වෙබ් ලිපිනය:

Showing posts with label සිංහල සංස්කෘතිය. Show all posts
Showing posts with label සිංහල සංස්කෘතිය. Show all posts

Saturday, March 31, 2018

සිංහල අනන්‍යතාවය (දෙවන කොටස)


සිංහල අනන්‍යතාවය වූ කලී සිංහල නම් වූ වත්මන් බස හා සම්බන්ධ වූවකි. ඉන්දු-ආර්ය මූලයක් ඇති සිංහල බස පරිණාමය වී ඇති බව පෙනෙන්නේ වත්මන් නැගෙනහිර ඉන්දියාවේ ආසන්න වශයෙන් සියවස් විසිපහකට පමණ පෙර කාලයේ භාවිතා වූ ප්‍රාකෘත බසකිනි. එසේනම්, අනිවාර්යයෙන්ම අදාළ කාලයේ ප්‍රාකෘත බසෙහි නැගෙනහිර ප්‍රභේදය කතා කළ කණ්ඩායමක් හෝ කණ්ඩායම් ලංකාවට සංක්‍රමණය වූවා විය යුතුය. මෙය වංශ කතා වල ඇති තොරතුරු සමඟ මෙන්ම සිංහලයින්ගේ ජාන වල ඇති තොරතුරු සමඟද ලොකු අපහසුවක් නැතිව ගැලපිය හැකි කතාවකි.

ඉන්දියාවේ ආර්ය අනාර්ය මිශ්‍රණය ඉතා සංකීර්ණ එකකි. උතුරු ඉන්දියාවේ ආර්යයන් සිටින බව හා දකුණු ඉන්දියාවේ අනාර්යයන් සිටින බව ඕනෑවට වඩා සරල කතාවකි. පසුගිය සියවසේ මැද දක්වා තිබුණු බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මෙන්ම ලංකාවේද ජීවත් වූ හා දැනට ජීවත් වන මිනිසුන් බොහෝ දෙනෙක්ගේ පරම්පරා යනු කිසියම් ආකාරයක ආර්ය අනාර්ය සම්මිශ්‍රණයකි. උතුරු ඉන්දියාවේ මැද හරියේ වුවත් සිටින්නේ මධ්‍යම ආසියාවෙන් සංක්‍රමණය වූ ආර්ය කණ්ඩායම් වලින් තනිකරම පැවත එන්නෝ නොවෙති.

උතුරු ඉන්දියාවේ මැද හා බටහිර කොටසට සාපේක්ෂව නැගෙනහිර කොටසට (ප්‍රධාන වශයෙන්ම වත්මන් බටහිර බෙංගාලය හා බංග්ලා දේශය අයත්වන බෙංගාලයට) යන විට මැද හා බටහිරදී හමුවන තරමටම පැහැපත් ඡවි වර්ණයක් ඇති මිනිසුන් හමු නොවේ. ඡවි වර්ණයෙන් හෝ වෙනත් ශරීර ලක්ෂණ වලින් බංගලියෙකු හා තලෙළු සමැති සිංහලයෙකු වෙන් කර හඳුනා ගැනීම ඉතා අසීරුය. බෙංගාලි බසෙහි වචනද සිංහල වචන මෙන්ම සකු බසෙහි හෝ හින්දි බසෙහි වචන වලට වඩා සරලය. එහෙත්, සිංහල හෝ වංග බස් වහරන්නෙකුට වෙසෙස් පුහුණුවක් නොලැබ අනෙකාගේ බස තේරුම් ගත නොහැකි තරමට මේ බස් වෙනස්ය. මෙයින් වෙනස්ව වංග බස වහරන්නෙකුට අමුතු පුහුණුවක් නොලැබ හින්දි හෝ වෙනත් උතුරු ඉන්දීය බසක් දළ වශයෙන් හෝ තේරුම් ගත හැකිය.

දෙවන පෑතිස් රජුගේ මුතුන් මිත්තන් ලංකාවට සංක්‍රමණය වූ කාලයේ මෙන්ම ඊට පෙරද වරින් වර ආර්ය සංක්‍රමණිකයින් ලංකාවට පැමිණෙන්නට ඇත. මොවුන් ආර්යයන් වන්නේ ආර්ය සංස්කෘතිය තුළ ජීවත් වූ බැවින් මිස 'ශුද්ධ ආර්ය ලේ' තිබීම නිසා නොවේ.

ඉතිහාසය පිරික්සන විට අපට පැහැදිලි වන්නේ ආර්ය සංස්කෘතියට වෙනත් බොහෝ සංස්කෘතීන් හමුවේ පරිණාමික වාසියක් තිබී ඇති බවයි. මෙහිදී මා කතා කරන්නේ සංස්කෘතික පරිණාමය පිළිබඳව මිස ජීව විද්‍යාත්මක පරිණාමය ගැන නොවේ.

ආර්ය සංස්කෘතියට ඉහත පරිණාමික වාසිය ලැබෙන්නට ඇත්තේ එම සංස්කෘතියේ සුවිසෙස් ලකුණු කිහිපයක් නිසාය. ආර්ය සංස්කෘතියට මධ්‍යස්ථ අවදානම් ගැනීමට, අළුත් දේ සොයා බැලීමට හා පරිසරයට අනුව වෙනස් වීමට පහසුය. එක තැන නොරැඳී තැනින් තැනට සංක්‍රමණය වීමට ඇති කැමැත්තට හා වෙළඳාමෙහි දක්වන දක්ෂතාවයට හේතු වන්නේ මේ මූලික ලක්ෂණයි. ලංකාවේ ජීවත්ව සිට ඇති ප්‍රාග්-සිංහල නාගයින්ගේ සංස්කෘතික ලක්ෂණද මීට සමානය.

ලංකාවට පැමිණි දෙවන පෑතිස් රජුගේ පරම්පරාවේ පළමුවැන්නාට පෙර ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර වෙරළබඩ ප්‍රදේශ වලින් ආර්ය සංස්කෘතියෙහි සිටි විවිධ කණ්ඩායම් වරින් වර ලංකාවට පැමිණ ස්ථිර ජනාවාස තනාගන්නට ඇති අතර ඔවුන් විසින් ඊටත් පෙර දකුණු ඉන්දියාවේ බටහිර වෙරළබඩ ප්‍රදේශ වලට සංක්‍රමණය වන්නට ඇත. ඒ නිසා, වත්මන් ඉන්දියානු බිමේ මෙන්ම ලංකාවේද රටවල් මැද කෙසේ වුවත් වෙරළ තීරු දිගටම තැනින් තැන කලෙක නාග ජනාවාස බිහිව තිබෙන්නට ඇත.

මහා වංශයෙහි ඇති සීමිත තොරතුරු වලින් වුවත් විජයාවතරණයට පෙර ලංකාවේ වූ නාග ජනාවාස ගැන අදහසක් ගන්නට පුළුවන. බුදුන්ගේ ලංකා ගමන් හා අදාළව මේ ජනාවාස ගැන තොරතුරු සඳහන්ව තිබේ. උතුරේ මහෝදරගේ ජනාවාසය හා කැලණියේ මණිඅක්ඛිකගේ ජනාවාසය වැනි ජනාවාස ගණනාවක් වෙරළ තීරය දිගේ තිබෙන්නට ඇති අතර ගංගා දිගේ මේ ජනාවාස රට ඇතුළට ව්‍යාප්ත වෙමින් තිබෙන්නට ඇත.

