Saturday, May 25, 2019
නිවාඩු පාඩු
ඕස්ට්‍රේලියාව නිවාඩු ගැන වසර කිහිපයකට පෙර රසික විසින් ලියා පළ තිබෙන බ්ලොග් ලිපියක් නම් කර තිබෙන්නේ "නිවාඩු පාඩුව" ලෙසයි. අදාළ ලිපිය ඔහු විසින් ආරම්භ කරන්නේ මේ විදිහටයි.
"ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන අයෙකුට මුහුණ දෙන්නට වෙන කටුක සත්‍යයක් වනුයේ සති අන්තයන් හැරුණු විට ඇති පොදු නිවාඩු දිනවල අඩුකමයි."
මා කලින් ලිපියේ සඳහන් කළ පරිදි ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දින ගණන දහයක් පමණයි. රසිකගේ ලිපියට අනුව ඔහු වසන නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ පොදු නිවාඩු දින ගණනත් දහයක් පමණයි. ඒ දහයෙන් හතරකටම ආගමික පසුබිමක් තිබීම ඇමරිකාවට සාපේක්ෂව දැකිය හැකි එක් වෙනසක්.
ලංකාවේ පොදු නිවාඩු දින ගණන 25ක් පමණ වෙනවා. ඒ අතරින්, ජාතික දින නිවාඩුව, කම්කරු දින නිවාඩුව හා සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු දින දෙක හැරුණු විට ඉතිරි නිවාඩු සියල්ලටම තිබෙන්නේ ආගමික පසුබිමක්. බෞද්ධ (පෝය) නිවාඩු දින ගණන 13ක්. මෙය 14ක් වෙන්නත් පුළුවන්. හින්දු හා ඉස්ලාම් ආගමික පසුබිමක් ඇති ඇති නිවාඩු තුන බැගින්. ක්‍රිස්තියානි/කතෝලික පසුබිමක් සහිත නිවාඩු දෙකක්.
මේ ගැන ජගත් පතිරණ විසින් ඔහුගේ මතය ඉදිරිපත් කර තිබෙන්නේ පහත ආකාරයටයි.
"ලංකාවේ නිවාඩු වැඩිවීමට හේතුව කුමක්දැයි වටහාගත යුතුයි.
1815 සිට අද දක්වා මෙරට ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
මෙහි ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය ලෙසත් සිංහල, දෙමළ මුස්ලිම් සංස්කෘතීන්ට සමාන තැනක් ලැබිය යුතුයැයි මතයක් ඇතිවුනා.
ඒ සමඟම නිදහසින් පසු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රධාන තැන ලැබිය යුතුයැයි සිංහල බෞද්ධයන් අතර මතයක් ඇතිවුනා. මෙම හේතු නිසා සිංහල බෞද්ධයන්ට වැදගත්වන නිවාඩු දින නිල නිවාඩු දින ලෙස නම් කිරීමටත්, ඒ සමඟම දෙමළ මුස්ලිම් වාර්ගිකයන්ට වැදගත් වන දිනත් නිවාඩු දින ලෙස නම් කිරීමටත් සිදුවුනා. ලංකාවේ නිවාඩු වැඩිවීමට හේතුව ප්‍රධාන සංස්කෘතිය සහ මහජාතියේ සංස්කෘතිය එකක් නොවීම ලෙස සැලකිය හැකියි."
ලංකාවේ ආගමික නිවාඩු වැඩිවීමේ ඓතිහාසික පසුබිම සම්බන්ධව යම් දුරකට ජගත් පතිරණ සමඟ එකඟ විය හැකියි. ඒ ගැන කතා කිරීම පසුවට තබා රසික විසින් සඳහන් කර තිබෙන නිවාඩු පාඩුව කියන කරුණට ආවොත් පෞද්ගලිකව මටනම් මේ කියන වෙනස බලපෑවේ තනිකරම අනිත් පැත්තටයි.
මා ලංකාවේ සිටියදී අවසන් වරට සේවය කළ ආයතනයේදී ඉහත සඳහන් පොදු නිවාඩු 25කට නොඅඩු ප්‍රමාණයට අමතරව පෞද්ගලික නිවාඩු 42කටද හිමිකම තිබුණා. ඊටත් අමතරව, මාසයකට දෙක බැගින් කෙටි නිවාඩුත් තිබුණා. නමුත්, ප්‍රායෝගිකව නිවාඩුවක් ගන්න කියා ඉඩක් ලැබුනේම නැති තරම්. ඒ වෙනුවට, බොහෝ විට සිදු වුණේ සෙනසුරාදා, ඉරිදා හා පොදු නිවාඩු දිනවලද වැඩ කරන්න සිදු වීමයි. ඇතැම් මාස වල දින 31ම සේවයට වාර්තා කර තිබුණා.
වැඩ කළ දින ගණන වගේම, දවසකට වැඩ කළ පැය ගණනත් සේවා ගිවිසුම අනුව සේවා ස්ථානයේ රැඳී සිටිය යුතු පැය ගණනට වඩා ගොඩක් වැඩියි. වැඩිම වුනොත් උදේ හත වෙද්දී පුටුවේ වාඩි වීමෙන් පසුව, ගෙදර යන්න පුටුවෙන් නැගිට්ටේ හවස හතට පමණයි. ඒ සාමාන්‍ය දවසකදී. වැඩ අධික දවස් වලනම් පාන්දර දෙක තුන වන තුරුත් කාර්යාලයේ රැඳී හිටියා. එහෙම ඉඳලත් පැය දෙකක පමණ නින්දක් ලබා පහුවෙනිදා උදෙන්ම නැවත සේවයට වාර්තා කළා. මේ විදිහට වැඩ කළේ සාමාන්‍ය වැටුපට අමතරව අතිකාල දීමනා හෝ වෙනත් විශේෂ දීමනා ආදී කිසිවක් ලබා ගනිමින් නෙමෙයි. විශේෂ දීමනා වලට හිමිකම් තිබුණත් ඒ දීමනා ලබා ගැනීම කාර්යාල සම්ප්රදායක් වූයේ නැහැ. හිලවු නිවාඩු ලබාගන්න පුළුවන්කම තිබුණත්, අයිති නිවාඩු ටිකත් නොගනිද්දී, හිලවු නිවාඩු එකතු කර ගැනීමේ වාසියක් තිබුණේ නැහැ. මේ විදිහට අමතර වාසි නොලබමින් දරු පවුල සමඟ ගෙවිය යුතු කාලය කාර්යාලයට දිය කරන අපේ මිත්රයින් ගණනාවක් දැනටත් ලංකාවේ ඉන්නවා.
කොහොමින් කොහොම හරි ඔය විදිහට වැඩ කරමින් ඉඳලා ඇමරිකාවට ආවට පස්සේ පෞද්ගලිකව මටනම් නිවාඩු පාඩුවක් වෙනුවට සිදුවුණේ වාසියක් කියා කියන්න පුළුවන්. දරු පවුල එක්ක ගෙවන්න කලින් නොලැබුණු කාලයක් ඇමරිකාවට ආවට පස්සේ ලැබුණා. ඇමරිකාවේදී බොහෝ විට කරන වැඩ වල ඵලදායීතාවය මිසක් වැඩ කරන පැය ගණන වැදගත් සාධකයක් නෙමෙයි. වෙළඳපොළ යාන්ත්‍රණය විසින් කරන වැඩ වල ඵලදායීතාවය හා ගැලපෙන වැටුපක් ලැබෙන බව තහවුරු කෙරෙනවා. ලංකාවේදී එවැනි දෙයක් වෙන්නේ නැහැ.
ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු, ප්‍රාන්ත නිවාඩු ආදිය මිසක් පොදු නිවාඩු කියා කිවහැකි නිවාඩු නැහැ. කිසියම් ආයතනයක සේවකයින්ට හිමිවන වැටුප් සහිත නිවාඩු දින මොනවාද කියා තීරණය කෙරෙන්නේත් අවසාන වශයෙන් වෙළඳපොල යාන්ත්‍රණය විසිනුයි. තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් ද ඇතුළුව තරඟකාරී වෙළඳපොළ ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක වෙනවනම් මිනිස්සු වැඩකරන දවස්, පැය ගණන් හා නිවාඩු දවස් ආදිය ඉල්ලුම හා සැපයුම මත කාටත් සාධාරණ විදිහට නිර්ණය වෙනවා. එයට ආණ්ඩුව මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ.
ඒ වුණත්, සේවක සේව්‍ය පාර්ශ්ව දෙක කැමැත්තෙන් සේවා ගිවිසුමකට ඇතුළත් වුනාට පස්සේ එක් පාර්ශ්වයක් ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අනෙක් පාර්ශ්වයට අලාභයක් වීමේ අවදානම වලක්වන නීති පද්ධතියක් හා ඒ නීති පද්ධතිය බලාත්මක කරන යාන්ත්‍රණයක් රටකට අවශ්‍යයි. ආණ්ඩුවක කාර්ය භාරය තියෙන්නේ එතැනයි. ගිවිසුම් නීති නිසි සේ ක්‍රියාත්මක වෙනවානම් අමුතුවෙන් කම්කරු නීති කියා දෙයක් අවශ්‍ය වන්නේ නැති තරම්.
කිසියම් නිශ්චිත දිනයක් බොහෝ දෙනෙක් නිවාඩු දිනයක් සේ සලකනවානම් වෙළඳපොළ යාන්ත්‍රණය යටතේ ඒ දවස නිවාඩු දිනයක් වෙන්න විශාල ඉඩක් තිබෙනවා. උදාහරණයක් විදිහට සිංහල අවුරුදු දිනය සැලකුවොත්, රටේ බහුතරයක් මේ දවස කාර්යාලයක ගත කරන්න කැමති නැහැ. ඒ නිසා, සිංහල අවුරුදු නිවාඩුවක් නොතිබුණානම් ඒ දවසට ලංකාවේ ගොඩක් අය තමන්ගේ පෞද්ගලික නිවාඩුවක් හෝ දමලා ගෙදර නවතිනවා. ආයතනයක සේවකයන්ගෙන් විශාල පිරිසක් එකම දවසක සේවයට වාර්තා නොකළොත්, ඇතැම් ස්ථිර පිරිවැය සැලකූ විට එදාට ඒ එන ටික දෙනා එක්ක ආයතනය පවත්වාගෙන යනවාට වඩා ආයතනය වසා තබන එක වාසියි. එහෙම බැලුවාම ඒ වගේ දවස් වල ආයතනයක් විවෘතව තැබීමෙන් ආයතනය හිමිකරුවන්ටයි "නිවාඩු පාඩුවක්" වෙන්නේ. කම්කරු නීති වල කියා නැතත් ඇඟලුම් කම්හල් වැනි තැන් වල අවුරුදු සතියම වගේ නිවාඩු දෙන්නේ මේ නිසයි.
එසේ නොවන, ආයතනය වැඩි පිරිවැයක් දරමින් හෝ විවෘතව තබා ගැනීම වාසිදායක වන අවස්ථාත් තිබෙනවා. මේ වගේ නිවාඩු දවසක සේවයට වාර්තා කිරීම දිරිගන්වනු පිණිස අතිකාල හෝ වෙනත් විශේෂ දීමනා ගෙවමින් නිවාඩු දින වලදීත් විවෘතව තබා ගන්නේ එවැනි ආයතනයි. මේ දිරිගැන්වීම් නිසා සිංහල අවුරුද්ද සමරන්නේ නැති අයට අමතරව, සිංහල අවුරුදු දින ගෙදර සිටීමට වඩා ලැබෙන අමතර මුදල වටින්නේයැයි සිතන පිරිසකුත් අවුරුදු දවසේ සේවා ස්ථාන වලට ආකර්ශනය කරගන්න හැකි වෙනවා. අමතර මුදලක් අතට ලැබෙන නිසා ඔවුන්ට නිවාඩු දවසේ වැඩ කළා කියා පාඩුවක් වෙන්නේ නැහැ.
ඇමරිකාවේ පෞද්ගලික ආයතන බොහොමයක්ද ඇතැම් දින වලදී පඩි සහිත නිවාඩු ලබා දෙන්නේ මේ පදනමිනුයි. ජනවාරි පළමුවෙනිදා හෝ නත්තල් දවසේ නිවාඩු නොදුන්නොත් බොහෝ සේවකයින් තමන්ගේ පෞද්ගලික නිවාඩු අරගෙන හෝ ගෙදර නවතිනවා. ඒ නිසා, ඒ දිනවලදී ආයතන විවෘතව තබා ගැනීම අසීරුයි. නමුත්, සිංහල අවුරුදු දවසේදී හෝ වෙසක් දවසේදී ඇමරිකාවේ ආයතනයකට මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.
