වෙබ් ලිපිනය:

Saturday, December 15, 2018

සත් සතියේ නිමාවෙන් පසු...


ලංකාවේ දේශපාලන අර්බුදයට සත් සතියක් ඉක්මී යාමෙන් පසුව එම අර්බුදය අවසන් වන බවක් පෙනෙන්නට තිබෙනවා. දේශපාලන අර්බුදය නිමා වන ලකුණු පෙනෙන්නට තිබුණත් අර්බුදයේ ගමන් මඟ දෙස ආපසු හැරී බැළුවහම තවත් ප්‍රශ්න ගණනාවක් දිගටම ඉතිරි වන බව පැහැදිලියි. දේශපාලන අර්බුදය නිමා වුනත්, ඇති වුනු නෛතික අර්බුදයේ නිමාවක් දකින්න තවත් මාසයක්වත් යයි.

මේ සත් සතිය තුළ බොහෝ දේ සිදුවුණා. ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද අගමැති පුටුවේ වාඩි වෙන්න ඇත්තේ කෙසේ හෝ ව්‍යවස්ථාදායකයේ බලය තහවුරු කරගන්නේය යන අධිෂ්ඨානයෙන් විය යුතුයි. එයට පහසුවක් සලසනු පිණිස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැම්මා. රනිල් ඇතුළු පිරිස පාර්ලිමේන්තුව ඇරෙන තුරු අනිමිසලෝචනයෙන් බලා සිටියා. හදිසියේ වැටුණු වැස්සෙන් බේරෙන්න දෙමළ රාජ්‍ය පක්ෂය හා ජවිපෙ එජාපයට ආරක්ෂාව සැපයුවා. ජනාධිපති සිරිසේන දිගින් දිගටම විධායකයේ රුවන් මැදුරේ රැස් විහිදුවමින් සිට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුන් ලෝකයටම ලොක්කා ලෙස ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අධිකරණයේ පිහිටෙන් පාර්ලිමේන්තුව විවෘත කරගැනීමෙන් පසුව කතානායකවරයාට යෝජනා සම්මත කරගන්න මාර පරාජය කරන්න සිදු වුණා. මුලින් ඒ පැත්තටත්, පසුව මේ පැත්තටත් මන්ත්‍රීවරුන් රුවන් සොයා සක්මන් කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය තීන්දු කරද්දී සත් සතිය ගෙවුණා. නමුත්, සත් සතියෙන් පසුව මුලින්ම ඇහුණේ නිෂ්ක්‍රමණ දේශනාවක් මිස මංගල දේශනාවක්නම් නෙමෙයි. එහි ඇති කරුණු ගැන පසුව කතා කරමු.

විධායකයේ ප්‍රධානියා විසින් ඇති කළ, ව්‍යවස්ථාදායකය ඇතුළු තවත් බොහෝ පාර්ශ්වයන් වින්දිතයන් කළ අවුල ලෙහන්න අවසාන වශයෙන් මැදිහත් වෙන්න වුනේ අධිකරණයටයි. මේ හා අදාළව අධිකරණයේ විභාග වන ප්‍රධාන නඩු තුනකින් එකක පමණක් තීන්දුව මේ වන විට ලැබී තිබෙනවා.

රනිල්ව අගමැති ධුරයෙන් පහ කිරීමට විරුද්ධව පෙත්සම් දෙකක් ඉදිරිපත් වුනේ තරමක් කල් පසුවයි. මේ පෙත්සම් ජනවාරි මාසයේ විභාගයට ගැනීමට නියමිතයි. ලැබෙන තීන්දුව අනුව, මහින්ද රාජපක්ෂ කිසිදු දිනක ලංකාවේ අගමැති නොවූ බව තීරණය වෙන්න පුළුවන්. එසේ නොවන්නත් පුළුවන්. අධිකරණ තීන්දුව කුමක් වේදැයි නිශ්චිතව පැවසීමේ හැකියාවක් මට නැහැ. නමුත්, එය 50:50 ඉඩ ඇති දෙයක් නෙමෙයි. නෛතික කරුණු අනුව රනිල් ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල නොවන බව තීන්දු වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ව්‍යවස්ථාව අනුව රනිල් ඉවත් කිරීමේ වැරැද්දක් නැත්නම් මහින්දව අගමැති සේ පත් කිරීමේ වැරැද්දක් නැහැ. මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරය තිබීම හෝ නොතිබීම ද්වීතියික කරුණක්.

ජනවාරියේදී ලැබෙන්නට නියමිත අධිකරණ තීන්දුව අනුව පහත කරුණු දෙකෙන් එකක් පමණක් සත්‍ය විය හැකියි. දෙකම සත්‍ය විය නොහැකියි.
1a . ඔක්තෝබර් 26 දින ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් හෝ ජාතික ආණ්ඩුව බිඳ වැටීම මත ඔහුගේ අගමැති ධුරය අහෝසි වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ලංකාවේ නීත්‍යානුකූල අගමැති සේ පත් කරනු ලැබීම
1b . ඔක්තෝබර් 26 දින ජනාධිපතිවරයාගේද එකඟත්වය මත ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් හරහා රනිල් වික්‍රමසිංහව  බලයෙන් පහකර මහින්ද රාජපක්ෂ විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීම.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් දහයක් හා අදාළ තීන්දුව මේ වන විට ලබා දී තිබෙනවා. ඊට පෙර, අදාළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වමින් තාවකාලිකව අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවා. අවසන් තීන්දුව පිටු 88ක ලේඛණයක්. (විනිසුරු සිසිර ආබෲගේ පිටු 19ක තීන්දුවද සමඟ එක්ව ගත් විට පිටු 107ක්.) මෙය නෛතික, දේශපාලනික හා ශාස්ත්‍රාලයීය ලෙස ඉතා වැදගත් ලියැවිල්ලක් බව මගේ අදහසයි. ලංකාව, එංගලන්තය, ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක නඩු තීන්දු පරිශීලනය කරමින් ඉතා පැහැදිලි හා පුළුල් නෛතික පදනමක් මත නිගමනයන්ට පැමිණෙමින් ලබා දී තිබෙන මේ තීන්දුව ඇතුළත් ලේඛණය තුළ පසුගිය සත් සතිය පුරා ප්‍රසිද්ධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කළ තර්ක විතර්ක සියල්ලටම වාගේ පිළිතුරු සොයාගත හැකියි. ඒ එක්කම දහනවවන සංශෝධනයෙන් අනතුරුව මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අටුවාවක් ලෙස මේ ලියැවිල්ල සැලකිය හැකියි. මෙය තවදුරටත් දේශපාලනික කරුණක් නොවන නිසා අදාළ ලියැවිල්ල ඇසුරෙන් අවශ්‍ය පැහැදිලි කිරීමක් කරන්නට අප‍ට හැකි වුවත් දැනට අප ඒ සඳහා වචන වැය කරන්නේ නැහැ. අවශ්‍යනම් අධ්‍යාපනික පදනමකින් එවැනි පැහැදිලි කිරීම් කළ හැකියි.

ඉහත කී අවසන් තීන්දුව ලබා දෙන්න කලින් අතුරු තහනම් නියෝගයක් ලබා දුන් බව කවුරුත් දන්නා කරුණක්. එය රැඳවුම් නියෝගයක්. මේ රැඳවුම් නියෝගය අනුව පාර්ලිමේන්තුවට නැවත රැස් වීමට බලයක් නොලැබෙන බව ඇතැම් අය මතු කළ අදහසක්. එවැනි තත්ත්වයක් මතුවන්නේ පාර්ලිමේන්තුව රැස්වීමට එරෙහිව රැඳවුම් නියෝගයක් නිකුත් කළානම්. නමුත්  නියෝගය මඟින් රැඳවූයේ පාර්ලිමේන්තුව විසුරුවමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මිසක් පාර්ලිමේන්තුව නෙමෙයි. ඒ නිසා, නෛතිකව එවැනි ගැසට් නිවේදනයක් නොමැති තත්ත්වයක් තාවකාලිකව ඇති වී පාර්ලිමේන්තුව නැවත සක්‍රිය වුණා. අවසන් තීන්දුවෙන් අහෝසි වුනෙත් ඉහත කී ගැසට් නිවේදනයයි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබුණු මැතිවරණය අවලංගු වුණා. එසේ නැතිව අධිකරණය විසින් මැතිවරණ පැවැත්වීම වැලැක්වූයේ නැහැ. එජනිසය හා එජාපය එක්ව සම්මත කරගත් දහනවවන සංශෝධනය අනුව නීතිය කුමක්දැයි පැහැදිලි කරදුන්නා පමණයි.

අතුරු තහනම් නියෝගයක් අවසාන තීන්දුවෙන් ස්ථිර වීම හැමවිටම අනිවාර්යයයෙන්ම සිදුවන දෙයක් නෙමෙයි. අවසන් තීන්දුවෙන් යම් හෙයකින් ගැසට් නිවේදනය නැවත සක්‍රිය වුණානම් ඒ අනුව නියමිත දිනට මහ මැතිවරණය පවත්වන්න අසීරු වෙනවා. අතුරු තහනම් නියෝගයක් දෙන්නට පෙර අධිකරණය මෙවැනි අතුරු ප්‍රතිඵල ගැන සැලකිල්ලක් දක්වනවා.

පාර්ලිමේන්තුව නැවත රැස්වීමෙන් පසුව අගමැති සේ පත් කරනු ලැබ තිබුණු මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවා. මේ විශ්වාස භංග යෝජනාවේ පදනම වන්නේ මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ හෝ රටේ විශ්වාසය කඩන කිසිවක් කිරීම නෙමෙයි. එවැනි චෝදනාවක් එජාපය, ජවිපෙ, දෙමළ රාජ්‍ය පක්ෂය ඇතුළු පක්ෂ විසින් ඉදිරිපත් කළානම් එය එසේ විශ්වාසය කඩන අවස්ථාව වන තුරු රටේ අගමැති මහින්ද රාජපක්ෂ වූ බව ව්‍යවස්ථාදායකය විසින් පිළිගැනීමක් වෙනවා. නමුත්, සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව ව්‍යවස්ථාදායකය විසින් මහින්ද රාජපක්ෂ කිසිවිටෙකත් (මේ වසරේදී) ලංකාවේ අගමැති වූ බව පිළිගෙන නැහැ. එයින් පිළිගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස එවැනි පත්වීමක් සිදු කර ඇති බැවින් ඔහු කෙරෙහි විශ්වාසයක් නැති බවයි. මේ අනුව, ව්‍යවස්ථාදායකය විසින් බහුතර කැමැත්තෙන් තීරණය කර තිබෙන්නේ ඔක්තෝබර් 26 දින සිදු වූයේ ඉහත 1a තත්ත්වය නොව 1b තත්ත්වය බවයි.

ඔක්තෝබර් 26 දින සිට නොවැම්බර් 14 දක්වා පැවති තත්ත්වය ඉහත 1b තත්ත්වයනම් ඇත්තටම විශ්වාස භංගයක් අවශ්‍ය වන්නේ නැහැ. එසේ අවශ්‍ය වන්නේ පැවතියේ ඉහත 1a තත්ත්වයනම් පමණයි. ඒ නිසා, මේ විශ්වාස භංග යෝජනාවේ යම් අවුලක් තිබෙනවා. කෙසේ වුවත්, ජනාධිපතිවරයාට අනුව ඒ වන විට පැවතියේ ඉහත 1a තත්ත්වයයි. එය එසේ වීනම්, විශ්වාස භංග යෝජනාව සම්මත වීමෙන් පසුව මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය අහෝසි වෙනවා. එයින් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු පත් කළ යුතුයි. ඒ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ විය යුතු නැහැ. එජාප මන්ත්‍රීවරයෙකු විය යුතුද නැහැ.