පසුගිය දෙසියවසක පමණ කාලය වන තුරුම කිසියම් රටකට වෙනත් රටකින් සංක්‍රමණය වූවන් බොහෝ විට මුලින්ම සිය ජනාවාස පිහිටුවාගෙන තිබෙන්නේ වෙරළට ආසන්නවය. ඉන්පසුව, ගං ඉවුරු දිගේ රට ඇතුළට ක්‍රමයෙන් ව්‍යාප්ත වීම බොහෝ තැන් වල සුලභව දැකිය හැකි රටාවයි. ආගන්තුක බිමක අවිනිශ්චිතතා රැසකට මුහුණ දෙමින් ජීවත්වන සංක්‍රමණික කණ්ඩායමකට හැකි ඉක්මණින් වඩා සුරක්ෂිත මුහුදට පසු බසින්නට මෙන්ම තමන්ගේ මුල් රට සමඟ සම්බන්ධතා දිගටම පවත්වා ගන්නටද මෙයින් ඉඩ සැලසේ.

ලංකාවේ ජීවත් වූ නාගයින්ගේ මුල් සියවස් ගෙවී ඇති බව පෙනෙන්නේද එක් අඩියක් ගොඩබිම හා අනෙක් අඩිය මුහුදේ තබා ගනිමිනි. රටේ මුහුදු තීරය වටේම නාග ජනාවාස පැතිර තිබී ඇති බව පෙනුණත් මේ ජනාවාස අතර ඉතා හොඳ මට්ටමේ සන්නිවේදන සම්බන්ධතාද තිබී ඇති බව පෙනේ. කන්වඩමන් පවුවේ හා නාගදීප මුහුදුකරයේ නාග කණ්ඩායම් අතර සටනට කැළණියේ නාග කණ්ඩායම්ද සම්බන්ධ වන්නේ එබැවිණි. එපමණක් නොව සමන්ත කූඨවාසී දේව කණ්ඩායම් පවා මේ නාග කණ්ඩායම් සමඟ ජාලගතව සිට ඇත. කැළණියේ මණිඅක්ඛික ඇතැම් විට නිල් ඇස් තිබුණු ආර්ය සංක්‍රමණිකයෙකු හෝ එවැන්නෙකුගෙන් පැවතෙන්නෙකු වන්නටද පුළුවන.

නාග හා දේව කණ්ඩායම් අතර එවැනි සම්බන්ධතා තිබුණත් මුල් කාලයේදී යක්ෂයින් සමඟ මේ කණ්ඩායම් විසින් සංස්කෘතික සබඳතා පවත්වා ගත් බවක් නොපෙනේ. නාග කණ්ඩායම් වලට ගංගා නිම්න දිගේ රට තුළට ව්‍යාප්ත වීම පහසු නොවන්නට ඇත්තේ රට තුළ ජීවත් වූ යක්ෂ කණ්ඩායම් එයට පහසුවෙන් ඉඩ නොදුන් බැවිනි. එසේ වුවත්, නාග සංක්‍රමණිකයින් යක්ෂයින් අභිබවමින් ක්‍රමයෙන් රට තුළට ව්‍යාප්ත වන්නට ඇත.

බුදුන්ගේ පළමු ලංකා ගමන ලෙස වාර්තා වන්නේ මහවැලි ගඟ දිගේ ත්‍රිකුණාමලයේ සිට රට තුළට ව්‍යාප්ත වන නාග සංක්‍රමණිකයින් විසින් යක්ෂයින්ගේ ජනාවාසයක් ඉතා අසීරුවෙන් අත් පත් කර ගන්නා සිදුවීමක් බව පෙනේ. මහා වංශය විසින් "මහා නාග වන" ලෙස හඳුන්වන මේ ස්ථානය එනමින් නම් කෙරෙන්නට ඇත්තේ නාගයින් විසින් යක්ෂයින්ව "ගිරි දිවයිනට" එළවා දමා එහි බලය තහවුරු කර ගැනීමෙන් පසුවය. එතෙක්, නිතර යකුන් ගැවසුණු හා නිශාචර සමාගම් පැවැත්වූ මේ භූමිය අත්පත් කර ගැනීම නාගයින්ට (හා දේවයින්ට) පහසු කටයුත්තක් නොවන්නට ඇත.

නාගයින් විසින් යකුන් මඬිමින් ලංකාවේ සිය ජනාවාස ව්‍යාප්ත කරන අතරම නැගෙනහිර ඉන්දියාවේ තමන්ගේ මුල් රටවැසියන් සමඟ මෙන්ම හා දකුණු ඉන්දියාවේ වෙරළ තීරය දිගේ වූ නාග ජනාවාස වල ජීවත් වූවන් සමඟද දිගටම සබඳතා පවත්වා ගන්නට ඇත. මේ ජනාවාස වල ජීවත් වූ නාගයින්ට නායකත්වය දෙන්නට නැගෙනහිර ඉන්දියාවේ සිට රජෙක් එන්නට ඇත්තේ රජෙක්ට පාලනය කරන්නට ප්‍රමාණවත් තරම් ජනතාවක්, භූමි ප්‍රදේශයක් හා ආර්ථිකයක් ලංකාවේ තිබෙන බව පැහැදිලි වීමෙන් පසුවය.

විජය සමඟ පැමිණි නාවික කණ්ඩායම සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු නැගෙනහිර ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි පළමු සංක්‍රමණික කණ්ඩායම වන්නට ඇත. බුදුන් ගැන දැන සිටි ලංකාවේ නාග සංක්‍රමණිකයින් සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ පුවත මුලින්ම දැනගන්නට ඇත්තේ මේ කණ්ඩායමේ අයගෙනි.

විජයගේ කණ්ඩායමේ සාමාජිකයින්ද ලංකාවට අඩිය තබා තිබෙන්නේ බියෙන් සැකෙන් තොරව නොවේ. ඔවුන් විසින් ලංකාවේ ස්ථිර ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසුවද මේ බිය එක්වර පහවන්නට හේතුවක් නැත.

රට ඇතුළේ සිටි යක්ෂයින්ගෙන් හෝ වෙනත් බාහිර සංක්‍රමණික කණ්ඩායම් වල තර්ජනයකට ලක් වූ විටෙක මේ සංක්‍රමණිකයින්ට නැගෙනහිර ඉන්දියාවෙන් උදවු පැතිය නොහැකිය. එවැනි උදවුවක් ලැබිය හැක්කේ වඩා ආසන්නව සිටින අයෙකුගෙනි. විජයට දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය​ රාජ්‍යය සමඟ ගිවිසුම් ගහන්නට වෙන්නේ එබැවිණි. ඒ අනුව, විජයට පඬි රජ දියණිය සමඟ සිය ජනාවාස වල ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබේ. පඬි රජුට එහි හිලවුවට වාර්ෂිකව දෙලක්ෂයක් වටිනා සක්මුතු ලැබේ.

