වෙබ් ලිපිනය:

Monday, August 10, 2015

අගෝස්තු 17 මොකක් වෙයිද?



ඡන්දයට තව ඇත්තේ සුමානයකි. එහෙත්, සාපේක්ෂව ඇත්තේ නිහඬතාවයකි. මේ නිහඬතාවයට යහපාලන ප්‍රතිපත්ති යම් තරමකට දායක වී ඇතත් ප්‍රතිඵලය පිළිබඳව ඇති අවිනිශ්චිතතාවද මෙයට හේතු වී ඇති බව මගේ අදහසයි. මෙවර රත්නපුර දිස්ත්‍රික්කයේ එජාපෙ අපේක්ෂකයෙකු වන සතර දිගන්තයේ කරුගේ වචන වලින් මේ තත්ත්වය ඇවිලී ඇති දහයියා ගොඩකි. දහයියා ගොඩක් ඇවිලුණු විට මතුපිටින් ගිණිදැල් නොපෙනේ. ඒ නිසා ඇතුලින් සිදුවන දෙය දැනගැනීම අපහසුය. එහෙත්, ඇවිලුණු දහයියා ගොඩක් ලේසියෙන් නිවෙන්නේ නැති අතර එහි රස්නයද සුළුපටු නැත.

ජනාධිපතිවරණය ආසන්නයේදීනම් මේ වන විට බොහෝ විශ්ලේෂණ කෙරී තිබුණේය. එහෙත් මෙවර තමන් කැමති ප්‍රතිඵල, සංඛ්‍යාත්මක නොවන විශ්ලේෂණ හා පැහැදිලි පදනමක් නොමැති සංඛ්‍යාත්මක විශ්ලේෂණ කිහිපයක් හැරුණු විට වැඩි දෙයක් පෙනෙන්නට නැත. මෙයට එක් හේතුවක්නම් අපේ වත්මන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වන සමානුපාතික නියෝජන ක්‍රමය ජනාධිපති මැතිවරණ ක්‍රමය මෙන් සරල එකක් නොවීමය. එක් එක් පක්ෂය ලබාගන්නා ඡන්ද ගණන හරියටම දැනගැනීමෙන් පසුව වුවද ඒ ඒ පක්ෂ වලට හිමිවන මන්ත්‍රී ධුර ගනන නිශ්චය කිරීම තරමක් අසීරු ගණිතමය කාර්යයකි.

සතියකින් ලිහන්නට ඇති මල්ල දැන් එබීමෙන් ලොකු වැඩක් නොවේ. එහෙත්, අගෝස්තු 17 ලැබිය හැකි ප්‍රතිඵලය ගැන යම් විශ්ලේෂණයක් කිරීමේ පොඩි ෆන් එකක් තිබේ.

අපේ සමානුපාතික ක්‍රමය සංකීර්ණ එකකි. මෙහිදී මන්ත්‍රී ධුර වෙන් කෙරෙන්නේ දිස්ත්‍රික්ක පදනමකිනි. දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර ගණනින් එකක් අදාළ දිස්ත්‍රික්කය තුළ ඉදිරියෙන්ම සිටින පක්ෂයට හිමිවන අතර ඉතිරි මන්ත්‍රීධුර ලබාගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව බෙදීයයි. කෙසේ වුවද, දිස්ත්‍රික්කයකින් 5%ක ඡන්ද ලබා සල්ලන් නොවන පක්ෂයකට හෝ කණ්ඩායමකට මන්ත්‍රීධුර හිමි නොවේ. මේ අතර මන්ත්‍රී ධුරයක් සඳහා අවශ්‍ය ඡන්ද ගණන නොමැතිව 'කොටෙන් ගොඩයාමේ' හැකියාවක්ද තිබේ. මේ ක්‍රමය අනුව දිස්ත්‍රික්කයක වැඩිම ඡන්ද ලබාගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට සාපේක්ෂව වැඩි වාසියක් අත්වන අතර බොහෝ විට ඡන්ද ප්‍රතිශත සුළු වශයෙන් වෙනස් වුවත් දිස්ත්‍රික්කයක මන්ත්‍රී ධුර බෙදෙන ආකාරය වෙනස් නොවේ.

මෙය උදාහරණයකින් පැහැදිලි කිරීම පහසුය. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මන්ත්‍රීධුර ගණන 7කි. මෙයින් එක් මන්ත්‍රී ධුරයක් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන පක්ෂයට හිමිවන අතර ඉතිරි මන්ත්‍රීධුර හය එක් එක් පක්ෂය හෝ කණ්ඩායම ලබාගන්නා ඡන්ද ප්‍රමාණය අනුව තීරණය වේ. මේ අනුව, මන්ත්‍රීධුරයක් ලබාගැනීම සඳහා 'අදාල ඡන්ද සංඛ්‍යාවෙන්' 1/6ක් ලබා ගත යුතුය. අදාල ඡන්ද සංඛ්‍යාව වනුයේ 5% ඉක්මවන පක්ෂ හා කණ්ඩායම් විසින් ලබාගන්නා ඡන්ද වල එකතුවයි. මැතිවරණ කොමසාරිස් විසින් මේ ගණනය කිරීම ව්‍යවස්ථාවේ ඇති ආකාරයට ඡන්ද සංඛ්‍යාව අනුවම කළත් ඡන්ද ප්‍රතිශත යොදාගත් විටද ගණිතමය ලෙස සිදුවන්නේ මේ දෙයමය. ඒ නිසා පහසුව සඳහා අපි ඡන්ද ප්‍රතිශත යොදාගනිමු.

පසුගිය ජනවාරි සිට මේ දක්වා දේශපාලන පෙළගැස්මේ විශාල වෙනසක් සිදුවී නොමැත. ඒ නිසා ජනවාරි ප්‍රතිඵලය විශ්ලේෂණයක් සඳහා හොඳ ආරම්භක ප්‍රවේශයකැයි මම සිතමි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද බෙදුනේ පහත පරිදිය.
මහින්ද- 63.02%
මෛත්‍රී- 35.93%
වෙනත්- 1.05%

පාර්ලිමේන්තු මැතිවරණයේදී සිදුවී ඇති ප්‍රධානම වෙනස මෛත්‍රීට හිමි වූ 35.93% එජාපෙ සහ ජවිපෙ අතර බෙදී යාමයි. මෑතකාලීන මැතිවරණ සියල්ලේදීම හම්බන්තොටින් ජවිපෙ මෙන්ම එජාපයද 5%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබේ. ඒ අනුව මෙවරද මේ කණ්ඩායම් දෙකම සල්ලන් වනු ඇත. මේ අනුව 'අදාල ඡන්ද ප්‍රතිශතය' 98.95%ක් වේ. එමෙන්ම එජනිසය හම්බන්තොටින් දෙවන තැනට වැටීම සිදුවිය නොහැකි තරම්ය. ඒ අනුව බෝනස් මන්ත්‍රී ධුරය හිමිවන්නේ එජනිසයටය. ඉතිරි ආසන හයෙන් එකක් ලබාගැනීමටනම් 16.49%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය වේ. එජනිසයට තවත් මන්ත්‍රී ධුර තුනක් වෙන් කිරීමෙන් පසුවද (63.03 - 16.49x3) තවත් 13.56%ක ඡන්ද ප්‍රතිශතයක් ඉතිරිවේ. එමෙන්ම එජාපෙ ප්‍රතිශතය 16.49% ඉක්මවන බව පැහැදිලි නිසා ඔවුන්ටද මන්ත්‍රී ධුරයක් වෙන් කළ පසු මෛත්‍රී ලැබූ ඡන්ද වලින් (35.93-16.49) 19.44%ක් ඉතිරි වේ. මේ 19.44% කුමන අයුරකින් එජාපෙ සහ ජවිපෙ අතර බෙදුනත් එජනිසයට ඉතිරිව ඇති 13.56%ට වඩා විශාල කොටස් දෙකක් නොසෑදෙන බැවින් එජනිසයේ 13.56%ට තවත් මන්ත්‍රී ධුරයක් හිමිවේ. දැන් එජනිසයට මන්ත්‍රීධුර 5කි. එජාපෙට 1කි. ඉතිරි මන්ත්‍රී ධුරයේ හිමිකම තීරණය වන්නේ ජවිපෙ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුවය. ප්‍රතිශතයක් වශයෙන් ජවිපෙ ඡන්ද ප්‍රමාණය (19.44/2) 9.72%ට වැඩිනම් ජවිපෙට මන්ත්‍රී ධුරයක් හිමිවන අතර එසේ නැතහොත් එජාපෙට තවත් මන්ත්‍රී ධුරයක් හිමිවී එජාපෙ මන්ත්‍රීධුර ගණන 2ක් වනු ඇත. පසුගිය මැතිවරණයේදේ ජවිපෙට හම්බන්තොටින් මේ ඡන්ද ප්‍රමාණය ලබාගත නොහැකි වූ අතර මෙවර ජවිපෙට ඇති රැල්ල සහ හම්බන්තොට ජවිපෙ අතීතය අනුව මෙවර හම්බන්තොටින් මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනීමට ජවිපෙට අවස්ථාවක් ඇතත් යම් අවිනිශ්චිතතාවක්ද පවතී.

වැදගත් කරුණනම් ජනවාරි ඡන්ද පදනම් එසේම පැවතුණහොත් එජනිස-එජාපෙ-ජවිපෙ කඳවුරු අතර හම්බන්තොට මන්ත්‍රී ධුර බෙදෙන්නේ 5-1-1 හෝ 5-2-0 ලෙස බවයි. ජනවාරි උපකල්පනය යටතේ එජාපෙ ජවිපෙ අතර බෙදීම අවිනිශ්චිත වුවත් එජනිසයට 5/7ක් ලැබීම ස්ථිරය.

කෙසේ වුවද, ජනවාරි ඡන්ද පදනම එජනිසයේ උපරිම සීමාවයි. රාජ්‍ය බලය උපරිම ලෙස යොදා ගනිමින් සහ ගම් පළාතේ කෙනෙකු වීම තුළ මහින්ද ලබාගත් මේ ඉහළ ඡන්ද ප්‍රතිශතය මෙවර ලබා ගැනීම අපහසු විය හැකිය. ප්‍රතිඵලය වෙනස් වීමටනම් එජනිස ඡන්ද ඉවත්වීම හෝ එජාපෙ-ජවිපෙ ඡන්ද ඉහළයාම සිදුවිය යුතුය. රාජ්‍ය බලයේ බලපෑම ඉවත් වූ විට බොහෝ විට සිදුවන්නේ පාක්ෂිකයින් ඡන්ද පොලට ආකර්ශනය වීම අඩුවීමයි. මේ අනුව මහින්දට ලැබුණු ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් මෙවර භාවිතා නොවීමේ ඉඩකඩක් ඇති අතර එයින්යම් ප්‍රමාණයක් එජාපෙ සහ ජවිපෙ වෙත ආකර්ශනය විය හැකිය. මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට රැල්ල ඇති බව පෙනෙන්නේ ජවිපෙ දෙසටය. එහෙත්, ජවිපෙට රැස්වීම් වලට සෙනඟ එන තරමට ඡන්ද නැති බවද මතයකි. මේ නිසා ජවිපෙ විසින් තනිවම තරඟකර 'අරගෙන පෙන්වූ' හොඳම ප්‍රතිඵලය වන 2001 මැතිවරණයේදී ජවිපෙ ලබාගත් ඡන්ද ප්‍රතිඵලය විශ්ලේෂණයක් සඳහා හොඳ ආරම්භයකි. 2001දී ජවිපෙට හම්බන්තොටින් 21.33%ක් ලබා ගත හැකි විය.

ජවිපෙ දැනට තනිව ලඟා වී ඇති උපරිමය වන 21.33%ක් ලබා ගත්තද ඔවුන්ට හම්බන්තොටින් ලැබෙන්නේ එක් මන්ත්‍රීධුරයක් පමණි. මෙවැනි තත්ත්වයක් යටතේ අපේක්ෂිත ප්‍රතිඵලය වන 5-1-1 වෙනස් කිරීමටනම් කොපමණ එජනිස ඡන්ද ප්‍රමාණයක් (ප්‍රතිශතයක් ලෙස) එජාපෙ වෙත සම්ප්‍රේෂණය විය යුතුද?

හම්බන්තොටින් මහින්ද ලබාගත් එජනිස ඡන්ද වලින් 12%ක් එනම්, 7.56%ක් එජාපෙ වෙත මාරු වූයේයැයි සිතමු. දැන් එජනිස-එජාපෙ-ජවිපෙ ඡන්ද බෙදීම 55.46%-22.06%-21.33% ලෙසිනි. සමානුපාතික ක්‍රමය අනුව මේ තත්ත්වය යටතේ වුවද එජනිස-එජාපෙ-ජවිපෙ අතර මන්ත්‍රී ධුර බෙදෙන්නේ 5-1-1 වශයෙන්මය. ප්‍රතිඵලය 4-2-1 ලෙස වෙනස්වීමට එජනිස ජනවාරි ඡන්ද වලින් 15%ක් පමණ ඉවත් විය යුතු අතර එජනිසට මීටත් වඩා අඩු මන්ත්‍රී ධුර ගණනක් ලැබීමටනම් ඉතා විශාල පරිවර්තනයක් සිදුවිය යුතුය.

අනෙත් දිස්ත්‍රික්ක සඳහාද මෙවැනි විශ්ලේෂණයක් කළ හැකිය. මෙහිදී යම් උපකල්පන කිරීමට සිදුවේ. උපකල්පන පදනම් වන්නේ නිරීක්ෂණ මතය. ඒවා මෙසේය.
1. ජනවාරි මාසයේදී මෛත්‍රීට ඡන්දය දුන් කොටස් පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසයට ඡන්දය දීමේ රැල්ලක් නැත. මහින්ද ලබාගත් ඡන්ද ලක්ෂ 58 එජනිසයට ලබා ගත හැකි උපරිම සීමාවකි. රාජ්‍ය බලය මැතිවරණය සඳහා යොදා ගැනීමේ අපහසුතාව නිසා මෙයින් කොටසක් ගිලිහෙනු ඇත. එහෙත්, යහපාලන ප්‍රතිපත්ති මත රාජ්‍යබලය අයුතු ලෙස යොදාගැනීමට එජාපෙටටද නොහැකි නිසා මේ ඡන්ද වැඩි ප්‍රමාණයක් එජාපෙට මාරු නොවී භාවිතා නොවූ ඡන්ද බවට පත් වනු ඇත.
2. මෛත්‍රීට ඡන්දය ලබා දුන් ඡන්ද ලක්ෂ 62 ප්‍රධාන වශයෙන්ම එජාපෙ, ජවිපෙ සහ ටීඑන්ඒ කඳවුරු අතර බෙදී යනු ඇත. ලක්ෂ 62න් (දිස්ත්‍රික් පදනම මත) ජවිපෙ සහ ටීඑන්ඒ ඡන්ද ඉවත්කළ විට ඉතිරිවන ප්‍රමාණය එජාපෙට ලබා ගතහැකි ප්‍රමාණයයි. මෛත්‍රීට ලැබුණු ඡන්ද එජාපෙ, ජවිපෙ සහ ටීඑන්ඒ ඡන්ද ලෙස විසංයෝජනය කිරීම තරමක් අසීරු කාර්යයයකි. ඒ සඳහා යම් උපකල්පන අවශ්‍ය වේ.
3. සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කිසිදු දිස්ත්‍රික්කයකින් 5% සීමාවට ලඟා නොවනු ඇති අතර ලක්ෂ 62න් යම් ඡන්ද ප්‍රමාණයක් 'නාස්ති කරනු' ඇත. මේ ඡන්ද වලින් ජාතික ලැයිස්තුවේ කොටයක් ලැබීමේ ඉඩකඩක් පවතී. පහසුව තකා මේ සාධකය නොසලකා හැර ඇත.
4. ජවිපෙ දිශාවට රැල්ලක් පෙනෙන්නට තිබේ. එහෙත්, මේ ඡන්ද ජනවාරි මාසයේදී මෛත්‍රීට ලැබුණු ඡන්ද මිස මහින්දට ලැබුණු ඡන්ද නොවේ. ඒ නිසා හානිය ඇත්තේ මහින්දට නොව එජාපෙටය. එජනිසට මෙන්ම එජාපෙටද රාජ්‍ය සම්පත් යුතු ලෙස යොදා ගැනීමට සහ මැතිවරණ නීති උල්ලංඝනයට ඉඩ ඇහිරී තිබීමේ වාසියද සම්ප්‍රදායික සහ වෙනස් මාදිලියක ප්‍රචාරණ උපක්‍රම භාවිතා කරන ජවිපෙටය.
5. විනිශ්චය කිරීමට අපහසුම ජවිපෙ ඡන්ද පදනමයි. මා සිතන පරිදි පසුගිය මැතිවරණයේදී ප්‍රපෙ යටතේ ජවිපෙ ලැබූ ඡන්ද එහි අවම සීමාවයි. සන්ධානය යටතේ තරඟ කර ජවිපෙ ලැබූ මන්ත්‍රීධුර ගණන ජවිපෙට තනිව තරඟ කර ලඟා විය නොහැකි සීමාවකි. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිඵලය ජවිපෙට තනිව තරඟ කර ලඟා විය හැකි ඉලක්කයකි.
6. විනිශ්චය කිරීම වඩාත් පහසු ටීඑන්ඒ ඡන්ද පදනමයි. ප්‍රාදේශීය මැතිවරණයක් වූ උතුරු පළාත් සභා ඉලක්කයට ඔවුන් ලඟා නොවනු ඇත. එහෙත්, 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ද්‍රවිඩ සන්ධානයට අයත් පක්ෂ සියල්ල එකතුව ලබාගත් ඡන්ද ප්‍රතිශතයන් ඔවුන් ඉක්මවනු ඇත.
7. හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු කණ්ඩායම්ද, ශ්‍රීලනිප මෛත්‍රී පිලේ ඡන්ද පදනමක් තිබුණු කිහිපදෙනාද ජනවාරියේද සිටියේ මෛත්‍රී සමඟ නිසාත් දැනට සිටින්නේ එජාපෙ සමඟ නිසාත් ඡන්ද වලට බලපෑමක් නැත. මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කරන මඩකලපුවේ ප්‍රතිඵලයද එජාපෙ යටතේම දක්වා තිබේ.
8. දුමින්ද දිසානායක මෛත්‍රී සමඟ සිටියදීද අනුරාධපුර ජයග්‍රහණය කළේ මහින්දයි. ඔහු එජනිසයේ සිටීමෙන් එජාපෙට විශේෂ අවාසියක් නොවන අතර ශ්‍රීලනිපයේ මෛත්‍රී පිලට වාසියක් වීම පමණක් සිදුවේ. මෛත්‍රී නිසා වෙනස් වූ පොලොන්නරුව ඡන්ද ප්‍රතිඵලය පමණක් එජනිසයට වාසිදායක ලෙස වෙනස් වනු ඇත. මෙයින් එක් මන්ත්‍රී ධුරයක් එජනිසට වාසිදායක ලෙස වෙනස් වේ. (මෛත්‍රී පොලොන්නරුවේදී එජාපෙට යටින් උදවු කරනවානම් මෙය එසේ නොවිය හැකිය.)
9. රිෂාඩ් බදුර්දීන් සාධකය නිසා මහින්දට ලැබුණු වන්නි ඡන්ද එජාපෙට මාරුවනු ඇත. මෙයින් එක් මන්ත්‍රී ධුරයක් එජාපෙට වාසිදායක ලෙස වෙනස් වනු ඇත.
10. කම්කරු කොන්ග්‍රසයේ ඡන්ද තවදුරටත් එජනිසය සමඟ රැඳෙනු ඇත. ඔවුන් තනිව තරඟ කරන දිස්ත්‍රික් තුනේදී මහින්දගේ ඡන්ද යම් ප්‍රමාණයක්ද, මෛත්‍රීට ලැබුණු ඉන්දියානු දෙමල ඡන්ද යම් ප්‍රමාණයක්ද 'නාස්ති කරනු' ඇත.
11. බොදුබලසේනාවද යම් ගිනිය හැකි ඡන්ද ප්‍රමාණයක් නාස්ති කරනු ඇති බව මගේ අදහසයි. මේ ප්‍රමාණය පෙසප ලබාගන්නා ඡන්ද ප්‍රමාණය ඉක්මවනු ඇති අතර ප්‍රධාන වශයෙන් මහින්දගේ ඡන්ද සහ සුළු ප්‍රමාණයක් මෛත්‍රීට ලැබුණු හෙළ උරුම ඡන්ද වනු ඇත. විශේලේෂණයේදී මේ සාධක නොසලකා හැර ඇත.

