වෙබ් ලිපිනය:

Tuesday, August 30, 2022

අතුරු අයවැය


අතුරු අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. කතා කළ යුතු ගොඩක් දේ ඒ තුළ තිබුණත්, අයවැයක වැදගත්ම දෙය අය හා වැයයි. ඒ නිසා, එතැනින් පටන් ගනිමු. 

2022 අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 2,094යි.

2022 අපේක්ෂිත වියදම - රුපියල් බිලියන 4,427යි 

2020 අපේක්ෂිත අයවැය හිඟය - රුපියල් බිලියන 2,333යි.

සාමාන්‍යයෙන් ලංකාවේ අයවැය ඇස්තමේන්තු කියා කියන්නේ නිකම්ම ඉලක්කම් ටිකක් පමණයි. විශේෂයෙන්ම ආදායම් ඇස්තමේන්තු කියන්නේ බොරුවට වැඩියෙන් පෙන්වන ගණනක්. මෙවර එය එසේ නොවන බවට කිසිසේත්ම සහතික විය නොහැකි වුවත්, මේ ඇස්තමේන්තු පෙර අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂව තරමක් යථාර්ථවාදී බව පෙනෙනවා. 

වසර මුල ඉදිරිපත් කළ ඇස්තමේන්තුව අනුව 2022 අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,223ක්. බදු වැඩි කිරීමෙන් පසුවත් අලුත් ඇස්තමේන්තුව ඊට වඩා අඩු එකක්. ඉලක්කය රුපියල් බිලියන 2,223ක් වුනත්, පළමු මාස පහ ඇතුළත එකතු වී තිබෙන්නේ රුපියල් බිලියන 813ක් පමණයි. ඇස්තමේන්තුවේ ඉලක්කයට යන්නනම් අවසන් මාස හත තුළ තවත් රුපියල් බිලියන 1,410ක් එකතු කර ගත යුතුයි. එවැනි මුදලක් එකතු වීමේ ඉඩක් කොහොමවත්ම තිබුණේ නැහැ.

සංශෝධිත ඇස්තමේන්තු අනුව, ඉතිරි මාස හත ඇතුළත රුපියල් බිලියන 1,281ක් එකතු විය යුතුයි. පළමු මාස පහේ අනුපාතය අනුව බැලුවොත් එකතු වෙන්නේ රුපියල් බිලියන 1,138ක් පමණයි. ඒ ගණන තවත් රුපියල් බිලියන 143කින් වැඩි කර ගන්න එක අසීරු වුවත් ප්‍රායෝගික ඉලක්කයක්. 

මුල් ඇස්තමේන්තුව අනුව වියදම රුපියල් බිලියන 3,851ක්. පළමු මාස පහේ වියදම රුපියල් බිලියන 1,449ක්. ඒ අනුපාතය අනුව බැලුවොත්නම් වියදම රුපියල් බිලියන 3,478කට සීමා විය යුතුව තිබුණා. වර්තන වියදම් අඩු වී නොතිබුණත් ආයෝජන වියදම් විශාල ලෙස සීමා කර තිබීම මේ වෙනසට හේතුවයි. 

සංශෝධිත ඇස්තමේන්තු අනුව, වසරේ වියදම රුපියල් බිලියන 4,427 දක්වා ඉහළ යනවා. මේ වැඩිවීමට ප්‍රධානම හේතුව සහනාධාර ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,021 දක්වා විශාල ලෙස වැඩි කර තිබීමයි. පොලී වියදම්ද ඉහළ ගොස් තිබෙන අතර ආයෝජන වියදම් ඇස්තමේන්තුවත් කලින් ඇස්තමේන්තුවට වඩා වැඩියි. 

ඉදිරිපත් කර තිබෙන සැලසුම අනුවනම් මුළු අයවැය හිඟයම පියවා ගන්න යන්නේ බැංකු අංශයෙන් ණය නොගෙන. බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය වලින් කොටසක් ආපසු ගෙවීමටද නියමිතයි. 

ඇස්තමේන්තු එසේ වුවත්, අයවැය කතාවේ මෙහෙම කොටසකුත් තිබෙනවා.

"කෙසේ වෙතත්, දුර්වල රාජ්‍ය ආදායම සහ අයවැයේ ශුද්ධ විදේශ මූල්‍යනයේ (Net Foreign Financing) හිඟකම අනුව, බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් රජයේ මුදල් ප්‍රවාහය යහපත් වන තුරු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා අයවැය සඳහා විදේශ මූල්‍යනය විවෘත වන තෙක්, මහ බැංකුවෙන් සීමිත මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම වළක්වන්නට අපහසුයි."

රුපියල් බිලියන 2,333ක් වන වසරේ ඇස්තමේන්තුගත අයවැය හිඟයට අමතරව වසර තුළ රුපියල් බිලියන 1,510ක ණය වාරික ප්‍රමාණයක් ආපසු ගෙවීමටද තිබෙනවා. මේ අනුව වසර තුළ සොයා ගත යුතු මුළු මුදල රුපියල් බිලියන 3,844ක්. 

බැංකු අංශයෙන් ණය නොගෙන හෝ ඉතා අඩුවෙන් ණය ගෙන මේ හිඟය පියවනවා කියන්නේ පොලී අනුපාතික තවත් කාලයක් ඉහළ මට්ටමක තියෙනවා කියන එකයි. උද්ධමනය අඩු වෙන තුරු පොලී අනුපාතික අඩු නොවෙන එක හොඳයි.

අතුරු අයවැයේ හොඳ යෝජනා ගණනාවක්ම තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි හැම කෙනෙකුටම බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කිරීම ගොඩක් හොඳ යෝජනාවක්. රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් ගලවලා වෙනම ආයතනයක් හදන එකත් හොඳ යෝජනාවක්. හැබැයි මේ එක දෙයක්වත් සිදුවෙනකම් විශ්වාස නැහැ. 

අගෝස්තු උද්ධමනය 64.3% මට්ටමේ රැඳී තිබෙනවා. එය හොඳ ලකුණක්. බොහෝ විට සැප්තැම්බර් මාසයෙන් පසුව උද්ධමනය අඩුවෙන්න පටන් ගන්න ඉඩ තිබෙනවා. දැන් තත්ත්වය අනුව උද්ධමනය 70% නොඉක්මවන්න පුළුවන්.

නිල නොවන තොරතුරු අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් පිළිබඳ නිවේදනය ඉතා ඉක්මණින් නිකුත් වීමට නියමිතයි. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යාධාරයක් පිළිබඳ බලාපොරොත්තුවක්ද තිබෙනවා. එය එසේනම් නරකම තත්ත්වය මේ වෙද්දී පහුවෙලා. 

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (දෙවන කොටස)

ලංවිම අවසන් වරට ලාබ ලැබුවේ 2015 වසරේදී. එම ලාබය වුවද ගිණුම්කරණ ලාබයක් මිස ආර්ථික ලාබයක් නෙමෙයි. 2016 සිට 2021 දක්වාම ලංවිම දිගින් දිගටම පාඩු ලබනවා. මෙයට හේතුව ලෙස ලබා දිය හැකි කෙටි පිළිතුර විකිණුම් මිල වෙනස් නොවුනත් නිෂ්පාදන වියදම ක්‍රමක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි. 

ලංවිම නිෂ්පාදන වියදම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ කොයි තරම් වහිනවාද කියන එකයි. වහින අවුරුදු වල ලංවිම නිෂ්පාදන වියදම් පහළ යනවා. පායන අවුරුදු වල වියදම ඉහළ යනවා. මේ විචලනයන්ට හේතුව ලංවිම කාර්යක්ෂමතාවය අඩු වැඩි වීම නෙමෙයි. 

ලංවිම සේවක වැටුප් පිළිබඳව සමාජ මාධ්‍ය වල සංසරණය වන තොරතුරු ඇත්තද නැද්ද කියා මම දන්නේ නැහැ. ඒ තොරතුරු ඇත්ත වුවත්, එය මම ප්‍රශ්නයක් ලෙස දකින්නේත් නැහැ. ආයතනයක සේවක වැටුප් ඉහළ මට්ටමක තිබීම නරක දෙයක් නෙමෙයි. වැදගත් වන්නේ සේවක වැටුප් සේවකයින්ගේ ඵලදායීතාවය හා ගැලපෙනවාද යන්නයි. 

කෙසේ වුවත්, පසුගිය දශකය තුළ ලංවිම සේවක වැය බර විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පැහැදිලි කරුණක්. 2011දී රුපියල් බිලියන 12ක් පමණ වූ ලංවිම වැටුප් බර 2020 වන විට රුපියල් බිලියන 38 ඉක්මවා තිබෙනවා. නිල නොවන වාර්තා අනුව කියැවෙන්නේ මේ වන විට මෙම වියදම රුපියල් බිලියන 51ක් පමණ වී ඇති බවයි.  

කිසියම් කර්මාන්තයක ඒකාධිකාරයක් ඇති විට එම කර්මාන්තයේ නිරත සේවකයින්ට තරඟකාරී වැටුප් ලබා ගැනීමේ ඉඩකඩ අහිමි වෙනවා. වැටුප් වලින් සතුටු නොවන අයෙකුට ආයතනයෙන් අස් වී ගොස් රැකියාව කළ හැකි ඊට සමාන තැනක් බොහෝ විට නැහැ. මෙයට විකල්පයක් ලෙස එවැනි කර්මාන්තයක සේවකයින් සංවිධානය වී ඔවුන්ගේ පැත්තෙන්ද ඒකාධිකාරයක් හදා ගන්නවා. එවිට සේවකයින් මුහුණ දෙන ප්‍රශ්නයටම ආයතනයටද මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉන්න සේවකයින් ඉවත් කර සමාන කුසලතා ඇති සේවකයින් බඳවා ගත හැකි වෙළඳපොළක් රටේ නැහැ.

මෙවැනි වාතාවරණයක් තුළ ආයතනයක සේවක වැටුප් හා සේවක ඵලදායීතාවය ගලපන යාන්ත්‍රණයක් නැහැ. ඒ නිසාම, සේවක වැටුප් කොපමණ වුවත් ඒ වැටුප් අඩුද වැඩිද කියා සරල ලෙස නිගමනය කිරීමේ හැකියාවක්ද නැහැ. සංසන්දනාත්මක නිර්ණායක සොයා ගන්න වෙන්නේ කවර හෝ උපකල්පන මත පමණයි.  

පහත වගුවේ තිබෙන්නේ ලංවිමට කිලෝවොට් පැයක විදුලිය නිපදවා හෝ මිල දී ගෙන, සිල්ලරට හෝ තොග මිලට විකිණීම සඳහා වැය වී ඇති පිරිවැයයි. "අනෙකුත් වියදම්" වලට ප්‍රධාන වශයෙන්ම අයත් වන්නේ පෞද්ගලික නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිල දී ගැනීමේ පිරිවැයයි. 

ආයතනයක සේවකයෙකු වැඩි වැටුප් ඉල්ලා හෙට්ටු කිරීම වරදක් නොවන්නාක් මෙන්ම කළ යුතු දෙයක්. සේවකයින් එක්ව කණ්ඩායමක් ලෙස මෙය කිරීමේද වරදක් නැහැ. එහිදී එසේ ඉල්ලන වැටුප් ලබා දෙනවාද නැද්ද යන්න අදාළ ආයතනයේ පාලකයින් විසින් තීරණය කළ යුතු දෙයක්. 

ලංවිම සේවකයින් ඇතැම් විට ඔවුන්ට ලැබෙන වැටුප් හා වරප්‍රසාද පිළිබඳව තෘප්තිමත් ඇති. සමහර විට එය එසේ නොවන්නත් පුළුවන්. විශේෂ කුසලතා අවශ්‍ය වෘත්තීය රැකියා කරන අය සම්බන්ධව කෙසේ වෙතත් පහළ හා මධ්‍යම මට්ටමේ රැකියා කරන අයගේ වැටුප් "වෙළඳපොළ වැටුප්" සමඟ සසඳන එක ගොඩක් අමාරු නැහැ. සුවිශේෂී කුසලතා හෝ පුහුණුවක් අවශ්‍ය රැකියා සම්බන්ධවනම් මේ වැඩේ අමාරුයි.

ලංවිම පාරිභෝගිකයින් ඔවුන් ගෙවන මිලට ලැබෙන දේ ගැන තෘප්තිමත්ද? මේ ප්‍රශ්නයටත් පහසු පිළිතුරක් නැහැ. එය එසේ වීමට හෝ නොවීමට පුළුවන්. 

කෙසේ වුවත්, එක් දෙයක්නම් ඉතාම පැහැදිලියි. ලංවිම "කොටස් හිමියන්ට" කෙසේවත් තෘප්තිමත් විය නොහැකියි. ඔවුන්ගේ ආයෝජන වෙනුවෙන් අවශ්‍ය පමණ ප්‍රතිලාභ නොලැබෙන බව ඉතාම පැහැදිලියි. බොහෝ විට මොනම ප්‍රතිලාභයක්වත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. එසේනම් ලංවිම පාරිභෝගිකයින්ට, ලංවිම සේවකයින්ට හෝ එම කණ්ඩායම් දෙකටම යම් "අනිසි" ප්‍රතිලාභ ලැබී තිබිය යුතුයි. එය එසේ නොවී, ලංවිම සේවකයින්ගෙන් යම් පිරිසකට, එසේත් නැත්නම් ලංවිම සමඟ ගනුදෙනු කරන වෙනත් ආයතන වලට එම "අනිසි" ප්‍රතිලාභ ලැබී තිබෙනවා වෙන්නත් පුළුවන්. 

මේ විදිහට පාඩු විඳින කොටස්හිමියන් කවුද? නෛතික ලෙස බැලුවොත් මහා භාණ්ඩාගාරයයි. එහෙත්, මහා භාණ්ඩාගාරයේ සල්ලි කියන්නේ මහජන මුදල්. බොහෝ විට "උද්ධමන බදු" ලෙස අය කරන මුදල්. 

වත්මන් රාජ්‍ය ඒකාධිකාරය එලෙස තිබියදී මේ ප්‍රශ්නය විසඳිය නොහැකියි. ඒ සඳහා, මේ ඒකාධිකාරය නැති විය යුතුයි. ඒ සඳහා හොඳ මූලාරම්භක පිළියමක් වන්නේ දැනට තිරස් ලෙස ඒකාබද්ධ වී (vertically integrated) ඇති මෙම කර්මාන්තයේ සංරචක විභේදනය කිරීමයි. සරල ලෙස කිවුවොත්, විදුලිය නිෂ්පාදනය කිරීම (ජනනය කිරීම), ප්‍රවාහනය (සම්ප්‍රේෂණය) හා විකිණීම වෙන වෙනම ආයතන වලට පැවරීමයි. මෙය අලුත් අදහසක් නෙමෙයි. එසේ කිරීමෙන් මේ කර්මාන්තය තුළ යම් තරඟකාරිත්වයක් ඇති කළ හැකියි. 

Monday, August 29, 2022

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (පළමු කොටස)

ලංවිම පාඩු ගැන ලියපු සටහන තුළ ලංවිම පෞද්ගලීකරණය කළ යුතු බව ලියා නොතිබුණත්, එය එම අරමුණ පෙරදැරිව ලියූ ලිපියක් සේ දකිමින් එක් පාඨකයෙකු විසින් ප්‍රතිචාරයක් දමා තිබුණා. ඔහුගේ අනුමානය මුළුමනින්ම අහේතුක නැහැ. 

අදාළ ප්‍රතිචාරයෙහි ලංවිම පාඩු ලැබීමට හේතු විස්තර කර තිබුණා. ඒ කරුණු පහත පරිදි සාරාංශගත කළ හැකියි.

1. ගල් අඟුරු බලාගාර හදන්නට යන හැම විටකම පරිසරවේදීන් විරුද්ධ වීම 

2. වියදම ආවරණය කර ගත හැකි පරිදි මිල ඉහළ දැමීමට ඉඩ නොදීම 

3. ආනයන සඳහා අවශ්‍ය විදේශ විණිමය ලංවිම වෙත ලබා නොදෙන අතර විදුලිය විකුණා විදේශ විණිමය උපයා ගැනීමටද ඉඩ නොදීම.

4. ජාතික බලශක්ති ජාලය (national grid) වැඩි දියුණු කිරීම සඳහා ප්‍රාග්ධනය නොමැතිකම. 

ඔහු කියන විදිහට,

- මේ කිසිවක් ලංවිම ප්‍රශ්න නෙමෙයි.

- ලංවිම පෞද්ගලීකරණය කිරීමෙන් මේ ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. තවත් උග්‍ර වෙනවා පමණයි. 

මේ ප්‍රතිචාරයෙහි ඇති කරුණු වලින් පටන් ගෙන අපට වඩා පුළුල් සංවාදයකට මුල පුරන්න පුළුවන්. 

ලංකාවේ විදුලිබල කර්මාන්තය රජයේ මධ්‍යගත සැලසුමක් යටතේ ඒකාධිකාරයක් ලෙස ක්‍රියාත්මක වන්නක්. එම ඒකාධිකාරය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් උපයෝගී කර ගන්නා ප්‍රධානම මෙවලම ලංවිමයි. ලංවිම හරහා ශ්‍රී ලංකා රජය විසින් ලංකාව තුළ විදුලිය ජනනය කිරීමේ, ප්‍රවාහනය (සම්ප්‍රේෂණය) කිරීමේ හා විකිණීමේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යනවා. ඒ අතරම, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු වෙනත් ආයතන හරහා ශ්‍රී ලංකා රජය විසින් විදුලිබල කර්මාන්තය නියාමනය කරනවා. 

මෙයින් අදහස් වන්නේ ලංකාවේ විදුලිබල කර්මාන්තය තුළ පෞද්ගලික අංශයේ දායකත්වයක් ඇත්තේම නැති බව නෙමෙයි. පෞද්ගලික සමාගම් ගණනාවක් විසින්ම ලංකාව තුළ විදුලි බලය නිපදවනවා. එහෙත්, එම සමාගම් සියල්ලම රජයේ ඒකාධිකාරයට යටත්. ඔවුන් කරන්නේ නිපදවන විදුලිය තොග වශයෙන් ලංවිමට විකිණීමයි. විදුලිය සිල්ලර වශයෙන් බෙදා හරින්නේ ලංවිමයි. එය කරන තවත් එක් සමාගමක් (ලෙකෝ) තිබුණත් එම සමාගමද රජයට පූර්ණ වශයෙන් අයිති සමාගමක්. 

