ලංකාවේ දේශපාලන අර්බුදයට සත් සතියක් ඉක්මී යාමෙන් පසුව එම අර්බුදය අවසන් වන බවක් පෙනෙන්නට තිබෙනවා. දේශපාලන අර්බුදය නිමා වන ලකුණු පෙනෙන්නට තිබුණත් අර්බුදයේ ගමන් මඟ දෙස ආපසු හැරී බැළුවහම තවත් ප්‍රශ්න ගණනාවක් දිගටම ඉතිරි වන බව පැහැදිලියි. දේශපාලන අර්බුදය නිමා වුනත්, ඇති වුනු නෛතික අර්බුදයේ නිමාවක් දකින්න තවත් මාසයක්වත් යයි.
මේ සත් සතිය තුළ බොහෝ දේ සිදුවුණා. ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද අගමැති පුටුවේ වාඩි වෙන්න ඇත්තේ කෙසේ හෝ ව්‍යවස්ථාදායකයේ බලය තහවුරු කරගන්නේය යන අධිෂ්ඨානයෙන් විය යුතුයි. එයට පහසුවක් සලසනු පිණිස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැම්මා. රනිල් ඇතුළු පිරිස පාර්ලිමේන්තුව ඇරෙන තුරු අනිමිසලෝචනයෙන් බලා සිටියා. හදිසියේ වැටුණු වැස්සෙන් බේරෙන්න දෙමළ රාජ්‍ය පක්ෂය හා ජවිපෙ එජාපයට ආරක්ෂාව සැපයුවා. ජනාධිපති සිරිසේන දිගින් දිගටම විධායකයේ රුවන් මැදුරේ රැස් විහිදුවමින් සිට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුන් ලෝකයටම ලොක්කා ලෙස ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අධිකරණයේ පිහිටෙන් පාර්ලිමේන්තුව විවෘත කරගැනීමෙන් පසුව කතානායකවරයාට යෝජනා සම්මත කරගන්න මාර පරාජය කරන්න සිදු වුණා. මුලින් ඒ පැත්තටත්, පසුව මේ පැත්තටත් මන්ත්‍රීවරුන් රුවන් සොයා සක්මන් කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය තීන්දු කරද්දී සත් සතිය ගෙවුණා. නමුත්, සත් සතියෙන් පසුව මුලින්ම ඇහුණේ නිෂ්ක්‍රමණ දේශනාවක් මිස මංගල දේශනාවක්නම් නෙමෙයි. එහි ඇති කරුණු ගැන පසුව කතා කරමු.
විධායකයේ ප්‍රධානියා විසින් ඇති කළ, ව්‍යවස්ථාදායකය ඇතුළු තවත් බොහෝ පාර්ශ්වයන් වින්දිතයන් කළ අවුල ලෙහන්න අවසාන වශයෙන් මැදිහත් වෙන්න වුනේ අධිකරණයටයි. මේ හා අදාළව අධිකරණයේ විභාග වන ප්‍රධාන නඩු තුනකින් එකක පමණක් තීන්දුව මේ වන විට ලැබී තිබෙනවා.
රනිල්ව අගමැති ධුරයෙන් පහ කිරීමට විරුද්ධව පෙත්සම් දෙකක් ඉදිරිපත් වුනේ තරමක් කල් පසුවයි. මේ පෙත්සම් ජනවාරි මාසයේ විභාගයට ගැනීමට නියමිතයි. ලැබෙන තීන්දුව අනුව, මහින්ද රාජපක්ෂ කිසිදු දිනක ලංකාවේ අගමැති නොවූ බව තීරණය වෙන්න පුළුවන්. එසේ නොවන්නත් පුළුවන්. අධිකරණ තීන්දුව කුමක් වේදැයි නිශ්චිතව පැවසීමේ හැකියාවක් මට නැහැ. නමුත්, එය 50:50 ඉඩ ඇති දෙයක් නෙමෙයි. නෛතික කරුණු අනුව රනිල් ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල නොවන බව තීන්දු වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ව්‍යවස්ථාව අනුව රනිල් ඉවත් කිරීමේ වැරැද්දක් නැත්නම් මහින්දව අගමැති සේ පත් කිරීමේ වැරැද්දක් නැහැ. මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරය තිබීම හෝ නොතිබීම ද්වීතියික කරුණක්.
