ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව ආසියානු රටවල් තුනක්. 1991 වන විට මේ රටවල් තුනේම ශ්‍රමිකයින්ගෙන් අඩකට වඩා නිරතව සිටියේ කෘෂිකාර්මික අංශයේ රැකියාවකයි.
තායිලන්තය - ශ්‍රම බලකායෙන් 60.3%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 62.6%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 55.5%ක්
ඒ වන විට මේ රටවල් තුනේම දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය 2500 මට්ටමට වඩා අඩුයි.
තායිලන්තය - කැලරි 2,260යි.
ඉන්දියාව - කැලරි 2,297යි.
උතුරු කොරියාව - කැලරි 2,368යි.
බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක ඕනෑම රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්රමුඛ ඉලක්කයක් විය යුතු බව කවුරුත් වගේ එකඟ වන කරුණක්නේ. ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව කියන රටවල් තුනත් ඔය ඉලක්කය පස්සේ හඹා ගියා. හැබැයි එකම ක්‍රමයකට නෙමෙයි. ක්‍රම තුනකට. දෙපැත්තට වැටුණු සත්තිගුම්බ ජාතකයේ ගිරවු දෙන්නා වගේ මේ රටවල් තුනේ කෘෂිකර්මයත් අදාළ රටවල ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ඇසුරේ දශක තුනක් තිස්සේ වෙන වෙනම වැඩුනා.
රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික අංශය ටිකෙන් ටික හැකිළෙන බව මම කලින් පැහැදිලි කරලා තියෙනවනේ. රටක වෙළඳපොළ නිදහස්ව හා විවෘතව තිබෙන තරමට ඔය වැඩේ වඩා වේගයෙන් වෙනවා. කෘෂිකාර්මික අංශයේ ඉන්න ශ්‍රමිකයින් ගොවිතැනෙන් ඉවත් වෙලා වැඩි ආදායම් ඉපැයිය හැකි වෙනත් රැකියා කරා යොමු වෙනවා. අවශ්‍යනම් රාජ්‍ය මැදිහත්වීම් මගින් ඔය වැඩේ සිදුවෙන වේගය අඩාල කරන්න පුළුවන්. එසේ කරනවාද නැද්ද කියන එක දේශපාලනික කරුණක්.
තායිලන්තය ඒ රටේ ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ඈත් වෙන එක වලක්වන්න වැඩිපුර උත්සාහ කළේ නැහැ. ඒ වගේම, නිදහස් හා විවෘත වෙළඳ ප්රතිපත්තියක සිටියා. ඉන්දියාව තායිලන්තය තරමට විවෘත වුනේ හෝ තරඟයට නිරාවරණය වුනේ නැහැ. එහෙත්, රටේ කෘෂිකර්මය මුළුමනින්ම ආරක්ෂා කළේ හෝ රට සංවෘතව පවත්වා ගත්තේත් නැහැ. උතුරු කොරියාව ප්‍රතිපත්තියක් ලෙස රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීම ඉලක්ක කර රටේ කෘෂිකර්මය නැංවීම සඳහා විශාල රාජ්‍ය මැදිහත් වීම් කළා වගේම රටේ ආර්ථිකය සංවෘතව තබා ගනිමින් රටේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳ තරඟයෙන් ආරක්ෂා කරගත්තා.
මේ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙස තායිලන්තයේ ශ්‍රමිකයන් විශාල ලෙස කෘෂිකාර්මික අංශයෙන් ඉවත් වුනා. ඉන්දියාවේ එය සිදු වුනේ ඊට වඩා අඩුවෙන්. උතුරු කොරියාවේ හොඳටම අඩුවෙන්. 2017 වන විට මේ එක් එක් රටවල කෘෂිකාර්මික ශ්‍රම බලකායේ තත්ත්වය මේ විදිහයි.
තායිලන්තය - ශ්‍රම බලකායෙන් 31.6%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 42.4%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 51.3%ක්
අන්තිමට වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබෙන්නේ කවර ප්රතිපත්තියද කියා බලන්න වෙන්නේ මේ රටවල් තුනම විසඳුම් හොයපු මූලික ප්රශ්නය, ඒ කියන්නේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක, කොයි තරම් දුරකට සිදු වෙලාද කියන එක මතයි.
2017 වන විට මේ එක් එක් රටේ දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය මෙහෙමයි.
තායිලන්තය - කැලරි 2,827යි.
ඉන්දියාව - කැලරි 2,517යි.
උතුරු කොරියාව - කැලරි 2,032යි.
ඉන්දියාව හා තායිලන්තය මේ වන විට ලෝකයේ වැඩියෙන්ම සහල් අපනයනය කරන රටවල් දෙකයි. උතුරු කොරියාව තවමත් වගා සංග්රාම කරනවා.
Saturday, May 23, 2020
ඉරණම් තුනක්!
Labels:
ආහාර,
ඉන්දියාව,
උතුරු කොරියාව,
කෘෂිකර්මය,
තායිලන්තය,
විවෘත ආර්ථිකය
Friday, May 22, 2020
ජීවිතයක වටිනාකම හරියටම කීයද?
ජීවිතයක වටිනාකම මිල කළ නොහැකියි වගේ කතා නිතර කියැවෙනවා. මේ කතාව ඇත්තද? ඕනෑම දෙයකට නියම මිලක් තියෙනවානම් ජීවිතයක වටිනාකමට මිලක් තියෙන්න විදිහක් නැද්ද?
වෙනත් හැම දේකටම වගේම ජීවිතයකටත් මිලක් තිබෙනවා. ටිකක් අමාරු වුනත් ඒ මිල ඇස්තමේන්තු කළ හැකි ක්රමවේදත් තිබෙනවා. ඒ ක්‍රමවේද අනුසාරයෙන් සිදු කළ ඇස්තමේන්තුත් තිබෙනවා. මහජන සෞඛ්‍යය, වෛද්‍ය ප්‍රතිකාර, නියාමන ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධ තීරණ ගන්නා අවස්ථා වලදී මෙවැනි ඇස්තමේන්තු ප්‍රයෝජනයට ගැනෙනවා.
කෝවිඩ්-19 හා අදාළව අනුගමනය කරන විවිධ ක්‍රියාමාර්ග වලදීද ජීවිතයක වටිනාකම සැලකිල්ලට ගන්න වෙනවා. රටක් ලොක් ඩවුන් කර තබා ගැනීමෙන් කෝවිඩ්-19 මරණ ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. එහෙත්, ඒ වෙනුවෙන් වෙනත් පාඩු රැසක් සිදු කර ගන්න වෙනවා. ඒ වෙනත් පාඩු මුදලින් මැනිය හැකියි කියා අපි හිතමු. එසේනම්, ඒ පාඩුව අඩුවන මරණ වල වාසිය සමඟ සැසඳිය හැක්කේ කෙසේද? මෙය කරන්නනම් රට ලොක්ඩවුන් කිරීම නිසා ඉතිරිවන ජීවිත වල වටිනාකම පිළිබඳ කිසියම් හෝ අදහසක් තිබිය යුතුයි.
ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කළ හැකි ප්‍රධාන ක්‍රම දෙයක් තිබෙනවා. පළමුවැන්න පුද්ගලයෙකුගෙන් කෙළින්ම අසා දැන ගන්නා සෘජු ක්‍රමයයි. දෙවැනි ක්‍රමය පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර විශ්ලේෂණය කරන වක්‍ර ක්‍රමයයි.
මේ ක්‍රම දෙකේදීම පළමුව කරන්නේ කිසියම් පුද්ගලයෙකු තමන් මරණයට පත් වීමේ සම්භාවිතාව කිසියම් ප්‍රමාණයකින් අඩු කර ගැනීම වෙනුවෙන් ගෙවන්නට සූදානම්ව සිටින උපරිම මිල සොයා සොයා ගැනීමයි. ඉන් පසුව ඒ අනුසාරයෙන් ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කළ හැකියි.
උදාහරණයක් විදිහට ඔබට කෝවිඩ්-19 හැදුනොත් මිය යන්න 1%ක ඉඩක් තිබෙනවා කියා හිතමු. ඒ ඉඩකඩ නැති කර ගැනීම වෙනුවෙන් ඔබ උපරිම වශයෙන් කොපමණ මුදලක් ගෙවන්න ලෑස්තිද? මේ මිල රුපියල් මිලියනයක්නම් එයින් අදහස් වන්නේ ජීවත් වීමේ ඉඩකඩ 1%කින් වැඩි කර ගැනීමේ වටිනාකම රුපියල් මිලියනයක් බවයි. ඒ අනුව, මිය යාමේ ඉඩකඩ 100%කින් අඩු කර ගැනීමේ වටිනාකම රුපියල් මිලියන 100ක් කියා කිව හැකියි. මේ විදිහට ඇස්තමේන්තු කරන අගය සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම (value of a statistical life) ලෙස හැඳින්වෙනවා.
සෘජු ක්‍රමයේදී කරන්නේ නියැදි සමීක්ෂණයක් මගින් එක් එක් පුද්ගලයා තමන්ගේ ජීවිත අවදානම යම් ප්‍රතිශතයකින් අඩු කර ගැනීම වෙනුවෙන් ගෙවන්න සූදානම් මුදල සෘජුවම අසා දැන ගැනීමයි.
වක්‍ර ක්‍රමය ඊට වඩා තරමක් සංකීර්ණයි. මෙහිදී කරන්නේ පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමයි. උදාහණයක් විදිහට කවුරු හෝ කෙනෙක් සල්ලි බෙදනවා. මේ සල්ලි ගන්න ගොස් පෑගී මැරෙන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. අපි හිතමු මේ සම්භාවිතාව 1/1000ක් කියා. රුපියල් 5000ක් වෙනුවෙන් මේ අවදානම ගන්නා කෙනෙක් තමන්ගේ ජීවිතයේ වටිනාකම ලෙස දකින්නේ රුපියල් 1000x5000 = රුපියල් මිලියන 5ක මුදලක්.
ඔය වගේ පෝලිමකට එකතු නොවන බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය පිළිබඳ අවදානම් ගන්නා වෙනත් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මෝටර් රථයක් පදවාගෙන ගමනක් යන කෙනෙක් අනතුරකට ලක් වී මිය යන්න යම් ඉඩක් තිබෙනවා. එහෙත්, බොහෝ දෙනෙක් ඒ අවදානම ගන්නවා. මසුන් මරන්න මුහුදු යන අය අනතුරකට ලක් වීමේ අවදානමක් තිබෙනවා. එහෙත්, ලැබෙන ආදායම වෙනුවෙන් බොහෝ දෙනෙක් එම අවදානම ගන්නවා.
සාමාන්‍යයෙන් මුහුදු රස්සාව කරන කෙනෙක් මුහුද ගොඩක් රළු දවසක මුහුදු නොයා ගෙදර ඉන්නවා. ඒ වගේ කෙනෙක් මුහුදු යන හා නොයන දවස් නිරීක්ෂණය කිරීමෙන් ලැබෙන මාළු වෙනුවෙන් ගන්නා ජීවිත අවදානම ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඉන් පසු ඒ අනුසාරයෙන් සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කරන්න පුළුවන්.
ඇමරිකාව වැනි බටහිර රටවල සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම පිළිබඳව පර්යේෂකයින් බොහෝ දෙනෙකු විසින් ඇස්තමේන්තු හදා තිබෙනවා. ඒ නිසා, ඇමරිකානුවෙකුගේ ජීවිතයක වටිනාකම පිළිබඳව බොහෝ දෙනෙකු එකඟ වන අගය පරාසයක් තිබෙනවා. මේ අගය ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 9ක් පමණ වෙනවා.
ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම පිළිබද පර්යේෂණ අධ්‍යයන සිදුව තිබෙන්නේ ඉතා අඩුවෙන්. එක් මෑතකාලීන ඇස්තමේන්තුවකට අනුව ලංකාවේ සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම ඇමරිකන් ඩොලර් 654,000ක් හෙවත් රුපියල් මිලියන 125ක් පමණ වෙනවා.
මේ ආකාරයට ඇස්තමේන්තු කරන සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම සාමාන්‍ය අගයක්. මෙවැනි ඇස්තමේන්තුවක් බොහෝ විට යොදා ගැනෙන්නේ රටටම බලපාන පොදු තීරණයක වාසි අවාසි සැසඳීම සඳහා බැවින් ජීවිතයක වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, කාලයත් සමඟ බොහෝ දේ වෙනස් වී මේ ඇස්තමේන්තුවත් වෙනස් වෙන නිසා වරින් වර එය යාවත්කාලීන විය යුතුයි.
Reference
Viscusi, W. K., & Masterman, C. J. (2017). Income elasticities and global values of a statistical life. Journal of Benefit-Cost Analysis, 8(2), 226-250.
Labels:
ආකෘති,
ආයු අපේක්ෂාව,
ආවස්ථික පිරිවැය,
ජීවිතය,
මරණය,
සංඛ්‍යානය,
සෞඛ්‍යය
Thursday, May 21, 2020
කෘෂිකර්මයෙන් ඔබ්බට...
පසුගිය 2019 වසරේ අවසන් කාර්තුවේදී ලංකාවේ ශ්‍රම බලකාය 8,181,442ක්. එයින් කෘෂිකර්ම, වන හා ධීවර අංශ වල සේවා නියුක්තිය 2,215,128ක් හෙවත් රටේ ශ්‍රම බලකායෙන් 27.1%ක්. නමුත් රටේ දළ දේශීය නිෂ්පාදිතයට මේ පිරිසගේ දායකත්වය 7.4%ක් පමණයි.
මෙය වෙනත් ආකාරයකින් කිවුවොත්, රටේ ශ්‍රමිකයින්ගෙන් 27%ක් වන මේ පිරිස විසින් උපයන්නේ රටේ ජාතික ආදායමින් 7.4%ක් පමණයි. ඉතිරි 73%ක පිරිස ආදායමින් 92.6%ක පංගුවක් ලබා ගන්නවා. මේ තත්ත්වයේ කිසියම් වෙනස් විය යුතු වැරැද්දක් තියෙනවද? එහෙමනම් ඒ කුමක්ද?
විසඳුමක් ලෙස ඇතැම් අය දකින්නේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ දැමීමේ අවශ්‍යතාවය. මෙහිදී මතුවන පළමු ප්රශ්නය එය කරන්නේ කොහොමද කියන එකයි. අනෙක් අංශ වල නිෂ්පාදිතයේ නාමික අගය නොවෙනස්ව තිබියදී, කෘෂිකාර්මික අංශයේ මිල අඩු නොවුනොත් මූර්ත නිෂ්පාදිතය ඉහළ යන විට කෘෂිකාර්මික අංශයේ ආදායම් පංගුවද වැඩි වෙනවා. ඒ වගේම මූර්ත නිෂ්පාදිතය එසේම තිබියදී සාපේක්ෂ මිල ඉහළ යන විටද කෘෂිකාර්මික අංශයේ ආදායම් පංගුව ඉහළ යා හැකියි. මොන ආකාරයකින් හෝ අවසානයේදී කෘෂිකාර්මික නොවන අංශ වල නාමික නිෂ්පාදිතය ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් කෘෂිකාර්මික අංශයේ නාමික නිෂ්පාදිතය ඉහළ නොගියොත් රටක කෘෂිකාර්මික අංශය හැකිලෙනවා.
සෛද්ධාන්තිකව නාමික කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ යා හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා.
1. කෘෂිකාර්මික ශ්‍රමිකයින් ප්‍රමාණය වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
2. වගා ඉඩම් ප්‍රමාණය වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
3. ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
4. මූර්ත නිෂ්පාදිතය එසේම තිබියදී එම නිෂ්පාදිතයේ වෙළඳපොල වටිනාකම වැඩි වීම.
පළමුවැන්න හොඳ විසඳුමක් නොවන්නේ ඇයි?
