වෙබ් ලිපිනය:

Thursday, January 16, 2020

උඹ යකින්නක් වුනේ කොහොමද?


"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

සමන් ලෙනින් ඔහොම අහන්නේ මෝහිණීගෙන්. මෝහිණී ගැන නොදන්නා කෙනෙක් නැහැනේ. ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඩන තුන්මං හන්දියේ ඈ බලා ගෙන ඉන්නේ අතේ ඉන්න දරුවාව දෙන්න කෙනෙක් එන තුරුයි. අතේ ඉන්න දරුවා ඇයට කරදරයක් වෙන්න ඇති. නමුත්, යකින්නක් වන ඇය මේ දරුවාව කුණු බක්කියකට දමන්නේ නැහැ. පණ පිටින් වලලන්නෙත් නැහැ.

ඒ අතින් බැලුවහම මෝහිණීගේ අතේ ඉන්න දරුවා නැත්නම් දැරිවිය වාසනාවන්තයි. සමහර දරුවෝ ඒ තරම් වාසනාවන්ත නැහැ.

"සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ..."

රජී වසන්ත වෙල්ගම සමන් ලෙනින් හරහා අහන්නේ සාධාරණ ප්‍රශ්නයක්. අද උදේ වැඩට එද්දී කාර් එකේදී ඔය සිංදුව ඇහෙද්දී මතක් වුනේ රත්නපුර කොස්ගල වත්තේ පදිංචි අවිවාහක තරුණියකට දාව උපන් බව කියන, උපන් මොහොතේම නිවස පිටුපස පස්ගොඩක් යට පැය පහක් තිස්සේ වළ දමනු ලැබ සිටීමෙන් පසුව අසල්වැසියකුගේ ඇස ගැටී පණ බේරා ගෙන තිබෙන බිළිඳියවයි.

මේ මව විසින් කරලා තිබෙන්නේ මෝහිණීවත් නොකරන දෙයක් වුණත් ඈ යකින්නක් කියා අපට එක වරම කියන්න බැහැ. බොහෝ විට ඇගේ පැත්තෙනුත් අපි නොදන්නා කතාවක් ඇති.

උපන් හැටියේම දරුවන්ව මරා දැමීම හෝ මැරෙන්නට අත හැර දැමීම ලෝකය පුරාම අතීතයේ සිටම සිදු වූ දෙයක්. රොබට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී "දරුවා ආහාර නොමැති කමින් මිය යන තුරු හාමත් කර තැබීමෙන්, දිය බඳුනක හිස ඔබා තබා හුස්ම හිරවී මැරෙන්නට සැලැස්වීමෙන් හෝ පණ පිටින්ම වළලා දමමින්" මැරෙන්නට ඉඩ හළ බව ඔහු ලියා තිබෙනවා. මේ වගේ දේවල් අදටත් ලෝකයේ බොහෝ රටවල සිදු වෙනවා. ඇමරිකාවේ පවා.

ලෝකයේ බොහෝ සමාජ වල ඉතිහාසය පුරාම මේ විදිහට බිළිඳු දරුවන් මරා දැමීම හෝ මැරෙන්නට හැරීම කර තිබෙන්නේ ජනගහණ පාලන උපක්‍රමයක් විදිහටයි. මේක අර ඕස්ට්‍රේලියාවේ ඔටුවන් මැරීම වගේම වැඩක්. උපත් පාලන ක්‍රම ප්‍රචලිත වීමෙන් පසුව ජනගහණ පාලනය සඳහා වඩා "සදාචාර සම්පන්න" විකල්පයක් ලැබුණා. එහෙත්, අදටත් අනවශ්‍ය ගැබ් ගැනීම් සුලබව සිදු වෙනවා.

ලංකාවේ කාන්තාවකට අනවශ්‍ය ගැබ් ගැනීමකින් පහසුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැහැ. එහෙත්, සෑම දිනකම නීති විරෝධී ගබ්සා විශාල ප්‍රමාණයක් රටේ සිදු වන බව ප්‍රසිද්ධ රහසක්. නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකම අනවශ්‍ය ගැබ් ගැනීම් වලට හේතුවක් වුවත් එය එක් හේතුවක් පමණයි. ලිංගික අධ්‍යාපනයක් තිබුණත් එතැනින් එහාට බොහෝ දේවල් තීරණය වෙන්නේ රටේ බහුතරය හිතන හා ක්‍රියා කරන ආකාරය මතයි.

හතේ අපේ පොත පසුගිය දවස් වල බොහෝ කතාබහට ලක් වුනා. ඔය පොත වසර කිහිපයකට කලින් ලබා දී තිබුණානම් කොස්ගල වත්තේ තරුණියට ඇගේ දරුවාව පණ පිටින් වළලන්න සිදු වෙන එකක් නැද්ද?

හතේ අපේ පොත සර්ව සම්පූර්ණ නැහැ. එහි පැහැදිලි අඩුපාඩු තිබෙනවා. නමුත්, එවැන්නක් එළිදැක්වීම හොඳ ආරම්භයක්. රන්ජන් හඬපට වලින් දරුවන් ලිංගික අධ්‍යාපනය ලබා ගන්නවාට වඩානම් එය අනිවාර්යයෙන්ම හොඳයි. දරුවන් ලිංගික අධ්‍යාපනයක් ලැබිය යුතුයි. එහෙත්, බටහිර රටවල ක්‍රමය ලංකාවට ඒ විදිහටම යොදා ගන්න අමාරුයි.

ඇත්තටම කියනවානම් හතේ පන්තිය කියන්නේත් මේ වැඩේට තරමක් වැඩි වයසක්. ලංකාවේ දරු දැරියන් බොහෝ දෙනෙක් විවිධ ආකාර වල ලිංගික අතවර වලට ලක් වෙන්නේ ඊට වඩා ගොඩක් අඩු වයස් වලදී.

ඇමරිකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ පෙර පාසැල් කාලයේ ඉඳලයි. හැබැයි මෙතැනදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ විවිධ ලිංගික ක්‍රියා ගැන කියා දෙන එක නෙමෙයි. මෙවැනි වයසකදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ දරුවෙකුට පුද්ගලිකත්වය ගැන කියා දීමයි. පුළුල් ලෙස කියනවානම් දරුවෙකුගේ අයිතිවාසිකම් ගැන හා පෞද්ගලිකත්වය කියන සංකල්පය ගැන ඔවුන්ව දැනුවත් කිරීමකුයි වෙන්නේ. අනෙක් අතට ලොකු පන්ති වලදී වුවත් වඩා බරපතල දේවල් කියා දෙන්නේ දෙමවුපියන් විසින් ලිඛිත අවසරයක් ලබා දී ඇත්නම් පමණයි. ඇමරිකාවේ කිවුවත් මම දන්නා පැති වල. මෙය හැම ප්‍රාන්තයකම වෙන ආකාරය ගැන මම හොයා බලලා නැහැ.

උපන් හැටියේම දරුවන් අතහැර දැමීමේ සිට දරුවන්ට සිදුවන ලිංගික අතවර දක්වා බොහෝ දේ පොදුවේ ගත් විට ළමයින්ට සිදුවන අතවර වල කොටසක්. කායික වධ හිංසා වලට නිතරම ලක් වෙන දරුවෙක් කොයි වෙලේ හෝ ලිංගික අතවරයකට ලක් වීමේ අවදානම වැඩියි. ඒ නිසා, වඩා සුදුසු වන්නේ වධ හිංසා වලට ලක් නොවීමට දරුවෙකුට තිබෙන අයිතිය ගැන පොදුවේ දැනුවත් කරන අතරම නිසි වයසේදී  ලිංගික අතවර ගැනත් යම් දැනුවත් කිරීමක් කරන එකයි. ලිංගිකත්වය හා අදාළ සෞඛ්‍යමය කරුණු ගැන වෙනම දැනුවත් කිරීමක් කළ හැකියි.

පසුගිය දවස් වල සංසරණය වූ දරුවෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව දරුවන්ට සිදු වන වධ හිංසා පිළිබඳ ඇස් අරවන්නක් වෙන්න පුළුවන්. එහෙත්, කොළඹ ගමයා විසින් පළ කර තිබුණු සුමීර ගුණසේකරගේ ලිපියේ ඇති පරිදි, මේ වගේ දේවල් ඉතාම සුලබ දේවල්. වධකයින් වන වැඩිහිටියන් අසල්වැසියන් එක්ක ප්‍රශ්න ඇති කරගෙන නැත්නම් බොහෝ විට ඔවුන් වින්දිතයින් වන දරුවන් වෙනුවෙන් පෙනී නොසිට ඇහැ කණ පියාගෙන ඉන්න එකයි කරන්නේ.

ලිංගික අතවර වේවා, වෙනත් වධ හිංසා වේවා, තමන්ගේ නිවසේදීම දරුවෙක් අතවර වලට ලක් වන විට දරුවා ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙනවා. දරුවෙකු මේ වගේ වෙලාවක කට පියාගෙන ඉන්න පුරුදු වෙන්නේ මුළු ලෝකයම ඉන්නේ වධක වැඩිහිටියන්ගේ පැත්තේ මිසක් තමන්ගේ පැත්තේ නොවන බව තේරුම් ගැනීමෙන් පසුවයි. හැකි ඉක්මණින් ලොකු මහත් වී වැඩිහිටියන්ගෙන් නිදහස් වීම හැර දරුවා දකින වෙනත් විකල්පයක් නැහැ.

මේ විදිහට කුණු ගොඩවල් වල ළමා කාලයම ජීවත් වෙන්න සිදු වී ඇති දරුවන් කුඩා කාලයේම කුණු ගොඩකට වීසි කරනු ලැබ මිය යන දරුවන්ට වඩා අවාසනාවන්තයි. හැම විටම නොවූවත්, සොයා බැලුවොත් ඔවුන් බොහෝ විට තමන්ගේ ජීව විද්‍යාත්මක මවුපියන් දෙදෙනා සමඟ ජීවත් නොවන දරුවන්. අර වීඩියෝවේ සුළු මවගෙන් පහර කන දැරිය වගේ.

ඇමරිකාවේදීනම් මේ වගේ වෙලාවක පාසැලේ ගුරුවරයෙකුට දැනුම් දීමට දරුවන්ව දැනුවත් කරනවා. එසේ දරුවෙකු විසින් දැනුම් දීමක් කළ විට, එසේත් නැත්නම් දරුවෙකු නිවසේදී කිසියම් වධ බන්ධනයකට ලක් වන බව ගුරුවරයෙකුට සැක සිතුණු විට අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබෙනවා. ගුරුවරයෙකුට ඒ ක්‍රියාපටිපාටියෙන් බැහැර වෙන්න බැහැ.

ලංකාවේනම් හැමෝම නැතත් බොහෝ දෙමවුපියන් වගේම ගුරුවරුනුත් වධකයින්. කණගාටුවට කරුණ එය වරදක් කියා බොහෝ දෙනෙක් නොසිතන එකයි. මෙය සංස්කෘතියේ කොටසක්නම් එය වෙනස් විය යුතු කොටසක්.