ජනවාරියේදී ලැබෙන්නට නියමිත අධිකරණ තීන්දුව අනුව පහත කරුණු දෙකෙන් එකක් පමණක් සත්‍ය විය හැකියි. දෙකම සත්‍ය විය නොහැකියි.
1a . ඔක්තෝබර් 26 දින ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් හෝ ජාතික ආණ්ඩුව බිඳ වැටීම මත ඔහුගේ අගමැති ධුරය අහෝසි වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ලංකාවේ නීත්‍යානුකූල අගමැති සේ පත් කරනු ලැබීම
1b . ඔක්තෝබර් 26 දින ජනාධිපතිවරයාගේද එකඟත්වය මත ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් හරහා රනිල් වික්‍රමසිංහව බලයෙන් පහකර මහින්ද රාජපක්ෂ විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීම.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් දහයක් හා අදාළ තීන්දුව මේ වන විට ලබා දී තිබෙනවා. ඊට පෙර, අදාළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වමින් තාවකාලිකව අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවා. අවසන් තීන්දුව පිටු 88ක ලේඛණයක්. (විනිසුරු සිසිර ආබෲගේ පිටු 19ක තීන්දුවද සමඟ එක්ව ගත් විට පිටු 107ක්.) මෙය නෛතික, දේශපාලනික හා ශාස්ත්‍රාලයීය ලෙස ඉතා වැදගත් ලියැවිල්ලක් බව මගේ අදහසයි. ලංකාව, එංගලන්තය, ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක නඩු තීන්දු පරිශීලනය කරමින් ඉතා පැහැදිලි හා පුළුල් නෛතික පදනමක් මත නිගමනයන්ට පැමිණෙමින් ලබා දී තිබෙන මේ තීන්දුව ඇතුළත් ලේඛණය තුළ පසුගිය සත් සතිය පුරා ප්‍රසිද්ධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කළ තර්ක විතර්ක සියල්ලටම වාගේ පිළිතුරු සොයාගත හැකියි. ඒ එක්කම දහනවවන සංශෝධනයෙන් අනතුරුව මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අටුවාවක් ලෙස මේ ලියැවිල්ල සැලකිය හැකියි. මෙය තවදුරටත් දේශපාලනික කරුණක් නොවන නිසා අදාළ ලියැවිල්ල ඇසුරෙන් අවශ්‍ය පැහැදිලි කිරීමක් කරන්නට අපට හැකි වුවත් දැනට අප ඒ සඳහා වචන වැය කරන්නේ නැහැ. අවශ්‍යනම් අධ්‍යාපනික පදනමකින් එවැනි පැහැදිලි කිරීම් කළ හැකියි.
ඉහත කී අවසන් තීන්දුව ලබා දෙන්න කලින් අතුරු තහනම් නියෝගයක් ලබා දුන් බව කවුරුත් දන්නා කරුණක්. එය රැඳවුම් නියෝගයක්. මේ රැඳවුම් නියෝගය අනුව පාර්ලිමේන්තුවට නැවත රැස් වීමට බලයක් නොලැබෙන බව ඇතැම් අය මතු කළ අදහසක්. එවැනි තත්ත්වයක් මතුවන්නේ පාර්ලිමේන්තුව රැස්වීමට එරෙහිව රැඳවුම් නියෝගයක් නිකුත් කළානම්. නමුත් නියෝගය මඟින් රැඳවූයේ පාර්ලිමේන්තුව විසුරුවමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මිසක් පාර්ලිමේන්තුව නෙමෙයි. ඒ නිසා, නෛතිකව එවැනි ගැසට් නිවේදනයක් නොමැති තත්ත්වයක් තාවකාලිකව ඇති වී පාර්ලිමේන්තුව නැවත සක්‍රිය වුණා. අවසන් තීන්දුවෙන් අහෝසි වුනෙත් ඉහත කී ගැසට් නිවේදනයයි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබුණු මැතිවරණය අවලංගු වුණා. එසේ නැතිව අධිකරණය විසින් මැතිවරණ පැවැත්වීම වැලැක්වූයේ නැහැ. එජනිසය හා එජාපය එක්ව සම්මත කරගත් දහනවවන සංශෝධනය අනුව නීතිය කුමක්දැයි පැහැදිලි කරදුන්නා පමණයි.
