වෙබ් ලිපිනය:

Showing posts with label යතාර්ථය. Show all posts
Showing posts with label යතාර්ථය. Show all posts

Tuesday, November 17, 2015

ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (තෙවන කොටස)


(පළමු කොටස)

 (දෙවන කොටස)

පසුගිය සටහනෙන් කතාකළ පරිදි අපි අකුරු ලියන්නේ අපිට අකුරු පෙනෙන හැටියටය. අපිට ලෝකයම උඩුයටිකුරු වී පෙනේනම් අපි අකුරු ලියන්නේත් අපිට පෙනෙන හැටියට උඩුයටිකුරුවය. කෙසේ වුවද, ලෝකය උඩුයටිකුරුව දකින කෙනෙකු උඩුයටිකුරුව ලියන අකුරු දෙස ලෝකය කෙලින් අතට පෙනෙන කෙනෙකු බලා සිටියොත් මේ අකුරු කෙලින් ලියන බව පෙනේ.

මේ ආකාරයටම, වම දකුණ මාරුවී ලෝකය පෙනෙන කෙනෙකු වම දකුණ මාරුකර ලියන අකුරු වෙනත් කෙනෙකුට පෙනෙන්නේ තමන්ට ලෝකය පෙනෙන හැටියටය. මේ නිසා ලෝකයම කවර හෝ නිශ්චිත ආකාරයකට යමෙකුට පෙනේනම් ඒ පුද්ගලයාට හෝ බාහිර නිරීක්ෂකයෙකුට කිසිදු වෙනසක් නොපෙනේ. ඒ නිසා ඔබට පෙනෙන්නේ මට පෙනෙන ලෙසද නැද්ද යන්න මට නොපෙනේ.

කෙසේ වුවද, පසුගිය සටහන සමඟ පලකළ වීඩියෝවේ පෙනෙන පරිදි දෘෂ්ඨිය උඩුයටිකුරු කරනු ලැබූ අයෙකු උඩුයටිකුරුව අකුරු ලියනු අපට පෙනේ. මේ තැනැත්තියගේ දෘෂ්ඨිය උඩුයටිකුරු කරවීමට පෙර ඇය 'නියම විදිහට' අකුරු ලියන හැටි දැන සිටියාය. ඒ නිසා දැන් ඇයට පෙනෙන අකුරු උඩුයටිකුරු වී ඇති බව ඇයට 'තේරේ'. මේ නිසා ඇය ඇයට පෙනෙන පරිදි 'නියම විදිහට' අකුරු ලිවීමට උත්සාහ කරයි. ඈ එසේ ලියන අකුරු අපට උඩුයටිකුරු වී පෙනේ. එමෙන්ම, අපි 'නියම විදිහට' ලියන අකුරු ඇයට පෙනෙන්නේ උඩුයටිකුරුවය. මේ නිසා ඇය උඩුයටිකුරුකර පුවත්පත් බලන්නීය. එවිට ඇයට එහි අකුරු  'නියම විදිහට' පෙනේ.

ඉහත සංසිද්ධිය වෙන්නේ මෙසේ දෘෂ්ඨිය උඩුයටිකුරු කරනු ලැබූ අයෙකු 'නියම විදිහට' අකුරු ලිවිය යුතු ආකාරය 'දන්නා' බැවිනි. එහෙත්, උපන්දා සිටම උඩුයටිකුරු දෘෂ්ඨියක් ඇති කෙනෙකු මෙසේ හැසිරීමට ඉඩක් නැත. එවන් අය කොපමණ සිටීදැයි දැනගැනීමට වුවද පහසු නැත. මේ අනුව, බෝජනා ප්‍රහේලිකාවකි. ඇයගේ සැබෑ ප්‍රශ්නය ඇතැම් දේවල් පමණක් වෙනස් අයුරකින් පෙනීමයි.

එක්කෝ ඇයට කෙලින් පෙනෙන ලෝකයක උඩුයටිකුරු වූ රුපවාහිනී සහ පත්තර පෙනේ. එසේ නැත්නම්, උඩුයටිකුරු වූ ලොවක කෙලින් අතට ඇති රුපවාහිනී සහ පත්තර පෙනේ. මේ නිසා ඇයට ඇගේ රුපවාහිනී තිරය සහ පත්තර ආදී ඇතැම් දේ පමණක් උඩුයටිකුරු කරගැනීමට සිදුවී ඇත.

