වෙබ් ලිපිනය:

Monday, March 27, 2017

කරු පරණවිතානගේ වාහනය


අප විසින් මීට පෙරද කතා කර ඇති, ඇමැතිවරුන් තිදෙනෙකුට, නියෝජ්‍ය ඇමැතිවරුන් හතරදෙනෙකුට, රාජ්‍ය ඇමැතිවරයකුට හා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනූහත් දහසක (37,10,97,000) මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ වැඩිදුර තොරතුරු  පසුගිය දිනවල දිවයින හා ලක්බිම වැනි ජාතික පුවත්පත් ඇතුළු ප්‍රධාන හා අප්‍රධාන මාධ්‍ය වල පළ විය.

දිවයින පුවත අනුව, "අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. එස්‌. රාධාක්‍රිෂ්ණන් මහතා වෙනුවෙන් රුපියල් තුන්කෝටි අනූඅට ලක්‌ෂ අනූහත්දහසක්‌, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය ඇමැති ෆයිසල් කාසිම් යන මහත්වරුන්ට රුපියල් අටකෝටි විසි ලක්‌ෂයක්‌, වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා වෙනුවෙන් රුපියල් හාර කෝටියක්‌, ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එච්. එම්. එම්. පාරිස්‌ මහතාට රුපියල් තුන්කෝටි අසූ දෙලක්‌ෂයක්‌, පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතාට රුපියල් හාර කෝටි තිස්‌ ලක්‌ෂයක්‌, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ එම නියෝජ්‍ය ඇමැතිවරයාට රුපියල් අටකෝටි හැට ලක්‌ෂයක්‌ද, කාරක සභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෙක්‌කලනාදන් මහතාට රුපියල් හාර කෝටි විසි ලක්‌ෂයක්‌ද වශයෙන් වාහන මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ."

තවමත් සිය වියුණුව යාවත්කාලීන කරන සිංහල බ්ලොග්කරුවෙකුද වන පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන විසින් ඔහුගේ සතර දිගන්තය වියුණුව හරහා මේ ගැන පැහැදිලි කිරීමක් කර තිබේ. පරණවිතානගේ අදහස් දැක්වීමෙහි ඇති මූලික කරුණු මෙසේ සාරාංශගත කළ හැකිය.

1. වාහනය ගෙන්වන්නේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් මිස කරු පරණවිතාන වෙනුවෙන් නොවේ.
2. රජයෙන් රජයට ගෙවන බදු ඉවත් කළ විට වාහනයේ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණි.
3. ප්‍රතිපාදන වෙන් කිරීමේදී මීට පෙර වාහනයේ බදු රහිත වටිනාකම පමණක් සැලකුවත්, දැන් එම ක්‍රමවේදය වෙනස් කර වාහනයේ බදු සහිත වටිනාකම අමාත්‍යාංශයේ වියදමක් ලෙස දක්වා තිබේ.
4. කරු පරණවිතාන විසින් දැනට පාවිච්චි කරන්නේ වෙනත් අමාත්‍යාංශයකින් ණයට ගත් වාහනයකි. එය ආපසු දීමට සිදුවී ඇති අතර ඔහු දැන් ඒ වෙනුවට ගෙන්වන්නේ ඒ වර්ගයේම වාහනයක් මිස වඩා මිල අධික වාහනයක් නොවේ.
5. කරු පරණවිතානට "රථගායක්  හෝ අලුත් වාහනමේනියාවක්" නැත. මේ වාහනය ඔහුට පැවරුණු වගකීම් ඉටුකිරීම සඳහා අවශ්‍ය වන මූලික උපකරණයකි.
6. මෙවැනි පුවත් පළකරන අය මීට වඩා වගකීමෙන් මාධ්‍ය භාවිතා කළ යුතුය.


සිය වියුණුව හරහා මේ පිළිබඳව අදහස් දැක්වීම අප අගය කරන අතර, ඔහු ඉහත ඉදිරිපත් කරන බොහෝ කරුණු පිළිබඳව අපට මූලික ප්‍රතිවිරෝධතාවන් නොමැත. එහෙත්, මේ වාහන භාවිතය පිළිබඳ කතිකාව හරහා ඉස්මතු කෙරෙන ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ පුළුල් කතිකාවේ වලංගු භාවය කරු පරණවිතාන විසින් ඉදිරිපත් කරන මේ කරුණු වලින් නිශේධනය වන්නේ නැත.

පරණවිතාන කියන පරිදි මේ වාහන ගෙන්වන්නේ අදාළ තනතුරු දරන්නන් වෙනුවෙන් මිස පුද්ගලයින් වෙනුවෙන් නොවේ. ඒ නිසා, ඒ නිසා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලෙස වෙනත් අයෙකු පත් වුවහොත් දැන් පරණවිතාන වෙනුවෙන් ගෙන්වන වාහනය භාවිතා කිරීමට ලැබෙන්නේ එසේ පත් වන පුද්ගලයාට මිස පරණවිතානට නොවේ.

මේ කතාව බොරුවක් නොවේ. සිය බදු රහිත වාහන බලපත්‍රය යොදාගනිමින් කරු පරණවිතාන විසින් වාහනයක් ආනයනය නොකළේදැයි අප ස්ථිරව නොදන්නා නමුත් ප්‍රස්තුත කරුණට අදාළ වාහනය ඔහුගේ තනතුරට අදාළ වූවකි. එහෙත්, එසේ වූ පමණින් මෙය රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ පුළුල් කතිකාවෙන් බැහැර කරුණක් නොවන්නේ කිසියම් තනතුරක් දරන්නෙකු වෙනුවෙන් මෙවැනි වාහන මිලදී ගැනීමේ තීරණ බොහෝ විට අදාළ තනතුර දරන පුද්ගලයාගෙන් ස්වායත්ත තීරණ නොවන බැවිනි.

මේ අවස්ථාව උදාහරණයක් ලෙස ගතහොත්, තමන් දැනට භාවිතා කරන මාදිලියේම වාහනයක් ගෙන්වීමට ගෙන ඇති තීරණයට තමන් හවුල් වී නැති බවක් කරු පරණවිතාන විසින් නොකියයි. මේ තීරණය ටෙන්ඩර් කමිටුවක තීරණයක් බව කියන්නට හැකි වුවත්, එවැනි ටෙන්ඩර් කමිටුවකට ඇමතිවරයාගේ කැමැත්ත නොසලකා හැරීමේ හැකියාවක් ප්‍රායෝගිකව නැත. දැනට භාවිතා කරන මාදිලියේම, ඊට වඩා මිල අඩු හෝ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන සීමාවන්ට යටත්ව ඊට වඩා මිල වැඩි වාහනයක් තමන් දැනට දරන තනතුර වෙනුවෙන් මිලදී ගැනීමේ හැකියාව දැනට තනතුර දරන පුද්ගලයා සතුව තිබේ.

