මෙය කියවන සියලු දෙනාම වගේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නා අයයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණක් ලබා ගැනීම සඳහා ක්‍රීඩකයින් දෙදෙනා කඩුළු අතර අනෙක් අන්තයට දිව යා යුතුය. ලකුණු දෙකක් හෝ තුනක් ගැනීමටනම් මේ අයුරින් පිළිවෙලින් දෙවරක් හෝ තෙවරක් කඩුළු අතර මාරු විය යුතුය. එහෙත්, ලකුණු හතරක් ගැනීම සඳහා එසේ කඩුළු අතර දිවීම අවශ්‍යම නොවන අතර හතරේ සීමාව නම් වූ පිට්ටනියේ ලකුණු කර ඇති මායිමෙන් ඔබ්බට පන්දුව යන්නට සැලැස්වීම ප්‍රමාණවත්ය.
ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුළු අතර දිව නොයමින් එකවර ලකුණු හතරක් ලබාගත හැකි අයුරින්ම එකවර ලකුණු හයක් ලබා ගැනීමටද හැකියාවක් තිබේ. ඒ සඳහා හතරේ සීමාවෙන් ඔබ්බේ ඇති වඩා පුළුල් තවත් මායිමකින් ඔබ්බට පන්දුව යැවිය යුතු නැත. කළ යුත්තේ අර හතරේ සීමාවෙන් ඔබ්බටම බිම නොගැටී පන්දුව යන්නට සැලැස්වීමයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ හතරේ සීමාවක් මිස හයේ සීමාවක් කියා වෙනම සීමාවක් නැත.
ක්‍රිකට් ක්‍රීඩාවේදී හතරේ සීමාව ඉතා වැදගත් සීමාවකි. ඒ සීමාව කාටත් පැහැදිලිව දැකගත හැකි පරිදි පිට්ටනියේ පැහැදිලිව ලකුණු කර තිබේ. හයේ සීමාවක් කියා වෙනම සීමාවක් නැතත් හතරේ සීමාවට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් සීමා තිබේ. යාර තිහේ සීමාව එවැනි සීමාවකි. යාර තිහේ සීමාව ලකුණු කෙරෙන්නේ හතරේ සීමාව ඇතුළෙනි.
යාර තිහේ සීමාව ක්‍රිකට් ක්‍රීඩාවේදී හතරේ සීමාව තරම් වැදගත් නැති වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවන සීමාවකි. පන්දුව මේ සීමාවෙන් ඔබ්බට යැවූ පමණින් පිතිකරුවෙකු ඉදිරියේ කිසිදු ලකුණක් සටහන් වන්නේ නැත. පන්දුව මේ සීමාවෙන් ඔබ්බට ගියත් නොගියත් ලකුණක් ලබාගැනීමටනම් කඩුළු අතර දිව යා යුතුය.
අප බොහෝ දෙනෙකු තුළත් මේ ආකාරයේ හතරේ සීමා, හයේ සීමා හා යාර තිහේ සීමා තිබේ. ඒවායින් ඇතැම් සීමා හතරේ සීමාව හා හයේ සීමාව මෙන් එකිනෙක මත අතිපිහිත වී තිබේ. තවත් ඒවාට තිබෙන්නේ යාර තිහේ සීමාවට මෙන් අඩු වැදගත් කමකි. මේ සීමා යනු අපේ මනසේ ඇති අනන්‍යතාවන්ය.
අතළොස්සක් හැර බොහෝ දෙනෙකුට මේ සීමාවන්ගෙන් දෙකක් පොදුය. එයින්, පළමුවැන්න "මම" යන සීමාවයි. දෙවැන්න මිනිසෙකු යන සීමාවයි. පැහැදිලිව හඳුනාගත හැකි ඉහත සීමා දෙක අතර ජාතිය, ආගම, ජනවර්ගය, ජාතිකත්වය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල (අපි නාලන්දෙ) හෝ සරසවිය (අපි පේරා) ආදී තවත් සීමා අටෝරාසියක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන.
"මම" යන සීමාව සෑහෙන තරම් පැහැදිලි සීමාවකි. සිතුවිලි මාත්‍රයකින් අපේ කැමැත්ත පරිදි පාලනය කළ හැකි අපේ ශරීරාංග අපි "මම" ලෙස හඳුනාගන්නෙමු. ඉතිරි සියල්ල මගෙන් බාහිර ලෝකයයි. මේ අයුරින්ම, අපට බොහෝ ආකාරයන්ගෙන් සමාන වන සරීර කූඩු ඇති වෙනත් අය අපට පහසුවෙන්ම මිනිසුන් ලෙස වෙන්කර හඳුනාගත හැකිය. එහෙත්, මේ සීමා දෙක අතර ඇති අනෙකුත් සීමාවන් ඒ තරම්ම පැහැදිලි නැති අතර බොහෝ විට අපේ දැනුම මත මිස බාහිර පෙනුම අනුව "ස්වභාවික ලෙස" හඳුනා ගැනීමටද නොහැකිය. මේ අතරමැදි සීමාවන්ට ඇති වැදගත්කම සෑහෙන දුරකට එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි.
