වෙබ් ලිපිනය:

Showing posts with label නියාමනය. Show all posts
Showing posts with label නියාමනය. Show all posts

Saturday, February 1, 2020

මුහුණු වැසුම් වලින් ගසා කෑම


මුහුණු වැසුම් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ පාරිභෝගිකයන් බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. එහෙත්, කොරෝනා භීතිය පැතිරීමත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙලා. මුහුණු වැසුම් ඉල්ලුම ඉහළ යද්දී මිලත් ඉහළ ගොස්, අන්තිමේදී රජය විසින් පාලන මිලක් පැනවීමෙන් පසුව මුහුණු වැසුම් හිඟයක් ඇති වී තිබෙන බව පෙනෙනවා.

ඇමරිකානුවෙකු මුහුණු වැසුමක් භාවිතා කර සිටිනු දැකීම දුලබ දෙයක් නෙමෙයි. කෙනෙක් මුහුණු වැසුමක් භාවිතා කරන්නේ කිඹුහුම්, කෙළ, හොටු, ප්‍රශ්වාස වාතය ආදී ක්‍රමයකින් වෙනත් අයට බෝවිය හැකි රෝගයක් වැළඳුනු විට හෝ එවැනි රෝගයක් තමන්ට ඇති බවට සැකයක් ඇති වූ විටයි. මේ මුහුණු වැස්ම අනෙක් අයට අදාළ පුද්ගලයාට කිට්ටු වී රෝගය බෝ කර නොගැනීමට සංඥාවක්ද ලබා දෙනවා. වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැස්මක් ඇමරිකානු ඩොලර් ශත දහයකට පමණ මිල දී ගන්න බැරිකමක් නැහැ.

මම හිතන්නේ කොරෝනා භීතිය එන්න කලින් මෙවැනි වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැස්මක් ලංකාවේ විකිණෙන්න ඇත්තේ රුපියල් දහයකට හෝ පහළොවකට වෙන්න ඇති. සමහර විට ඊටත් අඩුවෙන් වෙන්න ඇති. එය ඉල්ලුම හා සැපයුම මත තීරණය වුනු මිලක්. මෙවැනි මුහුණු වැස්මක නිෂ්පාදන පිරිවැය එතරම් විශාල නැති නිසා මේ වගේ මුදලකට විකුණා ලාබගන්න නිෂ්පාදකයෙකුට බැරිකමක් නැහැ. ඒ වගේම පාරිභෝගිකයෙකුට මෙවැනි මුහුණු වැස්මක මීට වඩා මහා ලොකු වටිනාකමක් නොතිබුණු නිසා මුහුණු වැස්මක් රුපියල් දෙතුන් සීයකට මිල දී ගන්න කැමති අය එතරම් සිටියා වෙන්න බැහැ.

මේ විදිහට සරලව විස්තර කළත් ලංකාවේ පාරිභෝගිකයෙකු මුහුණු වැස්මක් මිල දී ගන්නේ එහි නිෂ්පාදකයාගෙන් නෙමෙයි. ළඟම තිබෙන ෆාමසිය වැනි අතරමැදියෙකුගෙන්. ෆාමසිය හිමිකරු  මුහුණු වැස්ම විකුණන්නේ එය ඔහුට ලැබෙන මිලටම නෙමෙයි. මුහුණු වැසුම් තොග මිලට මිල දී ගෙන ගබඩා කරගෙන සිටීම සඳහා ඔහුට වියදමක් දරන්න වෙනවා. ඒ වියදම හා වෙනත් වියදම් ඔහු විසින් ආවරණය කරගත යුතුයි. අනවශ්‍ය තොග ගොඩ ගසාගෙන සිටීම තේරුමක් නැති වියදමක්. ඒ නිසා ෆාමසි කරුවෙකු විසින් ගබඩා කර තබා ගන්නේ කිසියම් නිශ්චිත කාලයක් තුළ විකිණී අවසන් වේයැයි අපේක්ෂිත මුහුණු වැසුම් ප්‍රමාණයක් පමණයි.

ලංකාවේ ෆාමසි හිමිකරුවෙකු  මුහුණු වැසුම් මිලදී ගන්නේත් සෘජුවම එහි නිෂ්පාදකයාගෙන් නෙමෙයි. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර අතරමැදියන් ගණනාවක් සිටිනවා. ලංකාවේ බොහෝ පරිභෝජන භාණ්ඩ වල වගේම මේ මුහුණු වැසුම් වල නිෂ්පාදකයින්ද සිටින්නේ ඉන්දියාවේ හෝ චීනයේ වෙන්න පුළුවන්. එය එසේනම් එයින් අදහස් වෙන්නේ ඉන්දියානුවෙකුට හෝ චීනෙකුට ලාංකිකයෙකුට වඩා කාර්යක්ෂමව මුහුණු වැසුම් නිපදවිය හැකි බවයි. එයට හේතු අපි මෙහි කතා නොකර සිටිමු.

කොරෝනා භීතිය පැතිරීමත් සමඟ ලංකාවේ බොහෝ දෙනෙකුට මුහුණු වැස්මක තිබෙන පෞද්ගලික වටිනාකම එක වර විශාල ලෙස ඉහළ ගියා. ඒ එක්කම ඔවුන් මුහුණු වැස්මක් සඳහා ස්වේච්ඡාවෙන් ගෙවන්න කැමතිව සිටි උපරිම මිලත් විශාල ලෙස ඉහළ ගියා. මෙය ආර්ථික විද්‍යාවේ කියන ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමක්.

මේ ආකාරයට මුහුණු වැසුම් සඳහා වන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගියේ දින කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළතයි. ඒ තරම් කෙටි කාලයක් ඇතුළත සැපයුම් වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. කෙටිකාලීනව මුහුණු වැසුම් සැපයුම් වක්‍රය තීරණය වන්නේ ෆාමසි වල ගබඩා කරගෙන තිබෙන තොග ප්‍රමාණ මතයි. නමුත්, වැඩි වූ ඉල්ලුම අනුව, වෙනදා මාස හත අටකින් විකිණෙන මුහුණු වැසුම් ප්‍රමාණයක් දවසකින් දෙකකින් විකිණෙන්න පුළුවන්කමක් ඇති වුනා. ඒ තරම් ඉක්මණින් මුහුණු වැසුම් ආනයනය කරන්න බැහැ.

මුහුණු වැසුම් ඉල්ලුම වැඩි වුනේ ලංකාවේ පමණක් නොවෙයි. කොරෝනා නිජ භූමිය වූ චීනයේ මේ සිද්ධියම මීට වඩා ලොකුවට සිදු වුනා. චීනය ඇතුළේ මුහුණු වැසුම් ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමත්, චීනය සමඟ කෙරෙන ජාත්‍යන්තර වෙළඳ කටයුතු සීමා වීමත් නිසා මුහුණු වැසුම් සැපයුම් වක්‍රයටත් බලපෑමක් ඇති වුනා. එය ආර්ථික විද්‍යා භාෂාවෙන් සැපයුම් වක්‍රය වමට විතැන් වීමක්.

සැපයුම් වක්‍රය නොවෙනස්ව තිබියදී ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමේ ප්‍රතිඵලය මිල ඉහළ යාමයි. ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව තිබියදී සැපයුම් වක්‍රය වමට විතැන් වීමේ ප්‍රතිඵලයත් මිල ඉහළ යාමයි. ඔය දෙකම එකවර වෙනවා කියන්නේ ඩබල් බෝනස්!

පහුගිය දවස් වල ලංකාවේ ෆාමසි වල මුහුණු වැසුම් මිල ඉහළ ගියේ ඔය මූලධර්මය අනුවයි. නමුත්, මේ වෙලාවේ සිදු වුනේ ෆාමසි කාරයින් විසින් ඉතා අසාධාරණ ලෙස අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පාරිභෝගිකයින් ගසා කෑමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක ඇත්තද?

මගේ එක් වත්පොත් මිතුරෙක් මේ "අමානුෂික වැඩේ" ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් වහාම මුහුණු වැසුම් වලට උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා. මේ වෙද්දී ඔහුගේ ඉල්ලීම ඉටු වී තිබෙනවා. දැන් වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැසුමක උපරිම සිල්ලර මිල රුපියල් පහළොවක් පමණයි. නමුත්, ඒ මිලට ගන්න බඩු නැහැ!

මානුෂික වේවා අමානුෂික වේවා, වෛරස් බිය පැතිරෙද්දී මුහුණු ආවරණ වල මිල ඉහළ ගියේ නිදහස් වෙළඳපොළ ක්‍රමය නිසා කියන එක ඇත්ත. භාණ්ඩ හා සේවා මිල රජය විසින් තීරණය කරන විකල්ප ආර්ථික ක්‍රමයක් යටතේ මේ විදිහට මිල ඉහළ යන්නේ නැහැ. මේ විදිහට ආපදා අවස්ථාවකදී වැඩි වැඩියෙන් අවශ්‍ය වන භාණ්ඩයක මිල ඉහළ යන ක්‍රමයක් අමානුෂිකද?

මේ ගැන කතා කරන්න පටන් ගත යුත්තේ බැහැර කළ නොහැකි බිම් යථාර්ථ වල සිටයි. ෆාමසි වල සහ සමස්තයක් ලෙස රට ඇතුළේ කොහේ හෝ තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය සීමිතයි. කොරෝනා වෛරස් බිය නොවන්නට මේ මුහුණු වැසුම් ප්‍රමාණය මාස හත අටකටවත් ප්‍රමාණවත්. ඒ කාලය ඇතුළත කවුරු හෝ විසින් නැවත තොග ආනයනය කරන නිසා රටේ  මුහුණු වැසුම් හිඟයක් ඇති වීමේ ඉඩක් නැහැ. නමුත්, දැන් හදිසියේම එකවර ඇති වී තිබෙන විශාල ඉල්ලුම රටේ තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය ඉක්මවන්නක්. ඒ නිසා, මුහුණු වැසුම් අවශ්‍ය සියල්ලන්ටම මුහුණු වැසුම් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. රටේ ආර්ථික ක්‍රමය සමාජවාදී වුවත්, ධනවාදී වුවත් මේ සැබෑ ප්‍රශ්නය එළෙසම තිබෙනවා.

අපි හිතමු රටේ දැනට තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය ලක්ෂයක් කියා. නමුත්, මුහුණු වැසුම් ඉල්ලුම ලක්ෂ පහක්. මේ ගණන් උදාහරණ පමණයි. පවතින තත්ත්වය යටතේ මුහුණු වැසුම් අවශ්‍ය අයගෙන් සෑම පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම මුහුණු වැසුම් ලැබෙන්නේ නැහැ. මුහුණු වැසුම් ලැබෙන්නේ කාටද කියන එක තීරණය වෙන්නේ රටේ සම්පත් බෙදා හැරීමේ ක්‍රමවේදය එහෙමත් නැත්නම් ආර්ථික ක්‍රමය අනුවයි.

මුහුණු වැසුම් ලැබිය යුත්තේ ඒවා වඩාත්ම අවශ්‍ය පිරිසටයි. ඒ පිරිස කවුද? නිදහස් වෙළඳපොළක සමතුලිත මිල කියා කියන්නේ මේ වඩාත්ම අවශ්‍ය පිරිස තෝරා ගන්නා යාන්ත්‍රණයටයි. මුහුණු වැස්මක මිල ටිකින් ටික ඉහළ යන විට මුහුණු වැස්මක් ඒ තරම්ම ලොකුවට අවශ්‍ය නැති අය ටිකින් ටික මේ තරඟයෙන් ඉවත් වෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ කීයක් ගියත් මුහුණු වැස්මක් මිල දී ගන්න අවශ්‍ය පිරිසයි.

මුහුණු වැස්මක මිල රුපියල් පහළොවක සිට රුපියල් පණහ දක්වා ඉහළ ගිය විට ඒ ගැන මැසිවිලි නගන කෙනෙක් ගැන කියන්න තියෙන්නේ කුමක්ද? ඔහුට හෝ ඇයට මුහුණු වැස්මක් රුපියල් පණහක් වටින්නේ නැහැ. එපමණ මුදලක් ගෙවා මුහුණු වැස්මක් මිල දී ගන්න තරම් අවදානමක් තමන්ට නැති බව ඇය දන්නවා. එහෙත්, රුපියල් පහළොවකට මුහුණු වැස්මක් මිල දී ගත හැකිනම් තිබෙන සුළු අවදානම හමුවේ වුවත් එහි යම් වාසියක් ඇයට තිබෙනවා.

තමා ගැවසෙන ප්‍රදේශයේම කොරෝනා වෛරස් රෝගියෙකු සිටින බව දැනගත් විට, එහෙමත් නැත්නම් යම් අයෙකුට ස්වශන ආබාධයක් ඇති විට මුහුණු වැස්මක අවශ්‍යතාවය වැඩියි. එවැනි අය රුපියල් පණහක් නෙමෙයි සීයක් හෝ ගෙවා මුහුණු වැස්මක් මිල දී ගන්නවා. එවැනි අයට තිබෙන වැඩි අවදානම නිසා මුහුණු වැස්මක වටිනාකම වැඩියි. මුහුණු වැසුම් නිපදවන්න යන වියදම සමාන වුවත්, එහි වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ෆාමසිකරුවන් විසින් දිගින් දිගටම මුහුණු වැසුම් වල මිල ඉහළ දැමීම නිසා කිසියම් මුහුණු වැසුම් ප්‍රමාණයක් නොවිකිණී ෆාමසි වල ඉතිරි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මුහුණු වැස්මක් අත්‍යාවශ්‍ය අයෙකුට වැඩි මිලක් ගෙවා හෝ මුහුණු වැස්මක් මිල දී ගැනීමේ හැකියාවද අහිමි නොවී ඉතිරි වෙනවා.

මුහුණු වැසුම් වලට උපරිම සිල්ලර මිලක් දැමූ වහාම මේ ස්වභාවික වෙළඳපොළ යාන්ත්‍රනය බිඳ වැටෙනවා. දැන් මුහුණු වැසුම් අයිති කර ගන්නේ ඒවා අවශ්‍යම පිරිස නෙමෙයි. ගන්නන් වාලේ ගන්න අයයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණු වැසුම් අත්‍යවශ්‍යම අයට මුහුණු වැසුම් ලබා ගැනීමේ හැකියාව අහිමි වෙනවා. ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වූ විට මිල ඉහළ යාම ඉතාම මානුෂීය වන්නේත්, මිල පාලනය අමානුෂික වන්නේත් ඒ නිසයි.