මේ තත්ත්වය පැහැදිලි කරගැනීමට ඇයට වෙනස්ව පෙනෙන දේ දෙස බැලිය යුතුය.
- පත්තර
- පරිගණක තිරය හා යතුරු පුවරුව
- රූපවාහිනිය
- ජංගම දුරකථනය

මේවා බොහොමයක් අක්ෂර හා සම්බන්ධය. අපි දකින වෙනත් දේ සහ අකුරු අතර වෙනසක් තිබේ. අපේ ඇස් ගහක්, ගලක්, බල්ලෙකු හෝ පුසෙකු දකින විට මේ දකින්නේ සැබෑ ලෝකයක ඇති සැබෑ භෞතික වස්තුවක් බව අපේ මොළය 'දනී'. මේ භෞතික වස්තුව අපේ අනෙකුත් ඉන්ද්‍රියයන් එකකට හෝ කිහිපයකටද ගෝචර වන්නකි.

(www.wordworld.com)

උදාහරණයක් ලෙස හොඳින් ඉදුණු අඹ ගෙඩියක් අපේ ඇසට අමතරව නහයට, දිවට මෙන්ම ස්පර්ශේන්ද්‍රියටද ග්‍රහණය වේ. මොළයට කරන්නට ඇත්තේ මෙසේ ලැබෙන සංවේදන මෙයට පෙර මෙසේ ලැබී අපේ මතක ගබඩා වල ඇති සංවේදන සමඟද සසඳා අපට අඹ ගෙඩිය ගැන අවබෝධයක් ලබා දීමයි. වෙනත් ඕනෑම 'සැබෑ' වස්තුවක් දුටුවිටද සිදුවන්නේ මෙයයි.

එහෙත්, අඹ ගෙඩියක රූපයක් හෝ 'අඹ ගෙඩිය' යන අකුරු දුටු විට සිදුවන්නේ මේ දෙයම නොවේ. මෙහිදී අප දකින්නේ 'සැබෑ' වස්තුවක සංකේතයකි. 'සැබෑ' වස්තුව වන අඹ ගෙඩියේ රූපය හෝ 'අඹ ගෙඩිය' යන අකුරු අපට එතරම් වැදගත් නැත. අපට වැදගත් සැබෑවක් නොවන බව අප දන්නා සැබෑ අඹ ගෙඩියකි. මේ අයුරින්ම, අලියා යන අකුරු තුන දකින විට අපට මේ අකුරු තුනට අමතරව 'සැබෑ අලියෙක්' පෙනේ. ඒ සමඟම මේ 'සැබෑ අලියා' සැබෑ අලියෙක් නොවන බවද අපට පෙනේ.

බෝජනා පුවත්පතක් බලන විට ඇයට දකින්නට අවශ්‍ය එහි ඇති අකුරු නොවේ. එයින් විස්තර කරන පුවතයි. ඇය රූපවාහිනිය නරඹන්නේද මේ රූප සැබෑ රූප බව නොදැන නොවේ. පුවත්පතේ හෝ රූපවාහිනියේ ඇති සැබෑ නොවන සංකේත තුලින් සැබෑ ලෝකය දකින්නට තවත් වැඩිපුර දත්ත සැකසුමක් අවශ්‍යය. මෙහිදී පත්තරයේ නැති බව හොඳින්ම දන්නා 'සැබෑ අලියා' යමෙකුට දැකීමට අවශ්‍ය අවසාන ඉලක්කයයි.

කතරගම යන විට පාර හරස් කරගෙන පලතුරු ඉල්ලන්නේ ඒ සැබෑ අලියා මිස පත්තරයේ ඇති අලියාගේ රූපය හෝ 'අලියා' යන අකුරු තුන නොවේ. පත්තරයේ ඇති අලියාගේ රූපය හෝ 'අලියා' යන අකුරු තුන  'සැබෑ අලියා' දැකීමේ ක්‍රියාවලියේ අතරමැදි පියවරකදී උපකාරී වන අවසාන වශයෙන් තේරුමක් නැති සංකේත පමණි.