ලංකාවේ සේවා වියුක්තිය මේ වන විට ගොඩක් අඩුයි. පසුගිය වසරේ අවසන් කාර්තුවේදී සේවා වියුක්ති අනුපාතය තිබුණේ 4.5% මට්ටමේ. කෘෂිකාර්මික ශ්‍රමිකයන් වීමේ විභවයක් තිබෙන අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති පිරිස් අතර රැකියා වියුක්ති අනුපාතය මීටත් වඩා අඩුයි, උදාහරණයක් ලෙස අපොස(සාපෙ) අසමත් අයගේ විරැකියා අනුපාතය 2.9%ක් පමණයි. ඒ නිසා, කෘෂිකාර්මික අංශයට ශ්‍රමිකයින් එකතු විය යුත්තේ දැනට වෙනත් ක්ෂේත්රයක රැකියාවක නියුතු අය අතරිනුයි.
මේ වන විට කෘෂිකර්මාන්තයෙන් පිටත ඉන්නේ කවර හෝ වඩා ඵලදායී නිෂ්පාදිතයක් කරන අයයි. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයෙන් උපයන ආදායමට වඩා වැඩි ආදායමක් වෙනත් ක්‍රමයකින් උපයන අය. ඒ නිසා, වෙනත් කිසිදු තත්ත්වයක් වෙනස් නොවී කෘෂිකාර්මික ශ්‍රමිකයින් ප්‍රමාණය වැඩි වන විට කෘෂිකාර්මික නිෂ්පාදිතය වැඩි වුනත් ඊට වඩා වැඩියෙන් අනෙකුත් අංශයක නිෂ්පාදිතය අඩු වී සමස්ත නිෂ්පාදිතය පහළ බසිනවා. ඒ නිසා සමස්තයක් ලෙස රටේ ජාතික ආදායම අඩු වෙනවා.
සමස්තයක් ලෙස රටේ ආදායම් මට්ටම් පහළ බහින විට කෘෂි නිෂ්පාදිත වලට තිබෙන දේශීය ඉල්ලුම අඩු වී මිල පහළ බහින නිසා නිෂ්පාදිතය වැඩි වුවත් එහි සමස්ත වටිනාකම අඩු වෙන්න වුනත් පුළුවන්. ඒ නැතත්, වැඩි පිරිසක් අතර බෙදී යාමේදී එක් අයෙකුගේ පංගුව අඩු වෙනවා. ඒ නිසා, මේ වැඩෙන් රටේ මූර්ත කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ ගියත්, කෘෂිකාර්මික අංශයේ ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යන්න තිබෙන ඉඩට වඩා පහළ යන්න තිබෙන ඉඩ වැඩියි. එය එසේ නොවෙන්නනම් ලංකාවේ කෘෂි නිෂ්පාදන වලට විශාල විදේශ ඉල්ලුමක් ඇති විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ පහසුවෙන් තරඟ කළ හැකි කිසියම් සාපේක්ෂ වාසියක් ලංකාවට තිබිය යුතුයි. ලංකාවට එවැනි විශේෂ වාසියක් නැහැ.
දෙවැන්න විසඳුමක් නොවන්නේ ඇයි කියන එක ඉතාම පැහැදිලියි. ලංකාවේ වගා කළ හැකි ඉඩම් මුලුමනින්ම වාගේ දැනටමත් වගාව සඳහා යොදා ගෙන අවසන්. සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ මෙන් හෝටන් තැන්නේ අර්තාපල් වවන්න හෝ සිංහරාජයේ දැව කපා විකුණන්න කිසිවෙක් යෝජනා කරනවා කියා මම හිතන්නේ නැහැ.
මූර්ත නිෂ්පාදිතය ඉහළ නැංවීම සඳහා ඉතිරිව ඇත්තේ තෙවන විකල්පය පමණයි. එනම්, ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි කිරීම. කළ හැකිනම් නරක අදහසක් නෙමෙයි.
සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් වුනෙත් ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි කර ගැනීම මගින් මූර්ත නිෂ්පාදිතය වැඩි කර ගැනීම. ඒ සඳහා සැලසුමේ වූ උපාය මාර්ග වුනේ පොහොර හා රසායන භාවිතය වැඩි කිරීම, වැඩි පලදාවක් දෙන වී වර්ග හඳුන්වා දීම, යාන්ත්‍රික ශ්‍රමය වැඩි වශයෙන් භාවිතා කිරීම වගේ දේවල්. කෘෂිකර්මය වෙත අනෙක් අංශ වල සිටි ශ්‍රමිකයින් තල්ලු කිරීම සැලසුමේ ඉලක්කයක් වුණේ නැහැ.
මූර්ත නිෂ්පාදිතයේ වෙළඳපොල වටිනාකම වැඩි කර ගැනීම කෙසේ වුවත් අඩු කර නොගැනීම සඳහා කෘෂිකාර්මික නොවන අංශ වල ශ්‍රමිකයින් විසින් උපයන ආදායම අඩු කර නොගැනීම වැදගත්. නැත්නම් කෘෂි නිෂ්පාදිත වලට තිබෙන දේශීය ඉල්ලුම අඩු වී මිල පහළ බහින නිසා නිෂ්පාදිතය වැඩි වුවත් එහි සමස්ත වටිනාකම අඩු වෙන්න වුනත් පුළුවන්.
මේ හැම කරුණකින්ම පැහැදිලි වෙන්නේ රටක් දියුණු වෙන්නනම් එම රටේ ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් විය යුතුයි කියන කාරණයයි. ලංකාවට යුරෝපීයයන් එන කාලයේ එංගලත්තය, ප්‍රංශය වගේ රටවල ශ්‍රමිකයින්ගෙන් බාගයකටත් වඩා නිරතව හිටියේ කෘෂිකාර්මික අංශයේ රැකියා වලයි. එහෙත් ඒ තත්ත්වය ටිකින් ටික වෙනස් වුනා. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, එක්සත් රාජධානිය වගේ රටවල කෘෂිකාර්මික අංශයේ සේවයේ නිරතව ඉන්නේ රටේ ශ්‍රම බලකායෙන් 1%ක පමණ පිරිසක්. මේ ප්‍රතිශතය තවමත් වැඩි අප්‍රිකානු හා ආසියානු රටවලයි.
එසේ වුවත්, කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය අතින් ඉහළින්ම ඉන්නේ එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල්. ආසියානු අප්‍රිකානු රටවල් ඉන්නේ ගොඩක් පහළින්.
දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික පංගුව අඩු වීමත්, ඒක පුද්ගල ආදායම ඉහළ යාමත් අතර සම්බන්ධය ඉතා පැහැදිලියි. එයින් පෙනෙන්නේ කෘෂිකාර්මික අංශයේ ඵලදායීත්වය කොයි තරම් ඉහළ රටක වුවත්, කෘෂිකාර්මික නොවන අංශ වල ඵලදායීත්වය ඊට වඩා වැඩි බවයි.
ශ්‍රමිකයින් සීඝ්රයෙන් කෘෂිකර්මයෙන් වෙනත් අංශ වලට විතැන් වීම සෝවියට් දේශය බිඳ වැටී සමාජවාදය කඩා වැටීමෙන් පසුව ගෙවුණු පසුගිය දශක තුනක පමණ කාලය තිස්සේ ලෝකය පුරාම දැකිය හැකි වූ ප්‍රවණතාවක්. 1991 වසරේදී ලෝකයේම ශ්‍රමිකයින්ගෙන් 43.7%ක් කෘෂිකාර්මික අංශය තුළ සිටියත් 2019 වන විට සිටියේ 26.9%ක් පමණයි.
මේ කාලය තුළ ලෝකයේ ආහාර නිෂ්පාදනයේ අඩුවක් සිදු වී නැහැ. අදාළ කාලය තුළ ලෝකයේ සෑම කලාපයකම පුද්ගලයෙකු ආහාර වලින් ලබා ගන්නා සාමාන්‍ය දෛනික කැලරි ප්‍රමාණය සීඝ්රයෙන් ඉහළ ගොස් අවශ්‍ය ප්‍රසස්ථ මට්ටම වන කැලරි 2500 ඉක්මවා තිබෙනවා. විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ ආහාර ඉල්ලුම සංතෘප්ත වී ඇති ආකාරය පිළිබිඹු කරමින් එම කලාපය පෙන්නුම් කරන රේඛාවේ වර්ධනය නැවතී රේඛාව තිරස් වී තිබෙනවා.
මෙයින් අදහස් වන්නේ ලෝකයේ ආහාර අවශ්‍යතාවය සැපිරීමට අවශ්‍ය පුද්ගලයින් ගණන විශාල ලෙස අඩු වී ඇති බවයි. ලංකාවේ ප්‍රවණතාව ලෝකයේ සමස්ත ප්‍රවණතාවයට බොහෝ කිට්ටුයි. 1991දී ලංකාවේ ශ්‍රමිකයන්ගෙන් 42.8%ක් කෘෂිකාර්මික ක්ෂේත්රයේ සිටියත් 2019 වන විට සිටියේ 24.5%ක් පමණයි.
මෙසේ කෘෂිකර්මයෙන් ඉවත් වූ ශ්‍රමිකයින්ට රැකියා නැති වී නැහැ. ඔවුන් කර්මාන්ත හා සේවා අංශ වල වඩා ඵලදායී රැකියා වල නිරත වෙනවා. වඩා ඉහළ ආදායම් උපයනවා. ඒ සමඟ ප්‍රමාණවත් තරමට ආහාර ලබා ගැනීමේ හැකියාවද ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා.
සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලසුමේ අරමුණු හා ඉලක්ක මොනවා වුනත් එම සැලසුමේ අවසන් ප්‍රතිඵලය වුනේ රටේ බොහෝ දෙනෙකුට අවශ්‍ය අවම දෛනික කැලරි ප්‍රමාණය නොලැබී යාමයි. එහෙත්, සාපේක්ෂව විවෘත ආර්ථිකයක් පැවති පසුගිය දශක තුනක කාලය තුළ ලංකාවේ ඒක පුද්ගල දෛනික කැලරි පරිභෝජනය ක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට 2500 මට්ටම ඉක්මවා තිබෙනවා.
(Image: https://www.tourradar.com/t/152775)
Labels:
ආර්ථික වර්ධනය,
ආහාර,
කාර්යක්ෂමතාවය,
කෘෂිකර්මය,
විවෘත ආර්ථිකය,
ශ්‍රම වෙළඳපොළ
Tuesday, May 19, 2020
වැරදුනේ කොතැනද?
සමගි පෙරමුණු ආණ්ඩුවේ 1972-76 පස් අවුරුදු සැලැස්ම ගැන පෙර ලිපියේ කෙටි සඳහනක් තිබෙනවා. ඇතැම් විට මේ පස් අවුරුදු සැලැස්මේ පසුබිම, අරමුණු, ඉලක්ක හා ප්‍රතිඵල ගැන සමාලෝචනයක් කරන්න මෙය සුදුසුම කාලයක්. සැලැස්ම සාර්ථක නොවූ බවට හොඳම සාක්ෂිය 1977දී ජේආර් ලැබූ හයෙන් පහේ මැතිවරණ ජයග්‍රහණයයි. ඒ සමඟම මධ්‍යගත සැලසුමක් මත පදනම් වූ සංවෘත මිශ්‍ර ආර්ථිකයක් පිළිබඳ අදහස නැවත දශක ගණනාවක් යන තුරු හිස එසැවිය නොහැකි ලෙස ලංකාවෙන් ප්‍රතික්ෂේප වුනා. මේ දැවැන්ත ප්‍රතික්ෂේප වීම හේතුවෙන් අවධානයෙන් ගිලිහී ගිය ඇතැම් සාධනීය කරුණුද ඉහත කී පස් අවුරුදු සැලැස්මේ තිබුණා.
බොහෝ දෙනෙක් සිතා සිටින පරිදි 1977දී ලංකාවේ ධනවාදී ආර්ථික ක්‍රමයක් තහවුරු වුනේ නැහැ. ආර්ථිකයේ යම් විවෘත වීමක් සිදු වුනා. රජය විසින් සිදු කළ ඇතැම් කටයුතු පෞද්ගලික අංශය වෙත විතැන් වුනා. සමගි පෙරමුණු යුගයට සාපේක්ෂව මේ වෙනස්කම් ධනවාදයේ දිශාවට සිදු වූ පරිවර්තන ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙත්, මධ්‍යගත සැලසුම්, මිශ්‍ර ආර්ථිකයක් හා ආරක්ෂණවාදී ප්‍රවේශයක් කියන පැකේජ් එකේ බොහෝ කොටස් අද දක්වාම එලෙසම තිබෙනවා. මේ සීමාකාරී තත්ත්වයන් හා ධනවාදය අතර ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති තවමත් දෝලනය වෙමින් තිබෙනවා.
නිදහසින් පසු ලංකාව මේ වන විට සෑහෙන දුරක් පැමිණ තිබෙනවා. රට තවම තිබෙන්නේ නමසිය හතළිස් අටේ කියා කිසිවෙකුට කියන්න බැහැ. එසේ වුවත්, මේ අවුරුදු 72 ඇතුළත රටවල් ගණනාවක් ලංකාව පසුකර ඉදිරියට ගිහින් තිබෙනවා. ඒ කියන්නේ සාපේක්ෂ පදනමක ලංකාව පසුපසට ගිහින් තිබෙනවා. එහෙමනම්, ලංකාවට වැරදුනු මොනවා හෝ තැන් තිබිය යුතුයි. ඒ තැන් මොනවාද?
අතීතයේ සිදු වූ වැරදි අඩුපාඩු දැන් හඳුනා ගත්තා කියා අතීතය වෙනස් කරන්න බැහැ. නමුත්, අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය වෙනස් කර ගත හැකියි. අතීතයේ කළ වැරදි නැවත නැවතත් සිදු කළ යුතු නැහැ.
සංවර්ධනයේ ඉලක්කය මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමයි. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. ආදායම් මට්ටම් ඉහළ ගිය පමණින්ම ජීවන තත්ත්වය උසස් වෙන්නේ නැහැ. ඒ සඳහා තවත් බොහෝ දේ සිදු විය යුතුයි. නමුත්, මේ තවත් බොහෝ දේ බොහෝ විට සිදු වන්නේ ආදායම් මට්ටම ප්‍රමාණවත් ලෙස ඉහළ ගොස් ඇත්නම් පමණයි. ඒ නිසා, පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් මට්ටම යනු ඒ පුද්ගලයින්ගේ හෝ පොදුවේ රටේ ජීවන තත්ත්වය පිළිබඳ සියයට සියයක සහසම්බන්ධයක් නැති වක්‍ර නිර්ණායකයක්ද වෙනවා.
මෙයින් වෙනස්ව පුද්ගලයෙකුගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ඔහුගේ හෝ ඇයගේ ජීවන තත්ත්වය පිළිබඳ සෘජු නිර්ණායකයක් සේ සලකන්න පුළුවන්. ඒ පදනම මත අධ්‍යාපනය හා සෞඛ්‍යය ආදායම් මට්ටමට වඩා වැදගත්. එහෙත්, කරුණු දෙකක් නිසා ආදායම් මට්ටම අතහැර අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැන කතා කරන්න බැහැ. පළමුව, හොඳ අධ්‍යාපන හා සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගන්නනම් හොඳ ආදායම් මට්ටමක් අවශ්‍ය වෙනවා. දෙවනුව, හොඳ අධ්‍යාපන හා සෞඛ්‍ය මට්ටමක් ඇති විට වැඩි ආදායමක් ඉපැයීමේ ශක්‍යතාවයක් ඇති වෙනවා. මේ හේතු දෙක නිසා අධ්‍යාපනය හා සෞඛ්‍යය දියුණු විය යුත්තේ ආදායම් මට්ටම ඉහළ යාමට සමාන්තරවයි. අධ්‍යාපනය හා සෞඛ්‍යය නොසලකන ආදායම් ඉහළ යාමකට හෝ ආදායම් මට්ටම නොසලකා හරින අධ්‍යාපන හා සෞඛ්‍ය සංවර්ධනයකට දිගුකාලීන පැවැත්මක් නැහැ. එය අකාර්යක්ෂමයි.
