වෙබ් ලිපිනය:

Monday, July 6, 2015

සිරිසා පළමු ගල ගැහුවේ ප්ලූටස් ඝාතනයටද?

හෝමෝ සේපියන්ස්ලා කණ්ඩායමක් ලෙස සාමූහික දේශපාලන තීරණ ගැනීමේදී දැනට බහුලවම යොදා ගන්නා ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදයයි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සෑම පුද්ගලයෙකුගේම පුද්ගල අභිලාශයන්ට සමාන වටිනාකමක් ලබා දීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සිදු වූ ලෙස සැලකෙන්නේ වත්මන් හෙලනික් ජනරජයේ (ග්‍රීසියේ) අගනුවර වන ඇතීනා (ඇතැන්ස්) නගරයේදීය. ඇතීනාහිදී මේ සංකල්පය බිහි වූ ක්‍රිස්තු පූර්ව සයවන සියවස පැරණි දඹදිව මෙන්ම චීනය ඇතුළු ලෝකයේ වෙනත් බොහෝ පෙදෙස් වලද දියුණු හෝමෝ සේපියන්ස් අදහස් හා දර්ශනවාද රැසක් ස්වාධීනව බිහිවූ කාලයකි. මේ අනුව වෙනත් තැන් වලත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිහිවූ නමුත් ඇතීනාහි බිහි වූ ක්‍රමය අඛණ්ඩව වර්තමානය දක්වා දියුණු වූ ලෙස සැලකේ.

සියවස් විසිහයක සිටම තීරණ ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දුන් සොක්‍රටීස් පරම්පරාවේ හෙලීනයෝ ඊයේ (ජූලි 05) තවත් තීරණාත්මක කඩඉමකට  සමාජයක් ලෙස මුහුණ දිය යුතු ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණය කළෝය. ඒ ඔවුන් මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නැතුවම බැරි තවත් විදේශ ණය මල්ලක් ලබාගැනීම සඳහා රටක් වශයෙන් කෙතරම් නම්‍යශීලී විය යුතුද යන තීරණයයි. අග්‍රාමාත්‍ය අලෙක්සීස් සිප්රස් ප්‍රධාන පාලක වාමාංශික සන්ධානය (සිරිසා) ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකම ඉල්ලීම පරිදි හෙලනික් ජනපදිකයින් බහුතරයකගේ (61.3%) තීරණය වූයේ ණය ලබා දීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිගත යුතු නැති බවයි.

වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා හොම්බ බිම ඇණගත් රටක් පිනට ගොඩ දැමීමට කාටවත් අමාරුවක් නැත. (ලංකාවනම් ග්‍රීසියට එවැනි උදවුවක් කර තිබේ.) එවැනි රටකට ණය ලබාදීමට වෙනත් රටවල් හෝ සංවිධාන ඉදිරිපත් විය හැකි වුවත්, එහිදී තමන් ලබාදෙන ණය ආපසු ලබාගැනීමේ හැකියාව ගැන ඔවුන් සැලකිලිමත්වීම තේරුම් ගැනීමට අපහසු නැත. ග්‍රීසියට ණය ලබා දීමට පෙර සුභසාධන වියදම් කපා හැරීම, රාජ්‍ය වියදම් අඩු කිරීම ඇතුළු වේදනාකාරී පියවර රැසක් සඳහා කොන්දේසි ඉදිරිපත් වන්නේ මේ පදනමිනි.

ජනමතවිචාරණයේ ප්‍රතිඵලය මඟින් ග්‍රීසියේ ණය ගෙවීමේ හැකියාවට අමතරව යුරෝපීය සංගමය තුළ ග්‍රීසියේ ඉදිරි පැවැත්මද ප්‍රශ්න කෙරී ඇත. හෙලනික් ජනරජයේ බොහෝ ගොඩනැගිලි මත ග්‍රීක කොඩිය සමඟ තවමත් ලෙලදෙන යුරෝපීය සංගමයේ කොඩිය තවත් කෙතෙක් කලක් එසේ ලෙලදේදැයි අවිනිශ්චිතය.

ලංකාව මෙන් දෙගුණයක් විශාල ග්‍රීසියේ ජනගහණය ලංකාවේ ජනගහණයෙන් අඩකි. 2000දී ඇමරිකන් ඩොලර් 11,960ක් වූ ග්‍රීසියේ  ඒක පුද්ගල ආදායම යුරෝපියානු සංගමයට එක් වීමෙන් පසු සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර 2008 වන විට ඇමරිකන් ඩොලර් 31,700ක් දක්වා වර්ධනය විය. එහෙත් ග්‍රීකයින්ගේ සෞභාග්‍යයේ දේවතාවා වන ප්ලූටස්ට 2008 අවසානයේදී වූ ලෝක ආර්ථික අවපාතය හමුවේ පසුබසින්නට සිදුවිය. මේ වන විට ග්‍රීසියේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 19,000 මට්ටමෙනුත් පහළට වැටී ඇති අතර ප්ලූටස්ගේ මරණය කෙසේ වෙතත් ග්‍රීසියේ සෞභාග්‍යය තවත් බොහෝ සේ පහත වැටීම නොවැලැක්විය හැකි වනු ඇත.


ඇමරිකාව ප්‍රධාන සමස්ත බටහිර ලෝකයටම විශාල අභියෝගයක් වූ 2008 ආර්ථික අවපාතයේ අහිතකර ප්‍රතිඵල අවම කර ගැනීම සඳහා ගත් ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග බොහොමයක්ම අවසන් වූයේ මේ රටවල් වල රාජ්‍ය අංශ ප්‍රසාරණය කරමින්, සුභසාධන ව්‍යාපෘති පුළුල් කරමින් හා ණයබර වැඩි කරමිනි. කෙසේ වුවද, බොහෝ දෙනා පහසුවෙන් අමතක කරන කරුණක් වන්නේ කෙතරම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියකින් වුවද සම්පත් අලුතින් ජනනය කිරීමට ඇත්තේ ඉතා සීමිත අවකාශයක් බවයි.

ආර්ථික ප්‍රතිපත්ති මඟින් බොහෝ විට කෙරෙන්නේ යම් ආර්ථික ඒකකයක් සතු සම්පත් වල සංයුතිය වෙනස් කිරීමකි. මෙහිදී, නිෂ්පාදකයින්ගෙන් පාරිභෝගිකයින්ට, පාරිභෝගිකයින්ගෙන් නිෂ්පාදකයින්ට, ඇති-හැකි අයගෙන් නැති-බැරි අයට, ඉපදී සිටින හෝ ඉපදීමට සිටින දරුවන්ගෙන් පියවරුන්ට හෝ එක් ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට සම්පත් සම්ප්‍රේෂණයක් සිදු වේ. රාජ්‍ය බලය යොදා සම්පත් වල සංයුතිය මෙසේ වෙනස් කිරීමේදී ඵලදායීත්වය අඩු තැනකින් වැඩි තැනකට සම්පත් සම්ප්‍රේෂණය වුවහොත් යම් සම්පත් ජනනයක් සිදුවන නමුත් රාජ්‍ය මැදිහත්වීමක් බොහෝ විට සිදුවන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටය.

ආර්ථික අවපාතයකදී සිදුවන රාජ්‍ය මැදිහත්වීමක් බොහෝවිට සුභසාධනය අරමුණු කර ගනී. සමාජ-දේශපාලනික අරමුණු වෙනුවෙන් යම් තාක් දුරකට රටක ආර්ථික සෞභාග්‍යය කැප කිරීමේ වරදක් නැතත් සුභසාධන ආර්ථිකයක් මඟින් බොහෝ විට දීර්ඝකාලීනව ලැබෙන්නේ නිශේධනාත්මක ප්‍රතිඵලයකි.


පසුගිය 2008 ආර්ථික අවපාතය හමුවේ වඩාත්ම පීඩනයට පත් වන කොටස් වෙත යම් සම්ප්‍රේෂණයක් කිරීම ප්‍රබල සමාජ-දේශපාලනික අවශ්‍යතාවක් විය.


ආර්ථික අවපාතයක් දිග් ගැසුණු විට එහි පීඩනය සමස්ත සමාජය වෙතම බලපෑමක් කිරීම නොවැලැක්විය හැකිය. ඇති-හැකි අයගෙන් නැති-බැරි අයට මේ සම්ප්‍රේෂණය කිරීම තුළ සිදුවිය හැකිව තිබුණේ මේ අවස්ථාවේදී නැති-බැරි අය මෙන්ම පීඩාවට පත්ව සිටි ඇති-හැකි අය තව දුරටත් පීඩාවට පත් වීමයි. සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගත හැකි මේ ඇති-හැකි අය (විශේෂයෙන්ම නිෂ්පාදන අංශයන්) ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට උපකාරී වන ගාමක බලවේගය වන නිසා ආර්ථිකයට ඉක්මන් සුවයක් ලැබිය හැකිව තිබුණේ ඔවුන්ව තවත් දිරිමත් කිරීමෙන් මිස පීඩාවට පත් කිරීමෙන් නොවේ.


මේ අනුව, බොහෝ රාජ්‍යයන්හි තෝරා ගැනීම වූයේ ඉපදී සිටින හෝ ඉපදීමට සිටින දරුවන් වෙතින් ඔවුන්ගේ පියවරුන් වෙතට සම්පත් සම්ප්‍රේෂණය කිරීමයි. වෙනත් වචන වලින් කිවහොත්, අනාගතය උගසට තබා ණය ගැනීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය තීරණ ගැනීමට දැනට ඇති හොඳම ක්‍රමයයි. මෙහිදී යම් ප්‍රදේශයක ජීවත්වන සෑම පුරවැසියෙකුගේම අදහස් වලට ආන්තික බලයක් ලැබේ. එහෙත්, මේ ක්‍රමයේත් දුර්වලතා නැතුවා නොවේ.

මැතිවරණයකදී ඉපදීමට සිටින පුරවැසියන්ගේ මතයට තැනක් නොලැබෙන අතර, දැනට ජීවත්වන පුරවැසියෝ එක් වී තීරණ ගැනීමේදී බොහෝ විට අනාගත පරම්පරා වල ශුභ සාධනය නොසලකා හරිති. පරිසර දුෂණය වැනි කරුණු වලදී මේ අනාගතය තරමක් දුරස්ථ වුවද, රාජ්‍ය ණය හා අදාලව මේ අනාගතය එතරම්  දුර නොවන නිසා වසර කිහිපයකින් මේ තීරණ ගත් ජනතාවටම එහි ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවිය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක් දීර්ඝකාලීනව සුභසාධනය වෙත යොමුවීම ඉතා හානිකරය. සුභසාධන ආර්ථිකයකින් යම් නිශ්චිත ජන කොටසකට සහන සැලසෙන අතර එය සිදුවන්නේ ජීවත්වන වෙනත් ජන කොටසක හෝ තවමත් ඉපදී නැති අනාගත පුරවැසියන්ගේ වියදමෙනි. මේ ජන කොටස රටේ බහුතරය වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට සුභසාධන උගුලෙන් ගැලවීම අපහසු වනු ඇති අතර එවැනි සමාජයක් ක්‍රමයෙන් ආර්ථික පරිහානිය කරා ගමන් කරනු ඇත. හඳෙන් හාල්, ඇට අට, හාල් පොත් හා තුනයි පනහේ පාන් සිට නොමිලේ ලැබේයැයි බොහෝ දෙනා සිතන අධ්‍යාපනය හා සුව සේවාවන් දක්වා ඇති යථාර්තය මෙයයි.

(ඡායාරූප සතියකට පෙර ඉකොනොමැට්ටා විසින් ගත් ඒවාය.)

මේ පිළිබඳව අරුණි ශපීරෝ‍ගේ සටහනක් මෙහි ඇත.

Saturday, July 4, 2015

ශුභ උපන් දිනයක්, අන්කල් සෑම්!


අද (ජුලි 04) ඇමරිකා එක්සත් ජනපදයේ 239වන උපන් දිනයයි. සමස්ත ඇමරිකාවම උත්සවශ්‍රීයෙන් බබලවන මේ දිනය ලෝකයේ විශාලතම උපන්දින සාදය ලෙසද සැලකේ.

සාපේක්ෂව කෙටි ඉතිහාසයක් ඇති වත්මන් ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1776 ජුලි 04 වන දින බ්‍රිතාන්‍ය කොලනි 13ක ජීවත් වූ ජනතාව (වඩාත් නිවැරදිව, ඔවුන්ගේ නියෝජිතයින්) එක් වී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට තව දුරටත් යටත් නොවන ඇමරිකා එක්සත් ජනපදය නම් වූ ස්වාධීන රටක් ප්‍රකාශයට පත් කිරීමයි. ඇමරිකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයෙන් නිදහස් කර ගැනීමේ සටන මෙහෙයවූ මුල් කොලනි දහතුනෙහි නියෝජිතයන්ගෙන් සමන්විත වූ 'මහද්වීපික කොන්ග්‍රසය' නමින් හැඳින්වුණු කමිටුව මඟින් 1776 ජුලි 02 දින ඇමරිකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ අතර දින දෙකක් විවාදයට බඳුන් කර සංශෝධනයන් එක් කෙරුණු 'නිදහස් ප්‍රකාශනය' 1776 ජුලි 04 දින මහද්වීපික කොන්ග්‍රසය මඟින් සම්මත කෙරිණි.

මේ වන විටත් ඇරඹී තිබුණු ඇමරිකානු නිදහස් සටන තවත් වසර හතක් පැවති අතර අවසානයේදී බ්‍රිතාන්‍යය විසින් ඇමරිකාවේ ස්වාධීනත්වය පිළිගැනිණි. 1783දී බ්‍රිතාන්‍ය හා ඇමරිකන් පාර්ශ්ව අතර පැරිස් නුවරදී අත්සන් තැබුණු සාම ගිවිසුම ඇමරිකාවට ඕනෑවටත් වඩා වාසිදායක වූ ගිවිසුමක් විය. මෙමඟින් බ්‍රිතාන්‍යයය අපේක්ෂා කාලේ ළදරු ඇමරිකාවට ඉක්මණින් ලොකු මහත් වීමට ඉඩ සලසා සිය අපනයන භාණ්ඩ සඳහා විශාල වෙළඳපොළක් බිහි කර ගැනීමේ උපක්‍රමික වාසියයි.

 ළදරු ඇමරිකාව බිහිවන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හෝමෝ සේපියන්ස්ලා ජීවත් වූ මහාද්වීප සියල්ලම වසා ගත් දැවැන්ත වෘක්ෂයක් වූ අතර ඇමරිකාව විසින් කපා ඉවත් කර ගත්තේ මේ ගසේ වැදගත්ම ශාඛාවකි.

මේ ශාඛාව උතුරු ඇමරිකන් මහාද්වීපය පුරා මුල් අදිද්දී දැවැන්ත බ්‍රිතාන්‍ය වෘක්ෂයේ ශාඛාවන් එකින් එක කපා හෙලනු ලැබ එය කුරු බොන්සායි ගසක් විය. කෙසේ වුවද මේ බොන්සායි ගසේ තවමත් මල් පිපේ. ගෙඩි හැදේ.

මුල් ඇමරිකා එක්සත් ජනපදය අද අප දකින ඇමරිකා එක්සත් ජනපදයට වඩා බොහෝ කුඩා රටකි. එය වත්මන් ඇමරිකාවේ නැගෙනහිර වෙරළාසන්නව ඇති මුල් ප්‍රාන්ත 13කට සීමා විය. ඇමරිකන් කොඩියේ ඇති රක්ත හා ධවල වර්ණ තීරු තෙළෙස මඟින් සංකේතවත් වන්නේ මේ මුල් ප්‍රාන්ත දහතුනයි. තීරු දහතුනකට අමතරව වත්මන් ඇමරිකාවේ ප්‍රාන්ත පනහ සංකේතවත් කිරීමට තරු පනහක්ද ඇති වත්මන් ඇමරිකන් කොඩියේ මුලින්ම තිබුණේ තරු දහතුනක් පමණි.