ජනාධිපතිවරයාගේ මතය අනුව රටේ පැවති නෛතික තත්ත්වය 1a වුවත්, ඔහු අලුත් අගමැතිවරයෙකු පත් නොකළේ විස්වාශ භංග යෝජනාව නිසි අයුරින් සම්මත නොවුණේය යන පදනමින්. එම යෝජනාව සම්මත වූ ආකාරයේ ප්‍රශ්න බොහෝ තිබුණා. නමුත්, ඒ හේතුව මත මේ යෝජනාව නිසි යෝජනාවක්දැයි පිළිගැනීමේ අයිතිය තිබෙන්නේත් ව්‍යවස්ථාදායකයේ බහුතරය සතුව මිස ජනාධිපතිවරයා සතුව නෙමෙයි. ඒ අනුව, ව්‍යවස්ථාදායකය පැත්තෙන් බැලූ විට සිදුවුනේ ජනාධිපතිවරයා විසින් කළ යුතු කටයුත්තක් සිදු නොකර පැහැර හැරීමක්. අමාත්‍ය මණ්ඩලය හා අදාළවද මෙවැනිම යෝජනාවක් සම්මත වුනා.

ඉහත සිදුවීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ක්වෝ වොරෙන්ටෝ ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණය වෙත ගියා. අදාළ ඉල්ලීමේ තිබෙන කරුණු මා නිශ්චිතව දන්නේ නැහැ. එය මට දකින්නට ලැබී නැහැ. කෙසේ වුවත්, මේ ඉල්ලීම අනුව අගමැති (මහින්ද රාජපක්ෂ) හා ඇමති මණ්ඩලය විසින් ඔවුන්ව පත් කරනු ලැබ තිබුණු ධුර වල කටයුතු කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගය හා අදාළ සම්පූර්ණ තීන්දුවම මට කියවන්නට ලැබුණා. මෙහිදී අභියාචනාධිකරණය විසින් මේ අයුරින් අගමැති හා ඇමති මණ්ඩලය සිය ධුර වල කටයුතු කිරීම තාවකාලිකව නැවැත්විය යුතුද යන්න ගැඹුරින් සලකා බලා තිබුණා. අතුරු තහනම් නියෝගයක් කියන්නේ අවසන් නියෝගයක් නොවන නිසා අවසන් නියෝගය කුමක් වුවත් අතුරු තහනම් නියෝගයේ අහිතකර ප්‍රතිඵල කිසියම් ප්‍රමාණයක් තිබීම නොවැළැක්විය හැකියි.

යම් හෙයකින් අගමැති හා ඇමති පත්වීම් ව්‍යවස්ථානුකූල බව අවසාන නිගමනය වුවහොත්, අතුරු තහනම් නියෝගය නිසා ඔවුන්ට සිය වගකීම් ඉටු කිරීමට නොලැබීමේ අවාසි ඉතිරි වෙනවා. අනෙක් අතට, පත්වීම් ව්‍යවස්ථානුකූල නොවේනම් ධුරයට හිමිකම නැති අයෙකු ගන්නා තීරණ වල හානිය ඉතිරි වෙනවා. අභියාචනාධිකරණයේ නිගමනය වී තිබෙන්නේ දෙවැන්නේ හානිය පළමුවැන්නේ හානියට වඩා බොහෝ වැඩි බවයි. මේ නිගමනයට එළඹීමේදී අදාළ පත්වීම ව්‍යවස්ථානුකූල නොවේය යන්නට සැලකිය යුතු බරක් තබා තිබෙන බව පැහැදිලියි.

ක්වෝ වොරෙන්ටෝ නඩු විභාගයකදී කරන්නේ කිසියම් පොදු තනතුරක කටයුතු කරන්නෙකුට අදාළ තනතුර දැරීමට ඇති හිමිකම ප්‍රශ්න කිරීමයි. නොවැම්බර් 14 වන විට පැවතියේ ඉහත 1a  තත්ත්වයනම් විශ්වාස භංගය තිබුණත් නොතිබුණත් මහින්ද රාජපක්ෂට අගමැති සේ කටයුතු කළ නොහැකියි. පැවතුණේ ඉහත 1b තත්ත්වයනම්, මහින්ද රාජපක්ෂට එම හිමිකම ලැබෙන්නේ විස්වාශ භංග යෝජනාවක් විධිමත් ලෙස සම්මත වී ඇති බව අධිකරණය පිළිගත්තොත් පමණයි. මේ හා අදාළව අධිකරණය තවමත් කිසිදු නිගමනයකට එළැඹී නැහැ. අදාළ පෙත්සම් විභාගය නැවත කැඳවනු ලැබ තිබෙන්නේ ජනවාරි මාසයේ. එහි තීන්දුව පහත තුනෙන් එකක් විය හැකියි.

2a. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී නැත.
2b. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී ඇතත්, විස්වාශ භංග යෝජනාව විධිමත් ලෙස සම්මත වී තිබෙන නිසා මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය අහෝසි වී ඇත.
2c. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී ඇති අතර විස්වාශ භංග යෝජනාව විධිමත් ලෙස සම්මත වී නැත.

මහින්ද රාජපක්ෂගේ අගමැතිකම අත්හිටවනු ලැබූ ඉහත අතුරු තහනම් නියෝගයට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. එහි තීන්දුවද තවමත් ලබා දී නැහැ. එය විභාගයට ගැනෙන්නේත් ජනවාරි මාසයේදී. වාර්තා වී ඇති පරිදි ඊයේ (සිකුරාදා) සිදු වී තිබෙන්නේ එම නඩුව ඉදිරි දිනකට කල් තැබීම පමණයි. ඒ අනුව, ඔහුගේ අගමැති පත්වීම තාවකාලිකව අත් හිටවනු ලැබූ රැඳවුම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. මේ කොටස මා ලියන්නේ ද්වීතියික මූලාශ්‍ර වල තිබෙන කරුණු ඇසුරෙන්. නිල ලේඛන මා දැක නැහැ.

පවතින නෛතික වාතාවරණය ඔහොමයි. එතකොට දැන් නිල අගමැති කවුද?

මේ ප්‍රශ්නයට ඊයේ වන තුරුත් නෛතික පිළිතුරක් තිබුණේ නැහැ. පිළිතුර පහත තුනෙන් ඕනෑම එකක් විය හැකියි.

3a. රනිල් වික්‍රමසිංහ
3b. මහින්ද රාජපක්ෂ
3c. පුරප්පාඩු වී තිබේ.

-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1b වුවහොත් එයින් ගම්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය අහෝසි වී නැති බවයි. ඒ අනුව, පිළිතුර 3a. අභියාචනාධිකරණ තීන්දුව කුමක් වුවත් එය අදාළ නැහැ.
-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1a වී, අභියාචනාධිකරණ තීන්දුව 2c වේනම් මහින්ද රාජපක්ෂ අගමැති සේ පත් වී ඇති අතර එම තනතුර තවමත් (ඔහු ඉල්ලා අස්වන්නේනම් එවැන්නක් නිල වශයෙන් පිළිගැනෙන තුරු) වලංගුයි. ඒ අනුව, පිළිතුර 3b .
-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1a වී, අභියාචනාධිකරණ තීන්දුව 2b වේනම් මහින්ද රාජපක්ෂ අගමැති සේ පත් වී ඇති නමුත් එම තනතුර මේ වන විට අහෝසි වී තිබෙනවා. ඒ අනුව, පිළිතුර 3c .

නිවැරදි පිළිතුර මේ තුනෙන් එකක් පමණයි. එහෙත් එය නිශ්චය කරන්නට වෙන්නේ ඉහත කී නඩු තීන්දු දෙකම ලැබුණු පසුවයි. කෙසේ වුවත් නෛතික කරුණු පෙළගැසී ඇති ආකාරයට පිළිතුර 3b වන්නට විශාල ඉඩක් නැහැ.

වාර්තා වල දැක්වෙන ආකාරයට මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී රනිල් අගමැති සේ දිවුරුම් දුන්නොත් වෙන්නේ කුමක්ද?

පවතින තත්ත්වය 3a නම් මේ දෙකම නෛතිකව ශුන්‍ය කටයුතු දෙකක් පමණයි. සිදු වන කාර්යයක් නැතත්, නැති තනතුරකින් ඉල්ලා අස්වීමේ හෝ තිබෙන තනතුරේම නැවත දිවුරුම් දීමේ වැරැද්දක් පෙනෙන්නට නැහැ. පවතින තත්ත්වය 3bනම් මහින්ද අගමැති ධුරයෙන් ඉවත්ව රනිල් අගමැති ලෙස අලුතින් පත් වෙනවා. එය නීතිය අනුව සිදුවන දේශපාලනික බල හුවමාරුවක්. පවතින තත්ත්වය 3cනම් මහින්ද ඉල්ලා අස්වීම ශුන්‍ය කටයුත්තක් වුවත් රනිල් දිවුරුම් දීම නෛතික කටයුත්තක්.

ඔය තුනෙන් කොයි එක වුවත් ප්‍රයෝගිකව සිදුවන්නේ රනිල්ට අගමැති සේ කටයුතු කිරීමට නැවත ඉඩ ලැබීමයි. ඒ සමඟ දේශපාලනික අර්බුදය විසඳෙන්න පුළුවන්. එහෙත් මූලික නෛතික ප්‍රශ්නය හා අතුරු ප්‍රශ්න තවදුරටත් එසේමයි. දේශපාලන අර්බුදය විසඳුනහොත්, ඒ නෛතික ප්‍රශ්න දේශපාලන එකඟතා (ඩීල්) හරහා යටපත් වී යන්නටද ඉඩ තිබෙනවා. එසේ වුවහොත් අනාගතයට තවත් ප්‍රශ්න ඉතිරි වෙනවා.

(Image: https://www.colombotelegraph.com/index.php/mahinda-ranil-the-big-picture/)

Friday, December 14, 2018

රජෙක් පිස්සෙක් වුනොත්?



ඉඩියට් (idiot) කියන ඉංග්‍රීසි වචනයේ විධිමත් නීතිමය හා මනෝවිද්‍යාත්මක අර්ථය වන්නේ මානසික මට්ටමෙන් අවුරුදු දෙකකට වඩා වයසෙන් අඩු, තමන්ගේ ආරක්ෂාව තමන්ටම සපයාගත නොහැකි මනස නොවැඩුණු පුද්ගලයෙක් කියන එකයි. ඉහත ප්‍රකාශය පදනම් වෙන්නේ විකිපීඩියාවේ තියෙන කරුණු මතයි. ඒ හැර වඩා විශ්වාශනීය මූලාශ්‍ර වල තිබෙන අර්ථදැක්වීම් මොනවාද කියලා මම හෙවුවේ නැහැ. මේ වචනය ගූගල් කළාම විකිපීඩියා පිටුව පෙන්වනවා. මේ විදිහට ගූගල් සෙවුමේ "images" ක්ලික් කළොත් උඩින්ම දැකිය හැක්කේ ජනාධිපති කෙනෙක්ගේ ඡායාරූපයි. ලංකාවේ ජනාධිපතිගේනම් නෙමෙයි.

පසුගිය අඟහරුවාදා ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායිට ඇමරිකන් කොංග්‍රසයේ කමිටුවක් ඉදිරියේ මේ ගැන කරුණු පැහැදිලි කරන්න සිදු වෙලා තිබෙනවා. මේ වැඩේ කිසිවෙකු විසින් හිතාමතා කරන දෙයක් නොවන බව පැහැදිලි කරන්න ඔහුට පහසු වෙලා නැහැ.

විධිමත් අර්ථයෙන් ගත්තොත් ජනාධිපති ට්‍රම්ප් ඉඩියට් කෙනෙක් නෙමෙයි. නමුත්, මේ වචනයට අවිධිමත් අර්ථයකුත් තිබෙනවා. එය වඩා ප්‍රචලිතයි. සිංහලෙන් පිස්සා කියා කියන්නේ මානසික රෝගීන්ටම නොවන්නාක් මෙන්. බොහෝ දෙනෙක් ට්‍රම්ප් කියන වචනය ඉඩියට් කියන වචනයත් එක්ක සම්බන්ධ කර භාවිතා කරන විට ගූගල් මෘදුකාංගය ඒ වචන දෙක අතර සම්බන්ධයක් ඇති බව තීරණය කරනවා.