මේ සංකේත මොනවා වුණත් අවසාන දැකීමට බාධාවක් නැත. 'අලියා' කියා සඳහන් වුවත් 'elephant' කියා සඳහන් වුනත් 'யானை' කියා සඳහන් වුනත් (මේ වචන තේරුම් ගන්නා ආකාරයට සාපේක්ෂව වෙනස්කම් තිබිය හැකි වුවත්) යමෙකු දකින්නේ එකම දෙයකි. ඒ ඔහුගේ මතක ගබඩාවේ කාලයක් තිස්සේ බටකොළ කන සැබෑ අලියාය.

මෙහිදී සිදුවන දත්ත සැකසුම පාර අයිනේ සිට වාහන නවත්වා පලතුරු ඉල්ලන සැබෑ අලියෙකු දුටු විට සිදුවන ප්‍රාථමික දත්ත සැකසුමෙන් වෙනස්, එයට අමතරව සිදුවන ද්වීතියික දත්ත සැකසුමකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ කවර හෝ නිශ්චිත සංකේතයකි. මේ අතරමැදි සංකේතය 'ʇuɐɥdǝlǝ' වුවද එමඟින් සැබෑ අලියෙකු දැකීමට බාධාවක් නැත.

මා සිතන පරිදි බෝජනාගේ මොළයේ වෙනස් ලෙස සිදුවන්නේ මේ ද්වීතියික දත්ත සැකසුමයි.

Sunday, November 15, 2015

ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (දෙවන කොටස)


(පළමු කොටස)

අපේ දෙනෙතින් අප දකින ලෝකය අපේ මසැස් වල ඇති යාන්ත්‍රික උපාංග වල නිර්මාණයක්ද? එසේ නැතහොත් අපේ මනසේ (මොළයේ) ඇති මෘදුකාංග මඟින් සිදුකරන දත්ත සැකසුම් ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්ද?

මනෝවිද්‍යා පර්යේෂකයෙකු වූ ජෝජ් මැල්කම් ස්ට්‍රැටන් මේ කරුණ මුල්වරට පරීක්ෂා කරන්නේ විසිවන සියවස එළඹීමටත් පෙරය. ඔහු මෙසේ සිදුකළ එක් පරීක්ෂණයක් වූයේ ඇසට පෙනෙන රූප උඩුයටිකුරු කර පෙන්වන කණ්නාඩියක් එකදිගට දින අටක් පැළඳ සිටීමයි. සිවුවන දින දක්වා ඔහුට ලෝකය උඩුයටිකුරු ලෙස පෙනුනත් පස්වන දිනයේදී පෙර පරිදිම සාමාන්‍ය පරිදි රූප පෙනෙන්නට විය. කෙසේ වුවද, තමන් රූප උඩුයටිකුරු කරන කණ්ණාඩියක් පැළඳ සිටින බව සිහිකළ වහාම නැවතත් ඔහු දකින දසුන් උඩුයටිකුරු ලෙස පෙනිණි. දින අටකට පසු මේ කණ්ණාඩි ඉවත් කිරීමෙන් පසුවද පැය ගණනක් යනතුරු ඔහුගේ ඇස් වලට  ලෝකය සාමාන්‍ය පරිදි 'පෙනුණත්' ඔහුගේ මොළය දුටුවේ උඩුයටිකුරු වූ ලෝකයකි.

ස්ට්‍රැටන්ගේ නිරීක්ෂණ මඟින් පෙන්වා දුන්නේ ඇස පිටුපසට ප්‍රක්ෂේපණය වන රූප වෙනත් අයුරකින් ප්‍රක්ෂේපණය වුවද ඒ රූප 'නිවැරදි' ලෙස සංජානනය කිරීමට කෙටිකලකින් පුරුදු වීමේ හැකියාව මොළයට ඇති බවයි. ඇසට ලබා දෙන රූප විවිධ අයුරින් 'වෙනස්' කරමින් මෙසේ කෙටිකලකින් අළුත් තත්ත්වයට පුරුදු වීමට මොළයට ඇති හැකියාව ස්ට්‍රැටන් විසින් පෙන්වා දෙනු ලැබීය.

ස්ට්‍රැටන්ගේ පරීක්ෂණ සිදුකර ගත වුනු පසුගිය වසර එකසිය විසිපහ තුල මේ පර්යේෂණය විවිධ වෙනස්කම් සහිතව නැවත නැවතත් සිදුකර තිබේ. පසුගිය සියවසේ මැද භාගයේදී තියඩෝර් එරිස්මාන් ඔහුගේ සහායක කෝලර් යොදාගෙන වම-දකුණ මාරු කරමින්ද, උඩ-යට මාරු කරමින්ද ස්ට්‍රැටන්ගේ නිරීක්ෂණ තහවුරු කළේය.