එමෙන්ම, ලංකාවේ අමාත්‍යාංශ යනු නිශ්චිත ආයතන නොවන අතර ඒවා නම් කෙරෙන්නේ පවතින අමාත්‍ය තනතුරු අනුවය. මේ අමාත්‍ය තනතුරු තීරණය වන්නේ දේශපාලනික කරුණු ප්‍රධාන පුද්ගලබද්ධ සාධක අනුව මිස රජයේ කාර්යක්ෂමතාවය ප්‍රශස්තිකරණය කෙරෙන පරිදි නොවේ. ඒ නිසා, කරු පරණවිතානගෙන් පසුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධුරයක් ඒ අයුරින්ම නොපවතින්නට විශාල ඉඩකඩක් තිබේ. ඔහුම සටහන් කර ඇති පරිදි, "2015 වන තුරු ජනමාධ්‍ය අමාත්‍යංශයේ සෑහෙන කාලයකට නියෝජ්‍ය ඇමතිවරයකු සිටියේ නැත". ඒ නිසා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෙනුවෙන් ගෙන්වන වාහනය යම්තාක් දුරකට කරු පරණවිතාන වෙනුවෙන් ගෙන්වන වාහනයක්ද වේ.



මේ අළුත් තනතුරු වෙනුවෙන් වාහන ගෙන්වීමට පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම හරහා මතු වන තවත් ප්‍රශ්නයක් වන්නේ මේ වන විට ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු ගණන සමස්තයක් ලෙස පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු ගණන ඉක්මවා ඇත්ද යන්නයි. එසේ නැතුව තනතුරු වෙනස් වීමක් පමණක් සිදුවී ඇත්නම් සාමාන්‍යයෙන් අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරෙන පරණ වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමට අමතරව අළුත් තනතුරු වෙනුවෙන් අළුතින්ම වාහන මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් මතු වන්නට නුපුළුවන.

දෙවනුව, කිසියම් භාණ්ඩයක හා සේවාවක සැබෑ මිල වන්නේ එහි වෙළඳපොළ මිල මිස නිෂ්පාදන පිරිවැය හෝ වෙනත් යමක් නොවේ. කරු පරණවිතානගේ තනතුර වෙනුවෙන් ගෙන්වන වාහනය රුපියල් ලක්ෂ 400කට මිස රුපියල් ලක්ෂ 70කට ලංකාවේ වෙළඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාවක් නැත. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වියදමක් ලෙසත්, මුදල් අමාත්‍යාංශයේ ආදායමක් ලෙසත් සටහන් වන, කරු පරණවිතාන සඳහන් කරන වාහනයට අදාළ රුපියල් ලක්ෂ 330ක බදු මුදල ඔහුගේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය තනතුර වෙනුවෙන් දැරෙන සැබෑ වියදමේ කොටසකි. ඇත්තටම කියනවානම් රාජ්‍ය සේවයේ නිරතව සිටින්නන් විසින් සිය වැටුප් මත නොගෙවන ආදායම් බදුද ඔවුන් වෙනුවෙන් දැරෙන වියදමේ කොටසකි.

මීට පෙර අමාත්‍යාංශ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමේදී වාහන සඳහා වැය වන බදු මුදල් එකතු කිරීමක් සිදු නොවුනේනම් එය දැන් හෝ එකතු කිරීම වඩා නිවැරදි වන්නේ එසේ කිරීමෙන් එක් එක් අමාත්‍යාංශය වෙනුවෙන් දැරෙන වියදම වඩා නිවැරදි ලෙස නිරූපණය වන බැවිනි. මෙහිදී මාධ්‍ය විසින් කරු පරණවිතාන වෙනුවෙන් ගෙන්වන වාහනයේ වටිනාකම රුපියල් ලක්ෂ 400ක් හෝ කෝටි 4ක් බව පැවසීමේ කිසිම වැරැද්දක් නැත. පෙර එම තනතුර දැරූ අයෙකු පාවිච්චි කළ වාහනයක බදු රහිත වටිනාකම සමඟ සසඳමින්, කරු පරණවිතාන විසින් පෙර වියදම් කළ මුදලට වඩා හතරපස් ගුණයක් මිල වැඩි වාහනයක් ගෙන්වා ඇති බව යමෙක් කියනවානම් පමණක් එය නිවැරදි නැත. මෙහිදී එවැන්නක් සිදුවී නැත.

ඉහත රුපියල් ලක්ෂ 330ක බදු මුදල රජයේ ගිණුම් තුළ එක් අමාත්‍යාංශකින් තවත් එකකට සිදුවන හුවමාරුවක්ය යන්න ඇත්තකි. ඒ නිසා, ගිණුම්කරණ සම්මත අනුව රජයට ශුද්ධ වියදමක් සිදු නොවන බවද ඇත්තකි. කෙසේවුවද, මෙහි සැබෑ වියදම තේරුම් ගත යුත්තේ ලංකාවේ රජය මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදයේ දිග පළල අමතක නොකරමිනි.



රාජ්‍ය ණය අර්බුදය හරහා පුළුල් වෙමින් පවතින අයවැය හිඟයත්, පුළුල් වෙමින් පවතින වෙළඳ ශේෂය සමඟ දිනෙන් දින උග්‍ර වන ගෙවුම් ශේෂ අර්බුදයත් පිළිබඳව රජයේ පාර්ශ්වයන් විසින්ම පුළුල් ලෙස ප්‍රචාරණය කරමින් සිටින අතර මේ අර්බුදයන්ට මුහුණ දීම සඳහා විවිධ උපාය මාර්ග ගනිමිනි සිටී. ගෙවුම් ශේෂ අර්බුදය මූලික වශයෙන්ම රජයේ (මහ බැංකුවේ) විදේශ විණිමය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වුවත්, රජයේ තෝරාගැනීම වී ඇත්තේ විණිමය අනුපාතිකය නිවැරදි කිරීම මඟින් වෙළඳපොළ සාධක හරහා ආනයන අපනයන පරතරය අඩු කර ගැනීම වෙනුවට, සෘජු මැදිහත්වීම් මඟින් ආනයන සීමා කිරීමයි. මෙහිදී රජය විසින් වාහන ආනයනය සීමා කිරීම සඳහා ප්‍රමුඛතාවය දී ඇති අතර බදු ප්‍රතිපත්ති හා ණය සීමා හරහා පසුගිය 2016 වසර තුළ වාහන ආනයනය විශාල ලෙස සීමා කිරීමට සමත්වී තිබේ.

රජයේ ඉහත උපාය මාර්ගය ගෙවුම් ශේෂ අර්බුදය කෙරෙහි යහපත් බලපෑමක් කර ඇතත් ඒ මඟින් රාජ්‍ය අයවැය අර්බුදය තවත් උග්‍ර කරගෙන තිබේ. ඉකොනොමැට්ටාගේ ඇස්තමේන්තු අනුව, පසුගිය 2016 වසර තුළ වාහන ආනයන බදු ලෙස රජය ඉපැයූ ආදායම 2015 වසරේ ඉපැයූ එම ආදායමට වඩා සැලකිය යුතු ලෙස පහත වැටී තිබිය යුතුය. නුදුරු දිනෙකින්, මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා පළ වූ පසුව මේ කරුණ සනාථ කර ගැනීමට හැකි වනු ඇත.