ජනාධිපති ට්‍රම්ප්ට මානසික ආබාධයක් හා ආබාධ කිහිපයක් ඇති බවට ඇතැම් අය අදහස් පළ කර තිබෙනවා. මේ අය අතර අදාළ වෘත්තිකයින්ද සිටිනවා. වෘත්තිකයින් (මානසික වෛද්‍යවරුන්) විසින් නිසි රෝග පරීක්ෂාවක් නොකර, ප්‍රසිද්ධියේ පෙන්වන හැසිරීම් මත පදනම්ව, මෙවැනි ප්‍රකාශ කිරීම වෙනත් වෘත්තිකයින්ගේ විවේචනයටද ලක් වී තිබෙනවා. තමන් යහපත් මානසික සෞඛ්‍යයකින් සිටින බව පැහැදිලි කිරීමට ජනාධිපති ට්‍රම්ප් විසින් උත්සාහ කිරීමෙන් පෙනෙන්නේ මේ ප්‍රකාශ ගැන ඔහු කණස්සල්ලෙන් පසුවන බවයි. එය තේරුම් ගත හැකි දෙයක්. යහපත් මානසික සෞඛ්‍යයක් නැති බව තහවුරු වුවහොත් එය ඔහුගේ තනතුරට බලපානවා.

ජනාධිපති ට්‍රම්ප් කියන්නේ මානසික රෝගයකින් පෙළෙන බවට සැක කෙරුණු පළමු ඇමරිකන් ජනාධිපති නෙමෙයි. එක් පර්යේෂණ පත්‍රිකාවකට අනුව ඇමරිකන් ජනාධිපතිවරුන්ගෙන් අඩක් පමණ කවර හෝ මානසික ආබාධයකින් පෙළී තිබෙනවා. මානසික ආබාධයකින් පෙළෙන අයෙකු විධායකයේ ප්‍රධානියා වීම භයානක ප්‍රතිවිපාක වලට හේතු විය හැකියි.

පිස්සෙක් රජෙක් වීම වගේම රජෙක් පිස්සෙක් වීමත් භයානකයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර නිසි බලතුලනයක් තිබීම වැදගත් වන්නේ ඒ නිසයි.


Source: Davison et al (2006) .Journal of Nervous & Mental Disease 194(1):47-51

Thursday, December 13, 2018

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව


ලංකාවේ සහ ලෝකයේ බොහෝ දෙනෙක් බලා සිටි මූලික අයිතිවාසිකම් නඩු දහයක තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන විට ලබා දී තිබෙනවා. මෙය ඉතා වැදගත් නඩු තීන්දුවක්. රුපියල් බිලියන ගණනක දැවැන්ත පාඩුවකින් කෙළවර වූ තෙල් සංස්ථාවේ හෙජින් ගිවිසුම් ගැන සරසවි ගණනාවක මූල්‍ය කළමනාකරණ පාඨමාලා වලදී කතා කෙරෙනවාක් මෙන් මේ නඩු තීන්දුවටත් අනාගතයේදී ශාස්ත්‍රාලයීය වැදගත්කමක් ලැබෙනු ඇතැයි සිතිය හැකියි.

ලංකාවේ දැනට පවතින දේශපාලන අර්බුදය ඇරැඹුණේ පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ඒ වන විට නීත්‍යානුකූල අගමැති වූ රනිල් වික්‍රමසිංහව ධුරයෙන් පහකොට මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කරන්නට ජනාධිපති සිරිසේන විසින් කටයුතු කිරීමත් සමඟයි. මෙය ව්‍යවස්ථා විරෝධී බව අප ඒ වෙලාවේම පෙන්වා දුන්නා. අදාළ ලිපිය අවසන් කළේ පහත ආකාරයටයි.

"දැනට පවතින ව්‍යවස්ථාවට අනුකූලව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන්න තිබුණු පහසුම ක්‍රමය විශ්වාස භංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කිරීමයි. එවිට, අමාත්‍ය මණ්ඩලය වගේම අගමැතිවරයාත් අලුතින් පත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට හිමිවෙනවා. ඒ සඳහා උත්සාහයක් දැරුවත් එය සාර්ථක වුනේ නැහැනේ. මේ විදිහට ව්‍යවස්ථාවට පිටින් ගිහින් අගමැති ඉවත් කිරීමේ අදහස එන්න ඇත්තේ ඉන් පසුව වෙන්න ඇති.

මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර බලය වුවත් නැති වෙන්න පුළුවන්. ඔහුට බහුතර බලය තිබෙනවානම් අලුතෙන් පත්වන ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේදී පරාජය කළ හැකියි. නමුත්, එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඔහු අගමැති ධුරය හැර ගියොත්. එසේ ධුරය හැර යනවා කියන්නේ ඔහු ජනාධිපතිගේ ක්‍රියාවේ නීතිමය වලංගු භාවය පිළිගැනීමක්. රනිල් එහෙම කරයිද?

රනිල් නීතිය මත ඕනෑවට වඩා විශ්වාසය තියාගෙන ඉඳලා තිබෙන බව පේනවා. ලංකාව වගේ රටක මිනිස්සු හිතන විදිහ ගොඩක් වෙලාවට නීතියට වඩා බලවත්. ඒ තත්ත්වය වෙනස් කරන්න රනිල්ගේ කාලයේදී යම් උත්සාහයක් දැරුවත් ලොකු වෙනසක් වෙලාද කියන එක සැක සහිතයි.

ඒ නිසා, මේ වෙලාවේ ඇත්තටම ලංකාවේ සෑහෙන අවුලක් තියෙනවා. ඒ අවුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම විසඳෙයි කියා හිතන්න අමාරුයි. පොතේ නීති තිබුණත් සාමාන්‍ය කරුණකදී ඒ නීති ලංකාවේ බොහෝවිට ක්‍රියාත්මක වුනේ පොතේ හැටියටම නෙමෙයි. දැන් මේ තත්ත්වය සාමාන්‍ය කරුණු නොවන ලොකු කරුණු දක්වාම දුර දිග ගිහින්.

මිනිස්සු ඉන්නේ මහින්ද එක්ක කියා පෙනෙන විට රනිල් පහුබහින්න ඉඩතිබෙනවා. රනිල් අගමැති ධුරය අතහැර ගියොත් එජාප මන්ත්‍රීවරුන් අනිත් පැත්තට පනින එක වලක්වන්න කොහොමත් බැරි වෙනවා. ඒ නැතත්, රනිල් ඉදිරියේ තියෙන්නේ සෑහෙන අවදානමක්.

රනිල් පරාජය බාර ගනීද? තමන් අවුරුදු තුනක් තිස්සේ රටේ අධිකරණ පද්ධතිය කොයි තරම් ශක්තිමත් කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න යයිද? මේ තත්ත්වයට වෙනත් රටවල් කවර ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද?"

රනිල් පරාජය භාරගත්තේ නැහැ. ඔහු අගමැතිධුරය අතහැර නොදැමූ නිසා රටේ දේශපාලන බලතුලනය මහින්ද-මෛත්‍රී පාර්ශ්වය අපේක්ෂා කළ ආකාරයට වෙනස් වුනේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදිහට මන්ත්‍රීවරයකු මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු මිල විශාල ලෙස ඉහළ ගියා. මිලියන පන්සීයක් ගෙවා හෝ අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණන හොයා ගන්න අපහසු වූ බව මේ වන විට ජනාධිපති සිරිසේන විසින්ම ප්‍රකාශ කර ඇති දෙයක්. ජනාධිපති සිරිසේන මේ ප්‍රකාශය කරන්න කළින්ම මා මේ විදිහට මන්ත්‍රීවරුන්ගේ මිල ඉහළ ගියේ ඇයි කියා පැහැදිලි කළා. මා කතා කළේ පුළුල් ලෙස "ආවස්ථික පිරිවැය" ගැනයි. ජනාධිපති සිරිසේන කතා කළේ එහි එක් කොටසක් වන මුදල් පිරිවැය ගැන පමණයි. නමුත්, සැබෑ පිරිවැයට ඇමතිධුර, ෆයිල් යටගැසීම් වැනි තවත් බොහෝ දේ ඇතුළත්.

"ලංකාවේ මහජන මන්ත්‍රීවරුන් මුදලට විකිණීම ඒ අයගේ හෝ ඒ අයව මිල දී ගන්නා අයගේ පමණක් වැරැද්දකින් සිදුවන්නක් නොවෙයි. ඒ අයව තෝරා ගන්නා ඡන්දදායකයින් විසින් වක්‍රව එවැනි කටයුතු අනුමත කිරීමත් එයට හේතුවක්. එය එසේ නොවන විට මහජන මන්ත්‍රීවරයෙකු විසින් මුදලට පක්ෂපාතීත්වය මාරු කිරීමේ ආවස්ථික පිරිවැය විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මේ ආකාරයට මන්ත්‍රීවරුන් මිල දී ගැනීම වඩා අසීරු කාර්යයක් බවට පත් වෙනවා. පසුගිය දෙසතිය තුළ දකින්නට ලැබුණේ ඒ තත්ත්වයයි."

අර්බුදය ඇරැඹෙන විට ජනප්‍රියත්වයෙන් ඉතාම පහළ අඩියක හිටපු රනිල් වික්‍රමසිංහට වැඩිම සහයෝගයක් දුන්නේ ඇතැම් මහින්දාගමිකයින් විසිනුයි. දේශපාලනිකව මහින්ද වෙනුවෙන් පෙනී සිටියත්, ඉහළම ශාස්ත්‍රාලයීය සුදුසුකම් හා විනයක් තමන්ට ඇති බව පෙන්වාගෙන සිටි ඇතැම් මහින්ද පාක්ෂිකයින් තමන්ගේ පෞද්ගලික වාසි හා 2015 ආණ්ඩු පෙරළියෙන් පසුව තමන්ට නැති වූ දේ වෙනුවෙන් නීතිය, ශිෂ්ඨත්වය හා ඇතැම් විට පෞද්ගලික මිත්‍රත්වයන් පවා කොයි තරම් දුරට අමතක කරන්න පුළුවන්ද කියා පෙන්වන්න පැය ගණනකට වඩා කල් ගත්තේ නැහැ. රෝයල් ගියත් උපන් ගති නෑරේ කියා කවුද ඇනෝ කෙනෙක් කලකට පෙර කියල තිබුණනේ.

හැබැයි මහින්ද වෙනුවෙන් පෙනී සිටි සියළු දෙනාවම මේ ගොඩට දමන්න බැහැ. මේ ඇතැම් අය රනිල් විරෝධීන් හා වඩා පුළුල් ලෙස බටහිර විරෝධීන් වුවත් මහින්දාගමිකයින් වුණේ නැහැ. ඔවුන්ගේ ප්‍රමුඛ තේරීම මහින්ද වීමත්, ඉදිරිපත් කළ තර්ක පක්ෂග්‍රාගී වීමත් වෙනම කරුණක්.

අදහස් දැක්වීමේදී පක්ෂග්‍රාහී වීමේ වැරැද්දක් නැහැ. විශේෂයෙන්ම නීති වෘත්තියේ යෙදෙන්නන්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීම මිසක් අපක්ෂපාතී වීම නෙමෙයි. අපක්ෂපාතී විය යුත්තේ අධිකරණයයි.

අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳව සැක සංකා පැවති යුගයක් තිබුණා. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ඉක්මවා සිරිසේනට මතු වෙන්න ඒ සැක සංකා වලිනුත් තල්ලුවක් ලැබුණා. ඒ හේතුව මත සිරිසේන-වික්‍රමසිංහ සංයෝගයට ඒ සැක සංකා දුරු කරන්න කිසියම් කාර්ය භාරයක් කරන්න බල කෙරුණා. එහි ප්‍රතිඵල දැන් පෙනෙන්නට තිබෙනවා.

පරාජය භාර නොගත්තත්, තමන් අවුරුදු තුනක් තිස්සේ රටේ අධිකරණ පද්ධතිය කොයි තරම් ශක්තිමත් කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න රනිල් මුලදීම හිතුවේ නැහැ. මේ ගැන ඔහුගේ සැක සංකා මුළුමනින්ම දුරු වී නොතිබෙන්න ඇති. එයටත් හේතුවක් තිබෙනවා. සදාචාරාත්මක හේතු මත ලියන්නේ නැහැ. රනිල් විශ්වාසය තැබුවේ ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථාදායකය මත හා යම්තාක් දුරකට ජාත්‍යන්තර සහයෝගය මතයි.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වයන් විසින් රනිල් නිකම්ම අගමැතිකම හැර යනු ඇති බව උපකල්පනය කළේයැයි සිතීම ඕනෑවට වඩා සරල නිගමයක්. එය එසේ නොවනු ඇති බව ඔවුන් දැන නොසිටින්නට හේතුවක් නැහැ. රනිල් අගමැතිකම හැර දමා යනු ඇති බවට සහතිකයක් තිබුණානම් රාජ්‍ය මාධ්‍ය වල බලය අල්ලා ගැනීමට ඔය තරම් ප්‍රමුඛත්වයක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අනුව, පාර්ලිමේන්තුව කල් තැබීමත් මහින්ද-මෛත්‍රී පාර්ශ්වයේ මුල් සැලසුමේම කොටසක් ලෙස සලකන්න පුළුවන්.

