වෙබ් ලිපිනය:

Wednesday, July 15, 2020

චීන වත්කම්


ලංකාවේ වගේම ඇමරිකාවේත් ශුද්ධ බැරකම් ගැන කලින් ලිපියෙන් කතා කළා. මේ එක් එක් රටේ ශුද්ධ බැරකම් එම රට වල ජාතික ආදායමෙන් බාගයකට ටිකක් වැඩියි. ඇමරිකන් ඩොලර් බිලියන 84ක ජාතික ආදායමක් උපයන ලංකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 45ක්. ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 21.4ක ජාතික ආදායමක් උපයන ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 12.1ක්.

ඉහත සමානකම තිබුණත් ඇමරිකාවේ ශුද්ධ බැරකම් ලංකාවේ ශුද්ධ බැරකම් මෙන් රටට බරක් නොවන බව මම පැහැදිලි කළා. ඇමරිකාවේ ශුද්ධ බැරකම් මුළු බැරකම් ප්‍රමාණයෙන් 31%ක් පමණක් වුවත්, ලංකාවේ ශුද්ධ බැරකම් මුළු බැරකම් ප්‍රමාණයෙන් 77%ක් වීම මේ වෙනසට එක් හේතුවක්. එක් එක් රට තමන්ගේ වත්කම් වලින් උපයන හා බැරකම් වෙනුවෙන් ගෙවන පොලී අනුපාතික අතර වෙනස දෙවන හේතුවයි. කොහොම වුනත් ලෝකයේ විශාලතම ශුද්ධ බැරකම් සහිත රට ඇමරිකාව බව පැහැදිලි කරුණක්.

ලෝකයේ රටවල් අතරින් වැඩිම ශුද්ධ වත්කම් ඇති රටක් වන්නේ චීනයයි. 2020 මාර්තු අවසානයේදී ලෝකය පුරා වූ චීන වත්කම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 7,635.4ක් වෙද්දී චීනයේ බැරකම් වල වටිනාකම වුනේ ඇමරිකන් ඩොලර් බිලියන 5,498.1ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් ප්‍රමාණයක් චීනය සතුයි. එම ප්‍රමාණය චීනයේ මුළු බැරකම් ප්‍රමාණයෙන් 39%ක්.

ලංකාවේ ඩොලර් 100ක වත්කම් වලට සාපේක්ෂව බැරකම් ලෙස ඩොලර් 438ක් තිබෙනවා. ඇමරිකාවේ ඩොලර් 100ක වත්කම් සාපේක්ෂව වලට බැරකම් ලෙස ඩොලර් 145ක් තිබෙනවා. එහෙත්, චීනයේ  ඩොලර් 100ක වත්කම් වලට සාපේක්ෂව බැරකම් තිබෙන්නේ ඩොලර් 72ක් පමණයි. වෙනස පැහැදිලියිනේ.

හැබැයි ශුද්ධ බැරකම් තිබුණු පලියටම ඇමරිකාවෙන් ප්‍රාග්ධනය පිටතට ගලා නොයන බව අපි පෙර ලිපියෙන් දැන ගත්තානේ. ඒ කියන්නේ ශුද්ධ වත්කම් තිබුණු පලියටම ප්‍රාග්ධනය රටක් ඇතුළට ගලා එන බවටත් සහතිකයක් නැහැ. ඒ නිසා, අපට චීනයේ වත්කම් හා බැරකම් වල සංයුතිය දෙසත් බලන්න වෙනවා.

පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී චීනයේ ශේෂ පත්‍රයයි. මෙයට හොංකොං ඇතුළත්ව නැහැ.

වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-    2,089.5
කළඹ ආයෝජන-                 640.8
මූල්‍ය ව්‍යුත්පන්න-                   10.5
වෙනත් ආයෝජන-           1,714.3
නිල සංචිත-                        3,180.3
එකතුව-                              7,635.4

බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-  2,906.4
කළඹ ආයෝජන-            1,263.2
මූල්‍ය ව්‍යුත්පන්න-                 11.9
වෙනත් ආයෝජන-         1,316.6
එකතුව-                             5,498.1

චීනයේ වත්කම් හා බැරකම් වල සංයුතිය දිහා බැලුවහම අපට කලින් නොපෙනුණු කරුණු කිහිපයක් පෙනෙනවා. රාජ්‍ය මැදිහත්වීම් වල බලපෑම අඩු සෘජු විදේශ ආයෝජන හා කළඹ ආයෝජන පමණක් සැලකුවොත් චීනයේ වත්කම් වලට වඩා බැරකම් වැඩියි. චීනයේ ශුද්ධ විදේශ වත්කම් වලට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ චීනය සතු විශාල විදේශ සංචිත ප්‍රමාණයයි.

චීනය සතු ඇමරිකන් ඩොලර් බිලියන 3,180.3ක නිල සංචිත වලින් ඇමරිකන් ඩොලර් බිලියන 3,060.6ක්ම විදේශ ව්‍යවහාර මුදල් සංචිත. මේ විදේශ ව්‍යවහාර මුදල් සංචිත තිබුණේ නැත්නම් චීනයේ ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් ශුද්ධ බැරකමක් බවට හැරෙනවා. මේ විදිහට සංචිත ලෙස එකතු වී තිබෙන්නේ කාලයක් තිස්සේ ඇමරිකාව සමඟ කළ විදේශ වෙළඳාමේ වෙළඳ ශේෂය කියන්නත් පුළුවන්. එය සෘජුව වගේම වක්‍ර ලෙසිනුත් සිදු වී තිබෙනවා. උදාහරණයක් විදිහට අපිට ලංකාව කතාවට එකතු කරන්න පුළුවන්. ලංකාව ඇමරිකාව සමඟ කරන වෙළඳාමෙන් එකතු කර ගන්න ඇමරිකන් ඩොලර් චීනය සමඟ කරන වෙළඳාමේදී චීනයට යනවා.

ලංකාව විසින් ලෝකයට ණය වෙමින් රුපියල ආරක්ෂා කරගන්න දඟලද්දී චීනය විසින් කාලයක් තිස්සේ කළේ එහි අනික් පැත්තයි. චීන මහ බැංකුව විසින් අපනයන හරහා චීනයට ලැබෙන ඇමරිකන් ඩොලර් එකතු කර ගනිමින් දිගින් දිගටම චීනය ඇතුළේ කෘතීම ඩොලර් හිඟයක් ඇති කළා. එහි ප්‍රතිඵලය ලෙස එක පැත්තකින් චීනයට ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සීමා වී ආනයන සීමා වෙද්දී අනික් පැත්තෙන් චීන යුවානය එහි නියම වටිනාකමට වඩා දුර්වල වී ඩොලරය එහි නියම වටිනාකමට වඩා ශක්තිමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස චීන භාණ්ඩ චීනයෙන් පිටතදී එහි නියම මිලට වඩා ලාබ වෙනවා. ඇමරිකන් බඩු මිල අධික වෙනවා.

මෙහි ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාව ඇතුළේදී චීන භාණ්ඩ ගොඩක් ලාබ වෙනවා. ඇමරිකන් භාණ්ඩ වලට චීන බඩු එක්ක තරඟ කරන්න අසීරු වෙනවා. චීනය හා ඇමරිකාව අතර චීනයට වාසිදායක වෙළඳ ශේෂයක් ඇති වෙනවා. චීන ආනයන වෙනුවෙන් ඇමරිකාව ගෙවන ඩොලර් ඇමරිකන් අපනයන සමඟ හුවමාරු වී නැවත ඇමරිකාවට එන්නේ නැහැ. ඒ නිසා, චීනය ඇතුළේ ඇමරිකන් ඩොලර් එකතු වෙනවා.

චීනයේ රාජ්‍ය මැදිහත් වීම නොවන්නට මෙවැනි තත්ත්වයක් වැඩිකල් පවතින්නේ නැහැ. චීනය ඇතුලෙ ඩොලර් සැපයුම ටිකෙන් ටික ඉහළ යන විට ඩොලර් ඉල්ලුම අඩු වී ඩොලරය පිරිහෙනවා. එහෙත්, චීනය එය සිදුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. චීනයට එන ඩොලර් ටික වෙළඳපොළෙන් එකතු කර ගන්නවා. යුවානය ශක්තිමත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. චීනයේ සංචිත ඉහළ යනවා. චීන ඇමරිකා වෙළඳ යුද්ධයට හේතු වුනේ චීන රජය විසින් මේ ආකාරයට දිගින් දිගටම චීනයේ වාසියට විණිමය අනුපාතිකය පාලනය කිරීමයි.

දැන් මේ විදිහට සංචිත ලෙස චීනය ඇතුළේ එකතු වන ඇමරිකන් ඩොලර් වලට මොකද වෙන්නේ? සුරක්ෂිතතාව ගැන හිතනවානම් මේ ඩොලර් නැවත ඇමරිකාවේම ආයෝජනය කළ යුතුයි. ඒ නිසා, ඩොලර් වැඩි ප්‍රමාණයක් නැවත ඇමරිකාවටම ආපසු එනවා. හැබැයි එහෙම කරලා චීනයට ලොකු පොලී ආදායමක් උපයන්න බැහැ. මොකද ඇමරිකාව චීනයෙන් ණය ඉල්ලන්නේ නැහැ. සල්ලි අරගෙන ඇමරිකාවට එන්නේ චීනයයි. ඒ නිසා, චීනයට ගන්න වෙන්නේ ඇමරිකාව විසින් ලබා දෙන පොලී අනුපාතිකයයි.

චීනය සමඟ කරන වෙළඳාමෙන් ඇමරිකාවට එක පැත්තකින් ලාබෙට බඩු ලැබෙනවා. අනෙක් පැත්තෙන් අඩු පොලියකට ප්‍රාග්ධනය ලැබෙනවා. මේ වැඩේ කාලයක් තිස්සේ අවුලක් නැතුව සිදු වුනේ ඒ නිසයි. ඇමරිකාවට සිදු වූ අවුල මේ වැඩෙන් ඇමරිකානුවන්ගේ රැකියා අහිමි වීමයි. ඇමරිකාවේ චීන විරෝධය මතු වුනේ රැකියා ප්‍රශ්නය මුල් කරගෙනයි.

චීනය පැත්තෙන් බැලුවහම චීනයට මේ වැඩෙන් විශාල වෙළඳපොළක් හිමි වුනා. චීනය විසින් විණිමය අනුපාතිකය අවප්‍රමාණය කර තියා ගන්නවා කියා කියන්නේ චීන නිෂ්පාදකයින්ට නියම මිලට වඩා අඩු මිලක් ලැබෙනවා කියන එක. චීන ශ්‍රමිකයින්ට නියම වැටුපට වඩා අඩු වැටුපක් ලැබෙනවා කියන එක. ඒ කියන්නේ චීන රජය විසින් සැලසුම් සහගතව චීන ශ්‍රමිකයාව සූරාකෑමක්. චීනය සතු ඩොලර් සංචිත කියා කියන්නේ ඒ විදිහට චීන රජය විසින් එකතු කරගත් නිෂ්පාදන අතිරික්තය. මේ ක්‍රමයට චීනය හා ඇමරිකාව අතර වෙළඳාම චීනයේ වාසියට සිදු වුනත් ඒ වාසිය ලැබෙන්නේ චීන රජයට මිසක් චීන ශ්‍රමිකයාට නෙමෙයි. ඒ නිසා, චීන ශ්‍රමිකයාගේ ආදායම් ඉහළ ගිහින් ඇමරිකාව වැනි බටහිර රටක නිෂ්පාදන මිල දී ගැනීමේ හැකියාවක් චීනය ඇතුළේ හැදෙන්නේ නැහැ.

චීනයේ එකතු වන සංචිත සියල්ලම නැවත ඇමරිකාව ඇතුළේම ආයෝජනය කළොත් චීනයට වෙන්නේ අතින් කාලා හරක් බැලුවා වගේ වැඩක්. වත්කම් තිබුණට මොකටද ඒ වත්කම් වලින් ප්‍රමාණවත් ආදායමක් හැදෙන්නේ නැත්නම්?

චීනයේ ගොඩ ගැහෙන සංචිත වලින් පාඩුවක් නොවෙන්නනම් ඒ සල්ලි කාට හෝ වැඩි පොලියකට දෙන්නම වෙනවා. ලංකාව වගේ රටවල් ණය ගන්න චීනය පස්සේ ගියත් ඇත්තටම කාට හෝ ණය දෙන්න අවශ්‍ය චීනයටමයි. වත්කම් වලට වටිනාකමක් ලැබෙන්නේ ඒ වත්කම් වලින් ආදායම් ඉපැයිය හැකි තරමටයි.

