැන්වීම සම්බන්ධව විදුහල්පතිවරිය සහ මේ ගුරුවරයා අතර තරඟයක් පැවතී ඇති බව මේ අනුව මට පැහැදිලි විය. කෙසේ වුවද, මේ ගුරු මණ්ඩලයේ මට සිටි ළඟම මිතුරා මේ විද්‍යා ගුරුවරයාය. ඔහුගේ තරුණ බිරිඳ හැරුණු විට ගුරු මණ්ඩලයේ අනෙකුත් ගුරුවරුන් සහ මා අතර වයසින් මෙන්ම අදහස් අතින්ද තිබුණේ විශාල පරතරයකි.

මේ සිසුන් මේ කාලයේදී සැතපුම් හත අටක් දුර පාසැල් වල සිසුන් කළාක් මෙන් 'කොළඹට කිරි- අපිට කැකිරි' කියා සටන් පාඨ කියමින් කෑගැසුවේ නැත. එසේ කළේ සාපේක්ෂව මීට වඩා හොඳ සමාජ තත්ත්වයක් තිබුණු නිවෙස් වල හැදුණු දරුවන් ඉගෙනගත් පාසැල් වල සිසුන්ය. මේ සිසුන් තමන්ට ලැබෙන්නේ කැකිරි බව හෝ වෙනත් අයට ලැබෙන කිරි ගැන හාන්කවිසියක්වත් දැනගෙන හිටියේ නැත.

ක්‍රිකට් උණ ලංකාවේ ගම් දනවු සිසාරා වසංගතයක් මෙන් පැතිරෙමින් තිබුණු මේ කාලයේ බස්නාහිර පළාතේ වැට අද්දර තිබුණු මේ පාසැලේ සිසුන් අඩුගානේ ක්‍රිකට් ගැනවත් දැන සිටියේ නැත. මෙවර පාසැලේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේ තරඟ ඉසවුවක් ලෙස අළුතින් ක්‍රිකට් එකතු කරන්නට විද්‍යා ගුරුවරයා යෝජනා කළේ ඒ සඳහා මගේ සහයෝගයද ලැබෙන බැවින් බය වෙන්නට දෙයක් නැති බවට විශ්වාසය තහවුරු කරමිනි. අපි ක්‍රීඩාවේ මූලික කරුණු සහ තරඟ නීති පිළිබඳව ඒ ගැන තරමක උනන්දුවක් දැක්වූ උප විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයට විස්තර කළෙමු. (මා ක්‍රිකට් කාරයෙක් නොවුණත් තරඟ නීති වගේම තරඟ වාර්තා ආදියත් ඔය කාලයේ කට පාඩම්ය.)

පිට්ටනිය විශාල හෝ සමමිතික නොවූ නිසා සීමා ලකුණු කිරීම පහසු කටයුත්තක් නොවීය. දෙපැත්තකින්ම ළඟ ළඟ තිබුණු රබර් ගස් නිසා 'ගස් කැච්' ආදිය සම්බන්ධව තරඟ නීති අළුතින් සාදා ගත යුතු විය. ඒ මදිවට එක පැත්තක කණ්ඩියකි. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මේ කණ්ඩිය උඩද සිටීමට සිදුවනු ඇත.

ක්‍රීඩා කිරීම සඳහා මූලික උපකරණ හෝ සපයාගත යුතුවිය. පාසැල් වත්තේ අඹ, පොල් සහ සිසුන් යොදවා වගා කර තිබුණු එළවළු සහ බුලත් විකිණීමෙන් යම් මුදලක් එකතු කර ගත හැකිවිය. මේ කටයුත්තේදී මමත්, විද්‍යා ගුරුවරයාත් දෙදෙනා අපේ නොමසුරු දායකත්වයද  ලබා දුන් නිසා ගැටළුව පහසුවෙන් විසඳා ගත හැකි විය.

විද්‍යා ගුරුවරයා සිසුන් යොදවා තණ තිල්ල සකස් කර විකට් සිටවීය. අටේ පන්තියේ සිසුවෙකුද සමඟ තණතිල්ලේ දිග මැන පරීක්ෂා කරමින් අපේ උපවිදුහල්පති වරයාත් මේ අළුත් වැඩේට දායකත්වය සැපයූවේ විශාල උනන්දුවකිනි.

ලොකු ගල් ඉවත් කළ නොහැකි වුවත් තල්ලු කළ හැකි ප්‍රමාණයේ ගල් සිසුන් යොදවා තරමක් ඈත් කර පිට්ටනිය සකස් කෙරිණි. මේ අළුත් ක්‍රීඩාව ඉගෙන ගැනීමට සිසුන්ගේ වූයේ විශාල උනන්දුවකි. දැන් අපි සිසුන් කිහිප දෙනෙකු සමඟ පිට්ටනිය වටේ හතරේ සීමාව ලකුණු කරමින් සිටිමු.

හිස ඔසවා බලන විට අපේ උප විදුහල්පතිවරයා සිසුන් කිහිප දෙනෙක්ද සමඟ අප ලකුණු කරන මායිමට පිටින්, රබර් වත්තේ තරමක් ඈතින් වෙනම කූඤ්ඤ පේලියක් හිටවමින් යයි. විද්‍යා සර්ට මළ පැන්නේය.

"අර බලන්ඩකෝ, සර්. අර දෙවෙනි සර් මොකක්ද කරන්නේ? මෙතන බවුන්ඩරිය නියම ගාණටම ලකුණු කරන්න ඉඩ නෑ කියල තේරෙන්නේ නැද්ද?"

හෙමින් පැවසූ ඔහු තරමක් හඬින් කෑගසා මෙසේ අසයි.

"දෙවෙනි සර්, ඔය මොකද කරන්නේ? අපි මේ මෙහේ හතරේ සීමාව ලකුණු කරනවා."

ඔහුගේ පිළිතුරත් එවැනිම හඬකින් දැන් ඇසේ.

"හරි හරි, සර්ලා ඔය වැඩේ කරගෙන යන්න. මම මේ හයේ සීමාව ලකුණු කරනවා."

හතරේ සීමා, හයේ සීමා වගේ කොයි සීමාත් තියෙන්නේ අපෙන් බාහිරව පිට්ටනි වලම නොවන බව මේ කාලයේදී මා හරියටම අවබෝධ කරගෙන හිටියේ නැත.

(මෙය යථාර්තයට කිට්ටු නැති ප්‍රබන්ධයක්යැයි ඔබට සිතේනම් එසේ සිතාගත්තාට මගේ අකැමැත්තක් නැත. ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

Wednesday, September 2, 2015

එහෙනං මං මේක ඔන් කරන්නෙයි?

පසුගිය සතියේ පුවත් මැවූ සිදුවීමක් වූයේ මොහොමඩ් අබාඩ්ගේ අළුත් බයෝනික් පුරුෂ ලිංගයයි. අබාඩ්ට මොනවා හරි කරගන්නට හිතුණුවිට දැන් කරන්නට ඇත්තේ ඔහුගේ වෘෂණ කෝෂයේ ඇති ස්විච්චයක් ඔන් කිරීමයි. ඒ සමඟම ඔහුගේ අඟල් අටක් දිග බයෝනික් පුරුෂ ලිංගයේ ඇති නාල දෙකක් තුළින් රුධිරය ගලා විත් මේ බයෝනික් අවයවය ප්‍රාණවත් වනු ඇත. වැඩේ කර අවසන් වූ පසු ස්විච්චය ඕෆ් කළ යුතුය. එවිට කොල්ලා නැවත නිදා ගනු ඇත.

තෙසාලිස් වියැති අබාඩ් ස්කොට්ලන්තයේ, එඩින්බරෝහි පදිංචි කරුවෙකි. කුඩා කාලයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් පුරුෂ ලිංගය අහිමි කරගත් අබාඩ් කසාදයක් කර ගන්නා විට මේ කතාව එළියට දැම්මේ නැත. මංගල රාත්‍රියේදී වැඩේ මාට්ටු විය.

පසුගිය වසර තුන තිස්සේ ශල්‍ය කර්ම 119කට මුහුණ දෙමින් අන්තිමේදී වැඩේ ගොඩදාගන්නා තුරු අබාඩ්ගේ බිරිඳ බලා සිටිනු ඇතැයි ඔහු සිතා සිටියත් ඇය පසුගිය වසරේ අබාඩ්ගෙන් දික්කසාද විය. දැන් මේ තනිකඩ ආරක්ෂක නිලධාරියා තමන්ගේ බ්‍රෑන්ඩ් නිවු අවයවය ටෙස්ට් රන් එකකට යැවීමට අවකාශයක් සොයමින් සිටී. ස්කොට්ලන්තයේ සීතල රාත්‍රියක මේ බයෝනික් අවයවයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්නට කැමති කෙනෙක් සිටීනම් දැන්මම අයදුම්පතක් යැවිය හැකිය.

බයෝනික් අත් සහ බයෝනික් ඇස් ගැන මා පෙරද කතා කර තිබේ. හෝමෝ සේපියන්ස්ලාට 'අමරණීයත්වය' කරා ලඟා වීම ගැන සිතිය හැකි එක් පාරක් වැටී ඇත්තේ මෙවැනි කෘතීම අවයව නිෂ්පාදනය හරහාය. මේ වන විටත් අපේ බොහෝ අවයව වෙනුවට මෙවැනි කඩෙන් ගත හැකි ස්පෙයා පාර්ට්ස් තිබේ. මේ ඇතැම් අවයව කාබනික නොවන ද්‍රව්‍ය උපකාරයෙන් නිෂ්පාදනය කෙරෙන අතර කෘතීම රුධිරය වැනි වෙනත් ස්පෙයා පාර්ට්ස් හදා ගන්නේ පියවි සෛල තාක්ෂණය (නොදැන සිටි මේ වචනය අල්ලාගත්තේ අපේ මධ්‍යස්ථ මතධාරියාගෙනි) උපයෝගී කර ගනිමිනි.