බොහෝ දෙනෙකුට ඇති ප්‍රධානම ප්‍රශ්නය මහින්ද නැවත අගමැති වේද යන්නයි. මහින්දගේ අපේක්ෂාව එජනිසයට ආසන 117කි. මේ අනුව, මගේ පළමු විශ්ලේෂණය කෙරෙන්නේ එජනිසයට වඩාත්ම වාසිදායක තත්ත්වයන් යටතේය. මෙහිදී, මහින්දගේ ජනවාරි ඡන්ද පදනම නොවෙනස්ව තබා මෛත්‍රීගේ ඡන්ද එජාපෙ, ජවිපෙ සහ ටීඑන්ඒ අතර බෙදා තිබේ. එජනිසට වඩාත්ම වාසි සහ එජාපෙට වඩාත්ම අවාසි වන්නේ මෛත්‍රීගේ ඡන්ද වැඩිම ප්‍රමාණයක් ජවිපෙ විසින් කඩාගත් විටය. මේ අනුව ජවිපෙ මෙතෙක් තනිව ලබාගත් හොඳම ඡන්ද ප්‍රතිශත වන 2001 මැතිවරණයේදී ලබාගත් ප්‍රතිශත ඔවුන්ට වෙන්කර ඇත. ටීඑන්ඒ ඡන්ද වෙන්කිරීම ඉහත අංක 6 අනුවය. මෙයට අමතරව පොළොන්නරුවේ මෛත්‍රී සාධකය සහ වන්නියේ බදුර්දීන් සාධකය සලකා බලා තිබේ. අවසන් ප්‍රතිඵලය පහත වගුවේ තිබේ.



දෙවන විශ්ලේෂණය පිළියෙළ කර ඇත්තේ එජාපෙට වාසිදායක වන ලෙසින්ය. මෙහිදී මහින්දගේ ඡන්ද වලින් 15%ක් ඉවත් කර එයින් 1/3ක් එනම් 5% එජාපෙ ගොඩට එක් කර තිබේ. ජවිපෙ ඡන්දද 2001 උපරිමයෙන් 50%කට සීමා කර ඇති අතර මේ අනුව ඉතිරි 50% එජාපෙ ගොඩෙහි රැඳේ. අනෙතුත් සාධක සියල්ල නොවෙනස්ව තබා ඇත. අවසන් ප්‍රතිඵලය පහත වගුවේ තිබේ.


තෙවන විශ්ලේෂණය ඉහත තත්වයයන් දෙකට වඩා තරමක් ප්‍රායෝගිකයැයි මා සිතන අතරමැදි තත්ත්වයකි. මේ විශ්ලේෂණය දෙවන වගුව පිළියෙළ කිරීමට යොදාගත් විශ්ලේෂණයෙන් වෙනස් වන්නේ එක් කරුණකින් පමණි. දෙවන වගුව පිළියෙළ කිරීමේදී 2001 උපරිමයෙන් 50%කට සීමා කර ඇති ජවිපෙ ඡන්ද ප්‍රතිශත දෙවන වගුව පිළියෙළ කිරීමේදී එම උපරිමයෙන් 75% දක්වා ඉහළ නංවා තිබේ. අනෙතුත් සාධක සියල්ල නොවෙනස්ව තබා ඇත. අවසන් ප්‍රතිඵලය පහත වගුවේ තිබේ.


වඩා ප්‍රායෝගික තෙවන විශ්ලේෂණය අනුව පමණක් නොව දෙවන වගුවේ ඇති එජාපෙට වාසිදායක තත්ත්වය තුළ වුවද එජාපෙට බහුතරය ලබාගත නොහැකිය. එජාපෙට මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමටනම් මහින්ද ලබාගත් ඡන්ද පදනමේ ඉතා විශාල නායයාමක් සිදුවිය යුතුය. කෙසේ වුවද, එජනිසයේ මෛත්‍රී පිලේ සහයෝගය ලබා රජයක් පිහිටුවීමේ හැකියාව තෙවන වගුවේ ඇති ප්‍රතිඵලය යටතේද එජාපෙට තිබේ. වත්මන් පෙළගැස්ම අනුව දෙවන හා තෙවන ප්‍රතිඵල යටතේ එජනිසයට රජයක් පිහිටුවීම අසීරු කාර්යයකි.

අනෙක් අතට පළමු වගුවේ ඇති එජනිසට වාසිදායක තත්ත්වය යටතේ වුවද මහින්දගේ කණ්ඩායමට බහුතරයක් නොලැබේ. එජනිසට බහුතරය ලබාගැනීමටනම් ජනවාරි ඡන්ද පදනම ඉක්මවිය යුතුය. එහෙත් ජනවාරි ඡන්ද පදනම රැකගත හැකිනම් එජනිසට බහුතරයට ආසන්න විය හැකිය. එජනිස මන්ත්‍රී ධුර ගණන මේ තරමට වැඩිවනවිට මහින්ද විරෝධීන් සැලකිය යුතු පිරිසක්ද තෝරා පත් වීම නොවැලැක්විය හැකිය. රනිල්ට අගමැති වීමටනම් මේ අයගෙන් අඩුවශයෙන් 31 දෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වේ. මහින්ද විරෝධීන් මෙපමණ ප්‍රමාණයක් එජනිස ලැයිස්තු වලින් තෝරා පත්වීම අවිනිශ්චිතය.

එජාපෙ කණ්ඩායම තුලින්ද මහින්ද විරෝධී ශ්‍රීලනිප, හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය වැනි පසුගිය රජයේ පාර්ශ්වකරුවන් වූ මන්ත්‍රීවරු පත්වන නිසාත්, පිල් මාරුවට සුදානම් එජාපෙ මන්ත්‍රීවරුන්ද සිටින නිසාත් මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රීලනිප රජයක් බිහිවීමේ වැඩි හැකියාවක් පවතී. විශේෂයෙන්ම මහින්ද නොවන වෙනත් ශ්‍රීලනිප සාමාජිකයෙකු අගමැති ධුරයට පත්කරගැනීම සඳහා එකඟතාවක් ඇතිවීමට පුළුල් ඉඩකඩක් තිබේ. මහින්ද අගමැති නොවන එවැනි ශ්‍රීලනිප රජයක් වුවද මහින්ද ප්‍රධාන කණ්ඩායමේ විශාල බලපෑමක් ඇති රජයක් වනු ඇත.

අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙවර මැතිවරණ ප්‍රතිඵලය තවමත් විවෘත බවයි. එජාපෙට රජයක් පිහිටුවීමට වැඩි ඉඩකඩක් ඇතත් එය නිශ්චිත ඉඩකඩක් නොවේ. වඩාත් ඉඩකඩ ඇත්තේ මේ පරාසය තුළ ප්‍රතිඵලයකට වුවත් දහයියා ගොඩ ඇතුලෙන් ඇවිලී ඇති ප්‍රමාණය නොපෙනෙන බැවින් මේ පරාසයෙන් පිටත විශාල ලෙස වෙනස් ප්‍රතිඵලයක් ලැබීමද සිදුවිය නොහැකි දෙයක් නොවේ.

Saturday, August 8, 2015

2050දී අපිත් පොරවල්ය




තව වසර තිස්පහකින් ලෝකයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය අනුව ශ්‍රී ලංකාව පස්වෙනි තැනට පත් වනු ඇත. මේ අනුව, 2050දී අපේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 65,910ක් වනු අතර අපට ඉදිරියෙන් සිටින රටවල් හතර වනුයේ, පිළිවෙලින්, ස්වීඩනය, ජර්මනිය, ඉතාලිය හා ජර්මනියයි. ඇමරිකාව, එක්සත් රාජධානිය, ජපානය වැනි දැනට උඩින් සිටින රටවල් මෙන්ම ඉන්දියාව, චීනය හා රුසියාව වැනි නැගී එන රටවල්ද මේ අනුව අපට වඩා දුප්පත් රටවල් බවට පත් වීමට නියමිතය.

 
මේ ප්‍රවෘත්තිය මෙවැනි කතා මේ දවස් වල හෝල්සේල් ඇසෙන මැතිවරණ වේදිකාවකින් අහුලාගත් එකක් නොවේ. විස්තර ඇත්තේ 'දී ඉකොනොමිස්ට්' සඟරාවට අනුබද්ධ 'ආර්ථික බුද්ධි අංශය' විසින් එළිදක්වා ඇති 'දිගුකාලීන සාර්ව-ආර්ථික පුරෝකථන' නම් වූ විශේෂ වාර්තාවකය. සැම සතියකම පාඨකයින් මිලියන 5.3ක් විසින් කියවන 'දී ඉකොනොමිස්ට්' සඟරාව ආර්ථික විද්‍යා විෂයයයෙහි පළවන ජනප්‍රියම සඟරාවයි. එහි ආර්ථික බුද්ධි අංශයට මෙවැනි පුරෝකථන පිලිබඳ මනා විශේෂඥතාවක්, දිගු පළපුරුද්දක් මෙන්ම ලොකු කීර්තිනාමයක්ද ඇති අතර ඇතැම් ආර්ථික විද්‍යා සංකල්ප මුල්වරට ඉදිරිපත් කිරීම පිලිබඳ ගෞරවයද හිමිවේ. (කෙසේ වුවද මෙය විමර්ශිත ජර්නලයක් නොවන අතර ඔවුන්ගේ විශ්ලේෂණයන් සාපේක්ෂව සරලය.)

ඉකොනොමැට්ටා කලබල වුණාට බලාගෙන ගියාම ණය ගැනීමේ ප්‍රශ්නයක් නැත. ඒක පුද්ගල අදායම ඩොලර් 65,910ක් වුණොත් ඩොලර් හත්අට දාහක පරණ ණය ලෝස් නැතිව ගෙවා දැමීම කජ්ජකි. දැන් අපිට තියෙන්නේ 2050දී අපේ රටට බෝට්ටු වලින් හොරෙන් පනින්නට එන ඇමරිකන් කාරයින්, ඉංග්‍රීසීන්, ඕස්ට්‍රේලියානුවන් වැනි දුප්පත් පොරවල් නැවැත්වීමට රටවටේ වැටක් ගහන එක ගැන හිතන්නටය.


මේ වාර්තාවේ තවත් බොහෝ දේ ඇති අතර එයින් ප්‍රධානම කරුණක් වන්නේ 2050 වන විට ලෝක ආර්ථිකය තුළ ආසියාවේ පංගුව 53% දක්වා ඉහළ යන බවයි. එමෙන්ම, 2026දී ඇමරිකාව අභිබවන චීනය 2050දීත් ලෝක ආර්ථික බලවතා වනු ඇති අතර ඇමරිකාවට වඩා 50%කින් විශාල ආර්ථිකයකට හිමිකම් කියනු ඇත. ඇමරිකාව දෙවන ස්ථානය රැකගනිද්දී තෙවන තැනට පත්වන ඉන්දියානු ආර්ථිකය ඇමරිකානු ආර්ථිකයෙන් 90%ක් පමණ විශාල වනු ඇත. මේ රටවල් තුන හැරුණු විට 2050දී විශාලම ආර්ථිකයන් හය වන (පිළිවෙලින්) ඉන්දුනීසියාව, ජර්මනිය, ජපානය, බ්‍රසීලය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය යන රටවල් සියල්ලම එකතු කළද ඉන්දියාවේ ආර්ථිකයට වඩා කුඩා වනු ඇත. මේ අනුව, චීනය, ඇමරිකාව සහ ඉන්දියාව 2050දී අනෙක් සියළු රටවල් වලට ඉහළින් යෝධයින් ලෙස නැගී සිටින ලෝක ආර්ථික බලවතුන් තිදෙනෙකු වනු ඇත.

ආර්ථික බුද්ධි අංශ විශ්ලේෂණය අනුව ලංකාවට ඒක පුද්ගල ආදායම අතින් ඉහළට පැමිණීමට හැකිවන්නේ ඉන්දියාව, චීනය හා ඉන්දුනීසියාව වැනි කලාපීය ආර්ථික බලවතුන් සමඟ එක පිම්මේ වර්ධනය වන අතරම ජනගහන වර්ධනය ඒ රටවලට වඩා අඩුවෙන් පවත්වාගැනීම නිසා විය යුතුය.
අදාළ වාර්තාව මෙහි ඇත.

(මීළඟ සටහන "අගෝස්තු 17 මොකක් වෙයිද?")

Wednesday, August 5, 2015

අරක්කු මඟහැර සැන්ඩි ගැන කතා කළ හැකිද?


රූපවාහිණිය අපේ ගම් පළාත් වල ප්‍රචලිත වීමට පෙර යුගයේදී ජනප්‍රියව පැවති මධුමාදවී, අම්බිගා ගීතයෙන් ගීතය වැනි ගුවන් විදුලි වැඩසටහන් අතර නම හරියටම මතක නැති තවත් ජනප්‍රිය වැඩ සටහනක් වූයේ යම් තරඟ කොන්දේසි යටතේ ලබා දෙන මාතෘකාවක් ගැන විනාඩි දෙකක් (හෝ එවැනි වෙනත් නිශ්චිත කාලයක්) එක දිගට කතා කිරීමයි. මෙසේ කතා කිරීමේදී භාවිතා නොකළ යුතු තහනම් වචනයක්ද තරඟකරුට ලැබේ. උදාහරණයක් ලෙස වතුර ගැන කතා නොකර ලිඳ ගැන කතා කිරීමට තරඟකරුවෙකුට සිදු විය හැකිය. තරඟ කොන්දේසි අනුව වතුර සඳහා වන පර්යාය වචන භාවිතයද, එක දිගට තත්පර පහක් (හෝ එවැනි වෙනත් නිශ්චිත කාලයක්) නිහඬව සිටීමද, එකම වචනය තෙවරකට වැඩියෙන් යොදා ගැනීමද තරඟයෙන් ඉවත් වීමට හේතුවේ. මේ කොන්දේසි යටතේ වතුර අතහැර ලිඳ ගැන කතා කිරීම අරක්කු මඟහැර සැන්ඩි ගැන කතා කිරීම තරම් පහසු කටයුත්තක් නොවේ.

තවත් තීරණාත්මක ජාතික මැතිවරණයක් අත ළඟ ඇති මේ වෙලාවේ දේශපාලනය මඟ හැර බ්ලොග් ලිවීමද හරිම අමාරු වැඩකි. කොයි තරම් උත්සාහ කළත් ටයිප් වෙන්නේ තහනම් වචනමය.

රසිකොලොජිස්ට්ගේ සටහනකින් මම පහත වැකි දෙක උපුටා ගනිමි.

"ඡන්දය සම්බන්ධයෙන් ගත් කළ, ලංකාවේ අද පවතින ලොකුම ප්‍රශ්නය ලෙස මා දකින්නේ ඡන්දදායකයින් සෑහෙන ප්‍රතිශතයක් කැපුවත් යූඇම්පී, කැපුවත් සිරිලංකා වැනි දැඩි මතධාරීන් වීමයි."

"මා අධ්‍යයනය කර ඇති ආකාරයට 1947 සිට 1970 දක්වා කාලය තුළ රටේ ආණ්ඩු මාරු සාමාන්‍ය ක්‍රමයට ඇති විය." ඔහු ඒ ලෙසම ලියා නැතත් අදහස් කරනවායැයි මා සිතන පරිදි, "ඉන් පසුව මේ ප්‍රවණතාව වෙනස් විය."

මේ සටහනින් මා අදහස් කරන්නේ ඉහත කරුණු දෙක සඳහා හේතු වූ ඇතැම් කරුණු සාකච්ඡා කිරීමටය.

1931දී ඩොනමෝර් ව්‍යවස්ථාවෙන් අපට සර්වජන ඡන්ද බලය ලැබුණේය. මේ කාලයේදී පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ වලදී අපේක්ෂකයා මිස දේශපාලන පක්ෂය එතරම් ඉස්මතු වුයේ නැත. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ 1947දී ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තුරු කාලයේදී ලංකා සමසමාජ පක්ෂය සහ කම්කරු පක්ෂය වැනි ඇතැම් පක්ෂ වලට යම් නිශ්චිත ජන පදනමක් තිබුණත් ආසන මට්ටමින් පැවති මැතිවරණ වලදී වඩාත් ඉස්මතු වූයේ අපේක්ෂකයා මිස පක්ෂය නොවේ.

රසිකොලොජිස්ට් සඳහන් කරන, සෝල්බරි ව්‍යවස්ථාව යටතේ මැතිවරණ පැවැත්වුණු, 1947-1970 යුගය මූලික වශයෙන් ද්වි පක්ෂ ක්‍රමයක් වූ ලංකාවේ පක්ෂ ක්‍රමය පැහැදිලි ලෙස පරිණාමය වූ කාලය ලෙස සැලකිය හැකිය. සමසමාජ පක්ෂය ප්‍රධාන වාමාංශික පක්ෂ වල තර්ජනය හමුවේ සමාජවාදී පාලන ක්‍රමයකට අකැමති වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් පක්ෂ එක්සත් ජාතික පක්ෂය ලෙස එකතු වීමත්, පසුව මේ පක්ෂයෙන් බිඳී ගිය කණ්ඩායමක් විසින් ශ්‍රීලනිපය ගොඩ නැඟීමත් අද වන තුරුත් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන මේ පක්ෂ දෙකේ ආරම්භයයි.

දේශපාලනයේදී තමන්ගේ වාසියට තරඟ නීති සකස්කර ගැනීමේ අතීතය නිදහසින් පෙර යුගය දක්වා දිවයයි. සැලකිය යුතු දේශපාලන බලවේගයක් වූ ඉන්දියානු දෙමළුන්ගේ ඡන්ද බලය අහෝසි කරනු ලැබුවේ සමසමාජ පක්ෂය ප්‍රධාන වාමාංශික පක්ෂ වලට ඔවුන් අතර වූ පදනම නිසාය. මේ අනුව, පළමු සෝල්බරි පාර්ලිමේන්තුවේ බලය එජාපය විසින් ලබා ගත්තේය. සමසමාජය විපක්ෂය විය.

