Sunday, July 16, 2017
නිර්ධන පංතියේ හාල්මැස්සා සහ ධනපති කුකුළා
කුකුළුමස් යනු අප කුඩා කාලයේ අපට හිතේ හැටියට කන්නට ලැබුණු කෑමක් නොවේ. ලංකාවේ මධ්‍යම පාන්තික පවුලක් වූ අපේ ගෙදරට බොහෝ විට කුකුළුමස් ගෙනාවේ පියාගේ පඩි දවසේ හෝ නිවසට අමුත්තෙකු පැමිණෙන අවස්ථාවක වැනි විශේෂ දවසකය. ඊට වඩා වැඩිපුර කුකුළුමස් කෑම අපේ ආර්ථිකයට ඔරොත්තු නුදුන්නා පමණක් නොව ඒ තරමට කුකුළුමස් කෑම, අඩු වශයෙන් ඒ කාලයේ අපේ ගෙදර පැවති සංස්කෘතිය තුළ, අවශ්‍ය හෝ සාමාන්‍ය දෙයක් ලෙස සැලකුනේද නැත. කුකුළුමස් සැලකුනේ අවුරුද්දට හදන හත්මාළුව හෝ කිරිදානයකට හදන කිරියා මෙන් මඟුල් ගෙදරක් වැනි උත්සව අවස්ථා වලට ගැලපෙන ආහාරයක් මිස දිනපතා ආහාරයට ගත යුතු දෙයක් ලෙස නොවේ.
කුකුළුමස් ආහාරයට ගැනීමෙන් සංකේතවත් වුනේ සතුටයි. ඒ නිසා, සතුට පෙන්වීම නුසුදුසු අවස්ථාවක් ලෙස සැලකෙන අවමංගල අවස්ථාවක ඉදෙන කෑමකට කුකුළුමස් හෝ වෙනත් මස් වර්ගයක් පමණක් නොව අළුත් මාළු හෝ එකතු වුනේ නැත. මුහුදුබඩ පළාත් වල සංස්කෘතිය මීට වඩා වෙනස් වූවා විය හැකිය. මළ ගෙදරක සාමාන්‍යයෙන් පිළියෙල කළ ආහාර වේලක වූ සත්ත්ව ප්‍රෝටීන් සංරචකය වූයේ කරවල හෝ හාල්මැස්සන් හොද්දකි. කුකුළුමස් සතුටේ සංකේතයක් වූවාක් මෙන් හාල්මැස්සා දුකේ සංකේතයක් වූවා විය හැකිය.
රට වටකර රට මෙන් කිහිප ගුණයක් විශාල අනන්‍ය මුහුදු කලාපයක් තිබුණත්, මුහුදට සැතපුම් පණහක පමණ දුරින් රට මැදට වෙන්නට සිටි අපට කුකුළුමස් මෙන්ම අළුත් මාළුද සුඛෝපභෝගී ආහාර විය. අපේ ආහාර වේලට දිනපතා සාමාන්‍යයෙන් එකතු වුනු සත්ත්ව ප්‍රෝටීන් ප්‍රභවය වූයේ එක්කෝ කරවල හෝ වියලි හාල්මැස්සන්ය. එසේ නැත්නම් බිත්තරයි. බිත්තර එතරම් දුලබ ආහාරයක් නොවූයේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ හෝ ඇතැම් විට ඊටත් පෙර අපේ ගෙදර කුකුළු පාලනය ඇරඹී තිබුණු නිසාය. මෙසේ ගෙදර හැදූ කිකිළියන්ගේ බිත්තර සීමිත ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මා ඇතුළු කුඩා දරුවන් වෙනුවෙන් වෙන් වෙන්නට ඇතැයි දැන් මට හිතේ.
බිත්තරයක් කඩන්නට අයෙක් සොයා ගැනීම ඇතැම් විට ප්‍රශ්නයක් වුවත් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ඒ පවට කර ගහන්නට කවුරු හෝ වැඩිහිටියෙකු ඉදිරිපත් විය. එහෙත්, ගෙදර කුකුළු පට්ටියේ කුකුළෙකු මස් කරන්නට තරම් ධෛර්යයක් අපේ ගෙදර වැඩිහිටියන් කිසිවකුටත් නොතිබුණේය. වරක් කුකුළු කූඩුවට කලවැද්දන් පැන කුකුළන් විශාල ගණනක් මරා දමනු ලැබ තිබුණු විටකද, ලොකු වලක් කපා ඒ කුකුළන් වල දැම්මා මිස සුද්ද කර ආහාරයට ගැනුණේ නැත. කුකුළුමස් හැමවිටම වාගේ සම්පාදනය කර ගැනුණේ නගරයේ වූ මස් කඩයෙන් මිල දී ගැනීම මඟිනි.
ඉඳහිට අතරින් පතර කාගෙන් හෝ ලැබුණු වල් ඌරු මස් ගාතයක් හැර ගම් ඌරු මස් හෝ හරක් මස් මුල් කාලයේදී අපේ ගෙදර ඉදුනේම නැත. එහෙත්, එයට හේතු වූයේ සංස්කෘතික හේතු මිස ආර්ථික හේතුම නොවේ.
දශක හතර පහකට පෙර අපේ ගෙදර ආහාර රටාවේ තිබුණු ආර්ථික හා සංස්කෘතික සීමාවන් ලංකාවේ ආහාර සංස්කෘතිය තුළ තවමත් විශාල ලෙස වෙනස් නොවී දකින්නට පුළුවන. රටේ සාමාන්‍ය ආදායම් මට්ටම පසුගිය දශක හතර තුළ සැලකිය යුතු ලෙස වැඩි වී ඇතත් කුකුළුමස් වලින් තවමත් සංකේතවත් වන්නේ ධනපතියෙකුගේ පරිභෝජන රටාවයි. කාටුන් චරිත වල දැකිය හැකි බඩ තඩි දේශපාලනඥයාගේ පිඟානේ තවමත් දකින්නට ලැබෙන්නේ රෝස් කළ ලොකු කුකුළෙකි.
කුකුළුමස් පරිභෝජනය හරහා සංකේතවත් කෙරෙන ලංකාවේ ආදායම් විෂමතාවය කාටුන් වලට සීමා වූවක් නොවේ. එය ලංකාවේ සැබෑ ආහාර පරිභෝජන රටා තුළ තවමත් දකින්නට හැකි දෙයකි. ආර්ථික සාධක හේතුවෙන් කුකුළුමස් හා අළුත් මාළු පමණක් නොව බිත්තරද ලංකාවේ අති මහත් බහුතරයකට තවමත් හිතේ හැටියට පරිභෝජනය කරන්නට ලැබෙන්නේ නැත. මෙයින් වෙනස්ව, හරක් මස් පරිභෝජනය සීමා වී ඇත්තේ සංස්කෘතික සාධක හේතුවෙනි.
අදටත් ලංකාවේ දුප්පත්ම නිවාස ඒකක සියයට විස්ස තුළ වියලි හාල්මැස්සන් පරිභෝජනය කුකුළුමස් පරිභෝජනය ඉක්මවයි. දුප්පත්ම නිවාස ඒකක 10% තුළ ජීවත් වන පවුලක් වසරකට වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 3.2ක් ආහාරයට ගන්නා අතර ආදායම අනුව දෙවන හා තෙවන පහළ මට්ටම් වල ඉන්නා අය පිලිවෙලින් වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 5.1ක් හා 5.6ක් ආහාරයට ගනිති. මේ කණ්ඩායම් වලට හාල්මැස්සන් ආහාරයට ගැනීම කෙරෙහිද සිය ආදායම් මට්ටම බාධාවක් වන නමුත්, ආදායම අතින් උඩින් සිටින 70%ට එය එතරම් බාධාවක් නොවේ. ආදායම බාධාවක් නොවූවද ලංකාවේ පවුලක් හාල්මැස්සන් කිලෝග්රෑම් 6-7කට වඩා ආහාරයට ගන්නේ නැත. එය ලංකාවේ සාමාන්‍ය පවුලකට වියලි හාල්මැස්සන් පරිභෝජනය කිරීම සඳහා ඇති රුචිකත්වයේ සීමාවයි.
හරක්මස් ආහාරයට ගැනීම ආදායම අනුව පහළින් සිටින 50%කටම ප්‍රශ්නයක් වුවත්, උඩින් සිටින 50%ට එයද බාධාවක් නොවේ. පහළම 10%ට අයත් පවුලක සිට හයවන 10% දක්වා පැමිණෙද්දී වාර්ෂික හරක්මස් පරිභෝජනය ග්‍රෑම් 744 සිට කිලෝග්‍රෑම් 4.8 දක්වා ක්‍රමයෙන් වැඩි වන නමුත් එතැන් සිට ආදායම වැඩිවන විට සිදුවන්නේ වාර්ෂික හරක්මස් පරිභෝජනය අඩු වීමයි. මෙයින් පෙනෙන්නේ සංස්කෘතික හා වෙනත් ආර්ථික නොවන සාධක වල බලපෑම ආර්ථික සාධක ඉක්මවා යාමයි. රටේ ආදායම් අනුව පහළින් සිටින 50%ට සංස්කෘතික සාධක ප්‍රශ්නයක් නොවූවත් ඉහළින් සිටින 50%ට එය ප්‍රශ්නයකි. සංස්කෘතික සාධක වලට අමතරව සෞඛ්‍යමය හේතුද මේ නිරීක්ෂණයට සැලකිය යුතු තරමින් දායක වනවා විය යුතුය.
කුකුළුමස් හා බිත්තර පමණක් නොව කෙලවල්ලා මාළු පරිභෝජනය හා අදාළවද පෙනෙන රටාව ඉහත රටාවන්ට වඩා වෙනස්ය. මේ ආහාර වර්ග පරිභෝජනය ආදායම වැඩිවන විට දිගින් දිගටම ඉහළ යයි. එයින් පෙන්නුම් කරන්නේ ආදායම අනුව ඉහළින්ම සිටින නිවාස ඒකක වලට පවා මේ ආහාර වර්ග පරිභෝජනය තවදුරටත් ඉහළ දැමීමට ඇති බාධාව ආදායම් සීමාවන් බවයි. ඒ අනුව පෙනී යන්නේ රටේ ආදායම් මට්ටම් වැඩි වීම හෝ මිල පහළ යාම නිසා කුකුළුමස්, බිත්තර හා අළුත් මාළු මිලදී ගැනීමේ හැකියාව වැඩි වන තරමට එම ආහාර වර්ග පරිභෝජනයද තව දුරටත් දිගින් දිගටම ඉහළ යන්නට ඉඩ ඇති බවයි. කුකුළු මස්, බිත්තර හා කෙලවල්ලන් (අලුත් මාළු) හා අදාළව ලංකාවේ පාරිභෝගිකයින්ගේ සීමාකාරී සාධකය වී තිබෙන්නේ ක්‍රය ශක්ති සීමාවන් මිස හාල් මැස්සන්ට මෙන් රුචිකත්වයේ සීමාවන් හෝ හරක්මස් වලට මෙන් සංස්කෘතික සීමාවන් නොවේ.
රටේ පහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වසරකට ඉදෙන්නේ කුකුළුමස් කිලෝ ග්‍රෑම් 1.37ක් පමණි. බිත්තර 39කි. ඉහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වාර්ෂික කුකුළුමස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 33.8ක්ද, බිත්තර පරිභෝජනය 210ක්ද වෙයි. දුප්පත් නිවසක එක් කුකුළෙකු ඉදෙන විට ධනවත් නිවසක් කුකුළන් 25ක් පමණ ඉදෙයි. එහෙත්, හාල්මැස්සන් හා අදාළව මේ අනුපාතය දෙගුණයක් පමණි.
මස් පිණිස හෝ බිත්තර පිණිස කුකුළන් හදන කුඩා (කුකුලන් 1000 නොඉක්මවන) ගොවිපොළවල් 39,209ක් ලංකාවේ තිබේ. මේවායේ අයිතිකරුවෝ රටට බරක් නැතිව ජීවත්වන කුඩා පරිමාණ ව්‍යවසායකයෝ වෙති. බිත්තර මිල අඩු වීමට හේතු වන, කර්මාන්තයේ සිදුවන සුළු ආකෘතිමය වෙනසක් නිසා වුවද මේ ව්‍යවසායයන් පවත්වා ගෙන යාම අසීරු වී ඒවායින් කොටසක් බිඳ වැටෙන්නට පුළුවන.
මේ කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ "ධනපතියෝ" නොවෙති. එහෙත්, අඩු මිලට බිත්තරයක් කන්නට ලැබීමෙන් වාසි ලබන අය අතර සිටින අවුරුද්දකට වරකට වඩා කුකුළුමස් කන්නට හැකියාවක් නැති, මාසයකට වරකට වඩා බිත්තරයක් කන්නට හැකියාවක් නැති පුද්ගලයෝ ඔවුන්ටද වඩා අසරණයෝ වෙති. එවැනි පවුල් වල සිටින ප්‍රමාණය අඩු වශයෙන් මිලියන දෙකකි. කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් හතළිස් දහසකට නොවැඩි පිරිසකට සහන සලසන්නට වෙන්නේ රටේ අඩුම ආදායම් ලබන 10%ට අයත් මිලියන දෙක ඉක්මවන පුද්ගලයින් ඇතුළු රටේ මාංශමය ආහාර කන සෑම අයෙකුගේම කෑම වේලෙන් බිත්තර කිහිපයක් හා කුකුළුමස් ග්‍රෑම් කිහිපයක් ඉවත් කර ගැනීම මඟින් පමණි. එය කොතරම් උචිතද යන්න විමසා බැලිය හැක්කේ ඒ නිසා සමාජ අතිරික්තය වෙනස්වන ආකාරය පරීක්ෂා කිරීම මඟිනි.
Labels:
අතීත මතක,
ආදායම් විෂමතාවය,
ආර්ථික වර්ධනය,
ආහාර,
ජනමත සමීක්ෂණ,
ධනවාදය
Saturday, July 15, 2017
2017දී සැමට කුකුළෙක්!
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව 2016 වසර මැද ලංකාවේ ජනගහණය 21,203,000කි. එම ආයතනයේම (තාවකාලික) ඇස්තමේන්තු අනුව 2016 වසරේ ලංකාවේ කුකුළුගහණය 21,056,020 කි. මේ ගණනට කුකුළන්, කිකිළියන් හා කුකුළු පැටවුන් ඇතුළත්ය.
පසුගිය වසර 12ක කාලය තුළ (2004-2016) ලංකාවේ ජනගහණය වර්ධනය වී ඇත්තේ 10%කින් පමණ වුවත්, කුකුළුගහණය 90%කින් පමණ වර්ධනය වී තිබේ. මේ ප්‍රවණතාවය සැලකිල්ලට ගත් විට මේ වන විට ලංකාවේ කුකුළුගහණය ජනගහණය ඉක්මවා ඇතැයි සිතිය හැකිය. ලංකාවේ කුකුළුගහණය මේ අයුරින් වේගයෙන් වැඩි වී තිබෙන්නේ රටේ ඉල්ලුම් හා සැපයුම් සාධක මත මිස රජය විසින් මහජන මුදල් වැය කර "2017දී සැමට කුකුළෙක්!" ව්‍යාපෘතියක් දියත් කිරීම නිසා නොවේ.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු නිවැරදිනම් 2016 වසර තුළ පමණක් ලංකාවේ කුකුළුගහණය 25.75%කින් වැඩි වී ඇත. වසර තුළ කිකිළියන් ගණන 3.6%කින් පමණක් වැඩි වී තිබෙද්දී, (පිරිමි) කුකුළන් ගණන 120%කින් වර්ධනය වී තිබීම විශේෂ කරුණකි.
බිත්තර පිණිස හදන්නේ කිකිළියන් පමණක් නිසා බොහෝ විට පිරිමි කුකුළු පැටවුන් බිහිවුණු වහාම මරා දැමෙන නමුත් මස් පිණිස හදන විට එවැන්නක් සිදු නොවේ. බිත්තර පිණිස ඇති කරන කිකිළියක් වසරක පමණ කාලයක් ජීවත් වුවත්, මස් පිණිස හදන කුකුළන් හෝ කිකිළියන් ජීවත් වන්නේ සති හත-අටක කාලයක් පමණක් නිසා වසරක් තුළ මස් නිෂ්පාදනය පිණිස මරණ කුකුළන් (හා කිකිළියන්) ගණන රටක කුකුළුගහණය මෙන් කිහිප ගුණයකි.
රටක හෝ ලෝකයේ ජනගහණය වර්ධනය වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ රුචිඅරුචිකම් වුවත්, රටක හෝ ලෝකයේ කුකුළුගහණය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ කුකුළන්ගේ හා කිකිළියන්ගේ රුචිඅරුචිකම් නොවේ. ඒ සඳහා බලපාන්නේද මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ රුචිඅරුචිකම්මය. ඒ අතරම, මිනිස්ගහණය දැනට පවතින මට්ටමේ සමතුලිතව තිබීමට කුකුළන්ගෙන් හා කිකිළියන්ගෙන් සිදුවන බලපෑමද ඩෙංගු මදුරුවන්ගේ සිට ඌරන් හා හරකුන් දක්වා වෙනත් ඇහැට පෙනෙන සතුන්ගෙන් වන බලපෑමට වඩා වැඩිය.
ලංකාවේ කුකුළුගහණය ජනගහණයට ආසන්නව සමාන වුවත් ලෝකයේ කුකුළුගහණය ලෝක ජනගහණය මෙන් දෙගුණය ඉක්මවයි. බිලියන 16.8ක් පමණ වන ලෝක කුකුළුගහණයෙන් බිලියන 4.6ක් පමණම සිටින්නේ ලෝකයේ ජනගහණය වැඩිම රටද වන චීනයේය. ඇමරිකාවේ කුකුළුගහණය බිලියන 2.0 පමණ වේ. ඉන්දුනීසියාව, බ්‍රසීලය, ඉරානය, පකිස්ථානය හා ඉන්දියාවද, එම අනුපිළිවෙලින්, විශාල කුකුළුගහණයකට හිමිකම් කියන රටවල් අතර ඉහළින් සිටී. ඉන්දියාවේ කුකුළුගහණය එරට ජනගහණයෙන් අඩක් පමණ වේ.
(Image: http://chicken.motifake.com/tags/chicken)
Labels:
ආර්ථික වර්ධනය,
ආහාර,
තෝරාගැනීම්,
ධනවාදය,
සත්ත්ව ලෝකය
Thursday, July 13, 2017
නෙවිල් මුදලාලිගේ ලාබ
සයිටම් පිළිබඳ කතිකාවේදී මතු කරන කරුණු අතරින් එක් කරුණක් වන්නේ සයිටම් වෛද්‍ය පීඨය පවත්වාගෙන යන්නේ ලාභ ලැබීමේ අරමුණින් බවයි. ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම ඇති හාර්වඩ්, ස්ටෑන්ෆර්ඩ් හා ජෝන් හොප්කින්ස් වැනි වෛද්‍ය විද්‍යාල පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අයත් පීඨ වුවත් ලාභ ලැබීම අරමුණු කරගෙන පවත්වාගෙන යන වෛද්‍ය පීඨ නොවේ. සයිටම් විරෝධීන් විසින් තර්ක කරන්නේ මේ සරසවි පෞද්ගලික ඒවා වුවත්, ඒවායේ ඉහළ ගුණාත්මක භාවයට හේතුව ලාභ ලැබීමේ අරමුණක් නොමැති වීම බවයි.