මේ කාලයේදී ලංකාවේ නාග සංක්‍රමණිකයින්ට දකුණු ඉන්දියාවේ පඬි රටෙහි පාලකයින් ලංකාවේ විසූ යක්ෂයින්ට වඩා සංස්කෘතිකව සමීපව සිට ඇති බව පෙනේ. ඇතැම් විට මේ කණ්ඩායම් දෙකටම මේ කාලයේදී පොදු නාග අනන්‍යතාවයක් තිබුණා විය හැකිය. ඇතැම් විට කතා කළ භාෂාවන්හි පවා සමීපත්වයක් තිබුණා විය හැකිය. මණිමේකලෛ අනුව, කාලයක් තිස්සේ දකුණු ඉන්දියාවේ නැගෙනහිර කොටසේ බලය හෙබවූ පල්ලවයන්ගේ ආරම්භකයා මණිපල්ලව නාරජුගේ දියණියකි. මුල් කාලයේදී පල්ලවයන්ගේ රාජ්‍ය භාෂාව වී තිබෙන්නේද ප්‍රාකෘත හෝ සංස්කෘත බස් මිස ද්‍රවිඩ භාෂාවන් නොවේ.

ලංකාවේ විසූ නාග සංක්‍රමණිකයින් රට මැද ජීවත් වූ යක්ෂයින් සමඟ සංස්කෘතික සබඳතා ඇති කර ගන්නට පෙර ඉන්දියාවේ වෙරළ තීරයේ නැගෙනහිර, දකුණේ හා බටහිර වෙනත් නාග ජනාවාස ගණනාවක් සමඟම සංස්කෘතික සබඳතා පවත්වා ගන්නට ඇත. සිංහලයට පාදක වූ නැගෙනහිර ප්‍රාකෘත බසට මුල් කාලයේදීම බටහිර ප්‍රාකෘත වචනද මුසුව තිබීමෙන් පැහැදිලි වන්නේ මේ කරුණයි. ප්‍රකට උදාහරණයක් ගන්නවානම් සිංහල අනන්‍යතාවය තුළ මැස්සන් මෙන්ම මැක්කන්ද හමු වන්නේ ලංකාවට නැගෙනහිර ඉන්දියාවෙන් පැමිණි ආර්ය සංක්‍රමණිකයින් සමඟ බටහිර ඉන්දියාවෙන් පැමිණි ආර්ය සංක්‍රමණිකයින්ද මුල සිටම මිශ්‍ර වී ඇති බැවිනි.

ඉන්දියානු කලාපයේ භාෂා ආර්ය භාෂා හා ද්‍රවිඩ භාෂා ලෙස ඒවායේ මූලය අනුව වර්ග කෙරුණත් මේ භාෂා කාණ්ඩ දෙකේම අක්ෂර මාලා වලට තිබෙන්නේ එකම මූලයකි. බ්‍රාහ්මී අක්ෂර මාලාවෙන් බිඳී ගොස් ඇති මේ අක්ෂර මාලා අතරින් සිංහල අක්ෂර මාලාව වඩා සමීප වන්නේ උතුරු ඉන්දීය භාෂාවන්හි අක්ෂර මාලා වලට නොව දකුණු ඉන්දීය භාෂාවන්හි අක්ෂර මාලා වලටය. මෙයින් පෙනෙන්නේ සිංහල භාෂාවේ මුල නැගෙනහිර ඉන්දියාවේ බව පෙනෙන නමුත් සිංහල අක්ෂර මාලාව සංවර්ධනය වන විට ලංකාවට වැඩි සංස්කෘතික සබඳතා තිබී ඇත්තේ දකුණු ඉන්දියාව සමඟ බවයි. මගේ අදහස පරිදි සිංහල අක්ෂර මාලාවට වඩාත්ම කිට්ටු අක්ෂර මාලාව කේරළයේ බස වන මලයාලම් බසෙහි අක්ෂර මාලාවයි.


සිංහල බසෙහි මුල් තිබෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ වන්නට බොහෝ ඉඩකඩ ඇතත් මේ වන විට සිංහල බස නැගෙනහිර ඉන්දීය භාෂාවන්ගෙන් බොහෝ දුරස් වී අවසන්ය. මුල් මාගධී ප්‍රාකෘතයෙහි වූ "ව" ශබ්දය සිංහලයෙහි ඇතත් මේ වන විට නැගෙනහිර ඉන්දීය භාෂා වල "ව" ශබ්දය නැත. මෙය නැගෙනහිර ඉන්දීය භාෂාවන්හි පසුකාලීනව සිදු වී ඇති වෙනසකි. සමස්තයක් ලෙස උතුරු ඉන්දීය භාෂාවල මේ වන විට වචනයක අවසන් "අ" ශබ්දය උච්චාරණය නොකෙරෙන නමුත් සිංහලයෙහි මේ වෙනස සිදුව නැත. ඒ නිසා, උතුරු ඉන්දියාවේ රාම්ලා ලංකාවේදී තවමත් මුල් සකු බසෙහි මෙන් රාමලාම වෙති. එහෙත්, සිංහලයෝ මේ වන විට උතුරු ඉන්දියානුවන් මෙන් මහාප්‍රාණ ශබ්ද බර තබා උච්ඡාරණය නොකරති. එමෙන්ම සිංහල වාක්‍ය ආකෘති මේ වන විට වඩා සමීප දකුණු ඉන්දීය වාක්‍ය ආකෘතීන්ටය.

විජයගේ මෙන්ම පඬුවස්දෙව්ගේ කුඩා ජනපද රාජ්‍ය වල වැඩිපුරම සිටින්නට ඇත්තේ මාගධී ප්‍රාකෘත බස වැහැරූ සංක්‍රමණික හෝ සංක්‍රමණිකයින්ගෙන් පැවැත එන නාගයින්ය. ඒ අතර, අතරින් පතර වෙනත් ප්‍රාකෘත ප්‍රභේදයන් කතා කළ අය මෙන්ම මූල-ද්‍රවිඩ භාෂා කතා කළ අයද අතරින් පතර සිටින්නට ඇත. එහෙත් මේ රාජ්‍යයෙන් පිටත සිටි යක්ෂයින් විසින් කතා කරන්නට ඇත්තේ වෙනත් බසක් හෝ භාෂා ගණනාවකි.

ගම් නගර ගොඩ නගමින් සිය රාජ්‍යය ව්‍යාප්ත කළ නාගයින් මුලින්ම යක්ෂයින් සමඟ සංහිඳියාවක් ඇති කරගෙන තිබෙන බවක් පෙනෙන්නේ පණ්ඩුකාභය සමයේය.

පණ්ඩුකාභයට මුල් කාලයේදී සිය මාමලාගෙන් බේරෙන්නට මෙන්ම පසුව රාජ්‍ය බලය ලබාගන්නටද යක්ෂයින්ගේ උදවු ලැබී ඇති අතර ඇතැම් යකුන්ට ඔහුගේ රජයේ ඉහළ තනතුරුද හිමි වී ඇති බව පෙනේ. එහෙත්, එසේ වූ පමණින් පණ්ඩුකාභය යුගයේදී එක් වරම යකුන්ට නාගයින්ගේ රාජ්‍යයේ සම අයිතිවාසිකම් හිමි වූ බව සිතිය නොහැකිය.

