වෙබ් ලිපිනය:

Showing posts with label මරණය. Show all posts
Showing posts with label මරණය. Show all posts

Sunday, March 13, 2016

සතර පෙර නිමිති නොදැකීම


පිළිකාවක් හේතුවෙන් සිදු වූ මිතුරෙකුගේ මරණයක් ගැන මම දෙසතියකට පෙර ලිපියක සඳහනක් කළෙමි. වත්පොත හරහා මේ පුවත දැනගන්නා මොහොතේ ඒ මරණය හා අදාළ තවත් කරුණු දෙකක් දැනගන්නට ලැබුණේය.
-ඔහු මේ පුවත දැනගන්නා විට පිළිකාව සුව කළ නොහැකි මට්ටමට වර්ධනය වී තිබී ඇත.
-මේ ගැන වෙනත් අයට කියනවාට ඔහුගේ වැඩි කැමැත්තක් තිබී නැත.

පසුගිය වසර දෙක තුළ ඇමරිකාවේ ජීවත් වූ මගේ වෙනත් මිතුරු මිතුරියන් තිදෙනෙකුට පිළිකා සෑදී මේ වන විට සුවය ලබා සිටිති. එයින්, දෙදෙනෙකු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ය. මගේ පදිංචිය වෙනස්වීම් නිසා ඔවුන් මේ රෝගයට පාත්‍ර වන විට මා මේ මිතුරා හා මිතුරිය දැන හඳුනාගෙන වැඩි කාලයක් නැත. අනෙක් මිතුරිය පිලිපීන සම්භවයක් ඇති තැනැත්තියකි. දශකයක පමණ කාලයක් තිස්සේ මා දන්නා ඇය සමඟ මා රටවල් කිහිපයකදී අවස්ථා කිහිපයක්ම සමීපව කටයුතු කර ඇත.

බටහිර රටවල පිළිකාවකින් සුවය ලැබීමේ ඉඩකඩ (survival rate) දියුණු වන රටවල එම ඉඩකඩට වඩා සැලකිය යුතු ලෙස විශාලය. මෙයට එක් හේතුවක් වන්නේ මුල් අදියරේදීම පිළිකා වැඩි ප්‍රමාණයක් හඳුනාගැනීමයි. එසේ වුවද, බටහිර රටකදී පිලිකාවක් වැළඳීමට ඇති ඉඩකඩ කිහිප ගුණයකින් වැඩි නිසා පිළිකාවකින් මරණයට පත්වීමේ ඉඩකඩද වැඩිවී තිබීම වෙනම කතා කළ යුතු කරුණකි.

අකල් මරණයකට පත් වූ, මුලින්ම සඳහන් කළ මිතුරා මෙන්ම පෙර කී අනෙක් මිතුරා හා මිතුරියද තමන්ගේ රෝග තත්ත්වය ගැන වෙනත් අය දැනගන්නවාට එතරම් කැමැත්තකින් සිට නැති බව පෙනේ. මෙයින් වඩා වයසින් අඩු මිතුරිය ඇගේ පිළිකාව හා සටන් කර ජයගත් බව මා වත්පොත හරහා දැනගත්තේ ඇය විසින්ම අවසානයේ ඒ බව වත්පොත හරහා දැනුම් දීමෙන් පසුවය. ඒ අතරවාරයේදී මට ඇයව කිහිප වරක්ම පෞද්ගලිකව හමුවන්නට ඇත.

දෙවන මිතුරා රෝහල්ගතව සිටින බව මා 'වටෙන් ගොඩෙන්' දැනගත්තත්, ඇතැම් විට ඒ වන විට ඔහු සමඟ මගේ ලොකු සම්බන්ධයක් නොතිබූ බැවින්, වෙනත් මිතුරන් ඒ ගැන මා සමඟ කතාබහ නොකළේය. තමන්ගේ සමීපතම නෑදෑයන් ආදීන්ගෙන් වෙන්ව සිටින අයෙකුට මෙවැනි අවස්ථාවකදී වෙනත් අයෙකුගේ උදවුවක වටිනාකම බොහෝ වැඩිය. මගේ රැකියාවේ ස්වභාවය අනුව මට නිශ්චිත සේවා මුරයක් තුළ සේවය කිරීමට බොහෝ විට අවශ්‍ය නොවන නිසා දිනක් හෝ  කිහිපයක් රෝහලේ නැවතී ඔහුට අත් උදවු කිරීමේ හැකියාවක් මට තිබුණේය. එහෙත්, තමන්ගේ රෝගය ගැන 'හැමෝම දැනගන්නවට' ඔහු අකමැති වූ බැවින් ඔහුගේ පෞද්ගලිකත්වයට ගරු නොකර උදවුවක් කිරීමේ හැකියාවක් මට තිබුණේ නැත.

කෙසේ වුවද, පිලිපීන මිතුරියගේ ප්‍රවේශය වූයේ මීට වඩා වෙනස් එකකි. මුලින් පිලිපීන මුදල් අමාත්‍යාංශයේත්, පසුව ලෝක බැංකුවේත් සේවය කළ ඇය මේ සිදුවීම වන විට ඇමරිකානු සරසවියක ආචාර්ය උපාධිය හදාරමින් සිටියාය. පිළිකාව වැළඳෙන විටත් අවිවාහකව සිටි ඇය වෘත්තීය කටයුතු වලට දක්වන සැලකිල්ලම සාමාන්‍යයෙන් රූ සපුව ගැනද දැක්වූ තැනැත්තියකි. පිළිකාවෙන් බේරීමට ඇයට ඇගේ පියවුරක් ඉවත් කිරීමට සිදු විය. විකිරණ ප්‍රතිකාර නිසා ඈ මහත් සැලකිල්ලෙන් නඩත්තු කළ දිගු වරල සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය. මා මේ සියළු දේ දැනගත්තේ ඈ ඇගේ පිළිකාව මුලින්ම හඳුනාගත් තැන් පටන් සියළු අදියරයන් වෙනම බ්ලොග් එකක යාවත්කාලීන කළ බැවිනි.

මේවා පුද්ගලික තේරීම්ය. එහෙත්, මගේ සාමාන්‍ය නිරීක්ෂණය වන්නේ බොහෝ ලාංකිකයින් පිළිකාවක් වැනි රෝගයක් වැළඳුනු විට ඒ බව රහසිගතව තබාගැනීමට උත්සාහ කරන බවයි. වෙනත් රටකට සංක්‍රමණය වී වසර ගණනක් ජීවත් වුවද මෙවැනි පුරුදු ඇතැම් විට වෙනස් නොවේ. වෙනත් අයෙකුගෙන් උදවු උපකාරයක් ලබා ගැනීමට ඇති හැකියාවද නොසලකමින් මෙසේ හැසිරෙන්නේ ඇයිද යන්න විමසිය යුතු කරුණකි.

බටහිර රටකට සාපේක්ෂව ලංකාවේදී වෙනත් අයෙකුගේ රෝගයක් වැනි තත්ත්වයක් ගැන පුද්ගලයින් වැඩිපුර සැලකිලිමත් වේ. මේ නිසා 'වෙන කෙනෙකුට කරදර කළ යුතු නැත' යන මානසිකත්වය මේ තත්ත්වයට මුල් වෙනවා විය හැකිය. එහෙත්, මට සිතෙන පරිදි මෙයට වෙනත් හේතුද තිබේ.

