වෙබ් ලිපිනය:

Thursday, April 2, 2020

කෝවිඩ් පැටවු ගහන හැටි


වසංගත පැතිරීම ආකෘතිගත කරන ආකාරය සම්බන්ධ තාක්ෂනික කරුණු දැන ගන්න කැමති බව කිහිප දෙනෙක්ම ලියල තිබුණනේ. මෙය ඇත්තටම බ්ලොග් ලිපි දෙක තුනකින් පැහැදිලි කළ හැකි තරම් සරල දෙයක් නෙමෙයි. තනිකරම විෂයයක්නේ. කොහොම වුනත් මේ වගේ අලුත් නොදන්නා විෂයයක් ගැන උනන්දුවක් ඇති වීම මේ අඳුරු වලාවේ එක් රිදී රේඛාවක් කියා කියන්න පුළුවන්. යන විදිහට ගොඩක් දෙනෙක්ට ආර්ථික විද්‍යාව ගැන දැන ගන්න විශාල උනන්දුවක් ඇති වෙන්නත් ලොකු කාලයක් යන එකක් නැහැ.

වසංගත පැතිරීම ගැන කතා කරන්න කලින් අපි ඒ සඳහා දැන ගන්න අවශ්‍ය මූලික කරුණක් කතා කරමු. මේ ලිපිය ලියන්නේ ගණිතය හා සංඛ්‍යානය ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙනුයි. අනෙක් අයට ටිකක් බර වැඩි වෙන්න පුළුවන්.

අපි අර මූලික ප්‍රජනන අගය ගැනත් එය ඇස්තමේන්තු කිරීමේ අසීරුව ගැනත් ගොඩක් කතා කළානේ. දැනට අපි ඒ සියල්ල අමතක කරලා මේ අගය 2.0 ලෙස සලකමු. ඒ කියන්නේ එක් ආසාදිතයෙක් තවත් දෙදෙනෙකුට රෝගය පතුරුවනවා. මේ ගණන නිවැරදි බවත්, හැම ආසාදිතයෙක්ම තවත් ආසාදිතයින් දෙදෙනෙකුට රෝගය පතුරුවන බවත් අපි උපකල්පනය කරමු. අප්‍රේල් පළමුවෙනිදා රටේ එක් අයෙක් කෙසේ හෝ ආසාදනය වුනා කියා හිතමු. එහෙමනම්, දවස් 21කට පසුව රටේ ආසාදිතයින් ගණන ඇස්තමේන්තු කරන්න කාට හරි පුලුවන්ද?

මෙය ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ ගැටළුවක්. මේ සරල ගැටළුවට වුවත් විසඳුමක් හොයා ගැනීම පහසු නැහැ. ඒ ඇයි?

මේ ආසාදිතයා වෙනත් අයට රෝගය බෝ කරන්නේ දවස් කීයකට පස්සෙද කියන එක අපි දන්නේ නැහැ. එය සිදු වන්නේ 22වන දවසේනම් 21 වන දවස වන විටත් රටේ ඉන්නේ අර පළමු රෝගියා පමණයි. විසඳුම හොයා ගන්නනම් අපට තවත් වැඩිමනත් තොරතුරු අවශ්‍ය වෙනවා.

උදාහරණයක් විදිහට ආසාදිතයෙක් ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා කියා අපි හිතමු. දැන් පළමු දිනයේ සිට රෝගීන් වැඩි වෙන්නේ මේ ආකාරයටයි.

1 - 1
2-  1
3-  2
4-  3

දැන් පළමු රෝගියා තමන්ගේ "යුතුකම" කරලා ඉවරයි. ඔහු හෝ ඇය තවත් දෙදෙනෙකුට රෝගය බෝකරලා. මේ රෝගීන් දෙන්නාව අපි 2A හා 2B රෝගීන් ලෙස නම් කරමු. මෙයින් පසුව රෝගය පැතිරෙන්නේ මොන ආකාරයටද?

වැඩේ සංකීර්ණ නිසා අපි අපේ පහසුවට මේ විදිහේ උපකල්පනයක් කරමු. මුල් රෝගියා වගේම අනෙක් සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා. මේ උපකල්පනය මත අපට ගණන් හදාගන්න පුළුවන්.

දැන් අර 2A රෝගියා ආසාදනය වුනේ 3 වන දවසේ නිසා ඇය 5 හා 6 දින වලදී තවත් දෙදෙනෙකුට (3A සහ 3B පුද්ගලයින්ට) වෛරසය සම්ප්‍රේෂණය කරනවා. නමුත්, 2B රෝගියා ආසාදනය වුනේ 4 වන දවසේ නිසා ඔහු තවත් දෙදෙනෙකුට (3C  සහ 3D පුද්ගලයින්ට) වෛරසය සම්ප්‍රේෂණය කරන්නේ 6 හා 7 දින වලදී. ඒ අනුව, ඊළඟ දවස් දෙකේදී තත්ත්වය මෙහෙමයි.

5- 4  (1, 2A, 2B, 3A)
6- 6  (1, 2A, 2B, 3A, 3B , 3C)

හත් වෙනි දවසේ වෙන්නේ කුමක්ද? හත් වන දවසේදී 2B විසින් 3D ආසාදනය කරනවා. ඒ සමඟම දෙවන පරම්පරාවේ රෝගීන් රෝගය බෝ කර අවසන් වෙනවා. ඒ අතර තුන් වන පරම්පරාව වැඩ පටන්ගන්නවා. හත් වන දවසේ 3A විසින් 4A ආසාදනය කරනවා. එතැන් සිට වැඩේ යන හැටි පහත පෙන්වා තිබෙනවා. මෙහි තේරුම් ගැනීමේ පහසුව පිණිස එක් එක් පරම්පරාවේ රෝගීන් වෙන වෙනම තීරු වල දක්වා තිබෙනවා. අන්තිම තීරුව එක් එක් දිනය අවසානයේ මුළු ආසාදිතයින් ගණන.

1 1 1
2 1
3 1 2
4 1 3
5 1 4
6 2 6
7 1 1 8
8 3 11
9 3 1 15
10 1 4 20
11 6 1 27
12 4 5 36
13 1 10 1 48
14 10 6 64
15 5 15 1 85
16 1 20 7 113
17 15 21 1 150
18 6 35 8 199
19 1 35 28 1 264
20 21 56 9 350
21 7 70 36 1 464

මේ අනුව දින 8කට පමණ වරක් ආසාදිතයින් ප්‍රමාණය 10 ගුණයකින් ඉහළ යන බව පේනවා ඇති. එය ඇමරිකාවේ රටාවට ආසන්නව සමානයි.

මේ ඇස්තමේන්තුව හැදුවේ සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා කියන උපකල්පනය මතයි. දැන් අපි හිතමු මේ වැඩේ වෙන්නේ ටිකක් පහුවෙලා කියලා. දෙවන උදාහරණයේදී සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 4 වන හා 5 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා. මේ වෙනස සමඟ රෝගීන් වැඩි වෙන ආකාරය වෙනස් වෙන්නේ කොහොමද? එය පහත පෙන්වා තිබෙනවා.

1 1 1
2 1
3 1
4 1 2
5 1 3
6 3
7 1 4
8 2 6
9 1 7
10 1 8
11 3 11
12 3 14
13 1 1 16
14 4 20
15 6 26
16 4 1 31
17 1 5 37
18 10 47
19 10 1 58
20 5 6 69
21 1 15 85

කලින් තත්ත්වය යටතේ දින 21කට පසුව 464 දෙනෙකුට රෝගය ව්‍යාප්ත වුනා. දැන් එම ගණන 85 දක්වා අඩු වෙලා. නමුත්, අවස්ථා දෙකේදීම මූලික ප්‍රජනන අංකය සමානයි.

මෙතැන වෙන්නේ මේ වගේ දෙයක්. කිසියම් රටක රතු හා කොළ කියා ජනවර්ග දෙකක් ඉන්නවා. කොයි ජනවර්ගයේ වුවත් එක් කාන්තාවක් වදන්නේ හරියටම දරුවන් දෙන්නෙක් පමණයි. එහෙමනම් එක ජනවර්ගයක් වැඩියෙන් වර්ධනය වෙන්න පුළුවන්ද?

පැහැදිලිවම ඔව්. එසේ නොවන්නේ ජනවර්ග දෙකේම කාන්තාවන් දරුවන් වදන්නේ එකම වයසකදීනම් පමණයි. එසේ නැත්නම් අඩු වයසෙන් විවාපත් වී දරුවන් වදන කණ්ඩායම වැඩියෙන් බෝවෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේ අඩුවෙන් දරුවන් හදන කණ්ඩායම වැඩියෙන් බෝවෙන්න වුවත් පුළුවන්.

Wednesday, April 1, 2020

කොරෝනා පාලනය


කොරෝනා පැතිරීම ගැන මෙතෙක් ලිවූ ලිපි කිහිපයකින්ම උත්සාහ කළේ වසංගතවේදයේදී යොදා ගැනෙන සම්මත ආකෘති හා අදාළ මූලික කරුණු කිහිපයක් පැහැදිලි කරන්නයි. ඒ හැර, කොරෝනා දේශපාලනය ගැන හෝ කොරෝනා අභියෝගය හමුවේ ලංකාව විසින් ගන්නා ක්‍රියාමාර්ග ගැන මා කතා කළේ නැහැ. විස්තර කළ යුතු තාක්ෂණික කරුණු තවත් රැසක් තිබෙනවා. එහෙත්, කියවන බොහෝ දෙනෙකුට වැදගත් වන්නේ ලංකාවට කුමක් වෙයිද කියන එක නිසා ඒ ගැනත් ටිකක් කතා කරමු. එහෙත්, මෙය මා දකින පරිදි පවතින තත්ත්වය පිළිබඳ විග්‍රහයක් මිස කාවවත් විවේචනය කිරීමක් හෝ කාටවත් කඩේ යාමක් නෙමෙයි.

පළමුවෙන්ම කියන්න තියෙන්නේ ලෝකයේ කිසිදු රටක් කොරෝනා පරාජය කර නැහැ. යමෙක් එහෙම හිතනවානම් එය මුලාවක්. නමුත්, විවිධ රටවල් විවිධ මට්ටම් වලින් රෝගය පාලනය කරගෙන ඉන්නවා.

මූලික ප්‍රජනන අංකය ගැනත්, එය ඇස්තමේන්තු කිරීමේ අපහසුව ගැනත් මම පැහැදිලි කළානේ. මේ පිළිබඳ අවිනිශ්චිතතා කොපමණ තිබුණත් එක දෙයක් සක් සුදක් සේ පැහැදිලියි. ඒ මේ අගය 1.0 ට වඩා වැඩියි කියන එකයි. ඒ කියන්නේ රෝගය පැතිරීම මොනයම් ක්‍රමයකින් හෝ පාලනය නොකළොත්, රටක බහුතරයට රෝගය හැදෙන තුරු පැතිරීම නවතින්නේ නැහැ. සම්මත ආකෘති අනුව රෝගය පැතිරීම නවතින්නේ විශාල පිරිසකට රෝගය වැළඳී, එයින් යම් පිරිසක් මිය ගොස් ඉතිරි පිරිසට ස්වභාවික ප්‍රතිශක්තිය ලැබුණු පසුවයි. නමුත්, කිසිම රටක් තවමත් ඒ තත්ත්වය කිට්ටුවත් ගිහින් නැහැ. ඒ නිසා, කොපමණ පිරිසක් මැරෙයිද, කොපමණ පිරිසකට ස්වභාවික ප්‍රතිශක්තිය ලැබෙයිද, එහෙම ස්වභාවික ප්‍රතිශක්තිය ලැබුනොත් එය කොපමණ කලක් තියෙයිද වගේ කරුණු ගැන අපට තවම කිසිම දෙයක් සහසුද්දෙන්ම කියන්න බැහැ.

රෝගය වැඩිපුරම ව්‍යාප්ත වී තිබෙන රටවල් වන ඉතාලියේ හා ස්පාඤ්ඤයේ ජනගහණයෙන් ආසන්න වශයෙන් දහසකට දෙදෙනෙකු පමණ මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙනවා. නමුත්, එම රටවල පවා තවමත් දහසකින් 998 දෙනෙකු එසේ හඳුනා නොගත් අයයි. යම් හෙයකින් නොදැනම වෛරසය ආසාදනය වී අවසන්ව නැත්නම් මේ අයට කොයි වෙලාවක හෝ වෛරසය වැළඳිය හැකියි. අනිවාර්යයෙන්ම මේ අයගෙන් යම් කොටසකට මේ වන විට නොදැනම වෛරසය වැළඳී තිබිය හැකි වුවත් ඒ ප්‍රමාණය කොපමණද කියා අප දන්නේ නැහැ. කිසිම අදහසකුත් නැහැ.

මේ තත්ත්වය ලංකාවට හෝ වෙනත් රටකට කියා වෙනස් වන දෙයක් නෙමෙයි. ලංකාවට අදාළ මූලික ප්‍රජනන අංකය 2.2 නොවිය හැකියි. එහෙත් එය 1.5 වුනත් 4 වුනත් රෝගය පැතිරෙන වේගය වෙනස් වනවා මිස රෝගය පැතිරීම නවතින්නේ නැහැ. මෙය මතක තබා ගත යුතු පළමු වැදගත් කරුණයි.

දෙවන වැදගත් කරුණ වන්නේ විවිධ ක්‍රියාමාර්ග හරහා රෝගය පැතිරීම පාලනය කළ හැකි බවයි. ඒ කියන්නේ අපට අපේ උත්සාහයෙන් මූලික ප්‍රජනන අංකය අඩු කර ගත හැකියි. එය 1.0 මට්ටමෙන් පහළට ගත්තොත් රෝගය පැතිරීම ක්‍රමයෙන් අඩු වී අන්තිමේදී නවතිනවා. පාලිත තත්ත්වයන් යටතේදී එය 1.0 මට්ටමෙන් පහළට ගෙන මාසයක් දෙකක් එලෙසම පවත්වා ගත හැකි බව චීනය විසින් ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ඒ වගේම, ඉතාලිය හා ස්පාඤ්ඤය වැනි රටවල්ද ඇතුළුව ලෝකයේ හැම රටක්ම වගේ මූලික ප්‍රජනන අංකය යම් තරමකින් අඩු කරගෙන තිබෙනවා. එහෙත්, 1.0 මට්ටමෙන් පහළට නොගත්තොත් රෝගය පැතිරීමේ වේගය මිස රෝගය පැතිරීම අඩු වන්නේ නැහැ. හැම බටහිර රටකම වගේ තවමත් රෝගය පැතිරෙන්නේ ඒ නිසයි. දැනට පවතින තත්ත්වයන් අනුව ස්වභාවික ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වීමෙන් මිස බටහිර රටවල රෝගය පැතිරීමේ වේගය මිස රෝගය පැතිරීම නවතින්න ඉඩක් නැහැ.

