වෙබ් ලිපිනය:

Saturday, June 23, 2018

රිස්ස යන්නට තුන් බෑ හකුරු...


ලාංකිකයින්, විශේෂයින්ම ගැමි සිංහලයින්, ආගන්තුක සත්කාරයට ප්‍රියය. ඔවුහු වෙනත් අයෙකුට උදවු කරන්නට ඉදිරිපත් වෙන්නෝ එවැනි ඉල්ලීමක් ලැබීමෙන් පසුවම නොවෙති. ස්වේච්ඡාවෙනි. ඇතැම් විට බලෙන්ම වාගේය.

ආගන්තුක සත්කාරය හුරු සංස්කෘතියක හැදුණු අයෙකුට පාරිභෝගික සත්කාරය පහසුය. පාරිභෝගික සත්කාරයෙහි දක්ෂ අයෙකුට නිදහස් වෙළඳපොළක සාර්ථක වීම පහසුය. එහෙත්, පාරිභෝගික සත්කාරයෙහි දක්ෂ වූ පමණින් කිසියම් අයෙකුට නිදහස් වෙළඳපොළක සාර්ථක විය නොහැකිය. ඒ සඳහා, මේ ගුණාංගය ලාබ වලට හැරවීමේ හැකියාවක්ද තිබිය යුතුය. අතින් කයිට් කරගෙන පාරිභෝගික සත්කාර කර නිදහස් වෙළඳපොළක් තුළ සාර්ථක විය නොහැකිය.

සිංහල සංස්කෘතිය තුළ පාරිභෝගික සත්කාරය පුහුණු කෙරෙන නමුත් පාරිභෝගික සත්කාරය ලාබ වලට හරවන්නට පුහුණු කෙරෙන්නේ නැත. කියවන්නන් හැමෝම වාගේ අසා ඇතැයි සිතන තුම්පනේ ඇත්තන්ගේ තුන් බෑ හකුරු කතාවෙන් කියැවෙන්නේද එයයි. සම්මත ආර්ථික විද්‍යා අර්ථයෙන් ගත්තොත් මෙය තාර්කික හැසිරීමක් නොවේ.

ලංකාවේ ජීවත් වෙද්දී සාමාන්‍ය දේවල් වීම නිසා විශේෂ අවධානයට ලක් නොවන්නට ඇතැයි සිතිය හැකි ඇතැම් චර්යාවන් ඇමරිකාවේ කලක් ජීවත් වී නැවත ලංකාවට පැමිණි පසු මනස ඉදිරියේ මතු වී පෙනේ. ලාබයක් උපයද්දී බොහෝ සිංහලයින්ට ඇති වන වරදකාරී හැඟීමද එවැනි චර්යාවකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ විදේශිකයෙකුට, විශේෂයෙන්ම සුදු හම ඇති විදේශිකයෙකුට, භාණ්ඩයක් විකුණා කවර ලාභයක් ලැබුවද සිංහලයින්ට මේ වරදකාරී හැඟීම නොදැනීමයි.

මට සහ මගේ පවුලේ අයට කන්න බොන්න නැතත් අන්තර්ජාල පහසුකම් නොමැතිව දවසක්වත් ගත කළ නොහැකි තරමට අප මේ වන විට අන්තර්ජාලයට ඇබ්බැහි වී අවසානය. ලංකාවේ ගත කරද්දී අප මුහුණ දෙන එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ අන්තර්ජාලය සමඟ රැඳී සිටීම ඇමරිකාවේදී තරම් පහසු නොවීමයි. ඇමරිකාවේදීනම් බොහෝ ව්‍යාපාරික හා පොදු ස්ථාන වලදී නොමිලේ වයිෆයි පහසුකම් ලබාගත හැකිය. එමෙන්ම, ලංකාවේ මේ අංශයේ සේවය කරන මගේ ඇතැම් මිතුරන් සිතන තරම් ලංකාවේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීම ලාබදායකද නැත.

මිල සාධකය තවදුරටත් ප්‍රශ්නයක් වුවත්, මගේ මිතුරෙකුගේ දැනුවත් කිරීම අනුව පෙර ගෙවුම් සම්බන්ධතාවක් සහිත ජංගම දුරකථනයක් වයිෆයි රවුටරයක් සේ සකස් කර ගැනීමෙන් මෙවර අපට එක වර උපකරණ හතර පහකින් අන්තර්ජාලයට පිවිසීම සඳහා වූ තාක්ෂණික බාධාවන්ට මුහුණ නොදී සිටිය හැකි විය. ගොඩ බැසීමෙන් අනතුරුව ගුවන් තොටුපලෙන්ම "ටුවරිස්ට් සිම්පැක්" හා අවශ්‍යනම් ජංගම දුරකථනයක් (කුලී පදනමට) ලබා ගත හැකි බව මගේ මිතුරා විසින් යෝජනා කර තිබුණු අතර ලංකාවට පැමිණෙන්නට පෙරම මගේ සොහොයුරිය විසින් දැනුම් දුන්නේ මගේ පියා ජීවත්ව සිටියදී භාවිතා කළ සිම්පත් දෙකක් සහිත ස්මාර්ට් ජංගම දුරකථනය මේ වෙනුවෙන් යොදාගත හැකි බවයි.