සම්මුතියෙන්, බලහත්කාරයෙන් මෙන්ම මුදල් ගෙවා මිලදී ගැනීමෙන් භූමිය අත්පත් කරගනිමින් ළදරු ඇමරිකාව ලොකු මහත් විය. එක්සත් ජනපදයේ ප්‍රාන්ත එකිනෙක වැඩි වෙද්දී ඇමරිකන් කොඩියේ තරු ගණනද එකිනෙක වැඩි විය. එහෙත්, ආරම්භක කොලනි දහතුන සංකේතවත් කරමින් එහි තීරු ගණන තවමත් දහතුනක් ලෙස නොවෙනස්ව පවතී.

මුලින් මුලින් ඉතා ඉක්මණින් කොඩියට තරු එකතු වූ අතර 1912 වන විට ඇමරිකන් කොඩියේ තරු 48ක් විය. ඒ වන විට වත්මන් 'මහාද්වීපික ඇමරිකාව' වසාගත් ප්‍රාන්ත 48ක් ඇමරිකාව සතුවිය. මේ කොඩිය 1959 වනතුරු, වසර 47ක්, නොවෙනස්ව පැවතුණේය. 1959 හා 1960 වසර වලදී ඇමරිකන් කොඩියට එහි අවසන් තරු දෙක එකතු විය. ඒ භෞමිකව වෙන්ව පිහිටි ඇලස්කා හා හවායි ප්‍රාන්ත එක්සත් ජනපදයට එක් වීමෙනි. 1960 සිට අද දක්වා වසර 55ක් ඇමරිකන් කොඩිය වෙනස් වී නැත.

ඇමරිකන් නිදහස් දිනයේ බොහෝ නිවෙස් වල ඇමරිකන් කොඩියක් ලෙලදෙන අතර කුඩා නගර වල පවා නිදහස් උත්සව පැවැත්වේ. මේ නිදහස් උත්සව වල විශේෂ අංගයක් වන්නේ දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයි. ගිණිකෙළි භාවිතය නියාමනය කර ඇති ඇතැම් ප්‍රාන්ත වල නිදහස් උත්සව දිනයේදී විශේෂ අවසරකින් තොරව ගිණිකෙළි භාවිතා කල හැකිය.

 බොහෝ කටයුතු වලදී සාමාන්‍ය ජනතාවට මුල් තැන ලැබෙන ඇමරිකාවේ මේ නිදහස් උත්සව බොහොමයක්ද ප්‍රාදේශීයව බොහෝ විට කිසියම් පුරවැසි කමිටුවක් මඟින් සංවිධානය කෙරේ. මේ උත්සව වල ඇමරිකානු අභිමානී ගීත ගැයෙන අතර ආරක්ෂක හමුදා විශ්‍රාමිකයින්ට විශේෂ තැනක් ලැබේ. ඇමරිකන් කොඩිය හෝ වෙනත් ඇමරිකන් සංකේත සහිත ටී-ෂර්ට්, තොප්පි ආදියෙන් සැරසෙන සාමාන්‍ය ඇමරිකානුවෝ නිදහස් දිනයේදී සිය ඇමරිකානු අභිමානය ප්‍රදර්ශනය කිරීමට නොපැකිළෙති.

ඇමරිකානුවන්ට ඇමරිකානුවන් වීම නිසා ආඩම්බර වීමට ඕනෑ තරම් හේතු තිබේ. ජනගහණය අනුව තෙවන විශාලතම රටවන ඇමරිකාව, භූමි ප්‍රමාණය අනුව තෙවන හෝ සිවුවන විශාලතම රටයි. මේ සියල්ලටම වඩා යුද හා ආර්ථික බලය අතින් ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකාවයි.

කෙසේ වුවද, යුද බලය අතින් කෙසේ වුවත් ආර්ථික බලය අතින්නම් වැඩිකලක් නොයා චීනය ඇමරිකාව අභිබවනු ඇත. ජනගහණය අනුව ලොව විශාලතම රට වන අතරම ඇමරිකාවට ආසන්නව සමාන භූමි ප්‍රමාණයකට හිමිකම් කියන ඇමරිකාවට වඩා ඉතා දිගු ඉතිහාසයක් ඇති චීනය ආර්ථික බලය අතින් ඇමරිකාව අභිබවීම ඉදිරි වසර කිහිපය තුළ සිදුවනු ඇත.

නිදහස් උත්සවය සමරන ඇමරිකානුවන් මිලදී ගන්නා ඇමරිකානු කොඩි මෙන්ම ගිනිකෙළි භාණ්ඩද බොහොමයක්ම ආනයනය කර ඇත්තේ චීනයෙනි. පසුගිය 2014 වසර තුළදී ඇමරිකාව විසින් චීනයෙන් ආනයනය කර ඇති ගිනිකෙළි වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 247ක් (මුළු ප්‍රමාණයෙන් 95.8%ක්) වන අතර ඇමරිකන් ජාතික කොඩි (ආනයනය කර ඇති මුළු ප්‍රමාණයෙන් 97%ක්) සඳහා චීනයට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් ගෙවා ඇත.

මේ සියවස තුල ලෝක බලතුලනය පසුගිය සියවසේ බලතුලනයට වඩා බොහෝ වෙනස් වනු ඇති අතර බටහිර නොවන සංස්කෘතීන්හි දායකත්වය ඉහල යනු ඇත. ඒ අනුව විසිඑක්වන සියවස තුළ ඇමරිකාවේ කාර්යභාරය වෙනස් විය හැකි නමුත් එය කිසිසේත්ම නොවැදගත් නොවනු ඇති අතර ඇමරිකානු වෘක්ෂය තවත් කාලයක් හොඳින් පල දරනු ඇත.


ශුභ උපන්දිනයක්, අන්කල් සෑම්!

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Wednesday, July 1, 2015

මෛත්‍රී ජනපති කිරීමට ආන්තික තල්ලුව යෙදුවේ කවුද?

ජනවාරි මාසයේදී ලක්ෂ හතරහමාරක වැඩි ඡන්දයකින් මහින්ද රාජපක්ෂව පරදවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විය. ඡන්ද ලක්ෂ හතරහමාරක් අඩුවෙන් ගත්, රටේ බහුතර ඡන්දය ගැනීමට අසමත් වුනු මහින්ද මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙන් දහයකදී ඉදිරියෙන් සිටි අතර මෛත්‍රී දිස්ත්‍රික්ක දොළහකදී ඉදිරියෙන් සිටියේය.

මේ ප්‍රතිඵලයට සාපේක්ෂව, 2005දී මහින්ද පළමු වරට ජනපති ලෙස පත් වෙද්දී මහින්දට වඩා ඡන්ද එක්ලක්ෂ අසූදහසකින් පමණක් පිටුපසින් සිටි රනිල් වික්‍රමසිංහ මහින්ද හා සමානව මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙන් එකොළහක්ම ජයග්‍රහණය කළේය.

කෙසේ වුවද 2005දී සහ 2015දී ඡන්ද ප්‍රතිපල විග්‍රහ කෙරුණේ එකම ආකාරයකට නොවේ. බහුතරයේ මතයට සුළුතරයට යට වීමට සිදුවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය බව 2005දී ජයග්‍රාහකයා, පරාජිතයා මෙන්ම මේ දෙදෙනාගේම උදවුකරුවෝද පිළිගත්හ. එහෙත් 2015දී පරාජිතයා හෝ ඔහුගේ උදවුකරුවන් බොහෝ දෙනෙකුට මේ යතාර්ථය පිළිගැනීමට අසීරු විය. වඩාත් කණගාටුදායක කරුණනම් ජයග්‍රාහකයාට සහ ඔහුගේ ආධාරකරුවන් ඇතැමුන්ටද මේ යතාර්ථය පිළිගැනීමට අසීරු වීමයි. ඔවුන්ගෙන්ද බොහෝවිට ජයග්‍රාහී මානසිකත්වයකට වඩා පරාජිත මානසිකත්වයක් මතුවේ.

මැතිවරණ ප්‍රතිඵල දෙකෙහි වෙනස ඇත්තේ ආන්තික ඡන්දදායකයා කවරෙක්ද යන්නෙහිය. 2005දී මෙන්ම 2015දීද ජාතිය හා ආගම අනුව රටේ බහුතරය වන සිංහල බෞද්ධයන්ගේ වැඩි කැමැත්ත මහින්දට වූ අතර සිංහල බෞද්ධයන් නොවන්නනන්ගේ වැඩි කැමැත්ත ප්‍රතිවාදී අපේක්ෂකයාට විය. 2005දී සිංහල බෞද්ධයන්ගේ ජනප්‍රිය අපේක්ෂකයා ජයග්‍රහණය කළ අතර 2015දී එසේ නොවීය. මෙහිදී මේ කරුණ මුල්කරගෙන 2015 පරාජිතයා මෙන්ම ඔහුගේ ආධාරකරුවෝ බහුතරයක්ද සිය පරාජය ජයග්‍රහණයක් ලෙස අර්ථදක්වද්දී ජයග්‍රාහකයාගේ කණ්ඩායමේ ඇතැමුන්ගේ ප්‍රතිචාරය වූයේ තම අපේක්ෂකයා ජයග්‍රහණය කළේ සිංහල බෞද්ධ නොවන ඡන්ද වලින්ය යන්න මිත්‍යාවක් බව පෙන්වීමට උත්සාහ කිරීමයි. එසේ කිරීම මඟින් සිංහල බෞද්ධ නොවන ඡන්ද සිංහල බෞද්ධ ඡන්ද වලට වඩා අඩු වටිනාකමකින් යුතු බවට වූ පරාජිතයාගේ මතය ජයග්‍රාහකයාගේ කණ්ඩායමේ සාමාජිකයන් විසින්ද තහවුරු කරනු ලැබීය. 'වටිනාකම අඩු' ඡන්දයක් ආන්තික ඡන්දය වූ විට බොහෝ අයට රිදේ. මේ පරාජිතයාගේ කණ්ඩායමට වඩා අඩුවෙන් වුවත් ජයග්‍රාහකයාගේ කණ්ඩායම තුළද ඇති පරාජය කළ යුතු මානසිකත්වයකි.

පසුගිය ජනාධිපතිවරණ කඳවුරු ගොඩ නැගුනේම ජාති-ආගම් පදනමක් සහිතවය. සිංහල බෞද්ධයන්ට සිංහල බෞද්ධයන් නොවන්නන්ගේ කිසිදු උපකාරයකින් තොරව ජනාධිපතිවරයෙකු පත්කරගත හැකිය යන (නලින් ද සිල්වා විසින් කාලයක් තිස්සේ සමාජගත කර ඇති, නිවැරදි) අදහස අනුව මහින්ද කඳවුර සංවිධානය වූයේ කණ්ඩායම් වශයෙන් සිංහල බෞද්ධයන් නොවන්නන් බැහැර කරමිනි. එහෙත් කුමන තත්වයක් යටතේ වුවද මහින්දව තෝරාගන්නා පිරිස් සිංහල බෞද්ධයන් නොවන්නන් අතරද සිටින බවට වූ (නිවැරදි) උපකල්පනය මේ කඳවුර තුළ වූ අතර කඳවුරේ ඉලක්කය වූයේ සිංහල බෞද්ධ ආන්තික ඡන්දදායකයෙකි.

මෛත්‍රී කඳවුරේ පාදක කණ්ඩායම වූයේ කෙසේවත් මහින්දව තෝරා නොගන්නා සිංහල බෞද්ධ නොවන, විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම්ය. මෙහිදී අභියෝගය වූයේ ඔවුන් ඡන්දපොළ වෙත යොමු කිරීමයි. ඡන්දයේ දිශානතිය පිලිබඳ ලොකු ගැටළුවක් නොවීය. කෙසේ වුවද ජයග්‍රහණය සඳහා මේ ඡන්ද ප්‍රමාණවත් නොවූ අතර යම් තීරණාත්මක සිංහල බෞද්ධ ඡන්ද සංඛ්‍යාවක් ලැබීම අත්‍යවශ්‍ය සාධකයක් විය. සිංහල බෞද්ධ නොවන ඡන්ද රඳවාගනිමින් සිංහල බෞද්ධ ඡන්ද ගොඩ වැඩි කරගැනීම ඔවුන්ගේ ක්‍රමෝපායය විය. මේ අනුව මේ කඳවුරේද ඉලක්කය වූයේ සිංහල බෞද්ධ ආන්තික ඡන්දදායකයෙකි.

සිංහල බෞද්ධ නොවන ඡන්ද ගැන බලාපොරොත්තු අත් හැර හෝ නොසලකා හැර සිටි මහින්ද කඳවුරට වඩාත් සිංහල බෞද්ධ වීම සඳහා සිංහල බෞද්ධ නොවන සතුරෙකු අවශ්‍ය වූ අතර මරා දමා තිබූ දෙමළ රකුසා උත්ථානය කරවිය නොහැකි වූ නිසා මුස්ලිම් බිල්ලෙකු බිහිකර ගැනීම ඔවුන්ගේ ක්‍රමෝපායයේ කොටසක් විය. එහෙත් මේ බිල්ලාට හිතූ තරමේ ඉල්ලුමක් තිබුනේ නැත. බිල්ලාට බය නොවූ නාගරික සිංහල බෞද්ධයින්ට යහපාලන ටොපී අලෙවිකර ආන්තිකය ලබාගැනීම රනිල්-මෛත්‍රී ක්‍රමෝපායය වූ අතර 2010ට වඩා වෙළඳපොල සාධක වෙනස් වී තිබුණු නිසා ටොපිය හොඳින් අලෙවි විය. මෛත්‍රී සමඟ රනිලුත් මේ ටොපියෙන් ගොඩ ගියේය.

ඉකොනොමැට්ටාගේ නිරීක්ෂණ අනුව රනිල්-මෛත්‍රී කඳවුර තුළ සක්‍රිය වූ ප්‍රධාන කණ්ඩායම් දෙකක් වූයේ සම්මත වර්ග කිරීම් අනුව නාගරික සිංහල බෞද්ධ වන නිර්පාක්ෂික හා නිර්ආගමික පිරිස් හා මුස්ලිම් විරෝධයෙන් පොදුවේ බැට කෑ සාමාන්‍ය මුස්ලිමුන්ය. නාගරික හා ග්‍රාමීය සිංහල බෞද්ධ පිරිස් මහින්ද කඳවුර තුල සක්‍රිය විය. සිංහල බෞද්ධ ප්‍රතිශතය වැඩි ප්‍රදේශ වල බහුතරය (සාපේක්ෂව සුළු පරතරයකින්) මහින්දට ලැබුණු අතර එසේ නොවන ප්‍රදේශ වල මෛත්‍රීගේ ඡන්ද ප්‍රතිශතය මහින්දගේ ප්‍රතිශතයට වඩා බොහෝ විශාල විය.

ඡන්ද සියල්ලම සමාන අතර ජාති, ආගම් අනුව ඒවායේ වටිනාකම් වෙනස් නොවේ. එහෙත් වෙනස් ජාතික හා ආගමික කණ්ඩායම් ඡන්දය භාවිතා කර ඇති ආකාරය තේරුම් ගැනීමට එය බාධාවක් නොවේ. එහෙත් විග්‍රහය විද්‍යාත්මක විය යුතුය. එවැනි විග්‍රහයක් පසුගිය ජනවාරියේදී ඉකොනොමැට්ටා කළත් මේ ප්‍රතිඵලය අවභාවිතයේ යෙදීමේ අවදානම සලකා එය කිසිවකු සමඟ බෙදා හදා නොගත්තේය.

දැන් නැවතත් ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත් වී තිබේ. පසුගිය ජනපතිවරණයේ ජාතික-ආගමික බෙදීම දැනගැනීම මෙවර වඩා දැනුවත් තීරණයක් ගැනීමට හෝ ක්‍රමෝපායික වීමට පිටිවහලක් විය හැකිය. ඒ නිසා ඉකොනොමැට්ටාගේ සරල ආකෘතිය සහ විග්‍රහය එළියට දැමීම වරදක්යැයි නොසිතමි. මෛත්‍රී, මහින්ද මෙන්ම රනිල්ද ඉකොනොමැට්ටාට වෙනත් ඕනෑම පුරවැසියෙකුට වඩා විශේෂ පුද්ගලයින් නොවන නිසා කැමති කෙනෙකුට මේ විශ්ලේෂණය කැමති ලෙස ප්‍රයෝජනයට ගත හැකි අතර අවශ්‍ය කෙනෙකුට වැඩිපුර තාක්ෂණික කරුණු ලබා දිය හැකිය.