මෙහිදී ඉකොනොමැට්ටාට පෙන්වා දෙන්නට අවශ්‍ය කරුණ වන්නේ ඉකොනොමැට්ටා එකඟ නොවුවත්, රජය විසින් ආර්ථික උපාය මාර්ගයක් ලෙස හඳුනා ගෙන ඇති වාහන ආනයනය සීමා කිරීම වෙනුවෙන් සැලකිය යුතු තරමින් ලැබිය හැකිව තිබුණු රාජ්‍ය ආදායම් කැප කර ඇති බවයි. ඒ අනුව, අළුතින් ගෙන්වන සෑම වාහනයක් නිසාම රජයට වැඩිවන ගෙවුම් ශේෂය හරහා අවාසියක් සිදුවන අතර, මේ නිශේධනාත්මක බලපෑම තුලනය වන්නේ අවාසිදායක තත්ත්වයන් යටතේ වුවත් ඇතැම් පුද්ගලයින් විසින් ආනයනය කෙරෙන වාහන මත අයකෙරෙන බදු වලිනි. රජය වෙනුවෙන් රජය විසින්ම ආනයනය කරන වාහන වලින් මේ වාසිය නොසැලසෙන නිසා අමාත්‍යවරුන් වෙනුවෙන් ගෙන්වන වාහන මත ගණනය කෙරෙන බදු රජයේ සැබෑ වියදමක් නොවේයැයි කිව නොහැකිය.

අනෙක් අතට රජයේ ආදායම් හිඟය තුලනය කර ගැනෙන්නේ බදු ඉහළ දැමීම හරහාය. මේ ඉහළ යන බදු බර දරන්නේ, සරල ලෙස, රජයට සෘජු සම්බන්ධයක් නැති පාර්ශ්වයන් වන ව්‍යපාරිකයින් හා ස්වයං රැකියා වල යෙදෙන්නන්ද ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයින් විසිනි. රජය නඩත්තු කිරීම සඳහා ඔවුන්ට කැප කරන්නට සිදුවී ඇත්තේ තමන් විසින් උපයන, තමන්ට අයිති, තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් යෙදවිය හැකි අරමුදල්ය. ඒ නිසා, අඩුම වශයෙන් රජයේ නඩත්තුව වෙනුවෙන් රජයට සම්බන්ධ නොමැති පාර්ශ්වයන් කරන අමතර කැපකිරීමට සමානුපාතික කැප කිරීමක් හෝ කිරීමට රජයට සෘජුව සම්බන්ධ පාර්ශ්ව වලට යුතුකමක් තිබේ. තමන්ට පෙර තනතුර දැරූ පුද්ගලයා පාවිච්චි කළ මාදිලියේම වාහනයක් වෙනුවට අඩු වශයෙන් ප්‍රදර්ශනාත්මකව හෝ සුළුවෙන් හෝ මිල අඩු වාහනයක් මිලදී ගැනීමට රජයේ ඇමති වරයෙකුට හැකියාව තිබියදී "කලින් භාවිතා කළ මාදිලියේම වාහනයක් මිලදී ගැනීම" වුවද අගය කළ හැකි දෙයක් නොවන්නේ මේ සන්දර්භය තුළය.


කරු පරණවිතානට "රථගායක්  හෝ අලුත් වාහනමේනියාවක්" ඇතැයි අපි නොකියමු. එමෙන්ම, මෙය ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ රජයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ පුළුල් කතිකාවක කොටසක් ලෙස පළ කරන සටහනක් මිස ඔහුව ඉලක්ක කර කෙරෙන පෞද්ගලික විවේචනයක්ද  නොවේ.

අමාත්‍යවරයෙකු හෝ රජයට සම්බන්ධ වෙනත් පුද්ගලයෙකු විසින් සිය කාර්යභාරය කාර්යක්ෂම ලෙස කිරීම සඳහා සම්පත් අවශ්‍යය. මෙහිදී, කරු පරණවිතාන විසින් මිලදී ගත යුතු වාහනයේ උපරිම මිල පිළිබඳව සීමා පැනවීම අසීරු කරුණකි. මිල අධික වාහනයක් භාවිතා කිරීම, ඒ හේතුව නිසාම වැරැද්දක් වන්නේද නැත. වැදගත්ම කරුණ වන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස්කරුවකු වන ඇමතිවරයෙකු හෝ වෙනත් අයෙකු විසින් තමන් වෙනුවෙන් වැය කෙරෙන මුළු වියදම ඉක්මවන අගය එකතු කිරීමක් කරන්නේද යන්නයි. රජයට සම්බන්ධ සියළු දෙනා විසින්ම එවැනි ශුද්ධ අගය එකතු කිරීමක් කරන්නේනම් සමස්තයක් ලෙස රාජ්‍ය යාන්ත්‍රණය අකාර්යක්ෂම වන්නට හෝ රජයට සිය පිරිවැය ආවරණය කර ගැනීම අසීරු වන්නට හේතුවක් නැත.

කරු පරණවිතාන හෝ වෙනත් එවැනි අයෙකු විසින් සිය කාර්යක්ෂමතාවය පෙන්විය යුත්තේ ඔවුන්ට පෙර එම තනතුර දැරූ පුද්ගලයින්ට සාපේක්ෂව නොවේ. තමන් වෙනුවෙන් වැය වන මුළු පිරිවැයට සාපේක්ෂවය.

29 comments:

  1. ඉතාම අගනා කාලෝචිත ලිපියක්,
    පුද්ගල කේන්ද්‍රීය නොවී, සමස්තය තුල ඔබ කර ඇති පැහැදිලි කිරීම ඉතාම අර්ත සම්පන්නයි.
    අදාල ඇමති වරයා දැනට භාවිතා කරන වාහනය වෙනත් අමාත්‍යාංශයක් සතුනම්, එය අමාත්‍ය වරයෙකුගේ භාවිතයට සුදුසු තාක්ශනික හා පහසුකම් වලින් යුක්ත නම්, අදාල වාහනය හිමි අමාත්‍යාංශයේ ඇමටි වරයාගේ භාවිතය සඳහා ද සුදුසු වාහන ඇතිනම්, එහි ලේකම් වරයෙකුට හෝ අනෙකෙකුටත් මෙවැනි වාහනයක යාමේ ආශාවක් නිසා එය ඉල්ලුවා වන්නටද හැකිය.
    රජය මත මෙවැනි වියදම් උපදින්නේ එකිනෙකාගේ පුදගලික ආශාවන් සැතපවීමට මිස , ඔවුන් පවතින රජයේ පාක්ශිකයින්ව තබා ගැනීමේ අරමිනින් මිස ඔබ කියන ආකාරයෙන් රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදිව පවත්වා ගැනීමේ චේතනාවෙන් නොව්න වග ආර්ථික විද්‍යාව හෝ දේශපාලනය ගැන අබමල් රේණුවක දැනීමක් නැති ගමේ බයියා (දේශපාලන බයියන් නොවේ ) පවා දන්නා කාරනයකි.

    ReplyDelete
  2. කාලයක් තිස්සේ උප ඇමතියෙකු සිටියේ නෑ කියන්නේ එවැනි තනතුරක් නොතිබුනත් ප්‍රශ්නයක් නැත කියන එක නේද?

    අනික ඇයි ලක්‍ෂ හැත්තෑවක කාර් එකක් වුනත්? ඇමති හෝ උප ඇමති හෝ මන්ත්‍රී හෝ සාමාන්‍ය වෙළඳ පොලේ ගන්නේ කුමන වාහනය ද, දැනුත් ඒ ආකාරයේ වාහනයක යන්නට හැකියි නේ.

