Friday, November 22, 2019
යහපාලන පරීක්ෂණය
අවුරුදු හතරහමාරක් පමණ තිස්සේ සිදු කෙරුණු යහපාලන පරීක්ෂණය මේ වන විට අවසන් වී තිබෙනවා. මෙය ලංකාවේ දේශපාලනය තුළ සිදු කෙරුණු වෙනස්, අළුත් පරීක්ෂණයක්. දැන් ආරම්භ වී තිබෙන්නේද එවැනිම වෙනස්, අළුත් පරීක්ෂණයක්. බොහෝ කරුණු අතින් මේ පරීක්ෂණ දෙක අසමාන වුවත් සමානතාද තිබෙනවා. යහපාලන ආණ්ඩුව හමුවේ වූ ප්‍රධානම අභියෝගය වුනේ ඔවුන්ව බලයට පත් කළ විවිධ, වෙනස් පාර්ශ්ව වල විෂමජාතීය අභිලාශ ගණනාවක් එක වර ඉටු කිරීමයි. එය කළ නොහැකි වූ නිසා ඉතා ඉක්මණින්ම යහපාලන ආණ්ඩුවට මිතුරන් නැති වුනා. අලුත් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයද මීටම සමාන එකක්. මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය මත අලුත් ආණ්ඩුවේ අනාගතය තීරණය වෙනවා. අලුත් ආණ්ඩුව මේ ගැන අවබෝධයකින් කටයුතු නොකරන්න හේතුවක් නැහැ.
මා යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා සක්‍රියව හෝ වක්‍ර ලෙස දායක වූ අයෙකු නෙමෙයි. එවැනි තේරීමක් ඒ අවස්ථාවේදී මා සතුව තිබුණේද නැහැ. ලංකාවේ රාජ්‍ය පාලකයා තෝරා පත් කර ගැනීමට මට දායක විය හැකිව තිබුණු බොහෝ අවස්ථාවලදීද මා ඒ අවස්ථාවන් ප්‍රයෝජනයට ගෙන නැහැ. ඒ, රටේ බහුතරයකගේ කැමැත්ත කුමක් වුවත් ඒ සමඟ අනුගත වීම මට ප්‍රශ්නයක් නොවූ බැවිනුයි. කෙසේ වුවත්, 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම මගේ තේරීමක් වූයේනම් මගේ ඡන්දය මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත හැකිව තිබුණා. ඒ, ඒ අවස්ථාවේදී රාජපක්ෂලාගේ ගමනට තාවකාලිකව හෝ විරාමයක් තැබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වූ බැවිනුයි
රාජපක්ෂලා සමඟ මට පෞද්ගලික ප්‍රශ්න කිසිවක් තිබී නැහැ. දැනටත් නැහැ. රාජපක්ෂ ආණ්ඩුව මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයින්ගෙන් පෞද්ගලිකව මට හොඳක් මිස නරකක් සිදු වී ද නැහැ. එහෙත්, ඒ හේතුව නිසා හෘද සාක්ෂියට එකඟව රාජපක්ෂ ආණ්ඩුවේ අවසන් භාගයේදී කටයුතු සිදු වූ ආකාරය වෙනුවෙන් පෙනී සිටින්නට පුළුවන්කමක්ද නැහැ. 2015දී රාජපක්ෂලා පරාජය වූයේත්, යහපාලන ආණ්ඩුව බලයට පත් වූයේත් ආසන්න කාලයේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් කළ කී දෑ ගැන ඊට පෙර රාජපක්ෂ ආණ්ඩුව සමඟ සිටි බොහෝ දෙනෙක් කළකිරී සිටි නිසායි. විවිධ අය එසේ කළකිරී සිටියේ විවිධ හේතු මතයි.
රාජපක්ෂලා පරාජය කර යහපාලන ආණ්ඩුව පිහිටුවීමට දායක වූ බොහෝ දෙනෙකුට විවිධ අපේක්ෂාවන් තිබුණා. මේ අය ටිකෙන් ටික යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වූයේ ඔවුන් අපේක්ෂා කළ දේවල් යහපාලන ආණ්ඩුවෙන් ඉටු නොවූ නිසා. දැන් බොහෝ දෙනෙක් කියන්නේ යහපාලන ආණ්ඩුව විසින් කළ කෙහෙම්මලක් නැති බවයි. පෙර කී පරිදි මා යහපාලන ආණ්ඩුව පිහිටුවීමට දායක වූ අයෙකු නොවූවත්, යම් හෙයකින් මා එසේ දායක වී තිබුණේනම් මා අද ඒ ගැන කණගාටු වන්නේ නැහැ. 2015දී යහපාලන ආණ්ඩුවෙන් මා යමක් අපේක්ෂා කළේනම් ඒ දෙය ඔවුන් විසින් ඉටු කර තිබෙනවා. ඉතාම සංක්ෂිප්තව කියනවානම් යහපාලන ආණ්ඩුවෙන් මා අපේක්ෂා කළේ වසර කිහිපයක් හෝ ආණ්ඩු නොකර සිටීමයි.
මා සිතූ ආකාරයට සිතූ විශාල පිරිසක් යහපාලනය පිහිටුවීමට දායක වූ අය අතර වුවද සිටියේයැයි මා සිතන්නේ නැහැ. එහෙත්, ඒ වන විට රාජපක්ෂලාගේ ආණ්ඩු කිරීම ඇති වී සිටි යම් පිරිසක් සිටින්නට ඇති. රාජපක්ෂලාට කලකට නිවාඩුවක් දීමෙන් ලබාගත හැකි වූ සාධනීයම ප්‍රතිඵලය යම් තරමකින් හෝ ආණ්ඩු කිරීමෙන් බේරී ටික කලක් සිටිය හැකි වීමයි.
මේ ලිපිය ලියන ළමයා හිතන ආකාරයෙන් ලංකාවේ ළමයි බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. ඒ ළමයින්ට ගුරු විවේකාගාරයට ගොස් ඉන්ටවල් ඉවර වෙන්නත් කලින් ටීචර්ව නැවත පංතියට කැන්දා ගෙන එන්නට තිබුණේ පුදුම හදිස්සියක්. වේවැල අතට ගන්නට ටීචර්ට මතක් කරන්නේත් ළමයින් විසින්මයි. අපේ කාලෙනම් එහෙම නෑ හාමුදුරුවනේ!
රනිල්ගේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව කියන බොහෝ පිරිසක් සිටිනවා. මේ අය දැන් රනිල්ව එපා වී සිටියත්, 2015දී යහපාලන ආණ්ඩුව බලයට රැගෙන ඒමට දායක වූ අයයි. ඔවුන් රනිල්ගෙන් ඒකාධිපතියෙකු බලාපොරොත්තු වන්නට ඇති. දැන් මේ පිරිස රනිල් තුළින් හමු නොවූ ඒ ඒකාධිපතියාව ගෝඨාභය තුළින් සොයනවා.
මා, හොඳ හෝ නරක හෝ, පුද්ගලයින්ගේ චරිත ලක්ෂණ මත ඕනෑවට වඩා බර තබන්නේ නැහැ. එහෙත්, බොහෝ දෙනෙක් එසේ කරනවා. රනිල්, මහින්ද, ගෝඨාභය, සජිත්, අනුර කුමාර, චම්පික වැනි ඕනෑම කෙනෙකු අවශ්‍ය තත්ත්වයන් සැපිරේනම් ඒකාධිපතියෙකු සේ කටයුතු කරන්නට ඉඩ තිබෙනවා. වෙනස් තත්ත්වයන් යටතේ ඒ අයම වැඩ බැරි දාසලා වන්නටද පුළුවන්. ඒ නිසා, ඒ අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කර ගැනීම හෝ වලක්වා ගැනීම මිස පුද්ගලයින්ගේ චරිත ලක්ෂණ සැසඳීම වැඩි තේරුමක් නැති දෙයක්. රනිල්ට ඒකාධිපතියෙකු සේ කටයුතු කරන්නට ඉඩ සැලසෙන වාතාවරණයක් රටේ නොහැදෙන බව වගේම යහපාලන ආණ්ඩුවට කළ හැකි ලබ්බක් නැති බව 2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වන විටද පෙනෙන්නට තිබුණු දෙයක්. පෞද්ගලිකව මටනම් යහපාලන ආණ්ඩුව බලයට පැමිණීම ආකර්ශනීය වුනේම මේ හේතුව නිසා.
ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් අඩු වුනා කියා රටක් අයාලේ යන්නේ නැහැ. ආර්ථිකය වැටෙන්නේද නැහැ. බොහෝ විට ඔය දේවල් වෙන්නේ ටික දෙනෙකු එකතු වී පවතින ක්‍රමය වඩා හොඳින් ප්‍රතිනිර්මාණය කරන්නට යන විටයි.
