වෙබ් ලිපිනය:

Sunday, September 11, 2016

ව්‍යවසායකයින් වී නවතින ලංකාවේ දොස්තරලා...

මේ ලංකාවේ දොස්තරලා ගැන කතාබහ වැඩි වී ඇති කාලයකි. ලංකාවේ දොස්තරලාගෙන් අතිමහත් බහුතරය වැටුප් පිණිස රජය වෙනුවෙන් සේවය කරන්නෝය. එහෙත්, මේ අයගෙන් වැඩි දෙනෙකු ඊට අමතරව කුඩා පරිමාණ ව්‍යවසායකයින් ලෙසද කටයුතු කරන අතර රජයෙන් වැටුප් ලෙස ලබා ගන්නා මුදලට වඩා වැඩි මුදලක් එමඟින් උපයති. හේතු ඇතිව මෙන්ම නැතුවද බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වන්නේ ඔවුන්ගේ මේ දෙවන ආදායම් මාර්ගයයි.

මේ විදිහට දොස්තරලා ව්‍යවසායකයින් වෙන්නේ ඇයි?

මෙයට හේතු ඇත්තේ එකක් පමණක් නොවේ. ආර්ථික විද්‍යා කෝණයෙන් බැළුවත් එවැනි හේතු රැසක් තිබේ. වෙනත් හේතුද තිබේ. මේ ලිපියෙන් අදහස් කරන්නේ ඒ හේතු අතරින් එකක් ගැන කතා කරන්නටය. ප්‍රාරම්භයක් ලෙස මේ ප්‍රශ්නයෙන් පටන් ගනිමු.

ලංකාවේ දොස්තරලා වෙන්නේ කවුද?

ලංකාවේ දොස්තරලා වෙන්නේ උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් වැඩිම ලකුණු ගන්නා අය බව මේ ප්‍රශ්නයට ජනප්‍රිය පිළිතුරක් විය හැකිය. එහෙත්, එය සම්පූර්ණ පිළිතුරක් නොවේ.

අප ප්‍රශ්නයේ මුලට යා යුතුය.

උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් වැඩිම ලකුණු ගෙන ලංකාවේ දොස්තරලා වෙන්නේ කවුද?

ඕනෑම ගහණයක ව්‍යවසායකත්වය ඇති කිසියම් පිරිසක් සිටිති. ඔවුන්ට තමන් සතුව හෝ සමාජය සතුව ඇති සීමිත සම්පත් වඩා කාර්යක්ෂම ලෙස යොදා ගනිමින් තමාගේ, තම පවුලේ සාමාජිකයින්ගේ හෝ මුළුමහත් සමාජයේ ජීවන තත්ත්වය වඩා යහපත් කළ හැකි ක්‍රම 'පෙනේ'. මේ බොහෝ අයට මෙසේ තමන්ට 'පෙනෙන' දෙය ක්‍රියාත්මක කිරීමට ලොකු 'කැසිල්ලක්' ද තිබේ.

ව්‍යවසායකත්වය යනු වැඩි දියුණු කළ හැකි හා වැඩිදියුණු කරගත හැකි කුසලතාවයකි. ඇතැම් සමාජ ක්‍රම තුළ හා සමාජ තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් යෙදවේ. වෙනත් තැන්වල එය එසේම සිදු නොවේ. කෙසේ වුවද, මේ අයුරින් වැඩිදියුණු කළ හැකි කුසලතාවයක් වුවත් ව්‍යවසායකත්වය යනු බොහෝ විට කෙනෙකුගේ 'ඇඟේම' ඇති දෙයකි. සමාජයේ වැඩි ආදායම් ලබන ස්ථර වලින් මෙන්ම මැදි හා අඩු ආදායම් ලබන ස්ථර වලින්ද ව්‍යවසායකත්වය ඇත්තෝ බිහි වෙති.

ව්‍යවසායකත්ව කුසලතාවයන්ගෙන් පිරිපුන් අයෙකුට සාර්ථක ව්‍යාපාරිකයෙකු විය හැකිය. එහෙත්, ව්‍යාපාරයක් ඇරඹීමට ව්‍යවසායකත්වය තිබීමම ප්‍රමාණවත් නැත. ප්‍රාග්ධනය තිබීම හෝ ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ මාර්ග විවෘතව තිබීමද අවශ්‍යය. බොහෝ බටහිර රටවල ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් අහිමි, පහළ හා මැදි ආදායම් ස්ථර වලින් මතුවන ව්‍යවසායකයින්ට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට මාර්ග සෑහෙන මට්ටමකට විවෘතව ඇත. (එහෙත්, එම රටවලද මෙය සර්ව සම්පූර්ණ ලෙස සිදු නොවේ.)

බටහිර රටවල ඇති ඉහත තත්ත්වය ලංකාවේ නැත. මේ නිසා බොහෝ විට ලංකාවේ ව්‍යාපාරිකයන් වන්නේ ව්‍යවසායකත්වය ඇති අය නොවේ. ප්‍රාග්ධනය හිමි අයයි. මේ අයගෙන් ඇතැම් අය ව්‍යවසායකත්ව කුසලතා අතින් ඉදිරියෙන් සිටියත් බොහෝ දෙනෙකු එතැන නැත. එවැන්නන් කරන්නේ සිය පෙර
පරම්පරාවෙන් හෝ ඊටත් පෙර පරම්පරාවෙන් උරුම වූ ප්‍රාග්ධනය ඔවුන් විසින්ම ඇරැඹු ව්‍යාපාරයක හෝ වෙනත් අළුත් ව්‍යාපාරයක ආයෝජනය කරමින් එම ප්‍රාග්ධනයේ හිමිකම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලබා ගැනීමයි.

ව්‍යවසායකත්ව කුසලතා නැති, එහෙත් සැලකිය යුතු ප්‍රාග්ධනයක් හිමි අයෙකුට ව්‍යාපාරිකයෙකු ලෙස සැලකිය යුතු ආදායමක් උපයාගත හැකි වුවත් බොහෝ විට එම ආදායම ඔහුගේ හෝ ඇයගේ එම වත්කම් ආයෝජනය කර උපයාගත හැකි උපරිම ආදායම නොවේ. ලංකාවේ බොහෝ සමාගම් වල ප්‍රතිලාභ අනුපාතය (Rate of return) භාණ්ඩාගාර බැඳුම්කර සඳහා රජය විසින් ගෙවන පොලී අනුපාතිකයටද වඩා අඩුය. වෙනත් අයුරකින් කිවහොත්, එවැන්නෙකුට සිය ව්‍යාපාරය විකුණා ලැබෙන මුදල අවදානම් රහිත (හෝ අවදානම ඉතාම අඩු) ආයෝජනයක යෙදවීමෙන් වැඩි වාසියක් ලැබිය හැකිය.

අනෙක් අතට ව්‍යවසායකත්ව කුසලතා ඇති, එහෙත් ප්‍රාග්ධනය ප්‍රයෝජනයට ගැනීමට ප්‍රමාණවත් ප්‍රවේශ මාර්ග නැති අඩු හා මැදි ආදායම් ලබන සමාජ ස්ථර වල බොහෝ දෙනෙකුට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය නොමැති වීම නිසාම රටේ ආර්ථිකයට වැඩි අගය
ක් එකතු කිරීමේ අවස්ථාව මඟ හැරේ. ප්‍රාග්ධනයේ හිමිකරුවන් අතින් ව්‍යවසායකත්වය ඇති අය අතට ප්‍රාග්ධනය භාවිතා කිරීමේ අයිතිය (ප්‍රාග්ධනයේ අයිතිය නොවේ) කාර්යක්ෂම ලෙස සම්ප්‍රේෂණය වේනම් එහි වාසිය සෘජු ලෙස එම කණ්ඩායම් දෙකටම ලැබෙනවාට අමතරව වක්‍ර ලෙස තෙවන පාර්ශ්වයන්ටද ලැබේ. ලංකාවේ සිදු නොවන්නේ මෙයයි.

ඉහත තත්ත්වය නිසා භෞතික ප්‍රාග්ධනය අහිමි අනාගත ව්‍යවසායකයෙකුට භෞතික ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීම අසීරු වුවත්, මානව ප්‍රාග්ධනය හා අදාළව තත්ත්වය එසේ නොවේ. ප්‍රමාණවත් ප්‍රවේශ මාර්ග ඇත්ද යන්න විවාදිත කරුණක් වුවත්, අඩු හා මැදි ආදායම් ස්ථර වලින් බිහිවන ව්‍යවසායකයින්ට මානව ප්‍රාග්ධනය හිමිකර ගැනීමට ප්‍රමුඛ ප්‍රවේශ මාර්ගයක් තිබේ. ඒ, නියම මිලට වඩා අඩුවෙන් ලැබෙන උසස් අධ්‍යාපනයයි.

ව්‍යවසායකත්වය ඇති, එහෙත් භෞතික ප්‍රාග්ධනය හෝ භෞතික ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ මාර්ග අහිමි, විචක්ෂණශීලී තරුණයෙකුට හෝ තරුණියකට සිය කුසලතාවයන් ප්‍රායෝගිකව සිදු කළ හැකි ආයෝජනයක් වෙත යොමු කිරීම වඩාත්ම තාර්කික තීරණය ලෙස පැහැදිලිවම පෙනේ. සිය දරුවකුට භෞතික ප්‍රාග්ධනය උරුම කරදීමේ හැකියාව අහිමි දෙමවුපියෙකුටද කළ හැකි හොඳම දෙය මෙයයි. එහෙත්, මෙසේ ආයෝජනය කළ යුත්තේ වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ඇති ආකාරයේ මානව ප්‍රාග්ධනයක් එකතු කර ගැනීම පිණිසය. දොස්තරලා, ඉංජිනේරුවන් වීමට ඇති ඉල්ලුම ඇතිවන්නේ මෙවැනි පසුබිමකය.

සරසවියකට ඇතුළුව උපාධියක් ලබා ගැනීම සඳහා වෙහෙසෙන ලංකාවේ තරුණයෙකු හෝ තරුණියක ඒ සඳහා ඉතා විශාල පෞද්ගලික ආයෝජනයක් කරයි. මේ අතරින්ද වැඩිම පෞද්ගලික ආයෝජනයක් කරන්නේ වෛද්‍ය උපාධිය සඳහා ඉගෙන ගන්නා සිසු සිසුවියන්ය. මා මේ කියන්නේ පාඨ ග්‍රන්ථ, නේවාසික ගාස්තු, ආහාර පාන හා ප්‍රවාහන වියදම් ආදිය සඳහා වැය වන මුදල ගැන නොවේ, එය සමස්ත පිරිවැයේ එක් කොටසක් පමණි.

උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ බුද්ධිමය කුසලතාවන් අතින් එසේ සුදුසුකම් නොලබන කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටින පිරිසකි. වෛද්‍ය පීඨයක සිටින විචාර බුද්ධියෙන් අඩුම සිසුවාත් එසේ සුදුසුකම් නොලබන විචාර බුද්ධියෙන් වැඩිම සිසුවාට වඩා ඉදිරියෙන් සිටින බව එයින් අදහස් නොවේ.

විවිධ හේතූන් මත වෛද්‍ය පීඨයට ඇතුළු වීමේ අවස්ථාව අහිමි වූ එහෙත් යම් හෙයකින් එම අවස්ථාව ලැබුනේනම් ඉතා සාර්ථක ලෙස එම පාඨමාලාව අවසන් කිරීමේ හැකියාව තිබුණු අය සිටින්නට පුළුවන. එමෙන්ම, කිසියම් 'වැරදීමකින්' වෛද්‍ය පීඨයට ඇතුළු වීමේ අවස්ථාව හිමි වූ අයද සිටින්නට පුළුවන. මෙවැනි, 'වැරදීම්' ඕනෑ තරම් තිබිය හැකි වුවත් සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයෙන් වැඩි ලකුණු ගන්නේ බුද්ධිමය කුසලතාවන් අතින් අනෙක් අයට වඩා ඉදිරියෙන් සිටින අයයි. මේ විභාගය බුද්ධිමය කුසලතාවයන් මැනීමේ පරිපූර්ණ නිර්ණායකයක් නොවූවත් හොඳ නිර්ණායකයකි.

සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබීමේ හැකියාව ඇති තරුණයෙකුට හෝ තරුණියකට එම අවස්ථාව යම් හෙයකින් නොලැබුණේනම් ඔහු හෝ ඇය උසස් අධ්‍යාපනය වෙනුවෙන් යොදවන වසර තුනක, හතරක හෝ පහක කාලය නිකම් ඉන්නේ නැත. විශේෂයෙන්ම, උසස් අධ්‍යාපනය කරා යොමුවන ව්‍යවසායකත්වය ඇති අයෙකු මෙම කාලය තුළ වෙනත් රැකියාවක, ස්වයං රැකියාවක හෝ ව්‍යාපාරයක නිරතව සැලකිය යුතු මුදලක් උපයනු ඇත. උසස් අධ්‍යාපනය කරා යොමුවීමේ හේතුවෙන් මේ තරුණයා හෝ තරුණිය එසේ උපයාගත හැකිව තිබුණු විශාල ආදායමක් අහිමි කරගනී. මේ ආවස්ථික පිරිවැය ඔහු හෝ ඇය සිය මානව ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමේ කාර්යයේදී සිදු කරන ආයෝජනයකි. ඒ ආයෝජනය ඉතා විශාල මුදලකි.

ලංකාවේ සරසවි සිසුන් අතරින් අධ්‍යාපනය සඳහා වැඩිම පෞද්ගලික ආයෝජනයක් කරන්නේ වෛද්‍ය සිසුන් ලෙස සැලකිය හැකිය. ඔවුහු සිය ප්‍රථම උපාධි පාඨමාලාව සඳහා වසර පහක්ද, සීමාවාසික පුහුණුව නිමකර පත්වීම් ලබන තුරු තවත් කාලයක්ද තමන්ගේ විකල්ප ආදායම් අවස්ථාවන් කැප කරමින් කරන්නෝ විශාල ආයෝජනයකි. මේ කණ්ඩායම ව්‍යවසායකත්ව කුසලතා අතින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් නිසා මෙසේ ඔවුන් අහිමි කරගන්නා ආදායම සැලකිය යුතු මුදලකි.

ලංකාවේ බොහෝ තරුණ තරුණියන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වන්නට සිහින මවන්නේ එම වෘත්තීන් සඳහා ඇති නැඹුරුවට වඩා තමන් තුළ ඇති ව්‍යවසායකත්වය පිබිදවීමට ඉඩකඩක් විවර කරගත හැකි ප්‍රවේශ මාර්ගය ඇත්තේ උසස් අධ්‍යාපනය හරහා බැවිනි. මේ බොහෝ දෙනෙකු වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වුවත් ඔවුන්ගේ ඇතුළේ ඉන්නේ ව්‍යවසායකයෙකි. ඉඩක් ලැබුණු විටම මේ ව්‍යවසායකයා එළියට පනී.

වෛද්‍යවරයෙකුට පොඩි 'කඩයක් ඇරීමට' විශාල භෞතික ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවේ. ඒ නිසා, අවශ්‍ය මානව ප්‍රාග්ධනය රැස් කරගත් වහාම ඔවුහු වැඩේට බසිති. ඉංජිනේරුවෙකුට මේ අයුරින්ම 'කඩයක් ඇරීමට' සැලකිය යුතු භෞතික ප්‍රාග්ධනයක්ද අවශ්‍ය වේ. ඒ නිසා ඔවුන්ට 'වැඩේට බහින්නට' උපාධිය ලබා වසර දහයක්, පහළොවක් බලා ඉන්නට සිදු වේ.

වැදගත් කරුණ වන්නේ මෙහිදී ඇත්තටම වෙන්නේ දොස්තරලා ව්‍යවසායකයින් වීම නොවන බවයි. ව්‍යවසායකයින් වීමේ විභවයක් සහිතව සිටි අය ඒ සඳහා ප්‍රමාණවත් ඉඩ ප්‍රස්තා නැති බැවින් දොස්තරලා, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයින් වීමයි.

Friday, September 9, 2016

කටුස්සාත් බෑ කිවුවානම්...


විචාරක විසින් පළ කළ, ඉකොනොමැට්ටාගේ විශ්ලේෂණයට පාත්‍ර වූ, වටු කිරිල්ලියගේ කතාවේ දෙගල් අස්සේ හිර වුණු වටු බිජුව එළියට ගන්නට අන්තිමේදී ඇයට හැකි විය. මේ කටයුත්තේදී ආන්තික තල්ලුව ලැබුණේ කටුස්සාගෙනි. අටු, පුටු හෝ බුලත් නොඉල්ලා වටු කිරිල්ලියට උදවු කරන්නට කටුස්සා ඉදිරිපත් විය.

වටු නංගියේ      තටු    ගසමින්  නාඬන්නේ
අටු නැති ඔබට  පුටු    නැති බව මා දන්නේ 
කටුසයියාව       දුටු   විට අලි බය වෙන්නේ 
තුටු වී ඉතින් හොටු       ටික පිහදාගන්නේ  

ඔහොම කියපු කටුස්සා වටු කිරිල්ලියගෙන් කිසිදු ගාස්තුවක් අය නොකර අලියාගේ හොඬේ අස්සේ රිංගන්නට ඉදිරිපත් විය. එතැන් සිට වටු කිරිල්ලියට බිත්තරය හිමිවීම දක්වා සියළු කටයුතු ඉතා සුමටව සිදු වූ බව අපි දැන් දනිමු.

මේ කතාව අසා සිටි ට්‍රාන්ස් මෙවැනි ප්‍රශ්නයක් අසයි.

"විචාරකගේ කතාව කියවන විට මට ආ ගැටළුව නම් යම් ලෙසකින් කටුස්සාද අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන කීවානම්?"

ඇත්ත නේන්නම්!

කටුස්සාත් ගාස්තු ඉල්ලුවානම් වටු බිජු තවමත් ගල් දෙබොක්කාව අස්සේය. මේ වගේ නිස්සරණාධ්‍යාසයෙන් වටු කිරිල්ලියන්ට උදවු කරන්නට ඉදිරිපත් වන කටුස්සන් එතරම් සුලභ නැත. ඒ නිසා වටු කිරිල්ලිය විසින් විශාල සෙවුම් පිරිවැයක් දැරීමෙන් පසුවද අවශ්‍ය කාර්යය ඉටු නොවිය හැකිව තිබුණි. නිෂ්පාදකයින්ට නිෂ්පාදන හැකියාව තිබියදී අවශ්‍ය ඉල්ලුම නැති වීම නිසා නිෂ්පාදනය සිදු නොවන අවස්ථා එමටය.

මෙය තේරුම් ගැනීමට අපි වටු කිරිල්ලියගේ කතාව ටිකක් වෙනස් කරමු. මේ වටු කිරිල්ලියගේ කතාවේ ඉකොනාමැට්ටා වර්ෂන් එකයි. කතා මොන විදිහට කිවුවත් අහන අය ඒවා තේරුම් ගන්නේ තමන් කැමති පරිද්දෙන් නිසා මේ කතාව ටිකක් වෙනස් කළා කියා වැරැද්දක් තිබිය නොහැකිය. අනං මනං කතා නවත්වා ඔන්න එහෙනං කතාවට!