විවිධාකාරයේ විධිමත් හා අවිධිමත් සංස්ථාපිත ආයතන මඟින් ඉහත කී ආකාරයේ ඇතැම් අතරමැදි සීමාවන් ප්‍රවර්ධනය කරන අතර තවත් ඇතැම් සීමා ඉරි මකා දැමීම ප්‍රවර්ධනය කරයි. අද වන විට ලෝකයේ ප්‍රබලම සංස්ථාපිත ආයතන වන්නේ රාජ්‍යයන්ය. මේ බොහෝ රාජ්‍යයන් විසින් ආසන්න වශයෙන් දෙසියවසක පමණ කාලයක සිට විධිමත් හා අවිධිමත් දැනුම් පද්ධති සෘජුව හෝ වක්‍රව පාලනය කිරීම මඟින් පුද්ගලයින් නිශ්චිත රාජ්‍යයන් සංඛ්‍යාවක් අතර බෙදා හරින සීමා ඉරි ප්‍රවර්ධනය කරන අතර ජාතිකත්ව බෙදීම් දළ වශයෙන් මේ සීමා ඉරි වලට අනුරූපය. රාජ්‍යයන්ගේ පැවැත්ම සඳහා මේ ජාතිකත්ව සීමා ඉරි නැතුවම බැරි බැවින් සියලුම රාජ්‍යයන් පවත්වාගෙන යන රජයයන් විසින් එවැනි සීමා ඉරි දිගින් දිගටම ප්‍රවර්ධනය කිරීම තේරුම් ගත හැකි දෙයකි. මේ කටයුත්ත විධිමත් දැනුම් පද්ධතිය හරහා ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට බොහෝ දෙනෙකු මේ ජාතිකත්ව සීමා ඉරි තිබීම ගැටළුවක් හෝ නරක දෙයක් සේ සලකන්නේ නැත.
දළ වශයෙන් කිසියම් පුද්ගලයෙකුගේ ජාතිකත්වය යනු එවැන්නෙකුගේ පුරවැසිකම හා කිට්ටුවෙන් යන නෛතික සංකල්පයකි. ඇමරිකා එක්සත් ජනපදය ගත් කළ, සියළුම ඇමරිකානු පුරවැසියන් ඇමරිකානු ජාතිකයින් වන නමුත් සියළුම ඇමරිකානු ජාතිකයෝ ඇමරිකානු පුරවැසියෝ නොවෙති. ඇමරිකානු පුරවැසි සීමා ඉර ඇමරිකානු ජාතිකත්ව සීමා ඉරට ඇතුළෙන් ඇති එකකි. ජාතිකත්වය යන සංකල්පය වෙනත් තැන් වල වෙනත් ආකාර වලින් අර්ථ දැක්වෙන්නට පුළුවන.
ජාතිය, ආගම, ජනවර්ගය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල හෝ සරසවිය ආදී වෙනත් සීමා ඉරි හා අදාළවද සියළු දෙනාටම එකඟ විය හැකි සම්මත අර්ථකථන නැත. ඇමරිකා එක්සත් ජනපදයේදී ජනවර්ගය යන සංකල්පය පාදක වන්නේ පුද්ගලයෙකුගේ ශරීර ස්වභාවය හා අදාළ වූ පහසුවෙන් හඳුනාගත හැකි සාධක මතය. සුදු, කළු හෝ ආසියානු ජනවර්ගයකට අයත් වූවෙකු බාහිර ශරීර ස්වභාවය අනුව වෙන්කර හඳුනාගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. වෙනස් ජනවර්ග අතර මිශ්‍ර විවාහ වලින් බිහිවන දරුවන් "මිශ්‍ර" නම් වූ වෙනම කැටගරියක් යටතේ හඳුනාගැනේ.