පෞද්ගලික අංශය ලංකාවේ විදුලිබල කර්මාන්තයට සම්බන්ධ වී සිටියත් කර්මාන්තයේ වත්මන් ආකෘතිය අනුව එය ශ්‍රී ලංකා රජයේ ඒකාධිකාරයක් ලෙස හඳුන්වන්නට මා පැකිලෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ කර්මාන්තය තුළ සිටින පෞද්ගලික සමාගම් වල කටයුතු සිදු වන්නේද අඩු වැඩි වශයෙන් රජයේ මධ්‍යගත සැලසුම් ආකෘතියේ අංග ලෙස මිස වෙළඳපොළ තරඟය මත පදනම්ව නෙමෙයි. 

කවුරු හෝ කෙනෙක් ලංවිම ඒකාධිකාරය ගැන කතා කරන අතරම ලංවිම පාඩු ගැනද කතා කරන්නේනම් එහි තිබෙන්නේ විසංවාදයක්. ඒකාධිකාරයක් ඇත්නම් පාඩු සිදු විය නොහැකියි. ඒකාධිකාර වලින් පාරිභෝගිකයින්ට පාඩු සිදු වන අතර ඒකාධිකාරී සමාගමේ කොටස් හිමිකරුවන් වාසි ලබනවා. ලංවිම ලාබ ලැබිය යුතුද? ඒ ඇයි? ලංවිම පාඩු ලබද්දී වාසි ලබන අය සිටිනවාද? ඒ කවුද?

ලංවිම පාඩු ලැබීමට හේතු ලෙස ඉහත විස්තර කර ඇති කරුණු වලින් පළමුවැන්න මම බරපතල ලෙස සලකන්නේ නැහැ. ලංවිම ජනන ධාරිතාවෙන් තුනෙන් එකක් පමණත්, නිෂ්පාදනයෙන් අඩක් පමණත් ගල් අඟුරු. ඒ වගේම, ලංවිම ඉදිරි සැලසුම් අතරද ගල් අඟුරු බලාගාර තිබෙනවා. පරිසරවේදීන්ගේ විරෝධතා ශ්‍රී ලංකා රජයට ඒ තරම්ම විශාල බලපෑමක් කර ඇතැයි මා සිතන්නේ නැහැ. එකම ප්‍රභවයක් යොදා ගෙන විදුලිය ජනනය කිරීම, මා දන්නා තරමින්, උපාය මාර්ගිකව නිවැරදි දෙයක් ලෙස ලංවිම විසින් සලකන්නේ නැහැ. එය නිවැරදි ප්‍රවේශයක්.

දෙවන කරුණේ බලපෑම ඉතාම පැහැදිලියි. ලංවිමට අවශ්‍ය පරිදි මිල ඉහළ දැමිය හැකි වූවානම් ලංවිම කිසිසේත්ම පාඩු ලබන එකක් නැහැ. ඒකාධිකාරී බලයක් ඇති සමාගමකට, විශාල ලෙස අකාර්යක්ෂම වුවත්, ලාබ ලැබීම අසීරු දෙයක් නෙමෙයි. නමුත්, මෙහිදී ඒකාධිකාරය තිබෙන්නේ ශ්‍රී ලංකා රජයට මිස ලංවිමට නොවන නිසා ලංවිම පාඩු ලබමින් සිටිනවා. ඒ සන්දර්භය මත ලංවිම පාඩු ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්. 

තෙවන හා සිවුවන හේතු සෘජුවම ලංවිම ප්‍රශ්න. හතරවැන්න සෘජු ලෙසම ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. ආයෝජන කිරීමට අවශ්‍යනම් ආයතනයක් විසින් ලාබ ලබා එයින් කොටසක් ආයෝජන වෙනුවෙන් වෙන් කළ යුතුයි. එසේ නැත්නම් කොටස් නිකුත් කිරීම හෝ ණය ගැනීම මගින් ප්‍රාග්ධනය ලබා ගත යුතුයි. ලංවිම විසින් දැනටමත් විශාල ලෙස ණය අරගෙන තිබෙනවා. ඒ ණය වල පොලිය ලංවිම වියදම් වල සැලකිය යුතු කොටසක්. 

තෙවැන්නද මෙයටම සම්බන්ධ දෙයක්. මේ වෙලාවේ ලංවිමට විදේශ විණිමය මිල දී ගැනීමට බාධා ඇති බව ඇත්ත. එහෙත්, යම් හෙයකින් ඒ සඳහා ඉඩ දුන්නත් විදේශ විණිමය මිල දී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් ලංවිම සතුව නැහැ. මෙයද ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, ඉහත තෙවන හා සිවුවන කරුණු ලංවිම පාඩු ලැබීමට හේතු නොව ලංවිම දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයි.

කෙසේ වුවත්, අවශ්‍ය පරිදි මිල වැඩි කරන්නට ඉඩ ලැබුනේනම් ලංවිමට ලාබ ලබන්නට හැකිව තිබුණේය යන්න අපට බැහැර කරන්න බැහැ. එසේ වුනානම්, ඉහත තෙවන හා සිදුවන ප්‍රශ්න මතු වන්නේද නැහැ. 

එහෙමනම්, ලංවිමට අවශ්‍ය පරිදි මිල වැඩි කර පාඩු පියවා ගැනීමට ඉඩ හැරිය යුතුද? 

මෙවැන්නක් කළ යුතුයැයි මා හිතන්නේ නැහැ. එවැන්නකට ඉඩ දුන්නොත් අවසාන වශයෙන් සිදුවන්නේ ලංවිම අකාර්යක්ෂමතා වෙනුවෙන් පාරිභෝගිකයින්ට වන්දි ගෙවන්නට සිදු වන එකයි. 

මේ ආකාරයෙන් "ලංවිම අකාර්යක්ෂමතා" ගැන කතා කළ හැකි පදනම කුමක්ද? මෙය ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. ලංවිම පාඩු එහි අකාර්යක්ෂමතාවයන්හි ප්‍රතිඵලයක් ලෙස සරල නිගමනයකට එන්න බැහැ. ප්‍රතිපාක්ෂිකයෙකුට මෙවැනි තර්කයක් බිඳ හෙළන එක ඉතාම පහසුයි. 

අපි හිතමු ලංකාවේ විදුලිබල කර්මාන්තයේ වත්මන් ආකෘතිය එලෙසම තිබියදී ලංවිම කිසියම් පෞද්ගලික ආයතනයකට විකුණා දැමුවා කියලා. බොහෝ විට එම ආයතනය විසින් ඉතා ඉක්මණින්ම සේවක කප්පාදුවක් කරයි. අඩු සේවක පිරිසක් යොදවාගෙන ඔය වැඩ ටිකම කර ගනියි. යම් ආයෝජන සිදු කර විදුලිබල පද්ධතියේ කාර්යක්ෂමතාවය තවත් වැඩි කර ගනියි. ඔය දේවල් කරලා දැන් තිබෙන පාඩුව ලාබයකට හරවයි.

ඔය ඔක්කොම කළා කියමුකෝ. ඊට පස්සේ රජය විසින් සැලකිය යුතු ලෙස මිල අඩු කළොත් මොකද වෙන්නේ? දැන් අර පෞද්ගලික සමාගමටත් පාඩු වාර්තා කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් තිබෙන ආකෘතිය ඇතුළේ ලංවිම පාඩු සහ එහි අකාර්යක්ෂමතාවයන් අතර තිබෙන්නේ දුර්වල සහසම්බන්ධයක්. 

ඒකාධිකාරී ආකෘතියක් පවතින තුරු කිසියම් කර්මාන්තයක අකාර්යක්ෂමතා ඇස්තමේන්තු කර පෙන්වා හැකි නිශ්චිත නිර්ණායකයක් (benchmark එකක්) නැහැ. අකාර්යක්ෂමතා තිබෙන බව පැහැදිලි ප්‍රායෝගික සත්‍යයක් වුවත්, හැම විටම කෙනෙකුට එය එසේ නොවන බවට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. 

ලංවිම පෞද්ගලීකරණය කළ යුතුයි කියා මම හිතනවා. එහෙත්, මම එයින් අදහස් කරන්නේ දැන් තිබෙන ලංවිම ගෙඩිය පිටින්ම කිසියම් විදේශ සමාගමකට විකුණා දැමීම වැනි දෙයක් ගැන නෙමෙයි. ලංකාවේ විදුලිබල කර්මාන්තයේ කාර්යක්ෂමතාවය ක්‍රමිකව ඉහළ නැංවෙන පරිදි අනුක්‍රමයෙන් සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ මාලාවක් ගැන. ඒ හරහා කර්මාන්තය තුළ දැනට පවතින රාජ්‍ය ඒකාධිකාරය නැති කිරීමක් ගැන. කාර්යක්ෂමතාව පිළිබඳ නිර්ණායක පැහැදිලිව ඇහැට පෙනෙන තරඟකාරීත්වයක් කර්මාන්තය ඇතුළට ගෙන ඒමක් ගැන. කර්මාන්තයේ නිරත සේවකයින්ට, ආයෝජකයින්ට වගේම පාරිභෝගිකයින්ටත් "අවශ්‍ය පමණ" වාසි සැලසෙන ක්‍රමයක් ගැන. 

මේ දේවල් ගැන අපි ලිපි මාලාවේ ඉදිරි කොටස් වලින් කියවමු. එහෙත්, ලංවිම අකාර්යක්ෂමතා කොපමණ තිබුණේ වුවත්, ඒ අකාර්යක්ෂමතා ඉවත් කළ යුතු වුවත්, මේ වෙලාවේ ක්ෂණිකව කළ යුතු දෙය මිල වැඩි කිරීම බව නොපැකිළ කිව හැකියි. මා එසේ කියන්නේ පැහැදිලි හේතු ඇතිවයි. 

පහත රූප සටහනේ පෙන්වා ඇති පරිදි, 2014 සිට විදුලි ඒකකයක මිල වැඩි වී නැතුවාක් මෙන්ම අද මිල 2014ට පෙර පැවති මිලට වඩා අඩු මිලක්. විදුලි ඒකකයක මිල අඩු වශයෙන් 2011 පමණ කාලයේ පැවති මට්ටමේ තිබුණානම් ලංවිම මෙතරම් පාඩු ලබන්නේ නැහැ. උදාහරණයක් ලෙස 2012දී මුල් විදුලි ඒකක වෙනුවෙන් ගෙවන්නට වූ මිල ඉන් පසු (මේ මාසයේ මිල වැඩිවීමට පෙර) පැවති මිලට වඩා 50%කින් වැඩි මිලක්. 

මේ කාලය තුළ සේවක වියදම් ඕනෑවට වඩා ඉහළ ගොස් තිබෙනවා වෙන්න පුළුවන්. එහෙත් කාලයත් එක්ක සේවක වියදම් යම් පමණකින් වැඩි වීම සාමාන්‍ය දෙයක්. ඉන්ධන මිල ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය මිල ඉහළ යාමද සාමාන්‍ය දෙයක්. ඊට අනුරූප ලෙස මිල වැඩි නොවන්නේනම් ආයතනයකට පාඩු ලබන්නට වන බවද පැහැදිලි කරුණක්.

විදුලි ගාස්තු ඉහළ දමා ඇති නිසා දැන් ලංවිමට පාඩු පියවා ගන්නට අවස්ථාවක් ලැබී තිබෙනවා. එය හොඳ දෙයක්. එහෙත්, ඒ හරහා ලංවිමට වඩා අකාර්යක්ෂම වීමට උදවු කිරීමක්ද සිදු වෙනවා. කර්මාන්තයේ අකාර්යක්ෂමතා ඉවත් කිරීම පියවරෙන් පියවර කළ යුතු දෙයක්. 


Friday, August 26, 2022

අනවශ්‍ය භාණ්ඩ මොනවාද?



පහත තියෙන්නේ මේ දවස් වල වත්පොතේ සංසරණය වන ප්‍රචාරක පුවරු (meme) දෙකක්. සමහර අයගේ බිත්ති වල ඔය දෙකම තියෙනවා. 

පළමුවැන්න හිරු ප්‍රවෘත්ති වලින් ගත්ත එකක්. මේ ගැනම 2022 අගෝස්තු 20 දින පළව ඇති ලංකාදීප පුවතකත් තිබෙනවා. 

"රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත් 2020 වර්ෂයේදී විවිධ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ (තොරම්බල් බඩු) ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 63477ක පමණක් මුදලක් වැය කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය කළ අධ්‍යයනයකදී තොරතුරු හෙළිවූ බව එහි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මෙම භාණ්ඩවලින් වැඩි හරියක් අත්‍යවශ්‍ය නොවන සහ මෙරටදී නිෂ්පාදනය කළ හැකි ඒවා බව පැවසූ මහාචාර්යවරයා මෙම අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වැයවූ මුදලින් තෙල් නැව් 100 කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්වීමට හැකියාව තිබූ බවද ප්‍රකාශ කළේය."

කරුණු විකෘති කර වාර්තා කර නැත්නම්, මේක ඉතාම වැදගත් අධ්‍යයනයක්. දත්ත සංචිතයකින් ඔය වගේ සංඛ්‍යාලේඛණ ටිකක් ඇදලා ගන්න එකනම් සරල වැඩක්. අපෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවහම අපි ප්‍රතිචාරයක් දමන්නේත් ඔය වගේ දත්ත දිහා බලලා. ඒ වැඩේට විනාඩි කිහිපයකට වඩා යන්නේ නැහැ. ලොකු පුහුණුවක් අවශ්‍යත් නැහැ. නමුත්, පැන්සල්, පෑන්, මකන, තීන්ත, රිබන්, ඔලුව පීරන පනා, කොහු, ඉදල්, වතුර බෝතල්, සපත්තු, කුඩ, හිස් වැසුම්, සබන් ඇතුළු පවිත්‍රකාරක ද්‍රව්‍ය, සුවඳ විලවුන්, ක්‍රීම්වර්ග වගේ දේවල් ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය දේවල් කියලා හොයා ගන්න එක ඊට වඩා ගොඩක් අමාරු, සංකීර්ණ වැඩක්. 

ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මැදි වී ඉන්න වෙලාවක රටේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක් විසින් මෙවැනි වටිනා අධ්‍යයනයක් කිරීම අගය කළ යුතු දෙයක්. ඒ වෙනුවෙන් විශාල කාලයක් හා මුදලක් වැය කළා විය යුතුයි. මම හිතන්නේ මේ වැඩේ කරන්න ඇත්තේ විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් අයත් වන නියැදියක් තෝරා ගෙන කරපු සමීක්ෂණයකින් විය යුතුයි. ලැයිස්තුවේ තියෙන දේවල් අනවශ්‍ය දේවල් බව ඒ ගොඩක් අය කියන්න ඇති. එහෙම නැත්නම් ඔය වගේ නිගමනයකට එන්න අමාරුයිනේ. අවාසනාවට අදාළ අධ්‍යයනය මගින් ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව සොයාගත් ක්‍රමවේදය ගැන ලංකාදීප වාර්තාවේ නැහැ. ඒ ගැන දැනගන්න පර්යේෂණ පත්‍රිකාව කොහේ හෝ පළ වෙනකම් ඉන්න වෙනවා. 

අදාළ පර්යේෂණ වාර්තාව මට කියවන්න නොලැබුනත් ආණ්ඩුවට සම්බන්ධ කවුරු හෝ කෙනෙක් හෝ පිරිසක් විසින් කියවා තිබෙන බව පේනවා. එහෙම නැත්නම් එවැනි වෙනත් අධ්‍යයනයක් කරලා හෝ පරිශීලනය කරලා තිබෙනවා. ඒ අනුව, තවත් ආනයනික භාණ්ඩ 300ක් රටට ආනයනය කරන එක තහනම් කරලා. අදාළ පර්යේෂණ මගින් කරපු සොයාගැනීම් නිවැරදිනම් එහෙම කරපු එකේ වරදක් නැහැ.

හැබැයි දෙවන ප්‍රචාරක පුවරුවේ තියෙන්නේනම් වෙන කතාවක්. ඒ අනුව, "රජයට අත්‍යාවශ්‍ය නොවන මිනිසුන්ට අත්‍යාවශ්‍ය වන භාණ්ඩ 300ක්" තහනම් කරලා. ඒ කියන්නේ, පේරාදෙණියෙන් කරපු අධ්‍යයනය වැරදිද?

ඔය ලැයිස්තුව මමත් දැක්කා. මුල සිට අගටම කියෙවුවේනම් නැහැ. ඔය ලැයිස්තුවේ තිබෙන ගොඩක් දේවල් මටනම් පෞද්ගලිකව අත්‍යාවශ්‍යම දේවල්. එක උදාහරණයක් ටූත් ෆ්ලොස්. සාමාන්‍යයෙන් මම ලංකාවට එනකොට අනිවාර්යයෙන්ම වගේ ඇති වෙන්න ටූත් ෆ්ලොස් අරගෙන එනවා. ඒ වගේ තවත් දේවල් ගණනාවක් තිබෙනවා. නමුත් මේ ගොඩක් දේවල් ශ්‍රී ලාංකිකයින් බහුතරයකට අනවශ්‍ය දේවල් වෙන්න ඇති. ඕනෑම සංකීර්ණ ගණනක් මනෝමයෙන් හදන්න පුළුවන්නම්  කැල්කියුලේටර මොකටද?

කොහොම වුනත්, අර පේරාදෙණියේ අධ්‍යයනයෙන් හොයා ගත් ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය තොරොම්බල් බඩු ඇත්තටම ශ්‍රී ලාංකිකයින්ට අනවශ්‍ය බඩුනම් 2020දී ආනයනය කරපු බඩු තවමත් නොවිකිණී තිබිය යුතුයි. "රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත්" කියා කිවුවට එහෙම එකක් ගැන 2020දී ලොකු කතාබහක් තිබුණේ නැහැනේ. ආණ්ඩුව, මහ බැංකුව ඇතුළු ගොඩක් පාර්ශ්ව විසින් කිවුවේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලයි. ඒ නිසා, ඔය අනවශ්‍ය බඩු ගෙන්වීම ගැන ආනයනකරුවන්ට චෝදනා කරන්න බැහැ. 

කියන කතාව ඇත්තනම් ඔය බඩු ගෙන්වපු ආනයනකරුවෝ ලොකු අමාරුවක වැටෙන්න ඇති. අනවශ්‍ය බඩු ගෙන්වලා විකුණන්නේ කොහොමද? විකුණුනේ නැති නිසා ඔය ගෙන්වපු බඩු තවමත් රට ඇතුළේ ඇති. ඒ නිසා, තව තවත් ඔය බඩුම ගෙන්වන එකේ කිසිම තේරුමක් නැහැ. අනෙක් අතට ඔය අනවශ්‍ය බඩු ගේන එක තහනම් කළා කියලා කිසිම බලපෑමක් වෙන එකකුත් නැහැ. ගෙනාපු බඩුත් විකුණාගන්න බැරිනම් කොහොමටත් කවුරුවත් ඔය දේවල් දැනටම වුනත් ගේන්නේ නැතුව ඇති. කවුරු වුනත් ව්‍යාපාරයක් කරන්නේ ලාබයක් ගන්නනේ. 