කොයිතරම් මරණයේ අනියත බව ගැන කතා කළත් ලංකාවේ බොහෝ දෙනා මරණයට වගේම මාරාන්තිකයැයි සාමාන්‍යයෙන් සිතන රෝග වලටත් ඇත්තේ පුදුම බයකි. සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, ලංකාවේ කාන්තාවන්ගේ එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ දැනුම් මට්ටම මම පසුගිය ලිපියකින් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළෙමි. මේ වන විට, එච්අයිවී වෛරසය ශරීරගත වීම දශක දෙකකට පෙර මෙන් මාරාන්තික තත්ත්වයක් නොවේ. අධි සක්‍රිය ප්‍රති-වෛරස් ප්‍රතිකාරකය (Highly active antiretroviral therapy - HAART) වැනි සම්බන්ධීකරණය කළ ඖෂධ පංතියක් දිගටම ගැනීමෙන් එච්අයිවී වෛරසය ශරීරගත වූ බොහෝ දෙනෙකු දැන් ඒඩ්ස් තත්ත්වයට එළඹෙන්නේ නැත. ඒ අනුව, එච්අයිවී වෛරසය ශරීරගත වීම කොලෙස්ටරෝල් හෝ සීනි වැඩිවීම වැනි රෝගකාරක තත්ත්වයක් බවට දැන් පත් වී ඇති අතර බටහිර රටවල එච්අයිවී ආසාදිත පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයුකාලය සාමාන්‍ය පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයුකාලයටම ආසන්නය.

තත්ත්වය එසේ වුවද, එච්අයිවී ආසාදිත පුද්ගලයෙකු සමඟ සාමාන්‍ය සමාජ කටයුත්තක යෙදීමට සූදානම් පිරිස කොතරම් සීමිත විය හැකිද යන්න පසුගිය දින වල ලංකාවේ සිදුවූ සිදුවීම් වලින් පැහැදිලි විය. ඒ සිදුවීම් වසර හයකට පෙර සිදුකළ සමීක්ෂණයේ දත්ත තහවුරු කරයි.

එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ දැනුම් මට්ටම ගැන ඉහත ආකාරයේ සමීක්ෂණයක් සිදුකර තිබුණත් පිලිකා පිලිබඳ දැනුම හා ආකල්ප ගැන මා දන්නා තරමින් මෙවැනි සමීක්ෂණයක් සිදු කර නොමැත. එහෙත්, මගේ පෞද්ගලික අදහසනම් පිළිකා පිලිබඳ දැනුම හා ආකල්ප වුවද එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ තත්ත්වයෙන් විශාල ලෙස වෙනස් නොවන බවයි.


ලංකාවේ යමෙකුට පිළිකාවක් වැළඳුණු විට ඒ බව වෙනත් අය දැනගන්නවාට කැමති අය සිටිනවානම් ඒ බොහෝ අඩුවෙනි. එච්අයිවී/ඒඩ්ස් හැදුණු විටක මෙන්ම මෙහිදීද වන්නේ "ඔය හංගගෙන හිටියට පුෂ්පගෙ හස්බන්ඩ්ට පිළිකාවක්ලු!" ආකාරයේ කටකතා පැතිරීමයි. එමෙන්ම, පිළිකා වාතයෙන්, ආහාර වලින් වැනි ක්‍රම වලින් බෝ නොවුණත්, පිළිකා රෝගියෙකුගේ නිවසට නිතර යන්න එන්නට හෝ එවැන්නෙකු සමඟ කෑම කන්නට බොහෝ ලාංකිකයින් පැකිලෙන බව මගේ උපකල්පනයයි. තමාගේ රෝගය ගැන ප්‍රචාරය වනවාට බොහෝ දෙනෙකු අකැමති වන්නේ මේ හේතුවද නිසාය.

අපි සතර පෙර නිමිති ගැන ඕනෑ තරම් අසා ඇත්තෙමු. සතර පෙර නිමිති ඕනෑ තරම් අපට පෙනෙන්නට තිබේ. එහෙත්, බොහෝවිට අපි සතර පෙර නිමිති නොදකිමු.



(Image: adarawanthaingearamaya.blogspot.com/)

Saturday, March 5, 2016

මරණය දුකක් වන්නේ කාටද?


දුක විස්තර කෙරෙන "තත්‌ථ කතමං දුක්‌ඛං අරියසච්‌චං? ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛා, මරණම්‌පි දුක්‌ඛං, සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසාපි දුක්‌ඛා, අප්‌පියෙහි සම්‌පයොගො දුක්‌ඛො, පියෙහි විප්‌පයොගො දුක්‌ඛො, යං පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං, සංඛිත්‌තෙන පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා දුක්‌ඛා." යන සච්ච විභංග පාඨය අප බොහෝ දෙනෙකු බොහෝ වර අසා ඇත. මෙහි කියවෙන්නේ දුකට හේතු වන කරුණු ගැනය.

මේ කරුණු වලින් දෙකක් හැර අනෙත්වා සම්බන්ධව බෞද්ධයෙකු නොවන කෙනෙකුට වුණත් ලොකු අවුලක් තිබිය නොහැකිය. වයස්ගත වීම, අප්‍රියයන් හා එක්වීම වැනි කරුණු දුකට හේතුවන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයන්ය. එහෙත්, ටිකක් හිතා බැලුවොත් උපත හෝ මරණය දුකක් වන බව එවැනි ප්‍රත්‍යක්ෂ සත්‍යය නොවේ. කිසිවෙකු අපට කියා දී ඇති නිසා හෝ තර්කානුකුල හේතූන් මත විශ්වාස කරනු මිස උපත හෝ මරණය දුකක් බව අපට ප්‍රත්‍යක්ෂ කළ හැකිද?

මේ ගැන කතා කරන්නට පෙර වියාචනයක් (රවිගෙන් උගත් වචනයකි.) කරන්නට සිදුවේ. මේ ලිපියෙන් කිසිවෙකුගේ ආගමික විශ්වාසයන්ට අපහාසයක් කිරීමේ අරමුණක් නැතත් එසේ සිදුවනවානම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනු හැර වෙනත් කළ හැකි දෙයක් නැත. මා හිතන දේවල් මා නොලිවුවොත් ඒවා ලියන්නට වෙන කෙනෙක් නැති විය හැකිය. 

මේ දෙකෙන් මරණය ගැන පළමුව කතා කළහොත්, මියයන අයෙකුගේ අවසාන අත්දැකීම කුමක්ද කියා හරියටම දැනගැනීමට අපට කිසිම ක්‍රමයක් නැත. මේ තත්ත්වයට කිට්ටුවම අපට ඇති පළමෝත නිරීක්ෂන වන්නේ කිසියම් හේතුවකින් මරණය කිට්ටුවටම ගොස් ආපසු පැමිණි අයගේ මරණාසන්න අත්දැකීම්ය. මේ වන විට එවැනි අත්දැකීම් ලැබූ දහස් ගණනක් විසින් වාර්තා කර ඇති අත්දැකීම් වල කිසියම් සමානත්වයක් තිබේ.

මාසයකට පමණ පෙර රසික විසින් ඔහු ලැබූ මෙවැනි අත්දැකීමක් විස්තර කර තිබුණේය. එය වෙන
ත් අය ලැබූ එවැනි අත්දැකීම් වලින් ලොකුවට වෙනස් නොවේ.

ඊ ළඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.