එජාපයෙන් කැඩී ගිය ශ්‍රීලනිපය සහ එජාපය අතර වූ ප්‍රතිවිරෝධතා මුල සිටම වුවද වාමාංශික පක්ෂ හා එජාපය අතර වූ ප්‍රතිවිරෝධතා තරම් විශාල නොවීය. "අම්මා අප්පා නොඅඳුනන, රුවන්වැලි සෑය පොළොවට සමතලා කර වී වවන්නට යන" සමසමාජය සමඟ හෝ "ධනපති පක්ෂයක් වන" එජාපය සමඟ එකතු වීමට අමාරු බොහෝ දෙනෙකුගේ තෝරාගැනීම ශ්‍රීලනිපය වූ අතර දෙවන පාර්ලිමේන්තුවේ බලය ශ්‍රීලනිපය ප්‍රධාන සභාගයක් වූ මහජන එක්සත් පෙරමුණට හිමිවිය. එවකට 12%ක් පමණ වූ ඉන්දියානු දෙමළුන් බැහැර කිරීමෙන් පසුවද මුල් පාර්ලිමේන්තුවේ මෙන්ම දෙවන පාර්ලිමේන්තුවේද විපක්ෂ නායකවරයා වූයේ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන් ඇම් පෙරේරාය.

අපේ දේශපාලනයේ මුල සිටම පැවති ලක්ෂණයක් වූයේ ඡන්ද ජයග්‍රහණයෙන් පසු 'කළගුණ සැළකීම'යි. මේ අනුව, තමන් සහයෝගය දුන් පක්ෂය ජයග්‍රහණය කළ විට රජයේ රැකියා, රජයේ ඉඩම් වැනි සම්පත් භාවිතයට ඇති අවස්ථා ආදිය ලබා ගැනීමට පුද්ගලයෙකුට වැඩි අවස්ථා හිමි වේ. එසේ සහයෝගය නුදුන් අයට මේ ප්‍රතිලාභ නොලැබෙන අතර පසුකාලීනව දේශපාලන පලිගැනීම් වලට ලක්වීමට සිදුවීම දක්වා වර්ධනය විය. මා සිතන පරිදි මෙය අප විසින් ජාති, ආගම්, කුල ලෙස පුද්ගලයින් ලේබල් කිරීමේම දිගුවකි. ඒ අනුව, තමන්ගේ ජාතිය, ආගම, කුලය හෝ දේශපාලන පක්ෂය ගැන කිසිදු අදහසක් නොමැති ළදරුවෙකුට වුවද තම දෙමවුපියන් ලේබල් කෙරී ඇති කණ්ඩායම අනුව ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවිය හැකිය. ශ්‍රීලංකා ආණ්ඩුවක් යටතේ නිවස ගිණි  තබනු ලැබූ, රැකියාව අහිමි වූ යුඇන්පී පියෙකුගේ දරුවෙකු වැඩෙන්නේ ශ්‍රීලංකා කාරයින් ගැන තරහකිනි. තමන්ට නොලැබෙන සෙල්ලම් බඩු හෝ ඇඳුම් පැළඳුම්  වලට හේතුව ශ්‍රීලංකා ආණ්ඩුව වන නිසා ඡන්දය නැති මේ කෙලි පැටික්කියගේ හෝ කොලු පැටියාගේද අපේක්ෂාව යුඇන්පී ආණ්ඩුවකි. තමන්ට යුඇන්පීය සමඟ කොතරම් ප්‍රශ්න තිබුණත් දෙමවුපියන් යුඇන්පී ලෙස ලේබල් වී ඇත්නම් ශ්‍රීලංකා ආණ්ඩුවකින් සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් ලබා ගැනීම බොරුය. ඒ නිසා ප්‍රායෝගිකව හොඳම ක්‍රමය දෙමවුපියන්ගේ පක්ෂයේම සිටීමයි.

පක්ෂ සම්බන්ධතා මත දේශපාලන පලිගැනීම් සහ ලාභ ප්‍රයෝජන තීරණය වුවද එජාප ශ්‍රීලනිප තට්ටුමාරුව යටතේ වසර පහක් අල්ලාගෙන සිටීම මේ පක්ෂ දෙකේම සාමාජිකයින්ට අමාරු නොවූ නිසා "පක්ෂපාතීව" කාලයක් සිටීම හොඳ ක්‍රමෝපායයක් විය. මේ යුගයේදී, සීයලාගේ කාලයේ සිට යූඇම්පී කාරයෙක් වීම ළඟදී පක්ෂේ මාරු කළ දෙපිටකාට්ටුවෙකු වීමට වඩා මහත්පල මහානිශංශ ගෙනදුන්නේය. කෙසේ වුවද, මේ තට්ටුමාරු දේශපාලනයෙන් බැට කෑවේ වාමාංශික පක්ෂයි. රාජ්‍ය බලය හා බැඳුනු වරප්‍රසාද රහිතව හැමදාමත් එක දිගට ප්‍රහාරයටම ලක්වෙන, ප්‍රහාරකයා වීමේ බලාපොරොත්තුවක් පෙනෙන්නට නැති පක්ෂ සාමාජිකයින් රඳවා ගැනීම ප්‍රායෝගික නොවූ නිසා වාමාංශික පක්ෂ වලට සභාග වලට එක් වීමට සිදුවූ අතර පසුව සභාග තුල දියවී යාමටද සිදුවිය.

මේ තත්ත්වය වෙනස් වුනේ 1977න් පසු යුගයේදීය. 1977න් පසු යුගයේදී බොහෝ විට වරප්‍රසාද හිමිවන්නේ පාක්ෂිකභාවයටම නොවේ. නියෝජිතයින් තෝරා පත් කරගැනීම සඳහා මුදල් ආයෝජනය කරන හෝ අනාගතයේ මුදල් ආයෝජනය කිරීමේ විභවයක් ඇති අයටය. මේ අනුව, "කැපුවත් යූඇම්පී, කැපුවත් සිරිලංකා වැනි දැඩි මතධාරීන්" සෙමින් වුවත් දිය වී යාම මෑත කාලීන ප්‍රවණතාව බව මගේ අදහසයි.

එජාප ශ්‍රීලනිප තට්ටුමාරුව වසර පහෙන් පහට සිදුවුණත්, 1956දී හැර, තනි පක්ෂයක් ලෙස 1947-1977 දක්වා සෑම මැතිවරණයකදීම වැඩිම ඡන්ද ලබා ගත්තේ එජාපයයි. ශ්‍රීලනිප-ලසසප-කොප එක්වී තුනෙන් දෙකක බලයක් සහිත සමඟි පෙරමුණු රජය පිහිටුවාගත් 1970 මැතිවරණයේදීද එජාපය මුළු දිවයිනෙන්ම ලබාගත් ඡන්ද ප්‍රමාණය ශ්‍රීලනිපය ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි විය. සාමාන්‍යයෙන් මාක්ස්වාදී පක්ෂයකට ඇති ලැදියාව අදාල පක්ෂයේ පුද්ගල ප්‍රතිරූප වලට ඇති ලැදියාවට වඩා වැඩි විය යුතු වුවත් සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වලට පැවති ආකර්ෂණය පුද්ගල ප්‍රතිරූප මත බොහෝදුරට පදනම් වූ බව පෙනීයයි. රටේ ඇතැම් තැන් වල පැවති 'රතු බලකොටු' වල විශාල ඡන්ද පදනමක් තිබුණු වාමාංශික පක්ෂ වලට ඒ බලකොටු වලින් පිටත සැලකිය යුතු ඡන්ද පදනමක් නොතිබුණේය. සංසන්දනාත්මකව, එජාපයට උතුරේ හැර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ සැලකියයුතු ඡන්ද පදනමක් තිබුණේය. මේ ඡන්ද බොහෝ දුරට ගොනුවී තිබුණේ පුද්ගල ප්‍රතිරූප වටා නොව පක්ෂය වටාය.

ශ්‍රීලනිප-ලසසප-කොප එකතුව තුලින් නිදහසින් පසු ප්‍රථම වරට ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලබාගත හැකි වූ අතර මේ 'විශාල' බලයේ එක් ප්‍රතිපලයක් ලෙස මහජනතාව විසින් වසර පහකට පත් කර ගනු ලැබූ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස තවත් වසර දෙකක් බලයේ සිටියේය. තමාගේ වාසියට ව්‍යවස්ථාව වෙනස් කරගැනීම සඳහා ජේආර්, මහින්ද ඇතුළු පසුකාලීන පාලකයින්ට ආදර්ශයක් සැපයූ මේ ක්‍රියාව ලංකාවේ පසුකාලීන දේශපාලනය මුළුමනින්ම වෙනස් කළේය.

1947-1977 පැවති සියළුම ආණ්ඩු වසර තුනක් පමණ යනවිට ජනප්‍රියතාවයෙන් පිරිහීමට පටන්ගෙන වසර පහ අවසාන වන විට ගෙදර යන තරමටම  පිරිහුණත්, යම් තරමක ජනප්‍රියතාවක් තවදුරටත් රඳවා ගත්තේය. එහෙත්, ඡන්දය පැවැත්විය යුතුව තිබුණු 1975 වන විටත් ජනප්‍රියතාවයෙන් පිරිහී තිබුණු සමඟි පෙරමුණු රජය 1977 වන විට මහජනතාවට හොඳටම එපා වී තිබීමේ ප්‍රතිපලය වූයේ 1977 මැතිවරණයේදී යූඇම්පියෙන් ඉල්ලන පොල්පිත්තකට වුවද ජයග්‍රහණය නළලේ කෙටී තිබීමයි. මේ අනුව ජෙආර්ට තුනෙන් දෙක නොව හයෙන් පහක්ම ලැබුණේය.

ජේආර් 1978 ව්‍යවස්ථාව හැදුවේම යූඇන්පියට සදාකාලිකව බලයේ සිටීමටය. මෙහිදී අතීතයේ පැවති ප්‍රවණතාවන් අනාගතයේදීද එලෙසෙන්ම පවතිනු ඇතැයි ඔහු උපකල්පනය කළේය. සමානුපාතික ක්‍රමය ගෙන ආවේ මේ අනුවය. මේ උපකල්පනනම්,
1. එජාපය සදාකාලිකවම දෙමළ බහුතර දිස්ත්‍රික්ක වල හැර අනෙකුත් දිස්ත්‍රික්ක වල වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇත.
2. ශ්‍රීලනිපය හැර (සමසමාජ, කොමියුනිස්ට් වැනි) වෙනත් පක්ෂයකට දිස්ත්‍රික්කයකින් ලබාගත හැකි ඡන්ද ප්‍රතිශතය 12.5%කට වැඩි නොවනු ඇත.

මේ වන විට 19 වරක් සංශෝධනය වී ඇති 1978 ව්‍යවස්ථාව මුලින්ම සම්මත කිරීමේදී නීතිගත කෙරුණු මැතිවරණ ක්‍රමය අද ඇති ක්‍රමයම නොවන අතර එය ඒ ආකාරයෙන්ම කිසිදා ක්‍රියාත්මක නොවීය. මේ ක්‍රමය ගැන විස්තර 1978 ව්‍යවස්ථාවේ 96 සිට 100 දක්වා ඡේද වල තිබේ. මේ අනුව, 1972 ව්‍යවස්ථාවේ මන්ත්‍රී ධුර ගණන 160 සිට 196 දක්වා වැඩි කෙරිණි. 160 දෙනෙකු ජනගහණය අනුව දිස්ත්‍රික් අතර සමානුපාතිකව බෙදෙන අතර ඉතිරි 36 හතර බැගින් පළාත් නවයට බෙදීයයි. මේ වැඩිපුර 36 අවශ්‍ය වූයේ ජනගහන අනුපාතය අනුව දිස්ත්‍රික් අතර මන්ත්‍රී ධුර 160 බෙදීමේදී ඇතැම් දිස්ත්‍රික්ක වලට  එවකට හිමි වූ මන්ත්‍රී ධුර ගණන අඩුවීම වැළැක්වීමටය.

මේ ආරම්භක ක්‍රමය අනුව සල්ලන් වීමට දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් ඡන්ද 12.5%ක් ලබා ගත යුතුය. එසේ ලබා ගන්නා පක්ෂ අතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර ගණනට වඩා එකක් අඩු ප්‍රමාණයක් සමානුපාතිකව බෙදීයන අතර මෙසේ පැත්තකින් තබාගත් 'බෝනස්' මන්ත්‍රී ධුරය වැඩිම ඡන්ද ගත් පක්ෂයට හිමිවේ. සල්ලන් සීමාව 5% දක්වා අඩු වී ඇතත් අදද මන්ත්‍රී ධුර බෙදී යන්නේ මේ ක්‍රමයටමය. ජේආර්ගේ ආරම්භක සමානුපාතික ක්‍රමය අනුව 1947-1977 දක්වා 1956 හැර සියළු මැතිවරණ වලදී ජයග්‍රාහකයා එජාපයයි. එසේම සමසමාජය විපක්ෂය වූ යූඇන්පිය අටට වැටුණු 1956දීද එය ප්‍රබල විපක්ෂයක් වනු ඇත.

1978 ව්‍යවස්ථාව අනුව මනාප භාවිතයක් තිබුණේ නැත. එක් එක් පක්ෂය මඟින් අපේක්ෂකයින් ලැයිස්තුවක් ඉදිරිපත් කරන අතර මන්ත්‍රී ධුර හිමිවන්නේ ලැයිස්තුවේ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුවය. පක්ෂයෙන් ඉවත්වීම හෝ ඉවත් කරනු ලැබීම මන්ත්‍රී ධුරය අහෝසි වීමට හේතුවකි.

කෙසේ වුවද මේ ආරම්භක ක්‍රමයට කිසිදු මැතිවරණයක් පැවැත්වුණේ නැත. 1983දී පැවැත්විය යුතුව තිබුණු මැතිවරණය කලගෙඩි ලාම්පු සෙල්ලම මඟින් කල් දමනු ලැබූ අතර නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ 1989දීය. ඒ වන විට මේ ආරම්භක ක්‍රමය බොහෝ සේ වෙනස් වී අවසානය.

1978 ව්‍යවස්ථාවේ ආරම්භක ක්‍රමයට වඩාත් ආසන්නව පැවති එකම මැතිවරණය 1981 සංවර්ධන සභා ඡන්දයයි. ශ්‍රීලනිප ඇතුළු දකුණේ ප්‍රධාන පක්ෂ විසින් වර්ජනය කෙරුණු මේ මැතිවරණයේදී ඒ වන විට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණව සිටි ජවිපෙ මුල් වරට දිවයින පුරා පැවැත්වෙන මැතිවරණයකට මුහුණ දෙමින් යම් ජයග්‍රහණයන් ලබා ගත් අතර කුප්‍රසිද්ධ යාපනය පුස්තකාලය ගිණි තැබීමද සිදු විය. මේ මැතිවරණය පැවැත්වුණේ 1980 අංක 35 දරන සංවර්ධන සභා පණත අනුවය. සංවර්ධන සභා මැතිවරණ ක්‍රමය එවකට ව්‍යවස්ථාපිතව පැවති පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට බොහෝ සේ සමාන වූ අතර එක් සැලකිය යුතු වෙනසක් විය. එහි බෝනස් ආසන වෙන් කිරීමක් නොවූ අතර ආසන හරියටම සමානුපාතිකව බෙදුණේය. උතුරේ ආසන දෙමළ පක්ෂ වලට හිමිවන නිසා පාර්ලිමේන්තුවේ බහුතරය තහවුරු කර ගැනීමට යූඇන්පියට බෝනස් ආසන අවශ්‍ය වුවත් ප්‍රාදේශීය මැතිවරණයකදී මෙය ප්‍රශ්නයක් නොවේ. එහෙත්, 12.5% සල්ලන් සීමාව එහිද පැවතුණේය.

සංවර්ධන සභා ඡන්දයෙන් ජේආර් බොහෝ දේ ඉගෙන ගත්තේය. ලැයිස්තු ක්‍රමය යටතේ පක්ෂය දිනවීමට වැඩ කිරීමට මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ට ලොකු උවමනාවක් නැත. නම ඇත්තේ ලැයිස්තුවේ උඩින්මනම් දිනුම නළලේ කෙටී ඇත. නම යටින්මනම් මළාට දිනිය නොහැක. මහන්සිවීමෙන් ප්‍රයෝජනයක් තිබිය හැක්කේ මැද හරියේ සිටින 'ආන්තිකයින්ට' පමණි. අනෙක් අතට, 12.5% සීමාව 5% දක්වා ගෙන ආවා කියා මේ වන විට හොඳටම හාමත් වී සිටි පැරණි වාමාංශික පක්ෂ වලට හෝ තවමත් විශාල ජනපදනමක් නැති 'අළුත් වම' වන ජවිපෙට ලොකු හානියක් කිරීමට ඉඩක් නැත.

ජේආර්ගේ ව්‍යවස්ථාව අනුව පැවැත්වුණු පළමු ඡන්දය වන 1989 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර 1988දී තකහනියේ ගෙන ආ 14වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සමානුපාතික මැතිවරණ ක්‍රමය සැලකිය යුතු ලෙස සංශෝධනය විය. මේ අනුව ලැයිස්තු වෙනුවට මනාප ක්‍රමය ආවේය. ජාතික ලැයිස්තුවෙන් 29ක් එක් වී මන්ත්‍රී ධුර ගණන 225 දක්වා වැඩි විය. සල්ලන් සීමාව 12.5% සිට 5% දක්වා අඩුවිය. මේ සියළු වෙනස්කම් කළේ යූඇන්පියේ වාසියටය. අන්තිමේ ඒ ඡන්දයෙන්නම් යූඑන්පිය බලාපොරොත්තු වූ ලෙසටම දිනුවේය.

ජේආර් බලාපොරොත්තු වූ පරිදි අතීතයේ සිදු වූ ආකාරයට හැමදේම දිගටම සිදු වුනේ නැත. වසර දාහතක් බලයේ සිටි එජාපය අන්තිමේදී පැරදෙන විට එජාපය මහජනතාවට හොඳටම එපා වෙලාය. මේ නිසා එජාපයට බලයේ සිටියාටත් වඩා වැඩි කාලයක් එක දිගට විපක්ෂයේ සිටීමට සිදුවිය.

කෙසේ වුවද සංශෝධිත 1978 ව්‍යවස්ථාව අනුව වුවත් පක්ෂ මාරුවට ඉඩ සැලසුනේ නැත. මෙය වෙනස් වුනේ පසුකාලීන අධිකරණ තීන්දු කිහිපයක් නිසාය. පක්ෂ වලට ඡන්ද ලබාදීම යන අදහස මත පදනම් වූ සමානුපාතික නියෝජනයක් පැවතෙද්දී පක්ෂ මාරුවට ඉඩ ලැබුණු විට සිදුවන්නේ විශාල විකෘතියකි.

රටක ව්‍යවස්ථාදායකයේ කර්තව්‍යය මහජනතාවගේ ශුභ සාධනය සලකා නීති සම්පාදනය කිරීමයි. අධිකරණය මේ නීති විශ්ලේෂණය කර අර්ථදක්වයි. මෙවැනි අර්ථදැක්වීමක් නීතියේ මුල් පරමාර්ථ හා ගැටෙන විට නීතිය වඩා පැහැදිලි වන ලෙස සංශෝධනය කිරීම ව්‍යවස්ථාදායකයේ වගකීමයි. එහෙත්, පසුගිය කාලයේදී එවැන්නක් සිදු නොවූ අතර එහි වාසිය ආණ්ඩු පක්ෂය ලබාගත්තේය.

ජේආර් මෙන්ම මහින්දගේ ආණ්ඩුද අමතක කළ කරුණක් වූයේ ආණ්ඩු මාරු වූ විට මෙවැනි තාවකාලික වාසි අවාසි බවට පෙරලෙන බවයි.

