වෙබ් ලිපිනය:

Monday, May 14, 2018

ඇමරිකානුවෝ සිංහ කොඩියක් පුච්චා දමති!


ජාතික කොඩියකින් කිසියම් ජාතියක් සංකේතවත් වේ. ජාතික කොඩිය කියා කියන විට ජාතියක් ලෙස හැඳින්වෙන්නේ කිසියම් රටක පුරවැසියන් වන සියලු දෙනාවමය.

සිංහ කොඩිය ලෙස හැඳින්වෙන ලංකාවේ ජාතික කොඩිය දුඹුරු පසුබිමක ඇති කඩුවක් අතින් ගත් සිංහයෙකුගේ රුවකින් හා බෝ කොළ හතරකින්ද, කොළ හා තැඹිලි පැහැ තීරු දෙකකින්ද, මේ කොටස් දෙක වටේට දිවෙන කහ පැහැ තීරු වලින්ද සමන්විතය. ඒ සංකේත වලින් නියෝජනය වන්නේ මොනවාද කියා මෙය කියවන සියල්ලෝම දනිති.

ඇමරිකා එක්සත් ජනපදය බිහි කිරීම සඳහා එක්සත් වුනු මුල් ජනපද 13 නියෝජනය කරන රතු හා සුදු තීරු 13කින් හා වත්මන් ප්‍රාන්ත 50 නියෝජනය කරන නිල් පසු බිමක පිහිටි තාරකා 50කින් වත්මන් ඇමරිකන් ජාතික කොඩිය සමන්විතය. මුල්ම ඇමරිකන් ජාතික කොඩියේ තිබුණේ තාරකා 13ක් පමණි. ඇමරිකා එක්සත් ජනපදයට අලුත් ප්‍රාන්ත එකින් එක එකතු වී විශාල වෙද්දී එයට අනුරූපව කොඩියට අලුතින් තාරකා එකින් එක එකතු වී මේ වන විට එහි තාරකා ගණන 50 දක්වා වැඩි වී තිබේ. එහෙත්, ආරම්භයේදී ඇමරිකා එක්සත් ජනපදය බිහිවුණේ ජනපද 13ක් එක්සත් වීමෙන් නිසා තරු වැඩි වුනත්, කොඩියේ තීරු ගණන තවමත් 13ක් ලෙස නොවෙනස්ව තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය බිහිවුණේ එහි වූ සංක්‍රමනිකයන්ගේ ජනපද 13ක් එක්සත් වී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ සටන් කර නිදහස් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම මඟින් මිස එවකට තිබුණු ස්වාධීන රාජ්‍ය 13ක් එක්සත් වීමෙන් නොවේ. ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට හඳුන්වන "United States of America" යන වචනය අනුව යමින් විමසිල්ලකින් තොරව අමු අමුවේ "ඇමරිකා එක්සත් රාජ්‍ය" ලෙස සිංහලට පරිවර්තනය නොකර එම රට හැදුනු ඓතිහාසික පසුබිම සමඟ මනාව ගැලපෙන පරිදි, "ඇමරිකා එක්සත් ජනපදය" ලෙස සිංහලෙන් හැඳින්වීමට එම වචනය මුලින්ම භාවිතා කළ කවුරු හෝ පුද්ගලයා නිර්මාණශීලී වී තිබේ.

රටක ජාතික කොඩියෙන් සංකේතවත් වන්නේ ඒ රටේ ජනතාව නිසා ජාතික කොඩියකට නිසි ගෞරවය නොලැබේනම්, ඒ රටේ ජනතාවටද සිදුවන්නේ නිග්‍රහයකි. ඇමරිකන් කොඩියට නිසි ගෞරවය ලැබෙන බව තහවුරු කිරීම පිණිස ධජ ආචාර ධර්ම පද්ධතියක් (Flag Code) තිබේ. ජාතික කොඩියට අගෞරව නොවන පරිදි එය භාවිතා කළ යුතු ආකාරයන් මෙහි විස්තර කර තිබේ. උදාහරණයක් ලෙස ඇමරිකන් ජාතික කොඩියක් ඔසොවා ඇති විට එය ඊට පහළින් ඇති වෙනත් දෙයක ස්පර්ශ නොවිය යුතු අතර කිසිදු පුද්ගලයෙකු ඉදිරියේ ජාතික කොඩිය පහත් නොකළ යුතුය.

ඉහත කී ධජ ආචාර ධර්ම පද්ධතිය බිහි වුනු පසුබිමක් තිබේ. ලන්ඩන්හිදී පැවැත්වුණු 1908 ඔලිම්පික් තරඟයේ ආරම්භක උත්සවයේදී එක් එක් රටෙන් පැමිණි කණ්ඩායම් එහි ප්‍රධාන අමුත්තා වූ හතරවන එඩ්වඩ් රජු ඉදිරියෙන් යද්දී සිය ජාතික කොඩිය රජු වෙත ඇල කර රජුට ගෞරව දක්වා ඇතත් ඇමරිකාව නියෝජනය කරමින් ධජය රැගෙන ගිය ක්‍රීඩකයා මේ චාරිත්‍රය ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීම හරහා මතු වුනු කතිකාව එම පසුබිමයි.

මේ අයුරින් ගෞරව ලබන ඇමරිකන් කොඩියක් වුවද කලක් යද්දී අනෙක් සියලු දේ මෙන්ම පරණ වී, දුර්වර්ණ වී, ඉරී ගොස් තවදුරටත් රටේ ප්‍රෞඪත්වය නොපෙන්වන තත්ත්වයට පත් වන බව කිව යුතු නොවේ. එය සෑම දෙයකම ඇති අනිත්‍ය ස්වභාවයයි. ඇමරිකානු ධජ ආචාර ධර්ම පද්ධතිය අනුව එවැනි නිසි ප්‍රමිතියෙහි නොමැති ජාතික කොඩි ඉවත් කර ඒ වෙනුවට අලුත් කොඩියක් භාවිතා කළ යුතුය. එවිට පැරණි කොඩියට සිදුවන්නේ කුමක්ද?

ධජ ආචාර ධර්ම පද්ධතිය අනුව කාලයක් රටට සේවය කළ ජාතික කොඩියකට ගෞරවාන්විත අවසානයක්ද හිමි විය යුතුය. පරණ ජාතික කොඩි වල කොටස් කුණු බක්කි වලට යන්නේනම් එයට ඒ ගෞරවය නොලැබේ. ඒ නිසා, තවදුරටත් භාවිතයට නුසුදුසු, සේවය නිමා කළ ඇමරිකන් ජාතික කොඩි ගෞරවාන්විතව විශ්‍රාම ගැන්විය යුතුය.

මෙය කළ හැකි වඩාත් උචිතම ආකාරය ලෙස සැලකෙන්නේ එවැනි කොඩියක් ආදාහනය කිරීමයි. මෙය ඉතිහාසය පුරා මළවුන්ට ගෞරව දැක්වීම සඳහාද භාවිතා කළ ක්‍රමයකි. ඇමරිකන් ලේජන් වැනි ඇමරිකානු වෙතරානුවන්ගේ සංවිධාන හා බාලදක්ෂ බාලදක්ෂිකා සංවිධාන ආදිය වාර්ෂිකව මෙවැනි කොඩි විශ්‍රාම ගැන්වීමේ උත්සව පවත්වා ගෞරවාචාර මධ්‍යයේ, සේවය නිමා කළ ඇමරිකන් ජාතික කොඩි පුළුස්සා දමයි.

පහත වීඩියෝවේ තිබෙන්නේ එවැනි අවස්ථාවකි. මෙහි විශේෂත්වය වන්නේ සුළු ජාතිකයින් නියෝජනය කරන තීරු ගැලවී, දුර්වර්ණ වී, තවදුරටත් ජාතික අභිමානය නොපෙන්වන පරිදි විකෘති වී ඇති ලංකාවේ ජාතික කොඩියක්ද කුණු බක්කියකට නොදමා, තමන්ගේ රටේ ජාතික කොඩියට ලබා දෙන ගෞරවයම ලබා දෙමින් නිසි පරිදි විශ්‍රාම ගැන්වීමට මේ ඇමරිකානුවන් පිරිස කටයුතු කිරීමයි.


වෙනත් බොහෝ තැන් වල ධජ විශ්‍රාම ගැන්වීමේ උත්සව මීට වඩා විචිත්‍ර ලෙස සිදු කෙරෙන අතර එවැනි උත්සව වල වීඩියෝ විශාල ප්‍රමාණයක් යූටියුබ්හි තිබේ.


Sunday, May 13, 2018

ලංකාවෙන් ඇමරිකාවට ඩිරෙක්ට් ෆ්ලයිට් නැත්තේ ඇයි?


ලංකාවේ සිට යුරෝපයේ, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාවේ හා වෙනත් බොහෝ ආසියාතික රටවල ප්‍රධාන නගර දක්වා සෘජු ගුවන් සේවා ඇතත් ලංකාවේ සිට උතුරු ඇමරිකාව දක්වා එවැනි සෘජු ගුවන් සේවා නැත. ඒ නිසා, ඇමරිකා එක්සත් ජනපදයේ සිට ලංකාවට පැමිණෙන අයෙකුට අඩු වශයෙන් තවත් එක් අතරමැදි තැනක හෝ නැවතී ගුවන් යානය මාරු කරන්නට සිදු වේ. මේ නිසා උතුරු ඇමරිකාවේ සිට ලංකාවට පැමිණීමට ගත වන අවම කාලය පැය කිහිපයකින් වැඩි වෙයි. එහෙත්, ඇමරිකාවේ සිට ඉන්දියාව දක්වා සෘජු ගුවන් සේවා තිබේ.

ගුවන් යානයක් ඇමරිකාවේ සිට ඉන්දියාව දක්වා නොනවත්වා පියාසර කරවිය හැකිනම්, ලංකාව දක්වා තවත් සුළු දුරක් පියාසර කරවිය නොහැක්කේ ඇයි? මෙය තාක්ෂණයේ සීමාවක්ද?

මෙය තාක්ෂණයේ සීමාවක් නොවේ. දිගු දුර පියාසර කරවීම පිණිස සැලසුම් කර ඇති ගුවන් යානා මාදිලි ගණනාවකටම ලෝකයේ ඕනෑම නගර දෙකක් අතර නොනවත්වා ගමන් කිරීමේ තාක්ෂණික හැකියාව තිබේ. එහෙත්, එසේ නොකෙරෙන්නේ ආර්ථික සාධක හරස් වන බැවිනි.

ගුවන් යානයක් පියාසර කරවීමේ විචල්‍ය පිරිවැයෙහි ප්‍රධානම සංරචකය වන්නේ ඉන්ධන වියදමයි. වැඩිපුරම ඉන්ධන දහනය වන්නේ ගුවන් යානයක් ඉහළට නැංවීමේදී වුවත් ඉන් පසුවද දිගටම ඉන්ධන දහනය වන නිසා පියාසර කරවන දුර වැඩි වන තරමට අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණයද වැඩි වේ. වැඩි දුරක් නොනවත්වා පියාසර කරවීම සඳහා ගුවන් යානාවක ගබඩා කර තබා ගන්නා ඉන්ධන ප්‍රමාණය වැඩි කරන විට එහි මුළු බරද වැඩි වේ. රසික විසින් පෙර ලිපියකට ප්‍රතිචාරයක් දමමින් පෙන්වා දී ඇති පරිදි, ගුවන් යානයක මුළු බර වැඩි වන විට එය ඉහළට නැංවීම සඳහාත් ඉන්පසුවත් දැවිය යුතු ඉන්ධන ප්‍රමාණයද ඉහළ යයි. ඒ නිසා, ඉන්ධන කාර්යක්ෂමතාවය සැලකූ විට ගුවන් යානයක් විශාල දුරක් එක දිගට පියාසර කරවනවාට වඩා අතරමඟ නවත්වා නැවත ඉන්ධන පුරවා ගැනීම වාසිදායකය. මෙසේ එක දිගට නොනවත්වා පියාසර කරවීම තව දුරටත් වාසිදායක නොවන තීරණාත්මක දුර තීරණය කිරීමේදී ගමන සඳහා වැයවන මුළු ඉන්ධන ප්‍රමාණය ගැන මිස ඉන්ධන මිල ගැන සලකා නැත.

ගුවන් යානයක් පියාසර කරවීමෙන් ලැබෙන ආදායම එහි ගෙන යන මගීන් ගණන හා ප්‍රවාහනය කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි වන තරමට ඉහළ යන නමුත් ඒ සමඟම ගුවන් යානයේ බර වැඩි වී අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණයද ඉහළ යයි. එසේ වැඩිවන ඉන්ධන ප්‍රමාණයේ බර නිසා තවත් ඉන්ධන අවශ්‍ය වෙයි. මේ නිසා, ඉහත කී තීරණාත්මක දුර ඉක්මවා ගුවන් යානයක් නොනවත්වා පියාසර කරවීම ආර්ථික වශයෙන් වාසිදායක වන්නටනම් ඉහළ යන ඉන්ධන පිරිවැය ඉක්මවන ආදායමක් මගීන්ගෙන් ලැබිය යුතුය. ඒ සඳහා, එක්කෝ ගුවන් ප්‍රවේශපත් ගාස්තුව විශාල ලෙස ඉහළ යා යුතුය. එසේ වන්නටනම් කිසියම් නගර දෙකක් අතර සෘජු ගුවන් ගමනක් සඳහා විශාල ඉල්ලුමක් තිබිය යුතුය. එවිට, මේ අමතර පිරිවැය මඟීන් විශාල ප්‍රමාණයක් අතර බෙදී යයි.

වසර කිහිපයකට පෙර සිංගප්පූරු ගුවන් සේවය විසින් නිව්යෝර්ක් හා සිංගප්පූරුව අතර පැය දහඅටහමාරක පමණ නොනවත්වන ගුවන් ගමන් සේවාවක් ලබා දුන්නේ ගුවන් යානයේ සියලුම ආසන ව්‍යාපාරික පන්තිය වෙනුවෙන් වෙන් කර එක් මගියෙකුගෙන් විශාල මුදලක් අය කර ගනිමින් අමතර ඉන්ධන වියදම ආවරණය කරගැනීම මඟිනි. මෙහි රැගෙන ගියේ මඟීන් සිය දෙනෙකු පමණක් නිසා සාමාන්‍ය ගාස්තු ගෙවන මඟීන්ගේ බර වෙනුවට ඉන්ධන බර ආදේශ කර මුළු බර සීමා කරගැනීම එම ගුවන් සේවාවේ උපක්‍රමය විය. කෙසේවුවද, මේ ගුවන් සේවාව ලාභදායක ලෙස පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය පමණ ඉල්ලුමක් දිගටම නොතිබුණු බැවින් වසර කිහිපයකට පෙර එය අත් හිටවනු ලැබුවේය. (ඉල්ලුම නැවතත් ඉහළ ගොස් ඇතැයි සිතන නිසා මේ වසර අවසානයේදී නැවතත් එම සේවාව ඇරඹීමට නියමිතය).

මෙයින් වෙනස්ව, සාමාන්‍ය ගාස්තු අය අය කරමින්, එයාර් ඉන්දියා ගුවන් සේවය ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හා වොෂින්ටන් ඩීසී නගර වල සිට දිල්ලිය දක්වා ගුවන් සේවා සපයයි. මෙහිදී ඔවුන් සතු වාසිය වන්නේ මේ දිගු ගමනාන්ත සඳහා වන ඉන්ධන වියදම් වැඩි පිරිසක් අතර බෙදා හැරීම මඟින් ආවරණය කර ගත හැකි වීමයි.