අතුරු තහනම් නියෝගයක් අවසාන තීන්දුවෙන් ස්ථිර වීම හැමවිටම අනිවාර්යයයෙන්ම සිදුවන දෙයක් නෙමෙයි. අවසන් තීන්දුවෙන් යම් හෙයකින් ගැසට් නිවේදනය නැවත සක්‍රිය වුණානම් ඒ අනුව නියමිත දිනට මහ මැතිවරණය පවත්වන්න අසීරු වෙනවා. අතුරු තහනම් නියෝගයක් දෙන්නට පෙර අධිකරණය මෙවැනි අතුරු ප්‍රතිඵල ගැන සැලකිල්ලක් දක්වනවා.
පාර්ලිමේන්තුව නැවත රැස්වීමෙන් පසුව අගමැති සේ පත් කරනු ලැබ තිබුණු මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවා. මේ විශ්වාස භංග යෝජනාවේ පදනම වන්නේ මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ හෝ රටේ විශ්වාසය කඩන කිසිවක් කිරීම නෙමෙයි. එවැනි චෝදනාවක් එජාපය, ජවිපෙ, දෙමළ රාජ්‍ය පක්ෂය ඇතුළු පක්ෂ විසින් ඉදිරිපත් කළානම් එය එසේ විශ්වාසය කඩන අවස්ථාව වන තුරු රටේ අගමැති මහින්ද රාජපක්ෂ වූ බව ව්‍යවස්ථාදායකය විසින් පිළිගැනීමක් වෙනවා. නමුත්, සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව ව්‍යවස්ථාදායකය විසින් මහින්ද රාජපක්ෂ කිසිවිටෙකත් (මේ වසරේදී) ලංකාවේ අගමැති වූ බව පිළිගෙන නැහැ. එයින් පිළිගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස එවැනි පත්වීමක් සිදු කර ඇති බැවින් ඔහු කෙරෙහි විශ්වාසයක් නැති බවයි. මේ අනුව, ව්‍යවස්ථාදායකය විසින් බහුතර කැමැත්තෙන් තීරණය කර තිබෙන්නේ ඔක්තෝබර් 26 දින සිදු වූයේ ඉහත 1a තත්ත්වය නොව 1b තත්ත්වය බවයි.
ඔක්තෝබර් 26 දින සිට නොවැම්බර් 14 දක්වා පැවති තත්ත්වය ඉහත 1b තත්ත්වයනම් ඇත්තටම විශ්වාස භංගයක් අවශ්‍ය වන්නේ නැහැ. එසේ අවශ්‍ය වන්නේ පැවතියේ ඉහත 1a තත්ත්වයනම් පමණයි. ඒ නිසා, මේ විශ්වාස භංග යෝජනාවේ යම් අවුලක් තිබෙනවා. කෙසේ වුවත්, ජනාධිපතිවරයාට අනුව ඒ වන විට පැවතියේ ඉහත 1a තත්ත්වයයි. එය එසේ වීනම්, විශ්වාස භංග යෝජනාව සම්මත වීමෙන් පසුව මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය අහෝසි වෙනවා. එයින් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු පත් කළ යුතුයි. ඒ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ විය යුතු නැහැ. එජාප මන්ත්‍රීවරයෙකු විය යුතුද නැහැ.
ජනාධිපතිවරයාගේ මතය අනුව රටේ පැවති නෛතික තත්ත්වය 1a වුවත්, ඔහු අලුත් අගමැතිවරයෙකු පත් නොකළේ විස්වාශ භංග යෝජනාව නිසි අයුරින් සම්මත නොවුණේය යන පදනමින්. එම යෝජනාව සම්මත වූ ආකාරයේ ප්‍රශ්න බොහෝ තිබුණා. නමුත්, ඒ හේතුව මත මේ යෝජනාව නිසි යෝජනාවක්දැයි පිළිගැනීමේ අයිතිය තිබෙන්නේත් ව්‍යවස්ථාදායකයේ බහුතරය සතුව මිස ජනාධිපතිවරයා සතුව නෙමෙයි. ඒ අනුව, ව්‍යවස්ථාදායකය පැත්තෙන් බැලූ විට සිදුවුනේ ජනාධිපතිවරයා විසින් කළ යුතු කටයුත්තක් සිදු නොකර පැහැර හැරීමක්. අමාත්‍ය මණ්ඩලය හා අදාළවද මෙවැනිම යෝජනාවක් සම්මත වුනා.