    මට මතකයි මා කුඩා කාලේ ඉගෙන ගත් පාසල අසලින් අපේ පලාතේ මන්ත්‍රී තමන් ගේ වාහනය පදවාගෙන යනවා.

    ඇමතිලාට, උප ඇමතිලාට, මන්ත්‍රීලාට හෝ වෙනත් දේශපාලනය කරන අයට අප කිව යුත්තේ, ඔබ සැම රටට ජනතා වට සේවය කිරීමට එනවා නම්, ඔබේ වාහනය ද රැගෙන එන්න, අනෙකුත් මිනිසුන් මෙන් පඩියෙන් පැට්‍රල් ගහගන්න, සර්විස් කරගන්න කියා ය!

    ReplyDelete
    Replies
    1. අළුත් තනතුරක් පුරවනවානම් පැහැදිලිව කලින් සිදු නොවුණු අළුත් කාර්ය භාරයක් සිදුවිය යුතුයි.

      Delete
    2. Yes,totally agree with you Rasika. How disgusting the facts the minister supplies.

      Delete
  3. මම ඔය ඇමතිවරයාගේ බ්ලොගයේ පලකල කමෙන්ටුව. "ප්‍රථම වතාවටයි ඇමතිතුමෙකුට අදහස් පල කරන්නෙ. ඔබේ වාහනයේ වටිනාකම ශ්‍රී ලංකාව තුල ලක්ෂ 400කි. බදු නැතුව ලක්ෂ 70යි කීම බදු ගෙවන ජනතාවට නිගරුවකි. රටේ ඔබ වැනි සුළු පිරිසක් හැර, අනිත් සියළු දෙනා බදු ගෙවති. ඒ නිසා වාහනයේ වටිනාකම ලංකාව තුළ ලක්ෂ 400කි. ඔබට රථ ගායක් නොමැතිවීමට පුළුවන, නමුත් රටේ බහුතරයක් ලොරි චැසිවල බොඩි ගැසූ ඉන්දියන් කසිකබල් බස්වල තැලී පොඩිවෙමින් එදිනෙදා ගමන් කරනවිට ඔබ වැනි අය ලක්ෂ 400 වාහනවල යාම කොතරම් සාධාරණද ? යුරෝපය, ඇමරිකාව ගැන කථා නොකරමි. ජපානය, කොරියාව, හොංකොං, සිංගප්පූරුව අදාලම නැත. අඩුම තරමින් මැලේසොයාව, පිලිපීනය හෝ තායිලන්තය තරම්වත් දියුණු පොදු ප්‍රවාහන ක්‍රමයක් ලංකාවට දීමට ඔබලා අසමත්ව තිබේ. අපට ඇති ප්‍රශ්නය, එහෙව් නොදියුණු රටක, ඔබ ලක්ෂ 400 වාහන පාවිච්චි කිරීමයි. ඉන්දියන් මරුටිවල යන්නවත්, අඩු වටිනාකමක් ඇති වාහනයක් පාවිච්චි නොකරන්නේ මන්ද යන්නවත් අපට ප්‍රශ්නයක් නොවේ. ඔබ ලක්ෂ 400 නොව කෝටි 400 වාහනයක් පාවිච්චි කළත් අපට කම් නැත, නමුත් ඔබලාගේ ඩියුටිය හරිට නොකිරීම අපට ප්‍රශ්නයකි"

    ඇත්තෙන්ම මෙවැනි පරපුටු දේසපාලුවන් බදු ගසා සාමාන්‍ය ජනතාවගේ ලේ උරා බොමින් සැප විඳින, කරුම රටක අප ඉපදෙන්න ඇත්තෙත්, ඔබගේ ආගමේ කියන පෙර කරුමවලට වෙන්න ඇති. මගේ එකම පැතුම වුණේ මගෙන් උපදින මගේ ළමයිවත් මෙවැනි කරුම රටක ඉපදවීම වැලැක්වීම. අපි ඉපදුණු රට කවදාහරි හැදෙන්න නම් මේ කාලකණ්නි දේසපාලුවන් මේ රටෙන් අතුගෑවිලා යා යුතුයි.

    ReplyDelete
  4. Simple truth is that these cheap politicians try to hoodwink the masses with word games. As you have correctly said the real value of this vehicle is 40m. and not 7m. Secondly he purposely refraining from exposing the brand of the vehicle. When he says that the vehicle is a V8 jeep worth 7m is sounds like old cheap vehicle. The truth is that this is Toyota Land Cruiser V8 (known as Land Cruiser Sahara in middle-east and named as Land Cruiser Wagon in Toyota Lanka.) If he does not have vehicle mania and honestly concern about the public money (but compelled to request a vehicle in same range) he could have easily request for a SUV of different brand with same comforts and safety which are much cheaper. If he really need to go for a Toyota he could have still request Toyota Fortuner the cheapest in the range or a Prado which is the middle option instead of going for V8 which is the most expensive option. His article is a pathetic effort to justify his wrong conduct.

    ReplyDelete
    Replies
    1. It seems that the V8 has become the standard of Sri Lankan politicians.

      Delete
  5. බ්ලොග් කාරයෙක්නෙ.. ඔන්න ඔහෙ කෝටි හතර පහක චූටි කාර් එකක් ගන්න දෙමු... පවුනේ...නැත්නම්...අනිත් එක වාහන නැතුව පුලුවන්ද සේවේ කරන්න ?

    ReplyDelete
    Replies
    1. මෙය දැන් සිස්ටම් එකේ කොටසක් වෙලා තියෙන්නේ. එක් අයෙක් මිල අඩු වාහනයක් ගැනීම අනෙක් අයටත් ප්‍රශ්නයක් වන නිසා මෙතන තීරණය තනි තීරණයක්මත් නෙමෙයි. එක විදිහක සාමූහික තීරණයක්. හරි නායකයෙක් කියන්න පුළුවන් වෙන්නේ මේ වගේ ට්‍රෙන්ඩ් වෙනස් කිරීමට ධෛර්යයක් ඇති අයෙකුටයි.

      Delete
  6. සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස 11 ක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පෙරේදා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය විය.

    හිතවත්කම පදනම් කරගෙන සිදු කර තිබෙන බව කියන මෙම ගොඩනැගිලි ගනුදෙනුව සම්බන්ධයෙන් මින් ඉහත විවිධ ආකාරයට මාධ්‍ය වාර්තා මගින් කරුණු අනාවරණයවී තිබුණ නමුත් නිල වශයෙන් රජයේ බලධාරීන් කිසිවෙකු පැහැදිලි කිරීමක් සිදුකර තිබුනේ නැත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇසූ පැනයකට පිළිතුරු ලෙස ඇමති ගයන්ත මේ ගැන පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කරන ලදි.

    මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි දෙකහමාරට අාසන්න මුදලක් (ලක්ෂ 245) ඩීපී ජයසිංහ සමාගමට ගෙවා ඇති බව එහිදී ඇමතිවරයා පිළිගත් අතර එම මුදල් ඇයවැයෙන් වෙන් කර ඇති ආකාරය නිවැරදි බව පවසා සිටියේ අයවැයෙන් කෝටි 150 කට ආසන්න මාසික කුලී විවිධ අමාත්‍යංශ වලට ගෙවන බව පැහැදිලි කරමිනි.

