වෙබ් ලිපිනය:

Saturday, March 21, 2020

ආණ්ඩු වැරදිද?


මේ වන විට හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා ඇති අතර මරණ ප්‍රමාණය දහතුන් දහසකට ආසන්න වී තිබෙනවා. වයිරසයේ මූලාරම්භය වූ චීනයේ දැනට හඳුනාගෙන තිබෙන මුළු ආසාදිතයින් ප්‍රමාණය ජනගහණය මිලියනයකට 58 දෙනෙකු පමණයි. එයින් මිය ගොස් ඇති ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 2.34ක් පමණයි.

චීනයට සාපේක්ෂව බැලූ විට ඉතාලියේ හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 886ක්ද, මිය ගොස් ඇති ප්‍රමාණය ජනගහණය මිලියනයකට 79.78ක් පමණ තරම් විශාලයි. ඉතාලියේ මරණ අනුපාතය පවා චීනයේ ආසාදිත අනුපාතයට වඩා ගොඩක් වැඩියි. මම හිතනවා තත්ත්වයේ බැරෑරුම්කම මේ සංසන්දනයෙන් පැහැදිලි වෙයි කියා.

කොරෝනා කියන වචනය කිරුළ යන තේරුම තිබෙන ඉතාලි භාෂාවේ වචනයක්. බිලියන 1.4ක ජනගහණයක් සිටින චීනය පහු කරගෙන මිලියන 60ක ජනගහණයක් සිටින ඉතාලිය කෝවිඩ්-19 කිරුළ වෙත කිට්ටු වෙමින් සිටීම ඉතාම ඛේදනීය තත්ත්වයක්.

කොරෝනා කියන වචනය ඉතාලි භාෂාවේ වගේම ස්පාඤ්ඤ භාෂාවේත් වචනයක්. තේරුම සමානයි. ස්පාඤ්ඤය ජනගහණය අතින් ඉතාලියටත් වඩා කුඩා රටක්. එහි ජීවත් වන්නේ මිලියන 46ක පිරිසක්. ස්පාඤ්ඤයේ ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 543ක් වන අතර මරණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට 29.48ක්.

ඇමරිකා එක්සත් ජනපදය මේ වෙද්දී ලෝකයේ රටවල් අතරින් කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අනුව හතරවන තැනට පැමිණ සිටිනවා. ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ඉහළ ගිය රටාව මෙහෙමයි.

මාර්තු 2 - 100
මාර්තු 10 - 994
මාර්තු 18 - 9259

මේ වන විට ඇමරිකාවේ හඳුනාගත් කොරෝනා රෝගීන් ප්‍රමාණය 24,000 ඉක්මවලා. හෙට වන විට ඇමරිකාව ස්පාඤ්ඤය පහු කරලා ලැයිස්තුවේ තුන් වන තැනට එයි. මෙතෙක් පැවති රටාව අනුව, දළ වශයෙන් ගත්තොත් දින 8කින් ආසාදිතයින් ප්‍රමාණය 10 ගුණයකින් පමණ වැඩිවෙනවා. ඒ නිසා, මාර්තු 26 වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ රට බවට ඇමරිකාව පත් වෙන්න විශාල ඉඩකඩක් තිබෙනවා.

මේ මාසය අවසන් වන විට ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ දෙකක් පමණ දක්වා ඉහළ ගොස් තිබිය හැකියි. ඇමරිකාව වඩාත්ම නරක අඩියකට පත් වනු ඇත්තේ ඉන් පසුවයි.

මේ ටික ලිවුවේ විශේෂ හේතුවක් නිසායි. ඇමරිකාවේ ජීවත් වන අපේ ඇතැම් හිතවතුන් අපේ නහය ළඟටම කොරෝනා වෛරස් ඇවිත් තියෙද්දී ලංකාවේ ආණ්ඩුව විවේචනය කරනවා. නමුත්, ඒ අය ලංකාවට යෝජනා කරන දේවල් ඇමරිකාවේවත් කරලා තිබෙන දේවල් නෙමෙයි. ඒ වගේම, ඇමරිකාවේ කරලා තිබෙන හැම දෙයක්ම සාර්ථක ක්‍රියාමාර්ග බව තහවුරු වෙලත් නැහැ. මම හිතන්නේ මේ ගොඩට දමන්න පුළුවන් ලාංකික සම්භවයක් ඇති අය වෙනත් බටහිර රටවල් වලත් ඉන්නවා. මම ඒ අය අත හැරලා දන්න ඇමරිකාව ගැන පමණක් කතා කරන්නම්.

කෝවිඩ්-19 පැතිරෙමින් තිබුණු මුල් අවදියේදී හැම රටකම වගේ ආණ්ඩු උත්සාහ කළේ පවතින තත්ත්වයෙන් දේශපාලන වාසියක් ගන්නයි. මේ තත්ත්වය ඇමරිකාවේ වගේම ලංකාවේත් පෙනෙන්න තිබුණා. ඒ වගේම, අනිත් පැත්තෙන්, බලයේ සිටි දේශපාලන පක්ෂ වලට විරුද්ධ කොටස් කළේත් ඒකමයි. මේ කාටවත් මුලදී ප්‍රශ්නයේ සැබෑ ගැඹුර අවබෝධ වී තිබුණේ නැහැ.

දැන්නම් තත්ත්වය වෙනස් වෙලා. ලෝකයේ හැම රටකම වගේ ආණ්ඩු වලට දැන් මොනවා හෝ කරන්නම සිදු වී තිබෙනවා. ඒ වගේම, ආණ්ඩු විසින් මොනවා කළත් ගොඩ දාන්න බැරි තැනකට ප්‍රශ්නය තල්ලු වෙලාත් තිබෙනවා.

කෝවිඩ්-19 ප්‍රශ්නය ලෝකයටම පොදු ප්‍රශ්නයක්. මේ වෙලාවේ චීනය පිට, බටහිර රටවල් පිට, සංක්‍රමණිකයින් පිට හෝ සුළු ජාතීන් පිට වැරැද්ද පටවා ගොඩ යාමේ හැකියාවක් නැහැ. දැන් ඒ සීමාව පැනලා. ඒ අතින් ලෝකයේ හැම ආණ්ඩුවක්ම මුහුණ දී සිටින්නේ සමාන ප්‍රශ්නයකටයි. අනෙක් පැත්තෙන් ප්‍රශ්නය පොදු වුවත් කෝවිඩ්-19 බලපෑම ලෝකයේ හැම රටකටම සමාන නැහැ. ඒ නිසා, ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනත් රටවල් විසින් යොදාගත් උපාය මාර්ග ඒ විදිහටම භාවිතා කරන්න බැහැ. එක් එක් රටට තමන් මුහුණ දී සිටින සුවිශේෂී තත්ත්වයන් ගැන හිතන්න වෙනවා.

මේ වෙලාවේ කළ යුත්තේ එක් එක් රට විසින් තමන්ට වඩාත්ම යෝග්‍ය වැඩ පිළිවෙළ තෝරා ගෙන ඒ අනුව කටයුතු කිරීමයි. මේ කටයුත්තේදී එක් එක් රටවල් වල ආණ්ඩු වලට මුල් තැන ලැබීම නොවැලැක්විය හැකි දෙයක්. ඒ නිසා, තමන් දේශපාලනික වශයෙන් මොන තැනක හිටියත් කවුරුත් කළ යුත්තේ තමන් ජීවත් වන රටේ පොදු වැඩ පිළිවෙලට හැකි තරමින් අනුගත වෙන එකයි. මෙය දේශපාලනික භේද වලට මුල් තැන දිය යුතු අවස්ථාවක් නෙමෙයි.

හැබැයි එහෙම කියලා ආණ්ඩු වලට අත්තනෝමතික ලෙස හැසිරෙන්න ඉඩ දිය යුතු නැහැ. ආණ්ඩු විසින් ජනතාව සමඟ සංවාදයක් පවත්වාගත යුතු අතරම, එය එළෙස නොවෙනවානම් ආණ්ඩු හරි තැනට ගන්න බල කරන්නත් වෙනවා. වැදගත් කරුණ ආණ්ඩු විවේචනය කළ යුත්තේ සාධනීය ලෙස මිසක් රටම අමාරුවේ වැටී තිබෙන වෙලාවේ ආණ්ඩුව වට්ටවන අදහසින් නෙමෙයි. මොකද මේ වෙලාව ඕනෑම ආණ්ඩුවක් විශාල අර්බුදයක ඉන්න වෙලාවක්. ඒ වගේ වෙලාවක ආණ්ඩුව තවත් අපහසුවට පත් කළා කියා ඇතිවන සුගතියක් නැහැ.

චීනයෙන් පටන් ගත්තොත්, චීනය කෝවිඩ්-19 ලෝක වසංගතයකට මුහුණ දුන්නේ නැහැ. චීන රජයට මුහුණ දෙන්න සිදු වී තිබුණේ රටේ සීමිත ප්‍රදේශයක පැතිරුණු වෛරසයකටයි. මේ වන විට චීනයෙන් හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් 81,000කින් 50,000ක්ම හමු වී තිබෙන්නේත්, දැනට සිදුව ඇති මරණ 3,250කින් 2500කට වඩා වාර්තා වී තිබෙන්නේත් වුහාන් නගරය ආශ්‍රිතවයි. එහි ජීවත්වන ජනගහණය මිලියන 11ක් පමණයි. මෙය ලංකාවේ ජනගහණයෙන් අඩක් පමණ වුවත් චීනයේ ජනගහණයෙන් 0.8%ක් පමණයි.

මෙවැනි අවස්ථාවකදී රටක ජනගහණයෙන් 1%කටත් අඩු පිරිසක් වාසය කරන නගරයක් දැඩි නියාමනයකට ලක් කිරීම ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. මෙවැන්නක් අනුපාතිකව සමාන කළ හැක්කේ ලංකාවේ ජාඇල හෝ වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් මෙවැනි නියාමනයකට ලක් කිරීමකටයි.

චීනයේ කෝවිඩ්-19 පැතිරෙන කොට එම වෛරසයේ ස්වභාවය ගැන කිසිවෙකුට අද තිබෙන තරමේවත් දැනුමක් තිබුණේ නැහැ. මීට පෙර පැතිරුණු සාර්ස් හා මර්ස් වැනි වෛරස පිළිබඳ අත්දැකීම් අනුව කෝවිඩ්-19 මරණ අනුපාතය වඩා විශාල අනුපාතයක් විය හැකිව තිබුණා. චීන රජය විසින් කළේ රටේ අනෙකුත් ප්‍රදේශ වලට වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා වුහාන් නගරයේ ජීවත් වූ මිලියන 11ක ජනගහණය අවදානමක හෙළන එකයි. චීන රජය විසින් ගත් ඒ තීරණය ආණ්ඩුවකට ගන්නට අමාරු තරමේ දැඩි එකක්.

වුහාන් වල ජනගහණය මිලියනයකට ආසාදිතයින් ප්‍රමාණය 4,513 දක්වාත්, ජනගහණය මිලියනයකට මරණ ප්‍රමාණය 226 දක්වාත් ඉහළ ගියා. මෙය ඉතාලියේ දැන් පවතින තත්ත්වයට වඩා කිහිප ගුණයකින් දරුණු තත්ත්වයක්!

වුහාන් වල කෝවිඩ්-19 පැතිරෙන එක නැවතුනේ ඒ ප්‍රදේශයේ විශාල පිරිසක් වෛරසයට නිරාවරණය වී ඔවුන්ගේ සිරුරු වල ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් පසුව ස්වභාවිකවම වෙන්න පුළුවන්. චීන රජය විසින් කොයි තරම් සීමා කළත් වෛරසය වුහාන් වලින් පිටතටද පැතිරුණා. එසේ පැතිරෙද්දී චීන රජය විසින් තවත් ප්‍රදේශ වුහාන් මෙන්ම දැඩි නියාමනයකට ලක් කළා.

එහෙත්, චීනයට මුළු රටම "ලොක්ඩවුන්" කරන්න අවශ්‍ය වුනේ නැහැ. චීනය තුළ කෝවිඩ්-19 බොහෝ දුරට හුබෙයි ප්‍රාන්තයට සීමා වුනා. මුළු හුබෙයි ප්‍රාන්තයම ගත්තත් චීන ජනගහණයෙන් 4.4%ක් පමණයි. සංසන්දනාත්මකව බැලුවොත් මීගමුව, කටාන, වත්තල, ජාඇල වගේ ප්‍රදේශ ඇතුළත් කොටසක ඉන්න ජනගහණ අනුපාතය.

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පිටතට සිදු වුනු කෝවිඩ්-19 හානිය සාපේක්ෂව ඉතා සුළු එකක්. එය  ජනගහණය මිලියනයකට ආසාදිතයින් 10ක් හා මරණ 0.09ක් පමණයි. මෙය සමානුපාතිකව බැලුවොත් ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් 210ක් පමණ හමු වී මරණ දෙකක් සිදු වීමට සමාන තත්ත්වයක්. අනෙක් අතට වුහාන් තත්ත්වය බැලුවොත් ලංකාවෙන් ආසාදිතයින් ලක්ෂයක් පමණ හමු වී එයින් පන්දහසක් පමණ මිය යාම වැනි භයානක තත්ත්වයක්.