"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.


මෙවැනි අත්දැකීම් වාර්තා එකතුවක් පවත්වාගෙන යන http://www.nderf.org වෙබ් අඩවියේ මේ වන විට එවැනි සිදුවීම් පිලිබඳ වාර්තා 4100ක් සටහන්ව ඇත. ඒ අත්දැකීම් පැහැදිලි කිරීම පසෙකට තබා දැනට යම් සාරාංශගත කිරීමක් පමණක් කළහොත් බොහෝ දෙනා ලබා ඇති අත්දැකීම් මෙසේය.

-ඉතා දීප්තිමත් ආලෝකයක්
-හැම දිශාවම දර්ශනය වන පෙනීමක් (panoramic view)
-තමන්ගේ සිරුරින් ඉවත්ව සිටිනාවක් වැනි හැඟීමක්
-කාලය නොයන බව හෝ කාලය පිලිබඳ හැඟීමක් නොමැති තත්ත්වයක්
-වඩාත්ම වැදගත් කරුණ: වේදනාවක් නැති සහනදායී හැඟීමක් 


මරණාසන්න මොහොතේදී තමන්ට ඉවසන්නට අමාරු තරමේ වේදනාවක් දැනුනු බවක් බොහෝවිට වාර්තා වී නැති අතර වාර්තා වී ඇත්තේ එහි අනිත් පැත්තයි. කෙසේවුවද, තමන් ජීවත්ව සිටියදී බැඳී සිටි යමක් සිහිව නැවත හැරී ආ බවද බොහෝ විට කියැවී ඇති දෙයකි.

මරණාසන්න අත්දැකීම් වාර්තා කර ඇති අය ඒ තත්ත්වයට පත් වූවන්ගේ අහඹු නියැදියක් ලෙස අපට නිශ්චය කිරීමට නුපුළුවන. මරණයට පත්වන අයගේ අත්දැකීම්, ඇතැම් විට, මෙසේ මරණය ආසන්නයටම ගොස් ආපසු හැරී එන අයගේ අත්දැකීම් වලින් වෙනස් වන්නට පුළුවන.

මෙසේ ආපසු හැරී එන අය වෙනස් වන්නේ මේ ක්‍රියාදාමය අතරතුර යම් මොහොතක ඇතිවන ජීවත්වීමේ ආශාව නිසාද? එසේනම්, මියයන අය අවසන් මොහොතේ එවැනි ආශාවක් ඇති නොවූ, අර රසික විස්තර කළ සැන්ශේෂණල් ෆීලින් එකෙන්ම මරණයට පත්වූ අයද? එසේ නැත්නම්, තමන් ආශා කළ දේ සිහි කරමින්, ආපසු ඒමට නොහැකි වීම ගැන විශාල දුකකින් ඔවුන් මරණයට පත් වනවාද?

අප දැඩි සේ ආදරය කරන කෙනෙකු සදහටම වෙන්වීම අපට විශාල දුකකි. ඇතැම් විට මියයන පුද්ගලයෙකුටද තමන් ආශා කළ සියළු දෙයින් සදහටම වෙන්වීමට සිදුවන බව සිහිවීම මරණාසන්න මොහොතේ ඇතිවන විශාල දුකක් වන්නට පුළුවන. ඒ හැරුණු විට මරණය හා අදාළ විශාල ශාරීරික වේදනාවක් ඇති බවක්නම් පෙනෙන්නේට නැත. මරණාසන්න අත්දැකීම් වලින්ද පසුවට එන මේ අවසන්ම අවසන් මොහොත කවරක් වුවද, ඒ ගැන විශ්වාස කරනු මිස ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීමේ හැකියාවක් අපට නැත.

මේ මරණය ගැනය. එසේනම්, ඉපදීම දුකක්දැයි අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකිද?


(Image: www.desktopwallpapers4.me)

Wednesday, March 2, 2016

මරණය දුකකි!


පසුගිය දෙසතිය තුළ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මරණ ගැන අසන්නට ලැබුණේය. ජනප්‍රිය ගායකයෙකු වූ ඇන්ටන් ජෝන්ස් වසර 79ක් ආයු වළඳා පසුගිය පෙබරවාරි මස 21 වන දින මිය ගියේය. දියවැඩියාව ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා විඳිමින් සිට මිය ගිය ඔහු ගැන සඳුන් සෙවණේ චන්දන හා මාතලන් විසින් සටහන් තබා තිබුණේය. ලංකාවේ සිදුවන මරණ වලින් 8%කට පමණ හේතු වන්නේ දියවැඩියාවයි.

පෙබරවාරි 27 වන දින තවත් මරණ දෙකක් ගැන අසන්නට ලැබුණේය.  පේරාදෙණිය සරසවියේ දේශපාලන විද්‍යා අංශාධිපති සහ මහාචාර්යවරයෙකු ලෙසද, කැබිනට් ඇමතිවරයෙකු ලෙසද කලක් සේවය කළ ආචාර්ය විශ්වා වර්ණපාලගේ මරණය එයින් පළමුවැන්නයි. ඔහුද වසර 79ක් ආයු වළඳා මිය ගොස් තිබේ. මරණයට හේතුව මා දන්නේ නැත. එංගලන්තයේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වන විශ්වා වර්ණපාල ගැන රසික විසින් සටහනක් තබා තිබුණේය. [නොදන්නා කෙනෙක් ඉන්නවානම් මහාචාර්ය (Professor) යනු තනතුරු නාමයකි. ආචාර්ය (Doctor) යනු අධ්‍යාපන සුදුසුකමකි. සරසවියක සේවය කරන ආචාර්ය උපාධිධාරියෙකු හෝ ඇතැම් විට ඊට වඩා අඩු අධ්‍යාපන සුදුසුකමක් ඇත්තෙකු මහාචාර්යවරයෙකු විය හැකිය.]

පෙබරවාරි 27 වන දිනම සිදුවූ අනෙක් මරණය ආචාර්ය අජන්තා රණසිංහගේ මරණයයි. වසර 76ක් ආයු වළඳා ඔහු මියයන්නේ නිවසේ සිදුවූ වැටීමක් හේතුවෙනි. මෙවැනි වැටීම් නිසාද ලංකාවේ සිදුවන මරණ වලින් 1.5%ක් පමණ සිදුවේ. බොහෝ කලාකරුවන් මියයාමට පෙර ජීවත්ව සිටියදී ඔවුන් ගැන කතාකරන චන්දන විසින් අජන්තා රණසිංහ ගැන මරණයට පෙර හා පසු සටහන් දෙකක්ම තබා තිබුණේය. රවී විසින් ඔහුගේ නිදහස් සිතිවිලි වියුණුවේ තවත් සටහනක් තබා තිබුණේය. කලාකරුවෙකු ලෙස අජන්තා රණසිංහගේ ප්‍රතිභාව ගැන මා හොඳින් දන්නා නමුත් ඔහුගේ ආචාර්ය උපාධිය ගැනනම් වැඩි විස්තරයක් දන්නේ නැත.

මොවුන් තිදෙනාම ඉපදුනු 1930 දශකයේදී ලංකාවේ පිරිමියෙකුගේ අපේක්ෂිත ආයුකාලය පිලිබඳ නිවැරදි සංඛ්‍යාලේඛණ නැතත් පසුකාලීන ප්‍රවණතා අනුව එය පනස් ගණනකට නොවැඩි විය යුතු බව ඇස්තමේන්තු කිරීමට පුළුවන. දැනටද එය වසර 71.6කි. මේ පදනම මත, මේ තිදෙනාම ඔවුන්ගේ වයස් කාණ්ඩයේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි කලක් ජීවත් වී තිබේ.

