වෙබ් ලිපිනය:

Monday, June 19, 2017

ක්‍රීඩා ඇමති නැත්නම් ක්‍රීඩාව ඉවර වෙයිද?


ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම රටක් වශයෙන් මෙන්ම ක්‍රීඩකයෙකුට පෞද්ගලිකවද ලබා ගත හැකි විශාලම ජයග්‍රහණයකි. ලංකාව වෙනුවෙන් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු විසින් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගෙන නැත. එදා මෙදාතුර පැවති ඔලිම්පික් තරඟාවලි වලින් ලංකාවට රිදී පදක්කම් දෙකක් පමණක් හිමි වී තිබේ.

ලංකාව වෙනුවෙන් මුලින්ම ඔලිම්පික් පදක්කමක් දිනා ගනු ලැබුවේ එංගලන්ත සම්භවයක් තිබුණු ලාංකිකයෙකු වූ ඩන්කන් වයිට් විසිනි. කළුතර, ලත්පඳුරේදී උපත ලැබූවකු වූ ඩන්කන් වයිට් විසින් 1948 ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේදී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත්තේය. ඉන් පසුව, මහරගම ගුරු විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ දේශකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු පසුව නයිජීරියාවේ සරසවි දෙකකද දේශකයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසුව එංගලන්තයේ පදිංචියට ගොස් මිය යන තුරු එහි ජීවත් වී තිබේ.

ලංකාව වෙනුවෙන් දෙවන ඔලිම්පික් පදක්කම හිමි කර දුන්නේ සුසන්තිකා ජයසිංහයි. 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් තරඟයේදී ඇය ලෝකඩ පදක්කමක් දිනාගත්තාය. වසර හතකට පසුව මේ තරඟයේදී ඇයට වඩා ඉදිරියෙන් සිටි මේරියන් ජෝන්ස් විසින් තහනම් උත්තේජක භාවිතා කර ඇති බව තහවුරු වීම නිසා සුසන්තිකාගේ ලෝකඩ පදක්කම රිදී පදක්කමක් විය. මේරියන් ජෝන්ස්ට ඈ විසින් දිනාගෙන තිබුණු ඔලිම්පික් රන් පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් අහිමි වූ අතර ඔලිම්පික් තරඟ වාරණයක්ද පැනවුණු අතර පසුව සයමසක සිර දඬුවමක්ද හිමි විය.

සුසන්තිකා ජයසිංහගෙන් පසුව වෙනත් කිසිවකු විසින් ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගෙන නැත.

ඔලිම්පික් තරඟ වලදී වැඩිම දස්කම් දක්වා ඇති රට ඇමරිකා එක්සත් ජනපදයයි. ශිශිර ඔලිම්පික් තරඟාවලිද ඇතුළුව, ඇමරිකාව විසින් ලබාගෙන ඇති ඔලිම්පික් පදක්කම් ගණන 2,800 ඉක්මවන අතර එය මුළු පදක්කම් ගණනින් හයෙන් එකක් පමණ වේ. සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර එරට ඇමරිකාවට හොඳ තරඟයක් දුන්නේය. එහෙත් ඔලිම්පික් තරඟාවලි වැඩි ගණනකදී වැඩිම පදක්කම් හිමි කරගෙන ඇත්තේ ඇමරිකාවයි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඇමරිකාව දෙවැනි තැනට වැටුනේ බෙයිජිං තරඟාවලියේදී පමණි.

ඇමරිකා එක්සත් ජනපදය ලංකාව මෙන් 16 ගුණයක ජනගහනයක් සිටින රටකි. ඒ නිසා, ඇමරිකාව ලංකාවට වඩා ඔලිම්පික් පදක්කම් ගැනීම තේරුම් ගත හැකිය. එහෙත්, ඇමරිකාව ඔලිම්පික් තරඟයකදී සාමාන්‍යයෙන් පදක්කම් 100ක් පමණ දිනාගනිද්දී ලංකාවට කලාතුරකින් හැර එක් පදක්කමක් හෝ දිනාගන්නට නොහැකි වීම විමසිය යුතු කරුණකි.

වැඩිපුර ඔලිම්පික් පදක්කම් ගැනීම සඳහා ලංකාව කළ යුත්තේ කුමක්ද? ක්‍රීඩා ඇමති මාරු කළ යුතුද? ක්‍රීඩා ඇමතිව දිරිගැන්වීම සඳහා ඔහුට තවත් වාහන කිහිපයක් ලබා දිය යුතුද? ක්‍රීඩා අමාත්‍යංශයට වෙන්කරන ප්‍රතිපාදන වැඩි කර තවත් නිලධාරීන් බඳවා ගත යුතුද? එසේ නැත්නම්, ඔලිම්පික් තරඟ වලදී ඉදිරියෙන්ම සිටින ඇමරිකාව වැනි රටක් කර
දේ අනුගමනය කළ යුතුද?

ඇමරිකන් රජය ක්‍රීඩාව දිරිගැන්වීම සඳහා කොපමණ මුදලක් හා නිලධාරීන් පිරිසක් වෙන් කරනවාද?

සතයක්වත් නැත. ඇමරිකාවේ ක්‍රීඩා ඇමතිලා හෝ ලේකම්ලා නැත. ක්‍රීඩා අමාත්‍යංශයක් හෝ දෙපාර්තමේන්තුවක්ද නැත. රජයේ වෙනත් ආයතනයක් යටතේ ඒ කටයුතු සිදුවන්නේද නැත. අඩු වශයෙන් ඇමරිකන් රජය විසින් ඇමරිකන් ක්‍රීඩකයින් විසින් උපයන ත්‍යාග මුදල්ද ඇතුළු ආදායමෙන් රටේ අනෙක් අයගෙන් අය කරන බදු මුදල අය නොකර සිටින්නේ හෝ නැත.

ඇමරිකාවේ ඔලිම්පික් ක්‍රීඩකයින් පුහුණු කරන හා ඔවුන්ට ත්‍යාග මුදල් ඇතුළු මූල්‍යමය ආධාර සපයන "ටීම් යූඑස්ඒ" යනු ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයකි.
ඇමරිකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ලෙස ක්‍රියා කරන්නේද  රජයට සම්බන්ධයක් නැති මෙම ආයතනයයි. හමුදා සාමාජිකයින් වෙනුවෙන් කරන ඇතැම් කටයුතු වෙනුවෙන් ලබාගන්නා මුදල් හැර එම සංවිධානයට රජයෙන් කිසිදු මුදලක් නොලැබේ. එහෙත්, පසුගිය වසරේදී පමණක් ඩොලර් මිලියන 212.9ක් එම සංවිධානය විසින් ක්‍රීඩාව වෙනුවෙන් වැය කර තිබේ. මේ වියදම් වලට ක්‍රීඩකයින්ගේ සරසවි අධ්‍යාපන වියදම් පියවීම වැනි සුබසාධන කටයුතු සඳහා වන වියදම්ද ඇතුළත්ය.

"ටීම් යූඑස්ඒ" යනු ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයක් වුවත්, එයින් අදහස් වන්නේ ඔවුන් පාඩු ලබන බව නොවේ. තමන් සතු විකාශන අයිතිය ඇතුළු අයිතීන් විකිණීමෙන් එම ආයතනය විසින් වසර තුළ ඩොලර් මිලියන 293.9ක ආදායමක් උපයා ඇති අතර මහජන ආධාර හා වත්කම් ආයෝජන ආදායම් ආදියද ඇතුළුව ඩොලර් මිලියන 350.6ක සමස්ත ආදායමක් ලබා තිබේ. පරිපාලන වියදම් ආදිය ඇතුළු සියලු වියදම් ඉවත් කිරීමෙන් පසුව ඩොලර් මිලියන 77.9ක ලාභයක් එම ආයතනයේ ප්‍රාග්ධන වත්කම් වලට වසර තුළදී එකතු වී තිබේ.

ක්‍රීඩාව යනු පහසුවෙන් වැය කරන මුදලට වඩා ආදායම් ඉපයිය හැකි ක්ෂේත්‍රයකි. ඒ නිසා, රටක් ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගෙනයාම සඳහා මහජන මුදල් වැය කිරීම හෝ රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යම කරුණක් නොවේ.

ඩන්කන් වයිට්ගේ කාලයේදී නොතිබුණත්, සෑහෙන කලක සිට ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයක් තිබෙන අතර මහජන මුදලින් ක්‍රීඩා ඇමතිවරයෙකු හා විශාල නිලධාරීන් පිරිසක් නඩත්තු කෙරේ. ක්‍රීඩා අමාත්‍යංශයේ වියදම් වෙනුවෙන් 2017 වසර සඳහා රුපියල් මිලියන 4,484ක් වෙන් කර ඇති අතර දළ වශයෙන් ලංකාවේ එක් පවුලක් ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා පමණක් රුපියල් 900ක් පමණ මේ වසරේදී වැය කිරීමට නියමිතය. මෙය හාල් කිලෝ දහයක්, මස් හෝ මාළු කිලෝවක්, කිරිපිටි කිලෝවක පැකැට්ටුවක්, අලුත් කමිසයක්, චීන අවන්හලකින් කෑම වේලක් නැත්නම් අරක්කු බෝතලයක් වැනි දෙයක් වෙනුවෙන් වැය කළ හැකි මුදලකි.

ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා පමණක් ලංකාවේ පවුලකට තමන්ට මිලදී ගත හැකිව තිබුණු හාල් කිලෝ දහය, මස් හෝ මාළු කිලෝව, කිරිපිටි කිලෝවක පැකැට්ටුව, අලුත් කමිසය, චීන කෑම වේල නැත්නම් අරක්කු බෝතලය කැප කරන්නට සිදුවන අතර ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන්නේ මොනවාද යන්න විමසා බැලිය යුතු දෙයකි.

පසුගිය වසර හැට නවයක කාලය තුළ ලබාගත් එකම ඔලිම්පික් පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහ විසින්ද කිහිප වරක් කර ඇති චෝදනාවක් වන්නේ රජය ඇය වෙනුවෙන් ප්‍රමාණවත් දෙයක් කර නැති බවයි. ඇතැම් විට ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් රජය විසින් කිසිවක් නොකළද මේ කාලය තුළ අහඹු ලෙස එක් ඔලිම්පික් පදක්කමක් ලංකාවට හිමි වන්නට ඉඩ තිබුණු බව අපට බැහැර කළ නොහැකිය.

සුසන්තිකා විසින් රජයෙන් දිගින් දිගටම වරප්‍රසාද ඉල්ලීම අනුමත කළ නොහැකි වුවත්, ඇගේ ඉල්ලීමේ පදනමක් නැතුවාම නොවේ. ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා ලංකාවේ වෙනත් පවුල් මෙන්ම ඇයද දායක වී තිබේ. මේ පවුල් වලින් වැඩි දෙනෙකුට තමන් වැය කළ මුදල වෙනුවෙන් ප්‍රතිලාභයක් නොලැබෙන හා ලබාගන්නට ඉඩක් නැති පසුබිමක අඩු වශයෙන් ඒ වෙනුවෙන් හෙට්ටු කිරීමේ හැකියාවක් ඇති සුසන්තිකා විසින් හෝ එය කිරීම පෞද්ගලිකව කෙසේවෙතත් රටේ රජයෙන් බැහැරව සිටින පුද්ගලයින්ගේ නියෝජිතයෙකු ලෙස සැලකූ විට තමන්ට අයිති දෙයක් ඉල්ලා සිටීමකි.

ක්‍රීඩාව වෙනුවෙන් කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොකරන හා පොදු අරමුදල් වැය නොකරන ඇමරිකාව ක්‍රීඩාව අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටවීම අහම්බයක් නොවේ. රාජ්‍ය මැදිහත්වීම් නිසා හැමවිටම පාහේ ප්‍රායෝගිකව සිදුවන්නේ වඩාත්ම සුදුස්සාට තැන නොලැබී යාමයි. රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයේ කොටසක් වන මෙය ක්‍රීඩා ඇමති මාරු කිරීමෙන් හෝ ක්‍රීඩා අමාත්‍යංශයට වැඩිපුර ප්‍රතිපාදන ලබා දීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ.


රාජ්‍ය මැදිහත්වීම් අවම වන තරමට දක්ෂයින්ට ඉහළට පැමිණීමට ඇති අවකාශ පුළුල් වනු ඇති අතර ක්‍රීඩාවට ලැදි අයට එවැන්නන්ට සෘජුවම උදවු කිරීමටද අවකාශ සැලසෙනු ඇත. ඒ සඳහා අතරමැදියෙකු ලෙස රජය යොදාගත් විට අවසාන වශයෙන් සිදුවන්නේ කොහේවත් ඉන්නා පිරිසක් නඩත්තු කිරීමේ බර මහජනයාට දරන්නට සිදුවීම පමණි.

මෙය ලංකාවේ දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිලිබඳ එක් උදාහරණයක් පමණි. රජය මගින් කරන වෙනත් බොහෝ කටයුතු වල තත්ත්වයේද වැඩි වෙනසක් නැත.

(Image: http://dailynews.lk/2016/08/09/sports/89913)

Sunday, June 18, 2017

බඩගින්නට කන්න බැරි ඔලිම්පික් පදක්කම්


ඇමරිකාව ඇතුළු බොහෝ රටවල ඔලිම්පික් පදක්කම්ලාභියෙකුට ඒ වෙනුවෙන් රටේ ජාතික ඔලිම්පික් කමිටුවෙන් හෝ වෙනත් අරමුදලකින් ලැබෙන ත්‍යාග මුදල වැඩිම වුනොත් මාස දෙක තුනකට වඩා ජීවත් වන්නට ප්‍රමාණවත් මුදලක් නොවේ. ලැබුණු පදක්කම වෙන්දේසි කළද වැඩිම වුනොත් තවත් මාස දෙකකට වඩා ජීවත් වන්නට ප්‍රමාණවත් මුදලක් නොලැබේ. ඒ නිසා, ඔලිම්පික් පදක්කමක් ලැබුණු පමණින් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට තමන්ගේ ඉතිරි ජීවිත කාලයම කිරෙන් කා තෙලෙන් අත හෝදා ජීවිතය ගෙවන්නට නොහැකිය. ඔවුන්ට තමන්ගේ මූලික වියදම් පියවා ගැනීම සඳහා කුමක් හෝ රැකියාවක් කරන්නට සිදු වේ.

කුසලතා පූර්ණ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට බොහෝ විට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි රැකියාව අදාළ ක්‍රීඩාව පුහුණු කිරීමයි. එහෙත්, අඩු වශයෙන් ඇමරිකාවේ, ඔලිම්පික් පදක්කම්ලාභීන්ට ආණ්ඩුවෙන් ක්‍රීඩා පුහුණුකාර රැකියා දෙන්නේ නැත. ඒ අයට බොහෝ විට ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස කරන්නට වෙන්නේ ස්වයං රැකියාවකි. මේ සඳහා ඉල්ලුමක් ඇතිවන්නේ එවැනි ක්‍රීඩකයෙකු දක්ෂ ක්‍රීඩකයෙකු වනවාට අමතරව දක්ෂ ක්‍රීඩා පුහුණුකරුවෙකුද වන්නේනම් පමණි. සරසවියක පළමු පන්තියේ සාමාර්ථ ගන්නා ඇතැම් අය විෂයයෙහි දක්ෂයන් වුවත් ඉගැන්වීමෙහි දක්ෂයන් නොවන්නාක් මෙනි.