ලොකුවට කිවුවාට මහා ලොකු දෙයක් නොවේ. ඉතා සුළු දෙයකි. මා කළේ ඉතා සරල සංඛ්‍යානමය ආකෘතියක් යොදා ඡන්ද ගොඩවල් විසංයෝජනය කිරීමයි.

මේ සඳහා අවශ්‍ය දත්ත ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත්තෙමි. දත්ත පදනම් වන්නේ 2012 සංගණනයක් මතය. දිස්ත්‍රික් පදනම මත ජනගහණයේ ජාති හා ආගම් ව්‍යාප්තිය මේ අනුව ලබා ගතහැකිය. මැතිවරණ වලදී වන්නි දිස්ත්‍රික්කය පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයක එකතුවක් නිසා ඒ දිස්ත්‍රික්ක එක් කළෙමි. එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායක අනුපාතය 2012 ජනගහණ අනුපාතයට සමානයැයි උපකල්පනය කළෙමි. ඉන්පසු සමස්ත ඡන්දදායක ගහණය පහත පරිදි වර්ග කළෙමි.

1. සිංහල බෞද්ධ: මගේ අදහස පරිදි මේ අය අනෙත් අයට නැති 'බහුතර' මානසිකත්වය ඇති පිරිසකි. එය මේ කණ්ඩායමේ අනන්‍යතාවයයි. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන ලොකුවට කතා කරන (අවංකවම) බොහෝ දෙනෙකුටද ඇත්තේ මේ මානසිකත්වයමය. මට හිතෙන හැටියට එය මෙවැන්නකි. "බහුතරය වන අපි පොරවල්ය. අපි තරම් පොරවල් නොවන අනිත් අයට සමාන ලෙස සැලකීම (ඇතැම් විට පුළුවන් තරම් දේ දීම) පොරවල් වන අපේ වගකීමයි." (බටහිර රටවල සම අයිතිවාසිකම් ගැනද මට හැඟෙන්නේ මේ අයුරිනි. අපි දියුණුය. අපිමෙන් නොදියුණු අයට සමානව සැලකීම අපේ දියුණුකමයි.)

2. ශ්‍රී ලාංකික දෙමළ: මගේ අදහස පරිදි ඔවුන්ගේ ප්‍රමුඛ අනන්‍යතාවය ජාතියයි. හින්දු සහ කතෝලික/ක්‍රිස්තියානි අනන්‍යතාව ප්‍රබල නැත.

3. ඉන්දියානු දෙමළ: මේ අයටද ජාතිය මත පදනම් වූ ශ්‍රී ලාංකික දෙමළ කණ්ඩායමෙන් වෙනස් අනන්‍යතාවක් ඇතැයි සලකා ඇත.

4. ඉස්ලාම්: මා සිතන පරිදි ඉස්ලාමුන්ගේ ආගමික අනන්‍යතාව වඩා ප්‍රබලය. මේ අනුව මුස්ලිම්, මැලේ ප්‍රධාන සියළුම ඉස්ලාමුන් එක් ගොඩකට දමා තිබේ.

5. දෙමළ නොවන කතෝලික/ක්‍රිස්තියානි: මේ කණ්ඩායමේ අති මහත් බහුතරය සිංහලයන්ය. ඔවුන් බොහෝ විට තමන් බහුතරය ලෙස දකින්නට කැමති වුවත් ඇතැම් විට අනන්‍යතා අර්බුදයකට මුහුණපාති. සිංහලයන්ට බහුතරය වීමේදී මේ කණ්ඩායම වටිනා නමුත් තමන් බහුතරය බව තහවුරු කළ පසු ඔවුන් තවදුරටත් වැදගත් නැත. සිහල උරුමය හෙළ උරුමය වීමේදී වූයේ මෙවැන්නකි. දත්ත වල ස්වභාවය අනුව වෙන් කළ නොහැකි නිසා කතෝලික/ක්‍රිස්තියානි බර්ගර් ජාතිකයන්ද සුළු ප්‍රමාණයක්ද මේ ගොඩට මිශ්‍ර වී ඇති අතර එයින් ප්‍රතිපලය වෙනස් වීමට ඉඩක් නැත.

6. වෙනත්: ඉහත කිසිදු කණ්ඩායමකට අයත් නොවන ඉතා සුළු ප්‍රමාණයක්.

මගේ ආකෘතිය මගින් කරන්නේ දිස්ත්‍රික්ක විසිදෙකෙහි මහින්ද හා මෛත්‍රී ලබාගත් ඡන්ද ප්‍රතිශත සම්මත ක්‍රමයක් මඟින් ඉහත කණ්ඩායම් වලට විසංයෝජනය කිරීමයි. ඡන්ද භාවිතය ජාතික-ආගමික පදනමක් මත නොවීනම් මගේ ආකෘතිය දුර්වල එකක් වනු ඇති අතර එමඟින් පුරෝකථනය කෙරෙන ප්‍රතිශත සැබෑ ප්‍රතිශත වලින් බොහෝ වෙනස් වනු ඇත.


අවශ්‍ය කෙනෙකුට මගෙන් අවශ්‍ය තොරතුරු ලබාගෙන සම්මත සංඛ්‍යාන මෘදුකාංගයක් මඟින් නැවත පරීක්ෂාවට ලක් කළහැකි ඉහත ප්‍රතිඵලය අනුව ඡන්ද වල ජාතික-ආගමික බෙදීම ඉතා පැහැදිලිය. 2010 මැතිවරණයේදී හෝ පෙර පැවති වෙනත් මැතිවරණයකදී මේ බෙදීම (මේ අයුරින්ම විසංයෝජනය කළ විට) මෙතරම් පැහැදිලි නැත.

ඉහත ප්‍රතිශත එක් එක් දිස්ත්‍රික්කයේ අදාළ කණ්ඩායමේ සාමාජික ගණනින් ගුණ කළ විට මේ ආකෘතිය අනුව ජාතික-ආගමික පදනම මත එක් එක් අපේක්ෂකයා ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය ඇස්තමේන්තු කිරීමට පුළුවන. එවිට ලැබෙන ප්‍රතිපලය සැබෑ ප්‍රතිපලයට වෙනස් වේනම් ඒ මෙහිදී සලකා නොබැලුණු ජාතික-ආගමික නොවන සාධක වල බලපෑම නිසාය. (අවශ්‍යනම් එවැනි කරුණුද එකතු කර වඩා නිවැරදි හා සංකීර්ණ ආකෘතියක් සකස් කළ හැකිය.) ඇස්තමේන්තු සහ සැබෑ ඡන්ද ප්‍රතිශත සැසඳීමක් පහත තිබේ.

ඉහත වගුවේ ඇති කරුණුද සිත් ඇද ගන්නා සුළුය. හම්බන්තොටින් මහින්ද 5.4% පමණ වැඩිපුර ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අතර පොළොන්නරුවේදී මෛත්‍රී 12.6%ක් වැඩිපුර ලබා තිබේ. හේතුව ඉතා පැහැදිලිය. නාගරික ප්‍රදේශ වලදී මහින්දගේ ප්‍රතිශතය ඇස්තමේන්තුවට වඩා අඩුවී මෛත්‍රීගේ ප්‍රතිශතය වැඩි වී තිබේ. මෙය කොළඹදී 6.3%ක්, ගම්පහදී 3.1%ක් හා  මහනුවරදී 2.7%ක් පමණ වේ. ප්‍රමාණාත්මකව මෙය ලක්ෂ එකහමාරක පමණ ඡන්ද ප්‍රමාණයකි. මගේ අදහස පරිදි මේ මෑතකදී හෙළ උරුමය සමඟත්, පෙර (1989 ආසන්නයේ) දිනේෂ්ගේ මඑපෙ සමඟත් සිටි නාගරික සිංහල බෞද්ධයන්ගේ වෙනස් වීමයි. නලින් ද සිල්වා විසින් ඕල්කට් බෞද්ධයන් ලෙස හඳුන්වන මේ කොටස් යුද ජයග්‍රහණය අගය කරන නමුත් ඒ වෙනුවෙන් අනෙත් සියල්ල අමතක කිරීමට සුදානම් නැති බව පෙන්වා තිබේ.

හෙළ උරුමය හැරුණු විට මෛත්‍රී සමඟ සිටි සියළු දේශපාලන පක්ෂ 2010දී සරත් ෆොන්සේකා සමඟද සිටියහ. එහෙත් ඒ අනුව වෙනසට හේතුව හෙළ උරුමයයැයි මා සිතන්නේ නැත. ඇත්තටම සිදු වූයේ මේ නාගරික සිංහල බෞද්ධ කොටස් මහින්දගෙන් කොහොමටත් කැඩී තිබුණු තත්ත්වය තුළ ඒ බව නිවැරදිව හඳුනාගත් චම්පික-රතන සංයෝගය අවස්ථානුකූලව සිය ස්ථාවරය මාරු කරමින් අද විමල්-වාසු-ගම්මන්පිල ඇතුළු පිරිස හිර වී ඇති උගුලෙන් බේරීමයි. ඔවුන් පැති මාරු කරන විටත් ආන්තික ඡන්දදායකයා සිටියේ මෛත්‍රීගේ ගොඩේය. එහෙත් ඔහු පසුපස ලොකු පෝලිමක් නොවූ බැවින් අවදානම පහවී නොතිබුණේය. වත්මන් ක්‍රියාකාරී දේශපාලකයින් අතරින් ක්‍රමෝපායයන් අතින් ඉදිරියෙන්ම සිටින චම්පික-රතන එකතුව අවස්ථාව ඉතා මැනවින් කළමනාකරණය කර ගත්තේය.

රැල්ල අනුව ඔරුවේ දිශානතිය සීරුමාරු කළේ චම්පික-රතන පමණක් නොවේ. ශ්‍රී ලාංකික දෙමළ හා  මුස්ලිම් දේශපාලන පක්ෂ විසින්ද කළේ එයමය. සීයාට වඩා ක්‍රමෝපායික දැනුමෙන් බොහෝ දුර්වල පරාභවයෙහි නිබඳ ගැලුණු මුණුපුරාට පමණක් සිය ආධාරකරුවන්ගේ සිත් සතන් කියවීමට නොහැකි වීම නිසා ආන්තික බලය බිඳගත් අවලංගු කාසියක් වීමට සිදුවිය.

මෛත්‍රී දිනුවේ ඡන්ද ලක්ෂ හතරහමාරකින් නිසා ආන්තික ඡන්දදායකයා සිටින්නේ අවසානයටම මාරුවුණු ඡන්ද ලක්ෂ දෙකයි කාල ඇතුළේය. මේ  හුවමාරුව චම්පික-රතන නිසා හෝ අවසාන මොහොතේ සිදුවූ වෙනත් පිල්මාරු නිසා සිදුවීයැයි මා සිතන්නේ නැත. එය සිදු වුයේ දෙමළ ඡන්ද නිසායැයිද කිව නොහැකිය. අඩු වශයෙන් අඩ සියවසකම සිට උතුරේ ඡන්ද වැටුණේ අනෙත් ප්‍රදේශ වල රටාව පරිදි නොවේ. යාපනයේදී 1982දීත් දිනුවේ ජේආර් නොව හෙක්ටර් කොබ්බෑකඩුවයි. එවැනි ඉතිහාසයක් පැවති උතුරේ 'ඊලාම්' ඡන්ද වලින් 20%කට නො අඩු ඡන්ද ප්‍රමාණයක් මහින්දට හිමිවීමෙන් පෙනෙන්නේ ශ්‍රී ලාංකික දෙමළ ඡන්ද මඟින් ආන්තික බලපෑමක් සිදුවී නොමැති බවයි.

මෛත්‍රී සහ කණ්ඩායමේ ආගමනයෙන් කෙළින්ම වෙනස් වුණු ඡන්ද ගණන සාපේක්ෂව වැඩි ගණනක් විය නොහැකිය. මගේ සංඛ්‍යානමය නොවන තක්සේරුව අනුව එම ප්‍රමාණය කෙසේවත් ලක්ෂයකට වැඩි විය නොහැක. කෙසේ වුවද මහින්දව පැරදිය හැකිය යන විශ්වාසය තහවුරු කිරීමටත් නිර්පාක්ෂිකයින් රැසක් ඡන්දපොළට ආකර්ෂණය කර ගැනීමටත් මෛත්‍රීගේ නික්මීම ඉවහල් විය.

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් ඉතිහාසය පුරාම සිටියේ එජාපය සමඟය. එහෙත්, මේ ප්‍රතිශතය 88%ක් විය නොහැක. ඒ අනුව, පසුගිය 2010 ජනාධිපතිවරණයේදී මහින්ද සමඟ සිටි මුස්ලිමුන් අඩු වශයෙන් 20%ක්වත් මෙවර මහින්දගෙන් ගිලිහුණු බව මගේ (සංඛ්‍යානමය නොවන) තක්සේරුවයි. මෙය ලක්ෂ දෙකයි කාලකට වැඩි ඡන්ද ප්‍රමාණයකි. මේ ඡන්ද මහින්ද විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව (එහෙත් ගෝඨාභය විසින් දැනුවත්ව) 'උවමනාවෙන්ම නැතිකරගත්' ඡන්දයි. මහින්දගේ පරාජයට ආන්තික ලෙස දායක වුනු බොහෝ කණ්ඩායම් අතරින් විශාලම කණ්ඩායම මෙය වූ බව මගේ විශ්වාසයයි.

(ඉහළින්ම ඇති සිතියම විකිපීඩියාවෙනි.)





Saturday, June 27, 2015

ඡන්දයක වටිනාකම ආන්තික තෙරපුමක් යෙදීමට ඇති හැකියාවේ ප්‍රමාණයටය.

දෙමසකටත් වඩා කෙකර ගගා සිටි කිකිළිය අවසානයේදී බිජුව හෙලා තිබේ. ඒ කිකිළියගේ බඩ පලා බිජුව ගැනීමට තිබුණු තර්ජනය නිසා නොවේ. ගැබ තුළ කුණුවෙමින් පැවති බිජුව පිපිරී කිකිළිය ආසාදනය වීමට පෙර එය ඉවත හෙළිය යුතු වූ බැවිනි. බිජුව රන් බිජුවක් නොවූවත් ඔම්ලටයක් සාදා ගැනීමට නොහැකි තරමට තවමත් කුණුවී නොමැති නිසා එහි තවමත් ආර්ථික වටිනාකමක් තිබේ. දැන් ඇත්තේ අවශ්‍ය පරිදි ඔම්ලටය සාදා ගැනීමේ අවස්ථාවයි. ඔම්ලටය රස වනු ඇත්තේ කෝකියන්ගේ දක්ෂතාවයන්හි ප්‍රමාණයටය. මෙලෝ රහක් නැති ස්ක්රෑම්බල් බිත්තරයක් වීමට ඉඩ නොහැර ලුණු ගම්මිරිස් වැටුණු හොඳ ඔම්ලටයක් සාදාගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව අත නොහැරිය යුතුය.

මේ එළැඹෙන්නේ වසර තුළ පැවැත්වෙන දෙවැනි ජාතික මැතිවරණයයි. මෙය වසර මුල පැවති ජනාධිපතිවරණය තරමටම උණුසුම් හා තීරණාත්මක වන ලකුණු පෙනුණේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමටද පෙර සිටය. ජාතික මැතිවරණයකින් පසුව අප වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතිය අපේ ගරු නියෝජිතයින්ට පවරා වසර ගණනක් බකන්නිලාගෙන සිටීමට සිදුවීම අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය නිසා ජාතික මැතිවරණයකදී අපට හිමිවන වරණීය අයිතියට ලොකු වටිනාකමක් තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලැබූ ඡන්ද කුට්ටි වල සංයුතිය පිළිබඳව කතිකාවක් ඇති විය. බොහෝ විට ඡන්ද මළු විසංයෝජනය කෙරුණේ ජාතීන් හෝ ආගම් මත පදනම්වය. නෛතික වශයෙන් ජනාධිපතිවරණයකදී ලකුණු කෙරෙන ඡන්දයක වටිනාකම ජාතිය, ආගම හෝ වෙනත් නිරීක්ෂණය කළ හැකි සාධකයක් අනුව වෙනස් නොවන බව මෙහිදී ඉස්මතු වුණු නිවැරදි කරුණකි.