කුඩා කාලයේ ලිංගික අතවර වලට හෝ වෙනත් ශාරීරික හෝ මානසික වධ හිංසා වලට ලක්වන හැම දරුවෙක්ම වැඩිහිටියෙකු වූ විට සමාජ විරෝධියෙකු හෝ මානසික රෝගියෙකු වෙන්නේ නැතත් එවැනි වැඩිහිටියන් අතර කුඩා කාලයේ අතවර වලට ලක් වූ අය වැඩියි. කිසියම් සමාජයක් දරුවන්ට හා වෙනත් දුර්වල අයට සලකන ආකාරයෙන් අදාළ සමාජයේ නිරෝගී භාවය පිළිබිඹු වෙනවා. එසේ වුවත්, සමාජයක් සැබෑවටම නිරෝගී බව කිව හැක්කේ ආකල්පමය වෙනසකින් එය සිදු වී ඇත්නම් මිසක් දැඩි නීති රීති හරහා කෘතිමව එවැනි තත්ත්වයක් පෙනෙන්නට සලස්වා ඇති අවස්ථා වලදී නෙමෙයි.


Wednesday, January 15, 2020

සුබ තයිපොන්ගල් දිනයක්!


අද (ජනවාරි 15) ලංකාවේ නිවාඩු දවසක්. ඒ තයිපොංගල් දිනය වෙනුවෙනුයි. ලංකාවේ තයිපොංගල් උත්සවය සමරන්නේ දෙමළ හින්දු අනන්‍යතාවය ඇති පිරිසයි. තමිල්නාඩුවේද මේ උත්සවය මේ නමින්ම සැමරෙනවා. ඉන්දියාවේ තවත් ප්‍රාන්ත ගණනාවක මේ දිනය මේ නමින්ම හෝ වෙනත් නමකින් සැමරෙනවා.

ඉංග්‍රීසීන් ලංකාව ආණ්ඩු කරන්න පටන් ගැනීමෙන් පසු, 1886 වන තුරු බෞද්ධ, හින්දු හෝ ඉස්ලාම් ආගමික උත්සව පැවැත්වෙන දින ලංකාවේ පොදු නිවාඩු දින වූයේ නැහැ. නමුත්, ක්‍රිස්තියානි නිවාඩු දින ගණනාවක්ම ලංකාවේ පොදු නිවාඩු දින සේ නම් කර තිබුණා. 1886 අංක 4 දරන නිවාඩු දින පණතින් එම නිවාඩු දින ලැයිස්තුවට ක්‍රිස්තියානි නොවන ආගමික නිවාඩු දින තුනක් එකතු වුණා. ඒ, හින්දු අලුත් අවුරුද්ද, වෙසක් පසළොස්වක පෝය හා මහමදිකයන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන්. මීට අමතරව බැංකු නිවාඩු දින අතරට තයිපොංගල් නිවාඩුවක්ද මේ පණතින් එකතු කෙරුණා.

ඉහත පණතින් අප්‍රේල් අලුත් අවුරුද්ද හින්දු අලුත් අවුරුද්දක් ලෙස මිස සිංහල අලුත් අවුරුද්දක් සේ හඳුන්වා නොතිබීම කැපී පෙනෙන කරුණක්. ඒ වගේම, හින්දු නිවාඩු දිනයක් තෝරා ගැනීමේදී ප්‍රමුඛතාවය ලැබී තිබෙන්නේ තයිපොංගල් දිනයට නොව තමිල් පුතාන්ඩු (දෙමළ අලුත් අවුරුදු) දිනයටයි. තයිපොංගල් දිනය ලංකාවේ පොදු නිවාඩුවක් කෙරෙන්නේ 1914 වසරේ සිටයි. එතැන් සිට අද දක්වාම තයිපොංගල් දිනය ලංකාවේ පොදු නිවාඩු දිනයක්.

සිංහල අලුත් අවුරුද්ද වගේම දෙමළ අලුත් අවුරුද්දත් ආරම්භ වෙන්නේ මේෂ සංක්‍රාන්තියෙන්. ලංකාවේ, ඉන්දියාවේ හා කලාපයේ තවත් රටවල භාවිතා වන සූර්ය දින දර්ශන අනුව මේෂ සංක්‍රාන්තියෙන් ඇරඹෙන පළමු මාසය ජ්‍යොතිෂ්‍යයේදී හැඳින්වෙන්නේ මේෂ රවි මාසය ලෙසයි. තයිපොංගල් දිනය වගේම තමිල් පුතාන්ඩු දිනයත් තමිල්නාඩු ප්‍රාන්තයේ නිවාඩු දිනයක්. ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත ගණනාවකම හා තවත් නැගෙනහිර ආසියානු රටවල් ගණනාවකම විවිධ නම් වලින් මේෂ සංක්‍රාන්තිය සමරනවා.

අවුරුද්දේ ඉතිරි මාසද මේ අයුරින්ම පිළිවෙලින් රාශි චක්‍රය අනුව නම් කර තිබෙනවා. ඒ අනුව, දහවන මාසය මකර රවි මාසයයි. දෙමළ දින දර්ශනය අනුව මකර රවි මාසය තෛ මාසය ලෙස හැඳින්වෙනවා. සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට යාමත් සමඟ මේ මාසය ඇරඹෙනවා. ඒ සංසිද්ධිය මකර සංක්‍රාන්තිය ලෙස හැඳින්වෙනවා. තෛපොංගල් නමින් සැමරෙන්නේත් මේ මකර සංක්‍රාන්තියමයි.

නිරයන ජ්‍යෝතිෂ්‍යය අනුව සූර්යයා උත්තරායනය ආරම්භ කරන දවස තෛපොංගල් හෙවත් මකර සංක්‍රාන්ති දවසයි. එහෙත්, දැන් සැබැවින්ම සූර්යයා උත්තරායනය ආරම්භ කරන්නේ දෙසැම්බර් 21 ආසන්න දිනයකයි. නිරයන ජ්‍යෝතිෂ්‍යය නක්ෂත්‍ර වර්ෂය මත පදනම් වීමත්, නක්ෂත්‍ර වර්ෂයක් නිවර්තන වර්ෂයකට වඩා මිනිත්තු 20ක් පමණ දිගු වීමත් නිසා මේ පරතරය වසරින් වසර වැඩි වෙනවා. ක්‍රිස්තු වර්ෂ 543දී පමණ ජ්‍යෝතිෂ්‍යයෙහි සායන නිරයන භේදය ඇති වන කාලයේ සිදු වීම් දෙකම සිදු වී තිබෙන්නේ එකවරයි. ඒ කාලයේදී මේෂ සංක්‍රාන්තිය සිදු වී තිබෙන්නේ වසන්ත විෂුවය සිදුවීමට සමගාමීවයි.

තෛපොංගල් යන වචනයේ මුල් කොටස හැදී තිබෙන්නේ අදාළ මාසයේ නමින්. එහි දෙවන කොටසින් අදහස් වෙන්නේ දෙමළ ජාතිකයින් විසින් බොහෝ විට උත්සව අවස්ථා වලදී හදන ගිතෙල්, මුං ඇට, හකුරු ආදිය මුසු කිරිබතයි. සිංහලයින් දැන් අවුරුදු කිරිබතට වැඩිපුර දේවල් එකතු කරන්නේ නැතත් සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ තවමත් තිබෙන්නේ හකුරු, ගිතෙල්, තල වැනි වෙනත් දෑද මිශ්‍ර කිරිබතක් හදා ගත යුතු බවයි.

ලංකාවේ රාජ්‍ය නායකයින් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයින් වුවත් ඔවුන් තෛයිපොංගල් උත්සවය සැමරීම වරද්දන්නේ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද අද මෝදර ශ්‍රී වෙන්කටේෂ්වරන් මහා විෂ්ණු දේවාලයේදී හින්දු බැතිමතුන් සමඟ තෛයිපොංගල් උත්සවය සැමරීම සඳහා එක් වී තිබෙන අතර සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂ නායක කාර්යාලයේදී තෛයිපොංගල් සැමරුමක් පවත්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ තෛපොංගල් දින නිවේදනය පහත තිබෙනවා.

"ලෝකවාසී දෙමළ ජනතාව මහත් හරසරින් පිළිගන්නා තෛපොංගල් මංගල්‍යය සමරන ශ්‍රී ලාංකේය දෙමළ සහෝදරත්වය සමග මම ද සතුටින් එක්වෙමි.

තෛපොංගල් උත්සවයත් සමඟ අන්‍යොන්‍ය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇති වන නවමු බැඳීම පවුල් ඒකකයේ සිට සමස්ත සමාජය පුරා විහිද යයි. එමගින් දෙමාපිය දූදරු, ගුරු දෙගුරු ඥාති හිතමිත්‍රාදීන් මෙන්ම, පාලකයන් පාලිතයන් අතර ද මානව ගුණයෙන් යුතු සාමාජයීය බැඳීම තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මාගේ විශ්වාසය යි.

තෛපොංගල් දින වන්දනාවට පාත්‍ර වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුරු දුරලන ආලෝකයත් වන්නේ යම් සේද, උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතය ද ප්‍රභාමත් වේවා යි ප්‍රාර්ථනය කරමි!"


(Image: https://twitter.com/USAmbSLM/status/1217272764668809216/photo/1)

Tuesday, January 14, 2020

මූදේ නැව් ගිය විට පාරවල් හිටී!


මූදේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති බව ජනප්‍රිය කියමනක්. සමහර අය කියන විදිහට මූදේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති වුනත් තෙල් ලීක් වුනොත් පාරවල් හිටිනවා. එහෙම කියන අයත්, තෙල් ලීක් කර නොගත්තොත් මූදේ නැවු ගිය පාරවල් ඉතුරු නොවන බව හිතන බව පෙනෙනවා.

මම හිතන්නේ මේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති කතාව ගොඩක් පරණ කතාවක්. බොහෝ විට ඔය කතාව හැදෙන කාලේ නැවු දුවන්න ඇත්තේ තෙල් වලින් නෙමෙයි. ඒ වගේම ඒ කාලේ පාරවල් වල වැඩිපුරම දුවන්න ඇත්තේ කරත්ත. බොරළු පාරක  කරත්තයක් ගියාම රෝද පාර හිටිනවා. ඒ නිසා, පාරේ කරත්තයක් ගිහින් බව කාට වුනත් තේරෙනවා. නමුත්, මූදේ නැවක් හරි ඔරුවක් හරි ගියාම ඒ විදිහට පාරවල් හිටින්නේ නැහැ.

මූදේ නැවු ගියාට වතුරේ ඉරි ඇඳෙන්නේ නැහැ. නමුත් පාරවල් ඇඳෙනවා. නැවු දුවපු පාරවල් වල තෙල් පාරවල් ඉතුරු වෙන්න පටන් ගත්තේ නැවු දුවවන්න තෙල් යොදා ගන්නත් කලින් ඉඳලාමයි. එක පැත්තකින් බැලුවහම ඉතිහාසය කියා කියන්නේ නැවු ගිය පාරවල් වල ලීක් වුනු තෙල් පාරවල්.

කොලොම්බස්, වස්කෝ ද ගාමා, ලොරෙන්සෝ ද අල්මේදා වගේ නාවිකයෝ ගිය තැන් වල තෙල් පැල්ලම් දැන් සෑහෙන්න පැතිරිලා. විජය නම තිබෙන හෝ ඒ නමින් සංකේතවත් වන පුද්ගලයෙක් සමඟ පැමිණි නැවේ සහ ඉන් පසුව ලොරෙන්සෝ ද අල්මේදාගේ නැවට පෙර හා පසු ලංකාවට පැමිණි නැවු ගණනක තෙල් පාරවල් අදටත් පහසුවෙන් හොයා ගන්න පුළුවන්.

