විචාරක විසින් පළ කළ, ඉකොනොමැට්ටාගේ විශ්ලේෂණයට පාත්‍ර වූ, වටු කිරිල්ලියගේ කතාවේ දෙගල් අස්සේ හිර වුණු වටු බිජුව එළියට ගන්නට අන්තිමේදී ඇයට හැකි විය. මේ කටයුත්තේදී ආන්තික තල්ලුව ලැබුණේ කටුස්සාගෙනි. අටු, පුටු හෝ බුලත් නොඉල්ලා වටු කිරිල්ලියට උදවු කරන්නට කටුස්සා ඉදිරිපත් විය.
වටු නංගියේ තටු ගසමින් නාඬන්නේ
අටු නැති ඔබට පුටු නැති බව මා දන්නේ
කටුසයියාව දුටු විට අලි බය වෙන්නේ
තුටු වී ඉතින් හොටු ටික පිහදාගන්නේ
ඔහොම කියපු කටුස්සා වටු කිරිල්ලියගෙන් කිසිදු ගාස්තුවක් අය නොකර අලියාගේ හොඬේ අස්සේ රිංගන්නට ඉදිරිපත් විය. එතැන් සිට වටු කිරිල්ලියට බිත්තරය හිමිවීම දක්වා සියළු කටයුතු ඉතා සුමටව සිදු වූ බව අපි දැන් දනිමු.
මේ කතාව අසා සිටි ට්‍රාන්ස් මෙවැනි ප්‍රශ්නයක් අසයි.
"විචාරකගේ කතාව කියවන විට මට ආ ගැටළුව නම් යම් ලෙසකින් කටුස්සාද අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන කීවානම්?"
ඇත්ත නේන්නම්!
කටුස්සාත් ගාස්තු ඉල්ලුවානම් වටු බිජු තවමත් ගල් දෙබොක්කාව අස්සේය. මේ වගේ නිස්සරණාධ්‍යාසයෙන් වටු කිරිල්ලියන්ට උදවු කරන්නට ඉදිරිපත් වන කටුස්සන් එතරම් සුලභ නැත. ඒ නිසා වටු කිරිල්ලිය විසින් විශාල සෙවුම් පිරිවැයක් දැරීමෙන් පසුවද අවශ්‍ය කාර්යය ඉටු නොවිය හැකිව තිබුණි. නිෂ්පාදකයින්ට නිෂ්පාදන හැකියාව තිබියදී අවශ්‍ය ඉල්ලුම නැති වීම නිසා නිෂ්පාදනය සිදු නොවන අවස්ථා එමටය.
මෙය තේරුම් ගැනීමට අපි වටු කිරිල්ලියගේ කතාව ටිකක් වෙනස් කරමු. මේ වටු කිරිල්ලියගේ කතාවේ ඉකොනාමැට්ටා වර්ෂන් එකයි. කතා මොන විදිහට කිවුවත් අහන අය ඒවා තේරුම් ගන්නේ තමන් කැමති පරිද්දෙන් නිසා මේ කතාව ටිකක් වෙනස් කළා කියා වැරැද්දක් තිබිය නොහැකිය. අනං මනං කතා නවත්වා ඔන්න එහෙනං කතාවට!
ඔන්න එකෝමත් එක රටක වටු කිරිල්ලියක් හිටියා. [මාස දෙක තුනකට කලින් උඩවලව ජාතික වනෝද්‍යානයට ගිය වෙලාවේ ඉකොනොමැට්ටට මේ වටු කිරිල්ලියෝ කිහිප දෙනෙක්ම දැකගන්න හැකි වුනා. ඔය උඩවලව හම්බන්තොට වගේ පැති වල වටු කිරිල්ලියෝ සෑහෙන්න ඉන්නවා. බාගවිට ඔය එකෝමත් එක රට තිබුණේ ඔහොම පැත්තක වෙන්න පුළුවන්.] මේ වටු කිරිල්ලී පඳුරු වලින් වැහිල තිබිච්ච ගල් තලාවක් උඩ බිත්තර දෙකක් දැම්මා.