පසුව ඇත්තටම සිදු වී තිබුණු පරිදි මගේ පියා විසින් තෙමසකට පෙර භාවිතා කළ ජංගම දුරකථන සම්බන්ධතා මේ වන විට අක්‍රිය වී තිබිය හැකිව තිබුණු අතර එසේ වීනම්, දුරකථනය තිබුණත්, මට මේ පහසුකම ලබා ගන්නට වන්නේ අලුතින් සිම්පතක් මිල දී ගැනීමෙන් පසුවය. ගුවන් තොටුපොළේදීම සිම්පතක් ලබාගත්තේනම් මේ අවදානම මඟ හැරෙන අතරම ඒ මොහොතේ සිටම "ශිෂ්ඨාචාරය තුළ රැඳී සිටීමේ" අවස්ථාවද හිමි වේ.

ලංකාවේ සිටි කාලයේදී පෙරගෙවුම් අන්තර්ජාල සම්බන්ධතා වෙනුවෙන් වැය කෙරෙන්නට නියමිත තිබුණු (මේ වන විට වැය කර ඇති) මුදල සැලකූ විට රුපියල් දහසක පමණ මුදලක් ගෙවා "ටුවරිස්ට් සිම්පැක්" එකක් මිල දී ගැනීම කිසිසේත්ම නරක තේරීමක් සේ පෙනුණේ නැත. ඒ නිසා, පැමිණීමේ පර්යන්තයේ දිගු කොරිඩෝව පසු කර ආගමන විගමන අංශය කිට්ටුවට පැමිණි වහාම අදාළ කවුන්ටරය වෙත ගොස් "ටුවරිස්ට් සිම්පැක්" එකක් ඉල්ලා සිටියෙමි.

පෞද්ගලික සමාගමක් වෙනුවෙන් සේවය කරන වෙළඳ සේවිකාවට තවත් ගණුදෙනුවක් කර ගැනීමට කිසිදු උනන්දුවක් නැත.

"සර්, මේක මේ ටුවරිස්ට්ලට විකුණන්න තියෙන්නේ! සර්ට මේක ගන්න එක පාඩුයි. දාහක් විතර වෙනවා. එළියට ගියාම ඕනැ තැනකින් අයිඩී එක පෙන්නලා රුපියල් සීයකට සිම් එකක් ගත්තහැකි..."

ඈ කීවේ මා නොදැන සිටි දෙයක් නොවේ. මා මේ වන විට ලංකාවේ ජීවත් නොවන අයෙකු බවත්, සංචාරකයෙකු ලෙස ලංකාවට පැමිණෙන්නෙකු බවත් ඇයට පැහැදිලි කිරීමෙන් පසුවද ඇගේ ආකල්පය වෙනස් වුණේ නැත. තමන් දෛනිකව නියැලෙන ගනුදෙනු වලින් තමන්ට වැටුප් ගෙවන සමාගම අධික ලාභයක් උපයන බවත්, ඒ අයුරින් සුද්දන්ගෙන් සල්ලි කඩා ගැනීමේ වරදක් නැතත්, ලෝකයේ කොහේ හෝ ජීවත් වන සිංහලයෙක්ගෙන් එසේ සල්ලි කඩා ගැනීම නුසුදුසු දෙයක් බවත් ඇය සිතුවා විය හැකිය.

ඉන් පසු, මට අවශ්‍ය වුනේ ඩොලර් රුපියල් කර ගැනීමටය. කොටුවට ගොස් මාරු කළ විට ගුවන් තොටුපොළේදී ලැබෙනවාට වඩා රුපියල් දෙක තුනක්වත් වැඩියෙන් ලැබෙන බව මා දැන නොසිටි දෙයක් නොවූවත් මෙවර මා පැමිණියේ පියාගේ තෙමස් දානය වෙනුවෙන් ඊට දින කිහිපයකට පෙර බැවින් ඊට පෙර කොටුවට යන්නට මගේ කාල සටහනේ ඉඩක් තිබුණේ නැත. ඒ නිසා, ගුවන් තොටුපොළෙහි පිහිටි රාජ්‍ය බැංකුවක කවුන්ටරයෙන් අවශ්‍ය පමණ රුපියල් ලබා ගැනීම සඳහා මා ඒ වෙත ගියෙමි. මා රුපියල් කිරීමට අදහස් කළ ඩොලර් ප්‍රමාණය සාමාන්‍යයෙන් එහි පැමිණෙන ගනුදෙනු කරුවෙකු අත ඇති මුදලට සාපේක්ෂව වැඩි මුදලක් වූවා විය හැකිය.

මගේ අදහස වූයේ ගුවන් තොටුපොළේ පිහිටි කොයි බැංකුවෙන් මාරු කළත් ලැබෙන්නේ එකම මුදල බවත් එය කොටුවේදී මෙන් හෙට්ටු කර ඉහළ දමා ගැනීමේ හැකියාවක් නොමැති බවත්ය. ඒ නිසා, අවශ්‍ය ඩොලර් ප්‍රමාණය දී කෙළින්ම රුපියල් ඉල්ලා සිටියෙමි. මේ වන විට මහ බැංකු දත්ත අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 160 මට්ටමට පැමිණ නොතිබුණු අතර අදාළ රාජ්‍ය බැංකුවෙහි ඩොලරයක ගැනුම් මිල මහ බැංකුවේ දත්ත සමඟ ආසන්න වශයෙන් සැසඳුණේය.

මෙවරද කවුන්ටරයේ සිටි සේවකයාට ගණුදෙනුව කරන්නට වැඩි උනන්දුවක් නොතිබුණේය.

