වෙබ් ලිපිනය:

Showing posts with label මැතිවරණ ප්‍රතිඵල. Show all posts
Showing posts with label මැතිවරණ ප්‍රතිඵල. Show all posts

Friday, July 17, 2020

මහ මැතිවරණය හා කොරෝනා


අගෝස්තු 5 ලංකාවේ මීළඟ මහ මැතිවරණය සඳහා දින නියම වී තිබෙනවා. ඒ වරක් මේ දිනය කල් දැමීමෙන් පසුවයි. ඒ අතර නැවතත් රටේ කොරෝනා පැතිරෙනවා. එයට සමාන්තරව මැතිවරණය තවදුරටත් කල් දැමිය යුතු බවට අදහසක්ද ප්‍රචලිත වෙමින් තිබෙනවා.

මුලින්ම දින නියම කළ පරිදි ජූනි 20 මැතිවරණය පැවැත්වූවානම් ලොකු අවුලක් සිදු විය හැකිව නොතිබුණු බව දැන් අපි දන්නවා. එහෙත්, දැන් නැවත අතීතයට යන්න බැහැ. ඒ වගේම, මැතිවරණය කල් දමන විට පැවති අවිනිශ්චිත තත්ත්වයන් අනුව ඒ වෙලාවේ එවැනි තීරණයක් ගැනීමේ වැරැද්දක් නැහැ.

කොරෝනා ගැන තවමත් නොදන්නා දේ බොහොමයි. එහෙත්, මුලින් නොදැන සිටි බොහෝ දේ දැන් අපි දන්නවා. අඩු වශයෙන් වැඩිදුර නිගමන වලට ඉඩ සලසන සාක්ෂි රැසක් දැන් අප සතුයි.

- උණුසුම් කාලගුණයක් ඇති හෝ ආර්ද්‍රතාවය වැඩි රටවල් කොරෝනා රෝගයෙන් ආරක්‍ෂිත නැහැ.
- දුඹුරු හම තිබෙන හෝ ආසියානු සම්භවයක් තිබෙන අය කොරෝනා වලින් ආරක්‍ෂිත නැහැ.
- බීසීජී එන්නත ලබා ගෙන තිබීම නිසා කොරෝනා වලින් ආරක්ෂා වෙන්නේ නැහැ.
- ස්වභාවික ප්‍රතිශක්තිය ලැබී රෝගය අවසන් වීම ප්‍රායෝගික යථාර්තයක් නෙමෙයි.
- කොයි තරම් දැඩි ක්‍රියාමාර්ග ගත්තත් කොරෝනා මුළුමනින්ම තුරන් කිරීම අසීරුයි.
- වැලිසර හා කන්දකාඩු නිරීක්ෂණ අනුව ලංකාවේ තිබෙන "සාමාන්‍ය" තත්ත්වයන් යටතේ ඉතා වේගයෙන් රෝගය පැතිරෙන්න පුළුවන්.
- එහෙත් රෝගය පැතිරීම පාලනය කර ගැනීමේ හැකියාව අප සතුයි.
- එන්නත් කිරීමේ විකල්පය ලැබෙනු ඇත්තේ අඩු වශයෙන් ලබන වසර මුලදී.
- එන්නත් කිරීමෙන් පසුවද බොහෝ විට සාමූහික ප්‍රතිශක්ති මට්ටමට යන්න බැරි වෙන්න ඉඩ තිබෙනවා.
- එන්නත් කිරීමෙන් පසුවද බොහෝ විට ප්‍රතිශක්තිය දිගු කාලයක් පවතින එකක් නැහැ. වාර්ෂිකව කෝවිඩ් එන්නතක් ලබා ගන්න අවශ්‍ය විය හැකියි.

මේ කරුණු ඇතුළු තවත් කරුණු වලින් පෙනී යන්නේ ලංකාව වැනි රටකට වුවත් කෝවිඩ් සමඟ ජීවත් වීමට පුරුදු වීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.

කෝවිඩ් වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ග වල ආර්ථික හානිය ගැනත් දැන් අපට ඉතා පැහැදිලියි. ලංකාව වැනි රටකට වුවත් ආර්ථිකය අමතක කර කෝවිඩ් පැතිරීම ගැන හිතන්න පුළුවන්කමක් නැහැ. ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් සිදු වුනොත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙසත් විශාල ලෙස කෝවිඩ් පැතිරෙන්න පුළුවන්.

කෝවිඩ් වැළැක්වීම හා ආර්ථිකය බිඳ වට්ටා නොගැනීම වැදගත්. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදයත් එසේම වැදගත්. මැතිවරණ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය හා අත්‍යාවශ්‍ය අංගයක්. ඒ වගේම, විශේෂයෙන්ම මේ වගේ ආපදා අවස්ථාවකදී, රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්.

හැම දෙයකටම මිලක් තිබෙනවා. මේ වෙලාවේ මැතිවරණය පැවැත්වීමේත් මිලක් තිබෙනවා. එහෙත්, ඒ මිල ගෙවිය යුතු මිලක්.

මේ වගේ අවස්ථාවක මැතිවරණ ප්‍රචාරක කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන්නේ නැහැ. එහෙත්, එය නිශේධනීය කරුණකට වඩා සාධනීය කරුණක් කියා කියන්න පුළුවන්. ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයේ බොහෝ අංග නැති විය යුතු අංග මිසක් අමාරුවෙන් පවත්වා ගත යුතු අංග නෙමෙයි.

මේ මැතිවරණ ප්‍රතිඵලයේ යම් විකෘතියක් තිබීම පැහැදිලිවම සිදු විය හැකි කරුණක්. එහෙත්, එවැනි විකෘතියක් ලංකාවේ මැතිවරණ ඉතිහාසයට සාපේක්ෂව බැලූ විට බරපතල විකෘතියක් වීමේ ඉඩක් නැහැ.

මෙවර ඡන්ද භාවිතය සෑහෙන තරමකින් අඩු වෙයි. ඒ හේතුවෙන් යම් විකෘතියක් සිදු වෙයි.

ඡන්ද භාවිතය අඩු වී මැතිවරණ ප්‍රතිඵල විශාල ලෙස විකෘති වූ අවස්ථා කිහිපයක්ම ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ දැකිය හැකියි. හොඳම උදාහරණ වන්නේ 1989 හා 2005 ජනාධිපතිවරණයි. එම වසර වලදී මෙන් සමස්ත ප්‍රතිඵලය කණපිට හැරීමේ ඉඩක් මෙවර පෙනෙන්නට නැහැ.

මෙවර ජයග්‍රාහකයා පොහොට්ටුව වනු ඇති බව අවිවාදිත කරුණක්. ආණ්ඩුවේ ඉලක්ක මොනවා වුවත් ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව පවා ආණ්ඩුවට තුනෙන් දෙකක් ගැනීමේ හැකියාවක් පෙනෙන්න තිබුණේ නැහැ. ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී මිස වැඩි වී නැහැ.

අනෙක් අතට මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ විපක්ෂය වෙන කවර දාකටවත් වඩා දුර්වලව සිටියදී. ඒ නිසා, කොරෝනා නොතිබුණත් මේ මැතිවරණය බොහෝ විට ඇල්මැරුණු එකක්. කෝවිඩ් නිසා ඒ තත්ත්වය උග්‍ර වෙලා.

මහ මැතිවරණයක ප්‍රතිඵලය තීරණය වන්නේ දිස්ත්‍රික් මට්ටමින් නිසා ඡන්ද භාවිතය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වුනා කියා ලොකු විකෘතියක් වෙන්නේ නැහැ. එහෙත් වෙනත් ආකාර වල විකෘති සිදු විය හැකියි. උදාහරණයක් විදිහට පාවෙන ඡන්දදායකයින් බොහෝ පිරිසක් ඡන්දය භාවිතා නොකරන්න ඉඩ තිබෙනවා. එය පාක්ෂික ඡන්ද ගොඩක් තිබෙන පක්ෂයකට වාසියක්. ඒ වගේම, අඩු ඡන්ද ප්‍රමාණයක් ලබන පක්ෂයකට කොටෙන් ගොඩ යන එක වඩා පහසු වෙන්නත් ඉඩ තිබෙනවා.

මේ කරුණු වල සමස්ත ප්‍රතිඵලය පුරෝකථනය කිරීම අසීරුයි. කොහොම වුනත් කෝවිඩ් අස්සේ මැතිවරණය පැවැත්වුවා කියා කිසිදු දේශපාලන පක්ෂයකට විශාල අවාසියක් සිදු වෙනවා කියා කියන්න බැහැ.

මැතිවරණය නියමිත පරිදි නොපැවැත්වුවහොත් රටේ ව්‍යවස්ථාදායකයක් නැති වීමේ අඩුව දැනෙන්නනම් වැඩි දවසක් යන එකක් නැහැ.

Tuesday, November 26, 2019

විජේතුංග ව්‍යතිරේඛය



ලංකාවේ ජනාධිපතිධුරයේ බලතල, ඒකාධිපතිත්වය වගේ මාතෘකා පිළිබඳව කතා කරද්දී බොහෝ විට ඩිංගිරි බණ්ඩා විජේතුංගගේ නමත් කියැවෙනවා. විශේෂයෙන්ම මේ නම සඳහන් කෙරෙන්නේ ජනාධිපතිවරයෙක් ඒකාධිපතිත්වය කරා යන්නේ පුද්ගල ස්වභාවය නිසා මිසක් ධුරයේ බලතල නිසා නොවන බව පෙන්වා දෙන්නයි. ඩිංගිරි බණ්ඩා විජේතුංගව ඇතැම් අය විසින් මෘදු පාලකයෙක් ලෙසත් තවත් අය දුර්වල පාලකයෙක් ලෙසත් හඳුන්වනවා.

විජේතුංගට පෙර සිටි ජයවර්ධන හා ප්‍රේමදාස ජනාධිපතිවරුන් දෙන්නාම හැඳින්විය හැක්කේ දැඩි පාලකයින් ලෙසයි. ජයවර්ධන යුගයේ මාධ්‍ය නිදහස ගැන දැන් පණහ පැනලා සිටින, එවකට තරුණ හෝ මැදි වියේ සිටි පරම්පරාවට අමුතුවෙන් මතක් කර දිය යුතු නැහැ. නමුත්, දැන් තරුණ වියේ සිටින අයට ඒ ගැන හිතා ගන්න අසීරු වෙන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් නොතිබුණු, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ප්‍රචලිතව නොතිබුණු, මුද්‍රිත මාධ්‍ය සියල්ලම වාගේ රජයේ සෘජු හෝ වක්‍ර පාලනය යටතේ තිබුණු ඒ යුගයේ මේ දැඩි පාලනය පවත්වා ගෙන ගිය එක් ප්‍රධාන ක්‍රමයක් වුනේ මාධ්‍ය හරහා ආණ්ඩුවට අවශ්‍ය මතවාද දිගින් දිගටම පොම්ප කිරීමයි.

ජයවර්ධන යුගයේදී ආණ්ඩුවේ මතයෙන් වෙනස් දේශපාලන අදහස් හා ආණ්ඩුවට ප්‍රචාරය කිරීමට අවශ්‍ය නොවූ පුවත් ඉදිරිපත් කළේ ලොකු පිටපත් ගණනක් නොවිකුණුනු, දේශපාලන පක්ෂයක පුවත්පතක් වූ ඇත්ත පුවත්පත වැනි සීමිත මාධ්‍ය කිහිපයක් විසින් පමණයි. එක පැත්තකින් රජයෙන් පත් කළ බලධාරියෙකු හරහා සෘජුවම අදහස් හා පුවත් වාරණය කෙරුණා. අනෙක් අතින්, තෝරාගත් පුද්ගලයින්ට බලපෑම් හෝ බිය වැද්දීම් කිරීම මගින් ඔවුන් හා තවත් අය නිහඬ කරනු ලැබුවා. මෙයට සමාන්තරව බොහෝ දෙනෙක් තමන්ටම ස්වයං වාරණයක් පනවා ගත් නිසා ආණ්ඩුවේ කාර්යය එතරම් අපහසු වුනේ නැහැ.

නිසි බලධාරියා හරහා හෝ අනෙකුත් බලපෑම් හරහා නාන තොටේ හෝ මත්පැන් සාදයක සිදුවන කතාබහ නියාමනය කරන්න බැහැ. නමුත්, මිනිසුන් විසින් ස්වයං වාරණයක් පනවා ගත් විට ගෙවල් වල බිත්ති හතර ඇතුළේ සිදුවන කතාබහ පවා නවතිනවා. නරකම තත්ත්වය එයයි. ජයවර්ධන ආණ්ඩුවේ අවසන් කාලය වෙද්දී මුලින්ම රාවය සඟරාව නිසා නිහඬ බව තරමක් දුරට බිඳුණා. පසුව රාවය සඟරාව විකල්ප පුවත්පතක් වුනා. යුක්තිය වැනි තවත් විකල්ප පුවත්පත් ආවා. කතා කරන්න තිබෙන බය පොඩ්ඩක් අඩු වුනා. හැබැයි පොඩ්ඩක් විතරයි!

ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලූ විට ප්‍රේමදාස පාලනය කවර අයුරකින් හෝ ජයවර්ධන පාලනයට වඩා හොඳ පාලනයක් වුනේ නැහැ. ප්‍රේමදාසව ඝාතනය වීම බොහෝ දෙනෙකුට දැනුනේ පපුව මත තබා තිබුණු ලොකු කළු ගලක් ඉවත් වුනා වගෙයි. මා දන්නා තරමින් ලංකාවේ මිනිස්සු පුද්ගලයෙකුගේ මරණයක් ගැන අසා රතිඤ්ඤා පත්තු කළ මුල්ම අවස්ථාව අනූ තුනේ මැයි දිනයයි. කොහොම වුනත්, මේ කාලය වෙද්දී ආණ්ඩු විරෝධය ජේආර්ගේ කාලයේ මෙන් යටපත්ව තිබුණු එකක් නෙමෙයි. විකල්ප පුවත්පත් වැඩිම ගණනක් පළ වුනේත්, ඒවාට වැඩිම ඉල්ලුමක් තියෙන්න ඇත්තේත් මේ කාලයේ වෙන්න ඇති. විමල්, ඩලස් හා විනී වගේ අයට එකතු වී මහජන ආධාර එකතු කර විකල්ප පත්තරයක් පටන් ගන්න පුළුවන් වුනෙත් ඒ වෙද්දී විකල්ප මතවාද වලට විශාල වෙළඳපොළක් තිබුණු නිසයි.

ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධුරයට පත් වුණේ රණසිංහ ප්‍රේමදාසගේ අනපේක්ෂිත මරණය නිසයි. ඔහු එම ධුරය දැරුවේ වසර එකහමාරක පමණ සාපේක්ෂව කෙටි කාලයක් පමණයි. ඒ කාලය සාපේක්ෂව සාමකාමී, මිනිස්සු බයෙන් ජීවත් නොවූ කාලයක් බව කවුරුත් වාගේ එකඟ වෙන දෙයක්. එහෙම වෙන්න ජනාධිපති විජේතුංගගේ චරිත ලක්ෂණ යම් තරමකින් හේතු වෙන්න ඇති. නමුත්, ප්‍රධාන හේතුව එය කියා මා හිතන්නේ නැහැ.

ප්‍රේමදාස ඝාතනයට පෙරම ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර කණ්ඩායම විසින් එජාපය දෙකට කඩලයි තිබුණේ. ඔවුන් පිහිටවූ පක්ෂය ආණ්ඩු විරෝධී වූ, එහෙත් සමාජවාදීන් නොවූ, නාගරික හා අර්ධ නාගරික උගත් පිරිස් වේගයෙන් ආකර්ෂණය කර ගනිමින් සිටියා. අනෙක් පැත්තෙන් චන්ද්‍රිකාගමනය නිසා විශාල කාලයක් අකර්මන්‍යව තිබුණු ශ්‍රීලනිපය නැවත පණ ලබා තිබුණා.

ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර තිදෙනාම ඝාතනය වී ඔවුන් පිහිටවූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ අකර්මන්‍ය වී ගියත් එම පක්ෂය තවමත් නමට හෝ තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ආසන ගණනාවක තෙවැනි තැනට ආ ආරියවංශ දිසානායක තරඟ කළේ එම පක්ෂයෙන්. මුල් කාලයේදී එම පක්ෂය වැරදිලා වැටෙන ඡන්ද ලබාගත් පක්ෂයක් නෙමෙයි. තෙවන පක්ෂයක් ලෙස ටික කලක් වේගයෙන් ඉදිරියට ආ පක්ෂයක්.

ඩීබී විජේතුංග විසින් ජනාධිපති ධුරය භාර ගන්නා අවස්ථාව වන විට එක පැත්තකින් ප්‍රඑජාපෙ විසින් එජාප නාගරික ඡන්ද පදනම කඩා ගනිමින් වර්ධනය වෙමින් සිටියා. අනෙක් පැත්තෙන් කලක් ශ්‍රීලනිපයෙන් මෙන්ම රටින්ද බැහැරව සිටි චන්ද්‍රිකා කුමාරතුංග නැවත ලංකාවට පැමිණ ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව, වාමාංශික පක්ෂ ගණනාවක් එකතු කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ යටතේ ශක්තිමත් ලෙස සංවිධානය වෙමින් සිටියා.