මේ ආකාරයට පඩි සහිත නිවාඩු දෙන දවස් කිසියම් ආයතනයක සේවකයන්ගේ ජනවිකාශ ව්‍යාප්තිය මත වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට දීපාවලී දවස සාමාන්‍යයෙන් ඇමරිකාවේ ආයතනයක නිවාඩු දවසක් නොවූවත්, ඉන්දියානු සම්භවයක් ඇති අය විශාල පිරිසක් සේවය කරන තැනක දීපාවලි දිනය පඩි සහිත නිවාඩුවක් වෙන්න පුළුවන්. චීන සම්භවයක් ඇති විශාල පිරිසක් ඉන්න තැනක චීන අලුත් අවුරුදු දවස නිවාඩු දවසක් වෙන්න පුළුවන්.
මානව සම්පත් කළමණාකරණ සංගමය විසින් වාර්ෂිකව පවත්වන සමීක්ෂණයේ 2017 වසර සඳහා වූ දත්ත අනුව, ඇමරිකාවේ ආයතන වැඩිම ප්‍රමාණයක් වසා තැබෙන්නේ ස්තුති කිරීමේ දිනයේදීයි. එදින, ආයතන 97%ක්ම වසා තැබෙන අතර විවෘතව තැබෙන්නේ ආයතන වලින් 3%ක් පමණයි. මේ අනුව, ඇමරිකාවේ නිවාඩු දින අතරින් ප්‍රධානම නිවාඩුව සේ සැලකිය හැක්කේ ස්තුති කිරීමේ දින නිවාඩුවයි. එයින් පසුව, නත්තල් නිවාඩුවත් කිට්ටුවෙන්ම තිබෙනවා. කිසියම් දිනයක සීමිත පැය ගණනකට හෝ සාමාන්‍ය කාලය පුරාවටම විවෘතව තැබෙන ආයතන ගණන අනුව ඇමරිකාවේ නිවාඩු පහත ආකාරයට පෙළගැස්විය හැකියි.
ස්තුති කිරීමේ දිනය- 3%
නත්තල් දිනය- 4%
සිහි කිරීමේ දිනය- 6%
කම්කරු දිනය- 6%
නිදහස් දිනය- 6%
අලුත් අවුරුදු දිනය- 9%
ස්තුති කිරීමේ දිනට පසුදින- 23%
නත්තලට පෙර දින- 24%
අලුත් අවුරුදු දිනට පසු දින- 28%
අලුත් අවුරුදු දිනට පෙර දින- 46%
පාස්කු ඉරිදා- 49%
නත්තලට දෙදිනකට පෙර දිනය- 60%
මාටින් ලූතර් කිං දිනය- 61%
ජනාධිපති දිනය- 66%
මහ සිකුරාදා- 67%
නත්තලට තෙදිනකට පෙර දිනය- 68%
අලුත් අවුරුදු දිනට දෙදිනකට පෙර දිනය- 70%
අලුත් අවුරුදු දිනට තෙදිනකට පෙර දිනය- 71%
නත්තලට පසු දිනය- 71%
නිදහස් දිනට පෙර දිනය- 77%
ස්තුති කිරීමේ දිනට පෙර දිනය- 78%
වෙතරානුවන්ගේ දිනය- 80%
නත්තල හා අලුත් අවුරුද්ද අතර ඉතිරි දෙදින- 84%
කම්කරු දිනයට පෙර දිනය- 85%
කොලොම්බස් දිනය- 86%
වෙතරානුවන්ගේ දිනයට පෙර සිකුරාදා දිනය- 88%
යුදෙවු, ඉස්ලාම් හා හින්දු ආගමික උත්සව පැවැත්වෙන දින වලදීත් ඇතැම් ආයතන වසා තැබෙන නමුත් ඒ සුළු ප්‍රතිශතයක්.
ඉහත ලැයිස්තුව දෙස පරීක්ෂාකාරීව බැලූ විට පෙනී යන්නේ ලංකාවේ ඇඟලුම් කම්හල් වල අලුත් අවුරුදු සතිය පුරාවටම නිවාඩු ලබා දෙන්නාක් මෙන් ප්‍රධාන නිවාඩු දින වලට පෙර හෝ පසු දින ආයතන වසා තබමින් දිගු සති අන්ත තවත් දිගු කිරීම බොහෝ ආයතන විසින් සිදු කරන්නක් බවයි. මෙය තනිකරම ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම මත සිදු වී තිබෙන දෙයක්.
නත්තල හා ජනේරුව අතර කාලය තුළ බොහෝ ආයතන විවෘතව නොතැබෙන බවත් පෙනෙනවා ඇති. මේ දෙසතිය තුළ බොහෝ සේවකයින් තමන්ගේ ඉතිරිව තිබෙන පෞද්ගලික නිවාඩු ලබා ගැනීමට පෙළඹීමත් මෙයට හේතු වී තිබෙනවා.
Labels:
ඇමරිකාව,
නිවාඩු,
ශ්‍රම වෙළඳපොළ
Friday, May 24, 2019
දැන් නිවාඩු කාලෙ හින්ද...
අවුරුද්දක් ඇතුළත අපට නිවාඩු ලැබෙන අවස්ථා හතක ලැයිස්තුවක් කලින් ලිපියේ පළ කළා. අපට අහිමි, මිලියන දෙකක් පමණ වන ඇමරිකාවේ ෆෙඩරල් රාජ්‍ය සේවකයින්ට හිමි, තවත් නිවාඩු දින තුනක් ද ඇතුළත්ව ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දින ලැයිස්තුව පහත තිබෙනවා.
1. අලුත් අවුරුදු දිනය- ජනවාරි පළමුවැනිදා
2. මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දිනය- ජනවාරි මාසයේ තෙවන සඳුදා
3. වොෂින්ටන්ගේ උපන් දිනය හෙවත් ජනාධිපති දිනය- පෙබරවාරි මාසයේ තෙවන සඳුදා
4. සිහි කිරීමේ දිනය- මැයි මාසයේ අවසන් සඳුදා
5. නිදහස් දිනය- ජූලි 4
6. කම්කරු දිනය- සැප්තැම්බර් මාසයේ පළමු සඳුදා
7. කොලොම්බස් දිනය- ඔක්තෝබර් මාසයේ දෙවන සඳුදා
8. වෙතරානුවන්ගේ දිනය- නොවැම්බර් 11
9. ස්තුති කිරීමේ දිනය- නොවැම්බර් මාසයේ සිවුවන බ්‍රහස්පතින්දා
10. නත්තල් දිනය- දෙසැම්බර් 25
ෆෙඩරල් නිවාඩු දවස් දහයෙන් පහක්ම හැම විටම වැටෙන්නේ සඳුදා දවසකයි. ඒ නිසා, අදාළ සති පහම අවසන් වන්නේ දිගු සති අන්ත වලින්. ස්තුති කිරීමේ දිනය හැම විටම යෙදෙන්නේ බ්‍රහස්පතින්දා දිනකයි. එයින් පසුව එළඹෙන කළු සිකුරාදා දිනය ෆෙඩරල් නිවාඩු දිනයක් නොවූවත් ඇමරිකාවේ ප්‍රාන්ත වලින් අඩක පමණ නිවාඩු දිනයක් බැවින් ඒ ප්‍රාන්ත වල රාජ්‍ය සේවකයින්ට ඒ සති අන්තය ද දිගු සති අන්තයක්. අලුත් අවුරුදු දිනය, නිදහස් දිනය, වෙතරානුවන්ගේ දිනය හා නත්තල් දිනය යෙදෙන්නේ වසරේ නිශ්චිත දිනයක නිසා ඒ දවස් සතියේ ඕනෑම දවසක යෙදෙන්න පුළුවන්. නමුත්, මේ දිනයක් සෙනසුරාදා දිනයක යෙදුනොත් ඊට පෙර සිකුරාදා දිනය නිවාඩු දිනයක් වෙනවා. ඒ වගේම ඉරිදාවක වැටුණොත් ඉන් පසු එළඹෙන සඳුදා දිනය නිවාඩු දිනයක් වෙනවා. ඒ නිසා, මේ නිවාඩු දවසකිනුත් දිගු සති අන්තයක් හැදෙන්න 4/7ක සම්භාවිතාවක් තිබෙනවා.
කලින් ලිපියට ප්‍රතිචාරයක් දමමින් කට්ටකාඩුවේ ලොකු මල්ලී විසින් නිවැරදිව හඳුනාගෙන තිබෙන පරිදි, මේ නිවාඩු දවස් දහයෙන් වැඩි ප්‍රමාණයක් ඇමරිකානුවන් අත් විඳින සිවිල් නිදහස හා සම්බන්ධයි. ඇමරිකාවේ මුල් ජනපද 13 එක්ව ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරමින් වත්මන් ඇමරිකා එක්සත් ජනපදය පිටුවීම නිදහස් දිනයේදී සැමරෙනවා. වත්මන් ඇමරිකානුවන් භුක්ති විඳින නිදහසේ අඩිතාලම වන්නේ මෙසේ ඇමරිකන් රාජ්‍යය පිහිටුවීමයි. වොෂින්ටන්ගේ උපන් දිනය සැමරෙන්නේ මෙසේ පිහිටවූ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පළමු ජනාධිපති වූ ජෝජ් වොෂින්ටන් සිහිපත් කිරීමටයි.
නිවාඩු දින දහයෙන් තවත් නිවාඩු දින දෙකක් මෙසේ පිහිටවූ රාජ්‍යය මුහුණ දුන් විවිධ අභියෝග හමුවේ රාජ්‍යය ආරක්ෂා කර ගැනීම හා සම්බන්ධයි. වෙතරානුවන්ගේ දිනය යෙදෙන්නේ පළමු ලෝක යුද්ධය අවසන් වූ දිනයි. සිහි කිරීමේ දිනයේදී පොදුවේ විවිධ යුද්ධ වලදී ඇමරිකන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දිවිදුන් ආරක්ෂක හමුදා සාමාජිකයින් සිහිපත් කෙරෙනවා. කම්කරු දිනයේදී ඇමරිකන් කම්කරු ව්‍යාපාරය විසින් ලබාගත් ජයග්‍රහණ සැමරෙන අතර, මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දිනයේ දී සැමරෙන්නේ අප්‍රිකානු ඇමරිකානු සිවිල් සමාජ ක්රියාකාරිකයෙකුවයි. මේ අනුව, ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දහයෙන් අඩු වශයෙන් හයක් සෘජුවම ඇමරිකානු රාජ්‍යය පිහිටුවීම, ආරක්ෂා කර ගැනීම හා ඇමරිකානු සිවිල් නිදහස හා සම්බන්ධයි.
ඉතිරි නිවාඩු දින හතරට තිබෙන්නේ සංස්කෘතික පසුබිමක් කියා කිව හැකියි. අලුත් අවුරුදු නිවාඩුව අලුත් වසරක ආරම්භයයි.
ජනවාරි පළමුවෙනිදා ඇමරිකාවේ අලුත් අවුරුදු දිනය සේ සැලකෙන්නේ යුරෝපීයයන් ඇමරිකා මහාද්වීපයේ පැලපදියම් වී ජුලියන් කැලැන්ඩරයද සමඟ බටහිර යුරෝපීය සංස්කෘතිය ඇමරිකානු භූමියේ පැල කරනු ලැබීම නිසයි. එයට අඩිතාලම වැටෙන්නේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමරිකානු මහාද්වීපයේ පය තැබීමෙන් පසුවයි. ඒ අනුව, කොලොම්බස් දින නිවාඩුවෙන් සැමරෙන්නේ බටහිර යුරෝපීය සංස්කෘතිය ඇමරිකාවේ පැලපදියම් වීමේ ආරම්භයයි.
කොලොම්බස්ගේ පැමිණීම බටහිර යුරෝපීය සම්භවයක් ඇති අයට අභිමානයෙන් සිහිපත් කළ හැකි දෙයක් වුවත්, ඒ වන විට ඇමරිකානු මහාද්වීපයේ ජීවත් වූ දේශීය ඇමරිකානුවන්ගෙන් පැවැත එන්නන්ට ඒ දිහා ඒ ආකාරයෙන්ම බලන්න පුළුවන්කමක් නැහැ. බටහිර යුරෝපීය සංස්කෘතිය ඇමරිකාවට පැමිණුනේ ඒ වන විට පැවති දේශීය සංස්කෘතිය මරා දමමිනුයි. ඒ නිසා, කොලොම්බස් දිනය සැමරීම තරමක් විවාදිත කරුණක්. මේ හේතුව නිසා, ඇතැම් ප්‍රාන්ත වල මේ දිනය කොලොම්බස් දිනය සේ සමරනු වෙනුවට ආදි ඇමරිකානු දිනය සේ නම් කර සමරනු ලබනවා. අලුත් අවුරුදු දිනය හා කොලොම්බස් දිනය නිවාඩු දින සේ සැළකෙන්නේ සංස්කෘතික හේතු මතයි. ඒ දවස් කවර හෝ ආගමක ආගමික සිදුවීම් හා අදාළ දවස් නෙමෙයි.