ඊයේ මට තවත් දුක්බර පුවතක් අසන්නට ලැබුණේය. ඒ, ඉහත පුද්ගලයින් මෙන් ජනප්‍රිය චරිතයක් නොවූවත්, සරසවියේ මට වඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ සිටි මිතුරෙකුගේ අකල් මරණයයි. මා මෙය අකල් මරණයක්යැයි කියන්නේ හැටේ දශකයේ උපන් ලාංකිකයෙකු මේ වන විට තමන් උපදින විට තිබූ අපේක්ෂිත ආයුකාලය කරා ලඟා වී නොමැති බැවිනි. ඔහු මියගොස් ඇත්තේ පිළිකාවකිනි. ලංකාවේ සිදුවන මරණ වලින් 10.65%ක් පමණ ප්‍රමාණයකට හේතු වන්නේ පිළිකාවකි. මෙය දෙවැනි වන්නේ හෘදයාබාධ නිසා ඇතිවන මරණ (25.74%) වලට පමණි. මෙයට මුඛ පිළිකා (1.51%), පෙනහළු පිළිකා (1.11%), පියයුරු පිළිකා (1.07%), ගලනාල පිළිකා (1.03%), ආමාශ පිළිකා (1.0%), අක්මා පිළිකා (0.61%), ගැබ්ගෙල පිළිකා (0.55%), ගුද මාර්ගයේ පිළිකා (0.45%), ගර්භාෂ පිළිකා (0.38%), මුත්රාශ පිළිකා (0.17%) ආදී ශරීරයේ විවිධ ස්ථාන වල ඇතිවන පිළිකා ඇතුළත්ය.

තමන් දැන සිටින කෙනෙකු මියගිය විට අපට යම් කම්පනයක් ඇතිවේ. මරණය අකල් මරණයක් වූ විට මෙන්ම තමන්ට පාලනය කළ නොහැකි හේතුවකින් සිදුවූවක් වූ විට මේ කම්පනය වඩා වැඩිය. එසේ මරණයට පත්වූ පුද්ගලයා තමන්ගේ වයස් කාණ්ඩයට සමීප පුද්ගලයෙකු වූ විට, ඇතැම් විට 'අත්තානං උපමං කත්වා' පදනමින්, මේ කම්පනය වඩාත් වැඩියෙන් දැනේ. මෙයට හේතුව අපට ජීවත් වීමට ඇති ආශාව විය යුතුය.


මරණය දුකකි. එහෙත්, මරණය දුකක් වන්නේ කාටද?

(Image: www.pinterest.com)

Thursday, February 18, 2016

මරණය කල් දමා ගත හැකිද?


පසුගිය ලිපියේ කතාකළ පරිදි ශ්‍රී ලාංකිකයින්ගෙන් 38%ක් පමණම මිය යන්නේ හෘදයාබාධ හෝ ආඝාත නිසාය. එනම්, හදවතේ හෝ මොළයේ ධමනියක් අවහිර වී රුධිර සැපයුම නැවතීම නිසාය. මෙසේ ධමනි අවහිර වීම වලක්වාගත හැකිනම් හෘදයාබාධ හා ආඝාත වලක්වාගත හැකිය. එය කිරීමට තරම් විද්‍යාව දියුණු නැත. එහෙත්, මෙසේ ධමනි අවහිරවීමේ ඉඩකඩ අඩු කරගැනීමට අපට හැකියාවක් තිබේ. එනයින්, හෘදයාබාධ හා ආඝාත ඇතිවීමේ ඉඩකඩ අඩු කර අපේක්ෂිත ආයු කාලය වැඩි කර ගැනීමට අපට පුළුවන.

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සහ හෘදයාබාධ අතර ඉතා පැහැදිලි, හඳුනාගත් සම්බන්ධතාවයක් තිබේ. එහෙත්, එවැනි පැහැදිලි සම්බන්ධතාවයක් තිබූ පමණින් කොලෙස්ටරෝල් හෘදයාබාධ වලට හේතු වන බව ස්ථිරවම පැවසිය නොහැකිය. අප නොදන්නා තෙවන කරුණක් හෘදයාබාධ වලට මෙන්ම කොලෙස්ටරෝල්  මට්ටම ඉහළ දැමීමටද හේතුවනවා විය හැකිය. කෙසේවුවද, එවැනි යාන්ත්‍රණයක් ගැන හරියටම නොදන්නා බැවින් කොලෙස්ටරෝල්  මට්ටම පාලනය කිරීම මඟින් හෘදයාබාධ ඇතිවීම අවම කර ගැනීම සඳහා අපට උත්සාහයක් දැරිය හැකිය.

බොහෝ දෙනා දන්නා පරිදි, කොලෙස්ටරෝල් වල ප්‍රධාන සංඝටක තුනක් තිබේ. ඒ, LDL (ලෝ ඩෙන්සිටි ලිපෝ ප්‍රෝටීන්), HDL (හයි ඩෙන්සිටි ලිපෝ ප්‍රෝටීන්) හා ට්‍රයිග්ලිසරොයිඩ් (TG) යන සංඝටකයි. යමෙකුගේ රුධිරයේ මුළු කොලෙස්ටරෝල් ප්‍රමානය ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 200ක් හෝ ඊට වැඩිනම් සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු එහි සංයුතිය පරීක්ෂා කිරීමට නියම කරයි.

පරීක්ෂණාගාරයකදී මනින රුධිරයේ ඇති මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය (TC) ඉහත කොටස් තුනේ එකතුවට සමාන නැත. මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය සහ එහි සංඝටක අතර ඇති සම්බන්ධතාවය ආසන්න වශයෙන් මෙවැන්නකි.

TC = LDL + HDL + 0.2 TG

සාමාන්‍යයෙන් පරීක්ෂණාගාරයකදී රුධිරයේ ඇති LDL ප්‍රමාණය ඇත්තටම මනින්නේ නැත. ඉහත සමීකරණය භාවිතයෙන් එය ආසන්නව ගණනය කරගන්නවා පමණි. ඇතැම් විට LDL-C කියා (calculated) සඳහන් කරන්නේ ඒ නිසාය. සාමාන්‍ය මට්ටමේ කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇති අයෙකු හා අදාළව මේ සමීකරණය එතරම් වැරදි නැත.

මේ LDL නරක කොලෙස්ටරෝල් ලෙසත් HDL හොඳ කොලෙස්ටරෝල් ලෙසත් හැඳින්වේ. LDL මඟින් අවහිර කරන ධමනි HDL මඟින් පිරිසිදු කරන බව දැනට පිළිගැනෙන ප්‍රධාන ධාරාවේ දැනුමයි. මේ දැනුම මත රෝගියෙකුගේ LDL මට්ටම අඩු මට්ටමක පවත්වා ගැනීම සහ HDL මට්ටම වැඩි කර ගැනීම වෛද්‍ය වරයෙකුගේ ඉලක්කයයි. LDL වලට අමතරව ට්‍රයිග්ලිසරොයිඩ්ද ධමනි අවහිර කිරීමට උදවු කරන නිසා TG මට්ටම අඩුකරගැනීමද ඉලක්කයකි.