චීනය වගේ රටවල් ඇමරිකාව එක්ක වෙළඳ යුද්ධ වල නිරත වෙන්නේ තමන්ගේ ජාතික ව්‍යවහාර මුදලේ වටිනාකම පහළින් තියා ගන්නයි. චීනයට කලින් ඇමරිකාව මේ වගේ වෙළඳ යුද්ධයක පැටලී හිටියේ ජපානය එක්කයි. එහෙත්, ලංකාව කාලයක් තිස්සේම උත්සාහ කරන්නේ රුපියල මොන විදියෙන් හෝ ශක්තිමත්ව තියා ගන්නයි.

ලංකාවේ රුපියල ශක්තිමත්ව තියා ගන්න උදවු කිරීමෙන් චීනයට වාසි ගණනාවක් ලැබෙනවා. පළමුව මේ වැඩෙන් ලංකාව ඇතුළේ චීන බඩු ලාබ වෙනවා. ඒ නිසා, ලංකාවට සිදු කෙරෙන චීන ආනයන ඉහළ යනවා. දේශීය කර්මාන්ත වැහෙනවා. රැකියා නැති වෙනවා. ඇමරිකාවේදී වෙන දේමයි. හැබැයි ඊට අමතරව තවත් දේවල් වෙනවා.

ලංකාව වගේම චීනයත් තෙවන රටකට විකුණන භාණ්ඩයක් ගැන හිතන්න. දැන් ලංකාවේ භාණ්ඩය නියම මිලට වඩා ගණන්. චීනයේ භාණ්ඩය නියම මිලට වඩා ලාබයි. එක පැත්තකින් ලංකාවට වෙළඳපොළ නැති වෙනවා. අනික් පැත්තෙන් ආයෝජකයෙකුට ලංකාවේ තිබෙන ආකර්ශනීයත්වය අඩු වෙනවා. එක පැත්තකින් ලංකාවේ ආනයන ආදායම අඩු වෙද්දී අනික් පැත්තෙන් ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීම, සෘජු ආයෝජන වගේම කළඹ ආයෝජනත්, අසීරු වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ලංකාවට වැඩි පොලියක් ගෙවා හෝ විදේශ ණය ගන්න සිදු වෙන එකයි. චීනයට තවත් වාසියක්!

ඇමරිකාව එක්ක කරන වෙළඳාම හරහා චීනය සංචිත එකතු කරන තාක් ඒ සංචිත වලින් කොටසක් වැඩි පොලියකට ආයෝජනය කළ හැකි ලංකාව වගේ තැන් හොයා ගන්න එකත් කරන්නම වෙනවා. මෙහිදී අවදානම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අවදානම ගැන හිතනවානම් සල්ලි ආයෝජනය කරන්න තිබෙන්නේ නැවතත් ඇමරිකාවේමයි. කොහොමටත් ඒ වැඩේ වෙනවා. ලංකාව වගේ රටවලදී කෙරෙන්නේ වැඩි අවදානම්- වැඩි වාසි ආයෝජන. අවදානම ඉහළ වුනත් ලැබෙන පොලිය බැලුවහම ඒ අවදානම ගන්න එකේ පාඩුවක් නැහැ.

මොන කතන්දර කිවුවත් අන්තිමේදී ඇමරිකාව චීනයට ණයයි කියන එක වහන්න බැහැනේ. චීනයට වගේම ඇමරිකාවටත් දැනටනම් වැඩෙන් පාඩුවක් නැහැ. චීනය තමන්ගේ වත්කම් වලින් කොටසක් සුරක්ෂිත අඩු පොලී ආයෝජන වලත්, තවත් කොටසක් වැඩි අවදානම් වැඩි පොලී ආයෝජන වලත් දමලා ලාබ ගන්නවා. ඇමරිකාව තමන්ගේ වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු පොලියකට ණය ලබා ගෙන එහි වාසිය ගන්නවා. ඒ නිසා, ඇමරිකාව සතුව ශුද්ධ බැරකම් තිබුණත් ඇමරිකාව ලංකාව වගේ අවදානමක නැහැ.

ඇමරිකාවට මේ වාසිය තියෙන්නේ චීනය වගේ රටවල් ඇමරිකන් ඩොලර් ගොඩගහගන්න නිසානේ. චීනය ඩොලර් එක අත ඇරියොත් ඇමරිකාවට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඩොලර් එක වැටෙන්න ඕනෑ නේද?

කොයි තරම් කතන්දර තිබුණත් ඔය වැඩෙන් ඇමරිකාවට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඇයි? චීනය සතු ඩොලර් සංචිත ප්‍රමාණය එක්ක බැලුවහම ඩොලර් එක වැටෙනවා කියා කියන්නේ චීනයට විශාල පාඩුවක්. චීනය අල්ලාගෙන ඉන්නේ කොටි වලිගයක්. ඒක එහෙම එක පාරට අතාරින්න බැහැ. යම් විදිහකින් චීනය ඔය සංචිත නිදහස් කරනවානම් එය කරන්න වෙන්නේ ටිකෙන් ටික සතෙන් සතේ මිසක් එක පාරට නෙමෙයි.

කොහොම වුනත් චීනය වගේ රටක් ඩොලර් සංචිත සැලකිය යුතු තරමින් නිදහස් කළොත් ඇමරිකන් ඩොලරය පිරිහෙනවා. එයින් ඇමරිකාවට සිදු වන බලපෑම කුමක්ද?

ඇමරිකන් ඩොලරය පිරිහෙනවා කියා කියන්නේ ඇමරිකාව ඇතුළේ ආනයනික භාණ්ඩ මිල අධික වෙනවා කියන එකයි. ඒ වගේම ඇමරිකන් බඩු ඇමරිකාවෙන් පිටතදී ලාබ වෙනවා කියන එක. මේ වගේ දෙයක් වුනොත් ඇමරිකානු නිෂ්පාදකයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා.

ඇමරිකාව ඇතුළේ ආනයනික භාණ්ඩ මිල අධික වෙනවා කියා කියන්නේ ලංකාව ඇතුළේ ඒ දේම වෙනවා වගේ දෙයක් නෙමෙයි. ඇමරිකාව ආනයනය කරන්නේ ඇමරිකාව ඇතුළේ හදන්න බැරි දේවල් නෙමෙයි. ආනයනික භාණ්ඩ හැම දෙයක්ම වගේ ඇමරිකාව ඇතුළේ හදන්න අවශ්‍ය තාක්ෂනය, භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් ඇමරිකාව ඇතුළේ තියෙනවා. එහෙම තියෙද්දී පිටින් ආනයනය කරන්න එකම හේතුව මිල අඩුකම පමණයි.

දැන් ඩොලරය පිරිහී ආනයනික භාණ්ඩ වල මිල වැඩි වුන ගමන් වෙන්නේ කුමක්ද? මේ හැම දෙයක්ම රට ඇතුළේ හැදෙනවා පමණක් නෙමෙයි අපනයන වෙළඳපොළටත් යනවා. ලෝකයට නැවතත් ඩොලර් අවශ්‍ය වෙනවා. ඇමරිකානු ජාතිකවාදය විසින් කරගන්න උත්සාහ කරන්නේත් ඔය වගේ දෙයක්.

ඔය ටික චීනය නොදන්නවා නෙමෙයිනේ. ඒ නිසා, චීනය ඔය කතන්දර වල තියෙන දේවල් කරන්න යන්නේ නැහැ. ඇමරිකාව හා චීනය අතර පෙනෙන්න තිබෙන වෙළඳ යුද්ධය හෝ තරඟය හෝ මොකක් හරි එකේ මතු පිටින් පෙනෙන තරම් ගැඹුරක් නැහැ. රටවල් දෙක අතර සහයෝගීතාවය ඊට වඩා ගැඹුරුයි. ඒ වගේම රටවල් දෙකටම වාසියි.

Tuesday, July 14, 2020

වත්කම්, බැරකම්, බැරිකම් හා පුළුවන්කම්


ඊයේ පෙරේදා දවසක අහම්බෙන් වගේ හිරු නාලිකාවේ ගිය, අනුර කුමාර දිසානායක සහභාගී වූ දේශපාලන සංවාදයක කොටසක් නරඹන්න ලැබුණා. එහිදී අනුර කුමාර විසින් ලංකාවේ ණය අර්බුදයට ඔවුන්ගේ විසඳුම ගැන අදහස් ප්‍රකාශ කළා. තවත් දේවලුත් කතා කළා. අනුර කුමාරගේ අදහස්, මම හිතන විදිහට මේ මොහොතේ ජවිපෙ නිල මතය, කෙටියෙන් මේ විදිහට පෙළ ගස්වන්න පුළුවන්.

- ණය ගැනීම අපරාධයක් හෝ පවක් නෙමෙයි.
- ප්‍රශ්නය ණය ගැනීම නෙමෙයි. ගත් ණය වලට සරිලන වත්කම් හැදී නැති එකයි.
- ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නෙත් ණය අරගෙනම තමයි.

සති තුනකින් පසුව පැවැත්වෙන්නට නියමිත මහ මැතිවරණය පිළිබඳව තවමත් අවිනිශ්චිතතා තිබෙනවා. මහ මැතිවරණය බාධාවකින් තොරව දින නියම කර ඇති ආකාරයට පවත්වන්නට ඉඩ ලැබෙනු ඇතැයි අපි දැනට හිතමු.

පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙට ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව පැහැදිලි කරුණක්. මගේ පෞද්ගලික මතය මෙවර මහ මැතිවරණයේදී ජවිපෙ යම් තරමකින් හෝ ඉදිරියට පැමිණෙනු ඇති බවයි. එහෙත්, ජවිපෙ මේ මැතිවරණය ජයග්‍රහණය නොකරන බව ඉතාම පැහැදිලියි.

මැතිවරණයක් ජයග්‍රහණය නොකරන බව පැහැදිලිව පෙනෙන පසුබිමක දේශපාලන පක්ෂයකට තමන් බලයට ආ පසු කරන දේවල් ගැන ඕනෑ තරම් කතන්දර කියන්න පුළුවන්. නමුත්, ණය අර්බුදය හා අදාළව ජවිපෙ එවැනි මනඃකල්පිත කතන්දරයක් කියන්නේ නැහැ. මම හිතන විදිහට ජවිපෙ විසින් යෝජනා කරන්නේ බලයට පත් වන කවර ආණ්ඩුවකට වුවත් ප්‍රායෝගිකව කළ හැකි දේ.

මොනවා වුනත් ජවිපෙහි මේ ස්ථාවරය අගය කළ යුතුයි. එහි වටිනාකම කැපී පෙනෙන්නේ බලයට පැමිණීමට වැඩි ශක්‍යතාවයක් තිබුණු දේශපාලන පක්ෂ මැතිවරණ වලට පෙර ප්‍රකාශ කර සිටි ස්ථාවරයන් හා සංසන්දනය කළ විටයි.

වසරින් වසර අලුත් වන අර්බුදයක් වුවත් ලංකාවේ ණය අර්බුදය අලුත් එකක් නෙමෙයි. මෑත කාලය ගත්තොත්, යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් ණය අර්බුදය ගැන ලොකුවට කතා කළා. එහෙත්, අර්බුදයෙන් ගොඩ යන ආකාරය පිළිබඳ පැහැදිලි වැඩ පිළිවෙලක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන්ට අනුව ණය අර්බුදයට හේතුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වූ නිසා ඒ වංචා හා දූෂණ නැවැත්වූ පසු පහසුවෙන්ම අර්බුදයෙන් ගොඩ යා හැකිව තිබුණා. මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ආකර්ශනීය ප්‍රකාශයක් වුවත් ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. බලයට පත් වූ පසු ඔවුන්ට වෙනත් විකල්ප වලට යන්න වුනා.

මෙවර ජනාධිපතිවරණයට කලින් ප්‍රචාරය කෙරුණු යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වගේම තවත් කතාවක්. ඒ කතාවට අනුව, රනිල්ට බැරි වුනත් රාජපක්ෂලාට පුළුවන්. මේ හැම කතාවක්ම සිල්ලර කතා. ටිකක් බර විදිහට කියනවානම් ඡන්දදායකයින්ගේ බුද්ධියට නිගා කරන කතා. මම මේ කරන්නේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාව හෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ පිළිබඳ කතාව ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. මා අවධානය යොමු කරන්නේ ලංකාවේ ණය අර්බුදය ඒ වගේ දේවල් වලට ලඝු කිරීමේ තිබෙන රැවටිල්ල පිළිබඳවයි.

ඒ අතින් බැලුවහම ජවිපෙ අවංකයි. ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නේත් තවත් ණය ගනිමින්ම තමයි. එහෙම නැතුව මැජික් විසඳුමක් නැහැ. ඉක්මන් විසඳුමකුත් නැහැ. ආණ්ඩු බලය ලබා ගැනීමේ වැඩි ශක්‍යතාවයක් තිබෙන පක්ෂ විසින් නොකියන මේ ඇත්ත ජවිපෙ විසින් කියනවා.