ඇමරිකාවේ ජීවත් වන ඉන්දියානු සම්භවයක් ඇති පිරිස් හා සැසඳූ විට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය සිටින්නේ සුළු ප්‍රමාණයකි. ඒ නිසා, ඇමරිකාවේ කිසිදු නගරයක සිට කොළඹට සෘජු ගුවන් සේවාවක් දිනපතා හෝ දින දෙක තුනකට වරක් සපයා එහි ගමන් කිරීම සඳහා මඟින් දෙසිය ගණනක් සොයා ගැනීම පහසු කටයුත්තක් නොවේ.

ඉල්ලුම එතරම් විශාල නොවන නිසා ඇමරිකාවේ සිට ලංකාවට නොනවත්වා පියාසර කරන ගුවන් වාර ක්‍රියාත්මක වන්නේ නැත. සැපයුම් සාධක වල සීමාවන් නැතත් ඉල්ලුම් සාධක වල සීමාවන් පවතින නිසාත්, මේ ඉල්ලුම් සාධක නුදුරු වසරකදී වෙනස් වීමට හේතුවක් නොපෙනෙන නිසාත්, පැය කිහිපයක් ඉතිරි කරන නොනවත්වන ගුවන් ගමනක් වෙනුවෙන් විශාල මුදලක් වැඩිපුර ගෙවන්නට මා ඇතුළු බොහෝ දෙනෙකු සූදානම් නැති නිසාත් ඇමරිකාවේ සිට ලංකාව දක්වා අතරමඟ නොනවත්වා පියාසර කරවන ගුවන් යානයක ලංකාවට පැමිණෙන දිනයක් මට හිතාගත නොහැකිය.

(Image: http://colombodiary.com/srilankan-airlines-connects-visakhapatnam-to-the-world/)

Saturday, May 12, 2018

වාසිය නොදැන පෝලිම් වලට එකතු වීම මෝඩකමක්ද?



පහතින් ඇත්තේ පසුගිය ලිපියට අපේ පාඨක හිතවතෙකු විසින් දැමූ ප්‍රතිචාරයක කොටසකි.

"1970-77 කාලේ නම් කවුරු හරි පාරේ යන කෙනෙක් අපේ අම්මට කියනවා, "අන්න සමුපකාරේ දිග පෝලිමක් තියනවා" කියලා. ඉතින් අම්මා මට කියනවා ගිහින් පෝලිමේ ඉන්න කියලා. ඊට පස්සේ අම්මා කරමින් හිටපු වැඩේ ඉවර වෙලා ඇඳුම් මාරුකරගෙන කඩේට ඇවිත් පෝලිම තියෙන්නේ මොනවා ගන්නද කියලා හොයා බලා එක්කෝ පෝලිමේ ඉන්න මාත් එක්ක එකතු වෙනවා. වැදගැම්මක් නැති දෙයක්නම් මාත් එක්ක ආපසු එනවා."

දැන් මේ අම්මා පුතාව පෝලිමේ තබන්නේ අඩු වශයෙන් පෝලිම කුමක් සඳහාදැයිවත් නොදැනය. පසුව සොයා බලන විට පෝලිම තිබෙන්නේ ඔවුන්ට වැදගම්මක් නැති දෙයක් වෙනුවෙන් වන්නට පුළුවන. එසේ වුනොත්, පෝලිමේ රස්තියාදුව පාඩුවකි. එසේ නොවී, පෝලිම තිබෙන්නේ ඔවුන්ට වාසිදායක ගනුදෙනුවක යෙදීමේ අවස්ථාව වෙනුවෙන් වුවත්, පෝලිමේ මුලට එන විට ගනුදෙනු අවස්ථාව ගිලිහී තිබෙන්නට පුළුවන. එවිටද වෙන්නේ පාඩුවකි. එසේනම්, මේ අයුරින් පෝලිම කුමකටදැයි සොයා නොබලා පෝලිමකට එකතු වීම අමු ගොන්කමක්ද?

ආර්ථික විද්‍යාවේදී සාමාන්‍යයෙන් උපකල්පනය කරන්නේ මිනිසුන්ට තමන්ට වාසිදායක තාර්කික තීරණ ගැනීමේ හැකියාවක් ඇති බවයි. මූලික ආර්ථික විද්‍යා න්‍යාය හැදී තිබෙන්නේ ඒ උපකල්පනය මත පදනම් වෙමිනි. කිසියම් ආර්ථික විද්‍යා න්‍යායයක් සමඟ සැබෑ ලෝකයේ පුද්ගල හැසිරීම් නොගැලපේනම් මුලින්ම කළ යුත්තේ න්‍යායයෙහි ඇති නොගැලපීම් හෝ අඩුපාඩු සොයා බලා එය සංශෝධනය කිරීම මිස න්‍යායට ගැලපෙන පරිදි බලහත්කාරයෙන් පුද්ගල හැසිරීම් වෙනස් කිරීම නොවේ.

එහෙත්, එසේ සිදු වූ හා සිදුවන අවස්ථාද නැතුවා නොවේ. කාල් මාක්ස් විසින් ඉදිරිපත් කළ න්‍යාය සැබෑ ලෝකයේ පුද්ගල හැසිරීම් සමඟ සමපාත නොවන බව ඇස් පනාපිට පෙනෙද්දී න්‍යාය වෙනස් කරනවා වෙනුවට පුද්ගල හැසිරීම් වෙනස් විය යුතු බව යෝජනා කිරීම මෙන්ම බලහත්කාරයෙන් පුද්ගල හැසිරීම් වෙනස් කරවන්නට උත්සාහ දැරීමද බොහෝ රටවල සිදු වූ අතර දැනටත් එසේ සිදුවන තැන් තිබේ.

දැන් අපි නැවත මුලට ආවොත් අපේ හිතවතාගේ මව ක්‍රියාකර තිබෙන්නේ අතාර්කික ලෙසද?

තරඟකාරී නිදහස් වෙළඳපොළක භාණ්ඩ හිඟයක් නැත. ඒ නිසා භාණ්ඩ මිල දී ගැනීමට දිගු පෝලිම්ද දකින්නට නැත. භාණ්ඩයක මිල එහි ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල නිසා අතිරික්ත නිශ්පාදනයක් සිදු වී විකුණාගත නොහැකිව භාණ්ඩ නාස්ති වන්නේද නැත. කිසියම් පාරිභෝගිකයෙකු භාණ්ඩයකට දෙන වටිනාකම එහි මිලට වඩා වැඩිනම් ඇය එම භාණ්ඩය මිල දී ගෙන වාසියක් ලබයි. මෙය ඇගේ පාරිභෝගික අතිරික්තයයි. ඇය එම භාණ්ඩයට දෙන වටිනාකම භාණ්ඩයේ මිලට වඩා අඩුනම් භාණ්ඩය මිල දී ගැනීමෙන් ඇයට සිදුවන්නේ අවාසියකි. ඒ නිසා, ඇය භාණ්ඩය මිල දී නොගනී. ඒ නිසා ඇයට වාසියක් හෝ අවාසියක් සිදු නොවේ. අවසාන වශයෙන් තරඟකාරී නිදහස් වෙළඳපොලක සිදුවන ගනුදෙනුවකින් කිසිවෙකුට ලාභයක් මිස අලාභයක් සිදු නොවේ.

අපේ හිතවතා පෝලිමේ සිටි 1970-77 කාලයේ ලංකාවේ තිබුණේ තරඟකාරී නිදහස් වෙළඳපොළක් නොවේ. බොහෝ පාරිභෝගික භාණ්ඩ පාලන මිලක් යටතේ රජය විසින් සමුපකාර වෙළඳසැල් හරහා බෙදා හැරියේය. මේ පාලන මිල බොහෝ විට අදාළ භාණ්ඩයේ නිදහස් වෙළඳපොළ මිලට වඩා අඩු මිලක් විය.

කිසියම් භාණ්ඩයක් එහි නියම මිලට වඩා අඩුවෙන් අළෙවි කෙරෙන විට ඒ සඳහා වන ඉල්ලුම සැපයුමට වඩා වැඩි වෙයි. එවිට භාණ්ඩයේ මිල ගෙවා එය මිල දී ගන්නට කැමති සියල්ලන්ටම එය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වේ. මේ කාලයේදී, අපේ සමුපකාර කළමනාකාරවරයා මගේ පියා ඇතුළු ඔහුගේ හිතවතුන්ගේ පවුල් වල අයට අවශ්‍ය බඩු සමුපකාරයට තොග ලැබෙන විටම වෙන් කර තැබූ නිසා භාණ්ඩ මිල දී ගැනීම සඳහා අපට කිසි දිනක පෝලිම් වල සිටින්නට සිදු වී නැතත්, ගමේ බොහෝ දෙනෙකුට එවැනි වාසනාවක් නොතිබුණු නිසා ඔවුන්ට භාණ්ඩයක් මිල දී ගත හැකි වුණේ පෝලිමේ මුලින් සිටියේනම් පමණි. බේකරි වලින් පාන් බෙදා හැරීමේදී වැනි වෙනත් අවස්ථා වලදීද සිදු වුණේ මෙවැන්නකි.

පාලන මිලක් යටතේ භාණ්ඩයක් මිල දී ගැනීමට අවස්ථාව ලබන අයෙකුට නිදහස් වෙළඳපොළ මිලට එය මිල දී ගැනීමට සාපේක්ෂව බැලූ විට වැඩි වාසියක් ලැබේ. එහෙත්, මේ වාසියෙන් පෝලිමේ රස්තියාදු වන කාලයේ ආවස්ථික පිරිවැය අඩු කළ විට ඒ වාසිය අවාසියක් වන්නටද පුළුවන. පෝලිමේ රස්තියාදු වන කාලයේ ආවස්ථික පිරිවැය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ නිසා පාලන මිල ක්‍රමයක් යටතේ මුදල් ගෙවා භාණ්ඩයක් අයිති කර ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ ඒ භාණ්ඩය වැඩියෙන්ම අගය කරන අයට නොව, තමන්ගේ කාලයේ වටිනාකම අඩු අයටය. අපේ හිතවතාගේ මව ඔහුව පෝලිමට යොමු කරන්නේ ඔහුගේ කාලයේ ආවස්ථික පිරිවැය මවගේ කාලයේ ආවස්ථික පිරිවැයට වඩා අඩු නිසා පිරිවැය අඩු කරගෙන වාසිය වැඩි කර ගැනීමේ උපක්‍රමයක් වශයෙනි.

කෙසේ වුවද, පෝලිමේ හිටියත් අන්තිමට භාණ්ඩය නොලැබෙන්නට පුළුවන. ඒ නිසා, නිදහස් වෙළඳපොළකදී මෙන් නොව පාලන මිලක් යටතේ භාණ්ඩ විකුණන විට පාරිභෝගිකයෙකුට වාසියක් මෙන්ම අවාසියක්ද සිදු වන්නට පුළුවන. එසේනම්, භාණ්ඩයක් මිල දී ගැනීම සඳහා පෝලිමකට එකතු විය යුත්තේ හා එසේ නොකළ යුත්තේ කවර තත්ත්වයන් යටතේද?

මුලින්ම අප සලකා බලන්නේ පෝලිම කුමකටද කියා නිශ්චිතවම දන්නා අවස්ථාවකි. මෙහිදී, පාරිභෝගිකයාට අවසානයේ මිල දී ගන්නට ලැබෙන (හෝ නොලැබෙන) භාණ්ඩයේ මිල ඈ දනී. ඒ භාණ්ඩය වෙනුවෙන් ඈ විසින් දෙන වටිනාකමද ඈ දනී. ඒ නිසා, භාණ්ඩය මිල දී ගන්නට ලැබුණොත් ඇයට ලැබෙන වාසියද ඇය නිශ්චිත ලෙසම දනී. භාණ්ඩයේ මිල ඈ ඒ සඳහා දෙන වටිනාකමට වඩා වැඩිනම් ඈ පෝලිමට එකතු වන්නේ නැත.

භාණ්ඩයේ මිල ඈ ඒ සඳහා දෙන වටිනාකමට වඩා අඩුනම් ඈ පෝලිමට එකතු වනු ඇත්ද? එය තීරණය වන්නේ ඇගේ කාලයේ ආවස්ථික පිරිවැය අනුවය. භාණ්ඩයේ මිල හා ඒ සඳහා ඈ විසින් දෙන අගය අතර වෙනස, එනම් ඇයට ලැබිය හැකි පාරිභෝගික අතිරික්තය S ලෙසත්, පෝලිමේ ගත කළ යුතු ඇගේ කාලයේ ආවස්ථික පිරිවැය C ලෙසත් අපි සලකමු. මේ C අගය S අගයට වඩා වැඩිනම් ඈ පෝලිමට එකතු නොවනු ඇත. මන්ද, ඇයට භාණ්ඩය මිල දී ගත හැකි වුවහොත් ලැබෙන අතිරික්තය පෝලිමේ ගෙවූ කාලයට තරම් නොවන බැවිනි.

එසේනම්, S අගය C වලට වඩා වැඩිනම් ඈ ස්ථිරවම පෝලිමට එකතු වනු ඇත්ද?

එය තීරණය වන්නේ පෝලිමේ රස්තියාදු වීමෙන් පසුවද භාණ්ඩය ලැබෙන්නට තිබෙන සම්භාවිතාව මතය. මේ සම්භාවිතාව p ලෙස අපි සලකමු. p එකට ආසන්නනම්, එනම් පෝලිමේ හිටියොත් භාණ්ඩය ලැබෙන බව නිසැකනම් S අගය C වලට වඩා වැඩි අවස්ථාවක ඈ පෝලිමට එකතු වනු ඇත. එහෙත්, p අගය කුඩානම් ඈ එසේ නොකරන්නට ඉඩ තිබේ. මෙය තීරණය වන්නේ ඇගේ අපේක්ෂිත වාසිය අනුවය.

ඇයට (S - C) වාසියක් වීමට p සම්භාවිතාවක් ඇති අතර C අවාසියක් වීමට (1-p) ඉඩකඩක් තිබේ. වෙනත් අයුරකින් කිවුවොත්, පෝලිමේ සිටියොත් C පිරිවැය අනිවාර්ය නමුත් S අතිරික්තය හිමි වීමට තිබෙන්නේ p සම්භාවිතාවක් පමණි. මේ දෙකෙන් කුමක් සිදුවෙයිද යන්න අවිනිශ්චිත නිසා අයට අවදානමක් ගන්නට සිදු වේ. පවතින අවිනිශ්චිතතාවය සැලකූ විට ඇගේ තීරණය තාර්කික එකක් වීමට අවශ්‍ය කොන්දේසි මොනවාද?