ප්‍රේමදාස ඝාතනයෙන් හා ඩීබී විජේතුංග ජනාධිපති සේ පත් වීමෙන් තෙසතියක් යන්නත් පෙර පැවැත්වුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල වලින් පළමු වරට එජාපයේ පරිහානිය පැහැදිලිව පෙන්නුම් කළා. තරඟ කළ දිස්ත්‍රික්ක සියල්ලේම මුල් තැනට ආවේ එජාපය වුවත්, බස්නාහිර, දකුණු හා වයඹ පළාත් සභා වල බලය පිහිටුවීමට අවශ්‍ය බහුතර මන්ත්‍රී වරුන් ගණන එජාපය සතු වූයේ නැහැ. පුටුව ලකුණින් තරඟ කළ පොදුජන එක්සත් පෙරමුණ හා රාජාලියා ලකුණින් තරඟ කළ ප්‍රඑජාපෙ මන්ත්‍රී ධුර වල එකතුව එජාපයේ මන්ත්‍රී ධුර ගණන ඉක්මවූවා.

බස්නාහිර පළාතේදී මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනුනා. එජාපෙ, පොඑපෙ හා ප්‍රඑජාපෙ අතර කොළඹදී 17-17-10 ලෙසත්, ගම්පහදී 16-15- 4 ලෙසත් කළුතරදී 10-9-3 (හා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීධුරයක්) ලෙසත් මන්ත්‍රී ධුර බෙදී ගියා. බෝනස් ආසන දෙක හා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී ධුරයද සමඟ සමස්තයක් ලෙස එජාප මන්ත්‍රීවරුන් ගණන 46ක් පමණක් වෙද්දී, එජාප විරෝධී කණ්ඩායම සතුව මන්ත්‍රී ධුර 58ක් තිබුණු නිසා චන්ද්‍රිකා කුමාරතුංගට බස්නාහිර පළාතේ මහ ඇමති වීමට හැකි වුනා. පළාත් සභා පිහිටුවීමෙන් පසුව, විපක්ෂය විසින් එජාපයට එරෙහිව මෙවැනි ජයග්‍රහනයක් ලබා ගත්තේ මුල් වරටයි.

දකුණු හා වයඹ පළාත් වලත් විපක්ෂය සතුව වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් තිබුණත්, එජාපය හා එජාප විරෝධී කණ්ඩායම් දෙක අතර බස්නාහිර පළාතේ මෙන් ලොකු පරතරයක් තිබුණේ නැහැ. එජාපෙ, පොඑපෙ හා ප්‍රඑජාපෙ අතර දකුණු පළාතේදී 27-22-6 ලෙසත්, වයඹ පළාතේදී 25-18- 9 ලෙසත් මන්ත්‍රී ධුර බෙදී ගොස් තිබුණා. කෙසේ වුවත්, බස්නාහිරදී මෙන් මේ පළාත් දෙකේදී මහ ඇමති ධුරය අත් හරින්න එජාපය සූදානම් වුනේ නැහැ. වයඹ ආණ්ඩුකාර මොන්ටේගු ජයවික්‍රම විසින් ප්‍රඑජාපෙ ජී එම් ප්‍රේමචන්ද්‍ර වෙනුවට එජාපෙ ගාමිණී ජයවික්‍රම පෙරේරාවත්, දකුණු පළාත් ආණ්ඩුකාර බාකීර් මාකර් විසින් පොඑපෙ අමරසිරි දොඩම්ගොඩ වෙනුවට එජාපයේ එම් එස් අමරසිරිවත් මේ දෙපළාතේ මහ ඇමතිවරුන් සේ පත් කළා.

එජාප විරෝධී කණ්ඩායමට ප්‍රශ්නය විසඳා ගැනීමට අධිකරණයේ පිහිට පතන්න සිදු වුනා. අධිකරණයේ තීරණය අනුව 1993 ඔක්තෝබර් සිට ජී එම් ප්‍රේමචන්ද්‍රට වයඹ මහ ඇමති ධුරයත්, අමරසිරි දොඩම්ගොඩට දකුණු මහ ඇමති ධුරයත් හිමි වුනා. මෙය එජාපය ලැබූ විශාල පරාජයක්.

කොහොම වුනත් එජාපය පහසුවෙන් බලය අත හරින්න සූදානම් වුනේ නැහැ. ඔවුන්ගේ ඉලක්කය වුනේ යාන්තම් එක් වැඩි ඡන්දයකින් පවත්වාගෙන ගිය දකුණු පළාත් සභාවයි. 1993 දෙසැම්බර් මාසයේදී පළාත් අයවැය ඡන්ද විමසීම් පැවැත්වෙන දින හම්බන්තොට පොඑපෙ මන්ත්‍රී විමල් ෆ්‍රැන්සිස්කු පැමිණ සිටියේ නැහැ. එජාපය විසින් ඔහුව ඔහුගේ කැමැත්තෙන් හෝ අකැමැත්තකින් තොරව සඟවා තබා ගෙන සිටීම නිසා දකුණු පළාත් සභාවේ අයවැය යෝජනා සම්මත කර ගැනීමට නොහැකි වී පළාත් සභාව විසුරුවා හරින්න සිදු වුනා.

එහෙත්, 1994 මාර්තු මාසයේ පැවැත්වූ දකුණු පළාත් සභා මැතිවරණය එජාපයට පාරාවළල්ලක් වුනා. එවර බලපිටිය හැර දකුණු පළාත් සභාවේ සියලුම ආසන ජය ගත්තේ පොදුජන එක්සත් පෙරමුණයි. පළාත් සභාවේ මන්ත්‍රීධුර 32ක්ම  පොඑපෙට හිමි වූ අතර, එජාපයට ලැබුණේ මන්ත්‍රීධුර 23ක් පමණයි. ඉන් පසුව, 1994 අගෝස්තුවේදී පැවති මහ මැතිවරණයෙන් එජාපය පරාජය කර පොඑපෙ ජයග්‍රහණය කිරීම සඳහා පාර කැපුණේ මේ දකුණු පළාත් සභා මැතිවරණයෙනුයි.

මහ මැතිවරණයෙන් පසුව 1994 නොවැම්බරයේදී පැවති ජනාධිපතිවරණයේදී  චන්ද්‍රිකා කුමාරතුංග විසින් ලද ජය ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම මැතිවරණ ජයග්‍රහණයයි. එවර මහියංගනය හැර දිවයිනේ සියලුම මැතිවරණ ආසන වල ඉදිරියෙන් සිටියේ චන්ද්‍රිකා කුමාරතුංගයි. මේ එක්කම ඩීබී විජේතුංගගේ වසර එක හමාරක ධුර කාලයත් අවසන් වුනා.

ජනාධිපතිවරයෙකු ලෙස ඩීබී විජේතුංගගේ භූමිකාව ගැන විග්‍රහ කරද්දී අදාළ වසර එකහමාරක කාලය තුළ රටේ දේශපාලන බලතුලනය වෙනස් වෙමින් පැවති ආකාරය අමතක කර ඒ ගැන කතා කරන්න අමාරුයි. විජේතුංග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වන්නේම රටේ මිනිස්සුන්ගේ අමන්දානන්දයට හේතු වූ, ඔවුන් රතිඤ්ඤා පත්තු කර කිරිබත් උයා කා සතුටු වූ මරණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ එක්කම පැවැත්වෙන පළාත් සභා මැතිවරණ වලින් රැල්ල අනිත් පැත්තට කැරකෙන බව පැහැදිලි වෙනවා. විජේතුංගගේ වසර එකහමාර ඇතුළත දාහත් වසරක් එජාපය සතු වූ දේශපාලන බලය ක්‍රමයෙන් ගිලිහී යනවා. එජාපය මැතිවරණ පරදිනවා. අධිකරණය එජාපයට අවාසිදායක තීන්දු දෙනවා. මේ දේවල් වෙන්නේ ඩීබී විජේතුංග ජනාධිපති වී සිටි නිසා කියා කියන්න බැහැ. තරමක් උත්ප්‍රාසජනක ප්‍රකාශයක් වුවත්, එජාපය වැටෙන කාලයේ ඩීබී විජේතුංග ජනාධිපති වී සිටි බව කීමේ වැරැද්දක් නැහැ.

රටේ පවතින දේශපාලන බලතුලනය අනුව විධායක ජනාධිපතිවරයෙකුට වුවත් කළ හැකි දේ සීමා වෙනවා. එය අමතක කර කිසියම් පුද්ගලයෙකු මෘදු පාලකයෙකු හෝ පඹයෙකු සේ හැඳින්විය නොහැකියි. ඩීබී විජේතුංග කියා කියන්නේ ඇතැම් ප්‍රතිපත්ති කරුණු අරභයා දැඩි ස්ථාවරයක සිටි පුද්ගලයෙක්. උතුරේ ප්‍රශ්නය තනිකරම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් බවත්, ප්‍රශ්නයට අවශ්‍ය වන්නේ යුදමය විසඳුමක් බවත් සෘජුව හා දිගින් දිගටම පැවසූ එකම ජනාධිපතිවරයා ඩීබී විජේතුංගයි. මහින්ද රාජපක්ෂ පවා ආරම්භයේදී මෙවැනි ස්ථාවරයක සිටියේ නැහැ. ඒ වගේම, රාජපක්ෂ කාලයේදී මෙන් මේ ස්ථාවරය ඒ කාලයේදී රටේ ජනප්‍රිය ස්ථාවරය වුනේත් නැහැ. රටේ බොහෝ දෙනෙක් විශ්වාසය තැබුවේ සාම සාකච්ඡා පිළිබඳවයි. චන්ද්‍රිකාට 62.3%ක ජනමතයක් ලැබුණේ ඈ දැඩි සේ සාමයට කැප වී සිටි නිසයි. චන්ද්‍රිකා රජයේ බලය බෙදීමේ වෑයම අසාර්ථක වූයේ රනිල් ප්‍රධාන එජාපය දැඩි සේ විරුද්ධ වූ නිසයි. (මෙය ඉතිහාසය ගැන කරුණු ඉදිරිපත් කිරීමක් මිස ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ ලේඛකයාගේ එදා හෝ අද මතය ගැන අදහස් දැක්වීමක් නෙමෙයි.)

යහපාලන ආණ්ඩුවේ සාපේක්ෂ මෘදු පාලනයට හේතු වුනේත් පුද්ගල සාධක වලට වඩා රටේ පැවති දේශපාලන බල තුලනයයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සේ පත් වුනේ තනතුරේ බලය මිස රටේ දේශපාලන බලයක් රහිතවයි. දේශපාලන බලය බෙදී ගොස් තිබුනේ රනිල් හා මහින්ද අතරයි. රට තුළ දේශපාලන බලයක් නැත්නම් විධායක ජනාධිපතිවරයෙකුට වුවත් රිසි දේ කළ නොහැකියි. ශ්‍රීලනිප සභාපති ධුරය ලබා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන විසින් මුල සිටම උත්සාහ කළේ තමන්ට අහිමි දේශපාලන බලය කෙසේ හෝ ලබා ගන්නයි. එහෙත්, ඔහුට එය කරගත හැකි වූයේ නැහැ. මහින්දගේ ශක්තිය ලැබුණු කෙටි කාලය තුළදී ඔහු ක්‍රියා කළ ආකාරයෙන් වෙනස පැහැදිලි විය යුතුයි.

පාලනය දැඩි හෝ මෘදු වෙන්නේ ව්‍යවස්ථාව හරහා රටේ ප්‍රධාන තනතුරු වෙත බලය නාභිගත කර තිබීම හෝ පුද්ගල සාධක මත පමණක් නෙමෙයි. එය වැඩිපුරම තීරණය වෙන්නේ රටේ පවතින දේශපාලන බලතුලනය මතයි.

Monday, November 18, 2019

ඡන්ද භාවිතයේ වාර්ගික හා ආගමික රටා


මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද භාවිතා වී තිබෙන්නේ වාර්ගික හා ආගමික පදනමකින් කියන එක කිසිවෙකුට රහසක් නෙමෙයි. ඒ වගේම, මෙය අලුත් දෙයකුත් නෙමෙයි. පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ඡන්ද භාවිතා වුනෙත් වාර්ගික හා ආගමික පදනමකිනුයි.

පසුගිය ජනාධිපතිවරණයේදී බහුතර සිංහල බෞද්ධ කණ්ඩායමේ ඡන්ද වලින් බහුතරය ලබාගත් අපේක්ෂකයා පරාජය වුවත් මෙවර සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි. වෙනසට හේතුවී තිබෙන්නේ බහුතර කණ්ඩායමේ ඡන්ද භාවිතය වෙනස් වීමයි. මෙවර ගෝඨාභය විසින් ශ්‍රී ලාංකික දෙමළ හා හින්දු ඡන්ද ලබාගෙන තිබෙන්නේ 2015දී මහින්ද ලබාගත්තාට වඩා අඩුවෙන්. ඉන්දියානු දෙමළ, ශ්‍රී ලංකා යෝනක, ඉස්ලාම් ඡන්ද වල ලොකු වෙනසක් වී නැහැ. සමස්තයක් ලෙස, 2015 හා 2019 අතර සුළුතර කණ්ඩායම් වල ඡන්ද භාවිතය වෙනස්වීම දෙස ප්‍රමාණාත්මක ලෙස බැලූ විට ප්‍රතිඵලයට බලපෑමක් කරන තරමින් වෙනස් වී නැහැ.

ප්‍රතිඵලය වෙනස් කිරීමට හේතු වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම බස්නාහිර හා දකුණු පළාත් වල සිංහල බෞද්ධ නාගරික හා අර්ධ නාගරික ඡන්දයි. මේ පළාත් දෙකේ පමණක් 2015දී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් ඡන්ද ලක්ෂ හයක් පමණ ගෝඨාභය වෙතට විතැන් වී තිබෙනවා. මේ වෙද්දී ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵලය තීරණය කරන්නේ මේ කණ්ඩායම විසින් බව පැහැදිලියි.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල වල වාර්ගික හා ආගමික සංයුතිය පිළිබඳ සංඛ්‍යානමය විග්‍රහයක් මා ඒ දින වල පළ කළා. මෙවර ප්‍රතිඵලයද ආගමික හා වාර්ගික වෙනස්කම් පදනම් කරගත් සංඛ්‍යානමය ආකෘතියක් මගින් මුළුමනින්ම මෙන් පැහැදිලි කළ හැකියි. මේ අනුව පෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගෙන තිබෙන ඡන්ද වලින් 93.5%ක්ම සිංහල ඡන්ද බවයි. මෙයින්ද 90.2%ක් පමණ බෞද්ධ ඡන්දයි.


සජිත්ගේ ඡන්ද වලින් අඩක් පමණම සිංහල නොවන ඡන්ද වන අතර ඉතිරි අඩ සිංහල ඡන්දයි. මෙවර මැතිවරණ ප්‍රචාරණයේදී ජාතිවාදයට එරෙහිව සෘජුව පෙනී සිටි ජවිපෙ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක විසින් මෙන්ම සිවුවන තැනට පැමිණි මහේෂ් සේනානායක විසින්ද මුළුමනින්ම වාගේ ලබා ගෙන තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්දයි. වාර්ගික ඡන්ද වෙනුවෙන් තරඟ කළ හිස්බුල්ලා හා සිවාජිලිංගම් විසින් අදාළ කණ්ඩායම් අතරින් ඡන්ද ලබා ඇතත්, දෙමළ හා ශ්‍රී ලංකා යෝනක ප්‍රජාව විසින් ප්‍රමුඛ අපේක්ෂකයා ලෙස තෝරාගෙන තිබෙන්නේ සජිත් ප්‍රේමදාසවයි.

රාජාලියා ලකුණින් තරඟ කළ ආරියවංශ දිසානායක විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණ බොහෝ දුරට සජිත්ගේ ඡන්ද වලට සමානුපාතිකයි. ඒ නිසා, රාජාලියාව ඇතැම් ඡන්දදායකයින් විසින් පියාඹන හංසයෙකු සේ හඳුනාගෙන ඇති බව බැහැර කළ නොහැකි ප්‍රවාදයක්. මේ ආකාරයෙන්ම දකුණේ ග්‍රාමීය ප්‍රදේශ වලදී අජන්තා පෙරේරා හා රොහාන් පල්ලෙවත්ත විසින් ලබා ඇති ඡන්ද ගෝඨාභයගේ ඡන්ද වලට සමානුපාතිකයි. ඡන්ද පත්‍රිකාවේ දැකිය හැකි පොල් ගෙඩිය හා බැලුම් බෝලය නෙලුම් පොහොට්ටුවකින් වෙන් කර හඳුනාගැනීම අසීරු වීම මීට හේතුව විය හැකියි.


Sunday, November 17, 2019

නව ජනාධිපතිට සුබපැතුම්!


මේ වන විට, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිල වශයෙන්ම නිකුත් වී අවසන්. මෙතෙක් ලංකාවේ පැවැති අනෙකුත් ජනාධිපතිවරණ සියල්ලේදීම සිදු වූ අයුරින් මෙවරත් ජයග්‍රාහකයා විසින් පහසුවෙන් 50% ඉලක්කය පසු කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රතිශතය 52.25%ක්. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතය 41.99%ක් පමණයි. ජවිපෙ ඡන්ද ප්‍රතිශතය මීට පෙර ජනාධිපතිවරණ වලදී එම පක්ෂයේ අපේක්ෂකයින් විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශත වල මට්ටමින් පහතට වැටී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය, ඉතා පැහැදිලිව නොවූවත්, මුල සිටම පෙනෙන්නට තිබුණු දෙයක්. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ හා එම පෙරමුණ සමඟ එක්ව කටයුතු කළ අනෙකුත් කණ්ඩායම් විසින් 43%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එජාපය හා සජිත්ට සහයෝගය දුන් දෙමළ, මුස්ලිම් පක්ෂ හා කණ්ඩායම් සියල්ලම විසින් ලබා ගත්තේ 36%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ශ්‍රීලනිපය/එජනිසය විසින් 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ජනාධිපතිවරණයේදී එම ඡන්ද වලින් 75%ක් පමණ ගෝඨාභය රාජපක්ෂ විසිනුත් ඉතිරි 25% සජිත් ප්‍රේමදාස විසිනුත් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව ජවිපෙ ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක්ද සජිත් ප්‍රේමදාස වෙත විතැන් වී තිබෙනවා.