මා පෙර ලිපියක කතා කළ 'හරක් නැතුව හදන හරක් මස්' හදා ගන්නේද මේ පියවි සෛල තාක්ෂණය උපයෝගී කර ගනිමිනි. මේ සම්බන්ධව මධ්‍යස්ථ මතධාරියාත් ලියා තිබේ.

කෙසේ වුවද මේ පියවි සෛල තාක්ෂණ පර්යේෂණ මේ වන විට ප්‍රධාන වශයෙන්ම සිදු කෙරෙන්නේ මස් හැදීම අරමුණු කරගෙන නොව මිනිස් අවයව සැදීම අරමුණු කරගෙනය. මේ තාක්ෂනය තවදුරටත් දියුණු වූ විට පියවි සෛල උපයෝගී කරගනිමින් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකින් අවශ්‍ය කරන මිනිස් අවයව මුද්‍රණය කර ගැනීමට හැකි වනු ඇත. ටූකෑන් කුරුල්ලෙකුගේ කැඩුණු හොටක් වෙනුවට බද්ධ කෙරුණු මෙවැනි කෘතීම හොටක් ගැන පසුගිය සතියේ අරුණි ශපිරෝද ලියා තිබුණි.

කෘතීම අවයව නිෂ්පාදන තාක්ෂණයේ මේ සාර්ථකත්වය මඟින් පෙන්නුම් කරන්නේ අපි පරිණාමයේ වෙනස්ම අදියරක් කරා ලඟා වෙමින් සිටින බවයි. මේ අළුත් අදියරේදී කාබනික ජීවියාගේ පරිණාමය සිදුවුණු පසුගිය වසර බිලියන තුනහමාර තුළ පැවති මූලික නීති පවා වෙනස් විය හැකිය. ස්වභාවික පරිණාමය වෙනුවට පැමිණීමට නියමිතව ඇත්තේ සැලසුම් කළ පරිණාමයක් සිදුවන යුගයකි.

සිතුවිලි වලින් ක්‍රියා කරන කෘතීම අත් ඇති ජෙසී සුලිවන් සහ එවාන් රෙනෝල්ඩ්ස්, කෘතීම ඇසකින් ලෝකය දකින ෂෙරී රොබට්සන් මෙන්ම ඔන්-ඕෆ් කළ හැකි පුරුෂ ලිංගයක් ඇති මොහොමඩ් අබාඩ්ද අපි වැනිම සාමාන්‍ය මිනිසුන් ලෙස සලකන්නට අපට අපහසුතාවයක් නොමැත. අද වන විට තමන්ට උපතින් නොලැබුණු මෙවැනි කිසියම් අවයවයක් භාවිතා කරන හෝමෝ සේපියන්ස්ලා ගණන සුළු ප්‍රමාණයක් නොවේ.

දැනට වසර දෙකකට පමණ පෙර පැවති විද්‍යා ප්‍රර්ශනයක් සඳහා මෙසේ මිනිසුන් දැනටත් භාවිතා කරන කෘතීම අවයව එකතු කර 'ෆ්‍රෑන්කන්ස්ටයින්' මාදිලියේ  බයෝනික් මිනිසෙකු නිර්මාණය කෙරිණි. මේ 'නිර්මාණයේ' විශේෂත්වය වනුයේ 'ෆ්‍රෑන්ක්' ලෙස නම් කෙරුණු මේ බයෝනික් මිනිසාගේ හෘදය වස්තුව, රුධිරය ඇතුළු සියළුම කොටස් පාහේ යම් මිනිසෙකු විසින් භාවිතා කෙරෙන ආකාරයේ ඒවා වීමයි. අඩුවකට තිබුණේ සම, ආහාර ජීර්ණ පද්ධතිය සහ මොළය වැනි අවයව කිහිපයක් පමණි.


'ෆ්‍රෑන්ක්' යනු මිනිසෙකුයැයි කිසිවකු නොසලකනු ඇත. එසේනම්, මිනිසාගේ මිනිස්කම ඇත්තේ කොහේද? මිනිස් මොළයේද?

මිනිස්කම ඇත්තේ මිනිස් මොළයේනම් මොළය ක්‍රියාකාරී නොවන කෙනෙක් මිනිසෙකු නොවේද? එතකොට මොළය පාවිච්චියට නොගෙන බ්‍රෑන්ඩ් නිවු ලෙසම තියාගෙන ඉන්න අය?

(මොහොමඩ් අබාඩ්ගේ ඡායාරූපය ගත්තේ: http://www.mirror.co.uk/news/uk-news/man-who-lost-penis-horrific-6330448 වෙබ් පිටුවෙනි. මගේ විෂය ක්ෂේත්‍රයට කෙළින්ම අදාළ දෙයක් නොවන නිසා මා මෙහි සියුම් විස්තර නොදන්නා නමුත් මගේ අදහස පරිදි මාධ්‍ය ප්‍රචාරයට සාපේක්ෂව අබාඩ්ගේ ශල්‍ය කර්මය තාක්ෂණයේ මහා ලොකු පිම්මක් නොවේ. මට අවශ්‍ය මෙහි හිතන්නට ඇති දේවලට අවධානය යොමු කරන්නටය.)

Monday, August 31, 2015

පූජ්‍ය පක්ෂයට පමණයි!

(Photo credit: http://www.nydailynews.com/)

අනූව දශකයේ පළමු භාගයේ කිසියම් දවසක විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ ජිප්සීස් සංගීත ප්‍රසංගයක් පැවැත්වුනේය. මේ කාලයේදී කපුගේ හා නන්දා මාලිනී වැනි ජනතාවාදී ගායක ගායිකාවන්ට සරසවි ඇතුළේ ඒකාධිකාරයකට ආසන්න තත්ත්වයක් පැවති අතර පේරාදෙණිය සරසවියේ එක්තරා සංගමයකින් සංවිධානය කළ සනත් නන්දසිරිගේ සංගීත ප්‍රසංගයක් පවා අවලංගු කිරීමට සිදුවූයේ බාධාවකින් තොරව එය පැවැත්විය හැකි වාතාවරණයක් නොපැවති බැවිනි.

කෙසේ වුවද, ඒ කාලයේදී පුරවැසි බලයක් නොතිබුණු, ජනතාවාදී ගායකයෙක් නොවූ සුනිල් පෙරේරාගේ ඉහත කී සංදර්ශනයට එදා තිබුණු ඉල්ලුමනම් විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ ධාරිතාවට වඩා බොහෝ වැඩි එකක් විය. කලින් ප්‍රවේශපත් මිලදී නොගෙන 'එදින දොරටුවෙන්' ලබා ගැනීමට බලාගෙන ආ විශාල පිරිසකගේ බලාපොරොත්තු කඩ වූ අතර ඒ බොහෝ දෙනෙකු කේස් එක ලේසියෙන් අත්හැරීමට සූදානම් වූයේ නැත. මෙහි ප්‍රතිඵලය වූයේ සංවිධාකයින්ට ප්‍රේක්ෂකයින් ඇතුළු කර ගැනීමේදී නිසියාකාරයෙන් ප්‍රවේශපත් පිරික්සීමට ඉඩකඩක් නොලැබීමයි.

තම ශරීර ශක්තියේ ප්‍රමාණය අනුව ප්‍රවේශපත් ඇත්තෝත් නැත්තෝත් හරි හරියට ඇතුළට රිංගා ගනිද්දී සංවිධායකයින් විසින් ප්‍රසංගය ඇරඹීමට නියමිතව තිබුණු වෙලාවටත් පෙර එළිමහන් රංග පීඨයේ යකඩ ගේට්ටු වසා දැමිණි. ඒ වන විටත් ඇතුළේ සියළු ආසන (පඩි) වල මෙන්ම පඩි අතරත් සෙනඟ පිරී සිටියේය. නියමිත වේලාවට සංගීත ප්‍රසංගය ඇරඹිණි.

ඇතුළට රිංගා ගැනීමට හයි හත්තිය නොවූ කණ්ඩායමේ බොහෝ දෙනෙකු ප්‍රවේශපත් මිල දී ගෙන නොතිබුණු නමුත් ඒ අතර ප්‍රවේශපත් මිලදී ගත් අයත් සැලකිය යුතු පිරිසක් වූහ. තරමක් ප්‍රමාද වී පැමිණි අයද එකතු වී මේ කණ්ඩායම තවත් විශාල විය.

එළියේ පැවති උද්ඝෝෂණයේ හඬ ඇතුළේ ශබ්ද විකාශන වල හඬින් යටපත් කිරීම අපහසු වෙද්දී ඇතුළට රිංගා ගැනීමට හයි හත්තිය මදි වී තමන්ගේ මිතුරන්ගෙන් මඟ ඇරුණු තරුණයෙකුට මේ අසංවිධිත කණ්ඩායමේ තනි පුද්ගලයින් තුළ කැකෑරෙන නොසන්සිඳුණු ආශාව කළමනාකරණය කර එක මිටකට ගැනීමට අදහසක් පහළ වූවා විය හැකිය.

"කට්ටියම එකතුවෙලා එකපාර තල්ලුවක් දැම්මනම් ගේට්ටුව ඇරෙයි!" කවුදෝ හෙමිහිට පොඩි ආන්තික තල්ලුවක් දැම්මේය.

"ඔවු, කට්ටියම එක සැරේ තල්ලු කරමු." නාඳුනන මිනිසුන් ගොඩක් එකම අරමුණක් වෙනුවෙන් කණ්ඩායමක් ලෙස සංවිධානය වීමට ගියේ තප්පර ගාණකි.

"එකායි...දෙකායි......තුනායි.....!!!"

ගේට්ටුව විවර වුණත් දම්වැලක් වැනි දෙයක් නිසා එය සම්පූර්ණයෙන් විවෘත වූයේ නැත. ටික දෙනෙකු ඇතුළට රිංගා ගනිද්දී සහායක බල ඇණි කැඳවාගත් ගේට්ටුවේ සිටි සංවිධායකයින් දෙතුන් දෙනා නැවතත් කෙසේ හෝ ගේට්ටුව වසා ගත්තේය.