ලෝකයේ හැම රටක්ම වාගේ කිසියම් තරමකින් අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කරනවා. එසේ කරන්නට හේතු තිබෙනවා.
දෙදෙනෙකු අතර සිදුවන අන්තර්ක්‍රියා බොහොමයක වාසිය හා අවාසිය තිබෙන්නේ ඒ දෙදෙනාටයි. එහෙත්, ඇතැම් විට පැත්තක සිටින තෙවන පාර්ශ්වයකටද බලපෑමක් වෙනවා. උදාහරණයක් විදිහට ඔබ ඔබේ මුදලින් දුම්වැටියක් මිල දී ගෙන උරනවා. එයින් ඔබට දිගුකාලීන සෞඛ්‍ය හානියක් සිදු වෙනවා. ඔබ ඒ බව දන්නවා. හානියේ ප්‍රමාණය ගැන නිසි තක්සේරුවක් ඔබට තිබෙනවා. ඒ බව දැන දැන ඔබ දුම්වැටිය උරනවානම් එය ඔබේ ස්වාධීන නිදහස් තීරණයක්. මට එයට මැදිහත් වෙන්න අයිතියක් නැහැ. එහෙත්, ඔබ පොදු ස්ථානයක වාතයට එකතු කරන සිගරැට් දුම මට ආශ්වාස වෙනවානම් එය මගේ ප්‍රශ්නයක්. ඔබ වත්තේ පුළුස්සන වියලි කොළ ගොඩක දුම මගේ වත්තට එනවානම් එය මගේ ප්‍රශ්නයක්.
මේ ආකාරයෙන් කිසියම් පුද්ගලයෙකු විසින් කරන කටයුත්තකින් පැත්තක සිටින අයෙකුට බලපෑමක් සිදු වන අවස්ථා බාහිරත්ව ලෙස හඳුන්වනවා. මා මෙලෙස පරිවර්තනය කරන්නේ externalities කියන ඉංග්‍රීසි වචනයයි. ඇතැම් විට නිවැරදි සිංහල වචනය වෙනත් එකක් විය හැකියි.
තෙවන පාර්ශ්වයකට බාහිරත්වයක බලපෑම නරක බලපෑමක් වෙන්න පුළුවන් වගේම හොඳ බලපෑමක් වෙන්නත් පුළුවන්. බලපෑම නරක එකක්නම් එය සෘණාත්මක බාහිරත්වයක් (negative externality) ලෙසත්, බලපෑම හොඳ එකක්නම් එය ධනාත්මක බාහිරත්වයක් ලෙසත් (positive externality) ලෙසත් හැඳින්වෙනවා. ඉහත කී දුම්වැටි උදාහරණය සෘණාත්මක බාහිරත්වයක්. ඔබේ තාප්පයේ ඔබේ වියදමින් ඔබ අඳින ආකර්ශනීය චිත්රයකින් ධනාත්මක බාහිරත්වයක් ඇති කරවන්න පුළුවන්.
බාහිරත්ව ඇති තත්ත්වයක් යටතේ කිසියම් පුද්ගලයෙකු විසින් අවස්ථාව අනුව ගන්නා හොඳම තීරණය පොදුවේ සමාජයක් ලෙස සැලකූ විට හොඳම තීරණය නොවෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක පොදු සමාජය පෞද්ගලික තීරණයකට බලපෑමක් කිරීම එසේ නොකිරීමට වඩා කාර්යක්ෂමයි. උදාහරණයක් විදිහට පොදු තැනක දුම්පානය කරන කෙනෙකුගෙන් දඩ මුදලක් අය කර ඒ මුදල අක්‍රිය දුම්පානය නිසා රෝගී වන අය වෙනුවෙන් යෙදවීම වඩා කාර්යක්ෂමයි වගේම වඩා සාධාරණයි. ඒ වගේම කෙනෙක් පෞද්ගලික ඉඩමක තිබෙන පාරට පෙනෙන තමන්ගේ තාප්පයේ තමන්ගේ වියදමෙන් අඳින චිත්‍රය නිසා සතුටු වන අයගෙන් ඒ සතුට වෙනුවෙන් මුදලක් අය කර චිත්රයේ පිරිවැය දැරූ පුද්ගලයාට දෙන එකේත් වැරැද්දක් නැහැ.
හැබැයි මේ වගේ මැදිහත්වීමක් කළ යුත්තේ ඉතාම පරිස්සමෙන්. මොකද කිසියම් කටයුත්තකින් පුද්ගලයෙකු ලබන සතුට හෝ අසතුට සෘජුව නිරීක්ෂණය කළ නොහැකි නිසා බාහිරත්ව ඇති බව පැහැදිලිව පෙනෙන විටෙක පවා එම බාහිරත්වයේ ප්‍රමාණය හරියටම මැන ගැනීම පහසු නැහැ. නිවැරදි කිරීමක් කාර්යක්ෂම වෙන්නනම් බාහිරත්වයේ ප්‍රමාණය හරියටම මැන ගන්න වෙනවා.
උදාහරණයක් විදිහට පොදු අරමුදල් යොදවා හදන පිට්ටනියක් ගැන හිතමු. දැන් මේ පිට්ටනිය හැදූ පසු ඕනෑම කෙනෙක්ට ගිහින් එහි ක්‍රීඩා කරන්න පුළුවන්. පිට්ටනියක් තිබෙනවානම් එහි ක්‍රීඩා කිරීම සඳහා මුදල් ගෙවන්න කැමති විශාල පිරිසක් ඉන්නවා. ක්‍රීඩා කිරීමේ සතුට ගෙවන මුදලට වඩා වැඩියි. නමුත්, පිට්ටනියක් නැති නිසා කිසිවෙකුට ඒ විකල්පය නැහැ. පිට්ටනියක් තිබුණානම් මුදල් ගෙවා එහි ක්‍රීඩා කිරීමට ඉඩ ඇති කිසිවෙකුට අලුතෙන් පිට්ටනියක් හැදීම වෙනුවෙන් ආයෝජනය කිරීමේ හැකියාවක් නැහැ. ඔය වගේ වෙලාවක පොදු අරමුදල් යොදවා පිට්ටනියක් හදන එක නරක දෙයක් නෙමෙයි. මුලදී සියල්ලන්ටම පාඩුවක් සිදු වුනත් පිට්ටනිය හැදුනු පසු මුදල් නොගෙවා ක්‍රීඩා කරන්න ලැබෙන නිසා ඒ පාඩුව සමනය වෙනවා.
සමහර විට ඔය පිට්ටනිය තමන්ට කවදාවත් යන්න නොලැබෙන පිට්ටනියක් වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. එහි ක්‍රීඩා කරන කණ්ඩායම් දිහා රූපවාහිනියෙන් හෝ බලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා, හැමෝටම යන්න නොලැබෙන පිට්ටනියක්, පාරක් හෝ ස්මාරකයක් වෙනුවෙන් වුවත් පොදු මුදල් යෙදෙවීම වරදක් කියා එකවරම කියන්න බැහැ. ක්ෂණික ගිලන් රථ සේවයක් වගේ දෙයක් වෙනුවෙන් යොදවන මහජන මුදල් වලින් ඕනෑම කෙනෙකුට කොයි වෙලාවක හරි වාසියක් වෙන්න පුළුවන්.
හැබැයි මේ වගේ කටයුත්තක් වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම සාධාරණ හා කාර්යක්ෂම වන සීමාවක් තිබෙනවා. අපි හිතමු ඉකොනොමැට්ටා බ්ලොග් එකේ පස් වන සංවත්සරය සැමරීම සඳහා මහජන මුදල් යොදවා ගාලු මුවදොර පිටියේ ස්මාරකයක් හැදුවා කියා. ඕක දකින සමහර අයට සතුටක් ඇති වෙයි. තවත් සමහර අයට අසතුටක් ඇති වෙයි. අපි හිතමු වැඩි දෙනෙකුට ඇති වෙන්නේ සතුටක් කියලා. ඔබට මේ ස්මාරකය එහි තිබීමෙන් සතුටක් ඇති වෙනවානම් ඒ සතුට වෙනුවෙන් ඔබ වැය කරන්න කැමති නිශ්චිත උපරිම මුදලක්ද තිබෙනවා. ස්මාරකය නිසා රටේ සියල්ලන්ටම ලැබෙන සතුට මුදලින් ඇස්තමේන්තු කිරීමෙන් පසුව, ඒ වෙනුවෙන් වැය කළ මහජන මුදල් බදු ලෙස අය කර ගැනීමේදී ඔවුන්ට අහිමි වන සතුට ඉක්මවනවානම් මේ ස්මාරකය හැදීම මහජන යහපත සඳහා හේතු වෙනවා. ඒ නිසා එය කාර්යක්ෂමයි. එසේ නොවන්නේනම් එය මහජන මුදල් නාස්ති කිරීමක්.
අධ්‍යපනය පොදු අරමුදල් යොදවා සුබසාධනය කිරීමේ ආර්ථික විද්‍යා පදනම වන්නේත් එයින් සැලසෙන පෞද්ගලික යහපතට අමතරව පොදු යහපතක්ද සැලසෙනවා කියන එකයි. ඔබේ අධ්‍යාපන මට්ටම ඉහළ යද්දී ඔබේ ආදායම් ලැබීමේ හැකියාව ඉහළ යනවා. ඒ හරහා හා වෙනත් ආකාර වලින් ඔබට යහපතක් සැලසෙනවා. එයට අමතරව ඔබ දැනුම් තේරුම් ඇති අයෙකුව සිටීමෙන් ඔබ අවට සිටින අනෙකුත් අයටද යහපතක් සැලසෙනවා. ඔබට අකුරු කියවිය හැකිනම් එසේ කළ නොහැකි අයෙකුට පාරක් තොටක් හොයා ගන්න උදවු කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. ඔබ විදේශ භාෂාවක් ඉගෙනගෙන ඇත්නම් විදේශ සංචාරකයෙකුට වුවත් ඔබෙන් පාරක් තොටක් අහගන්න පුළුවන්. විශේෂයෙන්ම සාමූහික නිෂ්පාදන කටයුත්කදී සියළු දෙනාම එක සේ දැනුවත් වූ විට 2 + 2 = 5 තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
අධ්‍යාපනය වෙනුවෙන් යමෙක් කළ යුතු ආයෝජනය තනිකරම පෞද්ගලික ආයෝජනයක්නම් ඔබ ආයෝජනය කරන්නේ ඔබට එයින් අනාගතයේදී ලැබෙන පෞද්ගලික ප්රතිලාභ දෙස බලාගෙනයි. ලැබෙන අනාගත වාසි අද කරන ආයෝජනයට වඩා වැඩිනම් ඔබ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරනවා. එසේ නැත්නම් නැහැ. ඔබ ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් අද වැය කරන මුදල් නිසා පැත්තක ඉන්න වෙනත් අයටද වාසි ලැබෙනවා කියන කරුණට මෙහිදී ඔබේ අවධානය යොමු වන්නේ නැහැ. වෙනත් අයට වාසි ලැබෙන්න ඔබ ඔබේ මුදල් වැය කළ යුත්තේ ඇයි?
අපි හිතමු ඔබ මේ ආකාරයට නොසිතා අධ්‍යාපනය වෙනුවෙන් තරමක් වැඩි ආයෝජනයක් කළා කියා. මේ වැඩෙන් ඔබට අනාගතයේදී සිදු වන්නේ අවාසියක්. නමුත්, රටේ හැම කෙනෙක්ම ඔබ විදිහටම සිතා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කළොත්? දැන් ඒ අනිත් අය විසින් සිදු කළ අමතර ආයෝජන වල වාසිය ඔබටත් එනවා. ඒ නිසා, අවසානයේදී ඔබට ශුද්ධ ලෙස වාසියක් මිසක් අවාසියක් වෙලා නැහැ. හැබැයි ඔය වාසිය ඔය විදිහට ලැබෙන්නේ හැමෝම අධ්‍යාපනය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කළොත් පමණයි. එසේ නැත්නම් ඔබට වෙන්නේ අවාසියක්. අනිත් අය ගැන ඔබට සහතිකයක් නැති නිසා ඔබ වැඩේට අත ගහන්නේ නැහැ. අනිත් අය හිතන්නෙත් ඒ විදිහටමයි.
අධ්‍යාපන ආයෝජන සිදුවන්නේ තනිකරම පෞද්ගලික තීරණ මතනම් එම ආයෝජන සිදු වන්නේ ප්‍රසස්ථම මට්ටමට වඩා තරමක් අඩුවෙන්. අධ්‍යාපනය වෙනුවෙන් කිසියම් පොදු ආයෝජනයක් කිරීම මේ ප්‍රශ්නයට විසඳුමක්. නමුත්, එය ප්‍රසස්ථ වන නිශ්චිත සීමාවක් තිබෙනවා. එම මට්ටම ඉක්මවා ගියහොත් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරන පොදු ආයෝජන වලින් එම ආයෝජන වලට සරිලන වාසියක් ලැබෙන්නේ නැහැ.
ලංකාව නිදහස ලබන කාලයේදී එසේ නිදහස ලැබූ වෙනත් රටවල වගේම ලංකාවේද අධිරාජ්‍ය විරෝධය උපරිම මට්ටමක තිබීම පහසුවෙන් තේරුම් ගත හැකි කරුණක්. ඒ කාලයේදී සමාජවාදී රටවල් අධිරාජ්‍ය විරෝධය හා ජාතීන්ගේ නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන්ද පෙනී සිටි නිසා ලංකාව වැනි රටවල අධිරාජ්‍ය විරෝධී හා ජාතිකවාදී අදහස් ව්‍යාප්ත වීමට සමාන්තරව සමාජවාදී අදහස්ද ව්‍යාප්ත වුනා. අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම හරහා මානව සංවර්ධනයට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න නිදහස් ලංකාව යොමු වීම කෙරෙහි මේ සමාජවාදී අදහස් වලින්ද සැලකිය යුතු බලපෑමක් සිදු වෙන්න ඇති.
ලංකාව දිගින් දිගටම වගේ මානව සංවර්ධනය අතින් සමාන ආදායම් මට්ටමක සිටි වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටියා. එයට අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම විශාල පිටිවහලක් වී ඇති බව කිසිදු සැකයක් නැති කරුණක්. එහෙත්, එයින් අදහස් වන්නේ මේ තත්ත්වය පැවතිය හැකිව තිබුණු හොඳම තත්ත්වය බව නෙමෙයි.
ඕනෑම දෙයක නියම මිලක් තිබෙනවා. ඒ මිලට වඩා මිලක් ගෙවන්න වෙනවානම් කොයි තරම් වටිනා දෙයක් වුවත් මිල දී ගන්න එකේ තේරුමක් නැහැ. අධ්‍යාපන හා සෞඛ්‍ය ආයෝජන සුබසාධනය කිරීම වෙනුවෙන් ගෙවන මිලත් එවැන්නක්. මානව සංවර්ධනය වෙනුවෙන් ආයෝජන ඉහළ දමද්දී භෞතික සංවර්ධනය වෙනුවෙන් සිදු කළ හැකි ආයෝජන සීමා වෙනවා. ඒ නිසා, මේ දෙක අතර නිසි සමතුලිතතාවයක් පවත්වාගත යුතුයි. මානව සංවර්ධනය වෙනුවෙන් අඩුවෙන් ආයෝජනය කිරීම වගේම වැඩියෙන් ආයෝජනය කිරීමත් දිගුකාලීනව හානිකරයි.