"සර්, සල්ලිනම් මාරු කරල දෙන්න පුළුවන්. හැබැයි රිසිට් එකක් දෙන්න විදිහක් නැහැ, සිස්ටම් එකේ අවුලක්!"

ඇතැම් විට ඔහු කීවේ ඇත්ත විය හැකිය. එසේ නැත්නම් අදාළ ගනුදෙනුව ලේඛණගත නොකර කීයක් හෝ වැඩියෙන් නැවත විකුණා ලාබයක් ලබන්නට දැමූ වංගුවක් විය හැකිය. මගේ හිත කීවේ දෙවැන්න වන්නට වැඩි ඉඩක් ඇති බවයි.

"ඇත්තද? එහෙනම් වෙන තැනකින් මාරු කර ගන්නම්!"

වැඩේ වැරදුණු බව බැංකු සේවකයාට තේරුණේය.

"සර් ඔච්චර ගානක් අඩුවට මාරු කරන්නේ අපරාදේ. මේ දවස් වල එළියේ රේට් එක හොඳටම නැගල තියෙන්නේ..."

"මම දන්නවා. ඒත් මට කොටුවට යන්න වෙලාවක් නැති නිසයි එයාපෝර්ට් එකෙන්ම ටිකක් මාරු කරන්නේ..."

"සර්, එහෙමනම් එළියේ තියෙන අපේ කවුන්ටරේට යන්න. මම කෝල් එකක් දාල කියන්නම් හොඳ රේට් එකක් දෙන්න කියල...මේ දවස් වල එළියේ රේට් එක හොඳටම නැගල තියෙන්නේ..."

බැංකු සේවකයාගේ කතාවෙන් පැහැදිලි වූ පරිදි රාජ්‍ය බැංකුවකින් වුවත් හෙට්ටු කර වැඩි මිලක් ලබා ගැනීමේ හැකියාව ඇති බව පෙනේ. ඒ අනුව, ඔහු විසින් යොමු කළ කවුන්ටරයට නොගොස් වෙනත් බැංකුවක කවුන්ටරයකට ගොස් එහි ප්‍රදර්ශනය කර තිබුණු මිලට වඩා රුපියල් දෙකක් වැඩි අනුපාතයකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රුපියල් කළෙමි. පසුව ඉතිරි ඩොලර් ප්‍රමාණය මාරු කරගන්නට කොටුවට යාමෙන් පසු තේරුම් ගිය පරිදි මහ බැංකුව පෙන්වන නිල විකුණුම් මිලටත් වඩා රුපියල් දෙක තුනක්ම වැඩියෙන් (නිල ගැනුම් මිලට වඩා රුපියල් හයක් පමණ වැඩියෙන්) කොටුවේදී ඩොලර් මාරු කළ හැකි තරමේ ඩොලර් ඉල්ලුමක් රට තුළ තිබුණේය.

ඒ වන විට ඩොලරයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 159කුත් ශත ගණනක් වුවත් කොටුවේදී මගේ ඩොලර් රුපියල් 162 බැගින් මාරු කළ හැකි විය. මෙසේ ඩොලර් මිල දී ගන්නා අතරමැදියන් අඩු වශයෙන් රුපියල් 162.50 බැගින්වත් මේ ඩොලර් විකුණනවා විය යුතුය. එසේනම්, නිල සංඛ්‍යාලේඛණ වල නොපෙනෙන, විශාල ඩොලර් ඉල්ලුමක් හා අනුරූපී සැපයුම් හිඟයක් රට තුළ තිබේ.

ගුවන් තොටුපොළේදී මුලින්ම හමු වූ බැංකු සේවකයා තමන්ගේ සේවා ආයතනයේ ලාබ ඉහළ දැමීමට මුල් තැන දුන්නේනම් මා පසුව ලැබූ වැඩි රුපියල් ප්‍රමාණය අදාළ බැංකුවේ ලාබ වලට එකතු විය හැකිව තිබුණේය. ඔහු එසේ නොකළේ මට ලාබයක් සැලසීමේ අරමුණින්ද නැත්නම් තමන්ට ලාබයක් ලබන්නට ගොස් වැරදීම නිසාද යන්න එතරම්ම පැහැදිලි නැත.

ලංකාවට පැමිණෙන බොහෝ අවස්ථා වලදී වයින් හා වෙනත් මත්පැන් බෝතල් කිහිපයක් රැගෙන එන නමුත් මෙවර එය කළේ නැත. ඒ නිසා, මිතුරන් පිරිසක් විසින් සැලසුම් කළ සාදයකට සහභාගී වීම සඳහා යන්නට පෙර සුපිරි වෙළඳ සැලකින් විදේශීය මත්පැන් බෝතලයක් මිල දී ගන්නට අදහස් කළෙමි. ඇමරිකාවේදී ගෙවන ඩොලර් මිල මෙන් තෙගුණයකටත් වඩා වැඩි රුපියල් මිලක් ගෙවිය යුතු වුවත් අවශ්‍ය භාණ්ඩය මිල දී ගැනීම ඊට වඩා වැදගත් බව සිතුණේය.

"සර්, ඔය ගාණටම මේක ගන්න පුළුවන්! ඕකට වඩා මේක ටිකක් ෂුවර්!"

"ඒ කියන්නේ මේක කලවන්ද?"

"ඒ වගෙ තමයි!"