ණය හා වත්කම් පිළිබඳ ජවිපෙ විග්‍රහයත් පදනමක් තිබෙන එකක්. ණය ගැනීම වැරැද්දක් හෝ නොකළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි එය එසේ වෙන්නේ ණය ගැනීමේ අවසන් ප්‍රතිඵලයක් විදිහට ශුද්ධ වත්කමක් හැදෙනවානම් පමණයි.

ණයක් කියන්නේ බැරකමක්. ඒ නිසා, ණයක් ගන්න හැම විටකම ක්ෂණිකව හා අනිවාර්යයයෙන්ම බැරකමක් හැදෙනවා. එහි හානිය වලක්වාගන්නනම් අදාළ ණය මුදල යොදවා කිසියම් වත්කමක් හදාගත යුතුයි. ඒ විදිහට හදා ගන්නා වත්කම නිසා ඇති වන ධනාත්මක බලපෑම ණය නිසා ඇති වූ සෘණාත්මක බලපෑමට වඩා වැඩිනම් මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුද්ධ වත්කමක් ලෙස සලකන්න පුළුවන්.

අපි උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. කවුරු හෝ කෙනෙක් ණයක් අරගෙන ත්‍රිරෝද රථයක් මිල දී ගන්නවා. කල්බදු ක්‍රමයට කියමු. දැන් මේ ණය වෙනුවෙන් මාස්පතා වියදමක් දරන්න වෙනවා. පොලී මුදල් හා ණය වාරික කියමු. තව ආදායම් බලපත්‍ර, රක්ෂණ වාරික වගේ වියදමුත් එකතු වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිරෝද රථය බැරකමක්. නමුත්, ත්‍රිරෝද රථය කුලියට දීලා මාස්පතා යන වියදමට වඩා ආදායමක් හොයා ගන්න පුලුවන්නම් ඒ බැරකම ඉක්මවන වත්කමක් හැදිලා. ඒ නිසා ත්‍රිරෝද රථය ශුද්ධ වත්කමක් කියා කියන්න පුළුවන්. රටකට වුනත් මේ කතාව අදාළයි.

ණය ගන්න එකේ වැරැද්දක් නැහැ. ප්‍රශ්නය ගත් ණය වියදම් කරන්නේ කොහොමද කියන එකයි. ණය මුදල් යොදවා හදාගත් වත්කම් වල ආදායමින් ණය ගෙවාගෙන යන්න පුලුවන්නම් ගත්ත ණය රටට බරක් වෙන්නේ නැහැ. වසරින් වසර ලංකාවේ ණය ඉහළ යන්නේ ඒ විදිහට ලංකාව විසින් ගත් ණයට සරිලන වත්කම් හැදී නැති නිසයි.

ලංකාවේ රජය විසින් මේ වන විට රුපියල් ට්‍රිලියන 14 ඉක්මවන ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන බව අපි දන්නවා. එම ණය ප්‍රමාණය ලංකාවේ රජයේ බැරකමක්. රජයට ණය දුන් අයගේ වත්කමක්. මේ ණය වලින් රුපියල් ට්‍රිලියන 7.2ක් දේශීය ණය. ඒ කියන්නේ රජයේ බැරකම් වලට සරිලන වත්කම් රට ඇතුළේ කවුරු හෝ සතුව තිබෙනවා. එහෙත්, ඉතිරි රුපියල් ට්‍රිලියන 6.8ට සරිලන වත්කම් ඒ අයුරින් රට ඇතුළේ නැහැ. ඒ නිසා, ඒ කොටස ලංකාවේ රජයේ බැරකමක් වනවාට අමතරව රටේ බැරකමක්ද වෙනවා.

ලංකාවේ බැරකම් වෙන්නේ ලංකාවේ රජයේ බැරකම් පමණක් නෙමෙයි. පෞද්ගලික අංශය විසින් විදේශ ණය ලබාගෙන ඇත්නම් ඒවාද ලංකාවේ බැරකම්. වත්කම්ද එසේයි. ඒ වගේම රටේ බැරකම් වෙන්නේ ණය පමණක්ම නෙමෙයි. සෘජු විදේශ ආයෝජන වගේ දේවලුත් රටේ බැරකම්. මොකද කවුරු හෝ විදේශිකයෙක් විසින් ලංකාවේ කරන ආයෝජනයක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ දිගින් දිගටම රටෙන් එළියට යනවා. කල්පනාකාරී වුනේ නැත්නම් සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම උගුලක අහුවීමක් වෙන්න පුළුවන්.

සමාගමක ශේෂ පත්‍රය හදනවා වගේ රටක ශේෂ පත්‍රයත් හදන්න පුළුවන්. එහි රටේ වත්කම් හා බැරකම් සටහන් වෙනවා. මේ වත්කම් හා බැරකම් සැසඳීමෙන් රටේ ශුද්ධ වත්කම් හෝ බැරකම් තත්ත්වය පරීක්ෂා කර බලන්න පුළුවන්.

කිසියම් රටක වත්කම් හා බැරකම් පහත පරිදි ලැයිස්තුගත කරන්න පුළුවන්.

1. සෘජු විදේශ ආයෝජන: විදේශිකයින් විසින් ලංකාවේ කර ඇති සෘජු ආයෝජන බැරකම් වන අතර ලාංකිකයින් විසින් විදේශ වල කර තිබෙන ආයෝජන ලංකාවේ වත්කම්.

2. කළඹ ආයෝජන: රාජ්‍ය හෝ පෞද්ගලික සුරැකුම්පත් ආදියෙහි, එසේ නැත්නම් කොටස් වෙළඳපොළෙහි කර ඇති ආයෝජන. ලාංකිකයින් විසින් වෙනත් රටවල කර තිබෙන ආයෝජන වත්කම් වන අතර විදේශිකයින් විසින් ලංකාවේ කර තිබෙන කළඹ ආයෝජන ලංකාවේ බැරකම්.

3. මූල්‍ය ව්‍යුත්පන්න: ලංකාවේ මූල්‍ය ව්‍යුත්පන්න ආයෝජන නැති තරම්.

4. වෙනත් ආයෝජන: රජය හෝ මහ බැංකුව විසින් සෘජුව ලබා ගන්නා ණය, දේශීය ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා හෝ ලබා දෙන වානිජ ණය හෝ අත්තිකාරම් ආදිය මේ යටතට වැටෙනවා. වත්කම් මෙන්ම බැරකම්ද තිබිය හැකියි.

5. නිල සංචිත: රටක නිල සංචිත එම රටේ වත්කම් වලින් කොටසක්. ඉහත අනෙකුත් අයිතමයන් මෙන් මෙයට අනුරූප බැරකමක් නැහැ.

පහත තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ලංකාවේ ශේෂ පත්‍රයයි.

වත්කම් (ඇමරිකන් ඩොලර් මිලියන) 

සෘජු විදේශ ආයෝජන-  1,504
කළඹ ආයෝජන-                  0.1
මූල්‍ය ව්‍යුත්පන්න-                  -
වෙනත් ආයෝජන-         4,239
නිල සංචිත-                     7,534
එකතුව-                         13,277

බැරකම් (ඇමරිකන් ඩොලර් මිලියන) 

සෘජු විදේශ ආයෝජන-   12,455
කළඹ ආයෝජන-               9,946
මූල්‍ය ව්‍යුත්පන්න-                  -
වෙනත් ආයෝජන-          35,860
එකතුව-                            58,211

මේ අනුව ලංකාවේ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 58,211ක් වුවත්, වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 13,277ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 44,985ක ශුද්ධ බැරකමක්. ඉහත එක් එක් අයිතමය වෙන වෙනම ගත්තත් හැම විටම වත්කම් මෙන් කිහිප ගුණයක බැරකම් ඇති බව පැහැදිලිව පෙනෙනවා. ඉහත ශුද්ධ බැරකම් රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට ඇමරිකන් ඩොලර් 2,102 ක්.

ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ රටවල් අතරින් ශුද්ධ බැරකම් වැඩිම රටයි. පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ඇමරිකාවේ ශේෂ පත්‍රයයි.

වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-  6.982.0
කළඹ ආයෝජන-         10,987.4
මූල්‍ය ව්‍යුත්පන්න-           3,000.5
වෙනත් ආයෝජන-        5,259.7
නිල සංචිත-                       537.5
එකතුව-                        26,767.1

බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-   8,789.8
කළඹ ආයෝජන-          19,778.4
මූල්‍ය ව්‍යුත්පන්න-            2,965.2
වෙනත් ආයෝජන-         7,311.2
එකතුව-                         38,824.6

ඇමරිකාවේ වත්කම් ප්‍රමාණය වන ඩොලර් බිලියන 26,767.1 ට සම්මුඛව ඩොලර් බිලියන 38,824.6 ක බැරකම් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 12,057.5ක ශුද්ධ බැරකමක්. ඒ කියන්නේ එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක් පමණ. එක් ලාංකිකයෙකුට ඇමරිකන් ඩොලර් 2,100ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක්නම් එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක් නොවන්නේ කොහොමද?

ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 12,057.5ක් බව ඇත්ත. එහෙත් එය හැදී තිබෙන්නේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් හා ඩොලර් බිලියන 38,824.6 බැරකම් වල එකතුවක් ලෙසයි. ඇමරිකාවේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් වලින් ලැබෙන ආදායම ඩොලර් බිලියන 38,824.6 බැරකම් වෙනුවෙන් වැය කළ යුතු වියදමට වඩා වැඩියි. ඒ නිසා, ශුද්ධ වශයෙන් ඇමරිකාවේ බැරකම් වැඩි වුනත් වත්කම් හා බැරකම් වලින් ශුද්ධ ලෙස ඇමරිකාවට ආදායමක් ලැබෙනවා. මෙය ඇමරිකාවට සුවිශේෂී තත්ත්වයක්.

ඇමරිකාවේ වත්කම් හා බැරකම් වල සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ පැහැදිලි වෙනවා. වත්කම් හා බැරකම් අතර වෙනසට ප්‍රධානම හේතුව කළඹ ආයෝජන වල වෙනසයි. අනෙක් කොටස් සෑහෙන දුරට සමතුලිතයි. ඇමරිකාවේ බැරකම් වලින් අඩකටත් වඩා කළඹ ආයෝජන. මෙයින් සැලකිය යුතු කොටසක් විදේශිකයින් විසින් ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල කර තිබෙන ආයෝජන. ඒ වෙනුවෙන් ඇමරිකන් රජය විසින් ගෙවන්නේ ඉතා අඩු පොලියක්.

බොහෝ රටවල් හා අදාළව බැරකම් වලින් පිළිබිඹු වෙන්නේ බැරිකම්. බැරකම් ඉහළ ගොස් තිබෙන්නේ බැරිකම් වසා ගැනීමට ණය ඉල්ලාගෙන විදේශිකයින් වෙත යාම නිසයි. එවැනි තත්ත්වයක් යටතේ ණය ලබා ගන්න වෙන්නේ අවදානමට සරිලන විශාල පොලී අනුපාතිකයක් යටතේ.

නමුත්, ඇමරිකාවේ තත්ත්වය වෙනස්. ඇමරිකන් රජය ණය ඉල්ලාගෙන වෙනත් රටවල් වෙත ගොස් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ වෙනත් රටවල් විසින් සුරක්ෂිත ආයෝජනයක් සේ සලකමින් ඇමරිකන් රජය විසින් නිකුත් කරන ණය සුරැකුම්පත් ඉල්ලාගෙන පැමිණීමයි. ඇමරිකාව එහි වාසිය ලබමින් ඉතා අඩු පොලියකට ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්නවා. ඒ නිසා, ඇමරිකාව හා අදාළව බැරකම් කියා කියන්නේ බැරිකම් නෙමෙයි. පුළුවන්කම්.

ඇමරිකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 69%ක් පමණයි. එසේ වුවත්, බැරකම් වෙනුවෙන් ඇමරිකාව වැය කරන මුදල වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු මට්ටමක තිබෙන්නේ මේ පොලී අනුපාතික වෙනස නිසයි.

ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 22.8%ක් පමණයි. එයින් වැඩි කොටසක් නිල සංචිත. නිල සංචිත ආයෝජනය කරන්නේ සුරක්ෂිතතාවට ප්‍රමුඛතාවය දෙමින් නිසා එයින් විශාල පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. ඉතිරි කොටස වාණිජ බැංකු වල සංචිත හා සමාගම් විසින් ලබා දී ඇති වාණිජ අත්තිකාරම්. ඒවායින්ද සැලකිය යුතු පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. එහෙත්, බැරකම් වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ලබාගෙන තිබෙන ණය. ඒ වෙනුවෙන් සැලකිය යුතු පොලී වියදමක් දරන්න වෙනවා. ලංකාවේ බැරකම් ප්‍රමාණය වත්කම් ප්‍රමාණය මෙන් හතර පස් ගුණයක් වීමට අමතරව බැරකම් වෙනුවෙන් වැඩි පොලී අනුපාතිකයක් ගෙවන්න සිදු වීමේ අවාසියද ලංකාවට තිබෙනවා.