ඇතැම් ඔලිම්පික් පදක්කම්ලාභීහු දක්ෂ ක්‍රීඩා පුහුණුකරුවෝ නොවෙති. එසේ වූ විට ඔවුන්ට ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස සේවය කර ප්‍රමාණවත් ආදායමක් ලැබිය නොහැකි බැවින්, ජීවත්වීම සඳහා විකල්ප රැකියාවක් තෝරාගන්නට සිදුවේ. තවත් ඇතැම් අය සතුව ක්‍රීඩා පුහුණුකරුවන් වශයෙන් කුසලතාවක් ඇතත්, ඊට වඩා දක්ෂතා දක්වන වෙනත් කුසලතාවක් තිබේනම් එවැන්නෙකුගේ තේරීම ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස කටයුතු නොකර වෙනත් රැකියාවක් කිරීම විය හැකිය.

ඔලිම්පික් පදක්කම්ලාභීහු විශාල පිරිසක් විවිධ හේතු නිසා ක්‍රීඩාවට සම්බන්ධ නැති වෙනත් රැකියා කරති.

කැරීන් ඩේවිස් 2004 ඇතන්ස් ඔලිම්පික් තරඟයේදී රිදී පදක්කම්ක්ද, 2008 හා 2012 වසර වලදී රන් පදක්කම්ද දිනා ගත්තේ ඇගේ අධ්‍යාපන කටයුතුද දිගටම කරගෙන යන අතරතුරදීය. ඇය 2005දී හාර්වඩ් සරසවියෙන් ප්‍රථම උපාධියද, 2013දී කොලොම්බියා නීති විද්‍යාලයෙන් නීති උපාධියද (JD), 2015දී ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් MBA උපාධියක්ද ලබාගත් අතර දැනට ව්‍යාපාර නීතිය පිළිබඳ නීතිඥ වරියක ලෙස කටයුතු කරයි.

එරික් හේඩන් විසින් 1980 ශිශිර ඔලිම්පික් තරඟාවලියේදී ලෝක වාර්තාවක් හා ඔලිම්පික් වාර්තා හතරක් තබමින් ඇමරිකාව වෙනුවෙන් රන් පදක්කම් පහක් ජයග්‍රහණය කර දුන්නේය. ඉන් අනතුරුව, 1984දී ස්ටෑන්ෆර්ඩ් සරසවියෙන් විද්‍යාවේදී උපාධියක් ලබාගත් ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී 1991 වෙද්දී සිය වෛද්‍ය (MD) උපාධියද සම්පූර්ණ කළේය. ඔහු මේ වන විට විකලාංග විශේෂඥ වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කරයි.

මිනසෝටා ප්‍රාන්තයේ බෙමිජිහි ඇති ඩේව්ස් පීසා අවන්හල 1996 වසරේ සිට කරගෙන යන්නේ පීට් ෆෙන්සන් සහ ඔහුගේ බිරිඳයි. 2006 ශිශිර ඔලිම්පික් තරඟාවලියේදී පීට් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. එයින් ඔහුට ලැබුණු අමතර වාසියක් වූයේ ඔහුගේ පීසා අවන්හලට එන පාරිභෝගිකයින් ගණන වැඩි වීමයි. ඔහු තවමත් මේ පීසා අවන්හල කරගෙන යයි.

වරලත් ගණකාධිකාරිනියක හා ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක වන ග්වෙන් ජෝර්ගෙන්සන් අර්නස්ට් ඇන්ඩ් යං සමාගමේ ගණකාධිකාරිනියකි. ඇය පසුගිය වසරේදී රියෝ ද ජැනෙයිරෝ ඔලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත්තාය. මේ වන විට ඇය ඇගේ සම්පූර්න කාලය ක්‍රීඩාව වෙනුවෙන් යොදවයි.

මෙක්සිකානු ඇමරිකානුවෙක් වන ඩෙරික් පැරා 2002 ශිශිර ඔලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් මෙන්ම රිදී පදක්කමක්ද දිනාගත් අයෙකි. ඔහු සෑහෙන කලක් සේවය කළේ හෝම් ඩිපෝ වෙළඳසැලක උද්‍යාන අංශයේ අර්ධකාලීන සේවකයෙකු වශයෙනි. ඊට පෙර ඔහු මැක්ඩොනල්ඩ් අවන්හලකද සේවය කර තිබේ. මේ වන විට ඔහු ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි. 

ක්‍රීඩාව විශාල පිරිසකගේ විනෝදාංශයකි. ඇතැම් අය ක්‍රීඩා කිරීමෙන්ද, තවත් අය අනෙක් අය ක්‍රීඩා කරනු නැරඹීමෙන්ද සතුටු වෙති. විනෝදාංශයක් රැකියාවකින් වෙනස් වන්නේ විනෝදාංශ වෙනුවෙන් බොහෝ විට යමෙකුට කාලය හා ශ්‍රමය පමණක් නොව මුදල්ද තමන්ගේ සතුට වෙනුවෙන් වැය කරන්නට වීමෙනි. එයින් වෙනස්ව, රැකියාවක් කරන අයෙකුට තමන් වැය කරන කාලය හා ශ්‍රමය වෙනුවෙන් මුදල් ලැබේ. රැකියාවකින් කෙනෙකුට සතුටු විය හැකි වුවත් රැකියාවක ප්‍රධාන අරමුණ මුදල් ඉපැයීමයි.

රැකියාව පිණිස ක්‍රීඩාව තෝරාගත් අයද සිටිති. එසේ කළ හැක්කේ ක්‍රීඩා කිරීමෙන් වෙනත් බොහෝ පිරිසක් සතුටු කළ හැකි අයෙකුටය. දක්ෂ ක්‍රීඩකයෙකු වන්නට බොහෝ දෙනෙකු කැමති නිසා හොඳ ක්‍රීඩා පුහුණුකරුවෙකුට විශාල ඉල්ලුමක් තිබේ. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වල රාජ්‍ය සේවක වැටුප් (අනෙකුත් සියලුම වරප්‍රසාද වල වටිනාකමද ඇතුලුව) පොදු තොරතුරක් වන අතර ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බලාගත හැකිය. මෙසේ දත්ත ප්‍රසිද්ධ කර ඇති ප්‍රාන්ත ගණනාවක වැඩිම වැටුප් ලබන්නේ කිසියම් රාජ්‍ය සරසවියක ක්‍රීඩා පුහුණුකරුවෙකි.

ඉහළ වැටුප් ලබන ක්‍රීඩා පුහුණුකරුවන් බොහෝ දෙනෙකු අදාළ ක්‍රීඩාවේද දක්ෂයින් වුවත්, කිසියම් ක්‍රීඩාවක කුසලතා ඇති සියල්ලෝම ඉහළ වැටුප් ලබන ක්‍රීඩා පුහුණුකරුවෝ නොවෙති.

රැකියාවක් ලෙස ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩා පුහුණුකරුවෙකු වීම පුද්ගලයෙකු සතු විකල්ප රැකියා තේරීම් අතරින් එකක් පමණි. ඇතැම් අයෙකුට එය වඩාත්ම හොඳ තේරීමයි. එහෙත්, වඩා වටිනා වෙනත් කුසලතා ඇති අයෙකුට එය එසේ නොවන්නට පුළුවන.

ක්‍රීඩා අංශයෙන් විශාල දක්ෂතා දක්වා ඇති කැරින් ඩේවිස් විසින් නීතිඥ වෘත්තීය තෝරාගෙන ඇත්තේත්, එරික් හේඩන් විසින් වෛද්‍ය වෘත්තීය තෝරා ගෙන තිබෙන්නේත් ඔවුන්ට ක්‍රීඩාවට වඩා ඵලදායී ලෙස කළ හැකි වෙනත් වෘත්තීය ක්ෂේත්‍රයක් තිබුණු නිසාය. පීට් ෆෙන්සන් පීසා අවන්හලක් කරගෙන යන්නේත් ඒ හේතුව නිසාය.

සාර්ථක ගණකාධිකාරීනියක ලෙස මෑතක් වන තුරුම රැකියාව කළ ග්වෙන් ජෝර්ගෙන්සන් දැන් පූර්ණකාලීනව ක්‍රීඩාව වෙත යොමු වී සිටින්නී, ඇයට එසේ කිරීමෙන් වැඩි ආර්ථික හෝ ආර්ථික නොවන ප්‍රතිලාභ ලැබෙන නිසාය. ඩෙරික් පැරා ක්‍රීඩකයෙකු ලෙස විශාල දක්ෂතා දක්වා තිබියදීද ඔහුට හෝම් ඩිපෝ උද්‍යාන අංශයේ අර්ධකාලීන සේවකයෙකු ලෙස කටයුතු කිරීමට සිදුව තිබුණේ ඔහුගේ කුසලතාවන් ඊට වඩා වැඩි ආදායමක් ඉපැයිය හැකි රැකියාවක් කිරීමට ප්‍රමාණවත් නොවූ නිසාය. එහෙත්, කුසලතා සපුරා ගැනීමෙන් පසුව ඔහුට ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ඉදිරියට යන්නට හැකි විය.

කලාව හා කලාකරුවන් ගැනද ඉහත ආකාරයේ විශ්ලේෂණයක් කළ හැකිය. යමෙකු ක්‍රීඩාව මෙන්ම කලාවද ප්‍රධාන රැකියාව ලෙස තෝරාගත යුත්තේ එය තමන්ට වැඩිම කුසලතා ඇති, වැඩිම ඵලදායිත්වයක් පෙන්විය හැකි රැකියා ක්ෂේත්‍රය ලෙස පෙනෙන විටය. එයින් පසුව, ලැබෙන ආදායම ගැන සතුටු නැත්නම් කළ යුත්තේ අදාළ ක්ෂේත්‍රයේ හෝ වෙනත් ක්ෂේත්‍රයක කුසලතාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමයි.

'දිවා රැකියාවක් නොකරන්නෙකු හොඳ කලාකරුවෙකු නොවේ' වැනි අදහසක් ඇති ඇමරිකන් කියමනක් තිබේ. මෙයින් අදහස් වන්නේ හොඳ කලාකරුවෙකුට කලාව වෙනුවෙන් කැපවීමේදී ජීවත් වීම සඳහා වෙනත් රැකියාවක් කරන්නට සිදුවන බවයි. 'කලාකාරයා හැමදාමත් හිඟන්නෙක්' බවට ලංකාවේ ඇති අදහස මෙයට කිට්ටුය.

අඩුම වශයෙන් දේපොළ අයිතිවාසිකම් නිසි ලෙස ආරක්ෂා කෙරෙන, නිදහස් වෙළඳපොළක් ඇති සමාජයකදී, මෙය හොඳ කලාකරුවන්ගේ ප්‍රශ්නයක් නොවේ. තමන් හොඳ කලාකරුවන් කියා සිතා සිටින අයගේ ප්‍රශ්නයකි. හොඳ කලාකරුවෙකු හෝ හොඳ කලාකෘතියක් යනු රසිකයින්ගේ තේරීමක් මිස තමන් සිතා සිටින දෙය නොවේ. රසිකයින් යමෙක් ගැන එසේ නොසිතනවානම්, එවැන්නෙකු විනෝදාංශයක් ලෙස කලාව තෝරා ගත් අයෙකු පමණි. විනෝදාංශ යනු මුදල් වැය කළ යුතු දේ මිස මුදල් ඉපැයීම සඳහා කරන දේ නොවේ.



Saturday, June 17, 2017

ඔලිම්පික් පදක්කමක වටිනාකම කොපමණද?


ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි ඉහළම ජයග්‍රහණයකි. ඔලිම්පික් ජයග්‍රාහකයන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමි වන නමුත් ඒ පදක්කම් හදා තිබෙන්නේ අදාළ ලෝහ වලින්ම නොවේ.

ඔලිම්පික් රන් පදක්කමක රත්තරන් තිබෙන්නේ ග්රෑම් 6ක් පමණ හෙවත් 1.2% නොඉක්මවන ප්‍රමාණයක් පමණි. ඉතිරිය රිදී හා තඹ මිශ්‍රණයකි.

රිදී පදක්කමකනම් 92.5%ක් රිදී තිබේ. ඉතිරිය තඹයි. රන් පදක්කමක අඩංගු රිදී හා තඹ මිශ්‍රණයේ රිදී අනුපාතයද මෙයමය.

ලෝකඩ පදක්කමක 97%ක් පමණ තඹද, 2.5%ක් තුත්තනාගම්ද, 0.5ක් ටින් ලෝහයද අඩංගුය.

ඔලිම්පික් රන් පදක්කමක ලෝහ වටිනාකම ඇමරිකන් ඩොලර් 550ක් පමණද, රිදී පදක්කමක වටිනාකම ඩොලර් 300ක් පමණද, ලෝකඩ පදක්කමක වටිනාකම ඩොලර් 2ක් පමණද වේ.

ඔලිම්පික් පදක්කමක් දිනාගන්නා ක්‍රීඩකයෙකුට ඉහත පදක්කම් හැරුණු විට වෙනත් මුදල් ත්‍යාගයක් හිමි නොවේ. එහෙත්, බොහෝ රටවල ඔලිම්පික් කමිටු හෝ රජයයන් මඟින් ඔලිම්පික් පදක්කම් දිනා ගන්නා ක්‍රීඩකයින් දිරිගැන්වීම සඳහා යම් මුදල් ත්‍යාගයක් ප්‍රදානය කරයි.

අවසන් වරට ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළ සුසන්තිකා ජයසිංහට ඇගේ ලෝකඩ පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 5ක මුදල් ත්‍යාගයක් හිමි විය. මේ මුදල එවක පැවති විණිමය අනුපාතිකය අනුව ඇමරිකන් ඩොලර් 67,500ක පමණ මුදලකි.

මහජන පරිත්‍යාග මත යැපෙන ලාභ නොලබන සංවිධානයක් වන ඇමරිකන් ඔලිම්පික් කමිටුව විසින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලාභීන්ට පිළිවෙලින් ඇමරිකන් ඩොලර් 25000, 15000 හා 10000 බැගින් ලබා දෙයි. එහෙත්, මේ ත්‍යාග මුදල් වලින් සැලකිය යුතු කොටසක් ක්‍රීඩකයින් විසින් ආදායම් බදු ලෙස රජයට ගෙවිය යුතුය.

මේ අයුරින්ම කැනඩාවේ ක්‍රීඩක විශිෂ්ඨත්ව අරමුදල මඟින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලාභී කැනේඩියානු ක්‍රීඩකයින්ට  පිළිවෙලින් කැනේඩියන් ඩොලර් 20000, 15000 හා 10000 බැගින් ලබා දෙයි. මේ ත්‍යාග මුදල්ද ආදායම් බදු  වලට යටත්ය.

ඕස්ට්‍රේලියාවේ තත්ත්වයද මීට සමානය. ජයග්‍රාහක ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 20000, 15000 හා 10000 ලෙස ත්‍යාග මුදල් හිමි වේ.

එංගලන්තය ඔලිම්පික් ක්‍රීඩකයන්ට මෙවැනි ත්‍යාග මුදලක් පිරිනමන්නේ නැත.

ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් ක්‍රීඩකයෙකුට ලැබෙන මුදල් ත්‍යාගය එම රටවල ඒක පුද්ගල ආදායමට සාපේක්ෂව එතරම් විශාල නොවූවත්, ක්‍රීඩකයින් දිරි ගැන්වීම සඳහා මීට වඩා සැලකිය යුතු ලෙස විශාල මුදල් ත්‍යාග පිරිනමන රටවල්ද තිබේ. මෙවැනි රටවල් බොහොමයක් වැඩිපුර ඔලිම්පික් පදක්කම් නොලබන රටවල්ය. ඒ නිසා, ඔලිම්පික් ක්‍රීඩකයෙකුට වැඩි වාසි තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල නොව ඔලිම්පික් පදක්කම් වැඩිපුර නොලබන රටවලය.