අනෙකුත් තත්ත්වයන් සමානව ඇත්නම් ලාබ ලැබීම අරමුණු කරගත් අධ්‍යාපන ආයතනයකට වඩා ලාබ ලැබීම අරමුණු කර නොගත් අධ්‍යාපන ආයතනයක ගුණාත්මක භාවය වැඩි වන්නට ඉඩ ඇති බව ඇත්තකි. හාර්වඩ්, ස්ටෑන්ෆර්ඩ් හා ජෝන් හොප්කින්ස් වැනි මුදල් අය කරන, එහෙත් ලාබ ලැබීම අරමුණු කර නොගත් අධ්‍යාපන ආයතනයකට සාමාන්‍යයෙන් එහි ආදායම් හා වියදම් සමාන වන මට්ටම දක්වා මුදල් වැය කරමින් එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට පුළුවන. එහෙත්, ලාබ ලැබීම අරමුණු කරගත් අධ්‍යාපන ආයතනයක් එහි ගුණාත්මක භාවය ඒ මට්ටමටම වැඩි කරන්නට පෙළඹෙන්නේ නැත. එවැනි ආයතනයක් ආයතනයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට මුදල් යොදවන්නේ ගුණාත්මක භාවය වැඩි වීම නිසා ලාභ ඉහළ යන මට්ටම දක්වා පමණි. කෙසේවුවද, ගුණාත්මක භාවය විශාල ලෙස පහළ වැටීම ලාභ අඩුවීමටද හේතු වන බැවින් එවැනි ආයතනයක ගුණාත්මක භාවය විශාල ලෙස පහත නොවැටේ.
සාමාන්‍යයෙන් වෛද්‍ය පීඨයක හෝ පොදුවේ විශ්ව විද්‍යාලයක ගුණාත්මක භාවය මැනීමේදී ප්‍රධානම නිර්ණායකයක් වන්නේ එහි සේවය කරන අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රවීනතාවයයි. එයට අමතරව සිසුන්ගේ තත්ත්වයද සැලකිල්ලට ගැනේ. වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය පහත වැටීම මූලික වශයෙන්ම බලපාන්නේ එහි ඉගෙන ගන්නා සිසුන්ටය. ඉගෙනුම ලබා පිටවන සිසුන්ගේ (වෛද්‍යවරුන්ගේ) ගුණාත්මක භාවය ද්වීතියික ලෙස වෙනත් අයට (රෝගීන් වන පොදු ජනතාවට) බලපායි.
සයිටම් වෛද්‍ය පීඨයද ඇතුළුව මේ වන විට ලංකාවේ MBBS උපාධිය ප්‍රදානය කරන ආයතන දහයක් තිබේ. එයින් අටක් සඳහා ප්‍රධාන වශයෙන්ම සිසුන් තෝරා ගන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් උසස් පෙල විභාගයේ ප්‍රතිඵල හා විභාගයට පෙනී සිටි දිස්ත්‍රික්කය අනුවය. මෙසේ තෝරා ගැනෙන සිසුන් විසින් ටියුෂන් ගාස්තු ලෙස කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.
රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට අවශ්‍ය අවම සුදුසුකම වන්නේ උසස්පෙල විභාගයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන් තුනට සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් ලබා තිබීමයි. එහෙත්, ඉහත කී වෛද්‍ය පීඨ අටේ ඇති ආසන්න වශයෙන් 1250ක් පමණ වන පුරප්පාඩු ගණනට තරඟ කරන ඉහත අවම සුදුසුකම් සපිරූ අයදුම්කරුවන් ගණන 25,000 ඉක්මවයි. ඒ නිසා, ඉහත වෛද්‍ය පීඨ අටෙන් එකකට ඇතුළු වීමේ අවස්ථාව හිමිවන්නේ ආසන්න වශයෙන් අයදුම්කරුවන්ගෙන් 5%කට පමණි.
පවතින පුරප්පාඩු ගණනට වඩා සැලකිය යුතු තරම් වැඩි අයදුම්කරුවන් පිරිසක් සිටින විට ඒ අතරින් පිරිසක් තෝරාගැනීම සඳහා කිසියම් නිර්ණායකයක් යොදාගැනීමට සිදු වේ. නිදහස් වෙළඳපොලක භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඇති ඉල්ලුම සැපයුමට වඩා වැඩි වූ විට අදාළ භාණ්ඩය හෝ සේවාව හිමි විය යුත්තේ කාටද යන්න තීරණය කරන්නේ මිල සාධකය විසිනි. ඒ මඟින්, භාණ්ඩය හෝ සේවාව වඩාත්ම අගය කරන පුද්ගලයින්ට එය හිමිවේ. එහෙත්, නිදහස් වෙළදපොළ ක්‍රමය වඩාත්ම හොඳින් ක්‍රියාත්මක වන ඇමරිකාව වැනි රටක පවා උසස් අධ්‍යාපන සේවාවන් සැපයීමේදී මිල සාධකය එකම නිර්ණායකය ලෙස සලකන්නේ නැත.
මුදල් අය කර හෝ නොකර සරසවියකට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සලකා බැලෙන ප්‍රධාන කරුණක් වන්නේ අදාළ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අයදුම්කරුවෙකුට ඇති හැකියාවයි. මෙයට පදනමක් තිබේ.
කිසියම් සරසවියකට ඇතුළු වන සිසුසිසුවියන්ගෙන් විශාල පිරිසක් අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීමට අසමත් වන්නේනම් පාඨමාලාව සඳහා මුදල් ගෙවූවද නොගෙවූවද අදාළ සිසුවාගේ හෝ සිසුවියගේ අරමුණ ඉටුවන්නේ නැත. මෙය දිගින් දිගටම සිදුවෙනවානම් එය සරසවියේ කීර්තියටද ප්‍රශ්නයක් වෙන අතර දිගුකාලීනව සරසවියට ඉල්ලුමක් නැති වීමටද හේතුවකි. කිසියම් සරසවියකට සිය පාඨමාලාව සම්පූර්ණ කිරීම පහසු කර සිසුසිසුවියන් වැඩි පිරිසක් සමත් කරන්නට හැකි වුවත්, එසේ කිරීමෙන් සිසුන්ට අදාළ විෂයේ නිපුණත්වය නිසිපරිදි නොලැබෙන බැවින් දිගුකාලීනව එයින් සිදුවන්නේද සරසවියට ඉල්ලුමක් නැති වීමයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන ලංකාවේ පළමු කී වෛද්‍ය පීඨ අටේ ඇති සීමිත පුරප්පාඩු ගණන පිරවීම සඳහා සිසුන් තෝරා ගැනීමේදී අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීමේ හැකියාව ඇති සිසුන් බඳවා ගැනීම කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු වී ඇතත්, ප්‍රායෝගික වශයෙන් වැඩිපුර අවධානය යෙදී ඇත්තේ මේ සීමිත පුරප්පාඩු ගණන "සාධාරණ ලෙස" බෙදා හැරීම කෙරෙහිය. සිසුන් බඳවා ගැනීමේ පටිපාටියේ ප්‍රධානම නිර්ණායකය ලෙස සැලකිය හැකි උසස් පෙළ විභාගය හරහා සිසුන් බඳවා ගැනීම තුළ දකින්නට ඇත්තේද උසස් පෙළ විභාගය ඉහළින්ම සමත්වෙන "දක්ෂ සිසුන්ට" අවස්ථාවක් ලබා දීම සාධාරණ වන්නේය යන පදනමයි. (දැනට සිදුකර ඇති පර්යේෂණ අධ්‍යයන කිහිපයම පෙන්වා දෙන්නේ උසස්පෙළ ලකුණු වෛද්‍ය විද්‍යාල පාඨමාලාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට ඇති හැකියාව පිළිබඳ ඉතා දුර්වල නිර්ණායකයක් බවයි.) උසස් පෙළ මට්ටම දක්වා අධ්‍යපනය ලැබීමේදී දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිසුන්ට හිමිවන පහසුකම් වල විෂමතා සැලකිල්ලට ගනිමින් උසස්පෙළ විභාගයට මුහුණ දීමට පෙර වසර පහක කාලය තුළ වැඩිකලක් ඉගෙනුම ලැබූ පාසැල පිහිටි දිස්ත්‍රික්කයද අනුපූරක නිර්ණායකයක් ලෙස සැලකිල්ලට ගැනේ.
ලංකාවේ මුල් වෛද්‍ය පීඨ අටේ පුරප්පාඩු වලින් 97.5%ක්ම පුරවන්නේ දිස්ත්‍රික්කය සැලකිල්ලට ගනිමින් හෝ නොගනිමින් උසස්පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්වය. මේ සඳහා දැනට භාවිතා වන්නේ z-ස්කෝර් අගයයි. මේ z-ස්කෝර් අගය පදනම් වන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන එක් එක් විෂයයන් සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් කොපමණ සිසුන් ප්‍රතිශතයකට වඩා ඉදිරියෙන් තමන් සිටියේද යන්නයි.
මේ වන විට ක්‍රියාත්මක වන බඳවා ගැනීමේ පටිපාටිය අනුව, වෛද්‍ය පීඨ වලට ඇතුළු වන සිසුන්ගෙන් 70-80% අතර ප්‍රමාණයක් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ තනිකරම z-ස්කෝර් අගය මත පදනම්වය. ඉතිරි පිරිසට තමන් ඉගෙනුම ලබන දිස්ත්‍රික්කයේ වාසිය (හෝ අවාසිය සමනය වීම) මත, වෙනත් දිස්ත්‍රික්කයකින් විභාගයට මුහුණ දී තමන්ට වඩා වැඩි z-ස්කෝර් අගයක් ලැබූ ඇතැම් සිසුන් අභිබවවමින් ඉදිරියට යන්නට අවස්ථාවක් හිමි වේ. මා මෙහිදී කතා කරන්නේ කුසලතා 40%, දිස්ත්‍රික් 55% හා දුෂ්කර 5% ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පෙන්වන බෙදාහැරීම ගැන නොව එමඟින් සැබෑවටම සිදුවන දෙය ගැනය. එයට අමතරව, මේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය ගැන හා ඒ නිසා පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ අධ්‍යාපන සේවා සැපයීමේ වෙළඳපොළේ සිදුවී ඇති වෙනස්කම් ගැනත් එමඟින් ප්‍රාදේශීය විෂමතා සමනය වී ඇති ආකාරය ගැනත් විස්තර පසු ලිපියකට තබමු.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන ලංකාවේ පළමු කී වෛද්‍ය පීඨ අට ගුණාත්මක භාවය අතින් සමාන මට්ටමක නොපවතී. ඒ අතරින්, කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා රුහුණ යන වෛද්‍ය පීඨ ගුණාත්මක භාවය අතින් ඉදිරියෙන් ඇති ඒවාය. මේ එක් එක් වෛද්‍ය පීඨයේ සහායක මහාචාර්යවරුන්ද ඇතුළුව මහාචාර්යවරුන් අඩු වශයෙන් 20 දෙනෙකුවත් සේවය කරති. ගුණාත්මක භාවය අතින් ඉදිරියෙන්ම ඇති කොළඹ විශ්ව විද්‍යාලයේ සහායක මහාචාර්ය වරුන් 4 දෙනෙකුද ඇතුළුව මහාචාර්යවරුන් 40 දෙනෙකු සේවය කරති. මේ වෛද්‍ය පීඨ අටෙන් එකක සිසුවෙකු වෙනුවෙන් අධ්‍යයන සේවාවන් සඳහා පමණක් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 30 ඉක්මවයි. අනෙකුත් සියලු වියදම් එකතු කළ විට සීමාවාසික පුහුණුවට පෙර සිසුවෙකු වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 60ක් පමණ වනු ඇතැයි උපකල්පනය කළ හැකිය.
සිදුවිය යුතු පරිදිම, සිසුන්ගේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයටය. කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළුවීමේ අවස්ථාව ලැබෙන්නේ උසස්පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබන සිසුන්ට පමණි. මේ වන විට වෛද්‍ය පීඨයකට ඇතුළුවීම වඩාත්ම අසීරු දිස්ත්‍රික්ක වන ගාල්ල හෝ මාතර වැනි දිස්ත්‍රික්කයක සිසුන් අතරින් වුවද කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වීමේ අවස්ථාව ලැබෙන්නේ ඉතා සීමිත පිරිසකටය. 2016/17 අධ්‍යයන වර්ෂය තුළ අවම z-ස්කෝර් අගයක් ලබා කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වන කොළඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට මුහුණ දුන් සිසුවා හෝ සිසුවියද උසස්පෙළ විභාගයෙන් වැඩිම ලකුණු ගත් සිසුන් 1.29% තුළ සිටින්නෙකි. වෙනත් දිස්ත්‍රික්ක වලින් කොළඹ වෛද්‍ය පීඨයට තේරී ඇති සියලු දෙනා ඔහුට හෝ ඇයට වඩා ඉදිරියෙන් සිටින්නෝය.
අයදුම්කරුවන්ගේ ඉල්ලුම අනුව කොළඹ වෛද්‍ය පීඨයට පසුව ඉදිරියෙන් සිටින්නේ පිළිවෙළින් පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා රුහුණ වෛද්‍ය පීඨයි. 2016/17 අධ්‍යයන වර්ෂය තුළ මේ එක් එක් වෛද්‍ය පීඨයට ඇතුළු වීමට අවශ්‍ය වූ අවම z-ස්කෝර් අගයයන් හා අදාළ z-ස්කෝර් අගයයන් ලැබීමට උසස්පෙල විභාගයට මුහුණ දුන් සිසුන් අතරින් කොපමණ පිරිසකට වඩා ඉදිරියෙන් සිටිය යුතුද යන්න පහතින් පෙන්වා තිබේ.
පේරාදෙණිය: 2.0877 (වැඩිම 1.84%)
ශ්‍රී ජයවර්ධනපුර: 2.0327 (වැඩිම 2.10%)
කැලණිය 1.9780: (වැඩිම 2.40%)
රුහුණ 1.9434: (වැඩිම 2.60%)
පසුගිය (2016) අගෝස්තුවේදී ජීව විද්‍යා ධාරාවෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ගණන 46,854කි. මේ ගණනින් 2.60%ක් යනු සිසුන් 1218කි. ලංකාවේ පෙර කී වෛද්‍ය විද්‍යාල අටේ ඇති පුරප්පාඩු ගණන 1260ක් පමණ වේ. ඒ නිසා, මේ වන විට කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා රුහුණ යන විශ්ව විද්‍යාලයකට අයත් වෛද්‍ය පීඨයකට ඇතුළු විය හැක්කේ දිස්ත්‍රික් පදනම සලකා නොබැලුනද ඒ සඳහා අවස්ථාවක් හිමි වන අයට පමණි. අදාළ වෛද්‍ය පීඨ වලට එක් එක් දිස්ත්‍රික්කයෙන් අවශ්‍ය වන අවම z-ස්කෝර් අගයයන්ගේ ඇති සමානත්වය මේ කරුණ තහවුරු කරයි. (මා දන්නා තරමින් z-ස්කෝර් අගය ගණනය කිරීමේදී භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන් සම්මතකරණයට ලක් කරන්නේ ජීව විද්‍යා ධාරාවේ සිසුන් පමණක් සැලකිල්ලට ගෙන නොවේ. ජීව විද්‍යා හා භෞතික විද්‍යා ධාරාවන් හදාරන සිසුන්ගේ ලකුණු වල ව්‍යාප්තීන්හි තිබිය හැකි වෙනස්කම් නිසා ඇති වන බලපෑම මෙහිදී සැලකිල්ලට ගෙන නැත.)
යාපනය, රජරට හා නැගෙනහිර සරසවි වල වෛද්‍ය පීඨ ගුණාත්මක භාවය අතින් මේ වන විට පවතින්නේ පෙර කී සරසවි පහට වඩා සැලකිය යුතු තරම් පහළිනි. යාපනය වෛද්‍ය පීඨයේ සිටින්නේ මහාචාර්යවරුන් දෙදෙනෙකු හා එක් සහකාර මහාචාර්යවරයෙක් පමණි. රජරට වෛද්‍ය පීඨයේ සිටින්නේ මහාචාර්යවරුන් දෙදෙනෙකු පමණි. නැගෙනහිර වෛද්‍ය (සෞඛ්‍ය විද්‍යා) පීඨයේ මහාචාර්යවරුන් හෝ සහකාර මහාචාර්යවරුන් කිසිවෙකුත් නැත!
පෙර කී සරසවි පහේ එක් වෛද්‍ය සිසුවෙකුගේ අධ්‍යයන සේවා වියදම් වෙනුවෙන් පමණක් ලක්ෂ 30ක පමණ මුදලක් වියදම් කෙරෙන නමුත් පසුකී සරසවි තුනේ සිසුවෙකු වෙනුවෙන් එසේ වැය කෙරෙන්නේ එයින් අඩකටත් වඩා අඩු මුදලකි. යාපනය වෛද්‍ය පීඨයට යම් තරමකින් ඇතත්, රජරට හා නැගෙනහිර වෛද්‍ය පීඨ වලට කාලයත් සමඟ ගොඩනගාගත් කීර්ති කදම්භයක්ද නැත.
මේ පසු කී සරසවි තුනෙන් එකක් අයදුම්කරුවෙකුගේ ප්‍රමුඛ තේරීම වන්නේ ඉතා කලාතුරකිනි. එසේ වන්නේද, ජනවාර්ගිකත්වය වැනි වෙනත් කරුණු මත පදනම්වය.
යාපනය හා නැගෙනහිර වෛද්‍ය පීඨ, තේරුම් ගැනීමට අපහසු නොවන හේතු මත, සිංහල සිසුන් වැඩි දෙනෙකුට ආකර්ශනීය තේරීමක් නොවේ. ඒ නිසා, ගුණාත්මක භාවය විශාල ලෙස සැලකිල්ලට නොගනිමින් බොහෝ සිංහල සිසුහු රජරට වෛද්‍ය පීඨය සිය හයවන තේරීම කරගෙන සිටිති. මේ අයුරින්ම, දෙමළ සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් යාපනය වෛද්‍ය පීඨය තෝරාගෙන ඇත්තේ ගුණාත්මක භාවය යන සාධකයට අඩු තැනක් දෙමිනි.