ඡන්දදායකයාගේ ජාතීය හෝ ආගම මත ඡන්දයක නෛතික වටිනාකම වෙනස් නොවූවත් නෛතිකව සමාන වටිනාකම් ඇති ඡන්ද වල ආර්ථික වටිනාකම් සමාන විය යුතුම නැත. ඡන්දයක ආර්ථික වටිනාකම හෙවත් සැබෑ වටිනාකම තීරණය වන්නේ එමඟින් ආන්තික තෙරපුමක් යෙදීමට ඇති හැකියාවේ ප්‍රමාණයටය.

ආරම්භයේදී ග්‍රීසියේ පැවති සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ඡන්දයකට නෛතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද තිබුණේ (සාපේක්ෂ අර්ථයකින්) සමාන වටිනාකමකි. මේ තත්ත්වය වෙනස් වූයේ සෘජු ප්‍රජාතන්ත්‍රවායෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාරු වීමත් සමඟද නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන පක්ෂ මත පදනම් වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙසට පරිණාමය වීම නිසාය. මැතිවරණ මත පදනම් වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන සෑම රටකම පාහේ වර්තමානයේදී එය සිදුවන්නේ දේශපාලන පක්ෂ හරහාය.

යම්කිසි තෝරාගැනීමක් සඳහා පුද්ගලයකු සතු වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දේශපාලන පක්ෂ තුළ දියවී යද්දී දේශපාලන පක්ෂ වෙත සම්ප්‍රේෂණය වන වරණීය බලය ඒ තුළ සංකේන්ද්‍රණය වන සාමාජික සංඛ්‍යාවට අනුපාතිකව වෙනස් වේ. මේ මඟින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේදී එක් එක්  දේශපාලන පක්ෂය සතුවන ආන්තික තෙරපුමක් යෙදීමේ හැකියාව තීරණය කෙරේ. කෙසේ වුවද දේශපාලන පක්ෂයක් සතුවන ආන්තික තෙරපුමක් යෙදීමේ ශක්තිය එහි සාමාජික සංඛ්‍යාවට හැමවිටම අනුපාතික වන්නේ නැත.

උදාහරණයක් ලෙස සාමාජිකයන් සියදෙනෙකුගෙන් යුතු ආයතනයක් සලකමු. මෙහි ඕනෑම සාමාජිකයෙකුගේ ඡන්දයක් නෛතික වටිනාකමින් සමාන වන අතර සරල බහුතරයකගේ තීරණය ක්‍රියාත්මක වේ. දැන් අපි විවිධ සංයුතීන් යටතේ තීරණ ක්‍රියාත්මක කිරීමේ සැබෑ බලය දේශපාලන පක්ෂ අතර බෙදී යන ආකාරය සලකා බලමු.

අවස්ථාව-1:

කොළ - 51, නිල්- 45, කහ-3, රතු-1

මෙහිදී වෙනත් කිසිවකුගේ උදවුවක් නොමැතිව ආන්තික බලය යෙදීමේ හැකියාව (51වන ඡන්දය) කොළ පක්ෂය සතු වන අතර කොළ පක්ෂය ඇතුළත් නොවන කිසිම සංයෝගයකට ආන්තික බලය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. ඒ අනුව සැබෑ බලය සම්පුර්ණයෙන්ම කොළ පක්ෂය සතුවන අතර අනෙක් දේශපාලන පක්ෂ වලට සිය තීරණ ක්‍රියාත්මක කිරීමේ කිසිදු හැකියාවක් නැත.

දේශපාලන බලය බෙදීයාම: කොළ - 100%, නිල්- 0%, කහ-0%, රතු-0%

මෙවැනි අවස්ථාවකට හොඳම නිදසුන 1977 පාර්ලිමේන්තුවයි. මේ පාර්ලිමේන්තුව තුළ සරල බහුතර රීතිය පමණක් නොව 2/3 රීතිය යටතේද තීරණ ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ අයිතිය ජේආර් ජයවර්ධනගේ එජාපය සතුවිය. කලවාන අසුන බහුතර ඡන්දයෙන් දිනූ අපේක්ෂකයාව ඡන්ද පෙත්සමකින් පරාජය කරමින් මේ පාර්ලිමේන්තුවට පැමිණ ජේආර්ගේ මුල් පාර්ලිමේන්තුවේ සිටි එකම වාමාංශික දේශපාලනඥයා වූ සරත් මුත්තෙටුවේගමට මෙන්ම හොඳටම කෙට්ටු වී සිටි ශ්‍රීලනිපයේ අනාගත අපේක්ෂාව හා චතුර කථිකයා වූ නුවරඑළිය-මස්කෙළිය බහු අසුන නියෝජනය කළ අනුර ප්‍රියදර්ශී බණ්ඩාරනායකටත් අදහස් ප්‍රකාශ කිරීමේ පුළුල් අවකාශයක් මේ පාර්ලිමේන්තුව තුළ පැවති නමුත් ඒ අදහස් ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු ශක්‍යතාවක් නොවීය. එක් පක්ෂයකට නියෝජිත සංඛ්‍යාවෙන් බහුතරයක් ඇත්නම් සරල බහුතර රීතිය යටතේ තීරණ ගැනීමේ බලය න්‍යායාත්මකව සම්පූර්ණයෙන්ම එම පක්ෂය සතුවේ.


අවස්ථාව-2:

කොළ - 48, නිල්- 48, කහ-3, රතු-1

මෙහිදී කිසිදු පක්ෂයකට තනිවම තීරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ආන්තික තෙරපුම යෙදිය නොහැකිය. ඒ සඳහා අඩුම වශයෙන් පක්ෂ දෙකක් එකතු විය යුතුය. මේ පක්ෂ දෙක කොළ, නිල් සහ කහ යන පක්ෂ තුනෙන් ඕනෑම දෙකක් විය හැකි අතර එසේ පක්ෂ දෙකක් එක් වූ පසු තුන් වන පක්ෂයක වටිනාකමක් නැත. වැදගත් කරුණ වන්නේ මේ ආයතනය තුල විශාල නියෝජනයක් ඇති කොළ සහ නිල් පක්ෂ වලට ඇති දේශපාලන බලයම සාපේක්ෂව සුළු නියෝජනයක් ඇති කහ පක්ෂයටද තිබීමයි. එහෙත් රතු පක්ෂයට කිසිදු දේශපාලන බලයක් නැත.

දේශපාලන බලය බෙදීයාම: කොළ - 33.3%, නිල්- 33.3%, කහ-33.3%, රතු-0%

ඇතැම් තත්ත්වයන් යටතේ සුළු පක්ෂ තමන්ගේ නියෝජනය ඉක්මවන ශක්තියක් පෙන්වීම මේ අනුව න්‍යායාත්මකව පැහැදිලි කළ හැකිය. 1994, 2000, 2001, 2004 පාර්ලිමේන්තු මැතිවරණ මෙසේ ඇතැම් සුළු පක්ෂ වලට ඔවුන්ගේ නියෝජනයට වඩා විශාල දේශපාලන බලයක් හිමි කර ගත හැකිවූ අවස්ථාවන්ය.

උදාහරණයක් ලෙස 2004 පාර්ලිමේන්තුවේ සංයුතිය මෙසේ විය.
සන්ධානය- 105
එජාප -82
ටීඑන්ඒ -22
හෙළ උරුමය-9
මුකො-5
කඳුරට-1
ඊපීඩීපී-1
(එකතුව- 225)

මෙහිදී ඇතිවිය හැකි ආන්තික බලය යෙදවීමේ ශක්‍යතාවක් ඇති සංයෝජන මෙසේය. (මේ ඇතැම් සංයෝජන ප්‍රායෝගිකව බිහිවීමේ හැකියාවක් නොමැතිවීම මෙන්ම සන්ධානය සමජාතීය නොවූ එකතුවක්ය යන්නද නොසලකා ඇත.)
1. සන්ධානය+එජාප
2. සන්ධානය+ටීඑන්ඒ
3. සන්ධානය+හෙළ උරුමය
4. එජාප+ටීඑන්ඒ +හෙළ උරුමය

ඇතිවිය හැකි සංයෝජන හතරෙන් තුනකටම සන්ධානය ඇතුලත් වන අතර එජාප, ටීඑන්ඒ සහ හෙළ උරුමය අයත් වන සංයෝජන දෙක බැගින් තිබේ. ඉතිරි පක්ෂ තුනෙන් එකකටවත් ආන්තික බලය යෙදීමේ හැකියාව නැත.

මේ අනුව අපේ සරල උපකල්පන  යටතේ එක් එක පක්ෂ සතු සැබෑ බලය මෙසේය.
සන්ධානය- 33.3%
එජාප -22.2%
ටීඑන්ඒ -22.2%
හෙළ උරුමය-22.2%
මුකො-0%
කඳුරට-0%
ඊපීඩීපී-0%

භාවිතා කළ ඡන්ද වලින් 6%ක් ලබා පාර්ලිමේන්තුවේ 4%ක නියෝජනයක් ලැබූ හෙළ උරුමයට ඡන්ද වලින් 38%ක්  සහ පාර්ලිමේන්තුවේ 37%ක නියෝජනයක් ලැබූ එජාපය තරමටම බලයක් හිමිවීම මෙහිදී සැලකිය යුතුය.

යම් පක්ෂයක් ඔවුන්ගේ නියෝජනය ඉක්මවන 'ලොකු දේවල්' ඉල්ලීම මේ අනුව විශේෂ සිදුවීමක් නොවේ. සැබෑ බල සමතුලිතතාව අනුව සිදුවිය යුත්තකි. එහෙත් යම් පක්ෂයක් ඔවුන්ගේ ආන්තික බලය යෙදවීමේ හැකියාව ඉක්මවා යමක් ලබාගනීනම් එය එම පක්ෂයේ නායකයින්ගේ ක්‍රමෝපායික දක්ෂතාවය වන අතර තමන්ගේ සැබෑ බලය නොසලකා හරීනම් එය ක්‍රමෝපායික දුර්වලතාවයකි.


මාස කිහිපයකින් පසු  බිහිවීමට නියමිත නව පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන අනාවැකි කීමට තවමත් කල් වැඩි නමුත් ඇතැම් සුළු පක්ෂවලට තම නියෝජිත අනුපාතය ඉක්මවන බලයක් එහි හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ.


Tuesday, June 23, 2015

සුපිරි වීරයන් බිහිකරන ආන්තික තල්ලුව



ගොම්මන් අඳුර වැටෙද්දී සිය සුපුරුදු දින චරියාව වෙනස් නොකරමින් කළුවා බුලත්කොහුපිටිය හන්දියට ඇදෙන විට ඔහුගේ අතීසාර මිත්‍රයන් වන තරංග, කවිරත්න සහ රිටිගල බරපතල වැඩකට අතගහලාය. ඔවුහු ඇඟේ ඉතුරු වී ඇති මුළු වීරියම දමා තරංගලාගේ තාත්තාගේ තවමත් කෑලි නොහැලෙන ඓතිහාසික කණේ මයිල් වොක්ස්වැගනය තල්ලු කරති. වාහනේ මේ දැන් තල්ලු වෙනවා වගේ දැනේ. ඒත් ඒක එක තැනමය. හරියට පාර්ලිමේන්තුව විසිරුවන එක වගේය.

"අඩෝ, කළුවා. උඹ එනකම් තමයි මේ හිටියේ. මේකට පොඩ්ඩක් අතගහපන්."

රිටිගලයා ඕක කිවුවත් නොකිවුවත් කළුවා මල් වට්ටියට අතගහනු ඇත. කළුවාගේ කෙට්ටු දෑත් කණ්ඩායමේ මුල් අත් හයට එකතු වෙද්දී දහනම වෙනි සංශෝධනය පාස් වුණා සේ සීරුවෙන් ඉදිරියට ඇදුනු වොක්ස්වැගනයේ කණේ මයිල් කෙළින් කරමින් එන්ජිම ඉස්ටාට් විය.

"ඒකනේ! කළුවාම එන්ඩ ඕනෑ."

වොක්ස්වැගනය පණගැන්වුණේ කළුවා නිසායැයි කීවොත් එය වැරදි නැත. කළුවා නොආවානම් වාහනය අඟලක් හෝ නොසෙල්වෙනු ඇත. එහෙත් කළුවාට ඔය වාහනයම තනියම තල්ලු කිරීමනම් හිතීමටවත් බැරි දෙයකි. බුලත්කොහුපිටියේ කළුවා තඹුත්තේගම හේරත් බණ්ඩාගේ හෝ සාංචි ආරච්චිගේ ජිනදාසගේ ළඟ නෑයෙක් නොවේ.

අවශ්‍ය ජවය ලබා නොදී වාහනය තල්ලු කළ හැකිනම් නිවුටන්ගේ හතරවන නියමය බොරු නොවන නමුත් දෙවන නියමය බොරුවිය යුතුය. කළුවාගෙන් වොක්ස්වැගනයට ලැබුණේ එය චලනය කිරීමට අවශ්‍ය වන ආන්තික ජවයයි. මේ ආන්තික ජවය මහ ලොකු එකක් නොවුවත් එයින් අවශ්‍ය වැඩේ සිදුවිය. කළුවාගේ පොඩි තල්ලුවෙන් වාහනය පණගැන්වුණේ ඒ වන විටත් අත් හයක තල්ලුව වාහනයට ලැබී තිබුණු නිසාය.

මේ ආන්තික ජවය ඉතා ප්‍රබල දෙයකි. අවශ්‍ය තත්ත්වයන් සපිරී ඇතිවිට ඉතා සුළු බලයක් යෙදීමෙන් ලොකු වෙනසක් සිදුවේ.

බොහෝ ආර්ථික විද්‍යා න්‍යායයන් සහ ප්‍රායෝගික යෙදීම් සඳහා ආන්තික විශ්ලේෂණ උපයෝගී කර ගැනේ. තරංගලාගේ තාත්තාට වොක්ස්වැගනයෙන් නිදහස් වීමට අවශ්‍ය වූ විට සිළුමිණ පත්තරේ දැන්වීමක් දමනු ඇත. සෙනසුරාදා උදේ සිට කාර් එක බැලීමට සෙනඟ ඇදෙනු ඇත. ඒ අයට තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ දැනගන්නට ලැබෙනු ඇත.

ඔය තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ ඇත්තටම තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ නොවේ. ඊට වඩා වැඩි ගාණකි. කවුරු හරි වැඩියෙන් ගෙවනවානම් ඒ කැමැත්තෙනි. ඉතිං අපිට මොකෝ?

ඔය කිවුවාට තරංගලාගේ තාත්තා කියන අස්ප ගණන් වලට වොක්ස්වැගනය ගැනීමට කැමති මෝඩයෙක් සොයාගැනීම පොරොන්දු වූ දේ ඒ විදිහටම කරන ජනාධිපති අපේක්ෂකයෙක් හොයා ගන්නවාටත් වඩා අමාරුය. මේ බව තරංගලාගේ තාත්තා නොදන්නවා නොවේ. ඒ නිසා කාර් එකට කැමති අයට තමන්ගේ අර්පණයන් ඉදිරිපත් කිරීමට බාධාවක් නැත.

රත්නායකට කාර් එක අල්ලලා යයි. පොඩි අවුල් ටිකක් ඇතත් හත්-අට දාහකින් ගොඩදමා ගැනීමට අමාරු නැත. වාහනේ යන්ඩ ඇරියොත් අපරාදේය. හැබැයි පේන හැටියට ටිකක් අඩුවට ගන්ඩත් පුළුවන් වගේය. ඔෆර් එක ගොඩක් අඩුවුණොත් වැඩේ මිස් වෙන්නත් ඉඩ තිබේ. ඔය සියළු කරුණු සැලකිල්ලට ගෙන රත්නායක ඔහුගේ අර්පණය ඉදිරිපත් කරනු ඇත.

දවස අන්තිමේ තරංගලාගේ තාත්තාට අර්පණ තුන හතරක් ලැබේ. රත්නායකගේ අර්පණයට වඩා රුපියල් පන්දාහක් වැඩි අර්පණයක් ඇති නිසා වොක්ස්වැගනය රත්නායකට හිමි නොවනු ඇත. වාහනය හිමිකරගැනීම සඳහා අවශ්‍ය වූ ආන්තික තල්ලුව රත්නායකට දැමිය නොහැකි වූ අතර වෙන අයෙකු ඒ තල්ලුව දමා තිබේ.