පවතින සමානුපාතික ක්‍රමයේ ගණිතය අනුව එළැඹෙන මැතිවරණයේදී කවර පක්ෂයකට හෝ බහුතර බලයක් ලබාගැනීමටනම් ඡන්දදායකයින්ගේ චර්යාවේ ඉතා විශාල වෙනසක් සිදුවිය යුතුය. එහෙත්, ජනවාරි සිට සිට මේ දක්වා කාලයේ සිදුවූ එවැනි විශාල වෙනසක් පෙනෙන්නට නැත. මහින්ද සමඟ තවදුරටත් සිටින සියල්ලන්ම පාහේ ජනවාරියේද මහින්ද සමඟ සිටි අයයි. එජාපෙ, ජවිපෙ හෝ දෙමල සන්ධානය සමඟ සිටින්නේ ජනවාරියේ මෛත්‍රී සමඟ සිටි අයයි. වෙනස්කම් සිදු වී ඇතත් ඒවා විශාල වෙනස්කම් ලෙස නොපෙනේ. මේ අනුව, 'සම්මත ක්‍රමයට' බහුතර ආණ්ඩුවක් පිහිටුවීම පහසු නොවනු ඇත.

මැතිවරණයෙන් පසුව පිල් මාරු කිරීම් සුලභ වනු ඇති අතර මන්ත්‍රී වරුන් ඉහල මිලකට වෙන්දේසි වනු ඇත. මෙහිදී ඡන්දදායක අපේක්ෂාවන් කඩ වන බව කිව යුතු නොවේ. මෙය අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ දැනට ඇති ලොකුම විකෘතියයි.

Sunday, August 2, 2015

රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුර

පසු ගිය පෙබරවාරි මාසයේදී "මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළ" බව වාර්තා විය. අදාළ පුවත අනුව "දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් ඔප්පු කළ බව ජනප්‍රවාදයේ සඳහන්ය."

මගේ අදහස මහින්දගේ භාරය ගැන කතා කිරීම නොවේ. දෙවියන්ට වුවත් තවමත් කඩදාසි මුදල් වලට වඩා විශ්වාස, භාරය ඔප්පු කිරීමට යොදාගත් රන් හා රිදී ගැන කතා කිරීමය.

පෙර ලිපියෙහි සඳහන් කළ පරිදි, භාණ්ඩ හුවමාරුවෙන් වෙළඳාම ඇරඹු හෝමෝ සේපියන්ස්ලා පසුව මුදල් භාවිතය ඇරඹුහ. මුදල් ලෙස මුලින්ම භාවිතයට ගැනුණේ ධාන්‍ය වර්ග, එළුවන්, ගවයින් වැනි දේය. මේ දේවල් වල මුදල් නොවන වටිනාකමක්ද සෑම දෙනෙකුටම වාගේ තිබුණේය. අඩුවශයෙන් සහශ්‍ර නවයකට පෙර මෙවැනි ද්‍රව්‍ය මුදල් ලෙස භාවිතා කෙරී ඇත.

මුදල් වශයෙන් ලෝහ භාවිතය ජනප්‍රිය වෙන්නේ සහශ්‍ර තුනකට පමණ පෙරය. රන්, රිදී වැනි ලෝහ වල මුදල් නොවන වටිනාකමක්ද ඇතත් එය සීමිත වටිනාකමකි. රන් හැන්දෙන් රිදී පිඟානක ආහාර ගැනීමේ අවස්ථාව හැමෝටම නොලැබේ. රන් ගෑරුප්පුවකින් ඇණ චොකලට් සෝස් තැවරූ තෝර මාළු පෙති කෑමටද හැමෝටම නොලැබේ. එහෙත්, එවැනි අය සීමිත පිරිසක් හෝ සිටින බව සියළු දෙනාම දන්නා නිසා තමාගේ ශ්‍රමය හා හුවමාරුවට රන් හෝ රිදී වැනි දෙයක් භාර ගැනීමට බොහෝ දෙනා සූදානම් වූහ.

හරියටම කියනවානම් බොහොමයක් සාමාන්‍ය ජනතාවට රන් කාසියක් අතගෑමේ අවස්ථාව ජීවිත කාලයටම නොලැබුණු අතර බොහෝ විට ඔවුන්ගේ වත්කම මැනුනේ රිදී කාසි වලිනි. 'රිදී තිහක්' කියා අවිච්චියා කෑගසන්නේ අවිච්චියන් වූ සාමාන්‍ය ජනතාවගේ මුදල් රිදී වූ නිසාය. පැරණි භාෂාවන් වන ලතින් භාෂාවේ 'ආජෙන්ටුම්' යන වචනයත්, 'කෙසේ' යන හීබෘ වචනයත් මුදල් මෙන්ම රිදී යන තේරුම් දෙකෙන්ම යෙදෙන්නේ මේ නිසාය. සෑම බලවත් රටකම ධනවතුන්ටනම් රිදී වලට අමතරව රත්තරනින් රන් මාල බැඳීමට හැකි විය.

ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව 500 සිට ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා වූ සහශ්‍ර දෙක තුළ ප්‍රධාන වශයෙන් ලෝකයේ භාවිතා වුයේ මුදල් වර්ග දෙකකි. ඒ රන් සහ රිදීය. චීනයේදී, පර්සියාවේදී හෝ රෝමයේදී රන් සහ රිදී වෙනත් භාණ්ඩ වෙනුවෙන් හුවමාරු කිරීමෙහි කිසිදු අපහසුතාවක් නොවීය. මේ යුගයේදී රටවල් අතර වෙළඳ පරිමාව අඩු වුවත්, ලෝකයම එකම වෙළඳපොළක් වූ ලෙස සැලකීම නිවැරදිය.

මේ කාලයේදී රන් හෝ රිදී ආකාර සොයාගත් හෝ යුද්ධයෙන් අයිති කරගත් ජාතීන්ට අනෙක් ජාතීන් අභිබවා ඉදිරියට පැමිණීමට හැකි විය. ග්‍රීසියේ සෞභාග්‍යයේ ඇරඹුම එහි රිදී ආකාරයි. ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙනු ලැබ තිබුණු ග්‍රීසියේ රිදී ආකාර වල ආදායමද රජුට පමණක් අයිති නොවී සියලු දෙනාටම අයිති වූ නිසා රිදී කැනීමට ජනතාව පෙළ ගැසුණේ විශාල උනන්දුවකිනි.


මේ කාලයේ රටවල් සතුව ස්ථිර හමුදා නොපැවති අතර හමුදා වල සේවය කළෝ ගොවීහුමය. එනිසා හමුදා නඩත්තු කිරීම වියදම් අධික කාර්යයක් වූයේ නැත. ග්‍රීසියේදී මේ තත්ත්වය වෙනස් වූ අතර ස්ථිර නාවික හමුදාවක් සාදා නඩත්තු කිරීම වෙනුවෙන් තම රිදී ලාභාංශ යෙදවීමට ග්‍රීක වැසියන් කැමති වීම අවසන් වූයේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ අධිරාජ්‍යය ඉන්දියාවේ මායිමටම ව්‍යාප්ත වීමෙනි.

මහා ඇලෙක්සැන්ඩර් රජු පර්සියාව යටත් කර අත්පත් කරගත් රත්රන් සංචිත නැවත ග්‍රීසියට ගෙන ආ විට එහි රන් මිල 50%කින් අඩු වූ බව පැවසේ. එල්ටීටීඊ රත්තරන් ඒ තරම් නොතිබුණු නිසා ලංකාවේනම් එසේ වූයේ නැත.

 'ස්කන්ධ' නමින් ඉන්දියාවේදී හැඳින්වෙන කතරගම දෙවියන් යනු මහා ඇලෙක්සැන්ඩර් රජු බව එක් මතයකි. මේ මතය අනුව රණ ශූර ඇලෙක්සැන්ඩර් 'ඇලෙස්කන්ඩ' වී පසුව  'ස්කන්ධ' බවට පත් වී තිබේ. ඒ දවස් වල ගෑරුප්පු පාවිච්චිය ඇරඹී නොතිබුණ නිසා රන් ගෑරුප්පු නොතිබුණත් ඇලෙක්සැන්ඩර් වයින් බිවුවේත්, කෑම කෑවෙත් රනින් වැඩ දැමූ රිදී බඳුන් වලය. (ඔව්, දැකල තියෙනවා.) එය එසේ වී නම් රන් හා රිදී වලට ඇති කතරගම දෙවියන්ගේ කැමැත්ත තේරුම් ගැනීමට අපහසු නැත.

විශාල වටිනාකමකින් යුතු ගනුදෙනු පියවීම සඳහා ලෝහ යොදා ගැනීම අපහසු වූ නිසා ලෝහ වල අයිතිය සඳහන් කල පොරොන්දු පත්‍රයක් ලබා දීම පසුව මුද්‍රිත මුදල් දක්වා විකාශනය විය. එහෙත් මේ මුල් කාලීන මුද්‍රිත මුදල් වලට රන් (හෝ රිදී) වලින් මැනිය හැකි නිශ්චිත වටිනාකමක් තිබුණේය. මේ නිශ්චිත වටිනාකම නිසා රටවල් අතර වෙළඳාම තවදුරටත් කාර්යක්ෂම ලෙස පවත්වා ගත හැකි විය.

කෙසේ වුවද මෙවැනි කඩදාසි මුදල් ව්‍යාප්තිය වැඩි වෙද්දී එක් එක් රට වෙන වෙනම මුදල් නෝට්ටු නිකුත් කිරීම නිසා ඒවායේ හුවමාරු වටිනාකම පිලිබඳ අවිනිශ්චිතතාවක් ඇති විය. රන් සම්මුතිය හෝමෝ සේපියන්ස්ලා මේ ප්‍රශ්නයට සොයාගත් විසඳුමයි. මේ සම්මුතිය අනුව එක් එක් මුදල් ඒකකයේ වටිනාකම රනින් මිල කෙරුණු අතර ඕනෑම රටකට මුදල් නිකුත් කළ හැකි වූයේ තමන් සතුව ඇති රන් සංචිත වල ප්‍රමාණයටය.

රන් සම්මුතිය යටතේ රටවල් අතර උද්ධමනයේ වෙනසක් තිබීමට ඉඩක් නැති අතර යම් භාණ්ඩයක මිල සෑම රටකම වැඩි හෝ අඩු වන්නේ සමාන ආකාරයකටය. උදාහරණයක් ලෙස එක් රටක තිරිඟු නිෂ්පාදනය හදිසියේම වැඩි වුවහොත් ඒ රටේ තිරිඟු මිල අඩු වෙයි. එවිට අනෙතුත් රටවලින් තිරිඟු මිල දී ගැනීම (ලාබෙට ඇති නිසා) නිසා ඒ රටට වැඩියෙන් රන් සංචිත එකතු වේ. රන් වැඩි වී, තිරිඟු අඩු වීම නිසා (කොටසක් අපනයනය කිරීමෙන්) තිරිඟු මිල නැවත වැඩි වේ. එහෙත් මුලින් පැවති මිලටම වැඩි නොවේ. අනෙකුත් රටවල රන් සංචිත අඩු වී තිරිඟු සංචිත වැඩි වන නිසා ඒ රටවල තිරිඟු මිලද මේ මට්ටමටම පැමිණේ.

එක් රටක අලුතින් රන් සංචිත හමුවූ විටද සිදු වූයේ මෙවැන්නකි. එවිට ඉල්ලුම වැඩිවී ඒ රටේ භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වේ. එවිට ඒ රට අනෙකුත් රටවලින් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම නිසා රන් සංචිත අනෙකුත් රටවලට බෙදී යයි.

මේ ක්‍රමය යටතේ එක් එක් රටවල වෙනස් මුදල් ඒකක තිබුණත් ඒවායේ වටිනාකම වෙනස් වූයේ ලෝකයේ කොහේ හෝ අලුතින් හමුවන රන් ප්‍රමාණය සහ ලෝකයේම සමස්ත නිෂ්පාදිතය අනුව එකම ආකාරයකටය. මේ ක්‍රමය බිඳ වැටී අද පවතින ක්‍රමය ඇති වූ ආකාරය පසුව සාකච්ඡා කරමු.

(පළමු හා තෙවන ඡායාරූප අන්තර්ජාලයෙනි. අනිත් දෙක ඉකොනොමැට්ටාගේය.)

Thursday, July 30, 2015

අහිංසකට ලැබුණු ආන්තික තල්ලුව

අද ඇසළ පෝයයි. ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥයෙකු වූ ගෞතම බුදුන් වහන්සේ සිය විශිෂ්ඨ සොයාගැනීමේ සාරාංශය මුල් වරට ප්‍රකාශයට පත් කළේ ඇසළ පෝ දිනකයැයි  සඳහන්ය.

සිද්ධාර්ථ ගෞතමයන් අසහාය බුද්ධිමතෙකු වූ බව අවිවාදිතය. ඔහු උපන් කාලයේ හැටියට, පරිපූර්ණ විධිමත් අධ්‍යාපනයක් ලබා විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික දැනුමක් ලබා ගැනීමටද ඔහුට හැකිවිය. එහෙත්, මෙසේ ලබා ගත් දැනුමෙන් ඔහු සෑහීමකට පත් නොවීය.

සිද්ධාර්ථ ගෞතමයන්ගේ ජීවිතයේ දෙවන යුගය කැප කළේ එක්තරා නිශ්චිත ප්‍රශ්නයකට පිළිතුර සොයා ගැනීමටය. ඒ, මිනිසාගේ අතෘප්තියට හේතුව කුමක්ද යන්නයි.

මේ ප්‍රශ්නය අනෙකුත් කුදු මහත් සියළු ගැටළු වලට වඩා වැදගත් ලෙස ඔහුට පෙනුණේය. දුකට හේතුව සැප විඳීමට අවශ්‍ය තරම් ප්‍රමාණවත් සම්පත් නොමැති වීම බව මේ යුගයේ බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නට ඇත. අදත් ප්‍රධාන ධාරාවේ චින්තනය මෙයයි.

භෞතික සම්පත් හා හෝමෝ සේපියන්ස්ලා තෘප්තියයැයි සිතන දෙය අතර සම්බන්ධතාවක් තිබේ. එහෙත්, මේ සම්බන්ධතාව නිර්-රේඛීය සම්බන්ධතාවකි. ව්‍යතිරේඛ ඇතත්, භෞතික සම්පත් වැඩිවන විට බොහෝ දෙනෙකු අත් විඳින තෘප්තිය වැඩිවේ. එහෙත්, භෞතික සම්පත් වැඩි වන විට තෘප්තිය වැඩිවන්නේ අඩු රේට්ටුවකිනි.

මේ නිසා භෞතික සම්පත් වැඩි කර ගැනීමෙන් පුද්ගලයෙකුට පූර්ණ තෘප්තියකට පත් වීමේ හැකියාවක් නැත. ආර්ථික විද්‍යාව මඟින් කියා දෙන්නේ හෝමෝ සේපියන්ස්ලාගේ ජානගත පුද්ගල ස්වභාවය වෙනස් නොකර සීමිතව ඇති භෞතික සම්පත් කළමනාකරණය මඟින් තෘප්තිය වැඩි කරගන්නා ආකාරයයි. එසේ කිරීමේදී, පුද්ගල රුචිකත්වය ස්වභාවිකත්වය ලෙස සලකන අතර එය වෙනස් කිරීමට උත්සාහයක් නොදැරේ.

සිද්ධාර්ථ ගෞතමයන්ට සමකාලීන සමාජයේ අනෙකුත් බොහෝ දෙනෙකුට වැඩියෙන් භෞතික සම්පත් භුක්ති විඳීමේ අවස්ථාව ලැබුණේය. එහෙත්, මේ භෞතික සම්පත් නිසා ලැබුණු තෘප්තිය ඔහුව සෑහීමකට පත් නොකළේය. කුඩා කාලයේදීම සිය මව අහිමිවීමත් මේ අතෘප්තිය තීව්‍ර කළාදැයි මම නොදනිමි.

සිද්ධාර්ථ ගෞතමයන් ඉදිරියේ නිශ්චිත පර්යේෂණ ගැටළුවක් තිබුණේය. අද පර්යේෂකයෙකු කරන අයුරින්ම, ඔහු මුලින්ම කළේ මේ ගැටළුවට ඒ වන විට යෝජනා කර තිබුණු පැහැදිලි කිරීම් හා විසඳුම් සියල්ල අධ්‍යයනය කිරීමයි. අද භාෂාවෙන් මෙය සාහිත්‍ය සමීක්ෂණයකි. (ලිට්රචර් සර්වේ එකකි.) ඒ විසඳුම් කිසිවක් ඔහුගේ ශාස්ත්‍රඥ මනසට නිසි පැහැදිලි කිරීම් හෝ විසඳුම් ලෙස පෙනුනේ නැත. මේ නිසා අළුතින් දැනුම නිර්මාණය කිරීමට ඔහුට සිදුවිය. ඔහුගේ විසඳුම වූයේ තමන් සතු බාහිර සම්පත් වලින් තෘප්තිමත් නොවී, වැඩි වැඩියෙන් සම්පත් ලුහු බඳින පුද්ගල ස්වභාවය අභ්‍යන්තරයෙන් වෙනස් කිරීමයි.

අද කාලයේ පර්යේෂකයෙක් කරන්නක් මෙන්ම, මූලික වශයෙන් තමන්ගේ ශාස්ත්‍ර පිපාසය නිවා ගැනීම සඳහා පර්යේෂණයක් කර තමන්ට සෑහීමකට පත් විය හැකි විසඳුමක් සොයාගත් ගෞතම බුදුන්ට මුලින්ම මේ පර්යේෂණ ප්‍රතිඵලය වෙනත් අයට ඉදිරිපත් කිරීමට උනන්දුවක් ඇති වූයේ නැත. එයට හේතු වූයේ ප්‍රායෝගිකව එය පහසු කටයුත්තක් නොවන බවට වූ තක්සේරුවයි.

කෙසේ වුවද, ගෞතම බුදුන් ලෙස සිද්ධාර්ථ ගෞතමයන්ගේ ජීවිතයේ තෙවන යුගය ගෙවුණේ මේ පර්යේෂණ ප්‍රතිපලය වෙනත් පුද්ගලයින් හරහා තහවුරු කර පෙන්වීමටය. (රෙප්ලිකේට් කිරීමටය.)

ගෞතම බුදුන් තමන් ස්ව-අධ්‍යනයෙන් ලබා ගත් දැනුම සම්ප්‍රේෂණය කළ ප්‍රධාන ආකාර දෙකක් විය. මීටරෙන් ගොඩ යන අයට මීටරෙන් ගොඩ යාමට සැලැස්වීම සහ මෝටරෙන් ගොඩ යන අයට මෝටරෙන් ගොඩ යාමට සැලැස්වීමයි. ඔය දෙආකාරයෙන්ම ගොඩ දැමිය නොහැකි බව සක් සුදක් සේ පැහැදිලි දෙන දෙයක් කා කියන දෙයක් අහගෙන සිටින බහුතර හුදී ජනයා තවත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ටවත් ගොඩ නොයන බව පැහැදිලි නිසා ඒ අයටත් මොනවා හෝ කියාදීමට කාරුණික වුවත් ගෞතම බුදුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ ගොඩ දැමිය හැකි සුළු පිරිසයි.