වැඩි මිලක් ගෙවා වුවත් අවශ්‍ය භාණ්ඩය මිස වෙනත් භාණ්ඩයක් මිල දී ගන්නට මට අවශ්‍ය නැත. වෙළඳ සේවකයාටම අනුව අවශ්‍ය භාණ්ඩය සේ වෙස් ගන්වා මෙහි විකුණන්නේ අවශ්‍ය භාණ්ඩය නොවේ. ඒ නිසා, අවසානයේදී කිසිදු ගණුදෙනුවක් සිදුවුණේ නැත.

සුපිරි වෙළඳසැලෙහි සේවකයාට තමන්ගේ සමාගමේ ලාබ ඉහළ දැමීමේ අරමුණට වඩා දුඹුරු හම ඇති, සිංහල කතා කරන පාරිභෝගිකයෙකු රැවැට්ටීම නිසා ඇති වන වරදකාරී හැඟීමෙන් මිදීම වැදගත් වූවා වන්නට ඇත. පාරිභෝගිකයා සුද්දෙක් වුණානම් ඔහු වෙනස් අයුරකින් හැසිරෙන්නට ඉඩ තිබුණා විය හැකිය.

සීගිරියේ විදේශික රථගාල කිට්ටුව සිසිල් බීම විකිණූ අයෙකු ප්‍රදර්ශනය කළේද මෙවැනිම චර්යාවකි. රුපියල් හැටකට මිල කර තිබුණු සිසිල් බීම බෝතලයක් විදේශිකයින් හට රුපියල් දෙසීය බැගින් විකුණමින් සිටි ඔහු එය නියම මිලට හෝ ඔහුගේ සාමාන්‍ය විකිණුම් මිලට මට විකුණන්නට මනාප වූයේ නැත.

"සර්, මෙතන ටිකක් ගාන වැඩියි. ෆොරීනර්ස්ලට විකුණන්නේ...පහළින් අඩුවට ගන්න පුළුවන්!"

විදේශිකයින් වුවත් ඉන්දියානුවන් ගැන බොහෝ ලාංකික වෙළෙන්දන්ට තිබෙන්නේ වෙනස්ම ආකල්පයකි. ඉහත කී ෆොරීනර්ස්ලාට ඉන්දියානුවන් අයත් නැත. ලිපිය දිග්ගැසෙන නිසා ඒ ගැන කතා නොකර මෙය අවසන් කරමි.

(කාලවේලා සීමාවන් හා අන්තර්ජාල භාවිතයේ සීමාවන් නිසා ප්‍රතිචාර වලට පිළිතුරු සැපයීම පමා කරන්නට වීම ගැන කමා කෙරෙත්වා!)

(Image: http://exploresrilanka.lk/2013/10/sweet-by-nature/)

17 comments:

  1. ලකාවේ ගොඩක් කඩවල ඉන්න වාහේලා ඩෝන්ට් කෙයාර් තමා.. උන්ට බිස්නස් එකක් කරගන්න කිසි උවමනාවක් නෑ, එහෙම නැත්නම් උන්ට අපි නොහිතන තරම අධික විධිහට බිස්නස් තියනවා, එහෙමත් නැත්නම් උන් කඩ දාගන පේන්න කරන බිස්නස් එක උන්ගේ සැබෑ බිස්නස් එක නෙමේ. ඒ සැබෑ බිස්නස් එක හංගන් කරන්න ඕනා වෙස්මූණක් විතරයි..

    ඕන්නම් ගනින්, නැත්නම් නිකන් හිටපන් තියරිය තමා වැඩි දෙනෙකුට තියෙන්නේ.. මගේ මූණේ වැ‍රැද්දක්ද දන්නෑ මම නම් හුඟක් වෙලාවට අත්දැකලා තියෙන්නේ ඔය වගේ ප්‍රතිචාර තමා... :D

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා ඕස්ට්‍රේලියාවට පැමිණ නැත් ද? මේ දවස් වල මෙල්බර්න් වල සුඩාන් එවුන් දෙන ගේම් වල හැටියට මෙල්බර්න් වල ජීවත් වන අසරණ සිංහල මිනිසුන් බොහොම පරිස්සමින් ඉන්න සිහි තබාගත යුතුයි. නැත්තන් තමුන්ගේ ගෙදරට පැනලා වයිෆ්වත් උස්සලා තමුන්ගේ වාහනෙත් අරගෙන තමුන්වත් රේප් කරලා යයි. පවුල් පිටින් ඉන්න අය මින් පසුව ටිකක් විමසිල්ලෙන් ඉන්න. ඉන්න අමාරු වගේ නම් ලංකාවට එන එක නුවනට හුරුයි මම හිතන්නේ.

    ReplyDelete
  3. මේ ලිපියේ අරමුණ ඉකොනොමැට්ටට ලංකාවේ අය සර් කිව්වා කියලා කියා ගන්න එකද? කලිනුත් මම මේක නෝටිස් කරලා තියෙනවා මේ බ්ලොග් එකේ. ඩොක්ටර් රුවන්ගෙන් ඇහැව්වා නං ඔබගේ මේ පසුගාමී මානසික තත්වය පැහැදිලි කරයි හොදට.