චීන රජය විසින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් වුහාන් වලින් පිටත එවැනි හානියක් සිදු වීම වැලකී තිබෙනවා. නමුත්, ඒ හේතුව නිසාම චීනය විසින් ගත් ක්‍රියාමාර්ග එලෙසම ගැනීමෙන් අනෙකුත් රටවලටද වසංගතය පැතිරීම වලක්වා ගත හැකැයි අදහස් වන්නේ නැහැ.

චීනයෙන් ඇමරිකාවට ආවොත් ඇමරිකාවට මුලින්ම වෛරසය පැතිරිය හැකිව තිබුණේ චීනයෙන්. ලංකාව ඇතුළු අනෙකුත් රටවල් මුහුණ දුන්නේද එවැනිම තත්ත්වයකටයි. මේ අදියරේදී ඇමරිකාව මෙන්ම ලංකාවද වුහාන්හි සිර වී සිටි සිය රටවල පුරවැසියන් රටට ගෙන්වාගෙන නිසි පරිදි නිරෝධායනයකට ලක් කළා. කළ යුතුව තිබුණු පරිදිම දෙරටම මුල් අදියරේදී තමන්ගේ දේශ සීමා හරහා වයිරසය රටට පැමිණීම පිළිබඳව සැලකිලිමත් වුනා. එහෙත්, මෙවැනි කටයුත්තකදී ලංකාව වැනි මුහුදෙන් වට වූ දූපතකට හා ඇමරිකාව වැනි විශාල රටකට එකම ක්‍රියාමාර්ග ගැලපෙන්නේ නැහැ.

ඇමරිකානුවන් සංචරනයේ නිදහස ඉහළින්ම අගය කරන පිරිසක්. ඇමරිකාවට ඇතුළු විය හැකි තැන් ගණනාවක් තිබෙනවා. ඒ වගේම ඇමරිකාව හා චීනය සමඟත්, ඇමරිකාව හා යුරෝපීය රටවල් සමඟත් තිබෙන සංස්කෘතික සබඳතා ඉතා දැඩියි. කවර නියාමනයන් යටතේ වුවත් දින ගණනක් හෝ ඇතැම් විට කිසි විටෙකත් රෝග ලක්ෂණ නොපෙන්වන කෝවිඩ්-19 වෛරසය සිරුරේ දරාගත් අයෙකු ඇමරිකාවට පැමිණීමේ ඉඩකඩ ලංකාවේ එම ඉඩකඩට වඩා ගොඩක් වැඩියි.

ප්‍රායෝගිකව ලංකාවට විදේශිකයෙකුට පැමිණීමට හැකි එකම මාර්ගය කටුනායක ගුවන් තොටුපොළ හරහා රටට ඇතුළු වීමයි. මත්තලින් හෝ මෑතකදී විවෘත කෙරුණු පලාලි ගුවන් තොටුපොළ හරහා සැලකිය යුතු පිරිසක් රටට ඇතුළු වී ඇතැයි මා හිතන්නේ නැහැ. ඒ නිසා, ලංකාව මෙහිදී සිටියේත්, දැනට ඉන්නේත් යම් වාසිදායක තැනකයි. අනෙක් අතට අමාරුවෙන් දුවන ආර්ථිකයක් ඇති ලංකාව වැනි රටකට කටුනායක වැසීමේ හෝ ඇඳිරි නීතිය පනවා රටේ ආර්ථික කටයුතු නැවැත්වීමේ හානිය ඉතා විශාලයි. මේ වගේ තත්ත්වයක් යටතේ හැම දෙයක්ම සලකා බලා වඩා නිවැරදි තීරණ ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි.

කෝවිඩ්-19 තර්ජනය හමුවේ ලංකාවේ ආණ්ඩුව, විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළ ආකාරය නරකයැයි කියන්න බැහැ. මෙය අඩු නරක තෝරා ගත යුතු අවස්ථාවක්. කොයි තීරණය ගත්තත් අන්තිමට කවර හෝ හානියක් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ මැතිවරණය කල් දැමීම මැතිවරණ කොමිසමට තීරණය කරන්නට ඉඩ හැරීම වගේම අනෙකුත් තීරණ වලදී වෛද්‍ය වෘත්තිකයින්ට ඇහුම්කන් දීමත් මා අගය කරනවා.

කෝවිඩ්-19 අදාළව දැනට නිරීක්ෂණය කළ හැකි කරුණු අනුව ලංකාව තවමත් සිටින්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලට වඩා සුරක්ෂිත තැනකයි. දැනට හමු වූ ආසාදිතයින් වැඩි දෙනෙකු විදේශයකින් පැමිණ නිරෝධායන කඳවුරක සිටි අයයි. තවමත් ප්‍රජා සම්ප්‍රේෂණ තත්ත්වය දක්වා තත්ත්වය ඔඩු දුවා ඇති බවක් නොපෙනෙන නමුත් තවත් සතියක් දෙකක් පමණ යන තුරු එය ස්ථිරව කියන්න පුළුවන් කමක් නැහැ. කෝවිඩ්-19 හා අදාළව මේ වන තුරු ලංකාවේ ආණ්ඩුව හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් කටයුතු කර ඇති ආකාරය පැසසුමට ලක් විය යුතුයි. අඩු වශයෙන් ඇමරිකන් ආණ්ඩුව කටයුතු කරන තරම් හොඳින් ලංකාවේ ආණ්ඩුවත් මේ වෙලාවේ කටයුතු කර තිබෙනවා.

හැබැයි ඒ වගේම අනික් අතට මෙය ඕනෑවට වඩා උදම් ඇණිය යුතු තත්ත්වයක්ද නෙමෙයි. මේ වසංගතය ලෝකයෙන්ම තුරන් වන තුරු ලෝකයේ කිසිම රටක් සුරක්ෂිත නැහැ. ඒ නිසා, වෙනත් රටවල් සමඟ සසඳමින් ලංකාව විවේචනය කිරීම වගේම ඕනෑවට උඩ පනින්නට යාමත් මේ වෙලාවේ නොකළ යුතු දෙයක්. අර චීන කාන්තාව සුව වීමෙන් පසුව ලෝකයෙන් කෝවිඩ්-19 තුරන් කළ පළමු රට වැනි කතා දකින්නට ලැබුණා. ඒ වගේ දේවල් ප්‍රචාරය වීම නිසා රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය වන සැලකිල්ල නැතිව යා හැකියි.

කෝවිඩ්-19 හා අදාළව බටහිර රටවල් කටයුතු කරන්නේ දිගුකාලීන සැලසුමකට අනුවයි. ලංකාව ඇතුළු ආසියාතික රටවල් කටයුතු කරන්නේ එවැනි නිශ්චිත සැලසුමක් නැතිව එදිනෙදා වෙනස් වන තත්ත්වයන් අනුවයි. එය සංස්කෘතිය හෝ අධ්‍යාපන ක්‍රමය නිසා ඇති වී තිබෙන වෙනසක්. අප පුරුදු වී සිටින්නේ විභාගය ආසන්න වූ විට පාඩම් කරන්න මිසක් එදිනෙදා වැඩ එදිනෙදා කරන්න නෙමෙයි. මෙය ඒ වෙනස්කම් නැති කර ගන්න අවස්ථාවක් නෙමෙයි. මේ වෙලාවේ කළ යුත්තේ ලංකාවට හොඳම දෙය කරන්න ලංකාවටත්, ඇමරිකාවට හොඳම දෙය කරන්න ඇමරිකාවටත් හැකි උදවුවක් කරන එකයි. ඒවා එකම දේවල් විය යුතු නැහැ.

Friday, March 20, 2020

රුපියලේ දැවැන්ත කඩා වැටීමක් අත ළඟද?


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දිනයේ ලංකාවේ වාණිජ බැංකු වලට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම තෙමසක කාලයකට අත් හිටුවමින් නියෝගයක් පැනෙව්වා. මේ නියාමන ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව විසින් නිකුත් කර තිබෙන ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යනු ඇති බව අප ඊයේ පෙන්වා දුන්නා. මහ බැංකුවේ දත්ත අනුව පෙනෙන්නේ මේ වන විට එය එසේම සිදු වී ඇති බවයි.


මාර්තු 13න් අවසන් වූ සතිය තුළ පාදක අංක 100-120 පමණ ප්‍රමාණයකින් ඉහළ ගිය පොලී අනුපාතික පසුගිය සතිය තුළ තවත් පාදක අංක 500කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙය පෙර නොවූ විරූ දෙයක්. ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙන්න ඉතා ආසන්නව තිබියදීත් මෙවැන්නක් සිදු වුනා.

මේ වසරේ ඔක්තෝබර් 4 දින කල් පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකය මාර්තු 6න් අවසන් වූ සතියේදී තිබුණේ 4.50% මට්ටමේයි. මේ වන විට, මේ පොලී අනුපාතිකය 11.34% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙයින් පෙනෙන්නේ ඔක්තෝබර් දක්වා මාස හත අටක කාලය ගෙවෙන තුරුවත් බලා සිටීම විශාල අවදානමක් ගැනීමක් බව ආයෝජකයින් විසින් සිතන බවයි.

මහ බැංකු දත්ත අනුව වසර දහයකින් කල් පිරෙන ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතික 14% ඉක්මවා ඉහළ ගොස් තිබෙන අතර බ්ලූම්බර්ග් උපුටා දක්වන එකොනොමිනෙක්ස්ට් අනුව මේ පොලී අනුපාතික 16.8% මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලංකාව විසින් දැනට ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබා ගෙන තිබෙන ණය ප්‍රමාණය ගෙවන්නට වුවත් ලංකාවේ මුළු විදේශ සංචිත ප්‍රමාණය මෙන් දෙගුණයක මුදලක් අවශ්‍යයි. ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන අර්බුදයට සාපේක්ෂව චීනයෙන් ලබාගත් ඩොලර් මිලියන පන්සීයක මුදල සොච්චම් මුදලක්. ලාංකිකයින් කෝවිඩ්-19 තර්ජනයෙන් බේරීම ගැන සිතමින් ඉන්න මේ වෙලාවේම ආර්ථිකයේ ලොකු කඩා වැටීමක්ද සිදු වුනොත් එය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වෙන්න පුළුවන්.

Thursday, March 19, 2020

මහ බැංකුව ආනයන සීමා කරයි!

ලෝක කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ අසාධ්‍ය රෝගීන් වගේම ලෝකයේ බොහෝ ආර්ථිකයන්ද ජීවිත ආධාරක පද්ධති වල පිහිට පතමින් සිටින මේ මොහොතේ ලංකාවේ විණිමය අනුපාතිකය මත විශාල පීඩනයක් එල්ල වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ද්වීතියික වෙළඳපොළේ විකිණෙන ඇමරිකන් ඩොලර් බිලියන 15ක පමණ වටිනාකමැති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල තමන්ගේ මුදල් ආයෝජනය කර ඇති විදේශිකයින් මේ වන විට එම බැඳුම්කර විකුණා මුදල් කර ගැනීමට උත්සාහ කරමින් සිටින බව පෙනෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතියේ මේ ස්වෛරීත්ව බැඳුම්කර වල ඵලදා වක්‍රය එක වර විශාල ලෙස ඉහළ ගියා.

විණිමය අනුපාතිකය එල්ල වන පීඩනය අඩු කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දැඩි නියාමන ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා. ඒ අනුව, ඉදිරි මාස තුනක කාලයකට සියලුම කාණ්ඩ වල වාහන හා අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා වාණිජ බැංකු විසින් පහසුකම් සැපයීම අත් හිටුවා තිබෙනවා. ඒ වගේම, ලංකාවේ වාණිජ බැංකු විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීමද තෙමසක කාලයකට අත් හිටුවා තිබෙනවා. එමෙන්ම, තැරැව්කාර  සමාගම් හරහා විදේශ ව්‍යවහාර මුදල් ලබා ගැනීමද සීමා කර තිබෙනවා.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇමරිකාව හා යුරෝපය ආර්ථික අවපාත තත්ත්වයකට යාමේ ඉඩකඩ මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එමෙන්ම, මේ පවතින තත්ත්වය ඉක්මණින් වෙනස් වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ඇමරිකාව හා යුරෝපය මේ වන විට දිගුකාලීන උපක්‍රමික පසුබැසීමක් සඳහා සැලසුම් සකස් කර ගනිමින් සිටිනවා. බටහිර රටවල් වෛරසය පැතිරීම මන්දගාමී කරන්නට උත්සාහ කරන්නේ මේ දිගුකාලීන උපක්‍රමික පසුබැසීම හොඳින් සැලසුම් කර ගැනීම සඳහා කාලය ලබා ගැනීමටයි.

ඇමරිකාවේ හා යුරෝපයේ ඇති විය හැකි ආර්ථික අවපාතයක් ලංකාවේ ආනයන වලට අහිතකර ලෙස බලපාන බව පැහැදිලි කරුණක්. එමෙන්ම, ලංකාවට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායමද විශාල ලෙස අඩු වීමට නියමිතයි. මේ සියලු කරුණු ලංකාවේ ගෙවුම් ශේෂය මත අහිතකර බලපෑමක් කරනවා. ඒ අතර, තෙල් මිල අඩුවීමෙන් යම් වාසියක් ලැබුණත් ඒ වාසිය ඉහත කී අවාසි නිශේධනය කරන්නේ නැහැ.

