වෙබ් ලිපිනය:

Saturday, September 11, 2021

ඩොලරයේ මිල හා බඩු මිල


ඩොලරයේ මිල ඉහළ යාම ගැන ලංකාවේ ගොඩක් අයට තිබෙන්නේ විශාල භීතිකාවක්. මේ අයගේ ප්‍රධානම තර්කය වන්නේ ඩොලරයේ මිල ඉහළ ගියාම බඩු ගණන් යනවා කියන එකයි. කතාව ඇත්ත. ආනයනික බඩු වල මිල අනිවාර්යයෙන්ම ඩොලරය ඉහළ යන අනුපාතයට ගණන් යනවා තමයි. ඊට අමතරව ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලත් ඩොලරයක මිල ඉහළ යද්දී ගණන් යනවා. මේවා න්‍යායාත්මකව පැහැදිලි කළ හැකි, ඒ වගේම ප්‍රායෝගිකව මහ පොළොවේ දැකිය හැකි දේවල්

හැබැයි මේ කතාව කියන අය නොකියන හෝ නොදකින දෙය ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යනවා කියන එකයි. එහෙම නොවෙනවා කියා කවුරු හෝ හිතනවාද?

ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යන්නේ ඇයි?

ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. ඒ නිසා, හැම විටම වාගේ පියවිය යුතු රාජ්‍ය අයවැය හිඟයක් ඉතිරි වෙනවා. මේ හිඟය පියවන්න සල්ලි අච්චු ගැසීම නිසා රටේ මුදල් සැපයුම ආර්ථික වර්ධනය ඉක්මවා ඉහළ යනවා. එහිදී රටේ තිබෙන භාණ්ඩ සැපයුම ඉක්මවා භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඇයි මිනිස්සු අතේ වැඩිපුර සල්ලි තියෙනවනේ. 

වැඩි වූ මුදල් අතේ තියෙන මිනිස්සු රටේ නිපදවෙන සීමිත භාණ්ඩ හා සේවා ටික මිල දී ගන්න තරඟ කරද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යාම තුළින්. හැබැයි ඩොලරයේ මිල වෙනස් වෙලා නැති නිසා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලද යම් තරමකින් ඉහළ යනවා. එහෙත්, දේශීය නිෂ්පාදන තරමටම මිල ඉහළ යන්නේ නැහැ. මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ ගියත් ආනයනික භාණ්ඩ වල මිල එලෙසමයි.

මේ විදිහට ආනයනික භාණ්ඩ වල මිල එලෙසම තියෙද්දී දේශීය නිපැයුම් වල පමණක් මිල වැඩි වූ විට මොකද වෙන්නේ? රට ඇතුළේ දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම අඩු වෙනවා. ආනයනික භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. ඔය අතර කවුරු හෝ කෙනෙක් දේශීය නිෂ්පාදන වෙනුවට මිල අඩු ආදේශක කොහෙන් හෝ හොයාගෙන ආනයනය කරනවා. දේශීය නිෂ්පාදකයාට ආනයනික භාණ්ඩ එක්ක තරඟ කළ නොහැකි වී වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

මේ විදිහට දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යද්දී අපනයන වෙළඳපොළ ඉලක්ක කර හදන දේශීය නිෂ්පාදන වල පිරිවැයද ඉහළ යනවා. එහෙත් එම අපනයන විකුණා උපයන ආදායම් වැඩි නොවන නිසා අපනයනකරුවන්ගේ ලාබ අඩුවෙනවා. ඔවුන්ටද වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. 

මේ ආකාරයෙන් ලංකාවේ රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරමින් එය පියවීමට මුදල් අච්චු ගැසීමේත්, ඒ අතර විණිමය අනුපාතය ඉහළ යාම පාලනය කිරීමේත් ප්‍රතිඵලය වන්නේ එක පැත්තකින් ආනයන ඉහළ යන අතර අනෙක් පැත්තෙන් අපනයන කඩා වැටෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ඩොලර් හිඟයක් ඇති වෙනවා. ඩොලර් හිඟය පියවන්න විදේශ ණය අවශ්‍ය වෙනවා. රජය යම් හෙයකින් විදේශ ණය නොගත්තත්, රටේ කාට හෝ විදේශ ණය ගන්නම වෙනවා. ඒ විදිහට කවුරු හෝ ණයට ගන්න ඩොලර් විකුණද්දී ආනයන අපනයන පරතරය නිසා ඇති වී තිබෙන ඩොලර් හිඟය පියවෙන නිසා ඩොලර් එකේ මිල ඉහළ නොගොස් එලෙසම තියෙනවා. දිගින් දිගටම විදේශ ණය ගන්නා තුරු ආනයන අපනයන පරතරයත් එලෙසම තියෙනවා.

විණිමය අනුපාතය එක තැන තියාගෙන සල්ලි අච්චු ගහන තරමට වෙන එකම දෙය ආනයන ඉල්ලුම තව තවත් ඉහළ යන එක පමණයි. මුදල් සැපයුම ඉහළ යාම නිසා ලංකාවේ ආනයන ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩි වුනත් ලෝක මට්ටමේදී සැපයුමට එය දැනෙන්නේවත් නැති නිසා ලංකාවේ ඉල්ලුම වැඩි වුනා කියා ආනයන භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ඉල්ලන තරමට අපනයන ලංකාවට එනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ අපනයන භාණ්ඩ වල මිල වැඩි වීම නිසා අපනයනකරුවන්ට ලෝකයේ අනෙක් රටවල් එක්ක තරඟ කරන්න අසීරු වී අපනයන ප්‍රමාණය පහළ බසින නිසා මිල වැඩිවීමේ වාසිය අපනයනකරුවන්ට ලොකුවට ලැබෙන්නෙත් නැහැ.

සල්ලි අච්චු ගහන අතරම, විණිමය අනුපාතය "අවශ්‍ය පමණ" ඉහළ යන්න ඉඩ දුන්නහම වෙන්නේ කුමක්ද?

දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. නමුත්, ඒ එක්කම කලින් මිල දී ගත් ආනයන භාණ්ඩ ප්‍රමාණය මිල දී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්න වෙන නිසා දේශීය භාණ්ඩ මිල දී ගන්න ලොකු මුදලක් අතේ ඉතිරි වෙන්නේ නැහැ. නමුත්, තව දුරටත් යම් මුදලක් ඉතිරි වෙනවා. ඒ මුදලෙන් දේශීය භාණ්ඩ මිල දී ගනිද්දී දේශීය භාණ්ඩ වල ඉල්ලුමද යම් තරමකින් ඉහළ ගොස් ඒ හේතුව නිසා මිල ඉහළ යනවා. විණිමය අනුපාතය ඉහළ ගිහින් තියෙන්නේ අවශ්‍ය තරමටනම් දේශීය නිෂ්පාදන හා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ එකම තරමින්. එහිදී සල්ලි අච්චු ගැහීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඇති වන නමුත් ආනයන අපනයන පරතරයට බලපෑමක් වෙන්නේ නැහැ. ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.

අලුතෙන් අච්චු ගැසූ සල්ලි ප්‍රමාණයට සාපේක්ෂව විණිමය අනුපාතය ඕනෑවට වඩා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද? මෙහිදී ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන නිසා ආනයන ආදේශක වලට ඉල්ලුම වැඩි වෙනවා. එහෙත්, ආනයන ආදේශක නැති තෙල් වැනි අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ වෙනුවෙන් අතේ තිබෙන සල්ලි ටික වියදම් කළාට පස්සේ අත්‍යාවශ්‍ය නොවන දේශීය නිෂ්පාදන මිල දී ගන්න සල්ලි හිඟ වන නිසා ඒවාට ඉල්ලුම අඩුවී මිල අඩු විය හැකියි. මෙහිදී සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ යන නිසා අපනයන තරඟකාරිත්වය වැඩි වෙන්නේත් නැහැ. ආර්ථිකයට යම් හානියක් විය හැකියි. මේ වගේ තත්ත්වයක් ඇති වන්නේ විණිමය අනුපාතය පාලනය කරන්න ගිහින් අසමත් වීමෙන් පසුව එකවර ක්ෂණිකව විණිමය අනුපාතය කඩා වැටෙන අවස්ථාවකයි.

සල්ලි අච්චු ගහනවානම් ඊට අනුරූපව අවශ්‍ය පමණ විණිමය අනුපාතයද ඉහළ යන්න ඉඩ දිය යුතුයි. එහිදී සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන උද්ධමනය නොවැලැක්විය හැකි නමුත් ගෙවුම් ශේෂයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි සල්ලි අච්චු ගහන අතරම උද්ධමනය පාලනය කරන්න කියලා විණිමය අනුපාතය පාලනය කළ විට සිදු වෙන්නේ ආනයන අපනයන පරතරය ඉහළ ගිහින් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වන එකයි. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොගියත් දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යන නිසා උද්ධමනය පාලනය වෙන්නේ නැහැ.

දැන් මේ වැඩේ වෙන්නේ සල්ලි අච්චු ගැසීම නිසා ඉහළ ගිය ඉල්ලුමට හරියන්න ආනයන කිරීමට ඉඩ ඇරියොත්නේ. ආනයන පාලනය කරලා ප්‍රශ්නය විසඳන්න බැරිද? 

මේකත් විසඳුමක් තමයි. දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොයන නිසා ඉල්ලුම වැඩි වුනත් ආනයන සීමා නිසා මිල දී ගන්න බඩු නැහැ. ඒ නිසා, සල්ලි අතේ ඉතිරි වී දේශීය නිෂ්පාදන සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා. එහිදී දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යනවා. එහෙම වුනා කියලා දේශීය නිෂ්පාදන මිල දී නොගෙන ඉන්නත් බැහැ. මොකද මිල අඩු වුනත් ආනයනික බඩු කඩේ නැහැ. 

මුදල් සැපයුම වැඩි වීම නිසා දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වුනත් දේශීය නිෂ්පාදකයෝ නිෂ්පාදනය වැඩි කර ලාබ ලැබීමේ  අවදානම ගන්න බයයි. මොකද ආනයන පාලන කොයි වෙලාවක හෝ ඉවත් කළ වහාම තමන්ගේ නිෂ්පාදන වලට ඉල්ලුමක් නැති බව පැහැදිලි නිසා. කෙටි කලකින් නිපදවා වෙළඳපොළට දැමිය හැකි දේවල් පමණක් වැඩියෙන් රට ඇතුළේ හැදෙනවා. එහෙත් දිගුකාලීනව රටේ නිෂ්පාදනය ඉහළ යන්නේ නැහැ. අනෙක් පැත්තෙන් රටේ උද්ධමනය අපනයන ආදායමට නරක විදිහට බලපානවා. මේ ප්‍රශ්න තිබුණත් ආනයන පාලනය ඩොලර් හිඟයට තාවකාලික පිළියමක්. හැබැයි ආනයන පාලනය ඉවත් කළ වහාම නැවත හිටපු තැනමයි. 

විණිමය අනුපාතය තිබිය යුතු "නියම තැන" කොතැනද? ලෝකයේ අනෙක් රටවල් සල්ලි අච්චු ගහන වේගයෙන්ම ලංකාවත් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය එක තැනක තියා ගන්න පුළුවන්. අනෙක් රටවලට වඩා අඩුවෙන් සල්ලි අච්චු ගහනවානම්, සිංගප්පූරුවේ වගේ, විණිමය අනුපාතය ශක්තිමත් වෙන්න අරින්නත් පුළුවන්. එහෙත්, ලෝකයේ අනෙක් රටවලට වඩා වේගයෙන් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය දුර්වල වෙන්න අරින්න වෙනවා. නැත්නම් වෙන්නේ ආනයන අපනයන පරතරය ටිකෙන් ටික වැඩි වෙන එකයි.

විණිමය අනුපාතය තියෙන්නේ නියම තැනනම් ආනයන පාලන දමන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

Friday, September 10, 2021

ඩොලරයේ මිල ස්ථාවර වුනේ කොහොමද?


පසුගිය සති කිහිපය තුළ ඩොලරයේ මිල මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී නිදහසේ ඉහළ යමින් තිබුණු බව අපි දැක්කනේ. මහ බැංකුවේ නිල විණිමය අනුපාතය අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 203ක් පමණ වුවත්, වාණිජ බැංකු වල ඩොලරයක විකිණුම් මිල රුපියල් 226-232 වැනි පරාසයකයි තිබුණේ. හැබැයි එකවරම වාණිජ බැංකු වල ඩොලරයක විකිණුම් මිල නැවතත් මහ බැංකුවේ මිලටම පහත වැටුණා. එහෙම වුනේ කොහොමද?

වාණිජ බැංකු වල ඩොලරයේ මිලෙන් නිරූපනය වුනේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වූ විණිමය අනුපාතයක්. විවිධ නියාමන කොන්දේසි හරහා ඩොලර් ඉල්ලුම සීමා කර තිබෙන නිසා මෙයත් ඩොලරයක හරි මිලනම් නෙමෙයි. එහෙත්, මහ බැංකුවේ මිලට වඩා හරි මිලට තරමක් හෝ කිට්ටු මිලක්. මහ බැංකුවේ මිල, ඉතා පැහැදිලිවම, නියම මිලට වඩා අඩු මිලක්.

මේ විදිහට ඩොලරයක මිල එහි ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලට වඩා පහළින් තියා ගනිද්දී ඩොලර් හිඟයක් ඇති වෙනවා. ඒ නිසා, මිල පහළින් තියා ගන්නනම් කොහෙන් හෝ ඩොලර් හොයා ගෙන ඉල්ලුමට ගැලපෙන පරිදි සැපයුම වැඩි කළ යුතුයි. කාලයක් තිස්සේම ලංකාවේ ඩොලරයක මිල නියම මිලට වඩා පහළින් තියා ගන්නේ විදේශ ණය අරගෙන එම ඩොලර් වෙළඳපොළට පොම්ප කර සැපයුම වැඩි කිරීමෙන්. විදේශ ණය ගැනීම දිනපතා සිදුවන දෙයක් නොවන නිසා එදිනෙදා ඩොලරයේ මිල පාලනය කර ගන්නේ මහ බැංකුවේ තිබෙන රටේ නිල සංචිත විකුණා ඩොලර් සැපයුම වැඩි කිරීමෙනුයි. අඩු වන සංචිත නැවත පිරවෙන්නේ ණයක් ගත්ත වෙලාවට.

දැන් ඇති වී තිබෙන ප්‍රශ්නය රජයට තවදුරටත් විදේශ ණය ලබා ගැනීම අසීරු වී තිබීමයි. ඒ නිසා, ඩොලරයේ මිල පහළින් තියා ගැනීම සඳහා සංචිත විකුණන තරමට සංචිත නැවත පුරවාගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංචිත හොඳටම පහළ වැටිලා මහ බැංකුවට තව දුරටත් විණිමය අනුපාතය ආරක්ෂා කර ගන්න අමාරු මට්ටමකට ආවා. අන්තිමේදී මහ බැංකුව විණිමය අනුපාතය බේරා ගැනීම සඳහා සංචිත විකිණීම සීමා කරලා පසුගිය සති කිහිපය තුළ වාණිජ බැංකු වල ඩොලරයක මිල නිදහසේ ඉහළ යන්න ඉඩ හැර තිබුණා. මෙය මහ බැංකුව පැත්තෙන් සිදුව තිබුණු බව පෙනුණු යම් "හැරවුමක්".

කොහොම වුනත්, මේ වෙද්දී මහ බැංකුව විසින් නැවතත් ඩොලරයේ මිල සිය පාලනයට නතු කරගෙන තිබෙනවා. මෙවැන්නක් කිරීම "මිල අධික" කටයුත්තක් බව කිව යුතු නැහැ. ඩොලරයක මිල පහළින් තියා ගන්නනම් අඛණ්ඩව වෙළඳපොළට ඩොලර් සපයන්න වෙනවා. පෙනෙන්නට තියෙන්නේ මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෑතකදී ලැබුණු එස්ඩීආර් ඩොලර් කර එම ඩොලර් විකුණමින් සිටින බවයි. 

පසුගිය අගෝස්තු 23 වෙනිදා මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 787ක් පමණ වටිනා එස්ඩීආර් ප්‍රමාණයක් ලැබුණා. එයින් ඩොලර් මිලියන 666ක පමණ වටිනාකමක් තිබෙන එස්ඩීආර් ප්‍රමාණයක් මේ වන විටත් ඩොලර් වලට හුවමාරු කරගෙන තිබෙනවා. බංග්ලාදේශ බැංකුවෙන්ද ඩොලර් මිලියන 150ක ණයක් මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලබා ගෙන තිබුණා. මේ අනුව, ජූලි අවසානයේදී ඩොලර් මිලියන 2,806ක් වූ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,743දක්වා ඉහළ යා යුතුව තිබුණා.

අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීම සඳහා ඩොලර් මිලියන 176ක පමණ සංචිත ප්‍රමාණයක් වැය කර තිබෙනවා. ඒ නිසා, අගෝස්තු අවසානයේදී සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 3,550ක් දක්වා පමණයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු සංචිත මෙන්ම බංග්ලාදේශ බැංකුවෙන් ලබා ගත් මුදල්ද මහ බැංකුවේ විදේශ බැරකම් යටතට වැටෙන නිසා මේ ලැබීම් වලින් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යන්නේ නැහැ. පසුගිය මාසය අවසානයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක පමණ මට්ටමකට පහත වැටී තිබුණා. පසුගිය මාසයේ විකුණා ඇති ඩොලර් ප්‍රමාණය සැලකූ විට මේ වෙද්දී මහ බැංකුවේ විදේශ වත්කම් එහි බැරකම් වලට වඩා අඩු විය යුතුයි. ඒ කියන්නේ රජය හා රටේ බැංකු පද්ධතිය වගේම මහ බැංකුවත් මේ වෙද්දී ලෝකයට ණයකරුවෙක් කියන එකයි. 

මහ බැංකුව විසින් ඩොලරයේ මිල නැවත සිය පාලනය යටතට ගනිද්දී ආණ්ඩුව විසින් මහ බැංකුවේ පාලනයද අතට ගෙන ඇති බවක් පෙනෙන්න තිබෙනවා. මහ බැංකු අධිපති වරයා ඉල්ලා අස්වෙන්නට යන්නේ ඔහුගේ ධුර කාලයෙන් විශාල කොටසක් ඉතිරිව තිබියදී පමණක් නොව කලින් සැලසුම් කළ බව කියන දිනයටද සති කිහිපයක් කලිනුයි.

Tuesday, September 7, 2021

මේ කුරුමිට්ට්ටන් යෝධයින් වන කාලයක්!


සිංහල සංගීතය කියා කියන්නේම පසුගිය සියවසක හෝ එකහමාරක කාලය තුළ අනුකරණ හරහා ගොඩ නැගුනු දෙයක්. ලංකාවේ සංස්කෘතියට සියවස් ගණනක් තිස්සේ බොහෝ දේවල් නිසගවම එකතු වුනේ යාබද දකුණු ඉන්දියාවෙන්. ඒ ක්‍රමයටම දකුණු ඉන්දීය සංගීතය ඇසුරෙන් ලංකාවේ සංගීත ආරක් හැදෙමින් තිබුණා. උතුරු ඉන්දියානුවන් විසින් සිංහලයින්ව දකින්නේ තවත් දකුණු ඉන්දියානුවන් කණ්ඩායමක් සේ වුවත්, සිංහලයින් අතර තමන්ගේ උතුරු ඉන්දීය සම්භවය පිළිබඳ අදහස මුල් බැස ගෙන තිබීම මත දකුණු ඉන්දියානු සංගීතය සිංහලයින් හමුවේ බාල සංගීතයක් බවට පත් වුනා. ඒ අනුව, සිංහලයෝ වඩා හොඳ සංගීතයක් හොයන්න උතුරු ඉන්දියාවට ගියා. ශාන්ති නිකේතන් වගේ තැන් වලට.

කොහොමටත් සිංහලයින් හා වංගයින් අතර සියවස් ගණනාවක ඉතිහාසයේ කඩතුරාවෙන් වැහුණු සංස්කෘතික සම්බන්ධයක් තිබුණු නිසා රාබීන්ද්‍ර ශන්ගීත් වගේ සංගීත ආරකට සිංහල ගැමියෙකු සුසර වීම පුදුමයක් නෙමෙයි. මටනම් මේ සිංදු වෙනත් සියළුම සංගීත ආරවල් වලට වඩා සමීපව දැනෙනවා. දැනටත් මම මේ සිංදු අහන්න ගොඩක් කැමතියි.

හැබැයි උතුරු ඉන්දීය රාගධාරී සංගීතය අගය කරන අයට රාබීන්ද්‍ර ශන්ගීත් වගේ ආරවල් ටිකක් අඩු කුලේ වගේ.  රාබීන්ද්‍ර ශන්ගීත් ශෛලිය ඇතුළේ උතුරු ඉන්දීය රාගධාරී සංගීත ශෛලියේදී තරම් පුහුණුවක් අවශ්‍ය නොවනවා විය හැකියි. මමනම් සිංදු අහනවා මිසක් සංගීතය ගැන හදාරා හෝ සංගීතය ගැන වැඩිපුර දන්නා කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ ලියන දේවලුත් සංගීතය ගැන දන්න මගුලක් නැති මට හිතෙන දේවල් පමණයි.

කොහොමින් කොහොම හරි උතුරු ඉන්දීය රාගධාරී සංගීතය ලංකාවේ අධිපතිවාදී සංගීත ආර බවට පත් වුනා. සමාජවාදීන් විසින් එසේ පත් කරනු ලැබුවා කියා කිවුවත් වැරැද්දක් නැහැ. හැත්තෑ හත වෙද්දී තිබුණේ මේ තත්ත්වයයි.

උතුරු ඉන්දීය රාගධාරී සංගීතය මත පදනම් වූ ලංකාවේ සංගීත ආර මතු වුනේ දකුණු ඉන්දීය "බාල" සංගීතය යට කරගෙන. එහෙම මතු වෙන්නනම් එහි අනෙක් මාදිලියේ නැති විශේෂත්වයක් තියෙන්න ඕනෑ. මුලින්ම මේ මාදිලිය ජනප්‍රිය වෙන්නේ "අපේ නොවන" දකුණු ඉන්දීය සංගීතයට එරෙහිව "අපේ සංගීතයක්" වෙනුවෙන් රටේ ඇති වෙන ඉල්ලුමට සමාන්තරවයි. හැබැයි මේ "අපේ දේ" හොයා ගන්න වෙන්නෙත් ඉන්දියාවෙන්ම නිසා ඔතැන උභතෝකෝටිකයක් ඇති වෙනවා. දෙකම ඉන්දියන් බඩුනම් එකක් අනෙකට වඩා වැඩියෙන් අපේ වෙන්නේ කොහොමද? 

ලංකාවේ සම්භාව්‍ය සංගීතය කියන එක තුළ අර්ථ රසයට විශාල වටිනාකමක් ලැබෙනවා. මේක සුවිශේෂී තත්ත්වයක් කියලයි මම හිතන්නේ. සමහර විට ඔය වැඩේ ඔය විදිහට වෙන්න ඇත්තේ ඉහත උභතෝකෝටිකයට පිළියමක් ලෙස වෙන්න ඇති. කොයි සිංදුවේත් තනු ඉන්දියන්නම්, අපේ කම තියෙන්නේ වචන වල විතරක්නම්, එකක් අනෙකට වඩා හොඳයි කියන්න පුළුවන් වෙන්නේ වචන වල පැහැදිලි වෙනසක් තිබේනම් පමණයි. අවසාන වශයෙන් වුනේ සාමාන්‍ය මනුස්සයෙක්ට නොතේරෙන වචන තිබෙන සිංදු සම්භාව්‍ය සිංදු වෙලා එහෙම නැති සිංදු පීචං සිංදු වෙන එක.

පෞද්ගලිකව මම ගත්තොත්, කුඩා කාලයේ සිටම මට වැඩි කැමැත්තක් තිබුණේ සම්භාව්‍ය ගණයේ සැලකුණු අමරදේව, නන්දා මාලිනී වගේ අයගේ සිංදු වලට. මම මේ කියන්නේ නන්දා මාලිනී සිංදු විතරක් කියපු කාලය ගැන. සටන් පාඨ සිංදු විදිහට ඉදිරිපත් කරන්න කලින් යුගය. ඒ දවස් වල පීචං ගණයේ සැලකුණු ජෝතිපාල වගේ අයගේ සිංදු වලට මගේ ඒ තරම්ම කැමැත්තක් තිබුණේ නැහැ. මේක තනිකරම කැමැත්ත මත සිදුව තිබුණු දෙයක්. එහෙම නැතුව ප්‍රබුද්ධ පීචං වෙනස නිසා සිදු වී තිබුණු දෙයක් නෙමෙයි. ඒ කාලය ජෝතිපාලට කැමති එහෙත් ප්‍රසිද්ධියේ අමරදේව අහන අයත් හිටපු කාලයක්නේ.

හැබැයි දැන් හිතලා බැලුවහම මගේ ඒ පෞද්ගලික කැමැත්ත වුනත් අහම්බයක් නෙමෙයි. හැත්තෑ හත වන තුරු ලංකාවේ ගොඩක් පවුල් වලට ලෝකය හා සම්බන්ධ විය හැකිව තිබුණු එකම ක්‍රමය ගුවන් විදුලිය පමණයි. ඔය ගොඩේ හිටපු මටත් ඉතිං  කුඩා කාලයේදී සිංදු අහන්න ලැබුණේ ගුවන් විදුලියෙන් පමණයි. ඔය සිංදු අපට තෝරලා දෙන්න කට්ටිය හිටියා. අපට නිතර අහන්න ලැබුණේ ඒ අය හොඳ සිංදු කියා හිතපු සිංදු. වෙනත් ගොඩක් දේවල් වගේම සිංදු වලට තිබෙන කැමැත්තත් ඇබ්බැහියක්. එක දිගට අහද්දී ඒ අහන සිංදු වලට කැමැත්තක් ඇති වෙනවා.

ඕක වෙනස් වෙන්න පටන් ගත්තේ හැත්තෑ හතෙන් පස්සේ ගම් වලට කැසට් යන්ත්‍ර එන්න පටන් ගත්තට පස්සේ. විශේෂයෙන්ම ගම් වල කාන්තා පාර්ශවය මැදපෙරදිග රැකියා වලට යන්න පටන් ගැනීමෙන් පසුව ගෙවල් වලට ටූ ඉන් වන්, ත්‍රී ඉන් වන් එන්න ගත්තා. ඕවා ගමටම ඇහෙන්න දමන ප්‍රවණතාවයන්ද ඇති වුනා. 

මේ එක්කම ජනතාවට හොඳ සිංදු තෝරා දීමේ ගුවන් විදුලියේ ඒකාධිකාරය බිඳ වැටුනා. නිහාල් නෙල්සන් වගේ අයගේ "විකල්ප ධාරාවේ" සිංදු මාකට් වෙන්න පටන් ගත්තා. කැසට් වෙළඳපොළේ සම්භාව්‍ය සිංදු පරද්දලා පීචං සිංදු ඉදිරියට ආවා. හොඳ සිංදු කියන්නේ ජනප්‍රිය සිංදු නෙමෙයි කියන "සමාජවාදී" අදහස ජනගත කරන්න දරපු උත්සාහයත් එක්ක සම්භාව්‍ය-පීචං බෙදීම ඉදිරියට ගියා. හැබැයි ඔය ගොඩවල් දෙකේම හරි හරියට වගේ ඉන්දියන් කොපි තිබුණා. සමහර විට සම්භාව්‍ය සිංදු පීචං සිංදු තරමටම අමු අමුවේ කොපි නොකළා වෙන්න පුළුවන්. කොහොම වුනත් ඉන්දියාව එක්ක තිබුණු සමීප භූගෝලීය හා සංස්කෘතික සම්බන්ධය නිසා කොපියක් කොපියක් බව හංගන එක ලේසි වුනේ නැහැ. මිනිස්සුන්ට ඕකේ ප්‍රශ්නයක් තිබුණේත් නැහැ.

ඔය අස්සේ ඉන්දියන් කොපි වෙනුවට බටහිර සිංදු කොපි කරලා හදන සංගීත ආරකුත් හීනියට හැදිලා තිබුණා. මේ සංගීත ආර වැඩිපුර ජනප්‍රියව තිබුණේ සමහර සමාජ තීරු ඇතුළේ පමණයි. ක්ලැරන්ස්, ක්‍රිස්ටෝපර් පෝල් වගේ අයගේ සිංදු ඔය ගොඩේ තිබුණා. ඉන්දියන් කොපි අහුවෙනවා වගේ ලේසියෙන් බටහිර සින්දු වල කොපි කොපි බව අහුවුනේ නැහැ. සුනිල් පෙරේරාගේ ජිප්සීස් සිංදු තියෙන්නෙත් මේ ගොඩේ.

රජය විසින් මිනිස්සුන්ට හොඳ දේ තෝරා දීම බාර ගත්තට පස්සේ ඉල්ලුම සැපයුම අතර නොගැලපීමක් ඇති වෙනවා. ඒ නිසා, මිල තීරණය කරන්න වෙන්නේත් රජයටමයි. ගුවන් විදුලියේ ඒකාධිකාරයක් තිබුණු යුගයේදී ගායක ගායිකාවන්ට ලැබුණේ වාදනය කෙරෙන වාර ගණන හා ගායකයාගේ ශ්‍රේණිය අනුව රජය විසින් නියම කළ සොච්චම් මුදලක් පමණයි. සමාජවාදී මතවාදය අනුව මිනිස්සු වඩා කැමති දෙය සහ හොඳ දෙය එකක්ම නොවූ නිසා ගායක ගායිකාවන් හිඟන්නන් වීම වැරැද්දක් නොවන බවට වූ අදහසද සමාජවාදීන් විසින්ම ජනගත කර තිබුණා. ඒ අනුව, ගායක ගායිකාවන් බොහෝ දෙනෙකු රජය විසින් රැක බලා ගත යුතු හිඟන්නන් පිරිසක් බවට පත් කරනු ලැබ තිබුණා.

ගුවන් විදුලි යුගයෙන් කැසට් යුගයට යද්දී ඉහත තත්ත්වය වෙනස් වුනා. නිහාල් නෙල්සන්ලා වගේ අයට වැඩි පිරිසක් අතරට යන්න සහ තමන්ගේ නිර්මාණයේ වටිනාකම හොයා ගන්න විකල්ප මාවතක් ඇරුණා. ජෝතිපාලලා ජනතාවගේ ගායකයෝ වුනා. මේ දේවල් වුනේ හැත්තෑ හතේ වෙනසින් පසුවයි.

හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය විවෘත වූ බව ගොඩක් අය හිතා සිටියත් ආනයන බලපත්‍ර අහෝසි වීම වගේ දේවල් ටිකක් හැර ආර්ථිකය මහා ලොකුවට විවෘත වුණේ නැහැ. කලින් පැවති රාජ්‍යමූලික සමාජවාදී ආර්ථික ව්‍යුහය තවදුරටත් එලෙසම තිබුණා වගේම ඉතා නිවැරදිව ජේආර් ජයවර්ධන විසින් ලංකාව නිල වශයෙන්ම සමාජවාදී ජනරජයක් ලෙස නම් කළා. ආර්ථිකයට වඩා බාහිරට විවෘත වුනේ රටේ සංස්කෘතිය කියා කියන්න පුළුවන්. ලංකාව එතෙක් මෙතෙක් බටහිරින් අරගෙන තිබෙන ගොඩක් දේවල් බටහිරින් ගත හැකි හොඳම දේවල්ම නොවන බව තේරුම් ගන්නනම් බටහිර රටක ජීවත් වෙලාම බලන්න ඕනෑ.

Petrus Antonius Laurentius (Vader Abraham): Smurfenlied


සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් කණ්ඩායමේ හොඳම කාලය ආරම්භ වන්නේ හැත්තෑ හතේදී ඉහත අර්ථයෙන් රට විවෘත වීමෙන් පසුවයි. තවත් විදිහකට කිවුවොත් ගම් වලට කැසට් යන්ත්‍ර යාමට සමාන්තරව. හැබැයි අපේ ගෙදරනම් හැත්තෑ හතෙන් පසුවත් කාලයක් යන තුරු කැසට් යන්ත්‍රයක් තිබුණේ නැහැ. කැසට් යන්ත්‍රයක් මිල දී ගැනීමෙන් පසුවත් කාගෙන් හෝ ඉල්ලාගෙන ඇහුවොත් මිසක් එන එන කැසට් ගන්න තරම් අපට සල්ලි තිබුණේත් නැහැ. ඒ වගේම, අපේ ගෙදර වැඩිහිටියන්ට ලොකු සංගීත රුචිකත්වයක් තිබුණේත් නැහැ. මේ ආදී හේතු නිසා, මම බොහෝ කාලයක් යන තුරු සිංදු ඇහුවේ ගුවන් විදුලියෙන්. සම්භාව්‍ය සිංදු වලට වැඩි රුචිකත්වයක් ඇති වෙන්න මෙය හේතුවක් වෙන්න ඇති. හැබැයි මීටරේ මාරු කරලා ඉංග්‍රීසි සිංදුත් අඩුවක් නැතුව ඇහුවා. ඒවත් ඉතිං තෝරලා දෙන ඒවාම තමයි.

ජිප්සීස්ලා හිටියේ සම්භාව්‍ය ගොඩේ නෙමෙයි. පීචං ගොඩේ. මේ පීචං ගායකයින්ගේ වූ විශේෂත්වය වුනේ ඔවුන් වෙළඳපොල ඉල්ලුම මත ගායකයින් සේ බැබලීමයි. මෙයින් වෙනස්ව සම්භාව්‍ය ගොඩේ ගොඩක් අය ගායකයින් සේ දිලිසුනේ යම් තරමකට හෝ රජයේ උදවුවෙන්. 