නිෂ්පාදකයන් මෙන්ම පාරිභෝගිකයින්ද විශාල ගණනක් සමබන්ධ වන තරඟකාරී පුළුල් වෙළඳපලකදී අවසානයේ මිල තීරණය වන්නේ එක් ආන්තික පාරිභෝගිකයෙකු ගෙවීමට කැමති වන සහ එක් නිෂ්පාදකයෙකු විකිණීමට කැමති වන මිල අනුවය. එහෙත් මේ ආන්තික පාරිභෝගිකයා සහ ආන්තික නිෂ්පාදකයා නිර්මාණය වන්නේ තවත් දහස් ගණනක් නිෂ්පාදකයින් සහ ඊටත් වඩා ගණනක් පාරිභෝගිකයින්ගේ සාමුහික චින්තනය තුළිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති වරයා (මෛත්‍රී) ඡන්ද හැට දෙලක්ෂයක් ලබා ගත් අතර හිටපු ජනාධිපති වරයා (මහින්ද) ඡන්ද පනස් අට ලක්ෂයක් ලබාගත්තේය (පහසුවට කොටේ හලා තිබේ). මෛත්‍රීව ජනාධිපති කිරීමට අවශ්‍ය වූ ආන්තික තල්ලුව ලැබුණේ එක් ආන්තික ඡන්දදායකයෙකුගෙනි. මේ සුවිශේෂී පුද්ගලයා කවුද? (අනේ මමනම් නෙමේ.)

මෛත්‍රීට ජනාධිපතිවීමට අවශ්‍ය වූයේ ඡන්ද පනස් අට ලක්ෂයක් සහ තවත් එකකි (හරි ගණන නොවේ. පහසුවටය.) ඒ අනුව අන්තිම ලක්ෂ හතරෙන් කිසිම වැඩක් වී නැත. ඒ අනුව අන්තිම ලක්ෂ හතර අතහැරියහොත් මහින්දට වඩා මෛත්‍රීට ඇත්තේ එක ඡන්දයකි. ගොඩවල් දෙකම සමානව තියෙද්දී මෛත්‍රී වෙනුවෙන් තම අම්බානක් වටිනා ඡන්දය පාවිච්චි කළ මේ මනුස්සයා මෛත්‍රීව ජනාධිපති ලෙස පත් කළේය. බොහොම වටිනා මනුස්සයෙකි.

සුදු වෑන් තවම ගරාජ් වල නිසා ඔය මනුස්සයාව අඳුනා ගැනීමට ඉකොනොමැට්ටාට පොඩි උදවුවවක් කළ හැකිය. ඒක කරන්නේ මේ විදියටය.


පුද්ගලයා හඳුනාගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් එක්කෝටි විසි ලක්ෂය එක්තරා ක්‍රමයකට පෝලිම් ගැස්සවීමට සිදුවේ. ඉදිරියෙන්ම ඉන්නේ කැපුවත් මෛත්‍රීට කට්ටියයි. කැපුවත් මහින්දට කට්ටිය පිටිපස්සෙන්ම සිටිති. (ඉස්සරහ පස්ස මාරු කළත් ප්‍රශ්නයක් නැත.) මේ දෙගොල්ලන්ගේම පක්ෂපාතීත්වය පිලිබඳව මෛත්‍රීට හෝ මහින්දට කිසිදු සැකයක් නැත. මැදින් සිටින්නේ 'ප්‍රතිපත්තියක් නැති' වැනෙන අයයි. මේ මැද සිටින අය සිතීමේ සහ තීරණ ගැනීමේ භයානක හැකියා ඇති දරුණු පුද්ගලයින් වන අතර ඡන්දය මහින්දට මෙන්ම මෛත්‍රීටත් දීමේ සම්භාවිතාවක් ඇති පිරිසකි. එහෙත් මේ සම්භාවිතාව පණහට පණහ නොවේ. සියයට එකේ සිට අනූ නවය දක්වා පුද්ගලයා අනුව වෙනස් විය හැකිය.

දැන් අපිට උවමනා වුනේ අර ආන්තික ඡන්දදායකයා සොයාගැනීමයි. ඒ සඳහා පෝලිම ඉදිරියට ඇදෙන විට ඔළුව වසා ගෙන පරීක්ෂාවෙන් සිටින බිල්ලෙකු අවශ්‍ය නොවේ. කළ යුත්තේ ඔය මැද කණ්ඩායමද මෛත්‍රීට ඡන්දය දීමේ සම්භාවිතාව වැඩිවන (සහ මහින්දට ඡන්දය දීමේ සම්භාවිතාව අඩුවන) අනු පිළිවෙලට පෙළගැස්වීමයි. එසේ පෙළ ගැස්වීමෙන් අනතුරුව පෝලිමේ මුල සිට ලක්ෂ පනස් අටක් ගණන්කර ඉවත් කළ යුතුය. දැන් ආන්තික ඡන්දදායකයා ඉදිරියෙන්ම සිටී. බඩු මාට්ටුය.

ආන්තික ඡන්දදායකයා හඳුනාගත් පසු ඔහුගේ (හෝ ඇයගේ) ලිපිගොනුව හිස් නොවේනම් ඉතා පහසුවෙනුත් එසේ නැත්නම් තරමක් අමාරුවෙනුත් ආන්තික ඡන්දදායකයාගේ තීරණය වෙනස් කර ගැනීමට බැරි නැතත් එය අත්දුටුවයි සත්තයි ප්‍රතිකර්මයක් නොවන්නේ ආන්තික ඡන්දදායකයාගේ තැන ගැනීමට තවත් ලක්ෂ හතරක් මේ පෝලිමේ සිටින නිසාය. එහෙත් ඔය උපස්ථ (බැක්-අප්) විකල්ප හැමවිටම හමුනොවේ. උපස්ථ විකල්ප අඩුවන තරමට ඡන්දදායකයෙකුගේ වටිනාකම ඉහළ යයි. 

පාවෙන ඡන්දදායකන්ගේ ඡන්දය දීමේ සම්භාවිතාවන් හරියටම හඳුනාගත නොහැකි නිසා ඔය මැද කණ්ඩායම නිවැරදිව පෙළගැස්වීම අමාරු වැඩකි. මේ නිසා ආන්තික ඡන්දදායකයෙකුට ලැබිය හැකි මිල කණ්ඩායමක් අතර බෙදී යා හැකිය. ජාතික මැතිවරණයකදීනම් මේ කණ්ඩායම ඉතා විශාලය. පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීමකදී සාපේක්ෂව අවිනිශ්චිතතාව අඩු නිසා ආන්තික ඡන්දදායකයා හඳුනා ගැනීම පහසුය. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ මිල ඉහළය.


වසර හතරකට පෙර අවසන් ගමන් ගිය සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යකඩයා පිලිබඳ තවමත් අසම්පුර්ණ සිංහල විකිපීඩියා පිටුවේ සඳහන් පරිදි "2011 වසරෙහිදී මිය යාමට වසර දෙකකට ඉහතදී යකඩයා අරලියගහ මන්දිරයෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂයන් හමුවීමට වරම් ලැබීය. පෙරදී කුප්‍රකට සාපරාධියෙක් සුපිරි වීරයෙක් කිරීමට මෙම සිදුවීම ඉවහල් වූයේ යැයි කියති."

විකිපීඩියා අනුව පැහැදිලි වන්නේ රටේ ජනාධිපතිවරයා හමුවූවිට කුප්‍රකට සාපරාධියෙකුට වුවද සුපිරි වීරයෙක් වීම සඳහා අවශ්‍ය වන ආන්තික තල්ලුව ලැබෙන බවයි. ඔය තල්ලුව ලබා ගැනීමට ඇති පෝලිමනම් තවමත් අඩුවන පාටක් නැත.

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Sunday, June 21, 2015

ලෝකයේ වෙනස් වුනේ මිනිහදෝ දෙවියදෝ?



"ලෝකයේ වෙනස් වුනේ මිනිහදෝ දෙවියදෝ?"

සංගීතා චිත්‍රපටියේ රඟපෑ විජයගේ මුවින්, ජෝතිගේ හඬින් ඇසුණු ප්‍රශ්නයකි. ඇත්තටම කවුද?

සහශ්‍ර ගණනක් තිස්සේ ජනශ්‍රතිය තුළ පරිණාමය වන හින්දු විශ්වාස අනුව විශ්වය පාලනය කරන බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර නම් වූ ත්‍රිමූර්තියකි. ඔවුහු පිළිවෙලින් ජනනයට, පැවැත්මට හා විනාශයට අධිපතියෝය. මෙයින් විෂ්ණු විවිධ ස්වරූප වලින් නව වරක් පොළොවේ පහළ වී ඇති අතර තවත් වරක් පහල වීමට නියමිතය.

විෂ්ණුගේ දස අවතාර පිළිබඳව ව්‍යාසගේ විෂ්ණු පුරාණයේ විස්තර කෙරේ.

සත්‍ය යුගය ඇරඹුණේය. විෂ්ණුගේ ප්‍රථම සම්ප්‍රාප්තිය සිදුවිය. මත්ස්‍යයෙකුගේ ස්වරූපයෙනි. දෙවනවරට පැමිණියේය. උභයජීවියෙකු වන ඉබ්බෙකු ලෙසිනි. තෙවන සම්ප්‍රාප්තියද සිදු විය. සිවුපා ක්ෂීරපායී සතෙකු වන ඌරෙකුගේ වෙසිනි. සිවුවන වරටද පැමිණියේය. මෙවර පැමිණියේ සිංහයෙකුගේ මෙන් ඉදිරියට දික් වූ, රෝම පිරුණු මුහුණක් ඇති මිනිසෙකු මෙන් දෙපයින් සිටගත් නරසිංහයෙකු ලෙසිනි. සත්‍ය යුගය අවසන් විය.

ත්‍රෙත යුගය ඇරඹුණේය. විෂ්ණු ආවේය. මිනිස් ස්වරූපයට තරමක් කිට්ටු වාමනයෙකුගේ වේශයෙනි. මේ විෂ්ණුගේ පස්වන සම්ප්‍රාප්තියයි. නැවතත් ආවේය. සයවන වරටය. මෙවර මිනිස් වෙසිනි. පරශුරාම නම් වූ ප්‍රාථමික අවියක් අතින් ගත් දඩයක්කාරයාය. මේ අවිය සොයා ගැනීමට පරශුරාමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. විෂ්ණු සත්වන වරටත් ආවේය. රාම නම් වූ තරමක් දියුණු අවි දැරූ සටන්කරු ලෙසිනි. රාම සිය මතවාද සහ විශ්වාස වෙනුවෙන් පෙනී සිටිමින් සටන් කළේය. ත්‍රෙත යුගය නිමා විය.

ද්වාපර යුගය ඇරඹුණේය. විෂ්ණු අටවන වරට පහළ විය. ක්‍රිෂ්ණා නම් වූ ගොපල්ලෙකුගේ වේශයෙනි. නවවන වරටද පහළ විය. බුද්ධ නම් වූ බුද්ධිමත් ජීවියා ලෙසය.

ද්වාපර යුගය අවසන් වී කලි යුගය ඇරඹීමට නියමිතය. එවිට කල්කී නම් වූ විෂ්ණුගේ දසවන සහ අවසාන ස්වරූපය දැකගත හැකි වනු ඇත.

ව්‍යාසගේ විෂ්ණු පුරාණය ව්‍යාසගේ පරිණාමවාදය ලෙස හෝ ඩාවින්ගේ විෂ්ණු පුරාණය ලෙස නැවත ලිවීමට බැරිකමක් නැත.

වසර මිලියන පන්සියයකට පෙර පැලසොයික යුගය ඇරඹුණේය. පළමුව මත්ස්‍යයෝද, දෙවනුව උභයජීවියෝද පහළ වූහ. තෙවනුව ක්ෂීරපායීන් බිහිවිය. පසුව වාමන විශේෂ පරිණාමය විය. සත්‍ය යුගය අවසන් විය.

වසර මිලියන හතරකට පෙර ඔස්ට්‍රලෝපිතකස් මානවයා බිහිවිය. පසුව හෝමෝ ගණයේ මිනිස් විශේෂ ඇති විය. මිනිස්සු විශාල පරිශ්‍රමයක් දරා ප්‍රාථමික ආයුධ සොයාගත්තේය. හෝමෝ සේපියන්ස්ලාද පරිණාමය විය. වඩාත් දියුණු ආයුධ භාවිතය ඇරඹිණි. චින්තන විප්ලවයද ඇරැඹී හෝමෝ සේපියන්ස්ලාගේ සංස්කෘතික පරිණාමය ආරම්භ විය. ත්‍රෙත යුගය නිමා විය.

වසර දොළොස්දහසකට පෙර කෘෂිකාර්මික විප්ලවය ඇරඹුණි. ජනාවාස ආරම්භ විය. දඩයම් ජීවිතයට සමුදුන් හෝමෝ සේපියන්ස්ලා බෝග වගාව හා සත්ත්ව පාලනය ඇරඹුහ. සම්පත් අතිරික්තයක් සමඟ හෝමෝ සේපියන්ස්ලාට සිතීමට ඇති අවකාශ පුළුල් විය. විවිධ දර්ශනවාද බිහිවිය.

තාක්ෂණය සීඝ්‍රයෙන් දියුණු වේ. ද්වාපර යුගය අවසන් වී කලි යුගය ඇරඹීමට නියමිතය. එවිට හෝමෝ සේපියන්ස්ලාගේ මීළඟ ස්වරූපය වන අනාගත මිනිසා බිහි වනු ඇත.

මිනිසා සමඟ දෙවියාත් පරිණාමය වී ඇත. එකම ආකාරයකටය.

දෙවියන්ව මැවුවේ මිනිසානම් ඔහු එය කර ඇත්තේ තමාගේ ස්වරූපයෙනි. අපට මවා ගත හැකි දෙවියා අප දැක ඇති පරිපූර්ණම මිනිසාය. නැත්නම් අප දන්නා වෙන් වෙන් පුද්ගලයින් හෝ සතුන් සතු හොඳම ලක්ෂණ වල එකතුවකි. අපිට දෙවිවරුන් මෙන්ම රජවරුන්ද ලැබෙන්නේ අපේ ස්වරූපයෙන් නිසා අපට පරිණාමය විය හැකිනම් දෙවිවරුන් මෙන්ම රජවරුන්ද ඉබේම පරිණාමය වෙනු ඇත.

අනෙක් අතට, මිනිසුන් සෙමින් පරිණාමය වෙද්දී විෂ්ණුට ඔවුන් හා සන්නිවේදනය කරන්නට ඔවුන්ගේ ස්වරූපය ගන්නට සිදු වූවා විය හැකිය. විෂ්ණුට වුනත්, රෝමයට යන්නට වෙන්නේ රෝමන් කාරයෙකු ලෙසිනි. දෙකේ පන්තියේ නංගිලා මල්ලිලා ගොඩ දාන්නටනම් තුනේ පන්තියටවත් බැසිය යුතුය. පවන රළු වැඩි බව තේරෙන විට සිංදු හෝඩියෙන් නැවතත් පටන් ගත යුතුය. ඔස්ට්‍රලෝපිතකස්ලාට උදවුවක් කළ හැක්කේ වාමන අවතාරයට හෝ වැඩිම වුනොත් පරශුරාමට මිස කල්කීට නොවේ.

නෙලුම්යායේ තලවකැලේ ට්‍රිප් එකට සුභපැතුම්!

Friday, June 19, 2015

සාක්කුව පිරෙන්න රිදී ඕනෑද?


ඉකොනොමැට්ටාගේ භෝජනශාලාව විවෘත කර දැනට මාසයකි. මාසයකට කලින් ඔන්න ඔහේ නිකම්ම පටන් ගත්තත් මාසයේ ප්‍රගතිය නරක නැත. මාසෙට කෑම වට්ටෝරු විසි දෙකක් හදා තිබේ. බලාගෙන ගියාම ලොකු ගානකි. කෑම පිඟන් හාරදාහක් ඉක්මවා විකිණී ඇත. තව පිඟන් දාහත් දාහක් ඉක්මවා ගූගල් ප්ලස් වලින් විකිණී ඇත.