මිල පාලනයේ තිබෙන එකම අවාසිය මෙපමණක් නෙමෙයි. ඉහළ යන මිල කියා කියන්නේ වෙළඳපොළේ ඉල්ලුම වෙනස් වී ඇති බව සැපයුම්කරුවන්ට දැනුම් දෙන සංඥාවයි. රුපියල් පහළොවකට මුහුණු වැසුම් හදා වෙළඳපොළට දමන්න බොහෝ අය නොපෙළඹෙන්නේ එසේ කර වාසියක් ලැබීම අසීරු නිසයි. මිල රුපියල් පණහක් වූ විට තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම, මිල ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක තිබුණොත් කෙනෙක් ඉන්දියාවට ගොස් තමන්ගේ ගමන් මළු වල දමාගෙන මුහුණු වැසුම් අරගෙන එන්න පවා පෙළඹෙන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා ඉතා ඉක්මණින් සැපයුම ඉහළ ගොස් නැවත මිල පහළ වැටෙනවා. නමුත්, හදිස්සි වී මිල පාලනය කළ විට මේ යාන්ත්‍රනය ඇණ හිටිනවා.

සැබෑ ප්‍රශ්නය ඉල්ලුමට සරිලන තරම් මුහුණු වැසුම් සැපයුමක් නැතිකම මිස මිල ඉහළ යාම නෙමෙයි. මිය ඉහළ යාම කියා කියන්නේ සැබෑ ප්‍රශ්නය ගැන දැනුම් දෙන පණිවුඩකරු මිස සැබෑ ප්‍රශ්නය නෙමෙයි. පණිවුඩකරුට වෙඩි තිබ්බා කියා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

කිසියම් මැදිහත්වීමක් කළ යුතු බව රජය විසින් හඳුනාගත්තානම් කළ යුතුව තිබුණේ කෙසේ හෝ මුහුණු වැසුම් සැපයුම වැඩි කිරීමයි. එසේ කළානම්, මිල ඉබේම පහළ වැටෙනවා. එසේ නොකර මිල පාලනය කරන්න යාමෙන් සිදු වන්නේ මුහුණු වැසුම් හිඟය තවත් උග්‍ර වීම පමණයි.

Saturday, January 18, 2020

මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!

"ඕනෑම සමාජයක අම්මයි තාත්තයි නැති ළමයි සම්බන්ධයෙන්, අනාථ ළමයි සම්බන්ධයෙන්, ඒ සමාජයේ සැලකිල්ලේ ප්‍රමාණයෙන් ඒ සමාජයේ ශීලාචාර තත්ත්වයේ තරම පෙන්වනවා. ඇත්ත වශයෙන්ම ලංකාවේ අම්මයි තාත්තයි නැති, වෙන කවුරුවත්ම නැති, ළමයි රජයේ අනාථ නිවාස වල ඉන්නවා. එහෙම අනාථ නිවාස විශාල ගාණක් තිබෙනවා. 

ලංකාව ඒ ළමයෙකුට දවසකට කරන වියදම රුපියල් විස්සයි. සියළු දේ සඳහා. කන්න බොන්න ඇඳුම් පැළඳුම් සඳහා, සියලු දේ සඳහා, රුපියල් විස්සක වියදමක් කරන්නේ. එතකොට තේරුම් ගන්න පුළුවන්.

ලංකාවේ මොන තරම්...කියන්නේ රුපියල් කෝටි ගණන් නොයෙකුත් දේවල් වලට වියදම් කරනවා. ඒත් අත්‍යාවශ්‍ය, අත්‍යාවශ්‍යයෙන්ම අපි බලාගත යුතු පිරිස, දෙමවුපියන් නැති දරුවෝ අපි බලාගන්නේ නැහැ කියන එක. 

ඒ දරුවෝ අපි නම්බුකාර හිඟන්නෝ බවට පත් කරලා. කියන්නේ ඒ ගොල්ලන්ව ඇත්තටම හිඟා කන්න පුරුදු කරනවා. මිනිස්සු ආපුවහම කෑම බීම අරගෙන, වැඳලා, නටලා, ඒ ගොල්ලන්ට ඕනෑ විදිහට. හරිම ඛේදජනකයි."

ඉහත කොටස උපුටා ගත්තේ රන්ජන් හඬපට හා අදාළව පසුගිය දිනක වික්ටර් අයිවන් විසින් උඩුගත කර තිබෙන ප්‍රකාශයකින්.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ 2013 වාර්තාවකට අනුව ඒ වසරේදී ලංකාවේ ළමාරක්ෂක ආයතන 414ක ළමුන් 14,179 දෙනෙකු රැඳී සිටියා. මේ ආයතන 414න් රාජ්‍ය ආයතන ප්‍රමාණය 37ක් පමණයි. ආයතන බහුතරයක් පරිපාලනය කෙරුණේ දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, ආගමික සංවිධාන ඇතුළු වෙනත් ආයතන හෝ පුද්ගලයින් විසිනුයි.

මෙහිදී, ළමාරක්ෂක ආයතන ලෙස අර්ථ දක්වා තිබෙන්නේ කවර හෝ හේතුවක් මත බාලවයස්කාර දරුවන් නේවාසිකව රඳවා ගන්නා ආයතනයි. උදාහරණයක් ලෙස මේ ආයතන අතරින් 102ක් ආගමික ආයතන. ක්‍රිස්තියානි හෝ කතෝලික සෙමනේරි 66ක්, බෞද්ධ පිරිවෙන් 21ක්, හින්දු අරනේරි පාසැල් 13ක් හා ඉස්ලාම් මද්‍රසා පාසැල් 2ක් මේ ගණනට ඇතුළත් වුනා. රාජ්‍ය රාජ්‍ය ආයතන 37ත් විවිධ වර්ගයේ ආයතන. උදාහරණයක් ලෙස විවිධ වැරදි වලට වරදකරුවන් වූ හෝ චෝදනා ලැබූ බාලවයස්කාර දරුවන් රඳවා තබා ගන්නා හා පුනරුත්ථාපනය කෙරෙන ස්ථාන මේ ගණනට ඇතුළත්.

පසුගිය අයවැයෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 373.5ක්. ඒ මුදලින් රුපියල් මිලියන 260කට වැඩි මුදලක් වැය වන්නේ එහි සේවය කරන 449 දෙනෙකුගේ වැටුප් හා අනෙකුත් දීමනා වෙනුවෙන්. ඉතිරි මුදලින් විදුලි බිල්, ඉන්ධන වියදම් ආදිය ඉවත් කළ විට වික්ටර් අයිවන් කියන, එක ළමයෙකුට දවසකට වියදම් කරන්නේ රුපියල් විස්සයි කියන එක නිවැරදි වෙන්න පුළුවන්.

"In comparison with the national budgetary expenditure in the health, education and social services sectors, the child protection sector occupies a low priority area with a 0.5% in the total national expenditure for children (Budget for Children)."

2017 වසරේ "සේව් ද චිල්රන්" වාර්තාවකද සඳහන් කර ඇති පරිදි, පොදුවේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සුබසාධනය කිරීමට සාපේක්ෂව ළමුන් ඉලක්ක කරගත්, විශේෂයෙන්ම විශේෂ සැලකිලි හිමි විය යුතු ළමුන් ඉලක්ක කරගත්, වියදම් කෙරෙහි යොමු වන්නේ අඩු අවධානයක්.

හේතුව පැහැදිලියි. දෙමවුපියන්ගේ රැකවරණය අහිමි දරුවෙකුට කිසිදු දේශපාලන බලයක් නැහැ. ඒ නිසා, ඒ අය වෙනුවෙන් පෙනී සිටීමෙන් කාටවත් දේශපාලන වාසියක් ලැබෙන්නේ නැහැ. නමුත්, ලංකාවේ පොදු සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් වල ප්‍රතිලාභ ලබන්නේ රටේ දේශපාලන බලය හිමි කණ්ඩායමයි.

"මේක ඇත්ත ඉකොනා... ප්‍රා ලේ කාර්යාලයක ඉන්නකොට ඔයවගේ දේ කොතෙකුත් අනාවරණය වෙනවා. ජීවවිද්‍යාත්මක පියා ම, මවත් දැනුවත්ව දියණිය කාලයක් තිස්සේ දූෂණය කිරීම වැනි දේ පවා."

පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දමමින් ඩ්‍රැකී ලියා තිබෙනවා. තමන්ගේ නිවසේදී තමන්ගේ ජීව විද්‍යාත්මක දෙමවුපියන් අතින්ම හෝ ඔවුන්ගේ අනුදැනුම ඇතිව දරුවෙකු ලිංගික හෝ වෙනත් අතවරයකට ලක් වන විට ඒ දරුවා වැටෙන්නේ වැටෙන්න පුළුවන් පහළම තැනකටයි. එවැනි දරුවෙකුට හිතෙන්නේ ගෙදර මිනිස්සු සලකන්නේ මේ විදිහටනම් පිට මිනිස්සු ගැන හිතන එකවත් තේරුමක් නැහැ කියලයි.

"මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!"

මේ කතාව මා කුඩා කාලයේදී දෙමවුපියන් නුරුස්සන දෙයක් කළ විට නිවසේදී බොහෝ වර අසා තිබෙන කතාවක්. සමහර විට කුඩා කාලයේ මේ වගේ කතා අහපු තවත් අය ඇති.

ඔය කියන තැන ඉහත සඳහන් ළමාරක්ෂක ආයතන අතර තිබෙන, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියාමනයට හා/හෝ පරිපාලනයට යටත් ආයතනයක්. මා හිතන්නේ කාලයක් තිස්සේ රෝමානු කතෝලික පල්ලිය විසින් පවත්වා ගෙන ආ ආයතනයක්. "මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!" කියා කුඩා දරුවෙකුට ගෙදරදී කියන කොට දරුවාගේ මනසේ මැවෙන්නේ ගෙදර දඬුවම් දී හදා ගන්න අමාරු දරුවෙකුට ලොකු දඬුවම් දී කොහොම හරි හදාගන්නා අපායක් වගේ තැනක් ගැනයි. මේ කතාව නිතර ඇහෙන කොට දරුවෙකු හිතන්නේ තිබෙන හොඳම විකල්පය වන්නේ කවර අතවර විඳිමින් වුවත් ගෙදරම ඉන්න එක බවයි. සුමීර ගුණසේකරගේ අත්දැකීම් අනුවනම් එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ.

දරුවෙකුට කවර හෝ අතවරයක් වෙන විට එයට හැකි ආකාරයෙන් මැදිහත්වීම ශීලාචාර වැඩිහිටියෙකුගේ යුතුකමක්. නමුත්, බොහෝ විට මෙවැනි අතවරයක් සිදුවන බව දකින වැඩිහිටියෙකු විසින් ගන්නේ අතවරය කරන වැඩිහිටියාගේ පැත්තයි. පැමිණිල්ලක් කළ විට වැඩිහිටියාට මුහුණ දෙන්න සිදු වන තත්ත්වය ගැන සානුකම්පිකව බලන අය එසේ සිතීමෙන් දරුවෙකුට වෙන අසාධාරණය නොසලකා හරිනවා. 2017 වසරේදී සිදු වූ විවිධ ළමා අතවර හා නොසලකා හැරීම් පිළිබඳ පැමිණිලි 12,093ක් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා. එයින් අඩක් පමණම පාසැල් නොයැවීම පිළිබඳවයි. බාල වයස් විවාහ හා ගැබ් ගැනීම් 606ක්, කායික දණ්ඩන 694ක්, මානසික අපයෝජන 1,310ක්, නොසලකා හැරීම් 1,745ක් හා ළමා ලිංගික අපයෝජන 398ක්ද වාර්තා වී තිබෙනවා.


නමුත්, මේ විදිහට කවුරු හෝ විසින් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියට වාර්තා කරන්නේ සිදුවන අතවර වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව පැහැදිලියි. මුලතිවු හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් කිසිදු පැමිණිල්ලක් නැත්තේ ඒ දිස්ත්‍රික්ක වල ළමුන්ට කිසිදු අතවරයක් සිදු නොවන නිසා විය නොහැකියි.

Friday, January 3, 2020

විස්සයි විස්සේ දැක්ම

විස්සයි විස්සේ (20/20) දැක්ම කියා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ඇස් පෙනීමේ මට්ටමටයි. ඔබේ පෙනීම තිබෙන්නේ 20/20 මට්ටමේනම් එයින් අදහස් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අඩි 20ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් ඔබටත් අඩි 20ක දුරකදී පේනවා කියන එකයි.

ඔබේ පෙනීම තිබෙන්නේ 20/40 මට්ටමේනම් එය සාමාන්‍ය පුද්ගලයෙකුගේ පෙනීමේ මට්ටමට වඩා දුර්වල පෙනීමේ මට්ටමක්. ඔබට අඩි 20ක දුරක සිට හොඳින් දැකිය හැක්කේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අඩි 40ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් පමණයි. එහෙත්, එයත් නරකම මට්ටමක් නෙමෙයි. සාමාන්‍යයෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත් ලබා දීමේදී අවශ්‍ය සේ සැලකෙන අවම පෙනීමේ මට්ටම 20/40 මට්ටමයි.

මෙට්‍රික් ක්‍රමයට 20/20 මීටර් වලට හැරවී 6/6 වෙනවා. ඒ වගේම, 20/40 මෙට්‍රික් ක්‍රමයට 6/12 වෙනවා. 6/12 දැක්ම කියන එකෙන් අදහස් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට මීටර් 12ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් ඔබට මීටර් 6කදී හොඳින් පෙනෙන බවයි. ඒ මට්ටමට පෙනීම නැති අයෙකු රිය ධාවනය කරනවානම් උපැස් පැළඳිය යුතුයි. උපැස් වල කාච වක්‍රතාවය තීරණය කිරීමේදී ඉලක්කය වන්නේ 20/20 (හෙවත් 6/6) මට්ටමේ පෙනීමක් නැති අයෙකුගේ පෙනීම ඒ මට්ටමට ගේන එකයි.