ඔන්න එකෝමත් එක රටක වටු කිරිල්ලියක් හිටියා. [මාස දෙක තුනකට කලින් උඩවලව ජාතික වනෝද්‍යානයට ගිය වෙලාවේ ඉකොනොමැට්ටට මේ වටු කිරිල්ලියෝ කිහිප දෙනෙක්ම දැකගන්න හැකි වුනා. ඔය උඩවලව හම්බන්තොට වගේ පැති වල වටු කිරිල්ලියෝ සෑහෙන්න ඉන්නවා. බාගවිට ඔය එකෝමත් එක රට තිබුණේ ඔහොම පැත්තක වෙන්න පුළුවන්.] මේ වටු කිරිල්ලී පඳුරු වලින් වැහිල තිබිච්ච ගල් තලාවක් උඩ බිත්තර දෙකක් දැම්මා.

වටු කිරිල්ලී බිත්තර දැමිල්ල අහවර කරලා බලන කොට බිත්තර දෙක ගල් තලාවේ පැලුමක් තිබුණු තැනක හිර වෙලා. [වටු කිරිල්ලියෝ බිත්තර දාන්න කලින් ශක්‍යතා අධ්‍යයන කරන්නෙ නෑනේ...] දැන් ඉතිං වටු කිරිල්ලී සෑහෙන වෙලාවක් තටමලා දාපු බිත්තර දෙකෙන් කාටවත් ප්‍රයෝජනයක් නැති වෙන්නයි යන්නේ.

නොගැලපෙන තැනක බිත්තර දාල ඇණ ගත්ත වටු කිරිල්ලී දැන් වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් හොයනවා. දුකෙන් කෑගහමින්, උදව්වට කෙනෙක් හොයනවා [ඕනෑ නැති තැන්වල බිත්තර දාල හිර වුනාම තමයි පැත්තක ඉන්න අයව මතක් වෙන්නේ]. වටු කිරිල්ලී ගියා ගල් වඩුවෙක් ළඟට, ගිහින් මෙහෙම කිව්වා. [ඔය වටු කිරිල්ලියෝ විශේෂඥ උපදෙස් නොසලකා ගල් තියෙන තැන්වල බිත්තර දාල ඇණ ගත්තට පස්සෙ විශේෂඥ උපදෙස් හොයනවා.]

"අනේ ගල් වඩුවෝ, ගල් වඩුවෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, අනේ ඒ දෙක අරන් දීපන් ගල් වඩුවෝ..."

"රිදී කාසියක් ගෙන!" ගල් වඩුවා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, බිත්තර දෙක අරන් දුන්නොත් එයින් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා."

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? මට මගේ දරුවන්ට කන්න කටුවල හොයන්න තියෙනවා. උඹට උදවු කරන්න ආවොත් මට කටුවල හොයන්නවත්, හාරන්නවත් වෙන්නේ නැහැ. එහෙම වුනොත් මගේ දරුවෝ හාමතේ! "

"හොඳයි, මම උඹට කටුවල හොයා දුන්නොත් උඹ මට බිත්තර දෙක අරං දෙනවාද?"

"කටුවල හොයා දුන්නොත් මම උඹට බිත්තර දෙක අරන් දෙන්නම්!"

ඉතිං වටු කිරිල්ලී අඬ අඬා යනවා. යනකොට, යනකොට, ඌරෙක් හම්බ වෙනවා.

"අනේ ඌරෝ ඌරෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. මට කටුවල තියෙන තැනකින් හාරලා දීපන් ඌරෝ..." වටු කිරිල්ලී ඌරාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" ඌරා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, කටුවල හාරා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? කැලේ හැමතැනම මරුවැල් ඇදලා. මම ඇවිදින්නෙත් හරිම පරිස්සමෙන්. මේ මරුවැල් එක්ක කැලේ පුච්චලා දැම්මොත් මම උඹට කටුවල හාරලා දෙන්නම්! "

"හොඳයි, මම උඹට කැලේ ගිණි තියලා දුන්නොත් උඹ මට කටුවල හාරලා දෙනවාද?"

"කැලේ ගිණි තියලා දුන්නොත් මම උඹට කටුවල හාරලා දෙන්නම්!"

ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, ගිණි ගොඩක් හම්බ වෙනවා.

"අනේ ගින්දරේ ගින්දරේ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. කැලේ හැමතැනම දුවලා කැලේ පුච්චලා දීපන් ගින්දරේ..." වටු කිරිල්ලී ඌරාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" ගිණි ගොඩ වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, කැලේ ගිණි තියලා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? කැලේ හැමතැනම දුවලා කැලේ ගිණි තිබ්බහම මට හරිම පිපාසාවයි. ඒ වෙලාවට මගේ ඇඟට වතුර ටිකක් දාන්න කවුරුවත් නෑ. මගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් මම උඹට කැලේ ගිණි තියලා දෙන්නම්!"

"හොඳයි, මම උඹේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් උඹ මට කැලේ ගිණි තියලා දෙනවාද?"

"ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් මම උඹට කැලේ ගිණි තියලා දෙන්නම්!"

ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, වතුර වලක් හම්බ වෙනවා.

"අනේ වතුරේ වතුරේ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දීපන් වතුරේ..." වටු කිරිල්ලී වතුරට කියනවා.

"රිදී කාසියක් ගෙන!" වතුර වල වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද,  ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? මේ වතුර වලේම හිරවෙලා ඉඳලා මට දැන් එපා වෙලයි තියෙන්නේ. මාව මෙතනින් කොහාටවත් ගෙනියන්න කවුරුවත් නෑ. රටතොට බලන්න මාව ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් මම ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දෙන්නම්!"

"හොඳයි, මම උඹව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් උඹ මට ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දෙනවාද?"

"රටතොට බලන්න ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් මම එය කරන්නම්!"

ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, අලියෙක් හම්බ වෙනවා.

"අනේ අලියෝ අලියෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. වතුර වල ගින්දරේ ඇඟට වතුර ටිකක් දාන්න උන්දෑව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක්ව හොයනවා.  උඹේ ඔය ලොකු හොඬේ ඇතුළේ දාගෙන වතුර වල කියන තැනකට ගෙනිහින් දීපං අලියෝ..." වටු කිරිල්ලී අලියාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" අලියා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, වතුර වල කියන තැනකට ගෙනිහින් දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"උඹ මේ මඟුලක් කතා කරනවා. මට මොකටද වටු බිත්තර? මගේ හොඬේ අස්සේ කූඹි රිංගලා මම මේ දෙලෝ රත්වෙලා ඉන්නවා!"

"හොඳයි, මම උඹේ හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් උඹ මට වතුර වල කියන තැනකට ගෙනිහින් දෙනවාද?"

"හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් මම වතුර වල කියන තැනකට ගෙනිහින් දෙන්නම්!"

වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, කටුස්සෙක් හම්බ වෙනවා. [කටුස්සා තාමනං කොළ පාටයි. ඌ  පාට වෙනස් කරන්න සුදුසු වෙලාව එනකං ඔළුව වන වන ඉන්නවා.]

"අනේ කටුස්සෝ කටුස්සෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. වතුර වල ගින්දරේ ඇඟට වතුර ටිකක් දාන්න උන්දෑව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක්ව හොයනවා.  අලියා හොඬේ ඇතුළේ දාගෙන වතුර වල කියන තැනකට ගෙනියන්න උගේ හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා ඉල්ලනවා. අලියගේ හොඬේ අස්සේ රිංගලා කූඹි අයින් කරලා දීපං කටුස්සෝ..." වටු කිරිල්ලී කටුස්සාට කියනවා.

"රිදී කාසියක් ගෙන!" කටුස්සා වටු කිරිල්ලිට කියනවා.

"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, වතුර වල කියන තැනකට ගෙනිහින් දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.

"ඒ යෝජනාව නරක නැහැ. ඒත් මට උඹව විශ්වාස නැහැ. ඉස්සෙල්ලා බිත්තරේ ගෙනත් දීපං. ඊට පස්සේ මම අලියගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා දෙන්නම්!"

"ඒක කරන්නේ කොහොමද? උඹට බිත්තරයක් දෙන්නනම් ගල් වඩුවා ගල කඩලා බිත්තර එළියට ගන්න ඕනෑ. ගල් වඩුවා එය කරන්නේ උන්දෑට ඌරා කටුවල හොයා දුන්නොත් විතරයි. ඌරා කටුවල හොයා දෙන්නේ ගිණි ගොඩ කැලේ ගිණි තිබ්බොත් විතරයි. ගිණි ගොඩ කැලේ ගිණි තියන්නේ වතුර වල උන්දෑගේ පිපාසාව නිවනවනම් විතරයි. වතුර වල ගින්දරේ පිපාසාව නිවන්නේ අලියා උන්දෑව කියන තැනකට ගෙනියනවනම් විතරයි. අලියා වතුර වල කියන තැනකට ගෙනියන්නේ උඹ උගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් විතරයි. ඒ නිසා උඹ උගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා නොදුන්නොත් මම කොහොමද උඹට බිත්තරයක් දෙන්නේ?"

ඇත්තටම කොහොමද? සමහර වෙලාවට රටක ආර්ථිකය ඔය වගේ තැනක රවුමට හිරවෙයි. පහත කතාවේ ඇත්තේත් ඒ වගේ අවස්ථාවකි. 




රෝලට ණය ආර්ථිකේ...


මේ වෙලාවට ආර්ථිකය ගොඩදමන්නටනම් ඔරිජිනල් වටු බිත්තර කතාවේ කටුස්සා වැනි අභ්‍යන්තර උත්ප්‍රේරකයක් හෝ රෝලට ණය කතාවේ ඇමරිකන් කාරයා වැනි බාහිර උත්ප්‍රේරකයක් අවශ්‍ය වේ. මතක තබා ගන්න- උත්ප්‍රේරකයක් කියන්නේ එක් සමතුලිතතාවයක සිට තවත් සමතුලිතතාවයකට මාරු වීමේදී වෙනස ඇරඹීමට අවශ්‍යම දෙයක් වුවත් වෙනසින් පසු වැය නොවී ඉතිරි වන දෙයකි.

අළුත් කටුසු කතාවේ අවසානය සිදු විය හැකි ආකාර කිහිපයක්ම තිබේ. මේ එයින් එකකි.

"උඹ කියන දෙය මට තේරෙනවා. ඒත් එක වටු බිත්තරයක් වෙනුවෙන් මේ අවදානම ගන්න මට බෑ. උඹ අඩු ගානේ මට වටු බිත්තර තුනක් දෙනවානම් මම උඹ කියන දෙය කරන්නම්!"

"මම කොහොමද උඹට වටු බිත්තර තුනක් දෙන්නේ. තියෙන්නෙම වටු බිත්තර දෙකයි. ඒ දෙකම උඹට දුන්නොත් මට මුකුත්ම නෑ. ඒ නිසා මට උඹට දෙන්න වෙන්නේ එක වටු බිත්තරයයි."

"එහෙමනං උඹ දැනට මට එක බිත්තරයක් දීපං. ඉතිරි දෙක පස්සේ දීපං. හැබැයි උඹ ණය ගෙවලා ඉවර කරනකං මට පොලිය විදිහට දවසකට බිත්තරේ ගානේ ඕනෑ."

වටු කිරිල්ලී මේ ඩීල් එකට කැමති විය. ඉන්පසු සියල්ල ඔරිජිනල් කතාවේ මෙන් අපූරුවට සිදුවිය. කටුස්සාට එක් වටු බිත්තරයක් වහාම ලැබුණේය. දැන් වටු කිරිල්ලිය දවසකට බිත්තර දෙක ගානේ දමයි. ඒ දෙකෙන් එකක් ඇගේ එදිනෙදා වියදමටය. අනෙක් බිත්තරය කටුස්සාගේ පොලිය ගෙවීමටය. ඒත් කටුස්සාට වූ බිත්තර දෙකේ ණය අද දක්වාම එහෙමමය.


(Image: www.ox.ac.uk)

Monday, September 5, 2016

වටු කිරිල්ලිය හා ඇගේ බිත්තරය


කුඩා කාලයේදී ඇසූ වටු කිරිල්ලියගේ කතාව විචාරක විසින් නැවත මතක් කර දී තිබේ. මෙය ඔහුට මෑණියන් විසින් කුඩා කාලයේදී කියාදුන් අයුරින්ම අපූරුවට සටහන් වී තිබේ.

ඔහුගේ ලිපියේ ඇති ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ යන එක දිගට කියාගෙන යන කොටස විචාරක විසින් 'අටුවක් ගෙනෙන්, පුටුවක් ගෙනෙන්, තට්ටු හතක බුලත් ගෙනෙන්’ කියා වෙනස් කළේනම් ඔහුගේ මව මේ කතාව ඔහුට කියාදුන් රිද්මය එසේම සිතේ මැවෙන්නේ නැත.

පසුගිය සියවසේ මැද පමණ දක්වාම වටු කිරිල්ලියගේ කතාව වැනි ජනකතා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වුණේ මෙසේ අම්මලා, ආච්චිලා හෝ වෙනත් වැඩිහිටියන් විසින් කුඩා කාලයේ දරුවන්ට කියා දුන් කතා ඒ දරුවන් වැඩිහිටියන් වී වෙනත් දරුවන්ට කියා දීමෙනි. මවගේ හා පියාගේ සොයුරු සොයුරියන් රැසක් ඇතුළු බොහෝ වැඩිහිටියන්ගෙන් කුඩා කාලයේදී මෙවැනි කතා අසන්නට මා වාසනාවන්ත වී ඇතත්, මා මෙන් විස්තෘත පවුලක ඇසුර ලැබීමේ වාසනාව අහිමිව වැඩුණු මගේ දරුවන්ට මේ කතා බොහෝ විට අහන්නට ලැබී ඇත්තේ මගෙන් පමණි.

විචාරක විසින් ඔහුගේ මවගෙන් අසාගත් පරිදි මේ කතාවේ ඉන්නේ වඩු කිරිල්ලියක වුවත් මා අසා ඇති පරිදි කතානායිකාව වටු කිරිල්ලියකි. වඩු කිරිල්ලියක් සාමාන්‍යයෙන් (විචාරකගේ ලිපිය සමඟ පළ කර ඇති) ඇගේ අපූරු කූඩුවෙන් පිටත බිත්තර නොදමන බැවින් මේ කතාව වඩා ගැලපෙන්නේ පොළොව ආශ්‍රිතව බිත්තර දමන වටු කිරිල්ලියකටය. කටින් කට සම්ප්‍රේෂණය වෙද්දී වටු කිරිල්ලිය ඉතා පහසුවෙන් වඩු කිරිල්ලියක වන්නට ඇත.

මේ කතා මුලින්ම කාගේ හෝ හිතේ මැවුණු අදහසකින් හෝ ඇසූ දුටු දෙයකින් පටන්ගෙන පසුව කාලයක් තිස්සේ තවත් බොහෝ දෙනෙකු අතින් පෝෂණය වුණු 'කතා' ලෙසම සැලකිය හැකි කතා වුවත්, ඒ කතා සැලකිල්ලෙන් විමසන විට අපේ පැරණි ජන සමාජය ගැන අදහසක් ගත හැකිවාක් මෙන්ම කතාවේ කෙළින්ම කියා නැති දේවල් ගැන කතා කරන්නටත් බැරිකමක් නැත. උදාහරණයක් ලෙස කතාවේ වස්තු බීජය හේනක් මැද පිහිටි අතරින් පතර ගස් වැවුණු ගල්තලාවක පැල්මක් අතර සිරවී තිබුණු වටු බිත්තරයක් හෝ කිහිපයක් දැක එය ගන්නට වෙනත් අයෙකුගෙන් උදවු ඉල්ලන කාන්තාවක් විය හැකිය. මේ කතාවේ ගල් වඩුවාගෙන් මෙන්ම, ඌරාගෙන්ද, ගිණි ගොඩෙන්ද, වතුර වලෙන්ද, අලියාගෙන්ද, කටුස්සාගෙන්ද සංකේතවත් වන්නේ සමාජයේ ජීවත්වන විවිධ දක්ෂතා හා දුර්වලතා ඇති මිනිසුන් විය හැකිය.

සමාජයක ජීවත් වන විවිධ පුද්ගලයින්ට විවිධ දක්ෂතා තිබේ. අයෙකුට බිත්තර නිෂ්පාදනය කිරීමටත්, තවත් අයෙකුට ගල් කඩන්නටත්, වෙනත් අයට බල ශක්ති ප්‍රභව සැපයීමට, ගිණි නිවීමට, ජල කළමනාකරණයට හා ජල කලමණාකරන උපාංග පාලනයට වැනි වෙනස් කටයුතු වලට විශේෂ ප්‍රාගුණ්‍යයක් තිබිය හැකිය. කිසියම් පුද්ගලයෙකු හෝ රටක් තමන්ට මෙසේ විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති කටයුත්තක නිරත වූ විට වැඩි ඵලදායිතාවයකින් නිෂ්පාදන කාර්යයෙහි යෙදිය හැකිය. සමාජයක් ඉදිරියට යන්නේ මෙසේ එක් එක් තැනැත්තා තමන්ට වඩාත් හොඳින් කළ හැකි දේ කරන අතරම භාණ්ඩ හා සේවා හුවමාරුව (හෝ වෙළඳාම) හරහා එක් ඒකකයක් ලෙස සම්බන්ධ වූ විටය.

කිසිවෙකු තමන්ගේ කාර්යය තනිව කිරීමට උත්සාහ ගන්නේනම් තමන්ට විශේෂ ප්‍රාගුණ්‍යයක් නැති කටයුතු වලද නිරත වන්නට සිදුවේ. එවිට තමන්ට විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති කටයුතු අතපසු වන නිසා එය අකාර්යක්ෂමතාවයන්ට හේතු වේ. ඒ නිසා වටු කිරිල්ලියගේ බිත්තරය ගල් දෙබොක්කාවේ හිර වූ විට එය තමන් විසින්ම ගන්නට කාලය යොදවනවාට වඩා ඒ පිළිබඳ  විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති ගල් වඩුවාගේ සේවය ලබා ගැනීම හොඳ තීරණයකි.

කෙසේ වුවද, ගල් වඩුවා වටු කිරිල්ලියට නොමිලේ සේවය සපයන්නට කැමති නැත. බිත්තර ඉවත් කිරීමට වටු කිරිල්ලියට උදවු කිරීමෙහි ආවස්ථික පිරිවැයක් තිබේ. එය වටු කිරිල්ලිය විසින් නොසැපයේනම් වටු කිරිල්ලියට අඩු මිලකට (නොමිලේ) සේවය කිරීමට ඉදිරිපත් වීම ගල් වඩුවා දකින පරිදි තාර්කික තීරණයක් නොවේ. ඒ නිසා ඔහු සිය මිල ඉල්ලා සිටී.

‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’

මෙය සැලකිය යුතු මිලකි. මේ සියල්ල ඉතා මෑත කාලයක් දක්වා සාමාන්‍ය ලාංකිකයෙකුගේ සුඛෝපභෝගී භාණ්ඩයි. අටුව යනු පැරණි ගම්බද නිවසක සබ්බ සකල මනාවම සුරක්ෂිත ලෙස ගබඩා කර තබන තැනයි. උදාහරණයක් ලෙස අටු කොස් කියන්නේ එසේ ගබඩා කර තබාගෙන පසුව ආහාරයට ගන්නා කොස්ය. සාමාන්‍ය ගැමියෙකුට අටු දෙකක ගබඩා කරන්නට තරම් දේවල් නැත. ඒ නිසා ගල් වඩුවාට දෙන්නට වැඩිපුර අටුවක් නැත. තියෙන එකම අටුව ඉල්ලීම මස් රාත්තලම ඉල්ලීමකි.

පුටුවද එවැනිම සුඛෝපභෝගී භාණ්ඩයකි. බොහෝ පැරණි ගැමි නිවෙස් වල බංකු, මැහි මිස පුටු නොතිබුණේය. පුටුවක් තිබුණේනම් ඒ ගමේ හාමුදුරුවන් වැඩිය විට සුදු රෙද්දක් එලා අසුන් ගන්නට දෙන්නට හෝ ගම් ප්‍රධානියෙකු පැමිණුනු විට මකුළු දැල් පිස දමා වාඩි වෙන්නට දෙන්නටය. එය පෙර කී අටුව මෙන් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවීය. බොහෝ ගෙවල් වල පුටුවක් නොතිබුණේ පුටුවක් හදාගන්නටවත් ආර්ථික ශක්තියක් නොතිබුණු බැවිණි. ඇතැම් වඩුවන්ගේ ගෙවල් වල පවා පුටු නොතිබුණේය. ඒත් සමහර අයනම් තමන්ට අත්‍යවශ්‍ය උපාංගයක් වන අටුව කඩා හෝ පුටුවක් හදා අනුන්ට පෙනෙන්නට ප්‍රදර්ශනය කරන අවස්ථා ඒ කාලයේදීත් තියෙන්නට ඇත.

තුන් වැන්න බුලත් තට්ටු හතයි. බත මෙන්ම බුලතද සෞභාග්‍යයයේ සංකේතයි. අල, බතල, කොස්, දෙල්, කුරහන් වැනි විවිධ ආහාර රැසක් අතර බත් යනු 'පොෂ්' කෑමකි. අමුත්තෙකු නිවසට පැමිණි විට නිවසේ ඇති අටුව හා පුටුව ප්‍රදර්ශනය කිරීම මෙන්ම කොස්, දෙල්, කුරහන් වලින් නොසලකා බතක්ම උයා දීමත්, බුලත් පිරුණු හෙප්පුවක් පෙන්වීමත් කළ හැක්කේ ප්‍රමාණවත් තරම් සල්ලියක් අතේ ඇති අයෙකුටය. හෙප්පුවේ ඇති බුලත් කල් තබා ගත නොහැකිය. ඒ නිසා තට්ටු හතක් උසට බුලත් පුරවන්නට වෙන්නේ ජයට ගන්නා මඟුලක් වැනි අමුත්තන් රැසක් ගෙදරට එන වෙලාවකටය.

අතේ පිච්චිය නැති, එදා වේල සරි කරගැනීමට දඟලන බහුතර ගැමියන්ට 'අටුවක්, පුටුවක් හා තට්ටු හතක බුලත්' යනු සිහිනෙන් දිව ගෑ සුවඳකි. වටු කිරිල්ලියගෙන් ගල් වඩුවා ඉල්ලන්නේ මෙවැනි ඉහළ මිලකි. මෙයින් ජනකතාකරුවා විසින් අහිංසක වටු කිරිල්ලියට දරා ගත නොහැකි මිලක් ගල් වඩුවා ඉල්ලන බව අතිශයෝක්තියට නඟමින් පවසයි. වටු කිරිල්ලිය ඒ මිල ගෙවීමට සූදානම් නැත. ඒ නිසා ගනුදෙනුවක් සිදු නොවේ. එහෙත්, ඇය බලාපොරොත්තු අත් නොහරී. අඩුවෙන් වැඩේ කරගත හැකි තැනක් සොයමින් 'ෂොප් කරයි'.

ඈ ඌරා, ගිණි ගොඩ, වතුර වල හා අලියා යන වෙනත් සැපයුම්කරුවන් සිවුදෙනෙකු වෙතම යන නමුත් ඔවුන් බලාපොරොත්තු වන අවම මිලද ඇය ගෙවන්නට කැමති මිලට වඩා වැඩිය. ඒ නිසා ගණුදෙනුවක් සිදු නොවේ.

කෙසේවුවද, අවසානයේ වටු කිරිල්ලිය සිය බලාපොරොත්තු ඉටු කරගනී. කටුස්සා ඇයට දරා ගත හැකි මිලකට (කිසිවක් අය නොකරම) ඇයට අවශ්‍ය දෙය ඉටු කර දීමට ඉදිරිපත් වේ. ඇතැම් විට, කටුස්සාට අලියාගෙන් 'ඇරියස් එකක් ඇල්ලීමට' තිබුණු අවශ්‍යතාවය සමඟ වටු කිරිල්ලියගේ අවශ්‍යතාවය සම්පාත වූවා විය හැකිය. එසේ නැත්නම්, නිකම්ම ඔළුව වන වන පැත්තකට වී සිටි කටුස්සාගේ ශ්‍රමයේ ආවස්ථික පිරිවැය ශුන්‍ය වූවා විය හැකිය. එසේත් නැත්නම්, සරලවම කටුස්සා අනුන්ට උදවු කිරීමෙන් තමන්ට සතුටක් ලැබිය හැකි අයෙකු වූවා විය හැකිය.

වටු කිරිල්ලිය අන්තිමේදී ඇගේ වැඩේ 'කොහොම හරි' ගොඩ දා ගත්තේය. ඒත්, ඒ කිසිදු පිරිවැයක් නොදරමින් නොවේ. සැපයුම්කරුවන් හය දෙනෙකු හමුවෙමින්, මිල හෙට්ටු කරමින් ඇය විසින්ද සැලකිය යුතු සෙවුම් පිරිවැයක් (search cost) දරා තිබේ. 



[ලිපියට අදාළ නොවන, අපහාසාත්මක හා සම්මත අසභ්‍ය වචන අනවශ්‍ය පරිදි යොදාගැනෙන කමෙන්ට් පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එවැනි කමෙන්ට් පළවී ඇතොත් ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි එම කමෙන්ට් ඉවත් කරනු ලැබේ.]

(Image: http://orientalbirdimages.org/)

Sunday, September 4, 2016

පස්සට යන ගස් හා පස්සෙන් එන හඳ...

(මෙය වෙනත් මාතෘකාවක් යටතේ පෙර පලකළ ලිපියක් සංශෝධන සහිතව නැවත පළකිරීමකි.)

පෙරදිග මෙන්ම බටහිරද දවස නම් වූ සංකල්පය බිහි වූයේ පෘථිවි කේන්ද්‍රීයව සිතූ විට පොළොව වටා ඉරට වටයක් යාමට ගතවන කාලය සහ ඒ හේතුවෙන් ඇතිවන දිවා රාත්‍රී චක්‍ර අනුවය. මේ දිවා රාත්‍රී චක්‍ර යනු ඇහැට පෙනෙන, 'ඇඟට දැනෙන' දෙයකි. එමෙන්ම, ඉර, හඳ හා තාරකා පොළොව වටා යාමද අපට ඇහැට පෙනෙන, 'ඇඟට දැනෙන' දේවල්ය. දැන් අප හැම විටම වාගේ යොදා ගන්නා සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, දවසක් යනු පෘථිවියට සිය අක්ෂය වටා වරක් භ්‍රමණය වීමට ගත වන කාලයයි. මේ ආකෘති දෙකෙන් කවර ආකෘතියක් අනුව වුවද, දවස යන සංකල්පයේ පදනම වනුයේ පෘථිවිය හා සූර්යයා අතර සාපේක්ෂ චලිතයයි. මේ ගැන අපි පෙර ලිපියකින් කතා කළෙමු.

දවසට පැය කීයක්ද එහේ?

අවුරුද්ද යන සංකල්පය දවස යන සංකල්පයට වඩා තරමක් සංකීර්ණය. මේ සංකල්පය විවිධ සංස්කෘති තුළ වර්ධනය වන්නේ එකම ආකාරයෙන් නොවේ. ඒ නිසා, සිංහල, හින්දු, මුස්ලිම්, ග්‍රෙගෝරියන් ආදී විවිධ 'අවුරුදු' ගැන අපට අසන්නට ලැබේ. මේ ඇතැම් අවුරුදු සංකල්ප සූර්ය චලිතය මතද, වෙනත් අවුරුදු සංකල්ප චන්ද්‍ර චලිතය මතද, තවත් සමහරක් අවුරුදු සංකල්ප චන්ද්‍ර හා සූර්ය චලිතයන් දෙකම මතද පදනම් වේ. මේ ගැනද අපි පෙර කතා කළෙමු.

මුස්ලිම් වයස, සිංහල වයස හා ග්‍රෙගෝරියන් වයස


හින්දු ශක වර්ෂ ක්‍රමය මත පාදක වූ සිංහල කැලැන්ඩරය මෙන්ම, දැනට ලොව පුරා ප්‍රචලිතව ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයද සැලකිය හැක්කේ සූර්ය කැලැන්ඩර ලෙසිනි. සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, වසරක් යනු තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් කරන පෘථිවියට එසේ එක් වටයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලයයි.

සහශ්‍ර දෙකකට පමණ පෙර විසූ පෙර අපර දෙදිග විද්‍යාර්තීහු නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව සූර්යයාගේ පිහිටීම දිනපතාම වෙනස් වන බව නිරීක්ෂණය කළහ. පොළොව වටා දිනපතා ගමන් කරන බව පෙනෙන්නට තිබුණු, ගිණිය නොහැකි තරම් විශාල ගණනක් වූ තාරකා එසේ ගමන් කිරීමේදී එකිනෙකා අතර දුර නොවෙනස්ව තබා ගත්තත්, 'ග්‍රහ වස්තු' ලෙස හඳුනාගත් ඉර, හඳ, අඟහරු, සිකුරු, බ්‍රහස්පති ආදීන් එසේ අනෙකුත් තාරකාවන් සමඟ එක්ව ගමන් ගත්තේ නැත.

සහශ්‍ර ගණනකට පෙර භෞතික විද්‍යාව දියුණු කිරීමට දායක වූ පෙර අපර දෙදිග තාරකා නිරීක්ෂකයින්ට සූර්යයා පොළොව වටා ගමන් කරනු පෙනුණේ නක්ෂත්‍ර තාරකාවන් පොළොව වටා ගමන් කළ වේගයට වඩා තරමක් අඩු වේගයෙනි. එය එසේ නොවන්නට පොළොව මත විසූ නිරීක්ෂකයෙකුට තාරකා ගෝලයෙන් අර්ධයක් කිසිදා පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි විය හැකිව තිබුණි. දැනට භාවිතා වන සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, මේ වෙනසට හේතුව පොළොව සිය අක්ෂය වටා ගමන් කරමින් ඉර වටාද ගමන් කිරීම බව අපි 'දනිමු'.

ගමන් කිරීම හෝ චලිතය යන සංකල්පය අර්ථදැක්වීම අනුවම සාපේක්ෂ සංකල්පයකි. ගමන් කරන දුම්රියක ඉදිරියෙන් පිහිටි  මැදිරියක සිට පසුපසට ඇවිදින අයෙකුට සිතෙන්නේත්, දැනෙන්නේත් තමන් පසුපසට යන බවයි. දුම්රියෙහි අසුනක වාඩි වී සිටින, ඉහත පුද්ගලයාව නිරීක්ෂණය කරන අයෙකුට 'පෙනෙන්නේත්', සිතෙන්නේත් එම පුද්ගලයා පසුපසට යන බවයි. එහෙත්, මේ පුද්ගලයා ඇත්තටම ගමන් කරන්නේ ඉදිරියටද නැත්නම් පසුපසටද?

ඉහත ප්‍රශ්නයට නිරපේක්ෂ පිළිතුරක් නැත.

-දුම්රියට සහ එහි අසුන්ගෙන සිටින මඟීන්ට සාපේක්ෂව ඔහු පසුපසට ගමන් කරයි.
-මේ පුද්ගලයා දුම්රිය තුළ (අනෙක් මඟීන්ට සාපේක්ෂව) පසුපසට ඇවිදින වේගය දුම්රිය දුම්රියෙන් පිටත නිශ්චලව සිටින අයෙකුට සාපේක්ෂව ඉදිරියට යන වේගයට වඩා අඩු බව උපකල්පනය කළ හොත් එසේ දුම්රියෙන් පිටත සිටින අයෙකුට සාපේක්ෂව මේ පුද්ගලයා යන්නේ ඉදිරියටය.
-දුම්රිය තුළ අසුන්ගෙන සිටින මගීහු දුම්රියට සාපේක්ෂව නිසලව සිටිති. එහෙත්, පිටත සිටින නිරීක්ෂකයෙකුට සාපේක්ෂව දුම්රියේ වේගයෙන්ම ඉදිරියට ඇදෙති.

මේ ටික තේරුම් ගැනීම අපහසු නැත. එහෙත්, සාපේක්ෂ චලිතය හා අදාළ එවැනිම නිරවද්‍ය කියමන් වන පහත ප්‍රකාශ දිරවා ගැනීම බොහෝ දෙනෙකුට එතරම්ම පහසු නොවිය හැකිය.
-අර පසුපසට යනවායයි කී පුද්ගලයාට සාපේක්ෂව දුම්රියෙහි අසුන්ගෙන සිටින මඟීහු ඉදිරියට යති.
-දුම්රියට සාපේක්ෂව දුම්රියෙන් පිටත ඇති ගහකොළ, ගොඩනැඟිලි ආදී බොහෝ දේ පසුපසට චලනය වේ.

ඉදිරියට ඇදෙන දුම්රියක සිට පිටත බලා සිටින විට ඇතැම් විට අප නිසලව සිටින බවත් බාහිර ලෝකය පසුපසට චලනය වන බවත් අපට පෙනේ. 'ඇඟට දැනේ'. එහෙත්, බාහිර වස්තු නිසලව පවතිද්දී, අප සමඟ දුම්රිය ඉදිරියට ඇදෙන බව ක්ෂණිකව අපේ මනස අපට මතක් කර දෙයි. ඉන්පසුව, අර මුල් අත්දැකීම වෙනස් වේ. එය එසේ වන්නේ පොළොව මත ඇති අනෙකුත් වස්තු චලනය නොවන බවත්, චලනය වන්නේ දුම්රිය බවත් අප 'දන්නා' බැවිනි. අප ඒ බව දන්නේ විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස ඒ බව අප ඉගෙනගෙන ඇති නිසා සහ එසේ උගත් දෙය අප විශ්වාස කරන නිසාය.

හැකිනම් වයස අවුරුදු තුනක් පමණ වූ ඔබේ ළමා කාලයට යන්න. ඒ කාලයේ බසයක හෝ දුම්රියක ගිය ගමනක් මතක් කරගන්න. ගමන අවසන් වන තුරුම ගහකොළ, ගෙවල් පසුපසට යනු නැරඹු අපූරු අත්දැකීම ඇතැම්විට ඔබට මතක් කර ගත හැකි වනු ඇත. ඒ, ඔබ ඔබේ ඇහැට පෙනෙන දේ විශ්වාස කළ කාලයයි. ගහකොළ, ගෙවල් පස්සට නොයන බව කාලයත් සමඟ ඔබ 'දැන ගන්නා' තුරු මෙහි කිසිම අවුලක් නොතිබුණු නිසා ඒ අත්දැකීම රස විඳින්නට ඔබට හැකි විය. එහෙත් දැන් එසේ නොවේ. ඔබේ ඇස් ඔබට පෙන්වන දේ පිළිගන්නට ඔබේ 'දැනුම' ඔබට බාධා කරයි.

ඔබේ කුඩා කාලයට නැවත ගියහොත්, තවත් මෙවැනිම සොඳුරු අත්දැකීමක් වන්නේ හඳ පස්සෙන් එන අත්දැකීමයි. [මෙය මතක් කිරීම ගැන පැතුම් හේරත්ට ස්තුතිය හිමිවේ.] ගස් පස්සට යාමේදීත්, හඳ පස්සෙන් එනවිටත් සිදුවන්නේ එකම දෙය නොවේ.

ගොඩනැඟිලි, ගස් හා ඒ ගස් වල බැඳ සිටින තණකොළ කන හරක් පස්සට යනු ඔබට පෙනෙන්නේ ඔබට සාපේක්ෂව ඒ ගොඩනැඟිලි, ගස් හා හරක් එකම ඒකකයක් ලෙස ඇත්තටම පස්සට යන නිසාය. එහෙත්, ඔබට හඳ පස්සෙන් එනු පෙනෙන්නේ ඇත්තටම ඔබත් සමඟ හඳ චලනය වන නිසා නොවේ. පොළොව මත ඇති ගොඩනැඟිලි, ගස් ආදියට සාපේක්ෂව ඔබ ඉදිරියට ගියත් ඔබට වඩා බොහෝ දුරින් ඇති හඳත්, පොළොවේ ඔබ සිටින තැනත් අතර දුර හෝ එහි සිට ඔබේ ඇස් වලට ආලෝකය පැමිණෙන දිශාව සැලකිය යුතු ලෙස වෙනස් නොවන නිසාය.


ඉරත් පොළොවත් අතර සාපේක්ෂ චලිතයක් පවතී. (ඇත්තටම මේ සාපේක්ෂ චලිතයත් සාපේක්ෂ සාපේක්ෂ චලිතයකි.) මේ සාපේක්ෂ චලිතය අපේ පහසුව තකා නිශ්චලව ඇති ඉරට සාපේක්ෂව පොළොවේ චලිතය ලෙස හෝ නිශ්චලව ඇති පොළොවට සාපේක්ෂව ඉරේ චලිතය ලෙස ආකෘතිගත කළ හැකිය. පෙර අපර දෙදිග විද්‍යාර්ථින් සහශ්‍ර ගණනක සිට මේ ඉර, පොළොව හා අනෙකුත් ග්‍රහ වස්තු අතර සාපේක්ෂ චලනයන් ආකෘතිගත කළේ පොළොවට සාපේක්ෂවය. මේ ග්‍රහ වස්තු නිරීක්ෂණය කෙරෙන්නේ පොළොව මත සිට බැවින්, එවැනි ආකෘතියක් පරීක්ෂනාත්මක දත්ත සමඟ ගැලපීම අඩුවෙන් ආයාසකර කටයුත්තකි.

පොළොවේ සිට පියවි ඇසින් අහස නිරීක්ෂණය කරන්නෙකුට ඉර, හඳ, අනෙකුත් ග්‍රහ වස්තු හා ඈතින් පිහිටි තාරකා අති මහත් රාශියක් පෙනේ. දැන් අප 'දන්නා' පරිදි ඉර, හඳ, අනෙකුත් ග්‍රහ වස්තු මෙන්ම ඈතින් පිහිටි තාරකාද එකිනෙකට සාපේක්ෂව චලනය වේ. එහෙත්, මේ තාරකා පිහිටා ඇත්තේ පොළොවට ඉතා ඈතින් නිසා, කෙටි කලක් ඇතුළත සිදුවන එවැනි චලනයන් නිසා පොළොවට නිරීක්ෂණය වන 'අහසේ' සිදුවන වෙනස්කම්  අපේ පියවි ඇහැට සංවේදී නැත. එමෙන්ම, මෙසේ 'හෙමින්' සිදුවන අන්තර්-තාරකා චලනයන් ගැන හැදෑරීමේ අවශ්‍යතාවයක්ද මෑතක් වන තුරුම පෙර අපර දෙදිග විද්යාර්ථීන්ට නොතිබුණේය.