Tiny Winey - Byron Lee & The Dragonaires



වෙළඳපොළ ඉල්ලුම තුළින්ම ගායකයින් වී පීචං ගොඩේ සිටි අය අතරින් එක් නිශ්චිත කරුණකින් සුනිල් පෙරේරා ජෝතිපාල වැනි කණ්ඩායමේ අනෙක් අයගෙන් වෙනස් වුනා. අනෙක් හැම දෙනෙක්ම වගේ ඉස්සරහට ගියේ මිල සාධකය උදවු කරගෙන නෙමෙයි. ඔවුන් කළේ මිල අඩු මට්ටමක තියෙද්දී එම මිලට වැඩි ඉල්ලුමක් ජනිත වූ නිසා ඉල්ලුමට සරිලන තරමට සැපයුම වැඩි කරන එකයි. සමහර අය සතිපතා වගේ කැසට් ගැහුවා. සෑහෙන්න මහන්සි වුනා. ඒ අය සමාජවාදී ක්‍රමයටම හිතමින් තමන්ගේ මහන්සියට ප්‍රතිලාභ ලබා ගත්තා මිසක් වෙළඳපොළ ඉල්ලුම තමන්ගේ වාසියට යොදා ගන්නා ආකාරය ගැන හොඳින් දැනුවත්ව සිටියේ නැහැ.

මේ අනෙක් අයගෙන් වෙනස්ව සුනිල් පෙරේරා මිල සාධකය සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගත්තා. සමහර විට ඔහු ලංකාවේ මේ වැඩේ මුලින්ම කළ ගායකයෙකු විය හැකියි. සුනිල් පෙරේරා ඉතා සාර්ථක ලෙස සැපයුම සීමා කිරීම හරහා ඉල්ලුම කළමණාකරණය කරමින් මිල ඉහළ මට්ටමක පවත්වා ගත්තා. සමහර විට ඔහුගේ ව්‍යපාරික පවුල් පසුබිම මෙයට උදවුවක් වුනා වෙන්න පුළුවන්.

සුනිල් පෙරේරා මගේ කැමතිම ගායකයෙක් කියා මම කියන්නේ නැහැ. එහෙත්, ඔහු මම කැමති ගායකයෙක්. ඒ වගේම ඔහු සිංහල සංගීතයට බොහෝ අලුත් දේ එකතු කළ අයෙක්. සරසවියට ගියාට පස්සේනම් බොහෝ දුරට තිබුණේ කපුගේගේ ඒකාධිකාරයක්. කපුගේ කියන්නේ තවමත් මම කැමතිම ගායකයෙක්. හැබැයි ඒ ඔහුගේ සිංදු වලට මම කැමති නිසා මිසක් ඔහුගේ දේශපාලනය නිසා නෙමෙයි. සමහර අය කපුගේට කැමතිව සිටියේ ඔහුගේ දේශපාලනය නිසා. 

කපුගේගේ සිංදු වලට කොයි තරම් කැමති වුවත් සරසවි පරිසරය ඇතුළේ කපුගේ වැනි ඇතැම් ගායකයින්ට ඕනෑවට වඩා වැඩි බරක් වැටී තිබීම ගැන මගේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ජිප්සීස් සිංදු ඇහීම හෝ ගායනා කිරීම ඔය වගේ පසුබිමක සිටිද්දී වෙනස් අනන්‍යතාවයක් පෙන්වීමට අවශ්‍ය වූ අයෙකුට කළ හැකිව තිබුණු දෙයක්. ඊට වඩා ඉදිරියට ගොස් ජිප්සීස්ලාව සරසවියට ගෙන්වනවා වගේ දෙයක්නම් ලේසියකට කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එවැන්නක් කළ හැකිව තිබුණේ ගුටිකන්න බලාගෙන පමණයි.

Jimmy the hover Tantalise (Wo Wo Ee Yeh Yeh)


මම හිතන විදිහට අසූව දශකය මුල පටන් ගත් ජිප්සීස්ලාගේ හොඳම කාලය අනූව දශකය අවසන් වෙද්දී කෙළවර වී ගියා. මම පළමු හා අවසන් වරට ජිප්සීස්ලාගේ එළිමහන් ප්‍රසංගයක් බැලුවේ අනූව දශකය අවසානයේ. ඒක කළේත් සෑහෙන ගේමක් දීලා. ඒ ගැන කලින් ලියූ ලිපියක් පහත තිබෙනවා. 

පූජ්‍ය පක්ෂයට පමණයි!


අගනුවර ප්‍රධාන පාසැලක ආදි සිසු සංගමය විසින් සංවිධානය කළ ප්‍රසංගයක පටිගත කිරීමක් ලීක් වුණෙත් ඔය ආසන්න කාලයකදී. අර ඇඟිලි වලින් ගිටාර් ගහනවා හැර තවත් දේ කළ හැකි බව පෙන්වපු එක. පසුව මෑතකදී ඇමරිකාවේ ආසන්න නගරයක ජිප්සීස් ප්‍රසංගයක් පැවැත්වුනත් එහි යාම දැරිය යුතු ආවස්ථික පිරිවැයට වඩා වටිනවා කියා මට හිතුනේ නැහැ. 

සුනිල් පෙරේරාට කෝවිඩ් හමුවේ ජීවිතයෙන් පැරදෙන්න සිදු වීම කණගාටුවට කරුණක්. අපි ඔහුට සුබ ගමන් පතමු!

හැබැයි සුනිල් පෙරේරා ඔහුගේ ජීවිතය ජීවත් වී අවසන්ව සිටියා කියා මම හිතනවා. තව කාලයක් හිටියත් සංගීතය පැත්තෙන් ඔහුගෙන් අමුතු දෙයක් වෙන්න තිබුණු ඉඩකඩ ගොඩක් අඩුයි. ගූගල් හම් වගේ මෘදුකාංග තව ටිකක් දියුණු වීමෙන් පසුව ජිප්සීස් සිංදු ගැන විස්තර තවත් ප්‍රචලිත වෙයි. කෝවිඩ් නිසා මියගිය මංගල සමරවීර වගේම සුනිල් පෙරේරාත් මිය යාමෙන් පසුව යෝධයින් වී සිටිනවා. සැබෑවටම යෝධයින් වූ ඔවුන් ජීවත්ව සිටියදී කුරුමිට්ටන් සේ පෙනුනාද? එසේ නැත්නම්, ඔවුන් මිය යාමෙන් පසුව යෝධයින් වුනාද?

අඟුටුමිට්ටන්ගේ ලෝකයකදී කවුරු වුනත් යෝධයෙක් වෙනවා. මෑත කාලයේදී සුනිල් පෙරේරාව අගය කළ හා මරණයෙන් පසුව ඔහුව අගය කරන ගොඩක් අය තිස් වසරකට පෙර සරසවි කාලයේදී තමන්ගේ සගයෙකු එවැන්නක් කළේනම් අතින් පයින් සලකන්නට වුවත් නොපැකිළෙන අය වීම හිතන්නට අවශ්‍ය කාරණයක්.

ගොඩක් අය මංගලව වගේම සුනිල් පෙරේරාවත් අගය කරන්නේ ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි ජීවත් වූ, ජීවත් වන ආකාරය හංගාගෙන වෙනත් මූණක් නොපෙන්වූ අය ලෙස සලකමිනුයි. ප්‍රසිද්ධ චරිත අතර මෙවැන්නන් දුලබයි. ඔවුන් ඇත්තටම එවැනි චරිත වූවාද කියන එකත් මතභේදාත්මක කරුණක් වුවත්, එක දෙයක්නම් ඉතා පැහැදිලියි. ප්‍රසිද්ධ චරිතයක්ව සිටියදී,  තමන්ගේ ඇත්ත මුහුණ නොපැකිළ පෙන්විය හැකි අය සඳහා මේ මොහොතේ ලංකාවේ විශාල දේශපාලන රික්තයක් ඇති වී තිබෙනවා. මෙය ඒ ලක්ෂණය ඇති කුරුමිට්ටේකුට වුවත් යෝධයෙකු විය හැකි මොහොතක්. ඒ වගේම, යෝධයින් සේ පෙනී සිටින ඇතැම් අය කුරුමිට්ටන්ම පමණක් බව පෙනෙන එකත් වැළැක්විය නොහැකි කාලයක්!

Sunday, September 5, 2021

හමන සුළන් මකුළු දැලෙන්...?


මේ වෙද්දී ඩොලරයක මිල රජයේ හා මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක්. මහ බැංකුවට අනුව ඩොලරයක මිල රුපියල් 203කට වඩා අඩු වුවත් පෞද්ගලික බැංකු වල ඩොලරයක් විකිණෙන්නේ රුපියල් 226-232 අතර පරාසයකයි. බැංකු වලින් පිට කොටුවේ මිල ඊටත් වැඩියි. මෙවැනි තත්ත්වයක් මෑත ඉතිහාසයේ මීට පෙර දැකිය හැකි වූයේ නැහැ.

ප්‍රශ්නයට මුල පසුගිය රාජපක්ෂ දශකය තුළ දිගින් දිගටම විදේශ ණය ගනිමින්, එසේ ගත් විදේශ විණිමය දේශීය වෙළඳපොළට මහා පරිමාණයෙන් පොම්ප කරමින්, කෘතීම ලෙස රුපියලේ විදේශීය අගය එහි නියම අගයට වඩා පහළ මට්ටමක පවත්වා ගැනීමයි. බොහෝ දෙනෙක් රාජපක්ෂ ණය ගැන කතා කළත්, වඩා බරපතල සැබෑ ප්‍රශ්නය වූයේ එම ණය වල උදවුවෙන් ඩොලරය පාලනය කිරීමයි. මෙහි ප්‍රතිඵල මේ වෙද්දී ලැබෙමින් පවතිනවා.

රාජපක්ෂ දශකයේ සාර්ව-ආර්ථික දර්ශක පරීක්ෂා කරන අයෙකුට වැරැද්දක් හොයා ගන්න ලේසි නැහැ. හැම දෙයක්ම ඉතා හොඳින් තිබුණු බවයි සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන්නේ. ඇතැම් අය කියන විදිහට මේ සංඛ්‍යාලේඛණ බොරු නෙමෙයි. සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන්නේ ඇස් බැන්දුමක් වුවත්, ඒ ඇස් බැන්දුම සැබෑ ලෝකයේද දැකිය හැකි වූ දෙයක්. එහෙත්, රාජපක්ෂ දශකයේ දැකිය හැකි වූ ආශ්චර්යය, දැකිය හැකි වූ සෞභාග්‍යය, බොහෝ දුරටම වැල්ලේ තැනූ මාලිගාවක්. මාලිගාව කිසිදු අඩුපාඩුවක් නැතිව ඉතා හොඳින් හදා තිබුණත් එය හදා තිබුණේ ලොකු රැල්ලක් පැමිණි වහාම බිඳ වැටෙන අයුරිනුයි. 

ආණ්ඩු මාරුවක් සිදු නොවුනානම් මාලිගාව කඩා වැටෙන්නේ 2016 පමණ කාලයේදී. එහෙත්, යහපාලන ආණ්ඩුව කෙසේ හෝ රැල්ල වලකා, මාලිගාවට මුක්කු ගසා, ප්‍රශ්නය වසර කිහිපයක් ඉදිරියට තල්ලු කළා. දැන් රැල්ල ඇවිත්. මාලිගාව කඩා වැටෙන්න පටන් අරන්.

ඩොලරය පහළින් තබා ගැනීම රාජ්‍ය ණය ප්‍රශ්නයටද වඩා බරපතල ප්‍රශ්නයක් බව මා කියන්නේ ඇයි? මේ හරහා රජය විසින් රජයෙන් බාහිර පාර්ශ්වයන්ටද ලෝකයට ණය වෙන්නට සෘජු හා වක්‍ර බලපෑමක් කළා. විශේෂයෙන්ම 2008න් පසුව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වල පොලී අනුපාතික තිබුණේ ඉතාම පහළ මට්ටමකයි. ලංකාවේ පොලී අනුපාතික ඊට වඩා ඉහළින් තිබුණා.

උදාහරණයක් විදිහට ලංකාවේ පොලී අනුපාතිකය 7% ලෙසත්, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙහි ඩොලර් පොලී අනුපාතිකය 2% ලෙසත් සලකමු. මේ වගේ අවස්ථාවක ඩොලර් වලින් ණය ගෙන රුපියල් වලින් ආයෝජනය කරන අයෙකුට 5%ක ලාබයක් ලැබිය හැකියි. එහෙත්, රුපියල අදාළ කාලය තුළ 5%කින් අවප්‍රමාණය වුනොත් එම ලාබය ලැබෙන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් පවතින හා පැවති තත්ත්වය ඉහත ආකාරයේ තත්ත්වයක්. ලංකාවේ රුපියල් පොලී අනුපාතික ඩොලර් පොලී අනුපාතික වලට වඩා වැඩි වුවත් ඩොලරයක අගය ඉහළ යාමෙන් එම වෙනසේ වාසිය නිශේධනය වන නිසා ඩොලර් වලින් ණය වී රුපියල් වලින් ආයෝජනය කර ලාබ ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ලංකාවේ රජය හා මහ බැංකුව විසින් ඩොලරයේ මිල ස්ථාවරව තබන බව ප්‍රකාශ කිරීමෙන් හා ඒ බව ක්‍රියාවෙන් පෙන්වීමෙන් මේ තත්ත්වය වෙනස් කළා. ඒ එක්කම, ලංකාවේ බැංකු හා වෙනත් ඇතැම් සමාගම් ඩොලර් වලින් ණය වී රුපියල් වලින් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන්න පෙළඹුණා. මෙය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ "carry trade" ලෙසයි.

දැන් මේ වැඩෙන් වෙන්නේ කුමක්ද? වාණිජ බැංකු හා සමාගම් ඩොලර් වලින් ලෝකයට ණය වෙනවා. රජය මේ වාණිජ බැංකු හා සමාගම් වලින් රුපියල් ණය ගන්නවා. අන්තිමට වක්‍ර ලෙස සිදු වන්නේ රජය ලෝකයට ණය වීමක්ම වුවත්, මෙහිදී රජයෙන් බාහිර පාර්ශ්වද අවදානමක වැටිලා. රජයේ සංඛ්‍යාලේඛණ බැලුවොත් පෙනෙන්නේ දේශීය ණය. එහෙත්, ඇත්තටම මේ ණයත් විදේශීය ණය.

මහ බැංකුව ඇතුළේ මේ වෙද්දී යම් වෙනසක් සිදුවෙමින් පවතින බව පේනවා. මා එසේ කියන්නේ බාහිර නිරීක්ෂකයෙකු ලෙස මට පෙනෙන දේවල් අනුවයි. මහ බැංකුව ඇතුලෙ මගේ පෞද්ගලික මිතුරන් ගණනාවක් සිටියත් මම ඔවුන් සමඟ සාමාන්‍යයෙන් කතා කරන්නේවත් නැති තරම්. මා මෙහි ලියන දේවල් ලියන්නේ පොදු අවකාශයේ තිබෙන තොරතුරු මත පදනම්වයි. ඒ හැර, කිසිදු ආයතනයකින් මා අභ්‍යන්තර තොරතුරු ලබා ගන්නේ නැහැ. 

ලංකාවේ මහ බැංකුවට රජයෙන් ස්වායත්තව කටයුතු කළ නොහැකි බව ප්‍රචලිත කරුණක්. ඕනෑවට වඩා ස්වාධීන වෙන්න ගියොත් මහ බැංකු වෘත්තිකයෙකුට තමන් විසින් කරන යම් සාධනීය දෙයක් වුනත් කරන්න තිබෙන ඉඩ අවහිර වෙන්න පුළුවන්. ඒ වගේම, මහ බැංකුව ඇතුළේ තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වෙන්න පුළුවන්. හැබැයි රජයට අවශ්‍ය සේ වැඩ කිරීමෙන් මහ බැංකුවේ පැවැත්මම අභියෝගයට ලක් වුවහොත්, එහි සේවකයින්ට කොහොමටත් පැවැත්මක් නැති වෙනවා. දේශපාලන පත්වීම් ලබන අධිපතිවරුන්ට මෙය ප්‍රශ්නයක් නොවුනත්, මහ බැංකුවේ පැවැත්මම අභියෝගයට ලක් වූ විට එහි අවශේෂ සේවකයින්ට රජයේ පැවැත්ම අමතක කර මහ බැංකුවේ පැවැත්ම ගැන හිතන්න වෙනවා. මම හිතන්නේ දැන් මේ වගේ හැරවුම් ලක්ෂ්‍යයක් දක්වා අර්බුදය තල්ලු වෙලා.

පසුගිය ජූනි මාසය තරම් මෑතකදී මහ බැංකුව විසින් "තම ව්‍යාපාරික ශක්තීන් උපරිම වශයෙන් යොදා ගනිමින්" පිටරටින් ඩොලර් ණය අරගෙන, ඒ ඩොලර් රජයට ණය ලෙස දෙන මෙන් පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියා. මෙය ගිලී මැරෙන්න යන රජය බේරා ගැනීම සඳහා වතුරට පැන මැරෙන සේ සෘජුවම කළ ආරාධනයක්. කිසියම් පෞද්ගලික ආයතනයක් මහ බැංකුවේ ඉල්ලීමට සවන් දුන්නේනම් දැන් වෙන්න තිබෙන හරිය වෙලා. වාණිජ බැංකු ටිකනම් කලින්ම ඔය උගුලේ අහුවෙලයි හිටියේ.

පහළින් තිබෙන්නේ පසුගිය මාස කිහිපය තුළ බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වූ ආකාරයයි. වරහන් තුළ තිබෙන්නේ සෘණ අගයන්.