පණ්ඩුකාභය රජ වන්නට පෙරම රජවාසල ඇතැම් තනතුරු යකුන්ට හිමිවී ඇතත් එසේ ලැබී තිබෙන්නේ ඉහළ තනතුරු නොවේ. පණ්ඩුකාභය සමයේදී යකුන්ගේ නායකයින් කිහිප දෙනෙකුට ඉහළ තනතුරු ලැබෙන්නට ඇතත් ඒ හේතුව නිසා රටේ ජීවත් වූ සාමාන්‍ය යකුන්ට තිබුණු පිළිගැනීම විශාල ලෙස වැඩි වූ බවක් පිළිගන්නට තරම් කරුණු නොපෙනේ.

මහා වංශය අනුව, පණ්ඩුකාභය සමයේ තවත් සුවිශේෂී දෙයක් සිදු වී තිබේ. ඒ පණ්ඩුකාභය අභිෂේකයෙන් දසවසක් ගත වෙද්දී පණ්ඩුකාභය රජය විසින් මුළු ලක්දිව ග්‍රාම සීමා ලකුණු කර අවසන් කිරීමයි.

යුරෝපීයයන් පැමිණෙන්නට පෙර ඇමරිකාවේ ජීවත් වූ ස්වදේශිකයින් මෙන්ම පණ්ඩුකාභය සමයට පෙර ලංකාවේ ජීවත් වූ යක්ෂයින්ද රටේ ඉඩම් පොදුවේ භුක්ති විඳිනු මිස වැටවල් ගසා වෙන් කරගෙන නොසිටින්නට ඇත. ලංකාවට මුලින්ම දේපොළ අයිතිවාසිකම් හඳුන්වා දෙන්නට ඇත්තේ ආර්ය සංක්‍රමණිකයින් විසිනි. පණ්ඩුකාභය සමයට පෙර යකුන් විසින් පොදු දේපොලක් සේ සැලකූ රටේ ඉඩම් ගම් නියම් ගම් ලෙස බෙදා සංක්‍රමනික නාගයින් විසින් රජයේ අයිතිය යටතට ගන්නට ඇත්තේ පණ්ඩුකාභය සමයේදීය. චිත්‍රරාජ හා කාලවේල වැනි තෝරාගත් යක්ෂ ප්‍රධානීන් කිහිප දෙනෙකු හට රජයේ තනතුරු පිරිනමා ඔවුන්ගේ සහාය මත රටේ බහුතරය වූ යකුන්ගේ විරෝධතා වලක්වා ගනිමින් පණ්ඩුකාභය රජය විසින් වසර දහයක පමණ කාලයක් තුළ මේ සීමා නිර්ණය කටයුත්ත අවසන් කරන්නට ඇත.

පණ්ඩුකාභය සමයේ යකුන්ද නාගයින්ගේ රාජ්‍යය තුළට ඇතුළු කර ගත්තත්, රටේ ආර්ථිකය මෙහෙයවූ හා රාජ්‍ය බලය දැරූ නාගයින් සමඟ සැසඳූ විට ඉතිහාසයේ කවර කලෙකවත් යක්ෂයින්ට රටේ ලොකු තැනක් ලැබුණේද යන්න සැක සහිතය. යකුන්ගෙන් වැඩ ගත් කතා මිස යකුන්ට වැඩක් කළ කතා අපට අහන්නට නොලැබෙන්නේ එබැවිනි.

ලංකාව තුළ සිංහල අනන්‍යතාවය හැදී වර්ධනය වෙද්දී බොහෝ දුරට සිදුවී ඇති බව පෙනෙන්නේ සංක්‍රමණික නාගයින්ගේ සංස්කෘතිය තුළ බහුතර යක්ෂයින්ගේ සංස්කෘතිය ක්‍රමයෙන් දිය වී යාමයි. පොදුවේ යක්ෂයින්ගේ සංස්කෘතිය ලෙස හැඳින්වුවත් ප්‍රාග්-යුරෝපීය ඇමරිකාවේ හා අප්‍රිකානු රටවල මෙන්ම බොහෝ විට ලංකාවේද තිබෙන්නට ඇත්තේ එකිනෙකට සම්බන්ධයක් නැති යක්ෂ සංස්කෘති ගණනාවක් වන්නටද පුළුවන. විශේෂයෙන්ම සංස්කෘතියේ භාෂා සංරචකය සැලකූ විට, එකිනෙකට සම්බන්ධයක් නැති ගෝත්‍රික භාෂා ගණනක් සංක්‍රමනිකයින්ගේ භාෂාවකින් විස්ථාපනය වී යන්නට තිබෙන ඉඩකඩ තනි භාෂාවක් එසේ විස්ථාපනය වී යන්නට තිබෙන ඉඩකඩට වඩා වැඩිය.

රට පුරා විසිරී සිටි යකුන් ක්‍රමයෙන් සංක්‍රමණික නාගයින්ගේ සංස්කෘතිය තුළට ඇතුළු වෙද්දී තමන්ගේ මුල් භාෂාවන් අතහැර නාගයින්ගේ භාෂාව කතා කරන්නට පටන් ගන්නට ඇත. එහෙත්, එසේ යකුන් ක්‍රමයෙන් සිංහලයින් වන විට ඔවුන්ගේ මුල් භාෂා වල වූ ඇතැම් වචන හා ශබ්ද සිංහලයට එකතු වීමද නොවැලැක්විය හැකි දෙයකි. උතුරු හෝ දකුණු ඉන්දීය භාෂා කිසිවක නැති ඇකාරය හා එම භාෂා වලින් බිඳී පැමිණ නැති සිංහල වචන ගණනාවක් සිංහලයට එකතු වී තිබෙන්නේ මේ මුල් යක් බස් වලින් විය හැකිය.

සිංහල අනන්‍යතාවය යටතේ එක් වීමෙන් පසුවද සෑහෙන කලක් යන තුරු ඒ අනන්‍යතාවය දැරූ යකුන් හා නාගයින් අතර සමාජ ධුරාවලියේ වෙනසක් තිබෙන්නට ඇත. රටේ ආර්ථිකය හැසිරවූ හා රාජ්‍ය බලය දැරූ නාගයින් දිගටම වරප්‍රසාද ලත් පන්තියක් ලෙස (එලීට්ලා ලෙස) වැජඹෙන්නට ඇත.

ලංකාවේ රාජාවලියේ "නාග" නම දරන රජුන් ගණනාවක් සිටිති. එම රජුන් රජ කල වකවානු වල මේ නාග අනන්‍යතාවයට රටේ විශාල වටිනාකමක් තිබුණා විය හැකිය. නාග සංක්‍රමණිකයින් පමණක් සිටි කුඩා ජනපද පාලනය කළ විජයට හෝ පඬුවස්දෙවුට මේ අනන්‍යතාවයේ විශේෂ වැදගත්කමක් නොතිබුණත් යක්ෂයින් බහුතරයක්ද සහිත රටක් පාලනය කරන විට නාග අනන්‍යතාවයට වැඩි වැදගත්කමක් ලැබෙන්නට ඇත. එයින්ද කලකට පසුව මේ නාග අනන්‍යතාවය මෙන්ම යක්ෂ අනන්‍යතාවයද සිංහල අනන්‍යතාවය තුළ ක්‍රමයෙන් දිය වී යන්නට ඇත.