කවුරු ආණ්ඩු කළත් ලංකාව පැටලී සිටින ණය උගුලෙන් අවුරුදු හතර පහකින් ගොඩ යන්න බැහැ. ගොඩ යන තුරු තව තවත් ණය ගන්න වෙනවා. උගුලෙන් ගොඩ යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ගන්න ණය ආයෝජනය කරන්නේ කොහොමද කියන එක මතයි.

Sunday, July 12, 2020

කෝවිඩ් නැත්තේ කොහේද?



මේ වන විට ලෝකය පුරා කෝවිඩ් ආසාදිතයින් මිලියන 13ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. සෑම දිනකම තවත් ලක්ෂ දෙකකට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් මේ ගණනට එකතු වෙනවා. ලංකාවත් මේ වෙද්දී කන්දකාඩුවෙන් පටන් ගත්  කොරෝනා පොකුර මර්දනය කර ගැනීම සඳහා වෙර දරමින් සිටිනවා. එය වැලිසර පොකුර පාලනය කළ තරම් පහසු වන එකක් නැහැ. එහෙත්, කළ නොහැක්කක් නෙමෙයි.

ලෝකයම කෝවිඩ් සමඟ සටන් කරමින් සිටින මේ මොහොතේ තවමත් කෝවිඩ් වලින් බේරී සිටින රටවල් තිබේද? ඒ මොනවාද?

උතුරු කොරියාව- මිලියන 25.6ක ජනගහණයක් සිටින උතුරු කොරියාව මුලින්ම කෝවිඩ් වසංගතය ආරම්භ වූ චීනයටත්, ඉන් පසුව වසංගතය පැතිරුණු දකුණු කොරියාවටත්, මේ වන විට වේගයෙන් කොරෝනා පැතිරෙන රුසියාවටත් මායිම් වී ඇති රටක් වුවත් නිල සංඛ්‍යාලේඛණ අනුව මෙතෙක් උතුරු කොරියාවෙන් කෝවිඩ් ආසාදිතයින් කිසිවකු හමු වී නැහැ. කවුරුත් දන්නා පරිදි උතුරු කොරියාව ඒකාධිපති සමාජවාදී පාලනයක් පවත්වා ගෙන යන ලෝකයෙන් වෙන්ව සිටින රටක්. දේශපාලනික හේතු මත ලෝකයෙන් වෙන්ව සිටීම මේ අවස්ථාවේදී උතුරු කොරියාවට වාසියක් වී ඇති බව පෙනෙනවා.

තුර්ක්මේනිස්ථානය- මිලියන 6ක ජනගහණයක් සිටින තුර්ක්මේනිස්ථානය මේ වන විට වේගයෙන් කොරෝනා පැතිරෙන ඉරානයට හා කසකස්ථානයට මායිම් වී ඇති මධ්‍යම ආසියානු රටක්. එහෙත්, නිල සංඛ්‍යාලේඛණ අනුව මෙතෙක් තුර්ක්මේනිස්ථානයෙන් කිසිදු කෝවිඩ් රෝගියෙකු හමු වී නැහැ. පැරණි සෝවියට් සංගමයේ සාමාජිකයෙකු වූ තුර්ක්මේනිස්ථානය සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසුව මේ වන විට තුර්ක්මේනිස්ථානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙස නම් කර ඇති තුර්ක්මේනිස්ථානු කොමියුනිස්ට් පක්ෂය යටතේ පාලනය වන, ලෝකයේ වඩාත්ම මර්දනකාරී රාජ්‍යයක් සේ සැලකෙන රටක්. උතුරු කොරියාව තරමටම නැතත් තුර්ක්මේනිස්ථානයද බොහෝ දුරට ලෝකයෙන් හුදෙකලාව සිටින රටක්. ඊට අමතරව ඉතා අඩු ජන ඝනත්වයක් ඇති රටක් වීමේ වාසියද තුර්ක්මේනිස්ථායට තිබෙනවා.

සොලමන් දූපත්- පැපුවා නිව්ගිනියාවට නැගෙනහිරින් පිහිටි 655,000ක පමණ ජනගහණයක් ජීවත් වන දූපත් රාජ්‍යයක්. කෝවිඩ් වසංගතය ආරම්භයේදීම දේශ සීමා වසා දමමින් රටට වෛරසය ඇතුළු වීම වලක්වා ගැනීමට සමත් වුනා. මේ වන තුරු වෛරසයෙන් බේරී සිටිනවා.

වන්වාතු- ජනගහණය 305,000ක් පමණ වන වන්වාතු සොලමන් දූපත් වලට නැගෙනහිරින් පිහිටි තවත් දූපත් රාජ්‍යයක්. පසුගිය මාර්තු අවසන් සතියේ සිට වන්වාතු දූපත් රාජ්‍යයද හදිසි තත්ත්වයක් දිගටම පවත්වා ගනිමින් කෝවිඩ් උවදුර රටට ඇතුළු වීම මෙතෙක්  වලක්වාගෙන සිටිනවා.

සමෝවා- ජනගහණය 202,000ක් වන පැසිෆික් සාගර මධ්‍යයේ පිහිටි දූපත් රාජ්‍යයක්. පෙබරවාරි මාසයේ සිටම රටට පැමිණෙන්නන් දැඩි ලෙස පාලනය කරමින් සිටිනවා. තවමත් කෝවිඩ් වලින් තොර රටක්.

කිරිබාස්- ලෝකයේ හරි මැද පිහිටි රටක් ලෙස සැලකිය හැකි කිරිබාස් දිවයින පැසිෆික් සාගරය මැද පිහිටි කුඩා දිවයිනක්. ජනගහණය 122,000ක් පමණ. හුදෙකලා භූගෝලීය පිහිටීමේ වාසිය ලබමින් කිරිබාස් දිවයින කෝවිඩ් සතුරාගෙන් තවමත් බේරී සිටිනවා.

මයික්‍රෝනීසියාව- ජනගහණය 105,000ක් පමණ සිටින, පැපුවා නිවුගිනියාවට උතුරෙන් පිහිටි සිංගප්පූරුවට වඩා මඳක් කුඩා දූපත් රාජ්‍යයක්. මාර්තු මැද පමණ සිට රටට ඇතුළු වන විදේශිකයින් අනිවාර්යයෙන්ම නිරෝධායනයට ලක් විය යුතු වූ අතර රටේ නිරෝධායන පහසුකම් ධාරිතාව සීමා වන අවස්ථා වලදී විදේශිකයින් පැමිණීමද සීමා කළා.

ටොංග- පැසිෆික් සාගරයේ ජාත්‍යන්තර දින රේඛාව ආසන්නයේ පිහිටි තවත් දූපත් රාජ්‍යයක්. ජනගහණය ලක්ෂයකට මඳක් වැඩියි. සිංගප්පූරුවට වඩා මඳක් විශාල රටක්. රටට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ කෝවිඩ් වලින් තොර වෙනත් රටක දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වීමෙන් පසුව පමණයි.

මාෂල් දිවයින්- පැසිෆික් සාගරය මැද හුදෙකලාව පිහිටි, ජනගහණය 58,000ක් වන දූපත් රාජ්‍යයක්. තවමත් කෝවිඩ් රකුසාගෙන් ගැලවී සිටිනවා.

පලාව්- ජනගහණය 18,000ක් පමණ. ලෝකයේ ජනගහණය අඩුම රටවල් හතරෙන් එකක්. තවමත් කෝවිඩ් වලින් තොර රටක්.

නවුරූ- මාෂල් දිවයින් වලට දකුණින් පිහිටි කුඩා දිවයිනක්. ජනගහණය 11,000ක් පමණයි. ලෝකයේ කුඩාම හා ජනගහණය අඩුම රටවල් තුනෙන් එකක්. තවමත් කෝවිඩ් වලින් බේරී සිටිනවා.

ටූවලූ- ජනගහනය 10,200ක් පමණයි. වතිකානුව හැරුණු විට ලෝකයේ ජනගහණය අඩුම රට. ලෝකයේ කුඩාම රටවල් හතරෙන් එකක්. කෝවිඩ් වෛරසය තවමත් මේ කුඩා රාජ්‍යයට ඇතුළු වීමට සමත් වී නැහැ.

බටහිර සහරාව- වර්ඩෝමීටර් අනුව බටහිර සහරාවෙන් මේ වන විට කෝවිඩ් රෝගීන් 10 දෙනෙකු හමු වී තිබෙනවා. එහෙත්, බටහිර සහරාව ලෙස හඳුන්වන රට කුමක්ද කියන එක මතභේදාත්මක කරුණක්. බටහිර සහරාව ලෙස පොදුවේ හැඳින්වෙන බිම්කඩෙන් තුනෙන් දෙකක් පමණ තිබෙන්නේ මොරොක්කෝවේ පාලනය යටතේ. මොරොක්කෝව විසින් සලකන්නේ බටහිර සහරාව මොරොක්කෝවේ කොටසක් ලෙසයි. සහරාවී අරාබි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙසින් හඳුන්වා ගන්නා බටහිර සහරාවේ නැගෙනහිර බිම් තීරුව පොලිසාරියෝ පෙරමුණ විසින් පාලනය කරනවා. බටහිර සහරාවෙන් මෙතෙක් හමු වී ඇති කෝවිඩ් රෝගීන් සියලු දෙනාම හමු වී තිබෙන්නේ මොරොක්කෝ පාලනය යටතේ ඇති බටහිර කොටසින්. නැගෙනහිර කොටසින් තවමත් කිසිදු කෝවිඩ් රෝගියෙකු හමු වී නැහැ.

Saturday, July 11, 2020

දෙවන පොකුර


ලංකාවෙන් නැවතත් කොරෝනා "පොකුරක්" මතු වෙලා. මීට පෙර මේ විදිහට කොරෝනා පොකුරක් මතු වුනේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්. මේ වන විට එම පොකුර පාලනය වී තිබෙනවා.

මා කොරෝනා ගැන මෙහි ලියන්නේ කොරෝනා කෝවිඩ් නමින් බෞතීස්ම කරන්නත් පෙර සිටයි. මගේ ලිපි දිගටම කියවූ අය දන්නා පරිදි හා නොකියවූ අයට දැනටත් කියවා තහවුරු කර ගත හැකි පරිදි මා කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පිළිගත් ආකෘති, කොරෝනා පරීක්ෂාවන් ගැන හා කොරෝනා එන්නත් වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහි විස්තර කර තිබෙනවා. බොහෝ විට එසේ කර තිබෙන්නේ තාක්ෂණික කරුණු මත හා දත්ත මත පදනම්වයි.

මෙහි මා වරින් වර ලෝකයේ විවිධ රටවල කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පුරෝකථනයන් සිදු කර තිබෙනවා. පුරෝකථනයන් හැම විටම නිවැරදි වෙන්නේ නැහැ. එහෙත්, අහඹු අනුමාන වලට වඩා නිසි ආකෘතියක් යොදාගෙන කරන පුරෝකථන නිවැරදියි. ඇමරිකාව කොරෝනා ආසාදිතයින් වැඩිම රටක් වන බව මා සටහන් කළේ එසේ වීමට ගොඩක් කලිනුයි. දැන් ඇමරිකාවට පසුපසින් සිටින බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව ගැන ලිවුවේත් ගොඩක් කලින්. ඒ ආකාරයටම මෙක්සිකෝව හා දකුණු අප්‍රිකාව වේගයෙන් ලැයිස්තුවේ උඩට එමින් සිටින බව දැන් අපහසුවකින් තොරව කියන්න පුළුවන්.

ලෝකයේ විවිධ රටවල් ගැන මෙවැනි පුරෝකථන කළත් මා ලංකාව ගැන මෙවැනි පුරෝකථන කර නැහැ. එහෙත්, වෙනත් අය වරින් වර එවැනි පුරෝකථන සිදු කර ඇති බව පෙනෙන්නට තිබෙනවා. මා ලංකාව ගැන පුරෝකථන සිදු නොකළේ පැහැදිලි හේතුවක් ඇතුවයි.

ලංකාවේ කොරෝනා ගැන මා සිංහල අවුරුදු දින ලියූ ලිපියක් මෙහි පහත තිබෙනවා.

ලංකාවේ කොරෝනා

එම ලිපියේ මා ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය අදියර තුනකට වෙන් කළා. තෙවන අදියර ලෙස මා සැලකුවේ කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු කාලයයි. එම ලිපිය අවසන් වුනේ මේ විදිහටයි.

"මේ කරුණු අනුව පෙනෙන්නේ දිනකට හමුවන රෝගීන් ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමටනම් දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් එළෙසම පවත්වා ගත යුතු බවයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ උපක්‍රම ලිහිල් කළහොත් ඉතා ඉක්මනින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. යම් හෙයකින් කටුනායක ඇරියොත්නම් වහාම ප්‍රශ්නය උග්‍ර වන බව පැහැදිලියි. ඒ වගේම දැනට කරන සියලු කටයුතු එක දිගටම එළෙසම කළත් ආසන්න දිනයකදී අලුත් රෝගීන් හමු වීම මුළුමනින්ම අවසන් වේයැයි හිතන්න අමාරුයි."