සිංගප්පූරුව විසින් ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගන්නා එරට ක්‍රීඩකයෙකුට සිංගප්පූරු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව කලක සිට නිවේදනය කර තිබුණු අතර 2016 ඔලිම්පික් තරඟයේදී මුල් වලට ක්‍රීඩකයෙකු විසින් මේ ත්‍යාගය දිනා ගත්තේය, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ට සිංගප්පූරුව විසින් සිංගප්පූරු ඩොලර් 500,000 හා 250,000 බැගින් ප්‍රදානය කරයි. දන්නා තරමින් ඔලිම්පික් පදක්කම්ලාභීන්ට වැඩිම මුදල් ත්‍යාග ගෙවන රට සිංගප්පූරුවයි.

අසල්වැසි ඉන්දියාව විසින් මෙවර ඔලිම්පික් තරඟයේදී රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනාගන්නා ක්‍රීඩකයින්ට පිළිවෙලින් ඉන්දියානු රුපියල් ලක්ෂ 50, 30 හා 20 ලෙස ත්‍යාග මුදල් ලබා දෙන බව නිවේදනය කර තිබුණේය. ඉන්දියාවට මෙවර රිදී හා ලෝකඩ පදක්කම බැගින් ලැබුණත් රන් පදක්කමක් හිමි වුණේ නැත.

ඇතැම් ඔලිම්පික් පදක්කම්ලාභීන් විසින් ඔවුන්ගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසි කර තිබේ. බොහෝ විට මෙය කර ඇත්තේ කිසියම් පුණ්‍ය කටයුත්තක් සඳහා මුදල් ඉපැයීමටය. මේ වෙන්දේසි වලදී, ඔලිම්පික් පදක්කමක මිල බොහෝ විට තීරණය වී ඇත්තේ පදක්කම ලබාගත් වසර හා පදක්කම්ලාභියා කෙතරම් ප්‍රසිද්ධද යන්න මතය.

බර්ලින්හි පැවති 1936 ඔලිම්පික් තරඟයේදී ජෙසී අවන්ස් විසින් ලබාගත් ඔලිම්පික් රන් පදක්කමක් 2013දී ඇමරිකන් ඩොලර් 1,466,574 කට වෙන්දේසි වූ අතර දන්නා තරමින් මෙය ඔලිම්පික් පදක්කමක් වෙන්දේසි වී ඇති ඉහළම මිලයි. මළල ක්‍රීඩා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රීඩකයා ලෙස සැලකෙන අප්‍රිකානු ඇමරිකානුවෙක් වූ ජෙසී අවන්ස් විසින් 1936 බර්ලින් ඔලිම්පික් තරඟයේදී මිනිත්තු 45ක් තුළ ලෝක වාර්තා තුනක් තබමින්, ඔලිම්පික් රන් පදක්කම් හතරක් දිනාගත්තේය. ජෙසී අවන්ස්ගේ සුපිරි කාර්ය සාධනය එවකට ජනප්‍රියව පැවති හිට්ලර්ගේ ආර්ය විශිෂ්ඨත්වය පිළිබඳ ප්‍රවාදයට විශාල අභියෝගයක් වූ අතර ඒ හේතුවෙන් ඔහුට ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවිය. ඔහුගේ ඔලිම්පික් රන් පදක්කම මෙවැනි ඉහළ මිලකට වෙන්දේසි වීමට හේතුව වූයේ එයයි.

කලකට පසු සුසන්තිකා ජයසිංහ විසින් ලංකාවටද ඔලිම්පික් ජයග්‍රහණයක් ලබා දුන්, 2000 සිඩ්නි ඔලිම්පික් තරඟයේදී රන් පදක්කමක් දිනාගත් තවත් කළු ඇමරිකානුවෙකු වූ ඇන්තනී අර්වින් විසින් 2004 ආසියානු සුනාමියෙන් විපතට පත් වූවන්ට ආධාර පිණිස ඔහුගේ ඔලිම්පික් රන් පදක්කම ඊබේහි වෙන්දේසි කළ අතර එම පදක්කම ඇමරිකන් ඩොලර් 17,101කට වෙන්දේසි විය. ඉන්පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටි ඔහු පසුව නැවතත් පුහුණුවීම් කර 2016දී තවත් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත්තේය. මුල් පදක්කම නැතත් මේ දෙවන පදක්කම තවමත් ඔහු සතුව තිබේ.


සැබෑ ඔලිම්පික් පදක්කම් වලට සමාන අනුකරණ පදක්කම් ඒවායේ ලෝහ අගයට ආසන්න ඉතා අඩු මිලකට ඊබේහි විකිණේ. මෙවැනි අනුකරණ ඔලිම්පික් පදක්කමක් ඩොලර් විස්සකට තිහකට මිල දී ගත හැකිය. එහෙත්, සැබෑ ඔලිම්පික් පදක්කමක් වෙළඳපොළෙන් මිලදී ගැනීම එතරම් පහසු නොවන්නේ සිය පදක්කම විකුණන්නට ඉදිරිපත් වන ක්‍රීඩකයින් ඉන්නේ සීමිත ප්‍රමාණයක් බැවිනි. ඒ නිසා, සැබෑ ඔලිම්පික් පදක්කම් ඒවායේ ලෝහ අගයට වඩා ඉතා වැඩි මිලකට වෙළඳපොලේ අලෙවි වේ.

සැබෑ ඔලිම්පික් පදක්කම් ඒවායේ ලෝහ වටිනාකමට වඩා වැඩි මිලක් ගෙවා මිලදී ගන්නේ විනෝදාංශයක් ලෙස ඔලිම්පික් පදක්කම් එකතු කරන අයයි. වෙන්දේසිකරුවන්ගේ ඇස්තමේන්තු අනුව ලෝකයේ මෙවැනි අය පණහකට වඩා නැත. ඒ නිසා, ඔලිම්පික් පදක්කම් වෙළදපොළේ සැපයුම අඩු වුවත්, ඉල්ලුමද අඩුය. මේ හේතුව නිසා, විශේෂත්වයක් නැති සාමාන්‍ය ඔලිම්පික් පදක්කමක් ඉතා විශාල මිලකට අලෙවි වන්නේද නැත.

යූඑස්ඒටුඩේ විසින් වසර කිහිපයකට පෙර වෙන්දේසිකරුවෙකු හා සාකච්ඡා කිරීමේදී ප්‍රකාශ කර තිබුණු පරිදි විශේෂ ඓතිහාසික සිදුවීමකට සම්බන්ධ නැති රන්, රිදී හා ලෝකඩ ඔලිම්පික් පදක්කම් වෙන්දේසි වන සාමාන්‍ය මිල පිළිවෙලින් ඩොලර් 10000, 8000 හා 6000 පමණ වේ. මේ අනුව, ඔලිම්පික් ක්‍රීඩකයින් වැඩි දෙනෙකුට සිය පදක්කම් වෙන්දේසි කර ලබා ගත හැකි මුදල තමන්ගේ රටේ ඔලිම්පික් කමිටුවෙන් ලැබෙන ත්‍යාග මුදලට
වඩා අඩු මුදලකි.

(Image: http://www.marketwatch.com/story/olympic-gold-medals-come-with-big-cash----if-youre-from-one-of-these-countries-2016-08-10)

Friday, June 16, 2017

කලාකරුවන් මහජන ආධාර ඉල්ලීම වැරදිද?


මහලු වයසේ අසරණව හෝ රෝගාතුරව සිටින කලාකරුවෙකු වෙනුවෙන් මහජන ආධාර ඉල්ලා කෙරෙන ආයාචනා ගැන වරින් වර අපට අහන්නට ලැබේ. මේ අය අතරින් ඇතැම් අය තමන්ගේ "හොඳ කාලයේදී" හොඳට හම්බ කරගත් අයයි. එහෙත්, තමන්ගේ "හොඳ කාලයේදීත්" ජනප්‍රියත්වය තරමට මුදල් හම්බ නොකළ අයද මේ අතර සිටිති. එමෙන්ම, මේ ආකාරයෙන් මහජන ආධාර අපේක්ෂා කරන අය අතර කලාකරුවන් නොවන ප්‍රසිද්ධ පුද්ගලයින් මෙන්ම සමාජය දන්නා සුවිශේෂී දෙයක් කර නැති සාමාන්‍ය පුද්ගලයින්ද සිටිති.

ඉහත ආකාරයේ ඉල්ලීමක් කෙරුණු විට ලැබෙන ප්‍රතිචාර බොහෝ විට අන්ත දෙකකට බෙදීයයි. එක් අන්තයක සිටින අය වහාම ආධාර කිරීමට ඉදිරිපත් වන අතර, ඒ අන්තයේ සිටින ඇතැම් අය වෙනත් අය ආධාර දීමට පොළඹවමින් ආධාර එකතු කිරීමටද යොමු වේ. මෙසේ ආධාර දෙන හෝ එකතු කරන අය කලාකරුවන්ගෙන් සිදුවුණු සේවය වෙනුවෙන් යමක් කළ යුතුයැයි සිතන අයයි.

දෙවන අන්තයේ සිටින අය හිතන්නේ කලාකරුවන්ද තවත් එක් රැකියාවක් කරන පිරිසක් නිසා ඔවුන් සුවිශේෂී පුද්ගලයින් නොවන බවයි. එසේ සිතන බොහෝ දෙනෙක්, මේ කතාව ප්‍රසිද්ධියේ කියන්නට යනවා වෙනුවට සරල ලෙස මහජන ආධාර ඉල්ලීම නොතකා සිටින නමුත් තමන්ගේ විරෝධය එළිපිටම දක්වන අයද මේ දෙවන අන්තයේ සිටිති.

පැහැදිලිවම, කලාකරුවන් හා ක්‍රීඩකයින් වැනි අය කරන්නේ තවත් එක් රැකියාවකි. මේ රැකියාව ඔවුන්ගේ තේරීම වී තිබෙන්නේ එය ඔවුන්ට වඩාත්ම වාසිදායක රැකියාව නිසාය. වෙනත් විදිහකට කිවුවොත් පූර්ණ කාලීන කලාකරුවෙකුට හෝ ක්‍රීඩකයෙකුට වෙනත් රැකියාවක් කිරීමෙන් ඔවුන් ලබන වාසි ලැබිය නොහැකිය.

මෙහිදී, "වාසි" යන්නට මූල්‍යමය මෙන්ම මූල්‍යමය නොවන වාසිද ඇතුළත් වන නමුත්, බොහෝ පුද්ගලයින් හා සම්බන්ධව මූල්‍යමය වාසි පමණක් සැලකුවද තත්ත්වය මෙවැන්නකි. කලා ක්ෂේත්‍රයේ සිටින සැලකිය යුතු පිරිසක් පූර්ණ කාලීනව එය නොකර අර්ධකාලීනව කරන්නේ වෙනත් රැකියාවක් සඳහා කාලය යෙදවීම කලා කටයුතු වඩා වාසිදායක බැවිනි.

ප්‍රායෝගිකව මෙසේ දෙවන රැකියාවක් ලෙස කලා කටයුතු කරන බොහෝ දෙනෙක්ගේ පළමු රැකියාව ප්‍රමුඛ තේරීම වී තිබෙන්නේ එවැනි අය කලා කටයුතු වලදී කුසලතා අතින් දෙවන පෙල සිටීම නිසා නොව, ඔවුන් සතු මූල්‍යමය ලෙස වඩා වටිනා වෙනත් කුසලතා තිබීම නිසාය.

ක්‍රීඩා හෝ කලා කටයුත්තක යමෙක් පූර්ණකාලීනව යෙදුනද, අර්ධකාලීනව යෙදුණද එසේ කරන්නේ ඒ සඳහා ඔවුන් යොදවන කාලය වෙනුවෙන් වඩා වටිනා යමක් ලැබෙන බැවිනි. මේ අනුව, මෙවැනි කටයුතු බේකරියක පාන් හැදීම වැනි වෙනත් රැකියාවකින් වෙනස් නොවේ. ඒ අය, කරන්නේ සමාජ සේවයක්ය යන්න ඇත්තක් වුවත් ඒ වෙනත් රැකියාවක් කරන කෙනෙක් කරන්නේද සමාජ සේවයක්ය යන අර්ථයෙන් මිස සුවිශේෂී අර්ථයකින් නොවේ. බක්කරේ පාන් විකුණා මුදල් ලබාගන්නා අයුරින්ම කලාකරුවෝද තමන් හදන මොනවා හෝ දේ විකුණා මුදල් ලබා ගනිති.

ඇතැම් කලාකරුවන් විසින් මුදල් අය නොකර කරන දේවල්ද තිබේ. එහෙත්, එය එසේ වූ පමණින්ද කලාකරුවෝ සුවිශේෂී පුද්ගලයෝ නොවෙති. පොසොන් දවසේ බනිස් දන්සැල් දෙන බේකරි මුදලාලිලාද සිටිති. මේ අවස්ථා වලදී මුදල් ලාභයක් නොලැබුණත්, පුද්ගලයෙකු ජනහිතකාමී කටයුතු වල නිරත වන්නේද කිසියම් ආකාරයක වාසියක් බලාපොරොත්තුවෙනි.

මෙහිදී, විශේෂයෙන් සඳහන් කර යුතු කරුණක් වන්නේ ඇතැම් පුද්ගලයින් ජනහිතකාමී කටයුතු වල යෙදෙන්නේ අනාගත ආයෝජනයක් ලෙසින් බවයි. දැන් ප්‍රසිද්ධ දේශපාලනඥයින් වන ඇතැම් අය අසූව දශකයේ ටියුෂන් ගුරුවරු ලෙස කටයුතු කරන කාලයේදී අනාගත ආයෝජන ලෙස සලකමින් සිසුන්ට "ෆ්‍රී කාර්ඩ්ස්" බෙදීම උදාහරණයක් ලෙස සඳහන් කළ හැකිය. ඇතැම් කලාකරුවන්ගේ ජනහිතකාමී කටයුතුද මෙවැනි ආයෝජන වන්නට පුළුවන.

තමන්ගේ "හොඳ කාලයේදී" ඉපැයූ මුදල් නාස්ති කළ කලාකරුවෙකු මහලුව රෝගාතුර වීමෙන් පසු මහජන ආධාර ඉල්ලීමේ කිසිදු වරදක් නැත. සාමාන්‍යයෙන් එවැන්නන්ට ආධාර කිරීමට සුචරිතවාදී බැඳීමක් (moral obligation) සමාජයට නැතත්, මෙවැන්නෙකු කලකට පෙර ජනහිතකාමී කටයුතු වල ආයෝජනය කර තිබේනම් එවැනි සුචරිතවාදී  බැඳීමක් තිබෙන්නට කිසියම් ඉඩක් තිබේ. මහජන ආධාර ඉල්ලූ විට ලැබෙන ප්‍රතිචාර මේ පිළිබඳ පරීක්ෂාවකි.