මුල් සරසවි පහට යන්නට වරම් නොලබන සිංහල සිසුන්ගේ හයවන තේරීම වීම නිසා රජරට විශ්ව විද්‍යාලයට ඇතුළු වීමටද 1.8568ක අවම z-ස්කෝර් අගයක් අවශ්‍ය වන අතර ඒ සඳහා උසස්පෙළ සිසුන් අතරින් වැඩිම z-ස්කෝර් අගයක් ලැබූ සිසුන් 3.17% අතර සිටිය යුතුය. රජයේ වෛද්‍ය පීඨ වල ඇති පුරප්පාඩු සියල්ල දිස්ත්‍රික් පදනම නොසලකමින් z-ස්කෝර් අගය මත පමණක් පදනම්ව පිරවූයේනම් රජයේ කිසියම් වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ අවස්ථාව හිමි වන්නේ (මගේ ගණනය කිරීම් අනුව) 1.9285ක අවම z-ස්කෝර් අගයක් ලබාගන්නා සිසුන්ට පමණි. මීට වඩා අඩු z-ස්කෝර් අගයක් ලබාගෙන කොළඹට, පේරාදෙණියට, ජයවර්ධනපුරට, කැළණියට හෝ රුහුණට යන්නට නොහැකි වුවත් රජරටට යන්නට බැරිකමක් නැත.
කෙසේ වුවද, රජරටට යන සියලුම වෛද්‍ය සිසුන් මීට වඩා අඩු z-ස්කෝර් අගයක් ලබාගත් අය නොවෙති.මේ සිසුන් අතර දිස්ත්‍රික් පදනම මත "පෝලිම පැන" පැමිණි සිසුන් කිසියම් පිරිසක් සිටින නමුත් රජරට සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද, දිස්ත්‍රික් පදනමක් නොතිබුණත් වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ ඉඩකඩ හිමි කරගත හැකිව සිටි අයයි. මේ අයුරින්ම යාපනය හා නැගෙනහිර වෛද්‍ය පීඨ වලට ඇතුළු වන සියලුම සිසුන් දිස්ත්‍රික් පදනම හේතුවෙන් ඒ වරප්‍රසාදය ලබන අය නොවූවත්, දිස්ත්‍රික් පදනම මත "පෝලිම පැනීමේ" අවස්ථාව හිමි කරගන්නා සිසුන්ට මේ වන විට ඇතුළු විය හැක්කේ රජයේ වෛද්‍ය පීඨ අතර ගුණාත්මක භාවයෙන් අඩු රජරට, යාපනය හෝ නැගෙනහිර වෛද්‍ය පීඨ තුනෙන් එකකට පමණි. මේ සරසවි තුනට ඇතුළු වන මුළු වෛද්‍ය සිසුන් ගණනද 31.2%ක් නිසා එය දිස්ත්‍රික් ක්‍රමයේ වාසිය ලබන සිසුන් ප්‍රතිශතයේ උපරිම සීමාවයි. සැබෑ ගණන 20-30% අතර ප්‍රමාණයක් විය යුතුය.
පසුගිය (2016) උසස්පෙළ ප්‍රතිඵල හා ඉගෙනුම ලැබූ දිස්ත්‍රික්කය අනුව රජයේ වෛද්‍ය පීඨයකට (නැගෙනහිර වෛද්‍ය පීඨයට) ඇතුළත් කරගැනුණු සිසුන් අතරින් අවම z-ස්කෝර් අගයක් ලබා ඇති මුලතිවු දිස්ත්‍රික්කයේ සිසුවා හෝ සිසුවියගේ z-ස්කෝර් අගය 1.4818කි. මේ අනුව, z-ස්කෝර් අගය අනුව ඔහුට හෝ ඇයට වඩා ඉදිරියෙන් සිටින මුළු අයදුම්කරුවන්ගේ ප්‍රතිශතය 6.92%ක් වන අතර, සංඛ්‍යාත්මකව 3242ක් පමණ වේ. මේ අනුව, තමන්ට වඩා වැඩි ලකුණු ලබාගත් අයදුම්කරුවන් 2000ක් පමණ පසු කරමින් ඔහු හෝ ඇය වෛද්‍ය පීඨ ප්‍රවේශය ලබාගෙන තිබේ. 2016 වසරේ උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් සරසවි ප්‍රවේශ මූලික සුදුසුකම් ලැබූ 25,875ක් අතරින්ද මේ සිසුවා සිටින්නේ ඉහළම 12.53% අතරේය. ඒ අනුව, දිස්ත්‍රික් ක්‍රමය යටතේ හෝ රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට සුළු හෝ අවස්ථාවක් ඇත්තේ අයදුම්කරුවන් අතරින් ඉහළින්ම සිටින 12.53%කට පමණි.
කෙසේ වුවත්, උසස්පෙළ ප්‍රතිඵල හා ඉගෙනුම ලැබූ දිස්ත්‍රික්කය යන පදනම් වලට අමතරව රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට තවත් ක්‍රම රාශියක් තිබේ. ක්‍රීඩා හෝ කලා කටයුතු වල සුවිශේෂී දක්ෂතා දැක්වීම, ආබාධිතයෙකු වීම, ආරක්ෂක හමුදා සාමාජිකයෙකු වීම, විදේශ උපාධියක් ලබා තිබීම වැනි කරුණු සලකමින් රජයේ වෛද්‍ය විද්‍යාල වල පුරප්පාඩු වලින් 2.5%ක් පුරවන අතර සංඛ්‍යාත්මකව වසරකට 32කට ආසන්න පිරිසක් මෙවැනි අඩු පාරදෘශ්‍ය ක්‍රම වලින් රජයේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වෙති. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් කුසලතා, දිස්ත්‍රික් හා දුෂ්කර ප්‍රදේශ පදනම් මත බෙදා හරින්නේ ඉතිරි පුරප්පාඩු 97.5%යි. රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට අවශ්‍ය අවම සුදුසුකම උසස්පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනක් පමණක් වුවත් එවැනි සාමාර්ථයක් ලබා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීම සිදුවීමට ප්‍රායෝගිකව යම් හෝ ඉඩක් ඇත්තේ මේ 2.5% කැටගරිය තුළ පමණි. මගේ අදහස පරිදි මේ කැටගරියෙන් වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ලබන අය කොළඹ වෛද්‍ය පීඨය වැනි වඩාත්ම තරඟකාරී වෛද්‍ය පීඨ වල පවා සිටින්නට පුළුවන. (මෙය කරුණු ඉදිරිපත් කිරීමක් මිස මේ සම්බන්ධව කෙරෙන විවේචනයක් නොවේ.)
ලංකාවේ ඇති නවවන වෛද්‍ය පීඨය කොතලාවල වෛද්‍ය පීඨයයි. එහි වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ලබා ගත යුතු අවම සුදුසුකම උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනකි. මිලිටරි හා සිවිල් ලෙස මෙහි වෛද්‍ය උපාධි පාඨමාලාවේ කොටස් දෙකකි. මිලිටරි වෛද්‍ය උපාධි පාඨමාලාව හදාරන අය ඒ සඳහා මුදල් ගෙවිය යුතු නැති අතර ඔවුන්ට මාසික වේතනයක්ද හිමි වේ. එහි හිලවුවට ඔවුන් සිය උපාධිය ලබා ගැනීමෙන් පසුව නිශ්චිත කාලයක් ලංකාවේ ආරක්ෂක හමුදාවක සේවය කළ යුතුය. සිවිල් වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා වසර පහක් තුළ ඇමරිකන් ඩොලර් 50,250ක් හෙවත් අද විණිමය අනුපාතිකය අනුව (155.43) රුපියල් ලක්ෂ 81 ඉක්මවන මුදලක් ගෙවිය යුතුය. සාක් රටවල සිසුන්ට, චීන ජාතිකයන්ට හා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට ගෙවන්නට වන මුදල මීට වඩා තරමක් අඩුය. ඔවුන් විසින් වසර පහක් තුළ ඇමරිකන් ඩොලර් 45,000ක් හෙවත් අද විණිමය අනුපාතිකය අනුව රුපියල් ලක්ෂ 70ක් පමණ මුදලක් ගෙවිය යුතුය. විදේශගත ශ්‍රී ලාංකිකයකුගේ දරුවකු නොවන ශ්‍රී ලාංකිකයින්ට මේ ලක්ෂ 70ක හෝ ලක්ෂ 81ක මුදල ගෙවා එහි සිවිල් වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමට ලෝකයේ ඕනෑම රටක පුද්ගලයෙකුට ඇති අවස්ථාව ජාතිකත්වය මත පදනම්ව අහෝසි කර තිබේ. ඒ නිසා, මුදල් ගෙවන්නට කැමති වුවත් චීන ජාතික හෝ ඉන්දියන් ජාතික දරුවෙකුට මෙන් කොතලාවල වෛද්‍ය උපාධිය හැදෑරීමට ශ්‍රී ලාංකික දරුවෙකුට ඉඩක් නැත.
ලංකාවේ දහවන වෛද්‍ය පීඨය සයිටම් වෛද්‍ය පීඨයයි. එහි වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ලබා ගත යුතු අවම සුදුසුකම උසස් පෙළ සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ එකකි. දැනගන්නට ඇති තරමින්, අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇති අයෙකුට මුදල් ගෙවා එහි ඉගෙනුම ලැබීමට වෙනත් බාධාවක් නැත. පාඨමාලා ගාස්තු ගෙවන්නට කැමති, මූලික සුදුසුකම් සපුරා ඇති අයෙකුට කොතලාවල වෛද්‍ය පීඨයේදී මෙන් ජාතිකත්වය මත වෙනස් ලෙස සලකුණු නොලැබ අධ්‍යාපනය ලැබීමේ නිදහස එහි තිබේ. මෙහි පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂ 90ක් බව පැවසේ. මෙය කොතලාවල වෛද්‍ය පීඨය විසින් අය කරන මුදලට හා රජයේ වෛද්‍ය පීඨයක සිසුවෙකු වෙනුවෙන් වැය කෙරෙන සාමාන්‍ය මුදලට වඩා වැඩි මුදලකි.
මේ වන විට, ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීම සඳහා සලකා බැලෙන තරමේ සුදුසුකම් ඇති, එහෙත් එසේ ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන අයෙකුට ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට ඇති එකම විකල්පය සයිටම් ආයතනයයි. මුදල් ගෙවන්නට කැමති අයෙකුට එයට ඇති එකම බාධාව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති රජයේ වෛද්‍ය පීඨයකට හෝ කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළු වීමේදී සලකා බැලෙන අවම සුදුසුකමට වඩා තරමක් වැඩි අවම සුදුසුකමක් තිබීම පමණි. එසේ නැත්නම්, ඔවුන් වෛද්‍ය උපාධිය සඳහා විදේශගත විය යුතුය. අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ එකක් හෝ නැති අයෙකුට මුදල් ගෙවා වුවත් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම පහසු නොවන නිසා එය එතරම්ම සීමාකාරී සාධකයක් ලෙස සැලකිය නොහැකිය.
ඉහත තත්ත්වය මත සයිටම් වෛද්‍ය පීඨය සතුව ඒකාධිකාරයක් තිබේ. ඒකාධිකාරයක් ඇති විට මිල කෙරෙහි බලපෑමක් කර වැඩි ලාභ ලැබීමේ අවස්ථාවක් තිබේ. තරඟයක් ඇති විට මේ ඒකාධිකාරී ලාභ අඩු වී හෝ නැති වී යයි. සයිටම් ආයතනය කොපමණ ප්‍රමාණයක ඒකාධිකාරී ලාභ ලබනවාද? එසේ ලබනවානම්, ඉදිරියේදී වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ ඇති වී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන මිල අඩු වෙයිද? එවිට සයිටම් ආයතනයේ ගුණාත්මක භාවය කවර අයුරින් වෙනස් වෙයිද?
සයිටම් ආයතනය ආරම්භයේදී එහි පරිපාලකයින් විසින් සිය ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවය පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු උත්සාහයක් දරා තිබෙන බව පැහැදිලිය. මේ අතින් සයිටම් වෛද්‍ය පීඨය සිටින්නේ අඩු වශයෙන් යාපනය, රජරට හා නැගෙනහිර විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ වලට වඩා ඉදිරියෙනි. අනෙකුත් භෞතික සම්පත් අතින්ද එහි අඩුවක් නොපෙනේ. එහෙත්, සිසුන්ගේ තත්ත්වය හා අදාළව සයිටම් වෛද්‍ය පීඨය සිටින්නේ රජයේ වෛද්‍ය පීඨ අටට වඩා පිටුපසිනි. මේ අනුව, මෙහි පරිපාලකයන්ගේ ව්‍යාපාරික උපායමාර්ගය වන්නේ ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම හා භෞතික සම්පත් වෙනුවෙන් මුදල් "ලෝබ නැතුව" වියදම් කරන අතර මේ වියදම් ආවරණය කර ගැනීම සඳහා (හා ලාභ ලැබීම සඳහා) ප්‍රමාණවත් තරම් ආදායමක් ඉපැයීම බව පෙනේ.
ලාභ ලැබීම අරමුණු කරගත් වෛද්‍ය පීඨයකට සිය අරමුණ කරා යා හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න මිල ඉහළ මට්ටමක තබා ගනිමින් ලාභ ආන්තික වැඩි කරගැනීමයි. දෙවැන්න, හැකිතාක් වැඩි සිසුන් ගණනක් බඳවා ගැනීමයි. ඕනෑම නිශ්චිත මිලක් අය කරමින් බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කරන විට සිසුන්ගේ සාමාන්‍ය ගුණාත්මක භාවය පහළ යයි. මිල වැඩි කරන විට ඉල්ලුම් කරන සිසුන් ප්‍රමාණය අඩු වෙයි. නියම කරන මිල ඉල්ලුම සැපයුම සමතුලිත වන මිලට වඩා පහළ මිලක්නම්, පවතින පුරප්පාඩු ගණනට වඩා වැඩි අයදුම්කරුවන් ගණනක් අතරින් "වඩා හොඳ" සිසුන් තෝරා ගැනීමට ඉඩක් ලැබෙන නමුත්, ඉල්ලුම සැපයුම සමතුලිත වන මිල අය කරන විට අධ්‍යාපන සේවා සපයන ආයතනයකට ඒ තෝරාගැනීම නැති වේ.
කොතලාවල වෛද්‍ය පීඨය විසින් විදේශ සිසුන් බඳවා ගැනීමේ අරමුණ ලාභ ලැබීමම නොවේ. ශිෂ්‍ය කණ්ඩායමේ ප්‍රමිතිය පවත්වා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාවකි. එහෙත්, ඔවුන් පාඩු ලබමින් විදෙස් සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙනවා විය නොහැකිය. ඒ නිසා, ලක්ෂ 81ක පාඨමාලා ගාස්තුවෙන් පමණක් නොව, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ගෙන් හා සාක් රටවල හා චීන සිසුන්ගෙන් අය කරන රුපියල් ලක්ෂ 70ක පමණ මුදලින්ද අඩු වශයෙන් පිරිවැය ආවරණය වනවා විය යුතුය. එහෙත්, සිසුන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණක් ඇති නිසා මෙහි විශාල ලාභයක් තිබෙන්නටද නුපුළුවන.
රජයේ ප්‍රමුඛ වෛද්‍ය පීඨ පහෙන් එකක සිසුවෙකු වෙනුවෙන්ද රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් වැය කෙරෙන බව ඇස්තමේන්තු කළ හැකි නිසා පස්වසරක වෛද්‍ය උපාධි පාඨමාලාවක විචල්‍ය පිරිවැය එපමණ වන්නට ඉඩ තිබේ. එයට අමතරව, රජයේ සරසවි වල දශක ගණනක් තිස්සේ සිදුකර ඇති ප්‍රාග්ධන ආයෝජනද සැලකූ විට වෛද්‍ය උපාධි පාඨමාලාවක මුළු පිරිවැය රුපියල් ලක්ෂ 70ක් පමණ විය හැකිය. ඒ නිසා, ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයකට වුවද වෛද්‍ය උපාධි පාඨමාලාවක් වෙනුවෙන් අඩු වශයෙන් එපමණ මුදලක්වත් අය කරන්නට සිදු වනු ඇත. ලාභ පිණිස කටයුතු කරන ආයතනයක්, තරඟකාරී තත්ත්වයන් යටතේ අඩු වශයෙන් රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් අය කරනු ඇතැයි සිතිය හැකිය. කොතලාවල වෛද්‍ය පීඨය විදෙස් සිසුවකුගෙන් අය කරන්නේ මීට ආසන්න මුදලකි.
සයිටම් ආයතනය විසින් අය කරන මුදල ඉහත ඇස්තමේන්තුවට වඩා වැඩි මුදලකි. මෙයට ඉල්ලුම් සාධක මෙන්ම සැපයුම් සාධකද බලපායි.
පළමුව, සයිට්ම් වෛද්‍ය පීඨයේ ඉලක්ක පාරිභෝගිකයන් කණ්ඩායම වන්නේ වෛද්‍ය උපාධියක් හැදෑරීම සඳහා විදේශ සරසවියකට දරුවන් යැවීම ගැන සලකා බලන දෙමවුපියන්ය. ඒ සඳහා වැය වන පිරිවැය රුපියල් ලක්ෂ 90 ඉක්මවයි. ඒ නිසා, මේ මිල යටතේ වෛද්‍ය උපාධි පාඨමාලාවකට ප්‍රමාණවත් තරමේ ඉල්ලුමක් තිබේ. මිල මට්ටම රුපියල් ලක්ෂ 70 වැනි මට්ටමකට අඩු කළද ඉල්ලුම විශාල ලෙස වැඩි වන්නේ නැත. ඒ නිසා, සයිටම් ආයතනයට මිල අඩු කර ඉල්ලුම වැඩි කරගැනීම මඟින් ලාභ වැඩි කර ගත නොහැකිය.
අනෙක් අතට වෛද්‍ය විද්‍යාලයකට ශික්ෂණ රෝහලක් අවශ්‍යය. සයිටම් ආයතනය විසින් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදුකර තිබේ. කොතලාවල වෛද්‍ය පීඨය විසින් මෙවැන්නක් සිදු කර නැති අතර රජයේ අලුත් වෛද්‍ය පීඨ ඇති කරන විටද (මා දන්නා තරමින්) බොහෝ විට සිදුවුනේ එවකට පැවති රෝහලක් ශික්ෂණ රෝහලක් ලෙස ප්‍රයෝජනයට ගැනීම හෝ වැඩිදියුණු කරනු ලැබීමයි.
දිගුකාලීනව පෞද්ගලික ශික්ෂණ රෝහලක වියදම් එහි පැමිණෙන රෝගීන්ගෙන් ආවරණය වන නමුත් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට තවමත් ස්වාධීන මූල්‍ය පැවැත්මක් නැත. ඒ නිසා, මේ අවස්ථාවේදී සයිටම් ආයතනය විසින් ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදු කර ඇති ආයෝජනයෙන් කොටසක්ද සයිටම් වෛද්‍ය සිසුන්ගෙන් අය කර ගැනීමට සයිටම් පරිපාලකයෝ උත්සාහ කරති. රෝහල හදා තිබෙන්නේම වෛද්‍ය පීඨය වෙනුවෙන් නිසා මෙය තේරුම් ගැනීම අපහසු නැත. කිසියම් කාලයකට පසු සයිටම් පාඨමාලා ගාස්තුවේ මේ කොටස පමණක් ඉවත් වනු ඇත. එහෙත්, එසේ වූ පමණින් සයිටම් වෛද්‍ය පීඨයේ පාඨමාලා ගාස්තු විශාල ලෙස පහත වැටෙන්නට ඉඩක් නැත.