ආර්ථික විද්‍යාවේදී, භෞතික විද්‍යාවේදී හෝ වෙනත් ඕනෑම නූතන විද්‍යාවක විචල්‍ය දෙකක් හෝ කිහිපයක් අතර ඇති සම්බන්ධතාවය ආකෘතිගත කිරීමේදී අපේ පහසුවට අප කරන්නේ අපේ අධ්‍යයනයට එතරම් වැදගත් නොවන අනෙකුත් විචල්‍ය නොවෙනස්ව ඇති බව උපකල්පනය කිරීමයි. එවිට, අපට අවශ්‍ය සම්බන්ධතාව හෝ සම්බන්ධතා පහසුවෙන් හැදෑරිය හැකි සෛද්ධාන්තික රාමුවක් අපට ඉතිරි වේ.

ඒ අනුව, පොළොව, ඉර, හඳ සහ නිරීක්ෂනය කිරීමට හැකි තරමේ චලිතයක් පෙන්වූ අනෙකුත් ග්‍රහ වස්තු අතර සාපේක්ෂ චලිතය ආකෘතිගත කිරීමේදී පැරැන්නෝ අහසේ පෙනෙන අනෙකුත් සිය දහස් ගණනක් වූ තාරකා එකිනෙක අතර සාපේක්ෂ  චලිතය නොසලකා හරිමින්, ඒ සියල්ල පොළොව වටා ගමන් කරන එක් කණ්ඩායමක් ලෙස සැලකූහ. ඒ කණ්ඩායම සමඟ එක්ව ගමන් නොකරන ඉර, හඳ ඇතුළු අනෙකුත් ග්‍රහ වස්තූන්ගේ චලිතය වෙන වෙනම නිරීක්ෂණය කෙරිණි. හැදෑරිණි.

එසේ පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඇසුරෙන් 'දැනගත්' දේ ගැනත්, මේ දැනුම උපයෝගී කරගෙන හදා ගත් සහ පසුව නැවත නැවතත් තහවුරු කරගත් (එමෙන්ම, නිරීක්ෂනය කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ හැකියාවන් වර්ධනය වෙද්දී වරින් වර සංශෝධනය වුණු හා ඇතැම් විට වෙනත් ආකෘතියකින්  ප්‍රතිස්ථාපනය වුණු) ආකෘති හා සංකල්ප ගැන පසුව කතා කරමු.

(Image: www.theodysseyonline.com

[මේ ලිපිය නැවත පළ කරන්නේ අධ්‍යාපනික අරමුණකින් මගේ ලිපි කියවන පාඨකයින් වෙනුවෙනි. සිය දරුවන් සමඟ එක්ව මේ වියුණුවේ ඇති ලිපි කියවීමට ඇති බාධා ඉවත් කර දෙනමෙන් ඔවුන් කිහිප දෙනෙකුම ප්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව ඉල්ලා තිබේ. එබැවින්, ලිපියට අදාළ නොවන, අපහාසාත්මක හා සම්මත අසභ්‍ය වචන අනවශ්‍ය පරිදි යොදාගැනෙන කමෙන්ට් පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එවැනි කමෙන්ට් පළවී ඇතොත් ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි එම කමෙන්ට් ඉවත් කරනු ලැබේ.]

මේ ලිපියෙහි මුල් පළ කිරීමට පාඨකයන් දැක්වූ ප්‍රතිචාර අතරින් ලිපියේ ප්‍රස්තුතයට අදාළ ප්‍රතිචාර හා ඒවාට ඉකොනොමැට්ටාගේ ප්‍රති-ප්‍රතිචාර පහත උපුටා දැක්වේ.


රසිකොලොජිස්ට් - RasikologistAugust 31, 2016 at 10:25 AM

මට සිහි වුනේ, පොළොව සහ අනෙකුත් ග්‍රහලෝක ඉර වටා යන බව පාසලෙන් ඉගෙන ගෙන තිබුණු කාලේ, ඉරත් තම ග්‍රහ මණ්ඩලයම සමග ගමන් කරන බව තාත්තා කී විට එය ග්‍රහණය කර ගත නොහැකිව මා පුදුම වුණ හැටි.
ReplyDelete
Replies


    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 2:29 PM

    අප අසන, දකින, ඉගෙනගන්න දේ අපේ දැනුම ලෙස එකතු වෙනවා. ඒ දැනුම මත අපේ විශ්වාස ඇති වෙනවා. අසන, දකින, ඉගෙනගන්න දේ වැඩිවන විට දැනුමේ වපසරිය වැඩිවෙනවා. එවිට ඇතැම් විට අපට තේරෙනවා අපේ විශ්වාස වෙනස් කර ගත යුතු බව. ඒත් ඒ විශ්වාස ඇදහීම් මට්ටමට ගියාම අප කරන්නේ විශ්වාස වෙනස් කර ගැනීම වෙනුවට අළුත් දැනුම අපේ පවතින විශ්වාස රාමුව ඇතුළට කොහොම හරි රිංගවා ගන්න. එක් එක් පුද්ගලයාගේ දැනුම හා විශ්වාස වෙනස් බව තේරුම් ගත් විට අප දකින ලෝකය අනෙක් අයට වෙනස් විදිහට පෙන්නේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන්. වෙනත් අය ලෝකය දකින විදිහ තේරුම් ගත හැකි තරමට කෙනෙකුට මුදල්මය, වෙනත් ආර්ථික හෝ දේශපාලනමය වැනි වාසි ගැනීමේ අවස්ථා වැඩියි. තමන්ගේ රාමුවෙන් එළියට යන්න බැරිව හිර වූ තරමට වෙනත් අයට තමන්ගෙන් ප්‍රයෝජන ගන්න පහසුයි.
    Delete
    Reply


Pathum HerathAugust 31, 2016 at 11:14 AM

COSMOS සීරිස් එක බලල ඇති කියල හිතනවා.. පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඇසුරෙන් විද්‍යාව දියුණු වෙච්ච හැටි අපුරුවට එකේ තියෙනවා..

මට නම් මතකෙට එන්නේ තාත්තාත් එක්ක බයිසිකල් එකේ යනකොට කොහේ බැලුවත් හඳ පේනකොට මම තාත්තාගෙන් අහනවා හඳ අපේ පස්සෙන්ම එනවා නේද කියල.. හෙහ් හෙහ්..
ReplyDelete
Replies

    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 2:30 PM

    ඔබ මතක් කරන මේ හඳ පස්සෙන් එන එක මගෙත් ළමා කාලයේ සුන්දර අත්දැකීමක්. මම හිතන්නේ ගොඩක් අයගේ. ඇත්තටම මෙයත් මතක් වුනානම් ලිපියට එකතු කරනවා.
    Delete
    Reply

ඇණයා Nut ManAugust 31, 2016 at 11:52 AM

පුංචි කාලේ බස් එකේ යනකොට ගස් පස්සට ගිය එක, බිරිඳ කීවා සීටීබී බස් වල යන කොට විතරයි ගස් පස්සට ගියේ කියලා, පුතා කීවා එයාට එහෙම අත්දැකිමක් මතක නෑ කියලා. අපි පුංචි කාලේ ගියේ සීටීබි බස් වල විතරක් බව එකපාරටම මතකයට එන්නේ නෑ, පුතාට මතක නැති වුනත් ඔහු ඉතාම පුංචි දවස්වල පස්සට යන ගස් වලට බායි කියනකොට අපි මහන්සි වෙලා ගස් පස්සට නොයන බව කියා දෙන්න උත්සාහ කලා, ඒ උත්සාහය සාර්ථක වෙලා, නමුත් අපි කරල තියන අපරාදයක්, ගස් පස්සට යන ඒ සුන්දර මතකය ඔහුට නෑ.
ReplyDelete
Replies

    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 2:33 PM

    මටත් මේ සිද්ධිය සමඟ මතක් වෙන්නෙම නිල්පාට පටිය ගහපු රතු සීටීබී බස් එකක්. නිල් පටිය කොළපාට කළ කාලය වෙනකොට එය එළෙසම පෙනුණේ නැහැ.
    Delete
    Reply

ඉවාන් පවුලූශාAugust 31, 2016 at 8:39 PM

අපි තාම ජීවත් වෙන්නෙ බස් එකේ යනකොට ගස් පස්සට යන රටක කියලා කියන්නත් පුලුවං
ReplyDelete
Replies

    Pra JaySeptember 1, 2016 at 3:40 AM

    දැන් රාවණා නැගිටල දඬුමොණරෙ යනකොට සියලු දේ බ්‍රමණය වෙන්නේ ලංකාද්වීපය වටේ
    Delete
    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 2:33 PM

    :)
    Delete
    Reply


විචාරක WicharakaAugust 31, 2016 at 10:24 PM

මට මතක්වුනේ මුනිදාස කුමාරතුංගගේ 'පිය සමර' කවි පෙළ. ඒ කවි පන්තියෙත් තියනවා, පියා පුතාට, විශ්වය සරල ලෙස හඳුන්වා දුන් හැටි.
ReplyDelete
Replies


    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 2:34 PM

    මේ පොත කියවා ඇති මතකයක් යාන්තමින් ඇතත් වැඩි යමක් මතක නැහැ.
    Delete
    Reply

    Reply

කල්‍යාණ මිත්‍රSeptember 1, 2016 at 6:34 AM

ඉස්සරහට පස්සට විසිවෙනවා වගේ දැනුනේ කියෝනකොට.. මෙයිට වැඩිය පහසුවෙන් තේරුම් ගන්න කෙහෙල්කන් වගේ සරල උදාහරණ නැද්ද මේවට..
ReplyDelete
Replies


    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 9:15 PM

    කෙහෙල්කැන් කතාව හොඳට මතක හිටලා වගේ.
    Delete
    Reply

සෙන්නාSeptember 1, 2016 at 7:40 AM

ඉර,හඳ,පෘතුවිය විතරක් නෙමේ ඔලුවත් කැරකෙන්න ගත්තා...
ReplyDelete
Replies


    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 9:21 PM

    ඔළුව කැරකෙනවා කියන්නෙත් අපේ ඉන්ද්‍රිය මඟින් අපට පෙන්වන ලෝකය හා අදාළ දෙයක්. ඉන්ද්‍රිය දෙකකින් ලැබෙන සංඥා ගලපගන්න බැරි වුනාම මොළය ටිකක් අවුල්.
    Delete
    Reply


RobertSeptember 1, 2016 at 12:45 PM

හැම චලිතයක්ම සාපේක්ෂ චලිතයක් තමයි, මොකද පෘථිවිය මත සියලුම චලිත පෘථිවියට සාපේක්ෂයි. නමුත් පෘථිවිය නිසල වස්තුවක් නෙවෙයිනෙ. නිරපේක්ෂ චලිතයක් ගැන කතා කරන්න නම් විශ්වයේ චලනය නොවන ලක්ෂ්‍යක් හෝ වස්තුවක් ගන්න වෙනවා. නමුත් එහෙම එකක් පවතිනවද ? මම නම් දන්න විධියට විශ්වය ප්‍රසාරණය වෙනවා. එහෙම බැලුවම චලිතය කියන්නෙ කොහොමත් සාපෙක්ෂ දෙයක්. [ලිපියේ ප්‍රස්තුතයට අදාළ නොවන කොටස පළ නොවේ.]


ඉකොනොමැට්ටා EconomattaSeptember 3, 2016 at 7:20 PM

//මම නම් දන්න විධියට විශ්වය ප්‍රසාරණය වෙනවා. එහෙම බැලුවම චලිතය කියන්නෙ කොහොමත් සාපෙක්ෂ දෙයක්. //
මෙතැන ඔබ මතු කරන කරුණ වැදගත් කරුණක්. මම මේ ලිපියේ කතා කරන සාපේක්ෂ චලිතයත් සාපේක්ෂ සාපේක්ෂ චලිතයක් කිවුවේ ඒ නිසා. ඔබත් මාත් අතර දුර වැඩිවන විට දුර මනින කෝදුවත් ඒ අනුපාතයෙන්ම දිග වැඩි වෙනවනම් අප දෙදෙනා අතර දුර වැඩි වන බව පෙනෙන්නේ නැහැ.
 

Wednesday, August 31, 2016

ඔබේ ලග්නය කුමක්ද? (පළමු කොටස)


මෙම ලිපිය සංශෝධන සහිතව වෙනත් මාතෘකාවක් යටතේ නැවත පළ කර තිබේ. සුළු එකතු කිරීමක් හා මාතෘකාවේ වෙනසක් ඇතත් මේ ලිපියේ ඇති කරුණු කිසිවක් ඉවත් කර නැත. එමෙන්ම, මෙම ලිපියේ ප්‍රස්තුතය හා අදාළ ප්‍රතිචාර හා ප්‍රති-ප්‍රතිචාරද එහි උපුටා දක්වා තිබේ. එබැවින්, එම පිටුව කරා යොමු වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පස්සට යන ගස් හා පස්සෙන් එන හඳ...
http://economatta.blogspot.com/2016/09/blog-post.html


පෙරදිග මෙන්ම බටහිරද දවස නම් වූ සංකල්පය බිහි වූයේ පෘථිවි කේන්ද්‍රීයව සිතූ විට පොළොව වටා ඉරට වටයක් යාමට ගතවන කාලය සහ ඒ හේතුවෙන් ඇතිවන දිවා රාත්‍රී චක්‍ර අනුවය. මේ දිවා රාත්‍රී චක්‍ර යනු ඇහැට පෙනෙන, 'ඇඟට දැනෙන' දෙයකි. එමෙන්ම, ඉර, හඳ හා තාරකා පොළොව වටා යාමද අපට ඇහැට පෙනෙන, 'ඇඟට දැනෙන' දේවල්ය. දැන් අප හැම විටම වාගේ යොදා ගන්නා සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, දවසක් යනු පෘථිවියට සිය අක්ෂය වටා වරක් භ්‍රමණය වීමට ගත වන කාලයයි. මේ ආකෘති දෙකෙන් කවර ආකෘතියක් අනුව වුවද, දවස යන සංකල්පයේ පදනම වනුයේ පෘථිවිය හා සූර්යයා අතර සාපේක්ෂ චලිතයයි. මේ ගැන අපි පෙර ලිපියකින් කතා කළෙමු.

දවසට පැය කීයක්ද එහේ?

අවුරුද්ද යන සංකල්පය දවස යන සංකල්පයට වඩා තරමක් සංකීර්ණය. මේ සංකල්පය විවිධ සංස්කෘති තුළ වර්ධනය වන්නේ එකම ආකාරයෙන් නොවේ. ඒ නිසා, සිංහල, හින්දු, මුස්ලිම්, ග්‍රෙගෝරියන් ආදී විවිධ 'අවුරුදු' ගැන අපට අසන්නට ලැබේ. මේ ඇතැම් අවුරුදු සංකල්ප සූර්ය චලිතය මතද, වෙනත් අවුරුදු සංකල්ප චන්ද්‍ර චලිතය මතද, තවත් සමහරක් අවුරුදු සංකල්ප චන්ද්‍ර හා සූර්ය චලිතයන් දෙකම මතද පදනම් වේ. මේ ගැනද අපි පෙර කතා කළෙමු.

මුස්ලිම් වයස, සිංහල වයස හා ග්‍රෙගෝරියන් වයස


හින්දු ශක වර්ෂ ක්‍රමය මත පාදක වූ සිංහල කැලැන්ඩරය මෙන්ම, දැනට ලොව පුරා ප්‍රචලිතව ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයද සැලකිය හැක්කේ සූර්ය කැලැන්ඩර ලෙසිනි. සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, වසරක් යනු තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් කරන පෘථිවියට එසේ එක් වටයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලයයි.

සහශ්‍ර දෙකකට පමණ පෙර විසූ පෙර අපර දෙදිග විද්‍යාර්තීහු නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව සූර්යයාගේ පිහිටීම දිනපතාම වෙනස් වන බව නිරීක්ෂණය කළහ. පොළොව වටා දිනපතා ගමන් කරන බව පෙනෙන්නට තිබුණු, ගිණිය නොහැකි තරම් විශාල ගණනක් වූ තාරකා එසේ ගමන් කිරීමේදී එකිනෙකා අතර දුර නොවෙනස්ව තබා ගත්තත්, 'ග්‍රහ වස්තු' ලෙස හඳුනාගත් ඉර, හඳ, අඟහරු, සිකුරු, බ්‍රහස්පති ආදීන් එසේ අනෙකුත් තාරකාවන් සමඟ එක්ව ගමන් ගත්තේ නැත.

සහශ්‍ර ගණනකට පෙර භෞතික විද්‍යාව දියුණු කිරීමට දායක වූ පෙර අපර දෙදිග තාරකා නිරීක්ෂකයින්ට සූර්යයා පොළොව වටා ගමන් කරනු පෙනුණේ නක්ෂත්‍ර තාරකාවන් පොළොව වටා ගමන් කළ වේගයට වඩා තරමක් අඩු වේගයෙනි. එය එසේ නොවන්නට පොළොව මත විසූ නිරීක්ෂකයෙකුට තාරකා ගෝලයෙන් අර්ධයක් කිසිදා පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි විය හැකිව තිබුණි. දැනට භාවිතා වන සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, මේ වෙනසට හේතුව පොළොව සිය අක්ෂය වටා ගමන් කරමින් ඉර වටාද ගමන් කිරීම බව අපි 'දනිමු'.

ගමන් කිරීම හෝ චලිතය යන සංකල්පය අර්ථදැක්වීම අනුවම සාපේක්ෂ සංකල්පයකි. ගමන් කරන දුම්රියක ඉදිරියෙන් පිහිටි  මැදිරියක සිට පසුපසට ඇවිදින අයෙකුට සිතෙන්නේත්, දැනෙන්නේත් තමන් පසුපසට යන බවයි. දුම්රියෙහි අසුනක වාඩි වී සිටින, ඉහත පුද්ගලයාව නිරීක්ෂණය කරන අයෙකුට 'පෙනෙන්නේත්', සිතෙන්නේත් එම පුද්ගලයා පසුපසට යන බවයි. එහෙත්, මේ පුද්ගලයා ඇත්තටම ගමන් කරන්නේ ඉදිරියටද නැත්නම් පසුපසටද?

ඉහත ප්‍රශ්නයට නිරපේක්ෂ පිළිතුරක් නැත.

-දුම්රියට සහ එහි අසුන්ගෙන සිටින මඟීන්ට සාපේක්ෂව ඔහු පසුපසට ගමන් කරයි.
-මේ පුද්ගලයා දුම්රිය තුළ (අනෙක් මඟීන්ට සාපේක්ෂව) පසුපසට ඇවිදින වේගය දුම්රිය දුම්රියෙන් පිටත නිශ්චලව සිටින අයෙකුට සාපේක්ෂව ඉදිරියට යන වේගයට වඩා අඩු බව උපකල්පනය කළ හොත් එසේ දුම්රියෙන් පිටත සිටින අයෙකුට සාපේක්ෂව මේ පුද්ගලයා යන්නේ ඉදිරියටය.
-දුම්රිය තුළ අසුන්ගෙන සිටින මගීහු දුම්රියට සාපේක්ෂව නිසලව සිටිති. එහෙත්, පිටත සිටින නිරීක්ෂකයෙකුට සාපේක්ෂව දුම්රියේ වේගයෙන්ම ඉදිරියට ඇදෙති.