2021 අප්‍රේල් අවසානයේදී:

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන 349.1 

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (778.0) 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (428.9)

 

2021 ජූලි අවසානයේදී:

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන 10.3 

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (709.6) 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (699.4) 

රජය වගේම ලංකාවේ බැංකු පද්ධතියත්, විදේශ සංචිත පැත්තෙන් බැලුවොත්, බංකොලොත් වී අවසන්. ටික කලක සිටම බැංකු පද්ධතිය සතු විදේශ වත්කම් වලට වඩා විදේශ බැරකම් වැඩියි. තෙමසක් ඇතුළත බැංකු පද්ධතියේ විදේශ වත්කම් හිඟය (එහි රුපියල් අගය) රුපියල් බිලියන 428.9 සිට රුපියල් බිලියන 699.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව ධන පැත්තේ ඉන්නේ යාන්තමින්. තව සුළු අඩුවක් වුවහොත් මහ බැංකුවත් සෘණ පැත්තට යනවා.

මේ සංඛ්‍යාලේඛණ ඇසුරෙන් වාණිජ බැංකු වල ඩොලරයක මිල මහ බැංකුවේ පාලනයෙන් මිදී ඉහළ යන්නේ ඇයි කියන එක පහසුවෙන් පැහැදිලි කළ හැකියි. 2021 ජූලි අවසානයේදී වාණිජ බැංකු වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය රුපියල් බිලියන 709.6ක්. සරලව කිවුවොත්, මෙයින් අදහස් වෙන්නේ ලංකාවේ බැංකු වල තැන්පත් කර තිබෙන ඩොලර් ගිණුම් හිමියන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීම (හෝ එවැනි වෙනත් බැරකම්) සඳහා පමණක් බැංකු වලට බිලියන 3.5ක පමණ ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය බවයි.

බැංකු වලින් කාලයක් තිස්සේ කළේ, මහ බැංකුව විසින් මෑතකදී පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටි පරිදි, ලෝකයට ණය වී ඩොලර් එකතු කරගෙන එම ඩොලර් රජයට ණය ලෙස දෙන එකයි. නමුත්, රජයට ණය දී තිබෙන්නේ ඩොලර් රුපියල් කිරීමෙන් පසුව නිසා ආපසු ලැබෙන්නේ රුපියල්. රුපියල් වලින් ණය ආපසු ලැබුණා කියා වාණිජ බැංකු වලට ඩොලර් ණය පියවන්න බැහැ. මේ වගේ වෙලාවක වාණිජ බැංකු වලට තිබෙන සාමාන්‍ය පිළියම මහ බැංකුවට රුපියල් දී ඩොලර් වලට මාරු කිරීමයි. ඒත් මේ වෙලාවේ මහ බැංකුව වාණිජ බැංකු වලට ඩොලර් දෙන්න සූදානම් නැහැ. තවත් ඩොලර් විකිණුවොත් මහ බැංකුව තමන්ගේම විදේශ බැරකම්වත් පියවිය නොහැකි තැනකට වැටෙනවා.

ඉහත තත්ත්වය යටතේ වාණිජ බැංකු වලට තමන්ගේම විදේශ බැරකම් පියවීම සඳහා වෙළඳපොළෙන් කීයට හෝ ඩොලර් මිල දී ගන්න සිදු වී තිබෙනවා. තමන්ට අවශ්‍ය ඩොලර් ටිකවත් හොයා ගන්න අමාරු තත්ත්වයක් යටතේ පාරිභෝගිකයින්ගේ ඩොලර් ඉල්ලුම සීමා කිරීම සඳහා ඩොලරයක විකිණුම් මිල ඉහළ දමන්න වෙනවා. ඩොලරයක මිල බලා ඉඳිද්දී ඉහළ යන පසුබිමක අපනයනකරුවන් වැනි ඩොලර් උපයන අය ඩොලර් රුපියල් කරන්න හදිස්සි නොවී ඩොලර් ලෙසම තියා ගන්න පෙළඹෙන නිසා බැංකු වලට මුහුණ දෙන්න වී තිබෙන ප්‍රශ්නය තවත් අසීරු වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ, මහ බැංකුව විසින් සංචිත නිදහස් කිරීමක් නොකළොත්, වාණිජ බැංකු වල ඩොලරයක මිල තවතවත් ඉහළ යන එක වලක්වන්න බැහැ.

මහ බැංකුව තව දුරටත් සංචිත නිදහස් කරයිද? 

මෙය යම් තරමකින් දේශපාලනික ප්‍රශ්නයක්. මහ බැංකුවට මේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787ක පමණ විදේශ වත්කම්ද, බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක්ද ලැබී ඇති බව ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 937කින් පමණ මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබිය යුතුයි. කෙසේ වුවද, මේ ලැබීම් වල තිබෙන ප්‍රශ්නය මහ බැංකුවේ විදේශ වත්කම් ඉහළ යන තරමටම විදේශ බැරකම්ද ඉහළ යන නිසා ශුද්ධ විදේශ වත්කම් වල වෙනසක් සිදු නොවීමයි. ඒ නිසා, යම් හෙයකින් මහ බැංකුව විසින් සංචිත විකිණීමක් කළහොත් රජය, වාණිජ බැංකු මෙන්ම මහ බැංකුවද ලෝකයට ණයකරුවෙක් බවට පත් වෙනවා.

මීට අමතරව චීන සංවර්ධන බැංකුවෙන්ද යම් මුදලක් ලැබීමට නියමිත බව පැවසෙනවා. එම මුදල ලැබුණොත්, එය රජයේ ණයක් නිසා, මහ බැංකුවේ බැරකම් ඉහළ යන්නේ නැහැ. මහ බැංකුවට අදාළ ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන වාණිජ බැංකු වලට විකිණිය හැකියි. හැබැයි එහෙම කළා කියලත්, හමන සුළන් මකුළු දැලෙන් වළකන්නට බැහැ.

Saturday, September 4, 2021

එක රටක් විණිමය අනුපාත දෙකක්


වසරකට දෙකකට පෙර හදිසියේ මාධ්‍ය අවධානය දිනාගත් එක් පුද්ගලයෙකු විසින් මෑතකදී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස යෝජනා කර තිබුණේ ලංකාව රුපියලට සමාන්තරව තවත් මුදල් ඒකකයක් නිකුත් කිරීමෙන් ප්‍රශ්නයෙන් ගොඩ යා හැකි බවයි. මේ ගැන අපේ ඇතැම් පාඨකයින් විසින් අපෙන්ද අදහස් විමසා සිටියා. 

ගඟේ ගහගෙන යන වෙලාවක පිදුරු ගස් ගැන වුවත් බොහෝ දෙනෙකු විමසිලිමත් වීම තේරුම් ගැනීමට අපහසු නැතත්, කිසිදු තාර්කික හෝ මූලධාර්මික පදනමක් නොතිබුණු, වැරදි තොරතුරු මත පදනම් වූ, ඉහත කතාවේ හදිසියේ හීනෙන් නැගිට කියවන දෙයකට වඩා ගත යුත්තක් තිබුණේ නැහැ. එහෙත්, ඒ ප්‍රකාශය ජනගත කර වැඩි කලක් යාමට පෙර ලංකාවේ ද්විත්ව විණිමය අනුපාත ක්‍රමයක්නම් බිහි වී තිබෙනවා. වඩාත් නිවැරදිව ත්‍රිත්ව විණිමය අනුපාත ක්‍රමයක් කියා කියන්නත් පුළුවන්.

මහ බැංකුවට අනුව, මේ වන විට ඩොලරයක විකිණුම් මිල රුපියල් 203කට වඩා අඩුයි. එහෙත්, ඒ මිලට වාණිජ බැංකු වල ඩොලර් තිබෙනවාද?

සම්පත් බැංකුව - රුපියල් 226.75යි 

කොමර්ෂල් බැංකුව - රුපියල් 226යි 

සෙලාන් බැංකුව - රුපියල් 227යි 

හැටන් නැෂනල් බැංකුව - රුපියල් 226යි 

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - රුපියල් 229යි 

ඩීඑෆ්සීසී බැංකුව - රුපියල් 227.25යි.

අමානා බැංකුව - රුපියල් 232යි.

එන්ඩීබී බැංකුව - රුපියල් 228යි 

වාණිජ බැංකු වලින් පිටත, ඩොලරයේ කළු කඩ මිල රුපියල් 250-260 අතර බව පැවසෙනවා. 

මහ බැංකුව විසින් කාලයක් තිස්සේම ඩොලරයක මිල එය තිබිය යුතු අගයට වඩා පහළින් තියා ගත්තා. පසුගිය රාජපක්ෂ දශකය තුළ පෙනෙන්නට තිබුණු ආශ්චර්යයේ රහසිගත වට්ටෝරුව වූයේ මෙයයි. මේ විදිහට වසර ගණනක් තිස්සේ හැදූ මාලිගාවට අත්තිවාරමක් තිබුණේ නැහැ. අත්තිවාරම් නොදමා හදන තට්ටු ගෙවල් කොයි වෙලාවක හෝ කඩා වැටෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ කළ මුක්කු ගැසීම් නිසාත්, ඒ කාලය තුළ ගොඩනැගිල්ල තව තවත් උසට නොහැදූ නිසාත් එය කඩා නොවැටී තිබුණා. ඒ හැර, ඒ කාලයේ අත්තිවාරම් ශක්තිමත් කිරීමක් සිදු වුනේ නැහැ.

රාජපක්ෂ ණය ගැන කාලයක් තිස්සේ ගොඩක් අය කතා කළා. එසේ වුවත්, මා ඒ දවස් වලම පැහැදිලි කළ පරිදි, ලංකාව ණය උගුලක පැටලුවේ රාජපක්ෂලා නෙමෙයි. ඔවුන් ආණ්ඩුව භාර ගන්නා විට ලංකාව ණය උගුලක පැටලී අවසන්. රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ණය උගුලක කොහොමටත් පැටලී සිටි ලංකාව විශාල ගෙවුම් ශේෂ උගුලකද පැටලවීමයි. දැන් ගැලවෙන්න අසීරු වී තිබෙන්නේ මේ දෙවන උගුලෙන්.

වසර තුනකට පෙර ලියූ පහත ලිපිය නැවත කියවන්න.

රාජපක්ෂ ණය

මහ බැංකුවට ඩොලරයක මිල එය තිබිය යුතු මිලට වඩා ඉහළින් හෝ පහළින් තියා ගන්න පුළුවන්. මෑතකාලයේදී සීඝ්‍ර ආර්ථික වර්ධනයක් පෙන්වූ චීනය වැනි රටවල සිදු වුනේ පළමුවැන්න වුවත් ලංකාවේ සිදු වුනේ දෙවැන්නයි. ඩොලරයක මිල එය තිබිය යුතු මිලට වඩා පහළින් තියා ගන්නනම්, සාමාන්‍ය ක්‍රමයට උපයන ඩොලර් වලට අමතරව ඩොලර් සැපයුමක් සිදු විය යුතුයි. වාණිජ බැංකු වලට සංචිත විකිණීම හරහා මහ බැංකුවට මෙය කළ හැකියි. 

කෙටිකාලීනව මහ බැංකුවට සංචිත විකුණා ඩොලරය පහළින් තබා ගත හැකි වුවත් එහිදී සංචිත පහළ වැටෙන නිසා මේ වැඩේ කළ හැකි සීමාවක් තිබෙනවා. එයට පිළියමක් ලෙස රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ඉහළ පොලියකට ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරමින් ඒ හරහා ණයට ගන්නා ඩොලර් මහ බැංකුවට විකිණීමයි. මේ ක්‍රමයට දිගින් දිගටම ඩොලරයක මිල පහළින් තියා ගන්න පුළුවන් වුනා. 

ඩොලරයේ මිල පහළින් තියා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ආනයන ලාබ වී ආනයන විශාල ලෙස ඉහළ ගියා. අපනයනකරුවන්ගේ ආදායම් පහළ ගොස් අපනයන කඩා වැටුනා. ආනයන අපනයන පරතරය විශාල ලෙස වැඩි වුනා. රාජපක්ෂ දශකය තුළ ලංකාවේ ජාතික ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් විනාශ වූ ආකාරය වසර පහකට පෙර මා පහත ලිපියේ විස්තර කළා.

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (දෙවන කොටස)

ඩොලරයේ මිල පහළින් තියා ගැනීම නිසා ආනයන අපනයන පරතරය ඉහළ යද්දී, ඩොලරය පහළින් තියා ගැනීම සඳහා තව තවත් වැඩි වැඩියෙන් විදේශ ණය අරගෙන රටේ ඩොලර් සැපයුම වැඩි කරන්න සිදු වුනා. වත්මන් ආර්ථික අර්බුදයට මූල හේතුව වන, ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාම රාජපක්ෂ දශකය තුළ කොයි තරම් දරුණු විදිහට සිදු වුනාද කියා මා පහත ලිපියේ විස්තර කර තිබෙනවා. ලිපිය අවසානයේ තිබෙන වගුව බලන්න.

රටේ ණය හා රජයේ විදේශ ණය

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව යම් තරමකින් ඩොලරයේ මිල ඉහළ යන්න ඉඩ දුන්නා. එහෙත්, විපක්ෂයේ ඝෝෂාවන් ඇතුළු වෙනත් හේතු නිසා මේ වැඩේ වුනත් හරියකට කරගන්න ඉඩ ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස යහපාලන ආණ්ඩුව විසින්ද වඩා ලේසි රාජපක්ෂ ක්‍රමය වෙතම හැරුණා. ණය සේ ලබාගත් ඩොලර් මහ බැංකුව හරහා තවතවත් වෙළඳපොළට මුදා හැරුණා. හිර වී සිටි ගෙවුම් ශේෂ උගුල තුළ ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්කමක් තිබුණේත් නැහැ. පහත ලිපිය ලිවුවේ යහපාලන ආණ්ඩුවේ අන්තිම කාලයේදී.

ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල

යහපාලන ආණ්ඩුව කාලයේදී හෝ රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වුනානම් අද තිබෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ. අප මේ ගැන දිගින් දිගටම අවවාද කළා. එහෙත්, රටේ දේශපාලන බලය තිබෙන, හඬක් තිබෙන, බොහෝ දෙනෙකුට ඩොලරයක මිල ඉහළ යාම දරාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා, විකල්පය වුනේ ස්වෛරිත්ව බැඳුම්කර හරහා තවතවත් ණය ගැනීමයි.

රුපියල තවදුරටත් අවප්‍රමාණය විය යුත්තේ ඇයි?

එකසිය හැටයි! ලාබයි!!

ඩොලරයක අගය රුපියල් 230ක් පමණ විය යුතුව තිබුණේ වසර තුනකට පමණ පෙරයි. එසේ වූවානම් මේ වෙද්දී ආනයන අපනයන පරතරය සැලකිය යුතු ලෙස අඩු වෙලා. දැන් පරක්කු වැඩියි.

මේ වෙද්දී ඩොලරයක මිල මහ බැංකු පාලනයෙන් ගිලිහී පාලනයක් නැතිව ඉහළ යමින් තිබෙනවා. එහෙත්, මේ විදිහට ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස වසංගත කාලයේ එය සිදු වුනා කියා කලින් ලබා ගත හැකිව තිබුණු වාසි ලැබෙන්නේ නැහැ.

Thursday, September 2, 2021

ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද?


ලංකාව මේ වෙලාවේ විශාල ආර්ථික අර්බුදයක සිටින බව කවුරුත් වගේ දන්න, බොහෝ දෙනෙකුට තේරෙන දෙයක්. නොතේරෙන දෙය මෙයින් ගොඩ යන්නේ කොහොමද කියන එකයි. විශේෂයෙන්ම ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද කියන එක බොහෝ දෙනෙකුගේ හිතට වද දෙන ප්‍රශ්නයක්.

ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද කියා මම දන්නේ නැහැ. මට එවැන්නක් දැනගත හැකි සම්බන්ධකම් කිසිවක් නැහැ. ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද කියා ආණ්ඩුවවත් හරියට දන්නවද කියලත් මම දන්නේ නැහැ. මේ ඒ ගැන මට හිතෙන දේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා බොහෝ දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබුණු යෝජනාව අයිඑම්එෆ් යන එකයි. දැන්නම් මේ වැඩේටත් පරක්කු වැඩි වුවත්, ගොඩ යන්න තිබුණු ලේසිම ක්‍රමය අයිඑම්එෆ් යන එක කියන එක මගෙත් අදහසයි. කොහොම වුනත්, මේ අයිඑම්එෆ් යාම ගැන වැඩිපුර කතා කළ බොහෝ දෙනෙකුට එජාප/සජබ පදනමක් තිබුණු බව පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වූ දෙයක්. එහි දේශපාලනික අරමුණු නොතිබුණු බව කාටවත් කියන්න බැහැ.

යම් හෙයකින් මේ වෙලාවේ ආණ්ඩු බලය තිබුණේ රනිල් වික්‍රමසිංහ අතේනම්, මේ වෙද්දී අනිවාර්යයෙන්ම අයිඑම්එෆ් ගිහින්. එසේ වූවානම්, බොහෝ විට අයිඑම්එෆ් යාමේ අවශ්‍යතාවයක් ඇති නොවෙන්නම වුනත් තිබුණා. රනිල් වික්‍රමසිංහ විසින් පෙනී සිටි ආර්ථික ආකෘතිය ඇතුළේ මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න තිබුණු පැහැදිලි, හොඳම ක්‍රමය වගේම එකම ක්‍රමය අයිඑම්එෆ් යන එකයි.