ඡන්ද ප්‍රතිඵලයේ තිබෙන කණගාටුදායකම කරුණ ජනවාර්ගික ධ්‍රැවීකරණයයි. ගෝඨාභය රාජපක්ෂ විසින් මුළුමනින්ම වාගේ ලබාගෙන තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්දයි. උතුරු නැගෙනහිර මෙන්ම, පුත්තලම හා මාවනැල්ල වැනි තැන් වලත්, මීගමුවේ හා වත්තලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් දැකිය හැක්කේ වෙනත්ම රටාවක්. ගෝඨාභය රාජපක්ෂට දිවුරුම් දෙන්න සිදු වී තිබෙන්නේ බෙදුණු රටක ජනාධිපති ලෙසයි. සුළුතර වාර්ගික කණ්ඩායම් වල සහයෝගය නොලබා ජනාධිපති වීම සතුටු විය හැකි කරුණක් නෙමෙයි. අනෙක් අතට බහුතර කණ්ඩායමේ සහාය නොලබන අයෙකු සුළුතරයේ බහුතර කැමැත්තෙන් ජනාධිපති සේ පත් වූවානම් එය ඊටත් වඩා අවුලක්.

ජනාධිපතිවරණ සමයේ කවුරු මොනවා කිවුවත් ගෝඨාභය රාජපක්ෂට භාරගන්න වෙන්නේ මෙතෙක් තිබුණු රට මිස අමුතු අලුත් රටක් නෙමෙයි. ජනාධිපති හෝ ආණ්ඩුව වෙනස් වුනා කියා රට හමුවේ තිබෙන අභියෝග වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. පහුගිය ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ ආර්ථිකය වැටෙන්න නොදී අල්ලාගෙන හිටියත් එහි ආකෘතිමය ප්‍රශ්න තවමත් එසේම තිබෙනවා. ආණ්ඩුව වෙනස් වුනා කියා ඒ ප්‍රශ්න වල ස්වරූපය එක රැයින් වෙනස් වන්නේ නැහැ.

දේශපාලනිකව බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ හමුවේ තිබෙන ලොකුම අභියෝගය වන්නේ අත පුච්චා නොගනිමින් ඔහුව බලයට පත් කළ සිංහල බෞද්ධ බහුතර කණ්ඩායමේ අපේක්ෂාවන් ඉටු කිරීමයි. එක් වැරදි තීරණයකින් වීරයා ද්‍රෝහියකු වෙන්න පුළුවන්. තවත් කියන්න බොහෝ දේවල් තිබෙනවා. ඒවා පසුවට තියමු.

අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපේ සුබ පැතුම්!



Saturday, November 16, 2019

කවුරු දිනයිද?


ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ඉදිරි පැය කිහිපය ඇතුළත නිකුත් වීමට නියමිතයි. අවසන් ප්‍රතිඵලය ගැන නිශ්චිතව යමක් කියන්න තවමත් කල් වැඩියි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස හැර වෙනත් අයෙකු විසින් ජනාධිපතිවරණය ජය නොගන්නා බව ඉතා පැහැදිලියි. 

තැපැල් ඡන්ද හෝ දකුණේ දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රකාශ වී ඇති ආකාරය දෙස පමණක් බලා සමස්ත ප්‍රතිඵලය ගැන ස්ථිරව යමක් කිව නොහැකි වුවත් ඡන්ද භාවිතා වී ඇති ආකාරයේ දිශානතීන් ගැන යම් අදහසක් ගත හැකියි. ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස විසින් පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගන්නනම්, වලංගු ඡන්ද වලින් 50%ක් ලබා ගත යුතුයි. අපගේ ඇස්තමේන්තු අනුව මේ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලක්ෂ 66කට ආසන්න ප්‍රමාණයක්. 

ගෝඨාභය හෝ සජිත් විසින් මේ ඡන්ද ප්‍රමාණය ලබා ගන්නනම්, එක් එක් දිස්ත්‍රික්කයෙන් කොපමණ ඡන්ද ප්‍රමාණයක් ඉලක්ක කළ යුතුද? අප විසින් පහත වගුව සකස් කර තිබෙන්නේ එක් එක් අපේක්ෂකයාට එක් එක් දිස්ත්‍රික්කය තුළ තිබෙන ශක්තිය සලකා බලමිනුයි. කිසියම් දිස්ත්‍රික්කයක් තුළ යම් අපේක්ෂකයෙකු අවශ්‍ය ඉලක්ක මට්ටම ආසන්නයට පැමිණ නැත්නම් එයින් පෙනෙන්නේ ඒ අපේක්ෂකයාට 50% ඉලක්කයට යාම අපහසු බවයි. නිල ප්‍රතිඵල ලැබෙන විට මේ වගුව යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

Gotabaya Rajapaksa Sajith Premadasa
Required Current Required Current
Sri Lanka 6,626,250 50.00% 6,924,195 52.25% 6,626,250 50.00% 5,564,289 41.99%
Colombo 654,170 46.10% 727,713 53.19% 764,892 53.90% 559,921 40.92%
Gampaha 766,258 52.34% 855,870 59.28% 697,798 47.66% 494,671 34.26%
Kalutara 463,609 55.65% 482,920 59.49% 369,414 44.35% 284,213 35.01%
Mahanuwara 433,980 46.05% 471,502 50.43% 508,366 53.95% 417,355 44.64%
Matale 179,965 53.07% 187,821 55.37% 159,142 46.93% 134,291 39.59%
Nuwara-Eliya 184,693 39.67% 175,823 36.87% 280,867 60.33% 277,913 58.28%
Galle 435,183 58.15% 466,148 64.26% 313,151 41.85% 217,401 29.97%
Matara 346,009 60.75% 374,481 67.25% 223,511 39.25% 149,026 26.76%
Hambantota 277,825 64.83% 278,804 66.17% 150,725 35.17% 108,906 25.85%
Jaffna 57,904 17.69% 23,261 6.24% 269,471 82.31% 312,722 83.86%
Vanni 34,922 18.72% 26,105 12.27% 151,663 81.28% 174,739 82.12%
Batticaloa 46,609 18.41% 38,460 12.68% 206,630 81.59% 238,649 78.70%
Digamadulla 132,743 35.55% 135,058 32.82% 240,695 64.45% 259,673 63.09%
Trincomalee 57,154 27.44% 54,135 23.39% 151,134 72.56% 166,861 72.11%
Kurunegala 650,582 55.86% 652,278 57.90% 514,034 44.14% 416,961 37.01%
Puttalam 221,415 50.84% 230,760 50.83% 214,074 49.16% 199,356 43.91%
Anuradhapura 322,465 56.05% 342,223 58.97% 252,839 43.95% 202,348 34.87%
Polonnaruwa 131,765 46.86% 147,340 53.01% 149,425 53.14% 112,473 40.47%
Badulla 270,522 48.72% 276,211 49.29% 284,699 51.28% 251,706 44.92%
Moneragala 196,174 61.90% 208,814 65.34% 120,768 38.10% 92,569 28.96%
Ratnapura 443,415 57.86% 448,044 59.93% 322,928 42.14% 264,503 35.38%
Kegalle 318,881 53.25% 320,424 55.65% 280,012 46.75% 228,032 39.60%

Sunday, October 13, 2019

ඇල්පිටි වැල්ලට නොආ රැල්ල

ටික කලක සිට සජිත් පාක්ෂිකයින් විසින් සජිත් රැල්ලක් ගැන කතා කරමින් හිටියා. මෑතකාලීනව දේශපාලන අදහස් අතින් සජිත්ට සමාන සේ සැලකිය නොහැකි මංගල, චම්පික වගේ පිරිසුත් මේ රැල්ල හමන අතටම හබල් ගාන්න පටන් ගැනීමත් එක්ක රටේ කොහොම වුනත්, එජාපය ඇතුළේ ලොකු සජිත් රැල්ලක් ඇති වුනා. ඒ රැල්ලට අහු වෙලා එජාප ජනාධිපති අපේක්ෂකයා විය හැකිව සිටි අනෙකුත් ප්‍රබල තරඟකරුවන් වූ කරු හා රනිල්ගේ නම් වැල්ලේ දිය වී ගියා. එජාප ගාලුමුවදොර රැළියේදීත් එජාප පාක්ෂිකයින්ගේ උද්‍යෝගය කැපී පෙනුනා. නමුත්, ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ සජිත් රැල්ලක් පේන්න නැහැ.

ඒ වගේම, පහුගිය කාලයේ මතු වී ආ තවත් රැල්ලක් වුනේ 225ම එපා කියන රැල්ලයි. මේ රැල්ල එක්ක ගොඩයන්න බලාගෙන විවිධ ස්වාධීන අපේක්ෂකයින් විසින් රුවල් දැම්මා. මේ රැල්ල නිසා වඩාත්ම කලබල වුනු අය අතර ජවිපෙ ඉදිරියෙන්ම හිටියා. කලක සිටම ජවිපෙ විසින් උනුත් එපා මුනුත් එපා කියන අදහස සමාජගත කරමින් සිටි අතර ඒ අදහස යම් පිරිසක් විසින් පිළිගත්තා. 225ම එපා කියන අදහස ආවේ උනුත් එපා මුනුත් එපා කියන අදහස වඩා පුළුල් වෙලා උනුත්, මුනුත් ගොඩට අරුනුත් එකතු වෙලයි. මේ රැල්ලත් එක්ක ජවිපෙ එක්තරා උභතෝකෝටිකයට මුහුණ දුන්නා. ජවිපෙට ඉදිරියට යන්න "උනුත් එපා මුනුත් එපා" කියන අදහස ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය වුවත්, ඒ අදහස වර්ධනය වීමේ ස්වභාවික ප්‍රතිඵලයක් විදිහට "225ම එපා" කියන අදහස ප්‍රවර්ධනය වීම වලක්වා ගැනීමේ අභියෝගයට ඔවුන්ට මුහුණ දෙන්න වුනා. ඒ නිසා, ස්වාධීන පුද්ගලයකු සඳහා වූ ඉල්ලීම යටපත් කරමින් පක්ෂ ක්‍රියාකාරිකයෙකු තරඟයට දමන්න ජවිපෙට සිදු වුනා. ජවිපෙ සාමාජිකයින් තුළත් ජනාධිපතිවරණය පිළිබඳ ලොකු බලාපොරොත්තු තිබුණු බව ඔවුන්ගේ ගාලු මුවදොර රැළියෙන් පෙනුණත් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළනම් ජවිපෙ රැල්ලක් පේන්න තිබුණේ නැහැ.

ගෝඨා රැල්ල ඔය දෙකටම වඩා පරණ රැල්ලක්. කලින්ම ආ ගෝඨා රැල්ල කලින්ම බිඳී ගියා. ගෝඨා තරඟයට ඉදිරිපත් වන විට පීක් එක ඉවරයි. නමුත්, ගෝඨා හිටියේ අනෙක් අපේක්ෂකයින්ට වඩා ගොඩක් ඉදිරියෙන්. මගේ තක්සේරුව අනුවනම් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ ගෝඨා රැල්ලක් කියා එකකුත් නැහැ.

පහුගිය දවස් වල මා ලංකාවේ මා සාමාන්‍යයෙන් කතා කරන කිහිප දෙනෙකුට කතා කළා. විවිධ දේශපාලන පක්ෂ වලට කඩේ යන්නන්, රැල්ල හමන අතට ඔරුව පදින්නන් හා නිර්පාක්ෂිකයින් ඇතුළු විවිධ කොටස් ඇතුළත් මේ පිරිස ලංකාවේ දේශපාලන ප්‍රවණතා ගැන අදහසක් ගැනීම සඳහා ප්‍රමාණවත් නියැදියක් බව බොහෝ වර තහවුරු වී තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණ වලට පෙර මේ පිරිසට කතා කළ විට පොදුජන පෙරමුණ අනපේක්ෂිත ලෙස ඉදිරියට එන බව පෙනුනත්, ඒ වෙලාවේ එවැන්නක්‌ සිදු වේයැයි මට හිතුනේ නැහැ. එහෙත්, මැතිවරණයෙන් පසුව තේරුණේ මගේ නියැදිය මත විශ්වාසය තැබිය හැකිව තිබුණු බවයි.

මෙවර කතා කළ විට පෙනුනේ ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් ඇති බවයි. ඒ වගේම ගෝඨාභය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ කිසියම් වික්ෂිප්ත භාවයක් ඇති බවයි.

ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, මේ රැල්ල තිබෙන්න අරටු බැහැපු එජාප පාක්ෂිකයින් අතරම මිස එයින් පිටත නෙමෙයි. මේ වෙද්දී ගම් වල ඉතිරි වී ඉන්නේ ඉතා සීමිත එජාප පවුල් ගණනක්. ඔවුන් ඉතාම අභියෝගාත්මක තත්ත්වයන් යටතේත් පක්ෂය අත් හැර නොගිය අයයි. රනිල්ගේ නායකත්වය යටතේ මේ පිරිසට ලැබුණු දෙයක් නැහැ. සජිත්ගේ නායකත්වය යටතේ තමන්ට යමක් ලැබෙයි කියා මේ පිරිස හිතනවා. ඒ නිසා, ගම් වල සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, ඒ රැල්ල එජාප ඡන්ද ප්‍රතිශතය ඉහළ දමන මට්ටමකට ඇවිත් නැහැ. සිදු වී තිබෙන්නේ පාක්ෂිකයින්ගේ උද්‍යෝගය වැඩි වීමක් පමණයි.

ඒ වගේම, ගම් වල බොහෝ දෙනෙක්ට ගෝඨාභය වැදගත් චරිතයක් නෙමෙයි. බොහෝ දෙනෙක්ට ඔහු වැදගත් වන්නේ මහින්දගේ සහෝදරයා හා නියෝජිතයා ලෙසයි. ගම් වල බොහෝ පිරිසක් තවමත් භක්තිමත් මහින්දවාදීන්. මහින්දගේ සහයෝගය ලබන කාට වුවත් මේ පිරිසගේ ඡන්ද ලැබෙනවා. ඇල්පිටියේදී පොදුජන පෙරමුණට ලැබී තිබෙන්නේත් මේ මහින්දවාදීන්ගේ ඡන්දයි.

මේ වන විට එජාපයට හා පොදුජන පෙරමුණට (පැරණි ශ්‍රීලනිපයට) වගේම ජවිපෙටත් රටේ ස්ථිර ඡන්ද පදනමක් තිබෙනවා. ජවිපෙ රැල්ලක් තිබෙනවානම් තිබෙන්නේ මේ ඡන්ද පදනම තුළයි. ඔවුන් මේ ඡන්ද පදනම පුළුල් කරගන්න විශාල උත්සාහයක් දරනවා.

එක පැත්තකින් එජාප හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන විරෝධයට වඩා ලොකු විරෝධයක් ජවිපෙ හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන නිසා ජවිපෙට පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ආකර්ෂණය කර ගැනීම සිහිනයක්. අනෙක් පැත්තෙන්, මේ වෙද්දී එජාපය මොනවා කළත් අත නොහරින පිරිසක් හැර අනෙක් සියලු දෙනාම වගේ එජාපය හැර ගොස් අවසන් නිසා ජවිපෙට ආකර්ශනය කර ගත හැකි ඡන්ද ඒ ගොඩේත් නැහැ. ජවිපෙ විසින් ඉලක්ක කරන්නේ ඔය දෙකටම නැති පිරිසයි.

ජවිපෙ තුළ තිබෙන රාජපක්ෂ විරෝධය එජාප විරෝධයට වඩා වැඩියි. මේ නිසා, කලක සිටම ජවිපෙට රතු අලි ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබලය ගැන ජවිපෙ එතරම් වද වෙන්නේත් නැහැ. ජවිපෙ විසින් දැන් හදාගෙන තිබෙන ජාතික ජන බලවේගයේ ලාංඡනයත් ටිකක් විතර රතු අලියෙක්ගේ රූපයක් වගේ.

ජවිපෙ විසින් මේ වෙලාවේ උත්සාහ ගනිමින් ඉන්නේ සමාජවාදීන්ගේ හෝ ධනපති විරෝධීන්ගේ ඡන්ද ආකර්ශනය කර ගන්න නෙමෙයි. එහෙම කරලා දැන් ඉන්න තැනින් අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි බව ඔවුන් නිවැරදිව අවබෝධ කරගෙන ඉන්නවා. ඇත්තටම කියනවානම් ජවිපෙට දැන් ඇණයක් වී තිබෙන්නේ ඔවුන්ගේම ඉතිහාසයයි. ඒ නිසා, ඔය රතු අලි හංවඩුව එක පැත්තකින් බැලුවහම ජවිපෙට වෙස් වලාගත් ආශීර්වාදයක්. ඇතැම් පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ජවිපෙට මඩ ගහන්න හිතාගෙන විවිධ දේ ප්‍රචාරය කරනවා. එවැනි එක පොස්ටුවක සැබෑ අව්‍යාජ විප්ලවවාදී නායකයින් කියා රෝහණ විජේවීර ඇතුළු පිරිසකුත්, ධනපතියන්ට කඩේ යන නායකයින් කියා අනුර කුමාර ඇතුළු පිරිසකුත් පෙන්වනවා. මම හිතන්නේ මේ වෙලාවේ මේ වගේ පෝස්ට් ජවිපෙට වාසියි.