මේ ටික තේරුම් ගැනීම අපහසු නැත. එහෙත්, සාපේක්ෂ චලිතය හා අදාළ එවැනිම නිරවද්‍ය කියමන් වන පහත ප්‍රකාශ දිරවා ගැනීම බොහෝ දෙනෙකුට එතරම්ම පහසු නොවිය හැකිය.
-අර පසුපසට යනවායයි කී පුද්ගලයාට සාපේක්ෂව දුම්රියෙහි අසුන්ගෙන සිටින මඟීහු ඉදිරියට යති.
-දුම්රියට සාපේක්ෂව දුම්රියෙන් පිටත ඇති ගහකොළ, ගොඩනැඟිලි ආදී බොහෝ දේ පසුපසට චලනය වේ.

ඉදිරියට ඇදෙන දුම්රියක සිට පිටත බලා සිටින විට ඇතැම් විට අප නිසලව සිටින බවත් බාහිර ලෝකය පසුපසට චලනය වන බවත් අපට පෙනේ. 'ඇඟට දැනේ'. එහෙත්, බාහිර වස්තු නිසලව පවතිද්දී, අප සමඟ දුම්රිය ඉදිරියට ඇදෙන බව ක්ෂණිකව අපේ මනස අපට මතක් කර දෙයි. ඉන්පසුව, අර මුල් අත්දැකීම වෙනස් වේ. එය එසේ වන්නේ පොළොව මත ඇති අනෙකුත් වස්තු චලනය නොවන බවත්, චලනය වන්නේ දුම්රිය බවත් අප 'දන්නා' බැවිනි. අප ඒ බව දන්නේ විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස ඒ බව අප ඉගෙනගෙන ඇති නිසා සහ එසේ උගත් දෙය අප විශ්වාස කරන නිසාය.

හැකිනම් වයස අවුරුදු තුනක් පමණ වූ ඔබේ ළමා කාලයට යන්න. ඒ කාලයේ බසයක හෝ දුම්රියක ගිය ගමනක් මතක් කරගන්න. ගමන අවසන් වන තුරුම ගහකොළ, ගෙවල් පසුපසට යනු නැරඹු අපූරු අත්දැකීම ඇතැම්විට ඔබට මතක් කර ගත හැකි වනු ඇත. ඒ, ඔබ ඔබේ ඇහැට පෙනෙන දේ විශ්වාස කළ කාලයයි. ගහකොළ, ගෙවල් පස්සට නොයන බව කාලයත් සමඟ ඔබ 'දැන ගන්නා' තුරු මෙහි කිසිම අවුලක් නොතිබුණු නිසා ඒ අත්දැකීම රස විඳින්නට ඔබට හැකි විය. එහෙත් දැන් එසේ නොවේ. ඔබේ ඇස් ඔබට පෙන්වන දේ පිළිගන්නට ඔබේ 'දැනුම' ඔබට බාධා කරයි.

ඉරත් පොළොවත් අතර සාපේක්ෂ චලිතයක් පවතී. (ඇත්තටම මේ සාපේක්ෂ චලිතයත් සාපේක්ෂ සාපේක්ෂ චලිතයකි.) මේ සාපේක්ෂ චලිතය අපේ පහසුව තකා නිශ්චලව ඇති ඉරට සාපේක්ෂව පොළොවේ චලිතය ලෙස හෝ නිශ්චලව ඇති පොළොවට සාපේක්ෂව ඉරේ චලිතය ලෙස ආකෘතිගත කළ හැකිය. පෙර අපර දෙදිග විද්‍යාර්ථින් සහශ්‍ර ගණනක සිට මේ ඉර, පොළොව හා අනෙකුත් ග්‍රහ වස්තු අතර සාපේක්ෂ චලනයන් ආකෘතිගත කළේ පොළොවට සාපේක්ෂවය. මේ ග්‍රහ වස්තු නිරීක්ෂණය කෙරෙන්නේ පොළොව මත සිට බැවින්, එවැනි ආකෘතියක් පරීක්ෂනාත්මක දත්ත සමඟ ගැලපීම අඩුවෙන් ආයාසකර කටයුත්තකි.

පොළොවේ සිට පියවි ඇසින් අහස නිරීක්ෂණය කරන්නෙකුට ඉර, හඳ, අනෙකුත් ග්‍රහ වස්තු හා ඈතින් පිහිටි තාරකා අති මහත් රාශියක් පෙනේ. දැන් අප 'දන්නා' පරිදි ඉර, හඳ, අනෙකුත් ග්‍රහ වස්තු මෙන්ම ඈතින් පිහිටි තාරකාද එකිනෙකට සාපේක්ෂව චලනය වේ. එහෙත්, මේ තාරකා පිහිටා ඇත්තේ පොළොවට ඉතා ඈතින් නිසා, කෙටි කලක් ඇතුළත සිදුවන එවැනි චලනයන් නිසා පොළොවට නිරීක්ෂණය වන 'අහසේ' සිදුවන වෙනස්කම්  අපේ පියවි ඇහැට සංවේදී නැත. එමෙන්ම, මෙසේ 'හෙමින්' සිදුවන අන්තර්-තාරකා චලනයන් ගැන හැදෑරීමේ අවශ්‍යතාවයක්ද මෑතක් වන තුරුම පෙර අපර දෙදිග විද්යාර්ථීන්ට නොතිබුණේය.

ආර්ථික විද්‍යාවේදී, භෞතික විද්‍යාවේදී හෝ වෙනත් ඕනෑම නූතන විද්‍යාවක විචල්‍ය දෙකක් හෝ කිහිපයක් අතර ඇති සම්බන්ධතාවය ආකෘතිගත කිරීමේදී අපේ පහසුවට අප කරන්නේ අපේ අධ්‍යයනයට එතරම් වැදගත් නොවන අනෙකුත් විචල්‍ය නොවෙනස්ව ඇති බව උපකල්පනය කිරීමයි. එවිට, අපට අවශ්‍ය සම්බන්ධතාව හෝ සම්බන්ධතා පහසුවෙන් හැදෑරිය හැකි සෛද්ධාන්තික රාමුවක් අපට ඉතිරි වේ.

ඒ අනුව, පොළොව, ඉර, හඳ සහ නිරීක්ෂනය කිරීමට හැකි තරමේ චලිතයක් පෙන්වූ අනෙකුත් ග්‍රහ වස්තු අතර සාපේක්ෂ චලිතය ආකෘතිගත කිරීමේදී පැරැන්නෝ අහසේ පෙනෙන අනෙකුත් සිය දහස් ගණනක් වූ තාරකා එකිනෙක අතර සාපේක්ෂ  චලිතය නොසලකා හරිමින්, ඒ සියල්ල පොළොව වටා ගමන් කරන එක් කණ්ඩායමක් ලෙස සැලකූහ. ඒ කණ්ඩායම සමඟ එක්ව ගමන් නොකරන ඉර, හඳ ඇතුළු අනෙකුත් ග්‍රහ වස්තූන්ගේ චලිතය වෙන වෙනම නිරීක්ෂණය කෙරිණි. හැදෑරිණි.

එසේ පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඇසුරෙන් 'දැනගත්' දේ ගැනත්, මේ දැනුම උපයෝගී කරගෙන හදා ගත් සහ පසුව නැවත නැවතත් තහවුරු කරගත් (එමෙන්ම, නිරීක්ෂනය කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ හැකියාවන් වර්ධනය වෙද්දී වරින් වර සංශෝධනය වුණු හා ඇතැම් විට වෙනත් ආකෘතියකින්  ප්‍රතිස්ථාපනය වුණු) ආකෘති හා සංකල්ප ගැන පසුව කතා කරමු.

අවවාදයයි: මෙම ලිපිය සඳහා ලැබී ඇති ප්‍රතිචාර අතර ලිපියේ ප්‍රස්තුතයට කිසිදු අදාළත්වයක් නොමැති, අපහාසාත්මක හා සම්මත අසභ්‍ය වචන බහුලව අඩංගු ප්‍රතිචාර රැසක් තිබේ. මේ ප්‍රතිචාර ඔබේ දරුවෙකු හෝ වැඩිහිටියෙකු වැනි අයෙකු සමඟ එකට කියවීමෙන් ඔබ දැඩි අපහසුතාවයකට පත් විය හැකිය. මෙම ලිපිය සුළු සංශෝධන සහිතව වෙනත් මාතෘකාවක් යටතේ නැවත පළකර ඇති අතර ලිපියේ ප්‍රස්තුතයට අදාළ ප්‍රතිචාර සහ ප්‍රති-ප්‍රතිචාරද එහි උපුටා දක්වා තිබේ.  

පස්සට යන ගස් හා පස්සෙන් එන හඳ...
http://economatta.blogspot.com/2016/09/blog-post.html


(Image: ramukaviyoor.blogspot.com)

Friday, August 26, 2016

කිකිළිද? බිත්තරේද?


පිරුණු කළේ දිය නොසැලෙන බව සිංහල ප්‍රස්තා පිරුළකින් කියවේ. මෙයින් මතු කරන මුඛ්‍ය අදහස වෙනකක් වුවත් දැනුම එකතු කරගෙන, දැනුමෙන් පිරිපුන් වූවන් අගය කිරීමක්ද මේ ප්‍රස්තා පිරුළේ තිබේ. තවත් ප්‍රස්තා පිරුළකින් කියවෙන්නේ පෙරළෙන ගලේ පාසි නොබැඳෙන බවයි. මෙහි අදහස වෙනස් නොවන දැනුමෙහි අගය කාලයත් සමඟ ක්ෂය වන බවයි.

අපේ කළගෙඩි හිස්ව තබා ගන්නවාට වඩා වැඩි වැඩියෙන් පුරවා ගැනීම හැම අතින්ම හොඳය. එහෙත්, කළේ කටටම පුරවාගෙන එලෙසම තබා ගැනීමේද ලොකු අවුලක් තිබේ. එසේ කළ විට, එහි අළුතින් තවත් යමක් දමන්නට ඇති ඇති අවස්ථාව අපට අහිමි වේ. මෙසේ ඉඳහිටවත් වතුර මාරු කරගත්තේ නැත්නම් කළේ වතුර පල් වී ගඳ ගසන්නට ගනී. ඇතැම් විට ඒ ගඳ අහල පහළින් යන අයටත් දැනෙන්නට පුළුවන.

අපට ඉගෙන ගන්නට ඇති ලොකුම බාධාවක් වන්නේ අළුත් දැනුම ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්තා නැති කමට වඩා අප දැනටමත් 'දන්නා' දේ වලින් අපේ ඔළු ගෙඩි පිරී තිබීමයි. ඒ නිසා මෙසේ අප දන්නා දේ ගැනද ඉඳහිට හෝ පසු විපරමක් කිරීම වැදගත්ය. එසේම, කලින් කලට අපේ පවතින දැනුමෙන් කොටසක් ඉවත් කිරීමද (unlearning) දැනුම එකතු කරගැනීම මෙන්ම වැදගත් දෙයකි. කුඩා කාලයේදී (අපේ මනස විසින් 'මා' නමැති ඉපදෙන හා මැරෙන පුද්ගලයා මැවීම සම්පූර්ණ කරන තුරු) මෙය සැලකිය යුතු ගැටළුවක් නොවේ. මේ කාලයේදී, අපේ කළයේ මැටි වේලී නැති නිසා වැඩිපුර වතුර වැටෙන කොට කලයේ පරිමාව තරමක් ලොකු කරගන්නට වුවත් බැරි නැත. එහෙත්, මේ අයුරින් ටික ටික වතුර පුරවා ගනිමින් කාලය ගෙවද්දී, එක්තරා අවස්ථාවක අපට 'කළය පිරී ඇති බව' දැනෙන්නට පුළුවන. අවුල පටන් ගන්නේ එදාය!

බොහෝ කලක් තිස්සේ මා මෙසේ 'දැනගෙන සිටි' බව සිතා සිටි දෙයක් වූයේ පහත ප්‍රශ්නය හා ඒ ප්‍රශ්නයට පැවති සම්මත විසඳුමයි.

"ඉස්සෙල්ල හැදුනේ කිකිළිද? බිත්තරේද?"

මෙතැන බිත්තරේ යන්නෙන් අදහස් වෙන්නේ කටුසු බිත්තරයක් හෝ වටු බිත්තරයක් වැනි ඕනෑම බිත්තරයක් නොවේ. කිකිළියක විසින් දමන බිත්තරයකි.

බිත්තරයක් දමන්නට කිකිළියක සිටිය යුතුය. එහෙත්, ඒ කිකිළිය හැදෙන්නටනම් බිත්තරයක් තිබිය යුතුය. මේකේ කෙළවරක් නැත. අගක් මුලක් නැත. ඒ නිසා, මේ ප්‍රශ්නයට තර්කානුකුල උත්තරයක් නැත. මේ ප්‍රශ්නය හා මේ ප්‍රශ්නයට උත්තරයක් නැති බව මා 'දැන ගත්තේ' වයස අවුරුදු හතරක් හෝ පහක් වන කාලයේදී විය යුතුය. ලෝකයේ සිදුවන බොහෝ දේ මට 'හරියටම' 'දැනගතහැකි බව' මම ඒ කාලයේදී විශ්වාස කළෙමි. දැනුමෙහි ඇති සාපේක්ෂ බව හා ඒ නිසාම දැනුමෙහි ඇති අවිනිශ්චිත බවත්, දැනුම හා විශ්වාස අතර ඇති වෙනස හා සම්බන්ධතාවය ගැන මා අද 'දන්නා' හා විශ්වාස කරන දේ ඒ කාලයේදී දැන නොසිටියෙමි. 

ඇතැම් ආකෘතීන්හි ප්‍රශ්න වලට උත්තර නොමැති බවට මා දැන සිටි හොඳම උදාහරණයක් වූයේ "ඉස්සෙල්ල හැදුනේ කිකිළිද? බිත්තරේද?" යන්නයි. මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර 'කිකිළිය' හෝ 'බිත්තරය' යන්න නොවන බව මම ඉතා මෑතක් වන තුරුම විශ්වාස කළෙමි.

මගේ ඉහත විශ්වාසය මත පදනම්ව, ඉතා මෑත දිනක මගේ දරුවෙකුගේ ගැටළුවකට මගේ පිළිතුර ඔහුට විස්තර කිරීමේ ප්‍රවේශයක් ලෙස මම ඔහුගෙන් මේ ප්‍රශ්නය ඇසුවෙමි.

"ඔයාට පුළුවන්නනම් කියන්න ඉස්සෙල්ල හැදුනේ කිකිළිද? බිත්තරේද?"

කොල්ලා කල්පනාවට වැටෙනු ඇතැයි මම සිතුවෙමි. එහෙත්, එය එසේ සිදු නොවීය.

"බිත්තරේ!"

උත්තරය ප්‍රශ්නය ඇසූ පමණින්ම ඇවිත් ඉවරය. මා එක්වරම හිතුවේ මේ පිළිතුර දුරදිග නොසිතා දුන් පිළිතුරක් බවයි.

"කොහොමද ඔයා එහෙම කියන්නේ?"

"කාලෙකට කලින් කුකුළෝ හිටියේ නැහැ. හිටියේ කුකුළන්ගේ පූර්වජයින් වන මූල-කුකුළන් (proto-roosters) විතරයි. මූල-කිකිළියකගේ බඩේ බිත්තරයක් හැදුණා. ඒක මූල-කුකුළෙකු විසින් සංසේචනය කළා. කෙසේ වුවත්, අළුත් ජනිතයෙක් බිහිකිරීම සඳහා මේ මූල-කුකුළාගේත් මූල-කිකිළියගේත් ජාන එක් වීමේදී කිසියම් විකෘතියක් (mutation) සිදුවුනා. ඒ නිසා, මේ මූල-කිකිළිය දැමූ බිත්තරයෙන් එළියට ආවේ දැන් අප දකින විදිහේ කිකිළියක්!"

මෙය මා ඔහුගෙන් බලාපොරොත්තු වූ පිළිතුරක් නොවීය. ඔහුගේ විශ්ලේෂණ හැකියාව ඒ වෙලාවේ මාව විමතියට පත් කළේය. කෙසේ වුවද, මේ ලිපිය ලිවීම පටන් ගැනීමට මොහොතකට පෙර අන්තර්ජාලය පිරික්සීමේදී මා දුටුවේ මේ පිළිතුර අන්තර්ජාලයේ සටහන්ව ඇති පිළිතුරක් බවයි. ඇතැම් විට ඔහු මෙය අන්තර්ජාලයෙන් දැක තිබුණා විය හැකිය.

කෙසේවුවද, වැදගත් කරුණනම් කිකිළිද බිත්තරයද ප්‍රශ්නයට විකල්ප පිළිතුරක් සොයන්නට මා මෙතෙක් නොපෙළඹුනේ ප්‍රශ්නයට පිළිතුර මා දැන සිටි බව මා විශ්වාස කළ නිසාය.

***
මගේ ඉහත ප්‍රශ්නයට මගේ දරුවා දුන් පිළිතුර අඩු වශයෙන් ඒ මොහොතේ මා අමන්දානන්දයට පත් කළ 'නිවැරදි' පිළිතුරකි. කෙසේවුවද, මේ පිළිතුර නිවැරදි පිළිතුරක් වන්නේ ඔහුගේ දැනුමට සාපේක්ෂවය. ඔහු 'දන්නා' හා විශ්වාස කරන පරිණාමවාදයට අනුව, එක්වරම මූල-කිකිළියක විසින් දමන බිත්තරයකින් ඒ මූල-කිකිළියට මෙන්ම බිත්තරය සංසේචනය කළ මූල-කුකුළාටද වඩා වෙනස් අළුත් සතෙකු වන අප දන්නා කුකුළෙකු බිහි විය හැකිය.

මගේ දරුවා පරිණාමවාදය විශ්වාස කරයි. ඔහු මේ වන තුරු පාසැලේදී පරිණාමවාදය ඉගෙනගෙන නැත. ඒ පිලිබඳ ඔහුගේ දැනුම ඔහුගේ ස්ව-කැමැත්තෙන් බාහිරව ලබාගත් දැනුමකි. පරිණාමවාදය විශ්වාස කරන්නට ඔහුට පාසැලේදී හෝ නිවසේදී කිසිවකු කිසිම බලකිරීමක් කර නැත. පරිණාමවාදය ගැන මෙන්ම ලෝකයේ ප්‍රධාන ආගම් හා දර්ශන ගැනද ඔහු කියවා ඇත. ඒ කියවා ඇත්තේද විෂය බාහිර කියවීම් වශයෙනි. එහෙත්, මේ ආගම් හා දර්ශන වල කියැවෙන පරිණාමවාදය හා ගැටෙන්නේයැයි ඔහු සිතන ඇතැම් දේ වෙනත් බොහෝ අය විශ්වාස කරන බව ඔහු දන්නා නමුත් ඔහු විශ්වාස නොකරයි. එය තනිකරම ඔහුගේ තෝරා ගැනීමකි.