පේරාදෙණියේ පර්යේෂකයින් විසින් සමීක්ෂණයක් කර හෝ වෙන ක්‍රමයකින් හොයාගෙන තිබුණත්, අනවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් හදන එක ඉතාම අසීරු, සංකීර්ණ වැඩක්. මොකද එක් අයෙකුට අනවශ්‍ය දෙයක් තවත් අයෙකුට අත්‍යවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒකෙම අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. මම එක පාරක් ලංකාවට එද්දී බැටරි වලින් ක්‍රියා කරන විදුලි දත් බුරුසු ටිකක් ගෙනත් අසල්වැසියන්ට හා ඥාතීන්ට බෙදා දුන්නා. මොනවා හෝ පොඩි දෙයක් බලාපොරොත්තුවෙන් එන එය ඉන්නවනේ. පස්සෙයි දන්නේ ඒ එක් අයෙකුගේ කටේ එක දතක්වත් නැති බව!

කොයි තරම් හොඳ සැලසුම්කරුවෙකුට වුනත් මිනිසුන්ට අත්‍යාවශ්‍ය දේවල් හා අනවශ්‍ය දේවල් කියලා පාරිභෝගික භාණ්ඩ වර්ග කරන්න අමාරුයි. නමුත්, වෙළඳපොළ විසින් මේ වැඩේ ඉතාම සාර්ථක ලෙස කරනවා. විශේෂයෙන්ම උද්ධමනය ඉහළ මට්ටමක තිබෙන වෙලාවක ඕනෑම කෙනෙකුට තමන්ගේ අතේ තිබෙන සල්ලි වලින් කලින් මිල දී ගත් හැම දෙයක්ම මිල දී ගන්න බැරි වෙනවා. ඒ නිසා, ඕනෑම කෙනෙක් තමන්ට අත්‍යාවශ්‍ය දේවල් පමණක් මිල දී ගන්න පෙළඹෙනවා. හැබැයි ඒ අත්‍යාවශ්‍ය දේවල් එක් එක් පුද්ගලයාට සාපේක්ෂයි.

මේ විදිහට ගොඩක් අය තමන්ගේ මිල දී ගැනීම් තමන්ට අත්‍යාවශ්‍ය දේවල් වලට සීමා කරද්දී, අනවශ්‍ය කෙසේ වුවත්, අඩුවෙන් අවශ්‍ය දේවල් විකිණෙන එක අඩු වෙනවා. අනවශ්‍ය දේවල්නම් ඉතිං කොහොමටත් විකිණෙන්න විදිහක් නැහැනේ.  

මේ වගේ වෙලාවක ලංකාවේ මිනිස්සු කොහොමටත් තමන්ට අඩුවෙන් අවශ්‍ය දේවල් මිල දී ගැනීම සීමා කරන නිසා එවැනි දේවල් ආනයනය කිරීම තහනම් නොකළත් ආනයන ඉල්ලුම විශාල ලෙස අඩු වෙනවා. ඒ වගේම, තමන්ට අවශ්‍යම දේවල් වලට පමණක් පරිභෝජනය සීමා කරන්න කියලා කවුරුත් නොකිවුවත් ඒ වැඩේ නිකම්ම වෙනවා. හැබැයි කිසිම දෙයක් සඳහා ඉල්ලුම නැත්තටම නැති නොවෙන්න පුළුවන්. මොකද රටේ විශාල පිරිසකට එතරම් අවශ්‍ය නොවන දෙයක් සුළු පිරිසකට අත්‍යාවශ්‍ය දෙයක් වෙන්න පුලුවන්. ඒ වගේ දෙයක් ආනයනය තහනම් කරනවා කියන්නේ බහුතරයේ රුචිකත්වය මත පදනම්ව සුළුතරයකට වෙනස් ලෙස සැලකීමක්. 

කොහොම වුනත්, මේ වන විට රජයේ වගේම මහ බැංකුවේත් ප්‍රතිපත්තිය වී තිබෙන්නේ තීරණ ගන්නා අයගේ රුචිකත්වය මත හෝ වෙනත් ක්‍රමයකට රටේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් හා අනවශ්‍ය දේවල් වෙන් කර අනවශ්‍ය සේ හඳුනා ගන්නා දේවල් ආනයනය වැළැක්වීමයි. ඊට හේතුව, වෙළඳපොළට ප්‍රශ්නය විසඳන්නට ඉඩ දීම දේශපාලනික ලෙස ශක්‍ය නොවීමයි.

විණිමය අනුපාතය පාලනය කරමින් වුවත්, ඉතිරි ප්‍රශ්න විසඳන එක වෙළඳපොළට ඉඩ දුන්නොත් ඔය හැම දෙයක්ම සමතුලිත වෙනවා. හැබැයි එහිදී සමාජයේ පහළ ස්ථර මත වැඩි බරක් පැටවෙන එක නොවැලැක්විය හැකියි. ඒ හේතුව මත මේ වෙලාවේ ආණ්ඩුව විසින් සමාජවාදී ක්‍රමය තෝරාගෙන තිබෙනවා. 

වෙළඳපොළට ඉඩ දෙනවානම් කීයට ගියත්, මිල ඉහළ යාම භාර ගන්න වෙනවා. එයට කැමති නැත්නම් තෝරා ගන්න වෙන්නේ සමාජවාදී ක්‍රමයයි. ඒ ක්‍රමය තුළ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල් වෙන් කර හඳුනා ගන්නේ රජයයි. ක්‍රමය භාර ගන්නවානම් රජයේ තේරීම කට වහගෙන භාර ගන්න වෙනවා. රජයේ තේරීම බහුතර තේරීම නොවන විටක මිනිස්සුන්ගේ කට වහන්න අමාරුයි. නමුත්, රජය විසින් නියෝජනය කරන්නේ බහුතර රුචිකත්වයනම්, වෙනස් රුචිකත්වයන් ඇති සුළුතර කොටස් වලට ලොකු හානියක් වෙන එක නොවැලැක්විය හැකියි. 

Wednesday, August 24, 2022

මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක්!


විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 124,377ක් වුවත්, එම කාලය තුළ ඊට වඩා 57.5%ක වැය බරක් දරා තිබෙනවා.

මේ ආකාරයෙන් ගිණුම් වාර්තා වල දැකිය හැක්කේ ආයතනයක ගිණුම්කරණ අලාභයයි. ගිණුම්කරණ අලාභය ගණනය කිරීමේදී ගිණුම්කරණ සම්මත අනුගමනය කරනවා. එහෙත්, බොහෝ විට ගිණුම් වාර්තා වලින් ආර්ථික අලාභය හෙවත් සැබෑ අලාභය පිළිබිඹු වන්නේ නැහැ.

උදාහරණයක් ලෙස ලංවිම ගිණුම් සකස් කරද්දී ලංවිම විසින් මිල දී ගන්නා අලුත් වාහනයක වටිනාකම වසර හතක කාලයක් තුළ අනුක්‍රමික ලෙස ක්ෂය වී යන සේ උපකල්පනය කරනවා. මේ අනුව රුපියල් මිලියන 28කට මිල දී ගන්නා වාහනයක වටිනාකම වසරකට රුපියල් මිලියන 4 බැගින් අඩු වී ගොස් වසර හතකට පසු ශුන්‍ය වී යනවා. ඒ අනුව, දෙවසරකට පෙර රුපියල් මිලියන 28කට මිල දී ගත් ඩබල් කැබ් රථයක දැන් මිල රුපියල් මිලියන 20ක් පමණයි. එහෙත් අද එහි වටිනාකම ඊට වඩා වැඩි වී තිබිය හැකියි. ඒ අනුව, අද මෙම ඩබල් කැබ් රථය රුපියල් මිලියන 25කට විකිණුවොත්, එහි වෙළඳපොළ මිල රුපියල් මිලියන 30ක් වුවත්, එය සටහන් වන්නේ ලංවිම ලැබූ රුපියල් මිලියන 5ක ලාබයක් ලෙසයි. 

ආර්ථික ලාබ ගණනය කිරීමේදී ගිණුම්කරණ සම්මත අත හැර ආවස්ථික පිරිවැය සංකල්පය යොදා ගන්නවා. ඇතැම් විට ආවස්ථික පිරිවැය පිළිබිඹු වන පරිදි ගිණුම්කරණ සම්මතද වෙනස් වුවත් එය සිදු වන්නේ කාලයක් ගියාට පසුවයි. 

මේ වසරේ ජූනි 30 වන විට ලංවිම සතු වූ වත්කම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 1040.4ක්. එයින් රුපියල් බිලියන 852.9ක්ම ලංවීමට අයිති ජනන යන්ත්‍ර, සම්ප්‍රේෂණ උපකරණ හා අනෙකුත් සිවිල් ඉදි කිරීම් ආදියයි. මේ ඇස්තමේන්තුව සකස් කර තිබෙන්නේ ක්ෂය වීමේ පදනම මතයි. වෙළඳපොළ වටිනාකම අනුව බැලුවොත් මෙම වත්කම් වල වටිනාකම මීටත් වඩා වැඩි විය හැකියි. මම එය කරන්න යන්නේ නැහැ.

ලංවිම අයිතිය තිබෙන්නේ රජයටයි. ඒ අනුව, මෙයින් අදහස් වන්නේ ක්ෂය වීමේ පදනම මත බැලුවත්, රුපියල් බිලියන 1040.4ක මහජන ධනය ලංවිම තුළ ආයෝජනය කර ඇති බවයි. මේ වන විට ශ්‍රී ලංකා රජය දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගන්නේ 30%ක පමණ පොලියකටයි. ඒ කියන්නේ මාස 6ක කාලයක් රුපියල් බිලියන 1040.4ක් හිර කර තැබීමේ ආවස්ථික පිරිවැය රුපියල් බිලියන 156ක් පමණ වන බවයි. නමුත්, ගිණුම් වාර්තා අනුව අදාළ කාලය තුළ ලංවිම මූල්‍ය පිරිවැය රුපියල් බිලියන 10.7ක් පමණයි. ඒ අනුව, ඉතිරි රුපියල් බිලියන 145ක මුදල එකතු කළ වහාම බිලියන 77ක පාඩුව බිලියන 222ක් වෙනවා.

යම් හෙයකින් ලංකාවේ විදුලි බලය සැපැයීමේ ව්‍යාපාරය පෞද්ගලික අංශය විසින් කළේනම්, ඔවුන් ලාබ නොලබා එය කරන්නේ නැහැ. එසේ වූවානම් රජයට සැලකිය යුතු බදු ආදායමක් හිමි වෙනවා. මේ ව්‍යාපාරය රජය විසින් කිරීම නිසා එම බදු ආදායම මුළුමනින්ම අහිමි වී ගොස් තිබෙනවා. එයද ආවස්ථික පිරිවැයක්. ඉහත රුපියල් බිලියන 156ට අමතරව ලංවිම පාඩුවට එකතු විය යුතු මුදලක්. 

මීට අමතරව ලංකාවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයක් තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවක් තිබෙනවා. එවැනි ආයතන වල වියදම් වලින් සැලකිය යුතු කොටසක් යන්නේ විදුලිබල පාරිභෝගිකයින් වෙනුවෙන්. එම පිරිවැයද ආවරණය විය යුත්තේ විදුලිබලය විකුණා ලැබෙන මුදලිනුයි. එසේ නැත්නම් ඒ වෙනුවෙන් වෙනත් අයෙකුට ගෙවන්න වෙනවා. 

කාලයක සිටම ලංවිම පාඩු ලබනවා. අවසන් වරට ලාබ ලබා තිබෙන්නේ 2015දී. එහෙත් එම ලාබ වුවද ගිණුම්කරණ ලාබ මිසක් සැබෑ ආර්ථික ලාබ නෙමෙයි.

වැඩියෙන් ජල විදුලිය නිපදවන වසර වලදී ලංවිම පාඩු අඩු වෙනවා. ඇතැම් විට ලාබ ලබනවා. එහෙත්, මෙය රැවටිල්ලක් පමණයි. විදුලිය නිපදවීම සඳහා ලංවිම විසින් භාවිතා කරන ජලය වෙනුවෙන් ලංවිම මුදල් ගෙවන්නේ නැහැ. එහෙත්, එම ජලය රඳවා තබා ගන්නා ජලාශ නඩත්තුව සඳහා සැලකිය යුතු මුදලක් වැය වෙනවා. එහි පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් ජල විදුලිය නිපදවීමේ වියදමේම කොටසක් වුවත් එම වියදම් වැටෙන්නේ වෙනත් වැය ශීර්ෂයකටයි. 

ඒ වගේම, මෙම ජලාශ ඉදි කිරීම වෙනුවෙන් යට කළ ප්‍රාග්ධනයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ගත් ණය තවමත් ගෙවා නැහැ. ඒ ණයම බැලුවොත් ගෙවා ඇති. නමුත් ඒ විදිහට ණය ගෙවන්න ගත් ණය සහ පොලිය තවමත් එලෙසම තිබෙනවා. ජල විදුලිය නිපදවන එක ලංවිම විසින් ගණන් හදා පෙන්වන තරම් ලාබ නැහැ. පිරිවැය අඩුවෙන් පෙනෙන්නේ මුළු වියදමම ලංවිමට බැර වී නැති නිසයි.

ඔය සියල්ල එකතු කළොත් ලංවිම ඇත්ත අලාබය පෙනෙන අලාබයට වඩා ගොඩක් වැඩියි. මේ අලාබය "වින්දිතයින් නැති අපරාධයක්" නෙමෙයි. උද්ධමනය හරහා මේ බර රටේ සියල්ලන් වෙතම අසමානව බෙදී යනවා. මෙහිදී ශුද්ධ පිරිවැයක් දරන රටේ බොහෝ දෙනෙක් වින්දිතයින් වෙනවා. වෙනස ඔවුන් ඒ බව නොදන්නා එකයි. මෙහි වාසිය ලබන්නේ වැඩියෙන් විදුලිබලය පරිභෝජනය කරන අය ඇතුළු ටික දෙනෙක්. 

Tuesday, August 23, 2022

ශ්‍රමික ප්‍රේෂණ වැරදිනම් ඩොලර් ආවේ කොහෙන්ද?

මහ බැංකු අධිපතිවරයා විසින් බෝම්බයක් අත ඇරලා තිබෙනවා. මහ බැංකුව විසින්ම නියමාකාරයෙන් නිෂ්ක්‍රීය කළේ නැත්නම් මේ බෝම්බයෙන් තුවාල වෙන්නේ මහ බැංකුවටමයි. මම හිතන්නේ දැනටමත් ටිකක් තුවාල වෙලා.

මුදල් ප්‍රතිපත්ති තීරණ දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රමික ප්‍රේෂණ ගැන මහ බැංකු අධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු වෙනවා. එයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා විසින් කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ විදිහට මහ බැංකුව විසින් කාලයක් තිස්සේ ඉදිරිපත් කළ ගණන් හිලවු නිවැරදි නැති බවයි. ඒ අනුව, ඇත්තටම ශ්‍රමික ප්‍රේෂණ වල අඩුවීමක් සිදු වී නැති බව ඔහු කියනවා. සිදු වී තිබෙන්නේ සංඛ්‍යාලේඛණ වඩා නිවැරදි වීමක්. 

මේ ප්‍රකාශය කරන අවස්ථාවේ වැදගත්කමත්, වත්මන් මහ බැංකු අධිපතිවරයාට ලංකාවේ විදේශ අංශය ගැන තිබෙන පළපුරුද්දත් සැලකූ විට මේ කියන කතාව නොසලකා හැරිය හැකි ප්‍රකාශයක් නෙමෙයි. මෙහෙම කතාවක් එළියට දැම්මේ හොඳින් හිතාමතා විය යුතුයි. ඒ පදනම මත, අදාළ ප්‍රකාශය හේතුවෙන් බොහෝ දෙනෙකුට මතු වී තිබෙන අතුරු ප්‍රශ්න වලට මහ බැංකුව පැත්තෙන් ඉතා ඉක්මණින් පිළිතුරු ලැබෙයි කියා හිතනවා.

ශ්‍රී ලංකාව මහ බැංකුව විසින් පමණක් නොව ලංකාවේ හා ලෝකයේ වෙනත් එවැනි ආයතන විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ බොහොමයක් පරම සත්‍යයන් නෙමෙයි. ඇතැම් සංඛ්‍යාලේඛණ වඩා නිවැරදියි. ඇතැම් ඒවා දළ ඇස්තමේන්තු. සංඛ්‍යාලේඛණ පිළියෙළ කිරීමේදී කරන උපකල්පන මතත් සංඛ්‍යාලේඛණ වෙනස් වෙනවා.

මෙය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාස්පතා ඉදිරිපත් කරන සංචාරක ඉපැයීම් පිළිබඳ ඇස්තමේන්තු යොදා ගන්න පුළුවන්. මේ ඇස්තමේන්තු වල නිරවද්‍යතාවය ඉතාම අඩුයි. ඇස්තමේන්තු හදන විදිහ පැහැදිලි කළාට පස්සේ ඒ ඇයි කියන එක ගොඩක් අයට තේරෙයි.

මේ ඇස්තමේන්තුව හදන්නේ මෙහෙමයි. පළමුව එක් එක් මාසය තුළ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය හොයා ගන්නවා. ඊට පස්සේ සංචාරකයෙකු දවසකට වියදම් කරන සාමාන්‍ය ඩොලර් ප්‍රමාණය සංචාරකයෙකු ලංකාවේ ගත කරන සාමාන්‍ය දින ගණනෙන් වැඩි කර එක් සංචාරකයෙකු විසින් වියදම් කරන ඩොලර් ප්‍රමාණය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඔය ගණන් දෙක වැඩි කළාම සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් වලින් ඇස්තමේන්තු කළ හැකියි. අන්තිමට අදාළ මාසයේ පැවති නිල විණිමය අනුපාතය අරගෙන ඔය ගණන රුපියල් කළ හැකියි. ඒ කියන්නේ මේ වගේ වැඩක්.