මෙහිදී ඇගේ අපේක්ෂිත වාසිය pS - C වලට සමානය. මේ අගය සෘණ නොවේනම් පෝලිමට එකතු වීම ඇයට ගත හැකි තාර්කික තීරණයකි. උදාහරණයක් ලෙස භාණ්ඩය මිල දී ගන්නට ලැබුණොත් අයට ලැබෙන පාරිභෝගික අතිරික්තය රුපියල් 20ක් හා ඇගේ කාලයේ ආවස්ථික පිරිවැය රුපියල් 5ක් නම්, භාණ්ඩය හිමි වන්නට ඇති සම්භාවිතාව අවම වශයෙන් 25%ක් නම් පෝලිමට එකතු වීම තාර්කික තීරණයකි. සම්භාවිතාව 25%ට අඩුනම් එය තාර්කික තීරණයක් නොවේ. දැන් මේ සම්භාවිතාව ඇයට පෙනෙන පරිදි 50%ක් නම් ඈ පෝලිමට එකතු වනු ඇති අතර භාණ්ඩය මිල දී ගන්නට ලැබුණොත් අයට රුපියල් 15 ක වාසියක් ලැබේ. එහෙත්, ඈ පෝලිමේ මුලට එන්නට පෙර භාණ්ඩය විකිණී අවසන් වුවහොත් ඇයට රුපියල් 5ක අවාසියක් සිදු වේ. යම් පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිල දී ගැනීමෙන් ලබන පාරිභෝගික අතිරික්තය හෝ පෝලිමේ හිටියොත් එය මිල දී ගන්නට ලැබෙන ඉඩකඩ වැඩි වන තරමට හා ඇගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු වන තරමට පෝලිමකට එකතු වීම තාර්කික තීරණයක් බවට පත් වේ.

දැන් අපි අපේ හිතවතා විසින් සටහන් කර ඇති අවස්ථාව සලකා බලමු. මෙහිදී ඔහුගේ මව ඔහුව පෝලිමට යවන්නේ ඉහත කී S අගය කුමක්දැයි නොදැනය. එය සෘණ අගයක් වන්නට, එනම් පෝලිම තිබෙන්නේ වැදගම්මක් නැති දෙයකට වන්නට, කිසියම් සම්භාවිතාවක් තිබේ. අපි එය එසේ නොවී වැඩකට ඇති දෙයක් වන්නට ඇති සම්භාවිතාව q ලෙස සලකමු. පෝලිම තිබෙන්නේ වැදගැම්මකට නැති දෙයකටනම් ඇයට සිදු වන්නේ එතෙක් පෝලිමේ සිටීමේ ආවස්ථික පිරිවැය දරාගෙන පෝලිමෙන් ඉවත් වන්නටය. එවිට ඇයට සිදුවන්නේ පාඩුවකි. පෝලිම කුමකටදැයි කලින් සොයා බැලුවොත් මේ පාඩුව සිදු නොවේ. එසේනම්, එසේ සොයා නොබලා ඈ අපේ හිතවතාව පෝලිමට එක් කරන්නේ ඇයි?

පළමු හේතුව කුඩා දරුවෙකු පෝලිමේ තැබීමේ ආවස්ථික පිරිවැය එතරම් විශාල නොවීමයි. විශාල නැතත් මෙහි කිසියම් හෝ ආවස්ථික පිරිවැයක් තිබේ. අවදානමක් ගෙන ඒ ආවස්ථික පිරිවැය දැරීමෙන් ඈ අදහස් කරන්නේ p වැඩි කරගෙන අප පෙර ගණනය කළ ඇගේ අපේක්ෂිත වාසිය වැඩි කර ගැනීමටය. පෝලිම කුමකටදැයි සොයා නොබලමින් එයට වහාම එකතු වීමෙන් භාණ්ඩය හිමි කර ගැනීමට ඇති ඉඩකට p සිට p + r දක්වා වැඩි වේයැයි සිතමු. දරුවා පෝලිමට තැබීමේ අමතර ආවස්ථික පිරිවැය d ලෙස සිතමු. එවිට, පෝලිම කුමකටදැයි සොයා නොබලා එයට එකතු වීම තාර්කික තීරණයක් විය හැකි තත්ත්වයන් තිබිය හැකිද?

සොයා බලා පෝලිමට එකතු වුවහොත් ලැබෙන අපේක්ෂිත වාසිය පෙර ගණනය කළ පරිදි pS - C වේ.

සොයා නොබලා පෝලිමට එකතු වුනොත්, එය q සම්භාවිතාවකින්  (p + r )S - C -d වන අතර 1-q සම්භාවිතාවකින් -d වේ. මෙහි අපේක්ෂිත අගය (p + r )qS - qC -d වේ. මේ අගය ඉහත ගණනය කළ  pS - C අගයට වඩා වැඩිනම් හා ශුන්‍යයට වැඩිනම් පෝලිම කුමකටදැයි සොයා බලන්නට කාලය නාස්ති නොකර වහාම පෝලිමට එකතු වීම වාසිදායකය. උදාහරණයක් ලෙස පෝලිම වැදගම්මකට ඇති දෙයක් වන්නට ඇති ඉඩකඩ 50%ක් ලෙසත් (q = 0.5), එය වැදගැම්මකට ඇති දෙයක්නම් ලැබිය හැකි පාරිභෝගික අතිරික්තය රුපියල් 20ක් ලෙසත් (S = 20), සොයා බලා පෝලිමට එකතු වුනොත් එය ලැබෙන්නට ඇති ඉඩකඩ 25%ක් බවත් (p = 0.25) සොයා නොබලා එකතු වුනොත් ඒ ඉඩකඩ තවත් 25%කින් 50% දක්වා වැඩි කරගත හැකි බවත් (r = 0.25), මවගේ කාලයේ ආවස්ථික පිරිවැය රුපියල් 5ක් ලෙසත් (C = 5), දරුවාගේ කාලයේ ආවස්ථික පිරිවැය රුපියල් 2ක් ලෙසත් (d =2) සලකමු. මේ සංඛ්‍යා ආදේශ කළ විට pS - C අගය ශුන්‍ය වන නමුත්, (p + r )S - C -d අගය සත පණහකි. ඒ නිසා, පෝලිම කුමක්දැයි සොයා බලන්නට කාලය නොයොදවා පෝලිමට දරුවා යැවීම තාර්කික තීරණයකි.

පසුව පෝලිම කුමක්දැයි සොයා බැලීමෙන් පසු එය වැදගම්මකට නැති දෙයක්නම් සිදුවන්නේ රුපියල් දෙකක අවාසිය විඳ දරාගෙන ආපසු යන්නටය. එහෙත්, එය වැදගැම්මකට ඇති දෙයක්නම් ඒ අවස්ථාවේදී (p + r )S - C අපේක්ෂිත වාසියක් පෙනේ. මෙය රුපියල් පහකි.  ඒ අනුව මව පෝලිමට එකතු වනු ඇත. මේ වන විට දරුවා පෝලිමේ සිට රුපියල් 2ක වැයක් දරා අවසන් නිසා එය ගිලුණු පිරිවැයකි. ගිලුණු පිරිවැය ඉදිරි තීරණ සඳහා සාධකයක් කරගැනීම තාර්කික නැත. මව පෝලිමේ සිට තවත් රුපියල් 5ක ආවස්ථික පිරිවැයක් දැරීමෙන් පසු භාණ්ඩය මිල දී ගන්නට ලැබී රුපියල් 15ක ලාබයක් ලැබෙන්නට හෝ එසේ නොලැබී රුපියල් 5ක අලාභයක් ලැබෙන්නට පුළුවන. මුලින් දරුවා වැය කළ කාලයේ වටිනාකමද සැලකූ විට අවසාන ප්‍රතිඵලය රුපියල් 2ක අලාභයක්, රුපියල් 7ක අලාභයක් හෝ රුපියල් 13ක ලාභයක් විය හැකිය.

මේ අයුරින් පෝලිම කුමකටදැයි නොදැන පෝලිමට එකතුවීම වාසිදායක විය හැක්කේ කවර තත්ත්ව යටතේද?

මෙවැන්නක් තාර්කික තීරණයක් වන්නේ පෝලිමට වහාම එකතු වීමෙන් භාණ්ඩය හිමි වන්නට ඇති ඉඩකඩ විශාල ලෙස වැඩි වන, භාණ්ඩය වැදගැම්මකට ඇති එකක් වන්නට ලොකු ඉඩක් ඇති හා භාණ්ඩය හිමි වුනොත් ලැබෙන වාසිය සැලකිය යුතු තරම් විශාල අවස්ථා වලදීය. 1970-77 කාලයේ විශාල භාණ්ඩ හිඟයක් පැවති අතර මිනිසුන්ට මේ හිඟ භාණ්ඩ හිමි කරගැනීමට විකල්ප අවස්ථා තිබුණේ නැත. ඒ නිසා, පාන් රාත්තලක හෝ චීත්ත යාරයක පාරිභෝගික වටිනාකම විකුණුම් මිලට වඩා බොහෝ වැඩි විය. එනම් පාරිභෝගික අතිරික්තය ඉතා විශාල විය. එමෙන්ම, පෝලිමක අන්තිම හරියට එකතු වූ අයෙකුට මෙවැනි භාණ්ඩයක් මිල දී ගැනීමේ අවස්ථාව බොහෝ විට අහිමි වී ගිය අතර මුලින් එකතු වීමෙන් ඒ ඉඩකඩ වැඩි කරගත හැකිවිය. කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය මූලික පාරිභෝගික භාණ්ඩ විශාල ගණනක් වෙළඳපොළේ අවශ්‍ය වෙලාවට ගන්නට නොතිබුණු නිසා පෝලිමක් හැදී තිබෙන්නේ තමන්ට වැදගම්මක් ඇති දෙයක් වන්නටද විශාල ඉඩක් තිබුණේය. එවැනි සන්දර්භයක අපේ හිතවතාගේ මව ක්‍රියා කර ඇත්තේ ඉතාම තාර්කික ලෙසිනි.

පොඩ්ඩක් කල්පනා කර බැලුවොත්, ලැබෙන වාසිය කුමක්දැයි හරියටම නොදැන, අනෙක් බොහෝ දෙනෙක්ද කරන්නක් නිසා කුමක් හෝ වාසියක් ඇතැයි සිතමින්, අපි කවුරුත් පෝලිම් ගණනාවකට එකතු වී සිටින්නෙමු. එසේ කිරීම අතාර්කික හෝ පට්ට මෝඩ වැඩකැයි ආර්ථික විද්‍යා ඇසකින් බලා කියන්නට නුපුළුවන. අප මෙසේ පෝලිම් වල රැඳී සිටින්නේ අප සතු තොරතුරු හා විශ්ලේෂණ හැකියාවන්ට සාපේක්ෂව එසේ රැඳී සිටීම වාසිදායක බව පෙනෙන නිසාය. පෝලිමේ ඉන්න අතරම, මෙවැනි පෝලිමක දිගටම රැඳී සිටීමෙන් ලැබෙන්නට ඉඩ ඇති වාසි අවාසි ගැන හොයා බලන්නට පොඩ්ඩක් කාලය යොමු කළොත් ඒ ඇතැම් පෝලිම් වලින් අපට ඉවත් වන්නට ඉඩ සැලසෙන්නට පුළුවන.

(Image: https://www.npr.org/tags/175403273/sri-lanka)

Friday, May 11, 2018

කීයක ගහනවද?


"නිශ්චිතවම ඉන්ධන මිල වැඩි වන බව දැන ගැනීම කිසි දිනෙක මා පෝලිම් වෙත ආකර්ෂණය කිරීමට හේතුවක් නොවීය. මා සාමාන්‍යයෙන් සිරිතක් වශයෙන් කරන්නේ තව කිලෝ මීටර 50-60 යාමට පමණක් ඉන්ධන තිබියදී හෝ දිගු ගමනක් පිටත් වීමට පෙර හෝ ඉන්ධන ටැංකිය පුරවා ගැනීමයි. මෙයින් අපේක්‍ෂිත වාසිය වන්නේ ඉන්ධන හල් වලට යන වාර ගණනත් ඒවායේ ගෙවන කාලයත් හැකිතාක් අවම කර ගැනීම සහ වියදම් පාලනයයි (මෙහි පාලනය යනුවෙන් අදහස් කළේ සීමා කිරීම නොවේ).

අදත් කාර්යාලයේ සගයන් අතර ඉන්ධන මිල වැඩි වීම ගැන කසු-කුසු ඇති වන විට මා දුන් පිළිතුර නම් "වැඩි ගාණට එන එකෙන් මං පස්සෙ ගහ ගන්නම්" යන්නයි. ඔබේ විග්‍රහය අනුව මගේ සගයන් පෝලිමේ රස්තියාදු වීමත් මා එසේ නොවීමත් ආර්ථික විද්‍යානුකුලව ග්‍රහණය කර ගන්නේ කෙසේද?"

ඉහතින් තිබෙන්නේ පෙර ලිපියට කතා කතු විසින් දමා තිබුණු ප්‍රතිචාරයක කොටසකි. වාහනයේ ඉන්ධන ටැංකිය පිරවීමේදී මා සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාපටිපාටියද කතා කතුගේ ක්‍රියාපටිපාටියට සමානය. එහෙත්, මෙසේ නොකර පුරුද්දක් වශයෙන් ගමනක් යද්දී ගමනට අවශ්‍ය පමණට පමණක් ඉන්ධන ටැංකිය පුරවන අයද බොහෝ දෙනෙක් සිටිති. මගේ නිරීක්ෂණ අනුව, මේ වෙනස් හැසිරීමට හේතුව ආදායම් මට්ටමේ හෝ වත්කම් වල වෙනස්කමක් කියා කිව නොහැකිය.

ඇතැම් අය සාමාන්‍යයෙන් ටැංකිය පිරෙන්නට තෙල් ගහන්නේත්, එහෙත් සියලු දෙනාම එසේ නොකරන්නේත් ඇයි?

පැහැදිලි කිරීමක් කරන්නට පෙර මුලින්ම මා හඳුන්වා දෙන්නේ නිෂ්පාදන කළමනාකරණයේදී යොදා ගන්නා ප්‍රශස්ත ඇනවුම් මට්ටම (Economic Order Quantity) පිළිබඳ අදහසයි. මෙය 1913 වසරේදී ඇමරිකානු නිෂ්පාදන ඉංජිනේරුවෙකු වූ ෆෝඩ් හැරිස් විසින් හඳුන්වා දුන් ආකෘතියකි. මේ ආකෘතිය ඇසුරෙන් කිසියම් සංචිතයකට එක් වරකට ඇනවුම් කළ යුතු ප්‍රශස්ත භාණ්ඩ ප්‍රමාණය ගණනය කළ හැකිය.

කිසියම් පුද්ගලයෙකුගේ වාර්ෂික ඉන්ධන අවශ්‍යතාව ලීටර D ලෙසත්, ඉන්ධන ලීටරයක මිල P ලෙසත් සැලකුවොත් වසරකට ඉන්ධන වෙනුවෙන් PD මුදලක් වැය කරන්නට සිදු වේ. එහෙත්, මෙසේ සෘජු ලෙස වැය කරන මුදල මේ හා අදාළ එකම වියදම නොවන අතර මේ වියදමට තවත් වියදම් වර්ග දෙකක් එකතු කළ යුතුය. ඒ ඉන්ධන පොම්ප කිරීමේ වියදම හා ඉන්ධන තොග පවත්වා ගැනීමේ වියදමයි.

ඉන්ධන පොම්ප කිරීමේ වියදම වසරකට ඉන්ධන පොම්ප කරන වාර ගණනට සමානුපාතිකය. වාර ගණන වැඩි වන තරමට වියදමද ඉහළ යයි.