මෙහි යම් දුරකට මාධ්‍ය මඟින් පතුරුවන දැනුම් ආධිපත්‍යයේ බලපෑම තිබීමේ ඉඩක් ඇතත්, මාධ්‍ය වල ඇති තොරතුරු වලින් තමන්ට අවශ්‍ය දේ නිදහසේ තෝරාගැනීමට ඔහුට පුළුල් ඉඩකඩක් තිබීමත්, ඔහු එසේ කිරීමත් සැලකූ විට මේ ඉඩකඩ විශාල නැත. මා මගේ වයස දහයක් හෝ එකොළහක් වූ කාලයේදී කොවූර්ගේ පොත් දෙකක් කියවූ පමණින් 'බොක්කෙන්ම' හේතුවාදියෙක් වූයේත්, අඥෙයවාදියෙකු ලෙස වෙනස් වන තුරු එතැන් සිට වසර හයක් පමණ සමාජ ක්‍රියාකාරකම් වලදී කෙසේ වුවත් මගේ පෞද්ගලික විශ්වාස තුළ හේතුවාදියෙක් ලෙස සිටියේත්, නිවසේදීත්, පාසලේදීත්, දහම් පාසලේදීත් කොවූර් ඉදිරිපත් කළ හේතුවාදය සමඟ දැඩිව ගැටෙන මතවාදී, සංස්කෘතික හා දැනුම් ආධිපත්‍යයකට යටත්ව සිටියදීය.

පරිණාමවාදය අනුව ඇත්තටම මූල-කිකිළියක විසින් දමන බිත්තරයකින් එක පාරටම වෙනස්ම සතෙක් බිහි වෙන්නේ නැත. ජාන විකෘතියක් නිසා කිසියම් වෙනස්කමක් ඇති සතෙක් බිහි වී ඒ වෙනස්කම පරම්පරාවෙන් පරම්පරාවට යාමත්, මෙවැනි වෙනස්කම් ගණනාවක් වරින් වර සිදු වීමත් හේතුවෙන් අන්තිමේදී සිය පූර්වජයාගේ ලක්ෂණ ඒ විදිහටම ඇති සතෙකු සමඟ එක් වී සරු ජනිතයෙකු බිහි කළ නොහැකි වෙනස් සතෙක් බිහි විය හැකි බව පරිණාමවාදයෙන් විස්තර කෙරේ.

යුරෝපයේ කෙසේ වෙතත් ඇමරිකාව තුළ අදටත් පරිණාමවාදය ප්‍රමුඛ මතවාදය නොවේ. පසුගිය 2014දී සිදු කළ අවසන් ගැලප් ජනමත සමීක්ෂණය අනුව ඇමරිකානුවන්ගෙන් 42%ක් තවමත් සිතන්නේ වසර 10,000කට පමණ පෙර දෙවියන් විසින් වත්මන් ස්වරූපයෙන් මිනිසා මැවූ බවයි. ඇමරිකානුවන්ගෙන් තවත් 31%ක් වසර මිලියන ගණනක් තිස්සේ මිහිමත ජීවය පරිණාමය වූ ආකාරය ගැන ඩාවින්ගේ සිට වැඩිදියුණු වූ ප්‍රවාදය පිළිගන්නා නමුත් ජීවී පරිණාමය මෙසේ සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුවයැයි සිතති. පරිණාමය සිදුවන්නේ දෙවි කෙනෙකුගේ සම්බන්ධයකින් තොරව බව සිතන්නේ ඇමරිකානුවන්ගෙන් 19%ක් පමණි. (ඉතිරි 8% පිළිතුරු නොදුන් අය විය හැකිය.)

මා ඉහතින් ඉදිරිපත් කළ මගේ දරුවාගේ පිළිතුර නිවැරදි පිළිතුරක් වන්නේ පරිණාමවාදය 'දේව කැමැත්තට යටත්ව' යන සංශෝධනය සහිතව හෝ විශ්වාස කළ හැකි පදනමකදී පමණි. දෙවියන් විසින් වසර දසදහසකට පෙර එක් වර (දින හතක් ඇතුළත) ලෝකයත්, මිනිසා ඇතුළු අනෙකුත් සියළු සතුනුත් මැවුවේය යන මැවුම්වාදය විශ්වාස කළ හැකි පදනමකදී ඉහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ බිත්තරය නොව කිකිළිය යන්නයි. (අවශ්‍යනම් චක්‍රීය චින්තනයක මේ ප්‍රශ්නයට පිළිතුරක් නැති බව හෝ මෙහි අඩු වශයෙන් ප්‍රශ්නයක්වත් නැති බව කෙනෙකුට කියන්නට පුළුවන.)

ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් පවතින්නේ කිසියම් දැනුම් පද්ධතියක් (knowledge system) හා විශ්වාස පද්ධතියක් (belief system) තුළය. ඒ නිසා, එක් දැනුම් හා විශ්වාස පද්ධතියක් තුළ නිවැරදි වන දෙය වෙනත් දැනුම් හා විශ්වාස පද්ධතියක් තුළ නිවැරදි නොවිය හැකිය. ඇතැම් විට වැරදි විය හැකිය.

මගේ දැනුම සාපේක්ෂ දැනුමක් බව මා දන්නා නිසා කිසියම් ප්‍රශ්නයකට මා 'දන්නා' පිළිතුර නිවැරදි වීමේ සම්භාවිතාව එකට වඩා අඩු බව මගේ විශ්වාසයයි. ඒ බව මා 'දන්නා' නමුත්  ප්‍රායෝගිකව ක්‍රියාකිරීමේදී බොහෝ විට මා උපකල්පනය කරන මේ සම්භාවිතාව මත කිසියම් 'ඔට්ටු ඇල්ලීමක්' කිරීමට මට සිදුවේ. එහිදී, යමක් නිවැරදි වීමේ සම්භාවිතාව ලෙස මා විශ්වාස කරන අගය ඉතා අඩුනම් මා ප්‍රායෝගිකව කරන්නේ එම සම්භාවිතාව නොසලකා හැරීමයි.

දැනුම බොහෝ දුරට බාහිරින් ලැබෙන දෙයක් වුනත් විශ්වාස යනු අපේ 'ඇඟේම තියෙන' දේවල් බව මගේ අදහසයි. ඒ නිසා, දැනුම ලබාගත් පමණින් විශ්වාස වෙනස් නොවේ. එහෙත්, දැනුම පුළුල් වූ තරමට විශ්වාස යාවත්කාලීන කරගැනීම සඳහා ඇති වන අභ්‍යන්තර තෙරපුම වැඩි වේ.


(Image: www.headlinesciencenow.com)

Tuesday, August 23, 2016

හැන්ඩියන්ට බඩු නැත්තේ ඇයි?

"ක්රෑමන්ට ක්ලාස් නැත. හැන්ඩියන්ට බඩු නැත."

ඉහතින් ඇත්තේ ජනප්‍රිය සරසවි ප්‍රස්තා පිරුළකි. මෙහි ප්‍රභවය ගැන මා නොදන්නා නමුත් එය මගේ සරසවි කාලයට වඩා බොහෝ පැරණි බවනම් ස්ථිරය. අඩු වශයෙන් පස්වන ශ්‍රේණියේදී පමණ මම මේ කියමන දැන සිටියෙමි. මතක හැටියට මුලින්ම මේ කෑල්ල දැක්කේ කිසියම් නවකතාවකය.

'ක්රෑමෝ' යනු හැම වෙලාවේම අධ්‍යයන කටයුතු වල ඇලී ගැලී සිටින, වෙනත් බාහිර සමාජ ක්‍රියාකාරකම් වලට අඩුවෙන් සම්බන්ධ වන සිසුන්ය. මා සරසවියේ සිටි කාලයේදී මේ වචනය වෙනුවට ජනප්‍රියව තිබුණේ 'බොගාලා' යන වචනයයි. හැම වෙලාවේම අධ්‍යයන කටයුතු වල ඇලී ගැලී සිටින සිසුවෙකු එසේ කරන්නේ එසේ මහන්සි වී වැඩ කිරීමෙන් විභාගය වඩා හොඳින් සමත් වීමට හැකි වේය යන අපේක්ෂාවෙනි. ක්ලාස් එකක් හෙවත් පන්ති සාමාර්ථයක් ගත හැකි වන්නේ එවිටය. කෙසේ වුවද, දවස තිස්සේම ක්රෑම දැමීමෙන්, බොග දැමීමෙන් හෙවත් පොතපතෙහි ඇලී ගැලී සිටීමෙන් පසුවත් සිසුවෙකුට පන්ති සාමාර්ථයක් නොලැබේනම් එහි ඇත්තේ විසංවාදයකි.

'හැන්ඩියන්' යනු කඩවසම් පුද්ගලයින්ය. කාන්තා පාර්ශ්වයේ ආකර්
ශනය දිනා ගැනීම සඳහා අනෙක් පිරිමින් සමඟ තරඟ කිරීමේදී හැන්ඩියන්ට එසේ නොවන අයට වඩා වැඩි වාසියක් ඇති බව කිව යුතු නොවේ. මේ අයුරින්ම, කාන්තා පාර්ශ්වයේ 'කිරි ටොයියන්ට' පිරිමි පාර්ශ්වයේ ආකර්ශනය වැඩිය. ඒ අනුව, සරසවියක් වැනි විශාල තරුණ තරුණියන් රැසක් ඉන්නා ස්ථානයක අනෙක් අයට පෙර 'හැන්ඩියන්ට බඩු සෙට් වීමත්' 'කිරි ටොයියන්ට පොරවල් සෙට් වීමත්' සිදු විය යුතු සාමාන්‍ය දෙයයි. සිදු විය යුතුයැයි පෙනෙන දෙය එසේ වුවත්, ඇතැම් විට දිගු කලක් පෙම්වතෙකු හෝ පෙම්වතියක නොමැතිව සිටින, ප්‍රසිද්ධියේ නොපෙන්වුවත් ඒ සම්බන්ධව සිත් තැවුලෙන් පෙළෙන කඩවසම් තරුණයින් මෙන්ම රූ සපුවෙන් නොඅඩු තරුණියන්ද සරසවි වල මෙන්ම වෙනත් තැන් වලද සිටිනු පෙනේ. 'කබ්බන්' හා 'යක්කු' හිච් වෙද්දී 'හැන්ඩියන්ට' හා 'කිරි ටොයි කෑලි වලට' මෙසේ වේලෙන්නට වීම විසංවාදයකි.

ඉහත සරසවි ප්‍රස්තා පිරුළෙහි අදහස වන්නේ මෙසේ බැලූ බැල්මටම සිදුවිය යුතුයැයි පෙනෙන දේ සිදු නොවන අවස්ථා තිබීමයි. ඇතැම් වෙළදපොළවල් වල මේ අයුරින් තත්ත්වයෙන් හොඳ භාණ්ඩ නොවිකිණී බාල බඩු විකිණෙන්නේ, එසේත් නැත්නම් මිණිකැට යට වී ගොමරිටි මතු වන්නේ ඇයි?

1970දී එවකට කැලිෆෝර්නියාවේ බර්ක්ලි සරසවියේ සහකාර මහාචාර්යවරයෙකු වූ ජෝජ් අකර්ලොෆ් විසින් මේ සංසිද්ධිය විධිමත් ලෙස පැහැදිලි කරමින් පර්යේෂණ පත්‍රිකාවක් පළ කළේය. "The Market for `Lemons': Quality Uncertainty and the Market Mechanism" නම් වූ මේ පර්යේෂණ පත්‍රිකාවෙහි ඔහු විසින් කළ පැහැදිලි කිරීම හේතුවෙන් 2001 වසරේදී ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අකර්ලොෆ්ට හිමි විය. ඔහු මේ වන විට ජෝජ්ටවුන් සරසවියේ මහාචාර්ය වරයෙකු ලෙස සේවය කරන අතර, දැනට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ (මහ බැංකුවේ) සභාපතිනිය (අධිපතිනිය) වන හා බර්ක්ලි, හාර්වඩ් ආදී සරසවි වල මහාචාර්යවරියක ලෙසද සේවය කළ ජැනට් යෙලන් ඔහුගේ බිරිඳයි.

ඉහත පර්යේෂණ පත්‍රිකාවේ 'ලෙමන්' යනුවෙන් අදහස් වන්නේ තත්ත්වයෙන් බාල, පාවිච්චි කළ මෝටර් රථයි. මෙය සාමාන්‍ය ජන වහරේ ඇති වචනයකි. 'සෙකන්ඩ් හෑන්ඩ්' වාහන සඳහා වන වෙළඳපොළෙහි හොඳ වාහනයක් ලේසියකට විකිණෙන්නේ නැත. එහෙත්, 'ලෙමන්' ඉතා ඉක්මණින් විකිණේ. ඒ ඇයි?

අකර්ලොෆ් පැහැදිලි කළ පරිදි මෙයට හේතුව විකුණන්නා සහ මිලදී ගන්නා යන ගනුදෙනුවේ පාර්ශ්ව දෙක අතර පවතින තොරතුරු අසමමිතියයි. ඉංග්‍රීසියෙන් adverse selection problem ලෙස හැඳින්වෙන මේ ප්‍රශ්නය විස්තර කිරීමට වචනයෙන් වචනය කරන පරිවර්තනයකට වඩා 'ගොමරිටි මතුවීම' වැනි පරිවර්තනයක් වඩා ගැලපෙන අතර අදහස තේරුම් ගැනීම පහසු කරයි. (දන්න කෙනෙක් සිටීනම් කරුණාකර විධිමත් සිංහල වචනය කියන්න.)

අකර්ලොෆ්ගේ කතන්දරය මෙවැන්නකි. කම්හලෙන් නිපදවා විකුණන්නට ඇති, එකම මාදිලියේ අළුත් මෝටර් රථ වල මිල සමානය. උදාහරණයක් ලෙස මේ මිල රුපියල් ලක්ෂ විස්සක් කියා අපි සිතමු. එමෙන්ම මේ මෝටර් රථ එකිනෙක අතර වෙනසක් සොයාගැනීම අපහසු නිසා ගැනුම්කරුවෙකුට අමුතුවෙන් තෝරන්නට දෙයක් නැත. එසේ වුවත්, එයින් අදහස් වන්නේ සියළුම මෝටර් රථ තත්ත්වයෙන් සමාන බව නොවේ. මේවා අතර යම් යම් ප්‍රශ්න තිබෙන ඒවා තිබිය හැකිය. එහෙත්, මේ ප්‍රශ්න එළියට එන්නේ පාවිච්චියට ගත් විටය. ගැනුම්කරුවෝ මේ බව දනිති.




පාරිභෝගිකයෙකු වාහනයකට ගෙවන්නට කැමති මිල එහි තත්ත්වය මත තීරණය වේ. එහෙත්, මෙහිදී පාරිභෝගිකයා මිල දී ගැනීමට පෙර වාහනයේ තත්ත්වය හරියටම නොදනී. මෙහි ඇත්තටම ඇත්තේ විෂමජාතීය වෙළඳපොළක් වුවත්, තත්ත්වයෙහි වෙනස්කම් නොදකින පාරිභෝගිකයාට කොයි වාහනයත් පෙනෙන්නේ එක වගේ නිසා, ඔහු දකින වෙළඳපොළෙහි විකුණන්නට ඇත්තේ සමජාතීය භාණ්ඩයකි. දැන් මේ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වී රුපියල් ලක්ෂ විස්සක් ලෙස මිල තීරණය වුනේ කොහොමද?

මිල දී ගන්නා වාහනයේ කිසිම අවුලක් නැත්නම් පාරිභෝගිකයාට එහි වටිනාකම රුපියල් ලක්ෂ විසි එකක් ලෙස සලකමු. එහෙත්, එහි ඇති 'ලෙඩ' (manufacturing defects) ප්‍රමාණය අනුව මේ මිල රුපියල් ලක්ෂ දහනමයක් දක්වා ඕනෑම ගණනක් විය හැකිය. මේ අනුව, පාරිභෝගිකයා ලක්ෂ විසි එකක් ගෙවන්නට කැමති වෙන්නේ නැත. එහෙත්, ලක්ෂ දහනමයක් දක්වා පහළට යන්නේත් නැත. මේ අනුව, තත්ත්වයෙන් සාමාන්‍ය (average) මෝටර් රථයක්, ලෙඩ කිහිපයක් තිබුණත් ලෙඩ වාට්ටුවක් නොවන එකක්, වෙනුවෙන් ඔහු ගෙවන්නට කැමති මිල වන රුපියල් ලක්ෂ විස්ස ලෙස ආරම්භක මිල තීරණය වේ.


අළුත් නිෂ්පාදන කාණ්ඩයක (බැච් එකක) මෝටර් රථ සියයක් විකිණුනේයැයි අපි සිතමු. මේවායින් පණහක සාමාන්‍ය මෝටර් රථයක තරම් අවුල් නැති නිසා ඇත්ත වටිනාකම රුපියල් ලක්ෂ විස්සට වඩා වැඩි බව ඒවා මිලදී ගැනීමට වාසනාවන්ත වූ පාරිභෝගිකයෝ දැන ගනිති. ඒ වගේම, ඉතිරි පණහේ ඇති අවුල් සාමාන්‍ය මෝටර් රථයක ඇති අවුල් ප්‍රමාණයට වඩා වැඩි නිසා සැබෑ වටිනාකම ලක්ෂ විස්සකට අඩුය. මිලදී ගත් වහාම 'සෙකන්ඩ් හෑන්ඩ්' වාහනයක මිලද අළුත් වාහනයක මිලට වඩා වෙනස් නැතැයි මොහොතකට සිතමු. දැන්, තමන් මිලදී ගත් වාහනය අනික් අතට විකුණන්නට හදන්නේ කවුද?

සාමාන්‍ය තත්ත්වයට වඩා හොඳ වාහනයක් අහුවුණු කෙනා එය එහි වටිනාකමට වඩා අඩුවෙන්, ලක්ෂ විස්සට විකුණන්නේ නැත. එහෙත්, බාල වාහනයක් හිමි වූ අය උත්සාහ කරන්නේ තමන් සතු වාහනය හැකි ඉක්මණින් වෙන කෙනෙකුගේ ඇඟේ ගැසීමටය. මේ නිසා, සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළට එන අළුත් වාහන සියල්ලම සාමාන්‍ය මට්ටමට වඩා තත්ත්වයෙන් බාල වාහනයි. ඒ වාහනයක වටිනාකම ලක්ෂ දහනමයත් විස්සත් අතර වන අතර සාමාන්‍ය අගය ලක්ෂ දහනමය හමාරකි.

කෙසේ වුවද, සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළට එන්නේ අළුත්ම වාහන වලට වඩා බාල වාහන බව ඉතා ඉක්මණින් පාරිභෝගිකයෝ දැන ගනිති. ඒ නිසා, මේ වෙළඳපොළෙහි වාහනයක මිල එවැනි වාහනයක සාමාන්‍ය අගය වන ලක්ෂ 19.5 දක්වා අඩුවේ.