එක ඇනෝ කෙනෙක් අසා තිබුණා හදිසියේ කෝවිඩ් හැදී ඉකොනොමැට්ටා මළොත් දැනගන්නේ කොහොමද කියා. එහෙම වුනොත්, මටනම් දැනගන්න වෙන්නේ නැහැ. මම මැරිලානේ!

ඉදිරි නරක කාලය ඇතුළත අපි කවුරු වුනත් මැරෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. මේ වන විට අපේ පැත්තේ දන්නා කියන අයටත් රෝගය වැළඳෙමින් තිබෙනවා. ගෙදරටම වී හිටියත්, කොයි තරම් පරිස්සම් වුනත් කොයි වෙලාවක හෝ අපිත් වෛරසයේ ගොදුරක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් ඇමරිකාවේ හිටියා කියා ලොකු වාසියක් නැහැ. ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වෙන්නේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය මතයි. ඒක මේ හදිස්සියේ ලොකුවට වැඩි කරගන්න පුළුවන් කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා, මම මේ ගැන එතරම් වද වෙන්නේ නැහැ. මම වැඩිපුර වද වෙන්නේ මගේ පාලනයට නතු දේවල් ගැනයි.

ඕක තමයි තත්ත්වය. හැබැයි එහෙමයි කියා මම ඇමරිකාව හෝ ඇමරිකන් ආණ්ඩුව විවේචනය කරන්නේ නැහැ. මේ හා අදාළව ආණ්ඩුවට ඔයිට වඩා කරන්න ලොකු දෙයක් නැහැ. කොරෝනා හැදී ඉකොනොමැට්ටා මැරුණත් මෙය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ ඉකොනොමැට්ටාගේ යාළුවෝ, නෑදෑයෝ හැඟීම්වර වෙලා ඇමරිකාව විවේචනය කළ හැකි වුනත් එසේ වූ පමණින් මේ කරුණ වෙනස් වෙන්නේ නැහැ.

එක දෙයක් හැර ලංකාවේ ආණ්ඩුව විසින් කළ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් ඇමරිකාවේ ආණ්ඩුව විසිනුත් කළා. ලංකාවට කළ නොහැකි ඇමරිකාව වැනි රටකට කළ හැකි තවත් දේවලුත් කළා. ලංකාව කරන දේවල් වලින් ඇමරිකාව විසින් නොකළේ සබඳතා හඹායාම (contact tracing) පමණයි. එය ඇමරිකාවට හෝ වෙනත් බටහිර රටකට කළ නොහැකි දෙයක්. එවැනි දෙයක් කරන්න ගියොත් මේ රටවල මූලික පදනමම බිඳ වැටෙනවා.

ලංකාව වගේම චීනය හා දකුණු කොරියාවත් රෝගය පාලනය සඳහා මේ සබඳතා හඹායාම කියන උපක්‍රමය සාර්ථකව භාවිතා කළා. මේ කටයුත්තේදී ලංකාවට විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබීම වාසියක් වුනා. මේ වෙලාවේ වාසියක් වූ පමණින් මා විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. එහෙත්, යම් තත්ත්වයන් යටතේ එවැන්නක වාසියක් තිබෙන බව කියන්නට මැලි වන්නේත් නැහැ.

මේ වන විට ලංකාවෙන් හමු වී තිබෙන්නේ කොරෝනා රෝගීන් 146 දෙනෙකු පමණයි. ඔවුන්ගෙන් විශාල පිරිසක් වෙනත් රටකදී රෝගය බෝ කරගත් අය හෝ නිරෝධායනය වෙමින් සිටියදී හඳුනාගත් අයයි. මා විස්තර කළ මූලික ප්‍රජනන අංකය යොදා ගත හැක්කේ රෝගය ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට පැමිණි විට පමණයි. ඒ නිසා, මෙතෙක් ලංකාවේ වාර්තා වී තිබෙන ආනයකික ආසාදිතයින්ගේ දත්ත මත ලොකු නිගමන වලට එන්න බැහැ. කොහොම වුනත් එක දෙයක් පැහැදිලියි. ලංකාව තවමත් මූලික ප්‍රජනන අංකය 1.0 ට පහළින් හෝ ආසන්නව පවත්වා යනවා. එසේ නැත්නම් මේ වන විට රෝගය මීට වඩා වේගයෙන් ව්‍යාප්ත විය යුතුයි.

බටහිර රටක දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් ලංකාව අනුගමනය කරන ක්‍රමයේ අඩු වශයෙන් ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබෙනවා. පළමු ප්‍රශ්නය මිනිස්සුන්ට වන පීඩාවක් වලක්වන්න ආණ්ඩුව විසින් ඔවුන්ට වෙනත් විශාල පීඩාවක් කිරීමයි. නමුත්, එය ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්තනම් එවැනි පීඩාවක් තිබෙන බව කියන්න බැහැ. ඇමරිකාවේදී හේතුවක් නැතිව පොලීසියෙන් වාහනයක් නවතා හැඳුනුම්පත පරීක්ෂා කළොත් එය ලොකු අවුලක්. නමුත්, ලංකාවේ ජීවත් වන කෙනෙකුට එය සාමාන්‍ය දෙයක්. ඇඳිරි නීතිය විශාල පීඩාවක් වුවත් ලාංකිකයින්ට නුපුරුදු දෙයක් නෙමෙයි. අපේ වයසේ අයටනම් 88/89 කාලයේ අවුරුදු දෙක තුනක් එක දිගටම ඇඳිරි නීතිය යටතේ ජීවත් වී පුරුද්දක් තිබෙනවා. උතුරු නැගෙනහිර අයටනම් දශක ගණනක්. මේ හේතු නිසා ලොකු සහෝදරයා ගෙදරටම හොම්බ දමන එක මේ වෙලාවේ ලංකාවේ වැඩි දෙනෙකුට වෛරස් තර්ජනයට සාපේක්ෂව හිතට වද දෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ලංකාව හා අදාළව මා මේ කරුණ බැහැර කරනවා.

දෙවන ප්‍රශ්නය සම්පත් සීමාවන් පිළිබඳ ප්‍රශ්නයක්. දැනට ලංකාවේ ඉන්නේ කෝවිඩ්-19 රෝගීන් 150කට අඩු ප්‍රමාණයක්. එහෙත්, මා දන්නා තරමට අඩු වශයෙන් විසි දහසක පමණ පිරිසක් රාජ්‍ය යාන්ත්‍රනය විසින් නිරන්තරව නිරීක්ෂණය කෙරෙමින් පවතිනවා. රටේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙන නිසා මෙය කළ හැකියි. ලංකාවේ විශාල රාජ්‍ය යාන්ත්‍රණය ඉතා අකාර්යක්ෂමයි. නමුත්, මේ වෙලාවේ වෙන්නේ එසේ අකාර්යක්ෂමව තිබුණු සම්පත් ප්‍රයෝජනයට ගැනීමක්. ආණ්ඩුව විසින් කොරෝනා මර්දනය කරන්න අලුතින් රාජ්‍ය සේවකයින් හෝ හමුදා සෙබළුන් බඳවාගෙන නැහැ. ඒ නිසා දැනට සිටින රාජ්‍ය සේවකයින් මේ ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම උචිත දෙයක්. ඇමරිකාවේ රජය සතුව මෙවැනි ප්‍රයෝජනයට නොගැනෙන මානව සම්පත් නැහැ.

එහෙත් යම් හෙයකින් රෝගීන් ප්‍රමාණය 1500 දක්වා වැඩි වුනොත් මේ වැඩේ මේ ආකාරයෙන්ම කරගෙන යන්න බැරි වෙනවා. එවිට යටට ඔබා ගෙන සිටින රබර් බෝලයක් උඩ එනවා වගේ දැනට 1.0 මට්ටමේ හෝ පහළින් තිබෙන R0 අගයද ඉහළ යනවා. රෝගීන් ගණන 150 සිට 1500 දක්වා ඉහළ යන එක් අහඹු සිදු වීමක් නිසා එක සතියක් ඇතුළත විය හැකි දෙයක්. කොයි තරම් හොඳින් තත්ත්වය කළමනාකරණය කළත් එවැන්නක් වීමේ අවදානමක් තිබෙනවා. එසේ නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කිසිවෙකු විසින් තමන්ගේ නොසැළකිල්ල නිසා රටේ විශාල පිරිසක් අවදානමක නොහෙළනු ඇතැයි අපේක්ෂා කරමු.

තෙවන ප්‍රශ්නය වන්නේ මේ වැඩේ මේ විදිහට කොයි තරම් කාලයක් කරන්නද කියන එකයි. සතියක්? මාසයක්? අවුරුද්දක්?

බටහිර රටවල්, විශේෂයෙන්ම ඇමරිකාව හා බ්‍රිතාන්‍යය, ඕනෑවට වඩා දැඩි පාලනයකට නොයන්නේ මේ නිසා. ලංකාව කවදා හෝ ඇඳිරි නීතිය ඉවත් කළ යුතුයි. කවදා හෝ ගුවන් තොටුපොළ ඇරිය යුතුයි. එසේ කළ විට වහාම රෝගය වේගයෙන් පැතිරිය හැකියි. කොහොම වුනත් මේ හේතුව නිසාම ලංකාව කරන වැඩේ තේරුමක් නැහැ කියා කියන්න බැහැ.

තරමක් දේශපාලනික කරුණකට ආවොත් ලංකාව ස්වයංපෝෂිත කිරීමේ සිහිනයක සිටින අය ඉන්නවා. මා මෙය මේ ලිපියෙන්  වැඩිපුර විශ්ලේෂණය කරන්න අදහසක් නැහැ, එසේ නොකර කියන්න තිබෙන දේ කියනවානම්, ලංකාව වගේ කුඩා රටකට එය කළ නොහැකියි. මා මෙයින් කියන්නේ රටේ හැදිය හැකි හැම දෙයක්ම පිටින් එන තුරු බලා සිටිය යුතු බව නෙමෙයි. පැහැදිලිවම එය නොකළ යුතු දෙයක්. මා කියන්නේ ලංකාවට දොරගුළු වසාගෙන විශාල කාලයක් සිටිය නොහැකි බවයි. එවැන්නක් කළ හැක්කේ චීනය, ඉන්දියාව, රුසියාව, ඇමරිකාව හා සමස්ත යුරෝපීය සංගමය වැනි විශාල ජනගහණයක් හා භූමියක් ඇති දේශපාලන ඒකකයකට පමණයි. ලංකාව වැනි රටකට දොරවල් වහගෙන ඉන්න පුළුවන්. එහෙත් එසේ සිටිද්දී රටේ ජීවන තත්ත්වය අනිවාර්යයයෙන්ම දැන් තිබෙන තත්ත්වයෙන් ගොඩක් පහළට වැටෙනවා.

එහෙමනම් මේ කරන වැඩේ තේරුමක් තිබෙනවාද? මෙතැනදී අපට මා කලින් විස්තර කර තිබෙන ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කුමක්ද කියා හිතන්න වෙනවා. මේ අවස්ථාව ලෝකයේ හැම රටක්ම දොරගුළු වහගෙන ඉන්න අවස්ථාවක්. ඒ නිසා, ලංකාව විවෘතව තබා ගැනීමේ වාසි මේ වෙද්දී කොහොමටත් නැති වෙලයි තියෙන්නේ. ඒ තත්ත්වය මාස ගණනකට වෙනස් වෙන්න ඉඩක් නැහැ.

පශ්චාත්-කෝවිඩ් ලෝකය දැන් තිබෙන ලෝකයම වෙන එකක් නැහැ. ගොඩක් දේවල් වෙනස් වී තිබෙයි. ලංකාව වගේ පර්යන්තයේ තිබෙන රටකට ඒ වෙනස්කම් සිදු වන ආකාරය දිහා බලා ඉන්නවා ඇර වෙනස්කම් වලට ලොකුවට දායක වෙන්න අමාරුයි. කරන්න පුළුවන්කම තියෙන්නේ සිදුවන වෙනස්කම් දෙස බලා උචිත ලෙස හැඩ ගැහෙන එකයි. ඒ වැඩේට කාලය අවශ්‍යයි. මොන දේ කළත් යම් අවස්ථාවක ලංකාවේත් කොරෝනා පැතිරෙන්න පුළුවන්. නමුත්, ඒ දවස කල් දමාගත් තරමට ලංකාවට තත්ත්වයට මුහුණ දෙන එක වඩා පහසු වෙයි.

Monday, March 30, 2020

කොහෙන් කෙළවර වෙයිද?


කලින් ලිපි දෙකෙන් උත්සාහ කළේ කෝවිඩ්-19 පැතිරීම පිළිබඳ පුරෝකථන කිරීමට උපයෝගී කර ගන්නා ආකෘති වල මූලික කරුණක් හැකි තරම් සරලව පැහැදිලි කරන්නයි. ඒ බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම මාධ්‍ය විසින්, වැඩි තේරුමක් නැතිව උපයෝගී කර ගන්නා මූලික ප්‍රජනන අංකය හෙවත් R0 කියන එක. මේ මූලික ප්‍රජනන අංකය වෙනස් නොවන නිශ්චිත එකක් කියා හිතුවොත්, රෝගය ස්වභාවිකවම ඉක්මණින් පාලනය වීම හෝ වේගයෙන් පැතිරීම එම අංකය මත තීරණය වන්නේ කොහොමද කියන එක දෙවනුව මා පැහැදිලි කළා. සමාජ දුරස්ථකරණය, ගුවන් ගමන් සීමා කිරීම, හඳුනාගත් රෝගීන් නිරෝධායනය, ඇඳිරි නීති දැමීම වාගේ විවිධ රටවල් විසින් කරන දේවල් නිසා මේ අංකය පහත වැටෙන බවත්, එසේ පහත වැටෙන කොට රෝගය ව්‍යාප්ත වෙන ආකාරය හොඳ අතට වෙනස් වන බවත් මා පෙන්වා දුන්නා.

මේ විදිහට සරල ආකාරයෙන් පැහැදිලි කිරීමක් කළත් ඇත්තම ආකෘතියක් මීට වඩා ගොඩක් සංකීර්ණයි. උදාහරණයක් විදිහට අපි හිතමු කිසියම් මොහොතක කිසියම් රටක R0 අගය 10යි කියා. ඒ කියන්නේ එක් අයෙකු රෝගය 10 දෙනෙකුට බෝ කරනවා. මෙය උදාහරණයක් පමණයි. ඉහළ අංකයක් ගත්තේ කුඩා අංකයක් උදාහරණයට ගත් විට පැහැදිලි කරන්න අපහසු නිසයි.