තැනින් තැන ඉතිරි වී තිබෙන තෙල් පාරවල් වලින් අතීතයේ නැවු ගිය පාරවල් හරියටම හොයා ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ අතීතයේ. දැන්නම් නැවු යන පාරවල් නිශ්චිතවම හොයා ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. මූදේ යන නැවු දිහා අහසේ තිබෙන චන්ද්‍රිකා ගණනාවක් ඇසි පිය නොහෙළා බලාගෙන ඉන්නවා. ඒ නැවු යන පාරවල් වතුරේ ඇඳුනේ නැතත්, කොහේ හෝ දත්ත ගබඩාවක හරියටම ඇඳෙනවා. එහෙම ඇඳෙන්න මේ නැවු වලින් තෙල් ලීක් වෙන්න අවශ්‍ය නැහැ.

මූදේ නැවු යන පාරවල් කොහේ හෝ හරියටම ඇඳී තිබුණත්, මේ පාරවල් හැමවිටම හැමෝටම පේන්නේ නැහැ. අදාළ දත්ත තමන් සතුව තිබෙන අයට ඒ දත්ත වෙනත් අයට ලබා නොදී තමන් සතුව තියා ගැනීමෙන් කිසියම් වාසියක් ලබා ගත හැකි වීම ඊට හේතුවයි. සමහර වෙලාවට මේ දත්ත පොදු අවකාශයේ තිබුණත්, ගොඩක් අය නැවු ගිය පාරවල් නොදකින්නේ ඔවුන්ට ඒ  පාරවල් ගැන හොයන්න උනන්දුවක් නැති නිසයි. අනෙක් අතට නැවු ගිය පාරවල් හොයන්න ඉල්ලුමක් ඇති වුනු වුනු වෙලාවට ඒවා කොහෙන් හෝ හොයලා දෙන කට්ටියත් ඉන්නවා. එවිට මේ දත්ත වලට වෙළඳපොළක් හැදෙනවා. සම්ප්‍රදායික මාධ්‍ය විසින් කරමින් සිටි මේ කටයුත්ත දැන් සමාජ මාධ්‍ය අතට ඇවිත් තිබෙනවා. ඒ නිසා, ඉතා අඩු මිලකට නැවු ගිය පාරවල් වගේම තෙල් ලීක් වුනු තැනුත් හොයා ගන්න පුළුවන්.

උඩ සිතියමේ තිබෙන්නේ මේ ලිපිය පළ කරන්න මිනිත්තු පහකට පමණ පෙර ලංකාවට ආසන්න සාගර කලාපයේ ගමන් කරමින් හෝ නැංගුරම් ලා තිබුණු නැවු. රතු පාට ඒවා තෙල් නැවු හෝ වෙනත් දියර වර්ග ප්‍රවාහනය කරන නැවු. කොළ පාට ඒවා භාණ්ඩ ප්‍රවාහන නෞකා. එතකොට තැඹිලි පාට ඒවා ධීවර නැවු. තද නිල් පාට ඒවා මගී ප්‍රවාහන නෞකා. පේනවා නේද මූදේ නැවු යන පාරවල්? විශේෂයෙන්ම මැද පෙරදිග සිට චීනයට තෙල් යන පාර.

දිගට ලියන ලිපි කියවන්නේ ටික දෙනයි. ඒ නිසා අදට මේ ඇති. නැවු ගිය පාරවල් ගැන අපි හෙමිහිට කතා කරමු.

Friday, January 10, 2020

ලෝක දේශපාලනය හා තෙල්


තෙල් හා ආහාර කියා කියන්නේ අනෙක් බොහෝ පරිභෝජන භාණ්ඩ වර්ග වලට වඩා සුවිශේෂී කාණ්ඩ දෙකක්. වෙනත් සියළුම පරිභෝජන භාණ්ඩ වලට වගේම මේ කාණ්ඩ දෙකට අයත් භාණ්ඩ වලටත් ඉල්ලුම් හා සැපයුම් සාධක බලපානවා. නමුත්, අත්‍යාවශ්‍ය ආහාර හා ඉන්ධන වල ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ කියන්නේ මිල වෙනස් වන විට ඉල්ලුම වෙනස් වෙන්නේ අඩුවෙන්.

හේතුව පැහැදිලියි. අත්‍යාවශ්‍ය ආහාර නැතිව කිසිවෙකුට ජීවත් විය නොහැකියි. ඒ නිසා, මිල වැඩි වන විට සමානුපාතිකව මිල දී ගන්නා ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. මිල වැඩි වන්නේ ඇතැම් ආහාර ද්‍රව්‍ය වල පමණක්නම් පාරිභෝගිකයින්ට ඒ ආහාර ද්‍රව්‍ය වෙනුවට වෙනත් ආහාර ද්‍රව්‍ය ආදේශ කර ගන්න පුළුවන්.

බෝංචි මිල වැඩි වන විට කැරට්, ලීක්ස් ආදේශ කර ගත හැකියි. උඩරට එළවලු සියල්ලේ මිල වැඩි වූ විට පහතරට එළවලු ආදේශ කර ගත හැකියි. එළවලු, මාළු ආදී සියල්ලම දරා ගත නොහැකි තරමට මිල වැඩිනම් ටික කලක් සම්බෝලයි බතුයි හරි කාලා ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා එළවලු, මාළු මිල වැඩි වන විට ඉල්ලුමත් වේගයෙන් පහත වැටෙනවා.

නමුත්, හාල් වගේ ප්‍රධාන ආහාරයක මිල වැඩි වන විට තිබෙන විකල්ප සීමිතයි. බත් වලට ඇබ්බැහි වී සිටින කෙනෙක් තිරිඟු පිටි ආහාර ආදේශ කර ගන්නේ ලොකු කැමැත්තකින් නෙමෙයි. ඒ නිසා, හාල් මිල ඉහළ යන විට හාල් ඉල්ලුම පහත වැටෙන්නේ අඩුවෙන්. වෙනත් රටවල ප්‍රධාන ආහාර සම්බන්ධව තත්ත්වයත් මේ විදිහයි. අත්‍යාවශ්‍ය ආහාර මිල යම් මට්ටමක් ඉක්මවා ඉහළ යන බොහෝ අවස්ථා වලදී එය ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවී දේශපාලන ප්‍රශ්නයක්ද බවට පත් වෙනවා. ලෝකයේ බොහෝ රටවල් කෘෂි කර්මාන්තයට යම් විශේෂයක් කරන්න යොමු වෙන්නේ මේ හේතුව මතයි.

ඉන්ධන හා අදාළ තත්ත්වයත් මුළුමනින්ම නොවූවත් මීට තරමක් සමානයි. වර්තමානයේ ලෝකයේ ඕනෑම රටක නිෂ්පාදන ක්‍රියාවලිය වගේම එදිනෙදා ජනජීවිතය බාධාවකින් තොරව පවත්වා ගැනීමටනම් අවම ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍යම වෙනවා. ඒ නිසා, ඉන්ධන මිල ඉහළ යාමට සමානුපාතිකව ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. එය බහුවිධ අර්බුද ඇති කරනවා.

කිසියම් රටක ඒක පුද්ගල ආදායම ඉහළ යන විට පුද්ගලයෙකුගේ ආදායමෙන් ආහාර වෙනුවෙන් වැය කරන කොටස පහත වැටෙනවා. ඇමරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙක් ආහාරපාන වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 15%ක් පමණයි. එංගලන්තයේනම් 8%යි. ලංකාවේ මේ ප්‍රතිශතය 44%ක් පමණ. කොළඹ පමණක් සැලකුවොත් 28%ක් පමණ.

ලංකාවේ එළවලු මිල ඉහළ යන විට පිට පළාතක කෙනෙකුට සාපේක්ෂව කොළඹ ජීවත් වන කෙනෙක් එළවලු පරිභෝජනය සීමා කරන්නේ අඩුවෙන්. කොළඹ ජීවත් වන අයෙකුට තමන්ගේ ආදායම් අනුව පිට පළාතක කෙනෙකුට වඩා මට්ටම මිල වැඩිවීම දරා ගැනීම පහසුයි. බටහිර රටක ජීවත් වන අයෙකුට පොදුවේ ගත් විට ආහාර මිල යම් තරමකින් වැඩිවීම විශාල ප්‍රශ්නයක් නෙමෙයි. නමුත්, ඉන්ධන මිල වැඩි වීම විශාල ප්‍රශ්නයක්. බටහිර ජීවන විලාසිතාවන් පවත්වා ගත හැක්කේ ඉන්ධන මතයි.

පසුගිය සියවස තුළ ලෝක ඉන්ධන ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමට හේතු වුනේ බටහිර රටවල ජීවන විලාසිතාවන්ගේ වෙනස් වීමයි. වෙනත් වචන වලින් කියනවානම් ජීවන තත්ත්වයේ ගුණාත්මක භාවය ඉහළ යාමයි. ඒ ජීවන මට්ටම ඒ මට්ටමින් දිගටම පවත්වා ගැනීමට බටහිර රටවල සිදු වුනු ඉන්ධන නිෂ්පාදනය ප්‍රමාණවත් නොවූ නිසා කාලයක් තිස්සේම බටහිර රටවල් ශුද්ධ තෙල් ආනයනකරුවන් වුනා. එහි ප්‍රතිඵලයක් විදිහට තෙල් අපනයනය කරන රටවලට යම් තරමකින් බටහිර රටවල් පාලනය කිරීමටත්, බටහිර සංවර්ධනයට තිරිංග හෙලීමටත් හැකි වුනා.

ලෝක තෙල් මිල ඉහළ ගිය බොහෝ අවස්ථා වලදී බටහිර රටවල ආර්ථිකයන්ට සෘණාත්මක බලපෑමක් ඇති වුනා. වඩාත්ම ආසන්නම අවස්ථාව 2008 ආර්ථික අර්බුදයයි. ආර්ථික අර්බුද බොහෝ විට දේශපාලන අර්බුද බවටත් පත් වෙනවා.

පසුගිය දශක කිහිපය සැලකුවොත්, ඇමරිකාව හැමවිටම වගේ ලෝකයේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයින් තිදෙනාගෙන් එක් අයෙක් වුවත් බොහෝ විට ඇමරිකාවේ තෙල් ඉල්ලුම එහි සමස්ත නිෂ්පාදනය ඉක්මවූ නිසා ඇමරිකාව ශුද්ධ තෙල් ආනයනකරුවෙකු මිස අපනයනකරුවෙකු වුනේ නැහැ. ඇමරිකාවේ හා ලෝකයේ වෙනත් බොහෝ රටවල තෙල් නිෂ්පාදනය කෙරෙන ආකෘතියේ වෙනස්කම්ද මෙයට හේතු වුනා.

ලෝකයේ බොහෝ රටවලින් වෙනස්ව, ඇමරිකාවේ රජය තෙල් නිපදවන්නේ නැහැ. ඇමරිකාවේ පෞද්ගලික හෝ පොදු අයිතිය යටතේ තිබෙන ඉඩම් වල මෙන්ම මුහුදේ ඇති ඉන්ධන නිධි කැන බොරතෙල් ගොඩගෙන පිරිපහදු කිරීම,ගබඩා කිරීම හා විකිණීම මුළුමනින්ම කෙරෙන්නේ පෞද්ගලික සමාගම් අතින්. මේ සමාගම් අතරින් බහුතරය ඇමරිකානු දේශීය සමාගම්. එම සමාගම් වල කටයුතු ඇමරිකාවට සීමා වී තිබෙනවා. චෙව්රොන් හා එක්සෝන්මොබිල් වැනි ඇතැම් විශාල ඇමරිකානු සමාගම් ලෝකය පුරාම තමන්ගේ ව්‍යාපාරික කටයුතු වල යෙදෙනවා. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් (බීපී) හා ෂෙල් වැනි ඇමරිකානු නොවන වෙනත් සමාගම්ද මේ ආකාරයෙන්ම ලෝකය පුරා සිය ව්‍යාපාරික කටයුතු සිදු කරනවා.