ඉහත තත්ත්වය කලාකරුවන්ට පමණක් විශේෂ තත්ත්වයක් නොවේ. තමන්ට ජීවත් වන්නට පමණක් ප්‍රමාණවත් සුළු ලාබයක් තබාගෙන පාන් විකිණූ හා කුසගින්නේ සිටින අතේ සල්ලි නැති කෙනෙකුට නොමිලේ පාන්  ගෙඩියක් දෙන්නට කිසිවිටෙකත් නොපැකිලුණු බක්කරේ කෙනෙක් වුවද තමන්ගේ පාරිභෝගිකයින් තුළ මෙවැනි සුචරිතවාදී බැඳීමක් ඇති කර තිබෙන්නට ඉඩ ඇති අතර, තමන් අසරණ වූ අවස්ථාවක එවැනි ආයෝජනයක් මුදල් කිරීමට උත්සාහ කිරීම වරදක් නොවේ. මේ අවස්ථාවලදී මෙවැනි පුද්ගලයින් වෙත ආපසු ලැබෙන්නේ තමන් විසින් පෙර ආයෝජනය කළ "තමන්ට අයත්" දෙයකි.

කෙසේ වුවද, සියලුම කලාකරුවෝ ඉහත කී ආකාරයේ ජනහිතකාමී ආයෝජන කළ අය නොවෙති. එහෙත්, එවැන්නෝද මහජන ආධාර පතන අතර ඔවුන්ටද මහජන ආධාර ලැබේ. මෙය පැහැදිලි කරන්නේ කෙසේද?

නිදහස් වෙළඳපොළ ගනුදෙනුවකදී මිල ගෙවා භාණ්ඩයක් ලබා ගන්නා පාරිභෝගිකයින් සියලු දෙනාම එය කරන්නේ තමන්ට ලැබෙන වටිනාකම ගෙවන මිලට වඩා වැඩි නිසාය. තමන්ගේ පෞද්ගලික වටිනාකම හා මිල අතර වෙනස පාරිභෝහික අතිරික්තයයි. රුපියල් 70කට විකිණෙන පාන් ගෙඩියක පෞද්ගලික වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර අයෙකුට එය රුපියල් 75ක් වෙද්දී තවත් අයෙකුට රුපියල් 100ක් විය හැකිය. දැන් පළමුවන්නාගේ පාරිභෝගික අතිරික්තය රුපියල් 5ක්ද දෙවැන්නාගේ අතිරික්තය රුපියල් 25ක්ද වෙයි.

ඉහත උදාහරණයේදී මෙන් පාන් මිලදී ගන්නා පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු වෙත අතිරික්තයක් ඉතිරි වන අතර එය නිදහස් වෙළඳපොලක සාමාන්‍ය ස්වභාවය අනුව ඔවුන්ට ලැබෙන වාසියක් මිස බක්කරේගේ ජනහිතකාමය නිසා ලැබෙන්නක් නොවේ. බක්කරේ රුපියල් 70කට පාන් ගෙඩියක් විකුණන්නේ එසේ විකිණීමෙන් ඔහුට හෝ ඇයටද ලාභයක් ලැබෙන නිසාය. ඒ නිසා, නිදහස් වෙළඳපොලක සිදුවන ගනුදෙනුවකින් පසු කවුරුවත් කාටවත් ණය නැත.

භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකුගේ පාරිභෝගික අතිරික්තය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික වටිනාකම් අනුවය.

ආහාරයට ගැනීම සඳහා මිලදී ගන්නා පාන් ගෙඩියක පෞද්ගලික වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල ලෙස වෙනස් වන්නේ නැති වුවත් කලා කෘතියක පෞද්ගලික වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට ඉතා විශාල ලෙස වෙනස් වන්නට පුළුවන. ඒ නිසා, රුපියල් 700කට කිසියම් ගායකයෙකුගේ ගීත අඩංගු සීඩී තැටියක් මිල දී ගන්නා අයෙකුගේ පෞද්ගලික වටිනාකම රුපියල් 750 වන්නට මෙන්ම රුපියල් 7500ක් වීමටද පුළුවන. ඒ නිසා, කිසියම් ගායකයෙකුට හෝ ගායිකාවකට  විශාල ලෙස ප්‍රිය කරන රසිකයෙකුට තමන් ඔහුට හෝ ඇයට ගෙවා ඇති මුදලට වඩා විශාල වටිනාකමක් අදාළ ගායකයා හෝ ගායිකාව විසින් ලබා දී ඇති බව හැඟෙන්නට පුළුවන.

නිදහස් වෙළදපොළ ගනුදෙනුවකින් පසුව පාරිභෝගිකයෙකු සතු වන අතිරික්තය ඔහුට හෝ ඇයට අයිති දෙයක් වුවත් එවැන්නෙකුට අවශ්‍යනම් ස්වේච්ඡාවෙන් එයින් කොටසක් නිෂ්පදකයා වෙත ලබා දෙන්නට පුළුවන. උදාහරණයක් වශයෙන් ඔබට ගාලු මුවදොර සරුංගල් විකුණන්නෙකුට රුපියල් පන්සීයක් දී ඉතුරු තියාගන්නට කියා කියන්නට හෝ පොතක් එළිදක්වන අවස්ථාවක එහි මිලට වඩා වැඩි මිලක් ගෙවා එය මිලදී ගන්නට බැරිකමක් නැත. මෙසේ කිරීමේදී සිදුවන්නේ එක් අයෙකු අතේ ඇති සම්පතක් තවත් අයෙකු අතට සම්ප්‍රේෂණය වීම නිසා සමාජයට එයින් සිදුවන අයහපතක් නැත.

කලාකරුවෙකු හෝ ක්‍රීඩකයෙකු අසරණ වී සිටින අවස්ථාවක එවැන්නෙකුට ස්වේච්ඡාවෙන් උදවු කරන්නට ඉදිරිපත් වන අයට මූල්‍යමය අවාසියක් සිදු වුවත්, එසේ කිරීමෙන් එවැන්නෙකු ලබන සතුටේ වටිනාකම ඊට වඩා වැඩිය. මුදල් ලබන්නාට කොහොමටත් වන්නේ වාසියකි. එහෙත්, ඔබට අයිති ඔබේ මුදලක් වෙනත් අයෙකුට මෙසේ දීමෙන් ඔබට සතුටක් නොලැබේනම් ඔබ එය කළ යුතු නැත. එමෙන්ම, එසේ කරන අයට බාධා කළ යුතුද නැත.

කලාකරුවන් හෝ ක්‍රීඩකයින් රජයෙන් ආධාර ඉල්ලීමේදී සිදුවන්නේ මේ දෙයම නොවේ. මෙහිදී කවුරු හෝ දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙකු විසින් තීරණය කර කලාකරුවෙකු හෝ ක්‍රීඩකයෙකු වෙත ලබා දෙන්නේ තමන්ගේ පෞද්ගලික මුදල් නොවේ. බදු ගෙවන්නන්ගේ මුදල්ය. රටේ බදු ගෙවන්නන් අතර අදාළ කලාකරුවාට හෝ ක්‍රීඩකයාට ගෙවීමක් කිරීමේ අවශ්‍යතාවයක් නොදකින සැලකිය යුතු පිරිසක්ද සිටින බව අපට උපකල්පනය කළ හැකිය.

මෙතැනදී සිදුවන්නේ එවැන්නන්ගේ සාක්කුවේ ඇති මුදල් රජය විසින් බලහත්කාරයෙන් උදුරාගෙන අදාළ කලාකරුවාට හෝ ක්‍රීඩකයාට දෙනවාට සමාන දෙයකි. අදාළ මුදල තමන්ගේ අතින් ගෙවීමට අකැමැති විශාල පිරිසක් රටේ සිටීනම් එවැනි ක්‍රියාවක සමාජ යහපත සෘණ අගයක් වන්නට වුවද පුළුවන.

Wednesday, June 14, 2017

මළවුන්ගේ නොමැරුණු ගිණුම්


දින කිහිපයකට පෙර, ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත නවලෝක පෞද්ගලික රෝහලේදී අභාවප්‍රාප්ත විය. රෝහල් බලධාරීන් විසින් ඔහුගේ දේහය නිදහස් කර තිබුණේ, මසක් ඇතුළත රුපියල් ලක්ෂ 25ක නොපියවූ රෝහල් බිල ගෙවන බවට පවුලේ සාමාජිකයින්ගෙන් ලිඛිත පොරොන්දුවක් ලබාගැනීමෙන්  පසුවය. ගායක කීර්ති පැස්කුවල් විසින් ඒ සඳහා මහජන උදවු ඉල්ලමින් ඔහුගේ වත්පොතේ සටහනක් පළකර තිබුණු අතර ඇතැම් අය මේ වෙනුවෙන් දායක වීමට ඉදිරිපත් වී සිටියේය.

ලංකාවේ පෞද්ගලික රෝහල් වල මිය යන පුද්ගලයින්ගේ දේහයන් රෝහල් බලධාරීන් විසින් අදාළ බිල ගෙවන තුරු නිදහස් නොකර සිටි අවස්ථා ගණනාවක්ම මීට පෙර
වාර්තා වී තිබුණේය. මේ අවස්ථාවේදී නවලෝක රෝහල එසේ නොකර ලිඛිත පොරොන්දුවක් ගෙන ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ දේහය නිදහස්  කිරීමේදී ඔහු ජනප්‍රිය පුද්ගලයෙකු වීමද සලකා බැලුවා විය හැකිය.

නවලෝක රෝහලේ 2015/16 වාර්ෂික වාර්තාව අනුව 2015 අවසාන වන විට ලංකාවේ පෞද්ගලික රෝහල් 241ක් ලියාපදිංචි කර තිබී ඇති අතර රෝහල් ඇඳන් ගණන 5,883කි. බටහිර වෙදකම කරන රජයේ රෝහල් 610ක් තිබී ඇති අතර ඇඳන් ගණන 76,781කි.

ඉහත සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන පරිදි ලංකාවේ (බටහිර වෙදකම කරන) මුළු රෝහල් ගණනින් 28.3%ක් පෞද්ගලික රෝහල් වන නමුත් රෝහල් ඇඳන් ප්‍රමාණයෙන් 92.9%ක්ම තවමත් තිබෙන්නේ රජයේ රෝහල් වලය.
මෙයින් ලංකාවේ පෞද්ගලික රෝහල් සඳහා ඇති ඉල්ලුමේ ස්වභාවය ගැන ඉඟියක් ලබාදෙයි.

ලංකාව නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති රටකි. ඕනෑම ආදායම් මට්ටමක කෙනෙකුට රජයේ රෝහල් වලින් මුදල් නොගෙවා සෞඛ්‍ය සේවාවන් ලබා ගත හැකිය.
රජයේ රෝහල් වලින් සෞඛ්‍ය සේවාවන් ලබා නොගත්තද, මේ නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාවන්හි පිරිවැය රටේ සියලු දෙනා විසින්ම දැරිය යුතුය.

මා දන්නා තරමින් ලංකාවේ පෞද්ගලික රෝහල් සියල්ලම ලාභ ලබන ව්‍යාපාරයි. එම රෝහල් මඟින් ලබා දෙන සේවාවන් වල පිරිවැය මෙන්ම ඒ මත එකතු කෙරෙන ලාභ ආන්තිකයක්ද එම රෝහල් වලින් සේවාවන් ලබා ගන්නා පුද්ගලයින්ගෙන් අය කෙරේ.
නිදහස් සෞඛ්‍ය සේවයක් නැති ඇමරිකාවේ ඇති රෝහල් 5,564ක් අතරින්ද, ලාභ තකා පවත්වාගෙන යන රෝහල් ප්‍රමාණය 1,034ක් හෙවත් 18.6%ක් පමණි. 

ලංකාවේ රජයේ රෝහල් වල මෙන්ම පෞද්ගලික රෝහල් වලද ඇඳන් හිස්ව තිබීම සාමාන්‍ය තත්ත්වයක් නොවේ. මෙයින් පෙනෙන්නේ සෞඛ්‍ය සේවා සැපයුම තවමත් තිබෙන්නේ ඉල්ලුම සැපිරෙන මට්ටමට අඩුවෙන් බවයි. එසේනම්, මේ කර්මාන්තයේ සාමාන්‍ය ලාභ ඉක්මවන සුපිරි ලාභ තිබිය යුතුය. අළුතින් ආරම්භ කෙරෙන පෞද්ගලික රෝහල් වලින් තහවුරු කෙරෙන්නේද මේ කරුණයි. කර්මාන්තයේ ස්වභාවය අනුව, මේ සුපිරි ලාභ හිමිවන්නේ කොටස් හිමියන්ට නොවන්නට පුළුවන.
 
ලංකාවේ පෞද්ගලික වෛද්‍ය සේවා සඳහා වන ඉල්ලුම දෙස බැලීමේදී මතුවන පළමු ප්‍රශ්නය වනුයේ කිසියම් පුද්ගලයෙකු තමන්ට "නොමිලේ" ලබා ගත හැකි දෙයක් මුදල් ගෙවා ලබා ගන්නේ ඇයිද යන්නයි. රජයේ හා පෞද්ගලික රෝහල් වලින් ලැබෙන්නේ එකම දෙයනම් කිසිවකුට මුදල් ගෙවා පෞද්ගලික රෝහලකට යාමට අවශ්‍යතාවයක් නැත. එසේ තිබියදී, පෞද්ගලික රෝහල් එන්න එන්නම ජනප්‍රිය වීමෙන් පෙනෙන්නේ ගෙවන මුදලට සරිලන කිසියම් "අමතර දෙයක්" පෞද්ගලික රෝහල් වලින් ලැබෙන බවයි. මේ අමතර දෙය වඩා සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර, වඩා ඉක්මන් ප්‍රතිකාර, වඩා හොඳ පාරිභෝගික සේවාවන් හෝ වෙනත් යමක් විය හැකිය.

රට පුරා හන්දියක් හන්දියක් ගානේ ඇති බටහිර වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රමාණය කොතරම්දැයි මා නොදන්නා නමුත් 20,000කට ආසන්න ලියාපදිංචි බටහිර වෛද්‍යවරුන්ගෙන් 90%ක්වත්, පෞද්ගලිකව, මුදල් අයකර ප්‍රතිකාර සපයන බව හා මේ වන විට සාමාන්‍ය ලෙඩකට ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රතිකාර ගන්නේ රජයේ රෝහල් හා වෛද්‍යශාලා වලින් නොවන බව මගේ අදහසයි. සුළු ලෙඩකට රජයේ රෝහලකට යන්නේ සීමිත පිරිසකි. පෞද්ගලික රෝහල් එන්න එන්නම ව්‍යාප්ත වන්නේ මේ ඉල්ලුම හමුවේය.

කෙසේවුවද, ලොකු ලෙඩකදී හැසිරෙන ආකාරය මෙයම නොවේ. දීර්ඝකාලීනව නේවාසිකව ප්‍රතිකාර ගත යුතු අවස්ථාවක තවමත් ලංකාවේ බොහෝ දෙනෙකුගේ තේරීම රජයේ රෝහලකි. රටේ රෝහල් වලින් 28.3%කම පෞද්ගලික රෝහල් වුවත් එම රෝහල් සතු රෝහල් ඇඳන් ගණන මුළු ප්‍රමාණයෙන් 7.1%ක් පමණක් වන්නේ මේ හේතුව නිසාය.

දීර්ඝකාලීනව නේවාසිකව ප්‍රතිකාර ගත යුතු අවස්ථා වලදී බොහෝ දෙනෙකුගේ තේරීම රජයේ රෝහලක් වන්නේ එවැනි අවස්ථාවලදී පෞද්ගලික රෝහල් වලින් "අමතර දේවල්" නොලැබෙන නිසා නොවේ. මේ අමතර දේවල් වෙනුවෙන් වැය කළ යුතු අමතර මුදල ලැබෙන අමතර දේවල් වල වටිනාකමට වඩා වැඩි නිසාය. ඒ නිසා, තවමත්, දීර්ඝකාලීනව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වූ විටක පෞද්ගලික රෝහලක් තෝරාගන්නේ ඉහළ මධ්‍යම පාන්තිකයින්ය.

ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ නොපියවූ රෝහල් බිල රුපියල් ලක්ෂ 25ක් ලෙස ඉතිරිව ඇත්තේ රුපියල් ලක්ෂ 125ක් පමණ රෝහල් ගාස්තු ලෙස ගෙවීමෙන් පසුවය. මෙය විශාල මුදලකි. මෙවැනි විශාල මුදලක් එකවර ගෙවීම ඉහළ මධ්‍යම පාන්තිකයෙකුට වුවද පහසු නැත.

යමෙක් ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් වන බොහෝ විට තමන්ට ඉහත ආකාරයේ විශාල මුදලක් ගෙවන්නට සිදුවිය හැකි බව උපකල්පනය කරන්නේ නැත. සෞඛ්‍ය සේවාවක් වෙනත් පාරිභෝගික භාණ්ඩයකින් හෝ සේවාවකින් වෙනස් වන එක් ප්‍රධාන තැනක් වන්නේ තමන් මිලදී ගන්නට යන දෙය ගැන පාරිභෝගිකයා හරියටම නොදැන සිටීම නිසා ඇති වන තොරතුරු අසමමිතියයි. සෞඛ්‍ය රක්ෂණ ඇති වී තිබෙන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙනි.

ලාභ ලබන හෝ ලාභ නොලබන ව්‍යවසායයක් ලෙස රෝහලක් පවත්වාගෙන යන්නෙකුට නොපියවන බිල්පත් විශාල ප්‍රශ්නයකි. ඇමරිකාවේ රෝහල් බිල්පත් වලින්ද 4-6% අතර ප්‍රමාණයක් නොපියවෙන අතර 2015 වසරේදී මෙසේ නොපියැවුණු බිල්පත් වල වටිනාකම ඩොලර් බිලියන 35.7ක් විය. අවසාන වශයෙන් මේ නොපියවන බිල්පත් වල බර වැටෙන්නේ එවැනි රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා අනෙක් පාරිභෝගිකයින් මතය.

අනෙක් අතට, තමන් රෝගී වන්නේ කොයි වේලාවේද යන්න කිසිවකු හරියටම දන්නේ නැත. යමෙක් හදිසියේ රෝගාතුර වූ විට විශාල වියදමක් දරන්නට සිදුවිය හැකිය. ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවක් තිබෙන බව ඇත්තක් වුවත්, වියදම් කිරීමේ හැකියාවක් තිබේනම් බොහෝ දෙනෙකුගේ තේරීම වන්නේ පෞද්ගලික රෝහලකි. මෙය ප්‍රායෝගිකව පෙනෙන්නට තිබෙන තත්ත්වයයි.

හොඳ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් පැවතීම රෝගීන්ට මෙන්ම රෝහල්වලටද වාසිදායකය. එමඟින් රෝගීයෙකුට (හෝ රෝගියෙකුගේ සමීපතමයින්ට) එකවර විශාල මුදලක් ගෙවන්නට සිදුවීමේ අවදානම නැති වන අතර රෝහල් සේවා සපයන්නන්ට සිය බිල්පත් පියවගැනීමේ අවදානම නැති වේ. කෙසේවුවද, මෙවැනි විශාල මුදලක් අවශ්‍ය වන විටකදී ලංකාවේ සෞඛ්‍ය රක්ෂණ සේවාවන් එතරම් ප්‍රයෝජනවත් නොවන බව බොහෝ දෙනෙකු දන්නා දෙයකි. 



ලංකාවේ සෞඛ්‍ය රක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපාරික ආකෘතිය එතරම් සාර්ථක බවක් නොපෙනේ. මෙයට හේතුවද, අවශ්‍ය තරම් වේගයෙන් පෞද්ගලික රෝහල් බිහි නොවීමට හේතු වන සුවිශේෂී තත්ත්වයමය. සෞඛ්‍ය සේවා සැපයීමේ කර්මාන්තය තුළ ලාභ වලට බලපාන තීරණ ගැනීම බලය තිබෙන්නේ ආයෝජකයින්ට වඩා වෛද්‍ය වෘත්තිකයින් අතේය. ඒ නිසා කර්මාන්තයේ සුපිරි ලාභ සාමාන්‍ය ආයෝජකයින් අතට පත් නොවී සැඟව යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය වෘත්තිකයෙකු නොවන සාමාන්‍ය ආයෝජකයෙකු ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට දක්වන්නේ අඩු නැඹුරුවකි.


ලංකාවට ගැලපෙන සෞඛ්‍ය රක්ෂණ සේවා ආකෘතියක් වන්නේ පෞද්ගලික රෝහල් විසින්ම එවැනි සේවා සැපයීමයි. ප්‍රධාන පෞද්ගලික රෝහල් වලට ඉහළ මධ්‍යම පන්තිය ඉලක්ක කරමින් මෙවැන්නක් නියාමක ව්‍යාපෘතියක් ලෙස අත්හදා බලන්නට පුළුවන. මෙ
වට්ටම් සාමාජික ක්‍රමයක් (Discount membership) ලෙස වුවද ක්‍රියාත්මක කළ හැකිය.  උදාහරණයක් ලෙස, වාර්ෂික සාමාජික ගාස්තුවක් අයකර ඒ වෙනුවෙන් වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයක්, තමන්ගේ රෝහලෙන් ලබා දෙන සේවාවන් සඳහා සැලකිය යුතු වට්ටමක් හා උපරිම වියදම් සීමාවක් සහිත පැකේජයක් ඉදිරිපත් කළ හැකිය.

මෙවැන්නක් කිරීමෙන් පෞද්ගලික රෝහලකට කිසියම් පාරිභෝගික පිරිසක් තමන්ගේ රෝහල තුළම රඳවා ගත හැකිය. ලැබෙන වට්ටම නිසා මේ පිරිස වෙනත් රෝහලකට නොයනු ඇත. පුළුල් වෛද්‍ය පරීක්ෂණයක් කරන්නේනම් බොහෝ රෝග තත්ත්වයන් කලින් හඳුනා ගත හැකි නිසා ඉල්ලුම් කළමණාකරණය පහසු වේ. උපරිම වියදම් සීමාවක් ඉදිරිපත් කිරීම නිසා ඇතැම් රෝගීන්ගේ වියදම ආවරණය නොවූවත්, සමස්තයක් ලෙස මේ ආවරණය කර ගන්නට පුළුවන. 


කර්මාන්තයක් ලෙස පෞද්ගලික රෝහල් යොමු විය යුත්තේ මැරෙන්න වැටුණු ලෙඩුන් ටික දෙනක් මරාගෙන ආදායම් ඉපැයීමට නොව වැඩි දෙනෙකුගේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට හා එමඟින් ආදායම් ඉපැයීමටය. අනෙක් අතට, අඩුම වශයෙන් වියදම් කිරීමේ හැකියාවක් ඇති අයට, මැරෙන්නම වැටෙන්නට පෙර තමන්ගේ සෞඛ්‍යය ගැන හිතන්නට හා ආයෝජනයක් කරන්නට මෙන්ම රෝග තත්ත්වයන් කලින් හඳුනා ගන්නට රෝහලකින් මිලදී ගන්නා සෞඛ්‍ය සේවා පැකේජයකින්  ඉඩ සැලසේ.

ආර්ථිකයේ කවර ප්‍රශ්න තිබුණත් පසුගිය දශක දෙක තුන තුළ ලංකාවේ ඒක පුද්ගල ආදායම කිහිප ගුණයකින් වැඩි වී ඇති අතර සල්ලි වියදම් කළ හැකි සැලකිය යුතු පිරිසක් රටේ සිටිති. ඒ නිසා, රජය, පුද්ගලික අංශය මෙන්ම තනි පුද්ගලයින් විසින්ද සැලසුම් සකස් කළ යුත්තේ කාලයකට පෙර භාවිතා කළ "ඌන සංවර්ධිත" ආකෘති වල හිරවී සිටිමින් නොව රටේ ක්‍රමික ආදායම් ඉහළ යාමට ගැලපෙන සමාජ පරිවර්තන දිරිගන්වමිනි.


(Image: SARIGAMA.LK)

Monday, June 12, 2017

කටාර් අර්බුදය


කටාර් රාජ්‍යය හා අසල්වැසි රටවල් කිහිපයක් අතර ඇති වී තිබෙන රාජ්‍යතාන්ත්‍රික අර්බුදය ගැන යමක් ලියන මෙන් පාඨකයින් දෙදෙනෙකු විසින් ඉල්ලා තිබේ. තවත් බොහෝ දෙනෙකු මේ වෙලාවේ කටාර් වල සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටින බව නිසැකය.

පළමුවම කියන්නට තිබෙන්නේ මේ හා අදාළව සීරියස් මට්ටමේ විග්‍රහයක් කරන්නට තරම් ඉකොනොමැට්ටා විශේෂඥයෙක් නොවන බවයි. විශේෂඥයෙක් නොවනවාට අමතරව ඉකොනොමැට්ටා පසුගිය දින තුනේ සංචාරයක යෙදී සිටින අතරතුර මේ සිදුවීම හා අදාළව එහෙන් මෙහෙන් දුටු පුවත් හැර ලිපියක් ලියන්නට තරම් විශේෂ හැදෑරීමක් හෝ කර නැත.

විශේෂඥතාවයක් හෝ වැඩිපුර දැනුමක් නැතත් මැද පෙරදිග කලාපයේ වෙන්නේ කුමක්ද යන්න ගැන ඉකොනොමැට්ටාට යම් උනන්දුවක් තිබේ. පාඨක ඉල්ලීම එකහෙලාම බැහැර නොකර ඉකොනොමැට්ටාගේ නිරීක්ෂණ කිහිපයක් සටහන් කරමින් ලිපියක් ලියන්නට තීරණය කළේ එබැවිනි.

මේ වන විට බොහෝ දෙනෙක් දන්නා පරිදි සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා බහරේන් ඇතුළු මුස්ලිම් රටවල් කිහිපයක් විසින් කටාර් රාජ්‍යය සමඟ වූ තානාපති සබඳතා අත් හරිමින් එම රටවලට අයත් භූමියට හෝ අහසට ඇතුළු වීම කටාර් වැසියන්ට තහනම් කර තිබේ. එම රටවල සිටින කටාර් ජාතිකයින්ටද වහාම ඉවත් වන මෙන් නියෝග කර තිබේ.

කටාර් රාජ්‍යය භූමි ප්‍රමාණය අනුව ලංකාවේ ප්‍රමාණය මෙන් පහෙන් එකක්වත් නැති කුඩා රටකි. එහි ජීවත්වන මුළු ජනගහණය මිලියන දෙකහමාරක් පමණ වුවත් ඒ අතරින් කටාර් ජාතිකයින් ගණන අටෙන් එකකටත් අඩුය. සෑම කටාර් ජාතිකයින් පස් දෙනෙකුටම ඉන්දියානුවන් දහ දෙනෙකුත්, බංග්ලාදේශ ජාතිකයින් හතර දෙනෙකුත් ශ්‍රී ලාංකිකයින් හා පකිස්තානුවන් දෙදෙනා බැගිනුත් වෙනත් විදේශිකයින් විස්සකට වැඩි ගණනකුත් එහි ජීවත් වෙති. කටාර්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය සිංහල බ්ලොග්කරුවෝ කිහිපදෙනෙක්ම වෙති.

ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයින්ගේ ගමනාන්ත අතර සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැරුණු විට ජනප්‍රියම ගමනාන්තය කටාර් රාජ්‍යයයි. එහි ශ්‍රී ලාංකිකයෝ 125,000ක් පමණ සේවය කරති. මගේ දළ ඇස්තමේන්තුව අනුව ලංකාවට වාර්ෂිකව ලැබෙන ඩොලර් බිලියන හත ඉක්මවන විදේශ ප්‍රේෂණ වලින් යටත් පිරිසෙයින් 10%ක් පමණවත් පැමිණෙන්නේ කටාර් රාජ්‍යයෙන් විය යුතුය.

කටාර් රාජ්‍යය එමීර් වරයෙකුගේ පාලනය යටතේ ඇති, ඉස්ලාමික ෂරියා නීතිය ක්‍රියාත්මක වන රටකි. රටේ බහුතරය සුන්නි මුස්ලිම් වරුන්ය. කටාර් ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම තෙල් හා ස්වභාවික වායු සම්පත් මත රඳා ඇති රටකි. ක්‍රය ශක්ති සාම්‍ය පදනම මත ලෝකයේ ඉහළම ඒක පුද්ගල ආදායම ලබන්නේ කටාර් ජාතිකයින්ය.

කුඩා රාජ්‍යයක් වුවත්, සිය ආර්ථික ශක්තිය මත පදනම්ව කටාර් රාජ්‍යය මැදපෙරදිග කලාපයේ පමණක් නොව ලෝකයේ අනෙකුත් රාජ්‍ය අතරද හිස ඔසොවාගෙන සිටී. අල් ජසීරා පුවත් සේවය බටහිර ජනමාධ්‍ය සමඟ හරි හරියට තරඟ කරන අතර, කටාර් ගුවන් සේවය ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන් සේවයකි.

මැද පෙරදිග කලාපය ලෝකයේ ගැටුම් වැඩිම කලාපයකි. එහි පසුගිය අඩසියවසක පමණ කාලය තුළ සිදු වූ ගැටුම් වලින් බොහොමයක් ඊශ්‍රායලය හා අරාබි රාජ්‍යයන් අතර ගැටුම්ය. ඊශ්‍රායලය සම්බන්ධ නොවුණු, අරාබි රටවල් අතර වූ ගැටුම් බොහොමයක් සුන්නි හා ෂියා මුස්ලිම්වරුන් අතර සිදුවූ බල අරගල ලෙස පුළුල් වශයෙන් හැඳින්විය හැකිය.

මෙවර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයේ එක් කැපී පෙනෙන වෙනසක් වන්නේ අරාබි ලෝකයේ සුන්නි-ෂියා භේදය වෙනුවට අළුත් බෙදුම් ඉරක් ඇඳී තිබීමයි. මෙය පසුගිය වසර දෙක තුන තුළ වර්ධනය වූ අලුත් තත්ත්වයකි.

සාමාන්‍ය පිළිගැනීම අනුව ෂියා මුස්ලිම්වරුන් සුන්නි මුස්ලිම්වරුන්ට වඩා මූලධර්මවාදීය. එහෙත්, ෂියා මුස්ලිම්වරුන් අතර මෙන්ම සුන්නි මුස්ලිම්වරුන් අතරද අන්තවාදීන් මෙන්ම මධ්‍යස්ථ මතධාරීහුද සිටිති. සවුදි අරාබිය ඇතුළු රටවල් කටාර් රාජ්‍යයට එල්ල කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ අවිගත් ඉස්ලාමික කණ්ඩායම් වලට උදවු කරන බවයි. එහෙත්, මේ කරුණ හා අදාළව මෙසේ චෝදනා නගන අයද පිරිසිදු දෑත් ඇත්තන්යැයි පැවසිය නොහැකිය.