ස්තුති කිරීමේ දිනයේ සුළු වශයෙන් ආගමික ලක්ෂණ තිබෙනවා. නමුත්, එය කිසිසේත්ම ආගමික උත්සවයක් සේ හැඳින්විය නොහැකියි. මෙය විවිධ ශිෂ්ඨාචාර වල දැකිය හැකි අළුත් අස්වනු මංගල්‍යයක් වැනි දෙයක්. මා කුඩා කාලයේ ලංකාවේ ඇතැම් ගම් වල යකුන් පිදීම නම් වූ කටයුත්තක් සිදු වුණා. එය බෞද්ධ හෝ හින්දු ආගමික ලක්ෂණ තිබුණු දෙයක් නෙමෙයි. මේ හා අදාළව හොඳින්ම මත තිබෙන එක් දෙයක් කහ රොටී. ස්තුති කිරීමේ දිනයේදී ලැබුණු අස්වනු ආදිය වෙනුවෙන් දෙවියන්ට ස්තුති කිරීමක් සිදු වුවත්, මෙය ආගමික කටයුත්තක් කියා කියන්න බැහැ.
ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දින දහයෙන් ආගමික නිවාඩුවක් සේ හැඳින්වීමේ ඉඩකඩක් තිබෙන්නේ නත්තල් නිවාඩුව හා අදාළව පමණයි. නත්තල සැමරීමේ ඉතා පැහැදිලි ආගමික පසුබිමක් තිබුණත්, මේ වෙද්දී නත්තල සැමරීමත් සෑහෙන දුරකට සංස්කෘතික හා වාණිජ කටයුත්තක්.
(Image: https://www.researchsnipers.com/holiday-to-be-observed-in-sindh-on-october-30th/)
Thursday, May 23, 2019
ඇමරිකන් නිවාඩු
එළැඹෙන සති අන්තය අපට දිගු සති අන්තයක්. ඒ, මැයි මාසයේ අවසන් සඳුදා දිනයේ සිහි කිරීමේ දින නිවාඩුව යෙදෙන නිසයි. මේ දවසේ මෙලෙස සිහිපත් කෙරෙන්නේ ඇමරිකානු ආරක්ෂක හමුදාවන්හි සේවය කර මිය ගිය අයයි. අවශ්‍යනම් ඇමරිකන් රණ විරුවන් කියා කියන්නත් පුළුවන්.
නිවාඩුවේ අරමුණ රට වෙනුවෙන් දිවි පිදූවන් සිහි කිරීම වුවත්, බොහෝ දෙනෙක් මේ දිගු සති අන්තය විනෝද චාරිකාවක් වැනි කටයුත්තක් වෙනුවෙන් යොදා ගන්නවා. ඇමරිකාවේ හැම පැත්තකම නොවූවත්, බොහෝ පැති වල පාසැල් වල අධ්‍යයන වසර අවසන් වීමත්, කාළගුණය උණුසුම් වී ග්‍රීෂ්ම සෘතුවේ ආරම්භය ඇඟට දැනෙන්න පටන් ගැනීමත් නිසා මේ සති අන්තය විනෝද චාරිකා හා එළිමහන් සාද සඳහා ඉතා යෝග්‍යයි.
ඊටත් වැඩියෙන් වගේ මේ සති අන්තය වාණිජ කටයුතු ඉහළ යන කාලයක්. ස්තුති කිරීමේ දිනය හා නත්තල යෙදෙන සති අන්ත වලදී තරම් නැති වුනත් සිහි කිරීමේ සති අන්තයේදීත් බොහෝ භාණ්ඩ හා සේවා වට්ටම් මිලකට ලබා ගත හැකියි. ඇමරිකාවේ හැම නිවාඩුවක් එක්කම වගේ මෙවැනි වට්ටම් ලබා දෙනු දැකිය හැකියි.
සිංහල බෞද්ධ රටක් නොවන ඇමරිකාවේ වෙසක් පෝය දිනය නිවාඩුවක් නොවන බව ලංකාවේ ගොඩක් අය අහල පුරුදු කතාවක්නේ. ඇත්ත. එහෙමනම් ඇමරිකාවේ නිවාඩු දවස් මොනවාද?
ඇමරිකාවේ නිවාඩු දවස් මොනවාද කියන එක පොදුවේ කතා කරන්න අමාරු දෙයක්. මුළු ඇමරිකාවටම බලපාන එවැනි නිවාඩු දින කැලැන්ඩරයක් නැහැ. නිවාඩු දවස් මොනවාද කියන එක ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වගේම, ආයතනයෙන් ආයතනයටත් වෙනස් වෙනවා.
ඇමරිකානු ෆෙඩරල් රජයට බලය තිබෙන්නේ ෆෙඩරල් රාජ්‍ය සේවකයන්ට හා කිසිදු ප්‍රාන්තයක කොටසක් නොවන වොෂින්ටන් ඩීසී ප්‍රදේශයට බලපාන නිවාඩු තීරණය කිරීමට පමණයි. ඇතැම් ෆෙඩරල් නිවාඩු බොහෝ ප්‍රාන්ත වල රාජ්‍ය සේවකයන්ට නිවාඩු දින නෙමෙයි. ඒ වගේම, ප්‍රාන්ත වලට පමණක් බලපාන නිවාඩු දිනත් තිබෙනවා. මේ ප්‍රාන්ත නිවාඩු බලපාන්නේත් අදාළ ප්‍රාන්ත වල රාජ්‍ය සේවකයින්ටයි. මිලියන 130ක් පමණ වන පූර්ණකාලීන රැකියාවක නියුතු ඇමරිකානුවන් අතර සිටින ෆෙඩරල් රාජ්‍ය සේවකයින් ප්‍රමාණය මිලියන දෙකකට වඩා නැහැ. ප්‍රාන්ත රාජ්‍ය සේවකයන් ප්‍රමාණය එමෙන් දෙගුණයක් පමණ වෙනවා.
මා සේවය කරන්නේත් ප්‍රාන්ත රජයට අනුබද්ධ ආයතනයක වුවත් ෆෙඩරල් හෝ ප්‍රාන්ත නිවාඩු දින සියල්ලම අපට නිවාඩු දින නෙමෙයි. අපේ නිවාඩු දින ලැයිස්තුව පහත තිබෙනවා.
1. අලුත් අවුරුදු දිනය- ජනවාරි පළමුවැනිදා
2. මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දිනය- ජනවාරි මාසයේ තෙවන සඳුදා
3. සිහි කිරීමේ දිනය- මැයි මාසයේ අවසන් සඳුදා
4. නිදහස් දිනය- ජූලි 4
5. කම්කරු දිනය- සැප්තැම්බර් මාසයේ පළමු සඳුදා
6. ස්තුති කිරීමේ දිනය (හා පසු දිනය)- නොවැම්බර් මාසයේ සිවුවන බ්‍රහස්පතින්දා (හා සිකුරාදා)
7. නත්තල් දිනය- දෙසැම්බර් 25
මේ අතරින් ස්තුති කිරීමේ දිනයට පසු දිනය හැර අනෙකුත් නිවාඩු දින සියල්ල ෆෙඩරල් නිවාඩු දිනයි. ඊට අමතරව, ජනාධිපති දිනය ලෙස ප්‍රචලිතව ඇති වොෂින්ටන්ගේ උපන් දිනය, කොලොම්බස් දිනය හා වෙතරානුවන්ගේ දිනයද ෆෙඩරල් නිවාඩු දින ලැයිස්තුවේ තිබෙනවා. ෆෙඩරල් නිවාඩු දින සියල්ලම අපේ ප්‍රාන්තයේද නිවාඩු දින වන අතර ඊට අමතරව මහ සිකුරාදා දිනයේ, ප්‍රාථමික හා මහ මැතිවරණ පැවැත්වෙන දින වල හා ලින්කන්ගේ උපන් දිනය වෙනුවෙන් අපේ ප්‍රාන්ත රජයේ සේවකයින්ට නිවාඩු හිමි වෙනවා. එසේ වුවත්, අපට ලැබෙන්නේ ඉහත ලැයිස්තුවේ ඇති නිවාඩු පමණයි.
අපට ලැබෙන නිවාඩු වලින් මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දින නිවාඩුව හැර අනෙක් නිවාඩු සියල්ලම වාගේ බොහෝ පෞද්ගලික ආයතන වල සේවකයින්ටද හිමි වෙනවා. ඊට අමතරව, අලුත් අවුරුද්දට පෙර දිනයත් (දෙසැම්බර් 31) බොහෝ පෞද්ගලික ආයතන වල නිවාඩු දිනයක්.
අපේ නිවාඩු දින ලැයිස්තුවෙන් තුනක්ම හැම විටම යෙදෙන්නේ සඳුදා දින වල නිසා එම සති අන්ත හැම විටම දිගු සති අන්තයි. ස්තුති කිරීමේ දිනයෙන් පසුව එළැඹෙන සිකුරාදා දිනයද අපට නිවාඩු දිනයක් නිසා එම සති අන්තය වඩාත් දිගු සති අන්තයක්. අලුත් අවුරුදු, නත්තල් හා නිදහස් දින නිවාඩු සතියේ කවර දිනක වුවත් යෙදෙන්නට පුළුවන් වුවත් මේ නිවාඩු දින යෙදෙන වකවානු කොහොමටත් පාසැල්, සරසවි ආදියට නිවාඩු දවස් නිසා දරුවන් හා එක්ව කිසියම් කටයුත්තක් සැලසුම් කරන අයෙකුට එයින් අපහසුවක් ඇති වන්නේ නැහැ.
Wednesday, May 22, 2019
අලුත් වෙසක්!
පාස්කු බෝම්බ පිපිරවීම් සිදු කර මාසයක් ගතව තිබෙන බව රසික විසින් මතක් කර ගොස් තිබුණා. ඔහු ඇත්තටම අදහස් කළේ බෝම්බ පිපිරී මාසයක් ගතව ඇති නිසා නැවත බ්ලොග් එකට පණ දිය යුතු බව වෙන්න පුළුවන්.
පසුගිය මාසයටම පළ කර තිබෙන්නේ එක් බ්ලොග් ලිපියක් පමණයි. එයත් ඔහේ ලියනවාට ලියපු එකක්. පසුගිය සති පහක පමණ කාලය තුළ බ්ලොග් එකට වැඩි අවධානයක් නොයෙදීම පාස්කු බෝම්බ ප්‍රහාර වලින් පසුව ලංකාවේ පැවති තත්ත්වය නිසාම සිදු වූවක් නෙමෙයි. නමුත්, එයත් එක් හේතුවක්. බ්ලොග් එක වෙනුවෙන් වැය වන කාලයේ ආවස්ථික පිරිවැය කෙතරම්ද කියා හොඳින් පැහැදිලි වෙන්නේ මේ විදිහට ටික කලක් එය අමතක කර ඒ කාලය වෙනත් වැඩකට යෙදූ විටයි.
බෝම්බ ප්‍රහාර වලින් මසකට පසුව නැවතත් ලංකාවේ ජනජීවිතය පෙර පැවති මට්ටම ආසන්නයට පැමිණ තිබෙනු දැකීම සතුටට කරුණක්. ආර්ථිකය මුළුමනින්ම පිළිසකර වෙන්නනම් තවත් කාලයක් යයි.
මේ සිද්ධියෙන් පසුව, ලංකාවේ සමාජයට බාහිර කම්පන වලට ඔරොත්තු දීමට තිබෙන හැකියාව නැවත වරක් තහවුරු වී තිබෙනවා. පසුගිය වාර වලදී වගේම මේ වාරයේදීත් ලොකු විනාශයක් නොවී වැලකුණේ සාමාන්‍ය ජනතාවගෙන් අති මහත් බහුතරය තනි තනිව හිතා නිවැරදි ලෙස ක්‍රියා කිරීම නිසා මිස දේශපාලන නායකත්වයේ උදවුවෙන් නෙමෙයි. දේශපාලන නායකත්වයට තමන්ගේ උවමනා එපාකම් අනුව මෙහෙයවිය හැකි පිරිස සුළුතරයක් කරමින් හිතන්න පුළුවන් මිනිස්සු පෙරමුණට පැමිණීම ඉතා හොඳ ප්‍රවණතාවයක්.