විස්සයි විස්සේ එහෙමත් නැත්නම් මෙට්‍රික් ක්‍රමයට හයයි හයේ පෙනීම කියා කියන්නේ කෙනෙකුට තිබිය හැකි හොඳම මට්ටමේ පෙනීම නෙමෙයි. එය බොහෝ දෙනෙකුට පෙනෙන මට්ටමයි. ඊට වඩා හොඳින් පෙනෙන අයත් ඉන්නවා. 20/10 (මෙට්‍රික් ක්‍රමයට 6/3) පෙනීම කියා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අඩි 10ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් ඔබට අඩි 20ක දුරකදී පේනවා කියන එකයි. ඒ කියන්නේ එවැනි කෙනෙක් වෙනත් බොහෝ අයට වඩා දුර දකිනවා.

රිය පැදවීමේදී ප්‍රමාණවත් දුරක සිට ඉදිරිය පැහැදිලිව දකින්න හැකි වීම අත්‍යවශ්‍ය කරුණක්. ඊට අමතරව, පුළුල් පරාසයක් දැකිය හැකි වීම (දර්ශන ක්ෂේත්‍රය) හා එක් එක් තනි ඇසේ පෙනීම අවම මට්ටමක තිබීමත් අවශ්‍යයි. ඒ වගේම ද්විත්ව පෙනීම (ඩිප්ලෝපියාව), වර්ණ අන්ධතාව වැනි රෝගී තත්ත්වයන්ද ආරක්ෂාකාරී ලෙස රිය එළැවීමට බාධාවක්. ලංකාවේදී රියදුරු බලපතක් ලබා දීමේදී වර්ණ අන්ධතාව ප්‍රශ්නයක් සේ සලකන්නේ නැහැ.

ගෝඨාභයගේ ආර්එම්වී විසිට් එකෙන් පසුව, ලංකාවේ සැහැල්ලු වාහන රියදුරු බලපත් ලබා දීමේදී අවශ්‍ය වන වෛද්‍ය පරීක්ෂණය ඇස් පරීක්ෂාවකට සීමා කිරීම පිළිබඳව සලකා බලමින් ඉන්න බව පේනවා. ඇමරිකාවේදී සැහැල්ලු වාහන එළැවීමේ බලපත්‍රයක් ගන්න අවශ්‍ය වන්නේ අක්ෂි පරීක්ෂාවක් පමණයි. ගෝඨාභයත් මේ බව දන්නා නිසා ඇමරිකාවෙත් නැති එකක් ලංකාවට අවශ්‍ය වන්නේ ඇයි කියා හිතනවා ඇති.

මගේ පෞද්ගලික අදහසත් සැහැල්ලු වාහන එළැවීමට බලපත් නිකුත් කිරීමේදී අක්ෂි පරීක්ෂාවක් කිරීම ප්‍රමාණවත් කියන එකයි. එහෙත්, මේ වගේ දෙයක් තනි පුද්ගලයෙක් විසින් තීරණය කරන එක සුදුසුයි කියා මා හිතන්නේ නැහැ. මේ පිළිබඳ විශේෂඥතාවයක් තිබෙන අය සාමාන්‍ය පුද්ගලයෙකු නොදකින පැති දකිනවා වෙන්න පුළුවන්.

ජනාධිපතිවරයා විසින් හෝ රජයේ වෙනත් කවුරු හෝ ලොක්කෙක් විසින් රටේ බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂාවට බලපාන මේ වගේ තීන්දු තනිව ගන්නා හැම විටකම අවම වශයෙන් ඒ බව ප්‍රසිද්ධ කර මහජන අදහස් දැක්වීම සඳහා අවස්ථාව හා ප්‍රමාණවත් කාලයක් දී ඒ අදහස් ගැනද සලකා බැලීමෙන් පසුව අදාළ තීන්දු ක්‍රියාත්මක කරන එකයි වඩාත්ම යෝග්‍ය ක්‍රමය.

Thursday, January 2, 2020

ගමනාගමන කොමිසමෙන් නිවේදක තෝරයි!


රූපවාහිණී සුලභ වෙන්න කලින් යුගයේ ගුවන් විදුලියේ ජනප්‍රිය සංගීත වැඩ සටහන් දෙකක් වුනේ "අසන්නන්ගේ ඉල්ලීම්" හා  "නිවේදක තෝරයි". ආර්ථික විද්‍යා වචන වලින් කියනවානම්  මේ දෙකෙන් පළමුවැන්නේදී ඉල්ලුම් සාධක වලටත්, දෙවැන්නේදී සැපයුම් සාධක වලටත් ප්‍රමුඛතාවය ලැබුණා.

නමෙන් කියන විදිහටම "නිවේදක තෝරයි" වැඩ සටහනක ගීත තේරුවේ අදාළ වැඩ සටහනේ නිවේදක විසිනුයි. එයින් වෙනස්ව "අසන්නන්ගේ ඉල්ලීම්" වැඩ සටහනේදී රසිකයින්ගේ කැමැත්තට ඉඩක් ලැබුණා. වැඩ සටහනක නිවේදකයා කිසියම් නිශ්චිත පුද්ගලයෙක් වූ නිසා "නිවේදක තෝරයි" වැඩ සටහනෙන් පිළිබිඹු වුනේ කිසියම් තනි පුද්ගලයෙකුගේ රුචිකත්වය. ඒ නිසා, "නිවේදක තෝරයි" ගීත තේරුණේ ඒකාධිකාරයක් යටතේ කියා කියන්න පුළුවන්.

මෙයින් වෙනස්ව "අසන්නන්ගේ ඉල්ලීම්" ගීත තේරුණේ තරඟකාරී පදනමකිනුයි. ඒ වුනත්, ප්‍රායෝගිකව "අසන්නන්ගේ ඉල්ලීම්" ගීත තේරීම සිදු වුනේ කතිපයාධිකාරී පදනමක කියා කියන්න පුළුවන්. මේ ගීත ඉල්ලා සිටි පිරිස සීමිත පිරිසක් වූ නිසා ඒ අතර සිටි ගාමා ගාමිණී සුබසිංහ, පත්මාවෝ මහේෂ්වරී, පර්ල් අයිරින් වගේ නම් නිතරම කියැවුනා. "අසන්නන්ගේ ඉල්ලීම්" යටතේ වුවත්, "නිවේදක තෝරයි" යටතේ වුවත්, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ගීත අහන්න සිදු වුනේ ඒ ගීත වලට කැමති අයට පමණයි.

කලක සිටම ලංකාවේ පෞද්ගලික බස් මගීන්ට බොහෝ විට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිංදු අහන්න සිදු වී තිබුණා. අද සිට මේ ගීත තෝරා දීමේ කාර්යයත් කරන්නේ ආණ්ඩුවෙනුයි. ජාතික ගමනාගමන කොමිසම විසින් අද (2020 ජනවාරි 01) දින සිට ක්‍රියාත්මක වන පරිදි "මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක්" හඳුන්වා දීමට නියමිත අතර ඊට අමතරව බස්රථයේ ගමන්ගන්නා මගීන්ට වැදගත් වන පණිවුඩ රැසක් සහිත විඩීයෝ පට හඳුන්වා දීමට ද පියවර ගෙන තිබෙනවා. මේ අනුව, අද සිට ලංකාවේ බස් මගීන්ට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ආණ්ඩුව කැමති ගී අහන්න සිදු වෙනවා.

ජාතික ගමනාගමන කොමිසම කියන ආකාරයට ඔවුන් මෙය කරන්නේ "අසන්නන්ගේ ඉල්ලීම්" අනුවයි. එම කොමිසම විසින් සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් මගී ජනතාවගෙන් 15,000ක නියැදියක් ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යයනයක් අනුව එකී සියලුම දෙනා සියයට 100 ක්ම දැනට එම බස්රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කරන ගීත තමන්ට මහත් හිරිහැරයක් හා කන්කරච්චලයක් බව ප්‍රකාශ කර ඇති බව කියනවා. මේ අනුව, "අසන්නන්ගේ ඉල්ලීම්" මත ගීත තේරීම වෙනුවට ආණ්ඩුවේ තේරීම වී තිබෙන්නේ "නිවේදක තෝරයි" ක්‍රමයයි. නිවේදක රාජකාරිය කරන්න ආණ්ඩුව විසින් විද්වත් මණ්ඩලයක් යොදා ගැනීමට නියමිතයි.

මෙතෙක් කල් ලංකාවේ බස් රථ වල ප්‍රචාරය කෙරෙන ගීත නියාමනයකට ලක් වුණේ නැහැ. එහෙත්, මේ ගීත තේරුණේ එම බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන්ගේ රුචිකත්වය මත මිස බස් මගීන්ගේ රුචිකත්වය මත පදනම්ව නෙමෙයි. ආණ්ඩුවට මැදිහත් වීමට අවකාශයක් ලැබී තිබෙන්නේ මේ රියදුරු කොන්දොස්තරවරුන්ගේ හා බහුතර බස් මගීන්ගේ රුචිකත්වයන් අතර තිබෙන නොගැලපීමයි.

ලංකාවේ පෞද්ගලික බස් රථ වල නිතර ප්‍රචාරය වූ නිසාම "බස් සිංදු" ලෙස හඳුනා ගැනෙන ගීත කාණ්ඩයක් තිබෙනවා. මේ ගීත වලට පොදු ලක්ෂණ ගණනාවක් තිබෙනවා. බස් රථයේ හා පාරේ ඝෝෂාවන් නිසා හෝ බසය තැනින් තැන නවත්වද්දී හඬ අඩු වැඩි වීම් නිසා මේ සිංදු වල ගලා යාමට බාධාවීම ලොකු ප්‍රශ්නයක් නොවීම මූලික ලක්ෂණයක්. විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය යුතු සුභාවිත ගීත කියා හඳුන්වන ගීත ඔය විදිහට වාත වෙවී අහන්න අමාරුයි. අමරදේවගේ "උකුළ ළැම හස මලවි කරළිය" වාදනය වෙද්දී කොන්දොස්තර මළයා "ඔටුවා පිටෝටුවා" කියලා කෑගහන එකත් අහන්න වුනොත් ඒක හරියට ලුණුමිරිස් එක්ක අයිස්ක්‍රීම් කනවා වගේ වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වැඩෙන් අන්තිමට ඔය සුභාවිත සිංදු කියන ඒවත් බස් සිංදු ගාණටම වැටෙන්න පුළුවන්.

ආණ්ඩුව කැමති ගී ගැන ඉතා ඉක්මණින් දැනගන්න ලැබෙයි. පහතින් තියෙන්නේ බස් සිංදු සේ හඳුනාගත හැකි ගීත කිහිපයක්.

1. සුදු අරලියා මල - අජිත් මුතුකුමාරණ


2. තනමල්විල මල් පිපුණත් - චාමර වීරසිංහ


3. වෙන් වී ගියත් පෙරදා - රුවන් හෙට්ටිආරච්චි


4. මට දුන්න දුක් ගින්න -දමිත් අසංක


5. මගෙ දුප්පත් ඇස් දෙක - චාමික සිරිමාන්න


6. ඩේලියා මලෙන් - කිංස්ලි පීරිස්


7. පාසැල් බිමේ හමු වූ - අජිත් මුතුකුමාරණ



Tuesday, June 18, 2019

කන්ටේනර් ටෝක්!


හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහගේ ප්‍රකාශයක් වෙත ඇනෝ කෙනෙක් විසින් අවධානය යොමු කරලා තිබුණා. ඔහුගේ ප්‍රකාශයේ සාරාංශය ගත්තොත් එය මෙවැන්නක්. කතාවේ තිබෙන අවශේෂ කරුණු ගැන මම කතා කරන්න යන්නේ නැහැ.

"රජයේ දවසක ආදායම රුපියල් බිලියන පහක්. වියදම රුපියල් බිලියන හතක්. බදු අනුපාතික ඉහළ නොදමා රජයේ ආදායම දවසකට රුපියල් රුපියල් බිලියන හයක් හතක් දක්වා ඉහළ දැමීම පහසුවෙන් කළ හැකි දෙයක්. ඒ වගේම වියදම රුපියල් බිලියන පහක් දක්වා අඩු කරන එකත් පහසුවෙන් කළ හැකි බව ඔප්පු කර තිබෙන දෙයක්."

දැන් මේ ප්‍රකාශය අනුව, දවසකට රුපියල් බිලියන දෙකක් වන රජයේ අයවැය හිඟය රුපියල් බිලියන දෙකක අතිරික්තයක් කර ගැනීම ඉතාම පහසු වැඩක්. මේ කතාව ඇත්තද? නැත්නම්, මේකත් තවත් ගැලරි ටෝක් එකක් විතරද?

ගාමිණි විජේසිංහගේ ප්‍රකාශය සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි සරල ප්‍රකාශයක්. ඒ නිසා, අපි මුලින්ම ඔහු කියන සංඛ්‍යාලේඛණ වලින්ම පටන් ගනිමු. ඔහුගේ ප්‍රකාශයේ තිබෙන විදිහට රජයේ දවසක ආදායම හා වියදම බිලියන වලින් බැලූ විට ගොඩක් දෙනෙකුට කතාව තේරුම් ගන්න පහසුයි.

රජයේ දවසක ආදායම (2018දී රුපියල් බිලියන වලින්) - 5,260
රජයේ දවසක වියදම (2018දී රුපියල් බිලියන වලින්) - 7,379

මේ අනුව, මේ ගණන් රුපියල් බිලියන වලින් 5,000 හා 7,000 ලෙස සඳහන් කිරීමේ වැරැද්දක් නැහැ. 2018දී රුපියල් බිලියන වලින්ම මේ වියදම් මොනවාද කියා අපි වැඩි දුරටත් හොයා බලමු.