පාර්ලිමේන්තුව කල් තැබීම නිසා රනිල්ට ව්‍යවස්ථාදායක බලය යොදා ගනිමින් විධායකයේ බලයට අභියෝග කරන්න තිබුණු ඉඩකඩ ඇහිරුණා. ඒ එක්කම රනිල්ලාගේ පැත්තේ සිටි මන්ත්‍රීවරුන් එකිනෙකා අඩු වීමේ අවදානමක් ඇති වුණා. මේ වන විට ඇති වී තිබුනේ විධායකය විසින් ව්‍යවස්ථාදායකයේ බලයට අභියෝග කිරීමක් නිසා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට අධිකරණයේ මතය විමසිය යුතු බවයි ඔක්තෝබර් 28 වන විටත් මගේ මතය වුණේ.

"විධායකය ක්‍රියා කරලා තියෙන්නේ වැරදියටනම්, අදාළ ක්‍රියාවේ වින්දිතයා වී ඉන්නේ  ව්‍යවස්ථාදායකයනම් ව්‍යවස්ථාදායකයට පමණක් තනිව ප්‍රශ්නය විසඳා ගැනීම අසීරුයි. මේ වෙලාවේ කළ යුත්තේ අධිකරණයේ සහයෝගය ලබා ගැනීමයි. සහයෝගය ලබා ගැනීම කියන එකෙන් අදහස් කළේ රනිල්ට දිගටම බලයේ ඉන්න සහයෝගය ලබා ගැනීම නෙමෙයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ බලතල අර්ථනිරුපණය කර ගැනීම හා ජනාධිපති වැරදියට ක්‍රියාකර ඇත්නම් ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනගැනීමටයි අදහස් විමසිය යුත්තේ. යම් විදිහකින් රනිල්ව ඉවත් කිරීම ව්‍යවස්ථාව අනුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයනම් පාර්ලිමේන්තුව රැස් වූ පසු අලුත් ආණ්ඩුව පරාජය කරන්න උත්සාහ කිරීම දෙවනුව සලකා බැලිය යුතු කරුණක්."

මේ කරුණේදී අධිකරණය සම්බන්ධ කරගත හැකි ආකාර දෙකක් තිබුණා. පහසුම ආකාරය වුණේ ජනාධිපතිවරයා විසින් අධිකරණයේ මතය විමසීමයි. තමන් කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුකූලව බව ජනාධිපති සිරිසේන විසින් අවංකවම විශ්වාස කළේනම් ඔහුට අධිකරණයේ මතය විමසා ඉතා පහසුවෙන් ඒ බව තහවුරු කර ගත හැකිව තිබුණා. මීට පෙර තමන්ගේ ධුර කාලය පිළිබඳව පැවති අවිනිශ්චිතතාවය දුරු කරගැනීම සඳහා ඔහු අධිකරණයේ මතය විමසා තිබුණා.  එවැනිම කරුණක් හා අදාළව ඊට පෙර එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ද අධිකරණයේ මතය විමසා තිබුණා. නමුත්, මෙවර ඔවුන් එසේ නොකළේ රටට මොනවා කිවුවත් තමන් කරන දේ ගැන ඔවුන් දැන සිටි නිසයි.

අධිකරණය සම්බන්ධ කරගත හැකිව තිබුණු දෙවන ආකාරය මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමයි. එය රටේ ඕනෑම පුරවැසියෙකුට කළ හැකිව තිබුණු දෙයක්. පැවති දේශපාලන අර්බුදය හා අදාළව (මා දන්නා තරමින්) මුලින්ම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණේ නාගානන්ද කොඩිතුවක්කු විසිනුයි. නමුත්, ඔහු විසින් අභියෝගයට ලක් කර තිබුණේ පාර්ලිමේන්තුව කල් තැබීම මිස රනිල් ඉවත් කර මහින්දව පත් කිරීම නෙමෙයි. මා දන්නා තරමින් රනිල්ව ඉවත් කිරීම අභියෝගයට ලක් කර තිබෙන්නේ මුලින්ම දඹර අමිල හිමි විසින් හා පසුව ඕෂල හේරත් විසින්. මේ පෙත්සම් දෙක මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතිනවා.

අධිකරණය ගැන ඒ වන විටත් නොසිතූ රනිල් මුලදී උත්සාහ කළේ කල් තබා තිබුණු පාර්ලිමේන්තුව හැකි ඉක්මණින් නැවත රැස් කරගන්නයි. ඒ වෙනුවෙන් රනිල් පාර්ශ්වය ජනාධිපති සිරිසේනට බලපෑම් කළත් ඒ බලපෑම් වලින් වැඩක් වුනාද කියන එක සැකසහිතයි. මේ කටයුත්තේදී රනිල් ජාත්‍යන්තර සහයෝගයත් හෙවුවා.

ජාත්‍යන්තර මතය දිගටම තිබුණේ රනිල්ට වාසිදායක අයුරිනුයි. ඔක්තෝබර් 28 වෙනිදා වෙද්දී වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටිමින් ඇමරිකාව විසින් නිවේදනයක් නිකුත් කළා. ඊළඟ දවස් කිහිපය ඇතුළත ජනාධිපති සිරිසේන මත පීඩනයක් ඇති කරන්න තවත් බටහිර රටවල් එකතු වුණා. පාර්ලිමේන්තුව රැස් කරන බව ජනාධිපතිවරයා ඔවුන්ට පොරොන්දු වී තිබුණා. ඒ එක්කම රනිල් ඉවත් කර මහින්දව පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත්, නීත්‍යනුකූල අගමැති සේ තමන් පිළිගන්නේ රනිල් වික්‍රමසිංහව බවත් කතානායකවරයා විසින් ප්‍රකාශ කිරීම නිසා පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම ගැටළුකාරී දෙයක් බවට පත් වුණා. කවුරු හෝ විසින් අධිකරණය වෙත යාමේ වැදගත්කම ඒ වෙලාවේදී මා නැවතත් අවධාරනය කළා.

"මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාව අනුව අර්ථ නිරූපණය කළ වහාම පවතින අර්බුදය විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ වාසියට කැරකෙනවා. එය කොයි පැත්තට කැරකෙයිද කියා ස්ථිරව කීමේ හැකියාවක් මට නැහැ. අදාළ පාර්ශ්ව දෙකෙන් එකක්වත් ඒ අවදානම ගන්න සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ."

ඒ වගේම, ලිපිය මුලින්ම සටහන් කළ මගේ මතය හෝ වෙනත් අයෙකුගේ පෞද්ගලික මතය මේ කරුණේදී එතරම් වැදගත් නොවන බවත්, වැදගත් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බවත් 125(1) අනුව්‍යවස්ථාව උපුටා දක්වමින් මා පෙන්වා දුන්නා. එසේ කළේ ඒ වන විටත් ව්‍යවස්ථා විශාරදයින් වැහි වැහැලා හිටපු නිසයි.

"මේ වගේ වෙලාවක අවසන් තීරණය තියෙන්නේ කාගේ අතේද? පහත උපුටා දක්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125(1) අනුව්‍යවස්ථාව. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අපි වගේ බ්ලොග් පඩංගු ලියන හාල් කෑලි වලට වගේම වෙනත් ව්‍යවස්ථා විශාරදයින්ටත් අදහස් දක්වන්න පුළුවන් වුවත් ඒවා නිකම්ම නිකම් අදහස් පමණයි."

රනිල් ඉවත් කර මහින්දව පත් කිරීමේ තීරණය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිල මතය තවමත් ප්‍රකාශයට පත් වී නැහැ. අදාළ නඩු විභාගය නැවත ආරම්භ වනු ඇත්තේ උසාවි නිවාඩු කාලය අවසන් වීමෙන් පසුවයි. කොහොම වුනත්, ඔක්තෝබර් 26 දින සිටම රනිල් පාර්ශ්වයේ ආණ්ඩු කිරීම අරලියගහ මන්දිරයේ වාසය කිරීමට සීමා වී තිබුණා. මේ හා අදාළව ඇතැම් විට දෙපාර්ශ්වය අතර කිසියම් එකඟතාවයක් තියෙන්න ඇති.

ඔක්තෝබර් මාසය අවසන් වෙද්දී දෙපාර්ශ්වය අතර කිසියම් එකඟතාවයක් ඇති වන්නට යන බවක් පෙනෙන්නට තිබුණා. මේ එකඟතාවය ඇති වුනේ තමන් නිල අගමැතිවරයා ලෙස පිළිගන්නේ රනිල්ව වුවත්, පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රය පිළිගනිමින් මහින්ද රාජපක්ෂව අගමැති සේ සලකා අසුන් පනවන්නේනම් එයට බාධා නොකිරීමට කතානායකවරයා අනුකූලතාවයක් දැක්වීම මතයි. නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව නැවත රැස් කෙරෙන බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරුණා.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීමේ ඉඩක් නැති බව මේ වන විට කාටත් පැහැදිලි වී අවසන්. මේ වගේ ගැටුමකින් පසුව කිසියම් සම්මුතියකට එළැඹෙන්නනම් පරාජිත පාර්ශ්වයටත් කිසියම් හෝ පෙන්විය හැකි ජයග්‍රහණයක් අවශ්‍ය වෙනවා. ඒ අනුව, මහින්ද වෙනුවට රනිල් නොවන වෙනත් අයෙකු පත්කරන්න ජනාධිපති සිරිසේන විසින් උත්සාහ දැරුවා. ඔහු තවමත් මේ උත්සාහය අතහැර නැහැ.

තවමත් එජාපයේ බහුතරයකගේ කැමැත්ත ලබන නායකයා රනිල් වික්‍රමසිංහයි. ඔහු සමඟ පාර්ලිමේන්තුවේ බහුතරය සිටින බවත් මේ වන විට තහවුරු කර අවසන්. 43(4) අනුව්‍යවස්ථාව අනුව "ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ හැක්කේය" කියා සඳහන් වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සිය ධුරයේ කටයුතු කිරීමට හැකි තරමේ ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් තිබිය යුතුයි. එවැනි ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් තිබෙන සාමාන්‍ය පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා කවුද කියන එක නිර්ණය කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. නමුත්, මෙහිදී වැරදීම් වෙන්න පුළුවන්.

"ජනාධිපතිවරයාගේ මතය අනුව" කියන එකෙන් අදහස් වෙන්නේ "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා" කවුද කියන එක පැහැදිලි නැති වෙලාවක එය නිගමනය කිරීමේ අවකාශය ජනාධිපතිවරයා වෙත ඉතිරි කර ඇති බව මිසක් ඔහුගේ පෞද්ගලික රුචිඅරුචිකම් අනුව හෝ තමන්ට වැඩ කිරීමේ පහසුව මත අගමැති පත් කළ යුතු බව නෙමෙයි. ජනාධිපතිවරයාගේ තේරීම නිවැරදිම තේරීම නෙමෙයිනම් පත් කළ අගමැතිවරයාව විශ්වාසභංගයකින් පරාජය කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට තිබෙනවා.

සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර නියෝජනයක් තිබෙන පක්ෂයේ නියෝජිතයා ජනාධිපති විසින් අගමැති සේ පත් කිරීමයි. ඔහු හෝ ඇය "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා" ලෙස නිර්ණය කිරීම අපහසු නැහැ. නමුත්, කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර නියෝජනයක් නැත්නම් මේ වැඩේ කරන එක අසීරුයි. මේ වගේ අවස්ථා වලදී, කිසියම් අගමැති අපේක්ෂකයෙකු විසින් තමන්ට බහුතර සහයෝගය තිබෙන බව ලිඛිතව දැනුම් දීම මඟින් ඉහත අවිනිශ්චිතතාවය නැති කළ හැකියි.