    කෙසේ වෙතත් මෙම මුදල් නාස්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පාර්ලිමේන්තුවේ එම අවස්ථාවේ නොසිටි අතර පාර්ලිමේන්තුවේ සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ කියා සිටියේ තමා මේ ප්‍රශ්නය ඇමතිවරයාට යොමු කරන බව පමණි.

    2015 ඔක්තෝබර් මාසයේ වැඩ නිම කරන ලද මහල් 10 කින් යුතු අති නවීන පහසුකම් සහිත රාජගිරියේ පාර්ලිමේන්තු පාරේ පිහිටි මෙම අලංකාර ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ ජනපති මෛත්‍රිපාල සිරිසේන අතිනි. වර්ග අඩි ලක්ෂයක පමණ ඉඩපහසුකම් ඇති මෙහි වාහන 100 කට වඩා නවතා තබන්නට හැකි රථ ගාලක්ද තිබෙන බව කියැවේ. ඩීපී ජයසිංහ සමාගම මෙම ගොඩනැගිල්ල රජයේ අමාත්‍යංශයක් සඳහා දරන්නට අමාරු මාසික කුලියකට ලබාදීම අනුමත වූයේ කෙසේද යන්න ගැන පසුව ගැටලු මතු විය.

    2016 ජූලි මස සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙළිදරව් කර තිබෙන ආකාරයට මෙම ගොඩනැගිල්ල බද්දට ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය රජය අනුමත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කර ඇති අතර විගණන පරීක්ෂණ අනුව එය ගැටලු මතු කරන්නකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස දන්වා තිබුනේ මේ සඳහා අගමැතිවරයාගේ අනුමැතිය ලබාගන්නට මෙම හිමිකරුවන් කටයුතු කර තිබුණ බවකි.

    දුමින්ද දිසානායක ඇමතිතුමත් හිරේට දාමූ තව අවුරුදු 10 යකථ් එලියට එන්න බැරිවෙන්න , මහජන මුදල් අවබවිතයට
    කෝ මේ අපේ FCID එක?

    වෙනස මෙච්චරයි, සාටක හොර නඩෙන් ටයිකෝට් හොර නඩේට මාරැවෙච්ච එක විතරයි. ඉන්න හොරැටික හිටපු හෙරැ රකිනවා. එතනදි විතරයි මුංගෙ යහපාලනේ. මුං මෙතෙක් කල් කලේ ජනතාවට බදුවැඩි කරමින් හොරා කාපු එකයි කෝටි ගනන් පර්මිට් අනුමත කරපු එක විතරයි. මුං ගෙ හතර වරිගෙටම හෙන වදිනවා !!!

    ReplyDelete
    Replies
    1. ඔතන සිද්ධිය මේකයි. බත්තරමුල්ලේ තියෙන කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු කාරක සභා වෙනුවෙන් දෙන්න කියලා එහෙන් අයින් වෙන්න කියලාලු. එතකොට ඔය ගොඩනැගිල්ල ‍තෝර ගෙන තියෙනවා මොකද මේකේ කුලිය සෙත්සිරිපායට වඩා අඩුයි කියලා. මේක අගමැති අනුමත කරා කියනවා, මහ බැංකුව ගාවන්න හදනවා, ඒත් මේක කැබිනට් එකෙන්ලු අනුමත වුනේ. (කැබිනට් එකේ ජනාධිපතිත් ඉන්නවා). හැබැයි ප්‍රශ්නේ මේකයි. කුලියට දෙන්නේ ගොඩනැගිල්ල විතරයි. ඒකට කාර්යාල අරන් යන්න නම් එකේ බිම කාපට් කරලා කරන්න ඕන. මේ සමාගමටම ඒක කරන්න කියලා ඊට පස්සේ කුලියට ගත්තා නම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ. ඒත් දැන් මේ සේරම ඒ කියන්නේ අරහෙම කරන්න තිබ්බා මෙහෙම කරන්න තිබ්බා කියන සේරම පස්සේ නිවිහැනහිල්ලේ (විගණකවරු කරන්නේ) ලිපිගොනු බල බල. එතන තිබිච්ච සැබෑ තත්ත්වය මොකක්ද කියලා ඇමති පාර්ලිමේන්තුවට කියන්න ඕන.

      Delete
    2. පැහැදිලිවම මෙයත් මාතෘකාවට අදාළ කරුණක්. හැබැයි ඔබේ අන්තිම වාක්‍යයේ ඇති දෙයනම් වෙන්නේ නැහැ. හෙණ වදින්නේ වෙන අයට!

      Delete
  7. This is a comment made to the post එරාන් හෙළිකරන ඇමතිවරුන්ගේ කඳුළු කතාව. I'm afraid that Mr. Econo has not respond to this comment. Kindly do so.

    "Anonymous March 11, 2017 at 7:43 AM
    econoට නෙමෙයි ඒ කියල තියෙන්නේ. මගේ කමෙන්ට් එකට.
    පොඩි පොඩි අමාත්‍යංශ වලට කඩල ඒවාට වාහන ගෙන්වන එක හරි කියනවා නෙමෙයි. නමුත් econ පහුගිය ලිපියක පැහැදිලි කළා වගේම ඔය මගේ මුලින් කියල තියෙන කමෙන්ට් එක තමයි ඇත්ත. අනික ඔය පරිපුඋරක ඇස්තමේන්තුව තියෙන්නේ රජයට ලැබිය යුතු බදු මුදල් එක්ක. ඒ කියන්නේ ඔය මුදලින් බාගේකටත් වැඩිය රජයේ එක දෙපාර්තුමේන්තුව ඉඳන් වෙන දෙපර්තුමෙන්තුවකට මාරු වෙන එක විතරයි වෙන්නේ. නමුත් රජයේ පින් පඩි කකා ඉන්න සේවකයෝ ලක්ෂගානකට වාහන බලපත්‍ර දුන්නම උන් කෙලින්ම බදු නොගෙවා තමයි වාහන ගේන්නේ. ඒ කියන්නේ රජයට වෙන බදු පාඩුව වසරකට බිලියන 40ක් විතර. ඔන්න ඕව තමයි නැති කරනවානම් නැති කරන්න ඕනේ. අනික ජනතා නියෝජිතයා කියන එක රටේ අනිත් හැම එකටම වඩා ඉහලින් තියෙන රස්සාවක්. ඒක එහෙම වෙන්න ඕනේ. කල යුත්තේ ඔය අනන්මනං වරප්‍රසාද නවත්තල පඩි වැඩි කරන එක. ඒක එහෙම කරන්න හැදුවම මුලින්ම විරුද්ද උනේ ඔය රාජ්‍ය සේවයේ කාලකන්නි ටිකයි ජෝස්තර මුදලාලිලා සෙට් එකයි.
    මම ඉන්න රටේ ජනතා නියෝජිතයෙක් වෙනුවෙන් වසරකට ඩොලර් මිලියනයකට වඩා රජයෙන් බර දරනවා. එහෙම බර දරන්න වෙනවා ප්‍රජාතන්ත්රවාදේ කියන සංකල්පේ ඇතුලේ. අපේ උන් හිතන්නේ උන්ට රස්සාවත් රජයෙන් දීල පඩියත් රජයෙන් දීල තව පර්මිටුත් ඔක්කොම ගන්න කැප උන්ට විතරයි. පාර්ලිමේන්තු යන උන් අතින් කයිට් කරගෙන උන්ට සේවේ කරන්න ඕනේ කියල."