ඇමරිකානු අර්ථදැක්වීම අනුව සැලකුවොත් ලංකාවේ වෙනස් ජනවර්ග නැත. ශ්‍රී ලාංකික සිංහලයින්, දෙමළුන් හා මුස්ලිමුන් ඔවුන්ගේ සංස්කෘතික සංකේත නොවේනම් ශරීර ස්වභාවයෙන් පමණක් වෙන් කර හඳුනා ගැනීම පහසු කටයුත්තක් නොවේ. මා දන්නා තරමින් ජාන විශ්ලේෂණයකින් පවා මේ කටයුත්ත කිරීම අසීරු දෙයකි. ඒ තබා, චීන හා මැලේ සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයින් පවා මේ වන විට බාහිර ස්වරූපයෙන් සෑහෙන තරමින් සිංහලයින්ට සමානය. ලංකාවේදී ජාති හෝ ජනවර්ග ලෙස පුද්ගලයින් වෙන් කරන්නේ සංස්කෘතික වෙනස්කම් පදනම් කර ගනිමිනි.
ජාති හෝ ජනවර්ග ආදී බෙදීම් වලට සියලු දෙනාට එකඟ විය හැකි නිශ්චිත අර්ථකතන නැති බැවින් මා මේ වචන භාවිතා කරන්නේ සැහැල්ලු ආකාරයකිනි. ඒ නිසා, "ශ්‍රී ලාංකික මුස්ලිම්" හෝ "ශ්‍රී ලාංකික දෙමළ" යනු ජාතියක්ද නැත්නම් ජනවර්ගයක්ද යන්න ගැන මා එතරම් වද වෙන්නේ නැත.
කිසියම් පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, ජනවර්ගය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල හෝ සරසවිය ආදිය බොහෝ විට තීරණය වන්නේ අදාළ පුද්ගලයා විසින් තමන්ව හඳුන්වා ගන්නා ආකාරය අනුවය. කිසියම් නිශ්චිත පුද්ගලයෙකුට "මම" හා "මිනිසෙකු" යන සීමා ඉරි අතර මෙවැනි අනන්‍යතා ඉරි ගණනාවක් තිබෙන්නට පුළුවන. එමෙන්ම, එවැන්නෙකුගේ ජීවිත කාලය තුළ එවැනි සීමා ඉරි මැකී යන්නට හෝ වෙනස් වන්නටද පුළුවන. ඉහත ආකාරයේ සාමූහික අනන්‍යතා බොහොමයටම තිබෙන්නේ සාපේක්ෂ තේරුමක් නිසා ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ගෝත්‍රවාදය, පවුල්වාදය, පාසැල් වාදය ආදී සංකල්ප වලටද තිබෙන්නේ සාපේක්ෂ තේරුම්ය.
ඇතැම් අය සිතන පරිදි ආගම යනු ඕනෑම මොහොතක වෙනස් විය හැකි දෙයක් වන අතර ජාතිය යනු එසේ නොවන නිශ්චිත දෙයකි. මා එසේ සිතන්නේ නැත. ආගමක් යනු කිසියම් පුද්ගලයෙකුගේ විශ්වාස පමණක්ම නොවේ. යමෙක් හැදෙන වැඩෙන පවුල හා බාහිර පරිසරය නිසා ලැබෙන වෙනත් දේවල්ද යමෙකුගේ ආගමේ කොටසකි. පසු කලෙක විශ්වාස වෙනස්වූ පමණින් මේ වෙනත් දෑ සියල්ල වෙනස් නොවේ.
අනෙක් අතට ජාතිය යනුද පුද්ගලයෙකුගේ මනසේ ඇති දෙයක් නිසා එය පසුකාලීනව වෙනස් වන්නට පුළුවන. ඇමරිකානු අර්ථයෙන් ගත් කළ ජනවර්ගයනම් එසේ පහසුවෙන් වෙනස් නොවේ.
ලංකාව ගත්තත්, ඉතිහාසය පුරා බොහෝ මිනිසුන්ගේ ආගම මෙන්ම ජාතියද වරින් වර වෙනස් වී තිබේ. එහෙත්, මේ වන විට රාජ්‍යයන් විසින් නීති පද්ධතීන් උපයෝගී කර ගනිමින් කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය වූ විට තමන්ගේ අනන්‍යතාවයන්ගෙන් එකක් හෝ කිහිපයක් වෙනස් කර ගැනීම වඩා අපහසු හෝ කළ නොහැකි දෙයක් බවට පත් කර තිබේ. මේ නිසා සිදුවී ඇත්තේ මා මුලින් කී ඇතැම් සීමා ඉරි වඩාත් පැහැදිලි ලෙස දෘශ්‍යමාන වීමයි. මේ ඇතැම් සීමා ඉරි පහසුවෙන් පැනිය නොහැකි උස් තාප්ප බවට පත් වී තිබේ.
ඔබට අනන්‍යතා කොපමණ තිබේද? ඔබට දැනෙන පරිදි වැදගත්කම අනුව ඔබ ඔබේ අනන්‍යතා පෙළගස්වන්නේ කෙසේද?