    ReplyDelete
  4. ඉකොනෝ, මට පේන හැටියට, ඔබ ඇමරිකාවේ ඉඳන් ඇවිත් ලංකාවේ චර්යාවන් ගැන කතාකරන එක සමහරුන්ට දරාගන්න අමාරුයි. කොහොමටත් මේක ඉරිසියාව ඔඩු දුවා ගිය සමාජයක්නේ. ඉතින් ඇනෝ හැටියට එන්න ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ කොමෙන්ටුවටත් කුණුහරුප පිළිතුරක් නාවොත් පුදුමයක්!

    ReplyDelete
  5. තුන් බෑ හකුරු කථාව දන්නැහැ

    ReplyDelete
  6. ඉකෝන්,

    /සිංහල සංස්කෘතිය තුළ පාරිභෝගික සත්කාරය පුහුණු කෙරෙන නමුත් පාරිභෝගික සත්කාරය ලාබ වලට හරවන්නට පුහුණු කෙරෙන්නේ නැත. කියවන්නන් හැමෝම වාගේ අසා ඇතැයි සිතන තුම්පනේ ඇත්තන්ගේ තුන් බෑ හකුරු කතාවෙන් කියැවෙන්නේද එයයි./

    තුන් බෑ හකුරු කතාවෙන් කියවෙන්නෙ නම් ආගන්තුක සත්කාරයක් නෙවෙයි නේද? තුම්පනේ මිනිස්සුන්ගෙ මෝඩකම උපහාසයට ලක් කිරිමක් නේද ඒ කතාවෙන් කියවෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් රවී, ඔය කතාවෙන් කරන්නේ තුම්පනේ මිනිස්සුන්ගෙ මෝඩකම උපහාසයට ලක් කිරිම තමයි. නමුත් හිතල බැලුවහම තුම්පනේ මිනිස්සුන්ට ඔය මෝඩ කාඩ් එක වැදිල තියෙන්නේ පාත්තයින්ගේ රිස්ස යවන්න හිතාගෙන අතින් කයිට් කරගෙන පාරිභෝගික සත්කාර කරන්න යාම නිසා නේද?

      Delete
  7. ඉකොනො,

    ආගන්තුක සත්කාර සිංහල සංස්කෘතිය තුළ අපට හුරු පුරුදු ය. පාරිභෝගිකයා නැත්නම් ගනුදෙනු කරුවා ආගන්තුකයකු ලෙසට සලකන්න කියා ලංකාවේ සේවකයන්ට කියන එක නුවනට හුරුයි මම හිතන්නේ. ඊට පෙර ගනුදෙනුකරුවා නිවෙසට පැමිණෙන ආගන්තුකයකු ලෙස සලකනවාද සිතනු වටී.

    ලංකාවේ නිවෙසට පැමිණෙන ආගන්තුකයා සෑම විටම නිවෙසේ ඒ මොහොතේ වැදගත්ම පුද්ගලයායි. හිඳ ගැන්මට හොඳම අසුන ලැබෙන්නේ ආගන්තුකයාටයි. තමන්ට හිඟ පාඩු වුණත් ආගන්තුකයාට රස මසවුලෙන් සංග්‍රහ කිරීම සිංහල අපේ සිරිතය. ආහාර ගැන්මේදී හොඳ කොටස ලැබෙන්නේ ආගන්තුකයාටය. රාත්‍රිය පහන් කරන්නට වුවහොත් ආගන්තුකයාට තමන්ගේ ඇඳ ඉඩදී බිම නිදා ගැන්ම ලංකාවේ අපේ ගතියයි. ආගන්තුකයාගේ සිත සතුටු වන්නට ඔහු හෝ ඇය කැමැතිම ඉස්තරම්ම දේ සැපයීම පිළිවෙතය. ආගන්තුකයා අතින් අතපසුවීමක් වුවත් එය ඉවසා සිටීම සිරිතය.

    අරියාදුවට ගෙදර පැමිණි කෙනෙක් හට වුවත් කරදරයක් නොකිරීම ලංකාවේ අපේ හැදියාවයි. "මගේ වහල යට නොවෙයි නම් දනී කරන දේ" කියන්නේ ඒ නිසයි. පෙරදිග රටවල ආගන්තුකයාට ලැබෙන්නේ දේවත්වයයි. සංස්කෘත භාෂාවෙන් අතීති දෙවො භවන් කියා සඳහන් වන්නේ එයයි.

    මෙම හොඳ ගති සිරිත් තවමත් ලංකාවේ අපේ මිනිසුන්ගේ සිත්වලින් ඉවත්වී නැත. ඒ නිසා ලංකාවේ හොඳ පාරිභෝගික සත්කාරයක් ලබාදීමට සේවකයන්ගේ හොඳ සිතිවිලි ප්‍රයෝජනයට ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. සේවකයන් නෙත ගැටෙන තැන්වල (වාසනාව පතා දල්වන පහන අසල තබන යන්ත්‍රයක් මෙන්) "අපේ ගනුදෙනුකරුවන්ට නිවෙසට ආ ආගන්තුකයකු ලෙසට සත්කාර කරමු", "ගනුදෙනුකරුවා අපේ නිවෙසට ආ අමුත්තකු වැනිය" වැකිය ප්‍රදර්ශනය කර අකුරෙන් අකුර කළ යුතු දේ නොකීවාට, අපේ හැදියාවෙන්ම මෙම අත්‍යවශ්‍ය සේවා ගුණාංගය මතුකර ගන්නට පුළුවන. එවිට අපි සේවකයන්ගෙන් වැඩි යමක් අපේක්‍ෂා නොකරන්නමෝ වෙමු.