ඉහත සිදුවීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ක්වෝ වොරෙන්ටෝ ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණය වෙත ගියා. අදාළ ඉල්ලීමේ තිබෙන කරුණු මා නිශ්චිතව දන්නේ නැහැ. එය මට දකින්නට ලැබී නැහැ. කෙසේ වුවත්, මේ ඉල්ලීම අනුව අගමැති (මහින්ද රාජපක්ෂ) හා ඇමති මණ්ඩලය විසින් ඔවුන්ව පත් කරනු ලැබ තිබුණු ධුර වල කටයුතු කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගය හා අදාළ සම්පූර්ණ තීන්දුවම මට කියවන්නට ලැබුණා. මෙහිදී අභියාචනාධිකරණය විසින් මේ අයුරින් අගමැති හා ඇමති මණ්ඩලය සිය ධුර වල කටයුතු කිරීම තාවකාලිකව නැවැත්විය යුතුද යන්න ගැඹුරින් සලකා බලා තිබුණා. අතුරු තහනම් නියෝගයක් කියන්නේ අවසන් නියෝගයක් නොවන නිසා අවසන් නියෝගය කුමක් වුවත් අතුරු තහනම් නියෝගයේ අහිතකර ප්‍රතිඵල කිසියම් ප්‍රමාණයක් තිබීම නොවැළැක්විය හැකියි.
යම් හෙයකින් අගමැති හා ඇමති පත්වීම් ව්‍යවස්ථානුකූල බව අවසාන නිගමනය වුවහොත්, අතුරු තහනම් නියෝගය නිසා ඔවුන්ට සිය වගකීම් ඉටු කිරීමට නොලැබීමේ අවාසි ඉතිරි වෙනවා. අනෙක් අතට, පත්වීම් ව්‍යවස්ථානුකූල නොවේනම් ධුරයට හිමිකම නැති අයෙකු ගන්නා තීරණ වල හානිය ඉතිරි වෙනවා. අභියාචනාධිකරණයේ නිගමනය වී තිබෙන්නේ දෙවැන්නේ හානිය පළමුවැන්නේ හානියට වඩා බොහෝ වැඩි බවයි. මේ නිගමනයට එළඹීමේදී අදාළ පත්වීම ව්‍යවස්ථානුකූල නොවේය යන්නට සැලකිය යුතු බරක් තබා තිබෙන බව පැහැදිලියි.
ක්වෝ වොරෙන්ටෝ නඩු විභාගයකදී කරන්නේ කිසියම් පොදු තනතුරක කටයුතු කරන්නෙකුට අදාළ තනතුර දැරීමට ඇති හිමිකම ප්‍රශ්න කිරීමයි. නොවැම්බර් 14 වන විට පැවතියේ ඉහත 1a තත්ත්වයනම් විශ්වාස භංගය තිබුණත් නොතිබුණත් මහින්ද රාජපක්ෂට අගමැති සේ කටයුතු කළ නොහැකියි. පැවතුණේ ඉහත 1b තත්ත්වයනම්, මහින්ද රාජපක්ෂට එම හිමිකම ලැබෙන්නේ විස්වාශ භංග යෝජනාවක් විධිමත් ලෙස සම්මත වී ඇති බව අධිකරණය පිළිගත්තොත් පමණයි. මේ හා අදාළව අධිකරණය තවමත් කිසිදු නිගමනයකට එළැඹී නැහැ. අදාළ පෙත්සම් විභාගය නැවත කැඳවනු ලැබ තිබෙන්නේ ජනවාරි මාසයේ. එහි තීන්දුව පහත තුනෙන් එකක් විය හැකියි.
2a. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී නැත.
2b. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී ඇතත්, විස්වාශ භංග යෝජනාව විධිමත් ලෙස සම්මත වී තිබෙන නිසා මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය අහෝසි වී ඇත.
2c. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී ඇති අතර විස්වාශ භංග යෝජනාව විධිමත් ලෙස සම්මත වී නැත.
මහින්ද රාජපක්ෂගේ අගමැතිකම අත්හිටවනු ලැබූ ඉහත අතුරු තහනම් නියෝගයට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. එහි තීන්දුවද තවමත් ලබා දී නැහැ. එය විභාගයට ගැනෙන්නේත් ජනවාරි මාසයේදී. වාර්තා වී ඇති පරිදි ඊයේ (සිකුරාදා) සිදු වී තිබෙන්නේ එම නඩුව ඉදිරි දිනකට කල් තැබීම පමණයි. ඒ අනුව, ඔහුගේ අගමැති පත්වීම තාවකාලිකව අත් හිටවනු ලැබූ රැඳවුම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. මේ කොටස මා ලියන්නේ ද්වීතියික මූලාශ්‍ර වල තිබෙන කරුණු ඇසුරෙන්. නිල ලේඛන මා දැක නැහැ.