දැන් අපි එක් අයෙකු රෝගය හරියටම 10 දෙනෙකුට බෝ කරන බව ස්ථිරවම දන්නවා කියමු. නමුත්, ඒ විදිහට 10 දෙනෙකුට බෝ කරන්නේ කොපමණ කාලයක් ඇතුළතද? මෙහිදී මුලින්ම වයිරසය ආසාදනය වූ අයෙකු එය වෙනත් අයට බෝ කරන කාල වකවානුව ගැන දැන ගන්න වෙනවා. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපි හිතමු බොහෝ දෙනකුට අදාළව මේ කාලය දවස් 21ක් කියා. දැන් කිසියම් අයෙකු වෙනත් අයට රෝගය බෝ කරන්නේ දවස් 2කට වරක් එක් අයෙකුට බැගින්ද? දවස් 4කට වරක් දෙදෙනෙකුට බැගින්ද? නැත්නම් අටවන දවසේ එක වරම 10 දෙනෙකුට බෝ කරනවාද? මේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.

මේ වගේ ස්ථිරවම කියන්න බැරි දෙයක් ආකෘතිගත කරන්නේ සංඛ්‍යාන ව්‍යාප්තියක් යොදා ගෙනයි. ඒ කියන්නේ දින 21 ඇතුළත එක් එක් දවස හෝ පැය ඇතුළත වෙනත් අයෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව සඳහා කිසියම් නිශ්චිත සම්භාවිතාවක් ඇති බව උපකල්පනය කරනවා. රෝගයේ ස්වභාවය අනුව මේ සම්භාවිතාව කාලයත් සමඟ ටිකෙන් ටික ඉහළ ගිහින් උපරිමයකට ඇවිත් ඉන් පසු ක්‍රමයෙන් අඩු වී යනවා. උදාහරණයක් විදිහට පළමු දවසේ 0.1යි. දෙවන දවසේ 0.15යි. පස් වන දවස වෙද්දී 0.5යි. දහවන දවස වෙද්දී නැවත 0.15ට අඩු වෙලා. ඔය වගේ.

මේ ආකාරයේ අවිනිශ්චිතතාවයක් තියෙන්නේ දින 21 ඇතුළත රෝගය බෝවන ආකාරය පිළිබඳව පමණක් නෙමෙයි. ඔය දින 21 කියන එකත් නිශ්චිත නොවන අගයක්. එහි තිබෙන්නේත් සම්භාවිතා ව්‍යාප්තියක්. ඒ වගේම, කී දෙනෙකුට බෝවනවාද කියන එකත් එහෙම දෙයක්.

මෙතෙක් මම වැඩිපුර කතා කළේ රෝගය පැතිරෙන එක ගැනනේ. මරණ සිදු වීම වෙනමම කතාවක්. එය රෝගය පැතිරෙන ස්වභාවය මත වගේම කිසියම් රටක සෞඛ්‍ය සේවය, වයස්ගත හා රෝගී ජනගහණය වගේ දේවල් මතත් තීරණය වනවා. ඒ නිසා, මරණ ගැන ඇස්තමේන්තු කිරීම වඩාත් අසීරුයි. ඊට අමතරව මේ වගේ වෛරස් වේගයෙන් පරිණාමය වෙනවා. ඒ නිසා කාලයත් එක්ක වෛරසයේ හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. එය මරණ අනුපාතයට හොඳ අතට හෝ නරක අතට බලපාන්න පුළුවන්.

මේ තරම් අවිනිශ්චිතතා තියෙනවානම් මේ ආකෘති වලින් වැඩක් තියෙනවද?

මේක මේ වගේ දෙයක්. අපි මුහුද මැද්දේ බෝට්ටුවක අතරමං වෙලා ඉන්නවා. ඉන්න තැනක් දන්නේ නැහැ. ගොඩබිමක් හොයා ගෙන යන්න ඕනෑ. සිතියමක් සහ මාලිමාවක් අතේ තියෙනවා. දැන් අපි ඔහේ ඉබාගාතේ බෝට්ටුව පදිනවද නැත්නම් අර සිතියම සහ මාලිමාව භාවිතා කරනවද? සිතියම වැරදි එකක් වෙන්න පුළුවන්. මාලිමාව කැඩිලා වෙන්න පුළුවන්. නමුත්, එහෙම නොවෙන්න ඉඩ වැඩියි. ඒ නිසා, සිතියම වැරදි එකක් වෙන්න පුළුවන් නිසා ඒක පැත්තකට දමලා ඉබාගාතේ බෝට්ටුව පදින එකේ තේරුමක් නැහැ.

තවත් දෙයක් තියෙනවා. සිතියම කියවන්න ඕනෑ ඒ ගැන දැනුමක් පළපුරුද්දක් තියෙන කෙනෙක්. නැත්නම් සිතියම තිබුණා කියලත් වැඩක් නැහැ.

මේ වගේ රෝගයක් පැතිරෙන ආකාරය ආකෘතිගත කරන්න පුළුවන්කම තියෙන්නේ වසංගත රෝග පැතිරෙන ආකාරය පිළිබඳ ගණිතමය හා සංඛ්‍යානමය ආකෘති ගැන වසර ගණනක පළපුරුද්දක් තිබෙන විශේෂඥයෙකුට පමණයි. මේ වෙලාවේ හදිසියේ මතු වන අපි වගේ "විශේෂඥයින්ට" ඒ වගේ දෙයක් කරන්න අමාරුයි. එවැනි පළපුරුද්දක් තිබෙන අය සීමිත පිරිසක් ඉන්නවා. මේ රෝගය පැතිරෙන ආකාරය ගැන මුලින්ම වාර්තාවක් එළි දැක්වූ බ්‍රිතාන්‍යයේ නීල් ෆර්ගසන් ඇතුළු කණ්ඩායමේ එවැනි අය ඉන්නවා. ඇමරිකාවේ වොෂින්ටන් සරසවියේ කණ්ඩායමක් දින කිහිපයකට කලින් තවත් අලුත් ගණනය කිරීම් ටිකක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අය යොදා ගන්නා හෝ වැඩි දියුණු කරන ආකෘති තමයි ඇමරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, ලංකාව ඇතුළු කොයි රටක වුවත් වසංගතවේදීන් විසින් යොදා ගන්නේ. මේ කටයුත්තේදී බොහෝ විට රටවල් අතර සම්බන්ධීකරණය හා මාර්ගෝපදේශනය සිදු වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා. ප්‍රායෝගික තලයේදී ගොඩක් අය කරන්නේ කිසියම් ආකෘතියක් මත ගොඩ නගා තිබෙන මෘදුකාංගයකට දත්ත ඇතුළු කර විය හැකි දේ ගැන අදහසක් ගන්න එකයි. ඒ සමහර අයත් ආකෘතිය මත හදපු මෘදුකාංගය ලබා දෙන ප්‍රතිඵලය ගැන මිසක් ආකෘතිය ගැන දන්නේ නැහැ. ආකෘති වලට අත ගහන එක අතළොස්සක පිරිසක් කරන වැඩක්.

නීල් ෆර්ගසන් ඇතුළු කණ්ඩායමේ මුල් වාර්තාව අනුව කිසිවක් නොකර හිටියානම් ඇමරිකානුවන් මිලියන 2.2ක මේ වසංගතය හේතුවෙන් මිය යනවා. නමුත්, මේ වෙද්දී ඒ වාර්තාව පිළියෙළ කරද්දී උපයෝගී කරගත හැකිව තිබුණාට වඩා දත්ත තිබෙනවා. වැඩිපුර තොරතුරු ලැබෙන කොට සිදු විය හැකි දේ වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි.

තොරතුරු වැඩියෙන් හමු වීමට අමතරව ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අනෙක් රටවල් පැත්තකින් තිබ්බොත්, මුල්ම අදියරේදී ඇමරිකාව කළේ රෝගය ව්‍යාප්ත වී තිබුණු රටවලට සංචාරය කරන එක වැලැක්වීම, ඒ රටවල් වලින් පැමිණෙන අය නිරෝධායනය කිරීම වගේ දේවල්. මේ වෙද්දී, ඇමරිකාව සමාජ දුරස්ථකරණය කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. මේ දේවල් නිසා රෝග ව්‍යාප්තිය පාලනය විය යුතු බව ඉතා පැහැදිලියි.

අනික් පැත්තෙන් ධනවාදයේ අපූර්වත්වය වන්නේ කිසියම් අවශ්‍යතාවයක් හදිසියේ පැන නැගුණු විට එය තමන්ට ක්‍රියාත්මක වන්නට සුදුසු අවස්ථාවක් සේ දකින බොහෝ දෙනෙකු බිහිවීමයි. මෙය මේ වෙලාවේදීත් ඇමරිකාවේදී පැහැදිලිව දකින්න පුළුවන්. විවිධ සමාගම් විසින් ස්වශන ආධාරක, වෙනත් රෝහල් උපකරණ ආදිය ඉතා වේගයෙන් නිෂ්පාදනය කරමින් ඉන්නවා. කෝවිඩ්-19 රෝගියෙකු මිනිත්තු 5කින් හඳුනාගත හැකි පරීක්ෂණ උපකරණයක් එක් සමාගමක් විසින් මේ වන විටත් හදා භාවිතයට අනුමැතිය ලබාගෙන තිබෙනවා. සමාගම් ගණනාවක් එන්නත් හා ඖෂධ පිළිබඳ පර්යේෂණ කරමින් සිටියත් එවැනි පර්යේෂණ සඳහා නෛසර්ගිකවම කිසියම් නිශ්චිත කාලයක් ගත වෙනවා.

වොෂින්ටන් සරසවියේ පර්යේෂකයින්ගේ අලුත්ම ගණන් බැලීම් අනුව ඇමරිකාවේ කෝවිඩ්-19 මරණ ගණන 82,141ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ, මේ  වන තෙක් ගෙන තිබෙන විවිධ ක්‍රියාමාර්ග සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. මෙය මේ මොහොත වන විට සිදුව තිබෙන කෝවිඩ්-19 මරණ ගණන වන 2,854ට සාපේක්ෂව ඉතා විශාල මරණ ප්‍රමාණයක් වුවත් නීල් ෆර්ගසන් වාර්තාවේ සඳහන්ව තිබුණු මිලියන 2.2ට වඩා බෙහෙවින්ම අඩු ප්‍රමාණයක්. මේ අඩු වීමට මෙතෙක් ඇමරිකාවේ ආණ්ඩු, සමාගම් සහ ඒකීය පුද්ගලයින් විසින් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතු වී තිබෙනවා. එසේ වුවත්, අප්‍රේල් මාසය ඇමරිකාවට ඉතාම තීරණාත්මක මාසයක්.

දැන් මම මේ ලිපිය පටන් ගත්තේ මේ  වගේ දෙයක් ඇස්තමේන්තු කරන එක කොයි තරම් අසීරුද කියන එක පැහැදිලි කරමිනුයි. එහෙමනම්, මරණ ගණන 82,141ක් බව හරියටම කියන්නේ කොහොමද?

පර්යේෂකයින් එවැනි ටක්කෙටම අනාවැකි කියන්නේ නැහැ. මාධ්‍ය වලින් ප්‍රචාරය වෙද්දී මේ වගේ ඇස්තමේන්තු විවිධ ආකාරයෙන් අර්ථකථනය වුවත් සංඛ්‍යානමය ආකෘතියක් ඇසුරෙන්  පුරෝකථනයක් ඉදිරිපත් කරද්දී මේ විදිහට ඉදිරිපත් කරන්නේ දැනට තිබෙන දත්ත අනුව සිදු වෙන්න වැඩිම ඉඩකඩක් තිබෙන දෙයයි. තවත් විදිහකින් කිවුවොත් මේ ගණනින් කියන්නේ ඇමරිකාවේ මරන ප්‍රමාණය 82,141කට වැඩි වෙන්න සහ අඩු වෙන්න සමාන, ඒ කියන්නේ 50%ක සමභාවිතාවක් තිබෙන බවයි. ඒ එක්කම, මාධ්‍ය වලින් වැඩි ප්‍රචාරයක් නොලැබෙන නමුත්, මෙවැනි ඇස්තමේන්තුවක තිබෙන අවිනිශ්චිතතාවය පිළිබඳ දත්තත් හැම විටකම වගේ ඉදිරිපත් කෙරෙනවා. මේ වාර්තාවේත් එවැනි විස්තර කිරීමක් තිබෙනවා.

ඒ අනුව, අගෝස්තු 4 වනදා දක්වා කාලය තුළ, ඇමරිකාවේ මරණ ගණන අවම වශයෙන් 39,174ක් වෙන්න 97.5%ක ඉඩක් තිබෙනවා. මරණ ගණන 141,991 ඉක්මවන්න තිබෙන ඉඩකඩ 2.5%කට වඩා අඩුයි. ඒ කියන්නේ පළමු චක්‍රය අවසන් වෙද්දී මරණ ප්‍රමාණය 39,174-141,991 පරාසයේ තිබෙන්න 95%ක සම්භාවිතාවක් තිබෙනවා. 82,141 කියන්නේ පළමු චක්‍රය තුළ සිදු වීමට වඩාත්ම ඉඩ තිබෙන මරණ ගණනයි. ඉන් පසුව දෙවන චක්‍රයක්ද ඇති විය හැකියි.

Saturday, March 28, 2020

ලස්සෙට පස්සේ...


ඊයේ දැන ගන්නට ලැබුණු පුවතකින් කියැවුණු පරිදි අප ජීවත් වන නගරයේ ගුරු ජෝඩුවක් අතර ඇති වුනු පවුල් ආරවුලක් කෙළවර වී තිබෙන්නේ මරණ දෙකකින්. මේ දවස් වල පාසැල් වසා ඇති නිසා මේ ජෝඩුව පසුගිය දවස් ටිකේම තමන්ගේ මහල් නිවාසයේයි කාලය ගෙවා තිබෙන්නේ. පාසැල් වසා ඇතත් පාසැල් නිවාඩු නැහැනේ.

ඇත්තටම පාසැල් අත්‍යවශ්‍ය සේවාවක්. ගුරුවරු ගෙවල් වල සිට අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කළ යුතුයි. මෙය ආතතිය විශාල ලෙස ඉහළ නංවන්නක්. විශේෂයෙන්ම තමන්ගේ දරුවනුත් ගෙදර සිට අධ්‍යයන කටයුතු කරන නිසා ඔවුන් ගැනත් බලමින් රැකියාව කිරීම පහසු නැහැ.

ඇතැම් මාධ්‍ය වලට අනුව මීට පෙර කිසිදු කලහකාරී හැසිරීමක් පෙන්වා නැති මේ ගුරු ජෝඩුව මෙවැනි තත්ත්වයකට පත් වී තිබෙන්නේ කොරෝනා තර්ජනය හමුවේ ගෙදර ඉන්න වීම නිසා ඇති වුනු ආතතිය නිසයි. මාධ්‍ය වලින් හදපු කතාවක් වෙන්න පුළුවන්. ඇත්ත වෙන්නත් පුළුවන්. ඇත්තනම් මේ මරණ දෙකත් කොරෝනා මරණ. එහෙත්, මරණ සහතික වල එසේ ලියැවෙන එකක් නැහැ.