වටු කිරිල්ලී බිත්තර දැමිල්ල අහවර කරලා බලන කොට බිත්තර දෙක ගල් තලාවේ පැලුමක් තිබුණු තැනක හිර වෙලා. [වටු කිරිල්ලියෝ බිත්තර දාන්න කලින් ශක්‍යතා අධ්‍යයන කරන්නෙ නෑනේ...] දැන් ඉතිං වටු කිරිල්ලී සෑහෙන වෙලාවක් තටමලා දාපු බිත්තර දෙකෙන් කාටවත් ප්‍රයෝජනයක් නැති වෙන්නයි යන්නේ.
නොගැලපෙන තැනක බිත්තර දාල ඇණ ගත්ත වටු කිරිල්ලී දැන් වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් හොයනවා. දුකෙන් කෑගහමින්, උදව්වට කෙනෙක් හොයනවා [ඕනෑ නැති තැන්වල බිත්තර දාල හිර වුනාම තමයි පැත්තක ඉන්න අයව මතක් වෙන්නේ]. වටු කිරිල්ලී ගියා ගල් වඩුවෙක් ළඟට, ගිහින් මෙහෙම කිව්වා. [ඔය වටු කිරිල්ලියෝ විශේෂඥ උපදෙස් නොසලකා ගල් තියෙන තැන්වල බිත්තර දාල ඇණ ගත්තට පස්සෙ විශේෂඥ උපදෙස් හොයනවා.]
"අනේ ගල් වඩුවෝ, ගල් වඩුවෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, අනේ ඒ දෙක අරන් දීපන් ගල් වඩුවෝ..."
"රිදී කාසියක් ගෙන!" ගල් වඩුවා වටු කිරිල්ලිට කියනවා.
"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, බිත්තර දෙක අරන් දුන්නොත් එයින් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා."
"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? මට මගේ දරුවන්ට කන්න කටුවල හොයන්න තියෙනවා. උඹට උදවු කරන්න ආවොත් මට කටුවල හොයන්නවත්, හාරන්නවත් වෙන්නේ නැහැ. එහෙම වුනොත් මගේ දරුවෝ හාමතේ! "
"හොඳයි, මම උඹට කටුවල හොයා දුන්නොත් උඹ මට බිත්තර දෙක අරං දෙනවාද?"
"කටුවල හොයා දුන්නොත් මම උඹට බිත්තර දෙක අරන් දෙන්නම්!"
ඉතිං වටු කිරිල්ලී අඬ අඬා යනවා. යනකොට, යනකොට, ඌරෙක් හම්බ වෙනවා.
"අනේ ඌරෝ ඌරෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. මට කටුවල තියෙන තැනකින් හාරලා දීපන් ඌරෝ..." වටු කිරිල්ලී ඌරාට කියනවා.
"රිදී කාසියක් ගෙන!" ඌරා වටු කිරිල්ලිට කියනවා.
"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, කටුවල හාරා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.
"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? කැලේ හැමතැනම මරුවැල් ඇදලා. මම ඇවිදින්නෙත් හරිම පරිස්සමෙන්. මේ මරුවැල් එක්ක කැලේ පුච්චලා දැම්මොත් මම උඹට කටුවල හාරලා දෙන්නම්! "
"හොඳයි, මම උඹට කැලේ ගිණි තියලා දුන්නොත් උඹ මට කටුවල හාරලා දෙනවාද?"
"කැලේ ගිණි තියලා දුන්නොත් මම උඹට කටුවල හාරලා දෙන්නම්!"
ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, ගිණි ගොඩක් හම්බ වෙනවා.
"අනේ ගින්දරේ ගින්දරේ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. කැලේ හැමතැනම දුවලා කැලේ පුච්චලා දීපන් ගින්දරේ..." වටු කිරිල්ලී ඌරාට කියනවා.
"රිදී කාසියක් ගෙන!" ගිණි ගොඩ වටු කිරිල්ලිට කියනවා.
"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, කැලේ ගිණි තියලා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.
"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? කැලේ හැමතැනම දුවලා කැලේ ගිණි තිබ්බහම මට හරිම පිපාසාවයි. ඒ වෙලාවට මගේ ඇඟට වතුර ටිකක් දාන්න කවුරුවත් නෑ. මගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් මම උඹට කැලේ ගිණි තියලා දෙන්නම්!"
"හොඳයි, මම උඹේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් උඹ මට කැලේ ගිණි තියලා දෙනවාද?"
"ඇඟට වතුර දාන්න කෙනෙක් හොයලා දුන්නොත් මම උඹට කැලේ ගිණි තියලා දෙන්නම්!"
ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, වතුර වලක් හම්බ වෙනවා.
"අනේ වතුරේ වතුරේ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දීපන් වතුරේ..." වටු කිරිල්ලී වතුරට කියනවා.
"රිදී කාසියක් ගෙන!" වතුර වල වටු කිරිල්ලිට කියනවා.
"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.
"ඒක හරියන්නේ නැහැ. මට මොකටද වටු බිත්තර? මේ වතුර වලේම හිරවෙලා ඉඳලා මට දැන් එපා වෙලයි තියෙන්නේ. මාව මෙතනින් කොහාටවත් ගෙනියන්න කවුරුවත් නෑ. රටතොට බලන්න මාව ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් මම ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දෙන්නම්!"
"හොඳයි, මම උඹව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් උඹ මට ගින්දරේ ඇඟට වතුර ටිකක් දාලා දෙනවාද?"
"රටතොට බලන්න ගෙනියන්න කෙනෙක් හොයලා දුන්නොත් මම එය කරන්නම්!"
ඉතිං වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, අලියෙක් හම්බ වෙනවා.
"අනේ අලියෝ අලියෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. වතුර වල ගින්දරේ ඇඟට වතුර ටිකක් දාන්න උන්දෑව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක්ව හොයනවා. උඹේ ඔය ලොකු හොඬේ ඇතුළේ දාගෙන වතුර වල කියන තැනකට ගෙනිහින් දීපං අලියෝ..." වටු කිරිල්ලී අලියාට කියනවා.
"රිදී කාසියක් ගෙන!" අලියා වටු කිරිල්ලිට කියනවා.
"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, වතුර වල කියන තැනකට ගෙනිහින් දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.
"උඹ මේ මඟුලක් කතා කරනවා. මට මොකටද වටු බිත්තර? මගේ හොඬේ අස්සේ කූඹි රිංගලා මම මේ දෙලෝ රත්වෙලා ඉන්නවා!"
"හොඳයි, මම උඹේ හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් උඹ මට වතුර වල කියන තැනකට ගෙනිහින් දෙනවාද?"
"හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් මම වතුර වල කියන තැනකට ගෙනිහින් දෙන්නම්!"
වටු කිරිල්ලී ආයෙමත් අඬ අඬා යනවා. යනකොට, යනකොට, කටුස්සෙක් හම්බ වෙනවා. [කටුස්සා තාමනං කොළ පාටයි. ඌ පාට වෙනස් කරන්න සුදුසු වෙලාව එනකං ඔළුව වන වන ඉන්නවා.]
"අනේ කටුස්සෝ කටුස්සෝ, මම ගලක් උඩ බිත්තර දෙකක් දැම්මා, බිත්තර දෙක ගල් දෙබොක්කාවක හිර වුණා, ගල් වඩුවා බිත්තර අරන් දෙන්න කටුවල ඉල්ලනවා. ඌරා කටුවල හොයා දෙන්න කැලේ ගිණි තියලා ඉල්ලනවා. ගිණි ගොඩ කැලේ ගිණි තියන්න උන්දැගේ ඇඟට වතුර දාන්න කෙනෙක් හොයා දෙන්න කියනවා. වතුර වල ගින්දරේ ඇඟට වතුර ටිකක් දාන්න උන්දෑව රටතොට බලන්න ගෙනියන්න කෙනෙක්ව හොයනවා. අලියා හොඬේ ඇතුළේ දාගෙන වතුර වල කියන තැනකට ගෙනියන්න උගේ හොඬේ අස්සේ රිංගලා ඉන්න කූඹි අයින් කරලා ඉල්ලනවා. අලියගේ හොඬේ අස්සේ රිංගලා කූඹි අයින් කරලා දීපං කටුස්සෝ..." වටු කිරිල්ලී කටුස්සාට කියනවා.
"රිදී කාසියක් ගෙන!" කටුස්සා වටු කිරිල්ලිට කියනවා.
"අනේ දුප්පත් මට රිදී කාසි කොයින්ද, වතුර වල කියන තැනකට ගෙනිහින් දුන්නොත් මා දමපු බිත්තර දෙකෙන් එකක් උඹට දෙන්නම්." වටු කිරිල්ලී පිළිතුරු දෙනවා.