මා දන්නා තරමින් 2015දී ජනාධිපති සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහව අගමැති සේ පත් කළේ ඉහත පදනම් දෙකෙන් එකක්වත් අනුව නෙමෙයි. නමුත්, ඒ වෙලාවේ ජනාධිපතිවරයා විසින් කළ පත් කිරීම පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක් වුනේ නැහැ. ඉන් පසුව දිගටම රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහයෝගය ලැබුණා. ඔහුට එරෙහිව ඉදිරිපත් වුනු විශ්වාස භංගයකදී පවා මේ තත්ත්වය තහවුරු වුනා. ඒ අනුව, "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා" කවුද යන්න පිළිබඳව "ජනාධිපතිවරයාගේ මතය" නිවැරදි බව දිගින් දිගටම තහවුරු වුනා. එයින් පෙනෙන්නේ ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් ගණනක් පමණක් සිටි එජාපයේ නියෝජිතයෙකුට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් තිබෙනවාය යන නිවැරදි, එහෙත් අසීරු නිගමනයට එළැඹෙන්න තරමට ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් ජනාධිපති සිරිසේනට තිබුණු බවයි.

ඒ ශාරීරික හා මානසික යෝග්‍යතාවය ජනාධිපති සිරිසේනට තවමත් තිබෙනවාද කියා මා දන්නේ නැහැ. මෙයත් මේ වන විට අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වී තිබෙන කරුණක්.

එජාපය ඇතුළු දේශපාලන පක්ෂ වලට හා ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ පරිදි හා ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරුණු පරිදි පසුගිය නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කෙරුණේ නැහැ. ඒ වෙනුවට ජනාධිපති සිරිසේන විසින් කළේ ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමයි. මේ කටයුත්ත ව්‍යවස්ථා විරෝධී බව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සප්ත පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකවව තීන්දු කර අවසන්. එය තවදුරටත් මගේ අදහසක් පමණක් නෙමෙයි.

මේ හා අදාළව එදින මා ලියූ දේවල් පහත ලිපියේ තිබෙනවා.

Tuesday, December 11, 2018

ආර්ථිකයේ අවදානම් අඩුකරපු හැටි...


පසුගිය සියවස අවසන් වන තුරුම වගේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 25 මට්ටමට වඩා වැඩි වුණේ කිහිප වරකදී තාවකාලිකව පමණයි. 2001 අවුරුද්ද ඉවර වෙන කොටත් ඩොලර් 20කට අඩුවෙන් බොරතෙල් බැරලයක් විකිණුනා. නමුත්, ඉන් පසුව දිගින් දිගටම තෙල් මිල වැඩි වුණා. 2005 මුලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 50 පැන්නුවා. 2006 මැද වෙද්දී ඩොලර් 75ට කිට්ටු කළා. 2008 මුල හරියේදී ඩොලර් 100 පැන්නුවා.

ඔය කාලය වෙද්දී ඉහළ යන තෙල් මිලේ බර ලංකාවේ ආර්ථිකයට ඉතා දැඩිව දැනෙන්න ගත්තා. ලොකුම ප්‍රශ්නය වුනේ බොරතෙල් බැරලයක මිල කොහෙන් නවතීද කියා හරියටම කියන්න කාටවත් නොහැකි වීම. චීනය, ඉන්දියාව වගේ රටවල් වල තෙල් ඉල්ලුම විශාල ලෙස වැඩිවීමත්, තෙල් සංචිත වල සීමාවක් තිබීමත් මත පදනම්ව තෙල් මිල නැවත කිසි විටෙකත් පෙර මට්ටමට පහත නොවැටෙනු ඇති බව ඔය කාලයේ බොහෝ දෙනෙක්ගේ අදහස වුනා. ඒ අනුව, වඩා ප්‍රචලිත අදහස වුනේ තෙල් මිල කිසියම් මට්ටමක ස්ථාවර වී එතැන් සිට අඩු වේගයකින් ඉහළ යනු ඇති බවයි. තෙල් මිල වැඩි වුනු ප්‍රවණතාවය දිහා බැලුවහම මේ අදහස නරක එකක් වුනේ නැහැ.

ඔය දවස් වල තෙල් බැරලයක් ඩොලර් 200ක් වෙනවා කියන එක සිදු විය නොහැකි දෙයක් බව පෙනුණේ නැහැ. එහෙම වුනානම් එය ලංකාව ආර්ථික අර්බුදයක් කරා මෙහෙයවන්න ඉඩ තිබුණා. කොහොමටත් 2008 මැද වන විට රටේ උද්ධමනය 30% මට්ටමට ගිහිල්ලයි තිබුණේ. පසුව බොහෝ කතාබහට ලක් වුනු හෙජින් ගනුදෙනු සිදු වුනේ ඔය වගේ පසුබිමකයි.

තෙල් සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, ඩොයිෂ් බැංකුව හා සිටි බැංකුව වගේ විදේශ බැංකු එක්කත්, මහජන බැංකුව හා කොමර්ෂල් බැංකුව වගේ දේශීය බැංකු එක්කත් හෙජිං ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. මේ ගිවිසුම් බොහොමයක් අත්සන් කළේ 2008 මැද භාගයේදී වසරක කාලයක් සඳහා.

මේ හෙජිං ගිවිසුම් ගැන ගොඩක් අය දන්නේ නැති නිසා 2008 අගෝස්තු සිට වසරක කාලයක් සඳහා ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරපු ගිවිසුම මුලින්ම උදාහරණයකට ගන්නම්. ඒ ගිවිසුම සරලයි.

ගිවිසුම සඳහා පාදක කර ගත්තේ ඒ වන විට බොරතෙල් බැරලයක මිල වූ ඩොලර් 112.50. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මිල වැඩි වුනොත් මිල වෙනස ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න ඕනෑ. මිල අඩු වුනොත් මිල වෙනස තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවන්න ඕනෑ. වෙනත් විදිහකට කිවුවොත් මිල අඩු වුනත්, වැඩි වුනත් තෙල් සංස්ථාවට යන වියදම බැරලයකට ඩොලර් 112.50යි. වෙළඳපොළේ මිල වැඩි වුනොත් ඩොයිෂ් බැංකුවට පාඩුයි, තෙල් සංස්ථාවට ලාබයි. මිල අඩු වුනොත් ඩොයිෂ් බැංකුවට ලාබයි, තෙල් සංස්ථාවට පාඩුයි.

කලින් කියපු ගිවිසුම අත්සන් කළේ මාසයකට තෙල් බැරල් 100,000කට. ඒ කියන්නේ, අවුරුද්දට තෙල් බැරල් මිලියන 1.2කට. ගිවිසුම අත්සන් කළාට පසු අවුරුද්දේ තෙල් මිල ඩොලර් 113.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් ලාබයි. ඩොලර් 114.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 2.4ක් ලාබයි. ඩොලර් 111.50ට අඩු වෙලා දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් පාඩුයි.

කොහොම වුනත්, ගිවිසුම අනුව ඔය විදිහට ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න එකඟ වෙලා තිබුණේ උපරිම වශයෙන් ඩොලර් මිලියන 2.5ක් පමණයි. නමුත්, තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු මුදල ඒ ආකාරයට සීමා කරගෙන තිබුණේ නැහැ. තෙල් සංස්ථාව වෙනුවෙන් ගිවිසුම අත්සන් කරපු අය මිල අඩු වෙයි කියා කීයටවත් නොහිතපු බව එයින් පේනවා.

තෙල් මිල අඩු වෙන්න කිසිම ඉඩක් නැත්නම්, දුවන කෝච්චියකට බෙල්ල තියනවා වගේ වැඩි වන මිල තෙල් සංස්ථාවට ගෙවන්න බැංකු ඉදිරිපත් වෙන එකක් නැහැනේ. ඔවුන් ගිවිසුමට කැමති වුනේ තෙල් මිල අඩු වෙන්න කිසියම් ඉඩක් තිබුණු බව ඔවුන් දැකපු නිසයි.

කොහොම වුනත්, තෙල් මිල දිගින් දිගටම ඉහළ ගියොත් ගිවිසුම නිසා තමන්ට වන විශාල පාඩුව ගැනත් බැංකු කල්පනා කරලා තිබුණා. උපරිම පාඩුව මිලියන 2.5කට සීමා කර ගන්නා කොන්දේසිය ඔවුන් දමාගන්න ඇත්තේ ඒ නිසා. නමුත්, තෙල් සංස්ථාව පැත්තෙන් එවැනි කොන්දේසියක් දමා ගන්න හිතලා නැහැ. මිල අඩුවීමේ ඉඩකඩ ඉතාම අඩුයි කියා ඔවුන් ඇස්තමේන්තු කරන්න ඇති. ඒ නිසා, මිල අඩු වන සෑම ඩොලරයක් වෙනුවෙන්ම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් ගෙවිය යුතුව තිබුණා.

ඔය කියපු ගිවිසුම ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරන විටත් තෙල් මිල වැටෙන්න පටන් අරගෙනයි තිබුනේ. කලින් මාසයේදී තෙල් බැරලයක් ඩොලර් 145ක් පමණ වුණා. එතැන් සිට ක්‍රමයෙන් පහත වැටුණු තෙල් මිල වසර අවසන් වෙද්දී ඩොලර් 30 ආසන්න මට්ටමටම වැටුනා. ගිවිසුමේ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 60ක් පමණ වුණා. මේ මුදල මීටත් වඩා වැඩි විය හැකිව තිබුණා. නමුත්, ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5ක් පමණයි.

මේ ගිවිසුම එක් ගිවිසුමක් පමණයි. ඔය කාලය ඇතුළතම ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව එක්ක අත්සන් කරලා තිබුණු එක් ගිවිසුමක් අනුව ඩොලර් 139.35කට වඩා අඩු වන සෑම ඩොලරයකටම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් (වසරකට ඩොලර් මිලියන 1.2ක්) ගෙවිය යුතුයි. ඒ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 88ක් පමණ වුණා. නමුත්, තෙල් සංස්ථාවට ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5යි.

මෙවැනි ගිවිසුම් ගණනාවක් තිබුණා. එවැනි ගිවිසුම් අටකින් තෙල් සංස්ථාවට සිදු වී තිබුණු පාඩුවේ ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් මිලියන 500 ඉක්මවා තිබුණත්, තෙල් මිල ඉහළ ගියානම් ලැබිය හැකිව තිබුණු උපරිම ලාබය ඩොලර් මිලියන 10.5ක් පමණයි. ඒ කියන්නේ ගිවිසුම් අත්සන් කරද්දී තෙල් මිල අඩු වෙයි කියන එක ගැන හිතලාම තිබුණේ නැහැ. පහුගිය මාසයේ රාජපක්ෂ අගමැතිකම ගන්න කොට 113 හොයා ගන්න බැරි වුනොත් තත්ත්වය ගැන හිතලා නොතිබුණා වගේ, මේ හෙජින් ගනුදෙනු දිහා රජයේ පාර්ශ්වය බලලා තිබුණේ මාර සිරා ඩීල් ටිකක් දාගත්ත විදිහටයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ඔක්තෝබර් මාසයේදී මේ ගිවිසුම් අනුව තෙල් සංස්ථාව විසින් බැංකු වලට ගෙවිය යුතු මුදල් ගෙවන එක අත්හිටවනු ලැබුවා. ඉන්පසුව ගිවිසුම් වල පාර්ශ්වකරුවන් වූ විදේශ බැංකු ඔවුන්ට ගිවිසුම අනුව ලැබිය යුතු මුදල් අය කරගන්න විදේශ අධිකරණ වල නඩු පැවරුවා. ඇතැම් නඩු වලින් ඔවුන් පරාජය වීමත්, තවත් ඇතැම් නඩු හා අදාළව අතරමැදි එකඟතාවයකට පැමිණීමත් නිසා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු වූ මුළු මුදලම නොගෙවා සිටිය හැකි වුවත්, සෑහෙන පාඩුවක් වුනා. බැංකු වල අවාසියට හිටියේ පොදු ආයතනයක් වන තෙල් සංස්ථාවට මෙවැනි ගිවිසුම් වලට යන්න නීතිමය අයිතියක් නැතැයි යන නීති තර්කය මිසක් ගිවිසුමේ වගන්ති නෙමෙයි. එසේ නොවන්නට, ගිවිසුම අනුව ගෙවිය යුතු මුළු හිඟ මුදලට අමතරව ගෙවීම පමා වීම නිසා ඒ මත එකතු කළ යුතු පොලිය හා නඩු ගාස්තු ආදියත් ගෙවන්න වෙනවා.