මේ සෙනඟ ආවේ මුල සිටම කිහිප දෙනෙකුගෙන් ලැබුණු ආධාර උපකාර නිසාය. ඉකොනොමැට්ටාගේ කෑම හොඳද නරකද කියා ඉකොනොමැට්ටාට  තීරණය කළ නොහැකි නිසා ඉකොනොමැට්ටා රේඩියෝ පත්තර වල ඇඩ් දැම්මේ නැත. කඩේ දාපු බෝඩ් ටික පමණි. ඉකොනොමැට්ටාගේ ප්‍රතිපත්තිය කඩේට එන පාරිභෝගිකයින්ට පුළුවන් තරම් හොඳින් සැලකීමයි.

මේ මාසය තුළ ඉකොනොමැට්ටා ගොඩක් දේවල් ඉගෙන ගත්තේය. ඒ අනුව පටන් ගන්න කොට තිබුණු චිත්තරේ ගොඩක් වෙනස් විය. බ්ලොග් අවකාශය පිරී ඇත්තේ මුලින් හිතා හිටි විදියට හිච්චි කොල්ලන්ගෙන් නොවේ. පරිණත අයගෙනි. එය සතුටට කරුණකි. ඒ වගේම දුකටද කරුණකි. කොහොමත් හොඳ කෑම කන අයට ඉකොනොමැට්ටාගේ කෑම වලින් වැඩක් තියේදැයි වෙලාවකට හිතේ.

තවත් ටිකක් ඇනලයිස් කර බැලූ විට ඉකොනොමැට්ටාගේ පාරිභෝගිකයින්ගෙන් හරි අඩකට වඩා ඉන්නේ ලංකාවෙන් පිටය. දිනපතා පැමිණෙන පාරිභෝගිකයින්ද සිටින නමුත් සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකු කඩේට එන්නේ දවස් තුනකට වරකි. ආ විට සාමාන්‍යයෙන් කෑම පිඟන් තුනක් පමණ අවසන් කරයි.

මේ අනුව ඉකොනොමැට්ටාගේ මැටි මොළේට තේරුම් ගියේ මුලින් වැඩිපුර මෙනු අයිටම් ටිකක් දමා තිබීම හොඳ වුණත්, අජීර්ණ ඇති නොවීමටනම් සතියකට අළුත් වට්ටෝරු තුනක් පමණ හඳුන්වා දීම හොඳ ඉලක්කයක් බවයි.

ඒ වගේම, දැනට ඇති සංඛාලේඛණ අනුව පෙනී ගියේ වැඩි දෙනෙකු ජංජාලගත වන්නේ සතියේ දිනවල වැඩ කරන වෙලාවේ බවයි. (වැඩ කරන වෙලාවට එහෙම දෙයක් හරි කිරීම ලොකු දෙයකි.) මේ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා හොඳ දවස් ලෙස තෝරාගත් ඉකොනොමැට්ටා රාහුකාලය පන්නා හොයාගත් ශුභ මුහුර්තයකට කෑම මේසයට ඔටෝ සර්ව් වන පරිදි ඊළඟ කෑම පිඟාන ශීතකරණයේ තැන්පත් කළේය. ඊළඟ සතිය ඉකොනොමැට්ටාට ගමන් බිමන් හා වැඩ අධික වීමත් මෙයට හේතු විය.

බ්ලොග් වලට ඇබ්බැහිවීම පරාභවයට කරුණකි යන රසිකභාෂිතය සත්‍යයක් බව පසක් කරමින් උදේ පාන්දරම ලැබුණු ඊයක් නිසා සියල්ල අවුල් විය.

ඇමරිකාවේ ප්‍රධාන ගුවන් සමාගමක තාක්ෂණික අංශයක සේවය කරන මගේ උගත් මිතුරා කියවා හෝ නොකියවා යොමු කළ ඊය අනුව මගේ සාක්කු රිදී වලින් පුරවා ගැනීමේ ස්වර්ණමය නොවූවත් රජතමය අවස්ථාව දැන් මා හමුවේ ඇත.

මෙය වසර 823කට වරක් එළෙඹෙන ඉතා දුර්ලභ අවස්ථාවකි. එසේ වන්නේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින තුන බැගින් ඇති අගෝස්තු මාසයක් 2015දී උදාවන නිසාය.

චීන ෆෙන්ග් ෂුයි අනුව මේ 'සිල්වර්- පොකට්ස් ෆුල්' වාසනාව ලැබීමට කළ යුත්තේ වහාම මේ ඊය මිතුරන් කිහිප දෙනෙකුට යොමු කිරීමයි. වැඩේ මිස් කරගත්තොත් තව අවුරුදු 823ක් බලා සිටීමට සිදු වනු ඇත. ඒ විතරක්නම් මදැයි? දවස් හතරකින් මාව දුප්පත් වීමටත් නියමිතය. (ඉකොනොමැට්ටා කොහොමටත් ඉතිං දුප්පතා නිසා ඒකෙනෙම් අවුලක් නැත.)

යාළුවන්ට මේ ඊය යවා උන්ගේ සාක්කු රිදී වලින් පුරවන්ඩ ඉකොනොමැට්ටාට ටිකක් කිචි වගේ නිසා ඉකොනොමැට්ටා වැඩේ අල්ලලා දැම්මේය. අනෙක් අතට, සාක්කුවේ රිදී කාසි පිරුණාම ඉකොනොමැට්ටාට කොහොමත් අවුල්ය. ක්‍රෙඩිට් කාඩ් ගෙනියන්නේ ඒ නිසාය.

යාලුවාට පහතින් ඇති පිළිතුර ලියා යැවූ ඉකොනොමැට්ටා අද ඔටෝ සර්ව් වීමට නියමිතව තිබුණු කෑම පිඟාන පොඩ්ඩක් පස්සට තල්ලු කර මේ සැලඩ් එක සර්ව් කරන්නේ ඒ අනුවය.

"ඕකේ තියෙන්නේ පට්ටපල් බොරුවකි. අමු ජෝක් එකකි.

1. වසර 823කට පෙර මෙය අත්හදා බැලීමට ඒ කාලයේ චීනයේ ඊ-මේල් තිබෙන්නට ඇතැයි සිතමි.
2. වසර 823කට පෙර චීන කැලැන්ඩර් වල අගෝස්තු මාසයක් තිබුණාද කියා මම නො අසමි.
3. මෙය සම්භාවිතාව අනුව සාමාන්‍යයෙන් (පිළිවෙලින් නොවූවත්) වසර 7කට වරක් සිදු වන නිසා වසර 823ක් බලා සිටීමට අවශ්‍ය නැත. පසුගිය 2014දී මෙය සිදු වූ අතර 2022දී මෙන්ම 2025දීත් නැවත සිදුවනු ඇත.
4. (හොඳම එක) 2015 අගෝස්තු මාසයේ සිකුරාදාවල් පහක් ඇත්තේ චීන කැලැන්ඩර් වල විය යුතුය. මගේ කැලැන්ඩරේනම් ඇත්තේ හතරකි.

කොහොම වුනත් දවස් හතරකින් සල්ලි හම්බ වුනොත් අපිටත් කියන්ඩ, හොඳේ! :)"

යාළුවා තාමත් යාළුවෙක්යැයි සිතමි.

(ඇත්තටම 2022දී මෙය නැවත සිදු නොවන අතර 2025 හා 2031දී සිදු වේ. කී දෙනෙක් චෙක් කළාද?)

Wednesday, June 17, 2015

පොල් ලෙලිගසන මැෂිම සහ වතුරෙන් දුවන කාර්

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ ඉකොනොමැට්ටාගේ යාළුවෙක් පොල් ලෙලිගසන මැෂිමක් හැදුවේය. යාළුවෙක් කිවුවාට ටිකක් ජේෂ්ඨ උත්තමයෙකි. හැදුවේ ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ කම්මලේ සංවත්සර ප්‍රදර්ශනයකටය.


මේ මැෂිමේ ඇති විශේෂත්වය වන්නේ එහි ක්‍රියාකාරීත්වය සඳහා කිසිදු බාහිර ශක්ති ප්‍රභවයක් අවශ්‍ය නොවීමයි. එහි එක් පසෙක ඇති විවරයකින් ලෙල්ල සහිත පොල් ගෙඩියක් ඇතුළු කළවිට අනෙක් පස ඇති විවරයකින් ලෙලි ගැසුණු පොල්ගෙඩිය එළියට එයි. මේ සඳහා විනාඩි දෙකක් පමණ ගත වේ.


මේ පොල් ලෙලිගසන මැෂිම ඉංජිනේරු විද්‍යා ප්‍රදර්ශනයේ නැගලා යන අයිටම් එකකි. දිවා ආහාර පැය වෙනුවෙන් ප්‍රදර්ශනය පැයකට තාවකාලිකව නවත්වන විටත් මැෂිම බැලීමට පෝලිමේ සෙනඟය.


දිවා ආහාර පැයෙන් පසු ප්‍රදර්ශනය ආපසු විවෘත විය. අක්බාර් කැන්ටිමෙන් අඩුවක් අසා වෙලාවටම පැමිණි ජේෂ්ඨ උත්තමයා ලෙල්ල පිටින් පොල් ගෙඩියක් මැෂිමට ඇතුළු කළේය. විනාඩි දෙකක් ගියේය. පොල් ගෙඩිය ලෙලිගැසී එලියට ආවේ නැත. විනාඩි තුනක් ගියේය. හතරකුත් ගියේය. ඒත් නැත.


ජේෂ්ඨ උත්තමයා දැන් හොඳටම නොසන්සුන්ය. ප්‍රදර්ශන කුටිය තාවකාලිකව වසා දැමූ ජේෂ්ඨ උත්තමයා එහි පැත්තක වූ තහඩුවක් ඉවත් කර මැෂිම ක්‍රියා විරහිත වීමට හේතුව සොයාගත්තේය.


"අඩෝ, එන්ජිමා! නැගිටපන් යකෝ. එළියේ සෙනඟ පෝලිමේ."


මැෂිම ඇතුළේ තිබුණු පොල්උලට හේත්තුවී හොඳට නිදාගෙන සිටි ෆ්‍රෙෂා ඇහැරුණු පසු හවස් වරුවේත් මැෂිම ලෙඩ නොදී හොඳට වැඩ කළේය.


ඔය ඇතුළේ සිටි ෆ්‍රෙෂා ටිකක් සීනියර් වී ජේෂ්ඨ උත්තමයෙක් වූ පසු ඔහුට වතුරෙන් දුවන මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට අදහසක් ඇතිවිය. එක පාරටම වැඩේට නොබැස ඔහු පළමුව කළේ ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමයි. ඔහොම එකක් හදාගත් විට මුලින්ම පත්තර කාරයෙක්ව කඩේ යවා දෙවනුව ලොකු මෝරෙක් මරා ගැනීමට බැරි නැත.


පැට්‍රල් වාහන ගෑස් වලට පරිවර්තනය කිරීම නැගලා ගිය ඔය කාලයේ එන්ජිමා කල්පනා කළේ සරල තාක්ෂණයක් යොදාගෙන පැට්‍රල් කාරයක් වතුරෙන් දිවිය හැකි පරිදි පරිවර්තනය කර ගැනීමටය. ඔහුගේ ගණන් බැලීම් අනුව වැඩේට මාස තුනක් පමණ ගතවනු ඇත.


පළමුවෙන් කළ යුත්තේ පැට්‍රල් ලීටරයකට වතුර බින්දුවක් දමා වාහනය ධාවනය කිරීමයි. වාහනය සාමාන්‍යයෙන් දුවන එකක්නම් අවුලක් නැතුව පණගැන්වී ධාවනය වනු ඇත. ඉන්පසු, වතුර ප්‍රමාණය බිංදුවෙන් බිංදුව වැඩි කරමින් මෙය දිගටම සිදු කළ යුතුය. එක වතුර බිංදුවක් වැඩි වුණා කියා වාහනය ධාවනය නොවීමට ඉඩක් නැති නිසාය. අවසානයේදී  පැට්‍රල් නැතුවම වතුරෙන් වාහනය දුවනු ඇත.


පසුව වෙන ව්‍යාපෘතියක් පටන්ගෙන ගඟෙන් එගොඩ පැදීමට පටන් ගැනීම නිසා එන්ජිමා මේ ව්‍යාපෘතිය අත්හැර නොදැමුවානම් අද අපි කාර් දුවන්නේ වතුරෙනි.


ඔය තාක්ෂණයම උපයෝගී කරගෙන සාමාන්‍ය වැඩිහිටියෙකුට වැඩුණු හරකෙකු අත්දෙකෙන් එසවීමට පුළුවන. මේ සඳහා කළයුත්තේ වහුපැටියා ඉපදුණු දින ඌව අවශ්‍ය පරිදි එසවීමයි. (ඒකවත් බැරි අයටනම් මේ තාක්ෂණය හරියන්නේ නැත.) ඉන්පසු, මෙය දිනපතාම කළ යුතුය. අද උස්සපු හරකා හෙට ඉස්සීමට බැරිකමක් තිබිය නොහැක. වහුපැටියා ක්‍රමයෙන් ලොකු වන විට ලොකු හරකෙකු පහසුවෙන් එසවීමට ඔබට හැකි වනු ඇත. අත්දුටුවයි! සත්තයි!!

එන්ජිමා වැඩේ අතහැර දැම්මාට වෙන ගොඩක් අය වැඩේ දිගටම ගෙන ගියේය. 2008 වසරේදී, ශ්‍රී ලාංකික තරුණයෙක් සෑදූ වතුරෙන් දුවන මෝටර් රථයකින් තවත් බොහෝ දෙනෙකු සමඟ එවකට අගමැති වූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාද කඩේ ගියේය. කඩේ යාමෙන් අනතුරුව "මෙවැනි නව නිර්මාණ නිසා අපේ රටේ දක්ෂ තරුණයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන බවත් මෙය ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ නව පෙරැළියක් බවත් මේ නිපැයුම දියුණු කිරීමට කවුරුත් උදව් දිය යුතු බවත් අගමැතිවරයා අවධාරණය කළේය".


http://www.silumina.lk/2008/07/20/_art.asp?fn=af0807201


මේ තරුණයාව මුදල් වංචා මත සිරගත කෙරුණු බව පසුව වාර්තා විය.
http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html


වසර හතරකට පසු 2012 මැදදී පකිස්ථානුවෙක් නැවතත් මෙවැනිම නිර්මාණයක් කළේය. බලශක්ති සීමා වලින් මිදුණු නව පකිස්ථානයක අරුණලු වැටෙද්දී මේ මෝටර් රථයෙන්ද පකිස්ථානයේ පකිස්ථාන් විද්‍යා සහ කාර්මික පර්යේෂණ කවුන්සිලයේ විද්වතුන් සහ දේශපාලන නායකයින් ඇතුළු බොහෝ දෙනෙකු කඩේ ගියෝය.
http://tribune.com.pk/story/416542/the-water-car-fraud/


මේ නිෂ්පාදකයාද අවසානයේදී නැවතුනේ සිරමැදිරියකය.


ජලය සෑදී ඇත්තේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අනු වලින් නිසා ඒවා නැවත වෙන් කර හයිඩ්‍රජන් ලබාගත හැකිය. මෙසේ ලබා ගන්නා හයිඩ්‍රජන් දහනය කිරීමෙන් ශක්තිය ලබාගත හැකි අතර මෙහිදී නැවතත් ජලය සෑදේ. කෙසේ වුවද, ජල අනුවක් බිඳීමට අවශ්‍ය ශක්තිය හයිඩ්‍රජන් දහනයේදී නිදහස් වන ශක්තියට සමාන නිසා වෙනත් ශක්ති ප්‍රභවයක් නැතිව තනිකරම වතුරෙන් කාර් දිවවීම තාපගතික විද්‍යා නියමයන්ට අනුවනම් කළ නොහැක්කකි. (හයිඩ්‍රජන් මිශ්‍ර කර වෙනත් බලශක්ති ප්‍රභවයක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වැනි දෙයක් කළ හැකි විය හැක.)


කෙසේ වුවද, මෙවැනි 'විද්‍යාත්මක' මිත්‍යාවක් එළියට දැමූ විට වෙනත් 'මිත්‍යාවන්ට' ගරහන අයද ඇතුළු බොහෝ දෙනෙක් කඩේ යාමට ඉදිරිපත් වන නිසා වතුරෙන් දුවන කාර් තවමත් හොඳ ආදායම් උල්පතකි.