ඉල්ලුම සහ සැපයුම සමතුලනය වීම ඒ තරම් ලේසියෙන් නවත්වන්නට නුපුළුවන. උද්ඝෝෂකයෝ වඩාත් හොඳින් සංවිධානය වූහ. යකඩ දම්වැල අන්තිමේදී කැඩුණේය. නැත්නම් ගැලවුණේය.

පඩි මතත්, පඩි අතරත් වාඩි වී සිටි සෙනඟ මර හඬ තලද්දී එළියේ සිටි සෙනග කෙසේ හෝ තම අරමුණ කරා ලඟා වූහ. වාසනාවට මෙන් කිසිවෙකුට අනතුරක් වුණේ නැත. සිංදුව නවත්වා, සිය වාග් කෞෂල්‍යයය උපයෝගී කරගෙන 'පොඩි ටෝක් එකක්' දෙමින් ප්‍රේක්ෂකයින් ඉතා ඉක්මණින් විනයෙහි පිහිටුවීමට සුනිල් පෙරේරාට හැකි වූ නිසා ජනසතු වූ ප්‍රසංගය දැහැමෙන් සෙමෙන් පැවැත්වී වෙනත් කලබැගෑනියක් නැතිව අවසන් විය. එළිමහන් රංග පීඨයේ පඩි තකා පටන්ගත් සටන සුනිල් පෙරේරාගේ ඉල්ලීම පරිදි විනය තකා අවසන් කෙරිණි.

ආන්තික තල්ලුව දැමූ තරුණයාට ඔහු සමඟ පැමිණි මිතුරන් හා එක් වී අවසන් වනතුරු ප්‍රසංගය නැරඹීමට හැකිවිය.

***

2008 වසරේ තුතිපිදීමේ දිනයට පසුව එන කළු සිකුරාදා ඇමරිකාවේ නිවුයෝර්ක් ප්‍රාන්තයේ ලෝන්ග් අයිලන්ඩ් ප්‍රදේශයේ වෝල් මාර්ට් සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට දෙදහසක පමණ ජනතාවක් එක් රැස් වී බලා සිටියේ පාන්දර පහට වෙළඳ සැලේ දොරටු විවෘත වන තෙක්ය. මේ ඇතැම් දෙනා පසුගිය දින හවස හයටත් පෙර මෙහි පැමිණ තිබුණු අතර, වැඩි දෙනෙක් අඩුම වශයෙන් පාන්දර දෙකේ සිට මෙහි රැඳී සිටි අයයි.

විශාල පිරිසක් වෝල් මාර්ට් සුපිරි වෙළඳසැල ඉදිරිපිට මෙසේ එක්රැස් වන්නේ මෙදිනට සාමාන්‍ය මිලට වඩා අඩුවෙන් බොහෝ භාණ්ඩ, විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සහ ගෘහ විද්‍යුත් උපකරණ වැනි කල් තබා ගත හැකි භාණ්ඩ, මිල දී ගත හැකි බැවිණි. සාමාන්‍යයෙන් මෙසේ අඩුමිලට විකුණන්නේ යම් භාණ්ඩයකින් සීමිත ඒකක ගණනක් පමණක් නිසා එවැන්නක් ලබා ගැනීමටනම් වෙනත් අය මිලදී ගැනීමට පෙර හැකි ඉක්මණින් භාණ්ඩය මිලදී ගත යුතුය.

යම් භාණ්ඩයක හෝ සේවාවක ඉල්ලුම හා සැපයුම ගැලපෙන එහි 'නියම' මිලට භාණ්ඩයක් විකිණේනම් පෝලිම් ඇතිවන්නේ නැත. භාණ්ඩයට වැඩිම වටිනාකමක් දිය හැකි පාරිභෝගිකයින් එය ලබා ගනු ඇත. භාණ්ඩය මිල කෙරී ඇත්තේ මේ නියම මිලට වඩා අඩුවෙන්නම් සැපයුමට වඩා ඉල්ලුම වැඩි වන නිසා, පෝලිමේ ගොස් හෝ පොරකා භාණ්ඩය හිමිකර ගැනීමට ලැබෙන්නේ ඇඟේ හයි හත්තිය ඇති අයටය. ලෝන්ග් අයිලන්ඩ්හි පිහිටි වැලි ස්ට්‍රීම් වෝල් මාර්ට් සුපිරි වෙළඳසැලේ 2008 කළු සිකුරාදා සිදු වූයේද මෙවැන්නකි.

වෙළඳසැල ඉදිරිපිට පාරිභෝගිකයෝ නොඉවසිලිමත්ව සිටිති. එහි සිටින දෙදහසක පමණ සෙනඟ කන්දරාව අනුව තමන්ට අවශ්‍ය දෙය ලබා ගැනීමට දිය යුතු තරඟය සුළුපටු නොවන බව පැහැදිලිය. මේ ඉඩකඩ තරමක් හෝ වැඩිවන්නේ දොරටු ඇරුණු වහාම මුලින්ම වෙළඳසැලට ඇතුළු වුවහොත් පමණි.

මේ සෙනඟ පාලනය කිරීම පහසු නොවන බව වෙළඳසැලේ කළමණාකරුවන්ට නොතේරුණා නොවේ. පොලීසියට මේ ගැන දැන්වූවත් ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ පෞද්ගලික වෙළඳසැලකට එන සෙනඟ කළමනාකරණය කිරීම පොලීසියේ වැඩක් නොවන බවයි. මේ අනුව හයි හත්තිය ඇති සේවකයින් අට දෙනෙකු තෝරා දොරටුව අසළ සෙනඟ පාලනයට යෙදෙවිණි. රාත්තල් 480ක හැඩිදැඩි සිරුරක් තිබුණු, හයිටියේ සිට පැමිණි සංක්‍රමණික පවුලකින් පැවතුනු, 34 හැවිරිදි ඩිමිටායි ඩෙමෝර්ද (Jdimytai Damour) මෙසේ තෝරාගැනුණු දොරටුපාලයෙකි. තාවකාලික සේවකයෙකු වූ ඩිමිටායි වෝල්මාර්ට්හි සේවයට පැමිණ යාන්තම් සතියක් වුනා පමණි.

පහේ කණිසමට ඔන්න මෙන්න කියා තිබුණි. විහාර මහා දේවී උද්‍යානයේදී සිදුවුනාක් මෙන් කොහෙන් හෝ පොඩි ආන්තික තල්ලුවක් එන්නට ඇත. ආන්තික තල්ලුව සැබෑ තල්ලුවක් වී වැලි ස්ට්‍රීම් වෝල් මාර්ට් වෙළඳසැලේ දොරටු ගැලවී ගියේය. දහස් ගණනක් සෙනඟ වෙළඳසැල තුළට එකවර කඩා වදිද්දී දොරටුව ඉදිරිපිටම සිටි ඩිමිටායි කාගේ හෝ ඇඟේ වැදී බිම වැටුණේය. කොයිතරම් හයි හත්තිය තිබුණු යෝදයෙක් වුණත් වැටුණු ඩිමිටායිට නැගිට ගන්නටනම් ඉඩක් ලැබුණේම නැත. ඔහුව පාගාගෙන සිය දහස් ගණනක් සෙනඟ තමතමන්ගේ ඉලක්ක කරා ලඟා වූහ. මෙයින් ඇතැමෙකුට ඩොලර් විස්සක තිහක වාසියක් සැලසෙන්නට ඇත. ඇතැම් අයට එයද අහිමි වන්නට ඇත. ඉල්ලුම සහ සැපයුම අතර කෘතිමව ඇති කර තිබුණු පරතරය වේගයෙන් පියවෙද්දී මේ පරතරය තුළ සිරවුණු ඩිමිටායි අවසන් ගමන් ගියේය.

***
ධනවාදී ආර්ථිකයක ප්‍රධාන මූලධර්මය පුද්ගල අභිලාශ වලට ගරු කිරීමයි. එක් එක් පුද්ගලයාට තමන්ටම ආවේණික වූ පුද්ගල අභිලාශ ඇති බව පිළිගැනීම ආර්ථික විද්‍යා විශ්ලේෂනයක ආරම්භක පියවරයි. පුද්ගල අභිලාශ ඇති වන්නේත්, මේ අභිලාශ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේත් ඇයි යන කරුණ සාකච්ඡා වන වෙනත් විෂය ක්ෂේත්‍ර තිබේ. කෙනෙකුගේ ජීව විද්‍යාත්මක හා සංස්කෘතික පදනම බොහෝ දුරට, සම සමව මෙන්, මේ පුද්ගල අභිලාශ වලට මුල් වේ. ආර්ථික විද්‍යාව පුද්ගල අභිලාශ වෙනස් කිරීමට උත්සාහ නොදරයි. එවැන්නක් දේශපාලනික හෝ ආගමික ඉලක්කයක් විය හැකිය.

ධනවාදී රාමුවක් ක්‍රියාත්මක වන රටක භාණ්ඩයක් හිමිකර ගැනීම සඳහා, ඩොලර් විස්සක තිහක ලාභයක් සඳහා, වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතය ඔහුට අහිමි කරමින් ඔහුගේ සිරුර මතින් දිවයන්නට අවශ්‍ය නැත. එහෙත්, ධනවාදී රාමුවක් ක්‍රියාත්මක වූ පලියට එවැන්නක් සිදු නොවී තිබෙන්නේත් නැත. මෙහි ඇත්තේ ක්‍රමයේ ප්‍රශ්නයක් නොවේ. පුද්ගල ස්වභාවය පිලිබඳ ප්‍රශ්නයකි.