කොරෝනා නිසා හෝ කොරෝනා හමුවේ ගන්නා ක්‍රියාමාර්ග නිසා සිදු වන වක්‍ර මරණ කොරෝනා මරණ වල සංඛ්‍යාලේඛණ වලට එකතු වෙන්නේ නැහැ. අනුරාධපුර බන්ධනාගාරයේ මරණයත් එවැනි මරණයක්. කලබල ඇති වුනේ කුඩු නැති නිසා විය හැකි වුවත් කුඩු නැති වෙන්න ඇත්තේත් කෝවිඩ් නිසානේ. ඊයේ (මාර්තු 27) දිනය අවසන් වන විට  ඇමරිකාවේ කොරෝනා මරණ 1,696 ක් වාර්තා වී තිබෙනවා. එයින් 401 දෙනෙකු මිය ගොස් තිබෙන්නේ ඊයේ දිනයේදී.

සංඛ්‍යාලේඛණ අනුව ඇමරිකාවේ දිනකට 7,708 දෙනෙකු මිය යනවා. කොරෝනා වැළඳී මිය ගිය අයගෙන් යම් පිරිසක් වෙනත් හේතු මත අදාළ කාලය තුළ කොහොමටත් මිය යාමේ ඉඩක්ද තිබුණා. නමුත්, කොරෝනා මරණ ගණන් කිරීමේදී එය සැලකිල්ලට ගැනෙන්නේත් නැහැ. මෙහි තිබෙන්නේ මා පෙර ලිපියක විස්තර කළ ප්‍රතිපරිසිද්ධික තත්ත්වය නිරීක්ෂණය කළ නොහැකි වීම පිළිබඳ ගැටලුවයි. කොරෝනා වල හානිත් කොරෝනා වලට එරෙහිව ආණ්ඩු විසින් කළ කී දේවල් වල හානිත් සංසන්දනය කරන්න කාලයක් ගත වෙයි.

කලින් ලිපියෙන් මම මූලික ප්‍රජනන අංකය කියන එක ගැන පැහැදිලි කළානේ. කිසියම් රෝගයක් ව්‍යාප්ත විය හැකි ආකාරය ගැන තීරණය කරන්න මේ අංකය වැදගත්. කෝවිඩ්-19 හා අදාළව එම ලිපියේදී මා 2.2 කියන අංකය යොදා ගත්තා. හැබැයි එසේ කළේ මේ මූලික ප්‍රජනන අංකය කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරන්න පමණයි. හැම දෙයක්ම එක ලිපියකින් විස්තර කරන්න බැහැනේ. ඒ නිසා, පහසුවට එහෙම කළත් මේ අංකය 2.2 බව අපට හරියටම කියන්න බැහැ.

මා කලින් ලිපියේම විස්තර කළ පරිදි එකම රෝගය වුවත් ලෝකයේ හැම ප්‍රදේශයකම, හැම අවස්ථාවකදීම එකම වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ නැහැ. ජනගහණයේ සිටින ආසාදිතයින් හෝ සුව වූ අයගේ ප්‍රමාණය ඉහළ යද්දී මූලික ප්‍රජනන අංකය නොවෙනස්ව තිබුණත් ඵලදායී ප්‍රජනන අංකය පහත වැටී රෝග ව්‍යාප්තිය පාලනය වීම ගැන මා පෙර ලිපියේ විස්තර කළා. මා දැන් කියන්නේ ඒ ගැන නෙමෙයි. රෝග ව්‍යාප්තිය හමුවේ ආණ්ඩු විසින් හා පෞද්ගලිකව ඒකීය පුද්ගලයින් විසින් දක්වන ප්‍රතිචාර හේතුවෙන් මූලික ප්‍රජනන අංකයමත් වෙනස් වෙනවා.

මූලික ප්‍රජනන අංකය ඇස්තමේන්තු කරන අගයක්. එම අගය ඇස්තමේන්තු කරන්න යොදා ගන්නා දත්ත අනුව වගේම ඇස්තමේන්තු කරන ක්‍රමවේදය අනුවත් වෙනස් වෙනවා. දකුණු කොරියාවේ 6,284 දෙනෙකුගේ දත්ත අනුව මේ අගය 1.5ක් බව විමර්ශනයට ලක්වී අවසන් එක් පර්යේෂණ ලිපියක ඇස්තමේන්තු කර තිබෙනවා.  ඩයමන්ඩ් ප්‍රින්සස් නැවේ මගීන්ගේ දත්ත අනුව සිදු කර ඇති තවත් ඇස්තමේන්තුවකට අනුව මේ අගය 11 පමණ මට්ටමකට ගොස් තිබෙනවා. සිංගප්පූරු ඇස්තමේන්තුවකට අනුව මේ අගය 0.7යි. මේ වගේ විවිධ ඇස්තමේන්තු රාශියක් තිබෙනවා. ඒ ඇස්තමේන්තු පදනම් වන්නේ රෝගය මුලින් පැතිරුණු චීනය, කොරියාව වැනි රටවල දත්ත මතයි. මා දන්නා තරමින් ඇමරිකන් දත්ත යොදාගනිමින් පුළුල් අධ්‍යයනයක් තවමත් කෙරී නැහැ.

ඇමරිකාවේ හා යුරෝපයේ මේ අගය ආසියානු රටවලින් වෙනස් වෙන්න හේතු රාශියක් තිබෙනවා. ඒ වගේම ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වල එම අගය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. ආසියානු රටවල ඇස්තමේන්තු ගත්තත්, 0.7 හා 11 කියන්නේ අහසට පොළොව වගේ වෙනසක්.

කෝවිඩ්-19 වැළඳුණු බොහෝ දෙනෙක්ට බරපතල රෝග ලක්ෂණ නොඑන බව පැහැදිලි කරුණක්. රෝග පරීක්ෂාවකට එන්නේ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්වන අය පමණයි. රෝග පරීක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය රටින් රටට වෙනස්. ඒ නිසා, අපට දකින්නට ලැබෙන රෝගීන් ප්‍රමාණ සැබෑ ගණන් වලට වඩා ගොඩක් අඩුයි. හැබැයි කොපමණ අඩුද කියන එක අප හරියමට දන්නේ නැහැ. පරීක්ෂා කර හඳුනාගත් එක් රෝගියෙකුට හඳුනා නොගත් රෝගීන් දෙදෙනෙකු ඉන්නත්, දෙසිය දෙනෙකු ඉන්නත් පුළුවන්. රෝගීන් විශාල පිරිසක් හඳුනාගෙන නැති නිසා පෙනෙන්නට තිබෙන මරණ අනුපාතය සැබෑ අනුපාතය නෙමෙයි. එය ඊට වඩා ගොඩක් අඩු එකක්. නමුත් කොපමණ අඩු එකක්ද කියා අප දන්නේ නැහැ.

උදාහරණයක් ලෙස නිවු යෝර්ක් ප්‍රාන්තයේ ජනගහණය 19,453,000ක්. එයින් ඊයේ වන විට කෝවිඩ්-19 පරීක්ෂාව කර තිබෙන 145,753 දෙනකුගෙන් 44,635කට රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙය 30.6%ක ප්‍රතිශතයක්. නමුත්, 99%කට වඩා වැඩි පිරිසක් කිසිදු පරීක්ෂාවක් කරගෙන නැහැ. ඔවුන්ගෙන් 3%කට වෛරසය අසාදනය වී තිබේනම් එම ගණන 579,000ක්. ඒ කියන්නේ නිවු යෝර්ක් ප්‍රාන්තයේ සිටින කෝවිඩ්-19 රෝගීන්ගෙන් 80%ක්ම හඳුනා ගෙන නැහැ. ඇත්තටම මේ අයට රෝගීන් කියා කියන එකත් වැරදියි. ඒ අය සෞඛ්‍ය සම්පන්නව සිටින අයයි. සමහර විට පොඩි හෙම්බිරිස්සාවක් හැදිලා සනීප වෙන්න ඇති. ඒ ඉහත කී ගණන 3% නම්. මේ ප්‍රමාණය මීට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. අපට කියන්න පුළුවන් වන්නේ 30%කට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ කියන එක පමණයි.

මේ වගේ අවිනිශ්චිතතා රාශියක් තිබෙන නිසා අලුත් තොරතුරු ලැබෙද්දී කලින් සිතා සිටි දේවල් වෙනස් වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා, ආණ්ඩු විසින් හෝ ඒකීය පුද්ගලයින් විසින් පවතින තත්ත්වයට ප්‍රතිචාර දක්වන විට සැලසුමක් ඇතිව කටයුතු කළ යුතුවාක් මෙන්ම වෙනස් වන තත්ත්වයන් හමුවේ ඒ සැලසුම් වෙනස් කිරීමත් කරන්න වෙනවා.

Thursday, March 26, 2020

ඇමරිකාවේ කොරෝනා


අද උදේ (ලංකාවේ) ගෙදරින් දුරකථන ඇමතුමක් ආවා. ලංකාවේ නෑදෑ හිතවතුන් ගණනාවක් අපේ ගෙදරට කතා කරලා මගේ සහ පවුලේ අයගේ සුවදුක් විමසා තිබෙනවා. ඇතැම් අය වත්පොත හා වෙනත් සමාජ මාධ්‍ය හරහා සුවදුක් විමසනවා.

අප තවමත් හොඳින් ඉන්නවා. එහෙත් අප සියලු දෙනාම දෙසතියක පමණ සිට ස්වේච්ඡාවෙන් නිවාස අඩස්සිගත වෙලයි ඉන්නේ. මගේ සේවය මේ වන විට අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබෙනවා. එහෙත්, අපගේ ප්‍රාන්තයේද නිවසේ රැඳී සිටීමේ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව මේ වන විට මගේ සේවා ස්ථානයට ඇතුළුවීමද දැඩි සීමා කිරීමකට ලක් කර තිබෙනවා.

පෞද්ගලිකව මටනම් මෙය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. මා කොහොමටත් පුරුදු වී සිටියේ නිවසේ සිට වැඩ කරන්නයි. දරුවන්ගේ පාසැල්ද වසා නැතත් පාසැල් යාමක් සිදු වන්නේ නැහැ. අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදු වෙනවා. අපේ ගෙදර අනෙකුත් අයත්, හොඳ පුරුද්දක් නොවුනත්, දවසේ වැඩි වෙලාවක් පරිගණකයක් සමඟ ගත කරන අයයි. ඒ නිසා, පවතින තත්ත්වය අපට සාමාන්‍ය ඇමරිකානුවෙකුට තරම් දැඩි පීඩනයක් ගෙන දෙන්නේ නැහැ.

පවතින තත්ත්වය ඇඳිරි නීතියක් වැනි තත්ත්වයක් නෙමෙයි. අපට අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් පිටතට යාමේ බාධාවක් නැහැ. අත්‍යවශ්‍ය කටයුතු ලැයිස්තුවට අපගේ පවුලේ සාමාන්‍ය "අවශ්‍ය කටයුතු" විශාල ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙන තිබෙන නිසා සාමාන්‍යයෙන් කරන දේවල් වලින් අපට දැන් නොකළ හැක්කේ අවන්හලකින් කෑම ගැනීම වැනි සීමිත කටයුතු කිහිපයක් පමණයි. එහෙත්, මා නිවසටම වී සිටින්නේ අප සිටින ප්‍රදේශයේත් මේ වන විට ආසාදිතයින් සිය ගණනක් සැරිසරනවා විය හැකි නිසා අනවශ්‍ය අවදානමක් නොගත යුතු නිසයි.

අපේ අසල්වැසියන් සියලු දෙනාද මා මෙන්ම සිතන බව ඉතා පැහැදිලියි. වෙනදා මෙන් පාරවල් වල තොරතෝංචියක් නැතිව  වාහන සද්ද ඇහෙන්නේ නැහැ. සුපිරි වෙළඳසැලකට ගියත් වෙනදා වගේ සෙනඟ නැහැ.

මෙය ලියන මොහොත වන විටත් හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව ඉහළින්ම සිටින්නේ චීනයයි. දෙවැනි තැන ඉතාලියත්, ඉන් පසුව ඇමරිකාවත් ඉන්නවා. ජෝන් හොප්කින්ස් සරසවියේ සංඛ්‍යාලේඛණ මෙහෙමයි.

චීනය - 81,667
ඉතාලිය - 74,386
ඇමරිකා එක්සත් ජනපදය - 68,572

හෙට දවස අවසන් වන විට ඇමරිකාව මෙහි උඩින් සිටින රටවල් දෙකම පසුකර මුල් තැනට පැමිණීමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් එය එසේ නොවුනොත් අනිද්දා දිනයේ එය අනිවාර්යයෙන්ම වෙයි. පසුගිය සතිය තුළ ඇමරිකාව ඉතා වේගයෙන් මේ ලැයිස්තුවේ ඉහළට පැමිණි බව කවුරුත් දන්නා දෙයක්.

ලංකාවේ බොහෝ දෙනෙක් අපේ සුවදුක් විමසන්නේ ඇමරිකාවේ සංඛ්‍යාලේඛණ වල පෙනෙන්නට තිබෙන මේ භයංකාර වර්ධන නැඹුරුව නිසයි. එය ඇත්තටම ඉතා භයංකාර වර්ධනයක් තමයි. එහෙත්, පෞද්ගලිකව මටනම් මේ සංඛ්‍යාලේඛණ වලින් විශේෂ බයක් දැනෙන්නේ නැහැ. ඇමරිකාවේ තත්ත්වය ගැන බොහෝ දෙනෙකුට දැන් දැනෙන හා ඉදිරි සති කිහිපය තුළ දැනෙන්නට නියමිත බය මට දැනී දැන් සති දෙක තුනක් වෙනවා. ඒ නිසා, දැන් විශේෂ අමුත්තක් නැහැ.

මගේ විෂය වසංගතවේදය නෙමෙයි. එහෙත්, මා යම් නිපුණතාවයක් දක්වන විෂය වසංගතවේදයට බොහෝ කිට්ටු විෂයක්. ඒ නිසා, සිදු විය හැකි දෙය තරමක් කලින් තේරුම් ගන්න එක මට අපහසු වුනේ නැහැ. වසංගතවේදය පිළිබඳ විශේෂඥ මට්ටමේ නිපුණතාවක් ඇති විශාල පිරිසක් ඇමරිකාවේ ඉන්නවා. ඒ අය මේ වෛරස් තර්ජනය හමුවේ නිකම් සිට නැහැ. ඒ බව මා ඉතා විශ්වාසයෙන් යුතුව කියන්නේ මේ කරුණ හා අදාළව ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් සිටින තැන් වල හා ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් නොවන ඉහළම මට්ටමේ අයට උපදෙස් දෙන අය අතර මා සමඟ පෞද්ගලික (වෘත්තීය) සම්බන්ධතා ඇති අය කිහිප දෙනෙක්ම සිටින නිසයි.