අද කාලයේත් තත්ත්වය මේ වගේමය. විභාගයක් කියන්නේ අවබෝධය නොවූවත් විභාගයක් උදාහරණයට ගත්තොත් ඇතැම් අය අවුරුද්දම පිස්සු කෙළ කෙළ හිටියත්, අන්තිම සුමානේ වැඩ කර මීටරෙන් ගොඩ දමති. තවත් සමහර අය අවුරුද්ද පුරා එක දිගට මහන්සියෙන් වැඩ කර මෝටරෙන් ගොඩ දමති. මීටරයත්, මෝටරයත් දෙකම හොඳින් වැඩ කරන විට යා හැකි දුර බොහෝය. දෙකෙන් එකක්වත් නැත්නම් ගොඩයාම පහසු නැත.

අහිංසක අම්බානක මීටරයකි. තක්ෂිලාවේ බැච් ටොපාය. කොච්චර මීටර් වුණත් සමාජ ජීවිතයේදී ඇනගැනීම දුලබ නැත. අහිංසකත් එකට කාගෙන බීගෙන සිටි යාළුවන්ගේ වෘත්තීය ඊර්ෂ්‍යාවට ලක්විය. ඒ වගේම අහිංසකගේ මෝටරයත් හොඳින් වැඩ කළේය. ඉලක්කයක් දුන් විට එයට ලඟා වන තුරු ඔහුට ඉවසිල්ලක් නොතිබුණේය.

අහිංසකට ලැබුණු ඉලක්කය ඇඟිලි දහසක මාලයකි. ඒවා නිකම්ම ඇඟිලි වුනානම් පනහෙන් වැඩේ ගොඩය. එහෙත්, අවශ්‍ය වුනේ දකුණු අතේ මාපට ඇඟිලි නිසා දාහක්ම ඕනෑ විය. ගැල් කණ්ඩායම් වැනි තැන් වලට පහර දීමෙන් ඔහුට එකවර ඇඟිලි ගොඩක් එකතු කර ගත හැකි විය. මේ අතර තනි තනි අයත් අහු වුණේය.

අද වාගේම එදත් නීතිය ක්‍රියාත්මක වුණේ අස්සයා ඉස්තාලෙන් බොහෝ දුර ගියාට පස්සේය. කොසොල් රජතුමා අංගුලිමාල වූ අහිංසකව අල්ලා ගැනීමට හමුදා ක්‍රියාන්විතයක් අරඹන විට අංගුලිමාල ඔහුගේ අවසන් ඉලක්කයටත් කිට්ටුය. කොසොල් රජතුමාගේ හමුදාවට අංගුලිමාලව හමුවුනානම් ඔහුට ආයුධ පෙන්නන්නට යන්නට වෙන එක අහන්නත් දෙයක් නොවේ.

ගෞතම බුදුන් එයට පෙර ඉස්සර විය. රටේ සිටි හැම අපරාධකාරයෙක් ඉදිරියටම ගෞතම බුදුන් මේ අයුරින් ගියේ නැත. අඩුගානේ අල්ලපු වත්තේ සිටි මස් කඩ කාරයාටවත් බණ කියන්නට ගියේ නැත. එසේ තිබියදී, ගෞතම බුදුන් අවදානම නොතකා අංගුලිමාල ඉදිරියට ගියේ තමා පිළිබඳවත් අංගුලිමාල නම් වූ අහිංසක පිළිබඳවත් වූ විශ්වාසය නිසාය. නොමඟ ගිය බුද්ධිමතෙකු වූ අහිංසකව නිසි මානසික ප්‍රතිකාර දී සුවපත් කළ හැකි බව ගෞතම බුදුන් දැන සිටියේය.

"මහණ, නොදුව!"

අහිංසක කෑ ගැසුවේය.

"මම නොදුවමි. දුවන්නේ ඔබය."

අංගුලිමාලගේ පිස්සු ඩබල් විය. තක්ෂිලාවේ බැච්ටොප් වූ අහිංසක ගෞතම බුදුන් ගැන සහ ඔහුගේ ඉගැන්වීම් ගැන හොඳින් දැන සිටියේය. ඒ ගෞතම බුදුන් බොරුවක් කීමට විදිහක් නැත. එහෙත්, ඇස් දෙකට පෙනෙන්නේ වෙන දෙයකි.

වෙන ටියුබ් ලයිට් එකකටනම් මළාට නොතේරෙන ගෞතම බුදුන්ගේ පණිවුඩය අහිංසකට පටස් ගා මීටර් විය. ඒ පණිවුඩයෙන් ඔහුට අවශ්‍ය ආන්තික තල්ලුව ක්ෂණිකව ලැබුණේය. කොසොල් රජුන්ට සිදුවුණේ අංගුලිමාල තෙරුන්ට පසඟ පිහිටුවා වැඳ ඔහුගේ හමුදා සේනාංකද සමඟ ආපසු යන්නටය.

මෙසේ පොඩි ආන්තික තල්ලුවකින් ගොඩ දැමිය හැකි මානසික තත්වයක සිටි, අවශ්‍ය සහජ බුද්ධියට හිමිකම් කියූ එක් තැනැත්තෙකු හෝ වෙනුවෙන් බොහෝ දුර කතර ගෙවා වුවද යමින් තම කාලය යෙදවීමට ගෞතම බුදුන් නොපැකිලුනේ එහි ඵලදායීතාව වැඩි නිසාය. මෝටරෙන් ගොඩයාමේ හැකියාව තිබූ වෙනත් අයට ලැබුණේ වරකට එක බැගින් වූ ක්‍රමික උපදෙස් පන්තියකි.

පසුකාලීනව බුද්ධ ශ්‍රාවකයින් තමන් උගත් දෙය වෙනත් අයට කියා දෙද්දී බොහෝ විට භාවිතා කළේ තමන් ගොඩ ගිය ක්‍රමයයි. මේ ක්‍රම දෙකම කාලයක් සමාන්තරව පැවතුණේය.

අද ඇති ථෙරවාද සම්ප්‍රදාය පුද්ගලයෙකු ටිකින් ටික පරිවර්තනය කර දිගු කාලයකින් ගොඩ දමන ක්‍රමයකි. සෙන් සම්ප්‍රදායේදී සිදුවන්නේ ගුරුවරයා විසින් ශිෂ්‍යයා නිසි මානසික තත්ත්වයේ සිටින බව හඳුනාගෙන පොඩි ආන්තික තල්ලුවක් යෙදීමයි.

(ඡායාරූපය එහි සඳහන් කර ඇති තැනිණි. ඉකොනොමැට්ටාගේ ශෛලියෙන් කාගේ හෝ විශ්වාසයන්ට රිදුණේනම් කණගාටුව ප්‍රකාශ කරමි.)

Monday, July 27, 2015

අපි යන්නේ කොයි පාරේ?


"ශ්‍රී ලංකාව දැන් යන්නේ ග්‍රීසිය ගිය පාරේ" යන හෙඩිම යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ කළ සාකච්ඡාවක් මෙවර ඉරිදා දිවයිනේ පළ වී තිබේ. ඔහු පළකර ඇති අදහස් පසුගිය ලිපි කිහිපයකින් ඉකොනොමැට්ටා කියන්නට හැදූ දේවල් වලට බොහෝ සමානය. පහත ඇත්තේ ඒවායින් දෙකකි.


ජයග්‍රාහකයෙකු තෝරා නැති රුපියල් කෝටි හත් ලක්ෂ තිස් නමදාහේ මහා ණයමල්ල
සිරිසා පළමු ගල ගැහුවේ ප්ලූටස් ඝාතනයටද?

ඉකොනොමැට්ටා කියා ඇති කරුණු වලට අමතරව, සිරිමල් අබේරත්න කියා ඇති, ඉකොනොමැට්ටා කීමට බලාපොරොත්තුවෙන් සිටි කරුණක් වූයේ ග්‍රීසිය ගොඩ දැමීමට වෙනත් අය ඉදිරිපත් වීමේ හැකියාව ලංකාව එවැනි තත්ත්වයකදී ගොඩ දැමීමට කෙනෙකු ඉදිරිපත් වීමේ හැකියාවට වඩා වැඩි බවයි. මේ ලිපිය පමා වූයේ එය පැහැදිලි කිරීමට පෙර වෙනත් මුලික සංකල්ප කිහිපයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ බැවිනි.

ඉකොනොමැට්ටා දෙන්නට හදන පණිවුඩය වෙනත් තැනක පැහැදිලිවම ඇති විට, කාලය නාස්ති නොකර අවශ්‍ය තැනට ඇඟිල්ල දික්කර පෙන්වීම පහසුය. සබැඳිය පහත තිබේ.

http://www.divaina.com/2015/07/26/politics03.html

මා සිතන පරිදි මේ සාකච්ඡාව කිරීමෙන් පසුව, මෙහි සඳහන් වන  "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ යුරෝපා මහ බැංකුවට ගෙවිය යුතු ණය වාරික දෙක" ග්‍රීසිය විසින් පසුගිය සතියේ ගෙවා දැම්මේය. ලෝස් නැතුව මෙසේ ණය ගෙවා දැම්මේ ග්‍රීසියට හදිසියේ ස්වීප් එකක් ඇදුණු නිසා නොවේ. යුරෝපීය කොමිසමෙන් තවත් යුරෝ බිලියන 7.2ක ණයක් ලබාගනිමිනි. අළුත් ණය මුළුමනින්ම වැය කළේ පරණ ණය ගෙවීමටය. ATM යන්ත්‍ර ඉදිරිපිට ඇති පෝලිම් සහ මුදල් ආපසු ගැනීමේ සීමාවන් ඇතුළු අනෙකුත් තත්ත්වයන් තවමත් එසේමය.

ආර්ථික විද්‍යාව විද්‍යාවකි. එය විද්‍යාවක් වන්නේ ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදය විද්‍යාත්මක ක්‍රමය බැවිනි. අදාළ මුලධර්ම පිලිබඳ විධිමත් පුහුණුවක් ඇති ඕනෑම කෙනෙකු මේ මුලධර්ම නිසියාකාරව යොදාගත් විට ලැබෙන්නේ නිශ්චිත හෝ  සමාන ප්‍රතිපලයකි. ඉකොනොමැට්ටාට පෙනෙන දෙය ඒ ලෙසින්ම මහාචාර්ය සිරිමල් අබේරත්නටත් පෙනෙන්නේ ඒ නිසාය.

"දුවන මැෂින්" ගැන අධ්‍යයනය කරන ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි වෙනත් ඕනෑම ප්‍රායෝගික විද්‍යාවක ඇති අවිනිශ්චිතතාව ආර්ථික විද්‍යාවේත් තිබේ. විද්‍යාවේදී සරල හා නිශ්චිත පිළිතුරු ලැබෙන්නේ උපකල්පිත හෝ කෘතීම තත්ත්වයන් යටතේදී පමණි. මෙය ඕනෑම විද්‍යාවකට පොදුය. එසේ තිබියදී, ආර්ථික විද්‍යාව වෙනත් විද්‍යාවන්ට වඩා අවිනිශ්චිත බව පෙනීම අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයකි. මේ ගැන පැහැදිලි කිරීමක්ද පසුවටය.


අවසාන වශයෙන් ඉකොනොමැට්ටාට කියන්නට අවශ්‍ය, සිරිමල් අබේරත්න කියා ඇති, වැදගත් කරුණ මෙයයි. "ග්‍රීසිය වැටුණෙ ඡන්දෙ බලාගෙන සීමාවක්‌ නැතිව ඕනම දෙයක්‌ ජනතාවට දෙන්න ලෑස්‌ති දේශපාලකයොයි, ආණ්‌ඩුවෙන් හැමදේම නිකං ගන්න බලා හිටපු ජනතාවකුයි ග්‍රීසියෙ හිටපු හින්ද."

දේශපාලකයින් වෙනස් නොවූවත් ඔබට වෙනස්වීමට බාධාවක් නැත.


(ඡායාරූප ඉකොනොමැට්ටාගේය. මීළඟ සටහන් දෙක වන "අහිංසකට ලැබුණු ආන්තික තල්ලුව" සහ"රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුර"ද මේ සටහන මෙන්ම ඔටෝ-පොස්ට් වීමට සලසා ඇත.)

Sunday, July 26, 2015

සල්ලි මොටද බඩගින්නට කන්න බැරී?




මේ ප්‍රශ්නය පිස්සු ප්‍රශ්නයක් මෙන් බැලූ බැල්මටම පෙනේ. ගස්වල සල්ලි තිබේනම් කෙල්ලෝ වඳුරන්ටත් ආදරේ බව ත්‍රිරෝද රථ හිමියෙක් කියා තිබේ. සල්ලි නැත්නම් පොදු වැසිකිළියක මුත්‍රා කිරීමටවත් නොහැකිය.

ප්‍රශ්නයේ වැදගත්කම තේරුම් ගැනීමට ටිකක් ගැඹුරට යා යුතුය. තව මේ වගේම ප්‍රශ්න කිහිපයක් ඇසූ විට ප්‍රශ්නය පැහැදිලි වේ.

-පාන් මොකටද? බඩගින්නට කන්නටය.
-මෝටර් සයිකල් මොකටද? පයින් යනවාට වඩා ඉක්මණින් ගමනක් යන්නටය.
-කුඩ මොකටද? වැස්සට නොතෙමී ඉන්නටය.

මේ ගොඩක් දේවල් වල නිශ්චිත ප්‍රයෝජනයක් හෝ ප්‍රයෝජන කිහිපයක් තිබේ. ඒ නිසා මේ දේවල් ලබා ගැනීමට මහන්සි වී වැඩ කිරීමේ තර්කානුකූල පදනමක් තිබේ. එහෙත්, බොහෝ විට අපි මහන්සි වී වැඩ කරන්නේ 'මුදල්' ලෙස හඳුනාගන්නා කඩදාසි විශේෂයක් ලබා ගැනීම සඳහාය.



රුපියල් පන්දාහේ නොට්ටුවකින් කළ හැක්කේ කුමක්ද? අපි වේයන් නොවන නිසා බඩගින්නට කන්නට නොහැකිය. විලි වසා ගැනීමට ලොකු මදිය. වැස්සට නොතෙමී සිටීමටද උදවු නොකරයි. ඕනෑනම් ගෑස්‌ ලිපේ දැල්ලට අල්ලා පත්තුකර සිගරැට්ටුවක් පත්තු කර ගැනීමට භාවිතා කළ හැකිය. එවැන්නක් ලබා ගැනීම සඳහා කෙල්ලන් වඳුරන්ට ආදරය කරන්නේ ඇයිද යන්න සිතා බැලිය යුතු කරුණකි.

සාමාන්‍ය භාවිතයේ 'සල්ලි' හෝ මුදල් යන වචනය එකිනෙකට කිට්ටුවෙන් සමාන, එහෙත් වෙනස්, අර්ථ කිහිපයකින් භාවිතා වේ.

පහත ඇත්තේ උදාහරණ කිහිපයකි.

සල්ලි උනන ෆෙංෂුයි රහසක් දැනගන්න කැමතිද?
ඡන්දෙට නොඑන්නේ සල්ලි නැති නිසාලු.
ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නෑ.. දැන් ආතල්ද?

මෙහි පළමු වැකියේ සල්ලි යන වචනය යොදාගෙන ඇත්තේ ආදායම යන අර්ථයෙනි. දෙවැන්නේ වත්කම් යන අර්ථයෙනි. තුන් වැන්නේදී ගෙවීම් මාධ්‍යයක් යන අර්ථයෙනි. මේ අරුත් තුනෙන් ආර්ථික විද්‍යාවේ එන 'මුදල්' යන අර්ථය වඩාත් ආසන්න තුන්වැන්නටය. ආර්ථික විද්‍යාවේ 'මුදල්' ලෙස අර්ථදැක්වෙන්නේ ගෙවීම් මාධ්‍යයක් ලෙස යොදා ගැනීම සඳහා සුදුසු වත්කම් අතුරින් එක්තරා විශේෂ කොටසකි.

මුදල් යනු හෝමෝ සේපියන්ස්ලා විසින් නිර්මාණය කර ගත් තවත් සුවිශේෂී සංකල්පයකි. මේ නව නිර්මාණය මඟින් හෝමෝ සේපියන්ස් සමාජයේ ප්‍රගතිය උදෙසා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කර තිබේ. මුදලේ වැදගත්කම අවබෝධ කර ගැනීමට මුදල් නමැති සංකල්පය සොයා ගැනීමට පෙර වූ අතීතයට ගමන් කළ යුතුය.

පුරා විද්‍යාත්මක සාධක අනුව මුදල් භාවිතයට වසර දහස් ගණනක අතීතයක් ඇත. එහෙත් වෙළඳාම ඇරඹෙන්නේ මුදල් සොයා ගැනීමට බොහෝ පෙරය.

වෙළඳාමේ මුල් අවදිය භාණ්ඩ හුවමාරු යුගයකි. මේ යුගයේදී දඩයම්කරුගේ ගෝනමස් ගාතය එඬේරාගේ කිරි කලය හා කෙළින්ම හුවමාරු විය. සමාජ අවශ්‍යතා වඩා සංකීර්ණ වෙද්දී මේ ක්‍රමය පවත්වා ගැනීමට තිබුණු ප්‍රධාන බාධකය 'දෙදෙනෙකුගේ අවශ්‍යතා සම්පාත වීම' හැමවිටම සිදු නොවීමයි.

සාර්ථක භාණ්ඩ හුවමාරුවක් සඳහා දෙදෙනෙකුගේ අවශ්‍යතා සම්පාත වීම අත්‍යවශ්‍ය සාධකයකි. උදාහරණයක් ලෙස ඉකොනොමැට්ටා කරන්නේ දවස පුරාම බ්ලොග් ලිවීමයැයි සිතමු. පරිගණක නැති ඉකොනොමැට්ටා බ්ලොගය ලියන්නේ පුස් කොළයකය. මෙසේ ලිය ලියා සිටින විට ඉකොනොමැට්ටාට බඩගිණි වේ. පාන් සමඟ මස් කරියක් කෑමට ආශාවක් ඇතිවේ. දැන් ඉකොනොමැට්ටාට පළමුව ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට කැමති බේකරිකාරයෙකුත්, දෙවනුව එවැනිම මස්කඩ කාරයෙකුත් සොයාගැනීමට සිදුවේ. එහෙම අය හිටියොත් ඉකොනොමැට්ටා ගොඩය. නැත්නම් බඩගින්නේය. (ඉකොනොමැට්ටාට මස් කරිය උයා ගත හැකි නිසා හොඳ වෙලාවට කෝකියෙක් අවශ්‍ය නොවේ.)

ඔය අස්සේ තැබෑරුම්කාරයාට ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට ආශාවක් ඇති වේ. එහෙත්, ඉකොනොමැට්ටා සැර දේවල් වලට කැමති නැත්නම් තැබෑරුම්කාරයාට ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට අවස්ථාවක් නොලැබේ.

මුදල් නමැති සංකල්පය මේ ප්‍රශ්නයට විසඳුමක් විය. දැන් ඉකොනොමැට්ටා තැබෑරුම්කරුගෙන් මුදල් අයකරගෙන ඔහුට පුස්කොලයේ ඇති සටහන කියවීමට අවස්ථාව සලසයි. ඒ මුදල් ගෙවා ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට අකැමැති බේකරිකාරයෙකුගෙන් වුවද පාන් මිලදී ගැනීමට ඉකොනොමැට්ටාට හැකි වන නිසා ඔහුගේ සටහන් කියවීමට කැමති බේකරිකාරයෙක් හමුවන තුරු ඔහුට බඩගින්නේ සිටීමට සිදු නොවේ.