මානව සංවර්ධනය වෙනුවෙන් නිසි පමණ ආයෝජනය නොකර භෞතික සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කළ විට දිගුකාලීනව භෞතික සම්පත් වැඩි වුනත්, ඒ භෞතික සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි මානව සම්පත් ප්‍රමාණවත් තරම් නැති නිසා නිෂ්පාදිතය අඩු වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස භෞතික සම්පත් සංචිත තිබෙන මට්ටමේ පවත්වා ගැනීම අසීරු වෙන්න පටන් ගන්නවා.
මෙහි අනිත් පැත්තත් එහෙමයි. භෞතික සංවර්ධනය වෙනුවෙන් නිසි පමණ ආයෝජන සිදු නොකර මානව සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කළ විට දිගුකාලීනව මානව සම්පත් සංචිත වැඩි වුනත්, ඒ වැඩි වූ මානව සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට අවශ්‍ය භෞතික සම්පත් හිඟ නිසා නිෂ්පාදිතය අඩු වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස මානව සම්පත් සංචිත තිබෙන මට්ටමේ පවත්වා ගැනීම අසීරු වෙන්න පටන් ගන්නවා. ලංකාවේ ආර්ථිකය අකාර්යක්ෂම වෙන්න මේ දෙවන හේතුව බොහෝ දුරට දායක වී තිබෙනවා.
සැබෑවක්ද ප්‍රබන්ධයක්ද කියා මා හරියටම නොදන්නා ජනප්‍රිය කතාවකට අනුව ගහකට යවා ගන්නවත් ගමක කොල්ලෙක් නැති වෙයි කියන පදනමින් ලංකාවේ ඇතැම් දේශපාලනඥයින් නිදහස් අධ්‍යාපනය සේ හඳුන්වන, සියල්ලන්ට පොදුවේ ලැබෙන සුබසාධිත අධ්‍යාපනයට එරෙහි වී තිබෙනවා. මේ කතාව මොන අදහසකින් කියපු එකක් වුනත් එහි ආර්ථික විද්‍යා අරුතක් තිබෙනවා. රටට අවශ්‍ය වන්නේ පොල් කඩන්න දන්න මිනිස්සුනම් රටේ සියල්ලන්ටම උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙන එකේ තේරුමක් නැහැ. උපාධි මට්ටමේ අධ්‍යාපනයකින් වැඩක් වෙන්නනම් මානව සංවර්ධනයට සමාන්තර භෞතික සංවර්ධනයක්ද සිදු විය යුතුයි.
ඕනෑවට වඩා කලින් මානව සංවර්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා ආයෝජනය කරමින් සුබසාධිත ආර්ථිකයක් පවත්වා ගැනීම (premature welfarism) ලංකාවේ අනාගත සංවර්ධනයට හානිකර වී ඇති බව සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් කිහිප දෙනෙකු විසින්ම පෙන්වා දී තිබෙන කරුණක්. මෙය දැන් සිදු වී අවසන් නිසා ඒ හානිය ආපසු හරවන්න බැහැ. ඒ නිසා දැන් කළයුත්තේ පවතින තත්ත්වය වාසියට හරවා ගන්න එකයි.
අවසාන ප්‍රතිඵලය කවරක් වුවත් සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්ම ඉහත අඩුපාඩුව නිවැරදිව හඳුනාගෙන විසඳුම් සෙවීම සඳහා දැරූ අවංක උත්සාහයක්. විසඳුම් සෙවූ ක්‍රමවේදයේ වරදින් හා ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිසා වසර පහ අවසානයේ රටේ ආර්ථිකය කබලෙන් ලිපට වැට්ටවීම හැර වෙනත් දෙයක් සිදු නොකළත්, මේ සැලසුමේ ඉලක්කය වුනේ රටේ මානව සම්පත් සංවර්ධනයට ගැලපෙන පරිදි භෞතික සම්පත් සංචිත වැඩි කර ගැනීම හා එයට සමාන්තරව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි.
සමගි පෙරමුණු උපක්‍රමය අසාර්ථක වීමෙන් පසුව විදේශ ණය වලින් භෞතික සම්පත් හිඟය පුරවා ගැනීමේ විකල්පය වෙත ලංකාව මාරු වුනා. අද දක්වා වසර 43ක් ලංකාව විසින් මේ උපාය මාර්ගය අනුගමනය කරමින් සිටිනවා. එහෙත් මේ උපාය මාර්ගයේද පැහැදිලි නෛසර්ගික අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු කාලයක් තිස්සේ සමුච්ඡය වී දැන් ලංකාව නැවතත් මේ ක්‍රමයට තවත් ඉදිරියට යා නොහැකි සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා.
(Image: https://www.agefotostock.com/age/en/Stock-Images/Rights-Managed/GBP-CPA0002087)
Labels:
අධ්‍යාපනය,
අනාගතය,
ආකෘති,
ආයෝජනය,
ආර්ථික අර්බුදය,
ආර්ථික වර්ධනය,
සෞඛ්‍යය
Monday, May 18, 2020
සැලසුමක් නැති පස් වසරක්!
අපි කවුරුත් විවිධ දේවල් සැලසුම් කරනවා. ගෙයක් හදන්න, උපාධියක් ගන්න, රස්සාවක් හොයාගන්න, පරස්තාවක් කරගන්න, කාර් එකක් ගන්න, රට පනින්න, ආණ්ඩුව වෙනස් කරන්න, ජාතිය ගොඩගන්න, ෂෝට් ලීව් එකක් දාලා කලින් ගෙදර යන්න, ගෙදර අලුතෙන් පේන්ට් කරන්න, කාමරේ අස් කර ගන්න, ගෙදරට හොරෙන් යාලුවෝ එක්ක හවසට සෙට් වෙන්න ආදී නානාප්‍රකාර සැලසුම් අපිට තියෙනවා. සැලසුම් කියන්නේ නරක දෙයක් නෙමෙයි.
අපට සැලසුම් අවශ්‍ය වෙන්නේ ඇයි? විකල්පයක් විදිහට හැම දෙයක්ම එවෙලේ ක්ෂණිකව තීරණය කරලා කරන්න පුළුවන්නේ. එහෙමනම් සැලසුම් මොකටද?
අපට මේ මොහොතේ වඩාත්ම වාසිදායක, අපට වඩාත්ම සතුටක් ගෙනදෙන, හොඳම තීරණය ගන්න පුළුවන්. එහෙත්, අපි අද ගන්න ගොඩක් තීරණ වල අනාගත බලපෑමක් තිබෙනවා. උදාහරණයක් විදිහට මත්පැන් තොලගාන කෙනෙකුට ඒ මොහොතේ ලැබෙන සතුට මත්පැන් වෙනුවෙන් වැය කරන මුදලට වඩා වැඩි වෙන්න පුළුවන්. මේ විදිහට ඒ මොහොතේ සතුට ගැන සිතා දිනපතා කරටි කැඩෙන්න ගහන කෙනෙක්ට අනාගතයේ දවසක ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය ගන්න පුළුවන් වෙන්නේ යම් තීරණයකින් මේ මොහොතේ ලැබෙන වාසි අවාසි වගේම අනාගත වාසි අවාසිත් සලකා බැලීමෙන් පසුවයි.
මෙතැනදී මතු වන ප්රශ්නය වන්නේ අනාගතය ගැන අපි හරියටම දන්නේ නැති වීමයි. අපි හිතමු අපිට අනාගතය නිශ්චිත ලෙස දකින්න හැකියාවක් තිබෙනවා කියා. හෙට මා වාහන අනතුරකට මුහුණ දෙන්න නියමිත බව අද දන්නවානම් මට එම අනතුරට හේතු වන ගමන නොගිහින් ඉන්න පුළුවන්. තමන්ගේ දුම්පානය කිරීමේ පුරුද්ද නිසා තව අවුරුදු දෙකකින් පසු පෙනහළු පිළිකාවක් හැදී සෑහෙන දුකක් විඳ මිය යන්න වෙන බව අද හරියටම දන්න කෙනෙක් බොහෝ විට අද දුම්පානයෙන් මිදෙනවා. ඒ වගේම, ජීවිත කාලයම දුම්පානය කළත් අවුරුදු අනූවක් යන තුරු ඉහින් බහින රෝගයක් හැදෙන්නේ නැති බව හරියටම දන්නා කෙනෙක් එම පුරුද්දෙන් මිදෙන්න තිබෙන්නේ අඩු ඉඩක්.
අපිට අනාගතය නිශ්චිතව දකින්න විදිහක් නැහැ. එහෙත්, අනාගතය ගැන අපිට යම් අදහසක් තිබෙනවා. උපාධියක් ලබා ගත්තොත් හොඳ රැකියාවක් ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. හොඳ රැකියාවක් තිබේනම් හොඳ පරස්තාවක් කර ගන්න තිබෙන ඉඩකඩ වැඩියි. ලොක්කාට මළ පැනලා ඉන්න වෙලාවක ඇහුවොත් ෂෝට් ලීව් එක අනුමත කරන්න තිබෙන ඉඩකඩ අඩුයි. අද ඉඳලා කීය කීය හරි ඉතුරු කර ගත්තොත් කාර් කට්ටක් ගන්න ලැබෙන ඉඩකඩ වැඩියි. ඔය වගේ දළ අදහසක් අපිට තිබෙනවා. අපි සැලසුම් හදන්නේ මේ දළ අදහස මතයි.
සැලසුමක් හදන්න කලින් පළමුව අනාගතය පිළිබඳව පුරෝකථනය කළ යුතුයි. මෙහෙම කළොත් කොහොම වෙයිද? මෙහෙම නොකළොත් කොහොම වෙයිද? අපට මේ විදිහට අනාගතය ගැන පුරෝකථනය කරන්න වෙන්නේ මේ මොහොතේ අපි දන්නා දේවල් මත පදනම්වයි. නමුත්, පසුව අලුත් තොරතුරු ලැබෙන විට කලින් හිතා හිටි දේ නිවැරදි නොවන බව තේරෙන්න පුළුවන්. හොරෙක්ට අහුවෙන්න යන බව කලින් තේරෙන්නේ නැහැ. තේරෙන කොට අහුවෙලා.
එකම තොරතුරු ටික දැනගෙන හිටියත් දෙන්නෙක් එක ලෙසටම අනාගතය දකින්නේ නැහැ. එය එක් එක් පුද්ගලයාගේ විශ්ලේෂණ හැකියාව මතද තීරණය වෙනවා. කාලය ගෙවෙද්දී තමන්ගේ මුල් විශ්ලේෂණය නිවැරදි නොවන බව කෙනෙක්ට පෙනෙන්න පුළුවන්.
ඉහත කී හේතු දෙක නිසා බොහෝ විට සැලසුම් හරියටම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා, කිසියම් සැලසුමක් ඕනෑම තත්ත්වයක් යටතේ මුලින් හිතපු විදිහටම ක්‍රියාත්මක කරන එක මෝඩ කමක්. අලුත් තොරතුරු ලැබෙන විට ඒ මත පදනම්ව අවශ්‍ය පරිදි සැලසුම වෙනස් කිරීම වඩා වාසිදායකයි.
මිනිස්සු වගේම රටවල්ද සැලසුම් සකස් කරනවා. සමාජවාදී රටවල් විසින් කාලයක් තිස්සේ උත්සාහ කළේ එක් මධ්‍යගත සැලසුමක් අනුව රටක බොහෝ කටයුතු සිදු කරන්නයි. මේ අනුව, රටේ සියලුම දෙනා මේ සැලසුමට අනුගත විය යුතුව තිබුණා. එවැනි සැලසුම් බොහෝ විට සකස් කළේ සුළු පිරිසක් විසින්. රටේ අනෙක් අයට සැලසුමට විරුද්ධ වීමේ හැකියාවක් තිබුණේ නැහැ. 2 + 2 = 5 කියා ආණ්ඩුව කියනවානම් මිනිස්සුන්ට ඒ බව පිළිගනු හැර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
ජෝර්ජ් ඕර්වෙල් යන ආරූඪ නාමයෙන් පෙනී සිටි ඉංග්‍රීසි ලේඛක එරික් ආතර් බ්ලෙයාර් ඔහුගේ "1984" කෘතියේ මේ තත්ත්වය සමච්චලයට ලක් කළේ මෙහෙමයි.
"In the end the Party would announce that two and two made five, and you would have to believe it. It was inevitable that they should make that claim sooner or later: the logic of their position demanded it."
"අවසානයේදී පක්ෂය විසින් දෙකට දෙකක් එකතු කළ විට පිළිතුර පහ බව දැනුම් දෙනු ඇති අතර ඔබට එය විශ්වාස කිරීමට සිදු වනු ඇත. ඔවුන් මෙවැනි ප්‍රකාශයක් කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. පක්ෂ ස්ථාවරය අනුව, එය තර්කානුකූලව සිදු විය යුතුම දෙයකි."
ජෝර්ජ් ඕර්වෙල්ට මේ විදිහට ලියන්න පෙළඹුමක් ඇති කළේ සෝවියට් දේශයේ පළමු පස් අවුරුදු සැලැස්ම යටතේ එරට ඉතා වේගයෙන් කාර්මීකරණය කරන්න ගත් උත්සාහය තුළ අවුරුදු පහේ ඉලක්ක අවුරුදු හතරින් අත් කර ගැනීමට දැරූ උත්සාහය වෙන්න පුළුවන්. කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ වැනි කරුණකදී ඉහත ප්‍රකාශයේ පක්ෂය කියන එකට අවශ්‍යනම් ආණ්ඩුව කියන වචනය ආදේශ කරන්නත් පුළුවන්.
සෝවියට් දේශය අනුගමනය කරමින් චීනය, ඉන්දියාව, කොරියාව වගේ රටවල් ගණනාවක් පස් අවුරුදු සැලසුම් හැදුවා. සමගි පෙරමුණු ආණ්ඩුව 1972-76 කාලයේ ක්‍රියාත්මක කළේත් මෙවැනි පස් අවුරුදු සැලැස්මක්.
ඔය වගේ බරපතල සැලසුමක් නැතුව පටන් ගත්තත්, මේ බ්ලොග් එකටත් අදට අවුරුදු පහක්!
Labels:
අනාගතය,
අනාවැකි,
අපේ වියුණු,
ආකල්ප,
ආකෘති,
ආර්ථික වර්ධනය,
සමාජවාදය
Sunday, May 17, 2020
ආර්ථිකය සැලසුම් කළ හැක්කේ කාටද?
ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,425,000ක් බව මම කලින් කිවුවනේ. මෙයින් බෝග වගාවේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 1,261,000ක්. ආහාර පිණිස "වගා කරන" මාළු හා ඉස්සන් ආදියද ඇතුළත්ව සත්ව ගොවිපොළ වල සේවය කරන ශ්‍රමිකයින් ප්‍රමාණය 762,000ක්. ධීවර කර්මාන්තයේ හා දඩයමේ නිරත ප්‍රමාණය 62,000ක්. වන වගාවේ හා දැව කැපීමේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 166,000ක්. ඉහත කී කර්මාන්ත හා අදාළ කිසියම් සහායක සේවාවක නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 174,000ක්.
ඇමරිකාවේ මුළු ජනගහණය මිලියන 330ක් පමණ වෙනවා. එයින් ශ්‍රම බලකායට අයත් පිරිස 157,538,000ක්. මේ අනුව, ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 0.7%ක් හා ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණයි.
ඇමරිකාව ශුද්ධ ලෙස ආහාර අපනයනය කරන රටක්. පසුගිය 2019 වසරේදී ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය ඉපැයූ ශුද්ධ අපනයන ආදායම, එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කළ පසු ශේෂය, ඩොලර් 5,618,060,868ක්. ඩොලර් බිලියන වලින් 5.6ක්. (මුළු කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක්).
ඒ වගේම, ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණෙන ආහාර ප්‍රමාණයෙන් 31%ක් පමණ නාස්ති වෙනවා. 2010 ඇස්තමේන්තුවකට අනුව ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්.