ඇමරිකාව හා අදාළව දැන් දකින්නට ලැබෙන සංඛ්‍යාලේඛණ වගේම ඉදිරි සති වලදී දකින්නට ලැබිය හැකි මීටත් වඩා නරක සංඛ්‍යාලේඛණ ඇමරිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට විමතියක් දනවන එකක් නැහැ. ඔවුන්ට මෙයින් සිදු විය හැකි හානිය ගැන පැහැදිලි අවබෝධයක් තිබෙනවා. එහෙමනම්, රෝගය පැතිරෙන්නත්, මිනිස්සු මැරෙන්නත් ඉඩ දෙන්නේ ඇයි කියා කාට හෝ අහන්න පුළුවන්. ඔය තරම් මහ ලොකු විශේෂඥයින් ඉන්න ඇමරිකාවට තත්ත්වය පාලනය කර ගන්න බැරි ඇයි?

ඇමරිකාව රෝගය පාලනය කරන්නේ නිශ්චිත සැලසුමකට අනුවයි. සැලසුම සකස් කර තිබෙන්නේ වසංගතයේ හානියේ ස්වභාවය ගැන නිසි අධ්‍යයනයකින් පසුවයි. රෝගය යම් මට්ටමක් දක්වා පැතිරෙන්නට හැරීමත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේම කොටසක්. සංකීර්ණ තාක්ෂණික කරුණු ගණනාවක් ගැන විස්තර නොකර මේ ගැන පැහැදිලි කරන එක පහසු නැහැ. එහෙත්, මම යම් උත්සාහයක් දරන්නම්.

කෝවිඩ්-19 වෛරසය එක් අයෙකුගෙන් 2.2 දෙනෙකුට පැතිරෙන බව ඔබ අසා ඇති. බැලූ බැල්මටම මෙය රෝගය පැතිරෙන ආකාරය ගැන ඉතා සරල පැහැදිලි කිරීමක් මෙන් පෙනෙනවා. එහෙත්, මේ අංකය තේරුම් ගැනීමටනම් වසංගතවේදයේ ආකෘති ගැන පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. එසේ නැතිව මේ අංකය ගැන විග්‍රහ කරන්න යාම දේශපාලනඥයින් විසින් කෝවිඩ් වලට ඖෂධ යෝජනා කරනවා වගේ විහිළුවක්. හැබැයි හොඳ වෙලාවට මා කියූ ආකෘති ගැන නොදන්නා අයෙකුට මෙහි තිබෙන විහිළුව තේරෙන්නේ නැහැ.

මෙහි 2.2 ලෙස මාධ්‍ය වලින් ප්‍රචාරය වන්නේ මූලික ප්‍රජනන අංකය (Basic reproduction number) කියන අංකයයි. මෙය වසංගතවේදියෙකුට ඉතා වැදගත් අංකයක්. වසංගතවේදයේදී වගේම කිසියම් ජනගහණයක වර්ධනය ගැන කතා කරන විටත් මෙවැනි අංකයක් යොදා ගන්න පුළුවන්. මුස්ලිම්වරු ලංකාවේ බහුතරය වෙයිද කියා පිරිසකට කාලයක් ප්‍රශ්නයක් තිබුණනේ. එතකොට සිංහල ජාතිය වඳ වෙයිද කියලත් සමහර අය ගණන් හදා තිබෙනු මා දැක තිබෙනවා. මේ වගේ දෙයකටත් මේ අංකය යොදා ගන්න පුළුවන්. වසංගතවේදයේදී මේ අංකය පිටුපස සංකීර්ණ කතාවක් තිබුණත් එය යොදාගෙන පහසුවෙන් කතාව පැහැදිලි කරන්න පුළුවන්. මා එතැනින් පටන් ගත්තේ ඒ නිසයි.

ඇත්තටම වැදගත්ම කරුණ වන්නේ මේ අංකය 1.0 ට වඩා අඩුද වැඩිද කියන එකයි. හේතුව ඉතා සරලයි. මේ අංකය 1.0ට වඩා අඩුනම් රෝගය කාලයත් සමඟ ස්වභාවිකවම මර්දනය වෙනවා. එහෙත්, අංකය 1.0ට වඩා වැඩිනම් එය ක්‍රමක්‍රමයෙන් ජනගහණය පුරා වර්ධනය වෙනවා. අංකය හරියටම 1.0 නම් රෝගය ජනගහණය තුළ ස්ථාවර මට්ටමක දිගටම පවතිනවා.

දැන් මේ අංකය හරියටම 1.0 නම් එයින් කියන්නේ එක් ආසාදිතයෙකු විසින් තමන්ට රෝගය වැළඳී තිබෙන කාලය ඇතුළත තවත් එක් ආසාදිතයෙකුට රෝගය බෝකරන බවයි. මෙය දළ පැහැදිලි කිරීමක්. අංකය 2.0 නම් එක් අයෙකු විසින් දෙදෙනෙකුව ආසාදනය කරනවා. අංකය 0.5නම් එයින් අදහස් වන්නේ එක් අයෙකු විසින් වෙනත් අයෙකු ආසාදනය කිරීමේ සම්භාවිතාව 50%ක් බවයි. R0 (ආර් නෝට්) ලෙස වසංගතවේදීන් විසින් හඳුන්වන මේ අංකය හා අදාළ ආකෘති(ය) හා ගණිතමය පැහැදිලි කිරීම් වෙත මා යන්නේ නැහැ. හරියටම පැහැදිලි කරන්නනම් ආකෘතියෙන් පටන් ගත යුතුයි.

මීට පෙර පැතිරුණු කොරෝනා පවුලේම මර්ස් වයිරසය ගැන ඔබ අසා ඇති. එය වැළඳුනු අයගෙන් 38%ක් පමණම මිය ගියා. එහෙත්, සමස්තයක් මර්ස් වයිරසය නිසා මේ වන තුරු ලෝකයෙන්ම මිය ගොස් තිබෙන්නේ 858 දෙනෙකු පමණයි. 2012 සැප්තැම්බර් සිට මුළු කාලයටම වයිරසය ආසාදනය වී තිබෙන්නේද 2,494 දෙනෙකුට පමණයි. මර්ස් වෛරසයේ R0 අගය 0.47 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා.

රෝගයක් පැතිරෙන්නනම් මුලින්ම එය ජනගහණයේ කිසියම් පිරිසකට බාහිරින් සම්ප්‍රේෂණය විය යුතුයි. මර්ස් වෛරසය පැමිණි සේ සැලකෙන්නේ ඔටුවන්ගෙනුයි. අපි හිතමු මුලින්ම ඔටුවන්ගෙන් 100 දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වුනා කියා. දැන් මේ 100 දෙනාගෙන් තවත් 47 දෙනෙකුටත්, ඒ 47 දෙනාගෙන් තවත් 22 දෙනෙකුටත් ලෙස වෛරසය පැතිරෙනවා. එහෙත්, මුල් අවස්ථාවෙන් පසුව දිගින් දිගටම ඔටුවන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය නොවන්නේනම් රෝගය පැතිරීම නිශ්චිත කාලයකට පසුව ස්වභාවික ලෙසම නැවතෙනවා.

කෝවිඩ්-19 වෛරසයේ R0 අගය 2.2 ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මේ ඇස්තමේන්තු ගැනත්, R0 අගය ගැන වැඩි විස්තරත් පසුව කතා කරමු. දැනට අපි පහසුවට මේ 2.2 නිශ්චිත අගයක් කියා හිතමු. දැන් ලංකාවට ඉතාලියේ සිට (වෙනත් බාහිර ජනගහණයක සිට) ආසාදිතයින් 10 දෙනෙකු එනවා. ඔවුන් විසින් ලාංකිකයින් 22 දෙනෙකුට රෝගය බෝ කරනවා. ඒ 22 විසින් තවත් 48 දෙනකුටත්, ඒ අය තවත් 106 දෙනෙකුටත් ආදී වශයෙන් රෝගය බෝ කරනවා. මේ ක්‍රියාවලිය කොයියම් ආකාරයකින් හෝ නැවතුණේ නැත්නම් අන්තිමේදී රටේ ඉතා විශාල පිරිසකට වෛරසය බෝවෙනවා.

කලින් කිවුවා වගේ R0 අගය සම්බන්ධ වැදගත්ම කරුණ එය 1.0 ට අඩුද වැඩිද කියන එකයි. අගය 1.0 ට වැඩිනම් රෝගය එන්න එන්නම ව්‍යාප්ත වෙනවා. අගය විශාල වන තරමට රෝගය ව්‍යාප්ත වන වේගයත් වැඩියි. අගය කුඩා වූ තරමට රෝගය වඩා ඉක්මණින් නොපෙනී යනවා.

මේ R0 අගය එන්නේ වසංගතවේදයේ කිසියම් ආකෘතියකින් බව මම කලින් කිවුවනේ. මෙවැනි ආකෘතිත් ගණනාවක්ම  තිබෙනවා. ඒ නිසා, අදාළ නිශ්චිත ආකෘතියකින් බැහැරව මේ අගය ගැන කතා කිරීමේත් අවුලක් තිබෙනවා. ඒ තරම් දුරට නොගියොත්, මේ R0 අගයට රෝගය පවතින කාලය හෝ රෝගය නිසා මිය යාමට තිබෙන ඉඩකඩ වැනි දේ අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා, R0 අගය 2.0 බව කියන විට කිසියම් රෝගයක් තවත් දෙදෙනෙකුට බෝවෙන්නේ සතියකින් වෙන්නත්, වසර 30-40කින් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට එච්අයිවී  හා අදාළ R0 අගය 4.6 ක් පමණ නිසා එක් අයෙකුගෙන් තවත් හතර පස් දෙනෙකුටම වෛරසය ආසාදනය වන නමුත් එය සිදු වන්නේ වසර 20ක පමණ කාලයක් ඇතුළතයි. කෝවිඩ්-19 රෝගයේ R0 අගය 2.2ක් වීම ප්‍රශ්නයක් වන්නේ රෝගයේ ජීව චක්‍රය සති දෙක තුනක් පමණක් වීමද නිසයි.

ආසාදිතයෙකු රෝගයක් පතුරන කාලයද සැලකිල්ලට ගෙන R0 අගය කොටස් කිහිපයකට විසංයෝජනය කරන්න පුළුවන්.

R0 = (ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන) X (එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව) X (ආසාදිතයෙකු විසින් රෝගය සම්ප්‍රේෂණය කරන දින ගණන)

මෙහි අවසාන සාධකය වෛරසයේ ස්වභාවය ඇතුළු ජීව විද්‍යාත්මක කරුණු මත බොහෝ දුරට තීරණය වන දෙයක් නිසා එය රටින් රටට නොවෙනස්ව තිබිය හැකියි. එහෙත්, දෙවන සාධකය සමාජයීය හා ජීව විද්‍යාත්මක කරුණු කරුණු වල එකතුවක්. පළමුවැන්න තනිකරම සමාජයීය කරුණක්. මේ අනුව, එකම වෛරසය හා අදාළ R0 අගය රටින් රටට හා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැකි බව පැහැදිලි විය යුතුයි.

නිවු යෝර්ක් වැනි ජනාකීර්ණ නගරයක ජීවත් වන අයෙකු විසින් දිනකට හමුවන පුද්ගලයින් ගණන ග්‍රාමීය ප්‍රදේශයක එම ගණනට වඩා ගොඩක් වැඩියි. ඒ වගේම දෙවන කරුණ සංස්කෘතික සාධක ආදිය මත වෙනස් විය හැකියි. අතට අත දෙන හෝ වැළඳ ගන්නා හමුවක් හා ආයුබෝවන් කියා හෝ දණ ගසා වඳින හමුවක දෙවන සාධක සමාන වන්නේ නැහැ. ඒ නිසා, 2.2 කියන අගය කෝවිඩ්-19 හා අදාළව හැම රටකටම එක සේ බලපාන අගයක් නෙමෙයි. එය හරියටම දැනගන්නනම් කිසියම් ජනගහණයකට අදාළ දත්ත යොදාගෙන අධ්‍යයනයක් කළ යුතුයි.

දැන් ලංකාව විසින් කරන පරිදි ඇඳිරි නීති දමා මිනිසුන් ගෙවල් වලට සීමා කළ විට ඉහත කී "ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන" පහත දැමිය හැකියි. ආසාදිතයින් සේ සැක කරන අය නිරෝධායනය මගිනුත් එය කළ හැකියි. දුරස්ව සිටීම අනුගමනය කිරීමෙන් "එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව" අඩු කළ හැකියි. මේ ක්‍රියා මාර්ග මඟින් තාවකාලිකව R0 අගය 1.0 මට්ටමට වඩා පහළට ගත්තොත් රෝගය පැතිරීම ක්‍රමක්‍රමයෙන් අඩු වී යනවා. එසේ වෙද්දී නැවත ඉහත කී දැඩි නියාමනයන් ලිහිල් කළොත් නැවතත් රෝගය පැතිරෙන්න පටන් ගන්නවා. රටක මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා රටාව තාවකාලිකව වෙනස් කළ හැකි වුවත් ස්ථිර ලෙස වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා, මේ වැඩෙන් ප්‍රතිඵලයක් ගන්න අවසන් කෝවිඩ්-19 රෝගියාත් සුවවන තුරු R0 අගය පහළින් තියා ගන්න වෙනවා. එහෙම කළත් ප්‍රශ්නයක් තිබෙනවා. එය පසුවට තියමු.

දැන් මේ ලංකාව කරන දේ ඇමරිකාව නොකළේ ඇයි? සාධාරණ වශයෙන්, ආසියානු රටවල් කරන දේ බටහිර රටවල් නොකරන්නේ ඇයි?

බොහෝ දෙනෙකුගේ නිගමනය අනුව, ඇමරිකාවට රටේ සමාජ සැකැස්ම හා සමාජ සම්බන්ධතා වල ස්වභාවය අනුව R0 අගය 1.0 මට්ටමෙන් පහළට ගැනීමේ හැකියාවක් නැහැ. මා හිතන්නේ අනෙකුත් බටහිර රටවල් හා අදාළ තත්ත්වයත් එයයි. බැරිම නැහැ. නමුත්, එසේ කරන්න උත්සාහ කිරීමේ හානිය රෝගය පැතිරීමේ හානියට වඩා වැඩි විය හැකියි. දැනට ගන්නා ක්‍රියාමාර්ග නිසා R0 අගය පහළ බසිනු ඇති වුවත් ඒ නිසා රෝගය පැතිරීමේ වේගය අඩු වනු මිස රෝගය පැතිරීම සම්පූර්ණයෙන් අඩු වන එකක් නැහැ. එහෙමනම්, අවසානයේදී ඇමරිකාවේ හැමෝටම කෝවිඩ්-19 හැදෙයිද?