දැනට කොලෙස්ටරෝල් වැඩිකමෙන් පෙලෙන රෝගීන් විසින් වැඩිපුරම භාවිතා කරන ඖෂධය ඇටෝවැස්ටටීන් කැල්සියම්ය (atorvastatin calcium). එහි ජනප්‍රියම වෙළඳනාමය ලිපිටෝර්ය. ලිපිටෝර් මෙතෙක් ලෝකයේ වැඩිපුරම විකිනුණු ඔසුවකි. 1997 සිට 2012 දක්වා වසර 14.5ක කාලය තුල ලිපිටෝර් අලෙවිය සඳහා පේටන්ට් අයිතිය තිබුණු ෆයිසර් සමාගම ලැබූ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 125 ඉක්මවයි. 2011 නොවැම්බර් 11 දින ෆයිසර් සමාගමේ පේටන්ට් බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසුව තරඟකාරී සමාගම් විසින්ද වෙනත් සන්නාම යටතේ ඇටෝවැස්ටටීන් කැල්සියම් නිපදවීම ඇරඹුවේය. මේ 2012 මැද පමණ සිට මේ විකල්ප නිෂ්පාදන වෙළඳපොළට පැමිණීමත් සමඟ ෆයිසර් සමාගම ලිපිටෝර් විකුණා ලැබූ ආදායමෙන් හතරෙන් තුනක්ම ඔවුන්ට අහිමි වී තිබේ.

ලිපිටෝර් මඟින් රුධිරයේ LDL සැලකිය යුතු ලෙස අඩු කරන අතර HDL සුළු වශයෙන් වැඩි කරයි. ට්‍රයිග්ලිසරොයිඩ්ද තරමකට අඩුකරයි. කෙසේ වුවද, ලිපිටෝර් වල ජනප්‍රියත්වයට හේතු වූයේ එමඟින් රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීම නොවේ. හෘදයාබාධ ඇතිවන සම්භාවිතාව අඩු කිරීමය. කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් වන්නේ හෘදයාබාධ හා කොලෙස්ටරෝල්  අතර ඇති සම්බන්ධතාවය නිසාය.

ලිපිටෝර් වලට හෘදයාබාධ සෑදීම වැළැක්විය නොහැකිය. එහෙත්, හෘදයාබාධයක් සෑදීමේ සම්භාවිතාව අඩු කළ හැකිය. මේ වන විට පර්යේෂණ 300කින් පමණ තහවුරු කරගෙන ඇති පරිදි ලිපිටෝර් මඟින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය 37-58% කින් පමණ අඩු කරන අතර හෘදයාබාධයක් හැදීමේ ඉඩකඩ 25-45%කින් පමණ අඩු කරයි. වෙනත් අයුරකින් කිවහොත්, මරණය නියත වුවත්, අපට මුදල් ගෙවා මරණය කල් දමා ගත හැකිය.

කෙසේ වුවද, මෙය සූදුවකි. මුදල් ගෙවා දිගටම ලිපිටෝර් මිලදීගෙන පාවිච්චි කළත් හෘදයාබාධයක් සැදීමේ හැකියාව ඉවත් නොවේ. එය අඩුවනවා පමණි.

මිනිස් ජීවිතයක වටිනාකම ඉතා විශාලය. එහෙත්, එය අසීමිත නැත. ලිපිටෝර් වැනි රෝගයක් සෑදීමේ ඉඩකඩ අඩුකර ගැනීමට උදවු කරන (එහෙත් ඇතැම් එන්නත් මෙන් ඉතා ඉහල සම්භාවිතාවකින් රෝග නිවාරණය නොකරන) ඔසුවක් භාවිතා කිරීම වාසිදායක වන්නේ එසේ කිරීම නිසා වැඩි වන අපේක්ෂිත ආයු කාලයේ වටිනාකම ඔසුවේ මිලට වඩා වැඩිනම් පමණි. ඔසුවේ මිල ඉතා අධිකනම්, හෘදයාබාධයක් සෑදීමේ අවදානම ගැනීම වඩා වාසිදායකය. වෙනත් විදිහකින් කියනවානම්, ලිපිටෝර් මිල පැවති මිලට වඩා අඩු වීනම් තවත් බොහෝ දෙනෙකු වැඩි කලක් ජීවත් විය හැකිව තිබුණි.

ඒකාධිකාරය අහෝසි වීමෙන් පසුව ලිපිටෝර් මිල කලින් පැවති මිලෙන් හතරෙන් එකක් පමණ දක්වා පහත වැටී ඇත. එසේනම්, ෆයිසර් සමාගම පේටන්ට් බලපත්‍රය මඟින් ලැබුණු ඒකාධිකාරය නිසා විශාල ලාභයක් ලබා තිබේ.

මේ ලාභය අසාධාරණද?

කියවා නැත්නම්, පහත ඇති ලිපියත් කියවා තීරණය කරන්න.

ඔසු සමාගම් වල ඒකාධිකාරය බිඳහෙළිය යුතුද?


(Image: katanapen.wordpress.com)

Tuesday, February 16, 2016

මැරෙන විදිහ දැනගන්න ඕනෑද?


පසුගිය ලිපිය කියවා මැරෙන දවස දැනගෙන සිටින අයට ඊළඟට මතුවන ප්‍රශ්නය මැරෙන විදිහ කුමක්ද යන්නයි. වෙනත් බොහෝ ප්‍රශ්න වලට වගේම මේ ප්‍රශ්නයටත් නිශ්චිත පිළිතුරක් නැති වුවත් අවිනිශ්චිත පිළිතුරක් තිබේ.

පහතින් ඇත්තේ (ලංකාවේ ජීවත් වන) ඔබ මියයන්නට ඉඩ ඇති ප්‍රධාන ක්‍රම දහය සහ ඒ එක් එක් ක්‍රමයෙන්  මියයාමට ඇති සම්භාවිතාවයි.

හෘදයාබාධයකින් - 25.74%
ආඝාතයෙන් -11.98%
දියවැඩියාවෙන් - 8.05%
ඉන්ෆ්ලුවන්සාවෙන් හෝ නියුමෝනියාවෙන් - 5.76%
සියදිවි නසාගැනීමෙන් - 4.87%
පෙනහළු ආබාධයකින් - 4.84%
වකුගඩු ආබාධයකින් - 2.76%
අක්මා ආබාධයකින් - 2.65
ඇදුම හේතුවෙන් - 2.33%
වාහන අනතුරකින් - 2.19%


(Source: http://www.worldlifeexpectancy.com/country-health-profile/sri-lanka)

මේ අනුව ඔබ මියයාමට ඉඩ ඇත්තේ රුධිර සංසරණය පිලිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් බව 38%ක් සහතික කර කියන්නට පුළුවන. උඩින්ම ඇති කරුණු තුනටම අපේ ජීවන විලාසිතා හේතු වේ. ආහාර පුරුදු හා දුම්පානය ඒ අතරින් ප්‍රධානය.


කොයි තරම් ප්‍රවේශම් වුණත් හෘදයාබාධයක් හැදෙන එක සම්පූර්ණයෙන් නවත්වන්නට නුපුළුවන. ඒ වගේම, කිසිම පරිස්සමක් නැතුව හිටියත් හෘදයාබාධයක් නොහැදෙන්නත් පුළුවන. කෙසේවුවත්, ජීවන විලාසිතා වෙනස් කර ගැනීමෙන් හෘදයාබාධයක් හැදීමට ඇති ඉඩකඩ අඩු කරගෙන මැරෙන දිනය තරමක් කල් දාගන්නට බැරිකමක් නැත.