පවතින නෛතික වාතාවරණය ඔහොමයි. එතකොට දැන් නිල අගමැති කවුද?
මේ ප්‍රශ්නයට ඊයේ වන තුරුත් නෛතික පිළිතුරක් තිබුණේ නැහැ. පිළිතුර පහත තුනෙන් ඕනෑම එකක් විය හැකියි.
3a. රනිල් වික්‍රමසිංහ
3b. මහින්ද රාජපක්ෂ
3c. පුරප්පාඩු වී තිබේ.
-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1b වුවහොත් එයින් ගම්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය අහෝසි වී නැති බවයි. ඒ අනුව, පිළිතුර 3a. අභියාචනාධිකරණ තීන්දුව කුමක් වුවත් එය අදාළ නැහැ.
-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1a වී, අභියාචනාධිකරණ තීන්දුව 2c වේනම් මහින්ද රාජපක්ෂ අගමැති සේ පත් වී ඇති අතර එම තනතුර තවමත් (ඔහු ඉල්ලා අස්වන්නේනම් එවැන්නක් නිල වශයෙන් පිළිගැනෙන තුරු) වලංගුයි. ඒ අනුව, පිළිතුර 3b .
-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1a වී, අභියාචනාධිකරණ තීන්දුව 2b වේනම් මහින්ද රාජපක්ෂ අගමැති සේ පත් වී ඇති නමුත් එම තනතුර මේ වන විට අහෝසි වී තිබෙනවා. ඒ අනුව, පිළිතුර 3c .
නිවැරදි පිළිතුර මේ තුනෙන් එකක් පමණයි. එහෙත් එය නිශ්චය කරන්නට වෙන්නේ ඉහත කී නඩු තීන්දු දෙකම ලැබුණු පසුවයි. කෙසේ වුවත් නෛතික කරුණු පෙළගැසී ඇති ආකාරයට පිළිතුර 3b වන්නට විශාල ඉඩක් නැහැ.
වාර්තා වල දැක්වෙන ආකාරයට මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී රනිල් අගමැති සේ දිවුරුම් දුන්නොත් වෙන්නේ කුමක්ද?
පවතින තත්ත්වය 3a නම් මේ දෙකම නෛතිකව ශුන්‍ය කටයුතු දෙකක් පමණයි. සිදු වන කාර්යයක් නැතත්, නැති තනතුරකින් ඉල්ලා අස්වීමේ හෝ තිබෙන තනතුරේම නැවත දිවුරුම් දීමේ වැරැද්දක් පෙනෙන්නට නැහැ. පවතින තත්ත්වය 3bනම් මහින්ද අගමැති ධුරයෙන් ඉවත්ව රනිල් අගමැති ලෙස අලුතින් පත් වෙනවා. එය නීතිය අනුව සිදුවන දේශපාලනික බල හුවමාරුවක්. පවතින තත්ත්වය 3cනම් මහින්ද ඉල්ලා අස්වීම ශුන්‍ය කටයුත්තක් වුවත් රනිල් දිවුරුම් දීම නෛතික කටයුත්තක්.
ඔය තුනෙන් කොයි එක වුවත් ප්‍රයෝගිකව සිදුවන්නේ රනිල්ට අගමැති සේ කටයුතු කිරීමට නැවත ඉඩ ලැබීමයි. ඒ සමඟ දේශපාලනික අර්බුදය විසඳෙන්න පුළුවන්. එහෙත් මූලික නෛතික ප්‍රශ්නය හා අතුරු ප්‍රශ්න තවදුරටත් එසේමයි. දේශපාලන අර්බුදය විසඳුනහොත්, ඒ නෛතික ප්‍රශ්න දේශපාලන එකඟතා (ඩීල්) හරහා යටපත් වී යන්නටද ඉඩ තිබෙනවා. එසේ වුවහොත් අනාගතයට තවත් ප්‍රශ්න ඉතිරි වෙනවා.
(Image: https://www.colombotelegraph.com/index.php/mahinda-ranil-the-big-picture/)