ප්‍රචාරණය මඟින් පුද්ගලයෙකුට භාණ්ඩ පසුපස හඹා යාමට යම් උත්තේජනයක් ලැබීම සිදුවිය හැක්කකි. එහෙත්, ප්‍රචාරණය සිදු වූ පලියට සෑම පුද්ගලයෙක්ම පිස්සුවෙන් මෙන් භාණ්ඩ පසුපස හඹා යන්නේ නැත. සාමාන්‍යයෙන් ප්‍රචාරණය මඟින් කෙරෙන්නේ භාණ්ඩ පසුපස හඹා යෑමේ කොහොමටත් ඇති පුද්ගල අපේක්ෂාව ඉටුකර ගැනීමට පුද්ගලයෙකුට ඇති ඉඩප්‍රස්තා පුළුල් කර දීමයි. ප්‍රචාරණය නිසා සාපේක්ෂව සරල ජීවිතයක් ගතකරන පුද්ගලයෙක්ගේ ජීවිතය සංකීර්ණ වන්නේ නැත.

ඩිමිටායිගේ මරණය ඇමරිකානු සමාජය කම්පනය කළේ ඩොලර් විස්සක තිහක ලාභයක් සඳහා පුද්ගලයෙකුගේ ජීවිතය ඔහුට අහිමි කිරීම සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ පුද්ගල අභිලාශය නොවන නිසාය. මේ සිද්ධියෙන් පසුව එවැනි දේ නැවත සිදුවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනිණි. එහෙත්, කිසිදු සමාජ සැකැස්මක් සර්ව සම්පූර්ණ නැත. ඒ නිසා මෙවැනි දේ නැවතත් සිදුවිය හැකිය. වඩා වැදගත් දෙය වැරදි වලින් ඉගෙන ගැනීමයි. යම් ක්‍රමයක් සර්ව සම්පුර්ණ ලෙස සැලකූ වහාම එය තවදුරටත් විද්‍යාවක් නොවී ආගමක් බවට පත් වේ. මෙය විද්‍යාවටද පොදුය. විද්‍යාව විද්‍යාවක් වන්නේම එය ප්‍රශ්න කිරීමට අභ්‍යන්තරයෙන්ම ඉඩකඩ සැලසී ඇති බැවිනි.

***
ලංකාවේ පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කිරීමේදී ආසනයක් අල්ලා ගැනීම සඳහා බලු පොරයකට යොමුවීමට සිදුවේ. ජයගන්නේ ශක්තිවන්තයාය. මා දන්නා දියුණු රටවල් බොහොමයකම මෙය මේ අයුරින් සිදු නොවන්නේ ඒ රටවල පොදු ප්‍රවාහන සේවාවන් වඩා දියුණු නිසාම නොවේ. මිනිසුන්ගේ හැසිරීමේ ස්වභාවයේ ඇති වෙනසද නිසාය.

ප්‍රවේශපත්‍රයක් ලබාගෙන බස් රථයකට හෝ දුම්රියකට නැඟුණු පසු මගේ සතුට උපරිමයක් වන්නේ ආසනයක් ලැබුණොත් මිස හිටගෙන යාමට සිදුවුවහොත් නොවේ. එසේනම්, ගැබිණි මවකට හෝ ආබාධිත පුද්ගලයෙකුට මා මගේ අසුන දිය යුත්තේ ඇයි? සරල පිළිතුරක් ලෙස එය නීතියක් හෝ රීතියක් වන බව පැවසිය හැකිය. එහෙත්, මේ නීති රීති කියන්නේත් අහසින් කඩා වැටෙන ඒවා නොවේ. ආයතනගත වී ඇති පුරුදුම පමණි.

මගේ පුද්ගල අභිලාශ ඇතුලේ ඉන්නේ මා පමණක්ම නොවේ. එහි මගේ පංචස්කන්ධයෙන් බාහිර, මා අවට ලෝකයේ වෙනත් සංඝටක වලටද යම් බරක් තිබේ.  ශක්තිවන්තයෙකු වන මා අසුන්ගෙන සිටිද්දී මට වඩා දුර්වල කෙනෙකු හිටගෙන යනවිට මට රිදේ. එයින් මට සතුටක් ලැබිය නොහැකිය. මගේ සතුට වැඩි වන්නේ මා මගේ අසුන පරිත්‍යාග කළ විටය.

කෙසේ වුවද, මගේ අසුන පරිත්‍යාග කිරීමෙන් මට සතුටක් ලැබිය හැක්කේ සාපේක්ෂ තත්ත්වයන් යටතේ පමණි. මගේ ගමනාන්තය බොහෝ දුරනම් අසුන පරිත්‍යාග කිරීමේ මගේ ආවස්ථික පිරිවැය බොහෝ වැඩිය.

දුර්වල අයෙකුට තම අසුන පරිත්‍යාග කර සතුටක් ලැබීම බොහෝ දෙනෙකුගේ පුද්ගල අභිලාශය වූ විට එය සමාජ අභිලාශය බවටද පත් වේ. සමාජ අභිලාශ නීති හෝ රීති බවට පත්වේ. එවිට දුර්වල අයෙකුට තම අසුන පරිත්‍යාග කර සතුටක් නොලබන අයෙකුට වුවද මේ පොදු සමාජ අභිලාශයට යටත් වීමට සිදුවේ.

ආබාධිතයින්ට, ගැබිණි මවුවරුන්ට, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙන්ම කාන්තා පක්ෂයටද පොදු ප්‍රවාහන සේවාවන්හි අසුන් වෙන්වන්නේ මේ පදනම අනුවය. එහෙත්, (මා දන්නා තරමින්) නීතියක් නොවන මේ වෙන්කිරීම ප්‍රායෝගික කටයුත්තක් වන්නේ ඒ සඳහා පොදු සමාජයෙන් ලැබෙන දායකත්වයේ ප්‍රමාණයටය. පොදු සමාජයේ බහුතරයකගේ සහයෝගය නැත්නම් නීතියක් වුවද පොතට පමණක් සීමාවනු ඇත.


එසේනම්, මෙවැනි දුර්වලතාවක් නැති පූජ්‍ය පක්ෂය සඳහා අසුන් වෙන්කළ යුත්තේ ඇයි? මේ අය ගිහියන් මෙන් බස් රථයට හෝ දුම්රියට නැඟීමට පොරකනු දැකීමට අපි කැමති නැත. අපි මේ අයගෙන් (විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන්ගෙන්) කෝටියක් සංවර සීලය රකිනු බලාපොරොත්තු වෙමු. ඔවුන් සංවරව හැසිරුණු විට අපට සතුටක් ලැබේ. එසේනම්, එහි මිලද අප විසින් ගෙවා දැමිය යුතුය. පූජ්‍ය පක්ෂය සඳහා වෙන්කරන අසුන මේ සඳහා ගෙවන මිලෙන් කොටසකි.

කෝටියක් සංවර සීලය අමතක කළත්, සාමණේර ශීලයේ දශ වන ශික්ෂා පදය අනුව භික්ෂූන්ට රන්-රිදී අතගෑම කැප නැත. මෙහි රන්-රිදී ලෙස සඳහන් වූවත් ඇත්තටම මෙයින් අදහස් වන්නේ මුදල් යන්නයි. මා කුඩා කාලයේ මේ සිල්පදය රකින භික්ෂුවක දැකීම දුලබ දසුනක් නොවීය. එවැනි භික්ෂුවක් බස් රථයකට ගොඩවූ විට බසයේ සිටින්නෙකු වහා ඉදිරිපත් වී ප්‍රවේශපත සඳහා මුදල් ගෙවයි. එය සිදු නොවුවහොත් කොන්දොස්තර වරයා ටිකට්පත ඉහළට ඔසවා "අපේ හාමුදුරුවන්ගේ ටිකට් එකට කවුද ගෙවන්නේ?" කියා හෝ "හාමුදුරුනමක් වැඩලා ඉන්නවා" කියා හයියෙන් කියයි. එයටත් ප්‍රතිචාරයක් නොලැබුණොත්, කොන්දොස්තරවරයා තමන්ගේ වියදමෙන් ටිකට්පත ලබාදෙනු ඇති අතර තත්ත්වය ඒ තරමටම බැරෑරුම් වන්නේ ඉතාම කලාතුරකිනි.

පිරිවෙන් විශ්ව විද්‍යාල වී හාමුදුරුවරුන් ගුරුවරුන් වී වේතන ලබාගැනීම සාමාන්‍ය තත්ත්වය වෙද්දී අපේ ආච්චිලා සීයලා පවා පෝයට සමාදන් වූ දහවන සිල්පදය නිකම්ම හැලී ගියේය. සමහර විට මුදලේ රන් වටිනාකම නැති වූ විට මෙය වූවාදැයි දන්නේත් නැත. එහෙත්, තායිලන්තයේනම් බොහෝ හිමිවරු මේ සිල්පදය තවමත් අකුරට රකිති. එවැනි භික්ෂූන් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට දායකයෝ සැදී පැහැදී සිටිති.

හාමුදුරුවන් වෙනුවෙන් වෙනත් අය ටිකට් ගැනීම මා සිතන පරිදි අවුරුදු හතලිහකට පමණ පෙර නැති වී ගියත් හාමුදුරු කෙනෙකුට ආසනයක් දීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සමාජය 'එඩිතර' වීම අලුත්ම ප්‍රවණතාවයකි. මෙයින් පෙනීයන්නේ හාමුදුරු කෙනෙකු දුම්රියේ ආසනයක් අල්ලා ගැනීමට ගිහියන් හා පොරකෑම ප්‍රශ්නයක් නොවේයැයි සිතන අය දැන් වැඩි බවයි. හාමුදුරුවරු පොලීසිය සමඟ හරි හරියට ඔට්ටු අල්ලන, සිරිකොතේදීත් පාර්ලිමේන්තුවේදීත් ධර්මය බේරා ගැනීම සඳහා ධාතු කරඬු මසාජ් කරගන්නා කාලයක බස් එකේ සීට් එකක් අල්ලාගැනීමට පමණක් බලු පොරයට සෙට් වෙන්නට බැරි ඇයි කියා සිතන අය සිටීනම් එහි ඇති පුදුමයක් නැත.