මේ අතරේ වෙසක් පසළොස්වක පෝය දවස ගෙවී ගියා. මෙවර වෙසක් සැමරුම වෙනත් ආගමිකයින්ගේද සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස පැවැත්වීම කැපී පෙනුණු හා කතාබහට ලක් වූ කරුණක්. ඉකොනොමැට්ටාගේ බොජුන්හල අරඹා සිවුවසරක් ගෙවී ගියේත් හරියටම වෙසක් පෝය දවසේයි. බ්ලොග් එක හා අදාළව, මේ සිවුවන අවුරුද්ද පෙර තෙවසරට සාපේක්ෂව නැගලා ගිය අවුරුද්දක් කියා කියන්න බැහැ. බ්ලොග් එක කියවන ප්‍රමාණය මුල් වසර තුනේදීම ක්‍රමයෙන් ඉහළ ගියත් සිවුවන වසරේදී දකින්න ලැබුණේ පසුබෑමක්. එය පටන් ගත්තේ තෙවන වසරේ මැද හරියේදීමයි. මම හිතන්නේ එය පොදුවේ සිංහල බ්ලොග් වල සිදු වූ පසුබෑමක්.
සිංහල බෞද්ධ රටක් නොවන ඇමරිකාවේ වෙසක් පෝය දවස නිවාඩු දිනයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙහිදී බෞද්ධ රටක් නොවන කියා නොලියා සිංහල බෞද්ධ රටක් නොවන කියා ලිවුවේ බෞද්ධ රටවල් සියල්ලේම වුවද වෙසක් දින සැමරුම එකම දිනක සිදු නොවන නිසයි. මහායාන රටවල් පැත්තකින් තිබ්බත් ථෙරවාද රටවල් අතර පවා පෝය නිර්ණය කිරීමේ වෙනස්කම් තිබෙනවා. මේ වෙනස්කම් ගැන මා මීට පෙර විස්තර කර තිබෙනවා.
ඇමරිකාවේ මා ජීවත්වන නගරයේ සිංහල බෞද්ධ පන්සලක් නැහැ. එහෙත්, පැය දෙකකින් හෝ අඩු කාලයකින් යා හැකි යාබද නගර දෙකක සිංහල බෞද්ධ පන්සල් දෙකක් තිබෙනවා. වඩා ආසන්න පන්සලට පැය එකහමාරකින් පමණ යා හැකියි. අප සාමාන්‍යයෙන් යන්නේ ඒ පන්සලටයි. ඒ බොහෝ විට සිංහල අවුරුදු, වෙසක් හෝ වස් අවසන් කිරීම වැනි විශේෂ වැඩසටහන් ඇති දවස් වලදීයි.
සිංහල බෞද්ධ රටක් නොවන ඇමරිකාවේ සිංහල අවුරුදු දවස හෝ පෝය දවස් නිවාඩු දින නොවන නිසා මේ උත්සව සාමාන්‍යයෙන් පවත්වන්නේ ආසන්න සති අන්තයකදීයි. එහිදී ළඟපාත තිබෙන පන්සල් දෙකක එකම උත්සවය එකම දින නොපැවැත්වීම පිළිබඳවත් සැළකිලිමත් වන නිසා වෙසක් හෝ අවුරුදු උත්සවයක් නියම දවසේ සිට සති දෙකකට පමණ පසුව පැවැත්වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.
අපේ පන්සලේ මෙවර වෙසක් උත්සවය පැවැත්වෙන්නේ වෙසක් පෝය පසු වී සතියකට පසුව, එළැඹෙන සති අන්තයේදීයි. පන්සල සිංහල බෞද්ධ පන්සලක් වුවත්, පන්සලේ කටයුතු වලට සහභාගී වන්නේ සිංහල බෞද්ධයින් පමණක් නෙමෙයි. සිංහල කතෝලිකයින්, ලාංකික මුස්ලිමුන්, සිංහල නොවන බෞද්ධයින් වගේම සිංහල හෝ බෞද්ධ නොවන ඇමරිකානුවන් ඇතුළු විවිධ කණ්ඩායම් පන්සලේ කටයුතු වලට එකතු වෙනවා.
විශේෂයෙන්ම සිංහල අවුරුදු හෝ වෙසක් උත්සව පැවැත්වෙන දවස් වලදී සැලකිය යුතු පිරිසක් පන්සලට එකතු වෙනවා. මෙහිදී සැලකිය යුතු පිරිසක් කියා කියන්නේ ලංකාවේ පන්සලකට පෝය දවසකදී පැමිණෙන පිරිසට සාපේක්ෂව නෙමෙයි. එහෙම බැලුවොත්නම් ඉතා සුළු පිරිසක්.
මේ විදිහට වෙසක් වැනි දවසකට පන්සලට එකතු වන පිරිසගේ දිවා ආහාරයද ඇතුළුව දිවා දානය පිළියෙල වන්නේ පැමිණෙන අයගේම සම්මාදමෙන්. හැමෝම වගේ මුළු පිරිසට ප්‍රමාණවත් තරමට කිසියම් ආහාරයක් රැගෙන එනවා. අන්තිමේදී ආහාර වර්ග විශාල ප්‍රමාණයක් එකතු වෙනවා.
මෙය කිසියම් සැලසුමකට සිදු නොවුනොත් වෙන්නේ හැමෝම එකම ආහාරය පිළියෙළ කරගෙන එන එකයි. ඒ නිසා, හාමුදුරුවෝ කලින්ම ආහාර වට්ටෝරුවක් පිළියෙල කර විද්‍යුත් තැපෑල හරහා සංසරණය කරනවා. එවිට එක් එක් පවුලට තමන් රැගෙන එන දේ කලින්ම අනෙක් අයට දැනුම් දිය හැකියි. ඒ නිසා, එකම ආහාරය ඕනෑවට වඩා පිළියෙළ වී නාස්ති වීමක් වෙන්නේ නැහැ. ආහාර රැගෙන එන අය අතර සිංහල බෞද්ධයන්ට අමතරව පෙර කී සිංහල කතෝලිකයින්, ලාංකික මුස්ලිමුන්, සිංහල නොවන බෞද්ධයින් වගේම සිංහල හෝ බෞද්ධ නොවන ඇමරිකානුවන් ඇතුළු විවිධ කණ්ඩායම් සිටිනවා.
වෙසක් උත්සවයට එහි ආගමික මුහුණුවර ඉක්මවා සංස්කෘතික පැහැයක් ලැබීම ලංකාවට තරමක් අළුත් දෙයක්. එහෙත්, ලාංකික සංක්‍රමණිකයින් විශාල පිරිසක් ජීවත් නොවන, ලංකාවෙන් පිටත පිහිටි අපේ නගරය වැනි තැන් වලටනම් එය අළුත් දෙයක් නෙමෙයි. හැබැයි එහෙම වුනා කියලා මේ වගේ වෙලාවක පන්සල් එන අන්‍යාගමිකයින් සාමාන්‍යයෙන් බුදුන් වඳින්නේ නැහැ. ඒ වගේම, හිස්වැසුම් පාවහන් නොගලවා විහාර ගෙයට ඇතුළු වන්නේත් නැහැ.
Labels:
ආගම් හා දර්ශන,
ඇමරිකාව,
බුදු දහම,
සිංහල සංස්කෘතිය
Tuesday, May 14, 2019
අහස කළු කරලා...
පහුගිය සති කිහිපයේම බ්ලොග් ලිපියක් ලියා මෙහි පළ කරන්න තරම් විවේකයක් තිබුණේ නැහැ. අන්තිම ලිපිය පළ කර තිබෙන්නේ අප්‍රේල් 9 වෙනිදා. සති පහකට කලින්. එතරම් කාලයක් බ්ලොග් එක යාවත්කාලීන නොකර හිටියේ පළමු වරටයි.
දැනට කියලත් ලොකු විවේකයක් නැහැ. සති ගාණක් කාලය යොදවමින් සිටි වැඩක එක අදියරක් යන්තම් ඉවර කරගත්තා. නමුත් වැඩේ ඉවරයක් නැහැ. බ්ලොග් එක හරහා සිංහලෙන් කියවන ටික දෙනෙකුට මොනවා හෝ ලියනවා වෙනුවට වඩා ලොකු පිරිසක් අමතන්න වේදිකාවක් ලැබෙන වෙලාවක ඒ වාසිය නොගෙන ඉන්න එක අපරාදයක්.
අන්තිම ලිපිය පළ කළාට පසුව ගොඩක් දේවල් වුණා. මුලින්ම සිංහල අවුරුද්ද ගෙවුනා. නොත්‍රදාමය ගිණි ගත්තා. කිහිප වරක්ම බ්ලොග් ලිපි ලියන්න පටන් ගත්තත් ලිපියක් ලියා අවසන් කරලා පළ කරන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ එක වර සිදු වූ බෝම්බ පිපිරීම් ගණනාවක් එක්ක දශකයක් පමණ තිස්සේ ලංකාවේ තිබුණු සාමකාමී පරිසරය වෙනස් වුණා. එතැන් පටන් සිදු වූ හා සිදු වෙමින් තිබෙන සිදුවීම් දාමය ගැන නැවත සඳහන් කළ යුතු නැහැ.
බෝම්බ පිපිරීම ගැන දැනගත් වහාම අමාරුවෙන් කාලය හොයාගෙන බ්ලොග් ලිපියක් ලියන්න පටන් ගත්තා. පහත තියෙන්නේ පළ නොකළ ඒ ලිපියෙන් කොටසක්.
"ලංකාවේ සිදු වූ මේ සිදුවීමට සමස්ත බටහිර ලෝකයම බොහෝ සේ සංවේදී වී සිටින බව කාට වුවත් පැහැදිලිව පෙනෙන කරුණක්. ඇමරිකන් මිතුරන්ගෙන් හා ඇමරිකාවේ සිටින වෙනත් විවිධ රටවල් වලින් සංක්‍රමණය වූ අයගෙන් වගේම වෙනත් තෙවන රටවල් වලදී දැන හඳුනාගෙන සිටි මිතුරන්ගෙනුත් කෙළවරක් නැතිව විද්‍යුත් ලිපි ලැබෙනවා. ඒ අය අමතර විස්තර ඇහුවත් මම දන්නෙත් ඒ අය දන්න ටිකම තමයි.
ලංකාව ආයෙත් අසූ තුනේදී වගේම හන්දියකට ඇවිත් වගේ. ඉදිරිය ගොඩක් අවිනිශ්චිතයි.
ලංකාවේ මොනවා හෝ අවුලක් වෙන්න පුළුවන්කමක් තිබුණු නමුත් මේ බෝම්බ පිපිරවීම සිදු වූ ආකාරයේ පොඩි අවුල් ගතියක් තියෙනවා. රූකඩ වල නූල් තියෙන්නේ කාගේ අතේද කියන එක හිතාගන්න එක දින පණහේ නාඩගමේදී තරම් ලේසි නැහැ. දින පණහ ගැන වුනත් මම හිතපු විදිහ ලියන්න අවස්ථාවක් ලැබුණේ නැහැ."
ලිපිය අවසන් නොකළත් තවත් ටිකක් එහාට ලිවුවා. ඒ අතරේ ලංකාවේ සමාජ ජාලා අවහිර කෙරුණා. පැවති තත්ත්වයත් එක්ක මේ සිදුවීම හා අදාළව ලියනවාට වඩා නොලියා ඉන්න එක හොඳයි කියා හිතුණා.
මේ වෙද්දී මේ බ්ලොග් එක කියවන වැඩි දෙනෙක් මෙහි එන්නේ වත්පොත හරහා. ලංකාවේ සිට වත්පොතට පිවිසෙන එක සැලූන් දොරක් වුනාට පස්සේ හදිසියේ දොර ඇරුණු වෙලාවක වත්පොතට එන කෙනෙකු මේ බ්ලොග් එකට එන එක ප්‍රමුඛතාවයක් කරගන්න හේතුවක් නැහැ. කාමරයේ අලියෙක් ඉඳිද්දී වෙන අනං මනං ලියන එකේ තේරුමකුත් නැහැ. ලංකාවේ ඉන්න අයට ලිවිය යුතු දේ රටින් පිට ඉන්න අයට පමණක් ලියන එකේත් තේරුමක් නැහැ. ඔය ඔක්කොටම වැඩිය ලියන දෙයක් කවුරු හෝ වැරදියට කියවීමේ ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන් බව හිතා ලියූ වරින් වර ලියූ ලිපි කිහිපයකුත් අන්තිමේදී පළ නොකරම ඉන්න තීරණය කළා. මේ වගේ වෙලාවක ලංකාවෙන් පිට සිට ලංකාවේ තත්ත්වය විග්රහ කරන්න යන එක එතරම් නිවැරදි දෙයක් නෙමෙයි.