නාවික හමුදා පොකුර මතු වුනේ මේ ලිපිය ලිවීමෙන් අනතුරුවයි. ඒ අවස්ථාවේදී බොහෝ දෙනෙක් කලබල වුනත් මා ඒ ගැන එතරම්ම කලබල වුනේ නැහැ. දැන් අලුතෙන් තවත් පොකුරක් හමු වී තිබියදීත් මා එතරම් කලබල වෙන්නේ නැහැ. මගේ විග්‍රහය අනුව ලංකාව තවමත් තිබෙන්නේ ඉහත ලිපියේ සඳහන් කළ තෙවන අදියරේ.

මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ විවෘත කර ඇතත් තවමත් කොරෝනා ව්‍යාප්තිය හා අදාළ පාලකය රජයේ හස්තයෙන් ගිලිහී නැහැ. මානුෂිකව ඉතා සංවේදී කරුණක් වුවත් මැද පෙරදිග හිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ලංකාවේ රජයේ ස්ථාවරය තේරුම් ගන්න වෙන්නේත් මේ සන්දර්භය ඇතුළේ සිටයි. ලංකාවේ රජයේ උපක්‍රමය වී තිබෙන්නේ කෝවිඩ් ආසාදිතයින් සේ සැක කළ හැකි පිරිස රජයට සමීපව නිරීක්ෂණය කළ හැකි තරමට සීමා කර ගැනීමයි.

මුල සිටම කෙසේ වෙතත් අඩු වශයෙන් කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුව ලංකාවේ රජයේ කෝවිඩ් මර්දන උපක්‍රමය වුනේ කෝවිඩ් ආසාදිතයින් වීමේ විභවයක් ඇති අය කලින් හඳුනා ගැනීමයි. ලංකාවේ පැවති හා තවමත් පවතින තත්ත්වයන් යටතේ මෙය සාර්ථක උපක්‍රමයක්. මෙය සාර්ථක උපක්‍රමයක් කියා මා කියන්නේ හේතු කිහිපයක් මත පදනම්වයි.

පළමුව, ලංකාවට කෝවිඩ් පරීක්ෂාවන් සිදු කළ හැකි සීමාවක් තිබෙනවා. මහා පරිමාණයෙන් අහඹු පරීක්ෂා සිදු කිරීමේ ආර්ථික ශක්තියක්, තාක්ෂනය හෝ මානව සම්පත් ලංකාවට නැහැ.

දෙවනුව, ලංකාවේ රජයේ මධ්‍යගත පාලනය යටතේ පුළුල් හා සංවිධානාත්මක නිරීක්ෂණ යාන්ත්‍රණයක් තිබෙනවා. මෙයට මහජන සෞඛ්‍ය විෂයද ඇතුළත්. මේ යාන්ත්‍රනය පොදු අරමුදලින් කොහොමටත් නඩත්තු කෙරෙන නිසා මේ වෙලාවේ ඒ වෙනුවෙන් අමුතු වියදමක් දරන්න වෙන්නේ නැහැ. මහජන සෞඛ්‍යය හා අදාළව කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස් වලට අමතරව ලංකාවේ රජයට බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක සේවා නිලධාරීන්ද අමතර වියදමක් නොදරා මේ කටයුත්ත වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ වන විට ලංකාවේ සිදු කර තිබෙන කෝවිඩ් පරීක්ෂා ප්‍රමාණය 114,765ක් පමණයි. එම පරීක්ෂා හරහා කෝවිඩ් ආසාදිතයින් 2,464 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 2.15%ක්. වෙනත් විදිහකින් කිවුවොත් පරීක්ෂාවට ලක් වූ 47 දෙනෙකුගෙන් අයෙක් කෝවිඩ් ආසාදිතයෙක්.

ලංකාවේ ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් කෝවිඩ් ආසාදිතයින් හමු වී තිබෙන්නේ 0.01%ක් පමණයි. එහෙමත් නැත්නම් 8,691කට අයෙක් පමණයි. ලංකාවේ බුද්ධි අංශ හා මහජන සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම විසින් සිදු කර ඇති පූර්ව විශ්ලේෂණ හරහා කෝවිඩ් ආසාදිතයෙකු වීමේ ඉඩකඩක් ඇති අයෙකු පරීක්ෂා කර හඳුනා ගැනීමේ ඉඩකඩ 186 ගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා.

මා හිතන පරිදි ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදයේ වඩාත්ම සාර්ථක තැන මේ අයුරින් පීසීආර් පරීක්ෂාවක් කිරීමට පෙර පරීක්ෂණ ප්‍රතිඵලය ධන වීමේ ඉඩකඩ වැඩි අය සැලකිය යුතු නිරවද්‍යතාවයකින් යුතුව කලින්ම හඳුනා ගැනීමට හැකි වීමයි. ඒ නිසා, ලංකාවේ දැනට පවතින පරාමිතීන් අනුව පීසීආර් පරීක්ෂාවන් මීට වඩා පුළුල් කිරීම අවශ්‍ය දෙයක් කියා මා හිතන්නේ නැහැ. එය සම්පත් නාස්තියක් පමණයි.

එසේනම් මේ ක්‍රමවේදය යටතේ රජයේ "දැලට" අහු නොවන අයට මොකද වෙන්නේ?

අනිවාර්යයෙන්ම මේ ක්‍රමය හරහා රටේ සිටින සියලුම කෝවිඩ් ආසාදිතයින් රජයේ දැල ඇතුළෙන්ම හමු වන බව සහතික කරන්න බැහැ. දැලට අහු නොවන අය අහුවෙන්නේ රෝග ලක්ෂණ මතු වූ පසුවයි. ඒ වන විට එවැනි අයෙක් තවත් බොහෝ දෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කර තියෙන්න පුළුවන්. වැලිසර හා කන්දකාඩුව උදාහරණයි. එසේ වුවත්, මේ සම්භාවිතාව එතරම් විශාල නොවන බව පැහැදිලියි.

ලංකාවේ කොරෝනා මරණ අනුපාතය 0.45%ක් පමණයි. මා හිතන පරිදි මෙය සැබෑ කෝවිඩ් මරණ අනුපාතයයි. ඇමරිකාව වැනි රටවල මරණ අනුපාතය වඩා විශාල ලෙස පෙනෙන්නේ කෝවිඩ් ආසාදිතයින්ගෙන් 90%ක් පමණම හඳුනාගෙන නැති නිසයි. ඇමරිකාවේ පරීක්ෂා ඉහළ යද්දී මරණ අනුපාතය පහළ යනවා. ලංකාවේ මරණ ප්‍රමාණ හා ආසාදිතයින් ප්‍රමාණ සියයට සියයක්ම නිවැරදියි කියා මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත්, සමස්ත චිත්‍රය වෙනස් කළ හැකි තරමේ වැරැද්දක් නිල සංඛ්‍යාලේඛණ වල නැති බව මගේ අදහසයි. ලංකාවේ මරණ අනුපාතයෙන් පෙන්වන්නේ රජයේ දැලට පසුව හෝ අහු නොවුණු කෝවිඩ් ආසාදිතයින් ඇත්නම් ඉතාම සුළු ගණනක් බවයි.

දැනට රටේ ජනගහණයෙන් කෝවිඩ් ආසාදිතයින් සිටින්නේ 0.01%ක් පමණක් වන තත්ත්වයක් යටතේදී මුළු රටේම සියල්ලන්ම පීසීආර් පරීක්ෂාවන්ට ලක් කළත් එම පරීක්ෂාවන්හි ඇති මිනුම් වරද නිසා රජයේ දැලට අහු නොවනවාට වඩා ප්‍රතිශතයක් අහු නොවී බේරෙන්න පුළුවන්.

දැනට රජයේ උපක්‍රමය වන්නේ දැලට මුලින් යමෙක් අහු නොවුණු අවස්ථාවන් වලදී පසුව අවශ්‍ය පරිදි දැල පුළුල් කිරීමයි. වැලිසර සිද්ධියෙන් පසුව රජය කළේ මෙයයි. මේ දෙවන පොකුර හමුවීමෙන් පසුවද රජය එය කරමින් සිටිනවා. එයද සාර්ථක වනු ඇතැයි අපි සිතමු. එසේ වුවත්, ඉදිරියේදී මෙවැනි පොකුරු වරින් වර මතුවීම වලක්වන්න බැහැ. ඒ වගේම කිසියම් මොහොතක කෝවිඩ් ව්‍යාප්තිය රජයේ පාලනයෙන් ගිලිහීමේ අවදානමක්ද තිබෙනවා. හැබැයි ඒ අවදානම් තිබුණා කියා වෙනත් වඩා හොඳ විකල්පයක් නැහැ.

කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ සම්මත ආකෘති හා ආර්-නෝට් අගය වැනි දේ අදාළ වන්නේ වසංගතයක් ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට පැමිණීමෙන් පසුවයි. අනාගතය ගැන කිසිවක් කිව නොහැකි වුවත් ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය මේ වන තුරුත් ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට ගොස් ඇති බවක් පෙනෙන්නට නැහැ. මගේ විග්‍රහය අනුව ලංකාව තවමත් ඉන්නේ තෙවන අදියරේ. ඒ නිසා පුරෝකථන කිරීමට සම්මත ආකෘති යොදා ගැනීම තේරුමක් නැති වැඩක්.

පහසු ඉලක්කයක් නොවුනත්, එන්නතක් වැඩි දියුණු කෙරෙන තුරු ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට යා නොදී ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත හැකි වුවහොත් එය විශාල ජයග්‍රහණයක්. අවම වශයෙන් මහ මැතිවරණය අවසන් වන තුරු එවැන්නක් සිදු නොවුනොත් එයත් විශාල ජයග්‍රහණයක්. රටේ මානව සම්පතේ, ආර්ථිකයේ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේත් වැදගත්කම අවතක්සේරු කළ යුතු නැහැ.

(Image: Florence Weis  https://www.theartblog.org/2020/04/artists-in-the-time-of-coronavirus-an-ongoing-virtual-exhibition-part-13/)

Wednesday, July 8, 2020

මාස හතරට ට්‍රිලියනයකින් ණය වැඩි වෙලා!


මේ වසරේ පළමු මාස හතර තුළ පමණක් ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2019 වසර අවසානයේදී රුපියල් බිලියන 13,031.5ක් වූ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය 2020 අප්‍රේල් මාසය අවසන් වෙද්දී රුපියල් බිලියන 14,024.7ක් වෙලා.

රජයේ දේශීය ණය වගේම විදේශීය ණයත් මේ කාලය ඇතුළත ඉහළ ගොස් ඇති බව පෙනෙනවා. දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,217.7 දක්වා 8.9%කින්ද, විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,807.1 දක්වා 6.3%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

ලංකාවේ රාජ්‍ය ණය වසරින් වසර ඉහළ යාම සාමාන්‍ය දෙයක්. එහෙත්, මාස හතරක් ඇතුළත රුපියල් ට්‍රිලියනයකින් රාජ්‍ය ණය ඉහළ යාම වාර්තාගත වෙනසක්. පසුගිය 2019 වසර ආරම්භයේදී රුපියල් බිලියන 12,030.5ක් වූ ලංකාවේ රාජ්‍ය ණය රුපියල් බිලියන 13,031.5 දක්වා රුපියල් ට්‍රිලියනයකින් වැඩි වීමට වසරක් ගත වුනත් එම ණය ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ යාමට ගත වී තිබෙන්නේ මාස හතරක් පමණයි.

ඉහත ණය මුදල රටේ ජනගහණයෙන් බෙදූ විට පෙනෙන පරිදි ලංකාවේ රජය විසින් එක් වැසියෙකු වෙනුවෙන් රුපියල් 655,000ක් මේ වන විට ණය වී තිබෙනවා.


Tuesday, July 7, 2020

ලෝකයට ණය වීම හා ලෝකයට ණය දීම

කලින් ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන්ම කතා කළේ රටක ජංගම ගිණුම ගැනයි. දිගින් දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්නා රටකට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා එනවා. ඒ වගේම දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් පවත්වා ගන්නා රටවලින් දිගින් දිගටම ප්‍රාග්ධනය පිටතට ඇදී යනවා.

මේක හරිම සරල දෙයක්. රටවල් පැත්තකින් තියලා තනි පුද්ගලයින් දිහා බැලුවත් ඔය දේ පැහැදිලිව පෙනෙනවා. දිගින් දිගටම ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් අතේ ප්‍රාග්ධනය එකතු වෙනවා. ආදායමට වඩා වියදම් කරන කෙනෙක් සතු ප්‍රාග්ධනය ටිකෙන් ටික ක්ෂය වෙනවා.