මා මේ වියුණුව ආරම්භ කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී මාස ගණනකට පසුවයි. ඒ දවස් වල ආණ්ඩුවට ඕනෑ තරම් යාළුවන් හිටියා. ඒ අය ආණ්ඩුව විසින් කළ හොඳ වැඩ ගැන කතා කළ නිසා අපට ආණ්ඩුවේ හොඳ වැඩ අගය කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ආණ්ඩුව වැරදි පාරවල් වල යන විට වෙනත් අය ඒ ගැන කතා කර නැති අවස්ථා වලදී අප පෙන්වා දුන්නා. පරණ ආණ්ඩුවට වැරදි පටවන අවස්ථා වලදීත් අප ඒ බව පෙන්වා දුන්නා. එහෙත්, පරණ ආණ්ඩුවේ වැරදි අප වැඩිපුර කතා කළේ නැහැ. අප අතීතයේ සිදු වූ වැරදි ගැන කතා කරන්නේ ඒ වැරදි වලින් ඉගෙන ගෙන වර්තමානය නිවැරදි කර ගන්නට අවස්ථාවක් ඇති විටයි. ඒ නිසා, ගෙදර ගිය ආණ්ඩුවක් බලයේ සිටිද්දී කළ දේ විවේචනය කිරීමේ වැඩි තේරුමක් තිබුණේ නැහැ.
වැඩි කල් නොයා යහපාලන ආණ්ඩුවට යාළුවන් නැති වී ගියා. ඉන් පසුව, යහපාලන ආණ්ඩුව අසාධාරණ සේ විවේචනයට ලක් වන විට අප නියම තත්ත්වය පැහැදිලි කළා. එක් එක් අය එය දකින්නේ තමන්ගේ දැනුම් සීමාවන් තුළයි. එක් ආගමික මතයක සිරකරුවකු වී සිටින අයෙකු වෙනත් අයව දකින්නේ වෙනත් ආගමික මතයක සිරකරුවකු ලෙසයි. එක් වර්ගයක ජාතිවාදීයෙකු වෙනත් අයව දකින්නේ වෙනත් වර්ගයක ජාතිවාදීයෙකු ලෙසයි. දේශපාලන පක්ෂයක රාමුව ඇතුළේ හිර වී සිටින අය අනෙක් අය දකින්නේ වෙනත් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින අය ලෙසයි. ඒ ගැන අපට කරන්න දෙයක් නැහැ.
යහපාලන ආණ්ඩුව නිසා රට බෙදෙනවා කියන එක දිගින් දිගටම කියැවුණු කතාවක්. උවමනාවක් තිබුණත් බලය බෙදීමක් වැනි දෙයක් කිරීමේ හැකියාවක් යහපාලන ආණ්ඩුවට තිබුණේ නැහැ. එවැන්නක් කිරීමේ හැකියාව තිබෙන්නේ සිංහල බහුතරයකගේ විශ්වාසය දිනා සිටින ආණ්ඩුවකට පමණයි.
යහපාලන ආණ්ඩුව කාලයේ රටේ ආර්ථික වර්ධනය ටිකින් ටික අඩු වුනා. අමුතු කතාවක් වගේ පෙනෙන්න පුළුවන් වුවත් මෙය තමයි යහපාලන ආණ්ඩුව විසින් කළ සුවිශේෂී කාර්යය. ක්‍රෑෂ් වෙන්න යන ආර්ථිකයක් ක්‍රෑෂ් වෙන එක වලක්වා සොෆ්ට් ලෑන්ඩින් එකක් කරන එක, ටේක් ඕෆ් එකක් හරියට කරනවාට වඩා අමාරු දෙයක්. රාජපක්ෂ ආණ්ඩුවේ සිටි අයගේ ආර්ථික විද්‍යා දැනුමේ අඩුවක් නොතිබුණත් පැවති දේශපාලනික තත්ත්වය අනුව රාජපක්ෂ ආණ්ඩුව යටතේ මේ සොෆ්ට් ලෑන්ඩින් එක කීයටවත් මේ ආකාරයට සිදු වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂට කෝච්චියට නැග ගන්න පුළුවන් වෙන්න කෝච්චිය නැවතුනේ රනිල් කෝච්චියට බෙල්ල තියපු නිසයි.
වෙන්න යන දේ රාජපක්ෂ ආණ්ඩුව දැන සිටියා. කරන්න අවශ්‍ය පිළියමුත් දැනගෙන සිටියා. ඒත් අවශ්‍ය පිළියම් කළානම් සිදුවන දේශපාලන හානියට මුහුණ දෙන්න ඔවුන් සූදානම්ව සිටියේ නැහැ. යම් හෙයකින් 2015 ජනවාරියේදී තෙවන වරට මහින්ද රාජපක්ෂ දිනුවානම්, ඒ ආණ්ඩුවට ගෙවුම් ශේෂ අර්බුදයකට ඉතා ඉක්මණින් මුහුණ දෙන්න වෙනවා. රාජපක්ෂ ආණ්ඩුව හිටියේ අර්බුදයට පිළියම් යොදනවා වෙනුවට අර්බුදයට රට සූදානම් කරන මානසිකත්වයකයි. විදුලි පුටු කතා හරහා කළේ ඒකයි. රාජපක්ෂ ආණ්ඩුව අන්තිම කාලයේ ක්‍රියා කළ ආකාරය අනුව පෙනුනේ බටහිර රටවලින් සම්බාධකයක් වැටෙන තුරු මග බලාගෙන සිටි බවකුයි.
ලොකු ආර්ථික අර්බුද ලංකාවට පුරුදු නැහැ. ලංකාවේ ආර්ථිකය සංකෝචනය වී තිබෙන්නේ එකම එක වරක් පමණයි. ඒත් යාන්තමින්. පහුගිය අවුරුදු හතරේත් එක දිගටම ආර්ථිකය වර්ධනය වුනා මිස ආර්ථිකය හැකිළී නැහැ. ගෙවුම් ශේෂ අර්බුදයක් නිසා එක වරම ආර්ථිකයේ ප්‍රමාණය සීයට විස්සකින් විසිපහකින් කුඩා වෙන්න පුළුවන්. ඇතැම් සිස්ටම් චේන්ජ් කණ්ඩායම් උකුස්සන් වගේ බලා ඉන්නේ එවැනි තැනකට රට වැටෙන තුරුයි. ලංකාවට බටහිර සම්බාධකයක් වැටුනානම් එය බර පැටවූ බූරුවාගේ කොන්ද කඩන අන්තිම පිදුරු ගහ වෙනවා. ඒ නිසා, බූරුවාගේ කොන්ද කැඩුනේ ඒ පිදුරු ගහ නිසා බව මිනිස්සුන්ට කියන්න රාජපක්ෂ ආණ්ඩුවට හැකි වෙනවා.
යහපාලන ආණ්ඩුව බෙල්ල තියන්නේ දුවන කෝච්චියකට බව රාජපක්ෂලා දැන සිටියා. ඒ වගේම, රනිල්ලාත් දැන සිටියා. නමුත්, රාජපක්ෂලා වගේම රනිල්ලාත් ඒ බව සඟවමින් මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දුන්නා. ආර්ථිකය ප්‍රසාරණය කරන ආකාරය ගැන රනිල්ලා කතා කළේ කිසිදු ප්‍රායෝගික සැලැස්මක් නැතුවයි. රාජපක්ෂලාගේ හොරකම් හා දූෂණ නැවැත්වූ පසු ඒ සල්ලි වලින් ආර්ථිකය ගොඩ දැමිය හැකි බව ඇතැම් අය කිවුවා. මේ වගේ බොරු යහපාලන ආණ්ඩුවට පාරාවළල්ලක් වුනා. කොහොම වුනත් යහපාලන ආණ්ඩුවේ ඓතිහාසික කාර්ය භාරය දැන් ඉවරයි. ජවිපෙත් එකතු කරගෙන නැවත වරක් ශක්තිමත් පොදු අපේක්ෂයෙක් දමලා යම් හෙයකින් ගෝඨාභයව පැරැද්දුවා වුනත් ඉන් පස්සේ නැවත වැටෙන්නේ 2015 ජනවාරියේදී හිටපු තැනටමයි.
යහපාලන ආණ්ඩුව ක්‍රෑෂ් ලෑන්ඩින් එකක් වැලැක්වුවත් එතැනින් එහාට ලොකු මැජික් එකක් කරලා නැහැ. ඒ නිසා, පොඩි කුෂන් එකක් තිබුණත් අලුත් ආණ්ඩුවට හිතේ හැටියට පිස්සු කෙළින්න පුළුවන් කමක් නැහැ. එහෙම පිස්සු කෙළියි කියා මම හිතන්නෙත් නැහැ.
(Image: http://www.dailynews.lk/2016/09/09/features/92736)
Labels:
දේශපාලනය,
යහපාලනය,
රනිල් වික්‍රමසිංහ
Thursday, November 21, 2019
අයියාට මේ රජ ගේ...
මහින්ද රාජපක්ෂ තෙවන වරටත් ලංකාවේ අගමැති සේ දිවුරුම් දී තිබෙනවා. ජනාධිපතිවරණයකින් පසුව ආණ්ඩුව මාරු වීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් නැතත්, රනිල් වික්‍රමසිංහ විසින් ජනමතය වෙනස් වී ඇති ආකාරය තේරුම් ගෙන අගමැති කමින් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීම නිසා බල හුවමාරුව සුමට ලෙස සිදු වී තිබෙනවා. ඉදිරියේදී නැවත වටයකින් සිදු වීමට නියමිත එජාපයේ බිඳ වැටීමෙන් පසුව රාජපක්ෂ වරුන්ගේ දේශපාලන බලයට නුදුරු කාලයක ලොකු අභියෝගයක් ඇති වීමේ හැකියාවක් පෙනෙන්න නැහැ.