(මතු සම්බන්ධයි)

Friday, March 23, 2018

සිංහල අනන්‍යතාවය (පළමු කොටස)


ලංකාවේ ජීවත් වන මිලියන පහළොවකට අධික පිරිසක් සිංහල අනන්‍යතාවයක් ඇති අයයි. මේ වන විට ලොව පුරා විසිරී සිටින මිලියන තුනක් පමණ වන ශ්‍රී ලාංකික ඩයස්පෝරිකයන් අතර සිංහල අනන්‍යතාවයක් ඇති අය අඩු වශයෙන් තවත් මිලියනයක්වත් සිටිය යුතුය.

සිංහල අනන්‍යතාවය ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාව හා සම්බන්ධ වූවකි. එහෙත්, එයින් අදහස් වන්නේ සිංහල අනන්‍යතාවය ඇති සියල්ලන්ටම සිංහල භාෂාව කතා කළ හැකි බව නොවේ. පසුගිය වරෙක ලංකාවට පැමිණි විටෙක රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා මිතුරෙකුගේ ඇරයුම් ලැබ දරුවන්ද සමඟ එහි යාමෙන් පසු මගේ දරුවන්ට හමු වූයේ කුඩා කළ සිට ඉංග්‍රීසි කතාව හුරු කරනු ලැබ තිබුණු, ජාත්‍යන්තර පාසැලක ඉගෙන ගන්නා දැඩි ආයාසයක් නොදරා සිංහල කතා කළ නොහැකි දරුවන් දෙදෙනෙකි. මගේ මිතුරා දැඩි ජාතිකවාදියෙකුද වීම විශේෂත්වයකි. (මෙය මගේ මිතුරාගේ කැමැත්තයි. මා එහි වරදක් දකින්නේ නැත.) නිල ලේඛණ වල මේ දරුවන්ගේ අනන්‍යතාවය සටහන් වනු ඇත්තේ සිංහල වශයෙනි.

හොඳින් සිංහල කතා කළ හැකි සියල්ලෝම සිංහල අනන්‍යතාවයක් දරන්නෝද නොවෙති. විශේෂයෙන්ම පළමු හෝ දෙවන බසක් ලෙස සිංහල මැනැවින් වැහැරිය හැකි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළුන් හා මුස්ලිමුන් ලංකාවේ මෙන්ම ලංකාවෙන් පිටතද ඕනෑ තරම් සිටිති. එමෙන්ම, රුසියන් විදේශ ඇමති සර්ජේයි ලැව්රොව් වැනි සිංහල තබා ශ්‍රී ලාංකික සම්භවයක් හෝ නැති, එහෙත් සිංහල කතා කළ හැකි අයද සිටිති.

සිංහල අනන්‍යතාවය ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාව හා සම්බන්ධ වූවක්ය යන්න ඉහත හේතු නිසා බැහැර නොවේ. මෙයින් වෙනස්ව ලොව පුරා විසිරී සිටි යුදෙව් ඩයස්පෝරිකයින් සහශ්‍ර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ අනන්‍යතාවය පවත්වා ගත්තේ ආගමික විශ්වාස හරහා මිස එකම භාෂාවක් කතා කිරීම මඟින් නොවේ. ප්‍රධාන වශයෙන්ම කතා කරන භාෂාව මත පදනම් වූ අනන්‍යතාවයකට එම බස වැහැරීමට ලොකු ඉඩක් නොලැබෙන බිමක වැඩි කල් පැවැතිය නොහැකිය. ඒ නිසා, සාමාන්‍යයෙන් ලංකාවෙන් බැහැර සිටින සංක්‍රමණික සිංහලයන්ගේ සිංහල අනන්‍යතාවය පරම්පරා දෙක තුනකින් ඔබ්බට සම්ප්‍රේෂනය වන්නේ නැත. සිංහල වැහැරිය නොහැකි බොහෝ සංක්‍රමණික සිංහලයින්ගේ දරුවන්ට තිබෙන්නේ ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් උරුම වූ නාමික සිංහල අනන්‍යතාවයක් පමණි.

ඉන්දු-ආර්ය භාෂාවක් සේ සැලකෙන සිංහල භාෂාවේ මූලය බුද්ධ කාලයේ සිට අශෝක කාලය පමණ දක්වා නැගෙනහිර ඉන්දියාවේ කතා කර ඇති ප්‍රාකෘත විශේෂයයි. මේ කාලය තුළ වත්මන් නැගෙනහිර ඉන්දියාවේ සිට වරින් වර ලංකාවට සංක්‍රමණය වූ නාවික කණ්ඩායම් (නාගයින්) විසින් ලංකාවේ වෙරළ තීරයේ ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසුව දිගටම තමන්ගේ මුල් භාෂාවම කතා කරන්නට ඇත. මේ සංක්‍රමණික නාගයින් විසින් මුල් කාලයේදී ස්වදේශිකයින් සමඟ වැඩිපුර සංස්කෘතික සම්බන්ධතා පවත්වාගත් බවක් නොපෙනෙන නමුත් තමන්ගේ මුල් රට සමඟ වූ සංස්කෘතික සම්බන්ධතා දිගටම පවත්වාගෙන තිබේ.

මහා වංශයෙහි සියවස් විසිපහක ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව ලියැවී නැත. එසේ සිදු වී ඇත්තේ අවසන් සියවස් පහළොවක පමණ කාලය තුළදී පමණි. මුල් සියවස් දහය හා අදාළව ලියැවී තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ හතරවන හෝ පස්වන සියවසෙහිදී මහා වංශ කතු වරයාට පරිශීලනය කළ හැකි වූ ලිඛිත හෝ අලිඛිත මූලාශ්‍ර වල වූ කරුණු ඔහු විසින් අර්ථකථනය කරගත් ගත් ආකාරය පමණි. ඒ නිසා, මහා වංශයෙහි ලියැවී ඇති දේ කියවා අපට නිගමනය කළ හැක්කේ එය ලියැවෙන කාලය වන විට ලංකාවේ සිංහල අනන්‍යතාවයක් වූ බව පමණි. (ඊට පෙර එවැන්නක් නොවූ බව එයින් අදහස් වන්නේ නැත.)