(රසාස්වාදය සඳහා උඩින්ම ඇති කතා දෙක ඉකොනොමැට්ටාට පේටන්ට් අයිතියක් නැති කාඩ් දෙකකි. ඉකොනොමැට්ටා පොඩ්ඩක් ස්පයිස් එකතු කළා පමණි.)

Tuesday, June 16, 2015

හලාල් ආහාර වලට වැඩිපුර ගෙවිය යුතුද?



සසංක කන දේවල් තිබේ. නොකන දේවලුත් තිබේ. නිර්මාංශිකයෙකු නොවන සසංක කුකුළු මස් හා ගව මස් වලට මෙන්ම සූකර මාංශයටද ගිජුය. ඔහුට මස් හලාල්ද නැද්ද යන්න වැදගත් කරුණක් නොවේ. අබ්දුල් සූකර මාංශ නොබුදී. ඔහු කුකුළු මස් හා ගව මස් වලට ප්‍රිය කරන නමුත් ඒවා ආහාරයට ගන්නේ හලාල්නම් පමණි. නිර්මාංශී නොවන රසිකාත්, සතියේ ඇතැම් දිනවල නිර්මාංශීව සිටින කමලිනීත් කුකුළු මස් ආහාරයට ගනිති. එහෙත් ඔවුහු අනෙකුත් 'ගොඩ මස්' වර්ග නොබුදිති.

වෙළඳපළෙහි විකිණෙන කුකුළු මස් හලාල්නම් මේ සිවු දෙනාම මස් මිලදී ගැනීමේ ඉඩ කඩක් තිබේ. එහෙත්, මස් හලාල් නොවේනම් අබ්දුල් මස් මිලදී නොගනු ඇත. මේ නිසා හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කළ විට ඉල්ලුම වැඩි වේ. එහෙත්, එවිට නිෂ්පාදන පිරිවැය සුළු වශයෙන් හෝ ඉහල යයි. මේ ඉහල යන පිරිවැය අවසානයේදී දරන්නේ කවරෙක්ද?

මෙහි ඇත්තේ න්‍යායාත්මකව විශ්ලේෂණය කළ හැකි ආර්ථික විද්‍යා ගැටලුවකි.

මේ ගැටළුව විශ්ලේෂණය කිරීම සඳහා අපට ආර්ථික විද්‍යා ආකෘතියක් සකස් කර ගැනීමට සිදුවේ. අපි සරල ආකෘතියකින් පටන් ගනිමු.

වෙළඳාම සඳහා බාහිරට විවෘත නොවූ නිශ්චිත ප්‍රදේශයක් ඇතැයි අපි පළමුව උපකල්පනය කරමු. මේ ප්‍රදේශය තුළ කුකුළු මස් සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා පාරිභෝගිකයන් සිය දෙනෙකු අතර  'රතු' සහ 'කොළ ' නම් වූ පාරිභෝගිකයෝ දෙවර්ගයක් සිටිති. කොළ පාරිභෝගිකයෝ හලාල් කුකුළු මස් පමණක් ආහාරයට ගනිති. රතු පාරිභෝගිකයෝ හලාල්ද නැද්ද යන්න නොසලකා අඩු මිලට ඇති තැනෙකින් කුකුළු මස් මිලදී ගනිති.

කුකුළු මස් නිෂ්පාදකයෙකු සාමාන්‍ය මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමේදී කුකුළු කෑම ආදිය සදහා රුපියල් 200ක විචල්‍ය පිරිවැයක්ද සේවක වැටුප් ආදිය සඳහා රුපියල් 500ක ස්ථිර පිරිවැයක්ද දැරිය යුතුයැයි සිතමු. හලාල් ක්‍රමයට නිෂ්පාදනය කළහොත් විචල්‍ය පිරිවැය රුපියලකින් වැඩිවී රුපියල් 201ක් වේයැයිද, ස්ථිර පිරිවැය රුපියල් සියයකින් වැඩිවී රුපියල් 600ක් වේයැයිද සිතමු. කුකුළු මස් කිලෝවක් රුපියල් 225ක් වේනම් සෑම පාරිභෝගිකයෙකුම කුකුළු මස් කිලෝවක් බැගින් මිලදී ගන්නේයැයි සිතමු. කෙසේ වුවද, කොළ පාරිභෝගිකයින් මස් මිලදී ගන්නේ මස් හලාල්නම් පමණි.

අවස්ථාව 1- තනි රතු රට:

රතු රටේ පාරිභාගිකයින් සිය දෙනාම රතු අයයි. ඒ නිසා නිෂ්පාදකයෙකුට වැඩි පිරිවැයක් දරා හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී. නිෂ්පාදකයෙකු මස් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් 25ක ලාභයක් ලබයි. මේ වෙළඳපළෙන් සියළුම නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මුළු කෙටිකාලීන ලාභය (ස්ථිර පිරිවැය නොසලකා) රුපියල් 2500කි (25x100). එක් නිෂ්පාදකයකුගේ ස්ථිර පිරිවැය රුපියල් 500ක් වන බැවින් නිෂ්පාදකයන් පස් දෙනෙකුට මේ වෙළඳපළෙහි ඉඩ තිබේ. දිගුකාලීන ලාභයක් නැත. නිෂ්පාදකයින් ගණන එයට වැඩි වුවහොත් දීර්ඝකාලීනව කිසිවකුට ලාභයක් ලැබිය නොහැක.


අවස්ථාව 2- තනි කොළ රට:

කොළ රටේ පාරිභාගිකයින් සිය දෙනාම කොළ අයයි. මේ වෙළඳපොළෙහි සාමාන්‍ය කුකුළු මස් සඳහා කිසිදු ඉල්ලුමක් නොමැති බැවින් සෑම නිෂ්පාදකයෙකුටම  හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කිරීමට සිදුවේ. නිෂ්පාදකයෙකු මස් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් 24ක ලාභයක් ලබයි. මේ වෙළඳපළෙන් සියළුම නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මුළු කෙටිකාලීන ලාභය රුපියල් 2400කි (24x100). එක් නිෂ්පාදකයකුගේ ස්ථිර පිරිවැය රුපියල් 600ක් වන බැවින් නිෂ්පාදකයන් සිවුදෙනෙකුට පමණක් මේ වෙළඳපළෙහි ඉඩ තිබේ. දිගුකාලීන ලාභයක් නැත.

අවස්ථාව 3- රතු බහුතර රට:

රතු බහුතර රටේ රතු පාරිභෝගිකයෝ අනූ දෙනෙකි. කොළ පාරිභෝගිකයෝ දහයකි. නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ අනූවකි. මුළු කෙටිකාලීන ලාභය රුපියල් 2250කි (25x90). නිෂ්පාදකයින් ගණන හතරකට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 562.50කි. දිගුකාලීන ලාභය රුපියල් 62.50කි.

අනෙක් අතට, ඔවුන් හලාල් කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන සිවුදෙනෙකුට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මේ අනුව නිෂ්පාදකයන් සිවුදෙනෙකු සාමාන්‍ය කුකුළු මස් නිපදවනු ඇත. මෙහිදී රතු බහුතර රටේ සුළුතර කොළ පාරිභෝගිකයින්ගේ ඉල්ලුම සැපිරී නැත.

පස් වන නිෂ්පාදකයෙකු හලාල් කුකුළු මස් නිපදවීමට සිතන්නේනම් මස් කිලෝ දහයක ඉල්ලුමක් ඇත. මේ නිෂ්පාදකයාට තම ස්ථිර පිරිවැය පියවා ගැනීම සඳහා මස් කිලෝවක් රුපියල් 261කට (201+600/10) විකිණීමට සිදුවේ. මේ අනුව කොළ පාරිභෝගිකයෙකු මස් කිලෝවක් සඳහා ගෙවීමට කැමති උපරිම මිල රුපියල් 261ට අඩුනම් රතු බහුතර රටේ හලාල් මස් නිෂ්පාදනය නොවනු ඇත.

ඒ මිල ඊට වැඩිනම් රුපියල් 225කට සාමාන්‍ය කුකුළු මස් අලෙවි වෙත්දී රුපියල් 261කට හලාල් කුකුළු මස් අලෙවි වනු ඇත. හලාල් කුකුළු මස් සඳහා වැඩි මිලක් ගෙවීමට රතු පාරිභෝගිකන් සූදානම් නැති නිසා ඔවුන් හලාල් මස් වලට අකමැත්තක් නැතත් හලාල් මස් මිල දී නොගනු ඇත. මෙහිදී හලාල් කුකුළු මස් සහ සාමාන්‍ය කුකුළු මස් වෙනස් ආර්ථික භාණ්ඩ දෙකක් ලෙස පවතිනු ඇත.

අවස්ථාව 4- කොළ බහුතර රට:

කොළ බහුතර රටේ කොළ පාරිභෝගිකයෝ අනූ දෙනෙකි. රතු පාරිභෝගිකයෝ දහයකි. නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ දහයකි. මුළු ලාභය රුපියල් 250කි (25x10). මෙය එක් නිෂ්පාදකයකුගේ හෝ ස්ථිර පිරිවැය නොපියවයි. ඒ නිසා කිසිදු නිෂ්පාදකයෙකු හලාල් නොවන කුකුළු මස් නොනිපදවනු ඇත.

මේ අනුව, සියළුම නිෂ්පාදකයෝ හලාල් කුකුළු මස් නිපදවති. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන සිවුදෙනෙකුට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මේ අනුව නිෂ්පාදකයන් සිවුදෙනෙකු හලාල් කුකුළු මස් නිපදවනු ඇත. වෙළඳපලෙහි හලාල් නොවන සාමාන්‍ය කුකුළු මස් දක්නට නොලැබෙනු ඇත. ඒ අනුව රතු පාරිභෝගිකයන්ටද හලාල් කුකුළු මස් මිලදී ගැනීමට සිදුවන නමුත් ඒ සඳහා ඔවුන් වැඩි මිලක් ගෙවිය යුතු නොවේ.

අවස්ථාව 5- රතු කොළ සම රට:

රතු කොළ සම රටේ කොළ පාරිභෝගිකයෝ පනස් දෙනෙකි. රතු පාරිභෝගිකයෝද පනසෙකි. මෙහිදී විශ්ලේෂණය තරමක් සංකීර්ණය.

විකල්පය-1:
ඇතැම් නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ පනහකි. මුළු ලාභය රුපියල් 1250කි (25x50). නිෂ්පාදකයින් ගණන දෙකකට වඩා වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 625කි. දිගුකාලීන ලාභය රුපියල් 125කි. එහෙත් මේ ලාභය ලබාගත හැක්කේ හලාල් කුකුළු මස් නිෂ්පාදකයන් කිසිවෙකු නැත්නම් හෝ හලාල් කුකුළු මස් කිලෝවක මිල රුපියල් 225කට වඩා වැඩිනම් පමණි. නැතහොත් හලාල් කුකුළු මස් නිෂ්පාදකයන්ගේ තරඟය හමුවේ මේ ලාභය දිය වී යනු ඇත.

මෙහිදී කොළ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉටු නොවන බැවින් එම වෙළඳපොල ගැන පමණක් සිත් යොමන හලාල් නිෂ්පාදකයකුට ලැබිය හැකි මුළු කෙටිකාලීන ලාභය රුපියල් 600කි (24x50/2). දිගුකාලීන ලාභයක් නැත. මේ නිසා හලාල් නිෂ්පාදකයින් රතු වෙළඳපොලටද පිවිසෙනු ඇති අතර එවිට සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදකයින්ගේ ලාභය අඩු වනු ඇත. ඒ නිසා ඉහත වෙළඳපොළ සැලැස්ම සිදු විය නොහැක්කකි.

විකල්පය-2:
නිෂ්පාදකයෝ සියල්ලෝම හලාල් කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන හතරකට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මෙහිදී සිය පාරිභෝගිකයන්ගෙන් හරි අඩක් හලාල් මස් නොඉල්ලන නිසාත්, සාමාන්‍ය මස් විකිණීමෙන් ලාභය වැඩි කර ගත හැකි නිසාත් ඇතැම් හලාල් නිෂ්පාදකයෝ සාමාන්‍ය මස් නිපදවීමට පෙළඹෙනු ඇත. මේ නිසා මෙයද සිදු විය නොහැක්කකි.

විකල්පය-3:

තෙවන විකල්පය යටතේ හලාල් සහ හලාල් නොවන නිෂ්පාදකයින් දෙවර්ගයක් සිටියත් මස් වල මිලෙහි වෙනසක් නැත. මෙහිදී  රතු කොළ සම රටේ වෙළඳපලෙහි දිගුකාලීන ලාභය හලාල් සහ හලාල් නොවන නිෂ්පාදකයින් අතර බෙදෙනු ඇත.

සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදකයින් දෙදෙනෙකු එක නිෂ්පාදකයෙකු මස් කිලෝ 22.5ක් බැගින් නිපදවනු ඇත. කෙටිකාලීන ලාභය රුපියල් 562.50කි (25x 22.5). දිගුකාලීන ලාභය රුපියල් 62.50කි. හලාල් කුකුළු මස් නිෂ්පාදකයින් දෙදෙනෙකු එක නිෂ්පාදකයෙකු මස් කිලෝ 27.5ක් බැගින් නිපදවනු ඇත. කෙටිකාලීන ලාභය රුපියල් 660කි (24x 27.5). දිගුකාලීන ලාභය රුපියල් 60කි. නිෂ්පාදකයන්ගේ ලාභය (ආසන්නව) සමාන වන අතර දෙවන විකල්පයේදී ලැබෙන ලාභයට වඩා වැඩිය.

මේ නිසා රතු කොළ සම රටේ මෙවැනි මිශ්‍ර සමතුලිතතාවක් ඇති වනු ඇත.

ඉහත අවස්ථා සියල්ල සලකා බැලූ විට මේ සරල ආකෘතිය අනුව යම් කිසි නිශ්චිත ප්‍රදේශයක කොළ පාරිභෝගික ප්‍රතිශතය වැඩිවෙද්දී හලාල් නිෂ්පාදකයින් වැඩි වන ආකාරය අපට තේරුම් ගැනීමට පුළුවන. ලෝකය පුරා මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශ වල විසිරී සිටින මේ සටහන කියවන්නට මෙවැනි ප්‍රදේශ හඳුනා ගත හැකි වනු ඇත.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය ඉතා අඩුනම් හලාල් ආහාර සඳහා සාමාන්‍ය ආහාර වලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදු වනු ඇත. මෙය මුදල්මය මිලක් හෝ දුර බැහැරකට යාමේ අවශ්‍යතාව වැනි මුදල්මය නොවන මිලක් විය හැකිය.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය තරමක් වැඩි වෙද්දී හලාල් සහ හලාල් නොවන ආහාර මිල සමාන වනු ඇත. එහෙත් මෙහිදී සිදුවන්නේ හලාල් නොවන ආහාර වල මිලටම හලාල් ආහාර මිල අඩුවීම (රතු පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා) මිස හලාල් නොවන ආහාර මිල වැඩිවීමක් නොවේ.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය ඉතා වැඩිනම් හලාල් ආහාර පමණක් වෙළෙඳපොලේ පවතිනු ඇත. මෙහිදී රතු පාරිභෝගික ප්‍රතිශතය ඉතා අඩු නිසා හලාල් නොවන ආහාර වලට වඩා හලාල් ආහාර නිෂ්පාදන වියදම (ස්ථිර වියදම්ද එකතු කළ විට) අඩුය. ඒ අනුව මෙහිදීද රතු පාරිභෝගිකයින්ට වැඩි මිලක් ගෙවීමට  සිදු නොවේ.
ඉහත විග්‍රහය හැකිතාක් සරලව සිදු කර තිබේ. එහෙත් වඩා සංකීර්ණව මේ විග්‍රහය කළද අවසාන ප්‍රතිපලය වෙනස් නොවේ. මේ විග්‍රහය හලාල් සහ කොෂර් ආහාර වලට මෙන්ම අසාත්මිකතා ඇති කරන ආහාර සඳහාද යොදා ගත හැක. උදාහරණයක් ලෙස රටකජු වලට අසාත්මිකතා ඇති (කොළ) අය සැමවිටම රටකජු නොමුසු  ආහාර සොයන අතර අසාත්මිකතා නොමැති (රතු) අයට මෙහි වෙනසක් නැත.