"ඒ යෝජනාව නරක නැහැ. ඒත් මට උඹව විශ්වාස නැහැ. ඉස්සෙල්ලා බිත්තරේ ගෙනත් දීපං. ඊට පස්සේ මම අලියගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා දෙන්නම්!"
"ඒක කරන්නේ කොහොමද? උඹට බිත්තරයක් දෙන්නනම් ගල් වඩුවා ගල කඩලා බිත්තර එළියට ගන්න ඕනෑ. ගල් වඩුවා එය කරන්නේ උන්දෑට ඌරා කටුවල හොයා දුන්නොත් විතරයි. ඌරා කටුවල හොයා දෙන්නේ ගිණි ගොඩ කැලේ ගිණි තිබ්බොත් විතරයි. ගිණි ගොඩ කැලේ ගිණි තියන්නේ වතුර වල උන්දෑගේ පිපාසාව නිවනවනම් විතරයි. වතුර වල ගින්දරේ පිපාසාව නිවන්නේ අලියා උන්දෑව කියන තැනකට ගෙනියනවනම් විතරයි. අලියා වතුර වල කියන තැනකට ගෙනියන්නේ උඹ උගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා දුන්නොත් විතරයි. ඒ නිසා උඹ උගේ හොඬේ අස්සේ ඉන්න කූඹි අයින් කරලා නොදුන්නොත් මම කොහොමද උඹට බිත්තරයක් දෙන්නේ?"
ඇත්තටම කොහොමද? සමහර වෙලාවට රටක ආර්ථිකය ඔය වගේ තැනක රවුමට හිරවෙයි. පහත කතාවේ ඇත්තේත් ඒ වගේ අවස්ථාවකි.
රෝලට ණය ආර්ථිකේ...
මේ වෙලාවට ආර්ථිකය ගොඩදමන්නටනම් ඔරිජිනල් වටු බිත්තර කතාවේ කටුස්සා වැනි අභ්‍යන්තර උත්ප්‍රේරකයක් හෝ රෝලට ණය කතාවේ ඇමරිකන් කාරයා වැනි බාහිර උත්ප්‍රේරකයක් අවශ්‍ය වේ. මතක තබා ගන්න- උත්ප්‍රේරකයක් කියන්නේ එක් සමතුලිතතාවයක සිට තවත් සමතුලිතතාවයකට මාරු වීමේදී වෙනස ඇරඹීමට අවශ්‍යම දෙයක් වුවත් වෙනසින් පසු වැය නොවී ඉතිරි වන දෙයකි.
අළුත් කටුසු කතාවේ අවසානය සිදු විය හැකි ආකාර කිහිපයක්ම තිබේ. මේ එයින් එකකි.
"උඹ කියන දෙය මට තේරෙනවා. ඒත් එක වටු බිත්තරයක් වෙනුවෙන් මේ අවදානම ගන්න මට බෑ. උඹ අඩු ගානේ මට වටු බිත්තර තුනක් දෙනවානම් මම උඹ කියන දෙය කරන්නම්!"
"මම කොහොමද උඹට වටු බිත්තර තුනක් දෙන්නේ. තියෙන්නෙම වටු බිත්තර දෙකයි. ඒ දෙකම උඹට දුන්නොත් මට මුකුත්ම නෑ. ඒ නිසා මට උඹට දෙන්න වෙන්නේ එක වටු බිත්තරයයි."
"එහෙමනං උඹ දැනට මට එක බිත්තරයක් දීපං. ඉතිරි දෙක පස්සේ දීපං. හැබැයි උඹ ණය ගෙවලා ඉවර කරනකං මට පොලිය විදිහට දවසකට බිත්තරේ ගානේ ඕනෑ."
වටු කිරිල්ලී මේ ඩීල් එකට කැමති විය. ඉන්පසු සියල්ල ඔරිජිනල් කතාවේ මෙන් අපූරුවට සිදුවිය. කටුස්සාට එක් වටු බිත්තරයක් වහාම ලැබුණේය. දැන් වටු කිරිල්ලිය දවසකට බිත්තර දෙක ගානේ දමයි. ඒ දෙකෙන් එකක් ඇගේ එදිනෙදා වියදමටය. අනෙක් බිත්තරය කටුස්සාගේ පොලිය ගෙවීමටය. ඒත් කටුස්සාට වූ බිත්තර දෙකේ ණය අද දක්වාම එහෙමමය.
(Image: )