ඇමරිකාව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින් විවිධ සුබසාධන වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. පසුගිය වසරේදී අඩු ආදායම්ලාභී පවුල් 17,964,000කට ආහාර මුද්දර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 60.4ක්. අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන දරුවන් මිලියන 29.6කගේ දිවා ආහාර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 14.2ක්. පාසැල් දරුවන් මිලියන 14.8කගේ උදේ ආහාර වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4.6ක් වැය කර තිබෙනවා. අඩු ආදායම්ලාභී ගර්භණී හා කිරිදෙන මවුවරුන් මිලියන 6.4කට ආහාර ආධාර ලෙස තවත් ඩොලර් බිලියන 5.2ක් වැය කර තිබෙනවා. මීට අමතරව හදිසි ආපදා ආහාර ආධාර, ළමා නිවාස හා මහළු නිවාස සඳහා ආහාර ආධාර, රතු ඉන්දියානු ආහාර ආධාර වැඩ සටහන් ඇතුළු තවත් ආහාර ආධාර වැඩ සටහන් ගණනාවක් ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. මෙසේ ආහාර සුරක්ෂිතතාව ඉලක්ක කළ සුබසාධන වැඩ සටහන් වෙනුවෙන් පමණක් වැය කර තිබෙන මුදල අවම වශයෙන් ඩොලර් බිලියන 92.7ක්.
මේ ඇමරිකාවේ ආර්ථිකය සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් හොඳින් තිබුණු 2019 වසරේ තත්ත්වයයි. පෙර වසර වල මේ වියදම් මීට වඩා ගොඩක් වැඩියි. මේ වසරේදී නැවත මේ වියදම් විශාල ලෙස ඉහළ යයි.
ඒ වගේම මේ රාජ්‍ය අංශයේ දායකත්වය ඇති ආහාර ආධාර වැඩ සටහන් පමණයි. ඇමරිකාවේ හැම ලොකු කුඩා නගරයකම වගේ රාජ්‍ය මැදිහත්වීමක් නැති ආහාර බැංකු ක්‍රියාත්මක වෙනවා. එවැනි තැනකට යන කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ආහාර බැංකු 200ක් හරහා ආහාර ආධාර බෙදන එක් රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් පසුගිය වසර තුළ මිලියන 40කට වැඩි පිරිසකට ආහාර වේල් බිලියන 4.2ක් බෙදා දී තිබෙනවා. මා පෞද්ගලිකව දන්නා පරිදි මෙවැනි වැඩ සටහන් ක්‍රියාත්මක කරන ආගමික හා ආගමික නොවන ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා.
ඇමරිකාවේ ආහාර නාස්තියට එක් හේතුවක් වන්නේත් මේ ආකාරයට විවිධ සුබසාධන වැඩ සටහන් යටතේ මුදලක් නොගෙවා ආහාර ලබා ගැනීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට හිමිව තිබීමයි. තමන්ගේ අතින් මුදල් යන විට ආහාර නාස්තිය වලක්වා ගන්න කෙනෙක් උනන්දු වුවත් නොමිලේ ආහාර ලැබෙන විට ඒ උනන්දුව අඩු වෙනවා. ආහාර නාස්තිය අනුමත නොකළත්, මෙවැනි සුබසාධන වැඩ සටහනක ප්රමුඛ ඉලක්කය වන්නේ ආහාර අවශ්‍ය අය වෙත ප්‍රමාණවත් හා සුදුසු ආහාර ලැබෙන බව සහතික කිරීම මිස ආහාර නාස්තිය අඩු කිරීම නෙමෙයි. එය ද්වීතියික ඉලක්කයක්.
මෙහි "සුදුසු" කියන වචනය ගැනත් යමක් කිව යුතුයි. ආහාර වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කරන කෙනෙක් තමන්ගේ ආහාර රුචියට වැඩි ප්රමුඛත්වයක් දෙනවා. එහෙත්, මුදල වැය කරන්නේ වෙනත් අයෙකු වූ විට යම් තරමකින් මුදල වැය කරන තැනැත්තාගේ රුචිකත්වය ඉස්මතු වීමක් වෙනවා. එහිදී වඩා රසවත් ආහාර වලට සාපේක්ෂව වඩා පෝෂ්‍යදායී ආහාර වලට වැඩි බරක් වැටෙනවා. මෙය යම් තරමකින් ආහාර නාස්තියට හේතු වෙනවා. විශේෂයෙන් එළවලු හා පළතුරු හා අදාළව.
ඇමරිකාවේ රජය, පාරිභෝගිකයින් හා ව්‍යාපාරික ආයතන විසින් ආහාර මිල දී ගැනීම වෙනුවෙන් 2018 වසරේදී වැය කර තිබෙන මුදල ඩොලර් බිලියන 1,710ක්. 2019 වියදමද මේ ආසන්න මුදලක් විය යුතුයි. මේ ආහාර මුළුමනින්ම වාගේ ඇමරිකාව ඇතුළත නිපදවුණු ආහාර කියා කියන්න පුළුවන්.
ඇමරිකාව විසින් 2019 දී ඩොලර් බිලියන 131.0ක ආහාර හා වෙනත් ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදිත ආනයනය කර ඇතත්, ඇමරිකාවේ කෘෂිකාර්මික අපනයන වලින් උපයා ඇති ආදායම ඊට වඩා වැඩියි. ඒ නිසා, ඇමරිකාව ආරක්ෂණවාදී ප්රතිපත්තියක නොසිටියත් ආහාර වලින් ස්වයංපෝෂිත රටක්. මෙය ආනයන තරඟයට බිය නොවී කාර්යක්ෂමතාවය තුළින් අත්පත් කරගත් තත්ත්වයක්. එසේ නැතිව ආණ්ඩුව විසින් ගොවියා ආනයන වලින් ආරක්ෂා කර, සහනාධාර දී, හෝ මධ්‍යගත සැලසුම් හරහා අත් කරගත් ජයග්‍රහණයක් නෙමෙයි. (ඇමරිකා චීන වෙළඳ යුද්ධය වැනි කරුණු පසුවට ඉතිරි කරමු.)
ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ වෙළඳ ශේෂය ධන අගයක් වනවාක් මෙන්ම ඇමරිකාවේ කෘෂි ආර්ථිකයට සාපේක්ෂව ඉතා සුළු අගයක්. ඊට සාපේක්ෂව ආහාර සුබසාධන වැඩසටහන් වල හා ආහාර නාස්තියේ බලපෑම ගොඩක් වැඩියි.
ඇමරිකාවේ ජීවත් වන ආහාර මිල දී ගැනීමේ හැකියාවක් ඇති අයගේ මුළු ආහාර ඉල්ලුම සැපයීමට, එවැනි හැකියාවක් නැති අය වෙනුවෙන් තිබෙන ආධාර වැඩසටහන් හරහා ඇති කෙරෙන අමතර ඉල්ලුම සැපයීමට මෙන්ම, සැලකිය යුතු නාස්තියක් දරා ගැනීමටද ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් ඇමරිකාව තුළ සිදු වෙනවා. මේ වෙනුවෙන් දායක වෙන්නේ ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් 1.5%ක පිරිසක් පමණයි. ඒ කියන්නේ රටේ ශ්‍රම බලකායෙන් 98.5%කටම කෘෂිකාර්මික අංශයේ රැකියා අහිමි වෙලා. ඒ අය පාරට වැටිලද?
රටේ ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණක් රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කරද්දී අනෙක් පිරිස රැකියා නැතිව නිකම් ඉන්නවානම් අවසාන වශයෙන් රට හිටපු තැනමයි. අර ලබා ගත්තු කෘෂිකාර්මික අංශයේ ඉහළ ඵලදායීතාවයෙන් ටික දෙනෙකුට යහපතක් වී ඇතත් (හෝ එසේ පෙනෙන්නට තිබුණත්) සමස්තයක් ලෙස රට හිටපු තැනමයි. අන්තිමට සිදු වෙලා තියෙන්නේ රටේ ආදායම් විෂමතාවය වැඩි වෙන එක පමණයි.
නමුත්, මෙය මේ විදිහට සිදු වෙන්න විධිහක් නැහැ. රටේ 98.5%ක් රැකියා නැතිව සිටියොත් ඉතිරි 1.5% විසින් හදන ආහාර මිල දී ගන්න ඒ අයට හැකියාවක් නැහැ. ඒ නිසා ආහාර වලට ඉල්ලුමක් නැහැ. ඉල්ලුමක් නැති නිසා ආහාර හදන අයට ඒ ආහාර විකුණගන්න බැහැ. ඒ නිසා ආදායමකුත් නැහැ. ඒ නිසා, මේ වගේ තත්ත්වයක් පවතින්නනම් අනිවාර්යයෙන්ම ඉතිරි 98.5% විසින් වෙන කවර හෝ රැකියාවක් කළ යුතුයි. නිෂ්පාදනයක් කළ යුතුයි. ආදායම් ඉපැයිය යුතුයි.
පසුගිය 2019 වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 21,427ක්. නමුත්, එයින් කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල නිෂ්පාදිතය ඩොලර් බිලියන 169.2ක් පමණයි. ඒ කියන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8%ක් පමණයි. කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රම බලකායෙන් 1.5%ක් වූ මිලියන 2.4ක පිරිස ඩොලර් බිලියන 169.2ක අගය එකතු කිරීමක් කරන අතරතුර මිලියන 155.1ක ඉතිරි ශ්‍රමිකයින් පිරිස විසින් ඩොලර් බිලියන 21,257ක අගය එකතු කිරීමක් කරලා තිබෙනවා. එහෙමනම් වඩා කාර්යක්ෂම කොයි කණ්ඩායමද?
ධනවාදී තරඟය හමුවේ ඇමරිකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ ඉතිරි වී සිටින්නේ ඒ වැඩේට වඩාත්ම කාර්යක්ෂම පිරිසනේ. ඒ කියන්නේ කෘෂිකර්මයෙන් ඉවත් වෙලා තියෙන්නේ සාපේක්ෂව අකාර්යක්ෂම පිරිසක්. මෙය හරියටම නිවැරදි නැතත් දැනට අපි පහසුවට එහෙම කියමුකෝ. නමුත්, එසේ එළියට ගිය ශ්‍රමිකයින් කෘෂිකාර්මික ක්ෂේත්රයේ ඉතිරි වූ පිරිස මෙන් දෙගුණයක දායකත්වයක් ආර්ථිකයට ලබා දෙන්න සමත් වී තිබෙනවා. සමස්තයක් ලෙස කෘෂිකාර්මික අංශයේ එක් ශ්‍රමිකයෙන් ඩොලර් 70,000ක අගය එකතු කිරීමක් කරද්දී කෘෂිකාර්මික නොවන අංශයක ශ්‍රමිකයෙක් ඩොලර් 137,000ක අගය එකතු කිරීමක් කරනවා. මේක වුනේ කොහොමද?
මිනිස්සු එකිනෙකා වෙනස්. ඒ අයගේ කුසලතා වෙනස්. වෙළඳපොළ පුළුල් වෙනවා කියා කියන්නේ හැම දෙනෙක්ම හැම දෙයක්ම කරන තැන ඉඳලා එක් එක් පුද්ගලයා තමන් වඩා කැමතිම, වඩා දක්ෂම දේ කරන තැන දක්වා ආර්ථිකය පරිණාමය වීමක්. මිනිහෙක් එක වැඩකදී කාර්යක්ෂම නොවුනත් කවර හෝ වැඩකදී කාර්යක්ෂම වෙනවා.
මේ ශ්‍රම විභජනය සමාජවාදීන් පවා එකඟ වෙන දෙයක්. හැම දෙයක්ම තමන් තනිවම කර ගන්න යාම අකාර්යක්ෂම බව සමාජවාදීන් විසිනුත් බොහෝ දුරට අවිවාදිතව පිළිගන්නවා. සමාජවාදයේ ප්රශ්නය මෙය සැලසුම්සහගතව කළමණාකරණය කරන්න යාමයි. ඔවුන් අසාර්ථක වන්නේ එතැනදී. මේ කියන පරිණාමය ස්වභාවිකව සිදු වන තරම් ප්රශස්ත ලෙස සැලසුම් කරන්න ප්‍රායෝගිකව කිසිවෙකුට හැකියාවක් නැහැ. බාධාවක් නැත්නම් නිදහස් වෙළඳපොළ විසින් අපූරුවට ඒ කාර්යය කරනවා.
(Images: https://www.koreatimes.co.kr/www/common/printpreviews.asp?categoryCode=103&newsIdx=262692)
Labels:
ආහාර,
ඇමරිකාව,
කාර්යක්ෂමතාවය,
කෘෂිකර්මය,
ධනවාදය,
නාස්තිය,
සමාජවාදය,
ස්වයංපෝෂණය
Thursday, May 14, 2020
නාස්තිය අඩු කිරීමේ දේශපාලනය කුමක්ද?
නාස්තිය අඩු කිරීම ගැන කතා කරන කෙනෙක් පළමුව තමන් විසින් නාස්තිය ලෙස හඳුන්වන සංකල්පය නිරවුල් කර ගත යුතුයි. දෙවනුව නාස්තිය අඩු කළ යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත යුතුයි.
පුද්ගලයෙක්ට සාපේක්ෂව ගත්තොත් ඒ පුද්ගලයාගේ කිසියම් තීරණයක් හෝ පුරුද්දක් නිසා ඔහුටම (හෝ ඇයටම) අවාසියක් වෙනවානම් එය නාස්තියක්. මේ මූලධර්මය අනුව නිවසේ වතුර කරාමයක් හරියට නොවැසීම නිසා වතුර කාන්දු වෙනවානම් සහ ඒ හේතුව නිසා වතුර බිල ඉහළ යනවානම් එය නාස්තියක්. අනවශ්‍ය විදුලි බල්බයක් එක දිගටම දැල්වෙනවානම් එය නාස්තියක්. නමුත්, දිනපතා මිදුලේ මල් පැල වලට වතුර දමන එක හෝ වෙසක් පෝය දවසේ රෑ එළිවන තුරු විදුලි බුබුළු වැලක් දල්වා තිබීම නාස්තියක් නෙමෙයි. ඒ දේවල් වෙනුවෙන් මිලක් ගෙවන්න සිදු වුනත් ඒ හේතුව නිසා ලැබෙන සතුට මිල ගෙවන පුද්ගලයාට ඊට වඩා වටිනවා.
මට පාඩුවක් වෙන්නේ නැත්නම්, මගේ අසල්වැසියා වෙසක් දවසේ හෝ අවුරුද්ද පුරාම ඔහුගේ හෝ ඇයගේ නිවස වටේම විදුලි බුබුළු දැල්වීම නාස්තියක් කියා මට කියන්න බැහැ. එය අසල්වැසියාගේ තේරීමක්. නමුත්, රජය විසින් පවත්වන සැණකෙලියක විශාල විදුලි බුබුළු ප්‍රමාණයක් දැල්වෙනවානම් මට එය ප්‍රශ්න කළ හැකියි. ඒ එහි පිරිවැය සෘජුව හෝ වක්‍රව මටත් ගෙවන්න සිදු වෙන නිසයි.
සාමාන්‍යයෙන් සම්පත් නාස්තිය අඩු කරන විට කාර්යක්ෂමතාවය ඉහළ යනවා. එහෙත්, සම්පත් නාස්තිය අඩු කළ හැකි ප්‍රසස්ථ සීමාවක් තිබෙනවා. නාස්තිය ශුන්‍ය කිරීම හැමවිටම ප්‍රසස්ථම දෙය නෙමෙයි.