ෂියා මෙන්ම සුන්නි මුස්ලිම් රාජ්‍යයන්ටද ව්‍යාප්තිවාදී අපේක්ෂාවන් තිබේ. මෑතකාලීනව මේ අපේක්ෂාවන් වඩාත් මතු වී ඇත්තේ බටහිර සංස්කෘතියේ හා දේශපාලන ව්‍යාපෘතීන්හි ඒකාධිකාරයට ප්‍රතිරෝධයක් වශයෙනි. ලෝක දේශපාලනය තුළ සමාජවාදයේ භූමිකාව අවලංගු වී යාමත් සමඟ එමඟින් ඇති කළ රික්තකය, අඩු වශයෙන් මැද පෙරදිග කලාපය තුළදී, පුරවනු ලැබුවේ ඉස්ලාමික දේශපාලනය විසිනි.

මේ වන විට මැදපෙරදිග අරාබි රටවල් ඔවුන්ගේ දේශපාලනය අනුව වෙන් කෙරෙමින් ඇඳී ඇති බෙදුම් ඉරේ පදනම සුන්නි ෂියා භේදය නොවේ. එහි පදනම ඉස්ලාමික සංස්කෘතිය හා බටහිර සංස්කෘතිය අතර ගැටුම තුළ ඉස්ලාමික සංස්කෘතිය ව්‍යාප්ත කිරීමේ ප්‍රසස්ථ ක්‍රමවේදය හා අදාළ වූවකි.

සවුදි අරාබිය ප්‍රධාන කණ්ඩායම මෙහිදී අනුගමනය කරන්නේ බටහිර සංස්කෘතිය සමඟ සෘජු ගැටුමකට නොයමින්, උපක්‍රමික ලෙස ව්‍යාප්ත වීමේ ක්‍රමවේදයයි. ඔවුන්ගේ ගණන් බැලීම් අනුව බටහිර සංස්කෘතිය හා ඉස්ලාමික සංස්කෘතිය අතර සෘජු ගැටුමකින් අවසන් වශයෙන් ඔවුන්ට පරාජය හිමිවන්නට ඉඩ ඇති බැවින් බටහිර සංස්කෘතිය සමඟ සහයෝගීතාවය පවත්වා ගනිමින් සිය ආර්ථික ශක්තිය තවදුරටත් වර්ධනය කර ගැනීම හා එමඟින් අවසාන වශයෙන් බටහිර සංස්කෘතියට හා ඒ මත පාදක වූ දේශපාලනයට අභියෝග කිරීම ඔවුන්ගේ උපාය මාර්ගය බව පෙනේ.

මේ උපාය මාර්ගය අනුව කටයුතු කරමින්, බටහිර දැනුම, තාක්ෂනය, මානව සම්පත් ආදිය ප්‍රයෝජනයට ගන්නා ඔවුහු බටහිරින් ලබා ගන්නා දෙයින් පෝෂණය වන අතර තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් පවත්වා ගනිමින් හා ව්‍යාප්ත කරමින් බටහිර සංස්කෘතිය අභ්‍යන්තරයෙන් ඛාදනය කරති. බටහිර සංස්කෘතික ආධිපත්‍යය ඇති රටවල ඉස්ලාමික සංස්කෘතිය ප්‍රමුඛ වූ "පොකට්" හදා ගැනීමට හැකි වී තිබෙන්නේ බටහිර සංස්කෘතිය සමඟ සෘජු ගැටුමකට නොයෑමේ උපක්‍රමික වාසි පෙන්වා දෙමිනි.

බෙදුම් ඉරෙන් අනෙත් පැත්තේ ඉන්නේ, යුදමය අරුතකින් නොවූවත්, බටහිර සංස්කෘතිය සමඟ සෘජුව මුහුණට මුහුණ ගැටෙන්නට අදහස් කරන කොටසයි. මේ රටවල ප්‍රවේශය ඉස්ලාමික සන්නද්ධ කණ්ඩායම් වලට වඩා අනුකම්පා සහගත එකක් වුවත් බෙදීමේ සැබෑ පදනම වන්නේ මුල් කරුණ මිස මේ දෙවන කරුණ නොවේ. බටහිර ක්‍රමවේද බැහැර කර තමන්ගේම ක්‍රමවේද අනුගමනය කිරීමෙන් බටහිර සංස්කෘතිය පසු බැස්විය හැකි බව ඔවුහු සිතති. යුදමය අරුතකින් මුහුණට මුහුණ නොවන පහරදීම් යනු සංස්කෘතික අරුතකින් මුහුණට මුහුණ ගැටීමක් වන්නේ එසේය.

බටහිර සංස්කෘතිය සමඟ සහයෝගය පවත්වා ගන්නට යාම තුළ යම් තරමකින් හෝ ඉස්ලාමික සංස්කෘතිය මුළුමනින්ම දියවී යාමේ අනතුරද තිබේ. එමෙන්ම, ඓතිහාසිකව, හැම විටකම වාගේ, ඉස්ලාම් සංස්කෘතිය ව්‍යාප්ත වී ඇත්තේ වෙනත් සංස්කෘතීන් සමඟ මුහුණට මුහුණ සෘජුව ගැටීමෙන් මිස සහයෝගයෙන් කටයුතු කිරීමෙන් නොවේ. දෙවන කාණ්ඩයේ සිටින්නන් සිතනවා ඇත්තේ මේ ආකාරයෙන් විය යුතුය.

දෙවන කණ්ඩායමේ උපාය මාර්ගයන් නිසා පළමු කණ්ඩායමේ උපාය මාර්ගයන් විශාල ලෙස අර්බුදයට ගොස් තිබේ. දශක ගණනක් යුරෝපීය රටවලට ප්‍රශ්නයක් නොවූ බුර්කා හා සංක්‍රමණිකයන් මෑතකාලීනව ලොකු ප්‍රශ්න ලෙස පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ එබැවිනි. ඒ නිසා, බටහිර සංස්කෘතිය සමඟ උපාය මාර්ගික සහයෝගීතාවයක් පවත්වා ගනිමින් සිටි කණ්ඩායම් වලට, එසේ නැතිව මුහුණට මුහුණ සටන් කරන්නට සැරසෙන කණ්ඩායම් මේ වන විට විශාල තර්ජනයකි. මෙය ෂියා-සුන්නි භේද ඉක්මවන වෙනත් තලයක සිදුවන ගැටුමකි. සුන්නි සවුදි අරාබියට ෂියා බහරේනය හා එක්ව සුන්නි කටාර් රාජ්‍යයට සම්බාධක පැනවිය හැකි වන්නේ එබැවිනි.

මේ අනුව, මෙය එක පැත්තකින් මේ වන විට බටහිර සංස්කෘතික ආධිපත්‍යයට විශාලම අභියෝගය වී ඇති ඉස්ලාමික සංස්කෘතිය තුළ අරමුණු වශයෙන් එකම තැන සිටියත් උපාය මාර්ගික ලෙස බෙදී සිටින පාර්ශ්ව දෙකක් අතර ගැටුමකි. එය ලෝක දේශපාලනය තුළ සිදුවෙමින් පවතින සංස්කෘතික ගොනුවීම් හා බෙදීම් පිළිබඳව ඉඟි සපයයි.

දෙවනුව, මෙය ලෝක දේශපාලනය තුළ සිදුවෙමින් පවතින කලාපීය ගොනුවීම් පිළිබඳ කතාවකි. ලෝක දේශපාලනයේ වත්මන්  ප්‍රවණතා අතර දෙවැන්න වන්නේ කලාපීය බලවතුන් ඉස්මතු වීම හා කුඩා රටවලට මේ කලාපීය දේශපාලනයට අනුගත වන්නට සිදුවීමයි. කටාර් රාජ්‍යය සිය අසල්වැසි කලාපීය බලවතා වන සවුදි අරාබිය නොසලකා හැර නැතත්, ඉරානය ඇතුළු පසමිතුරු බලවේග සමඟද සහයෝගීතාවය පවත්වාගනිමින් ස්වාධීනව සිටීමට උත්සාහ කළේය. එය පහසු කටයුත්තක් නොවන බව පවතින දේශපාලන යථාර්තය විසින් පෙන්වා දෙයි.

මෙය ලංකාවටද අදාළ තත්ත්වයකි. ලංකාව විසින් ඉන්දියාව, චීනය හා බටහිර රටවල් "බැලන්ස් කරන" බව, කලින් එසේ කළ බව, හෝ එසේ කළ යුතු බව කියන බොහෝ දෙනෙක් සිටිති. එහෙත්, ප්‍රායෝගිකව මෙය පහසු කටයුත්තක් නොවේ. ප්‍රායෝගිකව සිදු වෙමින් පවතින්නේ කලාපීය බලවතුන් විසින් අසල්වැසි කුඩා රාජ්‍යයන් හොඳින් හෝ නරකින් සිය ආධිපත්‍යයන්ට නතු කරගනිමින් සිටීමයි.

ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ රටවල් සංස්කෘතික හා/හෝ ප්‍රාදේශීය කලාප ලෙස ඒකරාශී වන කණ්ඩායම් පහක් හයක් වටා ගොනුවන්නට බොහෝ දුරට ඉඩ තිබෙන බව කටාර් දේශපාලනික ගැටුම මඟින්ද තහවුරු කරයි.

කටාර් රාජ්‍යය මත අසල්වැසි රටවල් විසින් ඇති කර ඇති පීඩනය සුළුපටු නොවේ. විශේෂයෙන්ම ගුවන් කලාප තහනම නිසා කටාර් ගුවන් සේවයට ගුවන් ගත වන්නට ඉතිරි වී ඇත්තේ පටු තීරයක් පමණි. එමෙන්ම, බොහෝ ගමනාන්ත වෙත යන්නට වෙන්නේ ඔලුව වටා අත කරකවා කණ අල්ලන ආකාරයෙනි. අත්‍යවශ්‍ය ආහාර ආනයන ආදිය හා අදාළවද ප්‍රශ්න තිබේ.

එසේ වුවද, ලෝක දේශපාලනය තුළ කටාර් රාජ්‍ය හුදෙකලා වී නොමැත. එමෙන්ම, කටාර් රාජ්‍යයේ මූල්‍ය අංශයද ස්ථාවරය. ඒ නිසා, කටාර් රාජ්‍යය දණ ගැස්සවීමද පහසු නොවනු ඇත. කටාර් රාජ්‍යය සාකච්ඡා වලට විවෘත බව දැනටමත් සඳහන් කර ඇති නිසා ප්‍රශ්නය වැඩි දුර දිග් නොගැසී විසඳෙන්නට ඉඩ තිබේ.

Thursday, June 8, 2017

සුදුසු අසුන කුමක්ද?

බුද්ධාගම ජාත්‍යන්තර ආගමක් බවට පත් වීමේ වෘත්තාන්තයේ කථානායකයා වනුයේ අශෝක අධිරාජයාය. ඇතැම් විචාරකයින්ට අනුව, අශෝක සමයේ බුදුදහම නිසා ලෝකයට සිදුවූ බලපෑම බුදු හිමියන් ජීවත්ව සිටි සමයේ සිදු වූ බලපෑමටද වඩා වැඩිය.

අශෝක රජුගේ රාජ්‍යප්‍රාප්තියෙන් පසු ගෙවුණු පළමු තෙවසර තුළ ඔහු බෞද්ධයෙකු නොවීය. ලාංකික මූලාශ්‍ර අනුව අශෝක රජු බෞද්ධයෙකු වීමේ හැරුම් ලක්ෂ්‍යය වන්නේ නීග්‍රෝධ සාමනේරයන් හමුවීමයි.

දීපවංශයේ හයවන පරිච්ඡේදයේ ඇති විස්තරය සමඟද සැසඳෙන, මහාවංශයේ පස්වන පරිචේඡේදයේ මේ සිදුවීම විස්තර වන්නේ මෙසේය.

"ඒ රජහු පියතෙම බ්‍රහ්මපාක්ෂික වූ සැට‍දහසක් බ්‍රාහ්මණයින් වැලඳ වීය. ඒ ධර්මාශෝක රජතෙමේද තුන්හවුරුද්දක් ඔවුන්ටම දන් දුන්නේය."

"කාලයෙක්හි සිවුමැදුරු ගත වූ ඒ රජතෙම විථියෙහි වඩනා වූ උපසමිත සංසුන් ඉඳුරන් ඇත්තා වූ ඒ නීග්‍රෝධ සාමණේරයන් දැක සිත පැහැදවූයේය."

"එහෙයින් ඒ සාමණේරයන් කෙරෙහි පිහිටි ප්‍රේම ඇති ඒ රජ තෙම, ඉතා යුහුසුලු වූයේ ඔහු කැඳවූයේය. හෙතෙම සංසුන් පැවතුම් ඇත්තේ ම ළඟට පැමිණියේය. රජතෙම “දරුව, සුදුසු අස්නෙක හුනමැනවැ”යි කීයේය. හෙතෙම අන්‍ය වූ  ශ්‍රමණයෙකු නොදැක සිංහාසනය කරා පැමිණියේය. ඒ සාමණෙරයාණන් පර්‍ය්‍යංකය​ කරා එන කල්හි රජතෙම “අද මේ සාමණෙරතෙම මාගේ ගෙයි ස්වාමි වන්නේය”යි සිතුයේය. හෙතෙම රජහු අත අල්වා පර්‍ය්‍යංකය​ට නැංගේ රාජ පර්‍ය්‍යංකයෙහි සේසත යට වැඩහුන්නේය."


ලක්ෂ ගණනක් මිනිසුන් මරා රජ වී, තවමත් බෞද්ධයෙකු වී නැති අශෝක රජුගේ සිංහාසනයේ ඉඳගන්නට තරම් ධෛර්යයක්
නීග්‍රෝධ සාමණේරයන්ට ලැබුණේ බෞද්ධ භික්ෂුවක් වූ නිසාමද?

අශෝක ඔහුගේ පියා වූ බින්දුසාර රජුගේ වැඩිමල් පුතා නොවේ. බින්දුසාර රජුගේ වැඩිමල් පුතා වූයේ සුමනයි. ඒ අනුව උරුමයෙන් රජකම හිමි වුනේද සුමනටය.

බින්දුසාර රජු අශෝක වෙත ලබා දී තිබුණේ අවන්ති ප්‍රාන්ත රාජ්‍යයේ උප රජකමයි. අශෝක යුද්ධයෙහි දැක්වූ දක්ෂතාවය නිසා අවන්තියෙහි කැරලි මර්දනය කරමින් එහි පාලනය පවත්වා ගැනීම සඳහා බින්දුසාර රජු ඔහුව තෝරාගත්තා විය හැකිය. රූමත් සිටු දියණියක වූ මහින්දගේ හා සංඝමිත්තාවන්ගේ මවව අශෝකට හමුවන්නේද ඈ ජීවත් වූ විදිශා නගරය පසු කරමින් උදේනි නුවර අගනුවර කරගත් අවන්ති රාජ්‍යයට යන අතරතුරේදීය.

මිහිඳු හිමිගේ මව අශෝක රජු ප්‍රාන්ත රජකම කරන කාලයේදී  ඔහු සමඟ උදේනි නුවර ජීවත් වී ඇතත් මිහිඳු හිමි ලංකාවට පැමිණෙන කාලයේ ජීවත්ව සිට ඇත්තේ අශෝක රජු වාසය කළ පාඨලීපුත්‍ර නගරයේ නොවේ. ඇගේ ගම් පළාතේය. මිහිඳු හිමි ලංකාවට එන්නේද පළමුව පාඨලීපුත්‍ර නගරයේ සිට සිය මවගේ ගම් පළාතට පැමිණ "නිසි කල එළැඹෙන තුරු" එහි කල් මැරීමෙන් පසුවය.