කෙසේ වුවද, රුපියල් ලක්ෂ 90ක පාඨමාලා ගාස්තු ගෙවා ඉගෙනීම ලබන්නට කැමති විශාල පිරිසක් දැනට ලංකාවේ නැත. මෙයට මූල්‍යමය නොවන වෙනත් සාධක ගණනාවක්ද බලපායි. ඒ අතරින් පළමුවැන්න සයිටම් උපාධියට ලැබෙන පිළිගැනීම පිළිබඳව ඇති අවිනිශ්චිතතාවයයි.
අඩු වශයෙන් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයට තේරුණු එක් ශිෂ්‍යයෙක් එම අවස්ථාව අතහැර පූර්ණ ශිෂ්‍යත්වයක් මත සයිටම් වෛද්‍ය පීඨයට බැඳී තිබේ. එහෙත්, එවැනි පදනමක් මත හෝ (නැවතත්- මා දන්නා තරමින්) රජයේ වෛද්‍ය පීඨයකට තේරුණු කිසිදු වෛද්‍ය සිසුවෙකු සයිටම් ආයතනයට පැමිණ නැත. තමන්ට කිසිදු පාඨමාලා ගාස්තුවක් ගෙවන්නට සිදු නොවුවත්, තවමත්, කිසියම් සිසුවෙකු රජයේ වෛද්‍ය විද්‍යාල අතර ගුණාත්මක භාවයෙන් අඩුම වෛද්‍ය පීඨය ලෙස සැලකිය හැකි නැගෙනහිර වෛද්‍ය පීඨය අතහැර සයිටම් වෛද්‍ය පීඨයට පැමිණේද යන්න සැක සහිතය.
මෙය සයිටම්හි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක්ම නොවේ. උපාධිය අවසන් කිරීමෙන් පසු ආදායම් ඉපදවීමට ඇති අවස්ථා පිළිබඳ ප්‍රශ්නයකි. කවර අවදානම් තිබුණත්, දන්ත වෛද්‍ය උපාධියකට වඩා සයිටම් වෛද්‍ය උපාධියේ අපේක්ෂිත වටිනාකම වැඩිය. ඒ නිසා දන්ත වෛද්‍ය පීඨයට තේරුණු අයෙකු පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබ සයිටම් වෙත එන්නට කැමති වූවත් රජයේ වෛද්‍ය පීඨයකට තේරුණු අයෙකුට වැඩි රැකියා අවිනිශ්චිතතාවයකට මුහුණ දෙමින් මේ අවස්ථාවේදී එසේ කරන්නට තාර්කික හේතුවක් නැත.
සයිටම් ආයතනය කාලයක් පැවතුනහොත් එහි වෛද්‍ය උපාධියේ වටිනාකම පිළිබදව අවදානම් පහව යන නිසා මුදල් ගෙවා එහි ඉගෙන ගන්නට එන සිසුන් ප්‍රමාණය තවත් ඉහළ යනු ඇත. එවිට, දැන් මෙන් තමන්ට බඳවා ගත හැකි සියලුම සිසුන් බඳවා නොගෙන සීමිත ශිෂ්‍ය කණ්ඩායමක් බඳවා ගැනීමේ අවස්ථාව සයිටම් ආයතනයට ලැබෙන නමුත් ලාභ ලැබීම අරමුණු කරගත් ආයතනයක් වශයෙන් ඔවුන් විසින් බොහෝ විට කරනු ඇත්තේ පහසුකම් වැඩි කර වැඩි සිසුන් ගණනක් බඳවා ගැනීම මිස අවස්ථා ගණන සීමා කිරීම නොවේ. යම් හෙයකින් සයිටම් ආයතනය විසින් එසේ අවස්ථා ගණන සීමා කළහොත් සිදුවන්නේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති වීමට අඩිතාලම වැටීමයි.
සයිටම් ආයතනයට සිය කර්මාන්තයේ පුරෝගාමියා වීමේ වාසිය තිබේ. දැනට පවතින තත්ත්වය අනුව, දෙවන පෞද්ගලික වෛද්‍ය පීඨයක් වසර කිහිපයක් ඇතුළත පිහිටුවීමට තරම් ඉල්ලුමක් ලංකාවේ නැත. සයිටම් ආයතනය විසින් මූලික ස්ථිර ආයෝජන සිදුකර අවසන් නිසා එම ආයතනයට වැඩි සිසු පිරිසකට පහසුකම් සැලසීම සඳහා වැඩි අමතර වියදමක් දරන්නට සිදු නොවේ. එමෙන්ම, ගුණාත්මක භාවය පිළිබඳ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු නොවුනහොත්, සයිටම් ආයතනයට කාලයත් සමඟ එකතු වන කීර්තියද එම ආයතනයේ වත්කමක් වනු ඇත. පුරෝගාමියාගේ මේ ස්ථාවරත්වය සමඟ තරඟ කිරීම දෙවැන්නෙකුට පහසු නොවන නිසා සයිටම් ආයතනයට තවත් වසර ගණනාවක් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සැපයීමේ ඒකාධිකාරයක් හිමි වන්නට ඉඩ තිබේ.
කෙසේ වුවද, රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට අවස්ථාව හිමිකරගන්නා සිසුවෙකු සයිටම් වෙත අනාගතයේදී හෝ ආකර්ෂණය වනු ඇත්තේ පූර්ණ ශිෂ්‍යත්වයක් හිමි වන්නේනම් පමණි. රජයේ වෛද්‍ය පීඨ හා බැඳුනු නවක වද, පංති වර්ජන ආදී නිශේධනාත්මක කරුණු සියල්ලේම අපේක්ෂිත හානිය එකතු කළත් එය කිසිදු අයුරකින් රුපියල් ලක්ෂ අනූවකට කිට්ටුවෙන්වත් යන්නේ නැත. ඒ නිසා සයිටම් වෛද්‍ය පීඨය වෙත ආකර්ෂණය වනු ඇත්තේ රජයේ වෛද්‍ය පීඨයකට යාමේ අවස්ථාව අහිමි වන සිසුන් පමණි. මේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායම පෝෂණය කිරීමට දැනට පොදු පාසැල් පද්ධතියෙන් පිටත ජාත්‍යන්තර පාසැල් වල අධ්‍යාපනය හදාරන සිසු පිරිස විසින් විශාල දායකත්වයක් ලබා දෙනු ඇත.
ප්‍රාදේශීය නගර වලට ටියුෂන් ව්‍යාප්ත වීම හේතුවෙන් උසස් පෙළ විභාගයේ තරඟකාරීත්වය මේ වන විටද විශාල ලෙස වැඩි වී තිබේ. මෙහි බලපෑම මේ වන විට ලොකුවට දකින්නට නැත්තේ මුලතිවු, නුවරඑළිය හා පොළොන්නරුව වැනි ජනගහණය අඩු දිස්ත්‍රික්ක කිහිපයක පමණි. මේ හේතුවෙන් සරසවි ප්‍රවේශ ක්‍රියාවලිය තුළ දිස්ත්‍රික් කෝටා ක්‍රමයේ බලපෑම මේ වන විටත් සැලකිය යුතු තරමින් අඩු වී තිබේ. දැන් ගාල්ල, මාතර වැනි දිස්ත්‍රික්කයකින් වෛද්‍ය පීඨයට යාම කොළඹ දිස්ත්‍රික්කයෙන් යනවාට වඩා අසීරුය. දුෂ්කර දිස්ත්‍රික්ක ලෙස සැලකෙන රත්නපුර හා හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයකින් වෛද්‍ය පීඨයකට ඇතුළු වීම, 5% කෝටාව තිබියදී පවා, ගම්පහ, කළුතර වැනි දිස්ත්‍රික්කයකින් වෛද්‍ය පීඨයට ඇතුළු වනවාට වඩා අසීරුය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය අහෝසි නොකළද තවත් වසර හත අටක් යන විට සරසවි ප්‍රවේශයේදී එහි බලපෑමක් නැති වී යන්නට ඉඩ තිබේ.
කිසියම් වෙළදපොළ අසමතුලිතතාවයක් ඇති විට එය ස්වභාවික ලෙසම සමතුලිත වන නමුත් ඒ සඳහා වසර ගණනාවක් ගත විය හැකිය. දශක ගණනකට පෙර එක්තරා නිශ්චිත ප්‍රශ්නයකට විසඳුමක් ලෙස, වෙනත් ප්‍රශ්න ගණනාවකටද මුල පුරමින් හඳුන්වා දෙනු ලැබූ දිස්ත්‍රික් කෝටා ක්‍රමය එදා පැවති තත්ත්වයන් විශාල ලෙස වෙනස් වී ඇති අද දක්වාම නොවෙනස්ව පවත්වා ගැනීම මඟින් පැහැදිලිව පෙන්වා දෙන පරිදි රජය හරහා පාලනය කෙරෙන මධ්‍යගත අධ්‍යාපන සේවා සැලසුම් ක්‍රමයකට බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් නැත. එහෙත්, එයට විකල්පයක් ලෙස බිහිවී ඇති පෞද්ගලික ටියුෂන් ක්‍රමය විසින්, එහි කවර අඩුපාඩු තිබිය හැකි වුවත්, ලංකාවේ විවිධ ප්‍රදේශ අතර අධ්‍යාපන සේවා සැපයුමේ ඇති ප්‍රාදේශීය විෂමතා වඩා වේගයෙන් සමනය කරමින් සිටී.
එක් අතකින් දිස්ත්‍රික් කෝටා ක්‍රමයේ බලපෑම ක්ෂය වෙමින් ලංකාවේ සරසවි පිවිසුම් වෙළඳපොළ තනි වෙළඳපොළක් බවට පත් වෙද්දී, අධ්‍යාපන සේවා සැපයුම අතින් පසුගාමී දිස්ත්‍රික්ක වල සිසුන්ගේ උසස්පෙළ ප්‍රතිඵලද කොළඹ මට්ටමට අභිසාරී වීමේ ප්‍රතිඵලයක් ලෙස සරසවි ප්‍රවේශ මූලික සුදුසුකම් සපුරන ප්‍රමාණය වසරින් වසර වේගයෙන් වැඩි වේ. එහෙත්, ඒ වේගයෙන් රජයේ වෛද්‍ය විද්‍යාල වල ඇති පුරප්පාඩු ප්‍රමාණය වැඩි නොවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ වසරින් වසර රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීම තවතවත් අසීරු වීමයි. මේ අයුරින් රජයේ වෛද්‍ය පීඨ වලින් බැහැර වන අයදුම්කරුවන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩිවීමද සයිටම්හි ඉලක්ක පාරිභෝගික සංචිතය පුළුල් කරයි.
කෙසේවුවද, රජයේ වෛද්‍ය පීඨ වලින් බැහැර වන පිරිස් වැඩි වූ පමණින් සයිටම්හි ඉලක්ක පාරිභෝගික සංචිතය විශාල වන්නේ නැත. ඒ සඳහා, ඒ අය අතරින් රුපියල් ලක්ෂ 90ක විශාල පිරිවැය දැරිය හැකි ප්‍රමාණයද ඉහළ යා යුතුය. රටේ ආර්ථික වර්ධනයට සමාන්තරව මෙය සිදුවුවත් එය වේගයෙන් සිදුවන්නක් නොවේ. ඒ නිසා, සයිටම් යනු රටේ සීමිත පිරිසකට පමණක් ඇති අවස්ථාවක්ය යන කරුණ වසර කිහිපයකින් වෙනස් වන්නට නියමිත දෙයක් නොවේ.
සයිටම් ආයතනයේ අරමුණ ලාභ ලැබීම නිසා එම ආයතනය විසින් තමන්ට ආකර්ශනය කරගත හැකි, මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබන්නට කැමති සියලුම සිසුන් ආකර්ශනය කරගන්නට ඉඩ ඇති අතර බාහිර සමාජයෙන් ප්‍රතිරෝධයක් නැත්නම් සිසුන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායක ඉහළ දමන්නට එම ආයතනය ස්වභාවික ලෙස නොපෙළඹෙනු ඇත. අවශ්‍ය අවම සුදුසුකම සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ එකක් ලෙස ඔවුන් ඉහළ නංවා ඇත්තේ බාහිර පීඩනයට ප්‍රතිචාරයක් වශයෙනි. නිදහසේ සිය ව්‍යාපාර කටයුත්ත කරන්නට ඉඩ ලැබේනම් සයිටම් ආයතනය විසින් මේ අවම සුදුසුකම ඇති, ලක්ෂ 90ක මිල ගෙවන්නට කැමති පාරිභෝගික පිරිස මුළුමනින්ම වාගේ ආකර්ශනය කරගනු ඇත.
කෙසේ වුවද, සයිටම් ආයතනය විසින් ලංකාවේ වෛද්‍ය සේවා වෙළදපොල ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මට්ටම දක්වා වෛද්‍යවරුන් බිහි කිරීමේ හැකියාවක් නැත. එයට හේතුව ලංකාවේ පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවට අමතරව මුදල් නොගෙවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ අවස්ථාවද තිබීමයි. නොමිලේ ප්‍රතිකාර ගැනීමේ විකල්පයක් රෝගීන් සතුව ඇති නිසා පෞද්ගලික වෛද්‍ය සේවා සපයන වෛද්‍යවරුන්ට රෝගීන්ගෙන් "නියම මිල" අය කිරීමේ හැකියාවක් නැත. පාඨමාලා ගාස්තු නොගෙවා රජයේ වෛද්‍ය පීඨයක වෛද්‍ය අධ්‍යාපනය ලබා ඇති අයෙකුට මෙය ප්‍රශ්නයක් නොවූවත්, රුපියල් ලක්ෂ 90ක් ආයෝජනය කර වෛද්‍යවරයෙකු වන අයෙකුට මෙය ප්‍රශ්නයකි. ඒ නිසා, ලංකාවට අවශ්‍ය "නියම වෛද්‍යවරුන් ප්‍රමාණය" බිහි වන්නට පෙරම සයිටම් සඳහා ඉල්ලුමක් නැති වනු ඇත.
ඇතැම් අය අදහස් කරන්නේ මුදල් ඇති අය සමාජ තත්ත්වය වෙනුවෙන් වෛද්‍යවරුන් වෙන්නට උත්සාහ දරන බවයි. මේ අදහස සමඟ මා එකඟ වන්නේ නැත. මුදල් සාධකය අමතක කළද, වෛද්‍ය වරයෙකු වීම සඳහා පුහුණු වන අයෙකු විශාල කැපකිරීමක් කළ යුතුය. වෛද්‍ය වෘත්තියට විශාල කැමැත්තක් නැති අයෙකු වසර ගණනක් මෙවැනි කැප කිරීමක් කරන්නට ලොකු ඉඩක් නැත. අනෙක් අතට, ලක්ෂ 90ක් ආයෝජනය කළ හැකි අයෙකු කිසියම් සමාජ තත්ත්වයක් කොහොමටත් ඇති අයෙකි.
ලංකාවේ වෛද්‍ය වෘත්තියේ නියැලෙන ඇතැම් වෛද්‍යවරුන් විශාල ආදායමක් උපයන නමුත් පොදුවේ ගත් කළ බොහෝ වෛද්‍යවරු එවැනි විශාල ආදායම් නොඋපයති. වෛද්‍ය සේවාවන් සඳහා සාමාන්‍ය පාරිභෝගිකයෙකු දැනට ගෙවන ගාස්තු පවතින තත්ත්වයන් යටතේ වෛද්‍යවරයෙකුට අයකළ හැකි ඉහළම ගාස්තුය. මේ අඩු මිල ගණන් යටතේ වෙළඳපොල සමතුලිත වන්නේ පාරිභෝගිකයන්ට විශාල කාලයක් රස්තියාදු වන්නට සිදුවීමත් වෛද්‍යවරයෙකුගේ මිනිත්තුවකට විශාල වටිනාකමක් ලැබීමත් හරහාය.
එහෙත්, රුපියල් ලක්ෂ 90ක් ගෙවා සයිටම් යන්නට හැකි අය ලංකාවේ ඉන්නවාක් මෙන් දැන් වෛද්‍යවරයෙකුට ගෙවන මිල මෙන් දහපහළොස් ගුණයක් වුවත් ගෙවන්නට සූදානම් පාරිභෝගිකයන්ද සැලකිය යුතු පිරිසක් මේ වන විට ලංකාවේ සිටිති. මා දන්නා තරමින් මේ අය ඉලක්ක කරගත් වෛද්‍ය සේවා වෙළඳපොළක් තවමත් බිහි වී නැත.
ඉහළ ආදායම් උපයන ලංකාවේ ඇතැම් අයගේ කාලය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ කාලයට වඩා කිහිප ගුණයක් වටී. ඒ අතරම දැනට විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් අයකරන මුදල මෙවැනි බොහෝ දෙනෙකුට සොච්චමකි. රස්තියාදු නොවී නියමිත වෙලාවට හමුවීමේ අවස්ථාව හිමි වනවානම්, අඩුම වශයෙන් රෝගියා සමඟ විනාඩි 20ක්වත් ගත කරනවානම් සහ රෝගියා පිළිබඳ විස්තර පරිගණකයක ගබඩා කරගෙන ඔහු හෝ ඇය හමුවීමට පෙර හැදෑරීමක් කර පෙර සූදානම් වීමට කැමතිනම්, වෛද්‍යවරයෙකුට රුපියල් 25,000ක් වැනි මුදලක් වුවත් ගෙවන්නට කැමති විශාල පාරිභෝගික පිරිසක් ලංකාවේ සිටින බව මට ස්ථිරවම කිව හැකිය. මේ පාරිභෝගික කණ්ඩායම වසරින් වසර ඉහළ යයි. සයිටම් වෛද්‍යවරුන් නිසා මේ ඉහළ පන්තියේ පාරිභෝගිකයින් වෙනුවෙන් වෙනම වෛද්‍ය සේවා වෙළඳපොළක් ඇති වන්නට ඉඩ තිබේ. එයින් රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට කිසිදු හොඳක් හෝ නරකක් සිදු වන්නේ නැත. ඒ අයුරින්ම සයිටම් වෛද්‍ය පීඨය නිසාද ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතයට ගිණිය හැකි තරමේ හොඳ හෝ නරක බලපෑමක් ඇති වන්නේ නැත.
සයිටම් යනු ලංකාවේ ඇති සියලු ප්‍රශ්න වලට විසඳුමක් නොවේ. ඒ හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට සැලසෙන අමුතු යහපතක් නැත. එහෙත්, සිදුවන අයහපතක්ද නැත. එහෙත්, සීමිත පිරිසකට එයින් යහපතක් සැලසේ. එය වැළැක්වීමේ කිසිදු සාධාරණත්වයක් නැත.
සයිටම් ආයතනය පවත්වාගෙන යාම මඟින් දොස්තර නෙවිල් ප්‍රනාන්දු විසින් විශාල ලාබයක් ලබනවා වන්නට පුළුවන. මීයක් කන්නේ අත ලෙවකන්නට නොවේ. එහෙත්, ඔහු කිසිදු ලාබයක් නොලබා පිරිවැය පමණක් අය කරමින් වෛද්‍ය අධ්‍යාපනය ලබා දුන්නද ලංකාවේ අති මහත් බහුතරයකගේ ජීවිත වලට එයින් සෘජු බලපෑමක් සිදු නොවේ. රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් වුවද ලංකාවේ බොහෝ දෙනෙකුට දැරිය නොහැකි විශාල මුදලකි.