නිෂ්පාදන සාධක වඩාත්ම ඵලදායී තැනට යොමු වූ විට කාර්යක්ෂමතාවය ප්රශස්ත මට්ටමකට එනවා. එසේ නොවන තත්ත්වයක් හැම විටම අකාර්යක්ෂමයි. ලාබ සෙවීමේ තරඟයේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන සාධක වඩාත්ම ඵලදායී තැනට යොමු වෙනවා. එයට විකල්පය වන්නේ කිසිවෙකු විසින් එය සැලසුම් කිරීමයි. එහි අවාසි දෙකක් තිබෙනවා. පළමුවැන්න මේ සැලසුම නිවැරදි වනු ඇති බවට සහතිකයක් නැහැ. දෙවැන්න සැලසුම්කරු වෙනුවෙන් අනෙක් අයට කිසියම් පිරිවැයක් දරන්න සිදු වීමයි. නිදහස් වෙළඳපොළ මේ ප්‍රශ්න දෙකම විසඳනවා.
සංවෘත ආර්ථිකයකට සාපේක්ෂව විවෘත ආර්ථිකයක් හැම විටම වඩා කාර්යක්ෂමයි. පසුගිය 2019 වසරේදී ලංකාව සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 201.2ක්ද, කිරි නිෂ්පාදිත වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 311.9ක්ද වැය කර තිබෙනවා. තේ අපනයනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 1,346.4ක ආදායමක් උපයා තිබෙනවා.
අපි හිතමු මේ අපනයන වියදම අඩු කරගන්න අපි ඉඩම් කොටසක තේ ගලවලා තණකොල වවලා හරක් හැදුවා කියලා. තවත් ඉඩම් කොටසක උක් හා බීට් හිටවනවා. උඩරටනම් බීට්. පහතරටනම් උක්. ඊට පස්සේ ඔය උක් වලින් හා බීට් වලින් සීනි හදනවා. හරක්ගෙන් කිරි ගන්නවා. තේ වගාවේ ඉන්න කම්කරුවන් ටිකත් ඔය කර්මාන්ත දෙකට යොදවනවා. උසනම් උක් වවන්න. මිටිනම් බීට් වවන්න. උස මනින්න ආවේ නැත්නම් හරක් බලන්න. ඔහොම කරලා සමහර විට සීනි හා කිරි ආනයනය කරන්න යන වියදම අඩු කරගන්න පුළුවන් වෙයි. හැබැයි තේ අපනයන ආදායම අඩුවීම නිසා සිදුවෙන පාඩුව බොහෝ විට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්.
රටේ වගා කළ හැකි ඉඩම් හැම එකක්ම සමාන නැහැ. සමහර ඉඩම් උක් වලට යෝග්‍යයි. සමහර ඉඩම් බීට් වලට යෝග්‍යයි. සමහර ඉඩම් ඔය දෙකටම යෝග්‍යයි. දැන් අපිට මේ ඉඩම් වල උක් හෝ බීට් වවන්න අවශ්‍යනම් අපි ඉඩම් තෝරා ගන්නේ කොහොමද? හරියටම සැලසුම් කරන්න පුළුවන් කාටද? ඒ සැලසුම්කරුට ඒ වෙනුවෙන් කීයක් ගෙවන්න ඕනෑද?
ධනවාදය හරියට ක්‍රියාත්මක වෙනවානම් ඔය ප්‍රශ්නයට විසඳුම් හොයන්න අවශ්‍ය නැහැ. ඉඩමේ උක් වවලා අස්වැන්න අඩුකමින් පාඩු වෙන කොට මිනිස්සු උක් වෙනුවට බීට් දානවා. බීට් වලින් පාඩු වෙනකොට උක් දානවා. දෙකම වැවෙන ඉඩමක වඩා ලාබ ලැබිය හැකි දේ වවනවා. ඉඩම් ටික අන්තිමේදී ප්‍රසස්ථ ලෙස බෙදී ගිහින්.
ශ්‍රමය වුනත් එහෙමයි. බීට් වගාවට අත් ගුණයක් නැති, ආසාවකුත් නැති මනුස්සයා වගාවෙන් පාඩු වෙනකොට ඉඩම විකුණලා උක් වවන්න පුළුවන් ඉඩමක් ගන්නවා. උක් එක්ක ඔට්ටු අල්ලලා එපා වෙච්ච මනුස්සයා බීට් වවන්න යනවා. අන්තිමේදී කිසියම් වැඩක් කරන්න වඩා කැමති හා දක්ෂ පුද්ගලයා ඒ වැඩේට යොමු වෙනවා.
ප්රාග්ධනය තිබෙන මනුස්සයා උක් වලින් ලාබනම් උක් වලට ආයෝජනය කරනවා. වැඩේ පාඩුනම් බීට් වලට ආයෝජනය කරනවා. අන්තිමේදී ප්රාග්ධනය යොමු වෙන්නේ වඩාත්ම ප්රතිලාභ ලැබිය හැකි තැනටයි.
හැබැයි මේ හැම දෙයක්ම වෙන්නේ අසාර්ථක වන අයට තරඟයෙන් හැලෙන්න ඉඩ ඇරියොත් පමණයි. පාඩු වෙවී බීට් වවන ගොවියාව අනුන්ගේ වියදමෙන් ආරක්ෂා කරන්න ගියොත් ඒ ගොවියා කවදාවත් ඉඩම අත ඇරලා බීට් වලට වඩා ගැලපෙන ඉඩමකට යන්නේ නැහැ. බීට් වෙනුවට උක් වවන්නේ නැහැ.
නිදහස් වෙළඳපොළ තරඟය තුළ අසාර්ථක වෙන කෙනෙකුට තාවකාලිකව රැකියාවක් නැති, ආදායම් නැති නරක කාලයක් තියෙන්න පුළුවන්. ඒ වගේ කාලයක එවැන්නෙකු වෙනුවෙන් කෙටිකාලීනව කිසියම් සුබසාධනයක් කළාට කමක් නැහැ. නමුත්, එය එවැන්නෙකු විසින් වරක් අසාර්ථක වූ දෙයම දිගටම කරන්නට යොමු කරවන ආකාරයේ සුබසාධනයක් නොවිය යුතුයි. එසේ කිරීමෙන් ඔහුට හෝ ඇයට දිගුකාලීනව වෙන්නේ අයහපතක්.
ගොවියෙකු අක්කරයකින් වී කිලෝ දෙදාහක අස්වැන්නක් ලබා ගැනීමෙන් පසුව එයින් සීයක් මොන විදිහකින් හෝ නාස්ති වුනොත් ඒ නාස්තිය ගොඩක් අයට පේනවා. නමුත්, වැරදි ඉඩමක වැරදි ගොවියා වී වගා කිරීම නිසා අස්වැන්න කිලෝ සීයකින් අඩු වෙන එක ගොඩක් අයට පේන්නේ නැහැ. නිදහස් වෙළඳපොළකින් කරන්නේ කවදාවත්ම අස්වනු සේ නොනිපදවුණු, ඒ නිසා කිසිවෙකුට නොපෙනුණු, වී කිලෝ ගණනක් නාස්ති වී යාම නවත්වන එකයි.
නාස්තිය අඩු කිරීමේ දේශපාලනයක් කවදාවත් නිදහස් වෙළඳපොළට හෝ ජාත්‍යන්තර වෙළඳාමට එරෙහි දේශපාලනයක් වෙන්න බැහැ. නිදහස් වෙළඳපොළට එරෙහි වීම කියන්නේම අති විශාල සම්පත් නාස්තියක්.
Wednesday, May 13, 2020
ආහාර නාස්තිය නැති කරන්න බැරිද?
ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික පර්යේෂණ සේවාවේ ඇස්තමේන්තු අනුව, 2010 වසරේදී ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණි ආහාර ප්‍රමාණය රාත්තල් බිලියන 430ක්. මේ ආහාර ප්‍රමාණයෙන් 31%ක් හෙවත් රාත්තල් බිලියන 133ක් පරිභෝජනයට නොගෙන නාස්ති වී තිබෙනවා. මේ ආහාර ප්‍රමාණය නාස්ති වී තිබෙන්නේ සිල්ලර අදියරට පැමිණීමට පෙර සිදුවන වගා හානි හා පසු අස්වනු හානි වලට අමතරවයි. ඒ හානි ගැන පසුව වෙනම කතා කරමු.
ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්. ඒ කියන්නේ මේ විදිහට නාස්ති වී තිබෙන්නේ එම වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් තුන් ගුණයකට ආසන්න වටිනාකමක් ඇති ආහාර ප්‍රමාණයක්. තවත් විදිහකට කියනවානම් කැලරි ට්‍රිලියන 141ක්. ඒ අනුව, එක් ඇමරිකානුවෙකු විසින් දවසකට කැලරි 1,249ක ශක්තියක් ජනනය කරන ආහාර නාස්ති කරනවා. ඒ කියන්නේ මුළු ලංකාවටම අවුරුදු 8කට පමණ කෑමට අවශ්‍ය ආහාර ප්‍රමාණය. එක් පුද්ගලයෙකු විසින් දවසකට ඩොලර් 1.40ක වටිනාකමක් ඇති ආහාර රාත්තල් 1.2ක් නාස්ති කිරීමක්.
මේ විදිහට නාස්ති කරන ආහාර වල වටිනාකමින් 30.0%ක් හෙවත් ඩොලර් බිලියන 48.5ක් කුකුළු මස්, මාළු හා වෙනත් මස් වර්ගයි. ලෝකයේ විශාල පිරිසකගේ සුඛෝපභෝගී ආහාර. 18.6%ක් එළවලු. 16.7%ක් කිරි නිෂ්පාදිත. 12,3%ක් පළතුරු. 8.3%ක් තෙල් හා මේද. 6.9%ක් ධාන්‍ය. 4.1%ක් සීනි හා රසකාරක. බර අනුව බැලුවොත් රාත්තල් බිලියන 25.4ක කිරි නිෂ්පාදිත. රාත්තල් බිලියන 25.2ක එළවළු. රාත්තල් බිලියන 18.5ක ධාන්‍ය. රාත්තල් බිලියන 18.4ක පළතුරු රාත්තල් බිලියන 3.9ක කුකුළු මස් හා රාත්තල් බිලියන 7.2ක වෙනත් මස් වර්ග. රාත්තල් බිලියන 1.5ක මාළු. බිලියන 25ක පමණ බිත්තර ප්‍රමාණයක්.
මේ ආහාර නාස්තිය මා හෝ ඇමරිකාවේ වෙනත් කිසිවෙකු විසින් උත්කර්ශයට නංවන දෙයක් නෙමෙයි. 2030 වන විට ආහාර නාස්තිය 50%කින් අඩු කර ගැනීම ඇමරිකාවේ ඉලක්කයක්. ඇමරිකාවේ ඔය වගේ ඉලක්ක බොහෝ විට ප්‍රායෝගික ඉලක්ක. "එක ආහාර රාත්තලක් නාස්ති නොකිරීමේ" හෝ "වසර තුනක කඩිනම් වැඩ පිළිවෙලකින්" මේ වැඩේ කිරීමේ ඉලක්කයක් ඇමරිකාවට නැත්තේ බොරු ඉලක්ක ඉදිරියට දැම්මා කියා ඒ ඉලක්ක කවදාවත් අත් පත් කර ගන්න බැරි නිසයි.
මම පෞද්ගලිකවත් ආහාර නාස්තියට සංවේදීයි. අපේ දරුවෙකු ආහාර නාස්ති කළ විට මට බොහෝ විට ඇති වන්නේ විශාල කණගාටුවක් හා කේන්තියක්. මේ ඇතැම් ආහාර වර්ග ගැන අප කොයි තරම් කෙළ හලා ඇත්ද කියන එකත් අදටත් ලෝකයේ කී දෙනෙක් ආහාර නැති කමින් කුසගින්නේ ඉන්නවාද කියන එකත් එවිට මතක් වෙනවා. ඇතැම් විට පිසූ ආහාරයක ඉතා සුළු ප්‍රමාණයක් ඉතිරි වී ඇති විට එය කුණු බක්කියට නොදා තනිකරම නාස්තිය වැළැක්වීමේ අරමුණින් ආහාරයට ගන්න පෙළඹුමක් ඇති වෙනවා. මේ පෙළඹුම ජාන වලින් එන දෙයක් වෙන්න ඇති. නමුත්, ඒ පුරුද්ද හැම අතින්ම නරක හා හානිදායක පුරුද්දක්.
මේ ටික මුලින්ම ලිවුවේ මේ ලිපියේ අරමුණ ආහාර නාස්තිය දිරිමත් කිරීම නොවන බව පැහැදිලිව කියන්නයි. එසේ වුවත්, ආහාර නාස්තිය අඩු කිරීම හැම විටම වඩාත්ම කාර්යක්ෂම දෙය නෙමෙයි. ඇතැම් විට ආහාර නාස්ති වෙන්න අරින එකයි වඩාත්ම කාර්යක්ෂම දෙය. මම උදාහරණ කිහිපයක්ම දෙන්නම්.
මේ ලිපියේ සංඛ්‍යාලේඛණ පදනම් වෙන්නේ සිල්ලර අදියරේදී හා පාරිභෝගික අදියරේදී නාස්ති වන ආහාර මතයි. එහෙත් ඊට පෙර ගොවිපලේදී හා පසු අස්වනු අවදියේදීත් ආහාර නාස්ති වෙනවා.
ගොවිපොළේදී ආහාර නාස්ති වන එක් ක්‍රමයක් වන්නේ අස්වනු නෙලාගන්නේ නැතිව ගොවිපොළේම විනාශ වෙන්න ඇරීමයි. මෙයට හේතු වෙන්නේ මිල ගොඩක් අඩු වීම හෝ අස්වනු අඩු වීම වෙන්න පුළුවන්. අස්වනු නෙලීමේ ශ්‍රමය වෙනුවෙන් ගෙවිය යුතු මිල එම අස්වනු විකුණා ලැබිය හැකි ආදායමට වඩා වැඩිනම් අස්වනු නෙලන්නේ නැතිව විනාශ වෙන්න අරින එක වඩා කාර්යක්ෂමයි. මෙහිදී විශාල ආහාර ප්‍රමාණයක් නාස්ති වනවා තමයි. නමුත්, විකල්පය වන්නේ ඊට වඩා වටිනාකමක මිනිස් හෝ යාන්ත්‍රික ශ්‍රමය නාස්ති කිරීමයි. ඒ නිසා එය නොකර ආහාර නාස්ති කිරීම වඩා කාර්යක්ෂමයි.
පසු අස්වනු අවදියේදීත් මෙවැනි තත්ත්වයන් තියෙන්න පුළුවන්. නෙලාගත් අස්වනු ගබඩා කර තබා ගැනීමට වියදමක් යනවා. ඊළඟ කන්නයේ අස්වනු එන විට ඒ වෙලාවේ මිල දී ගන්න යන වියදමට වඩා පරණ අස්වනු එතෙක් ගබඩා කර තබා ගැනීමේ වියදම වැඩිනම් එම අස්වනු ගබඩා කර ආරක්ෂා කර ගැනීම කාර්යක්ෂම නොවන්න පුළුවන්. මේ අස්වනු වෙනුවෙන් දැනටමත් මිලක් ගෙවා තිබුණත් එය ගිලුණු පිරිවැයක්. ඒ මුදල දැනටම ගිහින් ඉවරයි. ආහාර තොගය තවත් කල් තියා ගැනීමෙන් වෙන්නේ පාඩුව තව තව වැඩි වෙන එකයි.
ඊළඟට සිල්ලර අදියරේදී කල් ඉකුත් වන ආහාර විනාශ කරන්න වෙනවා. මේ ආහාර වලින් වැඩි කොටසක් ඇත්තටම නරක් වෙලා නොතිබෙන්න පුළුවන්. එහෙත් භාවිතයට නුසුදුසු වෙන්න සැලකිය යුතු සම්භාවිතාවක් තිබෙනවා. නරක් වී තිබීමේ ඉඩක් ඇති ආහාර විකිණීමෙන් සිදු විය හැකි හානිය හා සැසඳූ විට එම ආහාර විනාශ කර දැමීමේ හානිය අඩුයි.