කොහොම වුනත් මේ සිදු වීම හා අදාළව මා දුටු දේ වෙනත් අයත් ඒ විදිහටම දැක තිබුණු නිසා මා ඒ දේවල් නොලිවීම අඩුපාඩුවක් වුණේ නැහැ. දින පණහේ දේශපාලන අර්බුදය පසුබිමේ සිදුවුණේ කුමක්ද කියා වැඩිපුර නොහිතූ අය මේ වෙලාවේදීනම් පැහැදිලිව නොපෙනෙන දේවලුත් දැක තිබුණා. පාස්කු බෝම්බ පිපිරීම වැනි දෙයක් ගැන කිසිදු අදහසක් නොතිබුණත්, ඉදිරි මැතිවරණයකට පෙර ලංකාවේ මේ වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන සැකයනම් දින පණහ අවසන් වෙද්දීම වගේ ඇති වුණා. දැන්නම් තිත් යා කර ගන්න එක ඒ තරම්ම අමාරු නැහැ.
රටක් විදිහට සිය දිවි නසා ගන්නවාද කියා හිතන්න තවමත් කාලය තියෙනවා. සියදිවි නසාගැනීමෙන් අගතියට මිස සුගතියට පාර කැපෙන්නේනම් නැහැ.
Tuesday, April 9, 2019
වේවැල් කෝටු සංස්කෘතිය
ගුරුවරුන් විසින් පාසැල් සිසුන්ට ශාරීරික දඬුවම් දීම හා රජයේ සරසවි වල නවක වදය කාලයෙන් කාලයට උඩට මතුවන මාතෘකා දෙකක්. පාසැල් ගුරුවරියකට උසාවියකින් දඬුවම් නියම කිරීමත් එක්ක පළමු කරුණත්, සරසවි සිසුවෙකු සිය දිවි නසා ගැනීම සමඟ දෙවන කරුණත් මැතකදී නැවතත් උඩට ආවා.
මම දකින විදිහටනම් මේ දෙකම එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්. ඒ විතරක් නෙමෙයි, මේ කරුණු දෙකටම සම්බන්ධ තවත් තුන්වන කරුණුත් තියෙනවා. ලී ක්වාන් යූ පන්නයේ නායකයෙක් ඇවිත් රට හදයි කියා බලාපොරොත්තු වීම එවැන්නක්. නමුත්, මේ කරුණු වලදී දෙවිදිහකට ප්‍රතිචාර දක්වන අය අඩු නැහැ.
ලංකාවේ සරසවියකට නොගිය අය අතර නවක වදය වෙනුවෙන් පෙනී සිටින අය නැති තරම්. එහෙත්, රජයේ සරසවියකට ගිය ඇතැම් අය නවක වදය වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව පෙනී සිටිනවා. නමුත්, එවැනි අය හැමෝම නෙමෙයි.
නවක වදයට එරෙහිව කතා කරන ගොඩක් අය පාසැල් සිසුන්ට ශාරීරික දඬුවම් පැමිණවීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම එවැනි ගොඩක් අය ලී ක්වාන් යූ පන්නයේ නායකයෙක් පත් කර ගැනීම වෙනුවෙනුත් පෙනී සිටිනවා. මෙතැනදී මා අවධානය යොමු කරවන්නේ කිසියම් නිශ්චිත පුද්ගලයෙක් දෙස නොවන බවත්, මේ වර්ගයේ කවුරු හෝ නායකයෙක්ට රටේ තිබෙන ඉල්ලුම ගැන පමණක් බවත් පැහැදිලිව කිව යුතුයි. විවිධ පුද්ගල චරිත ගැන අදහස් පළ වෙන්නේ ඒ ඉල්ලුම නිසයි.
රජයේ සරසවි වලට ගිය අය අතරින් ඇතැම් අය නවක වදය වෙනුවෙන් පෙනී සිටිනවා. තවත් අය නවක වදයට විරුද්ධ නොවී නිහඬව සිටිනවා. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රජයේ සරසවි වලට ගිය ගොඩක් අය එක්කෝ සෘජුව හෝ වක්‍රව නවක වදයට සම්බන්ධව සිටි අය වීම. එසේ නැත්නම් අඩු වශයෙන් එයට විරුද්ධ නොවූ අය වීම. නමුත්, රජයේ සරසවියකට නොගිය අයෙකුට එවැනි ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මේ ප්රශ්නය දිහා බලන්නේ බාහිර පුද්ගලයින් ලෙසින් නිසා මෙහි තිබෙන අවුල පැහැදිලිව පෙනෙනවා.
ගුරුවරුන් විසින් දරුවන්ට දඬුවම් දීම කියන කරුණේදී රටේ ගොඩක් අයට මේ විදිහට ප්රශ්නය දිහා බාහිර පුද්ගලයින් සේ බලන්න බැහැ. එයට හේතුව ලංකාවේ බොහෝ දෙනෙක් ගුරුවරුන් ලෙසම නොවූවත්, අඩු වශයෙන් දෙමවුපියන් හෝ වැඩිහිටියන් ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා ඇති අය වීමයි. මෙතැනදී මේ විදිහට දරුවන්ට වද හිංසා කරන්නේ ඔවුන්ගේ අනාගත යහපත වෙනුවෙන්ය කියන හිතුවිල්ල හෝ ප්‍රකාශය අස්සේ රිංගලා කෙනෙක්ට තමන්ගේම හිත රවට්ටගන්න පුළුවන්. "අපි අද මෙතැන ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහල හදපු නිසා" කියා කියන එකත් ඔය බොරුවේම කොටසක්.
ටික කලක සිට ලංකාවේ නීතිමය වරදක් වුවත් ගුරුවරුන්ට දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා සමාජ විරෝධීන් ලෙස නොව සමාජ ශෝධකයින් සේ පෙනී සිටින්න හැකි වී තිබෙන්නේ ගෙවල් වලදී දෙමවුපියන් හා අනෙකුත් වැඩිහිටියන් විසින්ද දරුවන්ට එවැනිම ශාරීරික දඬුවම් පැමිණවීමයි. තමන්ගේ දරුවා හදාගන්න කියා ගෙදරදී දරුවාට ශාරීරික දඬුවම් දෙන දෙමවුපියෙකුට පාසැලේදී ගුරුවරයෙකු විසින් ඒ දේම කළාම එයට විරුද්ධ වෙන්න අමාරුයි. ඒ වගේම, "දැනුම් තේරුම් තිබෙන" පාසැල් ගුරුවරුන් විසින් සිසුන්ට ශාරීරික දඬුවම් දෙන විට ගෙවල්වල වැඩිහිටියන්ටත් ඒ දේම කරන්න උත්තේජනයක් ලැබෙනවා.
සරසවි වල නවක වදය දිගින් දිගටම පවතින්න හේතු වෙන්නෙත් "අපි අද මෙතැන ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහල හදපු නිසා" කියා හිතන මානසිකත්වයමයි. නවක වදය හේතුවෙන් තමන්ට යමක් ලැබුණු බව බොහෝ සරසවි සිසුන් හිතනවා. ඒ හැඟීම ගොඩක් දෙනෙක්ට තියෙන තාක් කල් නවක වදය නැති කරන්න අමාරුයි. සරසවි නවක වදයේ වගේම ඒකාධිපති පාලකයින් අපේක්ෂා කරන මානසිකත්වයේත් මුල තිබෙන්නේ කුඩා කාලයේදී වැඩිහිටියන් හා ගුරුවරුන් විසින් දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තමන්ට අවශ්‍ය ආකාරයට දරුවන් විනයගරුක කිරීමේ පුරුද්දයි.
මෙය කියවන අපේ පරම්පරාවේ ගොඩක් අය ඕනෑ තරම් පාසැලේදී ගුරුවරුන්ගෙන් ගුටි කා ඇති. පුළුවන්නම් එවැනි අවස්ථා දහයක් මතක් කරගන්න. මේ විදිහට ගුරුවරුන්ගෙන් වැඩිපුරම ගුටිකන්න වී තිබෙන්නේ මොන වගේ දේවල් වලටද? ගොඩක් වෙලාවට විනය සේ හැඳින්වෙන කරුණු හා අදාළවයි. කොණ්ඩය කපා නොතිබීම, අදාළ කාලයේ මෝස්තරය අනුව කලිසම කොට වීම හෝ දිග වීම, කමිසයේ උඩ බොත්තම පියවා නොතිබීම, ප්‍රමාද වී පැමිණීම, ගැහැණු ළමයින් හා අදාළව නියපොතු පාට කර තිබීම, ගවුම කොට වැඩි වීම...සරසවි නවක වදයේත් ඔය මූලික ලක්ෂණ ටික ඒ විදිහටම තියෙනවා.
විනය වැදගත් නොවන බව මා කියන්නේ නැහැ. නමුත්, එසේ විනය වැදගත් වන තැනකදී එය එසේ වැදගත් වන්නේ ඇයි කියන එක තවත් අයෙකුට පැහැදිලි කරන්න අමාරු නැහැ. බොහෝ විට ශාරීරික දඬුවම් අවශ්‍ය වෙන්නේ එවැනි විශේෂ වැදගත්කමක් නැති දෙයක් විනය කියන ලේබලය යටතේ බලාත්මක කරන විටයි. දඬුවම් ලබන අයෙක් විනයගත වෙන්නේ දඬුවමෙන් බේරෙන්න මිසක් එසේ විනයගත වීමේ වැදගත්කමක් දකින නිසා නෙමෙයි. මූලික අරමුණ දඬුවමෙන් ගැලවීම නිසා එතැන් සිටම කල්පනා කරන්නේ දඬුවමෙන් ගැලවී කලින් කළ දේ දිගටම කරන්නේ කොහොමද කියන එක ගැනයි.
දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීමෙන් සිදු වන්නේ කුඩා කාලයේ සිටම නිර්මාණශීලිත්වය මොට කරනු ලැබූ අණ පිළිපදින්නන් පරම්පරාවක් බිහි වීමයි. ඔවුන්ට හිතන්න අවශ්‍ය නැහැ. ඒ නිසා, තමන් වෙනුවෙන් හිතන හා තීරණ ගන්නා කවුරු හෝ ඉන්නවාට ඔවුන් කැමතියි. ඒකාධිපතියන්ට ඉල්ලුමක් එන්නේ එවැනි අයගෙනුයි.
(Image: http://conceptnewscentral.com/index.php/2016/01/18/kill-fail-lick-crime-duterte-tells-gensan-folks/)
Labels:
අධ්‍යාපනය,
ආකල්ප,
නවක වදය,
සමාජ චර්යා
Sunday, April 7, 2019
දියවැඩියාව සමඟ ජීවත්වීම
"මගෙ පුතා. නැති උනේ සීනි අඩුවෙලා වැටිල ඉඳල යාළු. වැඩකට ගියා උදේ පාන්දර 6.30ට විතර. යද්දි සීනි අඩුවෙලා වැටිල . දාහක් ඇස් දැකල ලඟට ගිහින් බලල නැහැ බීපු කෙනෙක් වැටිල කියල. උදේ 7 ඉඳල දවල් 2.45 වෙනකල් තද අවුවෙ ඉඳල. එක මනුස්සයයි ලඟට ගිහින් බලල තියෙන්නෙ ඒත් 2.45ට. ඒ කෙනා මට කිව්වම ඉක්මනින් ඉස්පිරිතාලෙ ගෙනිච්ච. ඒත් කෝමා වෙලා. අවුවට පිච්චිලා දියපට්ට දාල හැමතැනම. දවස් 21ක් අයි.සී.යූ. හිටිය. මං මේක කිව්වෙ ඔයාලට මගෙ යාළුවනේ කවදාවත් කෙනෙක් පාරක වැටිල හිටියොත් අහක බලන්න එපා බීපු කෙනෙක් උනත්. කවුරුහරි අසරණ කෙනෙක් වෙන්න පුළුවන්. මං දන්න හැමෝගෙන්ම කරන කාරුණික ඉල්ලීමක්. මගෙ ගමේ ඉඳල නැහැ කරුණාවන්ත අය. ඒකයි අද මගෙ දරුවට මෙහෙම දෙයක් උනේ. දරුවෙක් ගිනි අවුවෙ පිච්චි පිච්චි මැරෙනකල් බලන් ඉන්න පුළුවන් සමාජයක් නේද දැන් තියෙන්නෙ....."