      ආයතන ප්‍රධානීන්ගේ සිත් තුළද මේ අදහස තැන්පත් වුවහොත් එම ආයතනයේ පාරිභෝගික සත්කාරය දිනෙන් දින වැඩිවනු ඇත.

      ආයතනයට පැමිණෙන ගනුදෙනුකරුවන්ට හිඳ ගැනීමට, පැමිණි කටයුතු ඉටුකර ගැනීමට ඇති පහසු මොනවාද? අමුත්තකුට දෙන්නේ ගෙදර තිබෙන හොඳම පුටුව නම් ගනුදෙනුකරුවන්ට හිඳ ගැන්මට සපයා තිබෙන්නේ හොඳම පහසුකම්ද? කියා සිතනු වටී. ඉඩකඩ ඇති හැටියට නිර්මාණාත්මකව මේ කටයුත්ත කරන්නට පුළුවන් වේවි.

      අමුත්තකු ගෙදරට ආ විගස ඔබ කෙසේද පිළිගන්නේ? එවැනි සුහද පිළිගැනීමක්ද ඔබේ ගනුදෙනුකරුවන්ට ලැබෙන්නේ? ඔවුන් වෙත පිරිනැමෙන්නේ අව්‍යාජ සිනහවක්ද? මේවා විමසා අවස්ථානෝචිතව ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම සිරිත නේද? එසේ නම් ගනුදෙනුකරුවන්ටත් එවන් සංග්‍රහයක් කිරීමට පුළුවන්ද? විමසා සමහර විට පිරිසුදු සිසිල් වතුර වීදුරුවක් ලබා ගැන්මට පහසුකම්, වෙලාවට අනුව තේ ටිකක්, එසේත් නැත්නම් පැණි රසක් වැනි දෙයක් ලබා දෙන්නට නොහැකි දැයි බලන්න ඕන.

      ආගන්තුකයා තනි කර අපේ වැඩ කර ගැන්ම සිරිත නොවේ. එසේ නම් ගනුදෙනුකරුවන්ට පැමිණි විගස තම කටයුතු කරගන්නට ඉඩ පහසුකම් නැත්නම්, ප්‍රමාද වීම් ගැන සමාව අයැද, කෙතරම් වෙලාවක් ගත වේදැයි දන්වන්න ඕන. "මම තේ එකක් හදාගෙන එනකම් මේ ඇල්බම් එක බලන්න" කියා ගෙදරදී කියන්නා වගේ තම වාරය පැමිණෙන තුරු කියවන්න සුදුසු දේ පාරිභෝගිකයන්ට සපයන්න ඕන. මේවා තම ආයතනය හා සම්බන්ධ ප්‍රකාශන, විවිධ උත්සව අවස්ථාවන්හි ලබාගත් ඡායාරූප, ආයතනයෙන් කෙරෙන විවිධ සේවා ගැන හඳුන්වා දෙන වීඩියෝ දර්ශන, එසේත් නැත්නම් පරිගණක වැඩසටහන් වුවත් වියහැක.

      ව්‍යාපාරික ආයතනයට පාරිභෝගිකයන් පැමිණෙන්නේ පවුල් පිටින් නම් දරුවන්ට, බිරියන්ට, ස්වාමිපුරුෂයන්ට වෙන වෙනම කල් ගත කළ හැකි දේ සපයා දීමට ඇති ඉඩකඩ ගැන කල්පනා කරන්න ඕන.

      ගෙදරට පැමිණෙන සෑම ආගන්තුකයකු හටම අවස්ථානුකූලව සුවිශේෂ බවක් පළ කිරීම සිරිතය. හිතවත්කම, ළබැඳි බවේ වෙනස්කම් අනුව ලබාදෙන සැලකිල්ල නම් වෙනස් වෙයි. පාරිභෝගික සත්කාරයත් එහෙමයි. පැමිණෙන කවර ගනුදෙනුකරුවකුට වුවත් ඉතා හොඳින් සංග්‍රහ කර අවශ්‍ය වුවමනාව ඉටුකර දෙන අතරම ඒ ඒ පාරිභෝගිකයන් ආයතනයට පැමිණි සුවිශේෂී ගනුදෙනුකරුවකු යැයි හැඟෙන ලෙස කටයුතු කළද වෙනසක් දැක්විය යුතු අවස්ථාද නැත්තේ නොවේ.

      Delete
    2. ඉකොනො ලංකාවේ ඕනෑම ආයතනයක දියුණුවට දායක වන්නා වූ සුවිශේෂී ගනුදෙනුකරුවෝ පිරිසක් සිටිති. ව්‍යාපාරයේ ලාභයෙන් 80%ක් ලැබෙන්නේ, ගනුදෙනු කරුවන්ගෙන් 20%ක ගෙන් බවයි ලංකාවේ පිළිගත් මතය. නෑකම, හිතවත්කම, ලැබෙන ඵල ප්‍රයෝජන, වැදගත්කම වැනි කරුණු සලකා බලා, දක්වන සත්කාරය වෙනස් කිරීම, ගෙදර පිළිවෙතය. මෙයත් ව්‍යාපාරික පාරිභෝගික සත්කාරයට ද අදාළය.