අවසාන වශයෙන් පාරිභෝගික අදියර. අපි අපට අවශ්‍ය තරමට වඩා ආහාර මිල දී ගන්නේ, ආහාර පිසින්නේ හා ආහාර පිඟානට බෙදා ගන්නේ ඇයි? ඇත්තටම ඉතා කලාතුරකින් හැර කෙනෙක් නාස්ති කිරීමේ අරමුණින් ආහාර පිඟානට බෙදා ගන්නේ නැහැ. බෙදාගන්නේ කන්න. ඒත් ගත්ත ආහාර ප්‍රමාණය කා ගන්න බැරි බව තේරෙන්නේ පසුවයි. මෙහිදී අවිඥානකව මිනිස්සු කරන්නේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්න උත්සාහ කිරීමක්. ආහාර යම් ප්‍රමාණයක් නාස්ති වීමේ හානියට සාපේක්ෂව ආහාර මදි වී කුසගින්නේ ඉන්න වීමේ හානිය වැඩියි. බොහෝ විට ඇත්ත තත්ත්වය මෙවැන්නක් නොවුණත් අප පරිණාමය වී සිටින ආකාරය අනුව අපට හිතෙන්නේ මේ විදිහටයි.
යම් තරමක් වැඩියෙන් ආහාර පිසින එකෙන් පිසූ ආහාර ප්‍රමාණවත් නොවී නැවත ආහාර උයන්න සිදු වීමේ අවදානම අඩු වෙනවා. නැවත වරක් ආහාර පිසින්න සිදු වුවහොත් ඉන්ධන, ශ්‍රමය, කාලය ගොඩක් නාස්ති වෙනවා. ආහාර නාස්තිය ඉහළ ගියත්, ආහාර නැවත පිසීමේ අවදානම අඩු වන නිසා මේ වැඩේ කාර්යක්ෂමතාවය ඉහළ යවන්නක් වෙන්න පුළුවන්. මේ විදිහට වැඩියෙන් උයන හෝ වැඩියෙන් බෙදාගන්නා ආහාර වෙනුවෙන් වැය කරන මුදල කුසගින්නේ සිටීමේ අවදානම අඩු කර ගැනීම සඳහා මිල දී ගන්නා රක්ෂණයක වාරික මුදල වගේ දෙයක්.
මේ කියපු හැම අවස්ථාවකදීම ආහාර නාස්ති කිරීම අකාර්යක්ෂම දෙයක් නොවන්න තිබෙන ඉඩකඩ ඉහළ යන්නේ මිනිසුන්ගේ කාලයේ හා ශ්‍රමයේ වටිනාකමට සාපේක්ෂව ආහාර ඉතා සුලබ හා මිල අඩු වූ විටයි. එය සිදු වන්නේ ආහාර නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම කාර්යක්ෂම වූ පසුවයි.
ඇමරිකාවේ හැම පුද්ගලයෙක්ම නිවසේ සිදුවන ආහාර නාස්තිය මුළුමනින්ම අඩු කළා කියා ඒ ආහාර ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් කොනක සිටින කුසගින්නේ සිටින කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ ආහාර නිෂ්පාදනය වන්නේම මේ විදිහේ නාස්තියක් වන නිසා. මිනිස්සු තමන්ට කුසගින්නේ ඉන්න සිදුවීමේ අවදානම අඩු කර ගැනීම සඳහාත් ආහාර වෙනුවෙන් යම් මුදලක් වැය කරනවා. ඒ පරිභෝජනය සඳහා ඇත්තටම අවශ්‍ය ආහාර වලට ගෙවන මිලට අමතරවයි. මෙය කැමැත්තෙන් ගෙවන මිලක්.
මේ විදිහට බොහෝ දෙනෙක් ඇත්තටම ආහාරයට ගන්න ප්‍රමාණයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් මිල දී ගන්න නිසා ආහාර ඉල්ලුම වැඩි වී මිලත් යම් තරමකින් ඉහළ යනවා. ඒ වෙළඳපොළ ඉල්ලුම සැපයීමේදී ආහාර සැපයුමද ඉහළ යනවා. යම් හෙයකින් මේ නාස්තිය නොතිබුණානම් එම අමතර ආහාර ප්‍රමාණය නිෂ්පාදනය වන්නේම නැහැ.
සමහර වෙලාවට අපේ කුණු බක්කියට යන්නේ ලංකාවෙන් ආනයනය කළ සහල් වලින් පිසූ බත්. මේ විදිහට කුණු බක්කියට යන බත් ටික වෙනුවෙනුත් ලංකාවට අපනයන ආදායමක් හා කිසියම් විදේශ විණිමය ප්‍රමාණයක් ලැබිලා. ඒ නාස්තියත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වෙනවා. ගෙවුම් ශේෂ හිඟයෙන් අඩු වෙනවා.
මේ ටික ලිවුවේ ආහාර නාස්තිය දිරිමත් කරන්න නෙමෙයි. එහෙත්, ඕනෑම දෙයක ප්‍රසස්ථ මට්ටමක් තිබෙනවා. අලියා සතියකට පාරක් එන්න ඉඩ තිබෙනවානම් නිදිමරාගෙන පැල් රකින එක කාර්යක්ෂම වෙන්න පුළුවන්. එහෙත්, අවුරුදු දහයකට වරක් කුඹුර පාලු කරන්න ඉඩ තිබෙන අලියෙක්ගෙන් අස්වනු රැකගන්න ඒ අවුරුදු දහයම පැල් රකින එක කාර්යක්ෂම දෙයක් නොවෙන්න පුළුවන්.
Labels:
ආර්ථික වර්ධනය,
ආහාර,
ඇමරිකාව,
කාර්යක්ෂමතාවය,
කෘෂිකර්මය,
නාස්තිය
Tuesday, May 12, 2020
කුඹුරට තල්ලු කිරීම හා කුඹුරෙන් ගොඩගැනීම
ලංකාවේ කෘෂිකර්ම, වන හා ධීවර අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,215,128ක්. ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,425,000ක්. ගණන් ආසන්නව සමානයි.
ඇමරිකාවේ බෝග වගාවේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 1,261,000ක් පමණයි. ලංකාවේ බෝග වගාවේ යෙදෙන ප්‍රමාණය මට සොයා ගත හැකි වුනේ නැහැ. නමුත්, එම ප්‍රමාණය ඉහත ගණනින් 70%ක් පමණවත් වේයැයි හිතන්න පුළුවන්.
ලංකාවේ වගා කළ හැකි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,300,000ක්. මේ ගණන ඉහත ශ්‍රමිකයින් ගණනින් බෙදු විට එක් ශ්‍රමිකයෙකුට අක්කර 1.45ක් වැටෙනවා. ඉහත ශ්‍රමිකයන් ගණනට ධීවරයින්ද ඇතුළත් නිසා අක්කර ගණන 2ක් පමණ කියා හිතන්න පුළුවන්. ලංකාවේ කුඹුරු ඉඩමක සාමාන්‍ය ප්‍රමාණයත් අක්කර දෙකයි.
ඇමරිකාවේ වගා කළ හැකි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 152,262,500ක්. ශ්‍රමිකයින් ගණනින් බෙදු විට එක් ශ්‍රමිකයෙකුට අක්කර 298.25ක්. අක්කර 300ක් කියමු.
ලංකාවේ ගොවියාගේ මූලිකම ප්රශ්නය තියෙන්නේ මෙතැනයි. කොයි තරම් කාර්යක්ෂම වුනත් අක්කර 300කින් ගන්න අස්වැන්න අක්කර දෙකකින් ගන්න බැහැ. ලංකාවේ වගා කළ හැකි ඉඩම් සියල්ලම වගේ මේ වන විටත් වගාව සඳහා යොදා ගෙන අවසන් නිසා මේ ප්‍රමාණය වැඩි කරන්නත් බැහැ.
ඉඩම් වැඩි කරන්න බැරිනම් කරන්න වෙන්නේ ගොවියන් අඩු කරන එකයි. එක් ගොවියෙකු සතු ඉඩම් ප්‍රමාණය ඇමරිකාවේ තරමට වැඩි කරන්නනම් ශ්‍රමිකයින් ගණන 11,000ක් පමණ දක්වා අඩු කරන්න වෙනවා. එවැන්නක් හදිසියේ කළ නොහැකි බව ඉතා පැහැදිලියි. නමුත්, කළ යුත්තේ ක්‍රමක්‍රමයෙන් කෘෂිකර්මයෙන් ශ්‍රමිකයන් ඉවත් වෙන්න ඉඩ සලසන එකයි.
කෘෂිකර්මයෙන් ශ්‍රමිකයන් ඉවත් වෙන්න ඉඩ හැරීම කියන එකෙන් අදහස් වෙන්නේ රට කෘෂිකර්මයෙන් ඉවත් වීම හෝ ගොවීන් පාරට ඇද දැමීම නෙමෙයි. කෘෂිකර්මයට වඩාත්ම කැමති හා වඩාත්ම දක්ෂ පිරිසට රැඳෙන්න හැර අකමැත්තෙන් ගොවිතැන් කරන අයට වඩා ඵලදායී වෙනත් කටයුත්තක නිරත වෙන්න ඉඩ හැරීමයි. ගොවියාගේ ජීවන තත්ත්වය උසස් වෙන්නනම් එය අනිවාර්යයෙන්ම විය යුතුයි.
මේ විදිහට ශ්‍රමිකයින් කර්මාන්තයෙන් ඉවත් වෙනවා කියන්නේ එයට සමාන්තරව යාන්ත්‍රික ශ්‍රමයෙන් ශ්‍රම හිඟය පියවෙනවා කියන එකයි. එවිට අස්වනු ඵලදායීතාවයත් ඉහළ යනවා. එයින්ද ආදායම් වැඩි වෙනවා.
මේ වැඩේ කවුරුවත් කරන්න අවශ්‍ය නැහැ. මොකද ශ්‍රමිකයින් බලෙන් එළියට ඇද දමා ඔවුන්ට යහපතක් කරන්න බැහැ. කළ යුත්තේ කෘෂිකර්මය නැංවීමේ ලේබලය යටතේ කර්මාන්තයේ දැනට සිටින ශ්‍රමිකයින් එහිම හිර කර තබන එකෙන් වැළකී සිටීමයි. ගොවියා රැක ගැනීමේ අරමුණින් කියා කරන බොහෝ දේවල් වලින් වෙන්නේ ගොවියාව මේ කර්මාන්තය ඇතුළේ කූඩු කෙරෙන එකයි.
රටක් ආර්ථික වශයෙන් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික අංශය ක්‍රමයෙන් හැකිලෙන එක අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක්. රටේ කෘෂිකාර්මික අංශය ගොඩක් විශාලයි කියා කියන්නේ ඒ රටේ මිනිස්සු කනවා බොනවා හැර වෙනත් ජීවිතයක් නැති බවයි. කෘෂිකාර්මික අංශය 10%ක් කියා කියන්නේ කන බොන දේ මෙන් දහ ගුණයක් වෙනත් දේවල් පරිභෝජනය කරනවා කියන එකයි. කෘෂිකාර්මික අංශය 1%ක් කියා කියන්නේ කන බොන දේ මෙන් සිය ගුණයක් වෙනත් දේවල් පරිභෝජනය කරනවා කියන එකයි. මේක හරියටම මේ විදිහටම නොවුණත් කතාව මේ වගේ එකක්.
රටක කෘෂිකාර්මික අංශය හැකිලෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ රටේම මිනිස්සුන්ට කන්න දෙන්න අවශ්‍ය ආහාර ප්‍රමාණය හදන්න අවශ්‍ය මිනිස්සු ගණන අඩු වෙනවා කියන එකයි. වෙන දේවල් කරන්න ශ්‍රමය නිදහස් වෙන්නේ එතකොටයි.
පැරකුම් යුගයේ වැව් අමුණු හදන්න ශ්‍රමය නිදහස් වුනේ ගොවිතැන් කළ පිරිසට රටටම කන්න දෙන්න පුළුවන් වූ නිසා. ඇමරිකාව කන බොන දේ හදා ගන්නවාට වඩා තව ගොඩක් දේවල් කරන්නේ රටේ ඉතා සුළු පිරිසකට රටටම කන්න දෙන්න පුළුවන්කම තිබෙන නිසා.
වී ගොවිතැන ඕනෑ නැහැ. අපි තේ වගේ වෙන දෙයක් ගනිමු. කලින් පෝස්ට් එකේ විස්තර කරපු පරිදි ආහාර අපනයනයෙන් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නේ තේ වලින්නේ.
දැන් ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් වගේනේ. අපි හිතමු තව අවුරුදු දහයකින් ඕක 8000ක් වුනා කියලා. සමාජ සාධාරණත්වය ගැන හිතනවානම් තේ ශ්‍රමිකයෙකුගේ ආදායමත් අඩු වශයෙන් දෙගුණ විය යුතුයිනේ. එතකොට තේ කර්මාන්තයේ පිරිවැයට මොකද වෙන්නේ? කර්මාන්තය පවතින්න පුලුවන්ද?
අනිවාර්යයෙන්ම බැහැ. තව අවුරුදු දහයකට පස්සේ තේ කර්මාන්තය පවතින්නනම් අනිවාර්යයෙන්ම යාන්ත්‍රීය ලෙස දළු කඩන්න වෙනවා. එවිට දැන් ඉන්න ශ්‍රමිකයින්ගෙන් සෑහෙන පිරිසකට රැකියා අහිමි වෙනවා. ඒ අයට කරන්න මොනවා හෝ රැකියා ජනනය විය යුතුයි. මොකද රටෙන් බාගයකගේ ආදායම දෙගුණ වෙලා අනිත් බාගයට රස්සා නැති වෙනවා කියන්නේ රට එතැනමයි. රටේ ආදායම දෙගුණ වෙනවා කියන්නේ කාගේත් වාගේ ආදායම දෙගුණ වීමයි.
ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් වන, ධීවර හා දඩයම් අංශද ඇතුළුව කෘෂිකාර්මික අංශයේ රැඳී ඉන්නේ 1.5%ක් පමණයි. ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතයට ඒ අයගේ දායකත්වය ඩොලර් බිලියන 169.2ක්. ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය මෙන් දෙගුණයක් පමණ වුවත් ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 0.8%ක් පමණයි. ඉතිරි 98.5% කර්මාන්ත හා සේවා අංශ වල (රාජ්‍ය අංශයද ඇතුළුව) රැකියා කරමින් දළ ජාතික නිෂ්පාදිතයෙන් 99.2%කට දායකත්වය සපයනවා.
ලංකාවේ කෘෂිකාර්මික අංශය ශ්‍රම බලකායෙන් 25.8%ක්. එහෙත්, ඔවුන්ගෙන් දළ ජාතික නිෂ්පාදිතයට තිබෙන දායකත්වය 7.4%ක් පමණයි. කර්මාන්ත හා සේවා අංශ වල (රාජ්‍ය අංශයද ඇතුළුව) සේවය කරන එමෙන් තුන් ගුණයක පිරිස දළ ජාතික නිෂ්පාදිතයෙන් 93.6%කට දායකත්වය සපයනවා.
ලංකාව ගත්තත් ඇමරිකාව ගත්තත් එක දෙයක් ඉතා පැහැදිලියි. කෘෂිකර්මයෙන් ඉවත් වන පිරිස් වඩා ඵලදායී වෙනත් රැකියා වල යෙදෙනවා මිස කරන්න වැඩක් නැතුව වේලෙන්නේ නැහැ. ඒ වගේම, ඒ පිරිස ඉවත් වුනා කියා කෘෂිකර්ම ක්ෂේත්රයේ සමස්ත නිෂ්පාදිතය හෝ ඵලදායීතාවය අඩු වෙන්නේත් නැහැ.