මෙවර මහින්ද රාජපක්ෂ අගමැති සේ දිවුරුම් දෙන්නේ තමන්ගේ බාල සහෝදරයා ඉදිරිපිටයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්. ඡායාරූපයේ වම් පසින් ඉන්න පී බී ජයසුන්දර එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම්. 2015 පරාජය දක්වා ආණ්ඩුවේ බරෙන් විශාල කොටසක් ඇද්දේ මේ තුන් දෙනා කියා කියන්න පුළුවන්. ඒ කාලයේ සිදු වූ හොඳ හෝ නරක බොහෝ දේවල් වලට මේ තිදෙනාගෙන් අයෙකුගේ කවර හෝ සම්බන්ධයක් තිබුණා. එවැනි තවත් කිහිප දෙනෙක්ද සිටියා.
අලුතෙන් පිහිටවනු ලබන ආණ්ඩුව ඇතුළේ පරණ රාජපක්ෂ ආණ්ඩුවේ මූණුම දකින්න ලැබුණොත් එහි ලොකු පුදුමයක් නැහැ. එහෙත්, අලුත් ආණ්ඩුව පරණ රාජපක්ෂ දශකයේම දිගුවක් වෙයි කියා කියන්න බැහැ. ප්‍රධාන පුද්ගලයින් එසේම සිටියත් ඔවුන්ගේ අලුත් භූමිකා පරණ ඒවාම නෙමෙයි. ගෝඨාභය හා මහින්ද සොහොයුරන් වුවත් ඔවුන් දෙදෙනා අතර මූලික වෙනස්කම් ගණනාවක් තිබෙනවා. මේ වෙලාවේ බලාපොරොත්තු තියන්න වෙන්නේ මේ වෙනස්කම් සංයෝජනය වීම තුළින් ලැබිය හැකි හොඳ ප්‍රතිඵල පිළිබඳවයි. මෙය විස්තරාත්මකව කතා කළ යුතු කරුණක්. දැන් එයට අවස්ථාව නෙමෙයි.
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහේ ඇදගෙන ගියත් අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ. අලුත් ආණ්ඩුවටත් මහ මැතිවරණය වන තුරු තරමක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව පරණ ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම ගැන හිත හිතා ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ.
වැඩි විස්තර පසුව කතා කරමු! දැනට අපි අලුත් ආණ්ඩුවට සුබ පතමු!!
Labels:
ගෝඨාභය රාජපක්ෂ,
දේශපාලනය,
මහින්ද රාජපක්ෂ
Wednesday, November 20, 2019
පහ පාස් නැති අයගේ ප්රශ්නය
ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසුවත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව දිගටම පවත්වා ගැනීම ප්‍රායෝගිකව ඉතා අසීරු දෙයක්. අමාරුවෙන් ආණ්ඩුව තව මාස කිහිපයක් ඇද ගත්තා කියා කළ හැකි දෙයක් ඇත්තේත් නැහැ. යහපාලන ආණ්ඩුවේ "ඓතිහාසික කාර්ය භාරය" දැන් අවසන්. ඒ නිසා, අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම රනිල්ට මේ වෙලාවේ කළ හැකි හොඳම දෙය බව ඉතාම පැහැදිලියි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව මෙවැනි තත්ත්වයක් ඇති වී තිබුණේ නැහැ. ඒ වෙලාවේ පොදුජන පෙරමුණට ලැබුණේ 40.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
රටේ ජනමතය වෙනස් වී ඇති බව පැහැදිලි වුවත්, ඒ හේතුව මත මහ මැතිවරණයකට යාම අනිවාර්ය නැහැ. නියමිත කාලයට මහ මැතිවරණය තැබීමේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හරිනවානම් එය කරන්න වෙන්නේ නියමිත ක්‍රමයටයි. නියමිත ක්‍රමයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිනම් එහි ඇති වරදකුත් නැහැ. මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ඔය දෙකෙන් එකක්වත් ගැන නෙමෙයි.
වාර්තා වී තිබෙන ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන එක ගැන රනිල්ගේ විරුද්ධත්වයක් නැහැ. නමුත්, පාර්ලිමේන්තුවේ සිටින නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වීම ගැන සලකා බලා පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට රනිල් හා ගෝඨාභය එකඟ වී ඇති බව වාර්තා වෙනවා. කෝටි දෙකකගේ ජීවිත වලට විශාල ලෙස බලපාන තීරණයක් ගැනීමේදී පුද්ගලයින් හතළිස් දෙනෙකුගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය ලැබීමේ පැහැදිලි අවුලක් තිබෙනවා. මේ මෙවැන්නක් සිදුවන පළමු අවස්ථාව නෙමෙයි. බොහෝ විට අවසන් අවස්ථාව වන එකකුත් නැහැ.
ප්‍රසිද්ධියේ මොනවා කිවුවත් මහජන නියෝජිතයින් කියන බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ පළමුව තමන් දෙවනුව රට කියන පදනමින් බව රහසක් නෙමෙයි. එය සාමාන්‍ය මිනිස් ස්වභාවය. මේ තත්ත්වය යොදා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට බලපෑම් කිරීම ජනාධිපතිවරුන් කිහිප දෙනෙක් විසින්ම කළ දෙයක්. දහනවවන සංශෝධනයෙන් පසුව තත්ත්වයේ වෙනසක් සිදු වී තිබෙනවා. කළින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියමින් නවක මන්ත්‍රී වරුන් බිය ගන්වා ඔවුන්ගේ තීරණ වලට බලපෑම් කළ හැකි වුනා. දැන් එය කළ නොහැකි නිසා රටටම බලපාන තීරණයක් ගැනීමේදී ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ වලට මුල් තැන දෙනවා. ඔය දෙකෙන් එකක්වත් හොඳ දේවල් නෙමෙයි.
පස් අවුරුද්දක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන අයෙකුට ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් ලැබීම හා පස් අවුරුද්ද සම්පූර්ණ නොකළ අයට එය නොලැබීමෙන් මන්ත්‍රී වරුන් ගන්නා "ස්වාධීන" තීරණ වල විශාල විකෘතියක් ඇති වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීමටත් මෙහි සම්බන්ධයක් තිබෙනවා. මේ විකෘතිය කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ස්වේච්ඡාවෙන් නිවැරදි කරන්නේ නැහැ. විවිධ මත දරන පක්ෂ වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙවැනි කටයුත්තකදී ක්‍රියා කරන්නේ වෘත්තීය සමිතියක සාමාජිකයින් ලෙසයි. තත්ත්වයේ වෙනසක් විය හැක්කේ ඔවුන් මත බාහිරින් පීඩනයක් ඇති වුනොත් පමණයි.
සාමාන්‍යයෙන් කිසිම රැකියාවක් කරන කෙනෙකුට වසර පහකින් පසුව ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් හිමි වන්නේ නැහැ. ඒ නිසා, මේ විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කළ යුතුයි කියා කෙනෙකුට තර්ක කළ හැකියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුත්තේ මන්ත්‍රීකම නැති වූ පසු කිසිදු රැකියාවක් කළ නොහැකි නිකමුන් පිරිසක් නොවන බවත් කෙනෙකුට කියන්න පුළුවන්. අනෙක් අතට සී. ඩබ්ලිවු. ඩබ්ලිවු. කන්නන්ගර වැනි පුද්ගලයින්ට අවසන් කාලයේ ජීවත් වීමට ක්‍රමයක් නොතිබුණු බව වැනි ප්‍රතිවිරුද්ධ තර්ක ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ එක්කම, හැත්තෑ හතට පෙර මන්ත්‍රීවරුන් හා ඉන්පසු කාලයේ මන්ත්‍රීවරුන් අතර වෙනස සසඳමින් කන්නන්ගර උදාහරණය අදට නොගැලපෙන බව කියන්නත් පුළුවන්. ඔය මොන තර්ක ඉදිරිපත් කළත් තමන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ගැනීම සඳහා ඔය පිරිස අත උස්සන එකක් නැහැ.
වඩා හොඳ හා ප්‍රායෝගික ක්‍රමයක් වන්නේ මන්ත්‍රී විශ්‍රාම වැටුප දායක විශ්‍රාම වැටුපක් බවට පරිවර්තනය කිරීමයි. සෑම මන්ත්‍රීවරයෙකුගේම මාසික වැටුපෙන් යම් ප්‍රතිශතයක් කපා ගෙන, සමානුපාතිකව තවත් මුදලක් එකතු කර විශ්‍රාම වැටුප් අරමුදලකට යොමු කිරීමෙන් මෙය කළ හැකියි. ඉන් පසුව, එක් එක් පුද්ගලයාට තමන් කැමති විශ්‍රාම වයසකින් පසුව මාසිකව මේ අරමුදලින් විශ්‍රාම වැටුපක් ලබා ගත හැකියි.
අරමුදලේ ඇති මුදල් ප්‍රමාණය හා විශ්‍රාම ගන්නා වයස අනුව මසකට ලැබෙන මුදල නිර්ණය කිරීමෙන් ගෙවීම් හා ලැබීම් අතර ආයුගණක සමතුලිතතාවය පවත්වා ගත හැකියි. මේ ක්‍රමය අනුව ජීවිත කාලයම මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන අයෙකු සතුව සැලකිය යුතු මුදලක් එකතු වන අතරම වසර කිහිපයක් පමණක් මන්ත්‍රී ධුරය දරන අයෙකුට වුවත් යම් මුදලක් ලැබෙන නිසා පහේ සීමාව ජාතික වැදගත් කමක් තිබෙන තීරණ වලට බලපාන එක අවම කර ගත හැකියි.