ඔය ගිවිසුම් අත්සන් කරද්දී ඒවායින් රටට වන වාසිය ගැන සෑහෙන්න පුරසාරම් ඇහුණත්, ගිවිසුම් වලින් ඇත්තටම වාසියක් වුනානම් එහි නම්බුව ගන්න හිටපු බොහෝ දෙනෙක් තෙල් මිල අඩු වෙද්දී කළේ අන්තිමට ගිවිසුමට අත්සන තැබූ අයගේ පිටින් දමා ඇඟ බේරා ගැනීමයි. වැඩක් හරි ගියාම ලකුණු දාගන්න ඕනෑ තරම් අය හිටියත්, වැරදුනාම අන්තිමට කරපු කෙනෙක් නැහැ.

ලිපිය පටන් ගත්තේනම් හෙජිං ගණුදෙනු ගැන ලියන්න හිතාගෙන නෙමෙයි. තෙල් මිල ගැන ලියන්න හිතාගෙනයි. කමක් නෑ. ඒ ගැන පස්සේ කතා කරමු.

Saturday, December 8, 2018

තෙලේ බලේ දැලේ වෙලේ?


"තෙල් මිල අඩුවෙමින් තිබෙනවා. නියමයි! ඇමරිකාවටත්, ලෝකයටමත් ලැබුණු විශාල බදු සහනයක් වගේ. සතුටු වෙයල්ලා! තිබුණේ ඩොලර් 84ට. දැන් ඩොලර් 54යි. සවුදි අරාබියට ස්තුතියි, නමුත් තවත් ටිකක් අඩු කරමු!"

ජනාධිපති ට්‍රම්ප් පසුගිය නොවැම්බර් 21 වෙනිදා ට්වීට් කළා. ට්‍රම්ප්ගේ ට්විටර් සංඛ්‍යාලේඛණ වල නිරවද්‍යතාව පැත්තකින් තිබ්බත්, ඔක්තෝබර් හා නොවැම්බර් මාස ඇතුළත බොර තෙල් මිල විශාල ලෙස අඩු වුනා. සවුදි අරාබිය කළමණාකරණය කර ගැනීම මඟින් ඇමරිකාවේ හා ලෝකයේ තෙල් මිල පහළින් තබා ගත හැකි බවත්, තෙල් මිල පහළින් තබා ගැනීමෙන් ඇමරිකන් ආර්ථික වර්ධන වේගය ඉහළ යැවිය හැකි බවත් ජනාධිපති ට්‍රම්ප් විශ්වාස කරන බව පේනවා. එසේ නැත්නම් ඔහු තමන් එසේ සිතන බව පෙන්වනවා


තෙල් මිල පහළ යන විට ඇමරිකාව ඇතුළු ශුද්ධ ලෙස තෙල් ආනයනය කරන රටවල ආර්ථික වර්ධනය ඉහළ යනවා. ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවල ආර්ථික වර්ධනය අඩාල වෙනවා. ලෝකයටම කෙසේ වෙතත් ඇමරිකාව, චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල ආර්ථිකයන්ට ලෝක තෙල් මිල පහළ යාම බදු සහනයක් වගේ තමයි. නමුත්, රුසියාව හා සවුදි අරාබිය වැනි ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවලට තෙල් මිල පහළ යාම විශාල ප්‍රශ්නයක්.

තෙල් කියන්නේ පසුගිය සියවසේ ලෝක දේශපාලනය තීරණය කළ පරිභෝජන භාණ්ඩයක්. අඩු වශයෙන් වසර හැත්තෑ පහක සිට ඇමරිකාව ශුද්ධ තෙල් ආනයනකරුවෙක්. කැනඩාව හා නෝර්වේ වැනි රටවල් කිහිපයක් හැරුණු විට සමස්තයක් ලෙස බටහිර රටවල් බොහොමයක්ම ශුද්ධ තෙල් ආනයනකරුවන්. බටහිර ප්‍රජාත්නත්‍රවාදී රටවල් බොහොමයක් ශුද්ධ තෙල් ආනයනකරුවන් වෙද්දී ශුද්ධ තෙල් අපනයනකරුවන් වන බොහෝ රටවල ප්‍රජාත්නත්‍රවාදී නොවන පාලන පවත්වා ගැනීම පහසු වී තිබෙනවා.

තෙල් සම්පත් හා රටේ පවතින පාලන ක්‍රමය අතර සම්බන්ධයක් පැවතීම අහම්බයක්ම නෙමෙයි. කිසියම් රටක ආර්ථිකයෙන් විශාල කොටසක් ස්වභාවික සම්පත් මත පදනම් වූ විට, ඒ ස්වභාවික සම්පත් වලට හිමිකම ඇති අය හා නැති අය අතර විශාල වත්කම් පරතරයක් හා ආදායම් පරතරයක් ඇති වෙනවා. එවිට තමන්ගේ රටේ ස්වභාවික සම්පත් වලට අයිතියක් නැති අයට තමන් අසාධාරණයකට ලක් වූ බව පෙනෙනවා. එසේ වූ විට, රටේ ස්වභාවික සම්පත් වල අයිතිය පෞද්ගලික අයිතිකරුවන් වෙත ලබා නොදී රජය වෙත (හෝ රජු වෙත) තබාගෙන ඒ සම්පත් වල ප්‍රතිලාභ සියළු රටවැසියන් අතර "සාධාරණ" ලෙස බෙදා දීම රටේ බොහෝ දෙනෙකුගේ කැමැත්ත බවට පත් වෙනවා. මේ සම්පත් රටේ ජීවත් වන අයගේ "වාසනාවට" ලැබුණු දේ මිස මහන්සියෙන් උපයාගත් දේ නොවීම ඊට හේතුවයි.

සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග කලාපයේ වගේම, රුසියාව හා වෙනිසියුලාව වැනි රටවලත් තෙල් නිපදවීම සිදු වෙන්නේ රජයේ සෘජු හෝ වක්‍ර පාලනය යටතේ. ඒ නිසා තෙල් මිල නියම කරන්නෙත් රජය විසිනුයි. ලංකාව වැනි මුළුමනින්ම තෙල් ආනයනය කරන ඇතැම් රටවලත් තෙල් මිල හා අදාළව තිබෙන්නේ රජයේ ඒකාධිකාරයක්. නමුත්, ඇමරිකාවේ තිබෙන්නේ එවැනි තත්ත්වයක් නෙමෙයි.

ඇමරිකාවේ තෙල් කර්මාන්තය තරඟකාරී එකක්. හන්දියක හතර පැත්තේ තිබෙන තෙල් පිරවුම්හල් හතරක බැලුවොත් තියෙන්නේ මිල ගණන් හතරක්. මේ මිල ගණන් දිනපතාම විචලනය වෙනවා. එය ඉල්ලුම හා සැපයුම මත සිදුවන දෙයක්. කිසිදු තනි සමාගමකට වෙළඳපොළ මිල මත බලපෑමක් කරන්න අමාරුයි. රුසියාවේ, සවුදි අරාබියේ හෝ ලංකාවේ රජයට රටේ සිල්ලර තෙල් මිල නියම කළ හැකි වුවත්, ඇමරිකාවේ රජයට හෝ ජනාධිපති ට්‍රම්ප්ට එය කළ නොහැකියි.

ඇමරිකාවේ සිල්ලර තෙල් මිල ඇමරිකාව ඇතුලෙ සාධක කළමනාකරණය කරමින් පාලනය කරනවාට වඩා පහසුවෙන් සවුදි අරාබිය වගේ රටක් හරහා වක්‍ර ලෙස පාලනය කිරීම ඇමරිකන් ජනාධිපතිවරයෙකුට පහසුයි. ජමාල් ඛශෝගි ඝාතනය පිළිබඳව සවුදි රජ කුමරු වෙත සීඅයිඒ ඇඟිලි දික් වෙද්දී, ජනාධිපති ට්‍රම්ප් විසින් දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාරය වැනි දේ හරහා ලෝක තෙල් මිල පාලනය කළ හැකියයි ජනාධිපති ට්‍රම්ප් සිතනවා විය හැකියි. ඔහු එසේ පෙන්වනවා පමණක් වෙන්නත් පුළුවන්.

ජනාධිපති ට්‍රම්ප්ගේ ඉලක්කය වුනේ පසුගිය දෙදින පැවති ඔපෙක් රැස්වීමයි. තමන් සවුදි අරාබිය කළමනාකරණය කිරීම මඟින් තෙල් මිල පාලනය කරන බව ජනාධිපති ට්‍රම්ප් සිය අනුගාමිකයින්ට පෙන්වන්න හැදුවත් ඇත්තටම වී තිබෙන්නේ සවුදි අරාබියට තිබෙන විකල්ප කොහොමටත් සීමා වී තිබීමයි. ජනාධිපති ට්‍රම්ප් එහි වාසිය ගන්න උත්සාහ කරනවා.

ලෝක තෙල් වෙළඳපොළ තුළ පසුගිය සියවසේ දෙවන අර්ධය තුළ පැවති තත්ත්වයන් මේ වන විට බොහෝ දුරට වෙනස් වී තිබෙනවා. ඒ වෙනස ලෝක දේශපාලනයත් වෙනස් කර තිබෙනවා. දශක ගණනවක් ගත වීමෙන් පසුව වුවත් නිදහස් වෙළඳපොළෙහි "අදිසි හස්තය" ලෝක තෙල් මිලේ සුක්කානම අතට ගනිමින් සිටිනවා. ඒ නිසා, අනාගතයේදී කිසිදු රටකට තෙල් සම්පත් හිමිකම් මත පදනම්ව ලෝක දේශපාලනයට බලපෑම් කිරීම පහසු වෙන එකක් නැහැ.

ඔපෙක් රටවල් හා රුසියාව ඇතුළු ඇතැම් ඔපෙක් නොවන රටවල් විසින් දිනකට බැරල් මිලියන 1.2කින් නිෂ්පාදනය අඩු කිරීමට අවසාන වශයෙන් එකඟ වීමෙන් පසුව තෙල් මිල ඩොලර් දෙක තුනකින් වැඩි වී තිබෙනවා. එය විශාල වැඩි වීමක් කියා කියන්න අමාරුයි. කොහොම වුනත්, නිෂ්පාදන කප්පාදුව නිසා තෙල් මිල ඩොලර් පණහ මට්ටමෙන් පහළට වැටෙන එකක් නැහැ.

ලෝක තෙල් මිල හැසිරවීමේ සුක්කානම ක්‍රමයෙන් ඇමරිකාව අතට පත් වෙමින් තිබෙනවා. නමුත්, එය වෙන්නේ ඇමරිකන් රජයේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා හෝ ඇමරිකන් විධායකයේ දේශපාලන බලපෑම් හරහා නෙමෙයි. නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හරහායි. ඒ නිසා, පවතින අළුත් යථාර්තය වන්නේ තෙල් නිපදවන රටවල් විසින් තෙල් නිපැයුම සීමා කර මිල වැඩි වෙන්න ඇරියත්, සැපයුම වැඩි කර මිල වැටෙන්න හැරියත් අවසානයේ ඒ රටවල් වලටම එහි ප්‍රතිවිපාක වල මුහුණ දෙන්න සිදු වීමයි. ජනාධිපති ට්‍රම්ප් කිවුවත් නොකිවුවත්, ඔවුන් සැපයුම සීමා කිරීම ගැන දෙවරක් හිතන්නේ ඒ නිසයි.

(Image: https://www.forbes.com/sites/arielcohen/2018/12/07/high-five-at-opec-russia-and-saudi-arabia-agree-1-2mbd-production-cut/#66cebe566d24)

Friday, December 7, 2018

ණය ඉහළ යද්දී සංචිත පහළ යයි!