මුදලේ ඇති එකම ප්‍රයෝජනය මෙය පමණක් නොවේ. මුදල් මඟින් භාණ්ඩ වල වටිනාකම් සැසඳීම පහසු කරයි. උදාහරණයක් ලෙස භාණ්ඩ වර්ග 100ක් ඇති ආර්ථිකයක මේ භාණ්ඩ හුවමාරු විය හැකි 'මිලවල්' 5050ක් තිබිය යුතුය. සෑම භාණ්ඩයක්ම අනෙතුත් සියළු භාණ්ඩ සමඟ හුවමාරු වියයුතු මිලක් තිබිය යුතු නිසාය. මුදල් හඳුන්වා දීමෙන් පසු මේ ගණන 100කට අඩුවේ. මෙය තීරණ ගැනීම විශාල ලෙස පහසු කර වෙළඳාම කාර්යක්ෂම කරවයි.

මුදලෙහි තුන්වන ප්‍රයෝජනයක්ද තිබේ. ඒ තමන් සතු වත්කම් වර්තමානයේ සිට අනාගතය දක්වා සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස දඩයම්කරුවෙකු ගෝනෙකු මරාගනී. ඔහු වියලි හෝ වෙනත් අයුරකින් කල් තබාගත් ගෝනමස් වලට වඩා අමු ගෝනමස් වලට කැමතිය. එහෙත්, ගෝනාගේ මස් සම්පුර්ණයෙන්ම ආහාරයට ගැනීමට ඔහුට නොහැකිය. ගෝනමස් නරක් නොවී ඒ අයුරින්ම කල් තබා ගැනීමටද නොහැකිය. කිරි වැනි වෙනත් දෙයකට හුවමාරු කළ හැකි වුවත් ඒ ද්‍රව්‍යද කල් තබා ගත නොහැකිය.

මුදල් භාවිතය මෙයට විසඳුමකි. අද ඔහුගේ අතිරික්තය මුදල් කිරීමෙන්, වසරකට පසු වෙනත් දඩයක්කරුවෙකු ගෝනෙකු එලාගත් විට ඔහුට මුදල් ගෙවා අමු ගෝනමස් ලබාගත හැකිය.

මුදල් වශයෙන් මුල් කාලයේදී භාවිතා වූයේ මේ කාර්යයන් තුන ඉටුකිරීමේ හැකියාව ඇති ද්‍රව්‍යයන්ය. මෙවැනි ද්‍රව්‍යයක් සුලභ නොවිය යුතුය. කල් තබා ගත හැකිවිය යුතුය. යම් තරමකට ආකර්ශනීය විය යුතුය. සිප්පි කටු, වර්ණවත් ගල්, ධාන්‍ය වර්ග, සත්ව හම් ආදිය මුල් කාලයේදීත්, රන් රිදී වැනි ලෝහ වර්ග පසු කාලයකදීත් මේ කාර්යය ඉටුකර ඇත. කඩදාසි මුදල් සහ විද්‍යුත් මුදල් මේ පරිණාමයේ පසුකාලීන අදියරයන්ය.

මුදල් වලට හුරු වූ සමාජයක පුද්ගලයෙකු තමාට වටිනාකමක් ඇති භාණ්ඩයක් (හෝ සේවාවක්) තමාට වටිනාකමක් නොමැති 'මුදල්' නම් වූ දෙයක් වෙනුවෙන් හුවමාරු කරයි. එසේ කරන්නේ මේ 'මුදල්' නම් වූ දෙය ලබාගෙන තමාට වටිනාකමක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමට සූදානම් බොහෝ දෙනෙකු සිටින බවට ඇති විශ්වාසය නිසාය.

මුදලක වටිනාකම රඳා පවතින්නේ මේ සාමුහික විශ්වාසය මතය. ඒ විශ්වාසය බිඳුණු විට මුදල් නිකම්ම කඩදාසි කෑලි පමණි. යමෙකු තම මහන්සියෙන් උපයාගන්නා මුදල්ම වෙනත් අයෙකු ඉතා පහසුවෙන් මුද්‍රණය කර ගනු පෙනීම මුදලක් මත වන විශ්වාසය බිඳ වැටීමට හේතුවකි.

(ඡායාරූප http://uncyclopedia.wikia.com සහ www.e-allmoney.com වෙබ් අඩවි වලිනි.)

Wednesday, July 22, 2015

රුපියල් වගේද මල්ලි ඩොලර්?


(ඔබගේ අවධානයට ලක් නොවීනම් පසුගිය සටහනට පසු සටහනක් එකතු කර ඇත.)

ඉකොනොමැට්ටාගේ පසුගිය සටහන් කිහිපයට වස්තු බීජය වූ රෝලට ණය නිධාන කථාවේ සියළුම ගණුදෙනු සිදුවන්නේ ඩොලර් වලිනි. මෙය ලංකාවේදී ප්‍රායෝගිකව සිදුවන දෙයක් නොවේ.

ලංකාව ඇතුළත සිදුවන ගණුදෙනු මුළුමනින්ම පාහේ සිදුවෙන්නේ රුපියල් සත වලිනි. එයට ප්‍රධානම හේතුව ඒ සඳහා වන නීතිමය අවශ්‍යතාවයයි. දෙවැන්න, රුපියලේ අගය පිලිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය තවමත් ස්ථිරව පැවතීමයි. ශ්‍රී ලංකා රජයේ බොහෝ අධිකාරී ආයතනයන්ට සමාන්තරව එවැනිම ආයතන උතුරේ ස්ථාපිත කළ එල්ටීටීඊ සංවිධානය පවා රුපියල නොසලකා හැරීමට එඩිතර වූයේ නැත.

කෙසේ වුවද, තවමත් ඉතා කුඩා වුවද ඩොලර් වෙළඳපොළක් (මා කතා කරන්නේ විදේශ විණිමය වෙළඳපොළ ගැන නොවේ.) ලංකාව තුළ මේ වනවිට පැහැදිලි ලෙස වර්ධනය වෙමින් පවතී.

දශක කිහිපයකට පෙරද කොළඹ තරුපහේ හෝටලයක ලැගුම් ගන්නා විදේශිකයෙකුට විදේශ මුදලින් සිය ගෙවීම් පියවිය හැකිව තිබුණි. එහෙත්, මෙහිදී සිදුවූයේ අදාළ හෝටලය හෝටල් සේවා සපයන්නෙකුගේ කාර්ය භාරයට අමතරව විදේශ විණිමය හුවමාරු කරන්නෙකුගේ කාර්ය භාරයද ඉටු කිරීමයි. ඒ හැරුණු විට බිල්පත ඉදිරිපත් වුයේ ශ්‍රී ලංකා මුදලිනි. එහෙත්, මේ වන විට පින්නවල අලි අනාථාගාරය වැනි තැනක විකිණෙන කුඩා සැමරුම් භාණ්ඩ වැනි දේ පවා කෙළින්ම ඩොලර් වලින් මිල කෙරී තිබෙනු දැකිය හැකිය. හික්කඩුව වැනි ප්‍රදේශ වලද කලක සිටම ඩොලර් ක්ෂුද්‍ර ආර්ථිකයක් පවතී.

ඇතැම් රටවල විදේශ මුදල් භාවිතය මීට වඩා වැඩිය. මේ සටහන් කියවන මාල දිවයිනේ ජීවත්වන හෝ එහි සංචාරය කර ඇති අයෙකු දන්නා පරිදි එහිදී ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම් හෝ යුරෝ වලින් ගෙවා කෙළින්ම භාණ්ඩ මිල දී ගත හැකි වීම සාමාන්‍ය දෙයකි. ඉන්දියාවට ආසන්න ඇතැම් නේපාල නගර වල ඉන්දියානු රුපියල් නේපාල රුපියල් වලටත් වඩා වැඩිපුර ගණුදෙනු සඳහා භාවිතා වේ. ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හිදී ස්වීඩන ක්‍රෝන භාවිතය ඉතා පහසුය. කෙසේ වුවද මේ සියළු අවස්ථාවන්හිදී විදේශ මුදල් භාවිතා වෙන්නේ දේශීය මුදලට සමාන්තරව හා අඩු වශයෙනි.

ඇතැම් තත්ත්වයන් යටතේ ඇතැම් රටවල දේශීය මුදල් භාවිතය බොහෝ දුරට හෝ මුළුමනින්ම නැවතී ඒ වෙනුවට විදේශ මුදලක් හෝ විදේශ මුදල් වර්ග කිහිපයක් ආදේශ වේ. මෙය සිදු වන්නේ දේශීය මුදල් ඒකකය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටුණු විටය.

යම් කිසි මුදල් ඒකකයක් පිළිබඳව වන විශ්වාසය බිඳ වැටෙන්නේ එම මුදලේ බාහිර හා අභ්‍යන්තර අගය සීඝ්‍රයෙන් අඩුවන විටය. බාහිර අගය වනුයේ විදේශ මුදල් ඒකක වලට සාපේක්ෂව මුදලේ වටිනාකමයි. එනම් විණිමය අනුපාතිකයයි. අභ්‍යන්තර අගය මැනෙන්නේ රට තුළ විකිණෙන භාණ්ඩ හා සේවාවන්ට සාපේක්ෂවය. මේ දෙආකාරයෙන්ම අගය අඩු වීමට මූලික හේතුව උද්ධමනයයි.

මුදල් ඒකකයක් පිළිබඳව විශ්වාසය බිඳ වැටෙන්නේ උද්ධමනය කොතරම් වැඩි වූ විටද? අපේ උද්ධමනය 30% පමණ දක්වා ඉහළ ගිය අවස්ථා තිබේ. එහෙත්, රුපියල පිලිබඳ විශ්වාසය එයින් බිඳ වැටුනේ නැත. 6-7% මට්ටමේ උද්ධමනයක් අපි සාමාන්‍යයෙන් භයානක දෙයක් ලෙස සලකන්නේ නැත. එහෙත්, 2-3% මට්ටමේ උද්ධමනය පවත්වා ගන්නා දියුණු රටවල් 5%ක උද්ධමනයක් වුවද සලකන්නේ විශාල අගයක් ලෙසය. වසර 25කට පෙරත්  රුපියල් 40කට පමණ හුවමාරු වූ ඇමරිකන් ඩොලරය මේ වන විට රුපියල් 135කට පමණ ආසන්නව හුවමාරු වන්නේ අපේ උද්ධමනය මේ වසර 25 තුළ ඇමරිකාවේ උද්ධමනයට වඩා ඉහළින් පැවතීම නිසාය.

අපේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි ඇමරිකාව ඩොලර් මුද්‍රණය කරන වේගයට වඩා වැඩි වේගයෙන් අපි රුපියල් මුද්‍රණය කරන නිසාය. රුපියල් වැඩි වැඩියෙන් මුද්‍රණය කිරීමට සිදුවන්නේ රජයේ ණය පියවා ගැනීමට වෙනත් ක්‍රමයක් නැති වූ විටය.

රජයක් ණය ලබා ගන්නා ප්‍රධානම ක්‍රමය බැඳුම්කර නිකුත් කිරීමයි. දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු බැඳුම්කර සඳහා මුදල් යොදවන්නේ ඒ සඳහා හිමි වන පොලිය ආකර්ශනීයනම් පමණි. ලබා ගැනීමට බලාපොරොත්තු වන ණය ප්‍රමාණය විශාල ලෙස වැඩිනම් ඒ ප්‍රමාණය අලෙවි කිරීමට පොලී අනුපාතිකය ඉතා විශාල ලෙස ඉහළ යාමට ඉඩ හැරිය යුතුය. එවිට ඊළඟ වටයේදී රජයේ වියදම් තවත් ඉහළ යයි.

මෙයට පහසු විසඳුමක් ලෙස ඒ බැඳුම්කර විකිණෙන්නේ රටේ මහ බැංකුවටය. මුදල් අලුතින් මුද්‍රණය කර බැඳුම්කර මිලදී ගත්විට මහ බැංකුවට විශාල පොලී අදායමක් ලබා ගෙන විශාල ලාභයක් ලැබිය හැකිය. මේ ලාභය අවසානයේදී සම්ප්‍රේෂණය වන්නේ රජයටමය. රජය විසින් ගෙවන පොලී මුදල් ආපසු රජයටමය.

කෙසේ වුවද මේ අයුරින් මුදල් මුද්‍රණය කර සංසරණයට එකතු කළ විට උද්ධමනය වැඩි වී මුදලේ වටිනාකම අඩුවේ. ඒ මුදලින් රජයට වුවද මිල දී ගත හැක්කේ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු භාණ්ඩ හා සේවා ප්‍රමාණයකි. එවිට රජයට තවත් වැඩිපුර මුදල් අවශ්‍ය වන අතර වැඩි වැඩියෙන් මුදල් මුද්‍රණය කිරීමට සිදුවේ. මෙහි කෙළවරක් නැත.

2008 ජුලි වන විට සිම්බාබ්වේහි උද්ධමනය 231,000,000%ක් වූයේ මෙසේ අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසාය. මේ මට්ටමට උද්ධමනය වැඩි වූ විට ප්‍රායෝගිකව රටේ ආර්ථික කටයුතු ඇණ හිටී. හන්දියට බස් එකේ ගිය පසු ගිය මුදලට ආපසු පැමිණිය නොහැක. කොණ්ඩය කැපීමට බාබර් සාප්පුවට ගිය විට වැඩේ අඩක් නිමවන කරණවෑමියා ඉතිරි කොටස නිම කිරීමට වැඩි මුදලක් අවශ්‍ය බව කියයි. සිම්බාබ්වේ මහ බැංකුවට ට්‍රිලියන සීයේ නෝට්ටු පවා නිකුත් කිරීමට සිදුවූවත් එවැනි විශාල මුදලක පවා වටිනාකම ඉතා ඉක්මණින් නැති වී යයි. මෙවැනි විශාල නෝට්ටු නිකුත් කෙරුණේ සිවු වරක් තුළ බින්දු 25ක් කපා ඉවත් කිරීමට අමතරවය.


රටක් ඉහත තත්ත්වයට පත් වූ පසු එම රටට අකැමැත්තෙන් වුවත් විදේශ මුදල් භාවිතයට ඉඩ හැරීමට සිදුවේ. මෙය හඳුන්වන්නේ ඩොලර්කරණය (Dollarization) යනුවෙනි. මේ අනුව, 2008 සැප්තැම්බර්හිදී සිම්බාබ්වේ රාජ්‍යය ඩොලර්කරණය විය. ඩොලර්කරණය වූ රටක දේශීය මුදල්ද භාවිතයේ පැවතිය හැකි නමුත් දේශීය මුදලෙහි ප්‍රායෝගික වටිනාකමක් නැත.

පසුගිය සතියේදී සිම්බාබ්වේ රජය විසින් වටිනාකමක් නැත්තටම නැති සිම්බාබ්වේ ඩොලර් සංසරණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේ අනුව යම් කිසිවෙකු සතුව සිම්බාබ්වේ ඩොලර් ක්වෝඩ්රිලියන් 35ක් (35,000,000,000,000,000ක්) ඇත්නම් ඒ මුදල වෙනුවෙන් ඇමරිකානු ඩොලරයක් ලබා ගැනීමේ පහසුකම තවමත් තිබේ. 1980දී සිම්බාබ්වේ ඩොලරයක වටිනාකම ඇමරිකානු ඩොලරයක වටිනාකමට වඩා වැඩි වූ බවද මතක් කර දිය යුතුය.

(ඡායාරූප අන්තර්ජාලයෙනි .)

Tuesday, July 21, 2015

අතේ නැති පොතේ ඇති ලාභ සහ අතේ ඇති පොතේ නැති ලාභ



පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් දිනා ගන්නා සසංක විජේවර්ධන එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයයක දෙවසරක පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා පිටත්ව යයි. ඒ සඳහා ඔහු සේවය කළ අර්ධ රාජ්‍ය ආයතනයෙන් ඔහුට අධ්‍යයන නිවාඩු ලැබී ඇත. අලුත විවාපත් සසංක ඔහුගේ බිරිඳද සමඟ ලන්ඩන් නගරයෙන් සැතපුම් සියයක් පමණ දුරින් පිහිටි නගරයක් කරා පිවිසෙන්නේ නුපුරුදු පරිසරයකට ඉක්මණින් හැඩ ගැසීමේ අභියෝගය සතුටින් භාරගනිමිනි.

ජංගම දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීම මුලින්ම කළ යුතු කාර්යයකි. මසකට පවුම් තිහක් බැගින් වන නිශ්චිත අවම ගාස්තුවක් මාස 24ක් පුරා ගෙවීමට එකඟ වූ විට ටී-මොබයිල් සමාගමෙන් අළුත්ම ජංගම දුරකතනයක් හිමිවන අතර පවුම් තිහේ ගාස්තුව ගෙවූ විට සසංකට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් මාසික ඇමතුම් කාලයක්ද හිමිවේ. මාසිකව ලැබෙන ශිෂ්‍යත්ව මුදලින් එංගලන්තයේ අධික නිවාස කුලී වියදම ගෙවූ විට අත ඉතිරි වන්නේ සීමිත මුදලක් නිසා ඒ මුදල සැලසුම් සහගතව ප්‍රවේශමෙන් වියදම් කළ යුතුය. කොහොමටත් මාස 24ක් එංගලන්තයේ ජීවත් වීමට බලාපොරොත්තු වන නිසාත්, මේ පැකේජය ලබා ගත් විට මාසික ගාස්තුව නිශ්චිත මුදලක් වන නිසාත් ටී-මොබයිල් පැකේජය සසංකට ආකර්ශනීය එකකි.

අපට නිලධාරිවාදය පුරුදු කළ එංගලන්තයේ නිලධාරිවාදය මේ වන විට අපේ නිලධාරිවාදයට වඩා බොහෝ අඩු වුවත් යුරෝපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව එංගලන්තයේ 'කොළ පිරවීම්' බොහෝ වැඩිය. දුරකථන සම්බන්ධතාව ලබා ගැනීමට එංගලන්ත බැංකු ගිණුමක් අවශ්‍යය. බැංකු ගිණුමක් විවෘත කිරීමට විශ්ව විද්‍යාලයෙන් සහතික කළ ලිපියක් අවශ්‍යය. විශ්ව විද්‍යාලයෙන් මෙවැනි ලිපි ලබා දෙන්නේ එකක් පමණක් නිසා ආරම්භ කළ හැක්කේ එක් බැංකු ගිණුමක් පමණි. ඒ අනුව, විශ්ව විද්‍යාලය ඇතුළත බැංකු ශාඛා ඇති නැට්වෙස්ට් හෝ බාර්ක්ලේස් බැංකු දෙකින් එකක් තෝරාගත යුතුය.

එසේ කළද, මේ ලිපිය දවසින් ලබා ගත නොහැක. විශ්ව විද්‍යාලයට අලුතින් පැමිණි සිසුන් බොහෝ දෙනෙකුට මෙවැනි ලිපි අවශ්‍ය නිසා තමන්ගේ වාරය එන තුරු බලා සිටිය යුතුය. සසංකගේ වාසගම ඇරඹෙන ඩබ්ලියු අකුර ඇත්තේ ඉංග්‍රීසි හෝඩියේ අන්තිම හරියේ නිසා ඔහුට මේ සඳහා සති තුනක් බලා සිටීමට සිදුවේ. කලින් දන්නවානම් සමහර ඡන්ද අපේක්ෂකයින් වාගේ අ.අ.අ.අ. සසංක විජේවර්ධන කියා නම වෙනස් කරගෙන එනවාය. කෙසේ හෝ අවසානයේදී නැට්වෙස්ට් බැංකුවේ ගිණුමක් අරඹන සසංක එම ගිණුමෙන් මාස 24ක් මසකට පවුම් තිහ බැගින් කෙළින්ම මුදල් අය කර ගැනීමට ටී-මොබයිල් සමාගමට අනුමැතිය දෙමින් දුරකථන සම්බන්ධතාව ලබා ගනී. ගිවිසුම අනුව මාස 24 අවසානයේදී අලුත් නොකළහොත් සම්බන්ධතාව අවසන් වනු ඇත.