ඇල්පිටියට නැවත ආවොත්, එහි ප්‍රතිඵලය මා ඉහත සඳහන් කළ ප්‍රවාද සියල්ල සමඟ මනාව සැසඳෙනවා. එජාපය විසින් ලබාගෙන තිබෙන්නේ 2015 ජනවාරියට පෙර ඔවුන් ලබාගත් අවම එජාප ඡන්ද ප්‍රතිශතය පමණයි. ජවිපෙ ලබාගෙන තිබෙන්නේත් ඔවුන්ගේම පාක්ෂික ඡන්ද පමණයි. පොදුජන පෙරමුණ කියලාත් වෙනසක් නැහැ. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ විසින් (ඔවුන්ගේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම්ද ඇතුළත්ව) ලබාගත්තේ 41.2%ක ඡන්ද ප්‍රතිශතයක් වුවත්, 2015 ජනාධිපතිවරණයේදී මහින්ද විසින් 47.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ඇල්පිටිය ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ පොදුජන පෙරමුණ තවමත් ඉන්නේ ඒ මට්ටමට පහළින් බවයි. මෙයින් පෙනෙන්නේ ගෝඨාගමනයෙන් පසුව මහින්දවාදී ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි.

සමස්ත ප්‍රතිඵලයම විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ පොදුජන පෙරමුණේ, එජාප හෝ ජවිපෙ ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි. එසේනම් ඉතිරි ඡන්ද ටික කෝ?

ඇල්පිටිය ඇතුළේනම් මේ ඡන්ද ටික තිබෙන්නේ එජනිස ගොඩේ. නමුත්, මේ එජනිස ඡන්ද ඇත්තටම එජනිස ඡන්දද?

මම හිතන විදිහටනම් මේ ඡන්ද එජනිස ඡන්දම නෙමෙයි. වෙනත් විකල්පයක් නැති තැන පොදුජන පෙරමුණ, එජාප හා ජවිපෙ තුනම එපා වී සිටින පිරිස ඒ විරෝධය පෙන්වීම පිණිස එජනිසය තෝරා ගෙන තිබෙනවා වෙන්න පුළුවන්. වෙනත් අයුරකින් කිවුවොත්, පාවෙන ඡන්ද ටික තියෙන්නේ එජනිස ගොඩේ. ජනාධිපතිවරණයට එජනිස අපේක්ෂකයෙකු ඉදිරිපත්ව නැති පසුබිමක මේ ඡන්ද වල ඉදිරි හැසිරීම ගොඩක් වැදගත්.

ගොඩක් අය චම්පිකව හඳුනා ගන්නේ රැල්ල හමන පැත්ත ගැන ඉවක් තිබෙන දේශපාලනඥයෙකු ලෙසයි. මංගලත් මේ ගොඩට දැමිය හැකි, තියුණු දේශපාලන ඉවක් තිබෙන දේශපාලනඥයෙක්. ඔවුන් සජිත්ගේ පැත්ත ගත්තේ මෙවර ඔවුන්ට ගණන් වැරදුනු නිසාද? පැත්තක සිටින අපට නොපෙනෙන බොහෝ දේ දේශපාලනය ඇතුළේ සිටින ඔවුන්ට පෙනෙන නිසා එය එසේයැයිම හිතන්නත් අමාරුයි.

මේ වන විට දැකිය හැකි ඡන්ද සංයුතිය අපට 2015 ජනාධිපතිවරණයට පෙර පැවති ඡන්ද සංයුතිය සමඟ සැසඳිය හැකියි. ජනාධිපතිවරණයට පෙර අවසන් වලට පැවැත්වුණේ පළාත් සභා මැතිවරණයි. වට හතරකින් පැවැත්වුණු එම මැතිවරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය මෙසේයි.

එජනිස- 54.0%
එජාප- 26.4%
ජවිපෙ- 4.0%
ප්‍රපෙ- 4.0%
වෙනත්- 11.6%

මෙවැනි පසුබිමක පැවති ජනාධිපතිවරණයෙන් එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයගත්තේ නැහැ. ප්‍රතිඵලය වුනේ මෙවැන්නක්.

මහින්ද රාජපක්ෂ- 47.6%
මෛත්‍රීපාල සිරිසේන- 51.3%

එජාප, ජවිපෙ, ප්‍රපෙ හා දෙමළ මුස්ලිම් පක්ෂ වල ඡන්ද සියල්ල ලැබුණේ මෛත්‍රීපාල සිරිසේනට කියා හිතුවත්, ඔහු එජනිස ඡන්ද වලින් 6.5%ක් පමණද ලබාගෙන තිබෙන බව පැහැදිලියි. මේ ඡන්ද එජාප හෝ ජවිපෙ ඡන්ද නොවන, රාජපක්ෂ විරෝධී ඡන්දයි. එම පළාත් සභා ඡන්ද වටයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබුණු ඡන්ද දමන්න වෙන්නේත් මේ ගොඩටයි. එවිට, එජාප, ජවිපෙ හෝ සුළු ජාතික පක්ෂ වල ඡන්ද නොවන රාජපක්ෂ විරෝධී ඡන්ද එකතුව 10.5%ක් පමණ වෙනවා. මා හිතන විදිහට ඇල්පිටියේදී එජනිසයට ලැබුණු ඡන්ද වැඩි ප්‍රමාණයක් මේ ඡන්දයි.

පසුගිය ජනාධිපතිවරණයට පෙර තත්ත්වය හා සැසඳූ විට එජාප හා ජවිපෙ පක්ෂ දෙකම ඉන්නේ තරමක් ඉදිරියෙන්. ඒ වගේම, පොදුජන පක්ෂය තනිව ගතහොත් ඉන්නේ 2016දී මහින්ද රාජපක්ෂ සිටියාට වඩා දුර්වල තැනකයි. එජාප, ජවිපෙ හා සුළු ජාතික පක්ෂ සියල්ලේම ඡන්ද එකතු කළත්, පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතයට අඩුයි. එහෙත්, වෙනස එතරම් විශාල නැහැ. ඒ වගේම, මේ දෙගොඩෙන් එක් ගොඩක්වත් 50% මට්ටම ආසන්නයේ නැහැ. ඒ නිසා, මැතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපාන්නේ එජනිස ඡන්ද සේ පෙනෙන්නට තිබෙන, එහෙත් එජනිස ඡන්ද කියා මා නොසිතන සැලකිය යුතු තරම් විශාල පාවෙන ඡන්ද ප්‍රතිශතයයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගිලිහුණු ඡන්ද නැවත ආකර්ශනය කර ගැනීමට පොදුජන පෙරමුණ අසමත් වීම විශේෂ අවධානයට යොමු විය යුතු කරුණක්. එයින් පෙනෙන්නේ, 2015 ජනවාරියේදී වූ මේ පිරිසගේ රාජපක්ෂ විරෝධය මේ වන විටත් මුළුමනින්ම සමනය වී නැති බවයි. එසේ වුවත්, මේ ඡන්ද එජාපය හෝ ජවිපෙ වෙත ආකර්ශනය වී නැහැ. ඒ වගේම, මේ පිරිස දේශපාලනිකව  සබුද්ධික පිරිසක් නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර ඉන්න හේතුවක් නැහැ. එය බොහෝ විට තමන් අකැමැති විකල්ප අතරින් අඩු නරක තෝරා ගැනීමක් විය හැකියි කියා සිතන්න පුළුවන්. ඒ නිසා, අවසන් ප්‍රතිඵලය තීරණය විය හැක්කේ ඉදිරි මාසය ඇතුළත ප්‍රධාන අපේක්ෂකයින් හා මේ වෙලාවේ ලංකාවේ දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි මෛත්‍රීපාල සිරිසේන වැනි වෙනත් ඇතැම් අය හැසිරෙන ආකාරය මතයි.

Friday, October 11, 2019

ඇල්පිටි සංඥාව


ඇල්පිටියේ පොඩි ඡන්දයේ ප්‍රතිඵල මේ වන විට පිට වී තිබෙනවා. ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 56.3%
එජාප - 24.4%
එජනිස - 12.7%
ජවිපෙ - 5.9%
වෙනත් - 0.7%

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම් වලදී ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය සභා වල සමස්ත ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 51.9%
එජාප - 25.2%
එජනිස - 12.1%
ජවිපෙ - 6.1%
වෙනත් - 4.7%

ඉහත ප්‍රතිඵල සසඳා බැලූ විට පසුගිය මාස 20 ඇතුළත සිදු (නො)වී තිබෙන වෙනස්කම් නිරීක්ෂණය කළ හැකියි.

1. සජිත් රැල්ලක් කියා එකක් නැත. එජාප ග්‍රාමීය ඡන්ද තරමකින් හෝ අඩු වී මිස වැඩි වී නැත.
2. ජවිපෙ රැල්ලක් කියා එකක්ද පෙනෙන්නටවත් නැත.
3. පොදුජන පෙරමුණේ ඡන්ද යම් තරමකින් වැඩි වී ඇත. එහෙත්, ඒ වැඩි වූ ඡන්ද ප්‍රතිශතය සමඟ වුවද පොදුජන පෙරමුණ තනිව රටේ 50%ක ඡන්ද ගත හැකි තැනක නැත.
4. ශ්‍රීලනිප ඡන්ද යම් තරමකින් හෝ වැඩි වී මිස අඩු වී නැත.

පුංචි ඡන්දය පිළිබඳව මා අනාවැකි පළ නොකළත්, මගේ ඇස්තමේන්තුව වූයේ 2018 පෙබරවාරියේදී ශ්‍රීලනිපය විසින් ලබාගත් ඡන්ද වලින් අඩක්වත් මේ වන විට පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී තිබිය යුතු බවයි. එහෙත් එය එසේ වී නැත. එයින් පෙන්නේ රාජපක්ෂලා සමඟ මොනවා හෝ ප්‍රශ්න තිබෙන සැලකිය යුතු පිරිසක් ශ්‍රීලනිපය සමඟ තවමත් රැඳී සිටින බවයි. මේ පිරිස පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී නැති අතර එජාප හෝ ජවිපෙ වෙතද ගොස් නැත. ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය මත පදනම්ව මේ පිරිස ජනාධිපතිවරණයේදී කෙසේ හැසිරෙනු ඇත්දැයි නිගමනය කළ නොහැකිය.

ඇල්පිටිය ප්‍රතිඵලය ලංකාව ආදේශ කළ විට පෙනෙන චිත්‍රය මෙවැන්නකි.

ශ්‍රීලපොප- 44.7%
එජාප - 28.6%
එජනිස - 12.7%
ජවිපෙ - 5.6%
වෙනත් - 8.4%

මේ අනුව පෙනෙන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කෙරෙන්නේ පොදුජන පෙරමුණ වෙත ගොස් නැති ශ්‍රීලනිප ඡන්ද වලින් බවයි.

(Image: https://www.arabnews.com/node/1562771/world)

රටම බලා සිටින ඇල්පිටිය



මේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵලය දෙස රටම බලා සිටිනවා. තව පැය විසිහතරක් ඇතුළත ප්‍රතිඵලය දැන ගන්න පුළුවන් වෙයි.

ඇල්පිටිය කියන්නේ ලංකාව නෙමෙයි. සමස්ත ලංකාවට සාපේක්ෂව ඇල්පිටිය කියන්නේ සිංහල, බෞද්ධ, ග්‍රාමීය ප්‍රදේශයක්. ඒ නිසා, ඇල්පිටිය ප්‍රතිඵලය සෘජුවම ලංකාවට ආදේශ කළ නොහැකි වුවත්, ඇල්පිටිය ප්‍රතිඵලය දෙස බලා සමස්ත ලංකාව ගැන නිගමන වලට එළැබීමේ හැකියාවක් නැත්තේම නැහැ. ඇල්පිටිය ප්‍රතිඵලය කියන්නේ පසුගිය මාස 20 ඇතුළත ඡන්දදායකයන්ගේ හැසිරීම වෙනස් වී ඇති ආකාරය පරීක්ෂා කළ හැකි කැඩපතක්.

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පිරික්සූ විට කිසියම් පැහැදිලි රටාවක් හඳුනාගත හැකියි. ඒ රටාවෙන් වෙනස් රටාවක් දැකිය හැක්කේ වෙනස් ජනවාර්ගික සංයුතියක් ඇති නාගරික ප්‍රදේශයක් වන ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ පමණයි. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය හා ඡන්දය නොපැවැත්වුණු ඇල්පිටිය හැර ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 51.8%
එජාප - 25.3%
එජනිස - 12.1%
ජවිපෙ - 6.1%
වෙනත් - 4.7%

ඇල්පිටිය ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වීමෙන් පසුව එම ප්‍රතිඵලය සැසඳිය යුත්තේ ඉහත ප්‍රතිඵලය සමඟයි.

Wednesday, August 14, 2019

ගෝඨාභය දිනයිද?


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විදිහට මේ වන විට ගෝඨාභය රාජපක්ෂව නම් කර තිබුණත්, එජාපය හෝ කිසියම් ඡන්ද පදනමක් තිබෙන වෙනත් පක්ෂයක් තවමත් තමන්ගේ අපේක්ෂකයකු නම් කර නැහැ.

සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්න සෑහෙන සටනක් කරනවා. අවසානයේදී සජිත් එජාප අපේක්ෂකයා වෙයි කියා අපේ වියුණුවේ ප්‍රතිචාර දමන කිහිප දෙනක්ම හිතන බව පෙනෙනවා. වෙනත් නම්ද කියැවෙනවා. ජවිපෙ විසින් ඔවුන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙන බවක්ද කියැවෙනවා. මුස්ලිම් පක්ෂ එකතු වී අපේක්ෂකයෙකු දමන කතාවක්ද තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂව පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පත් කරනු ලැබූ බව කීවත් ඇත්තටම වුනේ පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ඔහුට නොදී බැරි වීමයි. එජාප අපේක්ෂකත්වය සජිත්ට ලැබෙනු ඇතැයි ඇතැම් අය හිතන්නේත් ඒ පදනමින්ම වෙන්න පුළුවන්.

නමුත්, ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සජිත් කරන සටනේත්, ගෝඨාභය වෙනුවෙන් කෙරුණු සටනේත් වෙනසක් තිබෙනවා. ගෝඨාභය වෙනුවෙන් සටන් කළේ ගෝඨාභය අවශ්‍යයැයි සිතූ වෙනත් අයයි. ගෝඨාභය කළේ මේ ඉල්ලීමට අවනත වීමයි. නමුත්, සජිත්ගේ සටන බොහෝ දුරට ඔහුගේ පෞද්ගලික සටනක්.

එයින් කියන්නේ සජිත්ව ඉල්ලා සිටින වෙනත් අය නැති බව නෙමෙයි. සජිත් ඔය සටන කරන්නේ ඒ වෙනත් අයගේ බල කිරීම නිසා නොවන බවයි. නමුත්, ගෝඨාභයට එවැනි ඉල්ලුමක් නොතිබුණානම් ඔහු තමන්ගේ ඇමරිකානු පුරවැසිකම තියාගෙන පැත්තකට වී සිටිය හැකිව තිබුණා.

නලින් ද සිල්වා විසින් ගෝඨාභයව හඳුන්වා තිබෙන්නේ reluctant politician කෙනෙක් ලෙසයි. ඒ කියන්නේ වෙනත් අයගේ බල කිරීම නිසා දේශපාලනයට පැමිණි කෙනෙක් ලෙස. මේ කතාව බොරුවක් නෙමෙයි. ඇමරිකාවට වී සිටි ගෝඨාභය ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම් ධුරය භාර ගත්තේත් ඔය වගේ පසුබිමකයි. ඉන් පසුව, ගෝඨාභය පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස කටයුතු කළා.

ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවෙකු වූ බව කිවුවත්, ගෝඨාභය විසින් බොහෝ විට කළේ ඔහුට ලබා දුන් විශේෂිත වගකීම් හෝ ඉලක්ක හා අදාළ කටයුතුයි. එයට ඔහුගේ හමුදා විනය හේතු වෙන්න ඇති. හමුදා නිලධාරියෙක් සාමාන්‍යයෙන් ලබා දුන් ඉලක්කයක් කරා යාම ගැන හිතන්න වෙහෙසෙනවා මිස සාමාන්‍ය වෘත්තීය දේශපාලනඥයෙකු මෙන් ධුරාවලියේ ඉහළට යාම ප්‍රධාන ඉලක්කයක් කර ගන්නේ නැහැ. මේ ලක්ෂණය සරත් ෆොන්සේකාගෙනුත් දෘශ්‍යමාන වෙනවා.

වෘත්තීය දේශපාලනඥයින් හිතන්නට හා ක්‍රියා කරන්නට පුහුණු වී තිබෙන ආකාරය අනුව ඔවුන්ගේ ඔලු හැම විටම වැඩ කරන්නේ බලය කරා යාම හා ලබා ගත් බලය රැකගැනීම ගැන හිතන්නයි. අනෙක් දේවල් කරන්නේ බලය කරා යාමට හා බලය රැක ගැනීමට උදවුවක් ලෙසයි. මහින්ද, රනිල්, සජිත්, චම්පික වැනි ගොඩක් අය ඉන්නේ ඔය ගොඩේ. ගෝඨාභයම වුවත් වෘත්තීය දේශපාලනඥයෙක් සේ පරිණත වීමේදී මේ තත්ත්වයටම පත් වෙන්න පුළුවන්.