***
තමන් වෙනුවෙන් ආසන වෙන්ව තිබියදීත් එයින් වැඩි ප්‍රයෝජනයක් ලැබිය නොහැකි වන කණ්ඩායම් තුනක් (අඩු වශයෙන්) ගැන මා අත්දැකීමෙන්ම දනිමි.
1. ගර්භණී වී මාස 3ක් පමණ වන කාන්තාවන්- බොහෝ කාන්තාවන්ට ගර්භණී සමයේ අමාරුම කාලය මෙයයි.
2. තරුණ වයසේ සිටින යුද්ධයේදී පාද අහිමිව කෘතීම පාද භාවිතා කරන අය- මේ අය බැලූ බැල්මට හැඩිදැඩි තරුණයින්ය.
3. විශේෂ නිල ඇඳුමක් නො අඳින ආගමික පුජකයින්.

ඩිමිටායි ඩෙමෝර්ගේ මරණය පිළිබඳ කම්පනය මේ ගීතයෙන් මතු කෙරේ.

Saturday, August 29, 2015

පෝසත් අප්පච්චී සහ දුප්පත් අප්පච්චී


ඉකොනොමැට්ටාගේ පෞද්ගලික මූල්‍ය කළමණාකරණය සම්බන්ධව දුර්වලතා තිබීමේ වරද කාගේ හෝ පිට පටවා අත පිස දමා ගැනීමට කෙනෙකු සොයන්නේනම් ඒ සඳහා සුදුස්සන් අතර අන්තිමයා ඉකොනොමැට්ටාගේ පියාය. ඔහු පුරුදු වී සිටි මූල්‍ය කළමණාකරණ ක්‍රමවේදය මැනවින් හදාරා ඉකොනොමැට්ටාගේ ජීවිතයේ කොටසක් කරගත්තානම් මේ වන විට ඉකොනොමැට්ටා ගජ පෝසතෙකි. ඉකොනොමැට්ටාගේ මැටිකමට ඔහු සිය පියාව හොඳින් අධ්‍යයනය කළේ නැත.

පෝසත් මනුස්සයෙක් වෙන්නට උවමනාවක් තිබුණානම් ඉකොනොමැට්ටාට කරන්නට තිබුණේ ඔහුගේ පියාගේ මූල්‍ය කළමණාකරණ ක්‍රමවේදය හොඳින් හදාරා ඒ ක්‍රමවේදයේ කිසිදු අංගයක් අනුගමනය නොකර සිටීම පමණි.

යමෙකුට ලොතරැයියක මුල් දිනුම ඇදුනොත් මේ මුළු මුදලම වඩාත් ඉක්මණින් වියදම් කර අවසන් කරන්නේ කෙසේදැයි අපට ආදර්ශයෙන් පෙන්වා දීමේ මගඟු අවස්ථාව ඔහුට ගිලිහී ගියේ කවදාවත් ඔහුට එවැනි දිනුමක් ඇදුනේ නැති නිසාය. මා දන්නා තරමින් ඔහුගේ අතේ වැඩිම මුදලක් එක් වර රැඳුනේ ඔහුගේ විශ්‍රාම පාරිතෝෂිකය ලැබුණු දිනයේදීය. මේ බරින් ඔහු නිදහස් වූ ආකාරය දැනට විස්තර නොකර සිටිමි.

අතේ ඇති ලොකු කුඩා ඕනෑම මුදලක් ඇසි පිය හෙළන සැණින් අතුරුදහන් කිරීමේ සුවිශේෂී හැකියාව මගේ පියා ප්‍රගුණ කළේ මත්පැන් පානය වැනි සම්මත දුශ්චරිත හරහා නොවේ.

කලාතුරකින් මංගල උත්සවයක් වැනි අවස්ථාවකදී ඉතා සුළු මත්පැන් ප්‍රමාණයක් තොල ගෑ නිසා ඔහු මත්පැන් කටේවත් නොතබන අයෙකු ලෙස මට හඳුන්වාදිය නොහැකිය. විශ්වාසදායී සහකරුවෙකුගේ අඩුපාඩුව නිසා කණගාටුවෙන් කල් ගෙවූ විහාරාධිපති හිමි නමගේ බලකිරීමට විශ්‍රාම ගැනීමෙන්ද පසු ටික කාලයක් මේ කලාතුර නිතර නිතර තත්ත්වයට වැඩිවී තිබුණත් ඒ හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව ඔහු නරක පුරුද්ද නවතා දැමීමෙන් පෙනුනේ වතාවතක් මෙන් කර තිබූ ඉහත කාර්යයද ධර්ම සංවේගයෙන්ම කළ එකක් බවයි.

මත්පැන් පානයට කිසිදා ඇබ්බැහි නොවූවත් මගේ පියා මා දන්නා කාලයේ සිටම අධික දුම් පානයට පුරුදු වී සිටියේය. කවුරු මොන අවවාද දුන්නත් සිය ජීවිතයේ නවවන දශකයට කිට්ටුකර සිටින ඔහු තවමත් දුම්පානයෙන්නම් මිදී නැත. කෙසේ වුවද, ඔහුගේ අතේ මුදල් නොරැඳීමට ප්‍රධාන හේතුව වූයේ මේ දුම්පානයද නොවේ.

තමන්ගෙන් යමක් ඉල්ලා සිටි යාචකයෙකුට තමන් සතුව තිබුණු වටිනාම පාරිභෝගික භාණ්ඩය වූ අඩක් ඉරුණු ඇඳිවත දන්දී නිරුවතින්ම ආවාසයට පැමිණ ජීවිතයේ ඉතිරි කාලය මේ ඇඳිවතේ බරින්ද තොරව සැහැල්ලුවෙන් ගෙවා දැමු ජෛන මහාවීරයන්ට තිබුණු ධෛර්යය මගේ පියා සතු නොවීයැයි මා සිතන්නේ ඔහු කිසිදා එවැන්නක් නොකළ බැවිනි. එහෙත්, සිය කමිසය යමෙකුට දී උඩුකය නිරුවතින් ගෙදර එන්නට තරම් ධෛර්යයක්නම් ඔහු සතු විය.

තමාගේ අතේ ප්‍රමාණවත් මුදලක් ඇත්නම් ළඟපාතක සිටින යන්තම් හෝ දැන ඇඳුනුම්කමක් ඇති කෙනෙකුගේ මෙන්ම එවෙලේ අඳුනාගත් කෙනෙකුගේ වුවද බස් ප්‍රවේශ පත්‍රය, ප්ලේන්ටිය හෝ සිගරැට්ටුව වෙනුවෙන් බරපැන දැරුවේ මගේ පියාය. එහෙත්, මේ වාසිය ලබන්නට බොහෝ දෙනෙකුට බොහෝ විට නොහැකි වුනේ ඔහු අතේ ආපසු ගෙදර එන්නට අවශ්‍ය බස් ගාස්තුවට වඩා වැඩි මුදලක් රැඳුනේ පඩි දවසේ සිට දින දෙක තුනක් යනතුරු පමණක් නිසාය. වැඩි වදයක් නොවිඳ, තමාගේ මාසික වැටුපෙන් දින දෙකතුනකින් පහසුවෙන් නිදහස් වන ඔහු මාසයේ ඉතිරි දින ගෙවා දැම්මේ සිගරැට්ටුවක් සහ ප්ලේන්ටියකට වඩා සංකීර්ණ නොවූ ඔහුගේ සරල ජීවිතය රස විඳිමිනි.

අනුන් වෙනුවෙන් මාසය පුරාම මුදල් වියදම් කිරීමේ හැකියාවක් මගේ පියා සතු නොවූවත් මාසය පුරාම ඔහු අනුන් වෙනුවෙන් කාලය හා ශ්‍රමය යෙදවූයේය. ශ්‍රමය කියා කීවාට ඇඟේ පතේ ලොකු හයි හත්තියක් නොතිබුණු ඔහු බොහෝ විට මෙසේ වැය කළේ කිසියම් ආකාරයක බුද්ධිමය ශ්‍රමයකි. ඔහුගේ ශ්‍රමයේ ඵල ප්‍රයෝජන ගත්තෝ නැති-බැරි අයම නොවූහ. මේ බොහෝ දෙනෙකු ඇති-හැකි බලවත් අයයි. ඇතැම් මහා පුරුෂයන් මෙන් උදවු ඇවැසියැයි පෙනුණු අය සොයා ගොස් උදවු කරනු වෙනුවට ඔහු කළේ යම් උදවුවක් ඉල්ලාගෙන එන කෙනෙකුට හැකි පරිදි 'අතින් කයිට් කරගෙන' උදවු කිරීමයි. මෙවැනි අයගෙන් අපේ ගෙදරට කවදාවත් අඩුවක් තිබුණේ නැත.

අනුන්ට උදවු කළත් මගේ පියා අනුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වූයේ නැත. දැනටත්, මොන අඩුපාඩු තිබුණත් තමන්ගේ දරුවන්ගෙන් හෝ ඔහු කිසිවක් බලාපොරොත්තු නොවේ. ඔහුගෙන් නැවත ආපසු දීමේ පොරොන්දුවට යමක් ඉල්ලාගත් කෙනෙකුට සාමාන්‍යයෙන් එය ආපසු ගෙවීම පිළිබඳව සිතීම අනවශ්‍ය දෙයක් විය. එසේ ආපසු දුන්නත් බොහෝ විට ඔහු එය ප්‍රතික්ෂේප කරනු ඇත.

මෙසේ කී විට යමෙකුට එක්වරම සිතෙන්නේ මගේ පියාට 'ලොකු ඔළුවක්' තිබුණු බවයි. ඔහු ඉපදුණු පවුල් පසුබිම අනුව ඉඳහිට යම් ලොකු කමක් පෙන්වන කතා කිවුවත්, බොහෝ දුරට නිරහංකාර, සරල පුද්ගලයෙකු වන ඔහු අතේ සල්ලි නැත්නම් නැති බව කියන්නට ලැජ්ජා වුනේත් නැත. තමන් වෙනුවෙන් වෙනත් අයෙකු බරක් දැරීම අපේක්ෂා නොකළා පමණි.