ගෙවුම් ශේෂ ප්‍රශ්නයට අමතරව කෝවිඩ්-19 නිසා ලංකාවේ ආර්ථික වර්ධනය අඩාල වීමේ ප්‍රශ්නයක්ද තිබෙනවා. ආණ්ඩුව ගෙවුම් ශේෂ ප්‍රශ්නයටත් වඩා සංවේදී එම ප්‍රශ්නයටයි. ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ අරමුණින් රජය හා මහ බැංකුව විසින් ගන්නා ක්‍රියාමාර්ග හමුවේ ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමේ අවදානමක් තිබෙනවා. මහ බැංකුව විසින් ආනයන සීමා කිරීම නිසා විණිමය අනුපාතය මත තිබෙන පීඩනය යම් තරමකින් ලිහිල් වී ඒ වෙනුවට බඩු මිල ඉහළ යාමක් ඉදිරියේ දකින්න හැකි වෙයි. මුදල් සැපයුම වැඩි වෙද්දී රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැත්නම්, ආනයන හරහා රටට භාණ්ඩ එන්නේත් නැත්නම් වෙළඳපොළේ තිබෙන භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වී මිල ඉහළ යන එකයි වෙන්නේ. මේ තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුව මිල පාලනයකට ගියොත් රටේ භාණ්ඩ හිඟයක් ඇති වෙන්න පුළුවන්.

විදේශ ආයෝජකයින් ස්වෛරීත්ව බැඳුම්කර කුණු කොල්ලයට විකුණන මේ වෙලාවේ ඒවා මිල දී ගන්න ඉඩ තියෙන්නේ ලංකාවේ වාණිජ බැංකු විසිනුයි. මොකද මේ වෙලාවේ ලංකාවේ පුද්ගලයෙක් හෝ ආයතනයක් මේවා මිල දී ගත්තොත් වාසි දෙකයි. පළමුව, ලැබෙන විශාල පොලිය. දෙවනුව, ඉදිරියේදී රුපියල අවප්‍රමාණය වීම නිසා ලැබෙන්නට ඉඩ තිබෙන වාසිය. හැබැයි ලංකාවේ වාණිජ බැංකු විසින් මේ වෙලාවේ මේ ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගන්න ගියොත් වෙන්නේ රටේ ඉතිරිව තිබෙන ඩොලර් ටිකත් එලියට යන එකයි. මහ බැංකුවේ නියාමන ක්‍රියාමාර්ගයට හේතුව එයයි.

මහ බැංකුව විසින් පැනවූ මේ නියෝගය නිසා ලංකාවෙන් පිටත ද්වීතියික වෙළඳපොළේ ස්වෛරීත්ව බැඳුම්කර විකුණා දමන්න උත්සාහ කරන අයට ඒවා විකුණා ගැනීම තවත් අසීරු වෙනවා. එහි ප්‍රතිඵලය මේ බැඳුම්කර වල ද්‍රවශීලතාව අඩු වී, අවදානම ඉහළ ගොස්, මිල තවත් පහත වැටීමයි. ඒ කියන්නේ ඵලදා අනුපාතික විශාල ලෙස ඉහළ යාමයි. මෙය සිදු වන තරම අනුව ඉදිරි මාස තුන ඇතුළත ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම ග්‍රීසියේ වුනා වගේ නැත්තටම නැති වෙන්න වුනත් පුළුවන්.

පායනා කාලෙදී ධාන්‍ය රැස් කර ගැනීමේ හා නොගැනීමේ වෙනස තේරෙන්න පටන් ගන්නේ වැහි කාලෙ ආවාමයි!

(Image: https://www.chronicle.co.zw/govt-to-tighten-import-control-regulations/)

Wednesday, March 18, 2020

ප්‍රතිශක්තිකරණයේ පිහිටයි!


මේ වන විට කොරෝනා මරණ ප්‍රමාණය නව දහසකට ආසන්න වී තිබෙනවා. වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගත් චීනයේත්, ඉන් පසුව එය වේගයෙන් පැතිරුණු දකුණු කොරියාවේත් තත්ත්වය මේ වන විට පාලනය වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. දැනට වේගයෙන්ම වෛරසය ව්‍යාප්ත වෙන්නේ පළමුව බටහිර රටවල හා දෙවනුව මැද පෙරදිග කලාපයේ වුවත් සංවර්ධනය වෙමින් පවතින රටවලද වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබෙනවා.

වෛරසය පැතිරීම පාලනය කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග රාජ්‍ය ඒකක මට්ටමින් සිදුවෙමින් පවතිනවා. මෙහිදී එක් එක් රටවල ආණ්ඩු විසින් ගන්නා විවිධ ක්‍රියාමාර්ග සමඟ එකඟ වන අය මෙන්ම එකඟ නොවන අයද සිටිනවා. පැහැදිලි බෙදුම් ඉරක් නැතත්, මේ රාජ්‍ය ක්‍රියාමාර්ග පුළුල් වශයෙන් චීන ක්‍රමය හා බ්‍රිතාන්‍ය ක්‍රමය ලෙස වෙන් කරන්න පුළුවන්. ඇමරිකාව විසින් අනුගමනය කරමින් සිටින ක්‍රමය බොහෝ දුරට බ්‍රිතාන්‍ය ක්‍රමයට ආසන්නයි.

චීනය විසින් කොරෝනා වෛරස් තර්ජනය හමුවේ අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ විවේචන එල්ල වුනා. බොහෝ විට මෙවැනි විවේචන කළේ බටහිර රටවල ජීවත් වූ පිරිස් විසිනුයි. බටහිර රටවල ජීවත් වූ චීන සම්භවයක් ඇති පිරිස්ද මෙසේ විවේචන කළ අය අතර කැපී පෙනුනා. මේ විවේචන වල ඉලක්කය වුනේ කොරෝනා හානිය වැළැක්වීමේ උත්සාහය තුළ චීන රජය විසින් ගත් දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් සිදු වුනු වෙනත් විවිධ හානි බව පුළුල් ලෙස අර්ථ දැක්විය හැකියි.

චීන ක්‍රමයට විවේචන එල්ල වූ අයුරින්ම මේ වන විට බ්‍රිතාන්‍ය ක්‍රමයටද විවේචන එල්ල වෙනවා. එහිදී බොහෝ විට පැවසෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගනිමින් රෝගය පැතිරෙන්නට ඉඩ හැර ඇති බවයි. ඇමරිකාව විසින් අනුගමනය කරන්නේද බ්‍රිතාන්‍ය ක්‍රමයම වුවත් ඇමරිකාවේදී මේ ක්‍රමය බ්‍රිතාන්‍යයේදී තරම් විවේචනයට ලක් වන බවක් පෙනෙන්නේ නැහැ.

කොවිඩ්-19 ලෝකයට අලුත් අත්දැකීමක්. මේ වසංගතය ගැන දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩියි. ඒ නිසා, කවර ආණ්ඩුවකට වුවත් ක්‍රියා කරන්න වෙන්නේ උපකල්පන මතයි. උපකල්පන පදනම් වන්නේ නිරීක්ෂණ මතයි. අලුත් නිරීක්ෂණ එකතු වන විට පැරණි උපකල්පන වඩා නිවැරදි කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මේ අනුව බැලුවොත්, මේ මොහොතේ බටහිර රටවල් සිටින්නේ වෛරසය පැතිරීම ආරම්භ වූ අවස්ථාවේ චීනය සිටියාට වඩා වාසිදායක තැනකයි. චීනයේ වයිරසය පැතිරුණු ආකාරය පිළිබඳ තොරතුරු මත බටහිර රටවලට වඩා දැනුමැති තීරණ වලට එළැඹෙන්න පුළුවන්.

බ්‍රිතාන්‍යය මෙන්ම ඇමරිකාවද විසින් වෛරස් තර්ජනයට මුහුණ දීමට සූදානම් වන්නේ වෛරසය පැතිරිය හැකි ආකාරය ගැනත්, එය වැළැක්වීමට හෝ සීමා කිරීමට ගන්නා විවිධ ක්‍රියාමාර්ග වලින් ලැබෙන්නට ඉඩ ඇති වාසි හා අවාසි ගැනත් කිසියම් අධ්‍යයනයක් කිරීමෙන් පසුවයි. මේ අධ්‍යයන අතරින් එක් පුළුල් අධ්‍යයනයක් වන්නේ ලන්ඩන් ඉම්පීරියල් කොලීජියේ මහාචාර්ය නීල් ෆර්ගසන් ප්‍රමුඛ වසංගත රෝග විද්‍යාඥයින් 31 දෙනෙකු විසින් සිදු කර තිබෙන අධ්‍යයනයයි. බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ආණ්ඩු මේ වාර්තාවට සැලකිය යුතු බරක් තබා තිබෙන බව පැහැදිලියි.

නීල් ෆර්ගසන් වාර්තාව අනුව තවමත් අප දකින්නේ අයිස් කන්දක ශිඛරය පමණයි. අයිස් කන්ද පෙනෙන විට අප අතරින් ඇතැමෙක් ජීවත්ව නොසිටින්න පුළුවන්. කෙතරම් බියජනක වුවත් දැනට පෙනෙන්නට තිබෙන ඇත්ත එයයි. ආණ්ඩු වලට මැදිහත් වී තත්ත්වය යම් තරමකින් පාලනය කිරීමේ හැකියාවක් ඇතත්, කළ හැකි සියල්ල කිරීමෙන් පසුවත් විශාල හානියක් සිදුවන බව පැහැදිලියි.

නීල් ෆර්ගසන් වාර්තාවට අනුව කිසිවක් නොකර සිටියොත් කෝවිඩ්-19 වසංගතය අවසන් වන විට ඇමරිකාවේ මෙන්ම බ්‍රිතාන්‍යයේද ජනගහණයෙන් 81% කට වෛරසය වැළඳෙන අතර ඇමරිකානුවන් මිලියන 2.2ක් වෛරසය හේතුවෙන් මිය යාමට නියමිතයි. වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් 510,000ක් මිය යාමට නියමිතයි. ජූනි මාසයේ අවසානය දක්වාම දිනකට මියයන ප්‍රමාණය දවසෙන් දවසම ඉහළ යන බවයි වාර්තාව අනුව පැවසෙන්නේ. මේ අනුව, දිනකට වෛරසය හේතුවෙන් මිය යන ඇමරිකානුවන් ගණන අඩු වෙන්න පටන් ගන්නේ දිනකට 55,000 ඉක්මවීමෙන් පසුවයි. සාපේක්ෂව වැඩි ජනගහණ ඝනත්වයක් ඇති බ්‍රිතානයේ මරණ ගණන ජූනි මාසය මුලදී උපරිම මට්ටමට එනවා. එය දිනකට 15,000ක පමණ මරණ ප්‍රමාණයක්.

චීනය විසින් ගත් ආකාරයේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් තත්ත්වය පාලනය කළ හැකි වුවත්, වාර්තාව පිළියෙළ කළ වසංගත රෝග විශේෂඥයින්ගේ විශ්ලේෂණ අනුව, එම දැඩි ක්‍රියාමාර්ග ලිහිල් කළ පසුව නැවතත් වසංගතය පෙර මෙන් පැතිරී ඉහත මරණ සිදු වීම නොවැලැක්විය හැකියි. චීනය සම්බන්ධව ඔවුන්ගේ අදහස වන්නේද නැවත දෙවන වටයකින් වසංගතය චීනයේ හිස එසැවිය හැකි බවයි.

මේ වසංගතයේ කෙළවරක් දැකිය හැක්කේ දෙයාකාරයකින් පමණයි. පළමු ක්‍රමය වන්නේ රෝගය පැතිරීම නිසා ජනගහණයේ බොහෝ දෙනකු වෛරසයට නිරාවරණය වී ඔවුන්ගේ සිරුරු වල ප්‍රතිශක්තිකරණය ඇති වූ පසු වෛරසය පැතිරීම නැවතීමයි. මෙහිදී ඉහත සඳහන් මරණ ගණන සිදුවීම වැළැක්වීම අසීරුයි. දෙවන ක්‍රමය වන්නේ ප්‍රතිශක්තිකරණ එන්නතක් වැඩි දියුණු කරන තුරු වෛරසය පැතිරීම පාලනය කරමින් දැඩි පාලනයක් පවත්වා ගැනීමයි. මේ කාලය මාස දහඅටක් තරම් දිගු කාලයක්. එහිදී මරණ ප්‍රමාණය අඩු වන නමුත් සිදු වන වෙනත් හානි ඉතා විශාලයි.