මහා වංශය ලියා ඇත්තේ සියවස් පහළොවකට පමණ පෙර වුවත් එයට පාදක කරගත් ඉතිහාස තොරතුරු තවත් සියවස් අටක පමණ කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වී තිබේ. එසේ කර ඇත්තේද එම ඉතිහාසය තත්කාලීනව සියැසින් දුටු අයයි. එහෙත් මේ වාර්තාකරුවන් විසින් මහින්දාගමනයට පෙර ලංකාවේ ඉතිහාසය එසේ සියැසින් දැක නැත. ඒ ඔවුන් නැගෙනහිර ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ අශෝක කාලයේදී බැවිනි. බුද්ධ කාලයේ සිට අශෝක කාලය දක්වා මහා වංශ තොරතුරු වල වාර්තා කරුවන් විසින් ඇසින් දුටු මගධයේ ඉතිහාසය ලියැවී ඇතත් ලංකාව හා අදාළව ඇත්තේ ඇසින් නොදුටු, වෙනත් අයගෙන් අසා දැනගෙන වාර්තා කළ දෑය. මේ 'වෙනත් අය' යනු ලංකාවට සියවස් කිහිපයකට පෙර සංක්‍රමණය වූ නාගයින් නිසා මහා වංශයේ මුල් සියවස් තුනෙහි විස්තර කෙරෙන්නේ ලංකාවට සංක්‍රමණය වූ තැන් සිට නාගයින්ගේ ඉතිහාසයයි. වඩා පැරණි යක්ෂ ඉතිහාසය පිළිබඳ තොරතුරු එහි නැත.

සම්බුද්ධ පරිනිර්වාණයේ පටන් මගධයේ බෞද්ධ ශාසනයේ හා රාජ්‍යයේ ඉතිහාසයද රැගෙන දෙවනපෑතිස් සමයේ ලංකාවට පැමිණෙන බෞද්ධ භික්ෂූන්ට තමන් දන්නා මගධ ඉතිහාසය සමඟ තමන් නොදන්නා ලංකාවේ ඉතිහාසය පාහන්නට සිදු වේ. ඔවුන් මේ කාර්යය පටන් ගන්නේ ඔවුන්ට වඩාත්ම වැදගත් ලාංකිකයා වන දෙවනපෑතිස්ගෙන් පටන් ගෙන ආපස්සට යාමෙනි. දෙවනපෑතිස් යනු පණ්ඩුකාභයගේ මුණුපුරාය. පණ්ඩුකාභය පණ්ඩුවාසදේවගේ මුණුපුරාය. පණ්ඩුවාසදේව යනු උපතිස්ස නුවර රාජ්‍යය භාර ගැනීම සඳහා නැගෙනහිර ඉන්දියාවෙන් ආනයනය කෙරෙන රජෙක් මිස ලංකාවේ උපන් අයෙක් නොවේ.

පණ්ඩුවාසදේවට ලංකාවට සංක්‍රමණය වීම සඳහා පෙරමඟ තනන්නේ ඔහුට පෙර ලංකාවට සංක්‍රමණය වූ ඔහුගේ පියාගේ වැඩිමල් සොහොයුරා වූ විජය විසිනි. විජය යනු ලංකාවට සංක්‍රමණය වූ දේවානම්තිස්සගේ පරම්පරාවේ පළමුවැන්නාය. සැබෑ ඓතිහාසික චරිතයක්දැයි විමසන්නට අප නොවෙහෙසෙන විජයගෙන් පටන් ගන්නේ ලංකාව තුළ දේවානම්තිස්සගේ පරම්පරාවේ ඉතිහාසයයි. මේ ඉතිහාස කතාවේ මුල්ම කොටස ඉතිහාසයේ හරියටම සිදුවූ දෙය නොවන්නට පුළුවන.

විජයගේ තම්බපන්නි රාජ්‍යය මෙන්ම පඬුවස්දෙව්ගේ උපතිස්සනුවර රාජ්‍යයද එවක ලංකාවේ තිබුණු එවැනි සංක්‍රමණිකයන්ගේ කොළණි ගණනාවකින් දෙකක් පමණක් මිස පුළුල් භූගෝලීය ආවරණයක් තිබුණු ප්‍රබල රාජ්‍ය ලෙස සැලකිය නොහැකිය. මෙවැනි කොළණි ගණනාවක් අතරින් තම්බපන්නිය සුවිශේෂී වීමට එකම හේතුව වන්නේ පසුකාලීනව අනුරාධපුරය කේන්ද්‍ර කරගත් ප්‍රබල රාජ්‍යයක් බිහිකළ පරම්පරාවන් පැවතෙන්නේ මුලින්ම තම්බපන්නියෙහි ජනපදයක් බිහිකරගත් සංක්‍රමනික කණ්ඩායමකින් වීම නිසා පමණි.

පඬුවස්දෙව්ට පරිබ්‍රාජක වෙස් ගෙන පැමිණෙන්නට සිදුවන්නේත්, ඔහුගේ මෙහෙසිය වන්නට පසුව ආනයනය කෙරෙන භද්‍රකත්‍යානා කුමරිය ඇතුළු පිරිසට පැවිදි වෙස් ගෙන පැමිණෙන්නට සිදුවන්නේත් තමන්ගේ ආරාධිත "රාජ්‍යතාන්ත්‍රිකයනට" නැව්තොටෙහි සිට රට මැද පිහිටි උපතිස්සනුවරට පැමිණෙන තුරු ආරක්ෂාව හා පහසුකම් සපයන්නට තරම් ශක්තියක් මේ සංක්‍රමණික ජානපදිකයින්ට තිබී නැති බැවිනි. එමෙන්ම, පැවිදි වෙස් ගත්තෙකුට ආරක්ෂාව හා පහසුකම් ලැබෙන සංස්කෘතික වටපිටාවක් එවකටද ලංකාවේ තිබී ඇති බැවිනි.

නැගෙනහිර ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වී ජනපදයක් පිහිටුවාගත් දෙවනපෑතිස් පරම්පරාවේ පළමුවැන්නා විජය විය හැකි වුවත් ඔහු අයත් වන්නේ එසේ පැමිණ ජනපද පිහිටුවාගත් පළමු කණ්ඩායමට නොවේ. ඊට පෙරද රටේ වෙරළ තීරයේ තැනින් තැන මෙවැනි ජනපද ගණනාවක් පිහිටුවා තිබී ඇති බවට වංශ කතා වල ඇති සීමිත තොරතුරු වුවද සාක්ෂි දරයි. බුදුන්ගේ ලංකා ගමන් හා සම්බන්ධ කෙරෙමින් විස්තර වන නාගයින්ගේ රාජ්‍ය යනු මුලින්ම වෙළඳාම් පිණිස පැමිණ පසුව ලංකාවේ ස්ථිර ජනාවාස හදාගත් සංක්‍රමණිකයින්ගේ කොළණි විය යුතුය. ලංකාවේ මෙසේ ස්ථිර ජනාවාස හදාගෙන සිටි විවිධ නාග කණ්ඩායම් මුල් කාලයේදී ඔවුනොවුන් අතර හා ඉන්දියාවේ වෙරළ තීරය දිගේ ජීවත් වූ මෙවැනිම නාග කණ්ඩායම් සමඟ ඉහළ මට්ටමකින් සංස්කෘතික හා වෙළඳ සම්බන්ධතා පවත්වා ඇතත් රට ඇතුළේ සිටි යක්ෂයින් සමඟ වැඩි පයුරුපාසනමක් තිබී ඇති බවක් නොපෙනේ.