    ReplyDelete
    Replies
    1. ඔබ අහන නිසා මේ ගැන මම මෙහි ලියන්නේ මගේ පෞද්ගලික අදහස්. ඒවා සමඟ ඔබට එකඟ නොවී සිටිය හැකියි.

      //අනික ඔය පරිපුඋරක ඇස්තමේන්තුව තියෙන්නේ රජයට ලැබිය යුතු බදු මුදල් එක්ක. ඒ කියන්නේ ඔය මුදලින් බාගේකටත් වැඩිය රජයේ එක දෙපාර්තුමේන්තුව ඉඳන් වෙන දෙපර්තුමෙන්තුවකට මාරු වෙන එක විතරයි වෙන්නේ.//
      මේ නිසා (අහිමි වන බදු නිසා) රජයට වියදමක් යන්නේ නැහැ කියන එක වැරදි අදහසක්. ගිණුම්කරණ සම්මත අනුව එසේ වුවත් ආවස්ථික පිරිවැය කියන සංකල්පය සැලකූ විට වියදමක් තියෙනවා. මේ ගැන තරමක් දුරට මේ ලිපියේ ලියා තිබෙනවා. ඉදිරි ලිපියක තවත් වැඩිපුර කරුණු ලියැවෙයි.

      //ඒ වගේම නමුත් රජයේ පින් පඩි කකා ඉන්න සේවකයෝ ලක්ෂගානකට වාහන බලපත්‍ර දුන්නම උන් කෙලින්ම බදු නොගෙවා තමයි වාහන ගේන්නේ. ඒ කියන්නේ රජයට වෙන බදු පාඩුව වසරකට බිලියන 40ක් විතර.//
      මේ ගැන මම පෙර ලිපියක ලියා තිබෙනවා. මේ සහනදායී වාහන බලපත්‍ර ක්‍රමයටත් මම එකඟ නැහැ. රටේ හැමදෙනෙකුටම එක භාණ්ඩයකට එකම මිලක් තිබීමයි වඩා යෝග්‍ය. ඒ කරුණ පැත්තකින් තිබ්බොත් වාහන පාවිච්චි කරන අය විසින් මාර්ග නඩත්තුව ආදිය වෙනුවෙන් රජය විසින් වැයකරන මිලත් ගෙවිය යුතුයි. සහනදායී වාහන බලපත්‍ර ලබන අය ගෙවන 50%ක විශාල බදු මුදලිනුත් මේ වියදම් ආවරණය වෙනවා. ඒ අය රටේ වෙනත් අයට වඩා අඩුවෙන් බදු ගෙවීම පමණයි මෙහි ඇති වැරැද්ද. 100% බදු සහන ලබන සුළු පිරිස තමයි මෙතැන ඉන්න ලොකුම පරපෝෂිත (free riding) කණ්ඩායම. ඔවුන්ට සාපේක්ෂව 50% බදු ගෙවන අය පරපෝෂිතයන් ලෙස සැලකිය නොහැකියි. පෙර ලිපිය ඔබ කියවන්නට ඇතැයි සිතනවා.
      http://economatta.blogspot.com/2017/03/blog-post_12.html

      //අනික ජනතා නියෝජිතයා කියන එක රටේ අනිත් හැම එකටම වඩා ඉහලින් තියෙන රස්සාවක්. ඒක එහෙම වෙන්න ඕනේ.//
      වැරදි අදහසක්. ජනතා නියෝජිතයින් ජනතාවට වඩා ඉහළින් සිටීමේ හැකියාවක් නැහැ. එහෙම වෙනවනම් එය රාජාණ්ඩුවක්.

      //කල යුත්තේ ඔය අනන්මනං වරප්‍රසාද නවත්තල පඩි වැඩි කරන එක.//
      මේ කොටසට එකඟයි. දෙන දෙයක් හැකිතාක් පාරදෘශ්‍ය ලෙස දිය යුතුයි.

      //ඒක එහෙම කරන්න හැදුවම මුලින්ම විරුද්ද උනේ ඔය රාජ්‍ය සේවයේ කාලකන්නි ටිකයි ජෝස්තර මුදලාලිලා සෙට් එකයි.//
      මේ අය හැමදෙයම කරන්නේ වෙනත් අයගේ කැමැත්ත අකැමැත්ත පරීක්ෂා කර නෙමෙයිනේ. මෙය නිදහසට කාරණයක් පමණයි.

      //මම ඉන්න රටේ ජනතා නියෝජිතයෙක් වෙනුවෙන් වසරකට ඩොලර් මිලියනයකට වඩා රජයෙන් බර දරනවා. //
      ඔබේ සංඛ්‍යාලේඛණ නිවැරදියි කියා මම හිතන්නේ නැහැ. කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාර්ෂික වැටුප ඩොලර් 167,400යි. අගමැති වැටුප එමෙන් දෙගුණයක්. එක් එක් මහජන නියෝජිතයාගේ කාර්යමණ්ඩල, ප්‍රවාහන, සන්නිවේදන, ලිපි ද්‍රව්‍ය ආදී සියළු අමතර වියදම් එකතුව ඩොලර් ලක්ෂයක පමණ සිට ලක්ෂ තුන හතරක් දක්වා ගණනක්. මුළු වාර්ෂික වියදම ඩොලර් මිලියන බාගයක්වත් වනවා කියා මම හිතන්නේ නැහැ. ඔබේ නියෝජිතයාගේ මුළු වියදම හරියටම පහත ලින්ක් එකෙන් බලාගත හැකියි.
      http://www.parl.gc.ca/PublicDisclosure/MemberExpenditures.aspx?Id=MER2016Q4&Language=E

      //පාර්ලිමේන්තු යන උන් අතින් කයිට් කරගෙන උන්ට සේවේ කරන්න ඕනේ කියල.// ජනතා නියෝජිතයින්ට ගෙවිය යුත්තේ ඔවුන්ගේ "නියම" මිලයි. "අතින් කයිට් කරගෙන" සේවය කරන්න ඕනෑ තරම් පිරිස් ඉදිරිපත් වීමෙන් පෙනෙන්නේ මහජන තනතුරු පුරප්පාඩු වලට සැපයුමේ අඩුවක් නැති බවයි. ඉදිරිපත් වනවා පමණක් නොවෙයි විශාල ප්‍රචාරක වියදම් දරනවා. ඒ වගේම මිනී මරා ගන්නවා. එහෙමනම් මෙතැන වැටුප් හා වරප්‍රසාද අඩුවීම නිසා පුරප්පාඩු පිරවීමේ ප්‍රශ්නයක් ඇති වී නැහැ. ඔය වරප්‍රසාද සැලකිය යුතු ලෙස අඩුකළත් මේ තනතුරු වලට මිනිස්සු නැති වෙන්නේ නැහැ. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ විට පඩි මදි කියා එකම අපේක්ෂයෙක්වත් ඉදිරිපත් නොවී ඉන්නවනම් ඔබේ තර්කය නිවැරදියි. මේ ඉල්ලුම සැපයුම පදනම. අනිත් පැත්තෙන් සේවයට සරිලන වැටුප් වැනි සංකල්පයක් අනුව බැලුවොත්, මහජන නියෝජිතයෙක්ගේ සේවයේ සැබෑ වටිනාකම තීරණය කළ යුත්තේ ඔවුන්ගේ වියදම දරන බදු ගෙවන ජනතාවයි. ජනමතවිචාරණයක් තබා මහජන නියෝජිත වැටුප් වැඩි කළ යුතුද කියා ඇහුවොත් (ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුවනම් විය යුත්තේ එයයි) රටේ බහුතරයක් එයට එකඟ වෙයි කියා ඔබ හිතනවද?