ලංකාවේ මෙතෙක් පැවති සෑම ජනාධිපතිවරණයකදීම ජයගත් අපේක්ෂකයා විසින් 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණත් ලංකාවේ ජනාධිපති වීම සඳහා 50%ක ඡන්ද ගැනීම අවශ්‍යම නැහැ. රටේ වැඩි දෙනෙකුගේ වැඩි කැමැත්ත තිබෙන අපේක්ෂකයා වීම ඒ සඳහා ප්‍රමාණවත්. ජනාධිපතිවරණයකදී අනුපිළිවෙලින් මනාප තුනක් ලකුණු කරන්න අවස්ථාව දී තිබෙන්නේ මේ වැඩි කැමැත්ත හොයා ගන්නයි. එහෙත්, මෙතෙක් කිසි විටෙකත් මේ දෙවන තුන්වන මනාප ගණන් කරන්න අවශ්‍ය වී නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි තනි දේශපාලන පක්ෂයයි. පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එම පෙරමුණ හා එම පෙරමුණේ අනුග්‍රහය ලැබූ ස්වාධීන කණ්ඩායම් විසින් ලබාගත් 41.24% යනු ගෝඨාභය රාජපක්ෂට ලබා ගත හැකි ඡන්ද ප්‍රමාණයේ අවම සීමාවක්.

පළාත් පාලන මැතිවරණ පැවැත්වෙද්දී පොදුජන පෙරමුණ ඉතිහාසයක් නැති, හරියකට අයිතිකාරයෙක් නැති පක්ෂයක්. එතරම් වැදගත්කමක් නොතිබුණු පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ අය විසින් කළේ යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව දෙකට තමන්ගේ විරෝධය පෙන්වීම පමණයි. එසේ කිරීමෙන් ඒ අය බලාපොරොත්තු වූ වෙනත් දෙයක් නැහැ. ඒ වගේම, වෙනත් වචන වලින් කිවුවොත්, මේ ඡන්දදායකයින් විසින් කළේ මහින්ද රාජපක්ෂ කෙරෙහි තමන්ගේ වූ පක්ෂපාතීත්වය පෙන්වීමයි.

කොහොම වුනත්, පළාත් පාලන ඡන්ද පැවැත්වෙන විට මහින්ද නිල වශයෙන් ශ්‍රීලනිප සාමාජිකයෙක්. ශ්‍රීලනිපයත්, ශ්‍රීලනිප හෝ එජනිස ලෙස පළාත් පාලන මැතිවරණ වලට තරඟ කර 12.07%ක ඡන්ද ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. පැරණි ශ්‍රීලනිපයේ තැනට පොදුජන පෙරමුණ පත් වී ඇති බව පැහැදිලිව තිබෙන පසුබිමක, ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ සන්ධානගත නොවූවත් මේ ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් ශ්‍රීලනිප හා තවමත් රැඳී සිටින දේශපාලනඥයින් ගණනාවක්ද සමඟ පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වීම නොවැලැක්විය හැකියි. නමුත්, එම ප්‍රමාණය ගෝඨාභයට 50% සීමාවට යාමට අවශ්‍ය වන 8.74%ට වඩා අඩුද වැඩිද කියන එක තවත් සාධක ගණනාවක් මත තීරණය වන්නක්.

වෙනත් තැනකින්, එනම් 2015 ජනවාරි ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් විශ්ලේෂණය පටන් ගත්තොත්, මහින්ද රාජපක්ෂ විසින් එම මැතිවරණයේදී 47.58%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ශ්‍රීලනිප හා තවමත් රැඳී සිටින දේශපාලනඥයින් හා ඡන්දදායකින්ගෙන් කොටසක් ජනාධිපතිවරණයට පෙර නිරුත්සාහයෙන් ආකර්ෂණය කර ගැනීමේ උපකල්පනය මත, එම ඡන්ද ප්‍රතිශතය ඉදිරි ජනාධිපතිවරණයකදී ගෝඨාභයට ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවන නිසා ඔහුගේ අවම සීමාව පහසුවෙන්ම 47.58% මට්ටම දක්වා ඔසොවන්න පුළුවන්.

කෙසේ වුවත්, 2015 ජනවාරියේදී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නැහැ. එම මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් 51.28%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළා. ඒ නිසා, ගෝඨාභයට පළමු වටයෙන් 50% මට්ටමට ළඟා වී පහසු ජයග්‍රහණයක් ලබන්නනම් 2015 ජනවාරියේදී මහින්දට එරෙහිව මෛත්‍රීපාල විසින් ලැබූ ඡන්ද වලින් කිසියම් ප්‍රමාණයක්ද ලබා ගත යුතු වෙනවා. මේ ප්‍රමාණය විශාල ප්‍රමාණයක් නොවූවත් එම සුළු ඡන්ද ප්‍රමාණය මැතිවරණ ප්‍රතිඵලයට ඉතා තීරණාත්මක ලෙස බලපානවා.

කෙසේ වුවත්, පෙර කී පරිදි, ගෝඨාභයට ජයග්‍රහණය පිණිස 50%ක ඡන්ද ලබා ගැනීම අවශ්‍ය වන්නේ 2015 ජනවාරියේදී මෙන් ඔහුට එරෙහිව පොදු අපේක්ෂකයෙකු මැතිවරණයට ඉදිරිපත් වන පසුබිමකදීයි. සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි තෙවන අපේක්ෂකයින් ඡන්දයට ඉදිරිපත් වේනම්, ගෝඨාභයට ජයග්‍රහණය කිරීමට 50%ක ඡන්ද අවශ්‍ය වන්නේ නැහැ.

පොදුජන පෙරමුණ හැරුණු විට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි තනි පක්ෂය එජාපයයි. එජාපය පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී ලබාගත්තේ 29.41%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මෙය ගෝඨාභයට ලබා ගැනීමට අසීරු නොවන ඉලක්කයක් වන 47.58% මට්ටමට වඩා බොහෝ අඩු ප්‍රතිශතයක්. ඒ නිසා, කවර හෝ එජාප අපේක්ෂයෙකුට පටන් ගන්න වෙන්නේ ගෝඨාභයට වඩා බොහෝ අවාසිදායක තැනක සිටයි. එජාප හෝ එජාප සහයෝගය ලබන අපේක්ෂකයෙකුට පළාත් පාලන මැතිවරණ වලදී දෙමළ හා මුස්ලිම් පක්ෂ විසින් ලබාගත් ඡන්ද වැඩි ප්‍රමාණයක්ද ලබාගත හැකි නිසා මේ පරතරයෙන් කොටසක් අඩු වෙනවා.


ඉකොනොමැට්ටාගේ ඇස්තමේන්තු අනුව, 2015 ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද වලින් 57.9%ක්ද, දෙමළ නොවන කතෝලික හා ක්‍රිස්තියානි ඡන්ද වලින් 44.7%ක්ද, ශ්‍රී ලාංකික දෙමළ ඡන්ද වලින් 18.2%ක්ද, ඉන්දියානු දෙමළ ඡන්ද වලින් 19.6%ක්ද, ඉස්ලාම් භක්තිකයින්ගේ ඡන්ද වලින් 11.5%ක්ද ලබාගත්තේ මහින්ද රාජපක්ෂ විසිනුයි. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලාංකික දෙමළ හෝ ඉස්ලාම් ඡන්ද වලින් මීට වඩා වැඩි ප්‍රතිශතයක් ලැබේයැයි සිතන්න බැහැ. ඇතැම් විට මේ ප්‍රතිශත යම් තරමකින් අඩු වෙන්න වුවත් පුළුවන්. ඉන්දියානු දෙමළ පදනමක් ඇති දේශපාලන පක්ෂ වල සහයෝගය ලැබීම මත ඉන්දියානු දෙමළ ඡන්ද ප්‍රතිශතය තරමක් වාසිදායක ලෙස වෙනස් කර ගැනීමේ හැකියාවක් තිබුණත් එහි සමස්ත බලපෑම එතරම් විශාල නැහැ. ඒ නිසා, 50% මට්ටමට යන්නනම්, ගෝඨාභයට ඉලක්ක කරන්න වෙන්නේ සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ඡන්ද ප්‍රතිශත ඉහළ දමා ගැනීම කෙරෙහියි.

සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ඡන්දදායකයින්ගේ ප්‍රතිශතය ආසන්න වශයෙන් 75%ක් පමණ වෙනවා. 50% මට්ටමට යාමට ගෝඨාභයට අඩු 2.42%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. සිංහල ඡන්ද වලින් 2015දී නොලැබුණු ඡන්ද 3.23%ක් ලබා ගත්තොත් මේ ඉලක්කය සම්පූර්ණ වෙනවා. මෙය සිංහල බෞද්ධ ඡන්ද වලින් 61.1%ක් හා සිංහල කතෝලික හා ක්‍රිස්තියානි ඡන්ද වලින් 47.9%ක ඉලක්කයක් කියා කියන්නත් පුළුවන්.

ප්‍රතිවාදී අපේක්ෂයෙකුට ගෝඨාභයව අභිබවන්නටනම්, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අමතරව ගෝඨාභය විසින් මෛත්‍රීපාල සිරිසේන විසින් 2015දී ලබාගත් සිංහල ඡන්ද වලින් 3.23%ක් ලබා ගැනීම වලක්වන්නටද සිදු වෙනවා. ඒ සඳහා උත්සාහයක් හෝ දරන්නනම් දෙමළ හා මුස්ලිම් ඡන්ද අඩු කර නොගෙන 2015දී මෛත්‍රීපාල සිරිසේන වෙත ලැබුණු සිංහල ඡන්ද ද රඳවාගත හැකි පුද්ගලයෙකු පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන්න සිදු වෙනවා.

ලංකාවේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ බොහොමයක්ම අපේක්ෂකයින් දෙදෙනෙකු අතර පැවති තරඟයි. ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි තෙවන තරඟකරුවෙකු සිටියේ අවස්ථා තුනකදී පමණයි. ඒ, ජවිපෙ වෙනම තරඟ කළ අවස්ථා දෙකේදී හා ඔසී අබේගුණසේකර තරඟ කළ අවස්ථාවේදීයි. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර තරඟ කළ 1982දී ඔහු 4.19%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. 1999දී ජවිපෙ අපේක්ෂක නන්දන ගුණතිලක විසින් 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ජවිපෙ තරඟ නොකළ හා ඡන්දය දැමූවන්ට මරණ තර්ජන කළ 1989දී ඔසී අබේගුණසේකර විසින්  4.63%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. කිසිදු තෙවන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකදී 5% මට්ටමට ගොස් නැහැ.

මෙවර දෙමළ පක්ෂ වලින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙන බවක් පෙනෙන්නට නැහැ. එම පක්ෂ වල අභිලාශය වන්නේ ගෝඨාභයට එරෙහිව ඉදිරිපත් වන ප්‍රධාන ප්‍රතිවාදියාගේ ජයග්‍රහණය බව පැහැදිලියි. මුස්ලිම් දේශපාලන පක්ෂ එකතු වී අපේක්ෂයෙකු ඉදිරිපත් කරන බව කීවත්, එවැන්නක් සිදු වේයැයි මා හිතන්නේ නැහැ. මේ වෙලාවේ, ජන වාර්ගික කණ්ඩායමක් ලෙස සැලකූ විට ගෝඨාභයට වඩාත්ම ප්‍රතිපක්ෂව ඉන්නේ මුස්ලිමුනුයි. ඒ නිසා, ඔවුන්ට ගෝඨාභය බලයට පැමිණීම වලක්වන්න තිබෙන්නේ දෙමළුන්ට තිබෙනවාටත් වඩා උවමනාවක්. ගෝඨාභයගේ ප්‍රතිවාදියාට ඡන්දය නොදී මුස්ලිම් අපේක්ෂකයෙකුට ඡන්දය දීමෙන් තමන්ගේ අපේක්ෂාව ඉටු නොවන බව සාමාන්‍ය මුස්ලිමුන් දන්නා නිසා යම් හෙයකින් එවැනි අපේක්ෂකයෙකු ඉදිරිපත් වුනත් එවැන්නෙකුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි වන එකක් නැහැ. මුස්ලිම් දේශපාලන පක්ෂ මේ බව හොඳින්ම දන්නා නිසා ඔවුන් එවැනි අපේක්ෂකයෙකු දමන්න ලොකු ඉඩක් නැහැ.

ජවිපෙ අද ඉන්නේ 1982දී හා 1999දී හිටියාට වඩා තරමක් හෝ දුර්වල තැනකයි. ඒ නිසා, ජවිපෙට මෙවර තනිව තරඟ කර 4% මට්ටමෙන් ඔබ්බට යන්න අසීරුයි. කෙසේ වුවත්, 2015දී මහින්ද හා මෛත්‍රී අතර වූ පරතරය 3.7%ක් පමණයි. ජවිපෙට මේ මට්ටමට එන්න බැරිකමක් නැහැ. ඒ නිසා, ජවිපෙ විසින් වෙනම අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද කියන එක තීරණාත්මක කරුණක්. ජවිපෙ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ගෝඨාභයට ශ්‍රීලනිප නිල සහායක් නොමැතිව හා 50% නොලබා වුවත් ජනාධිපති ධුරයට පත් වීමේ ඉඩකඩක් විවර වෙනවා.

පසුගිය වකවානුව තුළ නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත වැනි වෙනත් තරඟකරුවන්ද කරලියට ආවා. මෙවර ජනාධිපතිවරණයද රාජපක්ෂවාදීන් හා රාජපක්ෂ විරෝධීන් අතර සටනක් වන පසුබිමකදී නාගානන්ද පන්නයේ තරඟකරුවෙකුට මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ.

තමන්ට ජයග්‍රහණය කළ නොහැකි ජනාධිපති හටනකදී ඔලුව හප්පා ගන්නවා වෙනුවට ඔලුව බේරාගෙන පැත්තකට විය හැකිනම් එය කිරීම හෝ මුට්ටියක් දමා බැලීම ජවිපෙ සාමාන්‍ය ක්‍රමයයි. ඒ නිසා, තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට ජවිපෙ විසින් සලකා බැලීමට ඉඩ තිබෙන තවත් විකල්ප දෙකක් තිබෙනවා. එකක් අවසාන මොහොතකදී පොදු අපේක්ෂකයෙකුට සහාය දීමයි. දෙවැන්න, නාගානන්ද වැනි වෙනත් තෙවන අපේක්ෂකයෙකුට සහාය දීමයි. යම් හෙයකින්, ජවිපෙ සහාය ලබන "ස්වාධීන" අපේක්ෂකයෙකු තරඟයට ඉදිරිපත් වුවහොත් 5%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි මා සිතන නමුත් එයින් ඔබ්බට යා හැකියැයි සිතන්නේ නැහැ.

ජවිපෙ විසින් ඔවුන්ගේම අපේක්ෂකයෙකු දැම්මොත් හෝ වෙනත් තෙවන අපේක්ෂකයෙකුට සහාය පළ කළහොත් එයින් ලොකුම බඩේ පාර වදින්නේ මෛත්‍රීපාල සිරිසේනටයි. ඔහුට රාජපක්ෂ කඳවුර සමඟ හෙට්ටු කිරීමට ඉඩකඩක් විවර වන්නේ ජවිපෙ සහායද ලබන පොදු අපේක්ෂකයෙකු ගෝඨාභයගේ ප්‍රතිවාදියා වන පසුබිමකදී පමණයි.

ශ්‍රීලනිපය සමඟ දැනට ඉතිරිව සිටින දේශපාලනඥයින් ටික දෙනාගෙන් වැඩි දෙනෙක් ඉදිරි කාලයේදී පොදුජන පෙරමුණ හෝ එජාපය සමඟ එක් වද්දී ඔවුන්ගේ ආධාරකරුවන්ගේ ඡන්දත් ශ්‍රීලනිපයෙන් ගිලිහී යාම නොවැලැක්විය හැකියි. ඒ නිසා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහු විසින් 2-3%ක ඡන්ද ප්‍රතිශතයක්වත් ලබා නොගැනීමට ඉඩ තිබෙනවා. නමුත්, මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කරන ආකාරය අනුව මෙවැනි අවාසිදායක තත්ත්වයක් හමුවේ වුවත් ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැරිකමක් නැහැ. ගෝඨාභය විරෝධී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වන පසුබිමකදී මිස මේ ඡන්ද වෙනුවෙන් රාජපක්ෂ කඳවුරෙන් නොවටිනා මිලක් ලබා ගැනීමේ හැකියාවක් ඔහුට නැහැ.