ඉහත කී ආර්ථික ආකෘතිය ඇතුළේ සිට හිතන අයට පෙනෙන විදිහට ආණ්ඩුවට කොයි වෙලාවක හෝ අයිඑම්එෆ් යන්නම වෙනවා. ආණ්ඩුව කලින්ම අයිඑම්එෆ් නොගොස්, සියල්ල අනාගත්තාට පස්සේ අන්තිමට අයිඑම්එෆ් යන්න වෙනවා කියන්නේ විශාල දේශපාලන පරාජයක්. එජාප/සජබ කණ්ඩායම මේ මොහොත එන තුරු බලා ඉන්න බවක් පේනවා.

කොහොම වුනත් මේ ආණ්ඩුව හිතන්නේ රනිල් වික්‍රමසිංහ විසින් පෙනී සිටි ආර්ථික ආකෘතිය ඇතුළේ සිට නෙමෙයි. ඒ නිසා, හොම්බ බිම ඇනුනත් ආණ්ඩුව අයිඑම්එෆ් නොයා සිටිය හැකියි. වෙන විදිහකට මෙයම කිවුවොත් හොම්බ බිම ඇනුනාට පසුව වුනත්, පවතින ආණ්ඩුවට අයිඑම්එෆ් යාම ගැන හිතන්න පුළුවන් වන දේශපාලන වාතාවරණයක් නොහැදෙන්න පුළුවන්.

ආණ්ඩුව හිතන ආකාරය ගැන තොරතුරු අප වෙත නොවෙතත්, මේ පිළිබඳ පූර්ව විනිශ්චයකට එළැඹීමට උදවු වන වෙනත් සංසිද්ධීන් කිහිපයක් ඇසුරෙන් අපට ආණ්ඩුව කටයුතු කරන ආකාරය තේරුම් ගත හැකියි. එයින් වැදගත්ම එක මේ ආණ්ඩුවට MCC ආධාර මුදල අත හැර දමන්න සිදු වීම.

මා මේ වියුණුව හරහා MCC ආධාර ව්‍යාපෘතීන් වෙනුවන් පැහැදිලිව හා සෘජුව පෙනී සිටි හා කරුණු ඉදිරිපත් කළ අයෙක්. ඒ වෙද්දී මේ ආණ්ඩුවට සම්බන්ධ කොටස් ලාබ ජනප්‍රියත්වය වෙනුවෙන් කිසිදු පදනමක් නොතිබුණු අසත්‍ය තොරතුරු අධි පීඩනයකින් ලංකාව පුරා විදිමින් සිටියා. මේ හා අදාළව මා ඒ අවස්ථාවේ සටහන් කළ හැම දෙයකම වලංගු භාවය තව දුරටත් එලෙසම තිබෙනවා.

වැඩි දෙනෙකුගේ විවේචනය එල්ල වී තිබුණේ ප්‍රධාන MCC ආධාර ව්‍යාපෘති දෙක අතරින් ඉඩම් ව්‍යාපෘතිය කෙරෙහියි. මා අදටත් මේ ව්‍යාපෘතිය දකින්නේ මෑතකාලීනව යෝජනා වූ හොඳම ව්‍යාපෘතියක් ලෙසයි. ලංකාවට මැදි ආදායම් උගුලෙන් මිදී විශාල පිම්මක් පනින්නට උදවු විය හැකි ව්‍යාපෘතියක් ගැන කවුරු හෝ මගෙන් අහනවානම් මම මුලින්ම යෝජනා කරන්නේ ලංකාවේ ඉඩම් වෙළඳපොළ ගනුදෙනු සක්‍රිය කෙරෙන ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මණින් සිදු කිරීමයි. MCC ආධාර නැතත්, ණය අරගෙන කළත්, මෙවැනි ව්‍යාපෘතියක් ලංකාවට දිගුකාලීනව වාසිදායකයි.

ආධාර මුදලේ වාසිය මත පදනම්ව බොහෝ දෙනෙකු MCC ආධාර ව්‍යාපෘති දිහා බලද්දී මා වැඩි අවධානයක් යොමු කළේ ආධාර මුදල් යොදා ගෙන කරන්නට නියමිතව තිබූ ව්‍යාපෘති වල දිගුකාලීන වාසි දෙස වුවත්, මේ හරහා ලැබෙන්නට තිබුණු ආධාර මුදල් වල සෘජු වාසිය ලංකාවේ පැත්තෙන් බැලූ විට හිතා ගන්නවත් බැරි තරමේ ලොතරැයියක්. ඩොලර් මිලියන පන්සීයක් පමණ ලැබෙන්න නියමිතව තිබුණේ නිකම්ම නිකම්. ඒ මුදල ආපසු ගෙවිය යුතුව තිබුණු ණයක් නෙමෙයි. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙවැනි විශාල මුදලක් ආධාර සේ ලැබී ඇතැයි මා හිතන්නේ නැහැ.

මෙහි වාසිය කොපමණද කියා තේරෙන්නේ මාස කිහිපයකින් පොලියත් සමඟ ගෙවන්නට අතමාරුවට ඩොලර් මිලියන පණහක් සීයක් ගන්නත් බංග්ලාදේශය වැනි රටවල් පසුපස හිඟමනේ යන තැනට මේ වෙද්දී ලංකාව වැටී සිටිනු දකින විටයි. නිකම්ම ලැබෙන ඩොලර් මිලියන පන්සීයක් කියා කියන්නේ ලංකාවේ ආර්ථිකයේ ජීවිතය හා මරණය අතර බෙදුම් ඉර ලකුණු කළ හැකිව තිබුණු මුදලක්.

බලයට පත් වීමේදී මේ වගේ කතා කිවුවත් බලයට පත් වීමෙන් පසුව මේ ආධාර මුදල නිකම්ම අතහැර දැමීමේ අදහසක් ආණ්ඩුවට තිබුණා කියා මම හිතන්නේ නැහැ. නමුත්, දැන් ලංකාවේ හඳෙන් හාල්, ඇටඅට, තුනයි පණහේ පාන්, යුගය අවසන්. බලයට පත් වන ආණ්ඩුවකට මැතිවරණ සමයේ කියන දේවල් ඒතරම් ලේසියකට කණපිට හරවන්න දැන් බැහැ. යහපාලන ආණ්ඩුවට බලයට පත් වූ වහාම රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරන්න සිදුවීමත්, මේ ආණ්ඩුවට බලයට පත් වූ වහාම විශාල ලෙස බදු අඩු කරන්න සිදු වීමත් පෙන්නුම් කළේ මේ යථාර්තයයි. කිවුවොත් කරල පෙන්නන්නත් වෙනවා! කළොත් විපාක වලට මුහුණ දෙන්නත් වෙනවා!!

එන්නත්කරණය ඇරඹුණු මුල් දවස් වල ලංකාවේ වගේම ලෝකයේත් එන්නත් විරෝධීන් සෑහෙන්න හිටියා. එවැන්නන් දැනුත් ඉන්නවා. මේ අතරින් ඇතැම් අයට තිබුණේ ප්‍රදර්ශනාත්මක එන්නත් විරෝධයක්. තත්ත්වය දරුණු වීගෙන එද්දී මේ ගොඩක් අය තමන්ගේ "කීර්ති නාමය" පැත්තකට දමලා විවිධ බොරු හේතු හදාගෙන එන්නත් පෝලිම් වලට එකතු වුනා. එහෙත්, එහෙම යූ-ටර්න් ගහන්න අමාරු තරම් දුර ගිහින් සිටි අයත් ඉන්නවා. ඒ අය අතර, කෝවිඩ් හදාගෙන බටහිර බෙහෙත් වලින්ම යාන්තමින් ජීවිතය බේරාගත් අයත් ඉන්නවා.

ගොඩක් අයට තියෙන ප්‍රශ්නය ආණ්ඩුව තමන්ගේ "කීර්ති නාමය" පැත්තකට දමලා, බොරු හේතු ටිකක් ඉදිරිපත් කර, අයිඑම්එෆ් යන්නේ කවදද කියන එකයි. ඒ වැඩේ වෙන එකක් නැහැ කියා මට හිතන්නේ තවත් විශේෂ හේතුවක් නිසා. සරලව හා කෙටියෙන් කිවුවොත්, කෝවිඩ් නිසා ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වී තිබෙන ආර්ථික ප්‍රශ්න ආණ්ඩුව කම්පනය කළ, ආණ්ඩුව කිසිදා අපේක්ෂා නොකළ, තත්ත්වයක් නෙමෙයි. මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න ආණ්ඩුවට විශාල පෙර සූදානමක් වගේම සැලසුමක්ද තිබුණා කියන එක මගේ අදහසයි. කෝවිඩ් ආවේ අනපේක්ෂිතව වුවත්, කෝවිඩ් නිසා ඇති වූ තත්ත්වය මේ ආණ්ඩුවේ උඩ තට්ටුව අපේක්ෂාවෙන් සිටි තත්ත්වයක්.

තරමක් අතීතයට ගිහින් යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න ආසන්නව තිබුණු තත්ත්වය මතක් කර ගන්න. යහපාලන ආණ්ඩුව බලයට පත් වී ප්‍රශ්නය අනාගතයට තල්ලු නොකළේනම් 2016 වැනි වසරකදී මේ අර්බුදය ඇවිත්. ඒ එක්කම, 2015දී රාජපක්ෂලා ආණ්ඩු බලය අතහැර ගෙදර යන්න වෙයි කියා හිතාගෙන හිටියෙත් නැහැනේ. ඒ කියන්නේ, ආණ්ඩු මාරුව සිදුනොවුනානම් රාජපක්ෂලාටම අද ඔවුන් විසදුම් සොයන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මෙය ඔවුන් නොදැන සිටි දෙයක් නෙමෙයි.

දැන් ඒ කාලයේ නිතර කතා කෙරුණු මානව හිමිකම් ප්‍රශ්න, සම්බාධක පැනවීම්, විදුලි පුටු වගේ දේවල් මතක් කර ගන්න. මානව හිමිකම් වැනි දේවල් ගැන කතා කිරීම නරක දෙයක් නොවුනත්, බටහිර රටවල් ලංකාවට ඔය දේවල් සම්බන්ධ බලපෑම් කළේ පාරිශුද්ධ චේතනාවකින්ම නොවන බව හැමෝම නැතත් ගොඩක් අය එකඟ වෙන දෙයක්නේ. මෙහි රාජපක්ෂලා හීලෑ කරගැනීම වැනි ඉලක්කයක් පැහැදිලිව පෙනෙන්න තිබුණා. ගෝලීය බල දේශපාලනය හැර, ඔය දේවල් හා ධනවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය අතර ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ නිසාම, රාජපක්ෂලාට ඒ වෙලාවේ බටහිර ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න ප්‍රායෝගික හැකියාවක් තිබුණේ නැහැ. 

මම හිතන විදිහට බටහිර විශ්වාසය වුනේ ලංකාවට බටහිර මගහැර යන ආර්ථික ගමනක් ගැන සිතිය නොහැකි නිසා රාජපක්ෂ ආණ්ඩුවට බලපෑම් කර නම්මවා ගත හැකි වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් බවයි. මේ තත්ත්වය හමුවේ රාජපක්ෂලා චීනය වෙත සමීප වුනා. එසේ වුවත්, වැල් පාලමක පැද්දෙමින් ඉස්සරහට ගිය ආර්ථිකය තරමක හුළඟකින් ගඟට වැටී ගහගෙන යාමේ අවදානම තිබුණා. බටහිරින් සම්බාධක වැටෙනවා කියා කියන්නේ ඔය වැඩේ තීන්දු වුනා කියන එකයි.

යම් හෙයකින් 2015දීත් මහින්ද රාජපක්ෂම දිනලා ඉන් පසුව බටහිර රටවල සම්බාධක වලට රටට මුහුණ දෙන්න වුනානම් ඇති වන්නේ දැන් කෝවිඩ් නිසා ඇතිව තිබෙන තත්ත්වයම තමයි. ආර්ථිකය එක වර රැල්ලට ගහගෙන යන්නේ එය කාලයක් තිස්සේ වැල්ලේ හැදූ මාලිගාවක් වූ නිසා වුවත්, මාලිගාව කඩා වැටෙන්න ආසන්න හේතුව රැල්ල නිසා රැල්ල පෙන්වා වගකීමෙන් නිදහස් වීම රාජපක්ෂ උපාය මාර්ගයව පැවතුණා.

මිනිස්සුන්ට කන්න නැතත්, හොම්බෙන් යන්න වී තිබුණත්, වැරදිකරු ඔවුන්ගේ ආරක්ෂකයාව සිටින රාජපක්ෂලා නොව, පැත්තක ඉන්න බටහිර සතුරන් බව මිනිස්සුන්ට ඒත්තු ගැන්වීම රාජපක්ෂලාගේ තක්සේරුව අනුව අසීරු දෙයක්ව තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් ජනමනස සකස් වෙමින් තිබුණා. රටේ මිනිස්සු යුද්ධය අවසන් කළ වීරයාට ප්‍රශස්ති ගයමින්, මඤ්ඤොක්කා කොළ කන්න සිදුවීම ගැන බටහිරටම දෙස් දෙවොල් තබන බවට වග බලා ගනු පිණිස මාධ්‍ය මෙහෙයුම් ඇතුළු අනෙකුත් සැලසුම් හා උපාය මාර්ග ක්‍රියාත්මක වෙමින් තිබුණා. ආණ්ඩුවට ගෙදර යන්න වූ නිසා ඔය වැඩේ සිදු වුනේ නැහැ. 

ඉන් පසුව, රාජපක්ෂලා යහපාලන ආණ්ඩුවේ දේශපාලන බලය උදුරා ගෙන හැදූ ආණ්ඩුව රටේ දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා කෙටිකලකින් බිඳ නොවැටුනේනම්, ඒ වෙලාවේ වෙන්නේද ඔය දෙයමයි. අවස්ථා දෙකේදීම රාජපක්ෂලාට තිබුණු එකම සැලසුම ආර්ථිකය කඩා වැටෙන එක නොවැලැක්විය හැකි දෙයක් සේ බාර ගෙන, එහි වැරැද්ද පැටවිය හැකි බාහිර සතුරෙකු රටේ ජනමනස තුළ කලින් සිටම පැලපදියම් කරවීමයි.

කෝවිඩ් නිසා රාජපක්ෂලාට අවශ්‍යව තිබූ තත්ත්වය පහසුවෙන්ම නිර්මාණය වී තිබෙනවා. මේ සතුරා බාහිර සතුරෙක්. ලංකාවට සම්බාධක වැටුනානම් එය වුනේ ආණ්ඩුවේ වැරැද්දෙන් කියා, රටේ බහුතරය නොවුවත්, සැලකිය යුතු පිරිසක් කියයි. විපක්ෂ බලවේග විසින් ඒ කතාව යම් තරමකින් හෝ ජනගත කරයි. එහෙත්, කෝවිඩ් ආවේ රාජපක්ෂලා නිසා කියන කතාව ඒ තරම්වත් ජනගත කළ හැකි කතාවක් නෙමෙයි. 

කොහොමටත් එන්න තිබුණු ආර්ථික අර්බුදය, ආණ්ඩුවේ පැත්තෙන් බැලුවොත්, ආණ්ඩුවට වඩාත්ම වාසිදායක ක්‍රමයකට ඇවිත් තිබෙනවා. ආණ්ඩුව කාලයක් තිස්සෙම සූදානම්ව සිටි ආකාරයට අර්බුදයට මුහුණ දෙනවා. අයිඑම්එෆ් යන එක මේ සැලසුමේ කොටසක්ව තිබුණු දෙයක් නෙමෙයි!

Tuesday, August 31, 2021

කෝවිඩ් එනවා අපි පසුපස්සේ...

 


පසුගිය වසර මුලදී කාටවත්ම කෝවිඩ් ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. මෙය අලුත් වෛරසයක්. අලුත් ලෙඩක්. එසේ වුවත්, මේ වෛරසයට ආසන්නව සමාන වෛරස හා එම වෛරස නිසා හැදුනු ලෙඩ පිළිබඳ සැලකිය යුතු දැනුමක් ඒ වෙද්දී තිබුණා. පොදුවේ වෛරස් හා අදාළව වගේම එන්නත්කරණය මගින් වෛරස් රෝග පාලනය කිරීම පිළිබඳවත් විශාල දැනුමක් බටහිර විද්‍යාව සතුව තිබුණා.

ආරම්භයේදී කෝවිඩ් ගැන නිශ්චිත දැනුමක් නොතිබුණත්, එවකට දැන සිටි දේවල් මත පදනම්ව වෛරසයේ හැසිරීම හා රෝගයේ පැතිරීම සම්බන්ධව අදාළ දැනුම තිබෙන බොහෝ දෙනෙකුට එකඟ විය හැකි ප්‍රවාද වසංගත රෝග විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කළා. මේ ප්‍රවාද ඉදිරිපත් කළේ අපෝහණ තර්කනය මත පදනම්වයි. එම ප්‍රවාද පරික්ෂාවට ලක් කළ හැකි අනුභූතික දත්ත ඒ වෙද්දී තිබුණේ නැහැ.