කෙසේවුවද, පිය රජු ලබාදුන් අවන්ති රාජ්‍යයෙන් අශෝක සෑහීමකට පත් නොවේ. ඔහුට අවශ්‍ය වන්නේ මුළු දඹදිවටම සක්විති වන්නටය.

"ඒ අශෝක කුමාර තෙම පියාණන් විසින් දෙනලද උදේනි රට රාජ්‍යය හැර බින්දුසාර රජහු රෝගාතුර කල්හි පාටලීපුත්‍ර  නගරයට පැමිණියේය. පුරය තමා අයත් කොට ගෙන පියා මළ කල්හි වැඩිමහල් සහෝදරයා මරා පුරවරයෙහි රාජ්‍යය ගත්තේය."


මෙසේ රජකම උරුමව සිටි සිය වැඩිමල් සොයුරා මරා බින්දුසාර රජුගෙන් ඔහුට හිමිවන්නට තිබුණු රජකම අශෝක විසින් පැහැර ගන්නා විට, සුමන රජු රජවීනම් අග මෙහෙසිය වන්නට නියමිතව සිටි ඔහුගේ බිරිඳ සුමනාවන් සිටින්නේ ගැබ්බරවය. පණ බේරාගැනීම සඳහා ඇය සැඩොල් ගමකට පලායයි. එසේ පලාගොස් රහසිගතව ජීවත් වන අතර ඇය පුතෙකු වදයි.

"සුමන නම් කුමාරය‍ාගේ සුමනා නමවු ගර්භිණී වූ දේවී තොමෝ ඒ පුරයෙන් නික්ම නැගෙණහිර දොරින් පිට සැඩොල් ගමට ගියාය."

සුමන කුමරා මරා දමනු ලැබූ බැවින් බින්දුසාර රජුගේ රාජ්‍යයේ නියම උරුමක්කාරයා වන්නේ මෙසේ සැඩොල් ගමකදී උපත ලබන ඔහුගේ පුතාය. ඇතැම් විට අශෝක රජුගෙන් මේ දරුවාගේ ජීවිතයට අනතුරක් වේයැයි බියෙන්, ආරක්ෂාව තකා  ඔහුගේ මව දරුවාව කුඩා කාලයේදීම පැවිදි කරන්නට සිතුවා වන්නට පුළුවන.

මහා වරුණ හිමියන් විසින් සත් හැවිරිදි වියේදී මේ දරුවාව පැවිදි කරවයි. ඉන්පසුව මේ සාමණේර හිමියන් ජීවත් වන්නේ නුවරින් දකුණු දෙසය. සිය මව ජීවත්වන සැඩොල්ගම පිහිටියේ නුවරින් නැගෙනහිර දෙස නිසා ඔහුට මව බලන්නට යන්න්ටනම් නුවර දකුණු දොරින් ඇතුල්ව නුවර හරහා ගොස් නැගෙනහිර දොරෙන් පිටවෙන්නට සිදුවේ.

මෙසේ ගමන් කරද්දී රජ මැදුරේ කවුළුවකින් බලා සිටින අශෝක අධිරාජයාගේ අවධානය මේ හිමියන් වෙතට යොමුවේ. ඒ අනුව, මේ සාමණේර හිමියන්ව රජ මැඳුරට කැඳවාගෙන එන්නට ඇමතියෙකු පිටත් කෙරේ.

රජ මැදුරට පැමිණෙන සාමණේර හිමියන්ට සුදුසු අසුනක අසුන් ගැනීමට ඇරයුම් කෙරෙන අතර ඔහු ඒ සඳහා සුදුසුම අසුන තෝරාගනී. ඒ සිය පියාට හිමි විය යුතුව තිබුණු, පියාව ඝාතනය කර ඔහුගේ බාල සොයුරා විසින් පැහැරගත්, තමන්ට උරුමයෙන් හිමි අසුනයි. තමන්ට නිසි තැන අසුන් ගනිමින් අශෝක අධිරාජයාගේ අසුන සුදුසු අසුනක් වන්නේ ඔහුට නොව තමන්ට බව නීග්‍රෝධ සාමණේර විසින් අශෝක රජුට මතක් කරයි.

අශෝක හා නීග්‍රෝධ සාමණේර හමුව වංශ කතා වල ඇති ආකාරයේ අහඹු සිදුවීමක් නොවන්නට පුළුවන. එය අශෝක රජුගේ පශ්චාත් යුද සංහිඳියා ව්‍යාපෘතියේ කොටසක් වූවා විය හැකිය.

Wednesday, June 7, 2017

මුවාද ගෝණාද?


උඩ රූපයේ දකුණු පැත්තේ ඉන්නේ මුවෙකි. වම් පැත්තේ ඉන්නේ ගෝණෙකි. මුවාත් ගෝණාත් වෙන් කර අඳුනා ගැනීම අපහසු දෙයක් නොවේ. දැනටත් රජරට ප්‍රදේශයේ එතරම්ම දුලබ නැති මේ සතුන් දෙදෙනාගේ බැලූ බැල්මටම පෙනෙන වෙනස්කම් තිබේ.

මේ වන විට ලංකාවට පොසොන් පොහොය උදා වී තිබේ. මහා වංශය ඇතුළු ලාංකීය මූලාශ්‍ර අනුව, ධර්මාශෝක රජුගේ පුත් මහින්ද හිමි, මහින්ද හිමිගේ නැඟණිය වූ සංඝමිත්තාවන්ගේ පුත් සුමන සාමනේර, මහින්ද හිමිගේ මවගේ සොහොයුරියගේ පුත් භණ්ඩුක ඇතුළු පිරිස හා දේවානම්පියතිස්ස රජු අතර තීරණාත්මක හමුව මිස්සක පවුවේදී සිදු වුණේ පොසොන් පුර පසළොස්වක දවසකය. මේ හමුව ලංකාවේ සංස්කෘතියට විශාලම බලපෑමක් කළ තනි සිදුවීම ලෙස හැඳින්වීමේ වරදක් තිබිය නොහැකිය.

දේවානම්පියතිස්ස රජුට මිහිඳු හිමි ඇතුළු පිරිස මුණ ගැසුණේ මුව දඩයමේ ගොස් සිටියදීය. පහත රූපයේ ඇත්තේ අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ මේ අවස්ථාව නිරූපණය කර ඇති ආකාරයයි. වෙනත් පුවත්පත් වලද ආකෘතිය අනුව මෙයට සමාන චිත්‍ර දකින්නට පුළුවන. 




චිත්‍රයෙන් පෙනෙන පරිදි මිහිඳු හිමි ප්‍රමුඛ සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මිස්සක පවුව මුදුනේ සිටී. දුනු හී ගත් දේවානම්පියතිස්ස රජු ගල පහළය. පැත්තකින් අඹ ගහකි. තවත් පැත්තකින් මුවෙක් දිවයයි.

මේ චිත්‍රය ලංකාවේ බොහෝ දෙනෙකුට කුඩා කල සිටම හුරු පුරුදු චිත්‍රයකි. බොහෝ දෙනෙක් මේ ආකෘතියේ චිත්‍රයක් ජීවිතයේ වරක් හෝ ඇඳ තිබෙන්නට පුළුවන. ඇතැම් විටක චිත්‍රයේ දේවානම්පියතිස්ස රජු දුනු හී පැත්තක දමා වැඳගෙන සිටිනවා වන්නට පුළුවන. මේ ආකෘතියේ චිත්‍ර සිය ගණනක් දැක තිබුණත් මුවෙක් වෙනුවට ගෝණෙක් සිටින චිත්‍රයක්නම් මා කවදාවත් දැක නැත.

කෙසේවුවත්, මහාවංශය අනුව මේ කතාවේ මුවෙක් නැත. දේවානම්පියතිස්ස රජු ගියේ මුව දඩයමේ වුවත් ඔහුට මුවෙක් හමුවුණේ නැත. ඔහුට මිහිඳු හිමි ඇතුළු පිරිස හමුවන්නේ ගෝණෙක් පසුපස පන්නද්දීය. මහාවංශයේ 14වන පරිච්ඡේදය ආරම්භයේ ඇති කතාව මෙවැන්නකි.

"ඒ දෙවනපෑතිස් රජ නුවර වැසියන්ට දියකෙළි විධාන කොට තෙමේ මුවදඩකෙළියට ගියේය. සතළිස් දහසක් මිනිසුන් විසින් පිරිවරණ ලදුයේ පයින්ම දුවමින් මිශ්‍රක පර්වතයට ගියේය. ඒ පව්හි වසන දෙවියා රජහට තෙරුන් දක්වනු කැමැත්තේ ගෝණ වේස ඇත්තේ තණ පඳුරක් කමින් සිටි යා සේ දැක්විය. රජතෙමේ දැක “පමා වූවා හු විදිනට යුතු නොවේ”යි සිතා දුනුදිය පෙළිය. ගෝණ තෙමේ පර්වතාන්තයට දිවිය. රජතෙමේ ලුහුබැඳ ගියේය. මෘග වෙස් ගත් ඒ දෙව්තෙමේ තෙරුන් වෙත ගොස් රජු විසින් තෙරුන් දුටු කල අතුරුදහන් වී."

කාලයත් සමඟ දැන් ගෝණා මුවා වී තිබේ. කබරගොයින් ඕනෑ තරම් තලගොයින් වෙද්දී ගෝණෙකු මුවෙක් වීම එතරම්ම විශේෂ දෙයක්ද නොවේ.


Monday, June 5, 2017

ප්ලාස්ටික් හාල් හදන හැටි...


මේ දවස්වල ලංකාවේ ප්ලාස්ටික් හාල් භීතිකාවක් පැතිරෙමින් පවතී. මේ කතාව පසුගිය වසර දෙක තුන ඇතුළත බත් ප්‍රධාන ආහාරය වූ ආසියාවේ හා අප්‍රිකාවේ වෙනත් ඇතැම් රටවලද වරින් වර 'නැගලා ගිය' කතාවකි. උඩුකය නිරුවත් වියට්නාම් තරුණයෙකු කිසියම් යන්ත්‍රයකට ප්ලාස්ටික් කැබලි කපා දමමින් "ප්ලාස්ටික් හාල්" නිපදවන ආකාරය පෙන්වන යූටියුබ්  වීඩියෝවක්ද මේ ආකාරයෙන් සංසරණය වේ.


මගේ අදහස පරිදි, මේ වීඩියෝවේ පෙන්වන යන්ත්‍රය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන යන්ත්‍රයක් විය යුතුය. ප්ලාස්ටික් වලින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පෙර මුලින්ම කරන්නේ මෙහි "ප්ලාස්ටික් හාල්" මෙන් පෙනෙන කුඩා ප්ලාස්ටික් පෙලට්ස් හැදීමයි. පසුව අවශ්‍ය පරිදි වර්ණ ගැන්වීමෙන් පසුව මේ ප්ලාස්ටික් පෙලට්ස් වලින් විවිධ දේ හැදිය හැකිය. පහතින් ඇත්තේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන යන්ත්‍රයක් ක්‍රියා කරන ආකාරය විස්තරාත්මක ලෙස පෙන්වන වීඩියෝවකි.



වසර විස්සකටත් පෙර මා සේවය කළ කොහුවල හන්දිය ආසන්නව තිබුණු ආයතනයක යට තට්ටුවේ තිබුණේ මේ ආකාරයේ ප්ලාස්ටික් පෙලට්ස් ආනයනය කර විකුණන ආයතනයකි. එහි ගබඩා කර තිබුණු ප්ලාස්ටික් පෙලට්ස් අසුරා තිබුණේද හාල් ඇසිරීමටද යොදාගන්නා ආකාරයේ ප්ලාස්ටික් බෑග් වලය. මේ ප්ලාස්ටික් පෙලට්ස් බැලූ බැල්මට ප්‍රමාණයෙන්, හැඩයෙන් හා පැහැයෙන් හාල් වලට සමානය. පහතින් ඇත්තේ ඊ-බේහි විකුණන්නට ඇති ප්ලාස්ටික් පෙලට්ස් බෑග් එකකි.


https://www.ebay.com/i/172655238119?chn=ps&dispItem=1



කිසියම් අයුරකින් වැරදීමකින් පෙනුමෙන් හා හැඩයෙන් සමාන හාල් වර්ගයක් සමඟ මිශ්‍ර වුවහොත් මේ ප්ලාස්ටික් පෙලට්ස් හාල් වලින් වෙන් කර හඳුනා ගැනීම අපහසු වන්නට ඉඩ තිබේ. එහෙත්, මේ ප්ලාස්ටික් පෙලට්ස් හාල් සමඟ පිසින විටක බත් මෙන් ඉදෙන්නට ඉඩක් නැත.

අප අසා ඇති කතාව අනුව, රයිගමයා හා ගම්පොළයා දෙදෙනා බුලත් කොළ ලෙස ගම්ම්රිස් කොළද, ගම්මිරිස් ලෙස පැපොල් ඇටද විකුණන්නට උත්සාහ කළේය. මිරිස්  කුඩු වලට ගඩොල් කුඩු කලවම් කරන වෙළෙන්දන් ගැනද අප කුඩා කාලයේ අසා තිබුණේය. මේ සියල්ලක්ම විය හැකි දේවල් වන්නේ යොදා ගන්නා ආදේශකය මිල අඩු එකක් බැවිනි. එහෙත්, ප්ලාස්ටික් පෙලට්ස් සාමාන්‍යයෙන් හාල් මෙන් දෙගුණයක් පමණ මිලෙන් වැඩිය. ඒ නිසා, හාල් සමඟ ප්ලාස්ටික් පෙලට්ස් හිතාමතාම මිශ්‍ර කර වෙළෙන්දෙකුට ලාබ ලැබිය නොහැකිය.

ප්ලාස්ටික් හාල් කතාව කෙසේ වුවත් කෘතීම හාල් දැන් කලක සිටම රටවල් ගණනාවක වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කෙරේ. මේ ගැන දෙවසරකට පෙර ඉකොනොමැට්ටා විසින් සටහනක් ලියා තිබේ. 



ඒ වන විට පැවතියාට වඩා දැන් කෘතීම හාල් ප්‍රචලිතව ඇති අතර එයට හොඳම සාක්ෂිය අලිබබාහි විකුණන්නට ඇති විවිධ මාදිලි වල කෘතීම සහල් නිෂ්පාදන යන්ත්‍ර ප්‍රමාණයයි.

https://www.alibaba.com/trade/search?fsb=y&IndexArea=product_en&CatId=&SearchText=artificial+rice+making+machine



මේ යන්ත්‍ර ඩොලර් 500ක පමණ අඩුමිලක සිට විකුණන්නට තිබේ. එමෙන්ම, ලෝකයේ සෑම මහාද්වීපයකටම මේ යන්ත්‍ර විකිණී ඇති බව පෙනේ. (පහළින් ඇති සිතියම බලන්න)

https://www.alibaba.com/product-detail/Best-seller-artificial-fortified-rice-making_60619064195.html 


කෘතීම හාල් හදන යන්ත්‍ර මේ තරම් අලෙවිවීමෙන් පෙනෙන්නේ කෘතීම සහල්ද විශාල ලෙස ලොව පුරා අලෙවි වන බවයි. මේ කෘතීම සහල් ඇතැම් විට වෙනම ඇසුරුම් කර තිබෙනු දැකිය හැකි වුවත්, ස්වභාවික සහල් සමඟ මිශ්‍ර කර විකුණනවා වීමටද ඉඩ තිබේ. එවැනි සහල් ලංකාවේද විකිණෙනවා වන්නට පුළුවන.