බොහෝ විට සිදු විය හැකි පරිදි, පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය සන්ධානගත වුවත් ගෝඨාභයට 50% මට්ටටට යාමේ හැකියාව 100%ක් තහවුරු වෙන්නේ නැහැ. එයට හේතුව පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රීලනිපය හා එජනිසය විසින් ලබාගත් 12.07%ක ඡන්ද ප්‍රතිශතයේ විෂමජාතීය ස්වභාවයයි. මෙයින් කොටසක් 2015දී මහින්ද වෙනුවෙන් භාවිතා වුනු ඡන්ද. ශ්‍රීලනිපය විසින් මේ ඡන්ද ලබාගත්තේ ඒ වෙද්දී මහින්ද යනු තවදුරටත් ශ්‍රීලනිපය නොව පොදුජන පෙරමුණ බව තේරුම් ගෙන නොසිටි පිරිසක් සිටි නිසයි. ඒ ඡන්ද, කොහොමටත් පොදුජන පෙරමුණ වෙත ආකර්ශනය වෙනවා. තවත් කොටසක් මෛත්‍රීපාලගේ හා ඒ වන විට ශ්‍රීලනිප සමඟ සිටි තවත් කිහිප දෙනෙකුගේ පෞද්ගලික ඡන්ද. ඒ වෙනත් අයගේ ඡන්ද වලින් කොටසක් ඒ වෙනත් අයද සමඟ පොදුජන පෙරමුණට හෝ එජාපයට යාමෙන් පසු ඉතිරි වන කොටස එතරම් විශාල නැහැ. තෙවන කොටස පාවෙන ඡන්ද. මේ ඡන්ද වලට ජනවාරි ඡන්ද කියා කියන්නත් පුළුවන්.

ජනවාරි ඡන්ද කියන්නේ 2015 වන විට රාජපක්ෂ විරෝධී වූ, එහෙත් ඊට පෙර මහින්ද වෙනුවෙන් වැටුණු සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද. මේ ගොඩක් ඡන්ද මහින්දගෙන් ගිලිහුණේ රාජපක්ෂලාගේ හොරකම් ගැන ප්‍රසිද්ධ වූ කතා එක්කයි. නමුත්, යහපාලන ආණ්ඩුව මේ හොරකම් කිසිවක් එළිදරවු නොකිරීමත්, ඊටත් වඩා ලොකු බැඳුම්කර හොරකමක පැටලීමත් හමුවේ (මේ අයගේ කෝණයෙන්) පළාත් පාලන මැතිවරණ වලදී මේ කණ්ඩායමේ තේරීම වුනේ යහපාලන ආණ්ඩුවේ "පිරිසිදු පාර්ශ්වය" ලෙස පෙනුණු මෛත්‍රීපාල සිරිසේනයි. ඔවුන් තව දුරටත් රාජපක්ෂ විරෝධීන් වූ බවත්, පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රීලනිපය හිටියේ රාජපක්ෂලාට වඩා එජාපයට කිට්ටුවෙන් බවත් අමතක කළ යුතු නැහැ.

මේ ඡන්ද ගෝඨාභයට ආකර්ශනය කර ගත නොහැකි ඡන්ද නොවූවත්, මෛත්‍රීපාල සිරිසේනට පාලනය කළ හැකි ඡන්ද නෙමෙයි. ඒ නිසා ශ්‍රීලනිප එකතු කර ගැනීමෙන් පොදුජන පෙරමුණට ලැබෙන ආන්තික වාසිය ඉතා සුළු එකක්. එය 50% මට්ටමට යාමට ප්‍රමාණවත් එකක් නෙමෙයි. එහෙත්, 2015 ජනවාරියේදී ගිලිහුණු සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද එකතු කර ගැනීමේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩියි. ගෝඨාභය කඳවුරට මේ සමතුලනය ගැන පැහැදිලි අදහසක් තිබෙන බව පේනවා. ඔවුන් ශ්‍රීලනිපය එකතු කර ගැනීමට වඩා ජනවාරි ඡන්ද එකතු කර ගැනීමට බර දමමින් සිටීමෙන් පෙනෙන්නේ එයයි.

මෙතෙක් කතා කළ පදනම මත, ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් ආසන්න වශයෙන් අඩක්, එනම් 12.07%න් 6.34%ක්  (=47.58% - 41.24%), කොහොමටත් පොදුජන පෙරමුණ වෙත ආකර්ශනය වන පසුබිමක 50% මට්ටම පහු කරන්න ගෝඨාභයට අවශ්‍ය වන්නේ ඉතිරි ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් ( 5.73%න්) අඩකට වඩා අඩු (2.42%ක) ප්‍රතිශතයක්. ගෝඨාභය පරද්දන්නනම් කාට හෝ පොදු අපේක්ෂකයෙකුට ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් අවම වශයෙන් 3.31%කට වඩා වැඩි කොටසක් ගෝඨාභය වෙත යාම වලක්වා තමන් වෙත ආකර්ශනය කරගන්න සිදු වෙනවා. එය කළ හැකි පොදු අපේක්ෂකයෙකු සොයා ගත හැකිනම් ගෝඨාභයට තරඟයක් දිය හැකියි.

රනිල් වික්‍රමසිංහට මෙය කළ නොහැකි බව පැහැදිලියි. ඔහු ඒ බව අවබෝධ කරගෙන සිටින බවත් පැහැදිලියි. ඒ වගේම, ඒ ඉලක්කයට යා හැකි අයෙකුට අවස්ථාවක් දීමට ඔහු පැකිළෙන එකක් නැහැ. වෙනත් අයෙකු ජනාධිපති කරගෙන තමන්ට අගමැති විය හැකිනම් එය නරක ප්‍රතිඵලයක් ලෙස සලකන්න හේතුවක් රනිල්ට නැහැ.

මේ ආකාරයට ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද ගොඩෙන් තුනෙන් එකක් පමණවත් ලබා ගැනීමේ හැකියාවක් රනිල්ට මෙන්ම රාජිත, රවී, මංගල වැනි අයෙකුටද නැහැ. මේ ඡන්ද සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද. සජිත්ට එය කළ හැකිද?

සජිත් කියන්නේ තවමත් ඔහුගේ පියාගේ යුගයේ ජීවත් වන අයෙක්. මට එක පාරටම මතක් වෙන්නේ අපේ පාසැල් කාලයේදී කියපු සිංදුවක්.

"අර බලපන්කෝ මේ බලපන්කෝ
අර බලපන් මේ බලපන් බුරි නැති කොල්ලෝ //"

ඕක කෝරස් එක. ඊට පස්සේ ඕකට එක එක පුද්ගලයින්ගේ නමින් කෑලි එකතු වෙනවා.

"ප්‍රේමදාස බුරිය දැකල මෙහෙම කියනවා
ප්‍රේමදාස බුරිය දැකල මෙහෙම කියනවා
බුරිය මැද්දෙ උදාගමක්
බුරිය මැද්දෙ උදාගමක්
බුරිය මැද්දෙ උදාගමක් හදමු කියනවා"

ඔය කියන්නේ සජිත්ගේ තාත්තා ප්‍රේමදාස ගැනයි. අවුරුදු තිහ හතළිහකට පස්සේ සජිත්ගේ ලෝකය තාමත් තියෙන්නේ ඔය බුරිය මැද්දෙමයි.

අනෙක් පැත්තෙන් සජිත් කියන්නේ අමු ගෝත්‍රවාදියෙක්. ඔහුගේ තේමාව වන්නේම යූඇන්පී කාරයින්ට සැලකීමයි. පාක්ෂිකයාට සැලකීම කියා කියන්නේ බොහෝ කලකට පෙර අසාර්ථක වූ අදහසක්. රාජපක්ෂලා කරන්නෙත් තමන්ගේ හිතවතුන්ට සලකන එක තමයි. නමුත්, වෙනසකට තියෙන්නේ ඕනෑම කෙනෙකුට වැඩි අමාරුවක් නැතිව රාජපක්ෂ හිතවතෙකු වීමේ ඉඩකඩක් විවරව තිබීමයි.

දැනට ඉතිරි වෙලා ඉන්න යූඇන්පී කාරයින් අතරින් පහළ සමාජ ස්ථර වල අය චූන් එකේ තියා ගන්න හා ඔවුන්ව චූන් කර ඡන්ද පොළට දක්කන්න සජිත්ට පුළුවන්. නමුත්, මේ වර්ගයේ අය දැන් එජාපයේ වැඩිපුර නැහැ. එහෙම අය හිටියේ සජිත්ගේ තාත්තගේ කාලයේ.  ඒ වගේම මහින්ද එක්ක ඉන්න එවැනි අය මහින්දගෙන් කඩලා තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක්ද සජිත්ට නැහැ. 2015දී මෛත්‍රීට ලැබුණු හා පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රීලනිපයට ලැබුණු සිංහල බෞද්ධ නාගරික ඡන්ද ගෝඨාභයට යන එක වලක්වා තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් සජිත්ට කොහෙත්ම නැහැ. ඒ නිසා, ඔහුගේ ජනාධිපති සිහිනය සිහිනයක්ම පමණයි.

සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද සඳහා ගෝඨාභය සමඟ තරඟ කළ හැකි එජාප පිලේ සිටින අපේක්ෂකයින් වන්නේ චම්පික හා කරු ජයසූරියයි. චම්පික වැනි එජාප නොවන අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනමන්න තවමත් එජාපය සූදානම්ද යන්න සැක සහිතයි. ඒ වගේම, තමන් සෙල්ලම් කරන්නේ අනුන්ගේ පිට්ටනියක බව දන්න නිසා චම්පික දැනට ක්‍රීඩා කරන්නේ කඩුල්ල ආරක්ෂා කර ගෙනයි. සීමාවන් ඉදිරියට පැන පහර දී දුවද්දී දැවී යාමේ අවදානමට මුහුණ දෙන්න සූදානම් බවක් ඔහු පෙන්වන්නේ නැහැ. චම්පික කියා කියන්නේ අවස්ථාව ලැබෙන තුරු ඉවසා සිටින කෙනෙක්.

ප්‍රතිවාදී ලැයිස්තුවට සරත් ෆොන්සේකාවත් දැමිය හැකියි. එහෙත්, ඔහු එජාප අපේක්ෂකයා ලෙස ඉදිරියට පැමිණීමේ හෝ එසේ පැමිණියත් ගෝඨාභයව අභිබවා යාමේ ඉඩකඩක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, එජාප පිලේ සිටින්නන් අතරින් පොදු අපේක්ෂකයෙකු වීමේ විභවයක් වැඩිපුරම පෙන්වන්නේ කරු ජයසූරියයි. මම හිතන විදිහට රනිල්ගේ තේරීම වන්නේත් කරු ජයසූරියයි.

එක අතකින් බලන කොට මේ පොදු අපේක්ෂක කතාවම විහිළුවක්. 2015දී වුනේ රාජපක්ෂ විරෝධය කියන පොදු තේමාව යටතේ නොගැලපෙන රෝද අමුණාගත් කරත්තයක් ඉදිරියට තල්ලු කරන්න උත්සාහ කිරීමක්. කරත්තය වැඩි දුරක් ගියේ නැහැ. එසේ තිබියදී, නැවතත් ඒ රෝදම දාගෙන අලුත් කරත්තයක් තල්ලු කරන්න පුලුවන්ද කියන එක වලංගු ප්‍රශ්නයක්.

කොහොම වුනත්, මහින්ද අගමැති සේ දිවුරුම් දීමෙන් පසුව පැහැදිලි වූ පරිදි මෙවැනි නොගැලපෙන රෝද එකතු කර කරත්තයක් හැදීමේ විභවයක් රාජපක්ෂ විරෝධයට තවමත් තිබෙනවා. ඒ නිසා, රාජපක්ෂ විරෝධය මත පමණක් විවිධ අදහස් දරන කොටස් එකතු කිරීම තවමත් කළ හැකි දෙයක්. එසේ කළත්, ගෝඨාභය අභිබවා ජයග්‍රහණය කිරීම අමාරු ඉලක්කයක්. නමුත්, කෙසේවත්ම සිදු නොවිය හැක්කක් නෙමෙයි.

පොදු අපේක්ෂක සිහිනය බිඳ වැට්ටවීමට ලොකුම දායකත්වයක් දෙන්නේ සජිත් විසිනුයි. සජිත්ගේ අරගලය හමුවේ එජාප ජනාධිපති අපේක්ෂකත්වය ඔහුට ලැබුණොත් ඔහුට ජය ගැනීමේ හැකියාවක් නැති බව පැහැදිලි නිසා ජවිපෙ විසින් තෙවන පාර්ශ්වයකට සහයෝගය දීමේ හෝ තමන්ගේම අපේක්ෂකයෙකු දැමීමේ ඉඩකඩ ඉහළ යනවා. එයින් වෙන්නේ ගෝඨාභයගේ ජයග්‍රහණය පැහැදිලි ලෙස තහවුරු වීමයි.

Sunday, August 11, 2019

ගෝඨාභය


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව මේ වන විට නිල වශයෙන් නම් කර තිබෙනවා. මේ වෙද්දී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් වැඩිම ජන පදනමක් තිබෙන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ නිසා, මේ මොහොත වන විට ලංකාවේ මීළඟ ජනාධිපති වීමට වැඩිම ඉඩකඩක් ඇති පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. එහෙත්, ඉදිරි දේශපාලන පෙළගැසීම් සිදුවන ආකාරය මත මේ තත්ත්වය වෙනස් වීමේ ඉඩකඩක්ද තිබෙනවා.

ඇමරිකාවේනම් ප්‍රධාන දේශපාලන පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගනු ලබන්නේ ප්‍රාථමික මැතිවරණ ප්‍රතිඵල අනුවයි. මේ ප්‍රාථමික මැතිවරණ වලදී කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයින් සේ ලියාපදිංචි වී සිටින ඡන්දදායකයින් විසින් තමන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පතන පුද්ගලයින් අතරින් අයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරනවා. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙවැනි නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ.

කෙසේ වුවත්, යම් හෙයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ බහුතර ඡන්දයෙන් එම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂයා තේරුවේනම් එම තේරීම වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීම ඉල්ලුම් සාධක මත තීරණය වූවක්. ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ මෙවැනි ඉල්ලුම් සාධක හඳුනාගත හැකි ඉවක් තිබෙන හා බොහෝ විට ඉල්ලුම් සාධක නොසලකා නොහරින අයෙක්.

පොදුජන පෙරමුණේ සාමාජිකයින් අතර වැඩිම ඉල්ලුමක් තිබුණු ජනාධිපති ධුර අපේක්ෂයා ගෝඨාභය රාජපක්ෂ වුවත් අවසන් සතිය පමණ දක්වාම ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳව කිසියම් අවිනිශ්චිතතාවයක් තිබුණා. ඒ අවිනිශ්චිතතාවයට පාදක වූ සාධක ගණනාවක් අතරින් ප්‍රධාන එකක් වූයේ ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවයයි.

වාර්තා වන ආකාරයට මේ වන විට ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවයෙන් ස්ව-කැමැත්තෙන් මිදී සිටිනවා. ඒ වගේම ඔහු විසින් සිය කැමැත්තෙන් ඇමරිකානු පුරවැසිකමින් මිදීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන අදාළ ලියකියවිලි ඔහු වෙත ලබා දී තිබෙන බවද කියැවෙනවා. මේ බව සඳහන් ෆෙඩරල් රෙජිස්ට්‍රිය තවමත් ප්‍රකාශයට පත් කෙරී නැතත් එය කිසියම් අයෙකු සිය ඇමරිකානු පුරවැසිකම අත් හැරීම පිළිබඳව සිදු කෙරෙන නිවේදනයක් මිස එම කටයුත්ත සම්පූර්ණ වීම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. කෙසේ වුවත්, 2019 දෙවන කාර්තුව හා අදාළ ෆෙඩරල් රෙජිස්ට්‍රියද නුදුරු දිනක ප්‍රකාශයට පත් වීමට ඉඩ තිබෙන නිසා මෙය තහවුරු කර ගැනීමට වැඩි කලක් බලා ඉන්න අවශ්‍ය වන එකක් නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් ලංකාවේ මැතිවරණයකට ඉදිරිපත් නොවූ හා සෘජුව දේශපාලකයෙකු සේ කටයුතු නොකළ, සිය සොහොයුරා ජනාධිපතිව සිටියදී රාජ්‍ය සේවයේ ප්‍රධාන පෙළේ තනතුරු කිහිපයක් පමණක් දැරූ අයෙක්. එහෙත්, එම තනතුරු දරද්දී ඔහු කටයුතු කළ ආකාරය බොහෝ සේ කතාබහට ලක් වී තිබෙනවා.

අවසන් වරට පැවති ප්‍රධාන මැතිවරණය වූ පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා එම පක්ෂයේ සහයෝගය ලැබූ ස්වාධීන කණ්ඩායම් වලට රටේ ඡන්ද වලින් 41.24%ක ප්‍රතිශතයක් ලැබුණා. එම මැතිවරණය පොදුජන පෙරමුණ මුහුණ දුන් පළමු හා එකම මැතිවරණයයි. ඒ වෙද්දී, පොදුජන පෙරමුණ හරියකට නායකයෙකු හෝ නොසිටි අඩමානයට අටවාගත් පක්ෂයක්. එවැනි තත්ත්වයක් යටතේ එම පක්ෂය විසින් 41.24%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ලැබීම කිසිවකු හෝ අපේක්ෂා කළ දෙයක් නෙමෙයි.

මේ වන විට පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ඡන්ද පදනම වැඩි දියුණු වන්නට මිස ගිලිහී තිබෙන්නට කිසිදු හේතුවක් නැහැ. මේ ඡන්ද ඉදිරි ජනාධිපතිවරණයකදී අපහසුවකින් තොරව ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා ගනු ඇතැයි සිතිය හැකි ස්ථිර ඡන්ද.