එවකට නොතිබුණු අනුභූතික දත්ත දැන් තිබෙනවා. මුලින් අපෝහණ තර්කනය මත පමණක් පදනම් වූ ප්‍රවාද මේ වෙද්දී පරික්ෂාවට ලක් වී තිබෙනවා. විද්‍යාත්මක තර්කනය මත පදනම් වූ ප්‍රවාද හැම විටම පරීක්ෂණාත්මක තහවුරු කළ නොහැකි වුවත් කෝවිඩ් හා අදාළව ඉදිරිපත් වූ ප්‍රවාද බොහොමයක් මේ වෙද්දී තහවුරු වී අවසන්. වඩාත් නිවැරදිව කිවුවොත්, අනුභූතික දත්ත හමුවේ අසත්කරණයට ලක් නොවී ශේෂව තිබෙනවා.

බොහෝ වසංගත රෝග ස්වභාවික ලෙසම තුරන් වී යනවා. එය සිදුවන්නේ සාමූහික ප්‍රතිශක්තිය ඇති වීමෙන් පසුව. මෙය සිදු වන්නේ කිසියම් සමාජයක සාමාජිකයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔවුන්ගේ සිරුරු තුළ ඇතිවන ප්‍රතිශක්තිය නිසා තව දුරටත් රෝගය නොපතුරුවන තත්ත්වයට පත් වීමෙන් පසුවයි. බොහෝ දෙනෙකු වෛරසය සිරුරේ දරාගෙන රෝගය නොපතුරුවන්නේනම් වෛරසයට ව්‍යාප්ත විය නොහැකියි. ඒ නිසා, වෛරසය අතුරුදහන් වී යනවා. 

එන්නත්කරණයේ ප්‍රමුඛ ඉලක්කය වන්නේ වෛරසය ආසාදනය වන්නට පෙරම එන්නත්කරණය හරහා ප්‍රතිශක්තිය ඇති කිරීම මගින් බොහෝ දෙනෙකු වෛරසය සිරුරේ දරාගෙන රෝගය නොපතුරුවන තත්ත්වයට පත් කිරීමයි. මේ ක්‍රමයට රෝගයේ හානි වලට මුහුණ නොදෙමින්ම සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගත හැකියි.

ඔය ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයට වුවත්, කිසියම් සමාජයක් තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීමට හැකි වන්නේ එම සමාජයේ යම් අවම ප්‍රතිශතයක් රෝගය නොපතුරුවන තත්ත්වයට පත් වුවහොත් පමණයි. මේ අවම ප්‍රතිශතය අදාළ රෝගය පැතිරෙන වේගය මත තීරණය වන දෙයක්. පෙර ලිපිවල විස්තර කර තිබෙන මූලික ප්‍රතිජනන අංකය මගින් හා ආසාදිතයෙකු රෝගය පතුරුවන සාමාන්‍ය කාලයෙන් කිසියම් රෝගයක් පැතිරෙන වේගය විස්තර කෙරෙනවා. 

කෝවිඩ් රෝගය පැතිරවූ වෛරසයේ මුල් ප්‍රභේද වල මූලික ප්‍රතිජනන අංකය 2.2 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව, කිසියම් සමාජයක 55%ක පමණ පිරිසක් රෝගය නොපතුරුවන්නේනම් රෝගය අතුරුදහන් වී යා යුතුයි. ඒ කියන්නේ, මිලියන 22ක පමණ ජනගහණයක් සිටින ලංකාවේ මිලියන 12ක පිරිසකට වෛරසය ආසාදනය වීමෙන් පසුව වෛරසය තුරන් විය යුතුව තිබුණා. 

එක් අයෙකු දින 10ක් තුළ 2.2 දෙනෙකුට වෛරසය ආසාදනය කළහොත් දින 200ක් යද්දී මිලියන 15ක පිරිසකට වෛරසය පැතිරෙනවා. පැහැදිලි කිරීම සඳහා කරන ඕනෑවට වඩා සරල ගණනය කිරීමක් වුවත්, මෙයින් පෙනෙන්නේ වෛරසයේ පැතිරීම පාලනය නොවන තත්ත්වයක් යටතේ මාස හතක පමණ කාලයක් තුළ රටෙන් බාගයකට වඩා වැඩි පිරිසකට වෛරසය පැතිරීමෙන් පසුව වෛරසය අතුරුදහන් වී යා යුතුව තිබුණු බවයි. එවැනි තත්ත්වයක් යටතේ 120,000ක පමණ විශාල මරණ ප්‍රමාණයක්ද සිදු විය හැකිව තිබුණා.

මුලින් පෙනෙන්නට තිබුණු පරිදි එන්නත්කරණය මගින් වඩා හොඳ ආකාරයකට ඉහත කී සාමූහික ප්‍රතිශක්ති ඉලක්කය කරා යා හැකිව තිබුණා. ඒ සඳහා කළ යුතුව තිබුණේ එන්නත්කරණය මගින් මිලියන 12ක පිරිසක් වෛරසය නොපතුරුවන්නන් බවට පත් කිරීමයි. මෙය කරන්නට කොපමණ පිරිසක් එන්නත් කළ යුතුද යන්න තීරණය වන්නේ යොදා ගන්නා එන්නතේ ඵලදායීතාවය මතයි. 

ලංකාවේ වැඩිපුරම භාවිතා කළ සයිනොපාර්ම් එන්නතේ ඵලදායීතාවය 79.4%ක් බව සඳහන් වුනා. අපි මෙය ආසන්න වශයෙන් 80%ක් ලෙස ගත්තොත්, සයිනොපාර්ම් එන්නත මිලියන 15ක පිරිසකට ලබා දීමේදී එයින් 80%ක පිරිසක් එනම් මිලියන 12ක පිරිසක් වෛරසය නොපතුරුවන්නන් බවට පත් වන නිසා රට තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති විය හැකිව තිබුණා. ස්වභාවික ලෙස රෝගය පැතිරී සාමූහික ප්‍රතිශක්තිය ඇති වීමට සාපේක්ෂව මේ ක්‍රමයේ තිබෙන වාසිය සිදු විය හැකි මරණ ප්‍රමාණයෙන් 95%ක් පමණම සිදු නොවීමයි. එනම්, සිදු විය හැකි මරණ 120,000කින් 114,000ක්ම සිදු නොවීමයි. ඉතිරි මරණ 6,000 එන්නත්කරණය මගින් වුවද වලක්වා ගත නොහැකි මරණයි.

මේ වෙද්දී ලංකාවටද ලැබී තිබෙන මොඩර්නා සහ පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් වල ඵලදායීතාවය වසර මුලදී සැලකුනේ 95%ක් ලෙසයි. සයිනොපාර්ම් එන්නත වෙනුවට ඊට වඩා ඵලදායී එන්නතක් භාවිතා කළේනම් ලබා ගත හැකිව තිබුණු වාසිය වන්නේ මිලියන 15කට වඩා අඩු පිරිසකට එන්නත ලබා දී මිලියන 12ක පිරිසක් වෛරසය නොපතුරුවන්නන් බවට පත් කළ හැකිව තිබීමයි. ඵලදායීතාවය 95%ක් වූ එන්නතක් යොදා ගත්තේනම් මේ සඳහා එන්නත් කළ යුත්තේ මිලියන 12.6ක පිරිසක් පමණයි. ඒ හැර අවසන් ප්‍රතිඵලයේ ලොකු වෙනසක් විය හැකිව තිබුණේ නැහැ. මුලින් මෙන්ම මරණ ප්‍රමාණය 120,000 සිට 6,000 දක්වා අඩු වෙනවා.

එන්නත් කළ යුතු පිරිස මිලියන 2.4කින් පමණ අඩු වීම රටක් සේ ගත් විට සැලකිය යුතු වාසියක් බව කිවයුතු නැහැ. එහෙත්, ඒ හැර පුද්ගලික මට්ටමෙන් අඩු ඵලදායී එන්නතක් ගැනීමට සාපේක්ෂව වැඩි ඵලදායී එන්නතක් ගැනීමේ විශාල වාසියක් තිබුණේ නැහැ. ලංකාවේ ජීවත් වන, මා පෞද්ගලිකව දන්නා බොහෝ අයට ලැබෙන කවර හෝ එන්නතක් හැකි ඉක්මණින් ලබා ගන්නා මෙන් මා යෝජනා කළේ ඒ නිසයි. බ්ලොග් එකේ පාඨකයින්ට මා කීවේද එයයි. ඇමරිකාවේ ජීවත් වූ මා ඇතුළු බොහෝ දෙනෙකු සිටියේද මුලින්ම ලැබෙන කවර හෝ එන්නතක් ලබා ගන්නවාය යන මතයේ. දැනටත් මගේ මේ ස්ථාවරයේ වෙනසක් නැහැ.

එන්නත්කරණය මගින් පසුගිය කාලය මුළුල්ලේ බොහෝ වෛරස් රෝග සාර්ථක ලෙස පාලනය කර තිබෙනවා. ඇතැම් රෝග මිහිමතින් තුරන් කර තිබෙනවා. ඇමරිකාව, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය ඇතුළු ජාතික මට්ටමේ තීරණ වලදී බටහිර විද්‍යා දැනුමට මුල් තැන දෙන බොහොමයක් රට වල ඉලක්කය වුනේ හැකි ඉක්මණින් ප්‍රමාණවත් පිරිසක් එන්නත් කර කෝවිඩ් වලට එරෙහිව සාමූහික ප්‍රතිශක්තිය අත් කර ගැනීමයි. මේ සඳහා පැවති ප්‍රධානම බාධාව වූයේ මේ රටවල සැලකිය යුතු පිරිසක් එන්නතක් ලබා ගැනීමට කැමැත්තක් නොදැක්වීමයි. 

එන්නත්කරණය මගින් සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීම සඳහා ජනගහණයෙන් 55%ක පමණ පිරිසක් රෝගය නොපතුරුවන්නන් විය යුතුව තිබුණු තත්ත්වයක් යටතේ 95%ක ඵලදායීත්වයක් තිබුණු එන්නතක් ජනගහණයෙන් 58%ක පමණ පිරිසකට ලබා දී මේ ඉලක්කය කරා යා හැකි වුවත් අඩු ඵලදායීතාවයක් තිබුණු එන්නතකින් එම ප්‍රතිඵලයම ලබා ගැනීමට වැඩි පිරිසක් එන්නත් කළ යුතුව තිබුණා. එහෙත්, බොහෝ දෙනෙකු එන්නත් ලබා ගැනීමට කැමැත්තක් නොදැක්වීමත්, වයස අවුරුදු 12 නොඉක්මවූවන් සඳහා කිසිදු එන්නතක් අනුමත වී නොතිබීමත් තුළ 58% මට්ටමද අසීරු ඉලක්කයක්ව තිබුණා. මේ නිසා ඇමරිකාව හා ඊශ්‍රායලය වැනි රටවල් වැඩි වශයෙන් භාවිතා කළේ මොඩර්නා සහ පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් දෙකයි. එක්සත් රාජධානිය ඇස්ට්‍රසෙනිකා එන්නතද විශාල වශයෙන් භාවිතා කළා. මේ රටවල් තුනම කලින්ම එන්නත්කරණය පටන් ගත් රටවල්. 

මේ වෙද්දී එක්සත් රාජධානියේ ජනගහණයෙන් 64%ක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙන අතර 72%ක් එන්නත් මාත්‍රා ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. ඇමරිකාවේ ජනගහණයෙන් 53%ක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙන අතර 62%ක් එන්නත් මාත්‍රා ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. ඊශ්‍රායලයේ ජනගහණයෙන් 60%ක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙන අතර 66%ක් එන්නත් මාත්‍රා ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව ඇමරිකාවේ ජනගහණයෙන් 12%ක්ද, ඊශ්‍රායලයේ ජනගහණයෙන් 11%ක්ද, එක්සත් රාජධානියේ ජනගහණයෙන් 10%ක්ද කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනා ගනු ලැබ තිබෙනවා. මේ අනුව, මුල් පරාමිතීන් වෙනස් නොවී එලෙසම තිබුණේනම් මේ වෙද්දී බොහෝ විට කෝවිඩ් ආසාදනය වීම හෝ එන්නත්කරණය යන ක්‍රම දෙකෙන් එකකින් මේ එක් එක් රට තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති වී තිබිය යුතුයි. 

කිසියම් රටක කිසියම් රෝගයක් සඳහා සාමූහික ප්‍රතිශක්තිය ඇති වූ විට එය පැහැදිලිව පේනවා. ආසාදිතයින් ප්‍රමාණය ක්ෂණිකව මෙන් විශාල ලෙස පහත වැටෙනවා. ඇමරිකාවේ, එක්සත් රාජධානියේ මෙන්ම ඊශ්‍රායලයේද මෙවැනි තත්ත්වයක් දැකිය හැකි වුනා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ කෝවිඩ් ආසාදිතයින් නැත්තටම වගේ නැති වුනා. එහෙත්, මේ ශුභදායී වාතාවරණය කණපිට හැරෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේ රටවල් තුනේම කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණ දැන් නැවතත් විශාල ලෙස වැඩි වෙලා. ඊශ්‍රායලයේනම් මරණද සැලකිය යුතු ලෙස වැඩි වෙමින් තිබෙනවා.





සාමූහික ප්‍රතිශක්තිය කියන මූලධර්මය පදනම් වෙන්නේ වරක් වෛරසය ආසාදනය වූ හෝ එන්නත්කරණය මගින් ප්‍රතිශක්තිය ලැබූ අයෙකුගේ එම ප්‍රතිශක්තිය දිගටම තිබෙනවා කියන අදහස මතයි. එහෙත් හැම විටම මෙය මෙලෙස සිදු වන්නේ නැහැ. විශේෂයෙන්ම වෛරසය ඉතා කෙටි කාලාන්තර තුළ එහි වෙනස් ප්‍රභේද හදන විට. කෝවිඩ් වෛරසයද මෙවැන්නක් බවට ආරම්භයේදී වූ ප්‍රවාදය මේ වන විට තහවුරු වී අවසන්. මුලින් කතා කළ රටවල් තුනේ යම් අවස්ථාවක දැකිය හැකි වූ බලාපොරොත්තු සහගත වාතාවරණය වෙනස් වෙන්න හේතු වුනේ ඩෙල්ටා ප්‍රභේදයයි.

ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අංකය 6.5 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව, රෝගය අතුරුදහන් වී යාමටනම් කිසියම් සමාජයක 85%ක පමණ පිරිසක් රෝගය නොපතුරුවන්නන් විය යුතුයි. කලින් මෙන් 55%ක පමණ පිරිසක් රෝගය නොපතුරුවන්නන් වීම තව දුරටත් ප්‍රමාණවත් නැහැ. මේ අනුව, මිලියන 22ක පමණ ජනගහණයක් සිටින ලංකාවේ මිලියන 19.5ක පමණ පිරිසක් වෛරසය නොපතුරුවන්නන් විය යුතුයි. 

ඩෙල්ටා ප්‍රභේදයේ නිසා ඇති වී තිබෙන එකම වෙනස මෙය පමණක් නෙමෙයි. මේ අලුත් ප්‍රභේදය හමුවේ 95%ක් ඵලදායී සේ සැලකුණු මොඩර්නා සහ පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් වල ඵලදායීතාවය 66% මට්ටමට අඩු වී තිබෙනවා. සයිනොපාර්ම් එන්නත හා අදාළව මෙවැනි සංඛ්‍යාලේඛණ නැතත්, එය 79%ට වඩා අඩු මිස වැඩි විය නොහැකි බව පැහැදිලි කරුණක්. 95%න් පටන් ගත් එන්නත් වල ඵලදායීතාවය 66%ට බහිද්දී 79%න් පටන් ගත එන්නතෙහි ඵලදායීතාවයත් අඩුම වශයෙන් 66%ට බැස ඇතැයි සිතීම නරක උපකල්පනයක් කියා ඔබ කියන එකක් නැහැ.

ලංකාවේ ජනගහණයෙන් 20%ක් පමණ වයස අවුරුදු 12 නොඉක්මවූ අයයි. එම වයස් කාණ්ඩය සඳහා මෙතෙක් කිසිදු එන්නතක් අනුමත වී නොමැති නිසා සෛද්ධාන්තිකවම එන්නත්කරණය කළ හැක්කේ ජනගහණයෙන් 80%කට නොවැඩි ප්‍රතිශතයක්. එනම් මිලියන 17.5ක පිරිසක්. ඔවුන් අතරින් රෝග වාහකයින් නොවනු ඇත්තේ මිලියන 11.5ක පිරිසක්. එහෙත්, ජන ජීවිතය පූර්ව කෝවිඩ් තත්ත්වයට ගෙන යන අතරම සාමූහික ප්‍රතිශක්තිය පවත්වා ගැනීම සඳහා මිලියන 19.5ක පමණ පිරිසක් වෛරසය නොපතුරුවන්නන් විය යුතුයි. 

තවත් මිලියන 8ක පමණ පිරිසක් වෛරසය ආසාදනය වී හෝ ප්‍රතිශක්තිය ලබා ගත හොත් මේ ඉලක්කයට යා හැකි බව පෙනෙන නමුත් දැනට තිබෙන සාක්ෂි වලින් පෙනෙන්නේ වෛරසය ආසාදනය වීමෙන් ලැබෙන ප්‍රතිශක්තියද එන්නත්කරණය මගින් ලැබෙන ප්‍රතිශක්තිය මෙන්ම කාලයත් සමඟ ක්ෂය වී යන බවයි. 