සංචාරක ඉපැයීම් = සංචාරකයින් ගණන * දිනකට වැය කරන ඩොලර් ගණන * ගත කරන දින ගණන * ඩොලරයක මිල 

පළමුව හොයා ගන්න තියෙන්නේ රටට පැමිණි සංචාරකයින් ගණනනේ. රටට එන සෑම විදේශ පුරවැසියෙකු හා ද්විත්ව පුරවැසියෙකු විසින්ම රටට ඇතුළු වීමේදී කාඩ් එකක් පිරවිය යුතුයි. එහි රටට පැමිණීමට හේතුව සලකුණු කරන්න තිබෙනවා. ඔය තොරතුරු ආගමන පාලන නිලධාරීන් විසින් පරිගණකයට ඇතුළු කරන නිසා "Holiday" සඳහා ලංකාවට එන ගණන ලේසියෙන්ම ගණන් කර ගන්න පුළුවන්. විදේශ පුරවැසිභාවය ලබා නැති ස්ථිර පදිංචිකරුවන් මේ ඇස්තමේන්තුවට අහු වෙන්නේ නැහැ. කොහොම වුනත්, ඔය ඇස්තමේන්තුවේ ලොකු වැරැද්දක් නැහැ.

ලොකු ඇස්තමේන්තු වරදක් සිදු වෙන්නේ සංචාරකයෙකු විසින් දිනකට වැය කරන ඩොලර් ගණන හා ගත කරන දින ගණන හොයා ගන්න යද්දී. මේ ගණන් ඇස්තමේන්තු කරන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් වසරකට වරක් කරන සමීක්ෂණයකින්. සාමාන්‍යයෙන් රටින් පිටවන සංචාරකයින් 5000කගේ පමණ නියැදියක් මේ සඳහා යොදා ගන්නවා. මහ බැංකුව විසින් කරන්නේ ඒ සමීක්ෂණය මගින් හොයා ගන්නා සාමාන්‍ය අගයයන් සියලුම සංචාරකයින් සඳහා යොදා ගැනීමයි.

උදාහරණයක් විදිහට පසුගිය ජූලි මාසයේදී සංචාරකයින් 47,293 දෙනෙක් රටට ඇවිත් තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් කර තිබෙන අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව එක් සංචාරකයෙකු දින 10.23ක් රටේ ගත කරන අතර දිනකට ඩොලර් 175.8ක් වියදම් කරනවා. ඒ කියන්නේ ඩොලර් 1798.43ක්. මේ අනුව, සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 85.1ක් ලෙස ඇස්තමේන්තු කරලා පසුව එම මුදල රුපියල් වලට හරවන එක තමයි වෙන්නේ. 

මේ ක්‍රමයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය සමීක්ෂණය සඳහා යොදා ගන්නා නියැදිය රටට එන සංචාරකයින්ව නිවැරදිව නිරූපණය කරන බවට සහතිකයක් නැති වීමයි. එය එසේ නොවන බව පැහැදිලිව පේනවා. මේ වගේ ප්‍රශ්නයක් සංඛ්‍යානමය ක්‍රම මගින් නිවැරදි කර ගත හැකියි. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ කලින් කී ඇස්තමේන්තුවේ තිබෙන එක් සංචාරකයෙකුගේ සාමාන්‍ය වියදම් කිරීම් වල තිබෙන වැරැද්දක් නිසා සංචාරක ඉපැයීම් ඇස්තමේන්තු ඩොලර් බිලියන ගණනකින් එහා මෙහා වෙන්න පුළුවන් වීමයි. 

උදාහරණයක් විදිහට 2021 සමීක්ෂණය අනුව එක් සංචාරකයෙකු දින 15.1ක් රටේ නැවතී සිට දිනකට ඩොලර් 215.8ක් වැය කරනවා. ඒ කියන්නේ ඩොලර් 3258.58ක්. 2022දී මේ ගණන 45%කින්ම අඩු වෙලා. සංචාරකයින් මිලියනයක් රටට ආවානම් ඩොලර් බිලියන 1.46කින් සංචාරක ඉපැයීම් ඇස්තමේන්තුව අඩු වෙලා. 

වඩා නිවැරදි හෝ අලුත් තොරතුරු ලැබුණු විට කලින් හදපු ඇස්තමේන්තු වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. එහි කිසිම වංචාවක් නැහැ. වංචාවක් වෙන්නේ ඒ වගේ වෙලාවක ඇස්තමේන්තු වෙනස් නොකර හිටියොත්. ඊටත් වඩා වංචාවක් වෙන්නේ ඇස්තමේන්තු වෙනස් කරන එක වාසිදායක වෙලාවට පමණක් කරලා අවාසිදායක වෙලාවට නොකර හිටියොත්. 

මහ බැංකු අධිපතිවරයා කියන විදිහට ශ්‍රමික ප්‍රේෂණ ඇස්තමේන්තු වැරදිලා තියෙන්නේ ඇතැම් වාණිජ බැංකු විසින් ලබා දී තිබෙන දත්ත වැරදි නිසා. ඒ බැංකු විසින් කාලයක් තිස්සේ අපනයන වෙනුවෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණත් ශ්‍රමික ප්‍රේෂණ විදිහට වාර්තා කරලා. මෙය නොසැලකිල්ල නිසා සිදු වූ දෙයක් වෙන්න පුළුවන්. මහ බැංකුව දත්ත ඉල්ලුවහම ලේසියෙන් පිළියෙල කළ හැකි දත්ත මොනවා හෝ දීලා වැඩේ ගොඩ දා ගත්තා වෙන්න පුළුවන්. වැඩේ ගැස්සිලා තියෙන්නේ ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් කොටසක් මහ බැංකුවට දෙන්න කියා නියෝග කළාට පස්සේ. මම මේ කියන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් කියන කතාව.

මේ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. එහෙමනම් මෙතෙක් ශ්‍රමික ප්‍රේෂණ කියා කියපු ගණන් ඇත්තටම රටට ඇවිත් නැහැ. මහ බැංකු වාර්තා වල විතරක් නෙමෙයි මහ බැංකුවෙන් අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් කාලයක් තිස්සේ ප්‍රසිද්ධ කරලා තිබෙන සංඛ්‍යාලේඛණත් වැරදියි. මොන විදිහකින් හෝ වැරැද්දක් වෙලානම්, දැන් වැරැද්ද අහුවෙලත් තියෙනවානම්, කරන්න තියෙන්නේ දැන්වත් වැරැද්ද හදන එකයි.

හැබැයි මේ කතාවත් එක්ක අතුරු ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. විශේෂයෙන්ම 2004-2014 අතර කාලයේ ශ්‍රමික ප්‍රේෂණ ඉතා සීග්‍රයෙන් ඉහළ ගියා. ඩොලර් බිලියන 1.5 මට්ටමේ තිබුණු ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 7 පහු කළා. දැන් ඔය කියන විදිහට ඇත්තටම රටට ඇවිත් තියෙන්නේ ඔය ගණනින් බාගයක් පමණයි. නමුත්, ශ්‍රමික ප්‍රේෂණ විදිහට රටට ආවේ නැත්නම් ඔය ඉතුරු ඩොලර් ප්‍රමාණය රටට ආපු විදිහකුත් තියෙන්න ඕනෑනේ. අවුරුද්දකට ඩොලර් බිලියන 3.5 පමණ බැගින් අවුරුදු 10ක් ගණන් හැදුවොත් ඩොලර් බිලියන 35ක්!

සමහර අය ගණන් හදලා රටෙන් පන්නපු ඩොලර් ප්‍රමාණ ගැන කියනවා. දැන් මේ කියන කතාව ඇත්තනම් ඩොලර් බිලියන 35ක් හෝ වැඩි ගණනක් රට ඇතුළට හොරෙන් පන්නලා තියෙනවා. ඒ මොනවාද? කළු සල්ලිද?

මම දන්නා තරමින් ආනයන, අපනයන ආදිය පිළිබඳ සංඛ්‍යාලේඛණ ලබා ගන්නේ රේගුවෙන්. ඒ ගණන් වල ලොකු වැරැද්දක් තියෙන්න විදිහක් නැහැ. රජයට ලැබෙන ණය, ආයෝජන, සෘජු විදේශ ආයෝජන, කොටස් වෙළඳපොළ ආයෝජන වගේ දේවලුත් හරියටම වගේ දන්නවා. ගෙවුම් ශේෂ ගිණුම් ඇතුළේ ලොකු ඇස්තමේන්තු වරදක් තියෙනවානම් තියෙන්න පුළුවන් සංචාරක ඉපැයීම් වල පමණයි. නමුත් සංචාරක ඉපැයීම් දැනට තිබෙන ඇස්තමේන්තු වලට වඩා බිලියන තුන හතරක් වැඩි වෙන්න පුළුවන්ද? පැහැදිලි කරන එක මහ බැංකුවේ වැඩක්. 

Saturday, August 20, 2022

ඩොලර් බිලියන 55කට වෙච්ච දෙයක් නැද්ද?


පසුගිය 2021 වසර අවසාන වෙන විට ලංකාවේ මුළු විදේශ මූල්‍ය බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 64,498ක්. නමුත්, ලංකාවේ මුළු විදේශ මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 8,758ක් පමණයි. ඒ කියන්නේ, හිඟය ඩොලර් මිලියන 55,740ක්. ඔය ගණන රුපියල් කළොත් රුපියල් බිලියන 11,172ක හිඟයක්. 

දැන් මේ හිඟ වෙලා තියෙන ඩොලර් බිලියන 56 එහෙමත් නැත්නම් රුපියල් ට්‍රිලියන 11 වෙච්ච දෙයක් නැති මුදලක්ද?

සමහර අයට අනුව මේ සල්ලි දේශපාලනඥයින් විසින් රටින් පන්නලා. තවත් අයට අනුව ව්‍යාපාරිකයින් විසින් රටින් පන්නලා. ඔය කතා දෙකම වෙනුවට කියන තුන් වන කතාවකට අනුව රටේ ජනතාව විසින් පරිභෝජනය කරලා නාස්ති කරලා. ඔය කොයි කතාව අනුව බැලුවත් බැරකම් වලට ගැලපෙන වත්කම් දැන් රටේ නැහැ.

කතාවේ එක් කොටසක් ඇත්ත. ලංකාවේ විදේශ මූල්‍ය බැරකම් ප්‍රමාණය හා සම හෝ ඊට කිට්ටුවෙන්වත් යන විදේශ මූල්‍ය වත්කම් ලංකාවේ නැහැ. රට මේ තරම් අවුලක වැටිලා තියෙන්නේ ඒ නිසානේ. හැබැයි නැත්තේ විදේශ වත්කම්. විදේශ වත්කම් නැහැ කියා කියන්නේ වත්කම් නැහැ කියන එක නෙමෙයි. 

දේශපාලනඥයින් විසින් හෝ ව්‍යාපාරිකයින් විසින් රටින් සල්ලි පන්නලානම් එයින් අදහස් වෙන්නේ ඇත්තටම විදේශ මූල්‍ය වත්කම් තියෙනවා කියන එකයි. ඒ කියන්නේ ප්‍රශ්නය තියෙන්නේ සංඛ්‍යාලේඛණ වල පමණයි. ඒ වගේම මේ අයට රටින් සල්ලි පන්නන්න හේතු වූ තත්ත්වයන් තීරණාත්මක ලෙස වෙනස් වුනොත් ඔය සල්ලි නැවත රටට එනවා කියන එකයි. 

ඒ කතාව අපි පැත්තකින් තියමු. මොකද මේ විදිහේ සල්ලි පැන්නීම් සිදු වී තිබෙනවා විය හැකි වුවත් ඒ ගැන කතා කරන්න සංඛ්‍යාලේඛණ නැහැනේ. නමුත්, "පරිභෝජනය කරලා නාස්ති කරලා" කියන කතාව සංඛ්‍යාලේඛණ වලින් තහවුරු කළ හැකි දෙයක්. මෙතැනදී කියන්නේ උපයන ඩොලර් ප්‍රමාණය ඉක්මවා ආනයන ආදිය වෙනුවෙන් ඩොලර් වැය කිරීම ගැනයි.

ණය අරගෙන "පරිභෝජනය කරලා නාස්ති කරන එක" හැම කාලයකම සිදු වූ දෙයක් නොවුනත්, බොහෝ කාල වකවානු වල සිදු වී තිබෙන දෙයක්. අපි 2020 හා 2021 අවුරුදු දෙක අරගෙන බලමු.

ඉහත වසර දෙක තුළ විදේශ මූල්‍ය වත්කම් ප්‍රමාණයේ අඩුවීමක් පැහැදිලි ලෙස පේනවා. 2019 අවසාන වන විට රටේ විදේශ මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 12,985ක්. වසර දෙකකට පසුව මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 8,758ට බහිනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 4,228ක අඩු වීමක්.

මේ විදිහට වත්කම් අඩු වුනේ ණය ගෙවපු නිසාද? 2019 අවසාන වන විට රටේ විදේශ මූල්‍ය බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 64,148ක්. දෙවසරකට පසුව මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 350කින් ඉහළ යනවා. ඊට අමතරව තවත් දෙයක් වෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර වල වෙළඳපොළ අගය 45%කින් පමණ අඩු වෙනවා. මේ නිසා, ඩොලර් මිලියන 5,224කින් බැරකම් ප්‍රමාණය පහළ යනවා. ඒ කියන්නේ එසේ නොවුනනම් බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 5,574කින් ඉහළ ගිහින්මේ.  වත්කම් අඩු වීම හා බැරකම් ඉහළ යාම එකතු කළාම ඩොලර් මිලියන 9,802ක අඩුවක් තිබෙනවා. 

කෙසේ වුවත්, මේ මුළු අඩුවීමටම හේතුව අදාළ දෙවසර තුළ "පරිභෝජනය කරලා නාස්ති කරපු එක" නෙමෙයි. 2020ට පෙර තිබුණු බැරකම් වෙනුවෙන් ගෙවූ පොලී හා අනෙකුත් ප්‍රතිලාභ ටිකත් මේ ගොඩේ තිබෙනවා. ඒ නිසා, ටික අඩු කළ යුතුයි. ඒ වගේම 2020ට පෙර තිබුණු විදේශ වත්කම් වෙනුවෙන් ලැබුණු පොලී හා ප්‍රතිලාභ මේ ගණනට එකතු කළ යුතුයි. එවිට මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 5,574ක්. ඔය මුදල පසුගිය දෙවසර තුළ ණයට අරගෙන පරිභෝජනය කළ කොටස. 

ඊට පෙර 2015-2019 කාලයේදී රටේ විදේශ බැරකම් ඩොලර් මිලියන 52,811 සිට ඩොලර් මිලියන 64,148 දක්වා ඩොලර් මිලියන 11,337කින් වැඩි වුනා. නමුත් විදේශ වත්කම් ඉහළ ගියේ ඩොලර් මිලියන 1,800කින් පමණයි. ඒ කියන්නේ, ඩොලර් මිලියන 9,537ක අඩුවක් තිබෙනවා. නමුත්, ඔය කාලය තුළ පරණ විදේශ බැරකම් වෙනුවෙන් ගෙවූ මුදලින් විදේශ වත්කම් වෙනුවෙන් ලැබුණු ප්‍රතිලාභ අඩු කළහම ඩොලර් මිලියන 11,006ක්. ඒ කියන්නේ, ඉතා පැහැදිලි ලෙසම 2015-2019 කාලයට "පරිභෝජනය කරලා නාස්ති කළා" කියන කතාව අදාළ නැහැ. ඒ කාලයේ විදේශ බැරකම් ඉහළ යාමට එකම හේතුව පරණ බැරකම් වෙනුවෙන් ගෙවන්න සිදු වූ ප්‍රතිලාභ. ඔය කාලයේ ඉපැයූ ඩොලර් වලින් ඩොලර් මිලියන 1,469ක් පමණ ඉතිරි කරලා පරණ බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවන එකත් කරලා තියෙනවා.

තවත් පස්සට ගියොත් "පරිභෝජනය කරලා නාස්ති කරන එක" කරපු කාලවල් නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. මම එවැන්නක් කරන්න යන්නේ නැහැ. ඇතැම් කාල වකවානු වල ඉපැයූ විදේශ විණිමයට වඩා වැඩියෙන් වැය කර තිබෙනවා. ඒ ගැන දැනට එපමණයි.

දැන් වැදගත්ම ප්‍රශ්නය මේ විදිහට ණයට ඩොලර් අරගෙන වියදම් කළාම වත්කම් හැදෙන්නේ නැද්ද කියන එකයි. ඉතා පැහැදිලිවම විදේශ බැරකම් හැදෙන තරමට විදේශ වත්කම් හැදෙන්නේ නැහැ. මොකද ලැබුණු ඩොලර් රටින් එළියට ගිහින්. නමුත් විදේශ වත්කම් හැදෙන්නේ නැහැ කියා කියන්නේ වත්කම් නොහැදෙන බව නෙමෙයි. වත්කම් හැදෙනවා. එසේ හැදෙන්නේ රුපියල් වත්කම්.

ඔය වැඩේ වෙන්නේ මෙහෙමයි. රජය ඩොලර් එකක් ණයට අරගෙන රුපියල් 200කට බැංකුවකට විකුණනවා. විකුණලා ඒ රුපියල් 200 රජයේ සේවකයෙකුට අතිකාල දීමනාවක් ලෙස ගෙවනවා. ඊට පස්සේ ආනයනකරුවෙක් විසින් ඔය ඩොලර් එක රුපියල් ගෙවා මිල දී ගෙන ඉන්දියාවෙන් අල කිලෝ දෙකක් ගේනවා. ගෙනත් කිලෝ එක රුපියල් 200 බැගින් විකුණනවා. අර රජයේ සේවකයා තමන්ට ලැබුණු රුපියල් 200 වැය කරලා අල කිලෝ එකක් මිල දී ගන්නවා. 

දැන් රජය ණයට ගත්ත ඩොලර් එක රට ඇතුළේ නැහැ. එය රටේ විදේශ බැරකමක් වෙනවා. ණයට පොලී එකතු වෙද්දී බැරකම වසරින් වසර ඉහළ යනවා. එයට ගැලපෙන විදේශ වත්කමක් රට ඇතුළේ නැහැ. අර රජයේ සේවකයා අතේ තිබුණු රුපියල් 200ක වත්කම දැන් ඔහු අතේ නැහැ. නමුත් අල කිලෝ එකක් තිබෙනවා. ආනයනකරුවා අතේත් කලින් තිබුණාට වඩා වැඩිපුර රුපියල් නැහැ. අල කිලෝ එකක් විකුණලා රුපියල් 200ක් ලැබුණත් ඩොලර් එක මිල දී ගන්න රුපියල් 200ක් කලින්ම ගියානේ. නමුත් ඔහු සතුව තවත් අල කිලෝ එකක් තිබෙනවා. ඒ අල කිලෝව විකුණලා ඔහුට රුපියල් 200ක් උපයා ගන්න පුළුවන්. 