එහෙම වෙන්නේ නැහැ. බෝවෙන රෝගයක් පැතිරීම ස්වභාවිකවම පාලනය වන යාන්ත්‍රණයක් තිබෙනවා. මේ වෛරසය වරක් ආසාදනය වූ කෙනෙකුට එම වෛරසය නැවත ආසාදනය වෙන්නේ නැහැ. ඒ බව හරියටම කියන්න කල් වැඩිනම්, අඩු වශයෙන් එම වෛරසය ඉතා කෙටි කාලයක් ඇතුළත නැවත ආසාදනය වෙන්නේ නැහැ.

අපි හිතමු කෝවිඩ්-19 R0 අගය හැදෙන්නේ මේ විදිහටයි කියා. මෙය උදාහරණයක් පමණයි.

ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන = 100
එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව = 0.001
ආසාදිතයෙකු විසින් රෝගය සම්ප්‍රේෂණය කරන දින ගණන = 22

R0 = 100 X 0.001 X 22 = 2.2

මේ R0 අගය අර්ථදක්වන්නේ රෝගය පැතිරෙන අවස්ථාවේ එක් අයෙකු නිසා බිහිවන ද්වීතියික ආසාදිතයින් ගණන කියලයි. රෝගය පැතිරෙන අවස්ථාවේ කියා විශේෂයෙන් කියන්නේ ඒ වන විට කිසිවෙකුට ප්‍රතිශක්තිකරණය නැති නිසයි. ඒ නිසා අහම්බෙන් හමු වෙන 100 දෙනාගෙන් ඕනෑම කෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය විය හැකියි. නමුත්, යම් පිරිසකට රෝගය වැළඳී සුව වූ පසු එම පුද්ගලයාට රෝගය වහාම නැවත වරක් හැදෙන්නේ නැහැ. ඒ වගේම රෝගය දැනට තිබෙන කෙනෙකුට නැවත හැදෙන්න දෙයකුත් නැහැනේ. රෝගය හැදෙන්නේ කලින් එය නොහැදුණු අයට පමණයි.

අපි හිතමු ඇමරිකාවේ ජනගහණයෙන් 50%කට රෝගය හැදුණා කියලා. දැන් කෙනෙකුට දවසකට 100 දෙනෙකු හමු වුනත් ඒ අයගෙන් රෝගය හැදෙන්න ඉඩක් තිබෙන අය ඉන්නේ 50ක් පමණයි. ඒ නිසා, ඇත්තටම රෝගය බෝ වෙන්නේ 100 X 0.001 X 22 X 0.5 = 1.1 දෙනෙකුට පමණයි. මේ අගයට කියන්නේ ඵලදායී ප්‍රජනන අංකය හෙවත් R අගය (Effective reproduction rate) කියලයි. ආරම්භයේදී R අගය හා R0 අගය සමාන වුවත් රෝගය ක්‍රමයෙන් පැතිරෙද්දී R අගය ටිකෙන් ටික පහළ වැටී යම් අවස්ථාවක 1.0ට වඩා අඩු වෙනවා. එවිට රෝගය පැතිරීම මන්දගාමී වී එය නොපෙනී යනවා. ප්‍රතිශක්තිකරණය මගින් කරන්නේත් මේ අගය පහත හෙළන එකයි.

මේ විදිහට R අගය පහත වැටී 1.0 මට්ටමට එන්නනම් ජනගහණයෙන් කොපමණ පිරිසකට වෛරසය ආසාදනය වෙන්න අවශ්‍යද? ඔබට පෙනෙනවා ඇති එම ප්‍රතිශතය 1 -1/R0 අගයට සමාන බව. එවිට රෝගය වැළඳිය හැකි ප්‍රතිශතය 1/R0 අගයට සමාන වන නිසා R අගය 1.0 බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට R0 අගය 2.2ක්නම්, 1 - 1/R0 = 55% පමණ වෙනවා. ඒ කියන්නේ ජනගහණයෙන් 55%කට වෛරසය ආසාදනය වූ විට රෝගය පැතිරෙන එක මන්දගාමී වෙන්න පටන් ගන්නවා. අපි හිතමු දුරස්කරණය, පාසැල් වැසීම ආදිය මගින්  R0 අගය තාවකාලිකව 1.5 දක්වා අඩු කළා කියා. එවිට 1- 1/R0 = 33% දක්වා පහළ යනවා. ඒ කියන්නේ රෝගය පැතිරීම ස්වභාවිකව මන්දගාමී වන්නේ අඩු පිරිසකට රෝගය පැතිරුණාට පසුවයි.

අපි නිකමට වගේ හිතමු ඇමරිකාව දැඩි නීති දමා මොන විදිහකින් හෝ මුලදීම වෛරසය මර්දනය කළා කියා. එසේ කිරීමේ ප්‍රශ්නය වන්නේ නැවත ඒ දැඩි නීති ලිහිල් කළ වහාම කොහෙන් හෝ නැවත වෛරසය රටට එන්න පුළුවන්කමක් තිබීමයි. එවිට නැවත මුලින් හිටපු තැනමයි. මෙහිම අනෙක් අන්තය වන්නේ බ්‍රිතාන්‍යය මුලින් කළා වගේ පෙර කී 55% මට්ටමට රෝගය ආසාදනය වන තුරු එය පැතිරෙන්න හැරීමයි. මෙහි 55% හැරුම් ලක්ෂ්‍යයයි. මන්දගාමීව වුවත් එයින් පසුවත් යම් දුරක් රෝගය පැතිරෙනවා. මෙහි ප්‍රශ්නය වන්නේ රෝගය පැතිරීමේ වේගය නිසා අවශ්‍ය රෝහල් පහසුකම් මඳ කමින් විශාල පිරිසක් මිය යාමයි. ඒ නිසා, ඇමරිකාව විසින් අනුගමනය කරන්නේ අතරමැදි පිළියමක්. මෙහිදී රෝගය පැතිරීම මුළුමනින්ම වැළකෙන්නේ නැති වුවත් රෝගයේ හානිය අවම වෙනවා.

අපි හිතමු විවිධ ක්‍රියාමාර්ග නිසා R0 අගය 2.2 සිට 1.5 දක්වා අඩු වුනා කියා. දැන් රෝගය කලින් තරම්ම පිරිසකට හැදී නැහැ. මෙහි අවාසිය නැවත දෙවන වටයකින් රෝගය මතු වීමයි. එහෙත් මුල් වටයේදී සැලකිය යුතු පිරිසකට රෝගය හැදී තිබෙන නිසා දෙවන වටය එතරම් භයානක නැහැ. රටේ සෞඛ්‍ය පද්ධතියට එය දරාගත හැකියි. දැන් ගන්නා ක්‍රියාමාර්ග වල අරමුණ වන්නේ දෙවන වටයකින් රෝගය පැතිරීමේ ඉඩ ඉතිරි කරමින් වුවත් පළමු වටයේ හානිය හැකි පමණ අඩු කර ගැනීමයි. දෙවන වටයට පෙර එන්නතක් වැඩි දියුණු කර ගත්තොත් දෙවන වටය වලක්වා ගන්නත් පුළුවන් වෙයි.

තවත් බොහෝ කරුණු විස්තර කරන්න පුළුවන්. ඔය ඇතිනේ!

Wednesday, March 25, 2020

තිස්ස නාගොඩවිතාන


අසූව දශකයේ මුල් කාලයේ සතියකට වරක් රූපවාහිණියෙන් සිංහල චිත්‍රපටියක් පෙන්නුවා. ඒ වන විට රූපවාහිණිය ලංකාව පුරා ව්‍යාප්ත වෙන්න පටන් අරන් තිබුණා පමණයි. අපේ ගෙදර රූපවාහිණියක් තිබුණේ නැහැ. මේ මැජික් පෙට්ටියෙන් පෙන්නන බයිස්කෝප් බලන්න අපි ගියේ ගමට මුලින්ම රූපවාහිණියක් ගෙනා අසල්වැසි නිවසකටයි. ඒ ගෙදර එළිපත්තේ සිට මිදුල දක්වා නරඹන්නන්ගෙන් පිරී තිබුණා.

සිංහල චිත්‍රපට දර්ශන වල කොනක වරින් වර දර්ශනය වන "ති.නා." අකුරු නිතර දැක ඒ ගැන කුතුහලයක් ඇති වුනේ ඔය දවස් වලමයි. "ති.නා." කවුද කියා විස්තර කරන්න වචන නාස්ති කරන එකේ තේරුමක් නැහැ. තිස්ස නාගොඩවිතානගේ සිංහල චිත්‍රපට සංරක්ෂණය කිරීමේ භූමිකාව ගැන කියවන අය අතර නොදන්නා කෙනෙක් නැතුව ඇති.

ලෝකයේ දස අතින්ම කොවිඩ්-19 මරණ වාර්තා වන මේ වෙලාවේ මරණය ගොඩක් ලාබ වී තිබුණත් තිස්ස නාගොඩවිතානගේ මරණය ගැන දැනගන්නට ලැබුණු විට කෙටි හෝ සටහනක් තැබිය යුතුයි කියා හිතුනා. ඔහු ගැන වඩා හොඳින් දන්න අය වැඩි විස්තර ලියයි. මට අනුවනම් ඔහු සුවිශේෂී වන්නේ වෙනත් අය අත නොගසන දෙයකට අත ගැසූ නිසයි. ඒ වැඩෙන් ඔහුට මුදල් ලැබෙන්න නැතිව ඇති. ඒ වුනත් ඔහු ව්‍යවසායකයෙක්. විශාල උපයෝගීතාවයක් ජනනය කළ හැකි නිකේතන වෙළඳපොළක් (Niche කියන වචනයට මේ පරිවර්තනය ගැලපෙනවද මන්දා) හඳුනාගත් දක්ෂ ව්‍යවසායකයෙක්.

තිස්ස නාගොඩවිතාන හැත්තෑව දශකයේ මුල් යුගයේදී බොහෝ දෙනෙක් දැන සිට තිබෙන්නේ ගායකයෙකු ලෙසයි. ඔහුට නිවන් සුව!




Tuesday, March 24, 2020

Wuhan and Lombardy: Covid-19 Dynamics


As I write this, confirmed Covid-19 case count has passed the 420,000-mark recording close to 19,000 casualties. China still leads the case count chart despite being successful in containing the disease within its boundaries. Overtaking China by the US and Italy in terms of confirmed Covid-19 cases, clearly, is a matter of time.

Among many puzzles surrounding Covid-19, the most important is finding out the parameters needed to calibrate the epidemic curve. While more statistics are available than we had for many other diseases, the usefulness of these numbers is limited due to various non-medical interventions that were implemented from time to time in various countries and regions.

In fact, understanding the dynamics of the disease spread is vital to evaluate the efficacy of these non-medical interventions, many are already skeptical of. Many western governments have already followed China and implemented various measures that would cause huge damages not only to the economy and the society but also to the health of people. Needless to say that the cost of cure shouldn’t exceed the cost of disease. Therefore, it is of paramount importance to estimate the cost of the disease as accurately as possible and as early as possible.

One huge mistake often done is comparing countries ignoring their relative sizes. For example, the number of cases per one million of population in China is only 56 while the same number for Italy is now a staggering 1,114. This comparison, however, is highly misleading. The Chinese number is diluted heavily by its 1.4 billion population compared to the 60 million living in Italy. Therefore, I wanted to focus on Wuhan, the original epicenter of the disease and Lombardy, the current epicenter.

Wuhan has a population of 11,081,000spread in 3,280 square miles. In Lombardy region 10,078,000 individuals are spread in 9,206 square miles. Even though Wuhan has a denser spread of its population compared to the Lombardy region the two places are comparable in terms of their population. Over 50,000 of the Covid-19 cases identified in China were reported within Wuhan. That amounts to 4,509 cases per one million of population. As of now the total number of confirmed cases in Lombardy region is 30,703 which represent 44.4% of the case count in Italy. That translates to 3,502 cases per one million of population. This shows that the situation in Lombardy can be worse even under the extreme assumption that none of the non-medical interventions in Wuhan were effective.

Wuhan was locked down on January 23 and by the end of next day 572 cases have been reported within the area. The number increased rapidly to reach 19,558 on February 11, nineteen days after the lock down. On February 12, Chinese authorities started to count clinically diagnosed cases too, in addition to the cases confirmed through laboratory testing. As a result, the case count jumped to 32,994. Around the same time, the epidemic curve was seen to hit its peak and the new cases started to drop. By mid-March, Wuhan was practically free from the disease.

It has been reported that the first Covid-19 cases in Wuhan were observed in late December. If so, the span of the epidemic curve was 80 days with its peak observed after around 40 days. Not clear is how the curve changed due to non-medical interventions. In addition to that, the numbers before February 12 are inaccurate. Underreporting is a common problem with Covid-19 statistics in all regions due to limited testing facilities and self-selection into testing even when testing facilities were not a constraint. The case in Wuhan, however, is something beyond this “usual” underreporting and we need to pay attention to this when we compare these numbers with statistics from any other region.

The first Covid-19 cases in Lombardy were reported on February 21 when 15 cases were confirmed. Probably, there was a delay in identifying these first cases but that can’t be a long one. It’s reasonable to assume that the epidemic curve in Lombardy lags that of Wuhan by approximately 40 days.

By end of March 24, there were 3,052 confirmed Covid-19 cases in Lombardy per million. On February 12, just after starting to count clinically diagnosed cases, the number of Covid-19 cases per million in Wuhan was 2,978. The density of identified Covid-19 cases in Lombardy region is now close to the number in Wuhan 41 days ago.

Can we expect that the curve for Lombardy to behave as Wuhan did with a 41 days lag? If so, Lombardy has now already passed its peak and the number of new cases should start to decrease gradually in coming days. The total number of cases in Lombardy should converge to around 45,500 by the third week of April. If this happens so, the policies implemented in Wuhan have been no more effective than the policies implemented in Lombardy. If the number of cases in Lombardy continues to rise surpassing this number, the difference will represent the effect of the policies implemented by Chinese authorities.

Saturday, March 21, 2020

ආණ්ඩු වැරදිද?


මේ වන විට හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා ඇති අතර මරණ ප්‍රමාණය දහතුන් දහසකට ආසන්න වී තිබෙනවා. වයිරසයේ මූලාරම්භය වූ චීනයේ දැනට හඳුනාගෙන තිබෙන මුළු ආසාදිතයින් ප්‍රමාණය ජනගහණය මිලියනයකට 58 දෙනෙකු පමණයි. එයින් මිය ගොස් ඇති ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 2.34ක් පමණයි.