(මතු සම්බන්ධයි)

Saturday, March 17, 2018

මගේ අනන්‍යතා


පෞද්ගලිකව මට "මම" යන අනන්‍යතාවය හා "මිනිසෙකු" යන අනන්‍යතාවය අතර තවත් අනන්‍යතා ගණනාවක් තිබේ. "සිංහල" හා "බෞද්ධ" යන අනන්‍යතා මේ අතරින් දෙකකි. ලංකාවේදී රැකියාවක් සඳහා හෝ අධ්‍යයන පාඨමාලාවක් සඳහා අයදුම් කරන අවස්ථා සෑම එකකදීම වාගේ ඇතැම් විට අනිවාර්යයෙන්ම කළ යුතු නිසාත්, අනෙකුත් අවස්ථා වලදී පුරුද්ද නිසාත් ජාතිය "සිංහල" හා ආගම "බෞද්ධ" ලෙස මා බොහෝ තැන් වල සටහන් කර තිබේ. 

ඉහත අනන්‍යතා දෙකම මට ලැබුණේ මගේ දෙමවුපියන්ගෙනි. එහෙත්, ඔවුන් විසින් කිසිදු දවසක "හොඳට මතක තියාගනින් උඹ   සිංහලයෙක්!" කියා හෝ "පුතේ අපි බෞද්ධයෝ!" කියා උගන්වා හෝ නැවත නැවත මතක් කර දී නැත. මේ දේවල් කුඩා දරුවෙකු ලෙස සිට ලොකු මහත් වෙද්දී ස්වභාවික ලෙසම අවබෝධ වූ දේවල්ය. මෙයින් දෙවැන්න ගැන විශේෂයෙන්ම කියනවානම් මගේ "බෞද්ධ" යන අනන්‍යතාවය නිතිපතා පන්සිල් රැකීම නිසා, නිවන් දැකීම ජීවිතයේ අවසන් ඉලක්කය වූ නිසා හෝ බුද්ධාදී අට තැන පිළිබඳ සැක දුරුවීම නිසා ලැබුණු දෙයක් හෝ අඩු වශයෙන් විශ්වාස මත පදනම්ව ලැබුණු දෙයක් හෝ නොව මේ කිසිදෙයක් නොදත් කුඩා අවදියකදීම ලැබුණු දෙයකි.

මා හිතන පරිදි, මෙය කියවන තවත් බොහෝ දෙනෙකුට තමන්ගේ ජාතික හා ආගමික අනන්‍යතා ලැබී ඇත්තේ මේ ආකාරයෙනි. එය එසේ නොවූ අයද කියවන්නන් අතර ඕනෑ තරම් සිටින්නට පුළුවන.

මගේ සිංහල අනන්‍යතාවය ම පහසුවෙන්ම අර්ථ දක්වා ගත හැකි වුණේ මා කුඩා කාලයේ ඇසුරු කළ අය අතර දෙමළ, මුස්ලිම්, මැලේ වැනි වෙනත් ජාතික අනන්‍යතා තිබුණු අයද සිටි බැවිනි. මා ඇතුළු සිංහලයින් හා මේ වෙනත් අය අතර පැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික වෙනස්කම් තිබුණේය. මේ අයුරින්ම, මා කුඩා කාලයේ ඇසුරු කළ අය අතර කතෝලික, ඉස්ලාම්, හින්දු වැනි වෙනත් ආගමික අනන්‍යතා තිබුණු අයද සිටියහ. මේ කණ්ඩායම් අතර වූ විශ්වාස හෝ ඇදහීම් පිළිබඳ වෙනස්කම් කෙසේවුවත්, අනෙකුත් ආගමිකයින් හා මා ඇතුළු බෞද්ධයින් අතර පැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික වෙනස්කම් මට පැහැදිලිව හෝ ඇතැම් විට අපැහැදිලිව දකින්නට ලැබුණේය. විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් හා සිංහල කතෝලිකයින් අතර වූ සංස්කෘතික වෙනස්කම් පැහැදිලි ලෙස මතු වී පෙනුණේ නැත.

"සිංහල" හා "බෞද්ධ" යන අනන්‍යතා තිබුණත් "ශ්‍රී ලාංකික" යන ජාතිකත්ව අනන්‍යතාවයක් කුඩා කාලයේදී හෝ අඩු වශයෙන් තරුණයෙකු වන තුරු මට නොතිබුණේය. ඒ මගේ දෙමවුපියන් ශ්‍රී ලාංකිකයින් නොවූ නිසා හෝ ඔවුන්ගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය වක්‍ර ලෙස මා වෙත සම්ප්‍රේෂණය නොකළ නිසා නොවේ. මේ අනන්‍යතාවය විසින් සිදු කෙරුණු විශේෂ කර්තව්‍යයක් නොවූ බැවිනි.

මගේ දෙමවුපියන් හෝ ළඟම ඥාතීන් බොහොමයක්ම ලංකාවෙන් පිට සංචාරය කර තිබුණු අය නොවූ අතර මා කුඩා කාලයේදී "ඩුබායි රැල්ල" ලංකාවේ ගම් වලට හමා තිබුණේද නැත. අපේ පැත්ත සංචාරකයින් නිතර පැමිණි පැත්තක්ද නොවේ. ඒ නිසා, එදිනෙදා ජීවිතයේදී මට හැමවිටම වගේ හමු වුණේ "ශ්‍රී ලාංකික" ජාතිකත්වයක් තිබුණු අයයි. එවැනි වටපිටාවක "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයකින් කෙරෙන කාර්යයක් නැත.

ජාතික හා ආගමික අනන්‍යතාවයන්ට අමතරව මා කුඩා කාලයේදී මට කුල අනන්‍යතාවයක්ද තිබුණේය. ඒ, කුල අනන්‍යතාවයට වැදගත් කමක් ලබා දුන් වෙනත් කුල අනන්‍යතා තිබුණු අයද මා අවට දකින්නට සිටි අතර මේ වෙනස් කුල වලට අයත් මිනිසුන් අතර පැහැදිලිව හෝ අපැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික හා සමාජ ආර්ථික වෙනස්කම්ද තිබුණේය. එහෙත්, දළ වශයෙන් හැත්තෑ හතෙන් පසුව ඉහත කී පරිදි විවිධ කුල අනන්‍යතා තිබුණු මිනිසුන් අතර වූ සංස්කෘතික හා සමාජ ආර්ථික වෙනස්කම් හඳුනාගැනීම අසීරු වන තරමටම අපැහැදිලි වී ගියේය. ඒ නිසා, මගේ කුල අනන්‍යතාවයේ වූ වැදගත්කමද ඉතා ඉක්මණින්ම දියාරු වී ගියේය.