මේ පිළිබඳව තරමක් මෑතකදී සිදුකළ පරීක්ෂණයකින් සොයා ගැනුනේ මෙසේ වෙනස් තත්ත්වයකට හැඩගැසීමේදී ඇසට ලැබෙන රූප විද්‍යුත් චුම්භක තරංග බවට පරිවර්තනය කරන ආකාරය ඇත්තටම වෙනස් නොවන බවයි. උඩුයටිකුරු කණ්නාඩි පැළඳ දින ගණනකට පසුවද මොළයට ලැබෙන්නේ වෙනස් සංඥාවන් නොවේ. එහෙත්, ලෝකය ඇත්තටම පවතින්නේ 'නියම අතට' බව නිරීක්ෂකයා තේරුම් ගන්නා නිසා ඔහුට එය එසේ 'දැකිය' හැකිය. මෙහිදී තමන් පමණක් 'ඔලුවෙන් හිටගෙන' සිටින බව නිරීක්ෂකයාට දැනේ.



ස්ට්‍රැටන්ගේ එක් පරීක්ෂනයකදී ඔහුගේ ඇස් වලට ලැබෙන රූප විකිපිඩියාවෙන් ලබාගත් පහත රූප සටහනේ පරිදි අංශක අනූවකින් හරවනු ලැබීය. දැන් ඔහුට 'පෙනෙන' ලෝකයට සහ ඔහුගේම සිරුරට සාපේක්ෂව ඔහුට 'දැනෙන' ඔහුගේ සිරුර ඇත්තේ අහසේ පාවෙමිනි. මේ තත්ත්වයට පුරුදු වූ විට ඔහුට දැනුනේ තමන්ගේ සිරුරෙන් බැහැරව සිටින්නාක් මෙනි. බොහෝ තැන් වල වාර්තා වී ඇති ඇතැම් මරණාසන්න අත්දැකීම් වලට හේතුව මෙවැන්නක් විය හැකිය.


ඇස් වල විශේෂ තත්ත්වයක් නැති අප කාගේත් මොළයට ඇස් වලින් සම්ප්‍රේෂණය කරන්නේ උඩුයටිකුරු වූ ද්විමාන රූපයි. මේ රූප වල විවිධ වස්තූන්ගේ සාපේක්ෂ පිහිටීම හැර ඒවාට ඇති නිශ්චිත දුර හෝ දිශාව පිලිබඳ තොරතුරු සටහන්ව නොමැත. දිශාව සහ දුර පිළිබඳව අපට දැනෙන්නේ ඇස් වලින් නොවේ. මෙය චලනය හා අදාල අපේ ස්පර්ශ ඉන්ද්‍රියන්ට සම්බන්ධ දෙයකි. උදාහරණයක් ලෙස ඇස් පියාගෙන සිටියත් අපට ගුරුත්වය දැනේ. එමෙන්ම ඇස් වල ක්‍රියාකාරීත්වය බොහෝ දෙනෙකුට සාපේක්ෂව නිසි පරිදි සිදු නොවන (පූර්ණ දෘශ්‍යාබාධිත ලෙස සාමාන්‍ය වහරේදී හඳුන්වන) පුද්ගලයෙකුටද ලෝකයේ දිග පළල සහ දිශාවන් තේරුම් ගත හැකිය.

අපේ මොළය මඟින් මේ සංවේදන දෙවර්ගය යම් කිසි ආකාරයකට සම්බන්ධ කරයි. තවමත් ලොකුවට පර්යේෂණ සිදුකෙරී නැතත් අළුතින් මෙලොවට බිහිවන ළදරුවෙකු දකින්නේ උඩුයටිකුරු වූ ලෝකයක් බව සැලකේ. මේ ළදරුවා තමන්ගේ ඇස් වලින් ලබාදෙන රූප සිය ස්පර්ශ ඉන්ද්‍රිය මඟින් ලැබෙන සංවේදන සමඟ සසඳමින් ටික කලක් යද්දී ලෝකය කෙලින් අතට දැකීමට පුරුදු වේ. මොළයට මේ 'දත්ත සැකසුම' කිරීමට සුළු වුවත් යම් කාලයක් ගතවේ.