වෙනත් පෞද්ගලික සමාගම් මෙන්ම තෙල් ව්‍යාපාරයේ යෙදෙන පෞද්ගලික සමාගම්ද කටයුතු කරන්නේ ලාබ අරමුණු කරගෙනයි. ඒ නිසා, චෙව්රොන් හෝ එක්සෝන්මොබිල් වැනි සමාගමක් ඇමරිකානු සමාගමක් වූ පමණින් ඔවුන්ගේ අරමුණු ඇමරිකානු දේශපාලනය සමඟ සෘජු ලෙස බද්ධ වී නැහැ. උදාහරණයක් විදිහට එවැනි සමාගමක් කිසි විටෙකත් ඇමරිකානුවන්ට අඩු මිලට තෙල් ලබා දීමේ අරමුණින් කටයුතු කරන්නේ නැහැ. ඇමරිකාවේ තෙල් මිල සාපේක්ෂව අඩු මට්ටමක තිබෙන්නේ ස්වාධීන තෙල් සමාගම් අතර තිබෙන තරඟය නිසයි.

ලෝක තෙල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ චෙව්රොන්, එක්සෝන්මොබිල්, බීපී හා ෂෙල් වැනි ලාබ අරමුණු කරගත් ජාත්‍යන්තර සමාගම් අතින් නෙමෙයි. ලෝකයේ තෙල් නිධි බොහොමයක්ම පාලනය වන්නේ අදාළ රටවල රජයන්ගේ සෘජු පාලනයට යටත් ජාතික සමාගම් විසින්. උදාහරණ ලෙස සවුදි ඇරම්කෝ, චීන ජාතික පෙට්‍රෝලියම් සංස්ථාව (CNPC), කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව, රුසියාවේ ගෑස්ප්‍රොම් හා රොස්නේෆ්ට් සමාගම්, මෙක්සිකෝවේ පෙමෙක්ස් සමාගම, ඉරාන ජාතික තෙල් සමාගම හා වෙනිසියුලාවේ පෙට්‍රෝලියෝස් සමාගම (PDVSA) පෙන්වා දිය හැකියි.

ජාතික තෙල් සමාගම් වල අරමුණ ලාබ පමණක් නොවන නිසා එම සමාගම් බොහෝ විට තෙල් වෙළඳපොළේ ඉල්ලුම් සාධක වලට කාර්යක්ෂම ලෙස ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එම සමාගම් විසින් බොහෝ විට තමන්ගේ රටේ වැසියන්ට අඩු මිලකට තෙල් සැපයීම, අනෙකුත් රාජ්‍ය සුබසාධන වියදම් වල පිරිවැය දැරීම, රටේ ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය හා රජයේ දේශපාලනික අරමුණු වෙනුවෙන් තමන්ගේ ලාබ කැප කිරීමට පෙළඹෙන බව නිරීක්ෂණය කළ හැකියි.

බ්‍රසීලයේ පෙට්‍රොබාස් හා නොර්වේහි ඉක්විනෝර් වැනි සමාගම්ද අදාළ රජයන්ට වැඩි අයිතිය ඇති ජාතික සමාගම් වුවත්, මුළුමනින්ම රජයේ කොටසක් ලෙස කටයුතු කරන්නේ නැහැ. එවැනි සමාගම් ලාබ අරමුණු කරගෙන ක්‍රියාත්මක වුවත් එහිදී වෙනත් ජාතික ඉලක්ක ගැනද සලකා බලනවා.

ලෝකයේ බොහෝ රටවල රජයයන්ට තමන්ගේ රටේ තෙල් සැපයුමට හා තෙල් මිලට සෘජු බලපෑමක් පහසුවෙන් කළ හැකි වුවත් ඇමරිකාවේ රජයට ඒ හැකියාව නැහැ. නමුත්, වෙනත් රටවල රජයයන් විසින් දේශපාලනික අරමුණු පෙරදැරි කරගෙන තෙල් සැපයුමට හා තෙල් මිලට බලපෑම් කළ විට එය ඇමරිකානු දේශපාලනයටද බලපෑමක් කරනවා. එවැනි අවස්ථාවක  ඇමරිකාවේ රජයට ඇමරිකානු තෙල් සමාගමකට බලපෑම් කිරීම අපහසු නිසා බොහෝ විට යොමු වන්නේ වෙනත් රටක රජයකට බලපෑම් කර ලෝක තෙල් වෙළඳපොළ සමතුලිතතාවයට බලපෑම් කිරීමටයි. ඇමරිකාවේ තෙල් ඉල්ලුම හා සැපයුම අතර පරතරය වැඩි වන තරමට ඇමරිකානු ආර්ථිකයට ජාත්‍යන්තර දේශපාලනයේ බලපෑමද වැඩි වෙනවා.


ඉහත ප්‍රස්ථාරයේ පෙනෙන පරිදි, 1985-2008 අතර කාලයේදී ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික පහත වැටුණා. අඩු මිලකට ගොඩ ගත හැකිව තිබුණු ඇමරිකන් තෙල් ක්‍රමක්‍රමයෙන් අවසන් වීමත්, වෙනත් රටවල් බොහොමයක තවදුරටත් එවැනි නිධි තිබීමත් මෙයට හේතු වුනා. වෙනත් රටවලින් අඩු මිලට ඇමරිකාවට තෙල් ආනයනය කළ හැකිව තිබියදී, ඇමරිකානු සමාගම් වලට ඇමරිකාවේ ඉතිරිව තිබුණු තෙල් නිධි වලින් සම්ප්‍රදායික ක්‍රමයට තෙල් ගොඩ ගෙන පිරිපහදු කර විකුණා ලාබ ලැබීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඇමරිකානු පාරිභෝගිකයින් "දේශීය සමාගම් වල තෙල්" වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සූදානම් නැහැ. ඔවුන් තෙල් මිල දී ගන්නේ අඩු මිලට ඇති තැනිනුයි.

මුලින්ම කියූ පරිදි තෙල් ඉල්ලුම අප්‍රත්‍යස්ථ එකක්. ඒ කියන්නේ මිල වෙනස් වෙද්දී ඉල්ලුම වෙනස් වෙන්නේ සමානුපාතිකව අඩුවෙන්. තෙල් ඉල්ලුම බොහෝ විට තීරණය වන්නේ ආදායම් මට්ටම අනුවයි. පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් මට්ටම ඉහළ යද්දී තෙල් ඉල්ලුමත් සමානුපාතිකව වගේ ඉහළ යනවා.

අනෙක් අතට තෙල් සැපයුමත් කෙටි හා මැදිකාලීනව අප්‍රත්‍යස්ථයි. සම්ප්‍රදායික තෙල් ළිඳක් කැන නිෂ්පාදනය ආරම්භ කරන්න සැලකිය යුතු ආයෝජනයක් කළ යුතුවාක් මෙන්ම සැලකිය යුතු කාලයක්ද ගත වෙනවා. ඒ නිසා තෙල් කර්මාන්තයට ඉල්ලුමේ වැඩිවීමකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම අසීරුයි. තෙල් සැපයුම බොහෝ දුරට රැඳී තිබෙන්නේ පෙර විස්තර කළ ජාතික සමාගම් අතේ නිසා මෙය වඩාත් අසීරුයි.

මේ සහස්‍රයේ ආරම්භය පමණ වන තුරු ලෝක තෙල් පරිභෝජනයෙන් විශාල ප්‍රතිශතයකට වග කිව යුතු වුනේ බටහිර සංවර්ධිත රටවල්. ඒ රටවල් වල ආර්ථිකයන් වර්ධනය වුනේ කළින් පුරෝකථනය කළ හැකි මධ්‍යස්ථ වේගයකින්. ඒ අනුව, ලෝක තෙල් ඉල්ලුම වැඩි වන ආකාරය පුරෝකථනය කර කල් ඇතුව ප්‍රතිචාර දක්වන එක කර්මාන්තයට අසීරු වුනේ නැහැ. බොහෝ විට ඉල්ලුම හා සැපයුම සමතුලිත වී මිල ස්ථාවරව තිබුණා.


කලින් කලට ක්‍රමක්‍රමයෙන් හා වරින් වර තෙල් මිල වැඩි වුනා තමයි. එයට බොහෝ විට හේතු වුනේ ඔපෙක් සංවිධානයට අයත් රටවල් විසින් සැලසුම්සහගතව තෙල් සැපයුම සීමා කරමින් මිල ඉහළ දැමීමයි. සැපයුම් සීමා කිරීම් හරහා ඔපෙක් සංවිධානයේ රටවලට තෙල් වල ආන්තික පිරිවැයට වඩා ගොඩක් වැඩියෙන් තෙල් විකුණන්න පුළුවන් වුනා. අඩු ආන්තික පිරිවැයකින් නිපදවිය හැකි තෙල් නිධි අදාළ රජයයන්ගේ සෘජු පාලනය යටතේ තිබීම මෙයට පහසුවක් වුනා.

ඔපෙක් සංවිධානය විසින් සැලසුම්සහගතව තෙල් සැපයුම සීමා කිරීම නිසා තෙල් මිල ඉහළ ගියේ ටිකෙන් ටිකයි. මෙය කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු වුනා. තෙල් සැපයුම සීමා වීම හා මිල ඉහළ යාම නිසා බටහිර රටවල සංවර්ධන වේගයට යම් නිශේධනාත්මක බලපෑමක් ඇති වුනා. ඉතා අඩු ආන්තික පිරිවැයකින් තෙල් බැරලයක් නිපදවීමේ හැකියාව තිබුණු මැද පෙරදිග රටවල රජයයන්ට තෙල් අපනයනය කර ලැබූ ලාබ වලින් තමන්ගේ රටවල විශාල සුබසාධන ආර්ථිකයන් පවත්වා ගත හැකි වුනා. ඒ හේතුව නිසා මේ රජයයන් අභ්‍යන්තරව වඩ වඩා ශක්තිමත් වුනා. තෙල් අපනයනය කර ඉපැයූ විදේශ විණිමය ලොව පුරා ආයෝජනය කරමින් බාහිරවද ශක්තිමත් වීමට මේ රාජ්‍යයන්ට හැකි වුනා. ඉස්ලාම් ආගමේ හා ආශ්‍රිත සංස්කෘතියේ ලෝක ව්‍යාප්තියටත් මෙය උදවුවක් වුනා.

ලෝක සංවර්ධනයේ සුක්කානම බටහිර රටවල් අතේ තිබීමත්, බටහිර සංවර්ධනය රඳා පැවතුනු තෙල් එම රටවල ප්‍රමාණවත් තරමින් නොතිබීමත්, අපනයනය කළ හැකි තරම් තෙල් තිබුණු රටවල් බටහිර සංස්කෘතියෙහි නොසිටි රටවල් වීමත් ආදී සාධක විසින් ලෝක දේශපාලන බලතුලනය තීරණය කළා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල තෙල් හිඟය විසින් බටහිර සංස්කෘතියේ ව්‍යාප්තිය සීමා කළා. මැද පෙරදිග රටවල තෙල් ආධිපත්‍යයේ වාසිය හේතුවෙන් මුස්ලිම් සංස්කෘතිය ලොව පුරා ප්‍රවර්ධනය වුනා. ජපානය වැනි රටවලට මේ බලතුලනයට කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි වූයේ නැහැ.