දොස්තර නෙවිල් ප්‍රනාන්දු විසින් ලබනු ඇතැයි සිතිය හැකි විශාල ලාබයට දායක වන්නේ සයිටම්හි අධ්‍යාපනය ලබන සිසුන් හෝ ඔවුන්ගේ දෙමවුපියන්ය. ඒ හැර වෙනත් අයගෙන් අය කර ගන්නා අරමුදල් එහි නැත. මේ මිල ගෙවන සියලු දෙනා එය කරන්නේ ස්ව කැමැත්තෙනි. රුපියල් ලක්ෂ 90 ගෙවීම ඒ අයට ප්‍රශ්නයක් නොවේනම් එහි වෙනත් අයට ප්‍රශ්නයක් තියෙන්නට නුපුළුවන. සයිටම් ආයතනය විසින් ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබේනම් එයද මූලික වශයෙන් මුදල් ගෙවා එහි ඉගෙන ගන්නා අයගේ ප්‍රශ්නයකි.
කෙසේ වුවද, සයිටම් වෛද්‍ය උපාධිධාරීන් විසින් සිය පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කර වෛද්‍ය සේවාවන් සැපයීමේදී ඔවුන්ගේ ගුණාත්මක භාවයේ අඩුවක් පෙනේනම් එය වෙනත් අයගේ ප්‍රශ්නයක්ද වෙයි. එය වලක්වා ගැනීම සඳහා ලංකාව තුළ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය අවම නිර්ණායක වලට යටත් කළ යුතුය. මෙවැනි නිර්ණායක සයිටම් වෛද්‍යවරුන්ට මෙන්ම රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍යවරුන්ටද එක සේ ක්‍රියාත්මක කළ යුතුය. වෛද්‍ය පීඨයක අයිතිය හා පාලනය රජය යටතේ තිබීම එයින් බිහිකරන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය පිළිබඳ සහතිකයක් වන්නේ නැත.
සයිටම් වෛද්‍යවරුන් පෞද්ගලිකව ප්‍රතිකාර කරන්නේනම් එතැනින් එහාට ලොකු ප්‍රශ්නයක් නැත. ගුණාත්මක භාවය ප්‍රමාණවත් නැත්නම් ඔවුන්ව වෙළඳපොලෙන් ප්‍රතික්ෂේප වනු ඇත. එහෙත්, සයිටම් වෛද්‍යවරුන්ව යම් හෙයකින් රාජ්‍ය සේවයට බඳවා ගන්නේනම් අවම නිර්ණායක වලට අමතරව තවත් අවශ්‍යතා නියම කිරීමේ වරදක් නැත. එය සේවකයින් හා සේව්‍යයා අතර සිදුවන ගනුදෙනුවක කොටසකි.
වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය කියා වෙනස් නොවන නිශ්චිත දෙයක් නැත. දැනට වසර පණහකට වඩා පෙර සිටි හොඳම වෛද්‍යවරයෙකුට වඩා දැන් වෛද්‍ය සේවා සපයන සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය ඉහළ මට්ටමක තිබෙන්නට පුළුවන. තවත් වසර පණහකට පසුව බිහිවන සාමාන්‍ය වෛද්‍යවරයෙකු ප්‍රමිතිය අතින් අද සිටින හොඳම වෛද්‍යවරයෙකුට වඩා ඉදිරියෙන් සිටින්නට පුළුවන. ගුණාත්මක භාවය යනු සාපේක්ෂ දෙයකි.
කිසියම් වෛද්‍යවරයෙකු වෙළඳපොල තුළ ප්‍රතික්ෂේප නොවේනම් එවැන්නෙකුගේ ප්‍රමිතියේ ප්‍රශ්නයක් තිබෙන්නට විශාල ඉඩක් නැත. රෝගීන් කැමැත්තෙන් මුදල් ගෙවා ප්‍රතිකාර ගන්නේනම් එයින් පෙනෙන්නේ ඔවුන් වෛද්‍යවරයාගේ ප්‍රමිතිය ගැන සෑහීමකට පත් වන බවයි. කෙසේ වුවද ලංකාව වැනි රටක "හොර වෙද්දුන්ටත්" ඉල්ලුමක් තිබේ. ඒ අනුව, රෝගීන් කැමති වුවත් වෛද්‍යවරයාගේ ප්‍රමිතිය ප්‍රමාණවත් නැති බව පොදු සමාජය සිතනවානම් එය වෛද්‍යවරයාගේ ප්‍රශ්නයක් නොව පොදු සමාජයේ ප්‍රශ්නයකි. මේ අර්ථයෙන්, අදාළ වෛද්‍යවරයාගේ ප්‍රමිතිය ඉහළ නැංවීමේ බරපැන දැරිය යුත්තේ පොදු සමාජයයි.
සයිටම් වෙද සිසුවෙකු තමන්ට රජයේ රෝහලක සීමාවාසික පුහුණුව ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවානම් (හා එහි පිරිවැයක් ඇත්නම්) ඒ පිරිවැය දැරිය යුත්තේ ඔහු හෝ ඇය විසිනි. එහෙත්, මෙය පොදු සමාජයේ ඉල්ලීමක්නම්, උදාහරණයක් ලෙස කිසියම් තෙවන පාර්ශ්වයක ඉල්ලීමක් මත රජය විසින් නියම කරන්නක්නම්, එහි පිරිවැය දැරිය යුත්තේ රජය විසිනි.
සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් කළොත් සිදුවන යහපත හෝ අයහපත කුමක්ද?
-දැනට එහි ඉගෙනුම ලබන සිසුන් බහුතරයකට එම අවස්ථාව නැති වනු ඇත. ඔවුන්ගෙන් කොටසක් වැඩි මුදලක් ගෙවා විදෙස් වෛද්‍ය පීඨයකට යනු ඇත.
-දැනට දන්ත වෛද්‍ය පීඨයට හා පශු වෛද්‍ය පීඨයට යන සිසුන් කොටසකට වෛද්‍ය පීඨයට යාමේ වරම් හිමි වනු ඇත. ඊට පහළින් සිටින සිසුන්ට දන්ත වෛද්‍ය හා පශු වෛද්‍ය පීඨයට යාමට ලැබෙනු ඇත.
-අමතර වෛද්‍ය සිසුන් පිරිසකට පාඨමාලා ගාස්තු රහිතව අධ්‍යාපනය ලබා දීම සඳහා මහජන මුදල් වැය කරන්නට සිදු වනු ඇත. මේ මුදල එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 60ක් පමණ දක්වා මුදලක් විය හැකිය.
-සාමාන්‍ය මහජනතාවට උසස්පෙළ අඩු ලකුණු ලැබූ වෛද්‍යවරයෙකු වෙනුවට වැඩි ලකුණු ලැබූ වෛද්‍යවරයෙකු ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස උසස්පෙළ C සාමාර්ථ තුනක් ලබාගත් අයෙකු වෙනුවට B සාමාර්ථ තුනක් ලබාගත් වෛද්‍යවරයෙකු ලැබෙනු ඇත. (සයිටම් සිසුවකුගේ සාමාන්‍ය උසස්පෙළ ප්‍රතිඵලය C සාමාර්ථ තුනකට වඩා ඉහළ මට්ටමේ එකක් විය හැකිය.)
-ඊට අමතරව, උසස් පෙළ ප්‍රතිඵල පදනම මත සැලකුවහොත් දැනට වඩා "නරක" දන්ත වෛද්‍යවරුන් හා පශු වෛද්‍යවරුන් බිහිවනු ඇත.
-උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වෛද්‍යවරයෙකුගේ නිපුණත්වය පිළිබඳ ඉතා දුර්වල නිර්ණායකයක් වුවත්, C සාමාර්ථ තුනක් ලබාගත් අයෙකුට සාපේක්ෂව B සාමාර්ථ තුනක් ලබාගත් අයෙකු දක්ෂ වෛද්‍යවරයෙකු වීමට වැඩි ඉඩක් තිබේ. එහෙත් ආනුභවික දත්ත අනුව ඒ ඉඩකඩ ඉතා විශාල නැත. රජයේ වෛද්‍ය පීඨ වල ඉගෙනුම ලබන සිසුන්ගේ උසස්පෙළ ලකුණු අතර වෙනස්කම් වලින් පැහැදිලි කරන්නේ ඔවුන්ගේ වෛද්‍ය පීඨ විභාග ප්‍රතිඵල අතර ඇති වෙනස්කම් වලින් 5%ක පමණ ප්‍රමාණයක් පමණි.
මේ වෙනස වෙනුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ 60ක් පමණ වැය කළ යුතුද?
Labels:
අධ්‍යාපනය,
ආර්ථික විද්‍යාව,
දේශපාලනය,
ධනවාදය,
වෛද්‍ය වෘත්තිය,
සෞඛ්‍යය
Saturday, July 8, 2017
බැටරි කේජ් කුකුළන් හා සයිටම්
මේ හදන්නේ පොල් මැල්ලුම් ශානරයේ කතාවක් ලියන්නට නොවේ. එහෙත්, බැලූ බැල්මටම සමානත්වයක් නොපෙනෙන ඇතැම් දේවල් අතර සැලකිය යුතු සමානකම් තිබේ.
සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ධජය යටතේ වෛද්‍යවරුන් පෙළ ගැසී සිටින අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ධජය යටතේ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ බැටරි කේජ් ක්‍රමයට එරෙහිව වීදි බැස සිටිති.
සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන්ගේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයකි. මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් විසින් බැටරි කේජ් ක්‍රමය පටන් ගත් විට ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ ගොස් වඩා අඩු මිලකට, තත්ත්වයෙන් ඉහළ බිත්තර නිෂ්පාදනය කිරීමේ හැකියාව ඔවුන්ට ලැබේ. එසේ වූ විට සම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරන සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන්ගේ ලාබ අඩු වී ඔවුන්ට කර්මාන්තය පවත්වා ගැනීම අසීරු වන්නට ඉඩ තිබේ. ඒ නිසා, ඔවුන්ගේ බිය හා ඒ හා බැඳුනු විරෝධය පදනම් විරහිත එකක් නොවේ.
කෙසේ වුවද, බැටරි කේජ් ක්‍රමය හරහා තත්ත්වයෙන් ඉහළ බිත්තර අඩු මිලකට මිල දී ගන්නට ලැබීම පාරිභෝගිකයින්ට ලැබෙන වාසියකි.
ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය විශාල නිෂ්පාදකයින් පිරිසක් හා අති විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටින කර්මාන්තයකි. රටේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම මොහොතක බිත්තර පාරිභෝගිකයෙක් වීමට හෝ නොවීමට බාධාවක් නැත. (සෞඛ්‍යමය හේතු නිසා ඔබේ සහකරු හෝ සහකාරිය විසින් ඔබේ පිඟානට එන බිත්තර ගණන සීමා කිරීම වැනි දේ අපි අමතක කරමු.) බිත්තරයක ගුණාත්මක භාවය හඳුනාගැනීම සාමාන්‍ය පාරිභෝගිකයෙකුට කරන්නට අසීරු කටයුත්තක්ද නොවේ. සෑම කිකිළි බිත්තරයක්ම සමාන නොවූවත් බිත්තර අතර වෙනස්කම් එතරම් විශාලද නැත.
අළුත් නිෂ්පාදකයෙකු ලෙස කුකුළු ගොවිපොළ කර්මාන්තයට එකතු වීම එතරම්ම අපහසු කරුණක් නොවේ. ඒ සඳහා අවශ්‍ය වන මූලික ප්‍රාග්ධනය මෙන්ම නිෂ්පාදනය ආරම්භ කිරීමට ගතවන කාලයද එතරම් විශාල නැත. දන්නා තරමින් මේ කර්මාන්තය රජයේ නියාමනයට යටත් නොවේ. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කාටලයක් ලෙස ක්‍රියා කරමින් අළුත් නිෂ්පාදකයින් කර්මාන්තයට එකතු වීම වලක්වන්නට උත්සාහ කරන්නේද නැත. එමෙන්ම, කර්මාන්තයේ නිරත වන අයෙකුට එයින් ඉවත් වීමද ඉතා පහසු කටයුත්තකි.
ඉහත ලක්ෂණ නිසා ලංකාවේ කුකුළු ගොවිපොළ කර්මාන්තය තරඟකාරී කර්මාන්තයකි. එහි සුපිරි ලාබ නැත. ඇත්තේ තමන්ගේ ශ්‍රමයට හා ගන්නා අවදානමට ලැබෙන සාමාන්‍ය ලාබ පමණි. ඒ නිසා, කර්මාන්තය තුළ දිගටම රැඳී සිටිය හැක්කේ වඩා කාර්යක්ෂම පුද්ගලයන්ට පමණි. කිසියම් නිෂ්පාදකයෙකුට තමන්ගේ ලාබ වැඩි කරගත හැකි එකම ක්‍රමය අනෙක් ගොවියන්ට වඩා කාර්යක්ෂම වීමයි. බැටරි කේජ් ක්‍රමයට මාරු වීමට ඇතැම් ගොවීන් උත්සාහ දැරීම තුළ පෙනෙන්නේද මෙසේ සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩි කරගැනීමට ඇතැම් කුකුළු ගොවීන් විසින් දරන උත්සාහයයි.
තරඟකාරී කර්මාන්තයක යෙදී සිටින නිෂ්පාදකයින්ට සිය ලාබ වැඩි කරගැනීමට ඇති එකම මාර්ගය කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමයි. ඒ නිසා එවැනි කර්මාන්තයක් හැම විටම කාර්යක්ෂමතාවය සොයා යයි. මෙය ස්වභාවිකවම සිදුවන්නකි. එය සැලසුම්කරන්නට දේශපාලනඥයින් හෝ නිලධාරීන් අවශ්‍ය නැත. කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩිවීම වැඩි වශයෙන්ම පාරිභෝගිකයින්ටත්, එසේ කාර්යක්ෂමතාවය වැඩිකරගත් නිෂ්පාදකයින්ටත්, පොදුවේ රටටත් වාසිදායක වුවත්, කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමට අසමත් වුනු නිෂ්පාදකයින්ට අවාසිදායකය.
රටේ එක් කණ්ඩායමකට (පාරිභෝගිකයන්ට) වාසියක් වෙද්දී තවත් කණ්ඩායමකට (කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමට අසමත් වුනු නිෂ්පාදකයන්ට) අවාසියක් සිදුවීම විමසිය යුතු, ආර්ථික විද්‍යාඥයෙකුගේ විෂය පථයට අයත් කාර්යයකි. මෙවැනි තත්වයක් ආර්ථික විද්‍යාඥයෙකු විසින් විග්‍රහ කරන සාමාන්‍ය ක්‍රමය වන්නේ සමානාත්මතාවය මත පදනම්ව, පාරිභෝගිකයින් මෙන්ම නිෂ්පාදකයින්ද සුවිශේෂී පුද්ගලයින් නොවන සාමාන්‍ය පුද්ගලයින් ලෙස සලකමින් කරුණු විමසීමයි. තරඟකාරී වෙළදපොලක් ඇති විට ඕනෑම පුද්ගලයෙකුට නිෂ්පාදකයෙක් හෝ පාරිභෝගිකයෙක් වීමට හෝ නොවීමට කිසිදු බාධාවක් නැති නිසා මේ කණ්ඩායම් දෙකේ ඉන්නා පුද්ගලයෝ එකිනෙකාගෙන් වෙනස් පුද්ගලයෝ නොවෙති.
බලපෑමකින් තොරව නිදහස් ගනුදෙනුවක යෙදෙන පාරිභෝගිකයෙකුට හැම විටම ලාබයක් හිමි වේ. මෙය ඔහුගේ හෝ ඇයගේ පාරිභෝගික අතිරික්තයයි. මේ පාරිභෝගික අතිරික්තය යනු අදාළ පාරිභෝගිකයාට සාපේක්ෂව කිසියම් භාණ්ඩයක වටිනාකම හා එහි වෙළදපොල මිල අතර වෙනසයි. තමන්ට සාපේක්ෂ වටිනාකම වෙළඳපොල මිලට වඩා අඩුනම් නිදහස් වෙළඳපොලක ගනුදෙනුවක් සිදුවන්නේ නැත. වෙළඳපොළ මිල සියල්ලන්ටම පොදු වුවත් පාරිභෝගික අතිරික්තය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
මේ අයුරින්ම බලපෑමකින් තොරව නිදහස් ගනුදෙනුවක යෙදෙන නිෂ්පාදකයෙකුටද හැම විටම ලාබයක් හිමි වේ. මෙය අදාළ නිෂ්පාදකයාගේ පිරිවැය හා එහි වෙළදපොල මිල අතර වෙනසයි. නිෂ්පාදකයෙකුගේ පිරිවැය වෙළඳපොල මිලට වඩා වැඩිනම් නිදහස් වෙළඳපොලක ගනුදෙනුවක් සිදුවන්නේ නැත. වෙළඳපොළ මිල සියල්ලන්ටම පොදු වුවත් නිෂ්පාදකයින් සියල්ලන්ගේම පිරිවැය සමාන නැත. වඩා කාර්යක්ෂම නිෂ්පාදකයෙකුට පිරිවැය අඩු කරගැනීම මඟින් වැඩි ලාබයක් ලබන්නට පුළුවන. ඒ නිසා නිෂ්පාදකයෙකු ලබන ලාබය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
නිදහස් වෙළදපොලක් හැම විටම වඩා කාර්යක්ෂම නිෂ්පාදකයින්ට වැඩි වාසි සලසන අතරම භාණ්ඩයක් හෝ සේවාවක් වැඩියෙන්ම අගය කරන අයට ඒවා හිමි කර දෙයි. ඒ හැරුණු විට නිදහස් වෙළදපොලක් (සාමාන්‍යයෙන්) පාරිභෝගිකයෙකුගේ හෝ නිෂ්පාදකයෙකුගේ ජාතිය, ආගම, වයස, ලිංගිකත්වය හෝ දේශපාලන නැඹුරුව නොතකයි.
බැටරි කේජ් භාවිතයට පැමිණීමෙන් ඒවා භාවිතා නොකරන සුළු පරිමාණ නිෂ්පාදකයින්ට වෙළඳපොලෙන් ඉවත් වන්නට සිදුවිය හැකිය. මෙවැනි කරුණක් ආර්ථික විද්‍යාඥයෙකු විසින් විමසන්නේ ඒ හේතුවෙන් සමාජ අතිරික්තය වෙනස් වන ආකාරය දෙස බලමිනි. සමාජ අතිරික්තය යනු රටක (කිසියම් කර්මාන්තයක් තුළ) සියලුම පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තයන්ගේත්, සියලුම නිෂ්පාදකයින් විසින් ලබන ලාභයන්ගේත් එකතුවයි. මෙය වැඩි කරන ඕනෑම ක්‍රියාමාර්ගයක් හොඳ සමාජ සැකැස්මක් ලෙස සැලකෙන අතර වාසි හිමිවන්නේ කවර පුද්ගලයින්ටද යන්න සාමාන්‍යයෙන් සැලකිල්ලට නොගැනේ.