ඉදිරි වසර 10 තුළ ඔබට හෘදයාබාධයක් හැදෙන්නට ඇති ඉඩකඩ කොපමණද? ඔබේ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම දන්නවානම් මෙය සමීකරණයක් මඟින් සොයාගත හැකි දෙයකි.

පහත සබැඳිය වෙත ගොස් ඔබේ අවදානම ඔබම සොයාගන්න. (එහෙත්, අවදානම වැඩියි කියා හෘදයාබාධ හදාගන්න එපා!)


http://cvdrisk.nhlbi.nih.gov/

(Image: blueprintsnews.com, alexrothschild.wordpress.com)

Wednesday, February 10, 2016

මැරෙන දවස දැනගන්න ඕනෑද?

ජීවිතය අනියතය. මරණය නියතය. මරණය නියත වුවත් මැරෙන දිනය අනියතය. යමෙකු මැරෙන දිනය නිශ්චිතව කිව හැකි විද්‍යාවක් නැත. යම් හෙයකින් එවැනි හැකියාවක් යම් විද්‍යාවකට තිබේනම් එයින් අදහස් වන්නේ මැරෙන දවස වෙනස් කළ නොහැකි බවයි.

තාර්කික සීමාවන් ඇති බැවින් ඇතැම් දේවල් අපට කෙසේවත් නිශ්චිතව දැනගත නොහැක. එහෙත්, එයින් අදහස් වන්නේ එවැනි දේ ගැන අපට කිසිම දැනුමක් ලබා ගත නොහැකි බව නොවේ. මැරෙන දිනය සම්බන්ධව ඇත්තේනම් එවැනි තාර්කික සීමාවක් නොවේ. ප්‍රායෝගික සීමාවකි. මැරෙන දිනය හරියටම දැනගත නොහැකි වුණත් ඒ ගැන අදහසක් ගන්නට විද්‍යාව උදවු වේ.

මෙය ලියන මා මෙය පළවන විට ජීවත්ව නොසිටින්නට ඉඩකඩක් ඇත. එහෙත්, ඒ ඉඩකඩ විශාල ඉඩකඩක් නොවේ. ඒ නිසා, මා අද තීරණ ගන්නේ මා හෙට මියයනු ඇතැයි යන පදනම මත නොවේ. එමෙන්ම, මා තව වසර පනණක් ජීවත් වීමට ඉඩ ඇතත් ඒ ඉඩකඩ නොගිණිය හැකි තරමේ සුළු ඉඩකඩකි. වෙනත් අයුරකින් කිවහොත් මගේ අපේක්ෂිත ආයු කාලය ගැන මට දළ අදහසක් තිබේ. එහෙත්, අවිනිශ්චිතතාව ඉතා විශාලය.

යම් පුද්ගලයෙකු වසරක්, වසර පහක් හෝ වසර දහයක් වැනි කාලයක් ඇතුළත මිය යාමට ඇති සම්භාවිතාව එවැන්නෙකු ගැන දන්නා දේ ඇසුරින් ගණනය කළ හැකිය. මේ දන්නා දේ වලට මූලික වශයෙන් දැන් වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ජීවත් වන ප්‍රදේශය ඇතුළත්ය. පුද්ගලයෙකුගේ ශරීර සෞඛ්‍යට අදාළ විවිධ දත්ත භාවිතයෙන් මේ සම්භාවිතාව වඩා නිවැරදිව ගණනය කළ හැකිය.

ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයුකාලය වසර 75කි. මෙයින් අදහස් වන්නේ ශ්‍රී ලාංකිකයෙකු වයස 75 වන විට අනිවාර්යයෙන්ම මිය යන බව නොවේ. මිය යාමේ සම්භාවිතාව 50%ක් බවයි. ඔබේ ඔබේ 75වන උපන්දිනය සමරන විට ඔබ උපන්දිනම උපන් මිතුරන්ගෙන් 50%ක්ම ජීවතුන් අතර නොසිටිනු ඇත.

අපේක්ෂිත ආයුකාලය 75ක් යන්නෙන් අදහස් වන්නේ ඔබේ දැන් වයස 40ක්නම් ඔබේ ඉතිරිවී ඇති අපේක්ෂිත ආයු කාලය 35ක් බවද නොවේ. දිවි මාවතේ ඔබ පසු කරන සෑම කඩඉමක් සමගම ඔබේ අපේක්ෂිත ආයු කාලය වැඩි වේ. වෙනත් විදිහකින් කියනවානම් ඔබ උපන් දිනම උපන් අයෙකු වසර 75කට පෙර මියයන විට ඔහුට ලඟා වීමට නොලැබුණු අපේක්ෂිත කාලය ඒ වන විට ජීවත් වන අයගේ කාලයට එකතු වේ.

ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයු කාලයේ සාමාන්‍යය වසර 75ක් වුවත් වෙනත් කරුණු අනුව මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල ලෙස වෙනස් වේ. ගැහැණියකගේ අපේක්ෂිත ආයු කාලය වසර 78.5 ක් වන අතර පිරිමියෙකුගේ අපේක්ෂිත ආයු කාලය ඊට වඩා වසර හතකින් පමණ අඩුය. ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් ආයුකාලය අඩුම කොළඹ වැසියන්ගේය. වැඩිම හම්බන්තොටය. කොළඹ සිට හම්බන්තොටට පදිංචිය වෙනස් කිරීමෙන් අපේක්ෂිත ආයුකාලය වසර දහයහමාරකින් පමණ වැඩි කර ගත හැකිය. එය අපහසුනම්, කොළඹ වැට පැන ගම්පහට පැමිණීමෙන් වුවද අපේක්ෂිත ආයුකාලය වසර නවයකින් පමණ වැඩි කර ගත හැකිය.

පහත වගු වල ඇත්තේ ලංකාවේ පිරිමියෙකු හෝ ගැහැණියක ඔහුගේ හෝ ඇයගේ අද (2016 පෙබරවාරි 10) වයස අනුව මියගොස් සිටීමට 50%ක සම්භාවිතාවකින් ඉඩ ඇති දිනයයි.



ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් 2000-2002 ජීවදත්ත වගු ඇසුරිනි. මේ වන විට වෙනස් වී තිබිය යුතුය.

ඊළඟ ලිපිය: මැරෙන විදිහ දැනගන්න ඕනෑද?

(Image: www.indiapost.com)

Saturday, December 26, 2015

රැල්ල

මම හොඳටම වකුටු වී දෙකට තුනට නැමී සිටියෙමි. මට කෙළින් විය නොහැකිය. මම දණහිස් බදාගෙන අමාරුවෙන් හුස්ම ගත්තෙමි. වරෙක හුස්ම හිරවෙන්නට යයි. සිරුර හොඳටම තැලී පොඩිවී ඇත. කටේ වැලි පිරී ඇත. කහින විට ලේ පිටවේ. කොයිතරම් කෙළ ගැසුවත් කටේ ලුණු රස එසේමය. සිරුර හොඳටම බර ලෙසක් දැනේ. "මේ කලිසං කෑලි වල බර වෙන්න ඕනෑ" මම සිතුවෙමි. මම ඒවා ඉරා දැම්මෙමි.