විය යුතු පරිදිම, අපේ ගෙදර සතුට උතුරා ගියේ නැතත් වාෂ්ප උෂ්ණත්වයට ටිකක් හෝ කිට්ටු කළේ මගේ පියාගේ පඩි දිනයේදීය. යශෝරාවයේ රන්ජනීලාගේ තාත්තා මෙන් තනියම ආතල් එකක් ගන්නට පඩි දිනයේ මගේ පියා දියර වර්ග ගෙන නොආවත්, කුකුළෙකු ඇතුළු වෙනත් දේ නොවරදවා රැගෙන ඒමට අමතක නොකළේ ඔහු මස් වලට ප්‍රිය කළ නිසා නොවේ. සදාචාරාත්මක හෝ ආගමික නොවන, ආහාර රුචිකත්වය පිලිබඳ හේතු මත ඔහු සාමාන්‍යයෙන් මස් මාළු ආහාරයට ගත්තේ නැත. ඇත්තටම ඉතා සුළු ආහාර ප්‍රමාණයකින් කවදත් සැනසුනු මගේ පියා මා දන්නා කාලයේ සිටම රුචිකත්වයක් දැක්වූයේ ඉතා පහසුවෙන් පිළියෙළ කළ හැකි, කොතනත් ඇති, අල, පරිප්පු වැනි ආහාර වර්ග අතළොස්සකට පමණි.

මේ විශේෂ වියදම් වලින් පසුව ඔහු කරන්නේ මාසය පුරා 'පොත් වලට' ගෙන ඇති කඩ වල ණය ගෙවා දැමීමයි. ඉන්පසු නැවත වටයකින් ණය ගැනීම ඇරඹේ. මෙය සෑම මාසයකම සිදුවන චක්‍රයකි.

කාලය හා තාක්ෂණය වෙනස් වී තිබුණත් මගේ පියාගේ මාසික වියදම් රටාව අදටත් ලංකාවේ මෙන්ම ඇමරිකාවේත් බොහෝ දෙනෙකුගේ ජනප්‍රියම වියදම් රටාවයි. දැන් හන්දියේ කඩේ වෙනුවට සුපිරි වෙළඳසැල් සහ මුදලාලිගේ පොත වෙනුවට ක්‍රෙඩිට් කාඩ් ආදේශ වී තිබුණත් සිදුවන්නේ පෙර වූ දෙයමය.

මගේ පියාට ආචාර්ය උපාධියක් නොතිබුණත්, ආසියානු ඇමරිකානුවෙකු වන රොබර්ට් කියෝසාකිගේ පියාට ආචාර්ය උපාධියක් තිබුණේය. මගේ පියාගේ වැටුපට වඩා විශාල වැටුපක් ලැබූ කියෝසාකිගේ පියාගේ පවුලේ ආදායමට හෙදියක වූ ඔහුගේ බිරිඳගේ ආදායමද එකතු විය. එහෙත්, ඔවුන්ගේ පවුලේ වියදම් රටාව මගේ පියාගේ වියදම් රටාවට වඩා වෙනස් වුනේ නැත.

කියෝසාකිගේ පියා හැමදාමත් ණයබරේ ගිලී හිටියේය. මාසික වැටුපෙන් පසුගිය මාසයේ ණය ගෙවන ඔහු නැවතත් ණය එකතු කරන්නට පටන්ගනී. මේ චක්‍රයෙන් ගැලවීමක් නැත. රොබර්ට් කියෝසාකිට අනුව මේ ඔහුගේ 'දුප්පත් අප්පච්චී'ය.

රොබර්ට්ගේ සහ ඉකොනොමැට්ටාගේ වගේම ලංකාවේත්, ඇමරිකාවේත් තවත් බොහෝ රටවලත් ළමයින් බොහෝ දෙනෙකුගේ අප්පච්චිලා දුප්පත් අප්පච්චිලා වී සිටින්නේ ආදායම අඩුකමටම හෝ මහන්සි වී වැඩනොකරන නිසා නොවේ. ධනවාදයේ අඩුපාඩු නිසාත් නොවේ. මූල්‍ය සාක්ෂරතාව අඩුකමටය. (මෙයින් කියන්නේ අනෙක් කරුණු බැහැර කළ යුතු බව නොවේ.) එදිනෙදා වියදම් සඳහා ගිණිපොලියට ණය ගන්නා මේ දුප්පත් අප්පච්චිලා ණය ගෙවා දමන්නේ අළුතෙන් ණය ගැනීමෙනි.

කණගාටුවට කරුණනම් ඇතැම් රටවල මූල්‍ය කළමණාකරණය සිදුවන්නේ දුප්පත් අප්පච්චිලා කරන ක්‍රමයටත් වඩා ප්‍රශ්නකාරී ක්‍රමයකට වීමයි. ඉකොනොමැට්ටාගේ පියා හැමදාමත් ණය උගුලක හිර වී හිටියත් මාසේ පඩියෙන් පියවීමට නොහැකි තරමට ණය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන වැඩේ අනාගත්තේ නැත. එහෙත්, එසේ කර එක් මොහොතක බෙල්ලටම හිරවන අය ඉකොනොමැට්ටාට ඕනෑ තරම් හමුවී තිබේ.

කෙසේ හෝ හොඳ වෙලාවට කියෝසාකිට 'පෝසත් අප්පච්චී' කෙනෙකුත් හිටියේය. ඒ ඇමරිකාවේ එකගෙයි කෑම තිබුණු නිසා හෝ කැත හිතකට මතක් වෙන වෙනත් කරුණක් නිසා නොවේ. රොබර්ට් කියෝසාකි 'පෝසත් අප්පච්චී' ලෙස හඳුන්වන්නේ ඔහුගේ වාසනාවට ඔහුට කුඩා කළ සිටම ඇසුරු කිරීමට ලැබුණු ඔහුගේ මිතුරෙකුගේ පියාය.

මේ පෝසත් අප්පච්චී යන්තම් අටපාස් පුද්ගලයෙකි. මහ ලොකු උගත් කමක් නොතිබුණු මේ පුද්ගලයා ආචාර්ය උපාධියක් තිබුණු රොබර්ට් කියෝසාකිගේ දුප්පත් අප්පච්චී මෙන් ණය බරින් මිරිකී නාහෙන් අඬමින් සිටිනු රොබර්ට්ට කිසිදා පෙනුණේ නැත. ඒ ඔහු එතනෝල් හෝ කුඩු බිස්නස් කළ නිසා නොවේ. ඔහුට මූල්‍ය සාක්ෂරතාව තිබුණු නිසාය.

වයස අවුරුදු නවයේදීම රොබර්ට් කියෝසාකිට මේ පෝසත් අප්පච්චිගේත්, දුප්පත් අප්පච්චිගේත් වෙනස තේරුණේය. ඒ නිසා, ඉකොනොමැට්ටාට කළ නොහැකි වූ බොහෝ දේ කිරීමට රොබර්ට් කියෝසාකිට හැකි විය. දරුවන්ට කුඩා කාලයේදීම මූල්‍ය සාක්ෂරතාව ලබා දීමේ වැදගත්කම පහදමින්, වසර පහළොවකට පෙර රොබර්ට් කියෝසාකි ලියූ, අලෙවි වාර්තා තැබූ පොත එවැන්නකි.

කෙසේ වුවද, මූල්‍ය සාක්ෂරතාව හෝ මූල්‍ය සාර්ථකත්වය හා අදාළව නොවූවත්, රොබර්ට් කියෝසාකිට මෙන්ම හැදෙන වැඩෙන කාලයේදී පෝසත් අප්පච්චි කෙනෙකු ආශ්‍රය කිරීමේ වාසනාව ඉකොනොමැට්ටාටද ලැබුණේය. ඒ පෝසත් අප්පච්චි ජීවත් වුණේ අර කලින් කී දුප්පත් අප්පච්චි ඇතුළේය. කණගාටුවට කරුණනම් අතරින් පතර දෙන දුරකථන හෝ ස්කයිප් ඇමතුමක් හැරුණු විට මේ පෝසත් අප්පච්චිගේ ආශ්‍රය ලබන්නට ඉඩකඩක් නැති තරමට ඉකොනොමැට්ටා දුප්පතෙකු වී සිටීමයි.

Thursday, August 27, 2015

පොතක වටිනාකම මැනිය හැකිද?


කැම්පස් එකේ නවක වද කාලය අපට සංස්කෘත වැනි වෙනත් භාෂාත්, සිංහලයේ බොහෝ පාරිභාෂික වචනත් ඉගෙන ගැනීමට ලැබෙන වැදගත් කාලයකි. ඒ අතර ලෝකයෙන් දැනුමද ඇති පදම් ලැබේ. ජ්‍යෙෂ්ඨ උත්තමයින්ගේ එකම අච්චුවේ ප්‍රශ්න වලට උත්තර දෙමින් ආසාවෙන් කන රැග් එක එපා වෙන වෙලාවට පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් ඇසීමේ හැකියාවක් ඇති උත්තමයෙක් හමු වූ විට පොඩි ආතල් එකක් තිබේ.


"තොට කවි ලියන්න පුළුවන් නේද?" කියා රසිකගෙන් ඇසූ හෙන්රි මෙන් සාමාන්‍ය අච්චුවෙන් ටිකක් වෙනස් "සිරා" ලේබලයේ ප්‍රශ්න අසන ජ්‍යෙෂ්ඨ උත්තමයින්ද ඉඳ හිට නැතුවා නොවේ. උසස් පෙළ ගණිත අංශයෙන් දිවයිනේ ඉහළම කිහිප දෙනා අතර සිටි මගේ බැචෙකුට දැන් මෙවැනි ඉඳහිට හමුවන මාදිලියේ උත්තමයෙක් හමු වේ.

"තෝ පොත් කියවනවද"

ජ්‍යෙෂ්ඨ උත්තමයා අසයි.

"ඔව්, ජ්‍යෙෂ්ඨ උත්තමයා"

"එහෙනං කියහං බලන්න කියවල තියෙන පොත් දහයක් ඒවයේ කතෘලත් එක්ක"

මගේ බැචාට මේකේ ගේමක් නැත.