ස්වභාවික හෝ කෘතීම බාධා නැති නිදහස් වෙළඳපොලක සමාජ අතිරික්තය කිසියම් වෙළඳපොලකින් ලබාගත හැකි උපරිම සමාජ අතිරික්තයයි. වෙළඳපොල වෙත මැදිහත් වන සෑම විටකම මේ සමාජ අතිරික්තය කිසියම් ප්‍රමානයකින් පහළ යයි. බදු, සහනාධාර, මිල පාලන, නිෂ්පාදන සීමා ආදී සියල්ලෙන්ම සිදුවන්නේ සමාජ අතිරික්තය පහළ යාමයි. එසේනම්, රජයයන් එවැනි මැදිහත්වීම් කරා යොමුවන්නේ ඇයි?
කිසියම් අවස්ථාවක රටක නිෂ්පාදකයින් හා පාරිභෝගිකයන් සියලු දෙනාම සමාන නොවන බව ඒ රටේ ජනතාව විසින් තීරණය කරන්නට ඉඩ තිබේ. ඒ අනුව, සෝමපාලට රුපියල් සීයක පාඩුවක් වූවත් සිරියලතාට අඩු වශයෙන් රුපියල් පණහක වාසියක් සිදු වේනම් එය සමාජයට සමස්තයක් ලෙස සිදුවන යහපතක් බව වැඩි දෙනෙකු විසින් සිතන අවස්ථා තිබෙන්නට පුළුවන. මේ ආකාරයේ සම්පත් බෙදීමකට නිදහස් වෙළඳපොලක ඉඩ නැති නිසා කිසියම් මැදිහත් වීමක් අවශ්‍ය වේ. සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ රුපියල් පණහක වාසිය වෙනුවෙන් වෙනත් අයගේ රුපියල් සීයක වාසි නැති වීම ප්‍රශ්නයක් නොවේයැයි සමස්ත සමාජයම සිතනවානම්, එය රජයට නිදහස් වෙළඳපොල යාන්ත්‍රණය වෙත මැදිහත් වීමට හේතුවක් සපයයි.
සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ ඉල්ලීම තමන්ට රුපියල් පණහක වාසියක් ලබා ගැනීම සඳහා වෙනත් අයට රුපියල් සීයක පාඩුවක් කරමින් මැදිහත්වීමක් කරන මෙන් රජයෙන් කරන ඉල්ලීමකි. එවැනි මැදිහත්වීමක් ඉතා පැහැදිලිවම අකාර්යක්ෂම ඉල්ලීමකි. එහෙත්, ඇතැම් විට ඒ ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් විය හැකිය. සාධාරණත්වය යනු කාර්යක්ෂමතාවය මෙන් නිශ්චිත අදහසක් නොව සාපේක්ෂ දේශපාලනික අදහසකි.
පෞද්ගලික වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ බිත්තර සැපයීමේ වෙළඳපොළට හැම අතින්ම සමාන නැත. මේ වෙළඳපොළවල් දෙක අතර මූලික වෙනස්කම් ගණනාවක්ම තිබේ. එහෙත්, ඇතැම් මූලික කරුණු වලින් මේ වෙළඳපොළවල් දෙක සමාන වන තැන්ද තිබේ.
බිත්තර වෙළඳපොළේ මෙන්ම වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළේද විශාල පාරිභෝගික පිරිසක් සිටිති. ඒ නිසා, එක් තනි පාරිභෝගිකයෙකුට වෙළඳපොළට බලපෑමක් කළ නොහැකිය. තමන්ට බිත්තර අවශ්‍ය වන මොහොත හා අවශ්‍ය බිත්තර ප්‍රමාණය ගැන අදහසක් පාරිභෝගිකයෙකුට තිබේ. එහෙත්, තමන්ට වෛද්‍ය සේවා අවශ්‍ය වන මොහොත හා ප්‍රමාණය ගැන පාරිභෝගිකයෙකුට විශාල අවිනිශ්චිතාවක් තිබේ. ඒ නිසා, වෛද්‍ය සේවා මිල දී ගන්නා පාරිභෝගිකයින්ට බිත්තර මිල දී ගන්නා පාරිභෝගිකයින්ට තරම්වත් හෙට්ටු කිරීමේ හැකියාවක් නැත.
බිත්තරයක ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම අපහසු දෙයක් නොවේ. එහෙත්, වෛද්‍ය සේවාවක ගුණාත්මක භාවය පිරීක්සීම සාමාන්‍ය පාරිභෝගිකයෙකුට පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. මෙය තරඟකාරී තත්ත්වයන් යටතේ වුවත්, වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළේ නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් අතර සැලකිය යුතු පරතරයක් ඇති කරයි.
වෛද්‍ය සේවා සපයන නිෂ්පාදකයෙකු වීම බිත්තර නිෂ්පාදකයෙකු වන තරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා, අඩු වශයෙන් අවුරුදු හයක් පමණවත් ගත වේ. සෛද්ධාන්තිකව "ඕනෑම අයෙකුට" වෛද්‍ය සේවා නිෂ්පාදකයෙකු හෙවත් වෛද්‍ය වරයෙකු වන්නට පුළුවන. නමුත්, ප්‍රායෝගිකව මෙය සියල්ලන්ටම කළ නොහැකි දෙයකි.
සාපේක්ෂව අදක්ෂ හෝ කැපවීම අඩු වෛද්‍ය සිසුවෙකුට සිය උපාධිය ලබා වෛද්‍ය උපාධිය ලබා ගැනීමට වසර හයකට වඩා වැඩි කාලයක්, ඇතැම් විට වසර හත අටක්, ගත වන්නට ඉඩ තිබේ. එවැනි කාලයක් ගත කිරීමෙන් පසුවද සිය ඉලක්කය වෙත යාගන්නට නොහැකි වන අය සිටිති. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නොවෙනස්ව තිබියදී, වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා පුළුල් වන තරමට වෛද්‍ය උපාධියක් වසර හයකින් සම්පූර්ණ කිරීමට අසමත් සිසුන් මෙන්ම එය කිසිදා අවසන් කළ නොහැකි අයද වෛද්‍ය අධ්‍යාපනය වෙත පිවිසීමට ඇති ඉඩකඩ ඉහළ යයි.
අවශ්‍ය පුහුණුව ලබා වෛද්‍යවරයෙකු වීම අසීරු කටයුත්තකි. වෙනස්කම් තිබුණත්, මෙය සෑම රටකටම පොදු තත්ත්වයකි. බිත්තර නිෂ්පාදකයෙකු වන තරම් පහසුවෙන් වෛද්‍යවරයෙකු වීමට ඉඩ සලසන ලාභ සඳහා වන හෝ නොවන, රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ කොහේවත් නැත. මේ නිසා, බොහෝ විට වෛද්‍යවරයෙකු වීම සඳහා යොමු වන්නේ වෛද්‍ය උපාධියක් සම්පූර්ණ කිරීමේ හැකියාවක් ඇති අයයි. මේ අය සමාජයේ සිටින අහඹු පිරිසක් නොවේ.
වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොමුවන බොහෝ දෙනෙකු වෙනත් දක්ෂතාද ඇති අයයි. මෙවැන්නෙකුට ඒ අවස්ථාව අහිමි වුවහොත් බිත්තර නිෂ්පාදකයෙකු වෙන්නට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. යම් හෙයකින් බිත්තර නිෂ්පාදකයෙකු වුවද එවැන්නකු බොහෝ විට ඒ කාර්යය දක්ෂ ලෙස කරමින් සැලකිය යුතු මුදලක් උපයන්නට ඉඩ තිබේ. වෛද්‍ය සිසුවකු වෛද්‍ය අධ්‍යාපනය කරා යොමු වන්නේ මෙසේ වෙනත් කටයුත්තක නිරත වී මුදල් උපයන්නට ඇති අවස්ථාව ඉවත හෙළමිනි.
රජයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන සිසුවෙකු "නොමිලේ" අධ්‍යාපනය ලබන්නේ නැත. එවැන්නෙකු විසින් වෛද්‍ය පීඨයට ටියුෂන් ගාස්තු ගෙවිය යුතු නොවූවත්, පොත්පත්, ඇඳුම් පැළඳුම්, නේවාසික ගාස්තු හා ප්‍රවාහන ගාස්තු ආදිය වෙනුවෙන් තවත් සැලකිය යුතු මුදලක් වැය කළ යුතුය. ඊට අමතරව වෙනත් රැකියාවක් කරමින් ඉපැයිය හැකි මුදලද ඔවුහු අමතක කර දමති. මේ සියල්ල එකතු කළ විට රජයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන්නෙකුද අවසානයේදී වෛද්‍යවරයෙකු වන්නේ විශාල වියදමක් දරමිනි.
කිසියම් අයෙකු වෛද්‍යවරයෙකු වීම සඳහා විශාල පිරිවැයක් දරන්නේ අවසාන වශයෙන් ලැබෙන ප්‍රතිලාභ වලින් ඒ පිරිවැය පහසුවෙන් ආවරණය වන නිසාය.
වෛද්‍යවරයෙකු වීම සඳහා දැරිය යුතු ආවස්ථික පිරිවැය සැලකූ විට රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස ලැබෙන ප්‍රතිලාභ එතරම්ම විශාල නැත. එවැනි, ප්‍රතිලාභ ලැබිය හැකි විකල්ප වෘත්තීන් ගණනාවක් තිබේ. වෛද්‍යවරයෙකු වීම ආකර්ශනීය වන්නේ පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල නිසාය.
ලංකාවේ පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල සැලකිය යුතු තරම් තරඟකාරී එකකි. එහි නිරතවන සියලුම වෛද්‍යවරුන්ට එකම මට්ටමින් ලාබ ලැබෙන්නේ නැත. වඩා කාර්යක්ෂම ලෙස සේවා සපයන වෛද්‍යවරුන්ට වැඩි ඉල්ලුමක් හා ඒ හේතුවෙන් වැඩි ලාබ හිමිවේ. මේ වෙළඳපොළේදී වෛද්‍යවරයෙකුගේ කාර්යක්ෂමතාවය තීරණය වන්නේ ඔහු හෝ ඇයගේ උසස්පෙළ ප්‍රතිඵල හෝ වෛද්‍ය උපාධියේ පන්ති සාමාර්ථය අනුව නොවේ. එය පාරිභෝගිකයින් හෙවත් රෝගීන් විසින් තීරණය කරන්නකි. කාර්යක්ෂම ලෙස රෝග විනිශ්චය කළ හැකි හා ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරුන් හඳුනාගැනීමේ හැකියාවක් පාරිභෝගිකයන්ට තිබේ. මේ හැකියාව සර්ව සම්පූර්ණ එකක් නොවීම වෙනම කරුණකි.
පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල තුළ තමන්ට අනාගතයේ හිමි වන ස්ථානය වෛද්‍ය සිසුවෙකුට පෙර නිගමනය කළ නොහැකි දෙයකි. කෙසේ වුවද, අකාර්යක්ෂම වෛද්‍යවරයෙකු වුවත්, අකාර්යක්ෂම බිත්තර නිෂ්පාදකයෙකු මෙන් ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොලෙන් එළියට විසිවන්නේ නැත. එවැන්නන්ටද යම් පාරිභෝගික ඉල්ලුමක් තිබේ. එයට හේතුව ලංකාවේ වෛද්‍ය සේවා නිෂ්පාදකයින් ප්‍රමාණය කෘතීම ලෙස සීමා කර තිබීමයි. ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් නොවේ. ඒ නිසා, කාර්යක්ෂම වෛද්‍යවරුන් වැඩි ලාභ ලබද්දී අකාර්යක්ෂම වෛද්‍යවරයෙකුට වුවද එහි කිසියම් ලාබයක් ලබන්නට ඉඩක් තිබේ.
සයිටම් ආයතනයෙන් උපාධිය අපේක්ෂා කරන වෛද්‍ය ශිෂ්‍යයෙකු රජයේ වෛද්‍ය විද්‍යාලයක සිසුන් වැය කරන සමස්ත පිරිවැය එලෙසම දැරිය යුතු අතර එයට අමතරව ටියුෂන් ගාස්තුද ගෙවිය යුතුය. මේ අමතර මුදල රුපියල් ලක්ෂ 90ක් ලෙස සඳහන්ව තිබේ. (රුපියල් ලක්ෂ 120 වැනි වෙනත් ගණන්ද සඳහන්ව ඇති අතර ගණන වෙනස් වීම කියන කරුණට බාධාවක් නොවේ.)
රුපියල් ලක්ෂ 90ක් (හෝ රුපියල් ලක්ෂ 120ක්) යනු විශාල මුදලකි. මෙවැනි විශාල මුදලක් ආයෝජනය කර මුදල් ඉපැයිය හැකි විකල්ප අවස්ථා රැසක්ම තිබේ. එසේ තිබියදී, කිසියම් අයෙකු සයිටම් වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වී අවදානමක් ගන්නේ පළමුව තමන්ට වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් සැපිරිය හැකි බවට ආත්ම විශ්වාසයක් ඇති බැවිනි. දෙවනුව, පෞද්ගලික වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ තුළ සාර්ථක විය හැකි බවට ආත්ම විශ්වාසයක් ඇති බැවිනි. තෙවනුව, එසේ ලැබේයයි සිතන අනාගත වාසි මේ ආයෝජනයට වඩා විශාලයැයි සිතන බැවිනි.
සයිටම් වැනි අලුත්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලබාගන්නා අයෙකු රැකියා වෙළඳපොළේ මුහුණ දෙන අභියෝගය රජයේ වෛද්‍ය පීඨයකින් මුහුණ දෙන අයෙකු මුහුණ දෙන අභියෝගයට වඩා වැඩිය. එවැනි අයෙකුට රුපියල් ලක්ෂ 90ක හෝ 120ක ආයෝජනයක් යාන්තමින් පියවා ගත හැකිනම්, එයින් අදහස් වන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලයකින් පිටවන වෛද්‍යවරයෙකුට *අඩුම වශයෙන්* එපමණක සුපිරි ලාභ ඇති බවයි. සුපිරි ලාභ කියන්නේ යමෙකු සිදුකරන ආයෝජනයට, ගන්නා අවදානමට හා වැය කරන ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභ වලට අමතරව, වෙළඳපොළ විකෘතියක් නිසා ලැබෙන දෙයකි. සයිටම් සිසුන්ටද කිසියම් සුපිරි ලාබයක් ලැබෙන්නට ඉඩ ඇති නිසා මේ මුදල මීට වඩා වැඩි විය යුතුය.
ඇතැම් අය කියනවාක් මෙන් සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන "මුදලාලිලාටද" සුපිරි ලාභ තිබෙනවා වන්නට පුළුවන. එසේනම්, ඒ සඳහා ඉඩ සලසා ඇත්තේද පවතින වෙළඳපොළ විකෘතිය විසිනි.
සයිටම් හා තවත් එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වෙනවානම් වෛද්‍ය සැපයුම ඉහළ ගොස් වෛද්‍ය සේවා වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වනු ඇත. රාජ්‍ය සරසවි වල වෛද්‍ය පීඨ වලට ඇතුළු කර ගන්නා ප්‍රමාණය අවශ්‍ය තරමට වැඩි වුවද එවැන්නක් සිදුවිය හැකිය. එවිට වෛද්‍යවරුන්ගේ සුපිරි ලාභ නැතිව යන අතර ආන්තික වෛද්‍යවරයෙකුට හිමි වන්නේ ඔවුන් සිදුකරන ආයෝජනය හා ගන්නා අවදානම වෙනුවෙන් ලැබිය යුතු නිසි ලාබය පමණි. මේ ආන්තික වෛද්‍යවරයා වන්නේ සයිටම් වලින් බිහිවෙන වෛද්‍යවරයෙකි. එසේ නැත්නම් ඊට වඩා මිලක් ගෙවා වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් බිහිවන වෛද්‍ය වරයෙකි. අඩු පිරිවැයක් දරා රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන අයෙකු ආන්තික වෛද්‍ය සේවා නිෂ්පාදකයෙකු වන්නේ නැත.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ මුදල් අයකරන රජයේ වෛද්‍ය විද්‍යාල තිබීම හේතුවෙන් දිගුකාලීනව ලෝකයේ කිසිදු රටක වෛද්‍යවරුන් ඕනෑවට වඩා වැඩි වී නැත. යම් හෙයකින් එසේ වුවහොත්, මුලින්ම සිදුවන්නේ සයිටම් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති ඉල්ලුම අඩු වීමයි. රුපියල් ලක්ෂ 90 (හෝ 120) පහසුවෙන් පියවාගත හැකි වාතාවරණයක් නැත්නම් කිසිවකු සයිටම් යන්නට උනන්දු වන්නේ නැත. එවැනි විටෙක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන "මුදලාලිලාට" තමන්ගේ ආයෝජනය හා අවදානම යාන්තමින් ආවරණය වන මට්ටමට ටියුෂන් ගාස්තු පහළ හෙළන්නට සිදුවේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් කෙතරම් වෛද්‍යවරුන් බිහිවුණත්, රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවෙන වෛද්‍යවරයෙකුට තමන්ගේ ආයෝජනය හා අවදානම වෙනුවෙන් ලැබෙන මුදලට අමතරව තවත් ලක්ෂ 90ක (හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් අයකරන අවම ගාස්තුවට සමාන) සුපිරි ලාභද ඉතිරි වේ.
රටේ වෛද්‍යවරුන් සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වැඩි වූ විට එහි වාසිය ලබන ප්‍රධානම පාර්ශ්වකරුවන් වන්නේ පාරිභෝගිකයින් වන රෝගීන්ය. ඔවුන්ට අඩු මිලකට ගුණාත්මක භාවයෙන් වැඩි සේවාවක් හිමිවේ.
සයිටම් වෛද්‍යවරුන් නිසා රජයේ වෛද්‍ය පීඨයක වෛද්‍යවරයෙකුට රස්සාව නැති වෙන්නට ඉඩක් ඇති එකම ආකාරය රජයේ වෛද්‍ය පීඨ වලින් ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සයිටම් වලට වඩා විශාල ලෙස පහත වැටීම පමණි. එසේ වූ විට වඩා හොඳ හා වැඩි මිල වෛද්‍ය අධ්‍යාපනය සයිටම් වලින් හා අඩු ගුණාත්මක භාවයක් ඇති, අඩු මිල වෛද්‍ය අධ්‍යාපනය රජයේ වෛද්‍ය විද්‍යාල වලින් ලෙස සමතුලිතතාවයක් ඇති විය හැකිය. රජයේ වෛද්‍ය විද්‍යාල වල ගුණාත්මකභාවය විශාල ලෙස අඩුනම් පමණක් තරඟය වැඩි වීම රජයේ වෛද්‍ය පීඨයකින් පිටවන වෛද්‍යවරයෙකුට ප්‍රශ්නයක් විය හැකිය.