රජයේ දවසක වියදම (2018දී රුපියල් බිලියන වලින්)
ප්‍රාග්ධන වියදම්- 1,678
පුනරාවර්තන වියදම්- 5,725

මෙයින් පුනරාවර්තන වියදම් වැඩි දුරටත් පහත ආකාරයට කොටස් කළ හැකියි.
රාජ්‍ය සේවක වැටුප්- 1,715
පොලී වියදම්- 2,335
සහනාධාර- 1,182
භාණ්ඩ හා සේවා මිල දී ගැනීම්- 493

දවසකට රුපියල් බිලියන 2,000කින් රජයේ වියදම අඩු කරන ආකාරය ගාමිණි විජේසිංහගේ කතාවේ උපුටා දක්වා ඇති කොටසේ නැහැ. ඔහු ඒ බව පෙන්වා ඇති තැනක් ඇත්නම් ඒ ගැන වැඩිදුර කතා කළ හැකියි. මගේ පෞද්ගලික අදහසනම් කවුරු මුදල් අමාත්‍යාංශය භාර ගත්තත් ගාමිණි විජේසිංහ කියන ආකාරයට දවසකට රුපියල් බිලියන 2,000කින් රජයේ වියදම අඩු කළ නොහැකි බවයි.

යහපාලන ආණ්ඩුව යටතේ පසුගිය වසර හතර ඇතුළත ප්‍රාග්ධන වියදම් විශාල ලෙස කප්පාදු කර තිබෙනවා. ඇතැම් විට මේ වසර හතර ඇතුළත ක්ෂය වූ ප්‍රාග්ධනයේ ප්‍රමාණයටවත් අලුතින් ප්‍රාග්ධන ආයෝජන සිදු කර නැති වෙන්න පුළුවන්. රටේ පාරවල් දිහා බැලූ විට මේ බව පෙනෙනවා. බොහෝ පාරවල් 2014 අගදී තිබුණු මට්ටමට නඩත්තු වී නැහැ.

ප්‍රාග්ධන වියදම් මීටත් වඩා අඩු කළොත් වෙන්නේ ක්‍රමක්‍රමයෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය වී යාම පමණයි. රෝහල් වල උපකරණ කැඩෙන විට ඒවා පිළිසකර කළ යුතුයි. ගොඩ දාන්න බැරි මට්ටමට ආ විට අලුත් උපකරණ මිල දී ගත යුතුයි. එසේ නොකළොත්, සෞඛ්‍ය සේවකයින් සිටි පමණින් නිසි පරිදි ප්‍රතිකාර කළ නොහැකි වෙනවා. රජයේ කාර්යාල වල පරිගණක කල් ඉකුත් වන විට අළුත් පරිගණක මිල දී ගත යුතුයි. පරිගණකයක් නැතිව පරිගණක ක්‍රියාකරුවෙකුට කළ හැකි දෙයක් නැහැ. වාහන අබලන් වන විට අළුත් වාහන මිල දී ගන්න වෙනවා. වාහනයක් නැතිව රියදුරෙකුට වැටුප් ගෙවා නඩත්තු කළා කියා කිසිදු නිෂ්පාදනයක් සිදු වෙන්නේ නැහැ. දවසකට ප්‍රාග්ධන වියදම් සේ වැය කරන රුපියල් බිලියන 1,678 තවදුරටත් කප්පාදු කිරීමෙන් වෙන්නේ රාජ්‍ය අංශයේ සේවකයින් සෑහෙන පිරිසකට වැඩක් නොකර වැටුප් ගන්න වෙන එකයි. එවැනි කප්පාදුවක් දිගුකාලීනව එය රටට බොහෝ හානිකර විය හැකියි.

පොලී වියදම් වලින් සතයක්වත් අඩු කරන්න අමාරුයි. දැනටම අරගෙන තිබෙන ණය වලට කලින් පොරොන්දු වී ඇති පොලී ගෙවන්නම වෙනවා. ඒ වගේම, රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන්න බැහැ. රාජ්‍ය සේවකයින් සේවයෙන් ඉවත් කරන්නත් බැහැ. දැනට සිටින රජයේ සේවකයින් ප්‍රමාණයට සාපේක්ෂව රජය විසින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කරන්නේ ඉතා අඩු මුදලක්. ප්‍රාග්ධන වියදම් මෙන්ම මේ වියදම්ද තවත් අඩු කරන්න අමාරුයි. රජයේ කාර්යාල වල කටයුතු අවම මට්ටමින් හෝ කරන්න ලිපි ද්‍රව්‍ය, ඉන්ධන ආදී විවිධ වියදම් දරන්නම වෙනවා. මේ වියදම් තවත් කැපුවොත් වෙන්නේ රජයේ සේවකයින්ට වැටුප් ගෙන වැඩක් නොකර ඉන්න වෙන එකයි.

හැබැයි එකවර විශාල රාජ්‍ය සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීම වැනි දෙයක් කළොත්නම්, සමානුපාතිකව ඇතැම් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වෙනුවෙන් යන වියදම් හා ප්‍රාග්ධන වියදම් කප්පාදු කළ හැකියි. එවැන්නක් කරන්න කිසිදු ආණ්ඩුවක් පෙළඹෙයි කියා හිතන්න බැහැ.  ගාමිණි විජේසිංහ එවැන්නක් යෝජනා කරනවා කියා මා හිතන්නේත් නැහැ.

මේ සියල්ලට අමතරව ඉතිරිව තිබෙන්නේ විවිධ සහනාධාර සඳහා යන වියදම්. වියදම් අඩු කරනවානම් සාපේක්ෂව පහසුම දේ මේ ඇතැම් සහනාධාර නොදී ඉන්න එකයි. ගාමිණි විජේසිංහ විසින් යෝජනා කරන්නේ එවැන්නක්ද? එසේනම්, ඒ විදිහට කපා දැමිය යුත්තේ කවර සහනාධාරද?

ප්‍රකාශයේ තිබෙන විදිහට රජයේ දවසක වියදමෙන් රුපියල් බිලියන 2,000ක් අඩු කරන එක මටනම් හිතාගන්නවත් අමාරු දෙයක්. රුපියල් බිලියන දෙතුන් සීයක්නම් කොහොම හරි අඩු කර ගන්න උත්සාහ කළ හැකියි. නමුත්, රජයේ වියදම් දවසකට රුපියල් බිලියන 5,000 දක්වා අඩු කරනවා කියන එක රුපියල් 2,500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියනවා වගේ කතාවක්.

අපි ආදායම් පැත්තත් බලමු. ආදායම් වැඩි කිරීම හා අදාළව ඔහු සතුව යෝජනාවක් තිබෙන බව පේනවා. ඔහුගේ ප්‍රකාශය අනුව, ලංකාවට දවසකට එන කන්ටේනර් 1,500කින් පරීක්ෂාවට ලක්වන්නේ 100ක් පමණයි. මෙසේ කීමෙන් ඔහු අදහස් කරන්නේ මේ කන්ටේනර් 1,500ම පරීක්ෂාවට ලක් විය යුතු බව වෙන්න පුළුවන්.

වරායේදී කන්ටේනර් පරීක්ෂා කරන ක්‍රමවේදය ගැන මම හරියටම දන්නේ නැහැ. නමුත්, මේ වගේ තැනකදී අහඹු නියැදියක් පරීක්ෂාවට ලක් කිරීම සම්මත ක්‍රමයක්. ප්‍රසස්ථ ක්‍රමය වන්නේද එසේ නියැදි පරීක්ෂාවක් කිරීමයි. මේ ගණන් නිවැරදියි කියා උපකල්පනය කළොත් ඕනෑම කන්ටේනරයක් පරීක්ෂාවට ලක් වෙන්න 1/15ක සම්භාවිතාවක් තිබෙන නිසා බොහෝ දෙනෙක් බදු වංචාවක් කිරීමට පෙර ඒ ගැන හිතා බලනවා. ඒ වගේම, "දැක්කොත් බුවා නොදක්කොත් එබුවා" කියා පරීක්ෂාවට ලක් නොවෙන්න 14/15ක සම්භාවිතාවක් තිබීමේ වාසිය ගන්න අයත් ඉන්න පුළුවන්.

අවුරුදු විස්සකට පමණ පෙර මා අසා තිබුණා බදු නොගෙවා ලංකාවට පාවහන් ගෙන්වන ආනයනකරුවෙක් පිළිබඳ කතාවක්. තායිලන්තයෙන් පාවහන් මිල දී ගන්නා ඔහු මේ පාවහන් ලංකාවට එවන්න කලින් ඒවා දකුණු හා වම් කකුල් පාවහන් ලෙස ගොඩවල් දෙකකට වර්ග කරනවා. ඉන් පසු, මේ වර්ග දෙක වෙන වෙනම නැව්ගත කරනවා. බොහෝ විට මේ පාවහන් පරීක්ෂාවට ලක් වන්නේ නැහැ. වෙන වෙනම එන තොග ලංකාවට ලැබුණු පසු ලංකාවේදී දකුණු හා වම් කකුල් එකතු කර ගන්නවා.

සමහර වෙලාවට පාවහන් තොගයක් රේගු නිලධාරීන්ට අහු වෙනවා. එවිට මේ ආනයනකරු දඩමුදල් ගෙවා පාවහන් නිදහස් කරගන්න යන්නේ නැහැ. පාවහන් තොගය රාජසන්තක වෙනවා. ඉන් පසු මේ පාවහන් වෙන්දේසියේ දමනවා. නමුත්, කවුරුත් ලන්සු තියන්නේ නැහැ. එක කකුලක් විතරක් මොකටද? අන්තිමට අර මනුස්සයාම ගිහිං පොඩි ගාණකට වෙන්දේසියෙන් පාවහන් තොගය ගන්නවා. අරගෙන තමන් ළඟ තිබෙන අනික් කකුල සමඟ මැච් කර ගන්නවා. ඔය කතාව ඇත්තක් වුනත් බොරුවක් වුනත් ආනයනික භාණ්ඩ තොග සියල්ලම පරික්ෂා කරනවානම් ඔය වගේ සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ.

අපි හිතමු ගාමිණී විජේසිංහ කියනවා වගේ රේගුව කන්ටේනර් සියල්ල පරික්ෂා කරන්න පටන් ගත්තා කියලා. වැඩේ පටන්ගත් අලුත, බදු වංචා කරුවන් ගණනාවක් අහු වෙයි. නමුත්, ඒ වෙනුවෙන් දැනට වඩා විශාල රේගු නිලධාරීන් පිරිසක් අවශ්‍ය වෙනවා. අනෙක් වියදම්ද සමානුපාතිකව ඉහළ යනවා. එවැනි වියදමක් දරා බදු වංචාකරුවන් අල්ලා ගත්තා කියා කියමුකෝ. එයින්, පසුව ඒ අය දිගින් දිගටම බදු ගෙවමින් කලින් වගේම භාණ්ඩ ආනයනය කරයිද?

ඇතැම් අය අවදානමක් ගෙන බදු වංචා කර භාණ්ඩ ආනයනය කරන්නේ ඒ භාණ්ඩ විකුණා ලාබයක් ලබන්නයි. මේ වගේ භාණ්ඩ සාමාන්‍යයෙන් විකිණෙන්නේ අඩු මිලකටයි. හරියට බදු ගෙවුවොත් ඔවුන්ට එවැනි අඩු මිලකට බඩු විකුණන්න බැහැ. මිල වැඩි කළොත් මේ භාණ්ඩ විකිණෙන්නේ නැහැ. මෙවැනි ආනයනකරුවන් වැඩේට අත ගහන්නේම බදු නොගෙවා භාණ්ඩ රට ඇතුළට පන්නා ගැනීම පිළිබඳව තිබෙන විශ්වාසය මතයි. ඒ නිසා, ගාමිණී විජේසිංහ යෝජනා කරන විදිහට රේගුවේ හිල් සියල්ලම වැහුවොත් වෙන්නේ එවැනි අය බොහෝ දෙනෙක් වැඩේ නවත්වන එකයි. එවිට, බදු වංචා නැවතුණත් ඔහු අපේක්ෂා කරන ආකාරයට රජයේ ආදායම වැඩි වෙන්නේ නැහැ. අමතර රේගු නිලධාරීන් පිරිසක් නඩත්තු කරන්න සිදුවීම නිසා වියදම වැඩි වෙන එක සැලකූ විට අන්තිමට රජයේ ආදායම වැඩි වනවාට වඩා වියදම වැඩි වෙන්නත් පුළුවන්.

පොදුවේ රටේ ආර්ථිකය ගැන සැලකුවාම කන්ටේනර් සියල්ලම පරීක්ෂා කරන්න යාමේ විශාල ආර්ථික පිරිවැයක්ද තිබෙනවා. පරීක්ෂාව සඳහා ගත වන කාලය තුළ ඇතැම් භාණ්ඩ නරක් වෙන්න පුළුවන්. ඇතැම් භාණ්ඩ විකුණා ගැනීමට තිබෙන අවස්ථාව ගිලිහෙන්න පුළුවන්. ඒ වගේම, භාණ්ඩ වෙළඳපොළට එන්න කලින් සිදුවන පැයක හෝ ප්‍රමාදයක් කියන්නේ විශාල ප්‍රමාදයක්. මේ වගේ යෝජනාවක වක්‍ර ආර්ථික පිරිවැය විශාලයි. මේ හේතුව නිසා ආනයන වෙළඳාම අධෛර්යමත් වීමෙන් රජයේ බදු ආදායමට යම් සෘණාත්මක බලපෑමක්ද විය හැකියි. මෙවැනි යෝජනාවක් කවදාවත් බදු වංචා කරන්න නොහිතන ආනයනකරුවෙකුගේ හෝ සතුටට හේතු වෙන්නේ නැහැ.

කන්ටේනර් පරීක්ෂා කිරීමේදී 1/15ක් පමණක් පරීක්ෂා කිරීම ප්‍රසස්තම මට්ටමද කියා මා දන්නේ නැහැ. නමුත්, කන්ටේනර් සියල්ලම පරීක්ෂා කිරීමනම් කාර්යක්ෂම ක්‍රමවේදයක් නෙමෙයි. ආදායම් බදු ආදිය හා අදාළවත් තත්ත්වය මෙවැන්නක්. නියැදි පරීක්ෂාවන් කළ යුතු ආකාරය ගැන මනා දැනුමක් තිබෙන නිලධාරීන් අදාළ ආයතන වල ඉන්න නිසා ඔවුන් මේ වැඩේ සම්පූර්ණයෙන්ම අනාගෙන ඉන්නවා කියා හිතන්න අමාරුයි.

පැත්තක ඉඳන් විවේචනය කරන එක පහසුයි. නමුත්, වැඩක් කරන එක ඒ තරම්ම ලේසි නැහැ.