සෛද්ධාන්තිකව බැලුවොත් ආදායමට වඩා වියදම් කරන කෙනෙක් ආරම්භයේදී කොයි තරම් ධනවතෙක් වුනත් කාලයක් යද්දී දුප්පතෙක් විය යුතුයි. ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් කාලයක් යද්දී ධනවතෙක් විය යුතුයි.

රටවල් වලටත් මේ කතාව අදාළයි. ජංගම ගිණුමේ අතිරික්තයක් තියෙනවා කියා කියන්නේ ඒ රටේ සමස්ත පරිභෝජනය සමස්ත නිෂ්පාදිතයට වඩා අඩුයි. නිෂ්පාදිතයේ අතිරික්තය අපනයනය කර ලැබෙන ආදායම අනික් අතට ආනයන වෙනුවෙන් වැය කරන්නේ නැති නිසා රට ඇතුළේ විදේශ වත්කම් ගොඩ ගැහෙනවා. ඒ වගේම මෙහි අනිත් පැත්ත වුනොත්, ඒ කියන්නේ ආනයන ආදායම් ඉක්මවා අපනයන වෙනුවෙන් වියදම් කළොත්, බැරකම් ගොඩ ගැහෙන එකත් සිදු විය යුතුයි. නැත්නම් ආනයන සිදු වෙන්න විදිහක් නැහැ.

කලින් ලිපියේත් කතා කළ මේ කාරණා ඇසුරෙන් රටවල් තුළ ශුද්ධ වත්කම් හා බැරකම් සමුච්ඡය වෙන්න ජංගම ගිණුමේ ශේෂය බලපාන ආකාරය පැහැදිලි කළ හැකියි. නමුත්, මේ කතාව අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා, කාට හරි එසේ නොවන තැන් හොයාගෙන උදාහරණ ලෙස පෙන්වන්න බැරිකමක් නැහැ. ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටක් වුනත් ටිකෙන් ටික ධනවත් වෙන අවස්ථා ඇතැම් විට දකින්න පුළුවන්. ඒ වගේම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙනත් ටිකෙන් ටික දුප්පත් වන රටවලුත් තිබෙනවා.

තනි පුද්ගල උදාහරණයට නැවත ගියොත් අපි හැම මාසයේම වැටුපෙන් කීයක් හෝ ඉතිරි කරන පුද්ගලයෙක් ගැන හිතමු. හරිනම් මේ පුද්ගලයා අතේ ටිකෙන් ටික ප්‍රාග්ධනය එකතු විය යුතුයි. නමුත්, කාලයකට පෙර පියා විසින් ඉඩම උගස් කර ලබාගත් ණයක පොලිය ගෙවන්න තිබෙනවානම්, මාසයේ වැටුපෙන් ඉතිරි වන මුදල ගෙවිය යුතු ණය පොලියට වඩා වැඩිනම්, මාස්පතා මුදලක් ඉතුරු කළත් කවදාවත් ධනවතෙක් වෙන්න බැහැ. ඒ වගේම, කිසිම රස්සාවක් නොකර කකා බිබී ඉන්න මනුස්සයෙක්ට වුනත් පරම්පරාවෙන් උරුම වූ දේපොළ විශාල තොගයක් තිබෙනවානම්, ඒ දේපොළ වලින් ලැබෙන ආදායම මාසයකදී වියදම් කරන මුදලට වඩා වැඩිනම් අවසාන වශයෙන් වෙන්නේ මේ පුද්ගලයා තවතවත් ධනවත් වෙන එකයි.

මේ කතා රටවල් වලටත් අදාළයි. ලෝකයට ණය වී සිටින රටවල් වලට ඒ වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න වෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබුණත් ඒ අතිරික්තය පොලී ගෙවන්න ප්‍රමාණවත් නැත්නම් වෙන්නේ රට ටිකෙන් ටික දුප්පත් වෙන එකයි. ඒ වගේම ජංගම ගිණුමේ හිඟයක් තිබුණත් ලෝකය පුරා තිබෙන වත්කම් වලින් ඊට වඩා පොලී ආදායමක් එනවානම් අවුලක් නැහැ. ඒ නිසා, අපි ලෝකයේ එක් එක් රටවල් වල අනාගතය තේරුම් ගන්නනම් එම රටවල ශුද්ධ වත්කම් හෝ ශුද්ධ බැරකම් තත්ත්වයන් හඳුනාගත යුතුයි.

Table 1: Net IIP (Billions of Dollars)
2014 2015 2016 2017 2018 2019
Japan 2910.5 2715.2 2879.2 2916.6 3080.4 3339.3
Germany 1449.3 1535.1 1696.8 2191.1 2394.6 2747.7
China, P.R.: Mainland 1602.7 1672.8 1950.4 2100.7 2146.1 2124.0
China, P.R.: Hong Kong 870.2 1003.1 1153.8 1421.2 1282.5 1563.1
Norway 710.3 698.5 736.0 883.3 798.8 996.6
Singapore 591.2 647.1 754.1 867.2 769.9 896.0
Switzerland 661.0 650.4 813.3 866.9 889.4 838.7
Saudi Arabia 791.6 689.8 597.3 623.6 631.8 682.8
Canada 27.4 323.2 304.0 586.8 564.5 774.6
Netherlands, The 391.7 367.5 458.0 525.7 626.6 813.4
2014 2015 2016 2017 2018 2019
United States -6945.4 -7461.6 -8192.2 -7743.2 -9554.7 -10991.4
Spain -1202.3 -1043.1 -1004.3 -1191.5 -1104.3 -1035.5
Euro Area -1676.6 -1463.4 -983.8 -1058.0 -610.4 -77.3
Australia -695.2 -673.7 -701.2 -766.8 -718.4 -624.6
Brazil -705.9 -374.7 -566.6 -645.3 -594.3 -731.9
Ireland -380.4 -556.9 -519.3 -596.0 -612.5 -671.1
Mexico -598.6 -600.8 -532.3 -556.5 -591.3 -655.0
Turkey -446.7 -384.0 -368.4 -462.7 -371.6 -352.0
France -407.6 -309.4 -306.3 -456.8 -440.8 -633.6
India -361.5 -368.4 -367.3 -426.7 -433.7 -432.0

Source: IMF

හරියටම සමාන නැති වුනත් දිගින් දිගටම සෘණ ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් බොහොමයක් ලෝකයට ණය වී සිටින බව, එනම් සමස්ත ජාත්‍යන්තර වත්කම් වලට වඩා සමස්ත ජාත්‍යන්තර බැරකම් වැඩි බව පැහැදිලිව දැකිය හැකි දෙයක්. ඒ වගේම කාලයක් තිස්සේ දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් සතුව ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් තිබෙන බව පෙනෙනවා.


ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් ඇති රටවල් අතර පෙරමුණේ ඉන්නේ ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල්. අනිත් ගොඩේ පෙරමුණේම ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය. උඩ සිතියමේ තැඹිලි පාටින් දැකිය හැකි රටවල් ලෝකයට ණය වී සිටින රටවල්. නිල් පාටින් දැකිය හැක්කේ ණය හිමියන්. මේ මොහොතේ ලෝක භූ දේශපාලන යතාර්ථයන් අවබෝධ කර ගන්න උත්සාහ කරන කෙනෙක් මේ සිතියම මතක තබා ගත යුතුයි.

තෙල් නිධි ඇති රටවල් බොහොමයක් නිල් පාට රටවල් බව කැපී පෙනෙන කරුණක්. එහෙත්, ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල් ඒ ගොඩේ ඉන්නේ එවැනි ස්වභාවික වාසියක් නිසා නෙමෙයි. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය විශාල ණයකරුවෙකු වී සිටින්නේ අනෙක් තැඹිලි පාට රටවල් ණය කරුවන් වී සිටින හේතු නිසාම නෙමෙයි.

ශුද්ධ විදේශ වත්කම් හෝ බැරකම් හා ජංගම ගිණුමේ ශේෂයට අමතරව රටවල් අතර අනාගත ප්‍රාග්ධන ප්‍රවාහ තීරණය කරන වෙනත් සංකීර්ණ සාධකද තිබෙනවා. චීන-ඇමරිකා සීතල යුද්ධය තේරුම් ගන්න ඒ සාධකත් හැදෑරිය යුතුයි. එහෙත්, ලංකාව ඇතුළු වෙනත් බොහෝ රටවල් හා අදාළව මේ නිල්-තැඹිලි භේදයේ බලපෑම ඉතා පැහැදිලියි.

Monday, July 6, 2020

ප්‍රාග්ධන උගුල: ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ

රටවල් අතර ගනුදෙනු සිදුවන එක අද ඊයේ පටන් ගත් දෙයක් නෙමෙයි. ලංකාව සැලකුවත්, ජාත්‍යන්තර ගනුදෙනු සිදු වෙන්නේ සහශ්‍ර ගණනක සිටයි. එහෙත්, ඉතිහාසයේ කවර කාලයකවත් ලෝකයේ රටවල් අද තරමට ජාත්‍යන්තර ගනුදෙනු වලින් බැඳී සිට නැහැ.

ඉතිහාසය පුරා බොහෝ විට ජාත්‍යන්තර ගනුදෙනු සිදු වුනේ භාණ්ඩ හුවමාරු ලෙසයි. භාණ්ඩ හුවමාරුවකදී ගනුදෙනුව සිදු වුනාට පස්සේ එය එතැනින් ඉවරයි. හුවමාරු කර ගත හැකි දෙයක් තමන් සතුව නැත්නම් බොහෝ විට ගනුදෙනුවක් නැහැ. ඒ නිසා රටවල් අතර වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.

පසුව ගනුදෙනු වලදී මුදල් භාවිතයට ගැනුණා. මුලදී මුදල් වුනේ රන් රිදී වැනි වටිනා ලෝහ. ඒ අනුව භාණ්ඩ සමඟ රන් රිදී හුවමාරු වුනා. ලංකාව වගේ රන් ආකාර නැති රටවලටත් ජාත්‍යන්තර වෙළඳාම හරහා රන් ලැබුණා. ඒ රන් වෙනුවෙන් මොනවා හෝ වෙනත් වටිනා දෙයක් දෙන්න වුනා. මුතු, මැණික්, අලි ඇත්තු, පසුව කුරුඳු. මේ ආකාරයට ලැබෙන රන් වලින් ගෙවා වෙනත් ඇතැම් භාණ්ඩ මිල දී ගත හැකි වුනා. නමුත්, උපයාගත් රන් නැත්නම් භාණ්ඩ මිල දී ගත හැකි නොහැකි නිසා තවදුරටත්  වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.

දැන් ජාත්‍යන්තර වෙළඳාම සිදු වෙන්නේ ඉතිහාසයේ සිදු වුනු තරම් සරල ආකාරයකට නෙමෙයි. එක පැත්තකින් භාණ්ඩ එහා මෙහා වෙද්දී අනික් පැත්තෙන් භාණ්ඩ හෝ රන් එහා මෙහා වෙන්නේ නැහැ. ඒ වෙනුවට බැංකු කිහිපයක ගිණුම් සටහන් කිහිපයක් වැටෙන එකයි වෙන්නේ.

කිසියම් රටක් තවත් රටක් එක්ක ජාත්‍යන්තර වෙළඳාමේ නියැලෙමින් සිදු කරන අපනයන වල වටිනාකම හා ආනයන වල වටිනාකම හැම විටම හරියටම සමාන වෙන්නේ නැහැ. රටක ජංගම ගිණුමේ ශේෂයෙන් මේ වෙනස පිළිබිඹු වෙනවා. කිසියම් රටක් වෙනත් රටක් සමඟ වෙළඳාමේ නියැලෙන හැම විටෙකම ජංගම ගිණුමේ හර ගිණුම් සටහනක් හෝ බැර ගිණුම් සටහනක් වැටෙනවා. මේ සඳහා භාණ්ඩ හුවමාරුවක්ම සිදු විය යුතු නැහැ. සේවා හුවමාරුවක් වුවත් සිදු විය හැකියි. ආර්ථික වටිනාකමක් තිබෙන කවර හෝ දෙයක් වෙනුවෙන් මුදල් ලබා ගැනීමක් සිදු වූ විට එය ජංගම ගිණුමේ සටහන් වෙනවා.

මේ ආකාරයේ ගනුදෙනුවක් හරහා එක පැත්තකින් මුදල් සම්ප්‍රේෂණය වෙද්දී අනෙක් පැත්තෙන් කිසියම් ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් සම්ප්‍රේෂණය වන නිසා ගනුදෙනුව එතැනින් අවසානයි. එසේ නොවන ගනුදෙනුත් තිබෙනවා. විදේශ ණයක් ලබා ගැනීම එවැනි ගනුදෙනුවක්. එහිදී ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු වෙන්නේ නැහැ. ඒ නිසා ගනුදෙනුව එතැනින් ඉවර වෙන්නේ නැහැ. මේ මොහොතේ සිදු වෙන්නේ ගනු කොටස පමණක් නිසා දෙනු කොටස අනාගතයට ඉතිරි වෙනවා. මේ ආකාරයේ ගනුදෙනු ජංගම ගිණුමේ සටහන් වෙන්නේ නැහැ. ජංගම ගිණුමේ සටහන් නොවෙන ඉහත ආකාරයේ ගනුදෙනු සටහන් වෙන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.