(Image: https://lankainformation.lk/news/business-news/item/8639-15-20-new-draft-bills-on-sri-lanka-economy-to-be-presented-in-parliament-soon)
Labels:
තෝරාගැනීම්,
දේශපාලනය
Tuesday, November 19, 2019
වැසිකිළි දිනය සමරමු!
ලංකාවේ ගොඩක් අය ඉන්දියාව ගැන කතා කරද්දී ඉන්දියාව සමච්චලයට ලක් කරන්නේ රටේ විශාල පිරිසකට වැසිකිළි පහසුකම් නැති බව කියමිනුයි. මේ කතාව බොරුවක් නෙමෙයි. ලෝකයේ සිටින විවෘත අවකාශයට මළපහ කරන මිලියන 892ක පමණ පිරිසකගෙන් මිලියන 600ක් පමණම ඉන්නේ ඉන්දියාවේ. මේ ප්රශ්නය ආර්ථික ප්‍රශ්නයක් වුවත් එහි සංස්කෘතික සංරචකයක්ද තිබෙනවා. විවිධ ස්වේච්ඡා සංවිධාන විසින් වැසිකිළි හදා දීමෙන් පසුව ඒ වැසිකිළි වල ධාන්‍ය ගබඩා කර හෝ සතුන් කූඩු කර කලින් මෙන්ම විවෘත අවකාශයට මළපහ කරන අය දැකිය හැක්කේ ඒ නිසයි.
ඉන්දියාව වැනි අසල්වැසි රටවලට සාපේක්ෂව ලංකාවේ වැසිකිළි පහසුකම් වල තත්ත්වය නරක නැතත් හොඳටම හොඳයි කියා කියන්නත් බැහැ. 2016 ජනවිකාශ හා සෞඛ්‍ය සමීක්ෂණයට අනුව ලංකාවේ වැසිකිළි පහසුකම් නැති නිවාස ඒකක ගණන 2%ක් පමණ වුවත්, සෞඛ්යාරක්ෂක වැසිකිළි තිබෙන්නේ නිවාස ඒකක වලින් 91%ක පමණයි. වතු නිවාස වල මේ ප්‍රතිශතය 79%ක් පමණයි. ඒ වගේම පොදු ස්ථාන වලත් වැසිකිළි පහසුකම් වල අඩුපාඩු බොහෝ තිබෙනවා.
ලංකාවේ වැසිකිළි ප්රශ්නය ගැන පසුගිය අයවැයෙන් අවධානය යොමු වී තිබුණා. රටේ වැසිකිළි ප්රශ්නය වසර තුළ විසඳා අවසන් කිරීමේ අරමුණින් රුපියල් බිලියන හතරක පමණ විශාල මුදලක් වෙන් කෙරී තිබුණා. අපේක්ෂා කළ ඉලක්කය කොයි තරම් දුරකට ළඟා කරගෙන ඇත්දැයි මා දන්නේ නැහැ. මීට පෙර පාසැල් වල වැසිකිළි පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන්ද අයවැයෙන් මුදල් වෙන් කර තිබුණා. ඇතැම් අධ්‍යයන අනුව වැසිකිළි පහසුකම් වෙනුවෙන් සිදු කරන රුපියලක ආයෝජනයක ප්‍රතිලාභය රුපියල් පහකටත් වඩා වැඩියි. ප්රතිලාභ ලැබෙන ප්‍රධානම ආකාරය වන්නේ වතුරෙන් බෝවන රෝග පැතිරීම විශාල ලෙස අඩුවීමයි.
ලංකාවේ වුවත් වැසිකිළි ප්රශ්නය ඇතුළේ ආකල්ප ප්‍රශ්නයක් තිබෙනවා. පසුගිය දවසක මිතුරෙකු විසින් වත්පොතේ පළ කර තිබුණු ලංකාවේ පළමු පන්තියේ දුම්රිය මැදිරියක වැසිකිළියේ ඡායාරූපය මා මෙහි නැවත පළ කරන්නේ නැහැ.
දැනට දශක කිහිපයකට පෙර මා සේවය කළ තැනක ඉහළ තනතුරක් දැරූ තැනැත්තියක් ඇගේ දරුවෙකුට සහකරුවෙකු හෝ සහකාරියක සොයමින් සිටියා. ඈ ඒ දවස් වල කියූ කතාවක් වුනේ මංගල යෝජනාවක් හා අදාළව ගෙදරකට ගිය විට බොරු උවමනාවක් පෙන්වා හෝ අනිවාර්යයෙන්ම වැසිකිළියට යන බවයි. ඇගේ අදහස අනුව ගෙදර වැසිකිළිය පරීක්ෂා කළ විට ගෙදර ජීවත් වන මිනිස්සු ගැන බොහෝ දේ දැනගත හැකියි. පෞද්ගලිකව මා මගේ ඇතැම් රැකියා තීරණ වලදී පවා රැකියා ස්ථානයේ වැසිකිළියටත් යම් බරක් දී තිබෙනවා. ජීවිතයෙන් බාගයක්ම ගෙවන තැන වැසිකිළිය යාමට අප්‍රසන්න තැනක්නම් එවැනි තැනක රැකියාවක් කිරීම ප්‍රසන්න අත්දැකීමක් නෙමෙයි.
වැසිකිළි ගැන කතාවක් ඇදලා ගත්තේ අද (නොවැම්බර් 19) ලෝක වැසිකිළි දිනය නිසයි. ලෝක වැසිකිළි සංවිධානය විසින් 2001 වසරේ සිට සමරන වැසිකිළි දිනය එක්සත් ජාතීන්ගේ සංගමය විසින් 2013 සිට නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. ලෝක වැසිකිළි දිනය සේ නම් කර තිබෙන නොවැම්බර් 19 දිනයම ජාත්‍යන්තර පිරිමි දිනය ලෙසද තෝරාගෙන තිබීම අහම්බයක් විය යුතුයි!
Monday, November 18, 2019
ඡන්ද භාවිතයේ වාර්ගික හා ආගමික රටා
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද භාවිතා වී තිබෙන්නේ වාර්ගික හා ආගමික පදනමකින් කියන එක කිසිවෙකුට රහසක් නෙමෙයි. ඒ වගේම, මෙය අලුත් දෙයකුත් නෙමෙයි. පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ඡන්ද භාවිතා වුනෙත් වාර්ගික හා ආගමික පදනමකිනුයි.
පසුගිය ජනාධිපතිවරණයේදී බහුතර සිංහල බෞද්ධ කණ්ඩායමේ ඡන්ද වලින් බහුතරය ලබාගත් අපේක්ෂකයා පරාජය වුවත් මෙවර සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි. වෙනසට හේතුවී තිබෙන්නේ බහුතර කණ්ඩායමේ ඡන්ද භාවිතය වෙනස් වීමයි. මෙවර ගෝඨාභය විසින් ශ්‍රී ලාංකික දෙමළ හා හින්දු ඡන්ද ලබාගෙන තිබෙන්නේ 2015දී මහින්ද ලබාගත්තාට වඩා අඩුවෙන්. ඉන්දියානු දෙමළ, ශ්‍රී ලංකා යෝනක, ඉස්ලාම් ඡන්ද වල ලොකු වෙනසක් වී නැහැ. සමස්තයක් ලෙස, 2015 හා 2019 අතර සුළුතර කණ්ඩායම් වල ඡන්ද භාවිතය වෙනස්වීම දෙස ප්‍රමාණාත්මක ලෙස බැලූ විට ප්‍රතිඵලයට බලපෑමක් කරන තරමින් වෙනස් වී නැහැ.
ප්‍රතිඵලය වෙනස් කිරීමට හේතු වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම බස්නාහිර හා දකුණු පළාත් වල සිංහල බෞද්ධ නාගරික හා අර්ධ නාගරික ඡන්දයි. මේ පළාත් දෙකේ පමණක් 2015දී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් ඡන්ද ලක්ෂ හයක් පමණ ගෝඨාභය වෙතට විතැන් වී තිබෙනවා. මේ වෙද්දී ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵලය තීරණය කරන්නේ මේ කණ්ඩායම විසින් බව පැහැදිලියි.
පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල වල වාර්ගික හා ආගමික සංයුතිය පිළිබඳ සංඛ්‍යානමය විග්‍රහයක් මා ඒ දින වල පළ කළා. මෙවර ප්‍රතිඵලයද ආගමික හා වාර්ගික වෙනස්කම් පදනම් කරගත් සංඛ්‍යානමය ආකෘතියක් මගින් මුළුමනින්ම මෙන් පැහැදිලි කළ හැකියි. මේ අනුව පෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගෙන තිබෙන ඡන්ද වලින් 93.5%ක්ම සිංහල ඡන්ද බවයි. මෙයින්ද 90.2%ක් පමණ බෞද්ධ ඡන්දයි.