වසරකට ඉන්ධන පොම්ප කරන වාර ගණන තීරණය වන්නේ වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය හා වරකට පොම්ප කරන ඉන්ධන ලීටර ගණන මතය. අපි මේ වරකට පොම්ප කරන ඉන්ධන ප්‍රමාණය ලීටර Q ලෙස සලකමු. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය D නිසා වසරකට D/Q වාර ගණනක් ඉන්ධන පොම්ප කළ යුතුය. උදාහරණයක් ලෙස වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය ලීටර 1200නම් වරකට ලීටර 30 බැගින් පොම්ප කරන අයෙකු වසරකට 40 වරක් ඉන්ධන පොම්ප කළ යුතු අතර වරකට ලීටර 20 බැගින් පොම්ප කරන අයෙකු වසරකට 60 වරක් ඉන්ධන පොම්ප කළ යුතුය.

එක් වරකට ඉන්ධන පොම්ප කිරීමේ වියදම F ලෙස සැලකුවහොත් වසරක ඉන්ධන පොම්ප කිරීමේ වියදම (ඉන්ධන සඳහා ගෙවන මිල හැර) DF/Q වේ. මෙහි F යන්නට ඉන්ධන පිරවුම්හලකට යාම සඳහා වැය වන ඉන්ධන වල මිල, ටයර් ක්ෂය වීම, තෙල් පිරවීමට ගතවන කාලයේ ආවස්ථික පිරිවැය, එහිදී සිදුවන රස්තියාදුව නිසා ඇතිවන අපහසුතාවයේ මානසික වියදම  ආදිය එකතු කළ හැකිය.

කතාව සම්පූර්ණ කිරීමට ඉහත කී වියදම් වර්ග දෙකට තොග පවත්වා ගැනීමේ වියදමද එකතු කළ යුතුය. වාහනයක් වැඩිපුර ධාවනය නොකරන අයෙකු එහි ටැංකිය පුරවා තැබීම යනු ටැංකියේ ඇති ඉන්ධන වෙනුවෙන් වැය කළ මුදල තේරුමක් නැතිව හිර කර තැබීමකි. ඒ මුදල බැංකුවේ තිබුණොත් පොලී ආදායමක් ලැබිය හැකිය. ඉන්ධන වෙනුවෙන් එම මුදල යට කර තැබීම නිසා අහිමි වන පොලී ආදායම ආවස්ථික පිරිවැයකි. මෙය තොග පවත්වා ගැනීමේ වියදමයි. මේ වියදම ටැංකියේ සාමාන්‍යයෙන් තිබෙන ඉන්ධන ප්‍රමාණයේ වටිනාකමට සමානුපතිකය.

ටැංකියේ සාමාන්‍යයෙන් තිබෙන ඉන්ධන ප්‍රමාණය විචලනය වන්නකි. ඉන්ධන පිරවූ විට එය උපරිම මට්ටමට පැමිණේ. ඉන්පසු එය ක්‍රමයෙන් පහත වැටේ. ටැංකියේ ඉන්ධන ප්‍රමාණය කිසියම් අවම මට්ටමකට පහත වැටුණු විට නැවත ඉන්ධන පිරවීමක් සිදු වී එක් වර ඉන්ධන ප්‍රමාණය උපරිම මට්ටමට යයි. මෙය පළමු රූප සටහනෙන් පෙන්වා තිබේ.

අවම ඉන්ධන ප්‍රමාණය q ලෙස සැලකුවහොත්, වරකට පොම්ප කරන ඉන්ධන ප්‍රමාණය Q නිසා උපරිම ඉන්ධන ප්‍රමාණය q + Q වන අතර ටැංකියේ ඇති සාමාන්‍ය ඉන්ධන ප්‍රමාණය q + Q/2 වේ. ඉන්ධන ලීටරයක් ගබඩා කර තබා ගැනීම වෙනුවෙන් වසරක් වසරක් තුළ වැය කළ යුතු මුදල H ලෙස සැලකුවහොත් තොග පවත්වා ගැනීමේ මුළු වාර්ෂික වියදම qH + QH/2 වේ.

මෙහි අවම ඉන්ධන ප්‍රමාණය ළඟම ඇති ඉන්ධන පිරවුම්හලට යාමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලෙස සැලකිය හැකිය. වරකට පොම්ප කරන ඉන්ධන ප්‍රමාණය කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික තේරීමක් වන අතර එය ඉන්ධන ටැංකියේ ධාරිතාව මත සීමා වන්නකි. උදාහරණයක් ලෙස අවම ඉන්ධන ප්‍රමාණය ලීටර 5ක් ලෙසත්, වරකට පොම්ප කරන ඉන්ධන ප්‍රමාණය ලීටර 30ක් ලෙසත් සැලකුවහොත්, උපරිම ඉන්ධන ප්‍රමාණය ලීටර 35ක් වන අතර ටැංකියේ ඇති සාමාන්‍ය ඉන්ධන ප්‍රමාණය ලීටර 20කි. ඉන්ධන ලීටරයක මිල රුපියල් 120ක් ලෙස සැලකුවහොත් මේ ඉන්ධන ප්‍රමාණයේ වටිනාකම රුපියල් 2400කි. එම මුදල 10%ක වාර්ෂික පොලියකට බැංකුවේ තිබ්බොත් වසරකට රුපියල් 240ක් ලැබෙන අතර දැන් එය අහිමි වේ. ටැංකියේ සාමාන්‍ය ඉන්ධන ප්‍රමාණය ලීටර 10 දක්වා අඩු කළ හැකිනම් ඉහත අවාසිය රුපියල් 120 දක්වා හරි අඩකින් අඩු කරගත හැකිය.

කෙසේ වුවද, ටැංකියේ සාමාන්‍ය ඉන්ධන ප්‍රමාණය ලීටර 20 සිට 10 දක්වා අඩු කරන්නටනම් උපරිම ඉන්ධන මට්ටම ලීටර 15ක් විය යුතු අතර වරකට පොම්ප කරන ඉන්ධන ප්‍රමාණය ලීටර 10ක් විය යුතුය. එවිට, වසරකට ඉන්ධන පොම්ප කරන වාර ගණන 40 සිට 120 දක්වා ඉහළ යන නිසා වසරක ඉන්ධන පොම්ප කිරීමේ වියදම ඉහළ යයි.

ෆෝඩ් හැරිස් විසින් හඳුන්වා දුන් ප්‍රසස්ථ ඇනවුම් මට්ටම යනු ඉන්ධන පොම්ප කිරීමේ වියදමේත් ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ වියදමේත් එකතුව අවම වන අවස්ථාවයි. දෙවන රූප සටහනෙන් පෙන්වා ඇති පරිදි මේ වියදම් දෙකේ එකතුව අවමයක් වෙන්නේ අදාළ වියදම් වර්ග දෙක සමාන වන ආකාරයේ ඉන්ධන ප්‍රමාණයක් වරකට ඇනවුම් කළ විටය. මෙය පහත පරිදි සටහන් කළ හැකිය.

DF/Q =  QH/2

මේ සමීකරණය විසඳා ප්‍රශස්ත ඇනවුම් මට්ටම සොයා ගත හැකිය.


ඉහත සමීකරණයෙන් පෙනෙන පරිදි, කිසියම් පුද්ගලයෙකුගේ ප්‍රශස්ත ඇණවුම් මට්ටම ඇයගේ වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය (D), ඉන්ධන පොම්ප කිරීමේ වියදම (F) හා ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ වියදම (H) මත තීරණය වේ.

මෙතෙක් කතා කළ සියල්ල ආකෘතියක් පමණි. එය ආර්ථික විද්‍යාඥයෙකු විසින් හඳුන්වා දුන් ආකෘතියක්ද නොවේ. සමාගමක් වෙනුවෙන් තීරණ ගන්නා නිෂ්පාදන ඉංජිනේරුවරයෙකු හෝ ගබඩා භාරකරුවෙකු මෙවැනි ආකෘතියක් යොදාගෙන ගණනය කිරීම් කරනවා විය හැකි වුවත් කිසියම් පුද්ගලයෙකු ඉන්ධන පිරවුම්හලකට ගොස් ඉන්ධන ඇනවුම් කරන විට මේ ආකාරයේ සංකීර්ණ ගණනය කිරීමක් කරන්නේ නැත.

එහෙත්, ආර්ථික විද්‍යාඥයින් විශ්වාස කරන පරිදි මිනිසුන්ට සාමාන්‍ය වශයෙන් තමන්ට වඩාත් වාසිදායක තෝරාගැනීමක් කරන්නට උදවු වන ස්වභාවික ඉවක් තිබේ. ඒ නිසා, ඉහත ආකෘතිය නිවැරදි ලෙස සැලකුවගොත් මිනිසුන්ගේ ඉන්ධන මිල දී ගැනීමේ රටාවන් එම ආකෘතිය ඇසුරෙන් පැහැදිලි කරන්නට පුළුවන් විය යුතුය.

මේ ආකෘතිය අනුව බැලුවොත් සාමාන්‍යයෙන් වාහනයේ ටැංකිය පිරෙන්නට ඉන්ධන පුරවන අයෙකු හා එසේ නොකරන අයෙකු අතර තිබිය හැකි වෙනස්කම් මොනවාද?

වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය වැඩි, එනම් D විශාල අගයක් ගන්නා අයෙකුගේ Q විශාල විය යුතුය. තවත් විදිහකින් කියනවානම් වාහනය වැඩිපුර ගරාජයේ තබාගන්නා අයෙකු ඉන්ධන ටැංකිය පුරවන්නට තිබෙන්නේ අඩු ඉඩක් වුවත් හැම වෙලේම වාගේ පාරේ තිබෙන වාහනයක ඉන්ධන ටැංකිය අයිතිකරු විසින් සම්පූර්ණයෙන් පුරවන්නට වැඩි ඉඩක් තිබේ.

එමෙන්ම, ඉන්ධන පොම්ප කිරීමේ වියදම (F) වැඩි වන විටද Q ඉහළ යයි. ඒ නිසා, තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය වඩා වැඩි යයි සලකන, ඉන්ධන පිරවුම්හලක රස්තියාදු වන්නට වීමේ අපහසුතාවයේ මානසික පිරිවැය වඩා වැඩි අයෙකු ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් පුරවන්නට වැඩි ඉඩක් තිබේ. (තප්පරයත් කෝටියක් වටින බව නිතර කියන පැහැසරා ටෙලි නාට්‍යයේ දුල්මිණනම් එසේ කරන්නේ නැත. එයට හේතුව ඔහුගේ D ඉතා කුඩා අගයක් ගැනීම වන්නට පුළුවන.). එමෙන්ම, ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ සිටින අයෙකුට වඩා ළඟපාතක ඉන්ධන පිරවුම්හලක් නැති තැනක පදිංචි අයෙකු එසේ කරන්නට ඉඩ තිබේ.

ඉහත කී පරිදි D හා F වැඩි වන විට Q වැඩි වුවත්, H වැඩි වන විට සිදු වන්නේ Q අඩු වීමයි. මෙහි H ඉන්ධන මිල හා පොලී අනුපාතික මත තීරණය වේ. ඒ අනුව, ඉන්ධන මිල හෝ පොලී අනුපාතික ඉහළ යන විට සාමාන්‍යයෙන් ටැංකිය පුරවන අයෙකු එසේ නොකරන්නට පෙළඹෙන්නට ඉඩ තිබේ.

උදාහරණයක් ලෙස ඉන්ධන ලීටරයක මිල රුපියල් 120 ලෙසත් වාර්ෂික පොලී අනුපාතිකය 10% ලෙසත් සැලකුවහොත් H වල අගය රුපියල් 12කි. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය (D) ලීටර 1200ක් හා ඉන්ධන පොම්ප කිරීමේ වියදම (පිරවුම්හලට යාමට වැය වන ඉන්ධන වල මිල හා ගතවන කාලයේ ආවස්ථික පිරිවැය) එනම් F රුපියල් 2ක් ලෙස සැලකුවහොත් Q සඳහා ලැබෙන අගය ලීටර 20කි. එහෙත්, පිරවුම්හලට යාමට වැය වන ඉන්ධන වල මිලේත්, ඒ සඳහා ගතවන කාලයේ ආවස්ථික පිරිවැයේත් අගය රුපියල් 8ක් වුවහොත් මේ අගය ලීටර 40ක් වෙයි.

දැන් පොලී අනුපාතිකය 10% සිට 2.5%ක් දක්වා අඩු වුනොත් සිදුවන්නේ කුමක්ද? එවිට H රුපියල් 3 දක්වා අඩු වන අතර අනෙකුත් පරාමිතීන් D =1200 හා F = 2 ලෙස නොවෙනස්ව තිබුනොත් එවිටද Q සඳහා ලැබෙන අගය ලීටර 40කි. ඇමරිකාවේ පොලී අනුපාතික ඉතා අඩු නිසා වාහනයේ ඉන්ධන ගබඩා කර තැබීමේ ආවස්ථික පිරිවැය එතරම් විශාල නැත. ඒ නිසා, පිරවුම්හලට යන හැම විටකම ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් පුරවා ගැනීම වඩා වාසිදායකය. එහෙත්, ලංකාවේදී වාහනයක් වැඩිපුර ධාවනය නොකරන, එනම් D එතරම් වැඩි නැති අයෙකුට හෝ ඉන්ධන පිරවුම්හල් ගණනාවක් ආසන්නයේ ඇති, කාලයේ ආවස්ථික පිරිවැය එතරම් නොවැඩි අයෙකුට ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් නොපුරවා අඩු මට්ටමට පිරවීම වඩා වාසිදායක විය හැකිය.

සාමාන්‍යයෙන් ඉන්ධන සම්පූර්ණයෙන්ම පුරවන මා හෝ කතා කතු වැනි අයෙකු එසේ කරන්නේ "ඉන්ධන හල් වලට යන වාර ගණනත් ඒවායේ ගෙවන කාලයත් හැකිතාක් අවම කර ගැනීම" අරමුණු කර ගනිමිනි. ඒ අපේ F ඉතා වැඩි නිසාය. මෙහිදී ඇමරිකාවේ ජීවත් වන මා සැලකූ විට F වැඩි වීමට අමතරව H ඉතා අඩු අගයක් ගැනීමද නිසා මගේ ප්‍රශස්ත Q අගය ඉතා විශාලය. එහෙත්, මගේ ඉන්ධන ටැංකියේ ධාරිතාව එතරම් විශාල නැත. ඒ නිසා, මට ප්‍රශස්ත මට්ටම දක්වා යාමේ හැකියාවක් නැත. සාමාන්‍යයෙන් ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් පුරවන බොහෝ දෙනෙකුගේ තත්ත්වය මෙයයි.

කතා කතු මෙන්ම මාද ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් පුරවන්නේ පිරවුම්හලට යන වාර ගණන අඩු කර ගැනීමටය. එසේනම්, වඩා තාර්කික තීරණයක් වන්නේ වරක් ටැංකිය පුරවා ගැනීමෙන් පසු එය සම්පූර්ණයෙන්ම වාගේ හිස් වන තුරු නැවත ඉන්ධන නොපිරවීමයි. එහෙත්, කතා කතු තව "කිලෝ මීටර 50-60 යාමට පමණක් ඉන්ධන තිබියදී හෝ දිගු ගමනක් පිටත් වීමට පෙර" ඉන්ධන ටැංකිය නැවත පුරවා ගනී. මා සාමාන්‍යයෙන් කරන්නේද මේ දෙයමය. ඒ ඇයි?

