වෙබ් ලිපිනය:

Monday, May 18, 2015

ආර්ථිකේ අවුල්ද? එහෙමනං අපි සෙට් වෙමු!




දෙවන පාරටත් ඒ ලෙවල් ඇණගත් කළුවා මේ දවස්වල ගෙදරය. කළුවා කිවුවාට උගේ හැබෑ නම රුවන් චන්දිමය. ඒත් කවුරුත් දන්නේ කළුවා කීවොත්ය. අම්මා කියන්නේ තුන්වන පාරත් ට්‍රයි කර බලන්න කියාය. ඒත් ඒකෙන් වැඩක් නොවන බව කළුවා හොඳාකාරවම දනී. කළුවාට දැන් ඕනෑ කර ඇත්තේ රස්සාවක් හොයාගන්නටය. ඒත් ඒක ලේසිපාසු කටයුත්තක් නොවේ. තාත්තාගෙන්නම් අම්මාගෙන් වගේ කරදරයක් නැත. ඇත්තටම කියනවානම් කළුවා ගැන වද වෙවී ඉන්නට තාත්තාට වෙලාවක්ද නැත. ළඟ පාත තිබුණු ඇඟලුම් කම්හලක ගබඩා පාලක රැකියාවක් කළ කළුවාගේ තාත්තා ගෙදර එනවිට සාමාන්‍යයෙන් රෑ බෝ වේ. කළුවාගේ අම්මාද රැකියාවක් නොකළ නිසා පවුලේ වියහියදම් පියවා ගැනීමට සති අන්තයේ පවා වැඩ කර කළුවාගේ තාත්තා උපයන අතිකාල මුදල් නැතිවම බැරිය.

හැන්දෑ වරුවේ බුලත්කොහුපිටිය හන්දියේ ගහන රස්තියාදුව කළුවාගේ මේ දවස්වල දින චරියාවේ කොටසකි. තරංග, කවිරත්න සහ රිටිගලත් මේ වෙලාවට හන්දියට එකතු වේ. තරංග කියන්නේ උගේ හැබෑම නමයි. තරංගලාට බුලත්කොහුපිටිය හන්දියේ සිල්ලර කඩයක් තිබේ. කට්ටිය හවසට සෙට් වෙන්නේ මේ කඩය අසලටයි. කවිරත්න කියන්නේ උගේ වාසගමයි. කවිරත්නගේ අම්මාත් තාත්තාත් දෙදෙනාම ගුරුවරුය. රිටිගල කියන්නේ උගේ නමවත් වාසගමවත් නොවේ. ගමේ නමයි. පාසැල් යාම සඳහා පුංචි අම්මා කෙනෙකුගේ ගෙදර නැවතී සිටි රිටිගලගේ දෙමවුපියෝ දඹුල්ල පැත්තේ මිරිස් වගා කරුවෝය. මාස් පතා ගෙදරින් මුදලක් අතට ලැබෙන නිසා රිටිගලට එතරම් අගහිඟයක් නැත. ඒ නිසා අත දිග හැර වියදම් කරයි. කෙසේ වුවත් කළුවාගේ මේ රස්තියාදුවට කළුවාගේ තාත්තාගේ මනාපයක් නැත. තාත්තාගේ හිත රිදවීමට කළුවාද මනාප නැත. ඒ නිසා කළුවාගේ තාත්තා නිවසට එන වෙලාවට පෙර සභා තොමෝ සතුටින් විසිර යති.

"කොහොමද දැන් ට්‍රිපේ වැඩේ?" රිටිගලයා අසයි. කළුවා කල්පනාවට වැටේ. රිටිගලයා මේ අහන්නේ සති අන්තයේ පොඩි විනෝද ගමනක් යාමට පෙර දා ඔහු ගෙන ආ යෝජනාව ගැනය. "අනිවා" කළුවා පටස් ගා උත්තර දුන්නේ මේ ඊයේය. ඒ වෙලාවේ කළුවා මේ ගැන වැඩිය සීරියස් හිතුවේ නැත. ට්‍රිප යාමටනම් සම්තිං අවශ්‍ය බවත් අතේ පිච්චියක් නැති බවත් කළුවාගේ සිහියට එන්නේ ගොම්මන් අඳුරේ ආපසු නිවසට ඇදෙද්දීය. "ගෙදරින් කීයක් හරි ඉල්ලගන්ඩ ඕනෑ."