සජිත්ගේ ඡන්ද වලින් අඩක් පමණම සිංහල නොවන ඡන්ද වන අතර ඉතිරි අඩ සිංහල ඡන්දයි. මෙවර මැතිවරණ ප්‍රචාරණයේදී ජාතිවාදයට එරෙහිව සෘජුව පෙනී සිටි ජවිපෙ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක විසින් මෙන්ම සිවුවන තැනට පැමිණි මහේෂ් සේනානායක විසින්ද මුළුමනින්ම වාගේ ලබා ගෙන තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්දයි. වාර්ගික ඡන්ද වෙනුවෙන් තරඟ කළ හිස්බුල්ලා හා සිවාජිලිංගම් විසින් අදාළ කණ්ඩායම් අතරින් ඡන්ද ලබා ඇතත්, දෙමළ හා ශ්‍රී ලංකා යෝනක ප්‍රජාව විසින් ප්රමුඛ අපේක්ෂකයා ලෙස තෝරාගෙන තිබෙන්නේ සජිත් ප්‍රේමදාසවයි.
රාජාලියා ලකුණින් තරඟ කළ ආරියවංශ දිසානායක විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණ බොහෝ දුරට සජිත්ගේ ඡන්ද වලට සමානුපාතිකයි. ඒ නිසා, රාජාලියාව ඇතැම් ඡන්දදායකයින් විසින් පියාඹන හංසයෙකු සේ හඳුනාගෙන ඇති බව බැහැර කළ නොහැකි ප්‍රවාදයක්. මේ ආකාරයෙන්ම දකුණේ ග්‍රාමීය ප්‍රදේශ වලදී අජන්තා පෙරේරා හා රොහාන් පල්ලෙවත්ත විසින් ලබා ඇති ඡන්ද ගෝඨාභයගේ ඡන්ද වලට සමානුපාතිකයි. ඡන්ද පත්‍රිකාවේ දැකිය හැකි පොල් ගෙඩිය හා බැලුම් බෝලය නෙලුම් පොහොට්ටුවකින් වෙන් කර හඳුනාගැනීම අසීරු වීම මීට හේතුව විය හැකියි.
Labels:
ජනාධිපතිවරණය,
මැතිවරණ ප්‍රතිඵල,
සංඛ්‍යානය
Sunday, November 17, 2019
නව ජනාධිපතිට සුබපැතුම්!
ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය, ඉතා පැහැදිලිව නොවූවත්, මුල සිටම පෙනෙන්නට තිබුණු දෙයක්. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ හා එම පෙරමුණ සමඟ එක්ව කටයුතු කළ අනෙකුත් කණ්ඩායම් විසින් 43%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එජාපය හා සජිත්ට සහයෝගය දුන් දෙමළ, මුස්ලිම් පක්ෂ හා කණ්ඩායම් සියල්ලම විසින් ලබා ගත්තේ 36%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ශ්රීලනිපය/එජනිසය විසින් 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ජනාධිපතිවරණයේදී එම ඡන්ද වලින් 75%ක් පමණ ගෝඨාභය රාජපක්ෂ විසිනුත් ඉතිරි 25% සජිත් ප්‍රේමදාස විසිනුත් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව ජවිපෙ ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක්ද සජිත් ප්‍රේමදාස වෙත විතැන් වී තිබෙනවා.
ඡන්ද ප්‍රතිඵලයේ තිබෙන කණගාටුදායකම කරුණ ජනවාර්ගික ධ්‍රැවීකරණයයි. ගෝඨාභය රාජපක්ෂ විසින් මුළුමනින්ම වාගේ ලබාගෙන තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්දයි. උතුරු නැගෙනහිර මෙන්ම, පුත්තලම හා මාවනැල්ල වැනි තැන් වලත්, මීගමුවේ හා වත්තලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් දැකිය හැක්කේ වෙනත්ම රටාවක්. ගෝඨාභය රාජපක්ෂට දිවුරුම් දෙන්න සිදු වී තිබෙන්නේ බෙදුණු රටක ජනාධිපති ලෙසයි. සුළුතර වාර්ගික කණ්ඩායම් වල සහයෝගය නොලබා ජනාධිපති වීම සතුටු විය හැකි කරුණක් නෙමෙයි. අනෙක් අතට බහුතර කණ්ඩායමේ සහාය නොලබන අයෙකු සුළුතරයේ බහුතර කැමැත්තෙන් ජනාධිපති සේ පත් වූවානම් එය ඊටත් වඩා අවුලක්.
ජනාධිපතිවරණ සමයේ කවුරු මොනවා කිවුවත් ගෝඨාභය රාජපක්ෂට භාරගන්න වෙන්නේ මෙතෙක් තිබුණු රට මිස අමුතු අලුත් රටක් නෙමෙයි. ජනාධිපති හෝ ආණ්ඩුව වෙනස් වුනා කියා රට හමුවේ තිබෙන අභියෝග වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. පහුගිය ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ ආර්ථිකය වැටෙන්න නොදී අල්ලාගෙන හිටියත් එහි ආකෘතිමය ප්‍රශ්න තවමත් එසේම තිබෙනවා. ආණ්ඩුව වෙනස් වුනා කියා ඒ ප්‍රශ්න වල ස්වරූපය එක රැයින් වෙනස් වන්නේ නැහැ.
දේශපාලනිකව බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ හමුවේ තිබෙන ලොකුම අභියෝගය වන්නේ අත පුච්චා නොගනිමින් ඔහුව බලයට පත් කළ සිංහල බෞද්ධ බහුතර කණ්ඩායමේ අපේක්ෂාවන් ඉටු කිරීමයි. එක් වැරදි තීරණයකින් වීරයා ද්‍රෝහියකු වෙන්න පුළුවන්. තවත් කියන්න බොහෝ දේවල් තිබෙනවා. ඒවා පසුවට තියමු.
අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපේ සුබ පැතුම්!
Labels:
ගෝඨාභය රාජපක්ෂ,
ජනාධිපතිවරණය,
මැතිවරණ ප්‍රතිඵල
Saturday, November 16, 2019
කවුරු දිනයිද?
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ඉදිරි පැය කිහිපය ඇතුළත නිකුත් වීමට නියමිතයි. අවසන් ප්‍රතිඵලය ගැන නිශ්චිතව යමක් කියන්න තවමත් කල් වැඩියි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස හැර වෙනත් අයෙකු විසින් ජනාධිපතිවරණය ජය නොගන්නා බව ඉතා පැහැදිලියි.
තැපැල් ඡන්ද හෝ දකුණේ දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රකාශ වී ඇති ආකාරය දෙස පමණක් බලා සමස්ත ප්‍රතිඵලය ගැන ස්ථිරව යමක් කිව නොහැකි වුවත් ඡන්ද භාවිතා වී ඇති ආකාරයේ දිශානතීන් ගැන යම් අදහසක් ගත හැකියි. ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස විසින් පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගන්නනම්, වලංගු ඡන්ද වලින් 50%ක් ලබා ගත යුතුයි. අපගේ ඇස්තමේන්තු අනුව මේ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලක්ෂ 66කට ආසන්න ප්‍රමාණයක්.
ගෝඨාභය හෝ සජිත් විසින් මේ ඡන්ද ප්‍රමාණය ලබා ගන්නනම්, එක් එක් දිස්ත්‍රික්කයෙන් කොපමණ ඡන්ද ප්‍රමාණයක් ඉලක්ක කළ යුතුද? අප විසින් පහත වගුව සකස් කර තිබෙන්නේ එක් එක් අපේක්ෂකයාට එක් එක් දිස්ත්‍රික්කය තුළ තිබෙන ශක්තිය සලකා බලමිනුයි. කිසියම් දිස්ත්‍රික්කයක් තුළ යම් අපේක්ෂකයෙකු අවශ්‍ය ඉලක්ක මට්ටම ආසන්නයට පැමිණ නැත්නම් එයින් පෙනෙන්නේ ඒ අපේක්ෂකයාට 50% ඉලක්කයට යාම අපහසු බවයි. නිල ප්‍රතිඵල ලැබෙන විට මේ වගුව යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
Gotabaya Rajapaksa | Sajith Premadasa | |||||||
Required | Current | Required | Current | |||||
Sri Lanka | 6,626,250 | 50.00% | 6,924,195 | 52.25% | 6,626,250 | 50.00% | 5,564,289 | 41.99% |
Colombo | 654,170 | 46.10% | 727,713 | 53.19% | 764,892 | 53.90% | 559,921 | 40.92% |
Gampaha | 766,258 | 52.34% | 855,870 | 59.28% | 697,798 | 47.66% | 494,671 | 34.26% |
Kalutara | 463,609 | 55.65% | 482,920 | 59.49% | 369,414 | 44.35% | 284,213 | 35.01% |
Mahanuwara | 433,980 | 46.05% | 471,502 | 50.43% | 508,366 | 53.95% | 417,355 | 44.64% |
Matale | 179,965 | 53.07% | 187,821 | 55.37% | 159,142 | 46.93% | 134,291 | 39.59% |
Nuwara-Eliya | 184,693 | 39.67% | 175,823 | 36.87% | 280,867 | 60.33% | 277,913 | 58.28% |
Galle | 435,183 | 58.15% | 466,148 | 64.26% | 313,151 | 41.85% | 217,401 | 29.97% |
Matara | 346,009 | 60.75% | 374,481 | 67.25% | 223,511 | 39.25% | 149,026 | 26.76% |
Hambantota | 277,825 | 64.83% | 278,804 | 66.17% | 150,725 | 35.17% | 108,906 | 25.85% |
Jaffna | 57,904 | 17.69% | 23,261 | 6.24% | 269,471 | 82.31% | 312,722 | 83.86% |
Vanni | 34,922 | 18.72% | 26,105 | 12.27% | 151,663 | 81.28% | 174,739 | 82.12% |
Batticaloa | 46,609 | 18.41% | 38,460 | 12.68% | 206,630 | 81.59% | 238,649 | 78.70% |
Digamadulla | 132,743 | 35.55% | 135,058 | 32.82% | 240,695 | 64.45% | 259,673 | 63.09% |
Trincomalee | 57,154 | 27.44% | 54,135 | 23.39% | 151,134 | 72.56% | 166,861 | 72.11% |
Kurunegala | 650,582 | 55.86% | 652,278 | 57.90% | 514,034 | 44.14% | 416,961 | 37.01% |
Puttalam | 221,415 | 50.84% | 230,760 | 50.83% | 214,074 | 49.16% | 199,356 | 43.91% |
Anuradhapura | 322,465 | 56.05% | 342,223 | 58.97% | 252,839 | 43.95% | 202,348 | 34.87% |
Polonnaruwa | 131,765 | 46.86% | 147,340 | 53.01% | 149,425 | 53.14% | 112,473 | 40.47% |
Badulla | 270,522 | 48.72% | 276,211 | 49.29% | 284,699 | 51.28% | 251,706 | 44.92% |
Moneragala | 196,174 | 61.90% | 208,814 | 65.34% | 120,768 | 38.10% | 92,569 | 28.96% |
Ratnapura | 443,415 | 57.86% | 448,044 | 59.93% | 322,928 | 42.14% | 264,503 | 35.38% |
Kegalle | 318,881 | 53.25% | 320,424 | 55.65% | 280,012 | 46.75% | 228,032 | 39.60% |
Wednesday, November 13, 2019
දෙවෙනි මනාපය
ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය සුවිශේෂී එකක්. මා දන්නා තරමින්, මේ ක්‍රමය තියෙන්නේ ලංකාවේ පමණයි. ලංකාවේ පමණක් දැකිය හැකි තවත් බොහෝ දේ තිබුණත්, ඒ ගොඩක් දේවල් ලංකාවට ආඩම්බර විය හැකි දේවල් නෙමෙයි. එහෙත්, මෙයනම් එවැන්නක් නෙමෙයි.