ගෙවුණු නොවැම්බර් මාසය ඇතුළත මහ බැංකුව විසින් නිල විදේශ සංචිත වලින් ඩොලර් මිලියන 884.9ක් විකුණා තිබෙනවා. ඒ අනුව, ඔක්තෝබර් අවසානයේදී ඩොලර් මිලියන 7,903.3 ක් වූ ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය නොවැම්බර් අවසානය වෙද්දී ඩොලර් මිලියන 7,018.4 දක්වා පහත වැටී තිබෙනවා. පසුගිය වසර අවසානයේදී නිල සංචිත තිබුණේ 7,958.7 මට්ටමේ. ඒ අනුව, වසරේ මුල් මාස නවය තුළ නිල සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 55.4කින් පමණයි.

මෙපමණ විදේශ සංචිත වැය කිරීමෙන් පසුවත් නොවැම්බර් මාසය තුළ ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 174.38 සිට 179.67 දක්වා ඉහළ ගොස් තිබෙනු දැකිය හැකියි. මාසය අවසන් වෙද්දී ඩොලරයේ මිල ස්ථාවර කරගෙන තිබෙන්නේ විදේශ සංචිත විකිණීමෙන් වියහැකියි.

මේ අතර, සැප්තැම්බර් අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,271.4 දක්වා ඉහළ ගොස් තිබුණා. එයින් රුපියල් බිලියන 5,469.1ක් විදේශ ණය. ඉතිරිය, එනම් රුපියල් 5,802.3ක්, දේශීය ණය. මේ අනුව, එක් ලාංකිකයෙකු වෙනුවෙන් රජය ඒ වන විට රුපියල් 525,000ක් පමණ ණය වී තිබුණා. පසුගිය දෙමස තුළ සිදුව ඇති අළුත් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතු දෙසත්, රුපියල අවප්‍රමාණය වීම දෙසත් බැලූ විට, මේ වෙද්දී ඉහත ණය ප්‍රමාණය තව දුරටත් වැඩි වී ඇති බව නිසැකයි.

රුපියල අවප්‍රමාණය වීම හොඳයි කියා කියන්නේ ඇයිදැයි ඇතැම් අය ප්‍රශ්න කරනවා. සරලම පිළිතුර දිගින් දිගටම ණය නොගෙන, සංචිත වැය නොකරමින් රුපියල පවතින මට්ටමේ තියාගන්න බැරි වීමයි. එසේ නොකර රුපියල තිබෙන මට්ටමේ තබාගත හැකිනම් ප්‍රශ්නයක් නැහැ. ඩොලරයක මිල අවශ්‍ය මට්ටමට ඉහළ ගිය පසු එය කළ හැකි වෙයි. එතෙක් රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ හරින්න වෙනවා. නමුත්, මේ වන විට සිදුවෙමින් තිබෙන්නේ සංචිත විශාල ලෙස වැය කරමින් රුපියල අවප්‍රමාණය වීම වලක්වන එකයි. 

මේ වසරේ පළමු මාස එකොළහ තුළ සංචාරකයින්ගේ පැමිණීම 11.2%කින් ඉහළ ගොස් තිබෙනවා. එයට ප්‍රධාන හේතුව රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක ඉපැයීම් 17.1%කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 387.20ක අමතර විදේශ විණිමය ප්‍රමාණයක්‌ රටට ලැබී තිබෙනවා. නමුත්, ඒ අමතර විදේශ විණිමය ප්‍රමාණය නිල සංචිත වලට එකතු කරගන්නවා වෙනුවට තිබෙන සංචිතත් විකුණා දැමීමයි පසුගිය මාසයේ සිදු වී තිබෙන්නේ.

Thursday, December 6, 2018

ලංකාවට සංචාරකයින් පැමිණීම අඩු වෙලාද?


පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට දිග්ගැසෙමින් තිබෙන ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් වන ආකාරයක් තවමත් පැහැදිලිව පෙනෙන්නට නැහැ. හෙට ලැබෙනු ඇතැයි සිතිය හැකි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව වුවත් තත්ත්වයේ ලොකු වෙනසක් වේදැයි සැක සහිතයි.

ලංකාවේ දැනට පවතින දේශපාලන වාතාවරණය රටේ ආර්ථිකයට බලපාන ආකාරය අපද ඇතුළු බොහෝ දෙනෙක් විසින් කතා කර තිබෙන දෙයක්. කොළඹ කොටස් වෙළඳපොළෙහි හා රාජ්‍ය සුරැකුම්පත් වල වූ විදේශ ආයෝජන රටින් පිටවීම පසුගිය මාසයේ දකින්නට හැකි වූ තත්ත්වයක්. එහෙත්, අප මීට පෙරද සටහන් කර තිබෙන පරිදි මේ ආකාරයෙන් විදේශ ප්‍රාග්ධනය රටින් පිටතට ගලා යාම තනිකරම දේශපාලන අර්බුදය නිසාම ඇති වූ තත්ත්වයක් නෙමෙයි. ඒ ප්‍රවණතාව කලින්ම ඇරැඹී තිබුණු එකක්. දේශපාලන අර්බුදය නිසා තත්ත්වය තරමක් උග්‍ර වුණා. ණය පොලී අනුපාතික ඉහළ යාමටනම් දේශපාලන අර්බුදය සෘජුවම සම්බන්ධයි.

දේශපාලන අර්බුදය නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදු වූ බලපෑමත් කතාබහට ලක් වූ කරුණක්. ඇතැම් රටවල් සිය පුරවැසියන්ට ලංකාවට පැමිණීම ගැන අවවාද කර තිබුණා. කලින් නියම කරගෙන තිබුණු සංචාර අවලංගු වී ඇති බව වාර්තා වී තිබුණා. නමුත්, සංඛ්‍යාලේඛණ දෙස නොබලා, මෙවැනි වාර්තා මත පදනම්ව නිගමන වලට පැමිණීම එතරම් හොඳ දෙයක් නෙමෙයි.

සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන විදිහට 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය නොවැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම 16.8%කින් වැඩි වී තිබෙනවා. මෙය සැලකිය යුතු වැඩි වීමක්. වසරේ මුල් මාස දහය තුළ වූ සාමාන්‍ය වර්ධනය මීට වඩා අඩුයි. වසරේ පළමු මාස එකොළහ පෙර වසරේ එම කාලය හා සසඳා බැලුවොත් 11.2%ක වර්ධනයක් දැකිය හැකියි. පසුගිය වසර තුළ සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වුනේ 3.2%කින් පමණක් බව සැලකූ විට මේ වර්ධනය කැපී පෙනෙනවා. මෙයින් 2018 ආර්ථික වර්ධනයටත් සැලකිය යුතු යහපත් බලපෑමක් වෙයි.

ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයෙන් 5.3%ක සෘජු දායකත්වයකුත්, 11.6%ක සමස්ත දායකත්වයකුත් තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ හා ඇඟලුම් අපනයන හැරුණු විට වැඩිම විදේශ විණිමය ප්‍රමාණයක් ලංකාවට ලැබෙන්නෙත් සංචාරක කර්මාන්තය හරහායි. රටේ රැකියා වලින් 11%ක්ම සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයට සම්බන්ධයි. ඒ නිසා, සංචාරක කර්මාන්තය වර්ධනය වෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකයට විශාල සාධනීය බලපෑමක් සිදු කරන දෙයක්.

ලංකාවට පැමිණෙන සංචාරකයෙකු සාමාන්‍යයෙන් දින 11ක් පමණ නැවතී සිටින අතර දිනකට ඩොලර් 170ක පමණ මුදලක් වියදම් කරනවා. මේ මුදල වාර්ෂිකව ඩොලර් කිහිපයකින් හෝ ඉහළ යනවා. ඒ අතරම ඩොලරයක රුපියල් මිලත් ඉහළ යන නිසා කර්මාන්තයේ නියැලෙන අයගේ අයට අතට ලැබෙන ආදායම වඩා වේගයෙන් ඉහළ යනවා.

නොවැම්බර් මාසය තුළ යුරෝපීය සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. එය 37.1%ක්. එක්සත් රාජධානිය පමණක් ගත්තොත් 61.1%ක වර්ධනයක්. ඇමරිකානුවන්ගේ පැමිණීම 24.9%කිනුත්, සමස්තයක් ලෙස උතුරු හා දකුණු ඇමරිකානු මහාද්වීප වලින් පැමිණීම 23.9%කිනුත් ඉහළ ගොස් තිබෙනවා.  ඕස්ට්‍රේලියානු මහාද්වීපයෙන් පැමිණෙන්නන් 50.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියානුවන්ගේ පැමිණීම 21.4%කින් ඉහළ ගොස් ඇතත් අනෙකුත් දකුණු ආසියානු රටවල සංචාරකයින්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා. චීනය, ජපානය හා කොරියාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවලින් මෙන්ම මැදපෙරදිග රටවල සිට පැමිණෙන සංචාරකයින්ගේද අඩුවක් දැකිය හැකියි. සමස්ත වර්ධනය 16.8% මට්ටමට සීමා වී තිබෙන්නේ මේ අඩුවීම් වල බලපෑමෙන්. නොවැම්බර් දක්වා පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 2,080,627ක්. පසුගිය වසරේ මුල් මාස එකොළහ තුළ පැමිණ ඇත්තේ සංචාරකයින් 1,871,871ක් පමණයි.

එහෙමනම්, දේශපාලන අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තයට වෙලා තිබෙන්නේ යහපතක්ද?

දේශපාලන අර්බුදය හේතුවෙන් රටට සංචාරකයින් පැමිණීම ඉහළ යන්න සෘජු හේතුවක් නැහැ. මේ යහපත් වර්ධනයට ප්‍රධාන හේතුව මේ මාසය හා පෙර මාසය තුළ රුපියල සෑහෙන තරමින් අවප්‍රමාණය වීමයි. රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩදීම ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගන්න කළ යුතු මූලිකම දෙය බව මා දිගින් දිගටම කියා තිබෙන දෙයක්. සංචාරක කර්මාන්තය කියන්නේ එහි ප්‍රතිඵල මුලින්ම පෙන්වන තැනක්. දේශපාලන අර්බුදය නොවන්නට සංචාරකයින්ගේ පැමිණීම මීටත් වඩා ඉහළ යා හැකිව තිබුණා.

(Image: http://www.travelvoice.lk/2018/04/15/sri-lanka-encouraged-tourism-upsurge/)

Wednesday, December 5, 2018

අයිටීඑන් කුමන්ත්‍රණ දෙක


සති ගණනක් තිස්සේ ස්වාධීන රූපවාහිණිය හරහා ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණ දෙකක් පිළිබඳව මේ වන විට එළිදරවු වී අවසන්. එකක් ඇමරිකන් කුමන්ත්‍රණයක්. අනිත් එක රුසියන් කුමන්ත්‍රණයක්.

කුමන්ත්‍රණ කතා වලට ලංකාවේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ ඉල්ලුම පහසුවෙන් මුදල් කළ හැකියි. හැබැයි ඔය වැඩේ කරන්න සැපයුම්කරුවොත් ඕනෑ තරම් ඉන්න නිසා ඒ කාටවත් ඒකාධිකාරයක් පවත්වාගන්න අමාරුයි. වෙළඳපොළ තරඟකාරීයි.

කුමන්ත්‍රණ එකිනෙකට වෙනස්. ඒ නිසා, කුමන්ත්‍රණ එළිදරවු කිරීමේ සේවාවන් කියන්නේ සමජාතීය වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. ඒ නිසා, තරඟකරුවෝ කොපමණ හිටියත් තමන්ගේ භාණ්ඩය මොන විදිහකින් හෝ සුවිශේෂී කරගත්තොත් වෙළඳපොළ අල්ල ගන්න පුළුවන්.

ලිලන්ත කුමාරසිරිගේ කණාමැදිරියෝ කතා කළේ ඇමරිකන් කුමන්ත්‍රණයක් ගැනයි. මේක ඇමරිකන් රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ක්‍රියාත්මක වූ මාර සිරා කුමන්ත්‍රණයක්. හැබැයි කතාව ඉවර වෙද්දී ලංකාවේ පොලීසිය කුමන්ත්‍රණය එළිදරවු කර ගන්නවා. චාමරගේ රාහු කතා කළේ රුසියන් කුමන්ත්‍රණයක් ගැන. රහස් පොලීසිය ඒකෙත් සුලමුල හොයා ගන්නවා. නමුත්, එච්චරයි. සුලමුල හොයා ගත්තට පස්සේ ෆයිල් එක ක්ලෝස්.