කාලය ඉතා වේගයෙන් ගෙවී යයි. ඉතා හොඳින් අධ්‍යයන කටයුතු අවසන් කරන සසංකට ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහාද අවස්ථාව සැලසෙන අතර ඒ සඳහා ශිෂ්‍යත්වයක්ද ලැබේ. එහෙත් ඔහුගේ අධ්‍යයන නිවාඩුව අනුමත වී ඇත්තේ වසර දෙකකට පමණක් නිසා අනුමත නිවාඩු අවසන් වීමට පෙර ඔහු සේවයට වාර්තා කළ යුතුය. ඔහු අත්සන් කර ඇති ගිවිසුම අනුව එසේ සේවයට වාර්තා නොකළහොත් වසර දෙකක් පුරා ලබාගත් මුළු ශිෂ්‍යත්ව මුදලම ශ්‍රී ලංකා රජයට ආපසු ගෙවිය යුතුය. ශිෂ්‍යත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා රජයෙන් නොවූවද එය සැලකෙන්නේ ශ්‍රී ලංකා රජයට හිමි වූ වරප්‍රසාදයක් ලෙසින් බැවිනි. ඔහු එසේ නොකළොත් අපහසුතාවයට පත්වන්නේ ඔහුගේ ඇපකරුවන් ලෙස අත්සන් තබා ඇති මිතුරන් කිහිපදෙනාය.

සිය අධ්‍යයන නිවාඩුව අවසන් වීමට මාස දෙකක් තිබියදී ආපසු ලංකාවට යාමට සසංක තීරණය කරයි. ඒ අනුව දැඩි වෙහෙසක් දරා නියමිත දිනයට දෙමසකට පෙර ඔහු ඔහුගේ උපාධි නිබන්ධනයද අවසන් කර භාර දෙයි. ඉතිරි වී ඇති දෙමස තුළ අවශ්‍ය අනුමැතිය ලබා ගෙන නැවත පැමිණ ආචාර්ය උපාධි පාඨමාලාව ආරම්භ කිරීම ඔහුගේ අපේක්ෂාවයි.

ටී-මොබයිල් ගිවිසුම අනුව සසංක තවත් මාස තුනක් පවුම් තිහ බැගින් ගෙවිය යුතුය. ඔහුගේ (ජංගම) ශිෂ්‍ය ගිණුමේ පවත්වා ගත යුතු අවම ශේෂය පවුම් දහයක් පමණි. මේ අනුව පවුම් සියයක් සහ තවත් පැන්ස කිහිපයක් පමණක් සිය නැට්වෙස්ට් ගිණුමේ ඉතිරි කරන සසංක ඉතිරි මුදල් සිය බිරිඳගේ බාර්ක්ලේස් ගිණුමට සම්ප්‍රේෂණය කරයි. ඉන් පසු ඔවුන් දෙදෙනාගේම බැංකු ගිණුම් වල ලිපින ලන්ඩන්හි ජීවත්වන සසංකගේ බිරිඳගේ මිතුරියකගේ ලිපිනයට (ඇගේ අනුමැතිය ගෙන) වෙනස් කරන්නේ දෙමසකින් නැවත එක්සත් රාජධානියේම වෙනත් නගරයකට පැමිණීමට අපේක්ෂා කරන නිසාත්, විදේශ ලිපිනයකට ලිපිනය වෙනස් කිරීමේදී 'කොළ පිරවීම්' වැඩි නිසාත්ය. ඇයට මේ නිසා සිදුවන අපහසුතාව අවම කිරීම සඳහා තැපෑලෙන් එවන මාසික ගිණුම් ශේෂ විස්තර ආදියද තාවකාලිකව නතර කෙරේ.

සසංක නැට්වෙස්ට් බැංකුවේ එකම ගනුදෙනුකරු ලෙස සලකා (පහසුව සඳහා) ඔහු ලංකාවට පිටත් වන විට නැට්වෙස්ට් බැංකුවේ ශේෂ පත්‍රය පිළියෙළ කළහොත් එය මෙවැන්නකි. වත්කම් පැත්තේ පවුම් සීයක් අත ඇති මුදල්ය. බැරකම් පැත්තේ සසංකට ගෙවිය යුතු පවුම් සීයක් තිබේ. නැට්වෙස්ට් බැංකුව විසින් සසංකගෙන් උපයාගත් ලාභයක් නොමැත.

සසංක අපේක්ෂා කළ පරිදි සියල්ල සිදුනොවේ. ලංකාවේ නිලධාරිවාදය හමුවේ ඔහුට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා අධ්‍යයන නිවාඩු අනුමත නොවේ. ඒ සඳහා ඔහු අවම වශයෙන් තවත් අවුරුදු දෙකක් ලංකාවේ සේවය කළ යුතුය. ඔහුගේ ශිෂ්‍යත්වය එතෙක් කළක් ඔහු වෙනුවෙන් බලා නොසිටින බව ඔහු මෙන්ම ඔහුගේ නිවාඩු අනුමත කිරීමේ අධිකාරිය ඇති නිලධාරීහුද දනිති. සසංක පරාජය භාරගැනීමට සුදානම් නැතත් තාවකාලික පසුබැස්මක් සඳහා යොමුවේ.

කෙසේ වුවද සසංකට උසස්වීමක් ලැබෙන අතර වගකීම් රැසක් ඔහුගේ කරමත පැටවේ. කාර්යබහුලත්වය නිසා ඔහුට සුළු මුදලක් ඇති එක්සත් රාජධානියේ ගිණුම් ගැන සොයා බැලීමට නොලැබේ. තෙමසකට පමණ පසුව වැඩ අවසන් කර නිවසට පැමිණෙන සසංකට දැන ගැනීමට ලැබෙන පරිදි ඔහුගේ බිරිඳට ඇගේ මිතුරිය විසින් දුරකථනයෙන් දන්වා ඇත්තේ සසංකගේ නමට කිසියම් ලිපියක් ලැබී ඇති බවයි. ඒ අනුව ටී-මොබයිල් සමාගමට කිසියම් හිඟ මුදලක් ගෙවීමට තිබේ. සසංකට මීට වඩා වැඩි විස්තරයක් නොලැබේ.

සසංක අන්තර්ජාලයෙන් ඔහුගේ ටී-මොබයිල් ගිණුම පරීක්ෂා කරයි. එක්සත් රාජධානියෙන් පිටවීමට පෙර ඉතා පැහැදිලිව තහවුරු කරගත් පරිදි මාස 24 අවසානයේදී සසංකගේ දුරකථන සම්බන්ධතාව මෙන්ම ගිවිසුමද අවසන් විය යුතු වුවද කිසියම් වැරදීමකින් ටී-මොබයිල් සමාගම 25වන මාසයේද පවුම් තිහක් අය කර ගැනීමට උත්සාහ දරා ඇති අතර ගිණුමේ ශේෂය පවුම් 30කට අඩු නිසා එසේ කළ නොහැකි වී තිබේ. මේ අනුව පවුම් 30ක ගෙවිය යුතු මුදලක් තවමත් තිබේ.

සසංක එංගලන්තයට දුරකථන ඇමතුමක් ගෙන ටී-මොබයිල් සමාගමේ නිලධාරිනියට සිදු වී ඇත්තේ වැරැද්දක් බව පැහැදිලි කරයි. සිදුවී ඇත්තේ අත් වැරදීමක් බව ඇය පිළිගන්නා අතර එය නිවැරදි කිරීමට පොරොන්දු වේ. ඒ අනුව සසංක ටී-මොබයිල් සමාගමට ණය නැත. "ඔබට අපෙන් වෙනත් යමක් සිදු විය යුතුද?" ඇය අසයි. මෙහිදී සසංක ඔහුගේ  ටී-මොබයිල් ගිණුමේ ලිපිනයද ලංකාවේ ලිපිනයට වෙනස් කරයි. සසංක නැවතත් කාර්ය බහුල වන අතර මේ සිදුවීම ගැන නැවත සොයා නොබලයි. ප්‍රශ්නයක් මතු වූ විට එය එවෙලේම විසඳීම සසංකගේ ස්වාභාවයයි. එසේ කළ නොහැකිනම් ප්‍රශ්නය විසඳෙන තුරු ඔහු ඒ ගැන සොයා බලනු ඇත. එහෙත්, විසඳා අවසන් කළ ප්‍රශ්න ගැන ඔහු වද නොවේ.

තවත් මාසයක් දෙකක් ගත වේ. සසංකගේ බිරිඳට ඇගේ මිතුරියගෙන් නැවතත් දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඇගේ ලිපිනයට ලැබී ඇති ලිපියක් පරිදි හිඟ මුදල තවමත් පියවී නැත. එයට දඩ මුදලක්ද එකතු වී තිබේ.

සසංකට මළ පනී. ඔහු වහාම ටී-මොබයිල් සමාගම අමතයි. සසංකගේ ගිණුම පරීකෂා කරන ටී-මොබයිල් නිලධාරිනිය ගිණුමේ හිඟ ශේෂයක් නොමැති බව නැවත තහවුරු කරයි. එසේනම් ඒ බව තහවුරු කර ලිපියක් එවන ලෙස සසංක ඉල්ලා සිටින්නේ 'කොළයක් අතේ තබා ගැනීම' සුරක්ෂිත බව ඔහුගේ නිලධාරිවාදී මනසටද හැඟෙන බැවිනි. සතියකින් පමණ මේ ලිපිය සසංකට ලැබේ. යාන්තම් හිසරදය අවසන්ය.

තවත් මාස ගණනක ඇවෑමෙන් සසංකගේ බිරිඳගේ මිතුරියගෙන් නැවතත් දුරකථන ඇමතුමක් ලැබේ. ඇය දන්වා ඇති පරිදි ප්‍රශ්නය තවමත් අවසන් නැත. ගෙවීමට ඇති මුදල මේ වනවිට පවුම් 400 ඉක්මවා ඇත. ඒ මුදල වහාම නොගෙවුවහොත් මුදල් අය කර ගැනීම සඳහා එවැනි කටයුතු කරන සමාගමකට භාර දීමට සිදුවනු ඇත. වැඩේ අන්ඩර දෙමළ නිසා සසංක සිය බිරිඳගේ මිතුරියට ඇමතුමක් ගෙන ලිපිය කියවන ලෙස ඉල්ලා සිටී. දැන් සසංකට තේරෙන පරිදි මුදලක් පියවිය යුතුව ඇත්තේ ටී-මොබයිල් සමාගමට නොව නැට්වෙස්ට් බැංකුවටය. අන්ඩරේ ඩබල්ය.

සසංක බොහෝ දඟලා ඔහුගේ නැට්වෙස්ට් අන්තර්ජාල ප්‍රොෆයිලය සක්‍රිය කර ගනී. දැන් ඔහුට පෙනී යන පරිදි පවුම් තිහ බැගින් දිගටම ඔහුගේ ගිණුමෙන් මුදල් අඩුකරගෙන තිබේ. ටී-මොබයිල් ගිවිසුම අවසන් විය යුතුව තිබුණු මාසයෙන් පසුව ඔහුගේ ගිණුමේ ශේෂය පවුම් දහයක් පමණක් වූ අතර ඉන්පසු මාසයේදී ඔහුගේ ගිණුම් ශේෂය පවුම් විස්සක හිඟ මුදලක් වී ඇත. ගිණුමේ ශේෂය පවුම් තිහ බැගින් දිගටම අඩු වී ඇති අතර මේ වන විට හිඟය පවුම් හාරසිය හතළිහකි!

සසංක මෙවර නැට්වෙස්ට් බැංකුව අමතයි. ඔහු දුරකථන බැංකු පහසුකම ලබාගෙන නොමැති නිසා අවසන් හිඟ ශේෂයට අමතරව වෙනත් ගිණුම් විස්තර දුරකතනයෙන් ලබා ගැනීමේ හැකියාවක් නැත. අවශ්‍යනම් ඔවුන් සතුව ඇති ලිපිනයට තැපැල් කිරීමට පුළුවන. ලිපිනය වෙනස් කිරීමට අවශ්‍යනම් ඕනෑම නැට්වෙස්ට් බැංකු ශාඛාවකට පෞද්ගලිකව පැමිණ අයදුම්පතක් පුරවා දී අනන්‍යතාවයද තහවුරු කල යුතුය. වෙනත් ක්‍රමයක් නැත. කෙසේ වුවද සසංක කැමතිනම් ක්‍රෙඩිට් කාඩ් පතකින් පවුම් 440 ගෙවා ප්‍රශ්නය විසඳා ගැනීමේ පහසුකම සැලසීමට ඔවුන් සුදානම්ය.

හැම විටම කලට වේලාවට ගණුදෙනු පියවන සසංක 'ඇරියස්' තබා ගැනීමට කැමති නැත. එහෙත්, සසංකට පෙනෙන පරිදි මෙතන ඇත්තේ ලොකු වැරදීමකි.   නොකළ වරදකට දඬුවම් විඳීමට ඔහුට අවශ්‍ය නැත. අනිත් අතට රුපියල් වලින් 'ආණ්ඩුවේ පඩියක්' ගන්නා සසංකට පවුම් 440ක් කියන්නේ කජු ඇට කොස් ඇට නොවේ. අනෙක් අතට, තමාගේ ලිපිනය 'බ්ලැක් ලිස්ට්' වෙනවාට බිරිඳගේ මිතුරිය කැමති නැත. උදවුවක් කිරීමට ඉදිරිපත් වූ ඇයට 'අහක යන පරිප්පුවක් සෙට් කිරීමටද' නොහැකිය.

සසංකහේ බිරිඳගේ මිතුරියට ඊළඟ ලිපිය ලැබෙන්නේ නැට්වෙස්ට් බැංකුවේ ණය අය කර ගැනීමේ අංශයෙනි. සසංකගේ ඉල්ලීම පරිදි ලිපිය විවෘත නොකර හරවා හරින ඇය සසංක මෙම ලිපිනයේ තව දුරටත් ජීවත් නොවන බව දන්වා සසංකගේ නිවැරදි ලිපිනය සහ දුරකථන අංක ආදිය නැට්වෙස්ට් බැංකුවේ ණය අය කර ගැනීමේ අංශයට දැනුම් දෙයි. දැන් මේ 'අහක යන පරිප්පුවෙන්' ඇය නිදහස්ය. මුලින් වෙනස් කිරීමට බැරි වූ ලිපිනය මෙවර වෙනස් වේ. සසංකට ලිපිය ලැබේ.

මේ වන විට ගෙවිය යුතු මුදල පවුම් 2120ක් වී ඇත. හිඟ මුදල වූ පවුම් 620කට ණය අයකර ගැනීමේ ගාස්තු ලෙස තවත් පවුම් 1500ක් එකතු වී ඇත.

සසංක නැට්වෙස්ට් බැංකුවේ ණය අය කර ගැනීමේ අංශයට දුරකථන ඇමතුමක් ගනී. (මේ කියන දවස් වල එංගලන්තයට දුරකථන ඇමතුමක් ගැනීමද වියදම් අධික කටයුත්තකි.) සසංක ඔවුන්ට පැහැදිලි කරන්නේ තමන් විසින් ගෙවිය යුතු මුදලක් නොවලහා ගෙවීමට ඔහු සුදානම් වුවත් මේ මුදල ඔහු ගෙවිය යුත්තේ ඇයිදැයි නොදන්නා බැවින් නිකම්ම මෙවැනි විශාල මුදලක් ගෙවීමට සුදානම් නැති බවයි. එහෙත්, ණය අය කර ගැනීමේ අංශයේ නිලධාරීන්ට බැංකු ගිණුමේ තොරතුරු බලා ගැනීමේ හැකියාවක් නැත. ඔවුන් දන්නේ අයවිය යුතු සම්පුර්ණ මුදල පමණි.

සසංක මඟ නො ඇර කෙළින්ම කතා කිරීම ගැන ණය අය කර ගැනීමේ අංශයේ නිලධාරීහු සතුටු වෙති. හිඟ මුදල ලබා ගැනීමේ හැකියාවක් පෙනෙන්නට ඇති නිසා අවශ්‍ය අංශ සමඟ එකඟතාවකට එන ණය අය කර ගැනීමේ අංශය පැරණි ගිණුම් ප්‍රකාශන සියල්ල මුද්‍රණය කර ලංකාවට තැපැල් කර එවීමට කටයුතු සලසයි. (පාරිභෝගික ගිණුම් වල රහස්‍ය භාවය ගැන 'ලොකු ටෝක්' දෙමින් මෙතෙක් කල් ලිපිනය වෙනස් කිරීමට හෝ සුදානම් නොවූ බැංකුව මේ ගිණුම් ප්‍රකාශ සමඟ අත් වැරදීමකින් ඔවුන්ගේ වෙනත් පාරිභෝගිකයින් හත් අට දෙනෙකුගේ ගිණුම් ප්‍රකාශද ලොකු මිටියක් තැපැල් කර එවයි. ඒ ගැන දැන්වූ විට කලබලයට පත්වන ඔවුන් ඒවා නැවත ඔවුන් වෙත එවන ලෙස සසංකගෙන් ඉල්ලා සිටී.)

සිදු වී ඇති දෙය සසංකට පැහැදිලි වන්නේ මුල් මාස වල ගිණුම් ප්‍රකාශ පරීක්ෂා කළ විටය. පවුම් තිහ බැගින් දිගටම අයකරගෙන ඇත්තේ ටී-මොබයිල් සමාගමට ගෙවීමට නොවේ. එය වෙනත් 'දඬුවම් ගාස්තුවකි'. ටී-මොබයිල් සමාගමට ගෙවිය යුතු (සැබවින්ම ගෙවිය යුතු නොවූ) පවුම් තිහක මුදල ගිණුමේ නොතිබීම නිසා සසංකව පවුම් තිහක දඬුවම් ගාස්තුවකට යටත් කර ඇත. ටී-මොබයිල් සමාගම විසින් එවැනි මුදලක් අයවිය යුතුව නොතිබුණු බව නැට්වෙස්ට් බැංකුවට දැනුම් දුන් පසුවද මේ දඬුවම් ගාස්තුව ඉවත් වී නොමැති අතර 'ඕවර්-ඩ්රාෆ්‍ට්' පහසුකම් නොමැති සසංකගේ ශිෂ්‍ය ගිණුමේ ශේෂය සෘණ අගයක් ගෙන තිබේ. ඉන් පසුව මාස්පතා 'ඕවර්-ඩ්රාෆ්‍ට්'  ගාස්තුවක් එකතු වී ඇත.