ඊයේ වත්පොතේ වේගයෙන් හුවමාරු වුනු පෝස්ට් එකක්. පෝස්ට් එකත් එක්කම දැකිය හැකි ඡායාරූපයේ හා මරණ දැන්වීමේ ඉන්නේ වයස අවුරුදු 26ක ප්‍රසන්න පෙනුමැති තරුණයෙක්. ඉතා කණගාටුදායක පුවතක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. මෙය වලක්වා ගත හැකිව තිබුණු මරණයක්.
මේ තරුණයා දියවැඩියා රෝගියෙකුව සිට ඇති බව පැහැදිලියි. ඔහු හෝ පවුලේ අය ඒ ගැන දැන සිටියාද යන්න පැහැදිලි නැහැ.
ලෝක බැංකු දත්ත අනුව ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 10.7%ක් දියවැඩියා රෝගීන්. මීට අමතරව හඳුනා නොගත් දියවැඩියා රෝගීන්ද යම් ප්‍රතිශතයක් සිටිනවා විය යුතුයි. අප අතර සැරිසරන සෑම වැඩිහිටියන් දහ දෙනෙකුගෙන් එක් අයෙකුම දියවැඩියා රෝගියෙකුව සිටියදී සමාජයක් ලෙස ඒ තත්ත්වයට සංවේදී වීමත්, දියවැඩියා නිවාරණය ගැන සිතීම තරමටම වැදගත්.
මිනිස් සිරුරේ සීනි මට්ටම නියාමනය කිරීමේ කාර්යය සිදුවන්නේ ඉන්සියුලින් නිකුත් කිරීම හරහායි. සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය නිසි පරිදි සිදු නොවීම නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණය නිසි සේ නියාමනය නොවීම පොදුවේ දියවැඩියා තත්ත්වයක් ලෙස හැඳින්වෙනවා.
පළමු මාදිලියේ දියවැඩියා රෝගීන් සේ හැඳින්වෙන්නේ උපතින්ම ඉන්සියුලින් නිපදවීමේ යාන්ත්‍රණයේ ප්‍රශ්න ඇති අයයි. එහෙත්, දියවැඩියා රෝගීන් වැඩි දෙනෙකුට තිබෙන්නේ දෙවන මාදිලියේ දියවැඩියාවයි. ඔවුන් සිරුරේ ඉන්සියුලින් නිපදවීම විවිධ හේතූන් මත පසුකාලීනව දුර්වල වූ අයයි. මේ හේතු අතර ආහාර පුරුදු ඇතුළු ජීවන විලාසිතා මෙන්ම ජානමය සාධකද තිබෙනවා.
දියවැඩියාව නිසා හෘදයාබාධ, ආඝාත, ඇස් පෙනීමේ දුර්වලතා, දන්තාබාධ, වකුගඩු රෝග වැනි වෙනත් රෝග තත්ත්වයන් ඇති වීමේ අවදානමද ඉහළ යනවා. එහෙත්, ජීවන විලාසිතා වෙනස් කිරීම හා ඖෂධ මඟින් මේ අවදානම් පාලනය කළ හැකියි.
දියවැඩියා තත්ත්වය දක්වා වර්ධනය නොවූ රුධිරයේ සීනි නියාමනය පිළිබඳ අඩුපාඩු පූර්ව දියවැඩියා තත්ත්වය සේ හඳුනා ගැනෙනවා. ජීවන විලාසිතා වෙනස් කිරීම මඟින් මේ තත්ත්වය ආපසු හැරවීමට 50%ක පමණ හැකියාවක් තිබෙනවා. මෙය කළ හැක්කේ රුධිර පරීක්ෂාවක් මගින් මුල් අදියරේදී මේ තත්ත්වය හඳුනා ගැනීම මගිනුයි. ඒ නිසා, නිරෝගී අයෙකු වුවත් වසරකට වරක් දියවැඩියා පරීක්ෂාවක් කර ගැනීම හොඳ අදහසක්.
දියවැඩියා තත්ත්වය ඇති වූ පසු මුලින් සඳහන් කළ සිද්ධියේ තරුණයාට මෙන් රුධිරයේ සීනි මට්ටම පහළ ගොස් සිහි විසංඥ වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා දියවැඩියා රෝගීන් සීනි වැඩිවීම ගැන මෙන්ම සීනි අඩුවීම ගැනත් සැලකිල්ලෙන් සිටීම වැදගත්. ඒ එක්කම අප අතර සිටින අයෙකු මෙසේ සීනි අඩුව විසංඥ වීමට සැලකිය යුතු ඉඩක් තිබෙන බවත් අප අමතක කළ යුතු නැහැ.
අද අප්‍රේල් 7 ලෝක සෞඛ්‍ය දිනයයි.
(Image: https://newsd.in/world-health-day-2019-who-focuses-on-universal-health-coverage-this-year/)
Labels:
දියවැඩියාව,
රෝග,
සෞඛ්‍යය
Saturday, April 6, 2019
යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (තෙවන කොටස)
බුදුන්ගේ දෙවන ලංකාගමනය පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ පූර්ණ සූර්යග්‍රහණයක් ගැන වෙන්න පුළුවන් වගේම, පළමු ලංකාගමනය පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ චන්ද්‍රග්‍රහණයක් ගැන වෙන්නත් බැරිකමක් නැහැ. වංශ කතා අනුව පළමු ලංකාගමනය සිදුවෙන්නේ පුර පසළොස්වක දවසක රාත්‍රී කාලයේදීයි.
"ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහා නාග වන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය."
"ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගනය ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ධාකාරාදිය මැවූ සේක."
දැන් මේ කතාවේ හැටියට වෙන්නේත් බුදුන් විසින් යක්ෂයින්ගේ හිස් මතුපිට සිට අන්ධකාරයක් මවන එකයි. පසුව අවශ්‍ය දේ සිදුවීමෙන් පසුව ගිණිගෙන දිලිසෙන්නාක් වැනි ආලෝකයක් දැකිය හැකි වෙනවා.
"ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක."
මේ ආකාරයට පෙනුනේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන අවස්ථාවක පෙනෙන රතු හඳද?
විජය පැමිණියායැයි සැලකෙන කාලය හා ඊට පෙර සියවස් වල අවම වශයෙන් ලංකාවේ වෙනස් සංස්කෘතීන් දෙකක් පැවතී ඇති බව පැහැදිලියි. රට ඇතුළේ යක්ෂයින් හා මුහුදුබඩ පළාත් වල නාගයින් වශයෙන්. ලංකාවේ නාගයින් වත්මන් ඉන්දියාවේ මුහුදුබඩ පෙදෙස්වල විසූ නාගයින් සමඟ සමීප සංස්කෘතික සම්බන්ධතාවක් පවත්වාගෙන ඇති බවත් පැහැදිලියි. නමුත්, යක්ෂයින් හා නාගයින් අතර එවැනි සම්බන්ධතාවයක් තිබී ඇති බවක් පෙනෙන්නේ නැහැ.
යක්ෂයින්ගේ ප්‍රතිරෝධය හමුවේ ගංගා දිගේ රට ඇතුළට සංක්‍රමණය වෙන එක නාගයින්ට බොහෝ අසීරු කටයුත්තක්ව තිබෙන්න ඇති. එසේ තිබියදී නාගයින් ගෝකණ්ණයේ සිට මහවැලි ගඟ දිගේ ඉහළට ටිකෙන් ටික ඇවිත් මහියංගනය හරියටම ව්‍යාප්ත වෙලා හිටියා වෙන්න පුළුවන්. නමුත්, මහියංගනය ආසන්නව යක්ෂයින්ගේ බලය ලොකුවටම තියෙන්න ඇති.
වංශ කතා අනුව මහියංගනයේ යක්ෂයින් කඳුකරයට (ගිරි දිවයිනට) එළවා දමන්න හැකි වී තිබෙන්නේ බුදුන්ගේ උදවුවෙන්. නාග හා දේව ගෝත්‍රිකයින්ට යක්ෂයින් එළවා මහියංගනයේ බලය තහවුරු කරගන්න උදවු වුනේ දුරුතු පසළොස්වක පෝ දිනක සිදු වූ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද?
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වීම එතරම් දුලබ දෙයක් නොවන නිසා කිසියම් ඓතිහාසික සිදුවීමක් කාල නිර්ණය කර ගැනීමට එවැන්නක් පිළිබඳ දැනුමකින් ලොකු පිටිවහලක් ලැබෙන්නේ නැහැ. නමුත්, පූර්ණ සූර්යග්‍රහණයක් කියන්නේ ගොඩක් දුර්ලභ සිදුවීමක්.
බුදුන්ගේ දෙවන ලංකාගමනය සිදු වූ තැන සේ සැලකෙන්නේ නාගදීප දූපතයි. එම ස්ථානය පිහිටා තිබෙන්නේ උත්තර අක්ෂ භාග 9°36'17.8"හි හා නැගෙනහිර දේශාංශ 79°46'07.1"හියි. ආසන්න වශයෙන් මුහුදු මට්ටමේම තිබෙන තැනක්. මේ විස්තර ඇසුරෙන් අපට බුද්ධ කාලය අයත් වන ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය තුළ එහි සිට දැකිය හැකි වූ පූර්ණ සූර්යග්‍රහණ හඳුනාගත හැකියි. එම සහශ්‍රය තුළ නාගදීපයට දැකිය හැකි පූර්ණ සූර්යග්‍රහණ සිදුව තිබෙන්නේ හතරක් පමණයි. පහත තිබෙන්නේ අදාළ විස්තරයි.
-ක්‍රිස්තු පූර්ව 1055 මාර්තු 18 දින දවල් 12:51:42 සිට 12:57:05 දක්වා මිනිත්තු 5කුත් තත්පර 23ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 දින උදේ 8:40:27 සිට 8:44:13 දක්වා මිනිත්තු 3කුත් තත්පර 46ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 375 පෙබරවාරි 28 දින හවස 5:11:04 සිට 5:12:07 දක්වා මිනිත්තු 1කුත් තත්පර 03ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 335 ජූලි 04 දින හවස 4:34:57 සිට 4:36:19 දක්වා මිනිත්තු 2කුත් තත්පර 43ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 168 ජූලි 17 දින උදේ 9:39:18 සිට 9:44:29 දක්වා මිනිත්තු 5කුත් තත්පර 10ක කාලයක්
අශෝක රජුගේ රාජ්‍යාභිෂේකය සිදු වූ වසර ක්‍රිස්තු පූර්ව 268 හෝ ආසන්න වසරක් බව සෑහෙන තරම් නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. මහා වංශයට අනුව, විජයාගමනය හා සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ඊට වසර 218කට පෙරයි. මෙය බොහෝ ගැටළු සහගත හා අවිනිශ්චිත මූලාශ්‍රයක් වුවත් දැනට තිබෙන වඩාත් පිළිගත් මූලාශ්රයයි. ඒ අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වසර සේ පිළිගැනෙන්නේ ක්‍රිස්තු පූර්ව 486 වසරයි. එසේනම්, දෙවන ලංකාගමනය සිදුව තිබිය යුත්තේ ඊට වසර 40කට පෙර ක්‍රිස්තු පූර්ව 526දීයි. නමුත්, මෙම කාලයට ආසන්නවම සිදුව ඇති නාගදීපයට දැකිය හැකි පූර්ණ සූර්යග්‍රහණය සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 480දීයි. එනම් බුද්ධත්වයෙන් නොව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පහකට පමණ පසුවයි.
සම්බුද්ධ පරිනිර්වාණය හා විජයාවතරණය සිදු වුනේ එකම දවසක කියන එක නිවැරදි තොරතුරක් සේ පිළිගැනීම ගොඩක් ගැටළු සහගත දෙයක්. මහා වංශය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන විට මගධයේ රජු අජාසත්. එතැන් සිට ධර්මාශෝක දක්වා මගධය පාලනය කරන රජවරුන් ගණන 29ක්. නමුත් මේ වසර 218 තුළ ලංකාව පාලනය කරන්නේ රජවරුන් 8 දෙනෙක් පමණයි. ඒ අතරින් ඇතැම් රජවරුන් පිළිගත නොහැකි තරම් දිගු කලක් ජීවත් වී තිබෙනවා.