කෙසේ වුවද, කෙනෙකු දිගටම ලෝකය දකින්නේ උඩුයටිකුරු ලෙස වුවද මෙහි අවුලක් නැත. මේ ලෝකය ඔහුට හෝ ඇයට පෙනෙන පරිදි සාමාන්‍ය ලෝකයයි. එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. එහෙත්, වරෙක ලෝකය උඩුයටිකුරු ලෙසත්, වරෙක කෙලින් අතටත් පෙනේනම් වැඩේ අවුල්ය. ඇසට ලැබෙන රූප මොළය මඟින් තේරුම් ගැනීමේදී මෙසේ වරින්වර 'උඩ-යට මාරුවීම' සහ 'උතුර-දකුණ මාරුවීම' දුර්අක්ෂරතාව (Dyslexia) හා සම්බන්ධය.

ලෝකයම උඩුයටිකුරු වී පෙනෙන අයෙකුට අකුරු පෙනෙන්නේත් උඩුයටිකුරු ලෙසිනි. යමෙකු සාමාන්‍යයෙන් අකුරු ලියන්නේ තමන්ට ඒ අකුරු පෙනෙන ආකාරයටය. එසේනම් එවැන්නෙකු අකුරු ලියන්නේත් උඩුයටිකුරු ලෙසද?

මෙවැනි පුද්ගලයෙකු (අපට පෙනෙන පරිදි) උඩුයටිකුරු කර අකුරු ලිවුවොත් ඒ අකුරු ඒ පුද්ගලයාට පෙනෙන්නේ කෙළින් අතටය. මෙය ඔහුට හෝ ඇයට අනුව අසාමාන්‍ය දෙයකි. එවැන්නෙකු තමන් දකින අයුරින්ම අකුරු ලිවුවහොත්, ඔහුගේ හෝ ඇයගේ දෘෂ්ඨිය උඩු-යටිකුරු වුවත්, වම-දකුණ මාරු වූ එකක් වුවත් අපට පෙනෙන පරිදි මේ ලිවීම සාමාන්‍ය ක්‍රමයමය. මේ නිසා යමෙකුට උඩ-යට මාරුවී පෙනුණත්, වම-දකුණ මාරු වී පෙනුණත් උපන්දා සිටම තත්ත්වය එවැන්නක්නම් ඒ පුද්ගලයාට හෝ බාහිර සමාජයට වෙනසක් නොපෙනේ.

කෙසේ වුවද, උඩින් ඇති වීඩියෝවේ පෙනෙන පරිදි උඩු-යටිකුරු කළ කණ්ණාඩියකින් ලෝකය දැකීමට අළුතින් පුරුදු වෙන අයෙකු අකුරු ලියන්නේ උඩුයටිකුරුවය. බෝජනා අකුරු ලියන්නේද ඒ අයුරිනි. ඒ ඇයි?

මෙය පසුව කතාකරමු.

Friday, November 13, 2015

ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (පළමු කොටස)


"ඔව් සර්..."

"එහෙනං තව ටිකකින් එන්නකෝ .."

ඒත් එක්කම මගේ මේසය දිහා බැලුව සෞම්‍යා නැගුනු හිනාවක් ආයාසයකින් යටපත් කරගන්නවා වගේ මට දැනුනා. අතින් කට වගගත්තු සෞම්‍යා එලියට  ගියේ ලස්සන ඇස්දෙකෙන් හිනාවෙන ගමන්.

ෆෑන් එකේ ටක ටක සද්දේ ආයෙත්.

මට පිටුපාලා යන සෞම්‍යා දිහා බලාගෙන හිටපු මම පියවි සිහිය ලැබුවේ එයා දොරත් වහලා ගියාට පස්සේ මම හිතන්නේ. මේසේ දිහා බලපු මට තරු විසි වුනා. මම හෙන බිසී වගේ පේන්න හිටියට ෆයිල් එක තියාගෙන ඉඳලා තියෙන්නේ ඔලුවෙන් හිටවලානෙ. ශේහ් වස විලි ලජ්ජාවයි.

***
ටයිපෝ කිහිපයක් පමණක් සදා උඩින් පළකර ඇති උධෘතය ඉවාන්ගේ ප්‍රතිලෝම කෙටිකතාවේ කොටසකි. දැන් මේ කතාවේ සෞම්‍යා නැගුනු හිනාවක් ආයාසයකින් යටපත් කරගන්නේ ඇයි? ඇගේ ආයතන ප්‍රධානියාට විලිලැජ්ජා හිතෙන්නේ ඇයි?