කිසියම් රටක් වෙනත් රටක් සමඟ කරන වෙළඳාමේදී ජංගම ගිණුම සමතුලිත විය යුතුම නැහැ. එහි ධන හෝ සෘණ ශේෂයක් තිබෙන්න පුළුවන්. එය ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, ලෝකයේ අනෙක් හැම රටක් එක්කම කරන ගනුදෙනු වලින් පසුව ජංගම ගිණුමේ ශේෂයක් ඉතිරි වෙනවානම් එහි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාව ඇමරිකාව හා යුරෝපය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට වාසිදායක ධන ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. අනෙක් අතට ඉන්දියාව හා චීනය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට අවාසිදායක සෘණ ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. මේ ධන ශේෂය හා සෘණ ශේෂය එකිනෙකින් සමතුලිත වෙනවානම් අවසාන වශයෙන් ජංගම ගිණුම සමතුලිතයි.


කිසිම රටක ජංගම ගිණුම් ශේෂය කිසියම් වසරක් ඇතුළත හරියටම සමතුලිත වෙන්නේ නැහැ. භාණ්ඩ හෝ රන් හුවමාරු නොවන ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයකදී ලොකු අහම්බයකින් මිසක් එහෙම වෙන්න විදිහක් නැහැනේ. පොඩි ශේෂයක් හෝ ඉතිරි වෙන්න ඕනෑනේ. ඉහත සිතියමේ පෙන්වා තිබෙන්නේ 2017 වසරේදී ලෝකයේ රටවල් වල ජංගම ගිණුමේ ශේෂය හිඟයක්ද අතිරික්තයක්ද කියන එකයි. 2017න්  පසුව බොහෝ රටවල සංඛ්‍යාලේඛණ යාවත්කාලීන වී නැති නිසයි 2018 හෝ 2019 වෙනුවට 2017 ගත්තේ.

කිසියම් වසරකදී ජංගම ගිණුමේ පොඩි ශේෂයක් ඉතිරි වීමත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දිගුකාලීනව ගිණුම සමතුලිතනම් කිසියම් වසරක ශේෂය සමතුලිත නොවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලෝකයේ ඇතැම් රටවල් ඒ විදිහට තමන්ගේ ජංගම ගිණුම දිගුකාලීනව සමතුලිත ලෙස පවත්වා ගන්නවා. ඒ වුනත්, එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. ඇතැම් රටවල් විසින් දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගැනීමත්, තවත් ඇතැම් රටවල් විසින් දිගින් දිගටම සෘණ ශේෂයක් පවත්වා ගැනීමත් අපට නිරීක්ෂණය වන සාමාන්‍ය තත්ත්වයයි.

Table 1: Current Account Balance (Billions of US Dollars)
2012 2013 2014 2015 2016 2017 2018
Germany 251.6 245.4 278.7 288.6 295.1 287.2 293.1
Japan 60.1 46.4 36.4 136.5 197 203.2 176.1
China, P.R.: Mainland 215.4 148.2 236 304.2 202.2 195.1 25.5
Netherlands, The 89.5 85.5 76 48.5 62.9 90.2 99.1
Korea, Rep. of 48.8 77.3 83 105.1 97.9 75.2 77.5
Singapore 52.1 48.3 56.5 57.6 56.2 55.6 64.1
Italy -5.1 24 40.1 25.4 48.4 51.4 51.5
Thailand -4.9 -8.8 11.6 27.8 43.4 44 28.5
Switzerland 71.3 79.7 60.6 76.6 66.2 43.6 57.9
Spain 0.7 27.6 22.7 24.1 39.3 35.6 27.3
2013 2014 2015 2016 2017 2018 2019
United States -348.8 -365.2 -407.8 -428.3 -439.6 -491 -498.3
United Kingdom -132.9 -144.6 -143.6 -141.8 -93 -110.2 -106.9
Canada -58.1 -41.9 -54.7 -47.3 -46.4 -43 -35.4
Turkey -55.9 -38.8 -27.3 -26.8 -40.6 -20.7 8.7
India -49.1 -27.3 -22.5 -12.1 -38.2 -65.6 -26.9
Australia -47.9 -43.4 -57 -41 -35.8 -29.3 7.1
Argentina -13.1 -9.2 -17.6 -15.1 -31.2 -27.3 -3.5
Algeria 1.2 -9.3 -27 -26.2 -22.1
Mexico -31.5 -25.4 -31 -24.3 -20.5 -23 -2.4
France -24.4 -37.4 -9.1 -12.2 -16.5 -19 -18.5

Source: IMF

වෙනත් විදිහකින් කිවුවොත් හැම රටකම ජංගම ගිණුමේ අහම්බෙන් පොඩි ශේෂයක් පමණක් ඉතිරි වෙනවානම් ඉහත සිතියමේ පාට වසරින් වසර අහඹු ලෙස මාරු විය යුතුයි. නමුත්, එහෙම වෙන්නේ නැහැ. 2018 හෝ 2019 වසර වල සිතියම බැලුවොත් පාට මාරු වී තිබෙන්නේ ඉතාම සුළු රටවල් ගණනක පමණයි. ලංකාවේ ජංගම ගිණුම් ශේෂය දිගින් දිගටම සෘණ. ඇමරිකාව හෝ එක්සත් රාජධානිය ගත්තත් එහෙමයි. අනෙක් පැත්තෙන් ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ රටවල දිගින් දිගටම දැකිය හැක්කේ ධන ජංගම ගිණුම් ශේෂයක්.

මේ ආකාරයේ ජංගම ගිණුම් අසමතුලිතතා දිගින් දිගටම පවතිනවා කියන එකෙන් අදහස් වෙන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී ප්‍රාග්ධනය ගලා යන නිශ්චිත රටාවක් තිබෙනවා කියන එකයි. ඒ කියන්නේ සෑම වසරකම ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව වගේ රටවල කිසියම් අතිරික්ත ප්‍රාග්ධනයක් එකතු වෙනවා. ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, එක්සත් රාජධානිය වගේ රටවල ප්‍රාග්ධනය ක්‍රමයෙන් ක්ෂය වෙනවා. මෙවැන්නක් වෙන්න පුලුවන්ද?

කිසියම් රටක ජංගම ගිණුම අසමතුලිතනම් එම අසමතුලිතතාව මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය හරහා සමතුලිත විය යුතුයි. වෙනත් විදිහකට කිවුවොත් ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටවල් යම් ආකාරයකින් ඒ හිඟය පියවාගෙන තිබිය යුතුයි. එහෙම නැත්නම් වෙළඳාමක් සිදු වී තිබෙන්නේ බැහැනේ.

ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටකට ඒ හිඟය පියවා ගන්න වෙන්නේ විදේශ ණය අරගෙනයි. එය එකම ක්‍රමය නෙමෙයි. සෘජු විදේශ ආයෝජන, දේශීය සම්පත් විකිණීම වගේ තවත් ක්‍රමත් තිබෙනවා. මේ හැම අවස්ථාවකම සිදු වෙන්නේ රට ඇතුළේ තිබෙන වත්කම් වල අයිතිය විදේශිකයින්ට හිමි වීමක්. මේ ආකාරයේ ගනුදෙනු සටහන් කරන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.

මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ සටහන් වන ගනුදෙනු එතැනින් කෙළවර වන ගනුදෙනු නෙමෙයි. විදේශ ණය, දේශීය සම්පත් විකිණීම, සෘජු විදේශ ආයෝජන වගේ මොන ක්‍රමයකින් විදේශ ප්‍රාග්ධනය ලබා ගත්තත් අවසාන වශයෙන් සිදු වෙන්නේ අනාගතයේදී රටින් පිටතට ප්‍රාග්ධනය ගලා යන මාර්ගයක් විවෘත වෙන එකයි. අනෙක් අතට ණය දෙන, සෘජු විදේශ ආයෝජන කරන, විදේශ සම්පත් මිල දී ගන්න රටවලට අනාගතයේදී දිගින් දිගටම ආදායමක් ලැබිය හැකි, ප්‍රාග්ධනය ගලා එන මාර්ගයක් විවෘත වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ දිගින් දිගටම ජංගම ගිණුමේ ශේෂයක් පවත්වා ගනිමින් ප්‍රාග්ධනය එක් රැස් කර ගෙන සිටින රටවලටයි.

අවසාන වශයෙන් වෙන්නේ ජංගම ගිණුමේ අතිරික්තය ප්‍රාග්ධන උල්පතක් බවට පත් වී දිගින් දිගටම තවත් ප්‍රාග්ධනය උපයන්න පටන් ගන්න එකයි. මේ ආකාරයේ ප්‍රාග්ධන ආයෝජන ප්‍රමාණවත් තරමට ඇත්නම් පසුකාලීනව ජංගම ගිණුම් ශේෂය හිඟයක් වුනත් ප්‍රශ්නයක් නැහැ. මොකද ජංගම ගිණුමේ හිඟය පියවා ගත හැකි ආදායමක් ලබා දෙන වත්කම් රටෙන් පිට තිබෙන නිසා ඒ වෙනුවෙන් කාගෙන්වත් ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, අවසාන වශයෙන් වැදගත් වෙන්නේ කිසියම් රටකට රටින් පිටත තිබෙන වත්කම් හා බැරකම් මොනවාද කියන එකයි.

රටින් පිටත ආදායම් උපදවන වත්කම් ඇති රටවල් ලෝක ණය හිමියෝ. ඒ වගේම රටින් පිටතට බැරකම් ඇති රටවල් ලෝක ණයකරුවෝ. ලෝකයේ සෑම රටකම ජංගම ගිණුම් සමතුලිතව තිබුණත් ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටවලට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා එනවා. ඒ රටවල් එන්න එන්නම පෝසත් වෙනවා. ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටවල් දිගින් දිගටම දුප්පත් වෙනවා. ඒ රටවල් වලින් ප්‍රාග්ධනය දිගින් දිගටම පිටතට ගලා යනවා.

ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ආදායම් එනවා. ඒ වගේම ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ප්‍රාග්ධනය ක්ෂය වෙනවා. මේ තත්ත්වයන් වසරින් වසර කළමනාකරණය කරන්න යාමේදී සිදු වෙන්නේ ශුද්ධ ජාත්‍යන්තර බැරකම් තවත් ඉහළ ගොස් ප්‍රාග්ධනය වඩා වේගයෙන් ක්ෂය වෙන එකයි. කොයි ආකාරයකින් හෝ මේ චක්‍රයෙන් මිදුනේ නැත්නම් තාවකාලිකව කවර ආශ්චර්යයන් පෙනෙන්න තිබුණත් දිගුකාලීනව රට යන්නේ වල පල්ලටයි.

ජපානය, චීනය, සිංගප්පූරුව, ජර්මනිය වගේ රටවල් මේ චක්‍රයෙන් මිදී සිටිනවා වගේම වෙනත් රටවල් මේ චක්‍රයේ සිර වී සිටීමේ වාසියද ලබා ගන්නවා. ලංකාව දිගින් දිගටම මේ උගුලේ සිර වෙමින් සිටිනවා. කෝවිඩ් වසංගත කාලය මේ ගැන ගැඹුරින් සිතා ක්‍රියාත්මක වීමට සුදුසුම කාලයක්!

Friday, July 3, 2020

කෝවිඩ් වලට අඩුවෙන්ම බය කවුද?


කෝවිඩ් වෛරසය තවමත් ජයටම පැතිරෙනවා. ඊයේ දිනයේ ලෝකය පුරා කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකකට වඩා හමු වුනා. එය අලුත් වාර්තාවක්. අනෙක් බටහිර රටවල් බොහොමයක රෝගය පැතිරීම මේ වන විට පාලනය වී ඇතත් ඇමරිකාවෙන් දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යනවා. ඊයේ දිනය තුළ පමණක් අලුත් රෝගීන් 57,236 දෙනෙකු හඳුනා ගැනුණා. ඇමරිකා එක්සත් ජනපදය හැරුණු විට දකුණු ඇමරිකානු කලාපයේ බ්‍රසීලය, පේරු, චිලී හා මෙක්සිකෝව යන රට වලත්, දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලා දේශය යන රටවලත්, දකුණු අප්‍රිකාවේත්, සවුදි අරාබියේත් මේ වන විට ඉතා වේගවත් රෝග ව්‍යාප්තියක් දැකිය හැකියි.