හදිසියේවත් ටැංකියේ ඉන්ධන අවසන් වුවහොත් හෝ ළඟම ඇති පිරවුම්හලේ ඉන්ධන නැති වුවහොත් විශාල අපහසුතාවයකට මුහුණ දෙන්නට සිදුවන අතර එවිට F විශාල ලෙස වැඩි වී සමස්ත වියදම ඉහළ යයි. දුර ගමනක් යද්දී මේ අවදානම ඉතා විශාලය. අන්තිම බින්දුව තෙක්ම ටැංකිය හිස් නොකර කලින්ම ටැංකිය පිරවීමෙන් මේ අවදානම අවම කරගත හැකිය. මෙහි ඇති අවාසිය ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ පිරිවැය ඉහළ යාමයි. ඇමරිකාවේදීනම් මෙය නොසලකා හළ හැකි තරම් සුළු වියදමකි. ලංකාවේදී මේ වියදම ඇමරිකාවේදීට වඩා වැඩි වුවත් (වසරකට රුපියල් 50-60ක් පමණ) කතා කතු වැනි අයෙකුගේ ඉන්ධන පිරවීමට යාමේ වියදමට සාපේක්ෂව මෙය එතරම් විශාල නොවනවා විය යුතුය.

මෙතෙක් අප පොදුවේ ප්‍රශස්ත ඉන්ධන මිලදී ගැනීමේ මට්ටම ගැන කතා කළත් එය කළේ මිල නොවෙනස්ව පවතිනු ඇති බව උපකල්පනය කරමිනි. ඊයේ සිදුවුනාක් මෙන් කලින් දැනුම් දී ඉන්ධන මිල ඉහළ දැමූ විට වහාම ඉන්ධන ටැංකිය පුරවා ගැනීමේ වාසියක් තිබේ. මේ වාසිය තීරණය වන්නේ තමන්ගේ ඉන්ධන ටැංකිය කෙතරම් හිස්ද යන්න මතය. ඒ නිසා, සාමාන්‍යයෙන් ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් පුරවන අයෙකුට වඩා එසේ නොකරන අයෙකුට වාසිය වැඩිය. ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් නොපුරවන්නේ පිරවුම්හලේ රස්තියාදුව එතරම් ගණන් නොගන්නා අයයි. එනම්, F අගය කුඩා අයයි. ඒ අයට මෙවැනි අවස්ථාවක පිරවුම්හලක වැඩි වෙලාවක් රස්තියාදු වන්නට සිදුවීම ප්‍රශ්නයක් නොවේ. එහෙත්, කතා කතු වැනි අයෙකුට එය විශාල ප්‍රශ්නයකි. ඒ නිසා "වැඩි ගාණට එන එකෙන් මං පස්සෙ ගහ ගන්නම්" කියා ඔහු ඔහුගේ සගයන්ට කියයි.

(Image: https://www.express.co.uk/news/world/671471/wedding-pictures-photos-petrol-station-thailand)

Thursday, May 10, 2018

ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් වල ඉන්නේ කවුද?


ආණ්ඩුව විසින් මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇති අතර මධ්‍යම රාත්‍රියට පෙර, පැරණි මිලටම ඉන්ධන ලබාගෙන සිය වාහනයේ ඉන්ධන ටැංකිය පුරවා ගන්නට ජනතාව පෝලිම් ගැසී සිටින බව පෙනේ.

ලංකාවේ ඉන්ධන මිල ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ තීරණය නොවන අතර කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ඔවුන්ගේ අභිමතය පරිදි තීරණය කෙරේ. එසේ වුවද, සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්ධන හිඟයක් හෝ ඉන්ධන පෝලිම් දකින්නට නොලැබීමෙන් පෙනෙන්නේ සාමාන්‍ය දිනයකදී ඉන්ධන සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලනය වන බවයි.

මෙය මෙසේ සිදු වන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම සමතුලනය වන මිල හරියටම තීරණය කිරීමට තරම් දක්ෂතාවයක් රජයට තිබෙන නිසාද?

ඇත්තටම සිදුවන්නේ එවැන්නක් නොවේ. ලංකාවේ ඉන්ධන මිල බොහෝ විට තරඟකාරී තත්ත්වයන් යටතේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නියම මිල නොවේ. එය ඇතැම් විට අඩු මිලකි. බොහෝ විට වැඩි මිලකි.

ඉන්ධන මිල නියම මිලට වඩා වැඩි වූ විට සැපයුම්කරුවෙකුට ඉන්ධන වෙළඳාමෙන් සුපිරි ලාභ ලැබිය හැකිය. කිසියම් සැපයුම්කරුවෙකු විසින් සුපිරි ලාභ ලබන විට වෙනත් සැපයුම්කරුවන් අදාළ කර්මාන්තයට ආකර්ශනය වන නමුත් ලංකාවේ රජය විසින් එය වලක්වා ඇති බැවින් රජයට ඉන්ධන වෙළඳාමෙන් සුපිරි ලාභ ලබන්නට හැකියාවක් තිබුණත් තරඟකාරිත්වයක් නොමැති කමින් ඇත්තටම සිදුවී තිබෙන්නේ මේ සුපිරි ලාභ ලැබීමේ හැකියාව අකාර්යක්ෂමතාවන් බවට පරිවර්තනය වී තිබීමයි. ඒ නිසා, ඉන්ධන වෙළඳපොළෙහි රජය සතු ඒකාධිකාරය නිසා පාරිභෝගිකයින්ට විශාල අලාභයක්  සිදුවුවත්, ඒ අලාභ වලට අනුරූප ලාභයක් රජයට හිමි නොවේ.

මෙහිදී මා ඒකාධිකාරය යන වචනය හිතාමතාම භාවිතා කළේ ඉන්දියානු තෙල් සමාගම හා ඛණිජ තෙල් සංස්ථාව අතර මිල තරඟයක් නොමැති බැවිනි. ඉන්දියානු තෙල් සමාගමට ඛණිජ තෙල් සංස්ථාවේ මිලට වඩා අඩුවෙන් ඉන්ධන විකිණීමට අවසරයක් නොමැත. ඒ නිසා, ඛණිජ තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවයන් පියවා ගැනීම සඳහා අය කරන, සමතුලිත මිලට වඩා ඉහළ, පාලන මිලට ඉන්ධන විකුණා සුපිරි ලාභ ලබන්නට ඉන්දියානු තෙල් සමාගමට හැකි වී තිබේ.

තවදුරටත් සමතුලිත මිලට වඩා වැඩි වුවත්, ඛණිජ තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතා හේතුවෙන් සුපිරි ලාභ තබා සාමාන්‍ය ලාභවත් නොලබමින් රජය විසින් ඉන්ධන අලෙවි කරන අවස්ථාද තිබේ. මෙවැනි වකවානු වලදීද ඉන්දියානු තෙල් සමාගම වෙළඳපොළෙහි රැඳී සිටීමෙන් තහවුරු වන පරිදි, එවැනි අඩු මිලකට විකිණීමේදී වුවද එම සමාගම පාඩු ලබන්නේ නැත. ඛණිජ තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ආයතනයක් පාඩු ලැබීම යනු අවසාන වශයෙන් එවැනි ආයතනයක අකාර්යක්ෂමතාවයේ පිරිවැය ඉන්ධන පාරිභෝගිකයින් නොවන පිරිස්ද ඇතුළු රටේ සියලු දෙනා මත පැටවීමකි.

ඉන්ධන මිල ඉහළ යාමත්, එයින් අනතුරුව ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් හැදීමත් ඇසුරින් මූලික ආර්ථික විද්‍යා මූලධර්ම ගණනාවක් පැහැදිලි කළ හැකිය.

පළමුව, මිනිසුන් යනු තමන්ගේ වාසි වෙනුවෙන් කටයුතු කරන පිරිසකි. ඉන්ධන ටැංකිය පුරවා ගැනීම සඳහා හෙට වන තුරු බලා නොසිට එය අදම කිරීමෙන් රුපියල් දෙතුන් සීයක සිට හත් අට සීයක් දක්වා වාසියක් ලැබිය හැකිය. කිසියම් භාණ්ඩයක මිල ඉහළ යනු ඇති බවට සමපේක්ෂණය කිරීම පමණක් නිසාද පාරිභෝගිකයෝ මේ අයුරින් හැසිරෙති. මේ අවස්ථාවේදී එවැනි සමපේක්ෂණය කිරීමක් අවශ්‍ය නොවන අතර මිල ඉහළ යන බව ස්ථිරය. ඒ නිසා, ලැබෙන වාසිය අපේක්ෂිත (සම්භාවිතාව එකට අඩු) වාසියක් නොව නිශ්චිත වාසියකි.

දෙවනුව, මෙසේ ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමක රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැයක් තිබේ. මේ කාලය වෙනත් වඩා ඵලදායී කටයුත්තක් සඳහා යෙදවිය හැකිය. එසේනම්, මේ අයුරින් පෝලිම් ගැසී සිටින්නේ තාර්කික හැකියාවක් නැති අයද?

එය එසේ නොවේ. මිනිසුන්ට තමන්ට හොඳ දෙය තෝරා ගැනීමේ ස්වභාවික හැකියාවක් තිබේ. අද මධ්‍යම රාත්‍රියට කලින් ඉන්ධන ලබා ගැනීමේ සෘජු මුදල් වාසිය පුද්ගලයා මත තීරණය නොවන්නක් වුවත් (සමාන වාහන ඇති) පුද්ගලයින් දෙදෙනෙකුගේ කාලයේ වටිනාකම මෙන්ම පෝලිමේ රස්තියාදු වීමට සිදුවීමෙහි ඇති අපහසුතාවයට පුද්ගලයින් දෙදෙනෙකු විසින් බර තබන ආකාරයද සමාන නැත. මේ පිරිවැය ලැබෙන වාසියට වඩා වැඩියයි සිතන අය ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් වලට එකතු වන්නේ නැත. එහෙත්, ලැබෙන වාසිය වැඩියයි සිතන්නෝ එසේ එකතු වෙති.

කිසියම් පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයකට ලබා දෙන වටිනාකම එහි මිලට වඩා අඩු හෝ වැඩි විය හැකි අතර මේ වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයක් නිශ්චිත මිලකට මිලදී ගැනීම මඟින් ප්‍රදර්ශනය කරන්නේ එම පාරිභෝගිකයාට අදාළ භාණ්ඩයේ වටිනාකම එහි මිලට වඩා සමාන හෝ වැඩි බවයි. එය එසේ නොවේනම් මිලදී ගැනීමක් සිදු වන්නේ නැත.

පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයකට ලබා දෙන වටිනාකම හා ගෙවන මිල අතර වෙනස පාරිභෝගික අතිරික්තයයි. එය භාණ්ඩයක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකු විසින් හැම විටම වාගේ ලබන වාසියකි. මිල සමාන වුවත්, පාරිභෝගික අතිරික්තය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

භාණ්ඩයක මිල රුපියලකින් වැඩිවන විට කිසියම් පුද්ගලයකුගේ පාරිභෝගික අතිරික්තයද රුපියලකින් අඩු වේ. එහෙත්, මිල වැඩි වීමට පෙර කිසියම් අයෙකුගේ පාරිභෝගික අතිරික්තය රුපියලකට වඩා අඩු වීනම්, එය රුපියලකින් අඩු විය නොහැකිය. මිල ඉහළ යාම නිසා එවැන්නෙකුට අහිමි වන්නේ කලින් ලැබූ රුපියලකට අඩු කවර හෝ ප්‍රමාණයක පාරිභෝගික අතිරික්තය පමණි. භාණ්ඩයේ මිල රුපියලකින් වැඩි වූ විට එවැන්නෙකුගේ පාරිභෝගික වටිනාකමට වඩා භාණ්ඩයේ මිල ඉහළ යන බැවින් භාණ්ඩය මිල දී ගැනීම තවදුරටත් වාසිදායක නොවන කටයුත්තක් බවට පත් වන නිසා මිල දී ගැනීම වැළකේ. ඒ නිසා, භාණ්ඩයක මිල ඉහළ යන සෑම විටකම කිසියම් පාරිභෝගික පිරිසක් වෙළඳපොළෙන් ඉවත් වන අතර මිල සහ ඉල්ලුම අතර දැකිය හැකි ප්‍රතිලෝම සම්බන්ධතාවයට හේතුව මෙයයි.

ඉහත කී අයුරින් භාණ්ඩයක මිල වැඩි වූ විට වෙළඳපොළෙන් ඉවත් වන්නේ අදාළ භාණ්ඩයට අඩුම වටිනාකමක් දුන් පාරිභෝගික පිරිසයි. වෙළඳපොළේ තවදුරටත් රැඳී සිටින්නේ භාණ්ඩයට වැඩි වටිනාකමක් දෙන පිරිසයි.

දැන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෙළගැසී සිටින පිරිස හා එසේ පෙළ ගැසී නොසිටින පිරිස් අතර ඔවුන්ගේ පාරිභෝගික වටිනාකම් වල වෙනසක් තිබිය හැකිද?

මිල වැඩි වන බව දැන දැනම ඉන්ධන ටැංකි පුරවා ගන්නට වද නොවන්නේ ඉන්ධන වලට වැඩි වටිනාකමක් දෙන, වැඩි පාරිභෝගික අතිරික්තයක් ලබන අයයි. මිල වැඩි වීම නිසා ඔවුන්ගේ පාරිභෝගික අතිරික්තයද අඩු වී ඇතත්, ඔවුහු තවදුරටත් සැලකිය යුතු තරමේ පාරිභෝගික අතිරික්තයක් ලබමින් සිටිති. ඒ නිසා, ඉන්ධන මිල ඉහළ ගියද ඉන්ධන සඳහා වන ඔවුන්ගේ ඉල්ලුම එතරම් පහළ නොයනු ඇත.

මේ වෙලාවේ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෙළ ගැසී සිටින්නේ පවතින මිල යටතේ විශාල පාරිභෝගික අතිරික්තයක් නොලබන අයයි. ඔවුන් පෙර කී කණ්ඩායමට වඩා ඉන්ධන මිලට සංවේදී පිරිසකි. ඉන්ධන මිල තවත් වැඩි වුවහොත් වාහන ගරාජ් වලම තබාගන්නට මුලින්ම පෙළඹෙනු ඇත්තේ මේ කණ්ඩායමෙන් කොටසකි. අද රාත්‍රියේ සිදුවූ මිල වැඩි වීම නිසා ඔවුන්ගේ ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු ප්‍රමාණයකින් පහත යනු ඇත.

ලංකාවේ වාහන ගන්නා හැම දෙනෙක්ම එය කරන්නේ ප්‍රවාහන පහසුව පමණක් ගැන සිතමින් නොවේ. ආයෝජනයක් ලෙස සිතමින් හෝ තත්ත්ව සංකේතයක් ලෙස සලකමින් වාහන මිල දී ගන්නා අයද ලංකාවේ එතරම් අඩු නැත. මේ ඇතැම් අය සෝදා පිරිසිදු කර, සියලු වතාවත් කර ගරාජ් එකේම තබා ගන්නා වාහනය එළියට ගන්නේ විශේෂ අවස්ථාවකදී පමණි. ඔවුන් ප්‍රවාහනය සඳහා සාමාන්‍යයෙන් යොදාගන්නේ පොදු ප්‍රවාහන සේවාවන්ය. එවැනි වාහනයක ඉන්ධන ටැංකිය වරක් සම්පූර්ණයෙන් පුරවාගත් පසු නැවත මාසයක් දෙකක් යන තුරු ඉන්ධන අවශ්‍ය වන්නේ නැත.