මම හිතන්නේ කිසියම් තනතුරකට තනි පුද්ගලයෙක්ව තෝරා ගැනීමේදී වඩාත්ම ප්‍රචලිත හා පැරණිම මැතිවරණ ක්‍රමය වැඩිම ඡන්ද ලබන අපේක්ෂකයාව තෝරා ගන්නා ක්‍රමයයි. මේ ක්රමයේ තිබෙන එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ වැඩිම දෙනෙක් අකැමැති අපේක්ෂකයෙකු තනතුරට තේරී පත් වෙන්න ඉඩක් තිබීමයි. උදාහරණයක් විදිහට අපි කිසියම් මැතිවරණයකදී ඡන්ද බෙදී යන්නේ පහත ආකාරයට කියා හිතමු.
A 35%
B 33%
C 31%
වැඩිම ඡන්ද ක්‍රමයට තේරී පත් වෙන්නේ A. නමුත්, C වෙනුවෙන් ඡන්දය දුන් 31% Aට කොහෙත්ම කැමති නැති, Bටත් කැමති එහෙත් Cට වඩා කැමති පිරිසක්නම් මේ ප්‍රතිඵලය නිසා 64%ක පිරිසක් සතුටු වෙන්නේ නැහැ. යම් හෙයකින් C තරඟයට ඉදිරිපත්ව නොසිටියානම් B ඉතා පහසුවෙන් දිනනවා. මනාප ලකුණු කිරීමට ඉඩ ලැබෙන මැතිවරණ ක්‍රමයක් මේ ප්‍රශ්නයට විසඳුමක්. දෙවන මනාප සලකා බැලු විට A අභිබවා B ඉදිරියට එන නිසා තේරී පත් වෙන්නේ වැඩිම දෙනෙකුගේ කිසියම් හෝ කැමැත්තක් තිබෙන අපේක්ෂකයා.
යුක්රේනය වැනි තවත් රටවල් වල මීට ආසන්නව සමාන මැතිවරණ ක්‍රමයක් තිබෙනවා. එහිදී වෙන්නේ කිසිදු අපේක්ෂකයෙකු පළමු වටයෙන් 50% ලබා නොගත්තොත් ඉහළින්ම සිටින දෙදෙනා අතර දෙවන ඡන්ද විමසීමක් පැවැත්වීමයි. පළමු වටයේදී දෙවැනි තැන සිටි අපේක්ෂයින් ඇතැම් විට දෙවන වටයෙන් තේරී පත් වී තිබෙනවා. ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය සුවිශේෂී වන්නේ මේ විදිහට වට දෙකකදී කරන දෙය එකවරම කරන නිසයි. මෙය බොහෝ ඉදිරිගාමී මැතිවරණ ක්‍රමයක්.
මේ මැතිවරණ ක්‍රමය ලංකාවට හඳුන්වා දෙනු ලැබූයේ ජේආර්ගේ 1977 ව්‍යවස්ථාවෙන්. එය වෙනත් රටක මැතිවරණ ක්‍රමයක් කොපි කිරීමක් නෙමෙයි. අලුත්ම ක්‍රමයක්.
බොහෝ ප්‍රචලිත අදහසක් වන්නේ ජේආර් විසින් ලංකාවේ වත්මන් මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නේ එජාපය සදහටම බලයේ තැබීමට බවයි. කුඩා කළ සිට දිගින් දිගටම ඇසී හිතට කා වැදී තිබුණු මේ අදහස ඇත්තක්ද කියන එක ගැන හිතන්න නොපෙළඹීම ගැන දැන් මා කණගාටු වෙනවා. මේ කතාවත් ඇමරිකාව තිරිඟු පිටි මිල අඩු වීම වළක්වන්න තිරිඟු පිටි මුහුදට දමනවා කියන ජනප්‍රිය කතාව වගේ එකක් කියා දැන් මට හිතෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන සමානුපාතික මැතිවරණ ක්‍රමය පිළිබඳව සැලකූ විට එකල එහි එජාපයට වාසියක් තිබුණු බව පැහැදිලියි. 1977ට පෙර එක් මැතිවරණයකදී හැර අනෙක් සියලු මැතිවරණ වලදී තනි පක්ෂයක් ලෙස ලංකාවෙන්ම වැඩිම ඡන්ද ලබා තිබුණේ එජාපයයි. ඒ නිසා, සමානුපාතික ක්‍රමයක් යටතේ එජාපයට අවම පාර්ලිමේන්තු නියෝජනයක් හිමිවන බවට සහතිකයක් තිබුණා. නමුත්, 1997ට පෙර එජාප අපේක්ෂකයෙකුට දෙවන මනාප ලබා වෙනත් අපේක්ෂයෙකුව අභිබවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.
ශ්රීලනිපය හැරුණු විට ඡන්ද පදනමක් තිබුණු ලසසප, කොප, මඑපෙ වැනි පක්ෂ සියල්ලම එවකට හිටියේ දැඩි එජාප විරෝධී ස්ථාවරයකයි. ඒ වගේම, සම්ප්‍රදායිකව උතුරේ දෙමළ ජනතාවගේ වැඩි කැමැත්ත තිබුණේත් එජාපයට වඩා ශ්‍රීලනිපයයි. ඒ නිසා, දෙවන මනාප ක්‍රමය ඒ වන විට පැවති තත්ත්වය අනුව එජාපයට අවාසිදායකයි. ශ්‍රීලනිපයට වාසිදායකයි. එහෙමනම්, මේ ක්‍රමය හඳුන්වා දී ජේආර් බලාපොරොත්තු වුනේ කුමක්ද?
මම හිතන විදිහට මේ ක්‍රමය ගේන්න හේතු වුනේ ලංකාවට සුදුසු දේශපාලන ක්‍රමය සිංගප්පූරු ක්‍රමය කියා ජේආර් විසින් සිතීම වෙන්න පුළුවන්. ජේආර්ගේ සිහිනය වී තිබෙන්නේ ප්‍රබල ජනාධිපතිවරයෙක් හා දුර්වල පාර්ලිමේන්තුවක්. ඒ ප්‍රබල ජනාධිපතිවරයා තමාම විය යුතු බව ඔහු සිතුවා කියා කියන්න බැහැ. දෙවරකට වඩා ජනාධිපතිධුරය දැරීමට නොහැකි බවට සීමාවක් දැමූ ජේආර් තමන්ගේ වාසියට ඒ සීමාව ඉවත් කරගන්න උත්සාහ කළේ නැහැ.
ජේආර් විසින් මේ තරම් දියුණු ක්‍රමයක් හඳුන්වා දුන්නත් මෙතෙක් කල් ලංකාවේ පැවති කිසිදු මැතිවරණයකදී දෙවන මනාප ගණන් කරන්න අවශ්‍ය නොවූ නිසා, බොහෝ දෙනෙකුට මේ ක්රමයේ වටිනාකම ගැන හැඟීමක් නැහැ. ඇතැම් අය විසින් පුරෝකථනය කළත්, මෙවරත් එවැනි අවශ්‍යතාවයක් ඇති නොවෙන්න පුළුවන්. ඒ වගේම, බොහෝ දෙනෙක්ට අදටත් මේ මනාප ක්‍රමය ගැන නිසි අවබෝධයක් නැහැ. 1977 කාලය සැලකූ විට ලංකාවේ වත්මන් ජනාධිපතිවරණ ක්‍රමය රටේ මිනිස්සුන්ට සාපේක්ෂව ඕනෑවට වඩා ඉදිරියෙන් තිබුණු ක්‍රමයක්. සර්වජන ඡන්ද අයිතිය ලැබෙන කාලයේ තත්ත්වය වගේමයි.