කෘතීම සහල් ලෙස හැඳින්වුවද මේ සහල් ආහාරයට නුසුදුසු 'ප්ලාස්ටික් සහල්' නොවේ. මෙහිදී සිදුවන්නේ පැස්ටා හෝ සීරියල් නිෂ්පාදනය කරන විටදී මෙන් අවශ්‍ය හැඩයට හාල් ඇටය හදා ගැනීමකි. අවශ්‍ය හැඩයට අමතරව අවශ්‍ය වර්ණය හා සුවඳ ලබාගැනීම සඳහා නිෂ්පාදනයේදී වර්ණකාරක හා සුගන්ධකාරක එකතු කෙරෙන්නට ඉඩ තිබේ.

ආරම්භයේදී මේ කෘතීම සහල් සකස් කෙරුණේ සුණු සාල් (broken rice) වලිනි. යොදාගත් නිෂ්පාදන ක්‍රමවේදය ඉතා සරල එකක් විය. පළමුව, සහල් පිටි කර පල්ප් එකක් සාදා ගැනීමෙන් පසුව එම පල්ප් එකෙන් අවශ්‍ය හැඩයේ සහල් ඇට සාදා පසුව වියලා ගැනුණේය. පිෂ්ඨය අඩංගු ආහාර බොහොමයක් ස්වභාවයෙන්ම ඇලෙන සුළු නිසා මෙහිදී අමතර රසායන එක් කිරීම අවශ්‍යම දෙයක් නොවීය.

දෙවන අදියරේදී, සුණු සාල් වලට අමතරව තිරිගු, ඉරිඟු වැනි වෙනත් ධාන්‍ය වර්ගද අර්තාපල්, බතල වැනි අල වර්ගද යම් ප්‍රමාණයක් මිශ්‍ර කෙරුණු අතර මේ වන විට එවැනි ආදේශක පමණක් යොදාගනිමින් හාල් නැතුවම කෘතීම හාල් නිෂ්පාදනය කෙරේ. මෙහිදී, අවශ්‍ය සුවඳ හා පැහැය ලබා ගැනීම සඳහා වර්ණකාරක හා සුගන්ධකාරක එක් කෙරේ.

පහතින් ඇත්තේ ඉරිඟු පිටි වලින් කෘතීම සහල් හදන පිලිපීන නිෂ්පාදකයෙකුගේ වත්පොත් පිටුවයි.

https://www.facebook.com/yummyhealthylife



සහල් ආසියානු කලාපයේ මෙන්ම ආසියාවෙන් පිටත ඇතැම් රටවලද ප්‍රධාන ආහාරයයි. එය එම රටවල කැලරි අවශ්‍යතා සපුරාලන ප්‍රධානම ආහාරය වුවත්, ඇතැම් සෞඛ්‍ය ප්‍රශ්න වලටද හේතුවකි. එක් අතකින් ඕනෑවට වඩා බත් කෑම සීනි වැඩිවීමට හේතුවකි. දෙවනුව, හාල් වල ප්‍රෝටීන් අඩංගු නැති නිසා ආහාර වේලේ සමතුලිතතාවයට ප්‍රශ්නයක් වේ. කෘතීම හාල් මේ ප්‍රශ්න දෙකටම විසඳුමකි. කෘතීම හාල් නිෂ්පාදනය කිරීමේදී ග්ලයිකෙමික් දර්ශක (GI) අගය අඩු ආදේශක යොදාගනිමින් හා ප්‍රෝටීන් අඩංගු කඩල, මුං ඇට වැනි මාෂබෝග වර්ගවල පිටි, තන්තුමය ආහාර ආදිය එකතු කරමින් එය කිරීමේ හැකියාව තිබේ.

කෙසේවුවද, අවසාන වශයෙන් තමන් ආහාරයට ගත යුතු දෙය එක් එක් පුද්ගලයාගේ තීරණයකි. ඒ නිසා, තමන් මිල දී ගන්නා සහල් වලට කිසියම් ආකාරයකින් කෘතීම ලෙස සකස් කළ සහල් අඩංගුද යන්න යන්න දැනගැනීම පාරිභෝගිකයෙකු සතු විය යුතු අයිතියකි. ඒ නිසා, රජය විසින් කළ යුත්තේ කෘතීම සහල් තහනම් කිරීම නොව, ආනයනික සහල් වලට කෘතීම සහල් මිශ්‍ර කර ඇත්නම් ඒ බව අසුරණයේ ප්‍රදර්ශනය කළ යුතු බව නියම කිරීමයි. 


පැස්ටා හෝ සීරියල් වර්ග ආහාරයට ගන්නට නොපැකිළෙන අයෙකු කෘතීම සහල් ආහාරයට ගැනීමට බිය විය යුතු නැත. එහෙත් යොදා ඇති රසකාරක හා වර්ණකාරක ගැන සැලකිලිමත් විය යුතුය. එමෙන්ම, විකිණීමට අසීරු තත්ත්වයේ ඇති, එහෙත් පෙනුමෙන් මිස පෝෂණ ගුණය අතින් අඩුවක් නැති බාල තත්ත්වයේ සහල්, සුණුසහල් හා වීමෝල් වලින් ඉවතලන සහල් කුඩු ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් හොඳ පෙනුමක් ඇති කෘතීම සහල් නිෂ්පාදනය කිරීම සාපේක්ෂව අඩු ආයෝජනයකින් ලාංකිකයෙකුට ඇරඹිය හැකි කර්මාන්තයකි.

Sunday, June 4, 2017

සුසන්තිකාගේ පදක්කම


සුසන්තිකා නැවත වරක් සිය ඔලිම්පික් පදක්කම මුදල් කරන්නට උත්සාහයක් දරන බව පෙනේ. නැවත වරක් කියා කීවේ මීට පෙරද වාර ගණනාවක් ඇය සිය ඔලිම්පික් පදක්කම මුදල් කර හෝ එසේ කරන්නට උත්සාහයන් දරා ඇති බැවිනි. ඈ මෙය පටන්ගත්තේ ඔලිම්පික් පදක්කම ලැබෙන්නටද පෙර සිටය.

වරක් ඇය මාධ්‍ය ඉදිරියට පැමිණ ඇමතිවරයෙකුට චෝදනා කළාය. තවත් වරක් ඇගේ පවුලේ ප්‍රශ්න ගැන කතා කළාය. මේ චෝදනා හා ප්‍රශ්න වලට රටේ ඉල්ලුමක් තිබුණේය. ඒ ඉල්ලුමට හේතු වූයේ සුසන්තිකා විසින් ඔලිම්පික් පදක්කමක් ලබා තිබීමයි. වෙනත් විදිහකින් කියනවානම් ඇය මාධ්‍ය ඉදිරියට පැමිණ අලෙවි කළේ ඇය සතු වූ ඔලිම්පික් පදක්කමේ ව්‍යුත්පන්නයකි. නැත්නම් ඩෙරිවේටිව් එකකි.

දැන් ඇය කරන්නේද එයයි. ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නට යන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන විට බොහෝ දෙනෙකුට ඇති වේයැයි ඇය සිතන කම්පනය මුදල් කරන්නට සුසන්තිකා දැන් උත්සාහ කරයි.

සුසන්තිකාගේ ඔලිම්පික් ජයග්‍රහනය ලංකාවේ විශාල පිරිසකට 'ලොකු දෙයක්' විය. අප නොදන්නා කාලයක හිමිව තිබුණු ඩන්කන් වයිට්ගේ ඔලිම්පික් පදක්කම ගැන පමණක් අසා තිබුණු අප බොහෝ දෙනෙකුට සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමේ වටිනාකමක් තිබුණේය. ඉතා දුෂ්කර මාර්ගයක ඔලිම්පික් පදක්කම දක්වා පැමිණි ඇය විසින් ලබාගත් ජයග්‍රහණයෙන් පැත්තක සිටි අපටද ලැබුණු දෙයක් තිබුණේය. සුසන්තිකා වෙනුවෙන් ඒ වන විටද රජය මඟින් වැය කර තිබුණු පොදු අරමුදල් හරහා ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපද කිසියම් පිරිවැයක් දරා තිබුණත් ලැබුණු ලාබය ඊට වඩා වැඩි වූ නිසා අප බොහෝ දෙනෙකු වෙත සුසන්තිකා වෙත ගෙවන්නට කිසියම් ණයක් තිබුණේය.

වෙනත් අයුරකින් කිවහොත් සුසන්තිකාගේ ඔලිම්පික් ජයග්‍රහණය නිසා ඇයට හිමිවූ පෞද්ගලික ප්‍රතිලාභ වලට අමතරව තවත් බොහෝ දෙනෙකුටද කිසියම් ප්‍රතිලාභයක් ලැබී තිබුණේය. මෙය මූල්‍ය ප්‍රතිලාභයක් නොවීම වෙනම කරුණකි. ආර්ථික විද්‍යා භාෂාවෙන් මෙය 'පොසිටිව් එක්ස්ටර්නලිටි' එකකි. මේ 'පොසිටිව් එක්ස්ටර්නලිටි' එක ඇගේ ජයග්‍රහණය අගය කළ මිනිසුන්ගේ හදවත් තුළ ඇයට අවශ්‍ය විටක ආපසු ගත හැකි ස්ථිර තැන්පතුවක් සේ රැඳී තිබුණේය.

සුසන්තිකා යනු මේ ආකාරයේ ඉතිරි කිරීමක් කළ එකම තැනැත්තිය නොවේ. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය හා කුමාර සංගක්කාර වැනි වෙනත් ක්‍රීඩකයෝද, බොහෝ කලාකරුවෝද වෙනත් මිනිසුන්ගේ හදවත් තුළ කිසියම් ප්‍රාග්ධනයක් ඉතිරි කළේය. එය ඔවුන්ට පහසු වූයේ බොහෝ මිනිසුන් වීරයින් නඩත්තු කරන නිසාය.

බොහෝ මිනිසුන් තමන් ගැන හිතන්නේ තමන්ගේ සැබෑ තරමට වඩා ලොකු මිනිසුන් ලෙසය. එසේ හිතුවත්, මේ බොහොමයකට තමන්ගේ හිතේ තිබෙන 'ලොකු වැඩ' කරගැනීමේ සැබෑ හැකියාවක් නැත. ඔලිම්පික් පදක්කමක් ගැනීමේ හෝ ජාතික ක්‍රිකට් කණ්ඩායමට රිංගා ගැනීමේ සිට ප්‍රසිද්ධ ගායකයෙකු හෝ නළුවකු වීම දක්වා තමන්ට ළඟා කරගත නොහැකි සිහින ලඟා කරගන්නා අය මේ මිනිසුන්ගේ වීරයෝ වෙති. වීරයින් නඩත්තු කිරීමේ වැරැද්දක් නැතත් එය වියදම් අධික කටයුත්තකි. ඔබේ වීරයා හෝ වීරවරිය විසින් ඔබ වෙත ඉතිරි කර ඇති ප්‍රාග්ධනය ඔහු හෝ ඇය විසින් කොයි මොහොතේ හෝ මුදල් කරන්නට ඉඩ තිබේ.

වීර චරිතයක් බවට පත් වුනු අයෙකුට ඒ වීරකම මුදල් කළ හැකි පහසුම ක්‍රමයක් වන්නේ වෙළඳ දැන්වීම් වෙනුවෙන් පෙනී සිටීමයි. කුමාර සංගක්කාර ෆොන්ටෙරා වෙළඳ දැන්වීමකට පෙනී සිටින විට, ඔහුව වීරයෙකු ලෙස සලකන බොහෝ දෙනෙකු ඒ හේතුව නිසාම ෆොන්ටෙරා කිරි මිල දී ගැනීමට පෙළඹේ. මේ හරහා සංගක්කාර ඔහුව වීරයකු ලෙස සලකන පිරිස් විසින් ඔහුගේ ජයග්‍රහණයන් තුලින් ලබාගත් 'පොසිටිව් එක්ස්ටර්නලිටි' වල වටිනාකම නැවත ආපසු ලබාගනී.

මේ ක්‍රමයේ කිසිදු වැරැද්දක් නැත. සංගක්කාරට වෙළඳ දැන්වීමක පෙනී සිටීම මඟින් රටේ සියලු දෙනාටම ෆොන්ටෙරා කිරි පොවන්නට නොහැකිය.  වෙළඳ දැන්වීම බලා ෆොන්ටෙරා කිරි බොන්නට පෙළඹෙන්නේ සංගක්කාරව වීරයෙකු ලෙස නඩත්තු කරන අය පමණි. ඒ නිසා, මෙසේ කිරීම හේතුවෙන් ක්‍රිකට් වලින් කිසිදු සතුටක් නොලබන පැත්තක සිටින අයට පාඩුවක් වෙන්නේ නැත.

වෙළඳ දැන්වීම් වල පෙනී සිටීමට අමතරව මේ ආකාරයේ "වීරයෝ" මැතිවරණ වලට ඉදිරිපත් වෙමින්ද 'පොසිටිව් එක්ස්ටර්නලියේ ' වටිනාකම තමන් වෙත ඇද ගනිති. සනත් ජයසූරිය කළේ මෙයයි. දේශපාලන පවුලකට අයත් වුවද, අර්ජුන රණතුංගද බොහෝ දුරට කළේ මෙයයි. කෙසේවුවද, මෙහිදීද ඔවුන්ව වීරයින් ලෙස නඩත්තු නොකරන අයට මිලක් ගෙවන්නට වුනේ නැත. ඒ නිසා, ඔවුන් ලබාගත්තේ ඔවුන් සතු දෙයකි.

එහෙත්, සුසන්තිකා කරන්නේ මේ දෙයම නොවේ. ඇය පීඩනයක් යොදවන්නේ රජය හරහා මහජන මුදල් වලින් වැඩිපුර ප්‍රතිලාභයක් ලබා ගැනීමටය. මහජන මුදල් වලට සුසන්තිකාව වීරවරියක් ලෙස තවදුරටත් නඩත්තු කරන අය මෙන්ම එසේ නොකරන අයද දායක වී තිබේ. ඒ නිසා, මහජන මුදලින් ප්‍රතිලාභ ලැබීම යනු පෙර අවස්ථා වලදී මෙන් තමන්ට අයිති දෙයක් මුදල් කිරීමක් නොවේ.

රටේ සියලු දෙනා කෙසේවෙතත් බොහෝ දෙනෙකු සුසන්තිකාව වීරවරියක ලෙස නඩත්තු කිරීම හේතුවෙන් ඇයට මහජන මුදලින් මෙතෙක් කල් යම් ප්‍රතිලාභ ලබන්නට හැකිවී තිබේ. රටේ බොහෝ දෙනෙක් සුසන්තිකාව වීරවරියක ලෙස නඩත්තු කළද ඔවුන් ඒ වෙනුවෙන් ගෙවන්නට කැමති උපරිම මිලක් තිබේ. කාලයක් තිස්සේ සුසන්තිකා විසින් මේ මිලෙන් සෑහෙන කොටසක් ලබා ගෙන තිබේ. ඒ නිසා ඈ විසින් වසර ගණනකට පෙර එකතු කළ ප්‍රාග්ධනය මේ වන විට බොහෝ දුරට ක්ෂය වී අවසන්ව තිබිය යුතුය.

ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නට යන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමෙන් සුසන්තිකාට සමාජය කම්පනය කරන්නට හැකි වනු ඇත්තේ ඈ විසින් එකතු කළ ප්‍රාග්ධනය මෙතෙක් කල් වරින්වර මුදල් කිරීමෙන් පසුවද තවදුරටත් ඉතිරිව ඇත්නම් පමණි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...