ඇමරිකා එක්සත් ජනපදයෙන් විශාල ලෙස රෝගීන් හමු වීමට පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව වැඩි පරීක්ෂාවන් ප්‍රමාණයක් සිදු වීමද හේතු වී ඇතත් එය එකම හේතුව නොවන බව පැහැදිලියි. රට විවෘත කිරීමෙන් පසුව රෝග ව්‍යාප්තිය නැවත ඉහළ ගොස් තිබෙනවා. මුල් අදියරේදී සෑහෙන තරමින් ජනප්‍රිය වූ රට වසා තැබීමේ අදහස මේ වන විට දේශපාලනිකව පරාජය වී ඇති බැවින් ඉදිරි සති වලදී ඇමරිකාවෙන් දිනකට හමුවන රෝගීන් ගණන ටිකෙන් ටික ඉහළ යයි. ඇමරිකාවෙන් දිනකට කෝවිඩ් රෝගීන් ලක්ෂයක් හමු වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

කෝවිඩ් හමුවේ ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය වුනේ සෞඛ්‍ය අර්බුදය හා ඒ මත පාදක වූ ආර්ථික අර්බුදය එක් තනි අර්බුදයක් ලෙස සලකමින් කළමණාකරණය කිරීමයි. මෙහිදී බලයේ සිටින රිපබ්ලිකන් පක්ෂය ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම කෙරෙහි සැලකිය යුතු බරක් දැම්මා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති හරහා මෙවර සිදු කළ ආර්ථික ප්‍රසාරණය පෙර නොවූ විරූ තරමේ එකක්. අප්‍රේල් මාසයේදී 14.7% මට්ටම දක්වා ඉහළ ගිය ඇමරිකාවේ විරැකියා අනුපාතය, මැයි මාසයේ 13.3% දක්වාත්, ජූනි මාසයේ 11.1% දක්වාත් අඩු වීමෙන් පෙනෙන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වලින් ක්ෂණික ප්‍රතිඵල ලැබී ඇති බවයි.

පසුගිය ආර්ථික අවපාතයේදී ඇමරිකාවේ විරැකියා අනුපාතය 10.0% දක්වා ඉහළ ගියා. ඒ 2009 සැප්තැම්බරයේදී. එහෙත්, ඉන්පසුව ඇමරිකන් ආර්ථිකය ක්‍රමයෙන් හිස ඔසොවද්දී විරැකියා අනුපාතයද දිගින් දිගටම ක්‍රමයෙන් පහළ ගියා. කෝවිඩ් අර්බුදය පැමිණෙන්නට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ විරැකියා අනුපාතය තිබුණේ 3.5% තරම් පහළ මට්ටමකයි. එය වසර පණහක කාලයක් තුළ දැකිය හැකි වූ හොඳම තත්ත්වයක්. කෝවිඩ් ආක්‍රමණයත් සමඟ දෙමසක් ඇතුළත ඇමරිකාවේ වසර පණහක අවම විරැකියා අනුපාතය වසර පණහක උපරිම විරැකියා අනුපාතය බවට පත් වුනා.


කෝවිඩ් කම්පනයෙන් පසුව ආර්ථිකය නැවත සකස් වීමේදී කිසියම් ආකෘතිමය වෙනස්කමක්ද සිදු වෙමින් තිබෙන බව පෙනෙනවා. උදාහරණයක් විදිහට රැකියා අහිමි වූ සුදු ඇමරිකානුවන්ට නැවත රැකියා ලැබෙන තරම්ම ඉක්මණින් රැකියා අහිමි වූ ආසියානු ඇමරිකානුවන්ට රැකියා ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජීවත්වන ආසියානු ඇමරිකානුවන්ගේ විරැකියා අනුපාතය සුදු ඇමරිකානුවන්ද ඇතුළු අනෙකුත් සියලුම වාර්ගිකයින්ගේ විරැකියා අනුපාතයට වඩා අඩුයි. මෙය වසර 15ක පමණ සිට දැකිය හැකි වූ තත්ත්වයක්. පසුගිය පෙබරවාරි වන විට පැවතුණේ මෙවැනි තත්ත්වයක්.

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 3.1%
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 5.8%
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 2.5%
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 4.4%

අප්‍රේල් මාසය වෙද්දී තත්ත්වය මෙහෙමයි. (වරහන් ඇතුළේ තිබෙන්නේ වෙනස් වීම)

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 14.2% (11.1%)
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 16.7% (10.9%)
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 14.5% (12.0%)
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 18.9% (14.5%)

දැන් ජූනි වෙද්දී තත්ත්වය මෙහෙමයි.

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 10.1% (7.0%)
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 15.4% (9.6%)
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 13.8% (11.3%)
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 14.5% (11.1%)


ප්‍රතිශතයක් ලෙස ගත්තොත් පෙබරවාරි-ජූනි කාලය ඇතුළත රැකියා වැඩිපුරම අහිමි වී තිබෙන්නේ ආසියානු ඇමරිකානුවන්ගේ. එයට හේතුව ඔවුන් ආසියානු ඇමරිකානුවන් වීමම නොවෙන්න පුළුවන්. ආසියානු ඇමරිකානුවන් සුදු ඇමරිකානුවන්ට වඩා කෝවිඩ් ගැන සැලකිලිමත් වීමත් මෙයට හේතුවක්ද?


මේ ආකාරයෙන්ම පිරිමින්ගේ හා කාන්තාවන්ගේ රැකියා අහිමිවීම් හා නැවත ලැබීම් වලද වෙනසක් දැකිය හැකියි. පෙබරවාරි මාසයේදී අවුරුදු 20ට වැඩි ඇමරිකානු පිරිමින්ගේ විරැකියා අනුපාතය 3.3%ක් වෙද්දී අවුරුදු 20ට වැඩි ඇමරිකානු ගැහැණුන්ගේ  විරැකියා අනුපාතය තිබුණේ 3.1% මට්ටමේ. එහෙත් ජූනි මාසය වෙද්දී ඇමරිකානු පිරිමින්ගේ විරැකියා අනුපාතය 10.2%ක් වන විට ඇමරිකානු ගැහැණුන්ගේ  විරැකියා අනුපාතය 11.2%ක් වෙලා. පසුගිය ආර්ථික අවපාතයෙන් පසුව දැකිය හැකි වුනේ මෙහි අනෙක් පැත්තයි.

පශ්චාත් කෝවිඩ් ඇමරිකානු ශ්‍රම වෙළඳපොළ නැවත සකස් වෙන්නේ සුදු පිරිමින්ගේ වාසියටද? එහෙම නැත්නම් කෝවිඩ් පැතිරෙද්දී බය නැතිව රැකියා සොයාගෙන යන්නේ සුදු පිරිමින්ද?

(Image: https://www.france24.com/en/20200416-usa-donald-trump-coronavirus-covid-19-lockdown-reopen-economy-social-distancing)

Thursday, July 2, 2020

මුදල් මණ්ඩලයේ පුරප්පාඩු පිරවේ!


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ වූ පුරප්පාඩු දෙක සඳහා මුදල් ඇමතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් සිදු කළ ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන දෙදෙනාගේ පත් වීම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබෙනවා. නිල බලයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපති වන්නේ මහ බැංකුවේ අධිපතිවරයායි. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාද නිල බලයෙන් එහි සාමාජිකයෙකු වෙනවා. මුදල් මණ්ඩලයේ ඉතිරි සාමාජිකයින් තිදෙනාව මුදල් ඇමතිගේ  නිර්දේශය මත ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් පත් කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යනු නෛතිකව විශාල බලයක් ඇති ආයතනයක්. ශ්‍රී ලංකා මහ බැංකුව යන නමින් වත්කම් හිමි කර ගැනීමට, එම වත්කම් විකිණීමට, බැරකම් දැරීමට, මහ බැංකුවට සේවකයින් බඳවා ගැනීමට, එම සේවකයින්ගේ වැටුප් හා වරප්‍රසාද තීරණය කිරීමට මෙන්ම මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම ඇතුළු මහ බැංකුව විසින් කරන කුදු මහත් කටයුතු රාශියක් කිරීමට බලය තිබෙන්නේ මුදල් මණ්ඩලයටයි. මහ බැංකුව විසින් කරන කටයුතු වල නිල වගකීම තිබෙන්නේත්, ඒ කටයුතු හා අදාළව සිදුවන වරදකදී නඩු පැවරිය හැක්කේත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයටයි. මුදල් මණ්ඩලය යටතේ කටයුතු කරන නියෝජ්‍ය අධිපතිවරුන් දක්වා සියලු නිලධාරීන් විසින් කරන්නේ මුදල් මණ්ඩලයේ නියෝග ක්‍රියාත්මක කිරීමයි. සරලවම කියනවානම් මහ බැංකුව කියන්නේ මුදල් මණ්ඩලයයි.

පසුව ශ්‍රී ලංකා මහ බැංකුව වූ ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඉතිහාසය මහ බැංකුවේ ඉතිහාසයටත් වඩා පැරණියි. මහ බැංකුව ආරම්භ වුනේ 1950 අගෝස්තු 28 දින වුවත් ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ස්ථාපිත වුනේ 1950 ජූලි 1 දිනයි. ආරම්භයේදී මුදල් මණ්ඩලයේ සිටියේ සාමාජිකයින් තිදෙනෙකු පමණයි. රටේ මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමට තරම් සුදුසු පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් සොයා ගැනීම අසීරු විය හැකි නිසා මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ගණන ආරම්භයේදී තුනකට සීමා කළ බව පැවසෙනවා.

ආරම්භයේදී මුදල් මණ්ඩලයේ සිටි සාමාජිකයින් තිදෙනාගෙන් දෙදෙනෙකුටම එම සාමාජිකත්වය හිමි වුනේ නිල බලයෙන්. ඒ මහ බැංකුවේ අධිපතිවරයා හා මුදල් අමාත්‍යංශයේ ස්ථිර ලේකම් වරයා. තෙවන සාමාජිකයාව අගමැතිගේ නිර්දේශය මත අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරනු ලැබුවා. පසුව අග්‍රාණ්ඩුකාරවරයා වෙනුවට ජනාධිපතිවරයා ආදේශ වුනා.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සංයුතිය මුලින්ම වෙනස් වුනේ 1974දී ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරයාද නිල බලයෙන් මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු වීමත් සමගයි. එහෙත්, නැවතත් 1977දී මුදල් මණ්ඩලයේ සංයුතිය පෙර පරිදිම තිදෙනෙකු බවට පත් වුනා.

මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ගණන පස් දෙනෙකු දක්වා ඉහළ දැමුණේ මුදල් නීති පණතේ 2002 සංශෝධනයෙන් පසුවයි. ඒ අනුව දැන් මහ බැංකුවේ අධිපතිවරයා හා මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයාට අමතරව මුදල් මණ්ඩලය පත් කළ සාමාජිකයින් තිදෙනෙක්ගෙන් සමන්විතයි.

ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසේන මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සේ පත් වන 53 වන හා 54 වන පුද්ගලයින් දෙදෙනායි. මීට පෙර මහ බැංකු අධිපතිවරුන් 15 දෙනෙක්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරුන් ලෙස කටයුතු කළ 24 දෙනෙක්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සේ කටයුතු කළ එක් අයෙක් හා පත් කළ සාමාජිකයින් 18 දෙනෙක් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සේ කටයුතු කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරුන් ලෙස නිල බලයෙන් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් වූ අය අතරින් තිදෙනෙකු ඊට අමතරව මහ බැංකු අධිපති ලෙසත් තවත් තිදෙනෙකු පත් කළ සාමාජිකයෙකු ලෙසත් මුදල් මණ්ඩලයේ සාමාජිකත්වය දරා තිබෙන නිසා අලුත් පත්වීම් වලට පෙර මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති පුද්ගලයින් ගණන 52ක්.

අලුතින් පත් කර තිබෙන ආචාර්ය රාණි ජයමහ මහ බැංකුවේ කාලයක් සේවය කර නියෝජ්‍ය අධිපති ලෙස විශ්‍රාම ගිය මහ බැංකු කටයුතු පිළිබඳ අත්දැකීම් ඇති තැනැත්තියක්. සමන්ත කුමාරසිංහ පෞද්ගලික ව්‍යවසායකයෙක්. ටික කලකට පෙර චණ්ඩි පැන්ඩා සබන් පිළිබඳ වෙළඳ දැන්වීමක් හා සම්බන්ධව යුනිලීවර් සමාගම සමඟ නඩු හබයක පැටලී ජයගත්තේ ඔහුගේ සමාගමයි.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලියු. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගල හා පසුගිය පෙබරවාරි මාසයේදී මුදල් මණ්ඩලයේ 52වන සාමාජිකයා ලෙස පත් කරනු ලැබූ සංජීව ජයවර්ධනද සමඟ මේ වන විට මුදල් මණ්ඩලය අංග සම්පූර්ණයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...