සාක්ෂි මත පදනම් වූ තර්කනය මගින් මෙන්ම පෙනෙන්නට ඇති සාක්ෂි වලින්ද පැහැදිලි වන්නේ කෝවිඩ් සඳහා සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීම යනු කවදාවත් සැබෑ නොවන සිහිනයක් පමණක් බවයි. මේ සඳහා, ජීවමාන සාක්ෂි ලෙස තිබෙන්නේ ඉහත කතා කළ රටවල් තුන පමණක් නෙමෙයි. ජනගහණයෙන් 74%ක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර ඇති, ජනගහණයෙන් 78%ක් එන්නත් මාත්‍රා ආරම්භ කර ඇති, ජන ඝනත්වයද ඉතාම අඩු අයිස්ලන්තයේ කෝවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට පෙර කවදාවත් නොවූ තරම් ඉහළ ගිහින්. මෙවැනි තවත් රටවල් ගණනාවක් තිබෙනවා.


එන්නතක් ගත්තත් කෝවිඩ් හැදෙනවානම්, වරක් හැදුනු අයටද නැවතත් හැදෙනවානම්, කවුරුවත් කවදාවත් කෝවිඩ් වලින් සම්පූර්ණයෙන් ආරක්‍ෂිත නැහැ. හැබැයි එයින් අදහස් වන්නේ මෙය ලෝක විනාශය බව නෙමෙයි. එන්නත්කරණය තේරුමක් නැති වැඩක් කියන එකත් නෙමෙයි. 

දැනට තිබෙන අනුභූතික සාක්ෂි වලින් පෙනෙන්නේ එන්නත් වලින් කෝවිඩ් මරණ වලින් 95%ක්ම වලක්වාගත හැකි බවයි. මේ තත්ත්වය එලෙසම පවත්වා ගැනීම සඳහා දිගින් දිගටම වසරකට හෝ වසර කිහිපයකට වරක් එන්නත් ලබා ගන්න සිදු වන බවත් පැහැදිලියි. එසේ තිබියදී, එන්නතට ඔරොත්තු නොදෙන ප්‍රභේදයක් ඇති විය නොහැකිද?

අනිවාර්යයෙන්ම කොයි වෙලාවක හෝ මෙය සිදු විය හැකියි. එසේ වුවහොත්, යම් කාලයක් මරණ ඉහළ යයි. හැබැයි එයත් ලෝක විනාශයක් වන එකක් නැහැ. එවැනි අලුත් ප්‍රභේදයකට ඔරොත්තු දිය හැකි පරිදි තිබෙන එන්නතක් වෙනස් කර ගැනීම මුල සිටම එන්නතක් වැඩි දියුණු කර ගැනීම තරම් අසීරු දෙයක් නෙමෙයි. එන්නත්කරණය මගින් සාමූහික ප්‍රතිශක්තිය ඇති කරගත නොහැකි, සෑම වසරකම අලුත් ප්‍රභේද හදන, ඉන්ෆ්ලුවන්සා රෝගය පාලනය කරගෙන තිබෙන්නේ මේ ක්‍රමයටයි.

කෝවිඩ් පාලනය කිරීම කියා කියන්නේ කෝවිඩ් තුරන් කිරීම නෙමෙයි. කෝවිඩ් සමඟ ජීවත් වන්නට පුරුදු වීමයි. හොඳම තත්ත්වයක් යටතේ වුවත් වසරකට සැලකිය යුතු කෝවිඩ් මරණ ප්‍රමාණයක් සිදු වීමත්, ඒ මට්ටමට මරණ ප්‍රමාණය නවත්වා ගැනීම සඳහා දිගින් දිගටම එන්නත් ගන්න සිදු වීමත් බොහෝ විට සිදු විය හැකි දේවල්.

දැනට තිබෙන දත්ත ඇසුරෙන් මගේ ඇස්තමේන්තුව වසරකට රටක ජනගහණයෙන් 0.04%ක් පමණ පිරිසක් එක් කෝවිඩ් "චක්‍රයක්" තුළ මිය යාම දිගුකාලීන සමතුලිතතාවය විය හැකියි කියන එකයි. මේ චක්‍රයක කාලය වසරක් තරම් කෙටි විය හැකියි. ඒ කියන්නේ ඇමරිකාවේනම් වසරකට කෝවිඩ් මරණ 130,000ක් පමණ ප්‍රමාණයක්. වසරකට සිදුවන ඉන්ෆ්ලුවන්සා මරණ ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයක්. ලංකාවේනම් වසරකට මරණ 8,000ක් පමණ.

දැඩි ක්‍රියාමාර්ග නොගත්තොත් වෛරසය මාස දෙක තුනක් තුළ වේගයෙන් පැතිරී එම කෙටි කාලය තුළ ඔය මරණ ප්‍රමාණය සිදු වෙයි. ඉන් පසුව, සුව වන අයට ලැබෙන ප්‍රතිශක්තිය හීන වන තුරු මාස හත අටක් රෝගය ඉබේටම පාලනය වී තිබී, නැවතත් අලුත් චක්‍රයක් පටන් ගනී. දැඩි ක්‍රියාමාර්ග ගත්තොත්, වසංගතය වේගයෙන් නොපැතිරෙන නිසා ඔය මරණ ප්‍රමාණයම මාස දෙක තුනක් තුළ සිදු වනවා වෙනුවට වසර පුරා හෙමිහිට  සිදු වෙයි.

කිසියම් දවසක් හෝ සතියක් තුළ රෝගය හැදී සුවවන ප්‍රමාණයේ හා අලුතින් එන්නත් බූස්ටර් ලබා ගන්නා ප්‍රමාණයේ එකතුව එම කාලය තුළ තමන් කලින් රෝගය හැදී හෝ එන්නතෙන් ලබාගත් ප්‍රතිශක්තිය හීන වන ප්‍රමාණයට සමාන වීමෙන් පසුව මොන තරම් දැඩි ක්‍රියාමාර්ග ගත්තත් රෝගය පැතිරීම තව දුරටත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, එන්නත් මාත්‍රා සම්පූර්ණ කිරීමෙන් පසුව අනෙකුත් ක්‍රියාමාර්ග වලින් ලැබෙන වාසිය තාවකාලිකයි.

මිනිස්සු මැරෙන්නේ කෝවිඩ් වලින් පමණක් නෙමෙයි. මොන ක්‍රමයට මැරුණත් එය මරණයක්. කෝවිඩ් පාලනය කරන්න කරන දේවල් නිසා වෙනත් ආකාර වලින් සිදුවන මරණ ඉහළ යන්නත් පුළුවන්. වෙනත් දිගුකාලීන හානි සිදු වෙන්නත් පුළුවන්. තීරණ ගත යුත්තේ මේ අවදානම් හැම එකක්ම සැලකිල්ලෙන් කිරා මැන බැලීමෙන් පසුවයි. හැම දෙයක්ම කරන්න ආර්ථික ශක්තියක් තිබිය යුතුයි. හිතේ තිබුනා කියා අවශ්‍ය සම්පත් නැතුව ඉලක්ක සපුරා ගන්න බැහැ. සම්පත් ඉබේ පහළ වෙන්නේ නැහැ. ආර්ථික ප්‍රශ්න වල බරත් එක්ක කෝවිඩ් වලින් බේරෙන්න දුවන එක ලේසි වැඩක් නෙමෙයි.

Saturday, August 28, 2021

කොයිදෝ යන්නේ මසකට පස්සේ...


ලංකාව විශාල ව්‍යසනයක් කරා වේගයෙන් ඇදෙමින් තිබෙනවා. බොහෝ විට තවත් සති ගණනාවක් රට වසා තබනු ලැබෙයි. ඉන් පසුව, විවෘත කරන්න වෙන්නේ වසා දමනු ලැබූ රට නෙමෙයි. දැන්නම් මොනවා කළත් ගොඩ දාන්න බැරි තරමට වැඩේ දුරදිග ගිහින් බව පැහැදිලියි. එක පැත්තකින් වේගයෙන් කෝවිඩ් පැතිරෙද්දී, කෝවිඩ් පැතිරෙනවාට වඩා වේගයෙන් ආර්ථිකයේ අර්බුදය උග්‍ර වෙමින් තිබෙන බව පේනවා.

මේ වෙලාවේ රට වසා දැමිය යුතුය යන්න රටේ වැඩි දෙනෙකුගේ ඉල්ලීම බව ඉතාම පැහැදිලියි. මරණ භය හමුවේ මිනිසුන්ට එතැනින් එහාට කිසිවක් පෙනෙන්නේ නැහැ. අපේ සාමාන්‍ය පාඨකයින් වැඩි දෙනෙකු වුවත් කියවන්නට කැමති නොවිය හැකි මේ ලිපිය ලිවීමෙන් මා කිසිවෙකුට කිසිවක් යෝජනා කරන්නේ නැහැ. එහෙත්, කවුරු මොන මතයක හිටියත්, අප දකින සැබෑ තත්ත්වය පැහැදිලිව සටහන් කළ යුතුයි.

වසර කිහිපයකට පෙර "බැඳුම්කර මගඩිය" හා අදාළව ප්‍රචාරය කරනු ලැබූ පට්ටපල් බොරු රටම විශ්වාස කරද්දී අප ඒ පිළිබඳ ඇත්ත තත්ත්වය පැහැදිලි කළා. ඇත්ත බොහෝ දෙනෙකුට දිරෙවුවේ නැහැ. අප ලියූ ලිපි සියල්ල තවමත් එලෙසම තිබෙනවා. මේ ලිපි දැන් නැවත කියවා බලා අප එකල කියූ දෑ පරීක්ෂාවට ලක් කළොත්, ඇත්ත කිවුවේ කවුද බොරු කිවුවේ කවුද කියා ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙයි. සමහර වෙලාවට හැමෝම වගේ ඇත්ත සේ පිළිගන්න කැමති දෙය ඇත්ත නෙමෙයි.

මට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් සිදු කර තිබෙනවායැයි කියන විශේෂඥ වාර්තාව දකින්න ලැබී නැහැ. මාධ්‍ය වාර්තා අනුව, වත්මන් දින දහයේ රට වසා දැමීමේ අලාභය ඩොලර් බිලියන 1.12ක් බව අදාළ විශේෂඥයින් විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. මේ වෙද්දී ඩොලරයක මිල කවුරුවත් හරියටම දන්නේ නැහැ. විණිමය අනුපාතිකය හා අදාළව මහ බැංකුව කියන්නේ ඇත්ත නොවන බව ප්‍රචලිත කරුණක් වුවත් අපි අවම ඇස්තමේන්තුවක් ලෙස දැනට මේ ඩොලර් ප්‍රමාණය 200න් වැඩි කරමු. එවිට, දින දහයක පාඩුව රුපියල් බිලියන 224ක්. 

පෙර ලිපියේ මා ලිවුවේ දින දහයක් රට වසා දැමීමේ පාඩුව අවම වශයෙන් රුපියල් බිලියන 67.5ක් බවයි. රුපියල් බිලියන 224ක් පාඩු වෙනවා කියන එක නරක ඇස්තමේන්තුවක් නෙමෙයි. එය නිවැරදි ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි. අදාළ වාර්තාව අනුව, සති හයක පාඩුව ඩොලර් බිලියන 2.22ක් බව පැවසෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 444ක්. දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වය අනුව බොහෝ විට අවම වශයෙන් සති හයක කාලයක් දක්වා රට වසා දැමීම දිග්ගැහෙන්න පුළුවන්.

ඔක්තෝබර් 2 දින දක්වා රට වසා තැබීමෙන් ජීවිත 10,000ක් බේරෙන බව පැවසෙනවා. වාර්තාව අනුව, රුපියල් බිලියන 224ක පාඩුව කොහොමටත් සිදු වී අවසන් නිසා මේ වෙනුවෙන් දැරිය යුතු අමතර පාඩුව රුපියල් බිලියන 220ක් පමණයි. ඒ කියන්නේ, රුපියල් මිලියන 22ක වියදමකින් ජීවිතයක් බේරා ගත හැකි බවයි.

සැප්තැම්බර් 18 දක්වා පමණක් රට වසා දැමුවොත් ඩොලර් බිලියන 0.55ක, එනම් රුපියල් බිලියන 110ක වියදමකින් ජීවිත 7,500ක් බේරා ගත හැකියි. ඉතිරි ජීවිත 2,500 බේරා ගන්න රුපියල් බිලියන 100ක් වැය වෙනවා. එහෙම බැලුවත් ජීවිතයක් බේරා ගන්න වැය වෙන්නේ උපරිම වශයෙන් රුපියල් මිලියන 40ක් පමණයි.

රුපියල් මිලියන 40ක වියදමකින් ජීවිතයක් බේරා ගත හැකිනම් එය කළ යුතුයි. ජීවිතයක වටිනාකම බොහෝ විට ඊට වඩා වැඩියෙන් ඇස්තමේන්තු වෙනවා. නමුත්, ප්‍රශ්නය මේ කියන ජීවිත ප්‍රමාණය ඇත්තටම බේරෙනවද කියන එකයි.

ඔක්තෝබර් 2 දින දක්වා රට වසා තැබීමෙන් එම කාලය තුළ ජීවිත 10,000ක් බේරෙයි කියන එක පිළිගත හැකියි. නමුත්, ඔක්තෝබර් 2 රට විවෘත කිරීමෙන් පසුව කොපමණ කාලයකට මේ ජීවිත සුරක්ෂිතද? 

සති හයකට රට වැහුවා කියලා ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් නැති වෙන්නේ නැහැ. රට විවෘත කිරීමෙන් පසුව කෝවිඩ් නැවතත් පැතිරෙන්න පටන් ගන්නවා.

ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය පසුගිය වසර ආරම්භයේදී මුලින්ම කෝවිඩ් පැතිරුණු ප්‍රාන්ත තුනෙන් එකක්. මේ ආකාරයේ දැඩි ක්‍රියාමාර්ග නිසා මුලදී කැලිෆෝර්නියා ප්‍රාන්තය තුළ වෛරසය පැතිරීම මන්දගාමී වුනා. ආසාදිතයින් හා මරණ පහළ ගියා. එහෙත්, එම සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව වෛරසයේ පැතිරීම වැළැක්විය හැකි වුනේ නැහැ. 

ඔක්තෝබර් 2 දින දක්වා රට වසා තැබීමෙන් එම කාලය තුළ ජීවිත 10,000ක් බේරෙන බව නිවැරදි ඇස්තමේන්තුවක් වුවත් බොහෝ විට මේ ජීවිත බේරෙන්නේ වසරකට නොවැඩි කාලයක් පමණයි. එසේ වුවහොත් ඇත්තම වාසිය ජීවිත 10,000ක් නොව ජීවිත-අවුරුදු 10,000ක්. ලාංකිකයෙකුගේ ඉතිරි වී ඇති සාමාන්‍ය ජීවිත කාලය අවුරුදු 40ක් සේ සැලකුවොත් මෙය සමාන කළ හැක්කේ සාමාන්‍ය ජීවිත 250කටයි. ඒ කියන්නේ ජීවිතයක් වෙනුවෙන් රුපියල් මිලියන 880 සිට රුපියල් බිලියන 1.6 දක්වා මිලක් ගෙවන්න වෙනවා කියන එකයි.

දැනට පෙනෙන්නට තියෙන්නේ එතරම්ම කලක් නොගොස් රුපියලේ දැවැන්ත කඩා වැටීමක් සිදු විය හැකි බවයි. පහත තියෙන්නේ ප්‍රධාන පෞද්ගලික බැංකු වල අද වන විට ඩොලරයක විකිණුම් මිල. මේ කළු කඩ මිල නෙමෙයි. එය මීට වඩා ගොඩක් වැඩි විය යුතුයි.


සම්පත් බැංකුව - රුපියල් 222යි 

කොමර්ෂල් බැංකුව - රුපියල් 222යි 

සෙලාන් බැංකුව - රුපියල් 222යි 

හැටන් නැෂනල් බැංකුව - රුපියල් 222යි 

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - රුපියල් 220යි 

ඩීඑෆ්සීසී බැංකුව - රුපියල් 225.25යි.

අමානා බැංකුව - රුපියල් 225යි.

එන්ඩීබී බැංකුව - රුපියල් 220යි 


මහ බැංකුවත් රාජ්‍ය බැංකුත් ඩොලරයක මිල රුපියල් 203ක් පමණ බව පෙන්වන නමුත් ඒ මිලට ඩොලර් මිල දී ගත හැක්කේ රජයටම පමණක් බව පැහැදිලියි. බැංකු පද්ධතිය තුළින් වුවත් මේ වෙද්දී ඩොලර් මිල දී ගත හැක්කේ රුපියල් 220-225 අතර මිලකටයි. පවතින තත්ත්වය තුළ එක පැත්තකින් බොහෝ දෙනෙකුගේ ආදායම් අහිමි වෙද්දී අනෙක් පැත්තෙන්  බඩු මිල විශාල ලෙස ඉහළ යාම නොවැලැක්විය හැකියි. 

ඉදිරි මාසය ගොඩක් දේවල් වෙනස් වෙන මාසයක්.

Wednesday, August 25, 2021

රට වැසීමේ පාඩුව කීයද?


රට වැසීම විවාදාත්මක මාතෘකාවක්. රට වහන්න යෝජනා කරන අය වගේම එයට විරුද්ධ අයත් රට වැසීමෙන් පාඩුවක් වෙන බව පිළිගන්නවා. එකඟතාවයක් නැත්තේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ඒ පාඩුව දැරිය යුතුද නැද්ද කියන කරුණේදී. මේ වගේ කරුණක් සම්බන්ධව නිගමනයකට එන්නනම් මුලින්ම රට වැසීමේ පාඩුව ගැන ඇස්තමේන්තුවක් අවශ්‍ය වෙනවා.