      ආයතනයේ වැදගත් පාරිභෝගිකයන් කවුරුද කියා හඳුනා ගැන්මට පිළිවෙළක් තිබිය යුතුය. තමන්ම ව්‍යාපාරය කරන යුගයේදී නම් මෙය එතරම් අපහසු නැත. එහෙත් ආයතනය විශාල වන විට මෙය තරමක් අපහසු වේ. එවන් ගනුදෙනුකරුවන් හඳුනා ගැන්මේ වැඩපිළිවෙළක් ඒ ඒ ආයතනයේ ප්‍රමාණයේ හැටියට තිබිය යුතුයි කියා මම අවධාරණය කළේ එනිසාය.

      ගුවන් සමාගම් නිතර තම ගුවන් සේවයෙන් ගමන් කරන මගීන් හට වැඩසටහන් මඟින් කලින් ගුවන් තොටුපළෙන් පිටත් වීමට ඉඩකඩ, විශේෂ ත්‍යාග, වට්ටම් වැනි දේ ලබා දෙයි. එවන් මගීන් හඳුනා ගැන්මට සංකේත අංක, හැඳුනුම් කාඩ්පත් ලබාදෙයි.

      කුඩා ව්‍යාපාරයක නම් එවන් වැදගත් ගනුදෙනුකරුවන් අවශ්‍ය සේවකයන්හට (ආරක්‍ෂක නිලධාරීන්, පිළිගැනීමේ සේවිකාවන්ගේ පටන්) හඳුන්වා දෙන්නට පුළුවන්, එම ගනුදෙනු කරුවන්ගේ ගිණුම් සටහන් පත්වල ඒ පිළිබඳ සංකේතයක් සටහන් කරහැකිය.

      මෙසේ කෙරෙන සුවිශේෂී සැලැකුම් ලබාදීමත්, නිර්මාණාත්මකව හා සංවේදීවත් සිදු කළ යුතුය. රැවුලත් - කැඳත් දෙකම බේර ගන්නාක් මෙන් සෙසු ගනුදෙනුකරුවන් උදහසට පත්නොවන පිළිවෙළට එය සිදු කරන්නට වුවමනාය.

      ලංකාවේ එක්තරා සිල්ලර වෙළෙදාමක් කරන තොග වෙළෙන්දකු යොදා තිබූ ක්‍රමයකි ඉකොනො මේ. එම නගරයේ සතියේ පොළ තිබුණේ බ්‍රහස්පතින්දාවකය. නගරයේ පාසල්වල ගුරු භවතුන්ද සතියේ අඩුම කුඩුම ලබා ගන්නේත් එදාමය. ඔවුන් නිතර ගනුදෙනු කරන හොඳ පාරිභෝගිකයන් නිසා ඔවුන්ට වෙනසක් කරන්නට මෙම ව්‍යාපාරිකයා තීරණය කළේය. ඔහු ගුරුවරුන්ට කීවේ "තම අවශ්‍යතාව ලබා ගැනීමට බදාදා එන්න, එසේත් නැත්නම් බදාදා අවශ්‍ය බඩු ලැයිස්තුව දීලා යන්න" යනුවෙනි. එවිට බ්‍රහස්පතින්දා වෙළෙඳ පොළේ කෙතරම් තදබදය තිබුණත්, ඔවුන්ට එයින් අපහසුවක් නොවන්නට, අවශ්‍ය බඩු ටික කිරා සකස් කර තබන්නට පුළුවන් විණි. ඒනිසා කෙතරම් සෙනඟ සිටියත්, එම ගනුදෙනුකරුවන්ට නොදැනෙන ලෙස ගුරුවරුන්ට අවශ්‍ය සේවය ලබාදෙන්නට පුළුවන් විය. (මෙය සුළු උදාහරණයක් පමණි ඉකොනො, මට අවශ්‍ය වූයේ ව්‍යාපාරය ගුවන් සමාගමක් වුවත්, සිල්ලර කඩයක් වුවත් මෙම මූලධර්මය පාවිච්චියට ගන්නට හැකි බව පැහැදිලි කිරීමයි.)

      අද බොහෝ ගනුදෙනුකරුවන් විසින් දුරකතනයෙන් ව්‍යාපාරික ආයතන අමතනු ලැබේ. දුරකතන ඇමැතුමක් වුවත්, ආයතනයේ වහලය යටට පැමිණි ගනුදෙනුකරුවකු ලෙස සලකන්නට පුළුවන් නම් එහිදීද නිසි සත්කාරය ලැබේවි.

      ආයතනයට ලැබෙන ලිපියක් වුවත් පැමිණි සේවා ලාභියකු යැයි කියා සිතුවහොත් නිසි සේවය ලබා දෙන්නට පුළුවන. අවශ්‍ය වන්නේ ගනුදෙනුකරුවා අපේ ආගන්තුකයකු යැයි පිළිගැන්මයි.

      Delete
    3. පාරිභෝගික සත්කාරය (Customer service) පිළිබඳව ව්‍යාපාරික ආයතන දක්වන උනන්දුව ආයතනයේ දියුණුව වේගවත් කරවන යන්ත්‍රයකි. ඔබ ඇමරිකාවේ ඉඳන් ඇවිත් කතා කරන ලංකාවේ බොහෝ ආයතනයන්හි පාරිභෝගික සත්කාරය ඉබේ සිදුවන්නට ඉඩ හැර ඇති දෙයක් සේ පෙනේ.