Sunday, December 30, 2018

මං උනත් ඉතිං ඉන්නෙ මෙ අවුෂදේ බලෙන්...


ග්‍රෙගෝරියන් අවුරුද්ද ඉවර වෙද්දී සංක්‍රාන්තිය සමරන්න අවුෂද ටිකක් ගන්න එක ගොඩක් දෙනෙක් කරන දෙයක්නේ. ඕකේ ඉතිං ලොකු වැරැද්දක් නැහැ. බොන්න උවමනාවක් නැති වුනත් යාලුවන්ගෙන් බේරෙන්න බැරි වුන වෙලාවට චුට්ටක් ගන්නවා කියල ලාල්කාන්ත සහෝදරයත් කියල තියෙනවනේ.

ඔය වගේ සමාජ සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් විදිහට වගේම ප්‍රශ්න වැඩි වුනහමත් තව අය බොනවනේ. එහෙම අය මුලින් කී අයට වඩා ටිකක් වැඩි වෙන්න ගන්නවා. ඒ අයට තියෙන එක විවේචනයක් තමයි බීල ප්‍රශ්න විසඳන්න බෑ කියන එක.

ආපහු සිහිය එන කොට තිබිච්ච ප්‍රශ්න ඔක්කොම තිබුණත් ඒ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක කරන එකත් එක විසඳුමක්නේ. හැබැයි ඔය විදිහට ප්‍රශ්න විසඳන්න අසීමාන්තික ලෙස එක දිගට බොන එකෙන් පස්සේ නැති ප්‍රශ්න ඇති වෙනවා. එහෙම තියෙද්දිත් සමහර අය ඔය වැඩේ කරන්නේ මේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැති නිසාද?

ටික දවසකට කලින් ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සරසවියක පර්යේෂකයෙකු වන අයෙකු එක්ක කරපු කතාබහක් ගැන කලින් ලිපියක සඳහන් කළානේ. ඔහුට අනුවනම් මිනිස්සු මේ විදිහට බොන්නේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැතිව නෙමෙයි. ඒ හානි ගැන දැනගෙන හිටියත් බොන එකෙන් ලැබෙන දේ ඒ හානි වලට වඩා වටින නිසා. වෙනත් විදිහකින් කිවුවොත් මේ මිනිස්සු කරන්නෙත් නොබොන අනුවණ දනෝ වගේම බොහොම තාර්කික විදිහට කටයුතු කරමින් තමන්ට හොඳම දේ කිරීම. එහෙම වෙන්නේ කොහොමද?

ඔහුගේ අදහස වන්නේ වෙනත් විකල්පයක් නැති විට මානසික ආතතියට ප්‍රතිකාරයක් ලෙස මිනිස්සු මත්පැන් ගන්නවා කියන එකයි. හැබැයි වෙනත් වඩා හොඳ විකල්පයක් ලැබුනොත් ඔවුන් තව දුරටත් මේ වැඩේ කරන්නේ නැහැ.

ඔහුට අනුව, මේ චර්යාවම වෙනත් කරුණු හා අදාළව වුවත් පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කන බොන මිනිස්සුනේ. කන එකෙන් අපි හොඳට සතුටු වෙනවා. ඒ වගේම, ඇඟ හොල්ලන්න හොරයි. නමුත්, ඔය විදිහට කකා බිබී ව්‍යායාම නොකර ඉන්න කොට කොලෙස්ටරෝල් නගිනවා. ඔන්න එතකොට අකැමැත්තෙන් ඩයට් කරන්න වෙනවා. ව්‍යායාම කරන්න වෙනවා.

මෙතැන තේරීම් දෙකක් තිබෙනවා. එකක් හෘද රෝගයක් හැදීමේ අවදානම ගන්න එක. අනික අපි අකැමැති දේවල් වන ඩයට් කිරීම හා ව්‍යායාම කිරීම වැනි දේ කරන එක. දෙකෙන් එකක්වත් අපි කැමති දේවල් නෙමෙයි. ඒ නිසා, තිබෙන හොඳම විකල්පය අඩු නරක විකල්පය තෝරා ගැනීම.

දැන් ඔය මැතිවරණ වලදී ගොඩක් අය කරන්නෙත් ඕකමනේ. මොකා ආවත් එකයි කිවුවට මොකෙක් හරි එනවනේ. ඒ නිසා, අඩු නරක විකල්පය තෝරා ගන්න වෙනවා. ඉතිං ගොඩක් ඡන්ද වැටෙන්නේ කාව හරි දිනවන්න නෙමෙයි. අනිත් අපේක්ෂකයා දිනන එක වලක්වන්න. මිනිස්සුන්ගේ හැසිරීම තාර්කිකයි.

කොහොම වුනත් අමතර විකල්ප වැඩි වන තරමට අපට වඩා අඩු නරක හෝ වඩා හොඳ විකල්පයක් තෝරා ගැනීම පහසු වෙනවා. මා කිවූ පර්යේෂකයා මුලින්ම පෙන්වා දෙන්නේ කොලෙස්ටරෝල් පාලනය කරන්න ලිපිටෝර් වගේ ස්ටැටින් ඖෂධ සොයා ගැනීම. මේවායේ අතුරු ආබාධ හොඳටම අඩුයි. දැන් තුන්වන විකල්පයක් විදිහට ඩයට් නොකර, ව්‍යායාම නොකර ස්ටැටින් ඖෂධ වලින් කොලෙස්ටරෝල් පාලනය කරගෙන හෘද රෝග අවදානම අඩු කර ගන්න පුළුවන්. ඔහු පෙන්වා දෙන විදිහට මේ චර්යාත්මක වෙනස ඇමරිකාවේ ස්ථුලතාවය ඉහළ යන්න හේතු වී තිබෙනවා.

මේ ආකාරයටම ආතතිය පාලනය කරන ඖෂධ වෛද්‍ය නිර්දේශ නැතුව මිල දී ගැනීම පහසු වීමට සමාන්තරව ආතතියට විසඳුමක් ලෙස අධික ලෙස මත්පැන් පානය කිරීම අඩු වෙමින් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා. (මේ පර්යේෂණ ප්‍රතිඵල මේ විදිහටම වලංගු වන්නේ ඇමරිකාව වගේ රටකට බව මතක් නොකළොත් එය අඩුපාඩුවක්.) මේ කරුණු එක්ක ඔහු පෙන්වා දෙන්නේ තාක්ෂණය නිසා වඩා හොඳ අලුත් විකල්ප ලැබීමේ වාසිය හා ඒ එක්ක වෙළඳපොළ යාන්ත්‍රනය තුළ සමාජයීය ප්‍රශ්න ස්වභාවිකවම විසඳෙන ආකාරයයි.

Saturday, December 29, 2018

ලීනි සිබරල් කානි සිවුද?


දැන් ළමයි කොහොමද දන්නේ නැහැ. අපිනම් දෙවන භාෂාවක් ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලෙදිමයි. ඒ පෙරළි භාෂාව. බස් පෙරළීම හා "බස්" පෙරළීම කියා දෙකක් තියෙනවනේ! ඊට පස්සේ තුන්වන භාෂාවකුත් ඉගෙන ගත්තා. ඒ සීනි භාෂාව.

ඔය භාෂා තුන ඔය පිළිවෙළටම මිසක් වෙනත් පිළිවෙලකට ඉගෙන ගන්න බැහැ. පෙරළි භාෂාව ඉගෙන ගන්න කලින් සිංහල ඉගෙන ගන්න වෙනවා. අර සිංහල උගත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක් හා ඒ කාලයේ ජීවත් වූ හිමිනමක් අතර පළමු පංතියේ දුම්රිය මැදිරියකදී වූ කතාබහක් ගැන කතාව අහල ඇතිනේ. සුද්දට ඇනගන්න වුනේ සිංහල කොයි තරම් හොඳින් ඉගෙනගෙන තිබුණත් පෙරළි භාෂාව ගැන දැනගෙන නොසිටි නිසයි. සීනි භාෂාව ඉගෙන ගන්නනම් සිංහලයි පෙරළි භාෂාවයි දෙකම කලින් හදාරලා තියෙන්න ඕනෑ.

දෙවන, තුන්වන ආදී භාෂා කොපමණ ඉගෙන ගත්තත් මවු භාෂාව හසුරුවන එක වඩා පහසුයි. ලියන්න වගේම කියවන්නත්. හැබැයි තමන්ට පහසුම භාෂාවෙන් ලියා තිබෙන දෙයක් වුවත් හැමෝම කියවන්නේ එකම විදිහට නෙමෙයි. එකම අකුරු හා වචන තමයි. නමුත්, කියවන එක් එක් පුද්ගලයා ඒ වචන වලින් තේරුම් ගන්නේ තම තමන්ට අවශ්‍ය දේවල්. එයත් අප අතර තිබෙන විවිධත්වයේ කොටසක්.

රනිල් ප්‍රධාන එජාප ආණ්ඩුව ලිබරල් මතවාදී ආණ්ඩුවක් ලෙස බොහෝ දෙනෙක් සලකනවා. එහෙමනම්, මහින්දලා ප්‍රති-ලිබරල්ද?

රනිල්ගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ලෙස රාජිත විසින් යෝජනා කළ පැණි බීම සඳහා වූ සීනි බද්ද මහින්ද විසින් ඉවත් කළා. මේ බද්ද දමපු වෙලාවේ ඒ ගැන බටහිර මාධ්‍ය වාර්තා වල ඉතා පැහැදිලිවම ලියා තිබුණේ මෙය ප්‍රති-ලිබරල් ක්‍රියාමාර්ගයක් බවයි. එහෙමනම් බද්ද ඉවත් කිරීම ලිබරල් තීරණයක්. කවුරු හෝ පුද්ගලයෙක්, ප්‍රතිපත්ති සම්පාදකයෙක් හෝ ආණ්ඩුවක් විසින් සමස්තයක් ලෙස කටයුතු කරන ආකාරය හා එවැනි පුද්ගලයකු හෝ ආණ්ඩුවක් විසින් ගන්නා හුදෙකලා ප්‍රතිපත්ති තීරණ දිහා එකම අච්චුවේ දමා බලන්න බැහැ.

ලිබරල් වගේ පුළුල් තේරුමක් තියෙන බර වචන පැත්තකින් තියලා නිදහස් වෙළඳපොළ කියන සාපේක්ෂව සරල සංකල්පය වෙත හැරෙමුකෝ. නිදහස් වෙළඳපොළක් කියන්නේ රජයේ මැදිහත්වීමක් නැතුව පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනු වලට ඉඩලැබෙන තැනක්. හරියට පැණිබීම නිෂ්පාදකයෙකු හා පාරිභෝගිකයෙකු අතර සිදුවන ගනුදෙනුවක් වගේ. ගනුදෙනුව සිදුවන මිල තීරණය කරන්නේ ඒ දෙන්නා. දෙන්නාගෙන් කාට හෝ පාඩුනම් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ගනුදෙනුවක් වෙනවනම් එයින් කියන්නේ දෙන්නටම වාසි බවයි.

සීනි බද්ද කියන්නේ රජය විසින් ඉහත කී ගනුදෙනුවට අකුල් හෙළන නියාමන ක්‍රියාමාර්ගයක්. එය නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බාධාවක්. එවැනි ක්‍රියාමාර්ගයක් යුක්තියුක්ත කළ හැක්කේ කවර පදනමකින්ද?

මේ ආකාරයේ බදු වලට කියන්නේ පිගෝවියන් බදු කියලා. කිසියම් හෝ හේතුවක් නිසා නිදහස් ගනුදෙනු වලට ඉඩ හැරීමෙන් සමාජයට අයහපතක් සිදුවෙනවාය යන උපකල්පනය මත ඒ අයහපත නැති කරන එකයි මෙවැනි බදු පැනවීමෙන් අපේක්ෂා කරන්නේ. ඇතැම් භාණ්ඩ මත පිගෝවියන් බදු පැනවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබෙනවා. මත්පැන් හා දුම්වැටි උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. වසර කිහිපයක සිට සීනි බදුත් මේ නිර්දේශ අතරට එකතු වී තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ අවසන් ඇමරිකානුවා වූ රිචඩ් ඕවර්ටන් වසර 112ක් හා දින 230ක් ආයු වළඳා පෙරේදා (දෙසැම්බර් 27) මිය ගියා. ඔහු නොකඩවා දිනපතාම දුම්පානය කළ, උදේට කෝපි එක්ක හෝ අමුවෙන්ම විස්කි වඩියක් සප්පායම් වූ, හැමදාම රෑට අයිස්ක්‍රීම් එකක් කන්න ප්‍රිය කළ පුද්ගලයෙක්. රිචඩ් ඕවර්ටන් වැනි ප්‍රති-උදාහරණ පෙන්විය හැකි වුවත්, අධික මත්පැන් භාවිතය හා දුම්වැටි භාවිතය නිසා පුද්ගලයෙකුට සෞඛ්‍යමය හානි වෙනවා කියන එක පිළිගත හැකි, පැහැදිලි කරුණක්.

ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයක් වන්නේ හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයෙක්ට තමන්ට හොඳම දේ තෝරාගැනීමේ හැකියාවක් තිබෙනවා කියන එකයි. ඒ අනුව, කවුරු හෝ දුම්වැටියකට ගෙවන මිල ගෙවන්නේ මේ හානි ගැන සැලකීමෙන්ද පසුව ඔහු හෝ ඇය දුම්වැටියෙන් ලබන සතුට ගෙවන මිලට වඩා වැඩි නිසයි. ඒ පදනම මත බැලුවොත් කවුරුහරි දුම්පානය හේතුවෙන් පෙනහළු පිළිකාවක් හදා ගත්තොත් ඒක ඒ පුද්ගලයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්.