වැඩිම වුනොත් මහින්දාගමනයේ සිට නිශ්චිත ක්‍රමවේදයකට වාර්තා කෙරුණු ලංකා ඉතිහාසයේ ඊට පෙර කොටස ප්‍රතිනිර්මාණය කළ කවුරු හෝ විසින් සම්බුද්ධ පරිනිර්වාණය හා විජයාවතරණය කෘතීම ලෙස ගැලපුවා වෙන්න සෑහෙන ඉඩක් තිබෙනවා. ඒ අනුව, විජයාවතරණය සිදුවුණේ සම්බුද්ධ පරිනිර්වාණයට පසුව වෙන්නත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා. වත්මන් ඉන්දියාවේ විවිධ පෙදෙස් වල සිට සංක්රමනික කණ්ඩායම් පැමිණීම සම්බුද්ධ පරිනිර්වාණයටත් පෙර සිටම දිගින් දිගටම සිදු වුනා වෙන්න පුළුවන්. විජය ඇතුළු කණ්ඩායම එසේ පැමිණි එකම හෝ මුල්ම කණ්ඩායම කියා හිතන්න අමාරුයි.
ඓතිහාසික කරුණු වල නිරවද්‍යතාවය සනාථ කරගැනීමේදී හා කාල නිර්ණය කර ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ ලිඛිත සාක්ෂි හා පුරා විද්‍යාත්මක සාක්ෂි ගලපන එකයි. ප්‍රශ්නයකට තියෙන්නේ පුරා විද්‍යාත්මක සාක්ෂි කාල නිර්ණය කළ හැක්කේ විශාල ඇස්තමේන්තු වරදක් එක්ක වීමයි. මේ ක්‍රමවේදයට අනුපූරයක් ලෙස ඓතිහාසික කරුණු සමඟ සූර්යග්‍රහණයක් වැනි ස්වභාවික සංසිද්ධියක් ගැලපිය හැකිනම් අන්තිම තත්පරයටම ඓතිහාසික සිද්ධි කාල නිර්ණය කළ හැකියි. කේන්ද්‍ර සටහන් ආදිය ඇත්නම් ඒවා ඇසුරෙනුත් එවැන්නක් කළ හැකියි.
නාගදීපයට පෙනෙන ලෙස බුද්ධ කාලයට ආසන්නව සිදුව තිබෙන එකම පූර්ණ සූර්යග්‍රහණය සිදුව තිබෙන්නේ ප්‍රලම්බිත ජුලියන් කැලැන්ඩරයෙන් ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 වෙනිදා උදේ 8:40-8:44 අතරයි. මේ දවස හරියම බක් අමාවක දවසක් වීම විශේෂ කරුණක්. එවැන්නක් සිදුවෙන්න ඉඩ තිබෙන්නේ අවුරුදු දහස් ගණනකට වරක් පමණයි.ඊට අමතරව, මේ පූර්ණ සූර්යග්‍රහණය සිදුවෙන්න වසර පහකට පමණ පෙර දුරුතු පුර පසළොස්වක පෝය දවසක රෑ මහියංගණයට (උත්තර අක්ෂාංශ 7°19'11.1" හා නැගෙනහිර දේශාංශ 80°59'17.5", මුහුදු මට්ටමේ සිට මීටර 100 පමණ) පෙනෙනු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද සිදුවී තිබෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව 485 ජනවාරි 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 11:39 සිට 1:17 දක්වා කාලය ඇතුළතයි.
Friday, April 5, 2019
යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (දෙවන කොටස)
දෙපාර්ශ්වයක් එකතු වෙලා විශාල යුද්ධයකට අර අඳින වෙලාවේ අනපේක්ෂිත විදිහට එක පාරටම අහස අඳුරු වෙලා, තවත් ටික වෙලාවකින් ඉර ටිකෙන් ටික වැසී ගිහින් කළුවර වුනොත් ඇති වන තත්ත්වය හිතා ගන්න පුළුවන්ද? යුද්ධ කරන එක කොහොම වෙතත් පාර්ශ්ව දෙකම යුද්ධය අමතක කරලා තම තමන්ගේ දෙවියන් යදින්න පටන් ගන්න එකක් නැද්ද?
යම් හෙයකින් චූලෝදර හා මහෝදර පාර්ශ්වයන් සටනට ලක ලෑස්ති වෙමින් සිටිද්දී පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වෙලා අහස අඳුරු වුනානම් එවැනි තත්ත්වයක් ඇති වෙන්න බැරිකමක් නැහැ. පාර්ශ්ව දෙක විසින්ම පූජනීය සේ සැලකූ අයෙක් සිටියානම් සූර්යග්‍රහණය වෙලාවේ මේ පාර්ශ්ව දෙකම ඒ පූජනීය පුද්ගලයාගෙන් කිසියම් සහනයක් ඉල්ලා සිටින්න ඉඩ තිබෙනවා වගේම මේ අනපේක්ෂිත සිදුවීම වුනේ තමන් යුද්ධයට එළැඹි නිසා කියා හිතා යුද්ධය නවතා සමඟි වෙන්නත් ඉඩ තිබෙනවා. යුද්ධයට හේතු වූ මිණිපළඟ බෙදාගන්න අමාරු නිසා එය අර දෙපාර්ශ්වයටම පිළිගත හැකි පුද්ගලයාට පූජා කිරීම විසඳුමක්.
චූලෝදර මහෝදර සටන සිදු වෙන්න ගිහින් තියෙන්නේ අමාවක පොහොය දවසක උදය කාලයේ. සූර්යග්‍රහණයක් සිදු වෙන්නෙත් අමාවක පෝය දවස් වලටයි. ඒ වගේම නිශ්චිත කිසියම් ප්‍රදේශයකට පූර්ණ සූර්යග්‍රහණයක් පෙනෙන්නේ එය දවල් කාලයේ සිදු වුනොත්. ඒ නිසා මේ කියන දවසේ එවැනි පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වුනා වෙන්න පුළුවන්. එවැන්නක් වුනානම් ඒ පිළිබඳ සාමූහික මතකය සියවස් ගණනක් යන තුරු ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ ජනශ්රැති පරම්පරාවෙන් පරම්පරාවට යද්දී කතාව විශාල ලෙස වෙනස් වෙනවා. දීප වංශය ලියන කාලය වෙද්දී කතාව මේ වගේ එකක්.
යථා නාගානං සංගාමං- තථා ගන්ත්වා නරුත්තමෝ
උභෝනාගවරමජ්ජේ- ඨිතෝ සත්තානුකම්පකෝ
නරෝත්තමයන් වහන්සේ සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් නාගයින්ගේ සංග්‍රාමය පැවති තැනට ගොස් නාගයින්ගේ පාර්ශ්ව දෙක මධ්‍යයෙහි සිටගත් බව මෙයින් කියැවෙනවා.
නභේ ගන්ත්වාන සම්බුද්ධෝ- උභෝ නාගානං උපරි
තිබ්බන්ධකාරතමං ඝෝරං- අකාසි ලෝකනායකෝ
ලෝකනායක සම්බුද්ධයන් පාර්ශ්ව දෙකේම නාගයින් සිටි තැන් වලට ඉහළ අහසට ගොස් තීව්ර, ඝෝර අන්ධකාරයක් ඇති කළ බව මෙයින් කියැවෙනවා.
අපි නිකමට හිතමු මේ පාර්ශ්ව දෙකේම සිටි නාගයින් සූර්ය වන්දනාව කළ අය කියා. එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. එසේ වුනානම් මේ කතාවේ කියන ආකාරයේ විශාල සංග්‍රාමයකට අවතීර්ණ වෙන්න කලින් මේ අය කරන්නේ ඉර දෙවියන් වඳින එකයි. ඒ වගේ වෙලාවක එක පාරටම අහස අඳුරු වී අන්ධකාරයක් පැතිරුනොත් හිතෙන්නේ මෙය තමන් අදහන, තමන්ගේ හිස් මුදුනේ පෙනෙන්න ඉන්න, ඉර දෙවියා හා අදාළ දෙයක් බවයි. පරම්පරා කිහිපයකට පස්සේ මේ ජනශ්රැතිය ඉදිරියට ගෙනයන අය බුදුන් අදහන්නන් වීමෙන් පසුව සූර්ය දේවරාජයා වෙනුවට ලෝකනායක සම්බුද්ධයන් ආදේශ වීම වැන්නක් ජනශ්රැති විකාශනය වීමේදී සිදුවන සාමාන්‍ය දෙයක්. යම් හෙයකින් මේ කණ්ඩායම් දෙකේ හිටියේ මහින්දාගමනයට පෙර ලංකාවේ සිටි බෞද්ධයින් වීනම් (මේ ගැන පසුව කතා කරමු), ඉර නොපෙනී යාම හමුවේ මේ විදිහට සහනයක් ඉල්ලා සිටියේ බුදුන්ගෙන්ම වෙන්න වුණත් බැරිකමක් නැහැ.
අන්ධං තමං තදා හෝති- කේසර මායා ඉද්ධියා
අන්ධකාරේන ඕනද්ධෝ- සිහිතා යා රුක්ඛෝ අහූ
සිංහයාගේ මායා සෘද්ධි බලයෙන් අන්ධකාරය හාත්පස පැතිරී ගිය බවත්, සිංහයා සහ වෘක්ෂය අන්ධකාරය තුළ ගිලී නොපෙනී ගිය බවත් මෙයින් කියැවෙනවා. මේ ගාථාවෙහි සිංහයා (කේසර/සිහ) ලෙස හඳුන්වන්නේ බුදුන් බව පෙනෙනවා. මෙහි කියැවෙන ගස, පෙර ගාථාවක විස්තර කර ඇති පරිදි, ජේතවනාරාමයේ සිට බුදුන්ට සෙවණ සලසමින් සමිද්ධි නම් දේවතාවා විසින් රැගෙන එන එම දේවතාවා වාසය කර ඇති ගසයි.
පසුව බුදුන් ආදේශ වී තිබෙන්නේ හිරු දෙවියන් වෙනුවටනම් අඳුර පැතිරෙන්නට පෙර සිටම හිරු දෙවියන්ට වෙනත් අයෙකු විසින් සෙවණ සලසමින් සිට ඇති බව පෙනෙනවා. නාගයින් මෙසේ දකින්නේ ඉරේ සැර විශාල ලෙස අඩුවන සූර්යග්‍රහණයක මුල් අදියර විය හැකියි.
අඤ්ඤාමඤ්ඤං න පස්සන්ති- තසිතා නාගා භයට්ඨිතා
ජයංපි න පස්සන්ති- කුතෝ සංගාම කාරිතුං
එකිනෙකාව නොපෙනෙන නිසා නාගයින් බියපත් වී හා තැතිගෙන සිටිනවා. ජයංපි න පස්සන්ති, කුතෝ සංගාම කාරිතුං? දිනනවද (නැද්ද) කියා පේන්නේ නැතුව සංග්රාම කරන්නේ කොහොමද?
සබ්බේ සංගාමං භින්දිත්වා- පමුඤ්චිත්වාන ආයුධං
නමස්සමානා සම්බුද්ධං- සබ්බේ ඨිතා කතඤ්ජලී
සියළු දෙනාම යුද්ධ කිරීම නවත්වා, ආයුධ පැත්තකට දමා අත් එකතු කර බුදුන්ට නමස්කාර කරන්න පටන් ගන්නවා.
සලෝමහට්ඨේ ඤත්වාන- දිස්වා නාගේ භයට්ඨිතේ
මෙත්ත චිත්තේන පරිත්වාන- උණ්හාරංසිං පමුඤ්චයී
මහත් බියකින් සැලෙමින් සිටින නයින් දැකීමෙන් මෙත් සිත් පහළ කරගෙන උණුසුම් රැස් දහරක් එවනවා. මේ කියන්නේ පූර්ණ සූර්යග්‍රහණයකදී ඉර මුළුමනින්ම වැසී යාමෙන් පසුව දකින්නට ලැබෙන පළමු ආලෝක රැස් දහර ගැන වෙන්න බැරිද?
ආලෝකෝව මහා ආසි- අබ්භුතෝ ලෝකහංසනෝ
සබ්බේ පස්සන්ති සම්බුද්ධං- නභේ චදං ව නිම්මලං
ලොම් කෙළින් කරවන අද්භූත සිදුවීමක් ලෙසින් නිමල ආලෝකය අහස පුරා පැතිරෙද්දී සියලු දෙනාම සම්බුදුන් දකිනවා.