චීනයට සාපේක්ෂව බැලූ විට ඉතාලියේ හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 886ක්ද, මිය ගොස් ඇති ප්‍රමාණය ජනගහණය මිලියනයකට 79.78ක් පමණ තරම් විශාලයි. ඉතාලියේ මරණ අනුපාතය පවා චීනයේ ආසාදිත අනුපාතයට වඩා ගොඩක් වැඩියි. මම හිතනවා තත්ත්වයේ බැරෑරුම්කම මේ සංසන්දනයෙන් පැහැදිලි වෙයි කියා.

කොරෝනා කියන වචනය කිරුළ යන තේරුම තිබෙන ඉතාලි භාෂාවේ වචනයක්. බිලියන 1.4ක ජනගහණයක් සිටින චීනය පහු කරගෙන මිලියන 60ක ජනගහණයක් සිටින ඉතාලිය කෝවිඩ්-19 කිරුළ වෙත කිට්ටු වෙමින් සිටීම ඉතාම ඛේදනීය තත්ත්වයක්.

කොරෝනා කියන වචනය ඉතාලි භාෂාවේ වගේම ස්පාඤ්ඤ භාෂාවේත් වචනයක්. තේරුම සමානයි. ස්පාඤ්ඤය ජනගහණය අතින් ඉතාලියටත් වඩා කුඩා රටක්. එහි ජීවත් වන්නේ මිලියන 46ක පිරිසක්. ස්පාඤ්ඤයේ ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 543ක් වන අතර මරණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට 29.48ක්.

ඇමරිකා එක්සත් ජනපදය මේ වෙද්දී ලෝකයේ රටවල් අතරින් කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අනුව හතරවන තැනට පැමිණ සිටිනවා. ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ඉහළ ගිය රටාව මෙහෙමයි.

මාර්තු 2 - 100
මාර්තු 10 - 994
මාර්තු 18 - 9259

මේ වන විට ඇමරිකාවේ හඳුනාගත් කොරෝනා රෝගීන් ප්‍රමාණය 24,000 ඉක්මවලා. හෙට වන විට ඇමරිකාව ස්පාඤ්ඤය පහු කරලා ලැයිස්තුවේ තුන් වන තැනට එයි. මෙතෙක් පැවති රටාව අනුව, දළ වශයෙන් ගත්තොත් දින 8කින් ආසාදිතයින් ප්‍රමාණය 10 ගුණයකින් පමණ වැඩිවෙනවා. ඒ නිසා, මාර්තු 26 වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ රට බවට ඇමරිකාව පත් වෙන්න විශාල ඉඩකඩක් තිබෙනවා.

මේ මාසය අවසන් වන විට ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ දෙකක් පමණ දක්වා ඉහළ ගොස් තිබිය හැකියි. ඇමරිකාව වඩාත්ම නරක අඩියකට පත් වනු ඇත්තේ ඉන් පසුවයි.

මේ ටික ලිවුවේ විශේෂ හේතුවක් නිසායි. ඇමරිකාවේ ජීවත් වන අපේ ඇතැම් හිතවතුන් අපේ නහය ළඟටම කොරෝනා වෛරස් ඇවිත් තියෙද්දී ලංකාවේ ආණ්ඩුව විවේචනය කරනවා. නමුත්, ඒ අය ලංකාවට යෝජනා කරන දේවල් ඇමරිකාවේවත් කරලා තිබෙන දේවල් නෙමෙයි. ඒ වගේම, ඇමරිකාවේ කරලා තිබෙන හැම දෙයක්ම සාර්ථක ක්‍රියාමාර්ග බව තහවුරු වෙලත් නැහැ. මම හිතන්නේ මේ ගොඩට දමන්න පුළුවන් ලාංකික සම්භවයක් ඇති අය වෙනත් බටහිර රටවල් වලත් ඉන්නවා. මම ඒ අය අත හැරලා දන්න ඇමරිකාව ගැන පමණක් කතා කරන්නම්.

කෝවිඩ්-19 පැතිරෙමින් තිබුණු මුල් අවදියේදී හැම රටකම වගේ ආණ්ඩු උත්සාහ කළේ පවතින තත්ත්වයෙන් දේශපාලන වාසියක් ගන්නයි. මේ තත්ත්වය ඇමරිකාවේ වගේම ලංකාවේත් පෙනෙන්න තිබුණා. ඒ වගේම, අනිත් පැත්තෙන්, බලයේ සිටි දේශපාලන පක්ෂ වලට විරුද්ධ කොටස් කළේත් ඒකමයි. මේ කාටවත් මුලදී ප්‍රශ්නයේ සැබෑ ගැඹුර අවබෝධ වී තිබුණේ නැහැ.

දැන්නම් තත්ත්වය වෙනස් වෙලා. ලෝකයේ හැම රටකම වගේ ආණ්ඩු වලට දැන් මොනවා හෝ කරන්නම සිදු වී තිබෙනවා. ඒ වගේම, ආණ්ඩු විසින් මොනවා කළත් ගොඩ දාන්න බැරි තැනකට ප්‍රශ්නය තල්ලු වෙලාත් තිබෙනවා.

කෝවිඩ්-19 ප්‍රශ්නය ලෝකයටම පොදු ප්‍රශ්නයක්. මේ වෙලාවේ චීනය පිට, බටහිර රටවල් පිට, සංක්‍රමණිකයින් පිට හෝ සුළු ජාතීන් පිට වැරැද්ද පටවා ගොඩ යාමේ හැකියාවක් නැහැ. දැන් ඒ සීමාව පැනලා. ඒ අතින් ලෝකයේ හැම ආණ්ඩුවක්ම මුහුණ දී සිටින්නේ සමාන ප්‍රශ්නයකටයි. අනෙක් පැත්තෙන් ප්‍රශ්නය පොදු වුවත් කෝවිඩ්-19 බලපෑම ලෝකයේ හැම රටකටම සමාන නැහැ. ඒ නිසා, ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනත් රටවල් විසින් යොදාගත් උපාය මාර්ග ඒ විදිහටම භාවිතා කරන්න බැහැ. එක් එක් රටට තමන් මුහුණ දී සිටින සුවිශේෂී තත්ත්වයන් ගැන හිතන්න වෙනවා.

මේ වෙලාවේ කළ යුත්තේ එක් එක් රට විසින් තමන්ට වඩාත්ම යෝග්‍ය වැඩ පිළිවෙළ තෝරා ගෙන ඒ අනුව කටයුතු කිරීමයි. මේ කටයුත්තේදී එක් එක් රටවල් වල ආණ්ඩු වලට මුල් තැන ලැබීම නොවැලැක්විය හැකි දෙයක්. ඒ නිසා, තමන් දේශපාලනික වශයෙන් මොන තැනක හිටියත් කවුරුත් කළ යුත්තේ තමන් ජීවත් වන රටේ පොදු වැඩ පිළිවෙලට හැකි තරමින් අනුගත වෙන එකයි. මෙය දේශපාලනික භේද වලට මුල් තැන දිය යුතු අවස්ථාවක් නෙමෙයි.

හැබැයි එහෙම කියලා ආණ්ඩු වලට අත්තනෝමතික ලෙස හැසිරෙන්න ඉඩ දිය යුතු නැහැ. ආණ්ඩු විසින් ජනතාව සමඟ සංවාදයක් පවත්වාගත යුතු අතරම, එය එළෙස නොවෙනවානම් ආණ්ඩු හරි තැනට ගන්න බල කරන්නත් වෙනවා. වැදගත් කරුණ ආණ්ඩු විවේචනය කළ යුත්තේ සාධනීය ලෙස මිසක් රටම අමාරුවේ වැටී තිබෙන වෙලාවේ ආණ්ඩුව වට්ටවන අදහසින් නෙමෙයි. මොකද මේ වෙලාව ඕනෑම ආණ්ඩුවක් විශාල අර්බුදයක ඉන්න වෙලාවක්. ඒ වගේ වෙලාවක ආණ්ඩුව තවත් අපහසුවට පත් කළා කියා ඇතිවන සුගතියක් නැහැ.

චීනයෙන් පටන් ගත්තොත්, චීනය කෝවිඩ්-19 ලෝක වසංගතයකට මුහුණ දුන්නේ නැහැ. චීන රජයට මුහුණ දෙන්න සිදු වී තිබුණේ රටේ සීමිත ප්‍රදේශයක පැතිරුණු වෛරසයකටයි. මේ වන විට චීනයෙන් හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් 81,000කින් 50,000ක්ම හමු වී තිබෙන්නේත්, දැනට සිදුව ඇති මරණ 3,250කින් 2500කට වඩා වාර්තා වී තිබෙන්නේත් වුහාන් නගරය ආශ්‍රිතවයි. එහි ජීවත්වන ජනගහණය මිලියන 11ක් පමණයි. මෙය ලංකාවේ ජනගහණයෙන් අඩක් පමණ වුවත් චීනයේ ජනගහණයෙන් 0.8%ක් පමණයි.

මෙවැනි අවස්ථාවකදී රටක ජනගහණයෙන් 1%කටත් අඩු පිරිසක් වාසය කරන නගරයක් දැඩි නියාමනයකට ලක් කිරීම ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. මෙවැන්නක් අනුපාතිකව සමාන කළ හැක්කේ ලංකාවේ ජාඇල හෝ වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් මෙවැනි නියාමනයකට ලක් කිරීමකටයි.

චීනයේ කෝවිඩ්-19 පැතිරෙන කොට එම වෛරසයේ ස්වභාවය ගැන කිසිවෙකුට අද තිබෙන තරමේවත් දැනුමක් තිබුණේ නැහැ. මීට පෙර පැතිරුණු සාර්ස් හා මර්ස් වැනි වෛරස පිළිබඳ අත්දැකීම් අනුව කෝවිඩ්-19 මරණ අනුපාතය වඩා විශාල අනුපාතයක් විය හැකිව තිබුණා. චීන රජය විසින් කළේ රටේ අනෙකුත් ප්‍රදේශ වලට වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා වුහාන් නගරයේ ජීවත් වූ මිලියන 11ක ජනගහණය අවදානමක හෙළන එකයි. චීන රජය විසින් ගත් ඒ තීරණය ආණ්ඩුවකට ගන්නට අමාරු තරමේ දැඩි එකක්.

වුහාන් වල ජනගහණය මිලියනයකට ආසාදිතයින් ප්‍රමාණය 4,513 දක්වාත්, ජනගහණය මිලියනයකට මරණ ප්‍රමාණය 226 දක්වාත් ඉහළ ගියා. මෙය ඉතාලියේ දැන් පවතින තත්ත්වයට වඩා කිහිප ගුණයකින් දරුණු තත්ත්වයක්!

වුහාන් වල කෝවිඩ්-19 පැතිරෙන එක නැවතුනේ ඒ ප්‍රදේශයේ විශාල පිරිසක් වෛරසයට නිරාවරණය වී ඔවුන්ගේ සිරුරු වල ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් පසුව ස්වභාවිකවම වෙන්න පුළුවන්. චීන රජය විසින් කොයි තරම් සීමා කළත් වෛරසය වුහාන් වලින් පිටතටද පැතිරුණා. එසේ පැතිරෙද්දී චීන රජය විසින් තවත් ප්‍රදේශ වුහාන් මෙන්ම දැඩි නියාමනයකට ලක් කළා.

එහෙත්, චීනයට මුළු රටම "ලොක්ඩවුන්" කරන්න අවශ්‍ය වුනේ නැහැ. චීනය තුළ කෝවිඩ්-19 බොහෝ දුරට හුබෙයි ප්‍රාන්තයට සීමා වුනා. මුළු හුබෙයි ප්‍රාන්තයම ගත්තත් චීන ජනගහණයෙන් 4.4%ක් පමණයි. සංසන්දනාත්මකව බැලුවොත් මීගමුව, කටාන, වත්තල, ජාඇල වගේ ප්‍රදේශ ඇතුළත් කොටසක ඉන්න ජනගහණ අනුපාතය.

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පිටතට සිදු වුනු කෝවිඩ්-19 හානිය සාපේක්ෂව ඉතා සුළු එකක්. එය  ජනගහණය මිලියනයකට ආසාදිතයින් 10ක් හා මරණ 0.09ක් පමණයි. මෙය සමානුපාතිකව බැලුවොත් ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් 210ක් පමණ හමු වී මරණ දෙකක් සිදු වීමට සමාන තත්ත්වයක්. අනෙක් අතට වුහාන් තත්ත්වය බැලුවොත් ලංකාවෙන් ආසාදිතයින් ලක්ෂයක් පමණ හමු වී එයින් පන්දහසක් පමණ මිය යාම වැනි භයානක තත්ත්වයක්.

චීන රජය විසින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් වුහාන් වලින් පිටත එවැනි හානියක් සිදු වීම වැලකී තිබෙනවා. නමුත්, ඒ හේතුව නිසාම චීනය විසින් ගත් ක්‍රියාමාර්ග එලෙසම ගැනීමෙන් අනෙකුත් රටවලටද වසංගතය පැතිරීම වලක්වා ගත හැකැයි අදහස් වන්නේ නැහැ.

චීනයෙන් ඇමරිකාවට ආවොත් ඇමරිකාවට මුලින්ම වෛරසය පැතිරිය හැකිව තිබුණේ චීනයෙන්. ලංකාව ඇතුළු අනෙකුත් රටවල් මුහුණ දුන්නේද එවැනිම තත්ත්වයකටයි. මේ අදියරේදී ඇමරිකාව මෙන්ම ලංකාවද වුහාන්හි සිර වී සිටි සිය රටවල පුරවැසියන් රටට ගෙන්වාගෙන නිසි පරිදි නිරෝධායනයකට ලක් කළා. කළ යුතුව තිබුණු පරිදිම දෙරටම මුල් අදියරේදී තමන්ගේ දේශ සීමා හරහා වයිරසය රටට පැමිණීම පිළිබඳව සැලකිලිමත් වුනා. එහෙත්, මෙවැනි කටයුත්තකදී ලංකාව වැනි මුහුදෙන් වට වූ දූපතකට හා ඇමරිකාව වැනි විශාල රටකට එකම ක්‍රියාමාර්ග ගැලපෙන්නේ නැහැ.

ඇමරිකානුවන් සංචරනයේ නිදහස ඉහළින්ම අගය කරන පිරිසක්. ඇමරිකාවට ඇතුළු විය හැකි තැන් ගණනාවක් තිබෙනවා. ඒ වගේම ඇමරිකාව හා චීනය සමඟත්, ඇමරිකාව හා යුරෝපීය රටවල් සමඟත් තිබෙන සංස්කෘතික සබඳතා ඉතා දැඩියි. කවර නියාමනයන් යටතේ වුවත් දින ගණනක් හෝ ඇතැම් විට කිසි විටෙකත් රෝග ලක්ෂණ නොපෙන්වන කෝවිඩ්-19 වෛරසය සිරුරේ දරාගත් අයෙකු ඇමරිකාවට පැමිණීමේ ඉඩකඩ ලංකාවේ එම ඉඩකඩට වඩා ගොඩක් වැඩියි.