එහෙත්, දිනපතා සියලු කටයුතු සඳහා වාහනය භාවිතා කරන අයෙකුගේ වරක් පුරවා ගත් ඉන්ධන ටැංකිය හිස් වන්නට වැඩි දවසක් යන්නේ නැත. එමෙන්ම, එවැන්නෙකු හදිසියකටවත් පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකරන්නේ පොදු ප්‍රවාහන සේවා වල රස්තියාදු වී නාස්ති නොකළ හැකි තරමට ඔවුන්ගේ කාලය ඔවුන්ට වටිනා නිසාය.

පළමු කාණ්ඩයේ අයෙකුට ඉන්ධනහලක් ඉදිරිපිට පෝලිමේ පැයක් දෙකක් සිටීමේ අවාසිය මහා ලොකු එකක් නොවන අතර මධ්‍යම රාත්‍රියට පෙර ඉන්ධන ටැංකිය පුරවා ගැනීමේ වාසිය තරමක් දිගුකාලීන එකකි. දෙවන කාණ්ඩයේ අයෙකුට ඉන්ධනහලක් ඉදිරිපිට පෝලිමේ පැයක් දෙකක් සිටීම සිතිය නොහැකි තරමේ "වියදම් අධික" කටයුත්තක් වනවා පමණක් නොව එයින් ලැබෙන වාසියද කෙටිකාලීන එකකි.

(Image: http://www.dailymirror.lk/article/Lengthy-queues-at-fuel-stations-127678.html)

Wednesday, May 9, 2018

ඇමරිකාව ගැහැණු බාලදක්ෂයින්ට දොර අරී!

මෙතෙක් කලක් පිරිමි දරුවන්ට පමණක් සීමා වී තිබුණු ඇමරිකාවේ බාලදක්ෂ සම්මේලනයේ දොර දැරියන්ටද විවෘත කිරීමට එම සම්මේලනය තීරණය කර තිබේ. මේ ප්‍රතිපත්ති වෙනසත් සමඟ "බෝයි ස්කෞට්ස් ඔෆ් ඇමරිකා" ලෙස මෙතෙක් භාවිතා වුනු එම සම්මේලනයේ නමද "ස්කෞට්ස් බීඑස්ඒ" ලෙස වෙනස් වේ.

රොබට් බේඩන් පවල් සාමි වරයා විසින් 1908දී බ්‍රිතාන්‍යයේදී බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ අතර එයින් දෙවසරකට පසුව ඇමරිකා එක්සත් ජනපදය තුළද බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය.

බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වී වැඩි කලක් යන්නට මත්තෙන් පිරිමි දරුවන්ට ලැබෙන මේ අවස්ථාව දැරියන්ටද ලැබිය යුතු බවට ඉල්ලීම් මතු වූ අතර ඒ ඉල්ලීම් වලට රොබට් බේඩන් පවල් ඇහුම්කන් දුන්නේය. එහෙත්, ඔහුගේ අදහස වූයේ බාලදක්ෂ ව්‍යාපාරයට දැරියන් එකතු කර නොගෙන දැරියන් වෙනුවෙන් එවැනි වෙනත් ව්‍යාපාරයක් ඇති කළ යුතු බවයි.

මේ අනුව රොබට්ගේ සොහොයුරිය වූ ඇග්නස් බේඩන් පවල්ගේ මූලිකත්වයෙන් 1910දී බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භ වූ අතර, 1912 වෙද්දී බාලදක්ෂිකා ව්‍යාපාරය ඇමරිකා එක්සත් ජනපදයටද පැමිණියේය. එතැන් සිට ඇමරිකාව තුළ පිරිමි දරුවන් සඳහා බාලදක්ෂ ව්‍යාපාරයකුත්, දැරියන් සඳහා බාලදක්ෂිකා ව්‍යාපාරයකුත් පැවති අතර කිසියම් දරුවෙකුට තමන්ගේ ලිංගික අනන්‍යතාවය අනුව මේ දෙකෙන් එකක් තෝරා ගන්නට සිදුවී තිබුණේය.

ඇමරිකානු ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය සම්මත වී ගැහැණුන්ට ඡන්ද බලය හිමි වූයේ 1920දීය. බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාර ආරම්භ වන කාලයේ ඇමරිකාව තුළ ගැහැණුන් හා පිරිමින් අතර සාමාජීය ලෙස පැහැදිලි හා විශාල පරතරයක් තිබුණේය. එහෙත්, එතැන් සිට ගත වූ සියවසකට වැඩි කාලය තුල ලිංගික අනන්‍යතාවය පිළිබඳ බටහිර ලෝකයේ අදහස් විශාල ලෙස වෙනස් වී තිබේ.

කිසියම් අයෙකුගේ ලිංගික අනන්‍යතාවය යනු ගැහැණු හා පිරිමි ලෙස තනි ඉරකින් බෙදිය හැකි දෙයක් ලෙස බටහිර ලෝකය තුළ තවදුරටත් සැලකෙන්නේ නැත. අවිවාදිතව මේ කාණ්ඩ දෙකෙන් එකකටවත් සෘජුව අයිති නොවන සංක්‍රාන්ති ලිංගිකයින්, ගැහැණු අනන්‍යතාවයකට කැමති පිරිමින් හා පිරිමි අනන්‍යතාවයට කැමති ගැහැණුන් වැනි කොටස් වල අයිතීන් ගැන ඇමරිකාව ඇතුළු බටහිර සමාජය සංවේදී වන්නට පටන්ගෙන දැන් කලක් ගත වී තිබේ.

මෙහි බලපෑමෙන් ගැලවෙන්නට ඇමරිකාවේ බාලදක්ෂ සම්මේලනයටද හැකි වී නැත. ඇමරිකානු බාලදක්ෂ ව්‍යාපාරය තුළ සමලිංගිකයින්ට (ප්‍රසිද්ධයේ සමලිංගිකයින් ලෙස පෙනී සිටින වැඩිහිටි පිරිමින්ට බාලදක්ෂ නියමුවන් වීමට) තිබුණු තහනම 2015දී ඉවත් කෙරුණු අතර ලබන වසරේ සිට දැරියන්ටද පිරිමි දරුවන් සමඟ හරි හරියට බාලදක්ෂ ක්‍රියාකාරකම් වල යෙදෙමින් "ඊගල් ස්කෞට්" කෙනෙකු වීමට ඉඩ ලැබේ.

ඇමරිකාවේ  "ඊගල් ස්කෞට්" පදක්කම බාලදක්ෂයෙකුට හිමි කරගත හැකි ඉහළම පදක්කම වන අතර මෙය ලංකාවේ ජනාධිපති පදක්කමට සමාන කළ හැකිය.  "ඊගල් ස්කෞට්" කෙනෙකු ඇමරිකානු හමුදාවකට එක් වූ විට අනෙක් අයට වඩා එක් ශ්‍රේණියක් ඉහළින් තැබෙන අතර වෙනත් රැකියා සඳහා බඳවා ගැනීමේදීද එවැන්නෙකුට කිසියම් වාසියක් ලැබේ.

දැන් ඇමරිකාවේ දැරියකට තමන් කැමති පරිදි බාලදක්ෂිකාවක් වන්නට හෝ බාලදක්ෂයෙක් වන්නට අවස්ථාව තිබේ. ඇමරිකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයනම් මේ තීරණය ගැන එතරම්ම සතුටු නැත.

ලිංගික අනන්‍යතාවය හා අදාළව ඇමරිකාවේ බාලදක්ෂ සම්මේලනය මෙවැනි තැනක සිටියත් ආගමික අනන්‍යතාවය හා අදාළව එම සම්මේලනය තවමත් සිටින්නේ සියවසකට පෙර සිටි තැනමය. කිසියම් බාලදක්ෂයෙකු ව්‍යාපාරය තුළ ඉදිරියට යාම සඳහා ආගමික සේවාවන්ද සම්පූර්ණ කළ යුතු අතර ක්‍රිස්තියානි නිකායකට හෝ ක්‍රිස්තියානි නොවන යුදෙවු, ඉස්ලාම්, බෞද්ධ හෝ හින්දු ආගමිකයකුටද තමන්ගේ විශ්වාස අනුව යමින් මේ ආගමික සේවා කොටස සම්පූර්ණ කළ හැකි වුවත්, අදේවවාදියෙකුට හෝ අඥෙයවාදියෙකුට​ තවමත් ඒ අවස්ථාව නැත. මේ නිසා, නිරාගමික පවුලක දරුවෙකුට තමන්ටම අවංක වෙමින් ඇමරිකාවේ බාලදක්ෂ ව්‍යාපාරය තුළ ඉදිරියට යාම අසීරුය.

පියු පර්යේෂණ ආයතනයේ අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව ඇමරිකානුවන්ගෙන් 70.6%ක් කිසියම් හෝ නිකායකට අයත් කිතුණුවන් වන අතර තවත් 5.9%ක් යුදෙවු, ඉස්ලාම්, බෞද්ධ හෝ හින්දු වැනි ක්‍රිස්තියානි නොවන ආගමික අනන්‍යතාවයක් දරති. ඉතිරි පිරිස එවැනි ආගමික අන්‍යතාවයක් නොදැරුවත් ඔවුන් අතරින් තමන් අදේවවාදියෙකු හෝ අඥෙයවාදියෙකු ලෙස හඳුනා ගන්නේ පිළිවෙලින් 3.1%ක් හා 4.0%ක් පමණි. මීට අමතරව අදේවවාදියෙකු හෝ අඥෙයවාදියෙකු ලෙස හඳුන්වා නොගන්නා නමුත් ආගම තමන්ට වැදගත් දෙයක් නොවන බව පවසන තවත් 8.8%ක් සිටිති. ජනගහනයෙන් 15.9%ක් යනු විශාල ප්‍රතිශතයකි.


Tuesday, May 8, 2018

එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය වන්නේ කොහොමද?


එච්අයිවී ආසාදිතයෙකු සමඟ අනාරක්ෂිත ලෙස ලිංගිකව එක් වීමේදී එච්අයිවී වයිරසය නිරෝගී අයෙකු වෙත සම්ප්‍රේෂණය වන්නට ඉඩ තිබෙන බව කවුරුත් වාගේ දන්නා කරුණකි. ගැහැණියක හා පිරිමියෙකු අතර සාමාන්‍ය ක්‍රමයට සිදුවන ලිංගික එක්වීමකදී පිරිමියාගෙන් ගැහැණියට වෛරසය සම්ප්‍රේෂණය වන්නට 0.008%ක (1250කට 1ක්) පමණ ඉඩක්ද ගැහැණියගෙන් පිරිමියාට සම්ප්‍රේෂණය වන්නට 0.004%ක (2500න් 1ක්) ඉඩක්ද තිබේ. ගුද සංසර්ගයේදී ගැහැණියකට හෝ පිරිමි ප්‍රතිග්‍රාහකයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමට ඇති සම්භාවිතාව 1.4% (71කට 1ක්) තරම් විශාලය.

පුද්ගලයින්ගේ ලිංගික හැසිරීම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම මෙන්ම ලිංගික සහකරුවකු හෝ සහකාරියක එච්අයිවී ආසාදිතයෙකුදැයි දැන ගැනීමද පහසු කටයුත්තක් නොවන නිසා ඉහත ඇස්තමේන්තු සැලකිය හැක්කේ ඉතා දළ ඇස්තමේන්තු වශයෙන් පමණි. කෙසේ වුවත්, එච්අයිවී ආසාදිතයෙකු සමඟ වරක් පමණක් අනාරක්ෂිත ලෙස ලිංගිකව එක් වීමෙන් පසුව වුවද වෛරසය ශරීරගතව නොතිබෙන්නට ඇති ඉඩකඩ 99%කටත් වඩා වැඩිය. ඒ නිසා, එවැනි අවස්ථා ඕනෑ තරම් තිබිය හැකි අතර එයින් එච්අයිවී වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන්නේය යන මතය බොරු වන්නේ නැත. මෙවැනි අනාරක්ෂිත ලිංගික හැසිරීම් වැඩිවන තරමට ඉහත අවදානමද ඉහළ යයි.

ලිංගික එක් වීමකදී එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය වන්නේ කෙසේද? එයින් පසුව සිදුවන්නේ කුමක්ද?

ප්‍රංශ පර්යේෂකයින් පිරිසක් විසින් මෙය සිදුවන ආකාරය වීඩියෝගත කරන්නට සමත්ව තිබේ. මෙහිදී ඔවුන් විසින් මුලින්ම කරන්නේ ලිංගාශ්‍රිත පටක විද්‍යාගාර දීසියක් තුළ නිෂ්පාදනය කිරීමයි. මේ පටක ආකෘතියට ලිංගාශ්‍රිත පටක මතුපිට ඇති අපිච්ඡද සෛලද ඇතුළත්ය. දෙවනුව ඔවුන් එච්අයිවී වෛරසය පහසුවෙන් හඳුනාගත හැකි පරිදි කොළ පැහැ ප්‍රතිදීප්ත එළියක් විහිදුවන ප්‍රෝටීනයක් එයට එකතු කිරීමෙන් පසුව එච්අයිවී ආසාදිත, ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා අදාළ සෛල ලිංගාශ්‍රිත පටක ආකෘතිය වෙත මුදා හරී.

ආසාදිත සෛල වලින් ලිංගාශ්‍රිත පටක මතුපිට ඇති අපිච්ඡද සෛල වෙත එච්අයිවී වෛරසය වෙඩි තබන්නාක් මෙන් වේගයෙන් මුදා හරින ආකාරය වීඩියෝවේ පැහැදිලිව සටහන් වී තිබේ. කෙසේවුවද, මේ වෛරසය අපිච්ඡද සෛල ආසාදනය නොකරන අතර සිය ඉලක්කය වන ප්‍රතිශක්තිකරණ සෛල වෙත ළඟා වී ඒවා ආසාදනය කරයි. මෙහිදී සිදු කර ඇති අනපේක්ෂිත නිරීක්ෂණයක් වන්නේ මේ අයුරින් එච්අයිවී වෛරසය වේගයෙන් මුදාහරින්නේ ප්‍රතිශක්තිකරණ සෛල වලට ආසන්නව මතුපිටින් ඇති අපිච්ඡද සෛල වෙත පමණක් වීමයි.

වෛරසය ශරීරගත වීමෙන් පසුව එය ක්‍රියාකරන ආකාරයද පරීක්ෂණ කණ්ඩායම විසින් නිරීක්ෂණය කර ඇති අතර මේ හා අදාළ තොරතුරු "සෙල් රිපෝර්ට්ස්" ජර්නලයේ අද (මැයි 8) කලාපයේ පළ කර තිබේ. ඔවුන්ගේ නිරීක්ෂණ වෛරසය පාලනය කිරීම හා සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා උදවු වනු ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි.

වීඩියෝව සඳහා සබැඳියක් පහත තිබේ.

https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification



(Image: http://ahotoronline.com/assin-north-records-218-hiv-cases/)


ආර්ථිකය සනීපෙන්ද?


පසුගිය 2017 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.1% මට්ටමට පල්ලම් බැස්සේය. 1977න් පසුව ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ තරමට පහත වැටුනේ ජවිපෙ විසින් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය කළ 1987-89 අවුරුදු වලදී හා එල්ටීටීඊ සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපොළ ප්‍රහාරය හරහා රටේ ආර්ථිකය අකර්මන්‍ය කළ 2001 වසරේදී පමණි. විවිධ ආකෘතිමය ප්‍රශ්න හමුවේ වුවත්, 1977න් පසු ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 5% මට්ටමට වඩා ඉහළින් තිබුණේය.