මනාප ක්රමයේ වැදගත්ම ලක්ෂණය වන්නේ තෙවන අපේක්ෂකයෙකුට පහසුවෙන් මතු වෙන්න හැකි වීමයි. එහෙත්, සිදු වී නැත්තේත් එයමයි. ඒ, මැතිවරණ ක්‍රමය ගැන නිසි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති නිසයි.
අපි හිතමු රටේ සැබෑ පළමු කැමැත්ත මේ විදිහයි කියා.
A 35%
B 33%
C 31%
මීට අමතරව, Cට වැඩිම කැමැත්තක් දක්වන පිරිසට Aව පෙන්නන්න බැහැ. නමුත්, B පිළිබඳව එවැනි අකැමැත්තක් නැහැ.
මනාප ක්‍රමයක් නැත්නම් තත්ත්වය කුමක්ද? තමන් Cට ඡන්දය දුන්නොත් Aට විරුද්ධ පිලේ ඡන්ද කැඩෙන නිසා A දිනන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, Cට වඩාත්ම කැමති අය Cට ඡන්දය නොදී Bට ඡන්දය දෙනවා. Cට කවදාවත් ඔලුව උස්සන්න බැහැ.
නමුත්, මනාප ක්‍රමයක් තිබෙන විටක Cට වඩාත්ම කැමති අයට වෙනත් විකල්පයක් තිබෙනවා. ඔවුන්ට C වෙනුවෙන් ඡන්දය දී Bට දෙවන මනාපය දිය හැකියි.
-B විසින් 50% ගත්තොත්, දෙවන මනාප ගණින්න අවශ්‍ය වන්නේ නැහැ. A දිනලා නැති නිසා Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.
-A විසින් 50% ගත්තත්, දෙවන මනාප ගණින්න අවශ්‍ය වන්නේ නැහැ. A කොහොමටත් දිනන නිසා Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.
-කිසිවෙක් 50% අරගෙන නැත්නම්, Cට පළමු මනාපය දුන් අයගේ දෙවන මනාපයටත් පළමු මනාපයකට ලැබෙන වටිනාකමම ලැබෙනවා. ඒ නිසා, Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.
සරලවම කියනවානම්, මනාප ක්‍රමයක් තිබෙන විටක අවසන් ප්‍රතිඵලයට බලපෑමක් නොවන පරිදි කීයටවත් දිනන්නේ නැති අපේක්ෂයෙකුට වුවත් ඡන්දය දිය හැකියි. ලංකාවේ ජනාධිපතිවරණයකදී පමණක් ලැබෙන මේ අවස්ථාව වෙනත් මැතිවරණ වලදී ලැබෙන්නේ නැහැ. වෙනත් මැතිවරණයකදීනම් කීයටවත් දිනන්නේ නැති අපේක්ෂකයෙකුට ඡන්දය දෙන එක තේරුමක් නැති වැඩක්.
Labels:
ජනාධිපතිවරණය,
ජේආර් ජයවර්ධන,
තෝරාගැනීම්
Monday, November 11, 2019
පාස්පෝට් එක ඇත්ත එකක්ද?
ජනාධිපතිවරණ ප්‍රචාරන ව්‍යාපාරයේ සනීපාරක්ෂක තුවා වටයෙන් හා එම්සීසී වටයෙන් ගෝඨාභය කඳවුරේ අය සජිත්ගේ පැත්තට බර දැම්මා. දැන් පේන ආකාරයට රාජිත සේනාරත්න විසින් සුදු වෑන් නාට්‍යයක් පෙන්වලා තත්ත්වය බැලන්ස් කරන්න උත්සාහ කරලා වගේ. රාජපක්ෂ කඳවුරේ තිබෙන වැරදි අදහසක් වන්නේ 2015දී මෛත්‍රීපාල සිරිසේන දිනුවේ ප්‍රතිවිරුද්ධ කඳවුරේ බොරු ප්‍රචාර නිසා බවයි. රාජිතලා වගේ අයත් හිතන්නේ ඒ විදිහටම බව පෙනෙනවා.
මෙවර ජනාපතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපාන නිර්පාක්ෂික පාවෙන ඡන්ද ටික ආකර්ශනය කර ගන්න අවශ්‍ය කවර පාර්ශ්වයකට වුවත් එය කළ හැකි වන්නේ ඇත්තට මුහුණ දී ඇත්ත කතා කර පමණයි. මේ කණ්ඩායම අන්දන එක හිතන තරම් පහසු නැහැ. පහසුවෙන් අන්දන්න පුළුවන් පිරිස කොහොමටත් තම තමන්ගේ පක්ෂ වලට ඡන්ද දෙනවා.
අලි සබ්රි විසින් පෙන්වා තිබෙන ගෝඨාභයගේ ඇමරිකන් ගමන් බලපත්‍රය බොරු එකක් කියා පෙන්වන්න ප්‍රතිවිරුද්ධ පක්ෂය උත්සාහ කරනවා. එහිදී ඉදිරිපත් කරන තර්ක බොහොමයක් පහසුවෙන් පරීක්ෂා කර ඇත්ත තහවුරු කරගත හැකි දේවල්.
පළමු තර්කය කණ්ණාඩි තර්කය. ගෝඨාභයගේ ඇමරිකන් ගමන් බලපත්‍රයේ ඔහු උපැස් යුවලක් පැළඳ සිටිනවා. ඇමරිකන් ගමන් බලපත්‍රයක් ලබා ගන්නා අයෙක් අදාළ ඡායාරූපය ගත යුත්තේ උපැස් ගලවලයි. උපැස් පැළඳ සිටිය හැක්කේ සුවිශේෂී සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇත්නම් පමණයි. එහෙත්, මේ නීතිය අනිවාර්ය කෙරුණේ 2016 නොවැම්බර් සිටයි. ප්‍රසිද්ධ කර ඇති තොරතුරු අනුව, ගෝඨාභය රාජපක්ෂගේ අවසන් ඇමරිකන් ගමන් බලපත්‍රය ලබා ගෙන තිබෙන්නේ 2012 ඔක්තෝබර් මාසයේදී. ඒ වන විට උපැස් පැළඳ ගමන් බලපත් ඡායාරූපයක් ලබා ගැනීම ප්‍රශ්නයක් වුනේ ඒ හේතුව නිසා පුද්ගලයාව හඳුනා ගැනීම ප්‍රශ්නයක් වේනම් පමණයි. එමෙන්ම, 2016 නොවැම්බර් නීතිය ක්‍රියාත්මක කරන විට උපැස් සහිත ඡායාරූප තිබුණු ගමන් බලපත් වෙනුවට අලුත් ගමන් බලපත් ලබා ගැනීම අවශ්‍ය නොවන බව විශේෂයෙන් දැනුම් දී තිබුණා.
දෙවැනි තර්කය දිනය සටහන් කර ඇති ආකාරය සම්බන්ධවයි. ඇමරිකාවේ දිනය ලියන්නේ මාසය-දිනය-අවුරුද්ද ලෙසයි. එහෙත්, ලෝකයේ බොහෝ රටවල පිළිවෙළ වන්නේ දිනය-මාසය-අවුරුද්ද ලෙස ලිවීමයි. ගමන් බලපත් අවශ්‍ය වන්නේ ඇමරිකාවෙන් පිටතදී වීම හෝ ගමන් බලපත් වලට ජාත්‍යන්තර ප්රමිතීන් තිබීම නිසා ඇමරිකාවේ ගමන් බලපත් වලත් දිනය තිබෙන්නේ දිනය-මාසය-අවුරුද්ද ලෙසයි. මේ තර්කයත් ඕනෑම ඇමරිකන් ගමන් බලපත්‍රයක් පරීක්ෂා කර තහවුරු කරගත හැකි වැරදි එකක්.
තෙවන තර්කය වන්නේ "CANCEL" යනුවෙන් සඳහන් මුද්‍රාව "CANCELLED" විය යුතු බවයි. ඇමරිකානු ගමන් බලපත්‍රයක් අවලංගු කරන සාමාන්‍ය ක්‍රමය වන්නේ එහි ජීවදත්ත පිටුවද ඇතුළත් දෙවන කොළයේ සිදුරු දෙකක් විදීමයි. බොහෝ විට මේ සිදුරු කිරීම කරන්නේ ගමන් බලපත් කවරය හා දෙවන පිටුව යන දෙකම සිදුරු වන ලෙසයි. ඊට අමතරව "CANCEL" හෝ "CANCELED/CANCELLED" ලෙස මුද්‍රාවක් තැබීම අවශ්‍ය කරුණක් නෙමෙයි. "CANCELLED" ලෙස සඳහන් මුද්‍රාවක් තැබීම කලකට පෙර කර ඇතත් දැන් කරන්නේ නැහැ. අලි සබ්රි පෙන්වන ගමන් බලපත්‍රයේ මුල් පිටුව (කවරය) සිදුරු කර නැතත්, දෙවන පිටුව නියමිත ක්‍රමයට සිදුරු කර තිබෙනවා. ඒ නිසා, මේ පෙන්වන්නේ දැනට අවලංගු ඇමරිකානු ගමන් බලපත්‍රයක් කියන එක ඉතා පැහැදිලියි.