ජනාධිපතිවරණයකට පෙර පොදුජන පෙරමුණ ශ්‍රීලනිපය ප්‍රධාන එජනිසය හා සන්ධානගත වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. පළාත් පාලන මැතිවරණ වලදී එජනිසය හා ශ්‍රීලනිපය විසින් 12.07%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. නමුත්, එම ඡන්ද වලින් විශාල කොටසක් පාවෙන ඡන්ද මිස පාක්ෂික ඡන්ද සේ සැලකිය නොහැකියි. මේ පාවෙන ඡන්ද 2015ට පෙර එජනිසයට ලැබුණු, එහෙත් 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් සිංහල බෞද්ධ නාගරික ඡන්ද. ඊට අමතරව මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රීලනිප හා එජනිස ප්‍රාදේශීය නායකයන්ගේ පාලනයට නතු පාක්ෂික ඡන්ද යම් ප්‍රමාණයක්ද මේ 12.07ට ඇතුළත්.

පොදුජන පෙරමුණ විසින් යම් හෙයකින් ශ්‍රීලනිපය හා එජනිසය සමඟ සන්ධානගත නොවූවත් ඉහත කී සිංහල බෞද්ධ නාගරික ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් ආකර්ශනය කරගැනීම පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කෙරෙන ජනාධිපති අපේක්ෂකයාට පහසුවෙන් කළ හැකි දෙයක්. ගෝඨාභය රාජපක්ෂට මෙය වඩාත් පහසුයි. ඊට අමතරව දැනට ශ්‍රීලනිපය හා රැඳී සිටින ප්‍රාදේශීය දේශපාලනඥයින් බොහෝ දෙනෙක්ද ඉදිරි කාලය තුල පොදුජන පෙරමුණ හෝ එජාපය සමඟ එක් වීමට ඉඩ ඇති නිසා ඉතිරි ඡන්ද වලිනුත් වැඩි කොටසක් ක්‍රමයෙන් පොදුජන පෙරමුණ වෙත වැඩියෙන් හා එජාපය වෙත අඩුවෙන් විතැන් වී, හැත්තෑ හතේදී පැරණි වාමාංශික පක්ෂ වලට සිදු වුනාක් මෙන්,  ශ්‍රීලනිපය දිය වී යාමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපති ධුරයට තරඟ කළහොත් සාමාන්‍යයෙන් සුළු ජාතික පක්ෂයක ජනාධිපති අපේක්ෂකයෙකු හෝ ජවිපෙ අපේක්ෂකයෙකු ගන්නා ඡන්ද ප්‍රමාණය හෝ ඔහුට නොලැබී යා හැකියි.

පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂව සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ එජාප ප්‍රමුඛ ප්‍රතිවාදී පිල යම් පසුබෑමකට ලක්ව ඇති බවක් පෙනෙනවා. ඔවුන්ගේ පිලෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා කවරෙකුද යන්න පිළිබඳව තවමත් එකඟත්වයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ.

පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එජාපය විසින් ලබාගන්නට සමත් වූයේ 29.4%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මේ ප්‍රමාණය මේ වන විට වැඩි වී තිබෙන්නට හේතුවක් නැහැ. ඒ නිසා, එජාපය තනිව තරඟ කළහොත්, අපේක්ෂකයා කවුරු වුවත්, ඔවුන්ට ජය ගැනීමට ඉඩක් නැහැ.

ඉහත 29.4% ප්‍රතිශතය 2015ට පෙර මැතිවරණ වලදී එජාපය තනිව තරඟ කර ලබාගත් ඡන්ද ප්‍රතිශතයට බොහෝ ආසන්නයි. මේ එජාපයේ පාක්ෂික ඡන්ද. එවැනි තත්ත්වයක් තිබියදී, එජාප ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරණය ජය ගැනීමට සමත් වූයේ ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය එක පිලකට එකතු කර ගැනීමේ හා සිංහල බෞද්ධ නාගරික ඡන්ද සැලකිය යුතු ප්‍රතිශතයක්ද ආකර්ශනය කර ගත හැකි වීමේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි.

මෙවරද, එජාපය විසින් පුළුල් පෙරමුණක් සේ තරඟ කිරීමට උත්සාහ දරන බවත්, එයට විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති බවත් පෙනෙන්නට තිබෙනවා. පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නට පෙර පුළුල් පෙරමුණක් ගොඩ නගන්නට එජාපය උත්සාහ කළත් ඔවුන්ට එය තවමත් කරගත හැකි වී නැහැ. එවැනි පුළුල් පෙරමුණක් හදා ගැනීම 2015දී තරම් පහසු නැති බවයි දැනටනම් පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා, මේ මොහොත වෙද්දීනම් ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ පැහැදිලි වාසිදායක තැනකයි.

Friday, July 19, 2019

සිරිසා පරාජය


පසුගිය සතියේ පැවති ග්‍රීක මැතිවරණයෙන් බලයේ සිටි වාමාංශික සිරිසා සන්ධානය ගෙදර යවමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විශිෂ්ඨ ජයක් වාර්තා කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියා කියන්නේ 2015දී වාමාංශික සිරිසා සන්ධානය ග්‍රීසියේ බලයට පත් වන තුරු කාලයක් තිස්සේ මාරුවෙන් මාරුවට ග්‍රීසිය පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්. අනෙක් ප්‍රධාන පක්ෂය ලෙස පැවතුණේ මේ වන විට නැත්තටම නැති වී තිබෙන පැසොක් (පෑන්හෙලනික් සමාජවාදී) පක්ෂයයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ග්‍රීසියේ එජාපය ලෙසත්, පැසොක් පක්ෂය එහි ශ්‍රීලනිපය ලෙසත් හඳුන්වන්න පුළුවන්. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙසත්, පැසොක් පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙසත් සැලකෙනවා. කාලයක් තිස්සේම මාරුවෙන් මාරුවට බලයේ සිටියේ මේ පක්ෂ දෙක වුවත්, ලංකාවේ වගේම ග්‍රීසියේත් වාමාංශික පක්ෂ වලට විශාල බලපෑමක් කළ හැකිව තිබීම ඇතුළු තවත් හේතු නිසා මේ පක්ෂ දෙක විසින්ම මාරුවෙන් මාරුවට කළේ රජයේ ආදායමට වඩා වියදම් කරමින් සුබසාධන ආර්ථිකයක් පවත්වා ගෙන යන එකයි.

රාජ්‍ය බලය හිමි පක්ෂය බදු වැඩි කිරීම, සුබසාධන වියදම් කපා හැරීම වැනි දේ කරන්න උත්සාහ කළ හැම විටකම සිදු වුනේ පැවති ආණ්ඩුවට ගෙදර යන්න වෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට පක්ෂ දෙකේම ආණ්ඩු යටතේ විශාල අයවැය හිඟයක් නඩත්තු වුනා. රටේ ණය බර එන්න එන්නම ඉහළ ගියා. හරියට ලංකාවේ වගේමයි.

යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුව, විශේෂයෙන්ම 2000-2007 කාලයේදී ග්‍රීසිය විසින් යුරෝ කලාපයේ දැකිය හැකි වූ ඉහළම ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2000දී ඇමරිකන් ඩොලර් 12,043ක් වූ ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2008 වෙද්දී ඇමරිකන් ඩොලර් 31,997 දක්වා ඉහළ ගියා.

කෙසේ වුවත් මෙය ණයට ගත් සංවර්ධනයක්. ග්‍රීසිය යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුවත් ග්‍රීක රජයේ ආදායම් ඉක්මවා වියදම් කිරීමේ පිළිවෙත වෙනස් වුනේ නැහැ. තමන්ගේම ජාතික මුදල් ඒකකයක් තිබුණු කාලයේ කළ හැකි වූ සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීමත් යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුව තව දුරටත් කළ හැකි වූයේ නැහැ. මේ කාලයේදී ග්‍රීසියේ රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඉහළින් පැවතුණා.

මෙහි ප්‍රතිඵලයක් විදිහට 2009දී සමස්ත යුරෝපීය සංගමයම මුහුණ දුන් ආර්ථික අවපාතය ග්‍රීසියට දරුණුවටම දැනුණා. 2010 වෙද්දී එතෙක් ගැසූ රෝල තව දුරටත් ගසා ගත නොහැකිව ග්‍රීක රජය හිරවුනා. මේ වෙද්දී බලයේ සිටියේ පැසොක් පක්ෂයයි. එක පැත්තකින් ආර්ථික අවපාතයේ බලපෑමත්, අනෙක් පැත්තෙන් අර්බුදය හමුවේ රජයේ වියදම් සීමා කරන්නට සිදු වීමත් නිසා පැසොක් පක්ෂයේ ජනප්‍රියත්වය ගිලිහී ගොස් 2012 මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නැවත බලයට පත් වුණා. මේ මැතිවරණයේදී අලුතින් හදාගත් වාමාංශික සිරිසා සන්ධානය පැසොක් පක්ෂය තෙවන තැනට තල්ලු කරමින් දෙවන තැනට එන්න සමත් වුණා. ඒ වෙද්දී ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 24,916 දක්වා පහත වැටිලා.

පැසොක් පක්ෂය වෙනුවට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයට පත් කර ගත්තත් අලුත් ආණ්ඩුවට කළ හැකිව තිබුණේත් කලින් ආණ්ඩුව කළාක් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, යුරෝපීය මහ බැංකුවෙන් හා යුරෝපීය සංගමයෙන් ණය ඉල්ලා සිටීම පමණයි. ඒ වෙනුවෙන් ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ විය යුතුව තිබුණා. බදු ඉහළ දැමීම, විශ්‍රාම වැටුප් ඇතුළු සුබසාධන වියදම් කපා හැරීම ආදී මේ කොන්දේසි ඉටු කරමින් රජයකට ජනප්‍රියතාව පවත්වා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ.

අයවැය හිඟය අඩු කර ගැනීමට රාජ්‍ය වියදම් කැපෙද්දී, ආර්ථිකය වසරින් වසර හැකිලෙන්න පටන් ගත්තා. 2015 වෙද්දී ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 18,167 දක්වා 2008 මට්ටමේ සිට 40%කින් පමණ පහත වැටුණා. විරැකියා අනුපාතය පොදුවේ 27% මට්ටමටත්, තරුණයන් අතර 58% මට්ටමටත් ඉහළ ගියා. ඉතා ඉක්මණින්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත් මිනිස්සුන්ට එපා වුණා.

වාමාංශික සිරිසා සන්ධානය 2015දී බලයට ආවේ මේ වගේ පසුබිමකයි. දිගින් දිගටම තට්ටු මාරුවට බලය ලබා ගත් ප්‍රධාන පක්ෂ දෙකටම කළ හැකි වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ පදයට නටන එක පමණයි. නමුත්, ඒ පක්ෂ දෙකෙන් එකකටවත් ණය වලින් පුම්බා තිබුණු ග්‍රීසියේ ආර්ථික සමෘද්ධියේ හුළං බහින එක වළක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සිදු වෙමින් තිබුණේ සිදුව යුතුව තිබුණු නිවැරදි වීමක්. යුරෝපීය සංගමයට එකතු වීමේ අභිලාෂයෙන් කලක සිට ග්‍රීසිය විසින් රාජ්‍ය ආදායම්, වියදම් හා ණය පිළිබඳව බොරු සංඛ්‍යාලේඛණ පෙන්වා තිබුණු බවත් මේ වෙද්දී හෙළි වී තිබුණා.

උනුත් එකයි මුනුත් එකයි කියා ජනතාව තේරුම් ගනිද්දී සිරිසා සන්ධානය තෙවන විකල්පයක් ලෙස මතු වුණා. ඔවුන් පෙනී සිටියේ සුබසාධන වියදම් ඇතුළු රාජ්‍ය වියදම් කප්පාදුවට එරෙහිවයි. පවතින ක්‍රමයට විරුද්ධ වෙමින් ජනතාව මුලා කරනු හැර සිරිසා සන්ධානය සතු අමුතු සමාජවාදී  විකල්පයක් නැති බව ග්‍රීක ජනතාව ඒ වෙලාවේ තේරුම් ගත්තේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙක පිළිබඳව සිරිසා සන්ධානයේ විවේචන ඇත්ත වුවත්, සිරිසා සන්ධානයට බලයට පැමිණ ක්‍රියාත්මක කළ හැකිව තිබුණු වෙනත් විකල්ප වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ.

සිරිසා සන්ධානය බලයට පත් වීමෙන් පසුව බොහෝ සමාජවාදීන් උද්දාමයට පත් වුණා. ලංකාවේ හා ලංකාවෙන් පිටත සිට ලංකාවේ දේශපාලනය කරන ඇතැම් අය මෙය විග්‍රහ කළේ යුරෝපයෙන් පටන් ගත් ධනවාදයේ කඩාවැටීමේ ආරම්භය ලෙසයි. වසර හතරකට පසුව ඉතිහාසය විසින් මේ සිරිසා නමාමි විශ්ලේෂකයන්ගේ විග්‍රහ වල නිරවද්‍යතාවය නිරාවරණය කර තිබෙනවා.

බලයට පත් වීමෙන් පසුව සිරිසා සන්ධානය උත්සාහ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ කොන්දේසි වලට එකඟ නොවී කෙසේ හෝ ඔවුන්ගෙන් ණය ගන්නයි. රාජ්‍ය වියදම් කප්පාදුවට ජනතා කැමැත්තක් නැති බව පෙන්වන්න ජනමත විචාරණයක්ද පැවැත්වුනා. සිරිසා සන්ධානය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටි පරිදිම රාජ්‍ය වියදම් කප්පාදුවට එරෙහිව 61%ක ජනමතයක් ප්‍රකාශ වුනා. ඒත්, ප්‍රශ්නය එයින් විසඳුනේ නැහැ.

ග්‍රීක රජය අයවැය හිඟය පියැවෙන පරිදි විශාල ලෙස රාජ්‍ය වියදම් සීමා කෙරෙන ප්‍රතිසංස්කරණ කරා නොයන්නේනම් ඔවුන්ට දිගින් දිගටම ණය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාව කිසිසේත්ම සූදානම්ව සිටියේ නැහැ. ඒ තත්ත්වය යටතේ සිරිසා සන්ධානය විසින් බලය ලබා ගැනීම පිණිස ජනතාවට පොරොන්දු වූ පරිදි මේ කොන්දේසි වලට දිගින් දිගටම විරුද්ධ සිටින්නේනම් ඔවුන් විසින් ණය නොගෙවා පැහැර හැරීම හා අවසාන වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත්වීම වැනි ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබුණා. බලයට පත් වෙන්න කලින් මොනවා කිවුවත්, ග්‍රීක ජනතාවගේ වාසනාවට සිරිසා සන්ධානය එවැනි මෝඩ වැඩක් කරන්න පෙළඹුනේ නැහැ. ඔවුන් එවැනි ක්‍රියා මාර්ගයක් ගත්තේනම් එය රටක් ලෙස ග්‍රීසිය විනාශය කරා තල්ලු කරමින් තම පක්ෂයේ වලද තමන් විසින්ම කපා ගැනීමක් වෙනවා.

රැඩිකල් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනු වෙනුවට ජනමතවිචාරණයෙන් පසුව සිරිසා සන්ධානය කළේ තමන් සතියකට පෙර විරුද්ධව සිටි කොන්දේසි සියල්ලට එකඟ වෙමින් ට්‍රොයිකාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමයි. ගිවිසුම අත්සන් කිරීමෙන් නොනැවතුණු සිරිසා සන්ධානය පසුගිය සිවු වසර තුළ නැවත නැවතත් විශාල ලෙස රාජ්‍ය වියදම් කපා හරිමින් හා බදු ඉහළ දමමින් දශක ගණනක් එක දිගට පැවති ග්‍රීසියේ විශාල අයවැය හිඟය අතිරික්තයක් බවට හරවන්නට සමත් වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ග්‍රීසියේ ආර්ථිකය පැවති තත්ත්වයට සාපේක්ෂව ස්ථාවර වී තිබෙන අතර විරැකියා අනුපාතය ක්‍රමයෙන් පහත බසිමින් තිබෙනවා.


විපක්ෂයේ සිටියදී මොනවා කිවුවත් වාමාංශික පක්ෂයකට බලය ගෙන ක්‍රියාත්මක කළ හැකි වඩා හොඳ විකල්පයක් නැති බව සිරිසා සන්ධානය විසින් නැවත වරක් තහවුරු කර තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසාන වශයෙන් සිදු වී තිබෙන්නේ වාමාංශික බලවේග වල ප්‍රතිරෝධය හමුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හෝ පැසොක් පක්ෂයට ක්‍රියාත්මක කළ නොහැකිව තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ අමාරු හා ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ යෝජනා සිරිසා සන්ධානය විසින් ක්‍රියාත්මක කරනු ලැබීමයි.

පක්ෂයක ඉතිහාසයට හෝ කරනවායැයි කියන දෙයට වඩා වැදගත් වන්නේ ඇත්තටම කරන දෙයයි. ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග ගන්නට සිදුවීම හේතුවෙන් සිරිසා සන්ධානය සතු වූ ආණ්ඩු බලය දැන් නැවතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙත මාරු වී තිබුණත්, පැසොක් පක්ෂය මේ වන විට දිය වී ගොස් ඇති පසුබිමක ග්‍රීක දේශපාලනයේ එම පක්ෂය සතු වූ තැන ඉදිරියේදී සිරිසා සන්ධානය සතු විය හැකියි. ඒ එක්කම, සිරිසා සන්ධානය වඩා මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ක්‍රමයෙන් රූපාන්තරණය වන්නට ඉඩ තිබෙනවා.