ආර්ථික තලයේදී, ඔපෙක් සංවිධානයේ නිෂ්පාදන සීමා කිරීම් ඇමරිකාවේ සම්ප්‍රදායික තෙල් සංචිත වඩා වේගයෙන් ක්ෂය වීමට හේතුවක් වුනා. මැද පෙරදිග සංචිත වලට සාපේක්ෂව ඇමරිකාවේ තෙල් සංචිත ගොඩ ගැනීමේ ආන්තික පිරිවැය වැඩියි. තරඟකාරී තත්ත්වයන් යටතේනම් මේ තෙල් ගොඩ ගැනෙන්නේ මැද පෙරදිග තෙල් ගොඩ ගැනීමෙන් පසුවයි. එහෙත්, මැද පෙරදිග තෙල් නිෂ්පාදනය සීමා කිරීම හා මිල ඉහළ යාම නිසා ඇමරිකාවේ තෙල් වඩා ඉක්මණින් ආර්ථික වශයෙන් ලාබදායක වුනා. ඒ නිසා, ඒ තෙල් ක්ෂය වීමත් වේගවත් වුනා. 1980-2008 අතර ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ක්‍රමක්‍රමයෙන් අඩු වුනේ ඒ නිසයි. මේ විදිහට ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික පහත වැටෙද්දී තෙල් ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යාම නිසා ඇමරිකාවට අවශ්‍ය වූ ශුද්ධ තෙල් ආනයන වසරින් වසර ඉහළ ගියා.

ඔපෙක් සංවිධානයේ උපාය මාර්ගික සැපයුම් සීමා කිරීම් වලට අමතරව මැදපෙරදිග යුද්ධමය තත්ත්වයන් ඇති අවස්ථා වලදීත් ඉන්ධන මිල ඉහළ යාම පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි දෙයක්. එහෙත්, මෙවැනි මිල ඉහළ යාම් තාවකාලිකයි. යුදමය තත්ත්වයන් පහව ගිය විට නැවත මිල ස්ථාවර වෙනවා. එහෙත්, දිගුකාලීන ඉල්ලුම් හා සැපයුම් සාධක මත තෙල් මිල වෙනස් වූ විට ඒ වෙනස්කම් එසේ නැවත ආපසු හැරෙන්නේ නැහැ.

පසුගිය ආර්ථික අවපාතයට පෙර ලෝක තෙල් මිල විශාල ලෙස ඉහළ යන්න හේතු වුනේ කලින් අවස්ථා වලදී මෙන් ඔපෙක් සංවිධානය විසින් සැපයුම් සීමා කළ නිසා හෝ මැද පෙරදිග කලාපයේ යුදමය හේතුවක් නිසා නෙමෙයි. මෙහිදී මිල ඉහළ යාමට හේතු වුනේ චීනයේ වේගවත් ආර්ථික වර්ධනය හමුවේ ඉහළ ගිය තෙල් ඉල්ලුම සැපිරිය හැකි තරමට සැපයුම ඉහළ නොයාමයි.

චීනය කියා කියන්නේ කාලයක් තිස්සේම ඉන්ධන අපනයනය කළ රටක්. දැනටත් තෙල් නිෂ්පාදනය අතින් පස්වන හෝ හයවන තැන සිටින රට චීනයයි. පසුගිය දශක කිහිපය තිස්සේ චීන ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වූ බව කවුරුත් දන්නා දෙයක්. අඩු ආදායම් මට්ටමක සිටින රටක ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා කියා කියන්නේ ඒ රටේ තෙල් ඉල්ලුම ඒ වේගයෙන්ම හෝ ඊටත් වැඩි වේගයකින් ඉහළ යනවා කියන එකයි. චීනයේත් මේ දේ වුනා.

අනූ ගණන් වලදී චීනයේ නිපදවන තෙල් ප්‍රමාණය ඉක්මවා චීනයේ තෙල් ඉල්ලුම ඉහළ ගියා. චීනයට තෙල් ආනයනකරුවෙකු බවට පත් වෙන්න සිදු වුනා. ඉන් පසුව චීනයේ ශුද්ධ තෙල් ආනයන වසරින් වසර ක්‍රමක්‍රමයෙන් හා වේගයෙන් ඉහළ යන්න පටන්
ගත්තා.


චීන ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා කියා කියන්නේ සිංගප්පූරුව වැනි කුඩා රටක් හෝ ජපානය වැනි තරමක රටක් වේගයෙන් වර්ධනය වෙනවා වැනි දෙයක් නෙමෙයි. ලෝක ජනගහණයෙන් පහෙන් එකක්ම ජීවත් වන්නේ චීනයේ. එවැනි විශාල පිරිසකගේ ජීවන තත්ත්වය කෙටි කලක් තුළ ඉහළ යාම නිසා වැඩි වන තෙල් ඉල්ලුම ලෝක තෙල් වෙළඳපොළේ සමතුලිතතාවයට දැඩි ලෙස දැනෙනවා. ඉන්දියාවේ ආර්ථිකය තවත් යම් ප්‍රමාණයක් වර්ධනය වූ විට නැවතත් මෙවැනිම තත්ත්වයක් දකින්න ලැබෙයි.

කලින් කීවාක් මෙන් ලෝක තෙල් ඉල්ලුම වගේම ලෝක තෙල් සැපයුමත් අප්‍රත්‍යස්ථයි. සිංගප්පූරුව හෝ ජපානය වැනි රටක් වේගයෙන් වර්ධනය වන විට ඉහළ යන ඉල්ලුමට තෙල් සැපයුම ප්‍රතිචාර දක්වන නමුත් චීනයේ වැඩිවන ඉල්ලුමට සරිලන තරමින් තෙල් සැපයුම ඉහළ යාමේ ශක්‍යතාවයක් නැහැ. චීනය වර්ධනය වුනේ ලෝක තෙල් කර්මාන්තයට ප්‍රතිචාර දැක්විය නොහැකි තරමේ වේගයකින්. ඒ නිසා, චීනයේ තෙල් ඉල්ලුම ඉහළ යාමට සාපේක්ෂව ඇමරිකාවේ හා යුරෝපයේ තෙල් පරිභෝජනය අඩු විය යුතු වුනා. එසේ නැත්නම් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ.

කාලයක් තිස්සේ පැවති මේ ප්‍රවණතාව නිසා ආසන්න වශයෙන් මේ සහශ්‍රයේ ආරම්භයේ පමණ සිට ලෝක තෙල් මිල ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. මේ කාලය ඇතුළත එක පැත්තකින් ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික අඩු වුනා. අනෙක් පැත්තෙන් ලෝක තෙල් සැපයුමෙන් චීනයට යන කොටස ටිකෙන් ටික ඉහළ ගියා. මෙහි සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙස එක පැත්තකින් ඇමරිකාවේ තෙල් ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යද්දී අනිත් පැත්තෙන් එම ආනයන වල තරඟකාරිත්වය ඉහළ ගියා.

තෙල් ඉල්ලුම අප්‍රත්‍යස්ථ නිසා මිල ඉහළ යන විට ඉල්ලුම පහත වැටෙන්නේ ඉතා අඩුවෙන්. මෙයම වෙනත් විදිහකට ප්‍රකාශ කළොත්, ඇමරිකාවේ තෙල් ඉල්ලුම තරමකින් පහත වැටෙන්නේ මිල විශාල ලෙස ඉහළ ගියහොත් පමණයි. ඒ නිසා, චීනයේ වේගයෙන් ඉහළ ගිය තෙල් ඉල්ලුම හමුවේ ලෝක තෙල් ඉල්ලුම හා සැපයුම සමතුලිත විය හැකිව තිබුණේ ඇමරිකාවේ හා වෙළඳපොළ සාධක මත තෙල් මිල තීරණය වන අනෙකුත් රටවල තෙල් මිල විශාල ලෙස ඉහළ යාමෙන් පමණයි. 2004-2008 කාලයේදී මේ ප්‍රවණතාව ලෝකයට දැනෙන තරමට වර්ධනය වී ආර්ථික අවපාතයකින් කෙළවර වුණා. ඇමරිකාවේ හා ඉන් පසුව යුරෝපයේ ආර්ථික අවපාතය නිසා බටහිර රටවල තෙල් ඉල්ලුම අඩු වී නැවතත් මිල පහත වැටුණා.

ඉන් පසුවත් චීනයේ තෙල් ඉල්ලුම දිගින් දිගටම වැඩි වුනා මිසක් අඩු වුනේ නැහැ. එහෙත්, හයිඩ්‍රොලික් විභේදන තාක්ෂනය මගින් ශල්ක තෙල් නිපදවීම පටන් ගැනීමත් සමඟ කර්මාන්තයේ ස්වභාවය මුළුමනින්ම වෙනස් වී ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය වේගයෙන් ඉහළ යන්න පටන් ගත්තා. මෙය ඔපෙක් කණ්ඩායමේ රටවලට විශාල ප්‍රශ්නයක් වුනා.

ආරම්භයේදී සැපයුම ඉහළ දමා ලෝක තෙල් මිල පහත හෙළීමෙන් ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය තිඹිරි ගෙයිම මරා දමන්නට සවුදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් රටවල් විසින් උත්සාහයක් දැරුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශල්ක තෙල් නිෂ්පාදනය අඩු වී නැවත තෙල් මිල ඉහළ ගියා. නමුත්, දෙවන වටයේදී ශල්ක තෙල් කර්මාන්තය වඩාත් කාර්යක්ෂම වී නැවත හිස එසෙවුවා.

සවුදි අරාබිය වැනි රටවලට ඉතාම අඩු පිරිවැයකට තෙල් බැරලයක් නිපදවිය හැකි නිසා දැනට පවතින මිලට වඩා ගොඩක් අඩුවෙන් තෙල් විකිණිය හැකියි. මැද පෙරදිග රටවල් විසින් දිගින් දිගටම එසේ කළහොත් ශල්ක තෙල් කර්මාන්තයට පැවැත්මක් නැති වෙනවා. නමුත්, එම රටවල් එසේ කරන්නට ගියහොත් තෙල් අපනයන වල උදවුවෙන් පවත්වා ගන්නා සුබසාධන ආර්ථිකයන් එළෙසම පවත්වා ගෙන යන්න නොහැකි වෙනවා. අනෙක් අතට ඔවුන් තෙල් මිල පහතින් පවත්වා ගතහොත් රටක් ලෙස ඇමරිකාවට එයින් වාසියක් මිස අවාසියක් වෙන්නේ නැහැ. පොදුවේ අනෙකුත් බටහිර රටවලටත් එසේමයි. ශල්ක තෙල් කර්මාන්තය බිඳ වැටුණත් අනෙකුත් කර්මාන්ත දුවවන්න අවශ්‍ය තෙල් ලාබෙට ලැබෙනවා. ශල්ක තෙල් විප්ලවය විසින් පෙන්වා දී තිබෙන්නේ නිදහස් වෙළඳපොළ ක්‍රමය සතු ඔරොත්තු දීමේ ශක්තියයි.

මැද පෙරදිග සම්ප්‍රදායික තෙල් නිෂ්පාදකයින්ට දැන් ශල්ක තෙල් කර්මාන්තය සමඟ සහජීවනයකට යාම හැර වෙනත් විකල්පයක් නැහැ. එය ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ තත්ත්වයක්.