කළුවාගෙදරට එනවිට තාත්තා ඇවිත්ය. අම්මා සමඟ කතාවකි. මූණ එතරම් හොඳ නැත. කළුවාගේ රස්තියාදුව ගැන තාත්තාට මල වගේය. තවමත්වැඩ නිම කර නැති නිවසේඉදිරි දොරෙන් ඇතුළු නොවී ග්‍රිල් ගසානැති ජනේලයෙන් කෙළින්ම කාමරයට ඇතුළුවීම ආරක්ෂාකාරී පියවරකි.

කළුවාගෙදරට එනවිට තාත්තා ඇවිත්ය. අම්මා සමඟ කතාවකි. මූණ එතරම් හොඳ නැත. කළුවාගේ රස්තියාදුව ගැන තාත්තාට මල වගේය. තවමත්වැඩ නිම කර නැති නිවසේඉදිරි දොරෙන් ඇතුළු නොවී ග්‍රිල් ගසානැති ජනේලයෙන් කෙළින්ම කාමරයට ඇතුළුවීම ආරක්ෂාකාරී පියවරකි.

තාත්තාගේකතාව කළුවාට ඇසේ. අවුල කළුවාගේ රස්තියාදුව නොවේ. වෙන කේස් එකකි.

කළුවාගේතාත්තා මහත් බලාපොරොත්තු තබා සිටි බෝනස් මුදල මෙවර ලැබෙන පාටක් නැත. ඇඟලුම් කම්හලේ අයිතිකරු දැනුම් දී ඇත්තේ මේඅදය. වසර මැදදී ලොකු ඕඩරයක් නොසිතූ පරිදි කැන්සල් වූ නිසා මේඅවුරුද්දේ ශුද්ධ ලාභය සොච්චමකි. බෝනස් ගෙවන්නට තරම් දෙයක් ඒකේ නැත. ඇඟලුම් කම්හලේ අයිතිකරු වැරැද්ද පාස් කරන්නේ පවතින ආණ්ඩුවටය. වැරැද්ද කාගේ වුනත්, කළුවාගේ තාත්තාට වැදගත් නැත. අවසාන ප්‍ර​තිපලය ඇරියස්වී ඇති නිවාස ණය වාරික මේපාරත් ගෙවන්නට නොහැකි වීමයි. කළුවාගේ තාත්තා ඉන්නේ අම්බානක අප්සෙට් එකේය. මේ අල්ලපනල්ලේ ට්‍රිප් යන්නට සල්ලි ඉල්ලන්නට පුළුවන් කමක් නැත.

තාත්තාමූණකට සෝදාගන්නට පිටවෙද්දී හිමීට කාමරයෙන් එළියට ඇදුණු කළුවා රූපවාහිණිය ක්‍රියාත්මක​ කළේය. බර සාකච්ඡාවකි. ආර්ථිකේ ගැනය. එක් කෙනෙක් කියන්නේ ආර්ථිකේ එළකිරි කියාය. කිසිම අවුලක් නැත. රට සුඛිත මුදිතවී සියළු රට වැසියෝ සතුටින්කල්ගෙවති. වැඩි කාලයක් ගත නොවී ලංකාවසිංගප්පුරුවක්  වනුඇත. අනෙක් කථිකයා කියන්නේ වෙනමම කතාවකි. හැම දේම අවුල්ය. මාස තුනක් ඇතුළත ආර්ථිකේ කඩා වැටෙන එක නවත්වන්නට සක්කරයාටතබා උගේ පුතා වයිමාටවත් බැරිය. වැඩි කාලයක් ගත නොවී ලංකාවඉතියෝපියාවක් වනු ඇත. දෙදෙනාම සංඛ්‍යාලේඛණ​ ඇද පෙන්වති.