      කොහොම වුණත් පාරදෘශ්‍ය නොවන විවිධ වරප්‍රසාද වෙනුවට නිශ්චිත, ඉහළ වැටුපක් ගෙවිය යුතුයි කියන අදහසට මම පෞද්ගලිකව කැමතියි.

      Delete
    2. Thanks Mr. Econo. I'm not the original poster of this comment. I was annoyed by some of the statements too and wanted to know your explanation in economic point of view.

      Delete
  8. වාහන ගැන කීමේ දී ඔබ දන්නවාද පසුගිය බදාදා (මාර්තු 29) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රථ වාහන මගින් සිදුවන වායු දූෂණය සම්බන්ධයෙන් දෙන ලද ඓතිහාසික තීන්දුවත් සමඟම නව වායු විමෝචන පරිසාධන මට්ටම් සමඟ වෙළෙඳපොළට නිකුත් කරන මෝටර් රථවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

    වායු දූෂණය නිසා බරපතල ලෙස බැටකන ඉන්දීය නගර ඒ සම්බන්ධයෙන් ඉන්දීය නගර බොහොමයකම පනවා ඇති නීති අලුත් කර ඇති අතර මේ අනුව තවදුරටත් වායු විමෝචන පරිසාධන මට්ටම BS-III මට්ටමේ පවතින මෝටර් රථ ඉන්දියාව තුළ අලෙවි කිරීම හා ලියාපදිංචි කිරීම මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමගම තහනම් වී තිබේ. මෙම නියෝගය හෙට (අප්‍රේල් 01) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

    මේ අනුව හෙට සිට මෝටර් රථවල වායු විමෝචන පරිසාධන මට්ටම භාරත් ස්ටෑන්ඩර්ඩ්ස් BS-IV විය යුතු අතර 2020 වසර වන විට එය BS-VI පරිසාධන මට්ටම කරා එළඹීම ඉන්දියාවේ අරමුණයි.

    ඹ්S-ඓඓඓ මට්ටමේ වාහනයකින් ඉන්ධන කිලෝග්‍රෑමයකට කාබන් මොනොක්සයිඩ් ග්‍රෑම් 2.30 ක ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙන බවත් BS-IV මෝටර් රථවලින් එලෙස මුදා හැරෙන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය ඉන්ධන කිලෝවකට ග්‍රෑම් 1 ක් බවත් සඳහන් වේ.

    මෙම තත්ත්වය තුළ දැනට නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථවල ඉන්ධන පරිසාධන මට්ටම් ඉහළ නැංවීමේ දී පෙට්‍රල් රථ සඳහා අවම වශයෙන් ඉන්දීය රුපියල් 20,000 – 25,000 අතර මුදලක් ද, ඩීසල් වාහන සඳහා ඉන්දීය රුපියල් 100,000 ක පමණ මුදලක් ද අමතරව වැයවන බව වාර්තා වේ.

    BS-III මට්ටමේ මෝටර් රථ ලක්ෂ 8 ක් පමණ හා මෝටර් සයිකල් ලක්ෂ 6 ක් පමණ මේ වන විට අලෙවි කිරීමට නොහැකි අවදානමකට ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන සමාගම් මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මේ වාහන වලින් වැඩි ප්‍රමාණයක් අවුන්ගේ ප්‍රධානම අලෙවි වෙලඳපොල වූ ශ්‍රී ලංකාවට තරමක් අඩු මිලකට විකිණීමට තීරණය කරනු ඇතැයි පැවැසේ. මේ ගැන ඉකොනොමැට්ටාගේ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. වායු දූෂණය හා අදාළව ලියූ පෙර ලිපියක්.

      http://economatta.blogspot.com/2016/08/blog-post_2.html

      වායු දූෂණය ඉදිරියේදී ලංකාවේ විශාල සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන්නට ඉඩ ඇති බව මගේ අදහසයි. වායු දූෂණයේ අහිතකර ප්‍රතිඵල හැකිතාක් අවම කර ගත යුතුය. එහෙත්, වැදගත්ම දෙය හැම දෙයකම ප්‍රශස්ත සීමාවන් ඇති බවයි. වෙනත් අයුරකින් කියනවානම් නිශ්චිත මිලක් ඇති බවයි. ගැඹුරු අධ්‍යයනයක් කර නැති නිසා ලංකාවේ "වායු දූෂණයේ මිල" හරියටම කියන්නට මට පුළුවන්කමක් නැත. එහෙත්, එවැනි මිලක් තිබේ.

      වායු දූෂණය කොතරම් ප්‍රශ්නයක් වුවත් අපට එය මුළුමනින්ම නැවැත්විය නොහැකිය. එසේනම්, ප්‍රශ්නය වන්නේ කොයි මට්ටමක වායු දූෂණයක් නොසලකා හැරිය යුතුද යන්නයි. වායු දූෂණය සිදුකරන කිසියම් ක්‍රියාවලියක අහිතකර ප්‍රතිඵල හා එහි වාසිදායක ප්‍රතිඵල සමාන වන තැන මේ සීමාවයි.

      වාහන ගැන සැලකුවොත් වාහන වැඩි වීම ආර්ථිකයේ හා ජනජීවිතයේ කාර්යක්ෂමතාවය වැඩි කරයි. එය හිතකර ප්‍රතිඵලයකි. ප්‍රවාහනය සඳහා ගත වන කාලය අඩුවීම නිසා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ යයි. එය රජයේ බදු ආදායම් වැඩි කරගැනීමටද උදවු වේ. ඒ අතර, ඒ හේතුවෙන් සිදුවන වායු දූෂණය වාහන භාවිතා කරන මෙන්ම නොකරන අයටත් සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරයි. මෙය අපේක්ෂිත ආයුකාලය අඩුකිරීම, සෞඛ්‍ය වියදම් ඉහළ දැමීම හා ඵලදායීතාවය පහළ දැමීමට හේතුවේ. රටක වායු විමෝචන පරිසාධන මට්ටම් තීරණය කළ යුත්තේ මේ වාසි අවාසි නිසි ලෙස හදාරමිනි. උදාහරණයක් ලෙස, සංවර්ධනය වන රටකට සංවර්ධිත රටක මට්ටමට වායු විමෝචන පරිසාධන මට්ටම් අඩු කරන්නට නුපුළුවන් විය හැකිය.