ශ්රද්ධාවන්ත බෞද්ධයින්ට දැනුත් ඇතැම් වෙහෙර විහාර වලින් බුදුරැස් විහිදෙන බව ඇස් දෙකටම පේන එකේ ඒ කාලේ එහෙම දෙයක් පෙනෙන්න ලොකු ඉඩක් තියෙනවා. පූර්ණ සූර්යග්‍රහණයකදී ඉර මුළුමනින්ම වැසී යාමෙන් පසුව දකින්න ලැබෙන පළමු ආලෝක දහර අතිශයින්ම විචිත්රයි. දියමන්ති මුද්දක් අහසේ තියෙනවා වගෙයි පෙනෙන්නේ (Diamond Ring Effect). (උඩ තිබෙන ඡායාරූපය බලන්න)
ඡහි වණ්ණේහි උපේතෝ- ජලන්තෝ නභකන්තරේ
දස දිසා විරෝචන්තෝ- ඨිතෝ නාගා අභාසථා
ෂඩ් වර්ණ රැසින් අහසේ දස දිශාවම දිදුළවමින් බුදුන් නාගයින්ව අමතනවා. ඉන්පසුව තමයි මිණි පළඟ බුදුන්ට පුදා නාගයින් දෙපිරිස සමඟි වෙන්නේ.
බුදුන් පැමිණි කතාව පැත්තකින් තිබ්බොත් නාගයින් කණ්ඩායම් දෙකක් අතර සටනක් සිදු වෙන්න ගිහින් කිසියම් අයුරකින් එය වැළකී යාමක් පිළිබඳ කතාවක් මෙහි තිබෙනවා. එවැනි දෙයක් ඇත්තටම සිදු වුණාද? සිදුවෙන්නට ගිය මේ සටන වැළකෙන්නට ඇත්තටම හේතු වුනේ ඒ අවස්ථාවේදී සිදු වුනු පූර්ණ සූර්යග්‍රහණයක්ද?
Thursday, April 4, 2019
යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (පළමු කොටස)
අද මැදින් අමාවක පෝය. ඉන්පසුව බක් මාසය ආරම්භ වෙනවා. බක් මාසය කියන්නේ ලංකාවට සංස්කෘතිකව ගොඩක් වැදගත් මාසයක්.
වංශකතා අනුව, ගෞතම බුදුන් තෙවරක් ලක්බිමට වැඩම කර තිබෙනවා. බුදුන්ගේ පළමු ලංකාගමනය සිදුව තිබෙන්නේ බුද්ධත්වය සිදුව වසරක් ඇතුළත දුරුතු පුර පසළොස්වක් පෝ දිනක මහියංගනයටයි. දෙවන ලංකාගමනය බුද්ධත්වයෙන් පස් වන වසරේ බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහි සිදුව තිබෙනවා. පැමිණ තිබෙන්නේ නාගදීපයටයි. වසර පහක කාලයක් ඇතුළත සිදුව තිබෙන මේ ඓතිහාසික සිදුවීම් දෙක මහා වංශ කතුවරයා විසින් වාර්තා කර තිබෙන්නේ පහත ආකාරයටයි.
"ශත්‍රැමර්දනය කරණශීලී වූ සර්වඥතම උරුවෙල් කසුප්නම් ජටිලයාගේ මහා යාගය එළඹ සිටි කල්හි තමන් නොඊමෙහි වූ ඔහුගේ ඉච්ඡා වාරය දැන උතුරුකුරු දිවයිනෙත් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්ත නම් විල සමිපයෙහි දී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් වහන්සේ විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනෙකැයිද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු යැයිද දන්නා ලදී. ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහා නාග වන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය."
"ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගනය ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ධාකාරාදිය මැවූ සේක. බියෙන් පෙළුනා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්වූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුන්ට මෙසේ වදාළ සේක. “යක්ෂයෙනි, තොපගේ මේ භය හා දුක් මම පහකරන්නෙමි. තොපි සමගිව මෙතන්හි මට හිඳිනා තැනක් දෙන්නහු ද? නොම දෙන්නහුද?” “නිදුකානෙනි, නුඹ වහන්සේට මේ සියලුම ලක්දිව දෙම්හ. අපව අභය දුනමැනවැ”යි ඒ සියලුම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූය. ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක. ග්රීස්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්තයෙහි හාත්පසින් සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන්ට රම්‍ය වූ ගිරිදිවයින් මෙහි ලඟා කළ සේක. උන් එහි වන් කළ තිබුන තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලු සේක. එකල්හි දෙවියෝ සර්වඥයන්වහන්සේ කරා පැමිණියෝය. ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්ත්වයින්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල් පිහිටියෝය."
"පස්මරුන් දිනූ මහත් කරුණා ඇත්තා වූ සියලු ලෝ වැස්සන්ගේ වැඩෙහි ඇලුනා වූ ශාස්තෘ වූ සර්වඥයින් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් පස්වෙනි වස ජේතවන විහාරයෙහි වැඩ වසන සේක්, මහෝදර නාගය එසේම චූළෝදර නාගය යන පිරිස් සහිත වූ නාගයන්ගේ මිණි පළඟ හේතු කොට එළඹ සිටියා වු යුද්ධය දැක, බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහි ම උතුම් වූ පා සිවුරු ගෙණ නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක. එකල්හි මහත් සෘද්ධි ඇති ඒ මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයම් නාග භවනයෙහි රජ වී උහුගේ නැගණි තොමෝ කන්වඩමන් නම් පව්වෙහි නා රජහට දෙන ලද්දීය. උහුගේ පුත්‍ර තෙම චූළෝදර නමි. උහුගේ මෑණියන් පිය වූ නා රජතෙම උතුම් වූ මිණිපළඟ මෑණියන්ට දී කාලක්‍රියා කෙළේ ය. එසේ හෙයින් මයිල් නාරජු හා බැණනුවන්ගේ යුද්ධය තෙම එළඹ සිටියේය. පර්වත වාසී වූ ද ඒ නාගයෝ මහත් සෘද්ධිමත් වූහ. සමිද්ධි සුමන නම් දෙවි තෙමේද ජේතවනයෙහි පිහිටි තමන් යහපත් භවනය වූ කිරිපලුරුක බුද්ධානුමතියෙන්ම ගෙන ඡත්‍රාකාරයෙන් සර්වඥයන් මත්තෙහි දරන්නේ ඒ පෙර විසූ ස්ථානයට ආයේ ය. ඒ දෙවි තෙම අනතුරු බැවෙහි නාගදීපයෙහි මනුෂ්‍යයෙක් විය..."
"...මෝහාන්ධකාර නසන්නා වූ සර්වඥ තෙම එහි යුද්ධ මධ්‍යයෙහි අහසේ වැඩ හුන්නේය. ඒ නාගයන්ට භය එලවන්නා වූ අන්ධකාරයක් මවා පෑ සේක. (සර්වඥයන් වහන්සේ) බියෙන් පෙළුන ඒ (නයින්) අස්වසන්නේ ආලෝකයක් පැතිරවූ සේක. සර්වඥයන් දැක සතුටු වූ ඒ නාගයෝ සර්වඥයන් වහන්සේගේ පා වැන්දෝය. පස්මරුන් දිනූ සර්වඥ තෙම සමඟි කරන්නා වූ ධර්මයන් ඔවුන්ට දේශනා කළ සේක. සතුටු වූ ඒ දෙදෙන ම මිණිපළඟ සර්වඥයන් වහන්සේට ප්රදානය කළහ. ලෝකනායක වූ ශාස්තෘ තෙම එහි බැස අස්නෙහි වැඩහිඳ, ඒ නාග රාජයන් විසින් දිව්‍යාහාරපානයෙන් සතපන ලත් සේක්, දිය වැසි වූද ගොඩ වැසි වූද අසූ කෙළක් නයින් තුන් සරණයෙහි ද සීලයෙහි ද පිහිට වූ සේක."
අද මේ ලිපිය ලියන මා මෙන්ම මහාවංශ කතුවරයාද මේ සිදුවීම් සිදුවන කාලයේ ජීවත් වී නැහැ. සියවස් ගණනාවකට පසුව ඔහු විසින් කර තිබෙන්නේ, දැන් මා කරන්නාක් මෙන්ම, තමන්ට පරිශීලනය කරන්නට ලැබී තිබෙන මූලාශ්‍ර ඇසුරු කර ගනිමින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්. දැනටත් අපට පරිශීලනය කළ හැකි දීපවංශය සැලකෙන්නේ මේ සිදුවීම් පිළිබඳව මහාවංශයට වඩා පැරණි ඓතිහාසික මූලාශ්‍රයක් ලෙසයි. එහෙත්, දීපවංශ කතුවරයා හෝ කතුවරුන් විසින් කර තිබෙන්නේත් එවකට ඔවුන් දැන සිටි දේ ඇසුරු කරගනිමින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්. ඒ නිසා, මේ ඓතිහාසික වාර්තා වල තිබෙන්නේ සැබෑවටම සිදු වූ දෙයක් ගැන විස්තරයක් බව අපට සහතිකවම කියන්න බැහැ. නමුත්, මෙවැනි ප්‍රවාද හැදෙන්න කවර හෝ පදනමක් තිබිය යුතුයි.
මහාවංශයට හා දීපවංශයට පදනම් වී තිබෙන්නේ මුඛපරම්පරාවෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙන ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසයයි. එය විධිමත් ලෙස සිදුවන්නට ඇතැයි සිතිය හැක්කේ මහින්දාගමනයෙන් පසුවයි. ඊට පෙර කොටස ඒ කාලයේදී වත්මන් ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බෞද්ධ භික්ෂූන් විසින් ප්‍රතිනිර්මාණය කළ ඉතිහාසයක්. එහිදී ඔවුන් එවකට ලංකාවේ වූ ජනශ්රැති වලින් තොරතුරු ලබාගන්න ඇති.
දෙවනපෑතිස් කියන්නේ ඉහත කී සංක්‍රමණික බෞද්ධ භික්ෂූන්ට ලංකාවේදී සම්මුඛ වූ චරිතයක්. දැක නොතිබුණත් ඔහුගේ පියා වූ මුටසීව ගැනත් ඔවුන් ලංකාවට පැමිණෙන්න පෙර සිටම අසා තිබෙනවා. ලංකාවේදී ඔවුන්ට දෙවනපෑතිස්ගේ පියා මුටසීවව මෙන්ම දෙවනපෑතිස්ගේ පියාගේ පියා වූ පණ්ඩුකාභය ගැනත් හොඳින් දැන සිටි ඔවුන්ගේ කාලයේ ජීවත් වූ වයස්ගත පුද්ගලයින් හමු වෙන්න ඇති. එහෙත්, පණ්ඩුකාභයගේ පරම්පරාවට පෙර පරම්පරා වල අය ඒ වන විට ජීවත්ව ඉන්න ඉඩක් නැහැ.
කොහොම වුවත්, දෙවනපෑතිස් රජුගේ පරම්පරාවේ අක්මුල් හොයා යන සංක්‍රමණික භික්ෂූන්ට පණ්ඩුකාභයගේ මවගේ පියා වූ පඬුවස්දෙව් ගැනත්, පඬුවස්දෙව්ට ලංකාවට සංක්‍රමණය වීමට ඉඩකඩ සපයා දුන් ඔහුගේ පියාගේ සොහොයුරෙකු වූ විජය ගැනත් තොරතුරු හමුවුණා කියා හිතන්න පුළුවන්. බුදුන්ගේ ලංකා ගමන් වංශ කතා වල විස්තර කෙරෙන්නේ විජය ලංකාවට සංක්‍රමණය වන්නට පෙර කලෙක සිදු වූ සිදුවීම් ලෙසයි. නාගයින් හා යක්ෂයින් විජයගේ කාලයට පෙර සිටම ලංකාවේ ජීවත්ව සිට ඇති ජනකොටස් බව වංශ කතා කතුවරුන් විසින් හඳුනාගෙන තිබෙනවා.
බුදුන්ගේ දෙවන ලංකාගමනය ලෙස වාර්තා වී තිබෙන සිදුවීම ඉහත කී දේශීය ජනකොටසක් වූ නාගයින්ගේ කණ්ඩායම් දෙකක් අතර සිදුවන්නට ගිය සටනක් පිළිබඳව අවිධිමත් ලෙස කටින් කට සම්ප්‍රේෂණය වූ වාර්තා මත පදනම් වී ඇති බව සිතිය හැකියි. මෙය බක් අමාවක් පොහෝ දිනක උදය වරුවේ සිදුවන්නට ගොස්, යුද්ධයේ පාර්ශ්වකරුවන් විසින් අපේක්ෂා නොකළ හේතුවක් නිසා වැලකී තිබෙන සටනක්. ඒ ආකාරයට, යුද්ධයක් වැළැකී දෙපාර්ශ්වය සමඟි වීමට හේතු විය හැකි, ඒ හේතුව නිසාම කාලයක් කිසියම් ජන කොට්ඨාශයකගේ සාමූහික මතකයේ රැඳී තිබිය හැකි, ස්වභාවික සංසිද්ධි තිබිය නොහැකිද?
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...