පසුගිය දශකය තුළ ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය ටිකෙන් ටික ඉහළ ගොස්  මේ වන විට ඇමරිකාව ශුද්ධ තෙල් අපනයනකරුවෙකු බවට පත් වී තිබෙනවා. දැන් ලෝකයේ විශාලතම තෙල් පරිභෝජකයා මෙන්ම විශාලතම තෙල් නිෂ්පාදකයාද ඇමරිකාවයි. මීට අමතරව ලෝකයේ තවත් ප්‍රධාන තෙල් අපනයනකරුවෙකු වන අසල්වැසි කැනඩාවේ තෙල් කර්මාන්තය තුළත් ඇමරිකානු සමාගම් වල දායකත්වය විශාලයි. ඒ නිසා, ජනාධිපති ට්‍රම්ප් පසුගියදා සඳහන් කර පරිදි දැන් ඇමරිකාවට මැද පෙරදිග තෙල් අවශ්‍ය නැහැ.


බොහෝ කාලයක් ලෝකයේ විශාලතම තෙල් ආනයනකරු වී සිටියේ ඇමරිකාව වුවත් දැන් ඒ තැන සිටින්නේ චීනයයි. තෙල් හා අදාළව කාලයක් තිස්සේ ඇමරිකාව මුහුණ දුන් අභියෝග වලට දැන් මුහුණ දෙන්නේ චීනයයි. කෙසේ වුවත්, ඇමරිකාව විසින් සොයා ගෙන තිබෙන රෝදය චීනය විසින් නැවත සොයා ගත යුතු නැති නිසා චීනයට අනාගතය සැලසුම් කර ගැනීම සාපේක්ෂව පහසුයි. එක අතකින් චීන තෙල් සමාගම්, ඒවා රජය සතු සමාගම් වුවත්, ලෝකයේ තෙල් නිධි තිබෙන රටවල් වෙත වේගයෙන් ව්‍යාප්ත වෙනවා. අනෙක් පැත්තෙන් චීනයත් මේ වෙද්දී හයිඩ්‍රොලික් විභේදන තාක්ෂනය යොදා ගනිමින් ශල්ක තෙල් කර්මාන්තයට අත ගසා තිබෙනවා.

ශල්ක තෙල් කර්මාන්තය ප්‍රවර්ධනය වීම කාලයක් තිස්සේ තෙල් නිසා බැට කෑ ඇමරිකාවේ සිදු වී තිබෙන එකම වෙනස නෙමෙයි. පොසිල ඉන්ධන සංචිත අවසන් වීමේ අවදානම හමුවේ පසුගිය කාලය පුරාවට ඇමරිකාව විසින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි විශාල ආයෝජන සිදු කර තිබෙනවා. ඒ වගේම, අලුතෙන් නිපදවන මෝටර් රථ බොහොමයක් පෙට්‍රෝලියම් ඉන්ධන යොදා නොගන්නා ඒවා. ඒ වගේම, මේ වෙද්දී බොහෝ දෙනෙක් නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රවණතාවය නිසාත්, අන්තර්ජාල වෙළඳාමේ ව්‍යාප්තිය නිසාත් ප්‍රවාහන අවශ්‍යතා සීමා වීමක් වෙනවා. ඇමරිකාව ආර්ථික වර්ධන හිනිපෙතේ දැන් ඉන්නා අදියර අනුව ආර්ථිකය වර්ධනය වීම යනු භාණ්ඩ නිෂ්පාදනය ඉහළ යාම නොවන නිසා ඇමරිකාවට තවත් වැඩි වැඩියෙන් ඉන්ධන අවශ්‍ය වන්නේ සීමිතවයි. ඒ නිසා, තවත් සෑහෙන කාලයකට ඇමරිකාවට තෙල් ප්‍රශ්නයක් මතු වීමේ ඉඩක් නැහැ.

ඇමරිකාව තෙල් ස්වාධීනත්වය ලබා ගත්තා කියා කියන්නේ බාහිර ලෝකයට ඇමරිකාව පාලනය කළ හැකි ප්‍රබල අවියක් නැති වුනා කියන එකයි. ඒ වෙනස ඉදිරි කාලයේ ලෝක දේශපාලන බලතුලනය කෙරෙහි බලපාන වැදගත් සාධකයක්.

Wednesday, January 8, 2020

ට්‍රම්ප් ජාතිය අමතයි!


මීට ටික වෙලාවකට පෙර ජනාධිපති ට්‍රම්ප් ජාතිය ඇමතුවා. එහිදී දැනුම් දුන් පරිදි ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර වලින් කිසිදු ඇමරිකානුවෙකුට තුවාල සිදු වී නැහැ. ප්‍රහාරයකට පෙර සූදානම්ව සිටි නිසා හානියක් සිදුවීම වලක්වා ගත හැකි වූ බව ජනාධිපති ට්‍රම්ප් පැවසුවා.

ජනාධිපති ට්‍රම්ප් විසින් මේ කතාවේදීද කාසිම් සොලෙයිමානි ඝාතනය සාධාරණීකරනය කළා. එමෙන්ම, මෙය කලින්ම කළ යුතුව තිබුණු දෙයක් බවටද අදහස් පළ කළා. එමෙන්ම, ඉරානයට න්‍යෂ්ඨික අවියක් හැදීමට කිසි විටෙකත් ඉඩ නොතබන බවද අවධාරණය කළා.

මේ වන විට ඇමරිකාව ලෝකයේ විශාලතම ඉන්ධන හා ස්වභාවික වායු නිෂ්පාදකයා බවත්, ඇමරිකාවේ ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් දැන් වෙනත් රටවල් දෙස බලා සිටිය යුතු නැති බවත් මතක් කරන්නටත් ඔහු අමතක කළේ නැහැ.

කාසිම් සොලෙයිමානි ඝාතනය පිළිබඳව ඇමරිකානු ජනමතයේ බෙදීමක් දැකිය හැකි වුවත්, රිපබ්ලිකන් පාක්ෂිකයින් බහුතරය මේ සිද්ධියෙන් පසුව තවදුරටත් ජනාධිපති ට්‍රම්ප්ගේ දෑත් ශක්තිමත් කරමින් සිටිනවා. යම් හෙයකින් ඉරාන මිසයිල ප්‍රහාර වලින් ඇමරිකානුවන්ට හානි වී තිබුනානම් ඇමරිකාවට අනිවාර්යයෙන්ම ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට සිදු වෙනවා. එසේ වුනානම් මෙය දිගින් දිගටම ඇදෙනවා.

ඉරාන ප්‍රහාර වලින් ඇමරිකාවට හානි සිදු වී නැති නිසා ඇමරිකාවට නැවත ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් පැන නැගී නැහැ. එමෙන්ම, ඉරානය විසින්ද ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාව විසින් නැවත එකට එක කිරීමක් නොකළහොත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් යොමු නොවනු ඇති බවයි.

Tuesday, January 7, 2020

යුද්ධය පටන් ගත්තද?


කාසිම් සොලෙයිමානි ඝාතනයට එකට එක කිරීමක් වශයෙන් ඉරානය විසින් මීට පැය කිහිපයකට පෙර (ලංකාවේ වේලාවෙන් ජනවාරි 8 අළුයම 2:00ට පමණ) ඇමරිකානු හමුදා රැඳී සිටින ඉරාකයේ අල්-අසාද් සහ ඉර්බිල් හමුදා කඳවුරු වෙත බැලස්ටික් මිසයිල දොළහක් හෝ වැඩි ගණනක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. සිදු වී ඇති හානිය තවමත් වාර්තා වී නැහැ.

ලංකාවේ වේලාවෙන් පසුගිය ජනවාරි 3 අළුයම 3:00ට පමණ කාසිම් සොලෙයිමානිව ඉලක්ක කරගත් ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය යාමෙන් පසුව මේ වෙනුවෙන් ඇමරිකාවට දරුණු වන්දියක් ගෙවන්නට සිදු වනු ඇති බව ඉරානය විසින් සපථ කර සිටියා. මේ ප්‍රහාරය එම ඝාතනයට එකට එක කිරීමක් බව පැහැදිලියි. ප්‍රහාරයේ වගකීම ඉරානය විසින් භාර ගෙන තිබෙන අතර ඒ බව පෙන්ටගනය විසින්ද සනාථ කර තිබෙනවා.

කාසිම් සොලෙයිමානි ඝාතනයෙන් පසුව ප්‍රතිප්‍රහාර එල්ල කර නොසිටිය හැකි තැනකට ඉරානය තල්ලු වුනා. කාසිම් සොලෙයිමානි ඝාතනය ආරක්ෂක පියවරක් ලෙස හැඳින්වූ ජනාධිපති ට්‍රම්ප් විසින් කියා සිටියේ ඉරානය ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට යොමු වුවහොත් ඉරානයට හා ඉරාන සංස්කෘතියට වැදගත් වන ස්ථාන 52කට ඇමරිකාව විසින් ඉතා ඉක්මණින්ම දරුණු ප්‍රහාර එල්ල කරනු ඇති බවයි. මේ ප්‍රකාශයට එල්ල වූ ප්‍රතිරෝධය හමුවේ තමන්ට අකැමැත්තෙන් වුවත් ජාත්‍යන්තර නීතියට ගරු කරන්නට සිදු වන බව පසුව ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර සිටියා.

ප්‍රහාරයෙන් අනතුරුව, ඇමරිකාවට හා ලෝකයට යුද්ධයක් දරා ගැනීමට අපහසු බව කතානායක නැන්සි පෙලෝසි විසින් ට්වීට් කර තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය තවමත් අවිනිශ්චිතයි.

Sunday, January 5, 2020

තාක්ෂනය හමුවේ දිය වී යන සන්නිවේදන අභියෝග


මුල් යුගයේ ලංකාවේ දේශපාලනයට ආපු බොහෝ ජාතික නායකයින්ට සිංහල හෝ දෙමළ භාෂා වලට වඩා හුරුපුරුදුව තිබුණේ ඉංග්‍රීසි භාෂාවයි. නමුත්, රටේ වැඩි දෙනෙක් කතා කළ භාෂාව සිංහල. එහෙම නැත්නම් දෙමළ. සිංහල භාෂාවෙන් කතා කරන්නට සිදු වීම පසුගිය සියවසේ මුල් භාගයේදී ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් මුහුණ දුන් අභියෝගයක්.

ඒ කාලයේදී ටෙලිප්‍රොම්ප්ටර් වැනි තාක්ෂනික මෙවලම් තිබුණේ නැහැ. ඒ නිසා, මුල් කාලයේ ජාතික නායකයින් වූ ඇතැම් අය සිංහල කතා ඉංග්‍රීසි අකුරෙන් ලියාගෙන පුරුදු වූ බව කියනවා. දැන්නම් ලංකාවේ දේශපාලනයේ නිරත බොහෝ දෙනෙකුට වඩාත්ම හුරුපුරුදු භාෂාව සිංහල හෝ දෙමළයි. මේ තමන්ට හුරුපුරුදු භාෂාවෙන් කතා කිරීමේදී පවා ඇතැම් අය ටෙලිප්‍රොම්ප්ටර් භාවිතා කරනවා. එහි කිසිදු වැරැද්දක් නැහැ.

දැන් ලංකාවේ රාජ්‍ය නායකයින් මුහුණ දෙන සන්නිවේදන අභියෝගය සිංහල නොත්රෙන දෙමළ ජනතාවට කතා කිරීමයි. මේ වැඩේට බොහෝ විට පරිවර්තකයෙකු යොදා ගැනුණත් එයින් කථිකයා සහ සවන් දෙන්නන් අතර කිසියම් දුරස්ථ බවක් ඇති වෙනවා. ඒ නිසා, පසුගිය කාලයේ ලංකාවේ ඇතැම් රාජ්‍ය නායකයින් දෙමළ භාෂාවෙනුත් වාක්‍ය කිහිපයක් හෝ කතා කරන්න පෙළඹෙනු අප දැක තිබෙනවා. මෙය කළේ ටෙලිප්‍රොම්ප්ටරය දෙස බලාගෙන සිංහල අකුරෙන් ඇති දෙමළ වචන කියවමින් වෙන්න පුළුවන්. එවැනි දෙයක් වුවත් අගය කළ යුත්තේ එය සිංහල රාජ්‍ය නායකයෙකු දෙමළ ජනතාවට වඩා සමීප වීමට දරන උත්සාහයක් නිසයි.