මෙහි විලෝමය සිදු වන්නට කිසිදු ඉඩක් නැත. සයිටම්හි ගුණාත්මක භාවය රජයේ වෛද්‍ය පීඨ වලට වඩා අඩුනම්, සමානනම් පමණක් නොව යාන්තමින් වැඩි වුවද තරඟකාරිත්වය වැඩි වන විට මුලින් වෙළඳපොලෙන් ඉවත් වන්නේ සයිටම් වෛද්‍යවරුන් මිස රජයේ වෛද්‍යවරුන් නොවේ.
ඉතා පැහැදිලි ලෙසම සයිටම් නිසා සමාජ අතිරික්තය ඉහළ යයි. සයිටම් වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය තරමක් අඩු වුවද, මෙහි වෙනසක් නැත. පිරිසුදු බිත්තර කුකුළු බෙටි ගෑවුණු බිත්තර වලට වඩා හොඳ වුවත්, බඩේ අමාරු හැදෙන තරමට නරක නැත්නම් බිත්තර කොහෙත්ම නැතුවාට වඩා කුකුළු බෙටි ගෑවුණු බිත්තර හෝ තිබීම හොඳය. නියාමනය අවශ්‍ය වන්නේ බඩේ අමාරු හැදෙන තරමටම නරක බිත්තර වෙළඳපොළට පැමිණීම වැළැක්වීමට පමණි.
සයිටම් ආයතනය රජයට පවරා ගන්නා ලෙස වෛද්‍ය සංගමය කරන ඉල්ලීමද තමන්ගේ රුපියල් පණහේ වාසිය වෙනුවෙන් වෙනත් අයෙකුට රුපියල් සීයක අවාසියක් සිදු කරන මෙන් කරන ඉල්ලීමකි. මෙය අකාර්යක්ෂමතාවයට හේතු වනවා පමණක් නොව අඩු වශයෙන් මට පෙනෙන පරිදි අසාධාරණ ඉල්ලීමක්ද වෙයි. ඒ, වෛද්‍යවරුන්ට සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට නැති සුපිරි ලාභ ඇති බැවිනි.
කිසියම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක වාසිය සුළු පිරිසකට පමණක් වූ විට එවැනි ඉල්ලීමක් පොදු සමාජයට අලෙවි කිරීම පහසු නැත. එවිට, එවැනි සීමිත පිරිසකගේ ප්‍රශ්නයක් කිසියම් අයුරකින් වැඩි පිරිසකගේ ප්‍රශ්නයක් සමඟ ගැට ගසන්නට සිදු වේ. සුළු පරිමාණ කුකුළු ගොවියන් විසින් තමන්ගේ ප්‍රශ්නය "කුකුළන්ගේ මානව හිමිකම්" සමඟ ගැට ගසන්නේ ඒ නිසාය. වෛද්‍යවරුද මේ අයුරින්ම ඔවුන්ගේ ප්‍රශ්නය "වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය" හා "නිදහස් අධ්‍යාපනය නැති වීම" වැනි පොදු සමාජය සංවේදී වන වෙනත් මාතෘකා සමඟ ගැට ගැසීමට උත්සාහ කරති.
කෙසේ වුවද, මේ අර්බුද දෙක හරහාම කරළියට එන තවත් මූලික ප්‍රශ්නයක් තිබේ. ඒ ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයයි.
සුළු පරිමාණ කුකුළු ගොවීන්ට බැටරි කේජ් මිලදී ගෙන සිය කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය වුවත් ප්‍රාග්ධනය නොමැති වීම නිසා ඔවුන්ට එය කළ නොහැක. ඒ නිසා, බැටරි කේජ් ගන්නට ප්‍රාග්ධනය ඇති අයද එසේ කිරීම වලක්වන්නට ඔවුහු උත්සාහ කරති.
රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන, එහෙත් වෛද්‍ය විද්‍යා උපාධියක් හැදෑරීමට ශක්‍යතාවයක් හා ආශාවක් ඇති බොහෝ දෙනෙකුට සයිටම් හරහා සිය ඉලක්කය කරා ළඟා වීමට හැකියාවක් නැත. ඒ, ඒ සඳහා අවශ්‍ය වන රුපියල් ලක්ෂ 90 ක හෝ 120ක මුදල ලංකාවේ විශාල පිරිසකට සිහිනයක් බැවිනි. ඔවුන්ගේ විරෝධය නිතැතින්ම සයිටම් වෙත යොමු වේ.
රටක සියලු දෙනා අතර ප්‍රාග්ධනය එක සේ බෙදී යාම ස්වභාවික දෙයක් නොවන අතර එසේ නොවීම අසාධාරණ දෙයක්ද නොවේ. එහෙත්, රටක සියලු දෙනාටම ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වන්නට අවස්ථා නොතිබීමේ අසාධාරණත්වයක් තිබේ.
ලංකාවේ බොහෝ දෙනෙකුට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට සාධාරණ තබා ඇතැම් විට කිසිදු අවස්ථාවක් නැත. මේ ලිපියේ වැඩිදුර විස්තර කරන්නට නොයන නමුත් ලංකාවේ වෛද්‍ය පීඨ වලට ඇති විශාල ඉල්ලුමටද මෙය එක් හේතුවකි. තරුණයින් බොහෝ දෙනෙකුට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට හැකි ප්‍රධාන ආකාරය සිය දෙමවුපියන්ගේ සංචිතයි. මේ ලොතරැයිය ඇදෙන්නේ කලාතුරකින් අයෙකුට පමණි. අති මහත් බහුතරයට එවැනි ප්‍රවේශ මාර්ග නැත.
ඉහත තත්ත්වයට හේතුවද නිදහස් වෙළදපොල විකෘතියකි.
සාමාන්‍යයෙන් රටක මුදල් ඉතිරි කරන්නෝ හා ණය සොයන්නෝ හරි හරියට බෙදී සිටිති. අඩු පොලියකට ණයක් ගැනීම ණය සොයන්නෙකුගේ ඉලක්කය වන්නා සේම, වැඩි පොලියක් ලබා ගැනීම ඉතිරි කරන්නෙකුගේ ඉලක්කයකි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ සමතුලිත පොලී අනුපාතික වැඩි මිලක් නොගන්නා අතර ලංකාවේ දැන් සිදුවන්නාක් මෙන් ණය ගන්නන්ට පමණක් නොව, ණය දෙන්නන්ටද ණය ගන්නට කැමති අය සොයමින් පස්සෙන් පන්නන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයයි.
වෛද්‍ය උපාධියක් හදාරන අයෙකුගේ අනාගත ආදායම් ස්ථිර නිසා එවැන්නෙකුට ණය මුදලක් ලබාදීමේ විශාල අවදානමක් නැත. ඒ නිසා, සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඕනෑම දක්ෂ සිසුවෙකුට සයිටම් වැනි තැනකින් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා අඩු පොලියකට ණයක් ගන්නට ලැබීම සරල දෙයක් විය යුතු වුවත් ඇත්ත තත්ත්වය එවැන්නක් නොවේ.
ලංකාවේ වෙනත් බොහෝ ප්‍රශ්න වලට මෙන්ම මෙයටද හේතුව අති විශාල රාජ්‍ය අයවැය හිඟයයි. දේශීය ඉතිරි කිරීම් සියල්ලම වාගේ ඉතා ඉහළ පොලියක් ගෙවමින් රජය විසින් අවශෝෂණය කරගන්නා නිසා බාහිර මූල්‍ය වෙළඳපොළේ ණය ඉල්ලුම හා සැපයුම අතර විශාල අසමතුලිතතාවයක් ඇති වී තිබේ. ඊට අමතරව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ සිසුන්ට මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙන්නේ නැත. මෙහි වාසිය ගන්නා අතළොස්සක් විසින් ලංකාවේ මූල්‍ය වෙළඳපොළ පාලනය කර අතර එහි ඇති අකාර්යක්ෂමතාවයන් හා ඒකාධිකාරීත්වය වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයද ඉක්මවන්නකි. මෙහි අවසාන ප්‍රතිඵලය ලංකාවේ අති මහත් බහුතරයකට මූල්‍ය ප්‍රවේශයට ඇති ඉඩප්‍රස්ථා අවම වීමයි. මෙහි පැහැදිලි අසාධාරණයක් තිබේ.
අවුල ලිහන්නට පටන්ගත යුත්තේ රජයේ වියදම් කපා හැර අයවැය හිඟය අඩු කරගැනීමෙනි. එහෙත්, එසේ කිරීමේදී මුලින්ම අත තැබිය යුත්තේ සාපේක්ෂව කාර්යක්ෂම අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක සේවා අංශ වලට නොවේ.
Labels:
අධ්‍යාපනය,
ආර්ථික විද්‍යාව,
ආහාර,
ධනවාදය,
මූල්‍ය වෙළඳපොළ,
වෛද්‍ය වෘත්තිය
Wednesday, July 5, 2017
වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය
කොළඹ සරසවියෙන් වෛද්‍ය විද්‍යා ප්‍රථම උපාධියත්, ස්කොට්ලන්තයේ දන්ඩී විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාවක් හා පශ්චාත් උපාධියකුත් (MMedEd) ලබා දැනට කොළඹ සරසවියේ මහාචාර්ය තනතුරක් දරන ඉන්දික කරුණාතිලක විසින් "ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවශ්‍යයිද?" යනුවෙන් විමසමින් ලියූ ලිපියක් සමාජ ජාලා වල හුවමාරු වනු දකින්නට ලැබේ. අදාළ ලිපියේ අරමුණ ලෙස දක්වා ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා සබැඳි, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පිළිබඳ පවතින පොදු දුර්මත කිහිපයක සත්‍ය, අසත්‍යතාවය එකින් එක සාකච්ඡාවට බඳුන් කිරීමයි. අදාළ "දුර්මත" පහත දැක්වේ.
-ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනයට ඇති අවස්ථාවන් අසාධාරණ ලෙස සීමාවීම දැකිය හැක.
-අ.පො.ස. උසස් පෙළ විභාගය යනු උසස් අධ්‍යාපනය සඳහා සුදුස්සන් තේරීමට දුර්වල ක්‍රමවේදයකි.
-ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතී.
-වැඩිපුර වෛද්‍යවරුන් සිටීම වාසිදායක වේ.
-අනෙකුත් ක්ෂේත්‍ර ද පෞද්ගලිකකරණය වී තිබෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය ද එසේ විය යුතුය.
-පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටක ආර්ථිකයට වාසිදායක වේ.
ඉතා කණගාටුදායක කරුණක් වන්නේ ඉන්දික කරුණාතිලක විසින් ඉහත ලිපිය සම්පාදනය කිරීමේදී ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකුගෙන් අපේක්ෂා කෙරෙන අපක්ෂපාතීත්වය හෝ ඉදිරිපත් කරන කරුණු වල නිරවද්‍යතාවය ගැන සැලකිලිමත් වී නොතිබීමයි. අදාළ ලිපිය පෞද්ගලික සටහනක් වූවානම් මෙය විශාල ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලිපිය සමඟ ලේඛකයාගේ තනතුරු නාමය, උපාධි හා ඩිප්ලෝමා සහතික හා වෘත්තීය සංවිධාන වල සාමාජිකත්ව ආදිය පිළිබඳ තොරතුරුද පළකර තිබීමත් ලිපියේ අන්තර්ගතය ඔහුගේ විෂය ක්ෂේත්‍රයට අදාළ වූවක් වීමත් තුළ ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකු සතු විය යුතු මූලික ගුණාංග ලිපියෙන් පිළිබිබු නොවීම ප්‍රශ්නයකි.
ඉහත ලිපියේ මා දකින අඩුපාඩු කිහිපයක් පහත දැක්වේ.
ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා දැඩි ලෙස සීමා වීමක් සිදුව ඇත්ද?
ඉන්දික කරුණාතිලකගේ තර්කය වනුයේ එවැනි සීමා වීමක් ඇත්තේ කලා අංශයේ මිස ජීව විද්‍යා අංශයේ නොවන බවයි.
"කලා අංශයෙන් උසස් පෙළ සමත්වන්නන් අතරින් විශ්ව විද්‍යාලයකට ඇතුළත් කරගන්නේ ආසන්න වශයෙන් 10% ක් පමණි. ... ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සමත්වන සිසුන්ගෙන් ආසන්න වශයෙන් 33% ක් විශ්ව විද්‍යාලයට ඇතුළු වේ. ... ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමතුන්ගෙන් 6.3% කට පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට හැකියාව ලැබේ."
මෙහි ඉන්දික කරුණාරත්න විසින් ඉදිරිපත් කර ඇති දත්ත වල විශාල වරදක් නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සංඛ්‍යාලේඛණ අනුව, 2014/15 අධ්‍යයන වර්ෂය තුළ ජීව විද්‍යා අංශයෙන් සරසවියකට ඇතුළු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපිරූ සිසුන්ගෙන් 26.97%කට කිසියම් අභ්‍යන්තර සරසවි පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව ලැබී ඇති නමුත් කලා අංශය තුළ ඒ අවස්ථාව හිමිව ඇත්තේ මූලික සුදුසුකම් ලද සිසුන්ගෙන් 12.57%කට පමණි. මේ අනුව, ඔහු පෙන්වන අනුපාතයට වඩා සැලකිය යුතු තරම් අඩුවෙන් වුවත් පැහැදිලි විෂමතාවයක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. වාණිජ අංශයේ මේ අනුපාතය 13.05%ක්ද, භෞතික විද්‍යා අංශයේ 33.82%ක්ද වේ. 2014/15 අධ්‍යයන වසරේ ජීව විද්‍යා අංශයෙන් මූලික සුදුසුකම් ලද සිසුන්ගෙන් 6.01% කට වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ අවස්ථාව හිමි වී තිබේ.
දත්ත වල මූලික වරදක් නැතත්, ඉන්දික කරුණාතිලකගේ විශ්ලේෂණය නිවැරදි නැත. මේ සංඛ්‍යාලේඛණ වලින් අදහස් වන්නේ භෞතික විද්‍යා හෝ ජීව විද්‍යා අංශයකින් සරසවිකට ඇතුළු වීම කලා හෝ වාණිජ අංශයකින් ඇතුළු වනවාට වඩා කිහිප ගුණයක් පහසු බව නොවේ.
මේ එක් එක් කුලකය තුළ සිටින්නේ අහඹු සිසු නියැදි නොවේ. තමන් උසස් පෙළ විභාගයට පෙනී සිටින විෂය ධාරාව කිසියම් සිසුවෙකුගේ පූර්ව තේරීමකි. කලා අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද තමන්ට වෛද්‍ය පීඨයකට ඇතුළු වන්නට නොලැබෙන බව මුලින්ම තේරුම්ගෙන "තරඟයෙන් ඉවත් වූ" අයයි. එසේ නැතිව වෛද්‍ය වරයෙකු වන්නට කැමැත්තක් නැති නිසා කලා විෂය ධාරාව තෝරාගත් අයම නොවේ. ඒ නිසා, ඉන්දික කරුණාතිලක විසින් කරන සංසන්දනය නිවැරදි නැත. එමෙන්ම, ඉතා කලාතුරකින් අයෙකු හැර ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ කරන සිසුන් සියල්ලන්ගේම වාගේ සිහිනය වෛද්‍ය පීඨයකට ඇතුළු වීම මිස අඩු වශයෙන් දන්ත වෛද්‍ය පීඨයකට ඇතුළු වීම හෝ නොවේ. ඒ අවස්ථාව ලැබෙන්නේ මූලික සුදුසුකම් සපුරන අයගෙන් 6%කට පමණි. (මෙහිදී, ඉන්දික කරුණාතිලකගේ තර්කය නිවැරදි නොවන බව පෙන්වා දෙනවා මිස උසස්පෙළ ජීවවිද්‍යා අංශයෙන් මූලික සුදුසුකම් සපුරන සියලු දෙනාටම වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අනිවාර්යයෙන්ම හිමි විය යුතු බව මා අදහස් කරන්නේ නැත.)
ඉන්දික කරුණාතිලකගේ තර්කයේ ඇති මූලික වැරැද්ද ඉහතින් පෙන්වූ කරුණක් නොවේ. ඔහු විසින් හිතාමතාම නොකියන දෙය සරසවි වරම් නොලබන කලා උපාධිධාරියෙකුට බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස රජයේ සරසවියක ලියාපදිංචි වී උපාධිය සම්පූර්ණ කිරීමට කිසිදු බාධාවක් නැති බවයි. රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමේ අවස්ථාව අහිමි වන අයෙකුටද එවැනි විකල්ප අවස්ථාවන් තිබිය යුතුය.
පහතින් ඇත්තේ ඉන්දික කරුණාතිලක විසින් පාඨකයින් නොමඟ යැවීම සඳහා හිතාමතාම කරන තවත් වැරදි විශ්ලේෂණයකි.
"ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අයත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.
රට | සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම | රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ ගණන |
---|---|---|
නෝර්වේ | 11 | 0 |
ඕස්ට්‍රේලියා | 32 | 2 |
ස්විට්සර්ලන්තය | 20 | 0 |
ඩෙන්මාර්කය | 34 | 0 |
නෙදර්ලන්තය | 17 | 0 |
ජර්මනිය | 25 | 1 |
අයර්ලන්තය | 19 | 1 |
කැනඩාව | 30 | 0 |
නවසීලන්තය | 41 | 0 |
ශ්‍රී ලංකාව | 76 | 0 |
ඉහත රටවල් වල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පෞද්ගලික ඒවා නොවන අතර, භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාභ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක්‍රියාත්මක වේ.
පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අයත්ව ඇති ඉරණම ඔබට මනාව වැටහෙනු ඇත."
රට | සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම | රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ ගණන |
---|---|---|
ඉන්දියාව | 112 | 249 |
බංග්ලාදේශය | 88 | 54 |
නේපාලය | 150 | 14 |
පකිස්තානය | 122 | 55 |
මේ කොටසින් ඉන්දික කරුණාතිලක විසින් පාඨකයාට පෙන්වන්නට හදන්නේ ඉන්දියාව හා නේපාලය වැනි රටවල ශ්‍රේණිගත කිරීම් පහළට වැටී ඇත්තේ එම රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගනන වැඩි වීම හේතුවෙන් බවයි.
ඉන්දික කරුණාතිලක විසින් මෙහි පෙන්වන ශ්‍රේණිගත කිරීම් පදනම් වන්නේ වසර 17කට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ පර්යේෂකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ පත්‍රිකාවක් මත හෝ එය මූලාශ්‍රය කරගෙන පසුව ලියැවුණු පත්‍රිකාවකින් බව පෙනේ. එම පත්‍රිකාව අනුව අදාළ ශ්‍රේණිගත කිරීම් දත්ත නිවැරදිය.
එහෙත්, ඔහු විසින් හිතාමතා සැලකිල්ලෙන් තෝරා ගෙන ඇති රටවල් කිහිපයේ ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ඔහුගේ දත්ත හරියටම නිවැරදි නැත. නෙදර්ලන්තයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැතැයි ඔහු කීවත් එරට අඩු වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක් තිබේ. ඕස්ට්‍රේලියාවේ ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන තුනකි. කෙසේ වුවද ප්‍රශ්නය එය නොවේ.