කිසියම් රටකට දිගුකාලීනව පවත්වා ගත හැකි සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය "විභව ආර්ථික වර්ධන වේගය" ලෙස හැඳින්වේ. මෙය කිසියම් රටක ශ්‍රමයේ ඵලදායීතාවය, ඉතිරි කිරීම් අනුපාතය හා තාක්ෂණයේ දියුණුව ආදී කරුණු මත රඳා පවතින්නකි. දේපොළ අයිතිවාසිකම් සුරැකීම, නීතියේ සාධාරණත්වය පවත්වා ගැනීම ආදී දේ මඟින් ඉහත කී විභව ආර්ථික වර්ධනය පවත්වා ගන්නට රජයකට උදවු කළ හැකි වුවත් මූලික වශයෙන්ම රටක දිගුකාලීන ආර්ථික වර්ධනයට දායක වන්නේ ව්‍යවසායකයින් මිස රජය නොවේ.

ඇතැම් වසර වලදී කිසියම් රටක ආර්ථිකය එහි විභව වේගයෙන් වර්ධනය වන්නේ නැත. තවත් වසර වලදී එය විභව වේගයටත් වඩා වේගයකින් වර්ධනය වෙයි. ආර්ථික වර්ධනයෙහි සිදුවන මේ ආකාරයේ චක්‍රීය විචලනයන් ව්‍යාපාර චක්‍ර ලෙස හැඳින්වේ.

කිසියම් ආර්ථිකයක් එහි විභව මට්ටම ඉක්මවා නිෂ්පාදනය ඉහළ නැංවූ විට විරැකියා අනුපාතිකය දිගුකාලීන ස්ථාවර මට්ටමට වඩා පහළ යයි. එහෙත්, උද්ධමනය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යයි. අනෙක් අතට, ආර්ථික පරිමාව විභව මට්ටමට වඩා අඩු වූ විට මිල මට්ටම් (උද්ධමනය) පහත වැටෙන නමුත් විරැකියා අනුපාතිකය ඉහළ යයි.

මහ බැංකුවක් විසින් ක්‍රියාත්මක කරන මුදල් ප්‍රතිපත්ති වලින් හා රජයයන් විසින් ක්‍රියාත්මක කරන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලින් කරන්නේ ඉහත කී ආකාරයේ ව්‍යාපාර චක්‍ර වල බලපෑම් අවම කර විරැකියා අනුපාතිකය, උද්ධමනය හා ආර්ථික වර්ධන වේගය ස්ථාවරව තබා ගැනීමයි. මෙය කරන්නට උත්සාහ ගන්නේ රටේ සමස්ත ඉල්ලුමට බලපෑම් කිරීම මඟිනි.

රටේ ආර්ථිකයට මහ බැංකු හා රජයයන් විසින් බලපෑම් කරන්නේ ව්‍යාපාර චක්‍ර වලට හේතුව රටේ සමස්ත ඉල්ලුමෙහි සිදුවන අඩු වැඩි වීම්ය යන කීනිසියානු අදහස මත පදනම්වය. ඒ අනුව, රටක ආර්ථික වර්ධන වේගය දිගුකාලීන (විභව) මට්ටමට වඩා අඩු වූ විට, රජය විසින් සෘජුව කරන වියදම් ඉහළ දැමීමෙන් හා බදු අනුපාතික අඩු කර ජනතාව අතේ ඉතිරි වන මුදල් ප්‍රමාණය වැඩි කිරීමෙන් රටේ සමස්ත ඉල්ලුම ඉහළ නැංවීම ආර්ථික වර්ධන වේගය විභව මට්ටමට නැංවීම සඳහා වන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති උපක්‍රමයයි. අලුතෙන් මුදල් මුද්‍රණය කර සංසරණයට එකතු කිරීම මඟින් හා පොලී අනුපාතික අඩු කර ණය ගැනීම පහසු කිරීම මඟින් වැඩියෙන් වියදම් කරන්නට පෙළඹවීම ආර්ථික වර්ධන වේගය විභව මට්ටමට නැංවීම සඳහා වන මුදල් ප්‍රතිපත්ති උපක්‍රමයයි.

මෙහිදී අදහස් කෙරෙන්නේ සමස්ත ඉල්ලුම වැඩි වූ විට ලාබ ලැබීමේ අවස්ථාවන් දැකීමෙන් නිෂ්පාදනය ඉහළ දමන්නට ව්‍යවසායකින් පෙළඹෙන බවයි. එහෙත්, එසේ නිෂ්පාදනය ඉහළ දැමිය හැක්කේ ඒ සඳහා අවශ්‍ය වන සම්පත් හා තාක්ෂනය ආදිය ඔවුන් සතුව තිබේනම් පමණි. රටේ සමස්ත නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමට වඩා අඩුවෙන් සිදුවන වන අවස්ථාවක මේ විභවය තිබුණත් රටේ සමස්ත නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමෙහි හෝ ඉහළින් පවතින විටක මෙවැනි විභවයක් නැති නිසා, වෙනත් සංකීර්ණ ආකෘතිමය ගැටළු ඇති නොකරමින්, මහ බැංකුවට හෝ රජයට මැදිහත් වී ආර්ථිකය ප්‍රසාරණය කළ නොහැක. එසේ කරන්නට උත්සාහ කළ විට සිදු වන්නේ වැඩි වූ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් සිදු නොවන නිසා මිල මට්ටම ඉහළ යාම පමණි.

රටේ සමස්ත නිෂ්පාදනය විභව මට්ටමේ නැති විට ඉහත ආකාරයෙන් තාවකාලික උපක්‍රමයක් ලෙස රජයේ බදු ආදායම් අඩු කරගන්නා අතරම රජයේ වියදම් වැඩි කළ හැකි වුවත් එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ අය හා වැය අතර පරතරයක් ඇති වෙයි. ඒ නිසා, රජයකට මැදිහත් වී රටක ආර්ථිකයක් දිගින් දිගටම ප්‍රසාරණය කළ නොහැකිය. එසේ කරන්නට උත්සාහ කළ විට සිදුවන්නේ ණය බර ක්‍රමයෙන් වැඩි වී කිසියම් මොහොතක රටේ ආර්ථිකය කඩා වැටීමයි. එය එසේ සිදු නොවන්නටනම් රජයක් විසින් පායනා කාලෙදී කන්න දේ රැස් කළ යුතුය. එසේත් නැත්නම්, රටේ සමස්ත නිෂ්පාදනය විභව මට්ටමට වඩා වැඩි වන අවස්ථා වලදී බදු වැඩි කර, රජයේ වියදම් අඩු කර අයවැය අතිරික්තයක් පවත්වා ගත යුතුය. දිගුකාලීනව ගොඩ නැඟී ඇති විශාල අයවැය හිඟයක් ඇත්නම් අඩු වශයෙන් ඒ හිඟය අඩු කර ගත යුතුය.

මේ අයුරින්ම, රටේ සංසරණයට අලුතින් මුදල් එකතු කිරීම මඟින් මහ බැංකුවට කෙටිකාලීනව මිනිසුන් "රැවටිය" හැකිය. අතේ වැඩිපුර මුදල් ගැවසෙන විට මිනිසුන් වැඩිපුර මුදල් වැය කරන්නට පෙළඹෙන නමුත් මේ උපක්‍රමය සාර්ථක වන්නේ අදාළ කාලයේදී විකුණාගත නොහැකි තරම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් රටේ සිදුවන්නේනම් පමණි. එවැනි විටෙක වුවද, නිෂ්පාදනය විභව මට්ටමට පැමිණීමෙන් පසුව මෙසේ සංසරණයට එකතු කළ මුදල් නැවත එකතු කරගෙන කෘතිමව වැඩි කළ ඉල්ලුම පාලනය නොකළොත් සිදුවන්නේ උද්ධමනය වැඩි වීමයි.

වෙනත් අයුරකින් කිවුවොත්, රටක නිෂ්පාදනය විභව මට්ටමට වඩා පහත වැටුණු විට එය ප්‍රසාරණය කිරීමේ හැකියාව වෙනුවෙන් මහ බැංකුවකට රටක නිෂ්පාදනය විභව මට්ටමට වඩා ඉහළ ගිය විට එය සංකෝචනය කරන ක්‍රියා මාර්ග ගන්නටද සිදු වේ. දැඩි මුදල් ප්‍රතිපත්තීන් ලෙස හැඳින්වෙන පොලී අනුපාතික ඉහළ දැමීම මඟින් ණය ගැනීම අධෛර්යමත් කිරීම හා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණා සංසරණය වන මුදල් නැවත මහ බැංකුව වෙත ඇද ගැනීම මෙවැනි ක්‍රියා මාර්ගයි.

ඉහත පදනම අනුව බැලූ විට, 5% මට්ටමට ඉහළින් තිබුණු ලංකාවේ පසුගිය දශක හතරේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව, 2012න් පසු, පසුගිය පස් වසර තුළ දැකිය හැක්කේ අඩු ආර්ථික වර්ධන වේගයකි. පසුගිය 2017 වසරේදී මේ වර්ධන වේගය 3.1% මට්ටම දක්වා පහත වැටී ඇත. මේ අනුව, බැලූ බැල්මටම පෙනෙන්නේ ලංකාවේ ආර්ථිකය එහි විභව වේගයෙන් වර්ධනය නොවන බවයි.

කිසියම් රටක ආර්ථිකයක් එහි විභව වේගයෙන් වර්ධනය නොවන විට මහ බැංකුව හා රජය විසින් සාමාන්‍යයෙන් කරන්නේ ආර්ථිකය ප්‍රසාරණය කෙරෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීමයි. මෙයට පොලී අනුපාතික පහත හෙලීම වැනි ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා බදු අනුපාතික අඩු කරන අතර රජයේ වියදම් වැඩි කිරීම වැනි ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළත්ය. එහෙත්, මේ අවස්ථාවේදී රජය හා මහ බැංකුව විසින් ගනිමින් සිටින්නේ එවැනි ප්‍රසාරණාත්මක ක්‍රියාමාර්ග නොවේ. මහ බැංකුව විසින් පවතින අඩු ආර්ථික වර්ධන වේගය නොසලකමින් දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර රජය විසින් බදු අනුපාතික ඉහළ නංවමින් හා රජයේ වියදම් කපා හරිමින් සංකෝචනාත්මක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ ඉදිරි වසර වලදී රටේ ආර්ථික වර්ධන වේගය තවත් අඩු වීමයි.

මේ අයුරින් රටේ මහ බැංකුවට හා රජයට රටේ ආර්ථික වර්ධනයට තිරිංග යෙදීමට සිදු වී තිබෙන්නේ ඇයි? නිදහසෙන් පසුව ලංකාවේ ආණ්ඩු විසින් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් දිගින් දිගටම සිදු වී තිබෙන්නේ ලංකාවේ ආර්ථිකය එහි විභව මට්ටම ඉක්මවා ප්‍රසාරණය වීම බව අවසානයේදී රජයට හා මහ බැංකුවට පිළිගන්නට සිදුවී තිබේ. නිදහසින් පසු ලංකාව පාලනය කළ ආණ්ඩු විසින් දිගින් දිගටම ආදායමට වඩා වියදම් කරමින් රටේ සමස්ත ඉල්ලුම ඉහළ දමා ඇතත් එයට සාපේක්ෂව රටේ සමස්ත නිෂ්පාදනය වැඩි වී නැති නිසා අවසාන වශයෙන් සිදු වී තිබෙන්නේ ඔරොත්තු නොදෙන තරම් විශාල ණය කන්දක් ගොඩ ගැසීම පමණි.

ප්‍රශ්නයක් හඳුනා නොගෙන එයට පිළියම් යෙදිය නොහැකිය. මහ බැංකුවේ පැත්තෙන් කෙසේ වුවත් ආණ්ඩුවේ පැත්තෙන් රටේ ආර්ථික අර්බුදය නිවැරදිව හඳුනාගැනීමක් සිදුව තිබෙන්නේ සෑහෙන කාලයකට පසුවය. ඒ අනුව, රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් "ක්‍රෑෂ් ලෑන්ඩින්ග් එකක්" වලක්වා ගනිමින් "සොෆ්ට් ලෑන්ඩින්ග්" එකක් කරා ආර්ථිකය මෙහෙයවමින් සිටින බව පැහැදිලිය. වෙනත් විදිහකට කියනවානම් මහ බැංකුව හා රජය විසින් දැන් කරමින් සිටින්නේ එකවර සිදුවිය හැකි මහා පරිමාණ ආර්ථික සංකෝචනයක් වලක්වා ගැනීම උදෙසා රටේ ආර්ථික වර්ධනයට තිරිංග යොදමින් සිටීමයි.

ආර්ථිකය මෙවැනි තැනකට වැටුණු ආකාරය ගැන කතා කිරීමට කාලය යොදවනවාට වඩා වැදගත් වන්නේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නට පිළියම් යෙදීමයි. කෙසේ වුවත්, මේ "ණයට ගත් ආර්ථික සංවර්ධනය" ගැනත් එහි දිගුකාලීන ප්‍රතිවිපාක ගැනත් අපි පසුව කෙටියෙන් හෝ කතා කරමු.

Monday, April 30, 2018

විජයාවතරණය


සංයුත්ත නිකායේ සගාථා වර්ගයේ දේවපුත්ත සංයුත්තයේ ඇති සූරිය හා චන්දිම සූත්‍ර අනුව බුදුන් සැවැත් නුවර දෙවුරම් වෙහෙර වැඩ විසූ කිසියම් දෙදිනක සූරිය හා චන්දිම දෙව් පුතුන් රාහු අසුරිඳු විසින් අල්ලා ගනු ලැබ එම පීඩාවෙන් ගැලවීම සඳහා බුදුන්ගේ පිහිට අයැද තිබේ. අදාළ කාලයේදී සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ හඳුනා ගැනුණේ පිළිවෙලින් සූරිය හා චන්දිම දෙව් පුතුන් රාහු අසුරිඳු විසින් අල්ලා ගැනීමක් ලෙසින් බව අමතක නොකර මේ සූත්‍රයන්හි පෙල කියවූ විට මතුවන අදහස එය අමතක කර මේ සූත්‍ර කියැවූ විට ලැබෙන අදහසම නොවේ.

මේ කාලය වන විටද යම් නිරවද්‍යතාවයක් සහිතව සූර්යයාගේ, චන්ද්‍රයාගේ හා තවත් ඈතින් පිහිටි තාරකා ගණනාවක පොළොවට සාපේක්ෂ චලිතය තේරුම්ගත හැකි ප්‍රවාද බිහි වී තිබුණත් ඒ සමඟම මේ ආකාශ වස්තූන් බොහොමයකටම කිසියම් දේවත්වයක්ද ආරෝපණය  වී තිබුණේය.

දේවපුත්ත සංයුත්තයේ අවසානයට ඇති සූරිය හා චන්දිම සූත්‍ර හැර තවත් සූත්‍ර අටක් තිබේ. මේ සූත්‍ර වල එක් විශේෂත්වයක් වන්නේ වෙනත් බොහෝ සූත්‍ර ආරම්භයේදී කියැවෙන "එක්තරා දෙවියෙක්" වෙනුවට නිශ්චිත නමකින් හඳුන්වා ඇති දෙව් පුතෙකු හමුවීමයි. උදාහරණ ලෙස දේවපුත්ත සංයුත්තයේ පළමු සූත්‍ර දෙක පඨම කස්සප සූත්‍රය හා දුතිය කස්සප සූත්‍රයි. මේ සූත්‍ර පාඨ දේශනා කර තිබෙන්නේ "මනා ඡවිවර්ණ ඇති කසුප් දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත" එළැඹීමෙන් පසුවය.