දැනට ඇමරිකාව විසින් සිදු කර තිබෙන පාසැල් හා සරසවි වසා දැමීම ගත්තොත් ඒ හේතුවෙන් මරණ ප්‍රමාණය අඩු වීමට නියමිත 2%කින් පමණයි. චීනය මෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් හෝ සූදානමක් ඇමරිකාවේ හෝ වෙනත් කිසිදු බටහිර රටක පෙනෙන්නට නැහැ. ප්‍රායෝගිකව ඇමරිකාවට චීනය ගත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක්ද නැහැ. ආසාදිතයින් ගණන අනුව මෙතෙක් අටවැනි තැන සිටි ඇමරිකාව මේ වන විට දකුණු කොරියාව පසුකර හත් වන තැනට පැමිණ තිබෙනවා. දැනට වේගයෙන්ම වයිරසය පැතිරෙන රටක් වන ඇමරිකාව මේ ලැයිස්තුවේ තවතවත් ඉහළට යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

අපට ප්‍රතිශක්තිකරණයේ පිහිටයි!

Monday, March 16, 2020

ආර්ථික නොවැටී තියා ගන්න ඩොලර් බිලියන 700ක්!


ඊයේ (මාර්තු 15) ඉරිදා දිනයේ රැස් වුනු ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ විවට වෙළඳපොළ කමිටුව විසින් ෆෙඩරල් ඉලක්ක පොලී අනුපාතික වල පහළ සීමාව ශුන්‍ය මට්ටම දක්වාම පහත හෙලුවා. මේ තීරණය ගත්තේ කෝවිඩ්-19 පැතිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි ආර්ථික අවපාතයක බලපෑම අවම කිරීමටයි.

ෆෙඩරල් සංචිත බැංකුවේ විවට වෙළඳපොළ කමිටුව සාමාන්‍යයෙන් රැස් වන්නේ නිශ්චිත කාල සටහනකට අනුවයි. මේ කාල සටහන අනුව වසරකට අට වරක් එම කමිටුව රැස් වෙනවා. කාල සටහන අනුව අවසන් රැස්වීම තිබුණේ ජනවාරි 29 වනදා. මීළඟ රැස්වීමට දින නියම කර තිබුණේ මාර්තු 18 ලෙසයි. මෙවර ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව ඉරිදා දිනක හදිසියේ රැස් වුනේ කාල සටහන අනුව රැස්වීමට දින නියමව තිබුණු දවස අත ළඟම තියෙද්දීයි. එම කමිටුව විසින් තත්ත්වය කෙතරම් බැරෑරුම් ලෙස ගෙන ඇත්දැයි මෙයින් පෙනෙනවා.

ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව ජනවාරි මාසයේදී රැස් වන විට ඇමරිකාවේ ආර්ථිකය ඉතාම යහපත් මට්ටමකින් පැවතුනා. ඒ වන විට රටේ විරැකියා අනුපාතය පසුගිය වසර 50 ඇතුළත පැවති අඩුම මට්ටමේ පැවතුනා. සාමාන්‍යයෙන් මහ බැංකුවක ඉලක්කය වන්නේ රටක උද්ධමන මට්ටම ස්ථාවරව තබා ගනිමින් විරැකියා අනුපාතය හැකි තරම් අඩු කර ගැනීමයි. දිගුකාලීනව ආර්ථික වර්ධනය වැඩි කර ගත හැක්කේ එසේ කිරීමෙනුයි.

විරැකියා අනුපාතය ඕනෑවට වඩා පහත වැටුණු විට උද්ධමනය ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයයි. එවිට, උද්ධමනය පාලනය කර ගැනීම සඳහා විරැකියා අනුපාතය හා මැදිකාලීන ආර්ථික වර්ධනය කැප කිරීමට රටකට සිදු වෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමරිකාවේ පැවති විරැකියා අනුපාතය වූ 3.5% මට්ටමේදී සාමාන්‍යයෙන් උද්ධමනය ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා, බොහෝ විට විරැකියා අනුපාතය ඒ මට්ටමට පහත වැටුණු විට ෆෙඩරල් සංචිත බැංකුව විසින් කරන්නේ පොලී අනුපාතික ඉහළ දමන එකයි.

එහෙත්, පසුගිය ජනවාරි වන විට ඇමරිකාවේ උද්ධමන තර්ජනයක් පෙනෙන්නට තිබුණේ නැහැ. ෆෙඩරල් සංචිත බැංකුවේ පුරෝකථන අනුව ඇමරිකාවේ උද්ධමනය ඉදිරි දෙවසරක පමණ කාලය තුළ ඉලක්ක මට්ටම වන 2% ආසන්නයේ පවතිනු ඇති බවයි පෙනෙන්නට තිබුණේ. ඒ නිසා, ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය ලෙස පෙනුණේ ඉලක්ක ෆෙඩරල් පොලී අනුපාතික ඒ වන විට පැවති 1.50-175% මට්ටමේම දිගටම පවත්වා ගැනීමයි. කෝවිඩ්-19 තර්ජනය නොවන්නට බොහෝ විට විවට වෙළඳපොළ කමිටුව කලින් සැලසුම් කර තිබුණු පරිදි මාර්තු 18 දින රැස්වී ෆෙඩරල් පොලී අනුපාතික නොවෙනස්ව තබා ගන්නට තීරණය කළ හැකිව තිබුණා.

ඊයේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව රැස් වුනේ ජනවාරි රැස්වීමෙන් පසුව මුල් වරට නෙමෙයි. දෙසතියකට පමණ පෙර පසුගිය මාර්තු 3 වනදා මුලින්ම එම කමිටුවේ හදිසි රැස්වීමක් පැවැත්වුනා. එහිදී ඉලක්ක ෆෙඩරල් පොලී අනුපාතික 1.00-1.25% මට්ටම දක්වා පාදක අංක 50 කින් පහත හෙලනු ලැබුවා. එයින් දින 12කට පසුව දැන් නැවතත් එම පොලී අනුපාතික තවත් පාදක අංක 100කින් පහත හෙළා තිබෙනවා. එමෙන්ම, අවම වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 500ක රාජ්‍ය සුරැකුම්පත් සහ තවත් ඇමරිකන් ඩොලර් බිලියන 200ක උගස් පාදක සුරැකුම්පත් (mortgage-backed securities) මිල දී ගනිමින් ඇමරිකන් ඩොලර් බිලියන 700ක මුදල් ප්‍රමාණයක් රටේ ආර්ථිකයට මුදා හරින්නත් ඇමරිකන් ෆෙඩරල් සංචිත බැංකුව විසින් තීරණය කර තිබෙනවා.

Saturday, March 14, 2020

කාටත් පොදු කොරෝනා බිය!

මේ වන විට කොරෝනා චීනාගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැනට ජීවත්ව සිටින හැත්තෑ දහසකට අධික සුව නොවූ කොරෝනා රෝගීන්ගෙන් පනස් අට දහසක්ම ඉන්නේ චීනයෙන් පිටතයි. එයින් රෝගීන් තිස් දහසක් සිටින්නේ දෙවන වටයේදී රෝගය ව්‍යාප්ත වූ දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රට වල වුවත්, ඉතිරි විසි අට දහස සිටින්නේ ලෝකය පුරාම අනෙකුත් රටවලයි. මේ වන විට ලෝකයේ රටවල් 150කට පමණ රෝගය පැතිරී අවසන්. මෙය කියවන ඔබ, ලියන මා ඇතුළු ලෝකයේ හතර දිග් බාගයේම ඉන්නා සියලු දෙනාටම දැන් කොරෝනා බිය දැනෙනවා.

කොරෝනා ව්‍යාප්තියේ මුල් අදියරේදී මෙය බොහෝ දෙනෙකුට කතන්දර හැදීමට මාතෘකාවක් වී තිබුණා. ඇතැම් අය කිවුවේ මෙය මාධ්‍ය වලින් හැදූ ප්‍රශ්නයක් බවයි. තවත් අය කිවුවේ වෛරසය ආසාදනය වෙන්නේ චීන සම්භවයක් ඇති අයට පමණක් බවයි. මේ කතා වල ඇත්ත නැත්ත මේ වන විට තහවුරු වී තිබෙනවා. කොරෝනා වසංගතය මේ තරමින් හෝ පාලනය වී තිබෙන්නේ ඒ වෙනුවෙන් ලැබුණු මාධ්‍ය අවධානය නිසයි.

කොරෝනා හා සම්බන්ධ දේශපාලනයක්ද මුල සිටම පෙනෙන්නට තිබුණා. ලෝකයේ හැම රටකම වගේ ආණ්ඩු විසින්  ආණ්ඩු විශාල කර ගැනීම සඳහා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා. ඒ වගේම, විශාල ආණ්ඩු වෙනුවෙන් පෙනී සිටින අය තමන්ගේ මතවාද ප්‍රචාරණය කර ගැනීමට මේ අවස්ථාව යොදා ගනිමින් සිටිනවා. මේ වගේ තත්ත්වයකදී මධ්‍යගත සැලසුම් යම් තරමකින් සාර්ථක ප්‍රතිඵල පෙන්වනවා. එහෙත්, ඒ එක්තරා සීමාවක් දක්වා පමණයි. සීමාව පැන්නොත් ඕනෑම ආණ්ඩුවක් අසරණ වෙනවා. මේ තත්ත්වය ඇතැම් තැන් වලදී දැනටත් දැකිය හැකියි.

රෝගය පාලනය කර ගැනීම සඳහා චීනය විසින් ගත් ක්‍රියාමාර්ග සාර්ථක වූ බව පිළිගත යුතුයි. චීනයේ කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය අසූ දහස මට්ටමේ නැවතී තිබෙනවා. එහෙත්, මේ වන විටත් ඉතාලිය හැරුණු විට වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් සිටින රට චීනයයි. ඒ නිසා, චීනයේ කෝවිඩ්19මරණ ප්‍රමාණය ඉහළ යාම නවතින්න තවත් සති හෝ මාස ගණනක් ගත වෙයි.

ලෝකයට කෝවිඩ්19 ව්‍යාප්ත කළේ චීනයයි. එහෙත් එය චීනය විසින් හිතා මතා කළ දෙයක් හෝ චීනයේ වැරැද්දක් නෙමෙයි. කෝවිඩ්19 ව්‍යාප්තිය මේ තරමින් හෝ කල් පමා වුනේ චීනය විසින් ගත් දැඩි ක්‍රියාමාර්ග නිසයි. චීනයෙන් පිටතට කෝවිඩ්19 ව්‍යාප්ත වුනේ ප්‍රධාන වශයෙන්ම චීන සංස්කෘතික සම්බන්ධතා හරහායි. ලංකාවට වගේම ඇමරිකාවටත් මුලින්ම කෝවිඩ්19 ආවේ චීනයෙන්. එහෙත්, කෝවිඩ්19 වසංගතයක් වී ලෝකය පුරා පැතිරුණේ ඉතාලිය ප්‍රමුඛ යුරෝපය හරහායි.

ලංකාවේ ජීවත් වන චීන ජනගහණය පිළිබඳ විවිධ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් වී තිබෙනවා. මේ සංඛ්‍යාලේඛණ වල නිරවද්‍යතාවය කවරක් වුවත් ලංකාව බටහිර බොහෝ රටවල් තරම් චීනය සමඟ සංස්කෘතික ලෙස සම්බන්ධ නැහැ. ලංකාවේ ඉන්න චීන්නු, ගණන කොපමණ වුවත්, මේ වන විටත් තමන්ගේම සංස්කෘතික කවයන් ඇතුළේ හුදෙකලා වී සිටින පිරිසක්. නමුත්, බටහිර රටවල ජීවත් වන චීන්නු එවැනි හුදෙකලා සංස්කෘතික කව ඇතුළේ ඉන්න පිරිසක් නෙමෙයි. සංඛ්‍යාත්මකව බැලුවොත්, ඇමරිකාවේ චීන සම්භවයක් ඇති මිලියන පහක පමණ පිරිසක් ඉන්නවා. මේ ප්‍රමාණය ලංකාවේ සිටින සිංහල නොවන ජනගහණයට ආසන්නව සමානයි.

ලංකාවට පසුගිය කාලයේ චීන්නු කොපමණ ආවත් ඔවුන් හරහා කෝවිඩ්19 ව්‍යාප්ත වීමක් සිදු නොවීමට චීනය පැත්තෙන් රටින් පිටවන අය සම්බන්ධව දැඩි පාලනයක් පවත්වා ගැනීමත් හේතු වුනා. යම් අවදානමක් තිබුණේ චීනයෙන් රැගෙන ආ සිසු කණ්ඩායම් හා අදාළවයි. එහෙත්, ඔවුන්ද මුල් අදියරේදීම රැගෙන ආ නිසාත්, නිසි පරිදි නිරෝධායනයට ලක් කෙරුණු නිසාත් අවුලක් සිදු වුනේ නැහැ.