යම් කිසි ප්‍රදේශයක කොළ ප්‍රතිශතය නිශ්චිත සීමාවක් ඉක්මවූ විට ඔවුන් මිල දී නොගන්නා නිෂ්පාදන වෙළඳපළෙන් ඉවත් වීම (වෙළඳපොල ආර්ථිකයක් යටතේ) ස්වභාවිකවම සිදු වනු ඇත. මේ ප්‍රතිශතය තීරණය වන්නේ අදාළ භාණ්ඩය සඳහා ඇති ඉල්ලුමේ ස්වභාවය, විචල්‍ය පිරිවැය වෙනස සහ ස්ථිර පිරිවැය වෙනස මතය.
කෙසේ වුවද, රතු සහ කොළ පාරිභෝගිකයින්ට අමතරව හලාල් නොවන ආහාර පමණක් මිලදී ගන්නා 'කහ' පාරිභෝගිකයින්ද සුළු ප්‍රතිශතයක් හෝ සිටීනම් මේ සීමාවන් විශාල ලෙස වෙනස් වනු ඇත. එහෙත්, මෙහිදී කහ පාරිභෝගික ප්‍රතිශතය විශාල නොවේනම් ඔවුන්ටද කොළ පාරිභෝගිකයින්ට මෙන්ම වැඩි මිලක් ගෙවීමට සිදු වනු ඇත.


(විග්‍රහය ඉකොනොමැට්ටාගේය. ඡායාරූප අන්තර්ජාලයෙනි.)








Monday, June 15, 2015

හාල් නැතුව බත් කන්නම්! හරක් නැතුව මස් කන්නම්!!


හැත්තෑවේදී ඩඩ්ලිව එළවා දැමූ දෙවන එලිසබෙත් රැජිනගේ ලංකා කොලනියේ අපි හතළිස් අටේ සිටම නොකපා තිබූ අපේ එංගලන්ත පෙකණි වැල කපා දැම්මෙමු. එතෙක් අප සතු නොවූ ප්‍රජාතන්ත්‍රවාදය එසැණින්ම අපට ලැබුණේය. සත් තිස් වසරකට පෙර ජේ ආර් විසින් ශ්‍රී ලංකාවට හිමි කර දෙනු ලැබ තවමත් අප තළු මරමින් භුක්ති විඳින සමාජවාදය එවකට අපට සිහිනයක් පමණක් වූ නිසා සමාජවාදය සොයා පෝලිම් වල කල් ගෙවීමටද අපි නොපැකිලුනෙමු.

සමාජවාදය හමුවන තුරු අපට බඩගින්නේ සිටීමට සිදුවිය. එහෙත්, දේශප්‍රේමය (හෝ වෙන යම්කිසි දෙයක්) අපේ කුසගිණි යටපත් කළ නිසා අපිට "බුදු අම්මෝ! බඩගිනියෝ!!" කියා කෑ ගැසුණේ නැත. අපි කෑගැසුවේ වෙන විදියකටය.

"සීනි නැතුව තේ බොන්නම්
හාල් නැතුව බත් කන්නම්
අම්ම අපිට කියනවනම්
පිදුරු වුණත් අපි කන්නම්"

අම්මා හෝ අප්පච්චී දෙන පිදුරු සීනි නැතුව අමුවෙන්ම ගිල දැමීමට සූදානම් බව බය නැතුව ලොවට පෙන්වීමට වත්පොත් නොතිබුණු මේ කාලයේ සිය වැඩිහිටියන් පෙළපාලි යද්දී ගෙදර තිබූ දුඹුරු සීනි බෝතලයේ අඩිය හොරෙන් සීරූ පොඩි එවුන් දැන් මැදි වයසත් පහු කරලාය. ඔවුහු පෙර කල පෙළපාලි ගිය සිය වයෝවෘද්ධ දෙමවුපියෝද සමඟ දැන් සීනි නැතුව තේ බොති. ඒ සඳහා ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ අම්මාගෙන් හෝ අප්පච්චීගෙන් නොවේ. පවුලේ වෛද්‍යවරයාගෙනි. හැමදාම කෙසේ වෙතත් සීනි පරීක්ෂා කරන දවස කිට්ටු වෙද්දී සීනි නොකා ඉන්නේ දියවැඩියාවට බය නිසාය. ප්‍රතිපලය සීයට අඩුනම් හවසට තේ කෝප්පයට වෙනදාටත් වැඩියෙන් සීනි වැටේ. සීයට වැඩිනම් "කාල මරණ අකාල මරණ" පොර ටෝක් ටික දවසකට ඕෆ් වේ.

කවුරුත් වගේ දන්නා එක් පැරණි රසාංගයක සිටි එතරම්ම පැරණි නැති පොරක් ඔයාකාරයට සීනි පරීක්ෂා කළේය. බෙහෙත් පාවිච්චි කරන්නට තරම් නොවූවත් සීනි වැඩිය. "කෑමෙන් පරිස්සම් වෙන්ඩ වෙයි!" දොස්තර මහත්තයා කීවේය. "මොනවාද සාමාන්‍යයෙන් කන්නේ?"

"උදේට?"
"පොල් සම්බෝලයි බතුයි. බත් කිවුවට හීල්බත්. සමහර දවසට කිරිබත්."
"දවල්ට?"
"බතුයි, අල පරිප්පු වගේ දේකුයි, කරවල බැදුමක්, තව මැල්ලුමක් වගේ."
"එතකොට රෑට?"
"බතුයි, අල පරිප්පු වගේ දේකුයි, තව මොනවා හරි එළවළු මාළු දෙයක්."
"ඔය කෑම රටාව ටිකක් වෙනස් කරන්ඩ වෙයි!"
"ඒ කිවුවේ?"
"බැරිවෙයිද රෑට පාන් පෙති දෙකක් වගේ කන්ඩ?"

මලකඩ රස රෝස පාට බෙහෙත් වතුර බොනවාට වඩා, පෙති කරල් අමාරුවෙන් ගිලිනවාට වඩා  පාන් පෙති දෙකක්ගිල දැමීම කොයි තරම් පහසුවක්ද?  දොස්තර මහත්තයා මොහොතකට මතු බුදුවෙයි. ඒත් ගෙදර යාමට පෙර හරියටම පැහැදිලි කරගත යුතුය.
"දොස්තර මහත්තයා, ඔය කියන පාන් පාමසියකින් ගන්ඩ ඕනෑද?"
"පාමසි? පාමසි වල කොහෙද ලොකු උන්නැහැ පාන් හදන්නේ? යන්ඩ බේකරියකට."
"මටත් එහෙම හිතුණා. මං මේ ඉස්තිරේටම දැන ගන්ඩයි ඇහුවේ."
"ඒකට කමක් නෑ. දැන් පැහැදිලියිනේ. කෑම පාලනේ කල්ලා හය මාසෙකින් පස්සේ ආයේ ඇවිත් සීනි පරීක්ෂා කර ගන්ඩ. තව ප්‍රශ්න මුකුත් තියෙනවාද?"
"සමාවෙන්ඩ ඕනෑ දොස්තර මහත්තයා තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය පාන් පෙති දෙක කන්ඩ තියෙන්නේ බත් කන්ඩ කලින්ද බත් කාලද?"

ඔය පැරණි රසාංගයේ සිටි මනුස්සයා තාමත් ජීවත් වේ. ඒ අපි තුළමය. වෙන මොනවා කෑවත් බත් ඩිංගක් බඩට වැටෙන තුරු බඩ පිරෙන්නේ නැත්තේ ඒ නිසාය. බත් කෑවත්, පාන් කෑවත් ඔය දෙකේම ඇත්තේ ප්‍රධාන වශයෙන්ම පිෂ්ඨ ධාතුවයි. සිංහලෙන්නම් කාබෝහයිඩ්රේට්ය. අප කාබෝහයිඩ්රේට් වලට ඇබ්බැහි වන හේතුව පරිණාමික මනෝ විද්‍යාවෙන් පැහැදිලි කළ හැකිය. මේ කැමැත්ත අපේ හෝමෝ සේපියන් ජාන වලම ලියවී තිබේ. එහෙත්, බත් වලට අප ඇබ්බැහි වන්නේ අපේ සංස්කෘතිය නිසාය. බත් වල අන්තර්ගත ප්‍රධානම සංඝටකය වන කාබෝහයිඩ්රේට් වලට ඇති අපේ ජානමය කැමැත්තට අමතරව එහි හැඩයට, පැහැයට හා සුවඳට අපේ සංස්කෘතිය අපව ආකර්ෂණය කරයි. මේ අයුරින්ම අර්තාපල්, පාන් වැනි වෙනත් කාබෝහයිඩ්රේට් ප්‍රභව වලට ඇතැම් රටවල වැසියෝ ඇබ්බැහි වෙති.

පාන් හෝ බත් වැනි කාබෝහයිඩ්රේට් ප්‍රභව ආහාරයට අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර එකතුවීම සෞඛ්‍යමය ගැටළු ඇති කරවයි. එහෙත්, බොහෝ විට අපේ ජානමය හා සංස්කෘතික ඇබ්බැහිය වඩා හොඳ ශරීර සෞඛ්‍යයක් සඳහා වන රුචිය අභිබවන නිසා ආහාර රටාව වෙනස් කිරීම පහසු නැත. වෙන තැන් වලදී මෙන්ම මෙහිදීද අපේ උදවුවට එන්නේ තාක්ෂණයයි. ඒ අනුව, තිරිඟු පිටි නොවන වෙනත් ධාන්‍ය යොදා සකස් කළ පාන් වර්ග මෙන්ම සමතුලිත ආහාර වේලක් සඳහා අත්‍යාවශ්‍ය සංඝටක එකතු කර සැදූ පාන් වර්ගද ලංකාවේ කෙසේ වෙතත් පාන් ප්‍රධාන ආහාරය වූ බටහිර රටවල අඩු නැත. පිදුරු එකතු නොකළත් මේ පාන් වර්ග වල තන්තු සංයුතිය ඉහළ නැංවීමට නිෂ්පාදකයෝ ක්‍රියා කරති.

බත් කන ලංකාවේ අපිට මේ ආකාරයෙන් බත් වල සංයුතිය වෙනස් කර ගත හැකිනම් අපේ මානසික හා සෞඛ්‍යමය අවශ්‍යතාවන් එක් වර සපුරාගනිමින් රැවුලත් කැඳත් දෙකම බේරා ගත හැකිය. එහෙත්, වෙළඳපොල සාධක මත බත් සම්බන්ධව කෙරී ඇති පර්යේෂණ ප්‍රමාණය පාන් සම්බන්ධව කෙරී ඇති පර්යේෂණ ප්‍රමාණයට වඩා බොහෝ අඩුය.

අප මෙන්ම බත් කන ඉරානයේ පර්යේෂිකාවක වන ආචාර්ය දර්යාමේහාර් කේෂානි (Daryamehr Keshani) විසින් 2012 අගෝස්තුහිදී නැනෝ තාක්ෂනය යොදාගෙන විවිධ සංයුතීන්, රසයන්, වර්ණයන් සහ පැහැයන් ඇති කෘතීම සහල් නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයක් සඳහා පේටන්ට් අයිතිය ලබාගෙන තිබේ. ඇගේ ක්‍රමවේදය පෙර වූ කෘතීම සහල් නිෂ්පාදන වලින් වෙනස් වන්නේ ඇය ප්‍රථම වරට ස්වභාවික සහල් හෝ ස්වභාවික සහල් ආශ්‍රිත අමුද්‍රව්‍ය කිසිවක් උපයෝගී නොකරගෙන සහල් නිපදවන බැවිනි. සුවඳින්, රසයෙන් සහ පැහැයෙන් ස්වභාවික සහල් සහල් වලට සමාන වුවත් මේ සහල් වල සංයුතිය ස්වභාවික සහල් වලට වඩා වෙනස්ය. කාබෝහයිඩ්රේට් වලට අමතරව ප්‍රෝටීන්, ලිපිඩ, ඛනිජ ලවණ, විටමින් වර්ග ආදියද මේ සහල් වල සැලකිය යුතු තරමක් අඩංගු වනු ඇත.

අඩු මිලකට, මහා පරිමාණයෙන් නිපදවිය හැකි කේෂානිගේ 'කාර්මික සහල්' (මැෂින් හාල්?) නිෂ්පාදනය කිරීම සඳහා ඉරිඟු, තිරිඟු, බාර්ලි, කඩල හා අර්තාපල් ප්‍රධාන වශයෙන්ද, හරක් මස් සහ කුකුළු මස් කොටස් ඇතුළු තවත් බොහෝ දේ සුළු වශයෙන්ද යොදා ගනු ඇත. කේෂානිගේ යන්ත්‍රයට අමතරව චීනය, ඉන්දුනීසියාව වැනි වෙනත් 'බත් කන' රටවලද කෘතීම සහල් නිපදවන යන්ත්‍ර දැනටමත් ප්‍රයෝජනයට ගැනේ. පිදුරු අමුද්‍රව්‍යයක් ලෙස යොදා නොගත්තත් මෙවැනි යන්ත්‍ර උපයෝගී කරගෙන  වැඩි තන්තු සංයුතියක් ඇති සහල් නිපදවා ගත හැකිය.

හාල් නැතුව බත් කෑම සරල හා ලාභදායී කටයුත්තක් වුවත් සත්ත්ව ඝාතනයෙන් වැලකී මස් කෑම එතරම් පහසු වැඩක් නොවේ. පහසු නොවූවද, සතෙකු නොමරා ඉවත් කර ගන්නා සත්ත්ව සෛලයක් පටක තාක්ෂනය යොදාගෙන විද්‍යාගාරයක් තුළ වර්ධනය කර ගැනීම මඟින් කෘතීම මස් නිපදවා ගැනීම තව දුරටත් හිතළුවක් පමණක් නොවේ. සෛද්ධාන්තිකව, එක් සෛලයකින් පටන්ගෙන ප්‍රෝටීන ප්‍රභේදයක් මඟින් වර්ධනය කර ගැනීමෙන් අවශ්‍ය ඕනෑම මස් ප්‍රමාණයක් නිපදවා ගත හැකිය. 2013 අගෝස්තු මාසයේදී, නෙදර්ලන්තයේ මස්ත්‍රිස්ට් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය මාර්ක් පෝස්ට් විසින් මෙසේ නිෂ්පාදනය කල හරක් මස් කෑල්ලකින් සෑදූ හැම්බර්ගරයක් ලන්ඩනයේදී ප්‍රසිද්ධියේ රස විඳීමේ අවස්ථාව අනාගත ආහාර ගැන බොහෝ අදහස් සටහන් කර ඇති ඇමරිකානු ගත් කතුවර ජෝෂ් ශෝන්වල්ඩ්ට සහ ඔස්ට්‍රියානු ආහාර පර්යේෂක හානි රට්ස්ලර්ට හිමි විය.

ශෝන්වල්ඩ් සහ රට්ස්ලර් රස බැලුවේ රුපියල් මිලියන හතළිහක් පමණ වටිනා හැම්බර්ගරයකි. මෙවැනි හැම්බර්ගර් දෙකතුනක් වුණත් දවසකට ගිල දැමිය හැකි ඇතැම් අය ලංකාවේ සිටින නමුත් මේ මිල බොහෝ දෙනෙකුට සිතිය නොහැකි ප්‍රායෝගික නොවන මිලකි. මහාචාර්ය පෝස්ට් සිතන පරිදි මේ තාක්ෂණය ආර්ථික වශයෙන් වාසිදායක වන ලෙස දියුණු කිරීමට තව වසර 10-15ක කාලයක් ගත විය හැකිය. කෙසේ වුවද අඩු මිලක් වැයකර සතුන් නොමරා හදන මස් කරියක් අපේ නිවසක ඉදෙන දවසක් ගැන අපිට දැන් බලාපොරොත්තුවක් තිබේ.

(ඡායාරූපය නෙදර්ලන්තයේ මස්ත්‍රිස්ට් විශ්ව විද්‍යාලයයට සම්බන්ධ culturedbeef.net වෙබ් අඩවියෙනි.)



වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...