ඇතැම් දිනවල රෑ පෙරයම ඉක්ම ගිය කල්හි සැවැත් නුවර අහසේ දැකිය හැකි වූ තාරකාවක්ද මේ කාලයේ හැඳින්වුණේ කස්සප යන නමිනි. මහාභාරතයෙහි කස්සප හෙවත් කාශ්‍යප, මරිචි, අත්‍රි, පුලහ, පුලස්‍ය, ක්‍රතු, වශිෂ්ඨ යන නම් හත සප්තසෘෂීන් ලෙස හැඳින්වෙන අතර වෘහත්සංහිතාවෙහි ඇති ලැයිස්තුවෙහි කාශ්‍යප යන්න වෙනුවට අංගීරස නම ආදේශ වී තිබේ. මේ අයුරින් සෘෂීන් හෝ දෙවියන් සේ සංකල්පගත කර ඇති, දැන් බටහිර රටවල මහ වලහා ලෙසත්, බිග් ඩිපර් ලෙසත්, අර්සා මේජර්  (Ursa Major) ලෙසත් හැඳින්වෙන සප්තාර්ශී තාරකා මණ්ඩලයට අයත් තාරකා ගැන මා මීට පෙරද විස්තර කර තිබේ.

වික්ටර්ගේ අරුන්දතී හා ජෝතිපාලගේ අරුන්දතීලා

දේවපුත්ත සංයුත්තයේ තෙවන සූත්‍රය මාඝ සූත්‍රයයි. මෙය දේශනා කර තිබෙන්නේ "මනා ඡවිවර්ණ ඇති මාඝ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත" එළැඹීමෙන් පසුවය. මාඝ නමින් හැඳින්වෙන, ඇතැම් දිනවල රෑ පෙරයම ඉක්ම ගිය කල්හි සැවැත් නුවර අහසේ දැකිය හැකි වූ තාරකාවක්ද තිබේ. සකු බසින් මාඝ නක්ෂත්‍රය ලෙසින්ද සිංහලෙන් මා නැකත ලෙසින්ද හැඳින්වෙන්නේ මේ තාරකාවයි. හඳ මාඝ නැකැත් තාරකාවට ආසන්නව තිබියදී එළැඹෙන චන්ද්‍ර මාසය සකු බසින් මාඝ මාසය ලෙස හැඳින්වෙන අතර දකුණු ඉන්දීය භාෂාද ඇතුළුව වත්මන් ඉන්දියානු භාෂා බොහොමයකම මේ මාසය හැඳින්වෙන නම් බිඳී ගොස් ඇත්තේ මාඝ යන සංස්කෘත නමිනි. සිංහල චන්ද්‍ර මාස ක්‍රමය අනුව මෙය නවම් මාසයයි. මේ හා අදාළ වැඩිපුර තොරතුරු පහත ලිපියේ තිබේ.

නැකැත් ක්‍රමයේ විකාශනය 

වෙසක්, ඇසළ වැනි ඇතැම් සිංහල චන්ද්‍රමාස වල නම් වලට පැහැදිලි සංස්කෘත මුල් තිබුණත් අනෙකුත් බොහෝ සිංහල චන්ද්‍ර මාස වල නම් වල එවැනි සකු හෝ මගධ ප්‍රභවයක් පැහැදිලිව නොපෙනේ. දකුණු ඉන්දීය ප්‍රභවයක්ද නොපෙන්වන මේ නම් ආර්ය කණ්ඩායම් ලංකාවට සංක්‍රමණය වීමට පෙර භාවිතා වූ නම් වන්නට පුළුවන.

සිදුහත් කුමරුගේ උපත, බුදුවීම හා බුදු හිමියන්ගේ තෙමඟුල සිදුවූ ලෙස සැලකෙන්නේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය. සිදුහත් උපත සිදුවන්නට පෙර වෙසක් පුර පසළොස්වක දිනයක් සුවිශේෂී දිනයක් වූයේ පුර පසළොස්වක පෝයක් වීම නිසා පමණක් බැවින් එවැනි දිනයක සිදුහත් උපත සිදුවූ බව පසුව එකතු වූ කතාවක් විය යුතුම නැත. එකුන් තිස් වියේදී ගිහිගෙය හැරගොස් සවසරක් දුෂ්කර ක්‍රියා කරන සිදුහත් කුමරු අධිෂ්ඨාන​ පූර්වකව බෝමුල වාඩි වූයේ පන්තිස් විය සැපිරීමට පෙර තමන්ගේ අරමුණ ඉටුකරගන්නට විය හැකි නිසා බුද්ධත්වය හා සිදුහත් උපත එකම දිනක සිදු වීමද බොහෝ විට සිදුවිය හැකි දෙයකි. සම්බුද්ධ පරිනිර්වාණයද වෙසක් පොහෝ දිනකම සිදුවූයේනම් එය අහඹුවක් වුවත් එවැන්නක් සිදුවීමට ඇති සම්භාවිතාවද (1/365) සිදු නොවිය හැකිතරම් කුඩා එකක් නොවේ. කෙසේ වුවත්, සම්බුද්ධ පරිනිර්වාණය වෙසක් පුර පසළොස්වක දිනකම සිදුනොවූවා වන්නට පුළුවන.

බුදුන්ගේ තෙමඟුල සිදු වූ බව පිළිගැනෙන වෙසක් පෝය බෞද්ධයන්ට ඉතා වැදගත් දිනයකි. ඊට අමතරව මහාවංශයේ කතාව අනුව සිංහල ජාතියේ ආරම්භයද සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වෙසක් පෝය දින කරා දිවයයි.

"ස්ථිර බුද්ධි ඇති විජය නම් කුමර ලංකායෙහි හෝ තාම්‍රපර්ණී ද්වීපයෙහි යමක ශාලාන්තරයෙහි හෙවත් සල්රුක් දෙදෙනා අතුරෙහි තථාගතයන් පිරිනිවන් පිණිස සැතපුණු දවස බටුයේය." (මහාවංශය- හයවෙනි පරිච්ඡේදය)

මහාවංශයේ කතාව අනුව බැලුවොත් සිංහලයින්ගේ ආරම්භකයා විජය නොවේ. ඔහුගේ මළනු සුමිත්තගේ පුත් පණ්ඩුවාසදේවයි. විජයට දාව කුවේණියගේ කුසින් බිහිවන දරුවන්ගෙන් වැද්දන් මිස සිංහලයින් පැවත එන බවක් මහාවංශයෙහි කියා නැත. පඬි රජ දියණිය විජයට දාව පුතුන් වදා නැති අතර දියණියන් ගැනද සඳහනක් නැත. එහෙත්, පණ්ඩුවාසදේවට ලංකාවට එන්නට ඉඩ සැලසෙන්නේ විජය නිසාය. කතාවට විජය වැදගත් වන්නේ ඒ නිසාය. එසේනම්, විජය ලංකාවට පැමිණීම තනිකරම අහම්බයක්ද?

මහාවංශයේ මුල් කොටස සැබෑ ඓතිහාසික සිදුවීම් සේ බැලූ බැල්මටම නොපෙනෙන ලුණු ඇඹුල් වලින් පිරී ඇතත්, දේවපුත්ත සංයුත්තයේ සූත්‍ර මෙන්ම මහා වංශයද  ඒවා ලියැවුණු කාලය හා ඓතිහාසික සන්දර්භය ගැන සිතා පරිස්සමින් කියවනවානම් ඒ ලුණු ඇඹුල් අතර තිබෙන සැබෑ ඓතිහාසික සිදුවීම් වන්නට වඩා ඉඩකඩ ඇති දෑ තෝරාබේරා ගැනීම කළ නොහැක්කක් නොවේ.

(Image: http://lankauruma.blogspot.com/2014/09/kuveni.html)

(Image: http://www.lankaweb.com/news/items/2016/11/07/kuvenis-curse-still-holds-sway/)

Thursday, April 26, 2018

වෙසක් පෝය හා ශ්‍රී ලාංකික සම්ප්‍රදාය


ශ්‍රී ලාංකික සම්ප්‍රදායට පිටුපාමින් මෙවර වෙසක් පුන් පෝය දිනය අප්‍රේල් මාසයට යොදා ගැනීම කිසිසේත් සිදුනොවිය යුත්තකැයි නියගොඩ ශ්‍රී විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් පවසා ඇති බව ගොසිප්ලංකානිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේය. අදාළ පුවතට අනුව වෙසක් පෝය අප්‍රේල් මාසයේදී ගැනීම මහා විහිළුවක් ලෙස හඳුන්වා ඇති ඒ හිමියෝ මෙසේද මෙසේ පවසා ඇත්තාහ.

"මැයි මාසයට යෙදෙන පසළොස්වක පෝය දිනය වෙසක් පෝය ලෙස සලකනවා. මැයි මාසය වෙසක් මාසයයි. එය සාම්ප්‍රදායයක්. 2018 වසරේ වෙසක් පෝ දිනය මැයි මාසයේ 20 වැනි දින යෙදන පසළොස්වක පෝය දිනට යොදා ගැනීමට තිබුණා.

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෞද්ධ ජනතාව පින් දහම් සිදුකොට බුදුන් වහන්සේ වෙනුවෙන් කැපවන වෙසක් පුන් පෝය දිනය ද තම තමන්ගේ හිතුමතයට වෙනස් කිරිම උචිත වන්නේ නැහැ අප්‍රේල් 29 වැනිදා යෙදී තිබෙන පුන් පෝය දිනය බක් මහේ පෝය දිනයයි. ශක රාජවංශය අනුව බක් මස අගට යෙදී ඇති පුන් පොහෝ දිනය අධිපසළොස්වක පෝය දිනයක් ලෙස සැලකීම් වරදක් නොමැති නමුත් වෙසක් පුන් පෝය දිනය ලෙස සැලකීම සුදුසු නැහැ

තායිලන්තය චීනය ඉන්දියාව වැනි රටවල් වෙසක් දිනය සමරන්නේ මැයි මාසයේ අවසානයට යෙදී ඇති පසළොස්වක පෝය දිනයයි. ජාත්‍යන්තර වෙසක් උත්සවය පවත්වන්නේ ද මැයි මස අගට යෙදී තිබෙන පසළොස්වක පෝය දිනයදායි.

කිසිවකුගේ උපදෙසක් මත සාමිප්‍රදායික ලෙස බෞද්ධ වර්ෂය පිළිගනිමින් බැහැරව මෙවන් තීන්දු තීරණ ගැනීම සමස්තයක් ලෙස සාවද්‍යයි. මෙවැනි අත්තනෝමතික තීන්දු තීරණ නිසා රට ජාතියට දූර්විපාක භුක්ති විඳීමට පවා සිදුවිමට ඉඩ තිබේ."

මේ ප්‍රකාශය අනුනායක හිමියන් විසින් ඒ අයුරින්ම සිදුකර ඇත්නම් එයින් පෙනෙන්නේ උන්වහන්සේ විසින් සඳහන් කරන ශ්‍රී ලාංකික සම්ප්‍රදාය පිළිබඳව උන්වහන්සේට ඇති අනවබෝධයයි. අනුනායක හිමියන්ගේ ප්‍රකාශය අනුව පෙනෙන්නේ යුරෝපීයයන් විසින් හඳුන්වා දුන් ග්‍රෙගෝරියන් දින දර්ශනයේ ඇති මැයි මාසය ඇතුළු මාස සිංහල බෞද්ධ චන්ද්‍ර මාස සමඟ සම්බන්ධ කර ගනිමින් මාස කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි වැනි වෙනත් ඇතැම් අය විසින්ද කළ පටලවා ගැනීම තුළ උන්වහන්සේද හිර වී සිටින බවයි. එපමණකින් නොනවතින අනුනායක හිමියෝ ඒ නිසා රටට සිදුවිය හැකි දුර්විපාක ගැනද වදාරති.

ග්‍රෙගෝරියන් මැයි මාසය හෝ ඊට පෙර තිබුණු ජුලියන් මැයි මාසය හා වෙසක් මාසය අතර කිසිදු සම්බන්ධයක් නැත. අනුනායක හිමියන් කියන සිංහල බෞද්ධ සම්ප්‍රදාය හැදෙන විට ග්‍රෙගෝරියන් දින දර්ශනයක් තබා ජුලියන් දින දර්ශනයක්වත් තිබුණේද නැත.

සිංහල බෞද්ධ චන්ද්‍ර මාස හා ග්‍රෙගෝරියන් මාස අතර කිසිදු සම්බන්ධයක් නැතත්, සිංහල බෞද්ධ චන්ද්‍ර මාස හා සූර්ය මාස අතර සම්බන්ධයක් තිබේ. කිසියම් සූර්ය මාසයක් ඇරඹීමෙන් පසු අමාවක පෝය ගෙවී පුර පෑලවිය ලබන විට අළුත් චන්ද්‍රමාසයක් ආරම්භ වේ. මේ චන්ද්‍රමාස නම් කරන්නේ මාසය ඇරඹෙන විට පැවති සූර්ය මාසයට අනුරූපවය. ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදාය අනුව මේෂරවි මාසය තුළ ආරම්භ වන චන්ද්‍රමාසය වෙසක් මාසයයි.

පසුගිය අප්‍රේල් 16 දින අමාවක පෝය යෙදුනේ අප්‍රේල් 14 දින සිදු වූ මේෂ සංක්‍රාන්තියෙන් පසුවය. ඒ නිසා, එදින වෙසක් මාසය ආරම්භ විය. ඒ අනුව, ශ්‍රී ලාංකික සම්ප්‍රදායට මේ වසරේ වෙසක් පුර පසළොස්වක පෝය දිනය අප්‍රේල් 29 දිනට යෙදෙයි. මැයි 15 හා ජූනි 15 අතර ගෙවෙන වෘෂභරවි මාසය තුළ අමාවක පෝය දින දෙකක් ගෙවේ. මේ දින දෙකෙන් පසුව එළැඹෙන චන්ද්‍රමාස දෙකම පොසොන් මාසයි. සම්ප්‍රදාය අනුව යමින්, ඒ මාස දෙකෙන් එකක් අධිපොසොන් මාසය ලෙස නම් කර තිබේ.

එහෙත්, තායිලන්ත බෞද්ධ සම්ප්‍රදාය මෙයම නොවේ. තායිලන්තයේ වෙසක් දිනය තීරණය කරන්නේ වෙසක් පුර පසළොස්වක දින හඳ විසා (විශාඛ) නැකතට ආසන්නව පිහිටීම ගැන සැලකිලිමත් වෙමිනි. ඒ නිසා, මේෂ සංක්‍රාන්තියෙන් දින පහක් ඇතුළත අමාවක පෝයක් යෙදුනොත් ඉන් පසු එළැඹෙන මාසය වෙසක් මාසය ලෙස සලකන්නේ නැත. මේ අනුව, 2018 තායිලන්තයේ වෙසක් දිනය සමරනු ඇත්තේ මැයි 29 දිනයි. එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනය නිර්ණය කරන්නේද තායිලන්ත ක්‍රමවේදය අනුව යමිනි.

පහතින් ඇත්තේ මේ හා අදාළ පෙර ලිපි දෙකකි.

ආණ්ඩුව වෙසක් පෝය වරද්දලාද?



(Image: http://www.gossiplankanews.com/2018/04/we.html#more)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...