මේ වන විටත්, කෝවිඩ්19 ආසාදනය වූ චීන්නු ප්‍රමාණය ලෝකයේ අනෙක් හැම රටකින්ම වාර්තා වී තිබෙන කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණයට වඩා වැඩියි. එහෙත්, මේ ගණන් සැසඳීමේදී චීනය විශාල ජනගහණයක් ඇති රටක් බව අමතක කළ යුතු නැහැ. චීන ජනගහණයෙන් මිලියනයකට කෝවිඩ්19 ආසාදිතයින් 56 දෙනෙකු මේ වන විට වාර්තා වී තිබෙනවා. එහෙත්, මේ බොහෝ දෙනෙකු මේ වන විට සුව වී හෝ මියගොස් ඇති නිසා මේ වෙද්දී චීනයේ ජනගහණය මිලියනයකට කෝවිඩ්-19 ආසාදිතයින් ඉන්නේ 8.4ක් පමණයි. මේ අනුපාත සමඟ සංසන්දනය කළ විට චීනයෙන් පිටත, විශේෂයෙන්ම යුරෝපයේ හා මැදපෙරදිග ඇතැම් රටවල තත්ත්වය චීනයේ කෙදිනක හෝ පැවති තත්ත්වයට වඩා බොහෝ දරුණුයි. රටවල් කිහිපයක ජනගහණය මිලියනයකට කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය දැනට මෙහෙමයි.

ඉතාලිය - 292
ඉරානය - 151
දකුණු කොරියාව - 158
නෝර්වේ - 191
ස්විට්සර්ලන්තය - 159
ඩෙන්මාර්කය - 143
ස්වීඩනය - 93
කටාර් - 117
බහරේන් - 124
ස්පාඤ්ඤය - 129

මේ අනුව මේ රටක කෙනෙක් කෝවිඩ්19 ආසාදිතයෙක් වීමේ අවදානම චීනයේ පැවති තත්ත්වයට වඩා කිහිප ගුණයකින් වැඩියි. යුරෝපයේ තවත් රටවල් ගණනාවක් චීනයේ පැවති නරකම තත්ත්වයටම ඉහළින් හෝ ආසන්නව සිටිනවා.

ප්‍රංශය - 56
ජර්මනිය - 47
නෙදර්ලන්තය - 56
බෙල්ජියම - 59
ඔස්ට්‍රියාව - 67
ෆින්ලන්තය - 39
ස්ලොවේනියාව - 87
එස්ටෝනියාව - 82

කෝවිඩ්19 මේ වන විට ඇමරිකාව පුරාමත් ව්‍යාප්ත වී තිබෙනවා. ආසාදිතයින් ප්‍රමාණය අනුව බැලුවොත් ඇමරිකාව සිටින්නේ අටවන තැනයි. එහෙත්, ජනගහණයේ අනුපාතයක් ලෙස ඇමරිකාවේ කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය තවමත් මිලියනයකට 7.1ක් පමණයි. එක්සත් රාජධානියේ, කැනඩාවේ හා ඕස්ට්‍රේලියාවේ තත්ත්වයද මීට තරමක් සමානයි. යුරෝපයේ රටවලට යුරෝපීය සංගමයේ සාමාජිකත්වය මේ අවස්ථාවේදී අවාසියක් වී තිබෙන බව පෙනෙනවා. එක්සත් රාජධානියට යුරෝපීය සංගමයෙන් වෙන්වීමේ හා දූපතක් වීමේ වාසි යම් තරමකින් ලැබී තිබෙනවා.

ඇමරිකාවේ දැනට පවතින තත්ත්වය මෙසේ වුවත්, ඉදිරි සති කිහිපය ඇතුළත කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා හැකි බව පෙනෙන්නට තිබෙනවා. ඇමරිකාවට හෝ වෙනත් බටහිර රටකට රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීනය මෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීම අසීරුයි. ඇමරිකාවේ වත්මන් උපාය මාර්ගය වී තිබෙන්නේ රෝගය ව්‍යාප්ත වන වේගය හැකිතාක් මන්දගාමී කිරීමයි. ඒ සඳහා, මේ වන විටත් ප්‍රාන්ත ගණනාවක පාසැල් හා විශ්ව විද්‍යාල වල මුහුණට මුහුණ පවත්වන දේශන නවත්වා අන්තර්ජාලය හරහා දේශන පැවැත්වීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම බොහෝ ආයතනද තම සේවකයින්ට නිවසේ සිට අන්තර්ජාලය හරහා වැඩ කිරීමට නියම කර තිබෙනවා.

කෝවිඩ්19 කිසියම් රටකට විශාල ප්‍රශ්නයක් විය හැක්කේ එක වර විශාල පිරිසක් රෝගී වූ විට ඕනෑම රටක රෝහල් පද්ධතියට එය දරා ගත නොහැකි වන නිසයි. ඇමරිකාවට වුවත් මෙහි වෙනසක් නැහැ. එවැනි තත්වයකදී වෛද්‍යවරුන්ට ප්‍රමුඛතාවය ලැබිය යුතු රෝගීන් තෝරන්න සිදු වෙනවා. එහිදී ඇතැම් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර නොලැබී යාම වලක්වන්න අසීරුයි. මේ තත්ත්වය පාලනය කර ගත හැක්කේ රෝගය ව්‍යාප්ත වන වේගය පාලනය කර ගැනීමෙනුයි. දැනට ගෙන තිබෙන ක්‍රියාමාර්ග වල ඉලක්කය එයයි.



Monday, March 9, 2020

කොරෝනා බියෙන් හීතල වෙන මැතිවරණ උණුසුම


මේ ගත වෙමින් පවතින්නේ ඇමරිකාවේ පූර්ව ජනාධිපතිවරණ සමයයි. මේ වසර ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන වසරක්. ඇමරිකාවේ ප්‍රධාන මැතිවරණ සියල්ලක්ම පැවැත්වෙන්නේ නොවැම්බර් මාසයේ එකම නිශ්චිත දිනයකයි. එනම් නොවැම්බර් 2 හා 8 අතර යෙදෙන අඟහරුවාදා දිනයේ. මෙවරනම් නොවැම්බර් තුන්වනදා.

ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් මාසයේ වුවත් ජනාධිපතිවරණ අපේක්ෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මාස ගණනාවක් තිස්සේ සිදුවන දෙයක්. එය සිදු වන්නේත් නිශ්චිත කාල සටහනකට අනුවයි. එම ක්‍රියාවලිය මේ වන  විට ආරම්භ වී තිබෙනවා.

මෙවර රිපබ්ලිකන් අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ම නොවන්නට හේතුවක් නොපෙනෙත්, ඒ බව ස්ථිර වන්නේ අගෝස්තු අවසන් සතියේදී පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදීයි. තවමත් ඔහුට දුරස්ථ තරඟකරුවන් කිහිප දෙනෙකු සිටිනවා.

මේ ආකාරයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වීමට නියමිත ඩිමොක්‍රටික් අපේක්ෂයාව තෝරා පත් කර ගැනීමට නියමිතව තිබෙන්නේ ජූලි මාසයේ මැද පැවැත්වෙන එම පක්ෂ සම්මේලනයේදී. රිපබ්ලිකන් පක්ෂයේ මෙන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් තවමත් ප්‍රමුඛ අපේක්ෂකයෙකු පැහැදිලි ලෙස මතු වී නැහැ. ජෝ බයිඩන් හා බර්නි සැන්ඩර්ස් යන දෙදෙනාගෙන් අයෙකු බොහෝ විට අවසන් තරඟකරු විය හැකියි.

ආරම්භයේදී තරඟකරුවන් අඩු වශයෙන් 30-40 දෙනෙකුවත් සිටියත් මෙතෙක් පැවති පූර්ව ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව මෙයින් බොහෝ දෙනෙකු මේ වන විට තරඟයෙන් ඉවත් වී තිබෙනවා. එය සාමාන්‍යයෙන් කටයුතු සිදු වන ආකාරයයි.

ජූලි මාසයේදී පැවැත්වෙන ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයේ මුල් වටයේදී නියෝජිතයින් 3,979 දෙනෙකුගෙන් අඩකට වඩා එක් අයෙකුගේ ඡන්ද, එනම් ඡන්ද 1,991ක් ලබා ගන්නා අපේක්ෂකයා ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස තේරී පත් වෙනවා. කිසිවකු එම ඡන්ද ප්‍රමාණය ලබා නොගතහොත් දෙවන වටයක්ද පැවැත්වෙනවා. මේ වන විට පැවැත්වෙමින් තිබෙන්නේ ඉහත කී නියෝජිතයින් 3,979 තෝරා ගන්නා පූර්ව ජනාධිපතිවරණ ක්‍රියාවලියයි. ඔවුන් තෝරා පත් කර ගැනෙන්නේ එක් එක් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ ඡන්දයෙන්. රිපබ්ලිකන් පක්ෂයේද මෙවැනිම ක්‍රියාවලියක් සිදු වනවා.

මැතිවරණ කාල සටහන අනුව, පූර්ව ජනාධිපතිවරණ ක්‍රියාවලිය ආරම්භ වන්නේ අයෝවා ප්‍රාන්තයෙන්. එම ප්‍රාන්තයේ පූර්ව මැතිවරණය පසුගිය පෙබරවාරි 3 වනදා පැවැත්වුණා. එහිදී ඉදිරියෙන්ම සිටියේ පීට් බුටිජජ්. ඔහු මුළු ඡන්ද ප්‍රමාණයෙන් 26.2%ක් ලබා ගනිමින් නියෝජිතයින් 14 දෙනෙකු හිමි කර ගත්තා. ඊට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගත් බර්නි සැන්ඩර්ස් නියෝජිතයින් 12 දෙනෙකු දිනා ගත්තා. එළිසබෙත් වොරන්ට අපේක්ෂකයින් 8 දෙනෙකුත්, ජෝ බයිඩන්ට අපේක්ෂයින් 6 දෙනෙකුත්, ඒමි ක්ලෝබචාර්ට එක් අපේක්ෂකයෙකුත් හිමි වුනා. අනෙකුත් අපේක්ෂකයින්ට නියෝජනයක් ලබා ගත හැකි තරම් ඡන්ද ලැබුණේ නැහැ. රිපබ්ලිකන් ඡන්ද වල නම් එවැනි බෙදීමක් තිබුනේ නැහැ. මුළු ඡන්ද ප්‍රමාණයෙන් 97.1%ක් ලබාගත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝජිතයින් 39 දෙනෙකු දිනා ගනිද්දී බිල් වෙල්ඩ්ට එක් නියෝජිතයෙකු පමණක් හිමි වුනා.

දෙවනුවට පැවැත්වුණේ නිවු හැම්ප්ශයර් පූර්ව මැතිවරණයයි. ඒ පෙබරවාරි 10 වනදා. එහිදී බර්නි සැන්ඩර්ස් හා පීට් බුටිජජ් විසින් ඩිමොක්‍රටික් නියෝජිතයින් 9 බැගිනුත්, ඒමි ක්ලෝබචාර් විසින් අපේක්ෂකයින් 6 දෙනෙකුත් දිනා ගත්තා. ජෝ බයිඩන්, එළිසබෙත් වොරන් ඇතුළු තිහකට අධික අනෙකුත් අපේක්ෂයින්ට එහිදී නියෝජනයක් හිමි වුනේ නැහැ. රිපබ්ලිකන් නියෝජිතයින් සියල්ලම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දිනා ගත්තා.

ඉන් පසුව පෙබරවාරි 24 වනදා පැවති නෙවාඩා පූර්ව මැතිවරණ වලදී ඩිමොක්‍රටික් නියෝජිතයින් 24 දෙනෙකු දිනා ගනිමින් බර්නි සැන්ඩර්ස් මුල් තැනට පැමිණෙද්දී, ජෝ බයිඩන් විසින් නියෝජිතයින් 9 දෙනෙකුත්, පීට් බුටිජජ් විසින් නියෝජිතයින් 3 දෙනෙකුත් දිනා ගත්තා. මෙහිදීද, රිපබ්ලිකන් නියෝජිතයින් සියල්ලම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දිනා ගත්තා.

පෙබරවාරි 24 දින පැවති සවුත් කැරොලයිනා පූර්ව මැතිවරණ වලදී ජෝ බයිඩන් ඉදිරියට ආවා. ජෝ බයිඩන් විසින් නියෝජිතයින් 39 දෙනෙකු දිනා ගනිද්දී බර්නි සැන්ඩර්ස් විසින් අපේක්ෂකයින් 15 දෙනෙකු දිනා ගත්තා. වෙනත් කිසිවකුට නියෝජනයක් හිමි වුනේ නැහැ. මේ පළමු වට හතරෙන් පසුව ඩිමොක්‍රටික් අපේක්ෂකයින් අතර නියෝජිතයින් බෙදී ගොස් තිබුණේ පහත ආකාරයටයි.