ඔය කතා දෙකේම පොදු තේමාව පිටරටින් "අපේ දේවල්" අරගෙන යන එක. බොහොම ජනප්‍රිය තේමාවක්. රබර් වැවිල්ලෙන් පටන් අරන් රබර් වගේම ඇදුණු මිණිගංදෑළත් යාන්තම් ඉවර වුණා. අන්තිමට පරණ කෑලි නැවත පෙන්වමින් අද්දපු විදිහට මම හිතුවේ පරම්පරා තුනක කතාව බලන්න පරම්පරා හතරකවත් කාලය යයි කියලයි. ඒකෙත් කුමන්ත්‍රණ ගණනාවක් ගැන කතා කලා. ඒවා බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණ.

බටහිර රටවල් ලංකාවෙන් හෝ තූත්තුකුඩියෙන් හෝ ගන්න තිබෙන දේවල් ගන්නවා කියන එක බොරුවක් නෙමෙයි. ඔවුන් අනුන්ගේ දේවල් ගන්න වගේම තමන්ගේ දේවල් දෙන්නත් කැමතියි. ලංකාවේ ඔය දෙකටම කිසියම් විරෝධයක් තිබෙනවා. ගන්නකොට කියන්නේ දේශීය දැනුම නැත්නම් සම්පත් බටහිරයන් විසින් හොරකම් කර ගැනීම කියලා. දෙනකොට කියන්නේ බටහිර ආධිපත්‍යය බලහත්කාරයෙන් පැටවීම කියලා.

මේ විරෝධයට හේතුව බටහිර රටවල් විසින් ලංකාව වගේ රටවල දේවල් අරන් ගිහිං වැඩි දියුණු කරලා නැවත ලංකාවටම විකුණන අවස්ථා පෙනෙන්න තිබීම විය හැකියි. අප කුඩා කාලයේ නිතර යොදාගත් උදාහරණයක් වුනේ ලංකාවෙන් රබර් ගෙනිහින් ටයර් හදලා නැවත ලංකාවටම විකිණීම. දැන් බොහෝ විට කතා කරන දෙයක් වෙන්නේ දේශීය ඖෂධ ගෙනිහින් පෙති හෝ කරල් ලෙස නැවත ලංකාවටම විකුණනවා කියන එක. දෙවැන්න කොයි තරම් දුරකට වෙන දෙයක්ද කියා මම හරියටම දන්නේ නැතත් පළමුවැන්නනම් කාලයක් තිස්සේ සිදුවුණා.

මේ වැඩේම අනිත් පැත්තත් වෙනවා. ලංකාව වගේ රටවල් බටහිර රටවල් වලින් රෙදි, නූල්, යන්ත්‍රසූත්‍ර, තාක්ෂනය වගේ දේවල් අරගෙන ඇඳුම් මහලා නැවත බටහිර රටවලටම විකුණනවා. නමුත්, ඒ ගැන බටහිර රටවල මිනිස්සු කනිපින්දම් කියනවා අඩුයි. නැත්තෙමත් නැහැ. ඇමරිකාව වගේ රටවල තිබෙන චීන විරෝධය මීට කිට්ටුවෙන් යන එකක්.

රබර් කියන්නෙත් ලංකාවේ දෙයක් නෙමෙයි. රබර් ලංකාවට හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයන් විසින්. මිණිගංදෑළ පටන් ගත්තේ ඒ කාලයෙන්. සුද්දෝ එංගලන්තයේ රබර් නොවවා ලංකාවේ වැවුවේ එය වඩා ලාබදායක නිසා. ලංකාවේ ටයර් නොහදා එංගලන්තයේ හැදුවෙත් ඒ හේතුවම නිසා. නමුත්, කාලයත් එක්ක මේ තත්ත්වයන් වෙනස් වෙනවා. දැන් ලංකාවේ නිෂ්පාදන අපනයන ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙන්නේ ටයර් වැනි රබර් නිෂ්පාදන වලින්.

රටකට නිෂ්පාදන ක්‍රියාවලියේ එක අදියරක ඉඳලා තවත් අදියරකට යන්න හැකි වෙන්නේ තාක්ෂණ දැනුම වැඩි වීමට සමාන්තරවයි. ඒ සඳහා, එක්කෝ රට ඇතුළේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු විය යුතුයි. නැත්නම් පිටින් ඒ දැනුම ලබාගත යුතුයි. පිටින් දැනුම ලබාගන්න පුළුවන් වෙන්නේ දැනට රට ඇතුළේ තිබෙන දැනුමට සාපේක්ෂවයි. දැනුම ලබා ගැනීම පියවරෙන් පියවරට සිදු විය යුතු දෙයක්. ලෝකයට විවෘත වූ තරමට මෙය වඩා වේගවත්ව සිදු වෙනවා.

Monday, December 3, 2018

සුබගමන්, හිටපු ජනපති තුමනි!


කොයි තරම් බලවතෙක්ට වුනත් අන්තිමට සියල්ල අතහැර යන්න දවසක් එනවා. මේ නියාමය පෙන්වා දෙමින්, ඇමරිකාවේ 41 වන ජනාධිපති වූ ජෝජ් හර්බට් වෝකර් බුෂ් පසුගිය සිකුරාදා අවසන් ගමන් ගියා. මිය යන විට ඔහුගේ වයස වසර අනූ හතරක් හා දින 171ක්. ඒ අනුව, මෙතෙක් වැඩිම කලක් ආයු වැළඳූ ඇමරිකන් ජනාධිපති වරයා ඔහුයි.

ජෝජ් එච් ඩබ්ලිවු බුෂ් ඇමරිකන් ජනාධිපතිව සිටියේ 1989-1993 අතර කාලයේදීයි. සෝවියට් සංගමය බිඳ වැටුනේ මේ කාලය ඇතුළතයි. ඉන් පෙර රොනල්ඩ් රේගන් ජනාධිපති සේ කටයුතු කළ 1981-1989 කාලය තුළ ඔහු ඇමරිකාවේ 43වන උප ජනාධිපති සේ කටයුතු කළා.

ජෝජ් එච් ඩබ්ලිවු බුෂ්ගේ පුතා වූ ජෝජ් වෝකර් බුෂ් පසුව ඇමරිකාවේ 43 වන ජනාධිපතිවරයා සේ කටයුතු කළා. මේ දෙන්නා ඇමරිකාවේ ජනාධිපති සේ කටයුතු කළ දෙවන පිය පුතු යුගලයයි.

ජනාධිපති ට්‍රම්ප් විසින් මේ වෙනුවෙන් අනිද්දා (බදාදා) දිනය ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා.

Saturday, December 1, 2018

මහින්ද නිදහස් කළ කෝටිය


ඉරාන ජාතිකයෙකු විසින් රටින් පිටතට ගෙන යාමට උත්සාහ කරද්දී රේගුව විසින් අත් අඩංගුවට ගෙන රාජසන්තක කර තිබුණු ඇමරිකන් ඩොලර් 53,455ක මුදලක් එම පුද්ගලයා වෙත නැවත ආපසු භාර දෙන මෙන් මහින්ද රාජපක්ෂ විසින් නියෝග කර තිබුණු බව පසුගිය දවස් වල කතාබහට ලක් වූ පුවතක්. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් මේ පිළිබඳව පැහැදිලි කරමින් පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඉහත කී පුවත්පත් නිවේදනය අනුව, කතාබහට ලක් වූ මුදල අලි රිසාසද් මෝෆ් නම් වූ අදාළ පුද්ගලයා විසින් ඉරාන සමූහාණ්ඩු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සේවය කර ඉපැයූ මාසික වැටුප් මුදල්. මේ මුදල නිදහස් කිරීමේ නීතිමය හෝ සදාචාරාත්මක පසුබිම ප්‍රශ්න කරන්න නෙමෙයි මේ ලිපිය ලියන්නේ.

උමාඔය ව්‍යාපෘතිය බොහෝ ප්‍රශ්නකාරී ව්‍යාපෘතියක්. හිටපු බ්ලොග් රචකයෙකු හා මේ ව්‍යාපෘතිය ගැන නිතර කතා කළ පුද්ගලයෙකු වූ සමන්ත විද්‍යාරත්න වැනි ඇතැම් අය විසින් මෙය හැඳින්වූයේ උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය නමින්. ව්‍යාපෘතිය නිසා සිදු වූ පාරිසරික හානිය ගැන ඕනෑ තරම් කතා වෙලා තිබෙනවා. මා හිතන්නේ මේ වන විට අදාළ ප්‍රධාන පාරිසරික ප්‍රශ්නය විසඳා තිබෙනවා කියායි.

මේ ව්‍යාපෘතියේ වියදමෙන් 85%ක් (ඩොලර් මිලියන 450ක්) ලැබීමට නියමිතව තිබුණේ ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය මුදලක් ලෙසයි. ඉතිරිය ලංකාවෙන්. ව්‍යාපෘතියේ වියදම් ඇස්තමේන්තුව මුල සිටම විවේචනයට ලක් වූ දෙයක්. විස්තරාත්මක කරුණු පිළිබඳ එකඟතාවයක් නැතිව, ඉරාන රජය සමඟ හදිසියේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එහි කොන්ත්‍රාත්කරු වූ ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු මුදල ඉහළ දැමූ බවත්, ලංකාවේ ඉංජිනේරුවන් එයට එකඟ නොවූ බවත් වාර්තා වී තිබුණා. අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ ඉල්ලා අස්වීමක් පවා සිදු වුණා.

මේ වගේ බහුකාර්ය ව්‍යාපෘති වලින් ලැබෙන වාසි රැසක් තිබෙනවා. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. නමුත්, ප්‍රශ්නය වන්නේ මේ වාසි වෙනුවෙන් ගෙවිය යුතු මිල ඒ වාසි වලට වඩා අඩුද වැඩිද කියන එකයි.

ඉරානයෙන් ණය මුදල ලැබෙන්නේම අදාළ කොන්ත්‍රාත්තුව ඉරාන සමාගමකට ලබා දීමේ කොන්දේසිය එක්කයි. ඒ එක්කම ඒ සමාගමේ ලාබ ලෙස ණය මුදලෙන් සැලකිය යුතු කොටසක් ආපසු ඉරානයට යාම සහතික වෙනවා. වෙනත් අවශ්‍ය දේවල් බොහොමයක් ඉරානයෙන්ම ආනයනය කෙරෙන්නත් ඉඩ තිබෙනවා. ඒ මුදලත් ආපසු යනවා. අවසාන වශයෙන් ව්‍යාපෘතියේ සේවය කරන්න එන අලි රිසාසද් මෝෆ් වගේ අය ඔවුන්ගේ වැටුප් ලෙස තවත් මුදල් ප්‍රමාණයක් ආපසු ගෙනියනවා. අන්තිමට ඉරානය දුන් මුදලින් සැලකිය යුතු කොටසක් ආපහු ඉරානයේ.

කොහොම වුනත් ගත් මුළු ණය මුදල සහ පොලිය ලංකාව විසින් ගෙවිය යුතුයි. එසේ ගෙවන්න තරම් ප්‍රමාණවත් මුදලක් මේ ව්‍යාපෘතිය නිසා ජනනය වෙනවද? එහෙම වෙනවනම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, බොහෝ විට එසේ වෙන්නේ නැහැ. එතකොට පාරිසරික හානි ඇතුළු අනෙකුත් අවාසි වල ආවස්ථික පිරිවැය හා වන්දි ලබා දීම් වැනි වියදම්?

මෙය උමා ඔය ව්‍යාපෘතිය හා පමණක් අදාළ හෝ ඉරානය හා පමණක් අදාළ තත්ත්වයක් නෙමෙයි. කිසියම් ව්‍යාපෘතියක් නිසා අනාගතයේ ජනනය වෙන අමතර ආදායම හා විදේශ විණිමය ප්‍රමාණය ණය ආපසු ගෙවන්න තරම් ප්‍රමාණවත්ද යන්න බොහෝ විට සැලකිල්ලට ගැනෙන්නේ නැති වීම ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයක හිර වී සිටින්න එක් හේතුවක්.

ඕනෑම යහපත් දෙයක් වෙනුවෙන් ගෙවිය යුතු මිලක් තිබෙනවා.

(Image: https://srilankamirror.com/news/3698-hartal-against-uma-oya-project-disrupts-bandarawela-pictures)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...