එතකොට අර රැළි වලට මොකද වුණේ? මා අවට හැමතැනකම වතුර පිරී ඇතත් වතුර නිසලය. රැල්ලක් නොනැඟේ. මේ විල්ද නැත්නම් කලපුවද?

මට කෙළින් සිටිය නොහැකිය. දෙපා මඩේ එරී ඇත. මම මේ දකින්නේ සිහිනයක්දැයි සිතමින්, එසේ නොවන බව හොඳාකාරවම දැන සිටියත් ඒ බව සහතිකේටම පිළිගන්නට බයෙන්, ඈත, පේනතෙක්මානය දිහා, ඔහේ බලා සිටියෙමි. අවට සිටි සියල්ලන්ටම සිදු වී ඇති දෙය කුමක්දැයි සිතන්නට මා පෙළඹුණේ මේ වෙලාවේදීය. එතකොට මේ හැමෝම මැරිලද? එහෙම වෙන්න ඇති. ඔවු, මේ හැමෝම මැරිලා!

***

1964 දී උපන් ස්ටීවන් ලිසන්බර්ග් හැදී වැඩුණේ සහ පාසල් ගියේ නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆඩ් ප්‍රදේශයේය. පාසැල් අධ්‍යාපනය නිමා කර, ආර්ථික විද්‍යාව හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වූ ඔහු එහිදීද දක්ෂ සිසුවෙකු ලෙස කැපී පෙනුණේය. සිය ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසු පස්වසරක් ගුරු වෘත්තියේ නියැළුණු ස්ටීව් නැවතත් අධ්‍යාපනය කෙරෙහි යොමු විය. පළමුව වොරික් සරසවියෙන් කාර්මික සම්බන්ධතා පිලිබඳව පශ්චාත් උපාධියක් උපයාගත් ඔහු ඉන් අනතුරුව ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් සම්පූර්ණ කිරීම සඳහා නැවතත් කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් විය.

ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 1997දී ස්ටීව් ලාභ-නොලබන ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන පොදු ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයට (Institute for Public Policy Research) සම්බන්ධ විය. විශේෂයෙන්ම ආර්ථිකමිතික ආකෘති ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධව ඔහු සතු වූ කුසලතාවයන් හේතුවෙන් සහ විවිධ පර්යේෂකයින් සමඟ සහයෝගයෙන් පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු සතු වූ දක්ෂතාව හේතුවෙන් ඉතා කෙටි කලෙකින්ම ඔහුට මේ ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් විය හැකි විය.

ස්ටීව් විවාහ වූයේ ඔහුගේ කේම්බ්‍රිජ් පෙම්වතිය වූ, ශ්‍රී ලංකාවේ උපන්, සොනාලි දැරණියගල සමඟය. ඇයද ඔක්ස්ෆර්ඩ් ආචාර්ය උපාධිධාරිනියකි. ඔවුන්ගේ කැදැල්ලට කුරුළු පැටවුන් දෙදෙනෙකු එකතු වී සිටියහ. 2004 දෙසැම්බරය ගත කිරීමට ස්ටීව්, සොනාලි සහ දරු දෙදෙනා ලංකාවට පැමිණෙන විට වැඩිමල් වික්‍රම්ගේ වයස අවුරුදු අටකට කිට්ටුව තිබුණේය. මල්ලි ලෙස කවුරුත් හැඳින්වූ නිඛිල්ගේ වයස අවුරුදු පහකි. ලංකාව ඔවුන්ට නුපුරුදු තැනක් නොවීය. 2004 නත්තල සැමරීමට ඔවුන් තෝරා ගත්තේ යාල අභය භූමිය අසල පිහිටි නිවාඩු නිකේතනයකි. සොනාලිගේ දෙමවුපියන් ඇතුළු තවත් අය ඔවුන් හා එක්ව සිටියහ.

ජීවිතය අස්ථිරය. එක් නිමේෂයකින් බොහෝ දේ වෙනස් විය හැකිය. මෙයට හරියටම වසර එකොළහකට පෙර ජීවිත ලක්ෂ ගණනක් බිලිගත් සුනාමියට අසුවුණු සොනාලිට ඉතා පුදුමසහගත ලෙස දිවි ගලවාගත හැකි විය. එහෙත්, ඇගේ සැමියා, දරු දෙදෙනා මෙන්ම දෙමවුපියන්ද මේ සුනාමියට බිලි වූහ.

මෙවැනි තත්ත්වයට මුහුණ දුන් අයෙකුගේ මානසික තත්ත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මේ සිදුවීමේ කම්පනයෙන් මිදෙන්නට සොනාලිට පහසු වූයේ නැත. සොනාලි කිහිප වරක්ම සිය දිවි නසා ගැනීමට තැත් කළාය. මත්පැනින් මතකය පොඟවා දියකර දමන්නට තැත් කළාය. අවසානයේදී, කෙසේ හෝ ජීවිතයට මුහුණ දීමට ඇය අදිටන් කරගත්තීය. සොනාලි තුළ වූ ලේඛිකාව අවදි විය. ඈ ඇගේ අත්දැකීම් අකුරු බවට හැරවීය. 2013 වසරේදී පළවුණු වඩාත්ම ජනප්‍රිය පොත් අතරින් එකක් වූ ඇගේ සම්මානලාභී කෘතිය බිහි විය.

රැල්ල (Wave) නම් වූ  කඳුළු කතාව මේ නූතන පටාචාරාවගේ ථෙරී ගාථා සමුච්ඡයයි.

***

ඔවුන් නැතුව මම කුමක් කරන්නද? මම සිතුවෙමි. තවමත් මා හුස්ම ගන්නේ අමාරුවෙනි. මගේ සිරුර මටම වලංගු නැත. එය මඩේ ලිස්සා යයි.

කිසියම් පිරිසක් කෑගසන හඬ ඇසේ. මුලින්ම ඈතිනි. පසුව ලඟිනි. ඒ සිංහලෙන් එකිනෙකා සමඟ උස් හඬින් කතා කරන මිනිසුන් කණ්ඩායමකි. ඔවුන්ට මා නොපෙනේ. මට ඔවුන්ව නොපෙනේ.

"මුහුද ගොඩ ගලලා. මහසෝනා ඇවිල්ලා.." අයෙක් කෑගසයි. මුහුද ගොඩ ගලලලු. මහසෝන ඇවිල්ලලු. මහසෝනා!

මම මේ වචනය දැන සිටියෙමි. ඒත් මොහු මේ කියන්නේ කුමක්ද? මා මේ වචනය අවසන් වරට අසා තිබුණේ කුඩා කළ අපේ නිවසේ විසූ මෙහෙකාරිය යක්කු සහ පෙරේතයින් ගැන කතා කියා දුන් කාලයේදීය. මහසෝනා යනු කනත්තේ යක්ෂයාය. කෙතරම් අවුල් සහගතව සිටියත් මට යමක් තේරුම් ගියේය. කුමක් නමුත් අතිශය භයානක සිදුවීමක් සිදුවී තිබේ. අවට හැමතැනකම පෙනෙන්නේ මරණයයි. මේ මිනිසුන් කෑගසන්නේ ඒ නිසාය.

"කවුරු හරි පණ පිටින් ඉන්නවනම් කතා කරන්න. දැන් වතුර බැහැලා. අපි ඇවිත් ඉන්නේ උදවු කරන්න."