බර්නි සැන්ඩර්ස් - 60
ජෝ බයිඩන් - 54
පීට් බුටිජජ් - 26
ඒමි ක්ලෝබචාර් - 7
එළිසබෙත් වොරන් - 8

ඉන් පසුව, මාර්තු 3 එළැඹීමට නියමිතව තිබුණේ ප්‍රාන්ත හා ප්‍රදේශ 15ක ප්‍රාථමික මැතිවරණ එකම දිනක පැවැත්වෙන සුපිරි අඟහරුවාදා දිනයයි. ඊට පෙර, පීට් බුටිජජ් හා ඒමි ක්ලෝබචාර් විසින් තමන් තරඟයෙන් ඉවත් වන බව නිවේදනය කළත් බිලියනපතියෙකු වන මයිකල් බ්ලූම්බර්ග් තරඟයට අවතීර්ණ වුණා. මේ වන විට ප්‍රකාශ කර තිබෙන ප්‍රතිඵල අනුව සුපිරි අඟහරුවාදා මැතිවරණ වලදී ඇලබාමා, ආකන්සා, මේන්, මැසචුසෙට්ස්, මිනසෝටා, නෝත් කැරොලයිනා, ඔක්ලහෝමා, ටෙනසී, ටෙක්සාස් හා වර්ජිනියා ප්‍රාන්ත වලින් ජෝ බයිඩන් ඉදිරියට පැමිණෙද්දී, කැලිෆෝර්නියා, කොලරාඩෝ, යූටා හා වර්මොන්ට් ප්‍රාන්ත වලදී බර්නි සැන්ඩර්ස් ඉදිරියට පැමිණ තිබෙනවා. ඇමරිකන් සමෝවා වලදී නියෝජිතයින් 4 දෙනෙකු හිමි කරගනිමින් මයිකල් බ්ලූම්බර්ග් මුල් තැනට පැමිණ ඇති අතර තුල්සි ගැබාඩ් විසින්ද නියෝජිතයින් දෙදෙනෙකු දිනා දිනාගෙන තිබෙනවා. මේ අනුව, දැනට එක් එක් අපේක්ෂකයින් සතු නියෝජිතයින් ගණන පහත පරිදියි.

බර්නි සැන්ඩර්ස් - 574
ජෝ බයිඩන් - 670
පීට් බුටිජජ් - 26
ඒමි ක්ලෝබචාර් - 7
එළිසබෙත් වොරන් - 69
මයිකල් බ්ලූම්බර්ග් - 61
තුල්සි ගැබාඩ්- 2

සුපිරි අඟහරුවාදා ප්‍රතිඵල වලින් පසුව, මේ වන විට මයිකල් බ්ලූම්බර්ග්ද තරඟයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, බර්නි සැන්ඩර්ස් හා ජෝ බයිඩන් හැරුණු විට මේ අය අතරින් දැනට ඉතිරිව සිටින්නේ තුල්සි ගැබාඩ් පමණයි. ඇයද කොයි වෙලාවේ හෝ තරඟයෙන් ඉවත් වනු ඇතැයි සිතිය හැකියි.

මේ අනුව ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය සඳහා තරඟය තිබෙන්නේ ජෝ බයිඩන් හා බර්නි සැන්ඩර්ස් අතරයි. රිපබ්ලිකන් පක්ෂයේනම් බෙදීමක් ඇත්තේම නැති තරම්. බිල් වෙල්ඩ්ගේ තනි අයෝවා නියෝජිතයා හැරුණු විට ඉතිරි නියෝජිතයින් සියලු දෙනාම සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟයි.

හෙට (මාර්තු 10) තවත් පූර්ව ජනාධිපතිවරණ මැතිවරණ වටයක් පැවැත් වෙනවා. එහිදී අයිඩාහෝ, මිචිගන්, මිසූරී, මිසිසිපි, නෝත් ඩකෝටා සහ වොෂින්ටන් ප්‍රාන්ත වල පාක්ෂික ඡන්දදායකයින්ට තමන් කැමති  අපේක්ෂකයා වෙනුවෙන් කැමැත්ත පළ කිරීමට අවස්ථාව හිමි වෙනවා. කෙසේ වුවත්, මේ වන විට මාධ්‍ය අවධානය මැතිවරණ කෙරෙන් කොරෝනා වෛරසය වෙත විතැන් වී ඇති බවක් දැකිය හැකියි.

Sunday, March 1, 2020

ප්‍රතිපරිසිද්ධික තත්ත්වය හා පිරියම් ඵලය


ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කියන එක කලින් ලිපියෙන් පැහැදිලි කළානේ. ඒ නිසා, අද අපි තවත් අළුත් යෙදුමක් ගැන කතා කරමු. පිරියම් ඵලය හෙවත් ප්‍රතිකාරයක බලපෑම (Treatment Effect). හැම විටම නොවූවත්, බොහෝ විද්‍යාත්මක පර්යේෂණ වල ඉලක්කය පිරියම් ඵලයයි. මෙහි පිරියම එහෙමත් නැත්නම් ප්‍රතිකාරය කියන වචනය වෛද්‍ය ශබ්දකෝෂයෙන් ගත් වචනයක් වුවත්, මේ වන විට විවිධ ආකාරයන්හි ප්‍රතිකාර හා අදාළව පොදුවේ යෙදෙන වචනයක්. පිරියම් ඵලය සෙවීම කියන එකෙන් අදහස් වෙන්නේ කවර හෝ ප්‍රතිකාරයක් හේතුවෙන් කිසියම් නීරීක්ෂණය කළ හැකි තත්ත්වයක් වෙනස් වන ආකාරය ඇස්තමේන්තු කිරීමයි.

මුලින්ම වෛද්‍ය ප්‍රතිකාරයක් ගැනම සලකමු. මෙට්ෆොර්මින් නිසා රුධිරයේ සීනි මට්ටම පාලනය වෙනවාද? දැන් මෙහිදී ප්‍රතිකාරය වන්නේ කිසියම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට නිශ්චිත මෙට්ෆොර්මින් මාත්‍රාවක් (අපි හිතමු මිලිග්‍රෑම් 500ක් කියා) ලබා දීමයි. එම ප්‍රතිකාරයේ බලපෑම එහෙමත් නැත්නම් පිරියම් ඵලය අපට මැන ගන්න හැකි වන්නේ අදාළ ප්‍රතිපරිසිද්ධික තත්ත්වයට සාපේක්ෂවයි. තනි පුද්ගලයෙක් හා අදාළව ගත්තොත්, මෙහිදී අවම වශයෙන් නිරීක්ෂණ තුනක් අවශ්‍ය වෙනවා.

1. පූර්ව ප්‍රතිකාර තත්ත්වය
2. පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය
3. පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය

පූර්ව ප්‍රතිකාර තත්ත්වය - ප්‍රතිකාරය ලබා දීමට පෙර නිශ්චිත මොහොතකදී (අපි හිතමු 2020 මාර්තු 1 උදේ 8ට) රුධිරයේ සීනි මට්ටම

පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය - උදේ අටට මෙට්ෆොර්මින් මිලිග්‍රෑම් 500ක් ලබා දීමෙන් පැය හයකට පසුව (2020 මාර්තු 1 හවස 2කට) රුධිරයේ සීනි මට්ටම

පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය  - උදේ අටට මෙට්ෆොර්මින් අඩංගු නැති, එහෙත් එසේ පෙනෙන ව්‍යාජ පෙත්තක් ලබා දීමෙන් පැය හයකට පසුව (2020 මාර්තු 1 හවස 2කට) රුධිරයේ සීනි මට්ටම

දැන් මෙහිදී අපට දැනගන්නට අවශ්‍ය වෙන්නේ උදේ අටට මෙට්ෆොර්මින් මිලිග්‍රෑම් 500ක් ලබා දීමෙන් පැය හයකට පසුව ඒ හේතුව නිසා රුධිරයේ සීනි මට්ටම කෙතරම් වෙනස් වුනාද කියන එකයි.

පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පූර්ව ප්‍රතිකාර තත්ත්වය සසඳා මෙය හොයා ගන්න බැරිද?

සරලව අපි මෙහෙම කියමු. උදේ අටට රුධිරයේ සීනි පරීක්ෂා කිරීමෙන් පසුව මෙට්ෆොර්මින් මිලිග්‍රෑම් 500ක් ලබා දෙනවා. ඉන් පසු, හවස දෙකට නැවත රුධිරයේ සීනි පරීක්ෂා කරනවා. සීනි අඩු වෙලා. එහෙමනම් සීනි අඩු වුනේ මෙට්ෆොර්මින් නිසා නෙමෙයිද?

එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. පැය හය ඇතුළත සීනි අඩු වුනේ මෙට්ෆොර්මින් නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියා කවුද දන්නේ?

මේක හරියටම දැනගන්නනම් අපට පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය ගැනත් දැනුමක් තිබිය යුතුයි. මෙය පරීක්ෂා කිරීම සඳහා අපිට මිලිග්‍රෑම් 500ක මෙට්ෆොර්මින් පෙත්තක් විදිහටම සකස් කළ එහෙත් කිසිම සක්‍රිය රසායනිකයක් අඩංගු නැති බොරු පෙත්තක් ලබා දී පැය හයකට පසුව සීනි ප්‍රමාණය මනින්න පුළුවන්. මුල් අවස්ථාවේදී සීනි අඩු වුනේ මෙට්ෆොර්මින් නිසානම්, මේ දෙවන අවස්ථාවේදී සීනි අඩු නොවිය යුතුයි. දෙවන අවස්ථාවේදීත් සීනි අඩු වෙලානම් සීනි අඩු වීමට හේතුව මෙට්ෆොර්මින් වෙන්න බැහැ. ඒ අනුව, අපට පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පූර්ව ප්‍රතිකාර තත්ත්වය සසඳා පිරියම් ඵලය හොයා ගන්න බැරි වුනත් පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය සසඳා පිරියම් ඵලය හොයා ගන්න පුළුවන්.

ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද? පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් තේරෙයි මේ කතාවේ අවුලක් තිබෙන බව. පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හා පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය සසඳා පිරියම් ඵලය හොයා ගන්න පුළුවන් තමයි. නමුත්, ඒ සෛද්ධාන්තිකව. ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න බැහැ. එකම කාලාන්තරය තුළ එකම පුද්ගලයාට මිලිග්‍රෑම් 500ක මෙට්ෆොර්මින් පෙත්තක් දෙන එකත්, ඒ වෙනුවට ඒ විදිහටම හදපු බොරු පෙත්තක් දෙන එකත් යන දෙකම කරන්න බැහැ. කළ හැක්කේ ඔය දෙකෙන් එකක් පමණයි. ඒ නිසා, කිසියම් පුද්ගලයෙකු යොදාගෙන අපට පර්යේෂණාත්මකව හොයා ගන්න පුළුවන් වෙන්නේ පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය හෝ පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කියන දෙකෙන් එකක් පමණයි. ඒ නිසා, ඔය දෙකේ වෙනස වන පිරියම් ඵලය තනි පුද්ගලයෙකු හා අදාළව අපට කවදාවත්ම හරියටම හොයා ගන්න බැහැ.

මෙය වෛද්‍ය ප්‍රතිකාර වලට පමණක් අදාළ තත්ත්වයක් නෙමෙයි. පැලයකට හොඳින් වර්ධනය වෙන්න ජලය අවශ්‍යද? දැන් මෙහි ප්‍රතිකාරය වන්නේ පැලයට දිනපතා වතුර දැමීමයි. වතුර නිසා පැලයේ වර්ධනයට සිදු වන බලපෑම පිරියම් ඵලයයි. එය මනින්න වෙන්නේ වතුර සහිතව පැලයේ වර්ධනයේත්, වතුර රහිතව එම පැලයේම වර්ධනයේත් වෙනස ලෙසයි. නමුත්, අපට මේ දෙකම එකවර නිරීක්ෂණය කළ නොහැකියි.

සමාජ විද්‍යා පර්යේෂණ ගැටළු බොහොමයක්ද මූලික ආකෘතිය අනුව මීට සමානයි. ලංකාවට 1948දී නිදහස නොලැබී දිගටම ඉංග්‍රීසින් විසින් පාලනය කළානම් අද ලංකාවේ තත්ත්වය වඩා හොඳ විය හැකිව තිබුණාද? ජවිපෙ විසින් 1988/89 කැරැල්ල ජයගෙන ලංකාවේ සමාජවාදය පිහිටෙව්වානම් අද ලංකාවේ තත්ත්වය වඩා හොඳ විය හැකිව තිබුණාද? පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය ජය නොගෙන සජිත් දිනුවානම් අද ලංකාවේ තත්ත්වය වඩා හොඳ විය හැකිව තිබුණාද?

මේ සෑම අවස්ථාවකදීම අපට නිරීක්ෂණය කරන්න හැකි වී තිබෙන්නේ පූර්ව ප්‍රතිකාර තත්ත්වය හා පශ්චාත් ප්‍රතිකාර පරිසිද්ධික තත්ත්වය පමණයි. ඒ දෙකේ වෙනස පිරියම් ඵලය නෙමෙයි. පිරියම් ඵලය හොයා ගත හැක්කේ පශ්චාත් ප්‍රතිකාර ප්‍රතිපරිසිද්ධික තත්ත්වයත් නිරීක්ෂණය කළ හැකිව තිබුණානම් පමණයි.

එහෙමනම් මේ අවුල ලෙහා ගන්නේ කොහොමද? එය අපි වෙන දවසකට ඉතුරු කරමු.

Saturday, February 29, 2020

ප්‍රතිපරිසිද්ධික තත්ත්වය හා විද්‍යාත්මක ක්‍රමය


ප්‍රතිපරිසිද්ධික තත්ත්වය වගේ කැරකිලා යන වචනයක් මාතෘකාවට දැම්මහම මාර සීරියස් පෝස්ට් එකක් කියලා තේරෙනවා ඇතිනේ. ඔව්, එහෙම එකක් තමයි. දැන් අපේ බ්ලොග් එක කියවන පාඨකයින් පිරිසත් සීරියස් පාඨකයින් පිරිසක් නිසා සීරියස් මාතෘකා ගැන කතා කරන එක ඒ තරම් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැනේ. අනිත් එක ඔය සීරියස් වගේ පේන ගොඩක් දේවල් හිතන තරම්ම සීරියසුත් නැහැ.