වැඩ අධික බව බොරුවට පෙන්වීමට මේ කතාවේ ආයතන ප්‍රධානියා හදිසියේ අතට ගන්නා ලිපිගොනුව ඔහු තබාගෙන සිටින්නේ ඔලුවෙන් හිටවලාය. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු ලිපිගොනුවක් ඔලුවෙන් හිටවා තියාගැනීම සම්මතය නොවේ. ඒ නිසා සෞම්‍යාට මේ දසුනේ විහිළු සහගතබවක් දැනේ. ඇයට හිනා යන්නට එන්නේත්, සිදුවී ඇති දෙය අවබෝධ වනවිට ආයතන ප්‍රධානියාට විලිලැජ්ජා හිතෙන්නේත් ඒ නිසාය.


බොහෝදෙනෙක් ලිපිගොනුවක් ඔලුවෙන් හිටවා තබානොගෙන කෙලින් තබාගෙන කියවන්නේ එසේ කියවීම වඩා පහසු නිසාය. එසේ කියවීම වඩා පහසු වී ඇත්තේ කුඩා කල සිටම ලේඛණයක් මේ අයුරින් කියවීමට අප හුරුවී ඇති නිසාය.

අප බොහෝ දෙනෙකු කෙලින් තබාගෙන පොතක්, පත්තරයක් කියවූවත් එසේ නොකර සාමාන්‍යයෙන් ඔලුවෙන් හිටවා පත්තර බලන අයද සිටිති. සර්බියාවේ බෝජනා ඩැනිලොවික් එවැන්නියකි. ඇය ඔලුවෙන් හිටවා බලන්නේ පොත්, පත්තර පමණක් නොවේ. ඇගේ පරිගණක තිරයද උඩුයටිකුරු කළ එකකි. එමෙන්ම ඇගේ පරිගණකයේ යතුරු පුවරුවද තබා ඇත්තේ විරුද්ධ අතටය. උසයිස් නගර සභාවේ සේවය කරන ඇය වැඩ නිමකර නිවසට ගොස් උඩුයටිකුරු කර තබා ඇති රූපවාහිනිය නරඹන්නීය.


බෝජනාගේ මනස දකින ලෝකය අපදකින ලෝකයට සාපේක්ෂව උඩුයටිකුරු වූ එකකි. වෙනත් බොහෝ දෙනෙකු දකින ලෝකය බෝජනාට සාපේක්ෂව උඩුයටිකුරු වූ එකකි.

"අනෙත් අයට මෙය මහා පුදුම දෙයක් වගේ පෙනුනත් මටනම් මෙය ඉතාම සාමාන්‍ය දෙයක්. මා ඉපදුනේම මේ විදිහටයි. මේ තමයි මා ලෝකය දකින ආකාරය." බෝජනා කියයි.

***

අපට සැබැවින්ම ලෝකය දැකිය හැකිද? මෙය මතුපිටින් පෙනෙනවාට වඩා සංකීර්ණ ප්‍රශ්නයකි.

අපේ ඇස් වල ඇති කාච මඟින් කැමරාවකින් කරන්නාක් මෙන් බාහිර වටපිටාවේ 'ඡායාරූපයක්' මොළයට ග්‍රහණය කරගත හැකි සංඥාවක් බවට හරවයි. මේ සංඥාව විශ්ලේෂණය කරන්නේ මොළය විසිනි. ඇස් වලින් ලබාගන්නා සංඥාවේ යම් බාහිර වස්තුවක් පිහිටි ස්ථානය පිලිබඳ නිශ්චිත තොරතුරු අඩංගු නොවේ. එහි ඇත්තේ වෙනස් වස්තු ලෙස අප විසින් හඳුනාගන්නා දේවල් වල පිහිටීම් පිලිබඳ සාපේක්ෂ තොරතුරු පමණි. උදාහරණයක් ලෙස පරිගණක තිරය ඇත්තේ යතුරු පුවරුවට වඩා දුරින් බව මිස කොතරම් සෙන්ටි මීටර් ගණනක් දුරින්ද යන තොරතුර මේ සංඥාවේ නැත.