මෙහි උඩ ලැයිස්තුවේ ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැඩිපුර නැති, ශ්‍රේණිගත කිරීම් අනුව උඩින් සිටින හිතා මතා තෝරා ගත් රටවල් කිහිපයකි. ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේම උඩින් ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ගණනක් ඇති අදාළ පත්‍රිකාවේ ක්‍රමවේදය අනුව 37 වන ස්ථානයේ සිටින ඇමරිකා එක්සත් ජනපදය හෝ 144 වෙනි ඉතා පහළ තැනක ඇති චීනය වැනි රටවල් ඔහු විසින් බැහැර කරයි. අහඹු ලෙස රටවල් තෝරා නොගෙන තමන්ගේ මතය තහවුරු කිරීම සඳහා රටවල් තෝරා ගැනීම ශාස්ත්‍රාලීය වංචාවකි.
ඔහුගේ ක්‍රමවේදයේ ඇති වැරැද්ද පැහැදිලි කිරීමට මට ඉහතින් උපුටා දක්වා ඇති කොටස පහත සඳහන් පරිදි වෙනස් කර පෙන්විය හැකිය.
ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ
රට | සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම | |
---|---|---|
නෝර්වේ | 11 | 4 |
ඕස්ට්‍රේලියා | 32 | 20 |
ස්විට්සර්ලන්තය | 20 | 5 |
ඩෙන්මාර්කය | 34 | 4 |
නෙදර්ලන්තය | 17 | 10 |
ජර්මනිය | 25 | 20 |
අයර්ලන්තය | 19 | 7 |
කැනඩාව | 30 | 17 |
නවසීලන්තය | 41 | 3 |
ශ්‍රී ලංකාව | 76 | 9 |
පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ
රට | සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම | |
---|---|---|
ඉන්දියාව | 112 | 379 |
බංග්ලාදේශය | 88 | 69 |
නේපාලය | 150 | 19 |
පකිස්තානය | 122 | 96 |
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය හරහා ගොස් මා මෙහි ඇති දත්ත ලබාගත්තේ ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලියෙනි.
මා මේ අභ්‍යාසය කළේ කිසියම් රටක බටහිර වෛද්‍ය පීඨ ගණන වැඩි වන විට සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය අඩුවන බව පෙන්වීම සඳහා නොවේ. ඉන්දික කරුණාතිලකගේ විග්‍රහය කොතරම් ප්‍රාථමික මට්ටමේ එකක්දැයි පෙන්වීමටය.
තව දුරටත් අවශ්‍යනම්, මට යටින් ඇති මුළු වෛද්‍ය විද්‍යාල ගණනින් උඩින් ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන අඩු කර තවත් වගු දෙකක් ඉදිරිපත් කළ හැකිය. එවිට, ඉතිරි වන්නේ එක් එක් රටවල ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ ගණනයි. ඉතා පැහැදිලිවම, මෙහි තෝරාගෙන ඇති රටවල් කාණ්ඩ දෙකෙන් වැඩිම රාජ්‍ය වෛද්‍ය පීඨ ගණන ඇත්තේද ඉන්දියාව ඇතුළු දෙවන කාණ්ඩයේ රටවලය. ඉන්දික කරුණාතිලකගේ තර්කය අනුව යන්නේනම්, මේ රටවල් සෞඛ්‍ය සේවාවන් ශ්‍රේණිගත කිරීම් අනුව පහතට වැටී තිබෙන්නේ රාජ්‍ය වෛද්‍ය පීඨ ගණන වැඩි වීම නිසා බව කියන්නට පුළුවන.
එහෙත්, මා එසේ කියන්නේ නැත. වෛද්‍ය පීඨයක අයිතිය රජය සතුද නැද්ද යන්න එහි ගුණාත්මක භාවය කෙරෙහි බලපාන ආකාරය මේ තරම් සරලව නිගමනය කළ නොහැකිය.
වෛද්‍ය පීඨයක ගුණාත්මක භාවයත්, ඒ වෙනුවෙන් යොදවන සම්පත් ප්‍රමාණයත් අතර සම්බන්ධතාවයක් තිබේ. අනෙකුත් සාධක නියතව ඇත්නම්, සම්පත් වැඩියෙන් යොදවන තරමට ගුණාත්මක භාවය වැඩි වේ. වෛද්‍ය පීඨයක් ලාභ පිණිස පවත්වාගෙන යන විට, ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා සම්පත් වැඩියෙන් යෙදවීම හා ලාභ වැඩි කරගැනීම යන අරමුණු අතර ගැටුමක් ඇති වේ. එහෙත්, ගුණාත්මක භාවය අඩුවන විටද ඉල්ලුම අඩු වී ලාභ අඩු වේ. ඒ නිසා, ලාභ ලබන වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය හා ලාභ ප්‍රසස්ථ සමතුලිතතාවයකට පැමිණේ.
ලාභ සඳහා නොවන, එහෙත් මුදල් අයකරන පෞද්ගලික හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් මෙයින් වෙනස් වන්නේ කෙසේද? මෙවැනි ආයතනයක අරමුණ ලාභ ලැබීම නොවූවත්, පාඩු ලබමින් ආයතන පවත්වා ගත නොහැකිය. ඒ නිසා, මෙවැනි ආයතනයක ලාභ දිගුකාලීනව ශුන්‍ය මට්ටමේ පවත්වා ගැනේ. ආදායම් හා වියදම් අතින් මෙවැනි ආයතනයක් ලාභ ලබන ආයතනයකින් වෙනස් වන්නේ එම හේතුව නිසා පමණි. ලාභ සඳහා වූ වෛද්‍ය විද්‍යාලයකට සාපේක්ෂව මෙවැනි වෛද්‍ය විද්‍යාලයකට ගුණාත්මක භාවය ඉහළ දැමීම වෙනුවෙන් වැඩිපුර ආයෝජනයක් සිදු කළ හැකිය. මේ නිසා ගුණාත්මක භාවය "සමතුලිත මට්ටමට" වඩා ඉහලින් පවත්වා ගන්නට හැකි වන්නට ඉඩ තිබේ.
තරඟකාරී වෙළඳපොලක ආයතන දෙකක් විසින් එකම මිල අය කරන්නේනම් ගුණාත්මක භාවය වැඩි තැනට මිස අඩු තැනට යන්නට කිසිවෙකු කැමති නැත. එසේනම්, මෙවැනි ආයතන වර්ග දෙකක් පැවතිය හැකිද?
මෙය සිදු විය හැකි ආකාර කිහිපයක් තිබේ.
1. ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීම අපහසු විය හැකිය. සියලු දෙනාගේම පළමු තේරීම එය නිසා එම වෛද්‍ය විද්‍යාලය විසින් හොඳම සිසුන් තෝරා ගන්නා අතර ඉතිරි වන දෙවන පෙළ සිසුන් ලාභ ලබන වෛද්‍ය විද්‍යාලයට යන්නට පුළුවන.
2. ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයේ මිල තරමක් වැඩි විය හැකිය. එවිට සිසුන්ට ඇති වැඩි මිලක් ගෙවා වැඩි ගුණාත්මක භාවයක් ඇති තැනට යාමේ හා අඩු මිලකට අඩු ගුණාත්මක භාවයක් ඇති තැනට යාමේ තේරීම් තුළ වෙළදපොල සමතුලිත වේ.
3. ලාභ අරමුණක් නැති නිසා ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලය වඩා අකාර්යක්ෂම විය හැකිය. ලාභ සඳහා කටයුතු කරන වෛද්‍ය විද්‍යාලය අකාර්යක්ෂම වුවහොත් ඔවුන්ට වෙළඳපොළෙන් ඉවත් වන්නට සිදු වේ. එහෙත්, ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයට පාඩු නොලබන තාක් කල් වෙළඳපොළේ රැඳී සිටිය හැකිය. ගුණාත්මක භාවය ලාභ ලබන ආයතනයක මට්ටමේ පවත්වාගැනීම ප්‍රමාණවත් වන අතර මිලද ඒ මට්ටමේ පවත්වා ගැනීම ප්‍රමාණවත්ය. මෙහිදී ලාභ නොලැබීම නිසා කිසිවකුට වාසියක් නොසැලසේ.
මේ දෙආකාරයේ වෛද්‍ය විද්‍යාල අතර සමතුලිතාවක් ඇති තැන් වල මේ කරුණු තුනම යම් ප්‍රමාණයකට සිදු වන බව පෙනේ.
ලංකාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වල ආකෘතිය වෙනත් බොහෝ රටවල ඇති ආකෘතිය නොවේ. මේ වෛද්‍ය විද්‍යාල වලට වැය කරන මුදලට සරිලන දෙයක් ලබා නොදෙන තරමට අකාර්යක්ෂම වුවද තවදුරටත් රැඳී සිටිය හැකිය. මා මෙයින් අදහස් කරන්නේ එය එසේ සිදුවන බව නොවේ.
මේ ආකෘතියේ වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය රඳා පවතින්නේ යොදවන සම්පත් ප්‍රමාණය මතය. සම්පත් වැඩියෙන් යොදවන තරමට (වෙනත් කරුණු නොවෙනස්ව ඇත්නම්) ගුණාත්මක භාවය ඉහළ යයි. එහෙත්, අකාර්යක්ෂමතාවයන් නිසා යොදවන අරමුදල් සියල්ලම ගුණාත්මක භාවය වැඩි කිරීමට හේතු නොවේ,
කාර්යක්ෂම ලෙස කළමනාකරණය කෙරෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයකට වෙළඳපොළ ප්‍රසස්ථ මට්ටම ඉක්මවන තරමට සම්පත් යෙදවීමෙන් එහි ගුණාත්මක භාවය නිදහස් වෙළඳපොළක ඇති සමතුලිත මට්ටමට වඩා වැඩි කළ හැකිය. ඇතැම් සමාජවාදී රටවල් විසින් මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විසින්ද එසේ කර තිබේ. එහෙත්, මෙහිදී ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා යෙදවෙන්නේ වෙනත් බොහෝ දේ වෙනුවෙන් යෙදවිය හැකි සීමිත සම්පත්ය. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය "ඕනෑවට වඩා" වැඩි කිරීමෙන් යහපතක් සැලසෙන නමුත්, ඒ සඳහා යෙදවුණු මුදල් යෙදවිය හැකිව තිබුණු වෙනත් ව්‍යාපෘතියක් සිදු නොවීම නිසා සිදුවන අයහපත බොහෝ විට ඊට වඩා වැඩිය.
අපේ දකුණු ආසියානු අසල්වැසියන් වෙත නැවත පැමිණියහොත්, එම රටවල සෞඛ්‍ය සේවාවන් වල ශ්‍රේණිගත කිරීම් හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන අතර පෙනෙන්නට තිබෙන සම්බන්ධයට හේතුව දෙවැන්න නිසා පළමුවැන්න සිදු වීම නොවේ. එම රටවල සෞඛ්‍ය සේවා සැපයුම් ඉහළ මට්ටමක නොතිබීම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට අවකාශයක් ඇති වීමයි. මේ අනුව, එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොතිබුනානම් එම රටවල ශ්‍රේණිගත කිරීම් තවත් පහළට වැටෙන්නට ඉඩ තිබුණා වන්නටද පුළුවන.
මේ අයුරින්ම, ඉන්දික කරුණාතිලක ආඩම්බර වන ලංකාවේ 76 වන ස්ථානය ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොතිබීමේ හොඳ ප්‍රතිඵලයක් ලෙස ඔහු පෙන්වා දෙන නමුත්, ලංකාවේත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් තිබුණානම් මේ ස්ථානය මීට වඩා අඩු එකක් (50 හෝ 60 වැනි) විය හැකිව තිබුණු බව මට යෝජනා කරන්නට පුළුවන. එසේනම්, ඇත්තටම 76 ස්ථානය යනු නරක ප්‍රතිඵලයකි. මගේ යෝජනාව තහවුරු කිරීමට මා විසින් වැඩිදුර කරුණු ඉදිරිපත් කර නැති නිසා එය බරපතල ලෙස ගත යුතු නැති වුවත් ඉන්දික කරුණාතිලකගේ තර්කයේද ඊට වඩා කිසිදු බරපතලකමක් නැත.
පහතින් ඇත්තේ ඉන්දික කරුණාතිලකගේ ලිපියෙන් උපුටාගත් තවත් කොටසකි.
"ඉන්දියාව යනු ලෝකයේ වැඩිම පෞද්ගලික සහ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පවතින රටයි. නමුත්, ලෝකයේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැඩිම සිසුන් සංඛ්‍යාවක් විදේශගත වන රට වන්නේ ද ඉන්දියාවයි. එය ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල වල සිටින ඉන්දියානු ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය සලකා බැලීමෙන් වටහාගත හැක."
වෛද්‍ය විද්‍යාලය | සිටින ඉන්දියානු ශිෂ්‍යයන් ප්‍රතිශතය |
---|---|
හාවඩ් විශ්ව විද්‍යාලය | 10.2% |
ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය | 11.3% |
යේල් විශ්ව විද්‍යාලය | 10.0% |
පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලය | 14.3% |
මේ සංඛ්‍යාලේඛණ නිවැරදි විය නොහැකිය. එසේනම්, මූලාශ්‍ර ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලට සිසුන් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව, කැනේඩියානුවන්ට හැර වෙනත් රටවල සිසුන්ට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම ඉතාම අසීරු කටයුත්තකි. ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් කර ගන්නේ වසර හතරක මූලික උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කර ඇති අයයි. මේ උපාධි පාඨමාලාවට වෛද්‍ය විද්‍යාව හැදෑරීමේදී වැදගත්වන මූලික විෂයයන් ඇතුලත්ව තිබිය යුතුය. තවත් බොහෝ දේ සලකා බැලීමෙන් පසු අවසන් තේරීම කරන්නේ සම්මුඛ පරීක්ෂණයකින් පසුවය.
ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයේ (AAMC) දත්ත අනුව, 2016/17 දී ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළත් කරගැනුණු සිසුන් 21,030ක් අතරින් නීත්‍යානුකූල පදිංචිය ඇමරිකාවේ නොවූ අය සිටියේ 112ක් පමණි. ඇමරිකානු පුරවැසියන් හෝ ස්ථිර නේවාසිකත්වය (Green card) නොලැබූ අය සිටියේද 269 දෙනෙකු පමණි. මේ බොහෝ දෙනෙකුද ඇමරිකාව සිය රට ලෙස තෝරාගෙන ඇති නමුත් තවමත් ස්ථිර නේවාසිකත්වය නොලැබුණු, බොහෝ විට ස්ථිර නේවාසිකත්වය අයදුම්කර බලාපොරොත්තුවෙන් සිටින අයයි.
වෛද්‍ය විද්‍යාල මට්ටමේ දත්ත ඉහත වෙබ් අඩවියෙන් ලබාගත හැක්කේ එහි සාමාජිකත්වය ඇති අයට පමණකි. ඒ දත්ත ඇසුරෙන් වෙනත් අයෙකු පලකළ වගුවක් මෙහි තිබේ.
ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමේ අවස්ථාව හිමි කර ගන්නා විදේශ සිසුන් ප්‍රතිශතය 1% පමණ වන බව මේ දත්ත අනුව පෙනී යනු ඇති අතර එයින්ද වැඩි පිරිසක් පැමිණෙන්නේ කැනඩාවෙනි.
මා හිතන පරිදි ඉන්දික කරුණාතිලක කතා කරන්නේ ඇමරිකානු ඉන්දියානුවන් ගැන විය යුතුය. ඇමරිකානු වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වන සිසුන් අතර ඉන්දියානු හා චීන සම්භවයක් ඇති සිසුහු විශාල පිරිසක් සිටිති. එහෙත්, මේ අය ඇමරිකානුවෝ මිස ඉන්දියානුවෝ නොවෙති. ඇමරිකාවේ උපත ලබා ඇති මේ සිසුන් බොහෝ දෙනෙකු ඇතැම් විට ඉන්දියාවට කෙදිනක හෝ ගොස් නැත.
එමෙන්ම, යම් හෙයකින් ඉන්දියානු සිසුන් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා විශාල වශයෙන් ඇමරිකාවට ගියේයැයි සිතුවද, එයට විවිධ හේතු තිබිය හැකිය. ඔහුගේ තර්කය අනුව, ලංකාවේ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා විශාල වශයෙන් ඉන්දියාවට, බංග්ලා දේශයට හා නේපාලයට යන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න නිසාද?
ඉන්දික කරුණාතිලක විසින් ලියා ඇති සියලු දේ බොරු නොවේ. ඔහුගේ ලිපියේ ඇති බොහෝ දේ සමඟ මට එකඟ විය හැකිය. ඔහු සඳහන් කරන ඉහත "දුර්මත" පැහැදිලි සත්‍යයන්ද නොවේ. එහෙත්, ඔහුගේ විග්‍රහය ඉතා පැහැදිලිවම පක්ෂග්‍රාහීව හා වගකීමකින් තොරව ලියා ඇති ලිපියකි.
ඕනෑම පුද්ගලයකුට තමන්ගේ මතය වෙනුවෙන් පක්ෂග්‍රාහී ලෙස ලියන්නට අයිතියක් තිබේ. බොහෝ දෙනා එසේ ලියති. සමාජ ජාලා ව්‍යාප්තිය සමඟ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ අදහස් විශාල පිරිසක් වෙත ගෙනයාමේ ඉඩකඩ විවරව ඇති අතර මේ තත්ත්වය තුළ ඉන්දික කරුණාරත්න වැනි ශාස්ත්‍රාලීය තනතුරු දරන්නට, විෂය ප්‍රවීණයන්ට හා විශේෂඥයින්ට තිබුණු වටිනාකම අඩු වෙමින් පවතී. පුද්ගලයින්ට තිබුණු තැන අදහස් වලට ලැබී ඇත.
මේ තත්ත්වය දියුණුවක් වන්නා සේම එහි නිශේධනාත්මක පැත්තක්ද තිබේ. ඒ, සාමාන්‍ය පුද්ගලයෙකුට නිවැරදි තොරතුරු තෝරා බේරා ගැනීම අපහසු වීමයි. මේ අලුත් තත්ත්වයට විෂය ප්‍රවීණයන් හා විශේෂඥයින් ප්‍රතිචාර දැක්විය යුත්තේ තමන් ඉදිරියේ ඇති අභියෝගය හඳුනාගෙන තමන්ගේ විශේෂත්වය පෙන්වීමෙනි. එය කළ යුත්තේ ලිපියක අන්තර්ගතය තුළ වෙනස පිළිබිඹු වන්නට හැරීමෙන් මිස, පක්ෂග්‍රාහී හා සැලකිල්ලෙන් නොලියු ලිපියකට තමන්ගේ සුදුසුකම් ඈඳීම හරහා නොවේ.
කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙකු ලෙස ඉන්දික කරුණාතිලක විසින් ලියන ලිපියක් මඟින් ඔහු සමාජයට ප්‍රදර්ශනය කරන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේම පිළිබිඹුවක් බව ඔහු විසින් අමතක නොකළ යුතුය.
(Image: http://blogs.jpmsonline.com/2012/08/13/towards-improving-medical-education-whats-new-in-medicine/)
Labels:
අධ්‍යාපනය,
ආර්ථික විද්‍යාව,
වෛද්‍ය වෘත්තිය,
සෞඛ්‍යය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...