සරසවියට ඇතුළු වීමෙන් පසුව, එතෙක් වැඩි වැදගත්කමක් නොතිබුණු තවත් අනන්‍යතාවයකට වැඩි වැදගත්කමක් ලැබෙන්නට විය. ඒ ප්‍රාදේශීය අනන්‍යතාවයි. වෙනත් ප්‍රදේශයකින් අපේ ප්‍රදේශයට ආවාහ විවාහ හරහා හෝ වෙනත් හේතුවක් නිසා සංක්‍රමණය වූ අය කුඩා කාලයේ සිටම මා දැන සිටි අතර මේ බොහෝ දෙනෙක් හැඳින්වුණේ "රිටිගලයා", "දික්වැල්ලා" හෝ "මාතලේ නංගී" වැනි ඔවුන්ගේ මුල් ප්‍රාදේශීය අනන්‍යතාවය සළකුණු වූ නමකින් වුවත් අප අවට සිටි වැඩි දෙනෙකු මේ පැත්තේම ඉපදී, හැදී වැඩී, පවුල් පන්සල් වී, මිය යන්නට නියමිතව සිටි අයයි. මෙයින් වෙනස්ව, සරසවියේදී දක්නට හැකි වූයේ ලංකාවේ හතරදිග් භාගයෙන්ම පැමිණි අයගේ මුසුවකි. එවැනි වටපිටාවකදී, ප්‍රාදේශීය අනන්‍යතාවයක ඇති වැදගත්කම ඉහළ යයි. මීට අමතරව සරසවියේදී පාසැල් අනන්‍යතාවයටද වැදගත් තැනක් ලැබෙයි.

ලංකාවෙන් පිටතට තාවකාලික සංචාරයක් සඳහා හෝ ස්ථිර පදිංචිය සඳහා පැමිණි වහාම ලංකාව තුළදී ඇතැම් අනන්‍යතා වලට වූ වැදගත්කම ගිලිහී වෙනත් ඒවාට වැඩි වැදගත්කමක් ලැබේ. රටින් පිටතදීද ලංකාවෙන් පැමිණි සංක්‍රමණිකයින් අතර ලංකාවේදී වැදගත් සේ සැලකුණු (පාසැල් හෝ ප්‍රාදේශීය අනන්‍යතා වැනි) අනන්‍යතාවන්ට වැදගත්කමක් තිබුණත් එයින් පරිබාහිර පොදු සමාජයේදී ප්‍රමුඛ වන්නේ "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයයි. අඩු වශයෙන් ඇමරිකාවේදී, "සිංහල" හෝ "බෞද්ධ" ආදී අනෙකුත් අනන්‍යතාවයන්ට ලැබෙන්නේ ඊට වඩා අඩු වැදගත්කමකි.

"සිංහල" අනන්‍යතාවය ඇති සෑම කෙනෙකුටම වාගේ ප්‍රමුඛව හෝ නැතිව "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයක්ද තිබේ. "ශ්‍රී ලංකාව" ලෙස දැන් හැඳින්වෙන බිම්කඩ ඇතුළත සියවස් ගණනාවකට පෙර "සිංහල" යන අනන්‍යතාවය ඇති වීමෙන් පසු එම අනන්‍යතාවය අඛණ්ඩව දිගින් දිගටම පවත්වාගෙන තිබෙන්නේ "ශ්‍රී ලංකාව" නම් වූ දිවයින තුළ ජීවත්ව සිටි අයයි.

සියවස් ගණනාවක් තිස්සේ සිංහලයින්ට මෙසේ සිය අනන්‍යතාවය ගිලිහෙන්නට නොදී පවත්වාගන්නට හැකි වී තිබෙන්නේ සිංහල නොවන වෙනත් අනුරූපී අනන්‍යතා තිබුණු අයද දිවයින තුළ සියවස් ගණනක් තිස්සේ අඛණ්ඩව ජීවත්ව සිටි බැවිනි. මේ බොහෝ දෙනෙක් වෙළඳාම හෝ වෙනත් ආර්ථික වාසි පිණිස, යුද පිණිස, ඉගෙනීම සඳහා හෝ ආවාහ විවාහ හරහා ලංකාවට සංක්‍රමණය වූ හෝ තාවකාලික පදිංචිය පිණිස පැමිණි විදේශිකයෝය. ලංකාවට ආසන්නවම පිහිටි දකුණු ඉන්දියාවෙන් හෙවත් "දෙමළෙන්" "සිංහලයට" පැමිණි විදේශිකයින් ඒ අතර වැඩියෙන් සිටින්නට ඇත.

සහශ්‍ර දෙකකටත් පෙර සිට ලංකාව විවිධ ජාතීන් ආකර්ශනය කර ගත් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවැතී ඇති බව ඕනෑ තරම් සාධක ඇති කරුණකි. එවැනි තැනක විවිධ සංස්කෘතික අනන්‍යතා ඇති මිනිසුන් නිතර දකින්නට ලැබීම සාමාන්‍ය දෙයකි. තාවකාලික සංචාර බොහෝ විට ස්ථිර සංක්‍රමණයන්ටද මුල පුරයි. මෙසේ වෙනත් රටකට සංක්‍රමණය වන්නන් ගමනාන්ත සංස්කෘතිය උකහා ගන්නා තුරු තමන්ගේ මුල් සංස්කෘතිය හැකි තරමින් පවත්වා ගන්නා බව රහසක් නොවේ. එකම රටකින් තවත් රටකට කෙටි කාලයක් තුළ විශාල පිරිසක් පැමිණි විට මුල් රටේ සංස්කෘතියට බොහෝ සමාන සංස්කෘතියක් ගමනාන්ත රටේ ස්ථිර ලෙස ඇති වන්නට පුළුවන් වුවත් මේ සඳහා සාධක ගණනාවක දායකත්වය අවශ්‍ය වේ.

පසුගිය සියවසේ අගභාගය දක්වාම ඉතිහාසය පුරා කවර කලෙක හෝ සිංහලයින් විසින් සාර්ථක ලෙස තමන්ගේ සංස්කෘතිය ශ්‍රී ලංකා දිවයිනෙන් ඔබ්බට ව්‍යාප්ත කර නැත. එහෙත්, කිසිදු සිංහලයෙකු සියවස් ගණනක ඉතිහාසය පුරා ආර්ථික වාසි සොයමින් හෝ වෙනත් හේතු මත අඩු වශයෙන් ආසන්නයේ ඇති තමිල්නාඩුවට හෙවත් "දෙමළෙට" හෝ සංක්‍රමණය නුවූවායැයි සිතිය නොහැකිය. ඇතැම් සිංහලයින් විසින් කලින් කලට එසේ වත්මන් දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වන්නට ඇත. එහෙත්, එසේ සංක්‍රමණය වූවන් "නොදන්නා දෙමළෙට ගොස් වරිගෙ නහගත්තා" මිස එහි සිංහල සංස්කෘතියක් ස්ථාපිත කරන්නට සමත්ව නැත. අතරින් පතර දකුණු ඉන්දියාවට සංක්‍රමණය වූ සිංහලයෙකුගේ සිංහල අනන්‍යතාවය ඇතුළු අනෙකුත්  අනන්‍යතා, එසේත් නැත්නම් ඔහුගේ "වරිගෙ", ප්‍රබල දෙමළ සංස්කෘතිය තුළ දියාරු වී යන්නට ඇත.

පසුගිය සියවසේ අගභාගයේ සිට ඉහත තත්ත්වය යම් තරමකින් වෙනස් වෙමින් තිබේ. මේ වන විට සිංහල සංස්කෘතිය සමුදුරු තරණය කර යම් තරමකින් හෝ ලෝකයේ සියළුම මහාද්වීප කරා ව්‍යාප්තව නැතැයි කිසිවකු කියන්නේනම් එය නිවැරදි නැත.

(මතු සම්බන්ධයි)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...