සීරියස් වගේ පේන ඒ කෑල්ල දැනට පැත්තකින් තියලා දෙවන කෑල්ලට එමුකෝ. විද්‍යාත්මක ක්‍රමය කියන එකනම් ගොඩක් අයට තේරෙන දෙයක්නේ. අඩු ගානේ මොන විදිහකට හරි තේරෙන දෙයක්. එහෙම තේරෙන දේ ගැන කතා කරන්නත් ගොඩක් අය කැමතියි. ඒ විතරක් නෙමෙයි ඒ ගැන නොත්රෙන අයට උගන්නන්නත් කැමතියි.

ගොඩක් අය කියන විදිහට, අපිත් විවිධ තැන් වලදී ඉගෙනගෙන තියෙන විදිහට, විද්‍යාත්මක ක්‍රමය කියා කියන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන මත තීන්දු තීරණ ගැනීම. මේ කියන පරීක්ෂණ හැම එකක්ම එකම විදිහේ ඒවා නොවුනත්, විද්‍යාත්මක ක්‍රමය ගැන කතා කරන්න කැමති ගොඩක් අය කතා කරන්න වැඩිපුරම කැමති පාලිත පරීක්ෂණ ගැනයි. ඔය පාලිත පරීක්ෂණ ගැන පාසැල් වල තරමක් පහළ පන්ති වලදී ඉඳලම අපි ඉගෙන ගන්නවා.

"විද්‍යාත්මක ක්‍රමය" මාතෘකාව යටතේ තිබෙන සිංහල විකිපීඩියා පිටුවට අනුව, "ඉතාලි ජාතික භෞතිකඥයකු වු ෆ්‍රැන්සිස්කෝ රේඩි නැමැත්තා තමයි මුලින්ම විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් පරීක්ෂණයක් සැලසුම් කරන ලද්දේ". රේඩිගේ විද්‍යාත්මක පරීක්ෂණය ඔය විකිපීඩියා පිටුවේ විස්තර කර තිබෙන්නේ මෙහෙමයි.

"පුරාණයේ වසර සිය ගණනක් පුරා මිනිසුන් විශ්වාශ කළේ අජීවී ද්‍රව්‍ය වලින් ඕනෑම අවස්ථාවක ජීවීන් හට ගත හැකි බවයි. ස්වයංසිද්ධ ජනන වාදය ලෙස හැඳින්වෙන්නේ මෙම විශ්වාසයයි. උදාහරණයක් විදිහට ගතහොත් දිරාපත් වන රෙදිපිළි, පිදුරු වැනි දේ වලින් මීයන් කැරපොත්තන් වැනි ජීවීන් බිහිවන බවයි. මේ මතය බිඳ හෙලීමට හැකි වුනේ රේඩි විසින් අරඹන ලද විද්‍යාත්මක පරීක්ෂණ වැඩිදුරටත් දියුණු කිරීමෙනි.

රේඩි පරීක්ෂණ මෙහෙයවුයේ දිරාපත්වන රෙදි කෑලි ඇසුරෙන් නම් නොවේ. කුණු වන මස් වලින් පණුවන් බිහිවන බවට තිබූ මතය බිඳහෙලීමටයි ඔහු පරීක්ෂණ සැලසුම් කළේ. ඔහු ගොඩ නැගූ කල්පිතය තමා වටපිටාවේ සිටින මැස්සන් කුණු වන මස් මත බිත්තර දැමීමෙන් පණුවන් ඇතිවේ යන්න.

එය පරීක්ෂා කිරීමට බඳුන් දෙකකට කුණු වන මස් දමා එකක් වාතයට විවෘතවත් අනෙක මුද්‍රා තබාත් දින කීපයක් තිබෙන්නට හරින ලදී. එවිට විවෘත බඳුනේ පමණක් පණුවන් හටගෙන ඇතිබව නිරීක්ෂණය කිරීමෙන් ඔහුගේ මතය සනාථ විය."

දැන් මෙහි විස්තර කර තිබෙන පරීක්ෂණය මගින් ස්වයංසිද්ධ ජනන වාදය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? ස්වයංසිද්ධ ජනන වාදය කියා කියන්නේ අජීවී ද්‍රව්‍ය වලින් "ඕනෑම අවස්ථාවක" ජීවීන් හට ගත හැකියි කියන එකනම් එය පහසුවෙන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඇත්තටම එය ප්‍රතික්ෂේප කරන්න ඔය වගේ පාලිත පරීක්ෂණයක් කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. කිසියම් අජීවී ද්‍රව්‍යයකින් කිසියම් අවස්ථාවක ජීවීන් හට නොගන්නා බව පෙන්වීම ප්‍රමාණවත්. අජීවී ද්‍රව්‍ය වලින් "ඕනෑම අවස්ථාවක" ජීවීන් හට ගත හැකියි කියා හිතූ මිනිස්සුත් ඉන්න ඇති. එහෙත්, මම හිතන විදිහට වැඩිපුර ඉන්න ඇත්තේ අජීවී ද්‍රව්‍ය වලින් "ඇතැම් තත්ත්වයන් යටතේදී" ජීවීන් හට ගත හැකියි කියා හිතූ අයයි.

අපි හිතමු ස්වයංසිද්ධ ජනන වාදය කියා කියන්නේ අජීවී ද්‍රව්‍ය වලින් "ඇතැම් තත්ත්වයන් යටතේදී" ජීවීන් හට ගත හැකියි කියා කියන එක කියා. මේ මතය ප්‍රතික්ෂේප කරන එකනම් එතරම් පහසු නැහැ. ඒ වගේම ඉහත පරීක්ෂණය වැනි පරීක්ෂණයකින් "වටපිටාවේ සිටින මැස්සන් කුණු වන මස් මත බිත්තර දැමීමෙන් පණුවන් ඇතිවේ" කියන විකල්ප ප්‍රවාදය තහවුරු වෙන්නේත් නැහැ.

මේ විකිපීඩියා පරීක්ෂණය නැවත නැවත සිදු කර එකම ප්‍රතිඵලය ලබා ගත හැකියි කියා අපි හිතමු. එම ප්‍රතිඵලය අතීතයේ සිදු කළ, වර්තමානයේ සිදු කරමින් පවතින, හා අනාගතයේ සිදු කෙරෙන්නට ඉඩ තිබෙන මේ ආකාරයේ සියලුම පරීක්ෂණ වලට සාධාරණීකරණය කළ හැකිය යන විශ්වාසය මත පවා එයින් තහවුරු වන්නේ විවෘත භාජනයක ඇති කුණු වූ මස් මත කවර ආකාරයකින් හෝ ඉහඳ පණුවන් හැදෙන බව හා මුද්‍රා තැබූ භාජනයක එසේ පණුවන් නොහැදෙන බව පමණයි.

කාට හෝ අවශ්‍යනම් තර්ක කරන්න පුළුවන් මුද්‍රා තැබූ භාජනයේ පණුවන් නොහැදුනේ ප්‍රමාණවත් වාතාශ්‍රය නැති කම නිසා මිසක් මැස්සන් නොවැසීම නිසා නොවන බව. මේ පරීක්ෂණයෙන් එවැනි විකල්ප ප්‍රවාදයක් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ.

ඔය පරීක්ෂණය ගැනම වෙනත් ආකාරයක විස්තරයක් රුහුණු සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන පියල් කාරියවසම්ගේ විදුසර ලිපියක දැකිය හැකියි.

"අතීතයේ පැවැති මතයක්‌ වූයේ නරක්‌ වීමට ලක්‌ වන මස්‌වලින් ම එම මස්‌ මත ඉහඳ පණුවන් සෑදෙන බවයි. මෙය එසේ නො වන බවත් නරක්‌ වූ මස්‌ මත මැස්‌සන් බිත්තර දැමීම නිසා ඒවායෙන් ඉහඳ පණුවන් ඇති වන බව ප්‍රැන්සිස්‌කෝ රීඩි යෝජනා කළේ ය. ඔහු ඒ බව ඔප්පු කොට පෙන්වීම සඳහා පාලක ඇටවුමක්‌ සකස්‌ කළේ ය. එක සමාන කට පළල් වීදුරු බෝතල දෙකක්‌ ගෙන ඒ දෙකට ම මස්‌ කැබැල්ල බැගින් දමන ලදී. එක්‌ බෝතලයක පමණක්‌ කට දැල් කොටු සහිත රෙදි කැබැල්ලකින් වසන ලදී. එමගින් වාතය හුවමාරු වීමට ඉඩ දෙන නමුත් මැස්‌සන් ඇතුළු වීම වළක්‌වන ලදී. කට විවෘත ව තැබූ බෝතලයට වාතයට අමතරව මැස්‌සන්ට ද ඇතුළු වීමට හැකියාව පැවතිණි. දින කිහිපයකට පසු බෝතල දෙක නිරීක්‌ෂණය කළ විට කට විවෘත ව තැබූ බෝතලයේ ඇති මස්‌ මත පමණක්‌ ඉහඳ පණුවන් දැකගන්නා ලදී. මේ අනුව නරක්‌ වන මස්‌ මත ඉහඳ පණුවන් ඇති වන්නේ මැස්‌සන් බිත්තර දැමීම නිසා බව ඔප්පු විය. මේ පරීක්‌ෂණයේ දී රෙදි කැබැල්ලෙන් කට වැසූ බෝතලය පාලිත ඇටවුමකි. (පාලක ඇටවුම). මන්ද මැස්‌සා නැමැති විචල්‍යයේ බලපෑමට යටත් නො වූ ඇටවුම එය වන බැවිනි. මෙවැනි පාලිත ඇටවුමක්‌ සකස්‌ කළ නිසා මස්‌ මත ඉහඳ පණුවන් ඇති වීම මැස්‌සන් බිත්තර දැමීම නිසා ම සිදු වූවක්‌ බව තහවුරු විය."

මේ පරීක්ෂණයේදී විකිපීඩියා පරීක්ෂණයේදී මෙන් එක් බෝතලයක් මුද්‍රා තියන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ එහි කට දැල් කොටු සහිත රෙදි කැබැල්ලකින් වැසීමයි. එවිට, මැස්සන්ට ඇතුළු විය නොහැකි වුවත් වාතය හුවමාරු වීම නොවැලැක්වෙන නිසා එක් භාජනයක පණුවන් හැදෙන්නත් අනෙත් භාජනයේ පණුවන් නොහැදෙන්නත් හේතු විය හැකි කරුණු අතරින් තවත් කරුණක් බැහැර කළ හැකි වෙනවා. ඒ අනුව, වාතාශ්‍රය ලැබුණත් මැස්සන්ට කිට්ටු වෙන්න බැරිනම් නරක් වූ මස් වල පණුවන් නොහැදෙන බව කෙනෙකුට තර්ක කළ හැකියි. එය පෙර තර්කයට වඩා ප්‍රබල තර්කයක්.

එහෙත්, මේ විස්තර කර තිබෙන පරීක්ෂණයෙන් වුවත් "මස්‌ මත ඉහඳ පණුවන් ඇති වීම මැස්‌සන් බිත්තර දැමීම නිසා ම සිදු වූවක්‌ බව" තහවුරු වෙන්නේ නැහැ. එයින් වෙන්නේ "මැස්සන් මස්‌ මත බිත්තර නොදමා වුවත් මස්‌ මත ඉහඳ පණුවන් ඇති විය හැකි බව" තහවුරු නොවීම පමණයි. ඒ අනුව, නරක්‌ වීමට ලක්‌ වන මස්‌වලින් ම එම මස්‌ මත ඉහඳ පණුවන් සෑදෙන බව තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැති බව අපට කියන්න පුළුවන්.

පහතින් තිබෙන්නේ ඉහත විදුසර ලිපියේ විස්තර කෙරී ඇති තවත් විද්‍යාත්මක පරීක්ෂණයක්.

"උදාහරණයක්‌ ලෙසට යම් කිසි පොහොර වර්ගයක්‌ ශාක වර්ධනයට ඇති කරන බලපෑම සොයා බලන පරීක්‌ෂණයක්‌ සලකා බලමු. මේ සඳහා පෝච්චිවල සිටුවාගත් ශාක පැළ යොදාගැනීමට පිළිවන.

පෝච්චි කිහිපයක්‌ බැගින් අයත් වන සේ කාණ්‌ඩ කිහිපයක්‌ වෙන් කරගෙන එක්‌ එක්‌ කාණ්‌ඩයට පොහොර වර්ගයෙන් යම් සාන්ද්‍රණ මට්‌ටම් බැගින් ලබා දීමට පිළිවන. එහෙත් තවත් එක්‌ කාණ්‌ඩයකට අයත් වන පෝච්චි සමූහයට පෝෂණ ද්‍රාවණය කොහෙත් ම ලබා දෙන්නේ නැත. මේ පෝෂණ ද්‍රාවණය ලබා නො දෙන කාණ්‌ඩය සෘණ පාලිත කාණ්‌ඩය වේ. ශාකවල සිදු වන වර්ධනයේ වෙනස්‌කම් මේ සෘණ පාලිත කාණ්‌ඩයට සාපේක්‌ෂව සොයාබැලීමක්‌ මෙහි දී සිදු කරනු ලබයි. එමෙන් ම ශාකවල සිදු වූ වර්ධනයේ වෙනස්‌කම් පෝෂණ ද්‍රව්‍යයේ බලපෑම නිසා ම සිදු වූවක්‌ බව තහවුරු කිරීමට ද මේ සෘණ පාලිත කාණ්‌ඩය උපකාරී වේ."