හැබැයි පුද්ගලයෙක් දුම්වැටියකට ගෙවන මිල තීරණය කරද්දී ඒ නිසා තමන්ට ලැබෙන සතුට හා සිදුවිය හැකි හානි ගැන මිසක් වෙනත් අයට සිදුවිය හැකි හානි ගැන හිතන්න හේතුවක් නැහැ. කවුරු හෝ මගේ සේවා ස්ථානයේ, නිවසේ හෝ වෙනත් පොදු ස්ථානයක සිට දුම්පානය කරද්දී, මටත් සිගරට් දුම ආඝ්‍රාණය වෙනවා. ඒ නිසා, මගේ පෙනහළු පිළිකා අවදානම ඉහළ යාම වෙනුවෙන් මට ලැබෙන දෙයක් නැහැ. පිගෝවියන් බදු පිටුපස තිබෙන අදහස වන්නේ දුම්පානය කරන පුද්ගලයාගෙන් හා සිගරැට් වෙළෙන්දාගෙන් මුදලක් අය කරගෙන තෙවන  පාර්ශ්වයක් වන මගේ හානිය ප්‍රතිපූරණය කළ යුතු බවයි. මත්පැන් පානය කිරීමේ පුරුද්ද නිසා ගෘහස්ථ හිංසනයේ ගොදුරු වන අය, රිය අනතුරු වලට ලක්වෙන අය ආදීනුත් මෙවැනි තෙවන පාර්ශ්ව සේ සැලකිය හැකියි. සීනි වැඩිපුර බීමෙන් මේ විදිහට කවර හෝ තෙවන පාර්ශ්වයන්ට හානි වෙනවද?

තෙවන පාර්ශ්වයන්ට හානි වෙන අවස්ථා වලදී නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය කිසියම් නියාමනයකට ලක් කිරීම පිළිබඳව මගේ මූලික ප්‍රතිවිරෝධතාවයක් නැහැ. නමුත්, එසේ කරන්න කලින්, ඒ විදිහට තෙවන පාර්ශ්වයන්ට හානි වෙන බවත්, නියාමන ක්‍රියාමාර්ග නිසා ඒ හානි අඩුවන බවත් පැහැදිලිව පෙන්වා දෙන්න නියාමකයින්ට හැකි විය යුතුයි.

ඇතැම් විට ඉහත මූලධර්මයට අමතරව වෙනත් මූලධර්ම මතත් නියාමන ක්‍රියාමාර්ග ගැනෙනවා. උදාහරණයක් විදිහට මත්පැන් හා දුම්වැටි මිල දී ගැනීමේදී අවම වයස් සීමාවක් පැනවීම පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී යොදා ගැනෙන මූලධර්මය වන්නේ මේ දේවල් වල හොඳ නරක කිරා මැන බැලීමේ හැකියාවක් තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයින්ට පමණක් බවයි. තවත් උදාහරණයක් ගත්තොත් බොහෝ බටහිර ඖෂධ විකිණිය හැක්කේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කර ඇත්නම් පමණයි. මොකද ප්‍රමාණවත් පුහුණුවක් නැත්නම් මේ ඖෂධ වල හොඳ නරක කිරා මැන බලන්න සාමාන්‍ය පුද්ගලයෙකුට බැහැ. මේ ආකාරයේ නියාමනයක් තිබීම ගැන වෛද්‍යවරුන් නොවන වැඩිහිටි පුද්ගලයින්ගේ විරෝධයක් නැහැ. ඒ නිසා, නියාමනය සමාජයේ පොදු තීරණයක්.

මේ විදිහට බැලුවොත්, මත්පැන්, දුම්වැටි හා පැණි බීම මත බදු පැනවීමෙන් මේ දේවල් වල සෞඛ්‍යමය හානි පිළිබඳව සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක්ට වුවත් අවබෝධයක් නැති බව පිළි ගැනෙනවාද? මේ වගේ තත්ත්වයක් නැහැ කියා කියන්න බැහැ. එහෙම තත්ත්වයක් තියෙනවනම් එයට විසඳුම කුමක්ද?

මෙය දේශපාලනික කරුණක්. පළමු විසඳුම වන්නේ වෛද්‍යවරුන් බෙහෙත් නිර්දේශ කරනවා වගේ "දන්නා අය විසින්" අනෙක් අයට ඔවුන්ගේ තේරීම් සිදු කළ යුතු ආකාරය නියම කිරීමයි. දෙවන විසඳුම දන්නා අය විසින් ඒ අයගේ දැනුම් පරතරය අඩු කරගන්න උදවු කිරීමයි. මගේ දේශපාලනික තේරීම දෙවැන්නයි. නමුත්, සියළුම දේශපාලනඥයින් අඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ පළමු විසඳුම වෙනුවෙනුයි. ඔවුන්ට වෘත්තීය පැවැත්මක් තිබෙන්නේ ඒ තුළයි.

(Image: http://www.dailymirror.lk/article/Snaring-children-in-the-sugary-drink-trap-140964.html)

Monday, July 17, 2017

පිටිකර බෙහෙතෙන් සයිටම් බරවාය සනීප වෙයිද?


සයිටම් අර්බුදය විසඳීමේ පියවරක් ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරාගෙන තිබේ. වාර්තා වී ඇති ආකාරයට රුපියල් මිලියන 3,550ක් වටිනා මේ රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් ස්ව-කැමැත්තෙන්ම රජයට පවරන්නේ කිසිදු වන්දි මුදලක් ලබා නොගනිමිනි. සත්‍යාසත්‍යතාව පැහැදිලි නැතත්, ඇතැම් වාර්තා අනුව, මේ රෝහල ඉදි කිරීමට ලබාගත් ණය මුදල් පියවීමටද නෙවිල් ප්‍රනාන්දු විසින් එකඟ වී තිබේ. ගිවිසුමේ කොන්දේසි තවමත් හරියටම පැහැදිලි නැතත් එහි එක් පාර්ශ්වකරුවෙකු වන්නේ රජය නිසා ගිවිසුම අවසන් වීමෙන් පසු එහි ඇති දේ පාරදෘශ්‍ය නොවන්නට ඉඩක් නැත.

මෙයින් පෙනෙන්නේ නෙවිල් ප්‍රනාන්දුගේ ජනහිතකාමයද? එසේ නැත්නම් ව්‍යවසායකයෙකු වෙත රජය විසින් සිදුකළ අසාධාරණ බලහත්කාරයක්ද? එසේත් නැත්නම්, මේ දෙකම නොවන වෙනත් දෙකක්ද?

මගේ අදහස අනුව, මේ පැවරීම වාර්තා වී ඇති පරිදිම ස්ව-කැමැත්තෙන් සිදුවන්නක් මිස රජයේ බලපෑම් නිසා නෙවිල් ප්‍රනාන්දුට කරන්නට සිදු වී ඇති දෙයක් නොවේ. ඒ නිසා, මෙහි නරක පූර්වාදර්ශයක් නැත. ඒ අතරම, මෙය නෙවිල් ප්‍රනාන්දුගේ ජනහිතකාමය නිසා ගෙන ඇති තීරණයක්ද නොවේ. කෙතරම් අවාසිදායක තීරණයක් සේ පෙනුණත්, එය මේ වෙලාවේ නෙවිල් ප්‍රනාන්දුට ගත හැකි වඩාත්ම වාසිදායක තීරණයයි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල හැදුවේ එමඟින් කෙටි කලකින් ලාභ ලැබීමේ අරමුණ මුල් කරගෙන නොවේ. සයිටම් වෛද්‍ය පීඨය පවත්වා ගෙන යාම සඳහා ශික්ෂණ රෝහලක් අවශ්‍ය වූ බැවිනි. එහෙත්, එයින් අදහස් වන්නේ ඔහු මේ රෝහල වෙනුවෙන් ආයෝජනය කළේ පාඩු ලබන්නට බවද නොවේ.

ලාබ ලැබීම කෙසේ වුවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදු කර ඇති රුපියල් මිලියන 3,550ක ආයෝජනය පියවා ගැනීම වුවද සෑහෙන කලක් ගතවන කටයුත්තකි. ලංකාවේ වෙනත් පෞද්ගලික රෝහල් විසින් ලබන ලාබ ආන්තික දෙස බැලූ විට මෙවැනි ආයෝජනයක් පියවා ගැනීමට අඩු වශයෙන් වසර දහයක් හෝ පහළොවක්වත් යා හැකි බව සිතිය හැකිය.

ආයෝජනය ආවරණය කර ගැනීම සඳහා එක් එක් වසර ඇතුළත මෙහෙයුම් වියදම් ඉක්මවා ආදායම් ලබන්නට හැකි විය යුතුය. එහෙත්, ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් නොපැමිණේනම් ප්‍රාග්ධන ආයෝජනය තබා මෙහෙයුම් වියදම් වුවද ආවරණය කර ගැනීමට නුපුළුවන. මෙහෙයුම් වියදම ආවරණය කිරීමට ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට හැකි වන තුරු පෞද්ගලික රෝහලක් නඩත්තු කරන්නට වෙන්නේ පාඩු ලබමින්, එයට තවතවත් අරමුදල් පොම්ප කරමිනි.

කෙසේවුවද, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල එහි මෙහෙයුම් කටයුතු වලින් පවා අලාභයක් ලැබුවද සයිටම් වෛද්‍ය පීඨයේ ලාභ වලින් මේ අලාභය පියවා ගැනීමට ඉඩක් තිබුණේය. ශික්ෂණ රෝහල වෙනුවෙන් ආයෝජනය කරන විට නෙවිල් ප්‍රනාන්දුගේ ව්‍යාපාරික උපාය මාර්ගය වන්නට ඇත්තේ එයයි. සයිටම් අර්බුදය දිගින් දිගටම ඇදෙන විට නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ  පමණක් නොව සයිටම් වෛද්‍ය පීඨයේද මෙහෙයුම් අලාභ දිනෙන් දින ඉහළ යයි.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පැවරීම මඟින් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට එහි මෙහෙයුම් අලාභ ආවරණය කිරීමට දිගින් දිගටම අරමුදල් පොම්ප කරන්නට වීමේ අවාසියෙන් ගැලවෙන්නට හැකිවා පමණක් නොව, සයිටම් වෛද්‍ය පීඨයේ මෙහෙයුම් අලාභ ලාභ වලට හරවා ගැනීමටද පොටක් පෑදේ.

ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදුකළ ආයෝජනය පියවා ගැනීම අරභයා එහි ඇතුළු වන එක් සිසුවෙකුගෙන් මිලියන දෙකක අමතර මුදලක් පාඨමාලා ගාස්තු හරහා අය කළද, මුළු ආයෝජනය පියවා ගැනීමට සිසුන් 1,775කගෙන් මුදල් අය කිරීමට සිදු වේ. මේ සඳහාද වසර පහළොවක් පමණ ගත විය හැකිය. කෙසේ වුවත්, රුපියල් මිලියන 3,550ක ආයෝජනය ගිලුණු පිරිවැයක් නිසා දැන් ගත යුතු හොඳම තීරණය ගැනීමේදී ඒ මුදල ගැන සිතීම තේරුමක් නැත. සයිටම් අර්බුදය දිගින් දිගටම ඇදීමෙන් අවසාන වශයෙන් වෙන්නේ පාඩු තවත් වැඩි වී, ආයෝජනය පියවා ගැනීමට ගතවන කාලය තවත් දිග්ගැසීමයි.

ඉහත කරුණු අනුව, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ස්ව-කැමැත්තෙන් රජයට පැවරීම මේ වෙලාවේ නෙවිල් ප්‍රනාන්දුට ගත හැකිව තිබුණු පවතින තත්ත්වයන්ට සාපේක්ෂව වාසිදායක තීරණයකි. අර්බුදය දිගටම ඇදෙන්නට හැරීමෙන් ඔහුට වන අවාසිය මෙහි ඇති අවාසියට වඩා විශාලය. එක් අතකින් මෙය ජේආර්ගේ රජය විසින් රනිල් වික්‍රමසිංහගේ සොයුරාට අයත්ව තිබුණු ස්වාධීන රූපවාහිණිය රජයට පවරාගැනීම වැනි දෙයකි.

කරුණු එසේනම් නෙවිල් ප්‍රනාන්දු විසින් කර ඇත්තේ කොහේවත් තියෙන කුණු ගොඩක් ආණ්ඩුවේ ඇඟේ ගැසීමද?

මේ ගනුදෙනුවෙන් ආණ්ඩුවටද පාඩුවක් නැත. රජයේ රෝහල් වල වෛද්‍ය සේවා පහසුකම් සපයන්නේ මුදල් අය නොකර වූවත්, දිනෙන් දින වැඩිවන සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම සපුරමින් රෝහල් පහසුකම් වැඩි කිරීම පිණිස රජය විසින් ප්‍රාග්ධන ආයෝජන සිදු කළ යුතුය. රුපියල් මිලියන 3,550ක් වටිනා රෝහලක් රජයට නිකම්ම ලැබීම යනු එපමණක සෘජු වාසියකි. මෙවැනි රෝහලක් වෙනුවෙන් රජය විසින් අරමුදල් යෙදවුවද වෛද්‍ය සේවා වෙනුවෙන් මුදල් අයකිරීමක් නොකරන බැවින් රෝහලෙන් ආදායම් නොලැබීම අදාළ කරුණක් නොවේ.

රජයේ පාලනයේ යටතේ ගුණාත්මක භාවය අවශ්‍ය මට්ටමින් පවත්වා ගන්නවානම් නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගීන්ගෙන් අඩුවක් නොවනු ඇත. යම් හෙයකින් එහි ගුණාත්මක භාවය රජයේ වෙනත් රෝහල් වල මට්ටමට නැති වුවද, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේනම් එහි පැමිණෙන්නට රෝගීහු ප්‍රමාණවත් තරම් සිටිනු ඇත.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හා රජය සැලකූ විට මෙය දෙපාර්ශ්වයටම වාසිදායක (win-win) ගනුදෙනුවකි.

එසේනම්, සයිටම් වලට එරෙහිව හඬ නැඟූ වෛද්‍යවරුන්ගේ තත්ත්වය කුමක්ද?