      Delete
    2. //BS-III මට්ටමේ මෝටර් රථ ලක්ෂ 8 ක් පමණ හා මෝටර් සයිකල් ලක්ෂ 6 ක් පමණ මේ වන විට අලෙවි කිරීමට නොහැකි අවදානමකට ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන සමාගම් මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මේ වාහන වලින් වැඩි ප්‍රමාණයක් අවුන්ගේ ප්‍රධානම අලෙවි වෙලඳපොල වූ ශ්‍රී ලංකාවට තරමක් අඩු මිලකට විකිණීමට තීරණය කරනු ඇතැයි පැවැසේ. මේ ගැන ඉකොනොමැට්ටාගේ මතය කුමක්ද?//

      ඉන්දියාවට බලහත්කාරයෙන් ලංකාවට වාහන අලෙවි කළ නොහැකිය. වාහනයක් මිල දී ගන්නා අයෙක් එසේ කරන්නේ ගෙවන මුදලට වටිනා දෙයක් තමන්ට ලැබෙන්නේනම් පමණි. මේ වාහන වල වායු විමෝචන පරිසාධන මට්ටම් ලංකාවේ අපේක්ෂිත මට්ටමේ තිබේනම්, අඩු මිලකට වාහන මිල දී ගැනීමට හැකිවීම ලංකාවට සැලසෙන වාසියකි. එම මට්ටමේ නැත්නම්, මේ වාහන ලංකාවට විකිණීමේ හැකියාවක් නැති නිසා ප්‍රශ්නයක් නැත. ලංකාවේ වායු විමෝචන පරිසාධන මට්ටම් ලංකාවට අදාළව ප්‍රශස්ත මට්ටමේ නැත්නම් සංශෝධනය කළ යුතුය. එහෙත්, එසේ කළ යුත්තේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් නිසා හෝ ඉන්දියාව ඉන්දියාවේ විකිණිය නොහැකි වාහන ලංකාවට අළෙවි කිරීමට ඉඩ ඇති නිසා නොවේ. ලංකාවට අදාළ කරුණු සලකා බලමිනි. මේ සීමාව ඉන්දියාවේ සීමාවට වඩා අඩු හෝ වැඩි වන්නට පුළුවන.

      මා විසින් ගැඹුරු අධ්‍යයනයක් කර නැති නිසා ස්ථිරවම කිව නොහැකි වුවත්, මගේ අදහස අනුව වාහන නිසා සිදු වන ලංකාවේ වායු දූෂණයට වාහන වෙනුවෙන් අයකරන විශාල බදු මුදලද හේතු වේ. මේ විශාල බදු මුදල නිසා ලංකාවේ බොහෝ දෙනෙකුට අළුත් වාහනයක් සාධාරණ මිලකට ගැනීමේ අවස්ථාව වැලකී ඇති අතර, පරණ වාහන දශක ගණනාවක් යන තුරු භාවිතයෙන් ඉවත් නොවේ. වාහනය පරණ වන තරමට වායු දූෂණය වැඩි වන බව මගේ අදහසයි. ලංකාවේ වායු විමෝචන පරීක්ෂා සිදු කෙරෙන ආකාරය ගැන මගේ ඉහත ලින්ක් එකක් දමා ඇති ලිපියේ හා එයට වෙනත් අය දමා ඇති කමෙන්ට් වල ලියැවී තිබේ. අඩු මිලට ඉන්දියන් වාහන ලංකාවට පැමිණීමෙන් ලංකාවේ මාර්ග වල ඇති පරණ වාහන යම් ප්‍රමාණයක් හෝ භාවිතයෙන් ඉවත් වන්නට පුළුවන. මේ ඉන්දියන් වාහන වල වායු විමෝචනය වැඩි වුවත්, ලංකාවේ දැනට ඇති පරණ වාහන වලට වඩා අඩුනම් මෙයින් වෙන්නේ යහපතකි. (මේ ගැන මා දන්නේ නැත)

      එමෙන්ම, වාහන වලින් සිදු වන වායු දූෂණයේ අවාසිය කොතරම් වැඩි වුවත් ඒ හේතුවෙන් රජයට සිදුවන පාඩුව (සෞඛ්‍ය වියදම් ඉහළයාම වැනි) වාහන වලින් අයකරන අධික බදු මුදලට කිට්ටුවෙන්වත් නොයන බව මගේ දළ අදහසයි. ඒ නිසා, වායු දූෂණය වැනි කරුණක් ඉදිරියට දමමින් වාහන වලින් අයකරන බදු ඉහළ දැමීම හා වාහන සීමා කිරීම වැනි තීරණ වලින් රටේ වැඩි දෙනෙකුට වාසියකට වඩා වෙන්නේ අවාසියකි. මෙයට අමතරව, මාර්ග තදබදයද වායු දූෂණය වැඩි කිරීමට විශාල ලෙස දායක වේ. මාර්ග තදබදයට හේතුව රටේ ඇති වාහන ප්‍රමාණයට සරිලන තරම් මාර්ග පද්ධතිය දියුණු නොවීමයි. එසේ නොවන්නේ, වාහන භාවිතා කරන්නන් විසින් ගෙවන බදු මුදල් රජය විසින් මාර්ග සංවර්ධනය සඳහා නොයෙදවීමයි.

      බදු නැත්නම් ලංකාවේ වාහන මිල පවතින වෙළඳපොළ මිලෙන් 25% පමණ මට්ටමට අඩු වන නිසා රටේ බොහොමයක් පවුල් වලට කවර හෝ පෞද්ගලික වාහනයක් මිලදී ගැනීමට හැකි විය හැකිව තිබුණි. බදු වලින් එය වලක්වා වාහන භාවිතය වරප්‍රසාද ලත් පිරිසකගේ පහසුකමක් බවට පත් කර තිබේ. මේ තත්ත්වය යටතේ, වාහන භාවිතා කරන සීමිත පිරිස වායු දූෂණය කිරීමෙන් වාහන භාවිතා නොකරන අයට නරකක් කරයි. වාහන වෙනුවෙන් ගෙවන බදු හරහා තමන් සිදුකරන නරකේ වියදම (cost of the bad) ඔවුන් ඕනෑවටත් වඩා වැඩියෙන් පියවන නමුත් මේ මුදල් රජය විසින් නාස්ති කිරීම නිසා වාහන භාවිතා නොකරන අයට මුළුමනින්ම නැවත නොලැබේ. රටේ සියල්ලන්ටම වාහන ඇත්නම් වායු දූෂණයේ වියදම දරන්නේත් වායු දූෂණය කරන අයම නිසා එවැනි අසාධාරණයක් සිදු නොවේ. එවැනි තත්ත්වයක් යටතේ වාහන භාවිතා කරන්නන් විසින්ම වායු විමෝචනය සීමා කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ඇත.

      Delete
  9. ඉකොනෝ,
    මෙරටේ දේසපාලුවන් පත්කරන හම්පුතෙක් වෙන මා චන්ද දායකයෙකි. චන්දදායක තනතුර දරන මට බැරිද බදු නැතිව වාහනය මිලදී ගන්න (වාහනේ මිල මම ගෙවන්නම්, එක රජය ගෙවන්න ඕනේ නෑ ) අපි වැනි චන්දදායක හාම්පුතුන්ට නැති වරප්ප්‍රසාද අපේ සේවක සේසපාලුවන්ට ලැබෙන්නේ කොහොමද ඔබේ ආර්ථික විද්‍යා දැනුම යොදා මගේ තර්කය විශ්ලේෂණය කලොත්

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් වාහනවල බදු ඔහොම තියෙද්දී යුරෝපයේ සහ ජපානයේ වාහන වල බදුමුදල් ඉවත් කරන්න එහෙම කලොත් මහජනයාට හොද තත්වයේ වාහන ලබාගන්න පුළුවන් නේ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...