නැවතත් පෙර පරිදිම සසංක නැට්වෙස්ට් බැංකුවේ එකම ගනුදෙනුකරු ලෙස සලකා නැට්වෙස්ට් බැංකුවේ ශේෂ පත්‍රය පිළියෙළ කළහොත් එය මෙවැන්නකි. වත්කම් පැත්තේ පවුම් දහයක් අත ඇති මුදල්ය. තවත් පවුම් 2120ක් සසංකගෙන් අයවිය යුතු මුදල්ය. නැට්වෙස්ට් බැංකුව විසින් සසංකගෙන් ගාස්තු වශයෙන් උපයාගත් මුදල මේ වන විට පවුම් 2130කි. ඒ අනුව බැරකම් පැත්තේ නැට්වෙස්ට් බැංකුව සතු පවුම් 2130ක ප්‍රාග්ධනයක් ඇත. මේ මුදලින් සැලකිය යුතු කොටසක් බැංකුවේ කොටස් කරුවන් විසින් ලාභාංශ ලෙස ලබා ගන්නවා ඇත.

සසංකගේ බැංකු ගිණුමේ හිඟ ශේෂය පසුව තවත් වැඩි අතර ඒ අනුව නැට්වෙස්ට් බැංකුවේ ලාභයද තවත් වැඩි විය. කෙසේ වුවද මේ ලාභය 'අතේ නැති පොතේ ඇති' ලාභයක් බව නොකිවමනාය. ගිණුම්කරණ සම්මත අනුව මෙවැනි  'අතේ නැති පොතේ ඇති' ලාභ මෙන්ම 'අතේ ඇති පොතේ නැති' ලාභද දුලභ නැත. කොටස්කරුවන්ට ලාභාංශ ගෙවන්නේත්, රජයට බදු ගෙවන්නේත් 'පොතේ ඇති' ලාභය අනුව මිස 'අතේ ඇති' ලාභය අනුව නොවේ.

ගිණුම්කරණ සම්මත සාපේක්ෂ සම්මුතීන් පමණක් වන නිසා කලින් කලට වෙනස් වේ. එවිට, ලාභයද වෙනස් වේ. හොඳින් ලාභ ලබන ආයතන හිටිවනම පාඩු ලබන ආයතන බවට පත්වේ. ඇතැම් විට රටවල් වලටද මේ දෙයම වේ. ඒ නිසා ගිණුම් වල පෙන්වන ලාභය හැම විටම සැබෑ ආර්ථික ශක්තියේ නිවැරදිම පිළිබිඹුවක් නොවේ.

පුද්ගලයින්, සමාගම් මෙන්ම රටවල්ද ගිණුම්කරණ සම්මත වල ඇති දුර්වලතා ඇතැම් විට සිය වාසියට යොදා ගනිති. තම ණය ප්‍රමාණය යුරෝපීය සංගමයේ සාමාජිකයෙකු වශයෙන් ඇතුලත් කර ගැනීම සඳහා අවශ්‍ය සීමාවට වඩා අඩුවෙන් ඇති බව පෙන්වීමට ග්‍රීසිය විසින් වසර ගණනක් තිස්සේ විවිධ ගිණුම්කරණ උපක්‍රම යොදා ගෙන ඇති බව දැන් රහසක් නොවේ. අවසාන ප්‍රතිඵලය කවුරුත් දනිති.

හොඳ වෙලාවට ග්‍රීසියේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැත.

(පුද්ගල නම් සහ සියළුම සිදුවීම් මනඃකල්පිත වන අතර ටී-මොබයිල් ආයතනයේ සහ නැට්වෙස්ට් බැංකුවේ නම් යොදාගත්තේ කරුණු පැහැදිලි කිරීමේ පහසුව සඳහා පමණි.)



පසු සටහන:

බොහෝ මනඃකල්පිත ප්‍රබන්ධයන්ට සත්‍ය අත්දැකීම් පාදක වේ. මෙය ඉකොනොමැට්ටාටද පොදුය. ඉකොනොමැට්ටාගේ ඇතැම් කතා ප්‍රබන්ධ වුවද ප්‍රායෝගිකව සිදුවිය නොහැකි දේ නොවේ. බැංකුවක ඇති මෘදුකාංගයක තිබුණු නොසලකා හැරුණු අඩුපාඩුවක් ප්‍රයෝජනයට ගෙන එය නිවැරදි කරන තුරු ලංකාවේ පිහිටි විදේශ බැංකුවකින් 36%ක ඉහල පොලියක් මාස ගණනක් තිස්සේ ලබා ගැනීමට ඉකොනොමැට්ටාට හැකි වී තිබේ. මෙය කළේ ලංකාවට ක්‍රෙඩිට් කාඩ් හඳුන්වා දෙනු ලැබූ මුල් කාලයේදී ක්‍රෙඩිට් කාඩ් ගිණුමට ගෙවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් තැන්පත් කිරීම මඟිනි.

"දි‍යුණු රටක බැංකුවකට වැරදීමේ සම්භාවිතාව බොහෝ අඩුය." මේ සම්භාවිතාව අඩු කරගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකිනි. පළමුව, නිශ්චිත හා වඩා ඵලදායී ක්‍රමවේද හඳුන්වා දීම මඟිනි. දෙවනුව, මෙසේ හඳුන්වා දී ඇති ක්‍රමවේද නිසියාකාරව ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීමෙනි. කෙසේ වුවද, සම්භාවිතාව අඩු වුවත් මේ බැංකු වලටත් වරදින වෙලාවල් තිබේ. එසේ වැරදුනු විට වැරැද්ද පැටවු ගැසීමද සාමාන්‍ය දෙයක් වන්නේ මෙවැනි අවස්ථා දුලබ නිසා ලන්ඩන් නගරයට හිම වැටුණු දිනක මෙන් එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට ඔවුන්ගේ සූදානමක් නොමැති බැවිනි.

දියුණු (සංවර්ධිත) රටවල කටයුතු සිදුවන ආකාරය අඩු ආදායම් රටවල සිදුවන ආකාරයට වඩා ක්‍රමවත් වුවත් සර්ව සම්පුර්ණ නැත. දියුණු රටවල් තවත් දියුණු වන්නේ එසේ දියුණු වීමට ඉඩකඩක් පවතින නිසාය.

ඉකොනොමැට්ටා සංචාරය කර හෝ නොමැති සංවර්ධිත රටවල් ගණන එසේ කර ඇති රටවල් ගණනට වඩා වැඩි අතර ජීවත් වී ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු රටවල් කිහිපයක පමණි. මේ ප්‍රයෝගික සීමාවන්ට යටත්ව වුවත්, මේ රටවල් අතර මෙන්ම ඇමරිකාව වැනි රටක ප්‍රාන්ත අතර පවා ඇතැම් කටයුතු සිදු වන ආකාරයන්හි විශාල වෙනස්කම් තිබේ.




බොහෝ යුරෝපීය රටවල ප්‍රායෝගිකව භාවිතයෙන් ඉවත් වී ඇති චෙක්පත් ඇමරිකාවේ තවමත් ජනප්‍රිය ගෙවීම් මාධ්‍යයකි. සිංගප්පුරුව වැනි, බටහිර රටවලට වඩා පසුව සංවර්ධනය වූ, ප්‍රමාණයෙන් කුඩා, රාජ්‍ය මැදිහත්වීම වැඩි රටකට ප්‍රතිසංස්කරණ අලුතින්ම හඳුන්වා දීම පහසු වුවත්, අළුත් හොඳ ක්‍රම සොයා ගන්නා විටත් පැරණි හොඳ ක්‍රම වලට හුරු වී ඇති සහ ප්‍රමාණයෙන් විශාල, රාජ්‍ය මැදිහත්වීම අඩු රටකට ඒ සඳහා කල් ගත වේ. ඇතැම් දියුණු රටවල එතරම් නොදියුණු ප්‍රාදේශීය බැංකු බහුලය. ඇතැම් සංවර්ධිත රටවල සිට වෙනත් සංවර්ධිත රටකට ගිය විට එය සංවර්ධනය නොවූ රටක්දැයි හැඟෙන අවස්ථා තිබේ.

දියුණු රටවලද සිතාමතාම (යම් වාසියක් අපේක්ෂාවෙන්) ඇතැම් 'නොදියුණු' ක්‍රමවේද අනුගමනය කරන අවස්ථා තිබේ. ග්‍රීසිය විසින් දල ජාතික නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ඔවුන්ගේ ණය ප්‍රමාණය වසර ගණනාවක් තිස්සේ අඩුවෙන් පෙන්වීම මෙවැන්නකි.

මගේ ඉහත සටහනේ "කොළ පිරවීම්" යන්නෙන් මා අදහස් කරන්නේ bureaucratic procedures යන්නයි. මෙයට සැබෑවටම කොළ පිරවීමද ඇතුළත්ය.

මුල් ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ගිණුම්කරණ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතා ගැන සාකච්ඡා කිරීමයි. එංගලන්තයෙන් උදාහරණයක් ගත්තේ මෙය පැහැදිලි කිරීමට උපයෝගී කරගත හැකි මා දන්නා වඩාත්ම ප්‍රායෝගිකව නිවැරදි උදාහරණය එය වූ බැවිනි. ප්‍රායෝගිකව නිවැරදි වුවත් මේ ලිපියේ සිතාමතාම නොසලකා හැර ඇති න්‍යායාත්මක අඩුපාඩු තිබේ. දැනට පෙන්වා දෙන කරුණට ඒ අඩුපාඩු  ප්‍රශ්නයක් නොවේ.

Friday, July 17, 2015

ඇමරිකන් මැදිහත්වීම සහ ගණිකාවගේ ශේෂ පත්‍රය

ඉකොනොමැට්ටා ඊයේත් කළේ ණය ගැන කතාකිරීම මිස හෝටල් ප්‍රශ්නය විසඳීම නොවේ. ප්‍රශ්න විසඳනවාට වඩා ප්‍රශ්න ගැන කතා කර කර ඉන්නවාට ගොඩක් අය කැමති නිසාම නොවේ. ඔය ප්‍රශ්නයට උත්තරය හොයා ගත්තා කියා එලොවටවත් මෙලොවටවත් වැඩක් නැති නිසාත් නොවේ. ඔය ප්‍රශ්නය නිසා  ඉකොනොමැට්ටාට මතක් වූ වෙනත් ප්‍රශ්න අතරේ ණය ප්‍රශ්නයත් තිබුණු නිසාය.

ප්‍රශ්නයකට උත්තරයක් ඇත්තේ යම්කිසි රාමුවක් ඇතුළේය. රාමුව වෙනස් වූ විට උත්තරයද වෙනස් විය හැකිය. බොහෝ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු එකකට වඩා තිබේ. සමහර ප්‍රශ්න වලට උත්තර නැත. සමහර වෙලාවට රාමුව වෙනස් කළ විට ප්‍රශ්නයද අතුරුදහන් වන නිසා තව දුරටත් උත්තර අවශ්‍ය වන්නේ නැත.

දැන් මෙතන තියෙන්නේ ලාභ අලාභ ප්‍රශ්නයකි. නීත්‍යානුකූලව බදු අය කර ගැනීම වැනි කටයුතු සඳහා ලාභ අලාභ ගණනය කිරීමේ ක්‍රමවේදයක් තිබේ. එය පදනම් වන්නේ සම්මත ගිණුම්කරණ රෙගුලාසි මත පදනම්වය. සම්මත කියා කිවුවත් මෙය තැනින් තැනට, කලින් කලට වෙනස් විය හැකි සාපේක්ෂ සම්මුතියකි.

ඇතැම් කරුණු වෙනස් වන නමුත් බොහෝ දෙනා පිළිගන්නා මූලික ගිණුම්කරණ නීති වල වැඩි වෙනසක් නැත. ද්විත්ව සටහන් ක්‍රමය යටතේ සියළු මුදල් ගණුදෙනු ලෙජරයක සටහන් කිරීමෙන් පසු ඒ අනුසාරයෙන් පිළියෙළ කරගන්නා ශේෂ පත්‍රයකින් හා ලාභ අලාභ ගිණුමකින් අවසන් ප්‍රතිඵලය බලාගත හැකිය.

සම්මත ගිණුම්කරණ නීති අනුව ගණුදෙණුවක් සිදු වූ ලෙස සැලකෙන්නේ භාණ්ඩ හෝ සේවා හුවමාරුවක් සඳහා මුලින්ම මිල එකඟතාවක් ඇති වූ අවස්ථාවේදී මිස ගණුදෙනු පියවන අවස්ථාවේදී නොවේ. මේ කතාවේ එවැනි ගණුදෙණු කිසිවක් නැත. ඇමරිකන් කාරයා සහ හෝටල්කරු අතර ගණුදෙණුවක් ඇතිවීමට ආසන්න අවස්ථාවක් ඇතත් අවසානයේදී එවැන්නක් සිදු නොවේ. ඒ නිසා මෙහි කිසිවෙකුටත් ලාභයක් හෝ අලාභයක් සිදු නොවේ.

පළමුව අපි හෝටල්කරුගේ ශේෂ පත්‍රය වෙනස් වන ආකාරය විමසා බලමු.



ආරම්භක අවස්ථාවේදී හෝටල්කරුට ගණිකාවගේ ඩොලර් 100කට හිමි කමක් තිබේ. මෙය ඔහුගේ වත්කමකි. එමෙන්ම, හෝටල්කරු විසින් කඩකාරයාට ඩොලර් 100ක් ගෙවිය යුතුව තිබේ.එය ඔහුගේ බැරකමකි. වත්කම් බැරකම් සැසඳූ පසු ඔහු සතු කිසිදු ප්‍රාග්ධනයක් නැත.

ඇමරිකන්කාරයාගේ ඩොලර් 100 තැන්පතුවක් වශයෙන් ලබා ගත් විට හෝටල්කරුගේ වත්කම ඩොලර් 200දක්වා ඉහළ යන නමුත් ඇමරිකානුවාට හෝටල් කාමරයක් විකුණා නොමැති නිසා ඒ මුදල ඔහුගේ ලාභයක් වන්නේ නැත. එබැවින් එය ප්‍රාග්ධනය ඉහළ යාමක් නොවී බැරකමක් ලෙස පවතී.

ඩොලර් 100 කඩකාරයාට දුන්විට මේ අත ඇති මුදල ඔහුගේ වත්කම් වලින් අඩුවන අතරම ඩොලර් 100ක බැරකමක්ද අඩුවේ. වත්කම් බැරකම් තව දුරටත් සමානය.

තැබෑරුම්කරුගේ ණය ආපසු ලැබුණු විට හෝටල්කරුගේ ඩොලර් 100ක වත්කම ලැබීමට ඇති මුදලක සිට අත ඇති මුදලක් දක්වා වෙනස් වන අතර බැරකමෙහි වෙනසක් සිදු නොවේ.

අවසානයේදී, ඇමරිකානුවාගේ ඩොලර් 100යේ තැන්පතුව ආපසු ගෙවීමෙන් අනතුරුව හෝටල්කරුගේ ශේෂ පත්‍රයේ වත්කම් මෙන්ම බැරකම්ද ශුන්‍යයක් වේ.


ගණිකාවගේ, තැබෑරුම්කරුගේ, මස්කඩකරුගේ මෙන්ම සිල්ලර කඩකරුගේද ශේෂ පත්‍ර වෙනස් වන්නේ එකම ආකාරයකටය. ආරම්භයේදී, මේ හැම දෙනෙකුගේම ශේෂ පත්‍රවල ඩොලර් 100 බැගින් වූ වත්කමක් හා බැරකමක් ඇති අතර ඔවුන් කිසිවකු සතුව ඔවුන්ගේම ප්‍රාග්ධනයක් නැත. සිදුවීම් සියල්ල අවසානයේදී, මේ වත්කම මෙන්ම බැරකමද ඔවුන්ගේ ශේෂ පත්‍ර වලින් ඉවත් වන අතර ප්‍රාග්ධනය වෙනස් නොවේ.


ඇමරිකානුවා සතුව පමණක් ඩොලර් 100ක ආරම්භක ප්‍රාග්ධනයක් තිබේ. එය හෝටල් කළමනාකරු හමුවේ තැන්පත් කරන ඇමරිකානුවා අවසානයේදී සිය තැන්පතුව ආපසු ලබා ගනී. සිදුවීම් අවසානයේදී ඔහුගේ ශේෂ පත්‍රයේ කිසිදු වෙනසක් වී නැත.

කෙසේ වුවද සිදුවීම් සියල්ල අවසන් වන විට ආරම්භක සමතුලිතතාව වෙනස් වී ඇති නිසා මේ විග්‍රහයේ අවුලක් ඇති බව අපට දැනේ. අවුලක් ඇතත් අවුල ඉකොනොමැට්ටාගේ අවුලක් නොවේ. ගිණුම්කරණ ලාභය සැබෑවටම ගණනය කෙරෙන්නේ මේ ආකාරයෙනි.

ආර්ථික ලාභය ගිණුම්කරණ ලාභයට වඩා වෙනස් සංකල්පයකි. එය ඇතැම් විට ගිණුම්කරණ ලාභයට සමාන විය හැකි වුවත් හැම විටම එසේ නොවේ. ගිණුම්කරණයට විෂය වන්නේ මුදලින් වටිනාකම් මැනිය හැකි දේවල් පමණි.

ආර්ථික විද්‍යාවේදී එය හැම විටම එසේ විය යුතු නැත. ගිණුම්කරණය සම්මත නීති හා රෙගුලාසි පාදක කරගනිද්දී ආර්ථික විද්‍යාව පාදක කර ගන්නේ පුද්ගල රුචිකත්වයන්ය. ඒ නිසා ආර්ථික විද්‍යා රාමුවක් තුළ මේ සිදුවීම් පෙළ වෙනත් ආකාරයකින් විග්‍රහ කිරීමට පුළුවන. (අද නොවේ.)

අවසාන වශයෙන් මේ කතාවත් බලාගෙන ගිය විට අපේ ඇත්ත තත්ත්වයට වඩා වැඩිපුර වෙනස් නැත. වරාය, ගුවන් තොටුපොළ, මහා මාර්ග ආදී අපේ ප්‍රාග්ධන වත්කම් ඉහළ යයි. ඒ සමඟම අපේ ණයත් ඉහළ යයි. ශේෂ පත්‍රයේ වත්කම් බැරකම් සැසඳූ විට ලොකු වෙනසක් වී නැත. ගණිකාවගේ සිට හෝටල් කළමනාකරු දක්වා කතාවේ සිටින ලාංකිකයින් කවුරුත් රෝල් දමන නමුත් අතේ ප්‍රාග්ධනයක් නැත. ඒ නිසා මේ විදිහට රවුමට හිර වේ.

අන්තිමට හිර වී ඇති අපේ ආර්ථිකය ගොඩ ගැනීමට අපට අතේ ප්‍රාග්ධනය ඇති ඇමරිකානුවා එනතුරු බලා සිටීමට සිදුවේ. ඇමරිකන් කාරයා ඩොලර් 100ත් බේරාගෙන ආපහු යන්නේ අපේ කාමර වල ඇතුලේ ඇති ඇද පළුදු සියල්ලම කැමරාවේ සටහන් කරගෙනය. ඇමරිකන්කාරයාට අපේ කාමර ඇතුලේ ඡායාරූප අවශ්‍ය වන්නේ ඇයිදැයි දන්නේ ඇමරිකන්කාරයාම පමණි.

ඇමරිකන් කාරයා වෙනුවට චීනෙක් ආ විට වෙන්නේ වෙනස් දෙයක්දැයි සිතීම ඔබේ වැඩකි.

(උඩින්ම ඇති රූපය ගත්තේ ජේම්ස් බෘනෝගේ -http://jameslbruno.blogspot.com/2012/04/sin-sex-and-uncle-sam.html- බ්ලොගයෙනි.)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...