මේ ආකාරයේ විද්‍යාත්මක පරීක්ෂණයක අරමුණ වන්නේ කිසියම් ප්‍රතිඵලයකට හේතු වූ සාධක මොනවාද යන්න සොයා බැලීමයි. මේ උදාහරණයේදීනම් කිසියම් පෝෂණ ද්‍රව්‍යයක් ශාක වල වර්ධනයට හේතු වන්නේද කියන කරුණ තහවුරු කර ගැනීම පරීක්ෂණයේ අරමුණයි. එහිදී පාලිත පරීක්ෂණයක් මගින් කෙරෙන්නේ පාලිත හා පරීක්ෂණාත්මක පෝච්චි අතර කිසියම් නිශ්චිත සාධකයක් පමණක් (මෙහිදී අදාළ පෝෂණ ද්‍රව්‍යය) වෙනස් කරමින් අනෙකුත් සියලුම තත්ත්වයන් සමානව පවත්වා ගැනීමයි. ඔය වැඩේ හරියටම කළා කියා අපි හිතමු. දැන් අපට මේ මල් පෝච්චි දෙක සසඳා නිගමනයකට පැමිණිය හැකිද?

ඉහත පරීක්ෂණයේ මල් පෝච්චි දෙකම අපට නිරීක්ෂනය කළ හැකියි. මෙසේ නිරීක්ෂණය කළ හැකි තත්ත්වයන් අප පරිසිද්ධික තත්ත්වයන් ලෙස හඳුන්වනවා. නමුත්, මෙවැනි පරිසිද්ධික තත්ත්වයන් සසඳා අප‍ට හේතු ඵල සම්බන්ධතා පිළිබඳ නිගමන වලට එළඹෙන්න බැහැ.

අ. පැලයකට කිසියම් පෝෂණ ද්‍රව්‍යයක් ලබා නුදුන් විට එහි වර්ධනය බාල වෙනවාද?

ආ. පැලයකට කිසියම් පෝෂණ ද්‍රව්‍යයක් ලබා දුන් විට එහි වර්ධනය වේගවත් වෙනවාද?

මේ අප‍ට පිළිතුරු අවශ්‍ය වන ප්‍රශ්න දෙකක්. ප්‍රශ්න දෙකට ලැබිය හැකි සෛද්ධාන්තික පිළිතුරු සමමිතික වෙන්න හෝ නොවෙන්න පුළුවන්. ඒ නිසා, මේ එක් එක් ප්‍රශ්නයට පිළිතුර සොයා බැලිය යුත්තේ එකම ආකාරයට නෙමෙයි. අපි පළමු ප්‍රශ්නය ගනිමු.

පැලයකට කිසියම් පෝෂණ ද්‍රව්‍යයක් ලබා නුදුන් විට එහි වර්ධනය බාල වෙනවාද?

ප්‍රශ්නයේ ස්වභාවය අනුව, සාමාන්‍ය තත්ත්වය වන්නේ පැලයකට අදාළ පෝෂණ ද්‍රව්‍යය ලැබීමයි. අපට කිසියම් ක්‍රමයකින් මේ පෝෂණ ද්‍රව්‍යය පැලයට ලැබෙන එක වලක්වා එහි වර්ධනය නිරීක්ෂණය කළ හැකියි. එහිදී අප නිරීක්ෂණය කරන්නේ පරිසිද්ධික තත්ත්වයක් (factual situation). නමුත්, එහිදී නිරීක්ෂණය කළ හැකි වර්ධනය අඩු, වැඩි හෝ සාමාන්‍ය වර්ධනයක්ද යන්න නිගමනය කරන්නේ කොහොමද?

මේ සඳහා අපට කිසියම් සංසන්දනය කිරීමක් කරන්න වෙනවා. පෝෂණ ද්‍රව්‍යය නොලබා වැඩෙන පැලයේ වර්ධනය අප විසින් සංසන්දනය කළ යුත්තේ පෝෂණ ද්‍රව්‍යය ලබා වැඩෙන එම පැලයේම වර්ධනය සමඟයි. මේ දෙක අතර වෙනසක් ඇත්නම් ඒ වෙනසට හේතුව අදාළ පෝෂණ ද්‍රව්‍යයයි. නමුත්, පැලය වර්ධනය වෙන්න ඉඩ ඇරියේ පෝෂණ ද්‍රව්‍යය එයට ලැබීම වළක්වමින්නම්, විකල්ප තත්ත්වය නිරීක්ෂනය කිරීමේ හැකියාවක් අපට සෛද්ධාන්තිකවම නැහැ. එවැනි, නිරීක්ෂණය කළ නොහැකි විකල්ප තත්ත්වයක් ප්‍රතිපරිසිද්ධික තත්ත්වයක් (counterfactual situation) ලෙස හැඳින්වෙනවා.

අපි හිතමු අපේ ප්‍රශ්නය ඉහත දෙවන ප්‍රශ්නය කියා. එනම්, පැලයකට කිසියම් පෝෂණ ද්‍රව්‍යයක් ලබා දුන් විට එහි වර්ධනය වේගවත් වෙනවාද?

මෙය සොයා බැලීමේදී පරිසිද්ධික තත්ත්වය හා ප්‍රතිපරිසිද්ධික තත්ත්වය මාරු වෙනවා. පරිසිද්ධික තත්ත්වය යටතේදී පැලයට අප විසින් අමතර පෝෂක ලබා දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පැලයේ වර්ධනය වේගවත් වෙනවාද කියා අපට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ එම පැලයම අදාළ පෝෂක රහිතව වර්ධනය වන ආකාරය සමඟ සංසන්දනය කිරීමෙන් පමණයි. නමුත්, එය සෛද්ධන්තිකවම නිරීක්ෂණය කළ නොහැකි ප්‍රතිපරිසිද්ධික තත්ත්වයක්.

ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් අපට සෛද්ධාන්තික ලෙසම නිරීක්ෂනය කළ නොහැකියි. ඒ නිසා, අපට විද්‍යාත්මක ක්‍රමය යොදාගෙන නිගමන වලට එළැඹෙන්න වෙන්නේ කිසියම් අමතර උපකල්පන ප්‍රමාණයක් යටතේ පමණයි. මේ උපකල්පන කියා කියන්නේ අපේ විශ්වාස. අවශ්‍යනම් ඇදහීම් කියා කියන්නත් පුළුවන්.

පාලිත පරීක්ෂණයක මූලධර්මය වන්නේ අපට නිරීක්ෂනය කළ නොහැකි ප්‍රතිපරිසිද්ධික තත්ත්වයක් සමාකරණය කිරීමට (simulate) එම ප්‍රතිපරිසිද්ධික තත්ත්වයට ආසන්නයැයි අප විශ්වාස කරන වෙනත් පරිසිද්ධික තත්වයක් ආදේශ කර ගැනීමයි. පෝෂක සහිතව වර්ධනය වන පැලයම අදාළ පෝෂක රහිතව වර්ධනය වන ආකාරය අපට එකවර නිරීක්ෂණය කළ නොහැකි නිසා අප කරන්නේ අදාළ පෝෂක රහිතව වර්ධනය වෙන වෙනත් පැලයක් නිරීක්ෂණය කිරීමයි. ඉන් පසුව අප එම පරිසිද්ධික තත්ත්වය අප නොදන්නා ප්‍රතිපරිසිද්ධික තත්ත්වය වෙනුවට ආදේශ කරගෙන නිගමන වලට එළැඹෙනවා.

අප මෙය කරන්නේ විශ්වාසය මතයි. පරීක්ෂණාගාර තත්ත්වයන් හා පාලිත තත්ත්වයන් සමානව තබා ගන්න අවශ්‍ය වෙන්නේ එසේ තබා නොගත්තොත් අපේ ඉහත කී විශ්වාසය පහසුවෙන් බිඳ වැටෙන නිසයි. අදාළ තත්ත්වයන් සමාන සේ පෙනේනම් අඩු වශයෙන් ප්‍රතිපරිසිද්ධික තත්ත්වය වෙනුවට පරිසිද්ධික තත්ත්වය ආදේශ කර ගැනීම වැරදි බව පැහැදිලිව කියන්න හේතුවක් නැති නිසා අපට හිත හදාගෙන අපේ පාලිත පරීක්ෂනය ගැන සතුටු විය හැකියි.

විද්‍යාත්මක ක්‍රමය වන්නේ ඔබේ පරීක්ෂණ සාම්පලය පාලිත සාම්පලය සමඟ සසඳා නිගමන වලට එළැඹීම නෙමෙයි. අප ඇත්තටම අපේ පරීක්ෂණ සාම්පලය සැසඳිය යුත්තේ පාලිත තත්ත්වයන් යටතේ නිරීක්ෂණය කළ හැකිව තිබුණු එම සාම්පලයම සමඟයි. ඒ වෙනුවට පාලිත සාම්පලය ආදේශ කර ගන්නේ එසේ වෙනස් තත්ත්වයන් යටතේ නිරීක්ෂණය කළ හැකිව තිබුණු එම සාම්පලයම නිරීක්ෂණය කිරීමේ හැකියාවක් අපට නොමැති නිසා ආදේශකයක් ලෙස පමණයි. විද්‍යාත්මක පරීක්ෂණ හරහා නිගමන වලට එළැඹෙන අය මේ මූලික උපකල්පනය අමතක නොකළ යුතුයි.

(Image: https://www.khanacademy.org/science/high-school-biology/hs-biology-foundations/hs-biology-and-the-scientific-method/a/experiments-and-observations)

Monday, February 24, 2020

කෝවිඩ්-19 චීනයෙන් එළියට?


මේ වන විට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 79,731 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 2,627 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ ආසාදිතයින් අතරින් 97%ක් හමු වී තිබෙන්නේත්, මරණ වලින් 99%ක් පමණම සිදුව තිබෙන්නේත් චීනයේ. ඒ අනුව, මෙතෙක් කෝවිඩ්-19 වෛරසය බොහෝ දුරට චීනයට සීමා වෙලයි තිබුණේ.

මේ වෙද්දී ඉහත තත්ත්වය වෙනස් වී තිබෙන බවත්,  චීනයේ වෛරස් බිය ක්‍රමයෙන් තුනී වෙද්දී චීනයෙන් පිටත වේගයෙන් වෛරසය පැතිරෙමින් තිබෙන බවත් පෙනෙන්නට තිබෙනවා. එසේ කෝවිඩ්-19 වේගයෙන් පැතිරෙන ප්‍රධාන රටවල් තුනක් වන්නේ එකිනෙකට ආසන්නව නොපිහිටි දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයයි.

ඊයේ දිනය තුළ දකුණු කොරියාවෙන් අලුත් ආසාදිතයින් 231 දෙනෙකු හඳුනාගෙන ඇති අතර අලුතින් කෝවිඩ්-19 මරණ දෙකක් සිදු වී තිබෙනවා. ඒ සමඟම, දකුණු කොරියාවේ කෝවිඩ්-19 ආසාදිතයින් ගණන 833 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 8 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මෙය දිනක් තුළ ආසාදිතයින් ගණන 38%කින් ඉහළ යාමක්.

ඉතාලියේ කෝවිඩ්-19 ආසාදිතයින් ගණනද දිනක් තුළ 43% කින් එනම් 67කින් ඉහළ ගොස් අලුත් මරණ දෙකක් එකතු වී තිබෙනවා. දැන් ඉතාලියේ කෝවිඩ්-19 ආසාදිතයින් ගණන 224ක්ද, මරණ ගණන 5ක්ද වෙනවා.

කෝවිඩ්-19 වේගයෙන් ව්‍යාප්ත වන තෙවන රට ඉරානයයි. ඉරානයේ ආසාදිතයින් ගණන දිනක් තුළ 64 දක්වා 49% කින් ඉහළ ගොස් තිබෙන අතර ඉරානයේ ඉහළ කෝවිඩ්-19 මරණ අනුපාතයද කැපී පෙනෙනවා. ඊයේ දිනය තුළ සිදු වූ මරණ 4ක්ද සමඟ මේ වන විට ඉරානයේ කෝවිඩ්-19 මරණ ගණන 12ක්.

මීට පෙර සාර්ස් කොරෝනා වෛරසය නිසා වැඩිපුර මිය ගියේ චීන ජාතිකයින්. මර්ස් කොරෝනා වෛරසය නිසා වැඩිපුර මිය ගියේ මැද පෙරදිග කලාපයේ අයයි. කෝවිඩ්-19 මරණ ගණන, ආසාදිතයින් ගණන වගේම ව්‍යාප්තියත් පෙර අවස්ථා දෙකටම වඩා භයංකාරයි.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...