      ලංකාවේ අලුත් සේවකයන්ට බොහෝ විට කියාදීමට උත්සුක වන්නේ, ඔවුන් සිදුකළ යුතු කාර්යයේ තාක්‍ෂණික අංශයයි, මක්නිසා ද යත් බොහෝ විට එය නිසියාකාරයෙන් සිදු නොවුණහොත් ආයතනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියට බාධා සිදු වන නිසයි. එහෙත් ලංකාවේ පාරිභෝගික සත්කාරය ගැන එසේ සැලකිල්ලක් නොදක්වන්නේ නම් එය එතරම් ප්‍රකටව ලංකාවේ ආයතන තුළ නොදැනෙන නිසා දැයි සිතේ.

      Delete
  8. පෝස්ටුව වගේම කොමෙන්ට්ස් ටිකත් ඉතා හරවත්. ඒත් ඉතින් බිස්නස් කරන අයයි, ආයතනවල උදවියයි, සේවක-සේවිකාවෝයි මෙව්වා කියවන්න 'ඩේටා' පුච්චා ගනීවිද?

    අවුරුදු ගණනකට කලින් මං ගත්තා 'අන්ලිමිටඩ් පැකේජ්' එකක් ටෙලිකොම් එකෙන්. 1600/= ට.

    හැබැයි දැන් මාසෙන් බාගයක් යද්දී ස්පීඩ් එක අඩු වෙනවා. මම ටෙලිකොම් එකට කතා කරලා ඒ ගැන ඇහුවා.

    බොහෝම ආචාරශීලීව කතා කළා. "සර්ලා වගේ කස්ටමර්ලා නිසා අනෙක් ඉන්ටනෙට් යූසර්ස්ලාට අසාධාරණයක් වෙන නිසා දැන් අන්ලිමිටඩ් පැකේජ් එකට දෙන්නේ GB 45 ක් විතරයි. ඒක ඉවර වුණාම තමයි සර්ගේ ලයින් එක ස්ලෝ වෙන්නේ." කතා කළ ලලනාව කිව්වා!-
    "කවුද එහෙම කරන්න කියන්නේ?" මං ඇහුවා.

    "විදුලි සංදේශ නියාමන කොමිසමෙන්."

    "එතකොට අපට වෙන අසාධාරණේ...." උත්තරය වුණේ නිහැඬියාවක්.

    "එහෙනම් ඇයි අද වෙනකල්ම අපිව දැනුවත් කරලා නැත්තේ මේ ගැන?"

    "..... සර්ලා වගේ අහන අයට අපි කියනවා."

    මට වැඩිය හොඳට ඔයාලට මේ ගැන හොයා බලන්න පුළුවනි! එසේ වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔයා ටූ ස්ලෝ නෙ. :-) ඕක සෑහෙන්න පරණ ප්‍රශ්නයක්. ඕකට කරන්න ඕන දේ මම නම් හොයා ගත්ත. කෝල් සෙන්ටර් එක හරහා (First you have to complain and get a reference number for your complain) මැනේජර්ට කතා කලා;

      මම: මගේ 'අන්ලිමිටඩ් පැකේජ්' එකේ ස්පීඩ් එක අඩු වෙලා.
      මැනේජර්: ෆෙයාර් යුසේජ් පොලිසි එකේ හැටියට බ්ලා බ්ලා බ්ලා.
      මම: අන්ලිමිටඩ් නම් ෆෙයාර් යුසේජ් පොලිසි ඇප්ලයි වෙන්න විදිහක් නෑ නෙ.
      මැනේජර්: TRC බ්ලා බ්ලා බ්ලා...
      මම: හරි අවුලක් නෑ. මම පැකේජ් එක ගත්තෙ ඔයාලගෙන් නෙ TRC ඒකෙන් නෙමේ නෙ. මට මෙක Consumer Affairs Authority එකට complain කරන්න ඕනෙ. මට කරුණාකරල ලිඛිතව දෙන්න මගෙ පැකේජ් එක limited කරල කියල, මම ඒ ලෙටර් එක බේස් කරගෙන complain කරන්නම්.
      මැනේජර්: මට letter එකක් දෙන්න authority එකක් නෑ බ්ලා බ්ලා බ්ලා...
      මම: ඔයා පර්සනල් දෙන්න ඕනේ නෑ ආයතනය මගින් ලිඛිතව අපිව දැනුවත් කරන්න.
      මැනේජර්: හරි මම මේ මාසේ තව 10GB වැඩි කරල දෙන්නම්, හැබැයි බ්ලා බ්ලා බ්ලා.

      512Kb/s speed එකකින් 45GB exceed කරන එකත් පට්ට ගේමක්, එහෙම උනත් වෙන්නේ මාසේ අන්තිම දවස් දෙකේ වගේ. ඉතින් තව 10GB ලැබුනම ඉතුරුත් වෙනව. ඒක නිසා 45GB exceed වෙන හැම මාසෙම ඔය දෙබස් ටික ගිහින් මාසේ අලුත් වෙනව. ;-)

      Delete
    2. මරේ මරු!
      උපදේශයට ගොඩාක් ස්තුතියි! අද හවස ඉඳලා ඉරිදා වෙනතුරු ගෙදර නොහිටින නිසා ලබන මාසයේ try කරලා කියන්නම් !

      Delete
  9. //ඒ වන විට ඩොලරයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 159කුත් ශත ගණනක් වුවත් කොටුවේදී මගේ ඩොලර් රුපියල් 162 බැගින් මාරු කළ හැකි විය.//

    කොටුවේ කොහෙද හරියටම ඔය...?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...