දුර පිලිබඳ අදහසක් මොළයට අවශ්‍ය වන්නේ අපේ චලනයන් සම්බන්ධීකරණය කර ගැනීම සඳහාය. උදාහරණයක් ලෙස මගේ මේසය මත ඇති පෑන ග්‍රහණය කර ගැනීමට කුමන දිශාවට කෙතරම් දුරක් මා මගේ අත චලනය කල යුතුද? මේ සඳහා මගේ ඇසෙන් ලබා ගන්නා රූප සහ මගේ චලනයන් අතර තිබිය යුතු සම්බන්ධතාවය මොළය මඟින් නිවැරදිව ක්‍රමාංකනය කරගත යුතුය. කෝප්පයක් අල්ලන්නට පුරුදු වන කුඩා දරුවෙකු කරන්නේ මෙයයි. මේ ක්‍රමාංකනය එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි.

අපේ ඇස පිටුපසට ඇසේ කාචයෙන් ප්‍රක්ෂේපණය කර සංඥාවක් බවට හරවන රූපය ඇත්තටම උඩුයටිකුරු වූ එකකි. එය 'ඇති හැටියෙන්' දකින්නේ මොළයයි.

බෝජනාගේ ඇස් වල කිසිදු ආබාධයක් නැත. ඇගේ ඇස් වලින් බාහිර පරිසරයේ උඩුයටිකුරු කළ පිළිබිඹුවක් මොළයට ලබාදේ. වෙනස ඇත්තේ ඇගේ මොළය මෙසේ ලබාගන්නා දත්ත සැකසුම් කරන ආකාරයේය. බොහෝදෙනෙකුගේ මොළයන් මෙවැනි උඩුයටිකුරු වූ පිළිබිඹු නැවත උඩයට හරවා 'නිසි ලෙස' ග්‍රහණය කරගත්තත් බෝජනාගේ මොළය එසේ කරන්නේ නැත.

කෙසේ වුවද, මෙසේ උඩුයටිකුරු ලෙස ලෝකය දැකීම කෙනෙකුට ප්‍රශ්නයක් නොවේ. එවැනි අයෙකු උපතේ සිටම දකින ලෝකය උඩුයටිකුරු වූ එකක් බැවින් එවැන්නෙකු කුඩා කල සිටම මේ උඩුයටිකුරු වූ ලෝකයේ ජීවත් වන්නට පුරුදු වේ. අවුලක් වුනොත් වෙන්නේ වෙනත් අයෙක් මේ ලෝකය කෙළින් සිටවන්නට හැදුවොත් පමණි.

යමෙක් ලියන්නට ඉගෙනගන්නේ තමන් දකින ආකාරයටය. මේ නිසා උඩුයටිකුරු වූ අකුරු දකින අයෙකු එසේම ලියන්නටද පෙළඹීමට ඉඩතිබේ. මෙවැන්නන් පිළිබඳව බොහෝ කලක සිට වාර්තා වී තිබේ.



කෙසේ වුවද, මේ අයුරින් උඩුයටිකුරු වූ ලෝකයක් දකින බොහෝ අයට තමන්ට රිසි ලෙස උඩුයටිකුරු කර ලියන්නට, කියවන්නට සමාජයෙන් ඉඩ නොලැබේ. වමත් හුරු දරුවන්ට දකුණත හුරු කරවන්නාවක් මෙනි.

අපේ මොළයේ ඇති අනුගතවීමේ ඇති හැකියාව පුදුම සහගතය. යමෙකුට විශේෂ කණ්ණාඩියක් පළඳවා ලෝකය උඩුයටිකුරු ලෙස එක දිගටම පෙනෙන්නට සැලැස්වුවහොත් සතියක් යන විට ඔහු හෝ ඇය මේ අළුත් තත්ත්වයට පුරුදු වේ.

බෝජනාගේ සැබෑ ගැටළුව ලෝකය උඩුයටිකුරු ලෙස පෙනීම නොවේ. ඇතැම් දේවල් එසේ නොපෙනීමයි.

මගේ ලිපි සාමාන්‍යයෙන් දිග වැඩි නිසාත්, මේ හා අදාල වෙනත් කරුණු රැසක් ඇති නිසාත් මේ ලිපිය කොටස් වශයෙන් පළ කෙරෙනු ඇත.

(Photo credit: http://www.nydailynews.com/news/world/woman-sees-upside-article-1.1297128)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...