ප්‍රායෝගිකව ලංකාවට විදේශිකයෙකුට පැමිණීමට හැකි එකම මාර්ගය කටුනායක ගුවන් තොටුපොළ හරහා රටට ඇතුළු වීමයි. මත්තලින් හෝ මෑතකදී විවෘත කෙරුණු පලාලි ගුවන් තොටුපොළ හරහා සැලකිය යුතු පිරිසක් රටට ඇතුළු වී ඇතැයි මා හිතන්නේ නැහැ. ඒ නිසා, ලංකාව මෙහිදී සිටියේත්, දැනට ඉන්නේත් යම් වාසිදායක තැනකයි. අනෙක් අතට අමාරුවෙන් දුවන ආර්ථිකයක් ඇති ලංකාව වැනි රටකට කටුනායක වැසීමේ හෝ ඇඳිරි නීතිය පනවා රටේ ආර්ථික කටයුතු නැවැත්වීමේ හානිය ඉතා විශාලයි. මේ වගේ තත්ත්වයක් යටතේ හැම දෙයක්ම සලකා බලා වඩා නිවැරදි තීරණ ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි.

කෝවිඩ්-19 තර්ජනය හමුවේ ලංකාවේ ආණ්ඩුව, විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළ ආකාරය නරකයැයි කියන්න බැහැ. මෙය අඩු නරක තෝරා ගත යුතු අවස්ථාවක්. කොයි තීරණය ගත්තත් අන්තිමට කවර හෝ හානියක් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ මැතිවරණය කල් දැමීම මැතිවරණ කොමිසමට තීරණය කරන්නට ඉඩ හැරීම වගේම අනෙකුත් තීරණ වලදී වෛද්‍ය වෘත්තිකයින්ට ඇහුම්කන් දීමත් මා අගය කරනවා.

කෝවිඩ්-19 අදාළව දැනට නිරීක්ෂණය කළ හැකි කරුණු අනුව ලංකාව තවමත් සිටින්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලට වඩා සුරක්ෂිත තැනකයි. දැනට හමු වූ ආසාදිතයින් වැඩි දෙනෙකු විදේශයකින් පැමිණ නිරෝධායන කඳවුරක සිටි අයයි. තවමත් ප්‍රජා සම්ප්‍රේෂණ තත්ත්වය දක්වා තත්ත්වය ඔඩු දුවා ඇති බවක් නොපෙනෙන නමුත් තවත් සතියක් දෙකක් පමණ යන තුරු එය ස්ථිරව කියන්න පුළුවන් කමක් නැහැ. කෝවිඩ්-19 හා අදාළව මේ වන තුරු ලංකාවේ ආණ්ඩුව හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් කටයුතු කර ඇති ආකාරය පැසසුමට ලක් විය යුතුයි. අඩු වශයෙන් ඇමරිකන් ආණ්ඩුව කටයුතු කරන තරම් හොඳින් ලංකාවේ ආණ්ඩුවත් මේ වෙලාවේ කටයුතු කර තිබෙනවා.

හැබැයි ඒ වගේම අනික් අතට මෙය ඕනෑවට වඩා උදම් ඇණිය යුතු තත්ත්වයක්ද නෙමෙයි. මේ වසංගතය ලෝකයෙන්ම තුරන් වන තුරු ලෝකයේ කිසිම රටක් සුරක්ෂිත නැහැ. ඒ නිසා, වෙනත් රටවල් සමඟ සසඳමින් ලංකාව විවේචනය කිරීම වගේම ඕනෑවට උඩ පනින්නට යාමත් මේ වෙලාවේ නොකළ යුතු දෙයක්. අර චීන කාන්තාව සුව වීමෙන් පසුව ලෝකයෙන් කෝවිඩ්-19 තුරන් කළ පළමු රට වැනි කතා දකින්නට ලැබුණා. ඒ වගේ දේවල් ප්‍රචාරය වීම නිසා රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය වන සැලකිල්ල නැතිව යා හැකියි.

කෝවිඩ්-19 හා අදාළව බටහිර රටවල් කටයුතු කරන්නේ දිගුකාලීන සැලසුමකට අනුවයි. ලංකාව ඇතුළු ආසියාතික රටවල් කටයුතු කරන්නේ එවැනි නිශ්චිත සැලසුමක් නැතිව එදිනෙදා වෙනස් වන තත්ත්වයන් අනුවයි. එය සංස්කෘතිය හෝ අධ්‍යාපන ක්‍රමය නිසා ඇති වී තිබෙන වෙනසක්. අප පුරුදු වී සිටින්නේ විභාගය ආසන්න වූ විට පාඩම් කරන්න මිසක් එදිනෙදා වැඩ එදිනෙදා කරන්න නෙමෙයි. මෙය ඒ වෙනස්කම් නැති කර ගන්න අවස්ථාවක් නෙමෙයි. මේ වෙලාවේ කළ යුත්තේ ලංකාවට හොඳම දෙය කරන්න ලංකාවටත්, ඇමරිකාවට හොඳම දෙය කරන්න ඇමරිකාවටත් හැකි උදවුවක් කරන එකයි. ඒවා එකම දේවල් විය යුතු නැහැ.

Friday, March 20, 2020

රුපියලේ දැවැන්ත කඩා වැටීමක් අත ළඟද?


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දිනයේ ලංකාවේ වාණිජ බැංකු වලට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම තෙමසක කාලයකට අත් හිටුවමින් නියෝගයක් පැනෙව්වා. මේ නියාමන ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව විසින් නිකුත් කර තිබෙන ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යනු ඇති බව අප ඊයේ පෙන්වා දුන්නා. මහ බැංකුවේ දත්ත අනුව පෙනෙන්නේ මේ වන විට එය එසේම සිදු වී ඇති බවයි.


මාර්තු 13න් අවසන් වූ සතිය තුළ පාදක අංක 100-120 පමණ ප්‍රමාණයකින් ඉහළ ගිය පොලී අනුපාතික පසුගිය සතිය තුළ තවත් පාදක අංක 500කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙය පෙර නොවූ විරූ දෙයක්. ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙන්න ඉතා ආසන්නව තිබියදීත් මෙවැන්නක් සිදු වුනා.

මේ වසරේ ඔක්තෝබර් 4 දින කල් පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකය මාර්තු 6න් අවසන් වූ සතියේදී තිබුණේ 4.50% මට්ටමේයි. මේ වන විට, මේ පොලී අනුපාතිකය 11.34% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙයින් පෙනෙන්නේ ඔක්තෝබර් දක්වා මාස හත අටක කාලය ගෙවෙන තුරුවත් බලා සිටීම විශාල අවදානමක් ගැනීමක් බව ආයෝජකයින් විසින් සිතන බවයි.

මහ බැංකු දත්ත අනුව වසර දහයකින් කල් පිරෙන ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතික 14% ඉක්මවා ඉහළ ගොස් තිබෙන අතර බ්ලූම්බර්ග් උපුටා දක්වන එකොනොමිනෙක්ස්ට් අනුව මේ පොලී අනුපාතික 16.8% මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලංකාව විසින් දැනට ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබා ගෙන තිබෙන ණය ප්‍රමාණය ගෙවන්නට වුවත් ලංකාවේ මුළු විදේශ සංචිත ප්‍රමාණය මෙන් දෙගුණයක මුදලක් අවශ්‍යයි. ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන අර්බුදයට සාපේක්ෂව චීනයෙන් ලබාගත් ඩොලර් මිලියන පන්සීයක මුදල සොච්චම් මුදලක්. ලාංකිකයින් කෝවිඩ්-19 තර්ජනයෙන් බේරීම ගැන සිතමින් ඉන්න මේ වෙලාවේම ආර්ථිකයේ ලොකු කඩා වැටීමක්ද සිදු වුනොත් එය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වෙන්න පුළුවන්.

Thursday, March 19, 2020

මහ බැංකුව ආනයන සීමා කරයි!

ලෝක කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ අසාධ්‍ය රෝගීන් වගේම ලෝකයේ බොහෝ ආර්ථිකයන්ද ජීවිත ආධාරක පද්ධති වල පිහිට පතමින් සිටින මේ මොහොතේ ලංකාවේ විණිමය අනුපාතිකය මත විශාල පීඩනයක් එල්ල වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ද්වීතියික වෙළඳපොළේ විකිණෙන ඇමරිකන් ඩොලර් බිලියන 15ක පමණ වටිනාකමැති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල තමන්ගේ මුදල් ආයෝජනය කර ඇති විදේශිකයින් මේ වන විට එම බැඳුම්කර විකුණා මුදල් කර ගැනීමට උත්සාහ කරමින් සිටින බව පෙනෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතියේ මේ ස්වෛරීත්ව බැඳුම්කර වල ඵලදා වක්‍රය එක වර විශාල ලෙස ඉහළ ගියා.

විණිමය අනුපාතිකය එල්ල වන පීඩනය අඩු කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දැඩි නියාමන ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා. ඒ අනුව, ඉදිරි මාස තුනක කාලයකට සියලුම කාණ්ඩ වල වාහන හා අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා වාණිජ බැංකු විසින් පහසුකම් සැපයීම අත් හිටුවා තිබෙනවා. ඒ වගේම, ලංකාවේ වාණිජ බැංකු විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීමද තෙමසක කාලයකට අත් හිටුවා තිබෙනවා. එමෙන්ම, තැරැව්කාර  සමාගම් හරහා විදේශ ව්‍යවහාර මුදල් ලබා ගැනීමද සීමා කර තිබෙනවා.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇමරිකාව හා යුරෝපය ආර්ථික අවපාත තත්ත්වයකට යාමේ ඉඩකඩ මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එමෙන්ම, මේ පවතින තත්ත්වය ඉක්මණින් වෙනස් වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ඇමරිකාව හා යුරෝපය මේ වන විට දිගුකාලීන උපක්‍රමික පසුබැසීමක් සඳහා සැලසුම් සකස් කර ගනිමින් සිටිනවා. බටහිර රටවල් වෛරසය පැතිරීම මන්දගාමී කරන්නට උත්සාහ කරන්නේ මේ දිගුකාලීන උපක්‍රමික පසුබැසීම හොඳින් සැලසුම් කර ගැනීම සඳහා කාලය ලබා ගැනීමටයි.

ඇමරිකාවේ හා යුරෝපයේ ඇති විය හැකි ආර්ථික අවපාතයක් ලංකාවේ ආනයන වලට අහිතකර ලෙස බලපාන බව පැහැදිලි කරුණක්. එමෙන්ම, ලංකාවට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායමද විශාල ලෙස අඩු වීමට නියමිතයි. මේ සියලු කරුණු ලංකාවේ ගෙවුම් ශේෂය මත අහිතකර බලපෑමක් කරනවා. ඒ අතර, තෙල් මිල අඩුවීමෙන් යම් වාසියක් ලැබුණත් ඒ වාසිය ඉහත කී අවාසි නිශේධනය කරන්නේ නැහැ.

ගෙවුම් ශේෂ ප්‍රශ්නයට අමතරව කෝවිඩ්-19 නිසා ලංකාවේ ආර්ථික වර්ධනය අඩාල වීමේ ප්‍රශ්නයක්ද තිබෙනවා. ආණ්ඩුව ගෙවුම් ශේෂ ප්‍රශ්නයටත් වඩා සංවේදී එම ප්‍රශ්නයටයි. ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ අරමුණින් රජය හා මහ බැංකුව විසින් ගන්නා ක්‍රියාමාර්ග හමුවේ ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමේ අවදානමක් තිබෙනවා. මහ බැංකුව විසින් ආනයන සීමා කිරීම නිසා විණිමය අනුපාතය මත තිබෙන පීඩනය යම් තරමකින් ලිහිල් වී ඒ වෙනුවට බඩු මිල ඉහළ යාමක් ඉදිරියේ දකින්න හැකි වෙයි. මුදල් සැපයුම වැඩි වෙද්දී රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැත්නම්, ආනයන හරහා රටට භාණ්ඩ එන්නේත් නැත්නම් වෙළඳපොළේ තිබෙන භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වී මිල ඉහළ යන එකයි වෙන්නේ. මේ තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුව මිල පාලනයකට ගියොත් රටේ භාණ්ඩ හිඟයක් ඇති වෙන්න පුළුවන්.

විදේශ ආයෝජකයින් ස්වෛරීත්ව බැඳුම්කර කුණු කොල්ලයට විකුණන මේ වෙලාවේ ඒවා මිල දී ගන්න ඉඩ තියෙන්නේ ලංකාවේ වාණිජ බැංකු විසිනුයි. මොකද මේ වෙලාවේ ලංකාවේ පුද්ගලයෙක් හෝ ආයතනයක් මේවා මිල දී ගත්තොත් වාසි දෙකයි. පළමුව, ලැබෙන විශාල පොලිය. දෙවනුව, ඉදිරියේදී රුපියල අවප්‍රමාණය වීම නිසා ලැබෙන්නට ඉඩ තිබෙන වාසිය. හැබැයි ලංකාවේ වාණිජ බැංකු විසින් මේ වෙලාවේ මේ ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගන්න ගියොත් වෙන්නේ රටේ ඉතිරිව තිබෙන ඩොලර් ටිකත් එලියට යන එකයි. මහ බැංකුවේ නියාමන ක්‍රියාමාර්ගයට හේතුව එයයි.

මහ බැංකුව විසින් පැනවූ මේ නියෝගය නිසා ලංකාවෙන් පිටත ද්වීතියික වෙළඳපොළේ ස්වෛරීත්ව බැඳුම්කර විකුණා දමන්න උත්සාහ කරන අයට ඒවා විකුණා ගැනීම තවත් අසීරු වෙනවා. එහි ප්‍රතිඵලය මේ බැඳුම්කර වල ද්‍රවශීලතාව අඩු වී, අවදානම ඉහළ ගොස්, මිල තවත් පහත වැටීමයි. ඒ කියන්නේ ඵලදා අනුපාතික විශාල ලෙස ඉහළ යාමයි. මෙය සිදු වන තරම අනුව ඉදිරි මාස තුන ඇතුළත ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම ග්‍රීසියේ වුනා වගේ නැත්තටම නැති වෙන්න වුනත් පුළුවන්.

පායනා කාලෙදී ධාන්‍ය රැස් කර ගැනීමේ හා නොගැනීමේ වෙනස තේරෙන්න පටන් ගන්නේ වැහි කාලෙ ආවාමයි!

(Image: https://www.chronicle.co.zw/govt-to-tighten-import-control-regulations/)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...