මගෙන් හඬක් තබා කෙඳිරිල්ලක් හෝ පිටවුණේ නැත. ඒ තරමටවත් පණක් මගේ සිරුරේ ඉතිරිව නැත.

"මාව බේරගන්න. මාව ගහගෙන ගියා."

ඒ ළමයෙකුගේ හඬකි. හඬ නැඟූ ළමයා සොයමින් මිනිසුන් මා සිටි තැන කිට්ටුවට එනු මට ඇසුණේය. මම වකුටු වී මගේ දණහිස් වටා දෑත් යවා බදාගෙන නිහඬව සිටියෙමි.

මා දුටු ඔවුහු ඉක්මන් ගමනින් මා වෙත පැමිණියහ. ඔවුන් මට කතා කළත් මම පිළිතුරක් නොදුන්නෙමි. මා කඩිනමින් ඔවුන් සමඟ පැමිණිය යුතු බවත්, නැවතත් රැල්ලක් පැමිණිය හැකි බවත් ඔවුහු පැවසූහ. මම කිසිවක් නොපවසා හිස දෙපසට වනමින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමි.

මම දැඩි ලෙස විඩාපත්ව සිටියෙමි. ඒ නැතත්, මගේ කොළු පැටවුන් දෙදෙනා නොමැතිව මා කොහේ යන්නද? ඔවුන් කෙසේ හෝ බේරී ඇත්නම්? ඔවුන් මේ ළඟපාතකම සිටීමට පුළුවන. මට ඔවුන් තනිකර යා නොහැකිය. නමුත්, මේ කිසිවක් හඬ නඟා කීමට මට නොහැකි විය. ඔවුන් ගැන සොයා බලන මෙන් මේ මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නට මට නොහැකි විය. අප සියල්ලන්ම ජීප් රථයෙන් පිටතට විසිවී වතුරට වැටුණු බව මට ඔවුන්ට කිව නොහැකි විය. මා එසේ කීවොත් මා දකින මේ සියල්ල යථාර්තයක් බවට පත්වේ. මට අවශ්‍ය වන්නේ මේ සියල්ල සිහිනයක් බව සිතන්නටය.

පිරිස නොඉවසිලිමත් වූහ. ඔවුහු ඔවුනොවුන් හා සාකච්ඡාවකය. ඔවුන්ට මා මෙහි අතහැර දමා යා නොහැක.

"ඒත් අපි මෙයාව මේ විදිහට ගෙනියන්නෙ කොහොමද?" එක් අයෙක් විමසයි. "හරියකට ඇඳුමක්වත් නැතුව"

මොකක්? මම සිතුවෙමි. අයෙක් ඔහුගේ කමිසය ගලවා මගේ ඉන වටා එතුවේය.

(Images: rubinmuseum.org and contrary-mom.com)

Sunday, May 24, 2015

සොඳුරු සිත සමුගනී


ආර්ථික විද්‍යාව, ගණිතය ඇතුළු ක්ෂේත්‍ර රැසක දැවැන්තයෙකු, තීක්ෂණ බුද්ධිමතෙකු, නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයෙකු හා සොඳුරු මිනිසෙකු වූ ජෝන් ෆෝර්බ්ස් නෑෂ් ඊයේ සිදු වූ රිය අනතුරකින් සිය ජීවන සහකාරියද සමඟම සදහටම මෙලොව හැරදා ගියේය. 'අ බියුටිෆුල් මයින්ඩ්' (සොඳුරු සිතක්) නම් වූ අතිශය ජනප්‍රිය චිත්‍රපටය ඔහුගේ ජීවිත කතාව අලලා සැකසුනෙකි.

ජෝන් නෑෂ්ගෙන් ලොකුම දායකත්වයක් සැපයුනේ ක්‍රීඩා න්‍යායය (ගේම් තියරි) විෂයය කෙරෙහිය (වෙනත් පාරිභාෂික වචනයක් තිබිය හැකිය). පුද්ගලයන්ගේ මෙන්ම ආයතන වල ක්‍රමෝපායික චර්යාවන් අධ්‍යයනය කිරීම සඳහා ආර්ථික විද්‍යාව, ගණිතය, පරිගණක විද්‍යාව, පරිණාමික ජීව විද්‍යාව, දේශපාලන විද්‍යාව, කෘතීම බුද්ධිය (ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ස්), ආරක්ෂක හා සංග්‍රාමික විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර රැසක ක්‍රීඩා න්‍යායය යොදා ගැනේ.  ක්‍රමෝපායික චර්යාවන් අවසාන වශයෙන් නිශ්චිත ලෙස සමතුලිතතාවකට පත්වෙන (සංකීර්ණ න්‍යායයක් පිලිබඳ දළ අදහසක් පමණි.) නෑෂ් සමතුලනය ඔහුගේ ඉදිරිපත් කිරීමක් වන අතර ඔහු අනුව නම් කර ඇත. මේ සඳහා වූ නෑෂ්ගේ දායකත්වය සලකා 1994 දී ආර්ථික විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය ඔහු වෙත පිරිනැමිණි. මෙයට අමතරව (ටිකක් බර දේවල් වන) අවකලනාත්මක ජ්‍යාමිතිය සහ නිර්රේඛීය අවකලනාත්මක සමීකරණ හා අදාළවද ඔහු විශාල දායකත්වයක් ලබා දී ඇත.


සාමාන්‍ය ජනතාව අතර නෑෂ් ප්‍රසිද්ධ වූයේ ඔහු කලක් පෙළුණු මානසික ආබාධයක් හේතුවෙන් දැක්වූ අසාමාන්‍ය චර්යාවන් නිසාය.මේ කාලයේදී රතු කරපටි පැළඳි සියළු දෙනාම ඔහුට පෙනුණේ ඔහුට එරෙහි රුසියානු කුමන්ත්‍රණකරුවන් ලෙසය. ඒ අනුව මේ ගැන ඇමරිකානු රජය දැනුවත්කරමින් නිර්දේශ ඉදිරිපත් කිරීමටද ඔහු නොපැකිලුනේය. කෙසේ වුවද ඔහුගේ බිරිඳගේ ආදර සත්කාර හා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා මේ මානසික ආබාධය සුවකරගත් නෑෂ් ඉන් පසුවත් විද්‍යාත්මක දැනුමට එක් කළ දේ බොහෝය.

බියුටිෆුල් මයින්ඩ් කතා පුවත ගෙතෙන්නේ ඉහත සිදුවීම් මුල් කරගෙනය. ජනප්‍රිය සංස්කෘතියේ හමුවන ඉතා බුද්ධිමත්, එහෙත් සරල දේවල් පිලිබඳ අවබෝධයක් නැතිව පිස්සු කෙළින මහැදුරු චරිතය මෙන්ම, ඉතා රූමත් නමුත් එතරම් බුද්ධිමත් නොවන නිළියක හා විවාහ වන එතරම් කඩවසම් නැති එහෙත් ඉතා බුද්ධිමත් මහැදුරු චරිතයද බිහිවීම සඳහා නෑෂ්ගේ ජීවන තොරතුරු පාදක වීයැයි සැලකේ.

අසූ හය වසරක් ආයු වළඳා කුලීරථ රියදුරකුගේ නොසැලකිලිමත්කම නිසා ඊයේ හදිසියේ අපෙන් සමුගත් මහැදුරු ජෝන් නෑෂ් වෙනුවෙන් කෙටි සටහනකි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...