දැන් වෙන්නේ කුමක්ද? අර කලින් වෙළඳපොළට ආ වටිනාකම ලක්ෂ 19.5-20 අතර වූ වාහනත් වෙළඳපොළට පැමිණීම නැවතීමයි. එවිට විකිණීමට ඇති වාහනයක සාමාන්‍ය තත්ත්වය හා සාමාන්‍ය වටිනාකම තවත් අඩුවී මිල රුපියල් ලක්ෂ 19.25 දක්වා අඩුවේ. මෙය දිගින් දිගටම මෙසේ සිදුවන නිසා අන්තිමේදී මිල ලක්ෂ 19 දක්වාම අඩුවී සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළක් නැති වන්නට සෛද්ධාන්තිකව ඉඩ ඇතත් එය එසේම වෙන්නේ නැත. මුදල් හදිස්සියට සිය වාහනය අඩුවට හෝ විකුණන ටික දෙනෙක් හෝ සිටින නිසා මේ වෙළඳපොළෙහි මිල ලක්ෂ 19ට මඳක් වැඩියෙන් තීරණය වේ.

දැන් මේ වෙළඳපොළෙහි අලෙවි වන වාහන මොනවාද? වැඩිපුරම විකිණෙන්නේ වටිනාකම මේ මිලට වඩා අඩු 'ලෙඩ ගොඩවල්ය'. අතරින් පතර හදිස්සිකාරයෙකු අතින් තරමක් හොඳ වාහනයක්ද අඩුවට විකිණෙන්නට පුළුවන. මේ වෙළඳපොළට එන තරමක් එන්නේම ගොමරිටිය. මැණිකක් ආවොත් ඒ ඉතාම කලාතුරකිනි.

දැන් මෙහි ඇති අවුල කුමක්ද? යම් කිසිවෙකුට තමන් සතු කිසිම ලෙඩක් නැති, ඒ නිසාම ලක්ෂ 21ක් වටින වාහනය විකුණන්නට අවශ්‍යයයි සිතමු. ඇය වාහනය මිලදී ගෙන ඇත්තේ ලක්ෂ 20කට නිසා ඇය මෙය ලක්ෂ 20.5කට විකුණන්නට කැමතිය. එහෙත්, ඇයට සිය වාහනය ලක්ෂ 21ක් වටින කිසි ලෙඩක් නැති එකක් බව තහවුරු කළ නොහැකිය.

"ඔය තරං හොඳ වාහනයක්නම් විකුණයියැ? ලෙඩ ගොඩක් වෙන්න ඇති!"

පාරිභෝගිකයින් කවුරුත් හිතන්නේ එහෙමය. ඒ නිසා, ඔවුන් ගෙවන්නට කැමති වන්නේ වැඩිම වුනොත් ලක්ෂ 19කට පොඩ්ඩක් වැඩියෙනි. එහෙත්, මේ වාහනය ඇත්තටම ලක්ෂ 21ක් වටින බව දන්නවානම් ලක්ෂ 20.5ක් ගෙවා එය මිල දී ගන්නට ඉදිරිපත් වන්නේ එක පයිනි. එවැනි ගණුදෙනුවක් වූයේනම් දෙදෙනාටම වන්නේ වාසියකි. එහෙත්, තොරතුරු අසමමිතිය හේතුවෙන් ඇති වන අවිශ්වාසය නිසා මේ ගණුදෙනුව වැළකේ.

මෙය වෙනත් බොහෝ දේ වලටද අදාළය. පිරිමියෙකුගේ සිහිනය වන චරිතවත් තරුණියක් තමන්ව මාකට් කර ගැනීමට උත්සාහ කළ වහාම 'ගොනෙක්' ලෙස ලේබල් වීමේ අනතුරට මුහුණ දෙයි. ඒ නිසා, බොහෝ විට තමන්ව මාකට් කර ගැනීමට පැකිලීමක් නැතිව ඉදිරියට එන්නේ ඒ ලේබලය එතරම් අවුලක් නැති තැනැත්තියකි. දේශපාලනයේ සිටින බොහෝ දෙනා ලැජ්ජා නහරය කපාගත් අයයි. කොතරම් හොඳ කෙනෙක් වුවත්, දේශපාලනයට පිවිසි වහාම හොරෙක්, වංචා කාරයෙක් ආදී ලේබල් සියල්ල වදී. මේ නිසා, එසේ නොවන 'කොලිටියෙන් වැඩි' කෙනෙක් දේශපාලනයට පැමිණීමට පැකිලේ. එහි ප්‍රතිපලය ලෙස අන්තිමේදී වෙන්නේ ඒ ලේබලය අවුලක් නැති හොරුන්, වංචා කාරයින් ආදීන්ම වැඩි වශයෙන් දේශපාලනයට පැමිණීමයි.

Saturday, August 20, 2016

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ...

ඉයන් විසින් ඇති කළ සොඳුරු රැල්ල පසුව කුණාටුවක් වී මේ වන විට සෙමින් බැස යමින් පවතී. වෙනත් මාතෘකා කිහිපයක් ගැනම ලියන්නට පටන් ගත් නමුත් රැල්ල ඊට වඩා ප්‍රබලය. ඇසළ පෙරහැර අවසන් වීමට පෙර ඒ ගැන ලිපියක් පළ කරන්නට  සිතා සිටියත් දිය කපා අවසන් වන තුරුම ඒ ලිපිය අවසන් කරන්නට නොහැකි විය. එසේ පළ කළද, නැදුන්ගමුවේ හස්ති රාජයා වුවද ගසා ගෙන යන තරමේ මේ රැල්ලට මේ දවස් වල පළ කරන වෙනත් ඕනෑම ලිපියක් ගසා ගෙන යාමට ඉඩ තිබේ.

මේ වන විට අඩු වශයෙන් දහනව දෙනෙකු සිය ගීත ලැයිස්තු පළ කර තිබේ. මේ ගීත ලැයිස්තු වල සැලකිය යුතු විවිධත්වයක් මෙන්ම සමානකම්ද තිබේ.

තිලකසිතෙහි කමෙන්ටුවක් දමමින්, මේ ගැන රසික කියා තිබුණේ මේ සිංදු ලැයිස්තු දෙස බැලූ විට අප එකිනෙකා කොයි තරම් වෙනස්ද යන්න නැවත වැටහුණු බවයි. ඇත්තටම අප එකිනෙකාගේ රුචි අරුචිකම් අතර සුළු හෝ වෙනස්කම් තිබේ. එක් අයෙකුගේ තෝරාගැනීම් ගැන වෙනත් අය ප්‍රශ්න කිරීම හෝ ඒ තෝරාගැනීම් වලට මැදිහත් වීම එතරම් සුදුසු නොවන්නේ ඒ නිසාය.

අප එකිනෙකා අතර මෙවැනි වෙනස්කම් තිබුණද, සමානකම්ද තිබේ. වයස, රැකියා, දේශපාලන අදහස් වැනි විවිධ මාන අනුව වෙනස් පුද්ගලයින් ලෙස සැලකිය හැකි බොහෝ දෙනෙකු තමන් කැමති සිංදු පළ කිරීමට ඉදිරිපත් වීමම මේ කරුණ පෙන්වා දෙයි.

ඇත්තටම මෙහිදී සිදු වී ඇත්තේ, ඉයන්ගේ 'තරඟ කොන්දේසි' අනුව අප අතර ඇති ඉතා සියුම් වෙනස්කම් පවා කැපී පෙනීමයි. ආර්ථික විද්‍යා ආකෘති මඟින් කරන්නේ රුචි අරුචිකම් හා අදාලව පුද්ගලයින් අතර ඇති මෙවැනි සියුම් වෙනස්කම් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. තේරීමක් කිරීමේදී ඇති විකල්ප ප්‍රමාණය වැඩි වන තරමට විවිධ පුද්ගලයින් අතර ඇති මෙවැනි වෙනස්කම් තේරුම් ගැනීම පහසු වෙයි.

දස දහස් ගණනක් හෝ ලක්ෂ ගණනක් වන සිංහල සිංදු අතරින් තමන් කැමති සිංදු දහසයක් තෝරාගැනීම කාට වුවත් ඉතා අසීරු කටයුත්තකි. ඒ, මෙහිදී ඇති තෝරා ගැනීම් ගණන ඉතා විශාල බැවිනි. සිංදු ගණන දස දහසක් පමණක් ලෙස සැලකුවද, ඒ සිංදු වලින් හැදිය හැකි සිංදු දහසයේ 'පැකේජ' ගණන අංක පණහක සංඛ්‍යාවකි. ඒ නිසා, අහඹු ලෙස දෙදෙනෙකු විසින් එකම තේරීම කිරීමට ඉඩක් ඇත්තේම නැති තරම්ය. යම් හෙයකින් එසේ වෙනවානම් එයින් පෙනෙන්නේ ඒ දෙදෙනාගේ රුචි අරුචිකම් 'පුදුමාකාර ලෙස' සමාන බවයි.


අනෙක් අතට, මෙවැනි විශාල විකල්ප ගණනක් ඇති විට ඒ විකල්ප අතරින් හොඳම විකල්පය තෝරා ගැනීම ඕනෑම පුද්ගලයෙකුට ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි. සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයක් වන්නේ පුද්ගලයින් තමන්ට වඩාත්ම හොඳ විකල්පය තෝරාගන්නා බවයි. එහෙත්, ඇතැම් තත්ත්වයන් යටතේ එය එසේ සිදු නොවන බව පරීක්ෂණාත්මක ආර්ථික විද්‍යාඥයින් (experimental economists) විසින් නැවත නැවතත් පෙන්වා දී තිබේ. ඒ පදනම මත, බොහෝ චර්යාත්මක ආර්ථික විද්‍යා ආකෘතීන් තුළ සියළු පුද්ගලයින් සියළු අවස්ථා වලදී තාර්කික තීරණ (rational decisions) නොගන්නා බව උපකල්පනය කෙරේ. කෙසේ වුවද, බොහෝ පුද්ගලයින් විසින් බොහෝ අවස්ථා වලදී තාර්කික තීරණ ගැනීම, ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයන්හි පැවැත්මට ප්‍රමාණවත්ය.

ඇතැම් පුද්ගලයින් බොහෝ විටත්, බොහෝ පුද්ගලයින් ඇතැම් විටත් තාර්කික නොවන ලෙස තමාගේ යහපතට වැඩිපුරම හේතුවන විකල්පය නොවන වෙනත් විකල්පයක් තෝරා ගැනීමට හේතුවන කරුණු අතර ඒ තීරණය ගැනීමට විශාල දත්ත සැකසුමක් කිරීමට සිදුවීම හා ඒ සඳහා විශාල කාලයක් ගතවීමද හේතු වේ. එමෙන්ම, හොඳම තීරණය නොවන වෙනත් තීරණයක් ගැනීම නිසා සිදුවන පාඩුව විශාල නොවීමද මෙවැනි අතාර්කික තීරණ වලට තවත් හේතුවකි. (තවත් හේතු රැසක්ම තිබේ.) සිංදු දහසයක් තෝරාගැනීමේදී අප බොහෝ දෙනෙකුට එය 'හරියටම කිරීම' අසීරු වීමට මේ කරුණු තුනම හේතු වේ.

අප කැමති සිංදු සියල්ල මතක් කර ලැයිස්තුගත කර, අපේ කැමැත්තේ ප්‍රමුඛතාවය අනුව තෝරන්නට ප්‍රමාණවත් කාලයක් අප කිසිවෙකුට නැත. එමෙන්ම, මේ ලැයිස්තුව පොඩ්ඩක් වැරදුණා කියා සිදුවන ලොකු පාඩුවක්ද නැත.

සිංදු තේරීමේ ඇති අමාරුව ගැන රසික විසින් විස්තර කර තිබේ. කෙසේ වුවද, මේ ප්‍රශ්නය පැන නඟින්නේ වඩා කැමති හෙවත් 'හදවතට සමීප' සිංදු තේරීමේදීය. මෙයම නොවන 'ජීවිතයට සමීප' ගීත දහසයක ලැයිස්තුවක් සෑදීම ඊට වඩා පහසු දෙයකි.

ඇතැම් ගීත අසන විට, ගායකයා, ගීත රචකයා හෝ ගීත නිර්මාණයට සම්බන්ධ වෙනත් අයෙකු තබා වෙනත් කිසිදු රසිකයෙකුගේ සිතෙහි හෝ නොමැවෙන වෙනස්ම චිත්ත රූප අපේ හිතේ මැවෙන අවස්ථා තිබේ. එය එසේ වන්නේ අප අපේ පෞද්ගලික අත්දැකීමක්, ජීවිතයේ යම් කාල වකවානුවක් හෝ පුද්ගලයක් කිසියම් ගීතයකට සම්බන්ධ කර මතක තබා ගත් විටය. මා හිතන්නේ මෙය මගේ පුද්ගලික අත්දැකීමක් නොව බොහෝ දෙනෙකුගේ පොදු අත්දැකීමක් බවයි. මේ පදනමින් 'ජීවිතයට සමීප ගීත' ලැයිස්තුවක් පළ කිරීම වඩා පහසු වුවත් එය කිරීමේදී පෞද්ගලික තොරතුරුද සටහන් කරන්නටම සිදුවේ. ඒ නිසා, ඒ ලැයිස්තුව පසුවට තබා 'හදවතට සමීප ගීත' ගැන සිතමු.

හදවතට සමීප ගීත ලැයිස්තුවක් සැදීම පහසු කරුණක් නොවන නිසා එය කළ හැකි පහසුම ක්‍රමය තිලකසිත කියා ඇති පරිදි වැඩිපුර නොසිතා ඔහේ ඔළුවට එන විදිහට ලැයිස්තුවක් සැදීමයි. මා පහතින් පළ කරන්නේ එවැනි 'සම්පාදක තෝරයි' මාදිලියේ ලැයිස්තුවකි. ලැයිස්තුව සැදූ වහාම, එහි තිබුණානම් හොඳයැයි සිතුණු තවත් සිංදු ගණනක් මතක් වුවත් ලැයිස්තුව සංශෝධනය කර අවසන් කිරීම කවදාවත් සිදු නොවන දෙයක් නිසා එය එසේම ප
කරමි. ඒ අනුව, මගේ ඇතැම් ප්‍රියතම ගායකයින් හා ගීත එහි ඇතුළත් නොවීම නොසලකා හරිමි.

තිලකසිත විසින් මගේ පෙර ලිපියට කමෙන්ටුවක් දමමින් "මම හිතුවා ආර්ථික විද්‍යාව ගෑවිලා හරි තියෙන සින්දුවක් දෙකක් ගැනත් ලියයි කියල" යැයි කියා තිබුණේය. එයට මගේ පිළිතුර වූයේ "ආර්ථික විද්‍යාව හැම තැනකම වගේ තියෙන නිසා බොහොමයක් සිංදු වලට කොහෙන් හරි ගෑවිලා තියෙනවා" යන්නයි. සිංදු තේරීමේදී මා ආර්ථික විද්‍යාව ගැන නොසිතුවත්, තේරීමෙන් පසු එවැනි කිසියම් සම්බන්ධයක් ඇත්දැයි සිතා බැලුවෙමි. ඇත්තටම, මේ අහඹු සිංදු දහසයෙන් බොහෝ ගණනකට ආර්ථික විද්‍යාව කොහෙන් හෝ ගෑවී තිබේ.

දැන් මෙන්න ඔබ පුන පුනා බලා සිටි හෝ නොසිටි සම්පාදක තෝරයි ලැයිස්තුව. අද සම්පාදක ඉකොනොමැට්ටා.


1. වලාකුළෙන් බැස සමන් කුළත් වැඳ...
සංගීතය හා ගායනය - සුනිල් ශාන්ත සහ ශිෂ්‍යාවක්
ගී පද - අරිසෙන් අහුබුදු

සිංහල ගීතයෙහි හැඩය තීරණය කළ මුල් ගායකයින්ගෙන් අයෙකු ලෙස සැලකිය හැකි සුනිල් ශාන්තයන්ගේ එදා මෙදාතුර ජනප්‍රියව පවතින අනෙකුත් ගීත අතර "මිහිකත නලවාලා", "කෝකිලයන්ගේ කෝකිල නාදේ", "හඳපානේ", "හෝ.. හෝ ගා රැල්ල නැඟේ",  "සුවද රෝස මල් නෙලා" වැනි මා කැමති තවත් ගීත රැසෙකි. මේ ගීත වල මා ඉතා ප්‍රිය කරන "රාබීන්ද්‍ර ශාන්ගීත්" වලද ඇති ජන ගී රිද්මය ඇත. සුනිල් ශාන්තයෝ වරක් සිය වෘත්තිය හා අදාළ ප්‍රතිපත්ති හේතුවක් මත ගුවන් විදුලියේ රැකියාව අහිමි කරගත්තේය. ඒ කාලය තුළ ඔහු ස්වයං රැකියා ගණනාවක් කර තිබේ. ප්‍රසිද්ධ ගායකයෙකු සමඟ යුග ගීයකට හවුල් වන එතරම් ජනප්‍රිය නැති ගායිකාවකගේ නම හෝ අඩුවශයෙන් ප්‍රචාරය නොවීම මේ යුගයේ ලක්ෂණයක් විය. වලාකුළෙන් බැස ගීතය පසුව අයිවෝ ඩෙනිස් විසින්ද ගායනා කළේය.



වලාකුළෙන් බැස ගීයේ අදහස වනුයේ සමන් ගිරෙන් බැස රට හරහා සයුර බලා ගලා යන ගංගාවන්ගේ ජලය හැකිතාක් ප්‍රයෝජනයට ගත යුතු බවයි. මේ කතා කරන්නේ ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික කාර්ය භාරය ගැනය. අපට අසීමිත අවශ්‍යතා ඇතත්, ඒ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති සම්පත් ප්‍රමාණය සීමිත නිසා මේ සීමිත සම්පත් හැකි උපරිම කාර්යක්ෂමතාවයෙන් ප්‍රයෝජනයට ගත යුතුය. ආර්ථික විද්‍යාවේ විෂය පථය මෙසේ සම්පත් වඩා කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගත හැකි ආකාර ගැන සෙවීමයි.


2. ගංගා එන්නකෝ ගංගා...
ගායනය - අබේවර්ධන බාලසූරිය
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය- වික්ටර් රත්නායක 




සමන් ගිරට වැටී රට හරහා මුහුදට යන ජලය අපතේ නොහැර ප්‍රයෝජනයට ගත යුතු බව අරිසෙන් අහුබුදු මතක් කර දුන්නත්,   එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් (ඩඩ්ලි සේනානායක ආණ්ඩු සමයේදී සිදුකළ මූලික සැලසුම් ඉදිරියට ගෙනයමින්) මහවැලි බහුකාර්ය යෝජනා ක්‍රමය ඇරඹෙන්නේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේදීය. මේ සමඟි පෙරමුණු රජයේ ආර්ථික ප්‍රතිපත්ති අද වන විට අගය කරන්නේ ඉතා සීමිත පිරිසකි. එම රජය අනුගමනය කළ සෝවියට් පන්නයේ මධ්‍යගත, සංවෘත ප්‍රතිපත්තිය සමස්තයක් ලෙස රටට අත් කර දුන්නේ ඉතා අහිතකර ප්‍රතිඵලයකි. එහෙත්, ඒ කාලය තුළ හා ක්‍රමය යටතේ සිදුවූ එක් සාධනීය දෙයක් වූයේ රටේ ආර්ථික ඉලක්ක සමඟ සංගීතය ඇතුළු කලාව පවා සම්පාත වීමයි.