ඉංග්‍රීසි භාෂාවෙහි මනා පරිචයක් නැති රාජ්‍ය නායකයෙකුට ජාත්‍යන්තර සම්මේලන ආදියෙහිදීත් සන්නිවේදන අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මෙයට විසඳුමක් ලෙස කෙරෙන්නේ පරිවර්තකයෙකු යොදා ගැනීමයි.

මේ වගේ සන්නිවේදන අභියෝගයන්ට විසඳුමක් ලෙස කිසියම් කථිකයෙකු තමන්ට වඩාත්ම හුරුපුරුදු බසින් පවත්වන කතාවක් වෙනත් බසකින් එළෙසම කිරීමට ඔහුගේ හෝ ඇයගේ හොලෝග්‍රෑමයක් (ආලෝක කදම්බ මගින් මවන ත්‍රිමාණ රුවක්) යොදාගත හැකිනම්? කථිකයාගේ අභිනයන්, කඩහඬ, හඬ උස් පහත් කරන රටාවන් ආදී සියල්ලමද එළෙසම සම්ප්‍රේෂණය කළ හැකිනම්?

මේ වගේ දෙයක් කරන එක තව දුරටත් අනාගතයට අයිති දෙයක් නෙමෙයි.


(Image: https://www.thegeniusworks.com/2019/07/microsofts-cvp-julia-white-uses-azure-ai-and-hololens-to-deliver-a-keynote-by-her-own-hologram-in-japanese/)

Saturday, January 4, 2020

කිම බැදිවල යන්නේ?


පෙර ලිපියේ ලියූ පරිදි, සාමාන්‍ය පෙනීම ලෙස සැලකෙන්නේ 20/20 හෙවත් 6/6 පෙනීමයි. එහෙත්, පෙනීම මේ මට්ටමට නැති සියළු දෙනාවම දෘශ්‍යාබාධිත පුද්ගලයින් සේ සැලකෙන්නේ නැහැ. 6/12 මට්ටම ඉක්මවන පෙනීමක් ඇත්නම් එය සාමාන්‍ය පෙනීමක් ලෙස සැලකෙනවා. එහෙත්, පෙනීම 6/12 මට්ටමට වඩා අඩුනම්, එනම් සාමාන්‍ය පුද්ගලයෙකුට මීටර 12ක් ඈත සිට දැකිය හැකි දෙයක් මීටර 6ක දුරකදීවත් නොපෙනේනම් එය ඇස් පෙනීමේ දුර්වලතාවයක් ලෙස සැලකෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, අවම වශයෙන් බිලියන 2.2ක පිරිසක්, එනම් ලෝක ජනගහණයෙන් 28% ඉක්මවන ප්‍රතිශතයක් කිසියම් හෝ ඇස් පෙනීමේ දුර්වලතාවයකින් පෙළෙනවා. මෙයින් බොහෝ දෙනකු වයස අවුරුදු පණහ ඉක්මවූ අයයි. මේ අයගෙන් බිලියනයක පමණ පිරිසක් ඒ තත්ත්වයට පත් වීම වලක්වා ගත හැකිව තිබුණු බව ඇස්තමේන්තු කර තිබෙනවා.

ජාත්‍යන්තර රෝගාබාධ වර්ගීකරණය අනුව දුර පෙනීමේ දුර්වලතාවය මත පුද්ගලයින් වර්ග කරන්නේ පහත ආකාරයටයි.

6/12 සිට 6/18 දක්වා - සුළු දෘශ්‍යාබාධිත තත්ත්වයක්
6/18 සිට 6/60 දක්වා - මධ්‍යස්ථ දෘශ්‍යාබාධිත තත්ත්වයක්
6/60 සිට 3/60 දක්වා - දරුණු දෘශ්‍යාබාධිත තත්ත්වයක්
3/60ට අඩු- අන්ධ

දුර පෙනීම ඇමරිකානු ක්‍රමයට 20/200 මට්ටමට එහෙමත් නැත්නම් මෙට්‍රික් ක්‍රමයට 6/60 මට්ටමට වඩා අඩු පුද්ගලයින් ඇමරිකන් එක්සත් ජනපද නීතිය අනුව අන්ධ පුද්ගලයින් සේ අර්ථ දැක්වෙනවා. මෙසේ මනින්නේ උපැස් හෝ වෙනත් දෘශ්‍යධාර පැළඳීමෙන්ද පසුව වඩා හොඳින් පෙනෙන ඇසේ පෙනීමයි. ඇමරිකානුවන්ගෙන් මිලියන 1.1ක පමණ පිරිසක් නීත්‍යානුකූලව අන්ධ අයයි. ඒ අයට අන්ධ පුද්ගලයින්ට ලැබෙන විශේෂ පහසුකම් හා වරප්‍රසාද ලබා ගැනීමේ හිමිකම ලැබෙනවා. එහෙත්, ඔවුන් අතරෙන් වෛද්‍යමය ලෙස පූර්ණ අන්ධ සේ සැලකිය හැක්කේ 15%ක පමණ පිරිසක් පමණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2010 ඇස්තමේන්තු අනුව ඒ වෙද්දී ලෝකයේ අන්ධ ජනගහණය මිලියන 39ක්. ලංකාවේ මෑතකාලීන සමීක්ෂණයකට අනුව, රටේ ජනගහණයෙන් තුනෙන් එකක් පමණ කිසියම් හෝ දෘශ්‍යාබාධිත තත්ත්වයකින් පෙළෙනවා. මේ උපැස් හෝ වෙනත් දෘශ්‍යධාර පැළඳීමෙන්ද පසු තත්ත්වයයි.

6/12ට වැඩි (සාමාන්‍ය පෙනීම) - 67.5%
6/12 සිට 6/18 දක්වා (සුළු දෘශ්‍යාබාධිත තත්ත්වයක්) - 13.6%
6/18 සිට 6/60 දක්වා (මධ්‍යස්ථ දෘශ්‍යාබාධිත තත්ත්වයක්) - 15.4%
6/60 සිට 3/60 දක්වා (දරුණු දෘශ්‍යාබාධිත තත්ත්වයක්) - 1.6%
3/60ට අඩු (අන්ධ) - 1.7%

රටේ එක් එක් ප්‍රදේශ වල ජනගහණයේ අන්ධ ප්‍රතිශතය සමාන නැහැ. බස්නාහිර, දකුණු හා සබරගමු පළාත් වල තත්ත්වයට  සාපේක්ෂව ඌව, වයඹ හා නැගෙනහිර පළාත් වල අන්ධ ප්‍රතිශතය දෙගුණයකටත් වඩා වැඩියි. ග්‍රාමීය, අඩුආදායම්ලාභී, අඩු අධ්‍යාපනයක් ඇති අය හා කාන්තාවන් අතර අන්ධ හා දෘශ්‍යාබාධී තත්ත්වයන් විශාල ලෙස සංකේන්ද්‍රනය වී තිබීමෙන් පෙනෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ සමාජයේ එවැනි ප්‍රතිලාභ අවශ්‍යම කොටස් වෙත සමානුපාතිකව බෙදී නොයන බවයි. වළක්වාගත හැකි තත්ත්වයන් යටතේ අන්ධ හෝ දරුණු දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්ව සිටින අයගෙන් තුනෙන් දෙකක් පමණම සඳහන් කර තිබෙන්නේ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඔවුන්ට මිල අධික කාර්යයක් වූ බවයි.

මග හොඳට පෙනේනම්
යන්ට දෑසත් පෙනේනම්
කිම බැදිවල යන්නේ
මං මුලා වූ එවුන් සේ

ඔහොම කියන්නේ මග හොඳට පේන අය ගැනයි. දෑස හොඳින් පෙනෙන ඇතැම් අයත් බැදි වල ගියත්, යන්ට දෑස නොපෙනෙන අයටත් මං මුලා වූ එවුන් සේ බැදි වල නොගොස් පාර දිගේම යන්න තාක්ෂනය විසින් ඉඩ සලසනවා. රටක සුළුතරයක් වන දෘශ්‍යාබාධිත ජනගහණයටත් අනෙක් අයගේ උදවු නැතිව ස්ව-උත්සාහයෙන් පාර දිගේ යන්න පහසු කරමින් පාරවල් හොඳින් එළි පෙහෙළි කිරීම ඇස් පෙනෙන බහුතරයකගේ යුතුකමක් හා වගකීමක්.

බටහිර රටවල පොදු ස්ථාන වල ඇති නාම පුවරු ආදියේ ඇති දෑ බ්‍රේල් අකුරින්ද ලියා තිබීම දෘශ්‍යාබාධිත පිරිස් වලට විශාල පහසුවක්. ලංකාවේද මෙසේ කළ හැකි වුවත් දෘශ්‍යාබාධිත පිරිස් වලට එහි වාසිය ලැබෙන්නේ ඔවුන්ට බ්‍රේල් අකුරු කියැවීමට හැකිනම් පමණයි. ඇතැම් මූලාශ්‍ර අනුව බ්‍රේල් අකුරු කියැවිය හැක්කේ ලංකාවේ දෘශ්‍යාබාධිත ජනගහණයෙන් 15%කට පමණයි.

අද (ජනවාරි 4) ලෝක බ්‍රේල් දිනයයි.

(Image: https://www.pharmabraille.com/wp-content/uploads/2014/11/World-Braille-Usage-Third-Edition-1.pdf)

Friday, January 3, 2020

විස්සයි විස්සේ දැක්ම

විස්සයි විස්සේ (20/20) දැක්ම කියා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ඇස් පෙනීමේ මට්ටමටයි. ඔබේ පෙනීම තිබෙන්නේ 20/20 මට්ටමේනම් එයින් අදහස් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අඩි 20ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් ඔබටත් අඩි 20ක දුරකදී පේනවා කියන එකයි.

ඔබේ පෙනීම තිබෙන්නේ 20/40 මට්ටමේනම් එය සාමාන්‍ය පුද්ගලයෙකුගේ පෙනීමේ මට්ටමට වඩා දුර්වල පෙනීමේ මට්ටමක්. ඔබට අඩි 20ක දුරක සිට හොඳින් දැකිය හැක්කේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අඩි 40ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් පමණයි. එහෙත්, එයත් නරකම මට්ටමක් නෙමෙයි. සාමාන්‍යයෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත් ලබා දීමේදී අවශ්‍ය සේ සැලකෙන අවම පෙනීමේ මට්ටම 20/40 මට්ටමයි.

මෙට්‍රික් ක්‍රමයට 20/20 මීටර් වලට හැරවී 6/6 වෙනවා. ඒ වගේම, 20/40 මෙට්‍රික් ක්‍රමයට 6/12 වෙනවා. 6/12 දැක්ම කියන එකෙන් අදහස් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට මීටර් 12ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් ඔබට මීටර් 6කදී හොඳින් පෙනෙන බවයි. ඒ මට්ටමට පෙනීම නැති අයෙකු රිය ධාවනය කරනවානම් උපැස් පැළඳිය යුතුයි. උපැස් වල කාච වක්‍රතාවය තීරණය කිරීමේදී ඉලක්කය වන්නේ 20/20 (හෙවත් 6/6) මට්ටමේ පෙනීමක් නැති අයෙකුගේ පෙනීම ඒ මට්ටමට ගේන එකයි.