මේඩයල් දෙක කළුවාට හොඳට මතකය. මුන්ගේ ගෙවල් ඇත්තේ රූපවාහිණී සංස්ථාවේ සිට වැඩි දුරකනම් වෙන්නට බැරිය.

මේඑක බුවෙක් හැමදාම කතා කළේ එළකිරි ආර්ථිකයක් ගැනය. අනිත් බුවා කතා කළේ හරියට අර අහස කඩාවැටෙනවා කියා දිවූ හාවා වගේය. ඒත් ලංකාව සිංගප්පුරුවක්වත් ඉතියෝපියාවක්වත් වුනේ නැත. ඒක තවමත් ලංකාවමය. ඔහොම තියෙද්දී ආණ්ඩුව මාරුවිය. එක්කම අරබුවාලාට අනුවනම් ආර්ථිකය උඩ යට මාරුවෙලාය. මේ දැන් කඩා වැටෙනවා කියූ බුවා දැන් එළකිරි ආර්ථිකයක් ගැන කථා කරයි. සිංගප්පුරුවක් වෙන තුරු බලා සිටි බුවා දැන් ඉතියෝපියාවක් ගැන දොඩවයි. ජෝජ් ඕවිල්ගේ 1984 මතක් වේ. එක්කෝ මුන්ට පිස්සුය. නැත්නම් අපිට පිස්සුය. අපිට පිස්සු කියා සිතන එක වඩාත් ලේසිය.

මේඅතර මහ බැංකු අධිපතිභාණ්ඩාගාර බිල්පත් නිකුත් කරද්දී මොකක්දෝ අවුලක් කරගෙන ඇත. සමහර අය කියන්නේ පාඩුවකෝටි ගාණක් කියලාය. "මහ ජනතාවගේ සල්ලිලු! එහෙමනං ඉතිං හෙණ ගහන අපරාධයක්නේ. මුංව උල තියන්න එපැයි." ඒත් තවත් සමහරු කියන්නේ එහෙම අවුලක් වෙලා නැති බවයි. "විශේෂඥ කමිටුවකින් හොඳට පරීක්ෂා කරල බැලුවලු. අවුලක් නැත්නම් ඉතිං කමක් නෑ!" කවුරු හරිද කවුරු වැරදිද කියා කළුවාට තේරුමක් නැත. අඩුගානේ භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවාද කියාවත් කළුවාට හරියටම අයිඩියා එකක් නැතඒත් කරුමෙ කියන්නේ මේ ගැන අහගන්නවත්එකෙක් නැත. කළුවාගේ සෙට් එකේ හැමෝම වාගේ එක්කෝ මැත්ස් කරපු එවුන්ය. නැත්නම් බයෝය. "ඉතිං ඉකොනොමික්ස් අණ්ඩර දෙමළ වෙන එක අහන්ඩත් දෙයක්යැ?"

"මොකෝබං මේ? අහවල් දේ කාපු රිලවා වගේ බලා ඉන්නේ? මුකුත් අවුලක්ද?" රිටිගලයා අසයි. "ට්‍රිප​ සෙට්වෙන්ඩ වෙන් නෑ බං." රිටිගලයාටටිකක් අවුල් වගේය. ඒත් කරන්නට දෙයක් නැත. "මේ දවස් වලගෙදර ආර්ථිකේ අප්සෙට්."