ධනවාදී ක්‍රමයක් පවතිද්දී ශ්‍රමිකයෙක් කෘෂිකර්මයෙන් ඉවත් වී වෙනත් අංශයක රැකියාවකට මාරු වෙන්නේ එය තමන්ට වඩා වාසිදායක නිසා. ඒ වගේම තවත් ශ්‍රමිකයෙක් එසේ ඉවත් නොවී කෘෂිකර්මයේම රැඳී සිටින්නේත් එය තමන්ට වඩාත්ම වාසිදායක නිසා. ඇතැම් අවස්ථා වලදී මෙය අඩු නරක තෝරා ගැනීමක් වෙන්නත් බැරිකමක් නැහැ. එය තීරණය වන්නේ යම් පුද්ගලයෙකු සතු කුසලතා හා රටේ තිබෙන විකල්ප මතයි.
ලෝකයේ හැම රටක්ම වගේ පටන් අරන් තිබෙන්නේ කෘෂිකාර්මික රටවල් විදිහටයි. රටක ආර්ථිකය ටිකෙන් ටික දියුණු වන විට කෘෂිකාර්මික අංශයත් ටිකෙන් ටික හැකිලෙනවා. එය වඩා වේගයෙන් වෙනවා කියා කියන්නේ රටක් වඩා වේගයෙන් දියුණු වෙනවා කියන එකයි. හැබැයි මෙහිදී කෘෂිකාර්මික අංශය හැකිලෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ එම ක්ෂේත්රය සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් ප්‍රමාණය අඩු වෙනවා කියන එක මිසක් කෘෂිකර්ම අංශයේ සමස්ත නිෂ්පාදිතය අඩු වෙනවා කියන එක නෙමෙයි.
රටේ ආර්ථිකය ඉදිරියට යොමු කරවන දේශපාලනයක ඉලක්කය විය යුත්තේ කෘෂිකර්මය වෙත තවත් වැඩි වැඩියෙන් පිරිස් යොමු කරවන එක නෙමෙයි. එසේ කිරීමෙන් වෙන්නේ එම ක්ෂේත්රයේ දැනටමත් ඉන්න ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය තවත් පහත වැටෙන එකයි. ඒ වෙනුවට, වෙනත් ක්ෂේත්‍ර වල රැකියා බිහි වී ඒ හරහා ඉහළ යන ආදායමෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වන ඉල්ලුම ඉහළ ගිය විටනම් කෘෂිකාර්මික ශ්‍රමිකයන්ට වන්නේ යහපතක්.
Labels:
ආර්ථික වර්ධනය,
ආහාර,
ඇමරිකාව,
කාර්යක්ෂමතාවය,
කෘෂිකර්මය,
සහල්,
ස්වයංපෝෂණය
Monday, May 11, 2020
ආහාර ආනයන වියදම වැඩිද?
ලංකාවේ හා ඇමරිකාවේ වී වගාවේ කාර්යක්ෂමතාවය ගැන අපි සංසන්දනයක් කළා. පැහැදිලිවම ඇමරිකාවේ වී ගොවිතැන් කෙරෙන විදිහ වඩා කාර්යක්ෂමයි. ලංකාවේ කුඹුරු අක්කරයකින් ලබා ගන්නා වී අස්වැන්න වගේ දෙතුන් ගුණයක් ඇමරිකාවේ වී ගොවියෙක් විසින් ලබා ගන්නවා. නමුත්, ඇමරිකාවේ වී ගොවියෙක්ට සාපේක්ෂව ලංකාවේ වී ගොවියෙක් දුප්පතෙකු වී සිටින්න ප්‍රධාන හේතුව මෙය නෙමෙයි. හේතුව මෙයනම් ඇමරිකාවේ වී ගොවියෙකුගේ ආදායම ලංකාවේ වී ගොවියෙකුගේ ආදායම මෙන් දෙතුන් ගුණයක් විය යුතුයි. එහෙත්, එම පරතරය ඊට වඩා බොහෝ විශාලයි.
අජිත් ධර්මා විසින් යෝජනා කළ සමුහ ගොවිපොළ සංකල්පයෙන් ලොකු ප්‍රයෝජනයක් නොලැබෙන්නේත් මේ හේතුව නිසයි. ගොවීන් විශාල පිරිසක් එකතු වී ලොකු තනි ගොවිපොළක් හදා ගත්තොත් ප්‍රමාණයේ වාසිය ලබා ගෙන අස්වැන්න වැඩි කර ගන්න පුළුවන්. නමුත්, ලැබෙන අස්වැන්න එසේ එකතු වූ ගොවීන් පිරිස අතර බෙදී ගියාට පසුව එක් අයෙකුට ලොකු වාසියක් නැහැ. ඇමරිකාවේ ගොවියෙකු විශාල ආදායමක් ලබන්නේ එක් ගොවියෙකු සතුව විශාල ඉඩම් ප්‍රමාණයක් තිබීමේ වාසිය ලබා ගනිමිනුයි. වී ගොවිතැන ගැන අපි අවධානය යොමු කළත් පොදුවේ කෘෂිකාර්මික අංශය පිළිබඳ තත්ත්වය මෙයයි.
මේ කරුණින් තවත් දෙයක් පැහැදිලි වෙනවා. ලංකාව වගේ රටවල ප්‍රධාන ප්රශ්නය ගොඩක් අය හිතාගෙන ඉන්නවා වගේ ප්රාග්ධනය නැතිකම නෙමෙයි. ප්රාග්ධනය පොම්ප කරලා ආර්ථිකයකට තාවකාලික තල්ලුවක් දෙන්න පුළුවන් වුනත් ආර්ථිකයක් දිගින් දිගටම දියුණු වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි වීම මතයි. මේ කරුණ ඉදිරියේදී ඉඩ ලැබෙන පරිදි ලිපි මාලාවකින් පැහැදිලි කරන්න බලන්නම්. මෙතැනදී කාර්යක්ෂමතාවය කියා කියන්නේ දැනට තිබෙන සම්පත්ම යොදා ගෙන නිෂ්පාදනය වැඩි කර ගන්න එකයි.
ප්රාග්ධනය නිසා රටවල් දියුණු වෙනවනම් අප්‍රිකානු රටවලට දශක ගානක් තිස්සේ ලැබුණු විදේශාධාර නිසා ඒ රටවල් මේ වෙද්දී මීට වඩා සෑහෙන්න දියුණු වෙලා තියෙන්න ඕනෑ. ලංකාවේ ගොඩක් ආණ්ඩු වල ඉලක්කය වූ (හා වන) සෘජු විදේශ ආයෝජන කියන්නේත් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් නිසි සේ අවබෝධ කරගෙන නැති තාක්ෂනික උගුලක් තියෙන තැනක්. ඇඟලුම් වැනි රැකියා ජනනය කරන අංශයක හෝ රටේ නැති තාක්ෂණයක් රටට ගෙනෙන ආයෝජනයක් හැර ප්රාග්ධනය පමණක්ම බලාගෙන ගෙන්න ගන්න සෘජු විදේශ ආයෝජන වලින් යහපතකට වඩා අයහපතක් වෙන්න ඉඩ වැඩියි. කොහෙන් හෝ ගෙන්න ගන්න අවශ්‍ය වන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන කවර හෝ තාක්ෂණයයි.
ඇමරිකාවේ කෘෂිකර්මය මේ තරම් කාර්යක්ෂමනම් ලංකාවේ ගොවියෙක්ට කෙසේවත් ඇමරිකාවේ ගොවියෙක් එක්ක තරඟ කරන්න බැරිද? ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමෙන් ලංකාවට අවාසියක් මිස වාසියක් නැද්ද? ලංකාවේ වී ගොවියා ආරක්ෂා කර ගන්න ආනයන තහනම් කරන්නම වෙනවද?
මේ කරුණ මගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ලිපි මාලාවේ පැහැදිලි කරලා තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාමෙන් මේ වගේ තත්ත්වයක් යටතේ වුවත් දෙරටටම වාසි ගන්න පුළුවන්. ඇමරිකාවේ වී ගොවියා වැඩි ආදායමක් ලබනවා. ඇමරිකාවේ වී ගොවිතැන වඩා කාර්යක්ෂමයි. එසේ වුවත් ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ වී හෝ සහල් කිලෝවක නිෂ්පාදන වියදම අඩුයි. ඒ නිසා, ලංකාව ආනයන වලට බිය විය යුතු නැහැ. (ඉන්දියාව වගේ රටවල් ගැන පසුව වෙනම කතා කරමු)
හැබැයි මේ හේතු මත රටක් ආහාර වලින් ස්වයංපෝෂිත වීම නරක දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඕනෑම රටකට ආර්ථික නොවන වෙනත් ජාතික අභිලාශ තියෙනවා. රටක් ආහාර වලින් ස්වයංපෝෂිත වීමත් බොහෝ රට වල ජාතික අභිලාශයක්.
මේ වැඩේ මොන විදිහකින්වත් කරන්න බැරි සිංගප්පූරුව වගේ රටවල් තිබෙනවා. එහෙත්, ආහාර වලින් ස්වයංපෝෂිත වීම ලංකාව ඇතුළු ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකට කළ හැකි දෙයක්. මම මේ ලිපි මාලාව ආරම්භයේදීම පැහැදිලි කළ පරිදි බෝග වගාව සඳහා අවශ්‍ය ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් යම් ප්‍රමාණයක් බොහෝ රටවල් සතුයි. ඇමරිකාව, කැනඩාව, රුසියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලට මේ කටයුත්තේදී වැඩි වාසියක් තිබුණත් ලංකාව වැනි රටකට වුවත් මේ වැඩේ කරන්න බැරිකමක් නැහැ. හැබැයි වැඩේ සාර්ථක වෙන්නේ දොරගුළු නොවසා කළ විටයි.
සමගි පෙරමුණු ආණ්ඩුවේ රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීමේ අභිලාෂය නරක එකක් නෙමෙයි. වැරැද්ද එය කළ ආකාරයේ. ඇමරිකාව වුවත් ආහාර වලින් ස්වයංපෝෂිත රටක්. නමුත්, එසේ ස්වයංපෝෂිත වී සිටින්නේ විවෘත වෙළඳපොළ තරඟයට මුහුණ දී කාර්යක්ෂමතාවය වැඩි කරගෙන මිස දොරවල් වහගෙන හැංගිලා නෙමෙයි.
ඇත්තටම කියනවානම් ලංකාවේ කෘෂිකාර්මික අංශය දැනටත් ඉතා සාර්ථකව වෙළඳපොළ තරඟයට මුහුණ දෙනවා. ලංකාවේ කෘෂි කාර්මික අංශයේ විශාල ප්‍රශ්නයක් නැහැ. පහත තිබෙන්නේ පසුගිය 2019 වසරේ ලංකාවේ ආනයන වියදම් වලින් ආහාර සඳහා වැය වූ මුදලයි. දත්ත සියල්ල ළඟදී නිකුත් වූ 2019 මහා බැංකු වාර්තාවෙන්. ගණන් ඇමරිකන් ඩොලර් මිලියන වලින්.
හාල්- 12.8
සීනි හා රසකැවිලි - 201.2
කිරි නිෂ්පාදිත - 311.9
පරිප්පු - 79.9
වෙනත් ආහාර හා පාන වර්ග - 821.2
ආහාර හා පාන වර්ග ආනයන වියදම් එකතුව - 1426.9
ලංකාවට තිරිඟු හා ඉරිඟු ආනයනය කරන්නේ පාරිභෝගික භාණ්ඩයක් ලෙස නෙමෙයි. කාර්මික අමුද්‍රව්‍යයක් ලෙසයි. පාරිභෝගික ද්‍රව්‍යයක් වෙන්නේ ලංකාවේදී සකස් කිරීමෙන් පසුවයි. ඒ නිසා, ඉහත එකතුවට තිරිඟු හා ඉරිඟු අයත් වී නැහැ. 2019දී ලංකාවට ආනයනය කර තිබෙන තිරිඟු හා ඉරිඟු වල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 346.4ක්.
කෙසේ වුවත්, ඉහත මුළු ආනයන ප්‍රමාණයම ලංකාවේ ආහාර පාන ආනයන වියදම් වලට එකතු කරන එක නිවැරදි නැහැ. 1980දී ප්‍රීමා කම්හල ත්‍රිකුණාමලයේ හදන කොට එය ලෝකයේ ලොකුම තිරිඟු ඇඹරුම් කම්හල් සංකීර්ණයයි. ආරම්භයේ සිටම එම කම්හල ඇඹරූ පිටි ආසියාවේ වෙනත් රටවලට අපනයනය කළා. කමක් නැහැ අපි මේ මුළු වියදමම එකතු කරමු.
ආහාර හා පාන වර්ග ආනයන වියදම් මුළු එකතුව = 1426.9 + 346.4 = ඩොලර් මිලියන 1773.3
මේ ගණන රුපියල් වලට හැරෙවුවොත් රුපියල් බිලියන 300කට වැඩ වැඩියි. 2019දී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදිතය (වන හා ධීවර උප අංශද ඇතුළත්ව) රුපියල් බිලියන 1,113.8ක්. දැව කොටස ඉවත් කළ විට රුපියල් බිලියන 1000ක් පමණ වෙනවා. එහෙම බැලුවොත් රුපියල් 1000ක ආහාරපාන රට ඇතුළේ හදන කොට ආනයන සඳහා රුපියල් 300ක් වැය වෙනවා. ඒ කියන්නේ ඒ කොටස රට ඇතුළේ හදා ගත්තොත් ඒ අනුරූපී ඩොලර් ප්‍රමාණය ඉතුරුයි.
මේ ගණනය අසම්පූර්ණයි. මොකද අපේ කෘෂිකාර්මික නිෂ්පාදිතයෙන් කොටසක් අපි අපනයනය කරලා තියෙනවා. එහෙමනම් අපි කෘෂිකාර්මික අංශයේ අපනයන ආදායමත් සලකා බැලිය යුතුයි. 2019 වසරේ ලංකාවේ අපනයන ආදායම් මෙහෙමයි. ඇමරිකන් ඩොලර් මිලියන වලින්.
තේ - 1,346.4
රබර් - 24.2
පොල් - 329.5
කුළුබඩු - 312.5
එළවළු - 32.0
සකස් නොකළ දුම්කොළ - 34.7
සුළු අපනයන බෝග - 120.0
මුහුදු ආහාර - 262.5
එකතුව - 2,461.9
තව මීට අමතරව කාර්මික අපනයන ලෙස ඩොලර් මිලියන 447.0ක අපනයන ආදායමක් සකස් කළ ආහාර, පාන වර්ග හා දුම්කොළ වලින් උපයාගෙන තිබෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 866.1ක රබර් නිෂ්පාදන අපනයන ආදායමින් කොටසකුත් ලංකාවේ හැදූ රබර් වල අපනයන ආදායමක් සේ සලකන්න වෙනවා. ඒවා අපි පැත්තකින් තියමු.
ඉහත එකතුව පමණක් ගත්තොත් ආහාර පාන අපනයන ආදායම ඩොලර් මිලියන 2,461.9ක්. ආනයන වියදම 1426.9ක්. තිරිඟු හා ඉරිඟු එකතු කළොත් ඩොලර් මිලියන 1773.3ක්. අවසාන වශයෙන් ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සැලකිය යුතු ශුද්ධ වෙළඳ අතිරික්තයකුයි තියෙන්නේ.
ඇත්තටම වෙන්නේ ආහාරපාන ආනයනය කිරීම නිසා ලංකාවේ සල්ලි පිටරටට යන එක නෙමෙයි. එහි අනික් පැත්තයි. ලංකාවේ විශාල වෙළඳ හිඟයට හේතුව කෘෂිකාර්මික අංශයේ ප්‍රශ්නයක් නෙමෙයි. ගොවියා ධනවතෙකු වී නැත්තේත් ආනයන තරඟය නිසා නෙමෙයි.
Labels:
ආහාර,
කෘෂිකර්මය,
ජාතිකවාදය,
ජාත්‍යන්තර වෙළඳාම,
වෙළඳ ශේෂය,
සහල්,
ස්වයංපෝෂණය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...