මුලින්ම තිස් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස සැලසුම් කෙරුණු මහවැලි ව්‍යාපෘතියේ පළමු අදියරේ කොටසක් වූ පොල්ගොල්ල ව්‍යාපෘතිය සමඟි පෙරමුණු ආණ්ඩු කාලය තුළම අවසන් විය. එයින් උද්දාමයට පත් වන රජරට වැවක්, මෙතෙක් අහක බලාගෙන ගිය මහවැලි සොඳුරිය පැමිණෙන තුරු අපේක්ෂා දල්වාගෙන බලා සිටින ආකාරය මේ ගීතයෙන් සුනිල් ආරියරත්නයන් විසින් ඉතා සියුම් ලෙස චිත්‍රනය කරයි.

"දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
බලා සිටිද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ..."



3. සිනිඳු සුදු මුතු තලාවේ...
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
ගී පද - මහගම සේකර
සංගීතය - සෝමදාස ඇල්විටිගල
චිත්‍රපටය- සත් සමුදුර (1967)




සමන් ගිරට වැටෙන වතුර බිංදු රට හරහා ගලා ගොස් අන්තිමේදී මුහුදට වැටේ. ලංකාව වටා ඇති රටේ භූමි ප්‍රමාණය මෙන් අට ගුණයක් පමණ විශාල (වර්ග කිලෝමීටර 517,000ක්) අනන්‍ය ආර්ථික කලාපය ලංකාව සතු ඉතා වැදගත් ස්වභාවික සම්පතකි. රටේ ධීවර කර්මාන්තය හා ආශ්‍රිත රැකියා වල නිරත පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ගණන මිලියනයකට වඩා අධිකය. කෙසේ වුවද, මේ ගීතයෙන් කියවෙන පරිදි, මුහුද විශ්වාස කළ නොහැකිය.

"ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි
බුර පුරා නැගි කුරිරු ජල කඳ //
දෙරණ සම්පත ගිල ගනියි
දෙරණ සම්පත ගිල ගනියි
ගිල ගනියි (ගිල ගනියි)"

අපි මෙය 2004දී අත් දැක්කෙමු. සුනාමිය විශාල සමාජ ව්‍යසනයක් වුවත්, සුනාමි ආධාර හේතුවෙන් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ පා සිටි ආණ්ඩුවටනම් සැලකිය යුතු වාසියක්ද සැලසුණේය.



4. මහ බෝ වන්නම
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව
ගී පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ



මෙයද අමරදේවයන් විසින්ම ගයන තවත් මා ඉතා කැමති ගීයකි. බෞද්ධ ගීයක් වුවත්, මෙය පරිසර වර්ණනාවක් ලෙස ලියැවී ඇත. ගීතය ඇසෙන විට නේරංජනා නදියේ ජලය ගලා බසිද්දී ඇසතු බෝධි වෘක්ෂයේ කොළ සෙලවෙන හඬ ඇසෙන්නාක් මෙනි.

මහ බෝ වන්නම ගීය ආර්ථික විද්‍යාවට සෘජු ලෙස සම්බන්ධයක් නැත. එහි වස්තු විෂය සිද්ධාර්ථ ගෞතමයන් බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් බෝධි වෘක්ෂයයි. පසුකාලීනව බුද්ධාගම ලංකාවේ රාජ්‍යාගම වීමත්, මේ වෘක්ෂයේ ශාඛාවක් ලංකාවට ගෙන එනු ලැබීමත් සිදුවිය. එතැන් සිට මේ දක්වාම ලංකාවේ ප්‍රමුඛ ආගම බුද්ධාගමයි.

රටක ජීවත්වන මිනිසුන්ගේ ආගමික විශ්වාස ඒ රටේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරයි. හොඳම උදාහරණය ඉහත කතා කළ ධීවර කර්මාන්තයයි. බුද්ධාගම අනුව මසුන් මැරීම පාපයකි. එහෙත්, වෙනත් ඇතැම් ආගම් අනුව එය වරදක් නොවේ. මේ නිසා, ලංකාවේ බෞද්ධයෝ ධීවර කර්මාන්තයට යොමු වීමට වෙනත් ඇතැම් ආගමිකයින් තරම් උනන්දුවක් නොදක්වති. ලංකාවේ ධීවර කර්මාන්තයෙන් දළ ජාතික නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය සියයට දෙකකටත් වඩා අඩු වීමට මෙයද හේතුවකි.



5. සැනසුම් සුසුමන් පාවීලා...
ගායනය - ටී. එම්. ජයරත්න
ගී පද - රංජිත් වීරසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

චිත්‍රපටය- නෑදෑයෝ (1976)
 

ආර්ථික විද්‍යාව අනුව, යමක වටිනාකම මැනිය හැක්කේ තවත් යමකට සාපේක්ෂවය. ඒ අනුව, වටිනාකම යනු යමක් ලබා ගැනීම සඳහා 'නැති කර ගත යුතු' දේවල් වල වටිනාකමයි. මෙය ආවස්ථික පිරිවැය ලෙස හැඳින්වේ.

"රෑ සඳ පානේ - සීතල පවනේ..
නාමල් අරණේ - ලා දළු සෙවනේ..
මා ලයකර ඔබගේ සුව යහනේ..
ගෙවූ අතීතය මතකද මිහිරි...
ගෙවූ අතීතය මතකද මිහිරි..."

යමක් ළඟ ඇති විට නොදැනෙන වටිනාකම හොඳින් පසක් වන්නේ එය තාවකාලිකව හෝ දුරස් වූ විටය. ඇය මා ලයේ නිදන විට දැනෙන සුවයේ වටිනාකම මැනිය හැක්කේ ඇය නොමැතිව තනිව හිඳීමට සාපේක්ෂවය. දෙවන අත්දැකීම විඳින තුරු පළමු අත්දැකීමෙහි වටිනාකම හරියටම නොතේරේ.



6. කීන දම් මිටක් කඩන් ආවා මගේ නංගෝ...
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි සහ නීලා වික්‍රමසිංහ
ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
චිත්‍රපටය - චංචල රේඛා (1981) 




චංචල රේඛා සේන සමරසිංහයන් විසින් නිපදවූ ඉතා ජනප්‍රිය චිත්‍රපටයකි. මේ සිනමාපටය තිරගත වීමෙන් පසු ජනවහරට එකතු වූ 'දං චූටි' යෙදුම සෑහෙන කලක් භාවිතයේ තිබුණේය. මේ චිත්‍රපටය තිරගත වන කාලයේ දං වලට වාණිජ වටිනාකමක් තිබුණේ නැත. ඒ කාලයේ රටේ බොහොමයක් ප්‍රදේශ වල දං කැලෑ ඕනෑ තරම් තිබුණු අතර, දං කන්නට අවශ්‍ය අයෙකුට කරන්නට තිබුණේ මේ දං කැලෑවකට වැදී ඇති තරම් දං කඩාගෙන කෑමයි. එයට කාගෙන්වත් තහනමක් තිබුණේ නැත. රටේ තිබුණු දං ඉල්ලුමට වඩා ඉබේට හැදෙන දං ගස් වල දං සැපයුම වැඩි වූ බැවින් ඒ දවස් වල දං වලට මිලක් තිබුණේ නැත. එහෙත් දැන් ත්ත්වය එසේ නොවේ. දශක ගණනක් තිස්සේ සිදු වූ නාගරීකරණය හා ඉඩම් කට්ටි කර විකිණීම නිසා දැන් මේ දං කැලෑවල් ලේසියකට හොයාගන්නට නැත. ඒ අතරම, කොයිතරම් පලතුරු වර්ග තිබුණත් මිනිස්සු ස්වභාවයෙන්ම විවිධත්වයට කැමති නිසා දං වලට සැපයුම ඉක්මවන කිසියම් ඉල්ලුමක් තිබේ. ඒ නිසා දැන් දෙල්කඳ පොළ, මහරගම පොල වැනි තැන් වල කිසියම් මිලකට දං විකිණේ. 



7. ළඳුනේ ………. ළඳුනේ ………….
ගායනය  - අමරසිරි පීරිස්
ගී පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස




ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති විට කිසියම් මිලකට විකිණෙන්නේ දං පමණක් නොවේ. දං චූටිලාත් එසේ විකිණේ. මේ ගීයෙන් ආලෝකය හෙලන්නේ එසේ විකිණෙන ලෙයින් මසින් හැදුණු දං චූටිලාගේ ජීවිත දෙසටය.



8. වියෝ ගී ගැයෙනා...
ගායනය - නීලා වික්‍රමසිංහ
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය - නිමල් මෙන්ඩිස්

චිත්‍රපටය- ගැහැණු ළමයි (1978)


මුදල් සම්බන්ධ නොවුණත්, පෙම් සබඳතාවයක තියෙන්නේ ගණුදෙනුවක ලක්ෂණය. දෙදෙනෙකු අතර ගණුදෙනුවක් සිදුවිය හැක්කේ එහි දෙදෙනාටම වාසි ඇත්නම් පමණි. එක් අයෙකුට පමණක් වාසි ඇති විට ගණුදෙනුවක් සිදු විය නොහැකිය.


9. රන් ටිකිරි සිනා...
ගායනය - නිරාෂා පෙරේරා හා වික්ටර් සිල්වා
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය – නිමල් මෙන්ඩිස්
සංගීත සංයෝජනය - ප්‍රේමලාල් දන්වත්ත
ගඟ අද්දර (1980)



අපේ ළමා කාලය තුළ අප ලබන අත්දැකීම් වැඩිහිටියන් ලෙස අප ගන්නා ආර්ථික තීරණ වලට බොහෝ සේ බලපායි. ළමුන් වෙනුවෙන් කරන ආයෝජනය රටක අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි.

10. නිම් හිම් සෙව්වා...
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය - නිමල් මෙන්ඩිස්
චිත්‍රපටය - සීතාදේවී 



සීතාදේවි චිත්‍රපටයේ මේ ගීතය ඇතුළත් ජවනිකාව ඇස් ඉදිරිපිට මැවෙන සටහනක් රවී විසින් ලියා තිබුණේය. ඇතැම් විට ගනුදෙනුවකින් දෙපාර්ශ්වයටම වාසි ඇතත් අසමමිතික තොරතුරු (asymmetric information) හේතුවෙන් ඇති වන අවිශ්වාසය නිසා ගනුදෙනුවක් සිදු නොවන්නට පුළුවන. දෙදෙනෙකු එක දිගටම ගනුදෙනු කරන විට (repeated transactions) විශ්වාසය තහවුරු වීමත්, ඒ හේතුවෙන් තොරතුරු අසමමිතිය නැති වීමත් නිසා කාර්යක්ෂමතාවය ඉහළ යයි.


11. සැදෑ කළුවර කුර ගගා විත්...
ගායනය - විශාරද නන්දා මාලිනී
ගී පද - මඩවල එස්. රත්නායක
සංගීතය - විශාරද නන්දා මාලිනී





අසමමිතික තොරතුරු නිසා (moral hazard) ඇතැම් විට සිදු නොවිය යුතු ගනුදෙනුවක් වුවද සිදුවිය හැකිය. එවැනි විටෙක අනෙක් පාර්ශ්වය විසින් තමන්ව රවටනු ලැබ ඇති බව එක් ගනුදෙනුකරුවෙකුට දැනගන්නට ලැබෙන්නේ ගනුදෙනුව අවසන් වීමෙන් පසුවය. ඒ වන විට, ගනුදෙනුව ආපසු හැරවිය නොහැකි තත්ත්වයෙහි තිබෙන්නට පුළුවන.



12. මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි...
ගායනය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මර්වින් පෙරේරා



මර්වින් පෙරේරාගේ කතෝලික ආභාෂය නිසා ගීතිකා රිද්මය ඇතැයි සැලකෙන මේ මියුරු ගීයේ තේමාවද තේරීම්ය. අපේ තේරීම් වලට පාදක වන්නේ අපේ රුචිකත්වයන්ය. එහෙත්, මේ රුචිකත්වයන් කලින් කලට වෙනස් වන නිසා හොඳම තේරීමද වෙනස් වන්නට පුළුවන. රුචිකත්වය ඇතිවන්නේ යම් මොහොතක අප වෙත ඇති තොරතුරු ප්‍රමාණයට සාපේක්ෂව නිසා අපට අළුතින් තොරතුරු ලැබෙන විට අපේ රුචිකත්වයන් වෙනස් වී, අප විසින් අප වෙත ඇති විකල්ප ශ්‍රේණිගත කර ඇති අනුපිලිවෙලද වෙනස් විය හැක. එවිට, දැනට තෝරාගෙන සිටින විකල්පයට වඩා වෙනස් විකල්පයක් හොඳම විකල්පය ලෙස පෙනී යමෙකුට පෙනී යන්නට පුළුවන. පෙර කළ සෑම තේරීමක්ම ආපසු හැරවිය නොහැකි වුවත් ඇතැම් තේරීම් ටික කලක් යනතුරු වෙනස් කළ හැකිය. මේ ගීතයෙන් කියවෙන්නේ එසේ තමන් වරෙක ගත් තීරණයක් පසුව වෙනස් කර බොහෝ කලකට පසු ඒ වෙනස් කිරීම ගැන කරන පසු විපරමකි.



13. සඳකඩපහණක කැටයම් ඔපලා...
ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - වොලී නානායක්කාර
සංගීතය - වික්ටර් රත්නායක
චිත්‍රපටය - මාතර ආච්චි  (1973)




මේ ගීය සුනිල් එදිරිසිංහගේ පළමු ගීය මෙන්ම වොලී නානායක්කාරගේ පළමු ගී පද රචනයද, වික්ටර් රත්නායකයන්ගේ පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයද, සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයද වශයෙන් සිංහල ගීත ඉතිහාසයේ එකම සිවු කුළුඳුල් ගීය වන බව කොට්ටාවේ සමිත හිමියන් මෙහි ලියා තිබේ.

ඒ හිමියන් විසින් ලියා ඇති පරිදි සිංදුව තේරුම් ගත යුත්තේ චිත්‍රපටයේ කතා පුවත සමඟ ආබද්ධවය. "මෙම චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි. තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වෙයි. තරුණියට ද අකමැත්තෙන් වුව ද එයට එකඟ වන්නට සිදුවෙයි. කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීයට කැටිවෙයි." ඒ අනුව, මෙහි ඇත්තේද තෝරාගැනීම් හා ඒ තෝරාගැනීම් වල ආවස්ථික පිරිවැය පිළිබඳ කතාවකි.







14. පොඩි දුවගේ සිනා වැලයි...
ගායනය - සෝමතිලක ජයමහ
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ



විවාහයකට එළඹීම බොහෝ මිනිසුන් විසින් ගන්නා තීරණයකි. එක් අතෙකින් විවාහය යනු දෙදෙනෙකුට වාසි සැලසෙන ගනුදෙනුවකි. කෙසේ වුවද, විවාහය හා අදාළ ආවස්ථික පිරිවැය බොහෝය. එසේ තිබියදී, මිනිසුන් විවාහ වලට පෙළඹෙන්නේ එහි උපයෝගීතා වටිනාකම (utility value) මේ ආවස්ථික පිරිවැය ඉක්මවන බැවිනි.

"ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ.."



15. රුවන් අඹර සෙමර සලන වලා පෙළ ගැසේ...
ගායනය - රූපා ඉන්දුමතී සහ ජයතිස්ස හෙට්ටිආරච්චි, පසුව ලතා දිසානායක
ගී පද - ලයනල් සී ද අල්විස්
සංගීතය - පැට්රික් දෙනිපිටිය 




මේ මධුර ගීතය මුලින්ම ගායනා කළේ රූපා ඉන්දුමතී සහ ජයතිස්ස හෙට්ටිආරච්චි විසිනි. එහෙත්, රූපා ඉන්දුමතී
ට එක්තරා නිශ්චිත අවස්ථාවක සිය විවාහ ජීවිතය සහ වෘත්තීය ජීවිතය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වේ. මෙහිදී ඇගේ තේරීම වූයේ ගායනයෙන් සමු ගැනීමයි. රූපා ඉන්දුමතී වෙනුවට ලතා දිසානායක ආදේශ වන්නේ ඉන් පසුවය. ලතා දිසානායක පසුව මේ ගීය වෙනත් ගායකයින් සමඟද ගැයුවාය.


16. දවසක් පැල නැති හේනේ...
ගායනය හා සංගීතය - විශාරද ගුණදාස කපුගේ
ගී පද - රන්බංඩා සෙනෙවිරත්න 




මේ ගීය තවත් කිහිප දෙනෙකුගේම ලැයිස්තු වල ඇති හැමෝම වාගේ දන්න, අමුතුවෙන් විස්තර කළ යුතු නැති ගීතයකි. මුලින්ම සම්ප්‍රදායික සංගීත භාණ්ඩ සමඟ ගැයුනු මේ ගීය ඇතුළු කපුගේගේ ජනප්‍රිය ගී රැසක් පසුව සන්ෆ්ලවර් වාදක කණ්ඩායම සමඟ නවීන සංගීතය මුසුව ගායනය කෙරිණි. ආර්ථික තීරණයක් ලෙස සැලකුණු කපුගේගේ මේ තේරීම ඔහුගේ බොහෝ රසිකයින්ගේ කනස්සල්ලට හේතුවක් විය. කපුගේ සන්ෆ්ලවර් සමඟ කැසට් පටයක් එළිදක්වා ලබා ගත් මුදල් සම්පූර්ණයෙන්ම වැය කළේ සිය මිතුරකුගේ වකුගඩු ශල්‍ය කර්මයක් වෙනුවෙන් බවත්, සමාජයෙන් ගැරහුම් ලබද්දීත් හොඳ චේතනාවකින් කළ මේ ක
යුත්ත ගැන එළිදරවු කරන්නට කපුගේට අවශ්‍ය නොවූ බවත් පසු කලෙක සඳහන් විය. ඇත්තටම සිදුවුනේ මේ කරුණ වුවත්, එයද ආර්ථික තීරණයක් බව මා අමුතුවෙන් කිව යුතු නැත.


***

ආර්ථික විද්‍යාව පැත්තකින් තබා ඔළුවට එන පිළිවෙලට සිංදු තේරුවත් අන්තිමට හැම
සිංදුවකම ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හෝ ගෑවී තිබේ. ඉකොනොමැට්ටා අවිඥානකව තෝරා ඇත්තේ ආර්ථික විද්‍යාවට සම්බන්ධයක් ඇති සිංදුද? එහෙම නැත්නම්, ඕනෑම සිංදුවක ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි තියෙනවාද?

මේ ගැන මටනම් හිතෙන්නේ මෙහෙමය.

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ...
ගායනය- අබේවර්ධන බාලසූරිය
ගී පද- සුනිල් ආරියරත්න
සංගීතය- වික්ටර් රත්නායක




දැන් මෙන්න මගෙනුත් පොඩි අභියෝගයක්! පුළුවන්නම් ආර්ථික විද්‍යාවේ විෂය පථයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නැති සිංදු, වැඩිය නෙමෙයි, තුනක් කියන්න පුළුවන්ද?


(Image: www.pinterest.com)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...