අවසාන වශයෙන් අල කිලෝ දෙක පරිභෝජනය කරලා අවසන් වෙනවා. හැබැයි අල පරිභෝජනය කරන අය අල ගන්නේ සල්ලි ගෙවලා. අර කියන්නේ "අපි නිකම් තෙල් ගැහුවේ නැහැ, සල්ලි දුන්නා" කියලා. ඒ වගේ. රජයට ඩොලර් එකක විදේශ බැරකමක් එකතු වෙලා. ඒක දිගටම පැටවු ගහනවා. අනෙක් පැත්තෙන් අර ආනයනකරු ළඟ රුපියල් වත්කමකුත් හැදිලා. ඒකත් පැටවු ගහනවා. 

නැවත ලංකාවේ විදේශ බැරකම් වලට ආවොත්, ඩොලර් බිලියන 56ක විදේශ වත්කම් හිඟයක් හැදෙද්දී එයට අනුරූපව වත්කම් ඉහළ යාමකුත් රට ඇතුළේ වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්නය ඒ වත්කම් රුපියල් වත්කම් වීමයි. දැන් ඔය මුළු ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණයේ රුපියල් වටිනාකම බිලියන 11,172ක් කියලා මම කිවුවනේ. 

ඒ වෙද්දී, ඒ කිවුවේ 2021 අවසානයේදී, සංසරණයේ තිබුණු රුපියල් ප්‍රමාණය සහ බැංකු වල තැන්පත් කර තිබුණු රුපියල් ප්‍රමාණය (M2 මුදල් සැපයුම) රුපියල් බිලියන 9,639ක්. මුදල් කියන්නේ රටේ මිනිස්සුන්ගේ වත්කම් වලින් සුළු කොටසක් පමණයිනේ. ඊට අමතරව මූල්‍ය වත්කම්ම ගත්තත් භාණ්ඩාගාර බිල්පත්, ව්‍යාපාර කොටස් ආදියේ ආයෝජනය කළ මුදල් තිබෙනවා. ඒ සියල්ලටම අමතරව විශාල මූර්ත වත්කම් ප්‍රමාණයක් රටේ තිබෙනවා. වාහන, ගොඩනැගිලි, ඉඩම් වගේ දේවල්.

ඩොලර් එකක් වැය කරලා ආනයනය කරන අල කිලෝ එකක් හොදි හදලා හරි තෙම්පරාදු කරලා හරි කාල ඉවර කළාට ආනයනය කරන හැම දෙයක්ම ඒ විදිහට සතියක් දෙකක් ඇතුළත කාල ඉවර කරන්නේ නැහැ. ඩොලර් වැය කරලා ගෙනාපු වාහන, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ආදිය ගෙවල් වල තිබෙනවා. සිමෙන්ති, ටයිල් වගේ දේවල් ගෙවල් විදිහට තිබෙනවා. ඒවත් වත්කම් තමයි. ඔය සියල්ල එකතු කළොත් ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඉක්මවන විශාල වත්කම් ප්‍රමාණයක් රට ඇතුළේ තිබෙනවා.

එහෙමනම් රුපියල් ප්‍රශ්නය කියා කියන්නේ කුමක්ද? එය රජයේ ප්‍රශ්නයක් මිසක් රටේ ප්‍රශ්නයක් නෙමෙයි. රටේ රුපියල් තිබෙනවා. නමුත් රජය සතුව රුපියල් නැහැ. රටේ රුපියල් වත්කම් ඉහළ යද්දී එයට අනුරූපව බදු ඉහළ ගොස් නැති නිසා රජය සතුව රුපියල් වත්කම් නැහැ. එක පැත්තකින් රජය ඩොලර් බැරකම් එකතු කර ගනිද්දී අනෙක් පැත්තෙන් රුපියල් බැරකමුත් එකතු කර ගෙන. රජය සතුව ඩොලර් වලින් වගේම රුපියල් වලිනුත් මූල්‍ය වත්කම් නැහැ. නමුත්, රජය සතුව මූර්ත වත්කම් තිබෙනවා. ඒ නිසා, රාජ්‍ය දේපොළ විකුණා බැරකම් වලින් නිදහස් වීමේ විකල්පය තවමත් රජය සතුව තිබෙනවා. 

ණයට ගත්ත ඩොලර් දැන් තියෙන්නේ කොහෙද කියා හොයන එක ස්විමිං පූල් එකකට වැටිලා දිය වුනු සබන් කෑල්ලක් තියෙන තැන හොයනවා වගේ වැඩක්. ඒ සල්ලි මේ වන විට සමස්ත ආර්ථික දේහය පුරාම පැතිරිලා දිය වෙලා ගිහිල්ලයි තියෙන්නේ. කවුරු හෝ කෙනෙක් අයුතු සේ ලබාගත් මහජන ධනය රටින් පිට කරගෙනනම් හරි නිසි සේ ඉපැයූ ධනය අනිසි සේ රටින් පිට කරලානම් හරි කතාව ටිකක් වෙනස්. යම් කොටසක් ඒ විදිහට රටින් විට වී තිබිය හැකි වුවත් ඒ ප්‍රමාණය විශාල කොටසක් කියා මම හිතන්නේ නැහැ. යුතු හෝ අයුතු සේ ඉපැයූ ධනයෙන් වැඩි කොටසක් තියෙන්නේ ඔය මුතු ඇටේ අස්සෙම තමයි. 

ආනයනික භාණ්ඩ පරිභෝජනය කරලා සල්ලි නාස්ති කරනවා කියා කිවුවත් සාමාන්‍ය මූලධර්මයක් විදිහට කවුරු හෝ කෙනෙක් වියදම් කරන මුදලක් හැම විටම වෙනත් අයෙකුගේ ආදායමක් වෙනවා. කෙනෙක් රූපවාහිනී යන්ත්‍රයක් මිල දී ගනිද්දී ගෙවන රුපියල් ප්‍රමාණයෙන් කොටසක් රටින් එළියට යනවා. නමුත් මුළු මුදලම රටින් එළියට යන්නේ නැහැ. ආනයනකරුගේ ලාබ, සේවක වැටුප්, ප්‍රවාහන ගාස්තු ආදී විවිධ ආකාර වලින් ඔය මුදලෙන් කොටසක් රටේ වෙනත් අයගේ ආදායම් බවට පත්වෙනවා. පරිභෝජනය කරනවයි කිවුවට ගත්ත රූපවාහිනී යන්ත්‍රය වුනත් කාල ඉවර කරන්නේ නැහැනේ. කවදා හරි කැඩෙනකම් ඒකත් තියෙනවා.

ගෙදරට රූපවාහිණියක් ගෙනාවට පස්සේ ගෙදර මිනිස්සු ඕක ඉස්සරහට වෙලා "බාල ටෙලිනාට්‍ය" බල බල කාලය නාස්ති කරනවා කියා අපි හිතමු. සමහර අය එහෙම කියනවනේ. ඒක එහෙම වුනත්, ඔය කාලය නාස්ති කිරීමේ අනෙක් පැත්තේ ටෙලි නාට්‍ය හැදීමේ කර්මාන්තයක් වර්ධනය වෙනවා. ඕවායේ රඟපාන නළු නිලියෝ, අධ්‍යක්ෂක වරු, තාක්ෂණික කටයුතු කරන ශිල්පියෝ, තේ අල්ලන අය ගාණක් හොයා ගන්නවා. 

එතකොට ඔය ටෙලිනාට්‍යය මැද්දේ වෙළඳ දැන්වීම් යනවා. ඒවා හදන එක වෙනම කර්මාන්තයක්. ඒකෙනුත් රැකියා ගණනක් හැදෙනවා. වෙළඳ දැන්වීම් නිසා මොනවා හෝ භාණ්ඩයක අලෙවිය ඉහළ යනවා කියන්නේ සමාගමක ලාබ ඉහළ ගිහින් සමාගම වර්ධනය වෙලා තවත් අලුත් රස්සා ටිකක් හැදෙන එක. මේ හැම දෙයකින්ම වෙන්නේ රටේ ආදායම් වැඩි වෙන එක. ඒ ආදායම් වලින් කොටසක් හෝ වැය කර අවසන් නොකළොත් රටේ වත්කම් වැඩි වෙන එක. 

ඔය දාමයේ මුල තියෙන්නේ ණයට ගත් ඩොලර් වලින් ආනයනය කරපු රූපවාහිණියක් වෙන්න පුළුවන්. ප්‍රශ්නය ඩොලර් ණයට ගත්ත එක නෙමෙයි. වත්කම් නොහැදෙන එකත් නෙමෙයි. හැදෙන වත්කම් රුපියල් වත්කම් වීම. 

ණයට ගත්ත සල්ලි වලින් කොටසක් කවුරු හෝ කෙනෙක් මොන විදිහකින් හෝ හොරකම් කරගත්තා කියමු. රටෙන් පැන්නුවේ නැත්නම් ඔය සල්ලි එක්කෝ රට ඇතුළේ වියදම් කරනවා, නැත්නම් ආයෝජනය කරනවා. ඔය දෙකෙන් කොයි එක කළත් අවසාන වශයෙන් ඔය සල්ලි තවත් අයගේ ආදායමක් වෙනවා. ඒ අය සල්ලි වියදම් කරද්දී නැවතත් වෙනම පිරිසකගේ ආදායමක් බවට පත් වෙනවා. මුල් පුද්ගලයා මුදල් ඉපැයුවේ අනිසි ලෙස වුවත්, ඉතිරි අය මුදල් උපයන්නේ අනිසි ලෙස නෙමෙයි. 

ණයට ගන්න ඩොලර් මොන විදිහට රට ඇතුළට ආවත් ඒ ඩොලර් රුපියල් වෙලා අතින් අත යනවා. එක් අයෙක් රුපියලක් වියදම් කරන හැම වෙලාවකම ඒ රුපියල රටේ තවත් අයෙකුගේ ආදායමක් වෙනවා. ඔය වැඩේ කෙළවරක් නැතුව දිගින් දිගටම වෙනවා. අවසාන වශයෙන් රටේ කාටවත් ලංකාව ගත්ත විදේශ ණය මුදල් වලින් තමන්ට වාසියක් ලැබී නැති බව කියන්න බැහැ. තමන් උපයපු හෝ බැංකුවකින් ණයට ගත්ත සල්ලි වලින් හදපු ගෙය ඇතුළේ, ගත්ත වාහනය ඇතුළේ ඔය ණය වලින් කොටසක් තියෙනවා. ගෙදර තිබෙන රූපවාහිණිය, ශීතකරණය ඇතුළේ ඔය ණය වලින් කොටසක් තියෙනවා. ලැබෙන වැටුප ඇතුළේ ඔය ණය වලින් කොටසක් තිබෙනවා. වෙනත් විදිහකින් උපයන ආදායම ඇතුළේ ඔය ණය වලින් කොටසක් තිබෙනවා. 

අපි ඔය ලොකු ගෙවල් වල ඉන්න, සැප වාහන පදින, ආනයනික භාණ්ඩ ගෙදර පුරවා ගත්තු අයව පැත්තකින් තියමු. කතරගම කිට්ටුව පාර අයිනේ නෙලුම් මල් විකුණන "මල් අම්මා" ගැන හිතමු. මල් අම්මා ගෙදර ඉන්නේ තනියම. ගෙදර කිවුවට ඒක බොහොම පොඩි පැලක්. ආනයනික බඩු ලෙස සාමාන්‍යයෙන් සැලකෙන බඩු මුකුත් ඔය ගෙදර නැහැ. වැවේ ගිහින් කඩා ගන්න මල් විකුණලා කීයක් හරි හොයා ගත්තොත් මල් අම්මා දවසකට වේලක් හරි දෙවේලක් හරි මොනවා හරි තම්බාගෙන කනවා. මල් අම්මා ණයට ගත්ත ඩොලර් වලින් කාලා නැද්ද? 

සමහර විට මල් අම්මා කන්නෙම ණයට ගත්ත ඩොලර් වෙන්න පුළුවන්. සමහර විට මල් අම්මාගෙන් මලක් ගන්නේ මොන විදිහකින් හෝ මහජන ධනය හොරා කාපු කෙනෙක්. එහෙම නැත්නම් ණයට ගත්ත ඩොලර් වලින් කරන ව්‍යාපෘතියක සේවය කරන කෙනෙක්. එහෙමත් නැත්නම් ඒ ඩොලර් රුපියල් කරලා රජය ගෙවන වැටුප් වියදම් කරන කෙනෙක්. මේ අයට ලාබෙට වාහන ගන්න ලැබිලා තියෙන්නේ, ලාබෙට තෙල් ගහන්න ලැබිලා තියෙන්නේ ණයට ගත්ත ඩොලර් නිසා. ණයට ගත්ත ඩොලර් නැත්නම් කතරගම ගමනක් නැහැ. මල් අම්මට ලැබෙන රුපියල් ටිකත් නැහැ.

දැන් කවුරු හරි කියයි ඔය කියන්නේ අර හොරු ටික බේරලා මල් අම්මට බදු ගහලා ණය ගෙවන්න කියන එක කියලා. බදු ගහන්න ඕනෑ කාටද කියන එක වෙනම කතාවක්. වැදගත් දෙය ඔය සල්ලි ආර්ථිකය තුළ දිය වෙලා ගිහින් තියෙන විදිහ. ඒ නිසා, ණය ගෙවන්න බදු ගහන්නේ කාටද කියන එක ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි. මල් අම්මට බදු නොගැහුවත් වක්‍ර ලෙස හෝ මල් අම්මටත් බදු ගෙවන්න වෙනවා. ඒකෙ හැටි එහෙමයි. ආර්ථිකය කඩා වැටුනොත් ලොකුවටම අමාරුවේ වැටෙන්නේ ඔය මල් අම්මා වගේ අය. 

මල් අම්මා ජීවිතේට සැප වාහනේක ගිහින් නැතුව ඇති. හැබැයි රටට තෙල් ආවේ නැත්නම් ඒකේ පාඩුව සැප වාහන තියෙන අයට වඩා මල් අම්මට දැනෙනවා. මල් අම්මගේ පරිභෝජනය මුළුමනින්ම රඳා පවතින්නේ සැප වාහන වලට ගහන්න තෙල් තිබීම මතයි. මල් අම්මා මෙච්චර කල් වේලක් ඇර වේලක් කාල තියෙන්නෙත් ණයට ගත්ත ඩොලර් වලින්. මල් අම්මගේ ගෙදර තියෙන වටිනාම වත්කම පොඩි රේඩියෝ එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුනත් බොහෝ වෙලාවට අර ණයට ගත්ත ඩොලර් ටික නිසා හැදුණු වත්කමක්.

ලංකාවේ ප්‍රශ්නය විදේශ වත්කම් නැතිකම මිසක් වත්කම් නැතිකම නොවන බව මම කලින්ම කිවුවනේ. ලෝකයේ රටවල් වලින් බාගයකට පමණම විදේශ බැරකම් හා සරිලන විදේශ වත්කම් නැහැ. ලංකාවේ ප්‍රශ්නය මේ අනුපාතය ඉතාම නරක මට්ටමක තිබීම පමණයි. නමුත්, ලෝකයේ ඕනෑම රටක සැලකිය යුතු මූර්ත වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම රට ඇතුළේ මූල්‍ය වත්කමුත් තිබෙනවා. 

රටක සමස්ත වත්කම් ප්‍රමාණය ඇස්තමේන්තු කරන එක තරමක් සංකීර්ණ වැඩක්. දියුණු රටවල් වලනම් මේ වැඩේ සෑහෙන තරම් නිවැරදිව කෙරෙනවා. ප්‍රමාණවත් දත්ත නැති ලංකාව වගේ රටවල් වල වත්කම් ඇස්තමේන්තු කරන එක සංකීර්ණ කටයුත්තක්. මම දන්නා තරමින් කාලයක සිටම මේ වැඩේ කරන ක්‍රෙඩිට් සුයිස් මේ සඳහා තිබෙන හොඳම මූලාශ්‍රයයි.

ක්‍රෙඩිට් සුයිස් ඇස්තමේන්තු අනුව, 2019 වන විට ලංකාවේ වැඩිහිටියන් සතු මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය (ණය අඩු කර) ඩොලර් බිලියන 361ක්. ආර්ථිකය හැකිළුණු 2020දී මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 351 දක්වා පහත වැටී තිබෙනවා. 2021 අවුරුද්දේ නැවතත් ආර්ථිකය 2019 මට්ටමට  වර්ධනය වූ නිසා ඇතැම් විට වත්කම් ප්‍රමාණයත් නැවත වැඩි වී තියෙන්න පුළුවන්. සමහර විට අඩු වෙලා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් කරුණක් විදිහට ගත්තොත් 2019 වන විට ලංකාවේ වැඩිහිටියන් සතු මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 361ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ඔවුන්ගේම ඇස්තමේන්තු අනුව 2001 වසරේදී ලංකාවේ වැඩිහිටියන් සතු මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 32ක් පමණයි. ඒ කියන්නේ 2001-2019 අතර රටේ එම වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 329කින් ඉහළ ගිහින්. එකොළොස් ගුණයක ඉහළ යාමක්.

ඔය කාලය ඇතුළත රටේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 50කින් පමණ ඉහළ ගිහින් තිබෙනවා තමයි. නමුත්, ඊට සමාන්තරව රටේ නිවාස ඒකක වල ශුද්ධ වත්කම් ඒ වගේ හය හත් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. රටේ ප්‍රශ්නය වත්කම් නැති එක නෙමෙයි. නිවාස ඒකක සතුව වත්කම් තිබුණත් රජය සතුව වත්කම් නැති වීම. රජය සතුව වුවත් නැත්තේ මූල්‍ය වත්කම්. රජය සතුව මූර්ත වත්කම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. 

රටේ නිවාස ඒකක වල ශුද්ධ වත්කම් ඔය විදිහට වසර 18ක් ඇතුළත එකොළොස් ගුණයකින් ඉහළ ගිහින් තිබීමට එකම හේතුව ඩොලර් ණයට අරගෙන ආර්ථිකයට පොම්ප කිරීම කියා මම කියන්නේ නැහැ. නමුත්, ඒ විදිහට පොම්ප කරපු ඩොලර් වල බලපැම මේ වර්ධනයට විශාල ලෙස දායක වී තිබෙනවා. ඒ කියන්නේ, ඔය ඩොලර් ටික ආපහු යා හැක්කේ රටේ නිවාස ඒකක වල වත්කම් වලින් විශාල කොටසක් ආපහු අරගෙන පමණයි කියන එකයි. 