"ත්‍රිකෝණමිතිය එස්සෙල්ලෝනි, ව්‍යවහාරික ගණිතය ගතිවිද්‍යාව ඩබ්ලියුකේ හේවගේ, ව්‍යවහාරික ගණිතය ඉස්ථිති විද්‍යාව ඩබ්ලියුකේ හේවගේ, භවුතික රසායනය ජේකේපී ආරියරත්න, කාබනික රසායනය..."

"නවත්තපං නවත්තපං. උඹ නවකතා කියෝලා නැද්ද?"

"කියවල තියෙනවා, ජ්‍යෙෂ්ඨ උත්තමයා"

"මොනවද?"

ජ්‍යෙෂ්ඨ උත්තමයා අමාරුවෙන් සැර මූණක් පෙන්වන්නට හැදුවත් පේන්නේ අහිංසක මූණකි.

"මනුතාපය"

(මනුතාපය අපේ කාලයේදී සාමාන්‍යපෙළ සිංහල විෂයට තිබුණු නිර්දිෂ්ඨ ග්‍රන්ථයකි.)

"වෙන මොනාද?"

"වෙනනං මතක නෑ, ජ්‍යෙෂ්ඨ උත්තමයා"

"යකෝ අඩුගානෙ අම්මවත් කියෝල නැද්ද?"

"අම්මනං නවකතා කියෝනව ජ්‍යෙෂ්ඨ උත්තමයා. මට තමයි ඉතිං වෙලාව අඩු."

ජ්‍යෙෂ්ඨ උත්තමයාට එවෙලේ  මතක් වුන අම්මානම් ගෝර්කිගේ අම්මා නොවන බව නොකිවමනාය.

මේ ජ්‍යෙෂ්ඨ උත්තමයා ඇසුවේ වෙන ඕනෑම ජ්‍යෙෂ්ඨ උත්තමකුට වුවද ඇසිය හැකිව තිබුණු සරල ප්‍රශ්නයකි. බොහෝ ෆ්‍රෙෂාලාගෙන් ලැබෙන උත්තරය මගේ මුලින් කී බැචාගේ උත්තරයට වඩා ලොකුවට වෙනස් නොවිය හැකි නිසා මෙහි ලොකු අවදානමක් නැතත්, අතරින් පතර රසිකගේ වර්ගයේ ෆ්‍රෙෂාලාත් සිටින නිසා දඩයක්කරුවා ගොදුර බවට පත් වීමේ අවදානම ගන්නට ගොඩක් ජ්‍යෙෂ්ඨ උත්තමයින් පෙළඹෙන්නේ නැත. ලිංගික අධ්‍යාපනය වැනි ජ්‍යෙෂ්ඨ උත්තමයින් බොහෝ දෙනෙකුට විශේෂඥතාවක් ඇති මාතෘකාවක් කථා කිරීම වඩා සුරක්ෂිතය.

කෙසේ වුවද, ෆ්‍රෙෂා කියවා ඇති පොත් ගැන ඇසීමට ධෛර්යයක් තිබුණු ජ්‍යෙෂ්ඨ උත්තමයාට සහයට ඩැනීලා ගොඩක් සිටි බැවින් මේ කථාව ටිකක් ජනප්‍රිය විය. එහෙත්, ජ්‍යෙෂ්ඨ උත්තමයා මේ ප්‍රශ්නය ඇසුවා කියා හෝ කතාව ප්‍රසිද්ධ වුනා කියා මගේ බැචා නවකතා කියවන්නට පටන් ගත්තේ නැත. එහෙත්, ඔහු පීඨ පුස්තකාලයෙන් වසර පුරාම ප්‍රයෝජන ගත්තේය. අපි වැනි, පිටකවරයේ පාට ඩෙනිමට මැච් කරමින් පීඨ පුස්තකාලයෙන් පොත් ගත්, ඉඳහිට ගඟෙන් එගොඩ පුස්තකාලයෙන් රැගෙන ආ නවකතාවක් හෝ වෙනත් විෂය බාහිර පොතක්ද කියවූ බැචාලාව ගොඩ දමන්නට වසර අවසානයේ කුප්පි දමන්නට මගේ පෙර කී බැචාට හැකි වුනේ ඔහු ඔහුගේ කාලය නවකතා කියවීමට නොයොදවා විෂය කරුණු හැදෑරීමට යෙදවූ නිසාය.

කෙසේ වුවද, අවසාන වසරේදී ඔහුගේ වත්මන් අඹු සිඟිත්ත දැන අඳුනා ගැනීමෙන් පසුවනම් නේවාසිකාගාරයේ වැලමුල්ලේ වූ ඔහුගේ ඇඳ මතට කුමාර කරුණාරත්න මාදිලියේ ප්‍රබුද්ධ නවකතා මෙන්ම සන්නස්ගලලාගේ සීනි බෝල වචන වලින් හැඩ ගැන්වුණු මල් පත්තරද පැමිණුනේය.

***
මගේ ජ්‍යෙෂ්ඨ උත්තමයෙකු සහ බොහෝ දෙනා හඳුනන බ්ලොග්කරුවෙකු මෙන්ම අටවිසි මහල් ඇති තට්ටු ගොඩනැඟිලි හැදුවත් මහ පොළොවේ ජීවත්වන නිරහංකාර මිනිසකු වන තිලකසිරි ඒකනායක ලියූ තිලකසිත බොහෝ දෙනා කතාකර ඇති, බොහෝ දෙනා අගය කර ඇති පොතකි. ඉදිරියේදී පළවීමට නියමිත ඔහුගේ පළමු නවකතාව සහ දෙවන පොතද වන අටවිසි මහලද එවැනිම එකක් වනු ඇති බව කියන්නට පොත ලියා අවසන් වන තුරු වුවද සිටින්නට අවශ්‍ය නැත.

අලෙවිය සඳහා තිලකසිත මිල කර තිබුණේ රුපියල් හාරසීයක මුදලකටය. රුපියල් හාරසීයක් යනු තිලකසිතේ සැබෑ වටිනාකමද?

පොතක වටිනාකම මිල කළ නොහැකි බව කෙනෙකුට කිව හැකිය. ඇත්තටම පොතක වටිනාකම මුදලට සාපේක්ෂව ඇගයීම අසීරු දෙයකි. එහෙත්, එය බැරි දෙයක් නොවේ. වෙනත්, භාණ්ඩ හා සේවාවන් බොහොමයකට මෙන්ම පොතකටද නිශ්චිත වටිනාකමක් තිබේ.

පොතක වටිනාකම එහි මුද්‍රණ වියදම නොවේ. තිලකේ වෙනුවට ඔය ප්‍රමාණයේම ඔය පිටු ගණනම ඇති පොතක් ලියා මුද්‍රණය කරවන්නට ඉකොනොමැට්ටාට වුවත් බැරි නැත. අවශ්‍යනම් දැදිගම වී රුද්‍රිගුගේ අම්මා පරිවර්තනය ප්‍රමාණයේම පොතක් එළියට දැමිය හැකිය. මුද්‍රණ වියදම සමාන වුණත් ඉකොනොමැට්ටාට ඇලෙක්සේයි මක්සිමෝවිච් පෙෂ්කොව් වෙන්නට හෝ තිලකසිරි ඒකනායක වෙන්නට බැරි නිසා අර කලින් කී පොත් වල ඇති වටිනාකම දෙන්නට ඉකොනොමැට්ටාට නුපුළුවන.

පොතක වටිනාකමේ ප්‍රභවය ලේඛකයාය. එහෙත් ලේඛකයාගෙන් ජීවය ලබන පොතේ සම්පූර්ණ වටිනාකම ඵලදායී යථාර්තයක් වී බාහිර ලෝකයට පෙනෙන්නේ කියවන පාඨකයින් නිසාය. පොත මිලදීගන්නා පාරිභෝගිකයින් නිසාය. තිලකේ පොත ලියා අත්පිටපත ගෙදර තියා ගත්තානම් ඒත් තිලකසිත තිලකසිතමය. එහි වටිනාකමක් තිබේ. එහෙත් මේ වටිනාකම අසම්පූර්ණ වටිනාකමකි.

සිංහරාජය මැද තිබූ දැවැන්ත ගසක් කඩා වැටුණේය. හැතැම්ම දහපහළොවක දුරක මනුස්ස පරාණයක් හිටියේ නැත. ගස කඩා වැටෙන විට සද්දයක් ඇහුණාද?

තිලකේ දැන් පොත රුපියල් හාරසීයකට මිල නියම කරයි. පොත විකිණේ. රුපියල් හාරසීය පොතේ නියම වටිනාකමද?

පැහැදිලිවම උත්තරය "නැත". පොතේ වටිනාකම එක් එක් පුද්ගලයාට සාපේක්ෂය. පොත මිලදී ගන්නා පුද්ගලයෙකුට පොතේ වටිනාකම අඩුම වශයෙන් රුපියල් හාරසීයකි. එය රුපියල් 400ක්, 401ක්, 500ක්, 1000ක්, 5000ක්, හෝ 10,000ක් විය හැකිය. එහෙත්, එහි වටිනාකම "අසීමිත" නැත.

පොතේ මුද්‍රණය කළ පිටපත් 25,000කින් විකිණුනේ පිටපත් 24,000ක් පමණක්නම් එයින් අදහස් වන්නේ පොතේ වටිනාකම අඩුම වශයෙන් රුපියල් 400ක් යැයි සිතන අය අඩුම වශයෙන් 24,000ක් සිටින බවයි. පිටපත් සියල්ල විකිණුනේනම් එවැනි අය 25,000ක් හෝ වැඩි ප්‍රමානයක් සිටින බව පැහැදිලිය.

පොත මිලදී ගත් හැමකෙනෙක්ම එසේ කිරීමෙන් වාසියක් ලබා තිබේ.

"තිලක සිත ජීවිත කතා ගැන ලියවුණු පොත් අතරින්, මම කියවපු  ලස්සනම, රස ම පොතක්... බිම තියන්න නොහිතෙන තරම් කැමැත්තකින්, මුලු පොතේම තියෙන කතන්දර ටික එක හුස්මට කියවගෙන යන්න පුලුවන්..!"