මගේ ලිපි වලට ප්‍රතිචාර දැමූ ඇතැම් මිතුරන්ද ඇතුළු බොහෝ වෛද්‍යවරුන් සයිටම් විශාල ප්‍රශ්නයක් ලෙස දුටුවේ එහි ලබාදෙන සායනික පුහුණුව ප්‍රමාණවත් නැතැයි යන පදනමිනි. ඔවුන් මතු කළ මේ තර්කයට පදනමක් තිබුණේය. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ඇත්තටම සයිටම්හි සායනික පුහුණුව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇති වුනු ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයනම්, දැන් ඔවුන්ගේ කණස්සල්ලද සමනය කරන විසඳුමක් ලැබී තිබේ. සයිටම් පුහුණුවේ ගුණාත්මක භාවයට බලපාන තවත් කරුණු තිබේනම් ඒවා සාකච්ඡා කිරීමට ඉඩ සැලසෙන වේදිකාවක්ද දැන් හැදී තිබේ.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් පමණින් එහි ගුණාත්මක භාවය ඉහළ නොයන බවත්, එහි තවත් අඩුපාඩු රැසක් ඇති බවත් වෛද්‍යවරුන්ට කියන්නට පුළුවන. එය එසේ වන්නටද පුළුවන. රෝහල රජයට පවරා ගත් පමණින් සයිටම් වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවේ ගුණාත්මක භාවය හා අදාළ සියළු ප්‍රශ්න නොවිසඳෙනු ඇතත්, මේ අතරමැදි පියවර තුළින් වෛද්‍යවරුන්ට රජය සමඟ සාකච්ඡා කර ඉතිරි ප්‍රශ්න විසඳාගැනීම සැලකිය යුතු තරම් පහසු කරයි. එවැනි ඉඩක් සලසමින් රජය හා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මේ තරමට නම්‍යශීලී වීම අගය කළ යුතුය.

කෙසේ වුවද, දේශපාලන අරමුණු සහිතව සයිටම් ප්‍රශ්නය වවාගෙන කන්නට බලා සිටි අයට මේ ගනුදෙනුව සතුටුදායක පුවතක් නොවන්නට ඉඩ තිබේ. එවැනි අයගේ අරමුණු වලට ඉඩ නොලැබෙන පරිදි රජය, සයිටම් බලධාරීන් හා වෛද්‍ය සංගමය යන ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්ව ප්‍රශ්නය අවසන් කරගත හැකිනම් එය රටේ සියල්ලන්ටම සැලසෙන යහපතකි.

මේ පියවරෙන් පසුවද, ප්‍රශ්නය නොවිසඳේනම් වෛද්‍ය සංගමයට හා රජයට කෙසේ වුවත් නෙවිල් ප්‍රනාන්දුට සිදුවන්නේ කබලෙන් ලිපට අඩිය තැබීමටය. එසේ වුවහොත්, එක් පැත්තකින් ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදුකළ ආයෝජනයෙන් කෙටිකාලීනව කෙසේ වුවත් දිගුකාලීනව ලාබයක් ලැබීමට ඔහුට තිබුණු අවස්ථාව අතහැර දැමීමෙන් පසු සයිටම් වෛද්‍ය පීඨය මඟින් ඒ අලාභයෙන් කොටසක් පියවා ගන්නට ඔහුට තිබුණු අපේක්ෂාවද ගිලිහී යන්නට පුළුවන.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ඔහු සිය කැමැත්තෙන් රජයට පවරා දුන්නත් සයිටම් වෛද්‍ය පීඨය ඒ ආකාරයෙන් පවරා දෙන්නට ඉඩක් නැත. අවාසිදායකම තත්ත්වයන් යටතේ වුවද, ඔහු සයිටම් වෛද්‍ය පීඨය රජයට පවරා දෙනු ඇත්තේ රජය විසින් එහි තක්සේරු වටිනාකම ගෙවන්නේනම් පමණි. සයිටම් ආයතනයේ වටිනාකම යනු ඒ වෙනුවෙන් යටකර ඇති මුදල් ප්‍රමාණය පමණක් නොවේ. එමඟින් අනාගතයේදී ලබන්නට අපේක්ෂා කළ ලාභ වල වර්තමාන අගය (present value) එහි නියම වටිනාකමයි. මේ අගය එහි ආයෝජනය කර ඇති මුදල ඉක්මවනු ඇත. එවැනි විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කිරීම රජයට (බදු ගෙවන ජනතාවට) වාසිදායක නොවන තීරණයක් විය හැකිය.

අනෙක් අතට සයිටම් වෛද්‍ය පීඨයේ නියම වටිනාකම එහි අයිතිකරුවන්ට නොගෙවා බලහත්කාරයෙන් එය පවරාගැනීම මේ යුගයට නොගැලපෙන දෙයකි. තෙල් සමාගම් ජනසතු කළ යුගය අවසන් වී දැන් බොහෝ කල්ය. පෞද්ගලික ව්‍යාවසායයක් බලහත්කාරයෙන් රජයට පවරා ගනිමින් වැරදි පූර්වාදර්ශයක් ලබා දුන්නොත් එමඟින් සිදුවන අනාගත හානිය ඉතා විශාල වනු ඇත.

වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්නය අදිමින් මස් රාත්තලම ඉල්ලනවානම් සහ එහි දේශපාලනික අරමුණු නැතැයි ඔවුන් කියනවානම්, වෛද්‍යවරුන් නොවන වෙනත් අයට සංවේදී නොවන කිසියම් ප්‍රශ්නයක් මෙහි තිබිය යුතුය. එහෙත්, එය පොදු සමාජයට පැහැදිලි කිරීමට සමත් අයෙකු වෛද්‍යවරුන් අතර පෙනෙන්නට නැත. යම් හෙයකින් සයිටම්හි ඇති ප්‍රශ්නය වෛද්‍යවරුන් නොවන අයට තේරුම් ගන්නට අසීරු තරම් සංකීර්ණ එකක්නම් එයින් අදහස් වන්නේද එය වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් මිස පොදු සමාජයේ ප්‍රශ්නයක් නොවන බවයි.

Monday, January 16, 2017

ත්‍රිරෝද රථ සාහිත්‍යය දඩ කොළ වලින් වැසී යයිද?


ලංකාවේ පාරවල් වල දුවන මිලියන හය ඉක්මවූ වාහන තොගයෙන් අඩකට වඩා මෝටර් බයිසිකල් වන අතර ඉතිරි අඩෙන් තුනෙන් එකක් පමණ ත්‍රිරෝද රථයි. පසුගිය කාලය තුළ අඩු වියදමින් නඩත්තු කළ හැකි පෞද්ගලික වාහනයක් ලෙසත්, පොදු ප්‍රවාහන සේවා සඳහා වන විකල්පයක් ලෙසත් ත්‍රිරෝද රථ වල ජනප්‍රියතාවය සීඝ්‍රයෙන් ඉහළ ගියේය.

ත්‍රිරෝද රථ භාවිතය නියාමනය කරමින් පසුගිය සඳුදා (ජනවාරි 9) රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව, ලංකාව තුළ ත්‍රිරෝද රථ ධාවනය අනු කොන්දේසි ගණනාවක් ඇතුළත්, ප්‍රධාන නියාමන කොන්දේසි එකොළහකට යටත් වේ. මීට පෙර ලංකාවේ මාර්ග වල ධාවනය වන වාහන ප්‍රමාණය සීමා කිරීමේ අරමුණින් රජය විසින් ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුළ ලංකාවට ආනයනය කෙරුණු ත්‍රිරෝද රථ ඇතුළු වාහන ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව අඩකින් පමණ අඩු විය.

පොදු යහපත පිණිස රජයක් විසින් කිසියම් කර්මාන්තයක් නියාමනය කිරීමේ වරදක් නැත. එසේ කිරීමේදී නියාමනය හේතුවෙන් සිදුවන යහපත පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය. මේ අළුත් නියාමන නීති වලින් රජය අපේක්ෂා කරන දෙය බොහෝ දුරට පැහැදිලිය. කොන්දේසි වැඩි ගණනක අරමුණ රථයේ ගමන් කරන මගීන්ගේ හා රියදුරාගේත්, පාරේ පයින් හෝ වෙනත් වාහනයකින් ගමන් කරන පුද්ගලයින්ගේත් සුරක්ෂිතතාව තහවුරු කිරීම බව පෙනේ. මේ කොන්දේසි වලින් ඉතා පුළුල් කරුණු පරාසයක් ආවරණය කෙරේ. ඇතැම් කොන්දේසි වලින් කුලීරථ සේවා ලබාගන්නා මගීන්ගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන අතර එක් කොන්දේසියකින් ශබ්ද දූෂණය වැළැක්වීම අරමුණු කර ඇති බව පෙනේ.

කෙසේ වුවද පහත උපුටා දැක්වෙන අවසන් නියාමන කොන්දේසියෙන් ඉටුවන යහපතනම් එතරම්ම පැහැදිලි නැත.

"මෝටර් ට්‍රයිසිකලයක අයිතිකරු විසින් එහි නිෂ්පාදක විසින් ඒ මත ලකුණු කරනු ලබන විස්තරාත්මක තොරතුරු හැර මෝටර් ට්‍රයිසිකලයේ ඉදිරිපස හෝ පසුපස අකුරු, ඉලක්කම් හෝ සංඛ්‍යා ලකුණු කර නොමැති බවට සහතික විය යුතුය."


මේ ලංකාවේ ත්‍රිරෝද රථ සාහිත්‍යට නැවතීමේ තිතක් තබමින් 'සදාචාරය' හෝ 'උසස් රසවින්දනය' ජනතාවට බලෙන් ලබා දීම අරමුණු කරගත් නියාමන රෙගුලාසියක්ද?

ලංකාවේ ත්‍රිරෝද රථ වල විවිධ වැකි සටහන්ව තිබීම සාමාන්‍ය දෙයකි. මේවා කාණ්ඩ කිහිපයක් යටතේ වර්ග කළ හැකිය. ප්‍රමුඛම කාණ්ඩය වන්නේ ආගමික ස්වරූපයක් ගන්නා වාක්‍යයන්ය. "බුදු සරණයි!" "ජේසු පිහිටයි!" "අල්ලාහු අක්බර්" ආදී මෙවැනි වැකි සිංහල, ඉංග්‍රීසි, දෙමළ මෙන්ම අරාබි හා පාලි භාෂා වලින්ද ලියැවී තිබෙනු දැකිය හැකිය. තවත් ඇතැම් වැකි ත්‍රිරෝද රථ වෘත්තියට අදාළය. මේ අතර, මෙම රැකියාවේ යෙදෙන සමාජ ස්ථරය මුහුණ දෙන ප්‍රශ්න පිළිබිඹු කෙරෙන, බොහෝ විට පෙම් සබඳතා හා අදාළ වැකිද අඩු නැත.

ලෝකේශ්වරී කරුණාරත්න විසින් කොළඹ, මහනුවර, අනුරාධපුර හා මාතර දිස්ත්‍රික්ක වල නගර පහළොවක ත්‍රිරෝද රථ 831කින් එකතු කරගත් වැකි 2291ක් විශ්ලේෂණය කරමින් ලංකාවේ ත්‍රිරෝද රථ සාහිත්‍යයේ බෞද්ධ ආභාෂය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් වසර කිහිපයකට පෙර පළ කර තිබේ. සිංහල හා ඉංග්‍රීසි වැකි වලට පමණක් සීමා වූ ඇගේ නියැදියේ වැකි වලින් හතරෙන් එකක පමණ කිසියම් බෞද්ධ ආභාෂයක් තිබේ.

ඉහත පර්යේෂිකාව විසින්ද තහවුරු කර ඇති පරිදි ත්‍රිරෝද රථ හිමිකරුවන් හෝ රියදුරන් විසින් පෙර මුද්‍රණය කර ඇති වැකි සහිත ස්ටිකර් මිල දී ගැනීම වෙනුවට බොහෝ විට සිදුවන්නේ තමන්ට අවශ්‍ය වැකියක් මුද්‍රණකරුට දැනුම්දී මුද්‍රණය කර ගැනීමයි. ඒ නිසා මේ ත්‍රිරෝද රථ වැකි අදාළ සමාජ ස්ථරයේ ජන විඥානය පිළිබිඹු කරන කැඩපතකි. එක අතකින් මෙය ජනතා සාහිත්‍යයකි. මේ වැකි වෙනුවෙන්ම වෙන්වුන වත්පොත් අඩවියක් වන '3නේ කවි' පිටුවේ රසවත් ත්‍රිරෝද රථ වැකි රැසක් පළවී තිබේ. මේ ඒවායින් කිහිපයකි.

"සමවැදී ඉන්නේ මගේ දැහැන් බිඳින්නෙපා
ඒ කියන්නේ මගේ ආතල් කඩන්නෙපා"

"බිම බලාගෙන යන මට අහක බලාගෙන යන වලාකුළු කුමටද?"

"ඇට නැති වරකා නැත
කටු නැති මාළු නැත
වස නැති ගෑනු නැත"

"නංගි හදාගන්න බැරි දේවල් කඩාගන්න එපා...පරිස්සමෙන් රැකගන්න..."

"කෙල්ලො හරියට පන්සලේ ගලවන සෙරෙප්පු වගේ
කොයිවෙලේ කවුරු දාගෙන යයිද දන්නෑ"

"සුදු නැන්දේ මේ අහන්න දුව පොඩ්ඩක් හදාගන්න
දුවට ගවුම අන්දවන්න අපේ ඩෙනිම අපට දෙන්න"

"කට්ට කපටි ඔබේ හිත ළඟ පට්ට ලපටි මගේ ආදරෙත් පට්ට පදිරි වෙලා ගියා නංගි"

"උරුමක්කාරී හමුවන තුරු කරුමක්කාරීට අහු නොවන්න"

"පාඩුවෙ ගමන් යද්දී දාන්න එපා වෙට්ටු
අවුස්සගත්තොත් අපි උඹලට වඩා සත්තු"

"අම්මා ලස්සනයිනම් බබා වඩාගන්න තාත්තලා ගොඩයි"

"මල සිපගත්තට මල තලන්නෙ නැහැ මනුදම් දන්න නිසා"

"Defender එක දීපන් ළමයෙකුට"

"දුක තමයි රංජනී අද රෑටත් පාන් තමයි"


පුද්ගලික පාවිච්චිය සඳහා පමණක් යොදාගන්නා ත්‍රිරෝද ඇතුළු සියළු ත්‍රිරෝද රථවල "නිෂ්පාදක විසින් ඒ මත ලකුණු කරනු ලබන විස්තරාත්මක තොරතුරු හැර" වෙනත් යමක් නොතිබිය යුතුය යන්න දැඩි නියාමන කොන්දේසියකි. ත්‍රිරෝද රථවල තරම් සුලභ නැතත් වෙනත් වාහන වලද විවිධ ස්ටිකර් ප්‍රදර්ශනය කෙරේ. ධීවර බෝට්ටු, ලොරි, පුද්ගලික බස්රථ වල පමණක් නොව මිල අධික මෝටර් රථ වලද විවිධ ස්ටිකර් ප්‍රදර්ශනය කෙරේ. වෙනස ඇත්තේ ප්‍රදර්ශනය කරන දේවල් වලය. 