දත්ත තිබෙන අලුත්ම අවුරුද්ද නිසා අපි 2020ම ගනිමු. රටේ වැඩිහිටි ජනගහණය මිලියන 14.732ක්. එක වැඩිහිටියෙකු සතු මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් 5,002ක්. ණය ප්‍රමාණය ඩොලර් 685ක්. මූල්‍ය නොවන වත්කම් ප්‍රමාණය ඩොලර් 19,515ක්. මීට සාපේක්ෂව 2019දී ණය අඩුයි. වත්කම් වැඩියි. කොහොම වුනත් 2020 වන විටත් ලංකාවේ වැඩිහිටියෙකු සතු සාමාන්‍ය ශුද්ධ වත්කම් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් 23,832ක්. ඔය ගණන වැඩිහිටි ජනගහණයෙන් වැඩි කළාම ඩොලර් බිලියන 351ක්. රටේ විදේශ ණය ප්‍රමාණය ඔය ගණනින් හතෙන් එකක් පමණයි.

Tuesday, August 16, 2022

උද්ධමනය හා බිස්කට් මිල


උද්ධමනය බිස්කට් මිල කෙරෙහි බලපාන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේ කාට වුනත් තේරෙන ඉතා පැහැදිලි කොටසක් තිබෙනවා. උද්ධමනය වැඩි වෙනවා කියා කියන්නේ බිස්කට් හදන්න ගන්න පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ දේවල් වල මිල වැඩි වෙනවා කියන එක. එතකොට බිස්කට් එකක් හදලා කලින් ගාණට විකුණන්න බැහැ. ඔය ටික කාට වුනත් තේරෙනවා. හැබැයි ඔය කතාවේ ගොඩක් අයට එක පාරට නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. මේ සටහන ඒ නොපෙනෙන පැත්ත ගැනයි. 

වෙනත් බොහෝ දේවල් වගේම බිස්කට් හදන්නත් පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ අමුද්‍රව්‍ය අවශ්‍යයි. බිස්කට් ඔතන්න ඇසුරුම් අවශ්‍යයි. එතකොට යන්ත්‍ර ක්‍රියා කරවන්න විදුලි බලය අවශ්‍යයි. ඔය හැම දෙයක් සඳහාම අවශ්‍ය පිරිවැය වලට පොදුවේ විචල්‍ය පිරිවැය කියා කියන්න පුළුවන්. 

අපි හිතමු මේ විදිහට බිස්කට් පැකට් එකක් හදන්න යන විචල්‍ය පිරිවැය රුපියල් 100ක් කියලා. ඒ කියන්නේ පැකට් දෙකක් හදන්න වියදම රුපියල් දෙසීයයි. දාහක් හදන්න රුපියල් ලක්ෂයයි. බිස්කට් පැකට් මිලියනයක් හදන්න වියදම රුපියල් මිලියන සීයයි. පැහැදිලියිනේ. 

හැබැයි ඔය වගේ නිෂ්පාදනයක් කරන්න යන්නේ විචල්‍ය පිරිවැයක් පමණක් නෙමෙයි. ඊට අමතරව ස්ථිර පිරිවැයකුත් තිබෙනවා. ඒ කියන්නේ සේවක වැටුප්, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, වාහන ආදිය වෙනුවෙන් යන මුදල. එයිනුත් සේවක වැටුප් මාස්පතා ගෙවිය යුතු බව කාටත් පැහැදිලියිනේ. බිස්කට් හදනවද නැද්ද කියන එක අදාළ නැහැ. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, වාහන ආදිය වෙනුවෙන් මුදල් ගෙවිය යුත්තේ එකවර වුනත්, පැහැදිලි කිරීමේ පහසුවට මේ වියදම් දරා තිබෙන්නේ බැංකු ණයක් අරගෙන කියා අපි හිතමු. සෑම මාසයකදීම ඔය බැංකු ණය වෙනුවෙන් පොලිය හා ණය වාරික ගෙවිය යුතුයි. බිස්කට් හැදුවත් නැතත් ඒ වියදමත් යනවා. මේ සමස්ත වියදම මාසයකට රුපියල් මිලියන 50ක් කියලා අපි හිතමු. 

දැන් බිස්කට් හැදුවත් නැතත් මාසයකට රුපියල් මිලියන 50ක වියදමක් යනවා. මාසයකට හදන බිස්කට් ප්‍රමාණය පැකට් මිලියනයක් කියා අපි හිතමු. එතකොට එකකට රුපියල් 100 බැගින් තව රුපියල් මිලියන 100ක වියදමක් යනවා. මුළු වියදම රුපියල් මිලියන 150යි. ඒ නිසා, පාඩු නොවෙන්නනම් බිස්කට් පැකට් එකක් අඩු වශයෙන් රුපියල් 150කට විකුණන්න වෙනවා. 

දැන් ඔහොම තියෙද්දී උද්ධමනය නිසා පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ අමුද්‍රව්‍ය හැම එකකම මිල දෙගුණ වෙලා විචල්‍ය පිරිවැය රුපියල් 200ක් වෙනවා. එහෙම වුණාම, කලින් විකුණපු රුපියල් 150 මිලට බිස්කට් පැකට් එකක් විකුණන්න බැරි බව කාට වුනත් තේරෙනවනේ. අඩුම වශයෙන් රුපියල් 100කින්, ඒ කියන්නේ රුපියල් 250 දක්වා, මිල වැඩි කරන්න වෙනවා. 

ස්ථිර පිරිවැය වැඩි නොවී ඒ විදිහටම තිබුණා කියා අපි හිතමු. කලින් රුපියල් 150ට තිබුණු බිස්කට් පැකට් එකක් දැන් රුපියල් 250 වුනා කියලා ගොඩක් අය ඕක ප්‍රශ්නයක් කර ගන්න එකක් නැහැ. උද්ධමනය නිසා අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහින් බව කාට වුනත් තේරෙනවනේ. නමුත්, ඔය මිල රුපියල් 250 නොවී රුපියල් 450ක් වුනොත් ඔන්න ගොඩක් අය අවුල් වෙනවා. මොකද මෙතැන ගොඩක් අයට පැහැදිලිව නොපෙනෙන කතාවකුත් තියෙනවා.

දැන් ඔය විදිහට උද්ධමනය නිසා බඩු මිල ඉහළ යද්දී තවත් දේවල් වෙනවා. ගොඩක් අයට තමන්ගේ ආදායමෙන් කලින් මිල දී ගත් දේවල් සියල්ලම මිල දී ගන්න බැහැ. එහෙමයි කියලා හාල්, පොල් වගේ අත්‍යාවශ්‍ය දේවල් මිල දී නොගෙන ඉන්නත් බැහැ. කපා හරින්න වෙන්නේ අත්‍යවශ්‍ය නොවන වියදම්. බිස්කට් කියා කියන්නේ ගොඩක් අයට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ. ඒ නිසා, මිල වැඩි නොවුනත් යම් පිරිසක් බිස්කට් මිල දී ගන්න එක නවත්වනවා. නැත්නම් අඩු කරනවා. 

දැන් මෙහි ප්‍රතිඵලයක් විදිහට මාසයකට විකිණෙන බිස්කට් ප්‍රමාණය පැකට් මිලියනයේ සිට මිලියන බාගයට අඩු වුනා කියමු. ඒ කියන්නේ මාසයකට යන විචල්‍ය පිරිවැය (රුපියල් 200 බැගින්) නැවතත් මිලියන 100 දක්වා අඩු වෙනවා. ස්ථිර පිරිවැය තවම වැඩි වෙලා නැති නිසා ඒ මිලියන 50 තවම ඒ විදිහටම තියෙනවා. එතකොට මුළු වියදම රුපියල් මිලියන 150යි. හැබැයි හදන්නේ බිස්කට් පැකට් මිලියන බාගයක් නිසා පැකට් එකක පිරිවැය දැන් රුපියල් 300ක් වෙලා. 

නමුත්, ඔය වැඩේ ඔය විදිහටම වෙන්නේ නැහැ. බිස්කට් පැකට් එකක මිල වැඩි වෙද්දී ඒ හේතුව නිසාත් ඉල්ලුම අඩු වෙනවා. ඒකත් කාටත් පැහැදිලියිනේ. අපි හිතමු දැන් මාසයකට විකිණෙන්නේ බිස්කට් පැකට් ලක්ෂ දෙකක් පමණයි කියලා. විචල්‍ය පිරිවැය රුපියල් මිලියන 40ට බහිනවා. හැබැයි ස්ථිර පිරිවැය මිලියන 50 ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මුළු වියදම රුපියල් මිලියන 90යි. බිස්කට් පැකට් ලක්ෂ දෙකයි. පැකට් එකක අවම පිරිවැය රුපියල් 450යි.

බිස්කට් හදන්න ගන්න අමුද්‍රව්‍ය වල මිල, ඒ කියන්නේ විචල්‍ය පිරිවැය, වැඩි වෙලා තියෙන්නේ රුපියල් 100කින් පමණයි. ස්ථිර පිරිවැය වැඩි වෙලාම නැහැ. සමාගමේ ලාබ සතේකින්වත් වැඩි වෙලත් නැහැ. හැබැයි රුපියල් 150ට තිබුණු බිස්කට් පැකට් එක දැන් රුපියල් 450ක් වෙලා.

මොන හේතුවකින් හරි මාසයකට විකිණෙන බිස්කට් පැකට් ගණන ලක්ෂය දක්වා අඩු වුනොත් මොකද වෙන්නේ? දැන් විචල්‍ය පිරිවැය රුපියල් මිලියන 20ට බහිනවා. ස්ථිර පිරිවැය මිලියන 50 ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මුළු වියදම රුපියල් මිලියන 70යි. බිස්කට් පැකට් එකක් විකුණන්න වෙන්නේ අවම වශයෙන් රුපියල් 700කට. නමුත්, ඔය මිලට ඇතැම් විට බිස්කට් පැකට් ලක්ෂයක් විකුණාගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ තරඟකාරී සමාගම් අතරින් අල්ලාගෙන ඉන්න වඩාම අමාරු සමාගම වැහිලා යන එක. 

කලින් තිබුණේ සමාගම් දෙකක් පමණක්නම්, දැන් ඒ දෙකෙන් එකක් වැහුණු ගමන් නැවතත් තත්ත්වය වෙනස් වෙනවා. මාසයකට පැකට් ලක්ෂය බැගින් සමාගම් දෙකක් අතර බෙදී ගිහින් තිබුණු ඉල්ලුම එක සමාගමකට යනවා. එතකොට ඉල්ලුම පැකට් ලක්ෂ දෙකක් වෙනවා. ඒ ගාණ විකිණෙනවානම් පැකට් එක රුපියල් 450 බැගින් දීලා වියදම ආවරණය කර ගන්න පුළුවන්. ඒ නිසා, උද්ධමනය දිගටම ඉහළ මට්ටමක තිබුණොත් ඔය වැඩේ වෙලා දැනට ක්‍රියාත්මකව තිබෙන කර්මාන්තත් එකින් එක වැහිලා යන්න පුළුවන්. ඉල්ලුම අඩුවෙන තරමට වැඩේ ඉක්මන් වෙයි.

ලංකාවේ ඇතැම් නිෂ්පාදන අංශ වල සමාගම් සීයක් දෙසීයක් නැතිව දෙක තුනක් පමණක් තියෙන්නේ ඇයි කියන එකත් මේ කතාව ඇසුරෙන්ම පැහැදිලි කරන්න පුළුවන්. ඒක කිසියම් පිරිසකගේ ඒකාධිකාරයක් හෝ මාෆියාවක් නෙමෙයි. ස්ථිර පිරිවැය සැලකිය යුතු දෙස වැඩි කර්මාන්තයකට ක්‍රියාත්මකව පවතින්න කිසියම් අවම ඉල්ලුමක් අවශ්‍යයි. ලංකාව වගේ කුඩා වෙළඳපොළක් තිබෙන රටක බිස්කට් නිපදවන කර්මාන්ත සීයක් පමණ පවතින්න බැහැ. වෙන කර්මාන්තයක් ගත්තත් කතාව ඒකයි. එහෙම පුළුවන් වෙන්නේ අපනයන වෙළඳපොළ ඉලක්ක කළ හැකිනම් පමණයි. නමුත් මේ වගේ කර්මාන්තයකට අපනයන වෙළඳපොළ වෙත පිවිසෙන්න පුළුවන් වෙන්නේත් රට ඇතුළේ පාදක ඉල්ලුමක් තිබේනම් පමණයි. 

සාමාන්‍යයෙන් ඕනෑම නිෂ්පාදන කර්මාන්තයක සැලකිය යුතු ස්ථිර පිරිවැයක් තිබෙනවා. සේවා නිෂ්පාදන වලට මේ ප්‍රශ්නය නැහැ. ලංකාව වගේ කුඩා වෙළඳපොළක් තිබෙන රටක දේශීය ඉල්ලුම පමණක් ඉලක්ක කරගෙන නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කරන්න යාමේදී මතු වන අභියෝගය මේකයි. ස්වීඩනය වගේ විශාල ජනගහණයක් නැති, එහෙත් දියුණු, රටවල දැකිය හැක්කේ වොල්වෝ, එරික්සන්, ඊකෙයා වගේ ලෝක වෙළඳපොළේ තරඟ කරන සමාගම් මිසක් දේශීය වෙළඳපොළ අල්ලගන්න එකිනෙකා එක්ක තරඟ කරන සමාගම් නෙමෙයි. එහෙම කරන්න පුළුවන් ලොකු දේශීය ආර්ථිකයක් තිබෙන ඇමරිකාව වගේ රටවල් තුළයි. ජනගහණය අඩු රටකට ගොඩ යන්න ලොකු සමාගම් කිහිපයක් ඇති. 

Monday, August 15, 2022

දැන් උද්ධමනය හොඳ වෙලාද?


පසුගිය සති ගණනාවක් මුළුල්ලේම මහ බැංකුව විසින් රජය වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් මුළු ප්‍රමාණයම වෙන්දේසියේදී අලෙවි කළ හැකි වූ වාසිදායකම මිලට අලෙවි කරනු ලැබුවා. මෙහිදී පොලී අනුපාතික ඉහළ යාම ගැන මහ බැංකුව එතරම් කනස්සලු වූයේ නැහැ. ප්‍රමුඛතාවය දුන්නේ පොලී අනුපාතික කීයට ගියත් භාණ්ඩාගාර බිල්පත් විකිණීම මගින් රජයට අවශ්‍ය අරමුදල් සොයා දී සල්ලි අච්චු ගැසීමෙන් වැලකී සිටීමටයි. අගෝස්තු 3 වෙන්දේසිය තෙක්ම මේ තත්ත්වය මෙලෙස සිදු වුනා.

කෙසේ වුවත්, පසුගිය සතියේ මේ ක්‍රමවේදයෙන් විතැන් වීමක් පෙනෙන්නට තිබෙනවා. අගෝස්තු 9 දින පැවති වෙන්දේසියට රුපියල් බිලියන 85ක බිල්පත් ඉදිරිපත් කර ඇතත්, විකුණා තිබෙන්නේ රුපියල් බිලියන 65.9ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. ඉන් පසුව, රුපියල් බිලියන 7.5ක බිල්පත් ප්‍රමාණයක් සෘජු ක්‍රමයට විකුණා තිබෙනවා. සතිය තුළ සංචිත මුදල් හෝ මහ බැංකුව සතු බිල්පත් ප්‍රමාණයේ වැඩි වීමක්නම් දැකිය නොහැකියි. ඒ දෙකම අඩු වී තිබෙනවා. එසේ වුවත්, මහ බැංකුවේ ඉහත තීරණය මගින් පෙන්නුම් කරන්නේ පොලී අනුපාතික ඉහළ යනු දැකීමට මහ බැංකුවේ ඇති නොකැමැත්තයි. එසේ නැත්නම් මේ කාරණය හා අදාළව මහ බැංකුව රජයට යට වීමයි.

මේ අතර මහ බැංකු අධිපතිවරයාගේ නමින් පළ වී ඇති ලිපියක් හා එහි සිංහල පරිවර්තනය වේගයෙන් සංසරණය වෙනවා. ලියා ඇති ශෛලිය අනුව මෙය ව්‍යාජ ලේඛණයක් විය හැකි වුවත්, ඒ බවක් මෙතෙක් අධිපතිවරයා විසින් හෝ මහ බැංකුව විසින් කියා නැහැ. අදාළ ලිපියේ මහ බැංකු අධිපති වරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කරනවා. 

''පැරණි න්‍යායන් අනුව යමින්, මෑතකදී මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත විශාල ලෙස වැඩි කළේය. එහි අරමුණ වූයේ උද්ධමනය පාලනය කිරීමයි. මෙය කනගාටුදායක ලෙස වැරදි පියවරක් වන අතර ඵලදායිතාව දිරිමත් නොකරනු ඇත, නමුත් එය අධෛර්යමත් කරනු ඇත.''

මෙය ඇතැම් විට ව්‍යාජ ලෙස සකස් කළ ලියැවිල්ලක් විය හැකියි. මහ බැංකු අධිපතිවරයා මුලදීනම් දැඩි ලෙසම පෙනී සිටියේ පොලී අනුපාතික වැඩි කිරීම වෙනුවන්. එහෙත්, මේ වන විට ඔහු සිය මතය වෙනස් කරගෙන ඇත්දැයි මා දන්නේ නැහැ. මෙය ව්‍යාජ ලියැවිල්ලක් නොවේනම් අධිපතිවරයා විසින් දැන් කියන්නේ ටිකක් වෙනස් කතාවක්. (පසු සටහන: වත්පොතේ ප්‍රතිචාර වල ඇති තොරතුරු අනුව මෙය මහ බැංකු අධිපතිවරයා විසින් නොව වෙනත් අයෙකු විසින් ලියූවක් බව පැහැදිලිව පේනවා.)

"උද්ධමනය පැවැත්ම සඳහා ඵලදායී වීමට මිනිසුන් තල්ලු කරනු ඇත. උද්ධමනය භාණ්ඩ හා සේවාවල මිල ගළපා ගන්නා අතර පාරිභෝගිකයන් තම පරිභෝජනයේ පිරිවැය තමන් විසින්ම ගෙවන ලෙස ඉල්ලා සිටියි. ත්‍රිරෝද රථයක්, පාර අයිනේ කඩ සාප්පුවක් හෝ කුඩා සැලෝන්/ස්පා එකක් පවත්වාගෙන යාමෙන් පුද්ගලයෙකුට පවුලක් නඩත්තු කළ නොහැකි බව උද්ධමනය සහතික කරයි. කෙටියෙන් කිවහොත්, උද්ධමනයට වඩා ඔබ ඵලදායි විය යුතුය, නැතහොත් ඔබ විනාශ වනු ඇත."