(Image: https://www.thenation.com/article/syriza-rising/)

Wednesday, November 7, 2018

අලි බූරු හටන


ලංකාවේ හැමෝම වගේ මේ දවස් වල කට ඇරගෙන බලා ඉන්නේ ඉදිරි සතිය ඇතුළත පාර්ලිමේන්තුවේ සංයුතිය මොන විදිහට වෙනස් වෙයිද කියලයි. ලොකුවට කෑගැහුවට තවමත් මහා ලොකු වෙනසක්නම් වෙලා නැහැ. නමුත්, එයින් අදහස් වෙන්නේ ඉදිරි සතිය ඇතුළත ලොකු වෙනසක් වෙන්න ඉඩක් නැති බව නෙමෙයි.

අපේ පාඨකයින් බොහෝ දෙනෙක්ගේ අවධානය ලංකාවේ දේශපාලන අර්බුදය වෙත යොමු වී තියෙද්දී, ඊයේ ඇමරිකාවේ මැතිවරණ දිනය ගෙවී ගියා.

මා මීට පෙර විස්තරාත්මකව ලියා තිබෙන පරිදි ඇමරිකාවේ මැතිවරණ පැවැත්විය යුතු දිනය ව්‍යවස්ථාවෙන්ම නියම කර තිබෙන නිසා බලයේ සිටින පක්ෂයේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ හිතුමනාපයට හෝ සුබ නැකැත් බලා මැතිවරණ වලට දින නියම කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම, සියලු මැතිවරණ එකම දිනයක පැවැත්වෙන නිසා මුදල්, කාලය ආදිය වට කිහිපයකින්ම නාස්ති වෙන්නේ නැහැ.

මේ අයුරින් සෑම වසරකම මැතිවරණ දිනයේ ඇමරිකාවේ කිසියම් හෝ මැතිවරණයක් පැවැත්වුනත් ප්‍රධාන මැතිවරණ පැවැත්වෙන්නේ දෙවසරකට වරක් පමණයි. එයිනුත්, ලෝකයේ අවධානය වැඩිපුරම දිනා ගන්නේ වසර හතරකට වරක් පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයයි.

ලංකාවේ පාර්ලිමේන්තුවට අවසන් වරට පත් වූ මන්ත්‍රීවරුන්ගේ ධුරකාලය තවමත් අවසන් වී නැහැ. එසේ වුවත්, ඇතැම් අය කියන්නේ මේ වන විට එසේ තෝරාගත් මන්ත්‍රී කණ්ඩායම ජනතාවගේ අප්‍රසාදයට පත් වී සිටින බවයි.

පෙර කී කතාවේ ඇත්ත නැත්ත අපි පැත්තකින් තියමු. කතාව ඇත්ත වුවත් නැතත් මැතිවරණයක් හරහා තමන්ගේ නියෝජිතයින් තෝරා පත් කර ගැනීමෙන් වසර දෙකක් පමණ යන විට එම නියෝජිතයින්ට තිබෙන මහජන ප්‍රසාදය වෙනස් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ධුර කාලය වසර දෙකකට සීමා කෙරී තිබෙන්නේ මේ නිසා. ඒ අනුව, ජනාධිපතිවරයෙකුගේ වසර හතරක ධුර කාලය ආරම්භයේදී මෙන්ම එම කාලය මැදදීත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් තෝරා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වෙනවා.

ඇමරිකානු ව්‍යවස්ථාදායකය වන කොන්ග්‍රසයේ කොටස් දෙකක් තිබෙනවා. ඒ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් සභාව වශයෙන්. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 435ක් හා සෙනෙට් සභාවේ සාමාජිකයින් 100ක් ලෙස කොංග්‍රසයේ මුළු සාමාජික සංඛ්‍යාව 535ක්.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන ගණන එක් එක් ප්‍රාන්තයේ ජනගහණයට සමානුපාතිකව නිර්ණය වුවත් සෙනෙට් සභාව තුළ ලොකු කුඩා භේදයක් නැතිව ප්‍රාන්ත 50ටම නියෝජිතයින් දෙදෙනා බැගින් හිමි වෙනවා. වසර දෙකකට වරක් සෙනෙට් මැතිවරණද පැවැත්වුනත්, වරකදී එසේ මැතිවරණ පැවැත්වෙන්නේ මුළු ප්‍රාන්ත ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක් සඳහා පමණක් නිසා සෙනෙට් සභාවට තේරී පත් වන සාමාජිකයෙකුට වසර හයක කාලයක් සිය ධුරය දැරීමේ අවස්ථාව හිමි වෙනවා.

වෙනස් වන මහජන මතය නියෝජනය කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් සිටින නිසා සෙනෙට් සභිකයින්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ මහජන මතයට ඕනෑවට වඩා වැඩි බරක් නොතියා දිගුකාලීනව රටට හොඳ තීරණ ගැනීමයි. මෙවර මැතිවරණ දිනයේදී සෙනෙට් සභිකයින් 100 දෙනාගෙන් 65 දෙනෙකු එසේම සිටියදී 35 දෙනෙකු පමණක් අළුතින් තේරී පත් වෙනවා.

පසුගිය වසර තුනක පමණ කාලය ලංකාවේ ආණ්ඩුව විසින් කළ හෝ නොකළ දේ පිළිබඳව මහජන මතය විශාල සේ ධ්‍රැවීකරණය වූවක්. එහෙත්, සියළු දෙනාම වගේ පොදුවේ පිළිගන්නා දෙයක් වන්නේ පැවති බල තුලනය හේතුවෙන් ලංකාවේ ආණ්ඩුවට (හොඳ හෝ නරක) බොහෝ දේවල් කරන්න නොහැකි වූ බවයි.

කෙසේ වුවත්, ඇමරිකාවේ මෙතෙක් තිබුණේ වෙනස් තත්ත්වයක්. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වගේම සෙනෙට් සභාවේත් බලය තිබුණේ ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටයි.

මෙවර මැතිවරණයෙන් ඉහත තත්ත්වය වෙනස් වී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වී තිබෙනවා. සෙනෙට් සභාවේ බලය තවමත් තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි.

Sunday, February 25, 2018

ශ්‍රීලනිපයේ අනාගතය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වුණේ 1951 වසරේදීය. එම පක්ෂය ජාතික මැතිවරණයකට මුහුණ දුන් මුල්ම අවස්ථාව 1952 පාර්ලිමේන්තු මැතිවරණයයි. කොට්ඨාශ ක්‍රමයට පැවැත්වුණු එම මැතිවරණයේදී දිවයිනේ පාර්ලිමේන්තු ආසන 95න් 48කට තරඟ කළ එම පක්ෂයට ආසන 9ක් ජය ගන්නට හැකි වූ අතර රටේ සමස්ත ඡන්ද වලින් 15.52%ක් ලබා ගනිමින් ලංකාවේ දෙවන ප්‍රධාන පක්ෂය බවට පත් වන්නට හැකි විය. ඉන් පසුව පැවති 1956 මැතිවරණයේදී ශ්‍රීලනිපය ප්‍රධාන පක්ෂය වූ මහජන එක්සත් පෙරමුණු සභාගයට දිවයිනේ සමස්ත ඡන්ද වලින් 39.52%ක් ලබා ගත හැකි විය. එතැන් සිට දිගටම ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

මෙවර පළාත් පාලන මැතිවරණ වලදී පළාත් පාලන ආයතන 340න් අඩු වශයෙන් 328කට ශ්‍රීලනිපය හෝ එජනිසය ලෙස තරඟ කළ කණ්ඩායම් සියල්ලටම ලබා ගත හැකි වූයේ රටේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 12.1%ක් පමණි. මේ ශ්‍රීලනිපය ආරම්භ වීමෙන් පසු එම පක්ෂය මේ මට්ටමට වැටුණු පළමු අවස්ථාවයි.

ශ්‍රීලනිපයේ පරිහානිය ඇරඹුණේ එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂට ප්‍රතිපක්ෂව තරඟ කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ශ්‍රීලනිප සභාපතිත්වයද භාර ගැනීමත් සමඟය. ඒ වන විට ශ්‍රීලනිපයේ සිටි අති මහත් බහුතරය මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් අයයි. පොදුජන පක්ෂය පිහිටුවීමත් සමඟ මහින්දවාදී ඡන්ද ශ්‍රීලනිපයෙන් ක්‍රමයෙන් ඉවත් වන්නට පටන් ගත්තේය. පසුගිය පළාත් පාලන මැතිවරණය මේ ක්‍රියාවලියේ මස්තකප්‍රාප්තියයි. එජනිස ඡන්ද බැඳී තිබී තිබුණේ ශ්‍රීලනිප හෝ එජනිස යන නම් සමඟ හෝ පක්ෂ සලකුණු සමඟ නොවන බව මැතිවරණ ප්‍රතිඵලය පෙන්වා දෙයි.

කෙසේ වුවත්, එජනිස ඡන්ද ප්‍රමාණය ලක්ෂ 15ක මට්ටමට වැටීම මෛත්‍රීපාල සිරිසේනගේ පරාජයක් ලෙස මා සලකන්නේ නැත. ඒ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද පනස් දහසකට නොවැඩි ප්‍රමාණයක් පමණක් මත බලපෑම් කළ හැකි ප්‍රාදේශීය නායකයෙකු වූ ඔහුට ජාතික ඡන්ද පදනමක් කිසි කලෙක නොතිබුණු බැවිනි. මේ වන විට එජනිසය සතුව ලක්ෂ 15ක ඡන්ද පදනමක් ඇති අතර එම පක්ෂය තෙවන බලවේගයක් ලෙස ජවිපෙ අභිබවා ඉදිරියෙන් සිටී.

එජනිසයට මේ ඡන්ද පදනම වර්ධනය කර ගැනීම කෙසේ වුවත් දිගටම රැකගත හැකි වෙයිද?

එජනිස ඡන්ද වලින් ලක්ෂ පහක් පමණ සේ මා ඇස්තමේන්තු කරන ශ්‍රීලනිප ඡන්ද වලින් කොටසක් පොදුජන පෙරමුණ විසින් පහසුවෙන් ආකර්ශනය කරගනු ඇත. එහෙත්, ඉතිරි ඡන්ද වල හැසිරීම තීරණය වන්නේ ඉදිරි දේශපාලන පෙළගැසීම් අනුවය. ලක්ෂ 10ක් පමණ වන මේ ඡන්ද ලංකාවේ මැතිවරණ වල අවසන් ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කිරීමේ හැකියාව ඇති පාවෙන ඡන්දයි. මේ වන විට ලංකාවේ පාවෙන ඡන්ද වලින් වැඩිම ප්‍රමාණයක් රැඳී තිබෙන්නේ එජනිස ඡන්ද මල්ලේය. ලක්ෂ 7 ඉක්මවන ජවිපෙ ඡන්ද වලින් ලක්ෂ 5ක් පමණම මේ වන විට එම පක්ෂයේ ස්ථාවර ඡන්ද බවට පත් වී ඇති අතර පාවෙන ඡන්ද එහි ඇත්තේ ලක්ෂ 2ක පමණ ප්‍රමාණයක් පමණි.

මැතිවරණයෙන් පසුව එජනිසය සතුව විකල්ප තුනක් තිබුණේය. පළමුවැන්න පොදුජන පෙරමුණ සමඟ එකතු වීමයි. දිවයිනේ සමස්ත ඡන්ද වලින් 40.5%ක් ලබා සිටින පොදුජන පෙරමුණට වෙනත් පක්ෂ වල සහාය නොමැතිව බලය පිහිටුවිය හැක්කේ පළාත් පාලන ආයතන 125ක පමණි. එහෙත්, එජනිස සමඟ එකතු වුවහොත් මේ ප්‍රමාණය 238ක් පමණ දක්වා ඉහළ යයි. පොදුජන පෙරමුණ හා එජනිස අතර සන්ධානයකට දළ වශයෙන් දිවයිනේ සිංහල බෞද්ධ බහුතරයක් සිටින සියලුම පළාත් පාලන ආයතන වල බලය පිහිටුවිය හැකිය.

එහෙත්, මෙය සිදුවන ආකාරයක් මේ වන විට පෙනෙන්නට නැත.

එක පැත්තකින් පොදුජන පෙරමුණේ අරමුණ ඉදිරි ජාතික මැතිවරණයක් ජයගැනීම මිස පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම නොවේ. ජාතික මැතිවරණයකදී එජනිසයේ ඉතිරි ඡන්ද පහසුවෙන් තමන් වෙනත් ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා විය යුතුය. අනෙක් අතට පොදුජන පෙරමුණ හා එජනිසය අතර සන්ධානයකින් සිදුවන්නේ පොදුජන පෙරමුණ තුල එජනිසය ක්‍රමයෙන් දිය වී යාමයි. ඉන්පසුව, මෛත්‍රීපාල සිරිසේන හෝ එජනිසය තවදුරටත් ලංකාවේ දේශපාලනය තුළ වැදගත් සාධකයක් වන්නේ නැත.

දෙවන විකල්පය එජාපය සමඟ එකතු වීමයි. මේ වන විටද එජාප-එජනිස සන්ධානයක් පවතින නිසා මෙය එතරම් අපහසු නැත. කෙසේවුවද, එජාප-එජනිස සන්ධානයකට වුවද වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් වල සහයෝගය නොලබා බලය පිහිටුවිය හැක්කේ පළාත් පාලන ආයතන 57ක පමණි. මෙය පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවිය හැකි ආයතන ගණනින් අඩකටත් අඩුය. කෙසේ වුවත්, පොදුජන පෙරමුණට එජනිස සමඟ සන්ධානගත වී බලය ලබාගත හැකි අමතර ආයතන ගණන දැන් ගණනට අඩු වුවත්, එජාපයට මෙය දැන් ගණන මෙන් 8 ගුණය ඉක්මවයි. ඒ නිසා, එජනිසයට පොදුජන පෙරමුණ විසින් ගෙවනවාට වඩා වැඩි මිලක් ගෙවන්නට එජාපය සූදානමින් සිටිනවා විය හැකිය.

එජාපය සමඟ සන්ධානගත වුවද එජනිසයේ ඉතිරිව ඇති ශ්‍රීලනිප ඡන්ද විශාල ප්‍රමාණයක් පොදුජන පෙරමුණ වෙත ක්‍රමයෙන් විතැන් වීම වැළැක්විය නොහැකි වුවත් එමඟින් එජනිස මරණය පමා කරගත හැකිය.

එජනිස සතු තෙවන විකල්පය වන්නේ තෙවන බලවේගයක් ලෙස ස්වාධීනව සිටීමයි. මෙහිදී එජනිසයට දිගටම රඟපාන්නට සිදුවන්නේ දිගින් දිගටම පවතින ආණ්ඩු විවේචනය කරන ජවිපෙ භූමිකාවයි. මෙමඟින් ශ්‍රීලනිප ඡන්ද ගිලිහුණත් පාවෙන ඡන්ද තමන් වෙත රඳවා ගන්නට එජනිසයට පුළුවන. එසේ කළහොත් තෙවන බලවේගයක් ලෙස පමණක් වුවත් එජනිසය දිගටම පවතිනු ඇත.

මේ තෙවන විකල්පය යටතේ එජනිසයට තරඟ කරන්නට වෙන්නේ ජවිපෙ සමඟය.

ජවිපෙ සමඟ මේ වන විට රැඳී සිටින බහුතරය එසේ රැඳී සිටින්නේ ජවිපෙහි මාක්ස්වාදී මුල් නිසා නොවේ. ප්‍රධාන පක්ෂ කෙරෙහි ඇති කළ කිරීම හා ජවිපෙ විසින් ප්‍රදර්ශනය කරන පක්ෂ විනය ආදී වෙනත් හේතු නිසාය. ජවිපෙට දැන් සිටින තැනින් ඉහළට යන්නට තිබෙන බාධාව ඔවුන්ගේ මාක්ස්වාදී මූලයන්ය. විපක්ෂයේ සිටින තාක් කල් මේ මාක්ස්වාදී මූලයන් ප්‍රශ්නකාරී නොවූවත් ජවිපෙට බලය ලැබුනොත් එය ප්‍රශ්නයක් බව ලංකාවේ ඡන්දදායකයා දනී. එසේ නැතුව, ජවිපෙ විසින් කැරලි අවස්ථා දෙකකදී මිනීමැරීම වැනි දේ තවදුරටත් එතරම් වැදගත් කරුණු නොවේ. ජවිපෙට නැවත එවැනි තැනකට යා නොහැකි බව පැහැදිලි කරුණකි. අනෙක් අතින් ජවිපෙට නිදහස් වෙළඳපොළ අන්තය කරා තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ අවශ්‍යතාවය පෙනෙන නමුත් ඔවුන්ගේ ඉතිහාසය අනුව ක්‍රමක්‍රමයෙන් මිස කෙටි කළක් තුළ එම පක්ෂය වෙනස් කිරීමේ හැකියාවක් නැත.

පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එජනිසය විසින් ඉතා දක්ෂ ලෙස ජවිපෙ සමඟ තරඟ කරමින් පාවෙන ඡන්ද එක්රැස් කරගත්තේය. මෙහිදී, එජනිසය සතු වූ වාසිය ජවිපෙ මාක්ස්වාදී ඉතිහාසයයි. එහෙත්, මේ වාසිය දිගටම රැකගන්නටනම් එජනිසයට ජවිපෙ ආකාරයේ විනයක්ද අවශ්‍ය වේ. එවැනි විනයක් පවත්වා ගැනීමට එජනිසයට හැකි වේදැයි සැක සහිතය. ඒ නිසා එජනිස පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ක්‍රමයෙන් ජවිපෙ වෙත විතැන් වන්නටද ඉඩ තිබේ.

අවසාන වශයෙන් එජනිසය සතුව කොපමණ ඡන්ද ඉතිරිවේද යන්න අනාගතයට භාර කරුණකි.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...