ලංකාවට කෝවිඩ් තර්ජනයක් නොතිබුණු 2019 වසරේදී රටේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 15,013ක්. මේ ගණන 365න් බෙදුවොත් රුපියල් බිලියන 41ක් පමණ. එය ලංකාවේ දිනකදී ඉපැයෙන සමස්ත ආදායම. කොහොම වුනත්, රට වැහුවා කියලා රටේ ආදායම බිංදුවට වැටෙන්නේ නැහැ. 2020 දෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය 16.4%කින් පහළ ගිය නිසා ඒ වගේ අඩුවක් වෙන්න පුළුවන්. එම කාර්තුව තුළ දිගටම රට වසා නොතිබුණු නිසා රට වැසීමේ අලාභය මීට වඩා වැඩි විය යුතුයි.

අවම ඇස්තමේන්තුවක් විදිහට අපි රට වැහීම නිසා දවසක රටේ සමස්ත ආදායමෙන් 16.4%ක් අඩු වෙනවා කියලා ගත්තොත් දවසකට රුපියල් බිලියන 6.75ක් පමණ. දවස් දහයකට රුපියල් බිලියන 67.5ක්. මේ ගණන දවස් දහයක් රට වසා තැබීමේ අවම පාඩුව.

කලින් ඇස්තමේන්තු කරපු විදිහට මේ වෙලාවේ දවස් දහයක් රට වැහීමෙන් උපරිම වශයෙන් ජීවිත 300ක් බේරෙයි. එක ජීවිතයක් රුපියල් මිලියන 130ක් වටිනා සේ සැලකුවොත් පාඩුව රුපියල් බිලියන 39ක්. මෙපමණ ජීවිත ගණනක් බේරෙන්නේ මේ වෙලාවේ රට වැසීම නිසා. එන්නත්කරණය සම්පූර්ණ කිරීමෙන් පසුව මේ විදිහටම දවස් දහයක් රට වැහුවොත් ඕනෑනම් ජීවිත 25ක් බේරෙයි. ඒ කියන්නේ රුපියල් බිලියන 67.5ක පාඩුවක් කර ගැනීමෙන් පසු ලැබෙන වාසිය රුපියල් බිලියන 3.25ක් පමණයි. ආණ්ඩුව රට වහන්න දක්වන ප්‍රතිරෝධය තේරුම් ගන්න අමාරු නැහැ.

Tuesday, August 24, 2021

ජීවිතයක වටිනාකම අසීමිතද?


මංගල සමරවීරත් කෝවිඩ් වසංගතයේ ගොදුරක් වෙලා. මංගල කියා කියන්නේ මා කවදාවත් පෞද්ගලිකව දැන සිටි අයෙක් නෙමෙයි. මගේ මිතුරන් අතරනම් ඔහුව සමීපව ඇසුරු කළ අය ඉන්නවා. මංගල බොහෝ දෙනෙකුව තරාතිරම නොබලා ලඟින් ඇසුරු කර තිබෙන අයෙක්. ඒ අය මංගල ගැන බොහෝ දේ ලියා තිබෙනවා. මංගලව කිසිදා පෞද්ගලිකව ඇසුරු කර නැති මට මංගල ගැන අනෙකුත් අය කියා ඇති දේවල් වලට එකතු කරන්න මහ ලොකු දෙයක් නැහැ. 

ලොකුවට සමරන ගොඩක් වීරයෝ වීරයන් වී ඉන්නෙම කලින්ම මැරුණු නිසා. කාලයක් වීරයන් වී සිටි අය දැන් පජාත වී සිටින්නේ ඒ කාලෙම නොමැරුණු නිසා. කවුරු වුනත් පීක් වෙන කාලයක් තියෙනවා. ඊට පස්සේ බැහැලා යනවා. මංගල ගැන මගේ පෞද්ගලික අදහස ඔහු තවත් කාලයක් ජීවත්ව සිටියානම් ඔහුට කළ හැකි භූමිකාවක් තිබුණා කියන එකයි. 

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ඉන්න මිනිස්සු අතරේ මොකක් හෝ වෙනසක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින මිනිස්සු අඩුයි. ලෝකය ඉදිරියට යන්නේ ඒ වගේ මිනිස්සු නිසා. සමහර විට මේ වගේ මිනිස්සු නිසාම ලෝකය පස්සට යන්න වුනත් පුළුවන්. හැබැයි ඒ අවදානම ගන්න මිනිස්සු නැත්නම් ලෝකය එකම තැනයි. මංගලට සුබ ගමන්!

හරියටම දන්නේ නැතත් මංගල බොහෝ විට කෝවිඩ් එන්නතක මාත්‍රා සම්පූර්ණ කර පූර්ණ ප්‍රතිශක්තිය ලබා ඉන්න ඇතැයි මා හිතනවා. මංගල වැනි ලංකාවේ "ඇති හැකි" ගොඩේ සිටි අයෙකුට එන්නත කලින්ම නොලැබෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහුට එන්නත ලබා ගන්න ප්‍රතිපත්තිමය ප්‍රශ්න තියෙන්නත් විදිහක් නැහැ.

ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන කයිවාරු ගහන අය වැහි වැහැලා හිටියත්, ධනය හා බලය නැති සාමාන්‍ය මිනිහෙක්ට ලැබෙන කෝවිඩ් ප්‍රතිකාර මොන වගේද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මංගලටනම් ඉහළම මට්ටමෙන් වෛද්‍ය ප්‍රතිකාරත් ලැබෙන්න ඇති. එහෙම වෙලත් මංගල වගේ අයෙකුට කෝවිඩ් හමුවේ පැරදෙන්න වීමෙන් පෙනෙන්නේ රෝගයේ භයානක කමයි.

කෝවිඩ් එක අතකින් "ඇති හැකි" අයගේ රෝගයක්. රටවල් විදිහට ගත්තත් වැඩිපුර බැට කෑවේ ඇති හැකි රටවල්. විස්තර කරන්න යන්නේ නැතත් මෙයට හේතු තිබෙනවා. මංගල මේ වෙද්දී කෝවිඩ් වලට ගොදුරු වූ ලංකාවේ ඉහළම සමාජ-ආර්ථික තලයක සිටි පුද්ගලයා කියා කිව හැකියි. කිලී මහරාජා වැනි අයත් කෝවිඩ් වලට ගොදුරු වුනා. මේ පෝලිමට තව කවුරු එකතු වෙයිද කියා අපි කවුරුවත් දන්නේ නැහැ. මිය ගියේ කෝවිඩ් වලින් වුනත්, කාලයක් තිස්සේ පවත්වා ගත් ජීවන විලාසිතාවන්ද මංගල වැනි අයෙකුගේ මරණයට දායක වුනා විය හැකියි.

මංගල ගැන පෙර ලියූ ලිපි ගැන මතක් කරද්දී මුලින්ම මතකයට ආවේ ඔහු පසුගිය ආණ්ඩුවේ මුදල් ඇමති තනතුර භාරගත් අවස්ථාවේ ලියා පළ කළ ලිපිය. එම ලිපියේ ලියූ පරිදි, ඒ වන විට මුදල් ඇමති ධුරය දැරූ රවී කරුණානායකගේ භුමිකාවේ ලොකු වැරැද්දක් තිබුණේ නැහැ. හොඳින් කටයුතු සිදු වෙමින් තිබුණු තනතුරක් භාර ගන්නා අයෙකුට සාර්ථක වීම වඩා අසීරුයි. මංගලට මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වී තිබුණා. ඒ ගැන මා ලිවුවේ මේ විදිහටයි.

"දැන් මුදල් ඇමති ලෙස පත්වී සිටින්නේ මංගල සමරවීරයි. ඔහු හොඳ පරිපාලකයෙකු හා තීරණ ගැනීමට බය නැති පුද්ගලයෙකු බව පෙන්වා ඇතත් ආර්ථික විද්‍යාව හෝ  මූල්‍යකරණය වැනි විෂයයක විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති අයෙකු නොවේ. පවත්නා තත්වයන් හමුවේ රවී කරුණානායක විසින් නොකළ දෙයක් මංගල සමරවීර විසින් කිරීමට ලොකු ඉඩක් ඇති බවක් නොපෙනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ තීරණ වලට ඕනෑවට වඩා මැදිහත් නොවී පරිපාලකයෙකු ලෙස පමණක් කටයුතු කිරීමෙන් අඩුම වශයෙන් පවත්නා තත්ත්වය තවත් නරක් නොකර තබා ගැනීම හා වලගැට්ටෙන් යාන්තමින් ඈත්වී ඇති ආර්ථිකය ලොකු පිමි පන්නවන්නට උත්සාහ කරමින් අවදානමක් ගැනීම යන මාර්ග දෙක මංගල සමරවීර ඉදිරියේ විවෘතව තිබේ."

මංගල සමරවීරගේ ධුර කාලය තුළ ඉහත විස්තර කළ අසීරු අභියෝගය සාර්ථකව ජයගත්තා. 1955 වසරේ සිට 1992දී හැර  එක දිගටම පැවති රජයේ අයවැයේ ප්‍රාථමික හිඟය මංගල සමරවීර මුදල් ඇමති ධුරය දැරූ 2017 හා 2018 දෙවසර තුළ අතිරික්තයක් බවට පත් වුනා.

මේ වෙද්දීනම් අයවැයේ ප්‍රාථමික හිඟය ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් පුළුල් වෙලා. දැන් ආණ්ඩුව රජයේ  වියදම් කැපීම ගැන කතා නොකර බැරිම තැනකට පත් වෙලා. දිනපතා සිය ගණනින් මිනිස්සු මැරෙද්දිත් බලාගෙන ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නැති තැනකට ආණ්ඩුව වැටිලා. එසේ වුවත්, ආණ්ඩුවට වෙනත් කළ හැකි දෙයක් තියෙනවද? ආණ්ඩුව වෙනස් වුනොත් කළ හැකි වෙනස් දෙයක් තියෙනවද?

සමහර අය කියන විදිහටනම් මිනිස් ජීවිතයක් මිල කළ නොහැකි තරම් අසීමිතයි. ඔහොම කිවුවට නොදන්නා අයෙකුගේ ජීවිතයක් බේරා ගන්න තමන් සතු මිල මුදල් දේපොළ පරිත්‍යාග කරන්න ඔය කියන අය සූදානම්ද? මම නම් මගේ ජීවිතය වෙනුවෙන් වුවත්, මට අයිති භෞතික වටිනාකම් සියල්ල නැති කර ගන්නේ නැහැ. මම මැරුණත් මගෙන් පැවත එන අය ජීවත් විය යුතුයි. ඒ අයට යහපත් ජීවිතයක් ගෙවන්න පුළුවන් විය යුතුයි. 

ජීවිතයක් බේරා ගැනීම කියන එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? අපි කවුරුත් කොයි වෙලාවේ හෝ මැරෙනවා. කොයි තරම් දැඟලුවත්, ඕක ටිකක් කල් දාගන්න පමණයි පුළුවන්. ජීවිතයක වටිනාකම ගැන අපට කතා කළ හැක්කේම ආයුකාලය දිගු කර ගැනීම කියන අර්ථයෙන් පමණයි. 

තමන්ගේම ආයුකාලය දිගු කරගන්න හෝ එය අඩු වීමේ අවදානම අඩු කරගන්න මිනිස්සු ඕනෑම මිලක් ගෙවනවාද? මිනිස්සුන්ගේ හැසිරීම් වලින්නම් එහෙම පෙනෙන්නේ නැහැ. ආයුකාලය දිගු කර ගැනීම සඳහා කළ හැකි වියදම් නොයන, බොහෝ විට මිල මුදල් ඉතිරි වන, දේවල් නොසලකා හරින අය කොයි තරම් ඉන්නවද? මම වුනත් මේ ගොඩේ ඉන්න කෙනෙක්. වසංගතය නිසා ඇතැම් ජීවන විලාසිතා ගැන අලුතෙන් හිතන්න පෙළඹුමක් ඇති කරන නමුත් ඇබ්බැහි වලින් මිදෙන්න ලේසි නැහැ. මේ බ්ලොග් ලිවිල්ල වුනත් ඒ වගේ දෙයක්. 

පාරේ වාහනයක් එළවන අයෙක් කොයි තරම් අවදානමක් ගන්නවද? පාරට බහිනවා කියා කියන්නේම මැරෙන්න තියෙන අවදානම වැඩි වෙනවා කියන එකයි. එහෙත්, රස්සාව කළ යුතුයි. සල්ලි වෙනුවෙන් යම් ජීවිත අවදානමක් ගත යුතුයි. ජීවිත අවදානම ලැබෙන දෙයට වඩා වැඩිනම් අවදානම නොගෙන ඉන්න එක වෙනම දෙයක්.

සල්ලි වෙනුවෙන් මිනිස්සු කොයි තරම් අවදානමක් ගන්නවද කියන එක දිහා බලලා මිනිස් ජීවිතයක වටිනාකම තක්සේරු කරන්න පුළුවන්. පහුගිය දවස් වල ලංකාවේ ගුරුවරු උද්ඝෝෂණ වලට ගියෙත් මේ වගේ අවදානමක් අරගෙනනේ. අපි හිතමු ඔය උද්ඝෝෂණ නිසා පඩි වැඩි වුනා කියලා. මාසයකට ඕනෑනම් රුපියල් 10,000ක් වැඩි වෙයි. අවුරුද්දකට රුපියල් 120,000ක්.

දැන් ඔය උද්ඝෝෂනයම තව අවුරුදු දෙකකට පස්සේ කළානම් කෝවිඩ් නිසා වන ජීවිත අවදානම නැහැනේ. එතකොට මේ උද්ඝෝෂණ මේ වෙලාවෙම කිරීමේ වාසිය අවුරුදු දෙකක වගේ කාලයකදී වැඩිපුර අතට එන මුදලනේ. ඒ කියන්නේ රුපියල් 240,000ක් වගේ මුදලක්. හැබැයි ඔය වාසිය වෙන්නේ පඩි වැඩි වුනොත් පමණයි. එහෙම සහතිකයක් නැහැනේ. අපි හිතමු උද්ඝෝෂණ කිරීමෙන් පඩි වැඩි වෙන්න තිබුණු සම්භාවිතාව 50%ක් කියලා. ඒ කියන්නේ මේ වැඩෙන් අපේක්ෂිත වාසිය ඉහත මුදලින් 50%ක් හෙවත් රුපියල් 120,000ක්. දැන් මේ ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ ඔය මුදල වෙනුවෙන්.

රුපියල් 120,000ක් වෙනුවෙන් ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ එම අවදානමට වඩා ඉහත මුදල වටින නිසා. එහෙත්, කෝවිඩ් ව්‍යාප්ත වෙද්දී ඉහත මුදලට වඩා ජීවිත අවදානම ඉහළ ගියා. උද්ඝෝෂණ නැවතුනා. මේ විදිහට උද්ඝෝෂණ නැවතුන මොහොත ජීවිත අවදානම රුපියල් 120,000කට සමාන වූ මොහොත සේ සැලකිය හැකියි.

මේ වෙද්දී රටේ ජනගහනයෙන් 1%ක් පමණ කෝවිඩ් ආසාදිතයින් වෙලානේ. උද්ඝෝෂණ නැවතෙන කොට ඔය ප්‍රමාණය 0.5%ක් පමණ වෙන්න ඇති. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් 200ක් සහභාගී වන උද්ඝෝෂණයක කෝවිඩ් ආසාදිතයෙක් ඉන්නවා කියන එකයි. හැබැයි උද්ඝෝෂණයට සහභාගී වන හැමෝටම වෛරසය ආසාදනය වෙන්නේ නැහැනේ. මුහුණු ආවරණ දැමීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වගේ දේවලුත් කළානේ. ඒ නිසා, අපි හිතමු ඔය 200ක පිරිසෙන් 20කට කෝවිඩ් ආසාදනය වුනා කියලා. ඒ අනුව, උද්ඝෝෂණයට සහභාගී වීමෙන් කෝවිඩ් හැදෙන්න 10%ක පමණ සම්භාවිතාවක් තියෙනවා.

කෝවිඩ් හැදුනා කියලා මැරෙන්නේ නැහැනේ. අපි හිතමු හැදුනට පස්සේ මැරෙන සම්භාවිතාව 1%ක් කියලා. ඒ කියන්නේ උද්ඝෝෂණයට සහභාගී වීමෙන් මැරෙන්න වෙන සම්භාවිතාව 0.1%ක් කියන එකයි. මේ විදිහට දාහෙන් එකක ජීවිතය අහිමි වීමේ අවදානමක් ගන්නේ රුපියල් 120,000ක් වෙනුවෙන්. ඒ කියන්නේ, ජීවිතයේ වටිනාකම පිළිබඳ තක්සේරුව රුපියල් 120,000ක් මෙන් දහස් ගුණයක් හෙවත් රුපියල් මිලියන 120ක් කියන එකයි,

මේ ගණන් හැදීම ඕනෑවට වඩා සරල ගණන් හැදීමක් වුනත් මීට වඩා සංකීර්ණ විදිහට ලාංකිකයෙකුගේ ජීවිතයක වටිනාකම ගැන කර තිබෙන ඇස්තමේන්තුත් මීට කිට්ටුයි. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...