මේ කතාවේ යම් ඇත්තක් නැතුවා නෙමෙයි. උද්ධමනය කියා කියන්නේත් උද්ධමනයට විසඳුමක්. උද්ධමනයට හේතු වන්නේ රටක නිෂ්පාදනය ඉක්මවා මුදල් සැපයුම ඉහළ යාමයි. මුදල් සැපයුම ඉහළ යාම අහම්බයක් නෙමෙයි. මහ බැංකුව විසින් කරන දෙයක්. මහ බැංකුව විසින් ඉහළ යවන මුදල් සැපයුම මහ බැංකුව විසින්ම අඩු කරන්නේනම් උද්ධමනය ඇති වීම වලක්වා ගත හැකියි. එහෙත්, මහ බැංකුව විසින් එය නොකරන්නේනම් රටේ ජනතාවට උද්ධමනයට මුහුණ දෙන්න වෙනවා. ජනතාව විසින් උද්ධමනයේ බර දරා ගැනීම තුළ මුදල් සැපයුම ඉහළ යාමේ බලපෑම ඉවත් වී උද්ධමනය පාලනය වෙනවා. ඒ අර්ථයෙන් මේ කතාව ඇත්ත.

නමුත්, මහ බැංකුව විසින් හෝ මහ බැංකු අධිපතිවරයා විසින් මේ වගේ කතාවක් කියනවානම් එය විශාල ප්‍රශ්නයක්. එහෙම කියනවානම් ඒ කියන්නේ මේ වගේ දෙයක්.

"අපි අපිට අවශ්‍ය ප්‍රමාණයට සල්ලි අච්චු ගහලා අපිට අවශ්‍ය අයට දෙනවා. ඒ අය පැත්තක ඉඳලා මහන්සි නොවී පරිභෝජනය කරයි. අනෙක් අයට තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරලා, නිෂ්පාදනය වැඩි කරලා, පරිභෝජනය නොකර එයින් කොටසක් "අපිට අවශ්‍ය" අයට දීමෙන් උද්ධමනය පාලනය කරන එක!"

උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ හා මහ බැංකු අධිපතිවරයාගේ නීතිමය වගකීමක්. මහ බැංකු අධිපතිවරයෙකුට කවදාවත් උද්ධමනය හොඳ දෙයක් කියා කියන්න බැහැ. මුදල් නීති පණත අනුවම, උද්ධමනය 10% ඉක්මවීම රටේ මිල ස්ථායීතාවය තර්ජනයට ලක් වීමක් සේ සැලකෙනවා. උද්ධමනය 10% ඉක්මවන සෑම මාසයකදීම මහ බැංකුව විසින් උද්ධමනයට හේතු වූ තත්ත්වයන්, උද්ධමනය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එම ක්‍රියාමාර්ග වලින් උද්ධමනය පාලනය වීමට නියමිත ආකාරය පැහැදිලි කරමින් විස්තරාත්මක වාර්තාවක් මුදල් ඇමතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. යම් හෙයකින් මෙම වාර්තාව ප්‍රසිද්ධ කිරීම මහජන ශුභ සිද්ධිය කෙරෙහි අහිතකර ලෙස බලපාන්නේනම් හැර එම වාර්තාව ප්‍රසිද්ධ කළ යුතුයි. 

උද්ධමනයට විසඳුම මහජනතාව ඵලදායීතාවය විසින් වැඩි කර ගැනීමද? 2010-2012 වකවානුව වැනි, ඩොලරයක මිල ඉහළ යන්නට නොදී එක තැන තබා ගැනුණු වකවානු වල අපනයනකරුවන් මැසිවිලි නගද්දී ඔවුන්ට මහ බැංකුව විසින් කියූ කතාවත් මීට සමානයි. ඒ දවස් වල මහ බැංකුව විසින් කිවුවේ අපනයනකරුවන් විසින් ඩොලරයක මිල ඉහළ යාම දෙස බලා නොසිට සිය ඵලදායීතාව වැඩි කර ගත යුතු බවයි.

මේ කතා දෙකම සමාන කළ හැක්කේ මහ බැංකුව විසින් පැත්තක සිටින ජනතාව ගඟකට තල්ලු කර "දැන් ඉතිං පීනලා බේරෙන්න!" කියන එකටයි. ගඟට වැටුණු අයෙකුට බේරෙන්න හැකි වෙන්නේ ඵලයීතාවය වැඩි කරගෙන මොන විදිහෙන් හෝ ගොඩට පීනුවොත් පමණක් කියන එක ඇත්ත. නමුත්, පීනා ජීවිතය බේරා ගැනීමේ ප්‍රශ්නය මතු වන්නේම මහ බැංකුව විසින් ගඟට තල්ලු කරන නිසා. ඵලදායීතාවය වැඩි කර ගැනීම කිසිසේත්ම නරක දෙයක් නොවුනත්, උද්ධමනයට විසඳුම මහජනතාව විසින් ඵලදායීතාවය  වැඩි කර ගැනීම කියා කියන එක ඉතාම අසාධාරණ කතාවක්. 

"උද්ධමනයට වඩා ඔබ ඵලදායි විය යුතුය. නැතහොත් ඔබ විනාශ වනු ඇත."

කතාව ඇත්ත. හැබැයි මෙය අදාළ ගඟට වැටී ඉන්න අයට පමණයි. උද්ධමනයේ වාසි ගන්න පිරිසක් වෙනම ගං ඉවුරේ පැත්තක ඉන්නවා. ගඟට වැටුණු ඔබ අමාරුවෙන් පීනා ගොඩට ආවත් ඒ අය කරන්නේ ඔබව නැවත ගඟට තල්ලු කරන එකයි. උද්ධමනයට වඩා ඵලදායී වීම ඒ අයට අදාළ නැහැ. එය අදාළ වන්නේ ඔබට පමණයි.

පොලී අනුපාතික වැඩි කළ විට ඵලදායිතාව දිරිමත් වන්නේ නැද්ද? 

මෙය කියවන බොහෝ දෙනෙකුට දැන ගන්නත් එක්ක මම මුලින්ම නාමික හා මූර්ත පොලී අනුපාතික ගැන විස්තර කරන්නම්. 

අපි උද්ධමනය ඉහළ මට්ටමක තිබෙන කාලයක් ගැන හිතමු. හාල් කිලෝ එකක නැත්නම් පොල් ගෙඩියක මිල මාසයක් තුළ 5%කින් ඉහළ යන බව කාට වුනත් පැහැදිලියි කියා හිතමු. ඔය වගේ වෙලාවක අතේ සල්ලි තිබෙන ඕනෑම කෙනෙක් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් හාල් පොල් මිල දී ගන්න පෙළඹෙනවා. මොකද පහු වෙලා ගන්නවට වඩා දවසක් හරි කලින් ගන්න එක ලාබයි. ඉන්ධන ඉල්ලුම වගේම ඩොලර් ඉල්ලුමත් වැඩි වෙලා තියෙන්නේ ඔය හේතුව නිසා. ඕනෑවටම නෙමෙයි. ගණන් වැඩි වෙන නිසා, අතේ සල්ලිත් තියෙන නිසා ටිකක් වැඩිපුර ගන්නවා. 

උද්ධමන තත්ත්වයක් ඇති වෙන්නෙම රටේ තිබෙන භාණ්ඩ ප්‍රමාණයට සාපේක්ෂව මුදල් ප්‍රමාණය වැඩි වුනාමනේ. මොකද අතේ මුදල් ප්‍රමාණය වැඩි වෙද්දී භාණ්ඩ ඉල්ලුම වැඩි වුනත් භාණ්ඩ සැපයුම වැඩි වෙන්නේ නැහැ. දැන් ඊට අමතරව, කලින් කියපු විදිහටම සමපේක්ෂණය නිසා අමතර භාණ්ඩ ඉල්ලුමක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලය මිල තවත් ඉහළ යන එකයි. (මිල ඉහළ නොගියොත් වෙන්නේ භාණ්ඩ හිඟය තවත් වැඩි වෙන එකයි. තෙල් වලට වගේම ඩොලර් වලටත් වුනේ ඒකයි.)

පේනවනේ වෙන දේ. උද්ධමනය ඉහළ මට්ටමක තියෙද්දී මිල වැඩි වන බව පැහැදිලිව පේන නිසා ඒ හේතුවෙන්ම අමතර භාණ්ඩ ඉල්ලුමක් ඇති වෙනවා. අපේ උදාහරණයේදී මාසයකට මිල වැඩි වීම 5%යි. ඒ කියන්නේ මාසයක් කලින් බඩු අරගෙන තියා ගත්තොත් පාරිභෝගිකයන්ට 5%ක අමතර වාසියක් තියෙනවා. 

එතකොට ව්‍යාපාරිකයන්ට? අපි හිතමු සිල්ලර කඩයක් ගැන. දැන් මේ කඩේට මොනවා හෝ බඩු ටිකක් මිල දී අරගෙන මාසයක පමණ කාලයක් තුළ 10%ක ලාබයක් තියාගෙන විකුණනවා කියා හිතමු. මාසයකට 5%කින් බඩු මිල වැඩි වෙද්දී ඔය ලාබය නිකම්ම 15% වෙනවා. 

අපි වෙන නිෂ්පාදන කර්මාන්තයක් ගැන හිතමු. සරල ලෙස, බිත්තර හා පාන්පිටි යොදා ගෙන බිත්තර ආප්ප හදා විකුණන එක ගැන හිතමු. ඒත් කතාව ඔය වගේ.  බිත්තර හා පාන්පිටි මිල වැඩි වෙද්දී බිත්තර ආප්ප මිලත් ඉහළ යනවා. නමුත්, එයින් ලාබය වැඩි වෙන්නේ නැහැ. හැබැයි කලින්ම බිත්තර හා පාන්පිටි අරන් තිබුණානම් එතැන අමතර ලාබයක් තියෙනවා. වඩා සංකීර්ණ නිෂ්පාදනයක් ගැන හිතුවත් උද්ධමන කාලයකදී අමුද්‍රව්‍ය කලින්ම මිල දී ගැනීමෙන් ඔය වාසිය එනවා. ඒ වගේම, මිල අඩු වන වකවානු වලදී ඕකම අනෙක් පැත්තට වෙලා පාඩුවක් වෙනවා. පාඩුවක් වෙනවා කියන එකෙන් අදහස් කළේ ලාබය අඩු වෙනවා කියන එකයි. 

දැන් අපි මේ කතාවට පොලී අනුපාතික එකතු කරමු. ඔය කලින් කියපු වාසිය ගන්න පුළුවන් වෙන්නේ අතේ සල්ලි තියෙන අයට විතරනේ. නමුත්, 2% පොලියට ණය ගන්න පුළුවන්නම් තත්ත්වය කොහොමද? 

උද්ධමනය නිසා ලැබෙන අමතර වාසිය 5%යි. අතේ සල්ලි නැත්නම් ණයට බඩු අරගෙන 2% පොලිය ගෙවුවත් 3%ක් වාසියි. ඒ නිසා, පොලී අනුපාතික උද්ධමනය අනුපාතිකයට වඩා අඩුනම් ඕනෑම පුද්ගලයෙක් හෝ ව්‍යාපාරිකයෙක් ණය ගන්න පෙළඹෙනවා. මොකද අවදානමක් නැති ලාබයක්!

දැන් මෙය කොහොමද මුදල් සැපයුම කෙරෙහි බලපාන්නේ? පොලී අනුපාතික උද්ධමනයට වඩා පහතින් තිබෙන තුරු ණය ගන්න පුළුවන් හැම කෙනෙක්ම පුළුවන් තරම් ණය ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. මේ විදිහට ණය ගන්න අය විශාල ලාබයක් ලබන්නේ ඵලදායීතාවය වැඩි කරගෙන නෙමෙයි. උද්ධමනයේ උදවුවෙන්. මහ බැංකුවේ උදවුවෙන්. 

උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකු විසින් පොලී අනුපාතික ඉහළ දමන්නේ ඔය හේතුව නිසා. අවම වශයෙන් උද්ධමනය හා ගැලපෙන තරමට පොලී අනුපාතික ඉහළ දැමුවේ නැත්නම් වෙන්නේ දිගින් දිගටම ණය ඉල්ලුම වැඩි වී මුදල් සැපයුම ප්‍රසාරණය වෙන එකයි.

මම කලින්ම මූර්ත පොලී අනුපාතික කියා දෙයක් ගැන කිවුවනේ. මූර්ත පොලී අනුපාතිකය කියා කියන්නේ නාමික පොලී අනුපාතිකය හා උද්ධමනය අතර වෙනස. නාමික පොලී අනුපාතිකය කියා කියන්නේ අපි ඔය නිකම්ම පොලී අනුපාතිකය කියන එක. නාමික කියා විශේෂණයක් එක් කරන්නේ මූර්ත පොලී අනුපාතික කියා වෙනම එකක් ගැන කතා කරන්න අවශ්‍ය නිසා.

උදාහරණයක් විදිහට දැන් උද්ධමනය 60% පමණ. අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතිකය 36%ක් කියලා. එතකොට වෙනස, ඒ කියන්නේ මූර්ත පොලී අනුපාතිකය සෘණ 24%ක්. එයින් අදහස් කරන්නේ කුමක්ද? ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතිකය 36%ක් වුනත්, පුළුවන් තරම් ණය ගන්න එක වාසියි කියන එකයි. මොකද 60%කින් (මාසයකට 5%කින්) බඩු ගණන් යන නිසා 36%ක් (මාසයකට 3%ක්) පොලී ගෙවුවත්, තව 24%ක් (මාසයකට 2%ක්) ලාබයි.

අතේ සල්ලි තියෙන, සල්ලි බැංකුවේ දමා තියෙන කෙනෙක් ගැන හිතමු. ඉතිරි කිරීම් සඳහා බැංකු වල පොලිය 12%යි කියා කියමු. මාසයකට 1%යි. දැන් ඔය සල්ලි බැංකුවේ නොතියා මොනවා හෝ බඩු අරගෙන ගෙදර ස්ටොක් කර ගත්තොත් 5%කින් බඩු ගණන් යන නිසා 4%ක වාසියක් තියෙනවා. ඒ නිසා, උද්ධමනය හා ගැලපෙන පරිදි පොලී අනුපාතික වැඩි නොකළොත්, මිනිස්සු බැංකු වල තිබෙන තමන්ගේ සල්ලි අදින්න පටන් ගන්නවා. ඒකෙන් වෙන්නෙත් මුදල් සැපයුම ඉහළ යන එක. මේ විදිහට සල්ලි ඇදලා වියදම් කරන එකේදී වෙන්නේ උද්ධමනයේ වාසිය ගන්න එක මිසක් ඵලදායීතාවය වැඩි කර ගැනීමක් නෙමෙයි. 

මූර්ත පොලී අනුපාතික සෘණ පැත්තේ තිබෙනවා කියා කියන්නේ එක පැත්තකින් ණය ඉල්ලුම වැඩි වෙනවා කියන එක. අනෙක් පැත්තෙන් ඉතිරි කිරීම් අඩු වෙනවා කියන එක. ඔය දෙකෙන්ම වෙන්නේ මුදල් සැපයුම ප්‍රසාරණය වෙන එකයි. මෙය වැළැක්වීම සඳහා ලෝකයේ ඕනෑම මහ බැංකුවක් විසින් යොදා ගන්නා ප්‍රධානම මෙවලම පොලී අනුපාතිකයි. 

දැන් උද්ධමනය 60% වගේ වෙලානේ. ඒ කියන්නේ පොලී අනුපාතික 60% කළ යුතුද?

පොලී අනුපාතික 60% කළ යුතුයි කියා මම යෝජනා කරන්නේ නැහැ. උද්ධමනය 60% යන්නෙන් අදහස් වෙන්නේ පසුගිය වසරක කාලය තුළ මිල වැඩි වීම එපමණ බවයි. නමුත්, අද යම් කිසිවකු විසින් දමන වසරක ස්ථිර තැන්පතුවක පොලී අනුපාතිකය 15%නම්, එම පොලිය ලැබෙන්නේ අද සිට ඉදිරි වසර සඳහා. ඒ නිසා, මෙහිදී අදාළ වන්නේ අද සිට වසරකට පසුව උද්ධමනයයි. එය අපි හරියටම දන්නේ නැහැ. වසරකට පසු උද්ධමනය 30% දක්වා අඩු වෙයි කියා හිතන්න පුළුවන්නම් 30% පොලී අනුපාතිකය ගැලපෙන එකක්. වසරකට පසු උද්ධමනය එපමණ අඩු වී තිබෙන්න බැරිකමක් නැහැ. නමුත්, 15% වැනි මට්ටමකට අඩු වෙයි කියලානම් හිතන්න අමාරුයි. 

ඒ නිසා, මුදල් සැපයුම පාලනය කිරීම සඳහා පොලී අනුපාතික අවම වශයෙන් 30% මට්ටමේවත් පවත්වා ගත යුතුයි. ඒ වැඩේ නොකර උද්ධමනයට මුහුණ දීම සඳහා ඵලදායීතාවය වැඩි කර ගන්න කියලා මහ බැංකුව කියනවානම් එය මහ බැංකුවේ රස්සාව හරියට නොකර වැරැද්ද අනුන් පිට දමන්න කියන කතාවක්. 

තර්කයක් විදිහට ගත්තොත් ඔය ඵලදායීතාවය වැඩි කර ගැනීමේ කතාව වඩා ගැලපෙන්නේ මූර්ත පොලී අනුපාතික ගොඩක් ඉහළ මට්ටමක තිබෙන වෙලාවකදීයි. දැන් උද්ධමනය 60%යි. අපි හිතමු ණය පොලී අනුපාතිකය 70%යි කියලා. ඔය 70%ක  පොලියෙන් 60%ක්ම උද්ධමනය නිසා නැවත ආපසු ලැබෙනවා. ඵලදායීත්වය වැඩි කර ගන්න වෙන්නේ උද්ධමනයේ වාසිය නොලැබෙන ඉතිරි 10% ආවරණය කර ගන්නයි. 

Sunday, August 14, 2022

එන ඩොලර් හා යන ඩොලර්

රුපියල් විකුණා ගැනීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියක විස්තර කළා. එහි විස්තර කළ පරිදි ලංකාව දැනට මුහුණ දෙන ඩොලර් හිඟය රුපියල් අතිරික්තයක් ලෙසද හැඳින්විය හැකියි. විකුණාගත නොහැකි අතිරික්තයක් ඇති විට එයට විසඳුම මිල අඩු කිරීම වුවත්, මේ වෙලාවේ එවැන්නක් කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳෙන්නේ ඇයි කියන එකත් මම පැහැදිලි කළා. කෙසේ වුවත්, වෙනත් කළ යුතු ඇතැම් දේ මුලින් කිරීමෙන් පසුව මේ ඩොලර් අතිරික්තයෙන් නිදහස් වීම පිණිස රුපියලේ මිල අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ දෙන්න වෙනවා.