විස්සයි විස්සේ එහෙමත් නැත්නම් මෙට්‍රික් ක්‍රමයට හයයි හයේ පෙනීම කියා කියන්නේ කෙනෙකුට තිබිය හැකි හොඳම මට්ටමේ පෙනීම නෙමෙයි. එය බොහෝ දෙනෙකුට පෙනෙන මට්ටමයි. ඊට වඩා හොඳින් පෙනෙන අයත් ඉන්නවා. 20/10 (මෙට්‍රික් ක්‍රමයට 6/3) පෙනීම කියා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අඩි 10ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් ඔබට අඩි 20ක දුරකදී පේනවා කියන එකයි. ඒ කියන්නේ එවැනි කෙනෙක් වෙනත් බොහෝ අයට වඩා දුර දකිනවා.

රිය පැදවීමේදී ප්‍රමාණවත් දුරක සිට ඉදිරිය පැහැදිලිව දකින්න හැකි වීම අත්‍යවශ්‍ය කරුණක්. ඊට අමතරව, පුළුල් පරාසයක් දැකිය හැකි වීම (දර්ශන ක්ෂේත්‍රය) හා එක් එක් තනි ඇසේ පෙනීම අවම මට්ටමක තිබීමත් අවශ්‍යයි. ඒ වගේම ද්විත්ව පෙනීම (ඩිප්ලෝපියාව), වර්ණ අන්ධතාව වැනි රෝගී තත්ත්වයන්ද ආරක්ෂාකාරී ලෙස රිය එළැවීමට බාධාවක්. ලංකාවේදී රියදුරු බලපතක් ලබා දීමේදී වර්ණ අන්ධතාව ප්‍රශ්නයක් සේ සලකන්නේ නැහැ.

ගෝඨාභයගේ ආර්එම්වී විසිට් එකෙන් පසුව, ලංකාවේ සැහැල්ලු වාහන රියදුරු බලපත් ලබා දීමේදී අවශ්‍ය වන වෛද්‍ය පරීක්ෂණය ඇස් පරීක්ෂාවකට සීමා කිරීම පිළිබඳව සලකා බලමින් ඉන්න බව පේනවා. ඇමරිකාවේදී සැහැල්ලු වාහන එළැවීමේ බලපත්‍රයක් ගන්න අවශ්‍ය වන්නේ අක්ෂි පරීක්ෂාවක් පමණයි. ගෝඨාභයත් මේ බව දන්නා නිසා ඇමරිකාවෙත් නැති එකක් ලංකාවට අවශ්‍ය වන්නේ ඇයි කියා හිතනවා ඇති.

මගේ පෞද්ගලික අදහසත් සැහැල්ලු වාහන එළැවීමට බලපත් නිකුත් කිරීමේදී අක්ෂි පරීක්ෂාවක් කිරීම ප්‍රමාණවත් කියන එකයි. එහෙත්, මේ වගේ දෙයක් තනි පුද්ගලයෙක් විසින් තීරණය කරන එක සුදුසුයි කියා මා හිතන්නේ නැහැ. මේ පිළිබඳ විශේෂඥතාවයක් තිබෙන අය සාමාන්‍ය පුද්ගලයෙකු නොදකින පැති දකිනවා වෙන්න පුළුවන්.

ජනාධිපතිවරයා විසින් හෝ රජයේ වෙනත් කවුරු හෝ ලොක්කෙක් විසින් රටේ බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂාවට බලපාන මේ වගේ තීන්දු තනිව ගන්නා හැම විටකම අවම වශයෙන් ඒ බව ප්‍රසිද්ධ කර මහජන අදහස් දැක්වීම සඳහා අවස්ථාව හා ප්‍රමාණවත් කාලයක් දී ඒ අදහස් ගැනද සලකා බැලීමෙන් පසුව අදාළ තීන්දු ක්‍රියාත්මක කරන එකයි වඩාත්ම යෝග්‍ය ක්‍රමය.

Thursday, January 2, 2020

ගමනාගමන කොමිසමෙන් නිවේදක තෝරයි!


රූපවාහිණී සුලභ වෙන්න කලින් යුගයේ ගුවන් විදුලියේ ජනප්‍රිය සංගීත වැඩ සටහන් දෙකක් වුනේ "අසන්නන්ගේ ඉල්ලීම්" හා  "නිවේදක තෝරයි". ආර්ථික විද්‍යා වචන වලින් කියනවානම්  මේ දෙකෙන් පළමුවැන්නේදී ඉල්ලුම් සාධක වලටත්, දෙවැන්නේදී සැපයුම් සාධක වලටත් ප්‍රමුඛතාවය ලැබුණා.

නමෙන් කියන විදිහටම "නිවේදක තෝරයි" වැඩ සටහනක ගීත තේරුවේ අදාළ වැඩ සටහනේ නිවේදක විසිනුයි. එයින් වෙනස්ව "අසන්නන්ගේ ඉල්ලීම්" වැඩ සටහනේදී රසිකයින්ගේ කැමැත්තට ඉඩක් ලැබුණා. වැඩ සටහනක නිවේදකයා කිසියම් නිශ්චිත පුද්ගලයෙක් වූ නිසා "නිවේදක තෝරයි" වැඩ සටහනෙන් පිළිබිඹු වුනේ කිසියම් තනි පුද්ගලයෙකුගේ රුචිකත්වය. ඒ නිසා, "නිවේදක තෝරයි" ගීත තේරුණේ ඒකාධිකාරයක් යටතේ කියා කියන්න පුළුවන්.

මෙයින් වෙනස්ව "අසන්නන්ගේ ඉල්ලීම්" ගීත තේරුණේ තරඟකාරී පදනමකිනුයි. ඒ වුනත්, ප්‍රායෝගිකව "අසන්නන්ගේ ඉල්ලීම්" ගීත තේරීම සිදු වුනේ කතිපයාධිකාරී පදනමක කියා කියන්න පුළුවන්. මේ ගීත ඉල්ලා සිටි පිරිස සීමිත පිරිසක් වූ නිසා ඒ අතර සිටි ගාමා ගාමිණී සුබසිංහ, පත්මාවෝ මහේෂ්වරී, පර්ල් අයිරින් වගේ නම් නිතරම කියැවුනා. "අසන්නන්ගේ ඉල්ලීම්" යටතේ වුවත්, "නිවේදක තෝරයි" යටතේ වුවත්, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ගීත අහන්න සිදු වුනේ ඒ ගීත වලට කැමති අයට පමණයි.

කලක සිටම ලංකාවේ පෞද්ගලික බස් මගීන්ට බොහෝ විට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිංදු අහන්න සිදු වී තිබුණා. අද සිට මේ ගීත තෝරා දීමේ කාර්යයත් කරන්නේ ආණ්ඩුවෙනුයි. ජාතික ගමනාගමන කොමිසම විසින් අද (2020 ජනවාරි 01) දින සිට ක්‍රියාත්මක වන පරිදි "මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක්" හඳුන්වා දීමට නියමිත අතර ඊට අමතරව බස්රථයේ ගමන්ගන්නා මගීන්ට වැදගත් වන පණිවුඩ රැසක් සහිත විඩීයෝ පට හඳුන්වා දීමට ද පියවර ගෙන තිබෙනවා. මේ අනුව, අද සිට ලංකාවේ බස් මගීන්ට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ආණ්ඩුව කැමති ගී අහන්න සිදු වෙනවා.

ජාතික ගමනාගමන කොමිසම කියන ආකාරයට ඔවුන් මෙය කරන්නේ "අසන්නන්ගේ ඉල්ලීම්" අනුවයි. එම කොමිසම විසින් සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් මගී ජනතාවගෙන් 15,000ක නියැදියක් ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යයනයක් අනුව එකී සියලුම දෙනා සියයට 100 ක්ම දැනට එම බස්රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කරන ගීත තමන්ට මහත් හිරිහැරයක් හා කන්කරච්චලයක් බව ප්‍රකාශ කර ඇති බව කියනවා. මේ අනුව, "අසන්නන්ගේ ඉල්ලීම්" මත ගීත තේරීම වෙනුවට ආණ්ඩුවේ තේරීම වී තිබෙන්නේ "නිවේදක තෝරයි" ක්‍රමයයි. නිවේදක රාජකාරිය කරන්න ආණ්ඩුව විසින් විද්වත් මණ්ඩලයක් යොදා ගැනීමට නියමිතයි.

මෙතෙක් කල් ලංකාවේ බස් රථ වල ප්‍රචාරය කෙරෙන ගීත නියාමනයකට ලක් වුණේ නැහැ. එහෙත්, මේ ගීත තේරුණේ එම බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන්ගේ රුචිකත්වය මත මිස බස් මගීන්ගේ රුචිකත්වය මත පදනම්ව නෙමෙයි. ආණ්ඩුවට මැදිහත් වීමට අවකාශයක් ලැබී තිබෙන්නේ මේ රියදුරු කොන්දොස්තරවරුන්ගේ හා බහුතර බස් මගීන්ගේ රුචිකත්වයන් අතර තිබෙන නොගැලපීමයි.

ලංකාවේ පෞද්ගලික බස් රථ වල නිතර ප්‍රචාරය වූ නිසාම "බස් සිංදු" ලෙස හඳුනා ගැනෙන ගීත කාණ්ඩයක් තිබෙනවා. මේ ගීත වලට පොදු ලක්ෂණ ගණනාවක් තිබෙනවා. බස් රථයේ හා පාරේ ඝෝෂාවන් නිසා හෝ බසය තැනින් තැන නවත්වද්දී හඬ අඩු වැඩි වීම් නිසා මේ සිංදු වල ගලා යාමට බාධාවීම ලොකු ප්‍රශ්නයක් නොවීම මූලික ලක්ෂණයක්. විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය යුතු සුභාවිත ගීත කියා හඳුන්වන ගීත ඔය විදිහට වාත වෙවී අහන්න අමාරුයි. අමරදේවගේ "උකුළ ළැම හස මලවි කරළිය" වාදනය වෙද්දී කොන්දොස්තර මළයා "ඔටුවා පිටෝටුවා" කියලා කෑගහන එකත් අහන්න වුනොත් ඒක හරියට ලුණුමිරිස් එක්ක අයිස්ක්‍රීම් කනවා වගේ වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වැඩෙන් අන්තිමට ඔය සුභාවිත සිංදු කියන ඒවත් බස් සිංදු ගාණටම වැටෙන්න පුළුවන්.

ආණ්ඩුව කැමති ගී ගැන ඉතා ඉක්මණින් දැනගන්න ලැබෙයි. පහතින් තියෙන්නේ බස් සිංදු සේ හඳුනාගත හැකි ගීත කිහිපයක්.

1. සුදු අරලියා මල - අජිත් මුතුකුමාරණ


2. තනමල්විල මල් පිපුණත් - චාමර වීරසිංහ


3. වෙන් වී ගියත් පෙරදා - රුවන් හෙට්ටිආරච්චි


4. මට දුන්න දුක් ගින්න -දමිත් අසංක


5. මගෙ දුප්පත් ඇස් දෙක - චාමික සිරිමාන්න


6. ඩේලියා මලෙන් - කිංස්ලි පීරිස්


7. පාසැල් බිමේ හමු වූ - අජිත් මුතුකුමාරණ



වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...