යමෙක් තානාපති කාර්යාලයකදී ඇමරිකන් පුරවැසිකම අත් හැරීමෙන් පසුව අදාළ ඉල්ලීම රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනුමත වන තුරු ගමන් බලපත්‍රය අදාළ තානාපති කාර්යාලයේ රඳවා ගන්නවා. ඉල්ලීම අනුමත වූ වහාම කිසිවක් නොකළත් ඇමරිකන් ගමන් බලපත්‍රය අවලංගු වෙනවා. ඉන් පසුව පුරවැසිකම අහෝසි වීමේ සහතිකය අදාළ පුද්ගලයාට ලබා දෙන විට ඒ සමඟ අවලංගු කළ ගමන් බලපත්රයද (ඉල්ලා සිටියහොත්) ආපසු දෙනවා. මේ හා අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තානාපති කාර්යාල වලට ලබා දී තිබෙන උපදෙස් පහත තිබෙනවා.
"When the post receives the approved CLN, the post should promptly cancel all unexpired passports (books and cards). Do not damage the entry-exit or visa stamp or foreign visas if possible. The canceled passport(s) may be returned to the expatriate upon request."
මෙහි ගමන් බලපත් අවලංගු කළ යුතු බව මිස එය කළ යුතු ආකාරය නිශ්චිතව සඳහන් කර නැහැ. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකන් ගමන් බලපතක් අවලංගු කළ පළමු අවස්ථාව මෙය විය හැකියි. ඒ නිසා, සිදුරු කරනවාට අමතරව "CANCEL" ලෙස මුද්‍රාවක් තබන්න තිබෙන ඉඩකඩ එකවර බැහැර කළ නොහැකියි. මේ ගැන සැකයක් ඇති අයෙක් කළ යුත්තේ ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් විමසීමයි. මෙය ගෝඨාභය රාජපක්ෂට අදාළ පෞද්ගලික කරුණක් නොවන නිසා, ඇමරිකන් තානාපති කාර්යාලය පිළිතුරක් නොදී ඉන්න හේතුවක් නැහැ. අහන්න තියෙන්නේ ඔවුන් ගමන් බලපත්‍රයක් අවලංගු කරන විට "CANCEL" යනුවෙන් මුද්‍රාවක් තබනවාද කියන එක පමණයි. මෙය ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් අසනු මිස වෙනත් තැන් වලින් විමසා හෝ සොයා බලා තේරුමක් නැහැ.
කෙසේ වුවත්, අවලංගු කළ ගමන් බලපත හා පුරවැසිකම අහෝසි වීමේ සහතිකය ගෝඨාභයට ලැබී ඇත්නම් ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහෝසි වීම පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් අධිකාරිය සැප්තැම්බර් අවසානය වන විට දැනුවත්ව සිටිය යුතුයි. අවසන් බදු වාරිකය නිසි පරිදි ගෙවා ඇත්නම්, නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ නැත්තේ දේශීය ආදායම් අධිකාරියට දැනුම් දී ඇති විස්තර අනුව ගෝඨාභය රාජපක්ෂගේ වත්කම් හා ආදායම් අවශ්‍ය මට්ටමට නැති නිසා විය හැකියි.
Labels:
ඇමරිකාව,
ගෝඨාභය රාජපක්ෂ
Sunday, November 10, 2019
උපවාස ත්‍රස්තවාදය හා උපවාස නාටක
සහශ්‍ර අභියෝගිතා ගිවිසුමට එරෙහිව උපවාසයක් ආරම්භ කළ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ හැරෙන තැපෑලෙන් උපවාසය අවසන් කළා. දැන් ඉඟුරුවත්තේ සුමංගලනම් හිමි නමක් ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකන් පුරවැසිකම අත්හැරීම පිළිබඳ ලේඛන පෙන්වන මෙන් ඉල්ලමින් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. දින තුනක් ඇතුළත අදාළ ලේඛන පෙන්වනු නොලැබුවහොත් ගිණි තියාගෙන මැරෙන බවත් කියනවා.
මේ වගේ බොහෝ උපවාස රඟපෑම් පමණයි. නමුත්, එසේ නොවන අවස්ථාත් තිබෙනවා. 1987දී තිලීපන්ට මිය යන තුරුම උපවාසය අත් හරින්න අවස්ථාවක් ලැබුනේ නැහැ. වසර කිහිපයකට පෙර බෝවත්තේ ඉන්දරතනනම් බෞද්ධ භික්ෂුවක් ගව ඝාතනයට එරෙහිව දළදා මාලිගාව අසලදී සිය සිරුරට ගිණි තබාගත්තා. දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස උපවාස යොදාගත් අය ගැන කතා කරද්දී මහත්මා ගාන්ධි නම අමතක කරන්න බැහැ.
උපවාස ගැන බොහෝ දෙනෙක්ගේ අදහස මෙය ඉතා අවිහිංසාවාදී වැඩක් කියන එකයි. වෙනත් විරෝධතා වලදී මෙන් උපවාසයකදී උපවාසකරු කළහකාරී ලෙස හැසිරෙන්නේ නැහැ. එහෙත්, උපවාසයක් වෙනත් විරෝධතාවයකට වඩා අහිංසක ක්‍රමයක් කියා කියන්න බැහැ.
එක පැත්තකින් උපවාසයක් කියා කියන්නේ සෘජු තර්ජනයක්. අනෙක් පැත්තෙන් උපවාසයක් හරහා හැම විටම වගේ කෙරෙන්නේ විශාල පිරිසක් තුළ වෛරී හැඟීමක් ඇති කරන එකයි. උපවාස ඇතුළේ තිබෙන්නේ ත්රස්තවාදයක්. උපවාසකරුවෙකු කරන දෙය හා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු කරන දේ අතර ලොකු සංකල්පීය වෙනසක් නැහැ. බැලූ බැල්මට එකක් වඩා අහිංසක ක්‍රියාවක් සේ පෙනුනත්, දෙකෙන්ම වෙන්නේ තමන්ටත් හානියක් කරගෙන තවත් විශාල පිරිසකට හානියක් කිරීමයි.
හැබැයි ඒ ඇත්ත උපවාස. බොහෝ විට දකින්න ලැබෙන්නේ උපවාස සේ හඳුන්වන ව්‍යාජ රඟපෑම්. මේවා සමාන කළ හැක්කේ මරාගෙන මැරෙන බෝම්බයක් බැඳගෙන එය පුපුරවා ගන්නා බවට තර්ජනය කිරීමටයි. එසේ කරන කෙනෙකු බෝම්බය පුපුරා නොගත්තොත් පසුව නීතියෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. එහෙත්, උපවාසයක් කරන අයෙකුට සාමාන්‍යයෙන් උපවාසය අත් හැරීමෙන් පසුව එවැනි නීතිමය ගැටලුවකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා, උපවාස වඩා ප්‍රචලිතයි.
ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකන් පුරවැසිකම පිළිබඳව ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් මතු කරන ප්‍රශ්නයට පිළිතුරු සැපයීම පහසු කටයුත්තක් නෙමෙයි. අදාළ කටයුතු නිසි පරිදි කරගෙන ඇත්තේ වුවත්, එය රට ඉදිරියේ තහවුරු කිරීම ගෝඨාභය පාර්ශ්වයට පහසු නැහැ. ඇත්ත ලේඛන පෙන්වුවත් ඒවා බොරු ඒවා බව බොහෝ දෙනෙක් හිතන්න ඉඩ තිබෙනවා. අවුල ඇති වුනේ ගෝඨාභය පාර්ශ්වය විසින්ම මුලින් ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කර අතේ මාට්ටු වීම නිසයි. දැන් වෙලා තියෙන්නේ කොටි ආවෝ කතාව වගේ එකක්.
යම් හෙයකින් ඇමරිකන් තානාපති කාර්යාලයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේනම් හෝ ෆෙඩරල් රෙජිස්ට්‍රියක ගෝඨාභය රාජපක්ෂගේ නම තිබුනේනම් ඔහුට අවුල ලිහා ගන්න තිබුණා. නමුත්, දැන් ඒ දෙකම වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා වැඩේ සංකීර්ණයි.
මේ වෙලාවේ ඉඟුරුවත්තේ සුමංගල හිමි වගේ කෙනෙකුට උපවාසයක් ආරම්භ කරන්න ඇරලා ඒ පිළිබඳව විශාල අවධානයක් යොමු වුනාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ඒ හාමුදුරුවන් වෙත ගිහින් තමන් සතුව තිබෙන ලේඛන පෙන්වීමෙන් පසුව හාමුදුරුවන් විසින් ප්‍රකාශයක් කර උපවාසය නැවැත්තුවොත් ගෝඨාභය ගොඩ. වෙන්න යන්නේ ඒ වගේ දෙයක්ද කියන එක බලන්න දවස් දෙක තුනක් ඉන්න වෙනවා.
Labels:
උපවාස,
ගෝඨාභය රාජපක්ෂ,
ජනාධිපතිවරණය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...