වැටී සිටින වලෙන් ගොඩ යාමේ මාර්ගය තුළ කළ යුතු පළමු දෙය ණය ප්‍රතිව්‍යුහගත කර ණය හිමියන් විසින් වෙළඳපොළට රුපියල් සැපයීම තාවකාලිකව වැළැක්වීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් වනවා කියා කියන්නේ තමන්ට ලැබිය යුතු මුදල් අනාගතයේ දිනෙක ඩොලර් වලින් ලැබෙන බවට සහතිකයක් ණය හිමියන්ට ලැබෙනවා කියන එකයි. ඒ සහතිකය ලැබීමෙන් පසුව ඔවුන්ට වෙළඳපොළෙන් ඩොලර් එකතු කර ගැනීමට හදිස්සියක් නැතිව යනවා. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් කර ගැනීම වුවද දැඩි අභියෝගාත්මක කටයුත්තක් වුවත්, ඒ වැඩේ හොඳ විදිහට අවසන් වුනා කියා අපි හිතමු. මෙහිදී තමන්ගේ ණය හෝ ණයෙන් එකඟ වූ කොටසක් දැන්ම ආපසු නොගෙන යම් කාලයකට පසුව ආපසු ගැනීමට ඔවුන් එකඟ වෙනවා කියා හිතමු. ඉන් පසුව, විණිමය වෙළඳපොළේ රුපියල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයිද?

ණය ටික පැත්තකින් තිබ්බත් ලංකාව කාලයක් තිස්සේ නූපයූ ඩොලර් වියදම් කළ රටක්. ඒ වැඩේ තව දුරටත් කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ, ඩොලර් වියදම් ඩොලර් ආදායම් වල ප්‍රමාණයට සීමා කර ගන්න එක දිගටම කරන්න වෙනවා. 

ඒ මට්ටමට ඩොලර් වියදම් සීමා කර ගත්තා කියලත් ප්‍රශ්නය කෙළවර වෙන්නේ නැහැ. විදේශ ණය හා අදාළව තව දුරටත් ප්‍රශ්න දෙකක් ඉතිරි වෙනවා. පළමුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට යටත් නොවන දැනටත් දිගටම ගෙවාගෙන යන ණය ගෙවන්නත් උපයන ඩොලර් වලින් කොටසක් ඉතිරි කර ගන්න වෙනවා. මෙය කෙටිකාලීන ප්‍රශ්නයක්. ඊළඟට, පහු වෙලා හරි ඉතිරි ණය ටිකත් ගෙවන්න වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ එම ණය වලින් කොටසක් කපා හරින්න ණය හිමියන් කැමති වුනත්, ඉතිරි කොටස ගෙවන්න වෙනවා. එය දිගුකාලීන ප්‍රශ්නයක්.

මේ සමස්ත කතාව ඇතුළේ පැහැදිලිව කියවෙන දේ තමයි මෙතෙක් දිගින් දිගටම කරගෙන ආපු අලුත් ණය වලින් පරණ ණය ගෙවමින් පරිභෝජනය කළ සුන්දර අතීතයට නැවත යන්න බැහැ කියන එක. ඒ විතරක් නෙමෙයි. දැනට එකතු වී තිබෙන පරණ ණය ආපසු ගෙවීම සඳහාත් යම් තරමකින් පරිභෝජනය කැප කරන්න වෙනවා කියන එක.

විශාල කාලයකට පස්සේ පසුගිය ජූනි මාසයේදී ලංකාවේ වෙළඳ ශේෂය ධන පැත්තට ගිහින් තිබෙනවා. කියන විදිහට අන්තිමට වෙළඳ ශේෂය ධන පැත්තේ තිබිලා තියෙන්නේ 2002දී. මේ විදිහට වෙළඳ ශේෂය ධන පැත්තට යාම සාමාන්‍ය තත්ත්වයක් යටතේ සිදු වූ දෙයක් නොවන බව කාට වුනත් පැහැදිලියි. ආනයන පාලනයක් නොතිබුනානම් ඔය වැඩේ වෙන්නේ නැහැ. හැබැයි ආනයන පාලනය නිසා හෝ වැඩේ වෙලා තියෙනවා.

ජූනි මාසයේ වෙළඳ ශේෂය ධන පැත්තට යන්නේ එක පැත්තකින් ආනයන පාලනය හා ඩොලර් හිඟය හේතුවෙන් ආනයන වියදම විශාල ලෙස අඩු වෙද්දී අනෙක් පැත්තෙන් අපනයන ආදායමත් සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා. ඩොලර් මිලියන 21ක අතිරික්තය  විශාල මුදලක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ වගේ අතිරික්තයක් වාර්තා වෙන්නේ ඩොලර් මිලියන සිය ගණනක වෙළඳ හිඟයක් ආවරණය කර ගෙනයි. වෙළඳ හිඟය වැසී යනවා කියන්නේ සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ ටික අතිරික්තයක් විදිහට ඉතිරි වෙනවා කියන එකයි.

ඩොලර් හිඟයට පිළියමක් විදිහට ඩොලරයක මිල ඉහළ යන්න දීම විකල්පයක්නම් ඒ වැඩෙන් ඉලක්ක කෙරෙන්නේ අපනයන ආදායම් වැඩි කර ගැනීම හා ආනයන වියදම් අඩු කර ගැනීම. වෙන ක්‍රමයකට වුනත් දැන් ඔය දෙකම වෙලා. මම හිතන්නේ අපනයන ආදායම් වල වැඩි වීම තිරසාර එකක් කියලා. ආනයන වියදම් ගැනනම් ඒ කතාව කියන්න බැහැ. නිදහසේ ආනයන කරන්න ඉඩ ඇරියොත් ආනයන වියදම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. හැබැයි එහි යම් තිරසාර අඩු වීමක් තිබිය යුතුයි. ඒ කියන්නේ, වෙළඳ හිඟය පියැවී තියෙන්නේ ඩොලරයක මිල රුපියල් 360 දක්වා ඉහළ යාම නිසා නොවුනත්, ඒ හේතුව නිසා වෙළඳ හිඟයේ පැහැදිලි අඩු වීමක් සිදු වී තිබිය යුතුයි.

අපනයන වියදම් ඩොලර් මිලියන 1,200 මට්ටමට අඩු වීම මම පෞද්ගලිකව අපේක්ෂා නොකළ දෙයක්. මගේ අදහස වුනේ මේ වියදම ඩොලර් මිලියන 1,400 සීමාවෙන් පහළට ගන්න එක කළ නොහැකි තරම් අසීරු වැඩක් කියලයි. මේ අඩුවීම ජූනි මාසයේ ඇති වූ තාවකාලික තත්ත්වයක්ද කියලා බලාගන්න වෙන්නේ ජූලි මාසයේ දත්ත ලැබුණු පසුවයි. 

මොන විදිහකින් හරි ජූනි මාසයේ ඔය වැඩේ වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ආනයන සඳහා වැය වී තිබෙන්නේ අපනයන ආදායම් ටික පමණයි. ඒ අතර අනෙක් පැත්තනේ ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ලෙස ඩොලර් මිලියන 333කුත් ලැබී තිබෙනවා. ඒ කියන්නේ ආනයන වියදම් වලට වඩා වැඩියෙන් ඩොලර් මිලියන 350ක් පමණ රටට ලැබී තිබෙනවා. මේ ඩොලර් ප්‍රමාණය බොහෝ විට හදිසි ණය ගෙවීම සඳහා වැය වුනා වෙන්න පුළුවන්. 

ජූලි මාසයේ තත්ත්වයත් ජූනි මාසයේ වගේමද කියා මම හරියටම දන්නේ නැහැ. යම් විදිහකින් අමාරුවෙන් හෝ වෙළඳ ශේෂය සමතුලිතව පවත්වා ගෙන, ශ්‍රමික ප්‍රේෂණ ආදියෙන් ලැබෙන ඩොලර් ටිකෙන් ණය ගෙවාගෙන ගියොත් යම් කාලයක් යද්දී බැංකු පද්ධතියේ ණය වලින් සැලකිය යුතු කොටසක් අඩු කර ගන්න වුනත් පුළුවන්. සෘණ පැත්තේ තියෙන බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යන බව (සෘණ අගය අඩු වන බව) පැහැදිලිව පෙනෙන්න ගත්තොත් කෙටි කාලයක් තුළ ගොඩක් දේවල් වෙනස් වෙනවා. මේ වෙනස මාස තුන හතරකදී වුනත් වෙන්න පුළුවන්. 

මොන විදිහකින් හෝ මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතියේ විදේශ වත්කම් ධන පැත්තට ගියොත් එතැනින් එහාට රුපියලේ අගය ස්ථාවර කර ගන්න එක අමාරු දෙයක් නෙමෙයි. බැංකු පද්ධතියේ විදේශ වත්කම් ධන පැත්තට නොගියත් යමින් තිබෙන බව පැහැදිලිව පෙනුණු වහාම බැංකු පද්ධතිය හරහා නොඑන ශ්‍රමික ප්‍රේෂණ නැවත බැංකු පද්ධතිය හරහා එන්න පටන් ගන්නවා. ඊටත් වඩා වැදගත්ම දේ කෙටිකාලීන ආයෝජන එන්න පටන් ගන්න එකයි.

මේ වන විට රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික 28% පමණ මට්ටමක තියෙනවා. ඩොලරයක මිලත් ස්ථාවරව තිබෙනවා. ඒ කියන්නේ විදේශ ආයෝජකයෙකුට ඉතාම ආකර්ශනීය තත්ත්වයක්. එහෙම තියෙද්දිත් ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වලට විදේශිකයන්ගේ ඉල්ලුමක් පේන්න නැත්තේ රුපියල් කරන ඩොලර් නැවත ඩොලර් කර ගන්න පුළුවන් වීම ගැන සහතිකයක් නැති නිසා. ඒ වගේම, ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ දිගටම තියා ගත හැකි වෙයි කියන එක ගැන සහතිකයක් නැති නිසා. මොන විදිහකින් හෝ ඔය තත්ත්වය වෙනස් වුනොත් කෙටිකාලීන ආයෝජන විදිහට ඩොලර් ලංකාවට එන්න ගන්නවා. එහෙම එද්දී ඩොලරයක මිල කොහොමටත් ස්ථාවර වෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණොත් ඔය වැඩේ වෙනවා. එකවර ලැබෙන්නේ ඩොලර් බිලියනයක් වගේ ගාණක් පමණක් වුනත්, එයින් සැලකිය යුතු "මානසික" බලපෑමක් වීමෙන් කෙටිකාලීන ප්‍රාග්ධන ආයෝජන කරාමය ඇරෙන්න පුළුවන්. සංචාරක ඉපැයීම් විශාල ලෙස ඉහළ ගියොත් ඊට කලින්ම වුනත් ඔය කරාමය ඇරෙන්න පුළුවන්. ඔය දෙකෙන් එකක්වත් සිදු නොවුනොත් බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ දමා ගන්න එක ලේසි නැහැ. හැබැයි අඩු වශයෙන් තියෙන මට්ටමේ තියා ගන්න පුළුවන්. 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් සැලකිය යුතු ලෙස ඉහළ යන තුරු විණිමය අනුපාතය පා කරන්න අමාරුයි. ඒ කියන්නේ ආනයන සීමා ඉවත් කරන්නත් අමාරුයි. හැබැයි ආනයන සීමා දිගටම පවත්වා ගන්නත් බැහැ. එහෙම කරනවා කියන්නේ රටේ මූර්ත අංශය දවසෙන් දවස පස්සට යනවා කියන එකයි. හැකි මුල් අවස්ථාවේම විණිමය අනුපාතය පා කරන්න වෙනවා. ඒ වගේම, ඒ මොහොතේ සිට දිගුකාලීන විසඳුම් ගැන අවධානය යොමු කරන්න වෙනවා. 

විණිමය අනුපාතය ස්ථාවරව තියාගෙන පොලී අනුපාතික ඉහළින් තියා ගැනීම මගින් විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම හොඳ කෙටිකාලීන උපක්‍රමයක්. හැබැයි මේ උගුලේ හිර වුනෙත් ඔය වැඩෙන්ම තමයි. එහෙම කියලා දැන් මේ වැඩේ නොකර ඉන්න බැහැ. ලිං කටෙන්ම ගොඩ යාමේ උත්සාහයක් කියලා හිතලා අවබෝධයෙන් යුතුව වැඩේට අත ගහන්න ඕනෑ. 

ඒ එක්කම අමතක නොකළ යුතු දෙය ආනයන සීමා ඉවත් කරලා රුපියල නිදහස් කළ වහාම ඔය විදිහට එකතු වන කෙටිකාලීන ප්‍රාග්ධනය ආපහු යනවා කියන එක. ඒක මතක තියාගෙන රටට එන ඩොලර් ටික පරිස්සම් කර ගන්න වෙනවා. කලින් දිගින් දිගටම කරපු වැරැද්ද මේ විදිහට රටට එන කෙටිකාලීන ප්‍රාග්ධනය ආනයන වෙනුවෙන් වැය කර නාස්ති කරගත් එකයි. 

වෙනත් විදිහකින් කිවුවොත්, ඩොලරයක මිල දැන් තියෙන මට්ටමේම තියෙද්දී මොන විදිහකින් හෝ රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ ගියොත්, ඒ ඩොලර් ටික ආනයන වෙනුවෙන් වැය නොකළ යුතුයි. එක්කෝ ණය ආපසු ගෙවන්න යෙදවිය යුතුයි. නැත්නම් බැංකු පද්ධතිය ඇතුළේ සංචිත ලෙස රඳවා තබා ගත යුතුයි. ඒ වගේම, යම් මොහොතක ආනයන සීමා ඉවත් කරන්න තීරණය කරනවානම්, එයට සමාන්තරව ඩොලරයක මිල රිසි සේ ඉහළ යන්න ඉඩ ඇරිය යුතුයි. ඩොලරයේ මිල පාලනය කිරීම සඳහා බැංකු පද්ධතියේ එකතු වී තිබෙන විදේශ සංචිත නොවිකිණිය යුතුයි.

දැන් ඉන්න තැන සිට කෙටිකාලීනව වගේම දිගුකාලීනවත් ගොඩ යා හැකි මාර්ග සිතියම ඕකයි. දිගුකාලීනව ආනයන වෙනුවෙන් වැය කළ යුත්තේ උපයන ඩොලර් පමණයි. එයින්ද යම් කොටසක් පරණ ණය ගෙවන්න වෙන් කරන්න වෙනවා. කෙටිකාලීන ප්‍රාග්ධනය ලෙස ඕනෑවටත් වඩා ඩොලර් රටට ගලාගෙන ආවොත් ඒ ඩොලර් ආනයන වෙනුවෙන් වැය නොකර සංචිත ලෙස තබා ගත යුතුයි. ඔය වැඩේ කළොත් අපනයන ආදායම් ටිකෙන් ටික වැඩි වී ආනයන වියදම් ඒ හා ගැලපෙයි.

නමුත් කෙටිකාලීනව ඔය වැඩේ කරන්න බැරි බව මම කලින් පැහැදිලි කළානේ. ඒ නිසා, දැනට විණිමය අනුපාතය පාලනය කරන්න වෙනවා. එය කරන තුරු ආනයන පාලනයත් කරන්න සිදු වෙනවා. මෙය කළ යුත්තේ මේ කරන්නේ අඩු නරක තෝරා ගැනීමක් බව අමතක නොකරමිනුයි. ලැබෙන ඩොලර් ටික අපනයන කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙනුත්, සංචාරක කර්මාන්තය වැනි ඩොලර් උපයන කර්මාන්ත වෙනුවෙනුත් වෙන් කරන එක කළ යුතුම දෙයක්. IMF සල්ලි නැතත් රට ගොඩ යන බව පේනවානම් IMF එක ඉතා ඉක්මණින් සල්ලි දෙනවා. IMF සල්ලි දුන්නත් ගොඩ යන පාටක් පේන්න නැත්නම් වෙන්නේ මොනවා හරි කතාවක් කියලා වැඩේ පස්සට දමන එක. 

අනාගතය ගැන කියන්න තවමත් ඉක්මන් වැඩි වුවත්, මහ බැංකු අධිපති මාරුවෙන් පසුව සිදු වූ ප්‍රතිපත්ති වෙනස්කම් වල ප්‍රතිඵල පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. රටේ තත්ත්වය හොඳ අතට හැරී නැතත්, තවත් නරක අතට යන එක නැවතී ඇති බව නිර්ණායක ගණනාවකින්ම පෙන්නුම් කරනවා.

පළමුව, ශ්‍රමික ප්‍රේෂණ වල වැඩි වීමක් නොපෙනුනත් අඩු වීමේ ප්‍රවණතාව නැවතී තිබෙනවා. දෙවනුව, පාලිත තත්ත්වයක් යටතේ වුවත්, වෙළඳ ගිණුම තුලනය වී තිබෙනවා. තෙවනුව, මුදල් සැපයුම වේගයෙන් වැඩි වීම නැවතී ස්ථාවර වී තිබෙනවා. සිවු වනුව, පුළුල් මුදල් සැපයුමේ සංරචක වන රජයට හා පෞද්ගලික අංශයට බැංකු අංශයෙන් දෙන ණය ලොකුවට අඩු වී නැතත් තිබුණු මට්ටමේ ස්ථාවර වී තිබෙනවා. මෙය ආර්ථික වර්ධනය කෙරෙහි හානිකර බලපෑමක් කරන නමුත් දැන් තිබෙන්නේ ආර්ථික වර්ධනය ගැන සිතිය හැකි තත්ත්වයක් නෙමෙයි. පස් වෙනුව, බැංකු අංශයේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ ගොස් නැතත් අඩු වීම නැවතී ස්ථාවර වී තිබෙනවා. 

මේ සියල්ල සාධනීය තත්ත්වයන් වුවත්, අර්බුදයෙන් ගොඩ යාම සඳහා මේ තත්ත්වයන් තවදුරටත් හොඳ අතට හැරිය යුතුයි. එහෙත්, පවතින තත්ත්වය එක දිගට එලෙසම පවත්වා ගැනීම වුවද විශාල අභියෝගයක්. මහ බැංකුවට එය කළ හැකි වනු ඇත්තේ ඉතා ඉක්මණින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කර රජයේ අයවැය තුලනය කරගන්නේනම් පමණයි.



වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...