***
ආර්ථික විද්‍යාව රසවත්, වැදගත් වගේම ප්‍ර​යෝජනවත් විෂයයකි. ආර්ථික විද්‍යා මූලධර්ම අනුසාරයෙන්ඕනෑම දෙයක් විස්තර කිරීමට හැකි බව ඇතැම් අයකියති. මෙය අතිශයෝක්තියක් බව බැලූ බැල්මටමපෙනුණත් ප්‍රායෝගික​ වශයෙන්මෙහි කිසියම් සත්‍යතාවක් තිබේ. හරියටම හැම දෙයකම දේශපාලනය තියෙනවා වගේය. කළුවා රැකියාවක් නොමැතිව ගෙදරට වී සිටීමත්, කළුවාගේතාත්තාට අපේක්ෂා කළ බෝනස් මුදලනොලැබීමත්, රටේ ආර්ථිකයේ සැබෑ තත්ත්වයත්, භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේදී සිදුවූ අවුලත් ආර්ථික විද්‍යා මූලධර්ම අනුසාරයෙන්පැහැදිලි කළහැකිය. එහෙත්, ආර්ථික විද්‍යා මූලධර්ම අනුසාරයෙන්පැහැදිලි කළ හැක්කේ මේකරුණු පමණක් නොවේ. බොරදියපොකුණේ ගෝතමීට සිදුහත් සිරිතේ යශෝධරා වීමට නොහැකි වීමත්, ඉවාන් පවුලූෂාගේ මිහිරාවියට උසස් පෙළ සිසුන් රැසකට අමතරව තරුණ ගුරුවරු කිහිප දෙනෙකුද ට්‍රයි කරඇණ ගනිද්දී දහවෙනි සෝබාට ඇයව හිමිවීමත් ආර්ථික විද්‍යා න්‍යායයන් උපයෝගී කර ගෙන පැහැදිලිකල හැකිය. අයිසෙක් නිවුටන්ගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටීමත්, සිරිපාල සමඟ හොරෙන් යහන්ගත වූ රං මැණිකාමාස නවයකට පසු අංග විකල දරුවකු වැදීමත් පැහැදිලි කිරීමටද ආර්ථික විද්‍යා න්‍යායයන් උපයෝගී කර ගැනීමට බැරිකමක් නැත.

පොඩිඅවුලකට තියෙන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය​ තුලඅඩු ගානේ මූලික ආර්ථික විද්‍යා මූලධර්ම කිහිපයක්හෝ හැදෑරීමට බොහෝ දෙනෙකුට අවස්ථාවක් නොලැබීමයි. කළුවා වාගේම උසස් පෙළට ගණිත විෂයයන් තෝරාගත් ඉකොනොමැට්ටාටත් වුනේ මේ සන්තෑසියමය. (දැන්නම් එහෙම වුනේ ඇයි කියාත් ආර්ථික විද්‍යාවෙන්ම පැහැදිලි කිරීමට ඉකොනොමැට්ටාට පුළුවන.) 

තරමක්කල්පසුවී ආර්ථික විද්‍යා ක්‍ෂේත්‍රයට​ පිවිසුණු ඉකොනොමැට්ටා දැන් සෙට් වෙන්නේ මේ විෂයය පිලිබඳකුතුහලයක් ඇති සහ විශේෂයෙන්ම විධිමත්ආර්ථික විද්‍යා අධ්‍යාපනයක් නොලැබූ යාළු මිත්තරයන් ඇතුළු හුදී ජනතාව සමඟ කතා බස් එකේ ට්‍රිප​කටයට්‍රිප​ පටන් ගන්නේ ලොකු ප්ලෑනක් නැතුවය. යන දුර සහතැන් තීරණය වෙන්නේ බස් එකට නගින කට්ටිය අනුවය.

ඉතිංඔය බුවාගේත් ආර්ථිකේ අවුල්ද? එහෙමනං අපි මේ ට්‍රිප​ටසෙට් වෙමු!

(කාටූනයඋපුටා ගත්තේ http://www.sundaytimes.lk/120408/Columns/eco.html වෙබ් අඩවියෙනි.)

1 comment:

  1. ලස්සනට ලියල තියනවා ..සුබ පැතුම් ඔබගේ ඉදිරි ගමනට

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...