සෞම්‍ය සඳරුවන් ලියනගේ තිලකේට සුබපැතුමක් එවීමට කාලය යෙදවීමෙන් ආවස්ථික පිරිවැයක් දරයි. දැන් පොත වෙනුවෙන් ඔහුගේ වියදම රුපියල් 400 ඉක්මවයි. ඔහු එසේ කරන්නේ ඔහුට පොතේ වටිනාකම රුපියල් 400ට සහ මේ අමතර "වියදමට" වඩා වැඩි නිසාය. මේ වැඩිමනත් වියදමෙන් අනතුරුවද ඔහුට වාසියක් ඇත.

මේ අතර පොත මිලදී ගන්නා නමුත් එය නොකියවන අයද සිටිති. මේ අය එසේ කරන්නේ පොත ගෙදර ප්‍රදර්ශනයට තැබීමෙන් ලබන සතුට රුපියල් 400ට වැඩි නිසාය. එය අදාල පුද්ගලයාගේ කැමැත්තයි. එවැනි පුද්ගලයින්ට බලෙන් පොත් කියවීමට උනන්දු කරවීම අනවශ්‍ය දෙයකි.

මේ අතරම "හැත්තෑව දශකයේත් ලාම්පු පත්තු කළ නිවසක විසු පිටිසර ගුරු පවුලක් වටා ලියැවුනු මේ කතාවල" වටිනාකමක් නැතැයි සිතන අයත් සිටිති. එහිත් ඇති වැරැද්දක් නැත. එවැන්නෙකුට පොතේ වටිනාකම එහි මිල වන රුපියල් 400ට වඩා අඩු නිසා පාඩුවක් විඳිමින් පොත මිලදී නොගෙන ඒ මුදලින් වෙනත් දෙයක් මිලදී ගනු ඇත. ඔහුට හෝ ඇයට පැත්තකට විසිකරන්නට පොතේ පිටපතක් අඩුමිලකට හෝ නිකම් දීමද අවශ්‍ය නැති දෙයකි.

පොතක මිල ගෙවා එය ලබා ගන්නේ එයට වැඩිම වටිනාකමක් දීමේ හැකියාව ඇති, එයින් වැඩිම ප්‍රයෝජනයක් හෝ සතුටක් ලබන පාඨකයින්ය.

(මේ මාතෘකාවට අදාළ මෙහි කථා කර නැති වෙනත් පැතිද තිබේ. ඒ ගැන පසුව කථා කරමු. පොතේ රූපය අවසර නැතුව හොරෙන් ගත්තාට තිලකේ නඩුමඟට නොයනු ඇතැයි සිතමි. උඩින් ඇති කතාව ඇත්තම නොවේ.)

Tuesday, August 25, 2015

අළුත් පාර්ලිමේන්තුවේ වාසනාවන්තයෝ


මේ සහස්‍රයේ  පළමු ඇමරිකානු ජනාධිපතිවරණය පැවති 2000 වසරේදී රටේ බහුතර ඡන්දය ලබාගත් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇල් ගෝර්ව පරදවමින් රිපබ්ලිකන් අපේක්ෂක ජෝජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපති ලෙස පත් වූයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වැඩි ඡන්ද 537ක් ලබා ගැනීම නිසාය. මේ ඡන්ද වලින් අඩක් අනෙක් පසට මාරු වී නම් ලැබෙන්නේ වෙනස් ප්‍රතිඵලයකි.

සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ මෙසේ ඡන්ද සුළු ගණනක් නිසා සමස්ථ ප්‍රතිඵලය කණපිට හැරීමට ඇත්තේ අඩු ඉඩකඩකි. එහෙත්, ලංකාවේ පසුගිය මහ මැතිවරණයේදීද 'කොටයේ එල්ලී' අමාරුවෙන් දියවන්නාව තරණය කරගත් අය සිටිති. පහතින් ඇත්තේ එවැනි වාසනාවන්තයින්ගේ ලැයිස්තුවකි.



1. අමීර් අලි (සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය)
මඩකලපුව දිස්ත්‍රික්කයේ එජාපෙ ඡන්ද 64ක් එජනිසට මාරු වීනම් එජාපෙන් තරඟ කළ අමීර් අලි වෙනුවට තේරී පත්වෙන්නේ එජනිස අපේක්ෂකයෙකි.



2. මොහාන් ද සිල්වා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
ගාල්ල දිස්ත්‍රික්කයේ එජනිස ඡන්ද 598ක් ජවිපෙට මාරු වීනම් එජනිසයෙන් තරඟ කළ මොහාන් ද සිල්වා වෙනුවට තේරී පත්වෙන්නේ ජවිපෙ අපේක්ෂකයෙකි. පෙරටුගාමී පක්ෂය ලබාගත් ඡන්ද වලින් 1196ක් ජවිපෙට ලැබුනේ වුවද මෙය සිදුවිය හැකිව තිබුණි.



3. විජයකලා මහේස්වරන් (එක්සත් ජාතික පක්ෂය)
යාපනය දිස්ත්‍රික්කයේ එජාපෙ ඡන්ද 1358ක් එජනිසට මාරු වීනම් එජාපෙන් තරඟ කළ විජයකලා මහේස්වරන් වෙනුවට තේරී පත්වෙන්නේ එජනිස අපේක්ෂකයෙකි. මෙයට අදාලව මයියාද සටහනක් පළ කර තිබේ.


4. ශ්‍රියානි විජේවික්‍රම (මහජන එක්සත් පෙරමුණ)
අම්පාර දිස්ත්‍රික්කයේ එජනිස ඡන්ද 1544ක් සමස්ත ලංකා මහජන කොංග්‍රසයට මාරු වීනම් එජනිසයෙන් තරඟ කළ ශ්‍රියානි විජේවික්‍රම වෙනුවට තේරී පත්වෙන්නේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අපේක්ෂකයෙකි.


5. කෙහෙළිය රඹුක්වැල්ල (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
මහනුවර දිස්ත්‍රික්කයේ එජනිස ඡන්ද 2369ක් එජාපෙට මාරු වීනම් එජනිසයෙන් තරඟ කළ කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවට තේරී පත්වෙන්නේ එජාපෙ  අපේක්ෂකයෙකි.


6. නලින්ද ජයතිස්ස (ජනතා විමුක්ති පෙරමුණ)
කළුතර දිස්ත්‍රික්කයේ ජවිපෙ ඡන්ද 2617ක් එජනිසට මාරු වීනම් ජවිපෙන් තරඟ කළ නලින්ද ජයතිස්ස වෙනුවට තේරී පත්වෙන්නේ එජනිස අපේක්ෂකයෙකි. මේ අපේක්ෂකයා එජනිස ජාතික ලැයිස්තුවෙන් පත් කෙරුණු මහින්ද සමරසිංහදැයි මා නිශ්චිතව දන්නේ නැත.

7. අබ්දුල් රහ්මාන් ඉසාක් (සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එජාපෙ ඡන්ද 3756ක් ජවිපෙට මාරු වීනම් එජාපෙන් තරඟ කළ අබ්දුල් රහ්මාන් ඉසාක් වෙනුවට තේරී පත්වෙන්නේ ජවිපෙ අපේක්ෂකයෙකි.


8. සුසන්ත පුංචිනිලමේ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එජනිස ඡන්ද 5412ක් එජාපෙට මාරු වීනම් එජනිසයෙන් තරඟ කළ සුසන්ත පුංචිනිලමේ වෙනුවට තේරී පත්වෙන්නේ එජාපෙ අපේක්ෂකයෙකි.


9. චන්ද්‍රසිරි ගජධීර (ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය)
මාතර දිස්ත්‍රික්කයේ එජනිස ඡන්ද 6380ක් ජවිපෙට මාරු වීනම් එජනිසයෙන් තරඟ කළ චන්ද්‍රසිරි ගජධීර වෙනුවට තේරී පත්වෙන්නේ ජවිපෙ අපේක්ෂකයෙකි. කෙසේ වුවද ජවිපෙ මන්ත්‍රී ධුරය ලැබිය හැකිව තිබුණු සුනිල් හඳුන්නෙත්තිට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය.


10. තුෂාර ඉඳුනිල් (එක්සත් ජාතික පක්ෂය)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාපෙ ඡන්ද 7044ක් ජවිපෙට මාරු වීනම් ජවිපෙ 5% සීමාවට ලඟා විය හැකිව තිබුණු අතර එජාපෙන් තරඟ කළ තුෂාර ඉඳුනිල් වෙනුවට තේරී පත්වෙන්නේ ජවිපෙ අපේක්ෂකයෙකි.

මෙසේ යාන්තමින් දියවන්නාව තරණය කළ මුල් දස දෙනා අතර සුළු පක්ෂ වල නියෝජනය වැඩි වීම විශේෂත්වයකි. මේ ලැයිස්තුවෙහි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මෙවර ඡන්දයෙන් පත් වූ එකම මන්ත්‍රී වරයාද, මහජන එක්සත් පෙරමුණේ දෙදෙනාගෙන් එක් අයෙක්ද, සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් තේරුණු සිවු දෙනාගෙන් දෙදෙනෙක්ද, ජවිපෙ මන්ත්‍රීවරුන් සිවුදෙනාගෙන් එක් අයෙක්ද වෙති.

මේ ලැයිස්තුවේ වුවද පහලින් ඇති වෙනස්කම් සිදුවීමටනම් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් වෙනස් විය යුතුව තිබුණු අතර එසේ වුවද සමස්ත ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් සිදු නොවේ. එබැවින්, මේ මැතිවරණයේදී තමන් ගත් තීරණය පිළිබඳව කණගාටු වීමට කිසිවෙකුට විශාල හේතුවක් නැත.

(අත්වැරදීම් තිබිය හැකිය. දැක්කොත් කරුණාකර පෙන්වන්න. ඡායාරූප අන්තර්ජාලයේ එහෙන් මෙහෙන් ගත් ඒවාය.)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...