ඉහළ මධ්‍යම පාන්තිකයෙකුගේ මෝටර් රථයක වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ වැනි තමන්ගේ වෘත්තිය මෙන්ම තමන් ඉගෙනගත් සරසවිය හෝ පාසැල ප්‍රදර්ශනය කරන ස්ටිකර් දැකගන්නට ලැබීම දුලබ දෙයක් නොවේ. එවැනි දේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇතිබවක් දැනගන්නට නැත. අදාළ සමාජ ස්ථරය සතු බලය හමුවේ රජයට එවැන්නක් කිරීමේ හැකියාවක්ද නැත.

යමෙකුගේ වාහනය ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික දේපලකි. එහි තමන්ට අවශ්‍ය දෙයක් ප්‍රදර්ශනය කිරීම පාසැල් තාප්පයක, බස් නැවතුම්පලක හෝ වෙනත් පොදු ස්ථානයක වෙළඳ දැන්වීම් හෝ දේශපාලන සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමට සාපේක්ෂව පරිසරයට හානිකර දෙයක්ද නොවේ. ඇතැම් විට මේ රෙගුලාසිය මඟින් ඉටුකරගත හැකි, මා නොදකින වෙනත් සමාජ යහපතක් තිබෙනවා විය හැකිය.

ත්‍රිරෝද රථ සාහිත්‍යය ඉදිරියේදී දඩ කොළ වලින් වැසී යයිද?

පහතින් ඇත්තේ ඉහත වත්පොත් පිටුවේම පළවී ඇති කඹුරුපිටියේ එස්. සමරවීරගේ කවියකි.

"හැටහුටමාරක් බදු සමඟ
ගෙවා පළමු වාරිකය
ගත්ත ත්‍රිරෝද රථයේ
ඇලෙව්වා මිලට ගෙන ස්ටිකරය
මේ බුදුන් වැඩි මගේ දේශයයි!
ගෙවා ගමේ ප්‍රා. සභාවේ
වැසිකිලියටත් බදු මුදල්
මුත්‍රා කර එන ඇසිල්ලට
කවුද අසමජ්ජාතියෙක්
හූරලා එහි අකුරු ඉස්පිලි පාපිලි
දැන් තියෙන්නේ
'මේ බදු වැඩිම දේශයයි' "


(Image: ElaKiri.com)

Tuesday, May 31, 2016

දැල්වී, දැවී යන රුපියල් හා ජීවිත


පසුගිය 2015 වසර සඳහා වූ ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාව අනුව එම වසර තුළ සමාගම විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 106.5 කි. මෙය පෙර වසරේ ආදායම වූ රුපියල් බිලියන 87.9 ට සාපේක්ෂව 21.2% ක සැලකිය යුතු වර්ධනයකි. දුම්කොළ සමාගම විසින් සිය ආදායම මෙසේ ඉහළ නංවාගෙන ඇත්තේ සමාගමේ නිෂ්පාදන මත රජය විසින් පනවන බදු පසුගිය වසර තුළදීද විශාල ලෙස වැඩි කර තිබියදීය.

දුම්කොළ සමාගම විසින් පසුගිය වසර තුළ රජයට බදු ලෙස ගෙවා ඇති මුදල රුපියල් බිලියන 91.6 කි. මේ අනුව, සිය ආදායමෙන් 86%ක්ම එම සමාගම විසින් රජයට බදු ලෙස ගෙවා තිබේ. දුම්කොළ මත පනවන බදු වලින් රජය විසින් ලබන ආදායම පෙර වසරට (රුපියල් බිලියන 73.6) සාපේක්ෂව 24.5%කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව, රුපියල් බිලියන 12.6 ක ඉහළ ගිය ආදායමෙන් රුපියල් බිලියන 12.0 ක්ම ලබාගෙන ඇත්තේ රජය විසිනි.
රජයට බදු මුදල් එකතු කර දීම වසර ගණනාවකම සිට දුම්කොළ සමාගම හරහා සිදුවන ප්‍රමුඛ කාර්යයක් බව කිව හැකිය. කෙසේවුවද, දුම්කොළ සමාගමේ ලාභ පෙර වසරේ වූ රුපියල් බිලියන 8.6 ට සාපේක්ෂව රුපියල් බිලියන 10.6 ක් දක්වා 23.3%කින් වර්ධනය වී තිබේ.

දුම්කොළ සමාගමේ ආයෝජකයෙකුට වසර මුලදී රුපියල් 1060.10 කට මිල දී ගත හැකිව තිබුණු කොටසක් සඳහා රුපියල් 45.15 ක ලාභාංශ හිමි වී ඇතත් වසර අවසානය වන විට කොටස් මිල රුපියල් රුපියල් 992.50 දක්වා අඩු වී ඇති බැවින් අවසාන වශයෙන් කොටසකට රුපියල් 22.45 ක, එනම් 2.1%ක ශුද්ධ අලාභයක් සිදු වී තිබේ. ඒකාධිකාර පවත්වා ගන්නා ව්‍යාපාර වල හිමිකරුවන්ට පවා හැමවිටම ලාභ නොලැබේ. එමෙන්ම, සමාගමක් ලබන ලාභ හා එහි හිමිකරුන්ට සිය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අතර හැමවිටම සෘජු සම්බන්ධතාවයක් නැත.


මේ වන විට (2015 ජූලි) ලංකාවේ වැඩිහිටියන්ගෙන් (මෙහිදී අදහස් කෙරෙන්නේ වයස 15ට වැඩි අයයි) 31%ක් පමණ දුම්වැටි උරති. ඔවුන්ගෙන් 91%ක්ම සිගරැට්ද 8% ක් බීඩිද ඉතිරි 1% ප්‍රධාන වශයෙන් සුරුට්ටුද උරති. ඔවුන්ගෙන් 70.7%ක් පමණම දිනපතා පුරුද්දක් ලෙස දුම්වැටි උරන්නෝය.

නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව ග්‍රාමීය ප්‍රදේශ වල දුම්වැටි භාවිතය විශාල ලෙස වැඩිවීමෙන් පෙනෙන්නේ මේ පුරුද්දේ ඇති හානි පිළිබඳ දැනුම නගරයේ සිට ගමට යන්නේ ඉතා සෙමින් බවයි. මොණරාගල වැසියන්ගෙන් 50%ක් දුම්වැටි උරද්දී (2014 දෙසැම්බර් දත්ත) කොළඹ මේ ප්‍රතිශතය මේ වන විට 23% දක්වා අඩු වී තිබේ.

දුම්වැටි උරන්නන්ගෙන් 30.8%ක් ආහාර ගැනීමෙන් පසු පුරුද්දක් ලෙසද, 26.7%ක් කිසිදු විශේෂ හේතුවක් නැතිවද, 16.3%ක් එයින් සතුටක් ලැබේයැයි සිතන බැවින්ද, 15.9ක් යහළුවන් සමඟ සමාජගත වීම සඳහාද, 5.8%ක් ප්‍රශ්න අමතක කිරීමටද, 4.2%ක් තනිකම මකා ගැනීම සඳහාද දුම්වැටියෙකින් සැනසෙති. වයස 24ට අඩු අය ප්‍රධාන වශයෙන් යහළුවන් සමඟ සමාජගත වීම සඳහාද 40ට වැඩි අය ආහාර ගැනීමෙන් පසු පුරුද්දක් ලෙසද දුම්වැටි උරති. මේ අයගෙන් 73.5%ක්ම වයස 20 එළැඹීමට පෙර දුම්වැටි භාවිතය ඇරැඹු අයයි.


දුම්වැටියක මිලෙන් 86%ක් බදු ලෙස අය කිරීම බැලූ බැල්මටම අසාමාන්‍ය තත්ත්වයක් බව පෙනේ. කෙසේ වුවද, ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල දුම්වැටි සඳහා අයකරන බදු ප්‍රමාණය මේ වන විට විකුණුම් මිලෙන් 75-80% පමණ මට්ටමක පවතී. එවැනි, ඉහළ බදු අනුපාතයක් පවතිද්දීද දුම්කොළ සමාගම් සාමාන්‍යයෙන් ලාභ ලබයි. ලංකා දුම්කොළ සමාගමට අනුව මේ තරම් දැඩි නියාමනයක් යටතේ වුවද ඉහළ ගිය ඒක පුද්ගල ආදායම හා අඩු උද්ධමනය ලංකාවේ දුම්වැටි සඳහා වන ඉල්ලුම ඉහළ නැංවීමට හේතු වී ඇති බැවින් ඔවුන්ට සිය ලාභ වැඩි කරගැනීමට හැකි වී තිබේ.

දුම්වැටි පාරිභෝගිකයින් බහුතරය අඩු ආදායම්ලාභීන්ය. ඒ නිසා දුම්වැටි මත අය කරන බදු වලින් සිදුවන්නේ රටේ අඩු ආදායම් ලබන කොටස් අත ඇති සීමිත සම්පත් රජය වෙත අවශෝෂණය කර ගැනීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව රජයයන් විසින් මෙසේ බදු ලෙස අයකරගන්නා මුදල දුම්වැටි නිවාරණය සඳහා වැය කරන මුදල මෙන් 269 ගුණයකි. මේ අනුව, පෙනෙන්නේ බදු වැඩි කිරීමේදී බොහෝ විට රජයයන්හි සැබෑ අභිප්‍රාය දුම්වැටි නිවරණයම නොවන බවයි. කෙසේවුවද, මේ ඉහළ බදු හේතුවෙන් දුම්වැටි භාවිතය අධෛර්යමත් වීම හෙමින් වුවත් සිදු වෙමින් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි භාවිතය ජගත් සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස කලක සිටම හඳුනාගෙන ඇත. එම සංවිධානයට අනුව වසරකට ලොව පුරා මරණ මිලියන හයකට පමණ වගකියන්නේ දුම්වැටි භාවිතයයි. මේ මරණ වලින් 600,000ක් පමණ දුම්වැටි නොඋරන වෙනත් අය උරණ දුම් ආශ්වාස කරන්නෝය. දුම්කොළ සමාගම් විසින් නිර්දේශ කරන පරිදි දුම්වැටි භාවිතා කළහොත් දුම් උරන්නන්ගෙන් අඩක් පමණ පිරිසක් ඒ හේතුවෙන් මිය යාමට ඉඩ තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, දුම්වැටි යනු මෙවැනි මට්ටමේ සෞඛ්‍ය හානියක් සිදුකරන එකම නීත්‍යානුකූල පාරිභෝගික භාණ්ඩයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ දුම්වැටි මිලෙන් අවම වශයෙන් 70%ක් බදු ලෙස අය කරගත යුතු බවයි. ඔවුන්ගේ අධ්‍යයනයන් අනුව, දුම්වැටි මිල 10%කින් වැඩි කළ විට මැදි ආදායම් රටක දුම්වැටි භාවිතය 5%කින් පමණ අඩුවේ. එමෙන්ම, රටේ ආදායම හා උද්ධමනය සලකා බලමින් දුම්වැටි භාවිතය වැඩි නොවන පරිදි දිගින් දිගටම බදු ඉහළ නැංවිය යුතුබවද නිර්දේශයකි. ඒ අතරම, මිල අඩු බීඩි වැනි ආදේශක වෙත පාරිභෝගිකයින් යොමු වීම වැළැක්වීම සඳහා එවැනි නිෂ්පාදන මතද සමාන්තරව බදු නොපැනවුවහොත් අපේක්ෂිත අවසන් ප්‍රතිඵලය නොලැබෙන්නට තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේම තවත් නිර්දේශයක් වන්නේ දුම්වැටි අසුරනයක මතුපිට වර්ග ප්‍රමාණයෙන් අඩු වශයෙන් 50%ක්වත් ආවරණය වන පරිදි දුම්වැටි භාවිතයේ ආදීනව පෙන්වන රූපමය දැනුවත් කිරීම් මුද්‍රණය කර තිබිය යුතු බවයි. ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඉදිරියෙන්ම සිටින රටකි.

කෙසේවුවද, අසුරණයේ රූප දැන්වීම් මුද්‍රණය කිරීම ලංකාවේදී එතරම්ම ඵලදායී කටයුත්තක් බව නොපෙනේ. පවතින ඉහළ මිල යටතේ බහුතරය අඩු ආදායම්ලාභීන් වන ලංකාවේ දුම් උරන්නන් 95%කට පමණ දුම්වැටි පැකට්ටුවක් එකවර මිලදී ගැනීමේ හැකියාව නැත. ඔවුන් දුම්වැටි මිලදී ගන්නේ වරකට එකක් හෝ කිහිපයක් බැගින් නිසා දුම්වැටි අසුරන වල ඇති රූප අවවාද කිසිවිටෙකත් ඔවුන්ගේ ඇස නොගැටේ. සිගරැට් පැකට්ටුවක් වරකට මිලදී ගැනීමේ හැකියාව ඇති බොහෝ දෙනෙකු දුම්පානයේ ආදීනව කොහොමටත් හොඳින්ම දන්නා "හාඩ් කස්ටමර්ස්ලා"ය.

දුම්වැටි නිවාරණයේදී විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ මේ සඳහා අළුතින් එකතු වන අඩුවයස් පාරිභෝගිකයින් අධෛර්යමත් කිරීම කෙරෙහිය. ලංකාව සඳහා වඩා සුදුසු ක්‍රමවේදයක් ලෙස මා සිතන්නේ සිගරැට් විකුණන සෑම ස්ථානයකම දැනට සිගරැට් අසුරණයේ මුද්‍රණය කරන ආකාරයේ රූපමය අවවාද සහිත විශාල පෝස්ටර් හෝ කටවුට් ප්‍රදර්ශනය කිරීමට නියම කිරීමයි. මෙයද දුම්කොළ සමාගම හරහාම ක්‍රියාත්මක කරවිය හැකිය.

අද (මැයි 31) ලෝක දුම්වැටි නිවාරණ දිනයයි!


(Image: synergyy.com)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...